සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

In this week’s Ravaya Sunday newspaper column (in Sinhala), I’ve written a tribute to Dr Carlo Fonseka, Emeritus Professor of Physiology at the University of Colombo, rationalist and public intellectual, who turned 80 earlier this month.

I’m still working on an English tribute. For now, I’ve covered some of this ground in an English op-ed written in January 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.
Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

මා බෙහෙවින් ගරු කරන හා අගය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් 2013 මාර්තු 4 වනදා 80 විය සම්පූර්ණ කළා.

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයක්. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ට උගන්වා, පුහුණු කර තිබෙනවා. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වයෙන් ඔහු විද්‍යා-කලා ප්‍රවාහයන් දෙකෙහි ම සිය නිපුනත්වය මනාව පෙන්නුම් කරනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

මෙකී නොකී නොයෙකුත් කෝණවලින් කාලෝගේ සමාජ මෙහෙවර ඇගැයීමට ලක් කළ හැකියි. අද මා තැත් කරන්නේ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතකු (Public Intellectual) හා අදීන හේතුවාදී චින්තකයකු ලෙස ඔහුගේ අඩසියවසකට වැඩි කාලයක උඩුගම් බලා පිහිනීම ගැන මෙනෙහි කරන්නයි.

කාලෝ ෆොන්සේකා යන නාමය මා මුල් වරට ඇසුවේ 1970 දශකය මුලදී ලාබාල පාසල් සිසුවකු ලෙස. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියා. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් 1960දී ඇරැඹූ හේතුවාදීන්ගේ සංගමය හරහා හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු බවට මේ තරුණ වෛද්‍ය කතිකාචාර්යවරයා පත් වුණා.

රේඩියෝවෙන් ඔහු අසා සිටි මා මුල් වරට කාලෝට සජීව ලෙසින් සවන් දුන්නේ 1980 දශකයේදී. හරියට ම තැන හා වසර දැන් මතක නැති වුවත් ‘විද්‍යාත්මක චින්තනය’ ගැන දේශනයේ හරය මට අද මෙන් මතකයි.

කාලෝ කෙතරම් ආකර්ශනීය කතිකයෙක් ද යන්න විවාද හා සාහිත්‍ය සංගම් කටයුතුවල නියැලි පාසල් සිසුවකු වූ මා ඉක්මනින් තේරුම් ගත්තා. එදා මෙදා තුර විවිධ අවස්ථාවල කාලෝට සවන්දීමෙන් මෙය තවත් තහවුරු වී තිබෙනවා.

කාලෝ පාසල්, සරසවි, විද්වත්, කලාකරු මෙන් ම දේශපාලන වේදිකාවලත් තැනට උචිත ලෙසින් කථා කිරීමේ අති සමතෙක්. තැනේ සහ වෙලාවේ හැටියට හරබර යමක් සන්සුන්ව, උපහාසාත්මකව හා මනා අංගචලනයන්ගෙන් පරිපූර්ණව කථා කරන ඔහු, කිසි දිනෙක ද්වේෂ සහගතව හෝ අපහාසාත්මකව හැසිරෙනු මා දැක නැහැ. එබන්දක් ගැන ආරංචියක් හෝ නැහැ.

කාලෝ ඉතා හැඟීම්බරව කථා කළ අවස්ථා ද තිබෙනවා. මා දන්නා උදාහරණය විජය කුමාරතුංගයන්ගේ 1988 අවමගුලේ දී ඔහු කළ (රූපවාහිනී හරහා රට ම දුටු) කථාවයි. ජුලියස් සීසර්ගේ අවමගුලේ දී මාක් ඇන්ටනී කළ කථාවට සමාන වූ ඒ කථාව කාලෝගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූවා…

කාලෝ කථාවට මෙන් ම විවාදයටත් සමතෙක්. ප‍්‍රතිමල්ලවයන් කියන දේ සාවධානව අසා සිට, සියුම් හා තර්කානුකූල (එහෙත් සැම විට ම ආචාරශීලී) ලෙසින් ප‍්‍රතිචාර දක්වන්නෙක්. සමහර වෙලාවට යමකු විනාඩි ගණනක් ගරු ගාම්භීරව ගොඩ නගන තර්ක, කාලෝ තත්පර ගණනකින් උපහාසාත්මකව බිඳ හෙළනවා!

දුර සිට ඔහු අගය කළ මා කාලෝ හදුනා ගත්තේ මගේ විද්‍යා ගුරුවර අසංග අබේසුන්දර සූරීන් හරහා. 1980 දශකයෙදී අබේසුන්දරයන් පළ කළ ‘මානව’ ප‍්‍රගතිශීලි විද්‍යා සඟරාවේ පාඨක ප‍්‍රශ්නවලට කාලෝ නිතිපතා පිළිතුරු දුන්නා. මේ පිළිතුරු වාර්තා කර ගන්නට අප කිහිප විටක් කාලෝ හමු වන්නට ගියා. මානව ජෛව විද්‍යාව, පරිනාමය, හේතුවාදය, ගුප්ත සංකල්පවල විද්‍යාත්මක පැත්ත ආදී බහුවිධ මාතෘකා ගැන දැනුම නිරවුල් ව හා අදීනව පළ කිරීමේ ඔහුගේ සහජ හැකියාව මා හරිහැටි දැන ගත්තේ ඒ කාලයේයි.

ඒ හැදුනුම්කම ඔස්සේ පසු කලෙක මාධ්‍යවේදියකු හා විද්‍යා ලේඛකයකු ලෙස මා විවිධ අවස්ථාවල කාලෝ මුණ ගැසී, සම්මුඛ සාකච්ජා පවත්වා තිබෙනවා. අප දෙදෙනා එක ම විද්වත් වේදිකාවේ කථා කොට තිබෙනවා. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.

මතකයේ රැදුණු එක් අවස්ථාවක් නම් 1986දී සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව නැවත දිස් වූ විට කල්පනා සඟරාවට මා ලියූ විස්තරාත්මක කවරයේ කථාවට ඔහු දැක්වූ අදහස්. වල්ගාතරුව නිසා ලෝකයේ යුධ ගැටුම් උත්සන්න විය හැකි යයි ද, පුද්ගලයන්ට හා සමාජයට අසුබ කාලයක් උදා වන්නේ යයි ද ජ්‍යොතිෂවේදීන් කර තිබූ අනතුරු ඇඟවීම් ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් කරන මෙන් කාලෝගෙන් මා ඉල්ලා සිටියා.

යුද්ධ ගැන ඔහු කීවේ මෙයයි. “1968දී විල් හා ඒරියල් ඩුරාන්ට් කියන ඉතිහාසඥ යුවල වෙඵම් 10කින් සමන්විත, ඉතිහාසය පිළිබඳ විශාල කෘතියක් ප‍්‍රකාශයට පත් කළා. මේ කෘතියේ ඔවුන් කියනවා ඒ වන විට (1968) මිනිසාට අවුරුදු 3,421ක් ඈත අතීතයට දිව යන ලිඛිත ඉතිහාසයක් තිබෙන බවත්, ඒ මුඵ කාලය මුඵල්ලේ ම සංග‍්‍රාම හෝ යුද්ධ නොතිබුණේ අවුරුදු 268ක පමණක් බවත්. ඉතින් යුද්ධ තිබුණු, යුද්ධ පටන්ගත් හැමදාමත් අහසේ වල්ගාතරු පෑවුවා ද? වල්ගාතරු හා සංග‍්‍රාම අතර සම්බන්ධයක් තිබෙතැයි අපට පිළිගන්නට බෑ.”

ඉතිහාසය, දර්ශනවාදය ආදී ක්‍ෂෙත‍්‍රයන්හි කාලෝගේ අවබෝධය කෙතරම් පුඵල් ද යන්නට ඉඟියක් මේ පිළිතුරුවලින් අපට ලැබෙනවා. ඔහු බොහෝ විට කථා කරන්නේ සාක්ෂි හා මූලාශ්‍ර උපුටා දක්වමින්.

ජ්‍යොතිෂය ගැන කථා කිරීම පවා කාලය නාස්ති කිරීමකැයි තාරකා විද්‍යාඥයන් බහුතරයක් කියන පසුබිම තුළ කාලෝ ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරන්නේ තමන්ගේ ක‍්‍රමවේදය පහදා දෙන ලෙසටයි.

1986දී කල්පනා සඟරාවට ඔහු කී පරිදි: “මුල් යුගයේ තාරකා විද්‍යාව (astronomy) සහ නක්‍ෂත‍්‍රය හෙවත් ජ්‍යෙති ශාස්ත‍්‍රය (astrology) කියන දෙක ම එකටයි තිබුණේ. පුරාණ බැබිලෝනියානු, ඊජීප්තු වැසියන්ට ඉර-හඳ-තාරකාවල හැසිරීම ගැන අනාවැකි කීමේ සෑහෙන හැකියාවක් තිබුණා. ගැලීලියෝ පවා මුල් කාලයේදී ජීවිකාව ගෙන ගොස් තිබෙන්නේ නක්‍ෂත‍්‍ර අනාවැකි කීමෙන්. ඒත් කල් යාමේදී තාරකා විද්‍යාව සීඝ‍්‍රයෙන් දියුණු වී ආවා. අද ඇත්තට ම තත්පරයට අනාවැකි කිව හැකි විද්‍යාවක් ඇත්නම් ඒ තාරකා විද්‍යාවයි. අනාවැකි කීමේ හැකියාව නක්ෂත‍්‍රයෙන් ගිලිහී ගොසින් තාරකා විද්‍යාවට භාර වී තියෙනවා.

“මෙවර හැලීගේ වල්ගාතරුව පායන විටත් විවිධ භයානක අනාවැකි පළ කර තියෙනවානෙ. ඔය නක්ෂත‍්‍රයේ හා අනාවැකි කාරයන්ගේ හපන්කම් උරගා බලන්නට මේක හොඳ අවස්ථාවක් හැටියටයි මා නම් දකින්නේ. නක්‍ෂත‍්‍රය පරිහරණය කරන අය සමඟ සාකච්ජා කොට, පැහැදිළි, තියුණු අනාවැකි ලබා ගන්නට ඕනෑ. ඒ අනාවැකි, නිගමනවලට එළඔණු ආකාරය ගැන ශාස්තී‍්‍රය පදනමත් ඒ අය අපට කියා දෙන්නට ඕනෑ. ඊට පස්සේ පාලක පරීක්‍ෂණයක් හැටියට, නක්‍ෂත‍්‍රය ගැන මොකුත් නොදන්නා, කිසිම දෙයක් විශ්වාස නොකරන අයටත් ඔය මොනවා හරි අනාවැකි ටිකක් පළ කරන්නට කියනවා. දෙගොල්ලන්ගේ ම අනාවැකි වාර්තා කර තබන්නට ඕනෑ. වල්ගාතරුව ඇවිත් ගියාට පස්සේ, අදාළ කාල සීමාව තුළ නක්‍ෂත‍්‍රකාරයින් කී අනාවැකි කොයි තරම් සැබෑ වුණා ද කියා සොයා බැලිය යුතුයි. එසේ සැබෑ වන්නේ දහයක් කිව්වා ම එකක් – දෙකක් හරි යන (සම්භාවිතාව පිළිබඳ) සංකල්පය මත නම්, නක්‍ෂත‍්‍රයෙන් අනාවැකි කියන්නට බැරි බව පෙනී යාවි….”

