සිවුමංසල කොලූගැටයා #85: අපට සිටින්නේ නව නිපැයුම්කරුවන් ද? පේටන්ට්ධාරින් ද?

In this week’s Ravaya column (in Sinhala), published on 30 September 2012, I discuss how to nurture a culture of innovation in Sri Lanka — a topic that I’ve been writing and talking about for over two decades.

On the eve of the first major national exhibition of inventions, I discuss the role of Sri Lanka Inventors’ Commission (SLIC), state agency mandated to promote innovation, and talk to its head, Deepal Sooriyaarachchi.

I revive a question first asked when Apple co-founder Steve Jobs departed one year ago: how do we nurture innovation in our kind of conformist and hierarchical societies don’t give mavericks a fleeting chance. Our cultures instead suppress individualism and iconoclasts. What is to be done?

Sahasak Nimawum: Sri Lanka’s national exhibition of inventions and inventors

ශ‍්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සංවිධානය කරන ”සහසක් නිමැවුම්” ජාතික ප‍්‍රදර්ශනය සැප්තැම්බර් 30, ඔක්තෝබර් 1 හා 2 දිනවල කොළඹ BMICHහිදී පැවැත් වෙනවා. අපේ නව නිපැයුම්කරුවන්ගේ කුසලතා හා නිර්මාණ රටට කියා පෑම මේ ප‍්‍රදර්ශනයේ අරමුණයි.

නව නිපැයුම්කරුවන්ට අතහිත දීමට 1979දී මේ රාජ්‍ය ආයතනය බිහි කරන ලද්දේ දුරදක්නා දැක්මක් තිබූ අමාත්‍ය ලලිත් ඇතුලත්මුදලි විසින්. කොමසාරිස්වරයකුගේ ප‍්‍රධානත්වයෙන් සැදුම් ලත් එය දැනට තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වනවා. ආචාර්ය ඒ. එන්. එස්. කුලසිංහ හා ආචාර්ය රේ විජේවර්ධන වැනි කීර්තිමත් ලාංකික නව නිපැයුම්කරුවන් කලකට පෙර දැරූ කොමසාරිස් තනතුර දැන් හොබ වන්නේ අලෙවිකරණ ක්‍ෂෙත‍්‍රයේ විශේෂඥයකු වන දීපාල් සුරියාරච්චියි. පෞද්ගලික අංශයේ ප‍්‍රධාන විධායක තනතුරු දරා ඇති ඔහු මෙරට නව නිපැයුම්කරුවන්ට වෙළඳපොල ජය ගැනීමට අවශ්‍ය දැනුම හා අත්දැකීම් ඇති අයෙක්.

නව නිපැයුම් කොමිසම ගැන කලක් තිස්සේ අවධානයෙන් සිටින මට පෙනෙන්නේ එය පිහිට වූ 1979 අංක 53 දරණ පණතින් ලබා දී ඇති වරම හා බලතල කාලයෙන් කාලයට වෙනස් ලෙසින් ක‍්‍රියාත්මක කොට ඇති බවයි. විටෙක උද්‍යොගිශීලිවත්, තවත් විටෙක නිද්‍රාශීලීවත් සිටි මේ ආයතනය ගැන මෙරට නව නිපැයුම්කරුවන් තුළ එතරම් පැහැදීමක් නැති බව ඔවුන් සමඟ කථාබහ කිරීමෙන් මා දන්නවා.

විද්‍යා ලේඛකයකු ලෙස මාධ්‍ය හරහා නව නිපැයුම් ගැන ලිවීම මා දශක දෙකකට වැඩි කාලයක් කරන දෙයක්. නව නිපැයුම්කරුවන් හා ඔවුන්ගේ නව නිර්මාණ හඳුන්වා දෙන “මාලිමා” නම් ටෙලිවිෂන් වැඩසටහන් මාලාව මේ වසර මුල සිට මා රූපවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් කරනවා. 2009-10 කාලයේ සියත TV නාලිකාවෙන් “නවකම්” නම් වැඩසටහනෙන් ද මා එබන්දක් කළා. මේවා හරහා විවිධ වයස් මට්ටම්වල හා පසුබිම්වලට අයත් නව නිපැයුම්කරුවන් මුණ ගැසීමටත්, තොරතුරු විපරම් කිරීමටත් මට අවස්ථාව ලැබුණා.

පොදුවේ ගත් විට මෙරට නව නිපැයුම්කරුවන් දැඩි උද්‍යොගයෙන්, කැපවීමෙන් හා ඒකායන අරමුණින් ක‍්‍රියා කරන පිරිසක්. සිය පවුලේ, පාසලේ හෝ කාර්යාලයේ දිරි ගැන්වීමක් ලැබුණත් නැතත් ධෛර්යවන්තව සිය ගමන යන්නට සවිය ඔවුන්ට තිබෙනවා. එහෙත් මේ පිරිස තුළ අපේ ජන සමාජයේ ඇති පුද්ගල හා චරිතගතිවල විවිධත්වය එලෙසින් ම හමුවනවා.

