සිවුමංසල කොලූගැටයා #122: රාවය 2.0 බිහි කරන්නට කුමක් කළ හැකි ද?

In this week’s Ravaya column (in Sinhala), I continue my discussion on challenges of modernisation for small, independent media in the world today when print media industry faces formidable challenges.

I quote Sanjana Hattotuwa, new media researcher and activist, who was a speaker at the recent 65th annual congress of the World Association of Newspapers and News Publishers (WAN-IFRA) held in Bangkok.

I also refer to the Guardian newspaper’s model of Open Journalism, and ask how this can be adapted to suit our own realities. The challenges are more within the minds of media organisations, I argue, than in the technology tools or platforms.

I observe how, some 18 years after commercial Internet connectivity was introduced in Sri Lanka, not a single Lankan newspaper has been able to develop a modern website: all are stuck in the 1990s first generation web, and their attempts to ‘modernise’ and enter the 21st Century have been pitiful and hilarious at the same time. Ravaya has a real opportunity, therefore, to become the first Lankan newspaper — in any language — to develop an engaging and interactive website. But first, it must make some top level decisions on how it wants to position itself in the rapidly changing world of media content creation, dissemination and consumption.

Last week’s column: සිවුමංසල කොලූගැටයා #121: රාවය නවීකරණයේ ගෝලීය යථාර්ථය

‘පුවත්පත් පිටපත් අලෙවියේ හිරු බටහිරින් බැස යද්දී පෙරදිග ලෝකයේ නම් තවමත් අලෙවියට හොඳ හැටි හිරු පායමින් තිබෙනවා’ යයි 2013 ජූනි මුල සතියේ තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ලෝක පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ (World Association of Newspapers and News Publishers, WAN-IFRA) 65 වන වාර්ෂික සමුඵවේ කතිකයෙක් ව්‍යක්ත ලෙසින් කියා තිබුණා. මේ කර්මාන්තය අද මුහුණ දෙන ප‍්‍රබල අභියෝගයක් එයින් මැනවින් හසු කර ගන්නවා.

ලොව පුරා රටවල් 120ක පුවත්පත් හා සඟරා 18,000ක් හා පුවත් වෙබ් අඩවි 15,000ක් ප‍්‍රකාශයට පත් කරන සමාගම් 3,000කට වැඩි සංඛ්‍යාවක් සාමාජිකත්වය දරණ WAN-IFRA මේ අභියෝගය ගැන ලොකු අවධානයක් යොමු කරනවා. සාම්ප‍්‍රදායික ආදායම් ආකෘතියෙන් ඔබ්බට ගොස් නව ආදායම්, අරමුදල් හා නඩත්තු කිරීමේ ක‍්‍රමවේදයන් සොයා ගන්නට මේ ආයතනය සිය සාමාජික ප‍්‍රජාව වෙනුවෙන් අධ්‍යයන කරනවා.

කුඩා මාධ්‍ය ආයතනවල පැවැත්ම ස්ථාවර හා තහවුරු කිරීම හරහා මාධ්‍ය විවිධත්වය (media pluralism) රකිමින් මාධ්‍ය නිදහසට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට දායක වීම එහි අරමුණයි. මෙහිදී හුදෙක් දේශපාලනික හා නෛතික වශයෙන් මාධ්‍ය නිදහස පතා අරගල කිරීම පමණක් අද කාලයේ සෑහෙන්නේ නැති බව WAN-IFRA පිළි ගන්නවා.

ගිය සතියේ අප විග‍්‍රහ කළ පරිදි තරුණ පරපුර පත්තර කියැවීමෙන් දුරස්වීම හා පුවත්පත්වලට වෙළඳ දැන්වීම් සඳහා වෙබ් අඩවි සමඟ තරග කරන්නට සිදුවීම නිසා බොහෝ දැවැන්ත බටහිර පුවත්පත් ආයතනවලට තමන්ගේ නිෂ්පාදන වියදම පවා පියවා ගන්නට බැරි මට්ටමට අලෙවිය හා දැන්වීම් ආදායම පහත වැටී තිබෙනවා.

මේ නිසා මෑතක් වන තුරු ඔවුන් කිසිසේත් සළකා නොබැලූ විකල්ප ආදායම් මාර්ග හා දානපති ආයතනවලින් අනුග‍්‍රහය ලබා ගැනීම ගැන දැන් ඔවුන් අවධානය යොමු කොට තිබෙනවා.

පුවත්පත් කර්මාන්තය කළඹන ප‍්‍රවාහයන් ලොකු කුඩා සියඵ ප‍්‍රකාශන සමාගම්වලට බලපෑම් ඇති කරන නමුත් එයින් වඩාත් ම පීඩාවට පත් වී සිටින්නේ කුඩා හා මධ්‍යම පරිමාණයේ ප‍්‍රකාශන ආයතනයි. වෙනත් ව්‍යාපාර හා ආයෝජන නැති, මාධ්‍ය ප‍්‍රකාශන ක්‍ෂෙත‍්‍රයෙන් ම පැවැත්ම සහතික කර ගත යුතු ආයතනයි. මේ අභියෝගය පෙර අපර දෙදිග දියුණු වූ මෙන්ම දියුණු වන රටවලත් හමු වනවා.

Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013
Sanjana Hattotuwa speaks at WAN-IFRA Congress in Bangkok, June 2013
බැංකොක් ලෝක පුවත්පත් සමුඵවේ දුසිම් ගණනක් කතිකයන් අතර සිටි එක ම ලාංකික කතිකයා වූයේ Groundviews.org වෙබ් අඩවියේ ආරම්භකයා හා කතුවරයා වන සංජන හත්තොටුව. සාම්ප‍්‍රදායික මුද්‍රිත මාධ්‍ය ආකෘතියෙන් බැහැරව පුරවැසි මාධ්‍ය කලාව (citizen journalism) මාදිලියේ වෙබ් ප‍්‍රකාශනයක් වන Groundviews.org ඒ ආකාරයේ මෙරට මුල් ම ප‍්‍රකාශනයයි.

2006 ඇරැඹී, අද දක්වා මෙරට දේශපාලනික, සමාජයීය, සංස්කෘතිකමය හා වෙනත් මාතෘකා විවෘතව හා ස්වාධීනව විග‍්‍රහ කරන මේ වෙබ් අඩවියේ පළ කැරෙන්නේ විවිධ ක්‍ෂෙත‍්‍රවල සංවේදී බුද්ධිමතුන්, සමාජ කි‍්‍රයාකාරිකයන් හා වෘත්තීය ලේඛකයන් නොමිලයේ ලියා දායක කරන ලිපි ලේඛනයි.

මුල් කාලයේ බොහෝ කොට වචනවලට සීමා වූ මේ වෙබ් අඩවිය අද වන විට හඬ, ජායාරූප හා වීඩියෝ ද පළ කරනවා. මේ සියල්ලට දෘෂ්ටිමය රාමුවක් සපයන කර්තෘ මණ්ඩල ප‍්‍රතිපත්තියක් හා සාරධර්ම ඔවුන්ට තිබෙනවා. මුද්‍රිත ප‍්‍රකාශන මෙන් නොව එය කුමක්දැයි ඔවුන් පැහැදිලිව ම කියා සිටිනවා.
http://groundviews.org/submission-guidelines/

Groundviews ප‍්‍රකාශනයට විටින් විට ලිපි සපයන හා එහි අන්තර්ගතය නිතර කියවන අයකු හැටියට මට පැහැදිලිව පෙනී යන්නේ පොදු උන්නතිය හා රටේ අනාගතයට අදාල හා වැදගත් තොරතුරු හා වාද විවාද රැසක් එහි සිදු වන බවයි. ලිපි බොහොමයකට ප‍්‍රතිචාර ලෙස මතු වන පාඨක අදහස් (comments) හරහා විවිධ සංවාද විසංවාද නිතර ඇති වනවා. ශිෂ්ඨ මට්ටමක මේ අදහස් පවත්වා ගැනීම පිණිස කතුවරයා ඒවා පළ කිරීමට පෙර විමර්ශනය කරනවා (moderate).

දශක තුනකට වඩා කලක සිට මෙරට ඉංගී‍්‍රසි ජාතික පුවත්පත් කියවන මට, මෑත වසරවල සිතෙන්නේ ඔවුන් සිය මුද්‍රිත කලාප හෝ වෙබ් අඩවි හෝ හරහා කරන විග‍්‍රහයන් හා සංවාදවලට වඩා හරවත් වූත්, විවෘත වූත් අන්තර්ගතයක් මේ වන විට Groundviews තුළ හමුවන බවයි.

ජාත්‍යන්තර ප‍්‍රකාශන හා තාක්‍ෂණ ප‍්‍රවණතා සළකා බලමින් සංජන හත්තොටුව කියන්නේ රාවය අදට වඩා පුඵල්වත්, උපක‍්‍රමශීලීවත් වෙබ් මාධ්‍යය වැළඳ ගත යුතු බවයි. අපේ අන් සෙසු පත්තර කරන්නාක් මෙන් මුද්‍රිත අන්තර්ගතය වෙබ් ගත කිරීම නොවේ ඉන් අදහස් වන්නේ.

වාණිජ මට්ටමෙන් ඕනෑ ම කෙනකුට මුදල් ගෙවා ලබාගත හැකි ඉන්ටර්නෙට් සේවා මෙරට ඇරඹුණේ 1995 අපේ‍්‍රල් මාසයේ. 1995 සැප්තැම්බර්යේ ලේක්හවුස් ඉංග‍්‍රීසි පුවත්පත්වල වෙබ් අඩවි ඇරඹීමත් සමග මෙරට මාධ්‍ය ටිකෙන් ටික ඉන්ටර්නෙට් වෙත ප‍්‍රවේශ වුණා.

එහෙත් මෙරට කිසිදු ඉංගී‍්‍රසි හෝ සිංහල පුවත්පතක් හරිහමන් වෙබ් අඩවියක් බිහි කොට පවත්වා ගෙන යන්නට තවමත් අසමත්ව තිබෙනවා. ඔවුන් වෙබ් අඩවි ලෙස සළකන්නේ මුද්‍රිත පත්තරයේ තොරතුරු හා රූප වෙබ් මාධ්‍යයට රිංගවීම හා එයට උඩින් Breaking News ටිකක් කලවම් කිරීම පමණයි. මාධ්‍ය වෙබ් අඩවි කලාව බොහෝ සේ පරිනාමය වී තිබෙන අද දවසේ මෙය හාස්‍යජනක මට්ටමේ සිල්ලර වැඩක්. ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ පත්තර ආයතනවලට නොතේරෙන යථාර්ථය මෙයයි!

ඕපාදුප හා දුෂමාන ආරංචි පතුරවන වෙබ් අඩවි මෙන් ම ඕනෑකමින් චරිත ඝාතනයේ යෙදෙන හෝ මුඵමනින් අසත්‍ය කුමන්ත‍්‍රණවාදී ප‍්‍රලාපයන් පතුරුවන වෙබ් අඩවි ද බිහිව තිබෙනවා. මේවා, ඉන්ටර්නෙට් හරහා අපට ළගා විය හැකි අතිවිශාල හා පුඵල් පරාසයක අන්තර්ගතයන් අතරින් සංඛ්‍යාත්මක සුඵතරයක් පමණයි. (ඒවාට සම කළ හැකි මුද්‍රිත ප‍්‍රකාශන ද තිබෙනවා. කැලෑපත්තර, පැපිරාට්සි ආකාරයේ ප‍්‍රකාශන එයට උදාහරණයි.)

එහෙත් වෙබ් මාධ්‍යයේ විශ්මිත විභවය මේ අයාලේ යාම් නිසා නිෂ්ප‍්‍රභ වන්නේ නැහැ. මුද්‍රිත මෙන් ම ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවලටත් අද තිබෙන අභියෝගය නම් තමන්ගේ අන්තර්ගතය මෙන් ම ව්‍යාපාරික ආකෘතිය ද වෙබ් මාධ්‍යයේ වැදගත්කම එන්න එන්න ම වැඩි වෙමින් පවතින නූතන තොරතුරු සමාජයට සරිලන ලෙස හැඩගස්වා ගැනීමයි.

සංජන කියන්නේ රාවය තවදුරටත් මුද්‍රිත පුවත්පතක් ලෙස ලක් පාඨකයන් අතරට යන අතර එහි වෙබ් නියෝජනය වඩාත් බහු මාධ්‍ය (රූප, හඬ, කෙටි වීඩියෝ සාකච්ජා) හා සංවාදශීලී කළ හැකි බවයි. මෙයට අමතර පිරිස් බලය හා යම් ආයෝජනයක් අවශ්‍ය වූවත්, එයටත් වඩා වැදගත් වන්නේ කුඩා ප‍්‍රකාශනයකට ලොකු වෙබ් බලපෑමක් කළ හැකි වන පරිදි උපක‍්‍රමශීලීව සියල්ල සැළසුම් කිරීමයි.

මෙහිදී මෙරට වෙන කිසිදු පුවත්පතක වෙබ් අඩවියකට සම්බන්ධ වූ කිසිදු ශිල්පියකු සම්බන්ධ කර නොගත යුතු යයි මා සිතනවා. මන්ද ඔවුන් සැවො ම තවමත් 1990 දශකයේ සිල්ලර මානසිකත්වයට කොටු වී සිටින නිසා.

වෙබ් සමාජ මාධ්‍ය (social media) උඩින් පල්ලෙන් නොව ක‍්‍රමීය වශයෙන් පුවත්පතේ අන්තර්ගතය බිහි කිරීමට කෙසේ යොදා ගත හැකි ද යන්න රාවය ගැඹුරින් සළකා බැලිය යුතු බව සංජන කියනවා.

අපේ බොහෝ වෘත්තීය මාධ්‍යවේදීන් හා කතුවරුන් සිය පාඨකයන් ගැන දරණ අධිමානීය (superior) ආකල්පයෙන් තොරව, පාඨකයන් ද සැබෑ පාර්ශවකරුවන් බවට පත් කර ගෙන සහයෝගිතා අන්තර්ගතය (collaborative content) බිහි කරන්නේ කෙසේ ද? එහිදී පත‍්‍ර කලා සාරධර්ම රැක ගනිමින්, පාඨක බුද්ධිමය හිමිකම් ද සාක්‍ෂාත් කිරීමට ආසියාවේ වෙනත් පුවත්පත් ගන්නා පියවර මොනවා ද?

අද හුදෙක් පරිගණක හරහා පමණක් නොව වෙබ් පිවිසීමේ හැකියාව ඇති ජංගම දුරකථන (smartphones) හරහා ද බොහෝ ලාංකිකයන් ඉන්ටර්නෙට් පරිශීලය කරන බැවින් රාවය වෙබ් අත්දැකීම් ඔවුන්ට ද පහසු හා හිතකර එකක් (mobile friendly) කරන්නේ කෙසේ ද?

ජාත්‍යන්තර හා ආසියානු කලාපීය අත්දැකීම් මෙරට යථාර්ථයට අදාල කර ගත යුතුයි. අපේ පුවත්පත් කර්මාන්තය කවදත් එබඳු ආභාෂයන් ලැබුවා. ඉදිරි පැවැත්ම ගැන පත්තර හා සඟරා මුහුණදී තිබෙන පොදු අභියෝගවලට ලොව සෙසු ප‍්‍රකාශන හා සමාගම් ප‍්‍රතිචාර දක්වන ආකාරය සමීපව සොයා බැලීම ඉතා වැදගත්.

වෙබ් අභියෝගයට යම් තාක් සාර්ථකව මුහුණ දී තිබෙන බි‍්‍රතාන්‍යයේ The Guardian ගාඩියන් පුවත්පත ඒ සඳහා තමන්ගේ සම්පූර්ණ පත්තර කලා දැක්ම හා ක‍්‍රමවේදය ම ප‍්‍රතිසංවිධානය කළා.

The Guardian Editor Alan Rusbridger
The Guardian Editor Alan Rusbridger

ගාඩියන් කතුවර ඇලන් රස්බි‍්‍රජර් මෙය හඳුන්වන්නේ Open Journalism හෙවත් විවෘත පත‍්‍ර කලාව ලෙසයි. ඉතා සරලව විග‍්‍රහ කළොත් පාඨකයන් ද හවුල් කර ගෙන මාධ්‍ය වාර්තා, ගවේෂණ හා විග‍්‍රහයන් බිහි කිරීම එහි මූලික ප‍්‍රවේශයයි. www.guardian.co.uk/media/open-journalism

බහුතරයක් මුද්‍රිත ප‍්‍රකාශනවල වෙබ් අඩවි පාඨක අදහස් දැක්වීමට ඉඩ දුන්නත් එම අදහස් මත පදනම් වී, ඒ සංවාදවලින් පෝෂණය වී, වෘත්තීය/මාණ්ඩලික වාර්තාකරුවන් හා ලේඛකයන් මාධ්‍ය අන්තර්ගතයක් බිහි කරන්නේ නැහැ. (හේතුව පාඨකයන්ට වඩා තමන් දන්නා බවට පත‍්‍ර කලාවේ බහුල විශ්වාසයයි.)

