සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

As Sri Lanka marks 65th anniversary of independence this weekend, I dedicate my Ravaya column to the memory the brilliant Lankan engineer, designer and artist H R Premaratne who was closely associated with preparation for the historic ceremony held in Colombo.

English article on the same topic published in Ceylon Today, 3 Feb 2013.

First Ceylon Independence ceremony - Colombo, 10 Feb 1948, painted by H R Premaratne
First Ceylon Independence ceremony – Colombo, 10 Feb 1948, painted by H R Premaratne

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් දේශපාලන නිදහස ලැබුවේ 1948 පෙබරවාරි 4 වනදා. එය සැබෑ නිදහසක් ද යන්න ගැන තවමත් විවාද පවතින නමුත්, එම නෛතික තත්ත්වය ලබා ගැනීම මෙරට දේශපාලන ඉතිහාසයේ සන්ධිස්ථානයක්.

එදා මුල් ම නිදහස් උත්සවය පවත්වනු ලැබුවේ අද නිදහස් ස්මාරකය පිහිටා තිබෙන කොළඹ ටොරින්ටන් චතුරස‍්‍රයේ (දැන් නිදහස් චතුරස‍්‍රය). 1948 පෙබරවාරි 10දා බි‍්‍රතාන්‍ය කිරුළ නියෝජනය කරමින් මෙහි පැමිණි ග්ලොස්ටර් ආදිපාදවරයා මෙරට රජයේ ප‍්‍රධානීන්ට අදාළ ලියකියවිලි භාර දීමේ අවස්ථාවට හරිහමන් රැස්වීම් ශාලාවක් තිබුනේ නැහැ. නිදහස ලැබීම ස්ථිර වී ගෙවී ගිය මාස කිහිපය තුළ එබඳු ලොකු ගොඩනැගිල්ලක් තැනීමට සෑහෙන කාලයක් ලැබුනේ ද නැහැ.

එහෙත් එබන්දක් නොපෙනෙන පරිදි 1948 පෙබරවාරි 10 උත්සවය මහත් හරසරින් පවත්වනු ලැබුවා. එහි පසුබිම් කථාව මෙරට සිටී ප‍්‍රවීනතම පුවත්පත් කතුවරයකු වූ ඞී බී ධනපාල සූරීන් සිය ‘Among Those Present’ ග‍්‍රන්ථයේ සැකෙවින් වාර්තා කරන්නේ මෙහෙමයි.

‘‘බි‍්‍රතාන්‍ය රාජකීය ගුවන් හමුදාව ටොරින්ටන් චතුරස‍්‍රයේ ගොඩ නඟා තිබූ අතිවිශාල හා අවලස්සන වූ ගුවන්යානා නිවහනක් (Hanger) එච් ආර් පේ‍්‍රමරත්න විසින් විසිතුරු උත්සව ශාලාවක් බවට හරවා තිබුණා. උඩරට රැළි පාලම් මඟින් දේදුන්නේ වර්ණ ළෙල දුන්නේ මේ දිවයිනේ මෙතෙක් දැක ඇති ඉතා ම චිත්තාකර්ෂණීය වර්ණ සංයෝජනය බවට එය පත් කරමින්. හැම කුළුණකින් ම අපේ සාම්ප‍්‍රදායික කලා උරුමය පිළිබිඹු කළා. මේ සියල්ල නූතන විශ්වකර්මයකුගේ හපන්කමක් වගෙයි.’’

Ceylon Independence 1948: Newsreel coverage by British Pathe:

CEYLON INDEPENDENCE

කවුද මේ පේ‍්‍රමරත්න?

හපුගොඩ රන්කොත්ගේ පේ‍්‍රමරත්න සූරීන් විසි වන සියවසේ ශ‍්‍රී ලංකාවේ බිහි වූ අතිදක්ෂ හා විචිත‍්‍ර චරිතයක්. විද්‍යා හා කලා ක්ෂේත‍්‍ර දෙකෙහි ම කුසලතා තිබූ, රාජ්‍ය නිලධාරියකු හා රාජ්‍ය තාන්ත‍්‍රිකයකු ලෙස දශක ගණනක් මෙරටට සේවය කළ විද්වතෙක්.

මහනුවර උපත ලබා, ධර්මරාජ හා නාලන්දා විදුහල්වලින් අධ්‍යාපනය ලැබූ පේ‍්‍රමරත්න, 1931දී බි‍්‍රතාන්‍යයේ එඩින්බරෝ සරසවියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යා B Sc උපාධියක් ලබා ගත්තා. සියරට පැමිණීමෙන් පසු ටික කලක් ලංකා තාක්ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලේජ්) ඉගැන් වූ ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවට බැඳුණා.

H R Premaratne
H R Premaratne
එහෙත් එවකට එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියකුව සිටි උද්දච්ච ඉංග‍්‍රීසි ජාතිකයකු යටතේ වැඩ කිරීමට නොකැමතිව, 1935දී ඊට වඩා අඩු තනතුරකට රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට ගියා. Public Works Department (PWD) යනුවෙන් ප‍්‍රකට වූ එමඟින් සියලූ රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තු කිරීම මෙන් ම මුල් යුගයේ ගුවන් තොටුපළ වැනි පහසුකම් පවත්වා ගෙන යාම ද සිදු කළා.

මේ දෙපාර්තමේන්තුවේ වසර 30ක් සේවය කළ පේ‍්‍රමරත්න 1957 – 1965 කාලයේ එහි ප‍්‍රධානියා ලෙස ක‍්‍රියා කළා. කලක් එම විෂය භාර අමාත්‍යවරයා වූ (පසුව අගමැති) ශ‍්‍රීමත් ජෝන් කොතලාවල ඇතුළු ඇමතිවරුන් ගණනාවක් සමඟ වැඩ කළ පේ‍්‍රමරත්න ඕනෑ ම අභියෝගයක් භාර දිය හැකි, කාර්යශූර හා නිර්මාණශීලි රාජ්‍ය නිලධාරියකු ලෙස නමක් දිනා සිටියා.

නිදහස් උළෙල පවත්වන්නට හරිහැටි ගොඩනැගිල්ලක් නැති විට එයට හොඳ විකල්පයක් සොයා දීමේ අභියෝගය එයින් එකක්. වානේ හා යකඩ තහඩුවලින් තනා තිබූ ගුවන්යානා නිවහන ඊට බෙහෙවින් ම වෙනස් වූත්, පියකරු වූත් රැස්වීම් ශාලාවක් බවට සති කිහිපයක් තුළ පරිවර්තනය කරන්නට ඔහු සුදු රෙදි යාර 20,000ක් හා පාට කඩදාසි යාර 20,000ක් පමණත්, ගෝනි (ජූට්) රෙදි යාර 9,000ක තොගයකුත් යොදා ගත්තා.

පුරාණ ලංකාවේ භාවිත වූ සිංහ කොඩි හා (යාපනයට ආවේණික) නාන්දි කොඩිත්, මුස්ලිම් සාංස්කෘතික සංකේතත් රැළි පාලම් හා කුළුණු අතර මනා සේ සංකලනය කිරීමේ සෞන්දර්යාත්මක සැළසුම කළේ පේ‍්‍රමරත්නයි. නිදහස් උළෙලේ කල් පවතින මතකයන්ගෙන් එකක් බවට පත් වූයේ මේ සැරසිලියි.

මුල් ම නිදහස් උළෙල වාර්තාකරණයට දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන් හා චිත‍්‍රපටකරුවන් රැසක් සිටියා. එහෙත් එවකට තිබුනේ කළු-සුදු සේයාපට පමණයි. මේ නිසා තමන් නිර්මාණය කළ විචිත‍්‍ර උත්සව මඩුවේ අසිරිය මතු පරම්පරාවලට දැක ගත හැකි ලෙසින් පේ‍්‍රමරත්න විශාල ප‍්‍රමාණයේ තෙල් සායම් චිත‍්‍රයක් ඇන්දා. දශක ගණනාවකට පසු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන විසින් මිලට ගත් මේ චිත‍්‍රය දැන් කොළඹ ජනාධිපති මන්දිරයේ ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. (ඡායාරූපය).

මේ කටයුත්තට සමාන්තරව යටත් විජිත ලේකම්වරයා භාවිත කළ අරලියගහ මන්දිරය අගමැති නිල නිවහන ලෙස පිළිසකර කිරීමත්, පරණ පාර්ලිමේන්තු මන්දිරයේ සභා ගර්භය මුළුමනින් අලූත්වැඩියා කිරීමත්, ගරා වැටෙමින් තිබූ තැපැල් ගොඩනැගිල්ලක් සෙනෙට් සභාව සඳහා යළි ගොඩ නැංවීමත් 1947-48 වකවානුවේ PWD මඟින් කළ තවත් හපන්කම් කීපයක්. ඒ හැම එකකට ම පේ‍්‍රමරත්නගේ දායකත්වය ලැබුණා.

ඔහු දෙපාර්තමේන්තු ප‍්‍රධානියා වීමෙන් ටික කලකට පසු 1957 අගෝස්තුවේ මහ ගංවතුරෙන් වියළි කලාපයේ හානියට පත් මාර්ග පිළිසකර කිරීමේ අභියෝගයට මුහුණ දුන්නා. ඊට වඩා ලොකු අභියෝගයක් මතු වූයේ 1958 ජනවාර්ගික කෝලාහලවලින් පසුවයි. අග‍්‍රාණ්ඩුකාර ශ‍්‍රීමත් ඔලිවර් ගුණතිලක විසින් නිසි බලධාරියා ලෙස පත් කරනු ලැබූ පේ‍්‍රමරත්න, විපතට පත් ජනයාගේ හදිසි අවශ්‍යතා හා තාවකාලික පහසුකම් සැපයීම භාරව ක‍්‍රියා කළා.

පේ‍්‍රමරත්නයන් මේ කාර්යවල නියැලී සිටින අතරේ ශ්‍රීමත් ඔලිවර්ගෙන් හදිසි කැඳවීමක් ලැබුණා. ඔහු රජ ගෙදරට යන විට ඔහුගේ අමාත්‍යවරයා වූ මෛත‍්‍රීපාල සේනානායකත් එහි සිටියා.

යාපනයේ නාගදීප විහාරයට හානි සිදු වී ඇති බවත්, එය වහා පිළිසකර කළ යුතු බවත් කී ශ‍්‍රීමත් ඔලිවර්, මේ සඳහා අවශ්‍ය සියළු අරමුදල් හා බලතල පේ‍්‍රමරත්නට ලබා දෙමින් එක් කරුණක් අවධාරණය කළා. “මේ වැඬේ ඉක්මනින්, හොදින් සිදුකර හමාර වන තුරු මුළුමනින් ම රහසිගතයි!”

නාගදීප හානියේ තොරතුරු දකුණේ ජනතාවට දැන ගන්නට ලැබුණොත් ගැටුම් නැවත වරක් ඇවිලිය හැකි බවට ශ්‍රීමත් ඔලිවර්ට බියක් තිබුණා. මේ පුපුරණසුළු ප‍්‍රවෘත්තිය පිට නොකරන්නට ඔහු පුවත්පත් කතුවරුන් සමග ද එකගත්වයකට එන්නට ඇති බවට පේ‍්‍රමරත්න අනුමාන කළා.

අවශ්‍ය අමුද්‍රව්‍ය හා දක්‍ෂ බාස් උන්නැහේලා පිරිසක් ද රැගෙන පේ‍්‍රමරත්න නාගදීපයට ගියා. ඉතා වෙහෙස මහන්සි වී, අධි වේගයෙන් එහෙත් ප‍්‍රවේශමින් නාගදීප විහාරය හා ඒ අවට භූමිය පෙර තිබූ තත්ත්වයට යළි පත් කරන්නට මේ පිරිසට සති හයක් ගත වුණා. සමස්ත කි‍්‍රයාදාමය රහසක් ලෙස පවත්වා ගත්තා. (1996 දී ප‍්‍රකාශයට පත් වූ ගුණදාස ලියනගේ සූරීන්ගේ ‘ගමන නොනාමෙයි’ නම් දේශපාලන නවකථාවේ 36 වන පරිච්ෙඡ්දයේත් මේ සිද්ධිය කථාවක් සේ ලියා තිබෙනවා. ලංකාදීප කතුවර ඞී. බී. ධනපාල මේ රහසිගත මෙහෙයුම ගැන දැන සිටි බවට එයින් ඉගි කැරෙනවා.)

නාගදීපයට හානියක් වූ බව රටේ බොහෝ දෙනා දැන ගත්තේ වසර ගණනාවකට පසුව යැයි 1991දී මා සමඟ කළ දීර්ඝ පුවත්පත් සාකච්ඡවකදී පේ‍්‍රමරත්න ආවර්ජනය කළා.

පේ‍්‍රමරත්නගේ කලා කටයුතු වඩාත් සක‍්‍රිය වූයේ ඔහු 1965දී රජයේ සේවයෙන් විශ‍්‍රාම ගිය පසුවයි. තෙල් සායම් චිත‍්‍ර ඇඳීම හා මූර්ති නෙළීම ඔහු වඩාත් උද්‍යොගයෙන් කළා. ඔහු නිර්මාණය කළ චිත‍්‍රවලින් සමහරක් කොළඹ කලාගාරයේත්, බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේත් ප‍්‍රදර්ශනයට තබා තිබෙනවා. ඔහුගේ දිගු කාලීන මිතුරකු වූ ආතර් සී. ක්ලාක්ගේ ජීවමාන ප‍්‍රමාණයේ සිතුවම මොරටුව සරසවියේ දැකිය හැකියි. ඔහු විසින් පිටපත් කරන ලද සීගිරි බිතු සිතුවම් සමහරක් 1967දී සාහසිකයන් විසින් තාර ගා විනාශ කිරීම නිසා සදහට ම අහිමි වුණා.

පේ‍්‍රමරත්නගේ නවෝත්පාදනයක් වූනේ ෆයිබර්ග්ලාස් යොදා ගෙන අපේ පැරණි ප‍්‍රතිමා, කැටයම්, සඳකඩපහන ආදියේ ආකෘති තාත්ත්වික ලෙස නිර්මාණය කිරීමයි. මේ නිසා පුරාවිද්‍යා වටිනාකම ඉහළ මුල කෘතීන් සංරක්ෂිතව තබා ආකෘති තැනින් තැන ගෙන යාමේ හැකියාව ලැබුණා. අනුරාධපුර හා පොළොන්නරුවේ ප‍්‍රකට ප‍්‍රතිමා විසි ගණනක ෆයිබර්ග්ලාස් ආකෘති 1969-70 කාලයේ ඔහු නිර්මාණය කළේ නැෂනල් ජියෝග‍්‍රැෆික් සංගමය අමෙරිකාවේ වොෂිංටන් නුවර සංවිධානය කළ ඉහළ පෙලේ ලංකා ප‍්‍රදර්ශනයකටයි.

