RTI Sri Lanka: තොරතුරු නීතිය සම්මත වීමත් සමග ශ්‍රී ලංකාව ඉතිහාසයේ කඩඉමක් පසු කරයි

[Main points I made in a TV news interview with national broadcaster Rupavahini on 25 June 2016, within 24 hours of Sri Lanka’s Parliament passing the Right to Information law.]

Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka's new Right to Information RTI Law, 25 June 2016
Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka’s new Right to Information RTI Law, 25 June 2016

2016 ජූනි 24 වනදා පාර්ලිමේන්තුවේ ඒකච්ඡන්දයෙන් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වී පැය 24ක් යන්නට පෙර ඒ ගැන කෙටි සාකච්ඡාවක් රූපවහිනියට මා ලබා දුන්නා.

නීතිවේදියෙක් නොවන මා මේ නව නීතියේ සමාජයීය වැදගත්කම අවධාරණය කළා. මෙන්න මා කී ප්‍රධාන අදහස්:

රාජ්‍ය පාලනය ගැන තොරතුරු ඉල්ලා ලැබීමේ අයිතිය පුරවැසි අපට මේ ලැබෙන්නේ දිගු ඉතිහාසයේ පළමුවැනි වතාවටයි.

සීමාන්තික බලතල සහිත රජවරුන් අපේ රට පාලනය කළ වසර 2,000ක පමණ කාලයක් තුළ රටේ කිසිදු පරිපාලන තොරතුරක් (හෝ වෙනත් කිසිම අයිතිවාසිකමක්) ඉල්ලීමේ වරම ජනතාවට තිබුණේ නැහැ. අපේ පැරැන්නෝ යටත්වැසියන් මිස කිසි දිනෙක නිවහල් අභිමානවත් පුරවැසියන් වූයේ ද නැහැ.

අධිපතිවාදය, වැඩවසම් මානසිකත්වය, ගතානුගතිකත්වය යන සියල්ල අපට ඓතිහාසිකව උරුම වී තිබෙනවා. සියවස් 25ක ලිඛිත ඉතිහාසයක් ඇති අපේ රටේ විවෘත හා මහජනතාවට වග කියන ආණ්ඩුකරණයක් ඉතා මෑතක් වන තුරු කිසි දිනෙක පැවතියේ නැහැ. මැග්නා කාර්ටා (Magna Carta) වැනි සම්මුතියක් හරහා අපේ රජුන්ගේ බලතල කිසි ලෙසකින් හෝ සමනය වූයේ ද නැහැ.

ලෝකයේ මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ නීතිය ස්වීඩනයේ සම්මත වූයේ 1766දී. එයින් වසර 250ක් සපිරෙන 2016දී ශී‍්‍ර ලංකාවේ තොරතුරු නීතිය සම්මත වීම පමා වී හෝ අප ද ශිෂ්ට ලෝක සමාජයට එක් කරනවා.

මේ වැඩවසම් ඉතිහාසයේ අවස්ථිතියෙන් (inertia of feudal history) කෙමෙන් අත් මිදී සමානාත්මතාවය මත පදනම් වූ නූතන සමාජයක් වෙත යන ගමන ඉතා දුෂ්කරයි. අන්ධකාරයේ දිගු කලක් සිටි සමහරුන්ට දැන් එම තත්ත්වයෙහි දොසක් නොපෙනෙනවා ඇති. එහෙත් ඔවුන්ගේ ප‍්‍රතිරෝධය මැද, ප‍්‍රමාද වී හෝ ලක් සමාජය 21 වන සියවසට රැගෙන එන්නට ප‍්‍රගතිශීලී හා පරමාදර්ශී ටික දෙනකුට හැකි වීම කෙතරම් අපූරු ද?

නමුත් මා කලෙක සිට කියන පරිදි තොරතුරු නීතියක් සම්මත කර ගැනීම යහපාලනයේ එක් මූලික කඩඉමක් පමණයි.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එයින් එරට පුරවැසියන් වැඩ ගන්නා පමණටයි. ආවේග, අනුමාන, ඇදහිලි හා කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මත පදනම් වී නිගමනවලට එළඹීමට හුරුව සිටින අපේ සමාජය තොරතුරු, දත්ත, සාක්ෂි හා හරවත් විග‍්‍රහයන් හරහා ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා…

Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka's Right to Information RTI Law, 25 June 2016
Nalaka Gunawardene in Rupavahini interview on Sri Lanka’s Right to Information RTI Law, 25 June 2016

 

සිවුමංසල කොලූගැටයා #272: මහජන තොරතුරු අයිතිය අශෝක අධිරාජයාගේ ඓතිහාසික දායාදයක්

An Ashoka Pillar
An Ashoka Pillar

Sri Lanka’s Parliament is debating the Right to Information (RTI) Bill on June 23 – 24.

Over 15 years in the making, the RTI law represents a potential transformation across the whole government by opening up hitherto closed public information (with certain clearly specified exceptions related to national security, trade secrets, privacy and intellectual property, etc.).

While the media benefits from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). RTI changes the default mode of government from being classified to open.

In this week’s Ravaya column (appearing in the print issue of 26 June 2016), I point out that although the modern-day concept of Right to Information (also known as Freedom of Information) arose in Europe in the 18th century, there are comparable precedents in the East that date back to over two millennia.

Indian Emperor Ashoka (who reigned from c. 268 to 232 Before Christ) was the first to grant his subjects the Right to Information (RTI), according to Indian RTI activist Venkatesh Nayak, Coordinator, Commonwealth Human Rights Initiative (CHRI).

Speaking at a seminar on RTI in Colombo last month, Nayak said that Ashoka had inscribed on rocks all over the Indian subcontinent his government’s policies, development programmes and his ideas on various social, economic and political issues — including how religious co-existence.

“He insisted that the inscriptions should be in the local language and not in a courtly language like Sanskrit. And considering the fact that few of his subjects were literate, he enjoined officials to read out the edits to people at public gatherings,” Nayak added.

Therefore, adopting an RTI law signifies upholding a great Ashokan tradition in Sri Lanka. And implementing it would be a huge challenge – reorienting the entire public sector to change its mindset and practices to promote a culture of information sharing and transparent government.

See also: 1 May 2016: සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

The Hindustan Times image - by Jayanto
The Hindustan Times image – by Jayanto

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත් කෙටුම්පත ජුනි 23-24 දෙදින තුළ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිතයි.

2016 මාර්තු 24 වනදා සභාගත කරන ලද කෙටුම්පත, ඉනික්බිති ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක් වී උපවගන්ති පහක යම් සංශෝධන කරනු ලැබුවා.

මේ කෙටුම්පත ලෝකගේ හත් වන හොඳම තොරතුරු නීතිය බවට කැනඩාවේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කේන්ද්‍රය (Centre for Law and Democracy) නම් විද්වත් ආයතනය සංසන්දනාත්මකව ඇගැයීමට ලක් කොට තිබෙනවා. එය ලොකු සංශෝධනවලින් තොරව සම්මත වනු ඇතැයි අපේ පැතුමයි.

මේ පනත් කෙටුම්පත අංග සම්පූර්ණ හෝ පරමාදර්ශී එකක් නොවූවද බොහෝ දුරට ප්‍රගතිශීලී යයි සැලකිය හැකියි. එය 1994න් ඇරඹි ප්‍රයත්නයක් මල්ඵල ගැන්වීමක්. මේ පනත නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට සහාය වීම ප්‍රජාතන්ත්‍රවාදයට ළැදි සැමගේම යුතුකමක් හා වගකීමක් වනවා.

තොරතුරු අයිතිය (Right to Information/Freedom of Information) පිළිබඳ සංකල්පය නූතන යුගයේ මතුව ආයේ යුරෝපයේ 18-19 වන සියවස්වල සිදු වූ දේශපාලනික හා දාර්ශනික පිබිදීම නිසායි. පොදු අවකාශය (Public Space) හා පොදු ජනයාට රාජ්‍ය පාලනය ගැන විමර්ශනයට අයිතිය (Public access and scrutiny) යන සංකල්ප අපට උරුම වූයේ යුරෝපීය චින්තකයන්ගෙන්.

එසේම නවීන ලෝකයේ මුල්ම තොරතුරු අයිතිය පිළිබඳ නීතිය සම්මත කර ගත්තේ එවකට ස්වීඩනයේ පාලනය යටතේ පැවති ෆින්ලන්තයේ. ඒ 1766දී. එනම් හරියටම වසර 250කට පෙර.

එහෙත් ජනසම්මතවාදී පාලකයන් සිය පාලනය ගැන ජනතාවට තොරතුරු හෙළි කිරීමේ ඉතිහාසය මීට වඩා පැරණියි. සැබැවින්ම එය පෙරදිග සම්ප්‍රදායක් බව මෑතදී මා හමු වූ ඉන්දියානු විද්වතෙක් පෙන්වා දුන්නා.

නවදිල්ලියේ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය මානව හිමිකම් කේන්ද්‍රයේ සම්බන්ධීකාරක වෙන්කටේෂ් නායක් (Venkatesh Nayak) තොරතුරු අයිතිය පිළිබඳ විශේෂඥයෙක් මෙන්ම ක්‍රියාකාරිකයෙක්. ඔහු කියන්නේ තොරතුරු අයිතියේ පුරෝගාමියකු ලෙස ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ භාරතයේ රජකම් කළ අශෝක අධිරාජයා හඳුනාගත හැකි බවයි.

Right to Information - Venkatesh Nayak quote
Right to Information – Venkatesh Nayak quote

අශෝක අධිරාජයාගේ රාජ්‍ය පාලනයේ එක් පිළිවෙතක් වූයේ රටේ ප්‍රතිපත්ති හා නීතිරීති පොදු ජනතාවට ප්‍රකාශ කිරීමට ප්‍රසිද්ධ ස්ථානවල සෙල්ලිපි රැගත් (අශෝක ස්ථම්භ නමින් ප්‍රකට) කුලුනු ඉදිකිරීමයි. සියවස් විසිතුනකට පසුවත් මේ ස්ථම්භ රැසක් තවම ඉතිරිව තිබෙනවා.

මේවා අධ්‍යයනය කළ පුරාවිද්‍යාඥයන් සොයා ගත්තේ ඒවායේ භාෂාව පළාතෙන් පළාතට වෙනස්වන බවයි.

‘අධිරාජයාගේ රාජ සභාවේ භාවිත වුණේ සම්භාව්‍ය සංස්කෘත භාෂාවයි. එහෙත් රටවැසියන්ට තොරතුරු දෙන විට එයට සීමා නොවී, එක් එක් පළාතෙහි වැඩිපුරම භාවිත වන ප්‍රාදේශීය භාෂාවලින් එය ප්‍රකාශ කරන්නට තරම් අශෝක අධිරාජයා සැලකිලිමත් වී තිබෙනවා. එදිනෙදා පරිපාලනමය තොරතුරුවලට අමතරව ආගම් අතර සහජීවනය ආදී කරුණු ද මේ සෙල්ලිපිවල හමු වනවා’ යයි නායක් කියනවා.

එසේම අකුරු කියවීමේ හැකියාව එතරම් ප්‍රචලිත නොවූ එකල එම තොරතුරු හඬ නඟා රටවැසියන්ට කියැවීමටද අධිරාජයා විධිවිධාන යොදා තිබුණා. මෙයින්ද පෙනෙන්නේ සිය වැසියන් සමග ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට අශෝක අධිරාජයාට තිබූ සැබෑ වුවමනාවයි.

අශෝක අධිරාජයා මෙරටට බුදුදහම දායාද කිරීම මූලික නිමිත්ත කර ගත් පොසොන් පොහොය සමරනු ලැබුවේ ඉතා මෑතදී. මහජනයාට රාජ්‍ය තොරතුරු ලබාදීමේ උතුම් අශෝක සම්ප්‍රදායට අනුගතවීමට තොරතුරු නීතිය හරහා අපට අවස්ථාව උදා වනවා.

Ancient Right to Information: Ashoka Pillars
Ancient Right to Information: Ashoka Pillars

තොරතුරු අයිතිය ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකමක් ලෙස පිළිගෙන තොරතුරු නීතිය හරහා එය ප්‍රායෝගිකව තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ඉදිරි පියවරක්.

එහෙත් එය විවෘත ආණ්ඩුකරණයට යොමු වන ප්‍රගතිශීලී මෙඟහි එක් කඩඉමක් පමණයි.

තොරතුරු පනත තොරතුරු අර්ථ දක්වන්නේ පුළුල් ලෙසින්. පනතේ 43 වන වගන්තියට අනුව, මේ සියල්ල එයට හසු වනවාථ සටහන්, ලේඛන, සංදේශ, විද්‍යුත් තැපැල්, මත, උපදේශ, මාධ්‍ය නිවේදන, චක්‍රලේඛ, ලොග් සටහන්, ගිවිසුම්, වාර්තා, ප්‍රවෘත්ති පත්‍ර, සාම්පල්, ආදර්ශක, හුවමාරු වන ලිපි, නීති කෙටුම්පත්, පොත්, පිඹුරු, සිතියම්, චිත්‍ර, රූප සටහන්, සේයාපට, ක්ෂුද්‍ර සේයා පට, ශබ්ද පටිගත කිරීම්, වීඩියෝ පට, යන්ත්‍ර මගින් කියවිය හැකි වාර්තා, විද්‍යුත් ලිපි, පරිගණක වාර්තා හා ඒවායේ පිටපත්.

ඒ අනුව මේ සියලු මූලාශ්‍ර නිසි ලෙස සංරක්ෂණය කිරීම හා කළමනාකරණය කිරීම අදාළ සියලු පොදු ආයතනවල වගකීමක් බවට පත්වනවා. පනත ක්‍රියාත්මක වන අවස්ථාවේ පවතින තොරතුරු මූලාශ්‍ර වසර 10ක් යන තුරුත්, ඉනික්බිති බිහි කැරෙන තොරතුරු මූලාශ්‍ර වසර 12ක් යන තුරුත් සංරක්ෂණය කළ යුතු වනවා.

ඇතැම් පොදු ආයතනවල මනා සේ වාර්තා තබා ගැනීම සිදු නොවන බව අප දන්නවා. තොරතුරු නීතියත් සමග ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. තොරතුරු රැක ගන්නවා මෙන්ම ලෙහෙසියෙන් සොයා ගත හැකි ලෙසට ගබඩා වීමත් වැදගත්. මෙය මහජනයාට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද තමන්ගේ වැඩකටයුතුවලට මහෝපකාරී වනු ඇති.

තොරතුරු පනත යටතේ මේ රටේ ඕනෑම බාල-මහලු පුරවැසියකුට පොදු ආයතනයක ඇති තොරතුරක් ඉල්ලා සිටිය හැකියි. එම තොරතුරු, පනතේ 5 වන වගන්තියේ සඳහන් ව්‍යතිරේඛවලට (එනම් තොරතුරු දිය නොහැකි සාධකවලට) අදාළ නොවේ නම් එය නිශ්චිත කාල සීමාවක් තුළ ලබාදීමට පොදු ආයතන බැඳී සිටිනවා. මෙහිදී තමන්ට ඒ තොරතුරු අවශ්‍ය ඇයිද යන්න ඉල්ලුම්කාර පුරවැසියා කීමට අවශ්‍ය නැහැ.

ව්‍යතිරේඛ වන්නේ පුද්ගලිකත්වය අනවසරයෙන් ආක්‍රමණය වන අවස්ථා, රාජ්‍ය ආරක්ෂාවට බරපතළ ලෙස හානිදායක වන අවස්ථා, ආර්ථීක වශයෙන් සංවේදී තොරතුරු, බුද්ධිමය දේපළ පනත යටතේ ආරක්ෂිත වාණිජ රහස්, විභාග රහස්, අපරාධ විමර්ශනයට අදාළ තොරතුරු ආදියයි. මෙබදු ව්‍යතිරේඛ ලොව සැම තොරතුරු නීතියකම හමුවනවා.

Jagath Liyana Arachchi
Jagath Liyana Arachchi

මේ ගැන විමර්ශනයක යෙදුණු නීතිඥ ජගත් ලියනආරච්චි මෙසේ කියනවා: “පනත තුල පවතින ප‍්‍රතිපාදන ප‍්‍රවේශමෙන් පරීක්‍ෂා කිරීමේ දී පැහැදිලි වන එක්තරා කරුණක් වන්නේ පනත ගෙන එන්නේ තොරතුරු ලබා දීමට බවයි. තොරතුරු ලබා දීමට ව්‍යතිරේඛ ලබා දී තිබෙන්නේ යම් යම් කරුණු සම්බන්ධයෙන් දැඩි ලෙස අගතිදායක අවස්ථාවන් හිදී පමණි. කෙසේ නමුත් පනත් කෙටුම්පතේ දක්වා තිබෙන්නේ ‘මහජන බැඳියාවන්හි වැදගත්කම එම තොරතුරු හෙළිදරව් කිරීමෙන් වන හානියට වඩා වැඩි නම් එවැනි තොරතුරු සඳහා වන ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප නොකළ යුතු’ බවයි. ඒ අනුව තොරතුරු ලබා දීම හා ලබා නොදීම සම්බන්ධ පැහැදිලි ප‍්‍රතිපත්තියක් පවතී.”

තොරතුරු නීතිය සම්මත වී මාස 6ක කාලයක් තුළ එය ක්‍රියාත්මක කිරීමේ සූදානම සියලුම අදාළ පොදු ආයතන ලබා ගත යුතුයි. මේ සඳහා සෑම ආයතනයක්ම තොරතුරු නිලධාරියකු අනුයුක්ත කළ යුතුයි. මෙය රාජ්‍ය සේවකයන්ට අලුත් අත්දැකීමක්. ඒ සඳහා යම් පුහුණුවක්ද අවශ්‍ය වනවා.

සමස්ත රාජ්‍ය ක්ෂේත්‍රයට මේ සූදානම ලබාදීම හා පනත ක්‍රියාත්මක කිරීමේ වගකීමට මුල් වීම පැවරෙන්නේ මාධ්‍ය අමාත්‍යාංශයටයි. (තොරතුරු නීතිය හුදෙක් මාධ්‍යවලට සීමා නොවන, සමස්ත පුරවැසියන්ටම එක හා සමානව ප්‍රයෝජනවත් නීතියක් වුවත්.)

රාජ්‍ය තන්ත්‍රය සූදානම් වන අතරේ, තොරතුරු අයිතිය නිසි ලෙස ප්‍රයෝජනයට ගැනීමට පුරවැසියන්ටද යම් පෙළගැස්මක් අවශ්‍ය වනවා. තොරතුරු නීතිය යටතේ එදිනෙදා ප්‍රශ්නවලට විසඳුම් සොයාගත හැක්කේ කෙසේද යන්න ගැන සමස්ත ලක් සමාජයම දැනුවත් විය යුතුයි.

තොරතුරු අයිතිය ගැන ජනමත සමීක්ෂණයක් 2014 සැප්තැම්බරයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා විසින් සිදු කරනු ලැබුවා. මේ අයිතිය ගැන මහජන දැනුවත්බව, ආකල්ප හා අපේක්ෂා ගැන 450ක මහජන නියැදියක් හරහාත්, අමතරව 85ක රාජ්‍ය සේවකයන් සමග සාකච්ඡා හරහාත් විමර්ශනය කළා.

දිවයින පුරාම මහජනයාගෙන් 90%කටත් වඩා තොරතුරු අයිතිය පැවතිය යුතු බව  කියා සිටියා. එය නීතියෙන් තහවුරු කළ යුතු බවත්, අති බහුතරයක පිළිගැනීම වුණා. එයට හේතුව ලෙස දක්වන ලද සාධක නම්ථ වංචා හා දූෂණ අඩු කිරීමත මහජනයාට ඇතිවන පහසුවත කොයි කාටත් එක ලෙස තොරතුරු දත හැකිවීමත නීතිවිරෝධී ක්‍රියා අඩු කිරීම හා වඩාත් ප්‍රශස්ත තීරණ ගත හැකි වීමයි.

මහජන මුදලින් නඩත්තු කරන ආයතනවලින් මේ වන තුරු තොරතුරු ලබා ගන්නට ගත් උත්සාහයන් ගැන විමසන ලදුව 32%ක් ලබා ගත නොහැකි වූ බවත්, තවත් 30.8%ක් මහත් දුෂ්කරතාවෙන් තොරතුරු ලබා ගත් බවත් කියා සිටියා. ලෙහෙසියෙන් තොරතුරු ලබා ගෙන ඇත්තේ 34.3%ක් පමණයි. මෙය කිසිසේත් සතුටුදායක තත්ත්වයක් නොවෙයි.

සමීක්ෂණයට පාත්‍ර වූ රාජ්‍ය සේවක සංඛ්‍යාව කුඩා නිසා පුළුල් නිගමනවලට ඒම අපහසුයි. තොරතුරු අයිතිය ගැන පූර්ව දැනුමක් තිබුණේ ඔවුන්ගේ 47%කට පමණයි. එනම් බහුතරයක් (53%) එබන්දක් අසාවත් තිබුණේ නැහැ. එසේම 40%කට ටිකක් වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය නිලධාරීන් විශ්වාස කළේ මහජනයාට තොරතුරු දීම හරහා විවිධ ව්‍යාකූලතා මතුවිය හැකි බවයි.

‘මෙවන් ඍණ ආකල්ප හඳුනාගෙන ඒවාට ක්‍රමානුකූලව ප්‍රතිචාර දැක්වීම ඉතා වැදගත්. තොරතුරු අයිතිය නීතිගත කිරීම ප්‍රායෝගිකව සාර්ථක වනුයේ එය පිළි ගන්නා, එයට කැප වූ රාජ්‍ය සේවයක් බිහි කිරීම හරහායි.’ මේ සමීක්ෂණ ප්‍රතිඵල විග්‍රහ කරමින් ට්‍රාන්ස්පේරන්සි ආයතනය කියනවා.

මිලියන 1.5ක් පමණ ලාංකිකයන් අයත් රාජ්‍ය සේවය යනු විවිධ තනතුරු, වෘත්තිකයන් හා මට්ටම්වලින් සැදුම්ලත් එකක්. ජාතික, පළාත් හා පළාත් පාලන මට්ටමින් ගත් විට විවිධාකාරයේ මහජන ආයතන 4,800කට වැඩි සංඛ්‍යාවක් තිබෙනවා.

