සිවුමංසල කොලූගැටයා #185: සංස්කෘතීන් යා කරන සාහිත්‍ය පාලම්

This week in my Ravaya column (in Sinhala), I discuss the role of literary translations in connecting cultures – both within Sri Lanka (across different linguistic groups) and linking Lanka with the rest of the world.

Inspiration for this column came in part from the Colombo International Book Fair 2014 (Sep 10-16), and the launch of a book (translated from Sinhala to English) a few days earlier, where I was asked to serve as compere.

Translations are like bridges, but I caution that poor translations offer hazardous connections to readers. I also argue that more Sinhala and Tamil books should be rendered into Sinhala, especially for the benefit of second and third generation Lankan diaspora members many of who are no longer reading in their parents’ mother tongue.

Photo0256

කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේ අලෙවිය වැඩි පොත් වර්ගයක් වන්නේ සිංහලට පරිවර්තනය කළ සාහිත්‍ය කෘතීන්.

භාෂා හා සංස්කෘතින් අතර සන්නිවේදනය සඳහා පරිවර්තන අවශ්‍යයි. ඒවා දෙගොඩක් යා කරන පාලම් වගෙයි. එහෙත් හැම පාලමක්ම එක වගේ නොවනවා සේම හැම පරිවර්තනයක්ම එක සමාන හෝ එක ලෙස සාර්ථක හෝ වන්නේ නැහැ.

හොඳට කළ පරිවර්තන පරම්පරා ගණනක් පවතින්නට මනා සේ තැනූ සවිමත් පාලම්වලට සම කළ හැකියි. නමුත් සමහර පරිවර්තන යන්තමින් ඇටවූ ඒදණ්ඩක් හෝ යන්නට බිය සිතෙන විදියේ සංගිලි පාලමක් වගෙයි. තවත් සමහර ඒවා සටකපට කොන්ත‍්‍රාත්කරුවන් විසින් නිසි ප‍්‍රමිතියකින් තොරව අඩු වියදමින් තනන ලද පාලම්වලට සමානයි. කොයි මොහොතේ කඩා වැටෙයි ද ගසාගෙන යයි ද යන සැකයක් මතු වනවා.

පරිවර්තනය සුවිශේෂී කලාවක්. පරිවර්තනයක් යනු එක් බසකින් තව බසකට ලේඛනයක් පෙරැලීම පමණක් නොවෙයි. මුළු මහත් සංස්කෘතියක්ම එය නොදන්නා කෙනෙකුට හඳුන්වා දීමත් එහිදී කැරෙනවා.

හැම බසකම එයට ආවේණික වූ වචන, යෙදුම් හා උපමා තිබෙනවා. මේවා සමහරක් පරිවර්තනය කිරීම දුෂ්කරයි. එසේ කළත් මුල් අර්ථය තව දුරටත් රැඳී තිබෙන්නේ නැහැ.

මේ නිසා දක්‍ෂ පරිවර්තකයකු කරන්නේ එයට ආසන්න අරුත ඇති වචනයක්, යෙදුමක් හෝ කියමනක් පරිවර්තන බසෙන් සොයා ගෙන භාවිත කිරිමයි. මේ සඳහා වාග් විද්‍යාත්මක දැනුමට අමතරව භාෂා දෙකෙහිම සංස්කෘතික පසුබිම ගැන ද හොඳ දැනුමක් තිබිය යුතුයි.

ද්විභාෂිකත්වය පුළුල්ව හා ගැඹුරින් විග‍්‍රහ කළ හැකියි. ද්විභාෂිකත්වය යනු හුදෙක් භාෂා දෙකක් කියැවීමට හා ලිවීමට හැකි වීම හා වචන සමුදායක් දැන සිටීම පමණක් නොවෙයි. එකී භාෂාව මවු බස ලෙස යොදා ගන්නා ජනයාගේ සංස්කෘතික හා ඓතිහාසික පසුබිම, සාමයික නැඹුරුව හා වත්මන් දේශපාලනික ප‍්‍රවණතා ආදිය ද දැන සිටීම වැදගත්.

San Francisco Bridge

උදාහරණයකට රුසියානු විප්ලවයට පෙර ලියැවුණු සාහිත්‍ය කෘතීන් හා විප්ලවයෙන් පසු ලියැවුණු කෘතීන් අතර වෙනසට දේශපාලනික හේතු තිබෙනවා. පළමුවන හා දෙවන ලෝක යුද්ධ මෙන්ම සීතල යුද්ධය ද (1945-1989) බටහිර ලෝකයේ ජන සන්තානයට ලොකු බලපෑම් ඇති කළා. දකුණු අප‍්‍රිකාවේ යටත් විජිත හා වර්ණභේදවාදී ඉතිහාසය නොදැන මැන්ඩෙලා හෝ ස්ටීව් බීකෝගේ කෘතියක් හරියට පරිවර්තනය කළ නොහැකියි.

මේ පසුබිම් සාධක අවබෝධ කොට නොගෙන ශබ්දකෝෂ මත පමණක් පදනම් වී වචනාර්ථ පරිවර්තන කළොත් පරිවර්තිත කෘතිය කියවන පාඨකයන්ට ලොකු අවැඩක් සිදුවනවා.

එක් බසෙකින් තව බසකට යාන්ත‍්‍රිකව පරිවර්තනය කරන පරිගණක මෘදුකාංග දැන් තිබෙනවා. වෙන භාෂා ගැන මට තක්සේරු කළ නොහැකියි. එහෙත් ඉංග‍්‍රීසියෙන් සිංහලට මේ යාන්ත‍්‍රික පරිවර්තන පවතින්නේ ප‍්‍රාථමික මට්ටමකයි. ඒවායින් වචනයෙන් වචනයට කැරෙන පරිවර්තනය තේරුම් ගැනීම අසීරුයි! අද කාලේ නිකුත්වන සමහර සිංහල පරිවර්තන කර ඇත්තේ මිනිසුන් ද පරිගණක ද කියා සැකයක් ඇති වනවා.

විදෙස් පොත් රැසක් (බොහෝ විට ඉංග‍්‍රීසිය හරහා) සිංහලට පරිවර්තනය වෙතත් එය ප‍්‍රතිවිරුද්ධ දිසාවට සිදු වන්නේ කලාතුරකින්. එබඳු පොතක් දොරට වැඞීමේ උත්සවයට පසුගියදා මා සම්බන්ධ වුණා.

රන්ජිත් ධර්මකීර්ති ලේඛකයා හා නාට්‍යවේදියා 1991දී රචනා කළ ‘සත්මහල’ නවකථාව පී. වත්තේගම විසින් Mansion නමින් ඉංග‍්‍රීසියට පෙරළා තිබෙනවා. ද්විභාෂික උගතකු හා විශ‍්‍රාමික රාජ්‍යසේවා නිලධාරියකු වන වත්තේගමයන් මේ පරිවර්තනයට තමා පිවිසි ආකාරය හා මුහුණදුන් අභියෝග ගැන පැහැදිලි කළා.

පරිවර්තකයාට තමන් අමතන පාඨක සමූහය ගැන යම් හැඟීමක්, වැටහීමක් තිබිය යුතුයි. සිංහලෙන් ඉංග‍්‍රීසියට නවකථාවක් පරිවර්තනය කරන විට එය කියැවීමට වැඩිපුර ඉඩක් ඇත්තේ මෙරට සිටින සිංහල නොකියවන, එහෙත් රට ගැන අවබෝධයක් ඇති පාඨකයන්ද? නැතහොත් අපේ යථාර්ථයෙන් වඩාත් දුරස්ථ වූ විදේශික පාඨකයන්ද? මෙය තෝරා ගැනීම වැදගත්.

වත්තේගම මහතා සිංහලෙන් ඉංග‍්‍රීසියට පරිවර්තනය කිරිමේදී මතු වන අභියෝග කිහිපයක් සඳහන් කළා. සිංහල ජන ජීවිතයට හා ජනවහරට ආවේනික වූ ආමන්ත‍්‍රණ, ආහාරපාන නම් හා සමහරක් යෙදුම් වචනාර්ථයෙන් ඉංග‍්‍රීසියට (හෝ වෙනත් බසකට) පෙරළීමේ තේරුමක් නැති බව ඔහු කියනවා.

එසේම කෙනකු අමතන විට සිංහලෙන් යොදන වචන දුසිමකටත් වැඩියි. එය තරාතිරම, ආවේගය හා අවස්ථාවට අනුව වෙනස් වනවා. එහෙත් ඉංග‍්‍රීසියෙන් ඇත්තේ හදම නම් තනි වචනය පමණයි. වචනාර්ථය නිවැරදි වුවත් තැනට ගැලපෙන හැඟීම ජනිත කළ හැකි ද යන ප‍්‍රශ්නය මතුවනවා. (මෙයින් අදහස් වන්නේ ඉංග‍්‍රීසිය පොහොසත් නැති බවක් නොවෙයි. ඉංගී‍්‍රසියෙන් සමහර තනි වචන හරි හැටි පහදා දෙන්නට සිංහලෙන් වචන කිහිපයක් හෝ මුළු වැකියක්ම ඕනෑ වන අවස්ථා ද තිබෙනවා.)

Dr Harshana Rambukwella
Dr Harshana Rambukwella

විවෘත විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල අද කලාතුරකින් හමු වන ගණයේ ද්විභාෂික වියතෙක්. ඔහු සිංහලෙන් නිකුත් වන නිර්මාණාත්මක කෘති කියවනවා. සිංහල සාහිත්‍ය සම්මාන විනිශ්චය මඩුලූවල සිටිනවා. විදෙස් සාහිත්‍යය හා මෙරට සාහිත්‍යය තුලනාත්මකව දැකීමේ හැකියාව ඔහුට තිබෙනවා.

‘සමාජ සංක‍්‍රාන්තිය පරිවර්තනය කිරිම’ මැයෙන් ඔහු කළ දේශනයේ සාහිත්‍ය කෘති පරිවර්තනයේ අපූර්වත්වය මෙන්ම අභියෝග ගැනත් මැනවින් විග‍්‍රහ කළා. දෙආකාරයක පරිවර්තන තිබෙනවා යයි ඔහු කියනවා. එකක් නම් මුල් කෘතියට බොහෝ සමීපව එයට හැකි තාක් සම වන්නට කැරෙන පරිවර්තනයි. අනෙක නම් වඩාත් නිදහස්ව කැරෙන පරිවර්තනයයි. මේ දෙවැන්නට අනුවාදයක් කියන්නටත් හැකියි.

පරිවර්තන හා අනුවාදයන් වෙනස් වන්නේ කෙසේද? අපට බොහෝ විට හමුවන්නේ සමීප පරිවර්තනයන්. අනුවාදයන් කිරීම වඩාත් දුෂ්කර නිර්මාණශීලි කාරියක්. ප‍්‍රකට උදාහරණයක් ලෙස ප‍්‍රංශ ලේඛක වික්ටර් හියුගෝ ලියූ ලෙ මිසරාබ්ල (Les Misérables) නවකථාව ඇසුරෙන් අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල සූරීන් රචනා කළ ‘මනුතාපය’ දැක්විය හැකියි. මනුතාපය කථාව දිග හැරෙන්නේ 19 වන සියවසේ ප‍්‍රංශයේ වුවත් එහි කථා චරිත හා දෙබස් සිංහල ඌරුවට හැඩ ගසා තිබෙනවා. එය කියවන විට පිටස්තර සංස්කෘතියක කථාවක් යැයි සිතන්නේත් නැති තරම්.

ආචාර්ය රඹුක්වැල්ල පරිවර්තන දකින්නේ සංස්කෘතියකින් සංස්කෘතියකට සංක‍්‍රමණය වීමක් හැටියට. භෞතිකව අක්මුල් උදුරා ගෙන රටකින් රටකට සංක‍්‍රමණය වීම (migration) මෙන්ම සියුම් බවක් හා සංකීර්ණ බවක් එහි ගැබ් වනවා. එය කඩිමුඩියේ සාර්ථකව කළ හැකි දෙයක් නොවෙයි.

සිංහලෙන් හා දෙමලෙන් ලියැවෙන ස්වතන්ත‍්‍ර නිර්මාණවලින් වඩාත් හොඳ (සම්මානලාභී හෝ වෙළඳපොල ජනප‍්‍රියත්වයට පත්) කෘතීන් ඉංග‍්‍රීසියට පරිවර්තනය කිරීම හරහා අපේ නිර්මාණ සාහිත්‍යය ලොවට හඳුන්වා දිය හැකියි.

Ariyawansa Ranaweera
Ariyawansa Ranaweera

2013දී මෙරට සිංහල නවකථා 105ක් මුල් වරට ප‍්‍රකාශිත බවත්, එයින් කිහිපයක් ගුණාත්මකව ඉහළ මට්ටමක පවතින බවත් ප‍්‍රවීණ ලේඛක ආරියවංශ රණවීරගේ මතයයි. ‘‘එහෙත් ඒවා ඉංග‍්‍රිසියට පරිවර්තනය කිරීමට තරම් ද්විභාෂා කුසලතාව ඇති පරිවර්තකයන් සොයා ගැනීම ප‍්‍රශ්නයක්. මෙයට විසඳුම කුමක්දැයි මා දන්නේ නැහැ’’ ඔහු කියා සිටියා.

1950 දශකය අගදී තීරණය කරනු ලැබ 1960 දශකයේ සිට ක‍්‍රියාත්මක වන මෙරට ස්වභාෂා අධ්‍යාපන ප‍්‍රතිපත්තිය යටතේ ඉංග‍්‍රීසි බසට ලැබුණේ අඩු ප‍්‍රමුඛතාවක්. මේ නිසා ඉංග‍්‍රීසියට නුහුරු හා (ඇතැම් විට) එය හෙළා දකින පරම්පරා දෙකක් තුනක් මෙරට බිහිව සිටිනවා.

1960 ගණන්වල ඉපිද 1970-80 දශකවල පාසල් ගිය මගේ පරම්පරාවත් මීට අයිතියි. (ජාතිකවාදී ප‍්‍රතිපත්ති ඉන්දියාවේ ද නිදහසෙන් පසු පෙරට ආවත් ඔවුන් කිසිදා ඉංග‍්‍රීසි කොන් කළේ නැහැ.) මේ ඓතිහාසික සාධකය නිසා ද්විභාෂාමය හැකියාව හා ලෝකය ගැන පුළුල් වූ ආකල්ප ඇත්තවුන් අද මෙරට සිටින්නේ ටික දෙනයි.

ඉංග‍්‍රීසියෙන් මුල් කෘති ලියන අපේ රටේම ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ සිංහල හා දෙමළ පාඨකයන් හඳුනා ගන්නේ ද දේශීය පරිවර්තන හරහායි. එයට උදාහරණ ලෙස වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් වනාන්තර හා වැදි ජනයා ගැන ලියූ පොත්, ඔහුගේ දියනිය ක‍්‍රිස්ටීන්ගේ ප‍්‍රබන්ධ කථා, Grass For My Feet ලියූ ජී. විජයතුංගගේ කෘතීන් ආදිය මෙන්ම වඩාත් මෑත කාලයේ බිහි වූ ලාංකික ප‍්‍රබන්ධකරුවන්ගේ කෘතීන් ද සඳහා කළ හැකියි.

