සිවුමංසල කොලූගැටයා #106: ‘ඔබ මට විශ්වාසයි’ ඕස්ටේ‍්‍රලියාවට හදුන්වා දුන් ලාංකිකයා

In my Ravaya column (in Sinhala) this week, I write about Lentil As Anything, the uncommon restaurant chain in Melbourne, Australia. It has no prices on the menu, no cashier, no cash register. Customers are invited to dine first — and pay what they think their meal was worth. This pay-as-you-feel approach has survived a dozen years, earning its founder Shanaka Fernando honours and accolades.

I wrote about this topic in English in my Ceylon Today column on 23 Jan 2013.

Shanaka Fernando, image courtesy Goodfood.com
Shanaka Fernando, image courtesy Goodfood.com

වෙළඳපොල සමාජයේ හැම භාණ්ඩයකට හා සේවාවකට ම මිළක් නියම කැරෙනවා. එය නිෂ්පාදකයා හෝ අලෙවිකරුවා හෝ විසින් ගන්නා තීරණයක්. භාණ්ඩයේ වටිනාකම, පාරිභෝගික ඉල්ලූම, තරගකාරී සපයන්නන් එයට දී තිබෙන මිළ ආදී සාධක සැළකිල්ලට ගෙන මිළ නියම කිරීම සිරිතයි.

එහෙත් මේ ප‍්‍රවාහයට එරෙහිව, පාරිභෝගිකයාගේ අභිමතය පරිදි ‘සාධාරණ මිළක්’ ගෙවන්නට නිදහස දෙන අවස්ථාද ඉඳහිට හමු වනවා. අපේ බොහෝ පාරම්පරික ආයුර්වේද වෛද්‍යවරුන් රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමෙන් පසු එයට සංඛ්‍යාත්මක ගාස්තුවක් ඉල්ලා සිටියේ නැහැ. රෝගියාට දරා ගත හැකි හා සාධාරණ යයි සිතෙන මුදලක්, එසේ නොමැති නම් ද්‍රව්‍යමය පරිත්‍යාගයක් කරනු ලැබුවා.

එහෙත් මේ උතුම් පිළිවෙත ධනවාදී ආර්ථික ක‍්‍රමය ස්ථාපිත වූ පාරිභෝගික සමාජයේ වෙනත් ගනුදෙනුවලට සාර්ථකව යොදා ගත හැකි ද? එසේ කළහොත් බංකොලොත් නොවී ව්‍යාපාරයක් කොපමණ කලක් පවත්වා ගත හැකි ද?

මේ ගැන දියුණු හා ධනවාදී රටකින් අසාමාන්‍ය ගනයේ උදාහරණයක් මීට වසර කිහිපයකට පෙර මා අත්දුටුවා ඔස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවරදී.

මෙල්බර්න්, වික්ටෝරියා ප‍්‍රාන්තයේ අගනුවර හා එරට දෙවන විශාලතම නගරයයි. මහා මෙල්බර්න් ප‍්‍රදේශයේ මිලියන් 4කට අධික ජනකායක් වෙසෙනවා. ජන විවිධත්වය අතින් ඉහළ මේ නගරයේ ලොව විවිධ රටවලින් සංක‍්‍රමණය වූවන් හමු වනවා. දේශගුණික, සාංස්කෘතික හා වෙනත් සාධක රැසක් සළකා බැලූ විට ලෝකයේ ජීවත්වීමට වඩාත්ම හොඳ නගරය (world’s most livable city) ලෙස 2011 හා 2012 යන දෙවසරේ ලෝක ව්‍යාප්ත සමීක්ෂණයකදී ඉහළට ම ආවේ මේ නගරයයි.

1996 පටන් කිහිප විටක් මා මෙල්බර්න් නගරයට ගොස් තිබෙනවා. 2006දී මගේ ඔස්ටේ‍්‍රලියානු මිත‍්‍ර සංගීතවේදී හා චිත‍්‍රපට අධ්‍යක්ෂ ඇන්ඩෘ ගාර්ටන් මා අමුතු ආකායේ අවන්හලකට (රෙස්ටුරන්ට් එකකට) කැඳවා ගෙන ගියා. රසවත් නිර්මාංශ (vegetarian) ආහාරවේලක් පමණක් නොව අසාමානය සමාජශීලී අත්දැකීමක් ද පාරිභෝගිකයන්ට ලබා දෙන එහි නම Lentil as Anything. (කෙටි නම: LAA).

ලොව විවිධ සූප ක‍්‍රමවේදවලින් ආභාෂය ලැබූ නිර්මාංශ ආහාර වට්ටෝරු රාශියක් එහිදී ඇනවුම් කළ හැකියි. හැබැයි එහි විශේෂත්වය නිර්මාංශ ආහාර පමණක් තිබීම නොවෙයි. ඔවුන්ගේ කෑම ලයිස්තුවේ (menu) කිසි තැනෙක මිළ ගණන් සඳහන් කර නැහැ. එයට හේතුව ඔවුන්ගේ ක‍්‍රමයෙහි මිළ දර්ශනයක් නොතිබීමයි.

අප කැමති ආහාරවේලක් ඔවුන්ගේ සිත් ගන්නා සුළු අවන්හල ඇතුළේ විවේකීව රස විදීමෙන් පසුව නික්ම යන විට අප ‘සාධාරණ යයි සිතන ගණනක්’ දමා යන්නට කුඩා බාස්කට්ටු තබා තිබෙනවා. එහෙත් හැම පාරිභෝගිකයා ම එසේ කරනවා ද යන්න සෝදිසි කිරීමට සේවකයන් රඳවා නැහැ.

මෙය ‘දන් සැලක්’ නොවෙයි! නොඑසේ නම් දුගී හා අසරණයන්ට සහන සළසන පුණ්‍යායතනයක් ද නොවෙයි. ඔස්ටේ‍්‍රලියානු සමාජයේ හැම තරාතිරමක ම වැසියන් (සහ සංචාරකයන්) යන එන, සම්භාවනීය ලෙසින් පවත්වා ගෙන යන ව්‍යාපාරික ස්ථානයක්. එක ම වෙනස නම් ඔවුන්ගේ ව්‍යාපාරික ආකෘතිය (business model) පදනම් වී ඇත්තේ පාරිභෝගිකයා විශ්වාස කිරීමේ සංකල්පය මතයි.

“අපි අපේ පාරිභෝගිකයන්ට රසවත් හා ගුණදායක ආහාරවේලක් සතුටින් පිළි ගන්වා, එය භුක්ති විදින්නට හිතකර පරිසරයක් පවත්වා ගන්නවා. පාරිභෝගිකයන් ද එවිට හරි දේ කරනවා යයි අප විශ්වාස කරනවා,” LAA කළමණාකරුවන් කියනවා.

මා LAA වෙත කැඳවා ගෙන ගිය ඇන්ඩෘ ගාර්ට්න් කීවේ 2000දී කුඩා පරිමානයෙන් එක් තැනක පටන් ගත් මේ ව්‍යාපාරය 2006 වන විට ජනප‍්‍රිය වී අවන්හල් කිහිපයක් ම විවෘත කර ඇති බවයි. මේ සංකල්පය ලාංකික සංක‍්‍රමනිකයකුගේ අදහසක් බවත් ඇන්ඩෘ කීවා. LAA නිර්මාතෘවරයා ශානක ප‍්‍රනාන්දු (Shanaka Fernando). ඔහු මුණ ගැසීමට මට අවස්ථාවක් නොලැබුණත්, ඔහු ගැන තොරතුරු සමුදායක් සොයා ගත හැකි වුණා.

ඉසුරුබර ලාංකික පවුලක උපන් ශානක ප‍්‍රනාන්දු ළමා විය ගත කළේ ශ‍්‍රී ලංකාවේ බවත්, 1983 කළ ජූලිය ඇතුළු මෑත ඉතිහාසයේ අමිහිරි සිදුවීම් අත්වි`දි බවත් කියැවෙනවා. 1995දී ඔහු ඔස්ටේ‍්‍රලියාවට ගියේ මෙල්බර්න් සරසවියේ නීති විෂයය හදාරන්න.

එහෙත් ටික කලකින් එය අතහැර දැමූ ඔහු තමන්ගේ සිත් ගත් නොයෙක් රැකියා කළා. ත‍්‍රාසජනක ඔංචිල්ලා පදවන්නකු, සජීව විකට ශිල්පියකු (comedian) හා නැට්ටුවකු ලෙස ජීවිකාව උපයා ගන්නා අතර දේශ සංචාරය හා විවිධ සංස්කෘතීන් හැදෑරීම කළ ඔහු මෙල්බර්න් තදාසන්න ප‍්‍රදේශයක මුල් ම LAA අවන්හල 2000දී ඇරඹුවා.

LentilAsAnything_logo

ඒ සඳහා ඔහු සම්බන්ධ කර ගත්තේ ඔහු වැනි ම වෙනත් රටවල සිට ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමනය වූ, අන්ත ධනවාදී ක‍්‍රමය පිළි නොගන්නා ‘ආර්ථික විකල්පවාදීන්’ පිරිසක්. නමුත් ධනවාදයට එරෙහිව විප්ලව කරනවා වෙනුවට ධනවාදී සමාජය තුළ ම වඩාත් සානුකම්පිත ප‍්‍රවේශයක් අත්හදා බලන්නට ඔවුන්ට ඕනෑ වුණා.

“හැම දෙයක්ම ඇති-හැකි අයට පමණක් සීමා වුණු නගරයක හා කාලයක අපි එයට එරෙහිව යන්නට තීරණය කළා. අපේ අවන්හලේ කැෂියර් (අයකැමියෙක්) නැහැ. ගෙවන කවුන්ටරයක්, බිල්පත්, මිළ දර්ශන කිසිවක් නැහැ. නික්ම යන තැන පෙට්ටියක් හෝ බාස්කට්ටුවක් තිබෙනවා. අපේ පාරිභෝගිකයාගේ හෘද සාක්ෂිය අනුව ගණනක් තබා යන්නට අප ඇරැයුම් කරනවා,” ශානක කියනවා.

ඔස්ටේ‍්‍රලියානු සමාජයේ ද දුගී දුප්පත්කම තිබෙනවා. කිසි දිනෙක සිය නිවෙසින් බැහැරව අවන්හලක කෑම වේලක් ගන්නට හැකියාව නැති අය LAA අවන්හල් නිසා සමාජශීලී වීමේ නිදහස අත් විදිනවා. නැතිබැරි අය පවා අති බහුතරයක් හැකි අන්දමින් මුදලක් ඉතිරි කර නික්ම යනවා. එය ඔවුන්ගේ ආත්ම ගරුත්වයයි. ඒ අතර වඩාත් දානපති හැගීමක් ඇති අයට තමන් රස විදි කෑම වේලට වඩා ඉහළ මට්ටමේ ආධාරයක් කිරීමේ විවෘත ඇරැයුමක් ද තිබෙනවා.

නන්නාදුනන පාරිභෝගිකයන්ගේ හිත හොඳකම මත විශ්වාසය තබා ව්‍යාපාරයක් පවත්වාගෙන යා හැකි ද? (අපේ රටේ නම් මෙය අදහන්නටවත් පුළුවන් ද?) මේ ගැන මා LAA අත්දැකීම ලද ඔස්ටේ‍්‍රලියානුවන්ගෙන් විමසා බැලූවා.

මුල් වසර කිහිපයේදී ශානක විකාරකාරයෙක් යයි එරට අනෙක් අවන්හල් හිමියන් හාස්‍යයෙන් බැහැර කොට තිබෙනවා. එසේම රස්තියාදුකාර, කඩාකප්පල්කාරී පාරිභෝගිකයන් ටික දෙනකුගෙන් LAAට අලාබ සිදු වී තිබෙනවා.

එක් අවස්ථාවක ශානක හා LAA සමාගම බංකොලොත් වීම අබියසට ම ගියා. එහෙත් හිත හොඳ පාරිභෝගිකයන් මේ සද්කාර්යය වැසී යන්නට ඉඩ දෙන්නේ නැහැ. ඔවුන් මේ වටා ඒක රාශීවීම මේ ව්‍යාපාරයේ ලොකු ම සවිය වෙලා.

මේ අතර නිලධාරිවාදයට මේ අසාමාන්‍ය සංකල්පය තේරුම් ගන්නට අමාරු වුණා. බිල්පත් හෝ මිළ දර්ශන නැති මේ අවන්හලෙන් පාරිභෝජන බද්ද (GST) අය කර ගන්නේ කෙලෙසද? මේ නිසා බදු නිලධාරීන් දිගින් දිගට ම LAAට අරියාදු කළා. අන්තිමේදී මේ ව්‍යාපාරයෙන් ඨීඔ අය නොකළ යුතු බවට අධිකරණ තීන්දුවක් ලබා ගන්නට ශානකට සිදු වුණා.

වසර කිහිපයක් අමාරුවෙන් වැඩ කොට සංකල්පය ස්ථාපිත කළ පසු ප‍්‍රශංසා හා සාර්ථකත්වය ටිකෙන් ටික ළගා වුණා. ඔස්ටේ‍්‍රලියාවේ පොදු ජන උන්නතියට කැපවී ක‍්‍රියා කරන අයට වාර්ෂිකව පිරිනමන වසරේ හොඳම ඔස්ටේ‍්‍රලියානුවා රාජ්‍ය සම්මාන ක‍්‍රමයේ ප‍්‍රජා වීරයා සම්මානය (Australian of the Year – Local Hero) 2007දී ශානක ප‍්‍රනාන්දුට පිරිනැමුණා.

එහි හේතුපාඨයේ LAA හදුන්වා තිබුණේ “ගතානුගතික පාරිභෝගික සමාජය උඩුකුරු යටිකුරු කරමින්, විශ්වාසය මත පදනම් වූ ව්‍යාපාරික සංකල්පයක් සමාජ පර්යේෂණයක් ලෙස ඉදිරියට ගෙන යාමක්” හැටියටයි.

ඕස්ටේ‍්‍රලියානු කැන්බරා අගනුවර පිහිටි ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කෞතුකාගාරයේ මහජන ප‍්‍රදර්ශනයට මුල් ම LAA ‘පින් පෙට්ටිය’ තබා තිබෙනවා. එයට හේතුව LAA අවන්හල් නිසා මුල් වරට සියළු තරාතිරම්වල ඕස්ටේ‍්‍රලියානුවන්ට නිවසින් බැහැරව සිත සැහැල්ලූවෙන්, ආත්ම ගෞරවයක් ඇතිව කෑම වේලක් භුක්ති විදීමේ නිදහස ලැබුණු නිසායි. ජන සමාජයේ සමානාත්මතාවය හා පුද්ගලයන්ගේ ආත්ම ගෞරවය ඉහළින් සළකන ඔස්ටේ‍්‍රලියාව වැනි රටක මේ ඇගැයීම පුදුමයක් නොවෙයි.

LAA අවන්හල් ක‍්‍රමය දැන් ටිකෙන් ටික එරට පාසල් කැන්ටින්වලටත් හදුන්වා දීම ඇරඹිලා. 2008දී මුල් ම LAA ක‍්‍රමයේ කැන්ටිම මෙල්බර්න්හි කොලිංවුඞ් විද්‍යාලයේ පටන් ගත්තා. පාසල් තුළත්, වෙනත් හැම තැනකමත් LAA පිළි ගන්වන්නේ නිර්මාංශ ආහාර පමණයි. හැකි සැම විට ම කාබනික ක‍්‍රමයට වවන ලද එළවළු හා පළතුරු ඔවුන් යොදා ගන්නවා.

1995දී ශිෂ්‍යයකු හැටියට මුල් වරට එහි ගොස්, සරසවි අධ්‍යාපනය හමාර නොකළ ශානක ප‍්‍රනාන්දු අද මෙල්බර්න් නගරයේත්, ඔස්ටේ‍්‍රලියාව පුරාත් පරමාදර්ශී චරිතයක්. තවමත් තමන්ගේ පෞද්ගලික වත්කම් හා හිමිකම් ඉතා අල්පේච්ඡ මට්ටමින් පවත්වා ගන්නා, සරල චාම් ජීවිතයක් ගත කරන, බයිසිකලයෙන් ගමන් යන කෙනෙක්. ඔහුගේ අමුතු අත්දැකීම් ගැන දැන් ව්‍යාපාරිකයන්ට, ශිෂ්‍යයන්ට හා අනෙකුත් සභාවල නිතර දේශන පවත්වන්නට ශානකට ඇරයුම් ලැබෙනවා.