තොරතුරු නීතිය ක්‍රියාත්මක කිරීමේදී මේ සියල්ලේ නව පෙළගැස්මක් අවශ්‍යයි. තොරතුරු නිසි ලෙස ලේඛනගත කිරීම, ගබඩා කිරීම, කළමනාකරණය හා බෙදා හැරීම සම්බන්ධයෙන් මහජන ආයතනවල වඩාත් කාර්යක්ෂම ක්‍රමෝපායන් හඳුන්වා දීමට සිදුවනවා. මේ හරහා රාජ්‍ය සේවකයන්ට මෙන්ම මහජනයාටත් වාසි සැලසෙනවා.

තොරතුරු නීතිය ගැන බිය විය යුත්තේ අකාර්යක්ෂම හෝ දූෂිත නිලධාරීන් පමණයි. තමන්ගේ රාජකාරිය නිසි ලෙස ඉටු කරන අවංක නිලධාරීන්ට එයින් කිසිදු ප්‍රශ්නයක් නැහැ. එසේම ඇතැම් රාජ්‍ය ආයතන මේ නීතිය එන්නටත් පෙර පටන්ම තමන්ගේ සියලු තොරතුරු ස්වකැමැත්තෙන්ම මහජන පරිශීලනයට මුදා හැර තිබෙනවා. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මීට හොඳ උදාහරණයක්.

එසේම තොරතුරු නීතිය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන්නේද නැහැ. රහසිගත ආරක්ෂක තොරතුරු පනතේ ව්‍යාතිරේඛ මගින් ආවරණය කැරෙන නිසා.

2005 සිට ජාතික මට්ටමින් තොරතුරු නීතිය ක්‍රියාත්මක කරන ඉන්දියාවේ අත්දැකීම් සම්පිණ්ඩනය කරමින් වෙන්කටේෂ් නායක් කියන්නේ මෙයයි. ඉන්දියාවේ තොරතුරු නීතිය නිසා ජාතික ආරක්ෂාවට හෝ විදේශ ප්‍රතිපත්තිවලට කිසිදු හානියක් සිදු වී නැහැ. එසේම පාර්ලිමේන්තුවේ ගරුත්වයට කැළලක් වී නැහැ. අධිකරණයේ ස්වාධීනත්වය පළුදු වී නැහැ. වෙළඳ රහස් හෙළිදරව් කර නැහැ. පුරවැසියන්ගේ පුද්ගලිකත්වයට අනවසර පිවිසීම් සිදු වීද නැහැ.

න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ඉන්දියාවේ ජාතික ආරක්ෂාවට තොරතුරු නීතිය කිසිදු බලපෑමක් කර නැති නම් අප එබන්දක් ගැන බියවීම හේතු සහගත නැහැ.

තොරතුරු නීතිය සම්මත වූ පමණින්ම අපේ සමාජ, දේශපාලන හා ආර්ථීක ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන්නේ නැහැ. තොරතුරු අයිතිය නිර්මාණශීලීව හා අධිෂ්ඨාන පූර්වකව භාවිත කිරීම හරහායි වඩාත් වගවීම සහිත ආණ්ඩුකරණයක් හා වඩාත් විවෘත සමාජයක් බිහි වන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එයින් එරට පුරවැසියන් වැඩ ගන්නා පමණටයි. ආවේග, අනුමාන, ඇදහිලි හා කුමන්ත‍්‍රණවාදී ප‍්‍රබන්ධ මත පදනම් වී නිගමනවලට එළඹීමට හුරුව සිටින අපේ සමාජය තොරතුරු, දත්ත, සාක්ෂි හා හරවත් විග‍්‍රහයන් හරහා ඉදිරියට ගෙන යාමේ දැවැන්ත අභියෝගය අප හමුවේ තිබෙනවා.

See also:

7 March 2015: Echelon March 2015 column: Beyond RTI – Towards Open Government

සිවුමංසල කොලූගැටයා #269: ඓතිහාසික ජන සතුරා (මැලේරියාව) මර්දනය කළ මහා සංග්‍රාමය

Half a century after narrowly missing the opportunity to eliminate malaria in the mid 1960s, Sri Lanka seems to have reached this significant public health goal.

“With no indigenous malaria cases being reported since October 2012, Sri Lanka is currently in the malaria elimination and prevention of re-introduction phase,” says the website of the Sri Lanka Anti-Malaria Campaign.

In April 2016, Sri Lanka applied for World Health Organisation (WHO)’s certification on malaria-free status. Expected shortly, this is a key milestone in the history of health and development.

In this week’s Ravaya column (appearing in the print issue of 22 May 2016), I summarise how we reached here, and what challenges remain.

I point out that Malaria is an ancient enemy in Sri Lanka that has killed tens of thousands and affected millions over centuries. There is speculation that malaria contributed to the historical shifting of the seat of government (kingdom at the time) and majority of human settlements from the dry zone to the intermediate and wet zones.

A severe epidemic in 1934-35 led to an estimated 5.5 million cases and 80,000 reported deaths – around 2 per cent of the total population of 5.3 million in the 1931 census. My father, now 83, is one of its survivors.

In the mid 1940s, Ceylon became the first Asian country to develop a scheme of indoor industrial spraying using DDT. In 1946, when spraying commenced in earnest, the island still had around 3 million malaria cases, high for a population of 6.6 million (1946 census). With widespread use of DDT and other measures, there was a drastic reduction: down to 7,300 cases in 1956 and just 17 in 1963.

Then there was a resurgence, which took over two decades to bring under control. As Dr Risintha Premaratne, Director of Sri Lanka’s anti-malaria campaign, told WHO, “Key components in the elimination efforts included enhanced malaria parasite screening in high transmission areas through active case detection using mobile malaria clinics; early diagnosis and prompt treatment effectively reducing the parasite reservoir and the potential for transmission; and strengthening the malaria mosquito surveillance leading to evidence based vector control.”

Malaria elimination in Sri Lanka has been achieved through a period overlapping with a 30-year separatist war in areas that were endemic for malaria. The challenge now entails sustaining a malaria-free country and preventing the reintroduction of malaria to Sri Lanka…in the context of rapid postwar developments in the country, say three Lankan leaders in this struggle writing in WHO South East Asia Journal of Public Health in Jan-March 2014.

Image source: http://www.news.lk/fetures/item/7270-let-s-together-keep-sri-lanka-malaria-free
Image source: http://www.news.lk/fetures/item/7270-let-s-together-keep-sri-lanka-malaria-free

සිවිල් යුද්ධය නිමා වී වසර හතක් පිරුණේ ගෙවී ගිය සතියේයි. දකුණේ සමහරුන් මෙය තවමත් යුද ජයග්‍රහණයක් ලෙස හඳුන්වමින් සමරනවා. අපේම රටේ අපේම පුරවැසියන් අතර ඇති වූ කුරිරු යුද්ධයක ජය-පරාජයක් තිබිය හැකිද?

මගේ මතය නම් වඩාත් සංවේදී වදන් භාවිතය වන්නේ එය යුද ස්මරණයක් ලෙස හැඳින්වීමයි. යුද්ධයකදී එයට සම්බන්ධිත හැම පාර්ශ්වයක්ම (නිරායුධ සිවිල් ජනයාද ඇතුළුව) බරපතළ හානි ලබනවා. එබඳු පසුබිමෙක එක් පාර්ශ්වයක් ජයග්‍රහණයක් ගැන දිගින් දිගටම කතා කිරීම යුද්ධය හරහා අපේ සමාජයේ හට ගත් අධික ධ්‍රැවීකරණය තව තවත් පුළුල් කිරීමක්.

සමරන්නට ඕනැම නම් ඓතිහාසික පොදු සතුරකුට එරෙහිව සමස්ත ලක් සමාජය ලත් දුෂ්කර ජයග්‍රහණයක් ද තිබෙනවා. වැඩ ප්‍රසිද්ධියකින් හෝ ජන අවධානයකින් තොරව ළඟා වී ඇති මේ ජයග්‍රහණය හරහා මර්දනය කර ඇත්තේ ඉතිහාසය පුරා දස ලක්ෂ ගණනක් අපේ ජනයාට මරු කැඳවූ සතුරෙක්.

කවුද මේ ජන සතුරා? මැලේරියාව.

මැලේරියාවට හේතු කාරක වන්නේ ප්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා ජීවියෙක්. සාමාන්‍යයෙන් මැලේරියා පරපෝෂිතයා නමින් හඳුන්වනවා. ප්ලාස්මෝඩියම් (Plasmodium) නම් ප්‍රොටොසේවාවන් කිහිපයක් මගින් තමයි මානවයන්ට මැලේරියාව ඇති කරන්නේ.

මේ පරපෝෂිතයාගේ ජීවන චක්‍රය නිශ්චිත මදුරු විශේෂ හා මිනිස් දේහය තුළ සිදු වනවා. මැලේරියා වාහකයා වන්නේ ඇනෝෆිලීස් Anopheles මදුරු විශේෂයේ ගැහැනු මදුරුවන්.

Anopheles mosquito
Anopheles mosquito

මැලේරියා රෝගය වසර දහස් ගණනක් තිස්සේ විවිධ රටවල ජනයාට බරපතළ ලෙස බලපා තිබෙනවා. කලක් බලසම්පන්න වූ රෝම අධිරාජ්‍යය ගරා වැටීමට මැලේරියාව ද හේතු වීයැ’යි සමහර  ඉතිහාසඥයන් අනුමාන කරනවා.

ශ්‍රී ලංකාවේද වියළි කලාපයේ සියවස් ගණනක් පැවති ජනාවාස හා රාජධානි ක්‍රමයෙන් අතරමැදි කලාපයට හා ඉනික්බිති තෙත් කලාපයට සංක්‍රමණය වීමට බලපෑ එක් හේතුවක් වූයේ මැලේරියා වසංගත බවට 1921දී එල්. නිකොල්ස් නම් විද්‍යාඥයා මතයක් ඉදිරිපත් කළා.

මේ මතය හැම පර්යේෂයකයාම පිළිගන්නේ නැහැ. මහාවංශය හා චූලවංශය මැලේරියා රෝග ලක්ෂණ සහිත රෝගයක් ගැන කිසිදු සඳහනක් කොට නැහැ. 1988දී ලංකා වෛද්‍ය සඟරාවට නිබන්ධයක් ලියූ ජේ. එස්. එදිරිසිංහ නම් පේරාදෙණිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථීකාචාර්යවරයා කීවේ පොළොන්නරුව රාජධානිය බිඳ වැටී පරිහානියට පත් වීමට මැලේරියාව මුල් වූ බවට සාක්ෂි නැතත්, යළිත් උතුරුමැද පළාතේ රාජධානි බිහි වීම වැළැක් වූ එක් සාධකයක් මැලේරියාව විය හැකි බවයි.

මේ ඓතිහාසික විවාද කෙසේ වෙතත්, 16 වන සියවසේ සිට මෙරට මැලේරියා වසංගත ගැන යම් වාර්තා හමු වනවා. එම නමින් හඳුන්වා නැතත් රෝග ලක්ෂණ සමානයි.

මැලේරියාව ගැන නිශ්චිත හා විස්තරාත්මක වාර්තාවක් මුල් වරට හමු වන්නේ 1867දී බ්‍රිතාන්‍ය පාලන සමයේ.

මැලේරියාව මදුරු විශේෂයක් හරහා බෝවන බව විද්‍යාත්මකව තහවුරු කළේ ඉන්දියාවේ කල්කටාවේ පර්යේෂණ කළ ස්කොට්ලන්ත ජාතික රොනල්ඩ් රොස් විසින් 1898දී. මේ සඳහා ඔහුට 1902 නොබෙල් වෛද්‍ය විද්‍යා ත්‍යාගය පිරිනමනු ලැබුවා.

රෝග කාරකයා හා රෝග වාහකයා නිසි ලෙස හඳුනාගත් පසු රෝග නිවාරණයට පියවර ගැනීම පහසු වුණා. ශ්‍රී ලංකාවේ මුල්ම මැලේරියා මර්දන කේන්ද්‍රය 1911දී පිහිටුවනු ලැබුවා. ඉන් පසු එළැඹි දශක දෙක තුළ මැලේරියා රෝගය වාර්තා කිරීම හා එයට ප්‍රතිකාර කිරීම වඩාත් ක්‍රමවත් වුණා.

Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, by Kalinga Tudor Silva, Orient Black Swan 2014
Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, by Kalinga Tudor Silva, Orient Black Swan 2014

1930 වන විට මැලේරියා මර්දන ඒකකයන් රටේ විවිධ ප්‍රදේශවල පිහිටුවා තිබුණා. එසේ වුවත් 1934/35දී පැතිර ගිය මැලේරියා වසංගතයේදී රෝග තත්ත්වයන් මිලියන් 5ක් වාර්තා වූ අතර 80,000කට අධික ජනතාවක් මියගියා. සමහර ඇස්තමේන්තුවලට අනුව මරණ ගණන ලක්ෂයක් වූවා. (එවකට සිටි ජනගහනයෙන් සියයට 2ක්).

මැලේරියා වසංගතය හා සාගතය අතර සබැඳියාවක් මතු කරමින් මේ ප්‍රශ්නයට දේශපාලන මට්ටමින් ප්‍රතිචාරයක් දැක් වූයේ මුල් යුගයේ මෙරට වාමාංශික නායකයෝයි.

1934-35 මැලේරියා වසංගතයේ එක් ප්‍රතිපත්තිමය ප්‍රතිඵලයක් වූයේ මෙරට සුබසාධක රාජ්‍යයක් (Welfare State) බිහි වීම යයි මැලේරියාව හා සංවර්ධනය ගැන 2014දී පොතක් ලියූ සමාජ විද්‍යාඥ ආචාර්ය කාලිංග ටියුඩර් සිල්වා තර්ක කරනවා. ඉංග්‍රීසියෙන් රචිත ඔහුගේ පොත (Decolonisation, Development and Disease: A Social History of Malaria in Sri Lanka, Kalinga Tudor Silva, Orient Black Swan 2014), මැලේරියාව මෙරට විසිවන සියවසේ සමාජයීය හා දේශපාලනික ප්‍රවාහයන්ට ඍජුව හා වක්‍රව දායක වූ සැටි ගැන කදිම විවරණයක්.

එක් දෙයක් පැහැදිලියි. මැලේරියාව නිදහසෙන් පෙරත්, ඉන් පසුවත් මෙරට ප්‍රධානතම මහජන සෞඛ්‍ය තර්ජනයක්ව පැවතුණා. මැලේරියා වාහක මදුරුවන් මර්දනයට ප්‍රසිද්ධ ස්ථානවලත්, නිවාස හා  DDT කෘමි නාශකය ඉසීම ආරම්භ කළ මුල්ම ආසියානු රට බවට 1945දී ශ්‍රී ලංකාව පත්වුණා.

The Royal Naval School of Malaria and Hygiene Control - War-time spraying of DDT near Colombo, Ceylon, December 1944 – Image Imperial War Museum, UK © IWM (A 28178)
The Royal Naval School of Malaria and Hygiene Control – War-time spraying of DDT near Colombo, Ceylon, December 1944 – Image Imperial War Museum, UK © IWM (A 28178)

DDT රසායනකය ඇති කරන පාරිසරික හානි ගැන පසුව අවබෝධ කොට ගත් නමුත් 1945-1960 වකවානුවේ DDT පුළුල් ලෙස භාවිත නොකළා නම් අපේ රටේ තවත් බොහෝ දෙනකු මැලේරියාව නිසා මියයාමට හෝ රෝගීවීමට හොඳටම ඉඩ තිබුණා. මේ නිසා නිදහසෙන් පසු දශක දෙකක පමණ කාලයේ මෙරට උපන් දරුවන්  “DDT පරම්පරාව” (Sri Lanka’s DDT Generation) ලෙස මා නම් කරනවා. මාත් එයට අයත්.

1946දී මිලියන් දෙක හමාරක් පමණ වූ වාර්ෂික මැලේරියා රෝග තත්ත්ව සංඛ්‍යාව (සමහර රෝගීන්ට යළි යළිත් වැළඳුණු නිසා රෝගීන් සංඛ්‍යාව මීට අඩුයි) 1953 වන විට 91,990ක් දක්වා ශීඝ්‍රයෙන් පහළ ගියා. 1950 දශකය පුරාම තවත් අඩු වූ රෝග තත්ත්ව සංඛ්‍යාව 1963දී 17ක් තරමට කුඩා වුණා.

තුරන් කිරීමේ මුවවිටට ආවත් එය සාර්ථක වූයේ නැහැ. රෝග ආවේක්ෂණය හා නිවාරණ පියවර ලිහිල් වීම නිසා මැලේරියාව යළිත් පැතිරෙන්නට පටන් ගත්තා. 1968 වන විට ලක්ෂ ගණනක් යළිත් රෝග තත්ත්ව වාර්තා වුණා. 1970 හා 1980 දශක මුළුල්ලේම විටින් විට උත්සන්නවීම් සහිතව මැලේරියාව ප්‍රබල සෞඛ්‍ය තර්ජනයක් ලෙස පැවතියා.

සිවිල් යුද්ධය නිසා දිස්ත්‍රික්ක ගණනාවක මැලේරියා මර්දන කටයුතු අඩාලවීම හෝ නතරවීම ද රෝග ව්‍යාප්තියට හේතු වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1999න් පසුවයි. 1999දී තහවුරු කළ මැලේරියා රෝග තත්ත්වයන් 264,549ක් වාර්තා වූ අතර 2002 වන විට එය 41,411 දක්වා අඩු වුණා.

ඓතිහාසික මැලේරියා සතුරාට එරෙහිව ගෙන ගිය දශක ගණනක මහජන සෞඛ්‍ය සංග්‍රාමයේ පෙරමුණේම සිටියේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැලේරියා මර්දන ව්‍යාපාරයයි. ඔවුන්ගේ සහායට මෙරට සමස්ත රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියත්, වෛද්‍ය පර්යේෂකයනුත් පෙළ ගැසුණා.

මුලින්ම ලබා ගත් ජයග්‍රහණය වූයේ මැලේරියාවෙන් මිය යාම වැළැක්වීමයි. 1998දී මෙරට මැලේරියා මරණ 115ක් වාර්තා වූ අතර 2008 වන විට එය බින්දුවට බැස්සා. 2008න් පසු මෙරට දේශීය ජනයා මැලේරියාවෙන් මිය ගොස් නැහැ. ඉඳහිට වාර්තා වූ මැලේරියා මරණ විදේශිකයන්ගේයි.

මැලේරියා මර්දන ව්‍යාපාරයට අනුව 2012 ඔක්තෝබර් මාසයෙන් පසු මෙරට කිසිදු දේශීය මැලේරියා රෝගියෙක් වාර්තා වී නැහැ.

2015 ඔක්තෝබරයට දේශීය මැලේරියා රෝගියකු වාර්තා නොවී වසර තුනක් (මාස 36ක්) සම්පූර්ණ වුණා. ඒ අනුව මෙරටින් මැලේරියාව තුරන් කොට ඇතැයි සහතිකයක් ලබන්නට මේ වසර මුලදී රජය ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) නිල වශයෙන් අයදුම් කළා.

කෘමිනාශක රසායන ඉසීම, කෘමිනාශක ගල්වන ලද මදුරු දැල් ප්‍රචලිත කිරීම, නිරතුරු රෝග ආවේක්ෂණය හා කඩිනම් ප්‍රතිකාර නොමිලේ ලබා දීම මෙන්ම ප්‍රජා සහභාගිත්වය හරහා මදුරුවන් බෝවීම වැළැක්වීමද මේ සංග්‍රාමයේ ජයට හේතු වුණා.

මැලේරියා මර්දන ව්‍යාපාරය මීට දශක ගණනකට පෙර පිහිටුවන ලද්දේ මේ ඓතිහාසික ජන සතුරා මෙරටින් සදහටම අතුගා දමන්නයි. 2012 වන විට මෙය සාක්ෂාත් කර ගත්ත ද ලෝකයේ මැලේරියාව පවතින තුරු එය නැවතත් මෙහි පැමිණීමේ අවදානම තිබෙනවා.

Sri Lanka Anti Malaria Campaign is a public health triumph of our times
Sri Lanka Anti Malaria Campaign is a public health triumph of our times

මේ නිසා මැලේරියාව පිළිබඳ රෝග විනිශ්චය පරීක්ෂණ කිරීම හා සමාජ ආවේක්ෂණය පවත්වා ගැනීම වැදගත්.

මැලේරියාව යළිත් මෙරටට පැමිණීම හා පැතිර යාම ගැන තවත් වසර ගණනක් තිස්සේ අප මහත් විමසිල්ලෙන් හා සූදානමින් සිටිය යුතුයි. මැලේරියා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මෑතදී මාධ්‍යවලට පවසා තිබුණේ මැලේරියා කාරක පරපෝෂිතයා මෙරටින් තුරන් කළත් මැලේරියා වාහක මදුරුවන් ඕනෑ තරම් තවමත් මෙරට සිටින බවයි.

‘විදේශයකදී මැලේරියා පරපෝෂිතයන් රුධිරගත වූ අයෙක් මෙරටට ආවිට ඔහු/ඇයගේ රුධිරය උරා බොන අදාළ මදුරුවකු හරහා නිරෝගී අයට යළිත් මැලේරියාව පැතිර යා හැකියි,’ ඔහු කියනවාග

යමකුට මැලේරියාව ශරීරගත වී ඇත්දැයි කඩිනමින් තහවුරු කර ගැනීමට ක්ෂණික රසායානාගාර පරීක්ෂාවන් කිරීමේ හැකියාව මැලේරියා මර්දන ව්‍යාපාරය සතුයි. එහෙත් මානව හිමිකම් ගරු කරන සමාජයක මේ පරීක්ෂාවන් කිරීමට යැයි බල කිරීමට සෞඛ්‍ය බලධාරීන්ට බැහැ. ඒ සඳහා පෞද්ගලික වගකීම හා ඉදිරිපත් වීම හැම පුරවැසියකුගෙන් හා රටට එන විදේශිකයන්ගෙන් බලාපොරොත්තු වීම පමණයි කළ හැක්කේ.

එසේ මැලේරියාව රුධිරගත වී සිටින ඕනෑම අයකු හඳුනා ගත් විට පුරවැසි හෝ විදේශික තරාතිරම නොබලා වහාම අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට මැලේරියා මර්දන ව්‍යාපාරය සීරුවෙන් සිටිනවා.

නිසි ප්‍රතිකාර හරහා මැලේරියාව සුව කළ හැකියි. මදුරුවන්ගේ විදීමෙන් බේරී සිටියොත් මැලේරියාව බෝවීම වළක්වා ගන්නට ද හැකියි.

