සිවුමංසල කොලූගැටයා #116: ඔබ දන්නෙහිද ගැන ඔබ දන්නෙහිද?

I look at general knowledge quizzing in Sri Lanka in this week’s Ravaya column (in Sinhala).

It’s a mind sport where I have played all the roles possible — as a participant, Sri Lanka’s national quiz champion, quiz compiler, quizmater, quiz programme designer for radio and TV, and chronicler of the game.

I covered similar ground in English in this column written in Aug 2012:
When Worlds Collide #27: Who Wants to be…a Quizmaster?

L to R - Magnús Magnússon, Shelton Wirasinha, Gunaratne Abeysekera

L to R – Magnús Magnússon, Shelton Wirasinha, Gunaratne Abeysekera

ඔබ දන්නෙහිද (Do You Know) හෙවත් දැනුම මිනුම (quiz) තරගාවලි දශක ගණනාවක් තිස්සේ අපේ පාසල් සිසුන් අතර ජනපි‍්‍රයයි. සූක්‍ෂම හා ඉලක්කගත ලෙසින් දැනුම හා මතකය උරගා බලන මේ මනෝමය කී‍්‍රඩාව ලිහිල් මට්ටමින් හෝ බැරැරුම් ලෙසින් හෝ කළ හැකියි.

පාසල් සිසුන් ලෙස මේ කී‍්‍රඩාවේ දස්කම් පෑ සමහරුන් පසු කලෙක වෘත්තීය ක්‍ෂෙත‍්‍රයන්හි හපනුන් බවට පත් වුණා. ශී‍්‍ර ලංකාවේ ලලිත් ඇතුලත්මුදලි 1950 ගණන්වල රේඩියෝ තරග ජය ගත් අතර අමෙරිකාවේ හිලරි ක්ලින්ටන් (එවකට හිලරි රෝඩම්) 1960 දශකයේ ටෙලිවිෂන් තරගවල තරුවක් වුණා.

ශී‍්‍ර ලංකාවේ ඔබ දන්නෙහිද මනෝ කී‍්‍රඩාවේ ආරම්භය හා මුල් යුගය ගැන මා තොරතුරු සොයනවා. (ඔබ දන්නා තොරතුරු ඇත්නම් ලියා එවන්න: contact details) මගේ මතකයට එන පැරණි ම තරගාවලි පැවැත්වුණේ එවකට අපට තිබූ එක ම රේඩියෝ ආයතනය වූ ගුවන්විදුලි සංස්ථාවේ නාලිකා හරහායි.

සිංහලෙන් ‘ඕවල්ටීන් පැන පොඩි’ හා ඉංගී‍්‍රසියෙන් ‘Take it or Leave It’ යන සතිපතා තරගයන්ට 1970 දශකයේ සවන් දුන් මා, 1980 සිට මේ ක්‍ෂෙත‍්‍රයේ තරග කරන්නට පටන් ගත්තා. එවක් පටන් අද වන තෙක් මේ මනෝ කී‍්‍රඩාව මගේ ප‍්‍රධාන විනෝදාංශයයි. එහි හැම ඉරියව්වක හා මට්ටමක ම මා කි‍්‍රයා කොට තිබෙනවා.

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රවීණ ප‍්‍රශ්න විචාරකයන් දෙදෙනෙකු සමඟ වැඩ කිරීමෙන් මා අත්දැකීම් ලැබුවා. මුලින් ඔවුන්ගේ ප‍්‍රශ්නවලට මුහුණ දුන් පාසල් සිසුවකු ලෙස ඔවුන් හදුනා ගත් මා, ඉනික්බිති ඔවුන් සමඟ ප‍්‍රශ්න සම්පාදනය හා ඉදිරිපත් කිරීමට සහායකයකු ලෙස සම්බන්ධ වුණා.

මෙයින් පළමුවැන්නා දක්‍ෂ ගුරුවරයකු හා විදුහල්පතිවරයකු වූ ෂෙල්ටන් වීරසිංහ සූරීන් (1923 – 1985). රිච්මන්ඞ් හා වෙස්ලි විදුහල්වල අධිපති ලෙස සේවය කළ ඔහු කී‍්‍රඩා, සංගීත, ශාස්තී‍්‍රය හා පරිපාලන ක්‍ෂෙත‍්‍රවල කුසලතා තිබූ අයෙක්.

රූපවාහිනී නාලිකාව 1982 පෙබරවාරි 15දා අරඹා දින කිහිපයක් තුළ විකාශය ඇරැුඹි මෙරට පළමුවැනි ටෙලිවිෂන් ඔබ දන්නෙහිද වැඩසටහන් මාලාව වූ Dulux Do You Knowහි ප‍්‍රශ්න විචාරකයා වුණා. ඔහුට මුහුණ දුන් මුල් ම පාසල් සිසුන් හය දෙනා අතර සිටි මා එයින් ජයග‍්‍රහණය කළා.

වීරසිංහයන් උද්යෝගීමත්, විනෝදකාමී හා ප‍්‍රතාපවත් චරිතයක්. මවුබස ඉංගී‍්‍රසිය වූ අයට පවා ආදර්ශයට ගත හැකි තරම් විශිෂ්ඨ ඉංගී‍්‍රසි උච්චාරණයක් ඔහුට තිබුණා. එහෙත් කලූ සුද්දකු වනවා වෙනුවට ඔහු ලාංකික උරුමය අගය කළ අයෙක්.

කලාකාමී පරපුරකින් ආ ගුණරත්න අබේසේකර (1934 – 1992) සූරීන් රජයේ පරිපාලන තනතුරක් දරණ අතර රේඩියෝ මාධ්‍යයේ හපන්කම් කළ අයෙක්. සහජයෙන් ම මිත‍්‍රශීලි හා සිනාබරිත වූ ඔහු, පෞරුෂයෙන් වීරසිංහට වඩා වෙනස් වූවත් මුහුකුරා ගිය පෙරඅපර දෙදිග පිළිබඳ දැනුමක් ඔහුට ද තිබුණා.

මෙරට ටෙලිවිෂන් ඉතිහාසයේ මුල් ම සිංහල ඔබ දන්නෙහිද වැඩසටහන් මාලාව වූ ‘සොයමු පිළිතුරු’ 1984 සම්පාදනය කොට ඉදිරිපත් කළේ ඔහුයි. එම ශූරතාවලිය දිනූ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායමේ නායකයා වූයේ මායි.

මේ දෙදෙනා ම තමන් විසින් සම්පාදිත ප‍්‍රශ්න තමන්ට ම ආවේණික ශෛලියකින් විමසුවා. ප‍්‍රශ්න විචාරයේ ප‍්‍රශස්තම අදියර එයයි. එහෙත් නිතර කැරෙන්නේ කවුරුන් හෝ සම්පාදනය කර දුන් ප‍්‍රශ්න ගොන්නක් නිවේදන/කථන හැකියාව ඇති අයකු විසින් විමසීමයි. එහිදී අර්ධ වශයෙන් නිවැරදි හෝ ආසන්න හෝ පිළිතුරක් දුන්නොත් එය බාර ගන්නවා ද නැද්ද ආදී තීරණ ගැනීම අපහසු වනවා.

පාසලෙන් නික්ම ගිය පසු මේ දැවැන්තයන් දෙදෙනාගේ ප‍්‍රශ්න සම්පාදනයට හා තොරතුරු ගවේෂණයට මා ස්වේච්ඡාවෙන් සම්බන්ධ වුණා. පුඵල් වූත් ගැඹූරු වූත් දැනුම් සාගරයෙන් තොරතුරු උකහා ගෙන, නිරවද්‍යතාවය මුඵමනින් තහවුරු කොට එය රසවත්, කෙටි පැනයක් බවට පත් කිරීම මා උගත්තේ මේ දෙදෙනාගෙන්. එය ආයාසයෙන් ප‍්‍රගුණ කළ යුතු කලාවක්.

එසේ ම රේඩියෝ හා ටෙලිවිෂන් හරහා ප‍්‍රශ්න විචාරීමේදී සුහදශීලී සංයමයක් හා සියඵ තරගකරුවන් වෙත උපේක්‍ෂා සහගත ආකල්පයක් පවත්වා ගත යුතුයි. ඇතැම් තරගකරුවන් නොදන්නාකමට කියන විකාරරූපී හෝ අභව්‍ය පිළිතුරුවලට පවා ප‍්‍රශ්න විචාරක නොසැලී සිටිය යුතුයි.

විද්‍යා-කලා ක්‍ෂෙත‍්‍රවල පුඵල් දැනුමක් තිබුණත් මහාචාර්ය නන්දදාස කෝදාගොඩ සූරීන් ප‍්‍රශ්න විචාරන විට වැරදි පිළිතුරු ඔහුට ඉවසා දරා ගන්නට බැහැ. එබදු පිළිතුරු ඔහු නොරිස්සුම් ස්වරයෙන් ඇතැම් විට කෝපාන්විතව බැහැර කළා. මෙය විද්‍යුත් මාධ්‍ය කලාවට ගැලපෙන්නේ නැහැ. ප‍්‍රශ්න විචාරකයා දැනුම ගවේෂණයේ මිත‍්‍රශීලි මාර්ගෝපදේශකයකු විය යුතුයි.

විවිධ හා විචිත‍්‍ර ප‍්‍රශ්න විචාරකයන්ගේ ශෛලීන් හා ශිල්පක‍්‍රම සමීපව අධ්‍යයනය කරමින් සිටි මට, එය අත්හදා බලන්නට අවස්ථාවක් ලැබුණේ 1990දී. රූපවාහිනීයේ මුතුහර ළමා සාමාජිකයන් අතර සතිපතා පැය බාගයේ පැන විසදුම් තරගාවලියක් වසරක් පුරා ඉදිරිපත් කිරීමට නිෂ්පාදිකා ලලිතා සිරිබද්දන මහත්මිය මට ඇරැයුම් කළා.

එවිට මගේ වයස 23යි. ඒ දක්වා රේඩියෝ-ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරකයන් හැටියට කි‍්‍රයා කොට තිබුණේ මැදිවියට පත්, ඉස නිකට පැසුණු උදවිය. මා වැනි තරුණයකුට තමන් ම ප‍්‍රශ්න සම්පාදනය කොට ඒවා විමසන්නට හැකි වේදැයි සමහරුන් විමතියට පත් වුණා. එහෙත් පටිගත කිරීම් වලට පෙර මගේ ප‍්‍රශ්න විමර්ශනයට කළ ඉල්ලීම් මා බැහැර කළා.

ප‍්‍රශ්න විමසන්නට පෙර ඒවා දැන සිටියේ මගේ සහායකයා ලෙස කි‍්‍රයා කළ (දැන් වෛද්‍ය) චතුර රත්නායක හා මා පමණයි. දේශපාලනික හා ආගමික තේමාවන් ඕනෑකමින් මඟ හැර, අන් සියඵ දැනුම් ක්‍ෂෙත‍්‍රයන් ආවරණය වන පරිද්දෙන් අප ප‍්‍රශ්න සම්පාදනය කළා.

පැන විමසීමේදී මා තෝරා ගත්තේ ගුණරත්න අබේසේකරයන්ට සමාන ශෛලියක්. එනම් ප‍්‍රශ්නයේ යම් පසුබිම් තොරතුරු ද ලබා දෙමින් එය විමසීම. මේ නිසා පැය බාගයකදී ඇසිය හැකි ප‍්‍රශ්න ගණන තරමක් සීමා වෙතත්, උඩින් පල්ලෙන් හරසුන් ලෙස තොරතුරු මතු කිරීම සමනය වනවා. අද දක්වාත් රේඩියෝ, ටෙලිවිෂන් හා සජීව සභාවලදී මා අනුගමනය කරන ශෛලිය මෙයයි.

ඔබ දන්නෙහිද යනු අද වන විට මනෝමය කී‍්‍රඩාවක් ලෙස ලොව පුරා පිළිගෙන ව්‍යාප්ත වී තිබෙනවා. එය චෙස්, සුදෝකු ආදිය තරම් ම ප‍්‍රකට නොවූවත් උද්යෝගිමත්ව එහි නියැලෙන තරගකරුවන් හා කණ්ඩායම් සිටිනවා. ඔවුන්ට ම වෙන් වූ තරගාවලි හා ජාත්‍යන්තර මට්ටමේ ශූරතාවලියක් ද තිබෙනවා. මෙය පාසල් හෝ සරසවි සිසුන්ට සීමා වන්නේ නැහැ. විවිධ වයස් මට්ටම්වලට අයත්, විවිධ වෘත්තීන්හි නිරත වන අය මේ මනෝ කී‍්‍රඩාවේ යෙදෙනවා.

මේ ක්‍ෂෙත‍්‍රය හරිහැටි නොදන්නා අය සිතන්නේ පැන විසදීම් බුද්ධි මට්ටම උරගා බලන බවයි. එහෙත් බුද්ධිය මනින බුද්ධි පරීක්‍ෂණ (IQ tests) ඊට වෙනස්. ඔබ දන්නෙහි ද කී‍්‍රඩාවලට යම් බුද්ධි මට්ටමක් අවශ්‍ය බව සැබෑයි. එහෙත් ඊටත් වඩා ප‍්‍රයෝජනවත් වන්නේ රට හා ලෝකය ගැන පුඵල් වූ දැනුම සහ එය ඉක්මනින්, නිරවුල්ව සිහිපත් කිරීමේ හැකියාවයි.

මේ නිසා ඔබ දන්නෙහි ද තරගාවලි ප‍්‍රවර්ධනයට අයින්ස්ටයින්, මාරි කියුරි, තාගෝර් වැනි ලෝ ප‍්‍රකට බුද්ධිමතුන්ගේ මුහුණත් යොදා ගැනීම සංකල්පමය වශයෙන් වැරදියි. එසේ ම මේ මනෝ කී‍්‍රඩාවේ ඉහළට යන්නට උසස් අධ්‍යාපනයක් තිබීම උපකාරී වූවත් එය අත්‍යවශ්‍ය නැහැ.

බි‍්‍රතාන්‍යයේ ඉතා ජනපි‍්‍රය, 1972දී ඇරැඹී අද දක්වා වාර්ෂිකව පවත්වන BBC Mastermind ටෙලිවිෂන් තරගාවලිය 1980දී ජය ගත්තේ ටැක්සි රියදුරෙක්. ආචාර්ය, මහාචාර්ය හා විවිධ වෘත්තිකයන් අභිබවා මේ පුද්ගලයා ඉදිරියට ගියේ කියැවීමේ නොතිත් ආසාව හා පුරුද්ද නිසායි.

Mastermind වැඩසටහන් මාලාව 1972 – 1997 වකවානුවේ වසර 25ක් ඉදිරිපත් කළෙ මැග්නස් මැග්නසන් (Magnús Magnússon) නම් ප‍්‍රවීණ ප‍්‍රශ්න විචාරකයායි. ප‍්‍රශ්න සම්පදානයට ඔහු විවිධ ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රබලයන් සම්බන්ධ කර ගත්තා.

ඉතා තියුණු තරගයකින් පසු බි‍්‍රතාන්‍යයේ මහ මොළකාරයා ලෙස තේරෙන ජයග‍්‍රාහකයාට ලැබෙන්නේ කීර්ති නාමය හා වීදුරු පලිහක් පමණයි. එදත් අදත් මුදල් ත්‍යාග පිරිනැමෙන්නේ නැහැ.

එහෙත් බි‍්‍රතාන්‍යයේත්, වෙනත් රටවලත් ලොකු මුදල් ත්‍යාග සහා කැරෙන ඔබ දන්නෙහිද තරගාවලි තිබෙනවා. 1964දී ඇරැඹී තවමත් දිවෙන අමෙරිකානු ටෙලිවිෂන් තරගාවලිය Jeopardy! හා 1989දී බි‍්‍රතාන්‍යයේ අරඹා අද වන විට ලෝකයේ රටවල් 100කට පමණ ව්‍යාප්ත වී ඇති Who Wants to be a Millionaire (සිංහලෙන් – ඔබ ද ලක්‍ෂපති මම ද ලක්‍ෂපති) මේ අතර වනවා.

මුදලට දැනුම හෑල්ලූ කළ යුතු ද යන්න මේ ක්‍ෂෙත‍්‍රයේ දිගු කලක් පවතින විවාදයක්. ඔබ දන්නෙහි ද කී‍්‍රඩාවේ දශක තුනකට වැඩි කාලයක් සම්බන්ධ වූ මගේ මතය නම් එහි වරදක් නැති බවයි.

කි‍්‍රකට් වැනි කී‍්‍රඩාවලත් මේ විවිධත්වය තිබෙනවා. කිසිදු මුදලක් නොපතා කී‍්‍රඩා කිරීමේ සිට 20-20 හා IPL බදු අධික තරග මුදල් හා කී‍්‍රඩක ගෙවීම් කරන තැන දක්වා පරාසයක් පවතිනවා.

මනෝ කී‍්‍රඩාවකත් මේ පරාසයට ඉඩ දිය යුතුයි. එහෙත් කී‍්‍රඩාවේ ප‍්‍රමිතීන්, සාරධර්මයන් රැකෙන පරිදි හා වංචාවලට ඉඩ නොලැබෙන පරිදි එය පවත්වා ගැනීම ඔබ දන්නෙහිද ක්‍ෂෙත‍්‍රයට ඇලූම් කරන, එහි නියැලී සිටින අප කාගේත් වගකීමක්.

දකුණු ආසියාවේ මේ කී‍්‍රඩාවේ ඉදිරියෙන් ම සිටින්නේ ඉන්දියානුවන්. 1967දී කල්කටාවෙන් ඇරැඹුණු මේ රැල්ල අද ඉන්දියාව පුරා පැතිර ගිහින්. ප‍්‍රාන්ත මට්ටමින් හා ජාතික මට්ටමින් වාර්ෂිකව පැවැත්වෙන තරගාවලි තිබෙනවා. බංග්ලාදේශයේ හා පාකිස්ථානයේ ද මේ කී‍්‍රඩාව පුඵල් මට්ටමෙන් කැරෙනවා. මේවායේ මුල් තැන ගන්නේ පාසල් සිසුන් නොව සරසවි සිසුන්, ඇදුරන්, වෘත්තිකයන් හා වෙනත් වැඩිහිටියන්.

1990දී ශී‍්‍ර ලංකා ජාතික ශූරයා ලෙස මා සාර්ක් තරුණ ශූරතාවලියට පාකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවරට ගියා. (මා ශී‍්‍ර ලංකාව නියෝජනය කළ එක ම අවස්ථාව ද එයයි.) අපේ කලාපයේ ලොකු රටවල ඔබ දන්නෙහිද කී‍්‍රඩාව කෙතරම් සංවිධානාත්මක ලෙස සිදු වනවා ද යන්න ගැන එහිදී මට දැකිය හැකි වුණා.

1990 පටන් මා විවිධ රේඩියෝ හා ටෙලිවිෂන් තරගමාලා සම්පාදනය කොට මෙහෙයවා තිබෙනවා. අද දරුවන්ට හා තරුණ පරපුරට පෙර පරම්පරාවලට වඩා දැනුම් ගවේෂණයට මූලාශ‍්‍ර හා තාක්‍ෂණයන් තිබෙනවා. ඒ වුණත් ලෙහෙසියෙන් තොරතුරු සොයා ගන්නට හැකි වූ පමණට සැළසුම්ගත වූ දැනුම වර්ධනය වන්නේ නැහැ.

ප‍්‍රශ්න විචාරකයකු හැටියට මට හමු වන සමහර තරගකරුවන් අවබෝධයකින් තොරව වට්ටෝරුගත දැනුම කටපාඩම් කළ අයයි. තරග විභාගයකට මුහුණ දෙන ආකාරයට මේ මනෝ කී‍්‍රඩාව කරන්නට බැහැ. (ශබ්දකෝෂ කට පාඩම් කරන අයට ලේඛකයන් වන්නට බැහැ වගෙයි!)

නිරවුල් අවබෝධයකින් හා සැබෑ උද්යෝගයකින් දැනුම සොයා යාම ඔබ දන්නෙහිද ජයග‍්‍රහණයට එදත් අදත් අත්‍යවශ්‍ය ගුණාංගයක්.

Serendib Quiz with Nalaka Gunawardene - Slide for first event held on 29 July 2012

Serendib Quiz with Nalaka Gunawardene – Slide for first event held on 29 July 2012

Advertisements

සිවුමංසල කොලූගැටයා #53: අපේ ම ටෙලිවිෂන් කලාවක් දැන්වත් බිහි කරමු!

The Island)

Doyen of Sri Lankan cartoonists, Wijesoma, saw it all coming (courtesy: The Island)

In this Sinhala language column, published in Ravaya issue of 12 Feb 2012, I look at the state of Television Broadcasting in Sri Lanka. While TV was introduced in urban areas in April 1979, it was on 15 Feb 1982 that countrywide TV broadcasts commenced with national TV channel Rupavahini. A full generation has grown up with TV, but the Lankan TV industry hasn’t yet matured — there is no impartial history, no conservatory for TV programmes, and no proper TV awards festival that covers all 3 languages and various genres of TV. Now that we have 18 terrestrial channels (6 state owned and the rest, privately owned), and many more cable channels, how can we enhance the quality of programming and the industry as a whole? I raise this as someone who has been associated with all the major TV stations in Sri Lanka and has been appearing on TV for 30 years.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සිය විකාශයන් ඇරඹුවේ 1982 පෙබරවාරි 15 වනදා. ඒ නිසා මේ සතියට මෙරට ජාතික ටෙලිවිෂන් සේවය වන රූපවාහිනියට වසර 30ක් පිරෙනවා.

වසර 30ක් මාධ්‍ය ලෝකයේ සැළකිය යුතු කාලයක් වගේ ම පරම්පරාවක පරතරයක් ද වනවා. ශ්‍රී ලංකාවේ පළමුවැනි ටෙලිවිෂන් පරම්පරාව දැන් වැඩිහිටියන් වී ජන සමාජයට පිවිස සිටිනවා. විද්යුත් මාධ්‍යයකට හා සන්නිවේදන තාක්‍ෂණයකට එහා දිවෙන සමාජ ප‍්‍රවාහයක් ලෙස ටෙලිවිෂන් මාධ්‍යය මා දකිනවා. ටෙලිවිෂන් ලක් සමාජයට ඇති කරන බලපෑම ගැන මා විටින් විට කථා කරන්නේ ඒ නිසයි.

ටෙලිවිෂන් ලංකාගමනය හැත්තෑ හතේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිවල එක් ප‍්‍රතිඵලයක්. අපේ ටෙලිවිෂන් කර්මාන්තයේ මුල 1979 අපේ‍්‍රල් මාසයේ ඇරඹි ස්වාධීන ටෙලිවිෂන් සේවයයි (ITN). තනිකර පෞද්ගලික අංශයේ උත්සාහයක් ලෙස එළි දුටු එය, සති කිහිපයක් තුළ රජයට පවරා ගනු ලැබුවා. මුල් යුගයේ ITN සංඥා සීමා වූයේ බස්නාහිර පළාතේ නාගරික ප‍්‍රදේශවලට නිසා රටේ බහුතරයක් සිය මුල් ටෙලිවිෂන් අත්දැකීම ලැබුවේ 1982 පෙබරවාරියේ රූපවාහිනිය ඇරඹීමත් සමගයි. එතෙක් කල් චිත‍්‍රපට හා වීඩියෝ පට නැරඹීමට සීමා වී තිබූ අපේ ඇත්තන්ගේ ශ‍්‍රව්‍ය දෘශ්‍ය නිම්වලලූ පුළුල් වූයේ ටෙලිවිෂන් නිසයි.

1980 දශකය තුළ ටෙලිවිෂන් මාධ්‍යය ඉක්මනින් මෙරට ප‍්‍රචලිත වුණා. පත්තර, සගරා හා රේඩියෝ යන ජනමාධ්‍ය සමග ළමා අවධිය ගත කළ මගේ පරම්පරාවට ටෙලිවිෂන් නැවුම් අත්දැකීමක් වූවා මෙන් ම ලෝකයට අළුත් කවුලූවක් ද විවර කළා.

ටෙලිවිෂන් මාධ්‍යය මගේ ජීවිතයටත් සමීප වී වසර 30ක් පිරෙනවා. වයස 14 දී මුල්වරට ටෙලිවිෂන් විකාශයක් (ITNහි සෙසමි ස්ටී‍්‍රට්) දුටු මා, රූපවාහිනිය අරඹා දින කිහිපයක් තුළ ප‍්‍රචාරය වූ මෙරට මුල් ම ටෙලිවිෂන් ප‍්‍රශ්න විචාරාත්මක වැඩසටහන වූ Dulux Do You Know තරගයට සහභාගි වූයේ 16 හැවිරිදි පාසල් සිසුවකු ලෙසයි. එදා ඒ තරගය ජය ගැනීමත් සමග පටන් ගත් මගේ ටෙලිවිෂන් හාදකම අද දක්වාත් පවතිනවා. නව නිපැයුම් හා නව දැනුම ගැන මා මේ වසරේ ඉදිරිපත් කරන ‘මාලිමා’ වැඩසටහන පටිගත කරන්නට රූපවාහිනියට යන විට මුල් යුගයේ සිට එහි සේවය කරන ඇතැම් දෙනා තවමත් හමු වනවා.

එදා මෙදා තුර මෙරට ප‍්‍රමුඛ පෙළේ හැම ටෙලිවිෂන් නාලිකාවක් සමග ම මා සම්බන්ධ වී කි‍්‍රයාකර තිබෙනවා. මේ නිසා අපේ ටෙලිවිෂන් කර්මාන්තය, කලාව හා සංස්කෘතිය ගැන මා විග‍්‍රහ කරන්නේ පිටස්තර ආගන්තුකයකු ලෙස නොවෙයි. මේ මාධ්‍යයන් සමග ම හැදුණු වැඩුණු එහි හිතමිතුරකු හැටියටයි.

අද වන විට නොමිලයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි ටෙලිවිෂන් නාලිකා 18ක් පමණත්, කේබල් සේවා (cable TV) හරහා මුදල් ගෙවා ලබා ගන්නා තවත් නාලිකා ගණනාවකුත් මෙරට තිබෙනවා. එහෙත් මේ සංඛ්‍යාත්මක වර්ධනයට සමාන්තරව ගුණාත්මක දියුණුවක් වී නැති බව පිළිගත යුතුයි. අපේ ටෙලිවිෂන් මාධ්‍යය තවමත් කලාවක් හා කර්මාන්තයක් ලෙස හරිහැටි පරිනත වී නැති බවට ක්‍ෂෙත‍්‍රයේ සිටින සමහරුන් තර්ක කරනවා.

මෙයට එක් ප‍්‍රධාන හේතුවක් නම් ටෙලිවිෂන් ආයතන හා නාලිකා මට්ටමට ඉහළින්, රාජ්‍ය – පෞද්ගලික හිමිකාරත්වයේ බෙදීම ද ඉක්මවා යමින් පොදුවේ කර්මාන්තයක් හැටියට මේ ක්‍ෂෙත‍්‍රය ගැන විධිමත් ලෙස සිතා කිසිවකු ක‍්‍රියා නොකිරීමයි. මෙය රජයකට තනිව කළ හැකි දෙයක් නොවෙයි. ලොව බොහෝ රටවල එය සිදුව ඇත්තේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රයේ ශිල්පීන්, කළමනාකරුවන් හා හිමිකරුවන්ගේ සාමූහික උත්සාහයෙන්.

• 33 වසරක ටෙලිවිෂන් ඉතිහාසයක් තිබුණත් අපට තවමත් නාලිකා බෙදීම ඉක්මවා යන අපක්‍ෂපාත ටෙලිවිෂන් ඉතිහාසයක් ලේඛනගත වී නැහැ. (ටෙලිවිෂන් මාධ්‍යයේ 25 වසර පිරීම සමරන්නට 2004දී අර්නස්ට් පෝරුතොට පියතුමා සංස්කරණය කළ ග‍්‍රන්ථය ඒ සඳහා ප‍්‍රයෝජනවත් මුල් ප‍්‍රවේශයක්.)

• ටෙලිවිෂන් නාලිකාවල විකාශය වූ විද්යුත් මාධ්‍ය නිර්මාණ ලේඛනාගාර ගත වීමක් අපේ රටේ තවමත් කැරෙන්නේ නැහැ. පුවත්පත් හා සගරා මෙන් ජාතික ලේඛනාගාරයේ තැන්පත් කිරීමක් ද නැහැ. යම් ශිල්පියකු තනි උත්සාහයෙන් තමන්ගේ නිර්මාණ පිටපත් සංරක්‍ෂණය කර නොගතහොත් කලකට පසු ඒවා සොයා ගත නොහැකි වී ජන මතකයෙන් ද ගිලිහී යනවා. (ජාතික සිනමා සංරක්‍ෂණාගාරයක් නැති අපේ රටේ, ටෙලිවිෂන් වැඩසටහන් රැක ගැනීම ගැන කථා කිරීමේ තේරුමක් ඇත් ද?)

• කාටත් පිළිගත හැකි නිර්නායක මත, පුළුල් වූ පරාසයක ටෙලිවිෂන් නිර්මාණ සඳහා අගැයිමී කැරෙන හරිහමන් සම්මාන උළෙලක් ද තවම බිහි වී නැහැ. සුමති හා රයිගම් ටෙලි සම්මාන උළෙල හොඳ උත්සාහයන් වූවත් භාෂා මාධ්‍ය තුනේ ම ප‍්‍රවෘත්ති, කාලීන වැඩසටහන් හා විනෝදාත්මක වැඩසටහන් ආදී හැම ටෙලිවිෂන් අංගයක් ම ඒ සම්මානවලින් නිසි ලෙස ආවරණය නොවීම අඩුවක්.

කොටින් ම කියනවා නම් ටෙලිවිෂන් කලාව හා කර්මාන්තය යනු හුදෙක් සිංහලෙන් ටෙලි නාට්‍ය හා රියැලිටි වැඩසටහන් නිපදවීම පමණක් නොවෙයි. ටෙලිවිෂන් රසවත් හා ගුණවත් ‘හොද්දක්’ වන්නට එයට නිසි පමණින් එක් විය යුතු තවත් ‘කුළුබඩු’ ගණනාවක් තිබෙනවා. ඒ අංගයන්ගෙන් අපේ ටෙලිවිෂන් ක්‍ෂෙත‍්‍රය තවමත් පවතින්නේ ළදරු මට්ටමකයි.

මෙයට හේතුව මුදල් නැති වීමට වඩා දැක්මක් හා පරිකල්පනයක් නොතිබීමයි. ටෙලිවිෂන් කර්මාන්තය පොදුවේ ගත් විට අති විශාල මුදල් ප‍්‍රමාණයක් දැන්වීම් හා අනුග‍්‍රහකයන් වෙතින් එයට ගලා එනවා. එහෙත් මීට පෙරද මා පෙන්වා දී ඇති පරිදී, ටෙලිවිෂන් ගුවන් කාලය පුරවන්නට ඍජුව ම දායක වන ශිල්පීන්ට ගෙවන්නේ හැකියාවට හා ශ‍්‍රමයට සාධාරණ නොවූ ඉතා අඩු ගෙවීමක්.

ටෙලිවිෂන් වැඩසටහන් නිෂ්පාදනයට හා විකාශයට ඉහළ වියදමක් යන බව ඇත්ත වුණත් ඒ ආයෝජනය නිසි ලෙස බෙදී යන්නේ නැහැ. හොඳ වැඩසටහන් නිපදවන්නට, ශිල්පීන්ට නිසි ලෙස පුහුණුව ලබා දෙන්නට මේ රටේ කිසිදු ටෙලිවිෂන් ආයතනයක් තම ආදායමින් සාධාරණ ප‍්‍රතිශතයක් වෙන් කරන්නේ නැති බව මා දන්නවා. කර්මාන්තය හා කලාව එක තැන පල් වන්නේත්, අනුකාරක හා සංකල්ප සොරකම බහුල වන්නේත් මේ නිසයි.

මෙහිදී මට සිහිපත් වන්නේ රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකේ ම හපන්කම් කළ, රූපවාහිනියේ මුල් ම නිවේදකයා බවට පත් වූ පාලිත පෙරේරාගේ වටිනා අදහසක්. වැඩසටහන් වඩාත් ජනතාවට සමීප හා ප‍්‍රයෝජනවත් වීමට නම් නිෂ්පාදකයන් අළුත් වූත් විවිධාකාර වූත් වැඩසටහන් ආකෘති බිහි කළ යුතු බව ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ ම වචනවලින් කිවහොත් අපේ විද්යුත් මාධ්‍යවලට අළුත් ‘අච්චු’ අවශ්‍යයි. ටෙලිවිෂන් නාලිකා ගණන වැඩි වුණත් ඒවායේ බොහෝ වැඩසටහන් ඒකාකාරී වීමට හේතුව නැවුම් ආකෘති හෙවත් අළුත් ‘අච්චු’ සොයා ගන්නට නිර්මාණාත්මක අත්හදා බැලීම් සිදු නොවීමයි.

මෙරට හෝ විදෙස් රටක හෝ එක් නාලිකාවක ජනප‍්‍රියත්වයට පත් වූ ආකෘතියක් අමු අමුවේ කොපි කිරීම ලෙහෙසියි. එහිදී නව නිර්මාණයක් කිරීමේ අභියෝගය හා අවදානම මතු වන්නේ නැහැ. ඇතැම් නිෂ්පාදකයන්ට අළුත් දෙයක් කිරීමේ ඕනෑකම තිබුණත් එයට අවකාශය හා පහසුකම් ඔවුන්ගේ නාලිකාවලින් ලැබෙන්නේ ද නැහැ. ආප්ප පුච්චන්නා සේ එක ම මාදිලියේ වැඩසටහන් දිගින් දිගට ම අප දකින්නේ ඒ නිසයි.

මෙරට ටෙලිවිෂනයට වසර 25ක් පිරීම සමරන්නට 2004දී කොළඹ මහවැලි කේන්‍ද්‍රයේ පැවති මහජන රැස්වීමකදී මේ සාධනීය යථාර්ථය මා මතු කළ විට එයට දැඩි විරෝධයක් දැක් වූයේ මෙරට ටෙලිවිෂන් පුරෝගාමියෙක්. ‘අත්දැකීම් අඩු’ මා වැන්නන්ට ප‍්‍රශස්ත ටෙලිවිෂන් කලාවක් හා කර්මාන්තයක් ගැන ‘සිහින මැවීම’ ලෙහෙසි වූවත්, ව්‍යාපාරයක් හැටියට ටෙලිවිෂන් විකාශයක් පවත්වා ගෙන යාමේ බැරුම්කම දන්නා ඔහු වැනි අයට මේ ‘අළුත් අච්චු’ ගැන සිතන්නට ඉඩක් නැති බවට ඔහු තර්ක කළා!

ටෙලිවිෂන් ව්‍යාපාරිකයන් සමග මගේ විවාදයක් නැහැ. වාණිජමය, දේශපාලන හා සමාජයීය යථාර්ථයන්ට දිනපතා මුහුණ දෙමින් අපේ රටේ ටෙලිවිෂන් නාලිකාවක් පවත්වාගෙන යාම ලොකු අභියෝගයක්. එහෙත් දිනපතා ගුවන් කාලය පුරවන්නට මොනවා හෝ නිපදවා විකාශය කිරීම නම් තව ටික කලකින් රොබෝවරුන්ටත් කළ හැකි වේවි. (දැනටමත් බොහෝ දුරට ස්වයංක‍්‍රීයව ක‍්‍රියාත්මක වන FM රේඩියෝ විකාශයන් වෙන රටවල තිබෙනවා.)

හිතන පතන මිනිසුන්ගෙන් ඊට වැඩි දෙයක් ටෙලිවිෂන් කලාවට හා කර්මාන්තයට අප අපේක්‍ෂා කරනවා. එය නොදී හැමදාමත් මේ ගතානුගතික, පරණ පුරුදු ‘අච්චු’ ටිකට ම වැඩසටහන් හදමින් සිටියොත් තව වසර කිහිපයකින් ඉන්ටර්නෙට් හා වෙනත් නව මාධ්‍යයන්වලට ටෙලිවිෂන් පේ‍්‍රක්‍ෂකයන් සංක‍්‍රමණය වේවි.

අපේ ටෙලිවිෂන් කලාව දියුණු නොවීමට තවත් හේතුවක් ලෙස මා දකින්නේ එයට සම්බන්ධ වූ බොහෝ දෙනාට ඒ මාධ්‍යය ගැන ලොකු කැක්කුමක්, ලෙන්ගතුකමක් නොමැති වීමයි. ටෙලිවිෂන් පටන් ගත් මුල් කාලයේ එයට අවශ්‍ය ශිල්පීන් සොයා ගත්තේ රේඩියෝ මාධ්‍යයෙන්. වෘත්තිය ජීවිතයේ වැඩි කලක් රේඩියෝවත් සමග වැඩ කොට එයට ඇලූම් කළ ඔවුන් බහුතරයකට ටෙලිවිෂන් මාධ්‍යයට හරිහැටි හුරු වන්නට හෝ නව මාධ්‍යයට මානසිකව ‘පෙම් බදින්නට’ නොහැකි වුණා.

ටික දෙනෙක් පමණක් ඒ මාධ්‍යයට නිසි ලෙස හැඩ ගැසුණා. පේ‍්‍රමකීර්ති ද අල්විස් හා පාලිත පෙරේරා එයින් දෙදෙනෙක්. එහෙත් වැඩි දෙනෙක් තැත් කළේ රේඩියෝ වැඩසටහන් ටෙලිවිෂන් ගත කොට පෙන්වීමටයි. මුල් යුගයේ අධ්‍යාපනික වැඩසටහන් සියල්ල ම පාහේ පන්ති කාමරයකට ටෙලිවිෂන් කැමරාවක් එල්ල කිරීමට සීමා වූයේ පරිකල්පනයේ හා දැක්මේ අඩුපාඩු නිසයි.

ITN කෙසේ වෙතත් රූපවාහිනියට නම් තාක්‍ෂණයෙන් හා ශිල්ප ඥානයෙන් විශාල පරිත්‍යාගයක් ජපානයෙන් ලැබුණා. නිසි ලෙස ටෙලිවිෂන් දේශීයකරණය කොට අපේ ම ටෙලිවිෂන් කලාවක් බිහි කරන්නට මේ ජපන් තෑග්ගෙන් අපි උපරිම වාසි නොගත් බවයි මා සිතන්නේ.

සිනමාවේ සිට ටෙලිවිෂන් මාධ්‍යයට සම්බන්ධ වූ ටික දෙනකුත් සිටියා. ඒ අතරින් ටයිටස් තොටවත්ත ටෙලිවිෂන් මාධ්‍යය ‘අපේකරණය’ කළ හැටි මා පසුගිය කොලමකින් විග‍්‍රහ කළා (2011 ඔක් 30). අපේ අවාසනාවට ටයි මාමා වැනි අය ඉතා දුර්ලභයි. ටෙලිවිෂන් මාධ්‍යයේ මුල් දශකය තිස්සේ මෙරට සිනමා ශිල්පීන් වැඩි දෙනා නව මාධ්‍යය දෙස බැලූවේ සැකය මුසු සාවඥ බවකින්.

සිනමාව ‘රිදී තිරය’ වන අතර ටෙලිවිෂනය ‘පුංචි තිරය’ වුණා. මේ දෙක ඍජුව සැසදිය නොහැකි, වෙනස් මාධ්‍ය දෙකක්. සිනමාවේ ශිල්පීන් පසු කලෙක වාණිජමය හේතූන් නිසා ටිකෙන් ටික ටෙලිවිෂන් කර්මාන්තයට සමීප වූවත් ඔවුන් වැඩි දෙනකු ආකල්පමය වශයෙන් ටෙලිවිෂනය තවමත් දකින්නේ චූල මාධ්‍යයක් හැටියටයි. මේ චූල මාධ්‍ය – මහා මාධ්‍ය බෙදීම නිසා සිනමාවෙන් එන අය ටෙලිවිෂනයේ එලිපත්තෙන් ඇතුළට ප‍්‍රවේශ වන්නේ නැහැ. ආවත් හැසිරෙන්නේ ආගන්තුකයන් හැටියට.

‘බඩ වියත සොයා ගන්නට ටෙලිවිෂන් වැඩ කළත් කවදා හරි යළිත් සිනමාවට යාමේ අදහස ඇති බව’ එබදු ඇතැම් ශිල්පීන් කියනවා. එහි වරදක් නැතත් එවැනි අය අතින් මෙරට ටෙලිවිෂන් කලාව හෝ කර්මාන්තය දිගුකාලීනව දියුණු වන්නේ නැහැ.

ටෙලිවිෂන් යනු ලෝකය දකින්නට, දැනුම් සයුරේ සැරිසරන්නට අපට තිබෙන මැජික් පලසක්. මේ මැජික් විභවය ගැන නොදැන අප බොහෝ දෙනා ටෙලිවිෂන් පලස යොදා ගෙන ඇත්තේ දෙපා පිස දමන්නට පමණයි! මේ පලස මත නැගී විශ්වය පුරා ගමන් කරන්නට හැකියි. අපි දැන්වත් ටෙලිවිෂනයේ මැජික් බලයෙන් වැඩ ගනිමු ද?