සිවුමංසල කොලූගැටයා #262: ලාංකිකයන් දෙදෙනෙක් එවරස්ට් කන්ද තරණයට සැරසෙයි

Jayanthi Kuru-Utumpala and Johann Peries: Aiming it real high...

Jayanthi Kuru-Utumpala and Johann Peries: Aiming it real high…

An experienced mountaineering duo, Jayanthi Kuru-Utumpala and Johann Peries, are the first Lankans to attempt the summit of Mt. Everest in the forthcoming Spring 2016 mountaineering season.

They have both individually and as a team successfully completed some of the world’s most challenging treks in Asia, Africa and Latin America – not to mention all key peaks in Sri Lanka.

Professionally, Jayanthi is a women’s rights and gender expert while Johann is a hair and make-up designer and performing artist. They are dedicating this climb to their families, to the causes they advocate (conservation, gender equality and healthy living), and to every child, woman and man of Sri Lanka.

They plan to be part of a larger team led by International Mountain Guides (IMG), a globally renowned mountaineering company which has led several successful Mt. Everest expeditions over the past 30 years.

In this week’s Ravaya column (appearing in the print issue of 27 March 2016), I look at the history of Everest exploration and the two Lankans plans to conquer it.

See also my recent English interview with the duo:

Sunday Observer, 28 Feb 2016: Taking Lanka to the Top of the World

At the Summit of Kilimanjaro, highest peak in Africa - Johann Peries on extreme left Jayanthi Kuru-Utumpala 3rd from left

At the Summit of Kilimanjaro, highest peak in Africa – Johann Peries on extreme left Jayanthi Kuru-Utumpala 3rd from left

ඇන්ටාක්ටිකාවට ගිය ලාංකිකයන් තිදෙනකු ගැන මේ කොලමෙන් මීට පෙර අප කතාබහ කළා (2012 දෙසැම්බර් 2 රාවය).

ඉතිහාසයේ මුල් වතාවට ලෝකයේ උසම කඳු මුදුනට නැගීමට ලාංකිකයන් දෙදෙනකු මේ දිනවල සූදානම් වනවා.

එවරස්ට් ලෝකයේ උසම කඳු සිරසයි. එය නේපාලය හා ටිබෙටය අතර පිහිටා තිබෙනවා. එහි උස මුහුදු මට්ටමේ සිට මීටර් 8,848ක් (අඩි 29,029) ක්. සංසන්දනය සඳහා ශ‍්‍රී ලංකාවේ උසම කන්ද වන පිදුරුතලාගල උස මීටර් 2,524 (අඩි 8,281) යි. මේ අනුව එවරස්ට් අපේ උසම කන්ද මෙන් තුන හමාර ගුණයක් උසින් වැඩියි.

ලෝකයේ තුන්වන ධ‍්‍රැවය (Third Pole) ලෙස ඇතැම් විට හැඳින් වෙන හිමාලය කඳුවැටියේ පිහිටි එවරස්ට් තරණය කිරීම ඉතා දුෂ්කර හා සීරුවෙන් කළ යුතු කාරියක්. කාය ශක්තිය හා මානසික ඒකාග‍්‍රතාව යන දෙකම ඉතා හොඳින් අවශ්‍ය වන්නක්.

මේ අභියෝගයට මුහුණ දෙන්නේ ජයන්ති කුරුඋතුම්පලා හා යොහාන් පීරිස්. ඔවුන් මෙරට සිටින අත්දැකීම් බහුලතම කඳු නගිින්නන් දෙදෙනෙක්.

පෞද්ගලික මට්ටමින් ඔවුන් ගන්නා ප‍්‍රයත්නයට ජනපති, අගමැති දෙපළගේ ආශිර්වාදය ලැබී තිබෙනවා. 2016 අපේ‍්‍රල් – මැයි කාලයේ ඔවුන් මේ ගමන යන්නේ වසර 30ක් පමණ තිස්සේ සාර්ථක එවරස්ට් තරණයන් රැසක් කොට ඇති ඉන්ටර්නැෂනල් මවුන්ටන් ගයිඞ් (IMG) නම් සමාගමේ මාර්ගෝපදේශ සපයන කණ්ඩායමක් සමගයි.

ජයන්ති වෘත්තියෙන් කාන්තා අයිතිවාසිකම් හා ස්ත‍්‍රී-පුරුෂ සමාජ භාවය පිළිබඳ විශේෂඥවරියක්. යොහාන් මෙරට ජනප‍්‍රිය කොණ්ඩා සැකසුම් ශිල්පියෙක්.

ශරීර සුවතාවය, සොබා දහම් ගවේෂණය හා එළිමහන් වික‍්‍රමයන්ට මේ දෙදෙනාම මහත් සේ ලැදියි.

මෙරට සියලූම උස් කඳු මුදුන් තරණය කර ඇති ඔවුන් ගෙවී ගිය වසර කිහිපය තුළ ආසියාවේ, අප‍්‍රිකාවේ හා දකුණු ඇමෙරිකාවේ උස් කඳු ගණනාවක් නැගීමෙන් අත්දැකීම් රැසක් ලබා සිටිනවා.

අප‍්‍රිකාවේ උසම කන්ද වන ටැන්සේනියාවේ කිලිමන්ජාරෝ Mount Kilimanjaro (මීටර් 5,895 හෙවත් අඩි 19,340), නේපාලයේ ඉම්ජා සේ කන්ද Mount Imja Tse (මීටර් 6,189 හෙවත් අඩි 20,305) මෙන්ම එවරස්ට් කන්දෙ මීටර් 5,384ක් (අඩි 17,598) උසින් පිහිටි කඳු නගින්නන්ගේ අතරමග කඳවුරට (Everest Base Camp) ඔවුන් ගොස් තිබෙනවා.