විදේශිකයන් මැලේරියාව ගෙනෙනවා යයි ජන භීතියක් ඇති කරන්නට සමහර වෛද්‍යවරුන් මෑතදී ප්‍රකාශයන් කළා. 2016 වසරේ අප්‍රේල් 20 දක්වා කාලයේ මැලේරියාව රුධිරගත වූ 16 දෙනකු හඳුනා ගෙන ප්‍රතිකාර කර තිබෙනවා. එහෙත් මෙයින් විදේශිකයන් වූයේ දෙදෙනකු පමණයි. අන් සියල්ලෝම ලාංකිකයෝ.

කැලණිය සරසවියේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය රාජිත වික්‍රමසිංහ මේ ගැන හොඳ විග්‍රහයක් මෑතදී කළා. විදෙස් ගත වී යළි මවු රට පැමිණෙන ලාංකිකයන් හරහා නොදැනුවත්වම මැලේරියාව යළි මෙහි ඒමට ඇති අවදානම ඔහු සාකච්ඡා කළා.

එහිදී වඩාත්ම එම අවදානමට ලක් වන්නේ මැලේරියාව බහුල රටවලට යන ලාංකික ව්‍යාපාරිකයන්, මැණික් සොයා සමහර අප්‍රිකානු රටවලට යන අපේ මැණික් වෙළඳෙන්, එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතුවලට යන හමුදා නිලධාරීන් හා සොල්දාදුවන් හා කලක් රටින් පිට වාසය කොට නැවත මෙහි එන ලාංකික සරණාගතයන්. මීට අමතරව මෙරටට එන විදෙස් සංචාරකයන් හා ශ්‍රමිකයන් හරහාද මැලේරියාව ආ හැකියි.

Extracted from a May 2016 presentation by Prof Rajitha Wickremasinghe
Extracted from a May 2016 presentation by Prof Rajitha Wickremasinghe

‘මැලේරියාවට නිසි ප්‍රතිකාර තිබෙනවා. ඒවා මැලේරියා මර්දන ව්‍යාපාරය නොමිලයේ ලබාදෙනවා. විදෙස්ගතවී මෙහි පැමිණි පසු උණ ලක්ෂණ පහළ වුවොත් වහාම වෛද්‍යවරයකු හමුවී ඔබ කොහි සිට පැමිණියාද යන්නද හෙළිකරමින් ප්‍රතිකාර පතන්න. මැලේරියා ඖෂධ සියල්ල නියම කරන පරිදි දිගටම ගන්න. ඒ හරහා මේ රෝගය යළි පැතිරීමේ අවදානම අපට අවම කළ හැකියි.’ ඔහු කියනවා.

WHO දත්තවලට අනුව 2015දී ලෝකයේ මැලේරියා රෝග තත්ත්ව මිලියන් 214ක් වාර්තා වුණා. එයින් බහුතරයක් (88%) අප්‍රිකාවේ. ඊළඟට වැඩිම කලාප වන්නේ දකුණු ආසියාව හා අග්නිදග ආසියාවයි (10%). 2015දී ලොව පුරා මැලේරියාවෙන් අවම වශයෙන් 438,000ක් මිය ගියා. මේ නිසා මැලේරියාව තවමත් ලෝක සෞඛ්‍යයට තර්ජනයක්.

මහත් වෙර වෑයමින් මෙරට දේශීය මැලේරියා රෝග තත්ත්ව තුරන් කිරීමට සෞඛ්‍ය සේවාව කර ඇති සේවය ඉහළින් අගය කළ යුතුයි. දැන් අපට ඇති අභියෝගය ශ්‍රී ලංකාව දිගටම මැලේරියාවෙන් තොරව පවත්වා ගැනීමයි.

World Malaria Day poster
World Malaria Day poster

See for details:

Malaria elimination in Sri Lanka: what it would take to reach the goal By Risintha Premaratne,Leonard Ortega, Navaratnasingam Janakan, Kamini N Mendis. WHO South-East Asia Journal of Public Health, January-March 201

On the road to eliminate malaria in Sri Lanka: lessons from history, challenges, gaps in knowledge and research needs, By Nadira D Karunaweera, Gawrie NL Galappaththy and Dyann F Wirth BioMed Journal, 14 Feb 2014

Malaria Control and Elimination in Sri Lanka: Documenting Progress and Success Factors in a Conflict Setting. By Rabindra R. Abeyasinghe, Gawrie N. L. Galappaththy, Cara Smith Gueye, James G. Kahn & Richard G. A. Feachem. PLOS One journal. Published: August 29, 2012

 

සිවුමංසල කොලූගැටයා #268: වකුගඩු රෝගය වාද පිටියක් නොව ජාතික ආපදාවක් ලෙස සලකමු!

Image courtesy - Health Education Bureau
Image courtesy – Health Education Bureau of Sri Lanka

In this week’s Ravaya column (in Sinhala, published in issue dated 15 May 2016),, I revisit a public health emergency that I have been writing about for several years: mass kidney failure for no known reason.

Beginning in the 1990s, thousands of people in Sri Lanka’s Dry Zone – heartland of its rice farming — developed kidney failure without having diabetes or high blood pressure, the common causative factors. Most affected were men aged 30 to 60 years, who worked as farmers. As numbers rose, puzzled doctors and other scientists started probing possible causes for what is now named Chronic Kidney Disease of unknown etiology (abbreviated as CKDu).

CKDu has become a fully fledged humanitarian emergency, affecting thousands of people and their families – most of them subsistence farmers.

Investigating causes of this ailment — still not pinned down to a specific cause or factor — has proven difficult. While scientists follow rigorous scientific methods, some ultra-nationalists and opportunistic politicians are trying to hijack the issue for their own agenda setting. Some journalists have added fuel to the fire with sensationalist reporting and unwarranted fear-mongering.

On 9 May 2016, I moderated High Level Media Dialogue on Chronic Kidney Disease of Unknown Aetiology (CKDu) and Public Health in Colombo. It was organised jointly by the Ministry of Health, Nutrition and Indigenous Medicine; Ministry of Parliamentary Reforms and Mass Media; and theCoordinating Secretariat for Science, Technology and Innovation (COSTI) of the Ministry of Science, Technology and Research.

Three experienced medical professionals joined our conversation: Dr Tilak Abeysekera, Consultant Nephrologist, Nephrology Dialysis and Transplant Unit, General Hospital, Kandy; Dr Palitha Mahipala, Director General, Health Services, Ministry of Health, Nutrition and Indigenous Medicine; and Dr Vinya Ariyaratne, General Secretary of Sarvodaya and consultant community physician.

In this column, I summarise some of the latest scientific analysis and humanitarian issues that were presented during the event.

See also my other writing on the subject (some early ones are updated in this latest Ravaya column):

2 Sep 2012: සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

8 March 2015: සිවුමංසල කොලූගැටයා #210: නිදන්ගත වකුගඩු රෝගයේ ඇත්ත නැත්ත හඳුනා ගනිමු!

18 August 2012: When Worlds Collide #29: Science and Politics of Kidney Disease in Sri Lanka

28 Dec 2013: Don’t exaggerate Lanka’s kidney disease, its discoverer pleads

23 January 2014: SciDev.Net: Going upstream for lasting kidney disease remedies

25 January 2015: Mysterious Kidney Disease in Sri Lanka: Nalaka Gunawardene answers BBC’s questions

15 Feb 2015: Public perceptions of pesticides & how they influence policy: Case of CKDu in Sri Lanka

Dr Vinya Ariyaratne
Dr Vinya Ariyaratne

‘මේ සභාවේ කී දෙනකු නිදන්ගත වකුගඩු රෝගයට ලක් වී ඇත්ද? නැතිනම් ඔබේ පවුලේ සාමාජිකයකු හෝ මිතුරකුට එය වැළඳී ඇත්ද? රෝගයෙන් පෙළෙන කිසිවකු ඔබ හඳුනනවාද?’

සර්වෝදය මහ ලේකම් වෛද්‍ය වින්යා ආරියරත්න මේ ප්‍රශ්න මතු කළේ හේතු හඳුනා නොගත් වකුගඩු රෝගය (Chronic Kidney Disease of uncertain aetiology, CKDu) ගැන මේ සතියේ කොළඹ පැවති මාධ්‍ය සංවාදයකදී. රෝගයට සම්බන්ධ කිසිවකුත් එහි සිටියේ නැහැ.

වියළි කලාපයේ දිස්ත්‍රික්ක 12කින් වාර්තා වී තිබෙන, දහස් ගණනක් අපේම ජනයාට වැළඳී ඇති මේ රෝගය කොළඹ හා බස්නාහිර පළාතේ කේන්ද්‍ර වූ මාධ්‍යවලටත්, අන් අයටත් ග්‍රහණය වීමේ සීමාවන් සිහිපත් කිරීමටයි ඔහුට ඕනෑ වුණේ.

එසේම මාධ්‍ය ආවරණයකින් හා ප්‍රසිද්ධියෙන් තොරව වකුගඩු රෝගීන් හා ඔවුන්ගේ පවුල්වලට උපකාර කිරීමට බොහෝ ස්වේච්ඡා ආයතන, දානපතීන් හා වෙනත් ලාංකිකයන් ඒකරාශි වෙමින් සිටින බවද ඔහු සඳහන් කළා.

ඇත්තටම මේ ජාතික ආපදාවට මීට වඩා පුළුල් හා ප්‍රශස්ත ලෙසින් සමස්ත සමාජයේ අවධානය අවශ්‍යයි.

1990 දශකයේ උතුරුමැද පළාතේ මුල් වරට වාර්තා වූ මේ රෝගයට හේතු කාරක වන නිශ්චිත සාධකයක් තවමත් හඳුනා ගෙන නැහැ. එක විට බොහෝ බලපෑම්වලට හසු වන මිනිස් සිරුරේ, රෝගාබාධයකට තුඩු දෙන තනි සාධකයක් වෙන් කර ගැනීම ඉතා දුෂ්කරයි.

ගෙවී ගිය දශක දෙකකට වැඩි කාලයක් තුළ ජානමය, පාරිසරික හා ජීවන රටා ලෙස කාණ්ඩ කළ හැකි සාධක රැසක් විද්‍යාත්මක විමර්ශනයට ලක්ව තිබෙනවා.

ජීවන රටාව කාණ්ඩය යටතේ දුම්කොළ, මත්පැන් (විශේෂයෙන් කසිප්පු), ජලය ඇති තරම් නොබීම, දැඩි උණුසුමට දිගටම ලක් වීම, එළිමහනේ වැඩ කිරීම ආදිය පර්යේෂකයන්ගේ විමසිල්ලට ලක් වුණා.

පාරිසරික සාධක කාණ්ඩය යටතේ භූගත ජලයේ ස්වාභාවිකවම හමු වන ෆ්ලෝරයිඩ්, වතුරෙහි කැල්සියම් වැනි ඛනිජ ස්වාභාවික මුසු වී තිබීම, මතුපිට ජලයේ බැක්ටීරියා ශ්‍රාවය කරන විස, බැර ලෝහ (කැඩ්මියම්, ආසනික්) ආහාරවල හෝ ජලයේ මුසු වීම ආදිය පර්යේෂණයට ලක්ව තිබෙනවා. මේ සමහරක් එන්නේ කෘෂි රසායනික (පොහොර, කෘමිනාශක, වල්නාශක) හරහා බවට කල්පිතයක් තිබෙනවා.

ජාත්‍යන්තරව පිළිගත් විද්වත් සඟරාවල පළවූ නිබන්ධනවලින් මේ දක්වා මෙවන් කල්පිත 29ක් මතුකර තිබෙනවා. එකක්වත් තහවුරු වී නැහැ.

මෙයට හේතුව එක සාධකයක් නොව සාධක කිහිපයක සංකලනය බවටත් අනුමාන කැරෙනවා.

විද්‍යාවේ ස්වභාවය පියවරෙන් පියවර සාක්ෂි මත පදනම් වී, ආවේගශීලී නොවී දැනුම නිරවුල් කිරීමයි. එහෙත් වකුගඩු රෝගය ගැන සංවාදවලට හා පර්යේෂණ කිරීමට යොමු වී සිටින සමහරුන්ට මෙසේ ක්‍රමානුකූලව ඉදිරියට යාමට ඉවසිල්ලක් නැහැ. ඔවුන් ප්‍රතිපත්ති සම්පාදකයන්ට බල කරන්නේ අනුමාන මත පදනම් වී යම් පියවර ගන්නා ලෙසයි.

ඇත්තටම මෙය මානුෂික ඛේදවාචකයක්. හදිසි ප්‍රතිචාර ද අවශ්‍යයි. මේ රෝගය මතුව ඇත්තේ ශ්‍රී ලංකාවේ පමණක් ද නොවේ. ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේත්, මෙක්සිකෝව, ග්වාතමාලාව, එල්සැල්වදෝරය, නිකරගුවා, හොන්ඩුරාස් හා කොස්ටාරිකා යන ලතින් අමෙරිකානු රටවලත්, ඊජිප්තුවේත් මෙයට සමාන රෝග තත්ත්ව හමු වනවා.

මේ සියළු රටවල සෞඛ්‍ය බලධාරීන්ට තිබෙන ලොකුම අභියෝගය නම් විද්‍යාඥයන් හේතු සාධක සොයන අතරේ තිබෙන දැනුම යොදා ගෙන රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම හා එය හමු වන ප්‍රදේශවල අන් අයට දිය හැකි හොඳම උපදෙස් ලබා දීමයි. ප්‍රසිද්ධියක් නැතිව මෙය පුළුල් ලෙස කැරෙන බව සෞඛ්‍ය සේවා ප්‍රධානීන්ට සවන් දීමෙන් මට වැටහී ගියා.

Dr Tilak Abeysekera
Dr Tilak Abeysekera

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ වකුගඩු රෝග විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර CKDu මුල් වරට හඳුනා ගත්තේ 1990 දශකයේදී. එතැන් පටන් වසර 20කට වැඩි කාලයක් පුරා මේ රෝගය හරිහැටි අවබෝධ කරගන්නට ඔහු තැත් කරනවා.

ඔහු අවධාරණය කරන මූලික කරුණක් නම් සමහර වකුගඩු රෝගීන්ගේ එයට තුඩු දෙන ශාරීරික සාධක හඳුනා ගත හැකි බවයි. මේ සාධක අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනය ප්‍රධානයි. මේ රෝග තත්ත්වයට CKD යයි කියනවා. එහි කිසිදු අබිරහසක් නැහැ.

CKD හරහා වකුගඩු අකරණයට ලක්වන යම් ජන පිරිසක් හැම රටකම හමුවනවා. හඳුනා ගන්නා විට පවතින තත්ත්වය අනුව බෙහෙත් මගින් හෝ රුධිර කාන්දු පෙරීම (dialysis) මගින් හෝ නිරෝගී වකුගඩුවක් බද්ධ කිරීමෙන් හෝ ප්‍රතිකාර කරනවා.

CKD යනු දන්නා ශාරීරික සාධක නැති පුද්ගලයන්ටද වකුගඩු අකරණය හට ගැනීමයි. වෛද්‍ය විද්‍යාව දන්නා සාධකයක් නැති බැවින් ‘හේතු හඳුනා නොගත්’ යයි කියනවා.

මේ රෝගය මුලින් හඳුනාගත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් සමස්තයෙන් 70%ක් CKDu. ඉතිරි 30% හේතු දන්නා වකගුඩු අකරණය CKD. මේ තත්ත්ව දෙක එකට මිශ්‍ර කිරීම හෝ පටලවා ගැනීම හෝ නොකළ යුතු බව වෛද්‍ය අබේසේකර කියනවා.

එසේම CKDu ‘ශීඝ්‍රයෙන් පැතිරෙනවා’ වැනි ප්‍රකාශ කිරීමේදී ද ප්‍රවේශම් විය යුතු යයි ඔහු කියනවා. මෙය රෝගියකුගෙන් තව කෙනෙකුට බෝවන ආකාරයේ රෝගයක් නොවෙයි.

‘අපට හරියටම කිව නොහැකියි මේ රෝගය මුලට වඩා වැඩි දිස්ත්‍රික්ක ගණනකින් හඳුනා ගන්නේ එය වඩාත් දෙනකුට හට ගන්නා නිසාද නැතිනම් වැඩිපුර දෙනකු මෙය හට ගෙන ඇත්දැයි පරීක්ෂාවට ලක් වීම නිසාද කියා. සමහර විට ඇතැම් ප්‍රදේශවල රෝගීන්ද නොදැන මෙය වසර ගණනක් පැවතුණා විය හැකියි.’

CKDu රෝගයේ අදියර 5ක් තිබෙනවා. එයින් මුල් අදියර තුනේදීම රෝගියාට පෙනෙන හෝ දැනෙන රෝග ලක්ෂණ නැහැ. එය සොයා ගත හැක්කේ රුධිර හා මුත්‍රා සාම්පල් රසායනාගාර පරීක්ෂණවලින්  පමණයි.

රෝග ලක්ෂණ පහළවන විට වකුගඩු සෑහෙන පමණට හානි වෙලා. එවිට කළ හැක්කේ බෙහෙත් හා රුධිර කාන්දු පෙරණය හරහා යම් තාක් කාලයක් ජීවත් වීමට රෝගියාට ඉඩ සලසා දීම පමණයි. මෙය පාලනය කරගත හැකි වුවත් සුව කළ හැකි රෝගයක් නොවෙයි.

වකුගඩු රෝගය මාරාන්තිකයිවැනි ප්රකාශ හරහා සමාජය භීතියට පත් නොකරන්න යැයි වෛද් අබේසේකර අයැද සිටිනවා. සුව කළ නොහැකි වුව පාලනය කර ගන්නා දියවැඩියාව වැනි රෝග ගැන සමාජ ආකල්පය මීට වඩා බෙහෙවින් වෙනස්. ඇත්තටම නිරෝගී වකුගඩුවක් බද්ධ කළොත් රෝගියාට දිගු කලක් ජීවත්වීමටද හැකි වනවා.

වකුගඩු රෝගය ගැන මහජනයාගේ හා ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය යොමු කිරීමට මාධ්‍ය වාර්තාකරණය විශාල මෙහෙවරක් කරනවා. එහෙත් සමහර විට මාධ්‍යවේදීන් හෝ පරිසරවේදීන් බලාපොරොත්තු වන මට්ටමේ සරල හා ක්ෂණික විසඳුම් දීම ප්‍රායෝගික නැහැ.

උදාහරණයකට මේ රෝගයට පානීය ජලය සම්බන්ධ යැයි සැක කැරෙනවා. රෝගය පවතින සියලුම දිස්ත්‍රික්කවල සැමට නල ජලය දිය නොහැකිදැයි මාධ්‍ය හමුවේදී එක් මාධ්‍යවේදියෙක් විමසුවා. මේ අතර සියලු කෘෂිරසායන භාවිතය එක් වරම නතර කිරීම සමහර හරිතවේදීන්ගේ දැඩි නිර්දේශයයි.

මේවා ක්‍රියාත්මක කිරීම කෙතරම් දුෂ්කරදැයි ඔවුන් නොදන්නවා ඇති. කෙසේ වෙතත් යහපත් පුරුදු හා පරිසර හිතකාමී ගොවිතැන් ක්‍රමවලට යොමු වීමට මේ රෝගය නිසා හෝ අමතර තල්ලුවක් ලැබේ නම් එය ප්‍රයෝජනවත් අතුරු ඵලයක්. එහෙත් වකුගඩු භීතියක් සමාජගත නොකළ යුතුයි.

ලක් රජය ද සාමාජිකත්වය දරන අන්තර්-රාජ්‍ය සංවිධානයක් වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), CKDu ගැන විශේෂ අවධානයක් යොමු කරනවා. WHO ශ්‍රී ලංකා කාර්යාලයත්, CKDu පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායත් එක්ව මේ ගැන ජාත්‍යන්තර මට්ටමේ විද්වත් වැඩමුළුවක් 2016 අප්‍රේල් 27-29 තෙදින තුළ කොළඹදී පවත්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේත්, ගෝලීයවත් මේ ගැන මතුකරගෙන ඇති දැනුම සමාලෝචනය කිරීම හා ඉදිරි පර්යේෂණ ප්‍රමුඛතා හඳුනා ගැනීම එහි අරමුණු වූවා. එසේම නිශ්චිත රෝග කාරක හඳුනා ගන්නා තුරු කළ හැකි බොහෝ දේ ගැන සාකච්ඡා කිරීමට එය අවස්ථාවක් වුණා.

CKDu වාර්තා වී තිබෙන ආසියානු, අප්‍රිකානු හා ලතින් අමෙරිකානු කලාපවල රටවලින් ආ විද්‍යාඥයන් හා මහජන සෞඛ්‍ය විශේෂඥයන් 54 දෙනකු මෙයට සහභාගි වුණා. වකුගඩු රෝග නිවාරණය හා රෝගීන්ට සුබ සාධනය කරන අතර අක්මුල් සෙවීමේ පර්යේෂණාත්මක ප්‍රයත්න වඩාත් සම්බන්ධීකරණයකින් යුතුව ඉදිරියට ගෙන යන සැටි එහිදී විස්තරාත්මක කතාබහට ලක් වුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය නිකුත් කළ කෙටි පත්‍රිකාවක් ඉල්ලා සිටින්නේ කල් තබා වකුගඩු රෝගය හඳුනා ගැනීම (Screening) සඳහා ළඟම ඇති රෝහලට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට යන ලෙසයි.

වයස 10ට වැඩි සෑම අයකුම අඩු තරමින් වසර තුනකට වරක්වත් මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරගන්නා ලෙසත්, පවුලේ යමෙකුට වකුගඩු රෝගය ඇත් නම් වසරකට වරක් එසේ කරන ලෙසත් එහි උපදෙස් දෙනවා.

එසේම මේ පරීක්ෂාව වකුගඩු රෝගය හමුවන ප්‍රදේශවල ජනයා පමණක් නොව රටේ ඕනෑම තැනෙක වෙසෙන සැමට අදාළ හා වැදගත් බවද වෛද්‍ය උපදේශයයි. මේ පරීක්ෂාවන් රජයේ රෝහල්වලින් නොමිලයේ කරගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා.

