සිවුමංසල කොලූගැටයා #182: අඩසියවසක් ළමා ලොව කුල්මත් කළ ‘මිහිර’

The Sinhala children’s weekly newspaper Mihira just completed 50 years of publication. The paper, launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964, holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

In this week’s Ravaya column (in Sinhala), I invoke some memories. I wrote an English blogpost along similar lines a few days ago:

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

මීට දෙවසරකට පමණ පෙර ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එඞ්වින් ආරියදාස සූරීන් සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී මා ඔහුගෙන් ඇසුවා මෙරට පත‍්‍ර කලාවේ ස්වර්ණමය අවධිය වූයේ කුමන කාලය ද කියා. ඔහු එක්වරම කීවේ 1960 දශකය බවයි. පත‍්‍ර කලාවේදීන්, කතුවරුන් හා පාඨකයන් අතර ගනුදෙනුව ප‍්‍රශස්ත මට්ටමකට පත් වී සැමගේ නිම්වලලූ පුළුල් වූ කාලයක් ලෙස ඔහු එය විග‍්‍රහ කළා.

Groundviews.org 12 April 2013: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

දවස නිවසේ ආරම්භය (1960) හා ඇත්ත පත‍්‍රයේ ආගමනයට (1964) අමතරව ප‍්‍රධාන පෙළේ පත‍්‍ර සමාගම් වෙතින් වාරික ප‍්‍රකාශන ගණනාවක් එළිදුටුවේ ද එම දශකයේයි. ලේක්හවුස් ආයතනයෙන් සරසවිය, මිහිර, තරුණි හා සුබසෙත වැනි සතිපතා පත්තර ආරම්භ කෙරුණා.

1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට මතක තිබෙන බලපෑමක් කළේ ළමයින්ට කැපවුණු මිහිර පත්තරයයි.

1964 ජූලි 27 අරඹන ලද මේ සතිපතා පත්තරයට වසර 50ක් පිරුනේ ගිය මාසයේයි. මිහිර මා දැන හඳුනාගත් හා නිතිපතා කියැවූ මුල්ම පත්තරයයි. මේ නිසා මට මිහිර ගැන සුමිහිරි මතකයන් තිබෙනවා.

මිහිර බිහි වන විට මා ඉපදී සිටියේ නැහැ. මගේ පියා මට මුල් වරට මිහිර පිටපතක් ගෙනැවිත් දෙන විට මගේ වයස අවුරුදු තුන හමාරක් පමණ වන්නට ඇති. 1969 අගදී.

පින්තූර බලමින් අමාරුවෙන් වචන ගලපා ගනිමින් නමුත් මහත් උද්‍යොගයෙන් මා මිහිර කියවූවා. මිහිර මගේ නිම්වළලූ පුළුල් කළා. මට නව ලෝකයක් විවර කළා. පසු කලෙක මා දැන ගත්තේ මගේ සමවයස් කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද මේ අත්දැකීම ලැබූ බවයි.

මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා.

අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.)

එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.

Edwin Ariyadasa
Edwin Ariyadasa

දැනුම් ලෝකයෙන් විසිතුරු තොරතුරු නිතරම මිහිරට ගෙනා ලේඛකයකු වූයේ එඞ්වින් ආරියදාසයි. අභ්‍යවකාශ ගවේෂණය, තාරකා විද්‍යාව, නව නිපැයුම්, ලෝක ප‍්‍රවෘත්ති අතරින් වැදගත් සිදුවීම් ආදිය ගැන සරල හා රසවත් ලෙස ඔහු ළමුන් සඳහා කථා කරන සිංහලෙන් ලිපි රචනා කළා.

ඔහුගේ ලිපිවල හෙඩිම් සමහරක් මට තවම මතකයි. අහසේ තරු ගැන ලියන විට ‘තාරකා ලස්සනයි: ගන්න බෑ – දෙන්න බෑ’ කියා තිබුණා. හෙලිකොප්ටරයේ ඉතිහාසය ඔහු විග‍්‍රහ කළේ ‘එදා බමරේ – අද හෙලිකොප්ටරේ’’ වශයෙන්.

මෙරට මාධ්‍ය හරහා පාරිසරික සන්නිවේදනයේ පුරෝගාමියකු වූ ආරියදාස සූරීන් 1970 දශකය මුලදී ලොව පුරා පැන නැගී ආ පරිසර සංරක්‍ෂණ උනන්දුව ළමා පාඨකයන්ට පහදා දුන්නේ නවීන විද්‍යා දැනුමත් දේශීය සොබා සම්පත් රැක ගැනීමේ උරුමයත් සංකලනය කරමින්.

වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. (වසර 40කට පසුවත් එය තවමත් මට මතකයි.)

W R Wijesoma - Image courtesy The Island
W R Wijesoma – Image courtesy The Island

මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමින්. එහි රචකයා සුප‍්‍රකට කාටුන් චිත‍්‍රශිල්පි ඩබ්ලියු. ආර්. විජේසෝම බව මා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ඔහුත් මාත් උපාලි පුවත්පත් සමාගමේ එකට වැඩ කළ අවධියේයි. වනජීවීන්ට මහත් සේ ඇලූම් කළ ඔහු, විවේක ඇති හැම විටකම පාහේ කැමරාවකුත් රැගෙන වනාන්තර ප‍්‍රදේශවලට යාමට පුරුදු වී සිටියා. ඔහු මිහිරට කථා ලියා තිබුණේ තමන්ගේ දරුවන් කුඩා වියේදී වන චාරිකාවලට ගෙන ගිය අත්දැකීම් මතයි.

මා කියවන කාලයේ මිහිර විෂය මාලාවට සෘජුව අදාල ලිපි පළ කළේ නැතත්, විද්‍යා සිසුන්ට උපකාර වන අමතර කියවීම් ලෙස විද්‍යා ලිපි එහි හමු වූවා. වසර ගණනක් ‘විද්‍යාමාමා’ ලෙස ලියූ කේ. ආරියසිංහයන් හා තවත් අමතර විද්‍යාලිපි සම්පාදනය කළ තිලක් වීරසිංහයන් යන දෙදෙනාම දක්‍ෂ විද්‍යා ගුරුවරුන්.

පෘථිවියේ දිගු ජෛවීය පරිනාම ඉතිහාසයේ බිහි වී පසු කලෙක වඳවී ගිය ප‍්‍රාග්ඓතිහාසික ජීවින් ගැන විසිතුරු ලිපි පෙළක් මිහිරේ පළ වුණා. විවිධ ඩයිනසෝර් විශේෂ හා අනෙකුත් ආදි සත්ත්වයන් ගැන ජීවිත කාලයක් පවතින උනන්දුවක් මගේ මනසේ ඇති කළ මේ ලිපි ලියුවේ කවුදැයි මට දැන් සිහියට නගා ගත නොහැකියි.

අද මෙන් දැනුම පොතපත සුලබ නොවූ, ඉන්ටර්නෙට් නොතිබි එකල අපට මේ දැනුම බෙදා දෙන්නට මිහිරේ ලේඛක ලේඛිකාවන් ගත් උත්සාහය ඉතා වටිනවා. මේ තරම් දස්කම් තිබූ පිරිසක් මිහිර වටා ඒකරාශී කර ගන්නට එහි කතුවරුන්ට දක්‍ෂකමක් හා කැපවීමක් තිබුණා.

S A Dissanayake
S A Dissanayake

මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්. ඒ. දිසානායක චිත‍්‍ර ශිල්පියා නිර්මාණය කළ අසාමාන්‍ය ගණයේ චිත‍්‍රකථායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබො නම් වූ මහ දිග චිත‍්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම් එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික‍්‍රම ගැන කියවෙන ඔන්න බබො කථාව අප අපූරු පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන් සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.

ඔන්න බබො චිත‍්‍රකථාවට අමතරව දිසානායක සූරින් යෝධයා හා පඬිතුමා නම් හාස්‍යජනක චිත‍්‍රකථාවක් ද, ලෙඩ සුව කිරීමේ හාස්කම් තිබූ ඕලූ නම් දැරියක් වඩා ගෙතුණු ඕලූ චිත‍්‍රකථාව ද මිහිරට ඇන්දා.

දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සළකුණු රැුඳවූ තවත් ශිල්පියකු මට සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත් මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ යුතුයි.

1970 දශකය මුල යම් වකවානුවක කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා ද මිහිර ඔප කළා. ඒ ටික්කා නම් හාස්‍ය චිත‍්‍රකථා නිර්මාණයෙන්. කටකාර කොලූගැටයකු වන ටික්කාට පැහිච්ච කථා කියන්නට සමත් පැටෝ නම් සුරතල් ගිරවකු සිටිනවා. මේ දෙදෙනා ළමා ලෝකයේ කෝණයෙන් වැඩිහිටි ලෝකය දකින හැටිත්, සියුම් ලෙස වැඩිහිටියන් කරන දේ සරදමට ලක් කරන සැටිත් ටික්කා කථාවේ මූලික හරයයි.

චිත‍්‍රකථා නිසා ළමා මනස මොට වනවා හා දුෂණය වනවා යයි බිය පහළ කළ අපේ බකපණ්ඩිත සුචරිතවාදීන්ට දිසානායක හා කැමිලස් දෙපළ මිහිරෙන් ඉතා හොඳට පිළිතුරු දුන්නා.

මිහිර අසිිරිමත් කළේ මෙසේ කෘතහස්ත ලිපි රචකයන් හා චිත‍්‍ර ශිල්පීන්ගේ ඒකරාශී වීමයි. ළමා මනසට ගැලපෙන ලෙසින් බොහෝ දේ හරබරව ඉදිරිපත් කිරිමට ඔවුන් සමත් වුණා.

එයට සමාන්තරව මිහිර නවක ලේඛකයන්ට ද අතහිත දුන්නා. පාසල් දැරියන්ගේ නිර්මාණවලට එහි ඉඩ තිබුණා. මගේ ජීවිතයේ පළමු වතාවට පුවත්පතකට මා ලියූ නිර්මාණයක් පළ වුයේ මිහිර පත‍්‍රයේයි.

කොළඹ අශෝක විද්‍යාලයයේ තුන්වන ශ්‍රේණියේ සිසුවකු ලෙස මා ලියූ කවි පංතියක් 1975 ඔක්තෝබර් මස මිහිර පත‍්‍රයක පළ වුණා. ඔරලෝසුවක් ළමයකු දකින ආකාරය කැටි කර ගත් එය පළ වීමෙන් මා අතිශයින් උද්දාමයට පත් වූ සැටි මතකයි. ඉන් පසු මා ලියූ කෙටි රචනා හා කවි රැසක් මිහිරට යැවූ අතර ඉන් සමහරක් විටින් විට එහි පළ කරනු ලැබුවා. (එහෙත් මා නිතිපතා මාධ්‍යවලට ලිවීම අරඹා එයට ගෙවීමක් ද ලැබුවේ මිහිරට තරගකාරිව 1980දී අරඹන ලද විජය පුවත්පතින්.)

මිහිර දැනුම කෝෂ්ටාගාරයක් බවට සීමා නොවී ළමා මනස පරිකල්පනයෙන් ද සරු කළ බව මගේ අදහසයි. අවසාන විනිශ්චයේදී දැනුමටත් වඩා වටින්නේ පරිකල්පනයයි. දැනුම ගවේෂණයට අතහිත දෙන විශ්වකෝෂ, පාඨමාලා හා CD/DVDවලට වඩා මිහිර සුවිශේෂී වූයේ මේ නිසායි.

මිහිර ගැන මා මතක් කලේ හුදෙක් අතීතකාමය සඳහාම නොවෙයි. ලක් සමාජය ජනමාධ්‍යවලට වඩාත් සමීප වීම ඇරැඹුණේ 1960 ගණන්වලදී. එහි එක් අතුරු ඵලයක් වුයේ මාධ්‍ය හරහා ජනප‍්‍රිය සංස්කෘතියක් බිහිවීම. එයට එක් උදාහරණයක් නම් සතුට, සිත්තර වැනි චිත‍්‍රකථා පත්තර හරහා පැන නැගී කලකට පසු බැස ගිය චිත‍්‍රකථා උන්මාදය.

තමන්ට ආවේණික වූත් අහිංසකවූත් බලපෑමක් කරන්නට මිහිර පත‍්‍රයට හැකිවුණා. මිහිර කියවමින් අකුරු කළ හා ලෝකය හඳුනාගත් මුල් පරම්පරාවේ ඇත්තෝ අද මේ රටේ ලොකු තැන්වල සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතික පොදු සාධකය මිහිරයි. ඔන්න බබො හා යෝධයා වැනි චරිතයි.

පත්තර සංඛ්‍යාව ඉහළ ගිය 1980 දශකයෙන් පසු මෙබඳු පොදු බලපෑමක් තනි ප‍්‍රකාශනයකට කළ හැකියාව ද අඩු වුණා. පත්තර මහගෙදරින් කළ මතක සිටින ලොකු වැඩක් හැටියට 50 සපිරුණු මිහිර පත්තරය සිහිපත් කළ හැකියි.

See also: ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

Mihira 50th anniversary issue - 28 July 2014
Mihira 50th anniversary issue – 28 July 2014

සිවුමංසල කොලූගැටයා #181: අනේ අපටත් චන්ද්‍රිකා?

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites as part of their ‘space diplomacy’ strategies.

Last week in my Ravaya column (in Sinhala), I wrote about space technology capabilities of South Asian countries. This week’s column probes whether or not Sri Lanka needs its own satellite.

10 Aug 2014: සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

Indian satellite in orbit
Indian satellite in orbit

දකුණු ආසියානු රටවල් චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා.

එයින් එකක් වූයේ නිදහස ලබා වසර 66ක් ගත වීත් ‘තවමත් අපට අපේම චන්ද්‍රිකාවක් නොතිබීම ලොකු අඩුවක්’ බවයි. එසේම ‘අන් රටවල චන්ද්‍රිකා සේවය 100%ක් විශ්වාස කළ නොහැකි බවත්, ඒ හරහා විදෙස් ඔත්තු සේවා අපේ තොරතුරු ලබා ගත හැකි බවත්’ ශාස්ත‍්‍රාලීය උගතකු තර්ක කළා.

චන්ද්‍රිකා කර්මාන්තය ක‍්‍රියාත්මක වන ආකාරය නොදත් උදවිය මතු කරන මෙබඳු අදහස් සමහර මාධ්‍ය හරහාත් අවිචාරශීලිව පැතිරී යනවා.

හැම රටකටම තමන්ගේ චන්ද්‍රිකාවක් තිබිය යුතුද?

චන්ද්‍රිකා තැනීම, උඩු ගුවන් ගත කිරීම හා එයින් සේවය ලබා ගැනීම වියදම් සහගත මෙන්ම සංකීර්ණ ක‍්‍රියාදාමයක්. ඉන්දියාව, චීනය, රුසියාව හෝ අමෙරිකාව වැනි තාක්‍ෂණිකව බලගතු රටක ආධාරයෙන් වුව ද චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවීම සෙසු ආසියානු රටවල් ඉතා සරුවෙන් ගත යුතු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය තරණයක්.