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012
Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

එදත් අදත් කාලෝ තුළ මා දකින වැදගත් ගුණයක් නම් මෙසේ විවෘත මනසකින් යුතුව ඕනෑ ම සමාජයීය හෝ ශාස්ත්‍රීය හෝ ගැටඟවක් විග්‍රහ කිරීමේ හැකියාවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගියත් ඔහු දේශීය හා පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හෙළා දකින්නේ නැහැ. එසේ ම බටහිර වෛද්‍ය ක්‍රමයට තවමත් තේරුම් ගත නොහැකි වූ සංසිද්ධීන් මිනිස් සිරුරේ හා මනසේ ඇති බව ඔහු නිහතමානීව පිළිගන්නවා.

හේතුවාදියකු හැටියට කාලෝ ප්‍රඥාගෝචරයි. අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ (facts) හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරනවා. එහෙත් විකල්ප දැනුම් ක්‍රම අවඥාවෙන් බැහැර කරන්නේ ද නැහැ.

ගිය වසරේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලක්බිම පුවත්පත හා හේතුවාදී සංගමය හරහා කාලෝ නිකුත් කළ ප්‍රසිද්ධ අභියෝගයේ මූලික හරයත් එයයි. ඉන්ද්‍රජාලික හෝ ඇස්බැන්දුම් කිරීමට ඉඩක් නැති සුපරීක්ෂාකාරී තත්ත්වයන් යටතේ ගුප්ත ක්‍රියාවක් සිදු කිරීමටත්, අහම්බයට එහා යන ස්ථීරසාර මට්ටමකට ප්‍රතිඵල පෙන්වීමටත්, කාලෝ සකලවිධ ගුප්තවේදීන්ට ඇරැයුම් කළා. එහෙත් ඔහුගේ අභියෝගය පිළි ගන්නවා වෙනුවට ඇතැම් ගුප්තවේදීන් කළෙ ඔහුට මතවාදීව පහර දීමයි.

විචාරශීලී වීමේ අගය ගැන කාලාම සූත‍්‍රය පාදක කර ගනිමින් කාලෝ කරන විග‍්‍රහය අපේ සමාජයට දිනපතා උදේ සවස අසන්නට සැළැස්විය යුතු බව මගේ හැඟීමයි. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා. (එහෙත් සැබැවින් නිදන අය අවධි කළ හැකි වුවත් බොරුවට නිදන්නන් අවධි කළ හැකිද?)

Carlo Fonseka's open challenge to assorted black magicians of Lanka, 2012 - LKR 1 million to prove themselves (image courtesy Lakbima)
Carlo Fonseka’s open challenge to assorted black magicians of Lanka, 2012 – LKR 1 million to prove themselves (image courtesy Lakbima)

කාලයාගේ ඇවෑමෙන් කාලෝ මෘදු මෙලෙක් වී සිටියි ද?

සමහර හේතුවාදීන් හා නිදහස් මතධාරීන් කියන්නේ කාලෝ පෙර තරම් නිර්දය ලෙස මිථ්‍යාවට පහර නොදෙන බවයි. ඇතැම් විට වයසත් සමඟ කාලෝ පෙරට වඩා ඉවසිලිමත් හෝ උපේක්ෂා සහගත හෝ වී ඇති. එහෙත් අධ්‍යයනයෙන් හා තර්කනයෙන් නිවැරදි යයි ප්‍රත්‍යක්ෂ කර ගත් ස්ථාවරයක රැදී සිටිමින් එය ප්‍රවර්ධනය කරන්නට නම් අද අප දකින කාලෝ එදා ගිනි පෑගූ කාලෝ තරම් ම අධිෂ්ඨානශීලීයි. නීර්භීතයි.

බොහෝ මිථ්‍යාවන් හා ප්‍රශ්නවලට එරෙහිව එකවර මැදිහත් වනු වෙනුවට වැදගත් සමාජයීය ගැටඵ කිහිපයක සැළකිය යුතු වෙනසක් කරන්නට තමන් පසු කාලීනව තීරණය කළ බව කාලෝ වරක් මට කීවා. එසේ ඉලක්කගත වීම හා උපක්‍රමශීලී වීම 21 වන සියවසේ හැම සමාජ ක්‍රියාකාරිකයකුට ම අවශ්‍යයි.

ලෝකයේ දැවැන්ත ම විනාශකාරී ව්‍යාපාරයක් වන දුම්කොළ සමාගම්වලට එරෙහිව දුම්වැටි පාලනය සවිමත් කිරීමට ඔහු ගෙන යන අරගලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ගිනි පෑගීමේ මුලාව හෙළිදරවු කළාටත් වඩා අති විශාල සේවයක් දුම්පානයෙන් ඇති වන ඇබ්බැහිකම දුරලීම හරහා කාලෝට කළ හැකි බව මගේ විශ්වාසයයි. දුම්කොළ ඇබ්බැහියෙන් ලාංකිකයන් මුදා ගැනීමේ උත්සාහය යම් තරමකට සාර්ථක බව පෙනෙනවා.

එහෙත් ඊටත් වඩා ගැඹුරු වූත්, දිගු කාලීනව අතිශයින් හානිකර වූත් ජාතික ව්‍යාධියක් නම් මිථ්‍යාවට, අවිද්‍යාවට හා ව්‍යාජ විද්‍යාවන්ට (pseudo-science) අපේ ඇත්තන්ගේ ඇති දැඩි නැඹුරුවයි. මේ ඇබ්බැහිකමින් ලක් සමාජය මුදා ගන්නට ජීවිත කාලයක් පුරා කාලෝ කරන ව්‍යායාමය කෙදිනක මල්ඵල ගැන්වේ ද?

කාලෝ ගැන සැබෑ රස කථා (anecdotes) රැසක් තිබෙනවා. ඔහුගේ ආත්ම චරිත කථාව ලිවීමට අදහසක් තිබේදැයි ගිය වසරේ මා විමසූ විට එබන්දක් සැළසුම් කර නැති බව පැවසුවා. ඔහු දිගු කලක් පවත්වා ගෙන ආ දිනපොත් ගොන්න ද වේයන් කා විනාශ කරලා. අඩු තරමින් ඔහුගේ මතකයන් ඔහුගෙන් අසා පටිගත කොට සටහන් කර ගන්නට හැකි නම් එයත් අපේ ජාතික මතකයේ (Memory of the Nation) වටිනා කොටසක් වනු ඇති.

කිසි දිනෙක කිසිවකුට ගිනි නොදුන් මේ ජීවකයාට, තවත් දිගු කලක් මේ ගිනි ගත් දිවයිනේ සන්තානය සමනය කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමයි!

ඡායාරූපය: සනී නවගත්තේගම

සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo
Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.

සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!

This week, my Ravaya column (in Sinhala) is about why we in Sri Lanka should re-read Arthur C Clarke, author of 100 books and over 1,000 essays of both fiction and non-fiction. This marks his 95th birth anniversary that falls on 16 Dec 2012.

As a science writer, Sir Arthur wrote on many and varied topics. Here, I single out two aspects: human violence and human gullibility, both of which continue to affect societies around the world.

Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005
Sir Arthur Clarke revisits Hikkaduwa beach in souther Sri Lanka in his custom-made Dune Roller, circa 2005

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ 95 වන ජන්ම සංවත්සරය අදට යෙදෙනවා.

ඔහුගේ අදහස් හා පරිකල්පනය කැටි කරගනිමින් වසර 25කට වැඩි කාලයක් පුරා විටින් විට මා ලියූ ලිපි එකතු කොට සම්පාදනය කළ ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නම් අලූත් පොතත් මේ සතියේ එළි දකිනවා.

ක්ලාක් 1917 එංගලන්තයේ ඉපිද, 2008 මාර්තුවේ ශ‍්‍රී ලංකාවේ දී මිය ගියා. ඔහුගේ අවුරුදු 90ක ජීවත කාලයෙන් අඩ සියවසකට වැඩි කාලයක් ගත කළේ මෙරට පදිංචිකරුවකු හැටියටයි. (පුරවැසියකු නොවේ!) එසේ වුවත් අපේ රටේ බොහෝ දෙනා තවමත් ක්ලාක් චින්තනය ගැන එතරම් නොදන්නා බව පෙනෙනවා.

මෙයට එක් හේතුවක් නම් ඔහුගේ සියයකට ආසන්න පොත්වලින් හා දහසකට අධික වූ විද්වත් ලිපි ලේඛනවලින් දේශීය භාෂාවලට පෙරළී ඇත්තේ සීමිත ප‍්‍රමාණයක් වීම. වෙළඳපොළ හේතු නිසාදෝ එසේ පරිවර්තනය හෝ අනුවාදය වී ඇත්තේ ද ඔහුගේ ප‍්‍රබන්ධ කෘති සමහරක් පමණයි.

ක්ලාක් විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඉතා පටු කෝණයකින් බලන ඇතැම් දෙනා ඔහු හුදෙක් ප‍්‍රබන්ධ කථාකරුවකු හා විද්‍යාත්මක සාත්තරකරුවකු ලෙස දකිනවා. තවත් අයට ඔහු ගැජට්කාරයකු පමණයි. යම් පමණකට එය සැබෑ වූවත්, ඔහුගේ බුද්ධිමය දායකත්වයේ තවත් පැතිකඩ ගණනාවක් තිබෙනවා.

විද්‍යාව හා කලාවත්, පෙරදිග හා අපරදිග දැනුමත් එකට සංකලනය කිරීම හරහා අසාමාන්‍ය වූ දැක්මක් ඔහු ලබා ගත්තා. එමෙන්ම වර්තමාන දේශපානකින හෝ ආර්ථික මතවාදයන් තුළ සිරකරුවකු නොවී දිගුකාලීන ඓතිහාසික හා පරිනාමීය දෘෂ්ටි කෝණයකින් කරුණු විග‍්‍රහ කිරීමට ඔහුට හැකියාව තිබුණා.

