සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය

In this Ravaya column, I look back at Sri Lanka’s support for the anti-Apartheid struggle, extended in various ways — both officially and personally. Three times Prime Minister Mrs Sirimavo Bandaranaike was vocal in international forums, and also wrote personal letters to Nelson Mandela when he was in prison.

At a scholarly level, Lankan-born legal scholar Dr Christopher Weeramantry wrote a book titled ‘Apartheid: The closing phases?’ in 1980 which had far-reaching influence in the prolonged campaign against Apartheid.

Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike
Justice C G Weeramantry & Mrs Sirimavo Bandaranaike

නෙල්සන් මැන්ඩෙලා සිය දිගු ගමන නිමා කොට නික්ම ගියා. ඔහුගේ පරමාදර්ශී චරිත කථාව හා නොනිමි අරගලය ගැන මේ මාසය පුරා බොහෝ මාධ්‍ය හා සභාවන්හි කථා කැරෙනවා.

අපට කිලෝමීටර් දහස් ගණනක් ඈත රටක් වූ දකුණු අපි‍්‍රකාවේ අඩ සියවසක් පමණ කලක් කි‍්‍රයාත්මක වූ මර්දනකාරී වර්ණභේදවාදය (Apartheid) එකල අපේ අවධානයට ලක් වූයේ ඉඳහිටයි. 1982දී අපේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩකයන් කිහිප දෙනකු නිල නොවන කි‍්‍රකට් සංචාරයකට එරටට යාම මහත් ආන්දෝලනයක් ඇති කළා.

වර්ණභේදවාදය නිසා කී‍්‍රඩා ලෝකයෙන් කොන් කර සිටි දකුණු අපි‍්‍රකාවේ පාලකයන් මුදල් වීසි කරමින් මෙසේ කී‍්‍රඩා කණ්ඩායම් ගෙන්වා ගැනීම සිදු වුණා. ඒ සංචාරයට සහභාගී වූ සියඵ ලාංකික කී‍්‍රඩකයන්  වසර 25ක කී‍්‍රඩා තහනමකට ලක් වූ බව අප දන්නවා. ඒ හරහා අපේ කි‍්‍රකට් කී‍්‍රඩාවට ඇති වූ පසුබෑම විශාලයි. එහෙත් ඒ මොහොතේ ශී‍්‍ර ලංකාව ගත් ප‍්‍රතිපත්තිමය ස්ථාවරය ප‍්‍රගතිශීලී ලෝකයේ හා දකුණු අපි‍්‍රකානු විමුක්ති නායකයන්ගේ ප‍්‍රසාදයට හේතු වුණා.

1960 හා 1970 දශකවලදී ශී‍්‍ර ලංකාව ඉඩක් ලද සැම විටෙක ම ජාත්‍යන්තර තලයේදී දකුණු අපි‍්‍රකාවේ සමාජ සාධාරණත්වය වෙනුවෙන් කථා කළා. නොබැදි ව්‍යාපාරය, එක්සත් ජාතීන්ගේ සංවිධානය හා වෙනත් සභාවලදී ශී‍්‍ර ලංකා විදේශ ප‍්‍රතිපත්තිය පැහැදිලිව වර්ණභේදවාදයට එරෙහි වුණා. 1977 බලයට පත් රජය ද මේ ස්ථාවරය දිගට ම පවත්වා ගත්තා.

ශී‍්‍ර ලංකා අග‍්‍රාමාත්‍ය තනතුරට අමතරව විදේශ අමාත්‍ය ධූරය ද හෙබ වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නිල මෙන්ම පෞද්ගලික මට්ටමින් ද අපේ රට ගැන හිතකර ප‍්‍රතිරූපයක් විදෙස් රටවල ඇති කරන්නට සමත් වුණා. සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට ඇය ලියුම් ගණනාවක් යැවූ අතර තමන් එය මහත් සේ අගය කළ බව මැන්ඩෙලා පසු කලෙක ප‍්‍රකාශ කළා.

බණ්ඩාරනායක මැතිනිය හා මැන්ඩෙලා කිසි දිනෙක මුණ ගැසුණේ නැතත් ඇය ගැන ගෞරවාන්විත හැගීමක් මැන්ඩෙලා තුළ තිබුණා. ඒ බව චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය හමු වූ දෙවතාවක ම මැන්ඩෙලා මහත්  ඕනෑකමින් කියා තිබෙනවා.

රටක යහපත් ප‍්‍රතිරූපය ගොඩ නංවන්නට රාජ්‍ය නායකයන්, තානාපතිවරුන් හා වෙනත් නිලධාරීන් පමණක් නොව එරටින් බිහි වන බුද්ධිමතුන් හා කලාකරුවන් ද දායක වනවා.

වර්ණභේදවාදය එරෙහිව වැදගත් බුද්ධිමය මෙහෙවරක් කළ කීර්තිමත් ලාංකිකයකු නම් ආචාර්ය කි‍්‍රස්ටෝෆර් වීරමන්තී‍්‍රයි. මෙරට ශෙෂ්ඨාධිකරණ විනිසුරුකරුවකු ලෙස කලක් (1967-72) කි‍්‍රයා කොට පසුව  ඕස්ටේ‍්‍රලියාවේ නීති මහාචාර්යවරයකු ලෙස පත්ව ගිය ඔහු ජාත්‍යන්තර නීති හා අධිකරණ ක්‍ෂෙත‍්‍රයේ ගෞරවනීය චරිතයක්. මානව හිමිකම් සුරැකීමට හා ලෝක නීතියේ ආවරණය පුඵල් කිරිමට ඔහු දශක ගණනක මෙහෙවරක් කොට තිබෙනවා.

ඔහු වර්ණභේදවාදයට එරෙහි අරගලයට සම්බන්ධ වූයේ 1980දී ඒ ගැන පොතක් ලිවීමෙන්.

1970 දශකය මැදදී දකුණු අපි‍්‍රකාවේ ස්ටෙලන්බෝච් සරසවියේ (Stellenbosch University) රෝමන් ලන්දේසි නීතිය ඉගැන්වීමට ආරාධිත මහාචාර්යවරයකු ලෙස ආචාර්ය වීරමන්තී‍්‍රට ඇරැයුමක් ලැබුණා. තනතුරට සරිලන ගෙවීම් හා වරප‍්‍රසාදවලට අමතරව ‘ගරු සුදු ජාතිකයකු’ ලෙස ඔහු සැළකීමට ද සරසවිය ප‍්‍රතිඥා දුන්නා.

වීරමන්තී‍්‍ර මේ ශාස්තී‍්‍රය ඇරැයුම පිළිගත්තේ කොන්දේසි සහිතවයි. එනම් දේශනාගාරවල තමන් උගන්වන කිසිවක් වාරණය කළ නොහැකි බව හා තමා කැමති  ඕනෑ ම තැනකට ගොස් එරට  ඕනෑ ම කෙනකු සමග කථාබහ කිරීමේ අවකාශය තිබිය යුතු බවට. පවතින දැඩි වර්ණභේදවාදී රාමුව තුළ වුව ද සරසවිවලට යම් නම්‍යශීලිතාවක් හා නිදහසක් තිබූ බැවින් සරසවි පාලකයන් මේ කොන්දේසිවලට එකඟ වුණා.

මේ අනුව ඔහු පූර්ණකාලීනව සේවය කළ  ඕස්ටේ‍්‍රලියානු සරසවියෙන් නිවාඩු ලබා දකුණු අපි‍්‍රකාවට ගිය වීරමන්තී‍්‍ර, එහි මාස කිහිපයක් ගත කළා. මානව හිමිකම් නීති ගැන පර්යේෂකයකු ලෙස එම හිමිකම් මුඵමනින් ම පාහේ බහුතර ජනතාවකට අහිමි කළ රටකට ගොස් සැබෑ තත්ත්‍වය සියැසින් දැක බලා ගැනීමේ අවස්ථාව ඒ හරහා ඔහු ලබා ගත්තා.

සමේ වර්ණය මත පදනම් වී සමස්ත ජන සමාජයක් බෙදා වෙන් කොට දැඩි ලෙස ස්ථරීයකරණය කිරීම හරහා පාලනය කරන එරට ගැන පොතපතින් කියවා තිබුණත් එය අත්විදීම තමා තුළ බලවත් කම්පනයක් ඇති කළ බව වීරමන්තී‍්‍ර සිහිපත් කරනවා.

සුදු සුඵතරයකට රටේ හොඳම ප‍්‍රදේශවල පදිංචිවීමට, ඉහළ ම අධ්‍යාපනික හා ව්‍යාපාරික අවස්ථා භුක්ති විදීමට නීතියෙන් ඉඩ සළසා තිබූ අතර සම කඵ හා දුඹුරු බහුතරයට දැඩි සීමා බන්ධනවලට යටත්ව දුක සේ ජීවත් වීමට සිදුව තිබුණා. පොදු ස්ථානවලදී පවා සුදු ජාතිකයන්ට එක් දොරටුවකුත් අන් අයට තවත් දොරටුවකුත් නියම කැරුණා.

‘‘යුක්තිය, සාධාරණත්වය හා සමානාත්මතාවය ගැන මා දැන සිටි සියඵ ම මූලධර්මවලට මුඵමනින් එරෙහි වූ ක‍්‍රමයක් එවකට දකුණු අපි‍්‍රකාවේ කි‍්‍රයාත්මක වුණා.  ඕනෑ තැනෙකට යාමේ අසාමාන්‍ය නිදහසක් මට තිබූ නිසා මා කඵ ජාතිකයන්ගේ ජනාවාස, පතල් හා ගොවිපළවලට ගියා. එසේම ඉහළ මධ්‍යම පාංතික සුදු ජාතිකයන්ගෙන් සැදුම් ලත්  ශෙෂ්ඨාධිකරණය හා අනෙක් නීති ක්‍ෂෙත‍්‍රවල මා සංසරණය වුණා. එක ම රටේ අන්ත දෙකක යථාර්ථය මේ හරහා මා පෞද්ගලිකව අත් දුටුවා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

වර්ණභේදවාදයට විරුද්ධ වූ සුදු ජාතිකයන් ගණනාවක් ද තමා දැන හඳුනා ගත් බවත්, ඔවුන් සමග රටේ නොයෙක් ප‍්‍රදේශවල සංචාරය කළ බවත් ඔහු සිහිපත් කරනවා.

‘‘මා එහි ගත කළ කාලයේ නෙල්සන් මැන්ඩෙලා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම වී රොබන් දුපතේ දැඩි ආරක්‍ෂිත බන්ධනාගාරයේ සිටියා. එහෙත් ඔහු ඇතුඵ දේශපාලන සිරකරුවන්ගේ නම් එරට සාමාන්‍ය ජනතාව හොදින් දැන සිටියා. ඔවුන් ගැන නිතර ගෞරවයෙන් කථා බහ කැරුණා.’’

මැන්ඩෙලා හමුවීමට වීරමන්තී‍්‍ර ගත් උත්සාහය සාර්ථක වූයේ නැහැ. ඒ කාලයේ පවුලේ අයටවත් මැන්ඩෙලා බලන්නට ඉඩක් තිබුණේ නැහැ.

වීරමන්තී‍්‍ර පසුව සිය චරිත කථාවේ ලියූ හැටියට: ‘‘වර්ණභේදවාදී ක‍්‍රමය දැඩි ලෙස ස්ථාපිත වී ඇතැයි මතුපිටින් බැලූ විට පෙනුණත් එයට දිගු කල් පැවතීමට බැරි බව මා තේරුම් ගත්තා. යුක්තිය හා සාධාරණත්වය ගරු කරන කඵ, දුඹුරු හා සුදු සමැති සියඵ දෙනා මේ ක‍්‍රමය පිළිකුල් කළා. එයට එරෙහි ජන විරෝධය කැකෑරෙමින් තිබූ සැටි මා දුටුවා.’’

Apartheid, the closing phases - book cover
Apartheid, the closing phases – book cover

තම ඉගැන්වීම හමාර කොට ආපසු  ඕස්ටේ‍්‍රලියාවට ගිය වීරමන්තී‍්‍ර, තම අත්දැකීම් කැටි කොට වර්ණභෙදවාදය අවසන් කිරීමට කුමක් කළ යුතු ද නමින් පොතක් ලිව්වා. (‘Apartheid: The closing phases?’, 1980). වර්ණභේදවාදය සාධරණීකරණය කරන්නට දකුණු අප‍්‍රිකාවේ සමහර අවස්ථාවාදී උගතුන් මතු කර තිබූ තර්ක සියල්ල නිෂ්ප‍්‍රභ කරමින්, මේ නීතිගත අසාධාරණයේ දැවැන්ත සමාජ, ආර්ථික හා මානුෂික හානි පිටස්තරයකුගේ විග‍්‍රහයක් ලෙස පෙන්වා දුන්නා.

අපි‍්‍රකාවේ ස්වදේශිකයන් ම්ලේච්ඡ පිරිසක් බවත්, ස්වයං පාලනයකට හෝ සම අවස්ථා භුක්ති විදීමට ඔවුන්ට හැකියාවක් නැති බවත් කියමින් වර්ණභේදවාදී පාලකයන් ලෝක ප‍්‍රජාව නොමඟ යවමින් සිටි ඒ වකවානුවේ ස්වාධීන ආසියාතික උගතකු මෙසේ තර්කානුකූලව හා සාවධානව වර්ණභේදවාදය විවේචනය කිරීමේ ලොකු වැදගත්කමක් තිබුණා.

වර්ණභේදවාදය පිටුදැකීමට ප‍්‍රචණ්ඩත්වය වෙනුවට දේශපාලන කි‍්‍රයාදාමයකට යොමු වීමේ වැදගත්කමත්, ඒ සඳහා එරට තුළ හා එරටින් පිටත ගත හැකි නිශ්චිත පියවර 51කුත් වීරමන්තී‍්‍ර සිය පොතෙන් පෙන්වා දුන්නා.

සුදු ජාතික සුඵතර පාලනය ලෝක ප‍්‍රජාවෙන් කොන් කිරීමට ඔහු යෝජනා කළ පියවර අතර විදේශ ආයෝජන නොකර සිටීම, රටට විදේශීය බැංකු ණය දීම ප‍්‍රතික්‍ෂෙප කිරීම, එරටින් ඉදිරිපත් කැරෙන බුද්ධිමය දේපළ සඳහා පේටන්ට් ඉල්ලූම්පත් ප‍්‍රදානය නොකිරීම, හා ජනමතයට ප‍්‍රබලව බලපෑ හැකි කි‍්‍රස්තියානි පල්ලිය මේ සමාජ අරගලයට සෘජුව මැදිහත්වීම ආදිය ද වූවා.

මෙකී නොකී පියවර හරහා පාලකයන්ට බලපෑම් කරන අතර සාධාරණත්වය අගය කරන, නිර්දේශපාලනික සුදු ජාතික දකුණු අපි‍්‍රකානුවන් හැකි තරම් දෙනා උපක‍්‍රමශීලිව හවුල් කරගත යුතු යැයි ද වීරමන්තී‍්‍ර නිර්දේශ කළා.

1990දී නිදහස ලබා පැමිණී මොහොතේ පටන් මැන්ඩෙලා ගෙන ගියේ ද සුදු විරෝධී හෝ අධිරාජ්‍ය විරෝධි අරගලයක් නොවෙයි. සුදු-කඵ-දුඹුරු හැම දෙනාට සම අයිතිවාසිකම් දීමේ සාරධර්මීය ප‍්‍රයන්තයක්.

‘‘කෙතරම් දැඩි ලෙස කොපමණ කලක් කි‍්‍රයාත්මක කළත් අසාධාරණ පාලන ක‍්‍රමයක් සංවිධානාත්මක හා ප‍්‍රතිපත්තිගරුක විරෝධතාවයක් හරහා අවසන් කළ හැකි බව මා පෙන්වා දුන්නා. මගේ පොතේ බුද්ධිමය හා චින්තනමය බලපෑම් බොහෝ දුර විහිදුණු බව එරටින් ලැබුණු ප‍්‍රතිචාරවලින් මට පෙනී ගියා,’’ යයි වීරමන්තී‍්‍ර කියනවා.

පොත ප‍්‍රකාශයට පත් වූ විගස එය දකුණු අපි‍්‍රකාවට ගෙන ඒම හා ළඟ තබා ගැනීම එරට රජය විසින් තහනම් කරනු ලැබුවා. එහෙත් පොතේ මයික්‍රෝෆිල්ම් පිටපතක් පෑනක් තුළ සඟවා ගෙන එරටට හොරෙන් ගෙන යන ලදුව එය යටිබිම්ගත දේශපාලන කි‍්‍රයාකාරිකයන් විසින් රහසේ මුද්‍රණය කර බෙදා හරිනු ලැබුවා.