සිංහල හා දෙමළ භාෂා මාධ්‍ය දෙකක් ලෙස පැහැදිලිව බෙදුණු අපේ ජන සමාජයේ එකිනෙකා වඩා හොඳින් හඳුනාගන්නට ද පරිවර්තනවලට උපකාර විය හැකියි. එහෙත් සිංහලෙන් දෙමළට හා දෙමළෙන් සිංහලට සෘජුව කැරෙන පරිවර්තන සංඛ්‍යාව ඉතා සීමිතයි. මෙයට හේතුව මේ භාෂා දෙකෙහිම නිපුනත්වය ඇති ලේඛකයන් හා පරිවර්තකයන් හිගවීමයි. එසේම එබඳු නිර්මාණ සඳහා අපේ රටේ වෙළඳපොළ ඉල්ලූමක් සෑහෙන තරමට බිහිව නැතැයි සිතෙනවා.

මේ නිසා දෙවැනි හොඳම විසඳුම ලෙස ඉංග‍්‍රීසි පරිවර්තන හරහාවත් සිංහල හා දෙමළ නිර්මාණාත්මක සාහිත්‍යය අනෙකාට සමීප වන්නේ නම් එය හොඳ දෙයක් බව එදින සංවාදයේදී කියැවුණා.

ජාතික භාෂා 19ක් හා ප‍්‍රාදේශීය භාෂා දුසිම් ගණනක් කථා කැරෙන ඉන්දියාවේ වෙනස් වූ ජන කොටස්වල නිර්මාණ සාහිත්‍යය එකිනෙකා හඳුනා ගන්නේ බොහෝ විට ඉංග‍්‍රිසි පරිවර්තන හරහායි. ඉන්දීය සාහිත්‍ය ක්‍ෂෙත‍්‍රය සමීපව අධ්‍යයනය කරන ලාංකික ලේඛක නීල් විජේරත්න මෙය උදාහරණ සහිතව පෙන්වා දී තිබෙනවා.

කණගාටුවට කරුණ මෙයයි. යුද්ධයෙන් පසු දිගට හරහට පාලම් ඉදි කැරෙන මේ සමයේ, අපේ රටේ භාෂා තුන අතර අදහස් හුවමාරුව වැඩි කරන්නට හරිහැටි පරිවර්තන කැරෙන්නේ ඉතා අඩුවෙන්.

මෙරට සිංහල හා දෙමළ සාහිත්‍යය ඉංග‍්‍රීසියට පරිවර්තනය වීමේ තවත් වාසියක් මා දකිනවා. එනම් ඩයස්පෝරාවේ සාංස්කෘතික අවශ්‍යතාවකට ප‍්‍රතිචාර දැක්වීමයි. සිංහල හෝ දෙමළ පසුබිමක් ඇති ලාංකික සම්භවයෙන් යුත් ජනයා ලක්‍ෂ 15-20ක් පමණ මෙරටින් පිට ජීවත් වනවා. සමහරුන් සදහටම රට හැරදා ගොස් තිබෙන අතර අනෙක් අය රැකියා සඳහා හෝ අධ්‍යාපනය සඳහා විදේශගතව සිටිනවා. දිගු කලක් විදෙස්ගතව සිටින ලාංකිකයන්ගේ ඊලඟ පරම්පරාවට බොහෝ විට මවු බස එතරම් හෝ කොහෙත්ම හෝ කථා කිරීමට – ලිවීමට නොහැකියි.

විශේෂයෙන් බටහිර රටවල වෙසෙන මේ ඩයස්පෝරා දෙවැනි පරපුරට අපේ නිර්මාණ ගෙන යා හැකි එකම මාර්ගය ඉංග‍්‍රීසි පරිවර්තනයි. එහි විභවය හා අවශ්‍යතාවය පැවතියත් එය වෙළඳපොල යථාර්තයට බද්ධ කරන්නේ කෙසේද? මුද්‍රිත පොත් පිටපත් වෙනුවට විද්්‍යුත් පොත් (e-books) මෙයට උපකාර වේද?

අපේ ප‍්‍රකාශකයන් මේ ගැන ටිකක් විමසිලිමත් වන්නේ නම් හොඳයි.

 

 

 

කේ.ඩබ්ලියු ජනරංජන: සතිපතා දේශපාලන කාටුන් අඳින පුවත්පත් ප‍්‍රධාන කතුවරයා

K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist
K W Janaranjana: Chief Editor, Media Activist, Cartoonist & Book cover artist

කේ.ඩබ්ලියු ජනරංජන මා හඳුනාගත්තේ ඔහුත් මාත් මානව විද්‍යා සඟරාවේ කර්තෘ මණ්ඩලයේ වැඩ කළ 1980 දශකය අග කාලයේ. තමාටම ආවේණික ශෛලියකින් චිත‍්‍ර හා කාටුන් අඳින ඔහු සඟරාවේ පිටු නිර්මාණය චිත්තාකර්ෂනීය ලෙසින් කළා.

පසු කලෙක නීතීඥයකු හා පුවත්පත් කලාවේදියකු ලෙස නමක් දිනාගත් ඔහු කලෙක සිට රාවය කර්තෘ මණ්ඩලයේ සේවය කරනවා.

පාඨකයන් ඔහු වඩාත් හොඳින් හඳුනනන්නේ මුල පිටුවේ ආයුබෝවන් පොකට් කාටුනය හා කතුවැකිය පළවන පිටුවේ දේශපාලන කාටුනය හරහායි. 2012 දී රාවයට 25 වසරක් පිරීමෙන් පසු ඔහු එහි ප‍්‍රධාන කතුවරයා.

ජාතික පුවත්පතක ප‍්‍රධාන කතුවරයා එහි සතිපතා දේශපාලන කාටුන් ද ඇඳීම හමු වන්නේ රාවයේ පමණක් යයි මා සිතනවා.

රාවයට සතිපතා තීරුලිපියක් ලිවීමට මට ඇරැයුම් කළේත්, ඒ ගැන දෙගිඩියාවෙන් සිටි මා දිරිමත් කළේත් ඔහුයි. ඒ අනුව 2011 මුල සිට සිවුමංසල කොලූගැටයා තීරු ලිපිය මා ලියනවා. මේ වන විට 200කට ආසන්න ලිපි ගණනක් ලියා තිබෙනවා. ඒවායින් තෝරාගත් ලිපි අඩංගු පොත් 3 ක්ද රාවය ප‍්‍රකාශන ලෙස පළ කරනු ලැබුවා. මේ තුනෙහිම පිටකවර නිර්මාණය කළේත් ජනරංජනයි.

Sivu Mansala Kolu Getaya - Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana
Sivu Mansala Kolu Getaya – Ravaya column collections 1, 2 and 3 on sale at Colombo Book Fair 2014. All covers by K W Janaranjana

රාවය ප‍්‍රකාශන බහුතරයකට කලක සිට පිටකවර නිර්මාණය කරන්නේ ඔහුයි. ප‍්‍රාථමික වර්ණ ප‍්‍රබලව යොදා ගන්නා වෙනත් බොහෝ පොත් කවරවලට වඩා ගැඹුරු මානයක් සිය පොත් කවරවලට දෙන්නට ඔහු තැත් කරනවා.

Ravaya booth at Colombo Book Fair 2014:  many book covers designed by K W Janaranjana
Ravaya booth at Colombo Book Fair 2014: many book covers designed by K W Janaranjana

Purawesi Pethsama book cover - designed by KW Janaranjana - won Lanka State Literary award for best book cover in 20132013 පළවූ පොත් සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මාන පිරිනැමුණේ 2014 සැප්තැම්බර් 3 වනදා. එහිදී 2013 හොඳම පොත් පිටකවරයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය ජනරංජනට හිමිවුණා. එස්. ජී. පුංචිහේවාගේ පුරවැසි පෙත්සම නම් කෘතියට නිමැවූ කවරය සඳහායි.