ඇතැම් නව නිපැයුම්කරුවන් සංකල්පමය නව්‍යකරණයෙන් නොනැවතී ප‍්‍රායෝගිකව වෙළඳපොළ ජය ගන්නට වෙර දරන අතර තවත් සමහරු පසෙකට වී තමන්ගේ නව අදහස් හා නිපැයුම් රජය නැතිනම් වෙනත් පාර්ශවයක් මැදිහත්ව ප‍්‍රවර්ධනය කරන තුරු බලා සිටිනවා.

නව නිපැයුමක බුද්ධිමය දේපළ තහවුරු කැරෙන පේටන්ට් බලපත‍්‍රයක් ලබා ගැනීම මහත් උත්සාහයෙන් කළ යුතු, කල් ගත වන හා ශ‍්‍රමය වැය වන කටයුත්තක්. එය මා කිසිසේත් අවතක්සේරු කරන්නේ නැහැ. එහෙත් හැම උපාධිලාභියා ම සැබෑ උගතකු නොවන්නා සේ හැම පේටන්ට්ධාරියා ම සැබෑ නිපැයුම්කරුවකු වන්නේත් නැහැ. පේටන්ට් යනු නව නිපැයුමක එක්තරා අදියරක් පමණයි.

දීපාල් කියන්නේ “පේටන්ට් බලපත‍්‍රයක් හරියට ඉඩමක හෝ නිවසක ඔප්පුවක් වගෙයි. හිමිකම තහවුරු කිරිමටත්, යම් ගණුදෙනුවකටත් එය ඕනෑ කරනවා. ඔප්පුවක් මෙන් පේටන්ට් එකක් ද නිර්මාණයක සීමා හා මායිම් හුවා දක්වනවා. එහෙත් එතැනින් ඔබ්බට පේටන්ට් එකක් යනු ලියවිල්ලක් පමණයි. එයින් නිපැයුම්කරුවාට හා සමාජය වැඩක් වන්නේ එම නිර්මාණයෙන් ප‍්‍රයෝජනයක් ගත හැකි ලෙස වෙළඳපොලට ඒමෙන්.”

Deepal Sooriyaarachchi
වෙනත් වචනවලින් කිව හොත් පේටන්ට් එකක් හිස් ඉඩමක් හෝ පාලූ නිවසක් හෝ අයිති කර ගෙන සිටීමට සමානයි. දීපාල් තව දුරටත් පැහැදිලි කරන පරිදි: “බොහෝ දෙනා සිතන්නේ යම් සංකල්පයක් පේටන්ට් කළ පසු එය තව දුරටත් අන් අයට දියුණු කිරීමට ඉඩක් නැත කියායි. එය සැබෑවක් නොවෙයි. එමෙන් ම බුද්ධිමය අයිතිය තහවුරු කළ පසු නිපැයුමක් මුලාදර්ශය (prototype) මට්ටමට ගොඩ නැගිමේදී එම ක්‍ෂෙත‍්‍රයේ මේ දක්වා අන් අය කර ඇති දේ සොයා බැලීමත්, අන් අය පේටන්ට් කොට ඇති අදහස් පාදක කර ගනිමින් වඩාත් ඉදිරියට යාමත් ගත හැකි හොඳම පියවරයි.”

පේටන්ට් එකක් හෝ කිහිපයක් දැඩි ඇල්මෙන් හා ආඩම්බරයෙන් බදා ගෙන, එයින් ඔබබ්ට කිසිදු පියවරක් නොතැබූ හා එසේ නොවීම ගැන රජයට හා සමාජයට දොස් කියමින් සිටින නිපැයුම්කරුවන් ද විටින් විට මට හමු වනවා. මේ අය ගැන අනුකම්පා කරන අතර ඉතිහාසය පුරා ඔවුන් වැනි අය ඕනෑ තරම් සිටි බවත් සිහිපත් කළ යුතුයි.

අමෙරිකාවේ ජේටන්ට් කාර්යාලය 1790 සිට 2008 දක්වා කාලය තුළ පේටන්ට් මිලියන 8කට වඩා නිකුත් කර තිබෙනවා. ගෙවෙන හැම වසරක ම නිසි විමර්ශනවලින් පසු අළුත් පේටන්ට් 150,000ක් පමණ නිකුත් කරනවා. මේවා අතරින් නව භාණ්ඩ හෝ සේවා ලෙස වෙළඳපොලට ළඟා වන්නේ සීමිත සංඛ්‍යාවක් පමණයි.