“මගේ පියාගේ ආසාව වූයේ මා BMW කාර් එකක් පදවන, මහා සුවිසල් නිවෙසක වෙසෙන ධනවත් නීතිඥයකු වනවා දකින්නයි. ඔහුගේ පැතුම මා ඉටු නොකළත් මා සිටින්නේ ඉතා සතුටින්. මගේ සේවක පිරිස සමග මා කරන මේ ව්‍යාපාරයෙන් ගුණදායක රසවත් ආහාර සමග සතුට හා සමාජශීලිත්වයත් අපි බෙදා දෙනවා,” ඔහු කියනවා.

LAA සංකල්පය දැක පැහැදීමට පත් වූ සංචාරකයන් තමන්ගේ රටවලත් එය ක‍්‍රියාත්මක කරන්නට තැත් කරනවා. ඒ ගැන සම්පූර්ණ තොරතුරු LAA සතුව නැතත්, අයර්ලන්තයේ Killarney නගරයේ දැනටමත් එබදු අවන්හලක් අරඹා තිබෙනවා යයි ශානක 2012 ඔක්තෝබර් සම්මුඛ සාකච්ඡුාවක දී කියා සිටියා.

ව්‍යාපාරික ලෝකය මේ සංකල්පය Pay-As-You-Please යයි නම් කරනවා. ශානක මුණ ගැසීමේ ලොකු ආසාවක් මට තිබෙනවා. ඔහු මගේ සම වයසේ, අසම්මත මගක ගිය තවත් කෙනකු නිසා.

එවිට මා ඔහුගෙන් අසන ප‍්‍රධාන ප‍්‍රශ්නය: අපේ ලංකාවේ මේ සංකල්පය සාර්ථකව ක‍්‍රියාත්මක කළ හැකි වෙයි ද?

Watch Shanaka speak at TEDx Melbourne 2012:

Shanaka Fernando on Social Enterprise and the Purpose of Money (2010 video)

සිවුමංසල කොලූගැටයා #105: මහ මග දිවි සුරකින ඉන්දියානු ව්‍යාපාරිකයා

India has the highest number of road accidents in the world: 15 people die every hour from road accidents, and 60 more are seriously injured. Yet, 80% of accident victims don’t receive any medical care within the crucial ‘Golden Hour’ — the immediate period following a traumatic injury when there is the greatest chance to prevent death with prompt treatment.

Piyush Tewari, a young entrepreneur, set up the SaveLIFE Foundation in 2008 to enable bystander care, or community driven emergency response, until more professional help arrives.

In this week’s Ravaya column, in Sinhala, I describe how one determined young man is making a difference for hundreds of people injured on the mean streets of India. Last week, I also wrote an English column covering the same topic.

Piyush Tewari
Piyush Tewari

ශිවාම් බාජ්පායි 17 හැවිරිදි ඉන්දියානු තරුණයෙක්. මීට වසර කිහිපයකට පෙර ඔහු මාර්ග අනතුරකට ලක් වුණා. මහ දවාලේ මහ නගරයක බරපතල ලෙස තුවාල ලබා ඔහු මහ මග වැටී සිටියා. විනාඩි 40ක් පුරා කිසිවෙකුත් ඔහුගේ උදව්වට ආවේ නැහැ. අන්තිමේදී අධික රුධිර වහනයෙන් ඔහු මිය ගියා.

අනතුරෙන් තුවාල ලද විගස ඔහු වෛද්‍ය ප‍්‍රතිකාරවලට යොමූ වූවා නම් මේ අකල් මරණය වළක්වා ගත හැකිව තිබුණා. එහෙත් මෙබදු අවස්ථාවක බොහෝ දෙනෙකු උදවු කරන්නට ඉදිරියට එන්නේ නැහැ. එසේ කළොත් පොලීසිය එම අනතුරේ වගකීම ඔවුන් මත පටවන නිසා. එමෙන්ම ඉන්දියාවේ නාගරික හා ග‍්‍රාමීය බොහෝ දෙනාට හදිසි අනතුරකදී මූලික ප‍්‍රථමාධාර දීමට පවා දැනුමක්, පුහුණුවක් නැහැ.

ශිවම්ගේ ඥාති සොහොයුරා මේ පවුලේ මරණය ඔස්සේ කම්පාවට පත් වී ඒ ගැන තව දුරටත් තොරතුරු ගවේෂණය කලා. පියුශ් තිවාරි නම් වූ ඔහු පෞද්ගලික අංශයේ මූල්‍ය සමාගමක ඉහළ විධායක නිලධාරියකු වුණා. සොයා ගත් තොරතුරුවලින් ඔහු මවිතයට පත් වුණා.

මාර්ග අනතුරුවලින් ලෝකයේ මුල් තැන ගන්නේ ඉන්දියාවයි. එරට වසරකට එක් ලක්ෂ තිස් දහසක් පමණ මාර්ග අනතුරු නිසා මිය යනවා. දිවා රාත‍්‍රී හැම පැයක ම 15 දෙනකුට මරු කැඳවන තවත් 60 දෙනකුට බරපතල තුවාල ගෙන දෙන මේ මාර්ග අනතුරුවලට හේතු රැසක් තිබෙනවා. අධික වේගය, බීමත්කම, හෙල්මට්, ආසන පටි හා ළමා ආසන භාවිතය අඩුවීම ඒ අතර තිබෙනවා.

ඉන්දියාවේ 15-40 අතර වයසේ පසුවන පිරිමි හා ගැහැණු දෙපිරිසේ ම අකල් මරණවලට ප‍්‍රධාන හේතුව මාර්ග අනතුරුයි. “මෙය අප නොදැනීම ජාතික මට්ටමේ වසංගතයක තත්ත්වයට පත් වෙලා,” තිවාරි කියනවා.

පොලිස් නිළධාරීන්, වෛද්‍යවරුන්, හදිසි සේවා සපයන්නන් ආදී බොහෝ දෙනා සමග කථා බහ කිරීමෙන් ඔහු සොයා ගත්තේ අනතුරට පත් වන අති බහුතරයකට (80%) නිසි කලට ප‍්‍රථමාධාර හෝ වෛද්‍ය ප‍්‍රතිකාර නොලැබෙන බවයි!

මිලියන් 16කට වැඩි ජනකායක් වෙසෙන දිල්ලි නාගරික ප‍්‍රදේශයේ 2008දී තිබුණේ මහජන ගිලන්රථ 35ක් පමණයි. බොහෝ වෙලාවට අනතුරට පත් වූවන් ළග ඇති රෝහලකට ගෙන යන්නේ පොලිස් හදිසි ආපදා මෝටර්රථවලින්. එහෙත් පොලිස් නිළධාරීන්ට වුව ද තුවාල ලැබූවකු ඔසවන, රැගෙන යන හා තාවකාලික සහනයකට පත් කිරීම ගැන මූලික දැනුමක් නැති බව තිවාරිට පෙනී ගියා.

මාර්ග අනතුරු නිසා ඇති වන ජීවිත විනාශය හා තුවාලවීම් ලෝක ව්‍යාප්ත මහජන සෞඛ්‍ය තර්ජනයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පිළි ගන්නවා. මාර්ග අනතුරු පිළිබඳව රටවල් 178ක දත්ත ඒකරාශී කර විග‍්‍රහ කරමින් 2009දී ලොව පළමු වතාවට WHO මාර්ග ආරක්ෂාව පිළිබඳ ලෝක වාර්තාවක් සම්පාදනය කලා. (Global Status Report on Road Safety, 2009).

ඒ වාර්තාව පෙන්වා දුන්නේ වසරකට අඩු තරමින් මිලියන් 1.4ක් දෙනා මාර්ග අනතුරුවලින් මිය යන අතර තවත් මිලියන් 20-50ක් අතර අති විශාල සංඛ්‍යාවක් තුවාල ලබා තාවකාලිකව හෝ සදාකාලිකව එයින් පීඩාවට පත් වන බවයි. මාර්ග අනතුරුවල අවදානමට වඩාත් මුහුණ දෙන්නේ පදිකයන්, පාපැදිකරුවන් හා මෝටර් බයිසිකල් පදවන්නන් බව WHO සංඛ්‍යා ලේඛන පෙන්වා දෙනවා.

විශේෂයෙන් අඩු හා මධ්‍යම ආදායම් ලබන (දියුණුවන) රටවල මාර්ග අනතුරු සිදුවීම වාහනවලට සාපේක්ෂ ඉතා වැඩි බව WHO කියනවා. අපේ වැනි රටවල් සියල්ලේ භාවිත වන මෝටරථ, මෝටර් බයිසිකල් හා බර වාහන සංඛ්‍යාව එකතු කළ විට ලෝකයේ සමස්ත වාහනවලින් එය 48%යි. එහෙත් මාර්ග අනතුරුවලින් 90%ක් ම සිදු වන්නේත් මේ රටවලයි. මෙයට හේතුව හුදෙක් වාහන සංඛ්‍යාව පමණක් නොව, මාර්ග සැළසුම, රියදුරු විනය, නීතිය ක‍්‍රියාත්මක කිරීම හා අනතුරු පිළිබඳ මහජන දැනුවත්කම ආදී සාධක රැසක් අපේ රටවල ඇති පමණින් නොතිබීමයි.

මාර්ග අනතුරු ගැන රාජ්‍ය හා ජන අවධානය වැඩි කරන්නට මාර්ග ආරක්ෂාව පිළිබඳ ක‍්‍රියාකාරී දශකයක් (2011-2020) WHO ප‍්‍රමුඛ කරගත් එක්සත් ජාතීන් විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. Decade of Action for Road Safety, 2011-2020.

මාර්ග අනතුරු මුළුමනින් නැති කරන්නට අමාරුයි. එහෙත් නිසි සැළසුම්, විනය හා නීති හරහා එය අවම කර ගත හැකියි. එබදු පිළිවෙතකට සමාන්තරව අනතුරු සිදු වූ විට නිසි ප‍්‍රතිකාර ලබා දීමේ හැකියාව ද දියුණු කළ යුතුයි.

දියුණු රටවල අනතුරුවලින් මරණ හා සදාකාලික ආබාධ සිදුවීම අඩු වන්නේ මෙසේ පශ්චාත් අනතුරු ප‍්‍රතිචාර දැක්වීම ප‍්‍රශස්ත නිසායි. රටක් දියුණු වනවා කියන්නේ අධිවේගී මහාමාර්ග තැනීම හා නවීන වාහන ධාවනය පමණක් නොවෙයි. අනතුරකදී එයට පාත‍්‍ර වූවන්ට කාර්යක්ෂමව නිසි ප‍්‍රතිකාර ලැබෙන ක‍්‍රමවේදයන් ද අවශ්‍යයි.

තුවාල ලැබූවකුට හැම තත්පරයක් හා විනාඩියක් ම තීරණාත්මකයි. නිසි ප‍්‍රථමධාර ක්ෂණිකවත් හා වඩා විධිමත් වෛද්‍ය ප‍්‍රතිකාර ඉනික්බිතිවත් ලැබුණොත් අධික රුධිර වහනය හා කම්පනය නිසා මිය යෑමට ඇති ඉඩ අඩු වනවා. හදිසි ප‍්‍රතිකාර ක‍්‍රමවේදයේ මෙය රන් හෝරාව (Golden Hour)ලෙස හදුන්වනවා.

During a training course for police officers, Piyush Tewari (centre), teaches vital lessons in basic trauma care
During a training course for police officers, Piyush Tewari (centre), teaches vital lessons in basic trauma care

තුවාලවීමේ ස්වාභාවය අනුව පණ බේරා ගන්නට හා සදාකල් ආබාධවීම් වළක්වන්නට තිබෙන කාල ප‍්‍රමාණය අඩු වැඩි විය හැකියි. බොහෝ විට අපේ මාර්ගවල සිදු වන්නේ විනාඩි ගණන් තුවාලකරුවන් කිසිදු පිළිසරණක් නොලබා වැටී සිටීමයි. නැතහොත් හරිහැටි ප‍්‍රථමාධාර දැනුම නැති අය විසින් කඩිමුඩියේ රෝහලකට ගෙන යාමේදී කොදු නාරටිය හෝ වෙනත් අස්ථි බිදී ඇත්නම් ඒවායේ හානිය වැඩි වීමයි.

අධික වාහන තදබදය නිසා නාගරික ප‍්‍රදේශවල තුවාල ලැබූවන් රෝහලකට ගෙන යාම ප‍්‍රමාද වනවා. මේ නිසා අනතුර සිදු වූ තැන ම ඉක්මනින් ලබා දෙන මූලික ප‍්‍රතිකාර තීරණාත්මකයි.

මේ ජාතික උවදුරට ප‍්‍රජා මට්ටමේ ප‍්‍රතිචාරයක් දක්වන්නට තිවාරි පෙරට ආවා. බොහෝ මධ්‍යම පාංතිකයන් මෙබදු ප‍්‍රශ්නයකදී රජය එය විසඳන තුරු බලා සිටියත් ඔහු සිතුවේ පොදු අභියෝගයක් ලෙස සැමදෙනා ම එය භාරගත යුතු බවයි.

මේ අනුව 2008 පෙබරවාරියේ SaveLIFE Foundation (දිවි සුරකින පදනම) නම් ස්වේච්ඡ ආයතනයක් (ඔව්, NGO එකක්!) ආරම්භ කළා. එහි අරමුණ මාර්ග අනතුරුවලින් විපතට පත් තුවාලකරුවන්ට වෛද්‍ය ප‍්‍රතිකාර ලැබෙන තුරු ප‍්‍රථමාධාර හා වෙනත් සහන සැළසීමයි.

මේ සඳහා පොලිස් නිලධාරීන් මෙන් ම සාමාන්‍ය ජනතාව ද ප‍්‍රථමාධාර ගැන දැනුවත් කිරීම ඇරඹුවා. අතපය හෝ පිට කොන්ද බිදී ඇති කෙනෙකු ප‍්‍රවේශමෙන් ඔසවන හැටි, රුධිර වහනය අවම කරන හැටි, තාවකාලිකව නතර වූ හෘද ස්පන්දනය නැවත පණ ගන්වන හැටි ආදී පරිපූරක වෛද්‍ය (para-medical) පියවර ගැන 2012 මැද වන විට පොලිස් නිලධාරීන් 3,500ක් පමණ පුහුණු කර තිබෙනවා. ඒ නවදිල්ලි නාගරිකය, උත්තර් ප‍්‍රදේශ් හා මහාරාෂ්ට‍්‍ර ප‍්‍රාන්තවලයි.

තිවාරිට මුලින් ඕනෑ වූයේ දිල්ලි නාගරිකයේ සාමාන්‍ය ජනයා 10,000කටත් කෙටි කාලීන පුහුණුවක් හරහා මේ දිවි සුරකින දැනුම ලබා දෙන්නයි. එය ප‍්‍රායෝගිකව කිරීම අපහසු වූ විට ඔහු මෝටර් බයිසිකල් වලින් අනතුරු සිදු වූ තැනට ඉක්මනින් ඒමට සැදී පැහැදී සිටින 45 දෙනකුගේ ස්වේච්ඡ බලකායක් ඇරඹුවා.

අනතුරක් ගැන ජංගම දුරකථන හරහා ඔවුන්ට දැනුම් දෙනවා. ඒ වහා ම එතැනට පැමිණෙන ඔවුන් මුල් ප‍්‍රතිචාර දක්වන්නන් (first responders) ලෙස විවිධ ප‍්‍රථමාධාර හා තුවාලකරුවන්ට ආරක්ෂිත පියවර ගන්නවා. ඒ අතර රෝහල් හා පොලීසිය සමග ද සම්බන්ධීකරණය කරනවා.

මේ ප‍්‍රජා මූලික ක‍්‍රමවේදයෙන් දැනටමත් සිය ගණනක් ජීවිත බේරාගෙන තිබෙනවා. දිවි සුරකින පදනම හා තිවාරිට මේ ගැන දෙස් විදෙස් පැසසුම් ලැබෙනවා. 2010දී රෝලෙක්ස් සම්මානය ඔහුට පිදීම සමග මේ සංකල්පය ජාත්‍යාන්තර අවධානයට පත් වුණා. (http://tiny.cc/PTewari)

පදනමේ කටයුතු පුළුල් වීම නිසා එයට සිය මුළු කාලය හා ශ‍්‍රමය යොදවන්නට තිවාරි 2011දී තමන්ගේ ව්‍යාපාරික රැුකියාවෙන් අස් වුණා. දානපතියන්ගේ අනුග‍්‍රහයෙන් හා රාජ්‍ය ආයතනවල සහයෝගයෙන් ඔහු දැන් දිවි සුරකින ක‍්‍රමවේදය මුළු ඉන්දියාවටත්, ඉන් ඔබ්බටත් ව්‍යාප්ත කරන්නට ක‍්‍රියා කරනවා.

ව්‍යාපාරික ෙක්‍ෂත‍්‍රයෙන් ගෙනා ගැටළු විසදීමේ කළමණාකාරිත්ව හැකියාව මෙහිදී ඔහුට උපකාර වනවා. මාර්ග අනතුරු අවම කිරීමට ප‍්‍රතිපත්ති, නීති හා තාක්ෂණික මට්ටමින් ද ඔහු අවධානය යොමු කරනවා.

උදාහරණයක් හැටියට අනතුරක් දුටු විට තුවාලකරුවන්ට පිහිටට එන හොඳ මිනිසුන්ට (Good Samaritans) නීතිමය ව්‍යාකූලතා මතුවන්නට ඉඩ නොතබා ඔවුන් ආවරණය වන පරිදි එරට නීති සංශෝධනය කරන්නට ඉන්දියානු බලධාරීන් එකග කරවා ගත්තා. මේ අනුව පොලීසි හා උසාවි ගානේ රස්තියාදු වීමේ මෙතෙක් තිබූ ක‍්‍රමවේදය ළගදී ම වෙනස් කෙරෙනු ඇති බව පසුගිය නොවැම්බරයේ නව දිල්ලියේදී තිවාරි මට කියා සිටියා.

තුවාලකරුවකු රෝහලකට ගෙන ගිය විට ඉන්දීය වෛද්‍යවරුන් ද මුලින් ම කරන්නේ නීතිමය ෆෝර්ම පිරවීමයි. ලෙඩාට ප‍්‍රතිකාර කරන්නේ ඉනික්බිතිවයි! හේතුව රෝගියා මිය ගියහොත් වෛද්‍යවරුන්ට වගකීම පැවරෙන නිසා.

“අප හදන්නේ වෛද්‍යවරුන්ට නීතිමය ආරක්ෂාව දෙන අතර සමස්ත ප‍්‍රතිචාර ක‍්‍රියාවලිය කාර්යක්ෂම කරන්නයි. හැම තත්පරයක් ම තුවාලකරුවන්නේ වාසියට හරවා ගන්නයි,” තිවාරි කියනවා.

දිගු කාලීනව මාර්ග අනතුරු වැළැක්වීම සඳහා නීතිමය, අධ්‍යාපනික හා ආකල්පමය වෙනස්කම් කිරීමට ද දිවි සුරකින පදනම ක‍්‍රියා කරනවා.

දැනටමත් පදනමේ ආකෘතිය නයිජීරියාවේ අත්හදා බලනවා. ළගදී ම තවත් රටවලට තම අත්දැකීම් බෙදා ගන්නට කැමැති බවත්, ශ‍්‍රී ලංකාවටත් 2013දී එය හදුන්වා දෙන්නට සැදී පැහැදී සිටින බවත් තිවාරි කියනවා.

“රියදුරන්, මගීන් හෝ පදිකයන් හැටියට අප සැවොම මාර්ග අනතුරුවලට දිනපතා නිරාවරණය වනවා. අපේ පොදු ආරක්ෂාව අප එකමුතු වී ක‍්‍රියා කළ යුතුයි. මේ අනතුරු වසංගතය පාලනය කර ගන්නට එක ම ක‍්‍රමය එයයි.” තිවාරි අවධාරණය කරනවා.

ඉහළ මධ්‍යම පාංතික පසුබිමකින් එන, විදෙස් අධ්‍යාපනය ලැබූ පියුශ් තිවාරි වැනි දක්ෂ තරුණ තරුණියන් පොදු උන්නතිය හා සමාජ ප‍්‍රශ්න සඳහා කැප වීම දැන් ඉන්දියාවේ ප‍්‍රවණතාවක්. අධ්‍යාපනය, සෞඛ්‍යය, පරිසර සංරක්ෂණය, ළමා අයිතිවාසිකම්, කුල භේදය තුරන් කිරීම වැනි උතුම් අරමුණු සඳහා ඔවුන් මැදිහත් වෙන්නේ ආවේගශීලීව නොව තාක්ෂණය, කළමණාකාරිත්ව දැනුම හා පර්යේෂණාත්මක ප‍්‍රවේශයකින්. අපේ සමාජ ක‍්‍රියාකාරිකයන්ට ඉන්දියාවේ මේ නව පරපුරෙන් බොහෝ දේ උගත හැකියි.

සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

Map of Pakistan, courtesy Lonely Planet
In this week’s Ravaya column (in Sinhala), I take a look at rampant conspiracy theories in Pakistan, arguably the most conspiracy-happy country in South Asia. This is partly inspired by my recent visit to Karachi, a strong contender for the title ‘conspiracy capital of the world’.

From weather extremes to food shortages, and from political violence to maternal health, every aspect of life in Pakistan is linked to a ‘foreign conspiracy’ supposedly meant to undermine the nation.

Some of these tall tales provide harmless amusement, while others have dire consequences for public health and safety. I cite two examples: resistance to polio vaccination, and misplaced and widespread fear of iodised salt.

‘හොඳ කුමන්ත‍්‍රණ කථාවකට අපි කවුරුත් කැමතියි!’

මගේ මාධ්‍ය මිතුරකු ළඟදී මට මෙසේ කීවේ මෑතක පටන් අපේ රටේ වඩාත් ප‍්‍රබලව පැතිර යන නොයෙක් අභව්‍ය හා මායාරූපි (ෆැන්ටසි) කුමන්ත‍්‍රණ කථා ගෙඩි පිටින් විශ්වාස කරන අය සිටින බව මා පෙන්වා දුන් විටයි.

සමහරුන් කියන හැටියට අපේ දුපතට වින කරන්නට, රජය හා ජන සමාජය අස්ථාවර කරන්නට විජාතික දේශපාලනික හා වාණිජ බලවේග රාශියක් පෙළ ගැසී සිටිනවාලූ. මෙබඳු කථාවලින් ජන සමාජයක මානසික තත්ත්වය ගැන දළ හැඟීමක් ලද හැකියි.

එහෙත් අපේ කුමන්ත‍්‍රණ දුපතටත් වඩා බොහෝ සෙයින් මේ ‘කලාව’ ප‍්‍රගුණ කළ රටක් දකුණු ආසියාවේ තිබෙනවා. ඒ තමයි පාකිස්ථානය. මිලියන් 180ක් පමණ ජනගහනයක් වෙසෙන, න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වූ මේ රට තරම් කුමන්ත‍්‍රණවාදී කථා බිහි කරන, පතුරුවන හා අදහන තවත් රටක් මට නම් හමු වී නැහැ.

පසුගිය සැප්තැම්බරයේ මා කරච්චි නගරයේ දින කිහිපයක් ගත කළ අවස්ථාවේ පාකිස්ථානයේ කුමන්ත‍්‍රණවාදී මානසිකත්වය නෙතඟ බැල්මක් ලැබුණා.මගතොටේ දී මෙන් ම සරසවි හා විද්වත් සභාවලත් අතිශයින් නිර්මාණශීලි වූ එහෙත් කිසිදු පදනමකින් තොර භීතිකා හා කුමන්ත‍්‍රණ කථා සංසරණය වන හැටි මා දුටුවා.

එහිදී තර්කානුකූල වීම, සාක්ෂි සොයා යාම හෝ වෙනත් බුද්ධිගෝචර ක‍්‍රියාදාමයක් වෙනුවට ලිහිල් හා ආවේගශීලි පදනමක් මත බොහෝ ජනමාධ්‍ය, වෘත්තිකයන්, දේශපාලකයන් හා අනෙකුත් ජනමතය හසුරුවන්නන් ක‍්‍රියා කරනවා.

එරට දේශපාලකයන්ගේ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ හා මැතිවරණ පොරොන්දු ආදිය ගැන කිසිදු විශ්වාසයක් නොතබන උගත් නාගරික ජනයා පවා රටට හා ජාතියට එරෙහි බහුවිධ කුමන්ත‍්‍රණ තිබේ යැයි තරයේ අදහනවා.

සරල එදිනෙදා සිදුවීමක් වූවත් පැය හෝ දින කිහිපයක් ඇතුළත ලෙහෙසියෙන් ම විදේශික බලවේගයක හෝ අදිසි හස්තයක බලපෑමක් හෝ බවට පත් කර ගනු ලබනවා. කුමන්ත‍්‍රණයක කොටසක් ලෙස විග‍්‍රහ කැරෙනවා. එය පසුපස සිටින විජාතික බලවේගය ලෙස වැඩිපුර ම නම් කරනු ලබන්නේ අමෙරිකාව හා ඉන්දියාවයි. මීට අමතරව ඉස්ලාම් විරෝධී යැයි සලකා ඊශ‍්‍රාලයත්, පොදුවේ බටහිර රටවල් මෙන් ම ගෝලීය මට්ටමෙන් වෙළඳාමේ යෙදෙන බහුජාතික සමාගම් ද නිතර කුමන්ත‍්‍රණ චෝදනා ලබනවා.

සොබා දහමේ ක‍්‍රියාවන් පවා මේ කුමන්ත‍්‍රණවාදී කථාවලට හසු වනවා. වෙලාවට වැස්ස නොලැබුණොත් එය පාකිස්ථානය ‘මට්ටු කරන්නට’ දියුණු රටක් කළ ‘කාලගුණ පාඩමක්’. එකවර බොහෝ වැසි ලැබී ගංවතුර ඇති වූ විට එයත් විජාතික ‘කාලගුණ ප‍්‍රහාරයක්’.

මේ කුමන්ත‍්‍රණවාදී කථා එරට ප‍්‍රබල ම ජනමාධ්‍ය වන ටෙලිවිෂන් පුවත් නාලිකාවලට Breaking News සඳහා නිරතුරුව මාතෘකා සපයනවා. එබඳු වාර්තාකරණයේදී මෙබඳු කථා බරපතල ලෙස කියන්නටත් වාද විවාද කරන්නටත් මුකරි බව තිබෙන අන්තවාදී විද්වතුන් (ටෙලි-පණ්ඩිතයන්) රොත්තක් ද බිහිව සිටිනවා.

පාකිස්ථානු සමාජයේ සැබෑ ප‍්‍රශ්න හා විසමතා ගැන නොබියව වාර්තා කරන පුවත් නාලිකා අතර (2012 ඔක් 21දා කොලම බලන්න) මෙබඳු කට කථා, ප‍්‍රබන්ධ කථා හා ප‍්‍රලාප බෙදා හරින නාලිකා ද තිබෙනවා. දුෂමාන ආරංචි තහවුරු කිරීමකින් තොරව කාලීන තොරතුරු ලෙස ප‍්‍රචාරය කිරීම නීතිවිරෝධි නොවූවත් සදාචාර විරෝධි හා සමාජ විරෝධි ක‍්‍රියාවක්. මෙය නියාමනය කරන්නට පාකිස්ථානු රජය ඍජු උත්සාහයක් නොගන්නේ මාධ්‍ය නිදහසට හරස් වීමේ චෝදනාව මතු වන නිසා.

පාකිස්ථානයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට විශාල නිදහසක් තිබෙනවා. එහෙත් ඒ නිදහස තුළ වගකීමකින් යුතුව ක‍්‍රියා කරන්නේ සමහර මාධ්‍ය පමණ යි. විශේෂයෙන් ම දේශිය බසින් වාර්තාකරණයේ යෙදෙන නාලිකා සමහරක් කෙටිකාලීන ජනප‍්‍රියත්වය සඳහා කුමන්ත‍්‍රණ රටට බෙදීම සරුවට කරනවා!

පාකිස්ථානයේ සාක්ෂරතාව අඩුයි. පිරිමි අකුරු කියවීමේ හැකියාව 70%යි. කාන්තාවන් අතර එය 46%යි. අධ්‍යාපන මට්ටම් සීමිත වීම නිසාත්, දැඩි වැඩවසම්වාදී සමාජයක් නිසාත්, එරට බොහෝ දෙනකු විචාරශීලි වනවා වෙනුවට ආවේගශීලි වීම දැකිය හැකියි. දැඩි ලෙස ආගම්වාදී වීම පාකිස්ථානු සමාජයේ තවත් ලක්ෂණයක්. එරට ජනමතය හැසිරවීමේ විශාල බලයක් පූජකයන්ට තියෙනවා.

එරට නිර්මාතෘ මොහමඞ් අලි ජින්නා පූජක බලය සීමා කොට රාජ්‍යකරණයේ යෙදුණත්, ඉන්පසුව බලයට පත් වූ (හෝ බලය අල්ලා ගත්) නායකයෝ කෙටි කාලීන වාසි තකා සමාජ සංස්ථා දැඩි ලෙස ඉස්ලාමීයකරණය වන්නට ඉඩ දුන්නා. සියලූ දෙනා නොවූවත් බොහෝ ආගමික නායකයන් රටට හා සමාජයට එරෙහිව බහුවිධ බලවේග පෙළ ගැසී ඇති බවට නිතර මොර ගානවා. කුමන්ත‍්‍රණ අදහන පසුබිම සකස් වන්නේ එලෙසයි.

සමහරක් කුමන්ත‍්‍රණ කථා හුදු විනෝදාස්වාදය සපයන අතර, ඉතිරි ඒවා ජනයා මුලා කරමින් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට, සෞඛ්‍යයට හා යහ පුරුදුවලට හරස් වනවා. මේ දෙවැනි කාණ්ඩයට අයත් දැඩි සේ ප‍්‍රචලිත වූ කුමන්ත‍්‍රණවාදයක් පෝලියෝ ප‍්‍රතිශක්තීකරණයට සම්බන්ධයි.

Polio vaccinaation in Pakistan - AFP Photo
Polio vaccinaation in Pakistan – AFP Photo

මුළු ලෝකයෙන් පෝලියෝ රෝගය තුරන් කිරීමේ දැවැන්ත ප‍්‍රයත්නයක අවසන් අදියරට පිවිස සිටින මේ අවස්ථාවේ පෝලියෝ හමු වන රටවල් තුනක් ඉතිරිව තිබෙනවා. එනම් නයිජීරියාව, ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය. පාකිස්ථානයේ 2012 දී වාර්තාගත පෝලියෝ රෝගීන් සංඛ්‍යාව 58යි. http://www.polioeradication.org

මේ මට්ටමට පෝලියෝ පාලනය කර ගත්තේ දශක ගණනාවක සිට පාකිස්ථානු රාජ්‍ය සෞඛ්‍ය සේවය හා ස්වේච්ඡ සංවිධාන විසින් කරගෙන ආ ප‍්‍රතිශක්තීකරණය නිසා. එහෙත් සමහර දෙමවුපියන් තම දරුවන්ට පෝලියෝ එන්නත දීම ප‍්‍රතිකේෂ්ප කරනවා. එයට හේතුව පෝලියෝ එන්නත “ඉස්ලාම් ජාතිය වඳ බවට පත් කරන්නට බටහිර රටවලින් ක‍්‍රියාත්මක කුමන්ත‍්‍රණයක්” යැයි රාවයක් පැතිරීම.

කිසිදු වෛද්‍ය විද්‍යාත්මක සත්‍යතාවක් නැති මේ කටකථාව මත එල්බ ගෙන තම දරුවන් භයානක පෝලියෝවට ගොදුරු වන්නට ඉඩ දෙන තරමට සමහර දෙමවුපියන් එය අදහනවා!

මහජන සෞඛ්‍යයට විශාල වශයෙන් බලපාන තවත් පාකිස්ථානු මිථ්‍යාවක් අයඞීන් මිශ‍්‍රිත ලූණු වටා ගෙතී තිබෙනවා.

අයඞීන් අපේ ශරීර ක‍්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය ක්ෂුද්‍ර පෝෂකයක්. තයිරොයිඞ් ග‍්‍රන්ථිය මඟින් ස‍්‍රාවය කරන හෝමෝන දෙකක් නිපදවීම සඳහා සිරුරට කුඩා පරිමාවලින් අයඞීන් ඕනෑ. මුහුදු මාළු මේ ක්ෂුද්‍ර පෝෂකය ස්වාභාවිකව ලැබෙන හොඳ ප‍්‍රභවයක්. එහෙත් මුහුදු මාළු ලෙහෙසියෙන් හමු නොවන දුර බැහැර ගොඩබිම ප‍්‍රදේශවල වෙසෙන ජනයාට අයඞීන් ඌණතාව හට ගත හැකියි.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට ලෝක ජනගහනය බිලියන් හතෙන් බිලියන් 2ක් අයඞීන් ඌණතා අන්තරායන්ට මුහුණ දෙනවා. ළමයින් වැඩෙන කාලයේ හරිහැටි අයඞීන් නොලැබීම නිසා ඔවුන් මන්දබුද්ධික විය හැකියි. අයඞීන් ඌණතාව නිසා හට ගන්නා අනෙක් ආබාධය නම් ගලගණ්ඩයයි.

සුළු අමතර වියදමක් දරා විශාල ජන සංඛ්‍යාවකට ලෙහෙසියෙන් අයඞීන් ලබා දීමේ උපක‍්‍රමය ලෙස ලොව පුරා මහජන සෞඛ්‍ය විශේෂඥයන් දැන් පිළි ගන්නේ ලූණුවලට අයඞීන් ස්වල්පයක් එකතු කිරීම. අමෙරිකාවේ අයඞීන් මිශ‍්‍රිත ලූණු අලෙවිය ඇරඹුණේ 1946දී. ගෙවී ගිය දශක කිහිපය තුළ බොහෝ රටවල මෙය හඳුන්වා දී තිබෙනවා.

පාකිස්ථානය අයඞීන් ඌණතාව බහුල රටක්. එරට ජනගහනයෙන් භාගයකට අයඞීන් හරිහැටි ලැබෙන්නේ නැහැ. මේ නිසා දිගුකාලීනව හට ගන්නා දැඩි අලස බව හා අඩු බුද්ධි මට්ටම පාකිස්ථානයේ සමාජ ප‍්‍රගතියට හා ඵලදායීතාවට අහිතකරයි.

එහෙත් “අයිඞීන් මිශ‍්‍රිත ලූණු කන්න එපා!” පාකිස්ථානයේ අන්තවාදීන් ජනතාවට අනතුරු අඟවනවා. ඔවුන් කියන්නේ අයඞීන් එකතු කරන්නේ මුස්ලිම් ජනයා අතර වඳබව ඇති කිරීමට බටහිර කුමන්ත‍්‍රණයක් ලෙස බවයි!

කිසිදු අතුරු ආබාධයක් ඇති නොකරන ලොව පිළිගත් මෙබඳු සරල සෞඛ්‍ය පියවරකට පවා පාකිස්ථානයේ අස්ථාන භීතියක් හා ප‍්‍රතිරෝධයක් මතුවීම සෞඛ්‍ය සේවයකයන් කම්පාවට පත් කරනවා. සෞඛ්‍ය බලධාරීන් හා වෛද්‍යවරුන් කෙතරම් පැහැදිලි කළත්, අයඞීන් මිශ‍්‍රිත ලූණු භාවිතය නතර කරන්නට සැළකිය යුතු ජන කොටසක් පෙළඹී සිටිනවා. මෙය සමහර උගත් මධ්‍යම පාන්තික පවුල් අතරත් හමුවන බියකරු ප‍්‍රවණතාවක්.

මේ අස්ථාන භීතියට පසුබිම කුමක් ද?

පාකිස්ථානයේ අධික ජනගහන වර්ධනය දිගු කාලීනව රටට හා සමාජයට ඇති කරන අහිතකර බලපෑම් ගැන 1995දී විද්‍යාත්මකව තක්සේරු කළ එරට රාජ්‍ය නිලධාරීන්, මාතෘ හා ප‍්‍රජනන සෞඛ්‍යය ගැන ජනයා දැනුවත් කිරීමට විශාල පරිමානයේ සන්නිවේදන දියත් කළා. රජයට අයත් PTV ටෙලිවිෂන් නාලිකාව හරහා කාන්තාවන්ට පෝෂණ හා සෞඛ්‍ය දැනුම සරලව කියා දුන්නා. අයඞීන් නිතිපතා ආහාරයේ තිබීම වැදගත් බව ද කියැවුණා.

එම දර්ශනය අවසානයේ එය නිර්මාණය කළේ රජයේ ප‍්‍රාථමික සෞඛ්‍යය හා පවුල් සැළසුම් පිළිබඳ දෙපාර්තමේන්තුව (Department of Primary Health and Family Planning) බව කියැවෙන නාමාවලියක් පෙන්වනු ලැබුවා. අයඞීන් ගැන කථා කොට මොහොතකට පසුව මේ දෙපාර්තමේන්තු නම දිස්වීම නිසා ටික දෙනකු මේ දෙක අනිසි ලෙස සම්බන්ධ කරමින් කුමන්ත‍්‍රණවාදී තර්කයක් මතු කළා.

Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy - Network for Consumer Protection)
Iodine deficiency is a common cause of goiters, an affliction visible in this woman and child in Nothiya, Pakistan, a village on the outskirts of Islamabad (Photo courtesy – Network for Consumer Protection)

පවුල් සෞඛ්‍යය යනු පුළුල් විෂයයක්. ළමා හා මාතෘ පෝෂණය, ළමා රෝගවලින් ආරක්ෂා වීම ආදී සංකල්ප සමඟ පවුලක දරුවන් අතර නිසි පරතරයක් පවත්වා ගැනීම හා ගැබිණි මවුවරුන්ගේ සෞඛ්‍යය ගැන විශේෂ අවධානය යොමු කිරීම ද එයට ඇතුළත්.

එහෙත් කුමන්ත‍්‍රණවාදියෝ එය පවුල් සෞඛ්‍යය පවුල් සැලසුම් කිරීමට පමණක් ලඝු කොට “ජාතිය කප්පාදු කරන්නට රජය හා විජාතිකයන් ගන්නා උත්සාහයක්” යැයි බොරු බියක් පතුරවනවා. ජන මනස මෙසේ දුෂණය කිරීම හරහා කාන්තාවන් හා දරුවන්ගේ ජීවිතවලට කරන හානිය ගැන කිසිවකු සිතන්නේ නැහැ!

පාකිස්ථානයේ කුමන්ත‍්‍රණ මේනියාව යථාර්ථයෙන් හා වගකීම්වලින් අත්මිදීමේ බොළඳ උත්සාහයක් යැයි එරට ප‍්‍රමුඛ පෙලේ පෞද්ගලික ටෙලිවිෂන් නාලිකාවක අධ්‍යක්ෂවරියක් මට කියා සිටියා. “මේ විකාර කථා වැඩිපුර ම අදහන්නෙත් පතුරු වන්නෙත් පිරිමි උදවිය. ඔවුන් කැමතියි කථාන්තර කියමින් එදිනෙදා කළ යුතු දේ කල් දමමින් වගකීම්වලට මුහුණ නොදී සිටින්න. මේක දැන් වසංගතයක් වෙලා!” ඇය කීවා.

ප්‍රෞඪ ශිෂ්ටාචාරයකට හිමිකම් කියන, උගත් මධ්‍යම පාන්තිකයන් විශාල සංඛ්‍යාවක් සිටින, අපට වඩා මාධ්‍ය නිදහස තිබෙන පාකිස්ථානයේ මෙබඳු පසුගාමී මානසිකත්වයක් දැඩි ලෙස මුල් බැස ගත්තේ කෙසේ ද?

අනේ අපේ රටේ නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ! අපි සාක්ෂරතාවයෙන් හා අධ්‍යාපනික මට්ටම්වලින් ඉහළ, ලෙහෙසියෙන් රවටන්නට බැරි මිනිසුන් වෙසෙන දේශයක්…

සිවුමංසල කොලූගැටයා #102: පාවෙන පීරිසියක් උඩ නැඟලා…

In this week’s Ravaya coumn (in Sinhala), I look at the hype and reality of UFOs.

Why do aliens like this planet so much

පසුගිය සති කිහිපය මුළුල්ලේ අපේ රටේ නන් දෙසින් වාර්තා වූ හඳුනා නොගත් පියාසර එළි, පිටසක්වල යානා සමඟ ඈඳා ගෙන ඇතැම් දෙනා බියපත් වී තිබෙනවා.

අද්භුත යැයි කියන පියාසර එළි පිළිබඳ වාර්තා දශක ගණනාවක් තිස්සේ පුවත්පත් ඉඩ පිර වූ තේමාවක්. Breaking News ගැන සැම විට සෙවිල්ලෙන් සිටින රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා රැුසක් ඇති අද කාලයේ එබඳු ප‍්‍රවෘත්ති ඉක්මනින් ප‍්‍රචාරය වනවා. නාලිකා අතර තරගකාරිත්වය නිසා හරි හැටි විමර්ශනයකින් තොරව පුවත් පැතිර යන සැටි අප දකිනවා.

මොකක්ද මේකෙ ඇත්ත කථාව?

ufo-signපිටසක්වල ජීවින් සිටීමේ හැකියාව අද බහුතරයක් විද්‍යාඥයන් පිළිගන්නවා. එහෙත් ඒ පිළිබඳ තිරසාර සාක්ෂියක්, ඉඟියක් මේ දක්වා ලැබී නැහැ. පිටසක්වල ජීවින් අපේ ලෝකයට පැමිණීම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ නම් ප‍්‍රබල තේමාවක්. මේ කථාවලට අනුව සමහර ජීවින් එන්නේ අපේ ලෝකය යටත් කර ගන්න හෝ විනාශ කරන්නලූ. තවත් සමහරුන් එන්නේ අප සමඟ සම්බන්ධතා ඇති කර ගෙන සහජීවනයෙන් සිටින්නලූ. නො එසේ නම්, අපව අධ්‍යයනය කරන්නලූ.

තාවකාලික ප‍්‍රමෝදයක් සඳහා මෙබඳු කථා කියවූවාට කිසි වරදක් නැහැ. එහෙත් යථාර්ථය හා ප‍්‍රබන්ධය අතර වෙනස අප සිත් තබා ගත යුතුයි. මේ දෙක පටලවා ගත් විට අනවශ්‍ය සමාජ භීතිකා මෙන් ම මානසික රෝගයන් ද හට ගත හැකියි.

හඳුනා නොගත් පියාසර වස්තු (Unidentified Flying Objects නැතහොත් UFO) ලෙස හඳුන්වනු ලබන මේ සිද්ධීන් ජනමාධ්‍යවල හා ජනප‍්‍රිය සංස්කෘතියේ බොහෝ විට පියාඹන පීරිසි ලෙස නම් කෙරෙනවා. මේ යෙදුම භාවිතයට පැමිණ දැන් වසර 65ක්. එහි ආරම්භයටත් මාධ්‍ය සම්බන්ධයි.

Chicago Sun, 26 June 1947 - the original Flying Saucer report
Chicago Sun, 26 June 1947 – the original Flying Saucer report
1947 ජූනි 24දා අමෙරිකාවේ වොෂිංටන් ප‍්‍රාන්තයේ ගුවන් නියමුවකු වූ කෙනත් ආනල්ඞ්, තමා ගුවනේදී ඹත්‍ධ එකක් දුටු බව ප‍්‍රකාශ කළා. මේ ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට ඔහු කීවේ එම වස්තූන් ගමන් කළේ “හරියට පීරිසයක් දිය මතුපිට විසි කර හැරිය විට දියේ මඳක් ගැටෙමින් කඩින් කඩ යන ආකාරයට” බව යි. එහෙත් ඒ වස්තූන් පීරිසි හැඩය ගත්තා යැයි ඔහු කීවේ නැහැ. මෙය වඩාත් ලිහිල් ආකාරයට මාධ්‍ය වාර්තා කළේ “ගුවන් නියමුවා පියාඹන පීරිසි දකී!” කියායි.

ආනල්ඞ් සිතුවේ ඔහු දුටුවේ නවතම මාදිලියේ හමුදා ගුවන් යානයක් බවයි. මේ සිදුවීම රසවත් කිරීමට ඒවා පිටසක්වලින් එන විත්තිය මාධ්‍යවලින් එකතු කළා. එදා පටන් ගත් මේ කතන්දරය ලොව පුරා තවමත් විවිධ මුහුණුවරින් මතුවනවා. මාධ්‍ය එය තලූ මරමින් යළි යළිත් වාර්තා කරනවා.

2012 දෙසැම්බර් 9 වනදා 88 හැවිරිදිව මිය ගිය ශ‍්‍රීමත් පැට්රික් මුවර් (Sir Patrick Moore) බි‍්‍රතාන්‍යයේ මෙන් ම ලොව බොහෝ රටවල ප‍්‍රකට වූ තාරකා විද්‍යාඥයෙක්. 1957 අපේ‍්‍රල් සිට ඔහු මිය යන තුරු ම (වසර 55ක ලෝක වාර්තාවක්) මාස්පතා BBC ටෙලිවිෂනයේ The Sky at Night නම් ජනප‍්‍රිය තාරකා විද්‍යා වැඩසටහන ඉදිරිපත් කළා. රාත‍්‍රී අහස නිරික්සීම හා අභ්‍යවකාශ ගවේෂණයේ තොරතුරු ගෙන ඒමට අමතරව බි‍්‍රතාන්‍යයේ තැනින් තැන වාර්තා වූ UFO ගැන ඔහු මහත් ඕනෑකමින් විමර්ශනය කළා.

අඩ සියවසක මෙබඳු සොයා බැලීම් මෙනෙහි කරමින් ඔහු කීවේ මෙයයි. “අද ජීවත්වන බොහෝ දෙනකුට දවාලේ හෝ රාත‍්‍රියේ අහසේ දැකිය හැකි විවිධාකාර ස්වාභාවික සංසිද්ධීන් හා මිනිසුන් විසින් නිර්මිත වස්තූන් ගැන නිරවුල් අවබෝධයක් නැහැ. බොහෝ UFO වාර්තාවලට හේතු වන්නේ මෙසේ යමක් වටහා නොගෙන කලබලවීමයි.”

UFO යැයි වරදවා තේරුම් ගත් වවුලන්, වෙනත් පක්ෂී සමූහයන්, කාලගුණ හා වෙනත් බැලූන්, අසාමාන්‍ය හැඩය ගත් ගුවන් යානා (විශේෂයෙන් හමුදා යානා) බොහොමයක් ඔහු සොයා ගත්තා. මීට අමතරව විවිධ රටවලින් උඩුගුවන් ගත කැරෙන රොකට්ටු හා චන්ද්‍රිකා නිසාත්, තතු නොදන්නා උදවිය UFO යැයි කලබලයට පත් වූවා.

මෙබඳු අවස්ථාවල UFO යන යෙදුම හරි. එනම් හඳුනා නොගත් පියාසර වස්තු. එහෙත් UFO යනු පිටසක්වල යානා යැයි කීම නිරීක්ෂණයක් මත පදනම් වී ෆැන්ටසියට ඉඩ දීමක්.

පැට්රික් මුවර් කීවේ වරදවා දැකීමට අමතරව මනෝවිකාර ඇති අයත් ඇතැම් විට UFO ගැන ස්වයංමුලාවට පත් වී, එය අදහමින් වාර්තා කරන බවයි. බොහෝ විට වංචනික චේතනාවකින් තොරව යම් අද්භුත දේවල් තමන් දුටුවා යැයි සමහරු විශ්වාස කරනවා. UFO වාර්තාවලින් කොටසක් මේ ගණයට වැටෙනවා.

ඉතිරි අය මුවර් විග‍්‍රහ කළේ දැන දැන ම බොරු කියමින් සමාජය මුළා කරන්නට තැත් කරන, එයින් මාධ්‍ය ප‍්‍රසිද්ධියටත්, කැපී පෙනීමටත්, නැතහොත් ඒ ගැන ලියා කියා මුදල් උපයා ගන්නටත් කැමති උදවිය කියායි. ඔවුන්ට උවමනාවට වඩා අවකාශ සැලසීම හරහා UFO උන්මාදය වාණිජකරණය වීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය උඩගෙඩි දෙන බව මුවර් කීවා.

ශ‍්‍රී ලංකාවේ UFO වාර්තාවලටත් මෙකී විවිධාකාරයේ පසුබිමක් තිබිය හැකියි. එමෙන්ම එක වකවානුවේ කිහිප දෙනෙකුට එක ම ආකාරයේ UFO පෙනීමට ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑම ද හේතු විය හැකියි. එබඳු සාමුහික UFO වාර්තා සිදු වූ කාලවල පිටසක්වල ජීවින් හෝ යානා ගැන ප‍්‍රබන්ධ කථා පාදක කර ගත් (රැජන, භවත‍්‍රා වැනි) ටෙලි නාට්‍ය ප‍්‍රචාරය වෙමින් තිබුණා.

වසර 2000දී පමණ රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනින් එක්තරා ප‍්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුත් මාත් UFO ගැන සජීව සංවාදයක් කළා. මේ ලිපියේ සඳහන් පොදු කරුණු හා තර්ක ද මතු කරමින් මා කියා සිටියේ ඹත්‍ධ යනු පිටසක්වල යානා යැයි කියන්නට කිසිදු සාක්ෂියක් නැති බවයි. එහෙත් ඔහු යළි යළිත් ප‍්‍රකාශ කළේ ‘එබඳු සාක්ෂි ඉන්ටර්නෙට් එකේ ඕනෑ තරම් තිබෙන බවයි.’

ඉන්ටර්නෙට්හි සත්‍ය තොරතුරු මෙන් ම හරසුන් ඕපාදුප ද ඕනෑ තරම් ඇති බව මේ ප‍්‍රවීන කලාකරුවා තේරුම් ගත්තේ නැහැ. අද පවා UFO යනු පිටසක්වල යානා යැයි කියන ඇතැම් උදවිය නොදැන හා අවිචාරශීලිව ඇතැම් වෙඞ් අඩවිවල තිබෙන මිනිසුන් රවටන පට්ටපල් බොරුවලට රැවටී ඒවා ප‍්‍රතිරාවය කරනවා විය හැකියි. දැන ගියොත් ඉන්ටර්නෙට් – නොදැන ගියොත් අතරමඟ!

ටෙලි කථාන්දර හා සංත‍්‍රාසජනක හොලිවුඞ් චිත‍්‍රපට නැරඹීමේ දී අප අවිශ්වාසය තාවකාලිකව නතර කොට (suspend disbelief) පරිකල්පන ලෝකයකට පිවිසෙනවා. ප‍්‍රබන්ධ රස විඳීමට උපකාර වන එම මානසික තත්ත්වය සැබෑ ලෝකයේ අප අත් විඳින දේ තේරුම් ගන්නට සෑහෙන්නේ නැහැ.

ජීවිත කාලයක් පුරා ආධුනික තාරකා විද්‍යාවේ නිරත වුණු හා අද්භුත දේ විමර්ශනයට ටෙලිවිෂන් වාර්තා වැඩසටහන් මාලා ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් UFO ගැනත් විචාරශීලිව විමසා බැලූවා. ඔහු අවධාරණය කළේ විද්‍යා ප‍්‍රබන්ධවල එන UFO කථා හා සැබෑ ලෝකයේ යථාර්ථය වෙන් කර හඳුනා ගත යුතු බවයි.

තම ජීවිත කාලය තුළ UFO දර්ශන ගණනාවක් දැක ඇති බවත්, වැඩිදුර විමසීමේදී ඒ හැම එකකට ම ස්වාභාවික හෝ මිනිස් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ හේතුවක් තිබූ බවත් ක්ලාක් පෙන්වා දුන්නා. එමෙන් ම තවමත් හරිහැටි විද්‍යාවෙන් තේරුම් නොගත් බෝල අකුණු (ball lightning) වැනි ස්වාභාවික සංසිද්ධීන් ද ඇතැම් විට UFO දිස්වීම්වලට හේතු විය හැකි යැයි ඔහු අනුමාන කළා.

බොහෝ UFO වාර්තා අපේ විචාරශීලි බවේ අඩුපාඩු යැයි ක්ලාක් කියා සිටියා. ඔහුගේ නිගමනයථ ‘‘UFO පිළිබඳ විටින් විට මතු වන විවාදවලින් පිටසක්වල බුද්ධිමත් ජීවය ගැන කිසිවක් සනාථ වන්නේ නැහැ. එහෙත් අපේ ග‍්‍රහලෝකයේ බුද්ධිමත් ජීවය කෙතරම් දුර්ලභ ද යන්න නම් එයින් හොඳාකාර පෙනී යනවා!’’

No UFOs signනාසා ආයතනයටවත් වෙනත් කිසිදු විද්‍යාත්මක හෝ ආරක්ෂණ අධිකාරියකටවත් පිටසක්වල ජීවින් රැගත් යානා නිතර නිතර මෙහි එන යන කථාව සම්පූර්ණයෙන් ම නිෂ්ප‍්‍රභ කර ඔප්පු කළ නොහැකියි. මන්ද යත් ඍණාත්මක තර්කයක් සහමුලින් සනාථ කළ නොහැකි නිසා. (එම ගණයට ම වැටෙන තවත් බොහෝ මිථ්‍යාවන් තිබෙනවා. හොල්මන්, අවතාර වගේ ම මකරා වැනි සත්ත්වයන් ගැන ඇතැම් දෙනා හා ඇතැම් ජනසමාජවල තිබෙන විශ්වාස එයට උදාහරණයි. අහිංසක විශ්වාසයන් පැවතීම ප‍්‍රශ්නයක් නොවූවත්, එයින් පුළුල් සමාජ භීතිකාවන් හෝ ගසාකෑමක් හෝ සිදු වේ නම්, එය සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වනවා.)

පෘථිවියෙන් බාහිර ලෝකවල ජීවය ඇත් ද යන මහා ප‍්‍රශ්නය දාර්ශනිකවත්, විද්‍යාත්මකවත් ගැඹුරින් අධ්‍යයනය කළ ලොව ප‍්‍රමුඛ තාරකා විද්‍යාඥයකු වූයේ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996). ඔහු නිතර කීවේ ‘‘පිටසක්වල ජීවීන් ගැන නිශ්චිත සාක්ෂියක් හමු වන තුරු මා ඉතා ඕනෑකමින් බලා සිටිනවා. එහෙත් එබන්දක් ගැන කටකථා, ප‍්‍රලාප, අසම්පූර්ණ වාර්තා නම් පිළිගත නොහැකියි’’ කියායි.

අප රටේ මෙන් ම අමෙරිකාවේ හා යුරෝපයේ රටවලත් UFO ඇතුළු අද්භුත දේ ගැන විචාර බුද්ධියෙන් තොරව පිළිගන්නා අය සිටිනවා. කාල් සේගාන් ඔවුන්ට දුන් අවවාදය මෙයයි. ‘‘පාවිච්චි කළ කාර් එකක් මිලට ගන්නා විට ඔබ හිමිකරු කියන දේ ගෙඩිපිටින් විශ්වාස කරන්නේ නැහැ. පරීක්ෂා කර බලා හොඳ තත්ත්වයේ ඇත්නම් හා මිල සාධාරණ නම් ගන්නවා. ටෙලිවිෂන් දැන්වීම් නොයෙක් භාණ්ඩවල ගුණ වර්ණනා කළාට ඒ හැම එකක් ම ඔබ විශ්වාස කරන්නේත් නැහැ. යම් තරමකට විමසා බලනවා. එහිදී ඔබ යොදා ගන්නේ සංශයවාදී ගුණයයි (skepticism). අද්භුත යැයි කියනා සංසිද්ධි ගැන ඔබ එපමණටවත් විචාරශීලි නොවන්නේ ඇයි?’’

කැලේ නිදා සිටි බියසුළු හාවා තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු ශබ්දයට බිය වී ‘අහස කඩා වැටෙනවා!’ යැයි විලාප නඟා එයින් අන් සතුන් කලබල කළ සැටි ජනප‍්‍රවාදයක කියැවෙනවා. හරිහැටි කරුණු නොවිමසා UFO ගැනත්, වෙන බොහෝ සංසිද්ධීන් ගැනත් මාධ්‍ය කලබලවීම ගැන කිව හැක්කේත් එයමයි.

සැබෑ ලෝකයේ මේ තරම් දැවෙන ප‍්‍රශ්න හා අභියෝග ඇති අද දවසේ පිටසක්වල යානා හා ජීවින් ගැන ප‍්‍රබන්ධ කථා ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ලෙස මාධ්‍ය විසින් වාර්තා කිරීම ජන සමාජය කෙතරම් මුළා කිරීමක් ද?

සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

In this week’s Ravaya column (in Sinhala), I look back at the Newsweek magazine’s illustrious history of nearly 80 years, and reflect on the phenomenon of news magazines: are their days numbered, at least in print?

Newsweek magazine Last Print Issue 31 Dec 2012
‘‘අප කවදාවත් ගතානුගතික සඟරාවක් හෝ බයගුළු ප‍්‍රකාශනයක් හෝ වූයේ නැහැ. අප ඩිජිටල් මාධ්‍යයට මුළුමනින් අවතීර්ණ වන්නේත් අලූත් දෙයක් කිරීමේ එම එඩිතර ගුණය පෙරදැරි කරගෙනයි. යම් දිනෙක අපේ තරගකාරී ප‍්‍රකාශන සියල්ල ද අප පුරෝගාමීව යන මේ මෙඟහි ම ගමන් කරනු ඇති!’’

නිව්ස්වීක් (Newsweek) ජාත්‍යන්තර පුවත් සඟරාවේ අවසන් මුද්‍රිත කලාපයට (2012 දෙසැම්බර් 31) විශේෂ පණිවුඩයක් ලියමින් එහි කර්තෘ ටීනා බ‍්‍රවුන් එසේ කියා සිටියා.

සඟරාවේ ප‍්‍රකාශකයන් හා වත්මන් කතුවරුන් අවධාරණය කර සිටියේ මෙය දශක අටක් වයසැති සඟරාවේ අවසානය නොව අලූත් ආරම්භයක් පමණක් බවයි. වෙළඳපොළ හා තාක්ෂණය වෙනස් වන ආකාරයට පරිනාමීයව හැඩ ගැසීමක් ලෙස ඔවුන් එය හඳුන්වා දුන්නා.

2012 දෙසැම්බර් මස 31 වනදා නිකුත් කළ අවසන් මුද්‍රිත කලාපය ම සිය ඉතිහාසය දෙස හැඟීම්බරව නෙතග බැල්මක් හෙළන්නට ඔවුන් කැප කළා. ටයිම් හා නිව්ස්වීක් සතිපතා පුවත් සඟරා කියවමින් හැදුනු, එයින් ආභාසය ලත් මට මෙය හැඟීම්බර අවස්ථාවක්. ලෝක ව්‍යාප්ත මාධ්‍ය පවුලේ දැවැන්තයකුගේ ප‍්‍රබල සන්ධිස්ථානයක්. මුද්‍රිත මාධ්‍යයේ වර්තමානය හා අනාගතය ගැන මෙනෙහි කරන්නට නිමිත්තක්.

First issue of Newsweek
First issue of Newsweek
නිව්ස්වීක් උපන්නේ 1933 පෙබරවාරි 17 වනදා. එය ඇරඹුවේ තොමස් ජේ. සී. මාටින්. මුල් ම කතුවරයා වූයේ සැමුවෙල් ටී. විලියම්සන්. 1923 මාර්තු 3 වනදා අරඹන ලද ටයිම් (TIME) සඟරාවට තරගකාරී ප‍්‍රකාශනයක් වූ මෙය, දශක ගණනාවක් පුරා අමෙරිකාවේත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ප‍්‍රධාන පෙළේ පුවත් සඟරාවක් ලෙස පිළිගැනීමට පාත‍්‍ර වුණා. එහි උච්ච අවධියේ ලොව පුරා පිහිට වූ කාර්යාල 23ක වාර්තාකරුවන් හා ජායාරූප ශිල්පීන් සිය ගණනක් සේවය කළා. වසර 80කට ආසන්න කාලයක් තුළ මුද්‍රිත සඟරාවේ කලාප 4,150ක් පළ කරනු ලැබුවා.

ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක හිතකර තරගකාරිත්වයක් මත ක‍්‍රියා කළා. මේ ප‍්‍රකාශන දෙක ම සිය ප‍්‍රධාන කාර්යාලයන් පිහිට වූයේ අමෙරිකාවේ ප‍්‍රකාශන මාධ්‍ය කේන්ද්‍රය වන නිව් යෝක් නුවර මැන්හැට්න් දුපතේ එකිනෙකට නොදුරින්. වෙළඳ පොළේ පත්තර ලෑලි හා පොත් සාප්පු හරහා මෙන් ම දායකත්වය හරහා ද මේ සඟරා අලෙවි කරනු ලැබුවා.

නිව්ස්වීක් අන්තිම මුද්‍රිත කලාපයේ එක් විශේෂාංගයක් වන්නේ දිගු කලක් ටයිම් කතුවරයකුට සිටි ජිම් කෙලී හා එබඳු ම කලක් නිව්ස්වීක් කතුවර වූ එවන් තෝමස් දෙදෙනා තම තමන්ගේ සඟරා දෙකේ නිරතුරු තරගය ගැන සුහද ආවර්ජනා කිරීම. අවසාන විනිශ්චයේ දී දෙපිරිස ම කළේ පොදු උන්නතිය වෙනුවෙන් පාඨකයන්ට වැඩ කිරීම. උසස් ම මාධ්‍ය සදාචාරයත් එයයි!

දිනපතා පුවත්පත් එයට පෙර දින සිදු වූ දේ වාර්තා කරනවා. යම් තරමක පුවත් විග‍්‍රහයක් ද ගෙන එනවා. සති අන්ත පුවත්පත්වල (අපේ රටවල ඉරිදා, ඉස්ලාමීය රටවල සිකුරාදා) ඊට ඔබ්බට යන පුවත් විමර්ශනයක් හා විශේෂාංග ලිපි ඇතුළත් වනවා. මේ දෙයාකාරයේ ම අන්තර්ගතයන්ට වඩා ගැඹුරින් එහෙත් කාලානුරූපීව සිදුවීම් හා ප‍්‍රවණතා ගැන වාර්තා කරන්නත්, සංවාද කරන්නත් පුවත් සඟරා උත්සාහ කරනවා.

පුවත් සඟරා සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයේ The Economist විසින් ඇරඹුවේ 1843දී. එය වඩාත් ජනප‍්‍රිය වූයේ TIME සඟරාව සමඟයි. (නාමකරණය ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. TIME යනු ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පුවත් සඟරාවයි. එහි නම ලියන්නේ මුළුමනින් ම ඉංග‍්‍රීසි කැපිටල් අකුරුවලින්. Times යනු ඉංග‍්‍රීසි බසින් පත්තර පළ කරන රටවල් රැසක දිනපතා හෝ සති අන්ත පත්තරවලට බහුලව යෙදෙන නමක්. බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල ටයිම්ස් පත්තර තිබෙනවා. පොදු නමක් තිබුණත් එකකට එකක් සම්බන්ධ නැහැ. ටයිම් සඟරාව හා ටයිම්ස් පත්තර පටලවා නොගත යුතුයි.)

කවරයේ යොදන රූපයක් තේමා කර ගෙන සඟරාව ඇතුළත පිටු ගණනාවක් පුරා විස්තරාත්මක විග‍්‍රහයක් හෝ වාර්තාකරණයක් ගෙන ඒමේ කවරයේ කථාව (cover story) සම්ප‍්‍රදාය ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක සාර්ථකව කළා.

නිව්ස්වීක් මා නිරතුරුව කියවූ සඟරාවක් නොවෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල නිව්ස්වීක්ට වඩා ටයිම් සඟරාව ඉදිරියෙන් සිටියා. එයට එක් හේතුවක් නම් හොංකොං නුවර කේන්ද්‍ර කර ගෙන ආසියානු සංස්කරණයක් ටයිම් සතිපතා පළ කරද්දී නිව්ස්වීක් කළේ ජාත්‍යන්තර සංස්කරණයක් (Newsweek International) පමණක් වීමයි. (ජපන් බසින් නිව්ස්වීක් කලක් පළ කෙරුණා.) එහෙත් ලෝකය සසල කර වූ හෝ ලෝක ව්‍යාප්තව අවධානය යොමු වූ සිදුවීම් ගැන ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක වාර්තා කරන්නේ කෙසේ ද යන්න ගැන මා පාසල් සිසුවකුව සිටි කාලයේ පටන් ම අවධානය යොමු කළා.

ටයිම් සඟරාව යම් පමණකට අමෙරිකානු ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන අතර, නිව්ස්වීක් ඊට වඩා ලිබරල් හා විකල්ප මතාධාරී වූ අවස්ථා බොහෝ තිබුණා. අන්තිම මුද්‍රිත කලාපයෙන් මෙතෙක් ආ මඟ ගැන ආවර්ජනය කරද්දීත් නිව්ස්වීක්හි වත්මන් හා විශ‍්‍රාමික පුවත්පත් කලාවේදීන් හා කතුවරුන් හුවා දක්වන්නේ මේ ගතිගුණයයි.

Landmark Newsweek cover storyඋදාහරණයක් හැටියට අප‍්‍රිකානු සම්භවය ඇති කළු අමෙරිකානුවන් සම අයිතිවාසිකම් ලබා ගැනීමට 1950 – 1960 දශකවල ගෙන ගිය අරගලය වාර්තා කිරීමේ දී නිව්ස්වීක් ඉදිරියෙන් සිටියා. කළු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු සානුකම්පිතව හසු කර ගනිමින් මැදහත්ව නිව්ස්වීක් කළ දිගු කාලීන වාර්තාකරණය සම අයිතීන් දිනා ගැනීමටත්, අමෙරිකානු ජන සන්තානය සදහට වෙනස් කිරීමටත් දායක වූ සැටි නිව්ස්වීක් සඟරාවේ මුල් ම කළු ජාතික කතුවරයා වූ මාක් විටෙකර් පෙන්වා දෙනවා.

මානව සංහතියෙන් හරි අඩක් වන කාන්තාවන්ට සම තැන් දීම ගැනත්, නිව්ස්වීක් සඟරාව සෙසු අමෙරිකානු ප‍්‍රකාශනවලට වඩා උද්‍යෝගයෙන් වාර්තා කළා. 1960 ගණන්වල මතුව ආ ස්ත‍්‍රීවාදයේ (Feminism) සමාජයීය, දේශපාලනමය හා සාංස්කෘතික බලපෑම් ගැන මුල්වරට කවරයේ කථාවක් කළ ප‍්‍රධාන සඟරාව වූයේ නිව්ස්වීක්. ඒ 1970දී. ඒ වසරේ ම කර්තෘ මණ්ඩලය තුළ සම අවස්ථා හා සුදුස්සාට සුදුසු තැන ඉල්ලා නිව්ස්වීක් පුවත්පත් කලාවේදී කාන්තා පිරිසක් නඩු මඟට පිවිසියා.

සාමාන්‍යයෙන් මාධ්‍ය හාම්පුතුන්ට නඩු කියා දිනුවත් එතරම් දුර යන්නට බැරි යථාර්ථය තුළ, ඔවුන් පුවත්පත් කලාවේ කාන්තා සහභාගීත්වයේ නිම් වළලූ පුළුල් කළා. 1972දී තීරු ලිපි රචනයට මුල් වරට කාන්තාවක් හවුල් කර ගත් නිව්ස්වීක්, 1975දී ජ්‍යෙෂ්ඨ කතුවර තනතුරට කාන්තාවක් පත් කළා. එතෙක් කල් පිරිමි කතුවරුන්ට පර්යේෂණ සහාය දෙමින් අවශේෂ භුමිකා රඟපෑ අමෙරිකානු පත‍්‍රකලාවේදිනියන්ට කුසලතාව හා කැපවීම හරහා ඉහළට එන්නට මඟ විවර වූයේ ඉන් පසුවයි.

නිව්ස්වීක් අමෙරිකාව හා බටහිර ලෝකයෙන් ඔබ්බට දියුණු වන ලෝකය දෙසත් මැදහත්ව බලන්නට උත්සාහ කළා. මේ ගැන අවසන් මුද්‍රිත කලාපයේ නිසි ආවර්ජනයක් නැතත් 1980 ගණන්වල ආසියානු, අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලින් මතුව ආ ස්වාධීන චින්තකයන්ට හා දක්ෂ ලේඛකයන්ට සඟරාවේ තීරු ලිපි ලිවීමේ අවස්ථාව උදා කර දුන් බව මට හොඳට මතකයි.

Tarzie Vittachi
Tarzie Vittachi
නිව්ස්වීක් හරහා තුන්වන ලෝකයේ දැක්ම මැනවින් සන්නිවේදනය කළ එබඳු එක් චරිතයක් වූයේ ලාංකික පුවත්වත් කතුවර ටාසි විට්ටච්චි (Tarzie Vittachi). ඔහු මෙරට පුවත්පත් කරන කාලයේ (1950 දශකයේ) මා ඉපිද නොසිටි බැවින් මා ඔහු හඳුනාගත්තේ නිව්ස්වීක් හා බොස්ටන් නුවරින් පළ කෙරුණු WorldPaper නම් පුවත්පත් අතිරේකය තුළින්. (එය කලක් මෙරට Observer පත‍්‍රයත් සමඟ නොමිලේ බෙදා දුන්නා.)

සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ලෝක බල තුලනය වැනි මහා ප‍්‍රශ්න ගැන සරල, සුමට ඉංග‍්‍රීසියෙන් — ඇතැම් විට හාස්‍යජනක ලෙසින් — වචන 400ක් වැනි (තනි සඟරා පිටුවක සීමාව) සංඛ්‍යාවක් හරහා ලිවීමට ටාසි අති දක්ෂයකු වුණා. ටාසිගේ නිව්ස්වීක් කොලම් දැන් සොයා ගන්නට අමාරුයි. කවදා හෝ ඒවා පොතක් ලෙස එකතු වනවා නම් අපූරුයි.

නිව්ස්වීක් මෙන් ම පුවත් සඟරා කලාවේ ස්වර්ණමය අවධිය 1960 – 1970 දශකයන් විය යුතුයි. 1980දී මුල් ම පැය විසි හතරේ ටෙලිවිෂන් නාලිකාව CNN හා 1990 දශකයේ ඉන්ටර්නෙට් ආගමනය හරහා පුවත් වෙබ් අඩවි බිහිවීම තුළින් පුවත් සඟරාවල සුවිශේෂි බව අඩු වන්නට පටන් ගත්තා. මේ තාක්ෂණ හා වෙළඳපොළ ප‍්‍රවාහයන්ට අනුවර්තනය වන්නට පුවත් සඟරා දැඩි ප‍්‍රයත්නයක යෙදුණා.

දුවන ගමන් පුවත් වාර්තා කරන ටෙලිවිෂන් හා බොහෝ පුවත් වෙබ් අඩවිවලට වඩා සන්සුන්ව, දැක්මක් හා ගැඹුරක් ඇතිව කාලීන තොරතුරු හා ප‍්‍රවණතා විග‍්‍රහයට පුවත් සඟරාවලට තවමත් ඉඩක් තිබෙනවා. (මෙය ඉතා හොඳට කරන්නේ ඉන්දියාවේ ඉංග‍්‍රීසියෙන් සතිපතා පළ කෙරෙන පුවත් සඟරා කිහිපයයි. ඒ ගැන වෙනම කථා කළ යුතුයි.)

නමුත් දැන්වීම්කරුවන් සහ ග‍්‍රාහකයන් ටිකෙන් ටික ක්ෂීන වීම හරහා නිව්ස්වීක් පාඩු පිට පාඩු ලබන්නට පටන් ගත්තා. දශක හතරක් වොෂිංටන් පෝස්ට් යටතේ තිබුණු සඟරාව 2010දී ණය කන්දරාවක් ද සමඟ ඩොලර් 1ක මිලට කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබුවා. එය Daily Beast නම් වෙබ් අඩවියක් හා බද්ධ කෙරුනේ එතැන් පටන්. මේ දීගය හරිහැටි සංයෝග නොවූ බවත්, අන්තිමේදී ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සඟරාව අඳ බාල පිරිසක් විසින් නොමරා මැරූ බවත් නිව්ස්වීක් විශ‍්‍රාමිකයන් චෝදනා කරනවා. ඇත්ත කථාව හරිහැටි නොදැන ඒ ගැන විනිශ්චයක් දීම අපහසුයි.

මා දන්නා තරමට ශ‍්‍රී ලංකාවේ සතිපතා පුවත් සඟරාවක් බිහි වූයේ ම නැහැ. අපේ වෙළඳපොළ එබන්දකට ප‍්‍රමාණවත් නැති වීම එක් හේතුවක්. 1978දී ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය නිලධාරියකුව සිටියදී ඇරඹු දෙසතිය පුවත් සඟරාව අප රටේ එයට ආසන්න ම වූ ප‍්‍රකාශනය විය යුතුයි. ඉංග‍්‍රීසියෙන් මාසික පුවත් සඟරා ලෙස ඇරඹූ Counterpoint, Montage වැනි ප‍්‍රකාශන මෙන් ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මර්වින් ද සිල්වා කලක් කර ගෙන ගිය දෙසතිපතා සඟරාවක් වූ Lanka Guardian ද, පරිනාමීය ප‍්‍රවාහයන්ට හසු වී නතර වෙලා.

ජාත්‍යන්තරව කලක් ලොකු හපන්කම් කළ Asiaweek සඟරාව 2001දීත්, Far Eastern Economic Review සඟරාව 2009දීත් වැසී ගියා. සතියකට පිටපත් මිලියන් 3ක් අලෙවි වන ටයිම් සඟරාව මේ කේෂත‍්‍රයේ දැන් ඉතිරිව සිටින එක ම දැවැන්තයායි. තමන්ගේ ප‍්‍රතිවාදියාට අත් වූ ඉරණම දෙස බලන විට තම අනාගතය ගැනත් යම් අවිනිශ්චිත බවක් ටයිම් සඟරාවේ කතුවරුන්ට සමහර විට දැනී ඇති…

Newsweek covers - among 4,150 in its print history

සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo
Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.

සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

For much of 2012, a large section of the print and broadcast media in Sri Lanka behaved like the proverbial chicken who panicked himself and the rest of the jungle claiming the sky was falling.

They uncritically and sometimes gleefully peddled the completely unsubstantiated and imaginary prophecies of doom and gloom – specifically, about the world ending on 21 December 2012.
And just like Chicken Little did, our media too had plenty of uncritical followers – a case of the blind leading the blind. They worked themselves into a misplaced frenzy, imagining all sorts of scenarios for the world’s end.

In this week’s Ravaya column (in Sinhala), I take a critical look at our uncritical and fear-mongering media, especially broadcast media. Appears in print issue of 30 Dec 2012.

See also related English posts:
End-of-the-World Special: Chicken Little Media Awards 2012
21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

Tribute to a myth, courtesy www.Boondi.lk
Tribute to a myth, courtesy http://www.Boondi.lk

දෙසැම්බර් 21 වනදා ගෙවී ගියා. එහෙත් නිට්ටාවට ම සිදු වනවා යැයි කියා තිබූ ලෝක විනාශයේ සේයාවක්වත් දැක ගන්නට නම් ලැබුණේ නැහැ!

මානව සංහතිය අනතුරට පත් කරන මට්ටමේ ආපදා ගොන්නක් එක විට හට ගත්තේ නැහැ. එසේ ම දින තුනක් එක දිගට හිරු නොපෑවීම නිසා අදුරු වීම වැනි අතිශයින් අභව්‍ය අනාවැකි මුළුමනින් ම ප‍්‍රලාප බවට පත් වුණා.

ලෝක විනාශය ගැන මේ කොලමින් අප 2012 මාර්තු 18 සහ මාර්තු 25 වනදා විස්තරාත්මකව විග‍්‍රහ කළා. අපේ ග‍්‍රහලෝකය තුළින් මතු වන ආපදාවක් නිසා හෝ පිටසක්වලින් එන උවදුරක් නිසා හෝ මේ වසරේවත් නුදුරු අනාගතයේවත් ලෝක විනාශයක් වීම ගැන ජනප‍්‍රිය සංස්කෘතියේ සංසරණය වන මතවාදයන්ට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව අප අවධාරණය කළා.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නම් වූ කොලමින් මාර්තු 25 වනදා මා මතු කළ ප‍්‍රශ්න මේවායි. “සිදුවන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භීතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමූහික චින්තනයට සමීප වෙලාද?”

ලෝක විනාශය නිට්ටාවට ම සිදු වනවා යැයි මුලදී මොර ගෑ උදවිය වසර අග වන විට ටිකෙන ටික තමන්ගේ ස්ථාවරය වෙනස් කළ හැටි හොඳාකාර පෙනී ගියා. එසේ ම ලෝක විනාශවාදීන් පේන කී හැටියට විවිධාකාරයෙන් විනාශ වන්නට නම් පෘථිවි ලෝක එකක් මදි. කිහිපයක් තිබිය යුතුයි!

ලෝක විනාශයට අහක හිටපු මායාවරුන්වත් නිරපරාදේ ඈඳා ගත්තා. විශිෂ්ට සභ්‍යත්වයක් තිබූ මායාවරුන් කිසි තැනෙක එබන්දක් කියා නැති බවට මායාවරුන්ගෙන් පැවත එන වත්මන් පරපුර හා මායා සභ්‍යත්වය ගැඹුරින් අධ්‍යයනය කළ සැබෑ විද්වතුන් යළි යළිත් කීවත් මිථ්‍යාවාදීන්ට හා ඔවුන්ට උඩගෙඩි දුන් අවිචාරශීලි මාධ්‍යවලට එය ප‍්‍රශ්නයක් වූයේ නැහැ.

එපමණක් නොවේ බුදු දහම, තාරකා විද්‍යාව, භූ විද්‍යාව වැනි විවිධ කේෂත‍්‍රවලින් උඩින් පල්ලෙන් යම් යම් දේ උකහා ගෙන පොදු ජනයා බියපත් හා මංමුලා කරන ආකාරයේ බිහිසුණු අනාවැකි නිර්මාණය කරනු ලැබුවා.

මේ සාමූහික අයාලේ යාමට වගකිව යුත්තේ කවරහු ද?

ඕනෑ කෙනකුට කැමති දෙයක් විශ්වාස කරන්නටත්, එයින් බියට පත් වීමටත් පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් ඒ නිදහසට මුවා වී සමාජයේ ඉච්ඡභංගත්වය හා භීතිය වපුරන්නට තිබෙන අවකාශයට සදාචාරමය සීමාවන් තිබිය යුතයි. ප‍්‍රකාශන නිදහස ගැන මූලික රීතියක් වන්නේ ජනයාගේ පිරී ගිය රඟහලක ‘ගිනි ගන්නවෝ’ යැයි අහේතුකව කෑගසන්නට කිසිවකුට අයිතියක් නැති බවයි.

chickenlittleලෝක විනාශ මිථ්‍යාවක් මතු වූ ප‍්‍රථම වතාව මෙය නොවෙයි. එහෙත් මෙතරම් ලෝක ව්‍යාප්ත මට්ටමින් මෙබඳු මුලාවක් හා භීතියක් මෙවර හට ගත්තේ ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණය හරහා මේ ප‍්‍රබන්ධය අති විශාල ජනකායක් අතරට ඉක්මනින් පැතිරුණු නිසයි. තොරතුරු සමාජය හා මාධ්‍ය චර්යාව ගැන නෙත් යොමා සිටින මට මේ ගැන නිරීක්ෂණ හා අත්දැකීම් කිහිපයක් තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ලෝක විනාශය තේමා කර ගෙන කළ විමසීම් රැසකට මා දුරකථනයෙන් පිළිතුරු දුන්නා. ඉඩ ඇති පරිද්දෙන් සජීව සංවාදයන්ට ද සහභාගි වුණා. මේ අත්දැකීම් පොදුවේ විග‍්‍රහ කරන විට මට පෙනී යන්නේ ග‍්‍රාහකයන්ගේ දැනුමේ නිම්වළලූ පුළුල් කිරීමට හෝ ඔවුන්ගේ මනසේ මතුව ඇති සැකයන් හා භීතිකාවන් සමනය කිරීමට හෝ නොව තාවකාලික සංත‍්‍රාසයක් (චීප් ත‍්‍රිල් එකක්) සඳහා බොහෝ මාධ්‍ය මේ තේමාව යොදා ගත් බවයි.

ලෝක විනාශ මිථ්‍යාව සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක වශයෙන් විග‍්‍රහ කළ යුතුයි. ඉතිහාසයේ වැඩි කාලයක් අන්ධ විශ්වාසවල ඇළී ගැලී හා නොදන්නා දේ ගැන බියෙන් කල් ගත කළ මානවයෝ, තර්කානුකූල හා විද්‍යානුකූල ලෙසින් භෞතික ලෝකය ගැන තේරුම් ගන්නට පටන් ගෙන තවම සියවස් දෙක තුනකට වඩා ගත වී නැහැ. පරම්පරා දෙකක් අතර පරතරය වසර 25 ක් ලෙස ගතහොත් මෙය පරම්පරා දහයක හෝ දුසිමක කාලයක් පමණයි.

පෙර පුරුදු විදියේ ස්වයං භීතියකට තවමත් අප බොහෝ දෙනෙකු තුළ සැඟවුණු ළැදියාවක් තිබිය හැකියි. මෙයට නූතන විද්‍යාත්මක මුහුණුවරක් ආරෝපණය කිරීමට ද විවිධ උත්සාහයන් කෙරෙනවා.

බොහෝ කොට ආගමික මතවාදයන් මත පදනම් වූ ලෝක විනාශයන් ගැන මීට පෙර කථා කෙරුනත් මෙවර ලෝක විනාශ භීතිකාවට ‘විද්‍යාත්මක’ මුහුණුවරක් ලැබී තිබුණා. විද්‍යාව හා ජන සමාජය අතර සබඳතා අධ්‍යයනය කරන පර්යේෂකයන් මෙය pseudo-science හෙවත් ව්‍යාජ විද්‍යාව කියා හඳුන්වනවා. ජනප‍්‍රිය සංස්කෘතියටත්, ජනමාධ්‍යවලටත් වැඩිපුර ම සංත‍්‍රාසයක් ගෙන දෙන්නේ ව්‍යාජ විද්‍යාවයි.

සැබෑ විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. කල්පිතයක්, නිරීක්ෂණ හා අත්හදා බැලීම් ඔස්සේ තහවුරු කරන්නට උත්සාහ ගන්නවා. හැම කල්පිතයක් ම හැම විටම විවාදයට හා ප‍්‍රතිතර්කවලට විවෘතයි. සාක්ෂි මත පදනම් වූත්, විමර්ශනයට හා අභියෝගයට ඉඩ දෙන්නා වූත් ප‍්‍රවේශයක් සැබෑ විද්‍යාවේ තිබෙනවා.

එහෙත් විද්‍යාත්මක වෙස් මුහුණක් බැඳගත් අන්තවාදීන් හෝ වංචනිකයන් ගෙන යන ව්‍යාජ විද්‍යාවේ එබඳු ඉඩක් නැහැ. සැබෑ විද්‍යාවේ අවිනිශ්චතාවන්, සම්භාවිතාවන් හා නොදන්නා දේ පිළිගැනීම වැනි සංකල්පවලින් පොදු ජනයා කිති කවන පුවත් මවා ගන්නට අමාරුයි. මේ නිසා ලොව බොහෝ රටවල ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ව්‍යාජ විද්‍යාවට ඇදී යනවා.

ව්‍යාජ විද්‍යාව ප‍්‍රගුණ කරන්නේ වෙළඳපොළ සමඟ සූක්ෂමව ගනුදෙනු කරන හා මාධ්‍ය හරහා ප‍්‍රතිරූප තනා ගැනීමට සමත් පිරිසක්. මාධ්‍ය ඉල්ලන දේ එලෙසින් ම දෙන්නටත්, ඒ හරහා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නටත් ඔවුන් හොඳාකාර දන්නවා.

ඉන්ටර්නෙට් මූලාශ‍්‍ර යැයි කියමින් කොහෝ හෝ තිබෙන වල්පල් ටිකක් සිංහලට පෙරළා අපේ පාඨකයන් හා ශ‍්‍රාවකයන් බිය වැද්දීම අපේ මාධ්‍යකරුවන් නිතර කළ දෙයක්. ඉන්ටර්නෙට් තුළ විශ්වාසනීය තොරතුරු මෙන් ම තනිකර ප‍්‍රබන්ධකාරී හා වංචාකාරී ව්‍යාජ විද්‍යා තොරතුරු ද තිබෙනවා. මේ දෙක සීරුවෙන් තෝරා බේරා ගැනීම අද මාධ්‍යකරුවන්ට අත්‍යවශ්‍ය කුසලතාවක්.

සමස්ත මානව දැනුමේ ඒකාධිකාරියක් විද්‍යාවට නැහැ. එහෙත් පෙර කී පරිදි සියවස් කිහිපයක් පුරා ක‍්‍රමයෙන් දියුණු කර ගෙන ආ, තවදුරටත් විමර්ශනයට හා අභියෝගයට විවෘත දැනුම් ගවේෂණ ක‍්‍රමවේදයක් විද්‍යාවේ තිබෙනවා. එබඳු චින්තන ක‍්‍රමයක් නියෝජනය කරන විද්‍යාඥයන් හා විද්‍යා ලේඛකයන් එක් පසෙකටත්, විවෘත භාවයක් හෝ විචාරාත්මක ක‍්‍රමවේදයක් නොපෙනෙන ජ්‍යොතිෂය ඇතුළු වෙනත් ගුප්ත ව්‍යාපාරයන් නියෝජනය කරන්නවුන් අනෙක් පසටත් දමා අපූරු ආකාරයේ ‘මාධ්‍ය තුලනයක්’ කරන්නට බොහෝ මාධ්‍ය තැත් කරන සැටි මා නිතර දුටුවා.

‘ලෝක විනාශය ගැන ඔබේ මතවාදය කුමක්ද?’ හා ‘ලෝක විනාශය ගැන ඔබේ ආකල්පය රටට කියනවා ද?’ ආදී වශයෙන් මගෙන් විමසූ මාධ්‍ය සගයන්ට මා කීවේ මෙතැන ඇත්තේ මගේ හෝ වෙනත් කිසිවකුගේ මතවාදයක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවයි.

දේශපාලන වාද පිටියේ වම – දකුණ ලෙසින් හෝ නිල් – රතු – කොළ පාට ලෙසින් පිල් බෙදී සිටින අය කොයි කාටත් මත දැක්වීමට අවකාශය ලබා දෙන පරිද්දෙන් මෙබඳු සමාජයීය ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නට තැත් කිරීම බොළඳ හා හරසුන් ක‍්‍රියාවක්. එමෙන්ම බටහිර විද්‍යාව හා පෙරදිග ශාස්ත‍්‍රයන් හැටියට ඇතැම් දෙනා කරන බෙදීම ද තර්කානුකූල හෝ සම්මත වර්ගීකරණයක් නොවෙයි.

තර්කානුකූල පදනමක් නැති ගුප්ත ශාස්ත‍්‍රකරුවන් හා තර්කානුකූලව ක‍්‍රියා කරන විද්‍යාඥයන් යනු එක ප‍්‍රශ්නයේ යෝජක හා ප‍්‍රතියෝජක පිල් දෙක නොවෙයි.

2012 Hoax - Don't be scammed!
2012 Hoax – Don’t be scammed!
මේ විසම ප‍්‍රවේශය සමාජයේ වෙනත් ප‍්‍රශ්නවලටත් අදාළ කළහොත් සක්විති වැනි වංචනිකයන්ට හා ඔවුන්ගේ කූඨ වංචාවලට හසුවූ අසරණ ජනතාවට එක හා සමාන ගුවන් කාලය දිය යුතුයි. නැතහොත් මහජන මුදල් වංචා කොට හෝ කාබාසිනියා කොට අධිකරණ ක‍්‍රියාදාමයක් හරහා වරදකරුවන් වන දුෂිතයන්ට හා එම දුෂණවලින් පීඩාවට පත් අහිංසකයන්ට ද එක හා සමාන මාධ්‍ය ඉඩක් දෙන්නට සිදු වෙයි.

මාධ්‍ය තුලනය කියන්නේ අන්ධ තුලනයක් නොවෙයි. නමුත් ගෙවී ගිය මාස කිහිපය තුළ අප දුටුවේ එබන්දක්. සමහර නාලිකාවලින් අපේ ජන විඥානය හිස නැති කවන්ධයක් කරන්නට දිනපතා ම පාහේ කර ගෙන ගිය මාධ්‍ය විකාරය දෙස මා බලා සිටියේ පිළිකුලෙන් හා කලකිරීමෙන්.

සක්විති රණසිංහගේ මහා පරිමාණ වංචා අන්තිමේ දී හෙළිදරවු වී ඔහු නීතියෙන් පලා ගිය 2008 සැප්තැම්බරයේ හැම ජනමාධ්‍යකට ම එය ලොකු ප‍්‍රවෘත්තියක් වුණා. සක්විති දෙනවා යැයි කියූ අදහා ගන්නට බැරි තරම් ඉහළ පොලී අනුපාතයන් පතා ගෙන මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු දහස් ගණනක් ලාංකිකයන්ගේ අඳේනා මාධ්‍ය විසින් මහත් ඕනෑකමින් ප‍්‍රතිරාවය කරනු ලැබුවා.

එහෙත් ඒ මොහොතේ අප කිහිප දෙනෙකු පෙන්වා දුන්නේ සක්විති ලක් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් බවට පත් කරන්නට මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දායක වූ බවයි. සක්විති ජාතික පත්තරවල විශාල දැන්වීම් පළ කළා. ජාතික රූපවාහිනියෙත් වෙනත් නාලිකාවලත් ඉංග‍්‍රීසි උගන්වන වැඩසටහන් කළා. මේ පසුබිම තුළ ඔහුගේ සූක්ෂම වංචා වසර ගණනක් පවත්වා ගෙන ගිය සැටිත්, පෝද්දල ජයන්ත වැනි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඔහු ගැන සාක්ෂි සහිතව හෙළිදරවු කරන්නට පෙරට ආ විට එම පත්තරවල කතුවරුන් එය වැළැක් වූ සැටිත් අප දන්නවා.

අදහන්නට බැරි පොලී අනුපාතයන් දෙන මූල්‍ය සමාගම් හා අදහන්නට බැරි ගුප්ත සේවාවන් සපයන ජ්‍යොතිෂ ව්‍යාපාරිකයන් අතර ලොකු වෙනසක් නැහැ.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කියමනක් තිබෙනවා. එසේ ම පාරිභෝභිකයා සැම විට ප‍්‍රවේශම් විය යුතු යැයි (Caveat emptor) නම් ලතින් ඔවදනක් ද තිබෙනවා. මාධ්‍ය හරහා ප‍්‍රතිරූප පුම්බන ඇතැම් දෙනා හීන් සීරුවේ කරන ව්‍යාපාරවලට නීතිමය නොවෙතත් සදාචාරාත්මක වගකීමක් මාධ්‍යවලටත් පැවරෙනවා. මාධ්‍ය කළ යුත්තේ මිනිසුන් රැවටීම නොව රැක ගැනීමයි.

මෙයින් මා අදහස් කරන්නේ හැම ගුප්ත සේවා සපයන්නා ම වංචනිකයි යන්න නොවේ. එහෙත් විවෘත වෙළඳපොළේ වාණිජ මට්ටමින් ජ්‍යොතිෂ හා ගුප්ත සේවා සපයන උදවිය ටෙලිවිෂන්, රේඩියෝ හා පත්තර හරහා තම කේෂත‍්‍රය ගැන අදහස් දක්වන විට තම ව්‍යාපාරිකා අරමුණු ද ඒ හරහා ඍජුව හෝ වක‍්‍රව ප‍්‍රවර්ධනය වන බව සැබෑවක්.

මෙරට ගුප්ත සේවා සඳහා පාරිභෝගික ආරක්ෂණ නීති ක‍්‍රියාත්මක වන බවක් මා දන්නේ නැහැ. මේ නිසා ගුප්ත සේවා සපයන්නන් මාධ්‍යවලට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන් ගැන මීට වඩා ප‍්‍රවේශම්කාරී වීමේ ලොකු වගකීමක් මාධ්‍යවලට පැවරෙනවා. ගෙවී යන වසරේ ලෝක විනාශ මායාවට මුවා වී ප‍්‍රතිරූප හා ව්‍යාපාර වර්ධනය කර ගන්නට අවිචාරශීලිව ඉඩ දීම හරහා අපේ මාධ්‍ය කර තිබෙන්නේ කලකට පෙර ඔවුන් සක්විති වන්දනාවට ඉඩ දුන්නාට සමාන දෙයක්.

the-end-of-the-world-logo

21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

The much touted ‘Doomsday’ has finally arrived: today is 21 December 2012.

According to the assorted peddlers of doom and gloom, the world should be ending today. Hmm…

Perhaps THEIR WORLD of myth and fantasy would indeed end today — and not a moment too soon!

For the rest of us, however, it’s another day. And from today, I would call the misguided “star-readers” ass-trologers.

Ass-trologers and other dabblers in pseudo-science and non-science will now have a lot of explaining to do. The religious zealots, of course, would probably claim that their pious conduct and non-stop prayers earned us a stay of execution…

The US space agency NASA was so sure that the world won’t come to an end on 21 Dec 2012, that last week they released this simple explanatory video for “the day after”. It has already been seen by over 2 million viewers on YouTube:

A perceptive commentary on the End-of-the-World hysteria, written by the leading Indian rationalist Sanal Edamaruku, is well worth reading:
WAITING FOR A FLYING SAUCER AGAIN…Of psychopaths, profiteers and big doomsday biz, by Sanal Edamaruku

Here’s an excerpt: “Doomsday prophecies may not be the most dangerous part of the problem. But as they are bound to collide always so harshly with the continued existence of the world after zero hour, they allow us a glimpse at a process – here in fast motion – that normally would play out too slowly to be understood. It is a process of immunization against reason…”


Read my 4 Nov 2012 Sunday column: End-of-the-World, Inc.

සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

This week, my Ravaya column (in Sinhala) is about why we in Sri Lanka should re-read Arthur C Clarke, author of 100 books and over 1,000 essays of both fiction and non-fiction. This marks his 95th birth anniversary that falls on 16 Dec 2012.

As a science writer, Sir Arthur wrote on many and varied topics. Here, I single out two aspects: human violence and human gullibility, both of which continue to affect societies around the world.

Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ 95 වන ජන්ම සංවත්සරය අදට යෙදෙනවා.

ඔහුගේ අදහස් හා පරිකල්පනය කැටි කරගනිමින් වසර 25කට වැඩි කාලයක් පුරා විටින් විට මා ලියූ ලිපි එකතු කොට සම්පාදනය කළ ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නම් අලූත් පොතත් මේ සතියේ එළි දකිනවා.

ක්ලාක් 1917 එංගලන්තයේ ඉපිද, 2008 මාර්තුවේ ශ‍්‍රී ලංකාවේ දී මිය ගියා. ඔහුගේ අවුරුදු 90ක ජීවත කාලයෙන් අඩ සියවසකට වැඩි කාලයක් ගත කළේ මෙරට පදිංචිකරුවකු හැටියටයි. (පුරවැසියකු නොවේ!) එසේ වුවත් අපේ රටේ බොහෝ දෙනා තවමත් ක්ලාක් චින්තනය ගැන එතරම් නොදන්නා බව පෙනෙනවා.

මෙයට එක් හේතුවක් නම් ඔහුගේ සියයකට ආසන්න පොත්වලින් හා දහසකට අධික වූ විද්වත් ලිපි ලේඛනවලින් දේශීය භාෂාවලට පෙරළී ඇත්තේ සීමිත ප‍්‍රමාණයක් වීම. වෙළඳපොළ හේතු නිසාදෝ එසේ පරිවර්තනය හෝ අනුවාදය වී ඇත්තේ ද ඔහුගේ ප‍්‍රබන්ධ කෘති සමහරක් පමණයි.

ක්ලාක් විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඉතා පටු කෝණයකින් බලන ඇතැම් දෙනා ඔහු හුදෙක් ප‍්‍රබන්ධ කථාකරුවකු හා විද්‍යාත්මක සාත්තරකරුවකු ලෙස දකිනවා. තවත් අයට ඔහු ගැජට්කාරයකු පමණයි. යම් පමණකට එය සැබෑ වූවත්, ඔහුගේ බුද්ධිමය දායකත්වයේ තවත් පැතිකඩ ගණනාවක් තිබෙනවා.

විද්‍යාව හා කලාවත්, පෙරදිග හා අපරදිග දැනුමත් එකට සංකලනය කිරීම හරහා අසාමාන්‍ය වූ දැක්මක් ඔහු ලබා ගත්තා. එමෙන්ම වර්තමාන දේශපානකින හෝ ආර්ථික මතවාදයන් තුළ සිරකරුවකු නොවී දිගුකාලීන ඓතිහාසික හා පරිනාමීය දෘෂ්ටි කෝණයකින් කරුණු විග‍්‍රහ කිරීමට ඔහුට හැකියාව තිබුණා.

හැම චින්තකයා හා ලේඛකයා ම සිය නිර්මාණ කරන්නේ තමන්ගේ කාලයට අනුරූපවයි. ආතර් සී. ක්ලාක්ට අනාගතවේදී දැක්මක් තිබුණත් ඔහු විසි වන සියවසේ චරිතයක්. ඔහුගේ දැක්ම වඩාත් මතුව ආයේ ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය හා විවිධ මානව විශ්වාසයන් ගැන ලියූ හා කියූ දේ හරහායි. මේ විග‍්‍රහයන් ඔහුගේ කාලයට අනුරූපව කරනු ලැබූවත් අපේ වත්මන් සියවසට අදාල කර ගත හැකියි.

Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 -  Photo owned by Arthur C Clarke Estate
Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 – Photo owned by Arthur C Clarke Estate
පළමුවන ලෝක යුද්ධ සමයේ ඉපදී, දෙවන ලෝක යුද්ධයේදී ගුවන් හමුදා සේවයේ නිරත වී, සීතල යුද්ධයේ සමස්ත කාල වකවානුව ම අත්විඳි ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය ගැන හා ගෝත‍්‍රික කලහකාරීබව ගැන ලිව්වේ හා කථා කළේ ෙසෙද්ධාන්තිකව නොව ප‍්‍රායෝගික අත්දැකීම් ඇතිවයි.

බටහිර ලෝකයෙන් පෙරදිගට සංක‍්‍රමණය වී 1956 සිට ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ ඔහුට යළිත් තුන් වතාවකදී ගැටුම්කාරී පරිසරයක ජීවත් වන්නට සිදු වුණා. 1971දී හා 1987-89දී මෙරට දකුණේත්, 1980 දශකය සිට ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් මෙරට උතුරු හා නැගෙනහිරත් සිදු වූ සන්නද්ධ අරගලයන් නිසා ඔහු දැඩි සේ කම්පාවට පත් වුණා.

දේශපාලන මතවාද වෙනුවෙන් හෝ බිම් ප‍්‍රදේශ සඳහා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අවි ආයුධ අතට ගැනීම ඔහු කිසි විටෙකත් අනුමත කළේ නැහැ. එහෙත් ආක‍්‍රමණශීලී ස්වභාවය හා ප‍්‍රචණ්ඩත්වය මානවයන්ට පරිණාමයෙන් උරුම වූවක් බවත්, පරිණාමීය අතීතයේ දී නම් එය අපේ වර්ගයාගේ රැක්මට හා පැවැත්මට උපකාරී වූ බවත් ඔහු දැන සිටියා.

දැනුමෙන්, චින්තනයෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට ගියත් මේ උරග මොළ ඉතිරියක් තවමත් අප තුළ පවතින බවත්, එය අධ්‍යාපනය හා ශික්ෂණය හරහා සමනය කර නොගත් විට ගැටුම් හට ගන්නා බවත් ඔහු තේරුම් ගත්තා. ඉතා සරල මුගුරක සිට අතිශයින් විනාශකාරි පරමාණු බෝම්බ දක්වා සමස්ත අවි ආයුධ පරාසය හරහා ම මතු වන්නේ මේ පරිණාමීය ආවේගය හා ගෝත‍්‍රිකත්වය බව ඔහු යළි යළිත් පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ අරගල තුනේදී ඒ ගැන මහත් ශෝකබරිත නිරීක්ෂකයකු හැටියට ඔහු ඉඩ ලද හැම අවස්ථාවක ම මේ ප‍්‍රාථමික ආවේගයන්ගෙන් ඔබ්බට යාමේ වැදගත්කම අවධාරණය කළා.

ඔහු විසිවන සියවස නිතර හැඳින්වූයේ ලෝක ඉතිහාසයේ අතිශයින් ම මිලේච්ඡ වූ සියවස හැටියටයි. රටවල් අතර ප‍්‍රකාශිත යුද්ධ, රටවල් තුළ සිවිල් යුද්ධ, ත‍්‍රස්තවාදී හා අපරාධකාරී ක‍්‍රියා මෙන් ම දේශපාලන මතවාදයන් නිසා ද මිලියන ගණනක් අහිංසක හා නිරායුධ ජනයාගේ ජීවිත හානි කළ එම බිහිසුණු සියවසෙන් අප අමතක නොවන පාඩම් උගත යුතු බව ඔහු නැවත කියා සිටියා.

යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) සමඟ ඔහුට සමීප සබඳතාවක් තිබුණා. දෙවන ලෝක යුද්ධයේ උණුසුම පහව යන්නටත් කලින් 1945දී යුනෙස්කෝව පිහිටුවා ගන්නා විට එහි ප‍්‍රඥප්තියේ ආරම්භක වැකිය ලෙස එහි නිර්මාතෘවරුන් ලීවේ මෙයයි. ‘යුද්ධ හට ගන්නේ මිනිසුන්ගේ මනසේ නිසා සාමයට පවුරු සවිමත් කළ යුත්තේ ද පළමු කොට ම මිනිස් මනසේයි.’

මේ ගැඹුරු සංකල්පය එවකට 29 හැවිරිදි තරුණයකුව සිටි ආතර් සී. ක්ලාක්ගේ මනසට කිඳා බැස්සා. ඉක්බිතිව 1955දී ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්රන්ඞ් රසල් ඇතුළු ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් හා බුද්ධිමතුන් පිරිසක් න්‍යෂ්ටික අවිවලට එරෙහිව නිකුත් කළ රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශනය (Russell-Einstein Manifesto) ද ඔහුගේ චින්තනය තවත් තීව‍්‍ර කළා.

ක්ලාක් ශ‍්‍රී ලංකාවේ තරුණ සන්නද්ධ අරගලයන් හා බෙදුම්වාදී යුද්ධය ගැන විටින් විට ප‍්‍රසිද්ධියේ අදහස් දැක් වූ විට ඒවාට මෙබඳු දිගු කාලීන හා පුළුල් පසුබිමක් තිබුණා. ඔහු කිසි විටෙකත් සාමය ගැන සරල හා සිල්ලර මට්ටමින් කථා කළේ නැහැ. එමෙන් ම ඔහු හැම විට කීවේ ‘කල් පවතින’ හා ‘තිරසාර’ සාමයක් ගැනයි. ඔහුගේ අවසාන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වූ 90වන ජන්ම දින ආවර්ජනයේත් මේ සංකල්පය නැවත වරක් අවධාරණය කළා.

දශක නවයක ජීවිත කාලයේ කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් ඉතිරිව නැතත්, මහා පරිමාණයේ ප‍්‍රාර්ථනා තුනක් ඔහු සඳහන් කළා.

• පළමු වැනි පැතුම නම් විශ්වයේ වෙනත් තැනෙක ජීවයක් පැවතීම පිළිබඳ ස්ථීරසාර සාක්ෂියක් ලැබේවා යන්නයි.

• දෙවැනි පැතුම නම් පිවිතුරු බලශක්ති ප‍්‍රභවයන් භාවිතයට ලෝකය ඉක්මනින් ම යොමු වනු ඇතැයි යන්නයි.

• තෙවැනි පැතුම නම් කල් පවතින තිරසාර සාමයක් හැකි ඉක්මනින් ශී‍්‍ර ලංකාවේ උදා වේවා යන්නයි.

“සාමය යනු නිකම් උද්‍යොග පාඨයක් හෝ ලියවිල්ලක් නොවන බව මා දන්නවා. ඒ සඳහා අති විශාල කැපවීමක්, පරිත්‍යාගයක් හා දිගු කාලීන දැක්මක් අවශ්‍යයි,” ඔහු කියා සිටියා.

විද්‍යාව ජනප‍්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා 1952 සිට යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලූ රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවයක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප‍්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප‍්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

“විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂණික යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

“විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීම විද්‍යාවේ ක‍්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

“එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ ‘කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයි’ යන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
“මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි. උදාහරණයක් නම් මෑතදී (1962) ලොව ඇතැම් රටවල පැතිර ගිය ලෝක විනාශයක් ගැන අස්ථාන භීතියයි. ග‍්‍රහලෝකවල ස්වභාවික ගමන් මාර්ගවලට අනුව ඉඳහිට ඒවා අහසේ සාපේක්ෂව එක ම කලාපයක සමීප ලෙසින් පිහිටනවා. එයින් පෘථිවියේ කිසිදු ආපදාවක් ඇති විය නොහැකියි. එහෙත් ඒ ගැන බිය උපදවා ගත් ඉන්දියානු හා අනෙකුත් ජාතිකයන් කී දෙනෙකු එම ‘අපල උපද්‍රව’ දුරු කිරීමට කියා තමන්ගේ සීමිත මුදල් අපරාදේ වැය කළා ද?

“මීට දෙවසරකට පෙර මේ කාලිංග සම්මානයෙන් පුද ලැබූ ෂන් රොස්ටාන්ඞ් මෙබඳු සම්මාන ප‍්‍රදානෝත්සවයකදී භාරතය හැඳින්වූයේ ‘අතීතය ප‍්‍රතිකේෂප නොකර අනාගතය වැළඳ ගන්නා ශ්‍රේෂ්ඨ දේශය’ හැටියටයි. මෙය අද කාලයේ ඕනෑ ම රටකට ගැලපෙන ප‍්‍රතිපත්තියක්. එහෙත් හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප‍්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

“ගැඹුරට විග‍්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා අප සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප‍්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක‍්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳ මඟ පෙන්වන්නන් ත‍්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප‍්‍රඥව හා අමාරුවෙන් ප‍්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

මගේ මතය නම් හැම පරම්පරාවක් ම මෙබඳු බුද්ධිමතුන් හා ලේඛකයන් නැවත කියවිය යුතුයි. එසේ කියවද්දී ඔවුන්ගේ ජීවන කාලීන පසුබිම ගැන ද විමර්ශනය කළ යුතුයි. මෙය බර්ට්රන්ඞ් රසල්, මහත්මා ගාන්ධි, මාටින් වික‍්‍රමසිංහ මෙන් ම ආතර් සී. ක්ලාක්ටත් පොදුයි. එසේ යළි කියවා අපේ පරම්පරාවට හා යථාර්ථයට මේ චින්තකයින්ගේ අදහස් අදාල කර ගත යුතුයි.

මෙබඳු යළි කියවීමක් තබා ක්ලාක් මුල්වරට හරිහැටි කියවීමක්වත් මෙරට තවමත් සිදු නොවීම කණගාටුවට කරුණක්. ඔහුගේ 2008 වියොවින් දින කිහිපයකින් දෙසතිය සඟරාව සම්මුඛ සාකච්ඡාවක් කරමින් මා කීවේ ලක් සමාජය ක්ලාක් ගැන උදම් ඇනුවාට ඔහුගේ හරබර අදහස් හා නිර්දේශවලින් ප‍්‍රයෝජනයක් නොගත් බවයි.

ජීවමාන ක්ලාක් සංචාරක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට මෙරට ඇතැම් දෙනා හා ආයතන තැත් කළා. ඔහුගේ නමින් 1984 පිහිටුවන ලද රාජ්‍ය තාක්ෂණික ආයතනය වසර තිහකට ආසන්න කාලයක් නිසි විද්‍යාත්මක ඵලදායීතාවකින් තොරව මහජන මුදලින් දිගට ම පවත්වා ගෙන යනවා.

ක්ලාක්ගේ චින්තනය ගැඹුරු විලක් නම් ලක් සමාජය මෙතුවක් කර ඇත්තේ ඒ විල් තෙර හිඳ ගෙන ඉඳහිට නැඟී එන රළක් පෑගීම හා නොගැඹුරු දියේ ඉනවටක් දක්වා යාම පමණයි. එයින් ඔබ්බට මේ චින්තන චාරිකාව ගෙන යාමේ ලොකු වගකීමක් ක්ලාක් සමඟ සමීපව බුද්ධි ගවේෂණයේ යෙදුණු අපට දැන් පැවරී තිබෙනවා.

ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා කෘතිය හරහා මා උත්සාහ කරන්නේත් මේ විලේ තවත් මානයකට සිංහල කියවන සමාජය කැඳවා ගෙන යන්නටයි. ඒ චාරිකාවට අවශ්‍ය වන්නේ නොතිත් වූ දැනුම් පිපාසය හා විවෘත මනසක් පමණයි. යම් තාක් දුරකට ගිය පසු බුද්ධිමත් පාඨකයන්ට තනිව පිහිනා යන්නට ඉඩ හැරීම ලේඛකයන්ගේ සම්ප‍්‍රදායයි!

Read the full transcript on TVEAP website

Mind Journeys with Arthur C Clarke: New Sinhala book offers glimpses of a visionary

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)
Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012). Cover photos by Shahidul Alam, Drik

In a literary career spanning over six decades, Sir Arthur C Clarke (1917 – 2008) wrote 100 books and more than 1,000 short stories and essays. He was the first to propose geostationary communications satellites, and inspired the World Wide Web.

To mark his 95th birth anniversary which falls this month, science writer Nalaka Gunawardene is releasing a new Sinhala book offering a quick tour of Clarke’s imagination, analyses and extrapolations on the world’s current challenges and our choice of futures.

Titled ‘Arthur C Clarke Chintana Charika’ (Mind Journeys with Arthur C Clarke), the book is a collection of Nalaka’s articles, media columns and interviews based on the late author and visionary’s formidable intellectual output. Some have appeared in Lankan newspapers or magazines during the past 25 years, while others are coming out in print for the first time.

“These are not translations, and most are not even adaptations. Instead, I have distilled Sir Arthur’s ideas and imagination and presented them in simple Sinhala,” says Nalaka, who worked with Clarke for 21 years as research associate at his personal office in Colombo.

Indicative of Clarke’s diverse career and interests, the book is divided into five sections: highlights of his illustrious life; astronomy and space travel; information and communications technology; futuristic visions; and his long association with Sri Lanka.

“Sir Arthur cheered and promoted Sri Lanka for half a century – in both good times and bad. The section on Sri Lanka captures his visions and hopes for his adopted homeland: on how we may overcome the burdens of evolution and history to create a truly peaceful and prosperous island for all,” says Nalaka.

The book contains Clarke’s advice on rebuilding Sri Lanka after the 2004 tsunami, the story of the first Sinhala feature film in colour (Ran Muthu Duwa, 1962) that Clarke financed, and the text of his 90th birthday video, which eventually became his public farewell.

Other essays focus on Clarke’s cautious optimism for information society and the future of artificial intelligence, his hopes of developing clean energy sources to end humanity’s addiction to fossil fuels, and his advocacy of a world free of nuclear weapons.

Nalaka reiterates that the best way to celebrate the legacy of Arthur C Clarke is to adapt his ideas for a better world based on knowledge, ethics, compassion and imagination.

The 280-page book, published by Wijesooriya Grantha Kendraya (Wijesooriya Book Centre), will be launched at 3 pm on Tuesday, 18 December 2012 at the National Library Services and Documentation Board, 14, Independence Avenue, Colombo 7. The main speaker will be Prof Rohan Samarajiva, Chair and CEO of LIRNEasia. Copies will be sold on discount at the launch.