හැම දියුණු රටක්ම පවා තමන්ගේ චන්ද්‍රිකා නිපදවා නැහැ. අභ්‍යවකාශ තාක්‍ෂණයේදී තනි තනිව හැම දෙයක්ම කරනු වෙනුවට තාක්‍ෂණිකව වඩාත් ඉදිරියෙන් සිටින රටවල් නිපද වූ චන්ද්‍රිකාවලින් හෝ සමාගම් නිපදවා වාණිජමය වශයෙන් ක‍්‍රියාත්මක කරන චන්ද්‍රිකාවලින් හෝ අවශ්‍ය සේවා ලබා ගත හැකියි. එසේ කිරීම තමන්ගේම චන්ද්‍රිකා නිපදවා නඩත්තු කිරීමට වඩා බෙහෙවින් අරපිරිමැසුම්දායකයි.

චන්ද්‍රිකාවක් පෘථිවියට ඉහළ කක්‍ෂයක සිට හෙළන ‘බැල්ම’ තනි රටකට, දේශ සීමාවකට සීමා වන්නේ නැහැ. උදා: ඉන්දියානු චන්ද්‍රිකා අසල්වැසි රටවල් සියල්ලත් ආවරණය කරනවා.

වෙළඳපොල තරගකාරිත්වය නිසා වාණිජ වශයෙන් ඇති පණිවුඩ, දත්ත හුවමාරු, පෘථිවි නිරීක්‍ෂණ හා අනෙකුත් චන්ද්‍රිකා සේවාවන්ගේ මිළ ගණන් කලකට පෙර පැවතියාට වඩා සැළකිය යුතු අන්දමින් අඩු වී තිබෙනවා. මේ නිසා සුපිරි බලවතුන් වීමේ අරමුණක් නැති මධ්‍යම හෝ කුඩා ප‍්‍රමාණයේ රටකට දැවැන්ත ආයෝජනයකින් තමන්ගේම චන්ද්‍රිකා තනනු වෙනුවට එම සේවා වාණිජමය මට්ටමින් ලද හැකියි. නැතහොත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් ඔස්සේ Intelsat ආයතනය හෝ ඉන්දියාවේ ISRO ආයතනයෙන් සහන මිළට ලද හැකියි.

ළඟ එන සුළි සුළං, සුනාමි හා වෙනත් ආපදා ගැන අනතුරු ඇඟවීම්, හදිසියේ මතුව එන SARS හා කුරුළු උණ/සූකර උණ වැනි වසංගත රෝග ගැන අළුත්ම තොරතුරු, න්‍යෂ්ටික විකිරණ කාන්දුවකදී අදාල රටෙන් පිටතට ඒවා විහිද යන ආකාරය ගැන තොරතුරු ආදිය බෙදා ගන්නට රටවල් අතර විද්වත් එකඟත්වයන් තිබෙනවා.

එසේම ගුවන්ගමන් පාලනය, විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ සංඛ්‍යාත භාවිතය පමණක් නොව ලෝකයේ තැනෙකින් තවත් ඕනෑම තැනෙකට ගුවන්/මුහුදු තැපෑලෙන් ලිපියක් යැවිය හැක්කේත් රටවල් අතර අන්‍යෙන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟත්වයන් පවතින නිසයි. මේ නිසා මතුපිටින් පෙනෙනවාට වඩා එකිනෙකා විශ්වාස කිරීමක් රටවල් අතර දැනටමත් තිබෙනවා.

ප‍්‍රාග්ධන ආයෝජනය අතින් ඉහළ තාක්‍ෂණික යටිතල පහසුකමක් රටවල් විසින් හවුලේ භාවිතයට ගැන මට ද පූර්වාදර්ශ තිබෙනවා. 1969 සිට අමෙරිකානු විද්වත් හා මිලිටරි ආයතන විසින් බිහි කරනු ලදුව 1990 දශකයේ ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බවට පත් වූ ඉන්ටර්නෙට් හොඳ උදාහරණයක්. ඉන්ටර්නෙට් තොරතුරු ගලනය වන්නේ ලොව පුරා ගොඩබිම් හරහා සහ මුහුද යට විහිද ඇති කේබල් රැසක් හරහායි.

World submarine cables map 2014 – by TeleGeography

Submarine Cable Map 2014 - by TeleGeography
Submarine Cable Map 2014 – by TeleGeography

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධ වන රටවල් කරන්නේ තමන්ට ආසන්නම ගෝලීය කේබල් එකකින් සිය රට තුළ සන්නිවේදන පද්ධතියට ඉන්ටර්නෙට් සබඳතාවය ලබා ගැනීමයි. ඉන් පසු එය රට තුළ හරිහැටි බෙදා ගැනීමට දේශීය පද්ධති නවීකරණය කරනවා. දේශීය පද්ධති නඩත්තුව රාජ්‍ය නියාමනය යටතේ පෞද්ගලික සමාගම් හරහා කිරීම බොහෝ රටවල සම්ප‍්‍රදායයි. ඉන්ටර්නෙට් සම්බන්ධ වන හැම රටක්ම ලොව පුරා තම කේබල් අටවන්නේ නැහැ. එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් ද නැහැ.

තොරතුරු සමාජයේ හැම සේවාවක්ම අපම සම්පාදනය කර ගත යුතුයි යන තර්කය වෙනත් ක්‍ෂෙත‍්‍රවලට ආදේශ කළොත් ඉන්ටර්නෙට් සේවා සඳහා අපට අපේම ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බිහි කරන්නට සිදු වේවි. එසේම වසර 150ක් පමණ තිස්සේ අප රට සම්බන්ධ වී සිටින විදෙස් තැපැල් සේවා භාවිතය වෙනුවට විදෙස් ලියුම් බෙදන්නට අපේ තැපැල්කරුවන් ලොව පුරා යවන්නට ඕනෑ වේවි.

චන්‍ද්‍රිකාවක් තැනීම හරහා රටක විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වේය යන්න තවත් තර්කයක්. මෙහිදී කරන අධික ප‍්‍රාග්ධන හා නඩත්තු වියදමට සාපේක්‍ෂව කෙතරම් පර්යේෂණාත්මක වාසි ලද හැකි දැයි රටක් කල් තබා තක්සේරු කළ යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය භාවිත කිරීම සඳහා පෙළගැසීම තුළින් විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප හැකියාව පුළුල් වන බව සැබෑයි. එහෙත් එයට අපේම චන්‍ද්‍රිකාවක් තිබීම අවශ්‍ය නැහැ.

වඩාත් උපක‍්‍රමශීලි ප‍්‍රවේශය වන්නේ අපට වඩා දියුණු රටක් හෝ ගෝලීය සමාගමක් හෝ සතු චන්‍ද්‍රිකා හරහා දත්ත හා සේවා මිළට ගැනීමයි. එසේ ලබන සේවාව දේශීයව අදාල කර ගන්නට රට තුළ ආයතනික හා මානව සම්පත් දියුණු කිරීම අවශ්‍ය වනවා. සීමිත මහජන මුදල් යෙදිය යුත්තේ මේ ආයෝජනවලටයි.

නවීන චන්‍ද්‍රිකාවක් නිපදවීමට අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් වැය වනවා. චන්‍ද්‍රිකාවේ කාර්යය හා ධාරිතාව අනුව මෙය තවත් වැඩි විය හැකියි. පවතින විනිමය අනුපාතයට අනුව මෙය රුපියල් බිලියන් 13ක් පමණ වනවා. එයට අමතරව චන්‍ද්‍රිකාවක් උඩුගුවනට යැවීමට රොකට් සේවාව සඳහාත්, රක්‍ෂණය හා නඩත්තුව සඳහාත් අධික වියදම් දැරිය යුතුයි.

ජාතික ආඩම්බරය සඳහා ඩොලර් මිලියන සිය ගණනක් මහජන මුදල් වැය කිරීමට පෙර එම සේවාවන්ම ඊට වඩා ලාබදායි, සකසුරුවම් ක‍්‍රමයකින් ලැබිය හැකි බව පෙන්වා දිය යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය අතින් පෙරමුණේ සිටින ඉන්දියාව හා චීනය බඳු රාජ්‍යයන්ගේ සේවය ලද හැකිව තිබියදී ශ‍්‍රී ලංකාව තමන්ගේම චන්‍ද්‍රිකාවක් සඳහා මහජන මුදල් ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ නොහැකියි.

පෞද්ගලික ආයෝජනයන් නම් මොනවා කළත් කමක් නැතැයි කියන්නත් බැහැ. මන්ද අවසානයේ පෞද්ගලික සමාගම් සේවා මිල කරන්නේ තම පිරිවැය හා නඩත්තු වියදම් පියවා ගෙන නිසා. අද සාපේක්‍ෂව අඩු වියදමට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා මෙරට ලද හැකියි. එහෙත් පෘථිවි කක්‍ෂයේ සුදු අලියකුගේ වියදම ද අන්තිමේදී එයට එකතු වුණොත් කුමක් විය හැකිද?

Copy of Copy of Inside_IRNSS_1499475a

හැම දකුණු ආසියාතික රටක්ම තමන්ගේම චන්‍ද්‍රිකා උඩු ගුවන් ගත් කළා යයි මොහොතකට සිතමු. සාමාන්‍යයෙන් කුඩා රටකට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධාරිතාවක් නවීන චන්‍ද්‍රිකාවලට තිබෙනවා.

එම අතිරික්තය සඳහා සැළසුම්කරුවන්ගේ අරමුණ විය හැක්කේ අසල්වැසි රටවලට එය වාණිජමය මට්ටමින් (එම දත්ත හා සේවාවන්) අලෙවි කළ හැකි බවයි. එහෙත් හැම රටක්ම පාහේ තමන්ගේ චන්‍ද්‍රිකාවක් හෝ කිහිපයක් උඩුගුවන්ගත කළ විට අතිරික්ත ධාරිතාවය අලෙවි කරන්නට ඉතිරි වන්නේ කවුද?

අපේ කලාපයේ දැනටමත් ඉන්දියානු, චීන, තායි හා මැලේසියානු වැනි රාජ්‍යයන්ට හෝ සමාගම්වලට අයත් චන්ද්‍රිකා තරගකාරිව සේවා සපයනවා. විශේෂයෙන් පණිවුඩ චන්‍ද්‍රිකා හා පෘථිවි නිරීක්‍ෂණ චන්‍ද්‍රිකා සේවා අද වන විට දියුණු කර්මාන්තයන්.

චන්ද්‍රිකා ගණනාවක් සතු අත්දැකීම් බහුල රටවල් සමග අලූතෙන් පිවිසෙන රටකට හෝ සමාගමකට සාර්ථකව තරග වදින්නට අමාරුයි. අන්තිමේදී අපේ නම උඩුගුවනේ රැඳවීමේ දැවැන්ත ආයෝජනය ද වෙනත් බොහෝ බර උසුලන ලක් වැසියන්ගේ කර පිටටම වැටීමේ අවදානමක් තිබෙනවා.

මේ නිසා තම දේශීය අවශ්‍යතාවය ඉක්මවා යන ධාරිතාවක් සහිත අධිවියදම් සහගත චන්‍ද්‍රිකා තැනීම ආර්ථික වශයෙන් කෙතරම් දුරට සාධාරණ දැයි මැදහත්ව විමසිය යුතුයි.

රටේ හා කලාපීය අවශ්‍යතාවන් ඉක්මවා ගිය මහා පරිමාණ යටිතල පහසුකම් (විදෙස් ණය යොදා ගෙන) බිහි කිරීම පිළිබඳව දැනටමත් මෙරට වෙනත් ප‍්‍රබල උදාහරණ තිබෙනවා. එයින් අප පාඩම් උගත යුතුයි.

ආර්ථික සහයෝගීතාව, ඉන්දියානු සාගර කලාපීය ආරක්‍ෂාව ආදි කරුණු අරභයා ඉන්දියාව හා චීනය යන කලාපීය බලවතුන් දෙදෙනා තුලනය කිරීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට තිබෙනවා. අභ්‍යවකාශ සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙබන්දක් කළ හැකියි.

මෙහිදී දේශීය වශයෙන් විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රමුඛතා මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගෙන, එයට වඩාත් කාර්යක්‍ෂම හා පිරිමැසුම්දායක ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය යොදා ගන්නේ කෙසේදැයි පළමුව තීරණය කළ යුතුයි. ඉන් පසු අපේ අවශ්‍යතාවලට වඩාත් සරිලන සහයෝගීතාව ඉන්දියාව, චීනය හෝ වෙනත් (ජපානය, රුසියාව, අමෙරිකාව වැනි) රටකින් ලබා ගැනීමට දිගු කල් දැක්මක් හා සැළසුමක් අවශ්‍යයි.

එසේ නැතිව ශ‍්‍රී ලංකාවට කලාපීය බලවතුන් දෙදෙනාගේ අභ්‍යවකාශ තරගයේ අන්ධ අතකොලූවක් වීම අවශ්‍ය නැහැ. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශවලට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය ද මේ තීරණවල හවුල්කරුවකු වීම වැදගත්.

 

 

සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

New opportunities for South Asian collaboration in space technologies can help reduce poverty and promote sustainable development.

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites for communications, weather services, land use monitoring and navigation. They have also realised the value of ‘space diplomacy’, or using space related technical cooperation for strengthening foreign relations.

In this week’s Ravaya column (in Sinhala), I look at South Asian countries investing in space technologies, and discuss the prospects for a common South Asian satellite, an idea recently revived by the Indian Prime Minister.

I covered similar ground in English here:

SciDev.Net South Asia Analysis: Space diplomacy can boost development

Satellites over India

2014 ජුනි 30 වනදා චෙන්නායි නුවරට නුදුරු ශ‍්‍රී හරිකොටාහි ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට විදෙස් චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ පසු විද්‍යාඥ පිරිස අමතා නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විශේෂ කථාවක් කළා. සාක් කලාපයටම පොදු චන්ද්‍රිකාවකින් පණිවුඩ සන්නිවේදනය, කාලගුණ හා භූ තත්ත්ව නිරීක්‍ෂණය වැනි බහුවිධ සේවා සැපයීම හරහා එය ඉන්දියාවෙන් අසල්වැසි රටවලට ත්‍යාගයක් බවට පත් කළ හැකි යැයි ඔහු කියා සිටියා.

පොදු සාක් චන්ද්‍රිකාවක් (SAARC Satellite)ගැන සංකල්පය මුල් වරට නිල වශයෙන් මතු වූයේ 1998දී. බංග්ලාදේහයේ ඩාකා අගනුවර රැුස් වූ සාක් සන්නිවේදන ඇමතිවරු එයට ප‍්‍රතිපත්ති මට්ටමින් එකඟ වුවා. එහෙත් 1999දී ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටම්කාරි තත්ත්වයක් මතු වීමෙන් පසු එය ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රායෝගික දුෂකරතා මතු වුණා.

වසර 16කට පසු මෝඩි අගමැතිවරයා සාක් චන්ද්‍රිකාවක් යෝජනාව යළිත් මතු කරන්නේ අභ්‍යවකාශ පර්යේෂණ ගැන වඩාත්ම අත්දැකීම් බහුල හා තාක්‍ෂණික හැකියාව ඇති දකුණු ආසියානු රාජ්‍යයේ නායකයා ලෙසයි.

තමන්ගේ දිවුරුම්දීමට සියලූ සාක් රාජ්‍ය නායකයන්ට ඇරයුම් කළ මොඩි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව නව මට්ටමකට ගෙන යාමට හැකියි. එසේම මේ දක්වා අභ්‍යවකාශ සහයෝගීතාව හරහා චීනය සෙසු ආසියානු රටවලට සමීපවීමට ප‍්‍රතිචාරයක් ලෙසද මෙය විග‍්‍රහ කළ හැකියි.

මේ දක්වා තමන්ගේ චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ දකුණු ආසියාතික (සාක් කලාපීය) රටවල් ඇත්තේ දෙකයි. එනම් ඉන්දියාව හා පාකිස්ථානයයි.

Image courtesy ISRO
Image courtesy ISRO

ඉන්දියාව අභ්‍යවකාශ පර්යේෂණායතනයක් (ISRO) ඇරැඹුවේ 1969දී. එයට මුල් වුණේ එරට අභ්‍යකාශ පුරෝගාමී ආචාර්ය වික‍්‍රම් සරභායි (Dr Vikram Sarabhai, 1919-1971). දියුණු වන රටක් ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය දේශීය සංවර්ධනයට හා පොදුජන යහපතට යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැන පැහැදිලි දැක්මක් ඔහුට තිබුණා. එසේම නිලධාරින්ට වඩා විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට මුල් තැන දෙන ආයතනික ව්‍යූහයක් හඳුන්වා දුන්නා.

ඉන්දියාව තමන්ගේම චන්ද්‍රිකාවක් මුල්වරට කක්‍ෂගත කළේ 1975දී. භාරතයේ විසූ ශ්‍රේෂ්ඨ ගණිතඥයකුගේ නමින් ආර්යභාතා (Aryabhata) ලෙස නම් කළ එය අභ්‍යකාශ පර්යේෂණ සඳහා යොදා ගත් විද්‍යාත්මක චන්ද්‍රිකාවක් වූවා. එය උඩුගුවනට ගෙන ගියේ සෝවියට් දේශයේ රොකට්ටුවක් මගින්.

තම චන්ද්‍රිකා කක්‍ෂගත කිරීමේ ස්වයං හැකියාව ලබා ගනිමින් 1980දී රෝහිනී නම් දෙවන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැව්වේ එරට විද්‍යාඥයන් විසින්ම තැනූ රොකට්ටුවක ආධාරයෙන්. (මේ රොකට්ටු ආසියාවේ අසල්වැසි රටවලට බෝම්බ හෙළීම සඳහා ද භාවිත කළ හැකි නිසා ඉන්දියාව හා පාකිස්ථානය අතර රොකට් තැනීමේ තරගයක් හට ගත්තා. මේ දක්වා එම හැකියාවෙන් පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.)

දැන් ඉන්දියාව අභව්‍යකාශ තාක්‍ෂණයේ හැම පැතිකඩක්ම පාහේ දියුණු කොට තිබෙනවා. සංකීර්ණ චන්ද්‍රිකා තනා උඩුගුවන් ගත කිරීමේ හැකියා මෙන්ම ඈත අභ්‍යවකාශයට අභ්‍යවකාශ යානා යැවීමේ හැකියාව ද ලබා ගෙන සිටිනවා.

මේ වන විට ආසියානු රටකට අයත් විශාලතම පණිවුඩ චන්ද්‍රිකා සංඛ්‍යාවක් (10) කක්‍ෂගත කර ඇත්තේ ඉන්දියාවෙන්. එසේම උඩුගුවනේ සිට පෘථිවියේ ඕනෑම තැනක් සූක්‍ෂමව නීරික්‍ෂණය කොට ඡායාරූප ගත කළ හැකි චන්ද්‍රිකා දුසිමක් ද ඔවුන් සතුයි. දිවා රැය දෙකේම ලොව ඕනෑම තනෙක සිදුවන දේ දැකීමේ හැකියාව මේවාට තිබෙනවා.

ඉන්දියාවෙන් යැවූ කාලගුණ චන්ද්‍රිකා සමස්ත දකුණු ආසියාව, බෙංගාල බොක්ක හා අරාබි මුහුද නිතිපතා නිරික්සමින් කලාගුණ තොරතුරු සපයා දෙනවා. ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් රැසක් කාලගුණ අනාවැකි සඳහා යොදා ගන්නේ මේ චන්ද්‍රිකාවලින් ලැබෙන දත්ත හා ඡායාරූපයි.

තමන්ගේ අවශ්‍යතාවලට චන්ද්‍රිකා තනා උඩු ගුවන්ගත කිරිමට අමතරව වෙනත් රටවල් සඳහා චන්ද්‍රිකා උඩුගුවනට යැවීම ද ව්‍යාපාරික මට්ටමෙන් කිරීම ඉන්දියාව 1999දී ඇරැඹුවා. රුසියාව, අමෙරිකාව හා චීනයට වඩා ලබාදායක එමෙන්ම විශ්වාසදායක සේවයක් සැපයීම ඉන්දියාවේ ISRO ආයතනයේ අරමුණයි. ජුනි 30දා එක්වර විදේශීය චන්ද්‍රිකා 5ක් සාර්ථකව උඩුගුවන් ගත කිරීමත් සමග මේ දක්වා ඉන්දියාව එසේ යවා ඇති විදෙස් චන්ද්‍රිකා ගණන 40ක් බවට පත් වුණා.

ඉන්දියාව හැරුණු විට චන්ද්‍රිකා තනා උඩුගුවනට යවා ඇති අනෙක් එකම දකුණු ආසියාතික රට පාකිස්ථානයයි. පාකිස්ථානයේ මුල්ම චන්ද්‍රිකාව වූයේ Badr-1යි. එය උඩුගුවනට යැවුයේ චීන රොකට්ටුවක් යොදා ගෙන 1990 ජූලි මාසයේ.

Pakistan's first satellite named Badar-1 by SUPARCO
Pakistan’s first satellite named Badar-1 by SUPARCO

අත්හදා බැලීමේ එම චන්ද්‍රිකාව, කරච්චි නුවර පිහිටි පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ කොමිසමේ (SUPARCO) මූලස්ථානයේ තනා ගෙන යන කාලයේ එය දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණා. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව දේශීය විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් අතින් නිමැවුණු එම චන්ද්‍රිකාව ගැන ඔවුන් සැම මහත් ආඩම්බර වූ බව මට මතකයි. (එසේම කිසිදු ඉන්දියානු මාධ්‍ය නියෝජිතයකුට නොදෙන අවස්ථාවක් මට දුන්නේ මා ලාංකිකයකු වූ නිසා බවත් ඔවුන් කියා සිටියා.)

ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ ද පාකිස්ථානයයි. එරටින් බිහිවූ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයකු වූ ආචාර්ය අබ්දුස් සලාම්ගේ (Dr Abdus Salam) මූලිකත්වයෙන් 1960 දශකය මුලදී පටන් ගත් පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ, 1970 හා 1980 දශකවලදී අධික ලෙස මිලිටරිකරණයට ලක් වූවා. විද්‍යාඥයන්ට වඩා නිලධාරින් හා හමුදා නිලධාරින්ගේ බලපෑමට නතු වූ SUPARCO ආයතනයේ විද්‍යාත්මක ඵලදායිතාව හා නිර්මාණශීලිබව පහළ ගියා. මේ නිසා පුරෝගාමී පාකිස්ථානය අභිබවා ඉන්දියානු අභ්‍යවකාශ වැඩපිළිවෙල ඉදිරියට ගියා.

1990න් පසු තව දුරටත් නිලධාරිවාදයට හසු වී එක තැන පල් වූ පාකිස්ථාන අභ්‍යවකාශ ඒජන්සියේ ඊළඟ චන්ද්‍රිකාව නිම වන්නට 2011 අගෝස්තු දක්වා දිගු කළක් ගතවුණා. PakSat 1-R නම් වූ එහි බහුතරයක් උපාංග චීනයේ තනනු ලැබ එය උඩුගුවන්ගත කළේ ද චීන රොකට්ටුවක් යොදා ගෙනයි. මෙය කෙතරම් දුරට පාකිස්ථාන චන්ද්‍රිකාවක් දැයි එරට ස්වාධීන මාධය ප‍්‍රශ්න කළා.

එතකොට ශ‍්‍රී ලංකාවේ චන්ද්‍රිකාව? මේ ගැන මා දැඩි අවධානයෙන් සිටියත් කිිසිවක් නොලීවේ එහි හිිමිකාරිත්වය හා සැළසුම් ගැන නිරවුල්ව තොරතුරු සොයා ගැනීම අපහසු වූ නිසයි.

සුප‍්‍රීම්සැට් නම් පෞද්ගලික සමාගමක් චීන රජයට හිමි China Great Wall Industry Corporation නම් සමාගම හා එක්ව 2012 නොවැම්බරයේ SupremeSat-I නම් පණිවුඩ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කළා. ඒ ආසන්න දිනවල මෙරට මාධ්‍යවල පුවත් ආවරණයේ ද සමාගමේ පුවත්පත් දැන්වීම්වල ද ප‍්‍රමුඛව කියැවුණේ එය ශ‍්‍රී ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව බවත්, එමගින් අප රට ද අභ්‍යවකාශ යුගයට පිවිසි බවත්. සුප‍්‍රීම්සැට් සමාගමේ වෙබ් අඩවිය (www.supremesat.com) ද මෙයට සමාන අදහසක් ජනිත කළා.

SupremeSat company's promotional newspaper advertisement claiming theirs was Sri Lanka's first satellite: 22 Nov 2012
SupremeSat company’s promotional newspaper advertisement claiming theirs was Sri Lanka’s first satellite: 22 Nov 2012

එහෙත් 2014 අපේ‍්‍රල් 8 වනදා පාර්ලිමේන්තුවේ මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජේ්‍යෂ්ඨ අමාත්‍ය වෛද්‍ය තිස්ස විතාරණ කීවේ සුප‍්‍රීම්සැට් චන්ද්‍රිකාව මුළුමනින්ම චීන-ශ‍්‍රී ලංකා පෞද්ගලික/වාණිජ ව්‍යාපෘතියක් බවයි. එයට ලක් රජයේ කිසිදු නිල සම්බන්ධයක් හෝ ආයෝජනයක් හෝ නැති බව ඔහු අනාවරණය කළා. (එසේම අභ්‍යවකාශය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තවමත් සකසා නැති බවත්, ලාංකිකයකු අභ්‍යවකාශයට යැවීමට රජයේ සැළසුමක් නැති බවත් ඔහු කියා සිටියා.)

සාක් කලාපයේ සෙසු රටවල් වන ඇෆ්ගනිස්ථානය, භූතානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයිනට තමන්ගේ චන්ද්‍රිකා නැහැ. එහෙත් බංග්ලාදේශයේ විදුලි සංදේශන නියාමන කොමිසම එරට භාවිතය සඳහා බංගාබන්ධු (bangabandhu) නම් වන පණිවුඩ චන්ද්‍රිකාවක් තනා ගෙන යනවා. අමෙරිකානු සමාගමක තාක්‍ෂණික ආධාරයෙන් ගොඩ නගන මෙය 2015දී උඩුගුවනට යැවීමට නියමිතයි.

මේ අතර ඇෆ්ගනිස්ථානය, නේපාලය හා මාලදිවයිනට ජාතික චන්ද්‍රිකා තනා කක්‍ෂගත කිරීමට චීනය සාකච්ඡා කරමින් සිටිනවා. චීනයේ මේ තාක්‍ෂණික සහයෝගීතා හරහා තමන්ට වඩා කුඩා ආසියානු රටවල් සමග සබඳතා තර කරමින් තම විදේශ බලපෑම් සඳහා ද එය යොදා ගන්නවා.

1960 දශකයේ සීතල යුද්ධයේ එක් ප‍්‍රබල පෙරමුණක් වූයේ අමෙරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරගයයි. එහිදී අභ්‍යවකාශයේ පුරෝගෘමි ජයග‍්‍රහණ හා මං සළකුණු ලබා ගැනීමට ඒ සුපිරි බලවත් දෙරටම අති විශාල වශයෙන් රටේ මුදල් හා තාක්‍ෂණික හැකියාවන් ආයෝජනය කළා.

එතරම් තීව‍්‍ර නොවූවත් යම් තරමක අභ්‍යවකාශ තරගයක් අද ආසියාවේ අභ්‍යවකාශ හපන්කම් අරභයා චීනය හා ඉන්දියාව අතර තිබෙනවා. එහි එක් පැතිකඩක් නම් සෙසු ආසියානු රාජ්‍ය සමග අභ්‍යවකාශ තාක්‍ෂණ සහයෝගීතාව හරහා තම බලපෑම කලාපයේ වඩාත් පැතිරවීමයි.

මෙය ඉංග‍්‍රීසියෙන් space diplomacy ලෙස හඳුන්වනවා. සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ත‍්‍රික හෝ තානාපති සබඳතා ඉක්මවා යන මෙය ඒ ලොකු රටවල මෘදුබලය නැතහොත් සියුම් බලය (soft power) ප‍්‍රචලිත කිරීමක් ලෙස ද දැකිය හැකියි.

මේ සියුම් තරගයේ දැනට ඉදිරියෙන් සිටින්නේ චීනයයි. තමන්ට වඩා කුඩා රටවලට මුදල් ආධාර, ණය සේවා හා තාක්‍ෂණික සේවා ලබා දෙමින් ඔවුන්ගේම චන්‍ද්‍රිකා නිපදවා උඩුගුවන්ගත කිරීම චීනය කලෙක සිට කරනවා. එහිදී අදාල රටේ දේශීය ප‍්‍රමුඛතා මොනවාද යන්න චීනයට එතරම් වැදගත් නැහැ. ඔවුන්ට ඕනෑ තමන් සමග අභ්‍යවකාශයට පිවිසෙන රටවල් ගණන වැඩි කර ගැනීමටයි.

ඉන්දියාව මේ තරගයට පිවිසෙන්නේ තරමක් පමාවීයි. එහෙත් නව ඉන්දීය රජය යටතේ මේ සඳහා ඉහළ ප‍්‍රමුඛත්වයක් ලැබෙන බව පෙනෙනවා.

විශේෂයෙන්ම ආපදා කළමණාකරණයේදී හැකි තාක් නිවැරදි තොරතුරු හා විද්‍යාත්මක දත්ත හැකිතාක් ඉක්මනින් ලබා ගැනීම අවශ්‍යයි. මෙහිදී සාක් කලාපීය රටවල් දැනට වඩා අභ්‍යවකාශ තාක්‍ෂණයන් යොදා ගත යුතු යයි නව දිල්ලියේ පිහිටි සාක් ආපදා කළමණාකරණ කේන්ද්‍රය (SAARC Disaster Management Centre, SDMC) නිර්දේශ කොට තිබෙනවා.

2011දී ඔවුන් පිළියෙල කළ කලාපීය අධ්‍යයනයට අනුව සාක් රටවල ආපදා කළමණාකරණය නිසි ලෙස සැළසුම් කොට ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය නිරික්‍ෂණ දත්ත සමුදායෙන් දැනට ලැබෙන්නේ 20-30%ක් පමණයි. බහුවිධ ආපදාවලට නිරාවරණය වූත්, අධික ජනගහනයක් වාසය කරන්නා වූත් දකුණු ආසියාවේ ආපදා බලපෑම් අවම කරන්නට මීට වඩා කාලගුණ, භූමි පරිභෝජන හා සාගර තත්ත්ව නිරීක්‍ෂණ අවශ්‍ය බව ඔවුන් කියනවා.

යෝජිත සාක් චන්ද්‍රිකාවට මේ හිදැස මුලූමනින් හො තරමකට හෝ පිරවිය හැකියි. දැනටමත් ඉන්දියාව සිය කාලගුණ චන්ද්‍රිකා හරහා ලබා ගන්නා ඡායාරූප ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් 30ක් සමග නිතිපතා බෙදා ගන්නවා.

India-and-Space-Technology

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

Sinhala children’s weekly newspaper Mihira has just completed 50 years of publication. The paper holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

The tabloid was launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964. Its founder editor was veteran journalist Srilal Hikkaduwa Liyanage (who was also founder editor of Tharunee women’s newspaper and Navayugaya informative newspaper from the same publishing house).

I wasn’t even born when Mihira came out. Sometime in 1969, when I was a precocious three-year-old, my father bought me my first copy. I was hooked: for the next dozen years, I eagerly awaited the arrival of each week’s issue on Mondays.

In the early years, Mihira carried a mix of stories, comics, articles and verse. While many were produced by talented writers and artists who understood the child’s mind, some were actually children’s own contributions.

In fact, Mihira is where I first got myself into print. As a school boy of 9 years, I submitted several of my (Sinhala) verses to Mihira (at the suggestion of my Grade 3 class teacher). One of them, on my perception of an animated clock, was printed in one issue of October 1975. I was thrilled to bits – that clipping is somewhere at the bottom of my personal archives…

Funnily enough, thousands of printed pieces later, I still get an enormous kick each time a newspaper publishes my writing.

S A Dissanayake, comics artist
S A Dissanayake, comics artist

To me (and many others of my generation), the most memorable part of Mihira were extraordinary comics written and drawn by S A Dissanayake. He drew a long-running comic (chitra katha) called Onna Babo (‘ඔන්න බබො’), which chronicled the adventures of three intrepid kids (‘බූ – බබා’, ‘තුල්සි’) and involved a wicked witch (බටකොළ ආච්චි), wizards and other characters. For us entertainment starved kids, ඔන්න බබො was Harry Potter of the 1960s and 70s. All these years later, some sub-plots are still clearly etched in my memory…

S A Dissanayake also drew the more comical Yodaya (‘‘යෝධයා’’) about a good-hearted village giant and a learned but wicked man (‘‘යෝධයා සහ පඬිතුමා”), as well as several other popular comics.

When some teachers and parents condemn all comics as polluting children’s minds, I always remind them of the glorious exceptions created by S A Dissanayake. Some feel his stories paved the way for the enormous popularity of TinTin comics and animations in Sri Lanka later on.

I just read that Dissanayake (who was a school teacher by profession) still draws children’s comics for Mihira – a rare feat (world record?) of a comic artist drawing for the same publication for half a century.

ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

http://silumina.lk/2014/07/27/_art.asp?fn=av14072712&p=1

බුබම්බා, යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක

http://www.lankadeepa.lk/index.php/articles/104609

From the scrap book of S A Dissanayake, children's comic artist for half a century
From the scrap book of S A Dissanayake, children’s comic artist for half a century

 

සිවුමංසල කොලූගැටයා #179: දියේ ගිලෙන ජීවිත බේරා ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I look at how to prevent death and disability caused by drowning in Sri Lanka.

Around 1,200 people die every year in Sri Lanka from drowning — several times the number of deaths from dengue fever, but this distributed tragedy gets much less public and media attention.

Most victims are children and young adults, and some die while trying to save another from drowning. Most of these deaths are preventable – if only adequate safety precautions are taken.

I quote extensively from a Sinhala book (Protect Your Children from Accidents) written by consultant surgeon Dr. Wijaya Godakumbura.

For same advice in English, see his Nov 2013 article: Accidents are preventable Drowning, the silent killer, by Dr. Wijaya Godakumbura

Drowning - HELP!

අපේ රට දුපතක් වුවත් බොහෝ දෙනකුට හරි හැටි හෝ කොහෙත්ම පිහිනීමේ හැකියාව නැහැ. එසේ නොතිබියදීත් මුහුදේ හෝ අභ්‍යන්තර ජලාශවල ස්නානයට යාමෙන් බොහෝ ගිලීම් අනතුරු සිදු වනවා.

විශේෂයෙන්ම (මතුපිටට හරි හැටි නොපෙනෙන) ගැඹුරු තැන්, දිය පහරවල්, දියසුළි ගැන නොදැනුවත් වීමත්, බීමත්ව සිටියදී දියට බැසීමත් නිසා පිහිනීමේ හැකියාව ඇති අය පවා ගිලී මිය යන්නට පුළුවනි.

ශ‍්‍රී ලංකාවේ වසරකට 1,200ක් පමණ දෙනා දියේ ගිලී මිය යනවා. මුහුද, ගංගා, දිය ඇලි, ජලාශ, වැව් හා ළිං ආශ‍්‍රිතව මේ අවාසනාවන්ත අකල් මරණ සිදු වනවා. වැඩිපුර මිය යන්නේ අවුරුදු 15-35 අතර වයස්වල පිරිමින්.

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන්නේ ලොව පුරා අහම්බෙන් හා අනපේක්‍ෂිතව සිදු වන මරණ සඳහා හේතුවන සාධක අතරින් දියේ ගිලීම තුන්වන තැන ගන්නා බවයි.

ලෝකය පුරා වසරකට දියේ ගිලීමෙන් මිය යන සංඛ්‍යාව ලක්‍ෂ හතරක් පමණ වන බවත්, මිය යා නොදී බේරා ගන්නා තවත් සමහරුන්ට දරුණු ශාරීරික හා මානසික දුබලතා ඇති වන බවත් WHO කියනවා. ලෝක මට්ටමෙන් දියේ ගිලෙන අයගෙන් තුනෙන් දෙකක් පමණ පිරිමින්. වැඩි දෙනකු ළමයින් හා තරුණයන්.

ජාතික වෙරළාරක්‍ෂක සේවයේ අධ්‍යක්‍ෂ රෙයර් අද්මිරල් ආර්. සී. විජේගුණරත්න මෑතදී මාධ්‍යවලට පවසා තිබුණේ දෙස් විදෙස් සංචාරකයන් වැඩිපුර රැස් වන ස්ථානවලට ජීවිතාරක්‍ෂකයන් පත් කිරීමට සැළසුම් කරන බවයි. දැනට මොවුන් සිටින්නේ සීමිත වෙරළ ස්ථාන කිහිපයක පමණයි.

Model Life Saving Post at Wellawatta - image courtesy Sri Lanka Coastguard website
Model Life Saving Post at Wellawatta – image courtesy Sri Lanka Coastguard website

අභ්‍යන්තර ජලාශවල දියේ ගිලීම් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බවත් සංඛ්‍යා ලේඛනවලින් පෙනෙනවා. අනතුරුදායක ස්ථාන හඳුනා ගෙන විධිමත් ආරක්‍ෂිත වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරනවා නම් තාක්‍ෂණික උපදෙස් දීමට වෙරළාරක්‍ෂක හමුදාව සූදානම් යයි ඔහු කියනවා.

සියළු පිහිනුම් තටාකවල ජීවිතාක්‍ෂකයකු සේවයේ රැුඳී සිටීම නීතියෙන් අනිවාර්යයි. එහෙත් එය ප‍්‍රායෝගිකව සිදු වන්නේ නැහැ.

Cover of Dr Godakumbura's book
Cover of Dr Godakumbura’s book

2012දී ‘අනතුරුවලින් ඔබේ දරුවා රැක ගන්න’ නම් ග‍්‍රන්ථය ලියූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය විජය ගොඩකුඹුර පෙන්වා දෙන්නේ දියේ ගිලීම මුළුමනින් වළක්වා ගත හැකි අනතුරක් බවයි. එහෙත් නිසි දැනුම, අවබෝධය හා අවධානය නැති නිසා හැම වසරකම දහසකට වඩා ලාංකිකයන් ගිලී මිය යනවා.

‘‘මෙය ඩෙංගු රෝගයෙන් මිය යන සංඛ්‍යාව මෙන් කිහිප ගුණයකි. කණගාටුවට කරුණ නම් වැඩිපුර මිය යන්නේ ළමයින් හා තරුණයන් වීමත්, සමහරුන් මිය යන්නේ තවත් අයකුගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ කිරීමෙන් වීමත්ය. මේ බොහෝ මරණ වළක්වා ගත හැකිය. එහෙත් දැනට (2012 මාර්තු දක්වා) ලංකාවේ මේ ගැන පුද්ගල උනන්දුව හා වැළැක්වීමේ උපාය මාර්ග අල්පවීම පුදුම සහගත මෙන්ම කණගාටුදායකය.’’

23 Sep 2012: සිවුමංසල කොලූගැටයා #84: දිවි සුරකින දැනුම ඛෙදන පොත් දෙකක්

ශ‍්‍රී ලංකාවේ දියේ ගිලීම් බහුතරයක් සිදු වන්නේ ගංගා, වැව් හා මුහුද වැනි විවෘත ජලාශවල බවත්, සීමිත ගිලීම් සංඛ්‍යාවක් බැම්මක් නැති ළිං හා පිහිනුම් තටාකවල ඇති වන බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

දියේ ගිලීමට ආසන්නව සිට බේරා ගන්නා අයගෙන් දළ වශයෙන් 70%ක් සම්පූර්ණ සුවය ලබනවා. 5%කට සදාකාලික මොළයේ ආබාධ සහිතව ජීවත් වන්නට වනවා. ඉතිරි 25% මිය යනවා.

දියේ ගිලීමකදී පෙනහළු ජලයෙන් පිරෙනවා. එවිට රුධිරයට නිතිපතා අවශ්‍ය ඔක්සිජන් ලබා ගත නොහැකි වනවා. මොළයට යන රුධිරයේ ඔක්සිජන් අඩු වී, පළමුව සිහිය නැති වී දෙවනුව හදවත නවතිනවා.

දියේ ගිලූණු කෙනකු ගොඩට ගත් පසු හැම තත්පරයම තීරණාත්මක නිසා රෝහලකට ගෙන යන තුරු ප‍්‍රථමාධාර දිය යුතුයි. ගොඩගත් වහා ම ගිලූණු තැනැත්තා හුස්ම ගන්නවා දැයි සොයා බලා එසේ නොකරයි නම් පෙනහළුවල ජලය ඉවත් වන්නට සළස්වා කෘත‍්‍රිම ශ්වසනය (මුඛයෙන් මුඛයට) Cardio Pulmonary Resuscitation (CPR) සහ හදවත් ස්ථම්බනය කළ යුතුයි. ජීවිතාරක්‍ෂකයෝ මෙය හොඳින් දන්නවා.

ඔවුන් කෙනකු ළඟ නැතිනම් තරමක් දුරට හෝ ඒ ප‍්‍රථමාධාර දීමට අසල සිටින අය තැත් කළ යුතු යයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා. ඒ සඳහා මූලික ප‍්‍රථමාධාර දැනුමත් හා පුහුණුවක් තිබිය යුතුයි. මේ හැකියාව පුළුල් කිරීමෙන් වසරකට දියේ ගිලෙන ජීවිත රැසක් බේරා ගත හැකියි.

කුඩා කාලයේදී ළමුන්ට පිහිනීමේ පුහුණුව ලබාදීම වැදගත් පියවරක්. එය අවුරුදු 2දී වුවද කළ හැකියි. මෙයට පිහිනුම් තටාකම අවශ්‍ය නැති බවත්, වෙනත් නොගැඹුරු ජලාශ පවා යොදා ගත හැකි බවත් වෛද්‍ය ගොඩකුඹුර කියනවා. වැව් පොකුණුවල උණ බම්බු ආධාරයෙන් පිහිනුම් පුහුණුව දෙන ක‍්‍රමයක් (අපට වඩා දුප්පත්) බංගලාදේශයේ කැරෙන බව ඔහු පෙන්වා දෙනවා.

අද අපේ රටේ සිය ගණනක් පාසල්වල පිහිනුම් තටාක ඉදිකර ඇතත් ජීවිතාරක්‍ෂාව ගැන නිසි අවධානයක් යොමු වේද? මේ පහසුකම් යොදා ගෙන පාසලේ සියළු දරුවන්ට මූලික පිහිනීමේ හැකියාව ලබා දෙයිද? ඔහු මෙබදු ප‍්‍රශ්න මතු කරනවා.

Dr Wijaya Godakumbura - after saving thousands of lives by inventing safe bottlelamp, he has turned to preventing drowning
Dr Wijaya Godakumbura – after saving thousands of lives by inventing a safe bottlelamp, he has turned to preventing drowning

ජලයට බැස විනෝද වීමේදී දියේ ගිලෙන හා මිය යන අයගෙන් 25-50%ක් පමණ මත්පැන් පානය කර ඇති බව හෙළි වී තිබෙනවා. සමබරතාව, සම්බන්ධීකරණය, නිරීක්‍ෂණය හා ක්‍ෂණිකව ක‍්‍රියා කිරිමේ හැකියාව මත්පැන් මගින් තාවකාලිකව මොට කරන නිසා ගිලෙන්න යන විට පණ බේරා ගන්නට අමාරු වනවා.

‘මත්පැන් බී රිය පැදවීමට විරුද්ධ වන්නා සේම පිහිනීම් හා ජල ක‍්‍රීඩා කරන තැන්වල ද මත්පැන් භාවිතයට සම්බාධක පැනවිය හැකි නම් අකාල මරණ සමහරක් වළක්වා ගත හැකි’ යයි වෛද්‍ය ගොඩකුඹුර නිර්දේශ කරනවා.

ගංගා හා ජලාශවල ගමන් කරන හැම යාත‍්‍රාවකම ජීව කබා (life jackets) පැළඳීම අනිවාර්ය කළ යුතුයි. හදිසි අනතුරකදී යාත‍්‍රාව දියබත් වුවත් නොගිලී දිය මතු පිට පාවෙමින් සිටීමටත් බේරා ගන්නා තුරු පණ රැක ගැනීමටත් එය මහෝපකාරි වනවා.

දෙමව්පියන් හා අන් වැඩිහිටියන්ගේ නිසි අවධානය නැති වීමෙන් ගෙදර තුළදී පවා දරුවන්ට දියේ ගිලීමේ අනතුරු සිදු විය හැකියි. කුඩා දරුවකු නෑවීමේදී වතුර බේසමක් හෝ බාල්දියක් තුළ පුරවා ගන්නා වතුරේ ගිලී මිය ගිය ඉතා අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී ඇතැයි වෛද්‍ය ගොඩකුඹුර කියනවා.

අප නිවෙස් හා ගෙවතුවල අදිසි අන්තරායන් ගැන මනා අවබෝධයක් හෝ තක්සේරුවක් නොමැතිවීම මේ අනතුරුවලට හේතුවයි.

‘‘අපේ රටේ නීතියට අනුව සියලූම ළිං වටා බැම්මක් බැඳ තිබිය යුතුයි. එහෙත් පෞද්ගලික ගෙවතුවල හා ගොවි බිම්වල මෙය හරිහැටි කරන්නේ නැහැ. අනපේක්‍ෂිත ලෙසින් බඳු ළිංවලට වැටී, දියේ ගිලී මරණයට පත් වන හෝ සදාකාලිකව ආබාධිත වන දරුවන් හා වැඩිහිටියන් සංඛ්‍යාවක් සිටිනවා. එබඳු අනතුරුදායක ළිං හිමියන්ට විරුද්ධව නීති ක‍්‍රියාත්මක විය යුතුයි‘‘ ඔහු තව දුරටත් කියනවා.

දියේ ගිලීම වැළැක්වීමේ සිව් වැදෑරුම් ක‍්‍රම:

  • බලාපොරොත්තු නොවූ අන්දමින් දියට වැටීම වැළැක්වීම (ළිං වටා තාප්ප, බෝට්ටු පෙරළීම වැළැක්වීම ආදිය)
  • ඔවුන් සහ හිතාමතා ම දියට බට අය ගිලීම වැළැක්වීම (ජීව කබා සහ වෙනත් පාවෙන උපකරණ භාවිතය, අනාරක්‍ෂිත ස්ථානවල ස්නානය නොකිරීම ආදිය)
  • තමාට අනතුරක් ඇති නොවන අන්දමට ගිලෙන්නට යන අය ගොඩට ගැනීම.
  • ගිලීම නිසා ශ්වසනය අඩපණ වී මරණාසන්න වූ විට වහා කෘත‍්‍රිම ශ්වසනය සහ හෘද ස්ථම්බනය ලබා දී රෝහලට ගෙනයාම.

දියේ ගිලීම් වළක්වා ගැනීමට පවුල්, ප‍්‍රජා හා ජාතික මට්ටමින් පියවර රැසක් ගත හැකියි. අවදානම් ස්ථාන අවම කිරීම ඉන් ප‍්‍රධානයි.

  • අනාරක්‍ෂිත ළිං හා වෙනත් විවෘත වලවල් එක්කෝ වසා දමන්න.
  • නැත්නම් ළිං වටා තාප්පයක් හා ඊට උඩින් (දැලක් වැනි) ආවරණයක් යොදන්න.
  • ළමුන්ට පිහිනීම පුහුණු කරන්න. එහෙත් එම හැකියාව මත ම විශ්වාසය නොතබා සුපරික්‍ෂාකාරි වීමට දෙමව්පියන් වග බලා ගත යුතුයි.
  • අනාරක්‍ෂිත තැන්වල නෑමෙන් සහ අනෙක් අය බේරා ගැනීමට දියට පැනීමෙන් වළකින්න. කඹයක් හෝ රිටක් වැනි දෙයකින් ගිලෙන්නට යන අය ගොඩ ගැනීමට උත්සාහ කරන්න.
  • පිහිනුම් තටාකයකදී එක් මොහොතකට වුව ද කුඩා දරුවන් ගැන අවධානය නැති නොකරන්න.
  • තට්ටු නිවාස සංකීර්ණයක ජීවත් වන්නේ නම්, පිහිනුම් තටාකය වටා ආවරණයක් ගොඩ නගන ලෙස අනෙක් දෙමව්පියන් සමග එකතු වී ඉල්ලා සිටින්න.
  • කෘති‍්‍රම ශ්වසනය සහ හදවත් ස්ථම්බනය අධ්‍යනය කරන්න. ඒ සම්බන්ධ දර්ශන පෙන්වන ලෙස ටෙලිවිෂන් සමාගම්වලින් සමූහ වශයෙන් ඉල්ලා සිටින්න.
Rip currents - image courtesy Wikipedia
Rip currents – image courtesy Wikipedia

පිහිනීමට හැකි වූ පමණින් හැම ජලාශයක් හා මුහුදු වෙරළක්ම ඒ සඳහා සුදුසු වන්නේ ද නැහැ. සමහර විට ඉතා හොඳින් පිහිනීමේ හැකියාව ඇති අය පවා හදිසි දියවැල් සමග පොර බැඳීමට නොහැකිව ගිලී මිය ගිය අවස්ථා තිබෙනවා.

Rip currents නමින් හඳුන්වන මුහුදු රළ විශේෂය බොහෝ දියේ ගිලීම්වලට හේතු වන්නක්. මුහුදු පත්ලේ භූමි ස්වභාවය හා රළ පහරේ ස්වභාවය මත මෙබඳු දිය දහරාවල ප‍්‍රබලත්වය අඩු වැඩි විය හැකියි. පිහිනීමට දත්තකු පවා විනාඩියක් තුළ අඩි 200ක් පමණ දුරක් ගසා ගෙන යාමට ඒවාට හැකියි.

එබන්දක් සිදුවන තැනෙක ඉනවටක් දියේ බැස සිටින්නකු පවා ආරක්‍ෂිත නැති බව වෛද්‍ය ගොඩකුඹුර කියනවා. එම ආකාරයේ දිය දහරකට ගසා යන කෙනෙකු එයට එරෙහිව පිහිනන්නට තැත් කොට එනිසාම අධික විඩාවට පත් වී අවසානයේ මුහුදේ ගිලී මිය යනවා. එබඳු අවස්ථාවක පැත්තකට පිහිනීම කළ හැකි එකම දෙයයි. මුහුදු වෙරළට යන සෑම කෙනෙකුම මේ දිය දහරා ගැන දැනුවත් වීම වැදගත්.

සිවුමංසල කොලූගැටයා #177: වැඩවසම් ජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය අභියෝගය

In this week’s Ravaya column (in Sinhala), I revisit the on-going debate on social media and social accountability, this time from the perspective of freedom of expression.

Unless a user takes consistent precautions, everything published online is ultimately traceable to the point of origin. However, for most practical purposes, options of anonymity and pseudonymity are still available on the web – and widely used by users, for a variety of reasons. Contrary to what some misinformed people say, there is nothing legally or morally wrong with this practice.

Of course, the facilities can be misused, most notably in spreading hate speech and deliberate falsehoods. But this reality, by itself, is not a sufficient argument against online anonymity or pseudonymity. Indeed, as I argue in this column, being able to conceal one’s real identity is a safe way for social activists and public intellectuals to express their views living in countries with repressive regimes and/or intolerant societies.

While I myself have always expressed my views online under my own name — and sometimes received vitriol and threats as a result — I defend the right for anyone to remain anonymous or use pseudonyms.

Social Media: Handle with care and caution!
Social Media: Handle with care and caution!

සමාජ මාධ්‍ය හා පොදුවේ වෙබ්ගත සන්නිවේදනවලට නැගෙන එක් බරපතල චෝදනාවක් නම් නිර්නාමිකව හෝ ආරූඨ නම්වලට මුවා වී හෝ යම් අය ඒ හරහා අසත්‍යයන් පතුරුවන බවත්, අපහාසාත්මක ප‍්‍රචාර කරන බවත්.

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක් අනිසි ලෙස යොදා ගත හැකියි. නිර්නාමික කැලෑ පත්තර, තර්ජනාත්මක ලියුම් හා දුරකථන ඇමතුම් ආදිය දශක ගණනක් තිස්සේ සිදු වන දේවල්. විවෘතව හා සංවරව සංවාදයක්ට එළඹීමේ පෞරුෂය නැති සුළුතරයක් මෙබඳු අකටයුතුකම් කළ පමණින් ලිවීමේ කලාව, තැපෑල හෝ දුරකථන සේවා සමස්තයක් ලෙස අපවාදයට ලක් වූයේ නැහැ.

එසේ නම් ටික දෙනෙකු වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා එබඳුම නොමනා හැසිරීමක යෙදෙන විට සමස්ත මාධ්‍යයටම හා වේදිකාවටම දොස් ක’ම තර්කානුකූල හෝ සාධාරණ නැහැ.

මෙතැනදී මතු වන්නේ අළුත් තාක්‍ෂණයක් ගැන නොදන්නාකම නිසා හට ගන්නා සැකය හා භීතියයි. නැතහොත් අළුත් ර්‍ණබිල්ලන්” තනා ගැනීමට අපේ සමාජයට ඇති නොතිත් ආසාව ඉස්මතු වීමයි.

දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව කියන්නේ සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවා ගත් අනන්‍යතා (pseudonymity) හෝ හරහා ද්වේශසහගත ලෙස තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවයි. සංජන කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.

නිර්නාමිකව හෝ ආරූඨනාමිකව සන්නිවේදනය කිරීම වරදක් ලෙස පෙනුනත් එහි සමාජයීය වාසි ද තිබෙනවා.

කියන දෙයට වඩා කියන්නා කෙරෙහි අවධානය යොමු කිරීමත්, තර්කයට ප‍්‍රතිතර්ක ඉදිරිපත් කරනු වෙනුවට තර්ජන හෝ මැර ප‍්‍රහාර එල්ල කිරීමත් අද අපේ සමාජයේ සුලබ ප‍්‍රවණතාවක්.

රජය පමණක් නොව අන්තවාදී වෙනත් කණ්ඩායම් ගණනාවක් ද විකල්ප මත ඉවසීමට නොහැකිව හා විවේචන දරා ගත නොහැකිව විරුද්ධ මතධාරීන්ට හිරිහැර කරන අපේ රටේ වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන විට සමහරුන් වෙනත් නමකින් පෙනී සිටීමට සාධාරණ හේතු තිබෙනවා.

මේ පසුබිම තුළ බොහෝ වියතුන් හා වෘත්තිකයන් මුළුමනින් නිහඬ වෙද්දී ටික දෙනෙකු අවදානමට මුහුණ දෙමින් සිය නමින්ම පොදු අවකාශයේ සන්නිවේදනය කරනවා. එසේ කිරීමට නොහැකි එහෙත් පොදු උන්නතිය අරභයා පෙනී සිටීමට රිසි අන් අයට ඇති එක් ප‍්‍රවේශයක් නම් නිර්නාමිකව හෝ ආරූඨනාමිකව බ්ලොග් අඩවියකින්, නැතහොත් සමාජ මාධ්‍ය වේදිකාවකින් කාලීන මත දැක්වීමයි. මෙය ඔවුන්ට ඇති අයිතියක්. මා දන්නා බහුතරයක් එබඳු අය සංවේදීව, සංවරව හා තුලනාත්මකව සන්නිවේදනය කරනවා.

typewriter

විකල්ප මත ඉවසීමේ හා ඒවාට මතවාදීවම පිළිතුරු දීමේ කුසලතාවය නැති බොහෝ පාලකයන් තැත් කරන්නේ විකල්ප මතධාරීන් හොඳින් නැත්නම් නරකින් නිහඬ කිරීමටයි. එහිදී ඔවුන් කවුදැයි හඳුනා ගැනීම අවශ්‍ය වනවා. නිර්නාමික වූ විට එය සොයා ගැනීම වඩා අසීරුයි.

1965-1989 කාලය තුළ කොමියුනිස්ට් රුමේනියාවේ ඒකාධිපති පාලකයාව සිටියේ නිකොලොයි චෞචෙස්කු (Nicolae Ceaușescu). නැගෙනහිර යුරෝපීය රාජ්‍ය අතරින් අතිශයින්ම දරුණු හා මර්දනකාරි පිළිවෙත් අනුගමනය කළේ ඔහුගේ පාලනය බව පිළි ගැනෙනවා. වසර 25ක් පමණ සමස්ත රුමේනියාවම ඔහුගේ රහස් පොලිසියේ ඔත්තු බැලීමට හා හිංසනයට නතුව තිබුණා.

මේ මර්දනයේ එක් පැතිකඩක් වූයේ පාලකයා හා ඔහුගේ පවුලේ උදවිය ගැන කිසිදු විවේචනයක්, ප‍්‍රශ්න කිරීමක් කළොත් එය රාජ්‍ය විරෝධී යයි සළකා දැඩි දඬුවම් කිරීමයි. බහුතරයක් අහිංසක ජනයා මේ යකඩ සපත්තුවට පෑගී මිරිකී සිටි අතර නිර්භීත කලාකරුවන් හා උගතුන් අතලොස්සක් යටිබිම්ගත දේශපාලනයක් හරහා විකල්ප අදහස් රහසේ සංසරණය කළා.

එවකට රුමේනියාවේ තුවක්කුවක් හිමි කර ගන්නවාට වඩා යතුරු ලියනයක් ලබා ගැනීම අමාරු වුණා. චෞචෙස්කුගේ එක් අවනීතියක් වූයේ රටේ සියළුම යතුරු ලියන (ටයිප්රයිටර්) ලියාපදිංචි කළ යුතු බවයි. අත්අකුරින් ලියූ ලේඛනවල රචකයා සොයා ගැනීම වඩා පහසු නිසා යතුරු ලියනවලට අවසර දුන්නේ ඉතා සීමිතවයි. අවසරලත් හැම යතුරු ලියනයක්ම පොලිසියට ගෙන ගොස්, එහි අකුරු රටාව ලේඛනගත කරනවා. ඇඟිලි සළකුණු සටහන් කරනවාට සමාන අයුරකින්.

Buring the Typewriter by Carmen Buganකාමන් බියුගන් Carmen Bugan ලේඛිකාව 2011දී ලියූ Burying the Typewriter: Childhood Under the Eye of the Secret Police නම් මතක පොතෙහි රුමේනියාවේ ප‍්‍රාදේශීය විරුද්ධ මතධාරියකු වූ තම පියා රහසිගතව යතුරු ලියනයක් සඟවා ගෙන සිටි අන්දම විස්තර කරනවා.

භාවිත කිරීමෙන් පසු පොළව යට වළලන තරම් ‘භයානක’ මෙවලමක් බවට අහිංසක යතුරු ලියනය පත් වූ සැටි ඇය කියනවා. රටේ ජනතාවගෙන් හැම තිදෙනෙකුගෙන් එක් අයකුම රහස් පොලිසියට තොරතුරු සපයමින් මිතුරන්, අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් වුව ද පාවා දුන් අන්දම කියවන විට මර්දනයේ තරම අපට පෙනී යනවා.

යතුරු ලියනයකට වඩා පරිගණකයක අනන්‍යතාවය තහවුරු කළ හැකි හා අක්මුල් සොයා යා හැකි තාක්‍ෂණික ක‍්‍රම තිබෙනවා. මේ නිසා ඉන්ටර්නෙට් ඇතුළු ඩිජිටල් මාධ්‍යවල නිර්නාමික වීම සාපේක්‍ෂයි.

ලක් සමාජය සමාජ මාධ්‍ය තවමත් හරිහැටි යොදා නොගන්නේ තාක්‍ෂණික සීමාවන්ට වඩා ආකල්පමය සීමාවන් නිසා බව මගේ අදහසයි. අපට ඓතිහාසිකව හා සාංස්කෘතිකව උරුම වී ඇත්තේ වැඩවසම් රටාවේ ජන සන්නිවේදනයක්.

රජු හා යතිවරුන් කේන්‍ද්‍ර කර ගත් මේ සන්නිවේදනයේදී සෙසු ජනයා කළේ වැඳ ගෙන ‘‘එහෙයි ස්වාමීනි’’ කියමින් අසා සිටීම පමණයි. ප‍්‍රභූන්ට හා උගතුන්ට පවා විවෘතව මත දැක්වීමට හා රාජ/යති මතවලට එකඟ නොවීමට ඉඩක් තිබුණේ නැති තරම්.

Carmen Bugan reading the files made about her family's life
Carmen Bugan reading the files made about her family’s life

1931 සර්ව ජන ඡුන්ද බලය හා 1948 දේශපාලන නිදහස ලැබී දශක ගණනක් ගෙවී ඇතත් අප මානසිකව තවමත් ඉන්නේ වැඳ ගෙන කියන දෙයක් අසා සිටීමේ නැඹුරුවකයි.

අඩු වැඩි වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ ජනමාධ්‍ය කරන්නේ ද මේ වැඩවසම් සන්නිවේදනයට ලූණු ඇඹුල් ටිකක් දමා, තෙම්පරාදුකර පවත්වා ගෙන යාමයි. විසංවාදයට හා ගවේෂණාත්මක මාධ්‍යකරණයට ඉඩ සීමා වී ඇත්තේ එනිසායි. රජු හා යති මට්ටමට අමතරව මාධ්‍ය දොරටු පාලකයන් (හිමිකරුවන් හා කතුවරුන්) පිරිසක් ද දැන් බිහිව සිටිනවා. මේ හැමගෙන් මතුව එන්නේ අධිපතිවාදයයි.

අධිපතිවාදයක් නැති සමාජ මාධ්‍යවලට මේ අධිපතිවාදීන් හැම දෙනකුම එරෙහි වීම හා චෝදනා නැගීම අපට තේරුම් ගත හැකියි. කණගාටුවට කරුණ නම් පර්යේෂණාත්මකව හා විචාරාශීලීව සමාජ ප‍්‍රශ්න විග‍්‍රහ කරනු ඇතැයි අප අපේක්‍ෂා කරන සරසවි ඇදුරන් හා සෙසු උගතුන් බහුතරයක් ද මේ කුමන්ත‍්‍රණවාදයන් ම ප‍්‍රතිරාවය කිරීමයි.

සමාජ මාධ්‍ය හරහා කැරෙන සන්නිවේදන අතිශයින් විවිධාකාර නිසා ඒවායේ ගති සොබාවන් පොදු ගුණාකාර කිහිපයකට ලඝු කිරිම සුදුසු නැහැ. මානව සමාජයේ මතවාදී, භාෂාමය හා වෙනත් විවිධත්වයන් එහි පිළිබිඹු වනවා.

එහෙත් පොදුවේ ගත් විට සමාජ මාධ්‍යවලට ආවේණික යම් ගතිගුණ ද තිබෙනවා. එකක් නම් සරල හා සැහැල්ලූ ලෙසින් ගැඹුරු කරුණු පවා සංවාදයට ලක්වීම. මවා ගත් බොරු ගාම්භීරකම්වලට උද්දච්චගතිවලට එහි තැනක් නැහැ. එසේම සංශයවාදය, හාස්‍යජනක බව හා කියන්නට ඇතිදේ කෙලින්ම කීම එහි තවත් ගුණයක්.

සමාජයීය, ආර්ථික, දේශපාලනමය හා වෙනත් කාලීන ප‍්‍රශ්න ගැන සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි බසින් මෙන්ම මිශ‍්‍රිත භාෂා හරහා ද සමාජ මාධ්‍ය තුළ කථා කැරෙනවා. මේවා නොදත් හෝ නොදුටුවා සේ සිටින අය කියන්නේ සමාජ මාධ්‍ය ඕපාදුප තෝතැන්නක් කියායි.

සමාජ මාධ්‍ය අඳබාලයන්ගේ සාමීචි කථා ලෙස හෙළා දැකීම ස්වයංමුලාවක්. අද අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල තව දුරටත් ලෙහෙසියෙන් හමු නොවන ආකාරයේ ගවේෂණාත්මක, ස්වාධීන හා අදීන සංවාද සමාජමාධ්‍ය වේදිකා මත නිතර සිදු වනවා.

අපේ අධිපති මාධ්‍ය ව්‍යංගයෙන්, බයෙන් බයෙන් මෙන් කථා කරන ආගම්වාදය, අධික හමුදාකරණය වැනි මාතෘකා ගැන සමාජ මාධ්‍යවල විවෘතව සංවාද ඇති වනවා.

රටේ ආර්ථික වර්ධනය හා අධිවේගී සංවර්ධන ක‍්‍රියාදාමය උදාහරණයකට ගනිමු. ආර්ථික විද්‍යාත්මක දත්ත හා විග‍්‍රහයන් සඳහා මේ රටේ නිල මුලාශ‍්‍ර මහ බැංකුව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. ඒවායෙන් නිකුත් කැරෙන සමහර දත්ත හා විශ්ලේෂන පිළිබඳ විචාරශීලී ප‍්‍රශ්න කිරීම් මෑතදී මුලින්ම මතුව ආයේ බ්ලොග් ලියන හෝ ට්විටර් හරහා පොදු උන්නතිය ගැන කථා කරන ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් වෙතින්. සරසවි ඇදුරන්ට වඩා පෞද්ගලික මට්ටමේ ආර්ථික දත්ත විශ්ලේෂණ සමාගම් අද සමාජ මාධ්‍ය හරහා නිල සංඛ්‍යාලේඛන හා විග‍්‍රහයන් සියුම් ලෙස පරීක්‍ෂාවට ලක් කරනවා.

ට්විටර් හා බ්ලොග් හරහා මා නෙත් යොමා සිටින ලක් විද්වතුන් කිහිප දෙනකු සිටිනවා. ටෙලිකොම් හා තොරතුරු තාක්‍ෂණ විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව (@samarajiva), මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලියු. ඒ. විජේවර්ධන (@waw1949), මොරටුව සරසවියේ මහාචාර්ය අජිත් ද අල්විස් (@ajith_de_alwis) හා ස්වාධීන හා ආර්ථික විශ්ලේෂක දේශාල් ද මෙල් (@deshald) ඒ අතර වනවා.

මෙරට ආර්ථිකය රජය කියන තරම් වේගයෙන් වර්ධනය වන අතරම ඇති නැති පරතරය ද වඩාත් තීව‍්‍ර වී ඇති බව සංඛ්‍යාත්මක සාක්‍ෂි සහිතව මුලින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය සංවාදවලයි. එසේම ආර්ථික වර්ධන වේගය ගැන රජයේ නිල ප‍්‍රතිශතයන් තතු දත් විද්වතුන් මුලින්ම සැකයට පාත‍්‍ර කළේත් සමාජ මාධ්‍ය හරහායි.

එය ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් වූයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයකු 2013 දෙසැම්බර් සංඛ්‍යාලේඛන පිම්බීම පිළිබඳව සිය දෙපාර්තමේන්තුවට ප‍්‍රසිද්ධියේ චෝදනා කළ පසුවයි.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට එය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය ‘බැලූම්ගලක්’ සේ ප‍්‍රයෝජනවත් විය හැකියි. සමාජයේ අළුතෙන් මතුව එන ප‍්‍රශ්න, රුචි අරුචිකම්, ප‍්‍රවණතා ආදිය කල් තබා දැන හඳුනා ගන්නට සමාජ මාධ්‍ය සංවාදවලට ඇස් කන් යොමා සිටීම වැදගත්.

 

සිවුමංසල කොලූගැටයා #176: පුපුරන සමාජයක අලූත්ම කැඩපත සමාජ මාධ්‍ය ද?

Threatening the mirror...
Threatening the mirror…

In this week’s Ravaya column (in Sinhala), I return to the oft-discussed topic of social media in today’s Lankan society.

If media mirror the realities of its land and times, don’t social media reflect its society as well? And if some among us don’t like what is expressed by fellow citizens using social media platforms, could it be that many inconvenient issues and questions – excluded in the mainstream media – are being raised?

Yes, we need to discuss the social, cultural and political implications of growing social media use. However, that debate will not be served by insular and insecure mindsets that see every aspect of globalization as a threat or conspiracy.

 

බීබීසී සිංහල සේවයේ වැඩ කරන ලාංකික මාධ්‍යවේදියෙක් විටින් විට මට දුරකථනයෙන් කථා කොට පසුබිම් කරුණු විමසනවා. සමහර අවස්ථාවල සම්මුඛ සාකච්ඡා ද ලබා ගන්නවා. නව මාධ්‍ය ගැන ඔහුට කුතුහලයක් ඇතත් ඔහු ඒ ගැන සැම විටම බලන්නේ වපර ඇසකින්.

අපේ හැම සංවාදයක්ම ඉක්මනින් යොමු වන්නේ ‘මේ සමාජ මාධ්‍යවලට ආචාර ධර්ම හෝ සමාජ වගකීමක් නැහැ නේද?’ යන්නටයි.

වරක් මා ඔහුගෙන් ඇසුවේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සියල්ලම ආචාර ධර්මවලට අනුව සැම විටම කටයුතු කරනවා ද කියායි. බීබීසීයට යන්නට පෙර මුළු වෘත්තීය කාලයම රජයේ ගුවන් විදුලියේ වැඩ කළ ඔහු එවිට කීවේ ‘‘රාජ්‍ය මාධ්‍ය නම් සැම විටම වගකීමෙන් කටයුතු කරන නමුත් සමහර FM නාලිකා එසේ නොකරන’’ බවයි.

ඔහුගේ තර්කයට අනුව මෙරට මාධ්‍ය රැසක් අතරින් වගකීමෙන් කටයුතු කරන්නේ රාජ්‍ය නාලිකා පමණයි! පෞද්ගලික රේඩියෝ නාලිකා හා සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් හිතුමතයට තොරතුරු හා අසත්‍යයන් පතුරුවන බවත්, සංයමයකින් තොර බවත් ඔහු කියනවා.

රජයේ මාධ්‍ය බලයේ පවතින රජයට සුවචව, කීකරුව ක‍්‍රියා කරන බව නම් සැබෑයි. එහෙත් ඒවා ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට ගරු කරනවා ද හෝ ආචාර ධර්මීය රාමුවක ක‍්‍රියා කරනවා ද යන්න නම් අතිශයින් විවාදාත්මකයි.

බීබීසී ගතානුගතිකයා උදාහරණයක් ලෙස මා ගත්තේ වාරණවලින් තොර මාධ්‍ය පරිසරයකට ගිය පසු පවා අපේ සමහර ඇත්තන්ට තමන් ජීවිත කාලයක් පුරා පටවා ගත් මතවාදී පොට්ටනි බිමින් තබන්නට බැරි සැටි පෙන්වීමටයි. එසේම අළුත් හැම දෙයක්ම හෙළා දකින හෝ ප‍්‍රතික්‍ෂෙප කරන හෝ පුරුද්ද පිළිබිඹු කිරීමටයි.

සමාජ මාධ්‍ය හරහා විවිධාකාරයේ පුරවැසි මාධ්‍යකරුවන් අළුත්ගම සිදුවීම් ගැන තොරතුරු හා මත දැක්වීම් බෙදා ගත් අකාරය ගැන ප‍්‍රධාන ප‍්‍රවාහයේ සමහර උදවිය ලියූ කතුවැකි හා කළ වෙනත් ප‍්‍රකාශයන් මට සිහිපත් කළේ බීබීසී ගිය ලාංකික හණමිටිකාරයායි.

29 June 2014:සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක්ද?

Hand holding a Social Media 3d Sphere sign on white background.

වෙබ්ගත සමාජ මාධ්‍යවලට දොස් තැබීම මේ දිනවල ජනප‍්‍රිය රැල්ලක් වෙලා. ඒ ගැන දන්නා – නොදන්නා බොහෝ දෙනා සමාජ මාධ්‍ය විවේචනය කරන්නේ හරියට රටේ සියළු දොස්වලට හේතුව සමාජ මාධ්‍ය භාවිතය කියන්නාක් මෙන්.

ඇත්තටම සමාජ මාධ්‍ය ගැන ගැඹුරු හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. එහෙත් බොරුවට නිදා සිටින උදවිය අවදි කළ නොහැකි සේ තමන්ගේ මතයට දැඩි ලෙස එල්බ සිටින අයත් සමග හරවත් සංවාද කිරීම ද අපහසුයි.

සෙසු මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය හරහා ද අප දකින්නේ ලක් සමාජයේ පවතින යථාර්ථය, විවිධත්වය හා විසමතායි. ඒ නිසා එය කැඩපතක්.

කැඩපතකින් අප දකින පිළිබිඹුවට අප නොකැමති නම් කැඩපතට දොස්කීම හෝ තර්ජනය කිරීම නිෂ්ඵල ක‍්‍රියාවක්.

පණිවුඩය රැගෙන එන්නට පහර දෙන්න එපා (Don’t attack the messenger) යයි කියමනක් කලක සිට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අරභයා කියනවා. එසේම සමාජ මාධ්‍ය ගැන කිව හැක්කේ අමිහිරි සංවාද ඇසු දුටු පමණින් ඒවා සිදු වන වේදිකාවට ගිනි තබන්නට එපා යන්නයි.

සමාජ මාධ්‍ය ගණයෙහි ලා ගැනෙන බ්ලොග් අඩිවි, ෆේස්බුක්, ට්වීටර්, යූ ටියුබ් ඇතුළු වෙනත් වේදිකාවල සන්නිවේදනය කරන්නේ මේ රටේ සාමාන්‍ය ජනතාවයි. ඔවුන් පුරවැසි මාධ්‍යවේදීන් වනවා ද නැද්ද යන්න ගැන අපට විවාද කළ හැකියි.

පුරවැසි මාධ්‍යකරණයේ එක් මූලික ලක්‍ෂණයක් වන්නේ කිසිදු අවසරයක්, පාලනයක් නැතිව කෙලින් ම අදහස් දැක්වීම. අප අද කාලේ එය ඉන්ටර්නෙට් හරහා කරන සන්නිවේදනයක් ලෙස හඳුනා ගත්ත ද එයට සංකල්පමය වශයෙන් ඊට වඩා දිගු ඉතිහාසයක් තිබෙනවා.

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගී/ලිපි ලිව්වේ අවසර ලබා ගෙන නොවෙයි. සීගිරි බිතු සිතුවම්වල සිටින අප්සරාවන් ගැන සියවස් ගණනක් පුරා එහි ගිය ඇතැම් දෙනා තමන්ගේ අදහස් හා හැගීම් එහි ලියා තිබෙනවා. සීගිරි කුරුටු ගී/ලිපි ලියූ හැම අයකු ම මීට සියවස් ගණනකට පෙර මෙරට විසූ පුරවැසි මාධ්‍යවේදීන්!

4 August 2013: සිවුමංසල කොලූගැටයා #128: සීගිරි කැටපත් පවුරෙන් ඇරැඹුණු පුරවැසි මාධ්‍යවේදය

අද වෙබ් හා ඩිජිටල් තාක්‍ෂණයන් හරහා එම පහසුකම් හැසිරවීමේ හැකියාව ඇති ඕනෑ ම කෙනෙකුට තමන්ගේ අදහස්, මතවාදයන් ඉක්මනින් ලෝකයට ම බෙදිය හැකියි.

මේ නූතන පුරවැසි මාධ්‍යකරණයේ ආගමනය සිදු වුයේ 1990 දශකය අග භාගයේ පටන්. (පුරවැසි මාධ්‍යවේදයේ පැහැදිලි නිර්වචනය නම් වැටුප් නොලබා, දොරටු පාලකයන් නැතිව අදහස් ප‍්‍රකාශනයයි. එසේ නොවන පුවත් වෙබ් අඩවි හා විවිධ දේශපාලන වෙඞ් අඩවි මේ ගණයට වැටෙන්නේ නැහැ.)

බ්ලොග්කරුවන් බහුතරයකුත්, අනෙක් සයිබර් වේදිකා යොදා ගන්නා අයගෙන් සමහරකුත් පමණක් නිරතුරුව හා ඉලක්කයක් ඇතිව සන්නිවේදනය කරනවා. ඉතිරි අය ඉඳහිට හිතට එන සිතිවිල්ලක් හෝ හසු වූ ඡායාරූපයක් බෙදා හදා ගන්නා උදවියයි.

එහෙත් ජන සමාජයම සලිත කරවන අලූත්ගම හෝ වැලිවේරිය ම්ලේච්ඡත්වය වැනි සිදුවීමක් ඇතිවූ විට සාමාන්‍යයෙන් පොදු අවකාශයේ සන්නිවේදනය නොකරන බොහෝ දෙනා ද ඒ ගැන සංවාදවලට පිවිසෙනවා.

පොදු ජන ආවේග තීව‍්‍ර වූ විටෙක මත දැක්වීමට හෝ තමන් රිසි මත බෙදා ගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා. මෙය අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ග‍්‍රහණයට සියළු මානවයන්ට ඇති මූලික අයිතියක් ප‍්‍රගුණ කිරීමක්. ඒ සඳහා කාගෙන්වත් අවසර ඕනෑ නැහැ.

අලූත්ගම ප‍්‍රචණ්ඩත්වයට පෙර හා පසු සමාජ මාධ්‍ය ගැන මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යකරුවන් කළ විග‍්‍රහයන් හා ලියූ කතුවැකිවලින් පෙනී යන්නේ තමන්ට නුපුරුදු අලූත් මාධ්‍යයක් හා සමාජ ප‍්‍රවණතාවක් ගැන ඔවුන් සැකයෙන්, භීතියෙන් සිටින බවයි.

එසේම තමන්ට බලපවත්නා නිල හා නොනිල සීමාවන් එලෙසින් අදාල නොවන නව මාධ්‍ය ගැන කුහක ඉරිසියාවක් ඔවුන් තුළ ඇති. ජාතික ආරක්‍ෂාව, සංස්කෘතිය හා සදාචාරය ගැන තර්ක අතර සැඟවුණු සැබෑව එයයි.

සමාජ මාධ්‍ය තමන්ගේ තරගකරුවකු ලෙස සමහර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සැළකීම මුළුමනින්ම වැරදි වැටහීමක් මත පදනම් වූ ස්ථාවරයක්. සමාජ මාධ්‍ය ආයතනික හෝ වාණිජමය මාධ්‍ය අංගයක් නොවෙයි. එය කැමති කෙනෙකුට ගොඩ විය හැකි වේදිකාවක් පමණයි.

Speakers' Corner, Hyde Park, London
Speakers’ Corner, Hyde Park, London

ඕනෑම කෙනකුට නැගී කථාවක් පැවැත්විය හැකි ලෑලි පෙට්ටි ලන්ඩන් නුවර හයිඞ්පාක් උද්‍යානයේ තිබෙනවා. අනේකවිධ මතධාරින් එතැනට පැමිණ විවිධාකාර කථා කරනවා. සමහරුන්ට පේ‍්‍රක්‍ෂක පිරිසක් එක් රැස් වෙතත් අනෙක් අය ඔහේ හුදකලාව කථා කරනවා. එය එරට අදහස් ප‍්‍රකාශනයට ඇති නිදහසේ කොටසක්.

හයිඞ්පාක් පෙට්ටි උඩ කරන කථා නිසා තමන්ට අභියෝග එල්ල වෙතැයි බීබීසීය හෝ එරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සිතන්නේ නැහැ. සමහර වෙලාවට ජනතාවගේ සිතුම් පැතුම් ගැන ඉඟියක් ලබන්නට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ද හයිඞ්පාක් වෙත පැමිණ කියන දේ අසා සිටිනවා. වැඩ වර්ජන අවස්ථාවල ඔවුන් සමහරුන් ද ලෑලි පෙට්ටියට ගොඩ වී කථා පවත්වනවා.

උපමිතියක් ලෙස ගත හොත් සමාජ මාධ්‍ය යනු ලෝක ව්‍යාප්ත සයිබර් උද්‍යානයක තිබෙන ලෑලි පෙට්ටි වගෙයි. එයට ගොඩවන්නට හා කථා කරන්නට අවසර ඕනෑ නැහැ. දෙපාවාරු ඇත්නම්, කට හඬ තිබේනම් ඕනෑම කෙනකුට කළ හැකියි.

එසේම එහි නැගී කුණුහරුප හෝ අපභ‍්‍රංශ කීවොත් ප්‍රෙක්‍ෂකයෝ නික්ම යාවි. නැත්නම් හූ කියා පලවා හරීවි. අන්තවාදී සන්නිවේදන ජනතාව හරහා ම සමනය වන නොනිල සංසිද්ධියක් වෙබ්ගත සමාජ මාධ්‍ය තුළ ක‍්‍රියාත්මක වනවා. Wisdom of the crowd යයි මෙය හැඳින්වෙනවා.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට සමාජ මාධ්‍ය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ඉන්දියාවේ නව අගමැති නරේන්‍ද්‍ර මෝඩි හා ඔහුගේ රජය මේ ගැන විශේෂ උනන්දුවක් දක්වනවා. සියළු රාජ්‍ය ආයතන, වෙබ් අඩිවි පවත්වා ගන්නවාට අමතරව ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා ද ජනතාවට සමීප විය යුතු බව නව රජයේ පිළිවෙතයි. මෙයට තාක්‍ෂණික හෝ උපක‍්‍රමීය උපදෙස් අවශ්‍ය නම් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා වෙනත් රාජ්‍ය ආයතනවලට එය ලබා දීමට විශේෂ සයිබර් උපදේශක බලකායක් ද පිහිටුවා තිබෙනවා.

අපේ රටේ ද රාජ්‍ය ආයතන සමාජ මාධ්‍ය හරහා ජනතාව සමග සන්නිවේදන සවිමත් කළ යුතු බවට ජනාධිපතිවරයා මෑතදී කියා තිබුණා. එහෙත් මෙය ප‍්‍රායෝගිකව ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය දැක්ම, කැපවීම හා හැකියාව තිබේද?

මෙරට රාජ්‍ය ආයතනවලට නිල වශයෙන් මේ ගැන උපදෙස් දෙන්නේ පරිගණක හා තොරතුරු තාක්‍ෂණ ඒජන්සියයි (ICTA). රාජ්‍ය වෙබ් අඩවි වඩා විධිමත් ලෙසින් හා ත‍්‍රීභාෂාමය වශයෙන් සකස් කිරීමට ඔවුන් දායක වී ඇතත් සමාජ මාධ්‍ය ගැන ඔවුන්ට නිසි දැක්මක් ඇතැයි පෙනෙන්නේ නැහැ. ට්විටර් සයිබර් වේදිකාවේ නිල ගිණුමක් ඔවුන්ට ඇතත් (@icta_srilanka), එය ඇරැඹූ දා සිට 2014 ජුලි 9 වනතුරු ප‍්‍රකාශිත ට්විට් සංඛ්‍යාව 338යි.

ටෙලිකොම් නියාමන කොමිසම ඊටත් වඩා පිටුපසින්. 2013 සැප්තැම්බරයේ ඇරැඹූ නිල ට්විටර් ගිනුමෙන් (@TRCSL) 2014 ජුලි 9 වන තුරු නිකුත් කර ඇත්තේ පණිවුඩ දෙකක් පමණයි. ඒවා ද අත්හදා බලන මට්ටමේයි.

මේ ආයතනවලට සාපේක්‍ෂව ජනාධිපති රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුම (@PresRajapaksa) සක‍්‍රීයයි. 2014 ජුලි 9 වන විට ඒ හරහා ට්විට් පණිවුඩ 2,360ක් නිකුත් කර තිබෙනවා. එසේම ඒවා සිංහල, දෙමළ හා බහුතරයක් ඉංග‍්‍රීසියෙන් ලියැවී තිබෙනවා. ඔහු වචන මෙන්ම පින්තූර ද බෙදා ගන්නවා.

ලෝකයේ රාජ්‍ය නායකයන් ට්විටර් ගිනුම් (නිල) භාවිත කරන ආකාරය නිරික්සා සැසඳීම් කැරෙනවා. මේ අනුව බොහෝ නායකයන් ට්විටර් යොදා ගන්නේ ද රේඩියෝ හා ටෙලිවිෂන් මෙන් තම තොරතුරු හා මතයන් ප‍්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණටයි. ඒ හැරුණු විට සංවාදවලට ඉඩ තබන්නේ නායකයන් ටික දෙනකු පමණයි.

Cartoon by Awantha Artigala, Daily MIrrir, Sri Lanka
Cartoon by Gihan De Chickera, Daily MIrrir, Sri Lanka

සිවුමංසල කොලූගැටයා #175: හරිතවේදය හා මාධ්‍යකරණය මුසු කළ මානෙල් තම්පෝ

In this week’s Ravaya column (in Sinhala), I salute a fellow traveler in journalism and conservation who departed two years ago: Manel Tampoe (1927-2012).

I wrote a tribute in English in September 2012, which appeared in Groundviews.org: Manel Tampoe: Perceptive Chronicler of Sri Lanka’s DDT Generation (This Sinhala column is not a translation.)

One of the earliest photos of Manel Tampoe, around age 15
One of the earliest photos of Manel Tampoe, around age 15

මෙරට පුවත්පත් කලාවේ හපන්කම් කළ හා නිම්වළලූ පුළුල් කළ චරිත ගැන විටින් විට මා කරන ආවර්ජානවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ මාධ්‍ය අත්දැකීම් බොහෝ කොටම ඉංග‍්‍රීසි බසින් කැරෙන මාධ්‍යකරණයට සීමා වූ නිසා මා වඩාත් හොඳින් හඳුනන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයේ උදවියයි. ඔවුන් ජාතික මට්ටමෙන් හා ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමින් කළ දායකත්වය සිංහල පාඨකයන්ට මතක් කර දීම වටිනා බව මගේ අදහසයි.

පත්තර ලෝකයේ හොඳ වැඩ කරන්නට මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන, මාණ්ඩලික ලේඛකයකු වීම අවශ්‍ය ම නැහැ. වෙනත් රැකියාවක් කරන අතර හෝ විශ‍්‍රාමිකව සිටින විට හෝ නිතිපතා පත්තරවලට හරවත් ලිපි ලියන ස්වාධීන ලේඛක ලේඛිකාවන් සිටිනවා. මෙරට සියළුම පත්තර ආයතන ඔවුන්ට ගෙවන්නේ ශ‍්‍රමයට හා නිර්මාණයට නොසෑහෙන තරමේ සොච්චමක්. එසේ වුවත් පොදු උන්නතිය සඳහා කැප වීමෙන් මේ කාරියෙහි නියැලෙන පිරිසක් එදත් අදත් අප අතර සිටිනවා.

ඉංග‍්‍රීසි බසින් මාධ්‍යකරණයේ යෙදුණු මානෙල් තම්පෝ මහත්මිය (1927 – 2012) හොඳ උදාහරණයක්. මීට දෙවසරකට පෙර 85 හැවිරිදිව මිය යන තුරු ඇය දශක ගණනක් මෙරට හා විදේශීය ප‍්‍රකාශනවලට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිසරය ගැන විචාරශීලි ලිපි ලියූ පුරෝගාමි චරිතයක්.

Manel Tampoe as a young teacher, in the 1950s
Manel Tampoe as a young teacher, in the 1950s

මානෙල් තම්පෝ මා දැන හඳුනා ගත්තේ 1980 දශකය අගදී. ධර්මන් වික‍්‍රරත්න නායකත්වය දුන් පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය හරහා ඒ වන විට වයස හැට ගණන්වල සිටි ඇය තරුණ අපත් සමග උද්‍යොගයෙන් හා මිත‍්‍රශීලීව වැඩ කළා. බෙහෙවින් ආචාරශීලි හා තැන්පත් චරිත ගතිවලින් යුක්ත වූ ඇයට තීක්‍ෂණ බුද්ධියක් හා හොඳ හාස්‍ය රසයක් තිබූ බව ටික කලකින් මා වටහා ගත්තා. නාවල අගේ නිවහනේදී අප බොහෝ කාලීන මාතෘකා ගැන දිගු වේලා සංවාද කළ හැටි මතකයි.

අයිරාංගනී මානෙල් ගුණසේකර පානදුරේ ඉපදී කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. සරසවි අධ්‍යාපනයට යොමු වූ මුල් ලාංකික කාන්තාවන් අතර සිටි ඇය 1948 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සම්මාන උපාධියක් ලබා ගත්තා. ඉන් පසු දශක දෙකක් ඇය ඉංග‍්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස විශාඛා, නාලන්දා හා සාන්ත තෝමස් විද්‍යාලවල සේවය කළා.

මේ කාලය තුළ ඇගෙන් උගත් දහස් ගණන් සිසුන් අතර පසු කලෙක ක‍්‍රිකට් විස්තර විචාරයන් සඳහා ප‍්‍රකට වූ පේ‍්‍රමසර ඈපාසිංහ ද සිටිනවා. ඇය ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍යය සිත් කාවදින හා අමතක නොවන ලෙසින් ඉගැන් වූ සැටි ඔහු සිහිපත් කරනවා.

1951 මානෙල් විවාහ වූයේ සරසවියේදී හඳුනාගත් ආරියරත්නම් ෆෙඞ්රික් තම්පෝ සමගයි. ඔවුන්ට පුතකු හා දියණියන් දෙදෙනකු ලැබුණා. පවුලේ වගකීම් දරමින්, ගුරුවරියක ලෙස ක‍්‍රියා කරන අතර ජන සමාජයට වැදගත් පොදු වැඩට හවුල් වීමට ද ඇය කාලය සොයා ගත්තා.

එසේම මානෙල් තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි කාන්තාවක්. 1950 ගණන්වලදී තම සැමියාට කලින් රථ වාහන පැදවීමේ රියදුරු බලපත‍්‍රයක් ලබා ගත් ඇය තමන් ඉතිරි කර ගත් මුදලින් මොරිස් මයිනර් කාරයක් මිලට ගත්තා. ඇගේ මිතුරියන් වූ අයිරාංගනී සේරසිංහ, කාමිනී විතාරණ වැනි අය ද එබඳුම පුරෝගාමී හා සමාජශීලී චරිත වුණා.

මානෙල් ඉඳහිට ඉංග‍්‍රිසි පත්තරවලට ලිපි ලියූවත් එය ප‍්‍රබලව මතුව ආයේ 1970 දශකයේ. බැංකු වෘත්තිකයකු වූ ඇගේ සැමියා ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවට අනුයුක්තව සිටි 1970-75 කාලයේ දරුවන් සමග ඇය ද එහි ජීවත් වූවා. යුරෝපය හා අමෙරිකාවේ එවකට මතු වෙමින් පැවති පාරිසරික ප‍්‍රශ්න හා ඒවාට ජනතාවගේත් රජයන්ගේත් ප‍්‍රතිචාර ගැන ඇය ඒ වකවානුවේ හොඳ හැටි අධ්‍යයනය කළා.

1975 මෙරටට ආපසු ඇය ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පත‍්‍රයේ විශේෂාංග ලේඛිකාවක් ලෙස සේවය කළා. එසේම සිංහරාජ වනාන්තරය දැව සඳහා කපා ගැනීමේ අමනෝඥ රාජ්‍ය ව්‍යාපෘතියට එරෙහිව මතු වූ මෙරට මුල්ම පාරිසරික උද්ඝෝෂනයට ද ඇය සම්බන්ධ වූවා.

Mallika Wanigasundara
Mallika Wanigasundara

විද්වත් හා මහජන විරෝධය හමුවේ සිංහරාජ දැව ව්‍යාපෘතිය එවකට පැවති රජය නතර කළත් සොබා සම්බත් හා මානව අවශ්‍යතා අතර තරගය ටිකෙන් ටික උත්සන්න වන බව මානෙල් දිගු කල් නුවණින් වටහා ගත්තා. 1977 ජූලි මාසයේ බලයට පත් රජය එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය සමග මේ ආතතිය තවත් උග‍්‍ර වූවා.

1973 සිට පවතින රජයේ මතවාදයන් ප‍්‍රචාරණයට නතුව තිබූ ලේක්හවුස් ආයතනයේ සේවය කරන අතර අධිවේගී ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති සියුම් ලෙස විවේචනයට ලක් කිරීමේ ඉඩකඩ පාදා ගන්නට මානෙල් තම්පෝ හා ඇගේ විශේෂාංග කතුවරිය වූ මල්ලිකා වනිගසුන්දර සමත් වුණා.

කැකෑරෙන ජනතා බලාපොරොත්තු රැසක් සපුරා දීමට ලොකු පොරොන්දු දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජයට වනාන්තර, වන සතුන් හා වෙනත් සොබාවික සම්පත් ගැන එතරම් තැකීමක් තිබුනේ නැහැ. එසේම ඒ මොහොතේ රටේ තිබූ අපේක්‍ෂා සාක්‍ෂාත් කිරීමට ලැසි ගමනින් වර්ධනය වීම නොසෑහෙන බව රජයට පැහැදිලි වුණා.

රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුව හා එක එල්ලේ නොගැටී, සංවර්ධනයේ පාරිසරික හා සමාජයීය බලපෑම් හැකි තාක් සමනය කර ගැනීමේ ක‍්‍රමවේදයන් ගැන හරවත් සංවාද මානෙල් හා මල්ලිකා දෙපළ ඬේලිනිවුස් කතුවැකකි හා විශේෂාංග ලිපි හරහා වසර ගණනාවක් පවත්වාගෙන ගියා. මුළුමනින්ම රාජ පාක්‍ෂික පත්තර කන්තෝරුවකින් වුවත් පොදු උන්නතියට අදාල ප‍්‍රශ්න උපක‍්‍රමශීලි ලෙස ආවරණය කරන්නේ කෙසේ ද යන්නට මේ මාධ්‍යෙවිදිනියන් දෙපළ කදිම පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා.

මානෙල්ගේ පුවත්පත් ලිපි බොහෝ සේ කරුණු රැස්කර, ගවේෂණාත්මකව ලියනු ලැබූ ඒවායි. විද්වතුන්, රාජ්‍ය නිලධාරින් හා ක‍්‍රියාකාරිකයන් රැසක් සමග ඇයට හොඳ සබඳතා තිබුණා. මේ නිසා පටු රාමුවකට සිර නොවී පුළුල්ව ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට ඇයට හැකි වුණා. සිල්ලර සමාජවාදී උද්‍යෝගපාඨ වෙනුවට ඇය ගමේෂණාත්මකව විවිධ සංවර්ධන ව්‍යාපෘතින් ගැන ප‍්‍රශ්න කළා.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය ප‍්‍රකාශනවලටත් මෙරට පාරිසරික ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් ලිවීමට ඇයට අවස්ථා ලැබුණා. ද ඉකොලොජිස්ට් The Ecologist නම් බි‍්‍රතාන්‍ය සඟරාවේ 1988 නොවැම්බර්-දෙසැම්බර් කලාපයේ මෙරට වෙරළ සංරක්‍ෂණ අභියෝග ගැන ලියූ ලිපියක ඇය මෙසේ කීවා: ‘‘ශ‍්‍රීලංකාවේ වෙරළ සුරකින්නට තැත් කරන විට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, වෙරළ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා අයගේ අවශ්‍යතා, ධීවරයන්ගේ අයිතීන් වැනි සාධක රැසක් තුලනය කර ගත යුතු වෙයි. එක් සාධකයක් හෝ දෙකක් ගැන පමණක් සළකා බැලූවහොත් සියල්ල අවුල් ජාලයක් විය හැකියි.’’

මෙරට සොබා සම්පත් සුරැකීමට රාජ්‍ය ආයතන තැත් කරන විට එයට ආධාර හා උපදෙස් දීමට ඉදිරිපත් වන ආයතන ගැන බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බව ඈ නිතර අවධාරණය කළා. එසේම විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම ආර්ථිකයට අවශ්‍ය වුවත් ඒ සඳහා යම් ප‍්‍රමිතීන්, සීමාවන් හා නිසි නියාමනයක් අවශ්‍ය බවත් ඇය ලිපිවලින් නිතර සිහිපත් කළා.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මානෙල්ගේ දැඩි විවේචනයට හසුවූ ආධාර ආයතන දෙකක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හරහා ලක් රජයට ආධාර කරන මේ ආයතන ගැන ඇය ප‍්‍රශ්න කළේ තොරතුරුවලින් සන්නද්ධව හා ආවේගශීලි නොවූ තුලනාත්මක ලෙසින්.

රුක් රැක ගන්නෝ සංවිධානයේ මුල් කාලීන හා උද්‍යෝගිමත් සාමාජිකාවක් වුවත් ගස් බදා ගැනීමේ සරල සංකල්පවලින් ඔබ්බට යන දැක්මක් මානෙල්ට තිබුණා. 1980 දශකය අගදී ආන්දෝලනයට ලක් වූ මෙරට වන සංරක්‍ෂණ මහා සැළසුම (Forestry Master Plan) ඇය විස්තරාත්මකව විවේචනය කළා.

වැඩි වන ජනගහනයට හා ඉහළ යන ජන අපේක්‍ෂාවලට අනුව අපේ දැව අවශ්‍යතා ද කෙමෙන් වැඩි වන බව ඇය පිළිගත්තා. හැම ගසක්ම කැපීමට එරෙහි වනවා වෙනුවට ජෛව විවිධත්වය අතින් වැදගත් ගස් හා වනාන්තර නිසි ලෙස රැක ගනිමින් අන් ප‍්‍රදේශවලින් දැව සම්පත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා.

Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992
Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992

1992 අපේ‍්‍රල් මාසයේ මානෙල් සහ මා බංග්ලාදේශයේ ඩාකා අගනුවර පැවති පාරිසරික මාධ්‍යවේදය ගැන දකුණු ආසියාතික වැඩමුළුවකට සහභාගී වුණා. ඒ වන විට ඇගේ වයස 65යි. ඇයට වඩා බෙහෙවින් ලාබාල වූ මට එහි සම්පත්දායකයකු ලෙස ඇරයුම් කර තිබීම ඇය කිසි විටෙක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඉතා උද්‍යෝගිමත්ව හා සුහදව ඇය සියළු දෙනා සමග තොරතුරු බෙදා ගත් සැටිත්, ක්‍ෂෙත‍්‍ර චාරිකාවක නිරත වූ සැටිත් මට මතකයි.

ඩාකා වැඩමුළුවට මානෙල් ඉදිරිපත් කළේ දකුණු පළාතේ කිරිඳිඔය වාරි යෝජනා ක‍්‍රමය පිළිබඳ විචාරයක්. තනිකර ඉංජිනේරුමය හා තාක්‍ෂණික පදනමක් මත පිහිටා, පළාතේ ජනතාවගේ හා ගොවීන්ගේ උවමනාකම් හරිහැටි හඳුනා නොගෙන කරන්නට තැත් කළ ඒ සංවර්ධන ව්‍යාපෘතියෙ අසාර්ථකත්වය ඇය පෙන්වා දුන්නා. (ඉංජිනේරු හා ලේඛක ඞී. එල්. ඕ. මෙන්ඩිස් තර්ක කරන්නේ 1987-89 දකුණේ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීමට එක් සාධකයක් වූයේ කිරිඳිඔය මුල් කර ගෙන දියත් කළ අසාර්ථක ලූණුගම්වෙහෙර ව්‍යාපෘතිය බවයි. එය වෙනම කථා කළ යුතු වැදගත් මාතෘකාවක්.)

මානෙල්ගේ ලේඛන හා ගවේෂණ කටයුතු සංවර්ධන ක‍්‍රමවේද විචාරයට ලක් කිරීමට පමණක් සීමා වූයේ නැහැ. ලේක්හවුස් ආයතනයේ සේවය හමාර කළ පසු ඇය නිදහස් ලේඛිකාවක් ලෙස විවිධ තේමා හා විෂයයන් ගැන පුවත්පත් හා සඟරා ලිපිත් වඩා පර්යේෂණාත්මක නිබන්ධනත් රචනා කළා.

ඇගේ එකම පොත රචනා වූයේත් මේ කාලයේදී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදිකර්තෘ සෙලස්තිනා ඩයස්ගේ චරිත කථාව හා දානපතිනියක ලෙස ඩයස් මැතිනියගේ භූමිකාව පිළිබඳ ඉතිහාසය 1977දී ඈ කෙටි පොතක් ලෙසට ගොනු කළා. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists Association, SSA) විසින් පළ කරනු ලැබූ මේ පොතෙහි නව මුද්‍රණයක් 2013දී නිකුත් වුණා.

මානෙල් තවත් ගවේෂණාත්මක පොතක් ලියමින් සිටි බව ඇගේ දරුවන් කියනවා. එය මෙරට පරිසර සංරක්‍ෂණයේ ඉතිහාස කථාවයි. ‘‘විවිධ ඓතිහාසික පොත්පත් හා වාර්තා රැසක් කියවමින් ඇය කරුණු රැුස් කළා. පැරණි රජ දවස සිට පෘතුගීසි යුගය දක්වා පොත ලියා තිබුණා’’ යයි ඇගේ පුත් කීත් ජයවික‍්‍රම (ඇමරිකාවේ පැළෑටි අභිජනන විද්‍යාඥයෙක්) කියනවා.

මානෙල්ගේ සැමියා මිය ගිය පසු හා ඇගේ දරුවන් විදේශ ගතවූ පසුවත් ඇය වයස 80 වන තුරුම මෙරට පදිංචිව සිටියා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන දියණිය ටාරා සමග සිටීමට ගියේ 2007දීයි. (ඇගේ අනෙක් දියණිය මොයිරා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වසනවා.)

2012 මැයි 26 වනදා මානෙල් තම්පෝ 85 හැවිරිදිව ටොරොන්ටෝහිදි මිය ගියා. ඇගේ අන්තිම කැමැත්තට අනුව දඹුල්ලේ පිහිටි පොපම් ශාකාගාරය (Popham’s Aboretum) නඩත්තු කිරිමට රුක් රැකගන්නෝ සංවිධානයට පරිත්‍යාගයක් ද කර ඇති බව දිගු කාලීන මිතුරියක් වූ ජෛවවිද්‍යාඥ කාමිනී විතාරණ කියනවා.

මානෙල්ට මවුබිමට ආදරයක් හා තමන්ගේ ම දැක්මක් හාතිබුණා. එහෙත් බොහෝ හරිතවේදීන් මෙන් ආවේගශීලිව කුමන්ත‍්‍රණවාදී කථා හේතුවේ නැහැ. ඒ වෙනුවට ඇය ඉවසීමෙන් හා සන්සුන්ව කරුණු ගවේෂණය කළා. ක්‍ෂෙත‍්‍රයට නිතර ගියා. වයස හා ජ්‍යෙෂඨත්වය නොතකා බුද්ධි ගවේෂණයේ යෙදුණා. සාමාන්‍ය ජනයාට කියවා තේරුම් ගත හැකි සරල බසින් සන්නිවේදනය කළා.

හරිතවාදය අන්තවාදයක් වීමේ අවදානමක් ඇති අද කාලයේ අප ආදර්ශයට ගත යුත්තේ මානෙල් තම්පෝ වැනි චරිතයි.

Manel Tampoe with grand-niece Amaya in Toronto,  circa 2010
Manel Tampoe with grand-niece Amaya in Toronto, circa 2010

 

Amazing Science in Colombo: Long Shadow of Pulp Science Fiction

Amazing Science

AMAZING SCIENCE comes to Colombo, Sri Lanka, on 4 July 2014 as part of the French Spring Festival organised by Alliance Française de Kotte in COLOMBO and its partners.

Here’s the day’s program, to be held at Sri Lanka Foundation Institute, Independence Avenue, Colombo. I’ll be speaking on “Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination” at 11 AM, and repeating it again at 1 PM.

Amazing Science in Colombo - Programme for 4 July 2014
Amazing Science in Colombo – Programme for 4 July 2014

Amazing Science is a travelling exhibit put together by French scientific institutes inspired by American ‘pulp’ science fiction magazines during the first half of the 20th century.

As the creators say, it “takes you on an exploratory journey into uncharted territory, on the frontiers of pulp culture, science fiction and scientific research”.

The exhibition revives the old “pulp” look through a blend of scientific research, creative writing and popular culture. From the infinitely small to the infinitely large, the most advanced areas of science are now the realm of unexpected encounters with the real and the imaginary worlds. Each of the exhibition panels features scientific visuals based on a specific research area.

spring2014-7-1038x576

Here’s the Abstract of our own talk:

Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination

by Nalaka Gunawardene, science writer
and S M Banduseela, science fiction translator

‘Pulp magazines’ is a generic term for inexpensive magazines published in the United States from 1896 to the 1950s. They provided popular entertainment, especially before broadcast television became well established, and carried illustrated short stories and serialized stories in categories like adventure, travel, detective and science fiction.

This illustrated presentation will look at the role pulp magazines played in promoting science fiction writing and reading as part of 20th century popular culture. Many who later became mainstream writers, such as Robert A Heinlein, Arthur C Clarke, Isaac Asimov and Ray Bradbury first established themselves by writing to such publications.

In this talk, we look at how pulp science fiction inspired scientific discovery and innovation in areas as diverse as space exploration, computer science, robotics, evolution and materials science.

Amazing Science in Colombo - 4 July 2014
Amazing Science in Colombo – 4 July 2014

සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large