සිවුමංසල කොලූගැටයා #203: මෛත‍්‍රීගේ මැන්ඩෙලා මොහොත!

I use this week’s Ravaya column (in Sinhala) to address an open letter to newly elected Sri Lanka President Maithripala Sirisena.

Mandela and Maithrii: Emulation must go beyond election campaign!
Mandela and Maithrii: Emulation must go beyond election campaign!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විවෘත ලියුමක්

ජනාධිපති මහතාණෙනි,

යුක්තිය, සාධාරණත්වය සහ යහපාලනය උදෙසා පෙනී සිටිමින් ඔබ ලැබූ මැතිවරණ ජයග‍්‍රහණයට සුබ පැතුම්!

බොහෝ බාධක, කම්කටොලූ හා අභියෝග මැද ඔබ ප‍්‍රතිපත්ති ගරුකව මැතිවරණ ව්‍යාපාරය කර ගෙන ගිය සැටි අප බලා සිටියා. එසේම ඔබ මතු කළේ හඬක් නැති සුවහසක් ලක් ජනතාවගේ අහිසංක අපේක්ෂා හා බලාපොරොත්තුයි.

ඔබ දැන් අප රටේ හැම තැනෙකම වෙසෙන සියලු ජනයාගේ ජනපතියි. එහෙත් ඔබ රජකු නොව නිශ්චිත ධූර කාලයකට පත් කර ගත් ජනතා සේවකයකු පමණයි. මැතිවරණය වකවානුවේ පුරවැසි බලය දෙපිලටම මතක් කළ පරිදි, අප මෙරට පුරවැසියන් මිස යටත්වැසියන් නොවේ!

ජනාධිපති මහතාණෙනි,

මා ඔබට මෙසේ අමතන්නේ ගරුසරු නැතිව යයි නොසිතන්න. අතිගරු, උතුමාණෙනි, මැතිතුමනි ආදී අනවශ්‍ය ලෙසින් නිවට යෙදුම් මා කවදත් යොදන්නේ නැහැ. 2012 පටන් ඉන්දියානු ජනාධිපති ප‍්‍රනාබ් මුකර්ජි හඳුන්වා දුන් උතුම් සම්ප‍්‍රදාය අපට ද ඔබින බව මගේ අදහසයි. ඒ අනුව එරට ජනාධිපතිවරයා ඇමතිය යුත්තේ “Mr President” කියා පමණයි.

වැඩවසම් යුගයේ යල් පැන ගිය යෙදුම් වෙනුවට, ජන සම්මත නායකයකු ඇමතීමේ සුදුසු සිංහල යෙදුමක් අප ද හනික සොයා ගත යුතුයි.

එසේම ගිහියකු වන ඔබ හමුවේ බාල මහලු කිසිවකුත් දණ ගැසීම කළ යුතු ඇයි? අතට අත දීම හෝ ආයුබෝවන් ආචාරය ප්‍රමාණවත් යයි ඔබම නිසි ප්‍රමිතියක් පනවනු ඇතැයි සිතමු.

2009 මැයි මාසයේ අපේ සිවිල් යුද්ධය නිමා වුණු විගස (පැය 24ක් ඇතුළත) ඉංග‍්‍රීසියෙන් මා ලියූ ලිපියක මගේ පරම්පරාවේ ඇත්තන්ගේ අනාගත බලාපොරොත්තු ගැන මා මහත් කැක්කුමකින් යුතුව කතා කළා. (“Memories of War, Dreams of Peace”, Groundviews.org, 2009 මැයි 19)

එහි මා පල කළ සමහර අදහස් මේ මොහොතේ යළි මතු කිරීම වටිනවා.

යුද්ධයේ අමිහිරි දායාදයන් අතර එකිනෙකා සැක කරන ලක් සමාජයක් ද, අප සියලූ දෙනා දෙස ඉමහත් සැකයෙන් බලන ලක් රාජ්‍යයක් ද බිහිව තිබූ බව මා කියා සිටියා. සාමයත් සමග භීතිය, සැකය දුරු කොට සහජීවනය, සුහදත්වය හා අන්‍යොන්‍ය විශ්වාසය මත පදනම් වූ රටක් ඉක්මනින් බිහි වනු ඇතැයි මා පැතුවා.

එහෙත් දැන් අප හොඳින් දන්නා පරිදි, එබන්දක් සිදු වූයේ නැහැ. ජාතීන් අතර සංහිඳියාව හා සහජීවනය වෙනුවට ජාතිවාදය හා ආගම්වාදය යළි යළිත් වපුරනු ලැබුවා. එසේම රටේ මහජනයා නිරතුරුව සැක කරන, අපේ පෞද්ගලික දුරකථන කතාබහට හොරෙන් සවන් දෙන, විපක්ෂය හා විකල්ප මතධාරීන් ගැන අසීමිත ලෙස ඔත්තු බලන රහස් පොලිස් රාජ්‍යයක් (surveillance state) බිහි වුණා.

රාජ්‍යයේ (state) තාවකාලික භාරකරුවා පමණක් වන පවතින රජය (government) හේතු සහිතව විවේචනය කිරීම පවා “බරපතල වරදක්” ලෙස හුවා දක්වනු ලැබුවා. පාලකයන් කරන කියන දේ වැඳ ගෙන අසා සිට ඔජ දමා අනුමත නොකරන සියලූ දෙනා “ජාතිද්‍රෝහීන්” යැයි නම් කරනු ලැබුවා.

මර්දනය හමුවේ සමහරුන් රට හැර පණ බේරා ගෙන පලා ගියා. විකල්ප දේශපාලන මත රැගත් වෙබ් අඩවි මෙරට සිට කියවීම අවහිර කරනු ලැබුවා. අපේ සමාජය අතිශයින් ධ‍්‍රැවීකරණය වුණා.

මේ බිහිසුණු ප‍්‍රවණතා මතු වී පැතිරෙනු බලා සිටි ඔබ, අපටත් වඩා ඉතා හොඳින් ඒ අමිහිරි මෑත අතීතය දන්නවා. එහෙත් මේ තීරණාත්මක අවස්ථාවේ ඔබ පරෙස්සම් නොවුවහොත් දැන් ඔබ වටා රොක් වන සමහරුන් ඔබේ පාලන කාලය තුළ ද පවත්වා ගන්නට තැත් කරනු ඇත්තේ එයට සමාන මර්දනයක්.

මගේ 2009 මැයි ලිපිය මා අවසන් කළේ මෙලෙසයි. ‘‘අප‍්‍රිකානු උදාහරණ අපේ රටට ගෙඩි පිටින් ආදේශ කළ නොහැකි වුවත්, මෑත ඉතිහාසයෙන් අපට ආදර්ශ ලද හැකියි. සුදු සමැති පිරිසකගේ සුළුතර පාලනයෙන් මිදුණු සිම්බාබ්වේ දේශයත්, දකුණු අප‍්‍රිකාවත් ඉනික්බිති ගමන් කර ඇත්තේ ප‍්‍රතිවිරුද්ධ දිශාවලටයි. අපේ රටේ අතිශය තීරණාත්මක මංසන්ධියකට පැමිණ ඇති මේ මොහොතේ අපේ නායකයන් තෝරා ගන්නේ මුගාබේ මාවතද – මැන්ඩෙලා මාවතද?” (“Would our leaders now choose the Mandela Road or the Mugabe Road for the journey ahead?”)

Which road to take, ponders Mahinda Rajapaksa after war victory - Cartoon by Gihan de Chickera, published in Daily MIrror, 4 June 2009 (2 weeks after Sri Lanka's civil war ended)
Which road to take, ponders Mahinda Rajapaksa after war victory – Cartoon by Gihan de Chickera, published in Daily Mirror, 4 June 2009 (2 weeks after Sri Lanka’s civil war ended)

මෙසේ ලිවීම ගැන එවකට රජයේ මාධ්‍ය ප‍්‍රකාශකයාගේ දෝෂාරෝපණයට ද මා ලක් වුණා. එහෙත් යුද්ධයෙන් පසු අපේ රට යොමු වුණේ මුගාබේ මාවතට බව නොකැමැත්තෙන් වුව ද පිළිගත යුතුයි.

යහපාලනය ගැන ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයක් මත ජනාධිපතිවරණය දිනූ ඔබෙන් අප උදක්ම බලාපොරොත්තු වන්නේ ප‍්‍රමාද වී හෝ පශ්චාත් යුද වකවානුවේ රට ගමන් කළ මුගාබේ මාවතෙන් ඉවත්ව හැකි තාක් ඉක්මනට මැන්ඩෙලා මාවත දිශාවට අප රැගෙන යන ලෙසයි.

පවතින ව්‍යවස්ථා රාමුව හා දේශපාලන යථාර්ථය තුළ මෙය කිරීම අසීරු බව අප දන්නවා. එහෙත් මැතිවරණ ව්‍යාපාරයේදී මැන්ඩෙලා හා මහත්මා ගාන්ධිගේ රූපයන් සංවේදී ලෙස භාවිත කරමින් ඔබ ජන හදවත් තුළ දැල්වූ අපේක්ෂා නිවී යන්නට නම් ඉඩ දෙන්න එපා! (1994දී චන්ද්‍රිකා ජනපතිනිය ගැන අප සමහරෙක් මෙලෙසම තැබූ බලපොරොත්තු දෙතුන් වසරකට පසු දිය වී ගිය ආකාරය අපට මතකයි.)

ඔබට මේ දිනවල බොහෝ උපදෙස් හා ඉල්ලීම් ලැබෙනවා ඇති. ඒ ගොඩට මා එකතු කරන්නේ එකම එකක් පමණයි. එනම් නෙල්සන් මැන්ඩෙලා රූපය ඔබේ මැතිවරණ ප‍්‍රචාරණයට යොදා ගත් තැනින් නොනැවතී, මැන්ඩෙලා දැක්ම, ප‍්‍රතිපත්ති, පූර්වාදර්ශයන් හා පරමාදර්ශය හැකි තාක් අපේ දේශපාලනයට හා සමාජයට සමීප කරවන ලෙසයි.

මෙය ජන නායකයකුට ලෙහෙසියෙන් හෝ තනිව හෝ කළ හැකි දෙයක් නොවෙයි. එහෙත් මැන්ඩෙලා මෙන්ම ඔබ ද නැවත ධුර කාලයකට තරග නොකරන්නට ඔබ දිවුරුම් දුන් දිනයේම ප‍්‍රතිඥා දීම මේ දිශා වෙනසේ පෙර මග නිමිත්තක් සේ මා සළකනවා.

Maithripala Sirisena's campaign poster that acknowledged his inspiration from Gandhi and Mandela
Maithripala Sirisena’s campaign poster that acknowledged his inspiration from Gandhi and Mandela

 

අතිශයින් බෙදී තිබූ දකුණු අප‍්‍රිකාවේ සියලූ ජාතීන් හා විවිධ දේශපාලන මතධාරීන් එක් රැස් කරගෙන දේදුනු ජාතියක් බිහි කරන්නට මැන්ඩෙලා වචනයෙන් නොව ක‍්‍රියාවෙන් ද කැප වුණා. එහෙත් එයට සමාන්තරව අතීත අසාධාරණයන්ට හා හිංසාවන්ට ලක් වූ අයට කල් ගත වී හෝ සාධාරණය හා සහන ලබා දෙන්නට සත්‍යය හා සංහිඳියා කොමිසම හරහා පියවර ගත්තා.

මර්දනකාරී යුගයකින් වඩාත් නිදහස් යුගයකට පිවිසි විගස බලාපොරොත්තු හා ඉල්ලීම් රැසක් මතු වනවා. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ඡා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් මැන්ඩෙලා ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

වෛරීය දේශපාලනය හෝ මමත්ව දේශපාලනය වෙනුවට මැන්ඩෙලා කළේ සාමූහික වගකීම හා කැපවීම ඔස්සේ රටේ සියලූ පුරවැසියන්ට රට ගොඩනැංවීමට අවස්ථාව උදා කර දීමයි. නැති වී ගිය අභිමානය නැවත ඇති කිරීමයි. ඊනියා ජාතිපේ‍්‍රමය වෙනුවට සැබෑ ජාතිමාමකත්වයක් සෙමෙන් බිහි වන්නට සුදුසු ප‍්‍රතිපත්තිමය හා නීතිමය රාමුවක් රටේ බිහි කිරීමයි.

මැන්ඩෙලාගේ සන්නිවේදන දැක්ම හා ප‍්‍රවේශය ගැන මා මේ කොලමින් කිහිප වතාවක් සාකච්ඡා කොට තිබෙනවා. 2013 ඔක්තෝබර් 21දා මා ලියූ පරිදි:

“නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න මැන්ඩෙලා සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.”

“බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි…. ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.”

ජනතාවට නිතර දෙවේලේ බණ කියනු වෙනුවට මැන්ඩෙලා කළේ තමන්ටම තර්කානුකූලව සිතා තීරණ ගැනීමේ පුද්ගල නිදහස උදා කිරීමයි. ඒ සමගම සාමූහික වගකීම් හා යුතුකම් ගැන සියුම් ලෙස සිතන්නට සැලැස්වීමයි.

රටක් හදන්නට ජන නායකයන් පමණක් නොව ඔවුන්ට විචාරශීලීව පන්නරය දෙන එඩිතර බුද්ධිමතුන් හා කලාකරුවන් ද අත්‍යවශ්‍යයි. 2013 ජූලි 28දා මා ලියූ පරිදි: “නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණු අපි‍්‍රකාවේ වාසනාවට නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි නිවහල් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒකරාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරුවලවලින් බේරා ගත්තේ මෙබදු විචාරශීලි සහෘදයන්.”

අවස්ථාවාදී එහෙයියන්ගෙන් හා වන්දිභට්ටයන්ගෙන් ඔබ්බට යන විචාරශීලී සහෘදයන් පිරිසක් ඔබට ද ඉක්මනින්ම ලැබේවා යයි උදක්ම පතමු!

Maithripala Sirisena manifesto cover
Maithripala Sirisena manifesto cover

ජනාධිපති මහතාණෙනි,

21 වන සියවසේ ජන නායකයන් යනු නරපති මානසිකත්වය පෙරදැරි කර ගත් වැඩවසම් අධිපතිවාදීන් නොවේ. ඔවුන් ක‍්‍රියා කරන්නේ උත්පේ‍්‍රරක හැටියටයි. රසායන විද්‍යාවේ උත්පේ‍්‍රරක (catalyst) ලෙස හදුන්වන්නේ අන්තර්ක‍්‍රියා හට ගැනීමට දායක වී සෙමෙන් පසෙකට වන ආකාරයේ සංසිද්ධියක්.

රටේ සියලූ ආයතන, තන්ත‍්‍ර හා තීරණ තමා වටා කේන්ද්‍ර කර ගත් “මමයි රජා” නායකත්වයක් වෙනුවට අදට ගැළපෙන්නේ සියුම්ව හා සංවේදීව ක‍්‍රියා කරන නායකත්වයක්.

ඔබ දැන් පත්ව සිටින තනතුරේ ඉමහත් බලතල නිසා හිස උදුම්මා නොගෙන, කොයි කාගේත් හොඳ හිත දිනා ගෙන එහෙත් තීරණාත්මකව ප‍්‍රතිසංස්කරණ කිරීමට ඔබට හැකි වේවා යැයි මා පතනවා. ඒ සඳහා ජේ.ආර්.ට තිබුණු තියුණු දැක්මත්, විජේතුංගට තිබූ නිර්ව්‍යාජ ගැමි ගුණයත්, චන්ද්‍රිකාට පැවති එඩිතර භාවයත් ඔබට ලැබේවා!

ඔබේ දින සියයේ වැඩපිළිවෙළ ගැන අප සිටින්නේ අවදියෙන්. ඔබට සුබ පතන මා වැනි නිදහස් මතධාරීන් ඔබට වරදින විට එසැණින් එයට ප‍්‍රතිචාර දක්වන්නට සමාජ මාධ්‍ය යොදා ගනු ඇති. අප එය කරන්නේ කිසිදු අගතියකින් තොරව, කිසිදු ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයකට අනුගත නොවී සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළිත් මෙරට තහවුරු කරන්නයි.

එබඳු විසම්මුති හා විවේචන දරා ගත හැකි මහත්මා ගුණය ඔබට ඇතැයි මා සිතනවා. එසේම ඔබ වටා දැනටමත් රොක්ව සිටින වන්දිභට්ටයන්ගෙන් ප‍්‍රවේශම් වන ලෙස ද මා ඔබෙන් ප‍්‍රසිද්ධියේම ඉල්ලා සිටිනවා.

ජන සම්මතයෙන් තේරී පත් වන ජන නායකයන් ජනතාවට එපා කරවන්නේ ඔහු හෝ ඇය වටා සිටින වන්දිභට්ට පිරිසයි. මේ බව ඔබ හොඳාකාරවම දන්නවා. අඩු තරමින් ජනාධිපති චරිත දෙකකට මෙය සිදුවනු ඔබ සමීපව දුටුවා.

මේ ඔබේ දේශපාලන ජීවිතයේත් අපේ රටේත් මැන්ඩෙලා මොහොතයි (Mandela Moment). ඉතිහාසයේ මෙබඳු මොහොතක් විවරව පවතින්නේ සීමිත කාලයකට පමණයි. එය වැළඳ ගෙන, මිලියන් 21ක සියලූ ලක් ජනයා ප‍්‍රමාද වී හෝ 21 වන සියවසට කැඳවාගෙන යන්නට ඔබට දිරිය, විරිය හා දීඝායු ලැබේවා.

මෙයට,

කිසිදා ඔබට කීකරු නොවන,

සිවුමංසල කොලූ ගැටයා/නාලක ගුණවර්ධන

See also:

21 July 2013: සිවුමංසල කොලූගැටයා #126 නෙල්සන් මැන්ඩෙලා: ගමන නොනිමෙයි!

28 July 2013: සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ

20 Oct 2013: සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

 

සිවුමංසල කොලූගැටයා #202: 2015 ජනාධිපතිවරණයේ සන්නිවේදන පාඩම්

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 11 January 2015, I offer an initial analysis of media-based political campaign communications during the run-up to Sri Lanka’s 7th Presidential Election on 8 January 2015. The column was written on 5 January, as physical campaigning (meetings and outdoor promotion) came to an end. The Ravaya issue carrying this hit the newsstands on election day.

In this, I pay particular attention to the use of social media by political parties as well as independent citizens and civil society groups. I also discuss the missed opportunity of holding a televised live debate between the two main candidates – to which opposition’s common candidate Maithripala Sirisena agreed, but was declined by incumbent president Mahinda Rajapaksa.

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

 

Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL
Social media campaign by citizen groups to encourage everyone to vote in #PresPollSL

මා මේ කොලම ලියන්නේ 2015 ජනාධිපතිවරණයට තෙදිනකට පෙරයි. මෙය මුද්‍රණයෙන් පිට වන විට ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ලැබෙමින් පවතිනු ඇති. පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය දේශපාලන සංවාද ඉතා අවශ්‍ය මොහොතක් ඉක්බිති එළැඹෙනවා. එයට දායක වෙමින්, ගෙවී ගිය සති කිහිපයේ ජනාධිපතිවරණය වටා සිදු වූ සන්නිවේදන ක‍්‍රියාදාමයන් ගැන මුල් අදියරේ විග‍්‍රහයක් අපට දැන් කළ හැකියි.

ජනාධිපතිවරණ සන්නිවේදනයේ යෙදුණේ මැතිවරණ කොමසාරිස්වරයා, අපේක්ෂකයන් 19 දෙනා හා ඔවුන්ගේ අනුගාමිකයන් පමණක් නොවෙයි. දේශපාලන උනන්දුව ඇති විද්වතුන්, කලාකරුවන් හා සෙසු පුරවැසියන් ද වැඩිපුර කාලය ගත කළේ මේ ගැන කතාබහ කරන්නයි. මේ සා දැඩි උනන්දුවක් මා අවසන් වරට දුටුවේ 1994දී.

විවිධ කෝණ හා මානවලින් විග‍්‍රහ කළ හැකි මේ සංසිද්ධිය මා විමසන්නේ නව සන්නිවේදන මාධ්‍යයන් හා නව මාධ්‍ය කෙසේ යොදා ගත්තා ද යන්න සෙවීමටයි. අර්ධ වැඩවසම් මානසිකත්වයක තවමත් කොටු වී සිටින ලක් සමාජය නූතනත්වය වැළඳ ගන්නට දෙගිඩියාවකින් පසු වන සැටිත් ඒ හරහා අපට දැකිය හැකියි.

එසේම මේ තරම් සන්නිවේදන මාධ්‍ය තිබියදීත් රටේ ජනමතය හරිහැටි හඳුනා ගැනීම හා කියැවීම කෙතරම් අසීරුද යන්නත් අපට පෙනී යනවා.

සමහරුන් තර්ක කරන්නේ මෙවර අධිතාක්ෂන මැතිවරණ ප්‍රචාරක කැම්පේන් තිබූ බවයි. යෝධ ටෙලිවිෂන් තිර ජනාකීර්න හන්දිවල තැබූ පමණින් හෝ ඉන්ටර්නෙට් හරහා ඉවක් බවක් නැතිව කැම්පේන් පණිවුඩ බෙදා හැරිය පමණින් ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය මෙරටට ළඟා වන්නේ නැහැ.

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේම ප්‍රචාරණ වැඩ සියුම්ව පිරික්සා බලන විට පෙනී ගියේ නව සන්නිවේදන තාක්ෂනයන් හරහා ද ඔවුන් තවමත් අනුගමනය කළේ එක දිශාවකට – එනම් කැම්පේන්කරුවන් වෙතින් මහජනයාට – ගලා ගිය පරණ තාලේ සන්නිවේදන ආකෘතියක් බවයි (one-way communications model).

ඇති තරම් සංවාද කිරීමට සමාජ මාධ්‍යවල මනා විභවයක් තිබුනත් එයට අවශය දැක්ම දෙපිලටම තිබුනේ නැහැ. මේ නිසා වෙබ් සරන මිලියන් හතරක පමණ ලක් ජනයා තම තමන් අතර කළ දේශපාලන සංවාදවලට අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ කැම්පේන් නිල වශයෙන් සම්බන්ධ වූයේ සීමිතවයි. නව දේශපාලන සන්නිවේදනයක් බිහි කිරීමේ අගනා අවස්ථාව දෙපිලම අත හැරියා.

එහෙත් සාපේක්ෂව පොදු විපක්ෂය නව මාධ්‍ය හරහා වඩාත් පුරවැසියන් සමග කථාබහ කළා යයි කිව හැකියි. රජයේ මාධ්‍ය ඔවුනට නොතිබි පසුබිම තුළ ඔවුනට මේ විකල්ප හැකි තරම් යොදා ගන්නට සිදු වූවා.