එහෙත් විවෘත පත‍්‍ර කලාවේ යම් සිදුවීමක් හෝ කාලීන මාතෘකාවක් වාර්තාකරණයට පාඨක දායකත්වය ගෞරවනීය ලෙසින් හවුල් කර ගන්නවා. එයට හොඳම මෑත උදාහරණය නම් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ වියදම් වාර්තා විමර්ශනයයි.

ඇතැම් බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රන් සැබෑ වියදම් වැඩිකොට පෙන්වා හා නැති වියදම් මවා පාමින් මහජන මුදල් ගසා කන බවට ආන්දෝලනාත්මක හා ගවේෂණාත්මක ප‍්‍රවෘත්තිය මුල් වරට හෙළිදරවු කළේ Daily Telegraph පුවත්පතයි. ඒ 2009 මැයි මාසයේ. මහජන මුදල් වියදම් කැරෙන ආකාරය ගැන මහජනයාට තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කැරෙන නීතිය (right to information) යටතේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සමාජ කි‍්‍රයාකාරිකයන් ලබා ගත් ලියකියවිලි මිලියන් 2ක් ටෙලිග‍්‍රාෆ් හා ගාඩියන් පුවත්පත් අතට පත් වුණා.

ගාඩියන් පුවත්පත කළේ මේ අතිවිශාල ලියවිලි කන්දරාව වෙබ් අඩවියක් හරහා මුදා හැර ඒවායේ සැක කටයුතු වියදම් තොරතුරු ඇත්දැයි විමර්ශනය කිරීමට පාඨකයන්ට ඇරැයුම් කිරීමයි. මේ ස්වේච්ජා කාරියට පාඨකයන් 20,000ක් දෙනා ඉදිරිපත් වුණා. අඩු වියදමකින්, කෙටි කාලයකින් විශාල වැඩ කොටසක් කරන්නට හැකි වුණා.

පාඨකයන් විසින් අවධානයට යොමු කළ වියදම් වාර්තා මාණ්ඩලික ලේඛකයන් විසින් දැඩි ගවේෂණයට ලක් කරනු ලැබුවා. මේ හරහා අල්ලා ගත් හොර මැර වංචා මෑත ඉතිහාසයේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ ලොකු ම කැළල බවට පත් වී හමාරයි. (පක්‍ෂ, විපක්‍ෂ දෙකේ ම මන්තී‍්‍රන් වංචනිකයන් ලෙස චෝදනා ලබා අධීකරණ කි‍්‍රයාදාමයකට පමුණුවා තිබෙනවා.)

එක පොදු අරමුණකට වෙබ් මාධ්‍යය හරහා බොහෝ දෙනකු හවුල් කරගැනීම හඳුන්වන්නේ crowd-sourcing නමින්. හවුලේ තොරතුරු ගවේෂණය යයි කිව හැකියි. යම් තොරතුරු හා ඉගි පාඨකයන් විසින් පුවත්පත්වලට ලබා දීම ඓතිහාසිකව කෙරුණත්, අද නවීන සන්නිවේදන තාක්‍ෂණය හරහා එය නව මානයකට ගෙන යාමට හැකියාව තිබෙනවා. එහිදී ගවේෂණාත්මක පත‍්‍ර කලාවේ සාරධර්ම හා මූලධර්ම රැක ගනිමින් පාඨකයන් ද මේ ව්‍යායාමවලට හවුල් කර ගැනීම විවෘත පත‍්‍ර කලාවේ මූලික ගුණාංගයක් ලෙස ගාඩියන් කතුවරයා විග‍්‍රහ කරනවා.

මෙබඳු නව්‍යකරණයන් හා අඵත් ආකෘතින් නිසා ගාඩියන් වෙබ් අඩවිය අද ලෝකයේ වැඩිපුර ම පාඨකයන් පැමිණෙන පුවත්පත් වෙබ් අඩවිය බවට පත්ව තිබෙනවා.

එසේ නම්‍යශීලී හා නිර්මාණශීලී ලෙස පරිනාමය වන මාධ්‍ය ආයතනවලට පැවැත්ම පිළිබඳ දැඩි තර්ජනයකට මුහුණ නොදී මාධ්‍ය ක්‍ෂෙත‍්‍රය හරහා හමන සැඩ සුළංවලට ඔරොත්තු දීමට හැකි වනවා. එසේ නොකරන මාධ්‍ය ආයතන එක්කෝ වැසී යනවා. නැතිනම් කාගේ හෝ මූල්‍යමය පිහිටෙන් පවත්වා ගන්නට සිදු වනවා.

Read Nov 2011 Ravaya interview with Sanjana Hattotuwa (in Sinhala) on new media realities in the Lankan context:

Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011
Sanjana Hattotuwa interview in Ravaya newspaper, 13 Nov 2011

සිවුමංසල කොලූගැටයා #120: මිහිතල මෑණියෝ ද? මිහිතල අම්මණ්ඩි ද?

Another World Environment Day will be observed on June 5. We can expect Lankan environmentalists to raise their shrill, giving us more rhetoric than substance.

I have always stayed clear of such impulsive green extremism, instead advocating a more measured approach to balancing modern lifestyles with their ecological impacts. In this week’s Ravaya column (in Sinhala), I debunk a widely peddled green myth that suggests ‘Mother’ Earth will look after us if only we take better care of her.

Well, our home planet doesn’t care one way or the other. People can lull ourselves into whatever illusion of their choice, but Earth is indifferent. Coming to terms with this can help our greens to reach some maturity they badly need.

See also these previous explorations of the same theme:

11 June 2012: Eco Myths Can’t Save the Planet. Wake Up and Smell the Foul Air!

8 July 2011: සිවුමංසල කොලූගැටයා #21: ප‍්‍රතිනිර්මාණය වූ සියැටල් නායක කථාව/මිථ්‍යාව

Mother Earth? Not really. Just our home planet
Mother Earth? Not really. Just our home planet
ජුනි 5 වනදා ලෝක පරිසර දිනය.

‘අප පරිසරය රැක ගත්තොත් පරිසරය අපව රැක ගනීවි’ යන්න පරිසරවේදීන් බහුතරයක් මෙන් ම ගුරුවරුන් හා මාධ්‍යවේදීන් ද නිතර කරන ප‍්‍රකාශයක්.

පරිසරය හා සොබා සම්පත් රැක ගත යුතු බව ඇත්තයි. එහි විවාදයක් නැහැ. එහෙත් එය හරියාකාරව කරන්නට නම් විචාර බුද්ධියෙන් එම කාර්යයට ප‍්‍රවේශ විය යුතුයි. අන්ධ භක්තිය, භීතිය හෝ වෙනත් ආවේගයක් මත පදනම් වී පරිසරය රැක ගන්නට නොහැකියි.

පරිසර සංරක්ෂණ පණිවුඩය පොදු ජන සමාජයට ගෙන යා හැකි ක‍්‍රමෝපයන් කිහිපයක් තිබෙනවා. විද්‍යානුකූලව කරුණු විග‍්‍රහ කරමින්, පරිසරයේ තුලනය පවත්වා ගන්නට මිනිස් අප කළ යුතු දෑ පෙන්වා දීම එකක්. සොබා දහමේ අසිරිය, සුන්දරත්වය හා මානව සංස්කෘතියට එයින් ලැබෙන අසීමිත බලපෑම ගැන අවධාරණය කරමින් කලාත්මක හා සෞන්දර්යාත්මක දැනුවත් කිරීම තවත් එකක්. මේ දෙක ම කලක සිට සාර්ථක ලෙස සිදු කැරෙනවා.

එහෙත් මෑතක පටන් අපේ සමහර පරිසර සන්නිවේදකයන් පරිසරවේදය සාමයික දර්ශනයක් හෙවත් ආගමික විශ්වාසයක මට්ටමට ඔසවා තබන්නට තැත් කරනු පෙනෙනවා. පරිසරයට වින කිරීම ඉමහත් පාපකාරී ක‍්‍රියාවක් බවත්, එසේ කිරීමේ බරපතල විපාක විඳින්නට සිදු වන බවත් ඔවුන් කියන්නේ හරියට ප‍්‍රධාන පෙළේ ආගම්වල පූජකවරුන් සාමාන්‍ය ජනයා පව්වලට බිය කරන්නට කරන ප‍්‍රකාශවලට සමාන ආකාරයෙන්.

මේ අවස්ථා දෙකෙහි ම යොදා ගන්නේ බුද්ධිගෝචර නොවන, ආවේගයට බර වූ තර්කයන්. අප යහපත් දිවි පෙවතක් ගත කළ යුත්තේ පවට බිය වීම හෝ මතු භවයක අහිතකර විපාක ගැන භීතියෙන් නොවෙයි. හරි දේ කවදත් කොතැනත් හරි නිසා.

එසේ ම අප පරිසරයට අනවශ්‍ය පීඩා නොකර සොබා සම්පත් හා බලශක්තිය අරපිරිමැස්සෙන් පාවිච්චි කළ යුත්තේ සොබා දහමට ඇති අනියත බියකින් නොව එය අපට කළ හැකි හා අප කළ යුතු වඩාත් ම නිවැරදි ක‍්‍රියාව නිසා යි.

අප කෙතරම් ආදරයෙන්, භක්තියෙන් හා ගෞරවයෙන් මිහිතලයට සැළකුවත් එහි භෞතික ක‍්‍රියාකාරිත්වය නිසා විටින් විට අපට ස්වාභාවික ආපදා හා වෙනත් උවදුරුවලට මුහුණ දීමට සිදු වනවා. අප මිහිතලය රැක ගතහොත් එය අපව රැක ගනීවි යන්න විද්‍යාත්මකව නිවැරදි දැක්මක් නොවෙයි.

ග‍්‍රහලෝක මට්ටමින් පෘථිවිය දෙස බලන සමහර පරිසරවේදීන් තැත් කරන්නේ එයට ජීවමාන ස්වරූපයක් හා ප‍්‍රතිරූපයක් ලබා දෙන්නටයි. මිහිතල මාතාව, මිහි මෑණියෝ හෝ මහී කාන්තාව ආදි විවිධ යෙදුම් ඔවුන් භාවිත කරනවා.

James Lovelock
James Lovelock
බි‍්‍රතාන්‍යයේ ලොව පිළිගත් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වන ජේම්ස් ලව්ලොක් (James Lovelock) 1970 ගණන්වල මතයක් ඉදිරිපත් කළේ පෘථිවියේ ජීවී සහ අජීවී සියල්ල ම ඒකාබද්ධ වී සංකීර්ණ තනි පද්ධතියක් ලෙස කි‍්‍රයා කරන බවත්, එය ග‍්‍රහලෝක මට්ටමේ ජීවයකට සම කළ හැකි බවත්. ඔහු එයට ගයීයා (Gaia) යන නම දුන්නා. ගී‍්‍රක මිථ්‍යාවාදයේ මිහිතල දෙවඟනට දී තිබු නම එයයි.

මේ ගයීයා කල්පිතය පරිසරවේදීන් අතර ඉක්මනින් ජනපි‍්‍රය වුණා. අජීවී භූ විද්‍යාත්මක පද්ධතීන් හා ජීවී ලෝකය ඉතා සමීපව අන්තර් කි‍්‍රයා කරන බව සැබෑවක්. එසේ ම වසර මිලියන් ගණනක් තිස්සේ ජිවීන්ගේ ස්වාභාවික කි‍්‍රයා නිසා ග‍්‍රහලෝකයක ස්වරූපය කෙමෙන් වෙනස් වන බවත් විද්‍යාඥයන් දැන් පිළි ගන්නවා.

එහෙත් ගයීයා කල්පිතය ගැන විද්‍යාඥයන් අතර එකඟත්වයක් නැහැ. රිචඞ් ඩෝකින්ස් (Richard Dawkins) වැනි ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ ජීව හා පරිනාම විද්‍යාඥයන් එය එක හෙළා බැහැර කරන්නේ තර්කානුකූල වනවා වෙනුවට ගුප්ත සංකල්පයක් එමගින් ඉස්මතු කරන බව කියමින්.

මිහිතලයේ සියඵ රහස් විද්‍යාව විසින් තවමත් හෙළි කරගෙන නැහැ. එහෙත් ග‍්‍රහලෝකයේ කි‍්‍රයාකාරිත්වය ගැන හොඳ අවබෝධයක් මේ වන විට භූ විද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් හා වායුගෝලය පිළිබඳ විද්‍යාඥයන් ලබා ගෙන තිබෙනවා. මිහිතලයේ පද්ධතිවලට දරා ගත හැකි පරාසයන් ගැන තක්සේරුවක් ද දැන් විද්‍යාව සතුයි. මේ පදනම මත සිටගෙන පාරිසරික සංරක්‍ෂණයට යොමු වීම ආවේගශීලි ගුප්තවාදයකට වඩා බුද්ධිගෝචරයි.

මා දේශනවලදී නිතර සිහිපත් කරන කරුණක් නම් අප ජීවත් වන්නේ ඉතා සකි‍්‍රය ග‍්‍රහලෝකයක් මත බවයි. පෘථිවිය අභ්‍යන්තරයේ නොනිමෙන භූවිද්‍යාත්මක බලවේග දිවා රැයේ කි‍්‍රයාත්මක වනවා. භූමිකම්පා, ගිනිකඳු හා ඇතැම් විට සුනාමි ලෙස ආපදා ඇති කරන්නේ මේ ස්වාභාවික ප‍්‍රවාහයන්.

අපේ වායුගෝලයත් ඉතා සකි‍්‍රයයි. පැයෙන් පැයට වෙනස් වන කාලගුණයක් ඇත්තේ ඒ නිසායි. සාගරය හා ගොඩබිම අතර ගනුදෙනුව නිසාත් කාලගුණය වෙනස් වනවා. නියමිත කලට සිදු වන කාලගුණික කි‍්‍රයා (උදා: මෝසම් වර්ෂා) මෙන්ම අනපේක්‍ෂිතව ඇති වන හදිසි කාලගුණ තත්ත්වයන් ද තිබෙනවා. (උදා: කුණාටු, සුළිසුළං).

අගහරු ග‍්‍රහලෝකය බොහෝ සෙයින් පෘථිවියට සම කළ හැකි වූවත් එය තව දුරටත් සකි‍්‍රය ලෝකයක් නොවේ. අතීතයේ සකි‍්‍රයව තිබෙන්නට ඇතැයි අනුමාන කැරෙනවා. අකි‍්‍රය අගහරු මත අප දන්නා තරමට ජීවයක් ද නැහැ.

ජීවයෙන් පිරි මිහිතලයේ සකි‍්‍රය බව නිසා එම ජීවීන්ට විටින් විට හානි ද ඇති වනවා. එය සොබා දහමේ න්‍යායක්. මානවයන් මිහි පිට බිහි වන්නට බොහෝ කලකට පෙරත් මේ භූ විද්‍යාත්මක හා කාලගුණ විද්‍යාත්මක කි‍්‍රයාදාමයන් සිදු වුණා. (දේශගුණ විපර්යාස ඉක්මන් කිරීමට නම් මානව කි‍්‍රයාකාරකම් සෘජුව බලපා තිබෙනවා. එහෙත් භූමිකම්පා, සුනාමි, ගිනිකඳු ආදියට මානව බලපෑමක් සොයා ගෙන නැහැ.)

අප කෙතරම් හොඳින් මිහිතලයට සැළකුවත් මේ ප‍්‍රචණ්ඩ ආපදා තව දුරටත් සිදු වනවා. මේ භෞතික යථාර්ථය මූලධර්මවාදී පරිසරවේදීන්ට අමිහිරි විය හැකියි. එහෙත් ඇත්තයි.

‘මිථ්‍යාවෙන් පරිසරය රැකිය නොහැකියි’ යන තේමාවෙන් 2012 වසර මැදදී ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගේ සංගමයේ සංවාදශීලි දේශනයක් මා පැවැත් වූවා. එහිදී හරිත වර්ණ සුරංගනා කථා, හරිත වර්ණ අද්භුත කථා හා හරිත මාරක කථා ආදි අද දවසේ සිවිල් සමාජයේ හා මාධ්‍ය හරහා සංසරණය වන ජනප‍්‍රිය හරිතවාදයන් කිහිපයක් මා විචාරයට ලක් කළා.

එම දේශනයේ ප‍්‍රවේශයක් ලෙස මා කියා සිටියේ පෘථිවි ග‍්‍රහලෝකයට මිහිතල මෑණියෝ, මහී කාන්තාව, දියදම් දිනිතිය ආදී ගෞරවනීය නාම පාවිච්චි කළත්, මිහිතල අම්මණ්ඩි කීවත් මේ සොබාවික සිදුවීම්වල කිසිදු වෙනසක් සිදු නොවන බවයි.

ගුප්ත වාදයක් හා පාරිසරික ඇදහිල්ලක් හරහා පරිසරය රැක ගන්නට බැහැ. එසේ කරන්නට තැත් කරන විට ”මිහිතල මෑණියෝ” අපට එවන භූමිකම්පා, සුනාමි හා අනෙකුත් ව්‍යසන පහදා දෙන්නේ කෙසේ ද?

අද අපට අවශ්‍ය පසුගාමී හා ගුප්ත හරිතවාදයක් නොවෙයි. ප‍්‍රායෝගික වූත්, ප‍්‍රබුද්ධවූත්, විචාරශීලී වූත් පරිසර චින්තනයක්. එය සංවාදයට විවෘත විය යුතුයි.