දශකයකට අධික කාලයක් ඉමහත් පරිශ‍්‍රමයෙන්, කැපවීමෙන් හා අධිෂ්ඨානයෙන් ලබා ගත් පුහුණුව මත පදනම් වෙමින් ජයන්ති හා යොහාන් එවරස්ට් තරණයට දැන් යොමු වන්නේ ජීවිතයේ ලොකුම අභියෝගයට මුහුණ දීමටයි.

එවරස්ට් කන්දට මේ නම දුන්නේ බි‍්‍රතාන්‍ය පාලකයන්. ඉන්දියාවේ මිනුම්පතිවරයා ලෙස 1830-1843 වකවානුවේ සේවය කළ ජෝර්ජ් එවරස්ට්  (Sir George Everest) නම් මිනින්දෝරු හා භූගෝල විද්‍යාඥයා සිහිවීම පිණිස මේ නම භාවිතය ඇරැඹුණේ 1856දී.

එයට පෙර විවිධ දේශීය නම්වලින් මේ කන්ද හැඳින්වුණා. ටිබෙට් ජාතිකයන් එයට ‘චෝ මොලූන්මා’ (Chomolungma) කීවේ කඳු අතර දේව මාතාව යන අරුතින්. නේපාල බසින් එයට සාගර්මාතා (Sagarmatha) හෙවත් ‘අහසේ නළල් තලය’ යයි කියනවා. ප‍්‍රබලව පෙනෙන කඳු ශිඛරවලට පූජනීය මට්ටමකින් සැලකීම මේ දෙරටේම දේශීය සම්ප‍්‍රදායන්ට අයිති වූවක්.

එවරස්ට් කන්ද මහාලන්ගුර් නම් හිමාල කඳු පෙළක (Mahalangur mountain range) පිහිටා තිබෙනවා. මේ ප‍්‍රදේශය උස කඳුවලින් ගහනයි. 1856දී මුල්වරට විද්‍යාත්මකව උස නිර්ණය කරන තුරු මෙය ලොව උසම කන්ද  බව දේශීය ජනයා දැන සිටියේ නැහැ.

එවරස්ට් කන්ද නැගීමට මුල්ම උත්සාහය ගත්තේ 1921දී. ඒ කාලයේ නේපාලයට විදේශිකයන්ට පිවිසීමට අවසර නොතිබූ නිසා එවරස්ට් නැග්ම විබෙට් පැත්තෙන් කෙරුණා. එම උතුරු මුහුණතින් මීටර් 7,000ක් ඉහළට යාම 1921දීත්, මීටර් 8,000ක් දක්වා ඉහළට නැගීම 1922දීත් කරනු ලැබුවා.

අධික ශීතල  හා කුණාටු බහුල මේ පරිසරයේ වාතයේ ඔක්සිජන් මට්ටමද අඩුයි. මේ නිසා කඳු නැඟීමට තැත් කරන අය ඉක්මනින් හා ලෙහෙසියෙන් ශාරීරික පීඩාවට පත් වනවා. එසේම අති දුෂ්කර බෑවුම් තරණය කිරීම අන්තරායකාරී අභියෝගයක්.

එවරස්ට් තරණය කිරීමට උත්සාහයන් ඇරැඹුණු සමයේ පටන්ම විටින් විට අනතුරු හා මරණ ද වාර්තා වුණා. 1924 ජුනි 8 වනදා එවරස්ට් කඳු මුදුනට ආසන්න වූ ජෝර්ජ් මැලරි හා ඇන්ඩෘ අර්වින් (George Mallory and Andrew Irvine) නම් අත්දැකීම් බහුල කඳු නගින්නන් දෙදෙනා හිටි අඩියේම අතුරුදන් වුණා.

ඔවුන් අනතුරට පත් වූයේ එවරස්ට් ජය ගත්තාට පසුවද, නැතිනම් ඊට පෙරද? මේ දෙගිඩියාව අභිරහසක් ලෙස දශක ගණනක් පැවතියා. 1999දී මැලරිගේ මළ සිරුර හිම අතරින් සොයා ගත්තේ මීටර් 8,155 (අඩි 26,755) උසකදී.

1930 හා 1940 දශකවලදී තවත් යුරෝපීය කඳු නඟින්නන් ගණනාවක් එවරස්ට් ජය ගන්නට තැත් කළත් අන්තිම මීටර් සිය ගණන තරණය කිරීම ඔවුන් සැමටම අපහසු වුණා.

1950 කොමියුනිස්ට් චීනය දැඩි බලහත්කාරයෙන් ස්වාධීන ටිබෙට් රාජ්‍යය අත්පත් කර ගත් පසු උතුරු මුහුණතින් ටිබෙට් පැත්තේ සිට එවරස්ට් නැගීම නතර වුණා. එතැන් පටන් කඳු නගින්නන් නේපාල පැත්තෙන් ගවේෂණ පටන් ගත්තා.

මුල්ම සාර්ථක එවරස්ට් කඳු තරණය සිදු කළේ 1953 මැයි 29 වනදා. බි‍්‍රතාන්‍ය කඳු නැගීමේ ගවේෂණ කණ්ඩායමක් ජෝන් හන්ට්ගේ නායකත්වයෙන් ටිකෙන් ටික මුදුනට ළං වුණා. අවසන් අදියරේදී ඉදිරියට ගියේ නවසීලන්ත ජාතික එඞ්මන්ඞ් හිලරි හා නේපාල ජාතික ටෙන්සිං නෝර්ගේ (Edmund Hillary and Tenzing Norgay).

Edmind Hillary and Tenzing Norgay, first humans to climb Everest on 29 May 1953

Edmind Hillary and Tenzing Norgay, first humans to climb Everest on 29 May 1953

ඔවුන් එදින (නේපාල වේලාවෙන්) පෙරවරු 11.30ට එවරස්ට් මුදුනට ළඟා වුණා. එහි ටික වේලාවක් ගත කොට, ඡායාරූප ගත් පසු සීරුවෙන් ආපසු බැස්සා. නැගීම තරමටම බැසීමත් අවදානම් සහගත කාරියක්.

හිලරි හා ටෙන්සිං නෝර්ගේ එවරස්ට් මුදුනේ ගත කළ කෙටි කාලයේදී ට‍්‍රාන්සිස්ටර් රේඩියෝවක් ක‍්‍රියාත්මක කොට රේඩියෝ විකාශයන් හසු කර ගැනීමට තැත් කළා. එහිදී ඔවුන්ට තේරෙන බසකින් අසන්නට ලැබුණේ කිලෝමීටර් 2,300කටත් වඩා දුරකින් පිහිටි කොළඹින් ආ විකාශයක්. එය Radio Ceylon විදේශීය විකාශයක්.

ඉන්දියානු අර්ධද්වීපය ඉලක්ක කරගෙන රේඩියෝ විකාශයන් එවකට මෙහි සිට නිතිපතා ප‍්‍රචාරය කෙරුණා. එයට අසන්නන් විශාල ගණනක යහපත් ප‍්‍රතිචාරද ලැබුණා. එවරස්ට් ජයගත් ඓතිහාසික මොහොතට ලාංකික සම්බන්ධයක්ද බිහි වූයේ එලෙසයි.

එදා මෙදා තුර වසර 63ක පමණ කාලය තුළ හාර දහසකට වැඩි දෙනෙකු එවරස්ට් කඳු මුදුනට ගොස් තිබෙනවා. සමහරුන් කිහිප වතාවක් මේ වික්‍රමය කර තිබෙනවාග එසේම 250ක් පමණ දෙනා එම උත්සාහයේදී අනතුරට පත්ව මිය ගොස් තිබෙනවා.

‘මරණයේ කලාපය’ ලෙස සමහරුන් හඳුන්වන අවසාන හා දුෂ්කරම නැගීම ඇත්තේ මීටර් 8,000 ඉක්ම වූ පසුවයි. ගිරිහිම නිපාත (avalanches) නිතර සිදු විය හැකියි.

කඳු නගින ශිල්ප ක‍්‍රම හා තාක්ෂණය දියුණු වී ඇතත් එවස්ට් නැගීම සැලකිය යුතු අවදානමක් තවමත් තිබෙනවා. 2015 වසරේ වසරේ එවරස්ට් තරණ උත්සාහයන් සියල්ල අත්හැර දමන්නට වුණේ 2015 අපේ‍්‍රල් 25දා සිදුවූ කම්පන මාපකයේ 7.8ක් වූ නේපාල භූමිකම්පාව නිසයි. එයින් හට ගත් ගිරිහිම නිපාතයෙන් 18 දෙනෙකු වැළලී මිය ගියා.

එසේම ඔක්සිජන් මට්ටම් බෙහෙවින් අඩුවීම නිසා මිනිස් දේහ ක‍්‍රියාකාරීත්වය අඩු වෙනවා. මේ නිසා මුහුදු මට්ටමින් ඉහළ ප‍්‍රදේශයක දින ගණන් ගතකොට එම පරිසරයට සිරුර හැඩගස්වා ගැනීම අවශ්‍යයි (acclimatization).

එවරස්ට් තරණයට තරමක් හෝ හිතකර කාලගුණ තත්ත්වයන් හමු වන්නේ වසරේ කෙටි කාලයක පමණයි. එනම් අපේ‍්‍රල් හා මැයි මාසවල සති කිහිපයක්. හැම වසරකම ලෝකයේ නන් රටවලින් එන සිය ගණනක් දෙනා මේ කෙටි කාලය තුළ එවරස්ට් තරණයට තැත් කරනවා.

මුල් වරට කාන්තාවක් එවරස්ට් තරණය කළේ 1975දී. ජපන් ජාතික ජුන්කෝ තාබේ (Junko Tabei) ඒ වික‍්‍රමය කළා. 2015 වනවිට කාන්තාවන් 400කට වඩා එහි ගොස් තිබෙනවා. 2014 මැයි මාසයේ මලවත් පූර්ණා (Malavath Purna) නම් ඉන්දියානු දැරිය මේ හපන්කම කරන විට ඇගේ වයස අවුරුදු 13 මාස 11යි. එහි ගිය ළාබාලම කාන්තාව ඇයයි.

එවරස්ට් ජය ගත් වයස්ගතම කාන්තාව ජපන් ජාතික තමායි වතානබේ (Tamai Watanabe). 2012දී ඇය දෙවන වරට එවරස්ට් නැංගේ වයස 73දී. මේ දක්වා මේ වික්‍රමය කළ වයස්ගතම පුද්ගලයාත් ජපනෙක්ග ඒ යුඉචිරෝ මියුරා (Yuichiro Miura). 2013දී ඔහු එවරස්ට් නගින විට වයස 80යි.

එවරස්ට් නැගීමට නේපාල රජයේ අවසරය අවශ්‍යයි. වාර්ෂිකව බලපත‍්‍ර දෙනු ලබන්නේ සීමිත සංඛ්‍යාවක්. එසේම වගකීම් සහිතව මේ කාරියේ නිරතවීමේ වැදගත්කම නේපාල බලධාරීන් අවධාරණය කරනවා. තමන්ගේ හා අන් අයගේ ජීවිත අනවශ්‍ය ලෙස අවදානමට ලක් නොකර, කඳුකර පරිසරයේ හිතුමතයට කසල නොදමා ක‍්‍රියා කරන මෙන් සියලූ කඳු නගින්නන්ට අවවාද කැරෙනවා.

ලෝකයේ විවිධ රටවල ගැහැනුන් හා පිරිමින් මේ හපන්කම කළත් මේ දක්වා ලාංකිකයන් ඔවුන් අතරට එක් වී නැහැ. වෙනත් හිමාල කඳු තරණය කළ ලාංකිකයන් ගැන ඉඳහිට වාර්තා වෙතත් එවරස්ට් උත්සාහය කැරෙන්නේ පළමු වැනි වතාවටයි.

මේ සඳහා රුපියල් මිලියන 19ක වියදමක් යනවා. බැලූ බැල්මට ලොකු මුදලක් සේ පෙනුනත් මහපාරේ දිවෙන මහජන නියෝජිතයන් රිසි සේ පාවිච්චි කරන පජෙරෝ එකක මිල මීට වඩා වැඩියි. ජයන්ති හා යොහාන් මේ මුදල එක් රැස් කර ගන්නේ සමාගම් කිහිපයක අනුග‍්‍රහයෙන් හා හිතමිතුරන්ගේ දානපති දීමනාවලින්.

පුහුණුවීම් හා මුදල් සෙවීම කරන අතරවාරයේ මීට ටික දිනකට පෙර ඔවුන් මා සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වුණා. මේ දෙදෙනාම ඉමහත් උද්‍යෝගයෙන්, අධිෂ්ඨාන පූර්වකව මේ වික‍්‍රමයට පිවිස ඇති බව ඔවුන් කී දෙයින් හොඳ හැටි පැහැදිලි වුණා.

මේ දක්වා ඔවුන්ගේ කඳු නැගීම් අතරින් වඩාත්ම දුෂ්කර වූයේ නේපාලයේ ඉම්ජා සේ නැගීම බව ඔවුන් කියනවා. එහි අන්තිම නැග්මේදී 70%ක් අයිස්වලින් සැදුනු මුහුණතක් පසුකර යාමටත්, ඉතා සීරුවෙන් පටු හෙල් මුදුනක් තරණය කිරීමටත් සිදු වුණා.

‘මුහුදු මට්ටමින් අඩි 20,000ක් පමණ උසින් ඔබ්බට ඔක්සිජන් හීන වීම නිසා සමස්ත ශරීර ක‍්‍රියාකාරීත්වයම මන්දගාමී වනවා. එයට ටිකෙන් ටික හුරු වීම හා හදිසියේ කිසිවක් නොකිරීම වැදගත්. නිසි පමණට ආහාර හා වතුර ගැනීම අවශ්‍යයි. කිසිදු ආහාර රුචියක් නැති වුවත් ශරීර ශක්තිය දිගටම පවත්වා ගැනීමට කෑම බීම ගැනීම වැදගත්.’  ජයන්ති හා යොහාන් කියනවා.

Sri Lankan Everest Expedition 2016 - logo

Sri Lankan Everest Expedition 2016 – logo

මානසික සෞඛ්‍යයද ඒ සමානවම වැදගත්. එවරස්ට් තරණය අවදානම් සහගත වැඩක්. අවාසනාවන්ත ලෙස එම උත්සාහයේදී මිය යන කඳු නගින්නන්ගේ මළ සිරුරු දින ගණන් හිම අතර රැඳී තිබිය හැකියි. ‘එවන් මළ සිරුරක් දුටුවිට කලබල නොවී, කම්පා නොවී හිත හදා ගැනීමත් අපේ දුෂ්කර කාරියේම එක් අභියෝගයක්.’ ජයන්ති කියනවා.

ඔවුන් මේ එවරස්ට් චාරිකාව හරහා ප‍්‍රණාමයට ලක් කරන්නේ තමන්්ට කවදත් දිරිය හා සවිය දෙන තමන්ගේ පවුල් හා තමන් පෙනී සිටින පොදු අරමුණයි. එනම් ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාව, සෞඛ්‍ය සම්පන්න දිවිපෙවෙත හා පරිසර සංරක්ෂණය.

තමන්ගේ චාරිකාවේ තොරතුරු හැකි පමණින් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා බෙදා ගැනීමටත් ඔවුන් සැලසුම් කරනවා. දැනටමත් මේ සඳහා නිල ෆේස්බුක් පිටුවක් තිබෙනවා. https://www.facebook.com/Everest-Expedition-Sri-Lanka-2016-841768315935549/?fref=ts  ජයන්ති ට්විටර් හරහාද අලූත් තොරතුරු බෙදා ගන්නවා. @jayfemrock

එවරස්ට් නගින්නේ කුමකටදැයි 1924 ගවේෂණයේ නායක ජෝර්ජ් මැලරිගෙන් නිව්යෝර්ක් ටයිම්ස් පත‍්‍රයේ වාර්තාකරුවකු ඇසුවා. ‘ඒ ඉතින් එය එතැන තිබෙන නිසානෙ’ (Because it’s there!) යයි මැලරි සැහැල්ලූවෙන් පිළිතුරු දුන්නා.

ඇත්තටම එවරස්ට් නැගීම ගැන විවිධ කඳු නගින්නන්ගේ අරමුණු හා ආකල්ප වෙනස්. මේ ප‍්‍රශ්නයම මා ජයන්තිට යොමු කළ විට ඇය කීවේ මෙයයි.

“එවරස්ට් නැගීම මා කුඩා කාලයේ සිටම තිබුණු සිහිනයක්. එම සිහිනය සැබෑ කරගැනීමට මා මහත් උත්සාහයෙන් ක‍්‍රියා කරනවා. එදිනෙදා ජීවන අරගලයෙන් ඔබ්බට යන ක‍්‍රියාවක නිරත වීමට ලැබීම අප ආයාසයෙන් පාදා ගත යුතු අවස්ථාවක්.”

“එවරස්ට් කන්ද ස්වභාවධර්මයේ විශ්මය ජනක ආශ්චර්යමත් නිර්මාණයක්. මුහුදු මට්ටමෙන් ඉතා ඉහළින්ම පිහිටා තිබීම, දේශගුණයට හුරු වීමේ ක‍්‍රියාවලිය හිම මිදෙනා උෂ්ණත්වය සහ ඉක්මනින් වෙනස් වන කාලගුණ තත්ත්වයන්ට අපගේ ගමනේ සියලූම අවස්ථාවන්හිදී මුහුණු දීමට සිදුවනු ඇති. නිසැකවම එය අපට අති දුෂ්කර අභියෝගයක් වේවි,” ජයන්ති පැවැසූවා.

Advertisements

Sri Lanka Everest Expedition 2016: Taking Lanka to the Top of the World

Sri Lankan Everest Expedition 2016 - logo

Sri Lankan Everest Expedition 2016 – logo

In February 2013, I interviewed Imalka de Silva, the first Lankan woman to visit Antarctica. She accomplished this feat in March 2010 when she joined an international team who spent two weeks on an expedition to the frozen continent.

I have just interviewed an experienced Lankan mountaineering duo, Jayanthi Kuru-Utumpala and Johann Peries, who plan to be the first Sri Lankans to reach the summit of Mt. Everest in the forthcoming Spring mountaineering season.

Jayanthi Kuru-Utumpala and Johann Peries: Aiming it real high...

Jayanthi Kuru-Utumpala and Johann Peries: Aiming it real high…

They have both individually and as a team successfully completed some of the world’s most challenging treks in Asia, Africa and Latin America – not to mention all key peaks in Sri Lanka.

Mount Everest is located in the Mahalangur mountain range in Nepal and Tibet, and its peak is 8,848 metres (29,029 ft) above sea level. It has so far been reached by over 4,000 people from many countries.

Professionally, Jayanthi is a women’s rights and gender expert while Johann is a hair and make-up designer and performing artist. They are dedicating this climb to their families, to the causes they advocate (conservation, gender equality and healthy living), and to every child, woman and man of Sri Lanka.

They plan to be part of a larger team led by International Mountain Guides (IMG), a globally renowned mountaineering company which has led several successful Mt. Everest expeditions over the past 30 years.

Read my full interview in The Sunday Observer (Sri Lanka), 28 Feb 2016:

Taking Sri Lanka to the Top of the World

At the Summit of Kilimanjaro, highest peak in Africa - Johann Peries on extreme left Jayanthi Kuru-Utumpala 3rd from left

At the Summit of Kilimanjaro, highest peak in Africa – Johann Peries on extreme left Jayanthi Kuru-Utumpala 3rd from left

සිවුමංසල කොලූගැටයා #66: රේඩියෝවෙන් ‘අපේකරණය’ කළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව

Four years ago, I wrote in a book review: “Here we have, straight from the original source, the story of how cricket became the de facto national past-time, if not our national addiction or religion! Like it or hate it, cricket is an integral part of our popular culture. Radio (and later TV) cricket commentaries take much of the credit (or blame, in some people’s view) for building up this uncommon fervour that occasionally unites our otherwise utterly and bitterly divided nation.”

In this week’s Ravaya column (in Sinhala), I dip into broadcasting history of Ceylon/Sri Lanka to find out more about the origins of live cricket commentaries in Sinhala. A principal source is the book I reviewed in 2008 soon after it came out: Palitha Perera Samaga Sajeeva Lesin (Live with Palitha Perera).

I refer to the pioneers of Sinhala cricket broadcasting over radio: Karunaratne Abeysekera and Palitha Perera. The duo drew guidance from their seniors like D M Colombage and H M Gunasekera.

Palitha Perera, who did the first ball-by-ball cricket commentary in Sinhala in March 1963, is still engaged in this enthralling practice nearly half a century later. He is now one of the three seniormost cricket commentators in the world with the longest track record.

L to R – H M Gunasekera, Palitha Perera, Karunaratne Abeysekera

කෘතහස්ත නිවේදක, මාධ්‍යවේදී හා මාධ්‍ය පරිපාලක එච්. එම්. ගුණසේකර සූරීන් අප අතරින් වියෝ වී දස වසක් පිරෙන්නේ මැයි 11 වනදාටයි. රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකෙහි ම හපන්කම් කළ ඔහු, අපට ගැලපෙන විද්යුත් මාධ්‍ය කලාවක් බිහි කරන්නට විශාල මෙහෙවරක් ඉටු කළා. ඔහු ගැන ගුණ සැමරුමක් වෙනුවට ඔහුත් යම් තරමකට සම්බන්ධ වූ මෙරට විද්යුත් මාධ්‍ය කලාවේ ජයග‍්‍රහණයක් ගැන අද මා විග‍්‍රහ කරනවා. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දේශීයකරණය හෙවත් අපේකරණය කරන්නට රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් වූ කථාවයි.

ජාති, ආගම්, කුල, දේශපාලන පක්‍ෂ හා වෙනත් සාධක නිසා දැඩි ලෙස භේද වූ අපේ රටේ සියළු දෙනා එක්සත් කරන දුර්ලභ පොදු සාධකයක් නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවයි. එංගලන්තයේ බිහි වී, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් මෙරටට හදුන්වා දෙනු ලැබ, දශක ගණනාවක් අපේ ඉහළ පැළැන්තියේ අයට සීමා වී තිබූ කි‍්‍රකට්, මුළු රටම ආදරයෙන් වැළඳ ගත්තේ කෙලෙස ද? අපේ දේශීයත්වයට සමීප තවත් ක‍්‍රීඩා තිබුණත් ඒ සියල්ල අභිබවා බාල-මහලූ-නාගරික-ගැමි-දුප්පත්-පොහොසත් හැම දෙනකු ම අතර වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව හා ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අංගයක් බවට ක‍්‍රිකට් පත් වූයේ කෙසේ ද?

එය අහම්බෙන් සිදු වූවක් නොවෙයි. නිල බලයෙන් දියත් කළ මහ ව්‍යාපෘතියක් ද නොවෙයි. එයට බොහෝ කොට ම හේතු වූයේ රේඩියෝ මාධ්‍යය හරහා සිංහලෙන් ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයයි. මේ සංස්කෘතික විප්ලවයේ අක්මුල් ගැන මා විපරම් කළා.

සිංහලෙන් ක‍්‍රිකට් තරග පිළිබඳ සාරාංශයන් රේඩියෝවෙන් ඉදිරිපත් කිරීම 1960දී ඇරඹුවේ නිවේදක කරුණාරත්න අබේසේකර විසින්. ඉරිදා දිනවල පස්වරු 5 සිට 6 දක්වා ඔහු ඉදිරිපත් කළ ‘සරස්වතී මණ්ඩපය’ වැඩසටහනෙන් ආනන්ද-නාලන්දා වාර්ෂික ක‍්‍රිකට් තරගයේ අවසන් දිනයේ අන්තිම පැය ආවරණය කළා.

ඔහු එසේ විවර කර දුන් මගෙහි ඉදිරියට ගිය ඊළග පුරෝගාමියා වූයේ 1961-62 වසරවල නාලන්දා පිළට ක‍්‍රීඩා කළ පාලිත පෙරේරායි. 1963 ජනවාරියේ ගුවන් විදුලි සේවයට බැදුණු ඔහු, ඒ වසරේ මාර්තුවේ ආනන්ද-නාලන්දා සමස්ත ක‍්‍රිකට් තරගය ම සජීව රේඩියෝ විස්තර ප‍්‍රචාරයක් කිරීමට යෝජනා කළා. එයට අවසර දුන්නේ එවකට සිංහල අංශයේ කථා සම්පාදක වූ එච්. එම්. ගුණසේකරයි.

පාලිත නාලන්දාවේ ආදි ශිෂ්‍යයකු වූ නිසා (සමබරතාව රැක ගනු පිණිස) ඔහුගේ සහයට කෙනකු ආනන්දයෙන් සොයා ගන්නා ලෙසත් එච්. එම්. පාලිතට කීවා. ඒ අනුව පාලිත පෙරේරාත් ආනන්දයේ එවකට විද්‍යා ගුරුවරයකු වූ රඝුනාත් වීරසූරියත් 1963 මාර්තු පැවති 34 වැනි ආනන්ද නාලන්දා ක‍්‍රිකට් තරගයේ මුල් ඕවරයේ සිට අන්තිම ඕවරය දක්වා සමස්ත ක‍්‍රීඩා තරගය ම සජීව ලෙසින් සිංහලෙන් විස්තර ප‍්‍රචාරය කළා.

කොළඹ බොරැල්ලේ, වනාතමුල්ලේ පිහිටි ඕවල් ක‍්‍රීඩාංගනයේ (දැන් පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනය) පැවති මේ තරගයේ විස්තර ප‍්‍රචාරය කිරීමේදී තාක්‍ෂණික මෙන් ම භාෂාමය අභියෝගවලට මුහුණ දුන් සැටි පාලිත ලියා තිබෙනවා. මේ ඉතිහාසය අද බොහෝ දෙනා දන්නේ නැති බවත්, දැන ගත්ත ද වැරදි අර්ථකථන නිසා ඒ දැනුම විකෘති වී ඇති බවත් පාලිත කියනවා.

කරුණාරත්න අබේසේකර 1960දී සංක්ෂිප්ත විස්තර ප‍්‍රචාර සිංහලෙන් අරඹන විට ඒ සඳහා ඔහුගේ රේඩියෝ ගුරුවරයා වූ ඞී. එම්. කොළඹගේ සූරීන්ගේ උපදෙස් ලද බව කරුගේ පුතු දිලීප අබේසේකර කියනවා. එල්ලේ ක‍්‍රීඩාවේ හමුවන පිත්ත, පන්දුව, කඩුල්ල වැනි වචන එලෙසින් ම ක‍්‍රිකට් සඳහා ද යොදා ගත් අතර වෙනත් යෙදුම් අවශ්‍යතාවයේ හැටියට සැනෙකින් සකසා ගනු ලැබුවා.

Live with Palitha Perera

Live with Palitha Perera

“පාලිත පෙරේරා සමග සජීව ලෙසින්” නමින් පාලිත 2008දී ලියූ පොතෙහි ඇති ආවර්ජනය තරමක් වෙනස්. සිය රේඩියෝ ජීවිතයේ මුල්ගුරු ලෙස ගෞරවපූර්වකව සළකන්නේ කරුණාරත්න අබේසේකරයන් බව හෘදයංගම ලෙස සඳහන් කරමින් පාලිත කියන්නේ සිංහලෙන් ක‍්‍රිකට් සන්නිවේදනයට අවශ්‍ය වූ වචන කෝෂය හා යෙදුම් වැඩිපුර ම නිර්මාණය වූයේ තමන් අතින් බවයි. එහෙත් භාෂා හා මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර දෙකේ දැවැන්තයන්ගේ උරහිස සිට වැඩි දුරක් දැකීමට හැකි වූ බව පාලිත නිහතමානීව පිලි ගන්නවා.

මුල් වසර කිහිපයේ පාලිත උපයෝගී කර ගත්තේ ක‍්‍රිකට් මූලධර්ම හා දර්ශනයට අනුකූල වූත්, සිංහල ශ‍්‍රාවකයන්ගේ දෙසවනට ගෝචර වූත් වචන හා යෙදුම් මාලාවක්. විජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාව අපේකරණයට මෙසේ උචිත වදන් පෙළක් බිහිකර ගැනීම තීරණාත්මක වූවා.