මේ පොත ලිවීම නිසා වර්ණභේදවාදී පාලකයන්ගේ උදහසට ලක් වූ වීරමන්තී‍්‍රට යළිත් එරටට යා හැකි වූයේ 1994 මැන්ඩෙලා ජනාධිපති වීමෙන් පසුවයි.

1994 එරට බහුතර ඡන්දයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජයක් බලයට පත් වූ පසු වීරමන්තී‍්‍ර තමන් කලකට පෙර ඉගැන් වූ ස්ටෙලන්බෝච් සරසවියට ගියා. ඒ වන විට හේග් නුවර ලෝක අධිකරණයේ  උපසභාපති ලෙස ජාත්‍යන්තර සම්මානයට පත්ව සිටි ඔහු ඒ සරසවියේදී මහ ඉහළින් පිළිගනු ලැබුවා. කලක් තහනම් කරන ලද තමාගේ පොතේ පිටපත් දැන් එහි ආඩම්බරයෙන් ප‍්‍රදර්ශනය කැරෙන බව ඔහු දුටුවා.

images

මැන්ඩෙලා ගැන මෙරට මාධ්‍ය හරහා ගුණකථන හා විග‍්‍රහයන් කළ සමහරුන් ඔහු අධිරාජ්‍ය විරෝධියකු හා සුදු විරෝධියකු ලෙස ලඝු කළත් එය වැරදියි. ඔහු සියඵ අධිපතිවාද විරෝධියෙක්.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය 1948-1990 කාලයේ කි‍්‍රයාත්මක කළේ පිටතින් පැමිණ එරට අල්ලා ගත් පිරිසක් නොවෙයි. පරම්පරා ගණනක් එරට පදිංචිව සිටින, යුරෝපීය සම්භවයක් සහිත අෆි‍්‍රකානර් (Afrikaners) නමින් හඳුන්වන සුඵ ජාතිකයන් පිරිසක්. (මේ අය යම් තරමකට අපේ රටේ බර්ගර් ජාතියන්ට සම කළ හැකියි. අප තව දුරටත් බර්ගර්වරුන්ට යුරෝපීයයන් හෝ අධිරාජ්‍යවාදීන් යයි කියන්නේ නැහැ. ඒ අයත් අපේ ම මිනිස්සු.)

වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත් වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1963-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා.

එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා. නඩු තීන්දුව දෙන දවසේ ඔහු අධිකරණයේ චූදිතයකු ලෙස සාවධානව හා අභිමානවත් ලෙසින් කළ කථාව ලෝක ඉතිහාසයේ හොද ම කථා කිහිපය අතරින් එකක් ලෙස සැළකෙනවා.

ඔහු එය අවසන් කළේ මෙසේයි: ‘‘අපි‍්‍රකානුවන් සැමගේ නිදහසේ අරගලය වෙනුවෙන් මා මගේ මුඵ ජීවිතය ම කැප කොට තිබෙනවා. සුදු අධිපතිවාදයට එරෙහිව මෙන් ම කඵ අධිපතිවාදයට එරෙහිවත් මා සටන් වැදුණා. මගේ සිහිනය හා අරමුණ නම් සියඵ දෙනා සම අයිතිවාසිකම් හා සම අවස්ථා භූක්ති විදිමින් සාමකාමීව වෙසෙන සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස් සමාජයක් බිහි කිරීමයි. මේ පරමාදර්ශය සාක්ෂාත් කර ගන්නා තුරු ජීවත්වීම මගේ බලාපොරොත්තුවයි. එහෙත්  ඕනෑ වුවහොත් ඒ වෙනුවෙන් මිය යන්නට වුවත් මා සූදානම්!’’

Nelson Mandela (1918 - 2013) - Thank you & Goodbye!
Nelson Mandela (1918 – 2013) – Thank you & Goodbye!

සිවුමංසල කොලූගැටයා #147: විස වෙළදාමේ යෙදෙන හරිත මාෆියා ලෝකයට ම තර්ජනයක්

This week’s Ravaya column (in Sinhala) looks at the widespread practice of toxic waste dumping in Italy (and overseas) by mafia groups contracted for the task by polluting industries. In the 1990s, this gave rise to what is now called Ecomafia.

I covered similar ground in this English column on 24 Nov 2013: When Worlds Collide #92: When Mafia Goes ‘Green’, Nobody is Safe!

Thanks to Greenaccord for all the information and some images.

ecomafia

මාෆියා!

මේ වචනය මෑත කාලයේ වඩාත් අපේ රටේ ජනමාධ්‍ය හරහාත්, දේශපාලන ක්‍ෂෙත‍්‍රයේත් භාවිතා වනු දැකිය හැකියි. නීතියට ඉහළින් හා සංවිධානගතව කැරෙන  ඕනෑ ම කි‍්‍රයාවක් හඳුන්වන්නට අප මාෆියා යයි කීවත් එය ඇරැඹුණු ඉතාලියේ ඒ සඳහා නිශ්චිත තේරුමක් තිබෙනවා.

මුල් අරුතින් මාෆියා (mafia) කියන්නේ සංවිධානගතව අපරාධ කි‍්‍රයාවල යෙදෙන, ඒ හරහා යම් භූමි ප‍්‍රදේශයක් පුරා සිය අණසක පතුරුවා ගෙන සිටින කල්ලිවලටයි. ඔවුන් එසේ කරන්නේ රාජ්‍ය නිලධාරීන් හා ජනතාවගේ ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් බිය වැද්දීමෙන්. නැත්නම් ඔවුන්ට තෑගිබෝග හා මුදල් ලබා දී නතු කර ගැනීමෙන්.

මේ සංකල්පීය නිරවුල් බව මා ලැබුවේ නොවැම්බරයේ දින කිහිපයක් ඉතාලියේ දකුණු දිග නේපල්ස් නගරයේ පැවති ජාත්‍යන්තර සමුඵවකට සහභාගි වීමෙන් පසුවයි. Greenaccord නම් ඉතාලියානු විද්‍යාත්මක හා පාරිසරික ආයතනයක් විසින් සංවිධානය කරන ලද මේ සමුඵවේ එක් සැසියක් මුඵමනින් වෙන් වූයේ ඉතාලිය මුහුණ දී සිටින බරපතල හරිත මාෆියාව (ecomafia)ගැන සාකච්ඡා කරන්නයි.

Greenaccord logoමාෆියා සියවස් ගණනක් පුරා ඉතාලියේ යම් ප‍්‍රදේශවල කි‍්‍රයාත්මක වූවත් හරිත මාෆියා බිහිව ආයේ 1990 දශකයේ පටන්. සාම්ප‍්‍රාදායිකව මත්ද්‍රව්‍ය, හොර සල්ලි හා කප්පම් ගැනීම ආදියේ නිරතව සිටි මාෆියා කල්ලි කෙමෙන් තම ආදායම් මාර්ග පුඵල් කිරීමට අවස්ථා සොයා ගියා. එහිදී ඔවුන් සොයා ගත්තේ පරිසර දුෂණය අවම කිරීම සඳහා අඵතෙන් හඳුන්වා දුන් හෝ වඩාත් දැඩි කළ නීතිරීති නිසා අපද්‍රව්‍ය ඉවතලීම බොහෝ කර්මාන්තවලට ප‍්‍රශ්නයක් වී ඇති බවයි.

කම්හල් දුමාරය පිට කිරීමේදී එය පිරිසිදු කරන විශෙෂිත දුම්බට සවි කිරීමටත්, ඝන හා ද්‍රව අපද්‍රව්‍ය විස ඉවත් කිරීමෙන් පසුව පමණක් මුදා හැරීමටත් සියඵ කර්මාන්තවලට නියම වුණා. මේ සඳහා අවශ්‍ය තාක්‍ෂණයට සැළකිය යුතු අමතර වියදමක් දැරීමට කර්මාන්ත හිමියන්ට සිදු වුණා. බොහෝ හිමියන් එය වැය කළත්, මේ නීතිගරුක පියවර මග හැරීමට හොර පාරක් ඇත්දැයි මුදල් තණ්හාවෙන් පෙඵණු සමහර කර්මාන්තකරුවන් විපරම් කළා.

ඉතාලි මාෆියා කල්ලි හීන්සීරුවේ එබඳු කම්හල් හිමියන්ට කීවේ ‘නිසි ලෙස ඉවතලීමට වැය වන මුදලට වඩා අඩු ගෙවීමක් අපට කරන්න. අප ඔබේ කම්හල් අපද්‍රව්‍ය අතුරුදහන් කරන්නම්!’ කියායි.

කොයිකාටත් හොරෙන් කම්හල් අපද්‍රව්‍ය මහා පරිමාණයෙන් භාර ගත් මාෆියා කල්ලි කළේ ඉතාලියේ ම ජනශුන්‍ය දුර බැහැර ප‍්‍රදේශවලට ගොස් ඒවා ඉවතලීමයි. මේ බොහෝ අපද්‍රව්‍යවල අධික ලෙස විස සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු බව කම්හල් හිමියන් මෙන් ම මාෆියා කල්ලි ද දැන සිටියා. එහෙත් ඔවුන් ඒ ගැන කිසිදු තැකීමක් කළේ නැහැ.

එපමණක් නොවෙයි. මාෆියාවට අනුබද්ධිත නීත්‍යානුකූල යම් ව්‍යාපාරවල අමුද්‍රව්‍ය ලෙස ද අධික විස සහිත අපද්‍රව්‍ය යොදා ගත්තා. උදාහරණ නම් මහාමාර්ග තැනීමට හා ගොඩනැගිලි ඉදිකිරීමට. එබඳු තැන්වලදී ඔවුන් රහසිගතව සිමෙන්ති හෝ කොන්කී‍්‍රට් මිශ‍්‍රණවලට විස අපද්‍රව්‍ය යම් ප‍්‍රමාණයක් එකතු කළා. එක් අවස්ථාවකදී ප‍්‍රාථමික පාසල් ගොඩනැගිල්ලක් තැනීමේදීත් මෙසේ කළ බව පසුව හෙළි වුණා.

Discussing ecomafia in Naples - L to R Dr Antonio Giordano, Franco Roberti, Christiana Ruggeri, Ermete Realacci, Angelo Spinillo & Antonio Pergolizzi
Discussing ecomafia in Naples – L to R Dr Antonio Giordano, Franco Roberti, Christiana Ruggeri, Ermete Realacci, Angelo Spinillo & Antonio Pergolizzi

වසර ගණනක් තිස්සේ මේ සාපරාධී කි‍්‍රයාව කර ගෙන යන්නට හරිත මාෆියාවන්ට හැකි වූයේ පොලීසිය, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා ප‍්‍රාදේශීය දේශපාලකයන්ගේ අනුදැනුම හා රැකවරණය යටතේ බව මේ ගැන ගවේෂණාත්මකව අධ්‍යයනය කළ ලෙගාම්බියන්තේ (Legambiente)  නම් ඉතාලි පාරිසරික සංවිධානය කියනවා. 1993දී මේ ප‍්‍රවණතාව මුල් වරට හඳුනා ගෙන ecomafia යන යෙදුම යෝජනා කළේ ඔවුන් විසින්.

එවක් පටන් ඉතාලියේ මාෆියා විරෝධී විශෙෂ පොලිස් හා අධිකරණ කණ්ඩායම් සමග සමීපව කි‍්‍රයාකරමින් හරිත මාෆියාවේ අපරාධ නිරාවරණය කරන්නට ලෙගාම්බියන්තේ කි‍්‍රයා කරනවා.

ලෙගාම්බියන්තේ සංවිධානයේ ඇන්ටෝනියෝ පර්ගොලිසි (Antonio Pergolizzi) කියන හැටියට: ‘‘විස අපද්‍රව්‍ය ඉවතලීමේ අභියෝගයට මුහුණ දී සිටි කර්මාන්තකරුවන් දුටු මාෆියාව එය හොඳ ව්‍යාපාරික අවස්ථාවක් කර ගත්තා. නිසි පරිදි විස අපද්‍රව්‍ය ඉවතලීමට යන වියදමෙන් හතරෙන් පංගුවකට පමණ අපද්‍රව්‍ය තොග අතුරුදහන් කරදීමේ කොන්ත‍්‍රාත්තුව මාෆියා භාර ගත්තා.’’

ජනාවාස වලින් දුරස්ථ වූ වන ලැහැබවල, ගංගා ඉවුරුවල හා මහාමාර්ග – ගොඩනැගිලි ඉදි කරන තැන්වල විස අපද්‍රව්‍ය ඉවත දැමීම වසර ගණනක් කර ගෙන ගියා. අත්හැර දැමූ ළිංවල, අවභාවිතයට ගිය ගල්වල හා ගොවිපළවල මෙන්ම ඉඩකඩ තිබූ  ඕනෑ ම තැනක විස අපද්‍රව්‍ය ඉවත දමා පළා යන්නට මාෆියාව කි‍්‍රයා කළා. එයින් පස හා ජලය බරපතල ලෙස දුෂණය වුණා. ඇතැම් අපද්‍රව්‍යවල පිළිකාකාරක රසායන ද්‍රව්‍ය 200කට වඩා තිබූ බව පසුව සොයා ගනු ලැබුවා.

Beware of Ecomafiaවිකිරණශීලී අපද්‍රව්‍ය ශරීරගත වූ විට නම් ඉක්මනින් මිනිසුන් රෝගී වනවා. එහෙත් සුඵ මාත‍්‍රා වලින් ජලයේ හා ආහාරදාමය ඔස්සේ විස අපද්‍රව්‍ය ශරීරගත වූ විට අහිතකර සෞඛ්‍ය විපාක මතුවන්නට දිගු කලක් ගත වනවා.

ඉතාලියේ සමහර නගර හා ගම්මානවල ජනයා අතර අසාමාන්‍ය තරමේ පිළිකා හට ගැනීම වාර්තාවීමත් සමග 1990 දශකය අග න්‍න විට රහස් පරීක්‍ෂකයන් මෙන් ම විද්‍යාඥයන් ද මෙයට හේතු විමර්ශනය කිරීම ඇරැඹුවා.

මිනිස් සිරුර එකවර ආහාරපාන, ජීවන චර්යා හා පාරිසරික බලපෑම් රැසකට පාත‍්‍ර වන නිසා යම් රෝගාබාධයකට හේතු කාරක වන තනි සාධකයක් හරියටම වෙන් කර හඳුනා ගැනීම දුෂ්කරයි. එහෙත් මාෆියාව විස අපද්‍රව්‍ය ඉවත දැමූ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ට පිළිකා ගෙන දීමට වැඩිපුර ම දායක වූයේ ඒවායේ රසායනද්‍රව්‍ය බවට ප‍්‍රමාණවත් සාක්ෂි ඇතැයි වෛද්‍ය පර්යේෂක ඇන්ටෝනියෝ ජියෝඩානෝ (Dr Antonio Giordano) කියනවා.

‘‘මුල් කාලයේ මේ ගැන ඇති තරම් මහජන අවබෝධයක් තිබුණේ නැති නිසා සාමාන්‍ය මිනිසුන් මෙහි බරපතලකම වටහා ගත්තේ නැහැ. එහෙත් පිළිකා ඇති වීම ඉහළ යත්ම එය වෙනස් වුණා. මෙය වෛද්‍යවරුන්ට හා සෞඛ්‍ය සේවකයන්ට පමණක් විසදාගත හැකි ප‍්‍රශ්නයක් නොවෙයි. මේ මහා අපරාධයට වගකිව යුතු කම්හල් හිමියන්, මාෆියා සාමාජිකයන් වගේ ම කලක් ඇස් කන් පියා ගෙන සිටි දුෂිත නිලධාරීන්ටත් එරෙහිව දැඩි පියවර ගත යුතුයි!’’

බහුතරයක් දුෂිත හෝ අකාර්යක්ෂම නිලධාරීන් හා දේශපාලකයන් අතර ජනතා සුභසාධනයට කැප වූ අයත් සිටිනවා. කලක් පරිසරවේදියකු ලෙස කි‍්‍රයාකොට පසුව දේශපාලනයට පිවිසි එර්මෙටේ රියලාචි (Ermete Realacci) එවන් අයෙක්. ඔහු දැන් ඉතාලි පාර්ලිමේන්තුවේ පාරිසරික කොමිසමේ සභාපති. කලක පටන් හරිත මාෆියාවට එරෙහිව කි‍්‍රයා කරන්නෙක්.

‘‘මුල් කාලයේ අපේ නීති කි‍්‍රයාත්මක කරන ආයතන මේ ප‍්‍රශ්නයේ බරපතලකම තේරුම් ගත්තේ නැහැ. පොලිස් හා රේගු නිලධාරීන් නිතර අවධානය යොමු කළේ මත්ද්‍රව්‍ය අල්ලන්නයි. පාරිසරික ප‍්‍රශ්න සුදුසු බාලදක්ෂයන්ටයි කියා සමහරුන් විහිඵත් කළා!’’ ඔහු කියනවා.

එහෙත් තවදුරටත් මෙය සුඵ පටු ප‍්‍රශ්නයක් නොවෙයි. 2010 වසරේ පමණක් මාෆියා කල්ලි අඩු තරමින් පාරිසරික අපරාධ 30,000ක් වත් කළ බවට අනුමාන කැරෙනවා. විස අපද්‍රව්‍ය අතුරුදහන් කිරීමට අමතරව නීතියෙන් ආරක්‍ෂා කළ සතුන් අල්ලා විකිණීම, හොර දැව ජාවාරම්, හොර මස්මඩු පවත්වාගෙන යාම මෙන් ම ජල සම්පත් අනිසි ලෙස හැරවීම ආදිය ද ඊට ඇතුළත්.

ලෙගාම්බියන්තේ ගණන් බලා ඇති අන්දමට ඉතාලිය තුළ හොර රහසේ විස අපද්‍රව්‍ය ඉවත් දැමීමේ ‘‘සේවාව’’ සැපයීම හරහා මාෆියා කල්ලි වසරකට අමෙරිකානු ඩොලර් බිලියන් 26ක් පමණ උපයනවා.

මේ දැවැන්ත හරිත මාෆියාවේ ග‍්‍රහණයට පත්වූ නගරාධිපතිවරුන්, පොලිස් නිලධාරීන් හා සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් රැසක් සිටිනවා. මෙයින් සමහරුන් හඳුනා ගෙන, ඔවුන් තනතුරුවලින් පහකොට නඩු පවරා තිබෙනවා. එහෙත් මාෆියාවට එරෙහිව සටන් කිරීම ඉතා අසීරු කාරියක්. තමන්ට එරෙහි නඩු විභාග කරන විනිසුරුවරයන් ඝාතනයට පවා මාෆියාව පෙළඹෙනවා.

ඉතාලියේ මාෆියා විරෝධි රාජ්‍ය නීති නිලධාරියා (Anti-Mafia Prosecutor) වන ෆ‍්‍රැන්කෝ රොබර්ටි (Franco Roberti) කියන්නේ මෑත වසරවල හරිත අපරාධවලට එරෙහි නීති වඩාත් පුඵල් හා දැඩි කොට ඇති බවයි. එසේම 2006දී පරිසරයට එරෙහි අපරාධ (crimes against the environment)  නම් නව අපරාධ කාණ්ඩයක් එරට අපරාධ නීතියට එකතු කරනු ලැබුවා.

තමාට හමුවූ එක් මාෆියා කල්ලි නායකයකු වරක් කී කථාවක් රොබර්ටි සිහිපත් කරනවා. ‘කොකෙන් වගේ මත්ද්‍රව්‍ය බෙදා හරිනවාට වඩා ලාභදායකයි – එමෙන්ම ලෙහෙසියි – විස අපද්‍රව්‍ය කොන්ත‍්‍රාත්තු භාර ගන්න එක!’’

රට තුළ මේ අපරාධවලට එරෙහිව නීති කි‍්‍රයාත්මක වීම උත්සන්න වන විට හරිත මාෆියා ව්‍යාපාර සෙසු යුරෝපීය රටවලට, චීනයට සහ අපි‍්‍රකාවේ සමහර රටවලට ව්‍යාප්ත වී ඇතැයි රොබර්ටි කියනවා. මෙසේ ගෝලීයකරණය වූ හරිත අපරාධ මැඩ පැවැත්වීමට ලෝක පොලීසිය (ඉන්ටර්පෝල්) හා රටවල් අතර නිල මට්ටමේ සහයෝගිතාව අත්‍යවශ්‍යයි.

‘තනි රටවල් ලෙස මේ ප‍්‍රශ්නය අපට ජය ගන්නට බැහැ. අද වන විට විස අපද්‍රව්‍ය ප‍්‍රවාහනය හා නොනිසි පරිදි ඉවත දැමීම සංවිධානාත්මක දැවැන්ත ජාත්‍යන්තර ජාවාරමක්. එයට එරෙහිවීමට නම් පරිසරවේදීන්, පොලිස් නිලධාරීන් හා රේගු නිලධාරීන් අත්වැල් බැඳ ගත යුතුයි’ රොබර්ටි කියනවා.

Toxic waste barrels

අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව කියන්නේ ගෝලීයකරණය වූ විස අපද්‍රව්‍ය ජාවාරම ලෝකයට ම තර්ජනයක් බවයි. විස පිටරට යවන රටවල මෙන් ම ඒවා ලබා ගෙන ඉවත ලන රටවලත් දුෂිත නිලධාරීන්ගේ උදව්වෙන් මේ අපරාධ කැරෙන බව ඔවුන් කියනවා. ලොව වඩාත් දුෂණ හා වංචා වැඩි රටවල් මේ තර්ජනයට ලක් වීමේ අවදානම ද වැඩියි.

විස අපද්‍රව්‍ය සමහර විට නොයෙක් ලේබල් හා වර්ගකිරීම් යටතේ දියුණු වන රටවලට යවනවා. එබඳු එක් ලේබලයක් නම් ‘වටිනා රසායන ද්‍රව්‍ය උකහා ගැනීමට අමුද්‍රව්‍ය’ ලෙස ඒවා වර්ග කිරීමයි. පළිබොධ නාශක මෙන් බැලූ බැල්මට විස බවක් නොපෙනෙන සමහරක් මේ අපද්‍රව්‍ය අඵ, පස් ආදී ස්වරූපයක් ගන්නවා.

ඉසුරුබර රටවල කර්මාන්තවලින් බැහැර කැරෙන විස අපද්‍රව්‍ය අපි‍්‍රකාවේ හා ආසියාවේ දුගී රටවලට හොර රහසේ යවා ඉවතලීමේ සංවිධානාත්මක ජාත්‍යන්තර අපරාධයන් ගැන 1980 දශකයේ මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් විශේෂ අවධානයක් යොමු කළා. එහිදී සිදු වූයේ දුගී රටවල දුෂිත නිලධාරීන් හෝ දේශපාලකයන්ගේ අනුදැනුම ඇතිව, ඔවුන්ට ද හොර ගෙවීම් කරමින් විස අපද්‍රව්‍ය ජනශූන්‍ය ප‍්‍රදේශවල විවෘතව මුදාහැරීමයි (Toxic Waste Dumping).

මේ ගැන 1990 දශකයේ මතුව ආ ජාත්‍යන්තර උද්ඝෝෂණ නිසා දේශසීමා හරහා විස අපද්‍රව්‍ය ප‍්‍රවාහනය දැඩි ලෙස සීමා කැරෙන හා නියාමනය කරන බේසල් සම්මුතිය (Basel Convention) නම් ජාත්‍යන්තර නීතිය 1992දී කි‍්‍රයාත්මක කැරුණා. ශී‍්‍ර ලංකාව ද එයට අත්සන් තබා සිටිනවා.

ලෝක රේගු සංවිධානය, ඉන්ටපෝල් ජාත්‍යන්තර පොලීසිය හා Toxic Watch වැනි ජාත්‍යන්තර පාරිසරික සංවිධානවල දැඩි අවධානය මෙයට යොමුවීම නිසා රටකින් රටකට විස අපද්‍රව්‍ය හොරෙන් යැවීම තරමක් දුරට සීමා වී තිබෙනවා. එහෙත් රටක් ඇතුළත සංවිධානාත්මක අපරාධ කල්ලි හා වංචනික කම්හල් හිමියන් එකතු වී දුරබැහැර තැන්වල විස අපද්‍රව්‍ය මුදා හැරීම  ඕනෑම රටක සිදු විය හැකියි.

දියුණු රටවලින් මතුව එන පාරිසරික හා සෞඛ්‍ය තර්ජනයන් ගැන නිතර උද්ඝෝෂණය කරන අපේ හරිතවේදීන්, අපේ ම ව්‍යාපාරිකයන් හා කල්ලි විසින් දේශීය හරිත මාෆියාවක් බිහි කරනු ඇත්දැයි විමසිලිමත් වීම වටිනවා.

යටගිය දවස වෙළදාමේ සේරිවාණිජලා මෙන් ම කච්ඡුපුටලාත් සිටියා වගේ අදත් හොඳ ව්‍යාපාරිකයන් මෙන් ම මුදලට කෑදර වංචනික ව්‍යාපාරිකයන් හැම රටක ම සිටිනවා. අපේ රට තුළ ම දේශීය කාර්මික අපද්‍රව්‍ය හොර රහසේ ඉවත දැමේ දැයි විමසිලිමත් වීම අවශ්‍යයි. එසේ කිරීමට වැඩි අවකාශ ලැබෙන්නේ කඩිනමින් යටිතල පහසුකම් හා ගොඩනැගිලි ඉදි කැරෙන ලංකාව වැනි ස්ථානවලයි!

Image courtesy www.legambiente.it
Image courtesy http://www.legambiente.it

Nelson Rolihlahla Mandela (1918 – 2013): Thank You and Goodbye!

Nelson Mandela (1918 - 2013) - Thank you & Goodbye!
Nelson Mandela (1918 – 2013) – Thank you & Goodbye!

Nelson Mandela is no more. The world is exceptionally united in saluting the iconic fighter for democracy, freedom and equality for all humans.

The man who famously chronicled his ‘long walk to freedom’ also had a ‘long goodbye’ that stretched for several months. So his death did not come as a shock. Nevertheless, his departure provides an opportunity to reflect on what he accomplished — and, more importantly, how.

Links to all my posts on Nelson Mandela:

12 Dec 2013: Op-ed essay: Can Development Community catch up with Nelson Mandela?

8 Dec 2013: When Worlds Collide #94: Nelson Mandela as a Great Communicator

21 Oct 2013: සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

26 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

19 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

18 July 2013: Waiting for My Own Mandela…not any longer!

10 Feb 2010: Waiting for Mandela: Film maker recalls momentous week in Feb 1990

4 Feb 2010: Invictus: Clint Eastwood and Morgan Freeman serve more Mandela magic

18 July 2008: Celebrating Nelson Mandela…and South Africa’s television revolution

සිවුමංසල කොලූගැටයා #145: තුන්වන ලෝකයට බුද්ධිමය පහන්ටැඹක් වූ ආචාර්ය ගාමිනී කොරෙයා

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Dr Gamani Corea (1925 – 2013), Lankan economist, diplomat, international civil servant and public intellectual.

For an English version, see: When Worlds Collide #91: Gamani Corea – Champion of the Global South

Dr Gamani Corea - photo courtesy The Hindu
Dr Gamani Corea – photo courtesy The Hindu

අදීනව හා අභිතව, එහෙත් සියුම් හා උපක‍්‍රමශීලී ලෙසින් දේශීයත්වය හා අපේ අනන්‍යතාවය බාහිර ලෝකයට ප‍්‍රක්‍ෂෙපනය කරමින් සංකීර්ණ නූතන සමාජයේ තානාපති හා විදේශ සබඳතා පවත්වා ගැනීම ලොකු අභියෝගයක්.

ප‍්‍රතිපත්ති ගරුක හා ස්වාධීන විදේශ පිළිවෙතක් අනුගමනය කිරීම නිසා 1960-1970 දශකවලදී ශී‍්‍ර ලංකාවට ලෝකයේ බොහෝ රටවල ගෞරවාදරය හිමි වුණා. මෙරටින් බිහි වූ විද්වතුන් හා තානාපතිවරුන් අන්තර් රාජ්‍ය සංවිධානවල ඉහළ තනතුරු හොබවමින් උපන් රටට කීර්තියක් මෙන් ම දියුණු වන ලෝකයට ම මඟ පෙන්වීමක් ද ලබා දුන්නා. මේ අය අතර දැවැන්තයකු වූයේ මෑතදී මිය ගිය ආචාර්ය ගාමිනී කොරෙයා (1925-2013) යි.

කොරෙයාගේ අභාවයත් සමඟ ලෝකයේ නන් දෙසින් නිකුත් කෙරුණු ශෝක පණිවුඩ හා ගුණ සමරු දෙස බලන විට ඔහු කෙතරම් කීර්ති නාමයක් දිනා සිටියා ද යන්න පැහැදිලි වනවා.

මෙරට ඉසුරුබර ප‍්‍රභූ පවුලක ඉපිද, ලංකා විශ්ව විද්‍යාලයේත්, ඉනික්බිති ඔක්ස්ෆර්ඞ් හා කේම්බි‍්‍රජ් යන බි‍්‍රතාන්‍ය සරසවි දෙකෙහිත් උසස් අධ්‍යාපනය ලැබූ කොරෙයා, 1952-1973 වකවානුවේ ලක් රජයේ විවිධ ඉහළ තනතුරු හෙබ වූවා. ආර්ථික විශේෂඥයකු ලෙස අඵතින් නිදහස ලැබූ ලංකාවේ ජාතික සැළසුම් හා මූල්‍ය ප‍්‍රතිපත්ති සම්පාදනයට මූලික වූ ඔහු, පැවති හැම රජයක් යටතේ ම වෘත්තීය ගෞරවය රැක ගනිමින් සේවය කළා.

මෙරට නිල් – කොළ – රතු හැම දේශපාලන පක්‍ෂයක ම හොඳහිත හා ගෞරවය ලැබ සිටි ඔහු, දෙවරක් මෙරට මුදල් ඇමති ධූරය ප‍්‍රතික්‍ෂෙප කොට තිබෙනවා. (1965 ඩඞ්ලි සේනානායක රජයේ හා 1988 ජයවර්ධන රජයේ අවසාන වසරේ.)

ජාතික සැළසුම් මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ, මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ, හා සැළසුම් හා ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වැනි තීරණාත්මක තනතුරු දැරීමෙන් පසුවයි ඔහු 1970 දශකයේ ජාත්‍යන්තර තලයට ප‍්‍රවේශ වූයේ. ඒ වන විට ඔහු ලක් රජය නියෝජනය කරමින් විවිධ එක්සත් ජාතීන්ගේ සම්මේලනවලට සහභාගි වී අත්දැකීම් රැසක් හිමි කර ගෙන සිටියා.

කොරෙයා යුරෝපීය රටවල් ගණනාවකට අනුයුක්ත කළ ලංකා තානාපති හැටියට 1973දී පත් කරනු ලැබුවත් එහි කටයුතු කළෙ මාස කිහිපයයි. වෙළදාම හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය (UNCTAD, http://www.unctad.org) නම් අන්තර්-රාජ්‍ය සංවිධානයේ මහ ලේකම් තනතුරට ඔහු තෝරා පත් කර ගනු ලැබුවා. එය එජා සංවිධාන ජාලයේ ඉහළ තනතුරක්. (පසු කලෙක ජයන්ත ධනපාල උප මහලේකම් තනතුරකට පත් වන තුරු එජා සංවිධානයේ ඉහළට ම ගිය ලාංකිකයා වූයේ ගාමිනී කොරෙයායි.)

Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)
Gamani Corea, Secretary General of UNCTAD (1974-1984)

1964දී ඇරැඹුණු UNCTAD සංවිධානය ජාත්‍යන්තර වෙළදාම, ආයෝජනය හා සංවර්ධනය ගැන ප‍්‍රතිපත්ති නිර්දේශ කරන, මේ ක්‍ෂෙත‍්‍ර අරභයා දියුණු හා දියුණු වන රටවල් අතර යම් තුලනයක් පවත්වා ගන්නට අරමුණු කළ ආයතනයක්. විශේෂයෙන් 1970 – 80 දශක දෙකේදී නව ලෝක ආර්ථික රටාවක් බිහි කිරීමේ උතුරු – දකුණ සංවාදවලදී UNCTAD තීරණාත්මක බුද්ධිමය හා තානාපති මෙහෙරවක් ඉටු කළා. එම මෙහෙවරේ නායකත්වය දැරූවේ 1974-1984 කාලය තුළ (එක පිට එක) ධුර කාල හතරක් එහි මහලේකම් තනතුර දැරූ කොරෙයායි.

ඉසුරුබර රටවල් සමඟ ගැටුම් ඇති කර නොගෙන, සාධාරණත්වය හා සමානාත්මතාවය සඳහා ආචාරධර්මීය කතිකාවතක් දිගට ම පවත්වා ගන්නට ඔහු සමත් වුණා. දියුණු රටවල් (ගෝලීය උතුර) හා දියුණු වන රටවල් (ගෝලීය දකුණ) අතර මේ දිගුකාලීන සංවාදය, සංවේදීතාවන් හා තුලනයන් රැසක් පවත්වා ගත යුතු ඉතා අසීරු කාරියක්.

ධනවත් රටවල මුදල් බලයට හා ප‍්‍රබල තානාපති බලපෑම්වලට නතු නොවී, එමෙන්ම සමහර රැඩිකල්වාදී දකුණේ රටවල ආක‍්‍රමණකාරී හා කලබල ප‍්‍රවේශයන්ට ද ඉඩ නොදී කාගේත් හොඳහිත රැක ගනිමින් වැඩ කිරීමට කොරෙයා අතිශයින් දක්‍ෂයකු වූ බව ඔහුගේ සමකාලීනයන් සිහිපත් කරනවා.

ඔහුට සමාන්තරව ජිනීවා නුවර ගෝලීය සංවාදවලට එකතු වූ තවත් ආර්ථික විශෙෂඥයෙක් නම් වත්මන් ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං. මේ දෙදෙනා අතර දශක ගණනක සමීප මිතු දමක් පැවතුණා.

කොරෙයා ගැන අනුස්මරණ නිවේදනයකින් වත්මන් UNCTAD කාර්යාලය කියා සිටියේ ‘‘ලෝකයේ දුගී රටවලට වඩාත් සාධාරණ, දිගු කාලීන සංවර්ධනයකට පිවිසීමට උපකාර වන විදියේ ගෝලීය ආර්ථික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම සඳහාත්, ජාතීන් අතර වෙළදාමේදී එම රටවලට වඩාත් වාසි සහගත වන පරිසරයක් බිහි කරන්නටත් ඔහු ඉමහත් බුද්ධිමය දායකත්වයක් ලබා දුන්නා’’ කියායි.

ඔහුගේ ජිනීවා සගයකු වූ ජ්‍යෙෂ්ඨ ඉන්දීය පුවත්පත් කලාවේදී චක‍්‍රවර්ති රාඝවන් මෙසේ ආවර්ජනය කළා: ‘‘තුන්වන ලෝකයේ රටවලට ලෝක ආර්ථික ක‍්‍රමය තුළින් වඩාත් හිතකර තත්ත්වයන් උදා කිරීමට කුමක් කළ යුතු ද යන්න ගැන කොරෙයාට තියුණු හා දිගු කාලීන දැක්මක් තිබුණා. එය ආර්ථික විද්‍යා න්‍යායවලට සීමා නොවී, ප‍්‍රායෝගික හා උපායමාර්ගික මට්ටමට විහිදුණා. ඔහු ඇරැඹූ යම් කි‍්‍රයාදාමයන් ඵල දරන්නට වසර හෝ දශක ගණනක් ගත වුණා.’’

මෙබඳු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය විප්ලවයකට හොඳ උදාහරණයක් නම් අත්‍යවශ්‍ය ඖෂධ පිළිබඳ ක‍්‍රමවේදයක් බිහි කිරීමයි. ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ සමීපව කි‍්‍රයා කරමින්, බහුජාතික ඖෂධ සමාගම්වලට නතු නොවී එම ප‍්‍රතිපත්ති සැකසීමට ලාංකික ඖෂධවේදී මහාචාර්ය සේනක බිබිලේට අවශ්‍ය පසුබිම සකසා දුන්නේ ගාමිනී කොරෙයා සහ UNCTAD සංවිධානයයි. පසුව ආචාර්ය කුමාරයියා බාලසුබ‍්‍රමනියම් බිබිලේ නැවතු තැනින් ඒ ගමන ඉදිරියට ගෙන ගියේ ද UNCTAD හරහායි.

රාඝවන් සිහිපත් කරන හැටියට කොරෙයා කිසි විටෙක තදබල හෝ සැරපරුෂ ලෙස කථා කළේ නැහැ. අතිශයින් ආචාරශීලී හා සුහද ලෙස එහෙත් බුද්ධිමය ස්ථාවරයන්ගෙන් නොසැළී ඔහු ආන්දෝලනාත්මක සමුඵ සැසිවාරයන් හැසිර වූ බවත්, අමෙරිකාව හා යුරෝපීය ප‍්‍රජාව තුළින් මතුව ආ උද්දච්චකම ඔහු හීන්සීරුවේ නිශේධනය කළ බවත් රාඝවන් කියනවා.

මේ නිසා ධනවත් රටවලට කොරෙයා රිස්සුවේ  නැතත්, ඔවුන් පවා ඔහුගේ අවංක බව හා බුද්ධි මහිමය අගය කළා.

පසු කලෙක ලංකා තානාපති සේවයට ආලෝකයක් ගෙන දුන් විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරගාමර් මෙන් ම ගාමිනී කොරෙයාත් ඉංගී‍්‍රසි බස ව්‍යක්තව හා සියුම්ව හැසිරවීමට ගජ හපනෙක්. ඔහු කී සමහර වදන් කලක් ගත වීත් ලෝක ආර්ථික හා දේශපාලන තලයන්හි තවමත් ප‍්‍රතිරාවය වනවා.

මා ඇසූ එක් කොරෙයා කියමනක්: ‘‘තුන්වන ලෝකයේ බොහෝ රටවලට සැබැවින් සිටින්නේ එක ම එක මුදල් ඇමතිවරයෙක්. ඒ තමයි ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල!’’ (මේ ආයතන ද්විත්වය UNCTAD ප‍්‍රතිසංස්කරණවලට කැමති නොවී දිගින් දිගට ම කොරෙයා සමඟ වාදවලට පැටඵණා.)

පූර්ණකාලීන එජා සංවිධාන සේවයෙන් ඉවත් වූ පසුවත් ඔහු විවිධ රජයන්, ලෝක ආයතන හා සිවිල් සංවිධානවල ගරු තනතුරු හා උපදේශක තනතුරු රැසක් දරමින් තවත් කලක් ජිනීවා නුවර රැදී සිටියා. වයස 75 පමණ වනතුරු ඔහු සකි‍්‍රය වෘත්තීය දිවි පෙවෙතක් ගත කළා.

තිරසාර සංවර්ධනය ගැන ගෝලීය චින්තනයක් ගොඩ නැංවීමට 1970 හා 1980 දශකවල මුල් සංවාද රැසකට ද ඔහු සහභාගී වූවා. එබඳු සංවාදවලදී අන්ත හරිතවාදය මෙන් ම අන්ත ධනවාදයටත් එකඟ නොවී යම් සමබර ප‍්‍රවේශයන් වෙත ලෝකයේ ආණ්ඩු යොමු කළා. මේ මෙහෙවර නිසා 1992 බ‍්‍රසීලයේ රියෝ නුවර පැවති මිහිතල සමුඵවට ගිය ශී‍්‍ර ලංකා රාජ්‍ය දුත පිරිසේ විශෙෂ උපදේශකයකු ලෙස ඔහු පත් කරනු ලැබුවා.

ලෝක සංවිධානවල තනතුරුවලට පත් වන බොහෝ ලාංකිකයන් උඩගු හා උද්දච්ච බවින් පිරී යනවා. එහෙත් කොරෙයා හැමදාමත් ඉතා නිහතමානී, මිත‍්‍රශීලී චරිතයක් වුණා. මෙය මා අත්දුටුවේ වයස 24ක තරුණ මාධ්‍යවේදියකු ලෙස එවකට 65 හැවිරිදි ඔහුගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා ගන්නට ගිය විටදීයි. ඒ 1990 අග භාගයේදී.

හොංකොං නුවරින් පළ කෙරුණු Asia Technology කලාපීය විද්‍යා සඟරාවේ නියෝජිතයකු ලෙස මා ඔහු මුණ ගැසුණේ ආසියාවේ දියුණු වන රටවල ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය කෙසේ යොදා ගත හැකි ද යන්න ගැන ඔහුගේ අදහස් විමසීමටයි. ඉන් පෙර කිසිදු හැඳුනුම්කමක් නොතිබුණත් මා සාදරයෙන් පිළිගත් ඔහු මහත් උද්‍යොගයෙන් හා සුහද ලෙසින් මා සමඟ කථා කළා. 1950දී ඇරැඹි කොළඹ ක‍්‍රමය (Colombo Plan) නම් කලාපීය සහයෝගිතා සංවිධානයට විද්‍යා හා තාක්‍ෂණය පිළිබඳ නව අරමුණක් ආරෝපනය කළ යුතු යයි ඔහු යෝජනා කළා.

විද්‍යාව හා තාක්‍ෂණය හරිහැටි ජාතික සංවර්ධනයට යොදා ගන්නා රටවල් අන් රටවල් අභිබවා ඉදිරියට යන බවත්, එමගින් සිය ජනයාගේ ජීවන මට්ටම් දියුණු කරන බවත් ඔහු පෙන්වා දුන්නා. අද මෙය ප‍්‍රකට කරුණක් වුවත් මීට දශක දෙක හමාරකට පෙර මෙබඳු දැක්මක් බොහෝ ආර්ථික විද්‍යාඥයන්ට තිබුණේ නැහැ.

එසේ ම මතුව එන දැනුම් සමාජය ගැන ඔහු අනාගතවේදීව කථා කළා. ඒ වන විට ඉන්ටර්නෙට් හා පරිගණක තිබුණේ මූලික හා සීමිත අවධියකයි. එහෙත් එහි විප්ලවකාරී විභවය හා වැදගත්කම ඔහු කල් තබා දුටුවා.

අපේ සංවාදය පැයක් පමණ පැවතුණා. එය අවසානයේ ඔහුගේ ඡුායාරූපයක් ගන්නට මට  ඕනෑ වුණා. එයට ඔහු එකඟ වූයේ තරමක දෙගිඩියාවකින්. ‘මගේ නාසය හුඟක් විශාලයි. හැම ඡායාරූපයක ම වැඩිපුර පෙනෙන්නේ එයයි!’ ඔහු සිනාසෙමින් කීවා. ‘එහෙත් ඔබේ ලොකු නාසය ජේ. ආර්. ගේ තරම් ප‍්‍රකට නැහැ නේද?’ මාත් සැහැල්ලූවෙන් උත්තර දුන්නා.

ගාමිණී කොරෙයා සමඟ මා කළ සාකච්ඡාවේ කොටස් 1990 නොවැම්බර් Asia Technology කලාපයේ පළවුණා. මා වැනි ලාබාලයකුට ගරුසරු ඇතිව සැළකූ මේ ජ්‍යෙෂ්ඨයා ඉන් පසුවත් දෙතුන් විටක් මට විවිධ සභාවලදී මුණ ගැසුණා. ඒ හැම විටක ම සුහදව සුවදුක් විමසන්නට තරම් ඔහු කාරුණික වුණා.

කථාවට වැටුණාම ඇත්තට ම ඔහු කුඩා දරුවකු මෙන් නිර්ව්‍යාජයි. ආඩම්බරයක් ඇත්තේ ම නැහැ. මේ ගතිගුණය ඔහු ඇසුරු කළ සැවොම සනාථ කරනවා. අඩුවෙන් පිරුණු කළගෙඩි මහත් ඝෝෂා නඟන අපේ සමාජයේ පිරුණු කළයක් වූ ගාමිනී කොරෙයා හැමදාමත් සැහැල්ලූවෙන් හා සිනාවෙන් කල් ගත කළා.

එහෙත් මා ඔහු හමු වූ අවසන් දිනයේ නම් ඔහු සිටියේ වික්ෂිප්තව හා ශෝකබරිතවයි. ටික කලකට මා ජිනීවා නුවරට අනුයුක්ත කොට සිටියා. මගේ ප‍්‍රධානියා වීටස් ප‍්‍රනාන්දු එනුවර ලාංකිකයන්ගේ අවුරුදු සාදයකට මා කැඳවා ගෙන ගියා. ඒ 1993 අපේ‍්‍රල් 23 වනදා. ලලිත් ඇතුලත්මුදලිගේ ඝාතනය පිළිබඳ ප‍්‍රවෘත්තිය අපට ලැබුණේත් එදා සවසයි.

ජිනීවාහි වසන ජ්‍යෙෂ්ඨතම ලාංකිකයකු ලෙස ටික වේලාවකට කොරෙයා එම සාදයට පැමිණියත්, ඔහු බෙහෙවින් සලිත වී සිටිනු මා දුටුවා. එතරම් කථාබහ කළේත් නැහැ. ජිනීවා සාදයේ සමහරුන් නටන ගයන අතරේ අප ටික දෙනකු සමඟ කොරෙයා නිසොල්මනේ බලා සිටියා.

නිදහසෙන් පසු ලංකාවේ ගමන්මග තීරණය කරන්නට සමීපව දායක වූ ඔහු මොකද්ද මේ අපේ රටට වෙන්නේ යන ප‍්‍රශ්නය මෙනෙහි කරන්නට ඇති. ඒ අතර සැතපුම් දහස් ගණනක් දුරින් පිහිටි කොළඹදී මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගතය බෙහෙවින් අවිනිශ්චිත වී තිබුණා.

Dr Gamani Corea interviewed by Nalaka Gunawardene - Asia Technology, Nov 1990
Dr Gamani Corea interviewed by Nalaka Gunawardene – Asia Technology, Nov 1990

Did youth vote and social media make a difference in Colombo Municipal Council Election of Oct 2011?

Did youth vote and social media make a difference in Colombo Municipal Council election in Sri Lanka held in October 2011?

This was the question that Chanuka Wattegama and I asked ourselves and set out to answer when invited to contribute a chapter to a regional book on how social media are influencing elections in Asia.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverThe book, titled “Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote“, has just been published by Konrad-Adenauer-Stiftung’s Media Programme Asia based in Singapore. It is edited by Alastair Carthew and Simon Winkelmann, and available for free download.

The book comprises 10 chapters covering 11 nations written by local contributors from Australia, Indonesia, Japan, Malaysia,  New Zealand, Singapore, South Korea, Sri Lanka, the Philippines, Taiwan and Thailand.

It examines trends and outcomes surrounding recent elections in these countries — and how social media influenced election campaigning and voting, especially among young voters.

Topics include:

• Use of social media surrounding elections
• Digital electioneering
• How social media can make a difference
• How important is voting to young people?
• Detailed polling of political trends

Our summary for the Sri Lanka chapter:

The Colombo Municipal Council (CMC) is the local government body that administers Sri Lanka’s largest city and its commercial capital. Its last election, held in October 2011, saw the nationally ruling coalition losing this key municipality while winning all other municipalities as well as many of the smaller local government bodies.

What made CMC election outcome different? This election saw some apolitical activists and researchers engaging the mayoral candidates on social media, questioning and critiquing their election manifestos and trying to hold them accountable. Did these online activities influence voter behaviour? What lesson does this hold for other elections and the overall political landscape in Sri Lanka?

Read full book at KAS website

Download Sri Lanka Chapter: Did youth vote and social media make a difference in Colombo Municipal Elecction in 2011 – book chapter

සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

How can we protect ourselves from slow poisoning by agrochemical residues in our food? In this week’s Ravaya column, I discuss two options for Sri Lanka: organic farming, and the in-situ testing of farm produce for residues (after determining maximum residue levels).

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Pesticides on a Plate
Image courtesy Pesticide Action Network

‘ජාතියට වස කවන්නෝ කවරහුද’ මැයෙන් ගිය සතියේ මා ලියූ කොලම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා.

උඩරට අර්තාපල් හා එළවඵ වවන ගොවීන්ගේ පලිබෝධ නාශක භාවිතය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් කළ සමීක්‍ෂණයක් මත පදනම් වී මා හෙළි කළේ අපේ සමහර ගොවීන් දැන දැන ම විස රසායන යෙදු ආහාර වෙළඳපොළට එවන සැටියි.

තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන්ට සපයන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

සමහර පාඨකයන් මේ සෘජු ප‍්‍රශ්න කිරීමට කැමති වූයේ නැහැ. සති කිහිපයකට පෙර හේන් ගොවීන් ගැන සානුකම්පිතව කථා කළ මේ කොලමින් ම දැන් ඔවුන් හෙළා දකින්නේ ඇයිදැයි කිහිප දෙනකු මගෙන් විමසුවා.

දැඩි සේ එල්බගත් කිසිදු මතවාදයක් නැති නිසා මට සාක්ෂි හා තර්ක පදනම් කර ගෙන එසේ කළ හැකියි. ගොවීන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළත් ඔවුන් ද රටේ නීතියට හා සමාජ සම්මතයට අනුකූලයි. එයට පිටුපාන විට සහේතුකව ඔවුන් විවේචනය කළ යුතුයි.

ගොවියා හා ගොවිතැන මැදහත්ව විග‍්‍රහ නොකර හැගීම් බරිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ බරපතල අහිතකර විපාක අප සැවොම අත් වි`දිනවා. ගොවීන්ට ගරුසරු ඇතිව සැළකිය යුතු බව ඇත්තයි. එහෙත් ඒ ගෞරවය ඔවුන්ට හිමි වන්නේ පාරිභෝගික අපට වින නොකරන තාක් කල් පමණයි.

Pest and farmer cartoon

රසායනික පොහොර හෝ අධික විෂ සහිත පලිබෝධ නාශක නොයොදා, ස්වාභාවික පොහොර හා පලිබෝධ පාලන ක‍්‍රම මගින් බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මුඵ රට ම එක්වරම මෙබඳු කාබනික ගොවිතැනකට යොමු විය හැකි නේදැයි එක් පාඨකයෙක් යෝජනා කළා. තර්කයක් හැටියට එය ඉතා හොඳයි. එහෙත් ප‍්‍රායෝගිකව එය කිරීමට දිගු කලක් ගත වනවා. දැඩි නීතිරීති හා දණ්ඩන හරහා මෙබන්දක් කඩිනම් කළ නොහැකියි.

ඇත්තට ම කාබනික ගොවිතැන ශී‍්‍ර ලංකාවේ කලෙක සිට කරනු ලබනවා. එයට කැප වූ ගොවි සමිති හා සංවිධාන ද තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදිතයන් දේශීය වෙළඳපොළට යම් තරමක් මුදා හැරිය ද බහුතරයක් පිටරට යවනවා.

අපේ රටේ නිපදවෙන හොඳම තේ කොළ පිටරට යැවෙන්නා සේ ම බොහෝ කාබනික ආහාර ද විදෙස් වෙළඳපලවලට යන්නේ ඒවාට ඉහළ මිළක් ගෙවන්නට යුරෝපය, අමෙරිකාව, ජපානය වැනි රටවල නැඹුරුවක් ඇති නිසායි. මෙරට වෙළඳපොලේ ද කාබනිකව වැවූ සහල්, පළතුරු හා එළවඵ අනෙක් (රසායනික යොදා වැවූ) ආහාරවලට වඩා මිළෙන් ඉහළයි.

සෞඛ්‍යාරක්‍ෂාව සඳහා වුවත් වැඩි මිළක් ගෙවා කාබනිකව වැවූ ආහාර නිතිපතා මිළට ගත හැක්කේ අප කීයෙන් කී දෙනාට ද? කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් එය ඉහළ මධ්‍යම පාංතික සුඵතරයකගේ හා පරිසරවේදීන්ගේ වරප‍්‍රසාදයක්ව පවතිනවා.

අපේ කලාපයේ ජනගහනයෙන් දෙවැනි කුඩා ම රට වන භූතානය වසර 2020 වන විට සිය ගොවිතැන මුඵමනින් ම කාබනිකව කිරීමට ඉලක්ක කරනවා.

2013 පෙබරවාරියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර තිරසාර සංවර්ධන සමුඵවකදී භූතාන් කෘෂිකර්ම ඇමති පේමා ග්‍යම්ෂෝ (Pema Gyamtsho) මෙය ප‍්‍රකාශයට පත් කළා. සොබාදහම සමග සහජීවනයෙන් විසීම මූලික කර ගත් බෞද්ධ දර්ශනයට අනුව යමින් ද සිය ජනයාගේ සෞඛ්‍යය සැළකිල්ලට ගනිමින් ද මේ තීරණයට එළඹුණු බව ඔහු කියා සිටියා.

මුඵ රටේ ජනගහනය ලක්ෂ 7ක් සිටින භූතානය වැනි කුඩා රටකට මෙබඳු වෙනසක් කිරීම ලෙහෙසියි. දැනටත් කෘෂිරසායනික භාවිතා කරන්නේ එරට ගොවීන්ගෙන් සුඵ ප‍්‍රතිශතයක් පමණයි.

‘‘කාබනික ගොවිතැනෙන් පමණක් අපේ සියඵ ආහාර බෝග නිපදවා ගැනීමට යොමු වීමට අපට වසර කිහිපයක් අවශ්‍යයි.’’ භූතාන අමාත්‍යවරයා කියනවා.

භූතානයේ කාබනිකව වවන රතු සහල්, ඇපල් හා හතු ආදිය දැනටමත් ඉහළ මිළකට දියුණු රටවලට විකුණනවා. මුඵ රට ම කාබනික ගොවිතැන පමණක් කරන විට ඔවුන්ට ලෝක වෙළඳපොළේ තම නිෂ්පාදිත සඳහා වඩාත් හොඳ ඉල්ලූමක් මතු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

භූතානය පිවිසි මාර්ගයට රටක් ලෙස අපටත් කෙදිනක හෝ යොමු වීමට හැකි නම් ඉතා  අගෙයි. එහෙත් භූතානයේ මෙන් තිස් ගුණයක පමණ ජනකායක් සිටින අපේ රටේ ආහාර අවශ්‍යතා සහ වෙළඳපොළ සංකීර්ණත්වය ඊට වඩා ඉහළයි. ඒ නිසා කුඩා රටවල් මෙන් ඉක්මන් ප‍්‍රතිපත්ති වෙනසකට යොමුවීම අපහසුයි.

සමස්ත ගොවිතැන කාබනික කිරීම දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් අපට ඉක්මනින් ගත හැකි යම් කි‍්‍රයාමාර්ග ද තිබෙනවා.

ආහාරපානවල පැවතිය හැකි උපරිම පලිබෝධ නාශක ශෙෂයන් (Maximum Residue Levels) නිර්ණය කොට නීතිගත කළ යුතුයි. එම සීමාවන් නීතිගත නොකර තිබෙන තුරු වෙළඳපොලේ විකිණෙන ධාන්‍ය, එළවඵ හා පළතුරුවල වසවිස ඇති බවට තහවුරු කළත් නීතියෙන් දඩුවම් කිරීම අපහසු වනවා.

මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය, පාරිභෝගික හා කෘෂිකර්ම අමාත්‍යාංශ මනා සේ සම්බන්ධීකරණය වීම ඉතා වැදගත්. එසේ ම පලාත් පාලන ආයතනවලට ද පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ද මීට වඩා සකී‍්‍රයව මැදිහත් වියහැකියි.

Dr. Bhichit Rattakul
Dr. Bhichit Rattakul

මෙහිදී මට සිහිපත් වන්නේ 1990 දශකය අගදී තායිලන්තයේ බැංකොක් නගර ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා (Governor of Bangkok) ලෙස ඡන්දයෙන් පත්වූ ආචාර්ය භිචිත් රතකුල් (Dr Bhichit Rattakul) ගත් නිර්භීත කි‍්‍රයාදාමයයි.

කෘෂිරසායන අනිසි භාවිතය තායි ගොවීන් අතර ද බහුල නරක පුරුද්දක්. මධ්‍යම රජයෙන් මෙයට පිළියම් සොයන තුරු බලා නොසිට අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල වාසීන්ට වඩාත් සුරක්‍ෂිත ආහාර ලබාදීමට ආචාර්ය රතකුල් වැඩපිළිවෙලක් යෙදුවා. ඔහු වෘත්තියෙන් විද්‍යාඥයකු වීමත් මෙයට උදව් වන්නට ඇති.

බැංකොක් හා අවට වෙසෙන මිලියන් 10කට වැඩි ජනකායකට අවශ්‍ය එළවඵ හා පළතුරු සැපයෙන්නේ සයි මූම් වොං (Si Moom Wong) නම් තොග වෙළඳපොළ හරහා. එරට පුරා වවන බෝග නිෂ්පාදිත දිනපතා මෙහි ගෙන එනවා. දිනකට ලොරි 2,000ක් පමණ බැගින්.

මේ තොග වෙළඳපොලේදී නිෂ්පාදිත සාම්පල් ලබාගෙන එහිදී ම ඉක්මනින් පලිබෝධ නාශක ශේෂයන් සඳහා ඒවා පරීක්‍ෂා කිරීමට ජංගම රසායනගාරයක් පිහිටුවනු ලැබුවා.  ඕනෑ ම ගොවියකුගෙන්, අතරමැදි තොග වෙළෙන්දකුගෙන් හෝ වෙනත් අලෙවිකරුවකුගෙන් සාම්පල් ලබා ගෙන පිරික්සීමේ නිල බලය ලත් රසායන විද්‍යා තාක්‍ෂණවේදීන් පිරිසක් ඔහු එයට අනුයුක්ත කළා.

නීතිගත උපරිම පලිබෝධනාශක ශෙෂයන් ඉක්මවා ගිය සියඵ ම එළවඵ හා පළතුරු තොග පිටින් අලෙවියට ඉඩ නොදී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. මුලදී මේ දැඩි පියවරෙන් සැලූණු ගොවීන් හා වෙළඳුන් උද්ඝෝෂණ කළා.

ඕනෑ ම රටක ගොවීන්ට ලොකු ජනමතයක් හා මාධ්‍ය අනුකම්පාවක් මතු කළ හැකියි. එහෙත් අපක්‍ෂපාතී, නිර්භය හා පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් හරහා ආචාර්ය රතකුල් ඇතුඵ කාර්ය මණ්ඩලය මේ බලපෑම්වලට කිසි විටෙක හිස නැමුවේ නැහැ. මධ්‍යම රජයේ දේශපාලන බලපෑම්වලට ද නතු නොවී නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පෞරුෂය හා කැපවීම මේ නගරාණ්ඩුකාරයාට තිබුණා.

මේ නීතිගරුක පුද්ගලයා සමග සෙල්ලම් කරන්නට බැරි බව ටික දිනකින් ම තායි ගොවීන් තේරුම් ගත්තා. මහන්සියෙන් වවා ගත් ඵලදාව විකුණා ගන්නට  ඕනෑ නම් පලිබෝධ නාශක අධික ලෙස භාවිතය නොකළයුතු බව ඔවුන්ට වැටහුනා. සති කිහිපයක් ඇතුළත තොග වෙළඳපොලේ ප‍්‍රතික්‍ෂෙප වන තොග ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් පහත වැටුණා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩාත් හිතකර ඵලදාවක් ලද හැකි වූ බවයි.

පලිබෝධ නාශක ශෙෂයන්ගේ උපරිමය ගැසට් කිරීමෙන් පසුව අපේ රටෙත් මෙබන්දක් කළ හැකි නම් කෙතරම් අගෙයි ද?

පිටකොටුවේ හෝ දඹුල්ලේ තොග වෙළඳ සංකීර්ණයන්ගේ ඉක්මන් පරීක්‍ෂාවන් හරහා ප‍්‍රතිඵල කාටත් පෙනෙන ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, සීමාව ඉක්ම වූ තොග සහමුලින් ම ප‍්‍රතික්‍ෂෙප කරන්නට හැකි වේ ද? එයට අපේ ගොවීන් හා වෙළඳුන් කෙසේ ප‍්‍රතිචාර දක්වයි ද?

අපක්‍ෂපාතී හා නිර්භය ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන සම්බන්ධතා, මාධ්‍ය ආවරණය හා පාරිභෝගිකයන්ගේ සහයෝගය දිනා ගැනීම ද අවශ්‍යයි. බැංකොක් නගරාණ්ඩුකාරවරයා උපක‍්‍රමශීලිව ඒ සියඵ සාධක පෙළ ගස්වා ගත්තා.

එසේ නැතිව නීතියේ බලයෙන් පමණක් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම නොසෑහෙන බව මෑත කාලයේ අපේ පාරිභෝගික ඇමතිවරයා ලත් අත්දැකීම්වලින් පෙනී යනවා.

2002දී මා හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් බැංකොක් අත්දැකීම ද පාදක කර ගෙන BBC නාලිකාවට වාර්තා චිත‍්‍රපටයක් (Toxic Trail) නිපද වුවා. එහි එක් තැනෙක ආචාර්ය රතකුල් මෙහෙම කියනවා.

‘‘අධික ලෙස රසායන යෙදු ආහාර වෙළඳපොලට එනවා ද යන්න ගැන රජය මෙන් ම පාරිභෝගිකයන් ද නිතිපතා විමසිලිමත් වියයුතුයි. අපේ බොහෝ පාරිභෝගිකයෝ ඉතා හොඳ පෙනුම ඇති, කිසිදු පලූද්දක් නැති එළවඵ හා පළතුරු සොයනවා. එබඳු ඵලදාව  ඕනෑවට වඩා රසායනික යොදා ඇත්දැයි සැක සහිතයි. යම් තරමකට හිල් සැදුණු, කෘමීන් විදි බවට ලකුණු ඇති එළවඵ හා පළතුරු එතරම් දැඩි ලෙස රසායනික යෙදීමකට ලක්ව නැතැයි සිතිය හැකියි.’’

අපේ පරිසරවේදීන් සහමුලින් කාබනික ගොවිතැන ගැන දිගුකාලීන සිහින දකින අතර බැංකොක් අත්දැකීම මෙරට කි‍්‍රයාත්මක කරන්නට එඩිතර දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ සමග සහයෝගයෙන් වැඩ කළොත් කෙතරම් අපූරුද?

හැමදාමත් කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් සිටිනවා වෙනුවට ජනසමාජයට ප‍්‍රයෝගිකව හොඳ දෙයක් කරන්නට පරිසරවේදීන්ට මෙය අගනා අවස්ථාවක්.

සිංහලයට හඩ කැවූ BBC වාර්තා චිත‍්‍රපටය විස වගාවට වැට බඳිමු නරඹන්න:

සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the public health implications of rising levels of pesticide residues in our food. I cite research by the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI) on pesticide use habits of upcountry vegetable and potato farmers, which makes alarming reading.

Among other things, researchers found that up to a quarter of surveyed farmers grow some chemicals-free vegetables their own use! So this is not a matter of ignorance, but willful poisoning of the unsuspecting consumer.

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Generic photo courtesy - Rice & Curry Blog
Generic photo courtesy – Rice & Curry Blog

ජාතික විසවීම් වැළැක්වීමේ සතිය ලෙස ඔක්තෝබර් 28 – නොවැම්බර් 3 කාලය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා.

විසවීම් ප‍්‍රධාන වශයෙන් දෙආකාරයි. දැනුවත්ව හා  ඕනෑකමින් (සියදිවි හානි කර ගැනීමේ අරමුණින්) මාරාන්තික විස ශරීරගත කර ගන්නා අය සිටිනවා. එය මානුෂික මෙන් ම සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

දෙවැනි ආකාරය නම් නොදැනුවත්ව හා නිරායාසයෙන් විසවීම් නිසා රෝගී වීම හෝ මිය යාම. මෙහිදී විසවීමේ ප‍්‍රතිඵල ඉක්මනින් මතු විය හැකියි. නැතිනම් සුඵ මට්ටමේ විසවීම් කලක් තිස්සේ ශරීරය තුළ එකතුවීමෙන් කල් යාමේදී නිදන්ගත රෝගාබාධ හටගත හැකියි.

නූතන සමාජයේ විවිධ අවශ්‍යතා හා පහසුකම් සඳහා අප භාවිතා කරන එදිනෙදා රසායන ද්‍රව්‍ය සමහරක් මෙසේ සුඵ පරිමාවෙන් ශරීරගත වීමේ විපාක ගැන දැන් වඩාත් අවධානය යොමු කැරෙනවා. මේවායේ අහිතකර විපාක මතුවන්නට වසර හෝ දශක ගණනක් ගත වන බැවින් එය ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හසු වන්නේ නැහැ.

එමෙන්ම හේතුකාරකය හා ප‍්‍රතිඵලය අතර සෘජු සබඳතාවක් සැම විට තහවුරු කරන්නට ද බැහැ. (මානව දේහය එකවිට බහු විධ බලපෑම්වලට ලක් වන නිසා.) එක් වරම විසවීමක් නොපෙනෙන නිසා හේතු කාරකය සොයා ගැනීම වෛද්‍යවරුන්ට පවා අසීරුයි.

ගොවිතැනේදී රසායනික පොහොර හා පලිබෝධ නාශක අනිසි හා අධික ලෙස භාවිතා කිරීමෙන් ඒවායේ ශෙෂයන් (agrochemical residues) අපේ ආහාර හා බොන ජලයට ද එකතු වන බව දැන් අප දන්නවා. මේ ශෙෂයන් ශරීරගත වීමෙන් එක්වර රෝගීවීමක් නොපෙනුනත් කලක් තිස්සේ පටකවල තැන්පත් වීමෙන් ශරීර පද්ධතිවලට හානි විය හැකියි. ඇතැම් ආකාරයේ පිළිකා ඇති කිරීමට ද මේ ශෙෂයන් දායක විය හැකියි.

ශරීරය තුළ ටිකෙන් ටික රසායනික සංචිත වීම Bio-accumulation ලෙස විද්‍යාත්මකව හඳුන්වනවා. සිංහලෙන් ජෛවීය රාශිභූත වීම යයි කිව හැකියි.

පාරිසරික විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මේ ගැන කලක සිට මහජන අවධානය යොමු කරන්නට උත්සාහ ගත් අයෙක්.

සෞඛ්‍ය බලධාරීන් හා මාධ්‍ය මුල් කාලයේ වැඩි අවධානය යොමු කළේ පළිබොධනාශක අධික ලෙස ශරීරගත වීම (ඕනෑකමින් හෝ නොදැනුවත්කමින්) නිසා රෝගීවීම හා මිය යාම ගැනයි. එහෙත් එයට වැඩි දිගුකාලීන ව්‍යසනයක් මේ සෙමෙන් වස වීම නිසා සිදුවන බව රනිල් කියනවා.

පළිබොධ නාශක ශෙෂයන් අපේ කෑම මේසයට එන ක‍්‍රම ගණනාවක් තිබෙනවා. එයින් එක් ප‍්‍රධාන මාර්ගයක් නම් ආහාර බෝග වැවීමේදී හා ගබඩා කිරීමේදී අනිසි ලෙස රසායනික භාවිතය.

අස්වැන්න රැක ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අධික රසායන භාවිතයකට අපේ බොහෝ ගොවීන් පුරුදුව සිටිනවා. මෙය නොදැනුවත්කමටත් වඩා ඇබ්බැහිකම, අවිචාරශීලී බව හා අන්ධානුකරණය වැනි හේතු නිසා සිදුවන්නක්.

ශ‍්‍රී ලංකාවේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිත කරන ආකාරය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් අධ්‍යයනය කොට තිබෙනවා. කඳුකරයේ නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික් දෙකෙහි ගොවීන් 240ක් අහඹු ලෙස තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල 2013 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. මේ අධ්‍යයනය කළේ එම්. එම්. එම්. අහීයාර්, එම්. ටී. පද්මජානි හා එම්. ඒ. සී. එස්. බණ්ඩාර නම් පර්යේෂකයන් තිදෙනායි.

මෙරට වෙළඳපොළේ දැනට අලෙවි කැරෙන පලිබෝධනාශක වෙළඳ නාම 462න් 73ක් මේ සමීක්ෂණයට පාත‍්‍ර වූ එළවලූ හා අර්තාපල් ගොවීන් පාවිච්චි කරන බව හෙළි වුණා. මේවා සියල්ල නීත්‍යනුකූලව, රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වා බෙදාහරින විස රසායනික ද්‍රව්‍යයි. ප‍්‍රශ්න මතු වන්නේ පරිහරණයේදීයි.

ඉක්මනින් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා පලිබෝධ නාශක නිසි මාත‍්‍රාව ඉක්මවා අධික ලෙස යෙදීම බොහෝ ගොවීන් කරන බව HARTI සමීක්ෂණයෙන් නැවතත් තහවුරු වුණා.

එයින් සොයා ගත් ගොවි චර්යා කිහිපයක් මෙසේයි.

  • ගොවීන්ගෙන් 40%ක් දෙනා පලිබෝධකයන් කිසිවකතුත් පෙනෙන්නට නැතත් පුරුද්දට මෙන් පලිබෝධ නාශක ඉසිනවා.
  • පලිබෝධ නාශක නිර්දේශිත මාත‍්‍රාව හා වාර ගණන නොසෑහෙන බවට බොහෝ ගොවීන් අතර විශ්වාසයක් තිබෙනවා. බහුතරයක් ගොවීන් නිර්දේශිත මාත‍්‍රාව මෙන් එක හමාර ගුණයක් හෝ ඊට වඩා යොදනවා.
  • සමහර ගොවීන් විවිධ පලිබෝධ නාශක එකට මිශ‍්‍ර කොට යොදනවා. ඒ හරහා පලිබෝධයන් ක්ෂණිකව මැරී වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂ කරනවා.
  • ඇතැම් ගොවීන් සිතන්නේ බෝග වර්ධනයට ද පලිබෝධ නාශක උදවු වන බවයි! (ඒ සඳහා වෙනම රසායනික පොහොර ද යොදනු ලැබුවත්.)
  • අස්වැන්න නෙළා ගන්නට දින 10 – 14කට පෙර කිසිදු රසායනිකයක් බෝගයට ඉසීම නොකළ යුතුයි. මෙය ශෙෂ ඉතිරිවීම වළක්වාලීමේ උපක‍්‍රමයක්. එහෙත් උඩරට එළවඵ හා අර්තාපල් ගොවීන්ගෙන් තුනෙන් එකක් ම මේ අවම කාලයට ගරු නොකරන බව පිළිගත්තා.

අපේ සමහරුන් සිතන තරම් නොදැනුවත් හෝ නූගත් ගොවීන් අද කාලේ නැහැ. සමීක්‍ෂණයට ලක්වූ ගොවීන්ගෙන් 75%ක් පළිබෝධ නාශක පරිසරයට හානි කරන බවත්, ගොවීන්ගේ හිතමිතුරු ගැඩිවිලූන් වැනි සතුන් ද මරා දමන බවත් දැන සිටියා.

Poster by Pesticide Action Network - Asia Pacific
Poster by Pesticide Action Network – Asia Pacific

එමෙන්ම ඔවුන් අහිංසකයන් ද නොවෙයි. ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවන බව පිළි ගත්තා. (එසේ විවෘතව පිළිගැනීමට මැළි වූ ගොවීන් ද සිටියා විය හැකියි.)

HARTI සමීක්‍ෂණයේ වඩාත් ම බියජනක සොයා ගැනීම ලෙස මා දකින්නේ මෙයයි. තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන් සඳහා දැන දැන ම වෙළඳපොලට එවන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

මෙය සරසවියක් හෝ රාජ්‍ය නොවන ආයතනයක් කළ සමීක්‍ෂණයක් ද නොවෙයි. රාජ්‍ය පර්යේෂණායතනයක් කළ සමීක්‍ෂණයක්.

මේ තරම් සාහසික කි‍්‍රයා කලාපයකට අපේ සමහර ගොවීන් යොමුව සිටින්නේ ඇයි යන්න පුඵල් ලෙස සංවාදයකට ලක් කළ යුතුයි. “සුඵ පරිමාණ ගොවියා වෙළඳපොළේ සිරකරුවකු වී සිටීම” වැනි සරල තර්කවලින් මේ කුහකත්වය පහදා දිය නොහැකියි.

මේ සමීක්‍ෂණයෙන් ම හෙළි වූයේ කෘෂි ව්‍යාප්ත නිලධාරීන් හරහා දැනුම හා උපදෙස් ලබා ගෙන ඇත්තේ ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණක් බවයි. බහුතරයක් එක්කෝ සෙසු ගොවීන්ගෙන් අසා දැන ගන්නවා. නැත්නම් පළිබෝධ නාශක විකිණීමට තිබෙන ළඟ ම ඇති කඬේ මුදලාලිගෙන් සියඵ උපදෙස් ලබා ගන්නවා.

කෘෂි ව්‍යාප්ති නිලධාරීන් වගාබිමට නොපැමිණියත් පළිබෝධ නාශක සමාගම්වල ප‍්‍රවර්ධන නියෝජිතයන් නම් ගොවීන් ළඟට ම පැමිණ ‘‘විසඳුම්’’ නිර්දේශ කරන බව ද හෙළි වුණා. මෙය ද අඵත් හෙළිදරුව්වක් නොවෙයි.

‘ළඟ එන කෘෂි රසායනික සුනාමිය’ තේමාවෙන් 2013 මාර්තු 17දා කොලමෙන් මා ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක් වන මැලේසියානු ජාතික ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) උපුටා දැක්වූවා. “අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි!”

ආචාර්ය හියොං කීවේ: “ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්.”

ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනෙන පළිබෝධ නාශක නියාමනය කැරෙන්නේ 1980 පළිබෝධ නාශක පාලන පනත යටතේයි. ආහාර බෝග වෙළඳපොලට එනවිට ඒවායේ පළිබොධ නාශක ශෙෂයන් ‘නිර්දේශිත මට්ටම්වලට වඩා අඩුවෙන්’ තිබිය යුතු යයි එහි කියනවා. එහෙත් වසර 33ක් ගත වීත් මේ නිර්දේශිත මට්ටම් මොනවාදැයි නිර්ණය කර නැහැ!

පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්‍ෂණය ගැන අපට වඩා තැකීමක් කරන රටවල නම් අවසර දෙන උපරිම ශෙෂ මට්ටම් (Maximum Residue Levels) පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. එය පිළිපදිනවා ද යන්න ගැන විටින්විට අහඹු පරීක්‍ෂා ද කැරෙනවා.

එහෙත් අපේ රටේ තවම මෙබඳු ආරක්‍ෂිත පියවර කිසිවක් හඳුන්වා දී නැතැයි ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IPS) පර්යේෂක රවීන් ඒකනායක 2013 මාර්තුවේ පළ කළ විග‍්‍රහයක පෙන්වා දෙනවා. http://tiny.cc/IPSFS.

මේ පසුබිම තුළ සාහසික ගොවීන්ට දැන දැන ම විස යෙදු එළවඵ අපට දිගට ම සපයන්නට හැකිව තිබෙනවා.

රසායනික පොහොර හා අධික විසැති පළිබෝධ නාශක මත මේ තරම් යැපෙන ගොවිතැන තවමත් මේ රටේ නිල කෘෂි කාර්මික ප‍්‍රතිපත්තියයි. මහජන සභාවලදී දේශපාලකයන් හා නිලධාරීන් කුමක් කීවත් 1960 ගණන්වල සිට හැම රජයක් ම කි‍්‍රයාත්මක කළ “වැඩිපුර දමා – වැඩිපුර උකහා ගැනීමේ” ගොවිකම (high external input agriculture) දැන් ජාතික මට්ටමේ ඇබ්බැහිකමක් වී හමාරයි.

යමකට ඇබ්බැහි වූවන්ට තම කි‍්‍රයාවල වරදක් හෝ දිගුකාලීන විපාක හෝ හරිහැටි තේරෙන්නේ නැහැ. අයාලේ ගිය අපේ ගොවිකම යළිත් හරිමඟට ගත යුත්තේ ගොවීන් අතරමං නොකර, රටේ ආහාර හිඟයක් හෝ අහේනියක් ද ඇති වීමට ඉඩ නොතබායි.

කාබනික ගොවිතැනට තනිකර මෙය කළ හැකි ද යන්න තුලනාත්මකව විවාද කළ යුතුයි. පරිසරවේදීන් හෝ ජාතිකවාදීන් හෝ නිර්දේශ කරන හැම දෙයක් ම ප‍්‍රායෝගික නොවිය හැකියි. එහෙත් ඔවුන්ට ද සවන් දිය යුතුයි.

ගොවිතැන, ගොවිකම හා ගොවියා ගැන අපේ සමාජයේ ගෞරවය මුසු වූ ධනාත්මක හැගීම් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායක වන්නේ 12%ක් වුවත් එය තවමත් සැළකිය යුතු ජන සංඛ්‍යාවකට ජීවිකාව සපයනවා. තමන් ගොවිතැනෙහි තව දුරටත් නියැලීමට නොකැමැති නව පරම්පරාවේ අය බොහෝ දෙනා පවා ගොවිකම ගැන රොමැන්ටික් හා අතීතකාමී හැගීම්වලින් යුතුව කථා කරනවා.

මෙයට ඓතිහාසික හේතු ඇතත් ගොවිතැන් ගැන තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමට මේ හැගීම්බර තත්ත්වය බාධාවක්. ජාතියට වස කවන ගොවීන් ඒ තැනට ඇද දැම්මේ කුමන ප‍්‍රවාහයන් ද කියා හඳුනාගෙන ක‍්‍රමීය විසඳුම් සොයා යා යුතුයි.

සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

In this week’s Ravaya column (in Sinhala), I discuss how Nelson Mandela was a master communicator in terms of public speaking skills, media relations and strategy.

See also: Invictus – Clint Eastwood and Morgan Freeman serve more Mandela magic

Nelson-Mandela in prison

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය (Apartheid) හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජන සම්මතවාදී රාමුවකට එරට යොමු කළේ ඉමහත් පරිශ‍්‍රමයකින්. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ජා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් ඔහු ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

ඒ හපන්කම් කරන්නට ඔහුගේ ප‍්‍රතිපත්තිගරුක බව හා අධිෂ්ඨාන ශක්තිය මෙන් ම ව්‍යක්ත සන්නිවේදන හැකියාව ද උපකාරී වුණා. මැන්ඩෙලා සාර්ථක නායකයකු වූයේ මිනිස් සිතුම් පැතුම් හඳුනා ගෙන, උපක‍්‍රමශීලී ලෙසින් සන්නිවේදන ක‍්‍රම හා තාක්‍ෂණයන් යොදා ගැනීම හරහායි. මේ ගැන ටිකක් විපරම් කිරීම වටිනවා.

මැන්ඩෙලාගේ සන්නිවේදන කුසලතාව හුදෙක් ඔහුගේ චිත්තාකර්ෂණීය ගති සොබාව (charisma) නිසා ම මතු වන්නක් නොවෙයි. එය පිටුපස පැහැදිලි චින්තනයක් තිබෙනවා.

20 වන සියවස මුල් කාලයේ (1918) ඉපිද, දෙවන ලෝක යුද්ධ සමයේ තරුණ වියට පත් වූ මැන්ඩෙලා ගෙවී ගිය සියවසේ සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ප‍්‍රගමනය සීඝ‍්‍රව සිදු වූ සැටි පෞද්ගලිකව අත් දුටුවා.

ඔහු උපදින විට රේඩියෝ හා සිනමා මාධ්‍ය තවමත් ලෝකයට අඵත්. දේශීය මට්ටමේ ටෙලිවිෂන් විකාශයන්, ලෝක මට්ටමේ චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ඉන්ටර්නෙට් මාධ්‍යය හා ජංගම දුරකථන සේවා යන සියල්ල ම පැන නැගී, කෙමෙන් ජන සමාජයේ ප‍්‍රචලිත වනු ඔහු බලා සිටියා.

දකුණු අපි‍්‍රකාවේ සුඵතර සුදු පාලකයන්ගේ දරදඩු, වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා. එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා.

Nelson Mandela hands the 1995 Rugby World Cup to Francois Pienaar, captain of South African team (Photo courtesy The Sun, UK)

සිරගත කර සිටි 1962 – 1990 වකවානුවේ ඔහුට බරපතල සන්නිවේදන සීමා පනවා තිබුණා. එයින් වසර 18ක් ඔහු ගත කළේ රොබන් දුපත (Robben Island) නම් බන්ධනාගාර දිවයිනේ. කේප්ටවුන් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 7ක් මුහුදට වන්නට පිහිටි මේ කුඩා දිවයිනේ සිර කරනු ලැබූ මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයන්ට යළි කිසිදා නිදහසක් ලැබෙතැයි ලෝකයා හෝ ඔවුන්වත් සිතුවේ නැහැ.

රේඩියෝ අසන්නට හෝ පත්තර කියවන්නට හෝ දේශපාලන සිරකරුවන්ට බොහෝ විට අවකාශ තිබුණේ නැහැ. තම පවුලෙන් ලියුමක් පවා ලද හැකි වූයේ මාස හයකට වතාවක් පමණයි. එමෙන් ම සිර ගෙදර ජීවිතයේ සමහර කාලවලදී ඔහුට කැලැන්ඩරයක් හෝ ඔරලෝසුවක්වත් පාවිච්චි කරන්නට ඉඩ ලැබුණේ නැහැ.

සිර ගතව සිටි දිගු කාලය තුළ සුදු සම ඇත්තවුන් සමග තිබූ කේන්තිය කෙමෙන් පහව ගිය බවත්, ඒ වෙනුවට විෂම ක‍්‍රමය ගැන තමන්ගේ කෝපය හා පිළිකුල වඩාත් තීව‍්‍ර වූ බවත් මැන්ඩෙලා සිය ආත්ම චරිත කථාවේ (Long Walk to Freedom, නිදහසට ගිය දිගු ගමන) කියනවා.

සිර ගෙදර බරපතල කම්කරු වැඩ කරන අතර මනස ඒකාග‍්‍ර කර ගනිමින්, තම මර්දකයන්ගේ චරියාව සමීපව අධ්‍යයනය කරමින් මැන්ඩෙලා අනාගත දකුණු අපි‍්‍රකාව ගොඩ නඟන සැටි සැළසුම් කළා. කර්කෂ තත්ත්‍වයන් හමුවේ එයින් නොසැළී පැහැබර අනාගතයක් ගැන සිතීමට හැක්කේ බෙහෙවින් අධිෂ්ඨානශීලී පුද්ගලයකුට පමණයි.

සීමා බන්ධන මැද වුවත් රට, ලෝකය හා ඓතිහාසික ප‍්‍රවාහයන් ගැන ඔහු ගැඹුරින් අධ්‍යයනය කළා. පොදුවේ නූතන ලෝකයේත්, විශේෂයෙන් දකුණු අපි‍්‍රකාවේත් මිනිසුන් සිතන පතන ආකාරය නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් මගින් බලපෑමට ලක් වන සැටි ඔහු මෙනෙහි කළා.

නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් මැන්ඩෙලා සිය ජනයාට අවිහිංසාවාදීව හා තර්කානුකූලව සිතන්නට බලපෑම් කළා.

උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න ඔහු සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.

වසර 27ක් දේශපාලන සිරකරුවකු ලෙස සිටීමෙන් පසු 1990 පෙබරවාරි 11 වනදා මැන්ඩෙලා නිදහස් කරනු ලැබුවා. මේ ඓතිහාසික සිදුවීම වාර්තා කරන්නට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් කේප්ටවුන් නුවරට පැමිණියා.

මෙතැන් පටන් තමන් කියන හැම වචනයක් ම, කරන හැම කි‍්‍රයාවක් ම ඉතා සමීප ලෙසින් මාධ්‍ය විසින් හසු කර ගන්නා බවත්, තම දේහ චලන ඉගිවලින් පවා තම ජනයා යම් පණිවුඩ උකහා ගන්නා බවත් මැන්ඩෙලා තේරුම් ගත්තා. කැමරා සිය ගණනක් ඉදිරිපිට තාවකාලික වාසි තකා චණ්ඩියකු වනවා වෙනුවට දැඩි සංයමයෙන්, උපේක්‍ෂා සහගතව යුක්තිය හා සාධාරණය සඳහා ක‍්‍රමීය වෙනසක් කිරීමට ඔහු කි‍්‍රයා කළා.

ඔහු ජීවිතයේ මුල් වතාවට ප‍්‍රවෘත්ති සාකච්ජාවක් ඇමතුවේ හිරෙන් නිදහස් වුවාට පසුදා. 1963ට පෙර යටිබිම්ගත දේශපාලනය කරන කාලේ ඔවුන්ට ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඇමතීමට ඉඩක් තිබුණේ නැහැ. එවකට එරට ටෙලිවිෂන් තිබුණේ ද නැහැ.

වයස 71දී තම මුල් ම ප‍්‍රවෘත්ති සාකච්ජාව අමතමින් මැන්ඩෙලා සාවධානවත්, උපේක්‍ෂා සහගතවත් ANC ප‍්‍රතිපත්ති හා ස්ථාවරය පැහැදිලි කළා. ලොව පුරා මාධ්‍ය ආයතනවලින් ආ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට හැකි තාක් සත්‍යවාදීව උත්තර දුන්නා. එතැනින් පටන්ගත් මැන්ඩෙලාගේ මාධ්‍ය ජීවිතයට පොඩියක්වත් විරාමයක් ලැබුණේ නැහැ.

ටෙලිවිෂන් කැමරාවලට කථා කළ යුතු විලාසය හා එහිදී පවත්වා ගත යුතු දේහ චලන ආදිය තලතුනා වියේදී වුවත් මැන්ඩෙලා ඉක්මනින් ම ප‍්‍රගුණ කළා. ඔහු තැනේ, වෙලාවේ හා මාධ්‍යයේ හැටියට තම කථිකත්වය වෙනස් කිරීමට දක්‍ෂයි. ගාම්භීර හා ගැඹුරු සංකල්ප පවා සන්සුන්ව හා සුහදව කියන්නට ඔහුට ඇති හැකියාව විශිෂ්ඨයි.

1990 වන විට දකුණු අපි‍්‍රකාව පැවතියේ මහත් ව්‍යසනයක් අභිමුඛවයි. දශක ගණනක් තිස්සේ කැකෑරෙමින් තිබූ කඵ ජනයාගේ කෝපය එක් පසෙකිනුත්, ඔවුන්ගේ ඉමහත් ප‍්‍රාර්ථනා තව පසෙකිනුත් තුලනය කර ගන්නට අවශ්‍ය වුණා.

නිදහස ලැබූ මොහොතේ පටන් මැන්ඩෙලා කළේ සුදු පාලකයන් සමග සාකච්ජා විවෘතව හා මාධ්‍ය විසින් වාර්තා වන පරිද්දෙන් පමණක් කිරීමයි. රහසිගත ගනුදෙනු හෝ හොර ‘ඞීල්’ කිසිවකට ඉඩ දුන්නේ නැහැ. තමාගේ විශ්වාසනීයත්වය හා මාධ්‍ය හරහා රටත් ලෝකයත් ග‍්‍රහණය කිරීමේ හැකියාව ඔහු යොදා ගත්තේ ඉතා අසීරු දේශපාලන කි‍්‍රයාදාමයක් පාරදෘශ්‍ය ලෙසින් පවත්වා ගන්නටයි. මෙයත් ඔහුගේ සන්නිවේදන හැකියාවේ තවත් උදාහරණයක්.

අතිශයින් දුෂ්කර සංක‍්‍රාන්ති සමයක් පසුකර, රට අරාජික වන්නට ඉඩ නොතබා කි‍්‍රයා කළ මැන්ඩෙලා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු ANC පක්‍ෂය එරට පැවති මුල් ම සර්වජන මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත් කර ගත්තේ 1994 අපේ‍්‍රල් මාසයේ. එරට මුල් ම කඵ ජාතික රාජ්‍ය නායකයා ලෙස 1994 මැයි 10 වනදා මැන්ඩෙලා දිවුරුම් දී වැඩ බාර ගත්තා. ඒ වන විට වර්ණභේදවාදය තුරන් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසීම උදෙසා එරට අවසන් සුදු ජනාධිපති F W ඩි ක්ලර්ක්ට හා මැන්ඩෙලාට 1993 නොබෙල් සාම ත්‍යාගය ලැබී හමාරයි.

One poem + two men = Rainbow Nation

රටේ දේශපාලන බලය මැතිවරණයක් හරහා දිනා ගත්ත ද ආර්ථික බලය තවමත් බොහෝ කොට සුදු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් සතු බවත්, රට හදන්නට ඒ අයගේ දායකත්වය නැතිව ම බැරි බවත් මැන්ඩෙලා වටහා ගත්තා. එහෙත් ඓතිහාසිකව අසාධාරණකම්වලට ලක්ව සිටි කඵ ජාතික බහුතරය, ඉක්මන් විසඳුම් හා සාධාරණයක් පතන බවත් ඔහු දැන සිටියා.

සම්මානනීය අමෙරිකන් නඵ හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ක්ලින්ට් ඊස්ට්වුඞ් 2009දී නිපද වූ Invictus නම් චිත‍්‍රපටයට හසු වන්නේ මැන්ඩෙලා ජනාධිපති වී මුල් මාස 18 තුළ සංහිදියාව හා සහජීවනය ඇති කරන්නට ඉතා සියුම් හා උපක‍්‍රමශීලී ලෙස කටයුතු කළ ආකාරයයි. සැබෑ සිදුවීම් මත පදනම් වී තැනූ මේ චිත‍්‍රපටය මැන්ඩෙලාගේ සන්නිවේදන හැකියාවේ උච්චස්ථානයක් මනාව කැටි කර දක්වනවා.

බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි. ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන් පැය ගණන් ටෙලිවිෂන් හරහා රට අමතන්නට සමතුන්.

ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.

1995දී ලෝක රග්බි පාපන්දු (රගර්) තරඟාවලිය පැවැත් වීමේ වරම දකුණු අප‍්‍රිකාවට ලැබී තිබුණා. රගර් කී‍්‍රඩාවේ යෙදෙන ප‍්‍රබල ජාතික කණ්ඩායමක් එරට තිබුණා. ජාතික යයි කීවාට එම කණ්ඩායමේ වැඩිපුර ම සිටියේ සුදු ජාතිකයන් හා මිශ‍්‍රිත සම්භවයක් තිබූ කී‍්‍රඩකයන්. වර්ණභේදවාදය බල පැවැති වසර 50කට ආසන්න කාලයේ රගර් සුදු ජාතික වරප‍්‍රසාදයක්ව තිබුණා. මේ නිසා රගර් ගැන බහුතරයක් ජනතාව තුළ තිබුණේ උදාසීනත්වයක් සහ කොන් කිරීමක්.

1994 මැයි මාසයේ මැන්ඩෙලාගේ ANC පක්‍ෂය මැතිවරණය ජය ගෙන බලයට පත් වූවත් රගර් කී‍්‍රඩා කණ්ඩායමේ ඉක්මන් වෙනසක් කළ හැකි පසුබිමක් තිබුණේ නැහැ. දශක ගණනාවක් තිස්සේ කඵ ජාතිකයන්ට හරිහැටි කී‍්‍රඩා අවස්ථා නොදීම නිසා කුසලතාව ඇති කී‍්‍රඩාකයන් ඔවුන් අතරින් බිහිව සිටියේ නැහැ. මේ නිසා 1995 ලෝක රගර් ශුරතාවලියට එරට නියෝජනය කළේ බහුතරයක් සුදු කී‍්‍රඩකයින්ගෙන් සමන්විත වූ පිළක්.

වර්ණභේදවාදය පැවති කාලය පුරා ම වාගේ දකුණු අපි‍්‍රකානු රගර් කණ්ඩායමට එරෙහිව විදෙස් පිළක් තරග වදින විට දකුණු අපි‍්‍රකාවේ බහුතරයක් කඵ ජනතාව කළේ විදෙස් පිළට ආවැඞීමයි.

මේ ආකල්පය වෙනස් කොට, ජාතික රගර් කණ්ඩායමට ‘චියර්’ කරන්නට මුළු රට ම කුළුගැන්විය හැකි නම් කෙතරම් අපූරු ද කියා මැන්ඩෙලා කල්පනා කළා. රගර් පිළේ නායක ප‍්‍රංශුවා පිනාර් (François Pienaar) හමු වී මේ ගැන කථාබහ කළ ජනාධිපති මැන්ඩෙලා, රට එක්සත් කිරීමට රගර් ශූරතාවලිය අවස්ථාවක් කර ගන්නට එකඟත්වයකට ආවා.

කී‍්‍රඩාකයන්ගේ සමේ වර්ණය කුමක් වුවත් ඔවුන් නියෝජනය කරන්නේ සමස්ත දකුණු අපි‍්‍රකාව ම බව මැන්ඩෙලා තම පාක්‍ෂිකයන්ට මතක් කරනවා. ඔවුන් සමහරක් විශ්වාස කරන්නේත් නැහැ බහුතර කඵ ජනයා මෙබඳු සුදු පිළකට චියර් කරාවිය කියා.

එහෙත් තරගවලිය ඇරැඹී ටික දිනකින් එය සිදු වනවා. දකුණු අපි‍්‍රකාව සහභාගි වූ දෙවන තරගය වන විට සුදු, කඵ, මිශ‍්‍රිත වර්ණ හා ජාති හේද නොතකා මුඵ රටම තම පිළට ආවඩනවා. මෙය මතක ඇති කාලෙක සිදු නොවූ අරුමයක්. එයට ප‍්‍රබල ලෙස දායක වන්නේ කී‍්‍රඩා තරග සජීව ලෙස ටෙලිවිෂන් හරහා රටට ම පෙන්වීමයි.

ජාතික ඒකාග‍්‍රතාවය, ජාතීන් අතර සංහිදියාව. සමගිය ආදී උතුම් සංකල්ප ගැන ඕනෑ තරම් හරවත් ලෙස රටවැසියා අමතා කථා කිරීමේ කථික හැකියාව මැන්ඩෙලා සතු වුණා. එසේ ම ඉතා ජනපි‍්‍රය රාජ්‍ය නායකයකු හැටියට ඕනෑ නම් ටෙලිවිෂන් ගුවන් කාලය එයට ලබා ගැනීමේ බලතල හා වරප‍්‍රසාදය ද ඔහුට තිබුණා. එහෙත් ඔහු කළේ ටෙලිවිෂන් හරහා බණ කීම වෙනුවට ව්‍යංගාර්ථයෙන් එහෙත් ප‍්‍රබලව මේ සංකල්ප නිරූපණය වන රගර් ශූරතාවලිය රටට පෙන්වීමයි.

Invictus චිත‍්‍රපටයේ උච්ච අවස්ථාව එළැඹෙන්නේ රගර් දැවැන්තයන් වන නවසීලන්ත පිළට එරෙහිව අවසන් මහ තරගය සමගයි. තියුණු තරගයකට පසු දකුණු අපි‍්‍රකාව ලෝක රගර් කුසලානය දිනා ගන්නවා. මුඵ රට ම එකම පී‍්‍රති ඝෝෂාවක් බවට පත් වනවා.

ඊට මාස කීපයකට පෙර බහුජන උදහසට ලක්ව සිටි ජාතික රගර් කණ්ඩායම කොයි කාගේත් වීරයන් බවට පත් වනවා. මේ හරහා තමන් ද අඵත් දකුණු අපි‍්‍රකාවේ ගෞරවනීය කොටස්කරුවන් බව සුදු ජනයාටත් තේරුම් යනවා.

වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන තාක්‍ෂණය හා මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දෙනවා.

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #132: මේ බිල්ලෝ කවුද? එන්නේ කොහි සිටද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the recent controversy surrounding food safety of imported milk powder, and how certain medical doctors and scientists conducted themselves.

I wrote on the same topic last week in my English column (but this is NOT a translation):  When Worlds Collide #80: When politicians turn to science for evidence…

Conspiracy theories!හරිහැටි හඳුනා නොගත්, විමර්ශනයට ලක් නොවූ, එහෙත් බියකරු යැයි බහුලව පිළිගැනෙන බිල්ලන් ගැන කථා කියා කුඩා දරුවන් මෙල්ල කිරීම සමහර වැඩිහිටියන්ගේ සිරිතක්. (එසේ නොකරන මෙන් ළමා මනෝවෛද්‍යවරුන් අවවාද කරනවා.)

පොදුවේ ජන සමාජයට අදාල හා වැදගත් කරුණු සම්බන්ධයෙන් ද දැන් වඩ වඩාත් බිල්ලන් දැකීම හා බිල්ලන් ගැන කථා කිරීමෙන් ස්වයං බියට පත් වීම සිදු වනවා. මේ ‘බිල්ලා’ නිශ්චිතව විග‍්‍රහ කැරෙන්නේ නැහැ. ජන සමාජයට නිතර මතුකර දක්වන බිල්ලා තනි පුද්ගලයකුට වඩා ප‍්‍රපංචයක්. නැතිනම් ප‍්‍රවාහයක්. එය නියෝජනය කරන්නේ අප නොදන්නා, අපට නුහුරු, නුපුරුදු, පිටස්තර සියල්ලයි.

‘බිල්ලා’ යයි කෑ මොර ගසන අය තමන්ගේ පෞද්ගලික මතවාදයට අනුව හා එදිරිවාදිකම්වලට ගැලපෙන පරිදි බිල්ලා නිර්වචනය කරනවා. එය බහුජාතික සමාගම්, බටහිර රටවල්, විදෙස් රහස් ඔත්තු සේවා, කොටි සංවිධානයේ අවශෙෂයන් ආදියෙන් පටන් ගෙන පිටසක්වල ජීවීන් තරම් අභව්‍ය අන්තයකට විහිදිය හැකියි!

ඕනෑ ම සමාජයක ප‍්‍රශ්න හා ගැටඵ තිබෙනවා. සමහරක් සොබාවිකව මහපොළවෙන්, දේශගුණයෙන් මතුව එනවා. තවත් ඒවා තාක්‍ෂණයන් භාවිතය නිසා හෝ මානව ඇදහිලි හා විශ්වාස නිසා හෝ හට ගන්නවා. ගැටඵ හා අර්බුද නැති මානව සමාජයක් ලොව කිසි තැනෙක නැහැ. බියවීමට ලැදි නම් එයට හේතු කර ගත හැකි බොහෝ දේ අප අවට තිබෙනවා.

අතීතයේ ජන සංඛ්‍යාව හා සමාජ සංකීර්ණත්වය අඩු යුගවල පවා වෙනස් ආකාරවල අර්බුදයන්ට හැම ශිෂ්ටාචාරයක් ම මුහුණ දුන්නා. තමන්ට මතු වන හැම ගැටඵවකදී හා අභියෝගයකදී ම ගවේෂණාත්මකව කරුණු විමසා බලා, තුලනාත්මකව නිගමනවලට එළඹීම වඩාත් උචිත ප‍්‍රතිචාරයයි. එය පෙරදිග දර්ශනයන් (කාලාම සූත‍්‍රය) මෙන් ම නූතන විද්‍යාවෙහිත් මූලික සම්ප‍්‍රදායක්.

එසේ නොකර, සිහිවිකල් වූවන් ලෙසින් මොර ගාමින් එහෙ මෙහෙ දිවීම පරිනත පුද්ගලයන්ගේ චර්යාවක් නොවෙයි. කැලේ නිදා සිටි හාවා තල් අත්තට බෙලි ගෙඩියක් වැටුණු විගස බියපත් වී, කලබල වී අහස කඩා වැටෙනවා කියූ කථාව අප දන්නවා. අද සමහර ප‍්‍රශ්න හමුවේ අපේ ඇතැම් උගතුන්, කලාකරුවන් හා ජනමතයට බලපෑම් කරන තවත් උදවිය හැසිරෙන්නේත් හරියට ඒ බොළඳ හාවා වගෙයි!

ප‍්‍රකෘති ඇසට නොපෙනෙන, අපේ අනෙකුත් ඉන්ද්‍රියයන්ගෙන් එක්වර ග‍්‍රහණය කොට තේරුම් ගත නොහැකි සිදුවීම් විග‍්‍රහ කරන්නට අදාල ක්‍ෂෙත‍්‍රවල විශෙෂඥයන්ගේ පිහිට හා උපදෙස් පැතීමට සිදු වනවා. මීට සියවස් ගණනකට පෙර නම් එවකට තිබූ දැනුම් ක්‍ෂෙත‍්‍ර ගණනාවක් ප‍්‍රගුණ කළ ප‍්‍රාඥයෝ සිටියා. එහෙත් දැනුම බොහෝ පුඵල් වී ඇති අද කාලයේ විශෙෂඥ බව වඩ වඩාත් නිශ්චිත වී තිබෙනවා.

වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය උදාහරණයකට ගත හොත් විශෙෂඥ ක්‍ෂෙත‍්‍ර රාශියක් ඒ තුළ හමු වනවා. වසර ගණනක් ශාස්ත‍්‍ර උගෙන, අත්දැකීම් හා පළපුරුද්ද ලැබූ විශෙෂඥයන් තමයි කාලීන ගැටඵ විසඳන්නට කැඳවනු ලබන්නේ. ඔවුන් කරුණු විමසා, තුලනාත්මකව හා මැදහත්ව විග‍්‍රහයක් දෙනු ඇතැයි සමාජය අපේක්‍ෂා කරනවා.

විශෙෂඥ දැනුම ඇති විද්වතුන් රටේ තීරණාත්මක සංවාදවලදී කෙසේ තම විද්වත් මතය දැක්විය යුතු ද? එබඳු අවස්ථාවල මාධ්‍ය හරහා ප‍්‍රචාරණය කැරෙන, ඇතැම් බලපෑම් කරන කණ්ඩායම් විසින් ප‍්‍රබල ලෙස ප‍්‍රවර්ධනය කැරෙන ‘ජනපි‍්‍රය’ මතවාදවලට ම සහාය පළ කළ යුතු ද? නැතිනම් තම විශෙෂඥ දැනුමෙන් හා අත්දැකීමෙන් පසක් කරගත් දේ නොබියව හා නොපැකිළි ප‍්‍රකාශ කළ යුතු ද?

එසේ කරන විග‍්‍රහය සමහර විට ජනපි‍්‍රය රැල්ලේ විශ්වාස හෝ කුමන්ත‍්‍රණවාදී පරිකල්පනයන් සනාථ නොකර ඒවාට එරෙහිව ද යා හැකියි. මෙයට උදාහරණයක් ලෙස මා දකින්නේ ජනපි‍්‍රය බෞද්ධ භික්‍ෂුවක් වූ ගංගොඩවිල සෝම හිමියන් 2003 දෙසැම්බර් 12 වනදා රුසියාවේදී අපවත්වීමට පසු මෙරට මතුව ආ ජන කම්පනය හා විවිධ තර්ක විතර්කයි.

එහිමියන්ගේ මරණය ස්වාභාවික හේතු නිසා වූවක් නොව කුමන්ත‍්‍රණයක කොටසක් බව සමහරුන්ගේ මතය වුණා. දේහය මෙරටට ගෙන ආ පසු පශ්චාත් මරණ පරීක්‍ෂණය කළේ රුහුණ සරසවියේ අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්ය හා එම ක්‍ෂෙත‍්‍රයේ මෙරට සිටි ප‍්‍රවීණතම විශෙෂඥයා වූ වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ලයි.

Professor Chandrasiri Niriella
Professor Chandrasiri Niriella

අධික දියවැඩියාවෙන් පෙඵණු සෝම හිමියන්ගේ හෘදයේ රුධිර නාලයක ලේ කැටියක් සිරවීමෙන් මරණය සිදුවූ බවත්, එය ගැන කිසිදු දෙගිඩියාවක් නැති බවත් රට ම පිළිගත් මේ විද්වතා තීරණය කළා.

මේ විද්වත් නිගමනය ප‍්‍රකාශයට පත් වූ විට එය ආන්දෝලනයට තුඩු දුන්නේ එය කුමන්ත‍්‍රණවාදී තර්කයන්ට අනුගත නොවූ නිසයි. මේ හේතුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා දැඩි බලපෑම්වලට ලක් වූ බව ඔහුගේ සමීපතයන් හරහා මා අසා තිබෙනවා. දහස් ගණනක් වෛද්‍යවරුන් මෙරටට බිහි කළ කීර්තිමත් මහාචාර්යවරයාගේ අවංක බව, තාක්‍ෂණික හැකියාව ආදියත් සමහරුන් ප‍්‍රශ්න කළා. එහෙත් ඔහු 2007 මිය යන තුරු කිසි ලෙසකින්වත් එම නිගමනය වෙනස් කළේ නැහැ.

මෑතදී කිරිපිටි සිදුවීමේදී සමහර වෛද්‍යවරුන් හා වෙනත් විද්‍යාඥයන් කි‍්‍රයා කළ ආකාරය ගැන බලා සිටින අපට ප‍්‍රශ්න මතු වනවා. ඔවුන් ටෙලිවිෂන් හරහා ආවේගශීලීව කථා කළේ රටක් ජාතියක් බේරා ගැනීමට කරන මහා සටනක හවුල්කරුවන් විලසින්. එසේ පෞද්ගලික මත දැරීමට ඔවුන්ට පූර්ණ නිදහසක් ඇතත් විද්වත් ස්ථාවරයක් ද එයට ආරෝපණය කිරීම විවාදාත්මකයි.

විද්‍යාව හා තාක්‍ෂණය මහජන සුබසිද්ධියට හරිහැටි යොදා ගත හැකි වන්නේ ප‍්‍රතිපත්ති සම්පාදක දේශපාලකයන් විද්‍යාත්මක තොරතුරු හා විග‍්‍රහයන් භාවිත කරන සැටි ඉතා සුපරීක්‍ෂාකාරීව බලා සිට එහි විසමතා, පරස්පරයන් හා සැක කටයුතු තැන් පෙන්වා දීමෙන් පමණයි. විද්‍යාවේ නාමයෙන් පෞද්ගලික මතවාදයන් ප‍්‍රවර්ධනයට ඉඩ නොදිය යුතුයි.

2013 ජුලි 31 වනදා හෘදයාබාධයකින් හදිසියේ (ස්වාභාවිකව) මියගිය මා මිත‍්‍ර ඬේවිඞ් ඩික්සන් මේ ගැන දිගු කලක් තිස්සේ අවධානය යොමු කළා. විද්‍යා ලෝකයේ ඉහළ ම පිළිගැනීමක් ඇති ‘Nature’ හා ‘Science’ නම් විද්වත් පර්යේෂණ සඟරා දෙකෙහි ම සේවය කළ ඬේවිඞ්, ලෝකයේ සිටි ප‍්‍රවීණතම විද්‍යා මාධ්‍යවේදියෙක්.

ඔහු දිගටම තර්ක කළේ විද්‍යාවේ නාමයෙන් විවිධ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග හඳුන්වා දෙන විට ඒ ගැන විද්‍යාඥයන් ඉතා සුපරීක්‍ෂාකාරී විය යුතු බවයි.

ඬේවිඞ් කියා සිටියේ ආචාර්ය උපාධියක් හෝ මහාචාර්ය තනතුරක් හෝ යම් විද්‍යාඥයකුට තිබූ පමණට ඔහු හෝ ඇය හැම විද්‍යාත්මක ක්‍ෂෙත‍්‍රයක් ගැන ම විද්වත් විග‍්‍රහයන් පළ කිරීමේ විසල් හැකියාව ඇත්තකු නොවන බවයි.

ඬේවිඞ් කී හැටියට ‘‘ලබා ගත හැකි හොඳම විද්‍යාත්මක සාක්‍ෂි හා විග‍්‍රහයන් ප‍්‍රතිපත්ති සම්පාදනයට යොමු කිරීමේ වෘත්තීය වගකිමක් විද්‍යාඥයන්ට තිබෙනවා. ජාතික විද්‍යා ඇකඩමිවල එක් වගකීමක් වන්නේ විද්‍යාත්මක සාක්‍ෂි හා උපදෙස් මත පදනම් වී රජයන් ගන්නා ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාමාර්ග සමීපව අධ්‍යයනය කිරීමයි. විද්‍යාවේ නාමයෙන් වැරදි දේ කරන විට ඒ ගැන ප‍්‍රසිද්ධියේ පෙන්වාදීමයි.’’

SciDev.Net 13 Aug 2009: The curse of policy-based evidence by David Dickson

බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේන්තුව මේ ගැන පාර්ලිමේන්තු කොමිටියක් හරහා 2006දී විමර්ශනය කළා. එහි අවසන් වාර්තාවේ අවධාරණය කළේ ‘‘කල් තබා ගන්නා ලද ප‍්‍රතිපත්තිමය තීරණ සනාථ කරනු පිණිස විද්‍යාත්මක සාක්‍ෂි හෝ උපදෙස් අදාල කර ගැනීම ඇමතිවරුන් විසින් නොකළ යුතු’’ බවයි.

අද දවසේ ආර්ථිකය හා ජනජීවිතය සම්බන්ධ බොහෝ කරුණු අරභයා විද්‍යාව හෝ තාක්‍ෂණය සම්බන්ධ වන බවත්, එහිදී වඩාත් ම ප‍්‍රශස්ත හා දුරදර්ශී ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට බලයේ සිටින දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට විශෙෂඥයන්ගේ විද්වත් මග පෙන්වීම හා උපදෙස් උදක් ම  ඕනෑ වන බවත් එම වාර්තාව පෙන්වා දුන්නා. එසේ උපදෙස් ගැනීම හා ඒවා ප‍්‍රතිපත්ති සම්පාදනයට අදාල කර ගැනීම පාරදෘශ්‍ය, සංවාදශීලී හා වගකීම් සහගත පදනමක් මත සිදු කළ යුතු බවත් එය අවධාරණය කළා.

Scientific Advice, Risk and Evidence Based Policy Making, 2006

David Dickson
David Dickson

ඬේවිඞ් ඩික්සන් කීවේ: ‘‘තමන්ගේ විශෙෂඥ ක්‍ෂෙත‍්‍රය නොවන වෙනත් විද්‍යාත්මක ගැටඵවක් ගැන ‘විද්වත්’ මත දක්වන්නට ඉදිරිපත් වෙමින් රාජ්‍ය ප‍්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටින විද්‍යාඥයන් ගැන විශෙෂ අවධානයක් යොමු කළ යුතුයි. එබඳු විද්වතුන් හා දේශපාලකයන් අතර කලක සිට පැවතෙන මිත‍්‍රත්වයක් තිබේ ද? විද්වතාට මෙසේ මත පළ කිරීමෙන් වාසි සැළසේ ද? මේවා සොයා බැලිය යුතුයි.’’

ඬේවිඞ්ගේ විග‍්‍රහයට අනුව මේ වගකීමෙන් කොටසක් මාධ්‍යවලටත් පැවරෙනවා. නමුත් විද්‍යාවේ නිසි භාවිතයන් හා නොතිසි භාවිතයන් වෙන්කර හඳුනාගැනීම බොහෝවිට අසීරු කාරියක් බවත්, ඒ සඳහා විචාරශීලී මාධ්‍යවේදීන්ට මැදහත්, අපක්‍ෂපාත හා පොදු උන්නතියට කැපවූ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍ය බවත් ඔහු කියා සිටියා.

ඕනෑ ම නාමධාරී විද්වතකු කියන දේ තර්කානුකූල ද එයට පදනම් වන සාක්‍ෂි මොනවාදැයි ඇසීමේ වරම මාධ්‍යවේදීන්ට තිබෙනවා. මාධ්‍යවේදීන් යනු කියවන විට ලිවීම (dictation) ලබා ගන්නා ලඝුලේඛකයන් නොවෙයි.

මාධ්‍ය වාර්තාකරණයේ නියැලෙන සැමට අවශ්‍ය වැදගත් කුසලතාවයක් වන්නේ සංශයවාදී වීමයි (sceptical). එනම් කියන්නා කෙසේ කීවත්  ඕනෑ ම දෙයක් විචාරශීලීව ග‍්‍රහණය කිරීමයි. කියන්නාගේ තරාතිරම කුමක් වුව ද එසේ කිවූ පලියට බාර නොගත යුතුයි.

වෙළඳ සමාගම් විසින් ගාස්තු ගෙවා පර්යේෂණායතන හරහා කරවා ගන්නා පරීක්‍ෂණ හා විමර්ශන ප‍්‍රතිඵල ගැන සංශයවාදීව සිතීමට මාධ්‍යවේදීන් පුහුණුව ලබා සිටිනවා. ඒ හා සමානව වූ සංශවාදී බවකින් ඔවුන් දේශපාලකයන් විද්‍යාත්මක පර්යේෂණ ප‍්‍රතිඵල ගැන කථා කරන විටද එයට ප‍්‍රතිචාර දැක්විය යුතුයි.

රජයක යම් ප‍්‍රතිපත්තියක් හෝ කි‍්‍රයාවක් සාධාරණීකරණය කිරීමට බලයේ සිටින දේශපාලකයකු විද්‍යාත්මක සාක්‍ෂි ගෙන හැර දක්වන විට මාධ්‍යවේදීන් ඇසිය යුතු ම වන ප‍්‍රශ්න තිබෙනවා. මේ පර්යේෂණවලට ගෙවීමක් කළේ රජය විසින් ද? නැතහොත් එකී පර්යේෂණ කළෙ රජය විසින් පවත්වාගෙන යන පර්යේෂණායතනයක් මගින් ද? එහිදී ලබාදෙන ප‍්‍රතිඵල කෙතරම් අපක්‍ෂපාතී විය හැකි ද?

නූතන විද්‍යාව යනු ආගම් මෙන් අන්ධ භක්තිය මත පදනම් වූවක් නොවෙයි. විද්‍යාවේ පරම සත්‍යයන් නැහැ. හැම නිගමනයක් ම සංවාදයට විවෘතයි. කෙතරම් ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු වුවත් තමන් නිගමනයකට එළඹීමේ පදනම පහදා දීමට බැදී සිටිනවා. එය එසේ ඉල්ලා සිටිමට ජන සමාජයට හා ජන මාධ්‍යවලට අයිතියක් ද තිබෙනවා.

කිරි කළයකට ගොම ටිකක් වැටුණා වගේ යයි ප‍්‍රකට කියමනක් තිබෙනවා. ඉතා පිවිතුරු දෙයකට අපවිත‍්‍ර සුඵ යමක් මුසු වුවත් එනිසා එය අපතේ යා හැකියි. මහජන විශ්වසනීයත්වය (public credibility) යන්නත් එබඳු සංසිද්ධියක්. එය වෙර වෑයමින් ගොඩ නගා ගත යුතු, එහෙත් ලෙහෙසියෙන් අපවිත‍්‍ර වී කෙලෙසී යා හැකි දෙයක්.