සිවුමංසල කොලූගැටයා #216: ලොවම හිනස්සන ලක් රජයේ සන්නිවේදන විහිළු

In this week’s Ravaya column (in Sinhala, published in issue of 26 April 2015), I question the wisdom of a new project by the Lankan government’s Information and Communication Technology Agency (ICTA) on “ICT for Citizen’s Journalism”.

ICTA’s CEO was recently quoted in the media as saying: “For this programme, what we are planning to show people is that every person can become a journalist and contribute towards media organisations. First, taking photographs and videos and sending it to a reporter which will enable him/her to have more information in order to analyse an incident further and report on it…”

If he has been quoted correction (no denial so far), the apex ICT institution of the Lankan government shows a shocking ignorance in its limited understanding of citizen journalism: must they be limited to gatherers of raw material for mainstream media? What about bearing witness, self-publication and countervailing functions of citizen media?

In today’s column, I call it particularly shocking as ICTA now comes under the purview of Ministry of Foreign Affairs — whose deputy minister, Ajith P Perera, was an active blogger for some years and became the first blogger to be elected to Lankan Parliament in 2010. If only this technical agency were to ask its own minister for some clarity before formulating such misguided national programmes…

I place ICTA’s imminent blunder in the wider context of other governmental agencies making a mockery of ICTs and public communication – for example, the state broadcaster SLBC running so-called community radio.

Yaha-paalanaya (good governance) is not just ensuring a clean and efficient government but also having clarity of purpose and making well reasoned and evidence based interventions to societal needs. ICTA fails once again on this count.

ICTA - ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන රජයේ ආයතනය
ICTA – ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන රජයේ ආයතනය

1990 දශකය මුලදී පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ඇඟලූම් කම්හල් 200 ව්‍යාපෘතිය යටතේ කම්හලක් පිහිට වූ හැම තැනෙකම ආසන්න මංසන්ධියක අදාල සමාගමේ වියදමින් ඔරලෝසු කණුවක් ඉදි කිරීමට නියෝග කළා. 20 වන සියවස මුලදී අත් ඔරලෝසු හෝ (වේලාව බලා ගත හැකි) ජංගම දුරකථන නොතිබි නිසා මහජනයාට එබඳු පහසුකමක් ප‍්‍රයෝජනවත් වූවත් 20 වන සියවස අවසන් දශකය එළඹෙන විට මේ යථාර්ථය මුළුමනින්ම වෙනස් වී තිබුණා.

එහෙත් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට තිබූ දැඩි බිය නිසාදෝ ඔරලෝසු කණු පිහිටුවීම යල් පැන ගිය බොරු වැඩක් බව කියන්නට නිලධාරීන් හා ව්‍යාපාරිකයන් පැකිලෙන්නට ඇති. ටික දිනෙකින්ම අකර්මන්‍ය වූ ඔරලෝසු කණු ජනතාව අතර උපහාසයට ලක් වූවා.

රජයක්, රාජ්‍ය සංස්ථාවක් හෝ ඒජන්සියක් දැක්මකින් තොරව සංදර්ශනාත්මක වැඩකට අත තබන්නට යන විට එය කල් තබා විවේචනය කර ඇස් ඇරවා ගැනීමට පුරවැසියන් ලෙස අප තැත් කළ යුතුයි.

යහපාලනය යනු හුදෙක් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, ජනතාවට වග කියමින්, දූෂණයෙන් හා නාස්තියෙන් තොරව රාජ්‍ය පාලනය කිරීම පමණක් නොවෙයි. නිසි දැක්මක්, අවබෝධයක් හා කාර්යක්ෂමතාවකින් යුතුව ‘ස්මාට්’ ලෙස රාජ්‍ය තන්ත‍්‍රය කර ගෙන යාමත් යහපාලනයෙ තවත් මූලික අංගයක්.

අපේ රටේ ඕනෑ දෙයටත් හැම තැනෙකම හැම කාරියකටම රාජ්‍ය තන්ත‍්‍රය මැදිහත් වීම කලක් තිස්සේ පැවතෙන ජාතික ඇබ්බැහියක්. රාජ්‍ය-කේන්ද්‍රීය (state-centred) මානසිකත්වයක් දශක ගණනක් තිස්සේ ස්ථාපිත වීම නිසා උගතුන් ද ඇතුලූ අපේ බොහෝ දෙනකු මෙහි වරදක් දකින්නේ නැහැ.

හැම දෙයක්ම රජය විසින් සම්පාදනය කර දෙන තුරු බලා සිටින අපේ ඇත්තන්ම අනෙක් පසෙකට හැරී ජන ජීවිතයේ හැම පැතිකඩක්ම අනවශ්‍ය ලෙස දේශපාලනීකරණය වීම ගැන මැසිවිලි ද නගනවා!

විවෘත වෙළඳපොළ හා ජනමාධ්‍ය යන ක්ෂේත‍්‍ර දෙකේම මේ විසමතාව තිබෙනවා. පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකිමින් ව්‍යවසායකයන් ද දිරි ගන්වමින් වෙළඳපොළ නිසි නියාමනය කිරීම රජයක මූලික හා ප්‍රධානතම වගකීමයි. එසේම ප‍්‍රතිපත්ති හා රෙගුලාසි මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් කරමින් ඵලදායීව හා පොදු උන්නතිය ප‍්‍රවර්ධනය කිරීම ද අප රජයෙන් බලාපොරොත්තු වනවා.

රජයන්ට පමණක් කළ හැකි මේ වගකීම් හරිහැටි ඉටු කරනවා වෙනුවට හැම වැඩේම බදා ගෙන කිරීමට යාම අපේ රටේ ආණ්ඩුවල කලක සිට ඇති දුසිරිතක්. උදාහරණ ලෙස ගොවිතැන් කරන්නට, වෙළදාම් කරන්නට, මාධ් රකාශනයේ යෙදෙන්නට රී ලංකාවේ රජයන් හැම එකක්ම පාහේ කලක සිටම බොහෝ සෙයින් නැඹුරු වී සිටිනවා.

තොරතුරු හා සන්නිවේදන ක්ෂේත‍්‍රය ගනිමු. සමාජවාදී යයි කියූ සංවෘත ආර්ථිකය 1977දී විවෘත කොට වසර 38ක් ගත වීත්, රාජ්‍ය ඒකාධිකාරත්වය තිබූ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත‍්‍රය 1992දී විවෘත කොට වසර 23ක් ගත වීත් අපේ ආණ්ඩු තවමත් පත්තර සමාගමක් (ලේක්හවුස්) පාඩු පිට පවත්වා ගෙන යනවා. රේඩියෝ හා ටෙලිවිෂන් ආයතන ද මහජන මුදලින් විශාල වියදම් දරා නඩත්තු කරනවා. ඒ මදිවාට රජය බහුතර හිමිකාරීත්වය (51%) දරණ ටෙලිකොම් සමාගමක් ද තිබෙනවා.

මේ අස්සේ ලොවම හිනස්සන ප්‍රෝඩාකාරී විහිළු ද කරනවා. 100%ක් රජයට අයත්, රාජ්‍ය නිලධාරීන් මුළුමනින් පාලනය කරන ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව 1980 පටන් ප‍්‍රජා රේඩියෝ (community radio) යයි කියා ගන්නා ග‍්‍රාමීය විකාශයන් පවත්වා ගෙන යනවා.

ප‍්‍රජා රේඩියෝවට ලොව පිළිගත් නිර්වචනයට අනුව එය ප‍්‍රජාවට අයිති වූ, ප‍්‍රජාව නඩත්තු කරන හා ප‍්‍රජාවම අන්තර්ගතය තීරණය කරන ජනතා මාධ්‍යයක්. මේ ගුණාංග කිසිත් නැති කොත්මලේ හා ඌව වැනි “ප්‍රජා” යයි කියා ගන්නා රේඩියෝ මෙරට තිබෙනවා. සැබෑ තත්ත්වය නොදත් හෝ නිරවුල් අවබෝධයක් නැති හෝ මාධ්‍ය ශිෂ්‍යයන් මෙන්ම සමහර විදේශිකයන් ද මේ රැවටීමට ලක් වනවා.

7 June 2007: Lions and community radio: part of Sri Lanka’s mythical lore

22 Oct 2003: Radio suffers as Colombo bosses call the shots. By Nalaka Gunawardene. Panos Features, London.

fullමුළුමනින්ම වාණිජ අරමුණු ඇති වෙළඳ සමගම්වලට FM රේඩියෝ විකාශනයන් අරඹන්නට බලපත‍්‍ර රැසක් නිකුත් කර ඇතත් එදා මෙදා තුර කිසිදු සිවිල් සමාජ සංවිධානයකට, පර්යේෂණායතනයකට හෝ පුරවැසියන් පිරිසකට සැබෑ ප්‍රජා රේඩියෝ අරඹන්නට එබඳු බලපත‍්‍රයක් ලබා දී නැහැ. මේ ඇයි?

මේ ගැන මීට වසර ගණනාවකට පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති දකුණු ආසියාතික මාධ්‍ය වැඩමුළුවකදී එවකට සිටි ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් කුමාර් අබේසිංහගෙන් විමසනු ලැබුවා. එවිට ඔහු කීවේ සැබෑ ප‍්‍රජා රේඩියෝ සඳහා මෙරට අවසර දීමට තරම් (එවකට රජයට) සිවිල් සංවිධාන හා පුරවැසි කණ්ඩායම් ගැන විශ්වාසයක් නොතිබූ බවයි.

මෙයට අභියෝග කෙරුණු විට ඔහු උදාහරණයකට ගත්තේ දැන් සියවසක් පැරණි සමූපකාර ව්‍යාපාරයයි. උතුම් අරමුණු පෙරදැරි කර ගත් සමූපකාර සංකල්පය අයාලේ ගොස් විනාශ වූයේ දේශපාලනය එයට පිවිසීම නිසා බවත්, ප‍්‍රජා සංවිධානවලට රේඩියෝ බලපත් දුන් විට දේශපාලන පක්ෂ එය ප‍්‍රචාරණ මෙවලමක් බවට පත් කර ගැනීමේ අවදානමක් ඇති බවත් ඔහු තර්ක කළා.

විද්‍යුත් මාධ්‍ය දේශපාලනීකරණය වී ඇති බව ඇත්තයි. රාජ්‍ය මාධ්‍ය පවතින රජයට අසීමිත ලෙස ප‍්‍රචාරක හොරණෑ බවට පත් වන අතර පෞද්ගලික මාධ්‍ය ද ඒවායේ හිමිකරුවන්ගේ දේශපාලන ව්‍යාපෘතීන්ට විවෘතවම පෙනී සිටිනවා. මෙය මෑත වසරවල ඉතා හොඳින් අප අත්දුටු යථාර්ථයක්.

කුමාර් අබේසිංහ රජා සංවිධාන විද්යුත් මාධ් ක්ෂේතරයට පිවිසීම වැළැක්වීම යුක්ති යුක්ත කිරීමට මතු කළ අවදානම පෞද්ගලික රේඩියෝ නාලිකා හරහා දැනටමත් හොඳටම සිදු වී තිබෙනවා.

මෙනයින් බලන කොට සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රවල නිසි දැක්මක් හා නිශ්චිත ප‍්‍රතිපත්ති නැති කමින් අපේ රට දශක ගණනක් තිස්සේ වැරදි මාර්ගවල යනවා. රෑ වැටුණු වළේ දවාලෙත් යළි යළිත් වැටෙනවා. එසේ වූවාට පසුතැවීමක් හෝ වැරදි හදා ගැනීමක් ද එතරම් පෙනෙන්නට නැහැ.

ICTA = Ignorant on Communications and Technology agency of Lankan government?
ICTA = Ignorant on Communications and Technology agency of Lankan government?

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන ඒජන්සිය හෙවත් ICTA නම් රජයේ ආයතනය ගැන මීට පෙර 2015 මාර්තු 15දා කොලමින් ද අපි කතා කළා. 2003 පටන් මහජන මුදලින් හා විදේශාධාරවලින් නඩත්තු කරන මේ ආයතනයේ ඵලදායීතාව ගැන බරපතල ප‍්‍රශ්න තිබෙනවා.

15 March 2015: සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

2015 අපේ‍්‍රල් 12 වනදා සන්ඬේ ටයිම්ස් පුවත්පත ICTAහි අලූත් ප‍්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගේ සමග සාකච්ඡාවකින් ලියූ වාර්තාවක් පළ කළා. එහි වැඩි කොටසක් වෙන්කර තිබුණේ මෑතදී ඇරැඹූ, ප‍්‍රසිද්ධ ස්ථානවල නොමිලයේ රැහැන් රහිත ඉන්ටර්නෙට් සේවා (free public WiFi) ලබා දීම ගැන කතා කරන්නයි.

මෛත‍්‍රීපාල සිරිසේන මැතිවරණ ප‍්‍රකාශනයෙහි මෙසේ නොමිලයේ WiFi ලබා දීමට පැහැදිලිව ප‍්‍රතිඥා දී තිබුණා. ටෙලිකොම් සමාගම් හරහා මේ පොරොන්දුව ඉටු කිරීම ICTA ආයතනය මගින් සම්බන්ධීකරණය කිරීමේ කිසිදු වරදක් නැහැ.

එහෙත් මෙබඳු සන්දර්ශනාත්මක මට්ටමේ වැඩවලින් ඔබ්බට දිවෙන රතිපත්තිමය හා දිගුකාලීන පියවර ගැනීමට ICTA රමුඛත්වය දිය යුතුයි. ගෙවී ගිය දශකයේ ICTA නොකළේ එයයි.

The Sunday Times, 12 April 2015: ICTA steps into its next project, ‘ICT for Citizen Journalism’

Muhunthan Canagey - image courtesy ReadMe.lk
Muhunthan Canagey – image courtesy ReadMe.lk

සන්ඬේ ටයිම්ස් වාර්තාවේ අවසානයේ කනගේ කියන්නේ ICTA ආයතනයේ ඊළඟ ව්‍යාපෘතිය ‘තොරතුරු තාක්ෂණය හරහා පුරවැසි මාධ්‍යවේදය’ බවයි. මෑතකදී එයට පාලක මණ්ඩල අනුමැතිය ලද බවත් ඔහු කියනවා.

සන්ඬේ ටයිම්ස් වාර්තාකරු නිවැරදිව ඔහුට උපුටා දක්වා ඇතැයි උපකල්පනය කරමු. එවිට මේ ව්‍යාපෘතිය ඉලක්ක කරන්නේ නව සන්නිවේදන තාක්ෂණ මෙවලම් හරහා පුරවැසියන් හසු කර ගන්නා ඡායාරූප හෝ වීඩියෝ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට යැවීම ගැන ජනතාව දැනුවත් කොට එයට අවශ්‍ය හැකියාව ලබා දීමලු. මේ හරහා පුරවැසියන් 100,000ක් සම්බන්ධ කර ගන්නට ICTA අදහස් කරනවාලූ.

පුරවැසි මාධ්‍යකරණය ගැන අප මේ කොලමින් විස්තරාත්මකව විටින් විට විග‍්‍රහ කොට තිබෙනවා. ඒ සැම විටම අප අවධාරණය කළේ නවීන සන්නිවේදන තාක්ෂණයන් නිසා අද ඕනැම කෙනකුට තමාගේම තොරතුරු, රූප, වීඩියෝ හා අදහස් එසැනින් සමාජමාධ්‍යගත කළ හැකි බවයි.

බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය ජාල භාවිතා කරන්නන් නිතිපතා කරන්නේ මෙයයි. මෙය අලූත් දෙයක් නොවෙයි. සමාජ මාධ්‍ය හා බ්ලොග් භාවිතයේ දශකයකට වැඩි අත්දැකීම් මෙරට දැන් තිබෙනවා.

පුරවැසි මාධ්‍යවලට වඩා බෙහෙවින් ගතානුගතික, පසුගාමී හා වැඩවසම් මානසිකත්වයකින් යුතු මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ද මෑතක පටන් තමන්ගේ පුවත් සම්පාදනයට පුරවැසි දායකත්වය ලබා ගන්නට තැත් කරනවා. News 1st කරන U-Report (http://ureport.lk/) උදාහරණයක්. මේ ස්වේච්ඡා පුරවැසි මාධ්‍ය ජාලයට දැන් 18,000කට වැඩි සංඛ්‍යාවක් බැඳී සිටිනවා.