2001 A Space Odyssey (1968) Space Station One by Robert McCall1966-67 කාලයේ ඔහු තවත් අපූරු වැඩක් කළා. ඒ කාලයේ ආතර් සී. ක්ලාක් හා ස්ටැන්ලි කුබ්රික් දෙදෙනා 2001: A Space Odyssey නම් අසාමාන්‍ය වෘතාන්ත චිත‍්‍රපටය නිපදවීමේ සිවු වසරක ප‍්‍රයත්නයේ නියැලී සිටියා. පරිගණක නොදියුණු ඒ යුගයේ චිත‍්‍රපට special effects සියල්ල ආකෘති හරහා ඉතා වෙහෙස වී කළ යුතුව තිබුණා.

2001 චිත‍්‍රපට ජවනිකා ගණනාවක් පෘථිවි කක්ෂයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයක දිග හැරෙනවා. ඒ සඳහා ඉතා සූක්ෂම ආකාරයේ ආකෘතියක් ලන්ඩනයට නුදුරු බෝහැම්වුඞ් චිත‍්‍රාගාරයේ තනනු ලැබුවා. ක්ලාක්ගේ නිර්දේශය මත ඒ කටයුත්තට හවුල් වූ පේ‍්‍රමරත්න, අමෙරිකානු හා බි‍්‍රතාන්‍ය තාක්ෂණවේදීන් සමඟ මාස ගණනක් එහි වැඩ කළා.

1974-78 කාලයේ බුරුමයේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ක‍්‍රියා කළ ඔහු තායිලන්තය, සිංගප්පූරුව හා ලාඕසයට ද අනුයුක්ත කර තිබුණා. 1980 දශකයේ වසර ගණනාවක් ඔහු ආතර් සී. ක්ලාක්ගේ කොළඹ කාර්යාලයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළා (මොරටුවේ පිහිටි රාජ්‍ය ආයතනය නොවේ.) මා ඔහුගෙන් බොහෝ දේ උගත්තේ ඒ කාලයේයි.

ලංකා කලා සංගමය, ඉංජිනේරු ආයතනය වැනි සංවිධානවල සභාපති හැටියටත්, රජයේ දෙපාර්තමේන්තු ප‍්‍රධානියකු ලෙසත් ක‍්‍රියා කොට පුළුල් දැනුමක් හා අත්දැකීම් සමුදායක් තිබූ ඔහු කිසි දිනෙක උඩඟු වුනේ නැහැ. පොඩි වැඩක් කොට ලොකු ප‍්‍රසිද්ධියක් පතන අය බහුල අද කාලේ පේ‍්‍රමරත්න වැනි දැවැන්තයන් ගැන බොහෝ දෙනා අසා නැහැ.

කොළඹ විජේරාම පාරේ තිබුණු ඔහුගේ පැරණි ගෙදර හරියට කලාගාරයක් බඳු වුණා. ඔහු නිම කළ හා වැඩ කරමින් සිටි චිත‍්‍ර, මූර්ති හා වෙනත් නිර්මාණ අතරට වී වයස 80 ඉක්ම යන තුරු ගත කළා. ඔහුගේ එක ම පුතා 1960 ගණන්වල බි‍්‍රතාන්‍යයේ නිත්‍ය පදිංචියට ගියා. 1980 දශකයේ බිරිඳ මිය යාමෙන් පසු ඔහු තනිකඩව නිර්මාණකරණයේ යෙදුණා.

1992දී ඔහු කොළඹින් ආපසු මහනුවරට ගිය පසු කිසි දිනෙක මට හමු වූයේ නැහැ. එහෙත් ඔහු කී කථාවක් මට තවම මතකයි. “අතමිට සරු ලාංකිකයන් පවා කලා නිර්මාණයකට සාධාරණ මිලක් ගෙවන්නට අදිමදි කරනවා. මේ නිසා අපේ සමාජයේ පූර්ණ කාලීන චිත‍්‍රශිල්පීන්, මූර්තිශිල්පීන් හා ලේඛකයන් බිහි වන්නේ නැහැ. මගේ චිත‍්‍රයකට රුපියල් විසිපන් දහසක් ගෙවන්නට මැලි වූ අය එමෙන් දෙගුණයක් ගෙවා ඩිනර්සෙට් ගන්නවා. මෙයයි අපේ යථාර්ථය.”

Official MGM trailer for 2001: A Space Odyssey

සිවුමංසල කොලූගැටයා #102: පාවෙන පීරිසියක් උඩ නැඟලා…

In this week’s Ravaya coumn (in Sinhala), I look at the hype and reality of UFOs.

Why do aliens like this planet so much

පසුගිය සති කිහිපය මුළුල්ලේ අපේ රටේ නන් දෙසින් වාර්තා වූ හඳුනා නොගත් පියාසර එළි, පිටසක්වල යානා සමඟ ඈඳා ගෙන ඇතැම් දෙනා බියපත් වී තිබෙනවා.

අද්භුත යැයි කියන පියාසර එළි පිළිබඳ වාර්තා දශක ගණනාවක් තිස්සේ පුවත්පත් ඉඩ පිර වූ තේමාවක්. Breaking News ගැන සැම විට සෙවිල්ලෙන් සිටින රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා රැුසක් ඇති අද කාලයේ එබඳු ප‍්‍රවෘත්ති ඉක්මනින් ප‍්‍රචාරය වනවා. නාලිකා අතර තරගකාරිත්වය නිසා හරි හැටි විමර්ශනයකින් තොරව පුවත් පැතිර යන සැටි අප දකිනවා.

මොකක්ද මේකෙ ඇත්ත කථාව?

ufo-signපිටසක්වල ජීවින් සිටීමේ හැකියාව අද බහුතරයක් විද්‍යාඥයන් පිළිගන්නවා. එහෙත් ඒ පිළිබඳ තිරසාර සාක්ෂියක්, ඉඟියක් මේ දක්වා ලැබී නැහැ. පිටසක්වල ජීවින් අපේ ලෝකයට පැමිණීම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ නම් ප‍්‍රබල තේමාවක්. මේ කථාවලට අනුව සමහර ජීවින් එන්නේ අපේ ලෝකය යටත් කර ගන්න හෝ විනාශ කරන්නලූ. තවත් සමහරුන් එන්නේ අප සමඟ සම්බන්ධතා ඇති කර ගෙන සහජීවනයෙන් සිටින්නලූ. නො එසේ නම්, අපව අධ්‍යයනය කරන්නලූ.

තාවකාලික ප‍්‍රමෝදයක් සඳහා මෙබඳු කථා කියවූවාට කිසි වරදක් නැහැ. එහෙත් යථාර්ථය හා ප‍්‍රබන්ධය අතර වෙනස අප සිත් තබා ගත යුතුයි. මේ දෙක පටලවා ගත් විට අනවශ්‍ය සමාජ භීතිකා මෙන් ම මානසික රෝගයන් ද හට ගත හැකියි.

හඳුනා නොගත් පියාසර වස්තු (Unidentified Flying Objects නැතහොත් UFO) ලෙස හඳුන්වනු ලබන මේ සිද්ධීන් ජනමාධ්‍යවල හා ජනප‍්‍රිය සංස්කෘතියේ බොහෝ විට පියාඹන පීරිසි ලෙස නම් කෙරෙනවා. මේ යෙදුම භාවිතයට පැමිණ දැන් වසර 65ක්. එහි ආරම්භයටත් මාධ්‍ය සම්බන්ධයි.

Chicago Sun, 26 June 1947 - the original Flying Saucer report
Chicago Sun, 26 June 1947 – the original Flying Saucer report
1947 ජූනි 24දා අමෙරිකාවේ වොෂිංටන් ප‍්‍රාන්තයේ ගුවන් නියමුවකු වූ කෙනත් ආනල්ඞ්, තමා ගුවනේදී ඹත්‍ධ එකක් දුටු බව ප‍්‍රකාශ කළා. මේ ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට ඔහු කීවේ එම වස්තූන් ගමන් කළේ “හරියට පීරිසයක් දිය මතුපිට විසි කර හැරිය විට දියේ මඳක් ගැටෙමින් කඩින් කඩ යන ආකාරයට” බව යි. එහෙත් ඒ වස්තූන් පීරිසි හැඩය ගත්තා යැයි ඔහු කීවේ නැහැ. මෙය වඩාත් ලිහිල් ආකාරයට මාධ්‍ය වාර්තා කළේ “ගුවන් නියමුවා පියාඹන පීරිසි දකී!” කියායි.

ආනල්ඞ් සිතුවේ ඔහු දුටුවේ නවතම මාදිලියේ හමුදා ගුවන් යානයක් බවයි. මේ සිදුවීම රසවත් කිරීමට ඒවා පිටසක්වලින් එන විත්තිය මාධ්‍යවලින් එකතු කළා. එදා පටන් ගත් මේ කතන්දරය ලොව පුරා තවමත් විවිධ මුහුණුවරින් මතුවනවා. මාධ්‍ය එය තලූ මරමින් යළි යළිත් වාර්තා කරනවා.

2012 දෙසැම්බර් 9 වනදා 88 හැවිරිදිව මිය ගිය ශ‍්‍රීමත් පැට්රික් මුවර් (Sir Patrick Moore) බි‍්‍රතාන්‍යයේ මෙන් ම ලොව බොහෝ රටවල ප‍්‍රකට වූ තාරකා විද්‍යාඥයෙක්. 1957 අපේ‍්‍රල් සිට ඔහු මිය යන තුරු ම (වසර 55ක ලෝක වාර්තාවක්) මාස්පතා BBC ටෙලිවිෂනයේ The Sky at Night නම් ජනප‍්‍රිය තාරකා විද්‍යා වැඩසටහන ඉදිරිපත් කළා. රාත‍්‍රී අහස නිරික්සීම හා අභ්‍යවකාශ ගවේෂණයේ තොරතුරු ගෙන ඒමට අමතරව බි‍්‍රතාන්‍යයේ තැනින් තැන වාර්තා වූ UFO ගැන ඔහු මහත් ඕනෑකමින් විමර්ශනය කළා.

අඩ සියවසක මෙබඳු සොයා බැලීම් මෙනෙහි කරමින් ඔහු කීවේ මෙයයි. “අද ජීවත්වන බොහෝ දෙනකුට දවාලේ හෝ රාත‍්‍රියේ අහසේ දැකිය හැකි විවිධාකාර ස්වාභාවික සංසිද්ධීන් හා මිනිසුන් විසින් නිර්මිත වස්තූන් ගැන නිරවුල් අවබෝධයක් නැහැ. බොහෝ UFO වාර්තාවලට හේතු වන්නේ මෙසේ යමක් වටහා නොගෙන කලබලවීමයි.”

UFO යැයි වරදවා තේරුම් ගත් වවුලන්, වෙනත් පක්ෂී සමූහයන්, කාලගුණ හා වෙනත් බැලූන්, අසාමාන්‍ය හැඩය ගත් ගුවන් යානා (විශේෂයෙන් හමුදා යානා) බොහොමයක් ඔහු සොයා ගත්තා. මීට අමතරව විවිධ රටවලින් උඩුගුවන් ගත කැරෙන රොකට්ටු හා චන්ද්‍රිකා නිසාත්, තතු නොදන්නා උදවිය UFO යැයි කලබලයට පත් වූවා.

මෙබඳු අවස්ථාවල UFO යන යෙදුම හරි. එනම් හඳුනා නොගත් පියාසර වස්තු. එහෙත් UFO යනු පිටසක්වල යානා යැයි කීම නිරීක්ෂණයක් මත පදනම් වී ෆැන්ටසියට ඉඩ දීමක්.

පැට්රික් මුවර් කීවේ වරදවා දැකීමට අමතරව මනෝවිකාර ඇති අයත් ඇතැම් විට UFO ගැන ස්වයංමුලාවට පත් වී, එය අදහමින් වාර්තා කරන බවයි. බොහෝ විට වංචනික චේතනාවකින් තොරව යම් අද්භුත දේවල් තමන් දුටුවා යැයි සමහරු විශ්වාස කරනවා. UFO වාර්තාවලින් කොටසක් මේ ගණයට වැටෙනවා.

ඉතිරි අය මුවර් විග‍්‍රහ කළේ දැන දැන ම බොරු කියමින් සමාජය මුළා කරන්නට තැත් කරන, එයින් මාධ්‍ය ප‍්‍රසිද්ධියටත්, කැපී පෙනීමටත්, නැතහොත් ඒ ගැන ලියා කියා මුදල් උපයා ගන්නටත් කැමති උදවිය කියායි. ඔවුන්ට උවමනාවට වඩා අවකාශ සැලසීම හරහා UFO උන්මාදය වාණිජකරණය වීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය උඩගෙඩි දෙන බව මුවර් කීවා.

ශ‍්‍රී ලංකාවේ UFO වාර්තාවලටත් මෙකී විවිධාකාරයේ පසුබිමක් තිබිය හැකියි. එමෙන්ම එක වකවානුවේ කිහිප දෙනෙකුට එක ම ආකාරයේ UFO පෙනීමට ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑම ද හේතු විය හැකියි. එබඳු සාමුහික UFO වාර්තා සිදු වූ කාලවල පිටසක්වල ජීවින් හෝ යානා ගැන ප‍්‍රබන්ධ කථා පාදක කර ගත් (රැජන, භවත‍්‍රා වැනි) ටෙලි නාට්‍ය ප‍්‍රචාරය වෙමින් තිබුණා.

වසර 2000දී පමණ රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනින් එක්තරා ප‍්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුත් මාත් UFO ගැන සජීව සංවාදයක් කළා. මේ ලිපියේ සඳහන් පොදු කරුණු හා තර්ක ද මතු කරමින් මා කියා සිටියේ ඹත්‍ධ යනු පිටසක්වල යානා යැයි කියන්නට කිසිදු සාක්ෂියක් නැති බවයි. එහෙත් ඔහු යළි යළිත් ප‍්‍රකාශ කළේ ‘එබඳු සාක්ෂි ඉන්ටර්නෙට් එකේ ඕනෑ තරම් තිබෙන බවයි.’

ඉන්ටර්නෙට්හි සත්‍ය තොරතුරු මෙන් ම හරසුන් ඕපාදුප ද ඕනෑ තරම් ඇති බව මේ ප‍්‍රවීන කලාකරුවා තේරුම් ගත්තේ නැහැ. අද පවා UFO යනු පිටසක්වල යානා යැයි කියන ඇතැම් උදවිය නොදැන හා අවිචාරශීලිව ඇතැම් වෙඞ් අඩවිවල තිබෙන මිනිසුන් රවටන පට්ටපල් බොරුවලට රැවටී ඒවා ප‍්‍රතිරාවය කරනවා විය හැකියි. දැන ගියොත් ඉන්ටර්නෙට් – නොදැන ගියොත් අතරමඟ!

ටෙලි කථාන්දර හා සංත‍්‍රාසජනක හොලිවුඞ් චිත‍්‍රපට නැරඹීමේ දී අප අවිශ්වාසය තාවකාලිකව නතර කොට (suspend disbelief) පරිකල්පන ලෝකයකට පිවිසෙනවා. ප‍්‍රබන්ධ රස විඳීමට උපකාර වන එම මානසික තත්ත්වය සැබෑ ලෝකයේ අප අත් විඳින දේ තේරුම් ගන්නට සෑහෙන්නේ නැහැ.

ජීවිත කාලයක් පුරා ආධුනික තාරකා විද්‍යාවේ නිරත වුණු හා අද්භුත දේ විමර්ශනයට ටෙලිවිෂන් වාර්තා වැඩසටහන් මාලා ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් UFO ගැනත් විචාරශීලිව විමසා බැලූවා. ඔහු අවධාරණය කළේ විද්‍යා ප‍්‍රබන්ධවල එන UFO කථා හා සැබෑ ලෝකයේ යථාර්ථය වෙන් කර හඳුනා ගත යුතු බවයි.

තම ජීවිත කාලය තුළ UFO දර්ශන ගණනාවක් දැක ඇති බවත්, වැඩිදුර විමසීමේදී ඒ හැම එකකට ම ස්වාභාවික හෝ මිනිස් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ හේතුවක් තිබූ බවත් ක්ලාක් පෙන්වා දුන්නා. එමෙන් ම තවමත් හරිහැටි විද්‍යාවෙන් තේරුම් නොගත් බෝල අකුණු (ball lightning) වැනි ස්වාභාවික සංසිද්ධීන් ද ඇතැම් විට UFO දිස්වීම්වලට හේතු විය හැකි යැයි ඔහු අනුමාන කළා.

බොහෝ UFO වාර්තා අපේ විචාරශීලි බවේ අඩුපාඩු යැයි ක්ලාක් කියා සිටියා. ඔහුගේ නිගමනයථ ‘‘UFO පිළිබඳ විටින් විට මතු වන විවාදවලින් පිටසක්වල බුද්ධිමත් ජීවය ගැන කිසිවක් සනාථ වන්නේ නැහැ. එහෙත් අපේ ග‍්‍රහලෝකයේ බුද්ධිමත් ජීවය කෙතරම් දුර්ලභ ද යන්න නම් එයින් හොඳාකාර පෙනී යනවා!’’

No UFOs signනාසා ආයතනයටවත් වෙනත් කිසිදු විද්‍යාත්මක හෝ ආරක්ෂණ අධිකාරියකටවත් පිටසක්වල ජීවින් රැගත් යානා නිතර නිතර මෙහි එන යන කථාව සම්පූර්ණයෙන් ම නිෂ්ප‍්‍රභ කර ඔප්පු කළ නොහැකියි. මන්ද යත් ඍණාත්මක තර්කයක් සහමුලින් සනාථ කළ නොහැකි නිසා. (එම ගණයට ම වැටෙන තවත් බොහෝ මිථ්‍යාවන් තිබෙනවා. හොල්මන්, අවතාර වගේ ම මකරා වැනි සත්ත්වයන් ගැන ඇතැම් දෙනා හා ඇතැම් ජනසමාජවල තිබෙන විශ්වාස එයට උදාහරණයි. අහිංසක විශ්වාසයන් පැවතීම ප‍්‍රශ්නයක් නොවූවත්, එයින් පුළුල් සමාජ භීතිකාවන් හෝ ගසාකෑමක් හෝ සිදු වේ නම්, එය සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වනවා.)

පෘථිවියෙන් බාහිර ලෝකවල ජීවය ඇත් ද යන මහා ප‍්‍රශ්නය දාර්ශනිකවත්, විද්‍යාත්මකවත් ගැඹුරින් අධ්‍යයනය කළ ලොව ප‍්‍රමුඛ තාරකා විද්‍යාඥයකු වූයේ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996). ඔහු නිතර කීවේ ‘‘පිටසක්වල ජීවීන් ගැන නිශ්චිත සාක්ෂියක් හමු වන තුරු මා ඉතා ඕනෑකමින් බලා සිටිනවා. එහෙත් එබන්දක් ගැන කටකථා, ප‍්‍රලාප, අසම්පූර්ණ වාර්තා නම් පිළිගත නොහැකියි’’ කියායි.

අප රටේ මෙන් ම අමෙරිකාවේ හා යුරෝපයේ රටවලත් UFO ඇතුළු අද්භුත දේ ගැන විචාර බුද්ධියෙන් තොරව පිළිගන්නා අය සිටිනවා. කාල් සේගාන් ඔවුන්ට දුන් අවවාදය මෙයයි. ‘‘පාවිච්චි කළ කාර් එකක් මිලට ගන්නා විට ඔබ හිමිකරු කියන දේ ගෙඩිපිටින් විශ්වාස කරන්නේ නැහැ. පරීක්ෂා කර බලා හොඳ තත්ත්වයේ ඇත්නම් හා මිල සාධාරණ නම් ගන්නවා. ටෙලිවිෂන් දැන්වීම් නොයෙක් භාණ්ඩවල ගුණ වර්ණනා කළාට ඒ හැම එකක් ම ඔබ විශ්වාස කරන්නේත් නැහැ. යම් තරමකට විමසා බලනවා. එහිදී ඔබ යොදා ගන්නේ සංශයවාදී ගුණයයි (skepticism). අද්භුත යැයි කියනා සංසිද්ධි ගැන ඔබ එපමණටවත් විචාරශීලි නොවන්නේ ඇයි?’’

කැලේ නිදා සිටි බියසුළු හාවා තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු ශබ්දයට බිය වී ‘අහස කඩා වැටෙනවා!’ යැයි විලාප නඟා එයින් අන් සතුන් කලබල කළ සැටි ජනප‍්‍රවාදයක කියැවෙනවා. හරිහැටි කරුණු නොවිමසා UFO ගැනත්, වෙන බොහෝ සංසිද්ධීන් ගැනත් මාධ්‍ය කලබලවීම ගැන කිව හැක්කේත් එයමයි.

සැබෑ ලෝකයේ මේ තරම් දැවෙන ප‍්‍රශ්න හා අභියෝග ඇති අද දවසේ පිටසක්වල යානා හා ජීවින් ගැන ප‍්‍රබන්ධ කථා ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ලෙස මාධ්‍ය විසින් වාර්තා කිරීම ජන සමාජය කෙතරම් මුළා කිරීමක් ද?

සිවුමංසල කොලූගැටයා #101: නිව්ස්වීක් කඩදාසියෙන් සමු ගනියි!

In this week’s Ravaya column (in Sinhala), I look back at the Newsweek magazine’s illustrious history of nearly 80 years, and reflect on the phenomenon of news magazines: are their days numbered, at least in print?

Newsweek magazine Last Print Issue 31 Dec 2012
‘‘අප කවදාවත් ගතානුගතික සඟරාවක් හෝ බයගුළු ප‍්‍රකාශනයක් හෝ වූයේ නැහැ. අප ඩිජිටල් මාධ්‍යයට මුළුමනින් අවතීර්ණ වන්නේත් අලූත් දෙයක් කිරීමේ එම එඩිතර ගුණය පෙරදැරි කරගෙනයි. යම් දිනෙක අපේ තරගකාරී ප‍්‍රකාශන සියල්ල ද අප පුරෝගාමීව යන මේ මෙඟහි ම ගමන් කරනු ඇති!’’

නිව්ස්වීක් (Newsweek) ජාත්‍යන්තර පුවත් සඟරාවේ අවසන් මුද්‍රිත කලාපයට (2012 දෙසැම්බර් 31) විශේෂ පණිවුඩයක් ලියමින් එහි කර්තෘ ටීනා බ‍්‍රවුන් එසේ කියා සිටියා.

සඟරාවේ ප‍්‍රකාශකයන් හා වත්මන් කතුවරුන් අවධාරණය කර සිටියේ මෙය දශක අටක් වයසැති සඟරාවේ අවසානය නොව අලූත් ආරම්භයක් පමණක් බවයි. වෙළඳපොළ හා තාක්ෂණය වෙනස් වන ආකාරයට පරිනාමීයව හැඩ ගැසීමක් ලෙස ඔවුන් එය හඳුන්වා දුන්නා.

2012 දෙසැම්බර් මස 31 වනදා නිකුත් කළ අවසන් මුද්‍රිත කලාපය ම සිය ඉතිහාසය දෙස හැඟීම්බරව නෙතග බැල්මක් හෙළන්නට ඔවුන් කැප කළා. ටයිම් හා නිව්ස්වීක් සතිපතා පුවත් සඟරා කියවමින් හැදුනු, එයින් ආභාසය ලත් මට මෙය හැඟීම්බර අවස්ථාවක්. ලෝක ව්‍යාප්ත මාධ්‍ය පවුලේ දැවැන්තයකුගේ ප‍්‍රබල සන්ධිස්ථානයක්. මුද්‍රිත මාධ්‍යයේ වර්තමානය හා අනාගතය ගැන මෙනෙහි කරන්නට නිමිත්තක්.

First issue of Newsweek
First issue of Newsweek
නිව්ස්වීක් උපන්නේ 1933 පෙබරවාරි 17 වනදා. එය ඇරඹුවේ තොමස් ජේ. සී. මාටින්. මුල් ම කතුවරයා වූයේ සැමුවෙල් ටී. විලියම්සන්. 1923 මාර්තු 3 වනදා අරඹන ලද ටයිම් (TIME) සඟරාවට තරගකාරී ප‍්‍රකාශනයක් වූ මෙය, දශක ගණනාවක් පුරා අමෙරිකාවේත්, ජාත්‍යන්තර මට්ටමිනුත් ප‍්‍රධාන පෙළේ පුවත් සඟරාවක් ලෙස පිළිගැනීමට පාත‍්‍ර වුණා. එහි උච්ච අවධියේ ලොව පුරා පිහිට වූ කාර්යාල 23ක වාර්තාකරුවන් හා ජායාරූප ශිල්පීන් සිය ගණනක් සේවය කළා. වසර 80කට ආසන්න කාලයක් තුළ මුද්‍රිත සඟරාවේ කලාප 4,150ක් පළ කරනු ලැබුවා.

ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක හිතකර තරගකාරිත්වයක් මත ක‍්‍රියා කළා. මේ ප‍්‍රකාශන දෙක ම සිය ප‍්‍රධාන කාර්යාලයන් පිහිට වූයේ අමෙරිකාවේ ප‍්‍රකාශන මාධ්‍ය කේන්ද්‍රය වන නිව් යෝක් නුවර මැන්හැට්න් දුපතේ එකිනෙකට නොදුරින්. වෙළඳ පොළේ පත්තර ලෑලි හා පොත් සාප්පු හරහා මෙන් ම දායකත්වය හරහා ද මේ සඟරා අලෙවි කරනු ලැබුවා.

නිව්ස්වීක් අන්තිම මුද්‍රිත කලාපයේ එක් විශේෂාංගයක් වන්නේ දිගු කලක් ටයිම් කතුවරයකුට සිටි ජිම් කෙලී හා එබඳු ම කලක් නිව්ස්වීක් කතුවර වූ එවන් තෝමස් දෙදෙනා තම තමන්ගේ සඟරා දෙකේ නිරතුරු තරගය ගැන සුහද ආවර්ජනා කිරීම. අවසාන විනිශ්චයේ දී දෙපිරිස ම කළේ පොදු උන්නතිය වෙනුවෙන් පාඨකයන්ට වැඩ කිරීම. උසස් ම මාධ්‍ය සදාචාරයත් එයයි!

දිනපතා පුවත්පත් එයට පෙර දින සිදු වූ දේ වාර්තා කරනවා. යම් තරමක පුවත් විග‍්‍රහයක් ද ගෙන එනවා. සති අන්ත පුවත්පත්වල (අපේ රටවල ඉරිදා, ඉස්ලාමීය රටවල සිකුරාදා) ඊට ඔබ්බට යන පුවත් විමර්ශනයක් හා විශේෂාංග ලිපි ඇතුළත් වනවා. මේ දෙයාකාරයේ ම අන්තර්ගතයන්ට වඩා ගැඹුරින් එහෙත් කාලානුරූපීව සිදුවීම් හා ප‍්‍රවණතා ගැන වාර්තා කරන්නත්, සංවාද කරන්නත් පුවත් සඟරා උත්සාහ කරනවා.

පුවත් සඟරා සම්ප‍්‍රදාය බි‍්‍රතාන්‍යයේ The Economist විසින් ඇරඹුවේ 1843දී. එය වඩාත් ජනප‍්‍රිය වූයේ TIME සඟරාව සමඟයි. (නාමකරණය ගැන නිරවුල් අවබෝධයක් අවශ්‍යයි. TIME යනු ලෝකයේ වැඩියෙන් ම අලෙවි වන පුවත් සඟරාවයි. එහි නම ලියන්නේ මුළුමනින් ම ඉංග‍්‍රීසි කැපිටල් අකුරුවලින්. Times යනු ඉංග‍්‍රීසි බසින් පත්තර පළ කරන රටවල් රැසක දිනපතා හෝ සති අන්ත පත්තරවලට බහුලව යෙදෙන නමක්. බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවල ටයිම්ස් පත්තර තිබෙනවා. පොදු නමක් තිබුණත් එකකට එකක් සම්බන්ධ නැහැ. ටයිම් සඟරාව හා ටයිම්ස් පත්තර පටලවා නොගත යුතුයි.)

කවරයේ යොදන රූපයක් තේමා කර ගෙන සඟරාව ඇතුළත පිටු ගණනාවක් පුරා විස්තරාත්මක විග‍්‍රහයක් හෝ වාර්තාකරණයක් ගෙන ඒමේ කවරයේ කථාව (cover story) සම්ප‍්‍රදාය ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක සාර්ථකව කළා.

