සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

How can we protect ourselves from slow poisoning by agrochemical residues in our food? In this week’s Ravaya column, I discuss two options for Sri Lanka: organic farming, and the in-situ testing of farm produce for residues (after determining maximum residue levels).

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Pesticides on a Plate
Image courtesy Pesticide Action Network

‘ජාතියට වස කවන්නෝ කවරහුද’ මැයෙන් ගිය සතියේ මා ලියූ කොලම බොහෝ දෙනකුගේ අවධානයට ලක් වුණා.

උඩරට අර්තාපල් හා එළවඵ වවන ගොවීන්ගේ පලිබෝධ නාශක භාවිතය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් කළ සමීක්‍ෂණයක් මත පදනම් වී මා හෙළි කළේ අපේ සමහර ගොවීන් දැන දැන ම විස රසායන යෙදු ආහාර වෙළඳපොළට එවන සැටියි.

තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන්ට සපයන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

සමහර පාඨකයන් මේ සෘජු ප‍්‍රශ්න කිරීමට කැමති වූයේ නැහැ. සති කිහිපයකට පෙර හේන් ගොවීන් ගැන සානුකම්පිතව කථා කළ මේ කොලමින් ම දැන් ඔවුන් හෙළා දකින්නේ ඇයිදැයි කිහිප දෙනකු මගෙන් විමසුවා.

දැඩි සේ එල්බගත් කිසිදු මතවාදයක් නැති නිසා මට සාක්ෂි හා තර්ක පදනම් කර ගෙන එසේ කළ හැකියි. ගොවීන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කළත් ඔවුන් ද රටේ නීතියට හා සමාජ සම්මතයට අනුකූලයි. එයට පිටුපාන විට සහේතුකව ඔවුන් විවේචනය කළ යුතුයි.

ගොවියා හා ගොවිතැන මැදහත්ව විග‍්‍රහ නොකර හැගීම් බරිතව ප‍්‍රතිපත්ති සම්පාදනයේ බරපතල අහිතකර විපාක අප සැවොම අත් වි`දිනවා. ගොවීන්ට ගරුසරු ඇතිව සැළකිය යුතු බව ඇත්තයි. එහෙත් ඒ ගෞරවය ඔවුන්ට හිමි වන්නේ පාරිභෝගික අපට වින නොකරන තාක් කල් පමණයි.

Pest and farmer cartoon

රසායනික පොහොර හෝ අධික විෂ සහිත පලිබෝධ නාශක නොයොදා, ස්වාභාවික පොහොර හා පලිබෝධ පාලන ක‍්‍රම මගින් බෝග වැවීම කාබනික ගොවිතැන (organic farming) ලෙස හඳුන්වනවා.

මුඵ රට ම එක්වරම මෙබඳු කාබනික ගොවිතැනකට යොමු විය හැකි නේදැයි එක් පාඨකයෙක් යෝජනා කළා. තර්කයක් හැටියට එය ඉතා හොඳයි. එහෙත් ප‍්‍රායෝගිකව එය කිරීමට දිගු කලක් ගත වනවා. දැඩි නීතිරීති හා දණ්ඩන හරහා මෙබන්දක් කඩිනම් කළ නොහැකියි.

ඇත්තට ම කාබනික ගොවිතැන ශී‍්‍ර ලංකාවේ කලෙක සිට කරනු ලබනවා. එයට කැප වූ ගොවි සමිති හා සංවිධාන ද තිබෙනවා. ඔවුන්ගේ නිෂ්පාදිතයන් දේශීය වෙළඳපොළට යම් තරමක් මුදා හැරිය ද බහුතරයක් පිටරට යවනවා.

අපේ රටේ නිපදවෙන හොඳම තේ කොළ පිටරට යැවෙන්නා සේ ම බොහෝ කාබනික ආහාර ද විදෙස් වෙළඳපලවලට යන්නේ ඒවාට ඉහළ මිළක් ගෙවන්නට යුරෝපය, අමෙරිකාව, ජපානය වැනි රටවල නැඹුරුවක් ඇති නිසායි. මෙරට වෙළඳපොලේ ද කාබනිකව වැවූ සහල්, පළතුරු හා එළවඵ අනෙක් (රසායනික යොදා වැවූ) ආහාරවලට වඩා මිළෙන් ඉහළයි.

සෞඛ්‍යාරක්‍ෂාව සඳහා වුවත් වැඩි මිළක් ගෙවා කාබනිකව වැවූ ආහාර නිතිපතා මිළට ගත හැක්කේ අප කීයෙන් කී දෙනාට ද? කාබනික ගොවිතැන වෙළඳපොළ ප‍්‍රධාන ප‍්‍රවාහය වීමට නම් මේ මිළ පරතරය තුරන් කළ යුතුයි. එසේ නොවන තාක් කල් එය ඉහළ මධ්‍යම පාංතික සුඵතරයකගේ හා පරිසරවේදීන්ගේ වරප‍්‍රසාදයක්ව පවතිනවා.

අපේ කලාපයේ ජනගහනයෙන් දෙවැනි කුඩා ම රට වන භූතානය වසර 2020 වන විට සිය ගොවිතැන මුඵමනින් ම කාබනිකව කිරීමට ඉලක්ක කරනවා.

2013 පෙබරවාරියේ නවදිල්ලියේ පැවැති ජාත්‍යන්තර තිරසාර සංවර්ධන සමුඵවකදී භූතාන් කෘෂිකර්ම ඇමති පේමා ග්‍යම්ෂෝ (Pema Gyamtsho) මෙය ප‍්‍රකාශයට පත් කළා. සොබාදහම සමග සහජීවනයෙන් විසීම මූලික කර ගත් බෞද්ධ දර්ශනයට අනුව යමින් ද සිය ජනයාගේ සෞඛ්‍යය සැළකිල්ලට ගනිමින් ද මේ තීරණයට එළඹුණු බව ඔහු කියා සිටියා.

මුඵ රටේ ජනගහනය ලක්ෂ 7ක් සිටින භූතානය වැනි කුඩා රටකට මෙබඳු වෙනසක් කිරීම ලෙහෙසියි. දැනටත් කෘෂිරසායනික භාවිතා කරන්නේ එරට ගොවීන්ගෙන් සුඵ ප‍්‍රතිශතයක් පමණයි.

‘‘කාබනික ගොවිතැනෙන් පමණක් අපේ සියඵ ආහාර බෝග නිපදවා ගැනීමට යොමු වීමට අපට වසර කිහිපයක් අවශ්‍යයි.’’ භූතාන අමාත්‍යවරයා කියනවා.

භූතානයේ කාබනිකව වවන රතු සහල්, ඇපල් හා හතු ආදිය දැනටමත් ඉහළ මිළකට දියුණු රටවලට විකුණනවා. මුඵ රට ම කාබනික ගොවිතැන පමණක් කරන විට ඔවුන්ට ලෝක වෙළඳපොළේ තම නිෂ්පාදිත සඳහා වඩාත් හොඳ ඉල්ලූමක් මතු වනු ඇතැයි අපේක්‍ෂා කළ හැකියි.

භූතානය පිවිසි මාර්ගයට රටක් ලෙස අපටත් කෙදිනක හෝ යොමු වීමට හැකි නම් ඉතා  අගෙයි. එහෙත් භූතානයේ මෙන් තිස් ගුණයක පමණ ජනකායක් සිටින අපේ රටේ ආහාර අවශ්‍යතා සහ වෙළඳපොළ සංකීර්ණත්වය ඊට වඩා ඉහළයි. ඒ නිසා කුඩා රටවල් මෙන් ඉක්මන් ප‍්‍රතිපත්ති වෙනසකට යොමුවීම අපහසුයි.

සමස්ත ගොවිතැන කාබනික කිරීම දිගුකාලීන ඉලක්කයක් ලෙස තබා ගනිමින් අපට ඉක්මනින් ගත හැකි යම් කි‍්‍රයාමාර්ග ද තිබෙනවා.

ආහාරපානවල පැවතිය හැකි උපරිම පලිබෝධ නාශක ශෙෂයන් (Maximum Residue Levels) නිර්ණය කොට නීතිගත කළ යුතුයි. එම සීමාවන් නීතිගත නොකර තිබෙන තුරු වෙළඳපොලේ විකිණෙන ධාන්‍ය, එළවඵ හා පළතුරුවල වසවිස ඇති බවට තහවුරු කළත් නීතියෙන් දඩුවම් කිරීම අපහසු වනවා.

මේ ප‍්‍රශ්නයේදී සෞඛ්‍ය, පාරිභෝගික හා කෘෂිකර්ම අමාත්‍යාංශ මනා සේ සම්බන්ධීකරණය වීම ඉතා වැදගත්. එසේ ම පලාත් පාලන ආයතනවලට ද පාරිභෝගික ආරක්‍ෂණ අධිකාරියට ද මීට වඩා සකී‍්‍රයව මැදිහත් වියහැකියි.

Dr. Bhichit Rattakul
Dr. Bhichit Rattakul

මෙහිදී මට සිහිපත් වන්නේ 1990 දශකය අගදී තායිලන්තයේ බැංකොක් නගර ප‍්‍රදේශයේ ආණ්ඩුකාරයා (Governor of Bangkok) ලෙස ඡන්දයෙන් පත්වූ ආචාර්ය භිචිත් රතකුල් (Dr Bhichit Rattakul) ගත් නිර්භීත කි‍්‍රයාදාමයයි.

කෘෂිරසායන අනිසි භාවිතය තායි ගොවීන් අතර ද බහුල නරක පුරුද්දක්. මධ්‍යම රජයෙන් මෙයට පිළියම් සොයන තුරු බලා නොසිට අගනුවර හා තදාසන්න ප‍්‍රදේශවල වාසීන්ට වඩාත් සුරක්‍ෂිත ආහාර ලබාදීමට ආචාර්ය රතකුල් වැඩපිළිවෙලක් යෙදුවා. ඔහු වෘත්තියෙන් විද්‍යාඥයකු වීමත් මෙයට උදව් වන්නට ඇති.

බැංකොක් හා අවට වෙසෙන මිලියන් 10කට වැඩි ජනකායකට අවශ්‍ය එළවඵ හා පළතුරු සැපයෙන්නේ සයි මූම් වොං (Si Moom Wong) නම් තොග වෙළඳපොළ හරහා. එරට පුරා වවන බෝග නිෂ්පාදිත දිනපතා මෙහි ගෙන එනවා. දිනකට ලොරි 2,000ක් පමණ බැගින්.

මේ තොග වෙළඳපොලේදී නිෂ්පාදිත සාම්පල් ලබාගෙන එහිදී ම ඉක්මනින් පලිබෝධ නාශක ශේෂයන් සඳහා ඒවා පරීක්‍ෂා කිරීමට ජංගම රසායනගාරයක් පිහිටුවනු ලැබුවා.  ඕනෑ ම ගොවියකුගෙන්, අතරමැදි තොග වෙළෙන්දකුගෙන් හෝ වෙනත් අලෙවිකරුවකුගෙන් සාම්පල් ලබා ගෙන පිරික්සීමේ නිල බලය ලත් රසායන විද්‍යා තාක්‍ෂණවේදීන් පිරිසක් ඔහු එයට අනුයුක්ත කළා.

නීතිගත උපරිම පලිබෝධනාශක ශෙෂයන් ඉක්මවා ගිය සියඵ ම එළවඵ හා පළතුරු තොග පිටින් අලෙවියට ඉඩ නොදී ප‍්‍රතික්ෂේප කරනු ලැබුවා. මුලදී මේ දැඩි පියවරෙන් සැලූණු ගොවීන් හා වෙළඳුන් උද්ඝෝෂණ කළා.

ඕනෑ ම රටක ගොවීන්ට ලොකු ජනමතයක් හා මාධ්‍ය අනුකම්පාවක් මතු කළ හැකියි. එහෙත් අපක්‍ෂපාතී, නිර්භය හා පාරදෘශ්‍ය ක‍්‍රමවේදයක් හරහා ආචාර්ය රතකුල් ඇතුඵ කාර්ය මණ්ඩලය මේ බලපෑම්වලට කිසි විටෙක හිස නැමුවේ නැහැ. මධ්‍යම රජයේ දේශපාලන බලපෑම්වලට ද නතු නොවී නීතිය දිගටම කි‍්‍රයාත්මක කිරීමට අවශ්‍ය පෞරුෂය හා කැපවීම මේ නගරාණ්ඩුකාරයාට තිබුණා.

මේ නීතිගරුක පුද්ගලයා සමග සෙල්ලම් කරන්නට බැරි බව ටික දිනකින් ම තායි ගොවීන් තේරුම් ගත්තා. මහන්සියෙන් වවා ගත් ඵලදාව විකුණා ගන්නට  ඕනෑ නම් පලිබෝධ නාශක අධික ලෙස භාවිතය නොකළයුතු බව ඔවුන්ට වැටහුනා. සති කිහිපයක් ඇතුළත තොග වෙළඳපොලේ ප‍්‍රතික්‍ෂෙප වන තොග ප‍්‍රමාණය සීඝ‍්‍රයෙන් පහත වැටුණා. ඒ කියන්නේ පාරිභෝගිකයාට වඩාත් හිතකර ඵලදාවක් ලද හැකි වූ බවයි.

පලිබෝධ නාශක ශෙෂයන්ගේ උපරිමය ගැසට් කිරීමෙන් පසුව අපේ රටෙත් මෙබන්දක් කළ හැකි නම් කෙතරම් අගෙයි ද?

පිටකොටුවේ හෝ දඹුල්ලේ තොග වෙළඳ සංකීර්ණයන්ගේ ඉක්මන් පරීක්‍ෂාවන් හරහා ප‍්‍රතිඵල කාටත් පෙනෙන ලෙස ප‍්‍රකාශයට පත් කරමින්, සීමාව ඉක්ම වූ තොග සහමුලින් ම ප‍්‍රතික්‍ෂෙප කරන්නට හැකි වේ ද? එයට අපේ ගොවීන් හා වෙළඳුන් කෙසේ ප‍්‍රතිචාර දක්වයි ද?

අපක්‍ෂපාතී හා නිර්භය ලෙස නීතිය කි‍්‍රයාත්මක කිරීම පමණක් සෑහෙන්නේ නැහැ. මහජන සම්බන්ධතා, මාධ්‍ය ආවරණය හා පාරිභෝගිකයන්ගේ සහයෝගය දිනා ගැනීම ද අවශ්‍යයි. බැංකොක් නගරාණ්ඩුකාරවරයා උපක‍්‍රමශීලිව ඒ සියඵ සාධක පෙළ ගස්වා ගත්තා.

එසේ නැතිව නීතියේ බලයෙන් පමණක් වෙනසක් ඇති කිරීමට උත්සාහ කිරීම නොසෑහෙන බව මෑත කාලයේ අපේ පාරිභෝගික ඇමතිවරයා ලත් අත්දැකීම්වලින් පෙනී යනවා.

2002දී මා හඳුනන බි‍්‍රතාන්‍ය ජාතික මාධ්‍යවේදිනියක් බැංකොක් අත්දැකීම ද පාදක කර ගෙන BBC නාලිකාවට වාර්තා චිත‍්‍රපටයක් (Toxic Trail) නිපද වුවා. එහි එක් තැනෙක ආචාර්ය රතකුල් මෙහෙම කියනවා.

‘‘අධික ලෙස රසායන යෙදු ආහාර වෙළඳපොලට එනවා ද යන්න ගැන රජය මෙන් ම පාරිභෝගිකයන් ද නිතිපතා විමසිලිමත් වියයුතුයි. අපේ බොහෝ පාරිභෝගිකයෝ ඉතා හොඳ පෙනුම ඇති, කිසිදු පලූද්දක් නැති එළවඵ හා පළතුරු සොයනවා. එබඳු ඵලදාව  ඕනෑවට වඩා රසායනික යොදා ඇත්දැයි සැක සහිතයි. යම් තරමකට හිල් සැදුණු, කෘමීන් විදි බවට ලකුණු ඇති එළවඵ හා පළතුරු එතරම් දැඩි ලෙස රසායනික යෙදීමකට ලක්ව නැතැයි සිතිය හැකියි.’’

අපේ පරිසරවේදීන් සහමුලින් කාබනික ගොවිතැන ගැන දිගුකාලීන සිහින දකින අතර බැංකොක් අත්දැකීම මෙරට කි‍්‍රයාත්මක කරන්නට එඩිතර දේශපාලකයකු හෝ රාජ්‍ය නිලධාරියකු හෝ සමග සහයෝගයෙන් වැඩ කළොත් කෙතරම් අපූරුද?

හැමදාමත් කුමන්ත‍්‍රණවාදී තර්ක කරමින් සිටිනවා වෙනුවට ජනසමාජයට ප‍්‍රයෝගිකව හොඳ දෙයක් කරන්නට පරිසරවේදීන්ට මෙය අගනා අවස්ථාවක්.

සිංහලයට හඩ කැවූ BBC වාර්තා චිත‍්‍රපටය විස වගාවට වැට බඳිමු නරඹන්න:

සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

In this week’s Ravaya column (in Sinhala), I discuss the public health implications of rising levels of pesticide residues in our food. I cite research by the Hector Kobbekaduwa Agrarian Research and Training Institute (HARTI) on pesticide use habits of upcountry vegetable and potato farmers, which makes alarming reading.

Among other things, researchers found that up to a quarter of surveyed farmers grow some chemicals-free vegetables their own use! So this is not a matter of ignorance, but willful poisoning of the unsuspecting consumer.

I covered similar ground in English on 11 Aug 2013: When Worlds Collide #78: Homicide by Pesticides: Can we escape?

Generic photo courtesy - Rice & Curry Blog
Generic photo courtesy – Rice & Curry Blog

ජාතික විසවීම් වැළැක්වීමේ සතිය ලෙස ඔක්තෝබර් 28 – නොවැම්බර් 3 කාලය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා.

විසවීම් ප‍්‍රධාන වශයෙන් දෙආකාරයි. දැනුවත්ව හා  ඕනෑකමින් (සියදිවි හානි කර ගැනීමේ අරමුණින්) මාරාන්තික විස ශරීරගත කර ගන්නා අය සිටිනවා. එය මානුෂික මෙන් ම සමාජ විද්‍යාත්මක ප‍්‍රශ්නයක්.

දෙවැනි ආකාරය නම් නොදැනුවත්ව හා නිරායාසයෙන් විසවීම් නිසා රෝගී වීම හෝ මිය යාම. මෙහිදී විසවීමේ ප‍්‍රතිඵල ඉක්මනින් මතු විය හැකියි. නැතිනම් සුඵ මට්ටමේ විසවීම් කලක් තිස්සේ ශරීරය තුළ එකතුවීමෙන් කල් යාමේදී නිදන්ගත රෝගාබාධ හටගත හැකියි.

නූතන සමාජයේ විවිධ අවශ්‍යතා හා පහසුකම් සඳහා අප භාවිතා කරන එදිනෙදා රසායන ද්‍රව්‍ය සමහරක් මෙසේ සුඵ පරිමාවෙන් ශරීරගත වීමේ විපාක ගැන දැන් වඩාත් අවධානය යොමු කැරෙනවා. මේවායේ අහිතකර විපාක මතුවන්නට වසර හෝ දශක ගණනක් ගත වන බැවින් එය ප‍්‍රවෘත්ති වාර්තාකරණයට හසු වන්නේ නැහැ.

එමෙන්ම හේතුකාරකය හා ප‍්‍රතිඵලය අතර සෘජු සබඳතාවක් සැම විට තහවුරු කරන්නට ද බැහැ. (මානව දේහය එකවිට බහු විධ බලපෑම්වලට ලක් වන නිසා.) එක් වරම විසවීමක් නොපෙනෙන නිසා හේතු කාරකය සොයා ගැනීම වෛද්‍යවරුන්ට පවා අසීරුයි.

ගොවිතැනේදී රසායනික පොහොර හා පලිබෝධ නාශක අනිසි හා අධික ලෙස භාවිතා කිරීමෙන් ඒවායේ ශෙෂයන් (agrochemical residues) අපේ ආහාර හා බොන ජලයට ද එකතු වන බව දැන් අප දන්නවා. මේ ශෙෂයන් ශරීරගත වීමෙන් එක්වර රෝගීවීමක් නොපෙනුනත් කලක් තිස්සේ පටකවල තැන්පත් වීමෙන් ශරීර පද්ධතිවලට හානි විය හැකියි. ඇතැම් ආකාරයේ පිළිකා ඇති කිරීමට ද මේ ශෙෂයන් දායක විය හැකියි.

ශරීරය තුළ ටිකෙන් ටික රසායනික සංචිත වීම Bio-accumulation ලෙස විද්‍යාත්මකව හඳුන්වනවා. සිංහලෙන් ජෛවීය රාශිභූත වීම යයි කිව හැකියි.

පාරිසරික විද්‍යාඥ ආචාර්ය රනිල් සේනානායක මේ ගැන කලක සිට මහජන අවධානය යොමු කරන්නට උත්සාහ ගත් අයෙක්.

සෞඛ්‍ය බලධාරීන් හා මාධ්‍ය මුල් කාලයේ වැඩි අවධානය යොමු කළේ පළිබොධනාශක අධික ලෙස ශරීරගත වීම (ඕනෑකමින් හෝ නොදැනුවත්කමින්) නිසා රෝගීවීම හා මිය යාම ගැනයි. එහෙත් එයට වැඩි දිගුකාලීන ව්‍යසනයක් මේ සෙමෙන් වස වීම නිසා සිදුවන බව රනිල් කියනවා.

පළිබොධ නාශක ශෙෂයන් අපේ කෑම මේසයට එන ක‍්‍රම ගණනාවක් තිබෙනවා. එයින් එක් ප‍්‍රධාන මාර්ගයක් නම් ආහාර බෝග වැවීමේදී හා ගබඩා කිරීමේදී අනිසි ලෙස රසායනික භාවිතය.

අස්වැන්න රැක ගැනීමට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා බෙහෙවින් අධික රසායන භාවිතයකට අපේ බොහෝ ගොවීන් පුරුදුව සිටිනවා. මෙය නොදැනුවත්කමටත් වඩා ඇබ්බැහිකම, අවිචාරශීලී බව හා අන්ධානුකරණය වැනි හේතු නිසා සිදුවන්නක්.

ශ‍්‍රී ලංකාවේ එළවලූ ගොවීන් පලිබෝධනාශක භාවිත කරන ආකාරය ගැන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු හා පර්යේෂණායතනය (HARTI) මඟින් අධ්‍යයනය කොට තිබෙනවා. කඳුකරයේ නුවරඑළිය හා බදුල්ල දිස්ත‍්‍රික් දෙකෙහි ගොවීන් 240ක් අහඹු ලෙස තෝරා ගෙන කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵල 2013 අපේ‍්‍රල් මාසයේ ප‍්‍රකාශයට පත් කෙරුණා. මේ අධ්‍යයනය කළේ එම්. එම්. එම්. අහීයාර්, එම්. ටී. පද්මජානි හා එම්. ඒ. සී. එස්. බණ්ඩාර නම් පර්යේෂකයන් තිදෙනායි.

මෙරට වෙළඳපොළේ දැනට අලෙවි කැරෙන පලිබෝධනාශක වෙළඳ නාම 462න් 73ක් මේ සමීක්ෂණයට පාත‍්‍ර වූ එළවලූ හා අර්තාපල් ගොවීන් පාවිච්චි කරන බව හෙළි වුණා. මේවා සියල්ල නීත්‍යනුකූලව, රජයේ අනුමැතියෙන් මෙරටට ගෙන්වා බෙදාහරින විස රසායනික ද්‍රව්‍යයි. ප‍්‍රශ්න මතු වන්නේ පරිහරණයේදීයි.

ඉක්මනින් වැඩි ඵලදාවක් ලබා ගැනීම සඳහා පලිබෝධ නාශක නිසි මාත‍්‍රාව ඉක්මවා අධික ලෙස යෙදීම බොහෝ ගොවීන් කරන බව HARTI සමීක්ෂණයෙන් නැවතත් තහවුරු වුණා.

එයින් සොයා ගත් ගොවි චර්යා කිහිපයක් මෙසේයි.

  • ගොවීන්ගෙන් 40%ක් දෙනා පලිබෝධකයන් කිසිවකතුත් පෙනෙන්නට නැතත් පුරුද්දට මෙන් පලිබෝධ නාශක ඉසිනවා.
  • පලිබෝධ නාශක නිර්දේශිත මාත‍්‍රාව හා වාර ගණන නොසෑහෙන බවට බොහෝ ගොවීන් අතර විශ්වාසයක් තිබෙනවා. බහුතරයක් ගොවීන් නිර්දේශිත මාත‍්‍රාව මෙන් එක හමාර ගුණයක් හෝ ඊට වඩා යොදනවා.
  • සමහර ගොවීන් විවිධ පලිබෝධ නාශක එකට මිශ‍්‍ර කොට යොදනවා. ඒ හරහා පලිබෝධයන් ක්ෂණිකව මැරී වැටෙනු ඇතැයි ඔවුන් අපේක්ෂ කරනවා.
  • ඇතැම් ගොවීන් සිතන්නේ බෝග වර්ධනයට ද පලිබෝධ නාශක උදවු වන බවයි! (ඒ සඳහා වෙනම රසායනික පොහොර ද යොදනු ලැබුවත්.)
  • අස්වැන්න නෙළා ගන්නට දින 10 – 14කට පෙර කිසිදු රසායනිකයක් බෝගයට ඉසීම නොකළ යුතුයි. මෙය ශෙෂ ඉතිරිවීම වළක්වාලීමේ උපක‍්‍රමයක්. එහෙත් උඩරට එළවඵ හා අර්තාපල් ගොවීන්ගෙන් තුනෙන් එකක් ම මේ අවම කාලයට ගරු නොකරන බව පිළිගත්තා.

අපේ සමහරුන් සිතන තරම් නොදැනුවත් හෝ නූගත් ගොවීන් අද කාලේ නැහැ. සමීක්‍ෂණයට ලක්වූ ගොවීන්ගෙන් 75%ක් පළිබෝධ නාශක පරිසරයට හානි කරන බවත්, ගොවීන්ගේ හිතමිතුරු ගැඩිවිලූන් වැනි සතුන් ද මරා දමන බවත් දැන සිටියා.

Poster by Pesticide Action Network - Asia Pacific
Poster by Pesticide Action Network – Asia Pacific

එමෙන්ම ඔවුන් අහිංසකයන් ද නොවෙයි. ගොවීන් අතරින් 25%ක් දෙනා තමන්ගේ පවුලේ ආහාරය සඳහා වසවිස නොයොදා වෙන ම පාත්තිවල එළවඵ වවන බව පිළි ගත්තා. (එසේ විවෘතව පිළිගැනීමට මැළි වූ ගොවීන් ද සිටියා විය හැකියි.)

HARTI සමීක්‍ෂණයේ වඩාත් ම බියජනක සොයා ගැනීම ලෙස මා දකින්නේ මෙයයි. තමන්ගේ පවුලේ ආහාරයට නොගන්නා වසවිස සහිත එළවඵ, සෙසු පාරිභෝගිකයන් සඳහා දැන දැන ම වෙළඳපොලට එවන මේ ගොවීන් ජාතියට වසවිස කවන්නෝ නොවෙයි ද?

මෙය සරසවියක් හෝ රාජ්‍ය නොවන ආයතනයක් කළ සමීක්‍ෂණයක් ද නොවෙයි. රාජ්‍ය පර්යේෂණායතනයක් කළ සමීක්‍ෂණයක්.

මේ තරම් සාහසික කි‍්‍රයා කලාපයකට අපේ සමහර ගොවීන් යොමුව සිටින්නේ ඇයි යන්න පුඵල් ලෙස සංවාදයකට ලක් කළ යුතුයි. “සුඵ පරිමාණ ගොවියා වෙළඳපොළේ සිරකරුවකු වී සිටීම” වැනි සරල තර්කවලින් මේ කුහකත්වය පහදා දිය නොහැකියි.

මේ සමීක්‍ෂණයෙන් ම හෙළි වූයේ කෘෂි ව්‍යාප්ත නිලධාරීන් හරහා දැනුම හා උපදෙස් ලබා ගෙන ඇත්තේ ගොවීන්ගෙන් තුනෙන් එකක් පමණක් බවයි. බහුතරයක් එක්කෝ සෙසු ගොවීන්ගෙන් අසා දැන ගන්නවා. නැත්නම් පළිබෝධ නාශක විකිණීමට තිබෙන ළඟ ම ඇති කඬේ මුදලාලිගෙන් සියඵ උපදෙස් ලබා ගන්නවා.

කෘෂි ව්‍යාප්ති නිලධාරීන් වගාබිමට නොපැමිණියත් පළිබෝධ නාශක සමාගම්වල ප‍්‍රවර්ධන නියෝජිතයන් නම් ගොවීන් ළඟට ම පැමිණ ‘‘විසඳුම්’’ නිර්දේශ කරන බව ද හෙළි වුණා. මෙය ද අඵත් හෙළිදරුව්වක් නොවෙයි.

‘ළඟ එන කෘෂි රසායනික සුනාමිය’ තේමාවෙන් 2013 මාර්තු 17දා කොලමෙන් මා ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක් වන මැලේසියානු ජාතික ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) උපුටා දැක්වූවා. “අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි!”

ආචාර්ය හියොං කීවේ: “ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්.”

ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනෙන පළිබෝධ නාශක නියාමනය කැරෙන්නේ 1980 පළිබෝධ නාශක පාලන පනත යටතේයි. ආහාර බෝග වෙළඳපොලට එනවිට ඒවායේ පළිබොධ නාශක ශෙෂයන් ‘නිර්දේශිත මට්ටම්වලට වඩා අඩුවෙන්’ තිබිය යුතු යයි එහි කියනවා. එහෙත් වසර 33ක් ගත වීත් මේ නිර්දේශිත මට්ටම් මොනවාදැයි නිර්ණය කර නැහැ!

පාරිභෝගිකයාගේ සෞඛ්‍ය ආරක්‍ෂණය ගැන අපට වඩා තැකීමක් කරන රටවල නම් අවසර දෙන උපරිම ශෙෂ මට්ටම් (Maximum Residue Levels) පැහැදිලි ලෙස ප‍්‍රකාශයට පත් කොට තිබෙනවා. එය පිළිපදිනවා ද යන්න ගැන විටින්විට අහඹු පරීක්‍ෂා ද කැරෙනවා.

එහෙත් අපේ රටේ තවම මෙබඳු ආරක්‍ෂිත පියවර කිසිවක් හඳුන්වා දී නැතැයි ප‍්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ (IPS) පර්යේෂක රවීන් ඒකනායක 2013 මාර්තුවේ පළ කළ විග‍්‍රහයක පෙන්වා දෙනවා. http://tiny.cc/IPSFS.

මේ පසුබිම තුළ සාහසික ගොවීන්ට දැන දැන ම විස යෙදු එළවඵ අපට දිගට ම සපයන්නට හැකිව තිබෙනවා.

රසායනික පොහොර හා අධික විසැති පළිබෝධ නාශක මත මේ තරම් යැපෙන ගොවිතැන තවමත් මේ රටේ නිල කෘෂි කාර්මික ප‍්‍රතිපත්තියයි. මහජන සභාවලදී දේශපාලකයන් හා නිලධාරීන් කුමක් කීවත් 1960 ගණන්වල සිට හැම රජයක් ම කි‍්‍රයාත්මක කළ “වැඩිපුර දමා – වැඩිපුර උකහා ගැනීමේ” ගොවිකම (high external input agriculture) දැන් ජාතික මට්ටමේ ඇබ්බැහිකමක් වී හමාරයි.

යමකට ඇබ්බැහි වූවන්ට තම කි‍්‍රයාවල වරදක් හෝ දිගුකාලීන විපාක හෝ හරිහැටි තේරෙන්නේ නැහැ. අයාලේ ගිය අපේ ගොවිකම යළිත් හරිමඟට ගත යුත්තේ ගොවීන් අතරමං නොකර, රටේ ආහාර හිඟයක් හෝ අහේනියක් ද ඇති වීමට ඉඩ නොතබායි.

කාබනික ගොවිතැනට තනිකර මෙය කළ හැකි ද යන්න තුලනාත්මකව විවාද කළ යුතුයි. පරිසරවේදීන් හෝ ජාතිකවාදීන් හෝ නිර්දේශ කරන හැම දෙයක් ම ප‍්‍රායෝගික නොවිය හැකියි. එහෙත් ඔවුන්ට ද සවන් දිය යුතුයි.

ගොවිතැන, ගොවිකම හා ගොවියා ගැන අපේ සමාජයේ ගෞරවය මුසු වූ ධනාත්මක හැගීම් තිබෙනවා. කෘෂිකර්මාන්තයෙන් දළ දේශීය නිෂ්පාදිතයට දායක වන්නේ 12%ක් වුවත් එය තවමත් සැළකිය යුතු ජන සංඛ්‍යාවකට ජීවිකාව සපයනවා. තමන් ගොවිතැනෙහි තව දුරටත් නියැලීමට නොකැමැති නව පරම්පරාවේ අය බොහෝ දෙනා පවා ගොවිකම ගැන රොමැන්ටික් හා අතීතකාමී හැගීම්වලින් යුතුව කථා කරනවා.

මෙයට ඓතිහාසික හේතු ඇතත් ගොවිතැන් ගැන තර්කානුකූලව හා තුලනාත්මකව විග‍්‍රහ කිරීමට මේ හැගීම්බර තත්ත්වය බාධාවක්. ජාතියට වස කවන ගොවීන් ඒ තැනට ඇද දැම්මේ කුමන ප‍්‍රවාහයන් ද කියා හඳුනාගෙන ක‍්‍රමීය විසඳුම් සොයා යා යුතුයි.

සිවුමංසල කොලූගැටයා #139: නෙල්සන් මැන්ඩෙලා විශිෂ්ට සන්නිවේදකයකු වූ සැටි

In this week’s Ravaya column (in Sinhala), I discuss how Nelson Mandela was a master communicator in terms of public speaking skills, media relations and strategy.

See also: Invictus – Clint Eastwood and Morgan Freeman serve more Mandela magic

Nelson-Mandela in prison

නෙල්සන් මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය (Apartheid) හමාර කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා ජන සම්මතවාදී රාමුවකට එරට යොමු කළේ ඉමහත් පරිශ‍්‍රමයකින්. එම සංක‍්‍රාන්තියේදී ප‍්‍රතිවිරුද්ධ මත දරණ, ආවේගශීලී අනුගාමිකයන් හා සහෘදයන් සමග සාවධානව සාකච්ජා කරමින්, එහෙත් සිය මූලික අරමුණු පාවා නොදෙමින් ඔහු ගිය ගමන විසි වන සියවසේ දිරිය ජිවිතයක කථාවයි.

ඒ හපන්කම් කරන්නට ඔහුගේ ප‍්‍රතිපත්තිගරුක බව හා අධිෂ්ඨාන ශක්තිය මෙන් ම ව්‍යක්ත සන්නිවේදන හැකියාව ද උපකාරී වුණා. මැන්ඩෙලා සාර්ථක නායකයකු වූයේ මිනිස් සිතුම් පැතුම් හඳුනා ගෙන, උපක‍්‍රමශීලී ලෙසින් සන්නිවේදන ක‍්‍රම හා තාක්‍ෂණයන් යොදා ගැනීම හරහායි. මේ ගැන ටිකක් විපරම් කිරීම වටිනවා.

මැන්ඩෙලාගේ සන්නිවේදන කුසලතාව හුදෙක් ඔහුගේ චිත්තාකර්ෂණීය ගති සොබාව (charisma) නිසා ම මතු වන්නක් නොවෙයි. එය පිටුපස පැහැදිලි චින්තනයක් තිබෙනවා.

20 වන සියවස මුල් කාලයේ (1918) ඉපිද, දෙවන ලෝක යුද්ධ සමයේ තරුණ වියට පත් වූ මැන්ඩෙලා ගෙවී ගිය සියවසේ සන්නිවේදන තාක්‍ෂණයන්ගේ ප‍්‍රගමනය සීඝ‍්‍රව සිදු වූ සැටි පෞද්ගලිකව අත් දුටුවා.

ඔහු උපදින විට රේඩියෝ හා සිනමා මාධ්‍ය තවමත් ලෝකයට අඵත්. දේශීය මට්ටමේ ටෙලිවිෂන් විකාශයන්, ලෝක මට්ටමේ චන්ද්‍රිකා ටෙලිවිෂන් විකාශයන්, ඉන්ටර්නෙට් මාධ්‍යය හා ජංගම දුරකථන සේවා යන සියල්ල ම පැන නැගී, කෙමෙන් ජන සමාජයේ ප‍්‍රචලිත වනු ඔහු බලා සිටියා.

දකුණු අපි‍්‍රකාවේ සුඵතර සුදු පාලකයන්ගේ දරදඩු, වර්ණභේදවාදී පාලනයට එරෙහිව මතවාදීව අරගල කොට ඉනික්බිති යටිබිම්ගත දේශපාලනයට පිවිසි මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයෝ යම් ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවල ද නිරත වුණා. මේ හේතුවෙන් අත්අඩංගුවට පත්වූ ඔහු ඇතුඵ පිරිසක් බරපතල චෝදනා ලබා 1962-64 වකවානුවේ දීර්ඝ නඩු විභාගයකට ලක් වුණා. එහිදී චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්, තමන් නිවැරදි බවත්, වරද ඇත්තේ අසාධාරණ රාජ්‍ය තන්ත‍්‍රයේ බවත් මැන්ඩෙලා තර්ක කළා.

Nelson Mandela hands the 1995 Rugby World Cup to Francois Pienaar, captain of South African team (Photo courtesy The Sun, UK)

සිරගත කර සිටි 1962 – 1990 වකවානුවේ ඔහුට බරපතල සන්නිවේදන සීමා පනවා තිබුණා. එයින් වසර 18ක් ඔහු ගත කළේ රොබන් දුපත (Robben Island) නම් බන්ධනාගාර දිවයිනේ. කේප්ටවුන් වෙරළබඩ නගරයේ සිට කිලෝමීටර් 7ක් මුහුදට වන්නට පිහිටි මේ කුඩා දිවයිනේ සිර කරනු ලැබූ මැන්ඩෙලා ඇතුඵ ANC සාමාජිකයන්ට යළි කිසිදා නිදහසක් ලැබෙතැයි ලෝකයා හෝ ඔවුන්වත් සිතුවේ නැහැ.

රේඩියෝ අසන්නට හෝ පත්තර කියවන්නට හෝ දේශපාලන සිරකරුවන්ට බොහෝ විට අවකාශ තිබුණේ නැහැ. තම පවුලෙන් ලියුමක් පවා ලද හැකි වූයේ මාස හයකට වතාවක් පමණයි. එමෙන් ම සිර ගෙදර ජීවිතයේ සමහර කාලවලදී ඔහුට කැලැන්ඩරයක් හෝ ඔරලෝසුවක්වත් පාවිච්චි කරන්නට ඉඩ ලැබුණේ නැහැ.

සිර ගතව සිටි දිගු කාලය තුළ සුදු සම ඇත්තවුන් සමග තිබූ කේන්තිය කෙමෙන් පහව ගිය බවත්, ඒ වෙනුවට විෂම ක‍්‍රමය ගැන තමන්ගේ කෝපය හා පිළිකුල වඩාත් තීව‍්‍ර වූ බවත් මැන්ඩෙලා සිය ආත්ම චරිත කථාවේ (Long Walk to Freedom, නිදහසට ගිය දිගු ගමන) කියනවා.

සිර ගෙදර බරපතල කම්කරු වැඩ කරන අතර මනස ඒකාග‍්‍ර කර ගනිමින්, තම මර්දකයන්ගේ චරියාව සමීපව අධ්‍යයනය කරමින් මැන්ඩෙලා අනාගත දකුණු අපි‍්‍රකාව ගොඩ නඟන සැටි සැළසුම් කළා. කර්කෂ තත්ත්‍වයන් හමුවේ එයින් නොසැළී පැහැබර අනාගතයක් ගැන සිතීමට හැක්කේ බෙහෙවින් අධිෂ්ඨානශීලී පුද්ගලයකුට පමණයි.

සීමා බන්ධන මැද වුවත් රට, ලෝකය හා ඓතිහාසික ප‍්‍රවාහයන් ගැන ඔහු ගැඹුරින් අධ්‍යයනය කළා. පොදුවේ නූතන ලෝකයේත්, විශේෂයෙන් දකුණු අපි‍්‍රකාවේත් මිනිසුන් සිතන පතන ආකාරය නවීන සන්නිවේදන මාධ්‍ය හා තාක්‍ෂණයන් මගින් බලපෑමට ලක් වන සැටි ඔහු මෙනෙහි කළා.

නිදහස පතා අරගල කළ වෙනත් විප්ලවකරුවන් බොහෝ විට තැත් කළේ මුඵමනින් තමන්ගේ මතයට හැකි තාක් ජනයා හැකි ඉක්මනින් නතු කර ගන්නයි. එහෙත් මැන්ඩෙලා සිය ජනයාට අවිහිංසාවාදීව හා තර්කානුකූලව සිතන්නට බලපෑම් කළා.

උද්වේගකර කථා හා වචන හරඹයන්ට වඩා නූතන මාධ්‍ය හරහා ජන මනසට සැහැල්ලූ ලෙසින් සමීප විය හැක්කේ කෙසේ ද යන්න ඔහු සොයා බැලූවා. මේ නිසා මැන්ඩෙලා පරමාදර්ශීය ජන නායකයකු වනවාට අමතරව සූක්‍ෂම ජන සන්නිවේදකයකු ද වනවා.

වසර 27ක් දේශපාලන සිරකරුවකු ලෙස සිටීමෙන් පසු 1990 පෙබරවාරි 11 වනදා මැන්ඩෙලා නිදහස් කරනු ලැබුවා. මේ ඓතිහාසික සිදුවීම වාර්තා කරන්නට දෙස් විදෙස් මාධ්‍යවේදීන් රැසක් කේප්ටවුන් නුවරට පැමිණියා.

මෙතැන් පටන් තමන් කියන හැම වචනයක් ම, කරන හැම කි‍්‍රයාවක් ම ඉතා සමීප ලෙසින් මාධ්‍ය විසින් හසු කර ගන්නා බවත්, තම දේහ චලන ඉගිවලින් පවා තම ජනයා යම් පණිවුඩ උකහා ගන්නා බවත් මැන්ඩෙලා තේරුම් ගත්තා. කැමරා සිය ගණනක් ඉදිරිපිට තාවකාලික වාසි තකා චණ්ඩියකු වනවා වෙනුවට දැඩි සංයමයෙන්, උපේක්‍ෂා සහගතව යුක්තිය හා සාධාරණය සඳහා ක‍්‍රමීය වෙනසක් කිරීමට ඔහු කි‍්‍රයා කළා.

ඔහු ජීවිතයේ මුල් වතාවට ප‍්‍රවෘත්ති සාකච්ජාවක් ඇමතුවේ හිරෙන් නිදහස් වුවාට පසුදා. 1963ට පෙර යටිබිම්ගත දේශපාලනය කරන කාලේ ඔවුන්ට ප‍්‍රසිද්ධියේ මාධ්‍ය ඇමතීමට ඉඩක් තිබුණේ නැහැ. එවකට එරට ටෙලිවිෂන් තිබුණේ ද නැහැ.

වයස 71දී තම මුල් ම ප‍්‍රවෘත්ති සාකච්ජාව අමතමින් මැන්ඩෙලා සාවධානවත්, උපේක්‍ෂා සහගතවත් ANC ප‍්‍රතිපත්ති හා ස්ථාවරය පැහැදිලි කළා. ලොව පුරා මාධ්‍ය ආයතනවලින් ආ මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්නවලට හැකි තාක් සත්‍යවාදීව උත්තර දුන්නා. එතැනින් පටන්ගත් මැන්ඩෙලාගේ මාධ්‍ය ජීවිතයට පොඩියක්වත් විරාමයක් ලැබුණේ නැහැ.

ටෙලිවිෂන් කැමරාවලට කථා කළ යුතු විලාසය හා එහිදී පවත්වා ගත යුතු දේහ චලන ආදිය තලතුනා වියේදී වුවත් මැන්ඩෙලා ඉක්මනින් ම ප‍්‍රගුණ කළා. ඔහු තැනේ, වෙලාවේ හා මාධ්‍යයේ හැටියට තම කථිකත්වය වෙනස් කිරීමට දක්‍ෂයි. ගාම්භීර හා ගැඹුරු සංකල්ප පවා සන්සුන්ව හා සුහදව කියන්නට ඔහුට ඇති හැකියාව විශිෂ්ඨයි.

1990 වන විට දකුණු අපි‍්‍රකාව පැවතියේ මහත් ව්‍යසනයක් අභිමුඛවයි. දශක ගණනක් තිස්සේ කැකෑරෙමින් තිබූ කඵ ජනයාගේ කෝපය එක් පසෙකිනුත්, ඔවුන්ගේ ඉමහත් ප‍්‍රාර්ථනා තව පසෙකිනුත් තුලනය කර ගන්නට අවශ්‍ය වුණා.

නිදහස ලැබූ මොහොතේ පටන් මැන්ඩෙලා කළේ සුදු පාලකයන් සමග සාකච්ජා විවෘතව හා මාධ්‍ය විසින් වාර්තා වන පරිද්දෙන් පමණක් කිරීමයි. රහසිගත ගනුදෙනු හෝ හොර ‘ඞීල්’ කිසිවකට ඉඩ දුන්නේ නැහැ. තමාගේ විශ්වාසනීයත්වය හා මාධ්‍ය හරහා රටත් ලෝකයත් ග‍්‍රහණය කිරීමේ හැකියාව ඔහු යොදා ගත්තේ ඉතා අසීරු දේශපාලන කි‍්‍රයාදාමයක් පාරදෘශ්‍ය ලෙසින් පවත්වා ගන්නටයි. මෙයත් ඔහුගේ සන්නිවේදන හැකියාවේ තවත් උදාහරණයක්.

අතිශයින් දුෂ්කර සංක‍්‍රාන්ති සමයක් පසුකර, රට අරාජික වන්නට ඉඩ නොතබා කි‍්‍රයා කළ මැන්ඩෙලා සහ ඔහුගේ නායකත්වයෙන් යුතු ANC පක්‍ෂය එරට පැවති මුල් ම සර්වජන මැතිවරණයෙන් පැහැදිලි ජයක් අත් කර ගත්තේ 1994 අපේ‍්‍රල් මාසයේ. එරට මුල් ම කඵ ජාතික රාජ්‍ය නායකයා ලෙස 1994 මැයි 10 වනදා මැන්ඩෙලා දිවුරුම් දී වැඩ බාර ගත්තා. ඒ වන විට වර්ණභේදවාදය තුරන් කිරීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මාවතට පිවිසීම උදෙසා එරට අවසන් සුදු ජනාධිපති F W ඩි ක්ලර්ක්ට හා මැන්ඩෙලාට 1993 නොබෙල් සාම ත්‍යාගය ලැබී හමාරයි.

One poem + two men = Rainbow Nation

රටේ දේශපාලන බලය මැතිවරණයක් හරහා දිනා ගත්ත ද ආර්ථික බලය තවමත් බොහෝ කොට සුදු සම ඇති දකුණු අපි‍්‍රකානුවන් සතු බවත්, රට හදන්නට ඒ අයගේ දායකත්වය නැතිව ම බැරි බවත් මැන්ඩෙලා වටහා ගත්තා. එහෙත් ඓතිහාසිකව අසාධාරණකම්වලට ලක්ව සිටි කඵ ජාතික බහුතරය, ඉක්මන් විසඳුම් හා සාධාරණයක් පතන බවත් ඔහු දැන සිටියා.

සම්මානනීය අමෙරිකන් නඵ හා චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ක්ලින්ට් ඊස්ට්වුඞ් 2009දී නිපද වූ Invictus නම් චිත‍්‍රපටයට හසු වන්නේ මැන්ඩෙලා ජනාධිපති වී මුල් මාස 18 තුළ සංහිදියාව හා සහජීවනය ඇති කරන්නට ඉතා සියුම් හා උපක‍්‍රමශීලී ලෙස කටයුතු කළ ආකාරයයි. සැබෑ සිදුවීම් මත පදනම් වී තැනූ මේ චිත‍්‍රපටය මැන්ඩෙලාගේ සන්නිවේදන හැකියාවේ උච්චස්ථානයක් මනාව කැටි කර දක්වනවා.

බලයට පත්වන බොහෝ රාජ්‍ය නායකයන් සුලබව කරන දෙයක් නම් රාජ්‍ය බලය යොදා ගෙන ජාතික මෙන් ම පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකා හරහා දිගට හරහට රටවැසියන් ඇමතීමයි. ෆිදෙල් කැස්ත්‍රෝ වැනි විප්ලවීය නායකයන් පැය ගණන් ටෙලිවිෂන් හරහා රට අමතන්නට සමතුන්.

ඕනෑ නම් මැන්ඩෙලාටත් එබන්දක් කළ හැකිව තිබුණා. එහෙත් ටෙලිවිෂන් හරහා නිතර නිතර පෙනී සිටින දේශපාලකයන් ජනතාවට ඉක්මනින් එපා වන බව ඔහු තේරුම් ගත්තා.

1995දී ලෝක රග්බි පාපන්දු (රගර්) තරඟාවලිය පැවැත් වීමේ වරම දකුණු අප‍්‍රිකාවට ලැබී තිබුණා. රගර් කී‍්‍රඩාවේ යෙදෙන ප‍්‍රබල ජාතික කණ්ඩායමක් එරට තිබුණා. ජාතික යයි කීවාට එම කණ්ඩායමේ වැඩිපුර ම සිටියේ සුදු ජාතිකයන් හා මිශ‍්‍රිත සම්භවයක් තිබූ කී‍්‍රඩකයන්. වර්ණභේදවාදය බල පැවැති වසර 50කට ආසන්න කාලයේ රගර් සුදු ජාතික වරප‍්‍රසාදයක්ව තිබුණා. මේ නිසා රගර් ගැන බහුතරයක් ජනතාව තුළ තිබුණේ උදාසීනත්වයක් සහ කොන් කිරීමක්.

1994 මැයි මාසයේ මැන්ඩෙලාගේ ANC පක්‍ෂය මැතිවරණය ජය ගෙන බලයට පත් වූවත් රගර් කී‍්‍රඩා කණ්ඩායමේ ඉක්මන් වෙනසක් කළ හැකි පසුබිමක් තිබුණේ නැහැ. දශක ගණනාවක් තිස්සේ කඵ ජාතිකයන්ට හරිහැටි කී‍්‍රඩා අවස්ථා නොදීම නිසා කුසලතාව ඇති කී‍්‍රඩාකයන් ඔවුන් අතරින් බිහිව සිටියේ නැහැ. මේ නිසා 1995 ලෝක රගර් ශුරතාවලියට එරට නියෝජනය කළේ බහුතරයක් සුදු කී‍්‍රඩකයින්ගෙන් සමන්විත වූ පිළක්.

වර්ණභේදවාදය පැවති කාලය පුරා ම වාගේ දකුණු අපි‍්‍රකානු රගර් කණ්ඩායමට එරෙහිව විදෙස් පිළක් තරග වදින විට දකුණු අපි‍්‍රකාවේ බහුතරයක් කඵ ජනතාව කළේ විදෙස් පිළට ආවැඞීමයි.

මේ ආකල්පය වෙනස් කොට, ජාතික රගර් කණ්ඩායමට ‘චියර්’ කරන්නට මුළු රට ම කුළුගැන්විය හැකි නම් කෙතරම් අපූරු ද කියා මැන්ඩෙලා කල්පනා කළා. රගර් පිළේ නායක ප‍්‍රංශුවා පිනාර් (François Pienaar) හමු වී මේ ගැන කථාබහ කළ ජනාධිපති මැන්ඩෙලා, රට එක්සත් කිරීමට රගර් ශූරතාවලිය අවස්ථාවක් කර ගන්නට එකඟත්වයකට ආවා.

කී‍්‍රඩාකයන්ගේ සමේ වර්ණය කුමක් වුවත් ඔවුන් නියෝජනය කරන්නේ සමස්ත දකුණු අපි‍්‍රකාව ම බව මැන්ඩෙලා තම පාක්‍ෂිකයන්ට මතක් කරනවා. ඔවුන් සමහරක් විශ්වාස කරන්නේත් නැහැ බහුතර කඵ ජනයා මෙබඳු සුදු පිළකට චියර් කරාවිය කියා.

එහෙත් තරගවලිය ඇරැඹී ටික දිනකින් එය සිදු වනවා. දකුණු අපි‍්‍රකාව සහභාගි වූ දෙවන තරගය වන විට සුදු, කඵ, මිශ‍්‍රිත වර්ණ හා ජාති හේද නොතකා මුඵ රටම තම පිළට ආවඩනවා. මෙය මතක ඇති කාලෙක සිදු නොවූ අරුමයක්. එයට ප‍්‍රබල ලෙස දායක වන්නේ කී‍්‍රඩා තරග සජීව ලෙස ටෙලිවිෂන් හරහා රටට ම පෙන්වීමයි.

ජාතික ඒකාග‍්‍රතාවය, ජාතීන් අතර සංහිදියාව. සමගිය ආදී උතුම් සංකල්ප ගැන ඕනෑ තරම් හරවත් ලෙස රටවැසියා අමතා කථා කිරීමේ කථික හැකියාව මැන්ඩෙලා සතු වුණා. එසේ ම ඉතා ජනපි‍්‍රය රාජ්‍ය නායකයකු හැටියට ඕනෑ නම් ටෙලිවිෂන් ගුවන් කාලය එයට ලබා ගැනීමේ බලතල හා වරප‍්‍රසාදය ද ඔහුට තිබුණා. එහෙත් ඔහු කළේ ටෙලිවිෂන් හරහා බණ කීම වෙනුවට ව්‍යංගාර්ථයෙන් එහෙත් ප‍්‍රබලව මේ සංකල්ප නිරූපණය වන රගර් ශූරතාවලිය රටට පෙන්වීමයි.

Invictus චිත‍්‍රපටයේ උච්ච අවස්ථාව එළැඹෙන්නේ රගර් දැවැන්තයන් වන නවසීලන්ත පිළට එරෙහිව අවසන් මහ තරගය සමගයි. තියුණු තරගයකට පසු දකුණු අපි‍්‍රකාව ලෝක රගර් කුසලානය දිනා ගන්නවා. මුඵ රට ම එකම පී‍්‍රති ඝෝෂාවක් බවට පත් වනවා.

ඊට මාස කීපයකට පෙර බහුජන උදහසට ලක්ව සිටි ජාතික රගර් කණ්ඩායම කොයි කාගේත් වීරයන් බවට පත් වනවා. මේ හරහා තමන් ද අඵත් දකුණු අපි‍්‍රකාවේ ගෞරවනීය කොටස්කරුවන් බව සුදු ජනයාටත් තේරුම් යනවා.

වචයක්වත් මුවින් නොබැන, නවීන සන්නිවේදන තාක්‍ෂණය හා මාධ්‍ය සියුම් හා සංවේදී ලෙස හැසිර වීම හරහා මැන්ඩෙලා ලෝකයට අගනා සන්නිවේදන පාඩමක් කියා දෙනවා.

සිවුමංසල කොලූගැටයා #138: මීළඟ කාර්මික විප්ලවය ති‍්‍රමාන මුද්‍රණයද?

My latest Ravaya column (in Sinhala) is about the promise and challenges of 3D printing technology.

Sri Lanka took many years to come to terms with colour copiers and printers in 2D. For a while, they were not even allowed. This time around, regulating 3D printing will be harder — and there won’t be as much time to endlessly ponder what to do.

Mexit 3d printer
Mexit 3d printer

ෆොටෝකොපි හෙවත් ජායාපිටපත් යන්ත‍්‍ර පුඵල් ලෙස භාවිතයට ආවේ 1970-80 කාලයේදී. ඊට පෙර යම් ලේඛනයක පිටපත් හදා ගැනීමට යම් පරිශ‍්‍රමයක් දැරිය යුතු වුණා. රෝනියෝ යන්ත‍්‍ර හරහා පිටපත් කිරීම පෙර තිබූ තාක්‍ෂණයයි. ජායාපිටපත් යන්ත‍්‍ර සුලභ අද කාලේ එහි අගනා බව හා එයින් ලැබෙන සේවයේ අගය ගැන අප එතරම් සිතන්නේ නැහැ.

ජායාපිටපත් යන්ත‍්‍ර කරන්නේ එයට ඇතුඵ කරන ලේඛනයේ ද්විමාන (2D) පිටපත් එකක් හෝ ගණනාවක් හිස් කඩදාසි මතට ඉක්මනින් ලබා දීමයි. මෙහි ඊළඟ පියවර වන්නේ ති‍්‍රමාන (3D) වස්තුවක් පිටපත් කිරීම බව කලෙක සිට විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයෝ පරිකල්පනය කළා.

භෞතික විද්‍යාවේ මූලධර්මවලට අනුව හිස් අවකාශයෙන් පදාර්ථ (වස්තූන්) ඉබේ මවන්නට බැහැ. (හාස්කම් යයි කියමින් එසේ කරන වගට පුරසාරම් දොඩන්නෝ කරන්නේ සියුම් ඉන්ද්‍රජාලීය රැවටීමක්.) නමුත් යම් අමුද්‍රව්‍ය යොදා ගෙන විවිධ වස්තුන් බිහි කළ හැකියි. ප්ලාස්ටික්, ෆයිබර්ග්ලාස් ආදියෙන් නිර්මිත භාජන හා වස්තුන් තැනෙන්නේ එලෙසයි.

මෑතක් වනතුරු මෙසේ ති‍්‍රමාන/ඝන වස්තුන්ගේ පිටපත් තැනීම සංකීර්ණ කාර්මික කි‍්‍රයාදාමයක් හරහා කළ යුතු වුණා. එහෙත් දැන් ලොව පුරා ඉක්මනින් ප‍්‍රචලිත හා ජනපි‍්‍රය වෙමින් පවතින නව තාක්‍ෂණයකට අනුව එය ගෙදරදී හෝ කාර්යාලයේදී හෝ කර ගත හැකි වී තිබෙනවා. මේ තාක්‍ෂණයට කියන්නේ ති‍්‍රමාන මුද්‍රණය හෙවත් 3D Printing කියායි. මෙය ලෝකය උඩුකුරු කළ හැකි ආකාරයේ තාක්‍ෂණයක්.  http://en.wikipedia.org/wiki/3D_printing

සරලව කිව හොත් ති‍්‍රමාන මුද්‍රණය යනු අණුක මට්ටමින් ඉතා සියුම් ලෙසින් යමක් යාන්ති‍්‍රකව පිටපත් කිරීමයි. මෙහිදී මුල් වස්තුවේ අණුක ස්වභාවය විස්තරාත්මකව යන්ත‍්‍රයට කැවිය යුතුයි. ඉන් පසු යම් දැඩි ප්ලාස්ටික් වර්ග අමුද්‍රව්‍ය ලෙස යොදා ගනිමින් ටිකෙන් ටික යන්ත‍්‍රයේ රොබෝ අත් මගින් පිටපතක් නිර්මාණය කරනවා. මුල් වස්තුවේ සංකීර්ණත්වය අනුව එයට ගත වන කාලය පැය කිහිපයක් හෝ දින දෙක තුනක් විය හැකියි.

ති‍්‍රමාන මුද්‍රණයට බහුලව යොදා ගන්නේ ABS නම් ප්ලාස්ටික් වර්ගයයි. එහෙත් ඉරිගුවලින් තනා ගත් ජෛව ප්ලාස්ටික් වර්ගයක් වන PLA හෝ ටයිටේනියම් වැනි ලෝහ ද මෙයට යොදා ගත හැකියි.

ති‍්‍රමාන මුද්‍රණය දියුණු රටවල දැන් පාරිභෝගික හා කාර්යාල මට්ටමට ළගා වෙලා. මා මුල් වරට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් කි‍්‍රයාත්මක වන අයුරු සමීපව දුටුවේ මීට මාස කිහිපයකට පෙර සිංගප්පූරුවෙදී. එහි තාක්‍ෂණික සරසවියක උගන්වන හා පර්යේෂණ කරන ආචාර්ය සුරංග නානායක්කාර තම විද්‍යාගාරයේ එම යන්ත‍්‍රයක් කි‍්‍රයා කරවා පෙන්වූවා. එරට විද්‍යා උපාධි අපේක්‍ෂක සිසුන්ට තාක්‍ෂණික අධ්‍යාපනයේ විවිධ ආකෘතීන් තනා ගන්නට ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර යොදා ගන්නවා.

Everyday objects made from 3D printing
Everyday objects made from 3D printing

ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍ර තවමත් මිළ අධිකයි. සාමාන්‍ය මට්ටමේ යන්ත‍්‍රයක් අමෙරිකානු ඩොලර් 2,000ක් (රුපියල් 260,000 පමණ) වනවා. එහෙත් බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරණ මෙන් මේවායේ ද මිළ අඩු වෙමින් හැකියාවන් වැඩි වේ යයි අනුමාන කළ හැකියි.

මේ යන්ත‍්‍ර සමඟ සමාන්තරව වෙළඳපොල ඉල්ලූුමක් මතුව ඇත්තේ විවිධාකාරයේ වස්තු හා උපකරණවල අණුක මට්ටමේ සුක්‍ෂම සැළසුම්වලටයි.

මහා පරිමාණ කර්මාන්තශාලා හරහා වෙළඳපොලට භාණ්ඩ නිපදවීමේ ආකෘතිය (mass production) විසිවන සියවස පුරා ම පාහේ පැවතුණා. ජපානය, චීනය වැනි රටවල් ඉක්මනින් දියුණු වූයේ එම ක‍්‍රමවේදය හරහායි. මෙහි මූලාරම්භකයෙක් හා පුරෝගාමියකු වූයේ අමෙරිකානු මෝටර්රථ නිෂ්පාදක හෙන්රි ෆෝඞ්. 1900 සියවස මුල දශකවලදී කාර්යක්‍ෂම ලෙසින් මෝටර්රථ මහා පරිමානයට නිපදවීම හරහා වඩා අඩු මිළකට වාහන මැද පාංතිකයන්ට ලබා දීමේ කාර්මික පෙරළිය ඇරඹුණේ ඔහුගෙන්.

එහෙත් 21 වන සියවසේදී එක ම අච්චුවේ භාණ්ඩ මිළට ගන්නවාට වඩා යම් තරමින් සුවිශෙෂි වූ භාණ්ඩවලට පාරිභෝගික නැඹුරුව වැඩි වෙමින් තිබෙනවා. වෙන කාටවත් නැති විදියේ භාණ්ඩයකට අමතර මිළක් ගෙවන්න අද සමහර පාරිභෝගිකයන් වැඩි වැඩියෙන් නැඹුරු වනවා. මෙය ජංගම දුරකථනවල සිට ඇඳුම් මෝසතර, ස්වර්ණාභරණ හා නොයෙකුත් එදිනෙදා උපකරණවලටත් අදාලයි.

මෙසේ කුඩා සංඛ්‍යාවක් සුවිශෙෂී ව නිපදවීමට ති‍්‍රමාන මුද්‍රණය කදිමට ගැලපෙන තාක්‍ෂණයක්. එහිදී බිහි වන්නේ වරකට එකක් බැගින් නිසා. මෙයට ඉංගී‍්‍රසියෙන් Mass customisation යයි කියනවා. එහිදී මහා කර්මාන්තශාලා වෙනුවට කුඩා සමාගම්වලට නව්‍යකරණය හරහා යම් භාණ්ඩයකින් ඒකක සුඵ ගණනක් නිපදවා එකක් වැඩි මිළකට බැගින් අලෙවි කළ හැකියි.

මේ ක‍්‍රමයේ තවත් සුවිශෙෂි බවක් නම් අමුද්‍රව්‍ය අරපිරිමැස්මයි. අතින් කළත්, යාන්ති‍්‍රකව කළත් මේ වන තුරු බොහෝ භාණ්ඩ නිෂ්පාදනය කළේ අමුද්‍රව්‍ය කුට්ටියකින් අරඹා එය කපා කොටා අවශ්‍ය හැඩතලයට හා ප‍්‍රමාණයට සකස් කිරීම මගින්.

වටිනා දැව ලී කොටයක් උදාහරණයට ගන්න. එයින් ලී බඩුවක් හෝ කැටයමක් හෝ තනා ගන්නට වඩු උපකරණ යොදා ගනිමින් ටිකෙන් ටික කැපීමක් කරනවා. එහිදී ලී කුඩු හා වෙනත් අපතේ යාම් වළක්වන්නට බැහැ.

නමුත් ති‍්‍රමාන මුද්‍රණයේදී වස්තුවක් බිහි වන්නේ අණුක තීරයෙන් තීරය බැගින්. ඒ නිසා  ඕනෑ හැඩයකට ඉතා සූක්‍ෂමව එළඹිය හැකි අතර අමතර/වැඩිපුර දෙයක් කපා ඔපමට්ටම් කිරීමක් අවශ්‍ය නැහැ.

සිංගප්පුරු සරසවි සිසුන් තමන්ගේ අධ්‍යාපනික ව්‍යාපෘති හා කි‍්‍රයාකාරකම් සඳහා විවිධ මෙවලම් නිපදවා ගන්නා සේ ම ලොව ප‍්‍රමුඛ පෙළේ සමාගම් ද දැන් ටිකෙන් ටික ති‍්‍රමාන මුද්‍රණය තම නිෂ්පාදන කටයුතුවලට යොදා ගන්නවා.

ඉතා සුක්‍ෂම හා ඉහළ ප‍්‍රමිතියක් අවශ්‍ය ගුවන්යානා උපාංග ආදියට පවා දැන් මේ තාක්‍ෂණය යොදා ගැනීම බෝයිං වැනි ප‍්‍රමුඛ ගුවන්යානා නිෂ්පාදන සමාගම් අරඹා තිබෙනවා.

මේ අතර අමෙරිකානු අස්ථි ශෛල්‍ය වෛද්‍යවරයකු 3D තාක්‍ෂණය යොදා ගෙන කෘති‍්‍රම අත් හා පාදවලට වඩාත් තාත්ත්‍වික ආකාරයේ පිටවැස්මක් නිපදවීමට පටන් අරන්.

අමෙරිකාවේ කෝනෙල් සරසවියේ පර්යේෂක පිරිසක් සූපවේදීන් සමග එක්ව  3D තාක්‍ෂණය ගැන පර්යේෂණ කරන්නේ ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ ආකාරයේ අඵත් සූප රසයන් හා නිර්මාණ බිහි කරන්න. කෑමට ගත හැකි ජීව ද්‍රව්‍යවලින් 3D මුද්‍රිත ආහාර සෞඛ්‍ය ආරක්‍ෂිත දැයි සොයා බැලෙනවා.

මේ පර්යේෂණවල එක් දිශාවක අරමුණක් නම් මුඵමනින්ම පැළෑටි අමුද්‍රව්‍ය යොදාගෙන, කිසිදු සත්ත්‍ව ඝාතනකින් තොරව මාංශ ආහාර හැකිතාක් තාත්ත්‍වික ලෙස 3D මුද්‍රණය කිරීමයි. මාංශ ආහාර පමණක් නොව සත්ත්‍ව සම් වෙනුවට  මුද්‍රිත සම් පවා නිපදවා ගැනීමට දැන් අත්හදා බැලීම් කැරෙනවා.

මේ පාරිභෝගික භාවිතයන්ට වඩා තීරණාත්මක විය හැක්කේ අවයව බද්ධය සඳහා 3D මුද්‍රණයෙන් කෘති‍්‍රම අවයව නිපදවා ගැනීමයි. ලෝකයේ බොහෝ රටවල වෛද්‍ය අවශ්‍යතා සඳහා ඇති තරම් මානව පටක හා අවයව සොයා ගත නොහැකියි. (ඒවා දන් දීමට ඉදිරිපත් වන සංඛ්‍යාව සීමිත නිසා.) දැනටමත් කුඩා පරිමානයෙන් සියුම් රුධිර නාලිකා බිහි කරන්නට 3D මුද්‍රණය යොදා ගෙන පර්යේෂණ කරනවා. 2015 වන විට මෙය වඩාත් සංකීර්ණ අවයව දක්වාත් ව්‍යාප්ත විය හැකියි.

3D-printed gun's first test in Austin, Texas (USA) in early 2013 - captured by BBC
3D-printed gun’s first test in Austin, Texas (USA) in early 2013 – captured by BBC

ඕනෑ ම නව තාක්‍ෂණයක අනපේක්‍ෂිත භාවිතයන් ද මතු වනවා. අහිතකර භාවිතයන් ගැන විමසිලිමත් වන අය පෙන්වා දෙන්නේ 3D මුද්‍රණය හරහා ගිනි අවි පවා නිපදවා ගත හැකි වන බවයි. එයට අවශ්‍ය වන්නේ පිස්තෝලයක නැතහොත් තුවක්කුවක අණුක මට්ටමේ සූක්‍ෂම සැළැස්ම පමණයි.

විවෘත වෙළඳපොලේ බලයලත් වෙළඳුන් හරහා ගිනිඅවි වෙළදාම වඩාත් තදින් නියාමනය කරන්නට අමෙරිකාව තැත් කරමින් සිටින මෙබඳු අවධියක, මේ තාක්‍ෂණය එම වෑයම ව්‍යර්ථ කළ හැකියි.

ගිනිඅවි නියාමනය පුද්ගල නිදහසට රජය විසින් බාධා කිරීමක් යයි විශ්වාස කරන අන්තවාදී කණ්ඩායම් එරට සිටිනවා. ඔවුන්ගෙන් සමහරුන් දැන් හදන්නේ ගිනි අවිවල අණුක සැළසුම් වෙබ් අඩවි හරහා කොයිකාටත් ලබා ගත හැකි පරිදි නොමිළයේ බෙදා හරින්නට. එය ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයකට ඇතුල් කොට, අමුද්‍රව්‍ය ද යෙදීමෙන් පැය හෝ දින ගණනාවකට පසු ගිනි අවියක් ගෙදරදී ම නිපදවා ගත හැකි වේවි. (එහෙත් එබඳු ගිනි අවියකට වුවත් සාමාන්‍ය භාවිතයේ පවතින වෙඩි උණ්ඩ හෙවත් මූනිස්සම් අවශ්‍යයි. ඒවා තනන්නට 3D මුද්‍රණයට තවම නොහැකියි.)

එපමණක් නොවෙයි, එසේ මුද්‍රණය කර ගත් ගිනි අවියක් යම් අපරාධයක් සඳහා භාවිත කළ පසු නැවතත් උණු කොට එය තැනූ දැඩි ප්ලාස්ටික් කුට්ටියක් බවට පත් කළොත්, ගිනි අවිය පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගත නොහැකි වනවා!

මෙබඳු අහිතකර භාවිතයන් වළක්වා ගන්නේ හෝ අවම කර ගන්නේ හෝ කෙසේ ද? මෙය නුදුරු අනාගතයේ සමාජයට නව අභියෝගයක් වනු ඇති. (පරිගණක ද්විමාන මුද්‍රණ යන්ත‍්‍ර යොදා ගෙන සමහරුන් හොර මුදල් නෝට්ටු මුද්‍රණය කරන බව ප‍්‍රකට කරුණක්. එසේ වුවත් එම යන්ත‍්‍ර යහපත් භාවිතයන් සඳහා යොදා ගැනීම බොහෝ රටවල තහනමකින් තොරව කැරෙනවා!

නව නිපැයුම්කරුවන්ට 3D මුද්‍රණ තාක්‍ෂණය ආශිර්වාදයක් මෙන් ම තර්ජනයක් ද විය හැකියි. ඔවුන් දැනට මුහුණ දෙන ප‍්‍රායෝගික ගැටඵවක් නම් තමන්ට අවශ්‍ය උපාංග හරිහැටි හදා ගැනීමයි. ප‍්‍රාග්දර්ශ (prototype) තැනීමේදී ති‍්‍රමාන මුද්‍රණය ඔවුන්ට උපකාර විය හැකියි. එහෙත් අන් අය නව නිපැයුමක් කොපි කිරීමට ද ති‍්‍රමාන යන්ත‍්‍ර ම යොදා ගත හැකියි. මෙබඳු පරස්පරතාවයන් ගැන කල් තබා දැනුවත් වී සුදානම් වීම ප‍්‍රයෝජනවත්.

ති‍්‍රමාන මුද්‍රණ විප්ලවයේ උච්චම අවස්ථාව නම් තම උපාංග තමා විසින් ම නිපදවා ගැනීම හරහා තමන්ගේ පිටපත් හදා ගැනීමේ හැකියාව (self-replicating) ඇති ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රයක් තැනීම. RepRap Project නමින් හඳුන්වන මේ පර්යේෂණාත්මක උත්සාහය ඇරැුඹුණේ 2005දී බි‍්‍රතාන්‍යයේ බාත් සරසවියේ. සංකල්පමය වශයෙන් මෙය හරියට තමන්ගේ ‘දරුවන්’ බිහි කළ හැකි යන්ත‍්‍රයක් වගෙයි. සුක්‍ෂම පරිපථ පද්ධති මට්ටමෙන් තමන්ගේ ම උපාංග පිටපත් කළ හැකි 3D මුද්‍රණ යන්ත‍්‍ර සාර්ථකව අත්හදා බලා හමාරයි. http://reprap.org/wiki/RepRap

මෙයට සම්බන්ධව සිටින ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසට  ඕනෑ ති‍්‍රමාන මුද්‍රණ තාක්‍ෂණය වඩාත් ලාබදායක හා ප‍්‍රචලිත කිරීමට. බුද්ධිමය දේපළ පේටන්ට් බලපත‍්‍ර හරහා ලාබ ලබන පිරිසක් අතට මේ තාක්‍ෂණය කොටුවීමට කලින් එය ලොවට මුදා හැරීම ඔවුන්ගේ අරමුණයි.

ති‍්‍රමාන මුද්‍රණයේ දිගු අනාගතය ගැන දැන් ම අනාවැකි කිව නොහැකියි. මේ නව තාක්‍ෂණ විප්ලවයේ දිගු කාලීන බලපැම් සියල්ල හඳුනාගෙන නැහැ. මේ හරහා මතුවන නව ආර්ථික, සමාජයීය හා නීතිමය අභියෝගවලට ළඟදී හැම රටකට ම සූදානම් වන්නට සිදු වේවි.

මෙය ඊළඟ කාර්මික විප්ලවය වන බව ඇතැම් අනාගතවේදීන්ගේ මතයයි. මෙය තව දුරටත් මැජික් නොවන බවත්, දැනටමත් මේ යන්ත‍්‍රවල මිළ ටිකෙන් ටික පහළ බසිමින් තිබෙන බවත් සිහි තබා ගැනීම වැදගත්.

සිවුමංසල කොලූගැටයා #137: නව සියවසට නවීකරණය වූ ‘භූතයෝ’

In this week’s Ravaya column (in Sinhala), I explore the nexus between public perceptions and public health – a topic I discussed in a recent talk to the College of Community Physicians Sri Lanka held in Colombo on 23 – 24 September 2013.

See also: Taming 21st Century Demons for Universal Health Access in Sri Lanka

Dosthara Wisthara, A Doctor's Memories, by Dr Ariyasena U Gamage
Dosthara Wisthara, A Doctor’s Memories, by Dr Ariyasena U Gamage

විශෙෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ 2002දී ලියා පළ කළ ‘දොස්තර විස්තර’ නම් පොත මා ළඟදී කියෙව්වා. ඒ වන විට විසි පස් වසරක් පමණ වූ වෛද්‍ය ජීවිතය තුළ ඔහු ලැබූ අත්දැකීම් කතන්දර හැටියට රසබරව ලියා තිබෙනවා.

වෙදකමට වගේ ම ලියන්නටත් හපන් වෛද්‍ය ගමගේ, ලෙඩ රෝග ගැන විතරක් නොවෙයි අපේ සමාජයේ බහුලව හමුවන ඇදහිලි, විශ්වාස හා මිථ්‍යාවන් ගැනත් විවෘත මනසකින් යුක්තව කථා කරනවා.

වෛද්‍යවරුන් හැටියට රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී ශාරීරික සාධක මෙන් ම මානසික සාධක ගැනත් සංවේදී වීම වැදගත් බව ඔහු අවධාරණය කරනවා. 1970 දශකය අගදී රජයේ රෝහල්වලට ආ සහ වාට්ටුවලට ඇතුඵ කරනු ලැබූ රෝගීන්ගෙන් සියයට හැට හැත්තෑවකගේ ම අතේ හෝ බෙල්ලේ හෝ ඇප නූල් ගැට ගසා තිබු සැටි ඔහු සිහිපත් කරනවා. ඒවා රෝගියා රෝහලට ගෙන එන්න පෙර කට්ටඩියකු විසින් ගැට ගැසූ පාර-වෛද්‍ය ප‍්‍රතිකර්මයි.

එවකට ගාලූ මහ රෝහලේ සර්වාංග රෝග විශෙෂඥ වෛද්‍යවරයාට මේ ඇප නූල් රුස්සන්නේ නැතිලූ. ඔහු කියා ඇත්තේ ‘ලෙඩ සුව වෙන්නේ අපි දෙන බෙහෙත් ප‍්‍රතිකාර නිසා. ඒත් ඒකෙ ගෞරවය යන්නේ නූල් බැඳපු කට්ටඩියට!’

එක් දිනක් මේ විශෙෂඥ වෛද්‍යවරයා කතුරක් ගෙන ඔහුගේ වාට්ටුවේ සිටි සියලූ රෝගීන්ගේ බැඳ තිබූ නූල් කපා දැමූ සැටි වෛද්‍ය ගමගේ විස්තර කරනවා. නමුත් ටික කලකට පසුව මේවායේ මනෝවිද්‍යාත්මක වැදගත්කම ගැන ඔහු අවබෝධ කර ගත් සැටි ද කියනවා.

වෛද්‍ය ගමගේ ඒ ලිපිය අවසන් කරන්නේ මෙහෙමයි. ‘‘ගාලූ රෝහලට රෝගීන් මාරු කර එවන්නේ උඩුගම, ඇල්පිටිය, බද්දේගම, ආරච්චිකන්ද වැනි ග‍්‍රාමීය රෝහල්වලිනි. මෙසේ මාරු කර එවන රෝගීන් බොහොමයකගේ ඇගහි ඇප නූල් ගැට ගසා තිබුණි. ඒවා නිකම් ම නිකම් නූල් කැබලි නොව ඒවා තුළ මිනිසාගේ සිතුම් පැතුම් සහ විශ්වාස රාශියක් කැටි කොට සඟවා ඇති බව තේරුම් ගැනීමට (විශෙෂඥ වෛද්‍යවරයාට) ගත වූයේ සුඵ කාලයකි.’’

සැප්තැම්බර් අග කොළඹදී පැවැති ශී‍්‍ර ලංකා ප‍්‍රජා වෛද්‍ය විශෙෂඥයන්ගේ සංගමයේ (College of Community Physicians Sri Lanka) වාර්ෂික විද්‍යාත්මක සැසිවාරයේ කෙටි දේශනයක් කරමින් මා මේ සානුකම්පිත වෛද්‍යවරයාගේ අත්දැකීම කෙටියෙන් උපුටා දැක්වූවා.

Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo - Photo by Janaka Sri Jayalath
Nalaka Gunawardene speaks at Annual Scientific Sessions of College of Community Physicians Sri Lanka, 24 Sep 2013 Colombo – Photo by Janaka Sri Jayalath

මගේ කථාවේ හරය වූයේ යහපත් සෞඛ්‍ය ළගා කර ගැනීම හා පවත්වා ගැනීම තනිකර වෛද්‍ය හා පොෂණ ව්‍යයාමයක් පමණක් නොව ඊට වඩා පුඵල් වූත්, ගැඹූරු වූත් කටයුත්තක් බවයි. මේ නිසා මහජන සෞඛ්‍යය (public health) මනා අයුරින් පවත්වා ගන්නට වෛද්‍ය හා සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩලවලට අමතරව සමාජ විද්‍යා, මානව විද්‍යා වැනි වෙනත් ක්‍ෂෙත‍්‍රවල විශෙෂඥ දැනුම හා දායකත්වය ද අවශ්‍ය වනවා. එහෙත් නිල සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රය තුළ මෙබඳු පුඵල් ප‍්‍රවේශයකට ඉඩක් නැහැ. (මානසික සෞඛ්‍යය ගැන පවා අවධානය යොමු කිරීම සිදු කැරෙන්නේ මෑත කාලයේ පටන්.)

මා කීවේ අද ලක් සමාජය පුරා බෙහෙවින් ප‍්‍රචලිත වී ඇති ඇදහිලි, විශ්වාස හා මිථ්‍යාවන් සමහරක් කෙළින් ම හෝ වක‍්‍රාකාරව හෝ මිනිසුන්ගේ සෞඛ්‍යයට ද බලපාන නිසා මේවා ගැන ඔවුන්ගේ පර්යේෂණාත්මක අවධානය යොමු විය යුතු බවයි.

එහිදී සෞඛ්‍යයට අදාල මිථ්‍යාවන් හා විශ්වාස මූලික කාණ්ඩ තුනකට වර්ග කළ හැකි යයි මා යෝජනා කළා.

පළමු කාණ්ඩය: එය විශ්වාස කිරීම නිසා පුද්ගලයාට හෝ සමාජයට හානියක් සිදු නොවන අහිංසක ආකාරයේ විශ්වාසයන්. වෛද්‍ය ගමගේ ලියා ඇති පරිදි හිතේ සැනසීම ලබා දෙන යම් සරල ශාන්ති කර්ම ආදියේ වරදක් නැහැ. (වෛද්‍ය ප‍්‍රතිකාරවලට නිසි කලට යොමු වීම එමගින් වළක්වන්නේ හෝ ප‍්‍රමාද කරන්නේ නැති නම්.)

දෙවැනි කාණ්ඩය: අදහන්නාට යම් ආර්ථික හෝ වෙනත් අලාබයක් හෝ හානියක් සිදු කළ හැකි වූවත් සෙසු සමාජයට හා රටට අහිතකර බලපෑමක් නොකරන ආකාරයේ විශ්වාස.

තුන්වැනි කාණ්ඩය: අවිචාරශීලීව විශ්වාස කිරීම හරහා පුද්ගලයාට, පවුලට, සමාජයට මෙන් ම පොදුවේ රටටත් අහිතකර ලෙස බලපෑ හැකි ආකාරයේ බරපතල මිථ්‍යාවන්. ප‍්‍රතිශක්තිකරණ එන්නත් ගැන සමහර රටවල උගත් නූගත් දෙපිරිස ම දරණ අස්ථාන භීතිය මෙයට හොඳ උදාහරණයක්.  (බලන සැමත කුමන්ත‍්‍රණ පිරි දේශයක් නමින් 2013 පෙබරවාරි 10දා කොලමින් පාකිස්ථානය ගැන මා කළ විග‍්‍රහය ද බලන්න.)

අද කාලේ මේ තුන්වන කාණ්ඩයේ මිථ්‍යාවන්ට පාදක වන්නේ මීට කලකට පෙර ලක් සමාජය බියපත් කළ සාම්ප‍්‍රදායික භූතයන්, අවතාරයන් හා වෙනත් භීතිකාවන් නොවෙයි.

මහසෝනා, රීරියකා, මෝහිනී ආදී සංකල්ප ගැන තවමත් අපේ සමහරුන් තුළ විශ්වාසයක් ඇතත් දැන් නූතන ජන සමාජයට සරිලන පරිද්දෙන් භීතිකා ප‍්‍රභවයන් ද නවීකරණය වී ඇති බවට මා තර්ක කළා. මා එය ඉංගී‍්‍රසියෙන් කීවේ ’21st Century Demons’ නැතහොත් විසි එක් වන සියවසේ නවීන භූතයෝ හැටියටයි.

විශෙෂයෙන් තාක්‍ෂණයන් ගැන සමාජයේ පවතින සැකයන්, අවිනිශ්චිතභාවයන් ආදිය පදනම් කර ගෙන නූතන මිථ්‍යාවන් නිරතුරුව බිහි වී සංසරණය වනවා. සොයා බලා ගෙන ගියාම මේ සමහරකට කිසිදු සාක්‍ෂියක් නැහැ. තවත් ඒවා යම් කරුණු අතිශයෝක්තියට ලක් කිරීමෙන් විකෘත කරනු ලැබූ අවස්ථායි.

සෞඛ්‍යයට යමක් සම්බන්ධ වූ හැටියේ බොහෝ දෙනා කලබල වනවා. අනතුරු, ආබාධ හා උපද්‍රවවලින් බේරී සිටින්නට අප කවුරුත් කැමතියි. එහෙත්  ඕනෑවට වඩා විය හැකි සැම ආපදාවක් ගැනම දිගටම සිතන්නට ගියොත් එයම මානසික රෝග බවට වර්ධනය විය හැකියි.

ප‍්‍රතිශක්තිකරණ එන්නත්, බලශක්තිය, ආහාරපාන හා බෙහෙත් ආදී ජීවිතයේ හැම අවශ්‍යතාවක් සම්පාදනය කර ගැනීමේදී නූතන සමාජයේ කවුරුත් අවදානම ගැන තක්සේරුවක් කරනවා. මුඵමනින් ආරක්‍ෂිත වීමට නම් විෂබීජහරණය කළ සුවිශෙෂී ඇඳුම් කට්ටලයක් හැඳ ගෙන, අධී ආරක්‍ෂිත කාමරයක දිවා ජීවත් වන්නට සිදුවෙයි. එසේ කළත් ආහාරපාන හරහා නොයෙක් බලපෑම් ඇති විය හැකියි. අප කරන්නේ යම් නූතන පහසුකමක් වෙනුවෙන් ගත හැකි සාධාරණ අවදානම කුමක් දැයි නිර්ණය කොට එයට යොමු වීමයි. ගින්දර භාවිතය ඇරැඹූ දා පටන් මානව වර්ගයා මේ කිරා මැන බැලීම කර තිබෙනවා.

මෑත කාලයේ මෙරට සෞඛ්‍ය භීතිකා ගණනාවක් පැන නැගී මාධ්‍ය හරහා ඉක්මනින් පැතිර ගියා. ඒ කිහිපයක් ජංගම දුරකථනවලට සම්බන්ධයි. ජංගම දුරකථන සම්බන්ධතා ලබා දෙන මයික්‍රෝවේව් ක්ෂූද්‍ර තරංග මිනිස් සිරුරට අහිතකර විය හැකි ද යන්න ගැන තවමත් ලොව පුරා පර්යේෂණ කරමින් තිබෙනවා.

එයින් නිශ්චිතවම මොළයට හෝ වෙනත් අවයවයකට හෝ හානියක් වේ යයි සොයා ගෙන නැහැ. මේ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා තවමත් විවෘත මනසකින්, විමසිලිමත්ව සිටිනවා. http://www.who.int/features/qa/30/en/

එහෙත් සමහර සංත‍්‍රාසජනක වෙබ් අඩවි මේ වන විටත් ජංගම දුරකථන හා ඒවායේ සම්පේ‍්‍රෂණයට යොදා ගන්නා කුඵණු ගැන සමාජ භීතියක් පතුරුවා තිබෙනවා. වෙබ් අඩවි අතර විශ්වාසනීය මූලාශ‍්‍ර තෝරා ගන්නට නොදත් සමහරුන් මෙයින් කලබල වනවා.

නොයෙක් ආහාරපානවලට වසවිස එකතු වීම ගැන විටින් විට පැතිර යන භීතිකා ද බොහෝ විට පදනමකින් තොරයි. එහෙත් විද්‍යාත්මක මුහුණුවක් සහිතව සමහර අන්තවාදී පාරිසරික හෝ සෞඛ්‍ය කි‍්‍රයාකාරිකයන් කරන පක්‍ෂග‍්‍රාහී විවේචනවලට අහිංසක ජනයා රැවටෙනවා.

පරිසරවේදීන් බොහෝ දෙනෙකුට ‘දුෂ්ටයන්’ගේ දිග ලැයිස්තුවක් තිබෙනවා. එයින් සමහරක් (උදා: ඇස්බැස්ටෝස්, අධික විෂැති යම් පළිබෝධක නාශක වර්ග) සෞඛ්‍යයට සැබැවින් ම හානිකර බව සනාථ වී ඇතත් ඔවුන් දොස් කියන සමහර සංසිද්ධීන් හා නිපැයුම්වල හිතකර – අහිතකර බව ගැන තවමත් විද්‍යාඥයන් පර්යේෂණ කරමින් සිටිනවා.

එබන්දකට උදාහරණයක් නම් ජාන වෙනස් කිරීම හරහා යම් වැඩිදියුණූ කිරීමට පත්වූ ආහාර බෝග විශෙෂයන්. Genetically modified organisms (GMO)  නමින් හඳුන්වන මෙබඳු ආහාර නිශ්චිතව සෞඛයයට අහිතකර යයි විද්‍යාඥයන් අතර ඒකමතික පිළිගැනීමක් නැහැ. එයට එරෙහි වූවන් එය මහා භයානක දෙයක් බව කීවත් වසර හෝ දශක ගණනක් දැනුවත්ව හා කැමැත්තෙන් ඨඵධ සෝයා බෝංචි, තක්කාලි හා වෙනත් බෝග ආහාරයට ගත් ජනයාට අසාමාන්‍ය රෝගාබාධ වැළදී නැහැ.

විකිරණශීලී, GMO, කෘෂිරසායනික ආදී නූතන විද්‍යාත්මක සංකල්ප හා තාක්‍ෂණයන් ප‍්‍රවේශමින් පරිහරණය කිරීම හරහා මිනිස් ජීවන තත්ත්වය දියුණු කිරීමට යොදා ගත හැකියි. එහෙත් අන්තවාදී පරිසරවේදීන් මේවා ගෙඩි පිටින් ප‍්‍රතික්ෂෙප කොට ඒවාට එරෙහිව අතිශයෝක්ති හා ප‍්‍රලාප සමාජයේ පතුරුවා හරිනවා.

තවත් සමහර අන්තවාදීන් ප‍්‍රතිශක්තිකරණ එන්නත්වලට හා ක්ෂූද්‍ර පෝෂක (යකඩ, අයඞීන්, විටමින් B) ආහාරවලට මුසු කිරීමට විරුද්ධයි. ඒ විරෝධය සාක්‍ෂි මත පදනම් වූවක් නොව බටහිර විරෝධය, ධනවාදී ක‍්‍රමයට විරෝධය හා සියඵ නූතනත්වය සැක කිරීම ආදී මතවාදී (ideological) හේතු නිසා හට ගත්තක්.

මේවා නව සියවසේ නව භීතිකා ගොන්නට අයත්. පරණ භූතයන් වෙනුවට අපේ බොහෝ දෙනා දැන් අදහන්නට පටන් ගෙන ඇත්තේ මෙබඳු නවීන භූත කථායි.

මා නිතර කියන පරිදි කැමති ප‍්‍රලාපයන් ඇදහීමට පෞද්ගලික නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි අන් අයට පතුරුවමින් රාජ්‍ය සෞඛ්‍ය ප‍්‍රතිපත්තිවලට එරෙහි වන ආකාරයේ භීතිකා ඇති කිරීමට අසීමිත නිදහසක් ශිෂ්ට සමාජයක තිබිය නොහැකියි.

සරල උදාහරණයක් මට සිහි වනවා. AIDS කාරක HIV වයිරසය පැතිරීමේ එක් ක‍්‍රමයක් නම් බෙහෙත් හෝ එන්නත් විදීමට යොදා ගන්නා ඉදිකටු හරහායි. මෙය තේරුම් ගත් විගස (1980 දශකය මැද වනවිට) වරක් පමණක් භාවිත කොට ඉවත දමන ඉදිකටු (disposable needles & syringes) යොදා ගැනීම ඇරඹුණා.

බොහෝ දේ ගැන අන්ත අසුබවාදී විග‍්‍රහයන් කරන, දේශීය උරුමය හා පාරම්පරික දැනුම ගැන පෙනී සිටින මෙරට එක් ජන සංවිධානයක් 1990 දශකය අගදී සිය නිල ප‍්‍රකාශනයක තර්ක කළේ මෙසේ ඉදිකටු වරක් භාවිතා කොට ඉවත දැමීම බටහිර ඖෂධ සමාගම් තර කරන තවත් එක් උප්පරවැට්ටියක් බවයි! ඔවුන් යෝජනා කළේ මෙබඳු මූලික මට්ටමේ ප‍්‍රවේශම්කාරී පියවරක් ශී‍්‍ර ලංකාව වැනි දුප්පත් රටකට දරා ගත නොහැකි බවයි

ජන මතය ව්‍යාකූල කරමින්, යහපත් සෞඛ්‍ය සේවා ප‍්‍රතිපත්ති අයථා ලෙස විවේචනය කරමින් කුමන්ත‍්‍රණවාදී කථා පැතිරවීම දැන් පෙරටත් වඩා ප‍්‍රබලව කැරෙන බව පෙනෙනවා. මේ නිසා අපේ සෞඛ්‍ය සේවා පරිපාලකයන්ට, වෛද්‍ය, හෙද හා අනෙකුත් සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ සැමට විෂබීජ හා රෝගාබාධ සමග පොර බදනවාට අමතරව නවීන මිථ්‍යාවන් හා භීතිකාවන්වලින් ලක් සමාජය ගලවා ගන්නට ද සිදුව තිබෙනවා.

සාම්ප‍්‍රදායිකව ලක් සමාජය බියපත් කළ භූතයන් හා වෙනත් පාරම්පරික භීතිකා ලංකා හේතුවාදී සංගමයේ නිර්මාතෘ ආචාර්ය ඒබ‍්‍රහම් ටී. කොවූර් ප‍්‍රමුඛ හේතුවාදීන් විසින් තර්කානුකූල ගවේෂණ හා සාවධාන පහදා දීම හරහා බොහෝ කොට දුරු කරනු ලැබුවා.

එහෙත් ව්‍යාජ විද්‍යාත්මක (pseudo-science) ඇඳුම් ඇඟලා ගෙන අප අතරට එන විසි එක් වන සියවසේ නවීන භූතයෝ (භීතිකා) ඊට වඩා බෙහෙවින් භයානකයි. හානි කරයි.

ඔවුන් පළවා හරින්නට කොවූර්ලා කී දෙනෙකු  ඕනෑ වේවි ද?

සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

This week, my Ravaya Sunday column (in Sinhala) carries the third and concluding part of my long exchange with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics. Today, we discuss soil conservation in Sri Lanka’s hill country, restoring shifting (chena) cultivation to its original method, and how small farmers can become more resilient to market forces.

Part 1: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

Part 2: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Image from the cover of Conservation Farming book by Ray Wijewardene
Image from the cover of Conservation Farming book by Ray Wijewardene

අපේ රටේ වන විනාශයට, පස සෝදා පාලූවට හා ඉඩම් මුඩුබිම් බවට පත් වීමට හේන් ගොවිතැන විශාල වශයෙන් වග කිව යුතු යයි සමහර විද්වතුන් අතර මතයක් තිබෙනවා.

වාරි ජලය මත නොයැපී, වැසි දියෙන් හා භූගත ජලයෙන් කෙටි කාලීන බෝග වගා කිරීමෙන් මෙරට ආහාර බෝග ගණනාවක් නිපදවා ගන්නවා. මේ හේන් ගොවිතැනෙහි යෙදෙන්නේ කුඩා පරිමාණයේ ගොවීන් හා ගෙවිලියන්. ඔවුන් බොහෝ දෙනා දුගී බවින් මිරිකුණු, ජීවිකාව සඳහා වෙනත් විකල්ප සොයා ගත නොහැකි වූ අය.

හේන් ගොවීන්ට අවශ්‍ය මග පෙන්වීම දෙනවාට වඩා ඔවුන් හෙළා දැකීම ලෙහෙසියි. එහෙත් ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන සානුකම්පිතව බැලීමට ආචාර්ය රේ විජේවර්ධන (1924-2010) සමත් වුණා.

1995 අගදී ඔහු සමග මා කළ දීර්ඝ සම්මුඛ සාකච්ජාවේදී හේන් ගොවිතැන ගැනත් අපි කථා කළා. එහි සිංහල අනුවාදයේ අවසන් කොටසින් අද එම මාතෘකාවත්, සුඵ ගොවියාට වෙළඳපොල ආර්ථිකය තුළ මතු වන අභියෝග ගැනත් විග‍්‍රහ කරනවා.

නාලක: වනාන්තරවලට සමහර ලක්‍ෂණ ගොවිබිම්වලට හඳුන්වා දෙන කෘෂි වන වගා (agro-forestry) සංකල්ප ඔබ අත්හදා බලා තිබෙනවා. මොකක්ද මේ? එය අපේ ගොවීන්ට අදාල ද?

රේ: එක ම ගොවිබිමෙහි කෙටිකාලීන වගේම දිගුකාලීන බෝග ද එකවර වැවීමේ ක‍්‍රම ගණනාවකට පොදු නමක් තමයි කෘෂි-වන වගාව කියන්නේ. මෙය අපේ ගොවිතැනට අඵත් දෙයක් නොවෙයි. ඝර්ම කලාපීය ගොවියෝ මෙය සියවස් ගණනාවක් කළ දෙයක්. අපේ පාරම්පාරික කුඹුරුවල පවා ලොකු ගස් වැවෙන්නට ඉඩ දුන්නා. ලොකු ගස් සෙවනේ කුඩා පඳුරු ශාක වැවීම හේන්වල නිතරම කරනවා. සමහර වෙලාවට සත්ත්‍ව පාලනයත් ඒ බිමෙහි ම කැරෙනවා.

මෑතක් වන තුරු කෘෂි පර්යේෂකයෝ මෙබඳු සමෝධානිත වගා ක‍්‍රම ගැන අවධානයක් යොමු කළේ නැහැ. වන නිලධාරීන් ඉතා පටු විදියට ඔවුන්ගේ රාජකාරිය විග‍්‍රහ කළේ කිසිදු ගම්වැසියකුට වන බිමකින් කිසිවක් වවා ගන්නට හෝ උකහා ගන්නට හෝ නොදිය යුතුය කියායි! වන දෙපාර්තමේන්තුව හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එකිනෙකා සමග කථාබහ කළේත් කළාතුරකින්. කෘෂිකර්ම නිලධාරීන් ආහාර වැවීම ගැන පමණක් සිතු අතර වන නිලධාරීන් දැව නිෂ්පාදනය ගැන පමණක් සිතුවා. මේ දෙක හිතකර ලෙස බද්ධ කළ හැකි බව විද්වතුන් හා නිලධාරීන් තේරුම් ගත්තේ මෑතදීයි. 1970-80 දශකවලයි.

වගා බිමක ලොකු ගස් වැවූ විට ඒවායේ මුල් පොළවේ ගැඹුරට විහිද ගොස් යට තිබෙන සාරවත් බව උඩට ඇද ගෙන එනවා. ටික කලකට පසු වියලි කොළ හා අතු රිකිළි ලෙස එය මතු පිටට එකතු වනවා. මේ සරුබව චකී‍්‍රකරණය (recycling of fertility) නිසා පිටතින් පොහොර යෙදීම අවම කොට එම බිමෙහි නොයෙක් බෝග වැවිය හැකියි.

ඔබේ දිගු කල් අධ්‍යයනවලට අනුව ඝර්ම කලාපීය ගොවිතැන්වලදී මතු වන ප‍්‍රධානතම ගැටඵව කුමක්ද?

ලොව පුරා හැම ගොවියා ම මුහුණ දෙන ගැටඵ දෙකක් තිබෙනවා. එනම් පසේ සරුබව සුරැකීම හා වල් පැළෑටි පාලනය.

ශී‍්‍ර ලංකාවේ මධ්‍ය කඳුකරයේ හැම වසරක ම පස සෝදායාම නිසා සැළකිය යුතු බිම් ප‍්‍රදේශයක් මුඩුබිම් බවට පත්වනවා. සොබාවයෙන් ම සෝදාපාඵවට නැඹූරු  වූ බෑවුම් සහිත බිම්වල වැරදි ගොවිතැන් ක‍්‍රම නිසා පස සෝදා යාම උග‍්‍ර වනවා.

මතුපිට සරුසාර පසේ එක් මිලි මීටරයක් සෝදා ගෙන ගිය විට හෙක්ටෙයාරයකට (අක්කර 2.5 කට) සරුපස ටොන් 13ක් ඉවත යනවා. මෙය ලොකු හානියක්. මා දැන ගත් ආකාරයට අපේ කඳුකරයේ සමහර ප‍්‍රදේශවල සාරවත් උඩුපස සෙන්ටිමීටරයකට වඩා වසරකට සෝදා ගෙන යනවා. මේවා දිය පහර හරහා ගොස් රැදී එකතු වීම නිසා වාරිමාර්ග හා ජලාශ පිරී යන්නට හැකියි.

දැනටමත් (1995) මෙසේ රොන්මඩ තැන්පත් වීම (sedimentation) නිසා මහවැලි ජලාශ හා ඇල මාර්ගවලට ද ප‍්‍රශ්න මතු වෙලා. මේ නිසා කඳුකරයේ පස සෝදායාම වැළැක්වීම (අඩු තරමින් අවම කිරීම) බිමේ සරුබව රැක ගන්නට මෙන් ම වාරි කර්මාන්තවලටත් ඉතා වැදගත්.

ඝර්ම කලාපීය රටවල පස කිසි විටෙකත් නිරාවරණය වීමට ඉඩ නොදිය යුතුයි. කුඹුරු යායක් වතුරෙන් වැසී තිබීම කමක් නැහැ. උඩරට බිම් පෙදෙස් තෙත කොළ රොඩු වලින් වැසී තිබීම ද ප‍්‍රවිශම්කාරීයි. එහෙත් නිරාවරණය වූ පසට නම් ඉඩ දෙන්න එපා! අපට ලැබෙන ප‍්‍රබල වැසි සමග එය සෝදා යන්නේ ඉක්මනින්.

කඳුකරයේ මෙන්ම වෙනත් ප‍්‍රදේශවල ද පස සෝදා යාමට සහ මුඩුබිම් බිහි වීමට සමහරුන් දොස් තබන්නේ හේන් ගොවීන්ටයි. නමුත් ඔබ එයට එකග නැහැ. ඔබේ විග‍්‍රහය කුමක් ද?

වැසි දියෙන් ගොවිතැන් (Rain-fed farming) වනාන්තර හා ගොවිබිම් එක් කිරීමේ ලෝකයේ පැරණි ම සම්ප‍්‍රදායයි. ආරම්භයේදී වනයක ගස් ඉතිරිව තිබියදී අතු ඉති පමණක් කපා දමා, බිමට හිරු එළිය වැටෙන්නට ඉඩ සලසා කෙටි කාලීන බෝග වැවීම කළා. මහ වන ගස්වලින් යම් තරමක සෙවන ලබා දීම වගේ ම ඒවායේ මුල් හරහා ගැඹුරු පොළවේ ඇති සාරය මතුපිටට ගෙන ඒම ද සිදු කෙරුණා. කන්න කිහිපයක් මෙසේ වගා කිරීමෙන් පසු එම බිමෙන් ගොවීන් වෙන තැනකට ගියේ එම බිමට පුනර්ජනනය වීමට ඉඩ දෙන්න.

හොඳ හේන් ගොවීන් කිසි දිනෙක මුඵ වනය ම හෙළි කළේ නැහැ. කපා දමනු ලැබූ අතු ඉති පමණක් ඇතැම් විට යාන්තමට ගිනි තැබුවා. එහෙත් කිසි විටෙක මුඵ යායට ගිනි පැතිරෙන්නට ඉඩ දුන්නේ නැහැ. ඝර්ම කලාපීය රටවල සාම්ප‍්‍රදායික ගොවීන් ඔය අමන කි‍්‍රයාව කළේ නැහැ. නමුත් පසු කාලීනව ලෝක බැංකව වැනි ආධාර ආයතන මගින් වැරදි උපදෙස් දෙනු ලදුව නිල වශයෙන් මහා පරිමාන වන බිම් ගිනි තබා ගොවිබිම් ඇති කිරීම සමහර රටවල සිදු වුණා.

අන් හැමදෙයක් ම වගේ හේන් ගොවිතැනත් මෑත දශකවලදී ‘පාදඩකරණය’ වී තිබෙනවා. සමශීතොෂණ රටවල ගොවිතැන් කිරීම සඳහා මුළු වගා බිම හෙළි කිරීමේ  (Open Field) සංකල්පය ගෙඩි පිටින් අපේ ඝර්ම කලාපීය රටවලත් අපේ ම අඳබාල ‘විශේෂඥයන්’ විසින් නිර්දේශ කරනු ලැබුවා!

සාම්ප‍්‍රදායිකව හේන් ගොවි බිමක් කන්න කිහිපයකට පසු පුරන්වීමට අත්හැර දැමීම සිදු කෙරුණා. එහෙත් ජනගහන වර්ධනය හා ඉඩම් හිගවීම හමුවේ පුරන් කාලය එන්න එන්න ම කෙටි වූවා. මුලදී වසර 10ක් පමණ විහිදුණු හේන් බිමක පුරන් කාලය දැන් වසර 3ක් හෝ ඊටත් අඩු වී තිබෙනවා.

හරිහමන් පුරන් කාලයකට ඉඩ දෙමින්, මුළු බිමටම ගිනි නොතැබීමට වග බලා ගනිමින් හේන් ගොවිතැන කිරීමේ වරදක් හෝ හානියක් හෝ තිබුණේ නැහැ. අද බොහෝ විට ඇත්තේ නිසි හේන් ගොවිතැන නොවෙයි, හැකි තාක් ඉක්මනින් හැකි තාක් බිමෙන් උකහා ගෙන එය මුඩු වීමට ඉඩ හැරීමේ ගිජු හා අදුරදර්ශී ගොවිකමක්!

සමහරුන් නිර්දේශ කරනවා හේන් ගොවිතැන නීතියෙන් තහනම් කළ යුතුය කියා. ඔවුනට අනුව හේන් ගොවියා දුෂ්ටයෙක්. ඒත් ඔබ එයට එකඟ නැහැ.

මේ පණ්ඩිතයන්ට සැබෑ ලෝකය ගැන නොතේරීම තමයි මෙතැන තිබෙන ලොකුම ප‍්‍රශ්නය. හේන් ගොවිතැන යයි අද අප දකින භූමි පරිභෝජනය ක‍්‍රමය තනිකර නීතිරීති වලින් හෝ දඩුවම් වලින් පාලනය කළ නොහැකියි.

වැසි දියෙන් කරන ගොවිතැන අපේ රටේ සැලකිය යුතු ආහාර බෝග නිෂ්පාදනයක් කරනවා. එමෙන්ම ලක්‍ෂ සංඛ්‍යාවක් අපේ ජනතාවට ජීවිකාවක් සපයනවා. මේ අය බහුතරයක් දෙනා ඉතා දුගී දුප්පත් මිනිසුන් හා ගැහැණුන් මෙම යථාර්ථය පරිසරවේදීන්ට හා අනෙක් විශේෂඥයන්ට නොපෙනෙවා විය යුතුයි.

හේන් ගොවිතැනේ සැබෑ ගති සොබා නොදත් විවේචකයන් එයට දොස් කියතත් අද සැබෑ හේන් ගොවිතැනට යළි යොමු විය හැකි නම් එය වැසි දියෙන් ගොවිතැන් කිරීමේ ප‍්‍රශස්ත හා සියවස් ගණනාවක් අත්දුටු ක‍්‍රමයක්. වාරි ජලය රටේ හැම තැනකට ම සම්පාදනය කිරීම අපහසුයි, වියදම්කාරීයි. මේ නිසා වැසි දියෙන් කාර්යක්‍ෂමව කරන ගොවිතැන් ද අපට අවශ්‍යයි.

මෙය කළ හැක්කේ කෙලෙස ද?

අපේ සංවර්ධන ප‍්‍රතිපත්ති හා කෘෂි ප‍්‍රතිපත්ති තීරණය කරන ඇත්තන්ට ලොකු අභියෝගයක් තිබෙනවා. එනම් තැනින් තැන යන (හේන් යයි තවමත් හඳුන්වන) වැසි දියෙන් කරන ගොවිතැන වඩාත් තිරසාර කිරීම. අමාරු වුවත් එය කිරීම හරහා අපේ රටේ පසේ සරුබව විනාශ වන්නට නොදී, ඉඩම් මුඩු වීමට නොදී රැක ගත හැකි වෙනවා.

මෙය කළ හැකි එක් ක‍්‍රමයක් නම් ඉක්මනින් වැවෙන වාතයේ ඇති නයිට‍්‍රජන් උරා ගෙන එය පසට එකතු කිරීමේ සොබාවික හැකියාව තිබෙන ගස් (Nitrogen-fixing plants), වගා බිම්වල වැවීමයි. එයින් පසේ සරුබව වැඩි කරනවා. බෝග වගාව යනු පසේ සාරය පිටතට යාමයි. එය නැවත පසට එක් කිරීමට එක්කෝ පොහොර දැමිය යුතුයි. නැත්නම් ග්ලිරිසීඩියා, ඉපිල්-ඉපිල් වැනි ගස් වැවීම හරහා සොබාවික පොහොර නිපදවීම කළ යුතුයි.

SALT ක‍්‍රමයේදී අප කරන්නේත් මෙයයි. පස සරුසාර කරනවාට අමතරව පස සෝදා යාම ද එමගින් අවම කරනවා. මෙසේ ආහාර බෝගවලට කිසිදු බාධාවක් නොකර වගා බිම්වල වැවිය හැකි හිතකර ගස් විශේෂ ගණනාවක් හඳුනාගෙන තිබෙනවා. මේ දැනුම හා ශිල්පක‍්‍රම අපේ සුළු ගොවින් අතරට ඉක්මනට ගෙන යා යුතුයි.

Ray Wijewardene with farmers in the field – image courtesy Ray Wijewardene website

ඝර්ම කලාපීය රටවල කුඩා පරිමාණයෙන් ගොවිතැන් කරන සුළු ගොවීන් තම රටවල් තුළ හා ලෝක මට්ටමින් කි‍්‍රයාත්මක වන වෙළඳපොළ ප‍්‍රවාහයන්ගේ සිරකරුවන් වී සදහට සිටිය යුතු ද?

නැහැ! මගේ නිරීක්‍ෂණය හා තර්කය නම් සැබෑ වෙළඳපොළ ප‍්‍රවාහයන් කි‍්‍රයාත්මක නොවන නිසා ගොවීන්ගේ ඉරණම වඩාත් අසරණ වී ඇති බවයි. දියුණු රටවල මෙන් ම අපේ වැනි රටවලත් රජයන් විසින් ගොවීන්ට විවිධාකාර සහනාධාර දෙනවා. යහපත් අරමුණුවලින් වුවත් මේ සහනාධාර නිසා වෙළඳපොළ විසමතා හට ගන්නවා. අවසානයේදී එයින් ගොවියා හා පාරිභෝගිකයා අතර තිබිය යුතු තුලනය බිඳ වැටෙනවා.

මෙය වඩාත් ප‍්‍රබලව පෙනෙන්නේ ගෝලීය මට්මමේදීයි. දියුණු රටවල් ඩොලර් කෝටි ගණනින් වාර්ෂිකව තම ගොවීන්ට සහනාධාර දෙනවා. (එයට පසුබිම් වන දේශීය මට්ටමේ දේශපාලන හෝ මානුෂික හේතු තිබෙනවා.) නමුත් සැබෑ නිෂ්පාදනය වියදමට වඩා අඩු මිලකට ඔවුන්ගේ නිෂ්පාදන/ඵලදාව ගෝලීය වෙළඳපොළට එනවා. එවිට ඒ හා සමාන සහනාධාර නොලබන අපේ වැනි රටවල ගොවීන් වවන දේට ලෝක වෙළඳපොළේ තරග කළ නොහැකි වනවා.

සහනාධාරවලට අමතරව දියුණු (ඇමරිකාව, රුසියාව, කැනඩාව වැනි) විශාල රටවලට තව වාසියක් තිබෙනවා. ඔවුන්ගේ ගොවිබිම් හා ගොවිපළ විශාලයි. එසේ ම යාන්තී‍්‍රකරණය වැඩියි. ඵලදාව අධික කර ගත් විට එක් කිලෝවක් නිපදවීමේ නිෂ්පාදන මිළ බෙදී යනවා (economies of scale). ඒ පරිමානයට අපේ රටවල කුඩා ගොවීන්ට තරග වදින්නට බැහැ.

මේ වාසි සමග දියුණු රටවල නිපදවා ගෝලීය වෙළෙඳපොළට පිවිසෙන ආහාර හා අනෙකුත් ගොවි නිෂ්පාදන අපේ රටවල වෙළඳපොළටත් එවනවා. විවෘත ආර්ථිකයේ හැටි එහෙමයි. එසේ එන සමහර දේ (උදා. තිරිගු පිටි, කිරිපිටි) ආදිය සමග අපේ දේශීය නිෂ්පාදනවලට මිළ අතින් තරග කළ නොහැකියි.

අපේ දේශීය ගොවිතැනේ නිෂ්පාදන වියදම් නිතිපතා ඉහළ යනවා. එහෙත් එයට සාපේක්‍ෂව වෙළඳපොළ මිළ ඉහළ යන්නේ නැහැ. මේ නිසා ගොවිතැනෙන් ගොවියාට ඉතිරි වන ලාබය ටිකෙන් ටික අඩු වී සමහර අවස්ථාවල නැති වී යනවා. ගොවීන් ණයබරිත වන්නේ එවිටයි. එය ඉතා සුලබයි.

අපේ ගොවීන් හා දේශීය වෙළෙඳපොළ ගැන ඔබේ විග‍්‍රහය කුමක්ද?

ආසියාවේ වෙනත් දියුණු වන රටවල මෙන්ම ශී‍්‍ර ලංකාවේ ද කුඩා පරිමාන ගොවීන්ගේ ගැටඵ එක සමානයි. ගොවි නිෂ්පාදිතයට හරිහමන් මිළක්, සාධාරණ මිළක් ලබා ගැනීම ඔවුන්ට ප‍්‍රශ්නයක් වී තිබෙනවා.

මගේ විග‍්‍රහය නම් නගරයේ පාරිභෝගිකයා සතුටු කිරීම සඳහා ගමේ ගොවියාට සරිලන මිළක් නොදීම අනුවණ කි‍්‍රයාවක් බවයි. වඩා ඉහළ මිළක් ගොවීන්ට ලැබෙන විට ටිකෙන් ටික ඔවුන්ගේ අතමිට සරු වනවා. ගැමි ආර්ථිකය වඩාත් දියුණු වනවා. එයින් තවත් විපාක හට ගන්නවා. උදාහරණයක් හැටියට ආදායම්/රැකියා අවස්ථා සොයා ගෙන ගමෙන් නගරයට සංක‍්‍රමණය වීම අඩු වනවා. එවිට නගරයේ තදබදය තරමක් දුරට හෝ සමනය වනවා. මෙසේ දිගුකාලීන හා ක‍්‍රමීය මට්ටමේ දැක්මක් අපට නැතිවීම අවාසනාවක්.

සිවුමංසල කොලූගැටයා #135: එගොඩහ යන්නෝ මෙගොඩහ එන්නෝ තව කවුරුද ඉන්නේ?

Boatman photo

යුද්ධය බරපතල ලෙසින් සිදු වන 2007 කාලෙදි මම ටිකක් භයානක වැඩක් කළා. කොළඹ පැවති දකුණු ආසියාතික සමාජ කි‍්‍රයාකාරිකයන් හා මාධ්‍යවේදීන්ගේ වැඩමුඵවක් අමතා ආරම්භක දේශනය කරමින් මා කීවේ ඔවුන් බොහෝ දෙනකුත්, මාත් ‘බෝම්බකරුවන්’ බවයි!

කොයි වේලේ කොතැනක බෝම්බ පිපිරේදැයි ලක් සමාජය බියෙන් සිටි, ආරක්‍ෂක අංශ දැඩි විමසිල්ලෙන් පසු වූ එම වකවානුවේ එබන්දක් පැවසීමත් අවදානම් සහගතයි. ඒත් මා අදහස් කළේ මනස් බෝම්බ. මා එය ඔවුන්ට පැහැදිලි කළා.

ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987)  වරක්  කීවේ ‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. ඒවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ ඒවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’

කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

ඒ අරුතින් ගත් කල මාධ්‍ය හරහා ලියන කියන දේ මා දකින්නේ මනසේ පුපරා යන කාල බෝම්බ තනා මුදා හැරීමක් හැටියටයි. භෞතික බෝම්බ වගේ නොවෙයි, මනස් බෝම්බ පුපුරා යන සැටි එකවර අපට පෙනෙන්නේ නැහැ. සමහර විට අදහසක් මනසට කිදා බැස ගත් බව, එය ග‍්‍රහණය කර ගත් අය පවා සවිඥානිකව වටහා නොගන්නට පුඵවන්.

මනස් කාලබෝම්බ උපමිතිය මා වැන්නවුන් කරන කාරිය මැනවින් හසු කර ගන්නවා වුවත් එය ටිකක් බිහිසුණුයි. පශ්චාත් යුධ සමාජයක් (කලක් තිස්සේ ආවඩනු ලැබූ) කලහකාරී ආවේග සමනය කර ගන්නට තැත් කරන අද වැනි කාලයක මීට වඩා සාමකාමී උපමිතියක් ඇත්දැයි මා කල්පනා කළා.

එවිට මගේ මනසට ආවේ පාලම් හා ඔරුපාරු  පිළිබඳ සිතුවිල්ල. මේ සියල්ලෙන් කරන්නේ දෙගොඩක් නැතහොත් දෙඉවුරක් යා කිරීම. සිවුමංසල කොලූගැටයා හරහා මා කරන්නෙත් සංකල්පීය වශයෙන් හෝ සමාජයීය වශයෙන් බෙදුණු දෑ යා කරන්නට තැත් කිරීම.

වත්මන් ලක් සමාජය නොයෙක් අයුරින් විනිවිද දැකිය හැකියි. ඓතිහාසිකව හෝ ජෛව විද්‍යාත්මකව හෝ උරුම වූ ලේබල් අපේ බොහෝ දෙනා සිය ජීවිත කාලය පුරා අලවා ගෙන සිටිනවා. උපතේදී අහම්බෙන් හිමි වූ ජාතිය, ආගම, කුලය ආදී ලේබල් ගැන විවෘතව සිතන්නේත් ප‍්‍රශ්න කරන්නේත් ඉතා ටික දෙනයි.

උපතෙන් පසුව සමාජ ආර්ථික හේතු සාධක නිසා අප වැටුණු ගොඩවල් ද තිබෙනවා. සිංහල පමණක් දත් අය, දෙමළ පමණක් දත් අය මෙන්ම ද්විභාෂික හා ඉඳහිට ති‍්‍රභාෂික අය ද අප අතර සිටිනවා.

උපතෙන් ලද ලේබල් මෙන් ම මෙකී දෙවැනි ආකාරයේ නැඹුරුවීම් ද අපට  ඕනෑ නම් උත්සාහයෙන් වෙනස් කර ගත හැකියි. අවම වශයෙන් අප අයත් නොවන අනෙකුත් (පිටස්තරයන් හෙවත් ‘අනෙකා’ ලෙස අප දකින) පිරිස් ගැන අපේ දැනුම හා අවබෝධය වැඩි දියුණු කර ගත හැකියි.

ශී‍්‍ර ලංකාව භූගෝලීය වශයෙන් දිවයිනක් වූ පමණට අප දුපත් මානසිකත්වයට සීමා විය යුතු නැහැ. දැනුම හා සංකල්ප මට්ටමෙන් වැඩෙන්නට නම් අපේ සමීප දෙයින් හා අපට හුරුපුරුදු දෙයින් ඔබ්බට අප නෙත් යොමු කළ යුතුයි. චිත්ත ගවේෂණය පුඵල් කළ යුතුයි. මේ කොලම හරහා මා උත්සාහ කරන්නෙත් එබඳු චාරිකාවලට අපේ පාඨකයන් යොමු කරන්න.

මෑතදී නිකුත් වූ මගේ දෙවැනි කොලම් එකතුවේ පසු කවරයට කෙටි වදනක් ලියමින් තරුණ ලේඛක දිලීප අබේසේකර මෙහෙම කියනවා.

‘‘ලෝකය තිබෙන්නේ ලංකාවේය කියා තවමත් සිතා ඉන්නා අපට සිවු මංසල කොලූ ගැටයා කලාතුරකින් හමු වෙන ජාතියේ කෙනෙකි. එහෙත් මෙහෙ වගේම ද? මෙහෙ වගේ දේවල්වලට එහෙ මොනව ද කරන්නේ? ඇත්තට ම මෙහෙට වඩා එහෙ වෙනස්දැයි අපට ම තෝරා බේරා ගන්නට ඔහු කරුණු ගෙන හැර පාන්නේ ය. ඉරිදාට රාවයේ සිවුමංසල කොලූ ගැටයා කියවන මා දන්නා බොහෝ දෙනකු සුබවාදී හුස්මකින් සදුදාට මුහුණ දෙනු පෙනේ.’’

හැබැයි එහෙ මෙහෙ යා කරන වැඬේ ලේසි නැහැ. ඇසදිසි මානයෙන් එහා කොයි දේ ගැනත් සැකයෙන් බලන්නට පොළඹවන අද කාලේ එය ලොකු අභියෝගයක්.

මා ලියන දේ කරුණු හා තර්ක මත පදනම් වූවත් මා හුදෙක් දැනුම බෙදන්නකු නොවෙයි. (දැනුම  ඕනෑ නම් අද කාලේ ඉන්ටර්නෙට් හරහා එය ලබා ගත හැකි මූලාශ‍්‍ර තිබෙනවා.) මට පතුරුවන්නට මතවාදයක් ද නැහැ. මා ලියන්නේ මගේ පාඨකයන්ගේ මනස කිති කවන්නට, පොඩියක් විවර කරන්නට හා යම් දේ ගැන ඔවුන්ට වැඩිදුර සිතන්නට පෙළඹවීමට පමණයි.

යුද්ධය හමාර වීමෙන් පසු දිගට හරහට පාරවල් හා පාලම් හදනවා. භෞතික සංවර්ධනයට නිසි යටිතල පහසුකම් අවශ්‍යයි. (අන්තවාදී හරිතවේදියෝ මොනවා කිව්වත් හැමදාම ගල් යුගයේ හිටියා වගේ ඉන්න බැහැ!)

නමුත් කොන්කී‍්‍රට් හෝ ලෝහමය පාලම් විතරක් මදි. අපේ සමාජය තුළත්, අපේ රට හා පුඵල් සෙසු ලෝකය අතරත් මානසික හා චින්තනමය මට්ටමෙන් නිසි පරිදි යා කැරෙන මනෝ පාලම් ද (bridges inside our minds) අවශ්‍යයි.

මේ දෙක සමාන්තරව සිදු නොවුණොත් කොන්කී‍්‍රට් පාලම් ගොඩක් මැද වුවත් අප සංකල්පීය වශයෙන් බෙදී, හුදකලා වී දිගට ම සිටිනු ඇති.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයේ ප‍්‍රබලව පෙනුණු දෙයක් නම් විදේශීය සාහිත්‍ය කෘතීන් (විශෙෂයෙන්ම නවකථා හා චාරිකා සටහන්) සිංහලයට පරිවර්තනය කිරීම දැන් මහා පරිමානයෙන් සිදුවන සැටියි. පරිවර්තනවල නිවැරදි බව හා භාෂා අගය ගැන මා තක්සේරු කර නැහැ. නමුත් මේවා බිහි වන්නේ වෙළඳපොල ඉල්ලූමක් ඇති නිසයි. අපේ පාඨකයන් තමන්ට හුරු බසින් වුවද මේ දුපතෙන් එහා යථාර්ථයන් හා මායා ලෝකයන් (ෆැන්ටසි) ගැන උනන්දු වන බව එයින් අපට සිතා ගත හැකියි.

එහෙත් පරිවර්තනවලට ඔබ්බට යන සංසන්දනාත්මක හා තුලනාත්මක විග‍්‍රහයන් දුර්ලභයි. අපේ සිංහල පුවත්පත්වල විදේශ විත්ති විචාර හැටියට තවමත් බහුලව පළ වන්නේ වම-දකුණ දෙපිළට බෙදී ලෙස ඇණ කොටා ගත් සීතල යුද්ධය කාලේ මල බැඳුණු තර්කයි. සීතල යුද්ධය (1990) අවසන් වී වසර 23ක් ගත වීත් අපේ ‘විදේශ පුවත් විචාරකයන්ගේ’ ඇස් ඇරී නැහැ.

තොරතුරු සමාජය, ජනපි‍්‍රය සංස්කෘතිය, ගෝලීයකරණය, නව මාධ්‍ය හා වෙනත් විසි එක් වන සියවසේ ප‍්‍රබල ප‍්‍රවාහයන් ගැන අපේ මුද්‍රිත හා විද්යුත් මාධ්‍ය හරහා අපට ලැබෙන්නේ ද පිඵණු  වූ හෝ අන්තගාමී වූ හෝ විග‍්‍රහයන්.

Sivu Mansala Kolu Getaya - two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene
Sivu Mansala Kolu Getaya – two books collecting nearly 100 Ravaya columns by Nalaka Gunawardene

මේ අඩුපාඩු හා හිදැස් වසන්නට තනි ප‍්‍රකාශනයකට හෝ තනි ලේඛකයකුට හෝ පමණක් බැහැ. එහෙත් සිවුමංසලේ සිට අවට පිරික්සමින්, විවිධ ප‍්‍රශ්න මතු කරමින් අප තැත් කරන්නේ යම් තරමකටවත් ඒ විචාරශීලී දිශාවට අපේ සමාජය යොමු කරවන්න.

නිසි පාලම් ඇති තරම් බිහි වන තුරු බලා නොසිට මට හැකි පරිද්දෙන් ටික දෙනෙකුවත් එගොඩ මෙගොඩ ගෙන යනවා. මේ අරුතින් බැලූ විට මා ඔරුපාරු පදවන්නකු වගෙයි.

මගේ ඔරුවේ ගමන් කරද්දී පොඩි පසුබිම් කථනයක් ද තිබෙනවා! මා සමග ටික වේලාවක් ගමනේ යෙදෙන මගීන්ට (පාඨකයන්ට) මා එගොඩ හා මෙගොඩ ගති සොබා කියා දෙනවා. ගමන් කරන ප‍්‍රවාහයේ යම් විසිතුරු ද පාඨකයන් දකිනවා.

එගොඩට වඩා මෙගොඩ හොඳ යයි මා කිසි විටෙක කියන්නේ නැහැ. මා ගමන් කරන දිශාවට අනුව එගොඩ හා මෙගොඩ නිරතුරු වෙනස් වනවා.

එමෙන්ම මගීන්ට/පාඨකයන්ට මගේ අදහස් බලහත්කාරයෙන් පටවන්න තැත් කරන්නේ නැහැ. එමෙන් ම මට මුදලක් ගෙවා මගේ ඔරුවේ ප‍්‍රචාරණය කැරෙන අන් අයකුගේ අදහස් ද නැහැ. සියඵ අදහස් සංවාදයට විවෘතයි.

ඔහේ යනවා වෙනුවට කථා සාමීචියේ යෙදෙමින්, ඔවුනොවුන් අතර සංවාද කරමින් විවෘත වූත් ප‍්‍රබෝධජනක වූත් මනසකින් ගමනේ යෙදෙනවා දකින්නට මා කැමතියි. ඒ නිසා ඔරුකාරයාගේ උපමිතිය මට හොදින් ගැලපෙනවා.

හොඳ දෙයක් ගැන යහපත් ප‍්‍රතිචාර දැක්වීම අපේ බොහෝ අයගේ සිරිතක් නොවේ. මට ස්තුති හෝ ප‍්‍රශංසා කරන පාඨක ප‍්‍රතිචාර ද ලැබෙතත් බහුතරයක් ප‍්‍රතිචාර එන්නේ මා ලියූ දෙයකින් කලබලයට හෝ කෝපයට හෝ පත් වූ අයගෙන්. සමහරුන් මහත් ආවේගශීලී වනු දැකිය හැකියි. අන්ධ භක්තිය හා ඇදහිලි මත තමන්ගේ සියඵ මතවාද ගොඩ නංවා ගෙන සිටින අයට පුංචි පහේ ප‍්‍රශ්න කිරීමක්වත් දරා ගන්නට අමාරු වගෙයි.

මතවාද පතුරුවන්නෝ තැත් කරන්නේ මිනිසුන්ගේ ඔලූගෙඩි විවෘත කොට තමන්ගේ මතය එයට වත් කොට ආයෙත් වසා සීල් තබන එකයි. මාවෝ සේතුං වරක් ජනතාවගේ මනස සමාන කළේ පාලකයන්ට  ඕනෑ දෙයක් ලිවිය හැකි හිස් සුදු කඩදාසිවලට.

එහෙත් ඇත්තට ම අප කළ යුත්තේ පාඨකයන්ගේ මනස විවෘතව පවත්වා ගැනීම. කිසිදු තනි ප‍්‍රවාහයකට එහි අරක් ගෙන මනස සින්නක්කර ගන්නට ඉඩ නොතැබීම. බහුවිධ අදහස් හා තර්ක විතර්කවලට ඔලූගෙඩි ඇතුලේ වගේ ම සමාජයේ හැම තැන ම පොදු අවකාශයේත් නිදහස රැක ගැනීම.

යම් දිනෙක නිසි පාලම් බිහි වී, ඔරු පාරු භාවිතය අනවශ්‍ය වීම සමාජ පරිනාමයේ සොබාවයි. සමහර විට අනාගතයේදී කොලූගැටයාගේ ඔරුවටත් ඉල්ලූමක් හෝ අදාල බවක් නැති විය හැකියි. මෙරට සියඵ හෝ බොහෝ මාධ්‍ය මා කරන දේ ම කරන්නට ගත් විට මා මේ පාරුව නවතා දමනවා. පාලම්වලින් එතෙර කළ හැකි මහා පරිමානයෙන් තනි පුංචි ඔරුකරුවකුට එගොඩ මෙගොඩ යා කළ නොහැකි නිසා…

එතෙක් කල් ඔහොම යං! එගොඩහ යන්නෝ – මෙගොඩහ එන්නෝ තව කවුරු ද ඉන්නේ?

සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

My latest book is dedicated to Asanga Abeysundara who was my zoology teacher 30 years ago, as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, evolved into a printed magazine in 1984  with a small circulation and loyal readership.

Maanawa Sinhala science magazine first print issue, Aug 1984
Maanawa Sinhala science magazine first print issue, Aug 1984

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

I have written this week’s Ravaya column (in Sinhala) about Maanawa.

2012-13 වකවානුවේ රාවයේ පළ වූ සිවුමංසල කොලූගැටයා කොලම් 54ක් එක් තැන් කරන දෙවැනි ග‍්‍රන්ථය මේ සතියේ එළි දකිනවා. මා එය පිළිගන්වා ඇත්තේ මගේ විද්‍යා ගුරුවරයකු හා හිටපු කර්තෘවරයකුට.

“විද්‍යාත්මක චින්තනය හා විචාරශීලී දැනුම මෙරට ප‍්‍රචලිත කරන්නට මුද්‍රිත හා වෙබ් මාධ්‍ය හරහා පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සහ ඒ සඳහා තම කාලය, හැකියාවන් හා මුදල් නොමසුරුව වැය කරමින් දශක තුනකට වැඩි කාලයක් නිහඩ දායකත්වයක් සපයන ‘මානව’ විද්‍යා සඟරාවේ ප‍්‍රධාන කර්තෘ හා ප‍්‍රකාශක අසංග අබේසුන්දර මහතාට.”

කවුද මේ අසංග අබේසුන්දර?

Asanga Abeysundara, Maanawa Editor & Publisher
Asanga Abeysundara, Maanawa Editor & Publisher

කොළඹ සරසවියෙන් සත්ත්ව විද්‍යා උපාධියක් ලද ඔහු විද්‍යාව හා කලාව දෙකට ම ලැදි අපූරු චරිතයක්. උපාධියෙන් පසු ඔහු වෘත්තිමය වශයෙන් යොමු වුණේ උසස් පෙළ සත්ත්‍ව විද්‍යාව උගන්වන්න. මේ සඳහා තමන්ට ම ආවේණික චිත්තාකර්ෂනීය ක‍්‍රමවේදයක් හරහා උපකාරක පන්ති (ටියුෂන්) පැවැත්වීම ඇරැඹුවා. එදා මෙදා තුර ඔහුගේ ප‍්‍රධාන කාරිය හා ජිවිකාව එයයි.

මා මිත‍්‍ර චානුක වත්තේගම වරක් ලියූ පරිදි ‘‘සඟරා සංස්කාරකයකු වෙතත් අසංග අබේසුන්දර වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් නොවේ. එහෙත් ඔහු මේ රටේ මෑත යුගයේ ජීව විද්‍යා අංශයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි අති විශාල ශිෂ්‍ය පිරිසට නම් අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවන්නේ ය. විශාල පිරිසක් වෛද්‍ය, දන්ත විද්‍යා, කෘෂිකර්ම, ජීව විද්‍යා පීඨවලට පමණක් නොව ඇතැම් අවස්ථාවල නීති පීඨයට පවා පිවිසීමට වරම් ලබා ගත්තේ අසංග සර්ට පින් සිදු වන්නට ය.’’ (ලක්බිම, 1997 අපේ‍්‍රල් 6)

1978 – 2001 වකවානුව තුළ පැහැදිලි අදියර හතරකින් යුක්තව එයට ම ආවේණික ආකාරයකින් පරිනාමය වූ අසාමාන්‍ය ගණයේ සිංහල ප‍්‍රකාශනයක් හැටියට ‘මානව’ හඳුන්වා දිය හැකියි.

මානව ප‍්‍රකාශනයේ මුල් අදියර හැර අන් සියඵ අදියරවලට සකි‍්‍රය දායකත්වයක් සැපයූ කෙනකු ලෙස මට ඒ ගැන මිහිරි මතකයන් රැසක් තිබෙනවා. බිත්ති පුවත්පතක සිට ලෙටර්ප්‍රෙස් හා  ඕෆ්සෙට් මුද්‍රණ හරහා වෙබ් ප‍්‍රකාශනයක් දක්වා ගිය වසර 25කට වැඩි ගමනේදී මානව කවදත් නව කඩඉම් සොයා යන, පුරෝගාමී උත්සාහයක් වූවා. විද්‍යා සන්නිවේදනය කෙසේ ජන සමාජයට අදාල විය යුතු ද හරවත් කළ හැකි ද යන්න ගැන පුංචි වුවත් මානව ලොකු ආදර්ශයක් සැපයුවා.

අබේසුන්දරයන් ‘මානව’ නමින් බිත්ති පුවත්පතක් ඇරැඹුවේ 1978දී කොළඹ සරසවියේ සිසුවකුව සිටියදී පොදු ශිෂ්‍ය කාමරයේ බිත්තියක. එය තනිකර විද්‍යා ප‍්‍රකාශනයක් වූයේ නැහැ. විද්‍යා-කලා-සමාජ විමර්ශන හා කාලීන ගවේෂණ ආදී සැම දෙයක් ම ඔහු ලිහිල් බසින් ආවරණය කළා.

මේ නව ආකාරයේ බිත්ති පුවත්පතට මහාචාර්ය කාලෝ ෆොන්සේකා, නන්දා මාලිනී සහ ලේඛක ඞීමන් ආනන්ද වැනි අය සමඟ සම්මුඛ සාකච්ඡා ඇතුළත් වුණා. මානව ප‍්‍රකාශනයේ අරමුණ වූයේ සංවාදශීලී අදහස් හුවමාරුවකට විවෘත වේදිකාවක් සැපයීම.

‘මානව’ ප‍්‍රකාශනය කුඩා මුද්‍රිත පුවත්පතක් බවට පත්වීම එහි දෙවැනි අදියරයි. 1984 අගෝස්තු මාසයේ මුල් වරට ලෙටර්ප්‍රෙස් ආකාරයට මුද්‍රණය කොට ‘මානව’ එළි දැක්වූවා. විභාග හෝ විෂය නිර්දේශවලට සීමා නොවී විද්‍යාව ජන ජීවිතයට අදාල වන පරිද්දෙන් ලියැවුණු ලිපි හා නිර්මාණ එහි ඇතුළත් වුණා.

කාලෝ ෆොන්සේකා හා ආචාර්ය සරත් කොටගම වැනි වියතුන්ගේ දායකත්වයට අමතරව අබේසුන්දරයන්ගේ පන්තිවලට සහභාගි වන ශිෂ්‍යයන් කිහිප දෙනෙක් ද නිර්මාණවලින් දායක වුණා. කොළඹ හා අවට ප‍්‍රදේශවල අලෙවි කරන ලද මානව මිල කර තිබුණේ රුපියල් හතරකට.

කොහෙන් හෝ ඉංගී‍්‍රසි මූලාශ‍්‍රයකින් විද්‍යා තොරතුරු ටිකක් සොයා ගෙන එය ගෙඩි පිටින් සිංහලට පෙරළා පළ කිරීම ප‍්‍රශස්ත විද්‍යා සන්නිවේදනයක් නොවෙයි. පාසල් පෙළපොත්වල විද්‍යා පාඩම් වඩාත් සිත් ගන්නා සුඵ සරල සුගම බසකින් ප‍්‍රතිනිර්මාණය කිරීමේ යම් අධ්‍යාපනික වටිනාකමක් ඇතත් එය ද විද්‍යා සන්නිවේදනයේ සරල ආරම්භයක් පමණයි.

සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්

මගේ වැටහීමට අනුව විද්‍යා සන්නිවේදනයේ මූලික අරමුණ හා අභියෝගය වන්නේ විචාරශීලිවත්, තර්කානුකූලවත් සිතීමට පාඨකයන් දිරිමත් කිරීමයි. කිසිදු මතවාදයකට, උගත් අධිපතිවාදයකට නතු නොවී කරුණු ගවේෂණය හා සංවාදය හරහා යම් අවබෝධයන් ලබා ගන්නටත්, විවෘත මනසකින් හැම දෙයක්ම නිරතුරු ප‍්‍රශ්න කරන්නටත් පාඨකයන් කුල්මත් කිරීමයි. මානව ආරම්භයේ සිට මෙය මැනවින් සිදු කළා.

1984 අගෝස්තුවේ මුල් ම මුද්‍රිත කලාපයේ ම එයට සාක්‍ෂි එමට හමු වනවා. කාලෝ ෆොන්සේකා සමඟ සාකච්ඡාවකින් සැකසුණු ‘මානව දේහය පිළිබඳ මිථ්‍යා මත’ නම් ලිපිය කදිම උදාහරණයක්. එහි එක් තැනෙක මිනිස් රුධිරය ගැන කථා කරමින් ‘‘රාජ රුධිරයක් නැත. වසල රුධිරයක් ද නැත. පෙළපත් අනුව හොඳ නරක රුධිරයක් ද නැත’’ යයි පැහැදිලිව කියනවා.

වෛද්‍ය විද්‍යාත්මකව නම් සැළකිය යුත්තේ රුධිරයේ ගණ හා Rh සාධකය පමණක් බව ඔහුගේ විද්වත් මතයයි. ‘‘සිංහල හා ද්‍රවිඩ ජාතීන් අතර රුධිරයේ කිසිදු වෙනසක් නැති බව මේ සමයේ අවධාරණය කළ යුතු ය. සිංහල හා ද්‍රවිඩ රුධිරය මිශ‍්‍ර වීමෙන් මානව සංහතියට යහපතක් ම මිස කිසිදු හානියක් නොවන බව නිගමනය කිරීමට විද්‍යාව අනුබල දෙයි.’’

එම කලාපයේම තවත් තැනෙක පාසල් සිසු සිසුවියන් මතු කළ ප‍්‍රශ්න ගණනාවකට කාලෝ පිළිතුරු දෙනවා. ඒ ප‍්‍රශ්න අතර: පුනරුප්පත්තිය නම් සංසිද්ධියක් විශ්වයේ තිබේද? භූතාත්ම ලෙස හඳුන්වන අද්භූත බලවේග ඇත්ද? දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන තැන්වලදී ආරූඪ වන තැනැත්තාට සිදුවන්නේ කෙබඳු දෙයක්ද? මිනිස් හස්ත රේඛා ඇති වන්නේ කෙසේද? ඒ මගින් කෙනකුගේ ජීවිතයේ අනාගතය ගැන කියැවේද?

මෙවැනි ප‍්‍රශ්නවලට වෛද්‍යවරයකු, දාර්ශනිකයකු හා හේතුවාදියකු ලෙස කාලෝ දෙන පිළිතුරු අතිශයින් ප‍්‍රබලයි. දශක තුනක් ගත වීත් මෙබඳු විවෘත විග‍්‍රහයකට අද වෛවර්ණයෙන් පළ කැරෙන කිසිදු (විද්‍යා හෝ අන්) ප‍්‍රකාශනයක් ඉදිරිපත් වේදැයි සිතා ගන්නත් අමාරුයි!

මුල් කලාපය තවත් හපන්කමක් කළා. AIDS ගැන සොයා ගෙන වසර දෙක තුනක් ගත වී තිබූ එවකට (1984) එම මාතෘකාව ගැන මුල්වරට සිංහල වාරික ප‍්‍රකාශනයක සරල බසින් වෛද්‍ය විද්‍යාත්මක ලිපියක් පළ කළා. එහිදී එයට සිංහල නමක් ද මානව යෝජනා කළා: පරිචීන ප‍්‍රතිශක්ති ඌණතා සහසාධකය. (මේ වන විට එහි අවසන් වචනය සහලක්‍ෂණය ලෙස වෙනස් වී තිබෙනවා.)

‘මානව’ ප‍්‍රකාශනයේ ස්වර්ණමය යුගය හැටියට මා දකින්නේ 1987 ජනවාරියේ එය ඕප්සෙට් වර්ණ සඟරාවක් බවට පත්වීමේ තෙවන අදියරයි. ශී‍්‍ර ලංකාව පුරා බෙදා හැරෙන ජාතික මට්ටමේ විද්‍යා මාසිකයක් හැටියට ‘මානව’ සඟරාවේ අලෙවියත්, ජනපි‍්‍රයත්වයත් ඉක්මනින් ඉහළ ගියා.

මේ යුගය වන විට යොවුන් වියේ පසු වූ ලේඛක පිරිසක් මානව වටා රොක් වී සිටියා. පසු කලෙක විද්‍යා ලේඛකයන් ලෙස ප‍්‍රකට වූ චතුර රත්නායක, නලින් කිතුල්වත්ත වැනි අයත්, කාටූන් චිත‍්‍ර ශිල්පියකු (හා නීතිඥයකු) බවට පත් වූ දැන් රාවය ප‍්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජනත් මාධ්‍ය ලෝකයට පිවිසියේ ‘මානව’ තුළින්.

Maanawa first colour magazine issue - Jan 1987
Maanawa first colour magazine issue – Jan 1987

1987 ජනවාරි කලාපය සඳහා ‘ජීවයේ උපත – මත ගැටුම’ නමින් පිටු 15ක කවරයේ කථාව මා ලියූ සැටිත්, පිටු සකසන්නට වෙහෙසුණු සැටිත් හොඳ හැටි මතකයි. ඉන් පසුව පළ වූ මානව කලාප, න්‍යෂ්ටික තාක්‍ෂණය ගැනත් අභ්‍යවකාශ ගවේෂණය ගැනත් සවිස්තරාත්මක කවරයේ කථා ගෙන ආවා. ජීව විද්‍යා ශිෂ්‍යයකු නොවූ චානුක වත්තේගම ද මේ වැඩට සමීපව සම්බන්ධ වුණා.

එහෙත් මේ ජාතික මට්ටමේ විද්‍යා සඟරාව වැඩි කලක් කර ගෙන යාමට තනි පුද්ගලයකු හැටියට අබේසුන්දරයන්ට ආර්ථික ශක්තියක් තිබුණෙ නැහැ. කිසිදු ලාබයක් නොපතා මහජන සේවයක් හැටියට සඟරාව පළ කළත්, එයට දායක වූ විද්වතුන් හා තරුණ ලේඛකයන් ස්වේච්ජාවෙන් වැඩ කළත් සඟරාව බෙදා හැරීමේදී දුෂ්කරතා මතු වුණා. වාණිජ පදනමින් සඟරා බෙදා හරින සමාගම් ඒ සඳහා නොවටිනා කොමිස් ඉල්ලා සිටියා.

මුදලාලිලාට කප්පම් ගෙවනවා වෙනුවට ප‍්‍රකාශනය නතර කර දමන්නට කණගාටුවෙන් නමුත් අබේසුන්දර තීරණය කළා. මෙරට කෙතරම් දැනුම් පිපාසයක් තිබුණත්, කෙතරම් ලේඛකයන් සිටියත් ඒ දෙක යා කරන ‘පාලම්’ හිඟවීම එදත් අදත් විසදා නොගත් ලොකු අභියෝගයක්.

අබේසුන්දරයන් එය යම් දුරකට ජය ගත්තේ 1995 අප‍්‍රල් මස මෙරටට ඉන්ටර්නෙට් පිවිසීමත් පසුයි. සාපේක්ෂව අඩු වියදමකින් වෙබ් අඩවියක් හරහා අන්තර්ගතය ඉදිරිපත් කළ හැකි බව අබේසුන්දර තේරුම් ගත්තා.

ශී‍්‍ර ලාංකික පුවත්පතක් මුල් වතාවට වෙබ් සංස්කරණයක් නිකුත් කළේ 1995 සැප්තැම්බර් 4 වනදා. ඒ ලේක්හවුස් ආයතනයෙ Daily News වෙබ් සංස්කරණය. ඒ ආයතනයේ ම Sunday Observer පුවත්පත 1995 සැප්තැම්බර් 10 ඉරිදා ඉන්ටර්නෙට් ගත වූ අතර, විජය පුවත්පත් සමාගම් The Sunday Times පුවත්පත වෙබ් සංස්කරණ ආරම්භ කළේ 1996 මාර්තුවේදී.

වානිජ මට්ටමෙන් ඉන්ටර්නෙට් පහසුකම් ඇරඹී වසර එක හමාරක් ගත වන විට, ජාතික ඉංගී‍්‍රසි පුවත්පත් හතරකුත්, ඉංගී‍්‍රසි මාසික සඟරා දෙකකුත් ඉන්ටර්නෙට් ගත වී තිබුණා. එහෙත් සිංහල ප‍්‍රකාශනයක් ඉන්ටර්නෙට් ගත වීම දිනෙන් දින කල් ගියා. සිංහල අකුරු ඉන්ටර්නෙට්වලට හඳුන්වා දීමේ තාක්‍ෂණික අභියෝග ජය ගත යුතු වීම එයට එක් හේතුවක්. මෙරට බොහෝ මාධ්‍ය ආයතනවල ඉංගී‍්‍රසි ප‍්‍රකාශනවලට ලැබෙන සැළකිල්ල එහි ම සිංහල ප‍්‍රකාශනවලට නොලැබීමත් ප‍්‍රමාදයට හේතු වන්නට ඇති.

අන්තිමේදී ඉන්ටර්නෙට් ගත වූ මුල් ම සිංහල වාරික ප‍්‍රකාශනය වීමේ ගෞරවය හිමි කර ගත්තේ ජාතික පුවත්පතක් නොව තනි පුද්ගලයකු පවත්වා ගෙන ගිය ‘මානව’ සඟරාවයි. ඒ 1996 දෙසැම්බරයේ දී. ඒ සඳහා ලංකා ඉන්ටර්නෙට් සමාගමත්, ‘තිබස්’ මෘදුකාංග නිෂ්පාදකයන් වන සයන්ස් ලෑන්ඞ් කෝර්පරේෂන් සමාගමත් අනුග‍්‍රහය හා තාක්‍ෂණික උපකාර ලබා දුන්නා.

පරිසරය, අභ්‍යවකාශය, පරිගණක, සෞඛ්‍යය හා සමාජ විද්‍යාත්මක තේමාවන් යටතේ ලියැවුණු කාලීන ලිපි, විග‍්‍රහයන් හා විශෙෂාංග මානව වෙබ් අඩවිය තුළින් ඉදිරිපත් කළා. මානව මුද්‍රිත යුගයේ ලිපි ලියූ ලේඛක ලේඛිකාවෝ සමහරුන්ද වෙබ් සංස්කරණයට දායක වුණා. එයින් ඇතැම් දෙනා වෛද්‍යවරුන් හෝ පුවත්පත් කතුවරුන් බවට පරිනාමය වී සිටියා. විද්‍යා තේමාවන් යටතේ පැන පොඩි ලිපි පෙළක් ලියමින් මාත් එයට සම්මාදම් වුණා.

මානව ඉන්ටර්නෙට් සංස්කරණයට දෙස් විදෙස් ප‍්‍රතිචාර රැසක් ලැබුණා. වැඩිපුර ප‍්‍රතිචාර ආවේ විදේශගත ලාංකිකයන්ගෙන්. අද මෙන් ලාංකික අන්තර්ගතය සහිත වෙබ් අඩවි බහුල නොවූ එදා සිංහලෙන් වෙබ් අඩවියක් බිහිවීම ම ඔවුන්ගේ අමන්දානන්දයට හේතු වුණා.

1996 – 2001 කාලය තුළ හැකි පරිද්දෙන් ‘මානව’ ඉන්ටර්නෙට් කලාප කිහිපයක් පළ කළා. ‘මානව’ වෙබ් අඩවිය නිතර අඵත් නොවූ බව ඇත්තයි. එහෙත් සති හො මාස කිහිපයකට වරක් අඵත් තොරතුරු හා නව අදහස් පාඨකයන් අතරට ගෙන යන්නට ‘මානව’ උත්සාහ ගත්තා.

අන්තාවදී හෝ අගතිකාමී නොවන, විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක හෝ කාලීන වැදගත්කමක් ඇති අදහස් හා යෝජනාවලට මානව කවදත් විවෘත වුණා. මානව වෙබ් අඩවිය ඉදිරියට ගෙන ගියේ මානව ප‍්‍රකාශනය නියෝජනය කළ දර්ශනයමයි. එනම් විවෘතව සහ සංවාදශීලීව තොරතුරු, අදහස් හා ආකල්ප ජන සමාජයට ඉදිරිපත් කිරීමයි. මේ වන විට මානව වෙබ් අඩවිය තව දුරටත් සොයා ගන්නට බැහැ. එය පවත්වාගෙන යාමේ තාක්‍ෂණික ගැටඵ හමුවේ වසර කිහිපයකට පසු නතර කරන්නට සිදු වුණා.

මහා පරිමානයේ ප‍්‍රකාශන සමාගම් සමග මේ තනි පුද්ගලයාගේ උත්සාහය සෘජුව සසඳන්නට බැහැ. එහෙත් මානව ප‍්‍රකාශනය හරහා පුංචියට පටන් ගත් ප‍්‍රවාහය දෙආකාරයකින් සමාජගත වී තිබෙනවා.

පළමුවැන්න නම් 1987 නොවැම්බරයේ විදුසර පුවත්පත අරඹන විට එයට සම්බන්ධ වූ බහුතරයක් තරුණ විද්‍යා ලේඛක ලේඛිකාවන් මානව හරහා පන්නරය ලබා සිටි අය වීමයි.

දෙවැන්න නම් සිංහල බ්ලොග් අවකාශය තුළ විචාරශීලී සංවාද හට ගන්නට දශකයටත් පෙර එබඳු අන්තරගතයන් සිංහලෙන් ඉන්ටර්නෙට් මාධ්‍යයේ සනිටුහන් කිරීම. ඒ හරහා මතු බිහි වන බ්ලොග්කරුවන්ගේ පරපුරට පෙරගමන්කරුවකු වීම හා ප‍්‍රබෝධක ආවේගයක් සැපයීම.

මේවා කිරා මැන තක්සේරු කළ හැකි දේ නොවෙයි. එහෙත් අසංග අබේසුන්දරයන්ගේ ඓතිහාසික දායකත්වයට අප ගරු කළ යුතුයි.

Maawana Sinhala science mag, issue 3 - interview with Dr E W Adikaram in racism
Maanawa Sinhala science mag, issue 3 – interview with Dr E W Adikaram in racism

End of the World and Other Conspiracies: Columnist Tackles Inconvenient Truths

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

PROMO NOTE FOR MY LATEST BOOK:

Science writer Nalaka Gunawardene’s latest Sinhala book, Wada Kaha Sudiye Sita Loka Winashaya Dakwa, will be released at the Colombo International Book Fair that starts on 14 September 2013.

A Ravaya Publication, the book is a collection of the author’s weekly column Sivu Mansala Kolu Getaya contributed to the Ravaya newspaper during 2012-13.

Through 54 columns, the book offers personalised insights and non-technical analysis related many current issues and topics in science, technology, sustainable development and information society in the Lankan context. It is written in an easy, conversational Sinhala style rich in metaphor and analogy.

In particular, this collection probes how and why Lankan society is increasingly prone to peddling conspiracy theories without critical examination or rational discussion. From astrological hype linked to end of the world in 2012 to claims of mass poisoning via agrochemicals, Nalaka seeks to separate facts from hype, conjecture and myth.

The book defies easy categorisation, as it covers topics as diverse as alternative histories, agrochemical misuse, disaster management, Internet censorship, Antarctic exploration, asteroid impacts, cricket history and road safety.

“I seem to have outgrown the neat label of science writer,” says Nalaka. “Indeed, the very title of my column suggests how I sit at the intersection (or confluence) of science, development, mass media and information society.  From that point, I explore tensions between modernity and tradition — and ask more questions than I can easily answer!”

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist, TV producer and development communicator.

He has twice won the Science Writer of the Year award (in English) from the Sri Lanka Association for the Advancement of Science (SLAAS). The University of Sri Jayawardenapura recently presented him a Vidyodaya Literary Award for the best newspaper column of 2012, for his first collection of Ravaya columns.

The 340-page book is priced at Rs. 550. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’: සිවුමංසල කොලූ ගැටයා දෙවැනි පොත එළි දකියි

Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013
Cover of Sivu Mansala Kolu Getaya Book 2 by Nalaka Gunawardene, pub Sep 2013

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අඵත් ම ග‍්‍රන්ථය ‘වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා’ නමින් මේ සතියේ එළි දකියි.

2012-13 වකවානුවෙහි රාවය පුවත්පතට ඔහු ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි අතරින් තෝරා ගත් 54ක් මේ පොතෙහි ඇතුළත් ය. මේ පොතට පෙරවදන ලියා ඇත්තේ ප‍්‍රවීණ විද්‍යා ප‍්‍රබන්ධ පරිවර්තක හා හේතුවාදි කි‍්‍රයාකාරික එස්. එම්. බන්දුසීල මහතා ය.

විසි එක්වන සියවසේ වඩාත් සංකීර්ණ වූ ලක් සමාජය මුහුණ දෙන ගැටඵ හා අභියෝග ගැන විවෘත මනසකින් හා සංසන්දනාත්මකව විග‍්‍රහ කිරීමට සමත් නාලක ගුණවර්ධන, දෙස් විදෙස් මාධ්‍ය හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රයේ වසර 25කට වැඩි පුඵල් අත්දැකීම් ඇති ද්විභාෂික ලේඛකයෙකි.

රාවය ප‍්‍රකාශනයක් වන “වදකහ සුදියේ සිට ලෝක විනාශය දක්වා” මිළ රු. 550කි. එය විශේෂ වට්ටමකට කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී ලබා ගත හැකි ය.

2012දී සිදු වනවා යයි ඇතැම් දෙනා බියපත් වූ ‘ලෝක විනාශය’ හරහා මෙරට සමාජයේ හා ජන මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ආකල්ප මෙන් ම භීතිකා ගැනත් සාකච්ජා කැරෙන ලිපි කිහිපයක් මේ එකතුවෙහි හමු වෙයි.

නව නිපැයුම්කරුවන් මුහුණ දෙන අභියෝග, ඉන්ටර්නෙට් ප‍්‍රගමනය හරහා මතු වන සමාජ ප‍්‍රවණතා, දේශගුණ විපර්යාසවලට ප‍්‍රතිචාර දැක්වීමේ හොඳම ක‍්‍රමෝපාය හා කෘෂි රසායනිකවලට ඇබ්බැහි වූ අපේ ගොවිතැන වැනි කාලීන මාතෘකා ගැන තුලනාත්මකවත්, සරලවත් විග‍්‍රහ කරන කතුවරයා බොහෝ විට තම වෘත්තීය අත්දැකීම් හා සංචාරයන් එයට පාදක කර ගනියි.

විශ්වයේ අන්තිම සිංහල වචනය ගැනත්, ශී‍්‍ර ලංකාව හඳ අහිමි කර ගත් සැටි ගැනත් සුවිශේෂී හෙලිදරවු තවත් ලිපි හරහා මතු වෙයි. ඇන්ටාක්ටිකාවට ගිය ශී‍්‍ර ලාංකිකයන් ගැන මුල් වරට සිංහල මාධ්‍ය හරහා කථා කළේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියයි.

“වැඩවසම් මානසිකත්වයකට කොටු වී, විවිධ කුමන්ත‍්‍රණ ගැන බියපත් වෙමින්, පසුගාමීව සිටින ලක් සමාජය ආත්ම විශ්වාසයකින් යුතුව හා විචාරශීලීව විසි එක් වන සියවසේ සංකීර්ණ ප‍්‍රශ්නවලට මුහුණ දෙනු දැකීම මගේ සිහිනයයි,” නාලක ගුණවර්ධන කියයි.

2012දී පළ කෙරුණු සිවුමංසල කොලූ ගැටයා මුල් තීරු ලිපි එකතුවට මෑතදී පැවැති විද්‍යොදය සාහිත්‍ය සම්මාන උළෙලෙහි ගෙවුණු වසරේ හොඳම තීරුලිපි ග‍්‍රන්ථයට පිදෙන සම සම්මානය පිරිනැමුණි.

‘නව තාක්‍ෂණය හා නව මාධ්‍ය හේතු කොට ගෙන විපර්යාසයට ලක්වන ලෝකයත්, තොරතුරුත් දෘෂ්ටිමය අතීතකාමීකමකින් නිදහස්ව දකින්නට වෑයම් කිරීම මෙහි විශෙෂත්වයයි’ යනුවෙන් සම්මාන හේතු පාඨයේ සඳහන් වී ය.

අතීත උරුමයන් රැක ගන්නා අතර නිර්මාණශීලී හා ගවේෂණාත්මක අයුරින් නූතනත්වය අප සමාජයට අදාල කර ගත හැක්කේ කෙසේ ද යන්නට සිවුමංසල කොලූ ගැටයා ප‍්‍රායෝගික අත්වැලක් සපයයි. හීනමානයක් හෝ අධිමානයක් හෝ නොමැතිව තාත්වික මට්ටමින් විශ්ව ගම්මානයේ ගෞරවනීය සාමාජිකයන් ලෙස ලක් අපට හිමි තැන නිරවුල්ව පාදා ගන්නට ඉගි ලබා දෙයි.