හැම චින්තකයා හා ලේඛකයා ම සිය නිර්මාණ කරන්නේ තමන්ගේ කාලයට අනුරූපවයි. ආතර් සී. ක්ලාක්ට අනාගතවේදී දැක්මක් තිබුණත් ඔහු විසි වන සියවසේ චරිතයක්. ඔහුගේ දැක්ම වඩාත් මතුව ආයේ ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය හා විවිධ මානව විශ්වාසයන් ගැන ලියූ හා කියූ දේ හරහායි. මේ විග‍්‍රහයන් ඔහුගේ කාලයට අනුරූපව කරනු ලැබූවත් අපේ වත්මන් සියවසට අදාල කර ගත හැකියි.

Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 -  Photo owned by Arthur C Clarke Estate
Flt Lt Arthur C Clarke of the Royal Air Force, circa 1942 – Photo owned by Arthur C Clarke Estate
පළමුවන ලෝක යුද්ධ සමයේ ඉපදී, දෙවන ලෝක යුද්ධයේදී ගුවන් හමුදා සේවයේ නිරත වී, සීතල යුද්ධයේ සමස්ත කාල වකවානුව ම අත්විඳි ඔහු මානව ප‍්‍රචණ්ඩත්වය ගැන හා ගෝත‍්‍රික කලහකාරීබව ගැන ලිව්වේ හා කථා කළේ ෙසෙද්ධාන්තිකව නොව ප‍්‍රායෝගික අත්දැකීම් ඇතිවයි.

බටහිර ලෝකයෙන් පෙරදිගට සංක‍්‍රමණය වී 1956 සිට ශ‍්‍රී ලංකාවේ පදිංචි වූ ඔහුට යළිත් තුන් වතාවකදී ගැටුම්කාරී පරිසරයක ජීවත් වන්නට සිදු වුණා. 1971දී හා 1987-89දී මෙරට දකුණේත්, 1980 දශකය සිට ඔහුගේ ජීවිතයේ අවසානය තෙක් මෙරට උතුරු හා නැගෙනහිරත් සිදු වූ සන්නද්ධ අරගලයන් නිසා ඔහු දැඩි සේ කම්පාවට පත් වුණා.

දේශපාලන මතවාද වෙනුවෙන් හෝ බිම් ප‍්‍රදේශ සඳහා හෝ වෙනත් කුමන හේතුවක් නිසා හෝ අවි ආයුධ අතට ගැනීම ඔහු කිසි විටෙකත් අනුමත කළේ නැහැ. එහෙත් ආක‍්‍රමණශීලී ස්වභාවය හා ප‍්‍රචණ්ඩත්වය මානවයන්ට පරිණාමයෙන් උරුම වූවක් බවත්, පරිණාමීය අතීතයේ දී නම් එය අපේ වර්ගයාගේ රැක්මට හා පැවැත්මට උපකාරී වූ බවත් ඔහු දැන සිටියා.

දැනුමෙන්, චින්තනයෙන් හා තාක්ෂණයෙන් ඉදිරියට ගියත් මේ උරග මොළ ඉතිරියක් තවමත් අප තුළ පවතින බවත්, එය අධ්‍යාපනය හා ශික්ෂණය හරහා සමනය කර නොගත් විට ගැටුම් හට ගන්නා බවත් ඔහු තේරුම් ගත්තා. ඉතා සරල මුගුරක සිට අතිශයින් විනාශකාරි පරමාණු බෝම්බ දක්වා සමස්ත අවි ආයුධ පරාසය හරහා ම මතු වන්නේ මේ පරිණාමීය ආවේගය හා ගෝත‍්‍රිකත්වය බව ඔහු යළි යළිත් පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකාවේ සන්නද්ධ අරගල තුනේදී ඒ ගැන මහත් ශෝකබරිත නිරීක්ෂකයකු හැටියට ඔහු ඉඩ ලද හැම අවස්ථාවක ම මේ ප‍්‍රාථමික ආවේගයන්ගෙන් ඔබ්බට යාමේ වැදගත්කම අවධාරණය කළා.

ඔහු විසිවන සියවස නිතර හැඳින්වූයේ ලෝක ඉතිහාසයේ අතිශයින් ම මිලේච්ඡ වූ සියවස හැටියටයි. රටවල් අතර ප‍්‍රකාශිත යුද්ධ, රටවල් තුළ සිවිල් යුද්ධ, ත‍්‍රස්තවාදී හා අපරාධකාරී ක‍්‍රියා මෙන් ම දේශපාලන මතවාදයන් නිසා ද මිලියන ගණනක් අහිංසක හා නිරායුධ ජනයාගේ ජීවිත හානි කළ එම බිහිසුණු සියවසෙන් අප අමතක නොවන පාඩම් උගත යුතු බව ඔහු නැවත කියා සිටියා.

යුනෙස්කෝව (එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය) සමඟ ඔහුට සමීප සබඳතාවක් තිබුණා. දෙවන ලෝක යුද්ධයේ උණුසුම පහව යන්නටත් කලින් 1945දී යුනෙස්කෝව පිහිටුවා ගන්නා විට එහි ප‍්‍රඥප්තියේ ආරම්භක වැකිය ලෙස එහි නිර්මාතෘවරුන් ලීවේ මෙයයි. ‘යුද්ධ හට ගන්නේ මිනිසුන්ගේ මනසේ නිසා සාමයට පවුරු සවිමත් කළ යුත්තේ ද පළමු කොට ම මිනිස් මනසේයි.’

මේ ගැඹුරු සංකල්පය එවකට 29 හැවිරිදි තරුණයකුව සිටි ආතර් සී. ක්ලාක්ගේ මනසට කිඳා බැස්සා. ඉක්බිතිව 1955දී ඇල්බට් අයින්ස්ටයින්, බර්ට්රන්ඞ් රසල් ඇතුළු ලෝකයේ ඉහළ පෙළේ විද්‍යාඥයන් හා බුද්ධිමතුන් පිරිසක් න්‍යෂ්ටික අවිවලට එරෙහිව නිකුත් කළ රසල්-අයින්ස්ටයින් ප‍්‍රකාශනය (Russell-Einstein Manifesto) ද ඔහුගේ චින්තනය තවත් තීව‍්‍ර කළා.

ක්ලාක් ශ‍්‍රී ලංකාවේ තරුණ සන්නද්ධ අරගලයන් හා බෙදුම්වාදී යුද්ධය ගැන විටින් විට ප‍්‍රසිද්ධියේ අදහස් දැක් වූ විට ඒවාට මෙබඳු දිගු කාලීන හා පුළුල් පසුබිමක් තිබුණා. ඔහු කිසි විටෙකත් සාමය ගැන සරල හා සිල්ලර මට්ටමින් කථා කළේ නැහැ. එමෙන් ම ඔහු හැම විට කීවේ ‘කල් පවතින’ හා ‘තිරසාර’ සාමයක් ගැනයි. ඔහුගේ අවසාන ප‍්‍රසිද්ධ ප‍්‍රකාශය වූ 90වන ජන්ම දින ආවර්ජනයේත් මේ සංකල්පය නැවත වරක් අවධාරණය කළා.

දශක නවයක ජීවිත කාලයේ කිසිදු පෞද්ගලික අපේක්ෂාවක් ඉතිරිව නැතත්, මහා පරිමාණයේ ප‍්‍රාර්ථනා තුනක් ඔහු සඳහන් කළා.

• පළමු වැනි පැතුම නම් විශ්වයේ වෙනත් තැනෙක ජීවයක් පැවතීම පිළිබඳ ස්ථීරසාර සාක්ෂියක් ලැබේවා යන්නයි.

• දෙවැනි පැතුම නම් පිවිතුරු බලශක්ති ප‍්‍රභවයන් භාවිතයට ලෝකය ඉක්මනින් ම යොමු වනු ඇතැයි යන්නයි.

• තෙවැනි පැතුම නම් කල් පවතින තිරසාර සාමයක් හැකි ඉක්මනින් ශී‍්‍ර ලංකාවේ උදා වේවා යන්නයි.

“සාමය යනු නිකම් උද්‍යොග පාඨයක් හෝ ලියවිල්ලක් නොවන බව මා දන්නවා. ඒ සඳහා අති විශාල කැපවීමක්, පරිත්‍යාගයක් හා දිගු කාලීන දැක්මක් අවශ්‍යයි,” ඔහු කියා සිටියා.

විද්‍යාව ජනප‍්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා 1952 සිට යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලූ රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවයක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප‍්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප‍්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

“විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂණික යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

“විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප‍්‍රශ්න කිරීම විද්‍යාවේ ක‍්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප‍්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

“එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ ‘කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයි’ යන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
Arthur C Clarke drawn by K W Janaranjana (Courtesy Maanawa magazine, Jan-Feb 1988)
“මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි. උදාහරණයක් නම් මෑතදී (1962) ලොව ඇතැම් රටවල පැතිර ගිය ලෝක විනාශයක් ගැන අස්ථාන භීතියයි. ග‍්‍රහලෝකවල ස්වභාවික ගමන් මාර්ගවලට අනුව ඉඳහිට ඒවා අහසේ සාපේක්ෂව එක ම කලාපයක සමීප ලෙසින් පිහිටනවා. එයින් පෘථිවියේ කිසිදු ආපදාවක් ඇති විය නොහැකියි. එහෙත් ඒ ගැන බිය උපදවා ගත් ඉන්දියානු හා අනෙකුත් ජාතිකයන් කී දෙනෙකු එම ‘අපල උපද්‍රව’ දුරු කිරීමට කියා තමන්ගේ සීමිත මුදල් අපරාදේ වැය කළා ද?

“මීට දෙවසරකට පෙර මේ කාලිංග සම්මානයෙන් පුද ලැබූ ෂන් රොස්ටාන්ඞ් මෙබඳු සම්මාන ප‍්‍රදානෝත්සවයකදී භාරතය හැඳින්වූයේ ‘අතීතය ප‍්‍රතිකේෂප නොකර අනාගතය වැළඳ ගන්නා ශ්‍රේෂ්ඨ දේශය’ හැටියටයි. මෙය අද කාලයේ ඕනෑ ම රටකට ගැලපෙන ප‍්‍රතිපත්තියක්. එහෙත් හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප‍්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

“ගැඹුරට විග‍්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා අප සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප‍්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක‍්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳ මඟ පෙන්වන්නන් ත‍්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප‍්‍රඥව හා අමාරුවෙන් ප‍්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

මගේ මතය නම් හැම පරම්පරාවක් ම මෙබඳු බුද්ධිමතුන් හා ලේඛකයන් නැවත කියවිය යුතුයි. එසේ කියවද්දී ඔවුන්ගේ ජීවන කාලීන පසුබිම ගැන ද විමර්ශනය කළ යුතුයි. මෙය බර්ට්රන්ඞ් රසල්, මහත්මා ගාන්ධි, මාටින් වික‍්‍රමසිංහ මෙන් ම ආතර් සී. ක්ලාක්ටත් පොදුයි. එසේ යළි කියවා අපේ පරම්පරාවට හා යථාර්ථයට මේ චින්තකයින්ගේ අදහස් අදාල කර ගත යුතුයි.

