සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

In this Sunday (15 July 2012) Ravaya column (in Sinhala), I briefly trace the history of comics in Sri Lanka in the Sinhala language and ask: what lessons can we derive from that experience on integrating a new media type or form to Lankan society?

Comics in Lankan newspapers started 60 years ago in October 1951 — and a vocal minority of cynics and puritans resisted it from the beginning. I argue that this misplaced resistance prevented Lankan media houses and society at large from harnessing this versatile medium for greater good – in both entertainment and educational terms.

I first presented these ideas in my talk at National Media Summit 2012, held at University of Kelaniya, Sri Lanka, in late May 2012.

Comics in Sri Lanka – a montage courtesy http://www.wimalonline.com/srilankancomics

“වඩා බියකරු ඩෙංගු මාරයා ද – ඉන්ටර්නෙට් මාරයා ද?”

පාසල් යන වයසේ දරුවන් සිටින නාගරික මැද පාංතික මවක් ලගදී මගෙන් මේ ප‍්‍රශ්නය විමසුවා. පරිගණකයක් සිය නිවසේ ඇතත්, ඉන්ටර්නෙට් සබඳතාවක් ගැනීමට වත්කම තිබුණත් තම දරුවන් ලොකු මහත් වන තුරු ඉන්ටර්නෙට් තහනම් බව ඇය කියා සිටියා.

මා ඇය සමග තර්ක නොකළත්, ඇගේ ස්ථාවරය මට සිහිපත් කළේ මීට දශක තුනකට පෙර අපේ බොහෝ දෙමවුපියන් හා ගුරුවරුන් චිත‍්‍රකථා පත්තර තහනම් කළ සැටියි. වගකීමකින් යුතු පුවත්පත් ආයතන පළ කළ චිත‍්‍රකථා පත්තර පවා ඒ ගෙදරදොර තහනමට ලක් වුණා. එහෙත් තහනම් පත්තර කෙසේ හො සොයා ගෙන කියැවූ දරුවන් එමට සිටි බවත්, ඒවා නිසා ඔවුන් අයාලේ නොගිය බවත් මා දන්නවා.

අළුතෙන් සමාජයට පිවිසි දේ ගැන සැකයෙන් හා බියෙන් පසු වීම අපේ ඇතැම් දෙනාගේ පුරුද්දක්. සමාජයේ සෙසු අයගේ ජනමතයට බලපෑම් කළ හැකි පොතේ උගතුන්, කලාකරුවන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් ආදීන් අතරත් මේ ආකල්පය සුලබයි. යමක් අළුත් වූ පමණට ම ඒ ගැන නිසි විමර්ශනයක් නොකොට එයට එරෙහි වීම යුක්ති සහගත ද? යම් තාක්ෂණයක්, ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් හෝ නව සමාජ රැුල්ලක් පැතිර යන විට තමන් එයට ආගන්තුක වූ නිසා ම එය නිර්දය ලෙස හෙළා දැකීම සාධාරණ ද? මෙරට චිත‍්‍රකථා ඉතිහාසයෙන් වත්මන් නව මාධ්‍ය සංවාදයට යම් ආදර්ශයන් ගත හැකි ද?

2007දී ප‍්‍රකාශිත “චිත‍්‍රකථාවේ වංශකථාව” නම් කෘතියේ මහාචාර්ය සුනිල් ආරියරත්න සුරීන් පෙන්වා දෙන පරිදි කතන්දර කීම සඳහා චිත‍්‍ර උපයෝගි කර ගැනීමේ දිගු ඉතිහාසයක් අපට තිබෙනවා. එසේ වුවත් අද අප හදුනන චිත‍්‍රකථා කලාව අපට ලැබුණේ බටහිර ආභාෂයෙන්. 19වන සියවසේ බිහි වූ බටහිර චිත‍්‍රකථාවල පිටපත් 20වන සියවස වනවිට ක‍්‍රමයෙන් මෙරටට පැමිණියා. ටාසන් කථා, ගොපලූ (කව්බෝයි) කථා හා අභ්‍යවකාශය ගැන කථා ඒ අතර තිබුණෘ. මුල් යුගයේ සිංහල චිත‍්‍රකථාවලට ආදර්ශය කර ගත්තේ මේවායි.

First Sinhala chitra katha, Neela, later published as a book

මෙරට ජාතික පුවත්පතක චිත‍්‍රකථාවක් මුල් වරට පළ වූයේ 1951 ඔක්තෝබර් 28දා “ඉරිදා ලංකාදීප” පත‍්‍රයේ. ප‍්‍රධාන කතුවරයා වු ඞී බී ධනපාලගේ අදහසකට අනුව ලංකාදීප මාණ්ඩලික ලේඛක ධර්මසිරි ජයකොඩි ලියු “නීලා” නම් කථාව චිත‍්‍රයට නැගුවේ චිත‍්‍රශිල්පි හා කාටුන් ශිල්පි ජී එස් ප‍්‍රනාන්දුයි. නීලා නම් වැද්දකුගේ චරිතය වටා ගෙතුණු මේ සරල කථාවට ටාසන් කථාවල ආභාෂය පැහැදිලි බව ආරියරත්නයන් කියනවා.

සති 52ක් පුරා කොටස් වශයෙන් පළ වූ “නීලා” පාඨකයන් අතර ඉතා ජනප‍්‍රිය වූ අතර එය අවසන් වන්නටත් පෙර සුසිල් පේ‍්‍රමරත්න ශිල්පියාගේ නිර්මාණයක් දෙවන චිත‍්‍රකථාව ලෙස හදුන්වා දෙනු ලැබුවා. පේ‍්‍රමරත්න පසු කලෙක නිර්මාණය කළ “බිලි පූජාව”, “ලන්දේසි හටන” හා “රන් දුපත” වැනි චිත‍්‍රකථා හරහා චිත‍්‍රකථා කලාව ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් ලෙස ඉක්මණින් ම මෙරට සමාජයේ ස්ථාපිත වුණා.

ටයිම්ස් පුවත්පත් සමාගමේ මේ අත්හදා බැලීම අනුකරණය කරමින් ටික කලක් ඇතුළත ලේක්හවුස් ආයතනයත් සිය ජාතික පුවත්පත්වල චිත‍්‍රකථා පළ කිරිම ඇරඹුවා. 1960 දශකයේ චිත‍්‍රකථා “අපේකරණය” කිරිමට චිත‍්‍රශිල්පීන්, රචකයන් හා පුවත්පත් කතුවරුන් සමත් වුණා. ජාතක කථා, බෞද්ධ හා ක‍්‍රිස්තියානි සාහිත්‍යය හා ලංකා ඉතිහාසය පාදක කර ගනිමින් හොඳ චිත‍්‍රකථා රැසක් බිහි වුණා.

චිත‍්‍රකථා පමණක් අඩංගු මෙරටමුල් ම පත‍්‍රය 1972 අගෝස්තු 29දා ලේක්හවුස් ආයතනය ආරම්භ කළ “සතුට”යි. 1975දී මල්ටිපැක්ස් ආයතනය “සිත්තර” ආරම්භ කළා. වසර 5ක් ඇතුළත සතිපතා අලෙවිය පිටපත් 225,000 දක්වා වැඩි වූ සිත්තර සාර්ථකත්වය දුටු ව්‍යාපාරිකයන් දිගට හරහට අනුකාරක චිත‍්‍රකථා පත්තර ඇරඹුවත්, 1980 දශකයේ වෙළඳපොල ජය ගන්නට ඔවුන්ට හැකි වුයේ නැහැ.

මෙරට චිත‍්‍රකථා ව්‍යාපාරය හා කලාව බිඳ වැටීමට විවිධ හේතු ඉදිරිපත් කැරෙනවා. චිත‍්‍රකථා නිර්මාණ ශිල්පීන් කාලීනව අනුගත නොවීම, ප‍්‍රකාශකයන්ගේ මුදල් කෑදරකම, 1979දී ටෙලිවිෂන් ආගමනය, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ලේඛකයන් හා චිත‍්‍රශිල්පීන් දිගින් දිගට ම චිත‍්‍රකථා හෙළා දැකීම ආදිය මේ අතර තිබෙනවා. එය වෙන ම සංවාදයකට සුදුසු මාතෘකාවක්.

Covers of first editions: Sathuta (top) & Siththara (bottom) - first and second all-comic Sinhala newspapersසිය ග‍්‍රන්ථයේ පෙරවදනේ මහාචාර්ය ආරියරත්න මෙසේ කියනවා: “චිත‍්‍ර කථාවෙන් ප‍්‍රවෘත්ති පත‍්‍රවලට ලැබුණේ වාණිජමය පෝෂණයකි. ඇතැම් චිත‍්‍රකථා නිසා පත‍්‍රවල අලෙවිය සීඝ‍්‍ර ලෙස වර්ධනය විය. පත‍්‍රවලින් චිත‍්‍රකථාවට පෙරළා ලැබුණේ ප‍්‍රමිති සහතිකයයි. ඒ මෙසේය. පත‍්‍ර කර්තෘවරු ද විශේෂාංග කර්තෘවරු ද කර්තෘ මණ්ඩලිකයෝ ද දැන උගත් මහත්වරු වුහ. පත‍්‍රවලට චිත‍්‍රකතා ගලා ආයේ ඔවුන්ගේ අධික්ෂණය යටතේය. එහෙයින් ඉතා බාල මට්ටමේ චිත‍්‍ර කතාවලට ජාතික පුවත්පත්වලට දොරගුළු විවර වුයේ නැත.”

“චිත‍්‍රකතාවේ ප‍්‍රමිතිය දෙදරන්ට පටන් ගත්තේ එය ජාතික පුවත්පත්වලින් ඔබ්බට ගමන් කිරිමත් සමගය. වෙළඳ ව්‍යාපාරිකයෝ චිත‍්‍රකතා ක්ෂේත‍්‍රය ආක‍්‍රමණය කළහ. ඔවුන්ගේ රුචි අරුචිකම් අනුව චිත‍්‍රකතා පත‍්‍ර ද චිත‍්‍ර කතා පොත් ද පළ විය. එයින් බහුතරයක අඩංගු වුයේ බාල බොළඳ කතාන්තර හා ආධුනික මට්ටමේ චිත‍්‍ර ය. වෙළඳ තරගය ජයග‍්‍රහණය කිරීම පිණිස ඔවුහු චිත‍්‍රකතාව තුළට ලිංගිකත්වය පවා ගෙන ආහ. රූපවාහිනියේ ආගමනය ද චිත‍්‍රකතාවෙහි ඉල්ලූම අඩු කරන්නට විය.”

මෙරට චිත‍්‍රකථා ඉතිහාසය (1950 – 1980 දශක) දෙස පොදුවේ බලන විට නව මාධ්‍යක් මෙරටට පිවිසීමේදී අත්දකින අවධි තුනක් මා හදුනා ගන්නවා. මැයි මස කැළණිය සරසවියේ පැවති ජාතික මාධ්‍ය සමුළුවේ මා කළ කථාවේදී මෙය ඉදිරිපත් කළා.

පළමුවන අවධිය: පිටත ලෝකයෙන් පැමිණෙන නව අදහසක් හෝ සම්ප‍්‍රදායක් විවෘත මනසකින් යුතු ටික දෙනෙකු දේශීයව අත්හදා බලනවා. එයට ඉක්මන් ප‍්‍රතිරෝධයක් මතු වන්නේ සමහර ප‍්‍රවීණයන් හා සුචරිතවාදීන්ගෙන්. අළුත් මාධ්‍යය වෙළඳපොළ ජය ගන්නා ආකෘති හරිහැටි පැහැදිලි නැතත්, එඩිතර ව්‍යාපාරිකයන් ටික දෙනෙකු එයට ආයෝජන කරනවා. ඒ අතර රටේ ප‍්‍රතිපත්ති සම්පාදකයන් කුමක් සිදු වේදැයි හරිහැටි නොදැන තුෂ්නිම්භූත වනවා.

දෙවන අවධිය: නව මාධ්‍ය හෝ මාධ්‍ය අංගය වඩාත් මෙරට ප‍්‍රචලිත වන විට එයට වැඩි දේශීය ස්වරූපයක් ලැබෙන (අපේකරණය) නිර්මාණාත්මක අත්හදා බැලීම් කැරෙනවා. මුලින් මතු වූ දැඩි ප‍්‍රතිරෝධය තරමකට සැර බාල වුවත් සර්වදෝෂදර්ශීන් (cynics) බලා සිටින්නේ නව මාධ්‍යයේ කුඩා අඩුපාඩුවක් වුවද විශාල කොට පෙන්වා ආන්දෝලන කිරීමටයි. නව මාධ්‍යය නියාමනය කළ යුතු ද එසේ නම් කෙසේ ද යන්න ගැන ප‍්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් නිරවුල් ස්ථාවරයකට කල් ගත වී හෝ එළැඹෙනවා. ඒ අතර වඩා සාර්ථක වෙළඳපොළ ආකෘතින් මතු වනවා.

තෙවන අවධිය: තව දුරටත් නැවුම් බවක් සමාජයට නොදැනෙන මේ මාධ්‍යය සමස්ත මාධ්‍ය ක්ෂේත‍්‍රයේ තමන්ට හිමි තැනක ස්ථාපිත වනවා. වෙළඳපොල ප‍්‍රවාහයන් නිසා මුදලට කෑදර ආයෝජකයන් ද ක්ෂේත‍්‍රයට පිවිසෙනවා. මුල් යුගයේ මාධ්‍යය දැඩි සේ විවේචනය කළ උදවියත් හින්සැරේ තම න්‍යායාත්මක අරමුණු ප‍්‍රචාරණයට එම මාධ්‍යයට ම පිවිසෙනවා. මතවාදයන් හා පුද්ගලවාදයන් නිසා ඇතැම් විට අන්තවාදී ප‍්‍රකාශන බිහි වී අධිකරණය දක්වා යන ගැටුම් ද හට ගන්නවා. ඒ අතර පුරෝගාමින් සමහරෙක් වෙළඳපොළ තරගය නිසා ඉවතට විසි වෙනවා.

නව මාධ්‍යයක ආගමනය හමුවේ මෙරට ප‍්‍රතිපත්ති සම්පාදකයන් බහුවිධ බලපෑම්වලට පාත‍්‍ර වනවා. එක් පසෙකින් ඔවුන් නව මාධ්‍යයේ තාක්ෂණික, වෙළඳපොල හා සමාජයිය සීමාවන් තේරුම් ගත යුතුයි. එයට ඉස්පාසුවක් ලැබෙන්නට පෙර හැම දේට ම එරෙහි වන ගතානුගතික පිරිසගේ උද්ඝෝෂණවලට මුහුණදීමට සිදු වනවා. තහනම් කරන්න, දැඩි නීතිරිති දමා පාලනය කරන්න ආදි බලපෑම් කරන බොහෝ දෙනා තමන් එරෙහි වන්නේ කුමකට ද කියාවත් හරිහැටි නොදත් පිරිසක්. (1960 හා 1970 දශකයේ මෙරටට ටෙලිවිෂන් හදුන්වා දීමට එරෙහි වු ටික දෙනා කවදාවත් ටෙලිවිෂන් නොදුටු අයයි!)

නව මාධ්‍යයකින් අපේ සංස්කෘතිය, සභ්‍යත්වය සෝදාපාලූ වන බවත්, එය ආර්ථිකයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවත් කියමින් සර්වදෝෂදර්ශින් නගන තර්කවලට යම් ආකාරයකින් ප‍්‍රතිචාර දක්වන්නට ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට සිදු වනවා. එබදු අවස්ථාවල ඔවුන් කලබල වී නොනිසි ප‍්‍රතිචාර දැක්වීමට ඉඩ තිබෙනවා.

සන්සුන්ව කරුණු එක් රැස් කොට, මැදහත්ව ඒවා විග‍්‍රහ කොට තුලනාත්මකව ප‍්‍රතිපත්ති නිර්දේශ කිරීම රටේ සරසවි ඇදුරන් හා අනෙකුත් බුද්ධිමතුන්ගේ වගකීමක්. එහෙත් වැල යන අතට මැස්ස ගසන, කෙටිකාලීන උපදේශක තනතුරු හා නිලතල පතන උගතුන්ගෙන් මේ පෙරගමන්කරුවන් වීමේ වගකීම කිසිසේත් ඉටු වන්නේ නැහැ.

මෙරට ජනමාධ්‍ය පර්යේෂණ කරන, සරසවි මට්ටමින් එය උගන්වන ඇදුරන් රැසක් හමුවේ මා ඇසුවේ මේ ජාතික හා සමාජයීය වගකීම ඔවුන් අතින් ඉටුවනවා ද කියායි. (එයට හරිහැටි පිළිතුරක් නොලැබුණත් ඔවුන්ගේ නිහැඬියාව ම යථාර්ථය ගැන හොඳ ඉඟියක් සපයනවා! http://tiny.cc/NMOM බලන්න.

ජනප‍්‍රිය සංස්කෘතිය හා නව මාධ්‍ය ප‍්‍රවණතා දෙස අපේ බොහෝ උගතුන් බලන්නේ සාවඥ හෝ නොරිස්සුම් ආකල්පයකින්. (සුනිල් ආරියරත්නයන් වැනි උගතුන් මෙරට ඉතා දුර්ලභයි.) නොදන්නා දේ ගැන නොවිමසා එරෙහි වන මෙබදු උගතුන්, අළුත් හැමදේට ම සහජයෙන් විරෝධය දක්වන සුචරිතවාදීන්ට උඩගෙඩි සපයනවා. බහුතර උගතුන්ගේ නිහැඬියාව මැද, මොර දෙන සුචරිතවාදීන්ගේ හඩ පමණක් රැව් දෙන පසුබිමක ප‍්‍රතිපත්ති සම්පාදකයන් ද තමන්ට ඇසෙන සැකය, භීතිය හා කුමන්ත‍්‍රණවාදී තර්කවලට අනුගතවීම පුදුමයක් නොවේ.

මතුව එන හැම දෙයක් ම බදා ගත යුතු යයි මා කියන්නේ නැහැ. එහෙත් අළුත් දෙයක් අළුත් වූ පමණට, නුහුරු වූ පලියට ම ප‍්‍රතික්ෂේප නොකර එය විචාරශීලීව හා විවෘත මනසකින් විග‍්‍රහ කළ යුතු බවත්, අළුත් ප‍්‍රවණතා අපට ගැලපෙන පරිදි හැඩගස්වා ගෙන “අපේකරණය” කළ හැකි බවත් මගේ අදහසයි.

චිත‍්‍රකථා මෙරට සමාජ උන්නතිය හා ජන වින්දනය සඳහා නිසි ලෙස යොදා ගන්නට ලක් සමාජය අසමත් වුණා. චිත‍්‍රකථා කලාවේ ස්වර්ණමය යුගය 1960 හා 1970 දශකයන්. ඒ වකවානුවේ පැවති සමාජ සාධක හා පසුබිම දැන් මුළුමනින් වෙනස් වී තිබෙනවා. චිත‍්‍රකථා පදනම වැනි සංවිධාන මේ මාධ්‍යය නැවත පණ ගැන්වීමට අවංකව වෙර දැරුවත් ඒ ස්වර්ණමය යුගයට යළි පිවිසීම අපහසුයි.

චිත‍්‍රකථාවලට එරෙහි වූ සුචරිතවාදී අතලොස්ස ඊට කලකට පසු මෙරටට ටෙලිවිෂන් හදුන්වා දෙන විට එයට ද දැඩි විරෝධය දැක් වූවා. 1990 දශකයේදී චන්ද්‍රිකා තාක්ෂණය හරහා විදේශ ටෙලිවිෂන් විකාශයන් එවේලේ ම මෙරට ග‍්‍රහණය කර ගත හැකි වූ විට අපේ සභ්‍යත්වය මුළුමනින් විනාශ වී යනු ඇතැයි අනතුරු ඇඟවීම් කළා.

හැම අළුත් දෙයට ම එරෙහි වන සුළුතරය දෙස උපෙක්ෂා සහගතව බලා සිටින මට පෙනී යන්නේ මේ අයට කන්නට උවමනා වූ විට කබරගොයාත් තලගොයා වන බවයි. ටෙලිවිෂන් අති භයානක බටහිර ආක‍්‍රමණයක් යයි මොර ගෑ උදවිය ම අද විවිධ ටෙලිවිෂන් නාලිකාවල දේශපාලන හා කාලීන සංවාදවල ප‍්‍රබල චරිත රග පානවා!

මේ ඇත්තන්ගේ අළුත් ම ඉලක්කය ඉන්ටර්නෙට් මාධ්‍යයයි. එදා මෙදා තුර සුචරිතවාදී චරිත වෙනස් වී ඇතත් ඔවුන්ගේ තර්කවල වෙනසක් නැහැ. ඉන්ටර්නෙට් මාධ්‍යයට බිය නොවී එය අපේකරණය කර ගන්නට තවමත් ඉඩක් තිබෙනවා. එහෙත් සුළුතරයක් පුවත් වෙබ් අඩවිවල ක‍්‍රියා කලාපය දෙස බලා අතිශය සංකිර්ණ වූත්, විවිධාකාරවූත් ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන උවමනාවට වඩා සරල හා දැඩි ප‍්‍රතිචාරයක් දැක්වීම හරහා අනාගත තොරතුරු සමාජය මොට වීමේ අවදානම ද තිබෙනවා.

අත්ත බිෙඳයි – පය බුරුලෙන්…..

http://www.wimalonline.com/srilankancomics/index.html ද බලන්න

සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකි ද?

I’ve been writing op-ed essays in newspapers for a decade, and features for a quarter century in mainstream, broadsheet newspapers. Do they make a difference? I often ask that myself. There are no easy ways to measure the influence or impact of what we write — except when a reader tells me how a particular piece changed his/her mind. It’s always good to have such feedback, but most people don’t reach out even when they like what they read.

In this week’s Ravaya column (in Sinhala), I ask the big question: can an op-ed article in a newspaper make a difference? I cite four specific instances where they did — leading to the founding of WWF, Amnesty International, Sri Lanka Eye Donation Society and the Suriya Mal Movement in Sri Lanka that was a peaceful defiance of British rule in early 20th century Ceylon.

AI, WWF and Sri Lanka Eye Donation Society logos: each organisation started with a newspaper op-ed

‘පත්තරවලට ලියන්න ලැජ්ජා නැද්ද?’

මීට වසර කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මට යොමු කළේ ව්‍යාපාර කළමණාකාරීත්ව ක්‍ෂෙත‍්‍රයේ ඉහළට උගත්, රටේ සිදු වන දේ ගැන අවධියෙන් සිටින තරුණ වෘත්තිකයෙක්. ඇතැම් දෙනා මෙන් ඔහු සාවඥව කථා කරන්නකු ද නොවෙයි.

ඔහුට සැබැවින් ම ප‍්‍රශ්නයක් වී තිබුණේ මගේ නමින් ඉංග‍්‍රීසි හා සිංහල පුවත්පත්වලට ලිවීම මා දිගින් දිගට කරන්නේ ඇයි ද යන්නයි. මෙරට ජනමාධ්‍ය කලාව හා කර්මාන්තය ගැන පාඨකයකු හැටියට පමණක් හදුනන ඔහුගේ අවංක ආකල්පය වූයේ විසමතා රැසක් කැටි කර ගත් මේ ක්‍ෂෙත‍්‍රයේ සිය ආත්ම ගරුත්වය හා විශ්වාසනීයත්වය ගැන තකන කිසිවකුත් තව දුරටත් නොසිටිය යුතු බවයි.

වසර 25ක් තිස්සේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ විවිධාකාරයෙන් නියැලී සිටින මගේ මනසේ ද විටින් විට මතුවන ප‍්‍රශ්නයක් නම් මේ අප ලියන දෙයින් ජන සමාජයට හා පොදු උන්නතියට දායකත්වයක් ලැබේ ද යන්නයි.

හැම පුවත්පත් ලිපියක් ම එක හා සමාන වැදගත් වන්නේ නැහැ. ඇති කරන කෙටි කාලීන හා දිගු කාලීන සමාජයීය බලපෑම් ද වෙනස්. පුවත්පත් හා සගරාවල පළ වන ලිපි අති බහුතරයක් ඒ මොහොතේ කියවා පසෙක තබන නමුත් ඉඳහිට කලක් පවතින සමාජයීය වෙනස්කම් හා චින්තන විප්ලවයන් කරන්නට ලිපියක් සමත් වනවා. එයට ලේඛකයාගේ කරුණු ගවේෂණය හා ඉදිරිපත් කිරිමේ දක්ෂකම මෙන් ම එය පළ වීමෙන් පසු සමාජය එයට දක්වන ප‍්‍රතිචාරය ද බලපානවා.

අප කථා කරන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකරණය ගැන නොවෙයි. විශේෂාංග ලිපි හා මති මතාන්තර ලිපි ගැනයි. මේවා බොහෝ විට පුවත්පතක මාණ්ඩලික ලේඛකයන් නොව බාහිරව සිටින අය ලියන ඒවායි. පොදු උන්නතියට කැප වු බුද්ධිමතුන් (public intellectuals) සමාජමය වශයෙන් වැදගත් කාලීන මාතෘකා ගැන මහජන හා රජයේ අවධානය යොමු කිරිමටත් මෙබදු ලිපි යොදා ගැනීම ලොව ප‍්‍රචලිත සම්ප‍්‍රදායක්.

පුවත්පතක පළ වූ ලිපි නිසා පැහැදිලි සමාජ ප‍්‍රතිචාරයක් හා ක‍්‍රියාදාමයක් ඇති වූ බවට උදාහරණ හතරක් මට සිහිපත් වනවා.

1960 නොවැම්බර් 13 වනදා බි‍්‍රතාන්‍යයේ The Observer පත‍්‍රයට විද්වත් ලිපියක් ලියමින් ප‍්‍රකට ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ජුලියන් හක්ස්ලි (Julian Huxley) අප‍්‍රිකාවේ වනජීවින් රැක ගැනීමට ජාත්‍යන්තර පෙළ ගැස්මක් අවශ්‍ය බවට ආයාචනයක් කළා. යුනෙස්කෝව වෙනුවෙන් නැගෙනහිර අප‍්‍රිකානු රටවල් 10ක කළ සංචාරයකදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වනාන්තර හා වනජීවීන් මහා පරිමානයෙන් විනාශ වන සැටි තමා දුටු බවත්, මේ ප‍්‍රවණතා දිගට ම පැවතුණොත් දශක කිහිපයක් තුළ සමස්ත අප‍්‍රිකානු වනජීවී සමුහය වඳ වී යනු ඇත බවටත් ඔහු අනතුරු ඇගවූවා. වනාන්තර හා තණබිම් මිනිස් ජනවාස සඳහා එළි කිරිම. වගා බිම්වල ගවයන් ඇති කිරිම, දඩමස් සදහා වනසතුන් මැරිම, වනාන්තරවලට ගිනි තැබීම ආදි තර්ජන රැසක් ගැන තමා විසින් ම ගත් ජායාරූප ද සමග ඔහු සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කළා.

කොටස් තුනකින් පළ වූ මේ ලිපිය කියැවු වික්ටර් ස්ටෝලන් නම් ව්‍යාපාරිකයා වන ජීවීන් බේරා ගැනීමට අරමුදලක් පිහිටුවිය යුතු බවට හක්ස්ලිට ලියුමක් ලියමින් යෝජනා කළා. තවත් ජීව විද්‍යාඥයක් කිහිප දෙනෙකු ද එකතු කර ගනිමින් ලෝක ව්‍යාප්ත වනජීවි අරමුදල (World Wildlife Fund, WWF) නමින් සංරක්ෂණ සංවිධානයක් බිහි වූයේ ස්ටෝලන්ගේ උනන්දුව හා මුලික පරිත්‍යාග නිසයි. තවත් ධනවත් ව්‍යාපාරිකයන් ගණනාවක් මේ සඳහා පරිත්‍යාග කිරිමට ඔහු කැමති කරවා ගත්තා.

WWF නිල වශයෙන් පිහිටු වනු ලැබුවේ 1961 අපේ‍්‍රල් 29දා. එහි මුල් කාර්යාලය ස්විට්සර්ලන්තයේ මෝර්ජස් නුවර විවෘත කළා. අද වන විට WWF සංවිධානයට ලෝකයේ රටවල් 100ක පැතිරුනු සාමාජිකයන් මිලියන් 5ක් සිටිනවා. එය ලෝකයේ බලගතු සංරක්ෂණ සංවිධානයක්. එහි ලාංජනය වන පැන්ඩා ලකුණු ලොව වඩාත් ම හොදින් හදුනන ප‍්‍රචාරණ සංකේතයක් (Brand).

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රගතශීලි මති මතාන්තරවලට ඉඩ දෙන, වඩාත් ම පාඨක විශ්වාසය දිනු පුවත්පත් ලෙස මතුව ආයේ The Observer පත‍්‍රයයි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත් ලෙහෙසියෙන් ඉඩක් නොදෙන අසම්මත තේමා හා මතවාද සඳහා මේ පත‍්‍රය සිය පිටු විවෘත කළා.

1961 මැයි 28දා The Observer පත‍්‍රයේ විද්වත් ලිපියක් ලියමින් පීටර් බෙනෙන්සන් (Peter Benenson) නම් නීතිඥයා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය (UDHR) 1948දී සම්මත කර ගත්ත ද ලොව බොහෝ රටවල එහි අඩංගු මුලික මානව අයිතීන් කඩ වන බවත්, ඒ ගැන උද්ඝෝෂණය කිරීමට එකමුතුවක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. ඔහු විශේෂ අවධානය යොමු කළේ ප‍්‍රඥප්තියේ 18 වන වගන්තිය (චින්තන හා මත දැරිමේ නිදහස) හා 19 වන වගන්තිය (අදහස් ප‍්‍රකාශනයේ නිදහස) ගැනයි.

රටේ නීතියට අනුව කිසිදු වරදක් නොකළත් පාලකයන්ට නොරිසි, විරුද්ධ මතයක් දැරීමේ හා ප‍්‍රකාශ කිරීමේ හේතුව නිසා පීඩාවට පත් කොට සිර ගත කරනු ලබන පුද්ගලයන් ‘දේශපාලන සිරකරුවන්’ ලෙස හදුන්වනවා. මෙබදු මතධාරීන් හා ක‍්‍රියාකාරිකයන් වෙනුවෙන් හ`ඩක් නගන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය පිහිටුවීමට මේ ලිපියේ රචකයා මුලික වුණා. එයට නිමිත්ත වුයේ 1961 ඔහු ලියු ලිපියට ලැබුණු පාඨක ප‍්‍රතිචාරයයි. ඒ ලිපිය පළ වී සති කිහිපයක් තුළ ලන්ඩන් නුවර සුළුවෙන් ඇරුඹුණු ඇම්නෙස්ටි සංවිධානයට අද සාමාජිකයන් මිලියන් 3කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

උඋත්‍ මෙන් ම ඇම්නෙස්ටි ද සිය අරමුදල් සම්පාදනය කර ගන්නේ මහජන පරිත්‍යාගවලින්. ලොකු කුඩා ඕනෑ ම ගණනක් පරිත්‍යාග ලෙස ඔවුන් බාර ගන්නවා. ඇම්නෙස්ටියේ ලාංජනය වන්නේ කටු කම්බියකින් වට වූ, දැල්වෙන ඉටිපන්දමක්. අන්ධකාරයට සාප කරනු වෙනුවට පහනක් දල්වන්න යන්න එයින් සංකේතවත් කැරෙනවා. 1977 නොබෙල් සාම ත්‍යාගය ලැබූ මේ ලෝක ව්‍යාප්ත සංවිධානය ඇරඹුණේ පුවත්පත් ලිපියකින්.

ශ‍්‍රී ලංකාවේ ද වසර 180 ක පුවත්පත් ප‍්‍රකාශන ඉතිහාසයක් තිබෙනවා. (මුල් ම ඉංග‍්‍රීසි පුවත්පත් පළ වූයේ 1832දී). මේ ඉතිහාසය තුළ වැදගත්, හරවත් ලිපි රැසක් අපේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි පුවත්පත්වල පළ වී තිබෙනවා. රටට, සමාජයට දිගු කාලීන බලපෑමක් ඇති කළ ලිපිවලට උදාහරණ දෙකක් මට සිහිපත් වනවා.

පළමුවන ලෝක යුද්ධය නිල වශයෙන් හමාර වූ දිනය ලෙස සැළකෙන්නේ 1918 නොවැම්බර් 11දායි. එදා පටන් හැම වසරක ම නොවැම්බර් 11දා යුද්ධ සමරණ දිනය ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට නතුව තිබූ හැම රටක ම සැමරීම කැරුණා. යුද්ධයට ගොස් පැමිණි හමුදා සෙබළුන්ට හා ඔවුන්ගේ පවුල්වලට අනුග‍්‍රහය දැක්වීමට පොපි මල් විකුණා මුදල් එකතු කිරිම සම්ප‍්‍රදායක් වුණා.

සැතපුම් දහස් ගණනක් දුරු රටක විශ‍්‍රාමික හමුදා සෙබළුන්ට ආධාර එකතු කිරිමට වඩා ලංකාවේ දුගී දුප්පත් මිනිසුන්ට උපකාර කිරිම වඩාත් වැදගත් හා හදිසි අවශ්‍යතාවයක් යයි විකල්ප මතයක් 1933 නොවැම්බරයේ Ceylon Daily News පත‍්‍රයේ ලිපියක් හරහා මතු වුණා. එය ලියා තිබුණේ ඊට වසර තුනකට පෙර ලංකාවේ ඉගැන්වීමට පැමිණි ඩොරීන් යංග් (Doreen Young)නම් බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක් විසින්. (ඇය පසුව වාමාංශික දේශපාලන නායක ආචාර්ය එස්. ඒ. වික‍්‍රමසිංහ සමග විවාහ වුණා).

මේ ලිපිය එවකට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ දැඩි නොසතුටට හේතු වුවත් රැඩිකල්වාදී හා නිදහස් මතධාරි ලාංකිකයන්ගේ ප‍්‍රශංසාවට ලක් වුණා. පොපි මල් වෙනුවට සුරිය මල් අලෙවි කරමින් මෙරට අවශ්‍යතා සඳහා මුදල් එකතු කිරිමේ සුරියමල් ව්‍යාපාරය ඒ වන විටත් යුද්ධයේ සේවය කළ ලාංකික හමුදා භටයන් කිහිප දෙනෙකු විසින් සුළුවෙන් අරඹා තිබුණා. එය වඩාත් පණ ගැන්වී, දේශපාලන මුහුණුවරක් ද සහිතව පෙරට ආවේ මේ ලිපිය පළවීමෙන් අනතුරුව හට ගත් ආන්දෝලනය නිසා බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා.

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘මළ නෙතට පණ’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුට සිටි හඞ්සන් සිල්වා නම් තරුණයායි. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇතිව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා. එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි.

ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ. 1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිතයක් සොයා ගැනිමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, තම ඇස් මරණින් පසු දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වුයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත්කර දෙන ඇස් දන් දීමේ සත්කාර්යය ඇරඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

මගේ උදාහරණ හතර ම මීට දශක කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපි ගැනයි. ටෙලිවිෂන් නොතිබුණු හා නව මාධ්‍ය බිහි වීමට පෙර පැවති ඒ යුගයේ අද තරම් මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ඒ නිසාදෝ පත්තරයක, සගරාවක හොඳ ලිපියක් පළ වූ විට ඒ ගැන වාද විවාද ඇති වීමට වැඩි ඉඩක් තිබුණා. එමෙන් ම අසම්මත මාතෘතකාවක් ගැන වුවත් තර්කානුකූල ලිපියක් විද්වතුකුගෙන් ලද විට නොබිය එය පළ කිරිමට එකල පුවත්පත් කතුවරුන් හා ප‍්‍රකාශකයන් මැලි වුයේ නැහැ. එය ඞී ආර් විජේවර්ධනගේ සිට ඞී බී ධනපාල දක්වා පැවත ආ ගුණාංගයක්.

අද සමාජ යථාර්ථය හා මාධ්‍ය කර්මාන්තයේ ස්වභාවය සහමුලින් ම වෙනස්. පාඨකයන් සලිත කරවා පොදු උන්නතියට වැදගත් කරුණක් ගැන සමාජය කුළු ගන්වන ලිපි ඉඳහිට තවමත් ලියැවුණත් එයට ප‍්‍රතිචාර දක්වන්නේ කීයෙන් කී දෙනා ද? අපේ පුවත්පත් කලාවේ ස්වර්ණමය යුගය අවසාන ද?

New Media, Old Minds: A Bridge Too Far?

National Media Summit 2012 at University of Kelaniya, 25 May 2012

New Media, Old Minds: A Bridge Too Far?

This was the title of a presentation I made at National Media Summit 2012, at University of Kelaniya, Sri Lanka, this morning. I was asked to talk about New Media and policies for Sri Lanka.

In my audience were academics and researchers on journalism and mass communication drawn from several universities of Sri Lanka. I was told the biennial event is to help frame new research frameworks and projects.

Now, I’m not a researcher in the conventional sense of that term, and am fond of saying I don’t have a single academic bone in my body. Despite this, occasionally, universities and research institutes invite me to join their events as speaker, panelist or moderator.

University of Kelaniya, a state university in Sri Lanka, has the island’s oldest mass communication department, started in the late 1960s.

Perhaps inertia and traditions weigh down such places — while I had a patient hearing, I found our ensuing discussion disappointing. The historical analogies, policy dilemmas and coping strategies I touched on in my presentation didn’t get much comment or questions.

Instead, rather predictably, the ill-moderated discussion meandered on about the adverse social and cultural impacts of Internet and mobile phones and the need to ‘control’ everything in the public interest (where have I heard that before?).

And much time was wasted on debating on what exactly was new media and how to define and categorise it (I’d argued: it all depends on who answers the question!).

Part of the confusion arose from many conflating private, closed communications online (e.g. Facebook) with the open, more public interest online content (e.g. news websites). Similarly, the critical need for common technical standards (to ensure inter-operability) was mistaken by some as the need for dull and dreary orthodoxy in content!

Concepts like Citizen Journalism, user-generated content, privacy, right to information were all bandied around — but without clarity, focus or depth. Admittedly we couldn’t cover everything under the Sun. But we didn’t even discuss what options and choices policy makers have when confronted with rapidly evolving new media types.

Half anticipating this, I had included a line in my talk that said: “Academics must research, analyse & advise (policy makers). But are Lankan academics thought-leaders in ICT?

I was being a polite guest by not explicitly answering my own question (but as a helpful hint, I mentioned dinosaurs a few times!). In the end, my audience provided a clear (and sadly, negative) answer: far from being path-finders or thought-leaders, they are mostly laggards who don’t even realise how much they have to catch up!

And some of them are framing Lankan media policy and/or advising government on information society issues. HELP!

Don’t take my word for it. Just try to find ANY online mention of National Media Summit 2012 that just ended a few hour ago. Google indexes content pretty fast these days — but there is NONE that I can find on Google as May 25 draws to an end (except my own PPT on SlideShare!).

Or try accessing the Mass Communication Dept at University of Kelaniya. For the past few weeks and even now, it remains inaccessible while the rest of that university website works.

New Media, Old Minds: A Bridge Too Far? YES, for now, it does seem that way…

සිවුමංසල කොලූගැටයා #66: රේඩියෝවෙන් ‘අපේකරණය’ කළ ක‍්‍රිකට් ක‍්‍රීඩාව

Four years ago, I wrote in a book review: “Here we have, straight from the original source, the story of how cricket became the de facto national past-time, if not our national addiction or religion! Like it or hate it, cricket is an integral part of our popular culture. Radio (and later TV) cricket commentaries take much of the credit (or blame, in some people’s view) for building up this uncommon fervour that occasionally unites our otherwise utterly and bitterly divided nation.”

In this week’s Ravaya column (in Sinhala), I dip into broadcasting history of Ceylon/Sri Lanka to find out more about the origins of live cricket commentaries in Sinhala. A principal source is the book I reviewed in 2008 soon after it came out: Palitha Perera Samaga Sajeeva Lesin (Live with Palitha Perera).

I refer to the pioneers of Sinhala cricket broadcasting over radio: Karunaratne Abeysekera and Palitha Perera. The duo drew guidance from their seniors like D M Colombage and H M Gunasekera.

Palitha Perera, who did the first ball-by-ball cricket commentary in Sinhala in March 1963, is still engaged in this enthralling practice nearly half a century later. He is now one of the three seniormost cricket commentators in the world with the longest track record.

L to R – H M Gunasekera, Palitha Perera, Karunaratne Abeysekera

කෘතහස්ත නිවේදක, මාධ්‍යවේදී හා මාධ්‍ය පරිපාලක එච්. එම්. ගුණසේකර සූරීන් අප අතරින් වියෝ වී දස වසක් පිරෙන්නේ මැයි 11 වනදාටයි. රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය දෙකෙහි ම හපන්කම් කළ ඔහු, අපට ගැලපෙන විද්යුත් මාධ්‍ය කලාවක් බිහි කරන්නට විශාල මෙහෙවරක් ඉටු කළා. ඔහු ගැන ගුණ සැමරුමක් වෙනුවට ඔහුත් යම් තරමකට සම්බන්ධ වූ මෙරට විද්යුත් මාධ්‍ය කලාවේ ජයග‍්‍රහණයක් ගැන අද මා විග‍්‍රහ කරනවා. ඒ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දේශීයකරණය හෙවත් අපේකරණය කරන්නට රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය මුල් වූ කථාවයි.

ජාති, ආගම්, කුල, දේශපාලන පක්‍ෂ හා වෙනත් සාධක නිසා දැඩි ලෙස භේද වූ අපේ රටේ සියළු දෙනා එක්සත් කරන දුර්ලභ පොදු සාධකයක් නම් ක‍්‍රිකට් ක‍්‍රීඩාවයි. එංගලන්තයේ බිහි වී, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් විසින් මෙරටට හදුන්වා දෙනු ලැබ, දශක ගණනාවක් අපේ ඉහළ පැළැන්තියේ අයට සීමා වී තිබූ කි‍්‍රකට්, මුළු රටම ආදරයෙන් වැළඳ ගත්තේ කෙලෙස ද? අපේ දේශීයත්වයට සමීප තවත් ක‍්‍රීඩා තිබුණත් ඒ සියල්ල අභිබවා බාල-මහලූ-නාගරික-ගැමි-දුප්පත්-පොහොසත් හැම දෙනකු ම අතර වඩාත් ජනප‍්‍රිය ක‍්‍රීඩාව හා ජනප‍්‍රිය සංස්කෘතියේ ප‍්‍රබල අංගයක් බවට ක‍්‍රිකට් පත් වූයේ කෙසේ ද?

එය අහම්බෙන් සිදු වූවක් නොවෙයි. නිල බලයෙන් දියත් කළ මහ ව්‍යාපෘතියක් ද නොවෙයි. එයට බොහෝ කොට ම හේතු වූයේ රේඩියෝ මාධ්‍යය හරහා සිංහලෙන් ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයයි. මේ සංස්කෘතික විප්ලවයේ අක්මුල් ගැන මා විපරම් කළා.

සිංහලෙන් ක‍්‍රිකට් තරග පිළිබඳ සාරාංශයන් රේඩියෝවෙන් ඉදිරිපත් කිරීම 1960දී ඇරඹුවේ නිවේදක කරුණාරත්න අබේසේකර විසින්. ඉරිදා දිනවල පස්වරු 5 සිට 6 දක්වා ඔහු ඉදිරිපත් කළ ‘සරස්වතී මණ්ඩපය’ වැඩසටහනෙන් ආනන්ද-නාලන්දා වාර්ෂික ක‍්‍රිකට් තරගයේ අවසන් දිනයේ අන්තිම පැය ආවරණය කළා.

ඔහු එසේ විවර කර දුන් මගෙහි ඉදිරියට ගිය ඊළග පුරෝගාමියා වූයේ 1961-62 වසරවල නාලන්දා පිළට ක‍්‍රීඩා කළ පාලිත පෙරේරායි. 1963 ජනවාරියේ ගුවන් විදුලි සේවයට බැදුණු ඔහු, ඒ වසරේ මාර්තුවේ ආනන්ද-නාලන්දා සමස්ත ක‍්‍රිකට් තරගය ම සජීව රේඩියෝ විස්තර ප‍්‍රචාරයක් කිරීමට යෝජනා කළා. එයට අවසර දුන්නේ එවකට සිංහල අංශයේ කථා සම්පාදක වූ එච්. එම්. ගුණසේකරයි.

පාලිත නාලන්දාවේ ආදි ශිෂ්‍යයකු වූ නිසා (සමබරතාව රැක ගනු පිණිස) ඔහුගේ සහයට කෙනකු ආනන්දයෙන් සොයා ගන්නා ලෙසත් එච්. එම්. පාලිතට කීවා. ඒ අනුව පාලිත පෙරේරාත් ආනන්දයේ එවකට විද්‍යා ගුරුවරයකු වූ රඝුනාත් වීරසූරියත් 1963 මාර්තු පැවති 34 වැනි ආනන්ද නාලන්දා ක‍්‍රිකට් තරගයේ මුල් ඕවරයේ සිට අන්තිම ඕවරය දක්වා සමස්ත ක‍්‍රීඩා තරගය ම සජීව ලෙසින් සිංහලෙන් විස්තර ප‍්‍රචාරය කළා.

කොළඹ බොරැල්ලේ, වනාතමුල්ලේ පිහිටි ඕවල් ක‍්‍රීඩාංගනයේ (දැන් පී. සරවනමුත්තු ක‍්‍රීඩාංගනය) පැවති මේ තරගයේ විස්තර ප‍්‍රචාරය කිරීමේදී තාක්‍ෂණික මෙන් ම භාෂාමය අභියෝගවලට මුහුණ දුන් සැටි පාලිත ලියා තිබෙනවා. මේ ඉතිහාසය අද බොහෝ දෙනා දන්නේ නැති බවත්, දැන ගත්ත ද වැරදි අර්ථකථන නිසා ඒ දැනුම විකෘති වී ඇති බවත් පාලිත කියනවා.

කරුණාරත්න අබේසේකර 1960දී සංක්ෂිප්ත විස්තර ප‍්‍රචාර සිංහලෙන් අරඹන විට ඒ සඳහා ඔහුගේ රේඩියෝ ගුරුවරයා වූ ඞී. එම්. කොළඹගේ සූරීන්ගේ උපදෙස් ලද බව කරුගේ පුතු දිලීප අබේසේකර කියනවා. එල්ලේ ක‍්‍රීඩාවේ හමුවන පිත්ත, පන්දුව, කඩුල්ල වැනි වචන එලෙසින් ම ක‍්‍රිකට් සඳහා ද යොදා ගත් අතර වෙනත් යෙදුම් අවශ්‍යතාවයේ හැටියට සැනෙකින් සකසා ගනු ලැබුවා.

Live with Palitha Perera
Live with Palitha Perera

“පාලිත පෙරේරා සමග සජීව ලෙසින්” නමින් පාලිත 2008දී ලියූ පොතෙහි ඇති ආවර්ජනය තරමක් වෙනස්. සිය රේඩියෝ ජීවිතයේ මුල්ගුරු ලෙස ගෞරවපූර්වකව සළකන්නේ කරුණාරත්න අබේසේකරයන් බව හෘදයංගම ලෙස සඳහන් කරමින් පාලිත කියන්නේ සිංහලෙන් ක‍්‍රිකට් සන්නිවේදනයට අවශ්‍ය වූ වචන කෝෂය හා යෙදුම් වැඩිපුර ම නිර්මාණය වූයේ තමන් අතින් බවයි. එහෙත් භාෂා හා මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර දෙකේ දැවැන්තයන්ගේ උරහිස සිට වැඩි දුරක් දැකීමට හැකි වූ බව පාලිත නිහතමානීව පිලි ගන්නවා.

මුල් වසර කිහිපයේ පාලිත උපයෝගී කර ගත්තේ ක‍්‍රිකට් මූලධර්ම හා දර්ශනයට අනුකූල වූත්, සිංහල ශ‍්‍රාවකයන්ගේ දෙසවනට ගෝචර වූත් වචන හා යෙදුම් මාලාවක්. විජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩාව අපේකරණයට මෙසේ උචිත වදන් පෙළක් බිහිකර ගැනීම තීරණාත්මක වූවා.

එහෙත් සිංහල පණ්ඩිතයන්ට මේ තරුණ නිවේදකයාගේ නව්‍යකරණය නොසෑහෙන්නට ඇති. ඒ නිසාදෝ ලංකා ගුවන්විදුලියේ (Radio Ceylon) අධ්‍යක්‍ෂ පාලිතට කියා සිටියා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවෙන් සකසන ලද පාරිභාෂික ක‍්‍රිකට් වචන ලැයිස්තුවක් භාවිත කරන ලෙස. මේ අනුව පාලිත ඊළග ආනන්ද-නාලන්දා තරගයේදී මේ වචන යොදා විස්තර ප‍්‍රචාරය ඇරඹුවා.

ඒ යුගයේ ඕවල් ක‍්‍රීඩාංගනයේ වටේ ඇති මණ්ඩපවල කණුවල ලවුඞ්ස්පීකර් සවි කර විස්තර ප‍්‍රචාර එවේලේ ම එතැන සිටි සැමට සවන්දීමේ අවස්ථාව ලබා දී තිබුණා. Slips ක‍්‍රීඩකයන්ට සිංහල පණ්ඩිතයන් දී තිබූ යෙදුම “ලූහුට්ටා”. මේ අනුව පාලිතට කියන්නට සිදු වූයේ මෙවැනි විස්තර ප‍්‍රචාරයක්: “වැට රකින්නා ළගින් ම ලූහුට්ටන් පේලියක් ඉන්නවා. පළමුවැනි ලූහුට්ටා, දෙවැනි ලූහුට්ටා, තුන්වැනි ලූහුට්ටා….. දැන් මෙන්න ලූහුට්ටන් අතරින් පන්දුව ලූහුටලා හතරේ සීමාවට යනවා…!”

ටික වේලාවකින් කාර්මික නිලධාරී එඞ්මන්ඞ් තිලකරත්න පැමිණ පාලිතට මෙහෙම කිව්වා: “පාලිත මොනවද ඔය කියවන්නේ? අර පැවිලියන් එකේ ඉන්න මිනිස්සු එක දිගට හූ කියනවා ඕක අහලා!”

සජීව ප‍්‍රචරයේ රැදී සිටින අතර ගුවන්විදුලි අධිකාරීන්ට දන්වා උපදෙස් ගන්නැයි පාලිත ඔහුට කීවා. පාරිභාෂික වචන ලැයිස්තුව වහා නතර කිරීමට අනුමැතිය ලැබුණා. එදා මේ රටේ කි‍්‍රකට් ලෝලීන් හූ කිව්වේ පාලිතට නොවේ, අයෝග්‍ය වදන් පෙළක් බලෙන් සිංහල ශ‍්‍රාවකයන් මත පටවන්නට තැනූ සිංහල බක පණ්ඩිතයන්ටයි!

ඉනික්බිති සිදු වූ දෙය යළිත් පාලිතගේ ම වචනවලින්: “එහෙත් වැරැදීම් හා ප‍්‍රයර්ථන මගින් මා විසින් ම සකසා ගන්නා ලද ක‍්‍රිකට් ක‍්‍රීඩා විස්තර ප‍්‍රකාශයට ඇවැසි පාරිභාෂික වචන කෝෂය හා විස්තර යෙදුම් දිගට ම භාවිතයට ගත්තෙමි. හැත්තෑවේ දශකය පටන් ගන්නා විට එය රට ම පිළිගන්නා තරමට රටේ ව්‍යාප්ත වී තිබුණි. ඔප මට්ටම් කොට සාදා නිමවා තිබූ මෙම වචන කෝෂය ඊට පසු ආ මාධ්‍ය පරිහරනය කරන්නන් විසින් ලෙහෙසියෙන් ම භාවිතයට ගනු ලැබිණ.”

‘නොඉඳුල් ඕවරය’ යන්න කරු යෝජිත සිංහල වචනයක් වන අතර, ‘තණතිල්ල’ හා ‘නිලකුණු ඕවරය’ මහාචාර්ය විනී විතාරණ සූරින්ගේ නිමැවුම් බව පාලිත කියනවා. “දැවී යාම හදපු හැටි මටවත් මතක නැහැ. නමුත් දැන් එය ඉතා සමීප ලෙසින් සමාජගත වෙලා”, පාලිත මෑතදී මා සමග කීවා.

“අද ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත යන සියළු මාධ්‍යයන් ක‍්‍රිකට් ක‍්‍රීඩාව අරභයා භාවිතා කරන ක‍්‍රිකට් වචන කෝසයේ 95%ක නිර්මාණකරු මම වෙමි. මේ රටේ ක‍්‍රිකට් සිංහල සන්නිවේදන සාහිත්‍යයක් බිහි වීම සඳහා මගෙන් කෙරුණු මේ දායාදය පිළිබඳව කවුරුත් හෝ පිළිගැනිමක් හෝ සඳහනක් හෝ නොදැක්වීම කණගාටුවට කරුණකි,” යයි පාලිත සිය පොතේ ලියා තිබෙනවා (182-3 පිටු).

1963 මුල් ම සජීව සිංහල ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරයට යොදාගත් විස්තර විචාරක අට්ටාලය ගැනත් කථාවක් තිබෙනවා. ලංකා ගුවන්විදුලියට එවකට තිබූ එක ම ඇලූමීනියම් අට්ටාලය (gentry) ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රකාශකයන් දෙදෙනාට වෙන් වුණා. එක අට්ටාලයේ සිට එකවර භාෂා දෙකකින් රේඩියෝ ප‍්‍රචාරයක් කළ නොහැකි නිසා අඹ ලී භාවිත කරමින් අඩි 5ක් පමණ උස කුඩා වේදිකාවක් තනා එය සිංහල විස්තර ප‍්‍රකාශකයන්ට දුන්නා. ඒ මත වරකට එක් අයෙකුට පමණක් පුටුවක් තබා හිඳ ගැනීමට ඉඩ තිබුණු අතර, හිසට උඩින් කිසිදු ආවරණයක් තිබී නැහැ.

Cricket in Sri Lanka – More than a game

මුල් විස්තර ප‍්‍රචාර සිංහලෙන් කළේ එක් අතකින් මයික‍්‍රෆෝනයත් අනෙක් අතින් කුඩයකුත් අල්ලා ගෙනයි! වසර කිහිපයක් සිංහල විස්තර ප‍්‍රචාරකයන් මේ තාවකාලික වේදිකාවට සීමා වූ අතර ඔවුන්ට ඇලූමීනියම් අට්ටාලය හිමි වූයේ 1968දී පමණ. ඒ වන විට සිංහල විස්තර ප‍්‍රචාර වඩාත් ජනප‍්‍රිය වී තිබුණා.

1963න් ඇරඹි පන්දුවෙන් පන්දුවට කරන සජිව ක‍්‍රීකට් විස්තර ප‍්‍රචාර ඉන් පසු සෑම වසරක ම ප‍්‍රධාන පාසල් ක‍්‍රිකට් තරග සඳහාත්, විටින් විට විදේශ ක‍්‍රිකට් කණ්ඩායම් මෙරටදී ශ‍්‍රි ලංකා පිල සමග තරග කරන විටදීත් ලබා දීමට පාලිත මුල් වුණා. ඒ සඳහා සහාය විස්තර ප‍්‍රචාරකයන් ලෙස තිලක සුදර්මන්ද සිල්වා, අමරබන්දු රූපසිංහ, මයිකල් කරුණාතිලක හා සිරිසෝම ජයසිංහ ආදීන් ද හවුල් කර ගත්තා.

1970 වන විට ඉංග‍්‍රීසි විස්තර ප‍්‍රචාර අභිබවා සිංහල විස්තර ප‍්‍රචාර බෙහෙවින් ජනප‍්‍රිය වුණා. 1971 කැරැුල්ලෙන් පසු රාජකීය-සාන්ත තෝමස් කි‍්‍රකට් තරගයට ද සිංහල විස්තර ප‍්‍රචාරයක් අවශ්‍ය වුණා. මේ අනුව 1972දී එම තරගයේ විස්තර ප‍්‍රචාරයට පෙමසර ඈපාසිංහ ද හවුල් කර ගත්තේ පාලිත විසින්. සුප‍්‍රකට ‘පාලිත-ඈපා සුසංයෝගය’ ඇරඹුණේ තැන් සිටයි.

ක‍්‍රිකට් ගමට ගොස් එය මුළු රටේ ජනප‍්‍රියවීමට තීරණාත්මක ලෙස හේතු වූයේ කරු හා පාලිත අරඹා, පසුව ඈපා ද සමග පෙරට ගෙන ගිය සුමට හා හුරුබුහුටි ශෛලිය බවට විවාදයක් නැහැ. අද ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ වැජඹෙන සැවොම පාලිත හා ඈපා උගුරේ කෙළ ලේ රහ මතු වන තුරු කළ උදයෝගශීලී විස්තර ප‍්‍රචාරයන්ට ණය ගැතියි!

ශ‍්‍රි ලංකාව ටෙස්ට් ක‍්‍රිකට් වරම් ලබා 1982 පෙබරවාරියේ කොළඹ දී එංගලන්ත පිළට එරෙහිව කළ මංගල ටෙස්ට් තරගය එවකට අලූත් රූපවාහිනී සංස්ථාව හරහා මෙරට පේ‍්‍රකෂකයන්ට ගෙන ඒමේදී ප‍්‍රධාන විස්තර ප‍්‍රචාරකයා වුයේත් පාලිත පෙරේරායි. පාලිත-ඈපා සුසංයෝගය එසේ රේඩියෝවෙන් ටෙලිවිෂනයට ද සංක‍්‍රමණය වුණා.

මාධ්‍යය ක්ෂේත‍්‍රයේ ඇතැම් නොකටයුතුකම්වලට එරෙහිව දැඩි ප‍්‍රතිපත්තිමය ස්ථාවරයක සිටීම නිසා විස්තර ප‍්‍රචාරවලින් පාලිත ඉවත් කළ අවස්ථා ද තිබෙනවා. ක‍්‍රීඩාගාරයක් අසලටවත් නොගොස්, තරගයක ටෙලිවිෂන් විකාශයක් බලමින් එය රේඩියෝවෙන් විස්තර කථනය කිරිම ඔහු එසේ ප‍්‍රතික්ෂේප කළ එක් අහිතකර ප‍්‍රවණතාවක්. එහෙත් ඇතැම් රේඩියෝ විස්තර ප‍්‍රචාර දැන් සිදු වන්නේ මේ අයුරින්.

ඇතැම් වැරදි සහගත සිංහල යෙදුම් ක‍්‍රිකට් වචන කෝෂයට කොහේදෝ සිට එක් වී දැන් මුල බැස ගෙන තිබෙනවා. හොඳ උදාහරණයක් නම් ‘තුන් ඉරියව්ව’යි. ඉංග‍්‍රිසියෙන් all-rounder යන්නට නිවැරදි සිංහල යෙදුම ‘සියලූ අංශවල දස්කම් පාන්නා’ වුවත් වැරදි යෙදුම තවමත් පුළුල්ව භාවිත වනවා.

ක‍්‍රිකට් අපේකරණයට දායක වූ පුරෝගාමී මාධ්‍ය චරිත ගැන මීට වඩා දැනුවත්කමක්, කෘතඥපූර්වක බවක් තිබිය යුතුයි. අද දැවැන්ත ව්‍යාපාරික මට්ටමට පත්ව ඇති ලාංකික ක‍්‍රිකට් ක‍්‍රීඩාව එතැනට ආවේ ක‍්‍රීඩකයන්, පුහුණුකරුවන් හා ක‍්‍රීඩා ලෝලීන්ගේ උනන්දුව හා කැපවීම මෙන් ම ක‍්‍රිකට් විස්තර ප‍්‍රචාරකයන්ගේ උද්‍යොගය හා දායකත්වය නිසා ද බව කිව යුතුයි.

See also:

Palitha Perera: The man who refused to be His Master’s Voice

The Island, 8 Oct 2009: Palitha Perera: ‘Singhalising’ Colonial Cricket

සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

A message from your friendly producers…?

Please turn off your brain cells!

Is this the message that should be displayed at the entrance of some media and public institutions in Sri Lanka? In this latest Sunday column, appearing in Ravaya newspaper of 29 January 2012, I make a tongue-in-cheek suggestion for doing so. This is entirely justified given how much of superstition, half-baked stories and mind-rotting nonsense that a gullible public seems to lap up with little critical examination.

This week I continue what I started last week discussing challenges faced by rationalists in today’s Sri Lanka, a land under siege by dogma, charlatans and religious fanatics all of who operate with impunity, claiming ‘sacred cow’ status under various labels of religion, indigenous knowledge or national heritage.

Once again I pay tribute to the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. Kovoor’s successors today have more communications tools and platforms than ever before, but find that charlatans have mastered many of them for hoodwinking the public…

Media publishers and broadcasters turn a blind eye to such practices as these represent a steady income source. I touched on this aspect in a blog post in Nov 2008: Meet the new Pied Pipers of our Global Village: the Media!

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

“ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය/නිහඩ කරන්න!”

මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැම තැනක ම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළු වන දොරටුවේ මෙබදු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතු යයි මා සිතනවා: “ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!”

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944 – 2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකිය හැකි, එහෙත් විවෘතව සාකච්ඡ නොකැරෙන පැතිකඩක් නිසායි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැයි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍ර‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලි ලෙස සාකච්ඡුා කිරීමයි. එබඳු අවස්ථාවල ආධානග‍්‍රාහය (dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක් වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලි සාකච්ඡවට විවෘත විය යුතු බව හේතුවාදීන්ගේ තර්කයයි.

හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

සරල උදාහරණයක් ගනිමු. ආවේශ වූ කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වනවා. 2010දී ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂෙප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එය චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත් කියා සිටි ඔහු කියා සිටියා.

‘කනප්පුවකට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්‍ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නේ’ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක් ද කළා.

මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොවූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (fraud-proof), විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (foolproof) විධියට ඕනෑ ම අද්භුත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩ දෙන්නේ නම් එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963දී නිකුත් කළ අභියෝගය, 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ!

කොවූර් හා කාලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනමට ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. “ඕනෑ ම කෙනෙකුට තනිව ඕනෑ ම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සළකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි!”

එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළ කරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මහජන උන්නතිය සඳහා කැප වීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලකයින් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම් ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවා පෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත්, එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා.

“හේතුවාදී විමර්ශන” නමැති කාලීන සංවාද රැගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කර ගෙන යාමේදි මතු වන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලිව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කර ගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. බහුතරයක් උගතුන් නිහඩව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම ඉහළ ම ඉල්ලූමට අලෙවි කරනවා.

ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබා ගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසු කලෙක තම උගත්කමට අදාළ නොවු අද්භුත ක්‍ෂෙත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.

වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්‍ෂෙත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්‍ෂෙත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා.) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබා ගෙන, අද්භුතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපණය කරන මේ “බුද්ධිමතුන්” ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.

“මේ වැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමඟ යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!” ඔහු අනතුරු ඇඟවුවා.

ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundviews.org මාධ්‍ය වෙඞ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා. දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලී ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව ඇති පිරිස අපේ සමාජයේ සීමිත බවයි.

මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළ වන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගා කරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. “ජ්‍යෙතිෂවේදීන්, වාජීකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය ස`දහා වන අනේකවිධ දැන්වීම්, සම්බාහන සේවා ගැන කෙලවරක් නැතිව ලියන විශේෂාංග හා කලාව ගැන මෙලෝ හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි,” යයි ඔහු කියනවා.

ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමග මා එකග වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි. විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළ කිරීමට නිදහස තිබෙනවා.

පැහැබර හෙට දවසක් උදා කර දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබදු ම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා, ජ්‍යෙතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලීව විමසන්නේ නැහැ. මේ ඇයි?

මාධ්‍ය ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා මතවාදයන් තෝරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්‍ෂරතාවය කියනවා (Media Literacy). අද අකුරු සාක්‍ෂරතාවයටත් වඩා වැදගත් වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම වංචනිකයන්ට ද හැකි වී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයන් දෙන බවට පොරොන්දු වෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබා ගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්‍ෂම ලෙස යොදා ගත්තා.

මෙබදු සමාජයක විචාරශීලීව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්නතිය අගයන සැවො ම කළ යුතු දෙයක්.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

Assorted charlatans and religious zealots across the island of Sri Lanka must have heaved a collective sigh of relief when they heard that Dharmapala Senaratne was no more. He had made it his business to make life difficult for those preying on the gullible public. Dharmapala was President of the Sri Lanka Rationalist Association (SLRA), a small group of earnestly sceptical enquirers who won’t take anyone’s word about anything. They want to investigate and debate.

The voluntary group was originally set up in 1960 by the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. He found adequate physical or psychological explanations for almost all of them. In that process, he exposed many so-called ‘god men’ and black magicians who thrive on people’s misery and superstitions.

My column (in Sinhala) for Ravaya newspaper on 22 Jan 2012 is an exploration of the many challenges that rationalists and free thinkers face in today’s Sri Lanka. It’s also a critique of our mainstream media, where space/time for open discussion and debate today is LESS than what it was a generation ago — despite the channel explosion and proliferation of print publications.

I have covered the same ground in an English op ed essay published on Groundviews on 13 Jan 2012, titled Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි!

අපේ සමාජයේ කී දෙනෙකු මේ වටිනා උපදේශය අනුගමනය කරනවා ද? කටකථා හා ප‍්‍රලාපවලට රැවටෙන, අන්ධ විශ්වාසවල එල්බ ගෙන සිටින හා ප‍්‍රතිරූප වන්දනාවේ යෙදෙන අය බහුල වත්මන් ලක් සමාජයේ, විවෘත මනසකින් යුතුව විචාරශීලිව කටයුතු කිරීම අසීරු කාරියක්. නිදහස් මතධාරියා සැක කටයුතු පුද්ගලයෙකු ලෙස හංවඩු ගැසීමේ අවදානමක් ද තිබෙනවා.

මේ අභියෝග මැද්දෙන් නොසැලී, නොබියව අඩ සියවසකට වැඩි කාලයක් කටයුතු කර ඇති ප‍්‍රතිපත්තිගරුක කණ්ඩායමක් නම් ශ‍්‍රී ලංකා හේතුවාදී සංගමයයි. 2005 සිට එහි සභාපති ලෙස කටයුතු කළ නීතිඥ ධර්මපාල සේනාරත්න 2011 දෙසැම්බර් අගදී මිය ගියා. ඔහුගේ වියෝව නිමිත කර ගෙන හේතුවාදීන්ගේ වත්මන් භූමිකාව හා දායකත්වය ගැන අද ටිකක් කථා කරමු.

නිර්දේශපාලනීය, නිර්ආගමික හා වෙනත් කිසිදු ලේබලයකින් තොර වූ හේතුවාදී සංගමය (Sri Lanka Rationalists Association) ආරම්භ කළේ ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) විසින්. හේතුවාදීන් අද දක්වා පවත්වා ගෙන එන්නේ අඩ සියවසකට පෙර කොවූර් දැල් වූ විචාරශීලි ගවේෂණයේ පහන් සිළුවයි. එහෙත් අද පවතින අන්ධකාරයට හා සැඩ සුළංවලට එරෙහිව මේ පහන් සිළුව ප‍්‍රමාණවත් ද?

හේතුවාදීන් යනු ඉන්ද්‍රීය ගෝචර ප‍්‍රත්‍යක්‍ෂයන් (facts) හා නිරීක්‍ෂණ (observations) සැලකිල්ලට ගනිමින්, මේ සාධක තර්කානුකූලව ගොනු කරන පිරිසක්. ඔවුන් ඇදහිලි හා විශ්වාස මත එල්බ ගන්නේ නැහැ. හැම දෙයක් ම ප‍්‍රශ්න කරනවා. මේ විචාරශීලි බව වත්මන් සංකීර්ණ සමාජයේ යහතින් ජීවත්වීමට අත්‍යවශ්‍ය කුසලතාවක් (survival skill).

ඉන්දියාවේ කේරල ප‍්‍රාන්තයේ උපත ලබා, කල්කටාවෙන් විද්‍යා අධ්‍යාපනය ලැබු කොවූර් 1950 දශකයේ ශ‍්‍රී ලංකාවට ආවේ විද්‍යා ගුරුවරයෙකු ලෙස. තර්ස්ටන් විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා ලෙස 1959දී විශ‍්‍රාම ලැබූ ඔහු, ස්ථිර පදිංචියට ශ‍්‍රී ලංකාව තෝරා ගත්තා. ඔහු ප‍්‍රකට වූයේ විශ‍්‍රාම ගැනීමෙන් පසු වඩාත් සක‍්‍රිය ලෙස නියැළුණු හේතුවාදී විමර්ශන කටයුතු නිසායි. භූතයන්, හොල්මන්, ආවේශ වීම් ඇතුළු අද්භුත හෝ අසාමාන්‍ය යැයි පිළිගැනෙන සිදුවීම් හා සම්ප‍්‍රදායන් රාශියක් ඔහුගේ විමර්ශනයට ලක් වුණා. තර්කානුකූලව, ගවේෂණාත්මකව විග‍්‍රහ කරන විට මේවා සියල්ල ම පාහේ භෞතික ලෝකයේ විද්‍යාත්මක සංකල්පවලින් හෝ මනෝවිද්‍යාත්මක හේතු මගින් හෝ පහදා දීමට ඔහු සමත් වුණා.

‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්’’ යැයි කොවූර් එදා කී දේ අදටත් හරියට ම ගැලපෙනවා.

කොවූර්ගේ හපන්කම් ගැන අපේ පාඨකයන් බොහෝ දෙනෙකු අසා, කියවා තිබෙනවා. ඒ නිසා එය පුන පුනා කීමට අවශ්‍ය නැහැ. කොවූර් 1978දී මිය යන විට මගේ වයස අවුරුදු 12යි. ඒ නිසා කොවූර් ජීවමානව දැක අසා ගන්නට හෝ මුණගැසෙන්නට හෝ මට අවස්ථාවක් ලැබුණේ නැහැ. එහෙත් ඔහුගේ සමකාලීනයන්ට අනුව කොවූර් කිසි දෙයකින් නොසැළුණු, දැඩි අධිෂ්ඨානයක් හා තියුණු බුද්ධියකින් හෙබි කෙනෙක්. උපන් රටින් තවත් රටකට සංක‍්‍රමණය වී, අළුත් රටේ ජන සමාජයට බද්ධ වී එහි ජන විඥානයට ධනාත්මකව දායකවීම පහසු කාරියක් නොවෙයි.

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සඳහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970 දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ දෙවැනි ගණයේ චරිත අතර පසු කලෙක ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත් තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ මේ 1960-1970 යුගයේයි.

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50 කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා. කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි.

කොවුර්ගේ අභාවයෙන් පසු හේතුවාදී සංගමයට තවත් වසර කිහිපයක් නායකත්වය දුන්නේ නීතිඥයකු හා ඉංග‍්‍රීසි කවියකු ලෙස ප‍්‍රකටව සිටි මර්වින් කාසි චෙට්ටියි. එහෙත් කොවුර්ගේ යුගයේ තිබූ ක‍්‍රියාකාරීත්වය දිගට ම පවත්වා ගැනීම අභියෝගයක් වුණා. වසර ගණනාවක් අකර්මණ්‍යව තිබූ හේතුවාදී සංගමය නැවත ප‍්‍රාණවත් කරනු ලැබුවේ 2005දී. එයට හවුල් වූ ධර්මපාල සේනාරත්න එහි සභාපති හැටියට පත් වී, මිය යන තුරු ම නායකත්වය ලබා දුන්නා.

2005දී හේතුවාදී සංගමය යළි පණ ගන්වන විට ලක් සමාජය ප‍්‍රබල ලෙස වෙනස් වී තිබුණා. සංවෘත ව තිබූ ආර්ථිකය 1977දී විවෘත කිරීමෙන් හා 1979දී ටෙලිවිෂන් හදුන්වා දීමෙන් පසු බිහි වූ පළමුවන පරම්පරාව සමාජයේ විවිධ ක්‍ෂෙත‍්‍රවල බලපෑම් කිරීම ඇරැඹි තිබුණා. එමෙන් ම දකුණේ තරුණ අරගල දෙකක් ප‍්‍රචණ්ඩ හිංසනයෙන් හමාර වී, උතුරේ සන්නද්ධ යුද්ධයක් දිගින් දිගට ම දැල්වෙමින් පැවතුණා. ධනවාදී හා සමාජවාදී කඳවුරු දෙකකට බෙදා දශක ගණනක් ගෙන ගිය සීතල යුද්ධය හමාර වුණු ලෝකයක බටහිර සභ්‍යත්වය හා ඉස්ලාම් මූලධර්මවාදය අතර නොනිමෙන ගැටුමක් ඒ වෙනුවට ඉස්මතුව ඇවිත්.

මේ නිසා කොවුර් හා පිරිස 1960-1970 යුගයේ අත් විදි ශ්‍රී ලංකාවට හා ලෝකයට වඩා බෙහෙවින් වෙනස් වූ යථාර්ථයකට ධර්මපාල සේනාරත්නගේ නායකත්වයෙන් යුතු හේතුවාදී සංගමය මුහුණ දුන්නා.

හේතුවාදීන්ගේ සමාජ මෙහෙවර හා නොනිමි අභියෝග ගැන තව බොහෝ දේ කථා කළ හැකියි. මා කොවූර් ඇතුළු පුරෝගාමී හේතුවාදීන් පිරිස දකින්නේ තම කාල වකවානුවේ පැවති සමාජ තත්‍වය හොඳින් ග‍්‍රහණය කර ගෙන තීරණාත්මක සමාජ දායකත්වයක් ලබා දුන් පිරිසක් හැටියටයි. ඔවුන්ගේ මූලධර්ම තවදුරටත් වලංගු නමුත් අද වඩාත් සංකීර්ණ වූත් ඇතැම් සාධකවලින් 1960ට වඩා පසුගාමී වූත් ලක් සමාජයට බලපෑම් කරන්නට නම් හේතුවාදීන් සිය උපක‍්‍රම වෙනස් කළ යුතුයි.

අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවි ද?

ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන අවධානය යොමු වෙයි. ”රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට” චෝදනා එල්ල විය හැකියි. නැතහොත් පුවත්පත් සාකච්ඡවල දී ඔහුට ’ජාතිද්‍රෝහ’, රාජ්‍ය විරෝධි’ ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!

කොවූර් නිතර උපුටා දැක් වූ ප‍්‍රියතම උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

කොවූර් සහ ඔහුගේ හේතුවාදී සහෘදයන්ගේ ක‍්‍රමවේදයත් එයයි.
බහුතර බෞද්ධයන් සිටින මේ රටේ අති බහුතරයක් දෙනා නොකරන්නේත් එයමයි!

සිවුමංසල කොලූගැටයා #46: තොරතුරු ගලනයේ වේලි බිදී යයි!

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS), I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of emerging information societies. It was published in One World South Asia on 5 December 2003.

I adapted into Sinhala parts of that interview for my Ravaya Sunday newspaper column last week (18 Dec 2011),making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet.

For this week’s column, appearing in the print edition for 25 Dec 2011, I have adapted more segments of that interview covering topics such as: violence in society and media’s role; educational potential of television; does satellie TV spread cultural imperialism; and how technology – not politicians or generals – now determine the free flow of information across borders. This cartoon, drawn by David Granlund a year ago, aptly captures that last point!

A welcome dam breach, this one! - cartoon by Dave Granlund

See also my essay of 19 Dec 2010: Living in the Global Glass House: An Open Letter to Sir Arthur C Clarke

ප්‍රබලව මතුව එන තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා. එහි අරමුණ වූයේ අද තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වූ ක්ලාක් එවකට දැකිය හැකි අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ලෝකය සමග ඛෙදා ගැනීමයි.

පසුගිය සතියේ (2011 දෙසැම්බර් 18) ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා. අද එහි ඉතිරි කොටස.

නාලක: භූස්ථාවර කක්ෂයේ (Geostationary orbit) රදවන ලද පණිවුඩ චන්ද්‍රිකා මගින් ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් ඇති කළ හැකි යයි ඔබ මුල් වරට පෙන්වා දී වසර 50ක් ගත වී තිඛෙනවා. මේ අඩ සියවස ගැන ඔබේ අදහස් මොනවා ද?

ක්ලාක්: තාක්ෂණික දියුණුව කෙසේ සිදු වේද යන්නත්, එය කෙතරම් ඉක්මනින් සිදු විය හැකි ද යන්නත් ගැන අනාවැකි කීම ඉතා අපහසුයි. 1945දී මා Wireless World සගරාවේ ලිපිය ලියන කාලයේ සිතුවේ පණිවුඩ චන්ද්‍රිකා සැබැවින් නිර්මාණය වී උඩුගුවනට යන්නට අඩු තරමින් වසර 50ක්වත් ගත වනු ඇති කියායි. එමෙන් ම ඒවා මහා පරිමාණයේ අභ්‍යවකාශ මධ්‍යස්ථාන වේ යයි ද, ඒවා නඩත්තුවට කක්ෂගත වූ කාර්මික පිරිස් සිටිනු ඇතැයි ද මා සිතුවා. එහෙත් (1948 දී නිපද වූ) ට්‍රාන්සිස්ටරය හා 1950 ගණන්වල සිදු වූ ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික නිපදවීම් නිසා 1940 ගණන්වල අප දැන සිටි තාක්ෂණ මට්ටමට වඩා ඛෙහෙවින් සංකීර්ණ, සංයුක්ත හා ස්වයංක්‍රීය වූ චන්ද්‍රිකා නිපදවීමට හැකියාව ලැබුණා. මේ නිසා චන්ද්‍රිකා තාක්ෂණය ලොකු ඉදිරි පිම්මක් පනින්නට සමත් වුණා. මගේ ලිපිය පළ වී වසර 20ක් ගෙවී ගිය තැන – 1965දී – මුල් ම වාණිජමය පණිවුඩ චන්ද්‍රිකාව (Early Bird) උඩුගුවන් ගත කළා. ට්‍රාන්සිස්ටරය නිපදවූයේ නැතිනම් සමහර විට චන්ද්‍රිකා තාක්ෂණය මෙන් ම අභ්‍යවකාශ තරණයේ සෙසු ජයග්‍රහණත් මීට වඩා වෙනස් වන්නට ඉඩ තිබුණා.

පණිවුඩ චන්ද්‍රිකා අධ්‍යාපනික වශයෙන් වැදගත් ටෙලිවිෂන් වැඩසටහන් විකාශය කිරීමට යොදා ගත යුතු බව ඔබ කලක සිට විශ්වාස කරනවා. අද වන විට ව්‍යාප්තව ඇති චන්ද්‍රිකා ටෙලිවිෂන් සේවාවන් මේ කාර්යය හරි හැටි ඉටු කරනවා ද?

අද ලෝකයේ සිටින ප්‍රධානතම මාධ්‍ය හිමිකරුවන් දෙදෙනකු වන රූපර්ට් මර්ඩොක් සහ (CNN ආරම්භක) ටෙඩ් ටර්නර් සමග චන්ද්‍රිකා මාර්ගයෙන් සම්බන්ධ වන්නට මෑත අවස්ථා දෙකකදී මට හැකි වුණා. එහිදී මා ඔවුන් දෙදෙනාට චන්ද්‍රිකා ටෙලිවිෂන් මාධ්‍යය හොදට හා නරකට යොදා ගැනීම පිළිබ`දව අවවාද කිහිපයක් දුන්නා. මා මුලින් ම සිහිපත් කළේ බ්‍රිතාන්‍යයේ පුවත්පත් හිමිකරුවන් සම්බන්ධයෙන් කලකට ඉහත බ්‍රිතාන්‍ය අගමතිවරයකු කී කථාවක්. ඔහු කීවේ පුවත්පත් හිමිකරුවන් වගකීමකින් තොර වූ බලයක් නතු කර ගෙන එය හසුරුවන බවත් ඉතිහාසය මුළුල්ලේ මෙබඳු තැනක් හිමි කර ගෙන සිටියේ ගණිකාවන් පමණක් බවත් (“The privilege of the harlot throughout the ages: power without responsibility.”)

මෑතක් වන තුරු මුද්‍රිත මාධ්‍යය හිමි කර ගෙන සිටි බලයටත් වඩා විශාල බලයක් අද ටෙලිවිෂන් මාධ්‍යය ලබා ගෙන තිඛෙනවා. මෙසේ මිනිස් සිතුම් පැතුම්, චර්යාවන් හා ජීවන රටාවන් සම්බන්ධයෙන් ඉමහත් බලපෑමක් එල්ල කළ හැකි මාධ්‍යයක් වන ටෙලිවිෂනයට, ඒ හා සමානුපාතික වූ ඉමහත් වගකීමක් ද අනිවාර්යෙන් ම පැවරෙන බව මා මේ දෙපළට කියා සිටියා.

දියුණු වන ලෝකයේ රටවල ටෙලිවිෂන් මාධ්‍යයේ තවමත් සැළකිය යුතු ප්‍රමාණයකින් බටහිර වැඩසටහන් දැකිය හැකියි. මේ ගැන ඔබේ අදහස් මොනවා ද?

යම් මට්ටමකින් ‘විද්‍යුත් අධිරාජ්‍යවාදයක්’ ලෝකයේ සිදු වන බව අප පිළිගත යුතුයි. පවතින වෙළඳපොළ ආර්ථීක රටාව තුළ මෙය මුළුමනින් නතර කිරීමට හෝ අධික ලෙස පාලනය කිරීම අපහසුයි. අනෙක් අතට මෙබඳු ප්‍රවණතා නිසා සිදු වන්නේ සමාජයේ නිරායාසයෙන් ම සිදු වන්නට නියමිත විපර්යාසයන් වඩාත් ඉක්මනින් සිදු වීමයි.

සුබවාදීව බලන විට තාක්ෂණය හා බද්ධ වූ නව සන්නිවේදන මාධ්‍ය මඟින් අපේ සංස්කෘතික දායාදයන්, උරුමයන් හා සිරිත් විරිත් අනාගත පරම්පරාවලට දැක බලා ගත හැකි පරිදි සංරක්ෂණය කර තැබීමට අවස්ථා ලැඛෙනවා. සමහර විට සැබෑ ලෝකයේ ක්‍රමයෙන් තුරන් වී ගෙන යන ඇතැම් ජන කලා හා සංස්කෘතික අංග අපේ දූ දරුවන්ට දැක බලා ගත හැකි වනු ඇත්තේ ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් හා CD බඳු මාධ්‍ය තුළින් පමණක් විය හැකියි. ඉතිහාසවේ මීට පෙර වකවානුවල පැවැති වටිනා කලා ශිල්ප හෝ සාංස්කෘතික අංග එසේ සුරකින්නට හැකියාවක් තිබුණේ නැහැ.

නිදහසේ තොරතුරු ගලායාම (free flow of information) මින් ඉදිරියට තීරණය කරන්නේ ඉංජිනේරුවන් විසින් මිස දේශපාලකයන් හෝ නිලධාරීන් හෝ විසින් නොවන බව ඔබ කියන්නේ ඇයි?

එළඹෙන දශකය තුළ වඩ වඩාත් මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන් හා සංචාරකයන් ජංගම දුරකථන ලෝක ව්‍යාප්ත මට්ටමින් භාවිතා කරනු ඇති. එමෙන් ම කටහ`ඩ සන්නිවේදනයට පමණක් සීමා නොවී, ඔවුන්ට හ`ඩ හා රූප දෙක ම සන්නිවේදනය කළ හැකි වනු ඇති. ඒ ස`දහා පහසුවෙන් අතේ ගෙන යා හැකි, ජංගම සන්නිවේදන කට්ටල භාවිතයට එනවා. මේවා පණිවුඩ හුවමාරු කරන්නේ පොළව මත ඇති විදුලි සංදේශ රැහැන් පද්ධති හරහා නොව, පණිවුඩ චන්ද්‍රිකා හරහායි. මෙම කට්ටල වඩාත් ලාබදායී වන විට රට රටවල් අතර සංචාරයේ යෙදෙන හැම දෙනකු ම පාහේ මේවා භාවිතා කරන්නට පටන් ගනීවි. එවිට දේශීය මට්ටමේ දුරකථන හා අනෙකුත් සන්නිවේදන සේවා මත ඔවුන්ට යැපෙන්නට සිදු වන්නේ නැහැ.

මෙහි ප්‍රතිඵලය සිතා බලන්න. තමන්ගේ රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් රජය, හමුදා හෝ අන් පාක්ෂිකයන් විසින් සිදු කරන අපරාධ හෝ සමූල ඝාතන බදු කිසිවක් පිටස්තර ලෝකයෙන් තව දුරටත් වසන් කරන්නට රටකට හැකි වන්නේ නැහැ. මෙබදු නව සන්නිවේදන තාක‍ෂණයන් හා ඒවා හො`ද හැටි භාවිතා කරන කැපවීමකින් යුතු මාධ්‍යවේදීන් සිටින විට අකටයුතුකම් කිරීමෙන් වැළකී සිටීමට රාජ්‍ය පාලකයන් හා වෙනත් බල කණ්ඩායම් මත ලොකු බලපෑමක් ඇති කෙරෙනවා.

සමහරුන් අද දවසේ ප්‍රචලිත ප්‍රචණ්ඩත්වය තාක්ෂණයේ අතුරු ඵලයක් යැයි කියනවා. ඔබ මේ තර්කයට එකඟ වනවාද?

ප්‍රචණ්ඩත්වය යනු පරිනාමීය ඉතිහාසය මුළුල්ලේ මානව වර්ගයා සතුව තිබු ලක්ෂණයක්. මේ නිසා එය තාක්ෂණයෙන් ඉස්මතු වූවා යැයි කීම වැරදියි. තාක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රචණ්ඩත්වය ප්‍රකාශ කළ හැකි මාර්ග හා අවස්ථා ප්‍රමාණ වැඩි කිරීමයි. තාක්ෂණය මෙසේ අනිසි හා අයහපත් ලෙස යොදා ගැනීම මිනිස් මනසේ වරදින් සිදුවන දෙයක්.

මා විශ්වාස කරන්නේ ඕනෑ ම ශිෂ්ටාචාරයක ඉදිරි ගමනට තාක්ෂණික දියුණුව සමඟ අත්වැල් බැඳ ගෙන ආධ්‍යාත්මික හා සදාචාරාත්මක දියුණුවක් සමාන්තරව සිදු විය යුතු බව. එසේ සිදු නොවී, තාක්ෂණය පමණක් කඩිමුඩියේ ඉදිරියට ගිය හොත් වැඩි දුර යන්නට කලින් ස්වයං විනාශයක් සිදු වෙනවා. අපේ වර්ගයා මුහුණ දී තිඛෙන ලොකු ම අන්තරාය මෙයයි.

මා සිතන්නේ අද සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව ඇති ප්‍රචණ්ඩත්වය සඳහා යම් තාක් දුරට වගකීම ටෙලිවිෂන් මාධ්‍යය භාර ගත යුතු බවයි. (එහෙත් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන එක ම මාර්ගය මෙය නොවෙයි.) සිය ගණන් අහිංසක මිනිසුන්ට, දරුවන්ට මරු කැඳවන, නැතහොත් ඔවුන් සදාකාලිකව ආබාධිත කරවන බෝම්බ, වෙඩි තැබීම් හා වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා යම් තරමක හෝ දායකත්වයක් ශ්‍රව්‍ය-දෘශ්‍ය මාධ්‍යයෙන් ලැඛෙනවා. බොහෝ විට චිත්‍රපට හා ටෙලිවිෂන් වෘතාන්ත කථාවල පෙන්නුම් කරන දෙයක් නම් යුක්තිය, සාධාරණත්වය හෝ සත්‍යය සඳහා සටන් කරන අයට ඕනෑ තරම් ප්‍රචණ්ඩ ක්‍රියා කළ හැකි බව. මෙය ළමා හා තරුණ මනසට ව්‍යාකූල හා වැරදි අදහස් ඇතුළු කරන්නට පුළුවන්.

ටෙලිවිෂන් මාධ්‍යයේ නියැලී සිටින සමහරුන් කියන්නේ හොලිවුඩ් හා බොලිවුඩ් වෙතින් එන ඇතැම් චිත්‍රපට තමන්ගේ නිෂ්පාදනවලටත් වඩා පහත මට්ටමක් පවතින බවයි.

මෙය පිළිගත හැකි සංසන්දනයක් නොවෙයි. චිත්‍රපටවල හා ටෙලිවිෂන් වැඩසටහන්වල නිරූපනය වන ප්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කරන තවත් තර්කයක් නම් ඇතැම් මිනිසුන් තුළ සහජයෙන් පැන නඟින ප්‍රචණ්ඩ සිතුවිලි මෙබඳු නිර්මාණ නැරඹීම නිසා අවිහිංසක ලෙස පහ වී යන බවත් (catharsis), ඒ නිසා සැබෑ ලෝකයේ ප්‍රචණ්ඩකම් කිරීමට ඔවුන් නොපෙළඹෙන බවත්. මෙය ද පිළිගත හැකි තර්කයක් නොවෙයි. චිත්‍රපට හා ටෙලිවිෂන් ඇත්තට ම මිනිස් චර්යාවන්ට ප්‍රබල බලපෑමක් එල්ල නොකරනවා නම්, කෝටි ගණන් මුදල් වැය කරමින් ටෙලිවිෂන් දැන්වීම් පෙන්වන්නට වෙළඳ ආයතන ක්‍රියා කරයි ද?

ප්‍රතිපත්තියක් හැටි මා මාධ්‍ය වාරණයට විරුද්ධයි. එහෙත් අද දවසේ සමහර ටෙලිවිෂන් නාලිකා විකාශය කරන බාල මට්ටමේ, හරසුන් වැඩසටහන් ගැන සිතන විට යම් තරමක හෝ විනයක්, වගකීමක් මාධ්‍ය තූළින් මතු නොවන්නේ ඇයිදැයි ප්‍රශ්න කරන්නට සිදු වනවා.

සිවුමංසල කොලූගැටයා #45: තොරතුරු සමාජයේ මාධ්‍ය භාවිතය හා වාරණය

As I have often said on this blog, Television used to be the favourite whipping boy of those who love to criticise communication technologies and consumer gadgets — until the Internet and mobile phones came along.

When it finally arrived in Asia in 1991, direct TV broadcasting by satellite scared the daylights out of many Asian governments and self-appointed guardians of culture and public morals. How can the unexposed (i.e. ‘unspoilt’) hundreds of millions of Asians cope with massive volumes of information and entertainment beaming down from the skies, they asked. Their real concern was the loss of control over what the public watched, which governments and ruling elites had tightly controlled for decades since radio and TV emerged as mass media.

So, for much of that decade, we witnessed howls of protests from them — but their worst fears never materialised. Satellite TV found its niche alongside terrestrial transmissions, and Asian broadcasters soon mastered the medium. Today, global broadcasters like CNN, BBC and Al Jazeera compete with hundreds of Asian satellite TV channels and the audiences have a far greater choice.

As I wrote in September 2008: “In 1990, most Asian viewers had access to an average of 2.4 TV channels, all of them state owned. This has changed dramatically — first with the advent of satellite television over Asia in 1991, and then through the gradual (albeit partial) broadcast liberalisation during the 1990s. Asian audiences, at last freed from the unimaginative, propaganda-laden state channels, exercised their new-found choice and quickly migrated to privately owned, commercially operated channels.”

Sir Arthur Clarke was the man who triggered this satellite communication revolution. In 1945, while still in his late 20s, he was the first to propose the concept of using a network of satellites in the geo-synchronous orbit for television and telecommunications. His vision became a reality in the mid 1960s, and within a generation, humankind has come to rely critically on the network of comsats placed, in what is now called the Clarke Orbit, some 22,300 miles above the earth.

In December 2003, on the eve of the World Summit on the Information Society (WSIS) and days before his 86th birthday, I did a wide-ranging interview with Sir Arthur Clarke on satellite TV, internet, censorship and other challenges of information societies. It was published in One World South Asia on 5 December 2003.

For my Ravaya column this week (18 Dec 2011), I have adapted parts of that interview into Sinhala, making the point that much of what he said about satellite TV at the time is now equally relevant to the rapid spread of the Internet. It’s also a nice way to mark his 94th birth anniversary this week.

Sir Arthur C Clarke: Opened up the heavens as part of information superhighway...

අතට හසු නොවන, මනසට අළුත් හා නුහුරු ඉන්ටර්නෙට් ගැන ඇතැම් දෙනා බිය සැක උපදවා ගැනීම පුදුමයක් නොවෙයි. 2011 නොවැම්බර් 20දා මා කීවේ වසර 16ක් ගත වීත් ලක් සමාජය තවමත් ඉන්ටර්නෙට් සමග බද්ධ වන්නේ යම් චකිතයක්, සැකයක් හා දෙගිඩියාවක් සමග බවයි.

ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ අයුරින් ම බය හා සැක ඇති කළ මාධ්‍ය ප්‍රවණතාවක් වූයේ කෘත්‍රිම චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශයන් විසුරුවා හැරීමයි. (direct broadcasting by satellite)’ ආසියා කලාපයේ මෙය ඇරඹුණේ 1991දී. AsiaSat චන්ද්‍රිකාව BBC, CNN හා STAR TV නාලිකාවල උඩුගුවනින් එන ටෙලිවිෂන් සංඥා, අඩු වියදමකින් තනා ගන්නා දීසි ආකාරයේ ඇන්ටෙනාවකින් හසු කර ගත හැකි වුණා.

රාජ්‍ය දේශ සීමා ගැන තැකීමක් නොකර නිදහසේ පාවී එන මේ විකාශ ගැන එවකට ආසියානු රජයන් සලිත වූ සැටි මට මතකයි. වර්තමානයේ ඉන්ටර්නෙට් මාධ්‍යයට එරෙහිව නගන චෝදනාවලට සමාන චෝදනා ගොන්නක් 1990 දශකය පුරා අපේ පණ්ඩිතයෝ චන්ද්‍රිකා හරහා එන ටෙලිවිෂන් විකාශයන්ටත් එල්ල කළා. එය ආසියානු රටවල දේශපාලන ස්ථාවරත්වයට, සංස්කෘතීන්ට හා ජන සමාජයන්ට බරපතල අහිතකර බලපෑම් ඇති කළ හැකි යයි ඇතැම් උගතුන් හා ‘සංස්කෘතික බහිරවයන්’ අනතුරු ඇගවීම් ද කළා.

එහෙත් එබන්දක් සිදු වූයේ නැහැ! නොබෝ කලකින් ආසියානු නාලිකා තම ප්‍රේක්ෂකයන්ට වඩාත් අදාල හා ප්‍රයෝජනවත් වැඩසටහන් විකාශය කරන්නටත් ඒ චන්ද්‍රිකා තාක‍ෂණය ම යොදාගත්තා. මේ වන විට ලෝක ටෙලිවිෂන් නාලිකා, ආසියානු නාලිකා හා දේශීය නාලිකා තුන ම අපේ ටෙලිවිෂන් යන්ත්‍ර හරහා බලා ගත හැකියි.

හාස්‍යජනක කරුණක් නම් මේ දැඩි විවේචනවල යෙදෙන ඇතැම් දෙනා එකී මාධ්‍ය දැක හෝ භාවිතා කර නැති අය වීමයි! එහෙන් මෙහෙන් අහුලාගත් කොටස් මත පදනම් වී කරන මේ විවේචන පිළි ගන්නා රාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදකයන් ද සිටීම තමා අපේ ඛේදවාචකය. විෂය දත්තවුන් නිහඩව සිටින මේ දූපතේ, කුමන්ත්‍රණවාදීන් හැම දෙයක් ම නොපිටට හරවා ගන්නවා. (විකිලීක්ස් හා විකිපීඩියා දෙක පටලවා ගැනීම පිළිබද මගේ විග්‍රහය බලන්න: 2011 ජූලි 10)

වඩාත් ප්‍රබලව මතුව එන තොරතුරු තාක‍ෂණ හා සන්නිවේදන අභියෝගයන්ට ප්‍රශස්තව මුහුණ දෙන සැටි අන්තර් රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කළ තොරතුරු සමාජය පිළිබඳ පළමුවන ලෝක සමුළුව (World Summit on the Information Society, WSIS-1) 2003 දෙසැම්බරයේ ජිනීවා නුවර පවත්වනු ලැබුවා. එයට මුල් වුයේ යුනෙස්කෝ සංවිධානය, ලෝක විදුලි සංදේශ සංගමය (ITU) හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) යන ආයතන ත්‍රිත්වයයි. මේ සමුළුවට දින කිහිපයකට පෙර ශ්‍රීමත් ආතර් සී ක්ලාක් සමග මා කළ දීර්ඝ සාකච්ඡාවක් (ඉන්දියාවෙන් සංස්කරණය කැරෙන) One World South Asia ජාත්‍යන්තර වෙබ් අඩවිය පළ කළා.

මගේ ඉලක්කය වූයේ තොරතුරු සමාජයේ පෙර ගමන්කරුවෙකු වු ක්ලාක් එවකට දැකිය හැකි වු අළුත් ප්‍රවණතා සහ අභියෝග ගැන දරණ විද්වත් අදහස් ඒ තීරණාත්මක මොහොතේ ලෝකය සමග ඛෙදා ගැනීමයි. ක්ලාක්ගේ 94 වන ජන්ම සංවත්සරය (2011 දෙසැම්බර් 16) සැමරෙන මේ සතියේ ඒ සාකච්ඡාවෙන් කොටස් කිහිපයක් මා සිංහලට අනුවාදය කළා.

එදා චන්ද්‍රිකා ටෙලිවිෂන් ගැන ක්ලාක් කී බොහෝ දේ අද ඉන්ටර්නෙට් සඳහා ද වලංගූයි. නමුත් එක් ප්‍රබල වෙනසක් නම් චන්ද්‍රිකා හරහා ටෙලිවිෂන් විකාශ කිරීමට තාක්ෂණය හා වත්කම තිබුණේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සමාගම්වලට පමණක් වුවත් ඉන්ටර්නෙට් හරහා ලොවට සන්නිවේදනය කිරීමේ හැකියාව ලොකු පොඩි කාටත් එක සේ උදා වී තිබීමයි. දැවැන්ත මාධ්‍ය සමාගම් අතළොස්සක් නීතිමය හා නීතියට පරිබාහිර උපක්‍රමවලින් හැසිරවීමේ අත්දැකීම් ඇති ලෝකයේ ආණ්ඩුවලට, කුඩා පරිමාණයේ පුරවැසි මාධ්‍යවේදීන් සිය දහස් ගණනක් සමග කුමන ආකාරයෙන් ගනුදෙනු කළ හැකි ද යන්න විශාල අභියෝගයක් වී තිඛෙනවා. ක්ලාක් අප අතර නැතත්, වසර අටකට පෙර ඔහු පළ කළ අදහස් අදටත් අදාලයි.

නාලක: චන්ද්‍රිකා ටෙලිවිෂන් නාලිකා ඔස්සේ එන වැඩසටහන්වල අන්තර්ගතය ගැන කිසිදු රජයකට පාලනයක් නැහැ. රටක පවතින මාධ්‍ය නීති රීති හෝ සාරධර්ම ඒ අයුරින් ම පිළිපැදිය යුතු යැයි චන්ද්‍රිකා ටෙලිවිෂන්වලට බලපෑම් කරන්නටත් බැහැ. මේ පසුබිම තුළ මෙම මාධ්‍යය වඩාත් තදින් හැසිරවිය යුතු යැයි ඔබ සිතනවාද?

ක්ලාක්: පෘථීවියට ඉහළ කක‍ෂගතව තිඛෙන පණිවුඩ චන්ද්‍රිකාවලින් එන ටෙලිවිෂන් විකාශයන් පාලනය කිරීමට හෝ තහනම් කිරීමට හෝ කිසිදු ආණ්ඩුවකට හැකි වේ යැයි මා සිතන්නේ නැහැ. කෙසේ වෙතත් මාධ්‍යයක් තහනම් කිරීම, නීති විරෝධී කිරීම හෝ වාරණය කිරීම ප්‍රගතශීලි පියවරක් ලෙස මා පිළිගන්නේත් නැහැ. අපි මේ තත්ත්වය පුළුල් දෘෂ්ටි කෝණයකින් විග්‍රහ කළ යුතුයි. මෙබඳු ප්‍රශ්න ගැන කථාබහ කරන අප බොහෝ දෙනකුට තොරතුරු හා විනෝදාස්වාදය ලබා ගත හැකි මාර්ග ගණනාවක් තිඛෙනවා. බොහෝ විට අප සිටින්නේ තොරතුරු අධිපෝෂණය නැතහොත් තොරතුරු දූෂණය (information pollution) නමැති තත්ත්වයේයි. මේ නිසා එහි ප්‍රතිවිරුද්ධ තත්ත්වයල එනම් තොරතුරු සාගතය (information starvation) ගැන අපට හරි වැටහීමක් නැහැ.

මට සිතෙන්නේ චන්ද්‍රිකා ටෙලිවිෂන් වැඩසටහන්වලින් ජන ජීවිතයට, සංස්කෘතියට හෝ සභ්‍යත්වයට හානි සිදුවේ යැයි කෑ මොර ගසන උදවිය තමන්ගේ බුද්ධියේ ප්‍රමාණයට වඩා වැඩි අධ්‍යාපනයක් ලැබීම නිසා බක පණ්ඩිතයන් වී සිටින අය බවයි. සමාජයේ බහුතරයකගේ සිතුම් පැතුම් හෝ රුචි අරුචිකම් හෝ ගැන මේ ‘කල්චරල් අප්පුලාට’ හැඟීමක් හෝ තැකීමක් නැහැ. ඔවුන් සිතන්නේ ඔවුන් ටික දෙනෙකුගේ අභිමතය හා අභිරුචිය මත සියලූ දෙනාගේ කියැවීමේ පුරුදු හෝ ටෙලිවිෂන් නැරඹීමේ රටා සකස් විය යුතුයි කියායි. බටහිර සභ්‍යත්වයට හෝ ජාත්‍යන්තර ප්‍රවාහයන්ට අනාවරණය නොවු ගැමි ජනයා සදහට ම එම තත්ත්වයේ තබා ගත යුතු බවත්, චන්ද්‍රිකා ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් බඳු මාධ්‍ය මඟින් මේ ජනයාගේ මනස දූෂණය වන බවත් මෙකී පණ්ඩිතයෝ කියනවා. එසේ කියමින් ඔවුන් තමන්ගේ පවුල්වල පාවිච්චියට මේ හැම නවීන තාක‍ෂණයක් ම යොදා ගන්නවා. (මෙය හරියට රටේ බහුතරයකට ස්වභාෂාවලින් වැඩ කරන්නට යැයි කියමින් ටික දෙනෙකු ඉංගිරිසිය දිගට ම භාවිත කිරීම වැනි ක්‍රියාවක්!) මෙබඳු ආත්මාර්ථකාමී, වංක විද්වතුන්ගෙන් රටට හා සමාජයට වන යහපතට වඩා හානිය වැඩියි.

චන්ද්‍රිකා ඔස්සේ එන ටෙලිවිෂන් විකාශයන් මෙන් ම පොළව මත පිහිටි සම්ප්‍රේෂණාගාරවලින් ඛෙදා හැරෙන (terrestrial) ටෙලිවිෂන් විකාශයන් ඔස්සේත් හොඳ-නරක දෙයාකාරයේ ම වැඩසටහන් අපට හමු වෙනවා. අප කළ යුතුව ඇත්තේ ක්‍රමානුකූලව ප්‍රේක‍ෂකයන් වඩාත් දැනුවත් හා නැණවත් පිරිසක් බවට පත් කිරීමෙන් මේ ගුණාගුණ තෝරා බේරා ගන්නට හැකි පිරිසක් බවට ඔවුන් පත් කිරීමයි. දිගු කලක් තිස්සේ ටෙලිවිෂන් මාධ්‍යය හා සම්බන්ධව ක්‍රියා කිරීමෙන් පසුව මා තීරණය කර ඇත්තේ මෙයයි: ගුණාත්මක බවින් අඩු ටෙලිවිෂන් වැඩසටහන් පවා, කිසියම් වටිනාකමකින් යුක්තයි. (Even bad TV is better than no TV!). අප කළ යුත්තේ ටෙලිවිෂන් යන්ත්‍ර නිවා දැමීම හෝ විකාශ තහනම් කිරීම හෝ නොවේ. ගුණාත්මක පැත්ත වර්ධනය කර ගන්නට වෙර දැරීමයි.

ස්වාධීනව පාලනය කැරෙන, ස්වාධීනව අදහස් දක්වන මාධ්‍ය ආයතන – විශේෂයෙන් ටෙලිවිෂන් ආයතන – කෙරෙහි බොහෝ ආණ්ඩු දක්වන්නේ අයහපත් ආකල්පයක් නේද?

එයට හේතුව නිදහසේ තොරතුරු හා අදහස් ගලා යාම හරහා සිවිල් සමාජය ශක්තිමත් වන නිසායි. එවිට ඒකාධිපති පාලකයන්ට හා ආණ්ඩුවලට එය තර්ජනයක් වෙනවා. පසුගිය දශක දෙක පමණ කාලය තුළ තමයි චන්ද්‍රිකා ඔස්සේ විකාශය වන ටෙලිවිෂන් සේවාවන් ප්‍රචලිත වී ඇත්තේ. ඊට පෙර සියලූ ටෙලිවිෂන් විකාශයන් මහ පොළොව මත පිහිටි සම්ප්‍රේෂණයන් හරහායි සිදු කෙරුණේ. ඒ යුගයේ මෙම මාධ්‍යය මීට වඩා පාලනය කිරීමට ආණ්ඩුවලට හැකි වුණා. කොටින් ම කිවහොත් මේ මාධ්‍යයට බිය වූ ඇතැම් පාලකයෝ තමන්ගේ රටවල ජාතික ටෙලිවිෂන් සේවාවන් ඇරඹීම වසර ගණන් ප්‍රමාද කළා.

Arthur C Clare (extreme right) with Indian ISRO engineers who installed satellite antenna at his Colombo home, in 1975
හොඳම උදාහරණය ලැඛෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. 1960 දශකය වන විට ලෝකයේ ඉසුරුබර රාජ්‍යයන් අතුරෙන් ටෙලිවිෂන් සේවාවක් අරඹා නොතිබූ එක ම රට වූයේ දකුණු අපිකාවයි. එවකට එහි පැවති සුදු පාලකයන්ගේ රජයේ සන්නිවේදන අමාත්‍යවරයා එරට ටෙලිවිෂන් සේවාවක් ඇරඹීමට කිසිසේත් එකග වූයේ නැහැ. ‘ටෙලිවිෂන් තමයි අප්‍රිකාවේ සුදු මිනිසාගේ පාලනය හමාර කරන්නේ’ යයි ඔහු කළ ප්‍රකාශයෙහි ලොකු අරුතක් ගැබ් වී තිබුණා. ^‘Television will mean the end of the white man in Africa.’)

ඔහුගේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ කළ විට ඔහු කී දේ හරියට ම හරි! පසු කලෙක වර්ණභේදවාදයට විරුද්ධව ගෙන ගිය අරගලයට ටෙලිවිෂන් මාධ්‍යයේ බලපෑම හා දායකත්වය ලැබුණා. කඩුවට වඩා පෑන බලවත් බව අප අසා තිඛෙනවා. ඔය දෙකට ම වඩා ටෙලිවිෂන් කැමරාව බලවත්. මේ නිසා ලෝකයේ හැම ආකාරයේ ආණ්ඩුවක්ම – ප්‍රජාතාන්ත්‍රවාදී වේවා, ඒකාධිපති වේවා – මේ මාධ්‍යය හසුරුවන්නට අඩු වැඩි පමණින් උත්සාහ කිරීම පුදුමයක් නොවෙයි.

මාධ්‍ය හා පුවත් වාරණය (media censorship) ගැන ඔබ සිතන්නේ කුමක්ද?

මාධ්‍ය වාරණය යනු සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ ගැන සරලව හා පොදුවේ අදහස් දැක්වීමට අපහසුයි. මාධ්‍ය වාරණයට මා එක`ග නැති වුවත්, ඇතැම් අවස්ථාවල යම් යම් සුවිශේෂී තත්ත්වයන් යටතේ ටික කලකට මාධ්‍ය වාරණය කිරීමට අවශ්‍ය වන බව මා පිළිගන්නවා. බහුතරයකගේ යහපත සදහා. ඒ වාගේ ම කාගේත් යහපත උදෙසා මාධ්‍යවලින් පිටු දැකිය යුතු හා තුරන් කළ යුතු අංග ද තිඛෙනවා. උදාහරණ නම් ලිංගික වශයෙන් විකෘති අදහස් ඉදිරිපත් කරන රූප හා තොරතුරු, සහ ජාති-ආගම් භේද අවුස්සමින් ප්‍රචන්ඩත්වයට දායක විය හැකි ආකාරයේ ලියකියවිලි.

නමුත් යම්කිසි තොරතුරක්, විග්‍රහයක් හෝ අදහසක් සමාජයට හිතකර ද නැත් ද යන්න නිර්ණය කිරීම ලෙහෙසි නැහැ. එය විවිධ පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් විනිශ්චය කළ හැකියි නේද?

ඇත්තෙන්ම ඔව්. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මැදහත්, අපක‍ෂපාතී පුද්ගලයන් පවා බොහෝ විට එකග වන්නේ නැහැ. මහජනයාට ඉදිරිපත් කළ යුත්තේ කුමක් ද? වසන් කළ යුත්තේ කුමක් ද යන්න තෝරා බේරා ගැනීම ඉතා අසීරුයි. එහෙත් රජයන් හා පාලකයන්ගේ පැත්තෙන් බැලු විට මෙන්න මෙසේ කිව හැකියි. දූෂණ, අක්‍රමිකතා, වංචා සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම් ආදිය පිළිබද මාධ්‍ය මගින් කැරෙන අනාවරණයන් පාලකයන් බොහෝ විට බලවත් අපහසුතාවයට පත් කරන බව ඇත්ත. එහෙත් එය ඔවුන්ට ඉතා ප්‍රයෝජනවත් හා වැදගත් වන්නට ද පුළුවන්.

තමන්ගේ රටේ සැබැවින් ම සිදු වන්නේ කුමක්දැයි හරිහැටි දැන ගන්නට නිසි අවකාශ තිබුණා නම් බොහෝ පාලකයන්ට තමන්ගේ බලය – ඇතැම්විට ජීවිතය පවා – මීට වැඩි කාලයක් රැක ගන්නට තිබුණා යයි අපට කිව හැකියි. ඕනෑ ම පාලකයකු වටා ඒකරාශී වන වන්දිභට්ටයන් පිරිස ඉදිරිපත් කරන පක‍ෂග්‍රාහී විග්‍රහයට වඩා ඔබ්බට ගොස් තොරතුරු දැනගැනීමේ උපක්‍රමයක් හැම පාලකයකුට ම අවශ්‍යයි. මේ නිසා තමයි එක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයකු වරක් කියා සිටියේ නිදහස් මාධ්‍ය පාලකයන්ට මහත් හිසරදයක් විය හැකි වූවත්, බොහෝ විට ඔවුන්ගේ හිස රැක ගන්නත් ඒ නිදහස් මාධ්‍ය ම දායක වන බව.

මෙය ටෙලිවිෂන් ප්‍රවෘත්ති වාර්තාකරණය පැත්තෙන් බැලු විට මුද්‍රිත මාධ්‍යයටත් වඩා ප්‍රබල සත්‍යයක්. විශේෂයෙන්ම චන‍ද්‍රිකා සන්නිවේදන තාක‍ෂණය නිසා අද ටෙලිවිෂන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය කිරීම බොහෝ විට සජීවී ලෙසින් සිදු කැරෙනවා. මේ නිසා අළුතෙන් යමක් සිදුවන විට ඒ මොහොතේම ලොව හැමතැනටම එය දැක බලාගත හැකියි. මෙය කිරීමේදී ඉමහත් වගකීමකින් යුතුව ක්‍රියා කිරීමට ටෙලිවිෂන් ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවෙනවා.

සන්නිවේදනයේ මීළඟ වසර 50 ගැන නෙතඟ බැල්මක් හෙළිය හැකි ද?

පුළුල්ව කිව හොත්, සන්නිවේදනයේ අපට රිසි ඕනෑ ම දෙයක් කළ හැකි තත්ත්වයට අද අප පත්ව සිටිනවා. මේ ඉදිරි ගමන සීමා කරන්නේ තාක්ෂණික හෝ ඉංජිනේරුමය හෝ සාධක නොවේ. එය සිදු වන්නේ නීතිමය, මූල්‍යමය හා දේශපාලනික සාධක මගින්. මෙකී සාධකල තාක්ෂණයේ ප්‍රගමනය තරම් වේගවත්ව හා කාලානුරූපව හැඩ ගැසී නැහැ.

මාධ්‍ය මත බල පෑ රාජ්‍යමය හා අනෙකුත් සීමාකාරී සාධක එකින් එක බිද වැටෙන විට මාධ්‍යවල බලය හා මාධ්‍ය අනිසි ලෙස පරිහරණය කිරීමේ ඉඩකඩ ද ඒ හා සමානුපාතිකව වැඩි විය හැකි බව අප සිහි තබා ගත යුතුයි. ජන සමාජයට හා රටට අහිතකර ප්‍රවාහයන් නූතන සන්නිවේදන මාධ්‍යයන් හරහා ඒමට එරෙහිව ගත හැකි හොද ම ආරක‍ෂක විධි විධානය ලෙස මා දකින්නේ අධ්‍යාපනයයි. මේ රටේ ප්‍රධානතම ප්‍රමුඛතාවයක් විය යුත්තේ ඉදිරි සියවසට ගැලපෙන හා විශ්ව ගම්මානයේ අභියෝගවලට මුහුණදිය හැකි ආකාරයේ ජනතාවක් බිහි කරන අධ්‍යාපන රටාවක් ගොඩ නැගීමයි.

සිවුමංසල කොලූගැටයා #43: HIV වයිරසයටත් වඩා දරුණු AIDS හංවඩුව

HIV communication needs media partnership - image courtesy Panos South Asia

On this blog, I have written regularly about challenges in communicating on HIV/AIDS through media and non-media methods. To mark World AIDS Day 2011, and 30 years since the discovery of AIDS, I have devoted this week’s (Sinhala) Sunday column in Ravaya newspaper to the topic of HIV/AIDS coverage in the Lankan mass media. I have drawn heavily from a 1999 handbook on HIV/AIDS communication written by my good friend Dr Vinya Ariyaratne, a specialist in community medicine, but the opinions are all mine.

“ඒඩ්ස් ගොඩට තව 114ක් එකතු වෙලා!”

මේ මෑත දී ඇරැඹුණු ජාතික පුවත්පතක මංගල කලාපයේ මුල් පිටුවේ පුවත් සිරස්තලයක්. ගෙවී මාස කිහිපය තුළ මෙරට හඳුනාගෙන ඇති ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 114ක් බව, ඒ වාර්තාවේ ආරම්භයේදී ම කියනවා. මේ සංඛ්‍යාවෙන් ඔබ්බට යන කිසිදු විග්‍රහයක් එහි තිබුණේ නැහැ. බැලූ බැල්මට පෙනෙන්නේ එය උද්වේගකාරී වාර්තාකරණයට තවත් උදාහරණයක් බවයි. එමෙන්ම ‘ඒඩ්ස් රෝගීන්’ අහසින් කඩා නොවැටෙන බව මේ වාර්තාකරු නොදන්නවා විය යුතුයි.

HIV සමග ජීවත් වන බහුතරයක් අයට AIDS රෝග ලක‍ෂණ පහළ වී නැහැ. HIV ශරීරගත වීමෙන් පසු වසර හෝ දශක ගණනක් ජීවත්වීමේ හැකියාව අද වන විට වෛද්‍ය විද්‍යාත්මකව ලබා ගෙන තිඛෙනවා. එහෙත් ඒ සදහා නිතිපතා Anti Retro Viral (ARV) ඖෂධ ගැනීම අවශ්‍යයි. බොහෝ දියුණු වන රටවල අඩු ආදායම් ලබන HIV ආසාදිතයන්ට මේ ඖෂධ ලබා දෙන්නේ රජයේ වියදමින්.

මේ මූලික දැනුම පවා නොමැතිව, නොඑසේ නම් ඒ ගැන නොතකා, කරන මාධ්‍ය වාර්තාකරණය සිංහල මෙන් ම ඉංග්‍රීසි පුවත්පත්වලත් තවම දැකිය හැකියි. මෙරට සම්මාන දිනු සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක ද මෙයට සමාන ආකාරයේ වචන යෙදීමක් හා ජනතාව කලබලයට පත් කළ හැකි වාර්තාකරණයක් මීට සති කිහිපයකට පෙර මා දුටුවා.

HIV/AIDS මුල්වරට මෙරටින් වාර්තා වී වසර 25 කට පසුව පවා මෙබඳු අසංවේදි හා වගකීමෙන් තොර මාධ්‍ය වාර්තාකරණයක් සිදු වනු දැකීම කණගාටුදායකයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා සෞඛ්‍ය අමාත්‍යාංශය, වෙනත් රාජ්‍ය ආයතන හා රාජ්‍ය නොවන සංවිධාන HIV ගැන මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ හා සංවේදී කිරීමේ වැඩමුළු විශාල සංඛ්‍යාවක් පවත්වා තිඛෙනවා. මේ විෂය ආවරණය කරද්දී මාධ්‍යවේදීන්ට ඇති ගැටළු හා අභියෝග ගැන විවිධ සංවාදවලට මා ද සහභාගි වී තිඛෙනවා. එහෙත් කොයි තරම් මහන්සි වී වෙස් බැන්දත් පෙරහැර යන විට තවමත් පරණ පුරුදු හා අවිචාරශීලි ආකල්ප මතු වන බවක් පෙනෙනවා.

AIDS රෝගය මුලින් ම වාර්තා වී වසර තිහක් ගත වී තිඛෙනවා. අමෙරිකාවේ මුල් වරට මේ රෝග ලක‍ෂණ සහිතව රෝගීන් වාර්තා වන්නට පටන් ගත්තේ 1981දී. එයට හේතුව HIV නම් වයිරසය බව සොයා ගත්තේ ඊට දෙවසරකට පසුව. අද HIV/AIDS ලෝක ව්‍යාප්ත වසංගතයක් හා ලෝකයේ ප්‍රධාන පෙළේ සංවර්ධන අභියෝගයක් බවට පත්ව තිඛෙනවා. අළුත් ම සංඛ්‍යා ලේඛනවලට අනුව 2010 අග වන විට HIV ශරීරගත වී ජීවත්වන සංඛ්‍යාව මිලියන් 34ක්. වසරකට අළුතෙන් ආසාදනය වන සංඛ්‍යාව මිලියන් 2.6ක්. HIV ආසාදනය උත්සන්න අවස්ථාවේ AIDS රෝගය ඇති වී මිය යන සංඛ්‍යාව වසරකට මිලියන් 2ට වැඩියි.

සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) මේ ජාතික ප්‍රශ්නයට වගකීම දරණ ප්‍රධාන ආයතනයයි. ඔවුන්ගේ වෙබ් අඩවිය කියන හැටියට තවමත් ලංකාව සැලකෙන්නේ ්‍යෂඪ ආසාදන සාපේක‍ෂව අඩුවෙන් වාර්තාගත රටක් හැටියටයි. http://www.aidscontrol.gov.lk

ලංකාවේ මුල් ම HIV ආසාදිත පුද්ගලයා වාර්තා වුණේ 1986දී. ඔහු විදේශිකයෙක්. ඊළඟ වසරේ HIV ආසාදිත ලාංකිකයෙකු හමු වුණා. එදා පටන් HIV ආසාදනයට ලක් වූ සංඛ්‍යාව ටිකෙන් ටික වැඩි වුවත්, තවමත් නිල වාර්තාවලට අනුව මෙරට HIV ආසාදිත සංඛ්‍යාව 1,429 යි. එමෙන්ම HIV ආසාදනයේ උච්ච අවස්ථාව වන AIDS රෝගයට ළඟා වී මිය ගිය සංඛ්‍යාව 221යි. 2011 සැප්තැම්බර් අග දක්වා මේ වසරේ අළුතෙන් වාර්තා වූ ්‍යෂඪ ආසාදිත සංඛ්‍යාව 114යි.

එසේ වුවත් HIV වයිරසය ශරීරගත වී ඒ බව දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙරට ජීවත් වන සංඛ්‍යාව 3,000 ඉක්මවන බව රජයේ HIV නිල වෙබ් අඩවිය අනුමාන කරනවා. එසේම HIV ආසාදන වඩාත් ශීඝ්‍ර ලෙස පැතිර යාමට දායක විය හැකි සාධක ගණනාවක් මෙරට තිඛෙන බව පර්යේෂකයන් පෙන්වා දෙනවා. මිලියන් එක හමාරක් පමණ ලාංකිකයන් විදේශ රැකියාවල නිරතන සිටින අතර නිරතුරු ආගමනය හා විගමනය කරනවා. යුද්ධයෙන් පසු සංචාරකයන්ගේ පැමිණිමේ සංඛ්‍යාත්මක වර්ධනයක් තිඛෙනවා.

HIV ආසාදිතයන් තම සැබෑ තත්ත‍වය සෞඛ්‍ය සේවාවන්ට පවා හෙළි කිරීමට ඉදිරිපත් නොවන්නේ HIV/AIDS සම්බන්ධයෙන් මෙරට පුළුල් ලෙස පැතිර පවතින අපකීර්තිය (stigma) හා ඒ අයට එරෙහිව මතුව එන විචක‍ෂණය හෙවත් වෙනස්කම් කිරීම (discrimination) බව ඒ පිළිබඳව කලක සිට පර්යේෂණ කරන වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් කියනවා. මෙය ලෝකයේ වෙනත් රටවල ද අඩු වැඩි වශයෙක් දැකිය හැකි අහිතකර ප්‍රවණතාවක්.

HIV & communication book by Dr Vinya Ariyaratne - cover
HIV/AIDS යනු හුදෙක් සෞඛ්‍ය ගැටළුවකට වඩා පුළුල් වූ සමාජ ප්‍රශ්නයක් බවත්, වෛද්‍ය විද්‍යාත්මක හේතුන්ට වඩා සදාචාරාත්මක, නීතිමය හා මානව හිමිකම් පිළිබඳ පැතිකඩයන් ඒ හරහා මතු වන බවත් ‘HIV/AIDS සන්නිවේදන මාර්ගෝපදේශනය’ නමින් 1999දී පොතක් ලියු වෛද්‍ය වින්යා ආරියරත්න පෙන්වා දෙනවා.

ප්‍රජා වෛද්‍ය විශේෂඥයෙකු වන වෛද්‍ය ආරියරත්න මේ පොත් පිංච ලිවීමට නිමිත්ත වූයේත්, HIV පිළිබඳව අපේ ජන සමාජයේ ප්‍රචලිත වූ මිථ්‍යා මත, බොරු භීතිකා හා විසම අදහස් දුරු කිරීම සඳහා නිරවුල් වෛද්‍ය විද්‍යාත්මක අවබෝධය යොදා ගන්නටයි. ඔහු ඒ පොත ලියා දශකයකට වැඩි කාලයක් ගත වී ඇතත් එදා සඳහන් කළ අභියෝග තවමත් අප හමුවේ ඇති බවත්, HIV ආසාදන සංඛ්‍යාව මේ කාලය තුල සිව් ගුණයකින් වැඩි වී ඇති බවත් සිහිපත් කිරීම වැදගත්. දෙසැම්බර් 1 වනදාට යෙදෙන ලෝක AIDS දැනුවත් කිරීමේ දිනය මේ ගැන සංවාදයකට නිමිත්තක් සපයනවා.

HIV ආසාදනයට ලක් වු අය නිරෝධායනය (quarantine) කිරීම අවශ්‍ය නැහැ. එයට හේතුව ප්‍රධාන වශයෙන් පැතිරෙන්නේ අනාරක‍ෂිත ලිංගික සම්බන්ධතා මගින් හා එන්නත් කරන ඉඳිකටු හරහා වීමයි. ආසාදිත වූවන් හුදකලා කිරීම වෙනුවට අවශ්‍ය වන්නේ ආරක‍ෂිත උපක්‍රම සමග ආසාදිතයන්ට සමාජයේ හැකි තාක් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට ඉඩකඩ සලසාදීමයි. HIV සමග ජීවත් වන කෙනෙකු සමග කථා බහ කිරීමෙන්, ස්පර්ශ කිරීමෙන් හෝ ඔවුන් අත තැබු යමක් භාවිත කිරීමෙන් වයිරසය පැතිරෙන්නට ඉඩක් නැහැ. මේ බව ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රබල ලෙස හුවා දැක් වූ අවස්ථාවක් වූයේ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරිය HIV සමග ජීවත්වන අය ප්‍රසිද්ධියේ වැළඳ ගැනීමේ මාධ්‍ය වාර්තාකරණයයි.

HIV සමග ජීවත් වන අයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති සියලූම මූලික අයිතිවාසිකම් මෙන් ම අනෙකුත් නීතිවල රැකවරණය ද හිමි වන බව වෛද්‍ය වින්යා ආරියරත්න අවධාරණය කරනවා. පෞද්ගලිකත්වයට ඇති නිදහස, එහා මෙහා යාමට, විවාහ වීමට හා පවුලක් වීමට, රැකියාවක් කිරීමට, අධ්‍යාපනය ලැබීමට මෙන්ම මහජන සෞඛ්‍ය සේවාවන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ද අන් හැම අයට මෙන් ම ඔවුන්ටත් අයිතිවාසිකම් ඇති බව ඔහු කියනවා. ඒ අතරම HIV වයිරසය අන් අයට පැතිරීම වැළැක්වීමට අවශ්‍ය ආරක‍ෂිත පියවර ගැනීමේ යුතුකමක් හා වගකීමක් HIV ආසාදිතයන්ට තිඛෙනවා. මෙයට ලිංගික චර්යාව මෙන් ම ඉඳිකටු හෝ බ්ලේඩ්තල හවුලේ භාවිතය, ලේ හෝ අනෙක් ශරීර අවයව දන්දීම ආදිය ද ඇතුළත්.

වෛද්‍ය ආරියරත්න තම පොතෙහි අවධාරණය කරන තවත් කරුණක් නම් HIV/AIDS තව දුරටත් ඇතැම් සමාජ කොටස්වලට සීමා වූ ප්‍රශ්නයක් නොවන බවයි. “සියලූ සදාචාරයන්ගෙන් හෙබි සහ සියලූ වෘත්තීන්ගේ නියැළුණු ජනයා HIV ආසාදනයේ අවදානමට ලක්ව ඇත. එය සදාචාරය පදනම් කර ගත් රෝගි තත්ත‍වයක් නොවේ.”

මෙසේ වුවත් ලාංකික සමාජය HIV/AIDS සම්බන්ධයෙන් භීතිය, කලබලය හා හෙළා දැකීම වැනි ප්‍රතිචාර දක්වන්නේ ඇයි? HIV සමග ජීවත්වන අයට එම තත්ත‍වය විවෘතව කියන්නට හැකි සමාජ වාතාවරණයක් තවමත් අපේ රටේ නැත්තේ ඇයි? පළමු HIV ආසාදිතයා හමු වී වසර 25ක් ගත වී තිබියදීත් අප සමාජයක් හැටියට තවමත් මේ සමාජ අර්බුදය ගැන ඉතා ප්‍රථමික හා දරදඩු ආකල්පවල එල්බගෙන සිටින්නේ කුමන හේතු නිසා ද?

මේ ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සොයා ගන්නට මට හැකි වුයේ නැහැ. එහෙත් මෙබඳු ප්‍රශ්න විවෘත සංවාදයට පාත්‍ර විය යුතු බව මා විශ්වාස කරනවා. එහිදී ජනමාධ්‍යයන්ට මීට වඩා කාර්යභාරයක් කළ හැකියි.

HIV/AIDs ගැන සන්නිවේදනයේදී මාධ්‍යවේදින්, දේශකයන් හා ගුරුවරුන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු ගුණාංග හතරක් වෛද්‍ය ආරියරත්න හුවා දක්වනවා. එනම් තොරතුරු නිවැරදි හා අළුත් වීම, පෞද්ගලිකත්වයට ගරු කිරීම, විෂයයට අදාල වීම හා ආවේග මූලිකව සන්නිවේදනය නොකිරීමයි.

HIV ගැන දැනුවත් කිරීමේදී විශාල වැඩ කොටසක් කළ හැකි ජනමාධ්‍යවලින් ඒ ගැන අහිතකර මතිමතාන්තර පැතිරීමට ද ලොකු ඉඩක් ඇති බව ඔහු උදාහරණ සහිතව පෙන්වා දෙනවා. විශේෂයෙන් “AIDS මාරයා” වැනි යෙදුම්, මිනිස් හිස් කබල්, ඇට සැකිලි හා යක‍ෂ රූප භාවිතය තුලින් මේ වයිරසය පිළිබඳ අනවශ්‍ය භීතියක් ජන මනසේ වර්ධනය විය හැකියි. එමෙන්ම සිනමා තරු හෝ ක්‍රීඩකයන් හෝ HIV ආසාදනය වීම පිළිබඳ ඕපාදූප කථා කරනවාට වඩා මේ ආසාදනයෙන් ප්‍රවේශම් වීම පිළිබඳ ප්‍රායෝගික සන්නිවේදනයක යෙදීමේ වැදගත්කම ඔහු අවධාරණය කරනවා.

HIV ආසාදිතයන් කොන් කිරීමට තුඩු දෙන ආකාරයේ විග්‍රහයන් ඉතා අහිතකරයි. අපේ ඇතැම් මාධ්‍යවල තවමත් වැඩි අවධානය යොමු වන්නේ ආසාදිතයකුගේ විවාහක – අවිවාහක බව, ලිංගික චර්යා නැඹුරුව, ඔහු/ඇය කරන රැකියාවේ ස්වභාවය ආදී කරුණුවලටයි. වාර්තාකරණයෙන් ඔබ්බට යන සුචරිතවාදයක් පෙරටු කර ගත් විට HIV පිළිබඳ ප්‍රශස්ත සන්නිවේදනයක යෙදීමට නොහැකි වනවා.

“ඒඩ්ස් රෝගීන්” මහා පව්කාරයන් බවත්, ඔවුන්ට එළව එළවා පහර දිය යුතු බවත්, ඔවුන්ගේ නම් ගම් හෙළිදරව් කරමින් ඔවුන් කොන් කළ යුතු බවත් මෙරට එක්තරා ජාතික පුවත්පත් කතුවරයෙකු මීට වසර කිහිපයකට පෙර තම කාර්යය මණ්ඩලයට පැවසු බව වැඩමුළුවකට ආ මාධ්‍යවේදියෙකු වරක් මට හෙළි කළා. HIV ආසාදිතයන් ගැන මෙරට සමාජයේ හැම ස්ථරයක ම පාහේ දැකිය හැකි අධිසුචරිතවාදී හා කුහක ආකල්ප මාධ්‍ය ෙක‍ෂත්‍රයට ද පොදුයි.

එහෙත් තම පෞද්ගලික මතවාද මෙසේ පොදු ආකල්ප බවට පත් කරන්නට ඇතැම් මාධ්‍ය වෙර දැරීම කෙතරම් සාධාරණ ද? HIV වයිරසයේ පැතිරීමට එරෙහි හොඳ ම ආරක‍ෂණය දැනුවත්කම බව පිළිගැනෙන අද කාලයේ එබඳු යහපත් සන්නිවේදනයක් කිරීමේ විශාල හැකියාවක් ඇති මාධ්‍ය ආයතන ඒ වෙනුවට HIV ආසාදිතයක් පිටු දකිමින් නින්දා අපහාස කිරීමට යොමු වීම කෙතරම් ඛේදජනක ද?

HIV ආසාදිතයන් ගැන කථා කරද්දී ඩෙංගු රෝගීන් ගැන කථා කරන සරල ලිහිල් මට්ටමට එහා යන අවබෝධයක් හා සංයමයක් මාධ්‍ය සන්නිවේදකයන් සතු විය යුතුයි. බස හැසිරවීමේදි පවා ඒ ප්‍රවේශම්කාරි බව අවශ්‍යයි. ඕනෑකම ඇත්නම් මෙබඳු වෙනස්කම් කළ හැකි බවට අපේ මාධ්‍යවලින් ම සාක‍ෂි තිඛෙනවා. කලකට පෙර “අංගවිකල” (crippled) යන යෙදුම භාවිත කළත් අද “ආබාධිත” (disabled) යන්න යොදනවා. අඳ, ගොළු, බිහිරි වෙනුවට දෘශ්‍යාබාධිත ආදී වඩාත් සංවේදී වචන භාවිතයට ඇවිත්.

HIV/AIDS ගැන වසර 25ක් ගත වීමෙන් පසු හෝ වඩාත් සංවේදී මානුෂික වචන යෙදුමක් හා වාර්තාකරණයක් හදා ගත හැකි නම් කෙතරම් අපූරු ද?

සිවුමංසල කොලූගැටයා #42: සයිබර් අවකාශයේ කරනම් ගසන්නට පෙර…

Who’s Afraid of Online Journalists? This was the provocative title of my presentation to a national media conference on media self-regulation in Colombo in September 2011, organised by Sri Lanka Press Institute. Speaking in the session devoted to online media, I argued that SLPI was ill-equipped to tackle online news content when it lacked even full representation of the mainstream print media in Sri Lanka, and had no representation whatsoever from the radio and TV broadcasters whose outreach far outstrips that of print.

My PowerPoint presentation to SLPI Conference is here

I return to the topic of whether or how web news coverage in Sri Lanka might be self-regulated in my weekly Ravaya column published on 27 Nov 2011.

නෙත් අද වූ පස් දෙනකු ජීවිතයේ මුල් වතාවට සද්දන්ත ඇතකු මුණගැසීමේ කථාව අප අසා තිඛෙනවා. ඇතාගේ ස්වරූපය නෙතින් නොදැක, ඇසෙන හ`ඩින් හා ස්පර්ශයෙන් පමණක් මේ සත්ත‍වයා ගැන මනෝ චිත්‍රයක් මවා ගන්නට ඔවුන් තැත් කරනවා. එහෙත් තමන්ට ශෝචර වූ නිරීක‍ෂණ මත පමණක් පදනම් වී මේ පස් දෙනා එළැඹෙන නිගමන එකිනෙකට බොහෝ සෙයින් වෙනස්.

ඉන්ටර්නෙට් මාධ්‍යය ගැන අපේ ඇතැම් දෙනා දක්වන අදහස් දෙස බලන විට මට මේ කථාව සිහි වනවා. ඉන්ටර්නෙට් ලෙහෙසියෙන් ග්‍රහණය කර ගත හැකි, අවබෝධ කර ගත හැකි සංසිද්ධියක් නොවෙයි. එය භෞතික ලෝකයේ නොව පරිගණක හා සන්නිවේදන ජාල තුළ පමණක් පවතින, තනිකර ම විද්යුත් මාධ්‍යයක් නිසා අපේ පංච ඉන්ද්‍රියන්ට ගෝචර වන්නේ ද සීමිත ලෙසින්. ඉන්ටර්නෙට් ගැන අප එකිනෙකා ඇති කර ගන්නා මනෝ චිත්‍ර වෙනස්. එයට හේතුව එහි විශාලත්වය හා විවිධත්වයයි. මුළු ඉන්ටර්නෙට් මාධ්‍ය පුරා සැරිසරන්නට කිසිවකුට බැහැ. එසේ කිරීමේ තේරුමක් ද නැහැ. අපට අවශ්‍ය තොරතුරු සොයා ගන්නට හා සන්නිවේදනයන්ගේ යෙදෙන්නට උවමනා පරිද්දෙන් අප එහි පැතිකඩ කිහිපයකට පමණක් බද්ධ වනවා.

මුද්‍රිත මාධ්‍ය ෙක‍ෂත්‍රයේ බොහෝ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මෙන්ම එම ෙක‍ෂත්‍රය ගැන කලක් තිස්සේ පර්යේෂණ කරන විද්වතුන්ද නොදැනුවත්වම කරන වරදක් තිඛෙනවා. එනම් ඉන්ටර්නෙට් යනු තවත් එක් මාධ්‍ය අංගයක් ලෙස සැළකීමයි. මීට පෙර (2011 නොවැ 6) මා එය සම කළේ මුද්‍රණ ශිල්පය සමග මිස රේඩියෝ, ටෙලිවිෂන් හෝ සිනමාව සමග නොවේ.

මුද්‍රණයේ සංකල්පය ක්‍රි ව 220දී පුරාණ චීනයේත්, ක්‍රි.ව. හතරවන සියවසේදී පුරාණ ඊජිප්තුවේත් දැන සිටියත් එය මහා පිම්මක් පැන්නේ 15 වන සියවසේදී ජර්මනියේ යොහාන් ගුටන්බර්ග් අකුරු ඇමිනීමේ සංකල්පය සොයා ගැනීමත් සමගයි. ගුටන්බර්ග්ට පෙරත් පැපිරස් තීරු, පුස්කොළ හා වෙනත් මාධ්‍යයන්ගේ ලියා සන්නිවේදනය කිරීම පැවතුනා. ඒ කිසිවක් මුද්‍රිත පොතපතට සම කළ නොහැකි වූවාක් මෙන් පවතින අනෙකුත් ජනමාධ්‍ය ඉන්ටර්නෙට් සමග ඍජුව සැස`දීමට ද නොහැකියි.

කලක් භාවිත වූ හා බොහෝ දෙනකු හුරුපුරුදු වූ ක්‍රමයකින් අළුත් ක්‍රමයකට පිවිසීමේ දී හුදෙක් තාක‍ෂණය අතින් පමණක් නොවෙයි මානසිකවත් හැඩ ගැසීමට සිදු වනවා. ඉන්ටර්නෙට් හරහා පැමිණි නව අවස්ථා හා අභියෝගයන්ට මුහුණ දීමට රාජ්‍යයන්, මාධ්‍යවේදීන් ඇතුළු ජන සමාජය තවමත් උත්සාහ කරනවා.

පත්තර හා සගරා පමණක් පැවති ලෝකයට 19 වන සියවසේදී ඡායාරූප ශිල්පය හා සිනමාවත්, 20 වන සියවසේදී රේඩියෝව, ටෙලිවිෂන් හා වීඩියෝ බ`දු මාධ්‍යත් එකතු වුණා. එසේ අළුතෙන් ආ හැම මාධ්‍යයකට ම ආවේණික ලක‍ෂණ තිබුණත් ඒවා පවතින ප්‍රධාන ප්‍රවාහයේ මූලික නීතිරීති හා සම්ප්‍රදායන්ට කෙටි කලෙකින් නතු වුණා. මේ ඓතිහාසික ප්‍රවණතා දෙස බලා ඉන්ටර්නෙට් මාධ්‍යකරණයටත් සීමා පැන විය යුතු යයි ඔවුන් තර්ක කරනවා.

තර්කයක් හැටියට මා ඔවුන් සමග එකගයි. තොරතුරු, විශේෂයෙන් ප්‍රවෘත්ති එකතු කිරීමේ හා ඛෙදා හැරීමේදී මූලික සාදාචාරමය රාමුවක් තුළ එය කිරීම අවශ්‍යයි. එහෙත් මගේ එකගතාවය නතර වන්නේ පුවත් විග්‍රහයන් හා මත දැක්වීම ගැන කථා කරන විටයි.

The web was supposed to set us free, but has it?

තමන්ට අහිතකර වූ හෝ විරුද්ධ වූ හෝ මත දැක්වීම වාරණය කිරීමට විවිධාකාර බලපෑම් ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍යයන්ට එල්ල කිරීමට රජයන්, ලොකු සමාගම් හා වෙනත් බලාධිකාරයන් ක්‍රියා කිරීම බොහෝ රටවල දැකිය හැකියි. මේ යථාර්ථය හමුවේ ර්‍ඇග බේරා ගෙන” වැඩ කිරීමේ ස්වයං-වාරණ පුවත්පත් කලාවක් (self-censored journalism) බිහිව තිඛෙනවා. එබදු වාතාවරණයක නිදහසේ මත දැක්වීමට ඉඩ ඇති තැනක් ලෙස තවම ඉතිරිව ඇත්තේ ඉන්ටර්නෙට් මාධ්‍යයයි.

එමෙන්ම ප්‍රධාන ප්‍රවාහයේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍යවල දැඩි සේ බල පවත්වන අධිපතිවාදයක් තිඛෙනවා. මාධ්‍ය හිමිකරුවා හා ආයතන ප්‍රධානියා නොකැමති කිසිදු තොරතුරක් හෝ මතවාදයක් හෝ පළ කිරීමේ නිදහස සීමා කැරෙනවා. මෙය දොරටුපාල සංකල්පයයි (media gate-keeping). මේ අධිපතිවාදීකම අපේ රටේ සිංහල මාධ්‍යවල ඉතා ප්‍රබලව තිඛෙනවා. (මීට විසි වසරකට පෙර සිංහල පුවත්පත් ලෝකයේ මා ක්‍රියාත්මක වූ අවධියේ මා ද එයින් පීඩා විද තිඛෙනවා!)

ඉන්ටර්නෙට් මාධ්‍යයේ දොරටුපාලයන් නැහැ. ඉන්ටර්නෙට් සබදතාවයක් හා සාක‍ෂරතාවය තිඛෙන ඕනෑ ම කෙනකුට තම තොරතුරු, අදහස් හා මතවාදයන් ප්‍රකාශයට පත් කිරීමේ අවකාශය තිඛෙනවා. මෙය බ්ලොග් අඩවියකින්, නැතිනම් Twitter වැනි වෙබ් මාධ්‍ය (social media) හරහා කළ හැකියි. එය වචනවලට සීමා වන්නේ ද නැහැ. ඡායාරූප, හඩ, වීඩියෝ ආදී ඕනෑ ම ක්‍රමයකින් ලොවට ම සන්නිවේදනය කිරීමේ හැකියාව තිඛෙනවා.

මේ හැකියාව ඉන්ටර්නෙට් පරිශීලනය කරන බොහෝ දෙනකු භාවිත කරන්නේ නැහැ. බහුතරයකගේ භාවිතය විද්යුත් තැපෑල, තොරතුරු කියැවීම හා Facebook වැනි සංවෘත පද්ධතිවල ටික දෙනකු සමග පෞද්ගලික කථාබහ (chat) කිරීමට සීමා වනවා. එයින් ඔබ්බට යන ඉන්ටර්නෙට් භාවිතාකරුවන් පුරවැසි මාධ්‍යවේදීන් (citizen journalists) බවට පත්ව සිටිනවා. මේ ගැන වෙන ම කථා බහ කළ යුතුයි.

ඉන්ටර්නෙට් මාධ්‍යය සෙසු සියළු මාධ්‍යයන්ගෙන් වෙනස් බවට උපමිතියක් (analog) ගැන මා කල්පනා කළා. සරලව කිවහොත් මුද්‍රිත මාධ්‍ය ගොඩබිමටත්, රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍ය සාගරයටත් සම කළ හැකියි. ගොඩබිම කළ හැකි හැම දෙයක් ම සාගරය මතු පිට හෝ පතුලේ කළ නොහැකි වූවත් ඒ හැම තැනට ම ගුරුත්වය බල පානවා. මේ උපමිතිය තුළ ඉන්ටර්නෙට් සම වන්නේ අභ්‍යවකාශයටයි.

1961 දී මිනිසකු මුල්වරට අභ්‍යවකාශයට ගිය දා පටන් අද වනතුරු අභ්‍යවකාශයට යාමේ අත්දැකීම ලබා ඇත්තේ 600කට අඩු සංඛ්‍යාවක්. ගුරුත්වය අඩු හෝ නැති, වායුගෝලයකින් තොර අභ්‍යවකාශයේ හැසිරීමට හා ජීවත්වීමට විශේෂිත පුහුණුවක් අවශ්‍ය වනවා. උපන්දා සිට ගුරුත්වය සහිත මහපොළව මත විසීමෙන් ලද සහජ බුද්ධිය මදෙකට පසෙක ලා, වෙනස් විධියට සිතීමට සිදුවනවා. සයිබර් අවකාශයට පිවිසි අප සැමටත් මෙසේ අපට සහජයෙන් හෝ වෘත්තියෙන් ලද තත්ත්වාරෝපණය (conditioning) වෙනුවට අළුත් පරිසරයක නව යථාර්ථයකට හැඩ ගැසීමට සිදු වනවා.

අජටාකාශගාමීන් දිගු කාලීන පුහුණුවක් ලබනවා. එහෙත් පැය දෙක තුනකවත් පුහුණුවකින් තොරව සයිබර් අවකාශයට පිවිසිය හැකියි. එසේ පිවිසෙන අපේ ඇතැම් දෙනා භෞතික ලෝකයේ පුරුදු එතැනටත් ආරෝපණය කරන විට යම් නොගැලපීම් ඇති වනවා.

මේ පරස්පරයන් හා අභියෝග මැද්දෙන් ප්‍රශස්ත ඉන්ටර්නෙට් සාක‍ෂරතාවයක් කාටත් ලබා දීම තොරතුරු සමාජයක අප කාගේත් ඉලක්කය විය යුතුයි. මෙය පරිගණකවේදීන්ට හා ඉංජිනේරුවන්ට පමණක් පැවරිය හැකි වගකීමක් නොවෙයි. මනා ඉන්ටර්නෙට් සංස්කෘතියක් බිහි කිරීමට තාක‍ෂණවේදයෙන් ඔබ්බට යන බහුවිධ සහභාගිත්වයක් උවමනායි.

ඉන්ටර්නෙට් හරහා පමණක් පුවත් ආවරණයේ හා විග්‍රහයේ යෙදෙන වෙබ් අඩවිවලට ස්වයං නියාමනයක් (self-regulation) කළ හැකිද? 2011 සැප්තැම්බරයේ ලංකා පුවත්පත් ආයතනය (SLPI) සංවිධානය කළ තෙදින සම්මන්ත්‍රණයක එක් සැසිවාරයක් මේ තේමාවට වෙන් කළා. එයට දුරකථනයෙන් සම්බන්ධ වූ බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියකු කීවේ බ්‍රිතාන්‍යයේ එබදු උත්සාහයක් කි්‍රයාත්මක වන බවයි. එහෙත් එය එරට සාම්ප්‍රදායික පුවත්පත් පැමිණිලි කොමිසම (PCC-UK) හරහා නොව වෙබ් මාධ්‍යවේදීන් විසින් ම පිහිටුවා ගත් එකමුතුවක් හරහායි. වෙබ් අඩවියක් හරහා පළ කැරෙන වාර්තාවකින් යම් පුද්ගලයකුට හෝ ආයතනයකට හෝ අපහාසයක් වේ නම් ඒ ගැන ප්‍රතිචාර දැක්වීමේ හා පැමිණිලි කිරීමේ අවස්ථාව ඒ හරහා සැළසෙනවා.

SLPI තර්කය නම් සියලූ මාධ්‍ය තමන්ගේ හැසිරීම සදාචාරමය රාමුවක් තුළ ස්වයං නියාමනය නොකළහොත් එය රජය හෝ අධිකරණය හෝ මැදිහත්වීමෙන් සිදු වනු ඇති බවයි. එය පිළි ගත හැකි තර්කයක්. නමුත් මාධ්‍ය නියාමනය (media regulation) හා මාධ්‍ය පාලනය (media control) යනු පැහැදිලිව එකිනෙකින් වෙනස් සංකල්ප දෙකක්. නියාමනය අවශ්‍ය බව කවුරුත් පිළිගන්නවා. එහෙත් මාධ්‍ය පාලනය හා එහි උච්ච අවස්ථාව වන මාධ්‍ය වාරණය (censorship) ගැන එබදු එකගතාවක් නැහැ. බලයේ සිටින විට මාධ්‍ය පාලනය කළ යුතු යයි කියන අය ම ප්‍රතිපක‍ෂයේ සිටින විට එයට එරෙහි වනවා.

එදා සමුළුවේදී මා කියා සිටියේ මෙරට ජන සමාජයට දැනටමත් සමීප වී ඇති රේඩියෝ හා ටෙලිවිෂන් මාධ්‍යවල සදාචාරාත්මක ස්වයං නියාමනයකට මුල් වටයේ යොමු වන ලෙසයි. ජනගහනයෙන් සියයට 10-15ක් බද්ධ වන ඉන්ටර්නෙට් මාධ්‍යයට වඩා විශාල ග්‍රාහක පිරිසක් රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකාවලට සිටිනවා. නමුත් එකී නාලිකාවකින් අපහාසයට හෝ අගතියට හෝ පත් කිසිවකුට පිළිතුරුදීමේ අයිතිය සහතික කෙරී නැහැ. රටේ නීතිය හරහා අපහාස නඩුවක් ගොනු කිරීම හැරුණු කොට දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කොට යම් සමතයක් (mediation) කළ හැකි විද්යුත් මාධය එකමුතුවක් ද මෙරට නැහැ. එපමණක් තබා මෙරට රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා නියාමනයට රාජ්‍යයෙන් පවා පැහැදිලි රාමුවක් නැහැ. මේ මහා හිදැස් පුරවා නොගෙන එක්වර ම වෙබ් ප්‍රවෘත්ති නියාමනයට යොමුවීමට SLPI ආයතනයට හෝ මෙරට ප්‍රධාන ප්‍රවාහයේ මාධ්‍ය ආයතනවලට හැකියාවක්, පළපුරුද්දක් හෝ ශිල්ප ඥානයක් නැති බව පිළි ගත යුතුයි.

ලංකාවේ සියළුම මුද්‍රිත මාධ්‍යවල පවා පූර්ණ නියෝජනයක් නැති SLPI ආයතනයට, විද්යුත් මාධ්‍ය ගැන නිසි අවබෝධයක් නැහැ. සමස්ත මාධ්‍ය වෙනුවෙන් කථා කිරීමේ වරමක් ද නැහැ. බ්‍රිතාන්‍යයේ පවා සෙසු මාධ්‍යවලට වෙනස් සංවිධාන ව්‍යුහයක් හරහා වෙබ් ප්‍රවෘත්ති ස්වයං නියාමනය කැරෙද්දී ලංකාවේ පුවත්පත් පැමිණිලි කොමිසම මෙරට එයට අත තැබීමට කල් වැඩි බව මා සමුළුවේදී කියා සිටියා.

ලංකාවේ සැබෑ තත්ත්වය දත් අපට, පොදු උන්නතිය සදහා වෙබ් ප්‍රවෘත්ති ද නියාමනය කළ යුතු යයි මතු කරන තර්කය ගෙඩි පිටින් පිළි ගත නොහැකියි. “ලබ්බට තැබූ අතමයි පුහුලටත් තබන්නේ” යන කියමන සිහිපත් කරමින් කිව යුත්තේ පොදු උන්නතිය ඉක්මවා යන බොහෝ දේත් ඒ සමග ම නියාමනයට හා පාලනයට උත්සාහ කැරෙන බවයි. එයට මෑත ඉතිහාසයේ සාක‍ෂි හා අත්දැකීම් බහුලයි.

ඉන්ටර්නෙට් ප්‍රවෘත්ති නියාමනය ගැන නිරවුල් හා මැදහත් සංවාදයක් අවශ්‍යයි. ගොඩබිම සිට පිහිනීම ගැන හා කිමිදීම ගැන කථා කිරීම ප්‍රායෝගික නොවන්නා සේ ම මිහිමත සිටගෙන අභ්‍යවකාශයේ හැසිරීම නියාමනය කරන්නට තැත් කිරීමත් සීරුවෙන් කළ යුත්තක්!