සිවුමංසල කොලූගැටයා #175: හරිතවේදය හා මාධ්‍යකරණය මුසු කළ මානෙල් තම්පෝ

In this week’s Ravaya column (in Sinhala), I salute a fellow traveler in journalism and conservation who departed two years ago: Manel Tampoe (1927-2012).

I wrote a tribute in English in September 2012, which appeared in Groundviews.org: Manel Tampoe: Perceptive Chronicler of Sri Lanka’s DDT Generation (This Sinhala column is not a translation.)

One of the earliest photos of Manel Tampoe, around age 15
One of the earliest photos of Manel Tampoe, around age 15

මෙරට පුවත්පත් කලාවේ හපන්කම් කළ හා නිම්වළලූ පුළුල් කළ චරිත ගැන විටින් විට මා කරන ආවර්ජානවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ මාධ්‍ය අත්දැකීම් බොහෝ කොටම ඉංග‍්‍රීසි බසින් කැරෙන මාධ්‍යකරණයට සීමා වූ නිසා මා වඩාත් හොඳින් හඳුනන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයේ උදවියයි. ඔවුන් ජාතික මට්ටමෙන් හා ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමින් කළ දායකත්වය සිංහල පාඨකයන්ට මතක් කර දීම වටිනා බව මගේ අදහසයි.

පත්තර ලෝකයේ හොඳ වැඩ කරන්නට මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන, මාණ්ඩලික ලේඛකයකු වීම අවශ්‍ය ම නැහැ. වෙනත් රැකියාවක් කරන අතර හෝ විශ‍්‍රාමිකව සිටින විට හෝ නිතිපතා පත්තරවලට හරවත් ලිපි ලියන ස්වාධීන ලේඛක ලේඛිකාවන් සිටිනවා. මෙරට සියළුම පත්තර ආයතන ඔවුන්ට ගෙවන්නේ ශ‍්‍රමයට හා නිර්මාණයට නොසෑහෙන තරමේ සොච්චමක්. එසේ වුවත් පොදු උන්නතිය සඳහා කැප වීමෙන් මේ කාරියෙහි නියැලෙන පිරිසක් එදත් අදත් අප අතර සිටිනවා.

ඉංග‍්‍රීසි බසින් මාධ්‍යකරණයේ යෙදුණු මානෙල් තම්පෝ මහත්මිය (1927 – 2012) හොඳ උදාහරණයක්. මීට දෙවසරකට පෙර 85 හැවිරිදිව මිය යන තුරු ඇය දශක ගණනක් මෙරට හා විදේශීය ප‍්‍රකාශනවලට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිසරය ගැන විචාරශීලි ලිපි ලියූ පුරෝගාමි චරිතයක්.

Manel Tampoe as a young teacher, in the 1950s
Manel Tampoe as a young teacher, in the 1950s

මානෙල් තම්පෝ මා දැන හඳුනා ගත්තේ 1980 දශකය අගදී. ධර්මන් වික‍්‍රරත්න නායකත්වය දුන් පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය හරහා ඒ වන විට වයස හැට ගණන්වල සිටි ඇය තරුණ අපත් සමග උද්‍යොගයෙන් හා මිත‍්‍රශීලීව වැඩ කළා. බෙහෙවින් ආචාරශීලි හා තැන්පත් චරිත ගතිවලින් යුක්ත වූ ඇයට තීක්‍ෂණ බුද්ධියක් හා හොඳ හාස්‍ය රසයක් තිබූ බව ටික කලකින් මා වටහා ගත්තා. නාවල අගේ නිවහනේදී අප බොහෝ කාලීන මාතෘකා ගැන දිගු වේලා සංවාද කළ හැටි මතකයි.

අයිරාංගනී මානෙල් ගුණසේකර පානදුරේ ඉපදී කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. සරසවි අධ්‍යාපනයට යොමු වූ මුල් ලාංකික කාන්තාවන් අතර සිටි ඇය 1948 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සම්මාන උපාධියක් ලබා ගත්තා. ඉන් පසු දශක දෙකක් ඇය ඉංග‍්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස විශාඛා, නාලන්දා හා සාන්ත තෝමස් විද්‍යාලවල සේවය කළා.

මේ කාලය තුළ ඇගෙන් උගත් දහස් ගණන් සිසුන් අතර පසු කලෙක ක‍්‍රිකට් විස්තර විචාරයන් සඳහා ප‍්‍රකට වූ පේ‍්‍රමසර ඈපාසිංහ ද සිටිනවා. ඇය ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍යය සිත් කාවදින හා අමතක නොවන ලෙසින් ඉගැන් වූ සැටි ඔහු සිහිපත් කරනවා.

1951 මානෙල් විවාහ වූයේ සරසවියේදී හඳුනාගත් ආරියරත්නම් ෆෙඞ්රික් තම්පෝ සමගයි. ඔවුන්ට පුතකු හා දියණියන් දෙදෙනකු ලැබුණා. පවුලේ වගකීම් දරමින්, ගුරුවරියක ලෙස ක‍්‍රියා කරන අතර ජන සමාජයට වැදගත් පොදු වැඩට හවුල් වීමට ද ඇය කාලය සොයා ගත්තා.

එසේම මානෙල් තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි කාන්තාවක්. 1950 ගණන්වලදී තම සැමියාට කලින් රථ වාහන පැදවීමේ රියදුරු බලපත‍්‍රයක් ලබා ගත් ඇය තමන් ඉතිරි කර ගත් මුදලින් මොරිස් මයිනර් කාරයක් මිලට ගත්තා. ඇගේ මිතුරියන් වූ අයිරාංගනී සේරසිංහ, කාමිනී විතාරණ වැනි අය ද එබඳුම පුරෝගාමී හා සමාජශීලී චරිත වුණා.

මානෙල් ඉඳහිට ඉංග‍්‍රිසි පත්තරවලට ලිපි ලියූවත් එය ප‍්‍රබලව මතුව ආයේ 1970 දශකයේ. බැංකු වෘත්තිකයකු වූ ඇගේ සැමියා ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවට අනුයුක්තව සිටි 1970-75 කාලයේ දරුවන් සමග ඇය ද එහි ජීවත් වූවා. යුරෝපය හා අමෙරිකාවේ එවකට මතු වෙමින් පැවති පාරිසරික ප‍්‍රශ්න හා ඒවාට ජනතාවගේත් රජයන්ගේත් ප‍්‍රතිචාර ගැන ඇය ඒ වකවානුවේ හොඳ හැටි අධ්‍යයනය කළා.

1975 මෙරටට ආපසු ඇය ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පත‍්‍රයේ විශේෂාංග ලේඛිකාවක් ලෙස සේවය කළා. එසේම සිංහරාජ වනාන්තරය දැව සඳහා කපා ගැනීමේ අමනෝඥ රාජ්‍ය ව්‍යාපෘතියට එරෙහිව මතු වූ මෙරට මුල්ම පාරිසරික උද්ඝෝෂනයට ද ඇය සම්බන්ධ වූවා.

Mallika Wanigasundara
Mallika Wanigasundara

විද්වත් හා මහජන විරෝධය හමුවේ සිංහරාජ දැව ව්‍යාපෘතිය එවකට පැවති රජය නතර කළත් සොබා සම්බත් හා මානව අවශ්‍යතා අතර තරගය ටිකෙන් ටික උත්සන්න වන බව මානෙල් දිගු කල් නුවණින් වටහා ගත්තා. 1977 ජූලි මාසයේ බලයට පත් රජය එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය සමග මේ ආතතිය තවත් උග‍්‍ර වූවා.

1973 සිට පවතින රජයේ මතවාදයන් ප‍්‍රචාරණයට නතුව තිබූ ලේක්හවුස් ආයතනයේ සේවය කරන අතර අධිවේගී ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති සියුම් ලෙස විවේචනයට ලක් කිරීමේ ඉඩකඩ පාදා ගන්නට මානෙල් තම්පෝ හා ඇගේ විශේෂාංග කතුවරිය වූ මල්ලිකා වනිගසුන්දර සමත් වුණා.

කැකෑරෙන ජනතා බලාපොරොත්තු රැසක් සපුරා දීමට ලොකු පොරොන්දු දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජයට වනාන්තර, වන සතුන් හා වෙනත් සොබාවික සම්පත් ගැන එතරම් තැකීමක් තිබුනේ නැහැ. එසේම ඒ මොහොතේ රටේ තිබූ අපේක්‍ෂා සාක්‍ෂාත් කිරීමට ලැසි ගමනින් වර්ධනය වීම නොසෑහෙන බව රජයට පැහැදිලි වුණා.

රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුව හා එක එල්ලේ නොගැටී, සංවර්ධනයේ පාරිසරික හා සමාජයීය බලපෑම් හැකි තාක් සමනය කර ගැනීමේ ක‍්‍රමවේදයන් ගැන හරවත් සංවාද මානෙල් හා මල්ලිකා දෙපළ ඬේලිනිවුස් කතුවැකකි හා විශේෂාංග ලිපි හරහා වසර ගණනාවක් පවත්වාගෙන ගියා. මුළුමනින්ම රාජ පාක්‍ෂික පත්තර කන්තෝරුවකින් වුවත් පොදු උන්නතියට අදාල ප‍්‍රශ්න උපක‍්‍රමශීලි ලෙස ආවරණය කරන්නේ කෙසේ ද යන්නට මේ මාධ්‍යෙවිදිනියන් දෙපළ කදිම පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා.

මානෙල්ගේ පුවත්පත් ලිපි බොහෝ සේ කරුණු රැස්කර, ගවේෂණාත්මකව ලියනු ලැබූ ඒවායි. විද්වතුන්, රාජ්‍ය නිලධාරින් හා ක‍්‍රියාකාරිකයන් රැසක් සමග ඇයට හොඳ සබඳතා තිබුණා. මේ නිසා පටු රාමුවකට සිර නොවී පුළුල්ව ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට ඇයට හැකි වුණා. සිල්ලර සමාජවාදී උද්‍යෝගපාඨ වෙනුවට ඇය ගමේෂණාත්මකව විවිධ සංවර්ධන ව්‍යාපෘතින් ගැන ප‍්‍රශ්න කළා.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය ප‍්‍රකාශනවලටත් මෙරට පාරිසරික ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් ලිවීමට ඇයට අවස්ථා ලැබුණා. ද ඉකොලොජිස්ට් The Ecologist නම් බි‍්‍රතාන්‍ය සඟරාවේ 1988 නොවැම්බර්-දෙසැම්බර් කලාපයේ මෙරට වෙරළ සංරක්‍ෂණ අභියෝග ගැන ලියූ ලිපියක ඇය මෙසේ කීවා: ‘‘ශ‍්‍රීලංකාවේ වෙරළ සුරකින්නට තැත් කරන විට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, වෙරළ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා අයගේ අවශ්‍යතා, ධීවරයන්ගේ අයිතීන් වැනි සාධක රැසක් තුලනය කර ගත යුතු වෙයි. එක් සාධකයක් හෝ දෙකක් ගැන පමණක් සළකා බැලූවහොත් සියල්ල අවුල් ජාලයක් විය හැකියි.’’

මෙරට සොබා සම්පත් සුරැකීමට රාජ්‍ය ආයතන තැත් කරන විට එයට ආධාර හා උපදෙස් දීමට ඉදිරිපත් වන ආයතන ගැන බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බව ඈ නිතර අවධාරණය කළා. එසේම විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම ආර්ථිකයට අවශ්‍ය වුවත් ඒ සඳහා යම් ප‍්‍රමිතීන්, සීමාවන් හා නිසි නියාමනයක් අවශ්‍ය බවත් ඇය ලිපිවලින් නිතර සිහිපත් කළා.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මානෙල්ගේ දැඩි විවේචනයට හසුවූ ආධාර ආයතන දෙකක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හරහා ලක් රජයට ආධාර කරන මේ ආයතන ගැන ඇය ප‍්‍රශ්න කළේ තොරතුරුවලින් සන්නද්ධව හා ආවේගශීලි නොවූ තුලනාත්මක ලෙසින්.

රුක් රැක ගන්නෝ සංවිධානයේ මුල් කාලීන හා උද්‍යෝගිමත් සාමාජිකාවක් වුවත් ගස් බදා ගැනීමේ සරල සංකල්පවලින් ඔබ්බට යන දැක්මක් මානෙල්ට තිබුණා. 1980 දශකය අගදී ආන්දෝලනයට ලක් වූ මෙරට වන සංරක්‍ෂණ මහා සැළසුම (Forestry Master Plan) ඇය විස්තරාත්මකව විවේචනය කළා.

වැඩි වන ජනගහනයට හා ඉහළ යන ජන අපේක්‍ෂාවලට අනුව අපේ දැව අවශ්‍යතා ද කෙමෙන් වැඩි වන බව ඇය පිළිගත්තා. හැම ගසක්ම කැපීමට එරෙහි වනවා වෙනුවට ජෛව විවිධත්වය අතින් වැදගත් ගස් හා වනාන්තර නිසි ලෙස රැක ගනිමින් අන් ප‍්‍රදේශවලින් දැව සම්පත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා.

Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992
Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992

1992 අපේ‍්‍රල් මාසයේ මානෙල් සහ මා බංග්ලාදේශයේ ඩාකා අගනුවර පැවති පාරිසරික මාධ්‍යවේදය ගැන දකුණු ආසියාතික වැඩමුළුවකට සහභාගී වුණා. ඒ වන විට ඇගේ වයස 65යි. ඇයට වඩා බෙහෙවින් ලාබාල වූ මට එහි සම්පත්දායකයකු ලෙස ඇරයුම් කර තිබීම ඇය කිසි විටෙක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඉතා උද්‍යෝගිමත්ව හා සුහදව ඇය සියළු දෙනා සමග තොරතුරු බෙදා ගත් සැටිත්, ක්‍ෂෙත‍්‍ර චාරිකාවක නිරත වූ සැටිත් මට මතකයි.

ඩාකා වැඩමුළුවට මානෙල් ඉදිරිපත් කළේ දකුණු පළාතේ කිරිඳිඔය වාරි යෝජනා ක‍්‍රමය පිළිබඳ විචාරයක්. තනිකර ඉංජිනේරුමය හා තාක්‍ෂණික පදනමක් මත පිහිටා, පළාතේ ජනතාවගේ හා ගොවීන්ගේ උවමනාකම් හරිහැටි හඳුනා නොගෙන කරන්නට තැත් කළ ඒ සංවර්ධන ව්‍යාපෘතියෙ අසාර්ථකත්වය ඇය පෙන්වා දුන්නා. (ඉංජිනේරු හා ලේඛක ඞී. එල්. ඕ. මෙන්ඩිස් තර්ක කරන්නේ 1987-89 දකුණේ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීමට එක් සාධකයක් වූයේ කිරිඳිඔය මුල් කර ගෙන දියත් කළ අසාර්ථක ලූණුගම්වෙහෙර ව්‍යාපෘතිය බවයි. එය වෙනම කථා කළ යුතු වැදගත් මාතෘකාවක්.)

මානෙල්ගේ ලේඛන හා ගවේෂණ කටයුතු සංවර්ධන ක‍්‍රමවේද විචාරයට ලක් කිරීමට පමණක් සීමා වූයේ නැහැ. ලේක්හවුස් ආයතනයේ සේවය හමාර කළ පසු ඇය නිදහස් ලේඛිකාවක් ලෙස විවිධ තේමා හා විෂයයන් ගැන පුවත්පත් හා සඟරා ලිපිත් වඩා පර්යේෂණාත්මක නිබන්ධනත් රචනා කළා.

ඇගේ එකම පොත රචනා වූයේත් මේ කාලයේදී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදිකර්තෘ සෙලස්තිනා ඩයස්ගේ චරිත කථාව හා දානපතිනියක ලෙස ඩයස් මැතිනියගේ භූමිකාව පිළිබඳ ඉතිහාසය 1977දී ඈ කෙටි පොතක් ලෙසට ගොනු කළා. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists Association, SSA) විසින් පළ කරනු ලැබූ මේ පොතෙහි නව මුද්‍රණයක් 2013දී නිකුත් වුණා.

මානෙල් තවත් ගවේෂණාත්මක පොතක් ලියමින් සිටි බව ඇගේ දරුවන් කියනවා. එය මෙරට පරිසර සංරක්‍ෂණයේ ඉතිහාස කථාවයි. ‘‘විවිධ ඓතිහාසික පොත්පත් හා වාර්තා රැසක් කියවමින් ඇය කරුණු රැුස් කළා. පැරණි රජ දවස සිට පෘතුගීසි යුගය දක්වා පොත ලියා තිබුණා’’ යයි ඇගේ පුත් කීත් ජයවික‍්‍රම (ඇමරිකාවේ පැළෑටි අභිජනන විද්‍යාඥයෙක්) කියනවා.

මානෙල්ගේ සැමියා මිය ගිය පසු හා ඇගේ දරුවන් විදේශ ගතවූ පසුවත් ඇය වයස 80 වන තුරුම මෙරට පදිංචිව සිටියා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන දියණිය ටාරා සමග සිටීමට ගියේ 2007දීයි. (ඇගේ අනෙක් දියණිය මොයිරා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වසනවා.)

2012 මැයි 26 වනදා මානෙල් තම්පෝ 85 හැවිරිදිව ටොරොන්ටෝහිදි මිය ගියා. ඇගේ අන්තිම කැමැත්තට අනුව දඹුල්ලේ පිහිටි පොපම් ශාකාගාරය (Popham’s Aboretum) නඩත්තු කිරිමට රුක් රැකගන්නෝ සංවිධානයට පරිත්‍යාගයක් ද කර ඇති බව දිගු කාලීන මිතුරියක් වූ ජෛවවිද්‍යාඥ කාමිනී විතාරණ කියනවා.

මානෙල්ට මවුබිමට ආදරයක් හා තමන්ගේ ම දැක්මක් හාතිබුණා. එහෙත් බොහෝ හරිතවේදීන් මෙන් ආවේගශීලිව කුමන්ත‍්‍රණවාදී කථා හේතුවේ නැහැ. ඒ වෙනුවට ඇය ඉවසීමෙන් හා සන්සුන්ව කරුණු ගවේෂණය කළා. ක්‍ෂෙත‍්‍රයට නිතර ගියා. වයස හා ජ්‍යෙෂඨත්වය නොතකා බුද්ධි ගවේෂණයේ යෙදුණා. සාමාන්‍ය ජනයාට කියවා තේරුම් ගත හැකි සරල බසින් සන්නිවේදනය කළා.

හරිතවාදය අන්තවාදයක් වීමේ අවදානමක් ඇති අද කාලයේ අප ආදර්ශයට ගත යුත්තේ මානෙල් තම්පෝ වැනි චරිතයි.

Manel Tampoe with grand-niece Amaya in Toronto,  circa 2010
Manel Tampoe with grand-niece Amaya in Toronto, circa 2010

 

When Worlds Collide #113: Outpacing Tsunamis in the Indian Ocean: Are we ready?

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today newspaper on 4 July 2014

How a tsunami warning system works. AFP FILE PHOTO How a tsunami warning system works. AFP FILE PHOTO

Timely warnings about on-coming disasters can literally save lives – provided the word reaches those at risk. And they know what to do, and react quickly.

These elements form part of disaster risk reduction, or DRR, now receiving greater attention as the frequency and intensity of disasters keep increasing.

In December 2004, the Indian Ocean tsunami caught Sri Lanka by surprise and some 40,000 lives were lost. Most of those could have been saved if only a simple warning – for coastal evacuation – reached them. There was a tight but useful window of around 90 minutes until the killer waves arrived on our East coast (and a bit longer while they went around the island and hit other coastal areas).

Sri Lanka was not…

View original post 1,172 more words

Amazing Science in Colombo: Long Shadow of Pulp Science Fiction

Amazing Science

AMAZING SCIENCE comes to Colombo, Sri Lanka, on 4 July 2014 as part of the French Spring Festival organised by Alliance Française de Kotte in COLOMBO and its partners.

Here’s the day’s program, to be held at Sri Lanka Foundation Institute, Independence Avenue, Colombo. I’ll be speaking on “Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination” at 11 AM, and repeating it again at 1 PM.

Amazing Science in Colombo - Programme for 4 July 2014
Amazing Science in Colombo – Programme for 4 July 2014

Amazing Science is a travelling exhibit put together by French scientific institutes inspired by American ‘pulp’ science fiction magazines during the first half of the 20th century.

As the creators say, it “takes you on an exploratory journey into uncharted territory, on the frontiers of pulp culture, science fiction and scientific research”.

The exhibition revives the old “pulp” look through a blend of scientific research, creative writing and popular culture. From the infinitely small to the infinitely large, the most advanced areas of science are now the realm of unexpected encounters with the real and the imaginary worlds. Each of the exhibition panels features scientific visuals based on a specific research area.

spring2014-7-1038x576

Here’s the Abstract of our own talk:

Long shadow of Pulp Science Fiction: Popular culture for promoting science and imagination

by Nalaka Gunawardene, science writer
and S M Banduseela, science fiction translator

‘Pulp magazines’ is a generic term for inexpensive magazines published in the United States from 1896 to the 1950s. They provided popular entertainment, especially before broadcast television became well established, and carried illustrated short stories and serialized stories in categories like adventure, travel, detective and science fiction.

This illustrated presentation will look at the role pulp magazines played in promoting science fiction writing and reading as part of 20th century popular culture. Many who later became mainstream writers, such as Robert A Heinlein, Arthur C Clarke, Isaac Asimov and Ray Bradbury first established themselves by writing to such publications.

In this talk, we look at how pulp science fiction inspired scientific discovery and innovation in areas as diverse as space exploration, computer science, robotics, evolution and materials science.

Amazing Science in Colombo - 4 July 2014
Amazing Science in Colombo – 4 July 2014

සිවුමංසල කොලූගැටයා #174: සමාජ මාධ්‍ය ඇවිලෙන ගින්නට පිදුරු දැමීමක් ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the role of mainstream and social media in the immediate aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town in Sri Lanka on 15 June 2014.

For over 48 hours, there was little coverage of the incidents in newspapers, or on radio and TV. This gap was partly filled by social media and international media reports – but only to the extent they have outreach in the island. Those who rely on local newspapers, radio and TV had to settle for ‘radio silence’ while media gatekeepers hesitated and held back.

I covered the same ground in my English column last week:
When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Only candid voices in Sri Lanka's mainstream media these days come from political cartoonists!
Only candid voices in Sri Lanka’s mainstream media these days come from political cartoonists!

‘‘කොහොමද වැඬේ? අන්න ඔහේලා ආවඩපු සමාජ මාධ්‍යකාරයෝ එකතු වෙලා රට ගිනි තියනවා!’’

අළුත්ගම හා බේරුවල ප‍්‍රචණ්ඩත්වය ඇති වී පැය 48ක් ඉක්ම යන්නට කලින් මා අමතා මෙසේ කීවේ සරසවියක ඇදුරුකමක් දරන උගතෙක්.

ඔහුගේ ‘‘චෝදනාව’’ වූයේ අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ තොරතුරු හා ඡායාරූප ට්විටර් (Twitter) හා ෆේස්බුක් (Facebook) වැනි ප‍්‍රකට සමාජ මාධ්‍ය හරහා අධිවේගීව සංසරණය වන බවත්, ඒ හරහා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා වෙනත් ප‍්‍රදේශවලටත් පැතිර යා හැකි බවත්. අඩු වැඩි වශයෙන් මේ ආකාරයේ ප‍්‍රකාශ තවත් බොහෝ දෙනකු මෑත දිනවල කරනු මා ඇසුවා.

අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය සිදු වූ ජුනි 15 ඉරිදා සිට පැය 24 – 48ක් ගත වන තුරු ප‍්‍රධාන ප‍්‍රවාහයේ බොහෝ මාධ්‍ය එය වාර්තා කළේ ඉතා අඩුවෙන් හා සුපරීක්‍ෂාවෙන්. එයට හේතුව විය හැක්කේ එම පුවත සැලවීමෙන් වෙනත් ප‍්‍රදේශවල ද කලහකාරි ක‍්‍රියා ඇති වේය යන සැකයයි.

මීට අමතරව රජයෙන් නිල වශයෙන් හෝ නිල නොවන මට්ටමින් මාධ්‍යවලට බලපෑම් එල්ල වූවා ද යන්න දන්නේ අදාල මාධ්‍ය කතුවරුන් හා හිමිකරුවන් පමණයි. එබන්දක් වූවා යයි කිසිවකුත් ප‍්‍රසිද්ධියේ කියා නැති නිසා ඒ ගැන අනුමාන කිරීමේ තේරුමක් නැහැ.

පුවත් පැතිර යා හැකි මාර්ග ගණනාවක් අද මෙරට තිබෙනවා. ජංගම දුරකථන ව්‍යාප්තිය නිසා බහුතරයක් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව ලබා තිබෙනවා. මිලියන් 20.5ක් වන ලාංකික ජනගහනයට ජංගම දුරකථන ගිනුම් මිලියන 20ක් පමණ හා ස්ථාවර දුරකථන මිලියන් 2.7ක් පමණ තිබෙනවා.

මෑත වසරවල ඇමතුම් ගාස්තු පහළ වැටීම නිසාත්, SMS ඊටත් වඩා අඩු වියදම් සහිත වීම නිසාත් අද පෙරට වඩා දුරකථන හරහා ලාංකිකයන් සන්නිවේදනය කරනවා. රටේ එක් තැනෙක ප‍්‍රබල සිදුවීමක් ඇති වූ විට මාධ්‍ය එය වාර්තා කළත්, නැතත් දුරකථන හරහා පෞද්ගලික මට්ටමින් පැතිර යාමේ ඉඩ පෙර කවරදාකටත් වඩා අද ඉහළයි.

එබඳු පෞද්ගලික තොරතුරු හුවමාරුවේදී අතිශයෝක්ති, විකෘති වීම් හා ප‍්‍රබන්ධකරණය ද එයට එක් වීමේ ඉඩ තිබෙනවා. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය නිසි වේලාවට රටට ම තොරතුරු බෙදා දුන්නා නම් දුරකථන හා නව මාධ්‍ය හරහා යම් සන්නිවේදන සිදු වීමෙන් ඇතිවන සමාජ හානිය සමනය කර ගත හැකිව තිබුණා.

Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka
Awantha Artigala cartoon on media manufacturing dead ropes in Lanka

සමාජ මාධ්‍ය තවමත් අළුත් නිසා ඒවායේ ක‍්‍රියාකාරිත්වය හා සමාජීය බලපෑම ගැන අප සැවොම තවමත් අත්දැකීම් ලබමින් සිටිනවා. සමාජ මාධ්‍ය ගැන ඉක්මන් නිගමනවලට එළඹෙන බොහෝ දෙනකු ඒ ගැන ගවේෂණාත්මක අධ්‍යයනයකින් නොව මතු පිටින් පැතිකඩ කිහිපයක් කඩිමුඩියේ දැකීමෙන් එසේ කරන අයයි.

සමාජ මාධ්‍ය යනු බහුවිධ හා සංකීර්ණ සංසිද්ධියක්. එය හරි කලබලකාරී වේදිකාවක් නැතහොත් විවෘත පොළක් වගෙයි. අලෙවි කිරීමක් නැති වුවත් ඝෝෂාකාරී හා කලබලකාරී පොලක ඇති ගතිසොබාවලට සමාන්තර බවක් සමාජ මාධ්‍ය තුළ හමු වනවා.

එසේම සමාජ මාධ්‍ය අන්තර්ගතයත් අතිශයින් විවිධාකාරයි. එහි සංසරණය වන හා බෙදා ගන්නා සියල්ල ග‍්‍රහණය කරන්නට කිසිවකුටත් නොහැකියි.

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පමණක් ගිනුම් හිමියන් මිලියන් එක හමාරකට වඩා මෙරට සිටිනවා. එහෙත් එහි බොහොමයක් සාමීචි සංවෘතව සිදු වන නිසා මිතුරු ඇරැයුම් ලත් අයට පමණක් ඒවා ග‍්‍රහණය වනවා.

නමුත් ට්විටර් වේදිකාව කාටත් විවෘතයි. මෙරට ට්විටර් භාවිත කරන සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛණ නැහැ. 2013 මැදදී එක් ඇස්තමේන්තුවක් වූයේ 14,000ක් පමණ බවයි. මේ වන විට එය විසි දහසකට වැඩි විය හැකියි. එක ට්විටර් පණිවුඩයක් (ට්වීට් එකක්) අකුරු හෝ වෙනත් සංකේත 140කට සීමා වනවා. එබඳු සීමාවක් තුළ වුව ද සූක්‍ෂම හා ව්‍යක්ත ලෙස පණිවුඩ දිය හැකියි.

ට්විටර් මාධ්‍යයේ ගිනුමක් විවෘත කළ විට තමන් කැමති අන් ට්විටර් භාවිත කරන්නන් කියන කරන දේ ස්වයංකී‍්‍රයව නිරික්සිය හැකියි (follow). ක‍්‍රීඩා, චිත‍්‍රපට හෝ වෙනත් ක්‍ෂෙත‍්‍රවල නමක් දිනා ගත් ප‍්‍රකට පුද්ගලයන් හා දේශපාලන නායකයන්ගේ ට්විටර් අනුගාමික සංඛ්‍යාව වැඩියි.

උදා: 2014 ජුනි 22දා වන විට මහේල ජයවර්ධනට අනුගාමිකයන් 110,000ක්, කුමාර් සංගක්කාරට ලක්‍සයක් හා ජනාධිපති මහින්ද රාජපක්‍ෂගේ නිල ට්විටර් ගිනුමට අනුගාමිකයන් 38,000ක් පමණ සිටියා. අනුගාමිකයන් වැඩි දෙනකු සිටින අයකු කියන දේ වඩා ඉක්මනින් ප‍්‍රතිරාවය වී පැතිරෙන්නට ඉඩකඩ වැඩියි.

සමාජ මාධ්‍යවලට ආවේණික වූ විශ්වාසය තක්සේරු වීමේ ක‍්‍රමවේද තිබෙනවා. ඒ අනුව අනුගාමික සංඛ්‍යාව පමණක් නොව ට්වීට් පණිවුඩ ප‍්‍රතිරාවය කැරෙන වාර ගණන හා ආකර්ෂණය වන පාඨක අවධානය ආදී සාධක සැළකිල්ලට ගෙන කෙනකුගේ ට්විටර් බලපෑම (influence) ස්වයංකී‍්‍රයව ගණන් බැලෙනවා. මහජන විශ්වාසය (trust) යන්න හැමට ම දිනා ගත හැකි ගුණයක් නොවෙයි.

අළුත්ගම සිදුවීම්වලට රජයේ නිල ප‍්‍රතිචාරය වූයේ එවකට බොලීවියාවේ සංචාරයක යෙදී සිටි ජනාධිපතිවරයා සිය ට්විටර් ගිනුමෙන් නිකුත් කළ කෙටි පණිවුඩ කිහිපයක්. ජනාධිපතිවරයා (හෝ ඔහුගේ කාර්ය මණ්ඩලය) ජුනි 15 වනදා ඉංග‍්‍රීසියෙන් ට්විට් පණිවුඩ 2ක් ද, ජුනි 16 වනදා සිංහලෙන් ට්වීට් 2ක් හා දෙමළෙන් ට්වීට් 3ක් ද නිකුත් කළා.

සිංහල ට්වීට් පණිවුඩ වූයේ ‘‘නීතිය සිය අතට ගැනීමට රජය විසින් කිසිවකුට ඉඩ නොතබන අතර, මා සියළු දෙනාගෙන් සංයමයෙන් යුතුව කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි’’. දෙවැනි පණිවුඩය ‘‘අලූත්ගම සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් නීතිය ඉදිරියට පැමිණවීමට පරික්‍ෂණයක් පවත්වනු ලැබේ’’

මෙරට ජන ගහනයෙන් ඉන්ටර්නෙට් භාවිත කරන 20-25%ක ප‍්‍රමාණයට පමණක් ග‍්‍රහණය වන මේ පණිවුඩ එබඳු අවස්ථාවක රජයේ නිල ප‍්‍රතිචාරය ලෙස ප‍්‍රමාණවත් නොවූ බව මගේ අදහසයි. රටේ 75-85% ගෘහස්ථයන්ගේ හමුවන ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍ය හරහා ද කෙටියෙන් වුවත් සන්සුන්ව සිටීමේ ආයාචනයක් කළ හැකිව තිබුණා. මෙබඳු අවස්ථාවල ඉහළ මට්ටමේ, වගකිවයුතු කෙනකුගේ කට හඬින්ම පණිවුඩයක් ඇසීමට අද සමාජය පුරුදු වී සිටිනවා (ආපදාවක් වූ විට විෂය භාර අමාත්‍යවරයා ප‍්‍රකාශයක් කරන්නා සේ).

සමාජ මාධ්‍ය හරහා ජුනි 16-17 දිනවල තොරතුරු හා ඡායාරූප ගලා ගියේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ඒ ගැන මුනිවත රකිමින් සිටි පසුබිම තුළයි. මීට පරම්පරාවකට හෝ දෙකකට පෙර නම් ඕනෑකමින් පුවත් අන්ධකාරයක් (media blackout) ටික දිනකට හෝ පවත්වා ගැනීමට හැකි වුණා. මන්ද තැපෑල හැරුණ විට පෞද්ගලික මට්ටමින් තොරතුරු හුවමාරුවට අවශ්‍ය තරම් දුරකථන හා වෙනත් මාධ්‍ය නොතිබීම නිසා.

එහෙත් 21 වන සියවසේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් වෙතින් එවන් පුවත් අන්ධකාරයක් මතු වූ විට ජනතාව ජංගම දුරකථන හා ඉන්ටර්නෙට් වෙත යොමු වනවා.

Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror
Mainstream and citizen journalists in Sri Lanka contrasted by Gihan De Chickera of Daily Mirror

First Post (India): 17 June 2014: Social media breaks Sri Lankan media’s shameful silence

ප‍්‍රමිතියක් සහිතව සමබරව පුවත් සන්නිවේදනයට පුහුණුව ලැබූ මාධ්‍යවේදීන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ සිටියත් මේ විකල්ප සන්නිවේදනයට යොමු වන බොහෝ දෙනකුට එබන්දක් නැහැ. එනිසා තොරතුරු විකෘති වීමට ඉඩ වැඩියි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය අත්‍යවශ්‍යම වූ මොහොතක නිහඬවීමේ අවදානම මෙයයි.

අලූත්ගම සිදුවීම් ගැන වෙබ් අඩවි, ෆේස්බුක් හා ට්විටර් හරහා කම්පාවට පත් රටවැසියන් අදහස් දැක්වූවා. මෙය ඔවුන් අදහස් ප‍්‍රකාශනයට තමන්ට ඇති පුරවැසි අයිතිය යොදා ගැනීමක්.

අජිත් පැරකුම් ජයසිංහ හා මාතලන් වැනි ප‍්‍රමුඛ පෙළේ සිංහල බ්ලොග් රචකයන් හරවත් ලෙස මේ සිදුවීම් විග‍්‍රහ කළා. සුචරිතවාදී නොවී, අනවශ්‍ය ලෙස හැඟීම්බර නොවී ජාතීන් හා ආගම් අතර සමගිය පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔවුන් කථා කළා.

ට්විටර් යොදා ගනුනේ Breaking News මට්ටමේ අළුත් තත්ත්ව වාර්තා බෙදා ගන්නයි. ප‍්‍රචණ්ඩත්වයට ලක් වූ ප‍්‍රදේශ හා අවට සිටත්, වෙනත් තැන්වල සිටත් නොයෙක් දෙනා තොරතුරු ට්වීට් කළා.

මේ අතර ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන් ගණනාවක් ද සිටියා. සමහරුන් මෙරට සිට ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අයයි. සිද්ධියක සැබෑ තොරතුරු තහවුරු කර ගෙන පමණක් වාර්තා කිරීම ඔවුන්ගේ මූලික විනය හා ආචාර ධර්මවල කොටසක්. මා නම් ට්විටර් හරහා ප‍්‍රතිරාවය කළේ මෙබඳු විශ්වාස කටයුතු මූලාශ‍්‍රවලින් ආ පුවත් පමණයි. මෙරට සිටින විදේශ වාර්තාකරුවන්ගේ සංගමය සිය ෆේස්බුක් පිටු හරහා අලූත්ගම සිදුවීම්වලට අදාල ක්‍ෂෙත‍්‍ර ඡායාරූප රැසක් මුදා හැරියා.

සමාජ මාධ්‍ය හා පුරවැසි මාධ්‍ය ගැන පර්යේෂණ කරන සංජන හත්තොටුව මේ ගැන කීවේ ‘‘ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය කුමන හෝ හේතුවක් නිසා අලූත්ගම ගැන නිහඬව සිටියා. ඒවායේ සේවය කරන සමහර මාධ්‍යවේදීන් සිදුවීම වූ ප‍්‍රදේශයට ගොස් තොරතුරු රැස් කළත් ඒවා ප‍්‍රකාශ කිරීමට මුල් දෙදින තුළ ඉඩක් තිබුණේ නැහැ. ඒ තොරතුරු සමහරක් සමාජ මාධ්‍ය දිගේ ගලා ගියත් බහුතරයක් අපේ ජනතාව සිදුවීම් ගැන දැන ගත්තේ කල් ගත වීයි.’’

ජාත්‍යන්තර මාධ්‍යවලට වාර්තා කරන අමන්ත පෙරේරා කීවේ තොරතුරු දැන ගන්නට තිබූ ප‍්‍රධානතම මූලාශ‍්‍රය බවට සමාජ මාධ්‍ය පත්වූයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය මුළුගැන්වුණු නිසා බවයි.

ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හා සමාජ මාධ්‍ය අතර බෙදීම බොඳ වී ගොස් බිඳ වැටුණු බව මගේ වැටහීමයි. එය හොඳ ප‍්‍රවණතාවක්. අපේ ජන සමාජයට අවශ්‍ය කඩිනමින් නිවැරදි හා සමබර තොරතුරු දැන ගැනීමටයි. එය කුමන හෝ මාධ්‍යයක් හරහා ලැබේ නම් එයට ඉක්මනින් මහජන පිළිගැනීමක් ගොඩ නැගෙනවා. තොරතුරු අන්ධකාරයක් පවත්වා ගනිමින් ප‍්‍රධාන ප‍්‍රවාහය කර ගත්තේ තමන්ටම හානියක්.

Stand Up Against Racismප‍්‍රචණ්ඩත්වය, ජාතිවාදය හා ආගම්වාදයට එරෙහිව ජනමතය ප‍්‍රකාශ කරන හා සාමකාමී ජනයා එක්සත් කරන තැනක් බවට ද සයිබර් අවකාශය පත්ව තිබෙනවා. සමාජ මාධ්‍ය රට ගිනි තබනවා යයි චෝදනා කරන්නෝ නොදකින අනෙක් පැත්ත මෙයයි.

තව දුරටත් ප‍්‍රභූන්ට හා ඉසුරුබර උදවියට පමණක් සීමා නොවූ ඉන්ටර්නෙට් භාවිතය වඩාත් සමාජගත වෙත්ම ජාතීන් අතර සහජීවනය, සමාජ සාධාරණය හා යහපාලනය වැනි සාරධර්ම සඳහා පොදු ජනතාව දැනුවත් කරන්නට හා පෙළ ගස්වන්නට සමාජ මාධ්‍ය යොදා ගත හැකියි. මෙය අසල්වැසි ඉන්දියාව, පාකිස්ථානය හා නේපාලය වැනි රටවල දැනටමත් සිදු වන්නක්.

අවසාන විනිශ්චයේදී සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් යනු සන්නිවේදනයට ඉඩ සලසන වේදිකා පමණයි. වේදිකාවට පිවිසෙන අය වියරුවෙන් හා අසංවරව මොර දෙන අවස්ථා තිබෙනවා. එහෙත් වාචාලයන්ට දේශපාලන වේදිකා උරුම කොට දී සංවේදී හා සංවර වූවන් බැස ගියා සේ සයිබර් අවකාශය ද අන්තවාදී ටික දෙනකුට ඉතිරි කොට සෙසු අප ඉක්ම නොයා යුතුයි. මේ සයිබර් වේදිකා හුදී ජන යහපතට හා යහ පාලනයට හැකි තාක් යොදා ගත යුතුයි.

සිහි තබා ගත යුතු අනෙක් කරුණ නම් විවෘතව අදහස් ප‍්‍රකාශනයට හා තොරතුරු ගලා යාමට බාධක රැසක් පවතින අප සමාජයේ සාපේක්‍ෂව අළුතින් මතුව ආ ඉන්ටර්නෙට් වැනි මාධ්‍යයක් අනවශ්‍ය රාජ්‍ය නියාමනයට හෝ වාරණයට නතු වීම වළක්වා ගත යුතු බවයි.

අසභ්‍ය හා අපහාසාත්මක දේ සමාජගත වීම වැළැක්වීමට යයි කියමින් ඇතැම් ඉන්ටර්නෙට් වෙබ් අඩවිවලට පිවිසිම අවහිර කිරීම (website blocking) ඇරඹුණේ 2007දී. එහෙත් මේ වන විට ස්වාධීන දේශපාලන විග‍්‍රහයන් හා මතවාද රැගත් වෙබ් අඩවි ගණනාවක් ද අවහිර කරනවා. අධිකරණ අධීක්‍ෂණයකින් තොරව, හරිහැටි නීතිමය රාමුවක් නොමැතිව කරන මෙය සයිබර් වාරණයක්.

සමාජ මාධ්‍ය සංවරව හා වගකීමෙන් යුතුව භාවිත කිරීම අත්‍යවශ්‍ය වන්නේ එසේ නැති වූ විට අපේ පොදු යහපතට යයි කියමින් ඕනෑවට වඩා නියාමනයක් හා වාරණයක් කරන්නට රාජ්‍ය තන්ත‍්‍රය ඉදිරිපත් වීමේ අවදානමක් ඇති නිසයි.

See also: 30 Years Ago: How ICTs Are Changing Sri Lanka

BqQN4IxCIAEKHnW.jpg large

 

 

සිවුමංසල කොලූගැටයා #173: ලොව විශාලතම හමුදාවට එරෙහි වූ නාඳුනන පුංචි මිනිසා

June 2014 marks the 25th anniversary of the Chinese government’s brutal crackdown on protesting students at Beijing’s Tiananmen Square.

There was one iconic image from that tragedy. It shows a solitary, unarmed Chinese man standing up against a column of battle tanks rolling down a street. In this week’s Ravaya column (in Sinhala), I salute that unknown man who — momentarily, at least — stood up against the largest army in the world.

I covered the same story in English on 6 June 2014:
When Worlds Collide #110: Saluting unknown ‘Tank Man’ 25 Years Later

Infographic © CTVglobemedia Publishing Inc.
Infographic © CTVglobemedia Publishing Inc.

ලෝකයේ (පිරිස් බලය අතින්) විශාලතම හමුදාව වන චීනයේ මහජන විමුක්ති හමුදාව සිය රටේම නිරායුධ සරසවි සිසුන්ට බරපතල ලෙස පහර දී සිය ගණනක් මරා දමා දහස් ගණනකට තුවාල කළේ 1989 ජූනි මස මුලදී. ඒ බේජිං අගනුවර තියානන්මන් චතුරස‍්‍රය (Tiananmen Square) හා ඒ අවට මංමාවත්වලදී.

මෙතරම් දරුණු ප‍්‍රහාරයකට ලක් වීමට සිසුන් කළ ‘‘වරද’’ වූයේ යුක්තිය හා සාධාරණත්වය උදෙසා සාමකාමීව උද්ඝෝෂණය කිරීමයි. ලෝකයම කම්පා කළ මේ සිදුවීමේ 25 වන සංවත්සරය මෑතදී සමරනු ලැබුවා.

අද දක්වාත් ඒ ඛේදජනක සිදුවීම් මාලාව ගැන ප‍්‍රසිද්ධියේ හෝ විවෘතව කථා කිරීම චීන ජනතාවට හා මාධ්‍යවලට තහනම්. නිල මට්ටමින් එරට එදා මෙදා මේ ගැන කිසිදු විමර්ශනයක් හෝ පරික්‍ෂණයක් ද කෙරී නැහැ. චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්‍ෂය කියන්නේ ‘‘අවශ්‍ය බලය’’ යොදා ප‍්‍රතිවිප්ලවකාරීන් පිරිසක් මෙල්ල කොට නීතිය හා සාමය ප‍්‍රතිස්ථාපනය කරන ලද බව පමණයි.

සිසු අරගලයට පසුබිම් වූ මහා පරිමානයේ හේතු සාධක ගණනාවක් තිබුණා. 1978දී වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු චීන සමාජයේ මතු වූ විසමතා එයට මූලික වුණා. සුපිරි ධනවතුන් සුළුතරයක් මතුව ඒම, දුෂණ හා වංචා සමාජය වෙලා ගැනීම, උගත් තරුණ තරුණියන්ට සුදුසුකම්වලට සරිලන රැකියා සොයා ගත නොහැකිවීම, දරා ගත නොහැකි උද්ධමනය වැනි මුළු රටට ම බලපෑ දැවෙන ප‍්‍රශ්නවලට පාලකයන්ගේ අවධානය යොමු කරවීමට සිසුන්ට අවශ්‍ය වුණා.

මේ ප‍්‍රශ්නවලට කොමියුනිස්ට් පක්‍ෂය තුළ හඬක් නැගූ පැරණි නායකයකු වූ හූ යා ඕබැංග් (Hu Yaobang) 1989 අපේ‍්‍රල් මාසයේ මිය ගිය විට සිසුන් ඔහු සමරන්නට තියානන්මන් චතුරස‍්‍රයට මුල් වරට ඒකරාශි වූවා. එය යුක්තිය හා සාධාරණත්වය උදෙසා කැරෙන අරගලයක් වූයේ ඉන් දින කිහිපයකට පසුවයි.

1989 අපේ‍්‍රල් මැද පටන් දිනපතාම පාහේ දැවැන්ත චතුරස‍්‍රයට සිසුන් ලක්‍ෂ ගණනක් රැස් වුණා. ඔවුන් ඉතා සාමකාමීව උද්‍යොග පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් එහි රැඳී සිටියා. එහි උච්ච අවස්ථාවේ මිලියනයක් පමණ සිසුන් එහි සිටි බව වාර්තාගතයි.

චීන පාලකයන් මුලදී මේ උද්ඝෝෂණවලට ඉඩ දී පසෙකට වී බලා සිටියා. පක්‍ෂය තුළ ප‍්‍රතිසංස්කරණවාදී නායකයන් සිසුන් වෙනුවෙන් පෙනී සිටි බවත්, අතිශයින් දරදඬු දේශපාලන තන්ත‍්‍රය තරමක් හෝ ලිහිල් කිරීමට අවශ්‍ය සංවාදයක් එතැනින් මතුව ආ බවත් ඉතිහාස වාර්තා කියනවා.

එහෙත් චීනයේ ආධිපත්‍යය දැරූ වයෝවෘධ පාලකයෝ මේ තරුණ සිතුම් පැතුම් දුටුවේ කඩාකප්පල්කාරී ක‍්‍රියා ලෙස පමණයි. මැයි මාසය වන විට තියානන්මන් චතුරස‍්‍රයේ සිසු අරගලයට සහයෝගය දක්වමින් චීනය සිසාරා තවත් නගර 400ක පමණ කුඩා පරිමානයේ සිසු ඒකරාශී වීම් පැන නැගුණා. එසේම බේජිං උද්ඝෝෂණයට පොදුජනයා ද එකතු වුණා.

පොලිසියේ නිරීක්‍ෂණ මැද සිසුන් දිගටම උද්ඝෝෂණ කර ගෙන ගියා. ජාත්‍යන්තර මාධ්‍යවලට මුලදී මෙය එතරම් ලොකු ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.

මේ තත්ත්වය වෙනස් වූයේ මැයි මාසයේ මැදදී සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් කෙටි නිල සංචාරයකට බේජිං නුවරට පැමිණි විටයි. වසර 30කට පසු චීනයට ආ මුල්ම සෝවියට් නායකයා වූ ඔහුගේ සංචාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ලොකු උනන්දුවක් දැක්වූවා. එය ආවරණය කිරීමට බටහිර මාධ්‍ය ආයතන රැසක් වාර්තාකරුවන් හා ටෙලිවිෂන් කණ්ඩායම් බේජිං නුවරට යැවුවා.

එසේම ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් දෙක පරණ අමනාපකම් අමතක කොට අලූත් සබඳතාවලට යොමු වන බව ලොවට පෙන්වීමට චීනයට බලවත් සේ උවමනා වූ නිසා සාමාන්‍යයෙන් විදෙස් මාධ්‍යවලට සිය රටට පිවිසිමට තිබූ බාධක හා සීමා තාවකාලිකව ලිහිල් කළා.

නමුත් පාලකයන් සිතූ විදියට සැළසුම් ක‍්‍රියාත්මක වූයේ නැහැ. මැයි මාසය මුලදී චතුරස‍්‍රය හිස් කරන්නට පොලිසිය තැත් කළත් සිසුන් එහි දිගටම රැඳී සිටියා. ඒ අවස්ථාවේ පාලක පක්‍ෂය තුළ මධ්‍යස්ථ මතධාරින් තවමත් උත්සාහ කළේ සාකච්ඡා හරහා සාමකාමීව ප‍්‍රශ්නය විසඳා ගන්නයි. රටේ බුද්ධිමත්ම තරුණ තරුණියන්ට ගරු සරු ඇතිව සැළකිය යුතු බවට ඔවුන් විශ්වාස කළා.

මැයි 15දා ගොර්බචොෆ්ගේ රථ පෙරහැරට සිසුන් බාධා කළා. අන්තිමේදී ලෝක මාධ්‍ය අවධානය මැද ඔහුට තහනම් මාලිගාවේ පසුපස දොරින් පිටව යන්නට සිදු වුණා. මෙය තමන්ට සිදු වූ ලොකු අවමානයක් ලෙස සැළකූ දැඩි මතධාරී පාලකයෝ කෙසේ හෝ සිසුන් මර්දනය කළ යුතු යයි තීරණයට එළඹුණා.

මැයි 18 වනදා චීන අගමැති ලී පෙංග් ශිෂ්‍ය නායකයන් හමු වී සාකච්ඡා කරනු එරට ටෙලිවිෂන් පුවත් හරහා පෙන්වූවා. එහෙත් ඒ වන විටත් මර්දනය සඳහා හමුදා සැළසුමක් කිරීම අරඹා තිබුණා. කොමියුනිස් පක්‍ෂ නායක සාඹ් සියෑං Zhao Ziyang මැයි 19 වනදා අරගලය නවතා ගෙදර යන්න යැයි කළ අවසන් ඉල්ලීම ද සිසුන් ප‍්‍රතික්‍ෂෙප කළා.

මේ වන විට නායකයන් පිළිබඳ පොදුජන විශ්වාසය හා පිළිගැනීම බෙහෙවින් පහත වැටී තිබුණා. පිටතට නොපෙන්වූවාට චීන රජයේ හා පක්‍ෂයේ ලොකු කැළඹීමක් ද හට ගෙන තිබුණා. බල අරගලයන් හා මතවාදී ගැටුම් උත්සන්න වූවා.

ගොර්බචොෆ් සංචාරයට බේජිං නුවරට පැමිණි විදෙස් මාධ්‍යකරුවන් බොහෝ දෙනකු මේ අරගලය උත්සන්න වනු දැක එය වාර්තා කිරීමට රැඳි සිටියා.

මැයි 20දා රජය මාෂල් නීතිය ප‍්‍රකාශ කළා. ඒ යටතේ නීතිය හා සාමය රැකීමට විශේෂ බලතල සහිතව හමුදාව කැඳවනු ලැබුවා. ඉතා මෑතදී පිටස්තර ලෝකය දැන ගත්තේ එක් චීන හමුදා ජ්‍යෙෂ්ට නායකයකු සරසවි සිසුන්ට පහරදීම එක හෙළා විරුද්ධ වූ බවයි.

‘‘මේක දේශපාලන ප‍්‍රශ්නයක්. එය ප‍්‍රචණ්ඩත්වයෙන් නොව සාකච්ඡුාවෙන් විසඳා ගත යුතුයි. මේ අපේම දරුවෝ’’ යයි ඔහු කියා තිබෙනවා. ඔහුව වහාම හිර භාරයට ගනු ලැබුවා. බියට පත් අනෙක් හමුදා නායකයෝ ඕනෑම අණක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිඥා දුන්නා.

මැයි මස හමාර වී ජූනි මසට එළඹෙද්දී සිසු අරගලය සඳහා බේජිං වැසියන්ගේ සහයෝගය ද වැඩි වුණා. සිසුන් හා නගර වැසියන් එක්ව නගරයේ කිහිප තැනෙක හමුදා වාහන වට කරනු ලැබුවා.

අවශ්‍ය ඕනෑම බලයක් යොදා තියානන්මන් චතුරස‍්‍රයත්, නගරයේ සෙසු වීදිත් වහාම යථා තත්ත්වයට ගෙන ඒමට දේශපාලන නායකයෝ හමුදාවට අණ කළා. මේ අනුව තුවක්කු, යුද්ධ ටැංකි හා වෙනත් ප‍්‍රහාරක වාහන යොදා ගෙන හමුදාව ඉදිරියට ගියේ නිරායුධ සිසුන්ට නිර්දය ලෙස පහර දෙමින්. බිය වී පලා යන බොහෝ දෙනකුගේ පිටට වෙඩි තබා මැරූ බව පසුව හෙළි වුණා. බයිනෙත්තු හා රයිෆල් ප‍්‍රහාර හරහා සිය ගණනක් මහ මග ජූනි 4දා අමු අමුවේ මරා දැමුවා.

චීන හමුදාව සරසවි සිසුන්ට ප‍්‍රහාර එල්ල කරනු සමහර විදෙස් ඡුායාරූප ශිල්පීන් හා ටෙලිවිෂන් වාර්තාකරුවන් හසු කර ගත්තා. මේ හරහා පැය ගණනක් ඇතුළත බේජිං නුවර ඛේදවාචකය මුළු ලොවටම ආරංචි වුණා. පාලකයෝ ප‍්‍රහාරයෙන් දින දෙක තුනකට පසු එරටින් පිටස්තර ලෝකයට දිවෙන පණිවුඩ චන්ද්‍රිකා සබඳතා සියල්ල නවතා දැමුවා.

Tiananmen Square protests of 1989: A simplified chronology by Christian Science Monitor
Tiananmen Square protests of 1989: A simplified chronology by Christian Science Monitor

එහෙත් ඊට පෙර ජූනි 5 වනදා උදේ, තියානන්මන් චතුරස‍්‍රය සමීපයේ අසාමාන්‍ය දෙයක් සිදු වුණා. චතුරස‍්‍රයට පිවිසෙන චන්ගාන් Chang’an (සනාතන සාමය) මාවතේ හමුදා යුද්ධ ටැංකි 18ක් එක පෝලිමට ගමන් කරමින් සිටියා. මේ වන විට චතුරස‍්‍රය සිසු ලෙයින් නැහැවී තිබුණා. ඒ පළා යන සිසුන් හා පුරවැසියන් සොයා හමුදාව මුළු නගරයම පීරන මොහොතයි. තැගැස්සුණු නිවැසියෝ අසරණව බලා සිටියා.

එක් වරම යුද්ධ ටැංකි පේලියේ ඉදිරියට ඇවිදගෙන ආවේ කළු කලිසමක් හා සුදු කමිසයක් හැඳි චීන ජාතික පිරිමියෙක්. ෂොපිං බෑග් දෙකක් ද අතේ තිබුණා. ඔහු හඬ නගා ටැංකි තුළ සිටින හේවායන්ට යමක් කීවා.

ඉදිරි යුද්ධ ටැංකිය මේ නාඳුනන මිනිසා යට වීම වළක්වමින් දකුණට හැරී පෙරට යන්න තැත් කළා. එවිට ඔහු යළිත් එය ඉදිරියට පැන්නා. මෙසේ දෙතුන් වරක් පෙරට යාමට වැළැක් වූ විට ටැංකිය නතර වුණා. ඒ මතට නැග ගත් මිනිසා එතුළ සිටින හේවායන් සමග කථා කරනු පෙනුණා. ඔහු කීවේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. එහෙත් මේ මහා මර්දනයට තනි පුරවැසියකුගේ විරෝධය පෑමක් බව පැහැදිලියි.

විනාඩියකට පසු යළි බිමට පැන ගත් මේ නිර්භීත මිනිසා තවත් තත්පර ගණනක් ටැංකි පෙළ ඉදිරියේ සිට යමක් කීවා. අවට කිසිවකු විසින් ඔහුව එතැනින් ඉවතට කැඳවා ගෙන ගියා.

යුද්ධ ටැංකිවලට අභියෝග කළ නාඳුනන මිනිසා ගැන මුළු ලෝකයම දන්නේ එපමණයි. ඔහු කවුද හෝ ඉන් පසු ඔහුට කුමක් සිදුවී දැයි හෝ කිසිවකුත් දන්නේ නැහැ.

1989 Raw Video: Man vs. Chinese tank Tiananmen square

එහෙත් අසල හෝටලයක බැල්කනියේ සිට මේ සමස්ත සිදුවීම ඡුායාරූප හා වීඩියෝ මගින් හසු කර ගන්නට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අහම්බෙන් හැකි වුණා. ඔවුන්ට ස්තුති වන්නට ඛේදවාචකයකින් හමාර වූ තියානන්මන් අරගලයේ අතිශයින්ම සංත‍්‍රාසජනක හා සංකේතාත්මක රූපය බවට ඒ නාඳුනන පුංචි මිනිසා ටැංකිවලට එරෙහි වීම පත් වුවා.

ටැංකිවලට එරෙහි වූ මිනිසාගේ ඡායාරූපය පුවත් ඡායාරූපකරණයේ වැදගත් මොහොතක් ලෙස සැළකෙනවා. එය ටයිම්, නිව්ස්වීක් වැනි සඟරාවල පිටකවරයට පවා ගියා. විනාඩි කිහිපයක් ඇතුළත 20 වන සියවසේ ඉතිහාසගත චරිතයක් බවට ඔහු නිතැතින්ම පත් වුණා.

One man against a mighty army - Tank Man in Beijing
One man against a mighty army – Tank Man in Beijing

මේ අසාමාන්‍ය පුද්ගලයා කවුද? ඔහු අල්ලා ගනු ලැබ මරා දැමුවාද? නැතිනම් අල්ලා ගන්නට බැරි වී අද දක්වාත් චීනයේ ජීවත් වනවාද? ඔහු තමන්ට එරෙහිව ඉදිරියට ආ විට ඔහු පොඩිපට්ටම් කරමින් ටැංකිය ධාවනය නොකළේ ඇයි? දේශපාලන බලධාරින් තමන්ගේම නිරායුධ සහෝදර ජනයාට ම්ල්ච්ඡ ප‍්‍රහාර එල්ල කිරීමට අණ දීම ගැන ටැංකි තුළ සිටි හේවායන්ට කම්පනයක් ඇති වී තිබුණාද?

මෙබදු ප‍්‍රශ්නවලට උත්තර නැහැ. අපට කළ හැක්කේ අනුමානයන් පමණයි.

සාධාරණ ජන උද්ඝෝෂණයක් අසීමිත හා නිර්දය රාජ්‍ය බලය යොදා මර්දනය කිරීමට එරෙහිව තනි මිනිසුන් හා ගැහැණුන් නැගී සිටි මුල්ම හෝ අවසාන අවස්ථාව මෙය නොවෙයි. ජාතික ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි සාධක පෙරට ගනිමින් ජනතා උද්ඝෝෂණ මැඞීම තවමත් බොහෝ රටවල සිදු වන්නේ අවශ්‍ය අවම බලය වෙනුවට උපරිම බලය යොදා ගනිමින්.

එය වාර්තා කිරීමට යන වෘත්තිමය මෙන්ම පුරවැසි මාධ්‍යකරුවන් ද එහිදී ප‍්‍රබල අවදානමකට ලක් වනවා. ගොර්බචොෆ් සංචාරය සිදු නොවුවා නම් බේජිං නුවර මිනිස් ඝාතනය ගැන ලෝකය සාක්‍ෂි සහිතව දැන නොගන්නට ඉඩ තිබුණා.

තියානන්මන් චතුරස‍්‍රය දෙස් විදෙස් සංචාරකයන් රැසක් එන තැනක්. 1996 පටන් කිහිප විටක් මා චතුරස‍්‍රයට ගොස් එහි ඇවිද තිබෙනවා. මා ඕ සේතුංගේ දැවැන්ත ඡුායාරූපය චතුරස‍්‍රය වෙත බැල්ම හෙළනවා. එහෙත් 1989 ජූනි ඛේදවාචකයෙ සේයාවක් හෝ එහි ඉතිරිව නැහැ.

2004දී චීන ටෙලිවිෂන් නිෂ්පාදකයන් හා වාර්තාකරුවන් පුහුණු කරන්නකු ලෙස මා දෙසතියක් බේජිං නුවර ගත කළා. මාගේ සිසුන් වූයේ දක්‍ෂ හා සංවේදී තරුණ මාධ්‍යවේදීන්. චතුරස‍්‍රයේ වූ ලේ වැහැරීම ගැන ඔවුන් අසා ඇතත් බොහෝ දෙකනුට සෘජු මතකයන් නැහැ. ඔවුන් ඒ සඳහා ලාබාල වැඩියි. එසේම ඒ ගැන විවෘතව කථා කරන්නට ද ඔවුන්ට රට තුළ අවකාශයක් නැහැ.

තියානන්මන් විරෝධතා මැඩ පැවැත්වීමේදී මිය ගිය සංඛ්‍යාව 200-300 අතර පමණක් යයි චීන නිල වාර්තා කියනවා. වසර 25ක් ගත වීත් එය සොයා බලන්නට පර්යේෂකයන්ටවත් එරට රජය අවසර දෙන්නේ නැහැ.

අද වන විට වයස 30ට අඩු කිසිදු චීන ජාතිකයකු මේ සිදුවීම් අත්දැක නැහැ. මේ නිසා කල් යත්ම තියානන්මන් චතුරස‍්‍රයේ අමිහිරි මතකයන් කෙමෙන් මැකී යාවිද? නැතිනම් කවදා හෝ ඒ සිදුවීම්වල සැබෑ තතු චීනය හා ලෝකය හරි හැටි දැන ගනීද?

