සිවුමංසල කොලූගැටයා #188: ලිංමැඩියා මර්දනය කෙසේ කළ හැකිද?

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Writing a foreword to my latest collection of Ravaya columns, titled ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ (Wanted: Time Bombs of the Mind!), researcher and public intellectual Dr Udan Fernando comments on two societal trends in post-war Sri Lanka (since 2009).

One is the indulgence — and even perverse ‘celebration’ — of insularity, conflating it for distinctiveness and cultural identity. This is found among certain academics, artistes and social activists.

The other is obsessive nostalgia for, and romanticising of, history – at least, a certain interpretation of historical events and processes. Never mind whatever problems of development and governance of today, these nostalgists seem to contend, we were once a great nation (or the greatest of all).

In my column (published in Ravaya newspaper, 5 October 2014), I discuss how best to counter insularity and unhealthy obsession with history. I also lament, as does Udan, the gradual decline of Lankans with bilingual or trilingual skills which enabled them to connect with each other and the wide world outside their island.

සිවුමංසල කොලූ ගැටයා තීරු ලිපිය ලෙස 2013-14 වකවානුවේ මා ලියූ ලිපි 44ක් ඇතුළත් තුන්වන පොත ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ නමින් ගිය මාසයේ නිකුත් වුණා.

එයට පෙරවදනක් ලිවීමට මා ඇරැයුම් කළේ රාවය හරහා මා හඳුනා ගත් මිතුරකුට. ඔහු ආචාර්ය උදන් ප‍්‍රනාන්දු. ස්වාධීන සමාජ විද්‍යා පර්යේෂකයෙක්. කලක් නෙදර්ලන්තයේ විසීම නිසා ලිබරල් සමාජයක හා නිර්ආගමික රාජ්‍යයක සෘජු අත්දැකීම් ඇති, බොහෝ දේ තුලනාත්මකව දැකිය හැකි අයෙක්.

පෙරවදනේ ඔහු මෙසේ කියනවා. “දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. තම කොස්මොපොලිටන ඌරුව නාලකගේ තීරු ලිපි තුළ නොමසුරුව සනිටුහන් වෙයි. එය ලිංමැඩියා මර්දන ව්‍යාපාරයට කෙරෙන මහගු දායකත්වයක් බවයි මගේ තක්සේරුව.”

මා කිසිදු දේශපාලන මතවාදයක් කරපින්නා ගත් අයකු නොවෙයි. එහෙත් අධිපතිවාදයන්ට නොකැමති, නිතර ප‍්‍රශ්න කරන හා බල සංකේන්ද්‍රණයට එරෙහි දැක්මක් නම් මට තිබෙනවා.

Dr Udan Fernando
Dr Udan Fernando

උදන් මෙය දකින්නේ මෙලෙසයි. “පසුගිය වසර පහ තුල ලාංකේය සමාජයට වැළදී ඇති බරපතල ම රෝගය විය හැක්කේ අතීතකාමයයි. මේ වන විට අතීතකාමය නිධන්ගත රෝගයක් බවට පත් වී ඇත. පෙර එක දවසක තිබුනා යැයි කියන ශ්‍රී විභූතියෙන් බඩගින්නේ හෝ සිට අපි සතුටු වෙමු. ඉතිහාසය හා ඉතිහාසිකරණය නාලක භාවිතා කරන්නේ නිර්මානාත්මක ආකාරයකටය. ඔහුගේ ප්‍රවේශය ඉතිහාසය යම් ප්‍රත්‍යාලෝකනයක් ලෙස සලකා බැලීමය. ඉන් ඉතිහාසය අනවශ්‍ය ලෙස රොමැන්තිකකරණය නොවේ. එලෙස ගත් කල ජාතික ව්‍යාධියක් සුව කරනු පිණිස නාලකගේ තීරු ලිපි පැසසුමට ලක් කළ යුතුය.”

ළිං මැඩියාව ඇති බොහෝ දෙනෙකු තමන්ට එබඳු තත්ත්වයක් ඇතැයි අවබෝධයක් නැහැ. තවත් සමහරුන් එය ඕනෑ කමින් හුවා දක්වමින් ගැන උදම් අනනවා. ලෝකය ගැන වඩාත් දැනුවත් හා සංවේදී අය හෙළා දකිනවා.

මනෝ ලෝකවල සිට සිතැඟි දේ මවා ගන්නට අප කාටත් ඉඩක් තිබෙනවා. එය පෞද්ගලිකත්වය හා මානව නිදහසට අදාල කරුණක්. එහෙත් අප මෙහි කථා කරන්නේ පොදු අවකාශය (public space) හා පොදු උන්නතියට (public interest) අදාලවයි.

ළිං මැඩියන් සේ සිටීමේ පූර්ණ නිදහස ඕනෑම කෙනෙකුට ඇතත්, ළිං මැඩියන් ලෙස අන් සැම (විශේෂයෙන් ළමා හා තරුණ පරපුර) බලෙන් රඳවා තබා ගන්නට නම් කිසිවකුත් අයිතියක් නැහැ. එසේම රාජ්‍ය ප‍්‍රතිපත්ති හා සමාජ ප‍්‍රවණතා අරභයා ළිං මැඩියා මානසිකත්වය මතුවීම ඉතා අහිතකරයි.

දේශපාලකයෝ ළිං මැඩියන්ට හරි ආසයි. තමන් කියන ඕනෑම අභව්‍ය කථාවක්, තර්කයක් හෝ කුමන්ත‍්‍රණවාදයක් වැඳ ගෙන අසා සිට අන්තිමේදී හුරේ දමන මහජනතාවක් හැමදාමත් පවත්වා ගන්නට බහුතරයක් දේශපාලකයන්ට ඕනෑකම ඇති.

උදන්ගේ තර්කයට අනුව ලක් සමාජයේ ලිංමැඩියාවට එක් ප‍්‍රධාන හේතුවක් නම් තනි බසක් පමණක් කථා කරන, එබසින් පමණක් පොත් කියවන හා සන්නිවේදනය කරන බහුතරයක් සිටීමයි.

මෙය සිංහල හා දෙමළ ජන කොටස් දෙකටම පොදු වුවත් සුළු ජන කොට්ඨාශයක් ලෙස දෙමළ ජනයා සිංහලත්, එයට අමතරව ඉංගී‍්‍රසිත් ප‍්‍රගුණ කරන්නට වැඩි උනන්දුවක් ගන්නා බව මගේ නිරීක්‍ෂණයයි.

සන්නිවේදන තාක්‍ෂණ හරහා මින් පෙර නොතිබූ පරිදි ඉංග‍්‍රීසි උගන්නට නව අවස්ථා විවර වී තිබෙනවා. එහෙත් ආකල්පීය හේතු නිසා හෝ කුඩා වියේ ඇති කරනු ලැබූ ඉච්ඡාභංගත්වය නිසා හෝ ඕනෑකමින්ම ඉංග‍්‍රීසිය මග හරින හා එය තවමත් අධිරාජ්‍යවාදී කඩුවක් යයි සිතන අය තරුණ පරපුර අතර පවා සිටිනවා. මෙබඳු පිරිස් අතර ළිංමැඩියාව ප‍්‍රබලයි.

සිංහලට පමණක් සීමා වූ දැනුම් හා ආකල්ප ග‍්‍රහණයක් ඇති විට සිදු වන දෙය උදන් විග‍්‍රහ කරන්නේ මෙලෙසයි.

“ද්වීභාෂා කුසලතාව, 1956 පෙරළියට පිං සිදුවන්නට අපට අහිමි වුනු දෙයකි. එහි ප්‍රතිපලයක් ලෙස සිංහල හා ඉංග්‍රීසි බසින් — විශේෂයෙන් පුවත්පත්වල — ලියවෙන්නේ සහමුලින් ම එකිනෙකට වෙනස් දේය. සිංහල පමණක් කියවන්නෙකුට කියවන්නට ලැබෙන්නේ සීමිත වපසරියක අදහස්ය.”

“අවාසනාවකට බොහෝ සිංහල ලියන්නන් ඇසුරු කරන්නේ සිංහල පොතපත පමණය. සිංහල පමණක් කතා කරන්නන් පමණය. මෙය එක්තරා ආකාරයක විෂම චක්‍රයකි. උදේ පිසූ කිරිබත ම රත් කර දිවා ආහාරයට ගෙන ඉන් ඉතිරි වූ ටික රත් කර රාත්‍රී ආහාරයට ගන්නා විට පිළුණු රසය මතු වීම වැළැක්විය නොහැක. එහෙත් එක භාෂාවකට පමණක් විලංගු ලා ගත් බොහෝ දෙනා එම පිළුණු කිරිබත තලු මරමින් අනුභව කරයි.”

ද්විභාෂිකත්වයේ වැගත්කම පිළිගැනීම හරහා තනි බසක් පමණක් ප‍්‍රගුණ කළ කිසිවකු හෑල්ලූ කිරීමක් සිදු වන්නේ නැහැ. අප කැමති වුණත් නැතත් සමාජ යථාර්ථයන් ඇති සේ දැකීම අවශ්‍ය දෙයක්.

From L to R - A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera
From L to R – A J Gunawardana, Ajith Samaranayake, Tissa Abeysekera

ද්විභාෂිකත්වයේ ද විවිධ මට්ටම් තිබෙනවා. සමහර ද්විභාෂිකයන් භාෂා දෙකක් ව්‍යක්ත ලෙස කථා කරන හා ඒ දෙකෙන්ම නිර්මාණශීලි හෝ විචාරශීලි කාර්යයන්හි නිරත විය හැකි අයයි. ඉංග‍්‍රීසි හා සිංහල දෙබසින්ම ලියූ තිස්ස අබේසේකර මෑත කාලීන හොඳ උදාහරණයක්.

තවත් සමහරුන් භාෂා දෙකක් මනාව දැන එම සංස්කෘතින්ට සමීප වුණත් ඔවුන් ලියන්නේ එයින් එක් බසකින් පමණයි. කලක් මගේ ජේ්‍යෂ්ඨ සගයකු වූ ඉංග‍්‍රීසි පුවත්පත් කතු අජිත් සමරනායකත් ඉංග‍්‍රීසි මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධනත් දෙදෙනාම සිංහල, සාහිත්‍ය නාට්‍ය හා සිනමා ක්‍ෂෙත‍්‍රයන්ට සමීපව සිටියා. ඔවුන් ඒවායේ නව ප‍්‍රවණතා මනා සේ හඳුනා ගත්තා. එහෙත් ඔවුන් බොහෝ කොටම ලිිව්වේ ඉංග‍්‍රීසියෙන්. (එයත් වැදගත් හා අවශ්‍යයි. මෙරට ඇතැම් මධ්‍යම පංතිකයන්ට දේශීය කලා නිර්මාණ ඉංග‍්‍රීසි පුවත්වත් හරහා හඳුන්වා දුන්නේ මේ දෙපල හා තවත් ඔවුන් වැනි ටික දෙනෙක්.)

Groundviews.org, 19 Sep 2008: Remembering A J Gunawardana: A creative public intellectual

දෙමළ, සිංහල, ඉංග‍්‍රීසි භාෂා තුනෙහිම කලා ක්‍ෂෙත‍්‍ර හැකි පමණින් නිරික්සා ඇගැයීමක් කරන මගේ තවත් ජ්‍යෙෂ්ඨ මිත‍්‍රයෙක් සිටිනවා. ඔහු නිදහසේ මාධ්‍යවේදී හා විචාරක කේ. එස්. සිවකුමාරන්. මෙරට ඉංග‍්‍රීසි පුවත්පත් හැමෙකටම පාහේ ලිපි සපයන ඔහුගේ කුතුහලය හා දැනුම ඉතා පුළුල්.

ළිං මැඩියාව අපේ රටට පමණක් සීමා වූවක් නොවෙයි. හැම රටකම එයින් පෙළෙන අය සිටිනවා. සමහර රටවල එයට තුඩු දෙන සාධක වෙනස්. හොඳ උදාහරණයන් නම් අමෙරිකා එක්සත් ජනපදයයි. දැනුම් මූලාශ‍්‍රයන් ලෙහෙසියෙන් සොයා ගත හැකි වූත් අධ්‍යාපන හා සාක්‍ෂරතා මට්ටම් ඉහල වූත් එරට බොහෝ දෙනා තම රටින් බාහිර ලෝකය ගැන ඇත්තේ සීමිත හා බොහෝ සෙයින් විකෘති වූ වැටහීමක්.

වඩාම ආසන්න අසල්වැසි රටවල් දෙක වන කැනඩාව හා මෙක්සිකෝවෙන් ඔබ්බට නොගිය අමෙරිකානුවන් අති විශාල සංඛ්‍යාවක් සිටිනවා. මීට වසර කිහිපයකට පෙර කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමහර අමෙරිකානුවන් සිතන්නේ යුරෝපය ද තුන්වන ලෝකයේ ම කොටසක් කියා බවයි!

අමෙරිකාව ආන්තික උදාහරණයක්. බටහිර යුරෝපයේ නැතිනම් ඉන්දියාවේ වැසියන් බොහෝ දෙනෙකුට නම් තම රට හා ලෝකය ගැන සෑහෙන අවබෝධයක් තිබෙනවා. ඔවුන් තමන්ගේ ජාතිකාභිමානය ඔස්සේ තම රට ගැන අධිතක්සේරුවකට යන්නේ නැහැ. එසේම කුමන්ත‍්‍රණවාදී තර්ක අවිචාරශීලී ව පිළි ගන්නේ ද නැහැ. (එයට අති සමතුන් වන්නේ පාකිස්ථානය හා බංග්ලාදේශ් රටවල වැසියන්. එරටවල බොහෝ උගතුන් පවා තමන්ගේ රටට වින කරන්නට මුලූ ලොවම කැස කවන බව විශ්වාස කරනවා.)

10 February 2013: සිවුමංසල කොලූගැටයා #104: බලන සැම තැන කුමන්ත‍්‍රණවලින් සපිරි දේශයක්!

ලිං මැඩියාවේ විවිධ පැතිකඩ කලින් කලට මෙරට ප‍්‍රචලිත වනවා. පුරා විද්‍යාත්මකව කිසිදු සාක්‍ෂියක් නැති ජනප‍්‍රවාදයක් වන රාවණා රජු හා ඔහුගේ හපන්කම් ගැන අද දවසේ සංසරණය වන කථා මෙයට උදාහරණයක්.