එහෙත් පුරවැසි මාධ්‍යකරණය (citizen journalism) යනු ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවලට (සලකා බලා කැමති පරිදි භාවිතයට) බිම් මට්ටමෙන් අමුද්‍රව්‍ය සැපයීම නොව එම අධිපති මාධ්‍යවලට සමාන්තරව තමන්ගේම විකල්ප මාධ්‍ය පවත්වා ගැනීමයි. අධිපති මාධ්‍යවල දොරටු පාලකයා හරහා යන්නට සිදු වූ විට ස්වයං ප‍්‍රකාශක අයිතිය පුරවැසියන්ට අහිමිවනවා පමණක් නෙවෙයි. එම ආයතනවල රුචි අරුචිකම්වලට අනුගත වීමට ද සිදු වනවා.

හැම පුරවැසියකුටම තමන් කැමති අධිපති මාධ් ජාලයකට තොරතුරු හා රූප සැපයීමට අයිතියක් තිබෙනවා. එහෙත් රජයේ ආයතන තොරතුරු සමාජයේ ඉදිරි ගමන රවර්ධනය කළ යුත්තේ ස්වයං රකාශනය හා විකල්ප මාධ් බිහි වීමට අනුබල දීම හරහායි. එසේ නැතිව අධිපති මාධ්යවලට මුක්කු ගැසීමෙන් නොවෙයි.

මේ තරම් මූලික මට්ටමේ නිරවුල් බවක් හා දැක්මක්වත් ICTA ප‍්‍රධානීන්ට නැති හැඩයි.

Ajith P Perera, first Lankan blogger to be elected a Member of Parliament
Ajith P Perera, first Lankan blogger to be elected a Member of Parliament

මෙහි තවත් ඛේදජනක පැතිකඩක් තිබෙනවා. නව රජය යටතේ ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගමත්, ICTA ආයතනයත් අනුයුක්ත කොට තිබෙන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයටයි. නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී. පෙරේරා මෙරට පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මුල්ම බ්ලොග් ලේඛකයායි.

2010 අපේ‍්‍රල් මහ මැතිවරණයෙන් කලූතර දිස්ත‍්‍රික් මන්ත‍්‍රීවරයකු බවට පත් වන තුරු ඔහු වසර කිහිපයක් ‘බණ්ඩාරගම’  නමින් බ්ලොග් අඩවියක් පවත්වා ගෙන ගියා. එය ඉනික්බිති නතර වූවත් දැනටත් ඔහුට ක්ෂුද්‍ර බ්ලොග් වේදිකාවක් වන ට්විටර්හි ගිණුමක් තිබෙනවා. @ajithpperera_p

ICTA ආයතනය අයාලේ යන්නේ පුරවැසි මාධ්‍යකරණ අත්දැකීම් සතු මෙබඳු දේශපාලනඥයකුගේ අධීක්ෂණය යටතේයි!

ICTA වසර 12ක පමණ කාලයක් රජයන් කිහිපයක් යටතේ ක‍්‍රියාත්මක වුවත් තොරතුරු සමාජය ප‍්‍රවර්ධනය සඳහා ප‍්‍රතිපත්තිමය හා දිගු කාලීන වශයෙන් ගත හැකි පියවර ගැන නිසි දැක්මක් ඇති බවක් පෙනෙන්නට නැහැ. මුල පටන් එහි ක‍්‍රියාකාරීත්වය ගැන විචාරශීලීව බලා සිටින මට එය සාක්ෂි සහිතව කිව හැකියි.

Chanuka Wattegama
Chanuka Wattegama

2003-4 වකවානුවේ ඊ-ජර්නලිස්ට්ලා යයි පිරිසක් බිහි කරන්නට මෙම ආයතනය තැත් කළ සැටි මට මතකයි. ඒ ගැන විජය පරිගණක සඟරාවේ 2004 ජනවාරි කලාපයේ කතුවැකියක් ලියමින් එහි ආරම්භක සංස්කාරක මා මිත‍්‍ර චානුක වත්තේගම කීවේ මෙයයි.

‘‘අනෙක් අතට ICTA ඒජන්සියට ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ප‍්‍රචලිත කිරීමට සැබෑ අවශ්‍යතාවක් තිබේ නම් එයට මාධ්‍ය සම්මානදීම හෝ ඊ-ජර්නලිස්ට්ලා යයි කියමින් රජයේ මාධ්‍ය ආයතනවල තාක්ෂණ නිලධරයන් පිරිසකට පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි සෝබන වැඩ කරනවාට අමතරව තමන් කළ යුතු කාර්යයන් රාශියක් තිබේ. එහෙත් මේ කිසිදු කටයුත්තකට වඩා ඉක්මනින් කළ යුතු එකක් ලෙස ඒජන්සියේ අවධානය යොමු වී ඇත්තේ විශාල ප‍්‍රචාරයක් සේම තමනට හිතවත් මාධ්‍යවේදීන් ද උපයා ගත හැකි මාධ්‍ය සම්මාන වැඩපිළිවෙළ දෙසටවත්ද?’’

යහපාලන රජය යටතේ ICTA පාලක මණ්ඩලයට මෑතදී පත්ව සිටින චානුක වත්තේගම මැදිහත් වී හෝ ඉබාගාතේ යන, මහජන මුදල් නාස්ති කරමින් ලෝකයාගේ විහිලූවට ලක් වන මේ රජයේ ආයතනය බේරා ගනු ඇතැයි අපි උදක්ම පතමු.

 

සිවුමංසල කොලූගැටයා #215: සයිබර් කැඩපත් පවුරේ ලියන අපේ බ්ලොග් ලේඛකයෝ

Nelum Yaya bloggers award ceremony 2014
Nelum Yaya bloggers award ceremony 2014

April 2015 marks 20 years of commercial Internet connectivity in Sri Lanka. Nearly a quarter of our 21 million population is estimated to get online, most of them using mobile devices.

Blogging — as an activity of self-expression using the web – is being pursued by a few thousand people, and many thousands more participate as readers or discussants. Some blogs offer serious political and social commentary, while others have become platforms for nurturing new talent in prose, verse, photography, videography or graphic art. Bloggers fit into a larger new media ‘ecosystem’ called citizen journalism, which is constantly evolving. Although not well studied by media researchers, this phenomenon is now a part of our public sphere.

In this week’s Ravaya column (in Sinhala, published in issue of 12 April 2015), I report on the winners and speeches of the recently held Nelum Yaya blog awards ceremony that recognized outstanding Sinhala language bloggers of 2014.

See also:

23 June 2013: සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards
Cyber invitation that went out to everyone inviting to Nelum Yaya Blogger awards

නෙළුම්යාය සහෘද සමූහය සංවිධානය කළ 2014 හොඳම සිංහල බ්ලොග් සඳහා සම්මාන පිරිනැමීමේ උළෙල මාර්තු 26 වැනිදා මාධ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැත් වුණා. එහිදී මෙරට බ්ලොග් අවකාශය, පුරවැසි මාධ්‍යකරණය හා ඒ හරහා මතු වන අභියෝග ගැන කතා කිරීමට මටද ඇරැුයුම් කොට තිබුණා.

මෙරටට වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සේවා හඳුන්වා දුන්නේ 1995 අපේ‍්‍රල් මාසයේ. එයට විසි වසරක් පිරෙන මේ වන විට මෙරට ජනගහනයෙන් 22%ක් පමණ නිතිපතා ඉන්ටර්නෙට් භාවිත කරනවා. එහෙත් එහි බලපෑම ඉන් ඔබ්බට විශාල ජන පිරිසකට විහිදෙනවා. මේ නිසා වෙබ් අවකාශයේ එක් සුවිශේෂී අන්තර්ගත කොටසක් වන බ්ලොග් ගැන ටිකක් විමසා බැලීමට මෙය හොඳ අවස්ථාවක්.

බ්ලොග් (blog) ඉංග‍්‍රීසි වදන සෑදී තිබෙන්නේ වෙබ් ලොග් (web log) යන වදන් දෙක එකතු වීමෙන්. සරල අරුත නම් වෙබ් අවකාශයේ ලියන සටහන් යන්නයි. මේ වචනය බිහි වුණේ 1997දී වුවත් බ්ලොග් ලෙස සැලකිය හැකි වෙබ් ලියවිලි 1994 පටන් පැවතුණා.

වෙබ් අවකාශය අද අප දන්නා ආකාරයෙන් (World Wide Web) නිපදවනු ලැබුවේ 1989දී. 1990 දශකය තුළ එය සෙමින් ලෝකය පුරා ව්‍යාප්ත වුණා. මුල් යුගයේ වෙබ් අඩවියක් නිර්මාණය කරන්නට, සංශෝධනය හෝ යාවත්කාලීන කරන්නට පරිගණක ශිල්ප දැනුම ඉහළට දැන සිටීම ඕනෑ වුණා.

මේ තත්ත්වය වෙනස් වූයේ 1990 දශකය අගදී බ්ලොග් ලිවීම පහසු වන, නොමිලේ වෙබ් ඉඩ ලබා දෙන සයිබර් වේදිකා බිහිවීමෙන් පසුවයි (Blogger 1999; WordPress 2003). වෙබ් අඩවි තැනීමට අවශ්‍ය කිසිදු HTML ශිල්ප දැනුමක් නැති මා වැනි අයටත් විනාඩි කිහිපයක් ඇතුළත අලූත් යමක් ලියා වෙබ් අවකාශයට එකතු කරන්නට හැකියාව ලැබුණේ එවිටයි.

බ්ලොග් යනු පෞද්ගලික අදහස් ප‍්‍රකාශනයක්. එයට වචන, රූප, වීඩියෝ හෝ හඬ යොදා ගෙන කළ හැකියි. එහි සුවිශේෂත්වය එය කියැවීමෙන් පසු අදහසක් එක් කිරීමේ (කමෙන්ටුවක් දැමීමේ) අන්තර් ක‍්‍රියාකාරී බවයි.

බ්ලොග්කරණය කිසිවකුගෙන් අවසර නොපතන, හිතෙන වෙලාවට ස්වේච්ඡාවෙන් කරන කාරියක්. එසේම බොහෝ විට බ්ලොග් රචකයන් ප‍්‍රසිද්ධිය සොයා නොයන, සමහරවිට ආරූඪ නම්වලින් ලියන අය නිසා මේ ක්ෂේත‍්‍රයේ කවුරුන් කුමක් කෙසේ කරනවාද යන්න හරිහැටි තක්සේරු කිරීම ලෙහෙසි නැහැ.

ශ‍්‍රී ලංකාවේ මේ වන විට බ්ලොග් රචකයන් – ලේඛකයන් කීදෙනකු සිටිනවාද යන්න හරිහැටි පැහැදිලි නැහැ. නෙළුම්යාය සංවිධායකයන්ගේ අනුමානය සිංහල බ්ලොග් රචකයන් 300ක් පමණ සිටින බවයි.

මේ ක්ෂේත‍්‍රය කලක සිට සමීපව අධ්‍යයනය කරන මා මිත‍්‍ර චානුක වත්තේගම කියන්නේ මෙරට භාවිත වන තිබසින් එකක් යොදා ගනිමින් බ්ලොග් පවත්වාගෙන යන සිය ගණනක් (සමහර විට දහසකට වැඩි) දෙනා සිටින බවයි.

මේ සමහරුන් සංඛ්‍යාත්මකව ඉතා කුඩා පාඨක පිරිසක් ආකර්ෂණය කර ගන්නා අතර කැපී පෙනෙන බ්ලොග් අඩවිවලට දිනකට දහස් ගණනක් පාඨකයන් පැමිණෙනවා. එවැනි බ්ලොග් රචනා සමහරකට දුසිම් ගණන් ප‍්‍රතිචාර ලැබෙන අතර බොහෝ විට මුල් රචනයට වඩා දිගු පාඨක සංවාද හා විසංවාද දිග හැරෙනවා.

නෙළුම්යාය (http://nelumyaya.com) සංස්කාරක (හා ‘කොළඹ ගමයා’ නමින් බ්ලොග් ලියන) අජිත් ධර්මකීර්ති කියන්නේ මෑත වසරවල සිංහල බ්ලොග් අවකාශය විවිධත්වයෙන් හා සහභාගිත්වයෙන් වඩාත් පුළුල් වී ඇති බවයි. විවිධ මාතෘකා යටතේ දේශපාලන, සමාජයීය, ආර්ථික හා වෙනත් කාලීන විග‍්‍රහයන් බ්ලොග්වල නිතර පළ වනවා. එසේම නිර්මාණාත්මක සාහිත්‍යයක්ද දැන් බ්ලොග් හරහා මතුවී තිබෙනවා. කෙටිකතා, කවි, සංචාරක සටහන්, විහිළු කතා, හමුදා කතා මෙන්ම ඡායාරූප, කාටුන් හා කෙටි වීඩියෝ ද බ්ලොග් අවකාශයේ හමු වනවා.

Ajith Dharmakeerthi, Editor of Nelum Yaya - - Photo by Randika Ahangama
Ajith Dharmakeerthi, Editor of Nelum Yaya – – Photo by Randika Ahangama

‘ඉතාමත් නිර්මාණශීලී බ්ලොග් රචකයන් සිටියත් ප‍්‍රධාන පෙළේ ජනමාධ්‍ය තුළින් ඉඩ දුන්නේ පිළිගැනීමක් ඇති මාධ්‍යකරුවන්ට පමණයි. මෙතැනින් එහාට මේ පුරවැසි මාධ්‍යකරණය සීමිත පාඨක පිරිසෙන් එහාට පුළුල් කිරීමේ සූදානමක් පෙනෙන්නට තිබුණේ නැහැයැ’යි බ්ලොග් සම්මාන උළෙලේදී ඔහු කියා සිටියා.

ඇත්තටම බොහෝ බ්ලොග් රචකයන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල පිළිගැනීම හෝ ආවරණය පතන්නේ ද නැහැ. බ්ලොග් යනු උප සංස්කෘතියක්. එයටම ආවේණික ජවයක් හා ගතිගණ සමුදායක් එහි තිබෙනවා.

එහෙත් එන්න එන්නම රසබර හා හරබර අන්තර්ගතය වැඩියෙන් බිහි වන බ්ලොග් අවකාශය වැඩි ලාංකික පාඨක පිරිසක් වෙත ගෙන යා යුතුයැ’යි ධර්මකීර්ති මතු කරන තර්කයට නම් මා එකඟයි.

බ්ලොග් අවකාශයට ඔබ මුල් වරට පිවිසෙන්නේ නම් එහි අගමුල හඳුනා ගැනීම තරමක අභියෝගයක්. හැම බ්ලොග් එකකම නිතිපතා අලූත් රචනයක් හෝ එකතු කිරීමක් සිදු වන්නේ නැහැ. අලූතින් බ්ලොග් රචනයක් හෙවත් පෝස්ටුවක් එකතු වූ බ්ලොග් ලැයිස්තු ගත කරමින් ගතික ලෙස නිරතුරු යාවත්කාලීන වන මාර්ගෝපදේශක වෙබ් අඩි තිබෙනවා. මේවාට බ්ලොග් කියවනයන් (blog syndicators, blog aggregators) යයි නමක් යෙදෙනවා.

Kottu.org Screenshot taken on 7 April 2015 - courtesy http://readme.lk/
Kottu.org Screenshot taken on 7 April 2015 – courtesy http://readme.lk/

ලාංකික බ්ලොග් කියවනයක් මුලින්ම බිහි වූයේ මීට දශකයකට පෙර. 2005 අපේ‍්‍රල් මාසයේ. කොත්තු (http://www.kottu.org) නම් වන එහි ස්වයංක‍්‍රීයව අලූත්ම බ්ලොග් පෝස්ටුවල හෙඩිම හා මුල් වැකිය පෙන්වනවා. කැමැති අයට එතැනින් ක්ලික් කොට මුලු බ්ලොග් එකම කියැවීමට යා හැකියි. කොත්තු නිර්මාණය කර මහජන සේවාවක් ලෙසින් පවත්වා ගෙන යන්නේ බරට ඉංග‍්‍රීසි බ්ලොග්කරණයේ පුරෝගාමියකු වන ඉන්දි සමරජීවයි.

