සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Social media and electionsIn this week’s Ravaya column (in Sinhala), published on 21 December 2014, I explore the nexus between media and elections, and in particular, the growing nexus between social media and election campaigns.

I also pose the question: Might the Presidential Election scheduled for 8 January 2015 be a turning point in social media use in Sri Lanka? As I write this in mid December, the campaigns are getting into speed and it’s too early to tell. But this aspect is definitely worth watching closely.

I refer to a recent Asian regional book, published by Konrad-Adenauer-Stiftung’s Asia Media Programme, based in Singapore. Titled ‘Social Media and Elections in Asia-Pacific: The Growing Power of the Youth Vote’ (November 2013), it brought together media researchers in 11 countries who probed how social media is reshaping electoral politics.

Chanuka Wattegama and I contributed the Sri Lanka chapter in the book. We probed whether the youth vote and social media made a difference in the Colombo Municipal Council (CMC) elections of October 2011. Our conclusion: “There is no unequivocal evidence to prove that the use of social media, on their own, significantly changed CMC election results. As with all election campaigns, the influences were many, varied and nuanced…”

I also discuss the impact of social media on the Indian General Election held in April – May 2014.

Social-Vote-Social-Election-e13693985145431

මැතිවරණ ව්‍යාපාරයක නැතහොත් කැම්පේන් එකක තීරකයන් සොයන්නේ තමන්ගේ අපේක්‍ෂකයා හා පක්‍ෂයේ පණිවුඩය වැඩිම ජන පිරිසක් අතරට ගෙන යාමටයි. මාධ්‍ය භාවිතය (මුදල් ගෙවා මෙන්ම නොගෙවා ලද හැකි මාධ්‍ය ආවරණ දෙවර්ගයම) එක් ප‍්‍රධාන ක‍්‍රමෝපායක්.

මාධ්‍ය දියුණු සමාජවල අද මැතිවරණවලදී වැඩිම වියදමක් යෙදවෙන්නේ දේශපාලන රැළි හෝ පත‍්‍රිකා හෝ වෙනත් වීදි ක‍්‍රියාවලට නොව මාධ්‍ය හරහා ජනතාවට සමීප වීමටයි. මේ නිසා දේශපාලන පක්‍ෂවල දැන්වීම් හරහා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට අති විශාල ආදායමක් ලැබෙනවා. එම ආදායම නිසාම එම මාධ්‍යවල කර්තෘ මණ්ඩල අන්තර්ගතයේ කැරෙන විග‍්‍රහයන් හා වාර්තාකරණය කෙතරම් දුරට අපක්‍ෂපාතී ද යන ප‍්‍රශ්නය මතු වනවා.

මෙරට මැතිවරණ හා ජනමාධ්‍ය අතර කලක සිට පැවත එන සමීප සබඳතාවක් තිබෙනවා.

ලේක්හවුස් ආයතනය පෞද්ගලික හිමිකරුවන් සතුව තිබියදී එම පත්තරත්, ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම හා දවස නිවසත් තම හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව යම් තරමකට පිළිබිඹු කළ සැටි ප‍්‍රකටයි. 1973 ලේක්හවුස් ජනසතු කිරීමෙන් පසු එය පවතින රජයේ ප‍්‍රචාරක මෙවලමක් බවට පත් වුණා. රජයේ රේඩියෝව කවදත් කළේ එයමයි. 1982දී ඇරැඹූ රූපවාහිනිය සත්‍යවාහිනියක් වේවා කියා එවකට සිටි ජනාධිපති ජයවර්ධන කීවත්, තවමත් ඒ පරමාදර්ශයට ළං වන්නට හැකි වී නැහැ.

1990 දශකයේ පෞද්ගලික රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ගණනාවක් බිහි වුව ද ඒ සඳහා විකාශ බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීම විවෘත ක‍්‍රමවේදයකට කිසිදු රජයක් විසින් මේ දක්වා නොකිරීම නිසා දේශපාලන හා වාණිජ ඕනෑකම්වලට අනුගත වූ නාලිකා අද ක‍්‍රියාත්මක වනවා. මේ නාලිකා අතරින් සමහරක් මැතිවරණ සමයේදී යම් තුලනයක් පවත්වා ගන්නට තැත් කළත් එහිදී ඔවුන්ට මතු වන ප‍්‍රායෝගික සීමා හා දුෂ්කරතා තිබෙනවා.

කිසිදු නිල පුවත් පාලනයක් මෙරට නැති වුව ද වක‍්‍ර ආකාරයෙන් පෞද්ගලික මාධ්‍යවලට බලපෑම් සිදු කැරෙන බව ප‍්‍රකටයි.

මෙසේ අඩුපාඩු හා දුර්වලතා සහිත ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට සමාන්තරව මෑත වසරවලදී වෙබ් ගත මාධ්‍ය දෙවර්ගයක් ද මතු වී තිබෙනවා. එකක් නම් දේශපාලන තොරතුරු හෝ ඕපාදුප බෙදා හරින පක්‍ෂග‍්‍රාහී වෙබ් අඩවි බිහි වීමයි. දෙවැන්න නම් කිසිදු දේශපාලන පක්‍ෂයකට නතු නොවූ, ඔවුන් මගින් පාලනය නොකෙරෙන බ්ලොග් රචකයන් හා (ට්විටර්, ෆේස්බුක් වැනි) වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසි මාධ්‍යකරුවන් පිරිසක් සක‍්‍රීය වීමයි.

ඩිජිටල් සාක්‍ෂරතාව ඇති හා ස්මාට්ෆෝන් හෝ පරිගණක හරහා වෙබ් පිවිසීමේ හැකියාව තිබෙන ඕනෑම කෙනකුට අඩු වියදමකින් හා පරිශ‍්‍රමයකින් නව මාධ්‍ය හරහා සන්නිවේදනය කළ හැකියි. මේ නිසා මෑතක් වන තුරු හුදෙක් පාඨකයන්, ශ‍්‍රාවකයන් හෝ පේ‍්‍රක්‍ෂකයන් ලෙස සිටි මාධ්‍ය ග‍්‍රාහකයන්ට අද කැමති නම් වෙබ් හරහා තම අදහස් ද ලොකු පිරිසකට එකවර බෙදා හැරීමේ හැකියාව තිබෙනවා.

කලින් කලට මැතිවරණ පවත්වන ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනිසියාව වැනි රටවල ජනමතයට යම් බලපෑමක් කිරීමට වෙබ් අවකාශයේ ඉහත කී දෙආකාරයේ ම වෙබ් සන්නිවේදන සමත්ව තිබෙනවා. මේ බලපෑම ඒ රටවල සෘජුව ඉන්ටර්නෙට් භාවිතා කරන ජන පිරිසට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට පුළුල් ජන සමාජයට පැතිරෙන බවත් හෙළි වී තිබෙනවා. එයට හේතුව ඉන්ටර්නෙට් හරහා තොරතුරු හා අදහස් ලබා ගන්නා අය වැඩි දෙනෙක් සමාජයේ ජනමතයට බලපෑම් කළ හැකි ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාකාරකයින් වීමයි.

නව මාධ්‍ය නිසා දේශපාලන පක්‍ෂයකට නොබැඳුණු සමාජ ක‍්‍රියාකාරිකයන්ට (social activists) මැතිවරණ කාලවලදීත්, අනෙක් අවස්ථාවලදීත් දේශපාලන ක‍්‍රියාදාමයේ මැදිහත්මක් කරන්නට ප‍්‍රායෝගික දැන් ඉඩක් සැළසෙනවා.

එය විවිධාකාරයෙන් මතු වනු දැකිය හැකියි. බ්ලොග්කරුවෝ ගවේෂණාත්මකව දේශපාලන ප‍්‍රශ්න විග‍්‍රහ කරනවා. දේශපාලන චරිත හා පිළිවෙත් නිර්දය විවේචනයට හා උපහාසයට ලක් කරනවා. ජාතික පුවත්පත්වලින් බහුතරයක දේශපාලන තීරු ලිපිවල ඕපාදුප හා ආගිය කථා පමණක් පළවන අද දවසේ ඓතිහාසික හා ෙසෙද්ධාන්තික දැක්මක් සහිතව වඩාත් ප‍්‍රශස්ත දේශපාලන විග‍්‍රහයන් වැඩිපුර හමු වන්නේ සමහර වෙබ් අඩවිවල හා බ්ලොග් අඩවිවලයි. (ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත්වල මෙන්ම වෙබ් අවකාශයේත් හරසුන් දේ හමු වන නිසා බොල් වී වලින් හොඳ වී වෙන් කර ගන්නට පාඨකයන්ට ඩිජිටල් සාක්‍ෂරතාවය අවශ්‍යයි.)

මේ අතර සමාජ මාධ්‍ය හරහා කෙටි, ඉක්මන් දේශපාලන සංවාද හා රූප විශාල වශයෙන් බෙදා ගනු ලබනවා. කොයි දේශපාලන පක්‍ෂයේත් කෙරුවාවේ පරස්පර විරෝධී තැන් හා වංචනික කථා හමුවනවා. සමාජ මාධ්‍ය හරහා සමහර පුරවැසියන් කරන්නේ මේවා නිර්දය ලෙස හාස්‍යයට ලක් කිරීමයි. මෑතක් වන තුරු වෘත්තීය දේශපාලන කාටූන් ශිල්පීන් පමණක් කළ දේ අද දුසිම් ගණන පුරවැසි මාධ්‍යකරුවන් කරන්නේ මීම් (web memes) නමැති හාස්‍යජනක වෙබ් රූප බිහි කර සංසරණය කිරීමෙන්.

මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට හරවත් දේශපාලන විග‍්‍රහයන් ලියන අතර බ්ලොග් ලියන පුරවැසි මාධ්‍යකරුවන් අතර ද පෙරමුණේ සිටින අජිත් පැරකුම් ජයසිංහ මීට දින කිහිපයකට පෙර කීවේ මෙයයි.

“විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මානය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මානය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මානය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද?…මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ.” (http://ravaya.lk/?p=5169)

මේ අදහසට මා මුළුමනින්ම එකඟයි. පිලූණු වූ සංඛ්‍යා ලේඛන මත පදනම් වූ හණමිටි අදහස් කර පින්නා ගත් අපේ බොහෝ සරසවි ඇදුරන්ට හා වෙනත් මාධ්‍ය පර්යේෂකයන්ට ගෝචර නොවන යථාර්ථයක් අජිත් හසු කර ගෙන තිබෙනවා.

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ සමාජ මාධ්‍ය ලකුණ හොඳහැටි සනිටුහන් කරන අවස්ථාව වේද? එය දැන්ම හරිහැටි කිව නොහැකි වුවත් ප‍්‍රධාන දෙපිළම නව මාධ්‍ය හරහා ඡුන්දදායකයන්ට සමීප වීමට සැළකිය යුතු තරම් අවධානයක් යොමු කරන බව නම් පෙනෙනවා.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverසිංගප්පූරුව කේන්‍ද්‍ර කර ගත් කොන්රඞ් ඇඩිනෝවර් පදනමේ ආසියා කලාපීය කාර්යාලය (Konrad Adenauer Stiftung’s Media Programme Asia) සමාජ මාධ්‍ය හා ආසියාවේ මැතිවරණ ගැන පර්යේෂණාත්මක ග‍්‍රන්ථයක් 2013 නොවැම්බරයේ නිකුත් කළා. Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote නම් වූ එහි අපේ කලාපයේ රටවල් 11ක් ගැන එම රටවල නිවැසි පර්යේෂකයන් විසින් ලියන ලද පරිච්ෙඡ්ද එහි ඇතුළත්.

මේ හැම පරිච්ෙඡ්දයක්ම විපරම් කරන්නේ වෙබ්ගත සමාජ මාධ්‍ය වඩාත් ප‍්‍රචලිත වීමත් සමග විශේෂයෙන් තරුණ පරපුර දේශපාලන ක‍්‍රියාදාමයට හා මැතිවරණවලට එම මාධ්‍යය යොදා ගන්නේ කෙලෙස ද යන්නයි. සමස්ත ග‍්‍රන්ථයම නොමිළේ මේ වෙබ් අඩවිය හරහා කියවිය හැකියි. http://www.kas.de/medien-asien/en/publications/35939/

එම පොතට පෙරවදනක් ලියමින් සම කතුවරුන් වූ ඇලිස්ටෙයා කාර්තෝ සහ සයිමන් වින්කල්මාන් මෙසේ කියනවා. “නව සන්නිවේදන තාක්‍ෂණයන් සමාජගත වීමත් සමග ලොව ඇතැම් රටවල අරාබි වසන්තය නමින් දැන් පොදුවේ හඳුන්වන ජන උද්ඝෝෂණ සිදු වුවත් එබන්දක් ආසියාවේ අප දුටුවේ නැහැ. එසේ අන්තයකට නොගියත්, ආසියාවේ බොහෝ රටවල තත්කාලීන දේශපාලන ප‍්‍රවාහයන්ට සෙමෙන් නමුත් වැදගත් බලපෑමක් කරන්නත්, විශේෂයෙන් මැතිවරණ අවස්ථාවලදී එයට තරුණ ඡන්දදායක සහභාගීත්වය පුළුල් කරන්නත් සමාජමාධ්‍යවල ව්‍යාප්තිය උපකාර වන බව පැහැදිලියි. මෙය අරාබි වසන්තයන් මෙන් විප්ලවකාරී වනවා වෙනුවට වඩාත් සියුම් හා ගැඹුරු අන්දමින් ආසියානු සමාජයන්හි දේශපාලන කටයුතුවල ක‍්‍රමීය වෙනසක් ඇති කිරීමට මුල පුරා තිබෙනවා. සමහරුන් තවම හරිහැටි තේරුම් ගෙන නැති වුවත් මේ වෙනස්කම් දිගු කාලීන සමාජ පරිනාමයක මුල් අවස්ථාවයි.

මේ පොතට ශ‍්‍රී ලංකාව ගැන පරිච්ෙඡ්දයක් ලිවීමේ ඇරැයුම ලැබුණු විට මා එයට මගේ මිතුරු චානුක වත්තේගම ද හවුල් කර ගත්තා. අප ආයතනගත පර්යේෂකයන් නොවුවත් නව මාධ්‍ය හා ලක් සමාජය ගැන 1990 දශකය මුල සිටම විමසිල්ලෙන් සිටින හා නිතර ඒ ගැන විග‍්‍රහයන් කරන අප දෙදෙනා සමාජ මාධ්‍යවල මෙරට භූමිකාව අධ්‍යයනය කරන්නේ විවෘත මනසකින්.

සමාජ මාධ්‍යවල නැගී ඒම මෑත කාලීන ප‍්‍රවණතාවක් නිසා අප විග‍්‍රහයට තෝරා ගත්තේ 2011 ඔක්තෝබරයේ පැවති පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභා මැතිවරණයයි. (පර්යේෂණාත්මකව එසේ එක් පැහැදිලි උදාහරණයක් තෝරා ගැනීම අවශ්‍යයි.)

කොළඹ නාගරික ප‍්‍රදේශයේ එවකට සිටි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 393,085යි. මෙරට වාණිජ අගනගරය ලෙස කොළඹට තවමත් ප‍්‍රබල භූමිකාවක් සතුව ඇති බැවින් එහි නගර සභා මැතිවරණය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූවා.

රටේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මිලින්ද මොරගොඩ නගරාධිපති අපේක්ෂක වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ජේ එම් මුසම්මිල් මැතිවරණ කටයුතු කළා.

මේ දෙපිරිසම වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් හා ට්විටර් ගිනුම් මේ සඳහාම අරඹා භාවිතා කළා. මොරගොඩ වෙනුවෙන් මෙරට කැපී පෙනෙන බ්ලොග්කරුවකු වන ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව මාධ්‍ය කළමණාකරු වීම හරහා නව මාධ්‍ය භාවිතයේ මින් පෙර මෙරට කිසිදු මැතිවරණයකදී නොකළ තරම් ඉදිරි පියවර තබනු ලැබුවා.

දෙපාර්ශවයේම නව මාධ්‍ය භාවිතය අප විචාරය කළ අතර පක්‍ෂ දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවූ එහෙත් යහපාලනය හා ප‍්‍රතිපත්තිමය දේශපාලනය ගැන උනන්දු වන ලාංකිකයන් පිරිසක් ද මැතිවරණයට පෙර සති කිහිපය තුළ සමාජ මාධ්‍ය හරහා මේ කැම්පේන් දෙක සමග පොදු අවකාශයේ සන්නිවේදනය කළ සැටි අපේ අධ්‍යයනයේ විශේෂ අවධානයට ලක් කළා.

සමාජ මාධ්‍යවල සුවිශේෂී ගුණයක් නම් අරමුදල් හෝ පිරිස් බලය හෝ සංවිධාන ශක්තිය හෝ නැති එහෙත් කැපවීම හා කාලය තිබෙන තනි පුද්ගලයන්ට ද දේශපාලන පක්‍ෂ හා චරිත සෘජුව විචාරයට ලක් කළ හැකි වීමයි. බඩගෝස්තරවාදී හා අශීලාචාර දේශපාලනය නිසා කලකිරීමෙන් සමස්ත දේශපාලන ක්‍ෂෙත‍්‍රයෙන් ඈත් වී සිටින තරුණ තරුණියන් අතරින් ටික දෙනකු හෝ මෙසේ නව මාධ්‍ය හරහා යළි සක‍්‍රීය වීම හිතකර ප‍්‍රවණතාවක් ලෙස චානුක හා මා දකිනවා.

මෙරට මැතිවරණ කැම්පේන්වල සමාජ මාධ්‍ය භාවිතය සිදු වන්නේ දේශපාලන රැළි, ගෙයින් ගෙට යාම, ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදීම, මුදල් ගෙවා මාධ්‍ය හරහා දැන්වීම පළ කිරීම ආදියට සමාන්තරවයි. මේ නිසා සමාජ මාධ්‍ය නිසාම මැතිවරණ ප‍්‍රතිඵලයක වෙනසක් සිදු වේ යයි එක එල්ලේ කීම අපහසුයි.

අවසාන විනිශ්චයේදී 2011 කොළඹ නගර සභා මැතිවරණ ප‍්‍රතිඵලයට සමාජ මාධ්‍ය කෙතරම් දායක වූවා ද යන්න පැහැදිලි නැහැ. එසේම එයට වැඩි බරක් තබා කැම්පේන් කළ මොරගොඩ පාර්ශවය පරාජයට පත් වූවා. එම පරාජයට දායක වූ වෙනත් හේතු තිබුණා.

අපේ විග‍්‍රහය අවසානයේදී අප කීවේ මෙයයි. “දේශපාලන පක්‍ෂ කේන්‍ද්‍රීය වූ කැම්පේන්වලට පමණක් සීමා නොවී ඩිජිටල් තාක්‍ෂණය හසුරු වන පුරවැසියන් පිරිසක් ද මැතිවරණ සන්නිවේදන අවකාශයට පිවිසීම හා ඔවුන් වෘත්තීය දේශපාලකයන් හැමගෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කිරීම මේ නගර සභා මැතිවරණයේ කැපී පෙනුණා. මේ ප‍්‍රවණතාව ඉදිරියට ජාතික මට්ටමේ මැතිවරණවලදීත් දිගටම සිදු වේද යන්න අප සමීපව නිරික්‍ෂණය කළ යුතුයි.” (http://goo.gl/a8ByOs)

සයිබර් අවකාශයේ වෙනස්වීම් සිදු වන්නේ අධිවේගී ලෙසින්. මේ නිසා කොළඹ නගර සභා මැතිවරණයෙන් පසු ගෙවී ගිය තෙවසර තුළ මෙරට ඉන්ටර්නෙට් පුළුල්වී තිබෙනවා. මේ නිසා 2015 ජනාධිපතිවරණයේදී මීට පෙර පැවති ජාතික මට්ටමේ මැතිවරණවලට (2010 ජනාධිපතිවරණය හා 2010 මහ මැතිවරණයට) වඩා නව මාධ්‍ය සාධකය අදාල වනු ඇති බව පැහැදිලියි.

එය අවසන් ප‍්‍රතිඵලවලට තීරණාත්මක බලපෑමක් එල්ල කිරිම ගැන කල් තබා කිව නොහැකි වුවත්, දේශපාලන සංවාද හා යහපාලන විවාදය වඩාත් සමාජගත කිරිමට මේ මාධ්‍යවලින් ද වැඩි දායකත්වයක් මෙවර සැපයෙන බව නම් දැනටම පැහැදිලියි.

ගෙවී යන 2014 වසර තුළ අපේ කලාපයේ (ජනගහනය අතින්) විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය දෙක දැවැන්ත මැතිවරණ අත්දැකීම් ලැබුවා. එනම් ඉන්දීය මහ මැතිවරණය හා ඉන්දුනීසියානු ජනාධිපතිවරණයයි. මේ දෙකෙහිදී නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනුනු ආකාරය විපරම් කිරිම වටිනවා.

Can social media influence the way people vote

ඉන්දියාවේ ඉන්ටර්නෙට් භාවිත කරන ජන සංඛ්‍යාව මිලියන් 243ක් පමණ වනවා. එය ජනගහනයෙ ප‍්‍රතිශතයක් ලෙස 19.2%‍ වුවත් එරට සමාජයට ප‍්‍රබල බලපෑමක් කිරීමට හැකි වී තිබෙනවා. මෙයට හේතුව හුදෙක් ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් ප‍්‍රවේශය ප‍්‍රචලිත වීම පමණක් නොවෙයි. එරට ජන සංයුතියට අනුව ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 26යි. ඒ කියන්නේ සමස්ත ඉන්දීය ජනගහනය වන මිලියන් 1,267න් බාගයක්ම (මිලියන් 634ක්) වයස 26 හෝ ඊට අඩුයි. මෙතරම් විශාල ළමා හා තරුණ ජනගහනක් මේ වන විට ලොව වෙන කිසිදු රටක නැහැ. (චීනයේ ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 35.2යි.)

2014 අපේ‍්‍රල්-මැයි කාලයේ සති කිහිපයක් පුරා අදියර ගණනාවකින් පැවැත් වූ ඉන්දියානු මහ මැතිවරණය ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වූ විශාලතම මැතිවරණයයි.

මෙවර ඡන්ද වරම හිමි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව මිලියන 814.5ක් වුණා. ඡන්දය දීමේ අවම වයස 18 පසු කළ මිලියන් 150ක් පමණ තරුණ තරුණියෝ ද ඒ අතර සිටියා. කොතැනක සිටියත් මේ අයගෙන් බහුතරයක් දෙනා අඩු තරමින් ජංගම දුරකථනයක් හිමි, බොහෝ විට වෙබ්ගත සමාජ මාධ්‍යවලට සම්බන්ධ වූවන්.

ජයග‍්‍රාහක BJP පක්‍ෂයේ මාධ්‍ය උපදේශකයකු වූ විකාස් පාණ්ඬේ කියන්නේ එරට නාගරික ප‍්‍රදේශවලින් ඔබ්බට ගොස් අර්ධ නාගරික හා සමහර විට ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවා ඡන්ද දායකයන්ට සමීප වීමට සමාජ මාධ්‍ය තමන්ට උපකාර වූ බවයි. එහිදී හැම කෙනෙකුටම ඉන්ටර්නෙට් සබඳතාවක් තිබීම කිසිසේත් අවශ්‍ය නොවූ අතර සිය ගණනක් සිටින ප‍්‍රජාවක එක් අයෙකුට (බොහෝ විට ජංගම දුරකථන නිසා) එම හැකියාව තිබීම හරහා බොහෝ තොරතුරු හා අදහස් ඔවුන් සියල්ල වෙත ගලා ගිය බව ඔහු කියනවා.

නිල මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්‍ෂය (BJP) ලැබූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 171,660,230යි (31.34%). දස වසක් බලයේ සිටි කොංග‍්‍රස් පක්‍ෂය ඡන්ද 106,935,942යි (19.52%). මෑතදී පිහිටුවා ගත් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්‍ෂය (AAP) රට පුරාම ලැබුවේ ඡුන්ද 11,325,625යි. එනම් 2%ක් පමණ.

Indian Election and Social Media

සමාජ මාධ්‍යවල ජනප‍්‍රිය බව (අනුගාමික සංඛ්‍යාව වැඩි වීම) කෙනෙකු ලබන ඡන්දවලට සෘජුව නොවූවත් අනියම් ලෙසින් ඉඟියක් ලද හැකි යයි සමහර ඉන්දීය මාධ්‍ය පර්යේෂකයෝ කියනවා. 2014 අපේ‍්‍රල් 19 – මැයි 18 කාලය තුළ සමාජ මාධ්‍ය තුළ ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් වටා සිදු වූ අන්තර්ක‍්‍රියා හා ඩිජිටල් සංවාද සංඛ්‍යාව ඔවුන් සමීපව අධ්‍යයනය කොට තිබෙනවා.

මැතිවරණයට සති ගණනකට පෙර කාලය පුරා සමාජ මාධ්‍ය ප‍්‍රවණතා අතින් AAP පක්‍ෂය ඉදිරියෙන් සිටියා. ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ හැකියාව ඇති දෙස් විදෙස් ඉන්දියානුවන් රැසකගේ ස්වේච්ඡා සහාය ලැබුණා. ලෝකයේ ලොකුම පරිගණක හා වෙබ් සමාගම්වල වෘත්තීය අත්දැකීම් ඇති මොවුන් සයිබර් අවකාශයේ චිත්තාකර්ෂනීය කැම්පේන් එකක් සාර්ථකව ගෙන ගියා.

ඉන්දියාවේ පැරණිතම හා නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කළ කොංග‍්‍රස් පක්‍ෂය සමාජ මාධ්‍ය එතරම් ගණන් නොගත් බවත්, ඔවුන් එය භාවිත කිරිම තීව‍්‍ර කළේ අවසාන සති කිහිපයේ පමණක් බවත් නායර් කියනවා. සමාජ මාධ්‍ය තුළ මැතිවරණ කාලයට පමණක් සක‍්‍රීය වීම කොහෙත්ම සෑහෙන්නේ නැහැ. මේ නිසා සම්පත් හා පිරිස් බලය කෙතරම් තිබුණත් කොංග‍්‍රස් පක්‍ෂයේ වෙබ් හා සමාජ මාධ්‍ය භාවිතය අතිශයින් අසාර්ථක වුවා.

එහිදී වඩා වැදගත් වන්නේ හුදෙක් අනුගාමික සංඛ්‍යාව වැඩි වීම නොව සිදුවන සංවාද හා අන්තර්ක‍්‍රියා (social media interactions) සංඛ්‍යාව බව දැන් පිළිගැනෙනවා. මේ කාලය තුල මෝදි වටා සිදු වු සමාජ මාධ්‍ය සංවාද ගණන ලක්‍ෂ 15ක් වූ අතර AAP පක්‍ෂ නායක අර්වින්ද් කෙජ්රිවාල් වටා සංවාද ලක්‍ෂයක් පමණ ද කොංග‍්‍රස්හි ප‍්‍රකට නායකයකු වන දිග්විජය සිං වටා සංවාද 19,500ක් පමණ ද සිදු වුණා.

AAP පක්‍ෂයේ සයිබර් සංවාද ක‍්‍රමෝපායන් මුල් සති කිහිපයේ හොඳින් අධ්‍යයනය කළ BJP ඡන්ද ව්‍යාපාර හසුරුවන්නෝ ඒවායෙන් වඩාත්ම සාර්ථක ක‍්‍රම තම පක්‍ෂයේ හා අගමැති අපේක්‍ෂකයාගේ සයිබර් ප‍්‍රතිරූපය ප‍්‍රවර්ධනය කරන්නට අවසන් සති කිහිපය තුළ යොදා ගත්තා. මෙසේ සාර්ථක උපක‍්‍රම අනුකරණය කිරීම නීති විරෝධී නැහැ.

මේ ගැන විග‍්‍රහ කරන ජෙමිනි 8 නම් දත්ත විශ්ලේෂණ සමාගමේ අධිපති ආචාර්ය රංජිත් නායර් කියන්නේ සමාජ මාධ්‍ය හරහා ඉන්දියානු ජන සමාජයට ආකර්ශනීය ලෙස සමීප වීමට AAP පාක්‍ෂිකයෝ කථා කළත් තමන් බලයට ආවොත් රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රශ්න විසඳීමට කුමක් කරනවාද යන්න නිරවුල්ව කීමට ඔවුන් අසමත් වූ බවයි.

“ඡන්ද කාලයකට සාමාන්‍ය මිනිසුන් හුදෙක් බුද්ධිගෝචර විග‍්‍රහයන් පමණක් නොව තම බලාපොරොත්තු හා සිහින කුල්මත් කිරීමක් ද සොයනවා. BJP සමාජ මාධ්‍ය හරහා හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මෙය ලබා දීමට ක‍්‍රියා කළා.’’

ඉන්දුනීසියානු අත්දැකීම ලබන සතියේ