L to R - Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi
L to R – Nirmal Ranjith Dewasiri, K S Sivakumaran, Liyanage Amarakeerthi

බොහෝ දෙනා තම රටේ ඉතිහාසය උල්ප්පා දැක්වීමට කැමතියි. එහෙත් අතිශයෝක්තියෙන් ඔබ්බට යන බෙහෙවින් අභව්‍ය සිදුවීම් අපට සැළකිය හැක්කේ ප‍්‍රබන්ධ හැටියට පමණයි. තමන් කැමති ඕනෑම ෆැන්ටසියක් ඇදහීමට පුද්ගල නිදහස ඇතත් එය යොදා ගෙන පොදු අවකාශයේ හා මාධ්‍ය හරහා ජනතාව නොගම යැවීම සාරධර්ම විරෝධීයි.

රාවණා ප‍්‍රවාදයන් ගැන මෙරට බොහෝ සැබෑ පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් නිහඬව සිටින පසුබිමක කොළඹ සරසවියේ ඉතිහාසය පිළිබඳ පර්යේෂක ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි එය ප‍්‍රසිද්ධියේ විචාරයට ලක් කිරීම ඉතා වැදගත්. (2014 සැප් 14 රාවයේ පළ වූ ඔහුගේ ලිපිය කියවන්න.)

නිර්මාල් රංජිත් දේවසිරි හා ලියනගේ අමරකීර්ති වැනි ද්විභාෂික වියතුන් අපේ සරසවිවල දුර්ලභයි. ලිංමැඩියාව තවත් ප‍්‍රවර්ධනය කරන මධ්‍යස්ථාන බවට අපේ සරසවි පත්ව ඇත්තේ එනිසායි.

සිවුමංසල කොලූගැටයා #187: ජනප‍්‍රිය සංස්කෘතියට බය අපේ ප‍්‍රබුද්ධයෝ

Last week, I wrote in my Ravaya column (in Sinhala) about Lankan writer Deeman Ananda (1933-2007), who wrote over 1,000 books of crime fiction, detective fiction and other thrillers in Sinhala from 1960s well into the 1980s.

I had lots of reader responses – many of them thanking me for the info and insights on this neglected writer.

Today, I probe further why a popular and prolific writer like Deeman Ananda was ridiculed and demonized by the literary mainstream and critics. I argue that the artificial and rigid divide between Lankan popular culture and so-called high culture is at the root of such discrimination. Besides Ananda, other creative professionals – from singers and dramatists to comic artists – have also suffered from this misplaced prejudice.

'Giants' of popular culture in Sri Lanka: L to R - Deeman Ananda, Nimal Lakshapathiarachchi, Titus Thotawatte
‘Giants’ of popular culture in Sri Lanka: L to R – Deeman Ananda, Nimal Lakshapathiarachchi, Titus Thotawatte

අපේ රටේ මුළු පරම්පරාවක්ම කියවීමට හුරු කළ ඞීමන් ආනන්ද ලේඛකයා ගැන ලියූ කොලමට විවිධාකාර ප‍්‍රතිචාර ලැබුණා. පණ්ඩිතයන් හා විචාරකයන් කෙතරම් හෙළා දුටුවත් ඔහු පොදු ජනයා අතර තවමත් වීරයකු බව නම් පැහැදිලියි.

ප‍්‍රතිචාර අතර අභව්‍ය එකක් වූයේ මෙරට ‘සිංහල බෞද්ධ සංස්කෘතිය සැළසුම් සහගතව විනාශ කිරීමේ බටහිර කුමන්ත‍්‍රණයක’ ඞීමන් ආනන්ද නියෝජිතයකු වූ බවයි. මේ කුමන්ත‍්‍රණ ‘බිල්ලා’ හැම කථාබහකම ඉන්නවා. මට නම් දැන් අහලා එපා වෙලා.

මීට සති කිහිපයකට පෙර එස්. එම්. බන්දුසීලයන් සමග මා කොළඹ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේදී දේශනයක් කළා. 1930-1950 අතර කාලයේ බටහිර ලෝකයේ ජනප‍්‍රිය සංස්කෘතියේ අංගයක් වූ ලිහිල් හා අඩු මිළැති විද්‍යා ප‍්‍රබන්ධ හා අනෙකුත් ත‍්‍රාසජනක කථා (pulp fiction)ගැන කථා කරමින් අප මතු කළ ප‍්‍රශ්නය වූයේ එයින් ආභාෂය ලැබූ අපේ ජනප‍්‍රිය සංස්කෘතියක් වී ද යන්නයි.

අපට සොයා ගත හැකි වූ ආසන්නම උදාහරණ වූයේ මුල් යුගයේ සිංහල චිත‍්‍රකථා (විශේෂයෙන් ජී. එස්. ප‍්‍රනාන්දු හා සුසිල් පේ‍්‍රමරත්නගේ ශෛලීන්) සහ ඞීමන් ආනන්දගේ ත‍්‍රාසජනක කථායි. මේ දේශනය අවසානයේත්, සයිබර් අවකාශයේත් යම් සංවාදයක් මතු වුණා. එහිදී කියැවුණු එක් වැදගත් කරුණක් නම් ජනප‍්‍රිය සංස්කෘතිය මෙරට හරිහැටි ස්ථාපිතවීමට එරෙහිව යම් අධිපතිවාදී හෝ ගතානුගතික බලවේග නැගී සිටින බවයි.

ලක් සමාජයට සරල අහිංසක වින්දනයක් ලබා දීමට තැත් කළ තවත් බොහෝ ශිල්පීන්ට මේ අත්දැකීම ඇති. මේ විරෝධය ප‍්‍රබල ලෙසින් ඞීමන් ආනන්දට ජීවිත කාලයක් පුරා තිබුණා.

Dayawansa Jayakody
Dayawansa Jayakody

වරක් 1990 දශකය මුලදී ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි එවකට සිටි සංස්කෘතික අමාත්‍ය වි. ජ. මු. ලොකුබණ්ඩාරට යෝජනා කළා මෙරට වැඩිම පොත් ගණනක් ලියූ ලේඛකයා ලෙස ආනන්දට රාජ්‍ය සාහිත්‍ය උලෙළකදී, විශේෂ සම්මානයක් දෙන ලෙස. එයට යන වියදම දැරීමට ද ජයකොඩි කැමතිව සිටියා.

‘‘අවසාන විනිශ්චයේදී ප‍්‍රකාශයකයන් වන අපි සැවොම පොත් මුදලාලිලා. වැඩියෙන්ම පොත් පළ කරන ප‍්‍රකාශකයාට සම්මානයක් දෙනවා නම් වැඩියෙන්ම පොත් ලියූ ලේඛකයාටත් සම්මාන දිය හැකියි කියා මා තර්ක කළා’’ දයාවංශ ජයකොඩි කියනවා.

එහෙත් ඇමතිවරයා වටා සිටි නිලධාරින් හා ‘ප‍්‍රබුද්ධ’ සාහිත්‍යකරුවන් එයට ඉඩ දුන්නේ නැහැ. ඒ තරමට ඔවුන් ආනන්දව කොන් කළා. සමහර විට ඉරිසියාව හා කුහකකම නිසා වෙන්න ඇති.

කලාවෙන් වින්දනයක් ලැබීම පාපයක් හෝ බොළඳ ක‍්‍රියාවක් නොවෙයි. එසේම සරල වින්දනය සඳහා කලා කෘති නිර්මාණය කිරීම කලාව බාල්දු කිරීමක් ද නොවෙයි.

ඞීමන් ආනන්දට පමණක් නොව කරුණාසේන ජයලත් වැනි තරුණ පරපුර අතර කලක් ජනප‍්‍රිය වූ ලේඛකයන් ද සාහිත්‍ය පණ්ඩිතයෝ ප‍්‍රසිද්ධියේ හෙළා දුටුවා. සිත් ගන්නා සුළු ලිහිල් භාෂා ශෛලියකින් හරබර චරිතකථා, නවකථා, කෙටිකථා හා වෙනත් සමාජ විචාරයන් ලියූ ප‍්‍රවීණ පත‍්‍ර කලාවේදී ගුණදාස ලියනගේ සූරින් පවා මෙරට සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රයේ ඇති තරම් ඇගැයීමට ලක් වුණේ නැහැ.

15 July 2012: සිවුමංසල කොලූගැටයා #75: චිත‍්‍රකථා භීතියේ අළුත් ම මුහුණුවර ඉන්ටර්නෙට් ද?

ඔවුන් කොන් කිරීම තුලින් සංකේතවත් වූයේ මෙරට සාහිත්‍ය කලා ක්‍ෂෙත‍්‍ර අරක් ගෙන සිටින හා සමස්ත ජන සමාජය වෙනුවෙන් තීරණ ගන්නා අතලොස්සකගේ අධිපතිවාදය හා උද්දච්චකමයි. ජනප‍්‍රිය සංස්කෘතියේ වැදගත්කම හඳුනාගෙන එයට සමාන්තරව පවතින්නට නොදී අකුල් හෙළීම පෙන්නුම් කරන්නේ මේ සංස්කෘතික බහිරවයන්ගේ පටු මානසිකත්වයයි.

මෙය හුදෙක් සාහිත්‍යයට පමණක් නොව පොදුවේ සමස්ත සංස්කෘතියටම අදාල විසමතාවයක්. චිත‍්‍ර කලා ක්‍ෂෙත‍්‍රයේ බහුතරයක් ශිල්පීන් චිත‍්‍රකථා නිර්මාණකරුවන් දැඩි සේ පහත් කොට අවඥාවෙන් සැළකූ හැටි අප මීට පෙර කොලමක සඳහන් කළා.

‘අයාලේ ගිය සිතක සටහන්’ (2007) පොතේ තිස්ස අබේසේකර සූරින් මෙසේ කියනවා: ‘‘මොහිදින් බෙග් අතිශ්‍රේෂ්ඨ කටහඬක් තිබූ ගායකයෙකි. සී.ටී. ප‍්‍රනාන්දුට ද ඒ හා සමාන දුර්ලභ ගණයේ කටහඬක් තිබුණේය. එහෙත් සිංහල සංගීතය වට කොට ගොඩනැගී තිබුණු විචාර ස්ථාවරය, සී. ටී. ප‍්‍රනාන්දුව බැහැර කළේය.’’

1973දී ගුවන් විදුලි සංස්ථාව සියලූ ගායක ගායිකාවන් සඳහා කටහඬ පරික්‍ෂණයක් පවත්වා ශ්‍රේණිගත කරන විට සී. ටී. ප‍්‍රනාන්දු විශිෂ්ඨ ශ්‍රේණියේ ගායකයකු ලෙස වර්ග කළ යුතු බවට සුනිල් සාන්තයන් කියා සිටියත් මඩුල්ලේ සෙසු සාමාජිකයන් දෙදෙනා ඊට එකඟ නොවූ බව අබේසේකර කියනවා. හේතුව? ‘‘සී.ටී.ප‍්‍රනාන්දු පෙරදිග සංගීතයේ තානාලංකාර ගැයීම අතින් දුර්වල වූ’’ නිසා.

සම්භාව්‍ය පිරිස ඔහුට හරිහැටි පිළිගැනීමක් දුන්නේ නැතත් මෙරට සංගීත රසිකයෝ සී. ටී. ප‍්‍රනාන්දුගේ ගීතවලට මහත් සේ ඇළුම් කළා.

H. R. Jothipala (1936-1987)
H. R. Jothipala (1936-1987)

පසු කලෙක එච්. ආර්. ජෝතිපාල හා ජිප්සීස් කණ්ඩායමට එරෙහිව ද මෙබඳු ප‍්‍රතිරෝධ මතු වුණා. ‘ජනප‍්‍රිය’ ලේබල් ගසා කොන් කිරීමට ප‍්‍රබුද්ධයෝ සමහරුන් උත්සාහ කළා.

රේඩියෝ මාධ්‍යය රජයේ ඒකාධිකාරයක්ව තිබූ දශකවල ඒ හරහා හරවත් දේ ප‍්‍රචාරය වූ බව ඇත්තයි. එහෙත් රේඩියෝව ජන සමාජයේ සිටියේ ඉස්කෝලෙ මහත්තයා/ඉස්කෝල් හාමිනේ බඳු ගාම්භීර ස්වරූපයෙන්. එහි වරදක් නැතත් එතරම් හෘදයංගම බවක් තිබුණේ ද නැහැ.

රේඩියෝව ශ‍්‍රාවකයන්ට වඩාත් සමීප කරමින් පවුලේ නෑයකු හෝ ලෙන්ගතු මිතුරකු මට්ටමට ගෙන ආයේ පෞද්ගලික FM නාලිකායි. මේ පරිනාමයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ සිරස නාලිකාවට සහ එහි ප‍්‍රධානියා වූ නිමල් ලක්‍ෂපතිආරච්චිට ප‍්‍රබුද්ධ කල්ලියේ දැඩි අප‍්‍රසාදය හා ප‍්‍රතිරෝධය එල්ල වුණා.

හැමදාමත් හැම අසන්නාම ශාස්ත‍්‍රීය සංගීතය, ශාස්තී‍්‍රය සාකච්ඡුා හා ගරු ගාම්භීර ප‍්‍රවෘත්ති ප‍්‍රචාරයන්ම ඇසිය යුතුද? කිසිසේත් නැහැ. 1990 දශකයේ පටන් මෙරට ටෙලිවිෂන් හා රේඩියෝ ග‍්‍රාහකයන්ට තෝරා ගත හැකි පරාසය (choice) පුළුල් වුණා.

මා සංස්කෘතිය ගැන විශාරදයෙක් නොවෙයි. එහෙත් මට තේරෙන හැටියට නම් රටක ජනප‍්‍රිය සංස්කෘතිය දියුණු වූවාට එහි ඓතිහාසික උරුමයට හෝ සම්භාව්‍ය යයි සැළකෙන සංස්කෘතික අංගයන්ට හෝ හානියක් වන්නේ නැහැ. (එසේම සංස්කෘතිය නිතිපතා ජන සමාජය තුළ අලූත් වන ගතික සංසිද්ධියක්. එය කටුගෙයක හෝ ලේඛනාගාරයක හෝ රක්‍ෂිතව තබා ගත හැකි දෙයක් නොවෙයි. එයට තනි හිමිකරුවකු ද නැහැ. එය පොදු ජනයාගේ සම්පතක්.)

ජනප‍්‍රිය සංස්කෘතිය අපට අලූත් දෙයක් ද නොවේ (මෑත දශකවල එයට අලූත් මුහුණුවර හා පැතිකඩ ලැබුණත්). අපේ පැරණි බලි, තොවිල්, ශාන්තිකර්ම, විරිඳු ආදියේ ඇතැම් තැන්වල සරල වින්දනය හා හාස්‍ය රසය ලබා දෙන්නට උත්සාහ කරනවා. අනවශ්‍ය තරමට අහංකාර හා මාන්නාධික වූ රජවාසල ප‍්‍රභූන් (සමහර අවස්ථාවල රජු පවා) උපහාසයට ලක් කළ අන්දරේ ජනප‍්‍රිය සංස්කෘතියේ සංකේතයක්.

අපේ පණ්ඩිතයන් කියන්නේ සරල සංගීතය වෙනුවට ශාස්ත‍්‍රීය සංගීතය, FM නාලිකාවල ලිහිල් කථාබහ (චිට්චැට් කිරීම) වෙනුවට බරපතල ශාස්ත‍්‍රීය සාකච්ඡ පමණක් පොදු අවකාශයේ තිබිය යුතු බවයි. මේ කොලම ලියන්නට පටන් ගත් මුල් වසරේ (2011) මගේ පණ්ඩිත මිතුරන් අවංකවම මට අවවාද කළේ සරල ලිහිල් සිංහල බසකින් ලිවීමෙන් මගේ ප‍්‍රතිරූපය හෑල්ලූ වන බවයි.

මා මෙය දකින්නේ නොමග ගිය විදග්ද බවක් හැටියටයි. ජනප‍්‍රිය සංස්කෘතිය හා සම්භාව්‍ය සංස්කෘතිය තරගකාරී නොවී වර්ධනය විය හැකි බවට පෙර අපර දෙදිගම   ඕනෑ තරම් උදාහරණ තිබෙනවා. අපේ කලාපයේ ඉන්දියාව, බංග්ලාදේශය, ජපානය වැනි රටවල් සම්භාව්‍ය සංස්කෘතිය හා ජනප‍්‍රිය සංස්කෘතිය යන දෙකටම ඉඩ හා ඇගැයීමක් ලබා දෙනවා. එය සමාජ තරාතිරම් අනුව හෝ උගත්කමේ මට්ටම අනුව හෝ බෙදී ගිය යථාර්ථයක් ද නොවෙයි.

මැංගා (Manga) චිත‍්‍රකථා කියවා රසවිඳින බොහෝ ජපන්නු සම්භාව්‍ය නවකථා ද කියවනවා. බොළඳ යයි පෙනෙන බොලිවුඞ් චිත‍්‍රපට බලන්නට රිසි ඉන්දියානුවෝ බොහෝ දෙනා අතිශයින් කලාත්මක හා සංවේදී සම්භාව්‍ය සිනමා කෘතිවලට ද කාලය මිඩංගු කරනවා. අපේ රටේ මෙන් ප‍්‍රබුද්ධ – පීචං කෘති‍්‍රම ධ‍්‍රැවීකරණයක් ඔවුන්ගේ නැහැ.

වඩාත් පරිනත මාධ්‍ය සංස්කෘතියක් ඇති බි‍්‍රතාන්‍යය, ජපානය හා කොරියාව වැනි රටවලත් සම්භාව්‍ය, ජනප‍්‍රිය හා මේ දෙක අතර දෙමුහුම් වැනි මාධ්‍ය තිබෙනවා. එසේම සම්භාව්‍ය කුලයේ මාධ්‍ය පවා වැඩි ජන අවධානය ලබා ගන්නට සරල වින්දන උපක‍්‍රම යම් තාක් දුරට යොදා ගන්නවා.

බි‍්‍රතාන්‍යයේ BBC කලක් සිටියේ ප‍්‍රභූ නැන්දා කෙනෙක් වගේ. එරට වැසියන්ට එයට දුන් විකට නාමය ආන්ටි බීබ් (Auntie Beeb). එහෙත් අද BBC පවා ජනප‍්‍රිය සංස්කෘතියට යම් තරමකට අනුගත වී තිබෙනවා.

1982දී විකාශයන් ඇරඹූ ජාතික රූපවාහිනියේ මුල් වසරවල තීරක මට්ටමේ සිටි බොහෝ දෙනා ගුවන් විදුලි සංස්ථාවෙන් ආ අයයි. ඊට අමතරව කලා හා සංස්කෘතික ක්‍ෂෙත‍්‍රවල විද්වතුන් කිහිප දෙනෙකු ද සිටියා. මේ අය බහුතරයක් ටෙලිවිෂන් මාධ්‍යය පණ්ඩිත කරන්නට තැත් කරන විට එය වඩාත් සැහැල්ලූ, හෘදයාංගම එහෙත් හරවත් මාධ්‍යයක් බවට පත් කළේ ටයිටස් තොටවත්ත සූරින්. මේ බව ඔහු මිය ගිය අවස්ථාවේ කොලමකින් මා මෙසේ සිහිපත් කළා.

“මුල් යුගයේ මෙරට ටෙලිවිෂන් මාධ්‍යය හැසිර වූ අයගේ තර්කය වුණේ හරවත් දේ රසවත්ව කීමට බැරි බවයි. ඔවුන්ගේ පණ්ඩිතකම වෙනුවට ටයි මාමා අපට ලබා දුන්නේ හාස්‍යය, උපහාසය, රසාස්වාදය මනා සේ මුසු කළ එහෙත් හරවත් ටෙලිවිෂන් නිර්මාණයි. උවමනාවට වඩා ශාස්ත‍්‍රීය, ගාම්භීර හා ‘ප‍්‍රබුද්ධ’ විදියට නව මාධ්‍යය ගාල් කරන්නට උත්සාහ කළ සරසවි ඇදුරන්ට හා සිවිල් සේවකයන්ට ටයි මාමාගෙන් වැදුණේ අතුල් පහරක්.

“ඔහු කළ ලොකු ම සංස්කෘතික විප්ලවය නම් ළදරු රූපවාහිනී සංස්ථාවේ වැඩසටහන් පෙළගැස්ම අනවශ්‍ය ලෙසින් ‘පණ්ඩිත’ වන්නට ඉඩ නොදී, එයට සැහැල්ලූ, සිනහබර ශෛලියක් එකතු කිරීමයි. කට වහර හා ජන විඥානය මුල් කර ගත් ටයි මාමාගේ කතන්දර කීමේ කලාව නිසා රූපවාහිනිය යන්තම් බේරුණා. එසේ නැත්නම් සැළලිහිනියා පැස්බරකු වීමේ සැබෑ අවදානමක් පැවතුණා.”

30 Oct 2011: සිවුමංසල කොලූගැටයා #38: පණ්ඩිතයන්ගෙන් ළදරු රූපවාහිනිය බේරා ගත් ටයි මාමා

තොටවත්ත ඉතා හොඳින් පෙන්වා දුන්නේ ජනප‍්‍රිය සංස්කෘතිය හරබර අදහස් රටට දෙන්නට මැනවින් යොදා ගත හැකි බවයි. හැමටම එය කළ නොහැකි වුවත්, සරල වින්දනයේ හා උපහාසයේ කිසිදු වරදක් නැහැ. බුම්මාගෙන සිටින පඬි සමාජයකට වඩා සැහැල්ලූවෙන් සිනහවෙන් සිටින සමාජයක් අපට ඕනෑ.

තව තවත් ටයිටස් තොටවත්තලා, නිමල් ලක්‍ෂපතිආරච්චිලා, ඞීමන් ආනන්දලා අපේ සමාජයට අවශ්‍යයි. අද නව මාධ්‍ය හරහා තමන්ගේම ජනප‍්‍රිය සංස්කෘතික හැකියාවන් පෙන්නුම් කරන දක්‍ෂයන් සිටිනවා. ඒ සමහරුන් අප නමින් හඳුනන්නේ නැහැ. එහෙත් ඔවුන් බිහි කරන (බොහෝ විට උපහාසාත්මක) මීම් (meme) ආකාරයේ නිර්මාණ ඉන්ටර්නෙට් හරහා බහුලව බෙදා ගැනෙනවා.

කණගාටුවට කරුණ නම් මෙරට ජනප‍්‍රිය සංස්කෘතිය ගැන උපේක්‍ෂාසහගතව හා ගවේෂණාත්මකව බැලීමට පෙළැඹී ඇත්තේ විද්වතුන් අතලොස්සක් පමණක් වීමයි. මහාචාර්ය සුනිල් ආරියරත්න හා මහාචාර්ය චන්‍ද්‍රසිරි පල්ලියගුරු මේ අතර කැපී පෙනෙනවා.

 

කේ.ඩබ්ලියු ජනරංජන: සතිපතා දේශපාලන කාටුන් අඳින පුවත්පත් ප‍්‍රධාන කතුවරයා

K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist
K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist

කේ.ඩබ්ලියු ජනරංජන මා හඳුනාගත්තේ ඔහුත් මාත් මානව විද්‍යා සඟරාවේ කර්තෘ මණ්ඩලයේ වැඩ කළ 1980 දශකය අග කාලයේ. තමාටම ආවේණික ශෛලියකින් චිත‍්‍ර හා කාටුන් අඳින ඔහු සඟරාවේ පිටු නිර්මාණය චිත්තාකර්ෂනීය ලෙසින් කළා.

පසු කලෙක නීතීඥයකු හා පුවත්පත් කලාවේදියකු ලෙස නමක් දිනාගත් ඔහු කලෙක සිට රාවය කර්තෘ මණ්ඩලයේ සේවය කරනවා.

පාඨකයන් ඔහු වඩාත් හොඳින් හඳුනනන්නේ මුල පිටුවේ ආයුබෝවන් පොකට් කාටුනය හා කතුවැකිය පළවන පිටුවේ දේශපාලන කාටුනය හරහායි. 2012 දී රාවයට 25 වසරක් පිරීමෙන් පසු ඔහු එහි ප‍්‍රධාන කතුවරයා.

ජාතික පුවත්පතක ප‍්‍රධාන කතුවරයා එහි සතිපතා දේශපාලන කාටුන් ද ඇඳීම හමු වන්නේ රාවයේ පමණක් යයි මා සිතනවා.

රාවයට සතිපතා තීරුලිපියක් ලිවීමට මට ඇරැයුම් කළේත්, ඒ ගැන දෙගිඩියාවෙන් සිටි මා දිරිමත් කළේත් ඔහුයි. ඒ අනුව 2011 මුල සිට සිවුමංසල කොලූගැටයා තීරු ලිපිය මා ලියනවා. මේ වන විට 200කට ආසන්න ලිපි ගණනක් ලියා තිබෙනවා. ඒවායින් තෝරාගත් ලිපි අඩංගු පොත් 3 ක්ද රාවය ප‍්‍රකාශන ලෙස පළ කරනු ලැබුවා. මේ තුනෙහිම පිටකවර නිර්මාණය කළේත් ජනරංජනයි.

Sivu Mansala Kolu Getaya - Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana
Sivu Mansala Kolu Getaya – Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana

රාවය ප‍්‍රකාශන බහුතරයකට කලක සිට පිටකවර නිර්මාණය කරන්නේ ඔහුයි. ප‍්‍රාථමික වර්ණ ප‍්‍රබලව යොදා ගන්නා වෙනත් බොහෝ පොත් කවරවලට වඩා ගැඹුරු මානයක් සිය පොත් කවරවලට දෙන්නට ඔහු තැත් කරනවා.

Ravaya booth at Colombo Book Fair 2014:  many book covers designed by K W Janaranjana
Ravaya booth at Colombo Book Fair 2014: many book covers designed by K W Janaranjana

Purawesi Pethsama book cover - designed by KW Janaranjana - won Lanka State Literary award for best book cover in 20132013 පළවූ පොත් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණේ 2014 සැප්තැම්බර් 3 වනදා. එහිදී 2013 හොඳම පොත් පිටකවරයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජනරංජනට හිමිවුණා. එස්. ජී. පුංචිහේවාගේ පුරවැසි පෙත්සම නම් කෘතියට නිමැවූ කවරය සඳහායි.

 

දර්ශන කරුණාතිලක හා “තරු අතරට ගිය දරුවා”

Dharshana Karunathilake with book cover of Tharu Atharata Giya Daruwa he designed
Dharshana Karunathilake with book cover of Tharu Atharata Giya Daruwa he designed

කුසලතාපූර්ණ චිත‍්‍ර ශිල්පි හා කාටුන් ශිල්පි දර්ශන කරුණාතිලක මගේ පාසල් මිත‍්‍රයෙක්. අප මුලින් හමුවූයේ 1978 දී අප දෙදෙනාම කොළඹ ආනන්ද විදුහලේ 6 වැනි ශ්‍රේණියට ඇතුල් වූ විටයි. මගේම පන්තියේ සිටි වැඩි සද්ද බද්ද නැති දර්ශන හිමින් සැරේ ගුරුවරුන්ගේ විකට රූප ඇන්ද බව මට මතකයි. පන්තිවෙලාවේ අනවශ්‍ය වැඩ කිරීමට දොස් කියනවා වෙනුවට ඔහුගේ නිර්මාණ යම් අගැයීමකට ලක් කළ ගුරුවරුන් ද අපට සිටියා.

උපාලි පුවත්පත් සමාගමේ විදුසර කර්තෘ මණ්ඩලයේ කලක් සේවය කළ දර්ශන වඩාත්ම ජන අවධානයට පාත‍්‍ර වූයේ වසර ගණනාවක් ඉරිදා ලක්බිමට ඔහු නිර්මාණය කළ දේශපාලන කාටුන් නිසයි. ඔහුටම ආවේණික පින්සල හැසිරවීමක් හා සියුම් එහෙත් නිර්දය උපහාසාත්මක දැක්මක් දර්ශනට තිබෙනවා.

මගේ පරපුරේ ලොකු හපනකු වන දර්ශන සමග එක්ව පොතක් කිරීමේ ඕනෑකම මට කලක පටන් තිබුණා. එය සැබෑ වූයේ මේ වසරේ මැදදී.

2014 සිංහල අවුරුදු නිවාඩු දිනවල මා ලියූ ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පිළිබඳ පොත ප‍්‍රකාශ කිරීමට සුන්දර නිහතමානි ද මැල් එකඟ වුණා. අප දෙදෙනාම හඳුනන දර්ශනට පොතේ පිටු සැළසුමේ හා නිමාව පවරන ලෙස මා කළ ඉල්ලීමට ද සුන්දර එකඟ වුණා.

“තරු අතරට ගිය දරුවා” නම යෝජනා කළේ අපේ තවත් මිතුරෙක් – ලස්සනට බස හසුරුවන ලේඛක දිලීප අබේසේකර.

2014 ජුනි, ජූලි, අගෝස්තු වකවානුවේ පොතට පින්තූර තෝරා, කාටුන් පහක් ද ඇඳ දුන් දර්ශන එයට අනගි නිමාවක් ලබා දුන්නා. පිටකවරයට ළදරු ක්ලාක්ගේ ඡායාරූපයකට තරු මල් එක් කිරීමේ අදහසත් ඔහුගේ.

ලේඛකයෝ පොත් ලිව්වාට ඒවා පාඨකයන් අතරට ගෙන එන්නට තවත් කිහිප දෙනෙකු සම්මාදම් වනවා. තරු අතරට ගිය දරුවාගේ කථාවට උදව් වුණු දර්ශන, දිලීප හා සුන්දරට මගේ ප‍්‍රණාමය.

කොළඹ පොත් ප‍්‍රදර්ශනයට කඩිමුඩියේ නිකුත් කළ පොතේ එළි දැක්වීමේ උත්සවයක් අපි ඉදිරි සති කිහිපය තුළ පවත්වන්නටත් අදහස් කරනවා.

Nalaka Gunawardene at Colombo International Book Fair 2014 where his book 'Tharu Atharata Giya Daruwa' is on sale - Photo by Dhara Gunawardene
Nalaka Gunawardene at Colombo International Book Fair 2014 where his book ‘Tharu Atharata Giya Daruwa’ is on sale – Photo by Dhara Gunawardene

Wanted: Time Bombs of the Mind! My third collection of Ravaya columns

Promo note for my latest Sinhala language book, being released this week at Colombo International Book Fair to be held from 10 – 17 September 2014.

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Award winning science writer Nalaka Gunawardene’s latest Sinhala book, Kaala Bomba One Kara Thibe (‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ = Wanted: Time Bombs of the Mind!), will be released at the Colombo International Book Fair that starts on 10 September 2014.

A Ravaya Publication, the book compiles 44 of his weekly columns named Sivu Mansala Kolu Getaya published in the Ravaya newspaper during 2013-14.

Launched in 2011, the popular column offers musings of a sceptical inquirer who sits at the intersection (or confluence) of science, development, mass media and information society. The University of Sri Jayawardenapura presented Nalaka a Vidyodaya Literary Award for the best newspaper column of 2012.

Written in an easy, conversational Sinhala rich in metaphor and analogy, Nalaka connects the local with global and also bridges sciences and humanities. The new collection touches on pharmaceuticals, organic farming, tobacco control, rationalism, citizen journalism and social media among many other topics.

“Lankan society today suffers from a major deficiency of critical thinking. Blind faith and sycophancy dominate our social, religious, political and cultural spheres. Whether writing on science, development or social issues, Nalaka Gunawardene comes up with refreshing doses of scepticism,” says Gamini Viyangoda, leading Sinhala writer and political commentator.

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist and development communicator.

In his foreword, researcher and university lecturer Dr Udan Fernando says: “At a time when insularity and monoculturalism are being celebrated in Sri Lanka, Nalaka represents the endangered cosmopolitan perspective.”

Nalaka has dedicated this book to two giants of public science in Sri Lanka: late Prof Cyril Ponnamperuma (1923-1994) and late Dr Ray Wijewardene (1924-2010). “They embraced the best of East and West without losing their roots. We urgently need such public intellectuals today,” Nalaka says.

The book includes columns profiling the work of both scientists, including the Sinhala adaptation of a long interview with Dr Wijewardene.

The title is inspired by the words of Swedish economist, Gunnar Myrdal, who once said, “Books are like time bombs. If they contain ideas that are correct, then one day they will explode. And if they don’t, they will be consigned to the dustbin of history.”

The 300-page book is priced at Rs. 490. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

සිවුමංසල කොලූගැටයා #182: අඩසියවසක් ළමා ලොව කුල්මත් කළ ‘මිහිර’

The Sinhala children’s weekly newspaper Mihira just completed 50 years of publication. The paper, launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964, holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

In this week’s Ravaya column (in Sinhala), I invoke some memories. I wrote an English blogpost along similar lines a few days ago:

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

මීට දෙවසරකට පමණ පෙර ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එඞ්වින් ආරියදාස සූරීන් සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී මා ඔහුගෙන් ඇසුවා මෙරට පත‍්‍ර කලාවේ ස්වර්ණමය අවධිය වූයේ කුමන කාලය ද කියා. ඔහු එක්වරම කීවේ 1960 දශකය බවයි. පත‍්‍ර කලාවේදීන්, කතුවරුන් හා පාඨකයන් අතර ගනුදෙනුව ප‍්‍රශස්ත මට්ටමකට පත් වී සැමගේ නිම්වලලූ පුළුල් වූ කාලයක් ලෙස ඔහු එය විග‍්‍රහ කළා.

Groundviews.org 12 April 2013: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

දවස නිවසේ ආරම්භය (1960) හා ඇත්ත පත‍්‍රයේ ආගමනයට (1964) අමතරව ප‍්‍රධාන පෙළේ පත‍්‍ර සමාගම් වෙතින් වාරික ප‍්‍රකාශන ගණනාවක් එළිදුටුවේ ද එම දශකයේයි. ලේක්හවුස් ආයතනයෙන් සරසවිය, මිහිර, තරුණි හා සුබසෙත වැනි සතිපතා පත්තර ආරම්භ කෙරුණා.

1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට මතක තිබෙන බලපෑමක් කළේ ළමයින්ට කැපවුණු මිහිර පත්තරයයි.

1964 ජූලි 27 අරඹන ලද මේ සතිපතා පත්තරයට වසර 50ක් පිරුනේ ගිය මාසයේයි. මිහිර මා දැන හඳුනාගත් හා නිතිපතා කියැවූ මුල්ම පත්තරයයි. මේ නිසා මට මිහිර ගැන සුමිහිරි මතකයන් තිබෙනවා.

මිහිර බිහි වන විට මා ඉපදී සිටියේ නැහැ. මගේ පියා මට මුල් වරට මිහිර පිටපතක් ගෙනැවිත් දෙන විට මගේ වයස අවුරුදු තුන හමාරක් පමණ වන්නට ඇති. 1969 අගදී.

පින්තූර බලමින් අමාරුවෙන් වචන ගලපා ගනිමින් නමුත් මහත් උද්‍යොගයෙන් මා මිහිර කියවූවා. මිහිර මගේ නිම්වළලූ පුළුල් කළා. මට නව ලෝකයක් විවර කළා. පසු කලෙක මා දැන ගත්තේ මගේ සමවයස් කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද මේ අත්දැකීම ලැබූ බවයි.

මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා.

අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.)

එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.

Edwin Ariyadasa
Edwin Ariyadasa

දැනුම් ලෝකයෙන් විසිතුරු තොරතුරු නිතරම මිහිරට ගෙනා ලේඛකයකු වූයේ එඞ්වින් ආරියදාසයි. අභ්‍යවකාශ ගවේෂණය, තාරකා විද්‍යාව, නව නිපැයුම්, ලෝක ප‍්‍රවෘත්ති අතරින් වැදගත් සිදුවීම් ආදිය ගැන සරල හා රසවත් ලෙස ඔහු ළමුන් සඳහා කථා කරන සිංහලෙන් ලිපි රචනා කළා.

ඔහුගේ ලිපිවල හෙඩිම් සමහරක් මට තවම මතකයි. අහසේ තරු ගැන ලියන විට ‘තාරකා ලස්සනයි: ගන්න බෑ – දෙන්න බෑ’ කියා තිබුණා. හෙලිකොප්ටරයේ ඉතිහාසය ඔහු විග‍්‍රහ කළේ ‘එදා බමරේ – අද හෙලිකොප්ටරේ’’ වශයෙන්.

මෙරට මාධ්‍ය හරහා පාරිසරික සන්නිවේදනයේ පුරෝගාමියකු වූ ආරියදාස සූරීන් 1970 දශකය මුලදී ලොව පුරා පැන නැගී ආ පරිසර සංරක්‍ෂණ උනන්දුව ළමා පාඨකයන්ට පහදා දුන්නේ නවීන විද්‍යා දැනුමත් දේශීය සොබා සම්පත් රැක ගැනීමේ උරුමයත් සංකලනය කරමින්.

වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. (වසර 40කට පසුවත් එය තවමත් මට මතකයි.)

W R Wijesoma - Image courtesy The Island
W R Wijesoma – Image courtesy The Island

මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමින්. එහි රචකයා සුප‍්‍රකට කාටුන් චිත‍්‍රශිල්පි ඩබ්ලියු. ආර්. විජේසෝම බව මා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ඔහුත් මාත් උපාලි පුවත්පත් සමාගමේ එකට වැඩ කළ අවධියේයි. වනජීවීන්ට මහත් සේ ඇලූම් කළ ඔහු, විවේක ඇති හැම විටකම පාහේ කැමරාවකුත් රැගෙන වනාන්තර ප‍්‍රදේශවලට යාමට පුරුදු වී සිටියා. ඔහු මිහිරට කථා ලියා තිබුණේ තමන්ගේ දරුවන් කුඩා වියේදී වන චාරිකාවලට ගෙන ගිය අත්දැකීම් මතයි.

මා කියවන කාලයේ මිහිර විෂය මාලාවට සෘජුව අදාල ලිපි පළ කළේ නැතත්, විද්‍යා සිසුන්ට උපකාර වන අමතර කියවීම් ලෙස විද්‍යා ලිපි එහි හමු වූවා. වසර ගණනක් ‘විද්‍යාමාමා’ ලෙස ලියූ කේ. ආරියසිංහයන් හා තවත් අමතර විද්‍යාලිපි සම්පාදනය කළ තිලක් වීරසිංහයන් යන දෙදෙනාම දක්‍ෂ විද්‍යා ගුරුවරුන්.

පෘථිවියේ දිගු ජෛවීය පරිනාම ඉතිහාසයේ බිහි වී පසු කලෙක වඳවී ගිය ප‍්‍රාග්ඓතිහාසික ජීවින් ගැන විසිතුරු ලිපි පෙළක් මිහිරේ පළ වුණා. විවිධ ඩයිනසෝර් විශේෂ හා අනෙකුත් ආදි සත්ත්වයන් ගැන ජීවිත කාලයක් පවතින උනන්දුවක් මගේ මනසේ ඇති කළ මේ ලිපි ලියුවේ කවුදැයි මට දැන් සිහියට නගා ගත නොහැකියි.

අද මෙන් දැනුම පොතපත සුලබ නොවූ, ඉන්ටර්නෙට් නොතිබි එකල අපට මේ දැනුම බෙදා දෙන්නට මිහිරේ ලේඛක ලේඛිකාවන් ගත් උත්සාහය ඉතා වටිනවා. මේ තරම් දස්කම් තිබූ පිරිසක් මිහිර වටා ඒකරාශී කර ගන්නට එහි කතුවරුන්ට දක්‍ෂකමක් හා කැපවීමක් තිබුණා.

S A Dissanayake
S A Dissanayake

මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්. ඒ. දිසානායක චිත‍්‍ර ශිල්පියා නිර්මාණය කළ අසාමාන්‍ය ගණයේ චිත‍්‍රකථායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබො නම් වූ මහ දිග චිත‍්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම් එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික‍්‍රම ගැන කියවෙන ඔන්න බබො කථාව අප අපූරු පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන් සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.

ඔන්න බබො චිත‍්‍රකථාවට අමතරව දිසානායක සූරින් යෝධයා හා පඬිතුමා නම් හාස්‍යජනක චිත‍්‍රකථාවක් ද, ලෙඩ සුව කිරීමේ හාස්කම් තිබූ ඕලූ නම් දැරියක් වඩා ගෙතුණු ඕලූ චිත‍්‍රකථාව ද මිහිරට ඇන්දා.

දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සළකුණු රැුඳවූ තවත් ශිල්පියකු මට සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත් මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ යුතුයි.

1970 දශකය මුල යම් වකවානුවක කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා ද මිහිර ඔප කළා. ඒ ටික්කා නම් හාස්‍ය චිත‍්‍රකථා නිර්මාණයෙන්. කටකාර කොලූගැටයකු වන ටික්කාට පැහිච්ච කථා කියන්නට සමත් පැටෝ නම් සුරතල් ගිරවකු සිටිනවා. මේ දෙදෙනා ළමා ලෝකයේ කෝණයෙන් වැඩිහිටි ලෝකය දකින හැටිත්, සියුම් ලෙස වැඩිහිටියන් කරන දේ සරදමට ලක් කරන සැටිත් ටික්කා කථාවේ මූලික හරයයි.

චිත‍්‍රකථා නිසා ළමා මනස මොට වනවා හා දුෂණය වනවා යයි බිය පහළ කළ අපේ බකපණ්ඩිත සුචරිතවාදීන්ට දිසානායක හා කැමිලස් දෙපළ මිහිරෙන් ඉතා හොඳට පිළිතුරු දුන්නා.

මිහිර අසිිරිමත් කළේ මෙසේ කෘතහස්ත ලිපි රචකයන් හා චිත‍්‍ර ශිල්පීන්ගේ ඒකරාශී වීමයි. ළමා මනසට ගැලපෙන ලෙසින් බොහෝ දේ හරබරව ඉදිරිපත් කිරිමට ඔවුන් සමත් වුණා.

එයට සමාන්තරව මිහිර නවක ලේඛකයන්ට ද අතහිත දුන්නා. පාසල් දැරියන්ගේ නිර්මාණවලට එහි ඉඩ තිබුණා. මගේ ජීවිතයේ පළමු වතාවට පුවත්පතකට මා ලියූ නිර්මාණයක් පළ වුයේ මිහිර පත‍්‍රයේයි.

කොළඹ අශෝක විද්‍යාලයයේ තුන්වන ශ්‍රේණියේ සිසුවකු ලෙස මා ලියූ කවි පංතියක් 1975 ඔක්තෝබර් මස මිහිර පත‍්‍රයක පළ වුණා. ඔරලෝසුවක් ළමයකු දකින ආකාරය කැටි කර ගත් එය පළ වීමෙන් මා අතිශයින් උද්දාමයට පත් වූ සැටි මතකයි. ඉන් පසු මා ලියූ කෙටි රචනා හා කවි රැසක් මිහිරට යැවූ අතර ඉන් සමහරක් විටින් විට එහි පළ කරනු ලැබුවා. (එහෙත් මා නිතිපතා මාධ්‍යවලට ලිවීම අරඹා එයට ගෙවීමක් ද ලැබුවේ මිහිරට තරගකාරිව 1980දී අරඹන ලද විජය පුවත්පතින්.)

මිහිර දැනුම කෝෂ්ටාගාරයක් බවට සීමා නොවී ළමා මනස පරිකල්පනයෙන් ද සරු කළ බව මගේ අදහසයි. අවසාන විනිශ්චයේදී දැනුමටත් වඩා වටින්නේ පරිකල්පනයයි. දැනුම ගවේෂණයට අතහිත දෙන විශ්වකෝෂ, පාඨමාලා හා CD/DVDවලට වඩා මිහිර සුවිශේෂී වූයේ මේ නිසායි.

මිහිර ගැන මා මතක් කලේ හුදෙක් අතීතකාමය සඳහාම නොවෙයි. ලක් සමාජය ජනමාධ්‍යවලට වඩාත් සමීප වීම ඇරැඹුණේ 1960 ගණන්වලදී. එහි එක් අතුරු ඵලයක් වුයේ මාධ්‍ය හරහා ජනප‍්‍රිය සංස්කෘතියක් බිහිවීම. එයට එක් උදාහරණයක් නම් සතුට, සිත්තර වැනි චිත‍්‍රකථා පත්තර හරහා පැන නැගී කලකට පසු බැස ගිය චිත‍්‍රකථා උන්මාදය.

තමන්ට ආවේණික වූත් අහිංසකවූත් බලපෑමක් කරන්නට මිහිර පත‍්‍රයට හැකිවුණා. මිහිර කියවමින් අකුරු කළ හා ලෝකය හඳුනාගත් මුල් පරම්පරාවේ ඇත්තෝ අද මේ රටේ ලොකු තැන්වල සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතික පොදු සාධකය මිහිරයි. ඔන්න බබො හා යෝධයා වැනි චරිතයි.

පත්තර සංඛ්‍යාව ඉහළ ගිය 1980 දශකයෙන් පසු මෙබඳු පොදු බලපෑමක් තනි ප‍්‍රකාශනයකට කළ හැකියාව ද අඩු වුණා. පත්තර මහගෙදරින් කළ මතක සිටින ලොකු වැඩක් හැටියට 50 සපිරුණු මිහිර පත්තරය සිහිපත් කළ හැකියි.

See also: ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

Mihira 50th anniversary issue - 28 July 2014
Mihira 50th anniversary issue – 28 July 2014

සිවුමංසල කොලූගැටයා #181: අනේ අපටත් චන්ද්‍රිකා?

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites as part of their ‘space diplomacy’ strategies.

Last week in my Ravaya column (in Sinhala), I wrote about space technology capabilities of South Asian countries. This week’s column probes whether or not Sri Lanka needs its own satellite.

10 Aug 2014: සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

Indian satellite in orbit
Indian satellite in orbit

දකුණු ආසියානු රටවල් චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා.

එයින් එකක් වූයේ නිදහස ලබා වසර 66ක් ගත වීත් ‘තවමත් අපට අපේම චන්ද්‍රිකාවක් නොතිබීම ලොකු අඩුවක්’ බවයි. එසේම ‘අන් රටවල චන්ද්‍රිකා සේවය 100%ක් විශ්වාස කළ නොහැකි බවත්, ඒ හරහා විදෙස් ඔත්තු සේවා අපේ තොරතුරු ලබා ගත හැකි බවත්’ ශාස්ත‍්‍රාලීය උගතකු තර්ක කළා.

චන්ද්‍රිකා කර්මාන්තය ක‍්‍රියාත්මක වන ආකාරය නොදත් උදවිය මතු කරන මෙබඳු අදහස් සමහර මාධ්‍ය හරහාත් අවිචාරශීලිව පැතිරී යනවා.

හැම රටකටම තමන්ගේ චන්ද්‍රිකාවක් තිබිය යුතුද?

චන්ද්‍රිකා තැනීම, උඩු ගුවන් ගත කිරීම හා එයින් සේවය ලබා ගැනීම වියදම් සහගත මෙන්ම සංකීර්ණ ක‍්‍රියාදාමයක්. ඉන්දියාව, චීනය, රුසියාව හෝ අමෙරිකාව වැනි තාක්‍ෂණිකව බලගතු රටක ආධාරයෙන් වුව ද චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවීම සෙසු ආසියානු රටවල් ඉතා සරුවෙන් ගත යුතු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය තරණයක්.

හැම දියුණු රටක්ම පවා තමන්ගේ චන්ද්‍රිකා නිපදවා නැහැ. අභ්‍යවකාශ තාක්‍ෂණයේදී තනි තනිව හැම දෙයක්ම කරනු වෙනුවට තාක්‍ෂණිකව වඩාත් ඉදිරියෙන් සිටින රටවල් නිපද වූ චන්ද්‍රිකාවලින් හෝ සමාගම් නිපදවා වාණිජමය වශයෙන් ක‍්‍රියාත්මක කරන චන්ද්‍රිකාවලින් හෝ අවශ්‍ය සේවා ලබා ගත හැකියි. එසේ කිරීම තමන්ගේම චන්ද්‍රිකා නිපදවා නඩත්තු කිරීමට වඩා බෙහෙවින් අරපිරිමැසුම්දායකයි.

චන්ද්‍රිකාවක් පෘථිවියට ඉහළ කක්‍ෂයක සිට හෙළන ‘බැල්ම’ තනි රටකට, දේශ සීමාවකට සීමා වන්නේ නැහැ. උදා: ඉන්දියානු චන්ද්‍රිකා අසල්වැසි රටවල් සියල්ලත් ආවරණය කරනවා.

වෙළඳපොල තරගකාරිත්වය නිසා වාණිජ වශයෙන් ඇති පණිවුඩ, දත්ත හුවමාරු, පෘථිවි නිරීක්‍ෂණ හා අනෙකුත් චන්ද්‍රිකා සේවාවන්ගේ මිළ ගණන් කලකට පෙර පැවතියාට වඩා සැළකිය යුතු අන්දමින් අඩු වී තිබෙනවා. මේ නිසා සුපිරි බලවතුන් වීමේ අරමුණක් නැති මධ්‍යම හෝ කුඩා ප‍්‍රමාණයේ රටකට දැවැන්ත ආයෝජනයකින් තමන්ගේම චන්ද්‍රිකා තනනු වෙනුවට එම සේවා වාණිජමය මට්ටමින් ලද හැකියි. නැතහොත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් ඔස්සේ Intelsat ආයතනය හෝ ඉන්දියාවේ ISRO ආයතනයෙන් සහන මිළට ලද හැකියි.

ළඟ එන සුළි සුළං, සුනාමි හා වෙනත් ආපදා ගැන අනතුරු ඇඟවීම්, හදිසියේ මතුව එන SARS හා කුරුළු උණ/සූකර උණ වැනි වසංගත රෝග ගැන අළුත්ම තොරතුරු, න්‍යෂ්ටික විකිරණ කාන්දුවකදී අදාල රටෙන් පිටතට ඒවා විහිද යන ආකාරය ගැන තොරතුරු ආදිය බෙදා ගන්නට රටවල් අතර විද්වත් එකඟත්වයන් තිබෙනවා.

එසේම ගුවන්ගමන් පාලනය, විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ සංඛ්‍යාත භාවිතය පමණක් නොව ලෝකයේ තැනෙකින් තවත් ඕනෑම තැනෙකට ගුවන්/මුහුදු තැපෑලෙන් ලිපියක් යැවිය හැක්කේත් රටවල් අතර අන්‍යෙන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟත්වයන් පවතින නිසයි. මේ නිසා මතුපිටින් පෙනෙනවාට වඩා එකිනෙකා විශ්වාස කිරීමක් රටවල් අතර දැනටමත් තිබෙනවා.

ප‍්‍රාග්ධන ආයෝජනය අතින් ඉහළ තාක්‍ෂණික යටිතල පහසුකමක් රටවල් විසින් හවුලේ භාවිතයට ගැන මට ද පූර්වාදර්ශ තිබෙනවා. 1969 සිට අමෙරිකානු විද්වත් හා මිලිටරි ආයතන විසින් බිහි කරනු ලදුව 1990 දශකයේ ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බවට පත් වූ ඉන්ටර්නෙට් හොඳ උදාහරණයක්. ඉන්ටර්නෙට් තොරතුරු ගලනය වන්නේ ලොව පුරා ගොඩබිම් හරහා සහ මුහුද යට විහිද ඇති කේබල් රැසක් හරහායි.

World submarine cables map 2014 – by TeleGeography

Submarine Cable Map 2014 - by TeleGeography
Submarine Cable Map 2014 – by TeleGeography

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධ වන රටවල් කරන්නේ තමන්ට ආසන්නම ගෝලීය කේබල් එකකින් සිය රට තුළ සන්නිවේදන පද්ධතියට ඉන්ටර්නෙට් සබඳතාවය ලබා ගැනීමයි. ඉන් පසු එය රට තුළ හරිහැටි බෙදා ගැනීමට දේශීය පද්ධති නවීකරණය කරනවා. දේශීය පද්ධති නඩත්තුව රාජ්‍ය නියාමනය යටතේ පෞද්ගලික සමාගම් හරහා කිරීම බොහෝ රටවල සම්ප‍්‍රදායයි. ඉන්ටර්නෙට් සම්බන්ධ වන හැම රටක්ම ලොව පුරා තම කේබල් අටවන්නේ නැහැ. එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් ද නැහැ.

තොරතුරු සමාජයේ හැම සේවාවක්ම අපම සම්පාදනය කර ගත යුතුයි යන තර්කය වෙනත් ක්‍ෂෙත‍්‍රවලට ආදේශ කළොත් ඉන්ටර්නෙට් සේවා සඳහා අපට අපේම ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බිහි කරන්නට සිදු වේවි. එසේම වසර 150ක් පමණ තිස්සේ අප රට සම්බන්ධ වී සිටින විදෙස් තැපැල් සේවා භාවිතය වෙනුවට විදෙස් ලියුම් බෙදන්නට අපේ තැපැල්කරුවන් ලොව පුරා යවන්නට ඕනෑ වේවි.

චන්‍ද්‍රිකාවක් තැනීම හරහා රටක විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වේය යන්න තවත් තර්කයක්. මෙහිදී කරන අධික ප‍්‍රාග්ධන හා නඩත්තු වියදමට සාපේක්‍ෂව කෙතරම් පර්යේෂණාත්මක වාසි ලද හැකි දැයි රටක් කල් තබා තක්සේරු කළ යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය භාවිත කිරීම සඳහා පෙළගැසීම තුළින් විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප හැකියාව පුළුල් වන බව සැබෑයි. එහෙත් එයට අපේම චන්‍ද්‍රිකාවක් තිබීම අවශ්‍ය නැහැ.

වඩාත් උපක‍්‍රමශීලි ප‍්‍රවේශය වන්නේ අපට වඩා දියුණු රටක් හෝ ගෝලීය සමාගමක් හෝ සතු චන්‍ද්‍රිකා හරහා දත්ත හා සේවා මිළට ගැනීමයි. එසේ ලබන සේවාව දේශීයව අදාල කර ගන්නට රට තුළ ආයතනික හා මානව සම්පත් දියුණු කිරීම අවශ්‍ය වනවා. සීමිත මහජන මුදල් යෙදිය යුත්තේ මේ ආයෝජනවලටයි.

නවීන චන්‍ද්‍රිකාවක් නිපදවීමට අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් වැය වනවා. චන්‍ද්‍රිකාවේ කාර්යය හා ධාරිතාව අනුව මෙය තවත් වැඩි විය හැකියි. පවතින විනිමය අනුපාතයට අනුව මෙය රුපියල් බිලියන් 13ක් පමණ වනවා. එයට අමතරව චන්‍ද්‍රිකාවක් උඩුගුවනට යැවීමට රොකට් සේවාව සඳහාත්, රක්‍ෂණය හා නඩත්තුව සඳහාත් අධික වියදම් දැරිය යුතුයි.

ජාතික ආඩම්බරය සඳහා ඩොලර් මිලියන සිය ගණනක් මහජන මුදල් වැය කිරීමට පෙර එම සේවාවන්ම ඊට වඩා ලාබදායි, සකසුරුවම් ක‍්‍රමයකින් ලැබිය හැකි බව පෙන්වා දිය යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය අතින් පෙරමුණේ සිටින ඉන්දියාව හා චීනය බඳු රාජ්‍යයන්ගේ සේවය ලද හැකිව තිබියදී ශ‍්‍රී ලංකාව තමන්ගේම චන්‍ද්‍රිකාවක් සඳහා මහජන මුදල් ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ නොහැකියි.

පෞද්ගලික ආයෝජනයන් නම් මොනවා කළත් කමක් නැතැයි කියන්නත් බැහැ. මන්ද අවසානයේ පෞද්ගලික සමාගම් සේවා මිල කරන්නේ තම පිරිවැය හා නඩත්තු වියදම් පියවා ගෙන නිසා. අද සාපේක්‍ෂව අඩු වියදමට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා මෙරට ලද හැකියි. එහෙත් පෘථිවි කක්‍ෂයේ සුදු අලියකුගේ වියදම ද අන්තිමේදී එයට එකතු වුණොත් කුමක් විය හැකිද?

Copy of Copy of Inside_IRNSS_1499475a

හැම දකුණු ආසියාතික රටක්ම තමන්ගේම චන්‍ද්‍රිකා උඩු ගුවන් ගත් කළා යයි මොහොතකට සිතමු. සාමාන්‍යයෙන් කුඩා රටකට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධාරිතාවක් නවීන චන්‍ද්‍රිකාවලට තිබෙනවා.

එම අතිරික්තය සඳහා සැළසුම්කරුවන්ගේ අරමුණ විය හැක්කේ අසල්වැසි රටවලට එය වාණිජමය මට්ටමින් (එම දත්ත හා සේවාවන්) අලෙවි කළ හැකි බවයි. එහෙත් හැම රටක්ම පාහේ තමන්ගේ චන්‍ද්‍රිකාවක් හෝ කිහිපයක් උඩුගුවන්ගත කළ විට අතිරික්ත ධාරිතාවය අලෙවි කරන්නට ඉතිරි වන්නේ කවුද?

අපේ කලාපයේ දැනටමත් ඉන්දියානු, චීන, තායි හා මැලේසියානු වැනි රාජ්‍යයන්ට හෝ සමාගම්වලට අයත් චන්ද්‍රිකා තරගකාරිව සේවා සපයනවා. විශේෂයෙන් පණිවුඩ චන්‍ද්‍රිකා හා පෘථිවි නිරීක්‍ෂණ චන්‍ද්‍රිකා සේවා අද වන විට දියුණු කර්මාන්තයන්.

චන්ද්‍රිකා ගණනාවක් සතු අත්දැකීම් බහුල රටවල් සමග අලූතෙන් පිවිසෙන රටකට හෝ සමාගමකට සාර්ථකව තරග වදින්නට අමාරුයි. අන්තිමේදී අපේ නම උඩුගුවනේ රැඳවීමේ දැවැන්ත ආයෝජනය ද වෙනත් බොහෝ බර උසුලන ලක් වැසියන්ගේ කර පිටටම වැටීමේ අවදානමක් තිබෙනවා.

මේ නිසා තම දේශීය අවශ්‍යතාවය ඉක්මවා යන ධාරිතාවක් සහිත අධිවියදම් සහගත චන්‍ද්‍රිකා තැනීම ආර්ථික වශයෙන් කෙතරම් දුරට සාධාරණ දැයි මැදහත්ව විමසිය යුතුයි.

රටේ හා කලාපීය අවශ්‍යතාවන් ඉක්මවා ගිය මහා පරිමාණ යටිතල පහසුකම් (විදෙස් ණය යොදා ගෙන) බිහි කිරීම පිළිබඳව දැනටමත් මෙරට වෙනත් ප‍්‍රබල උදාහරණ තිබෙනවා. එයින් අප පාඩම් උගත යුතුයි.

ආර්ථික සහයෝගීතාව, ඉන්දියානු සාගර කලාපීය ආරක්‍ෂාව ආදි කරුණු අරභයා ඉන්දියාව හා චීනය යන කලාපීය බලවතුන් දෙදෙනා තුලනය කිරීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට තිබෙනවා. අභ්‍යවකාශ සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙබන්දක් කළ හැකියි.

මෙහිදී දේශීය වශයෙන් විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රමුඛතා මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගෙන, එයට වඩාත් කාර්යක්‍ෂම හා පිරිමැසුම්දායක ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය යොදා ගන්නේ කෙසේදැයි පළමුව තීරණය කළ යුතුයි. ඉන් පසු අපේ අවශ්‍යතාවලට වඩාත් සරිලන සහයෝගීතාව ඉන්දියාව, චීනය හෝ වෙනත් (ජපානය, රුසියාව, අමෙරිකාව වැනි) රටකින් ලබා ගැනීමට දිගු කල් දැක්මක් හා සැළසුමක් අවශ්‍යයි.

එසේ නැතිව ශ‍්‍රී ලංකාවට කලාපීය බලවතුන් දෙදෙනාගේ අභ්‍යවකාශ තරගයේ අන්ධ අතකොලූවක් වීම අවශ්‍ය නැහැ. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශවලට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය ද මේ තීරණවල හවුල්කරුවකු වීම වැදගත්.

 

 

සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

New opportunities for South Asian collaboration in space technologies can help reduce poverty and promote sustainable development.

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites for communications, weather services, land use monitoring and navigation. They have also realised the value of ‘space diplomacy’, or using space related technical cooperation for strengthening foreign relations.

In this week’s Ravaya column (in Sinhala), I look at South Asian countries investing in space technologies, and discuss the prospects for a common South Asian satellite, an idea recently revived by the Indian Prime Minister.

I covered similar ground in English here:

SciDev.Net South Asia Analysis: Space diplomacy can boost development

Satellites over India

2014 ජුනි 30 වනදා චෙන්නායි නුවරට නුදුරු ශ‍්‍රී හරිකොටාහි ඉන්දියානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට විදෙස් චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ පසු විද්‍යාඥ පිරිස අමතා නව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි විශේෂ කථාවක් කළා. සාක් කලාපයටම පොදු චන්ද්‍රිකාවකින් පණිවුඩ සන්නිවේදනය, කාලගුණ හා භූ තත්ත්ව නිරීක්‍ෂණය වැනි බහුවිධ සේවා සැපයීම හරහා එය ඉන්දියාවෙන් අසල්වැසි රටවලට ත්‍යාගයක් බවට පත් කළ හැකි යැයි ඔහු කියා සිටියා.

පොදු සාක් චන්ද්‍රිකාවක් (SAARC Satellite)ගැන සංකල්පය මුල් වරට නිල වශයෙන් මතු වූයේ 1998දී. බංග්ලාදේහයේ ඩාකා අගනුවර රැුස් වූ සාක් සන්නිවේදන ඇමතිවරු එයට ප‍්‍රතිපත්ති මට්ටමින් එකඟ වුවා. එහෙත් 1999දී ඉන්දියාව හා පාකිස්ථානය අතර ගැටම්කාරි තත්ත්වයක් මතු වීමෙන් පසු එය ක‍්‍රියාත්මක කිරීමේ ප‍්‍රායෝගික දුෂකරතා මතු වුණා.

වසර 16කට පසු මෝඩි අගමැතිවරයා සාක් චන්ද්‍රිකාවක් යෝජනාව යළිත් මතු කරන්නේ අභ්‍යවකාශ පර්යේෂණ ගැන වඩාත්ම අත්දැකීම් බහුල හා තාක්‍ෂණික හැකියාව ඇති දකුණු ආසියානු රාජ්‍යයේ නායකයා ලෙසයි.

තමන්ගේ දිවුරුම්දීමට සියලූ සාක් රාජ්‍ය නායකයන්ට ඇරයුම් කළ මොඩි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව නව මට්ටමකට ගෙන යාමට හැකියි. එසේම මේ දක්වා අභ්‍යවකාශ සහයෝගීතාව හරහා චීනය සෙසු ආසියානු රටවලට සමීපවීමට ප‍්‍රතිචාරයක් ලෙසද මෙය විග‍්‍රහ කළ හැකියි.

මේ දක්වා තමන්ගේ චන්ද්‍රිකා උඩුගුවන් ගත කළ දකුණු ආසියාතික (සාක් කලාපීය) රටවල් ඇත්තේ දෙකයි. එනම් ඉන්දියාව හා පාකිස්ථානයයි.

Image courtesy ISRO
Image courtesy ISRO

ඉන්දියාව අභ්‍යවකාශ පර්යේෂණායතනයක් (ISRO) ඇරැඹුවේ 1969දී. එයට මුල් වුණේ එරට අභ්‍යකාශ පුරෝගාමී ආචාර්ය වික‍්‍රම් සරභායි (Dr Vikram Sarabhai, 1919-1971). දියුණු වන රටක් ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය දේශීය සංවර්ධනයට හා පොදුජන යහපතට යොදා ගත හැක්කේ කෙසේද යන්න ගැන පැහැදිලි දැක්මක් ඔහුට තිබුණා. එසේම නිලධාරින්ට වඩා විද්‍යාඥයන්ට හා ඉංජිනේරුවන්ට මුල් තැන දෙන ආයතනික ව්‍යූහයක් හඳුන්වා දුන්නා.

ඉන්දියාව තමන්ගේම චන්ද්‍රිකාවක් මුල්වරට කක්‍ෂගත කළේ 1975දී. භාරතයේ විසූ ශ්‍රේෂ්ඨ ගණිතඥයකුගේ නමින් ආර්යභාතා (Aryabhata) ලෙස නම් කළ එය අභ්‍යකාශ පර්යේෂණ සඳහා යොදා ගත් විද්‍යාත්මක චන්ද්‍රිකාවක් වූවා. එය උඩුගුවනට ගෙන ගියේ සෝවියට් දේශයේ රොකට්ටුවක් මගින්.

තම චන්ද්‍රිකා කක්‍ෂගත කිරීමේ ස්වයං හැකියාව ලබා ගනිමින් 1980දී රෝහිනී නම් දෙවන චන්ද්‍රිකාවක් උඩු ගුවනට යැව්වේ එරට විද්‍යාඥයන් විසින්ම තැනූ රොකට්ටුවක ආධාරයෙන්. (මේ රොකට්ටු ආසියාවේ අසල්වැසි රටවලට බෝම්බ හෙළීම සඳහා ද භාවිත කළ හැකි නිසා ඉන්දියාව හා පාකිස්ථානය අතර රොකට් තැනීමේ තරගයක් හට ගත්තා. මේ දක්වා එම හැකියාවෙන් පෙරමුණේ සිටින්නේ ඉන්දියාවයි.)

දැන් ඉන්දියාව අභව්‍යකාශ තාක්‍ෂණයේ හැම පැතිකඩක්ම පාහේ දියුණු කොට තිබෙනවා. සංකීර්ණ චන්ද්‍රිකා තනා උඩුගුවන් ගත කිරීමේ හැකියා මෙන්ම ඈත අභ්‍යවකාශයට අභ්‍යවකාශ යානා යැවීමේ හැකියාව ද ලබා ගෙන සිටිනවා.

මේ වන විට ආසියානු රටකට අයත් විශාලතම පණිවුඩ චන්ද්‍රිකා සංඛ්‍යාවක් (10) කක්‍ෂගත කර ඇත්තේ ඉන්දියාවෙන්. එසේම උඩුගුවනේ සිට පෘථිවියේ ඕනෑම තැනක් සූක්‍ෂමව නීරික්‍ෂණය කොට ඡායාරූප ගත කළ හැකි චන්ද්‍රිකා දුසිමක් ද ඔවුන් සතුයි. දිවා රැය දෙකේම ලොව ඕනෑම තනෙක සිදුවන දේ දැකීමේ හැකියාව මේවාට තිබෙනවා.

ඉන්දියාවෙන් යැවූ කාලගුණ චන්ද්‍රිකා සමස්ත දකුණු ආසියාව, බෙංගාල බොක්ක හා අරාබි මුහුද නිතිපතා නිරික්සමින් කලාගුණ තොරතුරු සපයා දෙනවා. ශ‍්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් රැසක් කාලගුණ අනාවැකි සඳහා යොදා ගන්නේ මේ චන්ද්‍රිකාවලින් ලැබෙන දත්ත හා ඡායාරූපයි.

තමන්ගේ අවශ්‍යතාවලට චන්ද්‍රිකා තනා උඩු ගුවන්ගත කිරිමට අමතරව වෙනත් රටවල් සඳහා චන්ද්‍රිකා උඩුගුවනට යැවීම ද ව්‍යාපාරික මට්ටමෙන් කිරීම ඉන්දියාව 1999දී ඇරැඹුවා. රුසියාව, අමෙරිකාව හා චීනයට වඩා ලබාදායක එමෙන්ම විශ්වාසදායක සේවයක් සැපයීම ඉන්දියාවේ ISRO ආයතනයේ අරමුණයි. ජුනි 30දා එක්වර විදේශීය චන්ද්‍රිකා 5ක් සාර්ථකව උඩුගුවන් ගත කිරීමත් සමග මේ දක්වා ඉන්දියාව එසේ යවා ඇති විදෙස් චන්ද්‍රිකා ගණන 40ක් බවට පත් වුණා.

ඉන්දියාව හැරුණු විට චන්ද්‍රිකා තනා උඩුගුවනට යවා ඇති අනෙක් එකම දකුණු ආසියාතික රට පාකිස්ථානයයි. පාකිස්ථානයේ මුල්ම චන්ද්‍රිකාව වූයේ Badr-1යි. එය උඩුගුවනට යැවුයේ චීන රොකට්ටුවක් යොදා ගෙන 1990 ජූලි මාසයේ.

Pakistan's first satellite named Badar-1 by SUPARCO
Pakistan’s first satellite named Badar-1 by SUPARCO

අත්හදා බැලීමේ එම චන්ද්‍රිකාව, කරච්චි නුවර පිහිටි පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ කොමිසමේ (SUPARCO) මූලස්ථානයේ තනා ගෙන යන කාලයේ එය දැක ගැනීමේ අවස්ථාව මට ලැබුණා. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව දේශීය විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් අතින් නිමැවුණු එම චන්ද්‍රිකාව ගැන ඔවුන් සැම මහත් ආඩම්බර වූ බව මට මතකයි. (එසේම කිසිදු ඉන්දියානු මාධ්‍ය නියෝජිතයකුට නොදෙන අවස්ථාවක් මට දුන්නේ මා ලාංකිකයකු වූ නිසා බවත් ඔවුන් කියා සිටියා.)

ඇත්තටම දකුණු ආසියාවේ ජාතික මට්ටමේ අභ්‍යවකාශ පර්යේෂණ වැඩසටහනක් මුලින්ම ඇරැඹුවේ ද පාකිස්ථානයයි. එරටින් බිහිවූ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයකු වූ ආචාර්ය අබ්දුස් සලාම්ගේ (Dr Abdus Salam) මූලිකත්වයෙන් 1960 දශකය මුලදී පටන් ගත් පාකිස්ථානු අභ්‍යවකාශ පර්යේෂණ, 1970 හා 1980 දශකවලදී අධික ලෙස මිලිටරිකරණයට ලක් වූවා. විද්‍යාඥයන්ට වඩා නිලධාරින් හා හමුදා නිලධාරින්ගේ බලපෑමට නතු වූ SUPARCO ආයතනයේ විද්‍යාත්මක ඵලදායිතාව හා නිර්මාණශීලිබව පහළ ගියා. මේ නිසා පුරෝගාමී පාකිස්ථානය අභිබවා ඉන්දියානු අභ්‍යවකාශ වැඩපිළිවෙල ඉදිරියට ගියා.

1990න් පසු තව දුරටත් නිලධාරිවාදයට හසු වී එක තැන පල් වූ පාකිස්ථාන අභ්‍යවකාශ ඒජන්සියේ ඊළඟ චන්ද්‍රිකාව නිම වන්නට 2011 අගෝස්තු දක්වා දිගු කළක් ගතවුණා. PakSat 1-R නම් වූ එහි බහුතරයක් උපාංග චීනයේ තනනු ලැබ එය උඩුගුවන්ගත කළේ ද චීන රොකට්ටුවක් යොදා ගෙනයි. මෙය කෙතරම් දුරට පාකිස්ථාන චන්ද්‍රිකාවක් දැයි එරට ස්වාධීන මාධය ප‍්‍රශ්න කළා.

එතකොට ශ‍්‍රී ලංකාවේ චන්ද්‍රිකාව? මේ ගැන මා දැඩි අවධානයෙන් සිටියත් කිිසිවක් නොලීවේ එහි හිිමිකාරිත්වය හා සැළසුම් ගැන නිරවුල්ව තොරතුරු සොයා ගැනීම අපහසු වූ නිසයි.

සුප‍්‍රීම්සැට් නම් පෞද්ගලික සමාගමක් චීන රජයට හිමි China Great Wall Industry Corporation නම් සමාගම හා එක්ව 2012 නොවැම්බරයේ SupremeSat-I නම් පණිවුඩ චන්ද්‍රිකාවක් උඩුගුවන් ගත කළා. ඒ ආසන්න දිනවල මෙරට මාධ්‍යවල පුවත් ආවරණයේ ද සමාගමේ පුවත්පත් දැන්වීම්වල ද ප‍්‍රමුඛව කියැවුණේ එය ශ‍්‍රී ලංකාවේ මුල්ම චන්ද්‍රිකාව බවත්, එමගින් අප රට ද අභ්‍යවකාශ යුගයට පිවිසි බවත්. සුප‍්‍රීම්සැට් සමාගමේ වෙබ් අඩවිය (www.supremesat.com) ද මෙයට සමාන අදහසක් ජනිත කළා.

SupremeSat company's promotional newspaper advertisement claiming theirs was Sri Lanka's first satellite: 22 Nov 2012
SupremeSat company’s promotional newspaper advertisement claiming theirs was Sri Lanka’s first satellite: 22 Nov 2012

එහෙත් 2014 අපේ‍්‍රල් 8 වනදා පාර්ලිමේන්තුවේ මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් විද්‍යාත්මක කටයුතු පිළිබඳ ජේ්‍යෂ්ඨ අමාත්‍ය වෛද්‍ය තිස්ස විතාරණ කීවේ සුප‍්‍රීම්සැට් චන්ද්‍රිකාව මුළුමනින්ම චීන-ශ‍්‍රී ලංකා පෞද්ගලික/වාණිජ ව්‍යාපෘතියක් බවයි. එයට ලක් රජයේ කිසිදු නිල සම්බන්ධයක් හෝ ආයෝජනයක් හෝ නැති බව ඔහු අනාවරණය කළා. (එසේම අභ්‍යවකාශය පිළිබඳ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් තවමත් සකසා නැති බවත්, ලාංකිකයකු අභ්‍යවකාශයට යැවීමට රජයේ සැළසුමක් නැති බවත් ඔහු කියා සිටියා.)

සාක් කලාපයේ සෙසු රටවල් වන ඇෆ්ගනිස්ථානය, භූතානය, බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයිනට තමන්ගේ චන්ද්‍රිකා නැහැ. එහෙත් බංග්ලාදේශයේ විදුලි සංදේශන නියාමන කොමිසම එරට භාවිතය සඳහා බංගාබන්ධු (bangabandhu) නම් වන පණිවුඩ චන්ද්‍රිකාවක් තනා ගෙන යනවා. අමෙරිකානු සමාගමක තාක්‍ෂණික ආධාරයෙන් ගොඩ නගන මෙය 2015දී උඩුගුවනට යැවීමට නියමිතයි.

මේ අතර ඇෆ්ගනිස්ථානය, නේපාලය හා මාලදිවයිනට ජාතික චන්ද්‍රිකා තනා කක්‍ෂගත කිරීමට චීනය සාකච්ඡා කරමින් සිටිනවා. චීනයේ මේ තාක්‍ෂණික සහයෝගීතා හරහා තමන්ට වඩා කුඩා ආසියානු රටවල් සමග සබඳතා තර කරමින් තම විදේශ බලපෑම් සඳහා ද එය යොදා ගන්නවා.

1960 දශකයේ සීතල යුද්ධයේ එක් ප‍්‍රබල පෙරමුණක් වූයේ අමෙරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරගයයි. එහිදී අභ්‍යවකාශයේ පුරෝගෘමි ජයග‍්‍රහණ හා මං සළකුණු ලබා ගැනීමට ඒ සුපිරි බලවත් දෙරටම අති විශාල වශයෙන් රටේ මුදල් හා තාක්‍ෂණික හැකියාවන් ආයෝජනය කළා.

එතරම් තීව‍්‍ර නොවූවත් යම් තරමක අභ්‍යවකාශ තරගයක් අද ආසියාවේ අභ්‍යවකාශ හපන්කම් අරභයා චීනය හා ඉන්දියාව අතර තිබෙනවා. එහි එක් පැතිකඩක් නම් සෙසු ආසියානු රාජ්‍ය සමග අභ්‍යවකාශ තාක්‍ෂණ සහයෝගීතාව හරහා තම බලපෑම කලාපයේ වඩාත් පැතිරවීමයි.

මෙය ඉංග‍්‍රීසියෙන් space diplomacy ලෙස හඳුන්වනවා. සාම්ප‍්‍රදායික රාජ්‍ය තාන්ත‍්‍රික හෝ තානාපති සබඳතා ඉක්මවා යන මෙය ඒ ලොකු රටවල මෘදුබලය නැතහොත් සියුම් බලය (soft power) ප‍්‍රචලිත කිරීමක් ලෙස ද දැකිය හැකියි.

මේ සියුම් තරගයේ දැනට ඉදිරියෙන් සිටින්නේ චීනයයි. තමන්ට වඩා කුඩා රටවලට මුදල් ආධාර, ණය සේවා හා තාක්‍ෂණික සේවා ලබා දෙමින් ඔවුන්ගේම චන්‍ද්‍රිකා නිපදවා උඩුගුවන්ගත කිරීම චීනය කලෙක සිට කරනවා. එහිදී අදාල රටේ දේශීය ප‍්‍රමුඛතා මොනවාද යන්න චීනයට එතරම් වැදගත් නැහැ. ඔවුන්ට ඕනෑ තමන් සමග අභ්‍යවකාශයට පිවිසෙන රටවල් ගණන වැඩි කර ගැනීමටයි.

ඉන්දියාව මේ තරගයට පිවිසෙන්නේ තරමක් පමාවීයි. එහෙත් නව ඉන්දීය රජය යටතේ මේ සඳහා ඉහළ ප‍්‍රමුඛත්වයක් ලැබෙන බව පෙනෙනවා.

විශේෂයෙන්ම ආපදා කළමණාකරණයේදී හැකි තාක් නිවැරදි තොරතුරු හා විද්‍යාත්මක දත්ත හැකිතාක් ඉක්මනින් ලබා ගැනීම අවශ්‍යයි. මෙහිදී සාක් කලාපීය රටවල් දැනට වඩා අභ්‍යවකාශ තාක්‍ෂණයන් යොදා ගත යුතු යයි නව දිල්ලියේ පිහිටි සාක් ආපදා කළමණාකරණ කේන්ද්‍රය (SAARC Disaster Management Centre, SDMC) නිර්දේශ කොට තිබෙනවා.

2011දී ඔවුන් පිළියෙල කළ කලාපීය අධ්‍යයනයට අනුව සාක් රටවල ආපදා කළමණාකරණය නිසි ලෙස සැළසුම් කොට ක‍්‍රියාත්මක කරන්නට අවශ්‍ය නිරික්‍ෂණ දත්ත සමුදායෙන් දැනට ලැබෙන්නේ 20-30%ක් පමණයි. බහුවිධ ආපදාවලට නිරාවරණය වූත්, අධික ජනගහනයක් වාසය කරන්නා වූත් දකුණු ආසියාවේ ආපදා බලපෑම් අවම කරන්නට මීට වඩා කාලගුණ, භූමි පරිභෝජන හා සාගර තත්ත්ව නිරීක්‍ෂණ අවශ්‍ය බව ඔවුන් කියනවා.

යෝජිත සාක් චන්ද්‍රිකාවට මේ හිදැස මුලූමනින් හො තරමකට හෝ පිරවිය හැකියි. දැනටමත් ඉන්දියාව සිය කාලගුණ චන්ද්‍රිකා හරහා ලබා ගන්නා ඡායාරූප ආසියාවේ හා අප‍්‍රිකාවේ රටවල් 30ක් සමග නිතිපතා බෙදා ගන්නවා.

India-and-Space-Technology

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

Sinhala children’s weekly newspaper Mihira has just completed 50 years of publication. The paper holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

The tabloid was launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964. Its founder editor was veteran journalist Srilal Hikkaduwa Liyanage (who was also founder editor of Tharunee women’s newspaper and Navayugaya informative newspaper from the same publishing house).

I wasn’t even born when Mihira came out. Sometime in 1969, when I was a precocious three-year-old, my father bought me my first copy. I was hooked: for the next dozen years, I eagerly awaited the arrival of each week’s issue on Mondays.

In the early years, Mihira carried a mix of stories, comics, articles and verse. While many were produced by talented writers and artists who understood the child’s mind, some were actually children’s own contributions.

In fact, Mihira is where I first got myself into print. As a school boy of 9 years, I submitted several of my (Sinhala) verses to Mihira (at the suggestion of my Grade 3 class teacher). One of them, on my perception of an animated clock, was printed in one issue of October 1975. I was thrilled to bits – that clipping is somewhere at the bottom of my personal archives…

Funnily enough, thousands of printed pieces later, I still get an enormous kick each time a newspaper publishes my writing.

S A Dissanayake, comics artist
S A Dissanayake, comics artist

To me (and many others of my generation), the most memorable part of Mihira were extraordinary comics written and drawn by S A Dissanayake. He drew a long-running comic (chitra katha) called Onna Babo (‘ඔන්න බබො’), which chronicled the adventures of three intrepid kids (‘බූ – බබා’, ‘තුල්සි’) and involved a wicked witch (බටකොළ ආච්චි), wizards and other characters. For us entertainment starved kids, ඔන්න බබො was Harry Potter of the 1960s and 70s. All these years later, some sub-plots are still clearly etched in my memory…

S A Dissanayake also drew the more comical Yodaya (‘‘යෝධයා’’) about a good-hearted village giant and a learned but wicked man (‘‘යෝධයා සහ පඬිතුමා”), as well as several other popular comics.

When some teachers and parents condemn all comics as polluting children’s minds, I always remind them of the glorious exceptions created by S A Dissanayake. Some feel his stories paved the way for the enormous popularity of TinTin comics and animations in Sri Lanka later on.

I just read that Dissanayake (who was a school teacher by profession) still draws children’s comics for Mihira – a rare feat (world record?) of a comic artist drawing for the same publication for half a century.

ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

http://silumina.lk/2014/07/27/_art.asp?fn=av14072712&p=1

බුබම්බා, යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක

http://www.lankadeepa.lk/index.php/articles/104609

From the scrap book of S A Dissanayake, children's comic artist for half a century
From the scrap book of S A Dissanayake, children’s comic artist for half a century

 

සිවුමංසල කොලූගැටයා #177: වැඩවසම් ජන සන්නිවේදනය හා සමාජ මාධ්‍ය අභියෝගය

In this week’s Ravaya column (in Sinhala), I revisit the on-going debate on social media and social accountability, this time from the perspective of freedom of expression.

Unless a user takes consistent precautions, everything published online is ultimately traceable to the point of origin. However, for most practical purposes, options of anonymity and pseudonymity are still available on the web – and widely used by users, for a variety of reasons. Contrary to what some misinformed people say, there is nothing legally or morally wrong with this practice.

Of course, the facilities can be misused, most notably in spreading hate speech and deliberate falsehoods. But this reality, by itself, is not a sufficient argument against online anonymity or pseudonymity. Indeed, as I argue in this column, being able to conceal one’s real identity is a safe way for social activists and public intellectuals to express their views living in countries with repressive regimes and/or intolerant societies.

While I myself have always expressed my views online under my own name — and sometimes received vitriol and threats as a result — I defend the right for anyone to remain anonymous or use pseudonyms.

Social Media: Handle with care and caution!
Social Media: Handle with care and caution!

සමාජ මාධ්‍ය හා පොදුවේ වෙබ්ගත සන්නිවේදනවලට නැගෙන එක් බරපතල චෝදනාවක් නම් නිර්නාමිකව හෝ ආරූඨ නම්වලට මුවා වී හෝ යම් අය ඒ හරහා අසත්‍යයන් පතුරුවන බවත්, අපහාසාත්මක ප‍්‍රචාර කරන බවත්.

ඕනෑම සන්නිවේදන මාධ්‍යයක් අනිසි ලෙස යොදා ගත හැකියි. නිර්නාමික කැලෑ පත්තර, තර්ජනාත්මක ලියුම් හා දුරකථන ඇමතුම් ආදිය දශක ගණනක් තිස්සේ සිදු වන දේවල්. විවෘතව හා සංවරව සංවාදයක්ට එළඹීමේ පෞරුෂය නැති සුළුතරයක් මෙබඳු අකටයුතුකම් කළ පමණින් ලිවීමේ කලාව, තැපෑල හෝ දුරකථන සේවා සමස්තයක් ලෙස අපවාදයට ලක් වූයේ නැහැ.

එසේ නම් ටික දෙනෙකු වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා එබඳුම නොමනා හැසිරීමක යෙදෙන විට සමස්ත මාධ්‍යයටම හා වේදිකාවටම දොස් ක’ම තර්කානුකූල හෝ සාධාරණ නැහැ.

මෙතැනදී මතු වන්නේ අළුත් තාක්‍ෂණයක් ගැන නොදන්නාකම නිසා හට ගන්නා සැකය හා භීතියයි. නැතහොත් අළුත් ර්‍ණබිල්ලන්” තනා ගැනීමට අපේ සමාජයට ඇති නොතිත් ආසාව ඉස්මතු වීමයි.

දැනුවත් වූ හා ප‍්‍රවේශම්කාරි සමාජ මාධ්‍ය භාවිතයකට ලක් සමාජය යොමු කිරිමේ අවශ්‍යතාවය මාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.

මේ අතර විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂක සංජන හත්තොටුව කියන්නේ සමාජ මාධ්‍යවලින් ලැබෙන නිර්නාමික බව (anonymity) හෝ විවිධ මවා ගත් අනන්‍යතා (pseudonymity) හෝ හරහා ද්වේශසහගත ලෙස තමන් නොරිසි ආයතනවලට, ජාතිකයන්ට හෝ ආගමිකයන්ට පහර ගැසීමේ ප‍්‍රවණතා වැඩිවෙමින් පවතින බවයි. සංජන කියන්නේ නියාමනය නොව සයිබර් සාක්‍ෂරතාවය හා දැනුවත්බව තීව‍්‍ර කිරීම අත්‍යවශ්‍ය බවයි.

නිර්නාමිකව හෝ ආරූඨනාමිකව සන්නිවේදනය කිරීම වරදක් ලෙස පෙනුනත් එහි සමාජයීය වාසි ද තිබෙනවා.

කියන දෙයට වඩා කියන්නා කෙරෙහි අවධානය යොමු කිරීමත්, තර්කයට ප‍්‍රතිතර්ක ඉදිරිපත් කරනු වෙනුවට තර්ජන හෝ මැර ප‍්‍රහාර එල්ල කිරීමත් අද අපේ සමාජයේ සුලබ ප‍්‍රවණතාවක්.

රජය පමණක් නොව අන්තවාදී වෙනත් කණ්ඩායම් ගණනාවක් ද විකල්ප මත ඉවසීමට නොහැකිව හා විවේචන දරා ගත නොහැකිව විරුද්ධ මතධාරීන්ට හිරිහැර කරන අපේ රටේ වෙබ්ගත සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන විට සමහරුන් වෙනත් නමකින් පෙනී සිටීමට සාධාරණ හේතු තිබෙනවා.

මේ පසුබිම තුළ බොහෝ වියතුන් හා වෘත්තිකයන් මුළුමනින් නිහඬ වෙද්දී ටික දෙනෙකු අවදානමට මුහුණ දෙමින් සිය නමින්ම පොදු අවකාශයේ සන්නිවේදනය කරනවා. එසේ කිරීමට නොහැකි එහෙත් පොදු උන්නතිය අරභයා පෙනී සිටීමට රිසි අන් අයට ඇති එක් ප‍්‍රවේශයක් නම් නිර්නාමිකව හෝ ආරූඨනාමිකව බ්ලොග් අඩවියකින්, නැතහොත් සමාජ මාධ්‍ය වේදිකාවකින් කාලීන මත දැක්වීමයි. මෙය ඔවුන්ට ඇති අයිතියක්. මා දන්නා බහුතරයක් එබඳු අය සංවේදීව, සංවරව හා තුලනාත්මකව සන්නිවේදනය කරනවා.

typewriter

විකල්ප මත ඉවසීමේ හා ඒවාට මතවාදීවම පිළිතුරු දීමේ කුසලතාවය නැති බොහෝ පාලකයන් තැත් කරන්නේ විකල්ප මතධාරීන් හොඳින් නැත්නම් නරකින් නිහඬ කිරීමටයි. එහිදී ඔවුන් කවුදැයි හඳුනා ගැනීම අවශ්‍ය වනවා. නිර්නාමික වූ විට එය සොයා ගැනීම වඩා අසීරුයි.

1965-1989 කාලය තුළ කොමියුනිස්ට් රුමේනියාවේ ඒකාධිපති පාලකයාව සිටියේ නිකොලොයි චෞචෙස්කු (Nicolae Ceaușescu). නැගෙනහිර යුරෝපීය රාජ්‍ය අතරින් අතිශයින්ම දරුණු හා මර්දනකාරි පිළිවෙත් අනුගමනය කළේ ඔහුගේ පාලනය බව පිළි ගැනෙනවා. වසර 25ක් පමණ සමස්ත රුමේනියාවම ඔහුගේ රහස් පොලිසියේ ඔත්තු බැලීමට හා හිංසනයට නතුව තිබුණා.

මේ මර්දනයේ එක් පැතිකඩක් වූයේ පාලකයා හා ඔහුගේ පවුලේ උදවිය ගැන කිසිදු විවේචනයක්, ප‍්‍රශ්න කිරීමක් කළොත් එය රාජ්‍ය විරෝධී යයි සළකා දැඩි දඬුවම් කිරීමයි. බහුතරයක් අහිංසක ජනයා මේ යකඩ සපත්තුවට පෑගී මිරිකී සිටි අතර නිර්භීත කලාකරුවන් හා උගතුන් අතලොස්සක් යටිබිම්ගත දේශපාලනයක් හරහා විකල්ප අදහස් රහසේ සංසරණය කළා.

එවකට රුමේනියාවේ තුවක්කුවක් හිමි කර ගන්නවාට වඩා යතුරු ලියනයක් ලබා ගැනීම අමාරු වුණා. චෞචෙස්කුගේ එක් අවනීතියක් වූයේ රටේ සියළුම යතුරු ලියන (ටයිප්රයිටර්) ලියාපදිංචි කළ යුතු බවයි. අත්අකුරින් ලියූ ලේඛනවල රචකයා සොයා ගැනීම වඩා පහසු නිසා යතුරු ලියනවලට අවසර දුන්නේ ඉතා සීමිතවයි. අවසරලත් හැම යතුරු ලියනයක්ම පොලිසියට ගෙන ගොස්, එහි අකුරු රටාව ලේඛනගත කරනවා. ඇඟිලි සළකුණු සටහන් කරනවාට සමාන අයුරකින්.

Buring the Typewriter by Carmen Buganකාමන් බියුගන් Carmen Bugan ලේඛිකාව 2011දී ලියූ Burying the Typewriter: Childhood Under the Eye of the Secret Police නම් මතක පොතෙහි රුමේනියාවේ ප‍්‍රාදේශීය විරුද්ධ මතධාරියකු වූ තම පියා රහසිගතව යතුරු ලියනයක් සඟවා ගෙන සිටි අන්දම විස්තර කරනවා.

භාවිත කිරීමෙන් පසු පොළව යට වළලන තරම් ‘භයානක’ මෙවලමක් බවට අහිංසක යතුරු ලියනය පත් වූ සැටි ඇය කියනවා. රටේ ජනතාවගෙන් හැම තිදෙනෙකුගෙන් එක් අයකුම රහස් පොලිසියට තොරතුරු සපයමින් මිතුරන්, අසල්වැසියන් හා පවුලේ සාමාජිකයන් වුව ද පාවා දුන් අන්දම කියවන විට මර්දනයේ තරම අපට පෙනී යනවා.

යතුරු ලියනයකට වඩා පරිගණකයක අනන්‍යතාවය තහවුරු කළ හැකි හා අක්මුල් සොයා යා හැකි තාක්‍ෂණික ක‍්‍රම තිබෙනවා. මේ නිසා ඉන්ටර්නෙට් ඇතුළු ඩිජිටල් මාධ්‍යවල නිර්නාමික වීම සාපේක්‍ෂයි.

ලක් සමාජය සමාජ මාධ්‍ය තවමත් හරිහැටි යොදා නොගන්නේ තාක්‍ෂණික සීමාවන්ට වඩා ආකල්පමය සීමාවන් නිසා බව මගේ අදහසයි. අපට ඓතිහාසිකව හා සාංස්කෘතිකව උරුම වී ඇත්තේ වැඩවසම් රටාවේ ජන සන්නිවේදනයක්.

රජු හා යතිවරුන් කේන්‍ද්‍ර කර ගත් මේ සන්නිවේදනයේදී සෙසු ජනයා කළේ වැඳ ගෙන ‘‘එහෙයි ස්වාමීනි’’ කියමින් අසා සිටීම පමණයි. ප‍්‍රභූන්ට හා උගතුන්ට පවා විවෘතව මත දැක්වීමට හා රාජ/යති මතවලට එකඟ නොවීමට ඉඩක් තිබුණේ නැති තරම්.

Carmen Bugan reading the files made about her family's life
Carmen Bugan reading the files made about her family’s life

1931 සර්ව ජන ඡුන්ද බලය හා 1948 දේශපාලන නිදහස ලැබී දශක ගණනක් ගෙවී ඇතත් අප මානසිකව තවමත් ඉන්නේ වැඳ ගෙන කියන දෙයක් අසා සිටීමේ නැඹුරුවකයි.

අඩු වැඩි වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයේ අපේ ජනමාධ්‍ය කරන්නේ ද මේ වැඩවසම් සන්නිවේදනයට ලූණු ඇඹුල් ටිකක් දමා, තෙම්පරාදුකර පවත්වා ගෙන යාමයි. විසංවාදයට හා ගවේෂණාත්මක මාධ්‍යකරණයට ඉඩ සීමා වී ඇත්තේ එනිසායි. රජු හා යති මට්ටමට අමතරව මාධ්‍ය දොරටු පාලකයන් (හිමිකරුවන් හා කතුවරුන්) පිරිසක් ද දැන් බිහිව සිටිනවා. මේ හැමගෙන් මතුව එන්නේ අධිපතිවාදයයි.

අධිපතිවාදයක් නැති සමාජ මාධ්‍යවලට මේ අධිපතිවාදීන් හැම දෙනකුම එරෙහි වීම හා චෝදනා නැගීම අපට තේරුම් ගත හැකියි. කණගාටුවට කරුණ නම් පර්යේෂණාත්මකව හා විචාරාශීලීව සමාජ ප‍්‍රශ්න විග‍්‍රහ කරනු ඇතැයි අප අපේක්‍ෂා කරන සරසවි ඇදුරන් හා සෙසු උගතුන් බහුතරයක් ද මේ කුමන්ත‍්‍රණවාදයන් ම ප‍්‍රතිරාවය කිරීමයි.

සමාජ මාධ්‍ය හරහා කැරෙන සන්නිවේදන අතිශයින් විවිධාකාර නිසා ඒවායේ ගති සොබාවන් පොදු ගුණාකාර කිහිපයකට ලඝු කිරිම සුදුසු නැහැ. මානව සමාජයේ මතවාදී, භාෂාමය හා වෙනත් විවිධත්වයන් එහි පිළිබිඹු වනවා.

එහෙත් පොදුවේ ගත් විට සමාජ මාධ්‍යවලට ආවේණික යම් ගතිගුණ ද තිබෙනවා. එකක් නම් සරල හා සැහැල්ලූ ලෙසින් ගැඹුරු කරුණු පවා සංවාදයට ලක්වීම. මවා ගත් බොරු ගාම්භීරකම්වලට උද්දච්චගතිවලට එහි තැනක් නැහැ. එසේම සංශයවාදය, හාස්‍යජනක බව හා කියන්නට ඇතිදේ කෙලින්ම කීම එහි තවත් ගුණයක්.

සමාජයීය, ආර්ථික, දේශපාලනමය හා වෙනත් කාලීන ප‍්‍රශ්න ගැන සිංහල, දෙමළ හා ඉංග‍්‍රීසි බසින් මෙන්ම මිශ‍්‍රිත භාෂා හරහා ද සමාජ මාධ්‍ය තුළ කථා කැරෙනවා. මේවා නොදත් හෝ නොදුටුවා සේ සිටින අය කියන්නේ සමාජ මාධ්‍ය ඕපාදුප තෝතැන්නක් කියායි.

සමාජ මාධ්‍ය අඳබාලයන්ගේ සාමීචි කථා ලෙස හෙළා දැකීම ස්වයංමුලාවක්. අද අපේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවල තව දුරටත් ලෙහෙසියෙන් හමු නොවන ආකාරයේ ගවේෂණාත්මක, ස්වාධීන හා අදීන සංවාද සමාජමාධ්‍ය වේදිකා මත නිතර සිදු වනවා.

අපේ අධිපති මාධ්‍ය ව්‍යංගයෙන්, බයෙන් බයෙන් මෙන් කථා කරන ආගම්වාදය, අධික හමුදාකරණය වැනි මාතෘකා ගැන සමාජ මාධ්‍යවල විවෘතව සංවාද ඇති වනවා.

රටේ ආර්ථික වර්ධනය හා අධිවේගී සංවර්ධන ක‍්‍රියාදාමය උදාහරණයකට ගනිමු. ආර්ථික විද්‍යාත්මක දත්ත හා විග‍්‍රහයන් සඳහා මේ රටේ නිල මුලාශ‍්‍ර මහ බැංකුව හා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. ඒවායෙන් නිකුත් කැරෙන සමහර දත්ත හා විශ්ලේෂන පිළිබඳ විචාරශීලී ප‍්‍රශ්න කිරීම් මෑතදී මුලින්ම මතුව ආයේ බ්ලොග් ලියන හෝ ට්විටර් හරහා පොදු උන්නතිය ගැන කථා කරන ස්වාධීන ආර්ථික විද්‍යාඥයන් වෙතින්. සරසවි ඇදුරන්ට වඩා පෞද්ගලික මට්ටමේ ආර්ථික දත්ත විශ්ලේෂණ සමාගම් අද සමාජ මාධ්‍ය හරහා නිල සංඛ්‍යාලේඛන හා විග‍්‍රහයන් සියුම් ලෙස පරීක්‍ෂාවට ලක් කරනවා.

ට්විටර් හා බ්ලොග් හරහා මා නෙත් යොමා සිටින ලක් විද්වතුන් කිහිප දෙනකු සිටිනවා. ටෙලිකොම් හා තොරතුරු තාක්‍ෂණ විශේෂඥ මහාචාර්ය රොහාන් සමරජීව (@samarajiva), මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ඩබ්ලියු. ඒ. විජේවර්ධන (@waw1949), මොරටුව සරසවියේ මහාචාර්ය අජිත් ද අල්විස් (@ajith_de_alwis) හා ස්වාධීන හා ආර්ථික විශ්ලේෂක දේශාල් ද මෙල් (@deshald) ඒ අතර වනවා.

මෙරට ආර්ථිකය රජය කියන තරම් වේගයෙන් වර්ධනය වන අතරම ඇති නැති පරතරය ද වඩාත් තීව‍්‍ර වී ඇති බව සංඛ්‍යාත්මක සාක්‍ෂි සහිතව මුලින් පෙන්වා දුන්නේ සමාජ මාධ්‍ය සංවාදවලයි. එසේම ආර්ථික වර්ධන වේගය ගැන රජයේ නිල ප‍්‍රතිශතයන් තතු දත් විද්වතුන් මුලින්ම සැකයට පාත‍්‍ර කළේත් සමාජ මාධ්‍ය හරහායි.

එය ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවලට ප‍්‍රවෘත්තියක් වූයේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂකවරයකු 2013 දෙසැම්බර් සංඛ්‍යාලේඛන පිම්බීම පිළිබඳව සිය දෙපාර්තමේන්තුවට ප‍්‍රසිද්ධියේ චෝදනා කළ පසුවයි.

සමාජ මාධ්‍ය හෙළා දැකීම, තහනම් කිරිම හෝ අනවශ්‍ය ලෙස නියමනය කිරීම වෙනුවට එය හරවත් ලෙස කාලීන සමාජ සංවාදවලට අමතර වේදිකාවක් කර ගත හැකියි.

ප‍්‍රතිපත්ති සම්පාදකයන්ට හා ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍යවේදීන්ට සමාජ මාධ්‍ය ‘බැලූම්ගලක්’ සේ ප‍්‍රයෝජනවත් විය හැකියි. සමාජයේ අළුතෙන් මතුව එන ප‍්‍රශ්න, රුචි අරුචිකම්, ප‍්‍රවණතා ආදිය කල් තබා දැන හඳුනා ගන්නට සමාජ මාධ්‍ය සංවාදවලට ඇස් කන් යොමා සිටීම වැදගත්.