නවීන සන්නිවේදන තාක්ෂණයන් සූක්ෂම හා අවස්ථානුරූපී ලෙස භාවිත කළ තවත් පිරිසක් ද සිටියා. ඔවුන් ඍජුව දේශපාලන පක්ෂයකට හෝ පක්ෂයක් මුදල් ගෙවා සේවය ලබා ගත් දැන්වීම් ආයතනයකට හෝ අයත් නොවූ, එහෙත් දේශපාලනය හා යහපාලනය ගැන දැඩි උනන්දුවක් ඇති අයයි.

ඔවුන් තනි ගොඩකට වර්ග කරන්නත් අමාරුයි. විශේෂයෙන් ෆේස්බුක්, ට්විටර් (Twitter) හා යූටියුබ් (YouTube) ආදී සමාජ මාධ්‍ය ජාල හරහා දේශපාලන දෙපිලම විචාරයට හා අභියෝගයට ලක් කැරෙන කෙටි, ව්‍යක්ත හා ඇතැම් විට හාස්‍යජනක නිර්මාණ ඔවුන් මුදා හැරියා.

පක්ෂ මාරු කරන දේශපාලකයන්ගේ එදා-මෙදා කතා, පාලක පක්ෂයේ හා විපක්ෂයේ කයිවාරුව හා කෙරුවාව අතර පරතරය, මේ කවුරුත් රැවටීමට තැත් කරන අහිංසක ඡන්දදායකයාගේ සිහින හා අපේක්ෂා, අන්තවාදයට එරෙහිව කැරෙන සමාජ ප‍්‍රතිරෝධය ආදිය මේ නිර්මාණවලට නිමිති වුවා.

ඒවා අකුරින්, රූපයෙන් හෝ වීඩියෝවලින් සමන්විත වූ අතර අධි වියදම් දරා වෘත්තීය මට්ටමෙන් නිපදවන කැම්පේන් දැන්වීම් බොහොමයකට වඩා මේ පුරවැසි නිර්මාණ සාර්ථක වූ බව මගේ වැටහීමයි.

මෙයින් බොහොමයක නිර්මාණකරුවා කවුදැයි සොයා ගන්නත් අපහසුයි. ඒ තරමට ශීඝ‍්‍රයෙන් හා උද්ේ‍යාගයෙන් මේවා සමාජ මාධ්‍ය හා ජංගම දුරකතන හරහා බෙදා ගත් (share කළ) බැවින්. මේවා පොදුවේ හඳුන්වන්නේ වෙබ් මීම් (web memes) නමින්.

මෙරට වෙබ් මීම් උපසංස්කෘතිය ජනාධිපතිවරණය වකවානුවේ කඩඉමක් පසු කොට නව මානයකට පිවිසියා. වෘත්තීය දැන්වීම් සමාගම් හා කැම්පේන් හසුරුවන්නෝ සමහරක් මේ ස්වේච්ඡා පුරවැසි නිර්මාණ කොපි කරන්නට හා ඒවා සමග තරග කරන්න තැත් කරනු පෙනී ගියා. මේ ප‍්‍රවණතා ඉදිරි මැතිවරණවල වඩාත් ප‍්‍රබලව පැන නගිනු ඇති.

Purawesi Balaya = Citizen Power icon
Purawesi Balaya = Citizen Power icon

පුරවැසි බලය වැනි මෑතදී බිහි වූ සිවිල් සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ද මේ නව මීම් රැල්ල මනා සේ හසුරුවනු මා දුටුවා. මෙවර මැතිවරණයේ ඉතා පුළුල්ව ප‍්‍රතිරාවය වූ වැකියක් වූයේ ‘යටත්වැසියන් නොවී පුරවැසියන් වෙමු’ යන්නයි. මෙරට තත්කාලීන දේශපාලන හා රාජ්‍ය පාලන යථාර්ථයේ ගරා වැටීම කෙටියෙන් හා මැනවින් හසු කර ගත් මෙය ද මීම් එකක් ලෙස හැඳින්විය හැකියි.

තවත් පුරවැසි මාධ්‍යකාරියක විසින් මුදා හැරිය වැකියක් මෙසේයි. ‘උපන් දා සිට කරපු පව් නැත වරක් පැන්නොත් මල්ලියේ!’ පක්ෂ මාරු කිරීමේ ශීඝ‍්‍රතාව වැඩි වෙද්දී සංසරණයට ආ මෙය ද ඉක්මනින් සයිබර් අවකාශය පුරා පැතිර ගියා.

කාටූන් චිත‍්‍ර හැකියාව එතරම් නැතත් හොඳ හාසජ්‍යනක අදහස් මීම් රූප ලෙස බිහි වී අප කුල්මත් කළා.

මෙරට දේශපාලන සන්නිවේදන ඉතිහාසයේ ප‍්‍රථම වතාවට නාමික හෝ නිර්නාමික සාමාන්‍ය පුරවැසියන්ට නිර්මාණශීලී ලෙස දේශපාලන සිදුවීම් ගැන පොදු අවකාශයේ ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමට හැකිව තිබෙනවා.

දේශපාලන නායකයන් හා කැම්පේන්කරුවන් කියන දෙය ඡන්දදායක මහජනතාව වැඳ ගෙන ඔහේ අසා සිටි කාලය ඉවරයි. දැන් මතුව එන්නේ අප කාටත් සංවාද විසංවාද හා තර්ක කළ හැකි නව සන්නිවේදන යථාර්ථයක්.

රටේ ජනගහනයෙන් 25%ක් පමණ ඉන්ටර්නෙට් භාවිත කරන අතර වැඩිහිටියන් අතිබහුතරයක් අත ජංගම දුරකතන තිබෙන අද දවසේ මෙබඳු සන්නිවේදනවලින් ජනමතයට ඇති වන බලපෑම සුළුපටු නොවේ. එහෙත් අපේ දේශපාලන පක්ෂ හෝ සරසවි මාධ්‍ය පර්යේෂකයන් මේ නව යථාර්ථය තවම තේරුම් ගෙන නැහැ.

බ්ලොග් රචක හා දේශපාලන විචාරක අජිත් පැරකුම් ජයසිංහ 2015 ජනවාරි 4 වැනිදා ලියූ පරිදි: “මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළහ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේය. අද වන විට තරුණ පරපුරෙන් 80‍% පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවලමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය යග ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.”

අජිත් හා මා වැන්නවුන් මේ නව අවකාශයන්ට වඩාත් සමීප නිසා ඒවා අධිතක්සේරු කරනවා යැයි යමකු තර්ක කළ හැකියි. ෆේස්බුක් ජාලයට සමහරුන් නිගරුවට මෙන් යොදන ‘බුකිය’ වචනය භාවිත කරමින් මෙවන් අයකු මෑත දිනෙක කීවේ ‘බුකියේ මතය නොවෙයි බහුතරයක් ලක් සමාජයේ මතය’ යනුවෙන්.

මැතිවරණ ප‍්‍රතිඵල හරහා මෙහි යථාර්ථය පෙනී යනු ඇති. එහෙත් මිලියන් හතරක් පමණ ලාංකිකයන් සැරිසරන වෙබ් අවකාශය හා මිලියන් 15ක් දෙනා ඇති ජංගම දුරකතන නොතකා ජනමතය විමර්ශනය කිරීම ද නුවණට හුරු නැහැ. (ස්මාට් ෆෝන් මිලියන 3ක් පමණ මෙරට ඇතැ’යි අනුමාන කරන අතර ඒ හැම එකකින්ම ඉන්ටර්නෙට් සබඳතා ලද හැකියි. බහුමාධ්‍ය රූප ඵඵී හුවමාරු කර ගන්නටත් පුළුවන්.)

මෙරට දේශපාලන පක්ෂ තවමත් යල්පැන ගිය සන්නිවේදන මානසිකත්වයක සිටින බව තහවුරු කළ තවත් එක් අවස්ථාවක් වූයේ ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනා අතර නොකෙරුණු සජීව ටෙලිවිෂන් විවාදයයි.

TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014
TV Debate that never was: Mawbima newspaper front page 14 Dec 2014

2013 නොවැම්බර් 24දා මගේ කොලම අවසන් කරමින් මා මෙසේ කීවා: “අමෙරිකාවේ මෙන් කෙදිනක හෝ අපේ රටේත් ජනාධිපති අපේක්‍ෂකයන් අතර ටෙලිවිෂන් විවාද පැවැත්වෙනු ඇතිදැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඞ්වින් ආරියදාසයන්ගෙන් මා විමසුවා. ඔහු කීවේ එබදු විවාද හරිහැටි පැවැත්වීමට නම් අපක්‍ෂපාතී පෞරුෂයක් ඇති ටෙලිවිෂන් මාධ්‍යකරුවන් හා නිර්භය හිමිකරුවන් සිටීම අත්‍යවශ්‍ය බවයි. නැතිනම් එක් පාර්ශවයක හෝ අනෙක් පාර්ශවයේ බලපෑම්වලට නතු විය හැකියි. මෙබදු ස්වාධීනත්වයක් ළගදී මෙරට බලාපොරොත්තු විය නොහැකි බව ආරියදාසයන්ගේ මතයයි.”

2014 දෙසැම්බර් 13දා මගේ ට්විටර් සමාජ මාධ්‍ය ගිණුම @NalakaG හරහා මා මේ ප‍්‍රශ්නය මතු කළා: “ජාත්‍යන්තර ස්වරූපයේ සජීව ටෙලිවිෂන් විවාදයකට අපේක්ෂකයන් දෙදෙනා කැඳවන්නට දැන්වත් ශ‍්‍රී ලංකාව සූදානම්ද? එසේ නම් කුමන නාලිකාවද?”

මෙයට ට්විටර් හරහා නොසිතූ තරම් දුසිම් ගණනාවක මහජන ප‍්‍රතිචාර ලැබුණා. එයින් බහුතරයක් දෙනා මෙබන්දක් කළොත් හොඳ බව පිළිගත්ත ද එයට සරිලන නාලිකාවක් හෝ අපක්ෂපාතව එය මෙහෙයවිය හැකි චරිතයක් හමු වේදැ’යි ප‍්‍රශ්න කළා.

මුළුමනින් අපක්ෂපාතී මාධ්‍ය නාලිකා ලොව කිසි තැනෙක නැති බවත්, අවශ්‍ය වන්නේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ප‍්‍රවර්ධන ව්‍යාපාර (කැම්පේන්)වලට පිළිගත හැකි පොදු රාමුවකට එකඟ වී එය ක‍්‍රියාත්මක කිරීම බවත් මා කියා සිටියා.

විවාදය ටෙලිවිෂන් නාලිකා සියල්ලේ එකවර විකාශය කිරීම, රූපවාහිනී නාලිකාව හා ප‍්‍රධාන පෙළේ පෞද්ගලික නාලිකා එකක හෝ දෙකක සම සහභාගිත්වයෙන් විවාදය සිදු කිරීම ආදී විකල්ප යෝජනා වුණා.

සමාජ මාධ්‍ය සංවාදවල අපූරුව නම් එකිනෙකා නොහඳුනන උද්යෝගිමත් පිරිසක් මෙබඳු කාලීන හා වැදගත් මාතෘකාවක් ගැන විවෘතව හා සංවරව මත දැක්වීමයි. මේ සයිබර් සංවාදයේ යම් තැනෙක මෙබඳු විවාදයක් මෙහෙයවීමට පරිණත මාධ්‍ය බරිත සිටීදැ’යි එක් තරුණ පුරවැසි මාධ්‍යවේදියකු (ගිහාන් ප‍්‍රනාන්දු) අභියෝගාත්මකව මගෙන් ප‍්‍රශ්න කළා.

කිසිදු ටෙලිවිෂන් නාලිකාවක දැනට සක‍්‍රීය සේවයේ නියුතු නිවේදකයන් හෝ තීරකයන් හෝ නොසලකා මේ අසාමාන්‍ය කටයුත්තට ගාම්භීර, කෘතහස්ත හා දේශපාලනිකව පක්ෂග‍්‍රාහී නැතැ’යි පෙනෙ අයකු සොයා ගත යුතු බව මගේ නිර්දේශය වූවා. මේ සඳහා මා නම් දෙකක් යෝජනා කළා. පළමුවැන්නා මෙරට ජ්‍යෙෂ්ඨතම ඉංග‍්‍රීසි පුවත්පත් කතුවරයකුව සිට දැන් පොත් වෙළෙඳාමේ නිරත වන විජිත යාපායි. දෙවැන්නා මෙරට ටෙලිවිෂන්-රේඩියෝ මාධ්‍ය දෙකෙහිම පුරෝගාමී හපන්කම් කළ අඩ සියවසක විද්‍යුත් මාධ්‍ය අත්දැකීම් ඇති පාලිත පෙරේරායි.

මේ ට්විටර් සංවාදයේ යම් අවස්ථාවක මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය චරිත හේරත් ද එයට සම්බන්ධ වුණා. ඔහු කීවේ අපේක්ෂකයන් වෙනුවට ඔවුන්ගේ ප‍්‍රතිපත්ති උපදේශකයන් දෙපිලක් ලෙස මැතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන ගැන විවාද කළ හැකි බවයි. එහෙත් ජනාධිපතිවරණයක් යනු රටේ නායකයා තෝරන ඡන්දයක් නිසා අපේක්ෂකයන්ම සහභාගි වී මුහුණට මුහුණ ලා සිය දැක්ම හා ප‍්‍රතිපත්ති ගැන විවාද කළ යුතු බව බහුතරයකගේ අදහස ලෙස ඉක්මනින්ම මතු වුණා.

මේ සියල්ල සයිබර් අවකාශයේ කතාබහ වූයේ එක් සෙනසුරාදාවක දහවලේ හා සැන්දෑවේ. ඊට පසුවදා ඉරිදා සමහර පුවත්පත්වලත් ජනාධිපති අපේක්ෂක සංවාදය ගැන පුවත් පළ වුණා. මගේ මාධ්‍ය මිතුරකු මට මතක් කර දුන්නේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ පණතේ 117 වන වගන්තියේ මෙබඳු විවාදයකට නීතියෙන්ම ඉඩක් ලබා දී ඇති බවයි.

අවම වශයෙන් අපේක්ෂකයන් දෙදෙනකු එකඟ වේ නම් ඔවුන් අතර විද්‍යුත් මාධ්‍ය විවාදයක් පැවැත්විය හැකි බවත්, ඒ සඳහා ගුවන්විදුලි අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය මාධ්‍ය යටිතල පහසුකම් ලබා දිය යුතු බවත් එහි කියැවෙනවා. මේ වගන්තිය ටෙලිවිෂන් මාධ්‍යයටත් අදාළ කරගත හැකියි. (1981දී මේ නීතිය සම්පාදනය වන විට ඇරැඹී නොතිබි රූපවාහිනී සංස්ථාව 1982 මුල්ම ජනාධිපතිවරණය පැවති වසරේම විකාශයන් පටන් ගත්තා.)

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව ටෙලිවිෂන් විවාදයට මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂ අපේක්ෂකයා සූදානම් බවට එළැඹුණු දින කිහිපයේ ප‍්‍රකාශයට පත් වුණා. එහෙත් අපේක්ෂක මහින්ද රාජපක්ෂ එයට ඉදිරිපත් නොවූ නිසා විවාදය සිදු වූයේ නැහැ.

පසුව ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය නීතිය හා යුක්තියට අදාළ තේමාවන් ගැන විවාදයකට මේ දෙපළටම විවෘත ඇරයුමක් කළත් එය ද රාජපක්ෂ පිල පිළි ගත්තේ නැහැ. නීතිඥ ක්ෂේත‍්‍රය වෙනුවෙන් විවාදය මෙහෙයවීමට ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් තිදෙනකු පවා තෝරා ගෙන සිටියා.

විවාදයකට ඒම හෝ නොඒම අපේක්ෂකයන්ගේ අභිමතය වුවත් පොදු උන්නතිය හා රටේ අනාගතය ගැන කැක්කුමක් ඇති ලෙසින් මැතිවරණ ප‍්‍රචාරණයේ යෙදුණු අපේක්ෂකයකු ප‍්‍රසිද්ධ විවාද දෙකක් (ටෙලිවිෂන් හා නීතිඥ සංගමයේ) මග හැරියේ ඇයි?

තමන්ගේ ප‍්‍රතිපත්ති හා මෙතෙක් ආ මග සාධාරණීකරණය කිරීම කෘතහස්ත දේශපාලකයන්ට අමාරුද?

ජනාධිපති අපේක්ෂකයන් අතර සජීව විවාද පැවැත්වීම ඇමරිකානු සම්ප‍්‍රදායක් යැයි ද එබඳු බටහිරට පුරුදු අපට අනවශ්‍ය යැයි තර්ක කළ අයද සිටියා. මේ විවාද පැවැත්වීම නූතන යුගයේ ඇරැඹුණේ 1960 අමෙරිකානු ජනාධිපතිවරණයේදී බව සැබෑවක්. එහෙත් එම සංකල්පය මේ වන විට ලොව විවිධ රටවල ක‍්‍රියාත්මක වනවා.

2010 මැයි මැතිවරණයට පෙර බි‍්‍රතාන්‍යයේ දේශපාලන පක්ෂ නායකයන් අතර පළමුවරට සජීව ටෙලිවිෂන් විවාද 3ක් පැවැත් වුණා. විවාද මෙහෙය වූයේ එහි ප‍්‍රවීණතම විද්්‍යුත් මාධ්‍යවේදීන් තිදෙනෙක්. කන්සර්වෙටිව්, කම්කරු හා ලිබරල් පක්ෂ නායකයන් සහභාගි වූ මේ විවාදවලට පෙර අදාළ විවාද කොන්දේසි 70ක් දේශපාලන පක්ෂ සියල්ල එකඟ වී සිටියා.

2013 පෙබරවාරියේ කෙන්යාවේ ජනාධිපතිවරණයේ අපේක්ෂකයන් එරට මුල්ම සජීව ටෙලිවිෂන් විවාදයට සහභාගි වුණා. පැය තුනහමාරක් සජීවී ලෙසින් ටෙලිවිෂන් හරහාත්, ඉන්ටර්නෙට් යූටියුබ් හරහාත් කෙන්යානුවෝ එය නැරඹුවා. සමහර ප‍්‍රශ්නවලට අපේක්ෂකයන් හරිහැටි පිළිතුරු නොදී ලිස්සා ගිය බවට චෝදනා ද එල්ල වුණා. තමන්ගේ දේශපාලන දැක්ම හා ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය විවෘත සභාවක් අබියස ව්‍යක්තව පහදා දීමේ හැකියාව ඇත්තේ කුමන අපේක්ෂකයන්ට ද යන්න කෙන්යානු ඡන්දදායකයන්ට බලා ගත හැකි වුණා. එයට ප‍්‍රතිචාර දැක් වූ එක් පේ‍්‍රක්ෂකයෙක් කීවේ ‘දේශපාලන වේදිකාවල වෛරීය කතා කරනවාට වඩා සංයමයෙන් හා ප‍්‍රතිපත්තිවලට අවධානය යොමු කරමින් අපේක්ෂකයන් හැසිරුණු ආකාරය ප‍්‍රශංසනීයයි.’

European Union Presidency - Candidates join TV debate in May 2014
European Union Presidency – Candidates join TV debate in May 2014

2014 මැයි මාසයේ යුරෝපා කොමිසමේ ජනාධිපති තනතුරට ඉදිරිපත් වූ අපේක්ෂකයන් නෙදර්ලන්තයේ මාස්ට‍්‍රයික්ට් නුවරදී සජීව ටෙලිවිෂන් විවාදයකට සහභාගි වුණා. එය EuroNews නාලිකාව මගින් ලොව පුරා සජීව ලෙසින් විසුරුවා හැරියා.

ජපානය ද මහ මැතිවරණයකට පෙර ප‍්‍රධාන පක්ෂවල නායකයන් සම්බන්ධ කර ගෙන මෙබඳු සජීවී ටෙලිවිෂන් විවාද පවත්වයි. එයට මුල් වන්නේ එම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ නායකත්ව මට්ටමක සිටින ප්‍රෙස් ක්ලබ් හෙවත් මාධ්‍ය සමාජයයි.

මේ හැම විවාදයක්ම මෙන්ම ගෙවී ගිය අඩ සියවසක ඇමරිකානු ජනාධිපති අපේක්ෂක විවාදයන් ද යූටියුබ් හරහා ඕනෑම අයකුට නැරඹිය හැකියි. මේ සම්ප‍්‍රදාය ටිකෙන් ටික ප‍්‍රචලිතවීමත් සමග පූර්ව මැතිවරණ කාලය තුළ වඩාත් හරවත්ව මාධ්‍ය යොදා ගැනීමකට හා දේශපාලන සංස්කෘතිය වඩාත් සහභාගිත්ව මට්ටමකට ගෙන ඒමට උපකාර වනවා.

මේ ගෝලීය ප‍්‍රවණතාවලට ශ‍්‍රී ලංකාව කවදා අනුගත වේද?

 

සිවුමංසල කොලූගැටයා #201: ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද?

Anti-government demonstrators crowd Cairo's Tahrir Square in February 2011
Anti-government demonstrators crowd Cairo’s Tahrir Square in February 2011

In this week’s Ravaya column (in Sinhala), published in the issue dated 4 January 2015, I pose a topical question: are there necessary and sufficient conditions for a spontaneous people’s uprising in Sri Lanka similar to what happened in the collective phenomenon known as the Arab Spring?

I address this because both the ruling party and opposition politicians in Sri Lanka have been loosely referring to Arab Spring during their current campaigns running up to the Presidential Election scheduled for 8 January 2015.

In this column, I briefly chronicle what happened in the Middle East and North Africa during 2010-11, and then explore the many factors that triggered or sustained the complex series of events. I discern three key factors: demographics (especially a low median age with large youthful populations); democracy deficit; and proliferation of information and communications technologies ranging from easy access to trans-boundary satellite television broadcasts, mobile phones and Internet.

I argue that while Sri Lanka of today has achieved the ICT factor in good measure, the other two factors fall short. With a median age of 31 years (in 2012), ours is no longer a youthful population and the demographic impetus for uprisings has passed. And while there are serious concerns about governance, the country’s democratic deficit is only partially present.

Thus, it is very unlikely that an Arab Spring style uprising could happen in Sri Lanka. So both the ruling coalition and opposition parties relax — and should let go of this much-hyped prospect.

Arab-Spring-women-Egypt

ශ‍්‍රී ලංකාවේ අරාබි වසන්තයක් හට ගත හැකිද? ඒ සඳහා අවශ්‍ය සාධක ප‍්‍රමාණවත් පමණින් පෙළගැසීමක් මෙරට හමු වේද?