එහෙත් සිංහල පණ්ඩිතයන්ට මේ තරුණ නිවේදකයාගේ නව්‍යකරණය නොසෑහෙන්නට ඇති. ඒ නිසාදෝ ලංකා ගුවන්විදුලියේ (Radio Ceylon) අධ්‍යක්‍ෂ පාලිතට කියා සිටියා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සකසන ලද පාරිභාෂික ක‍්‍රිකට් වචන ලැයිස්තුවක් භාවිත කරන ලෙස. මේ අනුව පාලිත ඊළග ආනන්ද-නාලන්දා තරගයේදී මේ වචන යොදා විස්තර ප‍්‍රචාරය ඇරඹුවා.

ඒ යුගයේ ඕවල් ක‍්‍රීඩාංගනයේ වටේ ඇති මණ්ඩපවල කණුවල ලවුඞ්ස්පීකර් සවි කර විස්තර ප‍්‍රචාර එවේලේ ම එතැන සිටි සැමට සවන්දීමේ අවස්ථාව ලබා දී තිබුණා. Slips ක‍්‍රීඩකයන්ට සිංහල පණ්ඩිතයන් දී තිබූ යෙදුම “ලූහුට්ටා”. මේ අනුව පාලිතට කියන්නට සිදු වූයේ මෙවැනි විස්තර ප‍්‍රචාරයක්: “වැට රකින්නා ළගින් ම ලූහුට්ටන් පේලියක් ඉන්නවා. පළමුවැනි ලූහුට්ටා, දෙවැනි ලූහුට්ටා, තුන්වැනි ලූහුට්ටා….. දැන් මෙන්න ලූහුට්ටන් අතරින් පන්දුව ලූහුටලා හතරේ සීමාවට යනවා…!”

ටික වේලාවකින් කාර්මික නිලධාරී එඞ්මන්ඞ් තිලකරත්න පැමිණ පාලිතට මෙහෙම කිව්වා: “පාලිත මොනවද ඔය කියවන්නේ? අර පැවිලියන් එකේ ඉන්න මිනිස්සු එක දිගට හූ කියනවා ඕක අහලා!”

සජීව ප‍්‍රචරයේ රැදී සිටින අතර ගුවන්විදුලි අධිකාරීන්ට දන්වා උපදෙස් ගන්නැයි පාලිත ඔහුට කීවා. පාරිභාෂික වචන ලැයිස්තුව වහා නතර කිරීමට අනුමැතිය ලැබුණා. එදා මේ රටේ කි‍්‍රකට් ලෝලීන් හූ කිව්වේ පාලිතට නොවේ, අයෝග්‍ය වදන් පෙළක් බලෙන් සිංහල ශ‍්‍රාවකයන් මත පටවන්නට තැනූ සිංහල බක පණ්ඩිතයන්ටයි!

ඉනික්බිති සිදු වූ දෙය යළිත් පාලිතගේ ම වචනවලින්: “එහෙත් වැරැදීම් හා ප‍්‍රයර්ථන මගින් මා විසින් ම සකසා ගන්නා ලද ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර ප‍්‍රකාශයට ඇවැසි පාරිභාෂික වචන කෝෂය හා විස්තර යෙදුම් දිගට ම භාවිතයට ගත්තෙමි. හැත්තෑවේ දශකය පටන් ගන්නා විට එය රට ම පිළිගන්නා තරමට රටේ ව්‍යාප්ත වී තිබුණි. ඔප මට්ටම් කොට සාදා නිමවා තිබූ මෙම වචන කෝෂය ඊට පසු ආ මාධ්‍ය පරිහරනය කරන්නන් විසින් ලෙහෙසියෙන් ම භාවිතයට ගනු ලැබිණ.”

‘නොඉඳුල් ඕවරය’ යන්න කරු යෝජිත සිංහල වචනයක් වන අතර, ‘තණතිල්ල’ හා ‘නිලකුණු ඕවරය’ මහාචාර්ය විනී විතාරණ සූරින්ගේ නිමැවුම් බව පාලිත කියනවා. “දැවී යාම හදපු හැටි මටවත් මතක නැහැ. නමුත් දැන් එය ඉතා සමීප ලෙසින් සමාජගත වෙලා”, පාලිත මෑතදී මා සමග කීවා.

“අද ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන සියළු මාධ්‍යයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අරභයා භාවිතා කරන ක‍්‍රිකට් වචන කෝසයේ 95%ක නිර්මාණකරු මම වෙමි. මේ රටේ ක‍්‍රිකට් සිංහල සන්නිවේදන සාහිත්‍යයක් බිහි වීම සඳහා මගෙන් කෙරුණු මේ දායාදය පිළිබඳව කවුරුත් හෝ පිළිගැනිමක් හෝ සඳහනක් හෝ නොදැක්වීම කණගාටුවට කරුණකි,” යයි පාලිත සිය පොතේ ලියා තිබෙනවා (182-3 පිටු).

1963 මුල් ම සජීව සිංහල ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයට යොදාගත් විස්තර විචාරක අට්ටාලය ගැනත් කථාවක් තිබෙනවා. ලංකා ගුවන්විදුලියට එවකට තිබූ එක ම ඇලූමීනියම් අට්ටාලය (gentry) ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රකාශකයන් දෙදෙනාට වෙන් වුණා. එක අට්ටාලයේ සිට එකවර භාෂා දෙකකින් රේඩියෝ ප‍්‍රචාරයක් කළ නොහැකි නිසා අඹ ලී භාවිත කරමින් අඩි 5ක් පමණ උස කුඩා වේදිකාවක් තනා එය සිංහල විස්තර ප‍්‍රකාශකයන්ට දුන්නා. ඒ මත වරකට එක් අයෙකුට පමණක් පුටුවක් තබා හිඳ ගැනීමට ඉඩ තිබුණු අතර, හිසට උඩින් කිසිදු ආවරණයක් තිබී නැහැ.

