සිවුමංසල කොලූගැටයා #200: ඩිජිටල් තාක්‍ෂණයෙන් මැතිවරණ ක‍්‍රියාදාමය පිරිසුදු කළ ඉන්දුනීසියාව

In this week’s Ravaya column (in Sinhala), published on 28 December 2014, I explore the nexus between social media, digital technologies and elections by taking the example of the Indonesian presidential election held on 9 July 2014.

Indonesia voting in progress, July 2014

සමාජ මාධ්‍ය පෙරටු කොට ගත් නව වෙබ් තාක්‍ෂණය (web 2.0) ආසියානු රටවල දේශපාලන ක‍්‍රියාදාමයට හා විශේෂයෙන් මැතිවරණවලට කෙසේ බලපානවාද යන්න අප ගිය සතියේ විමසා බැලූවා. එහි බලපෑම තවමත් බොහෝ රටවල මැතිවරණ ප‍්‍රතිඵලවලට තීරණාත්මක නොවුවත් ඉදිරි වසරවලදී එසේ විය හැකි බැවින් දේශපාලන පක්‍ෂ, සිවිල් ක‍්‍රියාකාරිකයන් හා මාධ්‍ය පර්යේෂකයන් මේ ප‍්‍රවණතා ගැන අවදියෙන් සිටීමේ වැදගත්කම මා අවධාරණය කළා.

Last week: සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

සමාජ මාධ්‍ය භාවිතය 2014 ඉන්දීය මහ මැතිවරණයට සම්බන්ධ වූ ආකාරය අප උදාහරණයක් ලෙස විග‍්‍රහ කළා. 2014 ජූලි මස ජනාධිපතිවරණයක් පවත්වා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගත් ඉන්දුනීසියාවේ උදාහරණය අද සලකා බලමු.

ඉන්දියාවට පසු ජනගහනයෙන් ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයන් වන්නේ අමෙරිකා එක්සත් ජනපදය (මිලියන් 300) හා ඉන්දුනීසියාවයි (මිලියන් 252). ඉන්දුනීසියාව වසර 30ක් (1968-1998) සුහර්තෝ ජනාධිපතිගේ දරදඬු ඒකාධිපති පාලනයට නතුව තිබුණා. මහජන උද්ඝෝෂණ උත්සන්න වීමත් ඔහුගේ ආධාරකරුවන්ව සිටි බටහිර රටවල් ඔහුගෙන් දුරස්ථවීමත් නිසා සුහර්තෝට බලයේ රැඳී සිටීමට නොහැකි වූවා.

සුහර්තෝ බලයෙන් ඉවත්වීමෙන් පසුව එරට දේශපාලන ප‍්‍රතිසංස්කරණ රැසක් කරනු ලැබුවා. ඔහුගේ දිගු පාලන කාලය තුළ විධායකය වටා කේන්‍ද්‍රගතව තිබූ බලතල සමහරක් පළාත්වලට විමධ්‍යගත කළා.

මුලදී එරට ජනාධිපති හා උප ජනාධිපති තෝරනු ලැබුවේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීන්ගේ ඡන්දයෙන්. එය වෙනස් කර සෘජු මහජන ඡන්දයකින් ජනාධිපතිවරයකු තේරීම 2004දී ආරම්භ කළා. 2004 පැවති ජනාධිපතිවරණයෙන් විශ‍්‍රාමලත් ජෙනරාල් සුසිලෝ ‘බංබං’ යුධොයෝනෝ (Susilo ‘Bambang’ Yudhoyono) ජයග‍්‍රහණය කළා. ඒ එවකට බලයේ සිටි මෙගාවතී සුකර්නෝපුත‍්‍රී පරාජය කරමින්.

යුධොයෝනෝ 2009දී නැවතත් ජනාධිපතිවරණයකට මුහුණ දී දෙවන ධූර කාලයකට තේරී පත් වුණා. ඉන්දුනීසියානු ව්‍යවස්ථාවට අනුව එක් පුද්ගලයකුට ජනාධිපති තනතුර දැරිය හැක්කේ පස් අවුරුදු ධූර කාල දෙකකට පමණයි. ඔහුගේ අනුප‍්‍රාප්තිකයා තෝරා ගැනීමේ ජනාධිපතිවරණය 2014 ජූලි 9 වනදා පැවැත්වුණා.

එහි ප‍්‍රධාන තරගකරුවන් දෙදෙනෙකු සිටියා. ගෙරින්ද්‍රා නමින් කෙටියෙන් හැඳින්වුණු පක්‍ෂ ගණනාවක සන්ධානයක් ප‍්‍රබෝවෝ සුබියාන්තෝ : (Prabowo Subianto) නම් හිටපු හමුදා ලූතිනන් ජෙනරාල්වරයෙක්, ව්‍යාපාරිකයෙක් හා දේශපාලකයෙක් ඉදිරිපත් කළා. ඔහු ප‍්‍රභූ පවුලකින් පැවත එන ඉහළ මධ්‍යම පාංතිකයෙක්. මේ දක්වා එරට පාලනය කළේ මේ පැළැන්තියේ අයයි.

ඔහුට අභියෝග කරමින් ඉන්දුනීසියානු ප‍්‍රජාතාන්ත‍්‍රික පක්‍ෂය (PDI-P) ප‍්‍රමුඛ සන්ධානයක් වෙනුවෙන් තරග කළේ ජෝකෝ විදෝදෝ (Joko Widodo) නම් දේශපාලනඥයායි. සාමාන්‍ය පවුලක ඉපිද අගහිඟකම් මැද උගත් ඔහු පසුව වනවිද්‍යා උපාධියක් ලබා ගත්තා. ජාවා දුපතේ සුබ‍්‍රකර්තා නගරයේ නගරාධිපති ලෙස තේරී පත්ව දේශපාලනයට පිවිසි ඔහු ඉනික්බිති ජකර්තා අගනුවර ආණ්ඩුකාරයා ලෙස 2012-14 දෙවසරක කාලයක් සේවය කළා. මේ කාලය තුළ දුෂණ විරෝධී, කාර්යක්‍ෂම පරිපාලනයක් බිහි කිරීමට ඔහු ගත් උත්සාහය නිසාත්, ඔහුගේ ජනහිතකාමී ප‍්‍රතිපත්ති නිසාත් නාගරික ජනයා අතර ඔහු ජනාදරයට පත්ව සිටියා.

Joko Widodo (Left) and Prabowo Subianto on 9 July 2014
Joko Widodo (Left) and Prabowo Subianto on 9 July 2014

නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණයන් වඩාත් ඉක්මනින් ජනප‍්‍රිය වන්නේ ළමා හා තරුණ පිරිස අතර නිසා එවන් ජන කොටස් අධික ලෙස සිටින සමාජයන්හි එම තාක්‍ෂණයන් පැතිරෙන වේගය අධිකයි. ඉන්දුනීසියාවේ සමස්ත ජනගහනය වන මිලියන් 252න් හරි අඩක්ම පසු වන්නේ (median age) වයස අවුරුදු 27.5 හෝ ඊට අඩු වයසකයි. එරට නව මාධ්‍ය ව්‍යාප්තිය හා ප‍්‍රජාතන්ත‍්‍රීය ක‍්‍රියාදාමයන්හි තරුණ සහභාගීත්වය ඉහල මට්ටමක පවතින බව මේ වසරේ මැතිවරණවලදී පෙනී ගියා.

2013 වන විට ඉන්දුනීසියාවේ ජංගම දුරකථන ගිනුම් ජනගහනයේ 100කට 112ක් පමණ තිබුණා. (එනම් සමහරුන්ට ගිනුම් එකකට වැඩි සංඛ්‍යාවක් හිමියි.) එරට භාවිත වන ජංගම දුරකථනවලින් 23%ක් ස්මාට්ෆෝන් බවත්, එරට ජනගහනයෙන් 17%ක් පමණ ඉන්ටර්නෙට් නිතිපතා භාවිතා කරන බවත් 2014 දක්වා අලූත් කළ ජාත්‍යන්තර සංඛ්‍යාලේඛන කියනවා.

ඉන්දුනීසියානුවන් සමාජ මාධ්‍යවලට බෙහෙවින් ලැදියි. ඔවුන් බහුතරයක් ඒ හරහා සන්නිවේදනය කරන්නේ තමන්ගේම බසින් (භාෂා ඉන්දුනීසියා). ලෝකයේ ට්විටර් (Twitter) නම් විවෘත සමාජ මාධ්‍යය වැඩිපුරම භාවිත කරන රටක් ලෙස ඉන්දුනීසියාව ප‍්‍රකටයි.

2014 මැද වන විට එරට ට්විටර් භාවිත කරන්නන් මිලියන් 20ක් පමණ සිටියා. ඉන්දුනීසියානුවන් මහත් උද්‍යොගයෙන් ට්විටර් හරහා තොරතුරු, අදහස් හා රූප බෙදා ගන්නා නිසා එරට අගනුවර වන ජකර්තා, ලෝකයේ සමාජ මාධ්‍ය අගනගරය කියාත් සමහරුන් හඳුන්වනවා. (එරට ෆේස්බුක් ගිනුම් සංඛ්‍යාව 2014 මැදදී මිලියන් 11.6ක් වූවා.)

2014 ජනාධිපතිවරණයට පෙර සති කිහිපය තුළ ට්විටර් අවකාශය තුළ විවෘතවත්, ෆේස්බුක් කණ්ඩායම් තුළ බොහෝ දුරට සංවෘතවත් දේශපාලන සංවාද මිලියන් ගණනින් සිදු වුණා. හැම ඡන්ද අපේක්ෂකයකුම නිල සමාජ මාධ්‍ය ගිනුම් හරහා තමන්ගේ ප‍්‍රතිරූපය හා ප‍්‍රතිපත්ති සමාජ ගත කළා.

ඉන්දුනීසියාවේ මැතිවරණ පැවැත්වීම භෞතික වශයෙන් ලොකු අභියෝගයක්. දුපත් 17,500කින් සමන්විත එරට දුපත් 7,000ක පමණ ජනයා වාසය කරනවා. මේ අයට ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ජනාවාස පවතින සියලූ දුපත්වල ඡුන්ද පොළවල් 450,000ක් පමණ පිහිටු වනවා. මේ නිසා මැතිවරණ පැවැත්වීමට දැවැන්ත පරිශ‍්‍රමයක් අවශ්‍ය වනවා සේම මැතිවරණ අක‍්‍රමිකතා සිදුවීමට ඇති ඉඩකඩ ද පුළුල්. මැතිවරණ නිරීක්‍ෂණය, සිවිල් සංවිධානවලට පමණක් තනිව කළ හැකි දෙයක් ද නොවෙයි.

ඉන්දුනීසියානු මැතිවරණ ක‍්‍රමයේ මූලික ගණන් කිරීම ඡුන්ද පොළ මට්ටමින් කරනවා. එහි ප‍්‍රතිඵල C1 නම් පත‍්‍රිකාවක අත්අකුරින් සටහන් කැරෙනවා. එතැන් සිට ටිකෙන් ටික ඉහළ පරිපාලන මට්ටම්වලට මේ ගණන් සම්පේ‍්‍රෂණය කොට ඡුන්ද කොට්ඨාශ, උප දිස්ත‍්‍රික්ක, දිස්ත‍්‍රික්ක, පළාත් හා ජාතික මට්ටමේ එකතු කිරිම් කරනවා. රටේ විහිදුණු ස්වභාවය හා විශාල ජන සංඛ්‍යාව නිසා මේ කි‍්‍රයාදාමයට දින 10-12ක් පමණ ගත වනවා.

ඉන්දුනීසියාවේ මැතිවරණ අක‍්‍රමිකතා සංඛ්‍යාව ගෙවී ගිය දශකයේ ඉහළ ගොස් තිබෙනවා. මැතිවරණ නිරික්‍ෂණය කරන එරට සිවිල් සමාජ සංවිධානවලට අනුව රාජ්‍ය නිලධාරින් දේශපාලන පක්‍ෂ සඳහා කැම්පේන් කිරීම, සමහර පුදේශවල ඡුන්දදායකයන් බිය වැද්දීම, ඡන්ද ගණන් කිරීමේදී උවමනාවෙන් සංඛ්‍යා වෙනස් කිරීම හා ඡන්දදායකයන්ට අල්ලස්දීම ආදී සියල්ල වාර්තා වනවා. එසේම 1999 මහ මැතිවරණයේදී 3.3%ක් වූ අපතේ ගිය ඡන්ද සංඛ්‍යාව 2004දී 9.7% හා 2009දී 14.4% දක්වා ඉහල ගියා. මෙය ද සැක කටයුතු තත්ත්වයක් බවට නිරීක්‍ෂකයෝ කියනවා.

මැතිවරණ ක‍්‍රියාදාමය සමීපව නිරික්සීම දැනට දශක දෙකක පමණ කලක් පුරා එරට සිවිල් සමාජ සංවිධාන කරනවා. 2014 ජූලි 9 ජනාධිපතිවරණයේදී මෙය තවත් ඉදිරියට ගෙන යාමට නවීන ඩිජිටල් සන්නිවේදන තාක්‍ෂණය යොදා ගත්තා.

ඉන්දුනීසියාවේ මැතිවරණ කොමිසම පිරිසිදු මැතිවරණයක් පැවැත්වීමට හැකි සෑම දෙයක්ම කරන, බලාත්මක වූත් ජනහිතකාමී වූත් රාජ්‍ය ආයතනයක්. ඡන්ද ගණන් කිරීම නිරික්සන්න දේශපාලන පක්‍ෂ නියෝජිතයන්ට මෙන්ම නිර්දේශපාලනික සිවිල් සමාජ නියෝජිතයන්ටත් එරට අවසරය ලැබෙනවා. එසේම ඔවුන්ට තමන්ගේ ජංගම දුරකථන ඡන්ද ගණන් කරන තැන්වලට ගෙන යාමටත්, භාවිතයටත් කිසිදු තහංචි පනවා නැහැ.

මේ අවසරයෙන් ප‍්‍රයෝජන ගත් සමහර සිවිල් ක‍්‍රියාකාරිකයෝ පහළම මට්ටමේ ඡන්ද ගණන් එකතුව හසු කර ගන්නා C1 පත‍්‍රිකා ජංගම දුරකථන මගින් ඡායාරූප ගත කළා. ජූලි 11 වනදා වන විට (මැතිවරණයෙන් දින 2 කට පසු) ට්විටර් අනුගාමිකයන් 7,000කට වඩා සිටින එක් පුරවැසියෙක් තමා හසු කර ගත් C1 රූප ට්විටර් හරහා සමාජ මාධ්‍යගත කළා.

ඒ දුටු තවත් බොහෝ දෙනා ඒ වන විටත් තම ජංගම දුරකථනවල තිබූ තම ප‍්‍රදේශවල C1 රූප ට්විටර් හා ෆේස්බුක් හරහා බෙදා ගන්නට පටන් ගත්තා. මෙය නිරායාසයෙන් සිදු වුවද ඉක්මනින් රැල්ලක් බවට පත් වුණා.

BAD MATH. This screenshot of a C1 tabulation form from Yogyakarta in Indonesia allegedly shows 100 votes added to presidential ticket Prabowo Subianto and Hatta Rajasa. Screenshot taken from c1yanganeh.tumblr.com
BAD MATH. This screenshot of a C1 tabulation form from Yogyakarta in Indonesia allegedly shows 100 votes added to presidential ticket Prabowo Subianto and Hatta Rajasa. Screenshot taken from c1yanganeh.tumblr.com

KPU නමින් කෙටියෙන් හැඳින්වෙන එරට මැතිවරණ කොමිසමද ඩිජිටල් තාක්‍ෂණයන් යොදා ගන්නවා. KPU විසින් රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලින් අගනුවරට එවන ලද ගණනය කිරීමේ ෆෝර්ම සිය නිල වෙබ් අඩවියට ඉක්මනින් එකතු කළා. ඔවුන්ට අවශ්‍ය වූයේ ද හැකි තරම් පාරදෘශ්‍ය ලෙස ගණනය කිරීම කරන්නයි.

2014 ජූලි 12 වනදා ඉන්ටර්නෙට් තාක්‍ෂණ හැකියාව ඇති පුරවැසියන් කිහිප දෙනකු එක්ව කවාල් පෙමිලූ (මැතිවරණය සුරකිමු) නම් නව වෙබ් අඩවියක් විවෘත කළා (www.kawalpemilu.org). ඡන්ද ගණන් කිරීම හා රට පුරා සංඛ්‍යා එකතු කිරීම සිදුවන තීරණාත්මක දින කිහිපය තුළ පුරවැසියන්ට එය ඩිජිටල් ක‍්‍රම හරහා විමර්ශනය කිරීමට ඉඩ සලසා දීම එහි අරමුණු වුණා.

සරලව කිවහොත් ඡන්ද ගණන් කරන මධ්‍යස්ථානවලදි පුරවැසියන් ඡායාරූපගත කර ගත් C1 පත‍්‍රිකාවල තිබු ඡන්ද සංඛ්‍යා, මට්ටමින් මට්ටමට ඉහළට එකතු වෙද්දී යම් අසාමාන්‍ය වෙනසකට ලක්වේද යන්න සොයා බැලීමට මේ හරහා හැකි වුණා. ක‍්‍රමවේදය සරලව පවත්වා ගැනීම හරහා මූලික පරිගණක හැකියාව ඇති අයට පවා මේ පුරවැසි නිරීක්‍ෂණයට දායකවීමට අවස්ථාව සැළසුණා.

මේ වෙබ් අඩවියේ සිදු වූ කි‍්‍රයාදාමය හඳුන්වන්නේ crowd-sourcing කියයි. බොහෝ දෙනකුගේ දායකත්වයෙන් යමක් නිරවුල් කර ගැනීම හෝ පරිපූර්ණ කර ගැනීම මෙහි අරුතයි. කවාල් පෙමිලූ වෙබ් අඩවියේ විශ්ලේෂණවලින් සොයා ගන්නා තොරතුරු ෆේස්බුක් පිටුවක් හරහා බෙදා හරිනු ලැබුවා.

කවාල් පෙමිලූ හරහා පුරවැසි අධීක්‍ෂණය තීව‍්‍ර වූ බැවින් ඡන්ද එකතු කිරීමේ අවස්ථාවල සිතාමතා කිසිවකු විසින් ඒවා විකෘති කිරීමේ ඉඩකඩ අසුරනු ලැබුවා. මෙය සාර්ථක උපක‍්‍රමයක් බව පෙනි ගියේ ජුලි 16 වනදා වන විට එම වෙබ් අඩවියට සිය ගණනක් සයිබර් ප‍්‍රහාර (Hacking) උත්සාහයන් එල්ල වීම නිසායි. ඒවා බහුතරයක් ආවේ ඉන්දුනිසියාව තුළින්මයි.

කවාල් පෙමිලූ වෙබ් අඩවිය කල්තබා සැළසුම් කරන ලද්දක් නොවෙයි. එය කඩිමුඩියේ බිහි කළේ සිංගප්පූරුවේ වාසය කරන ඉන්දුනීසියානු ජාතික අයිනුන් නජිබ් (Ainun Najib) විසින්. ඒ උත්සාහයට ඉන්දුනීසියාව පුරා පැතිර සිටින පුරවැසියන් 700 දෙනකු ඉන්ටර්නෙට් හරහා ස්වෙච්ඡාවෙන් මැදිහත් වුණා.

මෙයින් ආභාෂය ලැබු තවත් ස්වේච්ඡා සයිබර් ප‍්‍රයත්නයක් වුයේ කවාල් සුආරා http://kawal-suara.appspot.com/ රට පුරා සිටින හත්දහසකට වැඩි පුරවැසි පිරිසකගේ උදව් ඇතිව මේ වෙබ් අඩවිය ද C1 පත‍්‍රිකා සසඳමින් වෙනස් කිරීම් කිසිවක් සිදුව ඇත්දැයි පිරික්සුවා. ඉඳහිට එබන්දක් හමුවූ විට ඒවා වහාම මැතිවරණ කොමිෂමේ හදිසි අවධානයට යොමු කළා.

මේ සයිබර් ප‍්‍රයත්නයන්ගේ සුවිශේෂත්වය වූයේ ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාගේම අනුගාමිකයන් එයට සම්බන්ධ වීමයි. ඔවුන්ට අවශ්‍ය වූයේ තම අපේක්‍ෂකයා නියමාකාරයෙන් හා පිරිසිදු ඡන්දයකින් ජය ගෙන රටේ ජනාධිපති වනු දකින්නටයි. ජයග‍්‍රහණය අක‍්‍රමිකතාවලින් කැලැල් වීමට එරෙහිව ඔවුන් ප‍්‍රතිපාක්‍ෂිකයන් සමග සහයෝගයෙන් ක‍්‍රියා කළා. කෙතරම් ආදර්ශවත් ක‍්‍රියාවක්ද?

මැතිවරණ සුරැකීමේ මෙම ස්වේච්ඡා උත්සාහයන් සයිබර් අවකාශයට පමණක් සීමා වූයේත් නැහැ. තව බොහෝ ඉන්දුනීසියානුවන් ගණන් කිරිමේ ස්ථානවලට රැස්ව සාමකාමී හා විනීත ලෙසින් මැතිවරණ නිලධාරින්ගේ ක‍්‍රියාකලාපය නිරීක්‍ෂණය කළා. මේ බොහෝ දෙනකු සංවිධානගත සිවිල් සමාජය නොව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන කැක්කුමක් ඇති සාමාන්‍ය පුරවැසියන්.

අපේ රටේ මෙන් දිනකින් දෙකකින් හමාර නොවී සතියකට වැඩි කාලයක් ගත වන එරට ඡන්ද ගණන් කිරීම නිරික්සනවා යනු සැළකිය යුතු කාලය කැප කිරීමක්. එහෙත් එය කැමැත්තෙන් කිරීමට දහස් ගණනක් පුරවැසියන් පෙරට ආවා. එසේම එම පුරවැසි දායකත්වය අගය කළ මැතිවරණ කොමිසම, නිලධාරිවාදය පෙරට නොගෙන ඔවුන් පිළිගෙන අවශ්‍ය සහයෝගය ලබා දුන්නා. කෙතරම් අපුරුද?

Indonedia Presidential Election 2014 -  official logo
Indonedia Presidential Election 2014 – official logo

ජනාධිපති ධූර අපේක්‍ෂක දෙදෙනාම ඡන්ද ගණන් කරන මුල් දිනවල මූලික ප‍්‍රතිඵල මත පදනම් වී තමන් ජයග‍්‍රහණය කර ඇතැයි කියා සිටියා. මේ නිසා උණුසුම් තත්ත්වයක් වූ අතර ඡන්ද ගණන් කිරීම හැකි තාක් නිවැරදිව කිරීමේ වැදගත්කම තවත් වැඩිවුණා.

මෙම පුරවැසි සහභාගිත්වය මැතිවරණ කාලයේ උත්සන්න වුවත් එය දිගටම පවත්වා ගත හැකි ජනතා ව්‍යාපාරයක් නොවෙයි. එය ස්වයංසිද්ධ වූවක් (spontaneous). සංවිධානගත සිවිල් සමාජයක් අවශ්‍ය වන්නේ මෙබඳු තාවකාලික පෙළගැසීම් වඩාත් විධිමත් ලෙස කිරීමටයි.

2014 ජූලි 22 දා මැතිවරණ කොමිසම නිල ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත්කළා. මේ මැතිවරණයේදී ඉන්දුනීසියානුවන් 133,574,277ක් ඡන්දය ප‍්‍රකාශ කළා. එය ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවෙන් 69.58%ක්. ප‍්‍රතික්‍ෂෙප වූ ඡන්ද තිබුණේ 1.02%ක් පමණයි. ප‍්‍රකාශිත ඡන්දවලින් 53.15%ක් ලබා ජෝකෝ විදෝදෝ ජනාධිපති තනතුරට පත් වුණා. ප‍්‍රබෝවෝ ලැබුවේ ඡන්ද 46.85%යි. මුලදී මේ ප‍්‍රතිඵලය පිළිගැනීම ඔහු ප‍්‍රතික්‍ෂෙප කළත් පසුව මේ ප‍්‍රතිඵලය නීතිමය වශයෙන් සනාථ වුණා.

ජයග‍්‍රාහක විදෝදෝ ඔක්තෝබර් 20දා තනතුරේ වැඩ භාර ගත්තා. නව දේශපාලන සදාචාරයක් ඇති කිරීමට ඔහු දැනටමත් ක‍්‍රියාකරමින් සිටිනවා.

උදාහරණයකට නොවැම්බරයේ සිංගප්පුරුවේ උගනිමින් සිටින තම පුතාගේ උසස් පෙළ සමත්වීමේ උත්සවයකට ඔහු සාමාන්‍ය පංතියේ ගුවන් මගියකු ලෙස පෞද්ගලික වියදමින් එහි ගියා. ජනාධිපතිවරයාට වෙන් කළ ගුවන් යානයක් එරට තිබුණත් මේ පෞද්ගලික සංචාරයට කිසිදු රජයේ වියදමක් සිදු වනු දැකීමට ඔහු කැමති වුයේ නැහැ. තනතුරේ ලාභ ප‍්‍රයෝජන ගැනීම සාමාන්‍ය සිදුවීමක් බවට පත්ව ඇති අද කාලේ මෙය ජාත්‍යන්තර මාධ්‍ය විසින් පවා වාර්තා කරනු ලැබුවා.

Indonesia's President, Joko Widodo, took a selfie with students at his son's school in Singapore
Indonesia’s President, Joko Widodo, took a selfie with students at his son’s school in Singapore

See also: Technology for Transparency

සිවුමංසල කොලු ගැටයාගේ දේශපාලන දැක්ම කුමක්ද?

"...would it not be simpler, If the government simply dissolved the people And elected another?" - Bertolt Brecht
“…would it not be simpler,
If the government simply dissolved the people
And elected another?” – Bertolt Brecht

දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ නොවූ දේශපාලන උනන්දුවක් හා සහභාගීත්වයක් තිබිය හැකිය යන්න බොහෝ ලාංකිකයන්ට නොහුරු අත්දැකීමක් වගෙයි. එහෙත් පරිනත ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති සමාජයන්හි මෙය අරුමයක් නොවෙයි.

යහපාලනයේ මූලධර්ම හා පොදු උන්නතිය සඳහා පෙනී සිටින, කිසිදු දේශපාලන පක්‍ෂයකට අයිති හෝ පක්‍ෂග‍්‍රාහී හෝ නොවූ සමාජ ක‍්‍රියාකාරිකයන් සිටීම නිසා දේශපාලන ක‍්‍රියාදාමය වඩාත් හරබර වනවා. එය පෙර අපර දෙදිගම රටවල අත්දැකීමයි.

මා අහවල්තුමාට පක්‍ෂ ද නැත්නම් අහවල්තුමාට විරුද්ධ ද යන සරල ප‍්‍රශ්නය විටින් විට පොදු අවකාශයේ මගෙන් ද විමසනු ලබනවා. මැතිවරණවලදී රහස් ඡුන්දය පාව්චිචි කරමින් මගේ පෞද්ගලික කැමැත්ත ප‍්‍රකාශ කළත් සෙසු අවස්ථාවල මා සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට ගිය යහපාලනය හා පොදු උන්නතිය සඳහා ගත් ස්ථාවරයකයි.

එසේම පාලක පක්‍ෂය, ප‍්‍රතිපක්‍ෂ යන දෙපිරිසේම යහපත් දෙයට ප‍්‍රශංසා කරන අතර ඔවුන්ගේ පරස්පර විරෝධතා සහ අකටයුතුකම් විචාරයට ලක් කිරීමත් මා කරනවා.

නිර්ආගමික මට විවිධ ආගම් අදහස මිතුරන් සිටිනවා සේම නිර්දේශපාලනික මට නිල් – රතු – කොළ හැම පිලේම මිතුරන් ද සිටිනවා.

බලයේ සිටින රජය විවේචනය කිරීමට ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුව තුළ පුරවැසි අපට මුලික අයිතියක් තිබෙනවා. එසේ ආණ්ඩුව විවේචනය කිරීම යනු රාජ්‍ය විරෝධී වීමක් නොවන බව මා හොඳාකාර දන්නවා.

අපේ දේශපාලන ක්‍ෂෙත‍්‍රය මෙතරම්ම පටු හා කෙටි කාලීන දැක්මක් තුළ කොටුවී සිටින්නේ පක්‍ෂ දේශපාලනයෙන් ඔබ්බට යන ආකාරයේ මැදහත් විචාරකයන් මඳ වීම නිසා යයි මා සිතනවා.

‘ඔබ අප සමග එකඟ නොවේ නම් ඔබ අපේ විරුද්ධවාදියෙක්’ (“If you are not with us, you are against us!”) යයි සරල හා වැරදි සහගත ලෙස විචාරකයන් දැකීම මෙරට බොහෝ දේශපාලන පක්‍ෂ හා චරිතවල ස්වභාවයයි. මෙය වෙනස් විය යුතුයි. විශේෂයෙන්ම නව මාධ්‍ය හරහා මත දැක්වීමට හා සංවාද කිරීමට නිර්දේශපාලනික පුරවැසියන්ට වැඩි අවකාශයක් ලැබෙන විට මෙබඳු විවෘත මානසිකත්වයක් බිහි වීම අවශ්‍යයයි. අපේ සමාජයේ හැම දෙයක්ම අධිදේශපාලනීකරණය වෙලා යයි අදෝනා නගන අය එය වෙනස් කිරිමට අවස්ථාවක් මතු වූ විට එය වැළඳගත යුතුයි.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

 

සිවුමංසල කොලූගැටයා #199: සමාජ මාධ්‍ය, මැතිවරණ හා ඩිජිටල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය

Social media and electionsIn this week’s Ravaya column (in Sinhala), published on 21 December 2014, I explore the nexus between media and elections, and in particular, the growing nexus between social media and election campaigns.

I also pose the question: Might the Presidential Election scheduled for 8 January 2015 be a turning point in social media use in Sri Lanka? As I write this in mid December, the campaigns are getting into speed and it’s too early to tell. But this aspect is definitely worth watching closely.

I refer to a recent Asian regional book, published by Konrad-Adenauer-Stiftung’s Asia Media Programme, based in Singapore. Titled ‘Social Media and Elections in Asia-Pacific: The Growing Power of the Youth Vote’ (November 2013), it brought together media researchers in 11 countries who probed how social media is reshaping electoral politics.

Chanuka Wattegama and I contributed the Sri Lanka chapter in the book. We probed whether the youth vote and social media made a difference in the Colombo Municipal Council (CMC) elections of October 2011. Our conclusion: “There is no unequivocal evidence to prove that the use of social media, on their own, significantly changed CMC election results. As with all election campaigns, the influences were many, varied and nuanced…”

I also discuss the impact of social media on the Indian General Election held in April – May 2014.

Social-Vote-Social-Election-e13693985145431

මැතිවරණ ව්‍යාපාරයක නැතහොත් කැම්පේන් එකක තීරකයන් සොයන්නේ තමන්ගේ අපේක්‍ෂකයා හා පක්‍ෂයේ පණිවුඩය වැඩිම ජන පිරිසක් අතරට ගෙන යාමටයි. මාධ්‍ය භාවිතය (මුදල් ගෙවා මෙන්ම නොගෙවා ලද හැකි මාධ්‍ය ආවරණ දෙවර්ගයම) එක් ප‍්‍රධාන ක‍්‍රමෝපායක්.

මාධ්‍ය දියුණු සමාජවල අද මැතිවරණවලදී වැඩිම වියදමක් යෙදවෙන්නේ දේශපාලන රැළි හෝ පත‍්‍රිකා හෝ වෙනත් වීදි ක‍්‍රියාවලට නොව මාධ්‍ය හරහා ජනතාවට සමීප වීමටයි. මේ නිසා දේශපාලන පක්‍ෂවල දැන්වීම් හරහා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට අති විශාල ආදායමක් ලැබෙනවා. එම ආදායම නිසාම එම මාධ්‍යවල කර්තෘ මණ්ඩල අන්තර්ගතයේ කැරෙන විග‍්‍රහයන් හා වාර්තාකරණය කෙතරම් දුරට අපක්‍ෂපාතී ද යන ප‍්‍රශ්නය මතු වනවා.

මෙරට මැතිවරණ හා ජනමාධ්‍ය අතර කලක සිට පැවත එන සමීප සබඳතාවක් තිබෙනවා.

ලේක්හවුස් ආයතනය පෞද්ගලික හිමිකරුවන් සතුව තිබියදී එම පත්තරත්, ටයිම්ස් ඔෆ් සිලෝන් සමාගම හා දවස නිවසත් තම හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව යම් තරමකට පිළිබිඹු කළ සැටි ප‍්‍රකටයි. 1973 ලේක්හවුස් ජනසතු කිරීමෙන් පසු එය පවතින රජයේ ප‍්‍රචාරක මෙවලමක් බවට පත් වුණා. රජයේ රේඩියෝව කවදත් කළේ එයමයි. 1982දී ඇරැඹූ රූපවාහිනිය සත්‍යවාහිනියක් වේවා කියා එවකට සිටි ජනාධිපති ජයවර්ධන කීවත්, තවමත් ඒ පරමාදර්ශයට ළං වන්නට හැකි වී නැහැ.

1990 දශකයේ පෞද්ගලික රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා ගණනාවක් බිහි වුව ද ඒ සඳහා විකාශ බලපත‍්‍ර හා සංඛ්‍යාත ලබා දීම විවෘත ක‍්‍රමවේදයකට කිසිදු රජයක් විසින් මේ දක්වා නොකිරීම නිසා දේශපාලන හා වාණිජ ඕනෑකම්වලට අනුගත වූ නාලිකා අද ක‍්‍රියාත්මක වනවා. මේ නාලිකා අතරින් සමහරක් මැතිවරණ සමයේදී යම් තුලනයක් පවත්වා ගන්නට තැත් කළත් එහිදී ඔවුන්ට මතු වන ප‍්‍රායෝගික සීමා හා දුෂ්කරතා තිබෙනවා.

කිසිදු නිල පුවත් පාලනයක් මෙරට නැති වුව ද වක‍්‍ර ආකාරයෙන් පෞද්ගලික මාධ්‍යවලට බලපෑම් සිදු කැරෙන බව ප‍්‍රකටයි.

මෙසේ අඩුපාඩු හා දුර්වලතා සහිත ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට සමාන්තරව මෑත වසරවලදී වෙබ් ගත මාධ්‍ය දෙවර්ගයක් ද මතු වී තිබෙනවා. එකක් නම් දේශපාලන තොරතුරු හෝ ඕපාදුප බෙදා හරින පක්‍ෂග‍්‍රාහී වෙබ් අඩවි බිහි වීමයි. දෙවැන්න නම් කිසිදු දේශපාලන පක්‍ෂයකට නතු නොවූ, ඔවුන් මගින් පාලනය නොකෙරෙන බ්ලොග් රචකයන් හා (ට්විටර්, ෆේස්බුක් වැනි) වෙනත් සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසි මාධ්‍යකරුවන් පිරිසක් සක‍්‍රීය වීමයි.

ඩිජිටල් සාක්‍ෂරතාව ඇති හා ස්මාට්ෆෝන් හෝ පරිගණක හරහා වෙබ් පිවිසීමේ හැකියාව තිබෙන ඕනෑම කෙනකුට අඩු වියදමකින් හා පරිශ‍්‍රමයකින් නව මාධ්‍ය හරහා සන්නිවේදනය කළ හැකියි. මේ නිසා මෑතක් වන තුරු හුදෙක් පාඨකයන්, ශ‍්‍රාවකයන් හෝ පේ‍්‍රක්‍ෂකයන් ලෙස සිටි මාධ්‍ය ග‍්‍රාහකයන්ට අද කැමති නම් වෙබ් හරහා තම අදහස් ද ලොකු පිරිසකට එකවර බෙදා හැරීමේ හැකියාව තිබෙනවා.

කලින් කලට මැතිවරණ පවත්වන ඉන්දියාව, පකිස්ථානය, මැලේසියාව, ඉන්දුනිසියාව වැනි රටවල ජනමතයට යම් බලපෑමක් කිරීමට වෙබ් අවකාශයේ ඉහත කී දෙආකාරයේ ම වෙබ් සන්නිවේදන සමත්ව තිබෙනවා. මේ බලපෑම ඒ රටවල සෘජුව ඉන්ටර්නෙට් භාවිතා කරන ජන පිරිසට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට පුළුල් ජන සමාජයට පැතිරෙන බවත් හෙළි වී තිබෙනවා. එයට හේතුව ඉන්ටර්නෙට් හරහා තොරතුරු හා අදහස් ලබා ගන්නා අය වැඩි දෙනෙක් සමාජයේ ජනමතයට බලපෑම් කළ හැකි ගුරුවරුන්, මාධ්‍යවේදීන් හා සමාජ ක‍්‍රියාකාරකයින් වීමයි.

නව මාධ්‍ය නිසා දේශපාලන පක්‍ෂයකට නොබැඳුණු සමාජ ක‍්‍රියාකාරිකයන්ට (social activists) මැතිවරණ කාලවලදීත්, අනෙක් අවස්ථාවලදීත් දේශපාලන ක‍්‍රියාදාමයේ මැදිහත්මක් කරන්නට ප‍්‍රායෝගික දැන් ඉඩක් සැළසෙනවා.

එය විවිධාකාරයෙන් මතු වනු දැකිය හැකියි. බ්ලොග්කරුවෝ ගවේෂණාත්මකව දේශපාලන ප‍්‍රශ්න විග‍්‍රහ කරනවා. දේශපාලන චරිත හා පිළිවෙත් නිර්දය විවේචනයට හා උපහාසයට ලක් කරනවා. ජාතික පුවත්පත්වලින් බහුතරයක දේශපාලන තීරු ලිපිවල ඕපාදුප හා ආගිය කථා පමණක් පළවන අද දවසේ ඓතිහාසික හා ෙසෙද්ධාන්තික දැක්මක් සහිතව වඩාත් ප‍්‍රශස්ත දේශපාලන විග‍්‍රහයන් වැඩිපුර හමු වන්නේ සමහර වෙබ් අඩවිවල හා බ්ලොග් අඩවිවලයි. (ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත්වල මෙන්ම වෙබ් අවකාශයේත් හරසුන් දේ හමු වන නිසා බොල් වී වලින් හොඳ වී වෙන් කර ගන්නට පාඨකයන්ට ඩිජිටල් සාක්‍ෂරතාවය අවශ්‍යයි.)

මේ අතර සමාජ මාධ්‍ය හරහා කෙටි, ඉක්මන් දේශපාලන සංවාද හා රූප විශාල වශයෙන් බෙදා ගනු ලබනවා. කොයි දේශපාලන පක්‍ෂයේත් කෙරුවාවේ පරස්පර විරෝධී තැන් හා වංචනික කථා හමුවනවා. සමාජ මාධ්‍ය හරහා සමහර පුරවැසියන් කරන්නේ මේවා නිර්දය ලෙස හාස්‍යයට ලක් කිරීමයි. මෑතක් වන තුරු වෘත්තීය දේශපාලන කාටූන් ශිල්පීන් පමණක් කළ දේ අද දුසිම් ගණන පුරවැසි මාධ්‍යකරුවන් කරන්නේ මීම් (web memes) නමැති හාස්‍යජනක වෙබ් රූප බිහි කර සංසරණය කිරීමෙන්.

මෙරට ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට හරවත් දේශපාලන විග‍්‍රහයන් ලියන අතර බ්ලොග් ලියන පුරවැසි මාධ්‍යකරුවන් අතර ද පෙරමුණේ සිටින අජිත් පැරකුම් ජයසිංහ මීට දින කිහිපයකට පෙර කීවේ මෙයයි.

“විපක්ෂය වෙනුවෙන් හා ආණ්ඩුව වෙනුවෙන් ජනමත නිර්මානය කිරීම වෙනුවට ජනමාධ්‍ය විසින් නිර්මානය කරමින් තිබෙන්නේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට පනින දේශපාලකයන් පිළිබඳ කටකතා නිර්මානය කිරීමයි. මේ කටකතාවල උපත දකින්නට ලැබෙන්නේ ඕපාදූප වෙබ් අඩවිවලයි. එහෙත්, ඒවා ක්ෂණයකින් අන්තර්ජාලය පරිහරණය නො කරන ජනතාව වෙත ද ගමන් කරන ආකාරය විසින් පෙන්නුම් කරන කාරණයක් තිබේ. ඒ කුමක්ද?…මෙවර ජනාධිපතිවරණයේදී අන්තර්ජාලය හා සමාජ වෙබ් අඩවි විසින් කරනු ලබන බලපෑම 2010 අවුරුද්දට සමාන වන්නේ නැත. ගත වූ පස් වසර තුළ රටේ සිදු වී තිබෙන අන්තර්ජාල විනිවිදීම තුළ සමාජ මනස හැසිරවෙන ආකාරයේ දැවැන්ත විපර්යාසයක් වී තිබේ.” (http://ravaya.lk/?p=5169)

මේ අදහසට මා මුළුමනින්ම එකඟයි. පිලූණු වූ සංඛ්‍යා ලේඛන මත පදනම් වූ හණමිටි අදහස් කර පින්නා ගත් අපේ බොහෝ සරසවි ඇදුරන්ට හා වෙනත් මාධ්‍ය පර්යේෂකයන්ට ගෝචර නොවන යථාර්ථයක් අජිත් හසු කර ගෙන තිබෙනවා.

2015 ජනාධිපතිවරණය මෙරට මැතිවරණ ඉතිහාසයේ සමාජ මාධ්‍ය ලකුණ හොඳහැටි සනිටුහන් කරන අවස්ථාව වේද? එය දැන්ම හරිහැටි කිව නොහැකි වුවත් ප‍්‍රධාන දෙපිළම නව මාධ්‍ය හරහා ඡුන්දදායකයන්ට සමීප වීමට සැළකිය යුතු තරම් අවධානයක් යොමු කරන බව නම් පෙනෙනවා.

Social Media and Elections in Asia-Pacific - The Growing Power of the Youth Vote - book coverසිංගප්පූරුව කේන්‍ද්‍ර කර ගත් කොන්රඞ් ඇඩිනෝවර් පදනමේ ආසියා කලාපීය කාර්යාලය (Konrad Adenauer Stiftung’s Media Programme Asia) සමාජ මාධ්‍ය හා ආසියාවේ මැතිවරණ ගැන පර්යේෂණාත්මක ග‍්‍රන්ථයක් 2013 නොවැම්බරයේ නිකුත් කළා. Social Media and Elections in Asia-Pacific – The Growing Power of the Youth Vote නම් වූ එහි අපේ කලාපයේ රටවල් 11ක් ගැන එම රටවල නිවැසි පර්යේෂකයන් විසින් ලියන ලද පරිච්ෙඡ්ද එහි ඇතුළත්.

මේ හැම පරිච්ෙඡ්දයක්ම විපරම් කරන්නේ වෙබ්ගත සමාජ මාධ්‍ය වඩාත් ප‍්‍රචලිත වීමත් සමග විශේෂයෙන් තරුණ පරපුර දේශපාලන ක‍්‍රියාදාමයට හා මැතිවරණවලට එම මාධ්‍යය යොදා ගන්නේ කෙලෙස ද යන්නයි. සමස්ත ග‍්‍රන්ථයම නොමිළේ මේ වෙබ් අඩවිය හරහා කියවිය හැකියි. http://www.kas.de/medien-asien/en/publications/35939/

එම පොතට පෙරවදනක් ලියමින් සම කතුවරුන් වූ ඇලිස්ටෙයා කාර්තෝ සහ සයිමන් වින්කල්මාන් මෙසේ කියනවා. “නව සන්නිවේදන තාක්‍ෂණයන් සමාජගත වීමත් සමග ලොව ඇතැම් රටවල අරාබි වසන්තය නමින් දැන් පොදුවේ හඳුන්වන ජන උද්ඝෝෂණ සිදු වුවත් එබන්දක් ආසියාවේ අප දුටුවේ නැහැ. එසේ අන්තයකට නොගියත්, ආසියාවේ බොහෝ රටවල තත්කාලීන දේශපාලන ප‍්‍රවාහයන්ට සෙමෙන් නමුත් වැදගත් බලපෑමක් කරන්නත්, විශේෂයෙන් මැතිවරණ අවස්ථාවලදී එයට තරුණ ඡන්දදායක සහභාගීත්වය පුළුල් කරන්නත් සමාජමාධ්‍යවල ව්‍යාප්තිය උපකාර වන බව පැහැදිලියි. මෙය අරාබි වසන්තයන් මෙන් විප්ලවකාරී වනවා වෙනුවට වඩාත් සියුම් හා ගැඹුරු අන්දමින් ආසියානු සමාජයන්හි දේශපාලන කටයුතුවල ක‍්‍රමීය වෙනසක් ඇති කිරීමට මුල පුරා තිබෙනවා. සමහරුන් තවම හරිහැටි තේරුම් ගෙන නැති වුවත් මේ වෙනස්කම් දිගු කාලීන සමාජ පරිනාමයක මුල් අවස්ථාවයි.

මේ පොතට ශ‍්‍රී ලංකාව ගැන පරිච්ෙඡ්දයක් ලිවීමේ ඇරැයුම ලැබුණු විට මා එයට මගේ මිතුරු චානුක වත්තේගම ද හවුල් කර ගත්තා. අප ආයතනගත පර්යේෂකයන් නොවුවත් නව මාධ්‍ය හා ලක් සමාජය ගැන 1990 දශකය මුල සිටම විමසිල්ලෙන් සිටින හා නිතර ඒ ගැන විග‍්‍රහයන් කරන අප දෙදෙනා සමාජ මාධ්‍යවල මෙරට භූමිකාව අධ්‍යයනය කරන්නේ විවෘත මනසකින්.

සමාජ මාධ්‍යවල නැගී ඒම මෑත කාලීන ප‍්‍රවණතාවක් නිසා අප විග‍්‍රහයට තෝරා ගත්තේ 2011 ඔක්තෝබරයේ පැවති පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගර සභා මැතිවරණයයි. (පර්යේෂණාත්මකව එසේ එක් පැහැදිලි උදාහරණයක් තෝරා ගැනීම අවශ්‍යයි.)

කොළඹ නාගරික ප‍්‍රදේශයේ එවකට සිටි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව 393,085යි. මෙරට වාණිජ අගනගරය ලෙස කොළඹට තවමත් ප‍්‍රබල භූමිකාවක් සතුව ඇති බැවින් එහි නගර සභා මැතිවරණය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවධානයට ලක් වූවා.

රටේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් මිලින්ද මොරගොඩ නගරාධිපති අපේක්ෂක වූ අතර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ජේ එම් මුසම්මිල් මැතිවරණ කටයුතු කළා.

මේ දෙපිරිසම වෙබ් අඩවි, ෆේස්බුක් ගිනුම් හා ට්විටර් ගිනුම් මේ සඳහාම අරඹා භාවිතා කළා. මොරගොඩ වෙනුවෙන් මෙරට කැපී පෙනෙන බ්ලොග්කරුවකු වන ඉන්ද්‍රජිත් (ඉන්දි) සමරජීව මාධ්‍ය කළමණාකරු වීම හරහා නව මාධ්‍ය භාවිතයේ මින් පෙර මෙරට කිසිදු මැතිවරණයකදී නොකළ තරම් ඉදිරි පියවර තබනු ලැබුවා.

දෙපාර්ශවයේම නව මාධ්‍ය භාවිතය අප විචාරය කළ අතර පක්‍ෂ දේශපාලනයට සෘජුව සම්බන්ධ නොවූ එහෙත් යහපාලනය හා ප‍්‍රතිපත්තිමය දේශපාලනය ගැන උනන්දු වන ලාංකිකයන් පිරිසක් ද මැතිවරණයට පෙර සති කිහිපය තුළ සමාජ මාධ්‍ය හරහා මේ කැම්පේන් දෙක සමග පොදු අවකාශයේ සන්නිවේදනය කළ සැටි අපේ අධ්‍යයනයේ විශේෂ අවධානයට ලක් කළා.

සමාජ මාධ්‍යවල සුවිශේෂී ගුණයක් නම් අරමුදල් හෝ පිරිස් බලය හෝ සංවිධාන ශක්තිය හෝ නැති එහෙත් කැපවීම හා කාලය තිබෙන තනි පුද්ගලයන්ට ද දේශපාලන පක්‍ෂ හා චරිත සෘජුව විචාරයට ලක් කළ හැකි වීමයි. බඩගෝස්තරවාදී හා අශීලාචාර දේශපාලනය නිසා කලකිරීමෙන් සමස්ත දේශපාලන ක්‍ෂෙත‍්‍රයෙන් ඈත් වී සිටින තරුණ තරුණියන් අතරින් ටික දෙනකු හෝ මෙසේ නව මාධ්‍ය හරහා යළි සක‍්‍රීය වීම හිතකර ප‍්‍රවණතාවක් ලෙස චානුක හා මා දකිනවා.

මෙරට මැතිවරණ කැම්පේන්වල සමාජ මාධ්‍ය භාවිතය සිදු වන්නේ දේශපාලන රැළි, ගෙයින් ගෙට යාම, ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදීම, මුදල් ගෙවා මාධ්‍ය හරහා දැන්වීම පළ කිරීම ආදියට සමාන්තරවයි. මේ නිසා සමාජ මාධ්‍ය නිසාම මැතිවරණ ප‍්‍රතිඵලයක වෙනසක් සිදු වේ යයි එක එල්ලේ කීම අපහසුයි.

අවසාන විනිශ්චයේදී 2011 කොළඹ නගර සභා මැතිවරණ ප‍්‍රතිඵලයට සමාජ මාධ්‍ය කෙතරම් දායක වූවා ද යන්න පැහැදිලි නැහැ. එසේම එයට වැඩි බරක් තබා කැම්පේන් කළ මොරගොඩ පාර්ශවය පරාජයට පත් වූවා. එම පරාජයට දායක වූ වෙනත් හේතු තිබුණා.

අපේ විග‍්‍රහය අවසානයේදී අප කීවේ මෙයයි. “දේශපාලන පක්‍ෂ කේන්‍ද්‍රීය වූ කැම්පේන්වලට පමණක් සීමා නොවී ඩිජිටල් තාක්‍ෂණය හසුරු වන පුරවැසියන් පිරිසක් ද මැතිවරණ සන්නිවේදන අවකාශයට පිවිසීම හා ඔවුන් වෘත්තීය දේශපාලකයන් හැමගෙන් ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්න කිරීම මේ නගර සභා මැතිවරණයේ කැපී පෙනුණා. මේ ප‍්‍රවණතාව ඉදිරියට ජාතික මට්ටමේ මැතිවරණවලදීත් දිගටම සිදු වේද යන්න අප සමීපව නිරික්‍ෂණය කළ යුතුයි.” (http://goo.gl/a8ByOs)

සයිබර් අවකාශයේ වෙනස්වීම් සිදු වන්නේ අධිවේගී ලෙසින්. මේ නිසා කොළඹ නගර සභා මැතිවරණයෙන් පසු ගෙවී ගිය තෙවසර තුළ මෙරට ඉන්ටර්නෙට් පුළුල්වී තිබෙනවා. මේ නිසා 2015 ජනාධිපතිවරණයේදී මීට පෙර පැවති ජාතික මට්ටමේ මැතිවරණවලට (2010 ජනාධිපතිවරණය හා 2010 මහ මැතිවරණයට) වඩා නව මාධ්‍ය සාධකය අදාල වනු ඇති බව පැහැදිලියි.

එය අවසන් ප‍්‍රතිඵලවලට තීරණාත්මක බලපෑමක් එල්ල කිරිම ගැන කල් තබා කිව නොහැකි වුවත්, දේශපාලන සංවාද හා යහපාලන විවාදය වඩාත් සමාජගත කිරිමට මේ මාධ්‍යවලින් ද වැඩි දායකත්වයක් මෙවර සැපයෙන බව නම් දැනටම පැහැදිලියි.

ගෙවී යන 2014 වසර තුළ අපේ කලාපයේ (ජනගහනය අතින්) විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය දෙක දැවැන්ත මැතිවරණ අත්දැකීම් ලැබුවා. එනම් ඉන්දීය මහ මැතිවරණය හා ඉන්දුනීසියානු ජනාධිපතිවරණයයි. මේ දෙකෙහිදී නව මාධ්‍ය හා ඩිජිටල් තාක්‍ෂණය යොදා ගැනුනු ආකාරය විපරම් කිරිම වටිනවා.

Can social media influence the way people vote

ඉන්දියාවේ ඉන්ටර්නෙට් භාවිත කරන ජන සංඛ්‍යාව මිලියන් 243ක් පමණ වනවා. එය ජනගහනයෙ ප‍්‍රතිශතයක් ලෙස 19.2%‍ වුවත් එරට සමාජයට ප‍්‍රබල බලපෑමක් කිරීමට හැකි වී තිබෙනවා. මෙයට හේතුව හුදෙක් ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් ප‍්‍රවේශය ප‍්‍රචලිත වීම පමණක් නොවෙයි. එරට ජන සංයුතියට අනුව ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 26යි. ඒ කියන්නේ සමස්ත ඉන්දීය ජනගහනය වන මිලියන් 1,267න් බාගයක්ම (මිලියන් 634ක්) වයස 26 හෝ ඊට අඩුයි. මෙතරම් විශාල ළමා හා තරුණ ජනගහනක් මේ වන විට ලොව වෙන කිසිදු රටක නැහැ. (චීනයේ ජනගහනයේ මධ්‍යන්‍ය අගය අවුරුදු 35.2යි.)

2014 අපේ‍්‍රල්-මැයි කාලයේ සති කිහිපයක් පුරා අදියර ගණනාවකින් පැවැත් වූ ඉන්දියානු මහ මැතිවරණය ලෝකයේ වැඩිම ජන සංඛ්‍යාවක් සහභාගී වූ විශාලතම මැතිවරණයයි.

මෙවර ඡන්ද වරම හිමි ලියාපදිංචි ඡන්ද දායක සංඛ්‍යාව මිලියන 814.5ක් වුණා. ඡන්දය දීමේ අවම වයස 18 පසු කළ මිලියන් 150ක් පමණ තරුණ තරුණියෝ ද ඒ අතර සිටියා. කොතැනක සිටියත් මේ අයගෙන් බහුතරයක් දෙනා අඩු තරමින් ජංගම දුරකථනයක් හිමි, බොහෝ විට වෙබ්ගත සමාජ මාධ්‍යවලට සම්බන්ධ වූවන්.

ජයග‍්‍රාහක BJP පක්‍ෂයේ මාධ්‍ය උපදේශකයකු වූ විකාස් පාණ්ඬේ කියන්නේ එරට නාගරික ප‍්‍රදේශවලින් ඔබ්බට ගොස් අර්ධ නාගරික හා සමහර විට ග‍්‍රාමීය ප‍්‍රදේශවල පවා ඡන්ද දායකයන්ට සමීප වීමට සමාජ මාධ්‍ය තමන්ට උපකාර වූ බවයි. එහිදී හැම කෙනෙකුටම ඉන්ටර්නෙට් සබඳතාවක් තිබීම කිසිසේත් අවශ්‍ය නොවූ අතර සිය ගණනක් සිටින ප‍්‍රජාවක එක් අයෙකුට (බොහෝ විට ජංගම දුරකථන නිසා) එම හැකියාව තිබීම හරහා බොහෝ තොරතුරු හා අදහස් ඔවුන් සියල්ල වෙත ගලා ගිය බව ඔහු කියනවා.

නිල මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව භාරතීය ජනතා පක්‍ෂය (BJP) ලැබූ සමස්ත ඡන්ද සංඛ්‍යාව 171,660,230යි (31.34%). දස වසක් බලයේ සිටි කොංග‍්‍රස් පක්‍ෂය ඡන්ද 106,935,942යි (19.52%). මෑතදී පිහිටුවා ගත් ආම් ආද්මි හෙවත් පොදු මිනිසාගේ පක්‍ෂය (AAP) රට පුරාම ලැබුවේ ඡුන්ද 11,325,625යි. එනම් 2%ක් පමණ.

Indian Election and Social Media

සමාජ මාධ්‍යවල ජනප‍්‍රිය බව (අනුගාමික සංඛ්‍යාව වැඩි වීම) කෙනෙකු ලබන ඡන්දවලට සෘජුව නොවූවත් අනියම් ලෙසින් ඉඟියක් ලද හැකි යයි සමහර ඉන්දීය මාධ්‍ය පර්යේෂකයෝ කියනවා. 2014 අපේ‍්‍රල් 19 – මැයි 18 කාලය තුළ සමාජ මාධ්‍ය තුළ ප‍්‍රධාන පෙළේ දේශපාලන පක්‍ෂ හා අපේක්‍ෂකයන් වටා සිදු වූ අන්තර්ක‍්‍රියා හා ඩිජිටල් සංවාද සංඛ්‍යාව ඔවුන් සමීපව අධ්‍යයනය කොට තිබෙනවා.

මැතිවරණයට සති ගණනකට පෙර කාලය පුරා සමාජ මාධ්‍ය ප‍්‍රවණතා අතින් AAP පක්‍ෂය ඉදිරියෙන් සිටියා. ඔවුන්ට තොරතුරු තාක්‍ෂණ හැකියාව ඇති දෙස් විදෙස් ඉන්දියානුවන් රැසකගේ ස්වේච්ඡා සහාය ලැබුණා. ලෝකයේ ලොකුම පරිගණක හා වෙබ් සමාගම්වල වෘත්තීය අත්දැකීම් ඇති මොවුන් සයිබර් අවකාශයේ චිත්තාකර්ෂනීය කැම්පේන් එකක් සාර්ථකව ගෙන ගියා.

ඉන්දියාවේ පැරණිතම හා නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කළ කොංග‍්‍රස් පක්‍ෂය සමාජ මාධ්‍ය එතරම් ගණන් නොගත් බවත්, ඔවුන් එය භාවිත කිරිම තීව‍්‍ර කළේ අවසාන සති කිහිපයේ පමණක් බවත් නායර් කියනවා. සමාජ මාධ්‍ය තුළ මැතිවරණ කාලයට පමණක් සක‍්‍රීය වීම කොහෙත්ම සෑහෙන්නේ නැහැ. මේ නිසා සම්පත් හා පිරිස් බලය කෙතරම් තිබුණත් කොංග‍්‍රස් පක්‍ෂයේ වෙබ් හා සමාජ මාධ්‍ය භාවිතය අතිශයින් අසාර්ථක වුවා.

එහිදී වඩා වැදගත් වන්නේ හුදෙක් අනුගාමික සංඛ්‍යාව වැඩි වීම නොව සිදුවන සංවාද හා අන්තර්ක‍්‍රියා (social media interactions) සංඛ්‍යාව බව දැන් පිළිගැනෙනවා. මේ කාලය තුල මෝදි වටා සිදු වු සමාජ මාධ්‍ය සංවාද ගණන ලක්‍ෂ 15ක් වූ අතර AAP පක්‍ෂ නායක අර්වින්ද් කෙජ්රිවාල් වටා සංවාද ලක්‍ෂයක් පමණ ද කොංග‍්‍රස්හි ප‍්‍රකට නායකයකු වන දිග්විජය සිං වටා සංවාද 19,500ක් පමණ ද සිදු වුණා.

AAP පක්‍ෂයේ සයිබර් සංවාද ක‍්‍රමෝපායන් මුල් සති කිහිපයේ හොඳින් අධ්‍යයනය කළ BJP ඡන්ද ව්‍යාපාර හසුරුවන්නෝ ඒවායෙන් වඩාත්ම සාර්ථක ක‍්‍රම තම පක්‍ෂයේ හා අගමැති අපේක්‍ෂකයාගේ සයිබර් ප‍්‍රතිරූපය ප‍්‍රවර්ධනය කරන්නට අවසන් සති කිහිපය තුළ යොදා ගත්තා. මෙසේ සාර්ථක උපක‍්‍රම අනුකරණය කිරීම නීති විරෝධී නැහැ.

මේ ගැන විග‍්‍රහ කරන ජෙමිනි 8 නම් දත්ත විශ්ලේෂණ සමාගමේ අධිපති ආචාර්ය රංජිත් නායර් කියන්නේ සමාජ මාධ්‍ය හරහා ඉන්දියානු ජන සමාජයට ආකර්ශනීය ලෙස සමීප වීමට AAP පාක්‍ෂිකයෝ කථා කළත් තමන් බලයට ආවොත් රටේ ආර්ථික හා සමාජයීය ප‍්‍රශ්න විසඳීමට කුමක් කරනවාද යන්න නිරවුල්ව කීමට ඔවුන් අසමත් වූ බවයි.

“ඡන්ද කාලයකට සාමාන්‍ය මිනිසුන් හුදෙක් බුද්ධිගෝචර විග‍්‍රහයන් පමණක් නොව තම බලාපොරොත්තු හා සිහින කුල්මත් කිරීමක් ද සොයනවා. BJP සමාජ මාධ්‍ය හරහා හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය හරහා මෙය ලබා දීමට ක‍්‍රියා කළා.’’

ඉන්දුනීසියානු අත්දැකීම ලබන සතියේ

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

In this week’s Ravaya column (in Sinhala), published on 30 November 2014, I continue the story of a group of divers accidentally discovering a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, along with collaborators Arthur C Clarke, Rodney Jonklaas and Hector Ekanayake.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

Treasure of the Great Reef, by Arthur C Clarke, 1964
Treasure of the Great Reef, by Arthur C Clarke, 1964

ශ‍්‍රී ලංකා දුපතට ගිණිකොන දෙසින් කිලෝමීටර් 10 ක් පමණ ඔබ්බෙන් පිහිටි මහා රාවණා කොටුව නම් ගල්පරය අවට මුහුදුබත් වී බිඳී ගිය නැවක් 1961 මාර්තුවේදී සොයා ගත් කථාවේ මුල් කොටස අප 2014 නොවැම්බර් 16 වනදා ඉදිරිපත් කළා.

මෙරට පුරෝගාමී කිමිදුම් හා සාගර ගවේෂකයන් අතර වූ රොඞ්නි ජොන්ක්ලස්, හෙක්ටර් ඒකනායක, මයික් විල්සන් හා ආතර් සී ක්ලාක් සම්බන්ධ වූ මේ ගවේෂණය මෙරට මුහුදු පුරාවිද්‍යාවේ ද ආරම්භයයි. අද එහි ඉතිරි කොටස.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි රිදී කාසි දහස් ගණණක් හමු වුණා. මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් විල්සන්, ක්ලාක් හා කිමිදුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

මුහුදුබත් වූ නැවක් කාලයාගේ ඇවෑමෙන් හඳුනාගත නොහැකි තත්ත්වයට පත්වනවා. කඩදාසි, රෙදි හා ලෝහවලින් තැනූ දේ දිරාපත්ව යනවා. මේ නිසා එබන්දක නිශ්චිත අනන්‍යතාවය නිර්ණය කිරීම අසීරු කාරියක්. කාසි සමීපව නිරික්සීමේදී පෙනී ගියේ ඒවා එකම අච්චුවේ බවයි. හැම එකකම සළකුණු හතරක් තිබුණා.

පසුව හඳුනාගනු ලැබුවේ ඒවා අරාබි ඉලක්කම් වලින් 1113 සංකේතවත් කරන බවයි. මේ කාසි නිපද වූ වර්ෂයද? අරාබි කැලැන්ඩරයේ වසර ගණන් කිරීම ඇරඹෙන්නේ ක‍්‍රි. ව. 622න්. එසේම අරාබි වර්ෂ හා සම්මත වර්ෂ අතර යම් වෙනසක් ද තිබෙනවා. මේ සියළු සාධක සැළකිල්ලට ගෙන ගණන් බැලූ විට 1113 යනු සම්මත (කි‍්‍රස්තු) වර්ෂ 1702 බව පෙනී ගියා.

Aurangzeb seated on the Peacock Throne
Aurangzeb seated on the Peacock Throne

කාසි ඉතිහාසඥයන් කීවේ මෙබඳු කාසි තැනීම කෙරුණේ 1658-1707 වකවානුවේ ඉන්දියාවේ සුරත් නගරයේදී බවයි. ඒ භාරතයේ වැඩි ප‍්‍රදේශයක පාලකයා වූ ඔරංසෙබ් (Aurangzeb) නම් මෝගල් අධිරාජයාගේ කාලයේ.

ඔරංසෙබ් අධිරාජයා වසර 49ක් සිහසුනේ සිටියා. ඔහු මෝගල් රාජ වංශිකයන් අතර නමක් ගත් අවසාන අධිරාජයායි. ඔහුගේ පියා ෂා ජහාන් ඉතිහාසගත වූයේ අඩු වයසින් මියය ගිය මුම්ටාස් මහාල් දේවිය වෙනුවෙන් ටාජ් මහලය ඉදිකිරීම නිසායි. මුම්ටාස් මහාල් ඔරංසෙබ්ගේ මවයි.

දැඩි ඉස්ලාමීය පාලනයක් සමස්ත භාරත ජනයා මත බලෙන් පැටවූ ඔරංසෙබ්ගේ මරණයෙන් පසු ජන විරෝධයන් මතු වී මෝගල් අධිරාජ්‍යය ඉක්මනින් බිඳ වැටුණා. කුඩා ප‍්‍රාන්ත රාජ්‍ය ලෙස බෙදී ඇණ කොටා ගත් භාරතය ආක‍්‍රමණය කොට අන්තිමේදී යටත් කර ගැනීමට බටහිර ජාතීන්ට වඩාත් පහසු වුණා.

ඔරංසෙබ්ගේ පාලන කාලයේ නැගෙනහිර ඉන්දීය සමාගම යටතේ බි‍්‍රතාන්‍ය වෙළඳුන් ඉන්දියාවේ ගනුදෙනු කරමින් සිටියා. භාරතය හා යුරෝපීය රාජ්‍ය අතර ජාත්‍යන්තර වෙළඳාම කලෙක සිට කෙරුණු අතර ඒ වන විට ඉන්දියානු සාගරයේ ආධිපත්‍යයට ලන්දේසි හා ඉංග‍්‍රීසි ජාතිකයෝ තරග කරමින් සිටියා.

1702 වන විට ලංකාවේ වෙරළබඩ ප‍්‍රදේශ පාලනය කළේ ලන්දේසින්. ඔවුන්ට සම්බන්ධ වූ ඕලන්ද ඉන්දියා සමාගමක් ද තිබුණා. ඉන්දියාව හා ලංකාව අතර මේ කාලය වන විට නාවුක සබඳතා පැවතියේ ලන්දේසින් හරහායි.

මහා රාවණා කොරල්පරයේ මුහුදුබත් වූ නැව, ලංකාවට ආ ගිය නැවක් ද? නැතහොත් දුපත වටා යාත‍්‍රා කරමින් ඉන්දියාවේ සිට පැමිණි හෝ නික්ම ගිය නැවක්ද? මේ ප‍්‍රශ්නය අපේ සාගර ගවේෂකයෝ මතු කළා.

තමන් මුහුදුපත්ලෙන් සොයා ගත් වස්තුන්ගේ ඉතිහාසය ගවේෂණය කරන අතර රටේ නීතියට අනුකූල වන්නට ද ඔවුන් වග බලා ගත්තා. ලංකා රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකුට කාසි හා අන් වස්තූන් පෙන්වූ විට ඔහු කීවේ මේවා මුහුදෙන් රට තුළට ගෙන ඒම හරහා කිසිදු නීතියක් හෝ රෙකුලාසියක් කඩ වී නැති බවයි.

Dr Charles E Godakumbura
Dr Charles E Godakumbura

ඊලඟට ක්ලාක් හා මිතුරෝ එවකට සිටි පුරාවිද්‍යා කොමාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරට සියළු දේ ඉදිරිපත් කළා. මේවා සොයා ගත් මුහුදුපත්ලේ ප‍්‍රදේශය තව දුරටත් ගවේෂණයට අවශ්‍ය අවසරය කොමාරිස්වරයා ඔවුන්ට ලිඛිත බලපත‍්‍රයක් ලෙස ලබා දුන්නා. ‘‘හැම දෙයක්ම පොතේ හැටියට කිරීමටත්, බලධාරින් දැනුවත් කර තිබීමටත් අපට අවශ්‍ය වුණා’’ යයි ක්ලාක් තම පොත්වල පැහැදිලිව ලියා තිබෙනවා.

වඩාත් සංවිධානාත්මක කිමිදුම් ගවේෂණයකට මහා රාවණා කොරල්පරයට ආපසු යන්නට මේ මිතුරු පිරිසට තමන්ගේම බෝට්ටුවක ඕනෑකම තදින් දැනුණා. (මේ දක්වා ඔවුන් කළේ කුලියට ගත් කුඩා බෝට්ටුවක හෝ ප‍්‍රදීපාගාරයක බෝට්ටුවේ ගමන් කිරීමයි.) ඒ සඳහා ගැලපෙන බෝට්ටුවකට අඩු තරමින් අමෙරිකානු ඩොලර් දස දහසක් (10,000)වත් අවශ්‍ය වුණා. මේ මුදල හම්බකර ගැනීමේ අරමුණින් සිංහල වෘතාන්ත චිත‍්‍රපටයක් නිපදවීමට මයිකල් විල්සන් යෝජනා කළා.

දිය යට දර්ශන රැගත් මුල්ම ලාංකික වෘතාන්ත චිත‍්‍රපටය වූත්, වර්ණයෙන් මුළුමනින්ම තැනුනු පළමුවන සිංහල චිත‍්‍රපටය වූත් ‘‘රන්මුතුදුව’’ චිත‍්‍රපටය 1961-62 වකවානුවේ නිපදවනු ලැබුවේ ඒ අනුවයි. එහි කථා රචකයා, කැමරාකරුවා හා අධ්‍යක්‍ෂවරයා වූයේ මයික් විල්සන්. එයට වැය වූ වියදමෙන් කොටසක් දුන්නේ ක්ලාක්.

1962 අගෝස්තුවේ මුල් වරට මහජන ප‍්‍රදර්ශනය ඇරඹුණු රන්මුතුදුව බෙහෙවින් ජනප‍්‍රිය වුණා. එහි ආදායම් වාර්තාව වසර ගණනාවක් යන තුරු කිසිදු චිත‍්‍රපටයක් මගින් සම කෙරුණේ නැහැ. මේ ආයෝජනයෙන් ලැබුණු ලාබය නිසා තමන්ට ඕනෑ වූ බෝට්ටුව මිලට ගන්නත්, 1963දී මහා රාවණා කොරල්පරයට ආපසු යන්නත් මිතුරන්ට හැකි වුණා.

Peter Throckmorton
Peter Throckmorton

මෙවර ගවේෂණයට ඔවුන් හා එකතු වූයේ මුහුදුබත් වූ නෞකා ගවේෂණයේ විශේෂඥයකු වූ පීටර් ත්‍රොක්මෝට්න් (Peter Throckmorton, 1928-1990) තුර්කි වෙරළේ ගෙලිඩොන්යා ස්ථානයට ඔබ්බෙන් වසර 3,200කට පෙර මුහුදුබත් වූ ඉපැරණී නෞකාවක් ගවේෂණය කිරීම නිසා ඔහු ලෝක ප‍්‍රකටව සිටියා.

ඔහු විශේෂඥ මග පෙන්වීම යටතේ මෙවර මුහුදුබත් වූ නැවේ ඉතිරිව තිබූ ලී කොටස්වලින් සාම්පල් ද තවත් නටඹුන් ද ප‍්‍රවේශමින් එකතු කරනු ලැබුවා. කොරල් බැඳීම නිසා කුට්ටි බවට පත්ව තිබූ තවත් රිදී කාසි රැසක් ද හමු වුණා.

සියවස් ගණනක් මුහුද යට තිබී යළිත් මතු පිටට ගෙනෙන ලෝහමය, ලී හා වෙනත් ද්‍රව්‍ය නිසි ලෙස වහා සංරක්‍ෂණය කළ යුතුයි. නැතිනම් වාතයට නිරාවරණය වීම නිසා ඒවා ඉක්මනින් ඛාදනය වී විනාශ වනවා. මේ නිසි පියවර ගැනීමට ත්‍රොක්මෝට්න් සමත් වුණා.

Dr P E P Deraniyagala
Dr P E P Deraniyagala

එසේම සොයා ගත් සියළු වස්තුන් විස්තරාත්මකව ලයිස්තුගත කිරීම හා ඡායාරූපගත කිරීමත්, පසුව සමස්ත ගවේෂණය ගැන ශාස්ත‍්‍රීය මට්ටමේ වාර්තාවක් ලිවීමත් ත්‍රොක්මෝට්න්ගේ මූලිකත්වයෙන් සිදු වුණා.

ත්‍රොක්මෝට්න් ලංකාවෙන් පිටත්ව යන්නට පෙර කිමිදුම් කණ්ඩායම තම සොයා ගැනීම් සමග ජාතික කෞතුකාගාරයේ එවකට අධ්‍යක්‍ෂ ආචාර්ය පී. ඊ. පී. දැරණියගල හා පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර මුණ ගැසී වාචික වාර්තාවක් ද ඉදිරිපත් කළා.

‘‘අපේ අපේක්‍ෂාව මේ සොයා ගත් සමුද්‍ර පුරාවස්තු යම් දිනෙක කොළඹ කෞතුකාගාරයේ සදාකාලික ප‍්‍රදර්ශනයට තබනු ඇත කියායි. මුළු ඉන්දියානු සාගරයේම සොයා ගත් මුල්ම නිධාන නෞකාව ලෙස මෙය සුවිශේෂී තැනක් ගන්නවා’’ යයි ක්ලාක් සිය 1964 පොතේ ලියා තැබුවා.

1963 රන්මුතු බෝට්ටුවේ නැගී මහා රාවණා කොරල්පරය අවට මුහුද ගවේෂණය කළ පසු මේ පුරෝගාමී කිමිදුම්කරුවන් කණ්ඩායමක් ලෙස නැවත එහි ගියේ නැහැ. මේ ගවේෂණයේ විස්තර රැගත් ක්ලාක්ගේ The Treasure of the Great Reef නම් වූ පොත 1964දී මුල්වරටත් (වැඩි ඡායාරූප සමග) 1974දී දෙවන වරටත් ඉංග‍්‍රීසියෙන් පළ වුණා.

මහා රාවණා කොරල්පරයේ මුහුදු බත් වූ නැව හමුවන අන්දම ගැන පීටර් ත්‍රොක්මෝටන් විසින් අඳින ලද සිතියම් ද එහි තිබෙනවා. මේ ඉඟි ඔස්සේ පසු කළෙක එහි කිමිදීමේ ගිය දෙස් විදෙස් කිමිදුම්කරුවෝ හැකි අන්දමින් රිදී කාසි හා වෙනත් නැවේ තිබූ කුඩා භාණ්ඩ සොයා ගොඩබිමට ගෙන ආවා.

එසේ හමු වූ සමහර රිදී කාසි තවමත් පැරණි කාසි එකතු කරන අය අතර හුවමාරු වනවා. ශ‍්‍රී ලංකා පැරණි කාසි සංගමයේ සභාපති ආචාර්ය කාවන් රත්නතුංග ද විවෘත වෙළඳපොලෙන් මෙබඳු කාසි කිහිපයක් මිලට ගෙන තිබෙනවා. කාසි ගැන ඡායාරූප හා විස්තර ඔහුගේ වෙබ් අඩවියේ බලා ගත හැකියි. http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

සුරත් නගරයේ තැනූ රිදී කාසි ගැන ඉන්දියානු වාර්තා අධ්‍යයනයෙන් කාවන් කියන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැවේ ගෙන ගිය කාසි 1702 මැයි මාසයේ පමණ තනන්නට ඇති බවයි. එසේ නම් ඒවා තනා සති කිහිපයක් තුළ යම් තැනකට යැවීමට නැව් ගත කරන්නට ඇති. නැව අනතුරට පත්ව ගිලූණේ 1702 වසරේම මැද හෝ අග යයි කාවන් අනුමාන කරනවා.

ශ‍්‍රී ලංකාවේ මුහුදු පුරා විද්‍යා ගවේෂණ ඇරැඹෙන්නේ මහා රාවණා පරයේ මුහුදුබත් වූ නැව ක්ලාක්, විල්සන් ඇතුළු කිමිදුම්කරුවන් සොයා ගැනීම සමගයි. මෙය තනිකරම පෞද්ගලික මට්ටමේ උත්සාහයක් වුවත් විශේෂඥ පීටර් ත්‍රොක්මෝටන් සම්බන්ධ කර ගැනීම හරහා ශාස්ත‍්‍රීය මට්ටමෙන් අදාල ස්ථානය සිතියම්ගත කිරීම හා ලේඛණගත කිරීම සිදු වුණා. මේ පුරෝගාමී මෙහෙවර මෙරට මුහුදු පුරා විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ දැන් නියැලී සිටින පර්යේෂකයන් සිහිපත් කරනවා. අදාල රාජ්‍ය ආයතනවල නිල වෙබ් අඩවිවල ද සඳහන් කැරෙනවා.

බිඳුණු නැව සොයා ගෙන අඩ සියවසකට පසුවත් එහි අනන්‍යතාවය තවමත් හෙළිදරව් වී නැහැ. ඉන්දියානු සාගරයේ එම වකවානුවේ සැළකිය යුතු තරමින් නැව් ගමනාගමනයක් පැවතුණා. එසේම ශ‍්‍රී ලංකා දුපත වටා අනතුරට පත්ව මුහුදුබත් වූ නැව් විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ හැම එකක්ම මුහුදුපත්ලේ තිබෙන තැන සොයාගෙන ඒවායේ ඉතිහාසය තහවුරු කර ගෙන ද නැහැ. තවමත් දශක දෙක තුනකට නොවැඩි වූ ඉතිහාසයක් ඇති අපේ මුහුදු පුරාවිද්‍යා ගවේෂණවලට අනාවරණය කර ගන්නට බොහෝ දේ තිබෙනවා.

මේ මුහුදුබත්වූ නැව සොයා ගත්තේ තනිකරම මයික්ගේ තීක්‍ෂණ ඇස නිසා බව ක්ලාක් කියනවා. ‘‘දිය යට පෙනුම කොහොමටත් සීමිතයි. දිලිසෙන යමක් නෙත ගැටුණු මයික්ගේ කුතුහලය ඇවිස්සුණා. එය නොගැඹුරු මුහුදු පත්ලේ කුඩා කාලතුවක්කුවක් බව දුටු විට එතැන නැවක් ගිලී ඇති බව ඔහු සැනෙකින් වටහා ගත්තා. වැලි හා කොරල් වලින් වැසුණු ගොඩැලි කිහිපයක් පමණක් තිබූ මෙබඳු තැනක් කිමිදුම්කරුවන්ගෙන් සියයට 99ක අවධානයට ලක් වන්නේ නැහැ.’’

Coins from the Great Basses shipwreck
Coins from the Great Basses shipwreck

සමස්ත අත්දැකීම පසු කලෙක ආවර්ජනය කරමින් ක්ලාක් මෙසේ ලියුවා. ‘‘මුහුදේ කිමිදෙන බොහෝ දෙනකුට මුහුදුබත් වූ නැවක් හමුවේය යන පැතුම තිබෙනවා. ඉඳහිට කිමිදුම්කරුවකුට මෙතෙක් සොයා නොගත් එබඳු බිඳුණු නැවක් හමු වුවත් එබන්දක රන් රිදී කාසි තිබෙන්නේ කලාතුරකින්. මෙබඳු දුර්ලභ අත්දැකීමක් අපට අහම්බෙන් ලැබුණා.’’

මේ බිඳුණු නැවෙන් ගොඩගත් එක් රීදී කාසි ගොනුවක් මෙරට බලධාරින්ගෙ අනුදැනුම හා අවසරය ඇතිව 1960 ගණන්වලදී ක්ලාක් විසින් අමෙරිකානු ස්මිත්සෝනියන් කෞතුකාගරයට පරිත්‍යාග කරනු ලැබුවා. එය කලක් එහි මහජන ප‍්‍රදර්ශනයට තැබුණු අතර දැන් සුරක්‍ෂිතව ගබඩා කර තිබෙනවා. පර්යේෂකයන්ට නිරික්සිය හැකි පරිදි.

මේ කාසි තොගය යළි මෙරට ගෙන ආ යුතු යැයි ඇතැම් දෙනා කියතත් කාවන් රත්නතුංග අවධාරණය කරන්නේ ස්මිත්සෝනියන් වැනි ආරක්‍ෂිත තැනකම එය දිගටම තිබීම වඩාත් උචිත බවයි. (කෞතුකගාරවල දැනට තියෙන අපේ වටිනා කෞතුක වස්තු පවා රැක ගන්නට බැරි පසුබිමක් තුළ මෙය සාධාරණ තර්කයක්.)

ගවේෂණයට හවුල් වූ කිමිදුම්කරුවන්ගෙන් අද (2014 නොවැම්බර්) වන විට ජීවත්ව සිටින්නේ හෙක්ටර් ඒකනායක පමණයි. රොඞ්නි ජොන්ක්ලාස් 1989දීත්, මයික් විල්සන් 1996දීත්, ආතර් සී. ක්ලාක් 2008දීත් මිය ගියා. ඔවුන් එක් අයකුටවත් බිඳුනු නැවේ අනන්‍යතාවය දැන ගන්නට ලැබුණේ නැහැ.

1960 දශකයට වඩා මේ වන විට මුහුදු පුරාවස්තු ගැන අවබෝධයක් හා ඇගයීමක් මෙරට ඇති වී තිබෙනවා. දශක ගණනාවක් තිස්සේ ගොඩබිම ගවේෂණයට පමණක් සීමාවී තිබූ අපේ පුරාවිද්‍යා පර්යේෂණ 1980 දශකයේ පටන් මුහුදු පුරාවිද්‍යාත්මක අධ්‍යයනට හා සංර්ක්‍ෂණයට ද යොමුවී තිබෙනවා. මෙය සිදු වූ හැටි වෙනම කථා කළ යුතුයි.

See also:

Ceylon and the Underwater Archaeologist. By Arthur C. Clarke May 1964 University of Pennsylvania Museum.

The Maritime Archaeology Unit (MAU), Central Cultural Fund, Sri Lanka

Sri Lanka Coastguard: What is Maritime Archaeology?

Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.
Peter Throckmorton, wearing a boiler suit to protect him from the sharp coral, chipping out growth which covered the larger bronze gun, to his right.

සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

In this week’s Ravaya column (in Sinhala), published on 23 November 2014, I ask whether astrologers are the most powerful persons in Sri Lanka. This is because all important decisions of the state, including the ceremonial opening of Parliament and scheduling of elections, is done strictly on astrological advice.

Speaking at a recent meeting of the Sri Lanka Rationalists’ Association to discuss my latest book, writer and political commentator Gamini Viyangoda said astrology determines so many personal and public decisions in Sri Lanka. In this obsession, ruling party and opposition party politicians seem united.

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

‘‘අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂය සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යෙතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.’’

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මේ ප්‍රකාශය කළේ මගේ අලූත්ම පොත ‘කාල බෝම්බ ඕනෑකර තිබේ’ නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23දා කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත්වූ සංවාද මණ්ඩපයේදී.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා මේ තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංගත්, ලේකම් තාරක වරාපිටියත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා.

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014

ගාමිණි වියන්ගොඩ තව දුරටත් මෙසේ කියා සිටියා: ‘‘අපේ මැතිවරණ පවත්වන්නේ, පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහරු ජ්‍යෙතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.’’

‘‘අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.’’

‘‘මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.’’

‘‘එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.’’

‘‘මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.’’

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා දුපතේ බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

පසුගිය මැයි මාසයේ මට විද්යුත් ලියුමක් එවමින් රාවය පාඨක නිමල් ජයසිංහ මෙසේ කියා සිටියා: ‘‘අද ශ්‍රී ලාංකිකයෝ පුදුම ගණයේ ආත්මාර්ථකාමියෝය. උගුලෙන් බැරිනම් කෙමණෙන් හෝ තම කාර්ය සිදු වන්නේ නම් එයින් සතුටු වන නරුමයෝය. එබැවින් ඔවුන්ට හැම දෙයක්ම ඕනෑය. උදේ පන්සිල් ගෙන ගෙදරින් පිට වන ඔවුන් ශාන්ත අන්තෝනි පල්ලියේ ද ඉටිපන්දමක් දල්වා වැඩට යති. කාගෙන් හෝ වැඩේ කෙරුනොත් ඇති යන සිතුවිල්ලෙන් කල් ගෙවන මොවුන් විමර්ශනශීලී මිනිසුන් හෝ ගැහැණුන් නොවේ. මොවුන්ට මම ආමන්ත්‍රණය කරන්නේ රැළේ යන්නෝ කියලාය!”

මේ විග්‍රහය මටත් පිලිගන්න සිදු වනවා. මෙවැනි අදහස් අද විවෘතව පල කැරෙන්නේ ද කලාතුරකින්.

‘‘හේතුවාදී ලිපි’’ නමින් 2013දී ප‍්‍රකාශිත ග‍්‍රන්ථයට පූර්විකාවක් ලියමින් එහි සංස්කාරක හා ප‍්‍රවීණ ලේඛක අජිත් තිලකසේන මෙසේ කියනවා:

‘‘අපේ රටටත්, කලාපීය රටවල් ගණනාවකටත් බලපාපු 2004 දෙසැම්බර් 26 සුනාමිය මෙහි 50,000ක පමණ ජනයින්හට මරු කැඳවමින්, සිද්ධ කරපු දේපල හානිය ද විශාලයි. මෙය මතක ඇති ඉතිහාසයේ සිද්ධ නොවු බිහිසුනු ස්වාභාවික විපතක් වුවත් එය පුරෝකථනය කරන්න (එනම් කල් තබා අනතුරු ඇඟවීමට) කිසිම ජ්‍යොතිර් ඇදුරෙක්ට පුලූවන් උනේ නෑ!’’

‘‘ජ්‍යොතිර් ඇදුරන්ට, පේනකරුවන්ට ස්ථිරව යමක් කියන්න බැරි බව දැන දැනත්, කියාපු දේවල් බොරු වූ අවස්ථා දැක දැකත්, ඒ පසු පස යන්නන්ගේ අඩුවක් ශ‍්‍රී ලංකා සමාජය තුළ දැක ගන්න නැහැ…. එසේම තම අවශ්‍යතා ඉටු කර ගන්න විවිධ දෙවි දේවතාවන් කරා ගොස් බාරහාර වන ජනයින්ගේ අඩුවක් දැක ගන්නත් නැහැ’’ ඔහු තව දුරටත් කියනවා.

මා කවදත් කියන්නේ මෙයයි. තනි පුද්ගල මට්ටමින් ඕනෑ කෙනෙකුට ඕනෑම අභව්‍ය දෙයක් ඇදහීමට හා ඒ සඳහා තම කාලය හා මුදල් වැය කරන්නට නිදහස තිබෙනවා. එහෙත් එම ඇදහිලි හා විශ්වාස සෙසු සමාජයට බලෙන් ආරෝපණය කිරීමට හෝ රාජ්‍ය ප‍්‍රතිපත්ති හා රාජ්‍ය පාලනයට ඒවා හරහා බලපෑම් කිරීමට හෝ නිදහසක් නැහැ.

මිථ්‍යාවට මුවා වී, ජනයා බියපත් කර මුදල් ගසා කන වංචනික ජ්‍යෙතිෂවේදීන් හා වෙනත් ගුප්ත ශාස්ත‍්‍රකරුවන් මෑතක සිට තමන්ගේ සටකපට කි‍්‍රයා සඟවන්නට තැත් කරන්නේ ‘සාම්ප‍්‍රදායික දැනුම’ නම් තිරයට මුවා වෙමින්.

දේශීය උරුමය හා පාරම්පරික දැනුම වුව වර්තමානයේ තර්කානුකූල විවාදයට ලක් විය යුතුයි. ආසියාවේ බිහි වූ විශිෂ්ඨතම හේතුවාදියෙකු හා නිදහස් චින්තකයෙකු ලෙස සැලකෙන ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් (1898 – 1978) එදා කී දේ අදටත් හරියටම ගැලපෙනවා. ‘‘තමන්ගේ ආශ්චර්යයන් පරීක්‍ෂා කිරීමට ඉඩ නොදෙන්නා වංචනිකයෙක්. එබඳු දේ විමසීමට ධෛර්යය නොමැත්තා පහසුවෙන් රැවටිය හැකි කෙනෙක්. එබඳු ආශ්චර්යයන් හා මතවාදයන් ඉස්මුදුනින් පිළිගෙන අදහන්නා මෝඩයෙක්.’’

කොවූර් ශ්‍රී ලංකා හේතුවාදී සංගමය ආරම්භ කළේ 1960දී. විවෘත මනසකින් යුත් විචාරශීලී ලාංකිකයන් රැසක් එයට ඇද ගන්නට ඔහු සමත් වුණා. එනයින් බලන විට කොවූර් හේතුවාදී සංගමයෙන් හා ව්‍යාපාරයෙන් ඔබ්බට ගිය විද්‍යාත්මක චින්තන විප්ලවයකට මුල පිරුවා යයි කිව හැකියි. මේ සදහා විද්‍යාව ඉහළට උගත් එහෙත් ඒ උගත්කමින් මනස මොට කර නොගත් බුද්ධිමතුන් ගණනාවක් මෙන්ම සිංහලෙන් හා දෙමලෙන් ජන සමාජයට මේ පණිවුඩ ගෙන යා හැකි ලේඛන හැකියාව ඇති කලාකරුවන් කිහිප දෙනකු ද ඔහු සම්බන්ධ කර ගත්තා.

එයින් මුල් ගණයට වැටුණු අයගෙන් වඩාත් ප‍්‍රකට වූ චරිතයක් වෛද්‍ය කාලෝ ෆොන්සේකා. තරුණ වෛද්‍යවරයකු හැටියට 1970දී පමණ ඔහු ගිනි පෑගීමේ විද්‍යාත්මක පදනම ගවේෂණාත්මකව ඔප්පු කළේ එය කිසිදු හාස්කමක් හෝ දේවබලයක් හෝ නැතිව කළ හැකි බව ප‍්‍රායෝගිකව පෙන්වා දෙමින්.

කොවූර් වටා ඒකරාශී වූ චරිත අතර ප‍්‍රවීණ ලේඛකයන් වූ අජිත තිලකසේන හා අමුණුගොඩ තිලකරත්න ද සිටියා. පසු කලෙක ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න තරුණයකු හැටියට හේතුවාදී ව්‍යාපාරයට ඇදී ආවේ ද 1960-1970 යුගයේයි.

Keepers of Rationalist Flame L to R - Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne
Keepers of Rationalist Flame L to R – Abraham Kovoor, Carlo Fonseka, Dharmapala Senaratne

මෙරට හේතුවාදී ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය වූයේ ද ඒ දශක දෙකයි. එයට එක් හේතුවක් නම් කොවූර් හා ඔහු වටා එක් වූ දක්‍ෂයන් පිරිසයි. එහෙත් එවකට ලක් සමාජය අදට වඩා එදා විවෘත හා බුද්ධිගෝචර වූ බවට ද තර්ක කළ හැකියි. ඒ ඇයි?

1963 ජන සංගණනයට අනුව මෙරට ජනගහනයෙන් සියයට 76.8ක් දෙනා සාක්‍ෂරතාවය ලබා සිටියා. 1971 සංගණනය වන විට එය සියයට 78.5 දක්වා දියුණු වූ අතර මේ වන විට එය සියයට 92ක් පමණ වනවා. මෙරට අධ්‍යාපන මට්ටම් හා ඒවාට යොමු වන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතයන් ඉහළ ගොස් ඇති බව පැහැදිලියි.

සන්නිවේදන තාක්‍ෂණයය පැත්තෙන් බැලූ විට ද සංඛ්‍යාත්මකව විශාල වැඩිවීමක් සිදු වී තිබෙනවා. දුරකථන, රේඩියෝ හා පුවත්පත් පරිශීලනය කරන ජන සංඛ්‍යාව හා ප‍්‍රතිශතය වැඩි අතර එදා නොතිබුණු ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් මාධ්‍යත්, ජංගම දුරකථනත් අද සමාජයේ ස්ථාපිත වෙලා. තොරතුරු හා දැනුම ලබා ගන්නට හා බෙදා ගන්නට හැකියාව මීට වසර 50කට වඩා අද පැහැදිළිව ම වැඩියි.

"Modern" Lankan? Cartoon by Awantha Artigala
“Modern” Lankan? Cartoon by Awantha Artigala

මේ ප‍්‍රමාණාත්මක දියුණවත් සමග ගුණාත්මකව දියුණුවක් ඇති වී තිබේ ද යන්න විවාදත්මකයි. අපේ ඇතැම් අය මෙන් මා යටගියාව ගැන රොමෑන්ටික් ලෙසින් අතිශයොක්තියෙන් දකින්නකු නොවේ. එහෙත් හේතුවාදීන්ගේ ස්වර්ණමය යුගයේ ඔවුන්ගේ සමාජ මෙහෙවරට අනුබල දෙන්නට, දිරි ගන්වන්නට මෙරට බුද්ධිමතුන්, කලාකරුවන්, වෘත්තිකයන් හා පුවත්පත් කතුවරයන් රැසක් ඉදිරිපත්ව සිටියා.

කොවුර් නඬේ ගුරා වූවත් ඔහු ඒ අභීත බුද්ධිමය චාරිකා ගියේ ලොකු කුඩා බොහෝ දෙනාගේ ආශිර්වාදය හා සහයෝගය ඇතිවයි. එවන් පිරිසක් අද සිටී ද?

2012 ජනවාරියේ ලිපියකින් මා කීවේ මෙයයි: “අපේ මවුපියන්ගේ තරුණ අවධියේ කෙටි කලෙකින් ලක් සමාජයේ බුද්ධිමත් ස්ථරයන්ගේ පිළි ගැනීමට පාත‍්‍ර වූ ආචාර්ය කොවූර් බැරි වෙලාවත් අද මුල් වරට මෙරටට පැමිණ ඒ මෙහෙවර ම ඉටු කරන්නට තැත් කළොත් ප‍්‍රතිචාරය කෙබඳු වේවිද?”

“ඔහු කියන දෙයට සවන් දෙනවා වෙනුවට ඔහුගේ සම්භවය, පෙනුම හා පසුබිම ගැන වැඩි අවධානය යොමු වෙයි. රැවුල වවා ගත්, දකුණු ඉන්දියානු සම්භවය ඇති මලයාලි ජාතිකයෙකු අපේ සංස්කෘතික උරුමයට හා ජාතික අනන්‍යතාවයට (සමහර විට ජාතික ආරක්‍ෂාවට පවා!) තර්ජනයක් කරන බවට චෝදනා එල්ල විය හැකියි.”

“නැතහොත් පුවත්පත් සාකච්ඡාවල දී ඔහුට ජාතිද්‍රෝහී, රාජ්‍ය විරෝධි ලේබල් ලෙහෙසියෙන් ඇලවිය හැකියි! අදෘශ්‍යමාන භුත අවතාර හා පිල්ලි වෙනුවට නාඳුනන තුවක්කුකරුවන්ගේ තර්ජනයට ඔහු ලක් විය හැකියි!”

අපි කුමක් කරමුද? මේ ප්‍රශ්නය යලි යලිත් ඇසීමට කාලයයි.

See also:

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

18 May 2014: සිවුමංසල කොලූගැටයා #168: නින්දෙන් ඇවිදින ලක් සමාජය හේතුවාදීන්ට අවදි කළ හැකිද?

Cartoon by Awantha Artigala
Cartoon by Awantha Artigala

සිවුමංසල කොලූගැටයා #194: මහා රාවණා කොරල් පරයෙන් හමු වූ අබිරහස් නැව – Part 1

In this week’s Ravaya column (in Sinhala), published on 16 November 2014, I recount how a group of divers accidentally discovered a shipwreck while diving off the south-eastern coast of Sri Lanka close to the Great Basses Reef lighthouse. The discovery was made by Mike Wilson, who was variously talented as a diver, photographer, writer and filmmaker, who had settled down in Ceylon in 1956 at the same time as his collaborator Arthur C Clarke.

This story is fully documented in Clarke’s The Treasure of the Great Reef, and also summarised here by Dr Kavan Ratnatunga:

http://lakdiva.com/coins/clarke/greatbasses/exhibit.html

See also: 26 Aug 2012: සිවුමංසල කොලූගැටයා #80: මහා රාවණා කොටුවෙන් රන් මුතු දුවට…

L to R - Arthur C Clarke, Mike Wilson
L to R – Arthur C Clarke, Mike Wilson

වසර 52ක් තිස්සේ (1956 – 2008) ශ‍්‍රී ලංකාවේ පදිංචිව සිටි, මෙරටට මහත් සේ ඇලූම් කළ ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන දේශාටන පොත් කිහිපයක් රචනා කළා. මේ පොත්වල අන්තර්ගතය වූයේ දුපත් තුළත්, එය අවට මුහුදේත් ක්ලාක් හා ඔහුගේ මිතුරන් කළ ගවේෂණ ගැන අත්දැකීම් හා ඡුායාරූපයි. ඉන්දියානු සාගරයේ පුරෝගාමී කිමිදුම්කරුවකු වූ ක්ලාක් ලියූ මේ පොත් ගැන මෙරට ඉංග‍්‍රීසි පාඨකයන් පවා එතරම් දැනුවත් නැහැ. මෑතක් වන තුරු මේ පොත් සිංහලට පෙරළී තිබුණේ ද නැහැ.

කල් ගත වී හෝ මේ හිදැස පුරවන්නට මනෝ ප‍්‍රනාන්දු ලේඛකයා ඉදිරිපත් වී සිටිනවා. ක්ලාක් ශ‍්‍රී ලංකාව ගැන ලියූ මුල් ම චාරිකා ග‍්‍රන්ථය වූ The Reefs of Taprobane (1957) ඔහු 2011දී ‘ලක්දිව සාගර පත්ල’ නමින් පරිවර්තනය කළා. එයට ලැබුණු පාඨක ප‍්‍රතිචාර යහපත් වූ බැවින් 1964දී ක්ලාක් ලියූ The Treasure of the Great Reef නම් වූ පොත ‘‘මහා ගල්වැටි පරයේ මුහුදුබත් නිධානය’’ නමින් දැන් ඔහු සිංහලට පෙරළා තිබෙනවා. මේ දෙකම සූරිය ප‍්‍රකාශනයි.

බි‍්‍රතාන්‍ය ජාතික ආතර් ක්ලාක් හා ඔහුගේ කිමිදුම් සගයා වූ මයික් විල්සන් යන දෙදෙනාම 1956දී මාස කිහිහිපයක් මෙරට අවට මුහුද ගවේෂණය කරන්නට පැමිණ පසුව මෙහි පදිංචි වූවා. ඔවුන්ගේ මුල් ම ලාංකික මිතුරන් වූයේත් කිමිදීමට හා මුහුදට ඇලූම් කළ කිහිප දෙනෙක්. ඒ අය අතර සත්ත්‍ව විද්‍යාඥ රොඞ්නි ජොන්ක්ලස් හා බොක්සිං ක‍්‍රීඩක හෙක්ටර් ඒකනායක මුල් තැන ගත්තා.

මයිකල් විල්සන් කිමිදීමට, දිය යට ඡායාරූප ගැනීමට හා දිය යට චිත‍්‍රපට රූපගත කිරීමට හැකියාව තිබූ බෙහෙවින් නිර්මාණශීලී කෙනෙක්. ඇත්තට ම ක්ලාක්ට කිමිදීමේ වටිනාකම පෙන්වා දී එයට යොමු කළේත් මයික්. මේ දෙදෙනා ලංකාවට එන්නට කලින් ඕස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරයේ (Great Barrier Reef) මාස කිහිපයක් කිමිදෙමින් ගවේෂණය කර තිබුණා.

ලංකාව අවට මුහුදු බොහොමයක් 1950 දශකය මැද වන විටත් කිසිවකු ගවේෂණය කර තිබුණේ නැහැ. දිය යට කිමිදීමේ තාක්‍ෂණය (aqua-lung) නිපදවනු ලැබුවේ 1946දී බැවින් එය බොහෝ පිහිනුම් දක්‍ෂයන්ට පවා තවමත් අළුත් හා ආගන්තුක වුණා. ඒ දක්වා දිය යට විනාඩි කිහිපයකට වඩා හුස්ම අල්ලාගෙන ගත කළ නොහැකි වූ බැවින් දිය යට ගවේෂණය කර තිබුණේ ඉතා සීමිතව වෙරළාසන්න නොගැඹුරු මුහුදුවල පමණයි. (මන්නාරමේ සාම්ප‍්‍රදායික මුතු කිමිදෙන්නෝ කළේ හුස්ම අල්ලා ගෙන දිය යට යාමයි.)

ලංකා මුහුදු වෙරළෙන් ඔබ්බෙහි විවිධ තැන්වල මේ මිතුරන් කිමිදුනත් ඔවුන් වැඩිපුරම අවධානය යොමු කළ දෙතැනක් තිබුණා. එකක් ත‍්‍රිකූණාමලය කලපුව. දෙවැන්න දකුණු දිග වෙරළේ කිරින්දෙන් කිලෝමීටර් 10ක් පමණ මුහුද දෙසට වන්නට පිහිටි මහා රාවණා කොටුව (Great Basses Reef) නම් මුහුදු ගල් පර්වතය හා එයට ආසන්න කොරල් (හිරිගල්) පරයයි.

කිමිදුම්කරුවන් කොරල්පර ගවේෂණයට කැමතියි. නොගැඹුරු මුහුදේ වැඩෙන කොරල්පර අතර විචිත‍්‍ර මසුන් හා වෙනත් සමුද්‍ර ජීවීන් රැසක් හමු වනවා. ජෛව විවිධත්වයෙන් ඉහළ නිසා කොරල්පර මහ මුහුදේ වර්ෂා වනාන්තර ලෙස ද හඳුන් වනවා.

Great Basses and Litle Basses Map - courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com
Great Basses and Little Basses Map – courtesy Dive Sri Lanka website http://www.divesrilanka.com

ක්ලාක් සහ මිතුරන් මුල් වරට මහා රාවණා කොටුව අවට කොරල්පරයට ගියේ 1958දී. මහා රාවණා කොටුවේත්, එයට කි.මි කිහිපයක් නැගෙනහිරින් පිහිටි කුඩා රාවණා කොටුවේත් (Little Basses Reef) බි‍්‍රතාන්‍ය පාලන කාලයේ ගොඩනැංවූ ප‍්‍රදීපාගාර දෙකක් තිබෙනවා. මේ අසලින් දිවෙන ප‍්‍රධාන නැව් මාර්ගයක් තිබෙන නිසාත්, ගල් පර්වත සහිත මේ මුහුදු තීරයේ ඉතිහාසය මුළුල්ලේ නැව් මුහුදුබත් වී ඇති නිසාත් මේ ප‍්‍රදීපාගාර නැව් ගමනාගමනයට තීරණාත්මක මෙහෙවරක් ඉටු කරනවා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1867දී බි‍්‍රතාන්‍යයේ ස්කොට්ලන්තයේ සැළසුම් කර කළුගලින් කොටස් වශයෙන් තනනු ලැබුවා. ඉනික්බිති මේ කොටස් නැව් මගින් කිමී දහස් ගණනක් දුර ගෙවා ගෙන ආවා. මේ ගමනේදී හානි වූයේ කොටස් දහස් ගණනක් අතරින් එකම එකක් පමණයි.

ගාල්ලට නැවෙන් ගෙනා ප‍්‍රදීපාගාර කොටස් කුඩා බෝට්ටු මගින් ගෙන ගොස් මහා රාවණා කොටුවේ අටවනු ලැබුවා. ප‍්‍රදීපාර ආලෝකය සැළසුම් කළේ එම සියවසේ විසූ ශ්‍රේෂ්ඨතම බි‍්‍රතාන්‍ය විද්‍යාඥයකු වූ මයිකල් ෆැරඬේ විසින්. විදුලිබලය පිළිබඳ ඔහු කළ සොයා ගැනීම් මානව ශිෂ්ටාචාරය වෙනස් කළා.

මහා රාවණා ප‍්‍රදීපාගාරය 1873 මාර්තු 10 වනදා විවෘත කළා. එදා පටන් දිගටම සේවයේ නියුතු මෙය ලෝකයේ ප‍්‍රකට (වඩාත්) ප‍්‍ර‍්‍රදීපාගාර අතරින් එකක්.

මේ ප‍්‍රදීපාගාරයට හා අසල ඇති කොරළ් පරයට ලඟා විය හැක්කේ වසරේ සීමිත සති කිහිපයක් තුළ පමණයි. නිරිතදිග මෝසම් සුළං හා ඊසාන දිග මෝසම් සුළං යන දෙකෙහිම බලපෑමට හසු වන මේ ස්ථානයට වසරේ වැඩි දින ගණනක් සැඩ සුළං හා රළු මුහුද නිසා ගමන් කිරීම අන්තරාදායකයි. දිය යට කිමිදීමට හැක්කේ මාර්තු – අපේ‍්‍රල් මාසවල පමණයි.

Lighthouses of Sri Lanka celebrated on postage stamps
Lighthouses of Sri Lanka celebrated on postage stamps

ලංකා ගොඩබිමෙන් දුරස්තව ඉන්දියානු සාගරයෙන් වට වී ඇති මහා රාවණා (සහ කුඩා රාවණා) ප‍්‍රදීපාගාර සේවකයන් හුදකලා වූ ලෙස කල් ගත කරනවා. ඔවුන්ට අවශ්‍ය දේ රැගත් බෝට්ටුවක් විටින් විට එහි ළඟා වනවා. ක්ලාක් සහ මිතුරන් ද මුලින් එහි ගියේ මේ ප‍්‍රදීපාගාර බෝට්ටුවේ, ඔවුන්ගේ අනුදැනුම හා හොඳහිත ඇතිවයි. ඉඳහිට හෝ යමකු එහි පැමිණීම ප‍්‍රදීපාගාර කාර්යමණ්ඩලයේ කාන්සිය තරමක් අඩු කරන්නට ඇති.

මහා රාවණා ප‍්‍රදීපාගාරය තම තාවකාලික නවාතැන කර ගෙන අවට කොරල්පරයේ හා මුහුදේ කිමිදුණු ක්ලාක් හා මිතුරෝ දිය යට විසිතුරු ඡායාරූප ගත කළා. මින් පෙර කිසිවකු දැක නොතිබූ තරම් මනරම් කොරල් පරයත් එහි විවිධාකාර ලොකු කුඩා ජීවීනුත් ඔවුන් මවිතයට පත් කළා.

ඔස්ටේ‍්‍රලියාවේ මහා බාධක පරය මීට වඩා බෙහෙවින් විශාල බව ඇත්තයි. ඒත් එනිසාම එහි විසිතුරු විහිද පැතිර තිබෙනවා. එහෙත් මහා රාවණා පරයේ සමීප මුහුදු පතුලක බොහෝ දේ හමු වන බව ක්ලාක් ලියා තැබුවා.

ඔවුන්ගේ 1958-59 ගවේෂණය පදනම් කරගෙන Indian Ocean Adventure (ඉන්දියානු සාගර වික‍්‍රමය) නම් ඡායාරූප රැසක් සහිත පොතක් ක්ලාක් -විල්සන් දෙදෙනා 1961දී පළ කළා.

කිසිදා මිනිසුන් දැක නොසිටි ඒ ප‍්‍රදේශයේ මසුන් කිමිදුම්කරුවන්ට බිය නොවී කුතුහලයෙන් විමසිලිමත් වූ සැටිත්, සමහර මසුන් තමන් සමග මිතුරු වූ සැටිත් ක්ලාක් විස්තර කරනවා. ලක්දිව දකුණු මුහුදේ තමන්ට හමු වූ මෝරුන් පවා ආක‍්‍රමණශීලි නොවී දුරක සිට තමන් ගැන බලා සිටි බවත් ඔහු කියනවා. (මීට වසර 55කට පෙර තිබූ තත්ත්වය අද වන විට බෙහෙවින් වෙනස් වී ඇති බව වඩා මෑතදී ඒ ප‍්‍රදේශවල කිමිදුණු අය වාර්තා කරනවා.)

1958-59 මහා රාවණා කොරල් පරයේත්, වෙනත් ස්ථානවලත් මුහුද යට රූපගත කළ දර්ශන සංකලනය කොට 1958දී මයික් විල්සන් වාර්තා චිත‍්‍රපටයක් නිපදවූවා. Beneath the Seas of Ceylon (ලක් මුහුද යට) නම් වූ එය විනාඩි 25ක ධාවන කාලයකින් යුක්තයි.

මිලිමීටර් 16 චිත‍්‍රපටයක් වූ එහි කැමරාකරණය, පිටපත හා අධ්‍යක්‍ෂණය මයික් විල්සන්ගෙයි. ලංකා තේ ප‍්‍රචාරක මණ්ඩලයේ අනුග‍්‍රහය ලද මේ චිත‍්‍රපටය වසර ගණනාවක් පුරා මෙරට සංචාරක ප‍්‍රවර්ධනයන් සඳහා යොදා ගනු ලැබුවා. අද මෙහි පිටපතක් කොතැනක ඉතිරිවී ඇත්දැයි මා දන්නේ නැහැ. එය නරඹා ඇති චිත‍්‍රපට ඉතිහාසඥ (මයික් විල්සන්ගේ මිතුරකු වූ) රිචඞ් බොයිල් කියන්නේ මෙය ශ‍්‍රී ලංකාවේ නිපදවන ලද මුල්ම දිය යට සිනමා නිර්මාණය බවයි.

මේ චිත‍්‍රපටයට ලැබුණු හොඳ ප‍්‍රතිචාරවලින් උද්දාමයට පත් මයික් විල්සන් තව දුරටත් චිත‍්‍රපට කැමරාකරණයට හා අධ්‍යක්‍ෂණයට යොමු වුණා. ඔහුගේ මුල්ම වෘතාන්ත චිත‍්‍රපටය චිත‍්‍රපටය වූයේ රන්මුතුදුව. 1962 අගෝස්තු 10 වනදා සිනමා රසිකයන් හමුවට ආ “රන්මුතුදුව” කෙටි කලෙකින් අතිශයින් ජනප‍්‍රිය වූවා. (මයික්ගෙන් ලංකා සිනමාවට ලැබුණු දායකත්වය හරිහැටි ඇගයීමට ලක්ව නැති බව මගේ අදහසයි. ඔහු 1958 තැනූ පුරෝගාමී දිය යට වාර්තා චිත‍්‍රපටය ගැන පවා දන්නේ ලාංකිකයන් ටික දෙනයි.)

1961 මාර්තුවේ මයික් නැවතත් මහා රාවණා කොරල්පරයට ගියා. මෙවර රොඞ්නි ජෝන්ක්ලාස් මාලදිවයිනේ කිමිදෙමින් සිටි අතර ක්ලාක් ලේඛන කටයුතුවල නියැලෙමින් කොළඹ නතර වුණා. එනිසා මයික් සමග ගියේ බොබී ක‍්‍රීගල් (14) හා මාක් ස්මිත් (13) නම් වූ පිරිමි ළමුන් දෙදෙනෙක්. ඔවුන් මෙරට අනුයුක්තව සිටි අමෙරිකානු තානාපති කාර්යාල සේවකයන්ගේ දරුවන්.

මයික්ගේ සැලසුම වූයේ පිහිනීමේ හා කිමිදීමේ දක්‍ෂ වූ මේ දරුවන් ‘‘චරිත’’ ලෙස යොදාගෙන මහාරාවණා කොරල්පරයේ තවත් චිත‍්‍රපටයක් රූපගත කිරීමයි. මේ සඳහා අවශ්‍ය කිමිදුම් හා කැමරා ආම්පන්න තොගයක් ඔවුන් ගෙන ගියා.

1961 මාර්තු 12-21 දිනවල ඔවුන් ප‍්‍රදිපාගාරයේ රැඳී සිටිමින් අවට නොගැඹුරු මුහුදේ කිමිදෙමින් ගවේෂණය හා රූපගත කිරීම් කළා. මාර්තු 22 වනදා මුහුද නිසල වුවත් යම් හේතුවකින් දිය යට මඩ සහිත වී පැහැදිලි නැතිව ගියා. මේ නිසා කැමරා ආම්පන්න නැතිව ඔවුන් තිදෙනා කිමිදුම් කට්ටල පමණක් හැඳගෙන කොරල්පරයේ කිමිදෙන්නට ගියා.

නොගැඹුරු මුහුදු පත්ලෙහි දිලිසෙන යමක් අහම්බෙන් මයික්ගේ නෙත ගැටුණේ එවිටයි. එය කුමක්දැයි සෝදිසි කළ විට එය පිත්තල සිලින්ඩරයක් බව පෙනී ගියා. නාවුකයකු හැටියට කටයුතු කර තිබූ, නාවුක ඉතිහාසය දත් මයික් එක්වරම දැන ගත්තා එය පැරණි කාලතුවක්කුවක් බව.

එහි අරුත නම් මේ අවට මුහුදුබත් වූ පැරණි නැවක් තිබිය හැකි බවත් මයික් සැනෙකින් වටහා ගත්තා. කාලතුවක්කුව අඩි දෙකහමාරක් පමණ දිගයි. තනි කෙනකුට ඔසවන්නට බැරි තරම් බරයි.

ක්ලාක් පසුව ලියා ඇති පරිදි ‘‘මුහුදුබත් වූ පැරණි නැව් වල ලීවලින් තැනූ බඳ වසර ගණනකට පසු දිරාපත්ව හඳුනා ගත නොහැකි වනවා. බොහෝ විට නැවක් ගිලූණු බව මුහුදු පත්ලේ සොයා ගත හැක්කේ ලෝහමය දෑ නැතහොත් වීදුරු බෝතල් ආදිය නිසායි. මෙතැනදී නොගැඹුරු මුහුදේ දියවැල් හා රළ කැළඹීම් නිසා කාලතුවක්කු වැලි සමග නිරතුරු ගැටෙමින් දිලිසෙමින් තිබුණා. කිමිදුම්කරුවන්ගේ ඇසට මුලින්ම හසු වූයේ මේ දීප්තියයි.’’

ඉනික්බිති එළැඹුණු දින දෙක තුන තිස්සේ මයික් හා මිතුරෝ ඒ අවට මුහුදුපත්ල සමීපව ගවේෂණය කළා. ගිලූණු නැවක සුන්බුන් ඔවුන් සොයා ගත්තා. ඒ අතර රිදී කාසි තොගයක් ද තිබුණා.

නැව ගිලූණු තැන අවට මුහුදුපත්ලේ විසිරි එකම ආකාරයේ රිදී කාසි දහස් ගණණක් හමු වුණා. සමහරක් තනි තනිව තිබූ අතර අනෙක්වා කොරල් බැඳීමෙන් එක ගොඩට එක්වි තිබුණා. එවිට බැලූ බැල්මට පෙනුනේ ගල් කැබලි වගෙයි. කිහිප වතාවක් කිමිදෙමින්, වෙහෙස වී වැඩ කරමින් කිලෝග‍්‍රෑම් 50ක් පමණ බරැති රිදී කාසිත්, කාලතුවක්කු දෙකකුත්, තඹවලින් තැනූ පොලූ හා වෙනත් කුඩා නාවුක ද්‍රව්‍ය කිහිපයකුත් ඔවුන් සොයා ගත්තා.

ඔවුන් ප‍්‍රවේශමින් මේ තොගය කොළඹට ගෙන ආවා. ක්ලාක් හා රොඞ්නි එය දුටුවේ කොළඹදීයි.

මේ කාසි තොගය රැගත් නැව ආවේ කොහි සිටද? එය කොතරම් පැරණිද? මුහුදුබත් නොවුවා නම් එහි ගමනාන්තය වූයේ කුමක්ද? මේ රිදී කාසිවල ලෝහමය වටිනාකමට වැඩි කෞතුක වටිනාකමක් ඇත්ද?

මෙබඳු ප‍්‍රශ්න රැසක් මයික් විල්සන්, ආතර් ක්ලාක් හා ඔවුන්ගේ කිමිඳුම් සමඟයන්ට මතු වුණා. ඔවුන් මෙරට පුරාවිද්‍යාඥයන්, සාගර විද්‍යාඥයන් (එතෙර හා මෙතෙර) හා කාසි එකතු කරන්නන්ගේ ද සහාය ඇතිව මේ ප‍්‍රශ්න වලට පිළිතුරු ගවේෂණය කළා.

ඉතිරි කොටස:

සිවුමංසල කොලූගැටයා #196:මහා රාවණා පරයේ බිඳුණු නැවේ අබිරහස – 2

Arthur C Clarke diving off the seas of Ceylon, 1950s - Image courtesy Arthur C Clarke Trust in Sri Lanka
Arthur C Clarke diving off the seas of Ceylon, 1950s – Image courtesy Arthur C Clarke Trust in Sri Lanka

 

සිවුමංසල කොලූගැටයා #193: ආපදා වැඩි වන ලෝකයක පණ කෙන්ද රැක ගන්නේ කෙලෙසද?

In this week’s Ravaya column (in Sinhala), published on 9 November 2014, I reflect on the recent landslide in Meeriyabedda, Koslanda, Sri Lanka on 29 October. The disaster wiped out an entire settlement of plantation workers whose houses were built on a hill already identified as prone to landslide hazards.

I discuss landslide hazard mapping being done for two decades by National Building Research Organisation (NBRO) and ask what failures in risk communication led to this preventable tragedy. I also quote NBRO scientists as saying how climate change and resulting increase in extreme rainfall events can trigger more landslides.

hazard-sign-626x380

සකී‍්‍රය ග‍්‍රහලෝකයක් මත ජිවත් වන අපට විවිධ උවදුරු සමග ගැටෙමින් ඒවායින් හැකි තරම් බේරී පණ කෙන්ද රැක ගන්නට සිදුව තිබෙනවා. මෙය අලූත් යථාර්ථයක් නොවෙයි. ඉතිහාසය පුරා තිබුණු අභියෝගයක්.

උවදුරක් (hazard) ආපදාවක් (disaster) බවට පත් වන්නේ එය යම් තැනෙක යම් ජන පිරිසකට හානි කළ විටයි. උවදුරු කිසිවක් නැති කිසිදු රටක් ලෝකයේ නැහැ. අවශ්‍ය වන්නේ උවදුරු කල් තබා නිසි ලෙස හඳුනා ගෙන ගත හැකි ආරක්‍ෂාකාරී පියවර ගැනීමයි. එසේම ආපදාවක් සිදු වන මොහොතේ කුමක් කළ යුතු ද යන්න ගැන පෙර සූදානමක් තිබීමයි.

මේ තමයි ආපදා කළමණාකරණයේ හරය. 2004 සුනාමියට පසු විශේෂයෙන් මේ ක්‍ෂෙත‍්‍රය ගැන දැඩි අවධානයක් යොමු වුණා. 2005දී ආපදා කළමණාකරණය නව පනතක් නීතිගත කොට ඒ හරහා ආපදා කළමණාකරණ කේන්ද්‍රය (DMC) පිහිටුවනු ලැබුවා.

එහෙත් පසුගියදා කොස්ලන්දේ මීරියබැද්ද නාය යාමේදී අපට පෙනී ගියේ අපේ රටේ ආපදා කළමණාකරණයේ තවමත් දුර්වලතා ඇති බවයි.

කොස්ලන්දේ ඛේදවාචකය විවිධ අයුරින් විග‍්‍රහ කැරෙනවා. එහි නාය යාමේ අවදානම කලක පටන් හඳුනා ගෙන තිබුණා. ඒ ගැන ජාතික ගොඩනැගිලි පර්යේෂණායතය (NBRO) ගවේෂණ හරහා අනතුරු ඇඟවීමක් කර එතැනින් ජනාවාස ඉවත් කර ගත යුතු බවට නිර්දේශ කොට තිබුණා.

දැනට ඇති බලතල අනුව ඉන් ඔබ්බට ක‍්‍රියාත්මක වීමේ හැකියාවක් NBROට නැහැ. එම වගකීම පැවරෙන්නේ රාජ්‍ය පරිපාලන නිලධාරින්ට. ඔවුන් ජනාවාස ඉවත් කිරීමේ විධිවිධාන යෙදු බවත්, විකල්ප ඉඩම් පවා හඳුනා ගෙන තිබූ බවත් කියනවා. සමහර මාධ්‍ය වාර්තා කළේ විකල්ප ඉඩම් ලබා ගත්ත ද සමහර නිවැසියන් මීරියවත්ත ඉඩම් ද අත් නොහළ බවයි.

ඛේදවාචකයකින් පසු වරද කාගේද සෙවීම ලෙහෙසි නැහැ. වගකීමේ පංගුකරුවන් හරිහැටි හඳුනා ගන්නට ද අපහසුයි. නාය යාමේ අවදානම දැන දැනම එතැන තව දුරටත් විසූ ජනයා බලහත්කාරයෙන් හෝ ඉවත් කළ යුතුව තිබුණා යයි සමහරුන් දැන් තර්ක කරනවා. එහෙත් සංකීර්ණ සමාජ ප‍්‍රශ්නවලදී රාජ්‍ය හා මිලිටරි බලහත්කාරය යොදා ගැනීම කිසි විටක තිරසාර විසඳුමක් නොවෙයි.

නිලධාරීන් රාජකාරිය කරද්දී එයින් බලපෑමට පත් වන ජනයාගේ ජීවිකාවන් හා අපේක්‍ෂාවන් ගැන එතරම් හෝ කිසිදු හෝ තැකීමක් කරන්නේ නැහැ. අන්තිමේදී “අපි කළ හැකි සියල්ල කළා. මේ මිනිස්සු අපි කී දෙය ඇසුවේ නැහැ” කීම ප‍්‍රමාණවත් නැහැ.

ජීවිත හානියේ ලොකු අවදානමක් ගැන දැන දැනම එබඳු තැන්වල සමහරුන් රැඳී සිටින්නේ තන්හාවටද? මෝඩකමටද? නැත්නම් මෙබඳු මතුපිට සාධකවලට වඩා ගැඹුරට විහිදෙන සමාජ විද්‍යාත්මක හේතු තිබේද?

විද්‍යාත්මකව සොයා ගන්නා අන්තරායන් පිළිබඳ තක්සේරු කිරීම් සාමාන්‍ය ජනයාට සන්නිවේදනය කිරීමේදී එය කෙසේ කළ යුතුද යන්න ගැන බොහෝ අධ්‍යයන සිදු කොට තිබෙනවා (public communication of risk). පවතින සමාජ ආර්ථික යථාර්ථයන්ට විශේෂඥයන්ගේ දැනුම අදාල කොට තේරෙන බසින් හා සුහද ලෙසින් (තර්ජනාත්මක නොවන විදියට) ගෙන යාම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ගෙන දෙන බව ආපදා සන්නිවේදනය ගැන ලොව පුරා රටවල අත්දැකීමයි.

එසේම විද්‍යාඥයන් හා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ජන සංවිධානවල නියෝජිතයන් මෙබඳු කතිකාවන්ට සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත්. රතු කුරුස සංගමය හා සර්වෝදය වැනි සංවිධානවලට බිම් මට්ටමේ ජනයා සමග සාමූහිකව වැඩ කිරීමේ හැකියාව තිබෙනවා.

රාජ් හෝ මිලිටරි බලහත්කාරකමට වඩා මෙබඳු ජන සංවිධානවල මැදිහත්වීමෙන් ආපදාවක සේයාවේ වෙසෙන ජනයා ගැන ඒත්තු ගන්වා කැමැත්තෙන් ඉවත් කර ගත හැකියි. (ජන සංවිධානවල සහයෝගය අවශ් වන්නේ ආපදාවක් සිදු වූ පසු සහන සැළසීමට පමණක් නොවෙයි.)

භු විද්‍යාත්මක සාධක නිසා හට ගන්නා ආපදා නම් භූමිකම්පා, සුනාමි, ගිනිකඳු විදාරණය හා නාය යාම්, මේ අතරින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම බහුලව හමු වන්නේ නාය යාම්.

Prof Kapila Dahanayake
Prof Kapila Dahanayake

පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ භූගර්භ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල දහනායක කියන්නේ: “ස්වභාවික හේතු නිසා ඉහළ බිම් පෙදෙස්වල පැලීම් ඇති වෙනවා. මේ පැලීම් අප හඳුනාගත යුතුයි. හදුනාගෙන ප්‍රතිකර්ම නොකරන ලද ඉහළ බිම් පෙදෙස්වල ඇතිවන පැලීම් අතරට ජලය කිදා බැස්ස විට කඳු නාය යනවා. ඉහළ බිම් ප්‍රදේශවල ගල් වැටි දමා කරන වගා ක්‍රමත් හෙල්මළු ක්‍රමයට කෙරෙන වගා රටා නිසාත් සෝදාපාළුව අවම වෙනවා. එවිට නායයාම් හා ගිලා බැසීම් පාලනය වෙනවා. එසේ නැතිව ඉවක් බවක් නැතිව උස් කඳුවල හදන ගොඩනැගිලිත් වගාවනුත් ඒ බිම්වල පැවැත්මට කරන්නේ විශාල හානියක්.”

මෙරට නාය යාමේ උවදුර පවතින ප‍්‍රදේශ විද්‍යාත්මක ගවේෂණ හරහා හඳුනාගෙන සිතියම් ගත කිරීමේ භාරදුර හා මහා පරිමාණ ප‍්‍රයත්නයක් NBRO විසින් දශක දෙකක පමණ කාලයක් තිස්සේ කර ගෙන යනවා.

ශ‍්‍රී ලංකාවේ නාය යාම් ගැන වසර 20ක් පමණ තිස්සේ සමීපව අධ්‍යයනය කරන NBRO ආයතනය, එම අවදානමට ලක් වන දිස්ත‍්‍රික්ක 10ක් හඳුනාගෙන තිබෙනවා. නම් කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, නුවර එළිය, මාතලේ, කෑගල්ල, රත්නපුර හා බදුල්ල දිස්ත‍්‍රික්කයි. මේ අතරින් මෑත කාලයේ වැඩිම නාය යාම් වාර්තා වී තිබෙන්නේ බදුල්ල නුවර එළිය, කෑගල්ල හා රත්නපුර දිස්ත‍්‍රික්කවලින්.

මෙහිදී නාය යාම් වැඩි ප‍්‍රවණතාවක් ඇති ප‍්‍රදේශ දැක්වෙන සිතියම් එම උවදුරු හමු වන දිස්ත‍්‍රික්ක 10 සඳහා 1:50,000 මෙන්ම 1:10,000 පරිමාණයන් සඳහා සම්පාදනය කොට තිබෙනවා. දැනට මාතලේ, මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර හා කළුතර දිස්ත‍්‍රික්ක සඳහා 1:50,000 නාය යාමේ ආපදා කලාප සිතියම් ලබා ගන්නට සැළසුම්කරුවන්ට, රාජ්‍ය නිලධාරින්ට මෙන්ම මහජනතාවටත් හැකි බව NBRO කියනවා.

වඩාත් විස්තරාත්මක තොරතුරු ඇතුළත් 1:10,000 පරිමානයේ සිතියම්, නාය යාමේ හැකියාව වඩාත් පවතින ප‍්‍රදේශ සඳහා සීමා කොට සම්පාදනය කැරෙනවා.

Guide to areas where NBRO has been mapping landslide hazards in Sri Lanka
Guide to areas where NBRO has been mapping landslide hazards in Sri Lanka

මේ සිතියම්වල වර්ණ හතරක් සංකේත ලෙස යොදා ගන්නවා. තද දුඹුරු වර්ණයෙන් දැක්වෙන ප‍්‍රදේශවල නාය යාමට වඩාත් ඉඩ තිබෙනවා. ජීවීත හා දේපල හානියේ අවදානම ඉහළයි. මේ නිසා නව ඉදිකිරීම්වලට අවසර නොදිය යුතු බවත්, පළපුරුදු විශේෂඥයන් විසින් භූමිය පරික්‍ෂා කිරීමෙන් පසු තීරණය කරන ආරක්‍ෂක විධිවිධාන සහිතව පමණක් දැනට පවතින ගොඩනැගිලිවලට එකතු කිරීම් සඳහා ඉඩ දිය හැකි බව NBRO කියනවා.

ඊලඟට උවදුර වීමේ හැකියාව අනුව තවත් ප‍්‍රදේශ තද කහ පාට, ලා කහ පාට හා කොළ පාට වශයෙන් සිතියමේ දක්වනවා. තද කහපාට ප‍්‍රදේශවල නාය යාමේ මධ්‍යස්ථා මට්ටමේ ඉඩක්ද, ලා කහපාට ප‍්‍රදේශවල ඉතා සුළු වශයෙන් ඉඩක් ද තිබෙනවා. මේ ප‍්‍රදේශ සියල්ලේම නව ඉදිකිරීම් කළ යුත්තේ විශේෂඥ උපදෙස් මත පමණයි. මෙය පොදු හා පෞද්ගලික ඉඩම් සියල්ලට අදාලයි.

කොළ පාට සංකේතවත් කරන්නේ දැනට දන්නා තොරතුරුවලට අනුව නාය යාමේ අවදානමක් නැති හා බෑවුම් අස්ථාවරත්වයක් නැති ප‍්‍රදේශයි.

මේ සිතියම් ද නාය යාමට ඉඩ ඇති ප‍්‍රදේශවල ඉදි කිරීම් සඳහා මාර්ගෝපදේශ ප‍්‍රකාශන ද භඊඍධ වෙතින් ලබා ගත හැකියි. http://www.nbro.gov.lk/web/

මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නාය යාම වැඩි වශයෙන් සිදුවන බව NBRO නාය යාම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබෙනවා.

නාය යාමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප‍්‍රධාන ව්‍යාපෘති හතරක් පේරාදෙණිය, පදියපැලැල්ල, මහවැව හා ගැරඩිඇල්ල යන ප‍්‍රදේශවල NBRO විසින් සිදු කර තිබෙනවා. මීට අමතරව වඩාත් උචිත ඉඩම් පරිහරණ පිළිවෙත් හරහා නාය යාමේ හැකියාව අවම කිරීමට ව්‍යාපෘති දෙකක් බදුල්ල හා මාතලේ දිස්ත‍්‍රික්කවල සිදු කර ඇතැයි භඊඍධ කියනවා.

මේ විසඳුම් වියදම් අධිකයි. බොහෝ විට පෞද්ගලික ඉඩම් හිමියන්ට දරා ගත නොහැකියි. රජයට වුවත් හැම තැනෙකම කළ නොහැකියි.

නාය යාමේ උපද්‍රවය දේශගුණ විපර්යාස සමග වඩාත් තීව‍්‍ර වී තිබෙනවා. මෙයට හේතුව ගෝලීය වෙනස්වීම් සමග ආන්තික කාලගුණ තත්ත්වයන් (එනම් අධික වර්ෂාපතනයක් කෙටි වේලාවක් තුළ පතිත වීම) ඉහළ යාමයි.

NBRO ජ්‍යෙෂ්ඨ පර්යේෂක ආචාර්ය ගාමිණී ජයතිස්ස කියන්නේ මෙසේ අධික වර්ෂාපතනය සමග නාය යාම් වඩාත් සුලබ වන බවයි. අපේ රටේ භූමියෙන් සියයට 20ක් පමණ ගල් පර්වත බහුල කඳුකර ප‍්‍රදේශයි. මේ ප‍්‍රදේශවල වසන ජනයාගෙන් තුනෙන් එකක් පමණ නායයාම්වලට ලක්වීමේ අවදානමට මුහුණ දෙනවා.

2002 වන තුරු මෙරට වාර්ෂිකව නායයාම් 50ක් හෝ ඊට අඩු සංඛ්‍යාවක් වාර්තා වුණා. මිනිස් ජනාවාස ඇති තැන්වල මෙන්ම ජන ශූන්‍ය තැන්වලත් නායයාම් සිදු විය හැකියි. 2003න් පසු වාර්ෂික නායයාම් සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා. මෝසම් වැසි ලැබෙන මැයි – ජුනි හා නොවැම්බර් – ජනවාරි කාලවල මේවා වැඩිපුරම වාර්තා වනවා. වර්ෂාපතනය සමග ඇති සෘජු සබඳතාව ඒ හරහා තහවුරු වනවා.

වසරේ මාසවලින් මෙරට නාය යාම් වැඩිපුරම සිදුව ඇත්තේ නොවැම්බර් මාසයේ බව පසුගිය දශක කිහිපයක වාර්තා අධ්‍යයනයෙන් පෙනෙනවා.

හැම නාය යාමකින්ම එක හා සමාන සමාජයීය බලපෑමක් සිදුවන්නේ නැහැ. මන්ද ජනාවාස හැම තැනෙකම එක ලෙස පැතිර නැති නිසා. 1974 සිට 2008 දක්වා වකවානුවේ නාය යාම් හරහා වැඩිම වාර්ෂික ජීවිත හානිය (මරණ 225ක් පමණ) සිදුව ඇත්තේ 1989දී. ඊලඟට වඩාත් ජීවිත හානි 2003දී (මරණ 150).

Inventory of Landslides in Sri Lanka since mid 20th century

සිවුමංසල කොලූගැටයා #192: “විද්‍යාඥයන් දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි” – අබ්දුස් සලාම්

Twenty-five years ago, I interviewed the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: theoretical physicist Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In last week’s Ravaya column (in Sinhala), I profiled the accomplished South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world. This week, I render into Sinhala segments of the two interviews I did with him – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

Dr Abdus Salam (1926 – 1996)
Dr Abdus Salam (1926 – 1996)

නොබෙල් ත්‍යාගය මුදල් අතින් ලෝකයේ ලොකුම ත්‍යාගය නොවෙයි. එයට වඩා වැඩි මුදලක් දෙන විද්‍යා, කලා හා සාමයික ත්‍යාග තිබෙනවා. එහෙත් සමාජ පිළිගැනීම හා මාධ්‍ය උනන්දුව සළකා බැලූ විට නම් උසස්ම ත්‍යාග වන්නේ නොබෙල් ත්‍යාගයි.

නොබෙල් ත්‍යාගලාභීන් ලෝකපූජිත වනවා. බොහෝ ත්‍යාගලාභීන් එය තමන්ගේ පර්යේෂණ, නිර්මාණ හෝ සමාජ අරගලයන් සඳහා ප‍්‍රබල උපකාරයක් බවට පත් කර ගන්නවා.

නොබෙල් ත්‍යාගලාභියකු මට මුල් වරට හමු වූයේ 1989දී. ඒ වන විට 23 වන වියේ සිටි, අඩු අත්දැකීම් තිබූ මා බලාපොරොත්තු වූයේ බෙහෙවින් ගරු ගාම්භීර චරිතයක්. එහෙත් සැබැවින්ම මට මුණ ගැසුණේ චින්තනය අතින් ගාම්භීර හා උදාර වුවත් චරිත ගතියෙන් ඉතා මිත‍්‍රශීලි හා නිහතමානි කෙනෙක්.

ඔහු තමයි ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). පාකිස්ථානයේ මුල්ම (හා මෑතක් වනතුරු එකම) නොබෙල් ත්‍යාගලාභියා. 1979 භෞතික විද්‍යා ත්‍යාගයේ සමලාභියා. දියුණුවන ලෝකයේම අයින්ස්ටයින් ලෙස හඳුන්වනු ලැබූ විශිෂ්ඨ භෞතික විද්‍යාඥයා.

ඔහුගේ චරිත කථාව පසුගිය කොලමින් මා සැකෙවින් විස්තර කළා. ඔහු ශ‍්‍රී ලංකාවට ආවේ 1989 මැදදී. ඔහුගේ සමීප මිතුරකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ ඇරැයුමින්. මහනුවර මූලික අධ්‍යයන ආයතනයේත්, කොළඹදීත් ප‍්‍රසිද්ධ දේශන කිරීමට අමතරව ඔහු අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී සාකච්ඡා කළා.

මේ රැස්වීම් අතරතුර ඔහු පැය බාගයක පමණ සම්මුඛ සාකච්ඡාවක් මට ලබා දුන්නා. අප කථා කළේ භෞතික විද්‍යාව ගැන නොවෙයි. (එදත් අදත් ඔහුගේ විෂයය මට ග‍්‍රහණය කර ගන්නට අමාරුයි.) විද්‍යාව හා තාක්‍ෂණය ඔහුගේ හා අපේ රට වැනි රටවල සංවර්ධනයට හරවත් හා තිරසාර ලෙසින් කෙසේ යොදා ගත හැකිද යන්න ගැනයි. ඇත්තටම එය භෞතික විද්‍යාව තරම්ම ඔහුට සමීප මාතෘකාවක්.

එදා මෙදා තුර මට හමු වී ඇති බොහෝ විද්‍යාඥයන්ට වඩා විවෘතව හා විචාරශීලීව විද්‍යාව හා තාක්‍ෂණයේ සමාජයීය බලපෑම්, වගකීම් හා සීමාවන් ගැන සලාම් කථා කළා. අප මේ සංවාදය කළ අවධියේ දියුණු වන රටවල් සිටියේ අදටත් වඩා බොහෝ දුගී බවින් මිරිකී හා පසුගාමීවයි. රටේ ජනතාවට ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වැනි අවශ්‍යතා සම්පාදනය කිරීමටවත් ඇති තරම් මුදල් නොමැති පසුබිමක විද්‍යා පර්යේෂණ හා ආයතන සඳහා වැඩිපුර මුදල් වෙන් කරන්නේ කෙසේදැයි යන තර්කය ප‍්‍රබලව මතු වුණා.

සලාම් මෙය විග‍්‍රහ කළේ ක‍්‍රමීය විශ්ලේෂණයකින් හා දිගු කාලීන දැක්මකින්. දියුණු රටවල් හා නොදියුණු රටවල් අතර ප‍්‍රධානතම වෙනස නම් දියුණු රටවල් විද්‍යා හා තාක්‍ෂණය ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම බව ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නා.

ගෙවී ගිය වසර 25 තුළ සමාජ ආර්ථික යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇතත් අපේ සංවාදයේ කොටස් තවමත් අදාල යයි මා සිතනවා. ඒ නිසා උධෘත කිහිපයක් මෙන්න.

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972
Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

නාලක: දියුණුවන රටවලට ඉක්මනින් විසඳා ගත යුතු අවශ්යතා හා ගැටළු තිබෙනවා. විද්යවේ රතිඵල එන්නේ කාලයාගේ ඇවෑමෙන්. ඉතින් විද්යාවෙන් සංවර්ධන රශ්න විසඳන්නේ කෙලෙසද?

සලාම්: රටක් සංවර්ධන සැළසුම් හදන විට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් සිතිය යුතුයි. අඩුතරමින් වසර 20-25ක් පමණ ඉදිරි දැක්මක් අවශ්‍යයි. දකුණු කොරියාව, ඉරානය, වෙනසියුලාව වැනි රටවල් කිහිපයක් විද්‍යාව හා තාක්‍ෂණය හරහා ආර්ථික සංවර්ධනය තියුණු කර ගැනීමේ ක‍්‍රමෝපායයන් හඳුනාගෙන ඒ සඳහා මහජන මුදල් වැඩියෙන් යොදන්නට පටන් ගෙන තිබෙනවා. විද්‍යාවන් අතරින් තේරීමක් කිරීමත් වැදගත්. ජාතික ධනය ඉපදවිය හැකි භූ විද්‍යාව හා භෞතික විද්‍යාවන්, රටේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය හැකි වෛද්‍ය විද්‍යා හා අණුක ජිව විද්‍යාවන් (molecular biology) සඳහා මුල් තැන දිය යුතු යයි මා සිතනවා.

බොහෝ රටවල සංවර්ධන හා ආර්ථික රතිපත්ති සම්පාදනයට විද්යාඥයන් සම්බන්ධ නැහැ. ඔවුන් කෙසේ දායක විය යුතුද?

රටක දැවෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්න විසඳීමේදී තමන්ට වැදගත් කාර්යභාරයක් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් තවමත් වටහා ගෙන නැහැ. එසේම ඔවුන් දේශපාලන ක‍්‍රියාදාමයෙන් දුරස්ථව සිටිනවා. මා සිතන්නේ මෙය වෙනස් විය යුතු බවයි. තම වෘත්තීය ගරුත්වය රැක ගන්නා අතර විද්‍යාඥයෝ රට කරවන දේශපාලකයන් සමග නිරතුරු සංවාද කළ යුතුයි. පර්යේෂණවලට යොදවන මහජන මුදල්වලින් කෙටි හෝ දිගු කාලීන ප‍්‍රතිලාභ ලැබෙන බව හා ලැබෙන සැටි පෙන්වා දිය යුතුයි.

කියන්නේ අද කාලේ හොඳ පර්යේෂණ කොට ඒවා පිළිගත් විද්වත් සඟරාවල පළ කිරීම පමණක් මදි?

කොහෙත්ම සෑහෙන්නේ නැහැ. තමන්ගේ හොඳ පර්යේෂණවල ප‍්‍රතිඵල අපතේ නොයාමට නම් විද්‍යාඥයෝ ජාතික ප‍්‍රතිපත්ති හා පොදු උන්නතිය පිළිබඳ කතිකාවක යෙදිය යුතුයි. එසේම විද්‍යාවේ අහිතකර බලපෑම් ගැන අවංකව තක්සේරුවකට සූදානම් විය යුතුයි.

නවීන විද්යාව හා තාක්ෂණය අද ලෝකයේ බොහෝ රශ්නවලට දායක වී ඇතැයි කෙරෙන චෝදනාව එතකොට සනාථ වනවා නේද?

චෝදනා එල්ල කිරීමක් හෝ බාර ගැනීමක් හෝ ගැන නොවෙයි මා කථා කරන්නේ. අප කවුරුත් අපේ වෘත්තීමය ක‍්‍රියාවල වගකීමට මුහුණ දිය යුතුයි. බොහෝ විට තනි විද්‍යාඥයකු ගේ තනි පර්යේෂණයක දිගු කාලීන ප‍්‍රතිඵල කෙසේ ඇතිවේදැයි එක්වරම කියන්නට අමාරුයි. පෙනිසිලින් ප‍්‍රතිජීවකය සොයාගත් විද්‍යාඥයා ඒ නිසා ජීවිත රැසක් බේරා ගන්නට දායක වුණා. එහෙත් කලක් යන විට මේ හරහා ජනගහන වර්ධනය වඩාත් සීඝ‍්‍ර වුණා. එයට ප‍්‍රතිජීවක සොයා ගත් විද්‍යාඥයන්ට සෘජුව දොසක් කිව නොහැකියි.

එහෙත් විද්‍යාවේ භාවිතයන් නිසා මතුවන පසු කාලීන ප‍්‍රතිඵල ගැන විද්‍යා ප‍්‍රජාව ලෙස අප සාමුහිකව වගකීමක් දරනවා. පරමාණුවේ ස්වභාවය සොයා ගෙන කළ මූලික භෞතික විද්‍යා පර්යේෂණ නිසා ලෝකයේ හා විශ්වයේ ස්වභාවය ගැන අප බොහෝ දේ දැන ගත්තා. එහෙත් ඒ දැනුම නිසාම භයානක න්‍යාෂ්ටික අවි ද බිහි වුණා. න්‍යෂ්ටික අවි සමග ජීවත්වීමට අද ලෝකයට සිදුව තිබෙනවා.

සංවර්ධනය අර්ථ දැක්වීම පිළිබඳ පොදු එකඟතාවයක් නැහැ. දළ ජාතික නිෂ්පාදිතය (GNP) වැඩි කිරීම පමණක් සංවර්ධනය කියන්නේ?

මෙය විශාල සංවාදයක්. මේ සංවාදයේ මෑතක් වන තුරු ප‍්‍රබලව මතු වූයේ ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාද පමණයි. 20 වන සියවසේ බොහෝ රටවල සංවර්ධන ප‍්‍රතිපත්ති සකස් කොට ඇත්තේ වැඩිපුරම ආර්ථික විද්‍යාඥයන්ට උවමනා හැටියටයි. මේ නිසා විසමතා රැසක් මතුව තිබෙනවා. මේවා වෙනස් කිරීමට නම් සෙසු විද්‍යාඥයෝ සංවර්ධන සංවාදවල පිවිස නිරතුරුව දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි.

මගේ සහෝදර විද්‍යාඥයන් බොහෝ දෙනකු තම රටේ දළ ජාතික නිෂ්පාදන සංඛ්‍යා ලේඛනවත් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ මේවා ඔවුන්ගේ වෘත්තීයට අදාල නැත කියායි. මේ ආකල්පය නිසා විද්‍යාඥයන් ස්වයං පිටුවහල්වීමක් කර ගෙන තිබෙනවා.

තමන්ට සමාජයේ තීරක මට්ටමේ බලපෑමක් කළ නොහැකි යයි මැසිවිලි නගන විද්‍යාඥයෝ තමන් කෙතරම් රටේ ජාතික සංවාදවලට සම්බන්ධ වී ඇත්දැයි මොහොතක් මෙනෙහි කළ යුතුයි.

ආර්ථික විද්යාඥයෝ නම් ඇති තරම් දේශපාලන තන්තරයට සමීපයි නේද?

ඒ අය තමයි ලොකුම ප‍්‍රශ්නය! ආර්ථික විද්‍යාඥයෝ දේශපාලකයන්ට නිතර කියන්නේ භෞතික විද්‍යා, ජීව විද්‍යා වැනි ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් රටට විදයම් අධික කරන, එහෙත් එයට සමානුපාතික ප‍්‍රතිලාභ ගෙන නොදෙන පිරිසක් බවයි. එසේම අප වැනි විද්‍යාඥයෝ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයනු වෙනුවට හුදෙක් දැනුමේ ප‍්‍රවර්ධනය සඳහා පමණක් පර්යේෂණ කරන බවයි.

ආර්ථික විද්යාඥයන්ගේ මේ පටු දැක්ම වෙනස් කළ හැකිද?

එසේ කරන්නනට මට ලොකු ඕනෑකමක් තිබෙනවා. එයට ඔවුන් සමග අප නිතර සංවාද කළ යුතුයි. දේශපාලන ක‍්‍රියාදාමය ගැන සෙසු විද්‍යාඥයන්ට වඩා හොඳ අවබෝධයක් ආර්ථික විද්‍යාඥයන්ට තිබෙනවා. එයින් අන් විද්‍යාඥයන් ආදර්ශ ගත යුතුයි. පැත්තකට වී අපේ පාඩුවේ පර්යේෂණ කළාට පමණක් මදි.

රටේ දේශපාලන, සමාජයීය හා සංස්කෘතික ප‍්‍රශ්නවලදී පුරවැසියන් හා විද්වතුන් ලෙස විද්‍යාඥයන් සම්බන්ධ විය යුතු යුතුයි. මා පකිස්ථානයේත්, තුන්වන ලෝකයේ අන් සැම රටකමත් විද්‍යාඥයන්ට කලක සිට දෙන අවවාදය මෙයයි.

එහෙත් විද්යාඥයෝ හා ඔවුන්ගේ විද්වත් සංගම් කියන්නේ දේශපාලකයන් තමන්ට සවන් නොදෙන බවයි. බීරි අලින්ට වීනා වාදනය කොට ඵලක් තිබේද?

එහෙම කියලා අත හරින්න බැහැ! විද්‍යාඥයන් වන අප මීට වඩා ව්‍යක්ත හා සූක්‍ෂම ලෙස අපේ විෂය ක්‍ෂෙත‍්‍රයන් සමාජගත කළ යුතුයි. ප‍්‍රතිප්තිත සම්පාදකයන්ට බණ දේශනා නොකර ඔවුන් මුහුණ දෙන දෛනික අභියෝග ද හඳුනා ගත යුතුයි. කළ හැකි හා කළ යුතු ඉතාම හොඳ පියවරට වහා ඉඩක් නැතිනම් ඊළඟට හොඳම පියවර කුමක්ද (second best policy options) ආදි වශයෙන් නම්‍යශීලී විය යුතුයි.

ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම දියණුවන රටවල සැම විටම තර්කානුකූල හා සාක්‍ෂිමත පමණක් පදනම් වූවක් නොවෙයි. එය විකාරරූපී විය හැකියි. කෙටි කාලීන අරමුණු මත පදනම් විය හැකියි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඇති රටවල ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන් ටික දෙනෙකුට පමණක් ඉතිරි කොට අපට මුළුගැන් වී සිටිය නොහැකියි. ටිකෙන් ටික හෝ විද්වතුන් වන අප එම සංවාදවලට ප‍්‍රවේශ වී ඒවා වඩාත් තර්කානුකූල හා තිරසාර මට්ටමට වෙනස් කළ යුතුයි. එසේ නැතිව පර්යේෂණවලට හෝ උසස් අධ්‍යාපනයට වැඩිපුර ප‍්‍රතිපාදන ඉල්ලා උද්ඝෝෂණ කිරීම පමණක් මදි. පර්යේෂණවලට ප‍්‍රතිපාදන වැඩි කිරීම ද අවශ්‍යයි.

එයට මුදල් ජාතික භාණ්ඩාගාරයේ නැත්නම්, ණය වී හෝ මුදල් සොයා ගත යුතුද?

ණය ගන්නවාට වඩා රටක තිබෙන මහජන මුදල් කෙසේ යොදනවා ද යන්නයි වැදගත්. ලෝකයේ ඉසුරුබර රටවල් සාමුහික ලෙසත්, දියුණුවන රටවල් සාමුහික ලෙසත් ගෙන මා ඔවුන්ගේ මහජන මුදල් ප‍්‍රතිපාදන බෙදා හරින සැටි ගැන අධ්‍යයනය කළා. පොදුවේ ගත් විට මේ දෙපිරිසම අධ්‍යාපනයට එක හා සමාන ප‍්‍රතිශතයක් වෙන් කරනවා. ආරක්‍ෂක කටයුතු හා හමුදා වියදම් සඳහා ද ගෝලීය උතුරු හා දකුණු ප‍්‍රතිපාදන ප‍්‍රතිශතයක් ලෙස සමීපයි.

එහෙත් සෞඛ්‍ය, විද්‍යා පර්යේෂණ වැනි ක්‍ෂෙත‍්‍රවලදී එසේ නැහැ. ගෝලීය උතුරේ රටවල් තම වැසියන්ගේ සෞඛ්‍ය සඳහා යොදන මුදල් ප‍්‍රතිශතයෙන් තුනෙක් එකයි දකුණේ රටවල් වෙන් කරන්නේ. විද්‍යා පර්යේෂණ සඳහා දකුණේ රටවල් සොච්චමක් වැය කරන විට උතුරේ රටවල් (හමුදාමය නොවන සිවිල් පර්යේෂණ සඳහා) එමෙන්ම හත් අට ගුණයක් වෙන් කරනවා.

අද ලෝකයේ ඇති නැති පරතරටය ඓතිහාසික සාධක තිබෙනවා. එහත් ඒවා තව දුරටත් ප‍්‍රබල වීමට මෙසේ විද්‍යාවට හා පර්යේෂණවලට දකුණේ රටවල නිසි තැනක් නොලැබීමත් දායක වන බව මගේ විග‍්‍රහයයි.

Nalaka Gunawardene's interview with Dr Abdus Salam, Asia Technology Oct 1989
Nalaka Gunawardene’s interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

සිවුමංසල කොලූගැටයා #191: දියුණුවන ලෝකයේ අයින්ස්ටයින් අබ්දුස් සලාම්

Abdus Salam & Malala  Yousafzai
Abdus Salam & Malala Yousafzai

Malala Yousafzai, the Pakistani teenager turned activist, shared this year’s Nobel Peace Prize. She became the second Pakistani national in her country’s 67 year history as an independent state. Her Nobel has revived memories of the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In this week’s Ravaya column (in Sinhala), I look at this illustrious South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world.

I interviewed Salam twice as a young reporter – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

2014 සඳහා වන නොබෙල් සාම ත්‍යාගය දකුණු ආසියානු ජාතිකන් දෙදෙනෙකුට සම සේ හිමිව තිබෙනවා. එනම් ළමා වහල් සේවයට එරෙහිව දශක ගණනක් අරගල කරන ඉන්දියානු සමාජ ක‍්‍රියාකාරික කයිලේශ් සථ්‍යාර්ථි හා ළමයින්ට ඉගෙනීමේ අයිතිය උදෙසා ප‍්‍රබල හඬක් නගන පාකිස්ථානු දැරිය වන මලාලා යූසෆ්සායි.

මලාලාගේ සුවිශේෂත්වය වසර 113ක නොබෙල් ත්‍යාග ඉතිහාසයේ ත්‍යාගයක් ලද ලාබාලම පුද්ගලයා වීමයි. 2012 ඔක්තෝබරයේ පාකිස්ථානු තලෙබාන් ත‍්‍රස්තයන්ගේ වෙඩි පහරට ලක්ව බරපතල තුවාල ලද ඇය, දැරියන්ට හා කාන්තාවන්ට අඩුවෙන් සළකන, ඉගෙනීමට තහංචි පනවන ඉස්ලාම් මූලධර්මවාදීන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේ කථා කිරීම නතර කළේ නැහැ.

ස්ත‍්‍රී – පුරුෂ බව, සමාජ පසුබිම හෝ වෙනත් සාධක මත පදනම් නොවී සියළු දරු දැරියන්ට අධ්‍යාපනයට එක සමාන අයිතියක් ඇතැයි ද එය සාක්‍ෂාත් කර දීමට රජයන් හා ජන සමාජයට ලොකු වගකීමක් පැවරෙතැයි ද ඇය කියනවා.

බි‍්‍රතාන්‍ය ඉන්දියාව දෙකඩ කිරීමෙන් 1947 අගෝස්තුවේ බිහි වූ පාකිස්ථානයේ වසර 67ක ඉතිහාසයේ නොබෙල් ත්‍යාගයක් ලද දෙවැන්නා ඇයයි. එය මුලින්ම ලැබුවේ පාකිස්ථානයෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයා ලෙස සැළකෙන ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). ඔහු 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයේ සමලාභියකු වූවා.

මලාලාගේ නොබෙල් ත්‍යාගය නිසා සලාම්ගේ චරිත කථාව ගැනත් යළි ලෝක අවධානය යොමුව තිබෙනවා. අහ්මදි නම් ඉස්ලාමීය නිකායට අයත් වීම නිසා සලාම් සිට උපන් රටේ බොහෝ කොන් කිරීම් හා අවමන්වලට ලක් වුණා. ඔහු නොබෙල් ත්‍යාගය ලැබීමෙන් පසු පවා ජන්මය පදනම් කර ගත් කැනහිලිකම් නතර වූයේ නැහැ. මැදහත් මතධාරී පාකිස්ථානුවන් මේ ගැන සිහිපත් කරන්නේ මහත් පශ්චත්තාපයෙන්.

Young Abdus Salam
Young Abdus Salam

අබ්දුස් සලාම් උපන්නේ 1926 ජනවාරි 29දා බි‍්‍රතාන්‍ය ඉන්දියාවේ සහිවාල් දිස්ත‍්‍රික්කයේ සන්තෝක්දාස් ගමේ. ඔහුගේ පියා පන්ජාබ් ප‍්‍රාන්තයේ අධ්‍යාපන නිලධාරියෙක්. ඔහු හැදුණේ වැඩුණේ අගහිඟකම් රැසක් මැද. පාඩම් කළේ ලාම්පු එළියෙන්. පළමු වරට විදුලි එළියක් දුටුවේ වයස 15දී.

ඉගෙනීමට ඉතා දක්‍ෂ වූ සලාම්, තරග විභාගවලින් ඉහළම ලකුණු ලබා ගනිමින් ශිෂ්‍යත්වවල පිහිටෙන් ඉහළට උගත්තා. කලා හා විද්‍යා ක්‍ෂෙත‍්‍ර දෙකටම එක සේ ඇලූම් කළ හා දස්කම් තිබූ සලාම් ශිෂ්‍යයා වැඩිදුර ඉගෙනීමට භෞතික විද්‍යාව තෝරා ගත්තා. 1944දී ගණිතයෙන් හා භෞතික විද්‍යාවෙන් පළමුවන උපාධිය ලබා ගන්නා විට වයස 18යි.

ඒ කාලයේ බොහෝ දෙමවුපියන්ගේ ලොකුම බලාපොරොත්තුව වූයේ දරුවන් සිවිල් සේවකයන් වනු දැකීමයි. පියාගේ ඇවිටිලි නිසා සලාම් ඉන්දීය දුම්රිය පරිපාලන සේවයට ඉල්ලූම් කළත් ඔහු තෝරා ගැනුනේ නැහැ. හේතුව ඇස් පෙනීමේ තිබු දුර්වලතා. සලාම් දරුවා කුඩාවියේ පටන් ඇස් කණ්ණාඩි පැළඳ සිටියා.

පන්ජාබ් සරසවියෙන් උසස් උපාධියකට උගන්නට පටන් ගත් සලාම්, 1946දී සමස්ත ඉන්දියාවේම සිසුන් සමග තරග කොට විදේශ ශිෂ්‍යත්වයකට සුදුසුකම් ලැබුවා. මේ අනුව ඔහු බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ සාන්ත ජෝන් කොලීජියට ඇතුළු වුණා.

කේම්බි‍්‍රජ් සරසවියේ ගණිතයට හා භෞතික විද්‍යාවට ලොව පළමු පෙලේ දේශකයන් යටතේ උගත් ඔහු 1951දී සෙද්ධාන්තික භෞතික විද්‍යාවෙන් (theoretical physics) ආචාර්ය උපාධියක් ලැබුවා. එවිට වසය 25යි. ඒ වන විටත් විද්‍යාත්මක නිබන්ධන ලිවීම හරහා ලෝකයේ කැපී පෙනෙන තරුණ භෞතික විද්‍යාඥයකු බවට ඔහු ප‍්‍රකට වී සිටියා.

සලාම් කේම්බි‍්‍රජ් හි ගත කළ 1946-1951 පස් වසරක කාලය තුළ මවු රටෙහි ලොකු පෙරළි සිදුවුණා. බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් දේශපාලන නිදහස ලැබූ භාරතය පාකිස්ථානය හා ඉන්දියාව ලෙස රටවල් දෙකක් බවට පත්වුණා. 1951දී සලාම් ආපසු ආවේ පාකිස්ථානයටයි.

කෙටි කලක් ලාහෝරයේ රජයේ කොලිජියක ගණිතය උගැන් වූ ඔහු 1952දී පන්ජාබ් සරසවියේ ගණිත විද්‍යා අංශයේ ප‍්‍රධානියා වුණා. ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා පර්යේෂණායතනයක් එරට පිහිටුවන්නට ඔහුට ඕනෑ වුණත් එයට අවශ්‍ය සම්පත් තිබුණේ නැහැ.

එසේම වැඩි වැඩ කිරීමට නොයන ලෙස සෙසු සරසවි ඇදුරන් ඔහුට නිතර අවවාද කළා. ලෝකයේ විද්‍යා පර්යේෂණ පත‍්‍රිකා හා සඟරා බොහෝමයක් එරටට නොලැබීම නිසා තම විෂය ක්‍ෂෙත‍්‍රයේ ලිංමැඩියකු වීමේ අවදානමක් ද ඇති බව සලාම් තේරුම් ගත්තා.

1953දී අහ්මදියා භක්තිකයන් ඉලක්ක කළ ප‍්‍රචණ්ඩ කෝලාහල ලාහෝරයේ හට ගත්තා. ටික දිනකින් හමුදාව තත්ත්වය සමනය කළත් 200 දෙනකු පමණ මිය ගොස් බරපතල දේපළ හානි ද සිදු වුණා. මේ සිද්ධියෙන් ටික දිනකට පසු සලාම් නැවතත් කේම්බි‍්‍රජ් සරසවියට ගියා. එහි ගණිතවිද්‍යා මහාචාර්ය වුවා.

1957දී ලන්ඩනයේ ඉම්පීරියල් සරසවියේ ෙසෙද්ධාන්තික භෞතික විද්‍යා මහාචාර්ය ධූරයට පත් ඔහු 1959දී රාජකීය සමිතිය නම් ඉතා ඉහළ මට්ටමේ බුද්ධිමතුන්ගේ එකතුවේ අධිසාමාජිකත්වය පත් කරගනු ලැබුවා. එවිට වයස 33යි.

Abdus Salam in the classroom
Abdus Salam in the classroom

ඇල්බට් අයින්ස්ටයින්ගේ සිට ලොව ප‍්‍රමුඛ භෞතික විද්‍යාඥයන්ට කලෙක සිට ඕනෑ වූයේ භෞතික විද්‍යාවේ මූලික බලයන් සතරම එක් වී එකීකෘත බල ක්‍ෂෙත‍්‍රයක් (Unified Field) බිහි වේද යන්න සොයා බලන්නයි. මෙය ක්වන්ටම්වාදය සම්බන්ධ වන සංකීර්ණ විෂය පරාසයක්.

අයින්ස්ටයින් මිය ගියේ 1955දී. ඔහු නතර කළ තැනින් මේ චින්තන ගවේෂණ ඉදිරියට ගෙන යාමට මුල් වූ භෞතික විද්‍යාඥයන් අතර සලාම් කැපී පෙනුණා. විද්‍යුත්චුම්භක බලය හා දුර්වල බලය (electromagnetic force and weak force) යන දෙක අන්තර්ක‍්‍රියා කිරීම පිළිබඳ පර්යේෂණ කළ ඔහු එය අවබෝධ කර ගැනීමට ආකෘතියක් යෝජනා කළා (Standard Electroweak Theory, or ‘Standard Model’).

1950-60 ගණන්වල මතු කළ මේ සෙද්ධාන්තික අදහස්ල අත්හදා බැලීමේ මට්ටමින් තහවුරු කෙරුණේ 1973දී යුරෝපීය න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (CERN) මගින්.

සලාම්ට සමාන්තරව මේ පර්යේෂණ කළ තවත් භෞතික විද්‍යාඥයන් දෙදෙනෙකු සිටියා. එනම් ස්ටීවන් වයින්බර්ග් හා ෂෙල්ඩන් ලී ග්ලැෂෝ (Steven Weinberg, Sheldon Lee Glashow). වෙන වෙනම වැඩ කළත් එකම සොයාගැනීමට ලඟා වූ මේ තිදෙනාට 1979 භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය සම සේ පිරිනැමුණා.

ලෝකයේ ඉහළම පෙළේ විද්‍යාඥයකු වුව ද සලාම් ජීවිත කාලය පුරාම නිහතමානී වුවා. එසේම තම සංස්කෘතික උරුමය අගය කළා. තම ඉස්ලාමීය දැක්ම හා පන්ජාබීය පසුබිම කිසිදා අමතක කළේ නැහැ.

මේ නිසා 1979 දෙසැම්බර් 10 වනදා ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරදී එරට රජුගෙන් නොබෙල් ත්‍යාගය පිළිගන්නට සලාම් පන්ජාබීය ඇඳුම් කට්ටලයකින් සැරසී සාම්ප‍්‍රදායික තලප්පාවක් ද පැළඳ ගියා. එසේම සම්මානලාභී දේශනයේදී උර්දු කාව්‍යයන් හා ශුද්ධ කුරානයේ උධෘතයන් ඇතුළත් කළා.

Dr Abdus Salam receives Nobel Prize in Physics, Stockholm, 10 Dec 1979
Dr Abdus Salam receives Nobel Prize in Physics, Stockholm, 10 Dec 1979

1954 සිට පාකිස්ථානයෙන් පිටත බොහෝ කල් ගත කළත් ඔහු මවු රට සමග සබඳතා දිගටම පවත්වාගෙන ගියා. 1961 සිට 1974 දක්වා පාකිස්ථානු ජනධිපතිවරයාගේ ප‍්‍රධාන විද්‍යා උපදේශක වූ ඔහු පාකිස්ථානු න්‍යෂ්ටික බලශක්ති කොමිසමේ සාමාජිකයකු ද වූවා. එරට විද්‍යා කොමිසමේ ද සිටියා.

1957දී අභ්‍යවකාශ යුගය ඇරැඹී කෙටි කලෙකින් එම තාක්‍ෂණය දියණුවන රටවලට ප‍්‍රයෝජනවත් වන සැටි දුර දක්නා නුවණින් වටහාගත් ඔහු 1961දී පාකිස්ථානයේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩපිළිවෙලක් ඇරැඹීමට මුල් වුණා. ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ පාකිස්ථානයයි. (2014 අගෝස්තු 10 වනදා කොලම ද බලන්න.)

සලාම්ගේ පාකිස්ථානු විද්‍යා කටයුතු සියල්ල සිවිල් මට්ටමේ පැවතුණත් සමහරුන් කියන්නේ ඔහු එරට න්‍යෂ්ටික බෝම්බයක් තැනීමට හමුදාවත් සමග රහසිගතව කටයුතු කළ බවයි. මේ ගැන තොරතුරු තහවුරු කර ගැනීම අපහසුයි.

දේශීය විද්‍යා පර්යේෂණ දියුණු කිරීම පිළිබඳ නිසි දැක්මකින් හා අධිෂ්ඨානයෙන් කටයුතු කළ සලාම්ට පෙරදිග විද්‍යාව හා බටහිර විද්‍යාව යයි කෘති‍්‍රම බෙදීමක් තිබුණේ නැහැ. ඔහු විද්‍යා උපදේශකව සිටි කාලය තුළ දක්‍ෂ තරුණ පාකිස්ථානු විද්‍යාඥයන් 500 දෙනෙකුට වඩා අමෙරිකාවේ හා බි‍්‍රතාන්‍යයේ ඉහළම පෙළේ සරසවිවල ආචාර්ය උපාධිය ලබා ගන්නට ශිෂ්‍යත්ව මත යැවූ බව ඔහුගේ සමීප මිතුරකු වූ ඉෂ්ෆාක් අහමඞ් කියනවා.

සලාම් පාකිස්ථානු රජය සමග තිබූ සබඳතා නතර කළේ 1974දී අලි භූතෝ අගමැතිවරයාගේ රජය කාලයේ අහ්මදිවරුන් ඉස්ලාම් භක්තිකයන් නොවේ යයි නව නීතියක් එරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පසුවයි. 1974න් පසු ඔහුගේ පදිංචිය ලන්ඩන් නුවරට මාරු කළා. එහෙත් පාකිස්ථානු සරසවි හා විද්වත් සංගම් සමග ඔහු දිවි ඇති තුරු සබඳතා පවත්වා ගත්තා.

දියුණුවන රටවල දිගටම රැඳී සිටිමින් දුෂ්කරතා මැද පර්යේෂණ කරන විද්‍යාඥයන් ලොව නව දැනුම් සමුදයට වඩා සමීප කරන ක‍්‍රමෝපායක් 1964දී සලාම් ඇරඹුවා. එනම් ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව පිළිබඳ ලෝක කේන්ද්‍රයයි (International Center for Theoretical Physics, ICTP). එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝව හා න්‍යෂ්ටික බලශක්ති ඒජන්සිය IAEA සමග එක්ව ඉතාලි රජයේ අනුග‍්‍රහයෙන් ඇරැඹූ මේ කේන්ද්‍රය ඉතාලියේ ටි‍්‍රයෙස්ට් නුවර පිහිටුවනු ලැබුවා.

ICTP යනු උපාධි පිරිනමන සරසවියක් නොවෙයි. එහි ගුරුන් හා සිසුන් යයි බෙදීමක් නැහැ. එහි එන්නේ වසර කිහිපයක් වෘත්තීය අත්දැකීම් ඇති, ශාස්ත‍්‍රගවේෂී විද්‍යාඥයෝ. ලොව විවිධ රටවලින් එන තම ක්‍ෂෙත‍්‍රයේම විද්වතුන් සමගත්, වෙනත් ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් සමගත් දැනුම හුවමාරු කර ගන්නට හා තම විෂයට අදාල අලූත්ම පර්යේෂණ නිබන්ධන කියවන්නට ඔවුන්ට අවස්ථාව ලැබෙනවා. මෙහි එන විද්‍යාඥයෝ සති කිහිපයක් හෝ උපරිම මාස 3ක් ගත කර ආපසු සිය රට යා යුතුයි.

සලාම්ට නොබෙල් ත්‍යාගයට අමතරව ලොව නන් දෙසින් ගෞරව ආචාර්ය උපාධි, සම්මාන හා ත්‍යාග රැසක් ලැබුණා. ඔහු රටවල සංචාරය කරන විට රාජ්‍ය නායකයකු තරම් ගරු සරු ඇතිව පිළිගනු ලැබුවා. ජිනීවා නුවර මහාමාර්ගයක් ඔහු නමින් නම් කොරුණා. තම රටේ විද්‍යාඥයන්ට නොබෙල් ත්‍යාග ලැබීමට ගුරුහරුකම් ලබා දෙන ලෙස කොරියානු රජය ඔහුගෙන් ඉල්ලා සිටියා.

එහෙත් ආගමික අන්තවාදය නිසා පාකිස්ථානයේ ඔහුගේ ආරාධිත දේශනවලට ප‍්‍රචණ්ඩත්වයේ තර්ජන එල්ල වුණා. මේ තර්ජන නිසා ඔහුට ප‍්‍රසිද්ධ දේශන පැවැත්වීමට ඇරැයුම් කිරීමට එරට සරසවි බිය වුණා.

We are sorry, Dr Abdus Salam! By Nayyar Afaq, The Express Tribune, Pakistan: 21 November 2013

පාකිස්ථාන සම්භවය ඇති විද්‍යා ප‍්‍රතිපත්ති විශේෂඥයකු වන අතාර් ඔසාමා කියන්නේ අබ්දුස් සලාම් තෙවන ලෝකයේ අයින්ස්ටයින් වූ බවයි. ඔහුට පාකිස්ථානයේ කෙසේ වෙතත් ලොව වෙනත් බොහෝ රටවල නම් නොමද ගෞරවය ලැබී තිබෙනවා.

මෙය විග‍්‍රහ කරන පාකිස්ථානු බුද්ධිමතකු වන අදිල් නජාම් කියන්නේ කෙටි කාලීන පටු දේශපාන වාසි තකා ගෙන අහ්මදිවරුන් හෙළා දැකීමේ අලිභූතෝ රජයෙ ප‍්‍රතිපත්තිය එයට මුල් වූ බවයි. අහමදි විරෝධය කෙතරම් පැතිර ගියාද කිවහොත් පසුව ආ පාලකයන්ට එය නතර කළ නොහැකි වුණා.

1996 නොවැම්බර් 21 දා සලාම් බි‍්‍රතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් නුවරදී මිය ගියා. ඔහු ඉල්ලා සිටි පරිදි දේහය පාකිස්ථානයට ගෙන යනු ලදුව පන්ජාබයේ ඔහුගේ දෙමවුපියන් ද මිහිදන් කළ අහ්මදි සුසාන භූමියක තැන්පත් කරනු ලැබුවා.

”මෙහි සැපවෙන්නේ ඉස්ලාම් ලෝකයේම මුල්ම නොබෙල් ත්‍යාගලාභියාය” යන වැකිය ඔහුගේ සොහොන් කොතේ අනුගාමිකයන් විසින් සටහන් කළත් ටික කලකට පසු ඉල්ලාම් යන වචනය කටු ගා දමා තිබෙනවා.

මෑත වසරවල පාකිස්ථානයේ බුද්ධිමතුන් ටික දෙනෙකු ප‍්‍රබල හඬක් මතු කරමින් කියන්නේ කල් ගත වී හෝ අබ්දුස් සලාම්ට උපන් රටේ නිසි ගෞරවය ලබා දිය යුතු බවයි. එහෙත් දේශපාලන කල්ලිවාදයට හා ආගමික අන්තවාදයට හසුව නිතිපතා කැළඹීලි සමග වෙසෙන පාකිස්ථානු ජනතාවට මෙයට විරාමයක් නැති පාටයි.

A letter from Dr Abdus Salam to Malala, Dawn newspaper, Pakistan. 11 Oct 2014

L to R - Abdus Salam , Steven Weinberg, Sheldon Lee Glashow:  co-winners of Nobel Prize in Physics 1979
L to R – Abdus Salam , Steven Weinberg, Sheldon Lee Glashow: co-winners of Nobel Prize in Physics 1979

අපේ රටේ බලවත්ම තීරකයෝ ජ්‍යොතිෂකාරයන්ද? ගාමිණී වියන්ගොඩ අසයි

Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ  ඕනෑකර තිබේ book, 23 October 2014
Rationalists Association of Sri Lanka discussion on කාල බෝම්බ ඕනෑකර තිබේ book, 23 October 2014 – Photo by Buddhini Ekanayake

සිවුමංසල කොලූ ගැටයා හේතුවාදීන්ගේ විමර්ශනයට ලක් වෙයි.

මගේ අලූත්ම පොත කාල බෝම්බ ඕනෑකර තිබේ! නිමිත්ත කර ගෙන ශ‍්‍රී ලංකා හේතුවාදීන්ගෙ සංගමය 2014 ඔක්තෝබර් 23 දා සංවාද මණ්ඩපයක් කොළඹ එන්. එම්. පෙරේරා කේන්ද්‍රයේ දී පැවැත්වූවා.

2011 මුල සිට මා රාවය පුවත්පතට ලියන සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපියේ හේතුවාදී දැක්මක් තිබෙනවා. මා එම හේතුවාදීන්ගෙ සංගමයේ සාමාජිකයකු නොවූවත් ඔවුන්ගේ තර්කානුකූල හා විචාරශීලි ප‍්‍රවේශය මට ද සමීපයි. ඇත්තටම මා තීරු ලිපිය ලියන්නේ හේතුවාදීන් නොවන බහුතරයක් ලාංකිකයන්ගේ මනැස ටිකක් හෝ විවෘත කිරීමේ අරමුණින්.

හේතුවාදීන්ගෙ සංගමයේ වත්මන් සභාපති සූරපාල රණතුංග මහතාත්, ලේකම් තාරක වරාපිටිය මහතාත් මූලික හැඳින්වීමක් කළ පසු හේතුවාදී ක‍්‍රියාකාරිකයන් හා ලේඛකයන් වන ගාමිණි වියන්ගොඩ හා එස්. එම්. බන්දුසීල දෙදෙනා මගේ පොත හා තීරු ලිපි ගැන අදහස් දැක්වූවා. එයින් සාරාංශයක් මෙන්න.

Gamini Viyangoda - Photo by Buddhini Ekanayake
Gamini Viyangoda – Photo by Buddhini Ekanayake

ප‍්‍රවීණ ලේඛක හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මහතා:

මෙය සෑම හේතුවාදියකුම කියවිය යුතු පොතක්. අපේ හේතුවාදීන්ගේ කථාබහවල හා සංවාදවල යම් සීමිත බවක් තිබෙනවා. ආගම්, ඇදහිලි හා විශ්වාස වෙත වැඩි අවධානයක් අප යොමු කරනවා. එහෙත් හේතුවාදීන් ලෙස එවැනි දාර්ශනික සාකච්ඡාවලට පමණක් සීමා නොවී, එයින් ඔබ්බට ද අප සමාජය විග‍්‍රහ කළ යුතුයි. තව කථාබහ කළ යුතු හා විචාරශීලීව බැලිය යුතු බොහෝ දේ තිබෙනවා.

එවැනි පරාසයකට බැල්ම හෙලන මේ පොතට හේතුවාදීන්ගේ වපසරිය පුළුල් කළ හැකියි. මේ පොතේ විවිධාකාර විෂයයන් ගැන හා ලක් සමාජයේ විවිධ හරස්කඩවලට පැතිරුණු ලිපි අඩංගුයි.

ඒ හැම ලිපියක් පිටුපසම දිව යන හුය ලෙස මා දකින්නේ විවෘතභාවය හා විචාරශීලීත්වයයි. ඒ තමයි මේ ලිපි එකට ගැට ගසන පොදු සාධකය.

ලක් සමාජයේ චින්තනයේ සීමා හා පටු බව අතික‍්‍රමණය කරන්න, මේ ලිපි හරහා අපට මග පෙන්වීමක් කරනවා. ඒ ඔස්සේ යොමු විය හැකි නම් ආගම් අරභයාත්, ලෞකික ජීවිතය අරභයාත් අප වඩාත් තර්කානුකූල සමාජයක් බවට පත් වේවි.

මෙසේ වීම ශ‍්‍රී ලංකාවට හදිසි අවශ්‍යතාවයක්. අද අපේ රටේ රාජ්‍ය පාලනයට ජ්‍යොතිෂයජ්‍යොතිෂ සෘජුවම බලපෑම් කරනවා. එයට හේතුව රාජ්‍ය නායකයා මේවා දැඩි ලෙස විශ්වාස කරන්නකු වීම නිසා. එපමණක් නොවෙයි, පාලක හා විරුද්ධ පක්‍ෂ සියල්ලේම පාහේ සිටින බොහෝ නායකයෝ හා අපේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යන ජනතා නියෝජිතයෝ ජ්‍යොතිෂයට අනුව තමයි රටේ තීරණාත්මක පියවර හා ප‍්‍රතිපත්ති නිර්ණය කරන්නේ.

අපේ මැතිවරණ පවත්වන්නේ පාලකයාගේ කේන්දරයට වඩාත්ම සුබදායි යයි කියන දිනයක මිස වෙනත් කිසිදු සාධකයක් සළකා බලා නොවෙයි. මේ නිසා පාලකයන්ටත් වඩා ඉහලින් බලපෑම් කිරීමේ හැකියාව සමහර ජ්‍යොතිෂකාරයන්ට අද ලැබී තිබෙනවා.

අද අපේ රටේ බොහෝ දෙනකු නොදන්නා හෝ නූගත් හෝ උදවිය නොවෙයි. ආගම් ඇදහීමේදීත්, ජ්‍යොතිෂය ඇතුලූ ගුප්ත විද්‍යා දැඩි ලෙස විශ්වාස කිරිමේදීත් ඔවුන් තම දැන උගත්කම පසෙක තබා ඔහේ කි‍්‍රයා කරනවා.

මා මෙය දකින්නේ මොළය වෙහෙසවීමට ඇති අලසකම ලෙසයි. මොළය වෙහෙසා තර්කානුකූලව හා බුද්ධිගෝචරව යථාර්ථය විග‍්‍රහ කරනවාට වඩා ඉතා ලෙහෙසිනේ මොළය නිද්‍රාශීලීව තබා ගෙන තමන්ගේ වැදගත්ම තීරණ ආගමට හෝ ජ්‍යොතිෂයට හෝ ඒ දෙකටම භාර දීම.

එසේ මොළය නිද්‍රාශීලීවීමට ඉඩ නොදී, අලස නොවී ස්වාධීනව සිතන ටික දෙනකු නිසා තමයි ලෝකය ඉදිරියට යන්නේ. විද්‍යාව හා ශාස්ත‍්‍ර දියුණු වන්නේත්, ශිෂ්ටාචාරය වර්ධනය වන්නේත් එබන්දන්ගේ පිහිටෙන්. අපට තව තවත් අවශ්‍ය මේ අවධි වූ සිහියෙන් සිටින අයයි.

මොළය අලසව නිද්‍රාශීලීව සිටින උදවිය අවධි කිරීමේ ලොකු වගකීමක් අපට තිබෙනවා. සමාජය විවෘත හා විචාරශීලී කිරිමට මග පෙන්වීම තමයි හේතුවාදීන්ගේ සැබෑ කාර්ය භාරය. හේතුවාදීව සිතිය හැකි දේශපාලනික නොවන කාරණා ඕනෑ තරම් තිබෙනවා. හේතුවාදීන් පුළුල් පරාසයකට යොමු කරන්නට නාලකගේ සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය හා පොත් මහත් සේ උපකාර වනවා.

S M Banduseela speaks - Photo by Buddhini Ekanayake
S M Banduseela speaks – Photo by Buddhini Ekanayake

ප‍්‍රවීණ විද්‍යා පරිවර්තක හා හේතුවාදී ක‍්‍රියාකාරික එස්. එම්. බන්දුසීල මහතා:

ප‍්‍රධාන ධාරාවේ මාධ්‍යවල හා සභාවල බොහෝ විට කථා නොවන දේ නාලක නිතර ඔහුගේ තීරු ලිපියට මාතෘකා කර ගන්නවා. හැම දෙයක් කෙරෙහිම විචාරශීලීව බලන්නට හා ප‍්‍රශ්න කරන්නට ඔහුට හැකියාවක් තිබෙනවා. ඔහුගේ ලිපි කියැවීමෙන් අපේ රටේ බහුලව පැතිර ඇති ළිං මැඩි මානසිකත්වයෙන් අත්මිදිය හැකියි.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිවල මා දකින තවත් වැදගත් ගුණාංගයක් නම් ලේඛකයා කිසිදු මතයක් හෝ විග‍්‍රහයක් හෝ සඳහා අනවශ්‍ය ලෙස පෙනී නොසිටිම. මෙය අපේ මාධ්‍යවල දුර්ලභයි. බොහෝ අය තැත් කරන්නේ තමන් කියන දේ පමණක් නිවැරදි යයි ඒත්තු ගන්වන්න. එහෙත් නාලක කරන්නේ අපට හිතන්නට ඇති තරම් කරුණු හා මානයන් සපයා දී අපේ විග‍්‍රහයන් අපටම කළ හැකි තැනකට අප කැඳවා ගෙන යාමයි.

එසේම විද්‍යා, කලා, මාධ්‍ය හැම ක්‍ෂෙත‍්‍රයකටම පැතිර පවතින අධිපතිවාදී මතවලට ඔහු නිතර අභියෝග කරනවා. එසේ කරන්නේ සියුම්ව හා ආචාරශීලීව ප‍්‍රතිතර්ක ගොනු කිරීමෙන්.

Photo by Buddhini Ekanayake
Photo by Buddhini Ekanayake