සිවුමංසල කොලූගැටයා #177: වැඩවසම් ජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය අභියෝගය

In this week’s Ravaya column (in Sinhala), I revisit the on-going debate on social media and social accountability, this time from the perspective of freedom of expression.

Unless a user takes consistent precautions, everything published online is ultimately traceable to the point of origin. However, for most practical purposes, options of anonymity and pseudonymity are still available on the web – and widely used by users, for a variety of reasons. Contrary to what some misinformed people say, there is nothing legally or morally wrong with this practice.

Of course, the facilities can be misused, most notably in spreading hate speech and deliberate falsehoods. But this reality, by itself, is not a sufficient argument against online anonymity or pseudonymity. Indeed, as I argue in this column, being able to conceal one’s real identity is a safe way for social activists and public intellectuals to express their views living in countries with repressive regimes and/or intolerant societies.

While I myself have always expressed my views online under my own name — and sometimes received vitriol and threats as a result — I defend the right for anyone to remain anonymous or use pseudonyms.

Social Media: Handle with care and caution!
Social Media: Handle with care and caution!

සමාජ මාධ්‍ය හා පොදුවේ වෙබ්ගත සන්නිවේදනවලට නැගෙන එක් බරපතල චෝදනාවක් නම් නිර්නාමිකව හෝ ආරූඨ නම්වලට මුවා වී හෝ යම් අය ඒ හරහා අසත්‍යයන් පතුරුවන බවත්, අපහාසාත්මක ප‍්‍රචාර කරන බවත්.

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක් අනිසි ලෙස යොදා ගත හැකියි. නිර්නාමික කැලෑ පත්තර, තර්ජනාත්මක ලියුම් හා දුරකථන ඇමතුම් ආදිය දශක ගණනක් තිස්සේ සිදු වන දේවල්. විවෘතව හා සංවරව සංවාදයක්ට එළඹීමේ පෞරුෂය නැති සුළුතරයක් මෙබඳු අකටයුතුකම් කළ පමණින් ලිවීමේ කලාව, තැපෑල හෝ දුරකථන සේවා සමස්තයක් ලෙස අපවාදයට ලක් වූයේ නැහැ.

එසේ නම් ටික දෙනෙකු වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා එබඳුම නොමනා හැසිරීමක යෙදෙන විට සමස්ත මාධ්‍යයටම හා වේදිකාවටම දොස් ක’ම තර්කානුකූල හෝ සාධාරණ නැහැ.

මෙතැනදී මතු වන්නේ අළුත් තාක්‍ෂණයක් ගැන නොදන්නාකම නිසා හට ගන්නා සැකය හා භීතියයි. නැතහොත් අළුත් ර්‍ණබිල්ලන්” තනා ගැනීමට අපේ සමාජයට ඇති නොතිත් ආසාව ඉස්මතු වීමයි.

දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව කියන්නේ සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවා ගත් අනන්‍යතා (pseudonymity) හෝ හරහා ද්වේශසහගත ලෙස තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවයි. සංජන කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.

නිර්නාමිකව හෝ ආරූඨනාමිකව සන්නිවේදනය කිරීම වරදක් ලෙස පෙනුනත් එහි සමාජයීය වාසි ද තිබෙනවා.

කියන දෙයට වඩා කියන්නා කෙරෙහි අවධානය යොමු කිරීමත්, තර්කයට ප‍්‍රතිතර්ක ඉදිරිපත් කරනු වෙනුවට තර්ජන හෝ මැර ප‍්‍රහාර එල්ල කිරීමත් අද අපේ සමාජයේ සුලබ ප‍්‍රවණතාවක්.

රජය පමණක් නොව අන්තවාදී වෙනත් කණ්ඩායම් ගණනාවක් ද විකල්ප මත ඉවසීමට නොහැකිව හා විවේචන දරා ගත නොහැකිව විරුද්ධ මතධාරීන්ට හිරිහැර කරන අපේ රටේ වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන විට සමහරුන් වෙනත් නමකින් පෙනී සිටීමට සාධාරණ හේතු තිබෙනවා.

මේ පසුබිම තුළ බොහෝ වියතුන් හා වෘත්තිකයන් මුළුමනින් නිහඬ වෙද්දී ටික දෙනෙකු අවදානමට මුහුණ දෙමින් සිය නමින්ම පොදු අවකාශයේ සන්නිවේදනය කරනවා. එසේ කිරීමට නොහැකි එහෙත් පොදු උන්නතිය අරභයා පෙනී සිටීමට රිසි අන් අයට ඇති එක් ප‍්‍රවේශයක් නම් නිර්නාමිකව හෝ ආරූඨනාමිකව බ්ලොග් අඩවියකින්, නැතහොත් සමාජ මාධ්‍ය වේදිකාවකින් කාලීන මත දැක්වීමයි. මෙය ඔවුන්ට ඇති අයිතියක්. මා දන්නා බහුතරයක් එබඳු අය සංවේදීව, සංවරව හා තුලනාත්මකව සන්නිවේදනය කරනවා.

typewriter

විකල්ප මත ඉවසීමේ හා ඒවාට මතවාදීවම පිළිතුරු දීමේ කුසලතාවය නැති බොහෝ පාලකයන් තැත් කරන්නේ විකල්ප මතධාරීන් හොඳින් නැත්නම් නරකින් නිහඬ කිරීමටයි. එහිදී ඔවුන් කවුදැයි හඳුනා ගැනීම අවශ්‍ය වනවා. නිර්නාමික වූ විට එය සොයා ගැනීම වඩා අසීරුයි.