මීට අමතරව දැන් සතුටු වැස්ස http://blogs.sathutu.com, ලාංකීය සිතුවිලි http://syndi.lankeeya.lk, ටොප් සිංහල බ්ලොග් http://topsinhalablog.com, අඹ ගහ යට http://ambagaha.blogspot.com වැනි කියවනයන් කිහිපයක් තිබෙනවා. මේ එකක්වත් සියලූ ලාංකික හෝ සිංහල බ්ලොග් ආවරණය නොකළත් අලූත් බ්ලොග් නිර්මාණ ගැන ඉක්මනින් දැන ගැනීමට මෙවැන්නකට පිවිසීම ප‍්‍රයෝජනවත්.

තනි පුද්ගලයන් පවත්වාගෙන යන බ්ලොග්වලට අමතරව සමූහයකගේ ලියවිලි හා වෙනත් නිර්මාණ පළකරන, බ්ලොග් ද තිබෙනවා. කලා-සංස්කෘතික හා දේශපාලනික ප‍්‍රශ්න විචාරයට ලක් කරන බූන්දි අඩවියත් www.boondi.lk, කාලීන සමාජ හා දේශපාලන සංවාදයන්ට වේදිකාවක් සපයන විකල්ප අඩවියත් www.vikalpa.org කැපී පෙනෙන උදාහරණයි.

Ajith Perakum Jayasinghe - Photo by Randika Ahangama
Ajith Perakum Jayasinghe – Photo by Randika Ahangama

සිංහල බ්ලොග් අවකාශයේ ප‍්‍රබල භූමිකාවක් හිමි කරගත් W3Lanka www.w3lanka.com නමින් ද්විභාෂික බ්ලොග් අඩවියක් කරන, අජිත් පැරකුම් ජයසිංහ කෙටි දේශනයක් කරමින් කීවේ අපේ බ්ලොග්කරණය තවමත් මූලික අදියරයක පවතින බවයි.

ඔහු දන්නා තරමට අපේ පූර්ණකාලීන බ්ලොග් ලේඛකයන් නැහැ (පූර්ණ කාලීන මුද්‍රිත ලේඛකයන් පවා අපට ඉන්නේ කී දෙනාද?). ජීවිකාවට කාලය හා ශ‍්‍රමය කැප කරන අතර ඉතිරි වන විවේකය යොදා ගෙනයි අපේ ඇත්තෝ බ්ලොග් ලියන්නේ. එහෙත් බටහිර රටවල දැන් හොඳ පිළිගැනීමක් ලද ප‍්‍රමුඛ බ්ලොග් ලේඛකයන්ට එයින්ම ජීවත් විය හැකියි (වෙබ් දැන්වීම් ආකෘතිය හරහා).

අමෙරිකාවේ බ්ලොග්කරණය ඊළඟ අදියරට ගෙන යෑමට මූලික වූයේ ආරියානා හෆිංටන් Arianna Huffington නම් බ්ලොග් ලේඛිකාවයි. හෆිංටන් පෝස්ට් නමින් ඇය ඇරඹූ සමූහ බ්ලොග් ප‍්‍රකාශනය මේ වන විට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග කරට කර තරග වදින, ව්‍යාපාරික මට්ටමේ මාධ්‍යයක් බවට පත් වෙලා. (එහෙත් ස්වේච්ඡාවෙන් හා විනෝදයට බ්ලොග් ලියන බොහෝ දෙනකු බටහිර රටවල තවමත් සිටිනවා.)

සිංහල බ්ලොග් අවකාශය (හා දෙමළෙන්, ඉංග‍්‍රීසියෙන් ලියැවෙන ලාංකික බ්ලොග්) වසරක් පාසා පුළුල්වෙමින් ඇතත් බ්ලොග් ලේඛකයන්ට සමාජ පිළිගැනීමක් තවමත් බිහි වී නැහැ. ඔවුන්ට ‘බ්ලොග්කාරයෝ’ යැයි කීම හරහාම යම් අවතක්සේරුවක් සිදු වනවා. එකම ලිපිය පත්තරයක, සඟරාවක පළ වූ විට ලැබෙන සමාජ ප‍්‍රතිචාරය එය බ්ලොග් එකක පළවූ විට තවමත් ලැබෙන්නේ නැහැ.

Karunaratne Paranavithana
Karunaratne Paranavithana

මෙයට එක් හේතුවක් නම් අපේ බොහෝ දෙනකු බ්ලොග් ගැන නොදැනීම හෝ වෙනත් වෙබ් ප‍්‍රකාශන සමග බ්ලොග් පටලවා ගැනීමයි. නෙළුම්යාය සම්මාන උළෙලේදී මාධ්‍ය අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාන කීවේ මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර පුවත්පත් කර්තෘවරුන් බ්ලොග් ගැන අසාවත් නැති බවයි!

‘සතර දිගන්තය’ http://satharadiganthaya.blogspot.com නමින් කලක් බ්ලොග් රචනයේ යෙදුණු පරණවිතානයන්ටද මේ ගැන පෞද්ගලික අත්දැකීම් තිබෙනවා. ‘බ්ලොග් ලිවීම රස්තියාදුකාර වැඩක්. එය ඔබේ වෘත්තීය තත්ත්වයට ගැළපෙන්නේ නැහැ’ යයි ඇතැම් සහෘදයන් ඔහුට අවවාද කොට තිබෙනවා!

බ්ලොග් අවකාශය තුළ අන්තර්ගතය නියාමනයට වත්මන් රජයට කිසිදු අදහසක් නැති බවට මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහතික වූවා. බ්ලොග්කරණය යම් ප‍්‍රමිතීන්ට යටත් කරන්න යැ’යි එම සභාවේම එක් කථිකයකු කළ ඉල්ලීම ඔහු කාරුණිකව බැහැර කළා.

පසුගිය රජය පරිගණක සාක්ෂරතාව වැඩි කිරීමට ක‍්‍රියා කළ බවට උදම් අනන අතර විචාරශීලීව වෙබ් අවකාශයේ සන්නිවේදනය කිරීමට අකුල් හෙළුෑ බව අප දන්නවා. ගෙවී ගිය වසර කිහිපය තුළ විදුලි සංදේශ නියාමන කොමිසමේ (TRC) අණ පරිදි සමහර දේශපාලන වෙබ් අඩවි හා බ්ලොග් මෙරට තුළ කියැවීම අවහිර කළත් දැන් මේ තහංචි ඉවත් කර තිබෙනවා.

‘මෙබඳු තාක්ෂණික අවහිරකිරීම් මින් මතු සිදු වන්නට අප ඉඩ තියන්නේ නැහැ. අදහස් ප‍්‍රකාශනයේ අයිතිය සීමා නොකරන මාධ්‍ය ප‍්‍රතිපත්තියක් අප පවත්වා ගන්නවා’ යැයි පරණවිතානයන් කළ ප‍්‍රකාශය වැදගත්.

බ්ලොග් අවකාශයේ හිමිකරුවන්, දොරටු පාලකයන් හෝ වෙනත් අධිපතියන් නැහැ. බෙහෙවින් අධිපතිවාදී අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට බ්ලොග් නොපෑහෙන්නේත් ඒ නිසා විය හැකියි. සම්මාන උළෙලේදී මා කීවේ ඔඩොක්කු මාධ්‍යවේදීන් බහුල අධිපති මාධ්‍යවලට වඩා ජනතාවාදී සමාජ හිතකාමී මෙහෙවරක් අද සමහර ප‍්‍රමුඛ බ්ලොග් ලේඛක ලේඛිකාවන් ඉටු කරන බවයි. පසුගිය ජනාධිපතිවරණ සමයේදී අප මෙය දුටුවා.

 

Blogger of the Year 2014 Priyantha Hewage gets his Award - Photo by Randika Ahangama
Blogger of the Year 2014 Priyantha Hewage gets his Award – Photo by Randika Ahangama

මෙයට හොඳ උදාහරණයක් නම් 2014 වසරේ හොඳම සිංහල බ්ලොග් ලේඛකයා ලෙස පිදුම් ලද මාතලන් හෙවත් ප‍්‍රියන්ත හේවගේ. ඔහුටම ආවේණික පොදු ජන වහරක් යොදා ගනිමින් සමාජ, ආර්ථික, දේශපාලනික හා ආගමික මාතෘකා ගැන ගැඹුරු එහෙත් පණ්ඩිත නොවූ විග‍්‍රහයන් ඔහු ලියනවා. විටෙක හාස්‍යය හා උපහාසයත්, තවත් විටෙක ශෝකය හා වික්ෂිප්ත බවත් ඔහුගේ බ්ලොග් රචනා තුළ හමුවනවා. යථාර්ථය උඩුකුරු යටිකුරු වූ වත්මන් ලක් සමාජය එහි සාමාන්‍ය මිනිසුන්ට ග‍්‍රහණය වන සැටි ගැන එය හොඳ කැඩපතක් http://maathalan.blogspot.com.

තවත් උදාහරණයක් නම් වසරේ හොඳම බ්ලොග් පෝස්ටුවට (ලිපිය) මුල් තැන දිනූ දසයා බ්ලොග් ලේඛක සඳුන් දසනායක. හීන් සැරෙන් ටිකිරි ටොකු දීමේ කලාව මැනවින් ප‍්‍රගුණ කොට ඇති මේ ලේඛකයා බරපතල සමාජ විශ්ලේෂණ සරල හා සුගම බසින් ගෙන එනවා. සම්මාන දිනූ ‘ආඩම්බරකාර අපේ තාත්තා’ ලිපිය ගෙවී ගිය අඳුරු දශකයේ ලාංකික සමාජයේ ඛේදවාචකය ඇඟට පතට නොදැනී නිර්දය ලෙස විවේචනය කිරීමක්. http://iamdasaya.blogspot.com

බ්ලොග්වල හමු වන්නේ කාලීන විමර්ශන පමණක් නොවෙයි. ගද්‍ය හා පද්‍ය නිර්මාණ ද වැඩි වැඩියෙන් දැන් පළ වෙනවා. තමන්ගේ නිර්මාණයක් පත්තරයක පළ කරවා ගන්නට හඳුනන හෝ නොහඳුනන කෙනකු පසුපස යෑම දැන් අවශ්‍ය නැහැ. සම්මාන උළෙල ඇමතූ බන්දුල නානායක්කාරවසම් කලාකරුවා කීවේ ඉතා ප‍්‍රශස්ත මට්ටමේ පද්‍ය නිර්මාණ දැන් අපේ බ්ලොග්වල නිතර කියවිය හැකි බවයි.

රත්නපුරේ බට්ටි (ඩබ්ලියු. ඒ. කාන්ති) අමානුෂික පොලිස් ප‍්‍රහාරයට ලක් වූ අවස්ථාවේ එම සිදුවීම වීඩියෝ ගත කොට සමාජ මාධ්‍ය ජාල හරහා රටට පෙන්වූයේ පුරවැසි මාධ්‍යකරුවෙක්. එය පාදක කර ගෙන ‘බට්ටි’ නමින් නිසඳැස් කවියක් ලියූ දමිත් ගුණවර්ධනට වසරේ හොඳම බ්ලොග් කවියට සම්මානය පිරිනැමුණා.

Yashodha Sammani Premaratne (Bassi) - second best verse in blog award
Yashodha Sammani Premaratne (Bassi) – second best verse in blog award

නිසඳැස් කවි සඳහා දෙවැනි ස්ථානය ලබා සම්මාන දිනුවේ බස්සී නමින් බ්ලොග් ලියන යසෝධා සම්මානි පේ‍්‍රමරත්න. නූතන ලාංකික කාන්තාවගේ ජීවන අරගලය ගැන හෘදයාංගම ලෙස ගද්‍ය හා පද්‍ය හරහා විවරණය කරන ඇගේ බ්ලොග් අඩවිය ඈ හඳුන්වා දෙන්නේ ‘රෑ පුරාම ඇහැ ඇරගෙන ලෝකෙ දකින කිරිල්ලියක්’ හැටියට. http://bassigenawathana.blogspot.com

මේ කෙටි විග‍්‍රහයේ උදාහරණ ලෙස දැක්විය හැකි වූයේ බ්ලොග් කිහිපයක් පමණයි. බ්ලොග් ගැන උනන්දු වන කාටත් මා කියන්නේ මෙයයි: ඉඩ ඇති පරිදි බ්ලොග් අවකාශයේ සැරිසරන්න. නූතන යුගයේ සයිබර් කැඩපත් පවුරක් වැනි එහි විචිත‍්‍රත්වය හා ගති සොබා හඳුනා ගන්න. එසේ ප‍්‍රමාණවත් අවබෝධයක් ලැබූ පසු පමණක් ඒ ගැන නිගමනවලට එළැඹෙන්න.

එසේම පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි සමග බ්ලොග් අඩවි පටලවා නොගන්න. හොඳ පත්තර හා කැලෑ පත්තර අතර වෙනස මෙන් වෙබ් අවකාශයේද හැම ආකාරයේම ප‍්‍රකාශන ඇති බව සිහි තබා ගන්න.

More winners at Nelum Yaya bloggers award ceremony 2014
More winners at Nelum Yaya bloggers award ceremony 2014

සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 11 January 2015, I offer an initial analysis of media-based political campaign communications during the run-up to Sri Lanka’s 7th Presidential Election on 8 January 2015. The column was written on 5 January, as physical campaigning (meetings and outdoor promotion) came to an end. The Ravaya issue carrying this hit the newsstands on election day.

In this, I pay particular attention to the use of social media by political parties as well as independent citizens and civil society groups. I also discuss the missed opportunity of holding a televised live debate between the two main candidates – to which opposition’s common candidate Maithripala Sirisena agreed, but was declined by incumbent president Mahinda Rajapaksa.

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

 

Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL
Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL

මා මේ කොලම ලියන්නේ 2015 ජනාධිපතිවරණයට තෙදිනකට පෙරයි. මෙය මුද්‍රණයෙන් පිට වන විට ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ලැබෙමින් පවතිනු ඇති. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දේශපාලන සංවාද ඉතා අවශ්‍ය මොහොතක් ඉක්බිති එළැඹෙනවා. එයට දායක වෙමින්, ගෙවී ගිය සති කිහිපයේ ජනාධිපතිවරණය වටා සිදු වූ සන්නිවේදන ක‍්‍රියාදාමයන් ගැන මුල් අදියරේ විග‍්‍රහයක් අපට දැන් කළ හැකියි.

ජනාධිපතිවරණ සන්නිවේදනයේ යෙදුණේ මැතිවරණ කොමසාරිස්වරයා, අපේක්ෂකයන් 19 දෙනා හා ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් නොවෙයි. දේශපාලන උනන්දුව ඇති විද්වතුන්, කලාකරුවන් හා සෙසු පුරවැසියන් ද වැඩිපුර කාලය ගත කළේ මේ ගැන කතාබහ කරන්නයි. මේ සා දැඩි උනන්දුවක් මා අවසන් වරට දුටුවේ 1994දී.

විවිධ කෝණ හා මානවලින් විග‍්‍රහ කළ හැකි මේ සංසිද්ධිය මා විමසන්නේ නව සන්නිවේදන මාධ්‍යයන් හා නව මාධ්‍ය කෙසේ යොදා ගත්තා ද යන්න සෙවීමටයි. අර්ධ වැඩවසම් මානසිකත්වයක තවමත් කොටු වී සිටින ලක් සමාජය නූතනත්වය වැළඳ ගන්නට දෙගිඩියාවකින් පසු වන සැටිත් ඒ හරහා අපට දැකිය හැකියි.

එසේම මේ තරම් සන්නිවේදන මාධ්‍ය තිබියදීත් රටේ ජනමතය හරිහැටි හඳුනා ගැනීම හා කියැවීම කෙතරම් අසීරුද යන්නත් අපට පෙනී යනවා.

සමහරුන් තර්ක කරන්නේ මෙවර අධිතාක්ෂන මැතිවරණ ප්‍රචාරක කැම්පේන් තිබූ බවයි. යෝධ ටෙලිවිෂන් තිර ජනාකීර්න හන්දිවල තැබූ පමණින් හෝ ඉන්ටර්නෙට් හරහා ඉවක් බවක් නැතිව කැම්පේන් පණිවුඩ බෙදා හැරිය පමණින් ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට ළඟා වන්නේ නැහැ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රචාරණ වැඩ සියුම්ව පිරික්සා බලන විට පෙනී ගියේ නව සන්නිවේදන තාක්ෂනයන් හරහා ද ඔවුන් තවමත් අනුගමනය කළේ එක දිශාවකට – එනම් කැම්පේන්කරුවන් වෙතින් මහජනයාට – ගලා ගිය පරණ තාලේ සන්නිවේදන ආකෘතියක් බවයි (one-way communications model).

ඇති තරම් සංවාද කිරීමට සමාජ මාධ්‍යවල මනා විභවයක් තිබුනත් එයට අවශය දැක්ම දෙපිලටම තිබුනේ නැහැ. මේ නිසා වෙබ් සරන මිලියන් හතරක පමණ ලක් ජනයා තම තමන් අතර කළ දේශපාලන සංවාදවලට අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ කැම්පේන් නිල වශයෙන් සම්බන්ධ වූයේ සීමිතවයි. නව දේශපාලන සන්නිවේදනයක් බිහි කිරීමේ අගනා අවස්ථාව දෙපිලම අත හැරියා.

එහෙත් සාපේක්ෂව පොදු විපක්ෂය නව මාධ්‍ය හරහා වඩාත් පුරවැසියන් සමග කථාබහ කළා යයි කිව හැකියි. රජයේ මාධ්‍ය ඔවුනට නොතිබි පසුබිම තුළ ඔවුනට මේ විකල්ප හැකි තරම් යොදා ගන්නට සිදු වූවා.

නවීන සන්නිවේදන තාක්ෂණයන් සූක්ෂම හා අවස්ථානුරූපී ලෙස භාවිත කළ තවත් පිරිසක් ද සිටියා. ඔවුන් ඍජුව දේශපාලන පක්ෂයකට හෝ පක්ෂයක් මුදල් ගෙවා සේවය ලබා ගත් දැන්වීම් ආයතනයකට හෝ අයත් නොවූ, එහෙත් දේශපාලනය හා යහපාලනය ගැන දැඩි උනන්දුවක් ඇති අයයි.

ඔවුන් තනි ගොඩකට වර්ග කරන්නත් අමාරුයි. විශේෂයෙන් ෆේස්බුක්, ට්විටර් (Twitter) හා යූටියුබ් (YouTube) ආදී සමාජ මාධ්‍ය ජාල හරහා දේශපාලන දෙපිලම විචාරයට හා අභියෝගයට ලක් කැරෙන කෙටි, ව්‍යක්ත හා ඇතැම් විට හාස්‍යජනක නිර්මාණ ඔවුන් මුදා හැරියා.

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ එදා-මෙදා කතා, පාලක පක්ෂයේ හා විපක්ෂයේ කයිවාරුව හා කෙරුවාව අතර පරතරය, මේ කවුරුත් රැවටීමට තැත් කරන අහිංසක ඡන්දදායකයාගේ සිහින හා අපේක්ෂා, අන්තවාදයට එරෙහිව කැරෙන සමාජ ප‍්‍රතිරෝධය ආදිය මේ නිර්මාණවලට නිමිති වුවා.

ඒවා අකුරින්, රූපයෙන් හෝ වීඩියෝවලින් සමන්විත වූ අතර අධි වියදම් දරා වෘත්තීය මට්ටමෙන් නිපදවන කැම්පේන් දැන්වීම් බොහොමයකට වඩා මේ පුරවැසි නිර්මාණ සාර්ථක වූ බව මගේ වැටහීමයි.

මෙයින් බොහොමයක නිර්මාණකරුවා කවුදැයි සොයා ගන්නත් අපහසුයි. ඒ තරමට ශීඝ‍්‍රයෙන් හා උද්ේ‍යාගයෙන් මේවා සමාජ මාධ්‍ය හා ජංගම දුරකතන හරහා බෙදා ගත් (share කළ) බැවින්. මේවා පොදුවේ හඳුන්වන්නේ වෙබ් මීම් (web memes) නමින්.

මෙරට වෙබ් මීම් උපසංස්කෘතිය ජනාධිපතිවරණය වකවානුවේ කඩඉමක් පසු කොට නව මානයකට පිවිසියා. වෘත්තීය දැන්වීම් සමාගම් හා කැම්පේන් හසුරුවන්නෝ සමහරක් මේ ස්වේච්ඡා පුරවැසි නිර්මාණ කොපි කරන්නට හා ඒවා සමග තරග කරන්න තැත් කරනු පෙනී ගියා. මේ ප‍්‍රවණතා ඉදිරි මැතිවරණවල වඩාත් ප‍්‍රබලව පැන නගිනු ඇති.

Purawesi Balaya = Citizen Power icon
Purawesi Balaya = Citizen Power icon

පුරවැසි බලය වැනි මෑතදී බිහි වූ සිවිල් සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ද මේ නව මීම් රැල්ල මනා සේ හසුරුවනු මා දුටුවා. මෙවර මැතිවරණයේ ඉතා පුළුල්ව ප‍්‍රතිරාවය වූ වැකියක් වූයේ ‘යටත්වැසියන් නොවී පුරවැසියන් වෙමු’ යන්නයි. මෙරට තත්කාලීන දේශපාලන හා රාජ්‍ය පාලන යථාර්ථයේ ගරා වැටීම කෙටියෙන් හා මැනවින් හසු කර ගත් මෙය ද මීම් එකක් ලෙස හැඳින්විය හැකියි.

තවත් පුරවැසි මාධ්‍යකාරියක විසින් මුදා හැරිය වැකියක් මෙසේයි. ‘උපන් දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ!’ පක්ෂ මාරු කිරීමේ ශීඝ‍්‍රතාව වැඩි වෙද්දී සංසරණයට ආ මෙය ද ඉක්මනින් සයිබර් අවකාශය පුරා පැතිර ගියා.

කාටූන් චිත‍්‍ර හැකියාව එතරම් නැතත් හොඳ හාසජ්‍යනක අදහස් මීම් රූප ලෙස බිහි වී අප කුල්මත් කළා.

මෙරට දේශපාලන සන්නිවේදන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නාමික හෝ නිර්නාමික සාමාන්‍ය පුරවැසියන්ට නිර්මාණශීලී ලෙස දේශපාලන සිදුවීම් ගැන පොදු අවකාශයේ ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට හැකිව තිබෙනවා.

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

රටේ ජනගහනයෙන් 25%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන අතර වැඩිහිටියන් අතිබහුතරයක් අත ජංගම දුරකතන තිබෙන අද දවසේ මෙබඳු සන්නිවේදනවලින් ජනමතයට ඇති වන බලපෑම සුළුපටු නොවේ. එහෙත් අපේ දේශපාලන පක්ෂ හෝ සරසවි මාධ්‍ය පර්යේෂකයන් මේ නව යථාර්ථය තවම තේරුම් ගෙන නැහැ.

බ්ලොග් රචක හා දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනවාරි 4 වැනිදා ලියූ පරිදි: “මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළහ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේය. අද වන විට තරුණ පරපුරෙන් 80‍% පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවලමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය යග ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.”

අජිත් හා මා වැන්නවුන් මේ නව අවකාශයන්ට වඩාත් සමීප නිසා ඒවා අධිතක්සේරු කරනවා යැයි යමකු තර්ක කළ හැකියි. ෆේස්බුක් ජාලයට සමහරුන් නිගරුවට මෙන් යොදන ‘බුකිය’ වචනය භාවිත කරමින් මෙවන් අයකු මෑත දිනෙක කීවේ ‘බුකියේ මතය නොවෙයි බහුතරයක් ලක් සමාජයේ මතය’ යනුවෙන්.

මැතිවරණ ප‍්‍රතිඵල හරහා මෙහි යථාර්ථය පෙනී යනු ඇති. එහෙත් මිලියන් හතරක් පමණ ලාංකිකයන් සැරිසරන වෙබ් අවකාශය හා මිලියන් 15ක් දෙනා ඇති ජංගම දුරකතන නොතකා ජනමතය විමර්ශනය කිරීම ද නුවණට හුරු නැහැ. (ස්මාට් ෆෝන් මිලියන 3ක් පමණ මෙරට ඇතැ’යි අනුමාන කරන අතර ඒ හැම එකකින්ම ඉන්ටර්නෙට් සබඳතා ලද හැකියි. බහුමාධ්‍ය රූප ඵඵී හුවමාරු කර ගන්නටත් පුළුවන්.)

මෙරට දේශපාලන පක්ෂ තවමත් යල්පැන ගිය සන්නිවේදන මානසිකත්වයක සිටින බව තහවුරු කළ තවත් එක් අවස්ථාවක් වූයේ ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර නොකෙරුණු සජීව ටෙලිවිෂන් විවාදයයි.

TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014
TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014

2013 නොවැම්බර් 24දා මගේ කොලම අවසන් කරමින් මා මෙසේ කීවා: “අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා විමසුවා. ඔහු කීවේ එබදු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි. මෙබදු ස්වාධීනත්වයක් ළගදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි.”

2014 දෙසැම්බර් 13දා මගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම @NalakaG හරහා මා මේ ප‍්‍රශ්නය මතු කළා: “ජාත්‍යන්තර ස්වරූපයේ සජීව ටෙලිවිෂන් විවාදයකට අපේක්ෂකයන් දෙදෙනා කැඳවන්නට දැන්වත් ශ‍්‍රී ලංකාව සූදානම්ද? එසේ නම් කුමන නාලිකාවද?”

මෙයට ට්විටර් හරහා නොසිතූ තරම් දුසිම් ගණනාවක මහජන ප‍්‍රතිචාර ලැබුණා. එයින් බහුතරයක් දෙනා මෙබන්දක් කළොත් හොඳ බව පිළිගත්ත ද එයට සරිලන නාලිකාවක් හෝ අපක්ෂපාතව එය මෙහෙයවිය හැකි චරිතයක් හමු වේදැ’යි ප‍්‍රශ්න කළා.

මුළුමනින් අපක්ෂපාතී මාධ්‍ය නාලිකා ලොව කිසි තැනෙක නැති බවත්, අවශ්‍ය වන්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප‍්‍රවර්ධන ව්‍යාපාර (කැම්පේන්)වලට පිළිගත හැකි පොදු රාමුවකට එකඟ වී එය ක‍්‍රියාත්මක කිරීම බවත් මා කියා සිටියා.

විවාදය ටෙලිවිෂන් නාලිකා සියල්ලේ එකවර විකාශය කිරීම, රූපවාහිනී නාලිකාව හා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික නාලිකා එකක හෝ දෙකක සම සහභාගිත්වයෙන් විවාදය සිදු කිරීම ආදී විකල්ප යෝජනා වුණා.

සමාජ මාධ්‍ය සංවාදවල අපූරුව නම් එකිනෙකා නොහඳුනන උද්යෝගිමත් පිරිසක් මෙබඳු කාලීන හා වැදගත් මාතෘකාවක් ගැන විවෘතව හා සංවරව මත දැක්වීමයි. මේ සයිබර් සංවාදයේ යම් තැනෙක මෙබඳු විවාදයක් මෙහෙයවීමට පරිණත මාධ්‍ය බරිත සිටීදැ’යි එක් තරුණ පුරවැසි මාධ්‍යවේදියකු (ගිහාන් ප‍්‍රනාන්දු) අභියෝගාත්මකව මගෙන් ප‍්‍රශ්න කළා.

කිසිදු ටෙලිවිෂන් නාලිකාවක දැනට සක‍්‍රීය සේවයේ නියුතු නිවේදකයන් හෝ තීරකයන් හෝ නොසලකා මේ අසාමාන්‍ය කටයුත්තට ගාම්භීර, කෘතහස්ත හා දේශපාලනිකව පක්ෂග‍්‍රාහී නැතැ’යි පෙනෙ අයකු සොයා ගත යුතු බව මගේ නිර්දේශය වූවා. මේ සඳහා මා නම් දෙකක් යෝජනා කළා. පළමුවැන්නා මෙරට ජ්‍යෙෂ්ඨතම ඉංග‍්‍රීසි පුවත්පත් කතුවරයකුව සිට දැන් පොත් වෙළෙඳාමේ නිරත වන විජිත යාපායි. දෙවැන්නා මෙරට ටෙලිවිෂන්-රේඩියෝ මාධ්‍ය දෙකෙහිම පුරෝගාමී හපන්කම් කළ අඩ සියවසක විද්‍යුත් මාධ්‍ය අත්දැකීම් ඇති පාලිත පෙරේරායි.

මේ ට්විටර් සංවාදයේ යම් අවස්ථාවක මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ද එයට සම්බන්ධ වුණා. ඔහු කීවේ අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති උපදේශකයන් දෙපිලක් ලෙස මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගැන විවාද කළ හැකි බවයි. එහෙත් ජනාධිපතිවරණයක් යනු රටේ නායකයා තෝරන ඡන්දයක් නිසා අපේක්ෂකයන්ම සහභාගි වී මුහුණට මුහුණ ලා සිය දැක්ම හා ප‍්‍රතිපත්ති ගැන විවාද කළ යුතු බව බහුතරයකගේ අදහස ලෙස ඉක්මනින්ම මතු වුණා.

මේ සියල්ල සයිබර් අවකාශයේ කතාබහ වූයේ එක් සෙනසුරාදාවක දහවලේ හා සැන්දෑවේ. ඊට පසුවදා ඉරිදා සමහර පුවත්පත්වලත් ජනාධිපති අපේක්ෂක සංවාදය ගැන පුවත් පළ වුණා. මගේ මාධ්‍ය මිතුරකු මට මතක් කර දුන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පණතේ 117 වන වගන්තියේ මෙබඳු විවාදයකට නීතියෙන්ම ඉඩක් ලබා දී ඇති බවයි.

අවම වශයෙන් අපේක්ෂකයන් දෙදෙනකු එකඟ වේ නම් ඔවුන් අතර විද්‍යුත් මාධ්‍ය විවාදයක් පැවැත්විය හැකි බවත්, ඒ සඳහා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය මාධ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතු බවත් එහි කියැවෙනවා. මේ වගන්තිය ටෙලිවිෂන් මාධ්‍යයටත් අදාළ කරගත හැකියි. (1981දී මේ නීතිය සම්පාදනය වන විට ඇරැඹී නොතිබි රූපවාහිනී සංස්ථාව 1982 මුල්ම ජනාධිපතිවරණය පැවති වසරේම විකාශයන් පටන් ගත්තා.)

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව ටෙලිවිෂන් විවාදයට මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂ අපේක්ෂකයා සූදානම් බවට එළැඹුණු දින කිහිපයේ ප‍්‍රකාශයට පත් වුණා. එහෙත් අපේක්ෂක මහින්ද රාජපක්ෂ එයට ඉදිරිපත් නොවූ නිසා විවාදය සිදු වූයේ නැහැ.

පසුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිය හා යුක්තියට අදාළ තේමාවන් ගැන විවාදයකට මේ දෙපළටම විවෘත ඇරයුමක් කළත් එය ද රාජපක්ෂ පිල පිළි ගත්තේ නැහැ. නීතිඥ ක්ෂේත‍්‍රය වෙනුවෙන් විවාදය මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් තිදෙනකු පවා තෝරා ගෙන සිටියා.

විවාදයකට ඒම හෝ නොඒම අපේක්ෂකයන්ගේ අභිමතය වුවත් පොදු උන්නතිය හා රටේ අනාගතය ගැන කැක්කුමක් ඇති ලෙසින් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුණු අපේක්ෂකයකු ප‍්‍රසිද්ධ විවාද දෙකක් (ටෙලිවිෂන් හා නීතිඥ සංගමයේ) මග හැරියේ ඇයි?

තමන්ගේ ප‍්‍රතිපත්ති හා මෙතෙක් ආ මග සාධාරණීකරණය කිරීම කෘතහස්ත දේශපාලකයන්ට අමාරුද?

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව විවාද පැවැත්වීම ඇමරිකානු සම්ප‍්‍රදායක් යැයි ද එබඳු බටහිරට පුරුදු අපට අනවශ්‍ය යැයි තර්ක කළ අයද සිටියා. මේ විවාද පැවැත්වීම නූතන යුගයේ ඇරැඹුණේ 1960 අමෙරිකානු ජනාධිපතිවරණයේදී බව සැබෑවක්. එහෙත් එම සංකල්පය මේ වන විට ලොව විවිධ රටවල ක‍්‍රියාත්මක වනවා.

2010 මැයි මැතිවරණයට පෙර බි‍්‍රතාන්‍යයේ දේශපාලන පක්ෂ නායකයන් අතර පළමුවරට සජීව ටෙලිවිෂන් විවාද 3ක් පැවැත් වුණා. විවාද මෙහෙය වූයේ එහි ප‍්‍රවීණතම විද්්‍යුත් මාධ්‍යවේදීන් තිදෙනෙක්. කන්සර්වෙටිව්, කම්කරු හා ලිබරල් පක්ෂ නායකයන් සහභාගි වූ මේ විවාදවලට පෙර අදාළ විවාද කොන්දේසි 70ක් දේශපාලන පක්ෂ සියල්ල එකඟ වී සිටියා.

2013 පෙබරවාරියේ කෙන්යාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එරට මුල්ම සජීව ටෙලිවිෂන් විවාදයට සහභාගි වුණා. පැය තුනහමාරක් සජීවී ලෙසින් ටෙලිවිෂන් හරහාත්, ඉන්ටර්නෙට් යූටියුබ් හරහාත් කෙන්යානුවෝ එය නැරඹුවා. සමහර ප‍්‍රශ්නවලට අපේක්ෂකයන් හරිහැටි පිළිතුරු නොදී ලිස්සා ගිය බවට චෝදනා ද එල්ල වුණා. තමන්ගේ දේශපාලන දැක්ම හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විවෘත සභාවක් අබියස ව්‍යක්තව පහදා දීමේ හැකියාව ඇත්තේ කුමන අපේක්ෂකයන්ට ද යන්න කෙන්යානු ඡන්දදායකයන්ට බලා ගත හැකි වුණා. එයට ප‍්‍රතිචාර දැක් වූ එක් පේ‍්‍රක්ෂකයෙක් කීවේ ‘දේශපාලන වේදිකාවල වෛරීය කතා කරනවාට වඩා සංයමයෙන් හා ප‍්‍රතිපත්තිවලට අවධානය යොමු කරමින් අපේක්ෂකයන් හැසිරුණු ආකාරය ප‍්‍රශංසනීයයි.’

European Union Presidency - Candidates join TV debate in May 2014
European Union Presidency – Candidates join TV debate in May 2014

2014 මැයි මාසයේ යුරෝපා කොමිසමේ ජනාධිපති තනතුරට ඉදිරිපත් වූ අපේක්ෂකයන් නෙදර්ලන්තයේ මාස්ට‍්‍රයික්ට් නුවරදී සජීව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වුණා. එය EuroNews නාලිකාව මගින් ලොව පුරා සජීව ලෙසින් විසුරුවා හැරියා.

ජපානය ද මහ මැතිවරණයකට පෙර ප‍්‍රධාන පක්ෂවල නායකයන් සම්බන්ධ කර ගෙන මෙබඳු සජීවී ටෙලිවිෂන් විවාද පවත්වයි. එයට මුල් වන්නේ එම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නායකත්ව මට්ටමක සිටින ප්‍රෙස් ක්ලබ් හෙවත් මාධ්‍ය සමාජයයි.

මේ හැම විවාදයක්ම මෙන්ම ගෙවී ගිය අඩ සියවසක ඇමරිකානු ජනාධිපති අපේක්ෂක විවාදයන් ද යූටියුබ් හරහා ඕනෑම අයකුට නැරඹිය හැකියි. මේ සම්ප‍්‍රදාය ටිකෙන් ටික ප‍්‍රචලිතවීමත් සමග පූර්ව මැතිවරණ කාලය තුළ වඩාත් හරවත්ව මාධ්‍ය යොදා ගැනීමකට හා දේශපාලන සංස්කෘතිය වඩාත් සහභාගිත්ව මට්ටමකට ගෙන ඒමට උපකාර වනවා.

මේ ගෝලීය ප‍්‍රවණතාවලට ශ‍්‍රී ලංකාව කවදා අනුගත වේද?

 

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

Anti-government demonstrators crowd Cairo's Tahrir Square in February 2011
Anti-government demonstrators crowd Cairo’s Tahrir Square in February 2011

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 4 January 2015, I pose a topical question: are there necessary and sufficient conditions for a spontaneous people’s uprising in Sri Lanka similar to what happened in the collective phenomenon known as the Arab Spring?

I address this because both the ruling party and opposition politicians in Sri Lanka have been loosely referring to Arab Spring during their current campaigns running up to the Presidential Election scheduled for 8 January 2015.

In this column, I briefly chronicle what happened in the Middle East and North Africa during 2010-11, and then explore the many factors that triggered or sustained the complex series of events. I discern three key factors: demographics (especially a low median age with large youthful populations); democracy deficit; and proliferation of information and communications technologies ranging from easy access to trans-boundary satellite television broadcasts, mobile phones and Internet.

I argue that while Sri Lanka of today has achieved the ICT factor in good measure, the other two factors fall short. With a median age of 31 years (in 2012), ours is no longer a youthful population and the demographic impetus for uprisings has passed. And while there are serious concerns about governance, the country’s democratic deficit is only partially present.

Thus, it is very unlikely that an Arab Spring style uprising could happen in Sri Lanka. So both the ruling coalition and opposition parties relax — and should let go of this much-hyped prospect.

Arab-Spring-women-Egypt

ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද? ඒ සඳහා අවශ්‍ය සාධක ප‍්‍රමාණවත් පමණින් පෙළගැසීමක් මෙරට හමු වේද?

අරාබි වසන්තය (Arab Spring) හරියට ‘සීතල යුද්ධය’ (Cold War) නැතහොත් ගෝලීයකරණය (Globalization) වැනි පුළුල් යෙදුමක්. එකිනෙකට යම් තරමකින් බැඳුණු සිදුවීම් මාලාවකට හා ප‍්‍රවාහයකට යොදනු ලබන්නා වූත් මාධ්‍ය විසින් ජනප‍්‍රිය කරන ලද්දා වූත් සංකල්පයක්.

අරාබි වසන්තය ගැන නිරවුල් අවබෝධයක් නොමැතිව එය ගෙඩි පිටින් ශ‍්‍රී ලංකාවට අදාල කරන්නට පාලක පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද ඇතැම් දේශපාලකයන් උත්සාහ කරනු මෑත කාලයේ අපට අසන්නට ලැබුණා.

ඔවුන්ගේ ප‍්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ නවීන සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ ජනයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කලහකාරී අරගලයක් හරහා පවත්නා රජයක් වෙනස් කිරීම අරාබි වසන්තය ලෙස ඔවුන් තේරුම් ගන්නා ආකාරයයි. නමුත් සැබෑ තත්ත්වය මීට වඩා සංකීර්ණ මෙන්ම සියුම් ද වනවා.

අරාබි වසන්තය ආකාරයේ ජනතා අරගල හා නැගී සිටිම් මැදපෙරදිග, උතුරු අප‍්‍රිකාවේ හා සමහර නැගෙනහිර යුරෝපීය රටවල සිදු වුවත් වෙනත් රටවල සිදු නොවීමට සීමාකාරී සාධක මොනවාද?

Arab Spring යෙදුම මුල් වරට භාවිත කළා යයි සැළකෙන්නේ අමෙරිකාවේ ජෝර්ජ් වොෂිංටන් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාක් ලින්ච් (Marc Lynch) විසින් 2011 ජනවාරි 6 වනදා. ජාත්‍යන්තර සබඳතා හා ලෝක විත්ති ගැන කථාබහ කරන Foreign Policy සඟරාවේ ලිපියක් ලියමින්. http://foreignpolicy.com/2011/01/06/obamas-arab-spring/

පසුව මෙයට විකල්ප යෙදුම් ද සමහරුන් භාවිත කරන්නට පටන් ගත්තා. එනම් ඉස්ලාමීය වසන්තය (Islamic Spring). හේතුව කලක් පැවති පාලනතන්ත‍්‍ර ඇද වැටුණු රටවල් ගණනාවකම එම තැනට ඒ වෙලේම හෝ ටික කලකින් හෝ පත් වූයේ ඉස්ලාමීය දේශපාලන පක්‍ෂ නිසා. මීට අමතර අරාබි පිබිදුම, අරාබි උද්ඝෝෂණ, අරාබි ජන අරගල ආදි නම් ද භාවිත වනවා.

කලක් තිස්සේ මැදපෙරදිග රටවල කැකෑරෙමින් තිබුණු ජනතා දුක් ගැනවිලි හා තරුණ අසහනයන් අන්තිමේදී පුපුරා ගියේ ටියුනීසියාවේ සිඩි බවුසිඞ් (Sidi Bouzid) නම් නගරයේදී.

Tarek al-Tayeb Mohamed Bouazizi
Tarek al-Tayeb Mohamed Bouazizi

මොහමඞ් බවුඅසීසි Tarek al-Tayeb Mohamed Bouazizi නම් 26 හැවිරදි තරුණ වීදි වෙළෙන්දකු 2010 දෙසැම්බර් 17 වනදා ප‍්‍රසිද්ධියේ ගිනි තබා ගත්තා. ඔහු එය කළේ නගර සභාවේ දුෂිත නිලධාරින් තමන්ට දිගින් දිගටම අල්ලස් ඉල්ලා කළ හිරිහැර හා පොලිසියේ අඩන්තේට්ටම්වලට විරෝධය පෑමටයි. රෝහල් ගත කරනු ලැබූ ඔහු 2011 ජනවාරි 4 වනදා මිය ගියා.

මේ තරුණයාගේ අත්දැකීමට සමාන හිරිහැර ලද තවත් බොහෝ දෙනා තම විරෝධය පළ කිරීමට මෙය අවස්ථාව කර ගත්තා. ඒ සමග නගරයේ වීදි කලබල හට ගත්තා. මේ සිදුවීම් ස්මාට්ෆෝන් ජංගම දුරකථන හරහා වීඩියෝ ගත කළ ජනයා ඒවා රට පුරා සිටින තමන් හඳුනන අයත් සමග බෙදා ගත්තා.

1987 සිට අයෝමය හස්තයකින් වියුනීසියාව පාලනය කළ ජනාධිපති අබිදීන් බෙන් අලීගේ රජය යටතේ රට පුරාම මෙබඳු දුෂණ හා අක‍්‍රමිකතා ඉහවහා ගොස් තිබුණා. එක් නරගයක එයට එරෙහිව විරෝධතා මතු වනු දුටු සෙසු ජනයා ද එයට එක් වුණා. මෙය ස්වයංසිද්ධියක් මිස කිසිවකු සංවිධානගතව සැළසුම්ගතව කළ දෙයක් නොවෙයි.

ටියුනිසියාව මධ්‍යම ආදායම් ඇති රටක් වුව ද බොහෝ දෙනා දුගී බවින් මිරිකී නිලධාරිවාදට හසු වී පීඩිතව සිටියා. මේ නිසා තරුණ අරගලයට බොහෝ ජනයාගේ ආශිර්වාදය හා සහාය ලැබුණා. රටපුරා වීදි කැළඹීම් හා විරෝධතා මැද අතිශයින් දුෂිත බෙන් අලී හා ඔහුගේ පවුලෙ උදවිය සෞදි අරාබියට පළා ගියා. ඒ 2011 ජනවාරි 14 වනදා.

එහෙත් මහජන උද්ඝෝෂණ නතර වූයේ නෑ. වසර 25කට ආසන්න කාලයක් රට පාලනය කළ අලිගේ RCD පක්‍ෂය තහනම් කිරීමට ජනයා බලපෑම් කළා. එය පිළිගත් එරට අධිකරණය RCD තහනම් කොට එහි සම්පත් රාජ සන්තක කළා. එසේම අලූතෙන් පත්වූ රජය අලි යටතේ ක‍්‍රියාත්මක වූ බිහිසුනු රහස් පොලිසිය වසා දැමුවා. 2011 ඔක්තෝබරයේ පැවති මැතිවරණයෙන් එන්නඩා ව්‍යාපාරය නම් වූ දේශපාලන කණ්ඩායම බහුතර ආසන දිනා රජයක් පිහිටවූවා.

Ripple that started in Tunisia had a domino effect...well, sort of. | Cartoon by Saieb Khalil; courtesy - doroob.com
Ripple that started in Tunisia had a domino effect…well, sort of. | Cartoon by Saieb Khalil; courtesy – doroob.com

ටියුනීසියාවෙන් ඇරැඹුණු මේ ජනරැල්ල දින හෝ සති කිහිපයක් ඇතුළත ජෝර්දානය, කුවේට්, ඊජිප්තුව, ඇල්ජීරියාව, යේමනය, බහරේන් හා සිරියාව වැනි රටවලට ද ව්‍යාප්ත වුණා.

උද්ඝෝෂණකරුවන් මේ හැම රටකම පාහේ යොදා ගත් ක‍්‍රමෝපායන්ගේ යම් සමානකම් තිබුණා. එනම් වැඩවර්ජන, වීදි උද්ඝෝෂණ, පෙළපාලි, මහජන රැස්වීම් හා ප‍්‍රසිද්ධ ස්ථානවල දිවා රාති‍්‍ර රැඳී සිටිමින් සත්‍යග‍්‍රහ කිරීම ආදියයි. සමහර රටවල ප‍්‍රචණ්ඩත්වයට පෙරළුනත් අනෙක් තැන්වල කලහයන්ට වඩා ප‍්‍රබලව මතුව ආයේ ජන ඒකරාශිවීම් හා සාමකාමී විරෝධතායි.

යම් තීරණාත්මක අවස්ථාවන්හිදී ඇතැම් රටවල පොලිසිය හා හමුදා සිය සහෝදර ජනතාවට පහර දී ජන විරෝධතා විසුරුවා හැරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හරහා අධිපතිවාදී පාලකයන් බල විරහිත තත්ත්වයකට පත් වුණා. සමහර පාලකයන් එවිට කළේ ජන විරෝධය ඇතුළතින්ම බෙදීම් ඇති කොට ඔවුනොවුන් ඇණකොටා ගන්නා තැනට පත් කිරීමයි. (උදාහරණ සිරියාව).

අරාබි වසන්තය හමුවේ පාලකයන් හදිසියේ වෙනස්වීම සිදු වූයේ ටියුනීසියාව, යේමනය, ලිබියාව හා ඊජිප්තුව යන රටවල පමණයි. ජන උද්ඝෝෂණ හමුවේ රාජ්‍ය පාලන ප‍්‍රතිසංස්කරණ කිරීමට හා වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවකට යොමු වීමට කුවේටය, මොරොක්කෝව, ලෙබනනය, ඕමානය, ජෝර්දානය යන රටවල නායකයෝ ක‍්‍රියා කළා.

තවත් රටවල කෙටි හෝ දිගු කාලීන දේශපාලන අස්ථාවරවීම හෝ සිවිල් යුද්ධ හට ගත්තා. අරාබි වසන්තය ටික කලෙකින් අරාබි සිසිරයක් (Arab Winter) බවට පත් වූ සිරියාව, ඊජිප්තුව වැනි රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා අරගල තවමත් සිදුවනවා. සිරියාවේ සිවිල් යුද්ධය රට දෙපසකට ධ‍්‍රැවීකරණය කළ ඉමහත් මානුෂික ව්‍යසනයක් බවට ඉක්මනින් පත් වුණා. මෙහි අවසානයක් තවමත් දකින්නට නැහැ.

ඊජිප්තුවේ ජන උද්ඝෝෂණ හමුවේ වසර 30ක් එරට පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූවත් දේශපාලන ස්ථාවර බවක් තවමත් එරටට ලඟා වී නැහැ. 2011 ජනවාරි – පෙබරවාරි වකවානුවේ කයිරෝ නුවර සාමකාමී ජන උද්ඝෝෂණවලට සහභාගී වූ වෘත්තික මට්ටමේ මගේ මිතුරන් දෙදෙනෙකු මේ වන විට මහත් කළකිරීමට හා ඉච්ඡා භංගත්වයට පත්ව සිටිනවා. හරිහැටි දැක්මක් හා ඉලක්කයකින් තොරව පාලකයන් පලවා හැරීමෙන් පමණක් රටක යහපාලනය ළඟා කර ගත නොහැකි බව ඔවුන් දැන් පිළිගන්නවා.

Replace autocracy with democracy or theocracy? Changing the top isn't that easy! Cartoon by Clay Bennett on 1 February 2011. Cartoon courtesy timesfreepress.com
Replace autocracy with democracy or theocracy? Changing the top isn’t that easy!
Cartoon by Clay Bennett on 1 February 2011. Cartoon courtesy timesfreepress.com

එසේම ඒකාධිපතිවාදී සිවිල් පාලකයන් ඉවත් වූ සමහර රටවල එම හිදැසට හමුදා පාලකයන් හෝ ආගමික අන්තවාදීන් රිංගා ගැනීම ද ජනහිතවාදී ප‍්‍රතිඵලයක් නොවෙයි. කෙතරම් අඩුපාඩු හා විෂමතා තිබුණත් පිරිසිදු මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීමේ සම්ප‍්‍රදාය මේ අරගලවාදී මාවත් සියල්ලට වඩා වටිනවා.