රෝහල්වලදීත්, ජංගම සායන හරහාත් රෝගය කල් තබා හඳුනා ගැනීමට උත්සාහ කැරෙනවා. 2014-15 කාලයේ දිවයිනේ දිස්ත්‍රික්ක 13ක 662,684ක් ජනයා රජයේ සෞඛ්‍ය සේවා හරහා මේ පරීක්ෂාව නොමිලයේ ලැබ තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල කියනවා.

Dr Palitha Mahipala
Dr Palitha Mahipala

2016දී වකුගඩු රෝග නිවාරණය සඳහා පමණක් රුපියල් බිලියන් 6.5ක් වෙන් කර ඇති බවත්, රෝගීන්ට කළ හැකි උපරිම ප්‍රතිකාර හා රැක බලා ගැනීම කරන බවත් ඔහු සඳහන් කළා.

රෝගයට හේතු සොයන අතරේ කළ හැකි හා කළ යුතු බොහෝ පියවර තිබෙනවා. වාද පිටියෙන් ඔබ්බට ගොස් මේ නිහඬව කැරෙන මානුෂික මෙහෙයුම් ගැනද මාධ් අවධානය යොමු කළ යුතුයි.

වෛද්‍ය වින්යා ආරියරත්න කියන්නේ මෙයයි: ‘රෝග කාරක හරියටම නිර්ණය කැරෙන තුරු බලා සිටීමට අපට බැහැ. අවශ්‍යත් නැහැ. නිශ්චිත රෝග කාරක සාධකය නොදැන අප ප්‍රතිචාර දක්වන තවත් රෝගාබාධ තිබෙනවා. (පිළිකා හා දියවැඩියාව වැනි). මේ නිසා පර්යේෂණ ඉදිරියට යන අතරේ අප සමාජයක් ලෙස මේ රෝගයෙන් පීඩාවට පත් අපේම සහෝදර ජනයා වෙනුවෙන් පෙළ ගැසෙමු. අපට ඔවුන්ගේ දුක හා දුෂ්කරතා අඩු කරන්නට හැකි අවස්ථා සොයා ඒ ඔස්සේ ඉදිරියට යමු.’

ඔහුගේ අදහස නම් 2004 සුනාමිය වෙරළබඩ බොහෝ ගම් නගරවලට හානි කළ විට රටක් හා සමාජයක් ලෙස එයට අප ප්‍රතිචාර දැක් වූවාට සමාන්තර ආකාරයේ දැවැන්ත කැප වීමක් වකුගඩු රෝගය සම්බන්ධයෙන් ද ඕනෑ බවයි.

Sarvodayya Suvodaya - a resting place for CKDu patients and their families who come to Anuradhapura hospital for treatment
Sarvodayya Suvodaya – a resting place for CKDu patients and their families who come to Anuradhapura hospital for treatment

උතුරුමැද පළාතේ රුධිර කාන්දු පෙරීම සඳහා පැමිණෙන රෝගීන්ගේ භාවිතය පිණිස සර්වෝදය හා මියුසියස් විදුහලේ බාලදක්ෂිකාවන් මෑතදී අනුරාධපුරයේ ඉදි කළ ‘සුවෝදය’ නිවහන ඔහු උදාහරණයක් ලෙස සඳහන් කළා.

මෙවැනි සමාජ සත්කාර අවස්ථා රාශියක් තිබෙනවා. ඒවා හඳුනාගෙන, සංවේදීව හා කාර්යක්ෂමව ප්‍රතිචාර දැක්වීම අවශ්‍යයි.

Sarvodaya Suvodaya in Anuradhapura
Sarvodaya Suvodaya in Anuradhapura

 

සිවුමංසල කොලූගැටයා #267: එදිනෙදා ආරක්ෂාව ගැන අප කෙතරම් සැලකිලිමත්ද?

Safety First!
Safety First!

Two teenaged girls being knocked down and killed by a moving train in Dehiwala on 25 April 2016 shocked the whole of Sri Lanka. This tragic accident could have been avoided if only there was greater safety consciousness in the two girls – and those accompanying them.

The latest tragedy highlights a deeper problem: our glaring lack of safety consciousness as a nation. Everyday, we take too many chances with our lives and limbs.

Many individuals and institutions don’t take simple precautions that can avert accidents and human tragedies. For example, how often do we see a helmet-wearing father riding a motorbike carrying his children without helmets? Or mothers walking their children on the road — with kids going on the side of vehicle movement?

Most of the time, we get away with careless reckless behaviour without repercussions. But sooner or later, luck runs out and tragedy befalls.

In post-war Sri Lanka, traumatic injuries are still the leading cause of public hospital admissions – and not just from road traffic accidents (whose numbers keep rising) or attempted suicides (whose numbers have come down).

In this week’s Ravaya column (appearing in the print issue of 8 May 2016), I call for greater safety consciousness at home, in schools, on the roads and everywhere else.

See also my English op-ed in Sunday Observer, 1 May 2016: Needed, Safety Consciousness!

Safety consciousness needs to be higher in Sri Lanka
Safety first grunge rubber stamp on white, vector illustration

අපරීක්ෂාකාරීව රේල්පාර හරහා ගිය පාසල් සිසුවියන් දෙදෙනකු දෙහිවලදී දුම්රියේ ගැටී මිය යාමේ පුවත පසුගියදා මුළු රටම කම්පාවට පත් කළා.

මේ පුවත අපේ බොහෝ මාධ්‍ය වාර්තා කළ විකාරරූපී ආකාරය සංවේදී මාධ්‍ය ග්‍රාහකයන් තුළ නැවත වරක් මාධ්‍ය ගැන කලකිරීමක් ඇති කළා.

විපතට පත් 19 වියැති සිසුවියන් දෙදෙනාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු, ජීවන රටාව, ඔවුන් සමාජ මාධ්‍යවල මිතුරන් අතර බෙදා ගත් රූප හා ප්‍රකාශයන් හාරා අවුස්සමින් ආවේගශීලී එහෙත් හරසුන් වාර්තාකරණයක් විශේෂයෙන් ටෙලිවිෂන් පුවත් හරහාත්, සමහර පුවත් වෙබ් අඩවි හරහාත් අප දුටුවා. සිසුවියන්ගේ පවුල්වලට හා හිතමිතුරන්ට මේ හදිසි විපත දරා ගන්නට ඉඩ නොතබා මාධ්‍ය කණ්ඩායම් හිතුමතයට මරණ ගෙවල්වලට කඩා වැදුණා.

සිසුවියන් දෙදෙනාගේ අවධානය නිසි ලෙස නොපැවතියේ ඔවුන් ජංගම දුරකතන සම්බන්ධිත හෙඩ්ෆෝන් පැළඳ සිටි නිසා යයි බොහෝ මාධ්‍ය විසින් මුලසිටම වාර්තා කරනු ලැබුවා. අනුමානයක් මත පදනම් වූ මෙය, සමහර සිංහල පත්තරකාරයන් යොදා ගත්තේ මේ ඛේදවාචකයට මුල තාක්ෂණය යැයි තර්ක කිරීමට.

දින කිහිපයකයට පසුව පැවැත් වූ මරණ පරීක්ෂණයේ සාක්ෂි දුන් දුම්රිය රියදුරා එය එසේ නොවූ බව කියා සිටියත්, අනතුරේ වරද සිසුවියන්ගේ කෙළිලොල් ජීවන රටාවට මුළුමනින්ම පැවරීමට තවමත් ගතානුගතිකයන් තැත් කරනවා. සිංහල පත්තර බොහොමයක් කාලීන සිදුවීමක් නිමිත්ත කර ගන්නේ ජන සමාජයට අදාල හා ප්‍රයෝජනවත් විග්‍රහයක් කරන්න නොව තම කුහක පටු මානසිකත්වය ප්‍රවර්ධනය කරන්න. මෙහෙමත් අවස්ථාවදී රොත්තක්!

නිමේෂයකින් සිදුවූ මේ අනතුරට ඇත්තටම දායක වූයේ අනවධානයද වෙනත් සාධකද යන්න අපට හරියටම කිව නොහැකියි. එහෙත් මගතොට ගමන් කරද්දී වඩාත් ප්‍රවේශම්කාරීව සිටීමේ වැදගත්කම හා ජාතියක් ලෙස ජීවිත ආරක්ෂාව ගැන මීට වඩා උනන්දුවීම මේ සිදුවීමෙන් අපට ලද හැකි ලොකුම පාඩමයි.

 30 March 2013: සිවුමංසල කොලූගැටයා #111: ලේ හා කදුඵ වලින් ඔබ්බට මාර්ග අනතුරු ගැන සිතමු!

13 Feb 2013: සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

අනතුරුවලින් මුළුමනින් වැළකී ජීවත් වන්නට බැහැ. මෙතරම් මානවයන් සංඛ්‍යාවක් නොසිටි, තාක්ෂණය දියුණු නොවූ අතීතයේත් විවිධාකාරයේ ආපදා, අනතුරු සිදු වූවා. සමාජයක් ලෙස අපට ඇති අභියෝගය නම් දැනුවත්කම, ප්‍රවේශම්කාරී බව හා ප්‍රතිපත්තිමය මැදිහත්වීම් හරහා අනතුරු වීමේ හැකියාව අවම කර ගැනීමයි. එසේම අනතුරු සිදු වූ විට නිස ප්‍රතිචාර දක්වා ජීවිත බේරා ගැනීමට සූදානමක් පවත්වා ගැනීමයි.

පුද්ගලයන් හා සමාජයක් ලෙස අපේ ජීවිතාරක්ෂාව ගැන අප කෙතරම් සැලකිලිමත්ද?

මේ උදාහරණ සලකා බලන්න.

  • නීතියෙන් අනිවාර්ය කොට ඇති හෙල්මට් පැළඳ ගත් වැඩිහිටියන්, හෙල්මට් කිසිවක් නැති ළමයින් නංවාගෙන මෝටර් සයිකල්වල ගමන් කරනු නිතර දැකිය හැකියි.
  • කුඩා දරුවන් සමග මහපාරේ ගමන් කරන සමහර අම්මලා ඒ දරුවන් රැගෙන යන්නේ පාරේ වාහන ගමන් කරන පැත්තෙන්. එයින් මතු වන අමතර අවදානම ගැන මේ අයට තැකීමක් නැතුවා වගෙයි.
  • නිවස තුළ හා ගෙවත්තේ සිදුවිය හැකි අනතුරුවලින් තමන් හා ළමයින් ආරක්ෂා වීමට සරල ප්‍රවේශම්කාරී පියවර ගත හැකියි. එහෙත් එය නොතකන වැඩිහිටියන් අපට නිතර හමු වනවා. ගින්නෙන්, විදුලියෙන්, වතුරෙන් හෝ රසායනික ශරීර ගතවීමෙන් ඇති වන බොහෝ විපත් සිදු වන්නේ නිවසේදී.
  • ආරක්ෂිත බව තහවුරු වී යැයි අපේක්ෂාව මත අපේ දරුවන් යවන පාසල් සමහරක්ද එතරම් ආරක්ෂිත නැහැ. ලෙහෙසියෙන් වළක්වා ගත හැකි අනතුරුවලින් සමහර දරුවන් පාසලේදීම තුවාල ලබන්නේ, මියයන්නේ මේ හේතුවෙන්. නිසි ප්‍රථමාධාර සූදානම හා කායික පරීක්ෂාවෙන් තොරව ක්‍රීඩා පුහුණුවීම් කිරීමේදී අනතුරට පත් වන පාසල් සිසු සිසුවියන් සංඛ්‍යාව ඉහළයමින් තිබෙනවා.

සිවිල් යුද්ධය අවසන් වී හත් වසරක් ගෙවෙන්නේ මේ මාසයට. සාමය නිල වශයෙන් ස්ථාපිත මේ රටේ මෑත වසර ගණනාවකම රජයේ රෝහල්වල රෝහල්ගත වීම්වලට ප්‍රධානතම හේතු සාධකය වන්නේ තුවාල ලැබීම් (traumatic injuries).

මේ තුවාල ලබන්නේ හුදෙක් අපට නිතර පෙනෙන මාර්ග අනතුරුවලින් පමණක් නොවෙයි. ගෙදර දොරේ, කාර්යාල හා කම්හල්වල සිදු වන අනතුරුද මීට දායක වනවා. එයට අමතරව (සංඛ්‍යාත්මකව යම් පහළ බැසීමක් සිදුව තිබෙන) සියදිවි නසා ගැනීමට තැත් කිරීම්, කලහයන් හා පොලිස් පහරදීම් ආදිය නිසාත් තුවාල ලබන්නෝ රෝහල්ගත වනවා.

වුවමනාවෙන් ඇති කරන ගැටුම් හා පහරදීම්වලට වඩා සං්‍යාත්මකව අති බහුතරයක් අවස්ථාවල අපේ රටේ මරණ සිදුවන්නේ හා තුවාල ලබන්නේ අනපේක්ෂිතව සිදු වන අනතුරුවලින්.

මෙයට හොඳ උදාහරණයක් නම් දියේ ගිලීමෙන් සිදු වන ජීවිත හානි (හා පණ බේරා ගත්ත ද සිදු වන කෙටිකාලීන හා දිගු කාලීන ශරීර හානි.) දූපත්වාසීන් වුවද අපේ බොහෝ දෙනාට පිහිනීමට බැහැ. වැව්, ගංගා හෝ මුහුදේ ස්නානයට ගොස් දියේ ගිලී මිය යන සංඛ්‍යාව වසරකට 900-1000ත් අතර වනවා. අනාරක්ෂිත ළින්වල වැටී තවත් ගණනක් මිය යනවා.

මෙයින් සමහරුන් මිය යන්නේ පිහිනීමට නොදැන ගිලෙන අයකු බේරා ගන්නට වැඩිදුර නොසිතා මැදිහත් වීම හරහායි. ටික වේලාවක් ගිලී සිට බේරා ගත් අයකුට එසැණින් දිය යුතු තීරණාත්මක ප්‍රථමාධාර ගැන පුළුල් ජන අවබෝධයක්ද නැහැ.

3 August 2014: සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?

එසේම මාර්ග අනතුරකදී හෝ නිවසේ/වැඩපොළේ අනතුරකදී තුවාල ලබන්නන් එසවිය යුතු හා රෝහල් වෙත රැගෙන යා යුතු නිසි ආරක්ෂිත ආකාරයන් ගැන දැනුමද සීමිතයි. බේරා ගත හැකි සමහර ජීවිත නැති වන්නේ හෝ තුවාලකරුවන් සදාකාලිකව ආබාධිත වන්නේ මේ නොදැනුවත්කම නිසායි.

මේ සියල්ලෙන් පෙනී යන්නේ සුපරීක්ෂාකාරී ලෙසත්, ප්‍රවේශම් සහගත ලෙසත් එදිනෙදා ජීවන කටයුතු කරගෙන යාම අප බොහෝ දෙනකු සහජයෙන් හෝ නිරායාසයෙන් නොකරන බවයි.

සැබෑ හෝ සිතින් මවා ගත් අවදානම්වලින් ජාතික ආරක්ෂාවට කැරෙන තර්ජන ගැන නිතර දෙවේලේ කතා කරන අපේ මාධ්‍ය, අප සමාජයක් ලෙස පවත්වා ගත යුතු එදිනෙදා ආරක්ෂාව ගැන ඇති තරම් අවධානය යොමු කරන්නේ නැහැ. අනතුරක් සිදුවූ පසු එහි ලේ කඳුළු හැකිතාක් මාධ්‍ය වාර්තාකරණයට යොදා ගන්නවා පමණයි!

Dr Samitha Samanmali
Dr Samitha Samanmali

මහජනයා නිතර ගැවසෙන ස්ථානවල තිබිය යුතු අවම ආරක්ෂාව ගැනවත් අදාළ පොදු හෝ පෞද්ගලික ආයතන පරිපාලකයන් ඇති තරම් සිතන්නේ නැහැ.

2015 වසර මුලදී පුවත් මැවීමට සමත් වූ අධිකරණ තීන්දුවක් වූයේ වෛද්‍ය සමිතා සමන්මලීට රුපියල් මිලියන් 180ක වන්දියක් ගෙවීමට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිපාලකයන්ට නියෝග කරනු ලැබීමයි. 2008 පෙබරවාරියේ එම පරිශ්‍රයේ පැවති මහජන ප්‍රදර්ශනයකදී තාවකාලික ඇටවුමක් හදිසියේ කඩා වැටීම නිසා කොඳු නාරටියට ලත් තුවාල මගින් ඇය සදාකාලිකව රෝද පුටුවකට සීමා කර තිබෙනවා. එහිදී මහජන සුරක්ෂිත බව ගැන ඇති තරම් සැලකිලිමත් නොවීම වන්දිය ප්‍රදානයට හේතුවයි.

මේ තීරණයෙන් පසුව හෝ එවන් ස්ථාන වඩාත් සුරක්ෂිත කිරීමට උත්සාහයන් ගැනේද? මට නම් එබන්දක් තවමත් පෙනෙන්නේ නැහැ.

විශාල වියදමක් දරා ඉදි කැරෙන නවීන සිනමාශාලා හා සාප්පු සංකීර්ණවලත්, තට්ටු නිවාසවලත් (condominium) අනතුරු වළක්වා ගැනීමට අවධානය මදි. හදිසි ගින්නකදී කඩිමුඩියේ ජනයා පිට වීමට පහසුකම් ගැන බොහෝ ගොඩනැගිලිවල නිසි සූදානමක් නැහැ.

තවත් සමහර ගොඩනැගිලිවල ආපදා අවස්ථාවල පිටවීමට තනා තිබෙන හදිසි දොරවල් (Emergency Exits) සිකියුරිටි ගාඩ්ලා ඉබි යතුරු දමා වසා තිබෙනවා. අනවසරයෙන් කිසිවකු ඇතුළු වීම වළක්වන්නටලු!

ළමයින්ට සිදුවන ලිංගික අපචාර හා අපරාධ ගැන අතිශයින් සංවේදී වන හා කම්පා වන අපේ සමාජය, එම ළමුන්ටම වින කළ හැකිඇතැම් විට මරණය පවා ගෙන දිය හැකිවෙනත් උවදුරු ගැන සැලකිල්ල බොහොම මදි.

Dr Wijaya Godakumbura
Dr Wijaya Godakumbura

ආරක්ෂිත කුප්පි ලාම්පුව නිපදවා ප්‍රවර්ධනය කිරීම හරහා ලාංකික ජීවිත සිය ගණනක් බේරා ගත් විශේෂඥ ශල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර මේ ගැන අප දැනුවත් කිරීමට 2012දී පොතක් ද ලියා තිබෙනවා. “අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න” නම් වූ එහි (සරසවි ප්‍රකාශනයක්) පිළිස්සීම්, වැටීම්, සත්ත් සපා කෑම්, දියේ ගිලීම්, වසවිස කැවීම් මෙන්ම මාර්ග අනතුරු ගැනත් පරිච්ඡේද තිබෙනවා.

 22 Sep 2012: සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

වෛද්‍ය ගොඩකුඹුර අනතුරු නිවාරණය තුන් ආකාරයකට වර්ග කරනවා: අනතුරක් මුළුමනින්ම වළක්වා ගැනීම ප‍්‍රාථමික ක‍්‍රියා මාර්ගයයි. යම් හෙයකින් අනතුරක් වූ විට ශාරිරික අනතුරු අවම කිරීම ද්විතීය ක‍්‍රියා මාර්ගයයි (උදා: ආසන පටි හා හෙල්මට් භාවිතය). අනතුරකින් ශාරිරික හානි වූ විට ඵල විපාක අවම කිරීම තෘතීය ක‍්‍රීයා මාර්ගයයි (උදා: ප‍්‍රථමාධාර නොපමාව ප‍්‍රතිකාර දීම, නිසි පුනරුත්ථාපනය).

Cover of Dr Godakumbura's book
Cover of Dr Godakumbura’s book

බෝවන රෝග වළක්වා ගන්නට රජය හා සමාජය දක්වන උනන්දුව අනතුරු වැළැක්වීමට ලැබී නැති බවත්, අනතුරුවලින් ආරක්ෂිත සමාජයක් බිහි කිරීමට අවශ් සියළු තොරතුරු දැනටමත් සෞඛ් හා අනෙකුත් අදාල බලධාරීන් සතුව ඇති බවත් වෛද් ගොඩකුඹුර පෙන්වා දෙනවා.

එදිනෙදා ආරක්ෂාව ගැන සියලු වගකීම රජයට පවරන්නට බැහැ. ප්‍රතිපත්ති, නීති හා රෙගුලාසි මට්ටමින් රාජ්‍යතන්ත්‍රයට කළ හැකි දේ තිබෙනවා. ප්‍රවාහන අමාත්‍යාංශයේ මාර්ග ආරක්ෂාව ගැන ජාතික කවුන්සිලයක්ද, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තුවාල වළක්වා ගැනීමට ජාතික කමිටුවක්ද ක්‍රියාත්මක වනවා.

එහෙත් අවසාන විනිශ්චයේදී අපේ එදිනෙදා සුරක්ෂිත බව ගැන අපට ද විශාල වගකීමක් පැවරෙනවා. දැනුවත්ව සිටීම, අවට පරිසරය ගැන නිසි අවධානය පවත්වා ගැනීම හා අනතුරකදී ක්‍රියා කළ යුතු ආකාරය ගැන අවබෝධයක් තිබීම ඉතා වැදගත්.

යුද්ධයක් නැතත් ජාතික ආරක්ෂාවට තවමත් අතිවිශාල මහජන මුදලක් වැය කරන අපේ රටේ, මහජනයාගේ එදිනෙදා ආරක්ෂාවටත් මීට වැඩි ප්රමුඛතාවක් ඕනෑ!

 

සිවුමංසල කොලූගැටයා #266: තොරතුරු නීතියේ වැඩිම ප‍්‍රයෝජන සාමාන්‍ය පුරවැසියන්ටයි!

In this week’s Ravaya column (appearing in the print issue of 1 May 2016), I return to the topic of Sri Lanka’s new Right to Information (RTI) law that has recently been tabled in Parliament.

Over 15 years in the making, the RTI law is to be debated in June and expected to be adopted with multi-party consensus. The law represents a transformation across government by opening up hitherto closed public information (with certain cleared specified exceptions).

While media can also benefit from RTI, it is primarily a law for ordinary citizens to demand and receive information related to everyday governance (most of it at local levels). For this, citizens need to understand the RTI process and potential benefits. Media can play a major role in explaining RTI law, and promoting its use in many different ways to promote the public interest and to nurture a culture of evidence-based advocacy for good governance and public accountability.

