සිවුමංසල කොලූගැටයා #68: විදු උරුමය රැක ගන්නට බැරි අපේ විද්‍යාඥයෝ

Percy B Molesworth
Percy B Molesworth
This week’s Ravaya column (in Sinhala) is dedicated to a forgotten Ceylonese astronomer who died over a century ago, and now has a Martian crater named after him. He was Percy Molesworth (1867 – 1908).

Most people in the land of his birth have never heard of him, and therein hangs a sad tale of how the country neglects its intellectual and scientific heritage. I have written about him in English some years ago. See: From Trincomalee to Mars: The fascinating journey of Percy B Molesworth

නිධන් හොරුන්ගෙන් පුරාවස්තු හා කෞතුක වටිනාකමක් ඇති ස්ථාන රැක ගන්නේ කෙසේ ද? මේ ප‍්‍රශ්නය ජන සමාජයේත්, මාධ්‍යවලත් මේ දිනවල නිතර කථාබහ කැරෙනවා. එහිදී ඇතැම් දෙනා කියන්නේ නිසි උගත්කමක් ඇති විද්වතුන්ට මේ රටේ හරි තැනක් හා තීරක හැකියාවක් තිබුණොත් උරුමය රැක ගැනිම වඩා පහසු වනු ඇති බවයි.

තර්කයක් ලෙස එය වැදගත් වුවත්, හැම උගතකූම එක හා සමාන ලෙසින් සමාජයීය හා ජාතික වගකීම්වලට උර නොදෙන බව අප දන්නවා. ඇත්තට ම අපේ රටේ බොහෝ ප‍්‍රශ්න උ‍්‍රග‍්‍රවීමට ප‍්‍රබල හේතුවක් නම් පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් (public intellectuals) හිඟවීමයි. ඒ වෙනුවට අපට සිටින්නේ ඇඟ බේරා ගෙන වැඩ කරන, පටු ලෙස සිය වෘත්තීමය කාර්ය භාරය විග‍්‍රහ කර ගන්නා විද්වත් බහුතරයක්.

විද්‍යා හා තාක්ෂණ ක්ෂේත‍්‍රවල උරුමයට (heritage) අදාල ස්ථාන හා වස්තු ද තිබෙනවා. මේවාට වෙළඳපොලේ එතරම් ද්‍රව්‍යමය වටිනාකමක් නොලැබුණත් අපේ රටේ නව දැනුම හා නව නිපැයුම් සොයා යාමේ ඉතිහාසය ගැන විමසන විට විද්‍යාත්මක උරුමයට අදාළ ස්ථාන හා භාණ්ඩ රැක ගැනීම වැදගත් වනවා. ශ‍්‍රී ලංකාවේ නීතිමය නිර්වචනයට අනුව වසර සියයට වඩා පැරණි භාණ්ඩයක කෞතුක වටිනාකමක් හා පුරා විද්‍යාත්මක වැදගත්කමක් ඇතැයි සැළකෙනවා.

ශ්‍රී ලංකාවේ ඓතිහාසික වශයෙන් වැදගත් ම දුරදක්නය ප‍්‍රවේශම් කර නොගැනීමේ ඛේදවාචකයත් මේ කථාවට අදාලයි. විද්‍යා හා තාක්ෂණ උරුමයක් රැක ගැනීමට අපොහොසත් වූ මේ රටේ පැරණි ම සරසවිය ගැන අප සිහිපත් කරන්නේ ආයතනයකට නිගරු කිරීමට නොව උගත් සැවො ම එක සේ වගකීම් නොදරණ බවට උදාහරණයක් ලෙසයි.

Molesworth crater on Mars

ඒ සඳහා අප සියවසකට වඩා අතීතයට යා යුතුයි. මෙරට නූතන තාරකා විද්‍යා නිරීක්‍ෂණයේ පුරෝගාමියා ලෙස අවිවාදයෙන් සැළකෙන්නේ පර්සි බ්‍රේබෲක් මෝල්ස්වර්ත් (Percy Braybrooke Molesworth, 1867-1908). බි‍්‍රතාන්‍ය දෙමවුපියන්ට ලංකාවේ ඉපදී, ජීවිතයේ වැඩි කාලයක් මෙරට ගත කර, මෙරට ම මිය ගිය ඔහු වෘත්තියෙන් හමුදා ඉංජිනේරුවරයෙක්. එහෙත් වැඩි උනන්දුව තිබුණේ තාරකා විද්‍යා නිරීක්‍ෂණවලටයි.

පර්සිගේ පියා, ශ‍්‍රීමත් ගිල්ෆඞ් ලින්ඩිසේ මෝල්ස්වර්ත් ලංකා දුම්රිය සේවයේ ප‍්‍රථම සාමාන්‍යාධිකාරවරයා. මෙරට මුල් ම දුම්රිය 1864 දෙසැම්බරයේදී කොළඹ සිට අඹේපුස්ස දක්වා ධාවනය කොට ඉතිහාසගත වී තිබෙනවා.

බි‍්‍රතාන්‍යයේ අධ්‍යාපනය ලබා හමුදා පුහුණුව ද ලද පර්සි මෝල්ස්වර්ත්, කෙටි කලක් හොංකොංහි සේවය කිරිමෙන් පසු තමා උපන් රට වූ ලංකාවට ආවා. 1896දී ත‍්‍රිකුණාමලයේ කොටුවට අනුයුක්ත කරනු ලැබු ඔහු, රාජකාරි වශයෙන් කාර්යබහුල නොවූ නිසා වැඩි කාලයක් ගත කළේ තාරකා විද්‍යා නිරීක්ෂණවලටයි. එම ක්ෂේත‍්‍රයේ උසස් අධ්‍යාපනයක් ලබා නොසිටියත් ඉතා උද්යෝගිමත් හා ක‍්‍රමානුකූල ආධුනික තාරකා විද්‍යාඥයකු ලෙස ඔහු ශාස්ත‍්‍රීය වශයෙන් වැදගත් ගවේෂණ රැසක් කළා.

ඒ සඳහා අඟල් 12.5 ක (සෙමී 32) පරාවර්තක දුරදක්නයක් බි‍්‍රතාන්‍යයේ සිට ගෙන වූත් සිය ගෙවත්තේ සවි කළා. 1890 දශකයේ හා විසිවන සියවසේ මුල් වසර කිහිපය තුළ ජාත්‍යන්තර වශයෙන් පිළි ගැනීමට ලක් වූ පර්යේෂණාත්මක සොයා ගැනීම් ගණනාවක් කිරීමට ඔහු සමත් වුණා.

විශේෂයෙන් ම චන්ද්‍රයා හා ග‍්‍රහලෝක නිරික්ෂණයටත්, ඒවා දුරදක්නයක ආධාරයෙන් සිතුවම් කිරීමටත් පර්සි ලොකු උනන්දුවක් දැක්වුවා. මේ නිරීක්ෂණවල සුක්ෂම බව හා ඔහු කළ විද්‍යාත්මක නිබන්ධන නිසා 1898දී බි‍්‍රතාන්‍යයේ රාජකීය තාරකා විද්‍යා සංගමයේ (Royal Astronomical Society, RAS) සාමාජිකත්වය ඔහුට පිරිනමනු ලැබුවා.

බ‍්‍රහස්පති ග‍්‍රහයා මතුපිට සුවිශාල වායුගෝලීය කැළඹීමක් ලෝකයේ තාරකා විද්‍යාඥයන් හැමට පෙර මුලින් ම ඔහු නිරීක්ෂණය කලේ 1901දී. මේ නිසා ලෝකයේ ප‍්‍රමුඛතම නිරීක්ෂණාත්මක තාරකා විද්‍යාඥයකු ලෙස ප‍්‍රසිද්ධියට පත් ඔහු ලංකා දුපතට ද කීර්තියක් ගෙන ආවා.

මෝල්ස්වර්ත් වයස 41දී අකාලයේ මිය ගියේ 1908දී. ඉන් පසු ඔහුගේ ත‍්‍රිකුණාමලයේ නිරීක්‍ෂණාගාරය ගරා වැටුණා. එහි තිබූ ඔහුගේ දුරදක්නය යම් ආකාරයකින් කාලයාගේ ඇවෑමෙන් කොළඹට ගෙනෙනු ලැබුවා.

එය මුලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට අයත් නිරීක්ෂණාගාරයේ තිබුණු බවත්, පසුව කොළඹ සරසවියට තෑගි කළ බවත් වාර්තාවලට අනුව තහවුරු වනවා. රීඞ් මාවතට සමාන්තර කොළඹ සරසවි ක‍්‍රීඩා පිටියේ dome ආකාර කුඩා ගොඩනැගිල්ලක එය පිහිටුවනු ලැබුවා.

එහි නඩත්තුව හා භාවිතය විද්‍යා පීඨයේ ඇදුරන්ට හා සිසුන්ට භාර වී තිබුණා. එහෙත් කලින් කලට ඔවුන් වෙනස් වන විට දුරදක්නය නඩත්තුවේ අඩුපාඩුකම් ද සිදු වුණා. ආයතනික මට්ටමෙන් මේ වටිනා විද්‍යාත්මක උපකරණය ගැන තැකීමක් කොළඹ සරසවියට කිසිදිනක තිබුණා ද යන්න සැක සහිතයි.

1970 දශකය මුල් කාලයේ ආචාර්ය වී කේ සමරනායකගේ මූලිකත්වයෙන් මේ ඓතිහාසික දුරදක්නය අළුත්වැඩියා කළ හැටි තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගට හොඳට මතකයි. ඉනික්බිති එය වසර ගණනාවක් රාත‍්‍රී අහස නිරීක්සන්නට යොදා ගත්තා.

1988දී රට කැළඹී තිබුණු අවස්ථාවේ මේ දුරදක්නයේ ලෝහමය කොටස් කිසිවකු විසින් සොරකම් කරනු ලැබුවා. ඒ ගැන සොයා බලන්නට ඉස්පාසුවක් සරසවි බලධාරීන්ට හෝ පොලිසියට හෝ තිබුණේ නැහැ. මේ ගැන මා ලියූ ලිපියක් ‘The Death of an Observatory’ මැයෙන් 1988 මාර්තු 26 වනදා The Island පත‍්‍රයේ පළ වුණා. උතුරේ හා දකුණේ සන්නද්ධ අරගලයන් දෙකක් මුළු රට ම භීතියට හා පීඩනයට ලක් කර තිබූ එවැනි වකවානුවක මෙබදු සොරකමක් ගැන මාධ්‍ය හරහා කථා කිරීම ගැන මාධ්‍ය සහෘදයන් සමහරකුගෙන් මට දොස් අසන්නට ද සිදු වුණා.

1988 කොල්ලකෑමෙන් පසු මෝල්ස්වර්ත් දුරදක්නය හරිහැටි පිලිසකර වුයේ නැහැ.
පර්සි මෝල්ස්වර්ත්ගේ විද්‍යා ගවේෂණ ගැන මහත් සේ පැහැදී සිටි ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් ද මේ තත්ත්වය වෙනස් කරන්නට උත්සහා කළා. 2003-04 කාලයේ රෝද පුටුවෙන් කොළඹ සරසවියට ගිය ක්ලාක්, නිරීක්ෂණාගාරයේ තත්ත්වය දැක කම්පාවට පත් වුණා. කොළඹ සරසවියේ එවකට සිටි උපකුලපතිවරයාට ලියුමක් ලියමින් ක්ලාක් ඉල්ලා සිටියේ ප‍්‍රමාද වී හෝ මෝල්ස්වර්ත්ගේ දුරදක්නයේ ඉතිරිව තිබෙන කොටස් සංරක්‍ෂණය කරන ලෙසයි.

Sir Arthur Clarke, sitting next to the historic telescope, shows a photo of Crater Molesworth
Sir Arthur Clarke, sitting next to the historic telescope, shows a photo of Crater Molesworth

‘ඔබේ සරසවියේ විද්‍යාත්මක උපකරණ අතරින් වඩාත් ම පැරණි හා ඓතිහාසිකව වැදගත් උපකරණය මෙයයි,’ ක්ලාක් කීවා. එහෙත් මේ ලිපියට සරල පිළිතුරක්වත් ලැබුණේ නැහැ. එබදු ලිපි දෙක තුනක් එවකට සිටි උපකුලපතිවරයාට ලියු බව මා දන්නවා. මොරටුව සරසවියේ කුලපති ලෙස වසර 22ක් (1979 – 2002) කටයුතු කළ ක්ලාක්ගේ ලිපියකට පිළිතුරු එවීමටවත් කොළඹ සරසවි පාලකයන්ට උවමනාවක් තිබුණේ නැහැ!

මේ අතර මෝල්ස්වර්ත්ගේ නිරීක්ෂණ සටහන්, වාර්තා පොත් හා පර්යේෂණ පත‍්‍රිකා අද දක්වා ලන්ඩන් නුවර RAS පුස්තකාලයේ සුරැකිව තිබෙනවා. ඔහුගේ විදවත් දායකත්වය ලෝක මට්ටමින් ඇගැයීමට ලක් කළ ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය (International Astronomical Union, IAU) 1973දී අඟහරු ග‍්‍රහයා මතුපිට කිමි 175ක් පළල් වූ ආවාටයක් ඔහුගේ නමින් නිල වශයෙන් නම් කළා. (ආකාශ වස්තුවලට නම් දීමේ වරම සතු එක ම විද්වත් සංවිධානය වන IAU හරහා මෙසේ පිළි ගැනීමට පත්ව ඇත්තේ ලාංකිකයන් අතලොස්සක් පමණයි. 2011 අපේ‍්‍රල් 3දා කොලම බලන්න.)

එහෙත් මේ පුරෝගාමී තාරකා විද්‍යාඥයාගේ විද්වත් දායකත්වය ගැන ශ‍්‍රී ලංකාවේ කිසිදු පිළි ගැනිමක් හෝ ඇගයීමක් හෝ සිදු වී නැහැ. මෝල්ස්වර්ත් මිය ගොස් සියවසක් පිරුණු 2008 දෙසැම්බරයේ මේ කථාව සම්පිණ්ඩනය කර මා Sunday Times පත‍්‍රයට ලිපියක් ලිව්වා.

එය අවසන් කරමින් මා කීවේ “ඔහු ඉපිදල වැඩි කාලයක් ගත කළ රටෙහි පර්සි මෝල්ස්වර්ත් ගැන මතකයන් නැතත් ඒ දුපතෙන් කිමි මිලියන ගණනක් දුරින් පිහිටි රතු ග‍්‍රහයා මතුපිට මෝල්ස්වර්ත් ආවාටය ඔහුගේ නම විශ්වයට සිහිපත් කර දෙනවා.” http://tiny.cc/PercyM

පසුගිය වසරේ ඔක්තෝබරයේ ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික දුරදක්නය ගැන බොරු මාධ්‍ය කලබලයක් ඇති වූ විට කොළඹ සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න උපුටා දක්වමින් කියා තිබුණේ “මේ දුරදක්නය ඇතුළු ආතර් සී. ක්ලාක් පරිහරණය කළ දෑ අනාගත පරපුරට දැක ගැනීමට හැකි ස්ථානයක සංරක්‍ෂණය කළ යුතු” බවයි. මේ සඳහා රජයට මැදිහත් විය හැකි ද යන්න පුවතෙන් ප‍්‍රශ්න කොට තිබුණා. (2011 ඔක්තෝබර 9දා කොලම බලන්න.)

තමන්ගේ සරසවියේ ම තිබුණු මෙරට වටිනා ම දුරදක්නය රැක ගන්නට අපොහොසත් වූ විද්‍යාඥයන්ට, ක්ලාක්ගේ වසර 30ක් නොපැරණි පෞද්ගලික දුරදක්නය රැක ගන්නට යයි මාධ්‍ය ප‍්‍රකාශ කිරීමට සදාචාරමය අයිතියක් ඇත් ද?

සිවුමංසල කොලූගැටයා #67: විකල්ප ඉතිහාසය 2 – ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා නම්…

In this week’s Ravaya column, published on 20 May 2012, I continue exploring alternative history scenarios for Sri Lanka, a quest started a couple of weeks ago.

I speculate WHAT IF there was a different outcome of the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon on 5 April 1942, exactly 119 days after the Pearl Harbour attack in Hawaii?

What if Ceylon fell to Japanese rule, just like Burma, Malaya and Singapore did? How might that have changed the course of World War Two, and the future of the then British colony of Ceylon?

“අපේ ශ්‍රේෂ්ඨ ඉතිහාසට අත නොතබනු!”

විකල්ප ඉතිහාසයන් ගැන විද්‍යා ප‍්‍රබන්ධ කථා ස්වරූපයෙන් පරිකල්පනය කළ හැකිදැයි 2012 මැයි 6දා කොලමින් මා ඇසූ පැනයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි. මා බලාපොරොත්තු වූ පරිදි ම ලංකාවේ ඉතිහාසය ශුද්ධ ලේඛනයක් සේ සළකන ඇතැම් දෙනා ඒ ගැන විවෘත මනසකින් විමසනවාට හෝ එය පාදක කර ගෙන නිර්මාණශීලිව කථා ගොතනවාට හෝ නොකැමති බව පෙනෙනවා. ඒ සමග ම එයට අනුබල දෙන ප‍්‍රතිචාර කිහිපයකුත්, “සිංහල පාඨකයන්ට ඕවා වැඩක් නැහැ” යන උදාසීන අවවාදයත් ලැබුණා.

ඉතිහාසය ගැන තනි විග‍්‍රහයකට මා එකග නොවන නිසාත්, ඉතිහාසගත පදනමක සිට පරිකල්පනය කිරිමේ නිර්මාණාත්මක නිදහස ගැන මා විශ්වාස කරන නිසාත් විකල්ප ඉතිහාස ගවේෂණයේ තව පියවරක් අද තබනවා.

මින් පෙර හැම කොලමකින් ම මා දැක් වූ අදහස් මෙන් ම මෙහි අන්තර්ගතය ද සංවාදයට විවෘතයි. එහෙත් ඉතිහාසයේ “උරුමක්කාරයන්” හැටියට පෙනී සිටින කිහිප දෙනෙකුගේ අධිපතිවාදය මා පිළි ගන්නේ නැහැ.

2012 අපේ‍්‍රල් 8දා මගේ කොලමේ තේමාව වූයේ 1942 අපේ‍්‍රල් මාසයේ ශ‍්‍රී ලංකාවට එල්ල වූ ජපන් ගුවන් ප‍්‍රහාරය හා එහිදී සිදු වූ සන්නිවේදන අවුලයි. වචන 1,300ක විග‍්‍රහය තුළ තනි වැකියක් ලෙස මා කියා තිබුණේ “යටත් විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පක්ෂ වීම” යන්නයි. මේ වචන 16 ගැන හිතමිතුරු පාඨක දෙපලක් මගේ බ්ලොග් අඩවිය හරහා දින ගණනක් වාද විවාද කළා. මෙබදු සංවාද ඇති වනවාට මා කැමතියි. http://tiny.cc/EastAt

ඒ ඔස්සේ තවත් කරුණු සෙවූ මට දැන ගන්නට ලැබුණේ එවකට මෙරට දක්ෂිනාංශිකයන් පවා ජපන් නියෝජිතයන් සමග ගනුදෙනු පවත්වා ඇති බව. 1978 විධායක ජනාධිපති වූ ජේ. ආර් ජයවර්ධන 1979දී ජපානයේ නිල සංචාරයක නිරත වෙමින් හෙළිදරව්වක් කළා. තෝකියෝවේ අධිරාජ මාලිගාවේ භෝජන සංග‍්‍රහයකදී ඔහු කීවේ 1940-42 වකවානුවේ මෙරට ජපන් පාලනයකට නතු වුව හොත් කළ හැකි දේ ගැන තමන් රහසිගතව ජපන් නියෝජිතයන් සමග සාකච්ඡ කළ බවයි. ජපන් පාලනයකින් පසු ලංකාවට නිදහස ලබා ගැනීමේ යම් ප‍්‍රතිඥාවක් තමන් ජපන් නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වූ බවත් ජේ. ආර්. කියා සිටියා!

මේ නිසා මෙරට වාමාංශික මෙන් ම දක්ෂිණාංශික ජන නායකයන් ද ජපන් ආක‍්‍රමණයක හැකියාව තක්සේරු කරමින් සිටි බව සිතා ගත හැකියි. මේවා ගැන විවෘතව කථා කිරීම කිසිවකුට අපහාස කිරිමක් හෝ යම් දේශපාලන සම්ප‍්‍රදායයකට නිගරු කිරීමක් හෝ නෙවෙයි. ඉතිහාසයේ අභියෝගවලට විවිධ පුද්ගලයන්, ජන සමාජ හා රටවල් මුහුණ දෙන එකිනෙකට වෙනස් ආකාරයන් ඔස්සේ ඔවුන්ගේ අනාගතය තීරණය වෙනවා.

අපේ‍්‍රල් 8දා මා විස්තර කල පරිදි ජපන් ආක‍්‍රමණය ගැන පැය 12ක පමණ අනතුරු ඇගවීමක් ලැබුණේ ඉන්දියානු සාගරයට ඉහළින් නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටි කැනේඩියානු ගුවන් නැවියකුගෙන්. එය නොලැබී යාමෙන් හෝ ලැබීමෙන් පසුව වුවත් ආරක්ෂක සුදානමේ දුර්වලකමකින් හෝ 1942 අපේ‍්‍රල් ජපන් ආක‍්‍රමණය සාර්ථක වූවා යයි මොහොතකට සිතන්න. ඉන්දියානු සාගරයේ බල තුලනය ඉතා සියුම්ව පැවති ඒ අවස්ථාවේ ලංකා දුපත අල්ලා ගැනීමට හොඳ ඉඩක් ජපන් හමුදාවට තිබුණා.

සිංගප්පුරුව දෙවන ලෝක යුද්ධ සමයේ ජපන් හමුදා අතට පත් වුයේ 1942 පෙබරවාරි 15 වනදා. ඔවුන් එය සියොනන්තෝ ලෙස නැවත මේ නම් කර වසර තුනකට වැඩි කාලයක් දරදඩු පාලනයක් ගෙන ගියා. එම පාලනය බිඳ වැටුණේ 1945 අගෝස්තුවේ ජපානය යටත් වීමෙන් පසුවයි.

එවකට සිංගප්පුරුවේ රදවා තිබු මිත‍්‍ර පාක්ෂික හමුදා හා යුද්ධ අවිවලට වැඩි ප‍්‍රමාණයක් ලංකාවේ තිබු බව වාර්තාගතයි. ලංකාවේ සාගර බල පදනම යොදා ගනිමින් ජපන් හමුදා සමස්ත ඉන්දියානු සාගරය හා මැදපෙරදිගට බලය පතුරුවා හැර දෙවන ලෝක යුද්ධයේ ඉරණම වෙනස් කරන්නට පවා හැකියාවක් තිබුණා.

එසේ වූවා නම් අපේ ඉතිහාසය කෙලෙස වෙනස් විය හැකිව තිබුණා ද? පෘතුග‍්‍රිසි, ලන්දේසි හා බි‍්‍රතාන්‍ය පාලකයන්ට අමතරව ජපන් ආඥාදායකත්වයකට ද නතු වීමෙන් පසු මෙරට සාමාන්‍ය ජනතාවගේ හා දේශපාලන නායකයන්ගේ ආකල්ප හා ක‍්‍රියාකලාපය කෙසේ වෙනස් වෙයි ද?

එසේ නම් මෙරට රඳවා සිටි සියළු මිත‍්‍ර පාෂික හමුදා නිලධාරින් හා හමුදා භටයන් ජපානයේ යුධ සිරකරුවන් බවට පත් වනවා. සිවිල් පරිපාලනයේ නිරතව සිටි සියළු දෙනා ජපන් හමුදා පාලනයකට නතු වනවා. මෑත ඉතිහාසයේ කිසි විටෙක පුර්ණ හමුදා පාලනයකට යටත් වී අත්දැකීම් නැති ලාංකිකයන්ට මෙහි ඵල විපාක එක්වර සිතා ගන්නටත් අමාරුයි.

මගේ බ්ලොග් අඩවියේ සංවාදයට පිවිසුණු එක් පාඨකයකු පෙන්වා දී ඇත්තේ දෙවන ලෝක යුද්ධයේ තමන් යටත් කර ගත් ආසියාතික රටවල සාමාන්‍ය ජනතාවට ජපන් හමුදා ඉතා කෲර ලෙස සළකා ඇති බවයි. බුරුමය, මලයාව, සිංගප්පුරුව වැනි රටවල් වසර කිහිපයක් නිර්දය ජපන් පාලනයකට නතු වී සිටියා.

එවකට ජපන් හමුදාවල තිබුණු එක ම ඉලක්කය හා අරමුණ වුයේ අමෙරිකාව, බි‍්‍රතාන්‍ය, සෝවියට් දේශය ප‍්‍රමුඛ වු මිත‍්‍ර පාක්ෂික රටවල් පරදවා ජර්මනිය හා ඉතාලියන් සමග ලෝකයේ ප‍්‍රබලතම රට බවට පත්විමයි. මේ සඳහා යන ගමනේදී ඕනෑ ම කැපවීමක් මෙන්ම විනාශකාරී ක‍්‍රියාවක් කිරිමට ඔවුන් නැඹුරුව සිටියා.

මා මෙසේ කියන්නේ ඉතා හොදින් තහවුරු වූ ඓතිහාසික වාර්තා අනුවයි. මෙහිදී අප සිහි තබා ගත යුත්තේ එසේ ආක‍්‍රමණකාරී වූයේ ස්වභාවයෙන් ම සියුම් හා සංවේදී ජපන් ජනයා නොව යුධ කාමයෙන් හා ජාතිකත්වයෙන් උමතු වී සිටි ජපන් හමුදා බවයි. මේ නිසා ලංකාව එදා ජපන් ආක‍්‍රමණයට නතු වූවා නම් අපේ රට කබලෙන් ලිපට වැටෙන්නට ඉඩ තිබුණා.

ජපන් සමාජය හා ජපන් රට ගැන මගේ ලොකු පැහැදීමක් තිබෙනවා. මට ජපන් මිතුරන් රැසක් සිටිනවා. වසර විස්සකට සිට මා අවස්ථා ගණනාවක් ජපානයේ සංචාරය කොටල ජපන් සරසවිවල දේශන පවත්වාල ජපන් චිත‍්‍රපට උළෙලවල ජුරි සභිකයකු ලෙස කටයුතු කොට තිබෙනවා. දෙවන ලෝක යුද්ධය හා එහිදී ජපන් හමුදා කළ හිරහැර ගැන අද දක්වා ජපන් ජාතිකයන් සමාව භජනය කරනවා. මේ නිසා අද අප දන්නා හිතමිතුරු ජපානය හා 1942 බලකාමී ජපන් හමුදා ක‍්‍රියා කලාපය පටලවා නොගත යුතුයි.

ශ‍්‍රි ලංකාවේ 1970 ගණන්වල සිට පදිංචිව මෙරට ඉතිහාසය ගැන ගවේෂණාත්මකව පොතපත ලියන බි‍්‍රතාන්‍ය ජාතික රිචඞ් බොයිල් මගේ විමසීමට ප‍්‍රතිචාර දක්වමින් මෙසේ කීවා: “ජපනුන් ලංකාව අල්ලා ගත්තා නම් දහස් ගණනක් මිත‍්‍ර පාක්ෂික හමුදා ඔවුන්ගේ යුධ සිරකරුවන් බවට පත් වනවා. බි‍්‍රතාන්‍ය පාලකයන් සමග වෙළඳ, සිවිල් හෝ වෙනත් සබඳතා පවත්වා ගෙන ගිය ලාංකිකයන් දහස් ගණනක් ද ඔවුන්ගේ සැකයට හා හිරිහැරවලට ලක් වනවා. සිංගප්පුරුවේදී කළ විදියට රටවැසියන්ට හා යුද්ධ සිරකරුවන්ට දරුණු ලෙස සැලකීම සිදු වූවා නම් ජපන් පාලනයෙන් මෙරට මුදවා ගන්නට යටිබිම්ගත කැරැල්ලක් ඇරඹිය හැකිව තිබුණා ද? එබන්දකට නායකත්වයක් දිය හැකිව තිබුණේ කාට ද? වඩාත් රණකාමී හෝ සාමකාමී වාතාවරණයක් බිහි වී කවදා කුමන පදනමක් මත ලංකාවේ ස්වාධිනත්වය ලබා ගනීද? මේවා ගැන අපට කළ හැක්කේ පරිකල්පනය පමණයි.”

සිංගප්පුරුව ජපන් පාලනයට යටත් වීමේ 70 වන සංවත්සරය මේ වසරේ ඔවුන් සමරනවා. මේ අරභයා ලියැවුණු ලිපි හා නිෂ්පාදිත වාර්තා වැඩසටහන් දෙස බලන විට පෙනී යන්නේ ජපනුන් සිංගප්පුරුව අල්ලා ගත් සතියේ හා ඉනික්බිති සිදු වූ මිනිස් ඝාතන, බලහක්කාරකම් හා අසාධාරණ දේපල අත්පත්කර ගැනීම ගැන 70 වසරකට පසුවත් සිංගප්පුරු වැසියන් තුළ කම්පනයක් හා පිළිකුලක් පවතින බවයි. එහෙත් තම කුඩා දුපතට වඩා විශාල බල අරගලයකට හසු වී තමන්ගේ එදිනෙදා ජිවිතය හා ඉතිහාසගත ඉරණම වෙනස් වූ ආකාරය ගැන ඔවුන් උපේක්ෂා සහගතව ආවර්ජනය කරනවා.

මීට සියවස් පහකට පෙර පෘතුගීසි ආගමනයටත් කලින් අපේ දිවයින චීන බල පරාක‍්‍රමයට නතු වී නම් අපේ අද දවස කුමක් විය හැකි ද? මේ ගැන තවත් කොලමකින් විපරම් කරමු!

සිවුමංසල කොලූගැටයා #66: රේඩියෝවෙන් ‘අපේකරණය’ කළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව

Four years ago, I wrote in a book review: “Here we have, straight from the original source, the story of how cricket became the de facto national past-time, if not our national addiction or religion! Like it or hate it, cricket is an integral part of our popular culture. Radio (and later TV) cricket commentaries take much of the credit (or blame, in some people’s view) for building up this uncommon fervour that occasionally unites our otherwise utterly and bitterly divided nation.”

In this week’s Ravaya column (in Sinhala), I dip into broadcasting history of Ceylon/Sri Lanka to find out more about the origins of live cricket commentaries in Sinhala. A principal source is the book I reviewed in 2008 soon after it came out: Palitha Perera Samaga Sajeeva Lesin (Live with Palitha Perera).

I refer to the pioneers of Sinhala cricket broadcasting over radio: Karunaratne Abeysekera and Palitha Perera. The duo drew guidance from their seniors like D M Colombage and H M Gunasekera.

Palitha Perera, who did the first ball-by-ball cricket commentary in Sinhala in March 1963, is still engaged in this enthralling practice nearly half a century later. He is now one of the three seniormost cricket commentators in the world with the longest track record.

L to R – H M Gunasekera, Palitha Perera, Karunaratne Abeysekera

කෘතහස්ත නිවේදක, මාධ්‍යවේදී හා මාධ්‍ය පරිපාලක එච්. එම්. ගුණසේකර සූරීන් අප අතරින් වියෝ වී දස වසක් පිරෙන්නේ මැයි 11 වනදාටයි. රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකෙහි ම හපන්කම් කළ ඔහු, අපට ගැලපෙන විද්යුත් මාධ්‍ය කලාවක් බිහි කරන්නට විශාල මෙහෙවරක් ඉටු කළා. ඔහු ගැන ගුණ සැමරුමක් වෙනුවට ඔහුත් යම් තරමකට සම්බන්ධ වූ මෙරට විද්යුත් මාධ්‍ය කලාවේ ජයග‍්‍රහණයක් ගැන අද මා විග‍්‍රහ කරනවා. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දේශීයකරණය හෙවත් අපේකරණය කරන්නට රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් වූ කථාවයි.

ජාති, ආගම්, කුල, දේශපාලන පක්‍ෂ හා වෙනත් සාධක නිසා දැඩි ලෙස භේද වූ අපේ රටේ සියළු දෙනා එක්සත් කරන දුර්ලභ පොදු සාධකයක් නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවයි. එංගලන්තයේ බිහි වී, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් මෙරටට හදුන්වා දෙනු ලැබ, දශක ගණනාවක් අපේ ඉහළ පැළැන්තියේ අයට සීමා වී තිබූ කි‍්‍රකට්, මුළු රටම ආදරයෙන් වැළඳ ගත්තේ කෙලෙස ද? අපේ දේශීයත්වයට සමීප තවත් ක‍්‍රීඩා තිබුණත් ඒ සියල්ල අභිබවා බාල-මහලූ-නාගරික-ගැමි-දුප්පත්-පොහොසත් හැම දෙනකු ම අතර වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව හා ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අංගයක් බවට ක‍්‍රිකට් පත් වූයේ කෙසේ ද?

එය අහම්බෙන් සිදු වූවක් නොවෙයි. නිල බලයෙන් දියත් කළ මහ ව්‍යාපෘතියක් ද නොවෙයි. එයට බොහෝ කොට ම හේතු වූයේ රේඩියෝ මාධ්‍යය හරහා සිංහලෙන් ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයයි. මේ සංස්කෘතික විප්ලවයේ අක්මුල් ගැන මා විපරම් කළා.

සිංහලෙන් ක‍්‍රිකට් තරග පිළිබඳ සාරාංශයන් රේඩියෝවෙන් ඉදිරිපත් කිරීම 1960දී ඇරඹුවේ නිවේදක කරුණාරත්න අබේසේකර විසින්. ඉරිදා දිනවල පස්වරු 5 සිට 6 දක්වා ඔහු ඉදිරිපත් කළ ‘සරස්වතී මණ්ඩපය’ වැඩසටහනෙන් ආනන්ද-නාලන්දා වාර්ෂික ක‍්‍රිකට් තරගයේ අවසන් දිනයේ අන්තිම පැය ආවරණය කළා.

ඔහු එසේ විවර කර දුන් මගෙහි ඉදිරියට ගිය ඊළග පුරෝගාමියා වූයේ 1961-62 වසරවල නාලන්දා පිළට ක‍්‍රීඩා කළ පාලිත පෙරේරායි. 1963 ජනවාරියේ ගුවන් විදුලි සේවයට බැදුණු ඔහු, ඒ වසරේ මාර්තුවේ ආනන්ද-නාලන්දා සමස්ත ක‍්‍රිකට් තරගය ම සජීව රේඩියෝ විස්තර ප‍්‍රචාරයක් කිරීමට යෝජනා කළා. එයට අවසර දුන්නේ එවකට සිංහල අංශයේ කථා සම්පාදක වූ එච්. එම්. ගුණසේකරයි.

පාලිත නාලන්දාවේ ආදි ශිෂ්‍යයකු වූ නිසා (සමබරතාව රැක ගනු පිණිස) ඔහුගේ සහයට කෙනකු ආනන්දයෙන් සොයා ගන්නා ලෙසත් එච්. එම්. පාලිතට කීවා. ඒ අනුව පාලිත පෙරේරාත් ආනන්දයේ එවකට විද්‍යා ගුරුවරයකු වූ රඝුනාත් වීරසූරියත් 1963 මාර්තු පැවති 34 වැනි ආනන්ද නාලන්දා ක‍්‍රිකට් තරගයේ මුල් ඕවරයේ සිට අන්තිම ඕවරය දක්වා සමස්ත ක‍්‍රීඩා තරගය ම සජීව ලෙසින් සිංහලෙන් විස්තර ප‍්‍රචාරය කළා.

කොළඹ බොරැල්ලේ, වනාතමුල්ලේ පිහිටි ඕවල් ක‍්‍රීඩාංගනයේ (දැන් පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනය) පැවති මේ තරගයේ විස්තර ප‍්‍රචාරය කිරීමේදී තාක්‍ෂණික මෙන් ම භාෂාමය අභියෝගවලට මුහුණ දුන් සැටි පාලිත ලියා තිබෙනවා. මේ ඉතිහාසය අද බොහෝ දෙනා දන්නේ නැති බවත්, දැන ගත්ත ද වැරදි අර්ථකථන නිසා ඒ දැනුම විකෘති වී ඇති බවත් පාලිත කියනවා.

කරුණාරත්න අබේසේකර 1960දී සංක්ෂිප්ත විස්තර ප‍්‍රචාර සිංහලෙන් අරඹන විට ඒ සඳහා ඔහුගේ රේඩියෝ ගුරුවරයා වූ ඞී. එම්. කොළඹගේ සූරීන්ගේ උපදෙස් ලද බව කරුගේ පුතු දිලීප අබේසේකර කියනවා. එල්ලේ ක‍්‍රීඩාවේ හමුවන පිත්ත, පන්දුව, කඩුල්ල වැනි වචන එලෙසින් ම ක‍්‍රිකට් සඳහා ද යොදා ගත් අතර වෙනත් යෙදුම් අවශ්‍යතාවයේ හැටියට සැනෙකින් සකසා ගනු ලැබුවා.

Live with Palitha Perera
Live with Palitha Perera

“පාලිත පෙරේරා සමග සජීව ලෙසින්” නමින් පාලිත 2008දී ලියූ පොතෙහි ඇති ආවර්ජනය තරමක් වෙනස්. සිය රේඩියෝ ජීවිතයේ මුල්ගුරු ලෙස ගෞරවපූර්වකව සළකන්නේ කරුණාරත්න අබේසේකරයන් බව හෘදයංගම ලෙස සඳහන් කරමින් පාලිත කියන්නේ සිංහලෙන් ක‍්‍රිකට් සන්නිවේදනයට අවශ්‍ය වූ වචන කෝෂය හා යෙදුම් වැඩිපුර ම නිර්මාණය වූයේ තමන් අතින් බවයි. එහෙත් භාෂා හා මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර දෙකේ දැවැන්තයන්ගේ උරහිස සිට වැඩි දුරක් දැකීමට හැකි වූ බව පාලිත නිහතමානීව පිලි ගන්නවා.

මුල් වසර කිහිපයේ පාලිත උපයෝගී කර ගත්තේ ක‍්‍රිකට් මූලධර්ම හා දර්ශනයට අනුකූල වූත්, සිංහල ශ‍්‍රාවකයන්ගේ දෙසවනට ගෝචර වූත් වචන හා යෙදුම් මාලාවක්. විජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාව අපේකරණයට මෙසේ උචිත වදන් පෙළක් බිහිකර ගැනීම තීරණාත්මක වූවා.

එහෙත් සිංහල පණ්ඩිතයන්ට මේ තරුණ නිවේදකයාගේ නව්‍යකරණය නොසෑහෙන්නට ඇති. ඒ නිසාදෝ ලංකා ගුවන්විදුලියේ (Radio Ceylon) අධ්‍යක්‍ෂ පාලිතට කියා සිටියා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සකසන ලද පාරිභාෂික ක‍්‍රිකට් වචන ලැයිස්තුවක් භාවිත කරන ලෙස. මේ අනුව පාලිත ඊළග ආනන්ද-නාලන්දා තරගයේදී මේ වචන යොදා විස්තර ප‍්‍රචාරය ඇරඹුවා.

ඒ යුගයේ ඕවල් ක‍්‍රීඩාංගනයේ වටේ ඇති මණ්ඩපවල කණුවල ලවුඞ්ස්පීකර් සවි කර විස්තර ප‍්‍රචාර එවේලේ ම එතැන සිටි සැමට සවන්දීමේ අවස්ථාව ලබා දී තිබුණා. Slips ක‍්‍රීඩකයන්ට සිංහල පණ්ඩිතයන් දී තිබූ යෙදුම “ලූහුට්ටා”. මේ අනුව පාලිතට කියන්නට සිදු වූයේ මෙවැනි විස්තර ප‍්‍රචාරයක්: “වැට රකින්නා ළගින් ම ලූහුට්ටන් පේලියක් ඉන්නවා. පළමුවැනි ලූහුට්ටා, දෙවැනි ලූහුට්ටා, තුන්වැනි ලූහුට්ටා….. දැන් මෙන්න ලූහුට්ටන් අතරින් පන්දුව ලූහුටලා හතරේ සීමාවට යනවා…!”

ටික වේලාවකින් කාර්මික නිලධාරී එඞ්මන්ඞ් තිලකරත්න පැමිණ පාලිතට මෙහෙම කිව්වා: “පාලිත මොනවද ඔය කියවන්නේ? අර පැවිලියන් එකේ ඉන්න මිනිස්සු එක දිගට හූ කියනවා ඕක අහලා!”

සජීව ප‍්‍රචරයේ රැදී සිටින අතර ගුවන්විදුලි අධිකාරීන්ට දන්වා උපදෙස් ගන්නැයි පාලිත ඔහුට කීවා. පාරිභාෂික වචන ලැයිස්තුව වහා නතර කිරීමට අනුමැතිය ලැබුණා. එදා මේ රටේ කි‍්‍රකට් ලෝලීන් හූ කිව්වේ පාලිතට නොවේ, අයෝග්‍ය වදන් පෙළක් බලෙන් සිංහල ශ‍්‍රාවකයන් මත පටවන්නට තැනූ සිංහල බක පණ්ඩිතයන්ටයි!

ඉනික්බිති සිදු වූ දෙය යළිත් පාලිතගේ ම වචනවලින්: “එහෙත් වැරැදීම් හා ප‍්‍රයර්ථන මගින් මා විසින් ම සකසා ගන්නා ලද ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර ප‍්‍රකාශයට ඇවැසි පාරිභාෂික වචන කෝෂය හා විස්තර යෙදුම් දිගට ම භාවිතයට ගත්තෙමි. හැත්තෑවේ දශකය පටන් ගන්නා විට එය රට ම පිළිගන්නා තරමට රටේ ව්‍යාප්ත වී තිබුණි. ඔප මට්ටම් කොට සාදා නිමවා තිබූ මෙම වචන කෝෂය ඊට පසු ආ මාධ්‍ය පරිහරනය කරන්නන් විසින් ලෙහෙසියෙන් ම භාවිතයට ගනු ලැබිණ.”

‘නොඉඳුල් ඕවරය’ යන්න කරු යෝජිත සිංහල වචනයක් වන අතර, ‘තණතිල්ල’ හා ‘නිලකුණු ඕවරය’ මහාචාර්ය විනී විතාරණ සූරින්ගේ නිමැවුම් බව පාලිත කියනවා. “දැවී යාම හදපු හැටි මටවත් මතක නැහැ. නමුත් දැන් එය ඉතා සමීප ලෙසින් සමාජගත වෙලා”, පාලිත මෑතදී මා සමග කීවා.

“අද ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන සියළු මාධ්‍යයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අරභයා භාවිතා කරන ක‍්‍රිකට් වචන කෝසයේ 95%ක නිර්මාණකරු මම වෙමි. මේ රටේ ක‍්‍රිකට් සිංහල සන්නිවේදන සාහිත්‍යයක් බිහි වීම සඳහා මගෙන් කෙරුණු මේ දායාදය පිළිබඳව කවුරුත් හෝ පිළිගැනිමක් හෝ සඳහනක් හෝ නොදැක්වීම කණගාටුවට කරුණකි,” යයි පාලිත සිය පොතේ ලියා තිබෙනවා (182-3 පිටු).

1963 මුල් ම සජීව සිංහල ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයට යොදාගත් විස්තර විචාරක අට්ටාලය ගැනත් කථාවක් තිබෙනවා. ලංකා ගුවන්විදුලියට එවකට තිබූ එක ම ඇලූමීනියම් අට්ටාලය (gentry) ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රකාශකයන් දෙදෙනාට වෙන් වුණා. එක අට්ටාලයේ සිට එකවර භාෂා දෙකකින් රේඩියෝ ප‍්‍රචාරයක් කළ නොහැකි නිසා අඹ ලී භාවිත කරමින් අඩි 5ක් පමණ උස කුඩා වේදිකාවක් තනා එය සිංහල විස්තර ප‍්‍රකාශකයන්ට දුන්නා. ඒ මත වරකට එක් අයෙකුට පමණක් පුටුවක් තබා හිඳ ගැනීමට ඉඩ තිබුණු අතර, හිසට උඩින් කිසිදු ආවරණයක් තිබී නැහැ.

Cricket in Sri Lanka – More than a game

මුල් විස්තර ප‍්‍රචාර සිංහලෙන් කළේ එක් අතකින් මයික‍්‍රෆෝනයත් අනෙක් අතින් කුඩයකුත් අල්ලා ගෙනයි! වසර කිහිපයක් සිංහල විස්තර ප‍්‍රචාරකයන් මේ තාවකාලික වේදිකාවට සීමා වූ අතර ඔවුන්ට ඇලූමීනියම් අට්ටාලය හිමි වූයේ 1968දී පමණ. ඒ වන විට සිංහල විස්තර ප‍්‍රචාර වඩාත් ජනප‍්‍රිය වී තිබුණා.

1963න් ඇරඹි පන්දුවෙන් පන්දුවට කරන සජිව ක‍්‍රීකට් විස්තර ප‍්‍රචාර ඉන් පසු සෑම වසරක ම ප‍්‍රධාන පාසල් ක‍්‍රිකට් තරග සඳහාත්, විටින් විට විදේශ ක‍්‍රිකට් කණ්ඩායම් මෙරටදී ශ‍්‍රි ලංකා පිල සමග තරග කරන විටදීත් ලබා දීමට පාලිත මුල් වුණා. ඒ සඳහා සහාය විස්තර ප‍්‍රචාරකයන් ලෙස තිලක සුදර්මන්ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක හා සිරිසෝම ජයසිංහ ආදීන් ද හවුල් කර ගත්තා.

1970 වන විට ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රචාර අභිබවා සිංහල විස්තර ප‍්‍රචාර බෙහෙවින් ජනප‍්‍රිය වුණා. 1971 කැරැුල්ලෙන් පසු රාජකීය-සාන්ත තෝමස් කි‍්‍රකට් තරගයට ද සිංහල විස්තර ප‍්‍රචාරයක් අවශ්‍ය වුණා. මේ අනුව 1972දී එම තරගයේ විස්තර ප‍්‍රචාරයට පෙමසර ඈපාසිංහ ද හවුල් කර ගත්තේ පාලිත විසින්. සුප‍්‍රකට ‘පාලිත-ඈපා සුසංයෝගය’ ඇරඹුණේ තැන් සිටයි.

ක‍්‍රිකට් ගමට ගොස් එය මුළු රටේ ජනප‍්‍රියවීමට තීරණාත්මක ලෙස හේතු වූයේ කරු හා පාලිත අරඹා, පසුව ඈපා ද සමග පෙරට ගෙන ගිය සුමට හා හුරුබුහුටි ශෛලිය බවට විවාදයක් නැහැ. අද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ වැජඹෙන සැවොම පාලිත හා ඈපා උගුරේ කෙළ ලේ රහ මතු වන තුරු කළ උදයෝගශීලී විස්තර ප‍්‍රචාරයන්ට ණය ගැතියි!

ශ‍්‍රි ලංකාව ටෙස්ට් ක‍්‍රිකට් වරම් ලබා 1982 පෙබරවාරියේ කොළඹ දී එංගලන්ත පිළට එරෙහිව කළ මංගල ටෙස්ට් තරගය එවකට අලූත් රූපවාහිනී සංස්ථාව හරහා මෙරට පේ‍්‍රකෂකයන්ට ගෙන ඒමේදී ප‍්‍රධාන විස්තර ප‍්‍රචාරකයා වුයේත් පාලිත පෙරේරායි. පාලිත-ඈපා සුසංයෝගය එසේ රේඩියෝවෙන් ටෙලිවිෂනයට ද සංක‍්‍රමණය වුණා.

මාධ්‍යය ක්ෂේත‍්‍රයේ ඇතැම් නොකටයුතුකම්වලට එරෙහිව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටීම නිසා විස්තර ප‍්‍රචාරවලින් පාලිත ඉවත් කළ අවස්ථා ද තිබෙනවා. ක‍්‍රීඩාගාරයක් අසලටවත් නොගොස්, තරගයක ටෙලිවිෂන් විකාශයක් බලමින් එය රේඩියෝවෙන් විස්තර කථනය කිරිම ඔහු එසේ ප‍්‍රතික්ෂේප කළ එක් අහිතකර ප‍්‍රවණතාවක්. එහෙත් ඇතැම් රේඩියෝ විස්තර ප‍්‍රචාර දැන් සිදු වන්නේ මේ අයුරින්.

ඇතැම් වැරදි සහගත සිංහල යෙදුම් ක‍්‍රිකට් වචන කෝෂයට කොහේදෝ සිට එක් වී දැන් මුල බැස ගෙන තිබෙනවා. හොඳ උදාහරණයක් නම් ‘තුන් ඉරියව්ව’යි. ඉංග‍්‍රිසියෙන් all-rounder යන්නට නිවැරදි සිංහල යෙදුම ‘සියලූ අංශවල දස්කම් පාන්නා’ වුවත් වැරදි යෙදුම තවමත් පුළුල්ව භාවිත වනවා.

ක‍්‍රිකට් අපේකරණයට දායක වූ පුරෝගාමී මාධ්‍ය චරිත ගැන මීට වඩා දැනුවත්කමක්, කෘතඥපූර්වක බවක් තිබිය යුතුයි. අද දැවැන්ත ව්‍යාපාරික මට්ටමට පත්ව ඇති ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩාව එතැනට ආවේ ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක‍්‍රීඩා ලෝලීන්ගේ උනන්දුව හා කැපවීම මෙන් ම ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයන්ගේ උද්‍යොගය හා දායකත්වය නිසා ද බව කිව යුතුයි.

See also:

Palitha Perera: The man who refused to be His Master’s Voice

The Island, 8 Oct 2009: Palitha Perera: ‘Singhalising’ Colonial Cricket

සිවුමංසල කොලූගැටයා #65: විකල්ප ඉතිහාසයන් සොයා යන ගමනක්…

Journalists are trained to ask six basic questions in pursuit of their stories. “What If?” is not among them – but is one of my personal favourites. I’ve been fascinated by might-have-beens all my life, at all levels: personal and collective.

In this week’s Sunday column (6 May 2012) in Ravaya newspaper (in Sinhala), I start exploring alternative history possibilities for Sri Lanka where very few creative writers have ventured into that realm. Is this because Lankan history is considered ‘sacrosanct’ by many?

I set off by challenging this widely held assumption, pointing out that history is but a set of chronicles written by the winners and the powerful, that is (or should be!) open to question, scrutiny and speculation. I plan to revisit this theme with specific alternative history scenarios for Sri Lanka in the coming weeks. Watch this space — and make your own suggestions!

What if Germany won World War 2 – and conquered not just Earth, but outer space?

ඉතිහාසය ප‍්‍රබන්ධයක් ද?

මේ සරල ප‍්‍රශ්නය බොහෝ වාද විවාද හා ආන්දෝලයන්ට තුඩු දෙන්නක්. තොරතුරු සමාජයේ ප‍්‍රගමනයත් සමග එදිනෙදා රටතොට සිදුවීම් විවිධාකාරයෙන් වාර්තා කරන මූලාශ‍්‍රයන් තිබෙනවා. ජනමාධ්‍ය ඒ අතර මුල් තැන ගන්නවා. එහෙත් සංවිධානාත්මක මුද්‍රිත මාධ්‍ය බිහි වී වසර 500කට වැඩි කලක් නැහැ. විද්‍යුත් මාධ්‍ය සියල්ල බිහි වූයේ 20 සියවසේදී.

වාර්තාකරණයට හසු නොවූ දිගු කලක් පුරා මිනිස් ශිෂ්ටාචාරයන් හා ජන සමාජයන් ඇති වී, පරිනාමය වී, ඇතැම් විට බිඳ වැටී ගොස් තිබෙනවා. ඒ  ගැන විස්තරාත්මකව හදාරන්නට පුරාවිද්‍යාත්මක සාක්ෂි හා ශාස්ත‍්‍රීය ලිපි ලේඛණ ආදී මුලාශ‍්‍රයන්ට යොමු විය යුතුයි. ඒ සියල්ල පරිශිලනය කිරිමෙන් පසුවත් “ඉතිහාසය” යනු අංග සම්පුර්ණ ලේඛනගත කිරිමක් නොව සිදුවීම් මාලාවක් ගැන එය වාර්තා කරන අයගේ විග‍්‍රහයක් ලෙස සැළකිය හැකියි.

එහෙත් වාර්තාකරණයේදී හෝ ශාස්ත‍්‍රීය විග‍්‍රහයන් කිරිමේදී හෝ බල පවත්වන සාක්ෂි මත පදනම් වීම, මැදහත් වීම ආදී ගුණාංග ප‍්‍රබන්ධ රචකයන්ට අදාල නැහැ. ඒ නිසා ඉතිහාසය පදනම් කර ගෙන විවිධාකාරයේ කල්පනා ලෝක මවන්නට නවකථා හා කෙටිකථා ලියන අයටත්, චිත‍්‍රපට නිපදවන්නන්ටත් පූර්ණ නිර්මාණාත්මක නිදහස තිබෙනවා.

විකල්ප ඉතිහාසයක් ගැන පරිකල්පනය කිරිම ලොව පුරා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයන් අතර ජනප‍්‍රිය තේමාවක්. ඉතිහාසයේ තීරණාත්මක මොහොතක අප දන්නා සිදුවීම වෙනස් ආකාරයකට සිදු වූවා නම් එතැන් සිට ජන සමාජයක, රටක හෝ මුළු ලෝකයේ ම කථාව දිග හැරෙන්නේ කෙසේ ද? විකල්ප ඉතිහාසය කථා (alternative history stories) කියන්නේ මේ ඔස්සේ යමින් ප‍්‍රබන්ධ කිරීමයි.

එහෙත් විකල්ප ඉතිහාසයන්  යනු අතීතයේ සැබෑ සිද්ධීන් විකෘති කිරීම හෝ තමන්ගේ මතවාදයට ගැලපෙන පරිදි ප‍්‍රතිනිර්මාණය කිරීම හෝ නොවෙයි. (එසේ කිරීම මේ දිනවල ඇතැම් රටවල මහත්  ඕනෑකමින් කෙරෙනවා. එයට කියන්නේ revisionist history හෙවත් ප‍්‍රතිශෝධිත ඉතිහාසය කියායි.)

මෙරට සිංහලෙන් ස්වතන්ත‍්‍ර විද්‍යා ප‍්‍රබන්ධ ලිවීම ගැන ගිය වසරේ කොලමකින් (2011 මාර්තු 20) මා විග‍්‍රහ කළා. සිංහල විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් තවමත් හරිහැටි ගවේෂණය කොට නැති බොහෝ සංකල්ප ඇති බව මා පෙන්වා දුන්නා. එයින් එකක් නම් විකල්ප ඉතිහාසයන් මැවීමයි.

ලොව විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ වඩාත් ජනප‍්‍රිය විකල්ප ඉතිහාස තේමාවක් වන්නේ දෙවන ලෝක යුද්ධයෙන් මිත‍්‍ර පාක්‍ෂික හමුදා පරාජය වී හිට්ලර්ගේ ජර්මනිය පෙරටු කොට ගත් (ඉතාලිය හා ජපානය ද ඇතුළත් වූ) ප‍්‍රතිපක්‍ෂය ජය ගැනීමයි. මෙය විවිධාකාරයෙන් හසු කර ගත් ප‍්‍රබන්ධ ලියැවී තිබෙනවා. 2006දී රොබට් හැරිස් ලියූ Fatherland නවකථාවේ සිදුවීම් පෙළ දිග හැරෙන්නේ දිවි ඇති තෙක් නායකයා වන හිට්ලර්ගේ 75 වන උපන්දිනය වටායි. (අප අත්දුටු ඉතිහාසයේ නම් පරාජය අබිමුඛව හිට්ලර් සිය දිවි නසා ගත්තේ වයස 56දී.) ප‍්‍රමුඛ පෙළේ බි‍්‍රතාන්‍ය විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු වන ස්ටීවන් බැක්ස්ටර් ද ජර්මනිය දෙවන ලෝක යුද්ධය ජය ගැනීම ගැන ප‍්‍රබන්ධ ලියා තිබෙනවා.

අමෙරිකානු විද්‍යා ප‍්‍රබන්ධ ලේඛක කිම් ස්ටැන්ලි රොබින්සන්ගේ ‘The Years of Rice and Salt‘ නව කථාවේ පදනම මධ්‍ය කාලීන යුරෝපයේ ජනගහනයෙන් සියයට 99ක් ම මහමාරියෙන් මිය යාමයි. අප දන්නා ඉතිහාසයේ මහමාරිය යුරෝපයට  තර්ජනයක් එල්ල කළත් ඒ වසංගතය ජන සමාජයන් අතු ගා දැම්මේ නැහැ. එසේ වූවා නම් කාර්මික විප්ලවය බිහිවන්නේ බි‍්‍රතාන්‍යයෙන් නොව ඉන්දියාවෙන් බවත්, අමෙරිකා මහාද්වීපය සොයා ගෙන එහි ජනවාස ඇති කරන්නේ චීන ජාතිකයන් බවත් ඔහුගේ කථාවේ දිග හැරෙන විකල්ප ඉතිහාසයයි.

වසංගත රෝග, කෘමි උවදුරු හා ස්වාභාවික ව්‍යසන නිසා ගරා වැටුණු හෝ බිඳ වැටුණු මිනිස් ශිෂ්ඨාචාර ගණනාවක් ඉතිහාසයේ තිබෙනවා. අපේ දිවයිනේ වියලි කලාපයේ සහශ‍්‍රයකට වැඩි කලක් පැවති දියුණු ශිෂ්ඨාචාරය හා රාජධානි කෙමෙන් අතරමැදි කලාපයට හා තෙත් කලාපයට සංක‍්‍රමණය වීමට එක් හේතුවක් ලෙස පිළි ගැනෙන්නේ මැලේරියා උවදුරයි. මැලේරියාව ඇති කරන රුධිර පරපෝෂිතයා පැතිරෙන්නේ එක්තරා මදුරු විශේෂයක් හරහා බව සොයා ගත්තේ 1897දී. ඉන්දියාවේ කල්කටාවේ සිටි ඉංග‍්‍රීසි වෛද්‍යවරයකු වූ රොනල්ඞ් රොස් විසින්. එය එසේ නොවී මැලේරියා-මදුරු සම්බන්ධය සියවස් ගණනකට පෙර ලාංකිකයන් තේරුම් ගත්තා නම් අපේ ඉතිහාසය මීට වෙනස් විය හැකි ද? අද අපට කළ හැක්කේ එබදු දේ ගැන අනුමාන හා පරිකල්පනය කිරීම පමණයි.

ඉන්දියානු සාගරයේ වැදගත් සංධිස්ථානයක පිහිටි ලංකා දුපත ප‍්‍රාග් ඉතිහාසයේ මෙන්ම ලිඛිත ඉතිහාස කාලය පුරා ම විවිධාකාර බාහිර සම්බන්ධතා රාශියකට පාත‍්‍ර වී තිබෙනවා. මේවායින් සමහරක් අහිතකර බලපෑම් (උදා: යටත් විජිතවාදීන්). තවත් ඒවා හිතකර බලපෑම් (උදා: ඉන්දියාවෙන් බුදු දහම, ආයුර්වේදය, පාලි – සංස්කෘත හා කලා ආභාෂයන් ලැබීම).

විකල්ප ඉතිහාස සංකල්පයන් ලංකා ඉතිහාසයට අදාල කොට විද්‍යා ප‍්‍රබන්ධ ලියැ වී ඇත්දැයි මා විපරම් කළා. සොයා ගන්නට නැහැ. එයට හේතුවක් නම් අපේ ඉතිහාසය “ශුද්ධ ලියවිල්ලක්” මෙන් ලක් සමාජය සළකන බැවින් ඒ ගැන ප‍්‍රශ්න කිරීමට, පරිකල්පනය කිරීමට බොහෝ දෙනා පැකිලීමයි.

එහෙත් ඉතිහාසය යනු දේව භාෂිතයක් නොවෙයි. ලොව හැමදාමත්, හැම තැනෙකමත් ඉතිහාසය ලියා ඇත්තේ ජයග‍්‍රාහකයන්, ප‍්‍රබලයන් හා බලාධිකාරීන් විසින්. මේ නිසා ඉතිහාසය හැටියට අපට හුරු පුරුදු සංකල්ප බොහෝ දුරට පුරුෂාධිපත්‍යය හා බහුතර කොටස්වල නැඹුරුව පෙන්නුම් කරන ලියැවීම් මිස අපක්‍ෂපාතී ශාස්ත‍්‍රීය විමර්ශන නොවෙයි.

ඉතිහාසය ගැන කථා කිරිමේදී බොහෝ දෙනා ආවේගශීලි වන සැටිත් අපට දැකිය හැකියි. එයට හේතුව තමන්ගේ පෞද්ගලික හා සාමූහික අනන්‍යතාවය රාමු කර ගන්නට ඉතිහාසයේ ඇතැම් සිද්ධින් හෝ ප‍්‍රවාදයන් හෝ උපකාර කර ගැනීමයි. රාමුව යන්තමින්වත් ප‍්‍රශ්න කරනවාට ඔවුන් නොකැමති වන්නේ එයින් තමන් ගොඩ නගා මතවාද හා තර්කයන් බිඳ වැටේ යයි බියකින් විය යුතුයි.

ඉතිහාසය සැබෑ සිදුවීම් මෙන් ම අතිශයෝක්තීන්, ප‍්‍රලාප හා අතරමැදි කථාවලින් සංයුක්ත මිශ‍්‍රණයක්. එහි තනි කතුවරයකු නැහැ. එසේ ම තනි උරුමක්කාරයකුත් නැහැ. මේ නිසා ඉතිහාසය ප‍්‍රවේශමින් පරිහරණය කරනවා වෙනුවට එය වාද විවාද හා සියුම් ශාස්ත‍්‍රීය පරික්ෂාවන්ට ලක් කළ යුතුයි. එමෙන්ම ප‍්‍රබන්ධ නිර්මාණකරුවන්ට තමන් කැමති පරිදි ඉතිහාසයේ සැරිසරන්නට ඉඩ තිබිය යුතුයි.

අපේ රටේ ඈත හා මෑත ඉතිහාසය විකල්ප ඉතිහාසයයන් සඳහා විද්‍යා ප‍්‍රබන්ධ කෝණයෙන් බැලීම තුළින් ඉතිහාසය ගැන අපේ ආකල්ප වෙනස් කළ හැකි ද?

* 1959 සැප්තැම්බර් 25 වනදා අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායකට කුමන්ත‍්‍රණකාරී සාහසිකයා එල්ල කළ වෙඩි පහරවල් නොවැදුණා නම්?

* 1962 ජනවාරි 27 වනදා සිරිමාවෝ බණ්ඩාරනායක රජය පෙරළන්නට තැත් කළ හමුදා කුමන්ත‍්‍රණය සාර්ථක වූවා නම්?

* 1993 මැයි 1 වනදා මැයි දින පෙළපාලියට මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල වූ අවස්ථාවේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස නිරුපද්‍රිතව බේරුණා නම්?

Imaginary TIME Cover – What if JFK survived assassination attempt
මේ අයුරින් මෑත ඉතිහාසයේ තීරණාත්මක අවස්ථා ගැන අපට විවිධාකාරයෙන් පරිකල්පනය කළ හැකියි. (වෙනත් රටවලත් ඔවුන්ට අදාළ දෛවෝපගත සිදුවීම් ගැන මෙසේ ප‍්‍රබන්ධ කැරෙනවා: මහත්මා ගාන්ධි හෝ ජනාධිපති ජෝන් කෙනඩි ඝාතන උත්සාහයන් අසාර්ථක වූවා නම්?)

මා ඉතිහාසඥයකු නොවෙයි. මේ නිසා විකල්ප ඉතිහාස පරිකල්පනය තනිවම කරන්නේ නැතිව මා දන්නා හදුනන විද්වතුන් කිහිප දෙනකුට මෙරටට අදාලව තමන්ගේ ප‍්‍රියතම විකල්ප ඉතිහාසයන් යෝජනා කරන ලෙස මා ඉල්ලා සිටියා. ඔවුන්ගෙන් මතු වූ විකල්ප ඉතිහාස අදහස් අපට “නොගෙවුණු කාල” (might-have-beens) හැටියට සළකමින් ඉතිහාසගත සිහින දකින්නට යොදා ගත හැකියි.

ඉදිරි කොලම්වලින් මෙරට ඈත – මෑත ඉතිහාසයේ ප‍්‍රකට මෙන් ම අප‍්‍රකට තීරණාත්මක සිදුවීම් අරභයා විකල්ප ඉතිහාසයන් ගැන පරිකල්පනය කරන්නට මා අදහස් කරනවා. මෙයට පාඨක ඔබටත් දායක විය හැකියි. තනි වැකියකින් හෝ ජේදයකින් ඔබේ ප‍්‍රියතම විකල්ප ඉතිහාසය ලියා එවන්න. ravaya at nalaka.org

සිවුමංසල කොලූගැටයා #64: අවුරුදු සුනාමිය 2: ඉතිං ඊට පස්සෙ?

In this week’s Ravaya Sunday column (in Sinhala) appearing on 29 April 2012, I reflect on the Indian Ocean undersea quake on 11 April 2012, and the tsunami watch that followed.

Taking Sri Lanka as the example, I raise some basic concerns that go beyond the individual incident, and address fundamentals of disaster early warning and information management in the Internet age.

I ask: Was the tsunami warning and coastal evacuation on April 11 justified in Sri Lanka? I argue that this needs careful, dispassionate analysis in the coming weeks. ‘Better safe than sorry’ might work the first few times, but let us remember the cry-wolf syndrome. False alarms and evacuation orders can reduce public trust and cooperation over time.

I have covered similar ground in an English op ed essay just published on Groundviews.org: Nurturing Public Trust in Times of Crisis: Reflections on April 11 Tsunami Warning

Map showing epicentre of undersea quake in Indian Ocean on 11 April 2012 - courtesy Pacific Tsunami Warning Centre & US Geological Survey

“පිටසක්වලින් ආ අවුරුදු සුනාමිය” මැයෙන් කොලමක් මා ලිව්වේ හරියට ම වසරකට පෙර, 2011 අපේ‍්‍රල් 24දා. ඒ 2011 අපේ‍්‍රල් 15 වනදා මෙරට ටෙලිවිෂන් නාලිකාවක් වගකීම් විරහිතව කළ සජීව විකාශයක් නිසා හට ගත් මහජන භීතිය හා එයට පසුබිම් වූ කරුණු විග‍්‍රහ කරමින්.

2012 අපේ‍්‍රල් 11 වනදාත් ශ‍්‍රී ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ බොහොමයක සුනාමි අනතුරක සේයාව මතු වීම නිසා කලබල තත්ත්වයක් හටගත්තා. මෙය ආවේ පිටසක්වලින් නෙවෙයි. ඉන්දියානු සාගරයේ පතුලෙන්. හරියටම කිවහොත් ඉන්දුනීසියාවේ බන්ඩා අචි නගරයට කිමි 440ක් නිරිතදිගින් සාගරයේ කිමි 33ක් යටින්. එදින ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.08ට භූකම්පන මානයේ 8.6ක් සටහන් කළ ප‍්‍රබල භූමිකම්පාවක් හට ගත්තා.

එය සැර බාල වූ භූචලනයක් ලෙස අපේ රටේද විවිධ තැන්වලට දැනුනා. එයින් විනාඩි 6ක් ගත වූ පසු අමෙරිකාවේ හවායි දුපත්වල පිහිටි, අමෙරිකානු රාජ්‍ය ආයතනයක් වන පැසිෆික් සුනාමි අනතුරු ඇගවිමේ කේන්ද්‍රය (PTWC) විසින් ඒ ගැන මුල් ම විද්‍යාත්මක තොරතුරු සන්නිවේදන සිය වෙබ් අඩවිය හරහා නිකුත් කළා. එයින් කියැවුණේ ඉන්දියානු සාගර සුනාමියක් හට ගැනිමේ යම් අවදානමක් ඇති බවත්, මේ කලාපයේ වෙරළබඩ රටවල් තව දුරටත් ආරක්ෂාකාරි පියවර ගැනිම සදහා සුදානමින් හා සීරුවෙන් සිටිය යුතු බවත්. මේ සීරුවෙන් සිටීම විද්‍යාඥයන් Tsunami Watch ලෙස ලෙස නම් කරනවා.

මුහුදු පතුලේ ප‍්‍රබල භූචලනයක් සිදු වූ මොහොතේ පටන් PTWC විද්‍යාඥයන් ඉතා කඩිසර ලෙසින් මුහුදු රළ ක‍්‍රියාකාරිත්වය හා සාගර තරංග ගැන දුර සිට මැනීම කරනවා. මේ සදහා ස්වයංක‍්‍රීය ලෙස තොරතුරු සැපයීමේ හැකියාව ඇති සංවේදී උපකරණ ඉන්දියානු සාගරයේ බොහෝ ස්ථානවල පිහිටුවා තිබෙනවා. සමහරක් සාගරයේ පාවෙමින් චන්ද්‍රිකා හරහා තොරතුරු එවේලේ ම විකාශය කරන අතර තවත් ඒවා වෙරළබඩ යම් ස්ථානවල සවි කර තිබෙනවා.

මේවායින් එසැනින් ලැබෙන අළුත් ම විද්‍යාත්මක දත්තල එම සාගර ප‍්‍රදේශයේ ඓතිහාසික සුනාමි ඇති වීමේ ප‍්‍රවණතා ද සැලකිල්ලට ගෙන සුනාමියක් හට ගැනීමේ හැකියාව ගැන PTWC විද්‍යාඥයින් ඉක්මන් තක්සේරුවක් කරනවා.

අපේ‍්‍රල් 11 වනදා ඉන්දියානු සාගරයේ මුල් භූචලනයෙන් හා ඉනික්බිති හටගත් පසු කම්පන (aftershocks) නිසා සුළු මට්ටමේ සාගර තරංග බලපෑමක් හට ගත්තත් එය සුනාමියක් බවට පත් වූයේ නැහැ. මේ නිසා ශ‍්‍රි ලංකා වේලාවෙන් පස්වරු 2.15ට හදුන්වා දෙනු ලැබූ සුනාමි සීරුවෙන් සිටීම සවස 6.06ට PTWC විසින් නතර කරනු ලැබුවා.

මේ පැය හතරකට ආසන්න කාලය තුළ ඔවුන් විද්‍යාත්මක නිවේදන (Indian Ocean Tsunami Watch Bulletins) හයක් නිකුත් කළා. එම විග‍්‍රහයන් සැළකිල්ලට ගෙන ජාතික මට්ටමෙන් තීරණ ගැනීම හා ක‍්‍රියාත්මක වීම එක් එක් රටවලට භාර වගකීමක්. අපේ‍්‍රල් 11 වනදා එය අදාළ රටවල විවිධ ආකාරයෙන් සිදු වුණා. මුල් භූ චලනයෙන් විනාඩි 6ක් ඇතුළත එයට සමීපතම රටවන ඉන්දුනීසියාව අනතුරු ඇගවීමක් නිකුත් කළ අතර, ඉන්දියාව විනාඩි 8කින් සිය නැගෙනහිර වෙරළට එබදු අනතුරු ඇගවීමක් නිකුත් කළා.

ශ‍්‍රි ලංකාවේ ජාතික මට්ටමේ නිල අනතුරු ඇගවීම නිකුත් කරනු ලැබුවේ එදින පස්වරු 3.30ට පමණයි. ශ‍්‍රි ලංකාවේ නැගෙනහිර හා දකුණු වෙරළබඩ ප‍්‍රදේශවල ජිවත් වන ජනතාව හැකි ඉක්මණින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වන ලෙස අවවාද කරනු ලැබේ, එයින් කියැවුණා.

සුනාමි අනතුරු ඇගවීමක් දේශීය වශයෙන් නිකුත් කිරිම ඉතා වගකිම් සහගත තීරණයක්. එහිදී විද්‍යාත්මක සාධක මත පදනම් වී, මහජන ආරක්ෂාව ද සැලකිල්ලට ගෙන හැකි තාක් ඉක්මනින් ක‍්‍රියා කළ යුතු වනවා. එහෙත් හැමදෙයක් ම මුළුමනින් තහවුරු කර ගන්නා තුරු බලා සිටිය හොත් කඩිනමින් පැමිණෙන සුනාමි වැනි ආපදාවකදී අනතුරු ඇගවීම ප‍්‍රමාද වැඩි විය හැකියි.

අවම වශයෙන් වෙරළ ප‍්‍රදේශවලින් රට තුළට යාමට පැය බාගයකට කාලයක් තිබිය යුතුයි. මේ නිසා තමන්ට තිබෙන අළුත් ම එහෙත් අසම්පුර්ණ විද්‍යාත්මක තොරතුරු මත, රට ලෝකය ගැන තමන් සතු පුළුල් අවබෝධය ද යොදා ගනිමින් සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කරනවා ද නැද්ද යන තීරණය ගන්නට අදාළ නිලධාරින්ට සිදු වනවා.

මාධ්‍ය, සිවිල්, සංවිධාන හා ආරක්ෂක හමුදාවලට කළ හැක්කේ එසේ නිල වශයෙන් ගන්නා තීරණයක් පතුරුවා හැරිම පමණයි. අනතුරු ඇගවීමක් නිකුත් කිරිමේ බලය තනිකර ම රටක මධ්‍යම රජයට පමණක් සීමා විය යුතුයි.

2004දී අපට තිබුනු ලොකු ම අඩුපාඩුව වූයේ ජාත්‍යන්තරව ලැබෙන සුනාමි අනතුරු ඇගවීමක් ගැන දේශීය වශයෙන් තීරණයක් ගැනීමට හා ඒ තීරණය හැකි ඉක්මණින් අදාළ ප‍්‍රදේශවල මහජනතාවට දැනුම් දීමට නොහැකි වීමයි. 2004 සුනාමියෙන් පසුව මේ මුලික අඩුපාඩු මග හරවා ගෙන ඇතත්, සුනාමි අනතුරක සේයාව මතු වූ විටෙක ආරක්ෂිත පියවර මනා සේ සම්බන්ධිකරණය වීම ගැන තවමත් විසදා නොගත් ගැටළු තිබෙන බව අපේ‍්‍රල් 11දා අත්දැකීමෙන් පෙනී ගියා.

සුනාමි අනතුරු ඇගවීමකදී හැසිරිය යුතු ආකාරය ගැන බොහෝ වෙරළබඩ ප‍්‍රදේශවල ජනතාව මේ වන විට දැනුවත් කර තිබෙනවා. මෙයට ආපදා කළමණාකරන මධ්‍යස්ථානය (DMC) මෙන් ම සර්වෝදය හා රතු කුරුස සංගමය වැනි ස්වේච්චා ආයතන ද මුල් වුණා. එහෙත් සුනාමි අනතුරු ඇගවීමෙන් පසු බටහිර, දකුණු හා නැගෙනහිර වෙරළ ප‍්‍රදේශවල ඇති වුණු විකෂිප්ත තත්ත්වය හා සංත‍්‍රාසය (panic) ගැන පසු විපරමක් කළ යුතුයි.

2004 – 2011 කාලය තුළ සන්නිවේදන තාක්ෂණය බොහෝ සේ දියුණු වී තිබෙනවා. 2004දී මිලියන් 2ක් පමණ වූ මෙරට ජංගම දුරකථන සංඛ්‍යාව 2011 අග වන විට මිලියන් 18 ඉක්මවා ගියා. මෙරට ජනගහනයෙන් සියයට 15 – 20ක් දෙනා නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරනවා. මේ නිසා සම්ප‍්‍රදායික රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවලට අමතරව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් හරහා ද හදිසි අවස්ථාවල තොරතුරු ගලා යනවා.

හදිසි අවස්ථාවක ජංගම දුරකථන ජාල ධාරිතාව ඉක්මවා ගොස් තදබදයක් හට ගැනීම සුලබයි. ඉන්ටර්නෙට් සේවා අඩාල නොවී ක‍්‍රියාත්මක වූ නිසා Facebook හා Twitter වැනි වෙබ් මාධ්‍යවල සැලකිය යුතු තොරතුරු හුවාමරුවක් සිදු වුණා. ඒ අතර ඇතැම් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවල නිවේදකයන් ආවේගශීලිව ජනතාව බියපත් කිරිමට හා කලබල වැඩි කිරිමට දායක වූ බවත් කිව යුතුයි.

මේ ගැන විග‍්‍රහයක් කරමින් මෙරට හිටපු විදුලි සංදේශ නියාමකවරයකු හා සන්නිවේදන විශේෂඥයකු වන මහාචාර්ය රොහාන් සමරජීව කීවේ: “හදිසි අවස්ථාවක තොරතුරු හුවමාරු වීමේදි නිල මුලාශ‍්‍රවලට හෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ (විද්‍යුත්) මාධ්‍යවලට සීමා වූ යුගය හමාරයි. ඉන්ටර්නෙට් ප‍්‍රචලිත වීම හා ජනප‍්‍රියවිමත් සමග ලෝකයේ නොයෙක් තැන්වලින් මතු වන අළුත් ම තොරතුරු හා විග‍්‍රහයන් එසැනින්ම ලබා ගැනිමේ හැකියාව අපේ සමාජයේ දැන් විවෘත වී තිබෙනවා. මේ නව සන්නිවේදන යථාර්ථය ආපදා අනතුරු ඇගවීම් නිකුත් කිරිමේ වගකීම හා නිල බලය ඇති රාජ්‍ය ආයතන හා නිලධාරින් සැලකිල්ලට ගත යුතුයි.”

නිල රාජ්‍ය මුලාශ‍්‍ර මුලික අනතුරු ඇගවීමෙන් පසු දිගින් දිගට අළුත් තොරතුරු සැපයීමට පෙරට ආවේ නැහැ. මෙබදු අවස්ථාවක රාජ්‍ය නිලධාරින් තනි නාලිකාවකට දෙකකට සම්බන්ධ වීම සෑහෙන්නේ නැහැ. එමෙන්ම ජේ්‍යෂ්ඨ නිලධාරින් මාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම ඉතා වැදගත්. ජන මනස කැළඹි ඇති විට යම් තරමකට හෝ ඔවුන්ට අස්වැසිල්ලක් ලැබෙන්නේ එවිටයි.

භූ චලනයෙන් කෙටි වේලාවක් ඇතුළත දෙස් විදෙස් ජනමාධ්‍ය සියල්ලට ම විවෘත වෙමින් බහුවිධ මාධ්‍ය හරහා මිලියන් 235කට අධික සිය රටවැසියන්ට සම්බන්ධ වූ ඉන්දුනීසියානු ජනාධිපති සුසිලෝ යොදියෝනෝ ඒ කාර්යය ඉතා දක්ෂ ලෙස ඉටු කළ බව ටයිම් සගරාවේ ශ‍්‍රී ලංකා වාර්තාකරු අමන්ත පෙරේරා පෙන්වා දෙනවා.

“තනතුරෙන් උසස් රාජ්‍ය නිලධාරියකු හෝ නායකයකු එදින අපේ රටේ දේශීය සන්නිවේදනයට මැදිහත් නොවීම කණගාටුවට කරුණක්. සජීව විද්‍යුත් මාධ්‍ය වාර්තාකරණයේදී හදිසි අවස්ථාව පහව යන තුරු දිගින් දිගට ම ජනමාධ්‍ය හරහා ජනතාවට තොරතුරු දීම හා සන්සුන් කිරිම අත්‍යවශ්‍යයි. මේ සදහා ඇති තරම් ලක් රජයෙන් නිල ප‍්‍රකාශකයන් සොයා ගන්නට මාධ්‍යවලට නොහැකි වුණා,” අමන්ත කියනවා.

අපේ‍්‍රල් 11දා සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කිරිම හා එයින් පසු සිදු වූ සමස්ත ක‍්‍රියාදාමය ගැන මැදහත් විමර්ශනයක් කළ යුතුයි. එදා බලය ලත් නිලධාරින් ක‍්‍රියා කරන්නට ඇත්තේ පරිස්සම හා ආරක්ෂාව පැත්තට වැඩි බරක් තබමින් විය යුතුයි. එය එදින තත්ත්වය බේරා ගන්නට උදවු වුණත්, මෙබදු අනතුරු ඇගවීම් විටින් විට නිකුත් කර සුනාමි නොඑන විට අනතුරු ඇගවීම් පිළිබද මහජන විශ්වාසය ටිකෙන් ටික අඩු වීමේ අවදානමක් තිබෙනවා. False Alarms නමින් හැදින්වෙන මේ තත්ත්වය දිගු කාලීනව ආපදා කළමණාකරනයට අහිතකරයි.

“කොටියා ආවා” යයි නිතර නිතර කෑගසමින් විහිලූ කරන්නට පුරුදුව සිටි තරුණයාගේ කථාව අප දන්නවා. ඇත්තට ම කොටියකු ආ විට ඔහුගේ අනතුරු ඇගවීම කිසිවකු විශ්වාස කළේ නැහැ!

බංගලාදේශය, පිලිපීනය, තායිලන්තය වැනි අපේ කලාපයේ රටවල මෑත වසරවල අත්දැකීම්වලින් පෙනී යන්නේ අනවශ්‍ය ලෙස කලබල වී අනතුරු ඇගවීමක් නිකුත් කොටල එනවා යැයි කී සුනාමි නොපැමිණි විට අදාල නිල ආයතන ගැන ජන මනසේ ඇති විශ්වාසය පළුදු වන බවයි. මේ නිසා අපේ‍්‍රල් 11 වනදා ප‍්‍රවේශම්කාරිවීම ගැන උදම් අනන අතරේ මේ දිගු කාලීන විපාකය ගැන සීරුවෙන් සිතා කටයුතු කළ යුතු බව මහාචාර්ය සමරජීව අවධාරණය කරනවා.

එසේ ම සුනාමි සන්නිවේදනයේදී වචන හරඹයේ සිදුවන ව්‍යාකුලතා වළක්වා ගැනිමට සරල වර්ණ සංකේත ක‍්‍රමයක් යොදා ගත හැකියි. එහිදී සුනාමි නොමැති තත්ත්වය කොළ පාටිනුත්, සුනාමියක් සිදුවීමේ සේයාව හෝ අවදානම (Watch) තැඹිලි පාටිනුත්, නියත වශයෙන්ම සුනාමියක් මහ එන බව දත් විට (Warning) රතු පාටිනුත් නියෝජනය කළ හැකියි. මෙය රථවාහන සංඥා ක‍්‍රමයට සමාන නිසා මාධ්‍යවේදීන් හෝ පොදු මහජනතාව හෝ වරදවා වටහා ගන්නට ඉඩක් නැහැ.

සිවුමංසල කොලූගැටයා #62: හුස්ම ගන්නට ආසයි – බයයි!

On 20 April 2012, we marked seven years since Saneeya Hussain left us. Journalist and activist Saneeya suffered a needless and tragic death at when she ran out of fresh air in South Asia and was caught up in the urban traffic congestion of Sao Paulo.

In this week’s Ravaya Sunday column, I remember Saneeya’s legacy and plight and discuss the latest dimensions of outdoor air pollution in Sri Lanka that threatens fellow asthma sufferers like myself. The same information is covered in English at: Gasping for Fresh Air, Seeking More Liveable Cities in South Asia

Saneeya Hussain & Nalaka Gunawardene: Singapore, Nov 2002

පාරිසරික ප‍්‍රශ්න විද්‍යාත්මක තොරතුරු මත පදනම් වී, තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීම අවශ්‍යයි. එහෙත් බොහෝ දෙනා දත්ත හා සංඛ්‍යා ලේඛනවලින් පමණක් සෑහීමකට පත් වන්නේ නැහැ. සන්නිවේදකයන් හොදින් අත්දුටු සත්‍යයක් නම් ඕනෑ ම තර්කානුකූල විග‍්‍රහයකට මානුෂික මානයක් ද (human interest) තිබිය යුතු බවයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිට වන දුමාරයෙන් ඇති වන වාත දුෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. මෙරට වාතදුෂණයේ අමිහිරි පැත්ත ගැන විද්‍යාත්මකව කළ කථාව එතැන් සිට ඉදිරියට ගෙන යන්නට මගේ මිතුරියකගේ සැබෑ කථාවක් අද යොදා ගන්නවා.

ඇගේ නම සනියා හුසේන් (Saneeya Hussain). ඇය උපන්නේ 1954දී පාකිස්ථානයේ ලාහෝර් නුවර. ඉසුරුබර පවුලක උපන්නත්, ලැබිය හැකි ඉහළ ම පාසල් හා සරසවි උගෙනුමක් ලැබුවත් ඇයට ඕනෑ වුණේ සමාජ සාධාරණත්වය හා පොදු උන්නතිය (public interest) සදහා ක‍්‍රියා කරන්නයි. මේ නිසා ඇය වෘත්තියෙන් පුවත්පත් කලාවේදීනියක් වුණා.

පාකිස්ථානයේ ඉංග‍්‍රීසි පුවත්පත් හා සගරාවල ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක් හැටියට වසර ගණනාවක් සනියා කටයුතු කළා. විශේෂයෙන් ම 1980 දශකයේ පාරිසරික ප‍්‍රශ්න ගැන හරිත කෝණයට සීමා නොවී (වනාන්තර හා වනජීවීන්ට පමණක් කොටු නොවී) මානව සමාජයට ම බලපාන සම්පත් පරිභෝජනය, ආපදා හා තිරසාර සංවර්ධනය ගැන ඈ පුරෝගාමී සන්නිවේදනයක යෙදුණා. පසුව ලෝක සංරක්‍ෂණ සංගමයේ (IUCN) පාකිස්ථානු කාර්යාලයේ සන්නිවේදන ප‍්‍රධානියා හැටියටත් කටයුතු කළා.

2002දී සනියා පැනෝස් දකුණු ආසියා (Panos South Asia) ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ හැටියට පත් වුණා. එය දකුණු ආසියාතිකයන් විසින් ම පාලනය කරන, දකුණු ආසියාව සඳහා ම කැප වූ ආයතනයක්. සාක් කලාපයේ රටවල සංවර්ධනය පිළිබඳව හරවත් සංවාද හා විවේචනයන් කිරීමට මේ කලාපයේ මාධ්‍යවේදීන්, ජන සංවිධාන ක‍්‍රියාකාරිකයන් හා පර්යේෂකයන්ට අනුග‍්‍රහය දීම මේ ආයතනයේ අරමුණයි.

Saneeya Hussain 1954 – 2005

එහි මූලස්ථානය ඇත්තේ නේපාලයේ කත්මණ්ඩු නුවරයි. නව තනතුර භාර ගෙන ඉතා උද්‍යොගයෙන් සනියා කත්මණ්ඩු නුවරට පදිංචියට ගියත් ඇයට එහි වාසය කිරීම ලෙහෙසි වුණේ නැහැ. එයට හේතුව ඇය ළමා වියේ සිට ම ඇදුම රෝගියකු වීම.
කත්මණ්ඩු නුවර කදුවලින් වට වූ නිම්නයක්. හරියට අපේ මහනුවර වගෙයි (නමුත් මුහුදු මට්ටමින් ඊට වඩා පිහිටීම උසයි (මීටර 1,350; අඩි 4,430) නිම්නයේ වාතය එක් රැස් වුණත් පිට වන්නට කපොල්ලක් නැහැ. මේ නිසා දුෂණය වූ වාතය කත්මණ්ඩු නිම්නයේ ම රැඳෙමින් එහි වැසියන්ට පීඩා කරනවා.

කත්මණ්ඩු වාත දුෂණයට ප‍්‍රධාන හේතුව වාහනවලින් පිට වන දුමාරය. විශේෂයෙන් ම ද්විත්ව පහර (two stroke) එන්ජින් තිබෙන මෝටර් සයිකල හා ත‍්‍රීරෝද රථවල දුමාරය තුළ හරිහැටි නොදැවී පිටවෙන සියුම් අංශු (particulate matter) රැසක් තිබෙනවා. හුස්ම ගන්නා විට ශරීරගත වී වැඩි ම හානියක් කරන්නේ මේවායි.

වසර දෙකකට වැඩි කාලයක් කත්මණ්ඩු වාතය සමග සනියා පොර බැදුවා. ඒ කාලය තුළ ඇය පැනෝස් හරහා විශාල වැඩ කොටසක් කළා. එහෙත් ඇදුම රෝගය එන්න එන්න ම උත්සන්න වෙද්දී ඇයට පරාජය පිළි ගන්නට සිදු වුණා. (ඇය තරම් දරුණු ඇදුම රෝගියකු නොවූවත් මටත් කත්මණ්ඩු හා නවදිල්ලිය බදු නගර ගැන පෙනහල්ලෙන් අත්දුටු මතකයන් තිබෙනවා.)

අන්තිමේදී 2004දී ඇය පැනෝස් රැකියාවෙන් අස් වී, ඇගේ බ‍්‍රසීල ජාතික සැමියා සමග ඔහුගේ රටේ සාඕ පෝලෝ (Sao Paulo) නුවරට ගියා. එය දකුණු ඇමෙරිකාවේ තිබෙන විශාලතම හා අතිශය ජනාකීර්ණ නගරයයි. මිලියන 21ක ජනගහනයක් වාසය කරනවා. ඒ කියන්නේ ශ‍්‍රී ලංකාවේ සමස්ත ජන සංඛ්‍යාවයි.

ඇගේ ඇදුම රෝගය ඇයත් සමග සාඕ පොලෝ නගරයටත් ආවා. බෙහෙත් මගින් එය පාලනය කර ගන්නට ඇය උත්සාහ කලා. 2005 අපේ‍්‍රල් 7දා ඇයට ප‍්‍රබල ඇදුම තත්ත්වයක් හට ගත්තා. සැමියා ලූයිස් ඇය වාහනයේ දමා ගෙන ආසන්න ම රෝහලට ගියා. අවාසනාවට එසේ ගියේ නගරයේ සවස තදබදය තිබෙන විටයි. ආපදා එළි පත්තු කර ගෙනල හදිසියක් බව අගවමින් ලූයිස් හැකි තරම් ඉක්මනට රෝහලට යන්නට මහත් උත්සාහයක් ගත්තා.

ඒත් කිලෝමීටර් 2ක් යන්නට ඔහුට විනාඩි 20ක් ගත වුණා. රෝහලට ළගාවන විට සනියාට සිහිය තිබුණේ නැහැ. එහි ගිය විගස හදිසි ප‍්‍රතිකාර ලැබුණත් ඒ වන විට ඇගේ මොළයට ඔක්සිජන් නොලැබී විනාඩි 15ක් ගත වී තිබුණා. මේ නිසා වෙන කිසිදු ශාරීරික හානියක් නොමැති වූවත් ඇය කෝමාවකට පත් වුණා. ඒ කෝමාවෙන් ඇය යළිත් ප‍්‍රකෘති තත්ත්වයට ආවේ නැහැ.

මහාද්වීප හතරක විහිදුණු මිතුරු මිතුරියන් කම්පාවට පත් කරවමින් සනියා හුසේන් 2005 අපේ‍්‍රල් 20 වනදා මිය ගියා. එවිට ඇගේ වයස 51යි. ඇගේ වියෝවෙන් පසු ලොව වටා මිතුරන්ට ඊමේල් පණිවුඩයක් යවමින් ලූවිස් ඇසුවේ: “සනියා මැරුණේ ඇදුම නිසා ද? වාහන තදබදය නිසා ද?”

මේ ප‍්‍රශ්නයට උත්තරය කුමක් වූවත්, ශ්වසන රෝගාබාධ නිසා මෙන්ම නාගරික වාහන තදබදය නිසාත් අකාලයේ මිය යන මිනිසුන් සංඛ්‍යාව වසරක් පාසා ඉහළ යන බව සංඛ්‍යා ලේඛනවලින් ඔප්පු වනවා.

සනියා හුසේන්ගේ අවාසනාවන්ත ඉරණම අද හෝ හෙට දිනෙක අප බොහෝ දෙනකුටත් අත් විය හැකියි. ඇදුම රෝගයෙන් විටින් විට පීඩා විදින්නකු ලෙස මේ ප‍්‍රශ්නයට මා පෞද්ගලිකව ම මුහුණ දෙනවා.

ඇදුම උත්සන්න වීමට කාලගුණික හා වෙනත් භෞතික සාධක ද යම් තරමකට හේතු වූවත් එයට බලපාන ප‍්‍රධාන සාධකය වාත දුෂණයයි. වාත දුෂණයට අති විශාල දායකත්වයක් සපයන්නේ වාහනවලින් පිටවන දුමාරය මිස (අපේ ඇතැම් පරිසරවේදීන් පැරණි දත්ත මත පදනම් වී කියන හැටියට) කර්මාන්ත ශාලා නොවෙයි.

මීට වසර 15කට හෝ දශකයකට හෝ පෙර නවදිල්ලිය, කත්මණ්ඩු වැනි දකුණු ආසියාතික අගනගර මහත් සේ වාත දුෂණයට ලක් වී තිබුණා. කැළඹුණු මහජනයාගේ බලපෑම් නිසා වාත දුෂණය අඩු කිරීමේ දිගු කාලීන ප‍්‍රතිපත්ති හා පියවර හදුන්වා දීමට ඒ නගරවල හා රටවල බලධාරීන් පෙළඹුණා.

දකුණු ආසියාවේ නාගරික වාත දුෂණයට එරෙහිව තීරණාත්මක පියවර ගැනීම අතින් පෙරමුණ ගත්තේ නවදිල්ලි නාගරික ප‍්‍රදේශයයි. මිලියන් 14කට වැඩි ජනතාවක් වාසය කරනල ලෝකයේ මහා නගර (mega cities) අතර වඩාත් සීඝ‍්‍රයෙන් විශාල වන නගරයක් ලෙස සැළකෙන දිල්ලියේ වාත දුෂණය බරපතල සෞඛ්‍ය ප‍්‍රශ්නයක් බවට පත් වූයේ 1990 දශකයේදී.

එයට හේතු සාධක අධ්‍යයනය කළ පරිසරය හා විද්‍යාව සඳහා වන කේන්‍ද්‍රය (Centre for Science and Environment, CSE) නම් පර්යේෂණායතනය කියා සිටියේ නගරයේ වාහන සංඛ්‍යාව බලහත්කාරයෙන් අඩු කරනවා වෙනුවට වාහනවල දහනය වන ඉන්ධන වඩා ප‍්‍රශස්ත කිරීමෙන් වාත දුෂණය පටන් ගන්නා තැනදී ම සීමා කර ගත හැකි බවයි. මේ අනුව සම්පිණ්ඩිත ස්වාභාවික වායුව (Compressed Natural Gas හෙවත් CNG) නම් ඉන්ධනයෙන් දිල්ලියේ බස් රථ හා ත‍්‍රීරෝද රථ ධාවනය කිරීම ඇරඹුණා. මෙය 1990 දශකය පුරා විද්වතුන්, පාරිසරික ක‍්‍රියාකාරිකයන්, රාජ්‍ය නිලධාරීන් හා ශ්‍රේෂ්ඨාධිකරණය සාමූහිකව ගත් උත්සාහයක ප‍්‍රතිඵලයයි.

ඊට අමතරව පොදු ප‍්‍රවාහන සේවා දියුණු කිරීමට විධිමත් පියවර හා ආයෝජන සිදු කෙරුණා. දිල්ලි නගරයේ උමං දුම්රිය සේවයක් හදුන්වා දීම හරහා වාහන තදබදය අඩු වීමට පටන් ගෙන තිබෙනවා. දිගු කාලීන දැක්මක්, ප‍්‍රතිපත්තිමය කැප වීමක් හා නිසි ආයෝජන තුළින් වාහන තදබදය මෙන් ම වාත දුෂණය ද පාලනය කර ගත හැකි බවට දිල්ලිය කදිම උදාහරණයක්.

වගකීමකින් යුතුව දත්ත රැස් කොට සාක්‍ෂි මත උද්ඝෝෂණ කිරීම හරහා දේශපාලකයන් හා රාජ්‍ය නිලධාරීන් ද පොදු උන්නතියට ඒකරාශී කර ගත හැකි බව ඉන්දියානු අත්දැකීම්වලින් මනාව පැහැදිලි වනවා.

ඉන්දියාවේ වාහන තදබදය, වාත දුෂණය හා අවිධිමත් නාගරික සංවර්ධනය අඩු කර ගැනීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට අදාල කර ගන්නේ කෙසේද යන්න ගැන CSE ආයතනයේ මූලිකත්වයෙන් ජාතික මට්ටමේ වැඩමුළුවක් හා මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ සැසිවාරයක් 2011 අපේ‍්‍රල් මාසයේ කොළඹදී පවත් වනු ලැබුවා.

එහිදී ඉන්දියානු පාරිසරික පර්යේෂකයන් පෙන්වා දුන් වැදගත් කරුණක් වූයේ මෙරට පොදු ප‍්‍රවාහන සේවාවලින් 90%ක් හා සමස්ත වාහන සංඛ්‍යාවෙන් 45%ක් ඉන්ධන ලෙස ඞීසල් යොදා ගන්නා බවයි. මෙරට භාවිතයට ගැනෙන සල්ෆර් (ගෙන්දගම්) ප‍්‍රමාණය අධික වූ ඞීසල් දහනයේ බරපතල සෞඛ්‍ය විපාක ලොව පුරා හදුනා ගෙන තිබෙනවා.

Diesel fumes are now increasingly seen as carcinogenic

ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් ඞීසල් දහන දුමාරය පිලිකාකාරයක් ලෙස සළකන බවත්, ඞීසල් නිසා ඇති වන වාත දුෂණය, පෙට‍්‍රල් වාහනවලට වඩා බෙහෙවින් වැඩි බවත් CSE ආයතන දත්ත සහිතව පෙන්වා දුන්නා. මෙරට වාත දුෂකයන් වන සල්ෆර් ඩයොක්සයිඞ් හා pm10 අංශුවලින් 96%ක් ම පිට වන්නේ ඞීසල් වාහනවලන්. මේ නිසා ඞීසල් ඉන්ධන පවිත‍්‍ර කර ගැනිම හා ඞීසල් වාහන එන්ජින් නඩත්තුව ගැන වැඩි අවධානයක් යොමු කළ යුතු බව දැන් පිළි ගැනෙනවා. වැඩි විස්තර සඳහා බලන්න http://tiny.cc/Gasp සහ http://tiny.cc/Gasp2

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වාහන තදබදය හා වාත දුෂණය ගැන නිතර කථබහ කෙරුණත් ඒ ගැන දිගුකාලින විසදුම් සෙවීමට අපේ සාමූහික උත්සාහයන් සාර්ථක වී නහැ. වාහන පිටරටින් ගෙන්වීම ඉහළ ගොස් අපේ මාර්ග පද්ධතිය දැඩි ලෙස තදබදයට ලක් වීමෙන් පසු විසදුම් සෙවීමට දැන් අපට සිදු වී තිබෙනවා!

අපේ රටේ මහාමාර්ගවල වාහන ධාවන වේගයේ ජාතික සාමාන්‍යය පැයට කිමි 26ක් බවත්, කොළඹ දිස්ත‍්‍රික්කයේ එය පැයට කිමි 22ක් බවත් මොරටුව සරසවියේ ප‍්‍රවාහනය පිළිබඳ මහාචාර්ය අමල් කුමාරගේ කියනවා. එළඹෙන වසරවලදී මෙය පැයට කිමි 19 දක්වා අඩු විය හැකි බවත්, කොළඹ දිස්ත‍්‍රික්කයේ පැයට කිමි 15 විය හැකි බවත් ඔහු ප‍්‍රකේෂපනය කරනවා.

රටක වාහන තදබදය අඩුකිරිමට මහාමාර්ග පළල් කිරිම හෝ අළුතෙන් පාරවල් තැනීම සෑහෙන්නේ නැහැ. එයින් ලැබෙන සහනය තාවකාලිකයි. ඊට වඩා ක‍්‍රමානුකූලවත්, දිගුකාලීනවත් වාහන තදබදයට හා වාත දුෂණයට පිළියම් සොයා සාමූහිකව යොමු වීමේ බලවත් අවශ්‍යතාවය අද මතු වී තිබෙනවා.

සනියා හුසේන් වාර්තා චිත‍්‍රපටය නරඹන්න http://tiny.cc/SanFilm

සිවුමංසල කොලූගැටයා #61: ශ්‍රී ලංකාව රැක ගන්නට 70 වසරකට පෙර කළ සටන

This is the Sinhala text of my Ravaya Sunday column published in their issue for 8 April 2012. My theme this week is the Battle of Ceylon, or the Easter Sunday Japanese air raid of Ceylon that took place 70 years ago this week.

The 5 April 1942 attack on Colombo Harbour and the nearby Ratmalana Airport took place exactly 119 days after the Pearl Harbour attack in Hawaii.

Similar ground is covered in my English blogpost:
Battle of Ceylon: 70 years on, still waiting for its place in the movies…

Japanese Air Raids on Ceylon, April 1942 – Map by C E Warner

නිසි කලට අනතුරු ඇගවීමක් ලැබීම නිසා මහ ව්‍යසන වළක්වා ගත් අවස්ථා ඉතිහාසය පුරා අපට හමු වනවා. එහෙත් අනතුරු ඇගවිමක් ලැබුණාට පමණක් මදි. එය ලද විගස තීරණාත්මක ලෙසින් ක‍්‍රියාත්මක වීමත් අවශ්‍යයි.

එය එසේ නොවූ විට සිදු විය හැකි දේ ගැන බලවත් ම උදාහරණය අප දුටුවේ 2004 දෙසැම්බර් 26දා සුනාමිය ආ විටයි. විද්‍යාත්මකව ජාත්‍යන්තර මට්ටමින් ශ‍්‍රි ලංකාවට ලබා දුන් අනතුරු ඇගවීම ගැන මෙරට බලධාරින් කිසිදු පියවරක් නොගැනිම නිසා ලෙහෙසියෙන් බේරා ගත හැකිව තිබූ ජීවිත දහස් ගණනක් පැය කිහිපයක් ඇතුළත විනාශ වුණා.

මේ විපත මට යළිත් සිහිපත් වූයේ මීට වසර 70කට පෙර ජපන් ගුවන් යානා ලංකාවට බෝම්බ ප‍්‍රහාර එල්ල කිරිම ගැන පොතක් කියවන විටයි. 1942 අපේ‍්‍රල් 5දා කොළඹ වරාය හා රත්මලාන ගුවන් තොටුපළටත්, අපේ‍්‍රල් 9 වනදා ත‍්‍රිකුණාමල වරාය හා නැගෙනහිර වෙරළාසන්නව නවතා තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකාවලටත් ප‍්‍රහාර එල්ල වුණා. දෙවන ලෝක යුද්ධය පිළිබඳ ඉතිහාස වාර්තාවල මේ ප‍්‍රහාරයන් හදුන්වන්නේ පාස්කු ඉරිදා ගුවන් ප‍්‍රහාරය (Easter Sunday Air Raid) හැටියටයි. තවත් සමහරුන් එය ලංකාව සඳහා කළ යුද්ධය (Battle of Ceylon) කියා හදුන් වනවා.

එකල රාජකීය ගුවන් හමුදාවේ නිලධාරියකු ලෙස මෙරට සේවය කළ මයිකල් ටොම්ලින්සන් පසු කලෙක (1976) ලියූ The Most Dangerous Moment පොත, මේ සිදුවීම් මාලාව පිළිබඳව ඇති හොඳම ඓතිහාසික සටහනයි.

කොළඹ හා ත‍්‍රිකුණාමලය ප‍්‍රදේශවලට ජපන් ප‍්‍රහාර එල්ල වූයේ ඒ වන විට දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන් ඉන්දියානු සාගරයේ තීරණාත්මක තැනක ශ‍්‍රි ලංකාව පිහිටීම නිසා. 1942 පෙබරවාරි වන විට ජපන් හමුදා අග්නිදිග ආසියාව යටත් කර ගත්තා. මලයාව, බුරුමය හා සිංගප්පුරුව ජපන් පාලනයට නතු වීමෙන් පසු දකුණු ආසියාව අල්ලා ගන්නට ඔවුන් උත්සුක වුණා. එහි මුල් පියවර වූයේ ලංකාව යටත් කොට එහි ජපන් යුද්ධ නෞකා, සබ්මැරින හා ගුවන් යානා නතර කිරිමයි. ඉන් පසු ඉන්දියාවටත්, ඉනික්බිති මැදපෙරදිග දක්වාත් බලය විහිදු වීමට ජපන් හමුදාවට සැළසුමක් තිබුණා.

දෙවන ලෝක යුද්ධයේ අතිශයින් බිහිසුණු වූත්, තීරණාත්මක වූත් සන්ධිස්ථානයක් ලෙසින් බි‍්‍රතාන්‍යයේ එවකට සිටි අගමැති වින්ස්ටන් චර්චිල් පසුව හදුන්වා දුන්නේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයයි. ඒ කාලය තුළ ලංකාවේ පාලනය බි‍්‍රතාන්‍ය ජාතිකයන් අතින් ගිලිහී ජපන් ජාතිකයන් අතට ගියා නම් දෙවන ලෝක යුද්ධයෙ ඉතිරි වසර තුන හමාර බෙහෙවින් වෙනස් විය හැකිව තිබුණා. (යටත්විජිත පාලනයෙන් මිදීමේ කෙටි මාර්ගය හැටියට මෙරට වාමාංශික දේශපාලකයන් එවකට තර්ක කළේත් ජපන් ජාතිකයන්ට පාක්ෂික වීමයි.)

ජපන් අරමුණු ගැන හොඳ ඉගියක් මිත‍්‍ර පාක්ෂික හමුදාවලට තිබුණත්, ඇත්තට ම ජපන් නාවික හා ගුවන් හමුදාවල හැකියාව ගැන විස්තරාත්මක අවබෝධයක් ඔවුන්ට තිබුණේ නැහැ. අද මෙන් පෘථිවි කක්ෂයේ සිට ලෝකයේ ඕනෑ ම තැනක සිදුවන දේ ගැන ඔත්තු බැලීමේ තාක්ෂණික හැකියාව නොතිබුණු ඒ යුගයේ, ප‍්‍රතිමල්ලව බල පරාක‍්‍රමය පිළිබඳව සෙවීමට මිනිස් ඔත්තුකරුවන් මත බොහෝ සේ යැපීමට සිදු වුණා. ඉන්දියානු සාගරය හරහා යුද්ධ නැව් සමුහයක් එවා ලංකාව ඇල්ලීමට තරම් ජපාන හමුදාවට හැකියාවක් ඇතැයි බොහෝ බි‍්‍රතාන්‍ය පරිපාලකයන් විශ්වාස කළේ නැහැ.

එහෙත් ජපන් ප‍්‍රහාරයකට මුහුණ දීමේ පෙර සුදානමක් 1942 මුල සිට ක‍්‍රියාත්මක වුණා. එහි පෙරමුණ ගත්තේ මිත‍්‍ර පාක්ෂික හමුදා සියල්ල සඳහා මෙරට ප‍්‍රධාන අණ දෙන නිලධාරියා ලෙස පත්ව ආ අද්මිරාල් ශ‍්‍රීමත් ජෙෆ්රි ලේටන් සහ සිවිල් ආරක්ෂක බලධාරියා ලෙස පත් කර සිටි ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලකයි. දිවයිනේ කිහිප තැනෙක ගුවන් තොටුපළ හෝ ගුවන් තීරු ඇති කිරීම, කොළඹ තුරග ධාවන පිටිය ගුවන් තීරුවක් බවට පත් කිරිම හා ඉන්දියානු සාගරය නිරික්සමින් ගුවන් සංචරණයේ යෙදීම (Aerial Patrols) මේ ආරක්ෂක පියවර කිහිපයක්.

කොග්ගල බොක්ක තාවකාලික ගුවන් කඳවුරක් බවට පත් කිරිමත් සමග දිය මත සිට පියාසර කිරිමේ හැකියාව ඇති කැටලයිනා (Catalina) ගුවන්යානා සමූහයක් එහි රඳවනු ලැබුවා. එක දිගට පැය 18-20ක් පමණ වේලාවක් ගුවන් ගතව සිටීමේ හැකියාව තිබූ “පියාඹන බෝට්ටු” හැටියට හැදින්වුණු කැටලයිනා ගුවන්යානා යොදා ගෙන ලංකාව අවට වර්ග කිලෝමීටර් සිය ගණනක සාගර පෙදෙසක් නිරික්සනු ලැබුවා.

Sq Ldr Leonard Birchall, ‘Saviour of Ceylon’ aboard his Catalina aircraft

1942 අපේ‍්‍රල් 4 වනදා දවස පුරා එසේ නිරික්සිමේ යෙදී සිටි කැටලයිනා යානයක් ආපසු කොග්ගලට එන්නට සුදානම් වන මොහොතේ එහි සිටි ජේ්‍යෂ්ඨතම නිලධාරියා වූ කැනේඩියානු ජාතික ලෙනාඞ් බර්චෝල් ක්ෂිතිජයේ අසාමාන්‍ය අදුරු තිත් කිහිපයක් දුටුවා. එය කුමක්දැයි සොයන්නට පියාසර කළ ඔවුන් දුටුවේ හීන්සීරුවේ ලංකාව වෙත ඇදෙමින් තිබූ ජපන් ගුවන්යානා ප‍්‍රවාහන නෞකා (aircraft carriers) හා තවත් යුද්ධ නැව් කිහිපයක්. මේ නෞකා ඒ වන විට සිටියේ ලංකා දුපතට සැතපුම් 400ක් (කිමි 640) දකුණින්, මාලදිවයින් අසල.

මේ බිහිසුණු ආරංචිය හැකි තාක් විස්තරාත්මකව කොළඹ මෙහෙයුම් මැදිරියට රේඩියෝ පණිවුඩයකින් දැනුම් දුන්නා. ඒ පණිවුඩය යවා විනාඩි කිහිපයක් ඇතුළත කැටලයිනා ගුවන් යානයට යුධ නැවෙන් අහසට නැගුණු සීරෝ (Zero) ප‍්‍රහාරක යානා වෙඩි තැබුවා. මුහුදට කඩා වැටුණ කැටලයිනා යානයේ සිටි බර්චෝල් ඇතුළු පස් දෙනකු ජපන් යුධ සිරකරුවන් බවට පත් වුණා.

කැටලයිනා ගුවන් හමුදා පිරිස ජිවිත පරදුවට තබමින් කොළඹට එවූ රේඩියෝ පණිවුඩයත් සමග ජපන් ප‍්‍රහාරයක් පසුදින උදේ නියත වශයෙන් එල්ල වන බවට පැය 12ක අනතුරු ඇගවීමක් කොළඹට ලැබුණා. එහෙත් ජපන් යුධ නැව් සමුහයට කුමන ප‍්‍රහාරක ගුවන්යානා ඇත් ද, ඒවායේ පියාසර කාලය හා යා හැකි උපරිම දුර ආදිය ගැන නිසි තොරතුරු නොදත් නිසා ඔවුන්ට හැකි වූයේ අනුමාන මත පදනම් වූ ආරක්ෂිත පියවර ගැනීමට පමණයි. දිවයින පුරා සියලූ හමුදා සීරුවෙන් තබන්නටත්, රැය පුරා අවධියෙන් සිටින්නටත් තීරණය වුණා.

එහෙත් මහජනයා කළබල වීම වළක්වනු පිණිස එළඹෙන ජපන් ප‍්‍රහාරය ගැන කිසිදු ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් නොකිරිමට රජය තීරණය කළා. මේ නිසා පසුදා හිරු උදාවත් සමග තවත් ඉරිදාවක සැහැල්ලූ ජන ජීවිතය ඇරඹුණා.

බලාපොරොත්තු වූ පරිදි හිමිදිරි පාන්දර ජපන් ප‍්‍රහාරයක් සිදු නොවූ විට මිත‍්‍ර පාක්ෂික හමුදාවල සුදානම මඳක් ලිහිල් වුණා. ඈත එන ගුවන් යානා පියවි ඇසට පෙනෙන්ට පෙර හදුනා ගත හැකි රේඩාර් තාක්ෂණය නිපද වූ අළුත නිසා මුළු ලංකාවට ම තිබුණේ ප‍්‍රාථමික මට්ටමේ රේඩාර් යන්ත‍්‍රයක්. එය රත්මලාන හමුදා ගුවන් තොටුපළේ සවිකර තිබුණා.

පෙරවරු 7.30 වන තුරුත් සතුරු යානාවල සේයාවක් හෝ නොදුටු බැවින් උදාසන ආහාරය ගන්නට රත්මලානේ හමුදා භටයන්ගෙන් කොටසක් මුදා හරිනු ලැබුවා. පෙරවරු 7.50ට ජපන් ගුවන්යානා සමූහයක් රත්මලාන අහසේ එක වර දිස් වුණා.

ගාල්ල අසලින් ලංකා ගුවන් කලාපයට පිවිස, කොළඹ බලා උතුරු දෙසට පියාසර කරන සියයකට වැඩි ජපන් යානා සමහය දකුණු හා බටහිර වෙරළබඩ බොහෝ දෙනා ඇසින් දුටුවා. එහෙත් දුරකථන පණිවුඩයක් හෝ වෙනත් දැනුම්දීමක් හෝ ආරක්ෂක මර්මස්ථානවලට ලැබුණේ නැහැ. මේ නිසා ජපන් ප‍්‍රහාරය එළඹෙන බව දැන දැනත් නිසි සුදානමින් නොසිටීමේ විපාක රත්මලානේදී අත් විදින්නට සිදු වුණා.

බි‍්‍රතාන්‍ය හරිකේන් ප‍්‍රහාරක යානා ගණනාවක් ධාවන පථය මතදී ම ජපන් ප‍්‍රහාර නිසා විනාශ වුණා. කඩිමුඩියේ ගුවන්ගත කළ ඉතිරි ප‍්‍රහාරක යානා මගින් ආක‍්‍රමණික ජපන් හමුදාවට ප‍්‍රතිරෝධයක් එල්ල කළත්, සටනේදී මවිතයෙන් ලබන වාසිය (surprise attack) බොහෝ දුරට ලැබුවේ ජපන් ගුවන් නැවියන්.

බර්චෝල් පැය 12කට පමණ පෙර ලබා දුන් අනතුරු ඇගවීමෙන් හරිහැටි වැඩක් නොගැනීම ගැන සමස්ත බි‍්‍රතාන්‍ය හා මිත‍්‍ර පාක්ෂික සේනාපතිත්වය දැඩි කණස්සල්ලට පත් වූ බවත්, එය ගැන පසුව විභාග කළ සැටින් ටොම්ලින්සන් සිය පොතේ ලියා තිබෙනවා.

එහෙත් උපාය මාර්ගිකව කොළඹ වරායේ තිබු මිත‍්‍ර පාක්ෂික යුද්ධ නෞකා ගණනාවක් එයින් පිටතට යවා ඈත මුහුදේ විවිධ තැන්වල රඳවා තිබූ නිසා ජපන් ප‍්‍රහාරයෙන් ලද නාවිකමය හානිය සීමා වුණා. පැය බාගයකට අඩු කාලයක් පැවතුණු අපේ‍්‍රල් 5 ප‍්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් 85 දෙනෙකු මිය ගොස් තවත් 77 දෙනෙකු තුවාල ලද බව වාර්තාගතයි. කොලොන්නාවේ තෙල් ටැංකිවලට ඉලක්ක කළ බෝම්බ අංගොඩ මානසික රෝහලට වැටීමෙන් එහි රෝගීන් 7 දෙනෙකු අවාසනාවන්ත ලෙස මිය ගියා.

ප‍්‍රහාරයට පැමිණි ජපන් ගුවන් යානා 27ක් විනාශ කළ බවට මිත‍්‍ර පාක්ෂික හමුදා වාර්තා කළත්, ලක් පොළවට ඇද වැටුණේ එයින් තුනක් පමණක් බව ටොම්ලින්සන් කියනවා. ඒවා හොරණ, ගල්කිස්ස හා පිටකෝට්ටේ යන ප‍්‍රදේශවලට කඩා වැටුණා.

මිට අමතරව හානියට පත් මිත‍්‍ර පාක්ෂික ගුවන්යානා ද ඇතැම් ස්ථාවලට ඇද වැටුණා. ප‍්‍රතිප‍්‍රහාරයෙන් අබලන් වූ ඇතැම් ජපන් යානා සිය යුද්ධ නෞකාවලට ආපසු පියාසර කරද්දී මුහුදට කඩා වැටෙන්නට ඇතැයි ද ඔහු අනුමාන කරනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන විස්තරාත්මක වාර්තා ගණනාවක් ප‍්‍රකාශයට පත් වී ඇතත් එදින සිදු වූ සන්නිවේදන හා සම්බන්ධිකරණ පසුබෑම් ගැන හොඳම මැදහත් විග‍්‍රහය හමු වන්නේ ටොම්ලින්සන්ගේ පොතෙහි බව මගේ අදහසයි.

මේ පසුබෑම් මැද වුවත් ලංකාවට එල්ල වූ ප‍්‍රහාරය මැඩ පවත්වන්නට මෙරට රඳවා සිටි, විවිධ ජාතීන්ගෙන් සැදුම් ලත් මිත‍්‍ර පාක්ෂික හමුදා සමත් වුණා. ලංකාව රැක ගැනීමේ සටන්වලින් 1942 අපේ‍්‍රල් මාසය තුළ මිත‍්‍ර පාක්ෂික හමුදා නිලධාරින් හා භටයන් දහසකට (1,000) ආසන්න සංඛ්‍යාවක් මිය ගියා. ඒ අතර ලාංකික, බි‍්‍රතාන්‍ය, අයිරිෂ්, ඕලන්ද, කැනේඩියානු, දකුණු අප‍්‍රිකානු හා ඉන්දියානු ජාතිකයන් ද සිටියා.

ලංකාවට අතිශයින් තීරණාත්මක රේඩියෝ පණිවුඩය එවූ ලෙනාඞ් බර්චොල් සහ ඔහුගේ ගුවන් සගයන් යුද්ධය හමාර වූ පසු ඉහළ සම්මාන ලැබ කැනේඩියානු ගුවන් කොමදෝරු තත්ත්වයට උසස් වුණා. “ලංකාව බේරාගත් වීරයා” (Saviour of Ceylon) ලෙස විරුදාවලි ලැබු ඔහු 1967දී කෙටි නිල සංචාරයකට මෙරටට පැමිණියෙ මහත් ගරු සැලකිලි මැදයි.

ඇමෙරිකාවේ හවායි දුපත්වල පර්ල් වරයාට එල්ල වූ ජපන් ප‍්‍රහාරය ගැන බොහෝ පොතපත ලියැ වී, වාර්තා හා වෘතාන්ත චිත‍්‍රපට නිපදවා තිබෙනවා. එම ප‍්‍රහාරයට මුල් වූ ජපන් හමුදා විසින් ම ඊට දින 119කට පසු සිදු කළ කොළඹ ප‍්‍රහාරය ගැන එතරම් ඓතිහාසික හෝ ප‍්‍රබන්ධමය අවධානයක් යොමු වී නැහැ. මේ සිදුවීම් මාලාව ත‍්‍රාසජනක හා සත්‍යමය ලෙසින් වෘතාන්ත චිත‍්‍රපටයකට පාදක කර ගත හොත් අගෙයි.

මයිකල් ටොම්ලින්සන් සිය ගවේෂණාත්මක ග‍්‍රන්ථය පිළිගන්වා ඇත්තේ 1942 මාර්තු – අපේ‍්‍රල් කාලයේ ලංකාව හා එය අවට සාගරය සම්බන්ධ හමුදා මෙහෙයුම්වලට සහභාගි වූ සියලූ දෙනාටයි. විශේෂයෙන් ම දිය-ගොඩ-අහසේ දිවි අහිමි වූ අයටයි. ඒ සටනේ එක් පාර්ශවයකට සක‍්‍රියව සම්බන්ධ වී සිටියත්, ඉතිහාසය වාර්තා කරන්නකු ලෙස ඔහු සිය ප‍්‍රතිමල්ලව ජපන් හමුදාවලටත් ප‍්‍රණාමය පුද කරනවා.

“අප පෞද්ගලිකව කැමති වුවත් නැතත් අතිශයින් කාර්යක්ෂම ලෙසින් හා රණකාමී අයුරින් අප හා සටන් වැදුණු ජපන් හමුදාවලට ද අපේ ගෞරවය හිමි විය යුතු” යැයි ඔහු කියනවා.

End note: While researching for my Sunday column, I stumbled upon two other interesting short video clips on this aspect of the Second World War. They are both computer-generated scenarios, but well made. Despite some minor historical inaccuracies, they illustrate the rich story-telling potential of this vignette of history, largely overlooked by mainstream movie makers.

Easter Sunday Raid: The Battle of Ceylon. Prelude

Battle Of Ceylon

More at: http://tiny.cc/BatCey

සිවුමංසල කොලූගැටයා #60: රටට රුපියල් බිලියනයක් ඉතිරි කළ හැකි පැය බාගය

This is the Sinhala text of my Sunday column in Ravaya newspaper, 1 April 2012.

Facing an electricity generation crisis, Sri Lanka has embarked on a countrywide energy conservation drive — urging everyone to switch off all non-essential lights, and reduce other forms of power consumption.

The island nation will also join Earth Hour on the evening of today, 31 March 2012. The Ministry of Power and Energy has also launched a campaign called ‘Save Today for Tomorrow’.

Beyond these important yet token gestures, are there smart options that can save significant quantities of electricity, 85% of which is now generated in Sri Lanka using imported, costly fossil fuels?

Yes, there is one: advance the clock by half an hour. Faced with power crises in the past, governments did this in the 1990s — and with tangible results. This is evidence based policy and action. But a vocal minority in Lanka resented this progressive move all along, and in April 2006, they successfully lobbied the (current) government to revert Sri Lanka’s standard time to GMT+5:30 from GMT+6 which had been used since 1996.

I wrote about Sri Lanka giving up on Daylight Saving time in April 2006 in this SciDev.Net opinion essay: Science loses in Sri Lanka’s debate on standard time. As I noted: “In doing so, the government completely ignored expert views of scientists and intellectuals. It listened instead to a vocal minority of nationalists, astrologers and Buddhist monks who had lobbied the newly elected president to ‘restore the clock to original Sri Lankan time’.”

Earth Hour 2012 on 31 March 2012

මිහිතලය සඳහා පැයක් (Earth Hour) යන තේමාවෙන් 2012 මාර්තු 31 වන සෙනසුරාදා ලෝක ව්‍යාප්ත පාරිසරික එකමුතුවීමක් සිදු වනවා. එය පුද්ගල මට්ටමින් ක‍්‍රියාත්මක වුවත් ශ‍්‍රි ලංකාව මෙවර නිල (රාජ්‍ය) මට්ටමින් ද එයට සම්බන්ධ වනවා. එහි මුඛ්‍ය අරමුණ එදින සවස 8.30 සිට 9.30 දක්වා පැයක කාලය තුළ අත්‍යවශ්‍ය නොවන විදුලි බුබුළු නිවා දමා හැකි තාක් විදුලිබලය ඉතිරි කිරිමයි.

මෙය සංකේතාත්මක පියවරක්. ඉතා විශාල සංඛ්‍යාවක් ස්වෙච්ඡවෙන් මේ උත්සාහයට දායක වුවත් තනි පැයක් ඇතුළත ඉතිරි කළ හැකි විදුලය ප‍්‍රමාණය සීමිතයි. එහෙත් ඒ හරහා අපට දිනපතා විදුලිය පිරිමැසිමට ඇති හැකියාව ගැන දැනුවත් විමක් සිදු වනවා. 2007 සිට සෑම වසරක ම මාර්තුවේ අවසන් සෙනසුරාදා සවස පවත්වන මේ මිහිතල පැයට ගිය වසරේ රටවල් 135ක බිලියන් 1.8ක් පමණ දෙනා හවුල් වුනා.

අළුත් ම විදුලිබල ජනන තොරතුරුවලට අනුව දැනට මෙරට විදුලිබල අවශ්‍යතාවයයෙන් 85%ක් ම ජනනය කරන්නේ තාප බලාගාරවලින්. එනම් පෙට්‍රෝලියම් හෝ ගල් අගුරු ඉන්ධන ලෙස ගනිමින්. අපේ රටේ හමු නොවන මේ ඉන්ධන පිටරටින් මිළට ගැනිමට අතිවිශාල වියදමක් දරනවා. මේ ඉන්ධන දහනයේදී නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් වායුව මිහිතලය උණුසුම් කිරිමට දායක වනවා.

විදුලිබල අමාත්‍යවරයා ජනමාධ්‍යවලට මෑතදි පවසා ඇති අන්දමට අපේ රටේ ජනනය කරන විදුලිබලයෙන් හතරෙන් පංගුවක් ම අකාර්යකෂම භාවිතය නිසා අපතේ යනවා. මෙරට සමස්ත ජාතික ආදායමින් 12%ක් විදුලිබල ජනනය සඳහා ගල් අගුරු හා ඛනිජතෙල් පිටරටින් ගෙවිමට වැය කරන්නට සිදුව ඇති මේ අවස්ථාවේ මේ නාස්තිය අතිමහත් බව ඔහු අවධාරණය කරනවා (ද සන්ඬේ ටයිම්ස්, 2012 මාර්තු 18).

බලශක්ති අමාත්‍යාංශය දියත් කර තිබෙන හෙට වෙනුවෙන් අද නම් වූ බලශක්ති සුරැකීමේ ජාතික සත්කාරයෙන් හැම දිනෙක ම සවස 6.30 හා 9.30 අතර විදුලි බුබුලක් නිවා දමා විදුලිය ඉතිරි කරන්න යයි අමාත්‍යාංශය අප සැමගෙන් ඉල්ලා සිටිනවා.

මෙරට විදුලිබල පාරිභෝගිකයන් මිලියන 5න් මිලියන 4.6ක් ම ගෘහස්ත මට්ටමේ බවත්, සවස් කාලයේ වොට් 60ක විදුලි බුබුලක් පැය 3ක් නිවා තැබීම හරහා රටක් වශයෙන් සමස්තයක් ලෙස (cumulatively) සැළකිය යුතු විදුලිබල ප‍්‍රමාණයක් ඉතිරි කර ගත හැකි බවත් අමාත්‍යාංශය ගණන් බලා තිබෙනවා.

මිහිතලයේ පැය සංකේතාත්මක වශයෙනුත්, “හෙට වෙනුවෙන් අද” ප‍්‍රයත්නය ඊට වඩා ප‍්‍රායෝගික හා දිගුකාලීන ලෙසටත් විදුලිබල සංරක්ෂණයට කරන දායකත්වය ප‍්‍රශංසනීයයි.

එහෙත් විදුලිබල කප්පාදුවකින් තොරව දිගට ම සැපයුම ලබා දීමටත්, ඒ සඳහා යන අධික ජනන වියදම පිරිමසා ගැනීමටත් මීට අමතරව ගත හැකි තවත් වඩා සාර්ථක උපාය මාර්ගයක් (smart option) තිබේ ද?

මැදහත් විද්වතුන් වසර ගණනක සිට පෙන්වා දෙන එබදු උපාය මාර්ගයක් තිබෙනවා. එනම් අපේ රටේ සම්මත වේලාව ඔරලෝසුවේ පැය බාගයක් ඉදිරියට ගැනීමයි.

මෙයින් විදුලිබලය ඉතිරිකර ගැනිමේ හැකියාව තේරුම් ගන්නට නම් මුලින් ම අපේ විදුලිබල පරිභෝජනයේ දෛනික රටාව ගැන අවබෝධයක් ලද යුතුයි.

Sri Lanka Electricity Demand Load Curve

ශ‍්‍රී ලංකාවේ විදුලිබල පරිභෝජනය දවසේ පැය 24 පුරා එක ලෙස සිදු වන්නේ නැහැ. එහි වෙනස් වන දෛනික රටාවක් පැහැදිලිව හදුනාගෙන තිබෙනවා. ඒ අනුව දිවයිනේ සමස්ත විදුලබල පරිභෝජනය සැලකිය යුතු ලෙසින් ඉහළ යන (peak) කාල පරාසයන් දෙකක් තිබෙනවා. එයින් පළමුවැන්න දළ වශයෙන් උදේ 5.30 සිට 6.30 දක්වා කාලයේ.

වැඩිපුර ම ආලෝකය සඳහා කැරෙන මේ විදුලි භාවිතය උදාසන හිරු එළිය වැටිම සමග අඩු වනවා. දවසේ ඊළග උච්චවීම ඇරඹෙන්නේ හිරු බැස යාමත් සමග දළ වශයෙන් සවස 6.30ට පමණ. විදුලි ආලෝකය මෙන් ම ටෙලිවිෂන් නැරඹිම සඳහාත් විදුලිය භාව්තා කෙරෙන මේ උච්චවීම, රාත‍්‍රි 10.30 පමණ දක්වා පවතිනවා. ගෘහස්ථ විදුලි පරිභෝජනය වැඩිපුර ම සිදුවන්නේ මේ පැය හතර ඇතුළතයි.

ශ‍්‍රි ලංකාවේ සම්මත වේලාව දැන් පවතින වේලාවට වඩා පැය බාගයක් (විනාඩි 30ක්) ඉදිරියට ගත හොත් විදුලිබල පරිභෝජනය අඩු කර ගත හැක්කේ කෙසේ ද? මේ ගැන දැනට රටේ සිටින ප‍්‍රවීණතම විදුලි ඉංජිනේරුවකු හා බලශක්ති සැලසුම්කරුවෙකු වන ආචාර්ය තිලක් සියඹලාපිටියගෙන් මා විමසුවා. මේ ඔහු දුන් සරල විග‍්‍රහයයි.

සම්මත වේලාව ඉදිරියට ගැනිමෙන් විදුලිබල පරිභෝජනය අඩු කර ගැනිමට නම් සියළු දෛනික කාර්යයන් (පාසල් හා කාර්යාල අරඹන හා හමාර කරන වේලාවන් ආදිය) සිදු කරන වේලාවන්හි කිසිදු වෙනසක් නොකළ යුතුයි. එවා එසේ ම පවත්වා ගනිමින් සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත විට හිරු උදාව (ආසන්න වශයෙන්) පැය බාගයක් ප‍්‍රමාද වී සිදු වනවා. එවිට උදයේ අපට ටිකක් වැඩි කලූවර කාලයක් අත් විදින්නටත්, ඒ සඳහා යම් තරමකට අමතර විදුලි එළියක් යොදා ගන්නටත් සිදු වනවා.

එහෙත් අපේ සමස්ථ විදුලි පරිභෝජනයේ උච්චවීම උදයේ දී අඩුයි; සවසට වැඩියි. සම්මත වේලාව පැය බාගයක් ඔරලෝසුවේ ඉදිරියට ගත් විට හිරු බැසීම ද පැය බාගයකින් ප‍්‍රමාද වී සිදුවනවා. එනම් අප වැඩ හමාර වී ගෙදර ආ පසු හිරු එළිය පවතින කාලය වැඩියි. එවිට අප විදුලි ආලෝක දල්වන්නේ වඩාත් ප‍්‍රමාද වී නිසා සවස් කාලයේ පරිභෝජන උච්චවීම තරමක් අඩු වනවා.

විදුලිබල ජනන සැළසුම්කරුවන් පරිගණක ආකෘති යොදා ගෙන සුක්‍ෂම ලෙස ගණන් බලා ඇති ආකාරයට සම්මත වෙලාව පැය බාගයක් ඉදිරියට ගෙන අන් සියලූ කටයුතු සුපුරුදු පරිදි කළහොත් සවස් කාලයේ ඉතිරි කර ගත හැකි විදුලිය ප‍්‍රමාණය උදේ කාලයේ අමතරව වැය වන විදුලිය මෙන් පස් (5) ගුණයක්. මෙය තනි ගෘහයකට මෙන් ම සමස්ත විදුලි ජනන පද්ධතියටත් වාසිදායක බව ආචාර්ය සියඹලාපිටිය පෙන්වා දෙනවා.

