Vidusara Interview: ජාතික ආර්ථික සංවර්ධනයට විද්‍යා සන්නිවේදකයන්ට කුමක් කළ හැකිද?

Vidusara cover - 5 Nov 2014
Vidusara cover – 5 Nov 2014

Vidusara, Sri Lanka’s only science and technology weekly magazine, has interviewed me in their issue dated 5 November 2014, which marks their 27th anniversary. They talked to me about the role of science journalists and other science communications in promoting science and technology for national economic development.

Here’s my Q&A with the newspaper’s editor, Rajendra Kulasinghe:

 

ජාතික ආර්ථික සංවර්ධනයට විද්‍යා සන්නිවේදකයන්ට කුමක් කළ හැකිද?

රටක ආර්ථික සංවර්ධනය උදෙසා විද්‍යාව, තාක්‍ෂණය හා නවෝත්පාදන උපයෝගී කර ගැනීමේ වයායාමයේදී විද්‍යා ජනමාධවේදියා සතුව ද පැහැර හැරිය නොහැකි වගකීමක් තිබේ. මේ ඒ සම්බන්ධයෙන් දේශීයව මෙන්ම විදේශීයව ද බහුවිධ සන්නිවේදන මාධ්‍ය හරහා විද්‍යා සන්නිවේදන කටයුතුවල නියැලෙන ප‍්‍රකට විද්‍යා මාධ්‍යවේදියකු සහ විද්‍යා ජනමාධය උපදෙශකවරයකු ද වන නාලක ගුණවර්ධන මහතාගෙන් කළ අදහස් විමසීමක දී ඔහු දැක්වූ අදහස් ය. ඒ මහතා COSTI ව්‍යපෘතිය යටතේ ක‍්‍රියාත්මක සැමට විද්‍යාව සඳහා වන ජාතික මණ්ඩලයේ සම සභාපති ලෙස ද කටයුතු කරයි.

රශ්නය: ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් විද්යා මාධ්යවේදියාගේ දායකත්වය කෙතරම් තීරණාත්මක ?

පිළිතුර: මේ දායකත්වය අතිශය වැදගත් නමුත් එහි නිසි ඵල නෙළගත හැක්කේ සෙසු පාර්ශ්වයන් ද මේ සංවාදයෙහි ක‍්‍රියාකාරිව නිරත වුවහොත් පමණයි. මා එයින් අදහස් කළේ පර්යේෂකයන් සහ ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර සමීප කතිකාවක් මේ පිළිබඳව ඇති විය යුතු බව.

රටේ ආර්ථික අභිවෘද්ධිය උදෙසා විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන්හි උපයෝගීතාවෙහි වැදගත්කම පිළිබඳ දැක්මක් ප‍්‍රතිපත්ති සම්පාදකයන් තුළ ඉබේ පහළ වන්නේ නැහැ. එය ඇති කළ හැක්කේ පර්යේෂකයන් සිය විද්‍යාත්මක සොයා ගැනීම් පාදක කර ගත් අදහස්වල ආර්ථිකමය වටිනාකම් ඔවුන්ට ඒත්තු ගැන්වූවහොත් පමණයි. කවර තාක්‍ෂණයන් කවර විද්‍යාවන් වඩාත් ඵලදායක ද යන්න සම්බන්ධව දෙපාර්ශවයට එකඟතාවකට පැමිණිය හැකි වාතාවරණයක් ඇති වන්නේ එවිටයි.

අවාසනාවකට බොහෝ පර්යේෂකයන් මෙවැනි සන්නිවේදනයට යොමු වන්නට මැළිකමක් දක්වන බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. තමන්ගේ පාඩුවේ විද්‍යාත්මක කටයුතුවල යෙදීමක් පමණයි ඔවුන් කරන්නේ. ජාතික මට්ටමට සිය පර්යේෂණ ප‍්‍රතිඵල රැගෙන යන්න උනන්දු වන්නේ සාපේක්‍ෂව ටික දෙනෙකු පමණයි.

ඒත් මේ පසුගාමීත්වය රටට අහිතකරයි. උදාහරණයක් විදියට 2012 වසරේ දී අප රටේ සමස්ත අපනයන ආදායම තුළ උසස් තාක්‍ෂණ අපනයවනලින් ලැබී තිබුණේ සියයට 5 කට අඩු ආදායමක් පමණයි.

මට මෙහිදී සිහිපත් වනවා මීට වසර25 කට උඩදී නොබෙල් සම්මානලාභී විද්‍යාඥයකු වන පාකිස්තාන ජාතික ආචාර්ය අබ්දුස් සලාම් මා හා පළ කළ අදහසක්. ඔහු පෙන්වා දුන්නේ විද්‍යාඥයන්ට සිය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් මෙවැනි සංවාදයකට මුල පිරීම සඳහා පැහැර නොහැරිය හැකි වගකීමක් ඇති බව. එය පවත්නා දේශපාලන ප‍්‍රවාහයට කැමැත්තක් තිබුණත් නැතත් සිදු කළ යුතු ජාතික දායකත්වයක් බව ඔහු පැවසුවා. මා සිතන්නේ අදටත් ඔහු එදා කී දේ අපේ රටට අදාළ බවයි.

මේ වන විට අප රටේ ජෛවතාක්‍ෂණය, නැනෝතාක්‍ෂණය, තොරතුරු තාක්‍ෂණය වගේ අංශ කිහිපයකට අදාළව නම් විද්‍යාඥයන් හා ප‍්‍රතිපත්ති සැලසුම්කරුවන් අතර සතුටුදායක සංවාදයක් ඇති වෙමින් තිබෙනවා. මේවා ජාතික ධනය ඉපදවිය හැකි ක්‍ෂෙත‍්‍ර හැටියට අදාල බලධරයන් පිළිගෙන තිබෙනවා.

මෙවැනි ක්‍ෂෙත‍්‍ර ගැන විද්‍යා මාධ්‍යකරුවා විශේෂ අවානය යොමු කළ යුතුයි. විද්‍යා මාධ්‍යකරුවාට මෙවැනි සංවාදයන්හි හවුල්කරුවකු විය හැකියි. ඔහුට මෙහිලා උත්පේ‍්‍රරකයක හැටියට ක‍්‍රියා කළ හැකියි.

රශ්නය: අප රටේ විද්යා මාධ්යවේදින්ට ඔබ කියන ආකාරයේ දායකත්වයක් සැපයීම සඳහා සුදුසු පරිසරයක් පසුබිමක් පවතිනවා ?

පිළිතුර: විද්‍යා මාධ්‍යවේදියාගේ තරාතිරම මෙහිදී වැදගත් නැහැ. ඒ කියන්නේ කුමන සන්නිවේදන මාධ්‍යයක සිටියත්, ස්ථිර මාධ්‍ය සේවයේ සිටියත් නොසිටියත්, අත්දැකීම් මද වුවත් නැතත්, වයසින් අඩු හෝ වැඩි හෝ වුවත් ප‍්‍රශ්නයක් නැහැ. ඕනෑකමක් සහ කැපවීමක් තිබේ නම් උපක‍්‍රමශීලීව මෙවැනි සංවාදයන්ට දායක වීමේ හැකියාව තිබෙනවා.

නැවතත් මගේ පෞද්ගලික අත්දැකීමක් පවසන්න කැමතියි. මා මෙරට ටෙලිවිෂන් මාධ්‍ය දෙකක නව නිපැයුම්කරුවන් දිරි ගන්වන, ඔවුන්ගේ ගැටලූ කතා කරන වැඩසටහන් පෙළක් කර තිබෙනවා. ඔවුන්ගේ හැකියාවන් ජාතික ප‍්‍රශ්න විසඳීම සඳහා දායක කර ගත හැක්කේ කෙසේද යන්න, එය කළ හැකි ද යන්න, නව නිපැයුම්කරුවන් ගේ කොමිසමේ ප‍්‍රධානින්, ඒ වගේම පර්යේෂකයන් සමග මේ වැඩසටහන්මාලා තුළින් කතාබහට ලක් කරන්න මට අවස්ථාව ලැබුණා.