Cricket in Sri Lanka – More than a game

මුල් විස්තර ප‍්‍රචාර සිංහලෙන් කළේ එක් අතකින් මයික‍්‍රෆෝනයත් අනෙක් අතින් කුඩයකුත් අල්ලා ගෙනයි! වසර කිහිපයක් සිංහල විස්තර ප‍්‍රචාරකයන් මේ තාවකාලික වේදිකාවට සීමා වූ අතර ඔවුන්ට ඇලූමීනියම් අට්ටාලය හිමි වූයේ 1968දී පමණ. ඒ වන විට සිංහල විස්තර ප‍්‍රචාර වඩාත් ජනප‍්‍රිය වී තිබුණා.

1963න් ඇරඹි පන්දුවෙන් පන්දුවට කරන සජිව ක‍්‍රීකට් විස්තර ප‍්‍රචාර ඉන් පසු සෑම වසරක ම ප‍්‍රධාන පාසල් ක‍්‍රිකට් තරග සඳහාත්, විටින් විට විදේශ ක‍්‍රිකට් කණ්ඩායම් මෙරටදී ශ‍්‍රි ලංකා පිල සමග තරග කරන විටදීත් ලබා දීමට පාලිත මුල් වුණා. ඒ සඳහා සහාය විස්තර ප‍්‍රචාරකයන් ලෙස තිලක සුදර්මන්ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක හා සිරිසෝම ජයසිංහ ආදීන් ද හවුල් කර ගත්තා.

1970 වන විට ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රචාර අභිබවා සිංහල විස්තර ප‍්‍රචාර බෙහෙවින් ජනප‍්‍රිය වුණා. 1971 කැරැුල්ලෙන් පසු රාජකීය-සාන්ත තෝමස් කි‍්‍රකට් තරගයට ද සිංහල විස්තර ප‍්‍රචාරයක් අවශ්‍ය වුණා. මේ අනුව 1972දී එම තරගයේ විස්තර ප‍්‍රචාරයට පෙමසර ඈපාසිංහ ද හවුල් කර ගත්තේ පාලිත විසින්. සුප‍්‍රකට ‘පාලිත-ඈපා සුසංයෝගය’ ඇරඹුණේ තැන් සිටයි.

ක‍්‍රිකට් ගමට ගොස් එය මුළු රටේ ජනප‍්‍රියවීමට තීරණාත්මක ලෙස හේතු වූයේ කරු හා පාලිත අරඹා, පසුව ඈපා ද සමග පෙරට ගෙන ගිය සුමට හා හුරුබුහුටි ශෛලිය බවට විවාදයක් නැහැ. අද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ වැජඹෙන සැවොම පාලිත හා ඈපා උගුරේ කෙළ ලේ රහ මතු වන තුරු කළ උදයෝගශීලී විස්තර ප‍්‍රචාරයන්ට ණය ගැතියි!

ශ‍්‍රි ලංකාව ටෙස්ට් ක‍්‍රිකට් වරම් ලබා 1982 පෙබරවාරියේ කොළඹ දී එංගලන්ත පිළට එරෙහිව කළ මංගල ටෙස්ට් තරගය එවකට අලූත් රූපවාහිනී සංස්ථාව හරහා මෙරට පේ‍්‍රකෂකයන්ට ගෙන ඒමේදී ප‍්‍රධාන විස්තර ප‍්‍රචාරකයා වුයේත් පාලිත පෙරේරායි. පාලිත-ඈපා සුසංයෝගය එසේ රේඩියෝවෙන් ටෙලිවිෂනයට ද සංක‍්‍රමණය වුණා.

මාධ්‍යය ක්ෂේත‍්‍රයේ ඇතැම් නොකටයුතුකම්වලට එරෙහිව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටීම නිසා විස්තර ප‍්‍රචාරවලින් පාලිත ඉවත් කළ අවස්ථා ද තිබෙනවා. ක‍්‍රීඩාගාරයක් අසලටවත් නොගොස්, තරගයක ටෙලිවිෂන් විකාශයක් බලමින් එය රේඩියෝවෙන් විස්තර කථනය කිරිම ඔහු එසේ ප‍්‍රතික්ෂේප කළ එක් අහිතකර ප‍්‍රවණතාවක්. එහෙත් ඇතැම් රේඩියෝ විස්තර ප‍්‍රචාර දැන් සිදු වන්නේ මේ අයුරින්.

ඇතැම් වැරදි සහගත සිංහල යෙදුම් ක‍්‍රිකට් වචන කෝෂයට කොහේදෝ සිට එක් වී දැන් මුල බැස ගෙන තිබෙනවා. හොඳ උදාහරණයක් නම් ‘තුන් ඉරියව්ව’යි. ඉංග‍්‍රිසියෙන් all-rounder යන්නට නිවැරදි සිංහල යෙදුම ‘සියලූ අංශවල දස්කම් පාන්නා’ වුවත් වැරදි යෙදුම තවමත් පුළුල්ව භාවිත වනවා.

ක‍්‍රිකට් අපේකරණයට දායක වූ පුරෝගාමී මාධ්‍ය චරිත ගැන මීට වඩා දැනුවත්කමක්, කෘතඥපූර්වක බවක් තිබිය යුතුයි. අද දැවැන්ත ව්‍යාපාරික මට්ටමට පත්ව ඇති ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩාව එතැනට ආවේ ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක‍්‍රීඩා ලෝලීන්ගේ උනන්දුව හා කැපවීම මෙන් ම ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයන්ගේ උද්‍යොගය හා දායකත්වය නිසා ද බව කිව යුතුයි.

See also:

Palitha Perera: The man who refused to be His Master’s Voice

The Island, 8 Oct 2009: Palitha Perera: ‘Singhalising’ Colonial Cricket