පේටන්ට් කළ හැම නිපැයුමක් ම වෙළඳපොළට නොඑන්නට හේතු රැසක් තිබෙනවා. දැනට වෙළඳපොළේ හා පාරිභෝගිකයන් මුහුණ දෙන ගැටළුවක් විසඳීම අත්‍යවශ්‍යයි. එමෙන් ම එසේ විසඳන අතර එය භාවිතයට පහසු, සාධාරණ මිළ ඇති, මනා සේ බෙදා හැරෙන හා අලෙවිකරණය කැරෙන භාණ්ඩයක් හෝ සේවාවක් හෝ විය යුතුයි.

”නව්‍යකරණයේ වැදගත් ම ගුණාංගය නම් පාරිභෝගික අවශ්‍යතාවයන් හඳුනා ගෙන නිපැයුම් එ්වාට නිසි පරිදි අනුහුරු (adapt) කිරීමයි,” දීපාල් කියනවා.

පේටන්ට්වලට ඔබ්බෙන් තිබෙන ඊළඟ අභියෝග ජය ගැනීමේදී මෙරට නව නිපැයුම්කරුවන්ට මඟ පෙන්වීම හා ආයෝජකයන් සොයා දීම සඳහා නවනිපැයුම්කරුවන්ගේ කොමිසම ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) හා ශ‍්‍රීජයවර්ධනපුර සරසවියේ පශ්චාත් උපාධි කළමණාකරණ ආයතනය (PIM) සමඟ සහයෝගයෙන් ක‍්‍රියා කරනවා.

දිගු කලක් තිස්සේ නිලධාරිවාදය හා උගත්වාදය කරපින්නා ගත් කොමිසම, මෑතක පටන් නව නිපැයුම්කරුවන් කේන්‍ද්‍ර කොට ගෙන, ඔවුන්ට ගරුසරු ලෙසින් ආමන්ත‍්‍රණය කරමින්, සුහද මට්ටමකින් සිය අරමුණු සාක්‍ෂාත් කර ගන්නට තැත් කරන බව පෙනෙනවා. රාජ්‍ය ආයතනයක මෙවන් ආකල්පමය වෙනසක් කිරීම පහසු නැහැ.

මෙරට නව නිපැයුම් ක්‍ෂෙත‍්‍රයේ නිලධාරිවාදයට එහා යන උගත් අධිපතිවාදයක් ද තිබෙනවා. පොතේ උගතුන් හා සරසවි ඇදුරන් මේ ආයතනවලට පිවිසී තමන්ගේ පණ්ඩිතකම පෙන්වන්නට අහිංසක නව නිපැයුම්කරුවන්ට අසාධාරණ කොන්දේසි පැනවීමේ අවලස්සන සම්ප‍්‍රදායක් තිබෙනවා.

නව නිපැයුම්කරුවන් තම දෙපතුළට කැඳවන, ඔවුන්ගේ නවතම අදහස් විද්වත් ඇගැයීමට යයි කියා ලබා ගෙන තමන්ගේ පර්යේෂණ නිබන්ධනවලට ඒවා රහසේ ම ඇතුලූ කරන ඉංජිනේරුවන් හා විද්‍යාඥයන් ද මෙරට සිටිනවා. කොමිසම ටිකෙන් ටික නිලධාරිවාදය දුරු කරන අතරේ මෙරට උගතුන්ගේ දැඩි අධිපතිවාදයෙන් නව නිපැයුම්කරුවන් රැක ගන්නට ද යම් පියවර ගත යුතුයි.

ශ‍්‍රිමත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයේ මා සේවය කළ දශක දෙක තුළ ඔහු හමු වීමට විවිධාකාරයේ නව නිපැයුම්කරුවන් පැමිණියා. තමා කෙතරම් කාර්ය බහුල වුවත් නව නිපැයුම් හා සංකල්ප රැගෙන එන අයට විශේෂ සැළකිල්ලක් දැක්වීම ඔහුගේ සිරිත වුණා. ඒ බොහෝ අවස්ථාවල සන්නනිවේදනයෙන් හා පසුවිපරම්වලින් මා සම්බන්ධ වුණා.