1965-1989 කාලය තුළ කොමියුනිස්ට් රුමේනියාවේ ඒකාධිපති පාලකයාව සිටියේ නිකොලොයි චෞචෙස්කු (Nicolae Ceaușescu). නැගෙනහිර යුරෝපීය රාජ්‍ය අතරින් අතිශයින්ම දරුණු හා මර්දනකාරි පිළිවෙත් අනුගමනය කළේ ඔහුගේ පාලනය බව පිළි ගැනෙනවා. වසර 25ක් පමණ සමස්ත රුමේනියාවම ඔහුගේ රහස් පොලිසියේ ඔත්තු බැලීමට හා හිංසනයට නතුව තිබුණා.

මේ මර්දනයේ එක් පැතිකඩක් වූයේ පාලකයා හා ඔහුගේ පවුලේ උදවිය ගැන කිසිදු විවේචනයක්, ප‍්‍රශ්න කිරීමක් කළොත් එය රාජ්‍ය විරෝධී යයි සළකා දැඩි දඬුවම් කිරීමයි. බහුතරයක් අහිංසක ජනයා මේ යකඩ සපත්තුවට පෑගී මිරිකී සිටි අතර නිර්භීත කලාකරුවන් හා උගතුන් අතලොස්සක් යටිබිම්ගත දේශපාලනයක් හරහා විකල්ප අදහස් රහසේ සංසරණය කළා.

එවකට රුමේනියාවේ තුවක්කුවක් හිමි කර ගන්නවාට වඩා යතුරු ලියනයක් ලබා ගැනීම අමාරු වුණා. චෞචෙස්කුගේ එක් අවනීතියක් වූයේ රටේ සියළුම යතුරු ලියන (ටයිප්රයිටර්) ලියාපදිංචි කළ යුතු බවයි. අත්අකුරින් ලියූ ලේඛනවල රචකයා සොයා ගැනීම වඩා පහසු නිසා යතුරු ලියනවලට අවසර දුන්නේ ඉතා සීමිතවයි. අවසරලත් හැම යතුරු ලියනයක්ම පොලිසියට ගෙන ගොස්, එහි අකුරු රටාව ලේඛනගත කරනවා. ඇඟිලි සළකුණු සටහන් කරනවාට සමාන අයුරකින්.

Buring the Typewriter by Carmen Buganකාමන් බියුගන් Carmen Bugan ලේඛිකාව 2011දී ලියූ Burying the Typewriter: Childhood Under the Eye of the Secret Police නම් මතක පොතෙහි රුමේනියාවේ ප‍්‍රාදේශීය විරුද්ධ මතධාරියකු වූ තම පියා රහසිගතව යතුරු ලියනයක් සඟවා ගෙන සිටි අන්දම විස්තර කරනවා.

භාවිත කිරීමෙන් පසු පොළව යට වළලන තරම් ‘භයානක’ මෙවලමක් බවට අහිංසක යතුරු ලියනය පත් වූ සැටි ඇය කියනවා. රටේ ජනතාවගෙන් හැම තිදෙනෙකුගෙන් එක් අයකුම රහස් පොලිසියට තොරතුරු සපයමින් මිතුරන්, අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් වුව ද පාවා දුන් අන්දම කියවන විට මර්දනයේ තරම අපට පෙනී යනවා.

යතුරු ලියනයකට වඩා පරිගණකයක අනන්‍යතාවය තහවුරු කළ හැකි හා අක්මුල් සොයා යා හැකි තාක්‍ෂණික ක‍්‍රම තිබෙනවා. මේ නිසා ඉන්ටර්නෙට් ඇතුළු ඩිජිටල් මාධ්‍යවල නිර්නාමික වීම සාපේක්‍ෂයි.

ලක් සමාජය සමාජ මාධ්‍ය තවමත් හරිහැටි යොදා නොගන්නේ තාක්‍ෂණික සීමාවන්ට වඩා ආකල්පමය සීමාවන් නිසා බව මගේ අදහසයි. අපට ඓතිහාසිකව හා සාංස්කෘතිකව උරුම වී ඇත්තේ වැඩවසම් රටාවේ ජන සන්නිවේදනයක්.

රජු හා යතිවරුන් කේන්‍ද්‍ර කර ගත් මේ සන්නිවේදනයේදී සෙසු ජනයා කළේ වැඳ ගෙන ‘‘එහෙයි ස්වාමීනි’’ කියමින් අසා සිටීම පමණයි. ප‍්‍රභූන්ට හා උගතුන්ට පවා විවෘතව මත දැක්වීමට හා රාජ/යති මතවලට එකඟ නොවීමට ඉඩක් තිබුණේ නැති තරම්.

Carmen Bugan reading the files made about her family's life
Carmen Bugan reading the files made about her family’s life

1931 සර්ව ජන ඡුන්ද බලය හා 1948 දේශපාලන නිදහස ලැබී දශක ගණනක් ගෙවී ඇතත් අප මානසිකව තවමත් ඉන්නේ වැඳ ගෙන කියන දෙයක් අසා සිටීමේ නැඹුරුවකයි.

අඩු වැඩි වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ ජනමාධ්‍ය කරන්නේ ද මේ වැඩවසම් සන්නිවේදනයට ලූණු ඇඹුල් ටිකක් දමා, තෙම්පරාදුකර පවත්වා ගෙන යාමයි. විසංවාදයට හා ගවේෂණාත්මක මාධ්‍යකරණයට ඉඩ සීමා වී ඇත්තේ එනිසායි. රජු හා යති මට්ටමට අමතරව මාධ්‍ය දොරටු පාලකයන් (හිමිකරුවන් හා කතුවරුන්) පිරිසක් ද දැන් බිහිව සිටිනවා. මේ හැමගෙන් මතුව එන්නේ අධිපතිවාදයයි.

අධිපතිවාදයක් නැති සමාජ මාධ්‍යවලට මේ අධිපතිවාදීන් හැම දෙනකුම එරෙහි වීම හා චෝදනා නැගීම අපට තේරුම් ගත හැකියි. කණගාටුවට කරුණ නම් පර්යේෂණාත්මකව හා විචාරාශීලීව සමාජ ප‍්‍රශ්න විග‍්‍රහ කරනු ඇතැයි අප අපේක්‍ෂා කරන සරසවි ඇදුරන් හා සෙසු උගතුන් බහුතරයක් ද මේ කුමන්ත‍්‍රණවාදයන් ම ප‍්‍රතිරාවය කිරීමයි.

සමාජ මාධ්‍ය හරහා කැරෙන සන්නිවේදන අතිශයින් විවිධාකාර නිසා ඒවායේ ගති සොබාවන් පොදු ගුණාකාර කිහිපයකට ලඝු කිරිම සුදුසු නැහැ. මානව සමාජයේ මතවාදී, භාෂාමය හා වෙනත් විවිධත්වයන් එහි පිළිබිඹු වනවා.

එහෙත් පොදුවේ ගත් විට සමාජ මාධ්‍යවලට ආවේණික යම් ගතිගුණ ද තිබෙනවා. එකක් නම් සරල හා සැහැල්ලූ ලෙසින් ගැඹුරු කරුණු පවා සංවාදයට ලක්වීම. මවා ගත් බොරු ගාම්භීරකම්වලට උද්දච්චගතිවලට එහි තැනක් නැහැ. එසේම සංශයවාදය, හාස්‍යජනක බව හා කියන්නට ඇතිදේ කෙලින්ම කීම එහි තවත් ගුණයක්.

සමාජයීය, ආර්ථික, දේශපාලනමය හා වෙනත් කාලීන ප‍්‍රශ්න ගැන සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි බසින් මෙන්ම මිශ‍්‍රිත භාෂා හරහා ද සමාජ මාධ්‍ය තුළ කථා කැරෙනවා. මේවා නොදත් හෝ නොදුටුවා සේ සිටින අය කියන්නේ සමාජ මාධ්‍ය ඕපාදුප තෝතැන්නක් කියායි.

සමාජ මාධ්‍ය අඳබාලයන්ගේ සාමීචි කථා ලෙස හෙළා දැකීම ස්වයංමුලාවක්. අද අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල තව දුරටත් ලෙහෙසියෙන් හමු නොවන ආකාරයේ ගවේෂණාත්මක, ස්වාධීන හා අදීන සංවාද සමාජමාධ්‍ය වේදිකා මත නිතර සිදු වනවා.

අපේ අධිපති මාධ්‍ය ව්‍යංගයෙන්, බයෙන් බයෙන් මෙන් කථා කරන ආගම්වාදය, අධික හමුදාකරණය වැනි මාතෘකා ගැන සමාජ මාධ්‍යවල විවෘතව සංවාද ඇති වනවා.

රටේ ආර්ථික වර්ධනය හා අධිවේගී සංවර්ධන ක‍්‍රියාදාමය උදාහරණයකට ගනිමු. ආර්ථික විද්‍යාත්මක දත්ත හා විග‍්‍රහයන් සඳහා මේ රටේ නිල මුලාශ‍්‍ර මහ බැංකුව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. ඒවායෙන් නිකුත් කැරෙන සමහර දත්ත හා විශ්ලේෂන පිළිබඳ විචාරශීලී ප‍්‍රශ්න කිරීම් මෑතදී මුලින්ම මතුව ආයේ බ්ලොග් ලියන හෝ ට්විටර් හරහා පොදු උන්නතිය ගැන කථා කරන ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් වෙතින්. සරසවි ඇදුරන්ට වඩා පෞද්ගලික මට්ටමේ ආර්ථික දත්ත විශ්ලේෂණ සමාගම් අද සමාජ මාධ්‍ය හරහා නිල සංඛ්‍යාලේඛන හා විග‍්‍රහයන් සියුම් ලෙස පරීක්‍ෂාවට ලක් කරනවා.

ට්විටර් හා බ්ලොග් හරහා මා නෙත් යොමා සිටින ලක් විද්වතුන් කිහිප දෙනකු සිටිනවා. ටෙලිකොම් හා තොරතුරු තාක්‍ෂණ විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව (@samarajiva), මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලියු. ඒ. විජේවර්ධන (@waw1949), මොරටුව සරසවියේ මහාචාර්ය අජිත් ද අල්විස් (@ajith_de_alwis) හා ස්වාධීන හා ආර්ථික විශ්ලේෂක දේශාල් ද මෙල් (@deshald) ඒ අතර වනවා.

මෙරට ආර්ථිකය රජය කියන තරම් වේගයෙන් වර්ධනය වන අතරම ඇති නැති පරතරය ද වඩාත් තීව‍්‍ර වී ඇති බව සංඛ්‍යාත්මක සාක්‍ෂි සහිතව මුලින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය සංවාදවලයි. එසේම ආර්ථික වර්ධන වේගය ගැන රජයේ නිල ප‍්‍රතිශතයන් තතු දත් විද්වතුන් මුලින්ම සැකයට පාත‍්‍ර කළේත් සමාජ මාධ්‍ය හරහායි.

එය ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් වූයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයකු 2013 දෙසැම්බර් සංඛ්‍යාලේඛන පිම්බීම පිළිබඳව සිය දෙපාර්තමේන්තුවට ප‍්‍රසිද්ධියේ චෝදනා කළ පසුවයි.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට එය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය ‘බැලූම්ගලක්’ සේ ප‍්‍රයෝජනවත් විය හැකියි. සමාජයේ අළුතෙන් මතුව එන ප‍්‍රශ්න, රුචි අරුචිකම්, ප‍්‍රවණතා ආදිය කල් තබා දැන හඳුනා ගන්නට සමාජ මාධ්‍ය සංවාදවලට ඇස් කන් යොමා සිටීම වැදගත්.

 

සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

My latest book is dedicated to Asanga Abeysundara who was my zoology teacher 30 years ago, as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, evolved into a printed magazine in 1984  with a small circulation and loyal readership.

Maanawa Sinhala science magazine first print issue, Aug 1984
Maanawa Sinhala science magazine first print issue, Aug 1984

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

I have written this week’s Ravaya column (in Sinhala) about Maanawa.

2012-13 වකවානුවේ රාවයේ පළ වූ සිවුමංසල කොලූගැටයා කොලම් 54ක් එක් තැන් කරන දෙවැනි ග‍්‍රන්ථය මේ සතියේ එළි දකිනවා. මා එය පිළිගන්වා ඇත්තේ මගේ විද්‍යා ගුරුවරයකු හා හිටපු කර්තෘවරයකුට.

“විද්‍යාත්මක චින්තනය හා විචාරශීලී දැනුම මෙරට ප‍්‍රචලිත කරන්නට මුද්‍රිත හා වෙබ් මාධ්‍ය හරහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ සඳහා තම කාලය, හැකියාවන් හා මුදල් නොමසුරුව වැය කරමින් දශක තුනකට වැඩි කාලයක් නිහඩ දායකත්වයක් සපයන ‘මානව’ විද්‍යා සඟරාවේ ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රකාශක අසංග අබේසුන්දර මහතාට.”

කවුද මේ අසංග අබේසුන්දර?

Asanga Abeysundara, Maanawa Editor & Publisher
Asanga Abeysundara, Maanawa Editor & Publisher

කොළඹ සරසවියෙන් සත්ත්ව විද්‍යා උපාධියක් ලද ඔහු විද්‍යාව හා කලාව දෙකට ම ලැදි අපූරු චරිතයක්. උපාධියෙන් පසු ඔහු වෘත්තිමය වශයෙන් යොමු වුණේ උසස් පෙළ සත්ත්‍ව විද්‍යාව උගන්වන්න. මේ සඳහා තමන්ට ම ආවේණික චිත්තාකර්ෂනීය ක‍්‍රමවේදයක් හරහා උපකාරක පන්ති (ටියුෂන්) පැවැත්වීම ඇරැඹුවා. එදා මෙදා තුර ඔහුගේ ප‍්‍රධාන කාරිය හා ජිවිකාව එයයි.

මා මිත‍්‍ර චානුක වත්තේගම වරක් ලියූ පරිදි ‘‘සඟරා සංස්කාරකයකු වෙතත් අසංග අබේසුන්දර වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් නොවේ. එහෙත් ඔහු මේ රටේ මෑත යුගයේ ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අති විශාල ශිෂ්‍ය පිරිසට නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවන්නේ ය. විශාල පිරිසක් වෛද්‍ය, දන්ත විද්‍යා, කෘෂිකර්ම, ජීව විද්‍යා පීඨවලට පමණක් නොව ඇතැම් අවස්ථාවල නීති පීඨයට පවා පිවිසීමට වරම් ලබා ගත්තේ අසංග සර්ට පින් සිදු වන්නට ය.’’ (ලක්බිම, 1997 අපේ‍්‍රල් 6)

1978 – 2001 වකවානුව තුළ පැහැදිලි අදියර හතරකින් යුක්තව එයට ම ආවේණික ආකාරයකින් පරිනාමය වූ අසාමාන්‍ය ගණයේ සිංහල ප‍්‍රකාශනයක් හැටියට ‘මානව’ හඳුන්වා දිය හැකියි.

මානව ප‍්‍රකාශනයේ මුල් අදියර හැර අන් සියඵ අදියරවලට සකි‍්‍රය දායකත්වයක් සැපයූ කෙනකු ලෙස මට ඒ ගැන මිහිරි මතකයන් රැසක් තිබෙනවා. බිත්ති පුවත්පතක සිට ලෙටර්ප්‍රෙස් හා  ඕෆ්සෙට් මුද්‍රණ හරහා වෙබ් ප‍්‍රකාශනයක් දක්වා ගිය වසර 25කට වැඩි ගමනේදී මානව කවදත් නව කඩඉම් සොයා යන, පුරෝගාමී උත්සාහයක් වූවා. විද්‍යා සන්නිවේදනය කෙසේ ජන සමාජයට අදාල විය යුතු ද හරවත් කළ හැකි ද යන්න ගැන පුංචි වුවත් මානව ලොකු ආදර්ශයක් සැපයුවා.

අබේසුන්දරයන් ‘මානව’ නමින් බිත්ති පුවත්පතක් ඇරැඹුවේ 1978දී කොළඹ සරසවියේ සිසුවකුව සිටියදී පොදු ශිෂ්‍ය කාමරයේ බිත්තියක. එය තනිකර විද්‍යා ප‍්‍රකාශනයක් වූයේ නැහැ. විද්‍යා-කලා-සමාජ විමර්ශන හා කාලීන ගවේෂණ ආදී සැම දෙයක් ම ඔහු ලිහිල් බසින් ආවරණය කළා.

මේ නව ආකාරයේ බිත්ති පුවත්පතට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නන්දා මාලිනී සහ ලේඛක ඞීමන් ආනන්ද වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වුණා. මානව ප‍්‍රකාශනයේ අරමුණ වූයේ සංවාදශීලී අදහස් හුවමාරුවකට විවෘත වේදිකාවක් සැපයීම.

‘මානව’ ප‍්‍රකාශනය කුඩා මුද්‍රිත පුවත්පතක් බවට පත්වීම එහි දෙවැනි අදියරයි. 1984 අගෝස්තු මාසයේ මුල් වරට ලෙටර්ප්‍රෙස් ආකාරයට මුද්‍රණය කොට ‘මානව’ එළි දැක්වූවා. විභාග හෝ විෂය නිර්දේශවලට සීමා නොවී විද්‍යාව ජන ජීවිතයට අදාල වන පරිද්දෙන් ලියැවුණු ලිපි හා නිර්මාණ එහි ඇතුළත් වුණා.

කාලෝ ෆොන්සේකා හා ආචාර්ය සරත් කොටගම වැනි වියතුන්ගේ දායකත්වයට අමතරව අබේසුන්දරයන්ගේ පන්තිවලට සහභාගි වන ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ද නිර්මාණවලින් දායක වුණා. කොළඹ හා අවට ප‍්‍රදේශවල අලෙවි කරන ලද මානව මිල කර තිබුණේ රුපියල් හතරකට.

කොහෙන් හෝ ඉංගී‍්‍රසි මූලාශ‍්‍රයකින් විද්‍යා තොරතුරු ටිකක් සොයා ගෙන එය ගෙඩි පිටින් සිංහලට පෙරළා පළ කිරීම ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයක් නොවෙයි. පාසල් පෙළපොත්වල විද්‍යා පාඩම් වඩාත් සිත් ගන්නා සුඵ සරල සුගම බසකින් ප‍්‍රතිනිර්මාණය කිරීමේ යම් අධ්‍යාපනික වටිනාකමක් ඇතත් එය ද විද්‍යා සන්නිවේදනයේ සරල ආරම්භයක් පමණයි.

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

මගේ වැටහීමට අනුව විද්‍යා සන්නිවේදනයේ මූලික අරමුණ හා අභියෝගය වන්නේ විචාරශීලිවත්, තර්කානුකූලවත් සිතීමට පාඨකයන් දිරිමත් කිරීමයි. කිසිදු මතවාදයකට, උගත් අධිපතිවාදයකට නතු නොවී කරුණු ගවේෂණය හා සංවාදය හරහා යම් අවබෝධයන් ලබා ගන්නටත්, විවෘත මනසකින් හැම දෙයක්ම නිරතුරු ප‍්‍රශ්න කරන්නටත් පාඨකයන් කුල්මත් කිරීමයි. මානව ආරම්භයේ සිට මෙය මැනවින් සිදු කළා.

1984 අගෝස්තුවේ මුල් ම මුද්‍රිත කලාපයේ ම එයට සාක්‍ෂි එමට හමු වනවා. කාලෝ ෆොන්සේකා සමඟ සාකච්ඡාවකින් සැකසුණු ‘මානව දේහය පිළිබඳ මිථ්‍යා මත’ නම් ලිපිය කදිම උදාහරණයක්. එහි එක් තැනෙක මිනිස් රුධිරය ගැන කථා කරමින් ‘‘රාජ රුධිරයක් නැත. වසල රුධිරයක් ද නැත. පෙළපත් අනුව හොඳ නරක රුධිරයක් ද නැත’’ යයි පැහැදිලිව කියනවා.

වෛද්‍ය විද්‍යාත්මකව නම් සැළකිය යුත්තේ රුධිරයේ ගණ හා Rh සාධකය පමණක් බව ඔහුගේ විද්වත් මතයයි. ‘‘සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර රුධිරයේ කිසිදු වෙනසක් නැති බව මේ සමයේ අවධාරණය කළ යුතු ය. සිංහල හා ද්‍රවිඩ රුධිරය මිශ‍්‍ර වීමෙන් මානව සංහතියට යහපතක් ම මිස කිසිදු හානියක් නොවන බව නිගමනය කිරීමට විද්‍යාව අනුබල දෙයි.’’

එම කලාපයේම තවත් තැනෙක පාසල් සිසු සිසුවියන් මතු කළ ප‍්‍රශ්න ගණනාවකට කාලෝ පිළිතුරු දෙනවා. ඒ ප‍්‍රශ්න අතර: පුනරුප්පත්තිය නම් සංසිද්ධියක් විශ්වයේ තිබේද? භූතාත්ම ලෙස හඳුන්වන අද්භූත බලවේග ඇත්ද? දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන තැන්වලදී ආරූඪ වන තැනැත්තාට සිදුවන්නේ කෙබඳු දෙයක්ද? මිනිස් හස්ත රේඛා ඇති වන්නේ කෙසේද? ඒ මගින් කෙනකුගේ ජීවිතයේ අනාගතය ගැන කියැවේද?

මෙවැනි ප‍්‍රශ්නවලට වෛද්‍යවරයකු, දාර්ශනිකයකු හා හේතුවාදියකු ලෙස කාලෝ දෙන පිළිතුරු අතිශයින් ප‍්‍රබලයි. දශක තුනක් ගත වීත් මෙබඳු විවෘත විග‍්‍රහයකට අද වෛවර්ණයෙන් පළ කැරෙන කිසිදු (විද්‍යා හෝ අන්) ප‍්‍රකාශනයක් ඉදිරිපත් වේදැයි සිතා ගන්නත් අමාරුයි!

මුල් කලාපය තවත් හපන්කමක් කළා. AIDS ගැන සොයා ගෙන වසර දෙක තුනක් ගත වී තිබූ එවකට (1984) එම මාතෘකාව ගැන මුල්වරට සිංහල වාරික ප‍්‍රකාශනයක සරල බසින් වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් පළ කළා. එහිදී එයට සිංහල නමක් ද මානව යෝජනා කළා: පරිචීන ප‍්‍රතිශක්ති ඌණතා සහසාධකය. (මේ වන විට එහි අවසන් වචනය සහලක්‍ෂණය ලෙස වෙනස් වී තිබෙනවා.)

‘මානව’ ප‍්‍රකාශනයේ ස්වර්ණමය යුගය හැටියට මා දකින්නේ 1987 ජනවාරියේ එය ඕප්සෙට් වර්ණ සඟරාවක් බවට පත්වීමේ තෙවන අදියරයි. ශී‍්‍ර ලංකාව පුරා බෙදා හැරෙන ජාතික මට්ටමේ විද්‍යා මාසිකයක් හැටියට ‘මානව’ සඟරාවේ අලෙවියත්, ජනපි‍්‍රයත්වයත් ඉක්මනින් ඉහළ ගියා.

මේ යුගය වන විට යොවුන් වියේ පසු වූ ලේඛක පිරිසක් මානව වටා රොක් වී සිටියා. පසු කලෙක විද්‍යා ලේඛකයන් ලෙස ප‍්‍රකට වූ චතුර රත්නායක, නලින් කිතුල්වත්ත වැනි අයත්, කාටූන් චිත‍්‍ර ශිල්පියකු (හා නීතිඥයකු) බවට පත් වූ දැන් රාවය ප‍්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජනත් මාධ්‍ය ලෝකයට පිවිසියේ ‘මානව’ තුළින්.

Maanawa first colour magazine issue - Jan 1987
Maanawa first colour magazine issue – Jan 1987

1987 ජනවාරි කලාපය සඳහා ‘ජීවයේ උපත – මත ගැටුම’ නමින් පිටු 15ක කවරයේ කථාව මා ලියූ සැටිත්, පිටු සකසන්නට වෙහෙසුණු සැටිත් හොඳ හැටි මතකයි. ඉන් පසුව පළ වූ මානව කලාප, න්‍යෂ්ටික තාක්‍ෂණය ගැනත් අභ්‍යවකාශ ගවේෂණය ගැනත් සවිස්තරාත්මක කවරයේ කථා ගෙන ආවා. ජීව විද්‍යා ශිෂ්‍යයකු නොවූ චානුක වත්තේගම ද මේ වැඩට සමීපව සම්බන්ධ වුණා.

එහෙත් මේ ජාතික මට්ටමේ විද්‍යා සඟරාව වැඩි කලක් කර ගෙන යාමට තනි පුද්ගලයකු හැටියට අබේසුන්දරයන්ට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. කිසිදු ලාබයක් නොපතා මහජන සේවයක් හැටියට සඟරාව පළ කළත්, එයට දායක වූ විද්වතුන් හා තරුණ ලේඛකයන් ස්වේච්ජාවෙන් වැඩ කළත් සඟරාව බෙදා හැරීමේදී දුෂ්කරතා මතු වුණා. වාණිජ පදනමින් සඟරා බෙදා හරින සමාගම් ඒ සඳහා නොවටිනා කොමිස් ඉල්ලා සිටියා.

මුදලාලිලාට කප්පම් ගෙවනවා වෙනුවට ප‍්‍රකාශනය නතර කර දමන්නට කණගාටුවෙන් නමුත් අබේසුන්දර තීරණය කළා. මෙරට කෙතරම් දැනුම් පිපාසයක් තිබුණත්, කෙතරම් ලේඛකයන් සිටියත් ඒ දෙක යා කරන ‘පාලම්’ හිඟවීම එදත් අදත් විසදා නොගත් ලොකු අභියෝගයක්.

අබේසුන්දරයන් එය යම් දුරකට ජය ගත්තේ 1995 අප‍්‍රල් මස මෙරටට ඉන්ටර්නෙට් පිවිසීමත් පසුයි. සාපේක්ෂව අඩු වියදමකින් වෙබ් අඩවියක් හරහා අන්තර්ගතය ඉදිරිපත් කළ හැකි බව අබේසුන්දර තේරුම් ගත්තා.

ශී‍්‍ර ලාංකික පුවත්පතක් මුල් වතාවට වෙබ් සංස්කරණයක් නිකුත් කළේ 1995 සැප්තැම්බර් 4 වනදා. ඒ ලේක්හවුස් ආයතනයෙ Daily News වෙබ් සංස්කරණය. ඒ ආයතනයේ ම Sunday Observer පුවත්පත 1995 සැප්තැම්බර් 10 ඉරිදා ඉන්ටර්නෙට් ගත වූ අතර, විජය පුවත්පත් සමාගම් The Sunday Times පුවත්පත වෙබ් සංස්කරණ ආරම්භ කළේ 1996 මාර්තුවේදී.

වානිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් පහසුකම් ඇරඹී වසර එක හමාරක් ගත වන විට, ජාතික ඉංගී‍්‍රසි පුවත්පත් හතරකුත්, ඉංගී‍්‍රසි මාසික සඟරා දෙකකුත් ඉන්ටර්නෙට් ගත වී තිබුණා. එහෙත් සිංහල ප‍්‍රකාශනයක් ඉන්ටර්නෙට් ගත වීම දිනෙන් දින කල් ගියා. සිංහල අකුරු ඉන්ටර්නෙට්වලට හඳුන්වා දීමේ තාක්‍ෂණික අභියෝග ජය ගත යුතු වීම එයට එක් හේතුවක්. මෙරට බොහෝ මාධ්‍ය ආයතනවල ඉංගී‍්‍රසි ප‍්‍රකාශනවලට ලැබෙන සැළකිල්ල එහි ම සිංහල ප‍්‍රකාශනවලට නොලැබීමත් ප‍්‍රමාදයට හේතු වන්නට ඇති.

අන්තිමේදී ඉන්ටර්නෙට් ගත වූ මුල් ම සිංහල වාරික ප‍්‍රකාශනය වීමේ ගෞරවය හිමි කර ගත්තේ ජාතික පුවත්පතක් නොව තනි පුද්ගලයකු පවත්වා ගෙන ගිය ‘මානව’ සඟරාවයි. ඒ 1996 දෙසැම්බරයේ දී. ඒ සඳහා ලංකා ඉන්ටර්නෙට් සමාගමත්, ‘තිබස්’ මෘදුකාංග නිෂ්පාදකයන් වන සයන්ස් ලෑන්ඞ් කෝර්පරේෂන් සමාගමත් අනුග‍්‍රහය හා තාක්‍ෂණික උපකාර ලබා දුන්නා.

පරිසරය, අභ්‍යවකාශය, පරිගණක, සෞඛ්‍යය හා සමාජ විද්‍යාත්මක තේමාවන් යටතේ ලියැවුණු කාලීන ලිපි, විග‍්‍රහයන් හා විශෙෂාංග මානව වෙබ් අඩවිය තුළින් ඉදිරිපත් කළා. මානව මුද්‍රිත යුගයේ ලිපි ලියූ ලේඛක ලේඛිකාවෝ සමහරුන්ද වෙබ් සංස්කරණයට දායක වුණා. එයින් ඇතැම් දෙනා වෛද්‍යවරුන් හෝ පුවත්පත් කතුවරුන් බවට පරිනාමය වී සිටියා. විද්‍යා තේමාවන් යටතේ පැන පොඩි ලිපි පෙළක් ලියමින් මාත් එයට සම්මාදම් වුණා.

මානව ඉන්ටර්නෙට් සංස්කරණයට දෙස් විදෙස් ප‍්‍රතිචාර රැසක් ලැබුණා. වැඩිපුර ප‍්‍රතිචාර ආවේ විදේශගත ලාංකිකයන්ගෙන්. අද මෙන් ලාංකික අන්තර්ගතය සහිත වෙබ් අඩවි බහුල නොවූ එදා සිංහලෙන් වෙබ් අඩවියක් බිහිවීම ම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු වුණා.

1996 – 2001 කාලය තුළ හැකි පරිද්දෙන් ‘මානව’ ඉන්ටර්නෙට් කලාප කිහිපයක් පළ කළා. ‘මානව’ වෙබ් අඩවිය නිතර අඵත් නොවූ බව ඇත්තයි. එහෙත් සති හො මාස කිහිපයකට වරක් අඵත් තොරතුරු හා නව අදහස් පාඨකයන් අතරට ගෙන යන්නට ‘මානව’ උත්සාහ ගත්තා.

අන්තාවදී හෝ අගතිකාමී නොවන, විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හෝ කාලීන වැදගත්කමක් ඇති අදහස් හා යෝජනාවලට මානව කවදත් විවෘත වුණා. මානව වෙබ් අඩවිය ඉදිරියට ගෙන ගියේ මානව ප‍්‍රකාශනය නියෝජනය කළ දර්ශනයමයි. එනම් විවෘතව සහ සංවාදශීලීව තොරතුරු, අදහස් හා ආකල්ප ජන සමාජයට ඉදිරිපත් කිරීමයි. මේ වන විට මානව වෙබ් අඩවිය තව දුරටත් සොයා ගන්නට බැහැ. එය පවත්වාගෙන යාමේ තාක්‍ෂණික ගැටඵ හමුවේ වසර කිහිපයකට පසු නතර කරන්නට සිදු වුණා.

මහා පරිමානයේ ප‍්‍රකාශන සමාගම් සමග මේ තනි පුද්ගලයාගේ උත්සාහය සෘජුව සසඳන්නට බැහැ. එහෙත් මානව ප‍්‍රකාශනය හරහා පුංචියට පටන් ගත් ප‍්‍රවාහය දෙආකාරයකින් සමාජගත වී තිබෙනවා.

පළමුවැන්න නම් 1987 නොවැම්බරයේ විදුසර පුවත්පත අරඹන විට එයට සම්බන්ධ වූ බහුතරයක් තරුණ විද්‍යා ලේඛක ලේඛිකාවන් මානව හරහා පන්නරය ලබා සිටි අය වීමයි.

දෙවැන්න නම් සිංහල බ්ලොග් අවකාශය තුළ විචාරශීලී සංවාද හට ගන්නට දශකයටත් පෙර එබඳු අන්තරගතයන් සිංහලෙන් ඉන්ටර්නෙට් මාධ්‍යයේ සනිටුහන් කිරීම. ඒ හරහා මතු බිහි වන බ්ලොග්කරුවන්ගේ පරපුරට පෙරගමන්කරුවකු වීම හා ප‍්‍රබෝධක ආවේගයක් සැපයීම.

මේවා කිරා මැන තක්සේරු කළ හැකි දේ නොවෙයි. එහෙත් අසංග අබේසුන්දරයන්ගේ ඓතිහාසික දායකත්වයට අප ගරු කළ යුතුයි.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maanawa Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism