June 2014 marks the 25th anniversary of the Chinese government’s brutal crackdown on protesting students at Beijing’s Tiananmen Square.
There was one iconic image from that tragedy. It shows a solitary, unarmed Chinese man standing up against a column of battle tanks rolling down a street. In this week’s Ravaya column (in Sinhala), I salute that unknown man who — momentarily, at least — stood up against the largest army in the world.
I covered the same story in English on 6 June 2014:
When Worlds Collide #110: Saluting unknown ‘Tank Man’ 25 Years Later

ලෝකයේ (පිරිස් බලය අතින්) විශාලතම හමුදාව වන චීනයේ මහජන විමුක්ති හමුදාව සිය රටේම නිරායුධ සරසවි සිසුන්ට බරපතල ලෙස පහර දී සිය ගණනක් මරා දමා දහස් ගණනකට තුවාල කළේ 1989 ජූනි මස මුලදී. ඒ බේජිං අගනුවර තියානන්මන් චතුරස‍්‍රය (Tiananmen Square) හා ඒ අවට මංමාවත්වලදී.
මෙතරම් දරුණු ප‍්‍රහාරයකට ලක් වීමට සිසුන් කළ ‘‘වරද’’ වූයේ යුක්තිය හා සාධාරණත්වය උදෙසා සාමකාමීව උද්ඝෝෂණය කිරීමයි. ලෝකයම කම්පා කළ මේ සිදුවීමේ 25 වන සංවත්සරය මෑතදී සමරනු ලැබුවා.
අද දක්වාත් ඒ ඛේදජනක සිදුවීම් මාලාව ගැන ප‍්‍රසිද්ධියේ හෝ විවෘතව කථා කිරීම චීන ජනතාවට හා මාධ්‍යවලට තහනම්. නිල මට්ටමින් එරට එදා මෙදා මේ ගැන කිසිදු විමර්ශනයක් හෝ පරික්‍ෂණයක් ද කෙරී නැහැ. චීනය පාලනය කරන කොමියුනිස්ට් පක්‍ෂය කියන්නේ ‘‘අවශ්‍ය බලය’’ යොදා ප‍්‍රතිවිප්ලවකාරීන් පිරිසක් මෙල්ල කොට නීතිය හා සාමය ප‍්‍රතිස්ථාපනය කරන ලද බව පමණයි.
සිසු අරගලයට පසුබිම් වූ මහා පරිමානයේ හේතු සාධක ගණනාවක් තිබුණා. 1978දී වෙළඳපොළ ආර්ථික ක‍්‍රමය හඳුන්වා දීමෙන් පසු චීන සමාජයේ මතු වූ විසමතා එයට මූලික වුණා. සුපිරි ධනවතුන් සුළුතරයක් මතුව ඒම, දුෂණ හා වංචා සමාජය වෙලා ගැනීම, උගත් තරුණ තරුණියන්ට සුදුසුකම්වලට සරිලන රැකියා සොයා ගත නොහැකිවීම, දරා ගත නොහැකි උද්ධමනය වැනි මුළු රටට ම බලපෑ දැවෙන ප‍්‍රශ්නවලට පාලකයන්ගේ අවධානය යොමු කරවීමට සිසුන්ට අවශ්‍ය වුණා.
මේ ප‍්‍රශ්නවලට කොමියුනිස්ට් පක්‍ෂය තුළ හඬක් නැගූ පැරණි නායකයකු වූ හූ යා ඕබැංග් (Hu Yaobang) 1989 අපේ‍්‍රල් මාසයේ මිය ගිය විට සිසුන් ඔහු සමරන්නට තියානන්මන් චතුරස‍්‍රයට මුල් වරට ඒකරාශි වූවා. එය යුක්තිය හා සාධාරණත්වය උදෙසා කැරෙන අරගලයක් වූයේ ඉන් දින කිහිපයකට පසුවයි.
1989 අපේ‍්‍රල් මැද පටන් දිනපතාම පාහේ දැවැන්ත චතුරස‍්‍රයට සිසුන් ලක්‍ෂ ගණනක් රැස් වුණා. ඔවුන් ඉතා සාමකාමීව උද්‍යොග පාඨ කියමින්, විරෝධතා පුවරු ප‍්‍රදර්ශනය කරමින් එහි රැඳී සිටියා. එහි උච්ච අවස්ථාවේ මිලියනයක් පමණ සිසුන් එහි සිටි බව වාර්තාගතයි.
චීන පාලකයන් මුලදී මේ උද්ඝෝෂණවලට ඉඩ දී පසෙකට වී බලා සිටියා. පක්‍ෂය තුළ ප‍්‍රතිසංස්කරණවාදී නායකයන් සිසුන් වෙනුවෙන් පෙනී සිටි බවත්, අතිශයින් දරදඬු දේශපාලන තන්ත‍්‍රය තරමක් හෝ ලිහිල් කිරීමට අවශ්‍ය සංවාදයක් එතැනින් මතුව ආ බවත් ඉතිහාස වාර්තා කියනවා.
එහෙත් චීනයේ ආධිපත්‍යය දැරූ වයෝවෘධ පාලකයෝ මේ තරුණ සිතුම් පැතුම් දුටුවේ කඩාකප්පල්කාරී ක‍්‍රියා ලෙස පමණයි. මැයි මාසය වන විට තියානන්මන් චතුරස‍්‍රයේ සිසු අරගලයට සහයෝගය දක්වමින් චීනය සිසාරා තවත් නගර 400ක පමණ කුඩා පරිමානයේ සිසු ඒකරාශී වීම් පැන නැගුණා. එසේම බේජිං උද්ඝෝෂණයට පොදුජනයා ද එකතු වුණා.
පොලිසියේ නිරීක්‍ෂණ මැද සිසුන් දිගටම උද්ඝෝෂණ කර ගෙන ගියා. ජාත්‍යන්තර මාධ්‍යවලට මුලදී මෙය එතරම් ලොකු ප‍්‍රවෘත්තියක් වූයේ නැහැ.
මේ තත්ත්වය වෙනස් වූයේ මැයි මාසයේ මැදදී සෝවියට් නායක මිහායෙල් ගොර්බචොෆ් කෙටි නිල සංචාරයකට බේජිං නුවරට පැමිණි විටයි. වසර 30කට පසු චීනයට ආ මුල්ම සෝවියට් නායකයා වූ ඔහුගේ සංචාරය ගැන ජාත්‍යන්තර මාධ්‍ය ලොකු උනන්දුවක් දැක්වූවා. එය ආවරණය කිරීමට බටහිර මාධ්‍ය ආයතන රැසක් වාර්තාකරුවන් හා ටෙලිවිෂන් කණ්ඩායම් බේජිං නුවරට යැවුවා.
එසේම ලෝකයේ විශාලතම කොමියුනිස්ට් රාජ්‍යයන් දෙක පරණ අමනාපකම් අමතක කොට අලූත් සබඳතාවලට යොමු වන බව ලොවට පෙන්වීමට චීනයට බලවත් සේ උවමනා වූ නිසා සාමාන්‍යයෙන් විදෙස් මාධ්‍යවලට සිය රටට පිවිසිමට තිබූ බාධක හා සීමා තාවකාලිකව ලිහිල් කළා.
නමුත් පාලකයන් සිතූ විදියට සැළසුම් ක‍්‍රියාත්මක වූයේ නැහැ. මැයි මාසය මුලදී චතුරස‍්‍රය හිස් කරන්නට පොලිසිය තැත් කළත් සිසුන් එහි දිගටම රැඳී සිටියා. ඒ අවස්ථාවේ පාලක පක්‍ෂය තුළ මධ්‍යස්ථ මතධාරින් තවමත් උත්සාහ කළේ සාකච්ඡා හරහා සාමකාමීව ප‍්‍රශ්නය විසඳා ගන්නයි. රටේ බුද්ධිමත්ම තරුණ තරුණියන්ට ගරු සරු ඇතිව සැළකිය යුතු බවට ඔවුන් විශ්වාස කළා.
මැයි 15දා ගොර්බචොෆ්ගේ රථ පෙරහැරට සිසුන් බාධා කළා. අන්තිමේදී ලෝක මාධ්‍ය අවධානය මැද ඔහුට තහනම් මාලිගාවේ පසුපස දොරින් පිටව යන්නට සිදු වුණා. මෙය තමන්ට සිදු වූ ලොකු අවමානයක් ලෙස සැළකූ දැඩි මතධාරී පාලකයෝ කෙසේ හෝ සිසුන් මර්දනය කළ යුතු යයි තීරණයට එළඹුණා.
මැයි 18 වනදා චීන අගමැති ලී පෙංග් ශිෂ්‍ය නායකයන් හමු වී සාකච්ඡා කරනු එරට ටෙලිවිෂන් පුවත් හරහා පෙන්වූවා. එහෙත් ඒ වන විටත් මර්දනය සඳහා හමුදා සැළසුමක් කිරීම අරඹා තිබුණා. කොමියුනිස් පක්‍ෂ නායක සාඹ් සියෑං Zhao Ziyang මැයි 19 වනදා අරගලය නවතා ගෙදර යන්න යැයි කළ අවසන් ඉල්ලීම ද සිසුන් ප‍්‍රතික්‍ෂෙප කළා.
මේ වන විට නායකයන් පිළිබඳ පොදුජන විශ්වාසය හා පිළිගැනීම බෙහෙවින් පහත වැටී තිබුණා. පිටතට නොපෙන්වූවාට චීන රජයේ හා පක්‍ෂයේ ලොකු කැළඹීමක් ද හට ගෙන තිබුණා. බල අරගලයන් හා මතවාදී ගැටුම් උත්සන්න වූවා.
ගොර්බචොෆ් සංචාරයට බේජිං නුවරට පැමිණි විදෙස් මාධ්‍යකරුවන් බොහෝ දෙනකු මේ අරගලය උත්සන්න වනු දැක එය වාර්තා කිරීමට රැඳි සිටියා.
මැයි 20දා රජය මාෂල් නීතිය ප‍්‍රකාශ කළා. ඒ යටතේ නීතිය හා සාමය රැකීමට විශේෂ බලතල සහිතව හමුදාව කැඳවනු ලැබුවා. ඉතා මෑතදී පිටස්තර ලෝකය දැන ගත්තේ එක් චීන හමුදා ජ්‍යෙෂ්ට නායකයකු සරසවි සිසුන්ට පහරදීම එක හෙළා විරුද්ධ වූ බවයි.
‘‘මේක දේශපාලන ප‍්‍රශ්නයක්. එය ප‍්‍රචණ්ඩත්වයෙන් නොව සාකච්ඡුාවෙන් විසඳා ගත යුතුයි. මේ අපේම දරුවෝ’’ යයි ඔහු කියා තිබෙනවා. ඔහුව වහාම හිර භාරයට ගනු ලැබුවා. බියට පත් අනෙක් හමුදා නායකයෝ ඕනෑම අණක් ක‍්‍රියාත්මක කිරීමට ප‍්‍රතිඥා දුන්නා.
මැයි මස හමාර වී ජූනි මසට එළඹෙද්දී සිසු අරගලය සඳහා බේජිං වැසියන්ගේ සහයෝගය ද වැඩි වුණා. සිසුන් හා නගර වැසියන් එක්ව නගරයේ කිහිප තැනෙක හමුදා වාහන වට කරනු ලැබුවා.
අවශ්‍ය ඕනෑම බලයක් යොදා තියානන්මන් චතුරස‍්‍රයත්, නගරයේ සෙසු වීදිත් වහාම යථා තත්ත්වයට ගෙන ඒමට දේශපාලන නායකයෝ හමුදාවට අණ කළා. මේ අනුව තුවක්කු, යුද්ධ ටැංකි හා වෙනත් ප‍්‍රහාරක වාහන යොදා ගෙන හමුදාව ඉදිරියට ගියේ නිරායුධ සිසුන්ට නිර්දය ලෙස පහර දෙමින්. බිය වී පලා යන බොහෝ දෙනකුගේ පිටට වෙඩි තබා මැරූ බව පසුව හෙළි වුණා. බයිනෙත්තු හා රයිෆල් ප‍්‍රහාර හරහා සිය ගණනක් මහ මග ජූනි 4දා අමු අමුවේ මරා දැමුවා.
චීන හමුදාව සරසවි සිසුන්ට ප‍්‍රහාර එල්ල කරනු සමහර විදෙස් ඡුායාරූප ශිල්පීන් හා ටෙලිවිෂන් වාර්තාකරුවන් හසු කර ගත්තා. මේ හරහා පැය ගණනක් ඇතුළත බේජිං නුවර ඛේදවාචකය මුළු ලොවටම ආරංචි වුණා. පාලකයෝ ප‍්‍රහාරයෙන් දින දෙක තුනකට පසු එරටින් පිටස්තර ලෝකයට දිවෙන පණිවුඩ චන්ද්‍රිකා සබඳතා සියල්ල නවතා දැමුවා.

එහෙත් ඊට පෙර ජූනි 5 වනදා උදේ, තියානන්මන් චතුරස‍්‍රය සමීපයේ අසාමාන්‍ය දෙයක් සිදු වුණා. චතුරස‍්‍රයට පිවිසෙන චන්ගාන් Chang’an (සනාතන සාමය) මාවතේ හමුදා යුද්ධ ටැංකි 18ක් එක පෝලිමට ගමන් කරමින් සිටියා. මේ වන විට චතුරස‍්‍රය සිසු ලෙයින් නැහැවී තිබුණා. ඒ පළා යන සිසුන් හා පුරවැසියන් සොයා හමුදාව මුළු නගරයම පීරන මොහොතයි. තැගැස්සුණු නිවැසියෝ අසරණව බලා සිටියා.
එක් වරම යුද්ධ ටැංකි පේලියේ ඉදිරියට ඇවිදගෙන ආවේ කළු කලිසමක් හා සුදු කමිසයක් හැඳි චීන ජාතික පිරිමියෙක්. ෂොපිං බෑග් දෙකක් ද අතේ තිබුණා. ඔහු හඬ නගා ටැංකි තුළ සිටින හේවායන්ට යමක් කීවා.
ඉදිරි යුද්ධ ටැංකිය මේ නාඳුනන මිනිසා යට වීම වළක්වමින් දකුණට හැරී පෙරට යන්න තැත් කළා. එවිට ඔහු යළිත් එය ඉදිරියට පැන්නා. මෙසේ දෙතුන් වරක් පෙරට යාමට වැළැක් වූ විට ටැංකිය නතර වුණා. ඒ මතට නැග ගත් මිනිසා එතුළ සිටින හේවායන් සමග කථා කරනු පෙනුණා. ඔහු කීවේ කුමක්දැයි කිසිවකු දන්නේ නැහැ. එහෙත් මේ මහා මර්දනයට තනි පුරවැසියකුගේ විරෝධය පෑමක් බව පැහැදිලියි.
විනාඩියකට පසු යළි බිමට පැන ගත් මේ නිර්භීත මිනිසා තවත් තත්පර ගණනක් ටැංකි පෙළ ඉදිරියේ සිට යමක් කීවා. අවට කිසිවකු විසින් ඔහුව එතැනින් ඉවතට කැඳවා ගෙන ගියා.
යුද්ධ ටැංකිවලට අභියෝග කළ නාඳුනන මිනිසා ගැන මුළු ලෝකයම දන්නේ එපමණයි. ඔහු කවුද හෝ ඉන් පසු ඔහුට කුමක් සිදුවී දැයි හෝ කිසිවකුත් දන්නේ නැහැ.
1989 Raw Video: Man vs. Chinese tank Tiananmen square
එහෙත් අසල හෝටලයක බැල්කනියේ සිට මේ සමස්ත සිදුවීම ඡුායාරූප හා වීඩියෝ මගින් හසු කර ගන්නට ජාත්‍යන්තර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට අහම්බෙන් හැකි වුණා. ඔවුන්ට ස්තුති වන්නට ඛේදවාචකයකින් හමාර වූ තියානන්මන් අරගලයේ අතිශයින්ම සංත‍්‍රාසජනක හා සංකේතාත්මක රූපය බවට ඒ නාඳුනන පුංචි මිනිසා ටැංකිවලට එරෙහි වීම පත් වුවා.
ටැංකිවලට එරෙහි වූ මිනිසාගේ ඡායාරූපය පුවත් ඡායාරූපකරණයේ වැදගත් මොහොතක් ලෙස සැළකෙනවා. එය ටයිම්, නිව්ස්වීක් වැනි සඟරාවල පිටකවරයට පවා ගියා. විනාඩි කිහිපයක් ඇතුළත 20 වන සියවසේ ඉතිහාසගත චරිතයක් බවට ඔහු නිතැතින්ම පත් වුණා.

මේ අසාමාන්‍ය පුද්ගලයා කවුද? ඔහු අල්ලා ගනු ලැබ මරා දැමුවාද? නැතිනම් අල්ලා ගන්නට බැරි වී අද දක්වාත් චීනයේ ජීවත් වනවාද? ඔහු තමන්ට එරෙහිව ඉදිරියට ආ විට ඔහු පොඩිපට්ටම් කරමින් ටැංකිය ධාවනය නොකළේ ඇයි? දේශපාලන බලධාරින් තමන්ගේම නිරායුධ සහෝදර ජනයාට ම්ල්ච්ඡ ප‍්‍රහාර එල්ල කිරීමට අණ දීම ගැන ටැංකි තුළ සිටි හේවායන්ට කම්පනයක් ඇති වී තිබුණාද?
මෙබදු ප‍්‍රශ්නවලට උත්තර නැහැ. අපට කළ හැක්කේ අනුමානයන් පමණයි.
සාධාරණ ජන උද්ඝෝෂණයක් අසීමිත හා නිර්දය රාජ්‍ය බලය යොදා මර්දනය කිරීමට එරෙහිව තනි මිනිසුන් හා ගැහැණුන් නැගී සිටි මුල්ම හෝ අවසාන අවස්ථාව මෙය නොවෙයි. ජාතික ආරක්‍ෂාව, නීතිය හා සාමය ආදි සාධක පෙරට ගනිමින් ජනතා උද්ඝෝෂණ මැඞීම තවමත් බොහෝ රටවල සිදු වන්නේ අවශ්‍ය අවම බලය වෙනුවට උපරිම බලය යොදා ගනිමින්.
එය වාර්තා කිරීමට යන වෘත්තිමය මෙන්ම පුරවැසි මාධ්‍යකරුවන් ද එහිදී ප‍්‍රබල අවදානමකට ලක් වනවා. ගොර්බචොෆ් සංචාරය සිදු නොවුවා නම් බේජිං නුවර මිනිස් ඝාතනය ගැන ලෝකය සාක්‍ෂි සහිතව දැන නොගන්නට ඉඩ තිබුණා.
තියානන්මන් චතුරස‍්‍රය දෙස් විදෙස් සංචාරකයන් රැසක් එන තැනක්. 1996 පටන් කිහිප විටක් මා චතුරස‍්‍රයට ගොස් එහි ඇවිද තිබෙනවා. මා ඕ සේතුංගේ දැවැන්ත ඡුායාරූපය චතුරස‍්‍රය වෙත බැල්ම හෙළනවා. එහෙත් 1989 ජූනි ඛේදවාචකයෙ සේයාවක් හෝ එහි ඉතිරිව නැහැ.
2004දී චීන ටෙලිවිෂන් නිෂ්පාදකයන් හා වාර්තාකරුවන් පුහුණු කරන්නකු ලෙස මා දෙසතියක් බේජිං නුවර ගත කළා. මාගේ සිසුන් වූයේ දක්‍ෂ හා සංවේදී තරුණ මාධ්‍යවේදීන්. චතුරස‍්‍රයේ වූ ලේ වැහැරීම ගැන ඔවුන් අසා ඇතත් බොහෝ දෙකනුට සෘජු මතකයන් නැහැ. ඔවුන් ඒ සඳහා ලාබාල වැඩියි. එසේම ඒ ගැන විවෘතව කථා කරන්නට ද ඔවුන්ට රට තුළ අවකාශයක් නැහැ.
තියානන්මන් විරෝධතා මැඩ පැවැත්වීමේදී මිය ගිය සංඛ්‍යාව 200-300 අතර පමණක් යයි චීන නිල වාර්තා කියනවා. වසර 25ක් ගත වීත් එය සොයා බලන්නට පර්යේෂකයන්ටවත් එරට රජය අවසර දෙන්නේ නැහැ.
අද වන විට වයස 30ට අඩු කිසිදු චීන ජාතිකයකු මේ සිදුවීම් අත්දැක නැහැ. මේ නිසා කල් යත්ම තියානන්මන් චතුරස‍්‍රයේ අමිහිරි මතකයන් කෙමෙන් මැකී යාවිද? නැතිනම් කවදා හෝ ඒ සිදුවීම්වල සැබෑ තතු චීනය හා ලෝකය හරි හැටි දැන ගනීද?