The Tank Man - a long shot Stuart Franklin
The Tank Man – a long shot Stuart Franklin

When Worlds Collide #112: Social Media ‘Candles’ for Mainstream Media Blackouts

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today newspaper on 20 June 2014

Many Muslim-owned properties have been attacked and some set alight - AP photo Many Muslim-owned properties have been attacked and some set alight – AP photo

What is the best way to manage public information in times of national crises – whether disasters, epidemics or conflict?

All governments face this question from time to time and respond with varying degrees of success. It has become especially challenging today due to multiple, instant modes of communications. Suppressing the flow of information is much harder and ultimately counterproductive.

This point was driven home once again in the aftermath of serious communal riots in Aluthgama, Beruwala and Dharga Town this week. At the time of writing (Wednesday afternoon), all right-minded people were hoping the clashes would not spread elsewhere.

The proliferation of information and communication technologies (ICTs) has introduced a new dimension to such crisis situations. The multiplicity of…

View original post 1,297 more words

සිවුමංසල කොලූගැටයා #172: රන් සේ දිදුලන සරුවපිත්තල මාධ්‍ය ලෝකය

In this week’s Ravaya column (in Sinhala, published on 15 June 2014), I turn the spotlight on the world of media itself. In particular, how the Lankan print and broadcast media exploits freelance writers and other creative professionals who are paid extremely low rates even by highly profitable media companies.

I cite my own experiences with the world of print and broadcasting, where editors and staff journalists have no hesitation in getting outsiders to work for practically free. Is this fair or right, I ask, when the same media stands for social justice in their editorial positions.

Photo by Louie Psihoyos, National Geographic
Photo by Louie Psihoyos, National Geographic

”ටෙලිවිෂන් එකේ කථා කරනවට මහත්තයට හොඳට ගෙවනවා ඇති නේද?”

මා නිතිපතා ගනුදෙනු කරන සිල්ලර කඩේ මුදලාලි වරක් මගෙන් ඇසුවේ බොහෝම නිර්ව්‍යාජවයි. අවුරුදු 45ක් පුරා එකම තැන සිට වෙළඳාම් කරන මුදලාලි, ලෝකය දිහා උපේක්ෂාවෙන් බලා සිටින්නකු මිස ඕපාදුප සොයන්නකු නොවෙයි.

දශක ගණනාවක සිට මා මෙරට ප්‍රමුඛ පෙළේ ටෙලිවිෂන් නාලිකාවල වැඩසටහන්වලට සම්බන්ධ වන බව ඇත්තයි. එසේම ටෙලිවිෂන් මාධ්‍යය තුළ දැන්වීම් හා අනුග්‍රාහක ගාස්තු ලෙස අති විශාල මුදල් කන්දරාවක් සංසරණය වන බවත් සැබෑයි.

එහෙත් ටෙලිවිෂන් මාධ්‍යයේ ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරන පූර්ණ කාලීන සේවකයන්ට හෝ පිටත සිට සම්පත් දායකත්වය ලබා මා වැනි අයට හෝ එයට සමානුපාතික අන්දමේ ගෙවීම් නම් ලැබෙන්නේ නැහැ. වසර 35ක් සපිරුණු මෙරට ටෙලිවිෂන් කර්මාන්තයේ වැඩි දෙනකු නොදන්නා යථාර්ථය එයයි.

මාධ්‍ය ලෝකය හා ප්‍රකාශන කර්මාන්තය ක්‍රියාත්මක වන ආකාරය ගැන බොහෝ දෙනකූ දන්නේ නැහැ. එසේම මේ කර්මාන්තවල ඛේදජනක සැබෑ තත්ත්වය අත්දැකීමෙන් දන්නා අය එය ලෙහෙසියෙන් අන් අයට කියන්නේත් නැහැ. මේ නිසා දුර්මත දිගටම සමාජගත වනවා.

ගෙවී ගිය දෙවසර තුළ මා සිංහල පොත් තුනක් එළි දැක් වූ බව දත් ගණකාධිකාරි මිතුරෙක් ඇසුවේ ”ලක්ෂ ගාණක් හම්බ වෙන්න ඇති නේද” කියායි. මෙරට වෙළඳපොලට (යාන්තමින් හෝ) දරා ගත හැකි පරිදි මගේ පොත් මිල කර තිබුණේ රුපියල් 500ට ආසන්න මිලකටයි. එක් පොතකින් පිටපත් දහසක් මුද්‍රණය කරනවා නම් පොතක අලෙවි වටිනාකම ලක්ෂ පහක් බව මගේ මිතුරා ගණන් බැලුවා.

සංඛ්‍යාත්මකව එය නිවැරදි වුවත් ලොව කොතැනකවත් කිසිදු ප්‍රකාශයකු ලේඛකයාට ඒ මුළු මුදල දෙන්නේ නැහැ. එසේ දීමට හැකියාවක් නැත්තේ පොතේ පිටු සැළසුම හා මුද්‍රණයට යන නිෂ්පාදන වියදමත් ඉන්පසු බෙදා හැරීමේ හා අලෙවිකරණ වියදමත් සියල්ල පියවා ගත යුත්තේ පොතේ මිලෙන් බැවින්. පොත් සාප්පුවල පොතක් තබාගෙන විකිණීම සඳහා වට්ටම් වශයෙන් මිලෙන් සියයට 30-40ක් දිය යුතු වනවා.

මේ ආකාරයෙන් බලා ගෙන ගිය විට ලේඛකයාට 10%ට වඩා ඉතිරි වන්නේ නැහැ. යථාර්ථය නොදත් අය සිතන්නේ පොත් ලිවීමෙන් බොහෝ ලේඛකයන් පොහොසත් වන බවයි.

ප්‍රකාශන ෙක්ෂත්‍රයේ ලොව හැම තැනෙකම කර්තෘ භාගය ලෙස ගෙවන්නේ 10%යි. නමුත් ඉන්දියාව, චීනය, ඉංග්‍රීසි කියවන බටහිර ලෝකය ආදි වෙළඳපොලවල (ජනප්‍රිය පොතක) විකිණෙන පිටපත් ගණන අධික නිසා කර්තෘ භාගය 10% බැගින් වුවත් එකතු වී සැළකිය යුතු මුදලක් ලේඛකයාට ලැබෙන අවස්ථා බහුලයි.

එහෙත් පොත් විකිණෙන සංඛ්‍යාව සීමිත වූ අපේ රටේ සාමාන්‍යයෙන් පොතකින් පිටපත් 500ක් හෝ 1,000ක් මුද්‍රණය කැරෙනවා. එය විකිණී ගියොත් ඉන් පසු තවත් 500ක් හෝ 1,000ක් ඊලඟ මුද්‍රණය ලෙස නිකුත් කරනවා. මුල් මුද්‍රණයෙන් ඔබ්බට යන්නේ ජනප්‍රිය බවින් අධික දේශපාලන පොතක්, ප්‍රේම කථාවක්, ආගමික පොතක් හෝ විභාගයකට නිර්දේශ කැරෙන පොතක් පමණයි.

පොත් ලියා පොහොසත් වූ ලේඛකයන් නොවෙයි අඩු තරමින් ලේඛනයෙන් එදිනෙදා ආදායම උපයා ගන්නා වෘත්තීය ලේඛකයන් පවා අපේ රටේ හමු නොවන්නේ මේ නිසයි. එහෙත් පොත් ලියා ධනපතියන් වූ අය ගැන දූසමාන ආරංචි මීට සියවසකට පමණ පෙරත් මෙරට පැතිර ගිය සැටි මාර්ටින් වික්‍රමසිංහයන් එක් තැනෙක ලියා තිබෙනු මට මතකයි.

මාධ්‍ය ලෝකයේ වෙළඳපොළ ආකෘතිය පොත් ප්‍රකාශනයට වඩා වෙනස්. පුවත්පත් බොහෝ කොටම ආදායම් උපයා ගන්නේ පිටුවලින් කොටසක් දැන්වීම්කරුවන්ට විකිණීමෙන්. (පත්තරයක විකිණෙන මිල එහි මුද්‍රණ වියදමවත් ආවරණය කරන්නේ නැහැ.)

එහෙත් හුදෙක් දැන්වීම්වලට පමණක් කිසිවකු පත්‍ර හා සඟරා මිලදී නොගන්නා නිසා හොඳ ප්‍රවෘත්ති, විශේෂාංග හා වෙනත් අන්තර්ගතයන් අත්‍යවශ්‍යයි. බොහෝ මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන මාණ්ඩලික ලේඛකයන්ට හා වාර්තාකරුවන්ට පමණක් මෙය සම්පාදනය කළ නොහැකියි. ඒ නිසා පිටත සිට ලිපි සපයන, නිදහස් ලේඛකයන් (Freelance writers) නමින් හඳුන්වන අයගේ සේවය ලබා ගන්නවා.

මාණ්ඩලික ලේඛකයන්ට මාසික වැටුප්, කාර්යාලීය පහසුකම් හා වෙනත් දීමනා දිය යුතු නමුත් නිදහස් ලේඛකයන්ට ගෙවන්නේ නිර්මාණයකට යම් සුළු ගෙවීමක් පමණයි. ආයතන පරිපාලනය පැත්තෙන් බලන විට මෙය ඉතා සකසුරුවම්කාරි වැඩක්. ප්‍රධාන ප්‍රවාහයේ පුවත්පත් ආයතන සියල්ලම පාහේ නිදහස් ලේඛකයන්ට හා විද්වත් ලිපි සපයන්නන්ට ගෙවන්නේ සොච්චමක්.

1984 සිට ජාතික පුවත්පත් හා සඟරාවලට ලිපි ලිවීම ඇරඹු පසු මා ඉක්මනින් වටහා ගත්තේ එකම මාධ්‍ය සමාගමේ සිංහල ප්‍රකාශන ගෙවන ගණන මෙන් හතර පස් ගුණයක් එහිම ඉංග්‍රීසි ප්‍රකාශනවලට ලිවීම සඳහා ගෙවන බවයි. එහෙත් ද්විභාෂිකව ලියන නිදහස් ලේඛකයන් ඉතා ටික දෙනකු පමණක් සිටින බැවින් මේ වෙනස්කම බෙහෝ දෙනා දන්නේ නැහැ.

වරක් මේ ගැන මා විමසූ විට දිවයින පත්‍රයේ එවකට සිටි කතුවරයෙක් කීවේ ”සිංහලෙන් ලියන්නට ඕනෑ තරම් සිටිනවා. පත්තරේ නම දා ගන්නට, ප්‍රසිද්ධ වෙන්නට කැමති අය නොමිලයේ වුණත් අපට සොයා ගත හැකියි” කියායි.

එය සැබෑවක් විය හැකි වුවත් සමාජ සාධාරණත්වය ගැන කතුවැකියෙන් නිතර කථා කරන පත්තර තුළ ම ලේඛක ශ්‍රමය සුරා කෑම මුළුමනින් වැරදි වැඩක්.

එම සංවාදය ඇති වී වසර 25ක් ගත වීත් සිංහල පත්තරවල තවමත් පිටු බාගයක ලිපියකට ගෙවන්නේ රු. 500 – 1,000ත් අතර ගණනක්. එහෙත් එම සමාගම්වලම ඉංග්‍රීසි පත්තරවලින් එක් ලිපියකට රු. 3,000 – 6,000 අතර ගෙවනවා.

මෙරට මුද්‍රිත හා විද්්‍යුත් මාධ්‍ය ආයතන ප්‍රධානින් විටින් විට මට ජාත්‍යන්තර සමුළුවලදී මුණ ගැසෙනවා. එබඳු තැන්වලදි ඔවුන් වඩා විවෘතව කථා බහ කරනවා. සිංහල ලේඛකයන්ට හා ඉංග්‍රීසියෙන් ලියන ලේඛකයන්ට විශාල වෙනස්කමක් සහිතව ගෙවීම ගැන මා වරක් එක් ප්‍රධානියකුගෙන් සුහදව විමසුවා.

දෙබිඩි ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යන්නට කළමණාකරණයෙන් උපදෙස් දී නැති බව පැහැදිලි කළ ඔහු කීවේ එම ගෙවීම් මට්ටම් නිර්ණය කරන්නේත්, ගෙවීම් නිර්දේශ කරන්නේත් කර්තෘ මණ්ඩල මට්ටමින් බවයි. සිංහල ප්‍රකාශනවල කතුවරුන් බොහෝ විට ලේඛකයන්ට හැකි තාක් අඩුවෙන් ගෙවීම් කොට සිය ප්‍රතිපාදන ඉතිරි කර ගන්නා බවත්, එහෙත් ඉංග්‍රිසි පත්‍ර කතුවරුන් ඊට වඩා ලේඛකයන්ට ගෙවන බවත් ඔහු කීවේ මා විමතියට පත් කරමින්.

Meet the Media!

විද්යුත් මාධ්‍යවල ශ්‍රම සූරා කෑම ඊටත් වඩා දරුණුයි. ටෙලිවිෂන් යනු ඉතා ලාබදායකව පවත්වා ගෙන යන වාණිජ ව්‍යාපාරයක්. ප්‍රේක්ෂකයන් ටෙලිවිෂන් බලන්නේ දැන්වීම් සඳහා නොවෙයි. දැන්වීම්වලින් විශාල ආදායම් උපයා ගන්නට නම් ඒ අතරතුර හරවත් යමක් රසවත් ලෙසින් ඉදිරිපත් කළ යුතුයි. මෙයට බොහෝ කොටම දායකවන්නේ ටෙලිවිෂන් ආයතනවල තනතුරු නොදරණ, බටහිරින් පැමිණෙන ශිල්පීන් හා විද්වතුන්.

ඉන්දියාව, තායිලන්තය, පාකිස්ථානය වැනි රටවල නම් ටෙලිවිෂන් සංවාදවලට සහභාගී වන විද්වතුන්ට හා සමාජ ක්‍රියාකාරින්ට ප්‍රවාහන පහසුකම් සපයා ගෙවීමක් ද කරනවා. එහෙත් අපේ රටේ ඒ අයට බොහෝ විට කිසිම දීමනාවක් ගෙවන්නේ නැහැ. ඉඳහිට කරන ගෙවීම ද ඉතා අඩු මට්ටමක පවතිනවා. එය ප්‍රශ්නයක් හෝ විසමතාවක් බව බොහෝ ටෙලිවිෂන් නිෂ්පාදකවරුන් හෝ ආයතන ප්‍රධානින් පිළිගන්නේත් නැහැ.

”ටෙලිවිෂන් එකේ නොමිළේ පෙනී සිටීමට කැමති ඕනෑ තරම් අය ඉන්නවා. වෛද්‍යවරු, නීතීඥයෝ, ගුරුවරුන්, සූපවේදීන් වැනි අය ටෙලිවිෂන් හරහා සමාජ ප්‍රතිරූප ගොඩ නගා ගන්නවා. අප කරන්නේ ඔවුන්ට වේදිකාවක් දීමයි. හරි නම් ඒ සඳහා ඔවුන් අපට ගෙවිය යුතුයි!” නාලිකා ප්‍රධානියෙක් වරක් මා සමග තර්ක කළා.

රූපවාහිනී නාලිකාවේ පැය බාගයක තරුණ අධ්‍යාපනික වැඩසටහනක් ඉදිරිපත් කිරීමට (පටිගත කිරීමක් සඳහා පැය 4ක් පමණ වැය කළ පසු) 2012දී මට ගෙවනු ලැබුවේ රු. 1,250ක්. එහෙත් ඔවුන් තත්ත්පර 15ක හෝ 30ක වෙළඳ දැන්වීමකට ගුවන් කාලය සඳහා ලක්ෂ ගණනක් අය කරනවා. මේ බව දන්නා අය සිතන්නේ ටෙලිවිෂන් අන්තර්ගතයට දායක වන අප වැනි අයට ද ලක්ෂ ගණනින් නොවුවත් දහස් ගණනින්වත් ගෙවීම් කරනු ඇති කියායි!

ටෙලිවිෂන් මාධ්‍යයේ උච්චතම වාණිජකරණය වන ක්‍රිකට් තරග සජීව විකාශයන්ගේ තත්ත්වය ද මෙයට සමානයි. කලක් තිස්සේ මා සිතා සිටියේ අඩු තරමින් ක්‍රිකට් විස්තර විචාරකයන්ට එම ක්‍රීඩාවට සාපේක්ෂව ඉහළ ගෙවීමක් ලැබෙනවා කියායි.

එහෙත් මෙරට සිටින ජේ්‍යෂ්ඨතම ක්‍රිකට් විස්තර විචාරකයකු මීට දෙවසරකට පමණ පෙර මට කීවේ ලෝක කුසලාන මට්ටමේ එක් දින තරගයක පැය කිහිපයක් සජීව සිංහල විස්තර විචාරය සඳහා මෙරට ප්‍රමුඛ පෙළේ නාලිකාවක් ගෙවන්නේ රුපියල් පන් දහසක් බවයි. (ඉංග්‍රීසි විචාරකයන්ට වැඩිපුර ගෙවනවා.)

ලැබෙන ශිල්පී ගෙවීම ගැන බොහෝ දෙනා ප්‍රසිද්ධියේ කියන්නේ නැහැ. එහෙත් වැඩි ගෙවීම් ගැන කථා කරන විට මාධ්‍ය ආයතන ප්‍රධානින් කියන්නේ මේ ෙක්ෂත්‍රයට පිවිසී නමක් හදා ගන්නට බලා සිටින නවකයන් ඕනෑ තරම් සිටින බවයි. ඔවුන් නොමිලයේ හෝ තම සේවය ලබා දෙන්නට සූදානම්ලු.

මේ සටකපට තර්ක හරහා සම්පත් දායකයන්ට සදාකාලිකව අඩුවෙන් ගෙවා ශ්‍රමය සූරාකෑමේ හැකියාව ලැබී තිබෙනවා. වසර අවසානයේ තමන් කෝටි ගණන් ලාබ ඉපද වූ බව කියමින් පුරම්බාන්නට ටෙලිවිෂන් නාලිකා පාලකයන්ට ඉඩ ලැබෙනවා.

අපේ රටේ මාධ්‍ය ප්‍රකාශන හා නාලිකාවල ලාබ ලැබීම ඉහළ යද්දී ගුණාත්මක බව පිරිහීමට හේතු ගණනාවක් තිබෙනවා. එයින් එකක් නම් මාණ්ඩලික මාධ්‍යවේදීන්ට හා නිදහස් ලේඛකයන්/විද්වතුන්ට සාධාරණ ගෙවීමක් නොකිරීම. එහෙත් වැඩවසම් මානසිකත්වයෙන් හිමිකරුවන්ට හැකි තරම් ලාබ උපයා දෙන මාධ්‍ය ජ්‍යෙෂ්ඨයන් සිටින තුරු මේ තත්ත්වය වෙනස් වනු ඇතැයි සිතීමට අමාරුයි.

See also:

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

30 Dec 2012: සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

30 June 2013: සිවුමංසල කොලූගැටයා #124: පුවත්පත් කර්මාන්තයේ පරිනාමීය අභියෝග

When Worlds Collide #111: Science Journalism for Better Governance

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today newspaper on 13 June 2014

Indo Pak Nuclear rivalry seen by Himal Southasian magazine Indo Pak Nuclear rivalry seen by Himal Southasian magazine

Years ago, as a young science journalist working for Asia Technology magazine of Hong Kong, I was shown around Pakistan’s space agency SUPARCO premises in Karachi. At the time, in early 1990, they were readying the country’s first satellite, Badr 1 (launched later that year on a Chinese rocket).

It was a national showpiece, and no one involved would talk about specifics like costs, benefits and long term research and development (R&D) plans. Although Benazir Bhutto had returned Pakistan to civilian rule, no critical questions could be asked about the country’s nuclear or space programmes.

A few years later, I happened to be in Mumbai when India carried out its second nuclear weapons testing in Pokhran mid May 1998. This ultimate chest thumping act inspired…

View original post 1,092 more words

සිවුමංසල කොලූගැටයා #171: දුම්වැටියේ මායාව හා යථාර්ථය

In this week’s Ravaya column (in Sinhala), I explore the formidable policy dilemmas posed by tobacco control in Sri Lanka. I argue that it isn’t a simple or simplistic battle between ‘good’ and ‘evil’ as anti-tobacco activists would make us believe.

There is no doubt that tobacco kills many smokers — and some non-smokers, too. Yet starting, continuing or quitting smoking is a personal lifestyle choice which, at least in democracies, governments can’t legislate. As long as tobacco remains a legitimate trade, education and persuasion must complement legal regulation.

I covered similar ground in English in a recent column: When Worlds Collide #109: Huffing and puffing over Tobacco in Sri Lanka

May 31 is World No Tobacco Day

දුම්කොළ පිටු දැකීම සඳහා ලෝක දිනය (World No Tobacco Day) යළිත් වරක් මැයි 31 වනදා සමරනු ලැබුවා.

එයට මූලික වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට දුම් කොළ භාවිතය (දුම්පානය හා දුම්කොළ විකීම) නිසා හට ගන්නා බරපතල රෝග නිසා වසරකට අඩු තරමින් මිලියන් හයක් (ලක්‍ෂ 60ක්) දෙනා අකාලයේ මිය යනවා. මේ අතරින් ලක්‍ෂ හයක් සෘජුව නොව දුම් පානය කරන්නන් අසල සිටීම නිසා නිෂ්කී‍්‍රය නැතහොත් අනියම් දුම් පානයට ලක් වන අයයි.

‘‘දුම් පානය හා දුම් කොළ ඇබ්බැහිකම දැන් ලෝකයේ වළක්වා ගත හැකි සාධකයකින් ඇති වන විශාලතම සෞඛ්‍ය තර්ජනයයි. මෙය පාලනය කර නොගතහොත් 2030 වන විට වසරකට ලොව පුරා මිලියන අටක් (ලක්‍ෂ 80ක්) මිය යනු ඇති. ඔවුන්ගෙන් බහුතරයක් (80%කට වඩා) සිටින්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි’’ WHO කියනවා.

ශ‍්‍රී ලංකාවේත් මහජන සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් දුම් කොළ හරහා එල්ල වනවා. 2009දී සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල ප‍්‍රකාශනයකට (Brief Profile on Tobacco Control in Sri Lanka) අනුව වසරකට දුම්පානය නිසා හට ගන්නා රෝගාබාධ නිසා අවම වශයෙන් 20,000ක් දෙනා අකාලයේ මිය යනවා. සාමාන්‍යයක් ලෙස ගත හොත් දිනකට 56 දෙනකු බැගින්.

එසේම දුම්කොළ ඇබ්බැහිකමින් මතු වන දිගු කාලීන ආබාධවලට ප‍්‍රතිකාර කිරිමට රජයේ සෞඛ්‍ය සේවයට අති විශාල මුදලක් වැය වනවා.

2009 වාර්තාවලට අනුව මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් 39%ක්ද වැඩිහිටි කාන්තාවන්ගෙන් 2.6%ක් ද නිතිපතා දුම්පානය කරනවා. දුම්කොළ පාලනය සඳහා වන ලෝක සම්මුතියට Framework Convention on Tobacco Control (FCTC) ශ‍්‍රී ලංකා රජය අත්සන් කළේ 2003දී. එනම් එය WHO ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත කර ගත් වසරේමයි. මේ වන විට ලොව රටවල් 178ක් එයට බැඳී සිටිනවා.

සම්මුතියට අනුකූල වෙමින් බොහෝ පොදු ස්ථානවල දුම්පානය නීතියෙන් තහනම් කොට තිබෙන අතර දුම්කොළ වෙළඳ දැන්වීම්, අනෙකුත් ප‍්‍රචාරණය හා අනුග‍්‍රාහකත්ව ද තහනම්. මේ සඳහා ජාතික දුම්කොළ හා මත්පැන් අධිකාරියක් (NATA) 2006 වසරේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවනු ලැබුවා.

දුම් පානය පාලනය කිරීමේ අළුත්ම ක‍්‍රමෝපාය නම් සිගරට් පැකට්ටුවල රූපමය අනතුරු ඇඟවීමක් මුද්‍රණය කළ යුතුය යන්නයි. මෙය මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් කරනු ලැබුවේ පැකට්ටුවේ මතු පිටින් 80%ක් එවන් අනතුරු ඇඟවීමකට යෙදවිය යුතුය කියායි.

එහෙත් එයට අභියෝග කරමින් මෙරට දුම්වැටි ඒකාධිකාරය හිමි ලංකා දුම් කොළ සමාගම (CTC) අභියාචනාධිකරණය වෙත ගියා. දෙපාර්ශවයේම තර්ක සලකා බලා අධිකරණය තීරණය කළේ රූපමය අනතුරු ඇඟවීම මතු පිටින් 50-60%ක් දක්වා යොදා ගෙන කළ යුතු බවයි.

මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත් නමුත් ප‍්‍රශ්නය එතැනින් මුළුමනින් විසඳී නැති බවත් පෙනෙනවා. රූපමය අනතුරු ඇඟවීම 80%ක් ම කළ යුතු යයි තරයේ කියා සිටින ක‍්‍රියාකාරිකයන් සිටිනවා.

WHO encourages pictorial warnings

මෙරට වෛද්‍ය වෘත්තිය නියෝජනය කරන ප‍්‍රධානතම වෘත්තික සංවිධානය වන ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) කියන්නේත් 80% අනතුරු ඇඟවීමට ඔවුන් සම්පූර්ණ සහයෝගය දෙන බවයි.

දුම් පානයට එරෙහිව අරගල කරන වෛද්‍යවරුන් හා අනෙකුත් ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු විවාදයක් නැහැ. කිසිදා දුම්පානය නොකළ හා නිෂ්ක‍්‍රීය දුම්පානයෙන් නිතර බැට කා ඇති ඇදුම රෝගියකු වන මා, දුම්කොළ නිවාරණයට පෞද්ගලිකව පක්‍ෂයි. එහෙත් සමාජ අරගල කළ යුත්තේ යථාර්ථවාදීව හා ප‍්‍රායෝගික තලයක සිටයි.

සිගරට් පැකට්ටුවල වාචික හා රූපමය අනතුරු ඇගවීම් ප‍්‍රදර්ශනය කිරීම කලක් තිස්සේ දියුණු බටහිර හා ආසියාතික රටවල කැරෙන මහජන අධ්‍යාපන උපක‍්‍රමයක්. එහෙත් මෙරටට මේ උපක‍්‍රමය ගැලපෙනවා ද යන්න ප‍්‍රශ්නයක්.

හේතුව ආර්ථික සාධක නිසා අපේ දුම්බොන්නන් බහුතරයක් සිගරට් මිළට ගන්නේ සිල්ලරට. වරකට එකක් හෝ කිහිපයක් බැගින්. මුළු පැකට්ටුවම එකවර මිලට ගන්නේ 5%ක් පමණක් බවත්, අතිබහුතරය (95%) සිල්ලරට ගන්නා බවත් අම්බා පර්යේෂණායතනය (Amba Research) නම් වූ ආර්ථික විශ්ලේෂණ සමාගම හා කොළඹ කොටස් වෙළඳපොල හවුලේ 2013 ඔක්තෝබරයේ නිකුත් කළ වාර්තාවක කියනවා.

ඒ කියන්නේ මෙතරම් වෙර දරා රූපමය අනතුරු ඇඟවීම් මෙරට පටන් ගත්ත ද බහුතරයක් දුම් බොන්නන් අතට අය පත් නොවනු ඇති බවයි! මීට වඩා ප‍්‍රායෝගික විය හැක්කේ සිගරට් විකුණන හැම තැනකම ප‍්‍රබල රූපමය අවවාදයක් හා අනතුරු ඇඟවීමක් කාටත් පෙනෙන සේ ප‍්‍රදර්ශනය කිරිමයි.

සිගරට් වෙළඳාම ගැන මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ බරපතල විරෝධතා තිබුණත් එය නීති විරෝධී ව්‍යාපාරයක් නොවෙයි. සිගරට් රටේ නීතිවලට අනුකූලව නිපදවා, නීති රීතිවලින් ඉඩදී ඇති පරිදි බෙදා හැර අලෙවි කැරෙන භාණ්ඩයක්. දුම්කොළ සමාගම් සූක්‍ෂම ලෙසින් කලා, ක‍්‍රීඩා හා වෙනත් ක්‍ෂෙත‍්‍රවලට බලපෑම් කරන බවට තර්කයක් කලක සිට තිබෙනවා. එහෙත් මෑත වසරවලදී අනියම් ප‍්‍රචාරණය පවා නීතිරීති මගින් දැඩි ලෙස සීමා කොට තිබෙනවා.

දැන් නීතියෙන් කළ හැකි වැඩ කොටස සංතෘප්ත වී ගෙන එන බවත්, ඉතිරිය දැනුවත් කිරීම හා නම්මවා ගැනීම හරහා සිදු විය යුතු බවත් පිළිගත යුතුයි.

SLMA සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් හා එහි දුම්පානය හා මත්පැන් පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය නාරද වර්ණසූරිය මෑතදී පුවත්පත් ප‍්‍රකාශයක කීවේ ‘‘මෙරට මත්පැන්, මත්ද්‍රව්‍ය හා චර්යාව සම්බන්ධ අන් සියලූ සාධකවලට වඩා විශාල හානියක් වන්නේ දුම් පානයෙන් නිසා එයට ප‍්‍රමුඛතාවයක් දීම අවශ්‍යයි.’’

රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්‍ද්‍රය (ADIC) මෙරට දුම්පානය හා මත්පැන් පානය ගැන වසරකට දෙවතාවක් බැගින් වෙනම සමීක්‍ෂණ පවත්වනවා. 1998 සිට සිදු කර ඇති සමීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව පෙනෙන්නේ දුම්පානය කරන ජන ප‍්‍රතිශතය ටිකෙන් ටික අඩුවන බවයි. එසේම ලාබාල හා තරුණ කොටස් අතර එය වඩාත් අඩු බව ද පෙනෙනවා.

Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys [Full reports at: http://www.adicsrilanka.org/publication/]
Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys. Full reports at: http://www.adicsrilanka.org/publication/
දැනට ප‍්‍රකාශිත අන්තිම සමීක්‍ෂණය කළේ 2013 ජූලි මාසයේ මෙරට දිස්ත‍්‍රික්ක 10කයි. වයස 14ට වැඩි පිරිමි 2,465 දෙනකු එයට හවුල් කර ගනු ලැබුවා. එහි ප‍්‍රතිඵලවලින් මෙරට දුම්පානයේ ප‍්‍රවණතා ගැන දළ ඉඟියක් ලද හැකියි.

දැනට දුම්පානය කරන අයගේ ප‍්‍රතිශතය සාම්පලයෙන් 32.5%ක් වුණා. එහෙත් වයස 40ට වැඩි පිරිස අතර එය 36.7%ක් වූ අතර වයස 15-24 අතර පිරිසේ දුම්පානය කළේ 26.9%ක් පමණයි.

දුම්බොන අයගෙන් සියයට 70ක් දෙනා දිනපතාම සිගරට් බොනවා. බහුතරයක් (තුනෙන් දෙකක්) එබඳු අය සිගරට් 5ක් හෝ ඊට අඩුවෙන් දිනකට පානය කරනවා.

සිගරට් බොන අයගෙන් තුනෙන් එකකටම ඒ සඳහා හරිහමන් හේතුවක් නැහැ. තවත් 31% කීවේ පුරුද්දට දුම් බොන බවයි. ඉතිරි හේතුන් වූයේ සන්තෝෂයට (19%), සමාජශීලි වන්නට (14%), ප‍්‍රශ්න අමතක කරන්නට (3.4%) හා මිතුරු බලපෑම් නිසා (1.1%).

දැනට දුම්පානය කරන අයගෙන් 60%ක්ම යම් අවස්ථාවක එම ඇබ්බැහිකම නතර කිරීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. මෙයින් පෙනෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය හා සදාචාරාත්මක සාධක ඉක්මවා යන මානසික හා සමාජයීය සාධක මෙහි ක‍්‍රියාත්මක වන බවයි. මේවා සියුම්ව ග‍්‍රහණය කිරීම වැදගත්.

හැම සමීක්‍ෂණයක ම එයට ආවේණික වූ සීමාවන් තිබෙනවා. එහෙත් හුදෙක් මතවාදයන් හා ආවේග මත දුම්වැටි විරෝධී ව්‍යාපාරයන් ගොඩනංවනවා වෙනුවට ADIC ඇතුළු විවිධ ආයතන සිදු කර ඇති සමීක්‍ෂණ හා මෙරට වෙළඳපොළ යථාර්ථය මත පදනම් වීම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලබාදිය හැකියි.

දුම් පානය ගැන විවාදයට එක් වෙමින් ප‍්‍රවීන ලේඛක, තීරුලිපි රචක හා නිවහල් චින්තකයකු වන ගාමිණී වියන්ගොඩ 2014 මැයි 31 රාවයේ කීවේ: ‘‘ මගේ තර්කය වන්නේ දුම් පානය සම්බන්ධයෙන් තිබිය යුත්තේ සෞඛ්‍ය සහ ආර්ථික විද්‍යා ගැන සැළකිලිමත්වීම මිස, ආගමික හෝ සදාචාර කොක්කක එල්ලීම නොවන බව පමණි. එහෙත් වෙනත් ලෞකික තහංචි සේම මේ දුම්පාන විරෝධයත් අප වෙත එන්නේ, එක්තරා ආගමික/පාරිශුද්ධවාදී හැඟීමකිනි. වරද ඇත්තේ එතැනයි.’’

මෙයට මාත් එකඟයි. සෞඛ්‍ය විද්‍යාත්මකව දුම්පානයට එරෙහි වීමට ඕනෑවටත් වඩා ප‍්‍රබල සාක්‍ෂි සමුදායක් තිබියදී අපේ වෛද්‍යවරුන් හා සමාජ ක‍්‍රීයාකාරිකයන් මෙසේ සදාචාරය ඈඳා ගැනීම අනවශ්‍ය ලෙස මේ සංවාදය ව්‍යාකූල කිරීමක්.

සමාජයක් ලෙස අපට කළ හැක්කේ පොදු අවකාශයන්හි නිෂ්ක‍්‍රීය දුම්පානයේ අවදානම තුරන් කිරීමත්, දුම්පානයෙන් අත්මිදෙන්නට යන්තමින් හෝ ඕනෑකමක් ඇති අයට (අනවශ්‍ය සුචරිතවාදී කථා නොකියා) එයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක හා සෞඛ්‍යමය අත්වැලක් සැපයීමත් පමණයි.

දුම්වැටි විරෝධය හුදෙක් ලය හෝ හෘද විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. දුම්බොන්නන්ගේ මානසිකත්වය හරි හැටි තේරුම් ගැනීමට මනෝ විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍යයි. මෙය අපේ කාලයේ ප‍්‍රබල සන්නිවේදන අභියෝගයක් ලෙස සලකමින්, සුචරිතවාදය වෙනුවට සියුම් තර්ක හරහා දුම්පානය කරන අය සමග සංවාදශීලි විය යුතුයි. ඔවුන් සැවොම ඉක්මනින් තම චර්යාව වෙනස් නොකරන බවත් සිහිතබා ගත යුතුයි.

ප‍්‍රශස්ත සන්නිවේදනයේ මූලික අවශ්‍යතාවයක් වන්නේ තමන් අමතන්නාගේ අවධානය යොමු කරවා ගෙන ඉන් පසු ඔවුන්ගේ සිත් දිනා ගැනිමයි. අනගාරික ධර්මපාලයන් මීට සියවසකට පෙර කළා යයි කියන ආකාරයේ පරුෂ වචන යොදා ගෙන බැන වැදීම අද සංකීර්ණ සමාජයන්හි පිළිගත හැකි හෝ සාර්ථක ක‍්‍රමයක් නොවෙයි. (එකල පවා එය සාර්ථක වූවා ද යන්න සැක සහිතයි!)

දුම් පානය කරන්නවුන් මෝඩයන්වත්, පාපතරයන්වත් නොවෙයි. ඔවුන්ට නිග‍්‍රහ කිරීමෙන් හෝ සමච්චල් කිරීමෙන් හෝ ඒ පුරුද්දෙන් ඔවුන් අත්මිදෙනු වෙනුවට බොහෝ විට සිදු වන්නේ ඔවුන්ගේ අධිෂ්ඨානය තවත් තිරසාර වීමයි.

දුම්කොළ සමාගමට බෙදන හැන්දෙන් ම දුම්කොළයට ඇබ්බැහි වූවන්ට ද බෙදීම නිසි ක‍්‍රමෝපායක් නොවන බවත්, වඩාත් සංවේදී හා සංවිධානාත්මක වූ සන්නිවේදනයක් අවශ්‍ය බවත් දුම්කොළ විරෝධීන් අවබෝධ කර ගත යුතුයි.

Infographic courtesy Gulf News
Infographic courtesy Gulf News

When Worlds Collide #110: Saluting unknown ‘Tank Man’ 25 Years Later

Nalaka Gunawardene's avatarWhen Worlds Collide, by Nalaka Gunawardene

Text of my ‘When Worlds Collide’ column published in Ceylon Today newspaper on 6 June 2014

One man against a mighty army - Tank Man in Beijing One man against a mighty army – Tank Man in Beijing

This week marks the 25th anniversary of the Chinese government’s brutal crackdown on protesting students at Beijing’s Tiananmen Square.

In our media saturated world, with hundreds of mainstream and citizen journalists bearing witness to key events, one image often stands out as symbolic. It’s that one which gets etched into our collective memory.

There was such an iconic image from Tiananmen Square. It shows a solitary, unarmed Chinese man standing up against a column of battle tanks rolling down a street.

Captured by several photographers snapping away from a nearby hotel balcony, it is one of the best known moments in 20th century photojournalism.

Perhaps the most widely seen photo was taken by Jeff Widener, an American photojournalist who was…

View original post 1,379 more words