ඒ වගේම නරඹන ජනතාවට රටේ කාලීන ප‍්‍රශ්න අළලා නව නිර්මාණ ඉදිරිපත් කිරීමට අභියෝගයන් ද මේ වැඩසටහනෙන් ඉදිරිපත් කළා. මදුරුවන් බෝවීම අඩු කිරීමට, ආහාර කල් තබා ගැනීමට, බලශක්ති සංරක්‍ෂණයට වැනි සමාජ ආර්ථික අවශ්‍යතා සඳහා හොඳ යෝජනා ජනතාවගෙන් ලැබුණා. ඉතා ජනප‍්‍රිය වූ මේ වැඩසටහන් මාලාවකට ටෙලි සම්මානයක් මටත් එහි නිෂ්පාදකවරයාටත් හිමි වුණා.

මෙයින් මා කියන්නට උත්සාහ කළේ අර්ධ වශයෙන් සම්පූර්ණ වටපිටාවකට වුවත් වුවමනාවක් ඇත් නම් රටට දැනෙන යමක් කළ හැකි බවයි.

රශ්නය: අපේ විද්යා මාධ්යවේදීන් රටේ ආර්ථික සංවර්ධනය සඳහා රියාත්මක විය යුත්තේ ඔබ දකින ආකාරයට කවර ආකාරයෙන්ද?

පිළිතුර: විදුසර ආරම්භ කළ මීට වසර 27කට පෙර තිබූ මාධ්‍ය යථාර්ථ ද අද වෙනස් වෙලා. විශේෂයෙන්ම තාක්‍ෂණිකව පෙරැළියක් ඇතිවී තිබෙනවා. අද සන්නිවේදකයකුට එක් මාධ්‍යයකට සීමා වෙන්න බැහැ. අද සන්නිවේදනය මුද්‍රිත, විද්‍යුත්, ඉන්ටනෙට් යනාදි වශයෙන් මාධ්‍ය රාශියක අභිසරණයක් (Media convergence) නැතිනම් ඒකරාශී වීමක්. ඒ නිසා මේ බහු මාධ්‍යය තුළ ම කුසලතාවන් හැසිරවීමේ හැකියාව විද්‍යා මාධ්‍යවේදියකු ප‍්‍රගුණ කළ යුතුයි. ආරම්භයේදී මට මේ හැකියාව තිබුණේ නැහැ. උදාහරණයකට වයස 30 ගණන්වලදී තමයි ඉන්ටර්නෙට් හරහා සන්නිවේදනයට මා යොමු වුණේ.

මේ ආකාරයෙන් විද්‍යා මාධ්‍යවේදීයා ගේ භූමිකාව වඩාත් පුළුල් කරගන්නා අතරම විද්‍යා මාධ්‍යවේදියා ගේ කාර්යභාරය පැහැදිලිව හඳුනාගෙන සිටීම ද වැදගත්.   විද්‍යා මාධ්‍යකරණය කියන්නේ විද්වතුන් කියන දේ ලියා ගෙන සමාජගත කිරීමක් පමණක් නොවෙයි. ඒ කියන්නේ විද්‍යා මාධ්‍යවේදියා දැනුම ගලා යන පාලමක් පමණක් විය යුතු නැහැ. ඔහු මෙහි ලා පෙරහනක් ද විය යුතුයි. විචාරශීලීව විද්‍යාඥයන් ගේ කාර්යභාරය විග‍්‍රහ කළ යුතුයි. ඒ වගේම ජනතාව ගේ ගැටලූ හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම පිණිස විද්‍යාඥයන් වෙත යොමු කළ ුතුයි. මේ කාරණා දෙකේ දීම අගය එකතු කිරීමක් සිදු කිරීම (value addition) තමයි විද්‍යා මාධ්‍යවේදියාගේ කාර්ය භාරය විය යුත්තේ.

Nalaka Gunawardene interview with Vidusara, 5 Nov 2014
Nalaka Gunawardene interview with Vidusara, 5 Nov 2014

සිවුමංසල කොලූගැටයා #184: වන්දනාවෙන් තොරව වන්දනා ශිවා කියවමු!

Indian social and environmental activist Dr Vandana Shiva visited Sri Lanka in June 2014, and delivered a well attended public lecture in Colombo. She also joined the launch of a Sinhala translation of her book ‘Stolen Harvest’, written in 2000.

The translator, Sydney Marcus Dias, sent me a copy recently and I have quoted from it in my latest Ravaya column (in Sinhala) appearing in issue dated 7 Sep 2014.

In this, I urge Lankan agro and green activists to engage in a critical reading of Vandana Shiva and not to blindly hero worship her. There is undoubtedly a crisis in modernized methods of farming that rely on high external inputs (agro-chemicals) promoted for half a century under the Green Revolution. Despite evidence for its economic and ecological unsustainability, however, these remain the basis of state agricultural policies in Sri Lanka.

Why? It is a national level failure of vision and policy making. True, local and global agro companies exploit this weakness, but they are operating within what is legal. This is opportunistic of them, for sure, but I don’t agree with Sydney Marcus Dias or any other activists that there is a huge international conspiracy to destabilize Lankan agriculture and destroy it along with the livelihoods of millions of small scale farmers.

We don’t need global conspirators when our own myopic politicians, misguided by officials and experts, are doing a good job of it on their own!

‘Stolen Harvest’ in English and Soragath Aswenna in Sinhala are both worth a read – and can form the basis of discussion. They are NOT the last word on any of the issues discussed, but certainly good opening thoughts to debate further.

NOTE: By sad coincidence, Sarath Fernando, highly respected Lankan farmer activist and founder of the Movement for National Land and Agricultural Reform (MONLAR), died the same weekend this column appeared in print. In June, Vandana Shiva made an affectionate reference to him as ‘my very dear friend Sarath Fernando’.

 

Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014
Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014

ආචාර්ය වන්දනා ශිවා ඉන්දියාවේ සිටින ලෝක ප‍්‍රකට පාරිසරික හා සමාජ ක‍්‍රියාකාරිනියක්. විශේෂයෙන් ගොවිතැන හා ජෛව සම්පත් රැක ගැනීම ගැන දේශීය දැක්මක් හරහා දියුණු වන රටවල අයිතීන් සඳහා ප‍්‍රබල හඬක් මතුකරන විද්වතෙක්.

නිලධාරින් හා ව්‍යාපාරික පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉන්දියාවේ ගොවිතැන් මධ්‍යගත කරනු හා වාණිජකරණය කරනු දැක එයින් කැළඹී ඒ ගැන සමාජ ව්‍යාපාරයක් ගොඩනැගූ චරිතයක්.

1952දී උපන් ඇය පන්ජාබ් සරසවියෙන් භෞතික විද්‍යා උපාධිය ලබා පශ්චාත් උපාධි අධ්‍යාපනයට කැනඩාවට ගියා. ක්වන්ටම්වාදය පිළිබඳව ඇගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ කැනඩාවේ බටහිර ඔන්ටාරියෝ සරසවියෙන්. මෙනයින් බැලූ විට ඇය වෘත්තීය වශයෙන් විද්‍යාඥයකු ලෙස පුහුණුව ලැබූ කෙනෙක්. ඉන්දියාවට ආපසු පැමිණ එරට විද්වත් ආයතනවල කලක් පර්යේෂණ කළා.

1987දී විද්‍යාව, තාක්‍ෂණය හා පරිසරය පිළිබඳ පර්යේෂණ පදනම නම් ආයතනයක් ඇරැඹූ ඇය 1991දී එරට දේශීය බීජ හා ජාන සම්පත් සුරැකීමට නව්ධාන්‍ය (Navdanya, www.navdanya.org) නම් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටවූවා.

නව්ධාන්‍ය සංවිධානය මගින් එරට ජන වී ප‍්‍රභේද 2,000කට අධික සංඛ්‍යාවක් වඳ වී යාමට නොදී රැක ගෙන තිබෙනවා. ඉන්දීය ගොවීන් 70,000කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකයෝ. (‘ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ ’ මැයෙන් වූ 2014 ජනවාරි 19 කොලම ද බලන්න.)

Stolen Harvest by Vandana Shiva
Stolen Harvest by Vandana Shiva

ශිවා කියන්නේ ‘‘බීජ යනු ආහාරදාමයේ මුල් පුරුකයි. බීජ අද තත්ත්වයට පත් වූයේ සියවස් ගණනක් පුරා ගොවීන් සොබාවිකව ඒවා දෙමුහුම් කරමින් වගා කිරීම නිසයි. බීජවල ඓතිහාසික හා සදාචාරාත්මක භාරකරුවන් වූයේ ගොවි ප‍්‍රජාවයි. ඔවුන් බීජවලින් වෙන් කැරෙන ඕනෑම පිළිවෙතක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගොවි විරෝධීයි. දේශීය බීජ ප‍්‍රභේද සුරකින්නට, හුවමාරු කර ගන්නට, අලෙවි කරන්නට, තව වැඩි දියුණු කරන්නට ගොවීන්ට පරම අයිතියක් තිබෙනවා. ඒ අයිතිය පාවා දීමට හෝ කප්පාදු කිරීමට ඉඩ නොදිය යුතුයි!’’

දේශීය හා බිම් මට්ටමෙන් වැඩ කරන අතරේ ජාත්‍යන්තර තලයේ ද දියුණු වන රටවල අයිතීන් හා ප‍්‍රමුඛතා ගැන ඇය හඬක් නගිනවා. පසුගිය ජුනි මාසයේ ඇය ශ‍්‍රී ලංකාවට ද පැමිණියා. ඇගේ ප‍්‍රකට ඉංග‍්‍රීසි කෘතියක් වන Stolen Harvest (2000) ‘සොරාගත් අස්වැන්න’ නමින් සිඞ්නි මාකස් ඩයස් විසින් සිංහලට පෙරළා තිබෙනවා.

‘සොරාගත් අස්වැන්න’ කෘතියේ මූලික තර්කය නම් වාණිජකරණයට ලක් වූ නවීන ගොවිතැන සොබාදහමින් හා දුප්පතුන්ගෙන් ආහාර සොරා ගන්නා බවයි. සමාජ සාධාරණත්වය හා පාරිසරික තිරසාරත්වය ස්ථාපිත කරන්නට නම් ආහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Food democracy) අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.

ශිවා මේ පොත ඉංග‍්‍රීසියෙන් ලියුවේ 2000දී. මේ දක්වා ඇය ලියා ඇති පොත් 20න් එකක්. පසේ සරුබව සහතික කිරීමත්, බීජ රැක ගැනීමත් හරහා සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම මගින් ආහාර බෝග වැවීම ඇය කැමති පිළිවෙතයි. ගොවි බිමට බැහැරින් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන යෙදීම හරහා පරිසරයත්, සෞඛ්‍යයත්, ගොවි අර්ථිකයත් යන තුනම විකෘති වන බව ඇය තේරුම් ගත්තේ දශක ගණනාවකට පෙරයි.

දියුණු වන රටවල ආණ්ඩු හරිත විප්ලවයේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යන්නේ ඔවුන්ට දියුණු රටවලින්, ජාත්‍යන්තර ආධාර ආයතනවලින් හා ගෝලීයකරණය වූ කෘෂි සමාගම්වලින් කැරෙන බලපෑම් නිසා යයි ඇය කියනවා. ඒ නිසා රටේ ප‍්‍රතිපත්ති නිවැරදි කර ගන්නට සංවාද හා අරගල කරන අතර ගෝලීය ප‍්‍රවණතාවන්ට ද සංවිධානාත්මකව ප‍්‍රතිරෝධය දැක්විය යුතු යැයි ඇය විශ්වාස කරනවා. ගෝලීයකරණයට ඇය විරුද්ධ එය ටික දෙනෙකුට පමණක් වාසි ගෙන දෙන ක‍්‍රියාදාමයක් නිසයි.

වන්දනා ශිවාට චිත්තාකර්ශනීය පෞරුෂයක් හා සිත් ගන්නා සුලූ කථා විලාසයක් තිබෙනවා. ඇය තර්ක හා සාධක සහිත චෝදනා මතු කරන්නේ ගැඹුරු එහෙත් ප‍්‍රසන්න අයුරින්. නිතර ඇගේ මුවෙහි සිනහවක් තිබෙනවා. ප‍්‍රතිමල්ලවයන්ට වාග් ප‍්‍රහාර එල්ල කරන්නේ ද්වේෂයෙන් නොව සාධාරණ කෝපයකින් හෝ සාවඥව හෝ බව පෙනෙනවා. ජාත්‍යන්තර තලයේ විවාදවලට වඩාත් ගැලපෙන ශෛලිය මෙයයි. ඇය කියන දෙයට කිසිසේත් එකඟ නොවන අය පවා ඇයට සවන් දෙන්නේ එනිසායි.

ලොව පුරා සමාජ සාධාරණයට අරගල කරන ක‍්‍රියාකාරිකයෝ ශිවාගේ හිතමිතුරෝ. ශ‍්‍රී ලංකාවේද ඇගේ සහෘදයන් සිටිනවා. ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) ආරම්භක සරත් ප‍්‍රනාන්දු එයින් එක් අයෙක්. ඇය කොළඹ ජූනි මස කළ දේශනයේදී ඔහු ගැන මහත් ලෙන්ගතුව කථා කළා.

Stolen Harvest - Sinhala translation by Sydney Marcus Dias
Stolen Harvest – Sinhala translation by Sydney Marcus Dias

සොරාගත් අස්වැන්න පරිවර්තක සිඞ්නි මාකස් ප‍්‍රනාන්දු ඇගේ තවත් අනුගාමිකයෙක්. ගුරු වෘත්තියේ නියැලෙන අතරම ලේඛන කලාවේත්, සමාජ ව්‍යාපාරවලත් නිරත වන ඔහු පරිසර සංරක්‍ෂණය, කාබනික ගොවිතැන හා අන්තර්-ආගමික/වාර්ගික සහෝදරත්වය ප‍්‍රවර්ධනය කිරීමට දශක ගණනක සිට වෙහෙස වන්නෙක්.

පොතේ අගට තමන්ගේ ම පරිච්ෙඡ්දයක් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය යළි කියැවීමට ඔහු තැත් කරනවා. එහිදී ඔහු උදාහරණයට ගන්නේ කලක් ඉගැන්වීමේ යෙදුණු ආනමඩුව ප‍්‍රදේශයයි. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වියලි කලාපීය මේ ප‍්‍රදේශයට ඔහු මුලින් යන විට එහි හේන් ගොවිතැන ඉතා සශ‍්‍රීකව තිබූ සැටිත්, දශක තුනක් තුළ ඒ තත්ත්වය මුලූමනින් වෙනස් වී ඇති සැටිත් ඔහු විස්තර කරනවා.

ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ සාම්ප‍්‍රදායික යැපුම් මට්ටමේ මිශ‍්‍ර හේන් වගාව වෙනුවට හරිත විප්ලවය විසින් දිරි ගන්වන ලද ඒකීය වගා ක‍්‍රමය ඔස්සේ ගොවිතැන් හේන් තුළ කව්පි, මුං, බඩ ඉරිඟු වැනි බෝග පමණක් වගා කිරිමට යොමු වීමයි.

Sydney Marcus Dias
Sydney Marcus Dias

‘‘මුල් යුගයේදී අක්කරයකට බුසල් 30-35 පමණ අස්වැන්නක් ලබා දුන් ඒ බෝග පසුව බුසල් 10-12කට අඩු වී මේ වන විට ඒ වගාවන් නැත්තටම නැති වී තිබේ. එකම භූමිය නැවත නැවත වල්නාශක හා කෘමිනාශක යොදමින් වගා කිරීම නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ හේන් වගාකළ බිම් නිසරු කෙනතු බවට පත් වී තිබේ. මෙම තත්ත්වය සමස්ත සමාජ ආර්ථික ජීවිතයම වෙනසකට ලක් කර ඇති ආකාරය ද විමසිල්ලට ලක් කළ යුතු වේ’’ යයි ඔහු කියනවා.

ග‍්‍රාමීය ගොවිතැන කඩා වැටීම නිසා එයින් ජීවිකාව සපයා ගත් බොහෝ දෙනා අතරමංව ඉච්ඡාභංගත්වයට පත් වෙලා. පිරිමින්ගෙන් බහුතරයක් මේ නිසා මත්පැනට ලොල් වී සිටින බවත්, රජයේ ඉල්ලූම්පත‍්‍ර පුරවන විට රැකියාව ‘ගොවිතැන’ ක’ව ද තව දුරටත් ගොවිකමේ නියැලෙන්නේ නැති බවත් ඩයස් කියනවා. මත්පැන් ප‍්‍රචලිත වීමත් සමග ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය හා අසාර්ථක පවුල් පරිසරයන් ද වැඩි වී තිබෙනවා.

මේ විසමතා හමුවේ පවුල් බර දැරීමට කාන්තාවන් එක්කෝ මැදපෙරදිග – නැත්නම් ඇගලූම් කම්හල්වලට රැකියා සොයා යනවා. මවුවරුන් විදේශගත වූ පවුල්වල දරුවන් බලා කියා ගන්නට කිසිවකු නැති වීමෙන් බරපතල ප‍්‍රශ්න මතු වනවා. රටේ සංවර්ධනයට යයි කියමින් රජය ගන්නා මහා පරිමානයේ විදෙස් ණය වාරික හා පොලිය ගෙවන්නේ මේ ගැමි කතුන් උපයා මෙරටට එවන විදේශ විනිමයෙන්.

‘‘මේ වන විට මේ ප‍්‍රදේශවල වෘත්තීය මට්ටමෙන් ගොවිතැනේ යෙදෙන තරුණයකු සොයා ගැනීම ඉතා දුර්ලභය. ගොවිතැනේ නියැලෙනු දැකිය හැක්කේ ප‍්‍රධාන ජලාශ යටතේ ඉතා සුළු පිරිසකි. එයින් ද බහුතරයක් රජයේ හෝ වෙනත් වෘත්තීන්හි යෙදෙන පිරිසක් අර්ධ කාලීනවය. මේ අය කුඹුරට බහින්නේ තෙල්ටැංකි පිටේ බැඳ ගෙනය’’ ඔහු කියනවා.

මහා පරිමාන සංවර්ධන යෝජනා ක‍්‍රමවලින් ජනතාවට ඉතිරි වී ඇත්තේ දරිද්‍රතාව, විරැකියාව හා සාගින්දර පමණක් බවත්, ගමේ ආර්ථිකය මේ වන විට පවත්වා ගෙන යන්නේ විදේශ රැකියා කරන මවුවරුන්, වෙළඳ කලාපවල රැකියාවන්හි යෙදන තරුණියන් සහ තවමත් හමුදා සේවයේ රැඳී සිටින තරුණයන්ගෙන් බව ඔහු පෙන්වා දෙනවා. ප‍්‍රදේශයේ සාර්ථකම ව්‍යාපාර ලෙස ඉතිරිව තිබෙන්නේ කෘෂි රසායන වෙළඳාම, මැදපෙරදිග රැකියා ඒජන්සි, කොමියුනිකේෂන් හා සෞඛ්‍ය/රසායනාගාර සේවා ආදිය පමණයි.

ඩයස්ගේ නිර්දේශයට මාත් එකඟයි. ‘‘රටේ ග‍්‍රාමීය ආර්ථිකය යළි ගොඩනැගීමට නම් වහා සළු ගොවීන්ගේ කාර්ය සඵලමත් කළ යුතුය. ඒ සඳහා අසාර කනතු බවට පත් වූ ගොවිබිම්වල පස යළි සුවපත් කළ යුතුය…ඒ සඳහා දැවැන්ත ආකල්පමය වෙනස්කම් සහ භෞතික වෙනස්කම් රැසක් කළ යුතුය.’’

මේ දැක්ම ආචාර්ය රේ විජේවර්ධනයන්ගේ චින්තනයටත් සමගාමීයි. (ගිය වසරේ කොලම් තුනක් හරහා මා ඉදිරිපත් කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව බලන්න.) එහෙත් අපට සිදු වී ඇති සමස්ත කෘෂි වින්නැහියට තනිකරම බහුජාතික කෘෂි සමාගම්වලට පමණක් දොස් තැබීම නම් පිළිගත නොහැකියි.

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

25 August 2013: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

29 Sep 2013: සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

විජේවර්ධනයන් පෙන්වා දුන් පරිදි වැරදි කෘෂි ප‍්‍රතිපත්තිවලට හෙතුව මංමුලා වූ අපේම පොතේ උගතුන්. බටහිර රටවල සමශීතෝෂ්ණ දේශගුණයට සරිලන ගොවිතැන් ක‍්‍රම උසස් අධ්‍යාපනයට හදාරන ඔවුන්, ඝර්ම කලාපීය අපේ රටට සරිලන පරිදි ඒවා සකස් කර නොගැනීම අපේ විනාශයට මුල් වූ බව ඔහු විග‍්‍රහ කළා. අන්තිමේදී දේශපාලකයන් නොමග යවා ඇත්තේ ද මේ උගතුන් විසින්.

බහුජාතික සමාගම් දියුණුවන රටවල ආර්ථික හා සංවර්ධන ක‍්‍රියාදාමයට ඇඟිලි ගසන බව සැබෑවක්. මෙය 1960, 1970 දශකවල සිට පැන නැගී ආ ප‍්‍රවණතාවක්. මුල් යුගයේ පාරිසරික හා කෘෂි ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට සහේතුකව ලක් වූයේ මේ සමාගම්.

එහෙත් තව දුරටත් බහුජාතික සමාගම් හුදෙක් බටහිර රටවල හිමිකාරිත්වයට නතු නැහැ. අද ඉන්දියානු, මැලේසියානු, සිංගප්පූරු, චීන හා කොරියානු බහුජාතික සමාගම් ද තිබෙනවා. ලොව පුරා රටවල ගනුදෙනු කරන ඔවුන් සමහරකගේ ක‍්‍රියාකලාපය මීට වඩා අපේ විමර්ශනයට ලක් විය යුතුයි.

එසේම හරිහැටි දේශීය ප‍්‍රතිපත්ති හා පරිපාලනය පවත්නා රටවල නම් බාහිරින් එන ආධාර ආයතන හෝ විදෙස් සමාගම්වලට කළ හැකි බලපෑම සීමිතයි. ‘ළඟ එන කෘෂි රසායන සුනාමිය’ මැයෙන් කොලමක් ලියමින් 2013 මාර්තුවේ මා පෙන්වා දුන්නේ කුමන්ත‍්‍රණවාදී තර්ක හා චෝදනා කරමින් සිටිනවාට වඩා අපේ ප‍්‍රතිපත්ති, නීති, රෙකුලාසි හා නියාමන තන්ත‍්‍රය විධිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

17 March 2013: සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

වන්දනා ශිවා ජනතාවාදී විද්‍යාඥවරියක්. එහෙත් ඇය කියන හැම දෙයක්ම අප වන්දනාමාන කළ යුතු නැහැ. ඇය එබන්දක් බලාපොරොත්තු වන්නේ ද නැහැ. ඇය මතු කරන අතිශයින් වැදගත් කරුණු හා තර්ක විචාරශිලීව වැඩිදුර විවාදයට ලක් කිරිම අවශ්‍යයි. සිඞ්නි මාකස් ඩයස්ගේ පරිවර්තනය හරහා මේ සංවාදය මතු කර ගත හැකියි.

අවසාන විනිශ්චයේදී අප පත්ව සිටින ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් එයට තුඩු දුන් දෙස් විදෙස් සාධක නිරවුල්ව හඳුනාගත යුතුයි. දුෂ්ටයන් හා බිල්ලන් සොයමින් මුළු කාලයම වැය නොකර අපේ විද්වතුන්, නිලධාරින් හා ගොවීන් ද මේ අර්බුදයට අඩු වැඩි පමණන් දායක වී ඇති බව අප පිළිගත යුතුයි.

සුළු ගොවියා අපේ විශේෂ අවධානයට ලක් විය යුතු වුවත් ඔවුන් රොමැන්තික් ලෙස පුදසුනක තබා වන්දනාමාන කිරීම අවශ්‍ය නැහැ. රටේ නීතිරීති හා මානව ධර්මතා ගොවීන්ටත් එක සේ අදාලයි. ජනතාවට දැන දැනම වස විස කවන අපේ සමහර සුළු ගොවීන් ගැන මා සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා.

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

අද අපට අවශ්‍ය විවෘත හා ආවේගශීලී නොවූ සංවාදයක්. එහිදී ගොවීන්, කෘෂි පර්යේෂකයන්, ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කෘෂි සමාගම් හා රාජ්‍ය ආයතන සියල්ලට හඬක් තිබිය යුතුයි.

එබඳු සංවාදයක් සිදු කළ හැකි හා කාටත් පිළිගත හැකි අපක්‍ෂපාත වේදිකාවක් ලෙස මාධ්‍යවලට ක‍්‍රියා කළ හැකි ද?

Vandana Shiva  speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil - Photo by Alexandro Auler/LatinContent/Getty Images)
Vandana Shiva speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil – Photo by Alexandro Auler/LatinContent/Getty Images)

* * * * *

“සොරාගත් අස්වැන්න“ වැඩි විසතර සඳහා විමසන්න:

තෝතැන්න පබ්ලිෂින් හවුස්, උස්වැව පාර, ආණමඩුව.
දු.ක. – 0322263446 / 0773054058
thothanna@yahoo.com

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,
අංක 83/12, පෙරේරා මාවත, කොටුවේගොඩ, රාජගිරිය.

Wanted: Time Bombs of the Mind! My third collection of Ravaya columns

Promo note for my latest Sinhala language book, being released this week at Colombo International Book Fair to be held from 10 – 17 September 2014.

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

Award winning science writer Nalaka Gunawardene’s latest Sinhala book, Kaala Bomba One Kara Thibe (‘කාල බෝම්බ ඕනෑ කර තිබේ!’ = Wanted: Time Bombs of the Mind!), will be released at the Colombo International Book Fair that starts on 10 September 2014.

A Ravaya Publication, the book compiles 44 of his weekly columns named Sivu Mansala Kolu Getaya published in the Ravaya newspaper during 2013-14.

Launched in 2011, the popular column offers musings of a sceptical inquirer who sits at the intersection (or confluence) of science, development, mass media and information society. The University of Sri Jayawardenapura presented Nalaka a Vidyodaya Literary Award for the best newspaper column of 2012.

Written in an easy, conversational Sinhala rich in metaphor and analogy, Nalaka connects the local with global and also bridges sciences and humanities. The new collection touches on pharmaceuticals, organic farming, tobacco control, rationalism, citizen journalism and social media among many other topics.

“Lankan society today suffers from a major deficiency of critical thinking. Blind faith and sycophancy dominate our social, religious, political and cultural spheres. Whether writing on science, development or social issues, Nalaka Gunawardene comes up with refreshing doses of scepticism,” says Gamini Viyangoda, leading Sinhala writer and political commentator.

In his quest for clarity and reason, Nalaka talks to researchers, activists and officials. He also draws on his many experiences and global travels as a journalist and development communicator.

In his foreword, researcher and university lecturer Dr Udan Fernando says: “At a time when insularity and monoculturalism are being celebrated in Sri Lanka, Nalaka represents the endangered cosmopolitan perspective.”

Nalaka has dedicated this book to two giants of public science in Sri Lanka: late Prof Cyril Ponnamperuma (1923-1994) and late Dr Ray Wijewardene (1924-2010). “They embraced the best of East and West without losing their roots. We urgently need such public intellectuals today,” Nalaka says.

The book includes columns profiling the work of both scientists, including the Sinhala adaptation of a long interview with Dr Wijewardene.

The title is inspired by the words of Swedish economist, Gunnar Myrdal, who once said, “Books are like time bombs. If they contain ideas that are correct, then one day they will explode. And if they don’t, they will be consigned to the dustbin of history.”

The 300-page book is priced at Rs. 490. It will be available from leading bookstores, and at special discounts from the Ravaya booth during the Colombo Book Fair.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

කාල බෝම්බ ඕනෑ කර තිබේ! සිවුමංසල කොලූ ගැටයා අළුත්ම තීරු ලිපි එකතුව එළි දකියි

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අළුත්ම ග‍්‍රන්ථය ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ’ නමින් මේ සතියේ නිකුත් වෙයි. 2013-14 වකවානුවෙහි ඔහු රාවය පුවත්පතේ ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි 44ක් මෙහි ඇතුලත්ය.

21 වන සියවසේ සංකීර්ණ අභියෝගයන්ට නොබියව හා තර්කානුකූලව මුහුණදීමට ලක් සමාජය හැඩ ගැසිය යුතු අන්දම නාලක නොයෙක් මානයන්ගෙන් විග‍්‍රහ කරයි. මතවාදයන්ට නතු නොවී හැම දෙයක් ගැනම විවෘතව ප‍්‍රශ්න කරන ඔහු තම තීරු ලිපි දකින්නේ පාඨකයන්ගේ මනසේ කවදා හෝ පුපුරා යන ‘කාල බෝම්බ’ ලෙසිනි.

“දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ” යයි පොතට පෙරවදනක් ලියන විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හා පර්යේෂක ආචාර්ය උදන් ප‍්‍රනාන්දු කියයි.

ප‍්‍රවීණ ගත්කුවර හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මෙසේ කියයි. “අද අපේ සමාජය මහා හිඟයකට මුහුණ දී තිබේ. ඒ, විචාරශීලීත්වයයි. සමාජ ප‍්‍රශ්න, ආගමික සහ සංස්කෘතික ප‍්‍රශ්න, සදාචාරමය සහ දේශපාලන ප‍්‍රශ්න යන සෑම ක්ෂේත‍්‍රයකම පෙනෙන්ට ඇත්තේ අවිචාරයයි. බෞද්ධ රටක් යැයි කීවද, බුදුන් වහන්සේගේ ‘කාලාම සූත‍්‍රය’ අද රටටම අමතකව ගොස් ඇති සෙයකි. නාලක ගුණවර්ධනගේ සෑම ලියවිල්ලක්ම ආමන්ත‍්‍රණය කරන්නේ ඒ දරිද්‍රතාවට බව මගේ හැඟීමයි. ඔහු විද්‍යාව ගැන ලියූවත්, සමාජ ප‍්‍රශ්න ගැන ලියූවත්, ඒ සියල්ලෙන් සන්නිවේදනය කෙරෙන්නේ, කෙනෙකුගේ ඇස් අරවන විචාරශීලීත්වයකි.”

රාවය ප‍්‍රකාශනක් වන මේ පොතෙහි මිළ රු. 490කි. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයෙන් විශේෂ වට්ටමකට ද ඉනික්බිති පොත්හල් වෙතින් ද ලබා ගත හැකි ය.

ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියෙන් 2012 වසරේ හොඳම තීරු ලිපි එකතුව සඳහා විද්‍යොදය සාහිත්‍ය සම්මානය සිවුමංසල කොලූගැටයා මුල් පොතට පිරිනැමුණි.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper

සිවුමංසල කොලූගැටයා #183: සන්නිවේදනය දැන් මූලික මානව අවශ්‍යතාවක්

mandela

Although it has been discussed for centuries, there is no universally accepted definition of basic human needs. During the 1970s, basic needs emerged as a key topic in development debates. Various studies – catalysed by UN agencies and the Club of Rome – tried to define it.

In 1976, the International Labour Organization (ILO) prepared a report that identified basic needs as food, clothing, housing, education and public transportation. It partially drew on ILO’s country reports on Columbia, Kenya and Sri Lanka. Since then, different development agencies have adopted variations of the original ILO list. National planners have used the concept to benchmark economic growth.

The ground reality has changed drastically since those heady days. In view of the rapid evolution of information society, communication should be considered a basic human need. This is the basic thrust in my latest Ravaya column (in Sinhala).

See also my related writing on revisiting basic needs:

13 Dec 2013: Op-ed in The Communication Initiative: Can Development Community catch up with Nelson Mandela?

 25 Nov 2012: When Worlds Collide #43: Toilets or Telephones? That’s the Wrong Question!

16 July 2008: Op-ed in Groundviews.org: Mobile Phones in Sri Lanka: Everyman’s new trousers?

Mobile revolution across Asia - photo courtesy TVE Asia Pacific

‘‘හැම කොල්ලයි බල්ලයිම ජංගම දුරකථන අරන් ගමන් යනවා. හරියට ඒ උපකරණය පාවිච්චි කරන්නවත් නොදන්නා අයට මේ පහසුකම දිය යුතුද?’’

මීට වසර කිහිපයකට පෙර මේ අදහස පළ කරනු මා ඇසුවේ විශ‍්‍රාමගිය පරිපාලන නිලධාරියකු විසින්. එය නිමිත්තට ගනිමින් 2008 මැදදී මා ලිපියක් ලියුවා. එහි මූලික හරය වූයේ සමාජයේ උස් මිටි, උගත් නූගත්, ඇති නැති පරතරයන් අභිබවා යන්නට ජංගම දුරකථනයට හැකිව ඇති බවයි.

නිදහස ලැබීමෙන් පසු පළමු දශකය හා දෙක පමණ කාලයේ කලිසම කා අතරත් පැතිර ගිය සැටිත්, වරප‍්‍රසාද ලත් උදවිය අන් අය කලිසම් අඳිනවාට එරෙහිව තර්ක කළ සැටිත් මා සිහිපත් කළා. කලිසම අඳින්නට හැකි දැන උගත් (විශේෂයෙන් ඉංග‍්‍රීසි උගත්) පිරිමින්ට පමණක් යැයි ලක් සමාජයේ ප‍්‍රචලිත වූ මතය පහව ගියේ 1970 පමණ වන විටයි.

කලක් තිස්සේ නිල බලය හා ධන බලය යන සාධකවල සංකේතයක් වූ දුරකථනය කොයි කාටත් මිලට ගෙන භාවිත කළ හැකි පොදුජනතාවගේ උපකරණයක් වූයේ වසර 2000න් පමණ පසුවයි. අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් දෙනාට දුරකථනයක් හිමියි. නැතහොත් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිත කළ හැකියි. මේ බොහෝ දෙනකු එම වරම ලැබුවේ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති නිසාත්, ජංගම දුරකථනවල උපකරණ මිල පහත වැටීම නිසාත්.

එහෙත් තවමත් මේ ප‍්‍රවණතාවට නොකැමති, එහි දොස් සොයන පිරිසක් අප අතර සිටිනවා. රැකියාවක නිරත නොවූ අයට, කාන්තාවන්ට හා වයෝවෘද්ධ අයට දුරකථන මොනවාටදැයි ඔවුන් අසනවා. බටහිර රටක උගත් ප‍්‍රගතිශීලි මනසක් ඇති මගේ මිතුරකු ද නිතර කියන්නේ ජංගම දුරකථන සේවා හරහා විදෙස් හවුල්කාර සමාගම් අපේ රටේ ධනය පිටරට අදින බවයි.

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

ජංගම දුරකථනවලටත් වඩා මේ විවේචකයන්ගේ ප‍්‍රතිරෝධය එල්ල වන්නේ ඉන්ටර්නෙට් මාධ්‍යයටයි. සිසුන්, ගුරුවරුන් හෝ පර්යේෂකයන් නොවන අයට ඉන්ටර්නෙට් නිතිපතා භාවිතයක් අවශ්‍ය නැති බවටත්, එයට ඉඩදීම හරහා නාස්තිකාර ඇබ්බැහිකම් අපේ ජනයාට හුරු පුරුදු වන බවට මේ අය තර්ක කරනවා.

“ඌණ සංවර්ධිත රටකට මේ තරම් සන්නිවේදන සේවා කුමකද?” මෙය ඔවුන් මතු කරන තවත් ප‍්‍රශ්නයක්. අද වන විට මෙරට (ඇන්ටෙනාවකින් හසු කර ගෙන නොමිලයේ බැලිය හැකි) ටෙලිවිෂන් නාලිකා 21ක් ද FM රේඩියෝ නාලිකා 50ක් පමණ ද තිබෙනවා. මේ තරම් විද්‍යුත් මාධ්‍ය සේවා අප රටට අනවශ්‍ය බවත්, මේවා ජන මනස මොට කරන බවටත් මේ අය තර්ක කරනවා.

(සාමාන්‍ය ජනයාට මෙතරම් සන්නිවේදන සේවා අවශ්‍ය නැතැයි කියන අතරම ඔවුන් තම දරුවන්ට නම් කේබල් ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් පහසුකම් හා ජංගම දුරකථන ලබා දෙනවා. කලකට පෙර පොදු ජනයාට ඉංග‍්‍රීසි උගන්නට එපා කියූ පාලකයෝ තම දරුවන්ට හිමින් සැරේ ඉංග‍්‍රීසි ඉගැන්වූවාක් මෙන්!)

දුරකථන සේවාවක් ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලේඛනයක සිටීම හා සාපේක්‍ෂව ලොකු මුදලක් ගෙවීම ආදී දුෂ්කරතා අප බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවා. මේ වන විට දුරකථන උපකරණ මිළත්, ඇමතුම් ගාස්තුත් ලෝකයේ අඩුම මට්ටමක පහත බැස ඇතත් පරණ මතකයන් මත පදනම් වී සමහරුන් තවමත් ප‍්‍රතිචාර දක්වනවා විය හැකියි. මේ උදවිය තම දැනුම අළුත් කරගත යුතුයි.

ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට ගැරහීම පිටුපස තවත් දුර්මතයක් තිබිය හැකියි. එනම් දුරස්ථ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් නොව ද්වීතියික එකක් බවටත්, එයට මුදල් වියදම් කිරීම නාස්තියක් බවටත් ගතානුගතික ලක් සමාජයේ තවමත් ඇති පිළිගැනීමයි.

මූලික මානව අවශ්‍යතා (basic human needs) නිර්වචන කිහිපයක් තිබෙනවා. කාටත් පිළිගත හැකි මූලික අවශ්‍යතා ලයිස්තුවක් සම්පාදනය කරන්නට සංවර්ධනය පිළිබඳ පර්යේෂකයන් හා ක‍්‍රියාකාරියන් 20 වන සියවසේ මැද පටන් විවිධ උත්සාහයන් ගත්තා. ආහාර පාන, ඇඳුම් හා නිවාස සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වුවත් බෙහෙත්, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ආදිය මූලික අවශ්‍යතා ද නැතහොත් ද්වීතියික අවශ්‍යතා ද යන්න ගැන විද්වතුන් වාද කළා.

1976දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) කොලොම්බියාව, කෙන්යාව හා ශ‍්‍රී ලංකාව යන රටවල කළ අධ්‍යයන මත පදනම් වී මූලික අවශ්‍යතා ලයිස්තුවක් යෝජනා කළා. එයට අයත් වූ අවශ්‍යතා 5 නම්: ආහාර පාන, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය හා පොදු ප‍්‍රවාහනයයි.

මේ වනතුරු බොහෝ ජාතයන්තර හා දේශීය මට්ටමේ ප‍්‍රතිපත්ති සම්පාදනයේදීත්, විද්වත් සාකච්ඡාවලත් යොදා ගැනෙන්නේ මේ ලයිස්තුවයි. එහෙත් ගෙවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ ලෝකය බෙහෙවින් වෙනස් වී, තාක්‍ෂණය ප‍්‍රගමනය වී තිබෙනවා. 21 වන සියවසට ගැලපෙන මූලික මානව අවශ්‍යතා විමර්ශනයට කාලය ඇවිත්.

මූලික අවශ්‍යතා සමාලෝචනය කළ යුත්තේ අද තොරතුරු සමාජයේ මානවයන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂාවන් ගැන ද සංවේදී වෙමින්. එසේ නොමැතිව උගත්කමේ උඩඟුබව හෝ පන්ති භේදයේ කුහකකම වැනි සාධක පෙරටු කර ගෙන නොවෙයි.

Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati
Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati

1990 දශකය මැදදී එක්සත් ජාතීන්ගේ ආයතන වෙනුවෙන් ආසියාවේ විවිධ රටවල දුත මෙහෙවරවල යෙදෙන විට මා හොඳාකාර දුටු දෙයක් නම් අඩු ආදායම් ලාභී නාගරික පැල්පත් වාසීන් පවා අතට මුදලක් ලද විගස වර්ණ ටෙලිවිෂන් යන්ත‍්‍රයක් ගන්නට තිබූ නැඹුරුවයි. බැංකොක්, ජකර්තා, මැනිලා, බොම්බාය, ඩාකා වැනි ආසියාවේ මහා නගර හැම එකකම පාහේ මේ ප‍්‍රවණතාව දැකිය හැකි වුණා.

තම නිවසට හරිහැටි වහලක් නැති, නිසි වැසිකිළි පහසුකම් නැති ජනයා ඒවාට වඩා ටෙලිවිෂනයට මුල් තැනදීම බොහෝ සංවර්ධන ක‍්‍රියාකාරිකයන් විමතියට පත් කළා. විද්වතුන් සමහරක් දෙනා එම පෞද්ගලික තීරණය හෙළා දුටුවා. ඒ ගැන මගේ මතය වූයේ නවීන සන්නිවේදනය මාධ්‍යවලට සමීප වීමට දුප්පතුන්ට ද එක හා සමාන අයිතියක් ඇති බවයි.

නිරතුරු එකිනෙකා අතර සන්නිවේදනය කර ගැනීමටත්, මාධ්‍ය හරහා තොරතුරු ග‍්‍රහනයත් මානවයන්ගේ මූලික ශිෂ්ටාචාරමය අවශ්‍යතාවක් බව ආතර් සී. ක්ලාක් දශක ගණනක් තිස්සේ අවධාරණය කළා. මානව සන්නිවේදනය ගැන සමීපව අධ්‍යයනය කළ ඔහු කීවේ සමාජශීලි සත්ත්වයකු වන මානවයාට සන්නිවේදනය, වාතය, ජලය හා ආහාර තරමට ම අවශ්‍ය බවයි.

ගෙවී ගිය වසර 15 පමණ තුළ ජංගම දුරකථන භාවිතය ලෝකයේ ඉතා ඉක්මනින් පැතිර ගියා. 2013 අග වන විට බිලියන් 7.3ක ලෝක ජනගහනය අතර ජංගම දුරකථන ග‍්‍රාහකත්වයන් බිලියන් 6කට වඩා භාවිතයේ තිබුණා. එනම් වයස 18ට වැඩි මානවයන්ගෙන් බහුතරයක් අද කුමන හෝ මට්ටමේ ජංගම දුරකථනයක් භාවිත කරන බවයි. ඒ බොහෝ දෙනකු කිසිදා ස්ථාවර දුරකථනයක් භාවිතා නොකර කෙලින්ම ජංගම දුරකථනයක් හිමි කර ගත් අයයි. (එසේම මෙටරත්, වෙන බොහෝ රටවලත් ස්ථාවර දුරකථන හිමිකම් සංඛ්‍යාව කෙමෙන් අඩු වෙමින් තිබෙනවා.)

වෙනස් වන ලෝක ස්ථාර්ථය සමග මානව සමාජයේ අපේක්‍ෂා හා අවශ්‍යතා ද පරිනාමය වනවා. මීට පරම්පරාවකට දෙකකට පෙර ‘සුඛෝපභෝගී’ යයි හඳුන්වා සීමිත පිරිසකට වෙන් කර තිබූ විදුලි බලය, නල ජලය ආදි පහසුකම් දැන් කොයි කාටත් ලබාදීමේ අවශ්‍යතාවය පිළිගැනෙනවා.

මේ ගොන්නටම සන්නිවේදන අවශ්‍යතාවය ද එක් වී ඇති බව මුලින්ම වටහාගත් නායකයකු වූයේ නෙල්සන් මැන්ඩෙලා (ධූර කාලය 1994-1999). 1995දී දකුණු අප‍්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කථාවක කීවේ ‘එකිනෙකා සමග සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව අවශ්‍යතාවක්’ කියායි.

ඒ වන විට මුළු අප‍්‍රිකා මහද්වීපයේම මිලියන් 800ක් ජනයාට ස්ථාවර හා ජංගම දුරකථන සියයට 1කට වඩා තිබුණේ නැහැ. එහෙත් එළැඹෙන වසරවල මේ සේවා පැතිර යනු ඇති බව මැන්ඩෙලා දුරදක්නා නුවණින් දැන සිටියා.

මැන්ඩෙලාට තිබූ ඒ විවෘත මනස හා අළුත් දේ විචාරශීලීව වැළඳ ගැනීමේ හැකියාව අපේ බොහෝ අයට නැහැ. කොයි කාගේත් සාක්කුවේ හෝ අත් බෑගයේ හමුවන ජංගම දුරකථනයගැන තවමත් වපර ඇසින් බලන්නේ ඒ නිසායි.

හැම දුරකථන ඇමතුමක්ම අධ්‍යාපනික, ව්‍යාපාරික හෝ වෙනත් ප‍්‍රායෝගික කටයුත්තක් සඳහාම විය යුතුද? ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ දුරකථන භාවිතයේ ලොකුම වටිනාකම ලෙස අඩු ආදායම්ලාභීන් සලකන්නේ මානව සබඳතා පවත්වා ගැනීම හා හදිසියකදී සම්බන්ධ වීමේ හැකියාවයි. ආර්ථික හා ජීවනෝපාය වාසි එන්නේ ප‍්‍රමුඛත්වයෙන් ඉන් පසුවයි.

http://lirneasia.net/projects/2010-12-research-program/teleusebop4/

සන්නිවේදනයට ඇති අයිතිය සියළු මානවයන්ගේ මූලික අයිතියක් බවට ආයතන හා විද්වත් කණ්ඩායම් පිළිගෙන තිබෙනවා. උදාහාරණයකට ලෝක රතු කුරුස හා රතු අඩසඳ සංවිධානවල සම්මේලෙනය (IFRC) ඔවුන් වාර්ෂිකව නිකුත් කරන ලෝක ආපදා වාර්තාවේ 2005 කලාපයේ (World Disasters Report 2005) තර්ක කළේ හදිසි අවස්ථා හා ආපදාවලට ලක්වූ ජනයාට ආහාර පාන, තාවකාලික නිවාස හා බෙහෙත් මෙන්ම සන්නිවේදන පහසුකම් ද අත්‍යාවශ්‍ය සහන සේවාවක් ලෙස සැලකිය යුතු බවයි.

wdr2005-coverවිශේෂයෙන්ම ආපදාවකදී හෝ යුද්ධයකදී පවුල් විසිරෙනවා. පවුලේ සාමාජිකයන් හෝ නෑ හිතමිතුරන්ට කුමක් සිදුවී දැයි නොදැන එයින් බලවත් සේ කම්පාවට හා දුකට පත් වන සංඛ්‍යාව ඉහළයි. ‘‘විපතට පත්වූ ජනයාට කෑම බීම, බෙහෙත් හා තාවකාලික නවාතැන් තරමටම තොරතුරු සන්නිවේදනය ද වැදගත් වනවා. කලට වේලාවට ලැබෙන තොරතුරු නිසා ජීවිත හා ජීවිකා බේරා ගත හැකිවාක් මෙන්ම කැළඹුණු සිත් සතන් සන්සුන් කළ හැකියි. මේ නිසා තොරතුරු හා ඒවායේ නිසි සන්නිවේදනයත්, විපතට පත් වූවන්ට සන්නිවේදන පහසුකම් සැලසීමත් ආපදාවන්ට ප‍්‍රතිචාර දැක්වීමේ එක් අනිවාර්ය අංගයක් විය යුතුයි’’ IFRC කියා සිටියා.

http://www.ifrc.org/Global/Publications/disasters/WDR/69001-WDR2005-english-LR.pdf

මීට පරම්පරාවකට දෙකකට පෙර තිබූ යථාර්ථය දැන් වෙනස්. අපේ රටේ වුවත් බොහෝ පවුල්වල සාමාජිකයෝ නැතිනම් නෑ හිතමිතුරෝ රටේ හා ලෝකයේ දුර තැන්වල පදිංචිව සිටිනවා. රැකියා කරනවා. අපේ ජනගහනය මිලියන් 20.5ක් වන විට (2012 සංගණනය හා එතැන් සිට ප‍්‍රක්‍ෂෙපනය) විදේශගත ලාංකිකයන් ගණන මිලියන් 2ක් පමණ වනවා. මේ දෙපිරිස අතර සන්නිවේදන තාක්‍ෂණයන් (විශේෂයෙන් ජංගම දුරකථන හා පරිගණක Skype) හරහා කැරෙන නිරතුරු කථාබහක් තිබෙනවා. එම පහසුකම් ලැබීමේ හැකියාව වැඩි වී වියදම අඩු වී තිබෙනවා.