මෙබඳු යළි කියවීමක් තබා ක්ලාක් මුල්වරට හරිහැටි කියවීමක්වත් මෙරට තවමත් සිදු නොවීම කණගාටුවට කරුණක්. ඔහුගේ 2008 වියොවින් දින කිහිපයකින් දෙසතිය සඟරාව සම්මුඛ සාකච්ඡාවක් කරමින් මා කීවේ ලක් සමාජය ක්ලාක් ගැන උදම් ඇනුවාට ඔහුගේ හරබර අදහස් හා නිර්දේශවලින් ප‍්‍රයෝජනයක් නොගත් බවයි.

ජීවමාන ක්ලාක් සංචාරක ආකර්ෂණයක් හා ජාත්‍යන්තර ප‍්‍රදර්ශන භාණ්ඩයක් බවට පත් කරන්නට මෙරට ඇතැම් දෙනා හා ආයතන තැත් කළා. ඔහුගේ නමින් 1984 පිහිටුවන ලද රාජ්‍ය තාක්ෂණික ආයතනය වසර තිහකට ආසන්න කාලයක් නිසි විද්‍යාත්මක ඵලදායීතාවකින් තොරව මහජන මුදලින් දිගට ම පවත්වා ගෙන යනවා.

ක්ලාක්ගේ චින්තනය ගැඹුරු විලක් නම් ලක් සමාජය මෙතුවක් කර ඇත්තේ ඒ විල් තෙර හිඳ ගෙන ඉඳහිට නැඟී එන රළක් පෑගීම හා නොගැඹුරු දියේ ඉනවටක් දක්වා යාම පමණයි. එයින් ඔබ්බට මේ චින්තන චාරිකාව ගෙන යාමේ ලොකු වගකීමක් ක්ලාක් සමඟ සමීපව බුද්ධි ගවේෂණයේ යෙදුණු අපට දැන් පැවරී තිබෙනවා.

ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා කෘතිය හරහා මා උත්සාහ කරන්නේත් මේ විලේ තවත් මානයකට සිංහල කියවන සමාජය කැඳවා ගෙන යන්නටයි. ඒ චාරිකාවට අවශ්‍ය වන්නේ නොතිත් වූ දැනුම් පිපාසය හා විවෘත මනසක් පමණයි. යම් තාක් දුරකට ගිය පසු බුද්ධිමත් පාඨකයන්ට තනිව පිහිනා යන්නට ඉඩ හැරීම ලේඛකයන්ගේ සම්ප‍්‍රදායයි!

Read the full transcript on TVEAP website

My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

Arthur C Clarke Chintana Charika - Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)
Arthur C Clarke Chintana Charika – Sinhala Book of essays and interviews by Nalaka Gunawardene (Wijesooriya Book Centre, Colombo, 2012)

‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ නමින් විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසින් රචිත නවතම ග‍්‍රන්ථය 2012 දෙසැම්බර් 18 වනදා එළි දකියි.

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ නව අදහස්, දිගු කාලීන දැක්ම හා පරිකල්පනය කැටි කර ගනිමින් ලියන ලද ලිපි 18ක් ද සම්මුඛ සාකච්ඡා තුනක් ද එහි ඇතුළත් ය. මෙයින් ඇතැම් ඒවා ගෙවී ගිය වසර 25ක කාලය තුළ ශ‍්‍රී ලංකාවේ ජාතික පුවත්පත් හා සඟරාවල පළ වූ අතර, ඉතිරිය මුද්‍රණයෙන් එළි දකින්නේ පළමු වතාවට ය.

අභ්‍යවකාශ තරණය, තාරකා විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, සාගර ගවේෂණය, පරිසර සංරක්ෂණය මෙන් ම ශ‍්‍රී ලංකාවේ සහ මානව සංහතියේ අනාගතය ගැන ද විසි වන සියවසේ විසූ ප‍්‍රමුඛ පෙළේ චින්තකයකු වූ ක්ලාක්ගේ හරබර සංකල්පනා මේ පොත ලිහිල් සිංහලෙන් ඉදිරිපත් කරයි.

මේ ග‍්‍රන්ථය එළි දැක්වීමේ උත්සවය 2012 දෙසැම්බර් 18 වනදා පස්වරු 3ට කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා හා ප‍්‍රලේඛන මණ්ඩල ශ‍්‍රවණාගාරයේ දී පැවැත්වෙයි. ආතර් සී. ක්ලාක්ගේ 95වන ජන්ම සංවත්සරය ද සැමරෙන එදින ප‍්‍රධාන දේශනය පවත්වන්නේ සන්නිවේදන විශේෂඥ හා ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සභාපති මහාචාර්ය රොහාන් සමරජීව විසිනි. ආතර් සී. ක්ලාක් ගැන හා ශ‍්‍රී ලංකාව ගැන මෑතදී නිපදවුණු සිංහල වැඩ සටහනක් ද එදින තිර ගත කිරීමට නියමිත ය.

නව දැනුම හා තාක්ෂණයන් සදාතනික මානව ගුණයන් සමඟ මනා සේ මුසු කරමින්, අඟහිඟකම් හා ප‍්‍රචණ්ඩත්වයෙන් තොර ශ‍්‍රී ලංකාවක් බිහි කළ හැක්කේ කෙසේ ද යන්නට අනාගතවේදී ක්ලාක්ගේ උපදෙස් රැසක් මේ පොතේ සැකෙවින් අඩංගු ය. සුනාමියෙන් විපතට පත් වෙරළබඩ ප‍්‍රදේශ යළි ගොඩ නැංවීම ගැනත්, කොළඹ නාගරික සංවර්ධනය ගැනත් මෑත වසරවල දී ක්ලාක් දැක් වූ අදහස් ඒ අතර වෙයි.

සන්නිවේදන තාක්ෂණයන් නිසි ලෙස හැසිරවීම, බලශක්ති අර්බුදය ජය ගැනීම, සාගර සම්පත් නැණවත් ලෙස පරිහරණය හා මානවයන්ගේ ප‍්‍රචණ්ඩත්වය සමනය කර ගැනීම වැනි අතිශයින් වැදගත් මාතෘකා රැසක් ගැන ඔහුගේ ලිපි ලේඛන හා දේශනවලින් තෝරා ගත් අදහස් නාලකගේ ලිපිවලට පාදක වී තිබේ.

‘‘ආතර් සී. ක්ලාක් සැමරීමට හොඳ ම ක‍්‍රමය ඔහු නමින් පාරවල් හෝ ගොඩනැගිලි නම් කිරීම නොව ඔහු ඉතිරි කර ගිය පුළුල් වූත්, ගැඹුරු වූත් අදහස් සමුදාය අදට ගැලපෙන ලෙස අදාළ කර ගැනීමයි,’’ නාලක ගුණවර්ධන කියයි.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ උපන් ආතර් සී. ක්ලාක් 1956 සිට සිය පදිංචිය සඳහා ශ‍්‍රී ලංකාව තෝරා ගත්තේ ය. බි‍්‍රතාන්‍ය පුරවැසියකු හා ශ‍්‍රී ලංකා පදිංචිකරුවකු ලෙස අඩ සියවසකට වැඩි කලක් මෙරට අධ්‍යාපනික, විද්‍යාත්මක, සාංස්කෘතික හා පාරිසරික ක්ෂෙත‍්‍රවලට විද්වත් දායකත්වය ලබා දුන්නේ ය.

නාලක ගුණවර්ධන 1987 සිට 2008 දක්වා වසර 21ක් පුරා ආතර් සී. ක්ලාක් සමඟ ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ සේවය කළේ ය. මේ කාලය තුළ ලෝ ප‍්‍රකට ලේඛකයාට පර්යේෂණ, ලේඛන හා මාධ්‍ය සම්බන්ධීකරණ සහාය දුන් නාලක, අවසාන දශකයේ දී ඔහුගේ මාධ්‍ය ප‍්‍රකාශක ලෙස ද කටයුතු කළේ ය.

විජේසූරිය ග‍්‍රන්ථ කේන්ද්‍රය මඟින් ප‍්‍රකාශිත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ ග‍්‍රන්ථයේ මිල රු. 450කි. එදින සහන මිලකට පිටපත් අලෙවි කැරනු ඇත.

සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile
Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition
The Reefs of Taprobane, 2002 edition
ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara
Nishad Jayasundara
ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana
Ray Jayawardhana
උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010
Stanford University Fish Research group in Antarctica 2010

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

I have an interview (in Sinhala) on science communication for their 25th anniversary issue, which can be found here.

I have followed up with an expansion of some of these ideas in my Sunday column in Ravaya newspaper. My theme this week is science journalism (a subset of science communication) — why is it important for modern societies and what challenges are faced by Lankan science journalists.

Vidusara science magazine – 25th anniversary issue cover 7 Nov 2012

විදුසර සතිපතා විද්‍යා පුවත්පතට වසර 25ක් පිරෙන්නේ මේ මාසයේයි. 1987 නොවැම්බර් අරඹන ලද මේ ප‍්‍රකාශනය, පරම්පරාවක පමණ කාලයක් පවත්වා ගෙන ඒම වැදගත් මාධ්‍ය ජයග‍්‍රහණයක්.

විදුසර ඇරඹීමට පිඹුරුපත් සකසන අවස්ථාවේ මා එම ප‍්‍රකාශන සමාගමේ ඉංග‍්‍රීසි පුවත්පතේ විද්‍යා ලේඛකයකු වූ නිසා ඒ ගැන උපදෙස් දෙන විද්වත් කමිටුවකට මා ද සම්බන්ධ කර ගනු ලැබුවා. විදුසර මුල් සතිවලදී එයට මා ලිපි කිහිපයක් ලියුවත් ඉන් පසු මා කිසි ලෙසකින් හෝ එයට සම්බන්ධ වූයේ නැහැ. ඔවුන්ට තෝරා ගත් මාර්ගයේ යන්නට ඉඩ දී මා මට ආවේනික වූ විද්‍යා සන්නිවේදන චාරිකාවක නිරත වූවා.

එහෙත් අවසාන විනිශ්චයේදී විදුසරේත්, මගේත් අරමුණු සමාන්තරයි. එනම්, විද්‍යාව හා තාක්ෂණය පොදු උන්නතියට වඩා හොදින් දායක වීමට අවශ්‍ය සංවාද ඇති කිරීමයි. මේ නිසා විද්‍යා සන්නිවේදනයේ අභියෝග ගැන අද අපි කථා කරමු.