අරාබි වසන්තය (Arab Spring) හරියට ‘සීතල යුද්ධය’ (Cold War) නැතහොත් ගෝලීයකරණය (Globalization) වැනි පුළුල් යෙදුමක්. එකිනෙකට යම් තරමකින් බැඳුණු සිදුවීම් මාලාවකට හා ප‍්‍රවාහයකට යොදනු ලබන්නා වූත් මාධ්‍ය විසින් ජනප‍්‍රිය කරන ලද්දා වූත් සංකල්පයක්.

අරාබි වසන්තය ගැන නිරවුල් අවබෝධයක් නොමැතිව එය ගෙඩි පිටින් ශ‍්‍රී ලංකාවට අදාල කරන්නට පාලක පක්‍ෂයේ මෙන්ම විපක්‍ෂයේ ද ඇතැම් දේශපාලකයන් උත්සාහ කරනු මෑත කාලයේ අපට අසන්නට ලැබුණා.

ඔවුන්ගේ ප‍්‍රකාශ දෙස බලන විට පෙනී යන්නේ නවීන සන්නිවේදන තාක්‍ෂණ මෙවලම්වලින් සන්නද්ධ වූ ජනයා ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවන කලහකාරී අරගලයක් හරහා පවත්නා රජයක් වෙනස් කිරීම අරාබි වසන්තය ලෙස ඔවුන් තේරුම් ගන්නා ආකාරයයි. නමුත් සැබෑ තත්ත්වය මීට වඩා සංකීර්ණ මෙන්ම සියුම් ද වනවා.

අරාබි වසන්තය ආකාරයේ ජනතා අරගල හා නැගී සිටිම් මැදපෙරදිග, උතුරු අප‍්‍රිකාවේ හා සමහර නැගෙනහිර යුරෝපීය රටවල සිදු වුවත් වෙනත් රටවල සිදු නොවීමට සීමාකාරී සාධක මොනවාද?

Arab Spring යෙදුම මුල් වරට භාවිත කළා යයි සැළකෙන්නේ අමෙරිකාවේ ජෝර්ජ් වොෂිංටන් සරසවියේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය මාක් ලින්ච් (Marc Lynch) විසින් 2011 ජනවාරි 6 වනදා. ජාත්‍යන්තර සබඳතා හා ලෝක විත්ති ගැන කථාබහ කරන Foreign Policy සඟරාවේ ලිපියක් ලියමින්. http://foreignpolicy.com/2011/01/06/obamas-arab-spring/

පසුව මෙයට විකල්ප යෙදුම් ද සමහරුන් භාවිත කරන්නට පටන් ගත්තා. එනම් ඉස්ලාමීය වසන්තය (Islamic Spring). හේතුව කලක් පැවති පාලනතන්ත‍්‍ර ඇද වැටුණු රටවල් ගණනාවකම එම තැනට ඒ වෙලේම හෝ ටික කලකින් හෝ පත් වූයේ ඉස්ලාමීය දේශපාලන පක්‍ෂ නිසා. මීට අමතර අරාබි පිබිදුම, අරාබි උද්ඝෝෂණ, අරාබි ජන අරගල ආදි නම් ද භාවිත වනවා.

කලක් තිස්සේ මැදපෙරදිග රටවල කැකෑරෙමින් තිබුණු ජනතා දුක් ගැනවිලි හා තරුණ අසහනයන් අන්තිමේදී පුපුරා ගියේ ටියුනීසියාවේ සිඩි බවුසිඞ් (Sidi Bouzid) නම් නගරයේදී.

Tarek al-Tayeb Mohamed Bouazizi
Tarek al-Tayeb Mohamed Bouazizi

මොහමඞ් බවුඅසීසි Tarek al-Tayeb Mohamed Bouazizi නම් 26 හැවිරදි තරුණ වීදි වෙළෙන්දකු 2010 දෙසැම්බර් 17 වනදා ප‍්‍රසිද්ධියේ ගිනි තබා ගත්තා. ඔහු එය කළේ නගර සභාවේ දුෂිත නිලධාරින් තමන්ට දිගින් දිගටම අල්ලස් ඉල්ලා කළ හිරිහැර හා පොලිසියේ අඩන්තේට්ටම්වලට විරෝධය පෑමටයි. රෝහල් ගත කරනු ලැබූ ඔහු 2011 ජනවාරි 4 වනදා මිය ගියා.

මේ තරුණයාගේ අත්දැකීමට සමාන හිරිහැර ලද තවත් බොහෝ දෙනා තම විරෝධය පළ කිරීමට මෙය අවස්ථාව කර ගත්තා. ඒ සමග නගරයේ වීදි කලබල හට ගත්තා. මේ සිදුවීම් ස්මාට්ෆෝන් ජංගම දුරකථන හරහා වීඩියෝ ගත කළ ජනයා ඒවා රට පුරා සිටින තමන් හඳුනන අයත් සමග බෙදා ගත්තා.

1987 සිට අයෝමය හස්තයකින් වියුනීසියාව පාලනය කළ ජනාධිපති අබිදීන් බෙන් අලීගේ රජය යටතේ රට පුරාම මෙබඳු දුෂණ හා අක‍්‍රමිකතා ඉහවහා ගොස් තිබුණා. එක් නරගයක එයට එරෙහිව විරෝධතා මතු වනු දුටු සෙසු ජනයා ද එයට එක් වුණා. මෙය ස්වයංසිද්ධියක් මිස කිසිවකු සංවිධානගතව සැළසුම්ගතව කළ දෙයක් නොවෙයි.

ටියුනිසියාව මධ්‍යම ආදායම් ඇති රටක් වුව ද බොහෝ දෙනා දුගී බවින් මිරිකී නිලධාරිවාදට හසු වී පීඩිතව සිටියා. මේ නිසා තරුණ අරගලයට බොහෝ ජනයාගේ ආශිර්වාදය හා සහාය ලැබුණා. රටපුරා වීදි කැළඹීම් හා විරෝධතා මැද අතිශයින් දුෂිත බෙන් අලී හා ඔහුගේ පවුලෙ උදවිය සෞදි අරාබියට පළා ගියා. ඒ 2011 ජනවාරි 14 වනදා.

එහෙත් මහජන උද්ඝෝෂණ නතර වූයේ නෑ. වසර 25කට ආසන්න කාලයක් රට පාලනය කළ අලිගේ RCD පක්‍ෂය තහනම් කිරීමට ජනයා බලපෑම් කළා. එය පිළිගත් එරට අධිකරණය RCD තහනම් කොට එහි සම්පත් රාජ සන්තක කළා. එසේම අලූතෙන් පත්වූ රජය අලි යටතේ ක‍්‍රියාත්මක වූ බිහිසුනු රහස් පොලිසිය වසා දැමුවා. 2011 ඔක්තෝබරයේ පැවති මැතිවරණයෙන් එන්නඩා ව්‍යාපාරය නම් වූ දේශපාලන කණ්ඩායම බහුතර ආසන දිනා රජයක් පිහිටවූවා.

Ripple that started in Tunisia had a domino effect...well, sort of. | Cartoon by Saieb Khalil; courtesy - doroob.com
Ripple that started in Tunisia had a domino effect…well, sort of. | Cartoon by Saieb Khalil; courtesy – doroob.com

ටියුනීසියාවෙන් ඇරැඹුණු මේ ජනරැල්ල දින හෝ සති කිහිපයක් ඇතුළත ජෝර්දානය, කුවේට්, ඊජිප්තුව, ඇල්ජීරියාව, යේමනය, බහරේන් හා සිරියාව වැනි රටවලට ද ව්‍යාප්ත වුණා.

උද්ඝෝෂණකරුවන් මේ හැම රටකම පාහේ යොදා ගත් ක‍්‍රමෝපායන්ගේ යම් සමානකම් තිබුණා. එනම් වැඩවර්ජන, වීදි උද්ඝෝෂණ, පෙළපාලි, මහජන රැස්වීම් හා ප‍්‍රසිද්ධ ස්ථානවල දිවා රාති‍්‍ර රැඳී සිටිමින් සත්‍යග‍්‍රහ කිරීම ආදියයි. සමහර රටවල ප‍්‍රචණ්ඩත්වයට පෙරළුනත් අනෙක් තැන්වල කලහයන්ට වඩා ප‍්‍රබලව මතුව ආයේ ජන ඒකරාශිවීම් හා සාමකාමී විරෝධතායි.

යම් තීරණාත්මක අවස්ථාවන්හිදී ඇතැම් රටවල පොලිසිය හා හමුදා සිය සහෝදර ජනතාවට පහර දී ජන විරෝධතා විසුරුවා හැරීම ප‍්‍රතික්‍ෂෙප කිරීම හරහා අධිපතිවාදී පාලකයන් බල විරහිත තත්ත්වයකට පත් වුණා. සමහර පාලකයන් එවිට කළේ ජන විරෝධය ඇතුළතින්ම බෙදීම් ඇති කොට ඔවුනොවුන් ඇණකොටා ගන්නා තැනට පත් කිරීමයි. (උදාහරණ සිරියාව).

අරාබි වසන්තය හමුවේ පාලකයන් හදිසියේ වෙනස්වීම සිදු වූයේ ටියුනීසියාව, යේමනය, ලිබියාව හා ඊජිප්තුව යන රටවල පමණයි. ජන උද්ඝෝෂණ හමුවේ රාජ්‍ය පාලන ප‍්‍රතිසංස්කරණ කිරීමට හා වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවකට යොමු වීමට කුවේටය, මොරොක්කෝව, ලෙබනනය, ඕමානය, ජෝර්දානය යන රටවල නායකයෝ ක‍්‍රියා කළා.

තවත් රටවල කෙටි හෝ දිගු කාලීන දේශපාලන අස්ථාවරවීම හෝ සිවිල් යුද්ධ හට ගත්තා. අරාබි වසන්තය ටික කලෙකින් අරාබි සිසිරයක් (Arab Winter) බවට පත් වූ සිරියාව, ඊජිප්තුව වැනි රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ සඳහා අරගල තවමත් සිදුවනවා. සිරියාවේ සිවිල් යුද්ධය රට දෙපසකට ධ‍්‍රැවීකරණය කළ ඉමහත් මානුෂික ව්‍යසනයක් බවට ඉක්මනින් පත් වුණා. මෙහි අවසානයක් තවමත් දකින්නට නැහැ.

ඊජිප්තුවේ ජන උද්ඝෝෂණ හමුවේ වසර 30ක් එරට පාලනය කළ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූවත් දේශපාලන ස්ථාවර බවක් තවමත් එරටට ලඟා වී නැහැ. 2011 ජනවාරි – පෙබරවාරි වකවානුවේ කයිරෝ නුවර සාමකාමී ජන උද්ඝෝෂණවලට සහභාගී වූ වෘත්තික මට්ටමේ මගේ මිතුරන් දෙදෙනෙකු මේ වන විට මහත් කළකිරීමට හා ඉච්ඡා භංගත්වයට පත්ව සිටිනවා. හරිහැටි දැක්මක් හා ඉලක්කයකින් තොරව පාලකයන් පලවා හැරීමෙන් පමණක් රටක යහපාලනය ළඟා කර ගත නොහැකි බව ඔවුන් දැන් පිළිගන්නවා.

Replace autocracy with democracy or theocracy? Changing the top isn't that easy! Cartoon by Clay Bennett on 1 February 2011. Cartoon courtesy timesfreepress.com
Replace autocracy with democracy or theocracy? Changing the top isn’t that easy!
Cartoon by Clay Bennett on 1 February 2011. Cartoon courtesy timesfreepress.com

එසේම ඒකාධිපතිවාදී සිවිල් පාලකයන් ඉවත් වූ සමහර රටවල එම හිදැසට හමුදා පාලකයන් හෝ ආගමික අන්තවාදීන් රිංගා ගැනීම ද ජනහිතවාදී ප‍්‍රතිඵලයක් නොවෙයි. කෙතරම් අඩුපාඩු හා විෂමතා තිබුණත් පිරිසිදු මැතිවරණයකින් ආණ්ඩු වෙනස් කිරීමේ සම්ප‍්‍රදාය මේ අරගලවාදී මාවත් සියල්ලට වඩා වටිනවා.

Arab Spring Timeline: A detailed review of major events looking back at three years of Arab Uprisings across the region.

අරාබි වසන්තය 2011-2012 වකවානුවේ උච්ච වුව ද එයට තුඩු දුන් පසුබිම් සාධක වසර හෝ දශක ගණනක් පුරා කෙමෙන් හා සෙමින් ගොඩනැගුණු බව දැන් පර්යේෂකයන් පිළි ගන්නවා. මේ සියළු හේතු නිසා අරාබි වසන්තය හුදෙක් හදිසි හා ස්වයංසිද්ධි (spontaneous) ආකාරයේ සිදුවීම් නොව දිගු කාලීන සමාජ ප‍්‍රවාහයන් පිටාර ගැලීමක් ලෙස වටහා ගැනීම වැදගත්. (මෙය අරාබි වසන්තයට පමණක් නොව වෙනත් බොහෝ අරගලවලට ද පොදු වූ ක‍්‍රියාදාමයක්. උදාහරණයකට ශ‍්‍රී ලංකාවේ 1971 හා 1988-89 තරුණ කැරළිවලටත් තිස් වසරක බෙදුම්වාදී යුද්ධයටත් තුඩු දුන් සමාජ – ආර්ථික හා දේශපාලන සාධක කලක් තිස්සේ පැන නැගී ආ ඒවායි.)

July 2014 status map by The Economist magazine
July 2014 status map by The Economist magazine

රටකින් රටකට සමාජයීය, ආර්ථික හා දේශපාලන යථාර්ථයන් වෙනස්. එකම තාක්‍ෂණය හෝ දේශපාලන මූලධර්මය වුව ද රටින් රටට අදාල වන්නේ වෙනස් ආකාරයටයි. එබඳු විවිධත්වයක් තුළ අරාබි වසන්තය මතු වී විවිධ මට්ටම්වලට දිග හැරී ගිය රටවලට මුළුමනින්ම නොවුවත් සැළකිය යුතු තරමකට පොදු වූ තීරණාත්මක සාධක තුනක් තිබුණා.

1. පළමුවැන්න ජනගහන සාධකයයි (demography). ජන සංයුතිය සළකන විට ජනගහනයේ මධ්‍යන්‍ය වයස (median age) අඩු වීමයි. මුළු රටෙන් බාගයක්ම ළමුන් හා තරුණ තරුණියන් වීම අරාබි වසන්තය පැන නැගුණු බොහෝ රටවල දක්නට ලැබුණා (ටියුනීසියාව මධ්‍යන්‍ය වයස අවුරුදු 29, ඇල්ජීරියාව 27.1යි, ඊජිප්තුව 24යි, සිරියාව 21.5යි).

අයිතීන් ඉල්ලමින් හා අසාධාරණයට එරෙහිව උද්ඝෝෂණ කිරිමේ නැඹුරුව වැඩිම වන්නේ තරුණ ජන කොටස අතරයි. තරුණයන් බහුල ජනගහනයකට ඇති තරම් අධ්‍යාපනික හා රැකියා අවස්ථා නොමැතිවීමත්, රටේ සුළුතරයක් පමණක් වරප‍්‍රසාද ලබමින් ඉසුරුමත් වන අතර බහුතරය දුගී දුකින් පීඩිත වීමත් මේ රටවල දැකිය හැකි වුණා.

2. දෙවැනි සාධකය නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සැබෑ ගුණාංග වන නීතියේ ආධිපත්‍යය, අදහස් ප‍්‍රකාශනයේ නිදහස, විකල්ප දේශපාලන මත දැරීමේ අවකාශය ආදිය සෝදාපාලූවට ලක් වී ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හිදැසක් හෙවත් පරතරයක් (democratic deficit) පැවතීමයි. එයට සමාන්තරව මහා පරිමාණ දුෂණ, වංචා, පවුල්වාදය, පක්‍ෂවාදය හා වෙනත් විසමතා හරහා සුදුස්සාට සුදුසු තැන නොලැබී යාමත්, තරුණ අසහනය මතු වී ඒමත් සිදු වනවා. මේ සියල්ල අරාබි වසන්තය පැන නැගුණු රටවල සැළකිය යුතු අන්දමට තිබුණා.

සමහර රටවල් කලින් කලට මැතිවරණ පැවැත්වුවත් ඒවා නිදහස් හෝ අපක්‍ෂපාත වූයේ නැහැ. එසේම අදහා ගත නොහැකි තරම් ඉහළ ප‍්‍රතිශතයන් ලබා එකම පාලකයා හෝ ඔහුගේ ගජ මිතුරු පිරිස යළි යළිත් බලයට පත් වීම සුලබව සිදු වුණා. මේ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව හරහා සැබෑ යහ පාලනයක් බිහි කළ හැකිය යන්න විශ්වාස කළ තරුණ පිරිස ටිකෙන් ටික අඩු වුණා.

හුදෙක් බලයේ සිටින රජය පමණක් නොව සමස්ත රාජ්‍ය තන්ත‍්‍රය ගැනම තරුණයන් අතර විශ්වාසය බිඳී යාමක් ද දැකිය හැකි වුණා. එනම් අධිකරණය, සරසවි පාලකයන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ ජනමාධ්‍ය ආදිය ද පාලකයන්ගේ පටු උවමනාකම්වලට නතු වී පොදු උන්නතිය නොතකා හරින බවට තරුණ පිරිස අතර ප‍්‍රබල හැඟීමක් පැවතුණා.

3. තෙවැනි සාධකය නම් නවීන සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ආගමනය හරහා තොරතුරු ගලනයත්, අන්තර් පුද්ගල සබඳතා වඩාත් ලෙහෙසි හා බහුලවීමත්. මෙය ජංගම දුරකථන බොහෝ සේ ප‍්‍රචලිත වී ඇමතුම් ගාස්තු ලාබදායක වීමේ සිට ඉන්ටර්නෙට් භාවිත කරන ජන ප‍්‍රතිශතය ඉහල යාම දක්වා විහිදුණු පරාසයක්.

සන්නිවේදන තාක්‍ෂණය නිසාම කලාපීය වශයෙන් හා ජාත්‍යන්තර මූලාශ‍්‍රවලින් එන ටෙලිවිෂන් පුවත් විකාශයන් වඩා පහසුවෙන් නැරඹීමේ හැකියාව රටේ බහුතරයක් ජනයාට ලැබීම ද ලෝකය ගැන ඔවුන්ගේ අවබෝධය අලූත් කළා. තමන්ට සමාන වෙනත් රටවල වඩාත් විවෘත හා ජනසම්මත සමාජවල ජනයා දිවි ගෙවන්නේ කෙසේ ද යන්න ඔවුන් දිනපතාම වාගේ ටෙලිවිෂන් හරහා දුටුවා.

මැද පෙරදිග ජනමතයට අල්ජසීරා අරාබි ටෙලිවිෂන් නාලිකා හරහා ද ඉංග‍්‍රීසි දත් අයට CNN, BBC හරහා ද ලෝකය ගැන දැන ගැනීමේ අවකාශය තිබුණා. ඉන්ටර්නෙට් හරහා විකිලීක්ස් වැනි හෙළිදරව් සිදු වූ විට තම රටේ පාලකයන්ගේ අසාධාරණකම් හා දුෂණ ගැන තොරතුරු පළමුවරට රටේ ජනයා දැන ගත්තා.

Huffington Post (May 2011): The Role of Al Jazeera in Arab Spring

World Affairs (July/Aug 2011): Did WikiLeaks Inspire Arab Spring?

එසේම ජංගම දුරකථන හරහා හසු කර ගන්නා ඡායාරූප හා වීඩියෝ පුද්ගලයන් අතර හුවමාරු වීම හා ඒවායෙන් සමහරක් වෙබ්ගත කොට සෙසු ජනයා නැරඹීම හරහා ජන උද්ඝෝෂණ ඊජිප්තුව වැනි විශාල රටවල විවිධ ප‍්‍රදේශවලට ඉක්මනින් පැතිර යාමට උපකාර වුණා.

twitterarabspring

අරාබි වසන්තයේදී සමාජ මාධ්‍ය (social media) සැළකිය යුතු කාර්යයක් ඉටු කළ බව සැබෑවක්. එහෙත් එය සමහරුන් සිතන තරම් සරල හෝ රේඛීය සංසිද්ධියක් නොවෙයි. අධිපතිවාදී පාලකයන් බලයෙන් පෙරළා දැමීමට වඩා සමාජ මාධ්‍යවල සංවාද බහුතරයක් ගොඩ නැගුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හිදැස ගැන ජනතාවගේ (විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ) සංවාද සිදු කිරීමට බව එම රටවල අදාල කාලයන්හි සමාජ මාධ්‍ය අන්තර්ක‍්‍රියා මිලියන් ගණනක් විශ්ලේෂණය කළ පර්යේෂකයන් සොයා ගෙන තිබෙනවා.

New Internationalist: The role of social networking in the Arab Spring

NPR, October 2013: What Did The Arab Spring Cost? One Estimate Says $800 Billion

එහෙත් සමාජ මාධ්‍ය මත පමණක් යැපීමෙන් තොරව බහුවිධ සන්නිවේදන උපක‍්‍රම යොදා ගන්නට විශේෂයෙන්ම ඊජිප්තුවේ ජන උද්ඝෝෂණයට නායකත්වය දුන් සරසවි සිසුන් හා සෙසු ක‍්‍රියාකාරිකයන් වග බලා ගත්තා. මෙයට හේතුව ඉන්ටර්නෙට් හා ජංගම දුරකථන වැනි සේවා අදාල ටෙලිකොම් සමාගම්වලට බල කිරීම හරහා ඉක්මනින් අඩාල කිරීමට හෝ නතර කිරීමට හෝ පාලකයන්ට හැකි බව සිසුන් දැන සිටීමයි.

2011 ජනවාරි 28 වනදා ඊජිප්තුව ගෝලීය ඉන්ටර්නෙට් සබඳතාවලින් කපා හරින්නට මුබාරක් රජය ක‍්‍රියා කළත් ඒ වන විට එබඳු අවහිරයකින් නතර කළ නොහැකි තරමට ජන උද්ඝෝෂණ ප‍්‍රබල වී තිබුණා.

අරාබි වසන්තය නම් සංකීර්ණ සිදුවීම් මාලාව දේශපාලනික, සමාජ විද්‍යාත්මක හා තාක්‍ෂණික වැනි දෘෂ්ටිකෝණ කිහිපයකින් විග‍්‍රහ කළ හැකියි. එහි විචල්‍යයන් (වෙනස් වන සාධක) විශාල සංඛ්‍යාවක් තිබූ නිසා එම සිදුවීම් තනි ආකෘතියකට සම්පිණ්ඩනය කිරීමට බැහැ. අවශ්‍ය වූ ප‍්‍රධාන සාධක තුනම එක මොහොතේ එක රටක සමපාත වූ විට ජන උද්ඝෝෂණ හට ගත් බව සැබෑයි. එහෙත් එබඳු අවස්ථාවල පවා ඒවා විකාශනය වූයේ හා අවසන් වූයේ එකිනෙකට වෙනස් ආකාරයෙන්.

640x392_56371_257994

අරාබි වසන්තයට තුඩු දුන් ප‍්‍රධාන සාධක තුන ඇති පමණින් ශ‍්‍රී ලංකාවේ හමු වේද?

සන්නිවේදන තාක්‍ෂණ සාධකය (ටෙලිවිෂන්, ජංගම දුරකථන, ඉන්ටර්නෙට්) නම් සපුරා ගෙන තිබෙනවා. එහෙත් 2012 ජන සංගනනයට අනුව දැන් අපේ ජනගහනයේ මධ්‍යන්‍ය වයස අවුරුදු 31යි. එනිසා ජනගහන සාධකය තව දුරටත් තරුණ අරගල ජනනය කිරීමට හිතකර පසුබිමක් සපයන්නේ නැහැ. මෙරට ප‍්‍රජාතන්ත‍්‍රීය හිදැසක් පවතින බව සැබෑ වූවත් එය ජන උද්ඝෝෂණ බිහි වීමට තරම් ප‍්‍රබල ද යන්නත් විවාදාත්මකයි.

මේ සියුම් යථාර්ථයන් හරිහැටි සළකා නොබලා මෙරට අරාබි වසන්තයක් ගැන කථා කිරීම තේරුමක් නැති හා අනවශ්‍ය ලෙස අවධානය වෙනතකට යොමු කරවන ක‍්‍රියාවක්.

ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ සිවිල් සමාජ නායකයකු හා එම විෂය ගැන ලොව පිලිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග 2014 මැද මා ටෙලිවිෂන් සාකච්ඡාවක් කළා. සන්නිවේදන තාක්ෂණනන් ප්‍රචලිත වීමෙහි දේශපාලනික විපාක මොනවාදැයි මා ඇසුවා.

ටැන්ඩන් කියන්නේ අරාබි වසන්තය අවාසනාවකට මෙන් අරාබි සිසිරයකට පෙරැලූනත් සිසිරය සදා කල් නොපවතින බවයි. සිසිරය හමාර වී යළි කෙදිනක හෝ වසන්තය එළඹෙනු ඇති බවත්, මර්දනකාරී හා ඒකාධිපති පාලනයන් දිගු කලක් අල්ලාගෙන සිටිය ද එය ඉතිහාසයේ ජනතාවාදී ප‍්‍රවාහයන්ට එරෙහිව රැඳී තිබෙන්නේ සීමිත වකවානුවකට පමණක් බවද ඔහුගේ මතයයි.

Dr Rajesh Tandon, in conversation with Nalaka Gunawardene on YATV, June 2014
Dr Rajesh Tandon, in conversation with Nalaka Gunawardene on YATV, June 2014

See also my recent other columns on elections, digital democracy and social media:

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

In this week’s Ravaya column (in Sinhala), published on 28 December 2014, I explore the nexus between social media, digital technologies and elections by taking the example of the Indonesian presidential election held on 9 July 2014.

Indonesia voting in progress, July 2014

සමාජ මාධ්‍ය පෙරටු කොට ගත් නව වෙබ් තාක්‍ෂණය (web 2.0) ආසියානු රටවල දේශපාලන ක‍්‍රියාදාමයට හා විශේෂයෙන් මැතිවරණවලට කෙසේ බලපානවාද යන්න අප ගිය සතියේ විමසා බැලූවා. එහි බලපෑම තවමත් බොහෝ රටවල මැතිවරණ ප‍්‍රතිඵලවලට තීරණාත්මක නොවුවත් ඉදිරි වසරවලදී එසේ විය හැකි බැවින් දේශපාලන පක්‍ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයන් හා මාධ්‍ය පර්යේෂකයන් මේ ප‍්‍රවණතා ගැන අවදියෙන් සිටීමේ වැදගත්කම මා අවධාරණය කළා.

Last week: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සමාජ මාධ්‍ය භාවිතය 2014 ඉන්දීය මහ මැතිවරණයට සම්බන්ධ වූ ආකාරය අප උදාහරණයක් ලෙස විග‍්‍රහ කළා. 2014 ජූලි මස ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත් ඉන්දුනීසියාවේ උදාහරණය අද සලකා බලමු.

ඉන්දියාවට පසු ජනගහනයෙන් ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය (මිලියන් 300) හා ඉන්දුනීසියාවයි (මිලියන් 252). ඉන්දුනීසියාව වසර 30ක් (1968-1998) සුහර්තෝ ජනාධිපතිගේ දරදඬු ඒකාධිපති පාලනයට නතුව තිබුණා. මහජන උද්ඝෝෂණ උත්සන්න වීමත් ඔහුගේ ආධාරකරුවන්ව සිටි බටහිර රටවල් ඔහුගෙන් දුරස්ථවීමත් නිසා සුහර්තෝට බලයේ රැඳී සිටීමට නොහැකි වූවා.

සුහර්තෝ බලයෙන් ඉවත්වීමෙන් පසුව එරට දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් කරනු ලැබුවා. ඔහුගේ දිගු පාලන කාලය තුළ විධායකය වටා කේන්‍ද්‍රගතව තිබූ බලතල සමහරක් පළාත්වලට විමධ්‍යගත කළා.

මුලදී එරට ජනාධිපති හා උප ජනාධිපති තෝරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන්ගේ ඡන්දයෙන්. එය වෙනස් කර සෘජු මහජන ඡන්දයකින් ජනාධිපතිවරයකු තේරීම 2004දී ආරම්භ කළා. 2004 පැවති ජනාධිපතිවරණයෙන් විශ‍්‍රාමලත් ජෙනරාල් සුසිලෝ ‘බංබං’ යුධොයෝනෝ (Susilo ‘Bambang’ Yudhoyono) ජයග‍්‍රහණය කළා. ඒ එවකට බලයේ සිටි මෙගාවතී සුකර්නෝපුත‍්‍රී පරාජය කරමින්.

යුධොයෝනෝ 2009දී නැවතත් ජනාධිපතිවරණයකට මුහුණ දී දෙවන ධූර කාලයකට තේරී පත් වුණා. ඉන්දුනීසියානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයකුට ජනාධිපති තනතුර දැරිය හැක්කේ පස් අවුරුදු ධූර කාල දෙකකට පමණයි. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය 2014 ජූලි 9 වනදා පැවැත්වුණා.

එහි ප‍්‍රධාන තරගකරුවන් දෙදෙනෙකු සිටියා. ගෙරින්ද්‍රා නමින් කෙටියෙන් හැඳින්වුණු පක්‍ෂ ගණනාවක සන්ධානයක් ප‍්‍රබෝවෝ සුබියාන්තෝ : (Prabowo Subianto) නම් හිටපු හමුදා ලූතිනන් ජෙනරාල්වරයෙක්, ව්‍යාපාරිකයෙක් හා දේශපාලකයෙක් ඉදිරිපත් කළා. ඔහු ප‍්‍රභූ පවුලකින් පැවත එන ඉහළ මධ්‍යම පාංතිකයෙක්. මේ දක්වා එරට පාලනය කළේ මේ පැළැන්තියේ අයයි.

ඔහුට අභියෝග කරමින් ඉන්දුනීසියානු ප‍්‍රජාතාන්ත‍්‍රික පක්‍ෂය (PDI-P) ප‍්‍රමුඛ සන්ධානයක් වෙනුවෙන් තරග කළේ ජෝකෝ විදෝදෝ (Joko Widodo) නම් දේශපාලනඥයායි. සාමාන්‍ය පවුලක ඉපිද අගහිඟකම් මැද උගත් ඔහු පසුව වනවිද්‍යා උපාධියක් ලබා ගත්තා. ජාවා දුපතේ සුබ‍්‍රකර්තා නගරයේ නගරාධිපති ලෙස තේරී පත්ව දේශපාලනයට පිවිසි ඔහු ඉනික්බිති ජකර්තා අගනුවර ආණ්ඩුකාරයා ලෙස 2012-14 දෙවසරක කාලයක් සේවය කළා. මේ කාලය තුළ දුෂණ විරෝධී, කාර්යක්‍ෂම පරිපාලනයක් බිහි කිරීමට ඔහු ගත් උත්සාහය නිසාත්, ඔහුගේ ජනහිතකාමී ප‍්‍රතිපත්ති නිසාත් නාගරික ජනයා අතර ඔහු ජනාදරයට පත්ව සිටියා.

Joko Widodo (Left) and Prabowo Subianto on 9 July 2014
Joko Widodo (Left) and Prabowo Subianto on 9 July 2014

නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණයන් වඩාත් ඉක්මනින් ජනප‍්‍රිය වන්නේ ළමා හා තරුණ පිරිස අතර නිසා එවන් ජන කොටස් අධික ලෙස සිටින සමාජයන්හි එම තාක්‍ෂණයන් පැතිරෙන වේගය අධිකයි. ඉන්දුනීසියාවේ සමස්ත ජනගහනය වන මිලියන් 252න් හරි අඩක්ම පසු වන්නේ (median age) වයස අවුරුදු 27.5 හෝ ඊට අඩු වයසකයි. එරට නව මාධ්‍ය ව්‍යාප්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාදාමයන්හි තරුණ සහභාගීත්වය ඉහල මට්ටමක පවතින බව මේ වසරේ මැතිවරණවලදී පෙනී ගියා.

2013 වන විට ඉන්දුනීසියාවේ ජංගම දුරකථන ගිනුම් ජනගහනයේ 100කට 112ක් පමණ තිබුණා. (එනම් සමහරුන්ට ගිනුම් එකකට වැඩි සංඛ්‍යාවක් හිමියි.) එරට භාවිත වන ජංගම දුරකථනවලින් 23%ක් ස්මාට්ෆෝන් බවත්, එරට ජනගහනයෙන් 17%ක් පමණ ඉන්ටර්නෙට් නිතිපතා භාවිතා කරන බවත් 2014 දක්වා අලූත් කළ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන කියනවා.

ඉන්දුනීසියානුවන් සමාජ මාධ්‍යවලට බෙහෙවින් ලැදියි. ඔවුන් බහුතරයක් ඒ හරහා සන්නිවේදනය කරන්නේ තමන්ගේම බසින් (භාෂා ඉන්දුනීසියා). ලෝකයේ ට්විටර් (Twitter) නම් විවෘත සමාජ මාධ්‍යය වැඩිපුරම භාවිත කරන රටක් ලෙස ඉන්දුනීසියාව ප‍්‍රකටයි.

2014 මැද වන විට එරට ට්විටර් භාවිත කරන්නන් මිලියන් 20ක් පමණ සිටියා. ඉන්දුනීසියානුවන් මහත් උද්‍යොගයෙන් ට්විටර් හරහා තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නා නිසා එරට අගනුවර වන ජකර්තා, ලෝකයේ සමාජ මාධ්‍ය අගනගරය කියාත් සමහරුන් හඳුන්වනවා. (එරට ෆේස්බුක් ගිනුම් සංඛ්‍යාව 2014 මැදදී මිලියන් 11.6ක් වූවා.)

2014 ජනාධිපතිවරණයට පෙර සති කිහිපය තුළ ට්විටර් අවකාශය තුළ විවෘතවත්, ෆේස්බුක් කණ්ඩායම් තුළ බොහෝ දුරට සංවෘතවත් දේශපාලන සංවාද මිලියන් ගණනින් සිදු වුණා. හැම ඡන්ද අපේක්ෂකයකුම නිල සමාජ මාධ්‍ය ගිනුම් හරහා තමන්ගේ ප‍්‍රතිරූපය හා ප‍්‍රතිපත්ති සමාජ ගත කළා.

ඉන්දුනීසියාවේ මැතිවරණ පැවැත්වීම භෞතික වශයෙන් ලොකු අභියෝගයක්. දුපත් 17,500කින් සමන්විත එරට දුපත් 7,000ක පමණ ජනයා වාසය කරනවා. මේ අයට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ජනාවාස පවතින සියලූ දුපත්වල ඡුන්ද පොළවල් 450,000ක් පමණ පිහිටු වනවා. මේ නිසා මැතිවරණ පැවැත්වීමට දැවැන්ත පරිශ‍්‍රමයක් අවශ්‍ය වනවා සේම මැතිවරණ අක‍්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ ද පුළුල්. මැතිවරණ නිරීක්‍ෂණය, සිවිල් සංවිධානවලට පමණක් තනිව කළ හැකි දෙයක් ද නොවෙයි.

ඉන්දුනීසියානු මැතිවරණ ක‍්‍රමයේ මූලික ගණන් කිරීම ඡුන්ද පොළ මට්ටමින් කරනවා. එහි ප‍්‍රතිඵල C1 නම් පත‍්‍රිකාවක අත්අකුරින් සටහන් කැරෙනවා. එතැන් සිට ටිකෙන් ටික ඉහළ පරිපාලන මට්ටම්වලට මේ ගණන් සම්පේ‍්‍රෂණය කොට ඡුන්ද කොට්ඨාශ, උප දිස්ත‍්‍රික්ක, දිස්ත‍්‍රික්ක, පළාත් හා ජාතික මට්ටමේ එකතු කිරිම් කරනවා. රටේ විහිදුණු ස්වභාවය හා විශාල ජන සංඛ්‍යාව නිසා මේ කි‍්‍රයාදාමයට දින 10-12ක් පමණ ගත වනවා.

ඉන්දුනීසියාවේ මැතිවරණ අක‍්‍රමිකතා සංඛ්‍යාව ගෙවී ගිය දශකයේ ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ නිරික්‍ෂණය කරන එරට සිවිල් සමාජ සංවිධානවලට අනුව රාජ්‍ය නිලධාරින් දේශපාලන පක්‍ෂ සඳහා කැම්පේන් කිරීම, සමහර පුදේශවල ඡුන්දදායකයන් බිය වැද්දීම, ඡන්ද ගණන් කිරීමේදී උවමනාවෙන් සංඛ්‍යා වෙනස් කිරීම හා ඡන්දදායකයන්ට අල්ලස්දීම ආදී සියල්ල වාර්තා වනවා. එසේම 1999 මහ මැතිවරණයේදී 3.3%ක් වූ අපතේ ගිය ඡන්ද සංඛ්‍යාව 2004දී 9.7% හා 2009දී 14.4% දක්වා ඉහල ගියා. මෙය ද සැක කටයුතු තත්ත්වයක් බවට නිරීක්‍ෂකයෝ කියනවා.

මැතිවරණ ක‍්‍රියාදාමය සමීපව නිරික්සීම දැනට දශක දෙකක පමණ කලක් පුරා එරට සිවිල් සමාජ සංවිධාන කරනවා. 2014 ජූලි 9 ජනාධිපතිවරණයේදී මෙය තවත් ඉදිරියට ගෙන යාමට නවීන ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණය යොදා ගත්තා.

ඉන්දුනීසියාවේ මැතිවරණ කොමිසම පිරිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකි සෑම දෙයක්ම කරන, බලාත්මක වූත් ජනහිතකාමී වූත් රාජ්‍ය ආයතනයක්. ඡන්ද ගණන් කිරීම නිරික්සන්න දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට මෙන්ම නිර්දේශපාලනික සිවිල් සමාජ නියෝජිතයන්ටත් එරට අවසරය ලැබෙනවා. එසේම ඔවුන්ට තමන්ගේ ජංගම දුරකථන ඡන්ද ගණන් කරන තැන්වලට ගෙන යාමටත්, භාවිතයටත් කිසිදු තහංචි පනවා නැහැ.

මේ අවසරයෙන් ප‍්‍රයෝජන ගත් සමහර සිවිල් ක‍්‍රියාකාරිකයෝ පහළම මට්ටමේ ඡන්ද ගණන් එකතුව හසු කර ගන්නා C1 පත‍්‍රිකා ජංගම දුරකථන මගින් ඡායාරූප ගත කළා. ජූලි 11 වනදා වන විට (මැතිවරණයෙන් දින 2 කට පසු) ට්විටර් අනුගාමිකයන් 7,000කට වඩා සිටින එක් පුරවැසියෙක් තමා හසු කර ගත් C1 රූප ට්විටර් හරහා සමාජ මාධ්‍යගත කළා.

ඒ දුටු තවත් බොහෝ දෙනා ඒ වන විටත් තම ජංගම දුරකථනවල තිබූ තම ප‍්‍රදේශවල C1 රූප ට්විටර් හා ෆේස්බුක් හරහා බෙදා ගන්නට පටන් ගත්තා. මෙය නිරායාසයෙන් සිදු වුවද ඉක්මනින් රැල්ලක් බවට පත් වුණා.

BAD MATH. This screenshot of a C1 tabulation form from Yogyakarta in Indonesia allegedly shows 100 votes added to presidential ticket Prabowo Subianto and Hatta Rajasa. Screenshot taken from c1yanganeh.tumblr.com
BAD MATH. This screenshot of a C1 tabulation form from Yogyakarta in Indonesia allegedly shows 100 votes added to presidential ticket Prabowo Subianto and Hatta Rajasa. Screenshot taken from c1yanganeh.tumblr.com

KPU නමින් කෙටියෙන් හැඳින්වෙන එරට මැතිවරණ කොමිසමද ඩිජිටල් තාක්‍ෂණයන් යොදා ගන්නවා. KPU විසින් රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලින් අගනුවරට එවන ලද ගණනය කිරීමේ ෆෝර්ම සිය නිල වෙබ් අඩවියට ඉක්මනින් එකතු කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ ද හැකි තරම් පාරදෘශ්‍ය ලෙස ගණනය කිරීම කරන්නයි.

2014 ජූලි 12 වනදා ඉන්ටර්නෙට් තාක්‍ෂණ හැකියාව ඇති පුරවැසියන් කිහිප දෙනකු එක්ව කවාල් පෙමිලූ (මැතිවරණය සුරකිමු) නම් නව වෙබ් අඩවියක් විවෘත කළා (www.kawalpemilu.org). ඡන්ද ගණන් කිරීම හා රට පුරා සංඛ්‍යා එකතු කිරීම සිදුවන තීරණාත්මක දින කිහිපය තුළ පුරවැසියන්ට එය ඩිජිටල් ක‍්‍රම හරහා විමර්ශනය කිරීමට ඉඩ සලසා දීම එහි අරමුණු වුණා.

සරලව කිවහොත් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලදි පුරවැසියන් ඡායාරූපගත කර ගත් C1 පත‍්‍රිකාවල තිබු ඡන්ද සංඛ්‍යා, මට්ටමින් මට්ටමට ඉහළට එකතු වෙද්දී යම් අසාමාන්‍ය වෙනසකට ලක්වේද යන්න සොයා බැලීමට මේ හරහා හැකි වුණා. ක‍්‍රමවේදය සරලව පවත්වා ගැනීම හරහා මූලික පරිගණක හැකියාව ඇති අයට පවා මේ පුරවැසි නිරීක්‍ෂණයට දායකවීමට අවස්ථාව සැළසුණා.

මේ වෙබ් අඩවියේ සිදු වූ කි‍්‍රයාදාමය හඳුන්වන්නේ crowd-sourcing කියයි. බොහෝ දෙනකුගේ දායකත්වයෙන් යමක් නිරවුල් කර ගැනීම හෝ පරිපූර්ණ කර ගැනීම මෙහි අරුතයි. කවාල් පෙමිලූ වෙබ් අඩවියේ විශ්ලේෂණවලින් සොයා ගන්නා තොරතුරු ෆේස්බුක් පිටුවක් හරහා බෙදා හරිනු ලැබුවා.

කවාල් පෙමිලූ හරහා පුරවැසි අධීක්‍ෂණය තීව‍්‍ර වූ බැවින් ඡන්ද එකතු කිරීමේ අවස්ථාවල සිතාමතා කිසිවකු විසින් ඒවා විකෘති කිරීමේ ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය සාර්ථක උපක‍්‍රමයක් බව පෙනි ගියේ ජුලි 16 වනදා වන විට එම වෙබ් අඩවියට සිය ගණනක් සයිබර් ප‍්‍රහාර (Hacking) උත්සාහයන් එල්ල වීම නිසායි. ඒවා බහුතරයක් ආවේ ඉන්දුනිසියාව තුළින්මයි.

කවාල් පෙමිලූ වෙබ් අඩවිය කල්තබා සැළසුම් කරන ලද්දක් නොවෙයි. එය කඩිමුඩියේ බිහි කළේ සිංගප්පූරුවේ වාසය කරන ඉන්දුනීසියානු ජාතික අයිනුන් නජිබ් (Ainun Najib) විසින්. ඒ උත්සාහයට ඉන්දුනීසියාව පුරා පැතිර සිටින පුරවැසියන් 700 දෙනකු ඉන්ටර්නෙට් හරහා ස්වෙච්ඡාවෙන් මැදිහත් වුණා.

මෙයින් ආභාෂය ලැබු තවත් ස්වේච්ඡා සයිබර් ප‍්‍රයත්නයක් වුයේ කවාල් සුආරා http://kawal-suara.appspot.com/ රට පුරා සිටින හත්දහසකට වැඩි පුරවැසි පිරිසකගේ උදව් ඇතිව මේ වෙබ් අඩවිය ද C1 පත‍්‍රිකා සසඳමින් වෙනස් කිරීම් කිසිවක් සිදුව ඇත්දැයි පිරික්සුවා. ඉඳහිට එබන්දක් හමුවූ විට ඒවා වහාම මැතිවරණ කොමිෂමේ හදිසි අවධානයට යොමු කළා.

මේ සයිබර් ප‍්‍රයත්නයන්ගේ සුවිශේෂත්වය වූයේ ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේම අනුගාමිකයන් එයට සම්බන්ධ වීමයි. ඔවුන්ට අවශ්‍ය වූයේ තම අපේක්‍ෂකයා නියමාකාරයෙන් හා පිරිසිදු ඡන්දයකින් ජය ගෙන රටේ ජනාධිපති වනු දකින්නටයි. ජයග‍්‍රහණය අක‍්‍රමිකතාවලින් කැලැල් වීමට එරෙහිව ඔවුන් ප‍්‍රතිපාක්‍ෂිකයන් සමග සහයෝගයෙන් ක‍්‍රියා කළා. කෙතරම් ආදර්ශවත් ක‍්‍රියාවක්ද?

මැතිවරණ සුරැකීමේ මෙම ස්වේච්ඡා උත්සාහයන් සයිබර් අවකාශයට පමණක් සීමා වූයේත් නැහැ. තව බොහෝ ඉන්දුනීසියානුවන් ගණන් කිරිමේ ස්ථානවලට රැස්ව සාමකාමී හා විනීත ලෙසින් මැතිවරණ නිලධාරින්ගේ ක‍්‍රියාකලාපය නිරීක්‍ෂණය කළා. මේ බොහෝ දෙනකු සංවිධානගත සිවිල් සමාජය නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පුරවැසියන්.

අපේ රටේ මෙන් දිනකින් දෙකකින් හමාර නොවී සතියකට වැඩි කාලයක් ගත වන එරට ඡන්ද ගණන් කිරීම නිරික්සනවා යනු සැළකිය යුතු කාලය කැප කිරීමක්. එහෙත් එය කැමැත්තෙන් කිරීමට දහස් ගණනක් පුරවැසියන් පෙරට ආවා. එසේම එම පුරවැසි දායකත්වය අගය කළ මැතිවරණ කොමිසම, නිලධාරිවාදය පෙරට නොගෙන ඔවුන් පිළිගෙන අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. කෙතරම් අපුරුද?

Indonedia Presidential Election 2014 -  official logo
Indonedia Presidential Election 2014 – official logo

ජනාධිපති ධූර අපේක්‍ෂක දෙදෙනාම ඡන්ද ගණන් කරන මුල් දිනවල මූලික ප‍්‍රතිඵල මත පදනම් වී තමන් ජයග‍්‍රහණය කර ඇතැයි කියා සිටියා. මේ නිසා උණුසුම් තත්ත්වයක් වූ අතර ඡන්ද ගණන් කිරීම හැකි තාක් නිවැරදිව කිරීමේ වැදගත්කම තවත් වැඩිවුණා.

මෙම පුරවැසි සහභාගිත්වය මැතිවරණ කාලයේ උත්සන්න වුවත් එය දිගටම පවත්වා ගත හැකි ජනතා ව්‍යාපාරයක් නොවෙයි. එය ස්වයංසිද්ධ වූවක් (spontaneous). සංවිධානගත සිවිල් සමාජයක් අවශ්‍ය වන්නේ මෙබඳු තාවකාලික පෙළගැසීම් වඩාත් විධිමත් ලෙස කිරීමටයි.

2014 ජූලි 22 දා මැතිවරණ කොමිසම නිල ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කළා. මේ මැතිවරණයේදී ඉන්දුනීසියානුවන් 133,574,277ක් ඡන්දය ප‍්‍රකාශ කළා. එය ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 69.58%ක්. ප‍්‍රතික්‍ෂෙප වූ ඡන්ද තිබුණේ 1.02%ක් පමණයි. ප‍්‍රකාශිත ඡන්දවලින් 53.15%ක් ලබා ජෝකෝ විදෝදෝ ජනාධිපති තනතුරට පත් වුණා. ප‍්‍රබෝවෝ ලැබුවේ ඡන්ද 46.85%යි. මුලදී මේ ප‍්‍රතිඵලය පිළිගැනීම ඔහු ප‍්‍රතික්‍ෂෙප කළත් පසුව මේ ප‍්‍රතිඵලය නීතිමය වශයෙන් සනාථ වුණා.

ජයග‍්‍රාහක විදෝදෝ ඔක්තෝබර් 20දා තනතුරේ වැඩ භාර ගත්තා. නව දේශපාලන සදාචාරයක් ඇති කිරීමට ඔහු දැනටමත් ක‍්‍රියාකරමින් සිටිනවා.

උදාහරණයකට නොවැම්බරයේ සිංගප්පුරුවේ උගනිමින් සිටින තම පුතාගේ උසස් පෙළ සමත්වීමේ උත්සවයකට ඔහු සාමාන්‍ය පංතියේ ගුවන් මගියකු ලෙස පෞද්ගලික වියදමින් එහි ගියා. ජනාධිපතිවරයාට වෙන් කළ ගුවන් යානයක් එරට තිබුණත් මේ පෞද්ගලික සංචාරයට කිසිදු රජයේ වියදමක් සිදු වනු දැකීමට ඔහු කැමති වුයේ නැහැ. තනතුරේ ලාභ ප‍්‍රයෝජන ගැනීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති අද කාලේ මෙය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවා වාර්තා කරනු ලැබුවා.

Indonesia's President, Joko Widodo, took a selfie with students at his son's school in Singapore
Indonesia’s President, Joko Widodo, took a selfie with students at his son’s school in Singapore

See also: Technology for Transparency

සිවුමංසල කොලු ගැටයාගේ දේශපාලන දැක්ම කුමක්ද?

"...would it not be simpler, If the government simply dissolved the people And elected another?" - Bertolt Brecht
“…would it not be simpler,
If the government simply dissolved the people
And elected another?” – Bertolt Brecht

දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ නොවූ දේශපාලන උනන්දුවක් හා සහභාගීත්වයක් තිබිය හැකිය යන්න බොහෝ ලාංකිකයන්ට නොහුරු අත්දැකීමක් වගෙයි. එහෙත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති සමාජයන්හි මෙය අරුමයක් නොවෙයි.

යහපාලනයේ මූලධර්ම හා පොදු උන්නතිය සඳහා පෙනී සිටින, කිසිදු දේශපාලන පක්‍ෂයකට අයිති හෝ පක්‍ෂග‍්‍රාහී හෝ නොවූ සමාජ ක‍්‍රියාකාරිකයන් සිටීම නිසා දේශපාලන ක‍්‍රියාදාමය වඩාත් හරබර වනවා. එය පෙර අපර දෙදිගම රටවල අත්දැකීමයි.

මා අහවල්තුමාට පක්‍ෂ ද නැත්නම් අහවල්තුමාට විරුද්ධ ද යන සරල ප‍්‍රශ්නය විටින් විට පොදු අවකාශයේ මගෙන් ද විමසනු ලබනවා. මැතිවරණවලදී රහස් ඡුන්දය පාව්චිචි කරමින් මගේ පෞද්ගලික කැමැත්ත ප‍්‍රකාශ කළත් සෙසු අවස්ථාවල මා සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය යහපාලනය හා පොදු උන්නතිය සඳහා ගත් ස්ථාවරයකයි.

එසේම පාලක පක්‍ෂය, ප‍්‍රතිපක්‍ෂ යන දෙපිරිසේම යහපත් දෙයට ප‍්‍රශංසා කරන අතර ඔවුන්ගේ පරස්පර විරෝධතා සහ අකටයුතුකම් විචාරයට ලක් කිරීමත් මා කරනවා.

නිර්ආගමික මට විවිධ ආගම් අදහස මිතුරන් සිටිනවා සේම නිර්දේශපාලනික මට නිල් – රතු – කොළ හැම පිලේම මිතුරන් ද සිටිනවා.

බලයේ සිටින රජය විවේචනය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ පුරවැසි අපට මුලික අයිතියක් තිබෙනවා. එසේ ආණ්ඩුව විවේචනය කිරීම යනු රාජ්‍ය විරෝධී වීමක් නොවන බව මා හොඳාකාර දන්නවා.

අපේ දේශපාලන ක්‍ෂෙත‍්‍රය මෙතරම්ම පටු හා කෙටි කාලීන දැක්මක් තුළ කොටුවී සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට යන ආකාරයේ මැදහත් විචාරකයන් මඳ වීම නිසා යයි මා සිතනවා.

‘ඔබ අප සමග එකඟ නොවේ නම් ඔබ අපේ විරුද්ධවාදියෙක්’ (“If you are not with us, you are against us!”) යයි සරල හා වැරදි සහගත ලෙස විචාරකයන් දැකීම මෙරට බොහෝ දේශපාලන පක්‍ෂ හා චරිතවල ස්වභාවයයි. මෙය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම නව මාධ්‍ය හරහා මත දැක්වීමට හා සංවාද කිරීමට නිර්දේශපාලනික පුරවැසියන්ට වැඩි අවකාශයක් ලැබෙන විට මෙබඳු විවෘත මානසිකත්වයක් බිහි වීම අවශ්‍යයයි. අපේ සමාජයේ හැම දෙයක්ම අධිදේශපාලනීකරණය වෙලා යයි අදෝනා නගන අය එය වෙනස් කිරිමට අවස්ථාවක් මතු වූ විට එය වැළඳගත යුතුයි.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

 

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Social media and electionsIn this week’s Ravaya column (in Sinhala), published on 21 December 2014, I explore the nexus between media and elections, and in particular, the growing nexus between social media and election campaigns.

I also pose the question: Might the Presidential Election scheduled for 8 January 2015 be a turning point in social media use in Sri Lanka? As I write this in mid December, the campaigns are getting into speed and it’s too early to tell. But this aspect is definitely worth watching closely.

I refer to a recent Asian regional book, published by Konrad-Adenauer-Stiftung’s Asia Media Programme, based in Singapore. Titled ‘Social Media and Elections in Asia-Pacific: The Growing Power of the Youth Vote’ (November 2013), it brought together media researchers in 11 countries who probed how social media is reshaping electoral politics.

Chanuka Wattegama and I contributed the Sri Lanka chapter in the book. We probed whether the youth vote and social media made a difference in the Colombo Municipal Council (CMC) elections of October 2011. Our conclusion: “There is no unequivocal evidence to prove that the use of social media, on their own, significantly changed CMC election results. As with all election campaigns, the influences were many, varied and nuanced…”

I also discuss the impact of social media on the Indian General Election held in April – May 2014.

Social-Vote-Social-Election-e13693985145431

මැතිවරණ ව්‍යාපාරයක නැතහොත් කැම්පේන් එකක තීරකයන් සොයන්නේ තමන්ගේ අපේක්‍ෂකයා හා පක්‍ෂයේ පණිවුඩය වැඩිම ජන පිරිසක් අතරට ගෙන යාමටයි. මාධ්‍ය භාවිතය (මුදල් ගෙවා මෙන්ම නොගෙවා ලද හැකි මාධ්‍ය ආවරණ දෙවර්ගයම) එක් ප‍්‍රධාන ක‍්‍රමෝපායක්.

මාධ්‍ය දියුණු සමාජවල අද මැතිවරණවලදී වැඩිම වියදමක් යෙදවෙන්නේ දේශපාලන රැළි හෝ පත‍්‍රිකා හෝ වෙනත් වීදි ක‍්‍රියාවලට නොව මාධ්‍ය හරහා ජනතාවට සමීප වීමටයි. මේ නිසා දේශපාලන පක්‍ෂවල දැන්වීම් හරහා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට අති විශාල ආදායමක් ලැබෙනවා. එම ආදායම නිසාම එම මාධ්‍යවල කර්තෘ මණ්ඩල අන්තර්ගතයේ කැරෙන විග‍්‍රහයන් හා වාර්තාකරණය කෙතරම් දුරට අපක්‍ෂපාතී ද යන ප‍්‍රශ්නය මතු වනවා.

මෙරට මැතිවරණ හා ජනමාධ්‍ය අතර කලක සිට පැවත එන සමීප සබඳතාවක් තිබෙනවා.

ලේක්හවුස් ආයතනය පෞද්ගලික හිමිකරුවන් සතුව තිබියදී එම පත්තරත්, ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම හා දවස නිවසත් තම හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව යම් තරමකට පිළිබිඹු කළ සැටි ප‍්‍රකටයි. 1973 ලේක්හවුස් ජනසතු කිරීමෙන් පසු එය පවතින රජයේ ප‍්‍රචාරක මෙවලමක් බවට පත් වුණා. රජයේ රේඩියෝව කවදත් කළේ එයමයි. 1982දී ඇරැඹූ රූපවාහිනිය සත්‍යවාහිනියක් වේවා කියා එවකට සිටි ජනාධිපති ජයවර්ධන කීවත්, තවමත් ඒ පරමාදර්ශයට ළං වන්නට හැකි වී නැහැ.

1990 දශකයේ පෞද්ගලික රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ගණනාවක් බිහි වුව ද ඒ සඳහා විකාශ බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීම විවෘත ක‍්‍රමවේදයකට කිසිදු රජයක් විසින් මේ දක්වා නොකිරීම නිසා දේශපාලන හා වාණිජ ඕනෑකම්වලට අනුගත වූ නාලිකා අද ක‍්‍රියාත්මක වනවා. මේ නාලිකා අතරින් සමහරක් මැතිවරණ සමයේදී යම් තුලනයක් පවත්වා ගන්නට තැත් කළත් එහිදී ඔවුන්ට මතු වන ප‍්‍රායෝගික සීමා හා දුෂ්කරතා තිබෙනවා.

කිසිදු නිල පුවත් පාලනයක් මෙරට නැති වුව ද වක‍්‍ර ආකාරයෙන් පෞද්ගලික මාධ්‍යවලට බලපෑම් සිදු කැරෙන බව ප‍්‍රකටයි.

මෙසේ අඩුපාඩු හා දුර්වලතා සහිත ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට සමාන්තරව මෑත වසරවලදී වෙබ් ගත මාධ්‍ය දෙවර්ගයක් ද මතු වී තිබෙනවා. එකක් නම් දේශපාලන තොරතුරු හෝ ඕපාදුප බෙදා හරින පක්‍ෂග‍්‍රාහී වෙබ් අඩවි බිහි වීමයි. දෙවැන්න නම් කිසිදු දේශපාලන පක්‍ෂයකට නතු නොවූ, ඔවුන් මගින් පාලනය නොකෙරෙන බ්ලොග් රචකයන් හා (ට්විටර්, ෆේස්බුක් වැනි) වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසි මාධ්‍යකරුවන් පිරිසක් සක‍්‍රීය වීමයි.

ඩිජිටල් සාක්‍ෂරතාව ඇති හා ස්මාට්ෆෝන් හෝ පරිගණක හරහා වෙබ් පිවිසීමේ හැකියාව තිබෙන ඕනෑම කෙනකුට අඩු වියදමකින් හා පරිශ‍්‍රමයකින් නව මාධ්‍ය හරහා සන්නිවේදනය කළ හැකියි. මේ නිසා මෑතක් වන තුරු හුදෙක් පාඨකයන්, ශ‍්‍රාවකයන් හෝ පේ‍්‍රක්‍ෂකයන් ලෙස සිටි මාධ්‍ය ග‍්‍රාහකයන්ට අද කැමති නම් වෙබ් හරහා තම අදහස් ද ලොකු පිරිසකට එකවර බෙදා හැරීමේ හැකියාව තිබෙනවා.

කලින් කලට මැතිවරණ පවත්වන ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනිසියාව වැනි රටවල ජනමතයට යම් බලපෑමක් කිරීමට වෙබ් අවකාශයේ ඉහත කී දෙආකාරයේ ම වෙබ් සන්නිවේදන සමත්ව තිබෙනවා. මේ බලපෑම ඒ රටවල සෘජුව ඉන්ටර්නෙට් භාවිතා කරන ජන පිරිසට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට පුළුල් ජන සමාජයට පැතිරෙන බවත් හෙළි වී තිබෙනවා. එයට හේතුව ඉන්ටර්නෙට් හරහා තොරතුරු හා අදහස් ලබා ගන්නා අය වැඩි දෙනෙක් සමාජයේ ජනමතයට බලපෑම් කළ හැකි ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාකාරකයින් වීමයි.

නව මාධ්‍ය නිසා දේශපාලන පක්‍ෂයකට නොබැඳුණු සමාජ ක‍්‍රියාකාරිකයන්ට (social activists) මැතිවරණ කාලවලදීත්, අනෙක් අවස්ථාවලදීත් දේශපාලන ක‍්‍රියාදාමයේ මැදිහත්මක් කරන්නට ප‍්‍රායෝගික දැන් ඉඩක් සැළසෙනවා.

එය විවිධාකාරයෙන් මතු වනු දැකිය හැකියි. බ්ලොග්කරුවෝ ගවේෂණාත්මකව දේශපාලන ප‍්‍රශ්න විග‍්‍රහ කරනවා. දේශපාලන චරිත හා පිළිවෙත් නිර්දය විවේචනයට හා උපහාසයට ලක් කරනවා. ජාතික පුවත්පත්වලින් බහුතරයක දේශපාලන තීරු ලිපිවල ඕපාදුප හා ආගිය කථා පමණක් පළවන අද දවසේ ඓතිහාසික හා ෙසෙද්ධාන්තික දැක්මක් සහිතව වඩාත් ප‍්‍රශස්ත දේශපාලන විග‍්‍රහයන් වැඩිපුර හමු වන්නේ සමහර වෙබ් අඩවිවල හා බ්ලොග් අඩවිවලයි. (ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත්වල මෙන්ම වෙබ් අවකාශයේත් හරසුන් දේ හමු වන නිසා බොල් වී වලින් හොඳ වී වෙන් කර ගන්නට පාඨකයන්ට ඩිජිටල් සාක්‍ෂරතාවය අවශ්‍යයි.)

මේ අතර සමාජ මාධ්‍ය හරහා කෙටි, ඉක්මන් දේශපාලන සංවාද හා රූප විශාල වශයෙන් බෙදා ගනු ලබනවා. කොයි දේශපාලන පක්‍ෂයේත් කෙරුවාවේ පරස්පර විරෝධී තැන් හා වංචනික කථා හමුවනවා. සමාජ මාධ්‍ය හරහා සමහර පුරවැසියන් කරන්නේ මේවා නිර්දය ලෙස හාස්‍යයට ලක් කිරීමයි. මෑතක් වන තුරු වෘත්තීය දේශපාලන කාටූන් ශිල්පීන් පමණක් කළ දේ අද දුසිම් ගණන පුරවැසි මාධ්‍යකරුවන් කරන්නේ මීම් (web memes) නමැති හාස්‍යජනක වෙබ් රූප බිහි කර සංසරණය කිරීමෙන්.

මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට හරවත් දේශපාලන විග‍්‍රහයන් ලියන අතර බ්ලොග් ලියන පුරවැසි මාධ්‍යකරුවන් අතර ද පෙරමුණේ සිටින අජිත් පැරකුම් ජයසිංහ මීට දින කිහිපයකට පෙර කීවේ මෙයයි.

“විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මානය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මානය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මානය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද?…මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ.” (http://ravaya.lk/?p=5169)

මේ අදහසට මා මුළුමනින්ම එකඟයි. පිලූණු වූ සංඛ්‍යා ලේඛන මත පදනම් වූ හණමිටි අදහස් කර පින්නා ගත් අපේ බොහෝ සරසවි ඇදුරන්ට හා වෙනත් මාධ්‍ය පර්යේෂකයන්ට ගෝචර නොවන යථාර්ථයක් අජිත් හසු කර ගෙන තිබෙනවා.

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ සමාජ මාධ්‍ය ලකුණ හොඳහැටි සනිටුහන් කරන අවස්ථාව වේද? එය දැන්ම හරිහැටි කිව නොහැකි වුවත් ප‍්‍රධාන දෙපිළම නව මාධ්‍ය හරහා ඡුන්දදායකයන්ට සමීප වීමට සැළකිය යුතු තරම් අවධානයක් යොමු කරන බව නම් පෙනෙනවා.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverසිංගප්පූරුව කේන්‍ද්‍ර කර ගත් කොන්රඞ් ඇඩිනෝවර් පදනමේ ආසියා කලාපීය කාර්යාලය (Konrad Adenauer Stiftung’s Media Programme Asia) සමාජ මාධ්‍ය හා ආසියාවේ මැතිවරණ ගැන පර්යේෂණාත්මක ග‍්‍රන්ථයක් 2013 නොවැම්බරයේ නිකුත් කළා. Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote නම් වූ එහි අපේ කලාපයේ රටවල් 11ක් ගැන එම රටවල නිවැසි පර්යේෂකයන් විසින් ලියන ලද පරිච්ෙඡ්ද එහි ඇතුළත්.

මේ හැම පරිච්ෙඡ්දයක්ම විපරම් කරන්නේ වෙබ්ගත සමාජ මාධ්‍ය වඩාත් ප‍්‍රචලිත වීමත් සමග විශේෂයෙන් තරුණ පරපුර දේශපාලන ක‍්‍රියාදාමයට හා මැතිවරණවලට එම මාධ්‍යය යොදා ගන්නේ කෙලෙස ද යන්නයි. සමස්ත ග‍්‍රන්ථයම නොමිළේ මේ වෙබ් අඩවිය හරහා කියවිය හැකියි. http://www.kas.de/medien-asien/en/publications/35939/

එම පොතට පෙරවදනක් ලියමින් සම කතුවරුන් වූ ඇලිස්ටෙයා කාර්තෝ සහ සයිමන් වින්කල්මාන් මෙසේ කියනවා. “නව සන්නිවේදන තාක්‍ෂණයන් සමාජගත වීමත් සමග ලොව ඇතැම් රටවල අරාබි වසන්තය නමින් දැන් පොදුවේ හඳුන්වන ජන උද්ඝෝෂණ සිදු වුවත් එබන්දක් ආසියාවේ අප දුටුවේ නැහැ. එසේ අන්තයකට නොගියත්, ආසියාවේ බොහෝ රටවල තත්කාලීන දේශපාලන ප‍්‍රවාහයන්ට සෙමෙන් නමුත් වැදගත් බලපෑමක් කරන්නත්, විශේෂයෙන් මැතිවරණ අවස්ථාවලදී එයට තරුණ ඡන්දදායක සහභාගීත්වය පුළුල් කරන්නත් සමාජමාධ්‍යවල ව්‍යාප්තිය උපකාර වන බව පැහැදිලියි. මෙය අරාබි වසන්තයන් මෙන් විප්ලවකාරී වනවා වෙනුවට වඩාත් සියුම් හා ගැඹුරු අන්දමින් ආසියානු සමාජයන්හි දේශපාලන කටයුතුවල ක‍්‍රමීය වෙනසක් ඇති කිරීමට මුල පුරා තිබෙනවා. සමහරුන් තවම හරිහැටි තේරුම් ගෙන නැති වුවත් මේ වෙනස්කම් දිගු කාලීන සමාජ පරිනාමයක මුල් අවස්ථාවයි.

මේ පොතට ශ‍්‍රී ලංකාව ගැන පරිච්ෙඡ්දයක් ලිවීමේ ඇරැයුම ලැබුණු විට මා එයට මගේ මිතුරු චානුක වත්තේගම ද හවුල් කර ගත්තා. අප ආයතනගත පර්යේෂකයන් නොවුවත් නව මාධ්‍ය හා ලක් සමාජය ගැන 1990 දශකය මුල සිටම විමසිල්ලෙන් සිටින හා නිතර ඒ ගැන විග‍්‍රහයන් කරන අප දෙදෙනා සමාජ මාධ්‍යවල මෙරට භූමිකාව අධ්‍යයනය කරන්නේ විවෘත මනසකින්.

සමාජ මාධ්‍යවල නැගී ඒම මෑත කාලීන ප‍්‍රවණතාවක් නිසා අප විග‍්‍රහයට තෝරා ගත්තේ 2011 ඔක්තෝබරයේ පැවති පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභා මැතිවරණයයි. (පර්යේෂණාත්මකව එසේ එක් පැහැදිලි උදාහරණයක් තෝරා ගැනීම අවශ්‍යයි.)

කොළඹ නාගරික ප‍්‍රදේශයේ එවකට සිටි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 393,085යි. මෙරට වාණිජ අගනගරය ලෙස කොළඹට තවමත් ප‍්‍රබල භූමිකාවක් සතුව ඇති බැවින් එහි නගර සභා මැතිවරණය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූවා.

රටේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මිලින්ද මොරගොඩ නගරාධිපති අපේක්ෂක වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ජේ එම් මුසම්මිල් මැතිවරණ කටයුතු කළා.

මේ දෙපිරිසම වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් හා ට්විටර් ගිනුම් මේ සඳහාම අරඹා භාවිතා කළා. මොරගොඩ වෙනුවෙන් මෙරට කැපී පෙනෙන බ්ලොග්කරුවකු වන ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව මාධ්‍ය කළමණාකරු වීම හරහා නව මාධ්‍ය භාවිතයේ මින් පෙර මෙරට කිසිදු මැතිවරණයකදී නොකළ තරම් ඉදිරි පියවර තබනු ලැබුවා.

දෙපාර්ශවයේම නව මාධ්‍ය භාවිතය අප විචාරය කළ අතර පක්‍ෂ දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවූ එහෙත් යහපාලනය හා ප‍්‍රතිපත්තිමය දේශපාලනය ගැන උනන්දු වන ලාංකිකයන් පිරිසක් ද මැතිවරණයට පෙර සති කිහිපය තුළ සමාජ මාධ්‍ය හරහා මේ කැම්පේන් දෙක සමග පොදු අවකාශයේ සන්නිවේදනය කළ සැටි අපේ අධ්‍යයනයේ විශේෂ අවධානයට ලක් කළා.

සමාජ මාධ්‍යවල සුවිශේෂී ගුණයක් නම් අරමුදල් හෝ පිරිස් බලය හෝ සංවිධාන ශක්තිය හෝ නැති එහෙත් කැපවීම හා කාලය තිබෙන තනි පුද්ගලයන්ට ද දේශපාලන පක්‍ෂ හා චරිත සෘජුව විචාරයට ලක් කළ හැකි වීමයි. බඩගෝස්තරවාදී හා අශීලාචාර දේශපාලනය නිසා කලකිරීමෙන් සමස්ත දේශපාලන ක්‍ෂෙත‍්‍රයෙන් ඈත් වී සිටින තරුණ තරුණියන් අතරින් ටික දෙනකු හෝ මෙසේ නව මාධ්‍ය හරහා යළි සක‍්‍රීය වීම හිතකර ප‍්‍රවණතාවක් ලෙස චානුක හා මා දකිනවා.

මෙරට මැතිවරණ කැම්පේන්වල සමාජ මාධ්‍ය භාවිතය සිදු වන්නේ දේශපාලන රැළි, ගෙයින් ගෙට යාම, ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදීම, මුදල් ගෙවා මාධ්‍ය හරහා දැන්වීම පළ කිරීම ආදියට සමාන්තරවයි. මේ නිසා සමාජ මාධ්‍ය නිසාම මැතිවරණ ප‍්‍රතිඵලයක වෙනසක් සිදු වේ යයි එක එල්ලේ කීම අපහසුයි.

අවසාන විනිශ්චයේදී 2011 කොළඹ නගර සභා මැතිවරණ ප‍්‍රතිඵලයට සමාජ මාධ්‍ය කෙතරම් දායක වූවා ද යන්න පැහැදිලි නැහැ. එසේම එයට වැඩි බරක් තබා කැම්පේන් කළ මොරගොඩ පාර්ශවය පරාජයට පත් වූවා. එම පරාජයට දායක වූ වෙනත් හේතු තිබුණා.

අපේ විග‍්‍රහය අවසානයේදී අප කීවේ මෙයයි. “දේශපාලන පක්‍ෂ කේන්‍ද්‍රීය වූ කැම්පේන්වලට පමණක් සීමා නොවී ඩිජිටල් තාක්‍ෂණය හසුරු වන පුරවැසියන් පිරිසක් ද මැතිවරණ සන්නිවේදන අවකාශයට පිවිසීම හා ඔවුන් වෘත්තීය දේශපාලකයන් හැමගෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කිරීම මේ නගර සභා මැතිවරණයේ කැපී පෙනුණා. මේ ප‍්‍රවණතාව ඉදිරියට ජාතික මට්ටමේ මැතිවරණවලදීත් දිගටම සිදු වේද යන්න අප සමීපව නිරික්‍ෂණය කළ යුතුයි.” (http://goo.gl/a8ByOs)

සයිබර් අවකාශයේ වෙනස්වීම් සිදු වන්නේ අධිවේගී ලෙසින්. මේ නිසා කොළඹ නගර සභා මැතිවරණයෙන් පසු ගෙවී ගිය තෙවසර තුළ මෙරට ඉන්ටර්නෙට් පුළුල්වී තිබෙනවා. මේ නිසා 2015 ජනාධිපතිවරණයේදී මීට පෙර පැවති ජාතික මට්ටමේ මැතිවරණවලට (2010 ජනාධිපතිවරණය හා 2010 මහ මැතිවරණයට) වඩා නව මාධ්‍ය සාධකය අදාල වනු ඇති බව පැහැදිලියි.

එය අවසන් ප‍්‍රතිඵලවලට තීරණාත්මක බලපෑමක් එල්ල කිරිම ගැන කල් තබා කිව නොහැකි වුවත්, දේශපාලන සංවාද හා යහපාලන විවාදය වඩාත් සමාජගත කිරිමට මේ මාධ්‍යවලින් ද වැඩි දායකත්වයක් මෙවර සැපයෙන බව නම් දැනටම පැහැදිලියි.

ගෙවී යන 2014 වසර තුළ අපේ කලාපයේ (ජනගහනය අතින්) විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය දෙක දැවැන්ත මැතිවරණ අත්දැකීම් ලැබුවා. එනම් ඉන්දීය මහ මැතිවරණය හා ඉන්දුනීසියානු ජනාධිපතිවරණයයි. මේ දෙකෙහිදී නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනුනු ආකාරය විපරම් කිරිම වටිනවා.

Can social media influence the way people vote

ඉන්දියාවේ ඉන්ටර්නෙට් භාවිත කරන ජන සංඛ්‍යාව මිලියන් 243ක් පමණ වනවා. එය ජනගහනයෙ ප‍්‍රතිශතයක් ලෙස 19.2%‍ වුවත් එරට සමාජයට ප‍්‍රබල බලපෑමක් කිරීමට හැකි වී තිබෙනවා. මෙයට හේතුව හුදෙක් ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් ප‍්‍රවේශය ප‍්‍රචලිත වීම පමණක් නොවෙයි. එරට ජන සංයුතියට අනුව ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 26යි. ඒ කියන්නේ සමස්ත ඉන්දීය ජනගහනය වන මිලියන් 1,267න් බාගයක්ම (මිලියන් 634ක්) වයස 26 හෝ ඊට අඩුයි. මෙතරම් විශාල ළමා හා තරුණ ජනගහනක් මේ වන විට ලොව වෙන කිසිදු රටක නැහැ. (චීනයේ ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 35.2යි.)

2014 අපේ‍්‍රල්-මැයි කාලයේ සති කිහිපයක් පුරා අදියර ගණනාවකින් පැවැත් වූ ඉන්දියානු මහ මැතිවරණය ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වූ විශාලතම මැතිවරණයයි.

මෙවර ඡන්ද වරම හිමි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව මිලියන 814.5ක් වුණා. ඡන්දය දීමේ අවම වයස 18 පසු කළ මිලියන් 150ක් පමණ තරුණ තරුණියෝ ද ඒ අතර සිටියා. කොතැනක සිටියත් මේ අයගෙන් බහුතරයක් දෙනා අඩු තරමින් ජංගම දුරකථනයක් හිමි, බොහෝ විට වෙබ්ගත සමාජ මාධ්‍යවලට සම්බන්ධ වූවන්.

ජයග‍්‍රාහක BJP පක්‍ෂයේ මාධ්‍ය උපදේශකයකු වූ විකාස් පාණ්ඬේ කියන්නේ එරට නාගරික ප‍්‍රදේශවලින් ඔබ්බට ගොස් අර්ධ නාගරික හා සමහර විට ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවා ඡන්ද දායකයන්ට සමීප වීමට සමාජ මාධ්‍ය තමන්ට උපකාර වූ බවයි. එහිදී හැම කෙනෙකුටම ඉන්ටර්නෙට් සබඳතාවක් තිබීම කිසිසේත් අවශ්‍ය නොවූ අතර සිය ගණනක් සිටින ප‍්‍රජාවක එක් අයෙකුට (බොහෝ විට ජංගම දුරකථන නිසා) එම හැකියාව තිබීම හරහා බොහෝ තොරතුරු හා අදහස් ඔවුන් සියල්ල වෙත ගලා ගිය බව ඔහු කියනවා.

නිල මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්‍ෂය (BJP) ලැබූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 171,660,230යි (31.34%). දස වසක් බලයේ සිටි කොංග‍්‍රස් පක්‍ෂය ඡන්ද 106,935,942යි (19.52%). මෑතදී පිහිටුවා ගත් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්‍ෂය (AAP) රට පුරාම ලැබුවේ ඡුන්ද 11,325,625යි. එනම් 2%ක් පමණ.

Indian Election and Social Media

සමාජ මාධ්‍යවල ජනප‍්‍රිය බව (අනුගාමික සංඛ්‍යාව වැඩි වීම) කෙනෙකු ලබන ඡන්දවලට සෘජුව නොවූවත් අනියම් ලෙසින් ඉඟියක් ලද හැකි යයි සමහර ඉන්දීය මාධ්‍ය පර්යේෂකයෝ කියනවා. 2014 අපේ‍්‍රල් 19 – මැයි 18 කාලය තුළ සමාජ මාධ්‍ය තුළ ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් වටා සිදු වූ අන්තර්ක‍්‍රියා හා ඩිජිටල් සංවාද සංඛ්‍යාව ඔවුන් සමීපව අධ්‍යයනය කොට තිබෙනවා.

මැතිවරණයට සති ගණනකට පෙර කාලය පුරා සමාජ මාධ්‍ය ප‍්‍රවණතා අතින් AAP පක්‍ෂය ඉදිරියෙන් සිටියා. ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ හැකියාව ඇති දෙස් විදෙස් ඉන්දියානුවන් රැසකගේ ස්වේච්ඡා සහාය ලැබුණා. ලෝකයේ ලොකුම පරිගණක හා වෙබ් සමාගම්වල වෘත්තීය අත්දැකීම් ඇති මොවුන් සයිබර් අවකාශයේ චිත්තාකර්ෂනීය කැම්පේන් එකක් සාර්ථකව ගෙන ගියා.

ඉන්දියාවේ පැරණිතම හා නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කළ කොංග‍්‍රස් පක්‍ෂය සමාජ මාධ්‍ය එතරම් ගණන් නොගත් බවත්, ඔවුන් එය භාවිත කිරිම තීව‍්‍ර කළේ අවසාන සති කිහිපයේ පමණක් බවත් නායර් කියනවා. සමාජ මාධ්‍ය තුළ මැතිවරණ කාලයට පමණක් සක‍්‍රීය වීම කොහෙත්ම සෑහෙන්නේ නැහැ. මේ නිසා සම්පත් හා පිරිස් බලය කෙතරම් තිබුණත් කොංග‍්‍රස් පක්‍ෂයේ වෙබ් හා සමාජ මාධ්‍ය භාවිතය අතිශයින් අසාර්ථක වුවා.

එහිදී වඩා වැදගත් වන්නේ හුදෙක් අනුගාමික සංඛ්‍යාව වැඩි වීම නොව සිදුවන සංවාද හා අන්තර්ක‍්‍රියා (social media interactions) සංඛ්‍යාව බව දැන් පිළිගැනෙනවා. මේ කාලය තුල මෝදි වටා සිදු වු සමාජ මාධ්‍ය සංවාද ගණන ලක්‍ෂ 15ක් වූ අතර AAP පක්‍ෂ නායක අර්වින්ද් කෙජ්රිවාල් වටා සංවාද ලක්‍ෂයක් පමණ ද කොංග‍්‍රස්හි ප‍්‍රකට නායකයකු වන දිග්විජය සිං වටා සංවාද 19,500ක් පමණ ද සිදු වුණා.

AAP පක්‍ෂයේ සයිබර් සංවාද ක‍්‍රමෝපායන් මුල් සති කිහිපයේ හොඳින් අධ්‍යයනය කළ BJP ඡන්ද ව්‍යාපාර හසුරුවන්නෝ ඒවායෙන් වඩාත්ම සාර්ථක ක‍්‍රම තම පක්‍ෂයේ හා අගමැති අපේක්‍ෂකයාගේ සයිබර් ප‍්‍රතිරූපය ප‍්‍රවර්ධනය කරන්නට අවසන් සති කිහිපය තුළ යොදා ගත්තා. මෙසේ සාර්ථක උපක‍්‍රම අනුකරණය කිරීම නීති විරෝධී නැහැ.

මේ ගැන විග‍්‍රහ කරන ජෙමිනි 8 නම් දත්ත විශ්ලේෂණ සමාගමේ අධිපති ආචාර්ය රංජිත් නායර් කියන්නේ සමාජ මාධ්‍ය හරහා ඉන්දියානු ජන සමාජයට ආකර්ශනීය ලෙස සමීප වීමට AAP පාක්‍ෂිකයෝ කථා කළත් තමන් බලයට ආවොත් රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රශ්න විසඳීමට කුමක් කරනවාද යන්න නිරවුල්ව කීමට ඔවුන් අසමත් වූ බවයි.

“ඡන්ද කාලයකට සාමාන්‍ය මිනිසුන් හුදෙක් බුද්ධිගෝචර විග‍්‍රහයන් පමණක් නොව තම බලාපොරොත්තු හා සිහින කුල්මත් කිරීමක් ද සොයනවා. BJP සමාජ මාධ්‍ය හරහා හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මෙය ලබා දීමට ක‍්‍රියා කළා.’’

ඉන්දුනීසියානු අත්දැකීම ලබන සතියේ

අපේ රටේ බලවත්ම තීරකයෝ ජ්‍යොතිෂකාරයන්ද? ගාමිණී වියන්ගොඩ අසයි

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014 – Photo by Buddhini Ekanayake

සිවුමංසල කොලූ ගැටයා හේතුවාදීන්ගේ විමර්ශනයට ලක් වෙයි.

මගේ අලූත්ම පොත කාල බෝම්බ ඕනෑකර තිබේ! නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23 දා සංවාද මණ්ඩපයක් කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වූවා.

2011 මුල සිට මා රාවය පුවත්පතට ලියන සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා එම හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංග මහතාත්, ලේකම් තාරක වරාපිටිය මහතාත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා. එයින් සාරාංශයක් මෙන්න.

Gamini Viyangoda - Photo by Buddhini Ekanayake
Gamini Viyangoda – Photo by Buddhini Ekanayake

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මහතා:

මෙය සෑම හේතුවාදියකුම කියවිය යුතු පොතක්. අපේ හේතුවාදීන්ගේ කථාබහවල හා සංවාදවල යම් සීමිත බවක් තිබෙනවා. ආගම්, ඇදහිලි හා විශ්වාස වෙත වැඩි අවධානයක් අප යොමු කරනවා. එහෙත් හේතුවාදීන් ලෙස එවැනි දාර්ශනික සාකච්ඡාවලට පමණක් සීමා නොවී, එයින් ඔබ්බට ද අප සමාජය විග‍්‍රහ කළ යුතුයි. තව කථාබහ කළ යුතු හා විචාරශීලීව බැලිය යුතු බොහෝ දේ තිබෙනවා.

එවැනි පරාසයකට බැල්ම හෙලන මේ පොතට හේතුවාදීන්ගේ වපසරිය පුළුල් කළ හැකියි. මේ පොතේ විවිධාකාර විෂයයන් ගැන හා ලක් සමාජයේ විවිධ හරස්කඩවලට පැතිරුණු ලිපි අඩංගුයි.

ඒ හැම ලිපියක් පිටුපසම දිව යන හුය ලෙස මා දකින්නේ විවෘතභාවය හා විචාරශීලීත්වයයි. ඒ තමයි මේ ලිපි එකට ගැට ගසන පොදු සාධකය.

ලක් සමාජයේ චින්තනයේ සීමා හා පටු බව අතික‍්‍රමණය කරන්න, මේ ලිපි හරහා අපට මග පෙන්වීමක් කරනවා. ඒ ඔස්සේ යොමු විය හැකි නම් ආගම් අරභයාත්, ලෞකික ජීවිතය අරභයාත් අප වඩාත් තර්කානුකූල සමාජයක් බවට පත් වේවි.

මෙසේ වීම ශ‍්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවයක්. අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂයජ්‍යොතිෂ සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යොතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.

අපේ මැතිවරණ පවත්වන්නේ පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහර ජ්‍යොතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.

අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.

මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.

එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.

මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට නාලකගේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.

S M Banduseela speaks - Photo by Buddhini Ekanayake
S M Banduseela speaks – Photo by Buddhini Ekanayake

ප‍්‍රවීණ විද්‍යා පරිවර්තක හා හේතුවාදී ක‍්‍රියාකාරික එස්. එම්. බන්දුසීල මහතා:

ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල හා සභාවල බොහෝ විට කථා නොවන දේ නාලක නිතර ඔහුගේ තීරු ලිපියට මාතෘකා කර ගන්නවා. හැම දෙයක් කෙරෙහිම විචාරශීලීව බලන්නට හා ප‍්‍රශ්න කරන්නට ඔහුට හැකියාවක් තිබෙනවා. ඔහුගේ ලිපි කියැවීමෙන් අපේ රටේ බහුලව පැතිර ඇති ළිං මැඩි මානසිකත්වයෙන් අත්මිදිය හැකියි.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිවල මා දකින තවත් වැදගත් ගුණාංගයක් නම් ලේඛකයා කිසිදු මතයක් හෝ විග‍්‍රහයක් හෝ සඳහා අනවශ්‍ය ලෙස පෙනී නොසිටිම. මෙය අපේ මාධ්‍යවල දුර්ලභයි. බොහෝ අය තැත් කරන්නේ තමන් කියන දේ පමණක් නිවැරදි යයි ඒත්තු ගන්වන්න. එහෙත් නාලක කරන්නේ අපට හිතන්නට ඇති තරම් කරුණු හා මානයන් සපයා දී අපේ විග‍්‍රහයන් අපටම කළ හැකි තැනකට අප කැඳවා ගෙන යාමයි.

එසේම විද්‍යා, කලා, මාධ්‍ය හැම ක්‍ෂෙත‍්‍රයකටම පැතිර පවතින අධිපතිවාදී මතවලට ඔහු නිතර අභියෝග කරනවා. එසේ කරන්නේ සියුම්ව හා ආචාරශීලීව ප‍්‍රතිතර්ක ගොනු කිරීමෙන්.

Photo by Buddhini Ekanayake
Photo by Buddhini Ekanayake

සිවුමංසල කොලූගැටයා #190: දුෂණයට එරෙහි ඉන්දියානු ජන අවිය: බින්දුවේ නෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I describe the Zero Rupee Note, an innovative effort developed by activists in India to fight systemic political corruption.

The notes, which have no monetary value but carry a moral power, are paid in protest by angry citizens to government servants who solicit bribes in return for services which are supposed to be free.

See also: Paying Zero for Public Services (on World Bank blog)

Zero Rupee Note
Zero Rupee Note

අයථා ලෙස ඉමහත් වත්කම් සම්භාරයක් රැස් කර ගැනීම පිළිබඳව චෝදනා සනාථ වී තමිල්නාඩුවේ මහ ඇමතිනී ජයලලිතා වසර හතරක සිර දඬුවමක් ලැබුවා. කෝටි 100ක දඩයක් ද ගෙවීමට නියම වුණා.

මේ තීන්දුව ලැබුණේ වසර 18ක් තිස්සේ ඇදී ගිය දීර්ඝ නඩු විභාගයකින් පසුවයි. එහෙත් කල් ගත වී හෝ දුෂිත දේශපාලකයකු නීතියේ රැහැනට කොටු වීම ගැන ඉන්දියාව පුරාත් සෙසු දකුණු ආසියානු රටවලත් මහජන ප‍්‍රමෝදයක් මතු වුණා. අංග සම්පූර්ණ නොවුණත්, අඩු පාඩු ඇතත් ඉන්දියාවේ අධිකරණ ස්වාධීනත්වය පවතින බවට මේ නඩු තීන්දුව උදාහරණයක්.

දුෂණ චෝදනා එල්ල වී සාක්ෂි මතු වූ විට ප‍්‍රාන්ත හෝ මධ්‍යම රජයේ ඇමතිවරුන් ප‍්‍රශ්න කිරිමට ඉන්දීය අපරාධ විමර්ශකයන් පසුබට වන්නේ නැහැ. මහා පරිමාණයෙන් රාජ්‍ය දේපල වංචා කිරීමේ චෝදනා එක පිට එක ලැබූ කොංග‍්‍රස් ප‍්‍රමුඛ සන්ධාන රජය දශකයක පාලන කාලයකින් පසුව 2014 අපේ‍්‍රල් මැතිවරණයෙන් අන්ත පරාජයක් ලැබුවා. එයට හේතු ගණනාවක් මුල් වුණත්, දුෂණය පිළිබඳ ඉන්දීය මහජන පිළිකුළ හා විරෝධය එම මැතිවරණයේදී ප‍්‍රබල සාධකයක් වූවා යැයි කිව හැකියි.

ගෙවී ගිය වසර තුන හතරක කාලය තුළ දේශපාලකයන් හා නිලධාරීන් දුෂණය, අල්ලස හා පොදු දේපල වංචනික ලෙස සතු කර ගැනීමට එරෙහිව ඉන්දියාවේ මධ්‍යම පාංතිකයන්ගෙන් ප‍්‍රබල විරෝධයක් මතුව ආවා.

දුෂණය එරට අළුත් සංසිද්ධියක් නොවෙයි. එහෙත් එය මහා පරිමාණයෙන් හා වඩාත් පුළුල්ව සිදු වීමට පටන් ගත්තේ 1991දී ආර්ථික ප‍්‍රතිපත්ති වඩාත් ලිහිල් කිරීමෙන් පසුව බව ඇතැම් ඉන්දියානුවන්ගේ විශ්වාසයයි. එසේම දුෂණයට එරෙහිව හඬක් නැගීමට හැකියාව හා ඉදිරිපත් වීම ඇති මධ්‍යම පංතියක් වඩාත් ප‍්‍රබලව මතුව ආයේත් මේ ආර්ථික ප‍්‍රතිසංස්කරණ නිසාම යැයි තර්ක කළ හැකියි. පෙර මෙන් පාලකයන්ගේ ඕනෑම අකටයුත්තක් ඔහේ විඳ දරා ගන්නට අද ඉන්දියානුවන් සූදානම් නැහැ.

2011දී අන්නා හසාරේ සමාජ ක‍්‍රියාකාරිකයා බිම් මට්ටමෙන් නායකත්වය දුන්නේ මේ දුෂණ විරෝධයටයි. සිවිල් සමාජ අරගලයන් හරහා දුෂණ විරෝධය දිගටම ක‍්‍රියාත්මක වනවා. එබඳු ව්‍යායාමයක් නම් රුපියල් බින්දුවේ නෝට්ටුවයි (Zero Rupee Note).

බින්දුවේ නෝට්ටුව හඳුන්වා දුන්නේ 2007දී දුෂණයට එරෙහි ජනතා සංවිධානයක් වන 5 වන කුළුණ (5th Pillar) විසින්. එහෙත් ඒ සංකල්පය 2001දී යෝජනා කළේ අමෙරිකාවේ මේරිලන්ඞ් සරසවියේ භෞතික විද්‍යා මහාචාර්යවරයකු ලෙස සේවය කරන ඉන්දියානු ජාතික සතින්දර් මොහාන් භගත්.

නිවාඩුවක් ගත කිරීමට මවු රටට ගිය විටෙක රජයේ ඕනෑම කාර්යාලයකින් ඕනෑම වැඩක් කර ගන්නට ලොකු කුඩා නිලධාරින්ට යම් අල්ලසක් දිය යුතු බව අත්දැකීමෙන් දැන ගත් ඔහු මෙබඳු අවස්ථාවල අසරණ වන මහජනයාට උදව්වට එන සරල අවියක් ලෙස බින්දුවේ නෝට්ටුව නිර්මාණය කළා.

Corruption in India: Wikipedia entry

මහජන මුදලින් නඩත්තු කරන රාජ්‍ය ආයතනවල මහජනයාගෙන් වැටුප් ලබන නිලධාරින් හා සෙසු රාජ්‍ය සේවකයන් අත යටින් යමක් ඉල්ලූ විට මුවින් නොබැන ඔවුන්ට දීමට මේ නෝට්ටුව යොදා ගන්නැයි දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයෝ එරට ජනතාවට කියනවා.

බින්දුවේ නෝට්ටුව ඉන්දියාවේ වත්මන් රුපියල් 50 නෝට්ටුවේ ඉදිරිපස පෙනුමට සමානයි. එහෙත් ප‍්‍රමාණයෙන් එය රුපියල් දහසේ නෝට්ටුවටත් වඩා ටිකක් විශාලයි.

ගාන්ධිතුමාගේ රූපයට සමීපව ලොකු අකුරෙන් මුද්‍රණය කර ඇත්තේ ‘හැම තරාතිරමකම දුෂණය පිටුදකින්න’ (ELIMINATE CORRUPTION AT ALL LEVELS) යන උද්‍යොග පාඨයයි.

එරට මහ බැංකුව මුදල් නෝට්ටුවල යොදන නිල ප‍්‍රකාශය වෙනුවට එතැන මේ වැකිය මුද්‍රණය කොට තිබෙනවා. I PROMISE TO NEITHER ACCEPT NOR GIVE BRIBE (අල්ලසක් ලැබීමට හෝ දීමට හෝ එරෙහිව මම ප‍්‍රතිඥා දෙමි).

නෝට්ටුවේ පිටත පැත්තේ එය නිකුත් කරන ආයතන සමග සන්නිවේදනය කළ හැකි තොරතුරුත්, තොරතුරු දැන ගැනීමේ මහජන අයිතිය තහවුරු කරන ඉන්දියානු නීතිය ගැන කෙටි සඳහනකුත් තිබෙනවා. එසේම ‘මෙය මුදල් නෝට්ටුවක් නොවේ’ යන්න පැහැදිලිව මුද්‍රණය කොට තිබෙනවා.

මේ නෝට්ටුවලට කිසිදු මූල්‍යමය අගයක් නැහැ. එය භාවිතා කිරිම හරියට පත‍්‍රිකාවක් හෝ තුණ්ඩුවක් හෝ භාවිතයට සමානයි. තනි තනිව අල්ලසට එරෙහි වනවාට අමතරව රාජ්‍ය ක්‍ෂෙත‍්‍රය වසා පිළිකාවක් ලෙස පැතිර ඇති දුෂණයට එරෙහිව ජනතාව පෙළ ගැසෙන බවට ද බින්දුවේ නෝට්ටු ප‍්‍රබල සංඥාවක්.

සාමාන්‍යයෙන් දුෂිත නිලධාරින් හා සුළු සේවකයන් අල්ලස් පැතිම හා ඉල්ලා බල කිරීම කරන්නේ මහජනතාවට එයට එරෙහි වීමට විකල්පයක් නැතැයි සිතමින්. එහෙත් ජනතාව බලාත්මක වී, සංවිධානය වී හඬක් නගන විට රාජ්‍ය සේවකයන් තිගැස්මකට පත් වී අල්ලස් පැතීම අඩු වන බව ඉන්දියානු ක‍්‍රියාකාරිකයෝ වසර කිහිපයක අත්දැකීම් අනුව පෙන්වා දෙනවා.

2007දී බෙදා හැරීම අරඹා 2014 අගෝස්තු වන විට මෙම බින්දුවේ නෝට්ටු මිලියන් 2.5ක් පමණ ඉන්දියානු භාෂා 22කින් නිකුත් කොට තිබෙනවා. එරට මුදල් නෝට්ටු හා කාසි නිකුත් කිරීමේ නිල බලය ඇති මහ බැංකුව මෙයට විරෝධයක් දක්වා නැහැ.

බින්දුවේ නෝට්ටුවේ බලය ඇත්තේ එහි සංකේතාත්මක බවෙහියි. නිල කාරියක් ඉටු කර දීමට නොනිල ගෙවීම් පතන බොහෝ රාජ්‍ය සේවකයන් එය කරන්නේ වක‍්‍රාකාරයෙන් ඇඟවීම් හරහා බවත්, එබඳු අවස්ථාවක මේ මුදල් නෝට්ටුවක් හෝ දෙක තුනක් දීමෙන් මුවින් නොබැනම තම ප‍්‍රතිපත්තිමය ස්ථාවර ප‍්‍රකාශ කිරීමට මහජනයාට හැකි බවත් මෙහි ප‍්‍රවර්ධකයන් කියනවා.

Vijay Anand
Vijay Anand

පස්වන කුළුණේ ආරම්භක විජේ ආනන්ද් මෙය හඳුන්වන්නේ සහයෝගීතාව නොදීම සඳහා වන අවිහිංසාවාදී මෙවලමක් හැටියටයි. මේ නෝට්ටු සාර්ථක ලෙස යොදා ගෙන, අනවශ්‍ය ගැටුම් හෝ ප‍්‍රශ්නවලට නොගොස් හීන් සීරුවේ තමන්ගේ නිල අවශ්‍යතාවය ඉටු කර ගත් (එහෙත් අල්ලසක් නොගෙවූ) අවස්ථා දහස් ගණනක් ඉන්දියානු පුරවැසියන් වාර්තා කර තිබෙනවා.

“බොහෝ රාජ්‍ය සේවකයන් මේ නෝට්ටු දුටු වට චකිතයට පත් වනවා. වැඩි කථා බහක් නැතිව අපේ වැඬේ ඉටු කර දෙනවා. ඇත්තටම අපටත් ඕනෑ එපමණයි,” එක් ක‍්‍රියාකාරිකයෙක් තම අත්දැකීම විස්තර කළේ එලෙසයි.

අල්ලසක් ඉල්ලීම හා දීම ඉන්දියානු නීතියෙන් සපුරා තහනම්. එහෙත් එය බහුලව සිදු වනවා. 2005දී ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් නම් දුෂණ විරෝධී ආයතනය කළ සමීක්‍ෂණයක් හෙළි කළේ ඉන්දියානුවන්ගෙන් 62%ක් දෙනාට පගාවක් දීමට සිදුවීමේ සෘජු අත්දැකීම් තිබෙන බවයි. (එම සමීක්‍ෂණයට ඉන්දියානු ප‍්‍රාන්ත 20ක 14,405 දෙනකුගේ මත විමසනු ලැබුවා.)

The Zero Rupee Note: Vijay Anand at TEDxLeeds

මහා පරිමානයේ දුෂණ ඉහළ තලයේ සිදු වන අතර කුඩා පරිමානයේ දුෂණ ද අධික වී ඇති බවත්, සාමාන්‍ය ජනයා වඩාත් තලා පෙලන්නේ මේ සිල්ලර මට්ටමේ දුෂණ බවත් ඒ ගැන අධ්‍යයන කරන පර්යේෂකයෝ කියනවා.

ඉන්දියාවේ සමීක්‍ෂණවලදී වඩාත්ම දුෂිත යයි ජනයා කියා සිටින්නේ පොලිසිය, ඉඩම් පරිපාලකයන්, අධිකරණ තන්ත‍්‍රය, පලාත් පාලන ආයතන, විදුලිබල සැපයුම් තන්ත‍්‍රය හා රජයේ රෝහල් පද්ධතියයි. එසේම ප‍්‍රාථමික ශ්‍රේණිවලදී පාසල් අධ්‍යාපන ක්‍ෂෙත‍්‍රයේ ද දුෂණ හා අල්ලස් ගැනීම ප‍්‍රචලිත බව 45%ක් දෙනා සමීක්‍ෂණයන්ට කියා තිබෙනවා.

පස්වන කුළුණ සංවිධානය ගණන් බලා ඇති අන්දමට ඉන්දියාවේ (මධ්‍යම හා ප‍්‍රාන්ත) රාජ්‍ය සතු දහස් ගණනක් ආයතනවලින් මහජන සේවා ලබා ගැනීමට ඉන්දියානු මහජනයා දෙන සුළු හා මධ්‍යම පරිමානයේ අල්ලස්වල වටිනාකම වසරකට ඩොලර් බිලියන් 5ක් පමණ වනවා.

”අල්ලස් පතන බොහෝ රාජ්‍ය සේවකයෝ එය හෙළිදරවු වනවාට බියයි. විනය පරික්‍ෂණවලට මුහුණ දී අපකීර්තියට පත් වන නිසා. එසේම වැඩක් කරවා ගන්නට රජයේ කාර්යාලයකට යන සාමාන්‍ය ජනයා ද නිලධාරින්ට බියයි. ඔවුන් සමග තර්ක කරන්නට යන්නේ ටික දෙනයි. මේ නිසා අවිහිංසාවාදී ලෙස දුෂණයට එරෙහි වීමට බින්දුවේ නෝට්ටුව හරහා ඉඩක් ලැබෙනවා’’ යයි එහි ප‍්‍රවර්ධකයෝ කියනවා.

මෙයට අමතරව බින්දුවේ නෝට්ටුවේ රූප විශාල පරිමානයේ බැනර් ලෙස පාසල් හා පොදු ස්ථානවල ප‍්‍රදර්ශනය කැරෙනවා. ”අල්ලස ශූන්‍ය කරමු. එයට මගේ සහයෝගය’ (“Zero corruption: I will neither receive nor give bribes”) යන ප‍්‍රකාශයට ලක්‍ෂ ගණනක් බාල මහලූ ඉන්දියානුවන් අත්සන් කොට තිබෙනවා. ලෙහෙසියට, පහසුවට පෝලිම් පනින්නට හෝ අයථා වැඩකට රාජ්‍ය සේවකයන්ට නොනිල ගෙවීම් නොකරන බවට පාසල් යන වියේ පටන් සිසුන්ට ප‍්‍රතිඥාවක් සකසා තිබෙනවා.

මේ වන විට මෙම සංකල්පය රටවල් ගණනාවක දුෂණ විරෝධී ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා.

2013 නොවැම්බ මාසයේ මැලේසියාවේ දුෂණ හා වංචා වලට එරෙහි රාජ්‍ය කොමිසමේ නිලධාරීන් තිදෙනෙකු ද චෙන්නායි නුවරට ගොස් විජේ ආනන්ද් ඇතුළු පිරිස මුණ ගැසී උපදෙස් ලබා ගත්තා. රාජ්‍ය නොවන සංවිධානයක් (ඔව්, NGO එකක්!) වන පස්වන කුළුණෙන් හොඳ දෙයක් ගැන උගෙනීමට තරම් මැලේසියානු රාජ්‍ය නිලධාරීන් නිහතමානියි. මෙය නිල වශයෙන්ම එරට අරඹන්නට ඔවුන්ට ඕනෑකම තිබෙනවා.

ආර්ජෙන්ටිනාව, නේපාලය, මෙක්සිකෝව, බෙනින් යන රටවල් ද බින්දුවේ නෝට්ටුවේ වසර කිහිපයක අත්දැකීම් ගැන ඉන්දියානු ක‍්‍රියාකාරිකයන්ගෙන් තොරතුරු ලබා ගෙන තිබෙනවා. මේ අතර ලෝකයේ අල්ලස හා දුෂණය ප‍්‍රබලව හමුවන යේමනයේ මෙයට සමාන ව්‍යාපෘතියක් 2014දී ක‍්‍රියාත්මක වනවා. ඒ සඳහා එරට මුදල් නෝට්ටුව ආශ‍්‍රයෙන් නිර්මාණය කල ‘‘අවංක රියාල්’’ (Honest Riyals) දහස් ගණනක් දැනටමත් පාසැල් හා සරවිවල බෙදා හැර තිබෙනවා.

දැඩි බලහත්කාරකමින් හෝ ගිනි අවි පෙන්වා හෝ අල්ලස් ඉල්ලන රටවල ‘‘බින්දුවේ නෝටුව’’ වැනි අවිහිංසක විරෝධයක් සාර්ථක වන්නේ නැහැ. එහෙත් ජනමතය හා තමන්ගේ ප‍්‍රතිරූපය ගැන රාජ්‍ය නිළධරීන් හා සෙසු රාජ්‍ය සේවකයන් තරමක් හෝ තැකීමක් කරන ජන සමාජ වල නම් මෙය සාර්ථකව හා උපක‍්‍රමශීලිව යොදා ගත හැකයි.

පස්වන කුළුන ඇතුළු ඉන්දියානු ජන සංවිධාන මේ ක‍්‍රියාකාරකම්වල රාමුව ලෙස යොදා ගන්නේ 2005දී හඳුන්වා දුන් තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳව පනතයි. මේ හරහා ඕනෑම මධ්‍යම, ප‍්‍රාන්ත හෝ පළාත් පාලන ආයතනයක වියදම් හා වෙනත් තොරතුරු ඉල්ලා සිටීමට හා නියමිත දින ගණනක් තුළ ලැබීමට සෑම ඉන්දියානු පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා. ඒ සඳහා පැහැදිලි ක‍්‍රමවේදයක් නීතියෙන් සකසා තිබෙනවා.

බින්දුවේ නෝට්ටුවක් අල්ලස් පතන රාජ්‍ය නිළධාරියෙකුට දීමෙන් සංකේතවත් වන්නේ අල්ලසට එරෙහි පුළුල් ජන ව්‍යාපාරයක තමන් ද කොටස් කරුවෙකු බවයි. තමා හමුවට එන බැලූ බැල්මට අසරණ යයි පෙනෙන තනි පුද්ගලයන්ගෙන් ගතමනාව ඉල්ලන බොහෝ නිලධාරීන් සාමූහික විරෝධයකට බයයි.

මෙබන්දක් ශ‍්‍රී ලංකාවේත් ක‍්‍රියාත්මක කළ හැකිද? එසේ වුව හොත් අපේ රාජ්‍ය සේවකයන්ගේ ප‍්‍රතිචාරය කෙබඳු වේද? තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතියෙන් තහවුරු කොට නැති, මහජනතාවගෙන් වැටුප් ලැබුවත් ජනතාවට වග වීමට කැප වී නැති අපේ රාජ්‍ය සේවය කෙසේ නම් අල්ලස හා දුෂණයේ ග‍්‍රහණයෙන් මුදවා ගත හැකිද? අපේ රාජ්‍ය නිලධාරීන් NGOවලට මෙතරම් ගරහන්නේ මෙබඳු ඉන්දියානු ආදර්ශ මෙහි පැතිරේ යයි බියෙන්වත්ද?

The Zero Rupee Note – A Short Film

 

සිවුමංසල කොලූගැටයා #189: ලෝක දේශපාලනය කළඹන නොබෙල් සාම ත්‍යාගය

The selection of Nobel Peace Prize laureate often stirs more debate than all other Nobel prizes (in chemistry, physics, medicine, literature and economics) combined. The peace prize remains an essentially political one, reflecting the reality that most conflicts — and their resolution — are largely influenced by political considerations.

Members of the Norwegian Nobel Committee, all Norwegian nationals, may not be too well known beyond their country. Yet their annual selection reverberates around the world.

Five years ago, on a visit to the Norwegian capital, I listened to a talk by Dr Geir Lundestad, a historian who is Director of the Nobel Institute in Oslo and secretary to the Norwegian Nobel Committee. He gave some interesting insights into the legacy and limitations of the prize. I share these in my latest Ravaya column (in Sinhala) just as the winners of Nobel Peace Prize 2014 are to be announced this week.

I wrote on the same topic in English in Oct 2013 (not a translation!): When Worlds Collide #87: Nobel Peace Prize – Saluting peace-makers or stirring political controversy?

Nobel Prize medal

හැම වසරකම නොබෙල් ත්‍යාගලාභීන් ගැන නිවේදනය නිකුත් කරන්නේ ඔක්තෝබර් මාසයේ.

ස්වීඩන් ජාතික නිපැයුම්කරු ඇල්ෆ‍්‍රඞ් නොබෙල්ගේ අන්තිම කැමැත්තට අනුව ක්‍ෂෙත‍්‍ර 5ක නොබෙල් ත්‍යාග පිරිනැමීම 1901දී ඇරැඹුණා. එම ක්‍ෂෙත‍්‍ර නම් සාහිත්‍යය, ලෝක සාමය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව. 1968 සිට ආර්ථික විද්‍යාව සඳහා ද ත්‍යාගයක් පිරිනැමෙනෙවා.

මේ ත්‍යාග අතරින් වැඩිපුරම මහජන හා මාධ්‍ය අවධානයට ලක් වන්නේත්, බොහෝ වසරවල ආන්දෝලනයට තුඩු දෙන්නෙත් නොබෙල් සාම ත්‍යාගයයි. මේ නිසා එහි ඉතිහාසය ගැන මදක් විපරම් කර බලමු.

2014 නොබෙල් සාම තා්‍යාගය ඔක්තෝබර් 10 වනදා නෝර්වේ රටේ ඔස්ලෝ නුවරදී නෝරිජියානු නොබෙල් කමිටුව විසින් නිවේදනය කිරීමට නියමිතයි. මේ ලිපිය ලියැවෙන්නේ එයට පෙර 2013 දක්වා සාම ත්‍යාග පිළිබඳ තොරතුරු පදනම් කර ගෙනයි.

Alfred Nobel
Alfred Nobel

නොබෙල්ගේ නිර්දේශය වූයේ සෙසු නොබෙල් ත්‍යාගලාභීන් තම මවුරට වූ ස්වීඩනයේ විද්වත් ආයතන විසින් තෝරන අතර සාම ත්‍යාගය පමණක් අසල්වැසි නෝර්වේ රටේ පාර්ලිමේන්තුව මගින් පත් කරන ස්වාධීන විද්වත් කමිටුවක් විසින් තෝරා ගත යුතු බවයි. තම රටේ පාර්ලිමේන්තුව ගැන එතරම් විශ්වාසයක් ඔහුට නොතිබෙන්නට ඇති.

ඔහු කියා තිබුණේ සාම ත්‍යාගය ලබන්නා ගෙවී ගිය වසරේ (හෝ වසර කිහිපයක් පුරා) ජාතීන් අතර සාමය හා සහජීවනය ප‍්‍රවර්ධනය කරන්නත්, ජාතික හමුදා විසුරුවා හරින්නත්, සාමය පිළිබඳ සමුළු පවත්වන්නත් වැඩිපුර හෝ වැදගත් කාර්ය භාරයක් ඉටු කර තිබිය යුතු බවයි.

මේ පුළුල් නිර්නායක විග‍්‍රහ කරමින් අසීරු තෝරා ගැනීම කරන්නේ නෝර්විජියානු නොබෙල් කමිටුවයි (Norwegian Nobel Committee). එහි සාමාජිකයන් නෝර්වේ රටේ සරසවි ඇදුරන්, පර්යේෂකයන් හා සෙසු විද්වතුන්. ඔවුන් නාමධාරින් නොවෙයි. එහෙත් ඔවුන්ගේ තීරණය ලොව පුරා විවාදයට ලක්වනවා.

නොබෙල් සාම ත්‍යාග රීතිවලට අනුව ත්‍යාගය එක් අයකුට, දෙදෙනකුට හෝ තිදෙනකුට දිය හැකියි. මේ ත්‍යාගලාභීන් පුද්ගලයන් හෝ ආයතන හෝ විය හැකියි. එක ත්‍යාගයක් තිදෙනකුට වැඩි සංඛ්‍යාවකට දිය නොහැකියි.

තනි ත්‍යාගලාභීන්ට අවස්ථා 64කදීත්, හවුල් ත්‍යාගලාභීන් දෙදෙනකුට අවස්ථා 28දීත් නොබෙල් සාම ත්‍යාගය ලබා දී තිබෙනවා. තිදෙනකුට සමව ලැබී ඇත්තේ දෙවතාවක පමණයි (1994 හා 2011).

List of all Nobel Peace Prize Laureates

2013දී නොබෙල් සාම ත්‍යාග ලාභියාට ස්වීඩන් ක්‍රෝනර් මිලියන් 10ක් (අමෙරිකානු ඩොලර් මිලියන් 1.4ක් හෝ ශ‍්‍රී ලංකා රුපියල් 178,861,000ක් පමණ) ලැබුණා. ඒ සමග ඩිප්ලෝමා නම් වන ත්‍යාග ප‍්‍රකාශයක් හා පදක්කමක් ද ලැබෙනවා. මෙය පිරිනමන්නේ වසරේ දෙසැම්බර් 10 වනදා ඔස්ලෝ නුවර නගර ශාලාවේදී. නෝර්වේ රජතුමා එහි මුලසුන හොබවනවා.

2013 ඇතුලූව මේ වන විට නොබෙල් සාම ත්‍යාගය පුද්ගලයන් 101 දෙනකුට හා සංවිධාන 25කට ලැබී තිබෙනවා. මුල්ම සාම ත්‍යාගය 1901දී හිමි වූයේ රතු කුරුස ව්‍යාපාරයේ ආරම්භක ස්විස් ජාතික ෂන් හෙන්රි ඩුනාන්ට්හටයි. (19 වතාවකදී ත්‍යාගය කිසිවකුට පිරිනැමුණේ නැහැ. ඒ එම වසරවල අදාල නිර්නායක සපුරා ගත් සුදුසු ත්‍යාගලාභීන් නොසිටි නිසා. පළමු හා දෙවන ලෝක යුද්ධ වකවානුවල ඇතැම් වසරවලදී සාම ත්‍යාග පිරිනැමීම කෙරුණේ නැහැ. අවසන් වරට සාම ත්‍යාගයක් නොදීමේ තීරණය සිදු වූයේ 1972දී.)

නොබෙල් සාමත්‍යාගය මුල් වරට කාන්තාවකට හිමිවූයේ 1905දී. බර්තා ෆොන් සට්නර් Baroness Bertha Sophie Felicita von Suttner නම් ඔස්ටි‍්‍රයානු ජාතික සාම ක‍්‍රියාකාරිනියට. 2013 දක්වා ත්‍යාගය ලද පුද්ගලයන් 101 අතර කාන්තාවන් 15 දෙනකු සිටිනවා.

අප‍්‍රකට නෝර්විජියානු විද්වතුන් පස් දෙනකු ලෝක සාමය ගැන ජනමතයට බලපෑම් කරන මේ සාම ත්‍යාග තීරණය ගැනීම සාධාරණද? මේ ප‍්‍රශ්නය විටින් විට මතු වනවා.

Dr Geir Lundestad
Dr Geir Lundestad

මීට වසර කිහිපයකට පෙර ඔස්ලෝ නුවර සමුළුවකට ගිය අවස්ථාවේ නෝර්වීජියානු නොබෙල් කමිටුවේ ලේකම් හා නොබෙල් ආයතනයේ අධ්‍යක්‍ෂ ගියර් ලූන්ඩෙස්ටාඞ් (Dr Geir Lundestad) නම් නෝර්වීජියානු ඉතිහාසඥයාට සවන් දෙන්නත්, ඔහුගෙන් ප‍්‍රශ්න අසන්නත් මට අවස්ථාවක් ලැබුණා.

ලූන්ඩෙස්ටාඞ් කීවේ සාම ත්‍යාගය ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වය බහුල ලෝකයක අවිහිංසාවේ හා සංහිඳියාවේ පරමාදර්ශ නියෝජනය කරන්නට ගන්නා උත්සාහයක් බවයි.

‘‘නොබෙල් සාම ත්‍යාගයෙන් අප උත්සාහ කරන්නේ තම රටවල හා සමාජයන්හි සාමය හා සමාජ සාධාරණත්වය උදෙසා මහත් කැපවීමෙන් අරගල කරන පුද්ගලයන් හා සංවිධානවලට ගෞරව කිරීමයි. එබඳු අය දහස් ගණනක් අතුරෙන් අපට ලැබෙන නාමයෝජනා අනුව වඩාම සුදුසු ත්‍යාගලාභීන් තෝරා ගැනීම අසීරු කාර්යක්.’’

දැනටමත් දේශීයව හෝ ලෝක මට්ටමෙන් හෝ යම් පිළිගැනීමකට පාත‍්‍රව සිටින ත්‍යාගලාභීන්ට සාම ත්‍යාගය අමතර ගෞරවයක් වන අතර මේ දක්වා අප‍්‍රකටව එහෙත් කැපවීමෙන් කි‍්‍රයා කරන අයට සාම ත්‍යාගය හරහා ලෝක ව්‍යාප්ත පිළිගැනීමක් ලැබෙනවා. ඒ සමග ලොවටම තමන්ගේ අරගල ප‍්‍රකාශ කිරීමේ වේදිකාවක් බිහි වන බව ඔහුගේ විග‍්‍රහයයි. බොහෝ සමාජ අරගලයන්ට ඇති තරම් ජන අවධානය යොමු කර ගැනීම අපහසු වී ඇති අද කාලයේ මෙය ඉතා ප‍්‍රයෝජනවත්.

යුද්ධය හා ප‍්‍රචණ්ඩත්වය රටවල් අතර මෙන්ම රටවල් ඇතුළත ද හමුවනවා. සාමය, සංහිඳියාව හා සමාජ සාධාරණත්වය යනු සංකීර්ණය හා බහුවිධ මානයන් ඇති ප‍්‍රවාහයන්. මේවා හරිහැටි අධ්‍යයනය කොට අගැයීමට ලක් කිරීම ලොකු අභියෝගයක්.

නොබෙල් සාම ත්‍යාගලාභීන් තෝරා ගන්නේ ලොව පුරා නාමයෝජකයන් විසින් කරන නාමයෝජනා අතරින්. නාම යෝජකයකු වීම එතරම් අපහසු නැහැ. සියළු රටවල ජාතික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, සරසවි කුලපතිවරුන්, ඉතිහාසය, සමාජ විද්‍යාව, දර්ශන විද්‍යාව, නීතිය යන ක්‍ෂෙත‍්‍රවල විෂය ක්‍ෂෙත‍්‍රවල මහාචාර්යවරුන් සහ මීට පෙර ත්‍යාගය ලැබූ සියලූ දෙනාටත් තමන් රිසි පුද්ගලයකු හෝ ආයතනයක් හෝ සාම ත්‍යාගයට නාම යෝජනා කළ හැකියි. මේ සඳහා ක‍්‍රමවේදය නොබෙල් සාම ත්‍යාග වෙබ් අඩවියේ පැහැදිලිව දක්වා තිබෙනවා.

http://nobelpeaceprize.org/en_GB/nomination_intro/

‘‘නාම යෝජනාවක් කිරීම එතරම් සංකීර්ණ නැහැ. එසේම නාම යෝජනාවකට පාත‍්‍ර වීම සංකේතාත්මකව එතරම් වැදගත් කරුණක් ද නොවෙයි’’ ලූන්ඩෙස්ටාඞ් කියනවා. සමහර දෙනා තම හිතවතුන් හරහා වාර්ෂිකව තමන්ව නාම යෝජනා කර ගන්නවා. නාම යෝජනා භාර ගන්නා අවසන් දිනය වසරේ පෙබරවාරි 1. (2014 සඳහා නාමයෝජනා 278ක් ලැබුණා. එයින් 47ක් සංවිධාන.)

නාම යෝජිත පුද්ගලයන් හා ආයතනය ගැන ස්වාධීන විමර්ශන කිරීමට නොබෙල් කමිටුවේ කාර්ය මණ්ඩලයක් සිටිනවා. ඔවුන් නාම යෝජනාවල රහසිගත බව රැුක ගනිමින් තොරතුරු සොයා බලනවා. නොබෙල් කමිටුව විද්වත් උපදේශකයන් කිහිප දෙනකුගේ මත ද විමසනවා.

එහෙත් අවසාන තීරණය තනිකරම කමිටු සාමාජිකයන්ගේ. නෝර්වීජියානු පාර්ලිමේන්තුවට හෝ බලයේ සිටින රජයට හෝ මේ ක‍්‍රියාදාමයට බලපෑම් කළ නොහැකියි. එය ලොවට නිවේදනය කරන්නේ කමිටුවේ ලේකම්වරයා.

කෙතරම් සුපරීක්‍ෂාකාරිව හා අපක්‍ෂපාතව ක‍්‍රියා කළත් නොබෙල් සාම ත්‍යාගයට පරිපූර්ණ වාර්තාවක් නැති බව ලූන්ඩෙස්ටාඞ් අවංකව පිළිගන්නවා.

සමහර ත්‍යාගලාභින් පිළිබඳව ලෝක ව්‍යාප්ත ජනප‍්‍රසාදය මතු වුණා. 1967 අමෙරිකානු කළු ජන අයිතීන්ට අරගල කළ මාටින් ලූතර් කිං, 1979 තෙරේසා මවුතුමිය හා 1993 නෙල්සන් මැන්ඩෙලා ඒ ගණයට අයිතියි.

ලෝකයේ සමහර රටවල ‘ත‍්‍රස්තවාදී’ ලේබලය අලවනු ලැබූ පලස්තීන විමුක්ති ව්‍යාපාරයේ නායක යසර් අරෆත්ට 1994 ත්‍යාගයේ තුනෙන් එකක් හිමි වුණා. ඒ ඊශ‍්‍රායල අගමැති යිට්සක් රේබින් හා විදේශ ඇමති ෂිමෝන් පෙරස් සමග හවුලේ. මැදපෙරදිග සාමයට ඔවුන් ගත් උත්සාහයන් මේ ත්‍යාගයට හේතු වුණා.

එහෙත් මෑත වසරවල සමහරත්‍යාගයන් ප‍්‍රබල විවේචනයට ලක් වුණා. මුල් ධූර කාලය සඳහා තේරී පත් වූ අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාට ධූරයේ මාස කිහිපයක් කටයුතු කළ පසු 2009 ත්‍යාගය පිරිනැමීම බොහෝ දෙනාගේ විමතියට ලක් වුණා. එයට පෙර 2002දී ත්‍යාගයෙන් පිදුම් ලද හිටපු අමෙරිකානු ජනාධිපති ජිමී කාටර්ට එය ලැබුණේ ජීවිත කාලයක් සැබෑ මෙහෙවරක් කළ පසු වයස 82දී.

ආයතන හා සංවිධානවලට සාම ත්‍යාගය ලැබුණු විට එය එතරම් ආන්දෝලනයට තුඩු දෙන්නේ නැහැ. ලෝක රතු කුරුස සංගමයට (ICRC) එය තෙවරක් ලැබී තිබෙනවා (1963, 1944, 1917). සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට (UNHCR) එය දෙවරක් පිරිනැමුණා (1954, 1981). පසුගිය දෙවසරේම ත්‍යාගය ලැබුණෙත් ආයතනවලටයි. 2012දී යුරෝපා සංගමයටත්, 2013දී රසායනික අවි නීති විරෝධී කිරීම සඳහා සංවිධානයටත් (Organization for the Prohibition of Chemical Weapons, OPCW).

නොබෙල් සාම ත්‍යාග ඉතිහාසයේ බරපතලම දෝෂය ලෙස සැලකෙන්නේ 20 වන සියවසේ අහිංසාවාදයේ ප‍්‍රතිමූර්තිය වූ මහත්මා ගාන්ධිට ත්‍යාගයක් නොලැබීමයි. කිහිප විටක්ම (1937, 1938, 1939, 1947) ඔහු නාමයෝජනා ලැබුවත් එවකට සිටි නොබෙල් ත්‍යාග කමිටු ත්‍යාගයක් දුන්නේ නැහැ.

1984 ජනවාරි 30 වනදා ඔහු සාහසිකයකුගේ වෙඩි පහරින් මිය ගිය පසු යළිත් නාමයෝජිත වූවත් ත්‍යාගය ලැබුණේ නැහැ. මේ දෝෂය යම් තරමකට හෝ නොබෙල් කමිටුව පිළිගත්තේ 1989දී දලයිලාමා තුමාට ත්‍යාගය පිරිනැමූ අවස්ථාවෙයි.

Mahatma Gandhi, the Missing Laureate, by Øyvind Tønnesson, Nobelprize.org Peace Editor, 1998-2000

යුරෝපීය හා උතුරු අමෙරිකානු සම්භවයක් තිබූ පිරිමි ත්‍යාගලාභීන්ට බොහෝ කොටම සීමා වී තිබූ සාම ත්‍යාගය ගෝලීයකරණය වීම ඇරැඹුණේ 1960 ත්‍යාගය සමගයි.

දකුණු අප‍්‍රිකාවේ ජාතීන් අතර සමානාත්මතාවයට ගෙන ගිය අඩසියවසක අරගලයට නන් අයුරින් නායකත්වය දුන් ඇල්බට් ලූතුලි (1960) හා ආච්බිෂොප් ඩෙස්මන්ඞ් ටූටූ (1984) ත්‍යාගලාභීන් වීම ඔවුන්ට ලෝක ව්‍යප්ත ප‍්‍රතිරූපයක් ලබා දුන්නා. 1990-92 කාලය තුළ වර්ණභේදවාදය නිමා කිරීමට මහත් කැපවීමෙන් හා සීරුවෙන් ක‍්‍රියා කළ දකුණු අප‍්‍රිකාවේ අවසාන සුදු ජනාධිපති එෆ්. ඩබ්ලියු. ඩික්ලර්ක් හා නෙල්සන් මැන්ඩෙලාට 1993 ත්‍යාගය සම සේ පිරිනැමුණා.

‘‘දකුණු අප‍්‍රිකාවේ සම අයිතීන් දිනා ගත්තේ ඒ සඳහා ඉමහත් කැපවීමෙන් ක‍්‍රියා කළ බොහෝ දෙනෙකුගේ උත්සාහයන් නිසයි. ඔවුන් කිහිප දෙනෙකුට සාම ත්‍යාග දීමෙන් අප කළේ ඒ අරගලයට සහයෝගයක් දීම පමණයි,’’ ලූන්ඩෙස්ටාඞ් කියනවා.

සමහර අවස්ථාවල සාම ත්‍යාගලාභියා මෙන්ම එය පිරිනැමුණු වසර ද තීරණාත්මක වුවා. 1981දී ඇරැඹි පෝලන්ත කම්කරු ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් දිනා ගැනීමේ අරගලයට නායකත්වය දුන් ලෙක් වවෙන්සාට (Lech Walesa) 1983 ත්‍යාගය හිමිවුණා. ටිකෙන් ටික නැගී ආ ජන බලවේගයන් බලවත් වී නැගෙනහිර යුරෝපයේ කොමියුනිස්ට් ඒකාධිපති පාලන බිඳ වැටුණේ 1989-90දී. එයට වාවෙන්සාගේ සාම ත්‍යාගය ද යම් තල්ලූවක් දෙන්ට ඇති.

එසේම පෙරෙස්ත්‍රොයිකා (ප‍්‍රතිසංස්කරණ) හා ග්ලාස්නෝස්ට් (විවෘත බව) හරහා දරදඬු සෝවියට් පාලන තන්ත‍්‍රය නිමා කළ මිහායෙල් ගොර්බචෝෆ්ට 1990 ත්‍යාගය පිරිනැමුණා.

නොබෙල් සාම ත්‍යාගය සමාජවාදී පිළට එරෙහි වූවක් හා ධනවාදයේ අතකොළුවක් යන මතය වඩාත් ප‍්‍රබලව මතුව ආයේ මේ ත්‍යාගවලින් පසුවයි. එහෙත් ත්‍යාගයට දේශපාලන මතවාද ඉක්මවා යන මානුෂික හා මානව හිමිකම් දැක්මක් ඇතැයි ලූන්ඩෙස්ටාඞ් පෙන්වා දෙනවා.

දකුණු අප‍්‍රිකාවට අමතරව නැගෙනහිර ටිමෝරය, බුරුමය යන රටවල ද දේශපාලන ප‍්‍රතිසංස්කරණවලට සාම ත්‍යාගය යම් පමණකට උපකාර වූවා යයි කිව හැකියි.

ගැටුම් හා ප‍්‍රචණ්ඩත්වයට තුඩු දෙන සමාජ ආර්ථික සාධකවලට වැඩි අවධානයක් යොමු කිරීම 2000න් පසු පිරිනැමුණු සාම ත්‍යාගවල විශේෂත්වයක්. 2004දී කෙන්යාවේ සමාජ ක‍්‍රියාකාරිනී හා පරිසරවේදීනී වංගාරි මාතායිට (Wangaari Mathaai) ත්‍යාගය දුන්නේ අප‍්‍රිකාවේ පාරිසරික සංරක්‍ෂණයට කාන්තාවන් පෙළගැස්වීමේ පුරෝගාමී මෙහෙවර සඳහායි.

2006 දී බංග්ලාදේශයේ ආචාර්ය මොහමඞ් යුනුස් හා ඔහු ඇරැඹූ ග‍්‍රාමීන් බැංකුවට (Dr Muhammud Yunus and Grameen Bank) ත්‍යාගය ලැබුණේ දුගී බව දුරු කිරීමට ක්ෂුද්‍රණය හා ප‍්‍රජා සංවර්ධන කටයුතු පිළිබඳ ආකෘතියක් නවෝත්පාදනය කිරීම නිසායි.

නොබෙල් ත්‍යාග ඉතිහාසයේ මේ දක්වා ලාංකිකයකුට කිසිදු ත්‍යාගයක් හිමිවී නැහැ. එබන්දක් පිළිබඳ මෙරට ප‍්‍රචලිත දුර්මතයක් පහදා දිය යුතුයි.

2007 සාම ත්‍යාගය සම සේ බෙදී ගියෙ දේශගුණ විපර්යාසය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විද්වත් මඩුල්ල (Inter-governmental Panel on Climate Change, IPCC) හා හිටපු අමෙරිකානු උපජනාධිපති හා දේශගුණික ක‍්‍රියාකාරික ඇල් ගෝටර්ට (Al Gore). ත්‍යාගය ඔස්ලෝ නුවරදී ලබා ගත්තේ ෂඡුක්‍ක්‍ සභාපති ඉන්දියානු විද්‍යාඥ ආචාර්ය රාජේන්‍ද්‍ර පචෞරි (Dr Rajendra Pachauri) හා ඇල් ගෝර් දෙපළයි.

IPCC මඩුල්ලේ ලොව නන් රටවලින් විද්වත් බව මත තෝරා ගත් විද්‍යාඥයන් 2,500කට වඩා සිටිනවා. මේ සියලූ දෙනාට ඔස්ලෝ යාම ප‍්‍රායෝගික නොවූ නිසා එවකට එහි සිටි උප සභාපතිවරුන් සිවු දෙනාටත්, කණ්ඩායම් නායක විද්‍යාඥයන්ටත් විශේෂ ආරාධිතයන් ලෙස ත්‍යාග ප‍්‍රදාන උත්සවය ඇරැයුම් කෙරුණා. ඒ අනුව එවකට IPCC උපසභාපතිවරයකු වූ ලාංකික ඉංජිනේරු හා ආර්ථික විද්‍යාඥ ආචාර්ය මොහාන් මුණසිංහත් එහි ගියා.

එහෙත් උත්සවයට සම්බන්ධ වූ පමණින් ඔහු ත්‍යාගලාභියෙකු යයි කීම වැරදියි. මොහාන් මුණසිංහ 2007 නොබෙල් සාම ත්‍යාගයේ සමලාභියකු වීද යන්න මා 2008 සැප්තැම්බරයේ නොබෙල් ආයතනයට ගිය අවස්ථාවේ එක එල්ලේ විමසුවා. 2007 ත්‍යාගය පාර්ශවයන් දෙකක් අතර සම සේ බෙදී ගිය බවත්, එනම් ඇල් ගෝර් හා IPCC ආයතනය පමණක් බවත් ඔවුන් තහවුරු කළා.

මා හඳුනන හා ගරු කරන ආචාර්ය මුණසිංහට මේ ගෞරවය නැති වුණාට ලොව විවිධ රටවලින් ලැබුණු ගෞරවයන් රැසක් තිබෙනවා. ඔහු මෙරට සිටින කීර්තිමත් විද්වතකු බවට විවාදයක් නැහැ.

 

සිවුමංසල කොලූගැටයා #188: ලිංමැඩියා මර්දනය කෙසේ කළ හැකිද?

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Writing a foreword to my latest collection of Ravaya columns, titled ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ (Wanted: Time Bombs of the Mind!), researcher and public intellectual Dr Udan Fernando comments on two societal trends in post-war Sri Lanka (since 2009).

One is the indulgence — and even perverse ‘celebration’ — of insularity, conflating it for distinctiveness and cultural identity. This is found among certain academics, artistes and social activists.

The other is obsessive nostalgia for, and romanticising of, history – at least, a certain interpretation of historical events and processes. Never mind whatever problems of development and governance of today, these nostalgists seem to contend, we were once a great nation (or the greatest of all).

In my column (published in Ravaya newspaper, 5 October 2014), I discuss how best to counter insularity and unhealthy obsession with history. I also lament, as does Udan, the gradual decline of Lankans with bilingual or trilingual skills which enabled them to connect with each other and the wide world outside their island.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.

එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.

පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”

මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.

Dr Udan Fernando
Dr Udan Fernando

උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”

ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ. තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින් ගැන උදම් අනනවා. ලෝකය ගැන වඩාත් දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.

මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.

ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.

දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.

උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.

මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.

සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.

සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.

“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”

“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”

ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.

From L to R - A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera
From L to R – A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera

ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.

තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)

Groundviews.org, 19 Sep 2008: Remembering A J Gunawardana: A creative public intellectual

දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරක කේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.

ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.

වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!

අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)

10 February 2013: සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

ලිං මැඩියාවේ විවිධ පැතිකඩ කලින් කලට මෙරට ප‍්‍රචලිත වනවා. පුරා විද්‍යාත්මකව කිසිදු සාක්‍ෂියක් නැති ජනප‍්‍රවාදයක් වන රාවණා රජු හා ඔහුගේ හපන්කම් ගැන අද දවසේ සංසරණය වන කථා මෙයට උදාහරණයක්.

L to R - Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi
L to R – Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi

බොහෝ දෙනා තම රටේ ඉතිහාසය උල්ප්පා දැක්වීමට කැමතියි. එහෙත් අතිශයෝක්තියෙන් ඔබ්බට යන බෙහෙවින් අභව්‍ය සිදුවීම් අපට සැළකිය හැක්කේ ප‍්‍රබන්ධ හැටියට පමණයි. තමන් කැමති ඕනෑම ෆැන්ටසියක් ඇදහීමට පුද්ගල නිදහස ඇතත් එය යොදා ගෙන පොදු අවකාශයේ හා මාධ්‍ය හරහා ජනතාව නොගම යැවීම සාරධර්ම විරෝධීයි.

රාවණා ප‍්‍රවාදයන් ගැන මෙරට බොහෝ සැබෑ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් නිහඬව සිටින පසුබිමක කොළඹ සරසවියේ ඉතිහාසය පිළිබඳ පර්යේෂක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එය ප‍්‍රසිද්ධියේ විචාරයට ලක් කිරීම ඉතා වැදගත්. (2014 සැප් 14 රාවයේ පළ වූ ඔහුගේ ලිපිය කියවන්න.)

නිර්මාල් රංජිත් දේවසිරි හා ලියනගේ අමරකීර්ති වැනි ද්විභාෂික වියතුන් අපේ සරසවිවල දුර්ලභයි. ලිංමැඩියාව තවත් ප‍්‍රවර්ධනය කරන මධ්‍යස්ථාන බවට අපේ සරසවි පත්ව ඇත්තේ එනිසායි.