නිව්ස්වීක් මා නිරතුරුව කියවූ සඟරාවක් නොවෙයි. ශ‍්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල නිව්ස්වීක්ට වඩා ටයිම් සඟරාව ඉදිරියෙන් සිටියා. එයට එක් හේතුවක් නම් හොංකොං නුවර කේන්ද්‍ර කර ගෙන ආසියානු සංස්කරණයක් ටයිම් සතිපතා පළ කරද්දී නිව්ස්වීක් කළේ ජාත්‍යන්තර සංස්කරණයක් (Newsweek International) පමණක් වීමයි. (ජපන් බසින් නිව්ස්වීක් කලක් පළ කෙරුණා.) එහෙත් ලෝකය සසල කර වූ හෝ ලෝක ව්‍යාප්තව අවධානය යොමු වූ සිදුවීම් ගැන ටයිම් හා නිව්ස්වීක් සඟරා දෙක වාර්තා කරන්නේ කෙසේ ද යන්න ගැන මා පාසල් සිසුවකුව සිටි කාලයේ පටන් ම අවධානය යොමු කළා.

ටයිම් සඟරාව යම් පමණකට අමෙරිකානු ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන අතර, නිව්ස්වීක් ඊට වඩා ලිබරල් හා විකල්ප මතාධාරී වූ අවස්ථා බොහෝ තිබුණා. අන්තිම මුද්‍රිත කලාපයෙන් මෙතෙක් ආ මඟ ගැන ආවර්ජනය කරද්දීත් නිව්ස්වීක්හි වත්මන් හා විශ‍්‍රාමික පුවත්පත් කලාවේදීන් හා කතුවරුන් හුවා දක්වන්නේ මේ ගතිගුණයයි.

Landmark Newsweek cover storyඋදාහරණයක් හැටියට අප‍්‍රිකානු සම්භවය ඇති කළු අමෙරිකානුවන් සම අයිතිවාසිකම් ලබා ගැනීමට 1950 – 1960 දශකවල ගෙන ගිය අරගලය වාර්තා කිරීමේ දී නිව්ස්වීක් ඉදිරියෙන් සිටියා. කළු ජාතිකයන්ගේ සිතුම් පැතුම් හා බලාපොරොත්තු සානුකම්පිතව හසු කර ගනිමින් මැදහත්ව නිව්ස්වීක් කළ දිගු කාලීන වාර්තාකරණය සම අයිතීන් දිනා ගැනීමටත්, අමෙරිකානු ජන සන්තානය සදහට වෙනස් කිරීමටත් දායක වූ සැටි නිව්ස්වීක් සඟරාවේ මුල් ම කළු ජාතික කතුවරයා වූ මාක් විටෙකර් පෙන්වා දෙනවා.

මානව සංහතියෙන් හරි අඩක් වන කාන්තාවන්ට සම තැන් දීම ගැනත්, නිව්ස්වීක් සඟරාව සෙසු අමෙරිකානු ප‍්‍රකාශනවලට වඩා උද්‍යෝගයෙන් වාර්තා කළා. 1960 ගණන්වල මතුව ආ ස්ත‍්‍රීවාදයේ (Feminism) සමාජයීය, දේශපාලනමය හා සාංස්කෘතික බලපෑම් ගැන මුල්වරට කවරයේ කථාවක් කළ ප‍්‍රධාන සඟරාව වූයේ නිව්ස්වීක්. ඒ 1970දී. ඒ වසරේ ම කර්තෘ මණ්ඩලය තුළ සම අවස්ථා හා සුදුස්සාට සුදුසු තැන ඉල්ලා නිව්ස්වීක් පුවත්පත් කලාවේදී කාන්තා පිරිසක් නඩු මඟට පිවිසියා.

සාමාන්‍යයෙන් මාධ්‍ය හාම්පුතුන්ට නඩු කියා දිනුවත් එතරම් දුර යන්නට බැරි යථාර්ථය තුළ, ඔවුන් පුවත්පත් කලාවේ කාන්තා සහභාගීත්වයේ නිම් වළලූ පුළුල් කළා. 1972දී තීරු ලිපි රචනයට මුල් වරට කාන්තාවක් හවුල් කර ගත් නිව්ස්වීක්, 1975දී ජ්‍යෙෂ්ඨ කතුවර තනතුරට කාන්තාවක් පත් කළා. එතෙක් කල් පිරිමි කතුවරුන්ට පර්යේෂණ සහාය දෙමින් අවශේෂ භුමිකා රඟපෑ අමෙරිකානු පත‍්‍රකලාවේදිනියන්ට කුසලතාව හා කැපවීම හරහා ඉහළට එන්නට මඟ විවර වූයේ ඉන් පසුවයි.

නිව්ස්වීක් අමෙරිකාව හා බටහිර ලෝකයෙන් ඔබ්බට දියුණු වන ලෝකය දෙසත් මැදහත්ව බලන්නට උත්සාහ කළා. මේ ගැන අවසන් මුද්‍රිත කලාපයේ නිසි ආවර්ජනයක් නැතත් 1980 ගණන්වල ආසියානු, අප‍්‍රිකානු හා ලතින් අමෙරිකානු රටවලින් මතුව ආ ස්වාධීන චින්තකයන්ට හා දක්ෂ ලේඛකයන්ට සඟරාවේ තීරු ලිපි ලිවීමේ අවස්ථාව උදා කර දුන් බව මට හොඳට මතකයි.

Tarzie Vittachi
Tarzie Vittachi
නිව්ස්වීක් හරහා තුන්වන ලෝකයේ දැක්ම මැනවින් සන්නිවේදනය කළ එබඳු එක් චරිතයක් වූයේ ලාංකික පුවත්වත් කතුවර ටාසි විට්ටච්චි (Tarzie Vittachi). ඔහු මෙරට පුවත්පත් කරන කාලයේ (1950 දශකයේ) මා ඉපිද නොසිටි බැවින් මා ඔහු හඳුනාගත්තේ නිව්ස්වීක් හා බොස්ටන් නුවරින් පළ කෙරුණු WorldPaper නම් පුවත්පත් අතිරේකය තුළින්. (එය කලක් මෙරට Observer පත‍්‍රයත් සමඟ නොමිලේ බෙදා දුන්නා.)

සංවර්ධනය, සමාජ සාධාරණත්වය, ලෝක බල තුලනය වැනි මහා ප‍්‍රශ්න ගැන සරල, සුමට ඉංග‍්‍රීසියෙන් — ඇතැම් විට හාස්‍යජනක ලෙසින් — වචන 400ක් වැනි (තනි සඟරා පිටුවක සීමාව) සංඛ්‍යාවක් හරහා ලිවීමට ටාසි අති දක්ෂයකු වුණා. ටාසිගේ නිව්ස්වීක් කොලම් දැන් සොයා ගන්නට අමාරුයි. කවදා හෝ ඒවා පොතක් ලෙස එකතු වනවා නම් අපූරුයි.

නිව්ස්වීක් මෙන් ම පුවත් සඟරා කලාවේ ස්වර්ණමය අවධිය 1960 – 1970 දශකයන් විය යුතුයි. 1980දී මුල් ම පැය විසි හතරේ ටෙලිවිෂන් නාලිකාව CNN හා 1990 දශකයේ ඉන්ටර්නෙට් ආගමනය හරහා පුවත් වෙබ් අඩවි බිහිවීම තුළින් පුවත් සඟරාවල සුවිශේෂි බව අඩු වන්නට පටන් ගත්තා. මේ තාක්ෂණ හා වෙළඳපොළ ප‍්‍රවාහයන්ට අනුවර්තනය වන්නට පුවත් සඟරා දැඩි ප‍්‍රයත්නයක යෙදුණා.

දුවන ගමන් පුවත් වාර්තා කරන ටෙලිවිෂන් හා බොහෝ පුවත් වෙබ් අඩවිවලට වඩා සන්සුන්ව, දැක්මක් හා ගැඹුරක් ඇතිව කාලීන තොරතුරු හා ප‍්‍රවණතා විග‍්‍රහයට පුවත් සඟරාවලට තවමත් ඉඩක් තිබෙනවා. (මෙය ඉතා හොඳට කරන්නේ ඉන්දියාවේ ඉංග‍්‍රීසියෙන් සතිපතා පළ කෙරෙන පුවත් සඟරා කිහිපයයි. ඒ ගැන වෙනම කථා කළ යුතුයි.)

නමුත් දැන්වීම්කරුවන් සහ ග‍්‍රාහකයන් ටිකෙන් ටික ක්ෂීන වීම හරහා නිව්ස්වීක් පාඩු පිට පාඩු ලබන්නට පටන් ගත්තා. දශක හතරක් වොෂිංටන් පෝස්ට් යටතේ තිබුණු සඟරාව 2010දී ණය කන්දරාවක් ද සමඟ ඩොලර් 1ක මිලට කෝටිපති ව්‍යාපාරිකයකුට විකුණනු ලැබුවා. එය Daily Beast නම් වෙබ් අඩවියක් හා බද්ධ කෙරුනේ එතැන් පටන්. මේ දීගය හරිහැටි සංයෝග නොවූ බවත්, අන්තිමේදී ප්‍රෞඪ ඉතිහාසයක් ඇති සඟරාව අඳ බාල පිරිසක් විසින් නොමරා මැරූ බවත් නිව්ස්වීක් විශ‍්‍රාමිකයන් චෝදනා කරනවා. ඇත්ත කථාව හරිහැටි නොදැන ඒ ගැන විනිශ්චයක් දීම අපහසුයි.

මා දන්නා තරමට ශ‍්‍රී ලංකාවේ සතිපතා පුවත් සඟරාවක් බිහි වූයේ ම නැහැ. අපේ වෙළඳපොළ එබන්දකට ප‍්‍රමාණවත් නැති වීම එක් හේතුවක්. 1978දී ආචාර්ය සරත් අමුණුගම රාජ්‍ය නිලධාරියකුව සිටියදී ඇරඹු දෙසතිය පුවත් සඟරාව අප රටේ එයට ආසන්න ම වූ ප‍්‍රකාශනය විය යුතුයි. ඉංග‍්‍රීසියෙන් මාසික පුවත් සඟරා ලෙස ඇරඹූ Counterpoint, Montage වැනි ප‍්‍රකාශන මෙන් ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මර්වින් ද සිල්වා කලක් කර ගෙන ගිය දෙසතිපතා සඟරාවක් වූ Lanka Guardian ද, පරිනාමීය ප‍්‍රවාහයන්ට හසු වී නතර වෙලා.

ජාත්‍යන්තරව කලක් ලොකු හපන්කම් කළ Asiaweek සඟරාව 2001දීත්, Far Eastern Economic Review සඟරාව 2009දීත් වැසී ගියා. සතියකට පිටපත් මිලියන් 3ක් අලෙවි වන ටයිම් සඟරාව මේ කේෂත‍්‍රයේ දැන් ඉතිරිව සිටින එක ම දැවැන්තයායි. තමන්ගේ ප‍්‍රතිවාදියාට අත් වූ ඉරණම දෙස බලන විට තම අනාගතය ගැනත් යම් අවිනිශ්චිත බවක් ටයිම් සඟරාවේ කතුවරුන්ට සමහර විට දැනී ඇති…

Newsweek covers - among 4,150 in its print history

සිවුමංසල කොලූගැටයා #99: ලෝකෙට ම පෙනෙන අපේ රාත‍්‍රි එළි

Last month, NASA released a series of new images that offer an unprecedented new look at our planet at night. The global composite image, constructed using cloud-free night images from a new generation weather satellite, shows the glow of natural and human-built phenomena across the planet in greater detail than ever before. Each white dot on the map represents the light of a city, fire, ship at sea, oil well flare or another light source. (Explore at: http://earthobservatory.nasa.gov)

This week’s Ravaya column (in Sinhala) is on what these night lights mean. I talk to astrophysicist Dr Kavan Ratnatunga about understanding Sri Lanka at night as it can be seen from space.

Earth at night 2012 NASA composite satellite image
Earth at night 2012 NASA composite satellite image

අප දිනපතා ජීවිතය ගෙවන්නේ තම තමන්ගේ යථාර්ථයේ ඇළී ගැලී සීමිත පරාසයක් තුළයි. එහෙත් ඉඳහිට හෝ පියවර කිහිපයක් පසුපසට තබා විසල් චිත‍්‍රය (bigger picture) බැලිය හැකි නම් අපේ දැක්ම හා චින්තනය වඩාත් පුළුල් වනවා.

මුළු ලෝකය ම එයින් බැහැර සිට බැලීමේ තාක්ෂණික හැකියාව ලැබුණේ අභ්‍යවකාශ යුගයේ උදාවත් සමඟයි. පෘථිවි කක්ෂයට යවන ලද චන්ද්‍රිකා මඟින් පොළොව මතුපිට සිට කිලෝමීටර් සිය ගණනක් ඉහළින් ඡායාරූප ලබා ගැනීම 1960 දශකයේ ඇරඹුණා. 1969-72 කාලයේ හඳ තරණයට ගිය ඇපලෝ අජටාකාශගාමීන් කිමී ලක්ෂ හතරකට වඩා දුර සිට අපේ ග‍්‍රහලෝකය අභ්‍යවකාශයේ අඳුරු පසුබිම තුළ ලස්සන ජිල් බෝලයක් සේ පෙනෙන සැටි ඡායාරූප ගත කළා. 1970න් පසු ලොව පුරා මතුව ආ පරිසර සංරක්ෂණය පිළිබඳ උද්‍යෝගයට අභ්‍යවකාශයේ සිට ගන්නා ලද පෘථිවි ඡායාරූප ද දායක වූ බව පිළි ගැනෙනවා.

අපේ ලෝකයේ ගති සොබා ගැන පුළුල් හැඟීමක් ලබා ගන්නට පමණක් නොවෙයි. භූමි පරිභෝජන රටා, ආපදා හා කාලගුණ තත්ත්වයන් නිරීක්ෂණයටත් චන්ද්‍රිකාවලින් ගන්නා ඡුායාරූප මහත් සේ උදවු වනවා. ඡායාරූප කීවාට දෘෂ්ටි ආලෝක පරාසය පමණක් නොව අධෝරක්ත (infrared) හා වෙනත් පරාසයන් හරහා ද අපේ ග‍්‍රහලෝකය දැන් නිරතුරුව ම නිරීක්සනු ලබනවා.

අමෙරිකානු අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා (NASA) ආයතනය අපේ පෘථිවියේ රාත‍්‍රී චන්ද්‍රිකා ඡායාරූප එක් කොට මුළු ලෝකයට ම පොදු රූපයක් නොමිලයේ ඉන්ටර්නෙට් හරහා නිකුත් කිරීම ඇරඹුවේ 1994දී. එහිදී ආසන්න දින ගණනාවක් තිස්සේ ලබා ගත් ඡායාරූපවලින් වඩාත් ම ප‍්‍රශස්ත (වලාකුළු රහිත) ඒවා තෝරා සංයුක්ත රූපයක් සිතියම් ආකාරයට සකසනවා. ගෝලීය වූ ලෝකය ද්විමාන ලෙසින් නිරූපණය කිරීමේ විවිධ සිතියම් ප‍්‍රකේෂපන ක‍්‍රම (map projection) තිබෙනවා.

වඩාත් දියුණු වූ චන්ද්‍රිකාවකින් 2012 වසරේ ලබා ගත් රාත‍්‍රී ඡායාරූප එකතුවක් දෙසැම්බර් මුලදී නාසා ආයතනය නිකුත් කළා. එයට යොදා ගත්තේ 2011 ඔක්තෝබරයේ කක්ෂගත කළ සුවෝමි NPP නම් චන්ද්‍රිකාවයි. ධ‍්‍රැවීය කක්ෂ මාර්ගයක ඇති මේ චන්ද්‍රිකාව දිනකට 14 වතාවක් ලෝකය වටා යනවා. 2012 අපේ‍්‍රල් හා ඔක්තෝබර් මාසවලදී කක්ෂවාර 312ක් පුරා හසු කරගත් අධෝරක්ත ඡායාරූප දහස් ගණනක් අතරින් හොඳ ම රූප සංයුක්ත කොට මේ අලූත් රාත‍්‍රී ලෝක සිතියම් නිර්මාණය කර තිබෙනවා.

හිරු එළිය පතිත වී නැති විට අපේ ලෝකය දෙස අභ්‍යවකාශයේ සිට බැලූ විට කුමක් දැකිය හැකි ද? මිනිස් ක‍්‍රියාකාරකම් නිසා ජනනය වන වීදි හා නිවෙස් ආලෝකය, මුහුදේ නැව් හා බෝට්ටුවල එළි හා තෙල් ළිංවල මහා දැල්ල ආදියට අමතරව ලැව් ගිනි, ධ‍්‍රැවීය ආලෝකයන් (අවුරෝරා) ආදියත් දිස් වනවා.

රාත‍්‍රි කාලයට ලෝකය දෙස බැලීමෙන් අපේ ලෝකයේ ජනාවාස සංකේන්ද්‍රනය වී ඇති සැටි තේරුම් ගත හැකියි. ‘‘මිහිතලයේ මානව ව්‍යාප්තිය හා සාපේක්ෂ සංකේන්ද්‍රනය ගැන දළ හැඟීමක් මේ රාත‍්‍රී රූප දෙස බලා අපට ලද හැකියි’’ මේ කේෂත‍්‍රයේ විශේෂඥයකු වන ක‍්‍රිස් එල්විජ් කියනවා.

එහෙත් විදුලිබල පරිභෝජනය ලොව සෑම තැනෙක ම එක ලෙසින් සිදු වන්නේ නැහැ. උතුරු අමෙරිකාවේ හා බටහිර යුරෝපයේ රාත‍්‍රී ආලෝකයන් ඉතා දීප්තිමත්ව පෙනෙන අතර ඊට වඩා අධික ජන සංඛ්‍යාවක් වෙසෙන චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසීලය වැනි රටවල රාත‍්‍රි ආලෝක සාපේක්ෂව අඩුයි.

1994 සිතියම් සමඟ මේ වසරේ රාත‍්‍රී සිතියම සසඳන විට ආසියාවේ හා ලතින් අමෙරිකාවේ විදුලි ආලෝකයේ පැතිරීම ව්‍යාප්ත වී ඇති සැටි පෙනෙනවා.බිලියන් 7.2ක් වන ලෝක ජනගහනයෙන් අඩකටත් වඩා දැන් වාසය කරන්නේ නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශවල. 2050 වන විට එම සංඛ්‍යාව ලෝක ජනගහනයෙන් සියයට 70ක් වනු ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුමාන කරනවා.

බොහෝ නගර බිහි වී ව්‍යාප්ත වී තිබෙන්නේ වෙරළ ප‍්‍රදේශ හෝ ප‍්‍රධාන ගංගා නිම්න ආශ‍්‍රිතවයි. මේ බව රාත‍්‍රී එළි සිතියම දෙස බැලූ බැල්මට ම පෙනී යනවා. අමෙරිකාව හා ඉන්දියාව වැනි විශාල රටවල ප‍්‍රධාන මහාමාර්ග දෙපස ජනාවාස අධිකයි. මේ මාර්ගවල විහිදීම වීදි ආලෝක නිසා අපට සිතා ගත හැකියි.

South Asia at night - composite satellite image taken in April & Oct 2012
South Asia at night – composite satellite image taken in April & Oct 2012

ලෝක ජනගහනයෙන් සියයට 60කට නිවහන වන අපේ ආසියා පැසිෆික් කලාපයේ රාත‍්‍රී ආලෝක දෙස බැලීමෙන් ආර්ථික සංවර්ධනය හා මිනිස් ජනාවාස පැතිරී තිබෙන අසමාන රටාව තේරුම් ගත හැකියි. ජපානයේ හා නැගෙනහිර චීනයේ ප‍්‍රදේශ රැසක රාත‍්‍රිය දීප්තිමත් වී තිබෙන අතර, ඉන්දුනීසියාව හා ඕස්ටේ‍්‍රලියාව වැනි විශාල රටවල එය පෙනෙන්නේ කිහිප තැනෙක පමණයි.

චීනයට සාපේක්ෂව ඉන්දියාවේ ජන ඝනත්වය ඉහළයි. මේ නිසා රාත‍්‍රී සිතියමේ ඉන්දියාව පුරා ම පාහේ එළි දැකිය හැකියි. එහෙත් ඉන්දියාවේ උතුරු දිග මායිමක් වන හිමාල කඳුවැටිය මුළුමනින් ම අඳුරුයි. හිමාලයෙන් උතුරට වන්නට ඇති චීනයේ අසංවර්ධිත බටහිර ප‍්‍රදේශයේ හා මොංගෝලියාවේ (චන්ද්‍රිකාවට හසු වන තරමේ) එකදු ආලෝකයක්වත් නැහැ. රුසියාවෙත් නාගරික කේන්ද්‍ර කිහිපයක් හැරුණු කොට විශාල ජනශුන්‍ය හෝ අසංවර්ධිත ප‍්‍රදේශ තිබෙන බව පැහැදිලියි.

ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි තත්ත්වය කුමක් ද?

ලෝක මට්ටමේ සිතියමක අපේ දූපත පෙනෙන පරිමාණයෙන් වැඩි විස්තර දැක බලා ගන්නට අපහසුයි. ශ‍්‍රී ලංකාවේ රාත‍්‍රී එළි කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල වඩාත් ම ප‍්‍රබල අතර ඊළඟට වැඩියෙන් ම දීප්තියෙන් පෙනෙන්නේ යාපනය අර්ධද්වීපයයි.

කොළඹට අමතරව මහනුවර, ගාල්ල, කුරුණෑගල වැනි ප‍්‍රධාන නගරවලත් රාත‍්‍රී ආලෝක පැහැදිලිව තිබෙනවා.

යාපනය නගරයට උතුරට හා ඊසාන දිගට වන්නට කන්කසන්තුරේ සහ පේදුරු තුඩුව අවට දැඩි ආලෝකයන් පෙනෙනවා. 1994 හා 2003 චන්ද්‍රිකා රාත‍්‍රී සිතියම්වල මුළු උතුරු පළාතේ ම කිසිදු එළියක් සනිටුහන් වී නැහැ. යුද්ධ වකවානුවේ උතුරට විදුලි එළිය සැපයීම අඩාල වූ සැටි අප දන්නවා.

කලක් නාසා ආයතනයේ හබල් අභ්‍යවකාශ දුරදක්න පර්යේෂණවල නිරතව සිටි ජ්‍යෙෂ්ඨ තාරකා විද්‍යාඥ ආචාර්ය කාවන් රත්නතුංගගෙන් මේ උතුරේ ප‍්‍රබල ආලෝකයන් ගැන මා විමසුවා. ‘‘මේ තරම් ප‍්‍රබල එළි නිවාස හෝ ව්‍යාපාරික ආයතන නම් විය නොහැකියි. එහෙත් එයට හේතුව මට සිතා ගත නොහැකියි.’’ ඔහු කියනවා.

A closer look at southern India and Sri Lanka at night - composite satellite image taken in April & Oct 2012
A closer look at southern India and Sri Lanka at night – composite satellite image taken in April & Oct 2012

යාපනයට අමතරව වවුනියා, අනුරාධපුරය හා ත‍්‍රිකුණාමලය නගර මුල් කර ගෙන ආලෝක සංකේන්ද්‍රනයක් පෙනෙනවා. එසේ ම මඩකළපුව හා ආරුගම් බොක්ක ප‍්‍රදේශයේත් පැහැදිලි එළි රැසක් තිබෙනවා. මහනුවර සිට යාපනයට දිවෙන කිමී 321ක් දිග A9 මහා මාර්ගයේ කොටස් රාත‍්‍රී එළි නිසා හඳුනාගත හැකියි. අවට දෙපස අඳුරේ තිබියදී මහා මාර්ගය දෙපස පමණක් එළි පෙනෙනවා. මෙබඳු ප‍්‍රධාන මාර්ගවල විහිදීම දිවයිනේ වෙනත් ප‍්‍රදේශවලත් දිස් වනවා.

එහෙත් චන්ද්‍රිකා ඡායාරූපයකට හසු විය හැකි තරම් විදුලි එළි නොමැති ප‍්‍රදේශ රාශියක් අපේ රටේ තිබෙනවා. අඳුර වඩාත් ප‍්‍රබලව ඇත්තේ මන්නාරම හා කතරගම අවට ප‍්‍රදේශවල බවත්, ඒ නිසා මේ ප‍්‍රදේශ තාරකා විද්‍යාත්මක නිරීක්ෂණවලට වඩාත් හිතකර වන බවත් කාවන් කියනවා.

මේ වන විට නාගරික ප‍්‍රදේශවල විදුලි ආලෝකය හා දූවිල්ල නිසා හරිහැටි රාත‍්‍රී අහස බලා ගැනීම අපහසු වී තිබෙනවා. තාරකා විද්‍යාඥයන් කළුවර අහස රැක ගැනීමේ ලෝක ව්‍යාප්ත වෑයමක් (Saving Dark Skies) දියත් කර ඇත්තේ මේ ප‍්‍රවණතාව නිසයි.

අපේ දිවයිනේ ජන සංකේන්ද්‍රනය, නාගරීකරණය හා විදුලිබල පරිභෝජනය ගැන දළ වැටහීමක් මේ රාත‍්‍රී සිතියම් හරහා ලද හැකියි. අප සිතනවාට වඩා ඉහළ මට්ටමේ නාගරීකරණයක් අපේ දිවයිනේ සිදුව තිබෙනවා. 2030 වන විට මෙරට ජනගහනයෙන් අඩක් නගරවල වාසය කරනු ඇතැයි විශේෂඥයෝ අනුමාන කරනවා.

මෑත සතිවල දී හඳුනා නොගත් ආලෝකයන් ගැන කලබල වූ සමහරුන් පිළිබඳව මාධ්‍ය වාර්තා අප දුටුවා. ඒ ගැන වෙන ම විග‍්‍රහ කළ යුතුයි. එහෙත් රාත‍්‍රියට අප තනිව හා සාමූහිකව ආලෝකය සමඟ කරන දේ සමස්තයක් ලෙස අභ්‍යවකාශයේ සිට දැකිය හැකියි.

එසේ ම අප කැමති වූවත් නැතත් චන්ද්‍රිකා ඡායාරූප ඉන්ටර්නෙට් හරහා මුළු ලෝකයට ම නොමිලයේ බලා ගන්නට හැකියි. අප දැන් ජීවත් වන්නේ ගෝලීය වීදුරු ගෙයක (Global Glasshouse) බව අමතක කරන්න එපා!

භෞතික විද්‍යාවේ නියමයන් රජයකට හෝ බලාධිකාරියකට නතු නොවන නිසා ඉහළ අභ්‍යවකාශයේ සිට අපේ රට චන්ද්‍රිකා ඡායාරූප ගත කිරීම නතර කරන්නට කිසිවකුටත් බැහැ. (ලෝකයේ බලවත් රටවල් හමුදා ඔත්තු බැලීම සඳහා ද මේ තාක්ෂණය යොදා ගන්නවා!)

නාසා රාත‍්‍රී අහස වෙබ් අඩවිය: http://earthobservatory.nasa.gov
ගූගල් පෘථිවි සිතියම් ගවේෂණය කරන්නට වෙබ් අඩවිය: http://tiny.cc/GMapN

Asia and Australia at night - globular view
Asia and Australia at night – globular view

Bridging Sri Lanka’s Deficit of Hope: What’s to be done?

Rays of Hope - or just Nature painting colours in the sky? It's in the eye of the beholder...
Rays of Hope – or just Nature painting colours in the sky? It’s in the eye of the beholder…

During the height of the Cold War, Soviet Communist Party chief (Leonid) Brezhnev and his deputy were having a one-on-one meeting.

Brezhnev says, “Maybe it’s time we opened our borders and allowed free emigration?”

The deputy retorts: “Don’t be ridiculous. If we did that, no one would be left in the country except you and me!”

To which Brezhnev replies, “Speak for yourself!”

That was a joke, of course — one of many examples of dark humour that helped communism’s oppressed millions to stay sane.

What might happen if we suddenly found ourselves in a borderless world? Or at least in a world where free movement across political borders was allowed? Which places would see a mass exodus, and to where might people be attracted the most?

I very nearly included the old Soviet joke in my latest op-ed essay titled ‘Bridging Sri Lanka’s Deficit of Hope’ that is published today by Groundviews.org.

It asks WHY many thousands of young men and women of Sri Lanka have been leaving their land — by hook or crook – for completely strange lands. This has been going on for over a generation.

Here’s an excerpt:

For three decades, such action was attributed to the long-drawn Lankan civil war. That certainly was one reason, but not the only one.

It doesn’t explain why, three and a half years after the war ended, the exodus continues. Every month, hordes of unskilled, semi-skilled and professionally qualified Lankans depart. Some risk life and limb and break the law in their haste.

It isn’t reckless adventurism or foolhardiness that sustains large scale human smuggling. That illicit trade caters to a massive demand.

Most people chasing their dreams on rickety old fishing boats are not criminals or terrorists, as some government officials contend. Nor are they ‘traitors’ or ‘ingrates’ as labelled by sections of our media.

These sons and daughters of the land are scrambling to get out because they have lost hope of achieving a better tomorrow in their own country.

I call it the Deficit of Hope. A nation ignores this gap at its peril.

As usual, I ask more questions than I can answer on my own. But I believe it’s important to raise these uncomfortable questions.

Towards the end, I ask: What can be done to enhance our nation’s Hope Quotient?

“Governments can’t legislate hope, nor can their spin doctors manufacture it. Just as well. Hope stems from a contented people — not those in denial or delusion — and in a society that is at ease with itself. We have a long way to go.”

Read the full essay and join the discussion on Groundviews.org:
Bridging Sri Lanka’s Deficit of Hope

Or read the compact version of the essay that appears in Ceylon Today newspaper:

Bridging Sri Lanka's Deficit of Hope by Nalaka Gunawardene - Ceylon Today, 2 Jan 2013
Bridging Sri Lanka’s Deficit of Hope by Nalaka Gunawardene – Ceylon Today, 2 Jan 2013

සිවුමංසල කොලූගැටයා #98: ලෝක විනාශ මිථ්‍යාවේ මාධ්‍ය කෙරුවාව

For much of 2012, a large section of the print and broadcast media in Sri Lanka behaved like the proverbial chicken who panicked himself and the rest of the jungle claiming the sky was falling.

They uncritically and sometimes gleefully peddled the completely unsubstantiated and imaginary prophecies of doom and gloom – specifically, about the world ending on 21 December 2012.
And just like Chicken Little did, our media too had plenty of uncritical followers – a case of the blind leading the blind. They worked themselves into a misplaced frenzy, imagining all sorts of scenarios for the world’s end.

In this week’s Ravaya column (in Sinhala), I take a critical look at our uncritical and fear-mongering media, especially broadcast media. Appears in print issue of 30 Dec 2012.

See also related English posts:
End-of-the-World Special: Chicken Little Media Awards 2012
21 Dec 2012 is here: So where’s the End of the World I was promised?

Tribute to a myth, courtesy www.Boondi.lk
Tribute to a myth, courtesy http://www.Boondi.lk

දෙසැම්බර් 21 වනදා ගෙවී ගියා. එහෙත් නිට්ටාවට ම සිදු වනවා යැයි කියා තිබූ ලෝක විනාශයේ සේයාවක්වත් දැක ගන්නට නම් ලැබුණේ නැහැ!

මානව සංහතිය අනතුරට පත් කරන මට්ටමේ ආපදා ගොන්නක් එක විට හට ගත්තේ නැහැ. එසේ ම දින තුනක් එක දිගට හිරු නොපෑවීම නිසා අදුරු වීම වැනි අතිශයින් අභව්‍ය අනාවැකි මුළුමනින් ම ප‍්‍රලාප බවට පත් වුණා.

ලෝක විනාශය ගැන මේ කොලමින් අප 2012 මාර්තු 18 සහ මාර්තු 25 වනදා විස්තරාත්මකව විග‍්‍රහ කළා. අපේ ග‍්‍රහලෝකය තුළින් මතු වන ආපදාවක් නිසා හෝ පිටසක්වලින් එන උවදුරක් නිසා හෝ මේ වසරේවත් නුදුරු අනාගතයේවත් ලෝක විනාශයක් වීම ගැන ජනප‍්‍රිය සංස්කෘතියේ සංසරණය වන මතවාදයන්ට කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව අප අවධාරණය කළා.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නම් වූ කොලමින් මාර්තු 25 වනදා මා මතු කළ ප‍්‍රශ්න මේවායි. “සිදුවන්නට හැකියාව ඉතා අඩු, වඩාත් ම බිහිසුණු සිදුවීම් ගැන මේ තරම් කලබලවීමක් හා භීතියක් ඇති කර ගන්නට අපේ ඇත්තන් නැඹුරු වන්නේ ඇයි? ස්වයංමුලාව හා ස්වයංභීතිය ඒ තරමට අපේ තනි හා සාමූහික චින්තනයට සමීප වෙලාද?”

ලෝක විනාශය නිට්ටාවට ම සිදු වනවා යැයි මුලදී මොර ගෑ උදවිය වසර අග වන විට ටිකෙන ටික තමන්ගේ ස්ථාවරය වෙනස් කළ හැටි හොඳාකාර පෙනී ගියා. එසේ ම ලෝක විනාශවාදීන් පේන කී හැටියට විවිධාකාරයෙන් විනාශ වන්නට නම් පෘථිවි ලෝක එකක් මදි. කිහිපයක් තිබිය යුතුයි!

ලෝක විනාශයට අහක හිටපු මායාවරුන්වත් නිරපරාදේ ඈඳා ගත්තා. විශිෂ්ට සභ්‍යත්වයක් තිබූ මායාවරුන් කිසි තැනෙක එබන්දක් කියා නැති බවට මායාවරුන්ගෙන් පැවත එන වත්මන් පරපුර හා මායා සභ්‍යත්වය ගැඹුරින් අධ්‍යයනය කළ සැබෑ විද්වතුන් යළි යළිත් කීවත් මිථ්‍යාවාදීන්ට හා ඔවුන්ට උඩගෙඩි දුන් අවිචාරශීලි මාධ්‍යවලට එය ප‍්‍රශ්නයක් වූයේ නැහැ.

එපමණක් නොවේ බුදු දහම, තාරකා විද්‍යාව, භූ විද්‍යාව වැනි විවිධ කේෂත‍්‍රවලින් උඩින් පල්ලෙන් යම් යම් දේ උකහා ගෙන පොදු ජනයා බියපත් හා මංමුලා කරන ආකාරයේ බිහිසුණු අනාවැකි නිර්මාණය කරනු ලැබුවා.

මේ සාමූහික අයාලේ යාමට වගකිව යුත්තේ කවරහු ද?

ඕනෑ කෙනකුට කැමති දෙයක් විශ්වාස කරන්නටත්, එයින් බියට පත් වීමටත් පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් ඒ නිදහසට මුවා වී සමාජයේ ඉච්ඡභංගත්වය හා භීතිය වපුරන්නට තිබෙන අවකාශයට සදාචාරමය සීමාවන් තිබිය යුතයි. ප‍්‍රකාශන නිදහස ගැන මූලික රීතියක් වන්නේ ජනයාගේ පිරී ගිය රඟහලක ‘ගිනි ගන්නවෝ’ යැයි අහේතුකව කෑගසන්නට කිසිවකුට අයිතියක් නැති බවයි.

chickenlittleලෝක විනාශ මිථ්‍යාවක් මතු වූ ප‍්‍රථම වතාව මෙය නොවෙයි. එහෙත් මෙතරම් ලෝක ව්‍යාප්ත මට්ටමින් මෙබඳු මුලාවක් හා භීතියක් මෙවර හට ගත්තේ ජනමාධ්‍ය හා තොරතුරු තාක්ෂණය හරහා මේ ප‍්‍රබන්ධය අති විශාල ජනකායක් අතරට ඉක්මනින් පැතිරුණු නිසයි. තොරතුරු සමාජය හා මාධ්‍ය චර්යාව ගැන නෙත් යොමා සිටින මට මේ ගැන නිරීක්ෂණ හා අත්දැකීම් කිහිපයක් තිබෙනවා.

පසුගිය මාස කිහිපය පුරා විවිධ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ලෝක විනාශය තේමා කර ගෙන කළ විමසීම් රැසකට මා දුරකථනයෙන් පිළිතුරු දුන්නා. ඉඩ ඇති පරිද්දෙන් සජීව සංවාදයන්ට ද සහභාගි වුණා. මේ අත්දැකීම් පොදුවේ විග‍්‍රහ කරන විට මට පෙනී යන්නේ ග‍්‍රාහකයන්ගේ දැනුමේ නිම්වළලූ පුළුල් කිරීමට හෝ ඔවුන්ගේ මනසේ මතුව ඇති සැකයන් හා භීතිකාවන් සමනය කිරීමට හෝ නොව තාවකාලික සංත‍්‍රාසයක් (චීප් ත‍්‍රිල් එකක්) සඳහා බොහෝ මාධ්‍ය මේ තේමාව යොදා ගත් බවයි.

ලෝක විනාශ මිථ්‍යාව සමාජ විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක වශයෙන් විග‍්‍රහ කළ යුතුයි. ඉතිහාසයේ වැඩි කාලයක් අන්ධ විශ්වාසවල ඇළී ගැලී හා නොදන්නා දේ ගැන බියෙන් කල් ගත කළ මානවයෝ, තර්කානුකූල හා විද්‍යානුකූල ලෙසින් භෞතික ලෝකය ගැන තේරුම් ගන්නට පටන් ගෙන තවම සියවස් දෙක තුනකට වඩා ගත වී නැහැ. පරම්පරා දෙකක් අතර පරතරය වසර 25 ක් ලෙස ගතහොත් මෙය පරම්පරා දහයක හෝ දුසිමක කාලයක් පමණයි.

පෙර පුරුදු විදියේ ස්වයං භීතියකට තවමත් අප බොහෝ දෙනෙකු තුළ සැඟවුණු ළැදියාවක් තිබිය හැකියි. මෙයට නූතන විද්‍යාත්මක මුහුණුවරක් ආරෝපණය කිරීමට ද විවිධ උත්සාහයන් කෙරෙනවා.

බොහෝ කොට ආගමික මතවාදයන් මත පදනම් වූ ලෝක විනාශයන් ගැන මීට පෙර කථා කෙරුනත් මෙවර ලෝක විනාශ භීතිකාවට ‘විද්‍යාත්මක’ මුහුණුවරක් ලැබී තිබුණා. විද්‍යාව හා ජන සමාජය අතර සබඳතා අධ්‍යයනය කරන පර්යේෂකයන් මෙය pseudo-science හෙවත් ව්‍යාජ විද්‍යාව කියා හඳුන්වනවා. ජනප‍්‍රිය සංස්කෘතියටත්, ජනමාධ්‍යවලටත් වැඩිපුර ම සංත‍්‍රාසයක් ගෙන දෙන්නේ ව්‍යාජ විද්‍යාවයි.

සැබෑ විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. කල්පිතයක්, නිරීක්ෂණ හා අත්හදා බැලීම් ඔස්සේ තහවුරු කරන්නට උත්සාහ ගන්නවා. හැම කල්පිතයක් ම හැම විටම විවාදයට හා ප‍්‍රතිතර්කවලට විවෘතයි. සාක්ෂි මත පදනම් වූත්, විමර්ශනයට හා අභියෝගයට ඉඩ දෙන්නා වූත් ප‍්‍රවේශයක් සැබෑ විද්‍යාවේ තිබෙනවා.

එහෙත් විද්‍යාත්මක වෙස් මුහුණක් බැඳගත් අන්තවාදීන් හෝ වංචනිකයන් ගෙන යන ව්‍යාජ විද්‍යාවේ එබඳු ඉඩක් නැහැ. සැබෑ විද්‍යාවේ අවිනිශ්චතාවන්, සම්භාවිතාවන් හා නොදන්නා දේ පිළිගැනීම වැනි සංකල්පවලින් පොදු ජනයා කිති කවන පුවත් මවා ගන්නට අමාරුයි. මේ නිසා ලොව බොහෝ රටවල ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය ව්‍යාජ විද්‍යාවට ඇදී යනවා.

ව්‍යාජ විද්‍යාව ප‍්‍රගුණ කරන්නේ වෙළඳපොළ සමඟ සූක්ෂමව ගනුදෙනු කරන හා මාධ්‍ය හරහා ප‍්‍රතිරූප තනා ගැනීමට සමත් පිරිසක්. මාධ්‍ය ඉල්ලන දේ එලෙසින් ම දෙන්නටත්, ඒ හරහා තමන්ගේ අරමුණු ඉටු කර ගන්නටත් ඔවුන් හොඳාකාර දන්නවා.

ඉන්ටර්නෙට් මූලාශ‍්‍ර යැයි කියමින් කොහෝ හෝ තිබෙන වල්පල් ටිකක් සිංහලට පෙරළා අපේ පාඨකයන් හා ශ‍්‍රාවකයන් බිය වැද්දීම අපේ මාධ්‍යකරුවන් නිතර කළ දෙයක්. ඉන්ටර්නෙට් තුළ විශ්වාසනීය තොරතුරු මෙන් ම තනිකර ප‍්‍රබන්ධකාරී හා වංචාකාරී ව්‍යාජ විද්‍යා තොරතුරු ද තිබෙනවා. මේ දෙක සීරුවෙන් තෝරා බේරා ගැනීම අද මාධ්‍යකරුවන්ට අත්‍යවශ්‍ය කුසලතාවක්.

සමස්ත මානව දැනුමේ ඒකාධිකාරියක් විද්‍යාවට නැහැ. එහෙත් පෙර කී පරිදි සියවස් කිහිපයක් පුරා ක‍්‍රමයෙන් දියුණු කර ගෙන ආ, තවදුරටත් විමර්ශනයට හා අභියෝගයට විවෘත දැනුම් ගවේෂණ ක‍්‍රමවේදයක් විද්‍යාවේ තිබෙනවා. එබඳු චින්තන ක‍්‍රමයක් නියෝජනය කරන විද්‍යාඥයන් හා විද්‍යා ලේඛකයන් එක් පසෙකටත්, විවෘත භාවයක් හෝ විචාරාත්මක ක‍්‍රමවේදයක් නොපෙනෙන ජ්‍යොතිෂය ඇතුළු වෙනත් ගුප්ත ව්‍යාපාරයන් නියෝජනය කරන්නවුන් අනෙක් පසටත් දමා අපූරු ආකාරයේ ‘මාධ්‍ය තුලනයක්’ කරන්නට බොහෝ මාධ්‍ය තැත් කරන සැටි මා නිතර දුටුවා.

‘ලෝක විනාශය ගැන ඔබේ මතවාදය කුමක්ද?’ හා ‘ලෝක විනාශය ගැන ඔබේ ආකල්පය රටට කියනවා ද?’ ආදී වශයෙන් මගෙන් විමසූ මාධ්‍ය සගයන්ට මා කීවේ මෙතැන ඇත්තේ මගේ හෝ වෙනත් කිසිවකුගේ මතවාදයක් පිළිබඳ ප‍්‍රශ්නයක් නොවන බවයි.

දේශපාලන වාද පිටියේ වම – දකුණ ලෙසින් හෝ නිල් – රතු – කොළ පාට ලෙසින් පිල් බෙදී සිටින අය කොයි කාටත් මත දැක්වීමට අවකාශය ලබා දෙන පරිද්දෙන් මෙබඳු සමාජයීය ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නට තැත් කිරීම බොළඳ හා හරසුන් ක‍්‍රියාවක්. එමෙන්ම බටහිර විද්‍යාව හා පෙරදිග ශාස්ත‍්‍රයන් හැටියට ඇතැම් දෙනා කරන බෙදීම ද තර්කානුකූල හෝ සම්මත වර්ගීකරණයක් නොවෙයි.

තර්කානුකූල පදනමක් නැති ගුප්ත ශාස්ත‍්‍රකරුවන් හා තර්කානුකූලව ක‍්‍රියා කරන විද්‍යාඥයන් යනු එක ප‍්‍රශ්නයේ යෝජක හා ප‍්‍රතියෝජක පිල් දෙක නොවෙයි.

2012 Hoax - Don't be scammed!
2012 Hoax – Don’t be scammed!
මේ විසම ප‍්‍රවේශය සමාජයේ වෙනත් ප‍්‍රශ්නවලටත් අදාළ කළහොත් සක්විති වැනි වංචනිකයන්ට හා ඔවුන්ගේ කූඨ වංචාවලට හසුවූ අසරණ ජනතාවට එක හා සමාන ගුවන් කාලය දිය යුතුයි. නැතහොත් මහජන මුදල් වංචා කොට හෝ කාබාසිනියා කොට අධිකරණ ක‍්‍රියාදාමයක් හරහා වරදකරුවන් වන දුෂිතයන්ට හා එම දුෂණවලින් පීඩාවට පත් අහිංසකයන්ට ද එක හා සමාන මාධ්‍ය ඉඩක් දෙන්නට සිදු වෙයි.

මාධ්‍ය තුලනය කියන්නේ අන්ධ තුලනයක් නොවෙයි. නමුත් ගෙවී ගිය මාස කිහිපය තුළ අප දුටුවේ එබන්දක්. සමහර නාලිකාවලින් අපේ ජන විඥානය හිස නැති කවන්ධයක් කරන්නට දිනපතා ම පාහේ කර ගෙන ගිය මාධ්‍ය විකාරය දෙස මා බලා සිටියේ පිළිකුලෙන් හා කලකිරීමෙන්.

සක්විති රණසිංහගේ මහා පරිමාණ වංචා අන්තිමේ දී හෙළිදරවු වී ඔහු නීතියෙන් පලා ගිය 2008 සැප්තැම්බරයේ හැම ජනමාධ්‍යකට ම එය ලොකු ප‍්‍රවෘත්තියක් වුණා. සක්විති දෙනවා යැයි කියූ අදහා ගන්නට බැරි තරම් ඉහළ පොලී අනුපාතයන් පතා ගෙන මුදල් තැන්පත් කොට අමාරුවේ වැටුණු දහස් ගණනක් ලාංකිකයන්ගේ අඳේනා මාධ්‍ය විසින් මහත් ඕනෑකමින් ප‍්‍රතිරාවය කරනු ලැබුවා.

එහෙත් ඒ මොහොතේ අප කිහිප දෙනෙකු පෙන්වා දුන්නේ සක්විති ලක් සමාජයේ දැවැන්ත ප‍්‍රතිරූපයක් බවට පත් කරන්නට මෙරට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය දායක වූ බවයි. සක්විති ජාතික පත්තරවල විශාල දැන්වීම් පළ කළා. ජාතික රූපවාහිනියෙත් වෙනත් නාලිකාවලත් ඉංග‍්‍රීසි උගන්වන වැඩසටහන් කළා. මේ පසුබිම තුළ ඔහුගේ සූක්ෂම වංචා වසර ගණනක් පවත්වා ගෙන ගිය සැටිත්, පෝද්දල ජයන්ත වැනි ගවේෂණාත්මක මාධ්‍යවේදීන් ඔහු ගැන සාක්ෂි සහිතව හෙළිදරවු කරන්නට පෙරට ආ විට එම පත්තරවල කතුවරුන් එය වැළැක් වූ සැටිත් අප දන්නවා.

අදහන්නට බැරි පොලී අනුපාතයන් දෙන මූල්‍ය සමාගම් හා අදහන්නට බැරි ගුප්ත සේවාවන් සපයන ජ්‍යොතිෂ ව්‍යාපාරිකයන් අතර ලොකු වෙනසක් නැහැ.

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතු යැයි කියමනක් තිබෙනවා. එසේ ම පාරිභෝභිකයා සැම විට ප‍්‍රවේශම් විය යුතු යැයි (Caveat emptor) නම් ලතින් ඔවදනක් ද තිබෙනවා. මාධ්‍ය හරහා ප‍්‍රතිරූප පුම්බන ඇතැම් දෙනා හීන් සීරුවේ කරන ව්‍යාපාරවලට නීතිමය නොවෙතත් සදාචාරාත්මක වගකීමක් මාධ්‍යවලටත් පැවරෙනවා. මාධ්‍ය කළ යුත්තේ මිනිසුන් රැවටීම නොව රැක ගැනීමයි.

මෙයින් මා අදහස් කරන්නේ හැම ගුප්ත සේවා සපයන්නා ම වංචනිකයි යන්න නොවේ. එහෙත් විවෘත වෙළඳපොළේ වාණිජ මට්ටමින් ජ්‍යොතිෂ හා ගුප්ත සේවා සපයන උදවිය ටෙලිවිෂන්, රේඩියෝ හා පත්තර හරහා තම කේෂත‍්‍රය ගැන අදහස් දක්වන විට තම ව්‍යාපාරිකා අරමුණු ද ඒ හරහා ඍජුව හෝ වක‍්‍රව ප‍්‍රවර්ධනය වන බව සැබෑවක්.

මෙරට ගුප්ත සේවා සඳහා පාරිභෝගික ආරක්ෂණ නීති ක‍්‍රියාත්මක වන බවක් මා දන්නේ නැහැ. මේ නිසා ගුප්ත සේවා සපයන්නන් මාධ්‍යවලට සම්බන්ධ කර ගැනීමේදී ඔවුන් ගැන මීට වඩා ප‍්‍රවේශම්කාරී වීමේ ලොකු වගකීමක් මාධ්‍යවලට පැවරෙනවා. ගෙවී යන වසරේ ලෝක විනාශ මායාවට මුවා වී ප‍්‍රතිරූප හා ව්‍යාපාර වර්ධනය කර ගන්නට අවිචාරශීලිව ඉඩ දීම හරහා අපේ මාධ්‍ය කර තිබෙන්නේ කලකට පෙර ඔවුන් සක්විති වන්දනාවට ඉඩ දුන්නාට සමාන දෙයක්.

the-end-of-the-world-logo

සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

This week, my Ravaya column (in Sinhala) is about why we in Sri Lanka should re-read Arthur C Clarke, author of 100 books and over 1,000 essays of both fiction and non-fiction. This marks his 95th birth anniversary that falls on 16 Dec 2012.

As a science writer, Sir Arthur wrote on many and varied topics. Here, I single out two aspects: human violence and human gullibility, both of which continue to affect societies around the world.

Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ 95 වන ජන්ම සංවත්සරය අදට යෙදෙනවා.

ඔහුගේ අදහස් හා පරිකල්පනය කැටි කරගනිමින් වසර 25කට වැඩි කාලයක් පුරා විටින් විට මා ලියූ ලිපි එකතු කොට සම්පාදනය කළ ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නම් අලූත් පොතත් මේ සතියේ එළි දකිනවා.

ක්ලාක් 1917 එංගලන්තයේ ඉපිද, 2008 මාර්තුවේ ශ‍්‍රී ලංකාවේ දී මිය ගියා. ඔහුගේ අවුරුදු 90ක ජීවත කාලයෙන් අඩ සියවසකට වැඩි කාලයක් ගත කළේ මෙරට පදිංචිකරුවකු හැටියටයි. (පුරවැසියකු නොවේ!) එසේ වුවත් අපේ රටේ බොහෝ දෙනා තවමත් ක්ලාක් චින්තනය ගැන එතරම් නොදන්නා බව පෙනෙනවා.

මෙයට එක් හේතුවක් නම් ඔහුගේ සියයකට ආසන්න පොත්වලින් හා දහසකට අධික වූ විද්වත් ලිපි ලේඛනවලින් දේශීය භාෂාවලට පෙරළී ඇත්තේ සීමිත ප‍්‍රමාණයක් වීම. වෙළඳපොළ හේතු නිසාදෝ එසේ පරිවර්තනය හෝ අනුවාදය වී ඇත්තේ ද ඔහුගේ ප‍්‍රබන්ධ කෘති සමහරක් පමණයි.

ක්ලාක් විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඉතා පටු කෝණයකින් බලන ඇතැම් දෙනා ඔහු හුදෙක් ප‍්‍රබන්ධ කථාකරුවකු හා විද්‍යාත්මක සාත්තරකරුවකු ලෙස දකිනවා. තවත් අයට ඔහු ගැජට්කාරයකු පමණයි. යම් පමණකට එය සැබෑ වූවත්, ඔහුගේ බුද්ධිමය දායකත්වයේ තවත් පැතිකඩ ගණනාවක් තිබෙනවා.

විද්‍යාව හා කලාවත්, පෙරදිග හා අපරදිග දැනුමත් එකට සංකලනය කිරීම හරහා අසාමාන්‍ය වූ දැක්මක් ඔහු ලබා ගත්තා. එමෙන්ම වර්තමාන දේශපානකින හෝ ආර්ථික මතවාදයන් තුළ සිරකරුවකු නොවී දිගුකාලීන ඓතිහාසික හා පරිනාමීය දෘෂ්ටි කෝණයකින් කරුණු විග‍්‍රහ කිරීමට ඔහුට හැකියාව තිබුණා.

හැම චින්තකයා හා ලේඛකයා ම සිය නිර්මාණ කරන්නේ තමන්ගේ කාලයට අනුරූපවයි. ආතර් සී. ක්ලාක්ට අනාගතවේදී දැක්මක් තිබුණත් ඔහු විසි වන සියවසේ චරිතයක්. ඔහුගේ දැක්ම වඩාත් මතුව ආයේ ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය හා විවිධ මානව විශ්වාසයන් ගැන ලියූ හා කියූ දේ හරහායි. මේ විග‍්‍රහයන් ඔහුගේ කාලයට අනුරූපව කරනු ලැබූවත් අපේ වත්මන් සියවසට අදාල කර ගත හැකියි.

Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 -  Photo owned by Arthur C Clarke Estate
Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 – Photo owned by Arthur C Clarke Estate
පළමුවන ලෝක යුද්ධ සමයේ ඉපදී, දෙවන ලෝක යුද්ධයේදී ගුවන් හමුදා සේවයේ නිරත වී, සීතල යුද්ධයේ සමස්ත කාල වකවානුව ම අත්විඳි ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය ගැන හා ගෝත‍්‍රික කලහකාරීබව ගැන ලිව්වේ හා කථා කළේ ෙසෙද්ධාන්තිකව නොව ප‍්‍රායෝගික අත්දැකීම් ඇතිවයි.

බටහිර ලෝකයෙන් පෙරදිගට සංක‍්‍රමණය වී 1956 සිට ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ ඔහුට යළිත් තුන් වතාවකදී ගැටුම්කාරී පරිසරයක ජීවත් වන්නට සිදු වුණා. 1971දී හා 1987-89දී මෙරට දකුණේත්, 1980 දශකය සිට ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් මෙරට උතුරු හා නැගෙනහිරත් සිදු වූ සන්නද්ධ අරගලයන් නිසා ඔහු දැඩි සේ කම්පාවට පත් වුණා.

දේශපාලන මතවාද වෙනුවෙන් හෝ බිම් ප‍්‍රදේශ සඳහා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අවි ආයුධ අතට ගැනීම ඔහු කිසි විටෙකත් අනුමත කළේ නැහැ. එහෙත් ආක‍්‍රමණශීලී ස්වභාවය හා ප‍්‍රචණ්ඩත්වය මානවයන්ට පරිණාමයෙන් උරුම වූවක් බවත්, පරිණාමීය අතීතයේ දී නම් එය අපේ වර්ගයාගේ රැක්මට හා පැවැත්මට උපකාරී වූ බවත් ඔහු දැන සිටියා.

දැනුමෙන්, චින්තනයෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට ගියත් මේ උරග මොළ ඉතිරියක් තවමත් අප තුළ පවතින බවත්, එය අධ්‍යාපනය හා ශික්ෂණය හරහා සමනය කර නොගත් විට ගැටුම් හට ගන්නා බවත් ඔහු තේරුම් ගත්තා. ඉතා සරල මුගුරක සිට අතිශයින් විනාශකාරි පරමාණු බෝම්බ දක්වා සමස්ත අවි ආයුධ පරාසය හරහා ම මතු වන්නේ මේ පරිණාමීය ආවේගය හා ගෝත‍්‍රිකත්වය බව ඔහු යළි යළිත් පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ අරගල තුනේදී ඒ ගැන මහත් ශෝකබරිත නිරීක්ෂකයකු හැටියට ඔහු ඉඩ ලද හැම අවස්ථාවක ම මේ ප‍්‍රාථමික ආවේගයන්ගෙන් ඔබ්බට යාමේ වැදගත්කම අවධාරණය කළා.

ඔහු විසිවන සියවස නිතර හැඳින්වූයේ ලෝක ඉතිහාසයේ අතිශයින් ම මිලේච්ඡ වූ සියවස හැටියටයි. රටවල් අතර ප‍්‍රකාශිත යුද්ධ, රටවල් තුළ සිවිල් යුද්ධ, ත‍්‍රස්තවාදී හා අපරාධකාරී ක‍්‍රියා මෙන් ම දේශපාලන මතවාදයන් නිසා ද මිලියන ගණනක් අහිංසක හා නිරායුධ ජනයාගේ ජීවිත හානි කළ එම බිහිසුණු සියවසෙන් අප අමතක නොවන පාඩම් උගත යුතු බව ඔහු නැවත කියා සිටියා.

යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) සමඟ ඔහුට සමීප සබඳතාවක් තිබුණා. දෙවන ලෝක යුද්ධයේ උණුසුම පහව යන්නටත් කලින් 1945දී යුනෙස්කෝව පිහිටුවා ගන්නා විට එහි ප‍්‍රඥප්තියේ ආරම්භක වැකිය ලෙස එහි නිර්මාතෘවරුන් ලීවේ මෙයයි. ‘යුද්ධ හට ගන්නේ මිනිසුන්ගේ මනසේ නිසා සාමයට පවුරු සවිමත් කළ යුත්තේ ද පළමු කොට ම මිනිස් මනසේයි.’

මේ ගැඹුරු සංකල්පය එවකට 29 හැවිරිදි තරුණයකුව සිටි ආතර් සී. ක්ලාක්ගේ මනසට කිඳා බැස්සා. ඉක්බිතිව 1955දී ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්රන්ඞ් රසල් ඇතුළු ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් හා බුද්ධිමතුන් පිරිසක් න්‍යෂ්ටික අවිවලට එරෙහිව නිකුත් කළ රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශනය (Russell-Einstein Manifesto) ද ඔහුගේ චින්තනය තවත් තීව‍්‍ර කළා.

ක්ලාක් ශ‍්‍රී ලංකාවේ තරුණ සන්නද්ධ අරගලයන් හා බෙදුම්වාදී යුද්ධය ගැන විටින් විට ප‍්‍රසිද්ධියේ අදහස් දැක් වූ විට ඒවාට මෙබඳු දිගු කාලීන හා පුළුල් පසුබිමක් තිබුණා. ඔහු කිසි විටෙකත් සාමය ගැන සරල හා සිල්ලර මට්ටමින් කථා කළේ නැහැ. එමෙන් ම ඔහු හැම විට කීවේ ‘කල් පවතින’ හා ‘තිරසාර’ සාමයක් ගැනයි. ඔහුගේ අවසාන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වූ 90වන ජන්ම දින ආවර්ජනයේත් මේ සංකල්පය නැවත වරක් අවධාරණය කළා.

දශක නවයක ජීවිත කාලයේ කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් ඉතිරිව නැතත්, මහා පරිමාණයේ ප‍්‍රාර්ථනා තුනක් ඔහු සඳහන් කළා.

• පළමු වැනි පැතුම නම් විශ්වයේ වෙනත් තැනෙක ජීවයක් පැවතීම පිළිබඳ ස්ථීරසාර සාක්ෂියක් ලැබේවා යන්නයි.

• දෙවැනි පැතුම නම් පිවිතුරු බලශක්ති ප‍්‍රභවයන් භාවිතයට ලෝකය ඉක්මනින් ම යොමු වනු ඇතැයි යන්නයි.

• තෙවැනි පැතුම නම් කල් පවතින තිරසාර සාමයක් හැකි ඉක්මනින් ශී‍්‍ර ලංකාවේ උදා වේවා යන්නයි.

“සාමය යනු නිකම් උද්‍යොග පාඨයක් හෝ ලියවිල්ලක් නොවන බව මා දන්නවා. ඒ සඳහා අති විශාල කැපවීමක්, පරිත්‍යාගයක් හා දිගු කාලීන දැක්මක් අවශ්‍යයි,” ඔහු කියා සිටියා.

විද්‍යාව ජනප‍්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා 1952 සිට යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලූ රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවයක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප‍්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප‍්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

“විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂණික යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

“විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීම විද්‍යාවේ ක‍්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

“එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ ‘කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයි’ යන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
“මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි. උදාහරණයක් නම් මෑතදී (1962) ලොව ඇතැම් රටවල පැතිර ගිය ලෝක විනාශයක් ගැන අස්ථාන භීතියයි. ග‍්‍රහලෝකවල ස්වභාවික ගමන් මාර්ගවලට අනුව ඉඳහිට ඒවා අහසේ සාපේක්ෂව එක ම කලාපයක සමීප ලෙසින් පිහිටනවා. එයින් පෘථිවියේ කිසිදු ආපදාවක් ඇති විය නොහැකියි. එහෙත් ඒ ගැන බිය උපදවා ගත් ඉන්දියානු හා අනෙකුත් ජාතිකයන් කී දෙනෙකු එම ‘අපල උපද්‍රව’ දුරු කිරීමට කියා තමන්ගේ සීමිත මුදල් අපරාදේ වැය කළා ද?

“මීට දෙවසරකට පෙර මේ කාලිංග සම්මානයෙන් පුද ලැබූ ෂන් රොස්ටාන්ඞ් මෙබඳු සම්මාන ප‍්‍රදානෝත්සවයකදී භාරතය හැඳින්වූයේ ‘අතීතය ප‍්‍රතිකේෂප නොකර අනාගතය වැළඳ ගන්නා ශ්‍රේෂ්ඨ දේශය’ හැටියටයි. මෙය අද කාලයේ ඕනෑ ම රටකට ගැලපෙන ප‍්‍රතිපත්තියක්. එහෙත් හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප‍්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

“ගැඹුරට විග‍්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා අප සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප‍්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක‍්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳ මඟ පෙන්වන්නන් ත‍්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප‍්‍රඥව හා අමාරුවෙන් ප‍්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

මගේ මතය නම් හැම පරම්පරාවක් ම මෙබඳු බුද්ධිමතුන් හා ලේඛකයන් නැවත කියවිය යුතුයි. එසේ කියවද්දී ඔවුන්ගේ ජීවන කාලීන පසුබිම ගැන ද විමර්ශනය කළ යුතුයි. මෙය බර්ට්රන්ඞ් රසල්, මහත්මා ගාන්ධි, මාටින් වික‍්‍රමසිංහ මෙන් ම ආතර් සී. ක්ලාක්ටත් පොදුයි. එසේ යළි කියවා අපේ පරම්පරාවට හා යථාර්ථයට මේ චින්තකයින්ගේ අදහස් අදාල කර ගත යුතුයි.

මෙබඳු යළි කියවීමක් තබා ක්ලාක් මුල්වරට හරිහැටි කියවීමක්වත් මෙරට තවමත් සිදු නොවීම කණගාටුවට කරුණක්. ඔහුගේ 2008 වියොවින් දින කිහිපයකින් දෙසතිය සඟරාව සම්මුඛ සාකච්ඡාවක් කරමින් මා කීවේ ලක් සමාජය ක්ලාක් ගැන උදම් ඇනුවාට ඔහුගේ හරබර අදහස් හා නිර්දේශවලින් ප‍්‍රයෝජනයක් නොගත් බවයි.

ජීවමාන ක්ලාක් සංචාරක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට මෙරට ඇතැම් දෙනා හා ආයතන තැත් කළා. ඔහුගේ නමින් 1984 පිහිටුවන ලද රාජ්‍ය තාක්ෂණික ආයතනය වසර තිහකට ආසන්න කාලයක් නිසි විද්‍යාත්මක ඵලදායීතාවකින් තොරව මහජන මුදලින් දිගට ම පවත්වා ගෙන යනවා.

ක්ලාක්ගේ චින්තනය ගැඹුරු විලක් නම් ලක් සමාජය මෙතුවක් කර ඇත්තේ ඒ විල් තෙර හිඳ ගෙන ඉඳහිට නැඟී එන රළක් පෑගීම හා නොගැඹුරු දියේ ඉනවටක් දක්වා යාම පමණයි. එයින් ඔබ්බට මේ චින්තන චාරිකාව ගෙන යාමේ ලොකු වගකීමක් ක්ලාක් සමඟ සමීපව බුද්ධි ගවේෂණයේ යෙදුණු අපට දැන් පැවරී තිබෙනවා.

ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා කෘතිය හරහා මා උත්සාහ කරන්නේත් මේ විලේ තවත් මානයකට සිංහල කියවන සමාජය කැඳවා ගෙන යන්නටයි. ඒ චාරිකාවට අවශ්‍ය වන්නේ නොතිත් වූ දැනුම් පිපාසය හා විවෘත මනසක් පමණයි. යම් තාක් දුරකට ගිය පසු බුද්ධිමත් පාඨකයන්ට තනිව පිහිනා යන්නට ඉඩ හැරීම ලේඛකයන්ගේ සම්ප‍්‍රදායයි!

Read the full transcript on TVEAP website

Mind Journeys with Arthur C Clarke: New Sinhala book offers glimpses of a visionary

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)
Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012). Cover photos by Shahidul Alam, Drik

In a literary career spanning over six decades, Sir Arthur C Clarke (1917 – 2008) wrote 100 books and more than 1,000 short stories and essays. He was the first to propose geostationary communications satellites, and inspired the World Wide Web.

To mark his 95th birth anniversary which falls this month, science writer Nalaka Gunawardene is releasing a new Sinhala book offering a quick tour of Clarke’s imagination, analyses and extrapolations on the world’s current challenges and our choice of futures.

Titled ‘Arthur C Clarke Chintana Charika’ (Mind Journeys with Arthur C Clarke), the book is a collection of Nalaka’s articles, media columns and interviews based on the late author and visionary’s formidable intellectual output. Some have appeared in Lankan newspapers or magazines during the past 25 years, while others are coming out in print for the first time.

“These are not translations, and most are not even adaptations. Instead, I have distilled Sir Arthur’s ideas and imagination and presented them in simple Sinhala,” says Nalaka, who worked with Clarke for 21 years as research associate at his personal office in Colombo.

Indicative of Clarke’s diverse career and interests, the book is divided into five sections: highlights of his illustrious life; astronomy and space travel; information and communications technology; futuristic visions; and his long association with Sri Lanka.

“Sir Arthur cheered and promoted Sri Lanka for half a century – in both good times and bad. The section on Sri Lanka captures his visions and hopes for his adopted homeland: on how we may overcome the burdens of evolution and history to create a truly peaceful and prosperous island for all,” says Nalaka.

The book contains Clarke’s advice on rebuilding Sri Lanka after the 2004 tsunami, the story of the first Sinhala feature film in colour (Ran Muthu Duwa, 1962) that Clarke financed, and the text of his 90th birthday video, which eventually became his public farewell.

Other essays focus on Clarke’s cautious optimism for information society and the future of artificial intelligence, his hopes of developing clean energy sources to end humanity’s addiction to fossil fuels, and his advocacy of a world free of nuclear weapons.

Nalaka reiterates that the best way to celebrate the legacy of Arthur C Clarke is to adapt his ideas for a better world based on knowledge, ethics, compassion and imagination.

The 280-page book, published by Wijesooriya Grantha Kendraya (Wijesooriya Book Centre), will be launched at 3 pm on Tuesday, 18 December 2012 at the National Library Services and Documentation Board, 14, Independence Avenue, Colombo 7. The main speaker will be Prof Rohan Samarajiva, Chair and CEO of LIRNEasia. Copies will be sold on discount at the launch.

My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)
Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසින් රචිත නවතම ග‍්‍රන්ථය 2012 දෙසැම්බර් 18 වනදා එළි දකියි.

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ නව අදහස්, දිගු කාලීන දැක්ම හා පරිකල්පනය කැටි කර ගනිමින් ලියන ලද ලිපි 18ක් ද සම්මුඛ සාකච්ඡා තුනක් ද එහි ඇතුළත් ය. මෙයින් ඇතැම් ඒවා ගෙවී ගිය වසර 25ක කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා සඟරාවල පළ වූ අතර, ඉතිරිය මුද්‍රණයෙන් එළි දකින්නේ පළමු වතාවට ය.

අභ්‍යවකාශ තරණය, තාරකා විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාගර ගවේෂණය, පරිසර සංරක්ෂණය මෙන් ම ශ‍්‍රී ලංකාවේ සහ මානව සංහතියේ අනාගතය ගැන ද විසි වන සියවසේ විසූ ප‍්‍රමුඛ පෙළේ චින්තකයකු වූ ක්ලාක්ගේ හරබර සංකල්පනා මේ පොත ලිහිල් සිංහලෙන් ඉදිරිපත් කරයි.

මේ ග‍්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය 2012 දෙසැම්බර් 18 වනදා පස්වරු 3ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ආතර් සී. ක්ලාක්ගේ 95වන ජන්ම සංවත්සරය ද සැමරෙන එදින ප‍්‍රධාන දේශනය පවත්වන්නේ සන්නිවේදන විශේෂඥ හා ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. ආතර් සී. ක්ලාක් ගැන හා ශ‍්‍රී ලංකාව ගැන මෑතදී නිපදවුණු සිංහල වැඩ සටහනක් ද එදින තිර ගත කිරීමට නියමිත ය.

නව දැනුම හා තාක්ෂණයන් සදාතනික මානව ගුණයන් සමඟ මනා සේ මුසු කරමින්, අඟහිඟකම් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ කෙසේ ද යන්නට අනාගතවේදී ක්ලාක්ගේ උපදෙස් රැසක් මේ පොතේ සැකෙවින් අඩංගු ය. සුනාමියෙන් විපතට පත් වෙරළබඩ ප‍්‍රදේශ යළි ගොඩ නැංවීම ගැනත්, කොළඹ නාගරික සංවර්ධනය ගැනත් මෑත වසරවල දී ක්ලාක් දැක් වූ අදහස් ඒ අතර වෙයි.

සන්නිවේදන තාක්ෂණයන් නිසි ලෙස හැසිරවීම, බලශක්ති අර්බුදය ජය ගැනීම, සාගර සම්පත් නැණවත් ලෙස පරිහරණය හා මානවයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සමනය කර ගැනීම වැනි අතිශයින් වැදගත් මාතෘකා රැසක් ගැන ඔහුගේ ලිපි ලේඛන හා දේශනවලින් තෝරා ගත් අදහස් නාලකගේ ලිපිවලට පාදක වී තිබේ.

‘‘ආතර් සී. ක්ලාක් සැමරීමට හොඳ ම ක‍්‍රමය ඔහු නමින් පාරවල් හෝ ගොඩනැගිලි නම් කිරීම නොව ඔහු ඉතිරි කර ගිය පුළුල් වූත්, ගැඹුරු වූත් අදහස් සමුදාය අදට ගැලපෙන ලෙස අදාළ කර ගැනීමයි,’’ නාලක ගුණවර්ධන කියයි.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ උපන් ආතර් සී. ක්ලාක් 1956 සිට සිය පදිංචිය සඳහා ශ‍්‍රී ලංකාව තෝරා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය පුරවැසියකු හා ශ‍්‍රී ලංකා පදිංචිකරුවකු ලෙස අඩ සියවසකට වැඩි කලක් මෙරට අධ්‍යාපනික, විද්‍යාත්මක, සාංස්කෘතික හා පාරිසරික ක්ෂෙත‍්‍රවලට විද්වත් දායකත්වය ලබා දුන්නේ ය.

නාලක ගුණවර්ධන 1987 සිට 2008 දක්වා වසර 21ක් පුරා ආතර් සී. ක්ලාක් සමඟ ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ සේවය කළේ ය. මේ කාලය තුළ ලෝ ප‍්‍රකට ලේඛකයාට පර්යේෂණ, ලේඛන හා මාධ්‍ය සම්බන්ධීකරණ සහාය දුන් නාලක, අවසාන දශකයේ දී ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ද කටයුතු කළේ ය.

විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප‍්‍රකාශිත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ ග‍්‍රන්ථයේ මිල රු. 450කි. එදින සහන මිලකට පිටපත් අලෙවි කැරනු ඇත.

සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010