Earth in danger? Or just humanity endangering itself?
Earth in danger? Or just humanity endangering itself?
පරිසරය රැක ගැනීම ආත්මාර්ථකාමී දෙයක් යයි මා තර්ක කරනවා. මගේ පාරිසරික ප‍්‍රමුඛතා ගොන්නේ අතිශයෝක්තියෙන් වර්ණනා කැරෙන හරිත තේමා නැහැ. හැම ගසක්, සතකු හා හැම සොබාවික පරිසරයක් ම පිවිතුරු ලෙසින් අත නොතබා රැක ගත යුතු යයි හරිත මූලධර්මවාදී ස්ථාවරයක මා රැඳෙන්නේ ද නැහැ.

පාරිසරික හානිය හා දුෂණය කෙටි කාලීනව හා දිගු කාලීනව අපේ සෞඛ්‍යයට කරන හානිකර බලපෑම් මා වඩාත් අවධානය යොමු කරන පැතිකඩයි. මේ නිසා යහතින් දිවි ගෙවන්නට නම් අපේ පරිසරය යම් දරා ගත හැකි පරාසයන් තුළ පවත්වා ගත යුතුයි.

මිහිතලය නම් ග‍්‍රහලෝකයට හා එහි සෙසු ජීවී-අජීවී සමස්තයට මානවයන් අවශ්‍ය නැහැ. අප ඇතත් නැතත් මේ ග‍්‍රහලෝකය පවතිනවා. එහෙත් අපේ වර්ගයාගේ පැවැත්මට හා සුරැකීමට ග‍්‍රහලෝකයේ ස්වාභාවික කි‍්‍රයාදාමයන් ප‍්‍රශස්ත පරාසයන් තුළ දිගට ම සිදුවීම අත්‍යවශ්‍යයි. නැතිනම් මානවයන්ගේ අනාගතය අසුබයි. අවිනිශ්චිතයි. පරිසරය ගැන අප ආත්මාර්කාමී විය යුත්තේ එනිසායි.

ශී‍්‍ර ලංකාවේ මුල් බැස ගෙන ඇති බහුල පාරිසරික මිථ්‍යාවන් විටින් විට විග‍්‍රහ කරන්නට මා බලාපොරොත්තු වනවා. ඔබේ ප‍්‍රියතම පරිසර මිථ්‍යාව කුමක් ද? ලියා එවන්න!

මිහිතල අම්මණ්ඩිට සුබ පරිසර දිනයක්!

සිවුමංසල කොලූගැටයා #119: ඔබේ වාරය ද – මගේ වාරය ද?

In this week’s Ravaya column (in Sinhala), I pose a simple yet important question: why can’t Lankans wait for their turn? Why don’t we, as a society, practise ‘first time-first served’ principle? Why is everyone pretending to be a VIP seeking to jump their turn?

I then cite personal experiences from my travels to show how it works in more mature democracies where everyone — including the heads of state and real VIPs — respect people’s rights when out in public space. At the risk of name dropping, I cite examples of how Queen Elizabeth II travels around in London, and how the Dalai Lama was occupying the opposite room at my New Delhi hotel…

L to R - D S Senanayake, Queen Elizabeth II, Dalai Lama
L to R – D S Senanayake, Queen Elizabeth II, Dalai Lama

එදිනෙදා ජීවිතයේ සරල සිදුවීම්වලින් අපේ සමාජයේ ගති සොබා ගැන දළ හැඟීමක් ලද හැකියි.

මෙන්න මෑතදී පැය විසි හතරක් ඇතුළත මා ලද අත්දැකීම් දෙකක්.

මුල් සිදුවීමේදී සුපර්මාකට් එකක බඩු මිළට ගන්නට මගේ වාරය එන තුරු මම පෝලිමේ ඉන්නවා. එතරම් පිරිසක් හෝ දිග පෝලිම් නැහැ. ඊළඟට මගේ වාරය. ඔන්න එකපාරට ම නෝනා කෙනෙක් ඇවිත් පෝලිම පැනලා මගේ ඉදිරියෙන් හිට ගන්නවා. ඇයට වැරදීමක් ද?

තත්පර කිහිපයක් බලා සිට මා කරුණාවෙන් ඇයට පෙන්වා දෙනවා මෙතැන පෝලිමක් තිබෙන බව. එවිට (ඇගේ සැමිය විය හැකි) පිරිමියකුත් ඇයට එකතු වෙනවා. පෝලිමක් ඇතැයි කීම ගැන මේ දෙන්නාට ම ලොකු නුරුස්නා ගතියක් හට ගන්නවා. මොනවාදෝ කියමින්, රවමින් වෙනත් කවුන්ටරයක් සොයා ගෙන යනවා.

ඊට පසුවදා උදේ මම එළවලූ කඩයක තෝරා ගත් එළවලූ කූඩයට ගෙවන්නට තවත් කෙටි පෝලිමකට එකතු වෙනවා. මගේ වාරය ඇවිත් කූඩය තරාදිය ළඟින් තබනවාත් සමඟ ම වයස 17-18ක් පමණ යෞවනියක් මැදට පනිනවා. දෙහි ගෙඩි කිහිපයක් මිලට ගන්න.

දරුවාගේ වයස නිසාදෝ මාත් එතරම් ගණන් නොගෙන බලා සිටිනවා. එතකොට මගේ පිටු පසින් කාන්තා කටහඬක් ඇසෙනවා. ‘‘දුවේ, මේ මහත්තයා අපට ඉස්සර වෙලා හිටියෙ. එය ඉවර වෙනකන් ඉන්න.’’

ඒ කාන්තාව දැරියගේ මව විය යුතුයි. ඇය දෙස හැරී බැලූ මම සිනහවකින් ඇයට ස්තුති කළා.

ඇඳුමෙන් හෝ පෙනුමින් මිනිස්සුන්ගේ තරාතිරම මැනිය නොහැකි වූවත්, පෙරදින රාත‍්‍රියේ උද්දච්ච ලෙසින් පෝලිම් පැන්න මැදිවියේ කාන්තාවට වඩා චාම් හා අවිහිංසක බවක් මේ කාන්තාව තුළ මා දුටුවා. ජීවන මට්ටම හා අධ්‍යාපන මට්ටම කුමක් වෙතත් ඇය ඒ මොහොතේ තම කලබලකාර දියණියට දුන් අවවාදය ඉතා ආදර්ශවත්.

කලබලකාරී ජීවිත ගත කරන අප බොහෝ දෙනා හැකිතාක් ඉක්මනින් අපේ දෛනික කටයුතු කර ගන්නට කැමතියි. එහෙත් පොදු අවකාශයේ — එනම් මහාමාර්ගයේ, රජයේ කාර්යාලවල, වෙළඳසැල් තුළ — අපේ වාරය එන තුරු සිටීම ශිෂ්ට සමාජයේ හැමගෙන් බලාපොරොත්තු වන සංයමයක්.

ඉංග‍්‍රීසියෙන් මෙය හඳුන්වන්නේ ‘First come, first served’ කියායි (පැමිණි අනුපිළිවෙළට සේවය ලබා දීම). මීට පරම්පරාවකට පෙර මෙරට තිබූ අසාමාන්‍ය ගණයේ මහා පෝලිම් දැන් නැතත්, යම් විනාඩි ගණනක් හෝ තමන්ගේ වාරය එළඹෙන තුරු සිටීමට අපට සිදු වනවා. එතැන දී තමන්ගේ නිලය, ධනය, අධ්‍යාපනික පසුබිම ආදී සාධක අදාළ නැහැ. එබඳු අවස්ථාවල ඒ සාධක අනිසි ලෙස මතු නොකළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ එච්. ඒ. ජේ. හුලූගල්ල ලියූ ඞී. එස්. සේනානායක චරිතාපදානයේ එක් තැනෙක සඳහන් සරල සිදුවීමක් මට සිහි වනවා. ලේඛකයා එය යොදා ගන්නේ අපේ මුල් අගමැතිරයා කෙතරම් නිරහංකාර හා ගුණගරුක චරිතයක් ද යන්න පෙන්වීමට.

කොළඹ කොල්ලූපිටියේ ගේ‍්‍රබියල් බාබර් සාප්පුවෙන් කොණ්ඩය කපා ගැනීමට යාම ඞී එස්ගේ සිරිතක්ව තිබුණා. එය අරලියගහ මන්දිරයට ආසන්නයි. දිනක් බාබර් සාප්පුවට ඞී. එස්. ගොඩවදින විට කොණ්ඩය කපා ගැනීමට තවත් එක් අයකු බලා සිටියා. ඒ තැනැත්තා පාර්ලිමේන්තු නිල වාර්තාව වන හැන්සාඞ් ප‍්‍රකාශනයේ එවකට කර්තෘවරයා වූ ජී. ඊ. පී. ද එස්. වික‍්‍රමරත්න.

කාර්යබහුල අගමැතිවරයාට පෝලිමේ නොසිට කොණ්ඩය කපා ගන්නට යැයි වික‍්‍රමරත්න යෝජනා කළා. එහෙත් ඞී. එස්. එයට එකඟ නොවී තමන්ගේ වාරය එළඹෙන තුරු පත්තරයක් බලමින් සිටි බව වික‍්‍රමරත්න ගෞරවයෙන් සිහිපත් කරනවා.

අද තරම් රාජ්‍ය පාලනය සංකීර්ණ නොවූවත්, එදා අගමැතිවරයාටත් ඇති තරම් රාජකාරි තිබුණා. නිල බලය යොදා ගෙන බාබර් කෙනකු අරලියගහ මන්දිරයට ගෙන්වා ගන්නට හැකියාව තිබිය දී ඞී. එස්. කළේ තමන්ගේ ප‍්‍රියතම බාබර් ළඟට ගොස් තම වාරය එළඹෙන තෙක් සිටීමයි!

අද කාලේ කනිෂ්ඨ පළාත් පාලන සභිකයකු පවා මෙබඳු නිහතමානී ක‍්‍රියාවක් කරනු ඇතැයි විශ්වාසි කරන්නට අමාරුයි.

පෙරඅපර දෙදිග වඩාත් පරිනත සමාජවල කොයි කාටත් පොදු ස්ථානවලදී හා පොදු සේවාවල දි එක හා සමාන ලෙස සැළකීම පුඵල් ලෙස අනුගමනය කැරෙන සම්ප‍්‍රදායක්. මෙය පාලකයන්, සෙසු ප‍්‍රභූන්, විද්වතුන් හා වෙනත් නාමධාරී හා බලධාරී/නිලධාරී කොයි කාටත් පොදුයි. එයට ඉංගී‍්‍රසියෙන් egalitarian කියනවා. එහි සිංහල අරුත සමානාත්මවාදී යන්නයි. (මෙය දේශපාලන සංකල්පයක් නොව ශිෂ්ට සමාජයක මූලික ගුණාංගයක්.)

බි‍්‍රතාන්‍යයේ වත්මන් අගමැතිවරයා ලන්ඩනයේ උමං දුම්රියේ ගමන් කරන සැටි හා අසුනක් නොලැබීම නිසා සිට ගෙන ගිය සැටි ඡයාරූපයක් පසුගියදා ජාත්‍යන්තර මාධ්‍ය හරහා අපි දුටුවා.

David Cameron travelling by London Underground
British PM David Cameron travelling by London Underground

සමානාත්මවාදය ඉහළින් ප‍්‍රගුණ කරන බටහිර රටවල ඇමතිවරුන්, උසස් රාජ්‍ය නිලධාරීන් හා හමුදා නිලධාරීන් අති බහුතරයක් සිවිල් සමාජයේ හා පොදු ස්ථානවලදී තමන්ගේ වාරය එළැඹෙන තුරු කිසිදු කලබලයකින් තොරව සිටිනු මා දැක තිබෙනවා. (එය එසේ නොවන්නේ බරපතල ආරක්‍ෂක අවශ්‍යතාවයක් ඇති අමෙරිකානු ජනාධිපතිවරයා වැනි අයට පමණයි.)

එයට හොඳ උදාහරණයක් මා දුටුවේ 2008 දිනෙක මධ්‍යම ලන්ඩනයේ ඇවිද යන විටයි. අතුරු පාරක පදිකයන්ට පාර පනින්නට නියමිත තැනකින් මගේ බි‍්‍රතාන්‍ය මිතුරකුත් මාත් පාර හරහා ගියා. ඒ සඳහා මඳකට නතර වුණු වාහන කිහිපය අතර හැඩයෙන් අමුතු, අවලස්සන විශාල මෝටර් රථයක් ද වූවා.

අපට ඉඩ දී නැවතත් ඒ වාහන ඉදිරියට ඇදෙන විට මගේ මිතුරා කීවේ ‘ඒ තමයි අපේ රැජින – අර විශාල වාහනය ඇය තුළ සිටිනවා’ කියායි. බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් 16ක රාජ්‍ය නායිකාව වන රැජින, එක් පරිවාර රියක් පමණක් පෙරටු කර ගෙන ලන්ඩන් වීදි හරහා යන්නේ සෙසු පදිකයන්ට හා ජනතාවට කිසිදු හිරිහැරයක් නොකරයි!

2005 ජූලියේ ලන්ඩනයේ තැන් කිහිපයකට ත‍්‍රස්තවාදී ප‍්‍රහාර එල්ල වී වසර 3ක් පමණ ගත වී තිබුණා. බි‍්‍රතාන්‍ය රැජින යනු දිවා රැයේ සුවිශේෂ ආරක්‍ෂාව ලබා දෙන රාජ්‍ය නායිකාවක්. එහෙත් මට දැන ගන්නට ලැබුණු පරිදි මහජනයාට කිසිදු හිරිහැරයක් නොකර සූක්‍ෂම ක‍්‍රම හරහා එම ආරක්‍ෂාව ඇයට ලබා දෙන්නට මාලිගාවේ ඉල්ලීම මත බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක හමුදා කි‍්‍රයා කරනවා.

ලන්ඩනය ඇගේ රාජධානියේ අගනුවර පමණක් නොව ලෝකයට ම වැදගත් හා ජනපි‍්‍රය නගරයක් බවත් එය ඇගේ බූදලයක් නොවන බවත් පරිනත නායිකාවක් වන මහ රැජින ඉතා හොඳින් දන්නවා.

පදිකයන්ට නියමිත තැනින් අප පාර පනින තුරු මඳකට ඉවසන්නට බි‍්‍රතාන්‍ය රැජිනටත් හැකි වූවාට එබඳු ඉවසීමක් හා සංයමයක් ඇත්තේ අපේ රටේ කීයෙන් කී දෙනාට ද?

අපේ රටේ මාර්ග නීති පිළිපැදීම ගැන නිසි විනයක් හා නීතිය කි‍්‍රයාත්මක කිරීමක් කරන්නට හරස් වන එක් සාධකයක් නම් අන් සැම දෙනාට වැඩි කලබලයක් ඇති ප‍්‍රභූ (VIP) වාහනයි. මේවා බහුතරයක් දේශපාලකයන් රැගෙන යතත් සමහරක ගමන් කරන්නේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් හෝ සුපිරි රාජ්‍ය නිලධාරීන්. තමන්ගේ වාරය ගැන හෝ මාර්ග නීති පිළිපැදීම ගැන හෝ කිසිදු තැකීමක් මොවුන්ට නැහැ.

‘අද අපට තිබෙන ලොකු ප‍්‍රශ්නයක් නම් හැම දෙනාම තමන් VIP යයි සිතා පාරේ ගමන් කිරීමයි.’ මේ ගැන කලක සිට සැළකිලිමත් වන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් මා සමග කීවා.

සැබෑ ප‍්‍රභූන් කවුදැයි තෝරා බේරා ගන්නට මහමග රාජකාරි කරන පොලිස් නිලධාරීන්ටත් අසීරුයි. ඒ අතර අපේ ඇත්තන්ගේ හැසිරීම දකින ශී‍්‍ර ලංකාවේ තිබෙන විදේශ තානාපති කාර්යාලවල සමහර වාහනත් VIP ආකල්පයෙන් ගමන් කරන්නට හදනවා. එතැනදී ඔවුන් අනිසි ලෙස තානාපති වරප‍්‍රසාද පිටුපස සැගවෙනවා.

පරිවාර රථයක් හා සැබෑ ඪෂඡු වරප‍්‍රසාද සහිතව මහ මග ගමන් කළ හැක්කේ කුමන තනතුරු ධාරීන්ට ද යන්න ඉන්දියාවේ නම් පැහැදිලිව ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. මේ නිසා හැමෝට ම VIP ලේබල් අලවා ගන්නට බැහැ.

පෙරදිගින් තවත් අත්දැකීමක්. මීට තෙවසරකට පමණ පෙර නවදිල්ලියට ගිය විටෙක මා නැවතුණේ එනුවර විද්වතුන් හා පර්යේෂකයන්ට නවාතැන් දෙන හැබිටැට් (Habitat) මධ්‍යස්ථානයේ. එදින මගේ කාමරයට ඉදිරිපස කාමරයේ සිටියේ ලෝකයේ සම්භාවනීය (පිටමං කළ) රාජ්‍ය නායකයකු හා සාමයික නායකයකු වන දලයි ලාමාතුමායි. දශක ගණනක් තිස්සේ ඔහුට ප‍්‍රභූ වරප‍්‍රසාද සහිතව ඉඳුම් හිටුම් දෙන්නේ ඉන්දීය රජයයි. ඒ දිල්ලියට කි.මී. 500ක් උතුරින් පිහිටි දරම්සාලහිදී.

දලයි ලාමාතුමා දිල්ලියේ දී මුණගැසීම දුසිම් ගණන් බැතිමතුන් හා මිතුරන් ඇදී ආවා. මේ නිසා හෝටල් කොරිඩෝව තරමක් කලබලකාරී වුණා. මේ ගැන සංවේදී වූ එතුමාගේ ආරක්‍ෂක නිලධාරීන් දිනකට දෙතුන් වතාවක් බැගින් මට කණගාටුව ප‍්‍රකාශ කළා.

ප‍්‍රභූ ආරක්‍ෂකයන් පිළිබිඹු කරන්නේ ඔවුන් රකින ප‍්‍රභූවරයාගේ ආකල්පයි.

තවමත් වැඩවසම් මානසිකත්වය ඇති අපේ වැනි සමාජවලට මෙය ආගන්තුකයි. ඓතිහාසික වශයෙන් අපව හුරු කර ඇත්තේ ඥානවෘධ, වයෝවෘද්ධ හා තපෝවෘද්ධ යන තුන් ආකාරයේ ම වැඩිහිටියන්ට ගරු කිරීමට පමණක් නොව කුලවතුන්, ධනවතුන් හා සෙසු සමාජ බලවතුන්ටත් අනවශ්‍ය ලෙස බය පක්‍ෂපාත වන්නටයි. අප්පො පාරේ දුර එනු දුටු අප්පු කාණුවට බැසිය යුතු කාලයක් ද තිබුණා.

21 වන සියවසේ තවමත් අප මේ වැඩවසම් පිළිවෙත් දිගට ම ගෙන යා යුතුද?

සිවුමංසල කොලූගැටයා #116: ඔබ දන්නෙහිද ගැන ඔබ දන්නෙහිද?

I look at general knowledge quizzing in Sri Lanka in this week’s Ravaya column (in Sinhala).

It’s a mind sport where I have played all the roles possible — as a participant, Sri Lanka’s national quiz champion, quiz compiler, quizmater, quiz programme designer for radio and TV, and chronicler of the game.

I covered similar ground in English in this column written in Aug 2012:
When Worlds Collide #27: Who Wants to be…a Quizmaster?

L to R - Magnús Magnússon, Shelton Wirasinha, Gunaratne Abeysekera
L to R – Magnús Magnússon, Shelton Wirasinha, Gunaratne Abeysekera

ඔබ දන්නෙහිද (Do You Know) හෙවත් දැනුම මිනුම (quiz) තරගාවලි දශක ගණනාවක් තිස්සේ අපේ පාසල් සිසුන් අතර ජනපි‍්‍රයයි. සූක්‍ෂම හා ඉලක්කගත ලෙසින් දැනුම හා මතකය උරගා බලන මේ මනෝමය කී‍්‍රඩාව ලිහිල් මට්ටමින් හෝ බැරැරුම් ලෙසින් හෝ කළ හැකියි.

පාසල් සිසුන් ලෙස මේ කී‍්‍රඩාවේ දස්කම් පෑ සමහරුන් පසු කලෙක වෘත්තීය ක්‍ෂෙත‍්‍රයන්හි හපනුන් බවට පත් වුණා. ශී‍්‍ර ලංකාවේ ලලිත් ඇතුලත්මුදලි 1950 ගණන්වල රේඩියෝ තරග ජය ගත් අතර අමෙරිකාවේ හිලරි ක්ලින්ටන් (එවකට හිලරි රෝඩම්) 1960 දශකයේ ටෙලිවිෂන් තරගවල තරුවක් වුණා.

ශී‍්‍ර ලංකාවේ ඔබ දන්නෙහිද මනෝ කී‍්‍රඩාවේ ආරම්භය හා මුල් යුගය ගැන මා තොරතුරු සොයනවා. (ඔබ දන්නා තොරතුරු ඇත්නම් ලියා එවන්න: contact details) මගේ මතකයට එන පැරණි ම තරගාවලි පැවැත්වුණේ එවකට අපට තිබූ එක ම රේඩියෝ ආයතනය වූ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හරහායි.

සිංහලෙන් ‘ඕවල්ටීන් පැන පොඩි’ හා ඉංගී‍්‍රසියෙන් ‘Take it or Leave It’ යන සතිපතා තරගයන්ට 1970 දශකයේ සවන් දුන් මා, 1980 සිට මේ ක්‍ෂෙත‍්‍රයේ තරග කරන්නට පටන් ගත්තා. එවක් පටන් අද වන තෙක් මේ මනෝ කී‍්‍රඩාව මගේ ප‍්‍රධාන විනෝදාංශයයි. එහි හැම ඉරියව්වක හා මට්ටමක ම මා කි‍්‍රයා කොට තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණ ප‍්‍රශ්න විචාරකයන් දෙදෙනෙකු සමඟ වැඩ කිරීමෙන් මා අත්දැකීම් ලැබුවා. මුලින් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට මුහුණ දුන් පාසල් සිසුවකු ලෙස ඔවුන් හදුනා ගත් මා, ඉනික්බිති ඔවුන් සමඟ ප‍්‍රශ්න සම්පාදනය හා ඉදිරිපත් කිරීමට සහායකයකු ලෙස සම්බන්ධ වුණා.

මෙයින් පළමුවැන්නා දක්‍ෂ ගුරුවරයකු හා විදුහල්පතිවරයකු වූ ෂෙල්ටන් වීරසිංහ සූරීන් (1923 – 1985). රිච්මන්ඞ් හා වෙස්ලි විදුහල්වල අධිපති ලෙස සේවය කළ ඔහු කී‍්‍රඩා, සංගීත, ශාස්තී‍්‍රය හා පරිපාලන ක්‍ෂෙත‍්‍රවල කුසලතා තිබූ අයෙක්.

රූපවාහිනී නාලිකාව 1982 පෙබරවාරි 15දා අරඹා දින කිහිපයක් තුළ විකාශය ඇරැුඹි මෙරට පළමුවැනි ටෙලිවිෂන් ඔබ දන්නෙහිද වැඩසටහන් මාලාව වූ Dulux Do You Knowහි ප‍්‍රශ්න විචාරකයා වුණා. ඔහුට මුහුණ දුන් මුල් ම පාසල් සිසුන් හය දෙනා අතර සිටි මා එයින් ජයග‍්‍රහණය කළා.

වීරසිංහයන් උද්යෝගීමත්, විනෝදකාමී හා ප‍්‍රතාපවත් චරිතයක්. මවුබස ඉංගී‍්‍රසිය වූ අයට පවා ආදර්ශයට ගත හැකි තරම් විශිෂ්ඨ ඉංගී‍්‍රසි උච්චාරණයක් ඔහුට තිබුණා. එහෙත් කලූ සුද්දකු වනවා වෙනුවට ඔහු ලාංකික උරුමය අගය කළ අයෙක්.

කලාකාමී පරපුරකින් ආ ගුණරත්න අබේසේකර (1934 – 1992) සූරීන් රජයේ පරිපාලන තනතුරක් දරණ අතර රේඩියෝ මාධ්‍යයේ හපන්කම් කළ අයෙක්. සහජයෙන් ම මිත‍්‍රශීලි හා සිනාබරිත වූ ඔහු, පෞරුෂයෙන් වීරසිංහට වඩා වෙනස් වූවත් මුහුකුරා ගිය පෙරඅපර දෙදිග පිළිබඳ දැනුමක් ඔහුට ද තිබුණා.

මෙරට ටෙලිවිෂන් ඉතිහාසයේ මුල් ම සිංහල ඔබ දන්නෙහිද වැඩසටහන් මාලාව වූ ‘සොයමු පිළිතුරු’ 1984 සම්පාදනය කොට ඉදිරිපත් කළේ ඔහුයි. එම ශූරතාවලිය දිනූ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වූයේ මායි.

මේ දෙදෙනා ම තමන් විසින් සම්පාදිත ප‍්‍රශ්න තමන්ට ම ආවේණික ශෛලියකින් විමසුවා. ප‍්‍රශ්න විචාරයේ ප‍්‍රශස්තම අදියර එයයි. එහෙත් නිතර කැරෙන්නේ කවුරුන් හෝ සම්පාදනය කර දුන් ප‍්‍රශ්න ගොන්නක් නිවේදන/කථන හැකියාව ඇති අයකු විසින් විමසීමයි. එහිදී අර්ධ වශයෙන් නිවැරදි හෝ ආසන්න හෝ පිළිතුරක් දුන්නොත් එය බාර ගන්නවා ද නැද්ද ආදී තීරණ ගැනීම අපහසු වනවා.

පාසලෙන් නික්ම ගිය පසු මේ දැවැන්තයන් දෙදෙනාගේ ප‍්‍රශ්න සම්පාදනයට හා තොරතුරු ගවේෂණයට මා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණා. පුඵල් වූත් ගැඹූරු වූත් දැනුම් සාගරයෙන් තොරතුරු උකහා ගෙන, නිරවද්‍යතාවය මුඵමනින් තහවුරු කොට එය රසවත්, කෙටි පැනයක් බවට පත් කිරීම මා උගත්තේ මේ දෙදෙනාගෙන්. එය ආයාසයෙන් ප‍්‍රගුණ කළ යුතු කලාවක්.

එසේ ම රේඩියෝ හා ටෙලිවිෂන් හරහා ප‍්‍රශ්න විචාරීමේදී සුහදශීලී සංයමයක් හා සියඵ තරගකරුවන් වෙත උපේක්‍ෂා සහගත ආකල්පයක් පවත්වා ගත යුතුයි. ඇතැම් තරගකරුවන් නොදන්නාකමට කියන විකාරරූපී හෝ අභව්‍ය පිළිතුරුවලට පවා ප‍්‍රශ්න විචාරක නොසැලී සිටිය යුතුයි.

විද්‍යා-කලා ක්‍ෂෙත‍්‍රවල පුඵල් දැනුමක් තිබුණත් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සූරීන් ප‍්‍රශ්න විචාරන විට වැරදි පිළිතුරු ඔහුට ඉවසා දරා ගන්නට බැහැ. එබදු පිළිතුරු ඔහු නොරිස්සුම් ස්වරයෙන් ඇතැම් විට කෝපාන්විතව බැහැර කළා. මෙය විද්‍යුත් මාධ්‍ය කලාවට ගැලපෙන්නේ නැහැ. ප‍්‍රශ්න විචාරකයා දැනුම ගවේෂණයේ මිත‍්‍රශීලි මාර්ගෝපදේශකයකු විය යුතුයි.

විවිධ හා විචිත‍්‍ර ප‍්‍රශ්න විචාරකයන්ගේ ශෛලීන් හා ශිල්පක‍්‍රම සමීපව අධ්‍යයනය කරමින් සිටි මට, එය අත්හදා බලන්නට අවස්ථාවක් ලැබුණේ 1990දී. රූපවාහිනීයේ මුතුහර ළමා සාමාජිකයන් අතර සතිපතා පැය බාගයේ පැන විසදුම් තරගාවලියක් වසරක් පුරා ඉදිරිපත් කිරීමට නිෂ්පාදිකා ලලිතා සිරිබද්දන මහත්මිය මට ඇරැයුම් කළා.

එවිට මගේ වයස 23යි. ඒ දක්වා රේඩියෝ-ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරකයන් හැටියට කි‍්‍රයා කොට තිබුණේ මැදිවියට පත්, ඉස නිකට පැසුණු උදවිය. මා වැනි තරුණයකුට තමන් ම ප‍්‍රශ්න සම්පාදනය කොට ඒවා විමසන්නට හැකි වේදැයි සමහරුන් විමතියට පත් වුණා. එහෙත් පටිගත කිරීම් වලට පෙර මගේ ප‍්‍රශ්න විමර්ශනයට කළ ඉල්ලීම් මා බැහැර කළා.

ප‍්‍රශ්න විමසන්නට පෙර ඒවා දැන සිටියේ මගේ සහායකයා ලෙස කි‍්‍රයා කළ (දැන් වෛද්‍ය) චතුර රත්නායක හා මා පමණයි. දේශපාලනික හා ආගමික තේමාවන් ඕනෑකමින් මඟ හැර, අන් සියඵ දැනුම් ක්‍ෂෙත‍්‍රයන් ආවරණය වන පරිද්දෙන් අප ප‍්‍රශ්න සම්පාදනය කළා.

පැන විමසීමේදී මා තෝරා ගත්තේ ගුණරත්න අබේසේකරයන්ට සමාන ශෛලියක්. එනම් ප‍්‍රශ්නයේ යම් පසුබිම් තොරතුරු ද ලබා දෙමින් එය විමසීම. මේ නිසා පැය බාගයකදී ඇසිය හැකි ප‍්‍රශ්න ගණන තරමක් සීමා වෙතත්, උඩින් පල්ලෙන් හරසුන් ලෙස තොරතුරු මතු කිරීම සමනය වනවා. අද දක්වාත් රේඩියෝ, ටෙලිවිෂන් හා සජීව සභාවලදී මා අනුගමනය කරන ශෛලිය මෙයයි.

ඔබ දන්නෙහිද යනු අද වන විට මනෝමය කී‍්‍රඩාවක් ලෙස ලොව පුරා පිළිගෙන ව්‍යාප්ත වී තිබෙනවා. එය චෙස්, සුදෝකු ආදිය තරම් ම ප‍්‍රකට නොවූවත් උද්යෝගිමත්ව එහි නියැලෙන තරගකරුවන් හා කණ්ඩායම් සිටිනවා. ඔවුන්ට ම වෙන් වූ තරගාවලි හා ජාත්‍යන්තර මට්ටමේ ශූරතාවලියක් ද තිබෙනවා. මෙය පාසල් හෝ සරසවි සිසුන්ට සීමා වන්නේ නැහැ. විවිධ වයස් මට්ටම්වලට අයත්, විවිධ වෘත්තීන්හි නිරත වන අය මේ මනෝ කී‍්‍රඩාවේ යෙදෙනවා.

මේ ක්‍ෂෙත‍්‍රය හරිහැටි නොදන්නා අය සිතන්නේ පැන විසදීම් බුද්ධි මට්ටම උරගා බලන බවයි. එහෙත් බුද්ධිය මනින බුද්ධි පරීක්‍ෂණ (IQ tests) ඊට වෙනස්. ඔබ දන්නෙහි ද කී‍්‍රඩාවලට යම් බුද්ධි මට්ටමක් අවශ්‍ය බව සැබෑයි. එහෙත් ඊටත් වඩා ප‍්‍රයෝජනවත් වන්නේ රට හා ලෝකය ගැන පුඵල් වූ දැනුම සහ එය ඉක්මනින්, නිරවුල්ව සිහිපත් කිරීමේ හැකියාවයි.

මේ නිසා ඔබ දන්නෙහි ද තරගාවලි ප‍්‍රවර්ධනයට අයින්ස්ටයින්, මාරි කියුරි, තාගෝර් වැනි ලෝ ප‍්‍රකට බුද්ධිමතුන්ගේ මුහුණත් යොදා ගැනීම සංකල්පමය වශයෙන් වැරදියි. එසේ ම මේ මනෝ කී‍්‍රඩාවේ ඉහළට යන්නට උසස් අධ්‍යාපනයක් තිබීම උපකාරී වූවත් එය අත්‍යවශ්‍ය නැහැ.

බි‍්‍රතාන්‍යයේ ඉතා ජනපි‍්‍රය, 1972දී ඇරැඹී අද දක්වා වාර්ෂිකව පවත්වන BBC Mastermind ටෙලිවිෂන් තරගාවලිය 1980දී ජය ගත්තේ ටැක්සි රියදුරෙක්. ආචාර්ය, මහාචාර්ය හා විවිධ වෘත්තිකයන් අභිබවා මේ පුද්ගලයා ඉදිරියට ගියේ කියැවීමේ නොතිත් ආසාව හා පුරුද්ද නිසායි.

Mastermind වැඩසටහන් මාලාව 1972 – 1997 වකවානුවේ වසර 25ක් ඉදිරිපත් කළෙ මැග්නස් මැග්නසන් (Magnús Magnússon) නම් ප‍්‍රවීණ ප‍්‍රශ්න විචාරකයායි. ප‍්‍රශ්න සම්පදානයට ඔහු විවිධ ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රබලයන් සම්බන්ධ කර ගත්තා.

ඉතා තියුණු තරගයකින් පසු බි‍්‍රතාන්‍යයේ මහ මොළකාරයා ලෙස තේරෙන ජයග‍්‍රාහකයාට ලැබෙන්නේ කීර්ති නාමය හා වීදුරු පලිහක් පමණයි. එදත් අදත් මුදල් ත්‍යාග පිරිනැමෙන්නේ නැහැ.

එහෙත් බි‍්‍රතාන්‍යයේත්, වෙනත් රටවලත් ලොකු මුදල් ත්‍යාග සහා කැරෙන ඔබ දන්නෙහිද තරගාවලි තිබෙනවා. 1964දී ඇරැඹී තවමත් දිවෙන අමෙරිකානු ටෙලිවිෂන් තරගාවලිය Jeopardy! හා 1989දී බි‍්‍රතාන්‍යයේ අරඹා අද වන විට ලෝකයේ රටවල් 100කට පමණ ව්‍යාප්ත වී ඇති Who Wants to be a Millionaire (සිංහලෙන් – ඔබ ද ලක්‍ෂපති මම ද ලක්‍ෂපති) මේ අතර වනවා.

මුදලට දැනුම හෑල්ලූ කළ යුතු ද යන්න මේ ක්‍ෂෙත‍්‍රයේ දිගු කලක් පවතින විවාදයක්. ඔබ දන්නෙහි ද කී‍්‍රඩාවේ දශක තුනකට වැඩි කාලයක් සම්බන්ධ වූ මගේ මතය නම් එහි වරදක් නැති බවයි.

කි‍්‍රකට් වැනි කී‍්‍රඩාවලත් මේ විවිධත්වය තිබෙනවා. කිසිදු මුදලක් නොපතා කී‍්‍රඩා කිරීමේ සිට 20-20 හා IPL බදු අධික තරග මුදල් හා කී‍්‍රඩක ගෙවීම් කරන තැන දක්වා පරාසයක් පවතිනවා.

මනෝ කී‍්‍රඩාවකත් මේ පරාසයට ඉඩ දිය යුතුයි. එහෙත් කී‍්‍රඩාවේ ප‍්‍රමිතීන්, සාරධර්මයන් රැකෙන පරිදි හා වංචාවලට ඉඩ නොලැබෙන පරිදි එය පවත්වා ගැනීම ඔබ දන්නෙහිද ක්‍ෂෙත‍්‍රයට ඇලූම් කරන, එහි නියැලී සිටින අප කාගේත් වගකීමක්.

දකුණු ආසියාවේ මේ කී‍්‍රඩාවේ ඉදිරියෙන් ම සිටින්නේ ඉන්දියානුවන්. 1967දී කල්කටාවෙන් ඇරැඹුණු මේ රැල්ල අද ඉන්දියාව පුරා පැතිර ගිහින්. ප‍්‍රාන්ත මට්ටමින් හා ජාතික මට්ටමින් වාර්ෂිකව පැවැත්වෙන තරගාවලි තිබෙනවා. බංග්ලාදේශයේ හා පාකිස්ථානයේ ද මේ කී‍්‍රඩාව පුඵල් මට්ටමෙන් කැරෙනවා. මේවායේ මුල් තැන ගන්නේ පාසල් සිසුන් නොව සරසවි සිසුන්, ඇදුරන්, වෘත්තිකයන් හා වෙනත් වැඩිහිටියන්.

1990දී ශී‍්‍ර ලංකා ජාතික ශූරයා ලෙස මා සාර්ක් තරුණ ශූරතාවලියට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ගියා. (මා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ එක ම අවස්ථාව ද එයයි.) අපේ කලාපයේ ලොකු රටවල ඔබ දන්නෙහිද කී‍්‍රඩාව කෙතරම් සංවිධානාත්මක ලෙස සිදු වනවා ද යන්න ගැන එහිදී මට දැකිය හැකි වුණා.

1990 පටන් මා විවිධ රේඩියෝ හා ටෙලිවිෂන් තරගමාලා සම්පාදනය කොට මෙහෙයවා තිබෙනවා. අද දරුවන්ට හා තරුණ පරපුරට පෙර පරම්පරාවලට වඩා දැනුම් ගවේෂණයට මූලාශ‍්‍ර හා තාක්‍ෂණයන් තිබෙනවා. ඒ වුණත් ලෙහෙසියෙන් තොරතුරු සොයා ගන්නට හැකි වූ පමණට සැළසුම්ගත වූ දැනුම වර්ධනය වන්නේ නැහැ.

ප‍්‍රශ්න විචාරකයකු හැටියට මට හමු වන සමහර තරගකරුවන් අවබෝධයකින් තොරව වට්ටෝරුගත දැනුම කටපාඩම් කළ අයයි. තරග විභාගයකට මුහුණ දෙන ආකාරයට මේ මනෝ කී‍්‍රඩාව කරන්නට බැහැ. (ශබ්දකෝෂ කට පාඩම් කරන අයට ලේඛකයන් වන්නට බැහැ වගෙයි!)

නිරවුල් අවබෝධයකින් හා සැබෑ උද්යෝගයකින් දැනුම සොයා යාම ඔබ දන්නෙහිද ජයග‍්‍රහණයට එදත් අදත් අත්‍යවශ්‍ය ගුණාංගයක්.

Serendib Quiz with Nalaka Gunawardene - Slide for first event held on 29 July 2012
Serendib Quiz with Nalaka Gunawardene – Slide for first event held on 29 July 2012

සිවුමංසල කොලූගැටයා #115: ගම හා නගරය අතර අතරමං වූ ලක් සමාජය

In this weekend’s Ravaya column (in Sinhala), I ask: are there real cities in Sri Lanka that embody liberal values and distinctive identities that cities – both in the East and West – have. If not, what are our urban areas? Over-built neighbourhoods to which residents have transplanted their village mindsets — including feudalism that is rampant in our villages?

I covered similar ground in an English column last week:
When Worlds Collide #63: Looking for Real Cities in Sri Lanka

Colombo Harbour - image courtesy SriLankan Airlines
Colombo Harbour – image courtesy SriLankan Airlines

‘‘පළමුවෙන් ම කිව යුත්තේ මට වෙනත් බොහෝ දෙනෙකුට මෙන් සුන්දරත්වයෙන් මතක් කළ හැකි, නිවාඩුවකට එසේත් නැති නම් වසරකට වරක් එළැඹෙන සිංහල අලූත් අවුරුද්දට ගොස් පී‍්‍රතියෙන් ගත කළ හැකි ගමක් නැති බව ය. ලස්සන ගහ කොළ, තුරුලතා, ගංගා, විල්, ජලාස මා උපන් ගමෙහි නැත. ‘කොඩි ගහයට’ උපන් මා ‘අමු කොළඹ’යෙකි. දුවිල්ල, ඝෝෂාව, රඵ පරඵ කට හඩ, උස් ගොඩනැගිලි, තට්ටු නිවාස, මුඩුක්කු, කර්මාන්ත ශාලා මේ සියල්ල සහිත නගරයකින් මේ කථාව මා ආරම්භ කළ යුතු ය.’’

ප‍්‍රවීන පත‍්‍ර කලාවේදී ඒ. ඞී. රන්ජිත් කුමාර සූරීන් 1997දී ලියූ ‘කොස් ගස් හන්දිය’ නම් ආත්ම චරිත කථාව ඇරඹෙන්නේ එලෙසයි. ගම ගැන මගේ කථාවත් මීට ටිකක් සමානයි.

කොළඹට බෙහෙවින් තදාසන්න පිටකෝට්ටේ ඉපිද හැදී වැඞී එවක් පටන් ඇතුල් කෝට්ටේ, නාවල හා නුගේගොඩ ආදී අවට නගරවල වෙසෙන මට ද වර්ණනා කරන්නට තරම් ගමක් නැහැ. මගේ වගතුග අසන සමහරුන් දුර බැහැර ගමක් මට නොතිබීම ගැන අනුකම්පාවෙන් කථා කරනවා. එහෙත් ගම පිළිබඳ අතිශයෝක්තියක් හෝ රොමැන්ටික් එල්බ ගැනීමක් නැති මට, නගර ගැන වඩා මැදහත්ව සිතිය හැකියි.

සිංහල දෙමළ අවුරුදු කාලයට කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ජනයා හා වාහන අඩු වනවා. දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලින් පැමිණ පදිංචිව සිටින බොහෝ දෙනා තමන්ගේ ගම්බිම් බලා යාම ඊට හේතුවයි. ටික දිනකට හෝ උපතින් ම නාගරිකයන් වන අපට අපේ නගරය ඉතිරි වනවා.

ගමෙන් කොළඹට ආ මගේ සමහර මිතුරන් සෘජුව හෝ වක‍්‍රව හෝ මා වැන්නවුන් දකින්නේ අක්මුල් නැති (rootless), ‘සංකර’ වූ පාවෙන්නවුන් හැටියටයි. කලක් මා ඔවුන් සමඟ තර්ක කළෙ ඔවුන් තම ගම්වලට ලැදි වන තරමට ම මා මගේ උපන් නගරයට ලැදි වන බවයි.

වසරේ බොහෝ කාලයක් නගරවල වෙසෙමින්, එහෙත් නගරවලට දොස් තබමින් (සැබෑ ලෝකයේ තව දුරටත් ඉතිරිව නැති හෝ සොයා ගන්නට ඉතා අපහසු) සුන්දර ගමකට ආවඩන අයත් සමඟ මා දැන් වාද කරන්නේ නැහැ.

ගමෙහි තවදුරටත් ජීවත් නොවූවත්, ගම් වශයෙන් සැබැවින් ම හැදින්විය හැකි සමාජයන් එන්න එන්න දුර්ලභ වූවත් අපේ බොහෝ දෙනා ගම නැමැති රොමැන්ටික් සංකල්පයේ දැඩි සේ එල්බගෙන සිටිනවා. අතීතකාමය (nostalgia) මෙන් ම කාලානුරූපව වෙනස්වීමට ඇති නොකැමැත්ත ද එයට හේතු විය හැකියි.

19 වන සියවස අගදී රුසියාවේ ප‍්‍රභූ පැළැන්තිය ගැන ලියෝ ටෝල්ස්ටෝයි වරක් කීවේ ‘ඔවුන් සිය රටේදීත් විදේශිකයෝ, පිටරටවලදීත් විදේශිකයෝ’ කියායි. ඉහත ආකාරයේ මගේ මිතුරන් නගරයේදීත් පිටස්තරයෝ හා (තවදුරටත් ගමට ඔවුන් නොගැලපෙන නිසා) ගමේදීත් පිටස්තරයෝ යයි මට විටෙක සිතෙනවා.

නගරයක් යනු කුමක් ද?

උස ගොඩනැගිලි, පුඵල් හා බහුධාවන තීරු ඇති මහා මාර්ග, තට්ටු නිවාස, වෙනත් යටිතල පහසුකම්, කාර්යාල සංකීර්ණ, සාප්පු සංකීර්ණ ආදිය ඒකරාශි වූ පමණටම යම් තැනක් නගරයක් බවට පත් වනවා ද? භෞතික සාධකවලට අමතරව චින්තන මට්ටමේ නාගරික අනන්‍යතාවයක් ඇත් ද?

මේ ප‍්‍රශ්න අධිවේගී ලෙස නාගරීකරණයට ලක්වන බොහෝ රටවල විවාදයට ලක්ව තිබෙනවා. ලෝක මට්ටමින් බැලූවහොත් මේ වන විට මානව සංහතියෙන් හරි අඩකටත් ටිකක් වැඩි සංඛ්‍යාවක් ජීවත් වන්නේ නගරවලයි.

නගර බිහි වීම ශිෂ්ටාචාර පරිනාමයේ එක් අවස්ථාවක්. එයට උදාහරණ මොහන්ජොදාරෝ, ඇතන්ස්, රෝමය මෙන් ම සහස‍්‍රයක් මෙරට රාජධානියව පැවැති අනුරාධපුරයත් දැක්විය හැකියි. කලාකරුවන්, චින්තකයන්, විද්‍යාඥයන් බොහෝ විට බිහි වන්නේ නගරවල සමාජ-ආර්ථික තෝතැන්න හරහා.

මේ නිසා නගර යනු හුදෙක් ‘ගම්මාන මත පරපෝෂිත වූ, සංකර මිනිසුන් වෙසෙන, මනුසත් බවෙහි ශුෂ්ක භූමි’ ලෙස සමහර ග‍්‍රාමවාදීන් කරන ලිහිල් විග‍්‍රහය පිළි ගන්නට අමාරුයි.

එහෙත් අපේ රටේ සැබැවින් ම නගර ලෙස ශිෂ්ටාචාර සම්ප‍්‍රදායට අනුගත වන ප‍්‍රපංචයන් අද දවසේ තිබේ ද? නොඑසේ නම් ඇත්තේ නාගරික ප‍්‍රදේශ පමණක් ද? අනුරාධපුරයෙන් පසු හරිහමන් එක නගරයක්වත් මෙරට බිහිවී ඇත් ද? නැතිනම් ඒ ඇයි?

ණයට ගත් විදේශ මුදල් විශාල ලෙස වැය කරමින් අධිධාරිතාවකින් යුතු යටිතල පහසුකම් ගොඩනැගු පමණට පසුගාමී වූ ස්ථානයක් හා ප‍්‍රජාවක් ක්ෂණික නගරයක් බවට පත් කළ හැකි ද? මේ ප‍්‍රශ්න අප පුඵල් ලෙස සංවාදයට ලක් කළ යුතුයි.

Manu Joseph
Manu Joseph
2013 ජනවාරියේ මනු ජෝසෆ් (Manu Joseph) නම් ඉන්දියානු පත‍්‍ර කලාවේදියා සහ ගත්කතුවරයා ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතට ලිපියක් ලියමින් තර්ක කළේ සීඝ‍්‍රයෙන් දියුණු වන නූතන ඉන්දියාවේ වචනයේ පරිසමාප්තයෙන් නගරයක් යයි කිව හැකි එකක්වත් බිහිව නැති බවයි.

පෙරඅපර දෙදිග ම නූතන සමාජයන් නගර හැටියට හදුනා ගන්නා ප‍්‍රපංචයේ මූලික ලක්‍ෂණ ගෙන හැර බැලූ විට එබදු ගතිසොබා එක් තැන් කරන එකදු නගරයක් වත් ඉන්දියාවේ නැතැයි ද ඒ වෙනුවට ඇත්තේ ග‍්‍රාමීය විසමතා හා අගතීන් ජනාකීර්ණ නාගරික ප‍්‍රදේශවලට ගෙඩිපිටින් ම බද්ධ කිරීම පමණක් යයි ද ඔහු කියා සිටියා.

2011 ඉන්දීය ජන සංගණනයට අනුව මිලියනකට හෝ වැඩි ජන සංඛ්‍යාවක් වෙසෙන, පරිපාලනමය වශයෙන් නාගරික යයි හදුන්වන ප‍්‍රදේශ 46ක් ඉන්දියාව පුරා විසිර තිබෙනවා. (සංසන්දනය සඳහා කොළඹ නගරයේ පදිංචිකරුවන් සංඛ්‍යාව ද මිලියනයක් පමණ වනවා.) මේ අතර අතිවිශාල නගර (Megacities)ලෙස වර්තමානයේ හදුන්වන, ජනගහනය මිලියන් 10ට වඩා වැඩි නාගරික ප‍්‍රදේශ තුනක් ද ඉන්දියාවේ තිබෙනවා (මුම්බායි, දිල්ලිය, කොල්කතාව).

මෙසේ තිබියදීත් මනු ජෝසෆ් ප‍්‍රබලව තර්ක කරන්නේ සංකල්පමය වශයෙන් නගරයක තිබිය යුතු විවෘත මානසිකත්වය (ලිබරල්වාදී බව) ස්වාධීන මතධාරිත්වය හා ගතානුගතික වාර්ගික බෙදීම් හා ලේබල් වලින් නිදහස් වී සිතීමේ හා කි‍්‍රයා කිරීමේ හැකියාව, නාගරික ප‍්‍රදේශවල වෙසෙන උගත්-නූගත්, ධනවත්-දිළිදු, බාල-මහලූ බොහෝ ඉන්දියානුවන්ට නොමැති බවයි.

මේ නිසා නාගරික පහසුකම් ඇති ස්ථානවල පදිංචි වූවත් ඔවුන් තවමත් සිතන්නේ, කථා කරන්නේ හා තීරණ ගන්නේ ගමේදී කළ කී විදියට ම බවත්, මේ නිසා ඉන්දියාවේ සැබෑ නගර බිහිව නැති බවත් ඔහු කියනවා.

ඉතින් ගමේ විදියට සිතීමේ ඇති වරද කුමක් ද?

නගරයක ඉපිද උසස් මධ්‍යම පාංතික පසුබිමක හැදුණු වැඩුණු මහත්මා ගාන්ධි, ඉන්දියානු ගම ගැන බෙහෙවින් වර්ණනාත්මකව කථා කළ අයෙක්. ‘ඉන්දියාවේ ආත්මය හමුවන්නේ ගම්වලයි.’ ඔහු කියා තිබෙනවා.

මෙය සැබෑ වුවත්, සම්පුර්ණ සත්‍යය නොවෙයි. ‘‘ඉන්දියානු ගම, සමහරුන් සිතන තරම් සරල හෝ පිවිතුරු හෝ නැහැ. ඉන්දියාවේ සමාජ විසමතා හා ප‍්‍රශ්න බොහොමයක් පැන නගින්නේ ගමෙන්. ගමේ යථාර්ථය හොදින් ම දන්නේ ගම්වල ජීවත්වන කුලවතුන් හෝ ධනවතුන් නොව පීඩිත ජනතාවයි.’’ ජෝසෆ් කියනවා.

ඉන්දියානු ගම ගැන යථාර්ථවාදීව විග‍්‍රහ කළ අයෙක් නම් ඉන්දියානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා වූ ආචාර්ය බී. ආර්. අම්බෙඞ්කාර්. මීට 60 වසරකට පෙර ඔහු කීවේ මෙයයි: ‘‘ඉන්දියානු උගතුන් හා බුද්ධිමතුන් ගම නිර්මල හා පූජනීය දෙයක් ලෙස හුවා දක්වන්නට හරි කැමතියි. එහෙත් ඔවුන් නොදකින බිහිසුනු යථාර්ථයක් හැම ගමක ම තිබෙනවා. ඉන්දියානු ගම යනු පටු මානසිකත්වයේ, වර්ගවාදී බවෙහි, වැඩවසම් ක‍්‍රමයේ හා නොදන්නාකමේ ඇලී ගැලී සිටින පසුගාමී සමාජයක්.’’

Mahatma Gandhi (L) and Dr B R Ambedkar
Mahatma Gandhi (L) and Dr B R Ambedkar

එදා මෙදා තුර නිදහස් ඉන්දියාවේ ආර්ථික හා සමාජ ප‍්‍රගතිය නිසා මේ යථාර්ථය එතරම් වෙනස් වී නැතැයි ද, ගම්වල තිබූ සමාජ විසමතා නාගරික ප‍්‍රදේශවලටත් ප‍්‍රතිරෝපණය කිරීම නම් හොඳ හැටි සිදුව ඇතැයි ද ජෝසෆ් කියනවා.

21 වන සියවසේ ඉන්දියාවේ නවීකරණය පිළිබඳ සංවාදයේ මූලික සාධකයක් වී ඇත්තේ පීඩිත හා ගතානුගතික ගමේ සංකල්පයේ අන්ධ ලෙස එල්බගත් පිරිස් සැබෑ නගර බිහිවීමට එරෙහිව මතවාදීව, ප‍්‍රතිපත්තිමය හා භෞතික ලෙසින් කි‍්‍රයා කිරීමයි. ඔහු කියන හැටියට (සහ මාත් මුඵමනින් එකඟ වන පරිදි) නාගරික ප‍්‍රදේශ යනු සැබෑ නගර නොවෙයි!

මනු ජෝසෆ් මේ ලිපිය ලියන්නට ආසන්න ම හේතුව වූයේ 2012 දෙසැම්බර් 16 වනදා නවදිල්ලියේ ගමන් කරන බස් රථයක් තුළදී මිනිසුන් හය දෙනෙකු විසින් තරුණියක සමූහ දුෂණය කිරීමයි. මේ ප‍්‍රවෘත්තියත් සමඟ ස්තී‍්‍ර දුෂණය හා හිංසනයට පමණක් නොව නගරවල ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි කරුණු ගැන ප‍්‍රබල ජනමතයක් ඉන්දියාව පුරාම මතු වුණා.

මෙබදු අපරාධවලට නූතනත්වය හා ‘සංකර වූ කාන්තාවන්’ ද වගකිව යුතු බවට ප‍්‍රතිමතයක් ද ඇතැම් ගතානුගතික පිරිස් මතු කළා. මේ ප‍්‍රතිමතය නියෝජනය කළේ පසුගාමී ග‍්‍රාමීය මානසිකත්වයයි.

සාම්ප‍්‍රදායික ඉන්දියානු ගමේ පීඩිතයන් අතර වැඩිපුර ම පීඩිත කාන්තාවන් බවත්, ගැමි මානසිකත්වය නගරවලට එලෙසින් ම ඔසවා ගෙන ආ අය කාන්තා හිංසනයේ වරද කාන්තාවන් මත ම පටවන්නට තැත් කිරීම පුදුමයක් නොවන බවත් ජෝසෆ් කියනවා.

‘‘මෙබදු අපරාධ ලෝකයේ ඕනෑ ම රටක, ඕනෑ ම නගරයක සිදු විය හැකියි. එහෙත් මේ සිදුවීමට පසු ඉන්දියාව සිසාරා මතුව ආ මධ්‍යම පාන්තික ආවේගයන් රජයට හා බලධාරීන්ට කෙලින් ම චෝදනා කළේ අපේ නගර එකක්වත් කාන්තාවන්ට ආරක්‍ෂාකාරී නැති බවයි.’’

ජෝසෆ් ඇතුඵ වෙනත් ප‍්‍රබුද්ධ ලේඛකයන් හා බුද්ධිමතුන් මෙය දකින්නේ ඉන්දියාව අධිවේගීව නවීකරණය වීමේදී මතු වන සංකල්පමය පරස්පරයක් හා අභියෝගයක් හැටියට. අධිවේගී මාර්ග, පාලම්, තට්ටු නිවාස, හෝටල් හා සාප්පු සංකීර්ණ ගොඩ නඟන වේගයට මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප වෙනස් කරන්නට කිසිදු රජයකට බැහැ.

ශී‍්‍ර ලංකාවේ නාගරීකරණය ඉන්දියාවේ පරිමාණයට හා වේගයට වඩා අඩු වුවත් මේ පරස්පරයන් හා මත ගැටුම් අපටත් අදාලයි. එහෙත් ප‍්‍රතිවිරුද්ධ මත ඉවසා දරා ගැනීමේ හා සංවාද කිරීමේ හැකියාවෙන් නම් ශී‍්‍ර ලංකාව සිටින්නේ ඉන්දියාවට වඩා බොහෝ පිටුපසින්.

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

How did Arthur C Clarke write acclaimed science fiction? Did he just dream up all his stories, or was there a meticulous research and development process? (The latter was closer to the truth.)

Having worked as his principal research assistant for 21 years (1987 – 2008), I’m often asked such questions. This has been explored in English by various writers, including Clarke biographer Neil McAleer (whose revised and expanded biography, Visionary, came out in 2012).

But there is limited awareness of the man and his creative accomplishments in Sri Lanka, his adopted home for over half a century. I wrote a book (in Sinhala) last year introducing Arthur C Clarke’s scientific ideas and visions for the future. This year, I have started chronicling how he wrote science fiction.

The first such article appeared in Sunday Lakbima, a popular Sinhala broadsheet newspaper, on 21 April 2013. Here is that text, which is not easy to locate online as they (and many other Lankan newspapers) use mini-blackholes to publish their web editions…

the-last-goodbye-from-colombo-photo-by-shahidul-alam.jpg
Photograph by Shahidul Alam, 2007

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

– නාලක ගුණවර්ධන

‘ආතර් සී. ක්ලාක් පොත් ලිව්වේ කොහොමද?’ ක්ලාක්ගේ සහායකයා ලෙස වසර 21ක් (1987-2008) මා කි‍්‍රයා කළ බව දන්නා අය විටින් විට මගෙන් විමසනවා.

ඔහුගේ නිර්මාණ ලෝකය පුරා ඉංගී‍්‍රසි පාඨකයන් තවමත් රස විදින නමුත් ඒවා බිහි වූ ආකාරය ගැන එතරම් තොරතුරු ප‍්‍රකට නැහැ.

ක්ලාක්ගේ ලේඛන කලාව විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඔහු නිර්මාණ සිදු කළ ආකාරය සමීපව කලක් තිස්සේ බලා සිටි මා එය දැක්කේ විසිත්ත පලසක් නිම කරන කලාළකරුවකු නැතිනම් වියන්නකු හැටියටයි.

පලසක්, ටැපැස්ටි‍්‍රයක් නැතහොත් ගෙත්තම් තිරයක් වියන්නට යොදා ගන්නේ බහුලව හමු වන අමුද්‍රව්‍යයි. ඒවා සුවිශේෂී හා විචිත‍්‍ර ලෙසින් ඒකරාශි කිරීම තනිකර ම වියන්නාගේ කුසලතාව මත ර`දා පවතිනවා. එදිනෙදා වහරේ ඇති වදන් යොදා ගෙන ලේඛන නිර්මාණ කිරීමත් එයට සමාන්තර කාරියක්.

විද්‍යාව, තාක්‍ෂණය, ඉතිහාසය, කලා ශිල්ප හා දේශපාලනය ගැන තොරතුරු පවා අඩු වැඩි පමණට ක්ලාක් තමන්ගේ විවිධ නිර්මාණවලට යොදා ගත්තා. ඔහු ගැන හරිහැටි නොදන්නා උදවිය ඔහු හුදෙක් අනාගතවේදී සාත්තරකරුවකු හැටියට දකිනවා. එහෙත් මානව පරිනාමය, ප‍්‍රචණ්ඩත්වය, අර්ථ ශාස්ත‍්‍ර හා දේශපාලන ක‍්‍රමවේද මෙන් ම නිරායුධකරණය, මානව නිර්ආගමීකරණය ආදී ගැඹුරු සංකල්ප ඔහුගේ ප‍්‍රබන්ධ තුළ සියුම් ලෙසින් තැනින් තැන මතු වනවා. හැම පරම්පරාවක් ම ක්ලාක්ගේ නිර්මාණ සමුදාය කියවා තම කාලයට අදාල කර ගත යුතු බව මගේ හැගීමයි.

ක්ලාක්, වෘත්තීය ලේඛකයකු හැටියට දැඩි සංයමයක් තිබූ, ඉතා මැනවින් සංවිධානගතව වැඩ කරන්නට කැමති කෙනෙක්. ඕනෑම කාරියක් පිළිවෙලට කිරීම හා හැම ලිපි ලේඛනයක් ම නිසි සේ ගබඩා කොට තැබීම ඔහුගේ සිරිත වුණා. මේ අනුව ජීවිතයේ අවසන් කාලය වන විට වසර 60ක් පමණ තිස්සේ ක‍්‍රමානුකූලව එකතු කළ අත් පිටපත්, ලියුම් හා වෙනත් වැදගත් ලිපි ලේඛන දහස් ගණනක් ලොකු කාමරයක් පිරවීමට තරම් තිබුණා.

දශක හයකට ටිකක් වැඩි ලේඛන ජීවිතය තුළ ඔහු තමාගේ ම පොත් 80ක් පමණ ද හවුලේ ලියූ තවත් පොත් 20ක් ද පළ කළ අතර ඔහු අතින් නිර්මාණය වූ කෙටි කථා, විද්‍යා ලිපි, ග‍්‍රන්ථ විචාර ආදිය දහසකට වැඩියි. මේ හැම එකක් ම මහත් ආයාසයෙන් හා සීරුවෙන් නිම කරන ලද ඒවායි. කිසිවක් දුවන ගමන් කලබලයට කිරීම ඔහු අපි‍්‍රය කළා.

ඔහුගේ සමකාලීනයකු හා මිතුරකු වූ අමෙරිකානු ලේඛක අයිසැක් ඇසිමෝෆ් ක්ලාක් මෙන් නොව අධි වේගයෙන් පොත් ලියූ කෙනෙක්. ගුණාත්මක බවෙහි අඩුවක් නොකර විශාල විෂය පරාසයකට අයත් පොත් 500කට වැඩි ගණනක් ඇසිමෝෆ් ලියුවා. ඇසිමෝෆ් මෙසේ කරන්නේ කෙසේ ද යන්න ගැන ක්ලාක් මවිත වුණා. ‘මගේ මිත‍්‍රයා දෑතින් මෙන් ම දෙපයින් ද ටයිප් කිරීමේ අසාමාන්‍ය හැකියාව ප‍්‍රගුණ කර තිබෙනවා විය යුතුයි’ වරක් ක්ලාක් විහිඵ කළා.

මෙයින් අදහස් කැරෙන්නේ ක්ලාක් ඉතා සෙමින් ලියූ ලේඛකයකු කියා නොවෙයි. කෙටි විද්වත් ලිපි ලිවීමට ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ (Time, Newsweek, New York Times වැනි) මාධ්‍යවලින් ලැබෙන හදිසි ඉල්ලීම්වලට ඔහු ඉක්මනින් ප‍්‍රතිචාර දැක් වූවා. අඵත් විද්‍යාත්මක සොයා ගැනීම් හා ජාත්‍යන්තර තාක්‍ෂණ සිදුවීම් ගැන කිසි සූදානමකින් තොරව වූවත් හරබර මත පළ කිරීමේ හැකියාව ඔහුට තිබුණා.

නමුත් පොතක් ලිවීම ඔහු සැමවිට ම සැළකුවේ භාරදුර වගකීමක් ලෙසයි. ඒ අතුරින් ද විද්‍යා ප‍්‍රබන්ධ නවකථා ලිවීම කල් යල් බලා, බොහෝ සේ තොරතුරු ගවේෂණය කොට ඉනික්බිති කළ දෙයක්. ක්ලාක් ලියූ හැම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොතක් පිටුපස ම එය නිර්මාණය කරන්නට ගත් විශාල ප‍්‍රයන්තයක් තිබුණා.

ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ (රජයට අයත් ක්ලාක් මධ්‍යස්ථානය නොවේ!) මා සේවය කිරීම ඇරඹූවේ 1987 පෙබරවාරියේ. 1987-2008 වකවානුවේ ඔහු ලියූ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හයටත්, විද්‍යා හා තාක්‍ෂණ විචාරශීලී පොත් කිහිපයකටත් අවශ්‍ය තොරතුරු ගවේෂණය, නිරවද්‍යතාව තහවුරු කිරීම, ලොව පුරා පැතිර සිටින විද්වතුන්ගෙන් මත විමසීම හා අත්පිටපත් සෝදිසි කිරීම ආදී වගකීම් ගණනාවක් මට පැවරුණා.

මේ නිසා විසිවන සියවසේ ප‍්‍රධානතම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු අඵත් නිර්මාණයක් කරන ආකාරය ගැන සමීපව නිරීක්‍ෂණ කරන්නටත්, ඒ නිර්මාණ ප‍්‍රවාහයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනයටත් මට අවස්ථාව ලැබුණා. මෙය අසාමාන්‍ය ගණයේ ආධුනිකත්වයක් ලෙස සැළකිය හැකියි.

ප‍්‍රබන්ධකරණය යනු මනස් ලෝක මැවීමක්. හැම ප‍්‍රබන්ධ ලේඛකයා ම තමන්ගේ වචන හරඹයෙන් පරිකල්පනාත්මක චරිත, සිදුවීම් හා දේශයන් බිහි කරනවා. විද්‍යා ප‍්‍රබන්ධවලටත් එය පොදුයි. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ විද්‍යාවේ මූලධර්මවලට අනුකූල වූත්, සැබෑ ලෝකයේ සිදු විය හැකි වූත් කථාන්තරයි. ඔහු විද්‍යාත්මක ෆැන්ටසි (මායාරූපී කථා) ලිව්වේ නැහැ.

වතාවක් ඔහු විද්‍යා ප‍්‍රබන්ධ (science fiction) හා විද්‍යා ෆැන්ටසි (science fantasy) දෙක නිර්වචනය කළා. විද්‍යා ප‍්‍රබන්ධ යනු සැබෑ ලෝකයේ සිදු විය හැකි, එහෙත් සිදු නොවනවා නම් වඩාත් හොඳ වර්ගයේ කථායි. (මේ නිසා විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් සමාජයට අනතුරු අඟවන්නන් ලෙසත් ඔහු සැළකුවා.) විද්‍යා ෆැන්ටසි නම් සිදු වනවාට අප බොහෝ කැමති වූවත් ඇත්තට ම සිදු වන්නට බැරි අභව්‍ය ගණයේ කථායි. මේ දෙක අතර සීමාව එතරම් දැඩි නොවන බවත් ක්ලාක් පිළි ගත්තා.

ක්ලාක් ප‍්‍රබන්ධකරණයේ නියැලෙන විට දැඩි සමාධියකට පත් වනවා. ඔහු දිනකට පැය ගණනක් තමන් ම කථාව ටයිප් කරනවා. මුල් යුගයේ ටයිප්රයිටර් (යතුරුලියන) ද 1980 පටන් පුද්ගල පරිගණක ද එයට යොදා ගත්තා. ඔහු ටයිප් කිරීම නතර කළේ වයස 85 ද ඉක්මවා ගතින් දුබල වීමෙන් පසුවයි. එතැන් සිට අන්තිම වසර පහ ඔහු ටේප් එකකට කථාව පටි ගත කර, කාර්ය මණ්ඩලය වූ අප හරහා ටයිප් කරවා ගත්තා.

ඉංග‍්‍රීසි භාෂාව ඉතා ව්‍යක්ත, මටසිලූටු හා සුහද ලෙසින් ලිවීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහුගේ බස සරලයි. වාක්‍ය කෙටියි. බරපතල වචන වෙනුවට එදිනෙදා වහරේ වචන, උපමා හා රූපක යොදා ගන්නවා. ඔහුට ආවේණික හාස්‍ය රසයක් හා දඟකාර ගතියක් ඔහුගේ කථාවල නිතර හමු වනවා. සමාජයේ ප‍්‍රභූන්ට, අන්තවාදීන්ට, උඩගු අයට මෙන් ම බක පණ්ඩිතයන්ට ද හීන්සීරුවේ ‘ටිකිරි ටොකු’ දීමේ සිරිතක් ඔහුට තිබුණා. මේ වචන හරඹ (puns) එලෙසින් වෙනත් බසකට පෙරැලීම ඉතා අමාරු කාරියක්.

ක්ලාක් ප‍්‍රබන්ධයක් හා වෙනත් ඕනෑ ම ලේඛනයක් කෙටුම්පත් වාර ගණනාවක් ගත වනතුරු සංශෝධනය කරනවා. තමා ලියන හැම වැකියක් ම නැවත නැවතත් සමාලෝචනය කොට වඩාත් දියුණු කරන්නට ක්ලාක් වෙර දරනවා.

ඔහු නිතර කීවේ මුල් කෙටුම්පතක් හමාර කොට පසෙක තබා ටික දිනක් වෙන දෙයක් කළ යුතු බවයි. එවිට අප නොදැනුවත්ව ම වාගේ අපේ යටි මොළයේ මේ සංකල්ප තව දුරටත් වැඩ කරන බවත්, නැවත කෙටුම්පත දෙස බලන විට පෙර නොදුටු දියුණු කිරීම් ගණනාවක් පෙනෙන බවත් ඔහු අත්දැකීමෙන් විශ්වාස කළා.

ක්ලාක් අඵත් ප‍්‍රබන්ධ නවකථාවක් ලියන්නට අරඹන්නේ මුඵ කථාවේ සැකිල්ලක් නැතහොත් ප‍්‍රධාන සිදුවීම් වැලක් නිසි පිළිවෙලට සකසා ගැනීමෙන්. එය සාමාන්‍යයෙන් පිටු 10-12ක් පමණ වනවා. ප‍්‍රධාන චරිතවල නම් හා ගති සොබා ද එහි සඳහන් කරනවා. කථාවේ සංත‍්‍රාසමය, සංවේගදායක අවස්ථා හා වෙනත් උච්චස්ථානයන් ද ඔහු සනිටුහන් කරනවා.

සමහර වෙලාවට මෙසේ ගලපා ගත් සැකිල්ල ඔහු මුලින් කෙටි කථාවක් ලෙස රචනා කරනවා. කෙටිකථාවක් ලිවීම නවකථාවක් ලිවීමට වඩා අභියෝගාත්මක නිර්මාණකරණයක් බව ඔහු විශ්වාස කළා. මේ සාහිත්‍යාංග දෙක එකිනෙකට ආවේණික වූ ලක්‍ෂණ සහිතයි. සමහර විට මුලින් කෙටිකථාවක් ලෙස ලෝකයට මුදා හැරිය නිර්මාණ කලකට පසුව ඔහු නවකථා ලෙස ප‍්‍රතිරචනා කළා.

එක් උදාහරණයක් මට හොඳ ට මතකයි. 1992 මැයි මාසයේ ටයිම් සඟරාවේ කතුවරුන් ක්ලාක්ට ඇරැයුමක් කළේ ඉදිරි සහශ‍්‍රකයේ පෘථිවියේ ජන ජීවිතයට අදාළ වන ආකාරයේ ප‍්‍රබන්ධයක් වචන 4,000කින් ලියන ලෙසට.

කාලීන පුවත් වාර්තාකරණයට හා විග‍්‍රහයට කැප වූ ටයිම් සඟරාව වසර 2000න් එහා ලෝකය ගැන විශේෂ කලාපයක් සැළසුම් කළා. අනාගත ලෝකය ගැන විවිධ කෝණවලින් විග‍්‍රහ කරන අතර ලොව මහා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකුගේ පරිකල්පනය ද එයට එකතු කිරීමට ඔවුන්ට ඕනෑ වුණා.

ඒ අභියෝගය භාර ගත් ක්ලාක්, 22වන සියවසේ අපේ ලෝකයේ ගැටීමට ඇදී එන ග‍්‍රහකයක් තේමා කර ගත් The Hammer of God නම් කෙටිකථාවක් රචනා කළා. එහි වචනාර්ථය දෙවියන්ගේ මිටි පහර යන්නයි. අයාලේ යන ග‍්‍රහ කැබලි පෘථිවියට ඇති කරන අවදානම ගැන මීට පෙර 1973දී ප‍්‍රකාශිත Rendezvous with Rama (රාමා හමුව) නවකථාවේ ද ඔහු ප‍්‍රබලව පෙන්වා දී තිබුණා. එම කථාවේ යෝජිත පරිදි අහස මුරකිරීමක් (SpaceGuard) 1990 වන විට අමෙරිකාවේ නාසා ආයතනය අරඹා තිබුණා.

කථාව ලියන්නට විද්‍යාත්මක පසුබිම සොයා තාරකා විද්‍යාඥයන් හා අභ්‍යවකාශ විද්‍යාඥයන් ගණනාවක් සමඟ ක්ලාක් ලිපි හුවමාරු කළා. (ඊමේල් නොතිබූ ඒ කාලයේ සන්නිවේදන සිදු වුණේ ෆැක්ස් හෝ ගුවන් තැපැල් හෝ මගින්.) මීට අමතරව කොළඹ ප‍්‍රධාන පුස්තකාලවල මා යම් තොරතුරු ගවේෂණය කිරීම ද කළා.

1992 ඔක්තෝබරයේ ‘Beyond the Year 2000’ නම් තේමාවෙන් නිකුත් වූ ටයිම් විශේෂ කලාපයේ මේ කථාව පළ වුණා. 1923දී ඇරැඹි ටයිම් සඟරාවේ ඉතිහාසයේ ඔවුන් දැනුවත් ව ප‍්‍රබන්ධයක් පළ කරන දෙවැනි අවස්ථාව මෙය බව කතුවරුන් කියා සිටියා. (1969දී රුසියානු ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින්ගේ කථාවක් පළ කර තිබුණා.)

ටයිම් සඟරාවේ කෙටිකථාවට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණු නිසා එය නවකථාවක් ලෙස විස්තාරණය කරන්නට ක්ලාක් තීරණය කළා. ඒ වන විට අදාල තොරතුරු සියල්ල රැස් කර තිබූ නිසා වැඩිපුර සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

‘ඒ වන විට මා බාර ගත් තවත් ලේඛන වැඩ හා ටෙලිවිෂන් නිෂ්පාදන කිහිපයක් තිබුණා. එහෙත් මේ නවකථාව මගේ ඔඵවේ වැඩ කරන්නට පටන් ගත්තා. ඒ නිසා එය ලියන්නට මා කාලය සොයා ගත්තා’ යයි ක්ලාක් පසුව ආවර්ජනය කළා.

1993 මුල් කාර්තුව වන විට සමස්ත නවකථාව ලියා අවසන් කළා. එය වචන 60,000ක් පමණ වුණා. ඔහුගේ බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු ප‍්‍රකාශකයන් ඉතා කැමැත්තෙන් එය භාර ගෙන ඒ වසර හමාර වන්නට පෙර ප‍්‍රකාශයට පත් කළා.

එහෙත් වෙනත් අවස්ථාවල ක්ලාක් කථාවක සැකිල්ල හෝ කෙටිකථාවක් ලියා වසර ගණනාවකට පසුව එය නවකථාවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළා. උදාහරණයක් නම් 1950 ගණන්වල ඔහු ලියු The Songs of Distant Earth (මිහිකතගේ ගීත) නම් කෙටිකථාවයි. කි‍්‍රව 3800 ගණන්වල දිග හැරෙන මේ කථාව, අපේ සූර්යයා පුපුරා ගොස් (නෝවාවක් බවට පත් වී) පෘථිවිය ඇතුඵ ග‍්‍රහලෝක විනාශ වී ගිය විට මිනිස් පිරිසක් පණ බේරා ගෙන ඈත විශ්වයට පළා යන සැටි ගැනයි.

1960දී ඔහුගේ කෙටිකථා සංග‍්‍රහයක මේ කථාව ද ඇතුළත් කර තිබුණා. 1980 දශකය මැද දී එය සම්පූර්ණ නවකථාවක් ලෙස ඔහු විස්තාරණය කළා. මුල් කථාව රචනා කළ යුගයේ නොදැන සිටි විද්‍යාත්මක තොරතුරු ද අඩංගු කොට ලියූ මේ නවකථාව 1986දී ඒ නමින් ම පළ කරනු ලැබුවා. තමන්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා විසි ගණනක් අතරින් පි‍්‍රයතම නවකථාව මෙය බව ක්ලාක් පසුව කියා සිටියා.

ලේඛන කලාව කියන්නේ හුදකලාව කළ යුතු, දැඩි ලෙස අවධානය අවශ්‍ය කාරියක් වූවත් ක්ලාක් සමාජශීලී වීම ලේඛකයකුට වැදගත් අවශ්‍යතාවක් ලෙස සැළකුවා. ඔහු නිතිපතා අමුත්තන් හමු වී කථා කළා. ඉඳහිට විද්වත් සභා හා සම්භාෂණවලට ද ගියා. මේ අන්තර්කි‍්‍රයා හරහා නිර්මාණකරණයට නොයෙක් අමුද්‍රව්‍ය මෙන් ම උත්පේ‍්‍රරණය ද ඇතැම් විට ලබා ගත්තා. මේ සියල්ල සඳහා මැනවින් කාලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි.

ක්ලාක් යමක් ලියන විට තොරතුරක් විමසන්නට ඕනෑ වුණොත් තාවකාලකව එතැන xx හෝ TK (To Come යන්නේ විකෘතියක්) යොදනවා. ඊළඟට එය කුමක් දැයි මේසය මත ඇති කුඩා කඩදාසි කොළවල ලියනවා. හැම දිනෙක ම පාහේ උදේ මා ඔහු මුණ ගැසෙන විට එබදු කොළ කෑලි කිහිපයක් මට දී ඒවා සොයා යන මෙන් කියනවා. ඉන්ටර්නෙට් සෙවුම් යන්ත‍්‍ර හරහා අද මෙබදු ගවේෂණ වඩා පහසු නමුත් 1995 මෙරටට ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ සඳහා පුස්තකාල හෝ විද්වතුන් හෝ වෙත යොමු වන්නට සිදු වුණා.

දකුණු අපි‍්‍රකාවේ වාර්ෂික දියමන්ති නිෂ්පාදනය කොපමණ ද? රූබික් ඝනකය (Rubik’s Cube) හැදු පුද්ගලයා ඉන් පසු මොකද කළේ?? ටයිටැනික් නැව ගිලූණූ මොහොතේ පණ බේරා ගත් අය අතරින් කී දෙනෙක් තවමත් ජීවත් වනවා ද? ලෝකයේ වැඩි ම ඩයිනසෝර් ෆොසිල හමු වන ප‍්‍රදේශ මොනවා ද? මේ කුඩා කොළ කෑලි හරහා මා හඹා ගිය ප‍්‍රශ්න කිහිපයක්. ක්ලාක් සමඟ දැනුම ගවේෂණයේ යෙදීම දිනපතා අඵත් දේ උගෙනීමක්. ඉතා දක්‍ෂ ගුරුවරයකු හා සන්නිවේදකයකු සමඟ වැඩ කිරීමක්.

ක්ලාක් උදේ 6ට අවධි වී, රාතී‍්‍ර 10 වන විට නින්දට ගියා. පසු කලෙක නම් දිවා කාලයේත් පැයක් දෙකක් නිදා ගත්තා. ඔහු බොහෝ විට දවල් කාලයේ ලියූ අතර රාතී‍්‍ර ලිවීමක් කළේ නැහැ. ක්ලාක්ගේ දින චරියාවේදී පැය 8-10ක් පමණ වෙන් වූණේ එක් තැන්ව සිට ලිවීමට හා කියවීමටයි.

හොඳට ලියන්නට නම් බොහෝ සේ කියවිය යුතුයි. තරුණ කාලේ තමා දිනකට එක් පොතක් බැගින් කියැවූ බව ඔහු කීවා. තමාගේ ම පොත්ගුලේ පොත්වල විවිධාකාර සටහන් පැන්සලෙන් ලියා තිබුණා. මසුරන් වැකි, ඉංගී‍්‍රසි කාව්‍ය ඛණ්ඩ හා වෙනත් වැදගත් උධෘතයන් ගැන වයස්ගත වීත් ඔහුට ඉතා හොඳ මතකයක් තිබුණා. සහායකයන් හැටියට අප කළේ ඒවා මුද්‍රිත (හෝ පසු කලෙක විද්යුත්) මුලාශ‍්‍ර හරහා නිවැරදි යයි තහවුරු කර ගැනීමයි. එතරම් නිවැරදි හා විශිෂ්ඨ මතකයක් අවසානය දක්වාම පැවතීම විශ්මයජනකයි.

ලියන හැම විට මේසය මත කිරි තේ කෝප්ප්යක් තිබෙනවා. එය ටිකෙන් ටික තොල ගෑම සිරිතයි. දවසකට තේ කෝප්ප 6 – 8ක් පමණ ඕනෑ වුණා. ‘මා ශී‍්‍ර ලංකා තේ, විද්‍යා ප‍්‍රබන්ධවලට හරවන යන්ත‍්‍රයක්’ යයි ඇතැම් විටෙක ඔහු විහිඵවෙන් කියා සිටියා!

ලෝකයේ සාර්ථක ලේඛකයන් බොහෝ දෙනකුට පාඨක ලියුම් නිතිපතා ලැබෙතත්, පිළිතුරු දීම කරන්නේ ඉතා ටික දෙනයි. කෙතරම් කාර්යබහුල වුවත් ලොව පුරා පාඨකයන් එවන ලියුම් කියවීමටත්, බොහොමයකට කෙටියෙන් හෝ පිළිතුරු දීමත් ක්ලාක් ජීවිත කාලය පුරා ඕනෑකමින් කළ දෙයක්. ඇතැම් විට පාඨකයන් එවන විද්වත් ප‍්‍රතිචාර හා විචාර ඉදිරි නිර්මාණවලදී (අනුදැනුම ඇතිව) යොදා ගත්තා.

තාත්ත්වික විද්‍යා ප‍්‍රබන්ධ ලිවීමේදී පර්යේෂණ හා නව අදහස් පළ කළ බොහෝ දෙනකුගේ ආභාෂය ලද බව ක්ලාක් නොමසුරුව කියා සිටියා. ඔහු ලියු බොහෝ ප‍්‍රබන්ධ නවකථාවල අග පිටු ගණනක් වෙන් කළේ මූලාශ‍්‍ර හා ස්තූතිය සඳහායි.

ක්ලාක්ගේ ටයිටැනික් නවකථාව ලියූ සැටිත්, (1992), අවසාන නව කථාව ලිවීමේ ප‍්‍රයත්නය (2003-2008) ගැනත් වෙන ම කථා කරමු.

How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene - Sunday Lakbima 21 April 2013
How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene – Sunday Lakbima 21 April 2013

සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi
Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene
UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant
James P Grant
ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

UTTAREETHARA: Biographical documentary on Arthur C Clarke (in Sinhala)

Uttareethara (The Greatest) biographical documentary series on HiruTV, Sri Lanka
Uttareethara (The Greatest) biographical documentary series on HiruTV, Sri Lanka

See also: ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

Uttareethara (The Greatest) is a biographical documentary series produced and broadcast by HiruTV, a privately owned, commercially operated terrestrial TV channel in Sri Lanka.

Uttareethara profiles — through interviews and archival imagery — the lives of outstanding writers, artistes, scientists, filmmakers and others who left their own mark in the public space in Sri Lanka during the past few decades.

This episode (No 16), first broadcast in September 2012 (and since then, repeated several times) is about Sir Arthur C Clarke (1917-2008), who lived in Sri Lanka since 1956 and became a Resident Guest of the Indian Ocean island in 1975.

It features interviews with: Hector Ekanayake, Managing Director of Underwater Safaris Ltd, long-standing friend and business partner of Sir Arthur; Journalist and former editor Edwin Ariyadasa; communications specialist Dr Rohan Samarajiva; Clarke’s principal Sinhala translator S M Banduseela; amateur astronomer and scholar Fr Dr Mervyn Fernando; tourism specialist Renton de Alwis; and cancer researcher Dr Kumari Andarawewa (via Skype).

At the station’s invitation, I presented the one-hour show and also did several interviews.

See also: ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

සිවුමංසල කොලූගැටයා #113: 2100දී ශී‍්‍ර ලංකා සිතියම වෙනස් වෙයි ද?

How can we discern signs of climate change that unfold slowly over time, and manifest in many different ways? And how best to prepare ourselves and increase our resilience against inevitable impacts?

I discuss these in the Ravaya Sunday column (in Sinhala) in issue for 14 April 2013. I covered similar ground in an English column here: When Worlds Collide #61: Climate Change – Adapt Now or Perish Later!

India and Sri Lanka from space, taken by NASA Gemini 8 spacecraft
India and Sri Lanka from space, taken by NASA Gemini 8 spacecraft

මේ දිනවල පවතින දැඩි උණුසුමට හේතුව ගෝලීය රත්වීම හෙවත් දේශගුණික විපර්යාස ද? සමහරුන් මෙසේ අසනවා.

ඇත්තට ම මාර්තු – අපේ‍්‍රල් මාසවල මෙරට දිවා කාලයේ උෂ්ණත්වය වැඩි වීම වාර්ෂික ප‍්‍රවණතාවක්. එයට ගෝලීය රත්වීම සමඟ සෘජු සබඳතාවක් නැහැ. එහෙත් ගෙවී ගිය වසර 70ක පමණ කාලය තුළ අපේ රටේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක එකකින් ඉහළ ගොස් තිබෙන බව කාලගුණ විද්‍යාඥයෝ කියනවා. එසේ කියන්නේ දිගු කලක් පවත්වා ගෙන එන උෂ්ණත්ව වාර්තා අධ්‍යයනය කිරීමෙන්.

මානව කි‍්‍රයාකාරකම් නිසා ගෝලීය උණුසුම වැඩි වී දේශගුණික විපර්යාස ඉක්මන් වී ඇති බව දැන් විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා. එය තව දුරටත් කල්පිතයක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස අධ්‍යයන විද්‍යාඥ කණ්ඩායම (UN-IPCC) ගණන් බලා ඇත්තේ 2100 වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඞ් අංශක 2 – 6 අතර ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි බවයි. මේ ගැන ලෝකයේ සිටින ප‍්‍රමුඛ පෙළෙ විද්‍යාඥයන් හා ලෝකයේ විශාලතම සුපිරි පරිගණක තව දුරටත් පර්යේෂණ කරනවා.

සාමාන්‍ය අපට දිගු කලක් පුරා සෙමෙන් සිදුවන වෙනස්කම් හරිහැටි තේරුම් ගැනීම අපහසුයි. මීට වසර 25කට හෝ 50කට පෙර තිබුණාට වඩා දැන් උණුසුම වැඩි යයි සමහරුන්ට හැගීමක් ඇතත් එය සාධක සහිතව තහවුරු කිරීම අමාරුයි.

දේශගුණික විපර්යාස වසර ගණනාවක් පුරා ටිකින් ටික ඉස්මතුව එන නිසා ඒවා සිදුවන බව තේරුම් ගැනීම ලෙහෙසි නැහැ. නමුත් කලට වේලාවට වැසි නොලැබෙන බව, වහින විට එක විට මහ වැසි පතිත වන බව හා නියං කාලයන් වැඩි වන බව ආදී දේශගුණික විසමතා නම් විද්‍යාඥයන්ට මෙන් ම සාමාන්‍ය ජනයාටත් දැන් අත්දැකීමෙන් පෙනී යන කරුණක්.

ගෝලීය රත්වීම නිසා අපට වාර්ෂිකව වැසි ගෙන එන ඉන්දියානු සාගර සුළං ප‍්‍රවාහයන් හෙවත් මෝසම්වල කි‍්‍රයාකාරිත්වය ව්‍යාකූල වීමට හැකියි. වර්ෂාපතනයේ වෙනස්කම් නිසා ගොවිතැන් සඳහා ජලය ලබා ගැනීම ප‍්‍රශ්නයක් වනවා. ඒ හරහා බෝග ඵලදාවට හා ආහාර මිළ ගණන්වලට බලපෑම් විය හැකියි. ඒ අතර පානය ඇතුඵ අවශ්‍යතා සඳහා ජලය අවශ්‍ය පමණට සම්පාදනය කිරීම ද අඩාල විය හැකියි.

මෙකී නොකී දේශගුණික විපර්යාස බලපෑම් දැනටමත් අපේ රටේ මතුව තිබෙනවා. දේශගුණික විපර්යාස ඇති කිරීමට අපේ දායකත්වය ඉතා සීමිත වූවත් එයින් අපට සෘජුව ම අහිතකර බලපෑම් එල්ලවීම නතර කරන්නට බැහැ. මෙහිදී අපට ඇති හොඳ ම ප‍්‍රායෝගික කි‍්‍රයා මාර්ගය දේශගුණික විපර්යාසවලට අනුවර්තනය වීමයි (climate adaptation). වසර හා දශක ගණනාවක් තිස්සේ කෙමෙන් මතුව එන විපාකවලට මුහුණදීමට දැන් සිට සුදානම් වීම හා සවිමත් වීම අවශ්‍යයි.

ගෝලීය මට්ටමෙන් සිදුවන දේශගුණික විපර්යාස තනි රටක් හැටියට අපට නතර කළ නොහැකියි. එමෙන්ම එහි ඇති අසාධාරණය ගැන ආවේගශීලිව මොර ගෑ පමණින් බලපෑම්වල අවදානම පහව යන්නේත් නැහැ. අපේ ජන ජීවිතය, සොබා සම්පත්, ආර්ථිකය හා පොදු – පෞද්ගලික දේපල රැක ගැනීමට නම් කල් තබා යම් ප‍්‍රවේශම්කාරි පියවර ගැනීම දේශගුණ අනුවර්තනයේ සංකල්පයයි. එය හරියට අනාගත සුබසිද්ධිය සඳහා ගන්නා රක්‍ෂණයක් වගෙයි.

දේශගුණික විපර්යාස සඳහා අනුවර්තන වීමේ ජාතික ක‍්‍රමෝපාය (2011-2016) නම් ජාතික මට්ටමේ ලේඛනයක් දේශීය විද්වත් පිරිසක් විසින් 2010 අගදී පරිසර අමාත්‍යාංශයේ දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලය සඳහා සම්පාදනය කරනු ලැබුවා. ප‍්‍රතිපත්ති, නීතිමය, නියාමන හා ප‍්‍රායෝගික මට්ටම්වලින් ගත යුතු ආරක්‍ෂිත පියවර එහි විස්තරාත්මකව සඳහන් වනවා. (මේ විද්වත් පිරිසේ සන්නිවේදන විශෙෂඥයකු ලෙස මා ද මේ කාරියට හවුල් වුණා.) http://tiny.cc/NCCAS

Dr W L Sumathipala
Dr W L Sumathipala
දේශගුණ විපර්යාසවල බලපැම් ඉදිරි දශකවලදී ප‍්‍රබල ලෙස දැනෙන ක්‍ෂෙත‍්‍ර දෙකක් දේශගුණික විපර්යාස ලේකම් කාර්යාලයේ හිටපු අධ්‍යක්‍ෂ හා දැන් ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඩබ්ලිව්. එල්. සුමතිපාල හුවා දක්වනවා. එනම් ජල සම්පතට ඇති වන බලපෑම හා වෙරළබඩ ප‍්‍රදේශවලට ඇති විය හැකි හානි.

ගෝලීය උණුසුම ටිකෙන් ටික වැඩිවත් ම ධ‍්‍රැව ප‍්‍රදේශවල මිදී ඇති අයිස් තට්ටු දිය වී සාගර ජල ප‍්‍රමාණය වැඩි කරනවා. උණුසුමත් සමඟ ජලය ප‍්‍රසාරණය ද වනවා. මේ දෙවිධියෙන් ම මුහුදු මට්ටම් ටිකෙන් ටික ඉහළ යනවා.

මෙය සිදු වන්නේ මිනිස් ඇසට එකවර නොපෙනෙන තරම් ඉතා සෙමින්. (කිසිසේත් සුනාමිවලට සම්බන්ධ නැහැ.) 2007දී UN-IPCC විද්‍යාඥයන් අනුමාන කළේ මේ සියවස අවසන් වන විට ලෝකයේ මුහුදු මට්ටම අඩි දෙකකින් පමණ ඉහළ යා හැකි බවයි. එහෙත් දැන් එය අඩි 3ක් පමණ විය හැකි යයි සමහර විද්‍යාඥයන් විශ්වාස කරනවා.

මුහුදු මට්ටම් ටිකෙන් ටික ඉහළ යන විට ඉහළ උදම් වේලාවටත්, කුණාටු හා සැඩසුළං නිසාත්, ගොඩබිම් තාවකාලිකව යට වන්නට පටන් ගන්නවා. වතුර බැස ගිය පසුත් මුහුදු වතුරේ ලවණ කා වැදීම නිසා ඒ ඉඩම් මුඩු වනවා. ළිං ජලය කිවුල් වෙනවා. මේ නිසා පදිංචියට හෝ ගොවිතැනට හෝ නුසුදුසු බිම් බවට පත් වනවා. මෙය අසල්වැසි මාලදිවයිනේ ඉතා පැතලි වූ දුපත් සමහරක දැනටමත් සිදු වී, ඒ දුපත් අත්හැර දැමීමට සිදුව තිබෙනවා. ඔවුන්ට දුපත් 1,200ක් තිබෙන නිසා මාරුවීම් කළ හැකියි.

ආචාර්ය සුමතිපාල කියන්නේ මුහුදු මට්ටම් ඉහළයාම මාලදිවයින් වැනි කුඩා දුපත් රාජ්‍යවලට පමණක් නොව අපේ දුපතට ද බරපතල විපාක ඇති කළ හැකි බවයි. කිමී 1,620ක් දිග වෙරළ තීරයකුත්, කුඩා දුපත් 113කුත් ඇති අපේ රටට මේ විපාක නිසා ලොකු ගැටඵ මතු විය හැකියි.

‘අපේ රටේ සමහර වෙරළබඩ ප‍්‍රදේශ මුහුදට යට වීම හා වෙරළබඩ ඉදි කිරීම් වලට හානි සිදු විම ඉදිරි දශකවලදී අප බලාපොරොත්තු විය යුතුයි’ ඔහු කියනවා.

විශේෂයෙන් යාපනය අර්ධද්වීපයේ මේ බලපෑම් ප‍්‍රබල විය හැකියි. දිගු කාලීනව මුහුදත් සමඟ පොර බදන්නට මිනිසාට බැරි නිසා එම ප‍්‍රදේශ අත්හැර දමා රටේ ඇතුළත වෙනත් තැන්වලට සංක‍්‍රමණය වීමට සිදුවනු ඇතැයි ඔහු කියනවා.

මෙහිදී මට සිහිපත් වන්නේ UN-IPCC උපසභාපතිවරයකු ලෙස කලක් කි‍්‍රයා කළ ලාංකික ආර්ථික විශෙෂඥ හා භෞතික විද්‍යාඥ ආචාර්ය මොහාන් මුණසිංහ කළ ප‍්‍රකාශයක්. 2007 අපේ‍්‍රල් මාසයේ IPS නම් ජාත්‍යන්තර පුවත් සේවය සමඟ සාකච්ඡවකදී ඔහු කීවේ (එවකට නිමා වී නොතිබුණු) මෙරට දිගු කාලීන යුද්ධයේ භෞතික බලපෑම්වලටත් වඩා දේශගුණ විපර්යාසවල බලපෑම් බිහිසුණු විය හැකි බවයි.

‘යාපනය අර්ධද්වීපයේ කොටස් ද ඇතුඵව උතුරේ වෙරළබඩ ප‍්‍රදේශ ගණනාවක් මුහුදට යට වී යාම ඉදිරි දශකවලදී සිදු වනවා. මේ නිසා අප සටන් වදින සමහර ගොඩබිම් ප‍්‍රදේශ තවත් කලකදී නොතිබෙනු ඇති’ යයි ඔහු කළ ප‍්‍රකාශයට මෙරට එතරම් අවධානයක් එදත් අදත් ලැබී නැහැ.

මුහුදු මට්ටම් ඉහළ යාම බලපාන්නේ උතුරට පමණක් නොවේ. බටහිර හා දකුණුදිග වෙරළ තීරයන්හි නිවාස, හෝටල් හා වෙනත් ඉදිකිරීම් රැසක් සංකේන්ද්‍රනය වී තිබෙනවා. මේ සියවසේ ඉදිරි දශකවල මේ සමහර ප‍්‍රදේශවලින් ඉවත්වීමට සිදුවන තරම් වෙරළ ඛාදනය දරුණු විය හැකි බවත්, A2 ලෙස හදුන්වන කොළඹ-ගාල්ල මාර්ගය යම් කලෙක රට තුළට වන්නට නැවත ඉදි කිරීමට සිදු විය හැකි බවත් ආචාර්ය සුමතිපාල කියනවා.

කොළඹ හා ගාලූ වරායන්ට දැඩි බලපෑම් ඇති විය හැකි බවට අනතුරු අඟවන ඔහු, හම්බන්තොට හා ති‍්‍රකුණාමල වරායන්ගේ ඉරණම ගැන අදහස් දක්වා නැහැ.

2100 වන විට ලංකා සිතියමේ ස්වරූපය වෙනස් විය හැකි යයි ද දැන් තිබෙන ඇතැම් වෙරළබඩ ප‍්‍රදේශ අනාගත සිතියමක නොතිබිය හැකි යයි ද ආචාර්ය සුමතිපාල කියනවා. මේ ප‍්‍රවණතා ගැන වෙරළ සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා ලංකා හයිඩ්‍රොලික්ස් පර්යේෂණායතනය විස්තරාත්මක අධ්‍යයන කර තිබෙනවා. එහෙත් මේ සියල්ල අනුමානයන් හා ප‍්‍රක්‍ෂෙපන පමණයි.

දැන් පටන් වෙරළබඩ ප‍්‍රදේශවල ඉදි කරන සියඵම පොදු හා පෞද්ගලික ගොඩනැගිලිත්, මහාමාර්ග හා වරාය බදු යටිතල පහසුකමුත් ඉදිරි අන්තරායන් ගැන සළකා බලමින් නිසි සේ ස්ථානගත කිරීම හා සැළසුම් කිරීම කළ යුතුයි. මහාමාර්ග, දුම්රිය මාර්ග, හෝටල්, කාර්යාල හා වෙනත් නව ඉදිකිරීම් සිදු කරන විට ඉදිරියේ නියත ලෙස පැමිණෙන දේශගුණික බලපෑම් වලට ඔරොත්තු දිය හැකි සවිමත් හා සූක්‍ෂම බවකින් ඒවා නිම කිරීමේ අවශ්‍යතාවය ආචාර්ය සුමතිපාල පෙන්වා දෙනවා.

Sri Lanka National Climate Change Adaptation Strategyදේශගුණ අනුවර්තන ක‍්‍රමෝපාය සම්පාදනය කළ විද්වත් පිරිසේ නායකයා වූ සැළසුම් විශෙෂඥ නයන මාවිල්මඩ කියන්නේ කල් තබා කරන සූක්‍ෂම ආරක්‍ෂක පියවර හා සාපේක්‍ෂව කුඩා ආයෝජන හරහා දේශගුණ විපර්යාස බලපෑම්වලින් අපට ප‍්‍රවේශම් විය හැකි බවයි.

ක‍්‍රමෝපාය හදන්නට පෙර මෙරට සියඵ ප‍්‍රදේශ හා ක්‍ෂෙත‍්‍ර (වැවිලි කර්මාන්තය, කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, නාගරික සැළසුම්, මහජන සෞඛ්‍යය, ජෛව විවිධත්වය, ධීවර කර්මාන්තය) මේ බලපෑම්වලට නතුවීමේ හැකියාව (vulnerability) ගැන විස්තරාත්මක අධ්‍යයන කරනු ලැබුවා. මේ සියල්ල www.climatechange.lk වෙබ් අඩවියෙන් බලා ගත හැකියි.

දේශගුණ විපර්යාස යනු අද වන විට හුදෙක් පාරිසරික ප‍්‍රශ්නයක් පමණක් නොවෙයි. මීට වසර 25කට පෙර හරිත කෝණයෙන් ඇරැඹී මේ ගැන සංවාද හා කි‍්‍රයාකාරකම් අද වන විට ආර්ථිකය, ජන සමාජය, මානව හිමිකම් මෙන් ම ජාතික ආරක්‍ෂාව දක්වා පුඵල් වී තිබෙනවා.

දේශගුණ විපර්යාස කී පමණට බොහෝ දෙනා එක්වර ම සිතන්නේ මුහුදු මට්ටමේ ඉහළ යාම වුවත් එයට වඩා පුඵල් වූ විපාක බොහෝ තිබෙනවා. ටිකෙන් ටික ඉහළ නගින මුහුදු මට්ටම්වලට වඩා නුදුරු අනාගතයේදී ම ලොකු බලපෑම් කළ හැක්කේ වර්ෂාපතන රටා වෙනස්වීමටයි.

එහෙත් අපේ සුනාමි මතකයන් නිසාදෝ, එසේ නැත්නම් අතිශයින් ප‍්‍රබන්ධකාරී හා අතිශයෝක්තියෙන් ගහන වූ Day After Tomorrow වැනි අභව්‍ය හොලිවුඞ් චිත‍්‍රපටවල ආභාෂය නිසා දෝ අප මුහුදු මට්ටම් ගැන උවමනාවට වඩා සිතන අතර අනෙකුත් බලපෑම් ගැන ඇති තරම් නොසිතීමේ අවදානමක් තිබෙනවා.

දේශගුණ විපර්යාස තවත් උග‍්‍රවීම වළක්වන්නට ජාත්‍යන්තර මට්ටමින් විසදුම් සොයන අතරේ එයින් නොවැළැක්විය හැකි ලෙස ඇති වන විපාක හැකිතාක් අවම කර ගැනීම අප වැනි රටවලට ඇති ප‍්‍රමුඛතාවයයි.

එහිදී අපේ ආරක්‍ෂාව අප ම සළසා ගත යුතු නිසා අනුවර්තන ක‍්‍රමෝපාය ගැන මීට වැඩි අවධානයක් සමස්ත රාජ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන්, පෞද්ගලික අංශයෙන් හා සිවිල් සමාජයෙන් යොමු කළ යුතුයි. මෙය පරිසර අමාත්‍යාංශයට සීමා වූ පරිසර දුෂණ ප‍්‍රශ්නයක් ලෙස ලඝු නොකළ යුතුයි.

The Day After Tomorrow - movie poster

සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)
Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi