සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

In this week’s Ravaya column (in Sinhala), published on 23 November 2014, I ask whether astrologers are the most powerful persons in Sri Lanka. This is because all important decisions of the state, including the ceremonial opening of Parliament and scheduling of elections, is done strictly on astrological advice.

Speaking at a recent meeting of the Sri Lanka Rationalists’ Association to discuss my latest book, writer and political commentator Gamini Viyangoda said astrology determines so many personal and public decisions in Sri Lanka. In this obsession, ruling party and opposition party politicians seem united.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

‘‘අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂය සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යෙතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.’’

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මේ ප්‍රකාශය කළේ මගේ අලූත්ම පොත ‘කාල බෝම්බ ඕනෑකර තිබේ’ නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23දා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ සංවාද මණ්ඩපයේදී.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා මේ තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංගත්, ලේකම් තාරක වරාපිටියත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා.

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014

ගාමිණි වියන්ගොඩ තව දුරටත් මෙසේ කියා සිටියා: ‘‘අපේ මැතිවරණ පවත්වන්නේ, පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහරු ජ්‍යෙතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.’’

‘‘අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.’’

‘‘මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.’’

‘‘එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.’’

‘‘මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.’’

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා දුපතේ බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

පසුගිය මැයි මාසයේ මට විද්යුත් ලියුමක් එවමින් රාවය පාඨක නිමල් ජයසිංහ මෙසේ කියා සිටියා: ‘‘අද ශ්‍රී ලාංකිකයෝ පුදුම ගණයේ ආත්මාර්ථකාමියෝය. උගුලෙන් බැරිනම් කෙමණෙන් හෝ තම කාර්ය සිදු වන්නේ නම් එයින් සතුටු වන නරුමයෝය. එබැවින් ඔවුන්ට හැම දෙයක්ම ඕනෑය. උදේ පන්සිල් ගෙන ගෙදරින් පිට වන ඔවුන් ශාන්ත අන්තෝනි පල්ලියේ ද ඉටිපන්දමක් දල්වා වැඩට යති. කාගෙන් හෝ වැඩේ කෙරුනොත් ඇති යන සිතුවිල්ලෙන් කල් ගෙවන මොවුන් විමර්ශනශීලී මිනිසුන් හෝ ගැහැණුන් නොවේ. මොවුන්ට මම ආමන්ත්‍රණය කරන්නේ රැළේ යන්නෝ කියලාය!”

මේ විග්‍රහය මටත් පිලිගන්න සිදු වනවා. මෙවැනි අදහස් අද විවෘතව පල කැරෙන්නේ ද කලාතුරකින්.

‘‘හේතුවාදී ලිපි’’ නමින් 2013දී ප‍්‍රකාශිත ග‍්‍රන්ථයට පූර්විකාවක් ලියමින් එහි සංස්කාරක හා ප‍්‍රවීණ ලේඛක අජිත් තිලකසේන මෙසේ කියනවා:

‘‘අපේ රටටත්, කලාපීය රටවල් ගණනාවකටත් බලපාපු 2004 දෙසැම්බර් 26 සුනාමිය මෙහි 50,000ක පමණ ජනයින්හට මරු කැඳවමින්, සිද්ධ කරපු දේපල හානිය ද විශාලයි. මෙය මතක ඇති ඉතිහාසයේ සිද්ධ නොවු බිහිසුනු ස්වාභාවික විපතක් වුවත් එය පුරෝකථනය කරන්න (එනම් කල් තබා අනතුරු ඇඟවීමට) කිසිම ජ්‍යොතිර් ඇදුරෙක්ට පුලූවන් උනේ නෑ!’’

‘‘ජ්‍යොතිර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටු කර ගන්න විවිධ දෙවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු තව දුරටත් කියනවා.

මා කවදත් කියන්නේ මෙයයි. තනි පුද්ගල මට්ටමින් ඕනෑ කෙනෙකුට ඕනෑම අභව්‍ය දෙයක් ඇදහීමට හා ඒ සඳහා තම කාලය හා මුදල් වැය කරන්නට නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි හා විශ්වාස සෙසු සමාජයට බලෙන් ආරෝපණය කිරීමට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට ඒවා හරහා බලපෑම් කිරීමට හෝ නිදහසක් නැහැ.

මිථ්‍යාවට මුවා වී, ජනයා බියපත් කර මුදල් ගසා කන වංචනික ජ්‍යෙතිෂවේදීන් හා වෙනත් ගුප්ත ශාස්ත‍්‍රකරුවන් මෑතක සිට තමන්ගේ සටකපට කි‍්‍රයා සඟවන්නට තැත් කරන්නේ ‘සාම්ප‍්‍රදායික දැනුම’ නම් තිරයට මුවා වෙමින්.

දේශීය උරුමය හා පාරම්පරික දැනුම වුව වර්තමානයේ තර්කානුකූල විවාදයට ලක් විය යුතුයි. ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) එදා කී දේ අදටත් හරියටම ගැලපෙනවා. ‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්.’’

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සදහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ චරිත අතර ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. පසු කලෙක ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ ද 1960-1970 යුගයේයි.

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne
Keepers of Rationalist Flame L to R – Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

"Modern" Lankan? Cartoon by Awantha Artigala
“Modern” Lankan? Cartoon by Awantha Artigala

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා.

කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි. එවන් පිරිසක් අද සිටී ද?

2012 ජනවාරියේ ලිපියකින් මා කීවේ මෙයයි: “අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවිද?”

“ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන වැඩි අවධානය යොමු වෙයි. රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට චෝදනා එල්ල විය හැකියි.”

“නැතහොත් පුවත්පත් සාකච්ඡාවල දී ඔහුට ජාතිද්‍රෝහී, රාජ්‍ය විරෝධි ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!”

අපි කුමක් කරමුද? මේ ප්‍රශ්නය යලි යලිත් ඇසීමට කාලයයි.

See also:

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 May 2014: සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

සිවුමංසල කොලූගැටයා #193: ආපදා වැඩි වන ලෝකයක පණ කෙන්ද රැක ගන්නේ කෙලෙසද?

In this week’s Ravaya column (in Sinhala), published on 9 November 2014, I reflect on the recent landslide in Meeriyabedda, Koslanda, Sri Lanka on 29 October. The disaster wiped out an entire settlement of plantation workers whose houses were built on a hill already identified as prone to landslide hazards.

I discuss landslide hazard mapping being done for two decades by National Building Research Organisation (NBRO) and ask what failures in risk communication led to this preventable tragedy. I also quote NBRO scientists as saying how climate change and resulting increase in extreme rainfall events can trigger more landslides.

hazard-sign-626x380

සකී‍්‍රය ග‍්‍රහලෝකයක් මත ජිවත් වන අපට විවිධ උවදුරු සමග ගැටෙමින් ඒවායින් හැකි තරම් බේරී පණ කෙන්ද රැක ගන්නට සිදුව තිබෙනවා. මෙය අලූත් යථාර්ථයක් නොවෙයි. ඉතිහාසය පුරා තිබුණු අභියෝගයක්.

උවදුරක් (hazard) ආපදාවක් (disaster) බවට පත් වන්නේ එය යම් තැනෙක යම් ජන පිරිසකට හානි කළ විටයි. උවදුරු කිසිවක් නැති කිසිදු රටක් ලෝකයේ නැහැ. අවශ්‍ය වන්නේ උවදුරු කල් තබා නිසි ලෙස හඳුනා ගෙන ගත හැකි ආරක්‍ෂාකාරී පියවර ගැනීමයි. එසේම ආපදාවක් සිදු වන මොහොතේ කුමක් කළ යුතු ද යන්න ගැන පෙර සූදානමක් තිබීමයි.

මේ තමයි ආපදා කළමණාකරණයේ හරය. 2004 සුනාමියට පසු විශේෂයෙන් මේ ක්‍ෂෙත‍්‍රය ගැන දැඩි අවධානයක් යොමු වුණා. 2005දී ආපදා කළමණාකරණය නව පනතක් නීතිගත කොට ඒ හරහා ආපදා කළමණාකරණ කේන්ද්‍රය (DMC) පිහිටුවනු ලැබුවා.

එහෙත් පසුගියදා කොස්ලන්දේ මීරියබැද්ද නාය යාමේදී අපට පෙනී ගියේ අපේ රටේ ආපදා කළමණාකරණයේ තවමත් දුර්වලතා ඇති බවයි.

කොස්ලන්දේ ඛේදවාචකය විවිධ අයුරින් විග‍්‍රහ කැරෙනවා. එහි නාය යාමේ අවදානම කලක පටන් හඳුනා ගෙන තිබුණා. ඒ ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණායතය (NBRO) ගවේෂණ හරහා අනතුරු ඇඟවීමක් කර එතැනින් ජනාවාස ඉවත් කර ගත යුතු බවට නිර්දේශ කොට තිබුණා.

දැනට ඇති බලතල අනුව ඉන් ඔබ්බට ක‍්‍රියාත්මක වීමේ හැකියාවක් NBROට නැහැ. එම වගකීම පැවරෙන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරින්ට. ඔවුන් ජනාවාස ඉවත් කිරීමේ විධිවිධාන යෙදු බවත්, විකල්ප ඉඩම් පවා හඳුනා ගෙන තිබූ බවත් කියනවා. සමහර මාධ්‍ය වාර්තා කළේ විකල්ප ඉඩම් ලබා ගත්ත ද සමහර නිවැසියන් මීරියවත්ත ඉඩම් ද අත් නොහළ බවයි.

ඛේදවාචකයකින් පසු වරද කාගේද සෙවීම ලෙහෙසි නැහැ. වගකීමේ පංගුකරුවන් හරිහැටි හඳුනා ගන්නට ද අපහසුයි. නාය යාමේ අවදානම දැන දැනම එතැන තව දුරටත් විසූ ජනයා බලහත්කාරයෙන් හෝ ඉවත් කළ යුතුව තිබුණා යයි සමහරුන් දැන් තර්ක කරනවා. එහෙත් සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලදී රාජ්‍ය හා මිලිටරි බලහත්කාරය යොදා ගැනීම කිසි විටක තිරසාර විසඳුමක් නොවෙයි.

නිලධාරීන් රාජකාරිය කරද්දී එයින් බලපෑමට පත් වන ජනයාගේ ජීවිකාවන් හා අපේක්‍ෂාවන් ගැන එතරම් හෝ කිසිදු හෝ තැකීමක් කරන්නේ නැහැ. අන්තිමේදී “අපි කළ හැකි සියල්ල කළා. මේ මිනිස්සු අපි කී දෙය ඇසුවේ නැහැ” කීම ප‍්‍රමාණවත් නැහැ.

ජීවිත හානියේ ලොකු අවදානමක් ගැන දැන දැනම එබඳු තැන්වල සමහරුන් රැඳී සිටින්නේ තන්හාවටද? මෝඩකමටද? නැත්නම් මෙබඳු මතුපිට සාධකවලට වඩා ගැඹුරට විහිදෙන සමාජ විද්‍යාත්මක හේතු තිබේද?

විද්‍යාත්මකව සොයා ගන්නා අන්තරායන් පිළිබඳ තක්සේරු කිරීම් සාමාන්‍ය ජනයාට සන්නිවේදනය කිරීමේදී එය කෙසේ කළ යුතුද යන්න ගැන බොහෝ අධ්‍යයන සිදු කොට තිබෙනවා (public communication of risk). පවතින සමාජ ආර්ථික යථාර්ථයන්ට විශේෂඥයන්ගේ දැනුම අදාල කොට තේරෙන බසින් හා සුහද ලෙසින් (තර්ජනාත්මක නොවන විදියට) ගෙන යාම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙන බව ආපදා සන්නිවේදනය ගැන ලොව පුරා රටවල අත්දැකීමයි.

එසේම විද්‍යාඥයන් හා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ජන සංවිධානවල නියෝජිතයන් මෙබඳු කතිකාවන්ට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. රතු කුරුස සංගමය හා සර්වෝදය වැනි සංවිධානවලට බිම් මට්ටමේ ජනයා සමග සාමූහිකව වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.

රාජ් හෝ මිලිටරි බලහත්කාරකමට වඩා මෙබඳු ජන සංවිධානවල මැදිහත්වීමෙන් ආපදාවක සේයාවේ වෙසෙන ජනයා ගැන ඒත්තු ගන්වා කැමැත්තෙන් ඉවත් කර ගත හැකියි. (ජන සංවිධානවල සහයෝගය අවශ් වන්නේ ආපදාවක් සිදු වූ පසු සහන සැළසීමට පමණක් නොවෙයි.)

භු විද්‍යාත්මක සාධක නිසා හට ගන්නා ආපදා නම් භූමිකම්පා, සුනාමි, ගිනිකඳු විදාරණය හා නාය යාම්, මේ අතරින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම බහුලව හමු වන්නේ නාය යාම්.

Prof Kapila Dahanayake
Prof Kapila Dahanayake

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක කියන්නේ: “ස්වභාවික හේතු නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇති වෙනවා. මේ පැලීම් අප හඳුනාගත යුතුයි. හදුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට ජලය කිදා බැස්ස විට කඳු නාය යනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදාපාළුව අවම වෙනවා. එවිට නායයාම් හා ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස් කඳුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක්.”

මෙරට නාය යාමේ උවදුර පවතින ප‍්‍රදේශ විද්‍යාත්මක ගවේෂණ හරහා හඳුනාගෙන සිතියම් ගත කිරීමේ භාරදුර හා මහා පරිමාණ ප‍්‍රයත්නයක් NBRO විසින් දශක දෙකක පමණ කාලයක් තිස්සේ කර ගෙන යනවා.

ශ‍්‍රී ලංකාවේ නාය යාම් ගැන වසර 20ක් පමණ තිස්සේ සමීපව අධ්‍යයනය කරන NBRO ආයතනය, එම අවදානමට ලක් වන දිස්ත‍්‍රික්ක 10ක් හඳුනාගෙන තිබෙනවා. නම් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, නුවර එළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර හා බදුල්ල දිස්ත‍්‍රික්කයි. මේ අතරින් මෑත කාලයේ වැඩිම නාය යාම් වාර්තා වී තිබෙන්නේ බදුල්ල නුවර එළිය, කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවලින්.

මෙහිදී නාය යාම් වැඩි ප‍්‍රවණතාවක් ඇති ප‍්‍රදේශ දැක්වෙන සිතියම් එම උවදුරු හමු වන දිස්ත‍්‍රික්ක 10 සඳහා 1:50,000 මෙන්ම 1:10,000 පරිමාණයන් සඳහා සම්පාදනය කොට තිබෙනවා. දැනට මාතලේ, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත‍්‍රික්ක සඳහා 1:50,000 නාය යාමේ ආපදා කලාප සිතියම් ලබා ගන්නට සැළසුම්කරුවන්ට, රාජ්‍ය නිලධාරින්ට මෙන්ම මහජනතාවටත් හැකි බව NBRO කියනවා.

වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් 1:10,000 පරිමානයේ සිතියම්, නාය යාමේ හැකියාව වඩාත් පවතින ප‍්‍රදේශ සඳහා සීමා කොට සම්පාදනය කැරෙනවා.

Guide to areas where NBRO has been mapping landslide hazards in Sri Lanka
Guide to areas where NBRO has been mapping landslide hazards in Sri Lanka

මේ සිතියම්වල වර්ණ හතරක් සංකේත ලෙස යොදා ගන්නවා. තද දුඹුරු වර්ණයෙන් දැක්වෙන ප‍්‍රදේශවල නාය යාමට වඩාත් ඉඩ තිබෙනවා. ජීවීත හා දේපල හානියේ අවදානම ඉහළයි. මේ නිසා නව ඉදිකිරීම්වලට අවසර නොදිය යුතු බවත්, පළපුරුදු විශේෂඥයන් විසින් භූමිය පරික්‍ෂා කිරීමෙන් පසු තීරණය කරන ආරක්‍ෂක විධිවිධාන සහිතව පමණක් දැනට පවතින ගොඩනැගිලිවලට එකතු කිරීම් සඳහා ඉඩ දිය හැකි බව NBRO කියනවා.

ඊලඟට උවදුර වීමේ හැකියාව අනුව තවත් ප‍්‍රදේශ තද කහ පාට, ලා කහ පාට හා කොළ පාට වශයෙන් සිතියමේ දක්වනවා. තද කහපාට ප‍්‍රදේශවල නාය යාමේ මධ්‍යස්ථා මට්ටමේ ඉඩක්ද, ලා කහපාට ප‍්‍රදේශවල ඉතා සුළු වශයෙන් ඉඩක් ද තිබෙනවා. මේ ප‍්‍රදේශ සියල්ලේම නව ඉදිකිරීම් කළ යුත්තේ විශේෂඥ උපදෙස් මත පමණයි. මෙය පොදු හා පෞද්ගලික ඉඩම් සියල්ලට අදාලයි.

කොළ පාට සංකේතවත් කරන්නේ දැනට දන්නා තොරතුරුවලට අනුව නාය යාමේ අවදානමක් නැති හා බෑවුම් අස්ථාවරත්වයක් නැති ප‍්‍රදේශයි.

මේ සිතියම් ද නාය යාමට ඉඩ ඇති ප‍්‍රදේශවල ඉදි කිරීම් සඳහා මාර්ගෝපදේශ ප‍්‍රකාශන ද භඊඍධ වෙතින් ලබා ගත හැකියි. http://www.nbro.gov.lk/web/

මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම වැඩි වශයෙන් සිදුවන බව NBRO නාය යාම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබෙනවා.

නාය යාමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප‍්‍රධාන ව්‍යාපෘති හතරක් පේරාදෙණිය, පදියපැලැල්ල, මහවැව හා ගැරඩිඇල්ල යන ප‍්‍රදේශවල NBRO විසින් සිදු කර තිබෙනවා. මීට අමතරව වඩාත් උචිත ඉඩම් පරිහරණ පිළිවෙත් හරහා නාය යාමේ හැකියාව අවම කිරීමට ව්‍යාපෘති දෙකක් බදුල්ල හා මාතලේ දිස්ත‍්‍රික්කවල සිදු කර ඇතැයි භඊඍධ කියනවා.

මේ විසඳුම් වියදම් අධිකයි. බොහෝ විට පෞද්ගලික ඉඩම් හිමියන්ට දරා ගත නොහැකියි. රජයට වුවත් හැම තැනෙකම කළ නොහැකියි.

නාය යාමේ උපද්‍රවය දේශගුණ විපර්යාස සමග වඩාත් තීව‍්‍ර වී තිබෙනවා. මෙයට හේතුව ගෝලීය වෙනස්වීම් සමග ආන්තික කාලගුණ තත්ත්වයන් (එනම් අධික වර්ෂාපතනයක් කෙටි වේලාවක් තුළ පතිත වීම) ඉහළ යාමයි.

NBRO ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස කියන්නේ මෙසේ අධික වර්ෂාපතනය සමග නාය යාම් වඩාත් සුලබ වන බවයි. අපේ රටේ භූමියෙන් සියයට 20ක් පමණ ගල් පර්වත බහුල කඳුකර ප‍්‍රදේශයි. මේ ප‍්‍රදේශවල වසන ජනයාගෙන් තුනෙන් එකක් පමණ නායයාම්වලට ලක්වීමේ අවදානමට මුහුණ දෙනවා.

2002 වන තුරු මෙරට වාර්ෂිකව නායයාම් 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වාර්තා වුණා. මිනිස් ජනාවාස ඇති තැන්වල මෙන්ම ජන ශූන්‍ය තැන්වලත් නායයාම් සිදු විය හැකියි. 2003න් පසු වාර්ෂික නායයාම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මෝසම් වැසි ලැබෙන මැයි – ජුනි හා නොවැම්බර් – ජනවාරි කාලවල මේවා වැඩිපුරම වාර්තා වනවා. වර්ෂාපතනය සමග ඇති සෘජු සබඳතාව ඒ හරහා තහවුරු වනවා.

වසරේ මාසවලින් මෙරට නාය යාම් වැඩිපුරම සිදුව ඇත්තේ නොවැම්බර් මාසයේ බව පසුගිය දශක කිහිපයක වාර්තා අධ්‍යයනයෙන් පෙනෙනවා.

හැම නාය යාමකින්ම එක හා සමාන සමාජයීය බලපෑමක් සිදුවන්නේ නැහැ. මන්ද ජනාවාස හැම තැනෙකම එක ලෙස පැතිර නැති නිසා. 1974 සිට 2008 දක්වා වකවානුවේ නාය යාම් හරහා වැඩිම වාර්ෂික ජීවිත හානිය (මරණ 225ක් පමණ) සිදුව ඇත්තේ 1989දී. ඊලඟට වඩාත් ජීවිත හානි 2003දී (මරණ 150).

Inventory of Landslides in Sri Lanka since mid 20th century

සිවුමංසල කොලූගැටයා #192: “විද්‍යාඥයන් දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි” – අබ්දුස් සලාම්

Twenty-five years ago, I interviewed the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: theoretical physicist Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In last week’s Ravaya column (in Sinhala), I profiled the accomplished South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world. This week, I render into Sinhala segments of the two interviews I did with him – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

Dr Abdus Salam (1926 – 1996)
Dr Abdus Salam (1926 – 1996)

නොබෙල් ත්‍යාගය මුදල් අතින් ලෝකයේ ලොකුම ත්‍යාගය නොවෙයි. එයට වඩා වැඩි මුදලක් දෙන විද්‍යා, කලා හා සාමයික ත්‍යාග තිබෙනවා. එහෙත් සමාජ පිළිගැනීම හා මාධ්‍ය උනන්දුව සළකා බැලූ විට නම් උසස්ම ත්‍යාග වන්නේ නොබෙල් ත්‍යාගයි.

නොබෙල් ත්‍යාගලාභීන් ලෝකපූජිත වනවා. බොහෝ ත්‍යාගලාභීන් එය තමන්ගේ පර්යේෂණ, නිර්මාණ හෝ සමාජ අරගලයන් සඳහා ප‍්‍රබල උපකාරයක් බවට පත් කර ගන්නවා.

නොබෙල් ත්‍යාගලාභියකු මට මුල් වරට හමු වූයේ 1989දී. ඒ වන විට 23 වන වියේ සිටි, අඩු අත්දැකීම් තිබූ මා බලාපොරොත්තු වූයේ බෙහෙවින් ගරු ගාම්භීර චරිතයක්. එහෙත් සැබැවින්ම මට මුණ ගැසුණේ චින්තනය අතින් ගාම්භීර හා උදාර වුවත් චරිත ගතියෙන් ඉතා මිත‍්‍රශීලි හා නිහතමානි කෙනෙක්.

ඔහු තමයි ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). පාකිස්ථානයේ මුල්ම (හා මෑතක් වනතුරු එකම) නොබෙල් ත්‍යාගලාභියා. 1979 භෞතික විද්‍යා ත්‍යාගයේ සමලාභියා. දියුණුවන ලෝකයේම අයින්ස්ටයින් ලෙස හඳුන්වනු ලැබූ විශිෂ්ඨ භෞතික විද්‍යාඥයා.

ඔහුගේ චරිත කථාව පසුගිය කොලමින් මා සැකෙවින් විස්තර කළා. ඔහු ශ‍්‍රී ලංකාවට ආවේ 1989 මැදදී. ඔහුගේ සමීප මිතුරකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ ඇරැයුමින්. මහනුවර මූලික අධ්‍යයන ආයතනයේත්, කොළඹදීත් ප‍්‍රසිද්ධ දේශන කිරීමට අමතරව ඔහු අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී සාකච්ඡා කළා.

මේ රැස්වීම් අතරතුර ඔහු පැය බාගයක පමණ සම්මුඛ සාකච්ඡාවක් මට ලබා දුන්නා. අප කථා කළේ භෞතික විද්‍යාව ගැන නොවෙයි. (එදත් අදත් ඔහුගේ විෂයය මට ග‍්‍රහණය කර ගන්නට අමාරුයි.) විද්‍යාව හා තාක්‍ෂණය ඔහුගේ හා අපේ රට වැනි රටවල සංවර්ධනයට හරවත් හා තිරසාර ලෙසින් කෙසේ යොදා ගත හැකිද යන්න ගැනයි. ඇත්තටම එය භෞතික විද්‍යාව තරම්ම ඔහුට සමීප මාතෘකාවක්.

එදා මෙදා තුර මට හමු වී ඇති බොහෝ විද්‍යාඥයන්ට වඩා විවෘතව හා විචාරශීලීව විද්‍යාව හා තාක්‍ෂණයේ සමාජයීය බලපෑම්, වගකීම් හා සීමාවන් ගැන සලාම් කථා කළා. අප මේ සංවාදය කළ අවධියේ දියුණු වන රටවල් සිටියේ අදටත් වඩා බොහෝ දුගී බවින් මිරිකී හා පසුගාමීවයි. රටේ ජනතාවට ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වැනි අවශ්‍යතා සම්පාදනය කිරීමටවත් ඇති තරම් මුදල් නොමැති පසුබිමක විද්‍යා පර්යේෂණ හා ආයතන සඳහා වැඩිපුර මුදල් වෙන් කරන්නේ කෙසේදැයි යන තර්කය ප‍්‍රබලව මතු වුණා.

සලාම් මෙය විග‍්‍රහ කළේ ක‍්‍රමීය විශ්ලේෂණයකින් හා දිගු කාලීන දැක්මකින්. දියුණු රටවල් හා නොදියුණු රටවල් අතර ප‍්‍රධානතම වෙනස නම් දියුණු රටවල් විද්‍යා හා තාක්‍ෂණය ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම බව ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නා.

ගෙවී ගිය වසර 25 තුළ සමාජ ආර්ථික යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇතත් අපේ සංවාදයේ කොටස් තවමත් අදාල යයි මා සිතනවා. ඒ නිසා උධෘත කිහිපයක් මෙන්න.

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972
Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

නාලක: දියුණුවන රටවලට ඉක්මනින් විසඳා ගත යුතු අවශ්යතා හා ගැටළු තිබෙනවා. විද්යවේ රතිඵල එන්නේ කාලයාගේ ඇවෑමෙන්. ඉතින් විද්යාවෙන් සංවර්ධන රශ්න විසඳන්නේ කෙලෙසද?

සලාම්: රටක් සංවර්ධන සැළසුම් හදන විට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් සිතිය යුතුයි. අඩුතරමින් වසර 20-25ක් පමණ ඉදිරි දැක්මක් අවශ්‍යයි. දකුණු කොරියාව, ඉරානය, වෙනසියුලාව වැනි රටවල් කිහිපයක් විද්‍යාව හා තාක්‍ෂණය හරහා ආර්ථික සංවර්ධනය තියුණු කර ගැනීමේ ක‍්‍රමෝපායයන් හඳුනාගෙන ඒ සඳහා මහජන මුදල් වැඩියෙන් යොදන්නට පටන් ගෙන තිබෙනවා. විද්‍යාවන් අතරින් තේරීමක් කිරීමත් වැදගත්. ජාතික ධනය ඉපදවිය හැකි භූ විද්‍යාව හා භෞතික විද්‍යාවන්, රටේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය හැකි වෛද්‍ය විද්‍යා හා අණුක ජිව විද්‍යාවන් (molecular biology) සඳහා මුල් තැන දිය යුතු යයි මා සිතනවා.

බොහෝ රටවල සංවර්ධන හා ආර්ථික රතිපත්ති සම්පාදනයට විද්යාඥයන් සම්බන්ධ නැහැ. ඔවුන් කෙසේ දායක විය යුතුද?

රටක දැවෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්න විසඳීමේදී තමන්ට වැදගත් කාර්යභාරයක් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් තවමත් වටහා ගෙන නැහැ. එසේම ඔවුන් දේශපාලන ක‍්‍රියාදාමයෙන් දුරස්ථව සිටිනවා. මා සිතන්නේ මෙය වෙනස් විය යුතු බවයි. තම වෘත්තීය ගරුත්වය රැක ගන්නා අතර විද්‍යාඥයෝ රට කරවන දේශපාලකයන් සමග නිරතුරු සංවාද කළ යුතුයි. පර්යේෂණවලට යොදවන මහජන මුදල්වලින් කෙටි හෝ දිගු කාලීන ප‍්‍රතිලාභ ලැබෙන බව හා ලැබෙන සැටි පෙන්වා දිය යුතුයි.

කියන්නේ අද කාලේ හොඳ පර්යේෂණ කොට ඒවා පිළිගත් විද්වත් සඟරාවල පළ කිරීම පමණක් මදි?

කොහෙත්ම සෑහෙන්නේ නැහැ. තමන්ගේ හොඳ පර්යේෂණවල ප‍්‍රතිඵල අපතේ නොයාමට නම් විද්‍යාඥයෝ ජාතික ප‍්‍රතිපත්ති හා පොදු උන්නතිය පිළිබඳ කතිකාවක යෙදිය යුතුයි. එසේම විද්‍යාවේ අහිතකර බලපෑම් ගැන අවංකව තක්සේරුවකට සූදානම් විය යුතුයි.

නවීන විද්යාව හා තාක්ෂණය අද ලෝකයේ බොහෝ රශ්නවලට දායක වී ඇතැයි කෙරෙන චෝදනාව එතකොට සනාථ වනවා නේද?

චෝදනා එල්ල කිරීමක් හෝ බාර ගැනීමක් හෝ ගැන නොවෙයි මා කථා කරන්නේ. අප කවුරුත් අපේ වෘත්තීමය ක‍්‍රියාවල වගකීමට මුහුණ දිය යුතුයි. බොහෝ විට තනි විද්‍යාඥයකු ගේ තනි පර්යේෂණයක දිගු කාලීන ප‍්‍රතිඵල කෙසේ ඇතිවේදැයි එක්වරම කියන්නට අමාරුයි. පෙනිසිලින් ප‍්‍රතිජීවකය සොයාගත් විද්‍යාඥයා ඒ නිසා ජීවිත රැසක් බේරා ගන්නට දායක වුණා. එහෙත් කලක් යන විට මේ හරහා ජනගහන වර්ධනය වඩාත් සීඝ‍්‍ර වුණා. එයට ප‍්‍රතිජීවක සොයා ගත් විද්‍යාඥයන්ට සෘජුව දොසක් කිව නොහැකියි.

එහෙත් විද්‍යාවේ භාවිතයන් නිසා මතුවන පසු කාලීන ප‍්‍රතිඵල ගැන විද්‍යා ප‍්‍රජාව ලෙස අප සාමුහිකව වගකීමක් දරනවා. පරමාණුවේ ස්වභාවය සොයා ගෙන කළ මූලික භෞතික විද්‍යා පර්යේෂණ නිසා ලෝකයේ හා විශ්වයේ ස්වභාවය ගැන අප බොහෝ දේ දැන ගත්තා. එහෙත් ඒ දැනුම නිසාම භයානක න්‍යාෂ්ටික අවි ද බිහි වුණා. න්‍යෂ්ටික අවි සමග ජීවත්වීමට අද ලෝකයට සිදුව තිබෙනවා.

සංවර්ධනය අර්ථ දැක්වීම පිළිබඳ පොදු එකඟතාවයක් නැහැ. දළ ජාතික නිෂ්පාදිතය (GNP) වැඩි කිරීම පමණක් සංවර්ධනය කියන්නේ?

මෙය විශාල සංවාදයක්. මේ සංවාදයේ මෑතක් වන තුරු ප‍්‍රබලව මතු වූයේ ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාද පමණයි. 20 වන සියවසේ බොහෝ රටවල සංවර්ධන ප‍්‍රතිපත්ති සකස් කොට ඇත්තේ වැඩිපුරම ආර්ථික විද්‍යාඥයන්ට උවමනා හැටියටයි. මේ නිසා විසමතා රැසක් මතුව තිබෙනවා. මේවා වෙනස් කිරීමට නම් සෙසු විද්‍යාඥයෝ සංවර්ධන සංවාදවල පිවිස නිරතුරුව දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි.

මගේ සහෝදර විද්‍යාඥයන් බොහෝ දෙනකු තම රටේ දළ ජාතික නිෂ්පාදන සංඛ්‍යා ලේඛනවත් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ මේවා ඔවුන්ගේ වෘත්තීයට අදාල නැත කියායි. මේ ආකල්පය නිසා විද්‍යාඥයන් ස්වයං පිටුවහල්වීමක් කර ගෙන තිබෙනවා.

තමන්ට සමාජයේ තීරක මට්ටමේ බලපෑමක් කළ නොහැකි යයි මැසිවිලි නගන විද්‍යාඥයෝ තමන් කෙතරම් රටේ ජාතික සංවාදවලට සම්බන්ධ වී ඇත්දැයි මොහොතක් මෙනෙහි කළ යුතුයි.

ආර්ථික විද්යාඥයෝ නම් ඇති තරම් දේශපාලන තන්තරයට සමීපයි නේද?

ඒ අය තමයි ලොකුම ප‍්‍රශ්නය! ආර්ථික විද්‍යාඥයෝ දේශපාලකයන්ට නිතර කියන්නේ භෞතික විද්‍යා, ජීව විද්‍යා වැනි ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් රටට විදයම් අධික කරන, එහෙත් එයට සමානුපාතික ප‍්‍රතිලාභ ගෙන නොදෙන පිරිසක් බවයි. එසේම අප වැනි විද්‍යාඥයෝ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයනු වෙනුවට හුදෙක් දැනුමේ ප‍්‍රවර්ධනය සඳහා පමණක් පර්යේෂණ කරන බවයි.

ආර්ථික විද්යාඥයන්ගේ මේ පටු දැක්ම වෙනස් කළ හැකිද?

එසේ කරන්නනට මට ලොකු ඕනෑකමක් තිබෙනවා. එයට ඔවුන් සමග අප නිතර සංවාද කළ යුතුයි. දේශපාලන ක‍්‍රියාදාමය ගැන සෙසු විද්‍යාඥයන්ට වඩා හොඳ අවබෝධයක් ආර්ථික විද්‍යාඥයන්ට තිබෙනවා. එයින් අන් විද්‍යාඥයන් ආදර්ශ ගත යුතුයි. පැත්තකට වී අපේ පාඩුවේ පර්යේෂණ කළාට පමණක් මදි.

රටේ දේශපාලන, සමාජයීය හා සංස්කෘතික ප‍්‍රශ්නවලදී පුරවැසියන් හා විද්වතුන් ලෙස විද්‍යාඥයන් සම්බන්ධ විය යුතු යුතුයි. මා පකිස්ථානයේත්, තුන්වන ලෝකයේ අන් සැම රටකමත් විද්‍යාඥයන්ට කලක සිට දෙන අවවාදය මෙයයි.

එහෙත් විද්යාඥයෝ හා ඔවුන්ගේ විද්වත් සංගම් කියන්නේ දේශපාලකයන් තමන්ට සවන් නොදෙන බවයි. බීරි අලින්ට වීනා වාදනය කොට ඵලක් තිබේද?

එහෙම කියලා අත හරින්න බැහැ! විද්‍යාඥයන් වන අප මීට වඩා ව්‍යක්ත හා සූක්‍ෂම ලෙස අපේ විෂය ක්‍ෂෙත‍්‍රයන් සමාජගත කළ යුතුයි. ප‍්‍රතිප්තිත සම්පාදකයන්ට බණ දේශනා නොකර ඔවුන් මුහුණ දෙන දෛනික අභියෝග ද හඳුනා ගත යුතුයි. කළ හැකි හා කළ යුතු ඉතාම හොඳ පියවරට වහා ඉඩක් නැතිනම් ඊළඟට හොඳම පියවර කුමක්ද (second best policy options) ආදි වශයෙන් නම්‍යශීලී විය යුතුයි.

ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම දියණුවන රටවල සැම විටම තර්කානුකූල හා සාක්‍ෂිමත පමණක් පදනම් වූවක් නොවෙයි. එය විකාරරූපී විය හැකියි. කෙටි කාලීන අරමුණු මත පදනම් විය හැකියි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඇති රටවල ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන් ටික දෙනෙකුට පමණක් ඉතිරි කොට අපට මුළුගැන් වී සිටිය නොහැකියි. ටිකෙන් ටික හෝ විද්වතුන් වන අප එම සංවාදවලට ප‍්‍රවේශ වී ඒවා වඩාත් තර්කානුකූල හා තිරසාර මට්ටමට වෙනස් කළ යුතුයි. එසේ නැතිව පර්යේෂණවලට හෝ උසස් අධ්‍යාපනයට වැඩිපුර ප‍්‍රතිපාදන ඉල්ලා උද්ඝෝෂණ කිරීම පමණක් මදි. පර්යේෂණවලට ප‍්‍රතිපාදන වැඩි කිරීම ද අවශ්‍යයි.

එයට මුදල් ජාතික භාණ්ඩාගාරයේ නැත්නම්, ණය වී හෝ මුදල් සොයා ගත යුතුද?

ණය ගන්නවාට වඩා රටක තිබෙන මහජන මුදල් කෙසේ යොදනවා ද යන්නයි වැදගත්. ලෝකයේ ඉසුරුබර රටවල් සාමුහික ලෙසත්, දියුණුවන රටවල් සාමුහික ලෙසත් ගෙන මා ඔවුන්ගේ මහජන මුදල් ප‍්‍රතිපාදන බෙදා හරින සැටි ගැන අධ්‍යයනය කළා. පොදුවේ ගත් විට මේ දෙපිරිසම අධ්‍යාපනයට එක හා සමාන ප‍්‍රතිශතයක් වෙන් කරනවා. ආරක්‍ෂක කටයුතු හා හමුදා වියදම් සඳහා ද ගෝලීය උතුරු හා දකුණු ප‍්‍රතිපාදන ප‍්‍රතිශතයක් ලෙස සමීපයි.

එහෙත් සෞඛ්‍ය, විද්‍යා පර්යේෂණ වැනි ක්‍ෂෙත‍්‍රවලදී එසේ නැහැ. ගෝලීය උතුරේ රටවල් තම වැසියන්ගේ සෞඛ්‍ය සඳහා යොදන මුදල් ප‍්‍රතිශතයෙන් තුනෙක් එකයි දකුණේ රටවල් වෙන් කරන්නේ. විද්‍යා පර්යේෂණ සඳහා දකුණේ රටවල් සොච්චමක් වැය කරන විට උතුරේ රටවල් (හමුදාමය නොවන සිවිල් පර්යේෂණ සඳහා) එමෙන්ම හත් අට ගුණයක් වෙන් කරනවා.

අද ලෝකයේ ඇති නැති පරතරටය ඓතිහාසික සාධක තිබෙනවා. එහත් ඒවා තව දුරටත් ප‍්‍රබල වීමට මෙසේ විද්‍යාවට හා පර්යේෂණවලට දකුණේ රටවල නිසි තැනක් නොලැබීමත් දායක වන බව මගේ විග‍්‍රහයයි.

Nalaka Gunawardene's interview with Dr Abdus Salam, Asia Technology Oct 1989
Nalaka Gunawardene’s interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

Vidusara Interview: ජාතික ආර්ථික සංවර්ධනයට විද්‍යා සන්නිවේදකයන්ට කුමක් කළ හැකිද?

Vidusara cover - 5 Nov 2014
Vidusara cover – 5 Nov 2014

Vidusara, Sri Lanka’s only science and technology weekly magazine, has interviewed me in their issue dated 5 November 2014, which marks their 27th anniversary. They talked to me about the role of science journalists and other science communications in promoting science and technology for national economic development.

Here’s my Q&A with the newspaper’s editor, Rajendra Kulasinghe:

 

ජාතික ආර්ථික සංවර්ධනයට විද්‍යා සන්නිවේදකයන්ට කුමක් කළ හැකිද?

රටක ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදන උපයෝගී කර ගැනීමේ වයායාමයේදී විද්‍යා ජනමාධවේදියා සතුව ද පැහැර හැරිය නොහැකි වගකීමක් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් දේශීයව මෙන්ම විදේශීයව ද බහුවිධ සන්නිවේදන මාධ්‍ය හරහා විද්‍යා සන්නිවේදන කටයුතුවල නියැලෙන ප‍්‍රකට විද්‍යා මාධ්‍යවේදියකු සහ විද්‍යා ජනමාධය උපදෙශකවරයකු ද වන නාලක ගුණවර්ධන මහතාගෙන් කළ අදහස් විමසීමක දී ඔහු දැක්වූ අදහස් ය. ඒ මහතා COSTI ව්‍යපෘතිය යටතේ ක‍්‍රියාත්මක සැමට විද්‍යාව සඳහා වන ජාතික මණ්ඩලයේ සම සභාපති ලෙස ද කටයුතු කරයි.

රශ්නය: ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් විද්යා මාධ්යවේදියාගේ දායකත්වය කෙතරම් තීරණාත්මක ?

පිළිතුර: මේ දායකත්වය අතිශය වැදගත් නමුත් එහි නිසි ඵල නෙළගත හැක්කේ සෙසු පාර්ශ්වයන් ද මේ සංවාදයෙහි ක‍්‍රියාකාරිව නිරත වුවහොත් පමණයි. මා එයින් අදහස් කළේ පර්යේෂකයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර සමීප කතිකාවක් මේ පිළිබඳව ඇති විය යුතු බව.

රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන්හි උපයෝගීතාවෙහි වැදගත්කම පිළිබඳ දැක්මක් ප‍්‍රතිපත්ති සම්පාදකයන් තුළ ඉබේ පහළ වන්නේ නැහැ. එය ඇති කළ හැක්කේ පර්යේෂකයන් සිය විද්‍යාත්මක සොයා ගැනීම් පාදක කර ගත් අදහස්වල ආර්ථිකමය වටිනාකම් ඔවුන්ට ඒත්තු ගැන්වූවහොත් පමණයි. කවර තාක්‍ෂණයන් කවර විද්‍යාවන් වඩාත් ඵලදායක ද යන්න සම්බන්ධව දෙපාර්ශවයට එකඟතාවකට පැමිණිය හැකි වාතාවරණයක් ඇති වන්නේ එවිටයි.

අවාසනාවකට බොහෝ පර්යේෂකයන් මෙවැනි සන්නිවේදනයට යොමු වන්නට මැළිකමක් දක්වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. තමන්ගේ පාඩුවේ විද්‍යාත්මක කටයුතුවල යෙදීමක් පමණයි ඔවුන් කරන්නේ. ජාතික මට්ටමට සිය පර්යේෂණ ප‍්‍රතිඵල රැගෙන යන්න උනන්දු වන්නේ සාපේක්‍ෂව ටික දෙනෙකු පමණයි.

ඒත් මේ පසුගාමීත්වය රටට අහිතකරයි. උදාහරණයක් විදියට 2012 වසරේ දී අප රටේ සමස්ත අපනයන ආදායම තුළ උසස් තාක්‍ෂණ අපනයවනලින් ලැබී තිබුණේ සියයට 5 කට අඩු ආදායමක් පමණයි.

මට මෙහිදී සිහිපත් වනවා මීට වසර25 කට උඩදී නොබෙල් සම්මානලාභී විද්‍යාඥයකු වන පාකිස්තාන ජාතික ආචාර්ය අබ්දුස් සලාම් මා හා පළ කළ අදහසක්. ඔහු පෙන්වා දුන්නේ විද්‍යාඥයන්ට සිය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවැනි සංවාදයකට මුල පිරීම සඳහා පැහැර නොහැරිය හැකි වගකීමක් ඇති බව. එය පවත්නා දේශපාලන ප‍්‍රවාහයට කැමැත්තක් තිබුණත් නැතත් සිදු කළ යුතු ජාතික දායකත්වයක් බව ඔහු පැවසුවා. මා සිතන්නේ අදටත් ඔහු එදා කී දේ අපේ රටට අදාළ බවයි.

මේ වන විට අප රටේ ජෛවතාක්‍ෂණය, නැනෝතාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය වගේ අංශ කිහිපයකට අදාළව නම් විද්‍යාඥයන් හා ප‍්‍රතිපත්ති සැලසුම්කරුවන් අතර සතුටුදායක සංවාදයක් ඇති වෙමින් තිබෙනවා. මේවා ජාතික ධනය ඉපදවිය හැකි ක්‍ෂෙත‍්‍ර හැටියට අදාල බලධරයන් පිළිගෙන තිබෙනවා.

මෙවැනි ක්‍ෂෙත‍්‍ර ගැන විද්‍යා මාධ්‍යකරුවා විශේෂ අවානය යොමු කළ යුතුයි. විද්‍යා මාධ්‍යකරුවාට මෙවැනි සංවාදයන්හි හවුල්කරුවකු විය හැකියි. ඔහුට මෙහිලා උත්පේ‍්‍රරකයක හැටියට ක‍්‍රියා කළ හැකියි.

රශ්නය: අප රටේ විද්යා මාධ්යවේදින්ට ඔබ කියන ආකාරයේ දායකත්වයක් සැපයීම සඳහා සුදුසු පරිසරයක් පසුබිමක් පවතිනවා ?

පිළිතුර: විද්‍යා මාධ්‍යවේදියාගේ තරාතිරම මෙහිදී වැදගත් නැහැ. ඒ කියන්නේ කුමන සන්නිවේදන මාධ්‍යයක සිටියත්, ස්ථිර මාධ්‍ය සේවයේ සිටියත් නොසිටියත්, අත්දැකීම් මද වුවත් නැතත්, වයසින් අඩු හෝ වැඩි හෝ වුවත් ප‍්‍රශ්නයක් නැහැ. ඕනෑකමක් සහ කැපවීමක් තිබේ නම් උපක‍්‍රමශීලීව මෙවැනි සංවාදයන්ට දායක වීමේ හැකියාව තිබෙනවා.

නැවතත් මගේ පෞද්ගලික අත්දැකීමක් පවසන්න කැමතියි. මා මෙරට ටෙලිවිෂන් මාධ්‍ය දෙකක නව නිපැයුම්කරුවන් දිරි ගන්වන, ඔවුන්ගේ ගැටලූ කතා කරන වැඩසටහන් පෙළක් කර තිබෙනවා. ඔවුන්ගේ හැකියාවන් ජාතික ප‍්‍රශ්න විසඳීම සඳහා දායක කර ගත හැක්කේ කෙසේද යන්න, එය කළ හැකි ද යන්න, නව නිපැයුම්කරුවන් ගේ කොමිසමේ ප‍්‍රධානින්, ඒ වගේම පර්යේෂකයන් සමග මේ වැඩසටහන්මාලා තුළින් කතාබහට ලක් කරන්න මට අවස්ථාව ලැබුණා.

ඒ වගේම නරඹන ජනතාවට රටේ කාලීන ප‍්‍රශ්න අළලා නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අභියෝගයන් ද මේ වැඩසටහනෙන් ඉදිරිපත් කළා. මදුරුවන් බෝවීම අඩු කිරීමට, ආහාර කල් තබා ගැනීමට, බලශක්ති සංරක්‍ෂණයට වැනි සමාජ ආර්ථික අවශ්‍යතා සඳහා හොඳ යෝජනා ජනතාවගෙන් ලැබුණා. ඉතා ජනප‍්‍රිය වූ මේ වැඩසටහන් මාලාවකට ටෙලි සම්මානයක් මටත් එහි නිෂ්පාදකවරයාටත් හිමි වුණා.

මෙයින් මා කියන්නට උත්සාහ කළේ අර්ධ වශයෙන් සම්පූර්ණ වටපිටාවකට වුවත් වුවමනාවක් ඇත් නම් රටට දැනෙන යමක් කළ හැකි බවයි.

රශ්නය: අපේ විද්යා මාධ්යවේදීන් රටේ ආර්ථික සංවර්ධනය සඳහා රියාත්මක විය යුත්තේ ඔබ දකින ආකාරයට කවර ආකාරයෙන්ද?

පිළිතුර: විදුසර ආරම්භ කළ මීට වසර 27කට පෙර තිබූ මාධ්‍ය යථාර්ථ ද අද වෙනස් වෙලා. විශේෂයෙන්ම තාක්‍ෂණිකව පෙරැළියක් ඇතිවී තිබෙනවා. අද සන්නිවේදකයකුට එක් මාධ්‍යයකට සීමා වෙන්න බැහැ. අද සන්නිවේදනය මුද්‍රිත, විද්‍යුත්, ඉන්ටනෙට් යනාදි වශයෙන් මාධ්‍ය රාශියක අභිසරණයක් (Media convergence) නැතිනම් ඒකරාශී වීමක්. ඒ නිසා මේ බහු මාධ්‍යය තුළ ම කුසලතාවන් හැසිරවීමේ හැකියාව විද්‍යා මාධ්‍යවේදියකු ප‍්‍රගුණ කළ යුතුයි. ආරම්භයේදී මට මේ හැකියාව තිබුණේ නැහැ. උදාහරණයකට වයස 30 ගණන්වලදී තමයි ඉන්ටර්නෙට් හරහා සන්නිවේදනයට මා යොමු වුණේ.

මේ ආකාරයෙන් විද්‍යා මාධ්‍යවේදීයා ගේ භූමිකාව වඩාත් පුළුල් කරගන්නා අතරම විද්‍යා මාධ්‍යවේදියා ගේ කාර්යභාරය පැහැදිලිව හඳුනාගෙන සිටීම ද වැදගත්.   විද්‍යා මාධ්‍යකරණය කියන්නේ විද්වතුන් කියන දේ ලියා ගෙන සමාජගත කිරීමක් පමණක් නොවෙයි. ඒ කියන්නේ විද්‍යා මාධ්‍යවේදියා දැනුම ගලා යන පාලමක් පමණක් විය යුතු නැහැ. ඔහු මෙහි ලා පෙරහනක් ද විය යුතුයි. විචාරශීලීව විද්‍යාඥයන් ගේ කාර්යභාරය විග‍්‍රහ කළ යුතුයි. ඒ වගේම ජනතාව ගේ ගැටලූ හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම පිණිස විද්‍යාඥයන් වෙත යොමු කළ ුතුයි. මේ කාරණා දෙකේ දීම අගය එකතු කිරීමක් සිදු කිරීම (value addition) තමයි විද්‍යා මාධ්‍යවේදියාගේ කාර්ය භාරය විය යුත්තේ.

Nalaka Gunawardene interview with Vidusara, 5 Nov 2014
Nalaka Gunawardene interview with Vidusara, 5 Nov 2014

සිවුමංසල කොලූගැටයා #191: දියුණුවන ලෝකයේ අයින්ස්ටයින් අබ්දුස් සලාම්

Abdus Salam & Malala  Yousafzai
Abdus Salam & Malala Yousafzai

Malala Yousafzai, the Pakistani teenager turned activist, shared this year’s Nobel Peace Prize. She became the second Pakistani national in her country’s 67 year history as an independent state. Her Nobel has revived memories of the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In this week’s Ravaya column (in Sinhala), I look at this illustrious South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world.

I interviewed Salam twice as a young reporter – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

2014 සඳහා වන නොබෙල් සාම ත්‍යාගය දකුණු ආසියානු ජාතිකන් දෙදෙනෙකුට සම සේ හිමිව තිබෙනවා. එනම් ළමා වහල් සේවයට එරෙහිව දශක ගණනක් අරගල කරන ඉන්දියානු සමාජ ක‍්‍රියාකාරික කයිලේශ් සථ්‍යාර්ථි හා ළමයින්ට ඉගෙනීමේ අයිතිය උදෙසා ප‍්‍රබල හඬක් නගන පාකිස්ථානු දැරිය වන මලාලා යූසෆ්සායි.

මලාලාගේ සුවිශේෂත්වය වසර 113ක නොබෙල් ත්‍යාග ඉතිහාසයේ ත්‍යාගයක් ලද ලාබාලම පුද්ගලයා වීමයි. 2012 ඔක්තෝබරයේ පාකිස්ථානු තලෙබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලද ඇය, දැරියන්ට හා කාන්තාවන්ට අඩුවෙන් සළකන, ඉගෙනීමට තහංචි පනවන ඉස්ලාම් මූලධර්මවාදීන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේ කථා කිරීම නතර කළේ නැහැ.

ස්ත‍්‍රී – පුරුෂ බව, සමාජ පසුබිම හෝ වෙනත් සාධක මත පදනම් නොවී සියළු දරු දැරියන්ට අධ්‍යාපනයට එක සමාන අයිතියක් ඇතැයි ද එය සාක්‍ෂාත් කර දීමට රජයන් හා ජන සමාජයට ලොකු වගකීමක් පැවරෙතැයි ද ඇය කියනවා.

බි‍්‍රතාන්‍ය ඉන්දියාව දෙකඩ කිරීමෙන් 1947 අගෝස්තුවේ බිහි වූ පාකිස්ථානයේ වසර 67ක ඉතිහාසයේ නොබෙල් ත්‍යාගයක් ලද දෙවැන්නා ඇයයි. එය මුලින්ම ලැබුවේ පාකිස්ථානයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැළකෙන ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). ඔහු 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයේ සමලාභියකු වූවා.

මලාලාගේ නොබෙල් ත්‍යාගය නිසා සලාම්ගේ චරිත කථාව ගැනත් යළි ලෝක අවධානය යොමුව තිබෙනවා. අහ්මදි නම් ඉස්ලාමීය නිකායට අයත් වීම නිසා සලාම් සිට උපන් රටේ බොහෝ කොන් කිරීම් හා අවමන්වලට ලක් වුණා. ඔහු නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු පවා ජන්මය පදනම් කර ගත් කැනහිලිකම් නතර වූයේ නැහැ. මැදහත් මතධාරී පාකිස්ථානුවන් මේ ගැන සිහිපත් කරන්නේ මහත් පශ්චත්තාපයෙන්.

Young Abdus Salam
Young Abdus Salam

අබ්දුස් සලාම් උපන්නේ 1926 ජනවාරි 29දා බි‍්‍රතාන්‍ය ඉන්දියාවේ සහිවාල් දිස්ත‍්‍රික්කයේ සන්තෝක්දාස් ගමේ. ඔහුගේ පියා පන්ජාබ් ප‍්‍රාන්තයේ අධ්‍යාපන නිලධාරියෙක්. ඔහු හැදුණේ වැඩුණේ අගහිඟකම් රැසක් මැද. පාඩම් කළේ ලාම්පු එළියෙන්. පළමු වරට විදුලි එළියක් දුටුවේ වයස 15දී.

ඉගෙනීමට ඉතා දක්‍ෂ වූ සලාම්, තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්වවල පිහිටෙන් ඉහළට උගත්තා. කලා හා විද්‍යා ක්‍ෂෙත‍්‍ර දෙකටම එක සේ ඇලූම් කළ හා දස්කම් තිබූ සලාම් ශිෂ්‍යයා වැඩිදුර ඉගෙනීමට භෞතික විද්‍යාව තෝරා ගත්තා. 1944දී ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් පළමුවන උපාධිය ලබා ගන්නා විට වයස 18යි.

ඒ කාලයේ බොහෝ දෙමවුපියන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ දරුවන් සිවිල් සේවකයන් වනු දැකීමයි. පියාගේ ඇවිටිලි නිසා සලාම් ඉන්දීය දුම්රිය පරිපාලන සේවයට ඉල්ලූම් කළත් ඔහු තෝරා ගැනුනේ නැහැ. හේතුව ඇස් පෙනීමේ තිබු දුර්වලතා. සලාම් දරුවා කුඩාවියේ පටන් ඇස් කණ්ණාඩි පැළඳ සිටියා.

පන්ජාබ් සරසවියෙන් උසස් උපාධියකට උගන්නට පටන් ගත් සලාම්, 1946දී සමස්ත ඉන්දියාවේම සිසුන් සමග තරග කොට විදේශ ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ සාන්ත ජෝන් කොලීජියට ඇතුළු වුණා.

කේම්බි‍්‍රජ් සරසවියේ ගණිතයට හා භෞතික විද්‍යාවට ලොව පළමු පෙලේ දේශකයන් යටතේ උගත් ඔහු 1951දී සෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් (theoretical physics) ආචාර්ය උපාධියක් ලැබුවා. එවිට වසය 25යි. ඒ වන විටත් විද්‍යාත්මක නිබන්ධන ලිවීම හරහා ලෝකයේ කැපී පෙනෙන තරුණ භෞතික විද්‍යාඥයකු බවට ඔහු ප‍්‍රකට වී සිටියා.

සලාම් කේම්බි‍්‍රජ් හි ගත කළ 1946-1951 පස් වසරක කාලය තුළ මවු රටෙහි ලොකු පෙරළි සිදුවුණා. බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් දේශපාලන නිදහස ලැබූ භාරතය පාකිස්ථානය හා ඉන්දියාව ලෙස රටවල් දෙකක් බවට පත්වුණා. 1951දී සලාම් ආපසු ආවේ පාකිස්ථානයටයි.

කෙටි කලක් ලාහෝරයේ රජයේ කොලිජියක ගණිතය උගැන් වූ ඔහු 1952දී පන්ජාබ් සරසවියේ ගණිත විද්‍යා අංශයේ ප‍්‍රධානියා වුණා. ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා පර්යේෂණායතනයක් එරට පිහිටුවන්නට ඔහුට ඕනෑ වුණත් එයට අවශ්‍ය සම්පත් තිබුණේ නැහැ.

එසේම වැඩි වැඩ කිරීමට නොයන ලෙස සෙසු සරසවි ඇදුරන් ඔහුට නිතර අවවාද කළා. ලෝකයේ විද්‍යා පර්යේෂණ පත‍්‍රිකා හා සඟරා බොහෝමයක් එරටට නොලැබීම නිසා තම විෂය ක්‍ෂෙත‍්‍රයේ ලිංමැඩියකු වීමේ අවදානමක් ද ඇති බව සලාම් තේරුම් ගත්තා.

1953දී අහ්මදියා භක්තිකයන් ඉලක්ක කළ ප‍්‍රචණ්ඩ කෝලාහල ලාහෝරයේ හට ගත්තා. ටික දිනකින් හමුදාව තත්ත්වය සමනය කළත් 200 දෙනකු පමණ මිය ගොස් බරපතල දේපළ හානි ද සිදු වුණා. මේ සිද්ධියෙන් ටික දිනකට පසු සලාම් නැවතත් කේම්බි‍්‍රජ් සරසවියට ගියා. එහි ගණිතවිද්‍යා මහාචාර්ය වුවා.

1957දී ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්ය ධූරයට පත් ඔහු 1959දී රාජකීය සමිතිය නම් ඉතා ඉහළ මට්ටමේ බුද්ධිමතුන්ගේ එකතුවේ අධිසාමාජිකත්වය පත් කරගනු ලැබුවා. එවිට වයස 33යි.

Abdus Salam in the classroom
Abdus Salam in the classroom

ඇල්බට් අයින්ස්ටයින්ගේ සිට ලොව ප‍්‍රමුඛ භෞතික විද්‍යාඥයන්ට කලෙක සිට ඕනෑ වූයේ භෞතික විද්‍යාවේ මූලික බලයන් සතරම එක් වී එකීකෘත බල ක්‍ෂෙත‍්‍රයක් (Unified Field) බිහි වේද යන්න සොයා බලන්නයි. මෙය ක්වන්ටම්වාදය සම්බන්ධ වන සංකීර්ණ විෂය පරාසයක්.

අයින්ස්ටයින් මිය ගියේ 1955දී. ඔහු නතර කළ තැනින් මේ චින්තන ගවේෂණ ඉදිරියට ගෙන යාමට මුල් වූ භෞතික විද්‍යාඥයන් අතර සලාම් කැපී පෙනුණා. විද්‍යුත්චුම්භක බලය හා දුර්වල බලය (electromagnetic force and weak force) යන දෙක අන්තර්ක‍්‍රියා කිරීම පිළිබඳ පර්යේෂණ කළ ඔහු එය අවබෝධ කර ගැනීමට ආකෘතියක් යෝජනා කළා (Standard Electroweak Theory, or ‘Standard Model’).

1950-60 ගණන්වල මතු කළ මේ සෙද්ධාන්තික අදහස්ල අත්හදා බැලීමේ මට්ටමින් තහවුරු කෙරුණේ 1973දී යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (CERN) මගින්.

සලාම්ට සමාන්තරව මේ පර්යේෂණ කළ තවත් භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු සිටියා. එනම් ස්ටීවන් වයින්බර්ග් හා ෂෙල්ඩන් ලී ග්ලැෂෝ (Steven Weinberg, Sheldon Lee Glashow). වෙන වෙනම වැඩ කළත් එකම සොයාගැනීමට ලඟා වූ මේ තිදෙනාට 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සම සේ පිරිනැමුණා.

ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයකු වුව ද සලාම් ජීවිත කාලය පුරාම නිහතමානී වුවා. එසේම තම සංස්කෘතික උරුමය අගය කළා. තම ඉස්ලාමීය දැක්ම හා පන්ජාබීය පසුබිම කිසිදා අමතක කළේ නැහැ.

මේ නිසා 1979 දෙසැම්බර් 10 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී එරට රජුගෙන් නොබෙල් ත්‍යාගය පිළිගන්නට සලාම් පන්ජාබීය ඇඳුම් කට්ටලයකින් සැරසී සාම්ප‍්‍රදායික තලප්පාවක් ද පැළඳ ගියා. එසේම සම්මානලාභී දේශනයේදී උර්දු කාව්‍යයන් හා ශුද්ධ කුරානයේ උධෘතයන් ඇතුළත් කළා.

Dr Abdus Salam receives Nobel Prize in Physics, Stockholm, 10 Dec 1979
Dr Abdus Salam receives Nobel Prize in Physics, Stockholm, 10 Dec 1979

1954 සිට පාකිස්ථානයෙන් පිටත බොහෝ කල් ගත කළත් ඔහු මවු රට සමග සබඳතා දිගටම පවත්වාගෙන ගියා. 1961 සිට 1974 දක්වා පාකිස්ථානු ජනධිපතිවරයාගේ ප‍්‍රධාන විද්‍යා උපදේශක වූ ඔහු පාකිස්ථානු න්‍යෂ්ටික බලශක්ති කොමිසමේ සාමාජිකයකු ද වූවා. එරට විද්‍යා කොමිසමේ ද සිටියා.

1957දී අභ්‍යවකාශ යුගය ඇරැඹී කෙටි කලෙකින් එම තාක්‍ෂණය දියණුවන රටවලට ප‍්‍රයෝජනවත් වන සැටි දුර දක්නා නුවණින් වටහාගත් ඔහු 1961දී පාකිස්ථානයේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩපිළිවෙලක් ඇරැඹීමට මුල් වුණා. ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ පාකිස්ථානයයි. (2014 අගෝස්තු 10 වනදා කොලම ද බලන්න.)

සලාම්ගේ පාකිස්ථානු විද්‍යා කටයුතු සියල්ල සිවිල් මට්ටමේ පැවතුණත් සමහරුන් කියන්නේ ඔහු එරට න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට හමුදාවත් සමග රහසිගතව කටයුතු කළ බවයි. මේ ගැන තොරතුරු තහවුරු කර ගැනීම අපහසුයි.

දේශීය විද්‍යා පර්යේෂණ දියුණු කිරීම පිළිබඳ නිසි දැක්මකින් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළ සලාම්ට පෙරදිග විද්‍යාව හා බටහිර විද්‍යාව යයි කෘති‍්‍රම බෙදීමක් තිබුණේ නැහැ. ඔහු විද්‍යා උපදේශකව සිටි කාලය තුළ දක්‍ෂ තරුණ පාකිස්ථානු විද්‍යාඥයන් 500 දෙනෙකුට වඩා අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ ඉහළම පෙළේ සරසවිවල ආචාර්ය උපාධිය ලබා ගන්නට ශිෂ්‍යත්ව මත යැවූ බව ඔහුගේ සමීප මිතුරකු වූ ඉෂ්ෆාක් අහමඞ් කියනවා.

සලාම් පාකිස්ථානු රජය සමග තිබූ සබඳතා නතර කළේ 1974දී අලි භූතෝ අගමැතිවරයාගේ රජය කාලයේ අහ්මදිවරුන් ඉස්ලාම් භක්තිකයන් නොවේ යයි නව නීතියක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පසුවයි. 1974න් පසු ඔහුගේ පදිංචිය ලන්ඩන් නුවරට මාරු කළා. එහෙත් පාකිස්ථානු සරසවි හා විද්වත් සංගම් සමග ඔහු දිවි ඇති තුරු සබඳතා පවත්වා ගත්තා.

දියුණුවන රටවල දිගටම රැඳී සිටිමින් දුෂ්කරතා මැද පර්යේෂණ කරන විද්‍යාඥයන් ලොව නව දැනුම් සමුදයට වඩා සමීප කරන ක‍්‍රමෝපායක් 1964දී සලාම් ඇරඹුවා. එනම් ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ ලෝක කේන්ද්‍රයයි (International Center for Theoretical Physics, ICTP). එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝව හා න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය IAEA සමග එක්ව ඉතාලි රජයේ අනුග‍්‍රහයෙන් ඇරැඹූ මේ කේන්ද්‍රය ඉතාලියේ ටි‍්‍රයෙස්ට් නුවර පිහිටුවනු ලැබුවා.

ICTP යනු උපාධි පිරිනමන සරසවියක් නොවෙයි. එහි ගුරුන් හා සිසුන් යයි බෙදීමක් නැහැ. එහි එන්නේ වසර කිහිපයක් වෘත්තීය අත්දැකීම් ඇති, ශාස්ත‍්‍රගවේෂී විද්‍යාඥයෝ. ලොව විවිධ රටවලින් එන තම ක්‍ෂෙත‍්‍රයේම විද්වතුන් සමගත්, වෙනත් ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් සමගත් දැනුම හුවමාරු කර ගන්නට හා තම විෂයට අදාල අලූත්ම පර්යේෂණ නිබන්ධන කියවන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මෙහි එන විද්‍යාඥයෝ සති කිහිපයක් හෝ උපරිම මාස 3ක් ගත කර ආපසු සිය රට යා යුතුයි.

සලාම්ට නොබෙල් ත්‍යාගයට අමතරව ලොව නන් දෙසින් ගෞරව ආචාර්ය උපාධි, සම්මාන හා ත්‍යාග රැසක් ලැබුණා. ඔහු රටවල සංචාරය කරන විට රාජ්‍ය නායකයකු තරම් ගරු සරු ඇතිව පිළිගනු ලැබුවා. ජිනීවා නුවර මහාමාර්ගයක් ඔහු නමින් නම් කොරුණා. තම රටේ විද්‍යාඥයන්ට නොබෙල් ත්‍යාග ලැබීමට ගුරුහරුකම් ලබා දෙන ලෙස කොරියානු රජය ඔහුගෙන් ඉල්ලා සිටියා.

එහෙත් ආගමික අන්තවාදය නිසා පාකිස්ථානයේ ඔහුගේ ආරාධිත දේශනවලට ප‍්‍රචණ්ඩත්වයේ තර්ජන එල්ල වුණා. මේ තර්ජන නිසා ඔහුට ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීමට ඇරැයුම් කිරීමට එරට සරසවි බිය වුණා.

We are sorry, Dr Abdus Salam! By Nayyar Afaq, The Express Tribune, Pakistan: 21 November 2013

පාකිස්ථාන සම්භවය ඇති විද්‍යා ප‍්‍රතිපත්ති විශේෂඥයකු වන අතාර් ඔසාමා කියන්නේ අබ්දුස් සලාම් තෙවන ලෝකයේ අයින්ස්ටයින් වූ බවයි. ඔහුට පාකිස්ථානයේ කෙසේ වෙතත් ලොව වෙනත් බොහෝ රටවල නම් නොමද ගෞරවය ලැබී තිබෙනවා.

මෙය විග‍්‍රහ කරන පාකිස්ථානු බුද්ධිමතකු වන අදිල් නජාම් කියන්නේ කෙටි කාලීන පටු දේශපාන වාසි තකා ගෙන අහ්මදිවරුන් හෙළා දැකීමේ අලිභූතෝ රජයෙ ප‍්‍රතිපත්තිය එයට මුල් වූ බවයි. අහමදි විරෝධය කෙතරම් පැතිර ගියාද කිවහොත් පසුව ආ පාලකයන්ට එය නතර කළ නොහැකි වුණා.

1996 නොවැම්බර් 21 දා සලාම් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් නුවරදී මිය ගියා. ඔහු ඉල්ලා සිටි පරිදි දේහය පාකිස්ථානයට ගෙන යනු ලදුව පන්ජාබයේ ඔහුගේ දෙමවුපියන් ද මිහිදන් කළ අහ්මදි සුසාන භූමියක තැන්පත් කරනු ලැබුවා.

”මෙහි සැපවෙන්නේ ඉස්ලාම් ලෝකයේම මුල්ම නොබෙල් ත්‍යාගලාභියාය” යන වැකිය ඔහුගේ සොහොන් කොතේ අනුගාමිකයන් විසින් සටහන් කළත් ටික කලකට පසු ඉල්ලාම් යන වචනය කටු ගා දමා තිබෙනවා.

මෑත වසරවල පාකිස්ථානයේ බුද්ධිමතුන් ටික දෙනෙකු ප‍්‍රබල හඬක් මතු කරමින් කියන්නේ කල් ගත වී හෝ අබ්දුස් සලාම්ට උපන් රටේ නිසි ගෞරවය ලබා දිය යුතු බවයි. එහෙත් දේශපාලන කල්ලිවාදයට හා ආගමික අන්තවාදයට හසුව නිතිපතා කැළඹීලි සමග වෙසෙන පාකිස්ථානු ජනතාවට මෙයට විරාමයක් නැති පාටයි.

A letter from Dr Abdus Salam to Malala, Dawn newspaper, Pakistan. 11 Oct 2014

L to R - Abdus Salam , Steven Weinberg, Sheldon Lee Glashow:  co-winners of Nobel Prize in Physics 1979
L to R – Abdus Salam , Steven Weinberg, Sheldon Lee Glashow: co-winners of Nobel Prize in Physics 1979

සිවුමංසල කොලූගැටයා #188: ලිංමැඩියා මර්දනය කෙසේ කළ හැකිද?

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Writing a foreword to my latest collection of Ravaya columns, titled ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ (Wanted: Time Bombs of the Mind!), researcher and public intellectual Dr Udan Fernando comments on two societal trends in post-war Sri Lanka (since 2009).

One is the indulgence — and even perverse ‘celebration’ — of insularity, conflating it for distinctiveness and cultural identity. This is found among certain academics, artistes and social activists.

The other is obsessive nostalgia for, and romanticising of, history – at least, a certain interpretation of historical events and processes. Never mind whatever problems of development and governance of today, these nostalgists seem to contend, we were once a great nation (or the greatest of all).

In my column (published in Ravaya newspaper, 5 October 2014), I discuss how best to counter insularity and unhealthy obsession with history. I also lament, as does Udan, the gradual decline of Lankans with bilingual or trilingual skills which enabled them to connect with each other and the wide world outside their island.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.

එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.

පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”

මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.

Dr Udan Fernando
Dr Udan Fernando

උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”

ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ. තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින් ගැන උදම් අනනවා. ලෝකය ගැන වඩාත් දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.

මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.

ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.

දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.

උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.

මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.

සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.

සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.

“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”

“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”

ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.

From L to R - A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera
From L to R – A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera

ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.

තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)

Groundviews.org, 19 Sep 2008: Remembering A J Gunawardana: A creative public intellectual

දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරක කේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.

ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.

වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!

අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)

10 February 2013: සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

ලිං මැඩියාවේ විවිධ පැතිකඩ කලින් කලට මෙරට ප‍්‍රචලිත වනවා. පුරා විද්‍යාත්මකව කිසිදු සාක්‍ෂියක් නැති ජනප‍්‍රවාදයක් වන රාවණා රජු හා ඔහුගේ හපන්කම් ගැන අද දවසේ සංසරණය වන කථා මෙයට උදාහරණයක්.

L to R - Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi
L to R – Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi

බොහෝ දෙනා තම රටේ ඉතිහාසය උල්ප්පා දැක්වීමට කැමතියි. එහෙත් අතිශයෝක්තියෙන් ඔබ්බට යන බෙහෙවින් අභව්‍ය සිදුවීම් අපට සැළකිය හැක්කේ ප‍්‍රබන්ධ හැටියට පමණයි. තමන් කැමති ඕනෑම ෆැන්ටසියක් ඇදහීමට පුද්ගල නිදහස ඇතත් එය යොදා ගෙන පොදු අවකාශයේ හා මාධ්‍ය හරහා ජනතාව නොගම යැවීම සාරධර්ම විරෝධීයි.

රාවණා ප‍්‍රවාදයන් ගැන මෙරට බොහෝ සැබෑ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් නිහඬව සිටින පසුබිමක කොළඹ සරසවියේ ඉතිහාසය පිළිබඳ පර්යේෂක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එය ප‍්‍රසිද්ධියේ විචාරයට ලක් කිරීම ඉතා වැදගත්. (2014 සැප් 14 රාවයේ පළ වූ ඔහුගේ ලිපිය කියවන්න.)

නිර්මාල් රංජිත් දේවසිරි හා ලියනගේ අමරකීර්ති වැනි ද්විභාෂික වියතුන් අපේ සරසවිවල දුර්ලභයි. ලිංමැඩියාව තවත් ප‍්‍රවර්ධනය කරන මධ්‍යස්ථාන බවට අපේ සරසවි පත්ව ඇත්තේ එනිසායි.

Wanted: Time Bombs of the Mind! My third collection of Ravaya columns

Promo note for my latest Sinhala language book, being released this week at Colombo International Book Fair to be held from 10 – 17 September 2014.

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Award winning science writer Nalaka Gunawardene’s latest Sinhala book, Kaala Bomba One Kara Thibe (‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ = Wanted: Time Bombs of the Mind!), will be released at the Colombo International Book Fair that starts on 10 September 2014.

A Ravaya Publication, the book compiles 44 of his weekly columns named Sivu Mansala Kolu Getaya published in the Ravaya newspaper during 2013-14.

Launched in 2011, the popular column offers musings of a sceptical inquirer who sits at the intersection (or confluence) of science, development, mass media and information society. The University of Sri Jayawardenapura presented Nalaka a Vidyodaya Literary Award for the best newspaper column of 2012.

Written in an easy, conversational Sinhala rich in metaphor and analogy, Nalaka connects the local with global and also bridges sciences and humanities. The new collection touches on pharmaceuticals, organic farming, tobacco control, rationalism, citizen journalism and social media among many other topics.

“Lankan society today suffers from a major deficiency of critical thinking. Blind faith and sycophancy dominate our social, religious, political and cultural spheres. Whether writing on science, development or social issues, Nalaka Gunawardene comes up with refreshing doses of scepticism,” says Gamini Viyangoda, leading Sinhala writer and political commentator.

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist and development communicator.

In his foreword, researcher and university lecturer Dr Udan Fernando says: “At a time when insularity and monoculturalism are being celebrated in Sri Lanka, Nalaka represents the endangered cosmopolitan perspective.”

Nalaka has dedicated this book to two giants of public science in Sri Lanka: late Prof Cyril Ponnamperuma (1923-1994) and late Dr Ray Wijewardene (1924-2010). “They embraced the best of East and West without losing their roots. We urgently need such public intellectuals today,” Nalaka says.

The book includes columns profiling the work of both scientists, including the Sinhala adaptation of a long interview with Dr Wijewardene.

The title is inspired by the words of Swedish economist, Gunnar Myrdal, who once said, “Books are like time bombs. If they contain ideas that are correct, then one day they will explode. And if they don’t, they will be consigned to the dustbin of history.”

The 300-page book is priced at Rs. 490. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

සිවුමංසල කොලූගැටයා #183: සන්නිවේදනය දැන් මූලික මානව අවශ්‍යතාවක්

mandela

Although it has been discussed for centuries, there is no universally accepted definition of basic human needs. During the 1970s, basic needs emerged as a key topic in development debates. Various studies – catalysed by UN agencies and the Club of Rome – tried to define it.

In 1976, the International Labour Organization (ILO) prepared a report that identified basic needs as food, clothing, housing, education and public transportation. It partially drew on ILO’s country reports on Columbia, Kenya and Sri Lanka. Since then, different development agencies have adopted variations of the original ILO list. National planners have used the concept to benchmark economic growth.

The ground reality has changed drastically since those heady days. In view of the rapid evolution of information society, communication should be considered a basic human need. This is the basic thrust in my latest Ravaya column (in Sinhala).

See also my related writing on revisiting basic needs:

13 Dec 2013: Op-ed in The Communication Initiative: Can Development Community catch up with Nelson Mandela?

 25 Nov 2012: When Worlds Collide #43: Toilets or Telephones? That’s the Wrong Question!

16 July 2008: Op-ed in Groundviews.org: Mobile Phones in Sri Lanka: Everyman’s new trousers?

Mobile revolution across Asia - photo courtesy TVE Asia Pacific

‘‘හැම කොල්ලයි බල්ලයිම ජංගම දුරකථන අරන් ගමන් යනවා. හරියට ඒ උපකරණය පාවිච්චි කරන්නවත් නොදන්නා අයට මේ පහසුකම දිය යුතුද?’’

මීට වසර කිහිපයකට පෙර මේ අදහස පළ කරනු මා ඇසුවේ විශ‍්‍රාමගිය පරිපාලන නිලධාරියකු විසින්. එය නිමිත්තට ගනිමින් 2008 මැදදී මා ලිපියක් ලියුවා. එහි මූලික හරය වූයේ සමාජයේ උස් මිටි, උගත් නූගත්, ඇති නැති පරතරයන් අභිබවා යන්නට ජංගම දුරකථනයට හැකිව ඇති බවයි.

නිදහස ලැබීමෙන් පසු පළමු දශකය හා දෙක පමණ කාලයේ කලිසම කා අතරත් පැතිර ගිය සැටිත්, වරප‍්‍රසාද ලත් උදවිය අන් අය කලිසම් අඳිනවාට එරෙහිව තර්ක කළ සැටිත් මා සිහිපත් කළා. කලිසම අඳින්නට හැකි දැන උගත් (විශේෂයෙන් ඉංග‍්‍රීසි උගත්) පිරිමින්ට පමණක් යැයි ලක් සමාජයේ ප‍්‍රචලිත වූ මතය පහව ගියේ 1970 පමණ වන විටයි.

කලක් තිස්සේ නිල බලය හා ධන බලය යන සාධකවල සංකේතයක් වූ දුරකථනය කොයි කාටත් මිලට ගෙන භාවිත කළ හැකි පොදුජනතාවගේ උපකරණයක් වූයේ වසර 2000න් පමණ පසුවයි. අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් දෙනාට දුරකථනයක් හිමියි. නැතහොත් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිත කළ හැකියි. මේ බොහෝ දෙනකු එම වරම ලැබුවේ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති නිසාත්, ජංගම දුරකථනවල උපකරණ මිල පහත වැටීම නිසාත්.

එහෙත් තවමත් මේ ප‍්‍රවණතාවට නොකැමති, එහි දොස් සොයන පිරිසක් අප අතර සිටිනවා. රැකියාවක නිරත නොවූ අයට, කාන්තාවන්ට හා වයෝවෘද්ධ අයට දුරකථන මොනවාටදැයි ඔවුන් අසනවා. බටහිර රටක උගත් ප‍්‍රගතිශීලි මනසක් ඇති මගේ මිතුරකු ද නිතර කියන්නේ ජංගම දුරකථන සේවා හරහා විදෙස් හවුල්කාර සමාගම් අපේ රටේ ධනය පිටරට අදින බවයි.

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

ජංගම දුරකථනවලටත් වඩා මේ විවේචකයන්ගේ ප‍්‍රතිරෝධය එල්ල වන්නේ ඉන්ටර්නෙට් මාධ්‍යයටයි. සිසුන්, ගුරුවරුන් හෝ පර්යේෂකයන් නොවන අයට ඉන්ටර්නෙට් නිතිපතා භාවිතයක් අවශ්‍ය නැති බවටත්, එයට ඉඩදීම හරහා නාස්තිකාර ඇබ්බැහිකම් අපේ ජනයාට හුරු පුරුදු වන බවට මේ අය තර්ක කරනවා.

“ඌණ සංවර්ධිත රටකට මේ තරම් සන්නිවේදන සේවා කුමකද?” මෙය ඔවුන් මතු කරන තවත් ප‍්‍රශ්නයක්. අද වන විට මෙරට (ඇන්ටෙනාවකින් හසු කර ගෙන නොමිලයේ බැලිය හැකි) ටෙලිවිෂන් නාලිකා 21ක් ද FM රේඩියෝ නාලිකා 50ක් පමණ ද තිබෙනවා. මේ තරම් විද්‍යුත් මාධ්‍ය සේවා අප රටට අනවශ්‍ය බවත්, මේවා ජන මනස මොට කරන බවටත් මේ අය තර්ක කරනවා.

(සාමාන්‍ය ජනයාට මෙතරම් සන්නිවේදන සේවා අවශ්‍ය නැතැයි කියන අතරම ඔවුන් තම දරුවන්ට නම් කේබල් ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් පහසුකම් හා ජංගම දුරකථන ලබා දෙනවා. කලකට පෙර පොදු ජනයාට ඉංග‍්‍රීසි උගන්නට එපා කියූ පාලකයෝ තම දරුවන්ට හිමින් සැරේ ඉංග‍්‍රීසි ඉගැන්වූවාක් මෙන්!)

දුරකථන සේවාවක් ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලේඛනයක සිටීම හා සාපේක්‍ෂව ලොකු මුදලක් ගෙවීම ආදී දුෂ්කරතා අප බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවා. මේ වන විට දුරකථන උපකරණ මිළත්, ඇමතුම් ගාස්තුත් ලෝකයේ අඩුම මට්ටමක පහත බැස ඇතත් පරණ මතකයන් මත පදනම් වී සමහරුන් තවමත් ප‍්‍රතිචාර දක්වනවා විය හැකියි. මේ උදවිය තම දැනුම අළුත් කරගත යුතුයි.

ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට ගැරහීම පිටුපස තවත් දුර්මතයක් තිබිය හැකියි. එනම් දුරස්ථ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් නොව ද්වීතියික එකක් බවටත්, එයට මුදල් වියදම් කිරීම නාස්තියක් බවටත් ගතානුගතික ලක් සමාජයේ තවමත් ඇති පිළිගැනීමයි.

මූලික මානව අවශ්‍යතා (basic human needs) නිර්වචන කිහිපයක් තිබෙනවා. කාටත් පිළිගත හැකි මූලික අවශ්‍යතා ලයිස්තුවක් සම්පාදනය කරන්නට සංවර්ධනය පිළිබඳ පර්යේෂකයන් හා ක‍්‍රියාකාරියන් 20 වන සියවසේ මැද පටන් විවිධ උත්සාහයන් ගත්තා. ආහාර පාන, ඇඳුම් හා නිවාස සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වුවත් බෙහෙත්, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ආදිය මූලික අවශ්‍යතා ද නැතහොත් ද්වීතියික අවශ්‍යතා ද යන්න ගැන විද්වතුන් වාද කළා.

1976දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) කොලොම්බියාව, කෙන්යාව හා ශ‍්‍රී ලංකාව යන රටවල කළ අධ්‍යයන මත පදනම් වී මූලික අවශ්‍යතා ලයිස්තුවක් යෝජනා කළා. එයට අයත් වූ අවශ්‍යතා 5 නම්: ආහාර පාන, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය හා පොදු ප‍්‍රවාහනයයි.

මේ වනතුරු බොහෝ ජාතයන්තර හා දේශීය මට්ටමේ ප‍්‍රතිපත්ති සම්පාදනයේදීත්, විද්වත් සාකච්ඡාවලත් යොදා ගැනෙන්නේ මේ ලයිස්තුවයි. එහෙත් ගෙවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ ලෝකය බෙහෙවින් වෙනස් වී, තාක්‍ෂණය ප‍්‍රගමනය වී තිබෙනවා. 21 වන සියවසට ගැලපෙන මූලික මානව අවශ්‍යතා විමර්ශනයට කාලය ඇවිත්.

මූලික අවශ්‍යතා සමාලෝචනය කළ යුත්තේ අද තොරතුරු සමාජයේ මානවයන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂාවන් ගැන ද සංවේදී වෙමින්. එසේ නොමැතිව උගත්කමේ උඩඟුබව හෝ පන්ති භේදයේ කුහකකම වැනි සාධක පෙරටු කර ගෙන නොවෙයි.

Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati
Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati

1990 දශකය මැදදී එක්සත් ජාතීන්ගේ ආයතන වෙනුවෙන් ආසියාවේ විවිධ රටවල දුත මෙහෙවරවල යෙදෙන විට මා හොඳාකාර දුටු දෙයක් නම් අඩු ආදායම් ලාභී නාගරික පැල්පත් වාසීන් පවා අතට මුදලක් ලද විගස වර්ණ ටෙලිවිෂන් යන්ත‍්‍රයක් ගන්නට තිබූ නැඹුරුවයි. බැංකොක්, ජකර්තා, මැනිලා, බොම්බාය, ඩාකා වැනි ආසියාවේ මහා නගර හැම එකකම පාහේ මේ ප‍්‍රවණතාව දැකිය හැකි වුණා.

තම නිවසට හරිහැටි වහලක් නැති, නිසි වැසිකිළි පහසුකම් නැති ජනයා ඒවාට වඩා ටෙලිවිෂනයට මුල් තැනදීම බොහෝ සංවර්ධන ක‍්‍රියාකාරිකයන් විමතියට පත් කළා. විද්වතුන් සමහරක් දෙනා එම පෞද්ගලික තීරණය හෙළා දුටුවා. ඒ ගැන මගේ මතය වූයේ නවීන සන්නිවේදනය මාධ්‍යවලට සමීප වීමට දුප්පතුන්ට ද එක හා සමාන අයිතියක් ඇති බවයි.

නිරතුරු එකිනෙකා අතර සන්නිවේදනය කර ගැනීමටත්, මාධ්‍ය හරහා තොරතුරු ග‍්‍රහනයත් මානවයන්ගේ මූලික ශිෂ්ටාචාරමය අවශ්‍යතාවක් බව ආතර් සී. ක්ලාක් දශක ගණනක් තිස්සේ අවධාරණය කළා. මානව සන්නිවේදනය ගැන සමීපව අධ්‍යයනය කළ ඔහු කීවේ සමාජශීලි සත්ත්වයකු වන මානවයාට සන්නිවේදනය, වාතය, ජලය හා ආහාර තරමට ම අවශ්‍ය බවයි.

ගෙවී ගිය වසර 15 පමණ තුළ ජංගම දුරකථන භාවිතය ලෝකයේ ඉතා ඉක්මනින් පැතිර ගියා. 2013 අග වන විට බිලියන් 7.3ක ලෝක ජනගහනය අතර ජංගම දුරකථන ග‍්‍රාහකත්වයන් බිලියන් 6කට වඩා භාවිතයේ තිබුණා. එනම් වයස 18ට වැඩි මානවයන්ගෙන් බහුතරයක් අද කුමන හෝ මට්ටමේ ජංගම දුරකථනයක් භාවිත කරන බවයි. ඒ බොහෝ දෙනකු කිසිදා ස්ථාවර දුරකථනයක් භාවිතා නොකර කෙලින්ම ජංගම දුරකථනයක් හිමි කර ගත් අයයි. (එසේම මෙටරත්, වෙන බොහෝ රටවලත් ස්ථාවර දුරකථන හිමිකම් සංඛ්‍යාව කෙමෙන් අඩු වෙමින් තිබෙනවා.)

වෙනස් වන ලෝක ස්ථාර්ථය සමග මානව සමාජයේ අපේක්‍ෂා හා අවශ්‍යතා ද පරිනාමය වනවා. මීට පරම්පරාවකට දෙකකට පෙර ‘සුඛෝපභෝගී’ යයි හඳුන්වා සීමිත පිරිසකට වෙන් කර තිබූ විදුලි බලය, නල ජලය ආදි පහසුකම් දැන් කොයි කාටත් ලබාදීමේ අවශ්‍යතාවය පිළිගැනෙනවා.

මේ ගොන්නටම සන්නිවේදන අවශ්‍යතාවය ද එක් වී ඇති බව මුලින්ම වටහාගත් නායකයකු වූයේ නෙල්සන් මැන්ඩෙලා (ධූර කාලය 1994-1999). 1995දී දකුණු අප‍්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කථාවක කීවේ ‘එකිනෙකා සමග සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව අවශ්‍යතාවක්’ කියායි.

ඒ වන විට මුළු අප‍්‍රිකා මහද්වීපයේම මිලියන් 800ක් ජනයාට ස්ථාවර හා ජංගම දුරකථන සියයට 1කට වඩා තිබුණේ නැහැ. එහෙත් එළැඹෙන වසරවල මේ සේවා පැතිර යනු ඇති බව මැන්ඩෙලා දුරදක්නා නුවණින් දැන සිටියා.

මැන්ඩෙලාට තිබූ ඒ විවෘත මනස හා අළුත් දේ විචාරශීලීව වැළඳ ගැනීමේ හැකියාව අපේ බොහෝ අයට නැහැ. කොයි කාගේත් සාක්කුවේ හෝ අත් බෑගයේ හමුවන ජංගම දුරකථනයගැන තවමත් වපර ඇසින් බලන්නේ ඒ නිසායි.

හැම දුරකථන ඇමතුමක්ම අධ්‍යාපනික, ව්‍යාපාරික හෝ වෙනත් ප‍්‍රායෝගික කටයුත්තක් සඳහාම විය යුතුද? ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ දුරකථන භාවිතයේ ලොකුම වටිනාකම ලෙස අඩු ආදායම්ලාභීන් සලකන්නේ මානව සබඳතා පවත්වා ගැනීම හා හදිසියකදී සම්බන්ධ වීමේ හැකියාවයි. ආර්ථික හා ජීවනෝපාය වාසි එන්නේ ප‍්‍රමුඛත්වයෙන් ඉන් පසුවයි.

http://lirneasia.net/projects/2010-12-research-program/teleusebop4/

සන්නිවේදනයට ඇති අයිතිය සියළු මානවයන්ගේ මූලික අයිතියක් බවට ආයතන හා විද්වත් කණ්ඩායම් පිළිගෙන තිබෙනවා. උදාහාරණයකට ලෝක රතු කුරුස හා රතු අඩසඳ සංවිධානවල සම්මේලෙනය (IFRC) ඔවුන් වාර්ෂිකව නිකුත් කරන ලෝක ආපදා වාර්තාවේ 2005 කලාපයේ (World Disasters Report 2005) තර්ක කළේ හදිසි අවස්ථා හා ආපදාවලට ලක්වූ ජනයාට ආහාර පාන, තාවකාලික නිවාස හා බෙහෙත් මෙන්ම සන්නිවේදන පහසුකම් ද අත්‍යාවශ්‍ය සහන සේවාවක් ලෙස සැලකිය යුතු බවයි.

wdr2005-coverවිශේෂයෙන්ම ආපදාවකදී හෝ යුද්ධයකදී පවුල් විසිරෙනවා. පවුලේ සාමාජිකයන් හෝ නෑ හිතමිතුරන්ට කුමක් සිදුවී දැයි නොදැන එයින් බලවත් සේ කම්පාවට හා දුකට පත් වන සංඛ්‍යාව ඉහළයි. ‘‘විපතට පත්වූ ජනයාට කෑම බීම, බෙහෙත් හා තාවකාලික නවාතැන් තරමටම තොරතුරු සන්නිවේදනය ද වැදගත් වනවා. කලට වේලාවට ලැබෙන තොරතුරු නිසා ජීවිත හා ජීවිකා බේරා ගත හැකිවාක් මෙන්ම කැළඹුණු සිත් සතන් සන්සුන් කළ හැකියි. මේ නිසා තොරතුරු හා ඒවායේ නිසි සන්නිවේදනයත්, විපතට පත් වූවන්ට සන්නිවේදන පහසුකම් සැලසීමත් ආපදාවන්ට ප‍්‍රතිචාර දැක්වීමේ එක් අනිවාර්ය අංගයක් විය යුතුයි’’ IFRC කියා සිටියා.

http://www.ifrc.org/Global/Publications/disasters/WDR/69001-WDR2005-english-LR.pdf

මීට පරම්පරාවකට දෙකකට පෙර තිබූ යථාර්ථය දැන් වෙනස්. අපේ රටේ වුවත් බොහෝ පවුල්වල සාමාජිකයෝ නැතිනම් නෑ හිතමිතුරෝ රටේ හා ලෝකයේ දුර තැන්වල පදිංචිව සිටිනවා. රැකියා කරනවා. අපේ ජනගහනය මිලියන් 20.5ක් වන විට (2012 සංගණනය හා එතැන් සිට ප‍්‍රක්‍ෂෙපනය) විදේශගත ලාංකිකයන් ගණන මිලියන් 2ක් පමණ වනවා. මේ දෙපිරිස අතර සන්නිවේදන තාක්‍ෂණයන් (විශේෂයෙන් ජංගම දුරකථන හා පරිගණක Skype) හරහා කැරෙන නිරතුරු කථාබහක් තිබෙනවා. එම පහසුකම් ලැබීමේ හැකියාව වැඩි වී වියදම අඩු වී තිබෙනවා.

මේ පසුබිම තුළ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් ලෙස පිළිගැනීම ප‍්‍රායෝගිකයි. එසේම එය සාක්‍ෂාත් කිරීමට රටට අමතර ආයෝජන දැරීමට සිදු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ 1960-1970 දශකවල පැවති යථාර්ථයට අනුගත වූ මූලික අවශ්‍යතා පිළිබඳ පරණ සංකල්ප නැවත විමසා බලා 21 සියවසට අලූත් කර ගැනීමේ බුද්ධිමය විවෘත බව පමණයි.

See also:

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

සිවුමංසල කොලූගැටයා #171: දුම්වැටියේ මායාව හා යථාර්ථය

In this week’s Ravaya column (in Sinhala), I explore the formidable policy dilemmas posed by tobacco control in Sri Lanka. I argue that it isn’t a simple or simplistic battle between ‘good’ and ‘evil’ as anti-tobacco activists would make us believe.

There is no doubt that tobacco kills many smokers — and some non-smokers, too. Yet starting, continuing or quitting smoking is a personal lifestyle choice which, at least in democracies, governments can’t legislate. As long as tobacco remains a legitimate trade, education and persuasion must complement legal regulation.

I covered similar ground in English in a recent column: When Worlds Collide #109: Huffing and puffing over Tobacco in Sri Lanka

May 31 is World No Tobacco Day

දුම්කොළ පිටු දැකීම සඳහා ලෝක දිනය (World No Tobacco Day) යළිත් වරක් මැයි 31 වනදා සමරනු ලැබුවා.

එයට මූලික වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට දුම් කොළ භාවිතය (දුම්පානය හා දුම්කොළ විකීම) නිසා හට ගන්නා බරපතල රෝග නිසා වසරකට අඩු තරමින් මිලියන් හයක් (ලක්‍ෂ 60ක්) දෙනා අකාලයේ මිය යනවා. මේ අතරින් ලක්‍ෂ හයක් සෘජුව නොව දුම් පානය කරන්නන් අසල සිටීම නිසා නිෂ්කී‍්‍රය නැතහොත් අනියම් දුම් පානයට ලක් වන අයයි.

‘‘දුම් පානය හා දුම් කොළ ඇබ්බැහිකම දැන් ලෝකයේ වළක්වා ගත හැකි සාධකයකින් ඇති වන විශාලතම සෞඛ්‍ය තර්ජනයයි. මෙය පාලනය කර නොගතහොත් 2030 වන විට වසරකට ලොව පුරා මිලියන අටක් (ලක්‍ෂ 80ක්) මිය යනු ඇති. ඔවුන්ගෙන් බහුතරයක් (80%කට වඩා) සිටින්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි’’ WHO කියනවා.

ශ‍්‍රී ලංකාවේත් මහජන සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් දුම් කොළ හරහා එල්ල වනවා. 2009දී සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල ප‍්‍රකාශනයකට (Brief Profile on Tobacco Control in Sri Lanka) අනුව වසරකට දුම්පානය නිසා හට ගන්නා රෝගාබාධ නිසා අවම වශයෙන් 20,000ක් දෙනා අකාලයේ මිය යනවා. සාමාන්‍යයක් ලෙස ගත හොත් දිනකට 56 දෙනකු බැගින්.

එසේම දුම්කොළ ඇබ්බැහිකමින් මතු වන දිගු කාලීන ආබාධවලට ප‍්‍රතිකාර කිරිමට රජයේ සෞඛ්‍ය සේවයට අති විශාල මුදලක් වැය වනවා.

2009 වාර්තාවලට අනුව මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් 39%ක්ද වැඩිහිටි කාන්තාවන්ගෙන් 2.6%ක් ද නිතිපතා දුම්පානය කරනවා. දුම්කොළ පාලනය සඳහා වන ලෝක සම්මුතියට Framework Convention on Tobacco Control (FCTC) ශ‍්‍රී ලංකා රජය අත්සන් කළේ 2003දී. එනම් එය WHO ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත කර ගත් වසරේමයි. මේ වන විට ලොව රටවල් 178ක් එයට බැඳී සිටිනවා.

සම්මුතියට අනුකූල වෙමින් බොහෝ පොදු ස්ථානවල දුම්පානය නීතියෙන් තහනම් කොට තිබෙන අතර දුම්කොළ වෙළඳ දැන්වීම්, අනෙකුත් ප‍්‍රචාරණය හා අනුග‍්‍රාහකත්ව ද තහනම්. මේ සඳහා ජාතික දුම්කොළ හා මත්පැන් අධිකාරියක් (NATA) 2006 වසරේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවනු ලැබුවා.

දුම් පානය පාලනය කිරීමේ අළුත්ම ක‍්‍රමෝපාය නම් සිගරට් පැකට්ටුවල රූපමය අනතුරු ඇඟවීමක් මුද්‍රණය කළ යුතුය යන්නයි. මෙය මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් කරනු ලැබුවේ පැකට්ටුවේ මතු පිටින් 80%ක් එවන් අනතුරු ඇඟවීමකට යෙදවිය යුතුය කියායි.

එහෙත් එයට අභියෝග කරමින් මෙරට දුම්වැටි ඒකාධිකාරය හිමි ලංකා දුම් කොළ සමාගම (CTC) අභියාචනාධිකරණය වෙත ගියා. දෙපාර්ශවයේම තර්ක සලකා බලා අධිකරණය තීරණය කළේ රූපමය අනතුරු ඇඟවීම මතු පිටින් 50-60%ක් දක්වා යොදා ගෙන කළ යුතු බවයි.

මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත් නමුත් ප‍්‍රශ්නය එතැනින් මුළුමනින් විසඳී නැති බවත් පෙනෙනවා. රූපමය අනතුරු ඇඟවීම 80%ක් ම කළ යුතු යයි තරයේ කියා සිටින ක‍්‍රියාකාරිකයන් සිටිනවා.

WHO encourages pictorial warnings

මෙරට වෛද්‍ය වෘත්තිය නියෝජනය කරන ප‍්‍රධානතම වෘත්තික සංවිධානය වන ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) කියන්නේත් 80% අනතුරු ඇඟවීමට ඔවුන් සම්පූර්ණ සහයෝගය දෙන බවයි.

දුම් පානයට එරෙහිව අරගල කරන වෛද්‍යවරුන් හා අනෙකුත් ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු විවාදයක් නැහැ. කිසිදා දුම්පානය නොකළ හා නිෂ්ක‍්‍රීය දුම්පානයෙන් නිතර බැට කා ඇති ඇදුම රෝගියකු වන මා, දුම්කොළ නිවාරණයට පෞද්ගලිකව පක්‍ෂයි. එහෙත් සමාජ අරගල කළ යුත්තේ යථාර්ථවාදීව හා ප‍්‍රායෝගික තලයක සිටයි.

සිගරට් පැකට්ටුවල වාචික හා රූපමය අනතුරු ඇගවීම් ප‍්‍රදර්ශනය කිරීම කලක් තිස්සේ දියුණු බටහිර හා ආසියාතික රටවල කැරෙන මහජන අධ්‍යාපන උපක‍්‍රමයක්. එහෙත් මෙරටට මේ උපක‍්‍රමය ගැලපෙනවා ද යන්න ප‍්‍රශ්නයක්.

හේතුව ආර්ථික සාධක නිසා අපේ දුම්බොන්නන් බහුතරයක් සිගරට් මිළට ගන්නේ සිල්ලරට. වරකට එකක් හෝ කිහිපයක් බැගින්. මුළු පැකට්ටුවම එකවර මිලට ගන්නේ 5%ක් පමණක් බවත්, අතිබහුතරය (95%) සිල්ලරට ගන්නා බවත් අම්බා පර්යේෂණායතනය (Amba Research) නම් වූ ආර්ථික විශ්ලේෂණ සමාගම හා කොළඹ කොටස් වෙළඳපොල හවුලේ 2013 ඔක්තෝබරයේ නිකුත් කළ වාර්තාවක කියනවා.

ඒ කියන්නේ මෙතරම් වෙර දරා රූපමය අනතුරු ඇඟවීම් මෙරට පටන් ගත්ත ද බහුතරයක් දුම් බොන්නන් අතට අය පත් නොවනු ඇති බවයි! මීට වඩා ප‍්‍රායෝගික විය හැක්කේ සිගරට් විකුණන හැම තැනකම ප‍්‍රබල රූපමය අවවාදයක් හා අනතුරු ඇඟවීමක් කාටත් පෙනෙන සේ ප‍්‍රදර්ශනය කිරිමයි.

සිගරට් වෙළඳාම ගැන මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ බරපතල විරෝධතා තිබුණත් එය නීති විරෝධී ව්‍යාපාරයක් නොවෙයි. සිගරට් රටේ නීතිවලට අනුකූලව නිපදවා, නීති රීතිවලින් ඉඩදී ඇති පරිදි බෙදා හැර අලෙවි කැරෙන භාණ්ඩයක්. දුම්කොළ සමාගම් සූක්‍ෂම ලෙසින් කලා, ක‍්‍රීඩා හා වෙනත් ක්‍ෂෙත‍්‍රවලට බලපෑම් කරන බවට තර්කයක් කලක සිට තිබෙනවා. එහෙත් මෑත වසරවලදී අනියම් ප‍්‍රචාරණය පවා නීතිරීති මගින් දැඩි ලෙස සීමා කොට තිබෙනවා.

දැන් නීතියෙන් කළ හැකි වැඩ කොටස සංතෘප්ත වී ගෙන එන බවත්, ඉතිරිය දැනුවත් කිරීම හා නම්මවා ගැනීම හරහා සිදු විය යුතු බවත් පිළිගත යුතුයි.

SLMA සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් හා එහි දුම්පානය හා මත්පැන් පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය නාරද වර්ණසූරිය මෑතදී පුවත්පත් ප‍්‍රකාශයක කීවේ ‘‘මෙරට මත්පැන්, මත්ද්‍රව්‍ය හා චර්යාව සම්බන්ධ අන් සියලූ සාධකවලට වඩා විශාල හානියක් වන්නේ දුම් පානයෙන් නිසා එයට ප‍්‍රමුඛතාවයක් දීම අවශ්‍යයි.’’

රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්‍ද්‍රය (ADIC) මෙරට දුම්පානය හා මත්පැන් පානය ගැන වසරකට දෙවතාවක් බැගින් වෙනම සමීක්‍ෂණ පවත්වනවා. 1998 සිට සිදු කර ඇති සමීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව පෙනෙන්නේ දුම්පානය කරන ජන ප‍්‍රතිශතය ටිකෙන් ටික අඩුවන බවයි. එසේම ලාබාල හා තරුණ කොටස් අතර එය වඩාත් අඩු බව ද පෙනෙනවා.

Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys [Full reports at: http://www.adicsrilanka.org/publication/]
Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys. Full reports at: http://www.adicsrilanka.org/publication/
දැනට ප‍්‍රකාශිත අන්තිම සමීක්‍ෂණය කළේ 2013 ජූලි මාසයේ මෙරට දිස්ත‍්‍රික්ක 10කයි. වයස 14ට වැඩි පිරිමි 2,465 දෙනකු එයට හවුල් කර ගනු ලැබුවා. එහි ප‍්‍රතිඵලවලින් මෙරට දුම්පානයේ ප‍්‍රවණතා ගැන දළ ඉඟියක් ලද හැකියි.

දැනට දුම්පානය කරන අයගේ ප‍්‍රතිශතය සාම්පලයෙන් 32.5%ක් වුණා. එහෙත් වයස 40ට වැඩි පිරිස අතර එය 36.7%ක් වූ අතර වයස 15-24 අතර පිරිසේ දුම්පානය කළේ 26.9%ක් පමණයි.

දුම්බොන අයගෙන් සියයට 70ක් දෙනා දිනපතාම සිගරට් බොනවා. බහුතරයක් (තුනෙන් දෙකක්) එබඳු අය සිගරට් 5ක් හෝ ඊට අඩුවෙන් දිනකට පානය කරනවා.

සිගරට් බොන අයගෙන් තුනෙන් එකකටම ඒ සඳහා හරිහමන් හේතුවක් නැහැ. තවත් 31% කීවේ පුරුද්දට දුම් බොන බවයි. ඉතිරි හේතුන් වූයේ සන්තෝෂයට (19%), සමාජශීලි වන්නට (14%), ප‍්‍රශ්න අමතක කරන්නට (3.4%) හා මිතුරු බලපෑම් නිසා (1.1%).

දැනට දුම්පානය කරන අයගෙන් 60%ක්ම යම් අවස්ථාවක එම ඇබ්බැහිකම නතර කිරීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. මෙයින් පෙනෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය හා සදාචාරාත්මක සාධක ඉක්මවා යන මානසික හා සමාජයීය සාධක මෙහි ක‍්‍රියාත්මක වන බවයි. මේවා සියුම්ව ග‍්‍රහණය කිරීම වැදගත්.

හැම සමීක්‍ෂණයක ම එයට ආවේණික වූ සීමාවන් තිබෙනවා. එහෙත් හුදෙක් මතවාදයන් හා ආවේග මත දුම්වැටි විරෝධී ව්‍යාපාරයන් ගොඩනංවනවා වෙනුවට ADIC ඇතුළු විවිධ ආයතන සිදු කර ඇති සමීක්‍ෂණ හා මෙරට වෙළඳපොළ යථාර්ථය මත පදනම් වීම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලබාදිය හැකියි.

දුම් පානය ගැන විවාදයට එක් වෙමින් ප‍්‍රවීන ලේඛක, තීරුලිපි රචක හා නිවහල් චින්තකයකු වන ගාමිණී වියන්ගොඩ 2014 මැයි 31 රාවයේ කීවේ: ‘‘ මගේ තර්කය වන්නේ දුම් පානය සම්බන්ධයෙන් තිබිය යුත්තේ සෞඛ්‍ය සහ ආර්ථික විද්‍යා ගැන සැළකිලිමත්වීම මිස, ආගමික හෝ සදාචාර කොක්කක එල්ලීම නොවන බව පමණි. එහෙත් වෙනත් ලෞකික තහංචි සේම මේ දුම්පාන විරෝධයත් අප වෙත එන්නේ, එක්තරා ආගමික/පාරිශුද්ධවාදී හැඟීමකිනි. වරද ඇත්තේ එතැනයි.’’

මෙයට මාත් එකඟයි. සෞඛ්‍ය විද්‍යාත්මකව දුම්පානයට එරෙහි වීමට ඕනෑවටත් වඩා ප‍්‍රබල සාක්‍ෂි සමුදායක් තිබියදී අපේ වෛද්‍යවරුන් හා සමාජ ක‍්‍රීයාකාරිකයන් මෙසේ සදාචාරය ඈඳා ගැනීම අනවශ්‍ය ලෙස මේ සංවාදය ව්‍යාකූල කිරීමක්.

සමාජයක් ලෙස අපට කළ හැක්කේ පොදු අවකාශයන්හි නිෂ්ක‍්‍රීය දුම්පානයේ අවදානම තුරන් කිරීමත්, දුම්පානයෙන් අත්මිදෙන්නට යන්තමින් හෝ ඕනෑකමක් ඇති අයට (අනවශ්‍ය සුචරිතවාදී කථා නොකියා) එයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක හා සෞඛ්‍යමය අත්වැලක් සැපයීමත් පමණයි.

දුම්වැටි විරෝධය හුදෙක් ලය හෝ හෘද විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. දුම්බොන්නන්ගේ මානසිකත්වය හරි හැටි තේරුම් ගැනීමට මනෝ විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍යයි. මෙය අපේ කාලයේ ප‍්‍රබල සන්නිවේදන අභියෝගයක් ලෙස සලකමින්, සුචරිතවාදය වෙනුවට සියුම් තර්ක හරහා දුම්පානය කරන අය සමග සංවාදශීලි විය යුතුයි. ඔවුන් සැවොම ඉක්මනින් තම චර්යාව වෙනස් නොකරන බවත් සිහිතබා ගත යුතුයි.

ප‍්‍රශස්ත සන්නිවේදනයේ මූලික අවශ්‍යතාවයක් වන්නේ තමන් අමතන්නාගේ අවධානය යොමු කරවා ගෙන ඉන් පසු ඔවුන්ගේ සිත් දිනා ගැනිමයි. අනගාරික ධර්මපාලයන් මීට සියවසකට පෙර කළා යයි කියන ආකාරයේ පරුෂ වචන යොදා ගෙන බැන වැදීම අද සංකීර්ණ සමාජයන්හි පිළිගත හැකි හෝ සාර්ථක ක‍්‍රමයක් නොවෙයි. (එකල පවා එය සාර්ථක වූවා ද යන්න සැක සහිතයි!)

දුම් පානය කරන්නවුන් මෝඩයන්වත්, පාපතරයන්වත් නොවෙයි. ඔවුන්ට නිග‍්‍රහ කිරීමෙන් හෝ සමච්චල් කිරීමෙන් හෝ ඒ පුරුද්දෙන් ඔවුන් අත්මිදෙනු වෙනුවට බොහෝ විට සිදු වන්නේ ඔවුන්ගේ අධිෂ්ඨානය තවත් තිරසාර වීමයි.

දුම්කොළ සමාගමට බෙදන හැන්දෙන් ම දුම්කොළයට ඇබ්බැහි වූවන්ට ද බෙදීම නිසි ක‍්‍රමෝපායක් නොවන බවත්, වඩාත් සංවේදී හා සංවිධානාත්මක වූ සන්නිවේදනයක් අවශ්‍ය බවත් දුම්කොළ විරෝධීන් අවබෝධ කර ගත යුතුයි.

Infographic courtesy Gulf News
Infographic courtesy Gulf News

සිවුමංසල කොලූගැටයා #167: ඩෙංගු මර්දනයට දේශීය පෙළ ගැස්මක්

The world’s fastest growing vector-borne disease is dengue, which has recorded a 30-fold increase over the last 50 years. Dengue is mostly transmitted by a mosquito species named Aedes aegypti, which breeds in water containers in and around homes. It is thus closely linked to environmental factors and human behavior.

In this week’s Ravaya column (in Sinhala), I discuss strategies for dengue control in Sri Lanka — including the use of an organic insecticide developed by a Lankan innovator.

I covered similar ground in English recently in two columns:

25 April 2014: When Worlds Collide #104: Dengue Control sans Chemicals?

18 April 2014: When Worlds Collide #103: Combating Dengue, a ‘Silent Disaster’

Dengue carrying mosquito: Aedes aegypti
Dengue carrying mosquito: Aedes aegypti

ජාතික මදුරු මර්දන සතිය නැවත වරක් අපේ‍්‍රල් 2-8දිනවල පැවැත්වුණා. අපේ‍්‍රල් 7වනදාට යෙදුණු ලෝක සෞඛ්‍ය දිනය සඳහා මේ වසරේ තේමාව වූයේ වාහකයන්ගෙන් පැතිරෙන රෝගයි (vector-borne diseases).

ගෝලීයකරණය සමග වඩාත් ව්‍යාප්ත වන වෙළඳාම් හා සංචාර හරහාත්, නාගරීකරණය හා දේශගුණ විපර්යාස වැනි සංසිද්ධීන් නිසාත් විෂබීජ වාහකයන්ගේ පැතිර යාම වඩාත් උත්සන්න වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

රෝග වාහකයන් අතර උකුණන්, මකුනන් ආදි සතුන් ද සිටියත් වඩාත් ම හානිකර වන්නේ විවිධ මදුරු විශේෂයි. ඇති කරන මරණ සංඛ්‍යාව අනුව බැලූ විට භයානක ම වාහකයා මැලේරියා රෝග වාහක ඇනෝෆිලීස් මදුරුවන්. 2010දී මැලේරියාව නිසා ලෝකයේ මරණ 660,000ක් සිදු වුණා (බහුතරය අප‍්‍රිකානු ළමයින්).

නමුත් අද ලෝකයේ වඩාත් සීඝ‍්‍රයෙන් පැතිරෙන හා වඩාත් ම ප‍්‍රබල මහජන සෞඛ්‍ය තර්ජනය එල්ල කරන වාහක රෝගය වන්නේ ඩෙංගු රෝගයයි. ගෙවී ගිය අඩ සියවස තුළ එය වැළඳුණු ජන සංඛ්‍යාව 30ගුණයකින් වැඩි වී තිබෙනවා.

ඩෙංගු රෝගය බොහෝ කොට පතුරුවන්නේ ඊඩිස් ඊජිප්ටායි (Aedes aegypti) නම් මදුරු විශේෂයයි. නිවෙස්වල හා ගෙවතුවල ජලය එකතු වන තැන්වල ඉක්මනින් බෝවන මේ මදුරුවාගේ පැතිරීම මිනිස් චර්යාවන්ට හා පාරිසරික සාධකවලට සෘජුවම සම්බන්ධයි.

1960දශකය මුලදී ඩෙංගු රෝගය වාර්තා වූයේ ලොව රටවල් 9කින් පමණයි. වාර්ෂිකව රෝගීන් 15,000ක් පමණ සිටියා. මේ වන විට (2013) අඩු තරමින් රටවල් 100ක වාර්ෂිකව රෝග තත්ත්වයන් මිලියන 390ක් පමණ වාර්තා වන බව ලෝක රතු කුරුස හා රතු අඩසඳ සම්මේලනය (IFRC) කියනවා.

ඩෙංගු වැනි රෝග ලක්‍ෂණ විටින් විට වාර්තාව තිබුණත් මුල් වරට ශ‍්‍රී ලංකාවේ ඩෙංගු රෝගය විද්‍යාත්මකව තහවුරු කෙරුණේ 1962දී. මුල් කාලයේ එය පැතිර ගියේ සෙමින්. එහෙත් මුල් වරට 1988දී එය වසංගත තත්ත්වයකට පත් වුණා. ඩෙංගු රෝගය බහුලව හමුවන ලෝකයේ රටවල් 30අතරට දැන් ශ‍්‍රී ලංකාව එකතු වී තිබෙනවා.

මෙරට ඩෙංගු රෝග විකාශනය ගැන පර්යේෂණ වාර්තාවක් සම්පාදනය කළ පේරාදෙණිය සරසවියේ වෛද්‍ය පීඨයේ වෛද්‍ය පී. ඞී. එන්. එන්. සිරිසේන හා වෛද්‍ය එෆ්. නූර්දින් කියන්නේ මුලදී නගරබදව හමු වූ ඩෙංගු රෝගය මේ වන විට අර්ධ නාගරික හා ග‍්‍රාමීය ප‍්‍රදේශවලට ද පැතිරෙමින් ඇති බවයි. http://tiny.cc/DengSL

තවමත් වැඩිපුර ඩෙංගු රෝගීන් හමු වන්නේ බස්නාහිර පළාතෙන් වුවත් (2007සමස්ත රෝග තත්ත්වයන්ගෙන් 44.9%) උතුරුමැද, වයඹ, සබරගමුව පළාත්වල ද ඩෙංගු රෝග සංඛ්‍යාව සීඝ‍්‍ර ලෙස ඉහල ගොස් තිබෙන බව ඔවුන් කියන්නේ නිල සෞඛ්‍ය දත්ත අනුවයි.

එසේම 2009දී යුද්ධය අවසන් වූ පසු උතුරු හා නැගෙනහිර පළාත්වල ද ඩෙංගු බහුලව වාර්තා වනවා. විශේෂයෙන් යාපනය හා මඩකලපුව නගරවල. මෙයට හේතුව ලෙස පර්යේෂකයන් දකින්නේ යුද්ධය නිමාවෙන් පසු උතුරු-දකුණු ගමන් බිමන් බහුල වීමයි.

මේ අතර දේශගුණ විපර්යාස නිසා හට ගන්නා අකල් වැසි, ආන්තික කාලගුණ තත්ත්වයන් ආදිය නිසා ද ඩෙංගු මදුරුවන් පැතිරීමට ඇති ඉඩ වැඩි වනවා. ඉදිරියේදී ඩෙංගු මර්දන වැඩසටහන් සකස් කරන විට මේ දේශගුණ විපර්යාස සැලකිල්ලට ගත යුතු යයි සිරිසේන හා නූර්දීන් නිර්දේශ කරනවා.

ඩෙංගු රෝගයට එරෙහිව එන්නතක් හෝ වයිරස්-විරෝධ බෙහෙතක් (antiviral drug) තවමත් නිපදවා නැති නිසා තිබෙන හොඳම ආරක්‍ෂණ උපක‍්‍රමය නම් රෝග වාහකයන්ගේ පැතිරීම සීමා කොට අවම කිරීමයි.

ඩෙංගු යනු වළක්වා ගත හැකි රෝගයක් බවත්, උතුරු හා දකුණු අමෙරිකානු මහාද්වීපවල දැඩි මහජන සෞඛ්‍ය පියවර මගින් ඩෙංගු තුරන් කර ගැනීමට සමහර රටවලට හැකි වූ බවත් IFRC සංවිධානය පෙන්වා දෙනවා.

ඩෙංගු මදුරුවන් බෝවීම අවම කිරීමට මනා සේ පාරිසරික පිවිතුරු බව හා ප‍්‍රවේශම්කාරී බව අත්‍යාවශ්‍යයි. ඩෙංගු මදුරුවන් බිත්තර දමා, කීටයන් බිහි වී පරිනත වන්නේ ජල මාධ්‍යයේයි. පිරිසිදු ජලය මෙන් ම කාබනික ද්‍රව්‍ය මුසු වූ ජලයේ ද මෙය සිදුවිය හැකියි. පර්යේෂකයන් මෑතදී සොයා ගෙන ඇත්තේ කිවුල් දියේ පවා ඔවුන්ට බෝවිය හැකි බවයි.

ඩෙංගු කාරක වෛරසය ජානමය වශයෙන් අනුවර්තනය වීමට සමත් බවත්, වාහක මදුරු විශේෂ ද කෙටි කලකින් නව පාරිසරික තත්ත්වයන්ට හැඩ ගැසෙන බවත් පර්යේෂකයන් දැන් තේරුම් අරන්. ඒ අනුව ඩෙංගු මර්දන උපක‍්‍රම ද අළුත්ම පර්යේෂණ දැනුමට අනුව කලින් කලට වෙනස් කර ගත යුතු යයි ඔවුන් කියනවා.

ඩෙංගු මර්දනයට මේ දක්වා මෙරටත්, වෙනත් බොහෝ රටවලත් යොදා ගන්නේ මදුරු නාශක රසායන ද්‍රව්‍යයි. මේවා ධූමකාරක යන්ත‍්‍ර හරහා ගෙවතු හා ගේ දොරවලට මුදා හරිනවා. මෙය ප‍්‍රතිඵල ගෙන දුන්න ද දිගට ම පවත්වා ගත යුතු ක‍්‍රියාදාමයක්.

එක ම ප‍්‍රදේශයක නිශ්චිත කාල වකවානුවකට වරක් එම රසායන යෙදීම හරහා මදුරු ගහන පාලනය කළ හැකියි. එහිදී තීරණාත්මක වන්නේ පොදු හා පෞද්ගලික ස්ථානයන්හි මදුරුවන්ට බෝවීමට උපකාරවන ජලය එකතු වන අපද්‍රව්‍ය, රඳවනයන් හා ස්වාභාවික තැන් සොය සොයා ඉවත් කිරිමයි. මෙය ද යළි යළිත් කළ යුත්තක්. දිගට ම පවත්වා ගත යුතු නිරන්තර ආරක්‍ෂක පියවරක්.

මදුරු නාශනය සඳහා දිගු කලක් තිස්සේ මෙරටත්, ලොව බොහෝ රටවලත් යොදා ගත්තේ DDT නම් විෂ රසායනිකයයි. DDT ජනාවාස ඇති ප‍්‍රදේශවල පුළුල්ව ඉසීමේ යෙදුණු මුල් ම ආසියානු රට බවට ශ‍්‍රී ලංකාව පත්වූයේ 1945 අගදී. DDTවල පාරිසරික හා සෞඛ්‍යමය විපාක ගැන දැන ගත් පසු බොහෝ රටවල් එය භාවිතය නතර කළා.

13 January 2013: සිවුමංසල කොලූ ගැටයා #100: නිහඬ වසන්තයේ අඩසියවසක යශෝරාවය

මදුරු මර්දනය සඳහා කෘති‍්‍රම රසායන නොවන දේශීය උපක‍්‍රම තිබේ ද?

K M Wijepala with his organic products - Photo by Janaka Sri Jayalath
K M Wijepala with his organic products – Photo by Janaka Sri Jayalath

තනිකර ම පැළැටි සාරයන් යොදා ගෙන මදුරු මර්දනයට සාර්ථක දේශීය විසඳුමක් නිපදවීමට නුවර එළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කේ. එම්. විජේපාල මහතා සමත්ව සිටිනවා. (මීට පෙර මා හඳුන්වා දුන්නේ ඔහු නිපදවූ කාබනික පොහොර ගැනයි. එයට අදාල වට්ටෝරුව ඔහු නොමිළයේ ගොවින්ට ලබා දෙනවා.)

9 Sep 2012: සිවුමංසල කොලූ ගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

26 January 2014: සිවුමංසල කොලූ ගැටයා #153: කාබනික ගොවිතැන: උද්‍යොගපාඨවලින් ඔබ්බට?

මදුරු මර්දනය සඳහා උපක‍්‍රම දෙකක් ඔහු යෝජනා කරනවා.

පළමුවැන්න – ඔවුන්ගේ ප‍්‍රජනන (බෝවීමේ) ක‍්‍රියා අවහිර කිරීම. කීටයන් අවධියේ ම ඔවුන් සිටින තැන් සොය සොයා විනාශ කිරීම.

දෙවැන්න – ඔවුන් මිනිස් අප සමීපයට ඒම වැළැක්වීම. ඒ සඳහා ඔවුන් අප වෙතින් පළවා හරින (repellant) ආකාරයේ රසායනික සිරුරේත් ගෙදර දොරෙත් භාවිත කිරීම.

කලක් අත්හදා බැලීම් කොට ඔහු නිපදවා ඇති OK (Organic King) නම් මදුරු නාශක ද්‍රාවණය මේ උපක‍්‍රම දෙකට ම යොදා ගත හැකියි. එය කොහොඹ ගසේ සාරයෙන් තනා ගන්නා නිසා සෙසු ජීවීන්ට හා මිනිසුන්ට විස නැහැ. (වැරදීමකින් ටිකක් පෙවුනත් කිසිදු හානියක් නැතැයි ඔහු කියනවා!)

වතුර ලීටර් 16කට ධණ ද්‍රාවණයේ මිලි ලීටර් 50ක් මිශ‍්‍ර කර ගෙවත්තේ ඉසීම සති දෙකකට සෑහෙන බවත්, කාමරයක් තුළට මදුරුවන් ඒම පළවා හරින්නට සතියකට වරක් ටිකක් ඉසීම ප‍්‍රමාණවත් බවත් ඔහු කියනවා.

දියරයෙන් බිඳක් ඇඟිල්ලට ගෙන කන් පෙති පිටුපස තවරා ගැනීම හරහා පැය 3-4ක් කිසි මදුරුවකු තමාට ළං වීම වළක්වනවා. වාහන තුළ සුවඳ විහිදුවන විලවුන්කාරකයට බින්දු කිහිපයක් එකතු කළොත් වාහනයට මදුරුවන් ඒම ද වළකිනවා.

‘මදුරුවන් සංඛ්‍යාව අඩු කිරීම අවශ්‍යයි. බෝවීම අවහිර කරන්නේ ඒ සඳහායි. ඒ අතර කෙසේ හෝ බිහි වන මදුරුවන් අපට ළං වීම වළක්වා ගැනීම ද කළ යුතුයි.’ විජේපාල මහතා කියනවා.

OKමදුරු හා කෘමි නාශකයට ශ‍්‍රී ලංකා පේටන්ට් බල පත‍්‍රයක් 2013දී පිරි නැමුණා. කාර්මික පර්යේෂණායතනය (ITI) එහි බලපෑම් ගැන ස්වාධීනව පර්යේෂණ කොට තහවුරු කොට තිබෙනවා. සෞඛ්‍ය හා කෘෂිකර්ම අමාත්‍යාංශ මගින් ද මෙරට අලෙවියට හා භාවිතයට සුදුසු රසායනිකයක් හැටියට එය නිල වශයෙන් අනුමත කොට තිබෙනවා.

මධ්‍යම පරිසර අධිකාරිය මෑතදී මෙරට මදුරු නාශක නිපදවන්නන්ගේ රැස්වීමකටතමා කැඳවූ බවත්, ධණ ද්‍රාවණයේ පාරිසරික වාසි ගැන ඔවුන් පැහැදී සිටින බවත් විජේපාල මහතා කියනවා.

OK යනු මදුරුවන්ට පමණක් නොව බෝගවලට හානි කරන කෘමි පලිබෝධකයන්ටත් එරෙහිව ක‍්‍රියා කරන ස්වාභාවික රසායනික සංයෝගයක්. පරිසර හානි නොකර පලිබෝධකයන් පමණක් මර්දනයට මෙබදු කාබනික කෘමි නාශක හැකි තාක් යොදා ගැනීම කාලීන අවශ්‍යතාවයක්.

OK logo

විජේපාල මහතා සුළු ව්‍යාපාරිකයෙක්. කෘෂි රසායනික නිපදවා අලෙවි කරන විදේශ හා දේශීය මහා සමාගම් සමග තරගයට තම නිෂ්පාදන ප‍්‍රචාරණය කරන්නට ඔහුට මුදල් නැහැ. එහෙත් තම නිෂ්පාදනවල කාර්යක්‍ෂමතාව පිළිබඳව පර්යේෂණාත්මක සහතිකත්, පාරිසරික හිතකරභාවය නම් වූ අමතර වාසියත් ඔහු හුවා දක්වනවා.

ඩෙංගු මර්දනයට ජෛව පාලනය සඳහා විදේශවලින් බැක්ටීරියා (BTI) ගෙන්වීමට තිබූ නිල උනන්දුව හා මහජන මුදල් යෙදවීම මෙබදු දේශීය විසඳුමකට ලැබෙයි ද?

විජේපාල මහතාගේ GOLF නම් වූ කාබනික පොහොර ගැන මීට සති කිහිපයකට පෙර ට්විටර් සමාජ මාධ්‍යයේ මා සඳහන් කළ විට එක් ප‍්‍රතිචාරයක් වූයේ ‘‘ඔය පොහොරවල ගුණාගුණ ගැන විද්වත් පර්යේෂණ කොට ජාත්‍යන්තර සඟරාවක නිබන්ධන පළ කොට ඇත්ද?’’ යන්නයි.

තවම එබන්දක් සිදුව නැහැ. විජේපාල යනු ශාස්ත‍්‍රාලීය උගතකු නොව ප‍්‍රායෝගිකව අත්දැකීම් රැසක් ලැබූ, ගැටළු විසඳීමට යොමු වූ නව නිපැයුම්කරුවෙක්. ඔහුගේ විසඳුම් තව දුරටත් පර්යේෂණ හරහා විමර්ශනය කිරීම හා වැඩි දියුණු කිරීම අපේ විද්වතුන්ට කළ හැකි දෙයක්.

එහෙත් සර්ව සම්පූර්ණ පර්යේෂණ ප‍්‍රතිඵල ලැබෙන තුරු ඩෙංගු මදුරු මර්දනය කල් දැමිය නොහැකියි. ළඟ එන නිරිතදිග මෝසම් වැසි සමග නැවතත් ඩෙංගු රෝග වාහකයන් ප‍්‍රබල ලෙස බෝවනවා. එහිදී එය මර්දනයට දෙස් විදෙස් හැම උපක‍්‍රමයක් ම පෙළ ගැස්වීම ඉතා වැදගත්.

(OK කෘමි නාශක කොළඹ ග්‍රෙගරි පාරේ සම්බෝධි විහාරයේ පිහිටුවා ඇති කාබනික ආහාර අලෙවි සැලෙන් ද නුවරඑළියේ විජය ඇග්‍රො ප‍්‍රඩක්ට්ස් සමාගමේ කාර්යාලයෙන් ද ලබා ගත හැකියි. විජය ඇග්‍රෝ ප‍්‍රඩක්ට්ස්, 42, කලූකැලේ, නුවරඑළිය. එසේම ඒ සඳහා බෙදාහරින්නන් තව සොයා ගන්නට ද ඔවුන්ට අවශ්‍යව තිබෙනවා.)