විද්‍යා මාධ්‍යකරණය (Science Journalism) යනු ඊට වඩා පුඑල් වූ විද්‍යා සන්නිවේදන (Science Communication) කි‍්‍රයාදාමයේ එක් කොටසක් පමණයි. විද්‍යා අධ්‍යාපනය, විද්‍යා සමිති සමාගම්, විද්‍යා ප‍්‍රබන්ධකරණය, විද්‍යාවට කැප වූ කෞතුකාගාර, ප‍්‍රදර්ශන හා වෙනත් කි‍්‍රයාකාරකම් රැසක් ද විද්‍යා සන්නිවේදනයට අයිතියි. විද්‍යා මාධ්‍යකරණය මේ අතරින් කැපී පෙනෙන්නේ අද කාලේ මාධ්‍යවලට තොරතුරු සමාජයේ ඇති මුල් තැන නිසායි.

විද්‍යා මාධ්‍යකරණයේ වසර 25ක් පුරා නියැලී සිටින මට, මේ ක්ෂේත‍්‍රය ගැන මගේ ම නිර්වචනයක් හා විග‍්‍රහයක් තිබෙනවා. විද්‍යා මාධ්‍යවේදීන් යනු විද්‍යාව හා තාක්ෂණය ගැන විචාරශීලීව ආවරණය කරන, හරිදේට ආවඩන අතර වැරදි දෙය නොබියව විවේචනය කරන පිරිසක්. වෘත්තීය විද්‍යඥයන්ගේ හොරණෑවක් හෝ ලවුඞ්ස්පීකරයක් ලෙසින් අපගේ සමාජ මෙහෙවර සීමා කර නොගත යුතුයි.

මේ කාර්යය හරිහැටි කිරීමට නම් විද්‍යාව හා තාක්ෂණය ගැන පසුබිම් දැනුමක් අවශ්‍ය වූවත් විද්‍යා විෂයකින් උසස් අධ්‍යාපනය හැදෑරීම අතවශ්‍ය නැහැ. ලෝකයේ සම්මානනීය විද්‍යා මාධ්‍යව්දීන් අතර ඉංගී‍්‍රසි සාහිත්‍යය, ගී‍්‍රක හා රෝමන් සභ්‍යත්වය හා ජපන් භාෂාව උගත් අය ද සිටිනවා.

විද්‍යා මාධ්‍යකරණය යනු විද්‍යාව ජනපි‍්‍රය කිරීම ම (Science Popularization) නොවේ. පාසල් හා සරසවි විෂයමාලාවල ගණිතය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් බෙදා වෙන් කොට උගත්ත ද ජන සමාජයේ අපට විද්‍යාව හා එහි ප‍්‍රායෝගික භාවිතය වන තාක්ෂණය හමු වන්නේ අපේ පැවැත්මට හා දියුණුවට සම්බන්ධ වූ ආකාරයටයි. විද්‍යා මාධ්‍යකරණයේදී අපට තිබෙන වගකීම විෂයානුබද්ධ දැනුම රටට බෙදීම නොව ජීවිතයට අදාල දිවි සුරකින දැනුම තර්කානුකූල ලෙසින් හා තේරෙන බසින් කොයි කාටත් සන්නිවේදනය කිරීමයි. එය සිදු විය යුත්තේ මාධ්‍යකරණයේ මුලික සාරධර්ම සියල්ලට අනුකූලවයි.

ලොව පිළිගත් විද්‍යා මාධ්‍යවේදියෙකු වන බි‍්‍රතාන්‍ය ජාතික ඬේවිඞ් ඩික්සන් (David Dickson) කියන්නේ ද විද්‍යා මාධ්‍යකරණය හුදෙක් විද්‍යාත්මක තොරතුරු ප‍්‍රචාරණයට හෝ විද්‍යාව ජනපි‍්‍රය කිරීමට හෝ සීමා නොවන බවයි. මේවා අතුරු ඵලයන් වන නමුත්, විද්‍යා මාධ්‍යකරණය අද වන විට දියුණු සමාජයන්හි ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සම්ප‍්‍රදායක් බවට පත්ව ඇති බව ඔහු පෙන්වා දෙනවා.

David Dickson, photo by UNESCO
කලක් New Scientist සඟරාවේ කතුවරයා හා Nature සහ Science යන පර්යේෂණ සඟරා දෙකෙහි ම ප‍්‍රවෘත්ති කතුවරයා ලෙස සේවය කොට පුඑල් අත්දැකීම් ඇති මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන්, විද්‍යා මාධ්‍යකරණයේ සමාජ හා දේශපාලනික මෙහෙවර ගැන දැඩි අවධානයෙන් සිටින කෙනෙක්.

ඔහුගේ ම වචනවලින්: “පොදු උන්නතිය (public interest) සුරැකීමට සටන් කරන මාධ්‍යවේදියකු යයි කී විට බොහෝ දෙනාගේ සිතට එන්නේ දේශපාලන මාතෘකා ගැන වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන් ගැනයි. මන්ද යත් මාධ්‍ය නිදහසටත් පොදු උන්නතියටත් වැඩිපුර අභියෝග එල්ල වන්නේ දේශපාලන ක්ෂේත‍්‍රයෙන් නිසා. එහෙත් වඩ වඩාත් විද්‍යාව හා තාක්ෂණය සමාජයේ, ආර්ථිකයේ හා රාජ්‍ය පාලනයේ තීරණවලට සෘජු බලපෑම් කරන අද කාලෙයේ එම සාධක සුඑවෙන් තකන්නට බැහැ. විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික තේරීම් නවීන සමාජයන්ගේ පෙර ගමනට අත්‍යවශ්‍ය නිසා දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා සෙසු සමාජය එම තීරණ, විකල්ප හා ප‍්‍රථිපල ගැන මනා සේ දැනුවත් වීම අතවශ්‍යයි. විද්‍යා මාධ්‍යවේදීන්ගේ කාර්ය භාරය අන් කවරදාටත් වඩා දැන් සමාජයට ඕනෑ වී තිබෙනවා.”

Science journalism is a key to good governance, SciDev.Net editorial by David Dickson, 13 April 2007.

විද්‍යාව හා තාක්ෂණය මත නවීන ජන සමාජයන් හා ආර්ථිකයන් වඩාත් පදනම් වන තරමට එම විෂයයන් ගැන විචාරශීලීව හා සංශයවාදීව (skeptically) විග‍්‍රහ කිරීමේ හැකියාව ද වඩා වැදගත් වනවා. විද්‍යාත්මක සංකල්පවලට වන්දනාමාන කිරීම නැතහොත් තාක්ෂණයට අනවශ්‍ය ලෙස බිය වීම යන මේ අන්ත දෙකට ම නොගොස් තුලනාත්මකව සිතීමේ හැකියාව අද දවසේ රාජ්‍ය පාලනයේ, ව්‍යාපාර කළමණාකරනයේ, සිවිල් සමාජයෙ හා අන් ක්ෂේත‍්‍රවල නියුතු අයට අවශ්‍ය වනවා. මේ සිතීමේ හැකියාව තීව‍්‍ර කරන්නටත්, වඩාත් නිවැරදි හා තර්කානුකූල තීරණවලට එළඹෙන්නටත් උදවු කරන්නේ විද්‍යා මාධ්‍යවේදයයි.

විදුසර විද්‍යාව හා තාක්ෂණය ගැන වෙන් වූ වාර ප‍්‍රකාශනයක් ලෙස අරඹන අවස්ථාවේ උපාලි පුවත්පත් සමාගමේ එවකට සිටි පරිපාලකයන්ගෙන් මා උදක් ම ඉල්ලා සිටියේ ඔවුන්ගේ දිනපතා සහ ඉරිදා පුවත්පත්වලින් මේ විෂයයන් ආවරණය කිරීම කිසිසේත් අඩු නොකරන ලෙසයි. එහිදී මා උපමිතියට ගත්තේ කී‍්‍රඩා ක්ෂේත‍්‍රයයි. කී‍්‍රඩා ගැන ගැඹුරින් වාර්තා කරන සඟරා පළ කරන මාධ්‍ය ආයතන පවා සිය දිනපතා පුවත්පත්වල කී‍්‍රඩා වාර්තා නතර කර නැහැ. එබදු ආකල්පයක් විද්‍යාව ගැනත් පැවතිය යුතු කාලයක් අද එළඹී තිබෙනවා.

Isaac Asimov, photo by AP World Wide Photos
මීට වසර 25කට පමණ පෙර අමෙරිකානු විද්‍යා ලේඛක හා විද්‍යා ප‍්‍රබන්ධ කථා රචක අයිසැක් ඇසිමෝෆ් (Isaac Asimov) කළ ප‍්‍රකාශයක් අදටත් අදාලයි. විද්‍යාව හා තාක්ෂණය මත ගොඩනැගුණු නවීන සමාජයක ජීවත් වූවත් අප බොහෝ දෙනා තවමත් මේ ක්ෂේත‍්‍රවලට ආගන්තුකයන් බව ඔහු නිරීක්ෂණය කළා. “අප බහුතරයක් දෙනා වෘත්තීය බේස්බෝල් හෝ බාස්කට්බෝල් කී‍්‍රඩකයන් නෙවෙයි. එහෙත් එම කී‍්‍රඩා තරඟයක් නරඹා එහි ගුණාගුණ ගැන දැනුම් තේරුම් ඇතිව සංවාද කළ හැකි මට්ටමට අප ඒ කී‍්‍රඩා ගැන දන්නවා. වෘත්තීය විද්‍යාඥයන් කරන කියන දේ පිටතින් බලා සිට ඒ ආකාරයෙන් විචාරශීලීව විග‍්‍රහ කිරීමේ හැකියාව අප සැවොම ලබා ගතහොත් කෙතරම් අපූරු ද?” ඔහු ප‍්‍රකාශ කළා.

ආර්ථික අතින් වඩාත් ඉසුරුබර සමාජවල පවා මේ තත්ත්වය තවම උදා වී නැත්නම් දියුණු වන රටවල එබන්දක් පැතීම යථාර්ථවාදී ද? තාක්ෂණය යනු දෙපැත්ත කැපෙන දැලි පිහියක් බඳු මෙවලමක් නිසා අපේ වැනි රටවලට නොපමාව විද්‍යාත්මක සාක්ෂරතාවය (scientific literacy) අවශ්‍ය බව මගේ අදහසයි.

එය රාජ්‍ය ප‍්‍රතිපත්තිවලට හා ආර්ථික සංවර්ධනයට සීමා වූවක් නොවෙයි. පුද්ගලයන් හා පවුල් හැටියටත් අප ගන්නා තීරණවලට විද්‍යාත්මක සාක්ෂරතාවය බලපානවා. එය මනා සේ නොතිබීම නිසා පොතේ උගතුන් පවා විවිධ මිථ්‍යාවාදයන් අවිචාරශීලීව අදහන සැටිත්, කූඨ වංචනිකයන්ගෙ උපක‍්‍රමවලට අසුවන සැටිත් අප මීට පෙර කථා කළා. (2012 ජනවාරි 22 හා ජනවාරි 29 කොලම් හරහා හේතුවාදී චින්තනය ගැන කළ විග‍්‍රහයන් කියවන්න.)

ඕනෑ ම වෘත්තීය ක්ෂේත‍්‍රයකට ආවේණික බාධාක තිබෙනවා. ඒවා අභියෝග ලෙස සළකමින්, එම අභියෝග ජය ගනිමින් කි‍්‍රයා කිරීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. විද්‍යා මාධ්‍යකරණයේදී අප නිතර මුහුණ දෙන අභියෝග දෙකක් තිබෙනවා.

විද්‍යා පර්යේෂණ කා සඳහා ද? අපේ රටේ පර්යේෂණ සඳහා වැය කෙරෙන සීමිත මුදල් ප‍්‍රමාණය මුඑමනින් ම වාගේ රාජ්‍ය ප‍්‍රතිපාදනයි. බහුතරයක් රටේ ජනතාවගේ මුදල් හා ඉතිරිය විදේශාධාර ලෙස ලබා ගත් මුදල්. එහෙත් පොදු මුදලින් කෙරෙන පර්යේෂණ ගැන පොදු ජනතාවට වග කියන විද්‍යාඥයන් හැම තැනක ම නැහැ. ඒ වෙනුවට ආයතනික රෙකුලාසි, නිලධාරීවාදය හා වෙනත් හේතු දක්වමින් විද්වත් දැනුම හා විග‍්‍රහයන් සමාජයට ලබා නොදී මඟහරින පර්යේෂණ ආයතන තිබෙනවා.

මේවායින් තොරතුරු උකහා ගැනීම ඉතා අසීරු කාර්යයක්. තොරතුරු දැන ගැනීමේ ජනතා අයිතිය නීතියෙන් තහවුරු නොවූ අපේ රටේ, සාමාන්‍ය ජනතාවට හෝ මාධ්‍යවේදීන්ට හෝ නිල තොරතුරු හා පර්යේෂණ ප‍්‍රථිඵල දැන ගැනීමට යි. එයට හොඳ ම මෑත උදාහරණය නිදන්ගත වකුගඩු රෝගය ගැන කළ වසර තුනක පර්යේෂණවල වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය මාස ගණනක් පුරා හෙළිදරවු නොකර තබා ගැනීම. රහසිගත පර්යේෂණවලින් පොදු උන්නතියක් කෙසේ සළසන්න ද?

පොදු උන්නතියට කැප වූ බුද්ධිමතුන් කොහි ද? මෙය මා නිතර මතු කරන ප‍්‍රශ්නයක්. නිතර හමු වන දැවැන්ත අභියෝගයක්. මෙරට වෘත්තීය විද්‍යාඥයන් පන් දහසක් පමණ හා ජ්‍යෙෂ්ඨයන් සිය ගණනක් සිටියත් ප‍්‍රතිපත්ති හෝ ජන සමාජයට අදාල විද්‍යාත්මක කරුණක් ගැන ප‍්‍රසිද්ධියේ, සිය නමින් අදහස් දක්වන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

බහුතරයක් දෙනා සිය විශේෂඥ විෂය ගැන පවා මාධ්‍යවලට කථා කිරීමට මැළියි. නැතිනම් බියයි. (බියට සාධාරණ හේතු ද තිබෙනවා.) සමහරුන් පෞද්ගලිකව ප‍්‍රබල අදහස් දැක්වූවත් එය ප‍්‍රසිද්ධියේ කියන්නේ නැහැ. මාධ්‍යකරණයේදී මූලාශ‍්‍ර නමින් හඳුන්වා දෙන තරමට ඒවායේ විශ්වසනීයත්වය වැඩි වනවා. මේ මූලික අවශ්‍යතාවය සපුරා ගන්නට විද්‍යා මාධ්‍යවේදීන්ට දෛනික අරගලයක් කළ යුතුව තිබෙනවා.

මේ අභියෝග ශී‍්‍ර ලංකාවේ පමණක් නොව දකුණු ආසියානු කලාපය පුරා අඩු වැඩි පමණින් දැකිය හැකියි. විද්‍යාව හා තාක්ෂණ දියුණුවෙන් අපට වඩා බෙහෙවින් ඉදිරියෙන් සිටින ඉන්දියාවේ පවා මේ විසමතා හමුවනවා. එහෙත් අපට වඩා බෙහෙවින් පරිණත වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායයන් හා මාධ්‍ය සම්ප‍්‍රදායයන් ඉන්දියාවේ ඇති නිසා එරට විද්‍යා හා තාක්ෂණ මාතෘකා ගැන මාධ්‍ය වාර්තාකරණය වඩා හරවත් හා සමබරයි. මා උත්සාහ කරන්නේ ඉන්දියානු මට්ටමටවත් සමීප වන්නටයි. එයින් ඔබ්බට ජපන් හා බටහිර රටවල විද්‍යා මාධ්‍යකරණ ප‍්‍රමිතීන් ද යම් දිනෙක අප ඉලක්ක කළ යුතුයි.

විදුසර මේ ප‍්‍රමිතිකරණයේ කුමන තැනක සිටී ද යන්න මට ඇගැයීමට නොහැක්කේ දිගු කලක් මා ඒ ප‍්‍රකාශනයේ පාඨකයකු නොවන නිසයි. එහෙත් අවිචාරයේ හා අන්ධ වන්දනාවේ ඇලී ගැලී සිටින ලක් සමාජයේ ඇස් විවර කරන්නට 25 වසරක් තුළ විදුසර යම් පමණකට දායක වූවා යයි කිව හැකියි. ඒ ගැන එයට සම්බන්ධ සියඑ දෙනාට අපේ ප‍්‍රණාමය!

විදුසර තව යා යුතු දුර බොහෝයි. ඒ ගමන දුෂ්කරයි. කාලානුරූපව හැඩ ගැසීමට බැරි හැම ප‍්‍රකාශනයක් ම මාධ්‍ය ඩාවින්වාදයට අනුව වඳ වී යන බවත් විදුසර කතුවරුන් හොඳාකාර දන්නවා විය යුතුයි.

Vidusara at 25: My interview on science communication (in Sinhala)

Vidusara at 25 – web banner from Facebook Group

The weekly Sinhala science magazine Vidusara, a publication of Upali Newspapers Limited of Sri Lanka, completes 25 years this week.

Sustaining any publication for that long is no mean accomplishment, so everyone involved – journalists, editors, publishers – deserve congratulations.

The current editor has done an interview with me for the 25th anniversary issue, which is out today. In it, I discuss the challenges faced by all science communicators, but especially by science journalists working in the developing world. The interview is in Sinhala. Here it is, in pdf, in parts 1 and 2.

විද්‍යා සන්නිවේදනය හරිහැටි සිදු වීමට මාධ්‍යකරුවන් හා විද්වතුන් යන දෙපිරිසේ ම වගකීම් සහිත දායකත්වයක්‌ අවශ්‍යයි!

Science Communication interview with Nalaka Gunawardene – Vidusara, 7 Nov 2012

Science Communication interview with Nalaka Gunawardene Part 2 of 2 – Vidusara, 7 Nov 2012

I had a marginal involvement in Vidusara at its very inception, in late 1987, which was within a few months of my entering journalism. I take no credit for what the publication has accomplished, and am sometimes exasperated when long-standing readers associate me with it. But after clarifying such nuances for years, I now accept the inevitable association!

In May 2011, there was an online discussion about my role in science communication on Groundviews.org which published my video interview with its editor Sanjana Hattotuwa. See: ICTs, science fiction and disasters: A conversation with Nalaka Gunawardene

As reader comments warranted, I responded as follows:

Vidusara 25th anniversary issue – cover 7 Nov 2012
Vidusara was launched in 1988 [correction: it really was in Nov 1987] by Upali Newspapers Limited as an experiment in popular science communication. I was at the time working as a science correspondent for that company’s English daily, The Island, and the managing director asked me to advise and guide the new publication. I welcomed this as I was a bilingual writer (Sinhala and English). However, the founder editor of Vidusara was extremely apprehensive about my association with his project and went out of his way to exclude me. I have never tried to understand or analyse the reasons for this; such insecure and insular mindsets are far too common in Sinhala language journalism, even today.

“All in all, I must have written no more than 10 – 12 Sinhala science articles to Vidusara during its first few months of publication in 1988. When I compare that to the several hundred I’ve published in The Island (1986-1995: none of it available online) and many dozens for other English language media outlets – print, broadcast and online – over the years, my writing in Vidusara represents only a very small proportion of my combined media output. However, I must have done a few things well in those articles for discerning readers to remember and refer to it more than two decade later. I’m naturally pleased with such reader recollections.

“It also reminds me that we who work in the public space don’t get to choose how we are remembered. Our audiences will form their own impressions, and select their own memories.”

සිවුමංසල කොලූගැටයා #90: වකුගඩු රෝගය හරහා මතුවන ‘ජනමාධ්‍ය රෝගය’

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

I talked about this at at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012. An English article based on my talk appeared in Ceylon Today a few days ago:
Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

I have just written up similar views (NOT a translation!) for my weekend Sinhala language column in Ravaya broadsheet newspaper:

CKDu infographic courtesy Center for Public Integrity, USA

ආසියා පැසිෆික් කලාපයේ ජාතික විද්‍යා ඇකඩමි එකතුවේ ජාත්‍යාන්තර සමුළුවක් ඔක්තෝබර් 16-19 දිනවල කොළඹදී පැවැත් වුණා. එහි එක් අංගයක් ලෙස විද්‍යා සන්නිවේදන නායකත්වය ගැන එක් දින සැසිවාරයක් සංවිධානය කර තිබූ අතර විවිධ රටවලින් පැමිණි ආරාධිතයන් එය අමතා කථා කළා.

අපේ ජාතික විද්‍යා ඇකඩමියේ ඇරැයුමින් එයට සහභාගි වූ මට පසුව පෙනී ගියේ විද්‍යා සන්නිවේදනය ගැන ශී‍්‍ර ලංකාවෙන් කථා කළ එක ම දේශකයා මා බවයි. සාමාන්‍යයෙන් එබඳු අවස්ථාවල සත්කාරක රටේ දේශකයන් තෝරා ගන්නේ විවාදයට ලක් නොවන, ජාතිකත්වය මතු කරන ආකාරයේ ප‍්‍රවේශම් සහගත තේමාවක්.

එහෙත් ඇඟ බේරා ගෙන කථා කිරීමේ නිල අවශ්‍යතාවයක් හෝ වෘත්තිමය පුරුද්දක් හෝ මට නැති නිසා මෙරට පැන නැගී ඇති, විද්‍යා සන්නිවේදනයට ද බරපතල අභියෝග එල්ල කරන මාතෘකාවක් ගැන මා විවෘතව අදහස් දැක්වූවා. එනම් රජරටින් මතුව ආ නිදන්ගත වකුගඩු රෝගය හා එයට ලක් සමාජයේත්, මෙරට මාධ්‍යවලත් ප‍්‍රතිචාරයයි. අද මා ගොනු කරන්නේ ඒ වියත් සභාවට මා දැක් වූ අදහස්වල සම්පිණ්ඩනයක්.

2012 සැප්තැම්බර් 2 වනදා කොලමින් (වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව) මා කී පරිදි මෙය මාධ්‍යවලට ප‍්‍රබල මාතෘකාවක් වුවත් ලෙහෙසියෙන් ග‍්‍රහණය කර ගත හැකි දෙයක් නොවෙයි. වකුගඩු රෝගයේ හේතුකාරක විය හැකි සාධක ගණනාවක් ගැන තවමත් නොවිසඳුණු විද්‍යාත්මක වාද විවාද තිබෙනවා. එහෙත් සම්පූර්ණ සත්‍ය අවබෝධයක් මතු වන තුරු පිළියම් යෙදීම ප‍්‍රමාද කරන්නටත් නොහැකියි.

දැනටමත් රෝගාතුර වූ සියළු දෙනාට අවශ්‍ය වෛද්‍ය ප‍්‍රතිකාර සපයන අතර එම රෝගය වාර්තා වන ප‍්‍රදේශවල වෙසෙන සෙසු ජනයාට ප‍්‍රවේශම් විය හැකි ප‍්‍රායෝගික ක‍්‍රම සොයා දීම හා දැනුවත් කිරීම වැදගත්. මෙහිදී පිවිතුරු පානීය ජලය සැපයීමේ වැදගත්කම පිළි ගෙන තිබෙනවා.

වකුගඩු ශරීරයේ ඉතා වැදගත් කාර්යයක් ඉටු කරනවා. රුධිරයේ බහිශ‍්‍රාවීය ද්‍රව්‍ය හා වැඩිපුර ජලය පෙරා වෙන් කොට බැහැර කිරීම නියාමනය කරන්නේත්, ඒ හරහා රුධිරයේ හා ශරීරයේ රසායනික සමතුලිතතාව පවත්වා ගන්නේත් වකුගඩු මගින්. එය දිවා රාත‍්‍රී කි‍්‍රයා කරන පෙරහනක් වැනියි.

සමස්ත සමාජය දෙස බැලූ විට ජන මාධ්‍යවල සමාජයීය භූමිකාවත් එයට සමානයි. නිවැරදි තොරතුරුත්, නිරවුල් විග‍්‍රහයනුත් සමාජයට ඉතිරි කරමින් සම්ප‍්‍රපලාපයන්, මුසාවන්, මිථ්‍යාවන් හා අනෙකුත් විකෘති කිරීම් බැහැර කිරීම මාධ්‍යවලින් සමාජය බලාපොරොත්තු වනවා.

රෝගී වූ වකුගඩුවලට ජෛව විද්‍යාත්මක කාර්යය හරිහැටි කරන්නට නොහැකි වනවා සේ ම ‘රෝගී’ වූ ජනමාධ්‍යවලට ද සිය සමාජ මෙහෙවර හරිහැටි කර ගත නොහැකි බව මගේ මතයයි. මෙය මා ඉංග‍්‍රීසියෙන් කීවේ “Mass kidney failure is followed by a mass media failure” කියායි.

මෙසේ කියන්නේ මෙරට සිංහල හා ඉංග‍්‍රීසි මාධ්‍ය (පාරිසරික සගරා හෝ විශේෂිත වාර ප‍්‍රකාශන නොවේ) වකුගඩු රෝගය වාර්තා කරන ආකාරය ගැන කලක් තිස්සේ ඕනෑකමින් බලා සිටින, මේ ක්‍ෂේත‍්‍රයේ ම පය ගසා සිටින කෙනෙකු හැටියටයි.

මුද්‍රිත මාධ්‍ය ගත් විට, අන්තර්ගතය මූලිකව කොටස් තුනකට බෙදිය හැකියි. කර්තෘ මණ්ඩල සම්බන්ධයක් නැති, එහෙත් පැවැත්මට අවශ්‍ය වෙළඳ දැන්වීම් එක් කොටසක්. ඉතිරි කියවන අන්තර්ගතය තුළ ද මාණ්ඩලික ලේඛකයන් ලියන දේ මෙන් ම බැහැර සිට ලබා දෙන විද්වත් ලිපි තිබෙනවා. විද්වත් ලිපිවල මත දැක්වීම ඒවා ලියන අයගේයි. මා මෙහිදී අවධානය යොමු කරන්නේ කර්තෘ මාණ්ඩලික ලේඛකයන් අතින් ලියැවෙන මාධ්‍ය අන්තර්ගතය ගැනයි. මාධ්‍ය කලාවේ සාරධර්ම රැකීම වැඩිපුර අපේක්‍ෂා කරන්නේත් මේ සන්නිවේදන තුළයි.

පුවත්පත් කලාවේ මූලික සාරධර්මයක් ලෙස සැළකෙන්නේ සමබරතාවය රැකෙන පරිදි වාර්තාකරණය විය යුතු බවයි. එනම් ප‍්‍රශ්නයක් හෝ සිද්ධියක් ගැන වාර්තා හෝ විග‍්‍රහ කරන විට එයට සම්බන්ධ සියළු පාර්ශවයන්ට සාධාරණ නියෝජනයක් ලබා දීමයි.

වකුගඩු රෝගය පිළිබඳ වාර්තාකරණයේදී අපේ ඇතැම් පුවත්පත් හා විද්යුත් මාධ්‍ය නාලිකා ක‍්‍රියා කර ඇත්තේ එබඳු පුළුල් විග‍්‍රහයක යෙදෙන අන්දමින් නොවෙයි. සංකීර්ණ ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ ග‍්‍රාහකයන්ට නොවලහා ඉදිරිපත් කොට අවසාන විනිශ්චය ඔවුන්ට භාර කරනු වෙනුවට තෝරා ගත් තොරතුරු හා මතවාදයන් කිහිපයක් පමණක් ප‍්‍රතිරාවය කරනු දැකිය හැකියි. එයට සමාන්තරව තමන් ප‍්‍රවර්ධනය කරන මතවාදයට වෙනස් වූ මතවලට හා එම මතධාරීන්ට සමච්චල් කිරීමත්, ඇතැම් විට වාග් ප‍්‍රහාර එල්ල කිරීමත් සිදු වනවා.

පරිසර සංරක්‍ෂණය හා මහජන සෞඛ්‍යය වැනි පොදු උන්නතියට සෘජුව අදාල තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන විට මාධ්‍යවේදීන්ගේ භූමිකාව කෙසේ විය යුතු ද?

කලක් තිස්සේ ලොව පුරා මාධ්‍ය සම්ප‍්‍රදායක් වූයේ මාධ්‍යවේදියාගේ පෞද්ගලික මතිමතාන්තර වාර්තාකරණයට මිශ‍්‍ර නොකළ යුතු බවයි. යම් මතවාදයක් හෝ අදහසක් පළ කරන්නට ඕනෑ නම් එය කතුවැකියට හෝ කතුවැකි පිටුවේ මත දැක්වීමට සීමා වුණා. එහෙත් 1970 දශකයේ පටන් සෞඛ්‍යය, පරිසරය හා මානව මානව හිමිකම් ආදී තේමා ගැන මාධ්‍ය වාර්තාකරණයේදී මාධ්‍යවේදියා දරණ ස්ථාවරය හා මතය ද යම් තාක් දුරට වාර්තාකරණයේ පිළිබිඹු වීම සාධාරණ යයි ප‍්‍රගතිශීලී මාධ්‍යකරුවන් අතර පිළි ගැනීමක් මතුව ආවා. මෙය ඉංග‍්‍රීසියෙන් advocacy journalism ලෙස හඳුන්වනවා.

නාගරික සිදුවීම් හා පුවත් මවන්නන් කේන්ද්‍ර කොට ගත් අපේ බොහෝ ජනමාධ්‍ය මුල් කාලයේ වකුගඩු රෝගය වාර්තා කලේ ඉඳහිට හා යාන්තමට. එය බොහෝ දෙනෙකුට බලපාන රෝගයක් බව පසක් වූ විට මේ තත්ත්වය වෙනස් වූවත්, තවමත් විවිධ මානයන් විග‍්‍රහ කරමින් සානුකම්පික වූත්, මැදහත් වූත් වාර්තාකරණයක් කරන්නට අපේ බොහෝ මාධ්‍ය සමත් වී නැහැ.

ඒ වෙනුවට වකුගඩු රෝගය සංත‍්‍රාසය දනවන හෙඩිම් සපයන හා හරිත ක‍්‍රියාකාරිකයන් සමහර දෙනෙකුගේ න්‍යාය පත‍්‍රයට අනුගත වන අන්දමේ මාධ්‍ය ”කට ගැස්මක්” බවට පත් වී තිබෙන බව කණගාටුවෙන් වුවත් පිළිගත යුතුයි.

වකුගඩු රෝගය වාර්තාකරණයේදී ඉස්මතුව එන්නේ පොදුවේ අපේ ජනමාධ්‍ය ෙක්‍ෂත‍්‍රයේ පවතින විසමතා හා දුර්වලතායි. එයින් සමහරක් නම්: ප‍්‍රශ්නයක විවිධ පැතිකඩ විපරම් කරනු වෙනුවට මාධ්‍යවේදීන් හෝ මාධ්‍ය ආයතන පෙර තේරීමක් කළ පැතිකඩ දෙක තුනකට පමණක් අවධානය යොමු කිරීමත අදාල පාර්ශවයන් කිහිපයක් සිටින අවස්ථාවක තෝරා ගත් දෙතුන් දෙනෙකුගේ මත පමණක් දිගට ම විස්තාරණය කිරීමත සහ සංකීර්ණ ප‍්‍රශ්නයක් උවමනාවට වඩා සරලව හා මතුපිටින් පමණක් කඩිමුඩියේ වාර්තා කිරීම හරහා ග‍්‍රාහකයන්ගේ මනස වඩාත් ව්‍යාකූල කිරීම.

එමෙන්ම තහවුරු කරගත් තොරතුරු මත වාර්තාකරණය පදනම් කර ගන්නවා වෙනුවට ඕපාදුප, කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් හා ප‍්‍රහාරාත්මක බස හැසිරවීම ද අපේ මාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නිතර දැකිය හැකියි.

මෙය අදහස් ප‍්‍රකාශනයේ හා මාධ්‍ය නිදහසේ කොටසක් යයි යමකුට කිව හැකියි. තර්කයක් ලෙස එය සත්‍ය වුවත්, ආපදා හා වෙනත් හදිසි අවස්ථාවල විශාල ජන සංඛ්‍යාවක් විපතට හා දුකට පත්ව සිටින විට, එය කි‍්‍රකට් තරඟාවලියක් හෝ මැතිවරණයක් හෝ ගැන වාර්තා කරනවාට වඩා සංයමයකින් හා සංවේදීව කරනු ඇතැයි මාධ්‍ය ග‍්‍රාහකයන් අපේක්ෂා කරනවා.

මාධ්‍යවේදීන්ට තොරතුරු මූලාශ‍්‍ර ඉතා වටිනවා. බොහෝ දෙනෙකු කලක් තිස්සේ උත්සාහයෙන් ගොඩ නඟා ගත් සබඳතා තිබෙනවා. කඩිමුඩියේ දුරකථනයෙන් පවා තොරතුරක් විමසීමට, අදහසක් ලබා ගැනීමට හැකි වීම ලොකු දෙයක්. එහෙත් මූලාශ‍්‍ර වන ඇතැම් දෙනාට තමන්ගේ ම න්‍යාය පත‍්‍ර ද තිබෙනවා. මාධ්‍ය හරහා තම මතවාද පතුරුවන්නට ඔවුන් තැත් කිරීම ඔවුන්ගේ පැත්තෙන් සාධාරණයි. එහෙත් මූලාශ‍්‍රවලට ඕනෑ ලෙසට අවිචාරවත්ව ක‍්‍රියා නොකිරීමටත්, සමබරතාවය පවත්වා ගැනීමටත් මාධ්‍ය ආයතන ප‍්‍රවේශම් විය යුතුයි.

වකුගඩු රෝගයේ මාධ්‍ය වාර්තාකරණය කලක් තිස්සේ බලා සිටින ජ්‍යෙෂ්ඨ මාධ්‍ය සගයෙකු මට කීවේ මේ ගැන වාර්තාකරණයේදී අපේ බොහෝ මාධ්‍ය තම මූලාශ‍්‍රවලට බෙහෙවින් හෝ මුළුමනින් හෝ නතු වී ඇති බවයි. තර්කානුකූල නොවන, සාක්‍ෂි මත පදනම් නොවූ විග‍්‍රහයන් හා විනිශ්චයන් මහජනතාව අතරට යළි යළිත් ගියේ එනිසායි.

වාර්තාකරණයේ දුර්වලතාවල වගකීම මුළුමනින් මාධ්‍යවලට පැවරීමට ද නොහැකියි. උග‍්‍ර වෙමින් පවතින මේ මහජන සෞඛ්‍ය ප‍්‍රශ්නය හා ඛේදවාචකය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්වත් උපදෙස් ඇතිව සෞඛ්‍ය අමාත්‍යාංශය 2009-2011 කාලයේ අපේ විද්‍යාඥ කණ්ඩායම් 10ක් හරහා ප‍්‍රශ්නයේ විවිධ පැතිකඩ විමසමින් පර්යේෂණ කළා. එය මේ දක්වා මේ ගැන සිදු කළ වඩාත් ම විස්තරාත්මක අධ්‍යයනයයි. එහි වාර්තාව මේ වසර මුලදී සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන්නා. එය මෙතෙක් (2012 ඔක් 31 දක්වා) ප‍්‍රකාශයට පත් නොකිරීම හරහා සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ තත්ත්වය ව්‍යාකූලවීමට ඉඩ හැරියා.

මේ අතර WHO අභ්‍යන්තර වාර්තාවකැයි කියන, එහෙත් කිසිදු නිල ලක්ෂණයක් (ලිපි ශීර්ෂයක්, වැඩි විස්තර ලබා ගත හැකි ක‍්‍රමයක්) නොමැති, පිටු 3ක කෙටි ලේඛනයක් ක‍්‍රියාකාරීන් කිහිප දෙනෙකු 2012 අගෝස්තු මස මැදදී මාධ්‍යවලට ලබා දුන්නා. එය WHOහි බව තහවුරු කිරීමක් හෝ විචාරයක් හෝ නොමැතිව ගෙඩි පිටින් ප‍්‍රකාශයට පත් කිරීමට අපේ ඇතැම් මාධ්‍ය පෙළඹුණා.

විද්‍යාත්මක කරුණක් ගැන අපේ මාධ්‍ය මෙතරම් අපරික්ෂාකාරී වන්නේ ඇයි? දේශපාලනික හෝ ක‍්‍රීඩා ආන්දෝලනයක් ගැන තහවුරු නොවූ ලේඛනයක් ලැබුණොත් මෙලෙසින් එය පළ කිරීමට කතුවරුන් සූදානම් ද?

මේ උද්වේගකාරී වාර්තාකරණය ගැන සාධාරණ ප‍්‍රතිතර්ක මතු කළ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයන් හා වෛද්‍යවරුන් මෙකී මාධ්‍ය විසින් ඉක්මනින් හංවඩු ගසනු ලැබුවේ ”පලිබෝධ නාශක සමාගම්වල මුදල් බලයට නතු වූවන්” හැටියටයි. එයට සාක්ෂි තිබේ ද? නැතිනම් කුමන්ත‍්‍රණවාදී තර්කයක් පමණ ද?

වසර 25ක් පුරා එදත් අදත් මා කියන්නේ පලිබෝධ නාශක, රසායනික පොහොර ඇතුළු සියළු නවීන විද්‍යාත්මක මෙවලම් ප‍්‍රවේශමින් පරිහරණය කළ යුතු බවයි. ඒවාට විරුද්ධවීමේ පූර්ණ අයිතියක් පරිසරවේදීන්ට තිබෙනවා. එහෙත් ඇතැම් පරිසරවේදීන් ප‍්‍රායෝගික විකල්ප යෝජනා නොකර, රාජ්‍ය ප‍්‍රතිපත්ති හා විද්වත් මතයන් විවේචනය කරන විට, එම තර්ක ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ හා මැදහත් විද්වතුන්ගේ මත විමසීමට මාධ්‍යවලට වගකීමක් ද තිබෙනවා.

වකුගඩු රෝගය හා කෘෂි රසායන ද්‍රව්‍ය ගැන සංවාදයේදී අවශ්‍ය තරමට සිදු නොවූයේ ද එයයි. ඒ වෙනුවට ජනතාව බියපත් කරවන, රාජ්‍ය නිලධාරීන් අපහසුතාවයට පත් කරන හා මැදහත් විද්‍යාඥයන්ට නිරපරාදේ චෝදනා එල්ල කරන වාර්තාකරණයක් අප දකිනවා.

මෙබදු වාර්තාකරණයකින් මානසික කම්පනයට පත් මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම විද්‍යා මහාචාර්යවරයෙකු මට කීවේ මෙයයි: “එප්පාවල ඇපටයිට් නිධිය බහු ජාතික සමාගම්වලට දෙන්නට යන විට ප‍්‍රතිපත්තිමය හේතු මත එයට විරුද්ධ වීම නිසා මට මරණ තර්ජන පවා ලැබුණා. එසේ පොදු උන්නතියට ජීවිත කාලයක් ක‍්‍රියා කළ මට, ජනතාවට වස කවන ජාති ද්‍රෝහියකු යයි චෝදනා කරන්නේ ඇයි?”

මේ මහාචාර්යවරයාට දිගට ම අවලාද නගන ජාතික පුවත්පතක්, ඔහු යැවූ පිලිතුර පවා පළ කොට නැහැ. (පිළිතුරු දීමේ අයිතිය සුරැකීමට අපේ බොහෝ මාධ්‍ය ආයතන ප‍්‍රසිද්ධියේ ප‍්‍රතිඥා දෙනවා.) මේ මහාචාර්යවරයා ඇතුළු විද්‍යාඥයන් රැසක් වකුගඩු රෝගයේ හේතුකාරක ගැන විවිධ කල්පිතයන් ගවේෂණය කරමින් සිටිනවා. ඔවුන්ගේ එක ම අරමුණ මෙහි අක්මුල් පාදා ගැනීමයි.

බලන්න: http://tiny.cc/CKDuMed

සිවුමංසල කොලූගැටයා #81: වකුගඩු රෝගයේ විද්‍යාව හා විජ්ජාව

Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

Ceylon Today newspaper has just published my article titled: Mass Kidney Failure & Mass Media Failure: Go ‘Upstream’ for Remedies!

It is adapted from a paper I presented last week at the International Science Communication Leadership Workshop, held as part of Association of Academies & Societies of Sciences in Asia (AASSA) General Assembly in Colombo, 16-19 October 2012.

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I call a mass media failure. Most of our media have failed to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become amplifiers of extreme activist positions.

As health officials and policy makers struggle with the prolonged humanitarian crisis, partisan media coverage has added to public confusion, suspicion and fear. As a science writer and journalist, I have watched this with growing concern.

This is a critique of the Lankan media sector to which I have belonged, in one way or another, for a quarter century. I hope this will inspire some much-needed self-reflection among our media, which I feel over overstepped the boundaries of advocacy journalism in this issue. As I suggest, a return to first principles can help…

Full article below. Constructive engagement is welcomed.

Mass Kidney Failure & Mass Media Failure – Nalaka Gunawardene – Ceylon Today 25 Oct 2012

Mass Kidney Failure and Mass Media Failure in Sri Lanka

The kidneys are vital organs in our body that help keep the blood clean and chemically balanced through filtering. Healthy kidneys separate waste and excess water.

Similarly, a healthy and vibrant media helps separate fact from fiction, and provides clarity and context vital for an open, pluralistic society to function.

In Sri Lanka, mass kidney failure during the past two decades has been followed by what I see as a mass media failure to understand, analyse and report adequately on this public health emergency. Instead of helping affected people and policy makers to work out solutions, some journalists have become mere amplifiers of extreme activist positions.

As health officials and policy makers struggle with the prolonged humanitarian crisis, partisan media coverage has added to public confusion, suspicion and fear. As a science writer and journalist, I have watched this with growing concern.

I just gave a talk on this to the Science Communication Leadership Workshop which was part of the First General Assembly of Association of Academies and Societies of Sciences in Asia (AASSA) held in Colombo, Sri Lanka, on 17 October 2012.

Here is my presentation:

See also my recent writing on this topic:

Sunday column 19 Aug 2012: Science and Politics of Kidney Disease in Sri Lanka

Sunday column 26 Aug 2012: Watch out! Everybody Lives Downstream…