පෞද්ගලික කාර්යාලයක ඇති සීමා තුළ දිය හැකි උපරිම දිරි ගැන්වීම, දැනුම හා ජාත්‍යන්තර සබඳතා ආදිය ලබා දීමෙන් අනතුරුව නිපැයුම්කරුවන් සමහරකු මොරටුවේ පිහිටුවා තිබෙන, ආතර් සී. ක්ලාක්ගේ නම දී ඇති (එහෙත් ක්ලාක් පරිපාලනයට කිසිසේත් මැදි නොවූ) රාජ්‍ය තාක්‍ෂණ ආයතනයට යොමු කරනු ලැබුවා. එබඳු අවස්ථාවල නව නිපැයුම්කරුවන්ගේ සමාජ තරාතිරම හා අධ්‍යාපන පසුබිම ක්ලාක්ට වැදගත් නොවූවත්, ඒ රාජ්‍ය ආයතනයේ ලොක්කන්ට එය මහ ලොකු සාධකයක් වූ සැටි මට සිහිවන විට තවමත් කම්පනයක් හට ගන්නවා.

ගතානුගතික නිලධාරීන්ට හා උඩඟු උගතුන්ට වඩා වෙනස් ආකල්ප දරණ වත්මන් කොමසාරිස්වරයා, නව නිපැයුම්කරුවන් හරියට කලාකරුවන් වැනි යයි පවසනවා.

”නව නිපැයුම්කරුවන් බහුතරයක් දෙනා තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටින, අමුතු ආකාරයට සිතන අය. එබඳු අය හඳුනාගෙන ඔවුන්ට නිසි ඇගැයීම හා දිරි ගැන්වීම දිය යුතුයි. ජාත්‍යන්තර ක‍්‍රීඩා තරඟාවලදී පදක්කම් දිනා ගෙන මෙරටට පැමිණෙන ක‍්‍රීඩකයන් උත්සවාකාරයෙන් ගුවන් තොටුපලේ පිළිගන්නා ලෙසින් ම නව නිපැයුම් තරඟවලදී සම්මාන දිනා සිය රට එන නිපැයුම්කරුවන්ටත් පිළි ගැනීමක් දිය යුතුයි,” ඔහු කියනවා.

නව නිපැයුම් කරන්නට උසස් අධ්‍යාපනය හා පශ්චාත් උපාධි තිබිය යුතුම ද?

දීපාල් කියන්නේ අසම්මත විදියට සිතීම අධ්‍යාපනය හා සෘජුව සම්බන්ධ නැති බවයි. සමහර නව නිපැයුම්වලට විද්‍යා හා තාක්‍ෂණික දැනුම ප‍්‍රයෝජනවත් වුවත් වැදගත් ම අවශ්‍යතාවය නම් විවෘත මනසකින් හා දැඩි කුතුහලයකින් හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීමේ හැකියාවයි. ඒත් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපන ක‍්‍රමය බොහෝ විට කරන්නේ සිසුන්ගේ මේ හැකියාවන් මොට කිරීමයි!

ඇපල් සමාගමේ ආරම්භක, නිපැයුම්කරු ස්ටීව් ජොබ්ස් මීට වසරකට පෙර මිය ගිය අවස්ථාවේ (2011 ඔක්තෝබර් 16 කොලමින්) මා මතු කළ ප‍්‍රශ්නය වුයේත් එයයි. මා කී පරිදි: “බොහෝ ආසියානුවන්ට මෙන් ම ලාංකිකයන්ට ද තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයේ සහජ හැකියාවක් තිබෙනවා. එහෙත් ඒ විභවය දැගලිල්ලක්, දඩබ්බරකමක් හරහා අළුත් සංකල්පයක් හෝ නිපැයුමක් හෝ බවට පත් වන්නට පියවර ගණනාවක් පසු කළ යුතුයි. ස්ටීව් ජොබ්ස්ලා අපේ රටවල බිහි නොවන්නේ පහසුකම් හා ආයෝජන නැති නිසා පමණක් නොවෙයි. අසම්මතයට සිතන ‘විකාරකාරයන්ට’ අපේ සමාජවල ඉඩක් නොදෙන නිසා යයි මා තර්ක කරනවා…අළුත් දෙයක් හිතන, කියන හා අත්හදා බලන දරුවන් හා තරුණ තරුණියන් ඔවුන්ගේ පවුල්වලින්, පාසලෙන්, සරසවියෙන් හා ජන සමාජයේ අන් අයගෙන් දැඩි පීඩනයකට ලක් වනවා.”

නව නිපැයුම් සංකල්පයන් හට ගන්නේ පවත්නා තත්ත්‍වය එලෙසින් පිළි නොගන්නා, වඩා හොඳින් යම් යම් දේ කරන්නට ක‍්‍රම සොයා යන පුද්ගලයන් අතින්. ඕනෑ ම සමාජයක එබඳු අය ඉන්නේ ටික දෙනයි. රජයට හා විද්වත් ආයතනවලට හැක්කේ මේ දුර්ලභ මානව සම්පත් හඳුනාගෙන ඔවුන්ට නිසි පහසුකම්, මඟපෙන්වීම හා පිළිගැනීම ලබා දීම පමණයි.