“විදුලි පරිභෝගිකයන් හැටියට විදුලි බිලේ යම් අඩුවක් ලද හැකියි. විදුලිය සපයන්නා හැටියට විදුලිබල මණ්ඩලයට තාප බලශක්ති ජනනයට වැය වන අතිමහත් වියදම යම් තරමකට අඩු කර ගත හැකියි. සමස්ත පද්ධතිය මත දිනපතා සන්ධ්‍යා කාලයට ඇති වන දැඩි ඉල්ලූම හා බැදුණු සම්පේ‍්‍රෂණ අපතේයාම් හා කාන්දුවීම් ද අඩු වන අතර (තාප බලාගාර ක‍්‍රියාකාරිත්වය තරමක් අඩු වන විට) එය පරිසරයට ද හිතකරයි,” ආචාර්ය සියඹලාපිටිය කියනවා.

ඔහු 2006දී අවසන් වරට ගණන් බැලූ අවස්ථාවේ සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනිම හරහා මෙරට විදුලිජනන පද්ධතියට ලබා ගත හැකි ඉතිරිය (අරපිරිමැස්ම) සමස්ත විදුලි ජනනයෙන් සියයට බාගයක් (0.5%) වුනා. දැනට (2012) විදුලිජනන සංඛ්‍යා ලේඛණ අනුව බලන විට මෙයින් වසරකට ගිගාවොට් පැය 60ක් ඉතිරි කර ගැනිමේ විභවය තිබෙනවා. පවතින විදුලි ජනන වියදම්වලට ආදේශ කළ විට මේ ඉතිරිය රුපියල් මිලියන 900ක් පමණ වනවා.

මෙසේ විදුලිය ඉතිරි කර ගැනිමේ විභවය හරිහැටි තේරුම් ගන්නට මෙරට විදුලි පරිභෝජනයේ දෛනික රටාව පෙන්වන මේ ප‍්‍රස්තාරය ඉතා වැදගත්. මේ පරිභෝජන රටාව වසරේ බොහෝ දිනවලට අදාළ වන අතර, ඉඳහිට එය වෙනස් වන්නේ උත්සව සමයට හා ශ‍්‍රී ලංකාව තරග කරන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලි ටෙලිවිෂනයෙන් විකාශය කරන දිනවල පමණයි.

දැනට දිවයිනේ සම්මත වේලාව ලෝක සම්මත (ග‍්‍රිනිච්) වේලාවෙන් පැය පහ හමාරක් (5.30) ඉදිරියෙන් පවතිනවා. 1996 දැඩි විදුලිබල අර්බුදය මතු වූ අවස්ථාවේ එවක රජය සම්මත වේලාව පැයකින් ඉදිරියට ගත්තා (එනම් ගි‍්‍රනිච් වේලාව + 6.30). ඉන් මාස කිහිපයකට පසු එය යළිත් පැය බාගයක් පස්සට ගැනිමෙන් ග‍්‍රිනිච් වේලාවට පැය 6ක් ඉදිරියෙන් වසර ගණනක් පවත්වා ගෙන ගියා (1997-2006 කාලය).

එහෙත් දශක ගණනක් මෙරට පැවති, අපේ ඇත්තන් පුරුදු වී සිටි වේලාව නැවතත් ප‍්‍රතිස්ථානය කළ යුතු යයි ජ්‍යොතිෂවේදීන් ඇතුළු සුළුතරයක් දිගින් දිගට එල්ල කළ බලපෑම් හමුවේ, රජය 2006 අපේ‍්‍රල් මාසයේ මෙරට සම්මත වේලාව නැවතත් ග‍්‍රීනිච් +5.30 බවට වෙනස් කළා.

1996ට පෙර පැවතුණේ ද එකී සම්මත වේලාවයි. නමුත් මෙය ඓතිහාසිකව පැවත ආ සම්මතයක් නොවෙයි. මුළු ලෝකයේ ම අද භාවිත කරන සම්මත වේලාව පිළිබඳව එකගත්වයට එළඹුණේ 1884දී ලන්ඩනයේ පවත්වන ලද ජාත්‍යන්තර සම්මේලනයකදීයි. ඊට පෙර ලෝකයේ විවිධ රටවල් තමන්ට රිසි හා ආවේනික පරිදි වේලාවන් පවත්වා ගෙන ගියා. එහෙත් රටවල් අතර වෙළදාම, සංචරනය හා සන්නිවේදනය වැඩි වන විට වේලාව පිළිබඳ ලෝක සම්මුතියක් අත්‍යවශ්‍ය වුණා.

විදුලිබලය අරපිරිමැස්ම සඳහා සම්මත වේලාව පැය බාගයකින් ඉදිරියට ගැනීම මුල් වරට රජයට යෝජනා වූයේ 1983දී. එවකට සිටි ජනාධිපතිවරයා විද්වතුන්ගේ නිර්දේශය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළත් කැබිනට් එකගතාවක් නොවූ නිසා ක‍්‍රියාත්මක කළේ නැහැ.

විදුලිබලය අරපිරිමැස්ම හරහා විදේශ විනිමය ඉතිරි කර ගන්නා අතර ම කාබන් ඩයොක්සයිඞ් මුදා හැරිම අඩු කර ගන්නටත් අපේ විදුලිබල අමාත්‍යාංශය දක්වන උනන්දුව මීටත් වඩා තීව‍්‍ර කර ගන්නට සම්මත වේලාවේ වෙනස දායක වනු ඇති.

එළඹෙන ඉන්ධන අර්බුදය හමුවේ අපේ දිනචර්යාවේ සුළු වෙනසක් කිරිම මගින් රටේ මෙන් ම ගෙදර ආර්ථිකයටත් වාසියක් ඉතිරියක් ළගා කර ගන්නට ඔබ කැමති ද?

එබදු දුරදර්ශී පියවරක් හරහා වසරකට රුපියල් බිලියනයකට ආසන්න ගණනක් ඉතිරි කර ගැනීමට රජය යොමු වුව හොත්, ඒ ගැන ලක් ජනතාවගේ ප‍්‍රතිචාරය කෙබදු වේවි ද?

එහෙත් ජ්‍යෙතිෂවේදීන්ගේ ග‍්‍රහණයට හසු වූ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන්, තාක්ෂණික වශයෙන් ප‍්‍රශස්ත වන මේ ඉදිරි පියවර තැබිමට එඩිතර වෙයි ද?

සිවුමංසල කොලූගැටයා #59: වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා…

In this week’s Sunday column, published in Ravaya newspaper of 25 March 2012, I
return to take another critical look at the hype and hysteria surrounding the world ‘ending’ in December 2012.

Last week’s column elicited several reader responses online and offline. While many agreed with my rational reasoning, some were miffed by my puncturing their inflated obsession! A few challenged me to provide an assurance that there won’t be any major disasters in 2012 — we were NOT talking about random disasters, but a planetary scale one which qualifies as End of the World.

This week, we look at how certain environmentalists are linking global warming and 2012 world ending myth, adding to existing public confusion about climate change. I cite as an example of this green alarmism a highly distorted article Sinhala published by Practical Action Sri Lanka, a usually moderate and sensible development organisation. Its country director admits it was an ill-advised public outreach effort.

I also refer to a recent scientific analysis that probed whether highly destructive large-scale earthquakes in the past few years, in countries bordering the Pacific and Indian oceans, indicate an increased global risk of these deadly events. Its conclusion: there is no such evidence.

‘2012 ලෝක විනාශය’ ගැන ලෝක ව්‍යාප්ත මිථ්‍යාව විග‍්‍රහ කරමින් පසුගිය සතියේ මා ලියූ කොලමට ප‍්‍රතිචාර රැසක් ලැබුණා. එයින් බහුතරයක් මගේ විචාරශීලී ප‍්‍රවේශයත් සමග එකග වූ නමුත් ටික දෙනකු මට අභියෝග කළේ 2012දී කිසිදු ව්‍යසනයක් සිදු නොවන බවට සහතික විය හැකිදැයි විමසමින්.

අප කථා කළේ හැම වසරක ම ලොව තැනින් තැන සිදු වන ආපදා ගැන නොවෙයි. මුළු මහත් පෘථිවිය ම විනාශ වී යන, අඩු තරමින් මිහිපිට ජීවීන් හැම දෙනා ම හදිසි මරණයට පත් වන මට්ටමේ මහා විනාශයක් ගැනයි. එබන්දක් ඇති කිරිමට හැකි යයි ජනප‍්‍රිය විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටවල යෝජිත සංසිද්ධීන්ගේ විය නොහැකියාව හෝ සම්භාවිතාවේ ඉතා අඩුවීමයි අප පැහැදිලි කළේ.

කොළම මගේ බ්ලොග් අඩවියේ පළ වූ පසු ඉන්ටර්නෙට් හරහා එය කියවන පාඨකයන් ඒ වටා සංවාදයක් ගොඩ නගමින් සිටිනවා. ඔවුන් අතරින් මුලින් අදහස් දැක් වූ ලිෂාන් පුවක්ඕවිට නම් පාඨකයා මතු කළ පැතිකඩ මීට පෙර මගේ අවධානයට ලක් වී තිබුණේ නැහැ: “මේ 2012 අනිසි බිය ගන මගේ මිතුරන් කිහිප දෙනෙකු ද බිය වී සිටිනවා. විවාහයට පත් වී දරුවන් ලබන්නට බිරිඳ කොතරම් කැමති වුවත් වෘත්තියෙන් අලෙවි විධායකයෙකු ලෙස සේවය කරන මා මිතුරා පවසා සිටින්නේ 2012 දෙසැ 22 පසුව ඒ ගැන කල්පනා කල යුතු බවත්, දැන් කල යුත්තේ මේ මහා විනාශයෙන් ගැලවීමට ක්‍රම සෙවීම බවත්!” http://tiny.cc/2012Boom

ලෝක විනාශය ගැන මහජනයා තුළ හට ගන්නා බිය අවස්ථාවාදී ලෙස තමන්ගේ අරමුණු සදහා හරවා ගන්නා නොයෙක් පුද්ගලයන් මෙන් ම කණ්ඩායම් ද සිටිනවා. මෙයින් වඩාත් සූක්‍ෂම හා සටකපට උත්සාහයන් අපට දැකිය හැක්කේ විවිධ ආගම්වලයි.

ඇතැම් අන්තවාදී ඇදහීම් (cults) මෙන් ම ප‍්‍රධාන පෙළේ ආගම් ද ලෝක විනාශය ගැන බියක් පතුරුවා තම අනුගාමික පිරිස වැඩි කරගන්නට උත්සාහ කරනවා. යම් දිනෙක ‘නියතව’ හට ගන්නා ලෝක විනාශයක් ගැන විස්තරාත්මක අනාවැකි කියා, ඇතැම් විට ඒවා විචිත‍්‍ර ලෙසින් සිතුවම්වලට නගා අනුගාමිකයන් බිය කරනවා. ඉන් පසු හීන්සීරුවේ ඔවුන්ට කියන්නේ තම ආගම තරයේ අදහන (එනම් පූජකයන් කියන දේ අවිචාරශීලීව කරන) අය පමණක් ආශ්චර්යමත් ලෙසින් බේරා ගනු ලබන බවයි! මුළු ලෝකය ම විනාශ වන විට ටික දෙනකු පමණක් දිවි ගලවා ගන්නේ කෙසේද? එය දන්නේ වරප‍්‍රසාදලාභී පූජකයන් කිහිප දෙනකු පමණයි.

ලෝක විනාශය සංකල්පයට මුවා වී බඩ වඩා ගන්නේ ආගම්වාදීන් පමණක් නොවෙයි. අද කාලයේ දේශපාලන ක‍්‍රියාකාරිකයන්, සමාජ ශෝධකයන් මෙන් ම පරිසරවේදීන් ද මේ අන්තගාමී ක‍්‍රමෝපායට නැඹුරු වී තිබෙනවා. අන් අය කෙසේ වෙතත් පරිසරවේදීන් ආවේගශීලීව හා අතිශයෝක්තියෙන් සන්නිවේදනය කිරීම මා අනුමත කරන්නේ නැහැ.

විවෘත ආර්ථික ක‍්‍රමයේ හා අදහස් ප‍්‍රකාශනයට නිදහස ඇති මේ ලෝකයේ, විවිධාකාර වෙළඳ ප‍්‍රචාර හෝ මතවාදයන් හෝ පැතිරවීමට ඉඩකඩ තිබෙනවා. මහජනයා මුලා කොට ඔවුන්ගෙන් මුදල් වංචා නොකරන තුරු, කැමති අය ස්වයංමුලාවකට පත් කිරීම නීති විරෝධී නැහැ. එහෙත් එය සදාචාර විරෝධීයි.

අතිශයෝක්තිය, සත්‍යය හා බොරුව මුසු කළ අර්ධ-ප‍්‍රබන්ධ ආදිය හරහා පෙරට එන්නේ අන්ධ භක්තිය හා අයාලේ දිවීමයි. බෙහෙත් තෙල් හා වාජීකරණ වෙළෙන්දන්ට වඩා වගකීමක් විද්වතුන්ගෙන් හා සමාජ ක‍්‍රියාකාරීන්ගෙන් අප බලාපොරොත්තු වනවා. එහෙත් අද ලෝකයේ මහා පාරිසරික ප‍්‍රශ්න හා අභියෝග ගැන ඇතැම් පරිසරවේදීන්ගේ ක‍්‍රියාකලාපය බලාගෙන ගියාම ආගම් ප‍්‍රචාරකවාදීන්ට දෙවැනි නැහැ.

දේශගුණ විපර්යාස උදාහරණයකට ගනිමු. මේ ප‍්‍රශ්නයට මුලල බලශක්ති ජනනය සඳහා පෙට්‍රෝලියම් හා ගල් අගුරු අධික ලෙස දහනය කිරීම නිසා වායුගෝලයේ කාබන්ඩයොක්සයිඞ් ප‍්‍රමාණය ඉහළ යාම හා ඒ මගින් හිරුගේ උණුසුම වැඩිපුර රඳවා ගැනීමයි. මිහිතලය රත් වීම නියත වශයෙන් ම සිදුවන බව විද්‍යාඥයන් අද පිළිගන්නවා. එය නිරීක්‍ෂණ රැසකින්ද සනාථ වෙනවා. එහෙත් මේ රත්වීමෙන් ඇති වන විපාක ගැන පූර්ණ අවබෝධයක් තවමත් නැහැ. අපට සිතා ගත හැකි ආකාරයට මෙන් ම නොසිතූ විරූ අන්දමින් ද මිහිතලය රත්වීම අපටත්, අනෙක් ජීවීන්ටත්, සමස්ත ග‍්‍රහලෝකයටත් බලපෑ හැකියි.

ආපදා උත්සන්න වීම, ආහාර හා ජල හිගයන් උග‍්‍රවීම මෙන් ම ඇතැම් පරිසර පද්ධති (උදා: කොරල්පර) සහමුලින් විනාශ වී යාම ද සිදු විය හැකියි. එහෙත් මේ විපාකවල කාල පරාසය හා සීඝ‍්‍රතාවය අප තවමත් හරිහැටි දන්නේ නැහැ. ලොව පුරා විද්‍යාඥයන් පර්යේෂණ කරමින් කරමින්, පරිගණක ආකෘති අධ්‍යයනය කරමින් වෙර දරන්නේ කෙමෙන් උණුසුම් වන ලෝකයක ගති සොබා තේරුම් ගන්නටයි.

මේ අතරට කඩා පනින සමහර පරිසරවේදීන් කියන්නෙ දැනටමත් අප ප‍්‍රමාද වැඩි බවයි. මොනවා කළත් – නොකළත් අප හැමදෙනාගේ ඉරණම දැනටමත් තීන්දු වී හමාර බවයි. සමහර පරිසරවේදීන් දැන් ලෝක විනාශ සංකල්පයත් එයට සම්බන්ධ කරනවා. මෙබදු අන්තගාමී මතයක එල්බ සිටින්නට ඔවුන්ට නිදහස ඇතත්, එබදු කථා කියමින් මහජනයා බියපත් කරන්නට ඉඩ දිය යුතු ද?

දේශගුණ විපර්යාස සුළු කොට තැකිය යුතු නැහැ. එහි කෙටි කාලීන හා දිගුකාලීන ප‍්‍රතිඵල භායානකයි. එහෙත් එය ලෝක විනාශයකට සම කිරීම පිළි ගත හැකි තර්කයක් නොවෙයි. ළිඳට වැටුණු මිනිසකු ළිං කටෙන් ගොඩ ආ යුතු සේ දේශගුණ විපර්යාසවලට තුඩු දුන් බලශක්ති ජනන ක‍්‍රමයන් හා සම්පත් පරිභෝජන රටා වෙනස් කර ගෙන ඒ මහා ප‍්‍රශ්නයෙඅපන් ටිකෙන් ටික අත්මිදිය හැකි ක‍්‍රම විද්වතුන් සොයමින් සිටිනවා.

අවාසනාවකට ලොව පිළිගත් විද්වත් ආයතන පවා ඇතැම් විට අතිශයෝකිතියට හා ආවේගයන්ට නතු වනවා. විකල්ප සංවර්ධනයක් සඳහා අවංකව ම කැපවුණුල ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් (Practical Action) නම් ලෝක ව්‍යාප්ත සංවිධානයක් තිබෙනවා. ‘පුංචි නම් ලස්සනයි’ (Small is Beautiful) පොත ලියූ ජර්මන් ආර්ථික විද්‍යාඥ අර්න්ස්ට් ෂූමාකර් පිහිට වූ මේ ආයතනයේ ශ්‍රී ලංකා කාර්යාලය 2008දී නිකුත් කළ “ජන තාක්‍ෂණ පුවත්” නම් සිංහල වාරිකය (2 වෙලූම, 3 කලාපය) දැක මා කම්පාවට පත් වුණා.

Jana Thakshana Puwath 2008 Vol 2 No 3 - p13
දේශගුණ විපර්යාස ගැන තොරතුරු රැුගත් මේ සගරාවේ විග‍්‍රහයන් බොහෝ ආවේගශීලීයි. පාඨකයන් බියපත් කරවන වදන් හරඹයක් ඔවුන් කරනවා. 2012දී ලෝක විනාශය මැයෙන් 13 පිටුවේ මෙසෙ කියනවා:

“2012 වසරේදී ලෝක විනාශය සිදු ව බව අද්විතීය මානව සංස්කෘතියක් ලෙස සැලකෙන මායාවරුන්ගේ දින දර්ශනයේ සහ අදින් සියවස් දහතුනකට පෙර විසූ පාකල් වෝලටන් නැමැති මහ පඩිවරයා විසින් පළ කරන ලද අනාවැකිවල සඳහන් වේ. මිනිසුන් පාපයේ නියැලෙන විට ලෝක විනාශය සිදුවෙන බව ඇතැම් ආගමික ශාස්තෘවරුන්ගේ ඉගැන්විමයි. වර්තමානයේදී ලෝකයේ දැවෙන ගැටලූවලින් එකක් බවට පත් වී ඇත්තේ දේශගුණික විපර්යාසවල බලපෑමෙන් සිදුවන දරුණු ස්වභාවික අපදා හේතුවෙන් මානවයාගේ පැවැත්ම අවිනිශ්චිත වීමයි. සුනාමි ව්‍යසන, සුළි කුණාටු හා වෙනත් ස්වභාවික ආපදා හේතුවෙන් ලෝකයේ විවිධ ප‍්‍රදේශවල ස්ථාපනය වුණු මානව ජනාවාස සහමුලින්ම විනාශයට පත් වුණු බව නිතර නිතර වාර්තා වේ. මේ ලෝක විනාශය අතළග බවට ඉගි කරන අනතුරු ඇගවීම්ද? මිනිසුන් විසින් මහපොළොවට සහ පරිසරයට කරන ලද වධ බන්ධන හේතුවෙන් මානව සංහතිය මිහිතලයෙන් වඳ වී යයි ද?”

මේ ත‍්‍රාසජනක ප‍්‍රබන්ධයක පිටපතක් ද? මෙබදු සන්නිවේදන කරන්නට වගකිවයුතු ආයතන ඉඩ දෙන්නේ ඇයි?

ප‍්‍රැක්ටිකල් ඇක්ෂන් ශ්‍රී ලංකා අධ්‍යක්‍ෂවරිය වන ආචාර්ය විශාඛා හැදැල්ලගේ වෙතින් මා මේ ගැන විමසුවා. මනා සංස්කරණ අධීක්‍ෂණයකින් තොරව ජන සමාජයට ගිය මේ ප‍්‍රකාශනය පිළිබඳ මගේ විවේචනය ඇය පිළි ගත්තා. මෙය සිය ආයතනයේ නිල ස්ථාවරය නොවන බවත්, එය ලියූ නිදහස් ලේඛකයාගේ තනි අදහසක් බවත් ඇය කියනවා. (මේ ආයතනය පරිසර සංවිධානයක් ද නොවේ.)

ලෝක විනාශය හා දේශගුණ විපර්යාස එකට මිශ‍්‍ර කිරීම හැරුණු විට විද්‍යාත්මකව වැරදි තවත් කරුණු එම ප‍්‍රකාශනයේ තිබෙනවා. සැබෑ තත්ත්වය හතර පස් ගුණයකින් වැඩිකොට පැවසීම හා ලිවීම අපේ පරිසරවේදීන් අතර සුලභ පුරුද්දක්. ඇත්ත ඇති සැටියෙන් කීමට හා නොදන්නා දේ එසේ පිළිගැනීමට ඔවුන් මැලි ඇයි?

අභව්‍ය දේ ගැන අතිශයෝක්ති ගොතා මිනිසුන් බියපත් කර තමන්ගේ ඇදහිලිවලට ඇද ගන්නට තැත් කරන විවිධ ආගම්වාදීන් සහ මෙබදු පරිසරවේදීන් අතර එතරම් වෙනසක් නැහැ.මේ දෙපිරිසේ ම විශ්වසනීයත්වය පලූදු වී ඇති බව පැහැදිලියි. ඇරත් 2012 ලෝක විනාශය ඔවුන් කියන පරිදි සිදු නොවූ විට ඔවුන් යළිත් සමාජයට මුහුණ දෙන්නේ කෙසේ ද?

මින් පෙර නොවූ වීරූ අසාමාන්‍ය ගණයේ භූචලන ලෝකයේ සිදු වෙමින් පවතිනවා ද? නැතිනම් අද ඒ ගැන ජනමාධ්‍යවලින් කැරෙන වාර්තාකරණය තීව‍්‍ර වී ඇත් ද? ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ භූවිද්‍යාඥයන් කියන්නේ මිහිතලය උණුසුම් වීමෙන් පොළව මතුපිට යම් විපර්යාස සීඝ‍්‍ර වී ඇතත් පෘථිවි අභ්‍යන්තරයේ එබදු ප‍්‍රවණතාවක් තවමත් දැකිය නොහැකි බවයි.

එසේ නම් 2001-2011 කාලය තුළ ප‍්‍රබල භූමිකම්පා ගණනාවක් චීනය, චිලී, ජපානය හා ඉන්දුනීසියාව වැනි රටවලින් වාර්තා වූයේ ඇයි? 1900 සිට 2010 දක්වා භූකම්පන මානයේ අංක 7ට වඩා ඉහළින් සිදු වූ සියළු ම භූ චලනයන් විස්තරාත්මකව අධ්‍යයනය කළ අමෙරිකාවේ විද්‍යාඥ දෙපළක් 2011 අගදී කියා සිටියේ භූමිකම්පාවල ප‍්‍රබලත්වයේ උත්සන්න වීමක් සංඛ්‍යාත්මකව නොදකින බවයි.

අමෙරිකාවේ ස්ක‍්‍රිප්ස් සාගර විද්‍යා පර්යේෂණායතනයේ භූවිද්‍යාඥ පීටර් ෂියරර් හා කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ (බර්ක්ලි) ෆිලිප් ස්ටාක් සිය විශ්ලේෂණය 2011 දෙසැම්බර් 19දා එරට විද්‍යා ඇකඩමියේ වෙබ් අඩවිය හරහා ප‍්‍රකාශයට පත් කළා. වසර 110ක භූමිකම්පා දත්ත පදනම් කර ගෙන නම් පෘථිවි අභ්‍යන්තරයේ ප‍්‍රචන්ඩත්වයේ වැඩිවීමක් දැකිය නොහැකි බවත්, එබන්දක් ගැන හරි හැටි කීමට ඊටත් වැඩි කාල පරාසයක දත්ත විමසා බැලිය යුතු බවත් ඔවුන් කියනවා. ඔවුන්ගේ අවසන් නිගමනය නම් මෑත වසරවල අත්දුටු මහා පරිමානයේ භූමිකම්පා එසේ කෙටි කලක් තුළ ඇති වීම හුදෙක් අහඹු සිදුවීමක් මිස පෘථිවි අභ්‍යන්තරයේ විපර්යාසයක ඉගියක් නොවන බවයි. http://tiny.cc/MegaQ

සිදු වන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භිතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමුහික චින්තනයට සමීප වෙලාද?

1955 ජුනි 20 වනදා අපේ දිවයිනට අවසාන වරට පූර්ණ සූර්යග‍්‍රහණයක් දිස් වූ අවස්ථාවේ ලස්සන වන්නට යයි සිතා ගෙන වදකහ බී රෝහල් ගත වූ කථාව අප අසා තිබෙනවා. අදට වඩා අධ්‍යාපන මට්ටම් අඩු වූ එවකට එබන්දකට හසු වූවත්, තොරතුරු සමාජයේ ඇලී ගැලී වාසය කරන වත්මන් ලාංකිකයන් 2012 ලෝක විනාශය ගැන මෙතරම් දැඩිව අදහන්නේ ඇයි? විචාරශීලිව හා තුලනාත්මකව යමක් විග‍්‍රහ කිරීමේ හැකියාව ඒ තරමට අප සමාජයේ මොට වී ගිහින් ද?

සිවුමංසල කොලූගැටයා #58: විනාශයක් ළග එනවා – ඒකට අපි සැරසෙනවා!

In this week’s Sunday column, published in Ravaya newspaper of 18 March 2012, I take a critical look at the mounting hype and hysteria about the world ending in December 2012.

The Wikipedia describes the ‘2012 phenomenon’ as comprising a range of eschatological beliefs according to which cataclysmic or transformative events will occur on 21 December 2012. In reality, it’s a blockbuster Hollywood movie, rather than any ancient prophecy, that triggered this wave of public concern!

Much of this information was drawn from NASA’s webpage on the topic where reputed scientists answer questions that they are frequently asked regarding 2012.
See also my English blogpost on this, written on 5 Jan 2012.

2012දී ලෝක විනාශයක් සිදු වෙයි ද? එසේ වන බවට අතීත ශිෂ්ටාචාරයක් හෝ පිටසක්වල ජීවීන් හෝ කල් තබා අනතුරු අගවා ඇත් ද? එසේ නම් අපි පණ බේරා ගන්නේ කොහොමද?

මේ දිනවල නිතර කථා බහට තේමා වන ප‍්‍රශ්න අතර මේවා ද තිබෙනවා. ලෝකයේ ආර්ථික ප‍්‍රශ්නල පාරිසරික ප‍්‍රශ්නල යුද්ධ අරගල ආදිය මදිවාට ලෝක විනාශය ගැනත් අප බිය විය යුතු ද? මොකක්ද මෙහි සැබෑ කථාව?

ලෝකය විනාශ වීම අතීතයේ සිට මිනිසුන් තුළ තිබූ බියක්. ලෝකය හා විශ්වය ගැන විද්‍යාත්මක තොරතුරු දැන ගත් පසුවත් බොහෝදෙනා තුළ තවමත් යන්තමින් හෝ මෙබදු භීතියක් තිබෙනවා. විද්‍යාව හා තර්කානුකූල චින්තනය හෙළා දකින ඇතැම් දෙනාල ස්වයංමුලාවකට පත් වීමටත්, අන් අය බිය වැද්දීමටත් භාවිත කරන එක් සංකල්පයක් නම් යම් නිශ්චිත දිනෙක ලෝකය විනාශ වීමයි.

ලෝක විනාශය ගැන විග‍්‍රහයේදී භෞතික විද්‍යාවට අමතරව සමාජ විද්‍යාව හා මනෝ විද්‍යාව ද යොදා ගත යුතු වන්නේ මේ නිසයි. මගෙන් මේ ගැන විමසන අයට මා කියන්නේ ලෝක විනාශ ව්‍යාපාරය (End of the World Industry) නම් අළුත් වෙළදාමක් බිහි වී ඇති නිසා එයට හසු නොවන ලෙසයි.

එහෙත් අසුබවාදී දෙය අදහන්නට අපේ ඇත්තන්ට ලොකු ඕනෑකමක් තිබෙනවා. ‘2012 ලෝක විනාශය’ ගැන විමසීම් රැසක් ලැබෙන්නට පටන් ගත් විට අමෙරිකාවේ අභ්‍යවකාශ කටයුතු භාර නාසා ආයතනය ඒ ගැන විද්වත් තොරතුරු ඇතුළත් වෙබ් පිටුවක් 2011 නොවැම්බරයේ ආරම්භ කළා. බලන්න: http://www.nasa.gov/topics/earth/features/2012.html

ඉංග‍්‍රීසි බසින් ඇති මේ වෙබ් පිටුවේ මුල් ම ප‍්‍රශ්නය හා උත්තරය මෙයයි.
ප‍්‍රශ්නය: 2012 දෙසැම්බරයේ ලෝක විනාශය සිදුවන බවට බොහෝ දෙනා හා ඇතැම් වෙබ් අඩවි කියනවා. මෙහි ඇත්ත කුමක් ද?

උත්තරය: 2012 දී පෘථිවියට එසේ විපතක් හෝ අන්තරායක් ඇති වේ යයි කීමට පදනමක් නැහැ. වසර බිලියන් 4කට වැඩි කලක් තිස්සේ පැවත එන පෘථිවිය 2012 මහා තර්ජනයකට ලක් වන බවට ලොව කිසිදු විද්‍යාඥයකු ප‍්‍රකාශ කර නැහැ.

2012 ලෝක විනාශය ගැන ලෝක ව්‍යාප්ත විශ්වාසයේ අගමුල නාසා වෙබ් අඩවිය විග‍්‍රහ කරනවා. එය ඇරඹුණේ නිබිරු (Nibiru) නම් අයාලේ යන ග‍්‍රහලෝකය ගැන ප‍්‍රබන්ධයකින්. තාරකා විද්‍යාඥයන් නොදන්නා මේ අද්භූත ග‍්‍රහලෝකයල පෘථිවියේ ගැටෙනවා යයි මුලින් ‘අනාවැකි’ පළකර තිබුණේ 2003දි. එහෙත් එය සිදු නොවූ විට ලෝක විනාශ සංකල්පවාදියෝ කිසි ලැජ්ජාවකින් තොරව ඒ දිනය 2012 දෙසැම්බරයට මාරු කළා!

මධ්‍යම ඇමෙරිකාවේ අද හොන්ඩුරාස්, ගුවාතමාලා, නිකරාගුවා සහ මෙක්සිකෝව නමින් හැදින්වෙන ප‍්‍රදේශවල සියවස් ගණනක් තිස්සේ පැවති මායානු ශිෂ්ටාචාරයත් මේ ලෝක විනාශ කතන්දරයට ඈදා ගෙන තිබෙනවා. මායාවරුන්ගේ ඓතිහාසික කැලැන්ඩරය අපේ සම්මත වර්ෂවලින් 5,125ක් දිගු බවත්, එය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 වනදා බවත් පෙන්වා දෙන උදවිය, එයින් සංකේතවත් කැරෙන්නේ මානව සංහතියෙ අවසානය බවත් කියනවා. මේ සඳහා ඔවුන්ට තර්කානුකූල සාක්‍ෂි නැතත්, අද්භූත හා විනාශකාරී තොරතුරුවලට ලොල් බවක් දක්වන ජනයා අතරේ ජනප‍්‍රිය වීමට හැකිව තිබෙනවා.

නාසා වෙබ් අඩවිය කියන්නේ යම් අවස්ථාවක නිබිරූ ප‍්‍රබන්ධය හා මායා කැලැන්ඩරයේ ප‍්‍රබන්ධය එකිනෙකට බද්ධ වී වඩාත් බිහිසුණු ලෝකවිනාශ ”අනාවැකියක්” බවට පත් වී ඇති බවයි.

පුරාණ මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වූවත්, අප දැන් භාවිත කරන වර්ෂ ක‍්‍රමයේ අළුත් වසරක් හැම ජනවාරි 1වනදා ම ඇරඹෙන අයුරින් ඔවුන්ගේ ද නව දිනවකවානු චක‍්‍රයක් ඇරඹිය හැකියි. කැලැන්ඩරයක් හමාර වූ පලියට ලෝකය හමාර නොවන බව නාසා අපට මතක් කර දෙනවා. ඒ අතර මායාවරුන්ගේ කැලැන්ඩරය 2012න් අවසන් වීමට තවත් හාස්‍යජනක හේතූන් දක්‍ෂ කාටූන් ශිල්පීන් ද මතු කර තිබෙනවා!

Simple explanations are always the best – but not entertaining enough?

2012 දී ලොව විනාශ වන බවට කිසිදු සඳහනක් අතීත මායාවරුන්ගේ ලේඛනවල හෝ පුරාවස්තු නටඹුන්වලින් හමු වී නැති බව මායා ශිෂ්ටාචාරය ගැඹුරින් අධ්‍යයනය කළ මානව විද්‍යාඥයෝ හා පුරා විද්‍යාඥයෝ කියනවා.

‘ලෝක විනාශය’ නොයෙක් දෙනා තේරුම් ගන්නේ විවිධාකාරයෙන්ග සමහරුන් එය දකින්නේ අපේ ග‍්‍රහලෝකය ම පුපුරා කැබලි වී යන හැටියට. ඇතමුන් එය මිහිතලය මත ජීවය විනාශ වී ගොස් අජීවී ද්‍රව්‍ය පමණක් ඉතිරි වීමක් ලෙස සළකනවා. මේ දෙක අතර තවත් විවිධ විය හැකියාවන් පරිකල්පනය කළ හැකියි. එයින් ඇතැම් ඒවාට විද්‍යාත්මක පදනමක් ඇතත් විය හැකියාව අඩුයි.

උදාහරණයක් නම් ලෝක ව්‍යාප්ත න්‍යෂ්ටික යුද්ධයක්. මුළු මහත් ජීවීන් සියළු දෙනා මිහිපිටින් අතු ගා දමන්නට නම් ඉතා අධික විකිරණශීලිතාවයක් ග‍්‍රහලෝකය පුරා පැතිරිය යුතුයි. සීතල යුද්ධයේ ඇතැම් අවස්ථාවල එබදු තුන්වන ලෝක යුද්ධයක අභිමුඛයට ආවත් එබන්දක් සිදු වූයේ නැහැ.

2012 දී ග‍්‍රහලෝක එක ම හෝ ආසන්න හෝ රේඛාවක පිහිටීමෙන් පෘථිවියට අහිතකර බලැපෑම් ඇති විය හැකි ද? මේ පැනයටත් නාසා පිළිතුරු දෙනවා. එවැනි ග‍්‍රහ පිහිටීමක් 2012දී හෝ තවත් දශක ගණනාවකට සිදු නොවන බවත්, එබන්දක් සිදු වන විට පවා (ග‍්‍රහලෝක අතර ඇති අති විශාල දුර ප‍්‍රමාණ නිසා) කිසිදු බලපෑමක් ඇති නොවන බවත් ඔවුන් අවධාරණය කරනවා.

අපේ චක‍්‍රාවාටයේ (ගැලක්සියේ) තලයට සාපේක්‍ෂව පෘථිවියේ පිහිටීම ගැන විවිධ අද්භූත මත ප‍්‍රචලිත වී ඇතත් එබදු කිසිවක් අපේ ලෝකයට දැනෙන ආකාරයේ බලපෑමක් කළ නොහැකි යයි නාසා කියනවා.

අයාලේ යන ග‍්‍රහ කැබැල්ලක් හෝ උල්කාපාතයක් හෝ පෘථිවියේ ගැටීමෙන් මහ විනාශයක් සිදුවිය හැකි ද? මෙය විද්‍යාත්මක පදනමක් ඇති ප‍්‍රශ්නයක්. පෘථිවි ඉතිහාසය පුරා මෙබදු ගැටුම් විටින් විට සිදු වී ඇති බවට භූ විද්‍යාත්මක සාක්‍ෂි තිබෙනවා. එහෙත් මහා පරිමානයේ ගැටුම් ඉතා විරලයි. අවසන් වරට එබන්දක් සිදුව ඇත්තේ වසර මිලියන් 65කට පෙර. ඩයිනසෝරයන් ඇතුළු බොහෝ ජීවීන් වඳ වී යාමට තුඩු දුන් ඒ ගැටුමෙන් ද මිහිපිට ජීවය තුරන් වූයේ නැහැ.

පෘථිවිය ආසන්නයට එන හා ගැටීමේ ඉඩ ඇති සියළුම ග‍්‍රහවස්තු ගැන ලොව පුරා තාරකා විද්‍යාඥයෝ නිරතුරුව විමසිල්ලෙන් සිටින නිසා අද දවසේ එබදු අනතුරක් වසර ගණනකට පෙර දත හැකියි. එබන්දක් දැන ගත් විට එයට ගත හැකි ක‍්‍රියාමාර්ග තිබෙනවා. 2012දී එබදු ග‍්‍රහ ගැටුමක සේයාවක්වත් නැහැ. මේ සියළු තාරකා විද්‍යා තොරතුරු ඕනෑ ම කෙනකුට බලාගත හැකි පරිදි වෙබ් අඩවිගත කර තිබෙනවා. කුමන්ත‍්‍රණවාදී වෙබ් අඩවි වෙනුවට පිළිගත් විද්‍යාත්මක වෙබ් අඩවිවලින් තොරතුරු ලබා ගන්න.

මහජනයා බිය කර භාණ්ඩ හා සේවාවන් විකුණන අයට නම් මේ වසර හොඳ අවස්ථාවක්. 2012 ලෝක විනාශය පිළිබඳ මිථ්‍යාවලට බෙහෙවින් දායක වූයේ ද මීට තෙවසරකට පෙර හොලිවුඞ් නිපද වූ චිත‍්‍රපටයක් ‘2012’ නම් වූ එය ඉතා ත‍්‍රාසජනක ලෙසින් ඉදිරිපත් කළේ මේ වසරේදී භූමිකම්පා, ගිනිකදු විදාරණය ඇතුළු භූවිද්‍යාත්මක ව්‍යසනයන් රැසක් සිදු වී මිහිපිට බොහෝ ජනාවාස විනාශ වී යන සැටියි.

තනිකර ම ප‍්‍රබන්ධයක් වන මේ චිත‍්‍රපටයේ අලෙවිකරණ උපක‍්‍රමයක් ලෙස ලෝක විනාශය ගැන ‘විද්‍යාත්මක’ ගවේෂණ කරන වෙබ් අඩවියක හැඩ රුව රැගත් බොරු වෙබ් අඩවියක් මුදා හරිනු ලැබුවා. Institute for Human Continuity නම් කල්පිත ආයතනයක නමින් පවත්වාගෙන ගිය මේ වෙබ් අඩවියල නිර්මාණශීලී උත්සාහයක් වූවත් එය සැබෑවක් ලෙස වරදවා වටහා ගත් බොහෝ දෙනා බියපත් වී සිටිනවා.

සැබෑ විද්‍යාඥයන් හා අධ්‍යාපනවේදීන් මේ ප‍්‍රචාරණ ක‍්‍රමය දැඩි සේ විවේචනය කළත් අන්තිමේදී 2012 චිත‍්‍රපටය ඩොලර් මිලියන් 770ක ආදායමක් ලබා ගත්තා. මේ දෙස බලා සිටි ටෙලිවිෂන් ආයතන, පොත් ප‍්‍රකාශකයෝ හා වෙනත් ව්‍යාපාරිකයෝ ද මේ 2012 භීතියෙන් ආදායම් උපදවා ගැනීමේ උපක‍්‍රම දියත් කළා.

අද බොහෝ දෙනකු මංමුලා වී සිටින්නේ සැබෑව හා මිථ්‍යාව තෝරාගත නොහැකිවයි. නිල මූලාශ‍්‍රයන් හා විද්වත් ආයතන කියන දේට වඩා කුමන්ත‍්‍රණවාදීන් කියන දේ අදහන්නට කවදත් කැමති පිරිසකුත් හැම සමාජයක ම සිටිනවා. කණගාටුව නම් පුරාණ මායාවරුන් ද මේ නූතන භීතිකා ව්‍යාපාරයට සම්බන්ධ කර ගැනීමයි.

එමෙන්ම 2012 ලෝක විනාශයක් ගැන කථා කිරීමෙන් අද ලොව හමුවේ තිබෙන සැබෑ අභියෝගවලට ලැබිය යුතු අවධානය අඩුවන බවත් මැදහත් විද්‍යාඥයන්ගේ මතයයි. ගෝලීය දේශගුණ විපර්යාස,ජීවී විශේෂ වඳ වී යාමේ තර්ජනය හා ආහාර-ජලය-බලශක්ති පිළිබඳ හිගයන් අද අපට මුහුණ දීමට ඇති මහා ප‍්‍රශ්න අතර තිබෙනවා. 2012 දෙසැම්බරයේ අප සියළු දෙනා විනාශ වනවා නම් මේ ප‍්‍රශ්න විසදීමට උත්සාහ කිරීමේ තේරුමක් ඇත් ද? මේ අයුරින් බලන විට සංත‍්‍රාසය ඇති කිරීමට සමහරුන් ගෙන යන ලෝක විනාශ සංකල්පවාදය මුළුමනින් විචාර බුද්ධියට හා තර්කානුකූල චර්යාවන්ට එරෙහි බව පැහැදිලියි.

2012 දෙසැම්බර් 21දා ‘ලෝක විනාශය’ ගැන කෙළවරක් නැති ප‍්‍රලාඵයන්ගෙන් විඩාවට පත් තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංග, ඒ ගැන තර්ක කරන අයට විවෘත අභියෝගයක් කරනවා. 2011 නොවැම්බර් 15දා රූපවාහිනියේ ‘බටහිර අහස’ සජීව වැඩසටහන ඔස්සේ ඔහු කීවේ මෙයයි: “ලෝක විනාශයක් ගැන ඔය තරමට දැඩි සේ අදහනවා නම් 2012 දෙසැම්බර් 22 වනදා සිට බල පවත්වන පරිදි ඔබ සතු දේපළ මට උරුම වන්නට නීත්‍යානුකූලව පවරන්න. එසේ කරන කෙනකුට ඒ දේපොල වටිනාකමින් සියයට 10ක් දැන් ගෙවීමට මා සූදානම්!”

2012 මාර්තු 15දා වන තුරුත් කාවන්ගේ අභියෝගය කිසිවකු භාර ගෙන තිබුණේ නැහැ. එහෙත් 2012 ලෝක විනාශ ප‍්‍රබන්ධය රස කරමින් පතුරුවන අයගේ අඩුවක් ද නැහැ. ඉදිරි මාස කිහිපයේ මේ ප‍්‍රබන්ධය හරහා ස්වයංමුලාවට පත් වන අය මෙන් ම එයින් අවස්ථාවාදී ලෙස බඩ වඩා ගන්නා අය ගණනත් ඉහළ යනු ඇති. මුළු මහත් ලොව ම වැනසෙන විට ආනුභාව සම්පන්න ලංකා දිවයින පමණක් කෙසේ හෝ නොනැසී පවතිනු ඇතැයි අපේ ජ්‍යොතිෂකාරයකු කියන්නටත් ඉඩ තිබෙනවා!

2012 දෙසැම්බර් 22දාට පසු යළිත් මේ ගැන කථා කරමු.