In this column, I look at how RTI can benefit citizens, and share examples from other South Asian countries where even school children are using RTI to solve local level problems that affect their family, school or local community.

RTI Law is like a key that opens government information
RTI Law is like a key that opens government information

වසර 15ක පමණ සිවිල් සමාජ අරගලයකින් පසුව ශ‍්‍රී ලංකාවේ තොරතුරු අයිතිය තහවුරු කැරෙන නව නීතිය කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවේ සභාගත කොට තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ මෙය විවාදයට ගෙන සම්මත වීමට නියමිතයි.

2015 අපේ‍්‍රල් මාසයේ සම්මත වූ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දැනටමත් තොරතුරු දැන ගැනීමේ අයිතිය මෙරට මූලික මානව අයිතියක් ලෙස පිළිගෙන හමාරයි. මේ නීතිය කරන්නේ එය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක‍්‍රමවේදය බිහි කිරීමයි.

එසේම තොරතුරු අයිතියට අදාළ වන්නේ කුමන රාජ්‍ය ආයතන හා කිනම් ආකාරයේ තොරතුරුද, හෙළිදරව් කළ නොහැකි තොරතුරු වර්ග මොනවාද (ව්‍යතිරේක) හා හෙළිදරව් කළ යුතු තොරතුරු නොදී සිටින රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව පුරවැසියන්ට ගත හැකි පරිපාලනමය ක‍්‍රියාමාර්ග මොනවාද ආදිය මේ පනතෙන් විස්තර කැරෙනවා.

මේ කෙටුම්පත භාෂා තුනෙන්ම පාර්ලිමේන්තුවේ වෙබ් අඩවියෙන් බලාගත හැකියි. http://www.parliament.lk/uploads/bills/gbills/english/6007.pdf

මේ හැකියාව තිබියදීත් පනත් කෙටුම්පත නොකියවා අනුමාන හෝ  ඕපාදුප මත පදනම් වී මේ ගැන දුර්මත පතුරු වන අයත් සිටිනවා. (මෑතදී මට දුරකථනයෙන් කතා කළ එක් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙක් ඇසුවේ තොරතුරු පනත මගින් මාධ්‍යවේදීන්ට හා සෙසු පුරවැසියන්ට දඬුවම් දීමට අදහස් කරනවාද කියායි!)

තොරතුරු අයිතිය හා නීතිය ගැන මීට පෙර කිහිප වතාවක් අප මේ තීරු ලිපියේ සාකච්ඡා කළා. යළිත් මේ තේමාවට පිවිසෙන්නේ තවමත් මේ සංකල්පය ලක් සමාජයට ආගන්තුක නිසායි.

ලෝකයේ මුල්ම තොරතුරු නීතිය සම්මත වී 2016ට වසර 250ක් සපිරෙනවා. 1766දී එම නීතිය හඳුන්වා දුන්නේ ස්වීඩනයේ. එදා මෙදාතුර රටවල් 100කට වැඩි ගණනක තොරතුරු නීති සම්මත කරගෙන තිබෙනවා.

අපේ සාර්ක් කලාපයේ තොරතුරු නීතියක් නොමැතිව සිටි එකම රට ශ‍්‍රී ලංකාවයි. ශිෂ්ට සම්පන්න ජන සමාජයකට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය පාලනයකට අත්‍යවශ්‍ය යැයි සැලකෙන මේ නීතිය ප‍්‍රමාද වී හෝ අපට ලැබීම හොඳයි. එහෙත් මේ නීතිය සාර්ථක වන්නේ එය ගැන සමස්ත ජන සමාජයම දැනුවත් හා උද්‍යෝගිමත් වූ විට පමණයි.

බොහෝ නීති පනවන්නේ රජයට යම් ඉලක්ක හා අරමුණු සාක්ෂාත් කර ගන්න. එහෙත් තොරතුරු නීතිය මහජනයා අතට ලැබෙන, ඔවුන් බලාත්මක කළ හැකි නීතියක්.

A009-001(1)

තොරතුරු නීතිය මාධ්‍යවේදීන් සඳහා යයි මතයක් පවතිනවා. හිටපු ජනාධිපතිවරයා වරක් කතුවරුන් අමතමින් කීවේ ‘ඔබට තොරතුරු නීතියක් මොකටද?  ඕනෑ දෙයක් මගෙන් අහන්න’ කියායි!

මාධ්‍යවේදීන්ටද තොරතුරු නීතිය උපකාර වෙතත් තමන්ට අවශ්‍ය සැඟවුණු තොරතුරු සොයා යෑමේ උපක‍්‍රම ඔවුන් සතුව තිබෙනවා. එවැනි ආයතනික හෝ සිවිල් බලයක් නොමැති සාමාන්‍ය පුරවැසියන්ට රාජ්‍ය ආයතන සතු තොරතුරු ඉල්ලා ලබාගන්නට අයිතියක් තහවුරු කරන්නේ තොරතුරු නීතිය මගින්.

මහජන මුදලින් නඩත්තු කැරෙන මහජන සේවයට පිහිටුවා ඇති රාජ්‍ය ආයතනවල ක‍්‍රියාකලාපය විමර්ශනය කිරීමට එම මහජනයාට ඇති අයිතිය තහවුරු කිරීමයි  තොරතුරු නීතිය මගින් කරන්නේ.

ඕනෑම රටක තොරතුරු නීතියක් සාර්ථක වන්නේ එහි තමන්ට තිබෙන ප‍්‍රායෝගික වැදගත්කම හා එය භාවිතය ගැන මහජනයා දැනුවත් වූ තරමටයි.

නීතිඥ ගිහාන් ගුණතිලක 2014දී ලියූ, ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය පළ කළ තොරතුරු නීතිය පිළිබඳ අත්පොතෙහි මේ ප‍්‍රයෝජන උදාහරණ කිහිපයකින් පැහැදිලි කරනවා.

උදාහරණ 1: අපේ නිවෙස ඉදිරියෙන් දිවෙන පාර අබලන් වී තිබූ නිසා එය පිළිසකර කරනු ලබනවා. එහෙත් එහි ප‍්‍රමිතිය හා නිමාව සැක සහිතයි. මේ ගැන පුරවැසියන් ලෙස අපට කුමක් කළ හැකිද?

තොරතුරු අයිතිය යටතේ පාර පිළිසකර කිරීමට අදාළ පළාත් පාලන ආයතනයෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ විමසිය හැකි වනවා. ඒ සඳහා කොපමණ මහජන මුදල් ප‍්‍රතිපාදන වෙන් කළාද, කොන්ත‍්‍රාත් දීමට ටෙන්ඩර් කැඳ වූවාද, වැය කළ මුදල් ද්‍රව්‍යවලට හා වේතනවලට බෙදී ගියේ කෙසේද ආදි සියල්ල හෙළි කිරීමට අදාළ ආයතනයට සිදු වනවා.

බොහෝ විට මේ තොරතුරු පිටු රැසකින් සමන්විත ෆයිල් එකක් විය හැකියි. එය ලද පසු අධ්‍යයනය කොට මහජන මුදල් නිසි ලෙස වැය වී ඇත්ද හා එසේ නැතිනම් ඇයිද යන්න දත හැකියි. මේ දක්වා සැකය හා අනුමානය පදනම් කර ගෙන කළ තර්ක හා චෝදනා මින් පසු තොරතුරු සාක්ෂි මත පදනම්ව කළ හැකි වනවා.

උදාහරණ 2: හැම වසරකම රටේ මහත් ආන්දෝලනයක් ඇතිකරන ක‍්‍රියාදාමයක් නම් රජයේ පාසල්වලට දරුවන් ඇතුළු කර ගැනීමයි. ක‍්‍රමවේදයක් ස්ථාපිත කොට තිබෙත්, නිසි පාරදෘශ්‍යභාවයක් නැති නිසා අක‍්‍රමිකතා හා දුෂණ රැසකට ඉඩ පෑදී තිබෙනවා.

තොරතුරු නීතිය යටතේ මේ ක‍්‍රමවේදය ගැන  ඕනෑම රජයේ පාසලකින් විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමට පුරවැසි අපට හැකි වනවා. දරුවන් ඇතුළු කිරීමට යොදා ගත් නිර්ණායක මොනවාද, ඉල්ලූම් කළ සමස්ත සංඛ්‍යාව අතරින් තෝරා ගත් දරුවන් ඒ නිර්ණායක සියල්ල සපුරා සිටියාද, ප‍්‍රතික්ෂේප කිරීමට නිශ්චිත හේතු මොනවාද ආදි සියලූ තොරතුරු හා තීරණ හෙළි කරන ලෙස තොරතුරු නීතිය යටතේ අපට බල කළ හැකියි.

උදාහරණ 3: ගොවිතැන් වැඩිපුර කරන ප‍්‍රදේශයක ගොවීන්ට ජලය ලබා දීමට නව ඇළ මාර්ග ඉදි කිරීමට මහජන මුදල් වෙන් කැරෙනවා. එය එසේ කළ බවත්, මාධ්‍ය හරහා වාර්තා වනවා. එහෙත් මාස හා වසර ගණනක් ගෙවී ගියත් ඇළ මාර්ග ඉදි වන්නේ නැහැ. කුමක් වූවාදැයි නොදැන ගොවීන් වික්ෂිප්තව සිටිනවා.

තොරතුරු නීතිය යටතේ තව දුරටත් නොදන්නාකමින් හා අවිනිශ්චිත බවින් කල් ගෙවිය යුතු නැහැ. වාරි ඇළ මාර්ග සඳහා වෙන් කළ ප‍්‍රතිපාදනවලට කුමක් වූවාද,  එය වෙනත් දෙයකට යොදා ගත්තාද, නැතිනම් වැය නොකිරීම නිසා යළිත් භාණ්ඩාගාරයට ගියාද, එසේ නම් ඒ සඳහා වගකිව යුත්තේ කවුද ආදි මේ සියල්ල ගැන පරිපාලන තොරතුරු  ඕනැම පුරවැසියකු ඉල්ලා සිටියොත් හෙළි කිරීමට අදාළ රාජ්‍ය ආයතනයට සිදු වනවා. එහිදී තොරතුරු ඉල්ලීම පීඩාවට පත් ගොවීන්ට පමණක් නොව සියලූ පුරවැසියන් සතු අයිතියක්.

උදාහරණ 4: රටේ බහුතරයක් ජනයා සෞඛ්‍ය සේවා සඳහා යන්නේ රජයේ රෝහල්වලට. මහජන මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතියේ අඩුපාඩු තිබෙනවා. වාර්ෂිකව සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අති විශාල මුදලක් වෙන් කළත්, පරිපාලන දුර්වලතා නිසා හැම විටම නිසි ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ.

තමන්ට අදාළ රජයේ රෝහලක කටයුතු සිදු වන ආකාරය ගැන සෑහීමකට පත්විය නොහැකි නම් ආයතනයේ පරිපාලන තොරතුරු ඉල්ලීමට නව නීතිය යටතේ පුරවැසියන්ට අයිතියක් ලැබෙනවා.

බෙහෙත් හිඟය, රෝග විනිශ්චයට උපකාර වන පරීක්ෂණ පහසුකම් ක‍්‍රියාත්මක නොවීම, වෛද්‍යවරුන් අනුයුක්ත නොකිරීම ආදි  ඕනෑම කරුණක් ගැන අනුමාන හා සැකයක් මත පදනම් වී චෝදනා කරනු වෙනුවට සැබෑ තොරතුරු ලබා ගෙන, ඒවා විමර්ශනය කොට වඩාත් නිවැරදි නිගමනවලට එළැඹීමට හැකි වනවා.

තවත් උදාහරණ  ඕනෑ තරම් අපට පරිකල්පනය කළ හැකියි.

Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka
Cartoon by Awantha Artigala, Daily Mirror newspaper Sri Lanka

රජයේ ආයතනයක ඇති වන පුරප්පාඩු පිරවීමේදී නිසි ක‍්‍රමවේදයක් අනුගමනය කළාද කියා දැන ගැනීමට එම තනතුරුවලට ඉල්ලූම් කළ, එහෙත් නොලද  ඕනෑම කෙනකුට හැකි වනවා. පොලිසිය සමග කැරෙන ගනුදෙනුවලදී දැනට වඩා පාරදෘශ්‍ය වීමට පොලිස් තන්ත‍්‍රයට තොරතුරු නීති හරහා බල කළ හැකියි.

තොරතුරු ඉල්ලා සිටින මහජනයා නොතකා සිටීමට හෝ අනවශ්‍ය ලෙස කල් දමමින් රස්තියාදු කිරීමට ඇති අවකාශ ඇහිරීම අලූතෙන් පිහිටුවීමට නියමිත තොරතුරු කොමිසමේ වගකීමයි. ව්‍යතිරේකවලට සම්බන්ධ නොවූ වෙනත්  ඕනෑම තොරතුරක් නොදී සිටින (මධ්‍යම, පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමේ) රාජ්‍ය ආයතන ගැන මෙකී තොරතුරු කොමිසමට පැමිණිලි කළ හැකි වනවා.

තොරතුරු නීතිය මෙවලමක් කර ගෙන යහපාලනය ඉල්ලා සිටීම පුරවැසි අප සැමගේ යුතුකමක් හා වගකීමක්.

තොරතුරු නීතිය ප‍්‍රාන්ත මට්ටමින් 1990 දශකයේ මැද භාගයේ පටන්ද ජාතික මට්ටමින් 2005 සිටද ක‍්‍රියාත්මක වන ඉන්දියාවේ එම නීතිවලින් වැඩිපුරම ප‍්‍රයෝජන ගන්නේ සාමාන්‍ය පුරවැසියෝ. මාධ්‍ය හෝ සිවිල් සංවිධානවලට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන්.

තොරතුරු අයිතිය බාල මහලූ, උගත් නූගත් හැම පුරවැසියෙකුටම හිමි වන්නක්. ඡන්ද බලය මෙන් යම් වයස් සීමාවකින් ඔබ්බට ගිය පසු ලැබෙන්නක් නොවෙයි.

foi-laws

ඉන්දියාවේ පාසල් සිසුන් හා ළාබාල දරුවන් පවා තොරතුරු නීතියෙන් ප‍්‍රයෝජන ගන්නවා. මේ ගැන රසවත් උදාහරණයක් ගිය වසරේ වාර්තා වුණා.

දකුණු ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරට සමීප නිසාමාබාද් දිස්ත‍්‍රික්කයේ වයස 10-12 අතර පාසල් සිසුන් තොරතුරු නීතිය යටතේ මහජන තොරතුරු ඉල්ලා අවස්ථා හතරකදී සාර්ථකව එය ලබා ගත්තා.

දස හැවිරිදි මනෝජ්ට තිබූ ප‍්‍රශ්නය බීඩි එතීමේ නිරත වූ මව්පියන්ගේ දරුවන්ට කම්කරු දෙපාර්තමේන්තුව දෙන ඉන්දියානු රුපියල් 1,000ක වාර්ෂික ශිෂ්‍යාධාරය නොලැබීමයි. මව්පියන් සුසුම් හෙළමින් සිටින අතර මනෝ්ජ් මේ අසාධාරණයට අදාළ තොරතුරු ඉල්ලා කම්කරු දෙපාර්තමේන්තුවට ගියා. මෙයින් කලබලයට පත් කම්කරු නිලධාරීන් ශිෂ්‍යාධාර හිඟ මුදල් ලබා දී ප‍්‍රමාදයට හේතු දක්වන ලියුමක් ද මේ දරුවාට යැව්වා.

මෙයින් දිරිමත් වූ මනෝජ් තම ප‍්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා එය ලබා ගත්තා. එයද තොරතුරු නීතිය යටතේයි.

මේ දෙස බලා සිටි ඔහුගේ පාසල් සගයෝ වෙනස් ප‍්‍රශ්න ගැන තොරතුරු ඉල්ලීම් ගොනු කරන්න පටන් ගත්තා. කවීතා නම් ළාබාල දැරිය තම ගමට හරියට බස් සේවාවක් නොතිබීමට හේතු විමසා සිටියා. අදාළ නිලධාරීන් ප‍්‍රතිචාර නොදැක් වූ විට ඇය තොරතුරු නීති ඉල්ලීමක් ගොනු කළා.

ප‍්‍රාන්ත රජයට හිමි බස් සමාගම මුලින් කීවේ එම මාර්ගයේ බස් ධාවනය පාඩු ලබන බවයි. එහෙත් දැරිය ඉල්ලූ තොරතුරුවලින් එය එසේ නොවන බව ගම්වාසීන්ට පෙනී ගියා. අන්තිමේදී බස් සේවය නැවත ස්ථාපිත කිරීමට රාජ්‍ය බස් සමාගමට සිදු වුණා. මේ නිසා ඒ ගමින් අවට පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවුණා.

මෙවන් උදාහරණ විශාල ගණනක් ගෙවී ගිය දශකයේ ඉන්දියාවෙන් වාර්තාගතයි. අපට වඩා සාක්ෂරතාවෙන් අඩු ඉන්දීය මහජනයා මෙතරම් නිර්මාණශීලීව හා ධෛර්යමත්ව තොරතුරු නීතිය තම ප‍්‍රශ්න විසඳීමට යොදා ගන්නා සැටි තොරතුරු නීතිය ලැබීමට ආසන්න ලක් සමාජයට මාහැඟි ආදර්ශයක්.

සිවුමංසල කොලූගැටයා #265: 21 සියවසට තවමත් නොපිවිසි අපේ ටෙලිනාට්‍ය කර්මාන්තය

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

A popular TV programme genre in Sri Lanka that is being mass produced on the cheap is tele-dramas or television serials. Therein lies a problem: the local tele-drama industry is trapped in a vicious circle of low budgets and low production values. An estimated 5,000 to 6,000 Lankans who earn their living from this industry – as actors, script writers, directors and technical crew – are desperately searching for ways to break free.

So far, many have opted for the protectionist path. The Tele Makers Guild (TeleMG, http://telenisasl.org), an industry alliance, has been lobbying for the taxing of imported tele-dramas. They claim these are flooding the local market and undercutting their business.

In this week’s Ravaya column (appearing in the print issue of 24 April 2016), I discuss problems and challenges facing the tele-drama production industry of Sri Lanka.

As a viewer, I am opposed to cultural protectionism because it reduces my choice. So when TeleMG invited me as keynote speaker at their annual meeting held in early April, I urged them pursue the path of professionalism instead. Their big challenge, I said, is to make better shows with the existing budgets. That requires lots of creativity and resourcefulness.

I have written on this topic in English here:

Protectionism or professionalism: Choice for teledrama industry

(Echelon magazine, May 2016 issue)

See also related columns:

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

 13 Feb 2012: සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

 5 October 2014: සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

ටෙලිවිෂන් මාධ්‍යයට ලැදි මා ටෙලිවිෂන් නරඹන්නේ (අනුපිළිවෙළින්) සරල රසවින්දනයට හා කාලීන තොරතුරු දැන ගැනීමට. මේ අවශ්‍යතා සපුරාලන  ඕනෑම දෙස් විදෙස් නාලිකාවක් මා නරඹනවා. විදෙස් ගත වන විට නොතේරෙන භාෂාවලින් පවා සිත් ගන්නා සුලූ ටෙලිවිෂන් වැඩසටහන් බලනවා.

Tele Makers Guild of Sri Lanka - logo
Tele Makers Guild of Sri Lanka – logo

ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය (ටෙලිනිස) සිය 22 වන සංවත්සර සභාවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීමට අපේ‍්‍රල් මස මුලදී මට ඇරයුම් කළා.

ඇරයුම් කළ පිරිසගේ තාවකාලික ප‍්‍රමෝදයට හේතු වන උද්්‍යාගපාඨ හෝ සටන් පාඨ කියා ඔවුන් අබියස වීරයකු වීම මගේ සිරිත නොවෙයි. ඒ නිසා මේ කර්මාන්තය ගැන කෙටියෙන් මුත් අවංක විග‍්‍රහයක් කිරීමට මා තැත් කළා. එදා කී දේ හා කියන්නට වේලාව මදි වූ දේ අද ලිපියෙන් මා බෙදා ගන්නට කැමතියි.

ශ‍්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රය සමස්තයක් ලෙස විචාරයක් කිරීමට තරම් පර්යේෂණාත්මක දැනුමක් මට නැහැ. එහෙත් දේශීයව නිර්මාණය වන ටෙලිවිෂන් අන්තර්ගතය රස විඳීමට කැමති, බොහෝ විට එම අපේක්ෂා ඉටු නොවීමේ අත්දැකීම සතු ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයකු ලෙසයි මා අදහස් දැක්වූයේ.

ටෙලිඩ‍්‍රාමා හා ටෙලිප්ලේ යන ඉංග‍්‍රීසි යෙදුම් ද සැලකිල්ලට ගෙන ‘ටෙලිනාට්‍ය’ වචනය බිහි කළේ එම ක්ෂේත‍්‍රයේ පුරෝගාමියකු වූ ධම්ම ජාගොඩයි. 1980 හා 1990 දශකවලදී ටෙලිනාට්‍ය මෙරට වඩාත්ම ජනප‍්‍රිය වැඩසටහන් ගණය බවට පත්වූවා. එයට දායක වුණේ කතා රසයෙන්, රංගනයෙන් හා නිෂ්පාදන ගුණාංගවලින් උසස් වූ ප‍්‍රසාංගික හා ඒකාංගික ටෙලිනාට්‍ය ගණනාවක්.

ශීඝරයෙන් වෙනස් වන ජන සමාජයක ආකල්ප හා රසඥතාව විවිධාකාරයි. මීට පරම්පරාවකට පෙර මෙන් එකම අච්චුවේ නිර්මාණ  ඕනෑ එකක් බාර ගන්නට අද පේරක්ෂකයන් සූදානම් නැහැ.

එසේම වාණිජකරණය ද අත්මිදිය නොහැකි ලෙස ටෙලිවිෂන් කර්මාන්තය පුරා විහිද පවතිනවා. පේ‍්‍රක්ෂකයන්ට නොමිලයේ බලන්නට විකාශ කරන නාලිකා සිය වියදම සම්පාදනය කරගන්නේ දැන්වීම් හා අනුග‍්‍රාහකයන් හරහා.

ඇන්ටෙනාවකින් හසු කරගත හැකි ජාතික මට්ටමේ (දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට පෙනෙන) ටෙලිවිෂන් නාලිකා දුසිමකට වඩා (භාෂා 3න්ම) මෙරට තිබෙනවා. මේ අතරින් සිංහලෙන් නිෂ්පාදිත හෝ සිංහලට හඬ කැවූ හෝ ටෙලිනාට්‍ය පෙන්වන නාලිකා 9ක් පමණ වනවා.

මේ සියල්ලම හසු කර ගත්තද තමන්ට රසවිඳීමට හැකි තරමේ ටෙලිනාට්‍ය තව දුරටත් බිහි වන්නේ නැතැයි මැසිවිල්ලක් සංවේදී පේ‍්‍රක්ෂකයන් අතරින් මතු වනවා. නාලිකා ගණන වැඩි වූවත්, ටෙලිනාට්‍ය පෙන්වන ගුවන් කාලය ඉහළ ගියත් පේ‍්‍රක්ෂකයන්ට ලැබෙන විවිධත්වය හා ගුණාත්මකබව දියුණු වී නැත්තේ ඇයි?

Image from www.freepress.net

දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයට වින කරන සාධක මොනවාද? ටෙලිනිස සභාපති අනුර මාධව ජයසේකර ප‍්‍රධාන සාධක තුනක් සඳහන් කරනවා.

  1. කේබල් ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් ^YouTube& හරහා විකල්ප රසාස්වාදන අවස්ථා පේ‍්‍රක්ෂකයන්ට මතුව ඒම.
  1. සිංහලෙන් හඬ කැවූ විදෙස් ටෙලිනාට්‍ය බොහෝ නාලිකාවල විකාශය වීම හා පේ‍්‍රක්ෂකයන් ඒවාට ආකර්ෂණය වීම.
  1. දේශීයව නිපදවන ටෙලිනාට්‍යවලට අසාධාරණ අඩු මිලක් ගෙවීමට රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ටෙලිවිෂන් නාලිකා ගෙන යන ප‍්‍රතිපත්තිය.

තාක්ෂණයේ ප‍්‍රගමනය හා ගෝලීයකරණයට එරෙහිව කළ හැකි කිසිවක් නැහැ. විශේෂයෙන් තරුණ පරපුර නව සන්නිවේදන තාක්ෂණයට ලැදියි. ඔවුන් ඒ හරහා විදෙස් සිනමා හා ටෙලි නිර්මාණ නරඹනවා. ඒවායේ ආභාසයද ලබනවා. එසේම ටිකෙන් ටික තමන්ගේම නිර්මාණද වෙබ්ගත කරනවා.

මේ ප‍්‍රවණතාව තවමත් මුල් අදියරේ පැවතියත් ටෙලිවිෂන් නාලිකා මුළුමනින්ම නොතකා කෙළින්ම YouTube වෙත තම නිර්මාණ මුදාහරින ලාංකිකයන් සිටිනවා.

ඒ අතර ගප්පියා (www.youtube.com/user/gappiya) yd JehanR (www.youtube.com/user/jehanr) වැනි අය මේ වන විට පේ‍්‍රක්ෂක ජනාදරය දිනා ගෙන සිටිනවා.

විදෙස් නාට්‍ය මෙහි පැමිණීම හා හඬ කවා විකාශය වීම ගැන පේ‍්‍රක්ෂකයකු ලෙස මා සතුටුයි. මෙය අද ඊයේ නොව 1980 ගණන්වල ටයිටස් තොටවත්තයන් ඇරඹූ සම්ප‍්‍රදායක්.

විශ්ව සාහිත්‍ය කෘතීන් පරිවර්තන හරහා හෝ හඳුනා ගැනීම හොඳ නම් විදෙස් ටෙලිනාට්‍ය හඬ කවා මෙරට පෙන්වීමේ වරදක් ඇත්ද? මෙය තර්ක කළ හැකි කරුණක්. නමුත් චාරයක්, සීමාවක් නැතිව හඬ කැවීම් කිරීම දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයටත්, පේ‍්‍රක්ෂකයාටත් අහිතකරයි.

ටෙලිවිෂන් නාලිකා කියන්නේ හඬ කැවූ විදෙස් නාට්‍ය වඩාත් ජනප‍්‍රිය බවයි. මෙය මැනීමට භාවිත කරන ටෙලිවිෂන් තක්සේරු ක‍්‍රම (TV Ratings) දෙකක් මෙරට තිබෙනවා. ඒ දෙකෙහිම පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් නැහැ.

විදෙස් නාට්‍යවලට පේ‍්‍රක්ෂකයන් ලැදිවීම තේරුම් ගත හැකියි. ඉන්දියාව හා කොරියාව වැනි රටවල වැඩි වියදමක් දරා වඩා ඉහළ නිෂ්පාදන මට්ටමකින් නිම කරන ටෙලිනාට්‍ය සමග ඍජුව තරග කරන්නට දේශීය ටෙලිනාට්‍යවලට බැහැ.

දේශීය ටෙලිනාට්‍ය එක් අංගයකට (විනාඩි 20-22) නාලිකා විසින් ගෙවන ගණන රු. 90,000 සිට 200,000ක් පමණ වනවා. බහුතරයක් නාට්‍යවලට ගෙවන්නේ පරාසයේ අඩුම ගණනයි. නාලිකා කළමනාකරුවන් කියන්නේ ටෙලිනාට්‍ය බොහොමයක් තත්ත්වයෙන් බාල නිසා මීට වඩා ගෙවිය නොහැකි බවයි.

මෙකී නොකී සාධක රැසක් නිසා ටෙලිනාට්‍ය කර්මාන්තය එක තැන පල් වෙමින් තිබෙනවා. කර්මාන්තයේ පූර්ණ කාලීනව හෝ අර්ධ කාලීනව නිරත වන 5,000ක් පමණ දෙනාගේ ජීවිකාවට මේ සංකීර්ණ ප‍්‍රශ්න ඍජුවම බලපානවා.

පේ‍්‍රක්ෂකයන් ලෙස අප මේ ගැන සානුකම්පිත විය යුතුයි. එසේ වුවද ප‍්‍රශ්නයට විසඳුම් යථාර්ථවාදී හා ප‍්‍රායෝගික වීම වැදගත්.

ටෙලිනිස ඉල්ලීම මත විදෙස් චිත‍්‍රපට ටෙලිනාට්‍ය හා ටෙලි දැන්වීම් සඳහා ආනයන බද්දක් 2006දී පසුගිය රජය හඳුන්වා දුන්නා. වැඩිම බදු පැනවුණේ ඉන්දියාවෙන් එන නිර්මාණවලටයි. පසුව (දෙමළ ජාතික මන්ත‍්‍රීවරුන්ගේ ඉල්ලීම නිසා) ආනයනිත දෙමළ වැඩසටහන්වල බද්ද ඉවත් කරනු ලැබුවා.

මෙය ආරක්ෂණවාදී (Protectionist) බද්දක්. ලක් රජයද අත්සන් කර තිබෙන ලෝක වෙළඳ සම්මුතීන්ට පටහැනි පියවරක්. එසේම :2015දී මේ බද්ද අහෝසි කරන තුරු) මේ බදු හරහා 2006-2014 කාලය තුළ ටෙලිවිෂන් නාලිකාවලින් රුපියල් බිලියනයකට වඩා රජය එකතු කළ බවට අනුමාන කැරෙනවා.

මේ මුදල් දේශීය සිනමා හා ටෙලිනාට්‍ය කර්මාන්තවලට යොමු කිරීමේ අරමුණක් තිබුණා. එහෙත් හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ රන්මිණිතැන්න නම් ටෙලි සිනමා ගම්මානයක් ඉදි කිරීම හැරුණු විට මේ මුදල් කෙසේ වැය කළාදැයි පැහැදිලි වගවීමක් නැහැ.

බදු පනවා තරගකාරීත්වය යම් තරමකට හෝ අවහිර කළද දේශීය ටෙලිනාට්‍ය කර්මාන්තයේ නිෂ්පාදනවල සැලකිය යුතු ගුණාත්මක දියුණුවක් දක්නට නැහැ.

Somaweera Senanayake
Somaweera Senanayake

ටෙලිනාට්‍ය කර්මාන්තය බරපතළ සෝදාපාළුවකට ලක්ව ඇති බව ක්ෂේත‍්‍රයේම ප‍්‍රවීණයන් පිළි ගන්නවා. සම්මානලාභී නවකතාකරු හා ටෙලිනාට්‍ය තිර රචක සෝමවීර සේනානායක ටෙලිනිස පුවත් සඟරාවේ කියන පරිදි ”ඉතා කෙටි කාලයක් තුළ නිර්මාණශීලී ගුණයෙන්ද දේශීයත්වයෙන්ද ජනප‍්‍රියත්වයෙන්ද ඉහළ තලයකට පැමිණි සිංහල ටෙලිනාට්‍ය කලාව නිකම්ම නිකම් ටෙලි බවට පත් වූයේ කෙසේද? එකල අප සාකච්ඡා කළේ ටෙලිනාට්‍යයක් නිර්මාණය කිරීම ගැනය. අද සමහරුන් සාකච්ඡා කරනුයේ ටෙලියක් ගහන ආකාරය ගැනය. මෙම ටෙලි ගැහිල්ලත්, කඩය ඉදිරිපිට කුණු කාණුව අසල කොත්තු රොටි ගැහිල්ලත් අතර වෙනසක් නැත.”

ඔහු මෙයට එක් ප‍්‍රධාන හේතුවක් ලෙස දකින්නේ කලාවක් නොව කර්මාන්තයක් බවට පත්වීමයි. එහෙත් වෙනත් රටවල සිනමා හා ටෙලි කලාවන් කර්මාන්ත ලෙස ද තුලනයක් සහිතව පවතිනවා.

වාණිජ්‍යත්වය පැවතියද බටහිර රටවල් අප රටේ තරම් ඔවුන්ගේ ටෙලිනාට්‍ය කලාව විනාශ කොට නැති බව සේනානායකයන්ද පිළිගන්නවා. එයට හේතුව? එම රටවල පේ‍්‍රක්ෂක සංවිධාන හා පාරිභෝගික සංවිධාන බලවත් නිසා. ඔහේ  ඕනෑ දෙයක් හදලා පෙන්වන්න බැහැ! මහජන මතය ප්‍රබලව මතු වනවාග

සම්මානනීය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට‍්‍රම් නිහාල් 2003දී දිනමිණ සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී මෙසේ කීවා. ”වර්තමානයේ කලාවක් විදිහට නම් ටෙලිනාට්‍ය ප‍්‍රචලිත වෙලා නැහැ. මාධ්‍ය භාවිතයේ අසංතුලනය හා අනුචිතභාවය නිසා ටෙලිනාට්‍ය කලාවේ ගුණාත්මක නියෝජනය ක‍්‍රමයෙන් ඈත් වන බවක් නම් පෙනෙනවා. අපට පූර්ණ කලා නිර්මාණයක් කරන්න බැරි වුවත් රූපවාහිනි මාධ්‍යයේ තිබෙන සීමාවලින් උපරිම ප‍්‍රයෝජන ගත හැකියි.”

Bertram Nihal asks: where is professionalism in Sri Lanka's teledrama industry?
Bertram Nihal asks: where is professionalism in Sri Lanka’s teledrama industry?

ටෙලිනිස උදක්ම ඉල්ලා සිටින්නේ රාජ්‍ය මැදිහත් වීමක්. රාජ්‍ය පාලනය යටතේ පවතින රූපවාහිනී හා ෂඔභ නාලිකා ප‍්‍රමිතියක් සහිත ටෙලිනාට්‍ය බිහි කිරීමට උදවු උපකාර කළ යුතු බව ඔවුන්ගේ අදහසයි.

එහෙත් දිගු කලක් තිස්සේ අනවශ්‍ය ලෙස දේශපාලන පත්වීම් ලබා දුන් අයගෙන් කාර්ය මණ්ඩල අතිරික්තයක් ඇති වී තිබෙන මේ ආයතන දෙකෙහි මාස්පතා පඩි ගෙවා ගැනීමේ දැවැන්ත අභියෝගයක් තිබෙනවා. ඒ නිසා හොඳ දේ ප‍්‍රවර්ධනය කරනු වෙනුවට ජනප‍්‍රිය වැඩසටහන්ම පෙන්වා දැන්වීම් ආදායම උපරිම කරගන්නට මේ ආයතන ද්විත්වයට සිදුව තිබෙනවා. මෙය ලෙහෙසියෙන් ලෙහාගත හැකි ගැටයක් නොවෙයි.

රාජ්‍ය-කේන්ද්‍රීය මානසිකත්වයට නතු වී සිටිනු වෙනුවට තම ක්ෂේත‍්‍රයේ වෘත්තීයභාවය වැඩි කිරීමට ටෙලිනිස ඇතුළු ටෙලි කර්මාන්තයේ සියලූදෙනා දැනට වඩා ඇප කැපවිය යුතුයි. මේ ගැන එම ක්ෂේත‍්‍රයේ මීට වඩා සංවාද හා පෙළගැසීම් අවශ්‍යයි.

ටෙලිනාට්‍ය මෙන්ම සමස්ත ටෙලිවිෂන් කර්මාන්තයේම වෘත්තීයභාවය අඩුවීමට හේතු ගණනාවක් තිබෙනවා. පුහුණු ශ‍්‍රමයේ හිඟයක් හා හරිහැටි පුහුණුව ලබා ගැනීමේ දුෂ්කරතා රැසක් පවතිනවා. නොයෙක් පාඨමාලා ඇතත් ප‍්‍රමිතියක් නැහැ. එකිනෙකා පරයා අඩු මුදලට වැඩ කිරීමට යාම (under-cutting) නිසා කර්මාන්තයේම වෘත්තීය ප‍්‍රමිතීන් හෑල්ලූ වෙලා.

අද මේ ක්ෂේත්‍රයේ ඉන්නා බහුතරයක් ටෙලිනිර්මාණකරුවෝද නැතිනම් ටෙලි කම්කරුවෝද යන ප‍්‍රශ්නය නොකැමැත්තෙන් වුවද මතු කළ යුතුයි. (මේ වචනය මහාචාර්ය තිස්ස කාරියවසම් මුලින්ම යොදා ගත් බව මගේ වැටහීමයි.)

බර්ට‍්‍රම් නිහාල් කියන්නේ ටෙලි කර්මාන්තයේ වෘත්තීයභාවය ඉහළ දැමීමට සාමූහික හා දිගු කාලීන ප්රයත්නයක් නොගෙන අන් කුමක් කළත් එතරම් රතිඵල නොලැබෙනු ඇති බවයි.

මගේ මතය ක්ෂේතරය තුළ පවතින විසමතා හා අඩුපාඩු හදා නොගෙන තරගකාරී විදෙස් නිර්මාණවලට ආරක්ෂණවාදී බදු ඉල්ලා සිටීම හෝ මෙගා නාට්යවලට සීමා පැනවීම තාවකාලික, පැලැස්තර රතිකර්ම පමණක් බවයි.

ටෙලිනාට්‍ය යනු හුදෙක් නළු නිළියන් හා අධ්‍යක්ෂවරුන් පමණක් නොවෙයි. ප‍්‍රශස්ත නිර්මාණයකට දායක වන ශිල්පීන් වර්ග රාශියක් සිටිනවා. කර්මාන්තයක් ලෙස දියුණු වීමට නම් කතා පිටපත් රචකයන්, කැමරා ශිල්පීන්, හඬ ශිල්පීන්, වීඩියෝ සංස්කාරකයන්, වේශ නිරූපණ ශිල්පීන්, සංගීත ශිල්පීන්, කලා අධ්‍යක්ෂවරුන් වැනි බොහෝ මට්ටම්වල කුසලතා වර්ධනය විය යුතුයි.

කතා රචකයන් උදාහරණයකට ගනිමු. ටෙලිනාට්‍ය නිෂ්පාදනය දියුණු ජපානය, කොරියාව, දකුණු අප‍්‍රිකාව වැනි රටවල එහි විශේෂඥභාවය බොහෝ ඉදිරියට ගොස් තිබෙනවා.

යම් කතාවක සැකිල්ල හා වස්තුව (story plot) නිර්මාණය කරන්නා බොහෝ විට දෙබස් ලියන්නේ නැහැ. දෙබස් රචනයටම සමත් ශිල්පීන් සමග සාමූහිකව පිටපත ලියනවා.

අපේ ටෙලිනාට්‍යවල කතා රචනය බොහෝ විට පටු සමාජ දැක්මකට කොටු වෙලා. 1970 හා 1980 සමාජ යථාර්ථයන්ගෙන් ඔබ්බට යා නොහැකිව එක තැන පල් වනවා. ඔවුන්ට අනුව ගම සදාකාලිකවම සුන්දරයි. නගරය දරුණුයි. විවෘත ආර්ථිකය බිහිසුණුයි. ධනවතුන් සියල්ලෝම පාපතරයෝ. මේවැනි සරල ලඝු කිරීම් අපේ ටෙලිනාට්‍යවල බහුලයි.

ටෙලිනාට්‍ය රචකයන් අතර කාන්තාවන් කීදෙනකු සිටිනවාද? තිරයේ පෙනෙන නාමාවලිවලට අනුව නම් ඉතා සුළු පිරිසක්. මේ පසුබිම තුළ කාන්තා ප‍්‍රශ්න අපේක්ෂා හා සිතුම් පැතුම් ටෙලිනාට්‍යවල මතු වන්නේ පුරුෂ දෘෂ්ටි කෝණයක් හරහායි. මෙයද ටෙලිනාට්‍යවල වෘත්තීය බව සීමා කරනවා.

අපේ උපහාසාත්මක ටෙලිනාට්‍ය පවතින්නේද පහත් මට්ටමක. පේ‍්‍රක්ෂකයා හිනස්සන්න, කිති කවන්න හැකි සියුම් ක‍්‍රම  ඕනෑ තරම් තිබෙනවා. එහෙත් අප බොහෝ විට දකින්නේ ගොරහැඬි, ග‍්‍රාම්‍ය මට්ටමේ හාස්‍යය මිස සංවේදී හා තියුණු උපහාසය නොවෙයි. ව්‍යාංගාර්ථ, අපහාසයන් හා කුණු රසය නම් එමට තිබෙනවා.

ටෙලිනාට් කර්මාන්තයට මේ සිදු වෙමින් පවතින්නේ චිත්රකතාවලට අත් වූ ඉරණමට සමාන හිරු බැස යාමක්ද?

චිත‍්‍රකතා මාධ්‍යය දේශීයකරණය වී පාඨකයන්ගේ සිත්වල දිගු කල් රැුඳුණු කතා රැසක් 1960 දශකයේ බිහි වූවා මෙන්ම මුල් වටයේ නැවුම් හා නිර්මානශීලී ටෙලිනාට්‍ය රැල්ලත් අප කුල්මත් කළා. එහෙත් අධික වාණිජකරණය නිසා චිත‍්‍රකතා කර්මාන්තය ඇද වැටුණු පරිදිම ටෙලිවිෂන් නාලිකා හසුරුවන්නන්ගේ හා ඇතැම් නිෂ්පාදකයන්ගේ ගිජුබව නිසා ටෙලිනාට්‍ය කර්මාන්තයද අර්බුදයකට ලක්ව තිබෙනවා.

16 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ටෙලිනාට්‍ය කර්මාන්තය ප‍්‍රමාද වී හෝ 21 සියවසට පිවිසීම වැදගත්. අතීතකාමය හා අතීත උන්මාදය හරහා නව්‍යකරණය කරන්න නොහැකියි. එසේ නොකරන තාක් කල් පේ‍්‍රක්ෂක අපට සිදු වන්නේ දුරස්ථ පාලකයෙන් අපේ අමනාපය පළ කිරීම පමණයි!

සිවුමංසල කොලූගැටයා #264: පිටසක්වල ජීවීන්ගේ උදව්වෙන් රාවණා යළි අවදි වෙයිද?

In this week’s Ravaya column (appearing in the print issue of 10 April 2016), I return to the topic of pseudoscience — a claim, belief, or practice presented as scientific, but which does not adhere to the scientific method.

Pseudoscience is often characterized by contradictory, exaggerated or unprovable claims; over-reliance on confirmation rather than rigorous attempts at refutation; lack of openness to evaluation by other experts in the field; and absence of systematic practices when rationally developing theories.

American astronomer Carl Sagan (1934 – 1996) was at the forefront in promoting science for its sense of wonder and also for countering pseudoscience. As he used to say, “Our species needs, and deserves, a citizenry with minds wide awake and a basic understanding of how the world works.”

Sri Lanka has its share of pseudoscience, sometimes dressed up in politically correct ‘clothes’ of indigenous knowledge. Even many educated persons uncritically believe in pseudoscientific claims and practices.

As an example, I cite a currently fashionable pursuit of the Sinhalese community: going in search of archaeological ‘evidence’ for a mythical king of Lanka named Ravana (who is only a character in the Indian epic, Ramayana – but some people take it literally).

I argue that believing in Ravana after reading Ramayana is akin to believing in alien abductions and other modern mysteries after watching X-Files TV series.

Beware of pseudoscience in Sri Lanka, says Nalaka Gunawardene
Beware of pseudoscience in Sri Lanka, says Nalaka Gunawardene

ඕනෑකමින්ම මෙවැනි මාතෘකාවක් මා යොදා ගත්තේ මේ දිනවල අපේ සමාජය කිති කවන, මුලා කරන මිථ්‍යා විශ්වාසයක් හෑල්ලූ කිරීමට.

රාවණා යයි රජකු ප‍්‍රාග්ඓතිහාසිකව මෙරට සිටියායැ’යි තහවුරු කිරීමට සාහිත්‍යයෙන්, ශිලා ලිපිවලින් හෝ පුරා විද්‍යාත්මකව කිසිදු සාක්ෂියක් නැහැ. භාරතීය ප‍්‍රබන්ධයක් තම මූලාශ‍්‍රය කර ගෙන, එයත් විකෘති කොට දේශීයත්වයක් ආරෝපණය කර තනා ගත් ජනප‍්‍රිය විශ්වාසයක් පමණයි රාවණා කියන්නේ.

‘සංස්කෘතික රාජ්‍ය අමාත්‍යාංශය රාවණා රජුගේ වතගොත සොයයි’ මැයෙන් 2015 ජූලි මස පළ වූ පුවතකට ප‍්‍රතිචාර දැක්වූ හෑගොඩ විපස්සී හිමි කීවේ ‘මෙය ථෙරවාද බුදුදහම විනාශ කිරීමට අටවන ලද පඹගාලක්’ බවයි. දැන් එම පඹගාලේ ඇමතිවරුන් පවා පැටලී ඇතැ’යි එහිමියන් අදාළ රාජ්‍ය ඇමතිට ලියූ ලිපියක කියා සිටියා.

රාවණාගෙන් පියවරක් ආපස්සට ගනිමු. මෙවැනි ජනප‍්‍රිය විශ්වාසයන්ට ශාස්ත‍්‍රීය පදනමක් හා විද්‍යාත්මක මුහුණුවරක් දීම දැන් විලාසිතාවක් බවට පත්වෙලා. එයට ව්‍යාජ විද්‍යායැ’යි කියනවා (pseudoscience)

ව්‍යාජ විද්‍යාව යනු බැලූ බැල්මට විද්‍යාත්මක යයි මතුපිට පෙනීමක් දෙන්නට තැත් කරන, එහෙත් (විද්‍යාවේ සැබෑ මූලික පදනම වන) තර්කානුකූල හා විචාරශීලී පදනමක් කිසිසේත්ම නැති මුලා කිරීමක්.

‘යථාර්ථය සමග සසඳන විට අපේ වත්මන් විද්‍යාත්මක දැනුම ප‍්‍රාථමිකයි හා සීමිතයි. එහෙත් එය අප ශිෂ්ටාචාරය සතු මාහැඟිම සම්පතයි.’ මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් එසේ කීවා. අසම්පූර්ණ වූ දැනුමක් සහිත විද්‍යාව ටිකෙන් ටික භෞතික ලෝකය ගැන මානවයන් සතු අවබෝධය පුළුල් කරනවා. එහෙත් එයට හැම දෙයක්ම පහදාදීමේ හැකියාවක් (මේ දක්වා) නැහැ.

එය ටිකෙන් ටික මග සොයා යා යුතු චින්තන චාරිකාවක්. අයාලේ නොගොස් හරි මගෙහි කෙමෙන් ඉදිරියට යන්නට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබා දෙන්නේ විද්‍යාත්මක ක‍්‍රමය මගින්. එහි මූලික හරය නම්  ඕනෑම සිදුවීමක් හෝ ප‍්‍රපංචයක් නිරීක්ෂණ හා කල්පිත හරහා ගවේෂණාත්මකව විමසා බලා පමණක් නිගමනවලට එළැඹෙන්න යන්නයි. (මෙයට සමාන්තර චින්තනයක් සමහර සාමයික ඉගැන්වීම්වල ද හමු වනවා.)

මේ ක‍්‍රමයෙන් පියවරෙන් පියවර ඉදිරියට යනවා වෙනුවට ඉක්මනින්, කෙටි මාර්ග හෙවත් ෂෝට්කට්වලින් අප ගෙන යෑමට හා සියලූ පිළිතුරු ඉක්මනින් ලබා දෙන්නට ඇතැමුන් පෙරට එනවා. සමහරවිට විද්‍යාත්මක පෙනුමක් ද සහිතව මතු වන මේවා ව්‍යාජ විද්‍යාවන් බව අපි සිහි තබා ගත යුතුයි.

ව්‍යාජ විද්‍යාවන්ගේ පැතිරීම හා ඒවායින් ජන සමාජයට කරන දිගුකාලීන හානිය ගැන දැඩි අවධානයක් යොමු කළ අයකු නම් අමෙරිකානු තාරකා විද්‍යාඥ හා විද්‍යා සන්නිවේදක ආචාර්ය කාල් සේගන් (Carl Sagan, 1934-1996).

Carl Sagan: A voice of reason in our times
Carl Sagan: A voice of reason in our times

ඔහුගේ ජීවිතයේ අවසාන දශකයක පමණ කාලයක් වැඩිපුරම කැප කළේ විද්‍යාවේ නාමයෙන් පෙනී සිටිමින් අහිංසක ජනයා (සමහරවිට රජයන් පවා) මුලා කරමින් බඩ වඩා ගත් ව්‍යාජ විද්‍යා වංචනිකයන් හෙළිදරව් කිරීමටයි. මේ ගැන හොඳ සමාජ විද්‍යාත්මක හා මනෝවිද්‍යාත්මක විග‍්‍රහයක් ඔහු ලියූ අවසන් පොත වූ ‘භූතයන් පිරුණු ලෝකය’ (The Demon Haunted World, 1996) තුළ හමු වනවා.

එහි ප‍්‍රවේශයේදී ඔහු මෙසේ කියනවා: ‘සැබෑ විද්‍යාව පදනම් වී ඇත්තේ සැම දෙයක්ම ප‍්‍රශ්න කිරීම හා තහවුරු කිරීමකින් තොරව කිසිවක් පිළි නොගැනීම මතයි. මේ සංශයවාදී බව (scepticism) සමාජයේ බොහෝ දෙනකුට දිරවා ගන්නට අමාරුයි. ඔවුන්ට  ඕනෑ වී ඇත්තේ සියලූ තතු පහදා දෙන, අවිනිශ්චිත බවින් තොර හා සිතේ කුකුස එසැනින් සංසිඳුවන ආකාරයේ ක‍්‍රමවේදයක්. ව්‍යාජ විද්‍යාකරුවන් අමතන්නේ මේ මානසිකත්වයටයි.’

මිථ්‍යා විශ්වාස සහ ව්‍යාජ විද්‍යාව අතර ඥාති සබඳතාවක් ඇති බවත්, එසේ වුවත් මිථ්‍යාවලට වඩා ‘සම්භාව්‍ය’ හා ගරු ගාම්භීර පෙනුමක් ඇතිව සමාජගතවීමට ව්‍යාජ විද්‍යා සමත් බවත් සේගන් පෙන්වා දුන්නා.

‘ඇත්තටම කෙතරම් අපූරුද පිටසක්වල ජීවීන් සොයමින් අප මෙතරම් වෙහෙස වනවා වෙනුවට ඔවුන්ට බුරුතු පිටින් අපේ ලෝකයට ඇවිත් හැංගිමුත්තන් කරනවා නම්? නොඑසේ නම් සිහින හරහා අපේ අනාගතය ගැන අනාවැකි කියනවා නම්? පාරඓන්ද්‍රීය චිත්ත බලවේග හරහා අපේ එදිනෙදා වැඩ කරගත හැකි නම්? ඒත් මේ සියල්ල විද්‍යාවේ සළුපිලි කිහිපයක් දවටා ගත් ව්‍යාජ විද්‍යාවන්ට උදාහරණයි. ඒවායේ තිබෙන සංත‍්‍රාසමය ආකර්ෂණය නිසා බොහෝ දෙනා එයට ඇදී යනවා.’ සේගන් පැවසුවා.

මෙකී නොකී සංසිද්ධීන් ගැන බොහෝ කලෙක සිට මානව සමාජයේ කුතුහලයක් පවතිනවා. සැබෑ විද්‍යාව මේවා ගැන පර්යේෂණ කරන්නේ සූක්ෂ්ම ලෙස සාක්ෂි සොයා යෑමෙන්. එය කල් ගත වන, වෙහෙසකර ව්‍යායාමයක්.

මේ අතර ඉක්මන් හා ලාබදායක ත‍්‍රිල් සොයන්නෝ ව්‍යාජ විද්‍යාවන්ට හසු වනවා. ව්‍යාජ විද්‍යා දැඩි ලෙස සාක්ෂි හා තර්කානුකූල වීම ඉල්ලා සිටින්නේ නැහැ. ව්‍යාජ විද්‍යා පතුරවන්නෝ ඇදහිලි හෝ අනුමාන මත ඒවා පිළිගන්නට යැ’යි දක්ෂ ලෙස ඇවිලිටි කරනවා.

ව්‍යාජ විද්‍යා දශක ගණනාවක් තිස්සේ ලොව පැවතියත් මෑත කාලයේ ඒවා මහත් සේ ප‍්‍රචලිත වූයේ ජනමාධ්‍ය නිසා බව සේගන් පෙන්වා දෙනවා.

‘පත්තර, රේඩියෝ හා ටෙලිවිෂන්වලට බොහෝ විට  ඕනෑ තාවකාලික ප‍්‍රමෝදයක් ලබා දිය හැකි සැහැල්ලූ තොරතුරුයි. ව්‍යාජ විද්‍යාවන්ගේ සරල විග‍්‍රහයන් හා කුමන්ත‍්‍රණවාදී කතා මාධ්‍යවලට යසට ගැළපෙනවා. මේ නිසා දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ ව්‍යාජ විද්‍යා ව්‍යාප්තියේ ලොකුම හවුල්කරුවන් බවට මාධ්‍ය පත්ව සිටිනවායැ’යි සේගන් පහදා දෙනවා.

ව්‍යාජ විද්‍යාවන්ගේ ව්‍යාප්තියට ජනප‍්‍රිය සංස්කෘතිය ද බොහෝ සේ දායක වී තිබෙනවා. හොලිවුඞ්, බොලිවුඞ් හා වෙනත් සම්ප‍්‍රදායන්ගේ වෘතාන්ත චිත‍්‍රපටත්, විවිධ රටවල නිපදවන නාට්‍යමය ටෙලිවිෂන් වැඩසටහනුත් ව්‍යාජ විද්‍යා සංකල්ප හරහා ඩොලර් කෝටි ගණන් ආදායම් උපදවාගෙන තිබෙනවා.

අප මේ කතා කරන්නේ සම්භාව්‍ය ගණයේ විද්‍යා ප‍්‍රබන්ධ කතා හා චිත‍්‍රපට ගැන නොව අභව්‍ය ගණයේ, ෆැන්ටසි ආකාරයේ නිර්මාණ ගැනයි. ලොව පුරා ජනප‍්‍රිය වූ X-Files වැඩසටහන්මාලා මේ දෙවැනි ගණයට වැටෙනවා.

1993-2002 වකවානුවේ මේ වැඩසටහන් 202ක් නිපදවන ලද අතර වසර 13ක නිහැඬියාවකින් පසු 2016 ජනවාරියේ නැවතත් අලූතින් නිපදවීම අරඹා තිබෙනවා.

X Files: For True Believers only?

X-Files ආරම්භ වූ කාලයේ ඒ ගැන සේගන් කළ තක්සේරුව මෙයයි. ‘සංශයවාදී හා විචාරශීලී ලෙසින් අද්භූත හා අසාමාන සිදුවීම් විමර්ශනය කරනවායැ’යි පෙන්වූවත් ඇත්තටම X-Files කතා මාලාව කරන්නේ එයට ප‍්‍රතිවිරුද්ධ දෙයක්. එනම් අභව්‍ය සිදුවීම් හා පිටසක්වල ජීවී සබඳතා ගැන අමෙරිකානු සමාජයේ ප‍්‍රචලිත ජනප‍්‍රිය විශ්වාස තවත් තහවුරු කිරීම හා මේවා වසන් කිරීමට රාජ්‍ය මට්ටමේ කුමන්ත‍්‍රණයක් ඇති බව පේ‍්‍රක්ෂකයන්ට ඒත්තු ගැන්වීමයි. මෙය කිසිසේත් විද්‍යාත්මකව යමක් ගවේෂණය කිරීම නොවෙයි.’

X-Files කතා සඳහා කැමැත්තක් අපේ පේ‍්‍රක්ෂකයන් අතර ද තිබෙනවා. ඒවායේ කතා රසය ඉහළයි. ප‍්‍රබන්ධ හැටියට විනෝදය ලබාදීමේ විභවය ඉමහත්. ඒවා නරඹන්නට මාත් කැමතියි. මේවා හුදෙක් ප‍්‍රබන්ධ මිස සත්‍ය ගවේෂණයක් නොවන බව සිහිතබා ගන්නවා නම් එහි වරදක් නැහැ.

එහෙත් X-Filesවලින් දුටු දේ තම ‘සාක්ෂි’ ලෙස ගනිමින් අභව්‍ය සිදුවීම් ගැන දිගින් දිගට තර්ක කරන සමහරුන් මා දැක තිබෙනවා.

රාවණා ප‍්‍රවාදයන් ගැන කීමට ඇත්තේද එයයි. භාරතීය මහා කාව්‍යයක් වන රාමායණය කතාවක් ලෙස රස විඳීම හා එය දේශීය ලෙස හැඩගසා ගැනීම වරදක් නොවෙයි. (රාමායණය මුල් කෘතියේ දුෂ්ටයකු ලෙස නිරූපණය කැරෙන රාවණා රජු, ලාංකික සමහරුන්ට වීරයෙක්.)

එහෙත් රබන්ධයක එන චරිතයක් සැබෑ කොට ගනිමින් එය සනාථ කිරීමටපුරාවිද්යා සාක්ෂි සොයා යෑම හා අවිචාරශීලී ලෙස තර්ක කිරීම එක්තරා ආකාරයක ව්යාජ විද්යාවක් හා ස්වයංමුලාවක් පමණයි. X-Files විශ්වාස කරන අය හා රාවණා අදහන්නන් අතර වෙනසක් නැහැ!

Image by Sajeewa Wijeweera
Image by Sajeewa Wijeweera

ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන සජීව විජේවීර මෑතදී මේ ගැන ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා තැබුවා.

“රාවණ යනු අමු මිත්‍යාවකි.  රාවණට ඇතැයි කියන ඔළු ගෙඩි ගානට අං තට්ටු මේ මෝඩයන්ගේ හිස මත සවිකළ යුතුය. රාවණ කතා පුවත හා සම්බන්ධ නම් ගම් ඇතැයි කියන සෑම තැනකටම ගියෙමි. මග හැරුනා නම් ඒ එකක් දෙකක් වැනි සුලු සංඛ්‍යාවක් පමණක් විය යුතුය. වසර 14ක ගවේෂණයන්ගේ ප්‍රතිඵලය වූයේ රාවණ කතාව මිත්‍යාවක් බව දැන ගැනීමයි.”

“රාවණ සිටියායැයි කියන යුගයේ අපේ මුතුන් මිත්තෝ ජීවත් වූයේ ගල් යුගයේය. මේ ඇත්ත තේරුම් ගනිමු. එය තේරුම් නොගත්ත ද කමක් නැත. මානසික රෝගී කාන්තාවන් සමග ගොස් ජනතාව ගොනාට අන්දවා මිත්‍යාව වපුරුවමින් ප්‍රසිද්ධය සොයා යන්න එපා යැයි වගකීමෙන් මාධ්‍ය මෙහෙය වනවා යැයි කියන ආයතන වලින් අපි ඉල්ලා සිටිමු.”

ඔහුගේ විග්‍රහය මා ඉත සිතින් පිළි ගන්නවා.

රාවණා, පිටසක්වල ජීවීන්, භූත ආත්මයන් හෝ වෙන ඕනැම දෙයක් ගැන තනි තනිව විශ්වාස කිරීමේ පුද්ගල නිදහස සමාජයේ තිබෙනවා. එහෙත් මේවා ගැන ‘විද්‍යාත්මක’ මුහුණුවරකින් කතා කරමින් ජන සමාජය නොමග යැවීම දක්වා එම නිදහස පැතිරෙන්නේ නැහැ. ව්‍යාජ විද්‍යාවන් තලූ මරමින් සමාජගත කරන ජනමාධ්‍ය කරන්නේ මාධ්‍ය ආචාර ධර්ම ඉක්මවා යාමක්.

මේ ප්රබන්ධ නැති වුණාට අසිරිමත් ලෙස විග්රහ කළ හැකි පැරණි උරුමයන් ඕනැ තරම් මෙරට තිබෙනවාග ඉතා හොඳින් පුරාවිද්යාත්මකව තහවුරු වූ වාස්තු විද්යාත්මක, ලෝහ විද්යාත්මක හා වාරිකර්මාන්ත හපන්කම් තිබෙනවාමේවා පෙන්නුම් කරන්නේ අපේ පැරැන්නන් සතු වූ තාක්ෂනික හැකියාවන්.

එතකොට පිටසක්වල ජීවීන් මෙහි එන්නෙත් නැද්ද?

පිටසක්වල ජීවය පැවතිය හැකි බවත්, හිතකර පරිසරයක් හා පරිනාමීය සාධක ඇති ඇතැම් ග‍්‍රහලෝකවල බුද්ධිමත් ජීවින් බිහිව සිටිය හැකි යයි අද බහුතරයක් විද්‍යාඥයෝ පිළි ගන්නවා. එහෙත් තවමත් මේ පිළිබඳ තිරසාර සාක්‍ෂියක් නැහැ.

මේ ගවේෂණ හා ඒවායේ බුද්ධිමය පදනම හරවත් හා රසවත්. එහෙත් ඒවා ඉදිරිපත් කරද්දී ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබන්ධ වන X-Files වැනි ප‍්‍රභවයන්ගේ හමු වන මතවාදයන්ද එකතු කළොත් මුලූ සන්නිවේදනයම ව්‍යාජ විද්‍යාත්මක වනවා.

ඉතින් අභව්‍ය හා පරිකල්පනීය දේවල් ටිකක් මාධ්‍ය සන්නිවේදනවලට එකතු කිරීම ඔය කියන තරම් වරදක්ද?

පුවත්පත්, සඟරා, රේඩියෝ, ටෙලිවිෂන් හෝ ඉන්ටර්නෙට් හරහා (නාට්‍යමය නොවන) සන්නිවේදන කරන විට ව්‍යාජ විද්‍යා සංකල්ප එකතු කිරීම හරියට ආහාර පිසින විට කෘත‍්‍රිම රසකාරක යොදන්නා වගේ. අජිනොමොටෝ ඇතුළු රසකාරක අපේ රටේ හෝටල් හා අවන්හල්වල ප‍්‍රමිතියකින් තොරව බහුලව යොදනවා. ඒ වෙලාවට කෑම රසය තීව‍්‍ර කළත් මේ රසකාරක දිගු කාලීනව අපේ ශරීරයට අහිතකරයි.

ව්යාජ විද්යා එකතු කිරීම් මෙයට සමානයි. තාවකාලික සන්තරාසයක්, රමෝදයක් හෝ කුතුහලය ඇවිස්සීමක් කළත් දිගු කාලීනව මේවා අපේ තර්කන ශක්තිය හා විචාර බුද්ධිය මොට කරනවාඑබන්දක් සිදු වන බව බොහෝ දෙනාට දැනෙන්නේ නැහැ

රාවණා හා X-Filesවලින් ඇරැඹුණු මානසික හානිය කල් ගත වූ විට නතර වන්නේ දේශපාලනික අවස්ථාවාදීන් කියන  ඕනෑම ප‍්‍රබන්ධයක්, ප‍්‍රලාපයක් ද ගෙඩිපිටින් පිළි ගන්නා ජන සමාජයක් බිහි වීමෙන්.

ඔලමොට්ටල සමාජයක් හා ඡන්දදායක පිරිසක් මෙරට බිහි වනු දැකීමට කැමති කවුද?

Science is more than a body of knowledge...
Science is more than a body of knowledge…

සිවුමංසල කොලූගැටයා #263: ගරු සරු නැති විවෘත සංවාද අවකාශයක් අවශ්‍ය ඇයි?

Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016
Nalaka Gunawardene (left) & Ajith Perakum Jayasinghe at Nelum Yaya Blog awards for 2015, held on 26 March 2016

In this week’s Ravaya column (appearing in the print issue of 3 April 2016), I probe why the blogosphere and other social media platforms are vital for public discourse in the Lankan context.

Sri Lanka’s mainstream media does not serve as an adequate platform for wide-ranging public discussion and debate. Besides being divided along ethnic and political lines, the media is also burdened by self-imposed restrictions where most don’t critique certain social institutions. Among the top-ranked ‘sacred cows’ are the armed forces and clergy (especially Buddhist clergy).

No such “no-go areas” for bloggers, tweeps and Facebookers. New media platforms have provided a space where irreverence can thrive: a healthy democracy badly needs such expression. I base this column partly on my remarks at the second Nelum Yaya Blog Awards ceremony held on 26 March 2016.

I also refer to a landmark ruling in March 2015, where the Supreme Court of India struck down a “draconian” law that allowed police to arrest people for comments on social media networks and other websites.

India’s apex court ruled that Section 66A of the Information Technology Act was unconstitutional in its entirety, and the definition of offences under the provision was “open-ended and undefined”.

The provision carried a punishment of up to three years in jail. Since its adoption in 2008, several people have been arrested for their comments on Facebook or Twitter. The law was challenged in a public interest litigation case by a law student after two young women were arrested in November 2012 in Mumbai for comments on Facebook following the death of a politician.

Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 - Photo by Pasan B Weerasinghe
Speaker Karu Janasuriya presents Lifetime Award to Nalaka Gunawardene at Nelum Yaya Blog Awards on 26 March 2016 – Photo by Pasan B Weerasinghe

මගේ මාධ්‍ය ගුරුවරයා වූ ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් නිතර දුන් ඔවදනක් වූයේ  ඕනෑම කාලීන ප‍්‍රශ්නයක හෝ සංවාදයක සමීප දසුන මෙන්ම දුර රූපය හෙවත් සුවිසල් චිත‍්‍රය (Bigger Picture) ද විමසා බලන්න කියායි.

බොහෝ එදිනෙදා අරගල හා මත ගැටුම්වලට පසුබිම් වන ඓතිහාසික සාධක හා දිගුකාලීන ප‍්‍රවාහයන් තිබෙනවා. ඒවා හඳුනා ගැනීම හරහා වත්මන් සිදුවීම් වඩාත් හොඳින් අවබෝධ කර ගත හැකියි.

අපේ සමාජයේ ගතාතනුගතිකත්වය හා නූතනත්වය අතරත්, වැඩවසම් අධිපතිවාදය හා සමානාත්මතාව අතරත් නොනවතින අරගලයක් පවතිනවා.

මෙය හුදෙක් දේශපාලනමය හෝ පන්ති අතර ගැටුමක් පමණක් නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමය, වෘත්තීන් මෙන්ම ජන මාධ්‍ය ක්ෂේත‍්‍රය ආදී බොහෝ තැන්හිදී එය විවිධාකාරයෙන් අපට හමු වනවා.

ඓතිහාසිකව වරප‍්‍රසාද භුක්ති විඳින සමාජ පිරිස් සෙසු අය නැගී එනවාට කැමති නැහැ. උදාහරණයකට 1931දී බි‍්‍රතාන්‍ය පාලකයන් අපට සර්වජන ඡන්ද බලය ප‍්‍රදානය කිරීමට සැරසෙන විට අපේ සමහර ප‍්‍රභූන් හා උගතුන් එයට එරෙහි වුණා. තමන්ගේ ඡන්දය නිසි ලෙස භාවිත කිරීමට නොතේරෙන අයට එම බලය දීම අවදානම් සහගත බවට තර්ක කෙරුණා.

එහි යටි අරුත වූයේ ලක් ඉතිහාසයේ කිසිම දිනෙක සාමාන්‍ය ජනයාට කිසිදු අයිතියක් හෝ වරප‍්‍රසාදයක් හෝ නොතිබීමයි.

නූගතුන්ට හා දුප්පතුන්ට ආණ්ඩු තේරීමේ බලයක් නොදිය යුතුය යන්න එදා යටත් විජිත ශ‍්‍රී ලංකාවේ පමණක් නොව වත්මන් තායිලන්තයේ ද ප‍්‍රභූන් තවමත් මතු කරන තර්කයක්. (සරසවි අධ්‍යාපනයක් නොලද හෝ ආදායම් බදු ගෙවීමට තරම් නොඋපයන අයගේ ඡන්ද බලය අහිමි කළ යුතු යයි තායි ප්‍රභූ පිරිසක් යෝජනා කොට තිබෙනවා.)

එහෙත් ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සංකල්පීය ලෙස කැප වී සිටි බි‍්‍රතාන්‍ය පාලකයෝ අපේ ප‍්‍රභූ විරෝධතා මැද සර්වජන ඡන්ද බලය අපට දායාද කළා. යම් අඩුපාඩු සහිතව වුවත් වසර 85ක් තිස්සේ මැතිවරණ දුසිම් ගණනකදී අපේ ජනයා මේ බලය භාවිත කර තිබෙනවාග

මව්පියන්ගෙන් පාසල් ගාස්තු අය නොකර, මහජනයාගෙන් එකතු වන බදු මුදල් යොදවා අධ්‍යාපන ක්ෂේත‍්‍රය නඩත්තු කිරීමේ සංකල්පය 1940 දශකයේ යෝජනා වූ විට ද සමහර ප‍්‍රභූන්ගේ ප‍්‍රතිරෝධයක් මතුව ආවා. (නිදහස් අධ්‍යාපනය ලෙස වැරදියට හඳුන් වන්නේ මේ ක‍්‍රමයයි.)

එහිදී ද යටි අරුත වුයේ වරප‍්‍රසාද භුක්ති විඳිමින් සිටි සංඛ්‍යාත්මක සුළුතරය, අධ්‍යාපනය හරහා සාමාන්‍ය ජනයාගේ දු දරුවන් සමාජයේ උසස් යයි පිළිගත් වෘත්තීන්ට හා තනතුරුවලට පිවිසීම දැකීමට නොකැමැති වීමයි.

පසුගිය සියවසේ මේ තීරණාත්මක අවස්ථා දෙකෙහිදීම මෙරට සමහර පුවත්පත් (එවකට තිබූ ප‍්‍රබලම මාධ්‍යය) පොදු ජනයා වෙනුවෙන් පෙනී සිටියා. සර්වජන ඡන්දයේත්, මුදල් අය නොකරන අධ්‍යාපනයේත් දිගු කාලීන සමාජ වටිනාකම තර්කානුකූලව පෙන්වා දීමට ප‍්‍රගතිශීලී පුවත්පත් කතුවරුන් පෙරට ආවා. (ඒ අතර ප‍්‍රතිගාමී බලවේග වෙනුවෙන් පෙනී සිටි පුවත්පත්ද තිබුණා.)

කන්නන්ගරයන්ගේ අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව නැගී ආ ප‍්‍රතිරෝධයට ප‍්‍රතිචාර දැක්වීමට ආචාර්ය ඊ. ඩබ්ලිව්. අදිකාරම්, ආචාර්ය ගුණපාල මලලසේකර හා ආනන්ද මීවනපලාන තිදෙනා ආරක්ෂක වළල්ලක් මෙන් ක‍්‍රියා කළ සැටි ලේඛනගතව තිබෙනවා. පොදු උන්නතිය සඳහා වැදගත් තීරණ හා පියවර වෙනුවෙන් ජනමතය ගොඩ නැංවීමට මාධ්‍ය සමහරකගේ සහයෝගය ඔවුන් ලබා ගත්තා.

එදාට වඩා මාධ්‍ය ආයතන බහුල වී ඇති, තාක්ෂණය ඉදිරියට ගොස් තිබෙන අද තත්ත්වය කුමක්ද? ඇන්ටනාවකින් නොමිලයේ හසු කර ගත හැකි ටෙලිවිෂන් සේවාවන් 20කට වැඩි ගණනක්, FM නාලිකා 50ක් පමණ හා භාෂා තුනෙන්ම විවිධාකාරයේ පුවත්පත් දුසිම් ගණනක් අද මෙරට තිබෙනවා.

එහෙත් පොදු උන්නතියට ඍජුවම අදාළ වන අවස්ථා හා සංවාදවලදී මේ මාධ්‍ය බහුතරයක් සිටින්නේ කොතැනක ද යන්න සීරුවෙන් විමසා බැලිය යුතුයි.

මගේ දිගු කාලීන නිරීක්ෂණය නම් වැඩවසම්, ගතානුගතික හා අධිපතිවාදී වුවමනාකම්/මතවාදයන් සඳහා අපේ මාධ්‍ය එළිපිටම පෙනී සිටීම ප‍්‍රබල වී ඇති බවයි.

මෙයට හේතුව මාධ්‍ය ක්ෂේත‍්‍රය අධික ලෙස දේශපාලනකරණය ලක් වීම යයි යමෙකුට තර්ක කළ හැකියි. ඔව්, එයත් එක් හේතුවක්. එහෙත් මීට පරම්පරාවකට හෝ දෙකකට හෝ පෙර තිබූ මාධ්‍ය වෘත්තීය බව හා සමාජ කැප වීම ටිකෙන් ටික හීන වී යාමට මාධ්‍ය කර්මාන්තය තුළ අභ්‍යන්තර පිරිහීම ද දායක වී තිබෙනවා. මේ තත්ත්වය රාජ්‍ය මෙන්ම පෞද්ගලික හිමිකාරිත්වයෙන් යුතු මාධ්‍යවල දැකිය හැකියි.

වසර ගණනක් පුරා පැවති මාධ්‍ය මර්දනය හමුවේ සමහර මාධ්‍ය ආයතන හා මාධ්‍ය තීරකයන් (කතුවරුන්, කළමනාකරුවන්) හීලෑ වී ඇති බවක් පෙනෙනවා.

එසේම බහුතරයක් මාධ්‍ය අනවශ්‍ය පුජනීයත්වයකින් සලකන, එනිසාම හේතු සහගත විවේචනයකට හෝ බියවන ප්‍රසිද්ධ චරිත හා පොදු ආයතන සංඛ්‍යාව වෙන කවරදාටත් වඩා වැඩි වී තිබෙනවා.

මේ බොල් පිළිම වන්දනාවේ යන ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට සාමාන්‍ය ජනයා වෙනුවෙන් හෝ පොදු උන්නතිය සඳහා හෝ පෙනී සිටීම කාලයක්, අවශ්‍යතාවක් නැහැ. මෙය ඛේදජනක යථාර්ථයක්.

කුලියාපිටියේ පාසල් දරුවා HIV ආසාදිත යැයි කියා කොන් කරනු ලැබූ විට අපේ බොහෝ බහුතරයක් මාධ්‍ය කළේ එය තලූ මරමින් වාර්තා කිරීම පමණයි. අඩු තරමින් ඒ දරුවාගේ හා මවගේ පෞද්ගලිකත්වයටවත් ගරු කෙරුණේ නැහැ. දරුවාට දුරින් පිහිටි විකල්ප පාසලක් සොයා දීමේ යෝජනාව මතු වී ඉදිරියට ගියේ ෆේස්බුක් සමාජ මාධ්‍යය හරහායි.

මහනුවර දළදා මාලිගය ඉදිරිපිටින් දිවෙන මාර්ගය වසර ගණනාවක් පුරා වාහන ධාවනයට ඉඩ නොදී වසා තිබීම නිසා ඇති වන අධික වාත දුෂණය හා අති මහත් ජනතා අපහසුතාව ගැන බොහෝ ප‍්‍රධාන ධාරාවේ (සිංහල) මාධ්‍ය ඇති තරම් කතා නොකළේ ඇයි? අස්ගිරි විහාරය එය යළිත් විවෘත කිරීමට අහේතුකව විරුද්ධ වීම නිසාද?

නාමධාරී ටික දෙනෙකුගේ අත්තනෝමතික විරෝධය නිසා මේ ගැන විග‍්‍රහ කැරෙන විද්‍යාත්මක ලිපි පවා පළ කිරීමට සමහර පුවත්පත් පැකිලෙනවා. එම පසුබිම තුළ විවෘත සංවාද වෙබ්ගත වී තිබෙනවා. නැතිනම් සාපේක්ෂව වැඩි පරාසයක මත ගැටුමට ඉඩ දෙන ඉංග‍්‍රීසි පුවත්පත්වලට සීමා වී තිබෙනවා.

අපේ ඉංග‍්‍රීසි පුවත්පත් වුවද සමහර මාතෘකා ගැන විවෘත මත දැක්වීමට බියයි. මාධ්‍ය වාරණයක් හෝ මාධ්‍යවලට මැර බලය පෑමක් නැති අද දවසේත් සමහර කතුවරුන් මහ දවල් බියට පත් වන, අහම්බෙන්වත් විවේචනය නොකරන සමාජ ආයතන තිබෙනවා. හමුදාව හා සංඝ සමාජය ඒ අතර ප‍්‍රධානයි. විශ්වවිද්‍යාල ගැනත් බොහෝ මාධ්‍ය තුළ ඇත්තේ බය පක්ෂපාතීකම පෙරදැරි කර ගත් ආකල්පයක්.

මේ හැම ආයතනයකම හොඳ මෙන්ම නරකද සාක්ෂි සහිතව දැකීම හා මැදහත්ව විග‍්‍රහ කිරීම අපට මාධ්‍යවලින් බලාපොරොත්තු වන්නට බැහැ. තමන්ගේ සරසවි ඇදුරන් මාධ්‍ය හරහා අනවශ්‍ය ලෙස පිම්බීම මාධ්‍යකරුවන් අතර බහුල පුරුද්දක්.

වුවමනාවට වඩා බය පක්ෂපාතී වූ, අධිපතිවාදයන්ට නතු වූ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යයට යම් තරමකට හෝ විකල්ප අවකාශයක් මතු වන්නේ වෙබ් හරහා ලියැවෙන බ්ලොග් රචනා හා සමාජ මාධ්‍ය අදහස් ප‍්‍රකාශනය තුළින්. මෙය සමාජයීය හිදැසකට හෙවත් රික්තයකට මතුව ආ සාමූහික ප‍්‍රතිචාරයක් ලෙසද දැකිය හැකියි.

මාර්තු 26 වනදා දෙවන වරටත් පවත්වන ලද නෙළුම් යාය සිංහල බ්ලොග් සම්මාන උළෙලේදී මේ ගැන මා අදහස් දැක්වීමක් කළා. එහිදී මා කීවේ බ්ලොග් අවකාශය හා සමාජ මාධ්‍ය තුළ හමු වන ‘ගරු සරු නැති ගතිය’ (irreverence) දිගටම පවත්වා ගත යුතු බවයි.

මේ ගතිය අධිපතිවාදී තලයන්හි සිටින අයට, නැතිනම් ජීවිත කාලයක් පුරා අධිපතිවාදය ප‍්‍රශ්න කිරීමකින් තොරව පිළි ගෙන සිටින ගතානුගතිකයන්ට නොරිස්සීම අපට තේරුම් ගත හැකියි.

ඔවුන් මැසිවිලි නගන්නේ සමාජ මාධ්‍ය නිසා සාරධර්ම බිඳ වැටන කියමින්. ඇත්තටම එහි යටි අරුත නම් පූජනීය චරිත ලෙස වැඳ ගෙන සිටින අයට/ආයතනවලට අභියෝග කැරෙන විට දෙවොලේ කපුවන් වී සිටින ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය කතුවරුන්ට දවල් තරු පෙනීමයි!

සමාජ මාධ්‍ය පාලනය කරන්න යැයි ඔවුන් කෑගසන්නේ දේවාලේ ව්‍යාපාරවලට තර්ජනයක් මතු වීම හරහා කලබල වීමෙන්.

මෙයින් මා කියන්නේ  ඕනෑම දෙයක් කීමට හෝ ලිවීමට ඉඩ දිය යුතුය යන්න නොවෙයි. එහෙත් සමාජ මාධ්‍ය නියාමනය ඉතා සීරුවෙන් කළ යුත්තක් බවයි. නැතහොත් සමාජයක් ලෙස දැනට ඉතිරිව තිබෙන විවෘත සංවාද කිරීමට ඇති අවසාන වේදිකාවත් අධිපතිවාදයට හා සංස්කෘතික පොලිසියට නතු වීමේ අවදානම තිබෙනවා.

අපටත් වඩා ගතානුගතික වූ ඉන්දියානු සමාජය පුරවැසි අයිතීන් වෙනුවෙන් නව තාක්ෂණය හා නූතනත්වය යොදා ගන්නා සැටි අධ්‍යයනය කිරීම වැදගත්.

Image courtesy The Hindustan Times
Image courtesy The Hindustan Times

2015 මාර්තුවේ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය වැදගත් තීන්දුවක් ප‍්‍රකාශයට පත් කළා. එනම් 2008දී පනවන ලද එරට තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය ව්‍යවස්ථා විරෝධී බවයි. එම වගන්තිය යටතේ ක‍්‍රියා කරමින් ෆේස්බුක් හා ට්විටර් සමාජ මාධ්‍යවල විකල්ප මත පළ කළ ඉන්දියානුවන් කිහිප දෙනකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා. මේ ගැන කම්පාවට පත් නීති ශිෂ්‍යාවක් මෙයට එරෙහිව එරට ඉහළම උසාවියට පෙත්සමක් ඉදිරිපත් කළා.

BBC Online: 24 March 2016

Section 66A: India court strikes down ‘Facebook’ arrest law

‘ඕනෑම සමාජයක භාෂණ නිදහස පැවතිය යුතු අතර එයට කරන සීමා කිරීම් අතිශයින් යුක්ති සහගත විය යුතුයි. තොරතුරු තාක්ෂණ පනතේ 66A වගන්තිය මේ සීමා ඉක්මවා ගිය, පුරවැසි ප‍්‍රකාශන අයිතිය අනිසි ලෙස කොටු කරන්නක්’ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් වූවා.

තව දුරටත් තීන්දුව මෙසේද කීවා. ‘ඕනෑම කරුණක් ගැන සාකච්ඡා කරන්නත් (discussion), යම් ක‍්‍රියාමාර්ගයක් වෙනුවෙන් එයට පක්ෂව මත පළ කරන්නත් (advocacy) පුරවැසියන්ට නිදහස තිබෙනවා. එම මත දැක්වීම් කෙතරම් ජනප‍්‍රිය ද නැද්ද යන්න එහිදී අදාළ නැහැ. මත දැක්වීම ඉක්මවා යම් සමාජ විරෝධී උසිගැන්වීමක්  (incitement) සිදු වේ නම් පමණක් නීතිය හා සාමයට තර්ජනයක් කියා එය පාලනය කළ හැකියි. වෙබ් හරහා පළ කරන අදහස් සමහරුන්ට දිරවා ගත නොහැකි වූ පමණටවත්, අතිශයින් ආන්දෝලනාත්මක වූ පමණටවත් එයට මැදිහත් වීමට පොලිසියට හෝ රජයට හෝ ඉඩක් නොතිබිය යුතුයි.

The Hindu, 26 March 2016: The judgment that silenced Section 66A

Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html
Image source: http://www.news18.com/news/india/cartoon-of-the-day-23-977140.html

මේ ඉතා වැදගත් තීන්දුව ගැන අදහස් දැක්වූ ප‍්‍රකට ඉන්දියානු නීති ක‍්‍රියාකාරකයකු වන ලෝරන්ස් ලියැං (Lawrence Liang) කිවේ මෙයයි. ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක විවේචනය කිරීමට හා විසමුම්තියට  ඕනෑම අයකුට නිදහස තිබිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නැවත වරක් පිළිගෙන තියෙනවා. යම් මත දැක්වීමක් නිසා සමහරුන්ගේ මාන්නයට හෝ අධිපතිවාදයට පහර වැදුණු පමණට එය කිසිසේත්ම නීති විරෝධී වන්නේ නැහැ!’

Free speech Ver.2.0, by Lawrence Liang. The Hindu. 25 March 2015

21 වන සියවසේ ප‍්‍රකාශන නිදහස ගැන විමර්ශනය කරන විට සාමාන්‍ය ජනයා ඉන්ටර්නෙට් හරහා කරන තොරතුරු හුවමාරුවට හා මත දැක්වීම්වලට අනිවාර්යයෙන්ම ඉඩ සහතික කළ යුතු බව ඔහු කියනවා. ප‍්‍රකාශන නිදහස ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට පමණක් සුවිශේෂී වන අයිතියක් නොවෙයි.

‘භාෂණ හා ප‍්‍රකාශන නිදහස ගැන ඉන්දියාවේ අලූත් ආකාරයේ සංවාදයන් බිහි වන සැටි මා දකිනවා. 66A වගන්තිය ඉවත් කිරීමට පෙළ ගැසුණේ නීතිඥයන්, බ්ලොග් රචකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන් හා සමාජ මාධ්‍ය භාවිත කරන්නන්. සන්නිවේදනය නම් වූ පරිසර පද්ධතිය තුළ ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවලට අමතරව දැන් වෙබ්ගත සන්නිවේදකයන් ද හරි හරියට සක‍්‍රීයව සිටිනවා. මේ නිසා රජයන්ට හා අධිපතිවාදීන්ට හිතුමතයට ක‍්‍රියා කළ නොහැකියි.’ ලියැං තවදුරටත් කියනවා.

ළිංමැඬියාවෙන් පෙළෙන අපේ සමාජයට කවදා හෝ ළිඳෙන් ගොඩ යන්නට අත්වැලක් සපයන්නේ අධිපතිවාදය හෙළා දකින නූතනත්වය පමණයි!

Image courtesy www.livemint.com
Image courtesy http://www.livemint.com

Nalaka Gunawardene receives Lifetime Award at Nelum Yaya Sri Lanka Blogger Awards

Nalaka Gunawardene (extreme right) received Lifetime Achievement Award for Blogging and New Media Promotion in Sri Lanka from Karu Jayasuriya, Speaker of Parliament, in Colombo 26 March 2016
Nalaka Gunawardene (extreme right) received Lifetime Achievement Award for Blogging and New Media Promotion in Sri Lanka from Karu Jayasuriya, Speaker of Parliament, in Colombo 26 March 2016. Nelum Yaya Blog Awards organiser Ajith Dharmakeerthi looks on. Photo by Manori Wijesekera

At the second Nelum Yaya Blogger Awards ceremony held at the Media Ministry Hall last afternoon, the organisers presented me with a Lifetime Achievement Award in New Media.

The award was presented by Karu Jayasuriya, Speaker of the Lankan Parliament and a champion of the right to information. As he presented the trophy, he told me that he is a regular reader of mine!

The citation (in Sinhala, trying to obtain exact text) said that it was to recognise and salute my long-standing efforts to promote blogging and social media use in Sri Lanka.

I didn’t get to say any words of acceptance, so this is what I would like to have said…

Yashoda Sammani Premaratne (left), Sri Lanka's Blogger of the Year 2015, with Nalaka Gunawardene who received a Lifetime Award at Nelum Yaya Blog Awards ceremony held in Colombo on 26 March 2016
Yashoda Sammani Premaratne (left), Sri Lanka’s Blogger of the Year 2015, with Nalaka Gunawardene who received a Lifetime Award at Nelum Yaya Blog Awards ceremony held in Colombo on 26 March 2016. Photo by Manori Wijesekera

It’s always nice to be recognised by peers — and I do count myself as part Sri Lanka’s diverse and informal blogging community.

However, to use a cricketing metaphor, I am more like a cricket commentator than a star cricketer. I do know the craft but my most useful contributions have been as a cheerleader and populariser of blogging and social media in Sri Lanka.

My own blogging, started in early 2007, was entirely in English for the first few years until I started republishing my weekly Sinhala columns (Sivu Mansala Kolu Getaya) written for Ravaya newspaper from 2011. That made my blog bilingual, albeit a low intensity one: I don’t get the kind of visitors or comments like leading Lankan bloggers do. But I’m contented with that.

Where I have contributed more, I believe, is in documenting, trend-spotting and demystifying the Lankan blogosphere in Sinhala and English (sadly, I don’t have Tamil proficiency to do the same). Over the years I’ve addressed many and varied audiences – from university dons/students and govt officials to civil society groups and journalists – on the public interest potential of social media including (but not limited to) blogging.

Parallel to this, and sometimes in collaboration with my friend Chanuka Wattegama, I’ve been a chronicler and commentator on the social, cultural and political impacts of new media in Sri Lanka. A simple Google search would bring up many of my op-ed articles, book chapters and speeches on Sri Lanka’s emerging information society.

I’m encouraged and honoured by this award, but I have no intention of quitting. Using my blog as well as Twitter and Facebook social media platforms, I will continue to ask inconvenient questions, express unpopular opinions and kick-ass when I need to.

One day, I hope, I’ll finally be able to figure out the demarcation between playing and working in this realm. Does it matter?

Nalaka Gunawardene (left) with Ajith Dharmakeerthi, chief organiser of Nelum Yaya Blog Awards Sri Lanka
Nalaka Gunawardene (left) with Ajith Dharmakeerthi, chief organiser of Nelum Yaya Blog Awards Sri Lanka

* * * * *

One other Lifetime Award was presented at yesterday’s event – to Rasika Suriyaarachchi, engineer turned blogger who has been a pioneering and popular personality in the Sinhala language blogosphere for many years.

Creative and perceptive young writer Yashoda Sammani Premaratne, who blogs as Bassi, was honoured as the Blogger of the Year 2015.

Over three dozen other category winners and commended bloggers were also saluted at the informal, privately organised blogging awards ceremony.

Rasika Suriyaarachchi (left) and Nalaka Gunawardene with their Lifetime Awards presented at Nelum Yaya Sri Lanka Blogging Awards ceremony in Colombo, 26 March 2016
Rasika Suriyaarachchi (left) and Nalaka Gunawardene with their Lifetime Awards presented at Nelum Yaya Sri Lanka Blogging Awards ceremony in Colombo, 26 March 2016. Photo by Manori Wijesekera