Arab Spring Timeline: A detailed review of major events looking back at three years of Arab Uprisings across the region.

අරාබි වසන්තය 2011-2012 වකවානුවේ උච්ච වුව ද එයට තුඩු දුන් පසුබිම් සාධක වසර හෝ දශක ගණනක් පුරා කෙමෙන් හා සෙමින් ගොඩනැගුණු බව දැන් පර්යේෂකයන් පිළි ගන්නවා. මේ සියළු හේතු නිසා අරාබි වසන්තය හුදෙක් හදිසි හා ස්වයංසිද්ධි (spontaneous) ආකාරයේ සිදුවීම් නොව දිගු කාලීන සමාජ ප‍්‍රවාහයන් පිටාර ගැලීමක් ලෙස වටහා ගැනීම වැදගත්. (මෙය අරාබි වසන්තයට පමණක් නොව වෙනත් බොහෝ අරගලවලට ද පොදු වූ ක‍්‍රියාදාමයක්. උදාහරණයකට ශ‍්‍රී ලංකාවේ 1971 හා 1988-89 තරුණ කැරළිවලටත් තිස් වසරක බෙදුම්වාදී යුද්ධයටත් තුඩු දුන් සමාජ – ආර්ථික හා දේශපාලන සාධක කලක් තිස්සේ පැන නැගී ආ ඒවායි.)

July 2014 status map by The Economist magazine
July 2014 status map by The Economist magazine

රටකින් රටකට සමාජයීය, ආර්ථික හා දේශපාලන යථාර්ථයන් වෙනස්. එකම තාක්‍ෂණය හෝ දේශපාලන මූලධර්මය වුව ද රටින් රටට අදාල වන්නේ වෙනස් ආකාරයටයි. එබඳු විවිධත්වයක් තුළ අරාබි වසන්තය මතු වී විවිධ මට්ටම්වලට දිග හැරී ගිය රටවලට මුළුමනින්ම නොවුවත් සැළකිය යුතු තරමකට පොදු වූ තීරණාත්මක සාධක තුනක් තිබුණා.

1. පළමුවැන්න ජනගහන සාධකයයි (demography). ජන සංයුතිය සළකන විට ජනගහනයේ මධ්‍යන්‍ය වයස (median age) අඩු වීමයි. මුළු රටෙන් බාගයක්ම ළමුන් හා තරුණ තරුණියන් වීම අරාබි වසන්තය පැන නැගුණු බොහෝ රටවල දක්නට ලැබුණා (ටියුනීසියාව මධ්‍යන්‍ය වයස අවුරුදු 29, ඇල්ජීරියාව 27.1යි, ඊජිප්තුව 24යි, සිරියාව 21.5යි).

අයිතීන් ඉල්ලමින් හා අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණ කිරිමේ නැඹුරුව වැඩිම වන්නේ තරුණ ජන කොටස අතරයි. තරුණයන් බහුල ජනගහනයකට ඇති තරම් අධ්‍යාපනික හා රැකියා අවස්ථා නොමැතිවීමත්, රටේ සුළුතරයක් පමණක් වරප‍්‍රසාද ලබමින් ඉසුරුමත් වන අතර බහුතරය දුගී දුකින් පීඩිත වීමත් මේ රටවල දැකිය හැකි වුණා.

2. දෙවැනි සාධකය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ ගුණාංග වන නීතියේ ආධිපත්‍යය, අදහස් ප‍්‍රකාශනයේ නිදහස, විකල්ප දේශපාලන මත දැරීමේ අවකාශය ආදිය සෝදාපාලූවට ලක් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිදැසක් හෙවත් පරතරයක් (democratic deficit) පැවතීමයි. එයට සමාන්තරව මහා පරිමාණ දුෂණ, වංචා, පවුල්වාදය, පක්‍ෂවාදය හා වෙනත් විසමතා හරහා සුදුස්සාට සුදුසු තැන නොලැබී යාමත්, තරුණ අසහනය මතු වී ඒමත් සිදු වනවා. මේ සියල්ල අරාබි වසන්තය පැන නැගුණු රටවල සැළකිය යුතු අන්දමට තිබුණා.

සමහර රටවල් කලින් කලට මැතිවරණ පැවැත්වුවත් ඒවා නිදහස් හෝ අපක්‍ෂපාත වූයේ නැහැ. එසේම අදහා ගත නොහැකි තරම් ඉහළ ප‍්‍රතිශතයන් ලබා එකම පාලකයා හෝ ඔහුගේ ගජ මිතුරු පිරිස යළි යළිත් බලයට පත් වීම සුලබව සිදු වුණා. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව හරහා සැබෑ යහ පාලනයක් බිහි කළ හැකිය යන්න විශ්වාස කළ තරුණ පිරිස ටිකෙන් ටික අඩු වුණා.

හුදෙක් බලයේ සිටින රජය පමණක් නොව සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ගැනම තරුණයන් අතර විශ්වාසය බිඳී යාමක් ද දැකිය හැකි වුණා. එනම් අධිකරණය, සරසවි පාලකයන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ජනමාධ්‍ය ආදිය ද පාලකයන්ගේ පටු උවමනාකම්වලට නතු වී පොදු උන්නතිය නොතකා හරින බවට තරුණ පිරිස අතර ප‍්‍රබල හැඟීමක් පැවතුණා.

3. තෙවැනි සාධකය නම් නවීන සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ආගමනය හරහා තොරතුරු ගලනයත්, අන්තර් පුද්ගල සබඳතා වඩාත් ලෙහෙසි හා බහුලවීමත්. මෙය ජංගම දුරකථන බොහෝ සේ ප‍්‍රචලිත වී ඇමතුම් ගාස්තු ලාබදායක වීමේ සිට ඉන්ටර්නෙට් භාවිත කරන ජන ප‍්‍රතිශතය ඉහල යාම දක්වා විහිදුණු පරාසයක්.

සන්නිවේදන තාක්‍ෂණය නිසාම කලාපීය වශයෙන් හා ජාත්‍යන්තර මූලාශ‍්‍රවලින් එන ටෙලිවිෂන් පුවත් විකාශයන් වඩා පහසුවෙන් නැරඹීමේ හැකියාව රටේ බහුතරයක් ජනයාට ලැබීම ද ලෝකය ගැන ඔවුන්ගේ අවබෝධය අලූත් කළා. තමන්ට සමාන වෙනත් රටවල වඩාත් විවෘත හා ජනසම්මත සමාජවල ජනයා දිවි ගෙවන්නේ කෙසේ ද යන්න ඔවුන් දිනපතාම වාගේ ටෙලිවිෂන් හරහා දුටුවා.

මැද පෙරදිග ජනමතයට අල්ජසීරා අරාබි ටෙලිවිෂන් නාලිකා හරහා ද ඉංග‍්‍රීසි දත් අයට CNN, BBC හරහා ද ලෝකය ගැන දැන ගැනීමේ අවකාශය තිබුණා. ඉන්ටර්නෙට් හරහා විකිලීක්ස් වැනි හෙළිදරව් සිදු වූ විට තම රටේ පාලකයන්ගේ අසාධාරණකම් හා දුෂණ ගැන තොරතුරු පළමුවරට රටේ ජනයා දැන ගත්තා.

Huffington Post (May 2011): The Role of Al Jazeera in Arab Spring

World Affairs (July/Aug 2011): Did WikiLeaks Inspire Arab Spring?

එසේම ජංගම දුරකථන හරහා හසු කර ගන්නා ඡායාරූප හා වීඩියෝ පුද්ගලයන් අතර හුවමාරු වීම හා ඒවායෙන් සමහරක් වෙබ්ගත කොට සෙසු ජනයා නැරඹීම හරහා ජන උද්ඝෝෂණ ඊජිප්තුව වැනි විශාල රටවල විවිධ ප‍්‍රදේශවලට ඉක්මනින් පැතිර යාමට උපකාර වුණා.

twitterarabspring

අරාබි වසන්තයේදී සමාජ මාධ්‍ය (social media) සැළකිය යුතු කාර්යයක් ඉටු කළ බව සැබෑවක්. එහෙත් එය සමහරුන් සිතන තරම් සරල හෝ රේඛීය සංසිද්ධියක් නොවෙයි. අධිපතිවාදී පාලකයන් බලයෙන් පෙරළා දැමීමට වඩා සමාජ මාධ්‍යවල සංවාද බහුතරයක් ගොඩ නැගුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිදැස ගැන ජනතාවගේ (විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ) සංවාද සිදු කිරීමට බව එම රටවල අදාල කාලයන්හි සමාජ මාධ්‍ය අන්තර්ක‍්‍රියා මිලියන් ගණනක් විශ්ලේෂණය කළ පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.

New Internationalist: The role of social networking in the Arab Spring

NPR, October 2013: What Did The Arab Spring Cost? One Estimate Says $800 Billion

එහෙත් සමාජ මාධ්‍ය මත පමණක් යැපීමෙන් තොරව බහුවිධ සන්නිවේදන උපක‍්‍රම යොදා ගන්නට විශේෂයෙන්ම ඊජිප්තුවේ ජන උද්ඝෝෂණයට නායකත්වය දුන් සරසවි සිසුන් හා සෙසු ක‍්‍රියාකාරිකයන් වග බලා ගත්තා. මෙයට හේතුව ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන වැනි සේවා අදාල ටෙලිකොම් සමාගම්වලට බල කිරීම හරහා ඉක්මනින් අඩාල කිරීමට හෝ නතර කිරීමට හෝ පාලකයන්ට හැකි බව සිසුන් දැන සිටීමයි.

2011 ජනවාරි 28 වනදා ඊජිප්තුව ගෝලීය ඉන්ටර්නෙට් සබඳතාවලින් කපා හරින්නට මුබාරක් රජය ක‍්‍රියා කළත් ඒ වන විට එබඳු අවහිරයකින් නතර කළ නොහැකි තරමට ජන උද්ඝෝෂණ ප‍්‍රබල වී තිබුණා.

අරාබි වසන්තය නම් සංකීර්ණ සිදුවීම් මාලාව දේශපාලනික, සමාජ විද්‍යාත්මක හා තාක්‍ෂණික වැනි දෘෂ්ටිකෝණ කිහිපයකින් විග‍්‍රහ කළ හැකියි. එහි විචල්‍යයන් (වෙනස් වන සාධක) විශාල සංඛ්‍යාවක් තිබූ නිසා එම සිදුවීම් තනි ආකෘතියකට සම්පිණ්ඩනය කිරීමට බැහැ. අවශ්‍ය වූ ප‍්‍රධාන සාධක තුනම එක මොහොතේ එක රටක සමපාත වූ විට ජන උද්ඝෝෂණ හට ගත් බව සැබෑයි. එහෙත් එබඳු අවස්ථාවල පවා ඒවා විකාශනය වූයේ හා අවසන් වූයේ එකිනෙකට වෙනස් ආකාරයෙන්.

640x392_56371_257994

අරාබි වසන්තයට තුඩු දුන් ප‍්‍රධාන සාධක තුන ඇති පමණින් ශ‍්‍රී ලංකාවේ හමු වේද?

සන්නිවේදන තාක්‍ෂණ සාධකය (ටෙලිවිෂන්, ජංගම දුරකථන, ඉන්ටර්නෙට්) නම් සපුරා ගෙන තිබෙනවා. එහෙත් 2012 ජන සංගනනයට අනුව දැන් අපේ ජනගහනයේ මධ්‍යන්‍ය වයස අවුරුදු 31යි. එනිසා ජනගහන සාධකය තව දුරටත් තරුණ අරගල ජනනය කිරීමට හිතකර පසුබිමක් සපයන්නේ නැහැ. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය හිදැසක් පවතින බව සැබෑ වූවත් එය ජන උද්ඝෝෂණ බිහි වීමට තරම් ප‍්‍රබල ද යන්නත් විවාදාත්මකයි.

මේ සියුම් යථාර්ථයන් හරිහැටි සළකා නොබලා මෙරට අරාබි වසන්තයක් ගැන කථා කිරීම තේරුමක් නැති හා අනවශ්‍ය ලෙස අවධානය වෙනතකට යොමු කරවන ක‍්‍රියාවක්.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ නායකයකු හා එම විෂය ගැන ලොව පිලිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග 2014 මැද මා ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා. සන්නිවේදන තාක්ෂණනන් ප්‍රචලිත වීමෙහි දේශපාලනික විපාක මොනවාදැයි මා ඇසුවා.

ටැන්ඩන් කියන්නේ අරාබි වසන්තය අවාසනාවකට මෙන් අරාබි සිසිරයකට පෙරැලූනත් සිසිරය සදා කල් නොපවතින බවයි. සිසිරය හමාර වී යළි කෙදිනක හෝ වසන්තය එළඹෙනු ඇති බවත්, මර්දනකාරී හා ඒකාධිපති පාලනයන් දිගු කලක් අල්ලාගෙන සිටිය ද එය ඉතිහාසයේ ජනතාවාදී ප‍්‍රවාහයන්ට එරෙහිව රැඳී තිබෙන්නේ සීමිත වකවානුවකට පමණක් බවද ඔහුගේ මතයයි.

Dr Rajesh Tandon, in conversation with Nalaka Gunawardene on YATV, June 2014
Dr Rajesh Tandon, in conversation with Nalaka Gunawardene on YATV, June 2014

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

කාල බෝම්බ ඕනෑ කර තිබේ! සිවුමංසල කොලූ ගැටයා අළුත්ම තීරු ලිපි එකතුව එළි දකියි

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අළුත්ම ග‍්‍රන්ථය ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ’ නමින් මේ සතියේ නිකුත් වෙයි. 2013-14 වකවානුවෙහි ඔහු රාවය පුවත්පතේ ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි 44ක් මෙහි ඇතුලත්ය.

21 වන සියවසේ සංකීර්ණ අභියෝගයන්ට නොබියව හා තර්කානුකූලව මුහුණදීමට ලක් සමාජය හැඩ ගැසිය යුතු අන්දම නාලක නොයෙක් මානයන්ගෙන් විග‍්‍රහ කරයි. මතවාදයන්ට නතු නොවී හැම දෙයක් ගැනම විවෘතව ප‍්‍රශ්න කරන ඔහු තම තීරු ලිපි දකින්නේ පාඨකයන්ගේ මනසේ කවදා හෝ පුපුරා යන ‘කාල බෝම්බ’ ලෙසිනි.

“දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ” යයි පොතට පෙරවදනක් ලියන විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හා පර්යේෂක ආචාර්ය උදන් ප‍්‍රනාන්දු කියයි.

ප‍්‍රවීණ ගත්කුවර හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මෙසේ කියයි. “අද අපේ සමාජය මහා හිඟයකට මුහුණ දී තිබේ. ඒ, විචාරශීලීත්වයයි. සමාජ ප‍්‍රශ්න, ආගමික සහ සංස්කෘතික ප‍්‍රශ්න, සදාචාරමය සහ දේශපාලන ප‍්‍රශ්න යන සෑම ක්ෂේත‍්‍රයකම පෙනෙන්ට ඇත්තේ අවිචාරයයි. බෞද්ධ රටක් යැයි කීවද, බුදුන් වහන්සේගේ ‘කාලාම සූත‍්‍රය’ අද රටටම අමතකව ගොස් ඇති සෙයකි. නාලක ගුණවර්ධනගේ සෑම ලියවිල්ලක්ම ආමන්ත‍්‍රණය කරන්නේ ඒ දරිද්‍රතාවට බව මගේ හැඟීමයි. ඔහු විද්‍යාව ගැන ලියූවත්, සමාජ ප‍්‍රශ්න ගැන ලියූවත්, ඒ සියල්ලෙන් සන්නිවේදනය කෙරෙන්නේ, කෙනෙකුගේ ඇස් අරවන විචාරශීලීත්වයකි.”

රාවය ප‍්‍රකාශනක් වන මේ පොතෙහි මිළ රු. 490කි. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයෙන් විශේෂ වට්ටමකට ද ඉනික්බිති පොත්හල් වෙතින් ද ලබා ගත හැකි ය.

ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියෙන් 2012 වසරේ හොඳම තීරු ලිපි එකතුව සඳහා විද්‍යොදය සාහිත්‍ය සම්මානය සිවුමංසල කොලූගැටයා මුල් පොතට පිරිනැමුණි.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

සිවුමංසල කොලූගැටයා #176: පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද?

Threatening the mirror...
Threatening the mirror…

In this week’s Ravaya column (in Sinhala), I return to the oft-discussed topic of social media in today’s Lankan society.

If media mirror the realities of its land and times, don’t social media reflect its society as well? And if some among us don’t like what is expressed by fellow citizens using social media platforms, could it be that many inconvenient issues and questions – excluded in the mainstream media – are being raised?

Yes, we need to discuss the social, cultural and political implications of growing social media use. However, that debate will not be served by insular and insecure mindsets that see every aspect of globalization as a threat or conspiracy.

 

බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.

අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ සමාජ වගකීමක් නැහැ නේද?’ යන්නටයි.

වරක් මා ඔහුගෙන් ඇසුවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සියල්ලම ආචාර ධර්මවලට අනුව සැම විටම කටයුතු කරනවා ද කියායි. බීබීසීයට යන්නට පෙර මුළු වෘත්තීය කාලයම රජයේ ගුවන් විදුලියේ වැඩ කළ ඔහු එවිට කීවේ ‘‘රාජ්‍ය මාධ්‍ය නම් සැම විටම වගකීමෙන් කටයුතු කරන නමුත් සමහර FM නාලිකා එසේ නොකරන’’ බවයි.

ඔහුගේ තර්කයට අනුව මෙරට මාධ්‍ය රැසක් අතරින් වගකීමෙන් කටයුතු කරන්නේ රාජ්‍ය නාලිකා පමණයි! පෞද්ගලික රේඩියෝ නාලිකා හා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හිතුමතයට තොරතුරු හා අසත්‍යයන් පතුරුවන බවත්, සංයමයකින් තොර බවත් ඔහු කියනවා.

රජයේ මාධ්‍ය බලයේ පවතින රජයට සුවචව, කීකරුව ක‍්‍රියා කරන බව නම් සැබෑයි. එහෙත් ඒවා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරනවා ද හෝ ආචාර ධර්මීය රාමුවක ක‍්‍රියා කරනවා ද යන්න නම් අතිශයින් විවාදාත්මකයි.

බීබීසී ගතානුගතිකයා උදාහරණයක් ලෙස මා ගත්තේ වාරණවලින් තොර මාධ්‍ය පරිසරයකට ගිය පසු පවා අපේ සමහර ඇත්තන්ට තමන් ජීවිත කාලයක් පුරා පටවා ගත් මතවාදී පොට්ටනි බිමින් තබන්නට බැරි සැටි පෙන්වීමටයි. එසේම අළුත් හැම දෙයක්ම හෙළා දකින හෝ ප‍්‍රතික්‍ෂෙප කරන හෝ පුරුද්ද පිළිබිඹු කිරීමටයි.

සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ පුරවැසි මාධ්‍යකරුවන් අළුත්ගම සිදුවීම් ගැන තොරතුරු හා මත දැක්වීම් බෙදා ගත් අකාරය ගැන ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර උදවිය ලියූ කතුවැකි හා කළ වෙනත් ප‍්‍රකාශයන් මට සිහිපත් කළේ බීබීසී ගිය ලාංකික හණමිටිකාරයායි.

29 June 2014:සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්ද?

Hand holding a Social Media 3d Sphere sign on white background.

වෙබ්ගත සමාජ මාධ්‍යවලට දොස් තැබීම මේ දිනවල ජනප‍්‍රිය රැල්ලක් වෙලා. ඒ ගැන දන්නා – නොදන්නා බොහෝ දෙනා සමාජ මාධ්‍ය විවේචනය කරන්නේ හරියට රටේ සියළු දොස්වලට හේතුව සමාජ මාධ්‍ය භාවිතය කියන්නාක් මෙන්.

ඇත්තටම සමාජ මාධ්‍ය ගැන ගැඹුරු හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. එහෙත් බොරුවට නිදා සිටින උදවිය අවදි කළ නොහැකි සේ තමන්ගේ මතයට දැඩි ලෙස එල්බ සිටින අයත් සමග හරවත් සංවාද කිරීම ද අපහසුයි.

සෙසු මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද අප දකින්නේ ලක් සමාජයේ පවතින යථාර්ථය, විවිධත්වය හා විසමතායි. ඒ නිසා එය කැඩපතක්.

කැඩපතකින් අප දකින පිළිබිඹුවට අප නොකැමති නම් කැඩපතට දොස්කීම හෝ තර්ජනය කිරීම නිෂ්ඵල ක‍්‍රියාවක්.

පණිවුඩය රැගෙන එන්නට පහර දෙන්න එපා (Don’t attack the messenger) යයි කියමනක් කලක සිට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අරභයා කියනවා. එසේම සමාජ මාධ්‍ය ගැන කිව හැක්කේ අමිහිරි සංවාද ඇසු දුටු පමණින් ඒවා සිදු වන වේදිකාවට ගිනි තබන්නට එපා යන්නයි.

සමාජ මාධ්‍ය ගණයෙහි ලා ගැනෙන බ්ලොග් අඩිවි, ෆේස්බුක්, ට්වීටර්, යූ ටියුබ් ඇතුළු වෙනත් වේදිකාවල සන්නිවේදනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් පුරවැසි මාධ්‍යවේදීන් වනවා ද නැද්ද යන්න ගැන අපට විවාද කළ හැකියි.

පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් ඊට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා. සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන්!

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

අද වෙබ් හා ඩිජිටල් තාක්‍ෂණයන් හරහා එම පහසුකම් හැසිරවීමේ හැකියාව ඇති ඕනෑ ම කෙනෙකුට තමන්ගේ අදහස්, මතවාදයන් ඉක්මනින් ලෝකයට ම බෙදිය හැකියි.

මේ නූතන පුරවැසි මාධ්‍යකරණයේ ආගමනය සිදු වුයේ 1990 දශකය අග භාගයේ පටන්. (පුරවැසි මාධ්‍යවේදයේ පැහැදිලි නිර්වචනය නම් වැටුප් නොලබා, දොරටු පාලකයන් නැතිව අදහස් ප‍්‍රකාශනයයි. එසේ නොවන පුවත් වෙබ් අඩවි හා විවිධ දේශපාලන වෙඞ් අඩවි මේ ගණයට වැටෙන්නේ නැහැ.)

බ්ලොග්කරුවන් බහුතරයකුත්, අනෙක් සයිබර් වේදිකා යොදා ගන්නා අයගෙන් සමහරකුත් පමණක් නිරතුරුව හා ඉලක්කයක් ඇතිව සන්නිවේදනය කරනවා. ඉතිරි අය ඉඳහිට හිතට එන සිතිවිල්ලක් හෝ හසු වූ ඡායාරූපයක් බෙදා හදා ගන්නා උදවියයි.

එහෙත් ජන සමාජයම සලිත කරවන අලූත්ගම හෝ වැලිවේරිය ම්ලේච්ඡත්වය වැනි සිදුවීමක් ඇතිවූ විට සාමාන්‍යයෙන් පොදු අවකාශයේ සන්නිවේදනය නොකරන බොහෝ දෙනා ද ඒ ගැන සංවාදවලට පිවිසෙනවා.

පොදු ජන ආවේග තීව‍්‍ර වූ විටෙක මත දැක්වීමට හෝ තමන් රිසි මත බෙදා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා. මෙය අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ග‍්‍රහණයට සියළු මානවයන්ට ඇති මූලික අයිතියක් ප‍්‍රගුණ කිරීමක්. ඒ සඳහා කාගෙන්වත් අවසර ඕනෑ නැහැ.

අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට පෙර හා පසු සමාජ මාධ්‍ය ගැන මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යකරුවන් කළ විග‍්‍රහයන් හා ලියූ කතුවැකිවලින් පෙනී යන්නේ තමන්ට නුපුරුදු අලූත් මාධ්‍යයක් හා සමාජ ප‍්‍රවණතාවක් ගැන ඔවුන් සැකයෙන්, භීතියෙන් සිටින බවයි.

එසේම තමන්ට බලපවත්නා නිල හා නොනිල සීමාවන් එලෙසින් අදාල නොවන නව මාධ්‍ය ගැන කුහක ඉරිසියාවක් ඔවුන් තුළ ඇති. ජාතික ආරක්‍ෂාව, සංස්කෘතිය හා සදාචාරය ගැන තර්ක අතර සැඟවුණු සැබෑව එයයි.

සමාජ මාධ්‍ය තමන්ගේ තරගකරුවකු ලෙස සමහර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සැළකීම මුළුමනින්ම වැරදි වැටහීමක් මත පදනම් වූ ස්ථාවරයක්. සමාජ මාධ්‍ය ආයතනික හෝ වාණිජමය මාධ්‍ය අංගයක් නොවෙයි. එය කැමති කෙනෙකුට ගොඩ විය හැකි වේදිකාවක් පමණයි.

Speakers' Corner, Hyde Park, London
Speakers’ Corner, Hyde Park, London

ඕනෑම කෙනකුට නැගී කථාවක් පැවැත්විය හැකි ලෑලි පෙට්ටි ලන්ඩන් නුවර හයිඞ්පාක් උද්‍යානයේ තිබෙනවා. අනේකවිධ මතධාරින් එතැනට පැමිණ විවිධාකාර කථා කරනවා. සමහරුන්ට පේ‍්‍රක්‍ෂක පිරිසක් එක් රැස් වෙතත් අනෙක් අය ඔහේ හුදකලාව කථා කරනවා. එය එරට අදහස් ප‍්‍රකාශනයට ඇති නිදහසේ කොටසක්.

හයිඞ්පාක් පෙට්ටි උඩ කරන කථා නිසා තමන්ට අභියෝග එල්ල වෙතැයි බීබීසීය හෝ එරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සිතන්නේ නැහැ. සමහර වෙලාවට ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඉඟියක් ලබන්නට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ද හයිඞ්පාක් වෙත පැමිණ කියන දේ අසා සිටිනවා. වැඩ වර්ජන අවස්ථාවල ඔවුන් සමහරුන් ද ලෑලි පෙට්ටියට ගොඩ වී කථා පවත්වනවා.

උපමිතියක් ලෙස ගත හොත් සමාජ මාධ්‍ය යනු ලෝක ව්‍යාප්ත සයිබර් උද්‍යානයක තිබෙන ලෑලි පෙට්ටි වගෙයි. එයට ගොඩවන්නට හා කථා කරන්නට අවසර ඕනෑ නැහැ. දෙපාවාරු ඇත්නම්, කට හඬ තිබේනම් ඕනෑම කෙනකුට කළ හැකියි.

එසේම එහි නැගී කුණුහරුප හෝ අපභ‍්‍රංශ කීවොත් ප්‍රෙක්‍ෂකයෝ නික්ම යාවි. නැත්නම් හූ කියා පලවා හරීවි. අන්තවාදී සන්නිවේදන ජනතාව හරහා ම සමනය වන නොනිල සංසිද්ධියක් වෙබ්ගත සමාජ මාධ්‍ය තුළ ක‍්‍රියාත්මක වනවා. Wisdom of the crowd යයි මෙය හැඳින්වෙනවා.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට සමාජ මාධ්‍ය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ඉන්දියාවේ නව අගමැති නරේන්‍ද්‍ර මෝඩි හා ඔහුගේ රජය මේ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. සියළු රාජ්‍ය ආයතන, වෙබ් අඩිවි පවත්වා ගන්නවාට අමතරව ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා ද ජනතාවට සමීප විය යුතු බව නව රජයේ පිළිවෙතයි. මෙයට තාක්‍ෂණික හෝ උපක‍්‍රමීය උපදෙස් අවශ්‍ය නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රාජ්‍ය ආයතනවලට එය ලබා දීමට විශේෂ සයිබර් උපදේශක බලකායක් ද පිහිටුවා තිබෙනවා.

අපේ රටේ ද රාජ්‍ය ආයතන සමාජ මාධ්‍ය හරහා ජනතාව සමග සන්නිවේදන සවිමත් කළ යුතු බවට ජනාධිපතිවරයා මෑතදී කියා තිබුණා. එහෙත් මෙය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය දැක්ම, කැපවීම හා හැකියාව තිබේද?

මෙරට රාජ්‍ය ආයතනවලට නිල වශයෙන් මේ ගැන උපදෙස් දෙන්නේ පරිගණක හා තොරතුරු තාක්‍ෂණ ඒජන්සියයි (ICTA). රාජ්‍ය වෙබ් අඩවි වඩා විධිමත් ලෙසින් හා ත‍්‍රීභාෂාමය වශයෙන් සකස් කිරීමට ඔවුන් දායක වී ඇතත් සමාජ මාධ්‍ය ගැන ඔවුන්ට නිසි දැක්මක් ඇතැයි පෙනෙන්නේ නැහැ. ට්විටර් සයිබර් වේදිකාවේ නිල ගිණුමක් ඔවුන්ට ඇතත් (@icta_srilanka), එය ඇරැඹූ දා සිට 2014 ජුලි 9 වනතුරු ප‍්‍රකාශිත ට්විට් සංඛ්‍යාව 338යි.

ටෙලිකොම් නියාමන කොමිසම ඊටත් වඩා පිටුපසින්. 2013 සැප්තැම්බරයේ ඇරැඹූ නිල ට්විටර් ගිනුමෙන් (@TRCSL) 2014 ජුලි 9 වන තුරු නිකුත් කර ඇත්තේ පණිවුඩ දෙකක් පමණයි. ඒවා ද අත්හදා බලන මට්ටමේයි.

මේ ආයතනවලට සාපේක්‍ෂව ජනාධිපති රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුම (@PresRajapaksa) සක‍්‍රීයයි. 2014 ජුලි 9 වන විට ඒ හරහා ට්විට් පණිවුඩ 2,360ක් නිකුත් කර තිබෙනවා. එසේම ඒවා සිංහල, දෙමළ හා බහුතරයක් ඉංග‍්‍රීසියෙන් ලියැවී තිබෙනවා. ඔහු වචන මෙන්ම පින්තූර ද බෙදා ගන්නවා.

ලෝකයේ රාජ්‍ය නායකයන් ට්විටර් ගිනුම් (නිල) භාවිත කරන ආකාරය නිරික්සා සැසඳීම් කැරෙනවා. මේ අනුව බොහෝ නායකයන් ට්විටර් යොදා ගන්නේ ද රේඩියෝ හා ටෙලිවිෂන් මෙන් තම තොරතුරු හා මතයන් ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණටයි. ඒ හැරුණු විට සංවාදවලට ඉඩ තබන්නේ නායකයන් ටික දෙනකු පමණයි.

Cartoon by Awantha Artigala, Daily MIrrir, Sri Lanka
Cartoon by Gihan De Chickera, Daily MIrrir, Sri Lanka

සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large

 

 

සිවුමංසල කොලූගැටයා #123: පුරවැසි මාධ්‍ය සහ අධිපති මාධ්‍ය

Who is a citizen journalist? Does everyone who blogs and tweets automatically become one? If not, who qualifies? Who judges this on what criteria? And what niche in media and public sphere do citizen journalists fill when compared with salaried journalists working for more institutionalised or mainstream media?

These have been debated for years, and there is no global consensus. They are belatedly being asked and discussed in Sri Lanka, and form the basis of my latest Ravaya column (in Sinhala).

My views were summed up sometime ago in this comment I left on a blog: “Just as journalism is too important to be left solely to full-time, salaried journalists, citizen journalism is too important to be left simply to irresponsible individuals with internet access who may have opinions (and spare time) without the substance or clarity to make those opinions count.”

See also my English language posts on this topic in the past:
7 Aug 2009: Can Citizen Kane and Citizen Journalist join hands in the public interest?

10 June 2008: Who’s Afraid of Citizen Journalists 2: Reflections from Asia Media Summit 2008

3 May 2008: Who is afraid of Citizen Journalists? Thoughts on World Press Freedom Day

Lots of chat

‘තමුසෙ කවුද?’

අපේ රටේ පොදු අවකාශයේ, පොදු උන්නතිය උදෙසා පෙරට එන ටික දෙනාට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන පොදු ප‍්‍රශ්නයක්.

තවමත් වැඩවසම් හා අධිපතිවාදී මානසිකත්වයන් කරපින්නා ගත් අපේ සමාජයේ සැබෑ ගති සොබා මැනවින් විදහා පාන්නක් මේ ප‍්‍රශ්නය. එයින් අදහස් කැරෙන්නේ යමකුගේ පැටිකිරිය, සමාජයීය හා අධ්‍යාපනික පසුබිම වඩා වැදගත් බවත්, කැපවීම, උද්‍යොගය හා බැවහර ඥානය එතරම් වැදගත් නැති බවත්.

පුරවැසි මාධ්‍යවේදයේ (Citizen Journalism) නිරත වන ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නයට නිතර මුහුණ දෙනවා. නවීන සන්නිවේදන තාක්‍ෂණයන් හරහා සමාජයේ පොදු ප‍්‍රශ්න ගැන වාර්තාකරණයට, විග‍්‍රහයට හා සන්නිවේදනයට මේ අයට ඇති අයිතිය හා සුදුසුකම් මොනවාදැයි වැඩිපුර ම අසන්නේ මාධ්‍ය ආයතනවල වැටුපට රැකියාව කරන, වෘත්තීය මාධ්‍යවේදීන්. මේ වෘත්තිකයන්, ස්වේච්ඡුාවෙන් කි‍්‍රයා කරන පුරවැසි මාධ්‍යවේදීන් ලෙස බොහෝ විට බලන්නේ අවඥාවෙන්, සැකයෙන් නැතිනම් විමතියෙන්.

පුරවැසි මාධ්‍යකරණය ගැන විවිධ අර්ථ දැක්වීම් හා විග‍්‍රහයන් තිබෙනවා. සරලතම විදියට කිවහොත් මාධ්‍ය ආයතනගතව, වැටුප් ලබමින් මාධ්‍යකරණයේ නියැලෙනවා වෙනුවට එම කාරිය ම නොමිලයේ, උද්යෝගයෙන් කරන අය පුරවැසි මාධ්‍යවේදීන්. පොදු අවකාශයේ තොරතුරු, රූප, හඬ, වීඩියෝ හා මේවායේ සංකලයන් ඔවුන්ට නිර්මාණය කළ හැකියි.

නව සන්නිවේදන තාක්‍ෂණ මෙවලම් ප‍්‍රචලිත හා ලාබදායක වීම නිසා රටේ හා ලෝකයේ තමන් අවට සිදු වන දේ ලිඛිතව හා රූප හරහා හසු කර ගනිමින් ‘සාක්‍ෂි දැරීමේ’ (bearing witness) හැකියාව අද බොහෝ දෙනකුට ලැබී තිබෙනවා. කැමරාවක් සහිත ජංගම දුරකථනයක් වුවත් මෙයට සෑහෙනවා.

මේ හැකියාව ලැබී තවමත් දශක දෙකක්වත් ගත වී නැහැ. ඓතිහාසිකව මෙසේ සාක්‍ෂි දැරීමේ හා වාර්තා කිරීමේ හැකියාව තිබුණේ ආයතනගත මාධ්‍යවේදීන්ට පමණයි. ඒ සීමිත බලය හරහා ඔවුන්ට යම් ප‍්‍රතාපවත් බවක් හා අධිපති බවක් ද ආරෝපණය වූවා. පුරවැසි මාධ්‍යකරුවන්ගේ ආගමනය හරහා ඒ යථාර්ථය උඩුකුරු වනවා. අධිපති මාධ්‍යවේදයේ සමහරුන් තමන්ගේ සමාජ තත්ත්වය දියාරු වීම හා නැතිවීම ගැන කැමැති නැහැ.

පුරවැසි මාධ්‍යවේදීන් ආධුනිකයන් ද? සමහර ආයතනගත මාධ්‍යවේදීන් තමන් වෘත්තිකයන් බවත්, එතැනට පැමිණීමට පුහුණුවක් හා අභ්‍යාසයක් කලක් ප‍්‍රගුණ කළ බවත් කියමින් පුරවැසි මාධ්‍යවේදීන් හෑල්ලූ කරන්නට තැත් කරනවා. එහෙත් අද වනවිට මේ ආධුනික/වෘත්තික බෙදුම බොඳ වී ගිහින්.

වැටුපට කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් වෘත්තීමය වන අතර එසේ නොකරන්නවුන් ආධුනික යයි සැළකෙනවා. ඔලිම්පික් තරග මුඵමනින් වෙන් වන්නේ ආධුනික කී‍්‍රඩකයන්ටයි. එයින් ඔවුන්ගේ කුසලතාවය හා කැපවීම අවතක්සේරු වන්නේ නැහැ.

මෙනයින් බලන කල පුරවැසි මාධ්‍යවේදීන් මාධ්‍ය කලාවේ ඔලිම්පික් පරමාදර්ශයන් මූර්තිමත් කරනවා යයි කිව හැකියි. වැදගත් වන්නේ ඔවුන් නිරවද්‍යාතවය, සමබරතාවය හා සදාචාරාත්මක රාමුවක් මත කි‍්‍රයා කරනවා ද යන්නයි.

වෙබ්ගත සමාජ මාධ්‍ය (Social Media) භාවිත කරන හැම අයකු ම පුරවැසි මාධ්‍යකරුවකු වන්නේ ද නැහැ. බහුතරයක් දෙනා ගැවසෙන Facebook ජාලය බොහෝ කොට සංවෘත කලාපයක්. එහි විවෘත පිටු යම් තරමක් තිබුණත්, අති විශාල පරාසයකට පිවිසීමට තමන්ගේ ගිණුමක් හා අන් අයගේ අනුමැතිය (friend වීම) අවශ්‍යයි.

සමස්ත වෙබ් අවකාශය සැබෑ ලෝකයේ ඝෝෂාකාරී, ඕනෑ ම කෙනකුට විවෘත පොළකට සම කළහොත්, Facebook එක සාමාජිකයන්ට පමණක් විවෘත, අවසරයෙන් පමණක් පිවිසිය හැකි සමාජශාලා (clubs) වගෙයි.

ක්ලබ් ඇතුළේ සිට රටේ ලෝකයේ ප‍්‍රශ්න ගැන මහ ලොකුවට කථා කරන බොහෝ උදවිය විවෘතව පොදු අවකාශයේ එම අදහස් පවසන්නට පැකිළෙනවා. මෙබඳු ප‍්‍රවණතාවක් Facebook තුළත් තිබෙනවා.

තියුණු සමාජ දේශපාලන දැක්මක් තිබෙන හා මැනවින් අදහස් පැවසීමේ කුසලතාව ඇති මගේ මිතුරෙක් දිනපතා ම පාහේ සිය Facebook කණ්ඩායම තුළ රටේ ප‍්‍රශ්න ගැන ඉතා වැදගත් අදහස් දැක්වීමක් කරනවා. එහෙත් එය ග‍්‍රහණය වන්නේ ඔහුගේ කණ්ඩායමට පිවිසීමේ වරම ලද තුන් හාර සිය දෙනෙකුට පමණයි. (එසේ ස්වයං සීමිතව අදහස් පැවසීමට ඔහුට ඇති අයිතිය මා පිළිගන්නවා.)

පුරවැසි මාධ්‍යකරණයට නම් කොයි කාටත් පෙනෙන මානයේ, විවෘතව සිට තොරතුරු, අදහස් හා රූප බෙදාහදා ගත යුතුයි. විවෘත වෙබ් ‘පොලේ’ ගාල ගෝට්ටිය වැඩි වුවත් පුරවැසි මාධ්‍යවේදීන් එබඳු පොදු අවකාශයේ ම සැරිසරිය යුතුයි. සංවෘත ක්ලබ් ඇතුළේ පඩි කථා හෝ චණ්ඩි කථා කීම සෑහෙන්නේ නැහැ!

Groundviews.org වෙබ් අඩවිය ගැන මා ගිය සතියේ කළ විග‍්‍රහය නොපිළිගත් පාඨකයන් ද සිටිනවා. Groundviews මුඵමනින් ම වෙබ් හරහා ප‍්‍රකාශිත වූවත්, එහි බරපැන උසුලන්නේ රාජ්‍ය නොවන සංවිධානයක් (විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය) වීම සමහරුන්ට ප‍්‍රශ්නයක්.

මා ගරු කරන මගේ විද්වත් මිතුරකු වන සන්නිවේදන විශෙෂඥ මහාචාර්ය රොහාන් සමරජීව කියන්නේ Groundviews පුරවැසි මාධ්‍යයක් නොවන බවයි. 2012දී රාවයේ 25වන සංවත්සරය වෙනුවෙන් පළ කෙරුණු ‘ජනමාධ්‍ය සංස්කෘතිය: විවේචනාත්මක ඇගැයීමක්’ ග‍්‍රන්ථයට ලිපියක් ලියමින් ඔහු මෙසේ කියනවා:

“ග්‍රවුන්ඩ්වීව්ස් තමන් හඳුන්වාගන්නේ පුරවැසි මාධ්‍ය කලාවෙන් යුත් වෙබ් අඩවියක් ලෙසිනි. මේ හඳුන්වා ගැනීම තුලින් මූලාශ්‍ර එකකට වැඩි ගණනක් යොදා ගැනීම සහ කරුණුවල සත්‍යාසත්‍යතාවය පරීක්ෂා කිරීම වැනි සාමාන්‍ය මාධ්‍ය කලාවේ වගකීම් ඉටු කිරීමෙන් ඔවුන් තමන් නිදහස් කර ගෙන තිබේ. කෙසේ වුවත්, එය කතුවරුන්ට ගෙවන වැටුප් සහ සැලසුම සහ බෙදා හැරීම සඳහා කර ඇති ආයෝජන වැනි සියළු ම ආකාරවලින් සාමාන්‍ය මාධ්‍යයකි. සැම මාධ්‍යයක මෙන් පල කරන කරුණු සහ මතවාදයන් අනුමත කරන්නේ කර්තෘ කෙනෙක්ය. වෙනස ව්‍යාජ ලෙස පුරවැසි පුවත්පත් කලාවේදී නම ආරූඪ කර ගෙන සම්මාන ලබා ගැනීම ය. මේ පුවත්පතේ එන කරුණු සහ මතවාද බොහෝ විට සපයනු ලබන්නේ සාම්ප්‍රදායික පුවත්පත්වලට නිතර ලිපි සපයන ලේඛක මහත් මහත්මීන්ම ය. පුරවැසි පුවත්පතේ නැත්තේ පුරවැසියන්ය.”

විකල්ප මතවාද හා සංවාද සඳහා ඇති තරම් අවකාශ ලැබේ නම් ධනපති, අධිපති හෝ NGO අනුග‍්‍රහය යටතේ පවත්වා ගෙන යාම එතරම් ලොකු සීමාකාරී සාධකයක් යයි මා නම් සිතන්නේ නැහැ.

වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා පෞද්ගලික හා පොදු සංවාද සුවහසක් දිවා රැයේ සිදුවීම හරහා නූතන තොරතුරු සමාජය අඵත් ආකාරයේ ගෝලීය පරිසරයක් බිහි කරනවා. නිතිපතා වෙබ් භාවිතයේ නියැලෙන බිලියන් 2.7ක් ජනයා ලොව පුරා මේ නව ප‍්‍රපංචයට දායක වනවා. ඉන්ටර්නෙට් හා බද්ධ වන මිලියන් 3ක් පමණ වන ලාංකිකයන් ද මේ ප‍්‍රවාහයේ කොටසක්.

Chat Republic by Angelo Fernando
Chat Republic by Angelo Fernando
මේ නව තොරතුරු සමාජය බෙහෙවින් ශාස්තී‍්‍රය මට්ටමින් මෙන් ම ලිහිල් හා සරල වෙනත් මානයන්ගෙන් ද විග‍්‍රහ කළ හැකියි. අලෙවිකරණය හා සමාජ ජාලකරණය (Marketing and Social Networking) කෝණයෙන් මෙය විග‍්‍රහ කැරෙන අඵත් පොතක් ලාංකික සන්නිවේදන හා අලෙවිකරණවේදියකු වන (අමෙරිකාවේ කලෙක සිට වාසය කරන) ඇන්ජලෝ ප‍්‍රනාන්දු මෑතදී ලියා තිබෙනවා.

ඔහු පොත නම් කොට ඇත්තේ Chat Republic යනුවෙන්. තොර තෝංචියක් නැතිව අසීමිත දේ ගැන ලිහිල්ව හෝ ගැඹුරින් හෝ ‘චැට්’ කරන නූතන තොරතුරු සමාජය, ඉතිහාසයේ නොතිබූ ආකාරයේ, දේශසීමා ඉක්මවා යන අඵත් ගෝලීය සබැදියාවක් බිහි කරමින් සිටින බව ඔහුගේ අදහසයි.

ආණ්ඩු හා වෙනත් බලාධිකාරයන් කැමති වුණත් නැතත් මෙය සිදු වනවා. (ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් කලෙකට ඉහත මෙය නුවණැසින් දැක අවවාද කළේ ප‍්‍රතිරෝධය දක්වනු වෙනුවට සුක්‍ෂම ලෙස මේ නව ලොවට අනුගත වන ලෙසයි: “Exploit the inevitable!”)

ඇන්ජලෝගේ පොතේ යම් කොටසක් වෙන් කොට ඇත්තේ පුරවැසි මාධ්‍යවේදයේ පැතිකඩ කිහිපයක් විස්තර කරන්නයි. ඔහු ලෝක මට්ටමෙන් විවිධ රටවල අත්දැකීම් විස්තර කරන අතර ශී‍්‍ර ලංකාවෙන් ද උදාහරණ ගන්නවා. නම් වශයෙන් හඳුන්වා දී අදහස් උපුටා දක්වා තිබෙන්නේ සංජන හත්තොටුව හා ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව යන තරුණ සයිබර් කි‍්‍රයාකාරිකයන් දෙදෙනායි.

මෙයට අමතරව සර්වෝදය සංවිධානයේ නව මාධ්‍ය භාවිතය ගම් මට්ටමෙන් ලාංකික සුඵ ව්‍යාපාරිකයන්ට නව වෙළඳපොළ විවෘත කරන සැටිත් එහි වාර්තාගතයි. http://chatrepublic.wordpress.com

2013 ජූනි 12දා Chat Republic එළි දැක්වීමට කොළඹ පැවති සංවාදයකට මාත් සහභාගී වුණා. ඇන්ජලෝ එහිදී කීවේ ඕපාදුප (gossip) යනු මානව සමාජයේ පැරණි ම සන්නිවේදන ක‍්‍රමයක් බවයි. අද වෙබ් මාධ්‍ය හරහා එයට නව පණක් හා වේගයක් ලැබී තිබෙනවා.

Moving Images Blog: 2012 Highlights

The WordPress.com stats helper monkeys prepared a 2012 annual report for this blog.

Here’s an excerpt:

About 55,000 tourists visit Liechtenstein every year. This blog was viewed about 230,000 times in 2012. If it were Liechtenstein, it would take about 4 years for that many people to see it. Your blog had more visits than a small country in Europe!

Click here to see the complete report.

Blogging from Resilience 2011: Pathways for Staying Alive in an uncertain world


From 3 to 6 March 2011, I kept blogging from Resilience 2011: Asia Regional Conference on Building Livelihood Resilience in Changing Climate, held in Kuala Lumpur, Malaysia.

Along with a few other participants, I also tweeted from the conference. All our tweets are organised under #Resilience2011

Fred Noronha and I set up a YouTube channel for the conference where we posted short interviews filmed with selected participants. It has close to two dozen short videos, all filmed with a FlipVideo camcorder.

Here are links to all the blog posts I wrote on the conference website (text only as the platform didn’t allow visuals to be displayed easily).

6 March 2011: As the planet warms, we must all become more like bamboo!

6 March 2011: Slow disasters need not apply?

6 March 2011: Go beyond IPCC and SAARC, South Asian climate researchers urged

5 March 2011: Policy challenge to researchers: Summarise, simplify – and talk money!

5 March 2011: Wanted: Better Story Telling!

4 March 2011: ICTs for livelihood resilience: The importance of asking the right questions

4 March 2011: Hash-tagging Resilience2011: Twitter feeds from KL Conference

4 March 2011: Floods not always a disaster. Ask Mekong Delta farmers

3 March 2011: Banging Heads Together (nicely)

3 March 2011: SOS: Small Farmers need urgent help for climate adaptation

3 March 2011: Looking for the Bigger Picture