මේ පසුබිම තුළ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් ලෙස පිළිගැනීම ප‍්‍රායෝගිකයි. එසේම එය සාක්‍ෂාත් කිරීමට රටට අමතර ආයෝජන දැරීමට සිදු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ 1960-1970 දශකවල පැවති යථාර්ථයට අනුගත වූ මූලික අවශ්‍යතා පිළිබඳ පරණ සංකල්ප නැවත විමසා බලා 21 සියවසට අලූත් කර ගැනීමේ බුද්ධිමය විවෘත බව පමණයි.

See also:

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

සිවුමංසල කොලූගැටයා #181: අනේ අපටත් චන්ද්‍රිකා?

Both China and India are keen to enhance links with smaller Asian countries in using satellites as part of their ‘space diplomacy’ strategies.

Last week in my Ravaya column (in Sinhala), I wrote about space technology capabilities of South Asian countries. This week’s column probes whether or not Sri Lanka needs its own satellite.

10 Aug 2014: සිවුමංසල කොලූගැටයා #180: උඩුගුවන ජය ගන්නට පොර බදන දකුණු ආසියානු රටවල්

Indian satellite in orbit
Indian satellite in orbit

දකුණු ආසියානු රටවල් චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීම ගැන ගිය සතියේ මා කළ විග‍්‍රහයට ප‍්‍රතිචාර කිහිපයක් ලැබුණා.

එයින් එකක් වූයේ නිදහස ලබා වසර 66ක් ගත වීත් ‘තවමත් අපට අපේම චන්ද්‍රිකාවක් නොතිබීම ලොකු අඩුවක්’ බවයි. එසේම ‘අන් රටවල චන්ද්‍රිකා සේවය 100%ක් විශ්වාස කළ නොහැකි බවත්, ඒ හරහා විදෙස් ඔත්තු සේවා අපේ තොරතුරු ලබා ගත හැකි බවත්’ ශාස්ත‍්‍රාලීය උගතකු තර්ක කළා.

චන්ද්‍රිකා කර්මාන්තය ක‍්‍රියාත්මක වන ආකාරය නොදත් උදවිය මතු කරන මෙබඳු අදහස් සමහර මාධ්‍ය හරහාත් අවිචාරශීලිව පැතිරී යනවා.

හැම රටකටම තමන්ගේ චන්ද්‍රිකාවක් තිබිය යුතුද?

චන්ද්‍රිකා තැනීම, උඩු ගුවන් ගත කිරීම හා එයින් සේවය ලබා ගැනීම වියදම් සහගත මෙන්ම සංකීර්ණ ක‍්‍රියාදාමයක්. ඉන්දියාව, චීනය, රුසියාව හෝ අමෙරිකාව වැනි තාක්‍ෂණිකව බලගතු රටක ආධාරයෙන් වුව ද චන්ද්‍රිකාවක් උඩුගුවනට යැවීම සෙසු ආසියානු රටවල් ඉතා සරුවෙන් ගත යුතු දිගු කාලීන ප‍්‍රතිපත්තිමය තරණයක්.

හැම දියුණු රටක්ම පවා තමන්ගේ චන්ද්‍රිකා නිපදවා නැහැ. අභ්‍යවකාශ තාක්‍ෂණයේදී තනි තනිව හැම දෙයක්ම කරනු වෙනුවට තාක්‍ෂණිකව වඩාත් ඉදිරියෙන් සිටින රටවල් නිපද වූ චන්ද්‍රිකාවලින් හෝ සමාගම් නිපදවා වාණිජමය වශයෙන් ක‍්‍රියාත්මක කරන චන්ද්‍රිකාවලින් හෝ අවශ්‍ය සේවා ලබා ගත හැකියි. එසේ කිරීම තමන්ගේම චන්ද්‍රිකා නිපදවා නඩත්තු කිරීමට වඩා බෙහෙවින් අරපිරිමැසුම්දායකයි.

චන්ද්‍රිකාවක් පෘථිවියට ඉහළ කක්‍ෂයක සිට හෙළන ‘බැල්ම’ තනි රටකට, දේශ සීමාවකට සීමා වන්නේ නැහැ. උදා: ඉන්දියානු චන්ද්‍රිකා අසල්වැසි රටවල් සියල්ලත් ආවරණය කරනවා.

වෙළඳපොල තරගකාරිත්වය නිසා වාණිජ වශයෙන් ඇති පණිවුඩ, දත්ත හුවමාරු, පෘථිවි නිරීක්‍ෂණ හා අනෙකුත් චන්ද්‍රිකා සේවාවන්ගේ මිළ ගණන් කලකට පෙර පැවතියාට වඩා සැළකිය යුතු අන්දමින් අඩු වී තිබෙනවා. මේ නිසා සුපිරි බලවතුන් වීමේ අරමුණක් නැති මධ්‍යම හෝ කුඩා ප‍්‍රමාණයේ රටකට දැවැන්ත ආයෝජනයකින් තමන්ගේම චන්ද්‍රිකා තනනු වෙනුවට එම සේවා වාණිජමය මට්ටමින් ලද හැකියි. නැතහොත් අන්තර්-රාජ්‍ය ගිවිසුම් ඔස්සේ Intelsat ආයතනය හෝ ඉන්දියාවේ ISRO ආයතනයෙන් සහන මිළට ලද හැකියි.

ළඟ එන සුළි සුළං, සුනාමි හා වෙනත් ආපදා ගැන අනතුරු ඇඟවීම්, හදිසියේ මතුව එන SARS හා කුරුළු උණ/සූකර උණ වැනි වසංගත රෝග ගැන අළුත්ම තොරතුරු, න්‍යෂ්ටික විකිරණ කාන්දුවකදී අදාල රටෙන් පිටතට ඒවා විහිද යන ආකාරය ගැන තොරතුරු ආදිය බෙදා ගන්නට රටවල් අතර විද්වත් එකඟත්වයන් තිබෙනවා.

එසේම ගුවන්ගමන් පාලනය, විදුලි සංදේශ ක්‍ෂෙත‍්‍රයේ සංඛ්‍යාත භාවිතය පමණක් නොව ලෝකයේ තැනෙකින් තවත් ඕනෑම තැනෙකට ගුවන්/මුහුදු තැපෑලෙන් ලිපියක් යැවිය හැක්කේත් රටවල් අතර අන්‍යෙන්‍ය විශ්වාසය මත පදනම් වූ එකඟත්වයන් පවතින නිසයි. මේ නිසා මතුපිටින් පෙනෙනවාට වඩා එකිනෙකා විශ්වාස කිරීමක් රටවල් අතර දැනටමත් තිබෙනවා.

ප‍්‍රාග්ධන ආයෝජනය අතින් ඉහළ තාක්‍ෂණික යටිතල පහසුකමක් රටවල් විසින් හවුලේ භාවිතයට ගැන මට ද පූර්වාදර්ශ තිබෙනවා. 1969 සිට අමෙරිකානු විද්වත් හා මිලිටරි ආයතන විසින් බිහි කරනු ලදුව 1990 දශකයේ ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බවට පත් වූ ඉන්ටර්නෙට් හොඳ උදාහරණයක්. ඉන්ටර්නෙට් තොරතුරු ගලනය වන්නේ ලොව පුරා ගොඩබිම් හරහා සහ මුහුද යට විහිද ඇති කේබල් රැසක් හරහායි.

World submarine cables map 2014 – by TeleGeography

Submarine Cable Map 2014 - by TeleGeography
Submarine Cable Map 2014 – by TeleGeography

ඉන්ටර්නෙට් ජාලයට සම්බන්ධ වන රටවල් කරන්නේ තමන්ට ආසන්නම ගෝලීය කේබල් එකකින් සිය රට තුළ සන්නිවේදන පද්ධතියට ඉන්ටර්නෙට් සබඳතාවය ලබා ගැනීමයි. ඉන් පසු එය රට තුළ හරිහැටි බෙදා ගැනීමට දේශීය පද්ධති නවීකරණය කරනවා. දේශීය පද්ධති නඩත්තුව රාජ්‍ය නියාමනය යටතේ පෞද්ගලික සමාගම් හරහා කිරීම බොහෝ රටවල සම්ප‍්‍රදායයි. ඉන්ටර්නෙට් සම්බන්ධ වන හැම රටක්ම ලොව පුරා තම කේබල් අටවන්නේ නැහැ. එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවක් ද නැහැ.

තොරතුරු සමාජයේ හැම සේවාවක්ම අපම සම්පාදනය කර ගත යුතුයි යන තර්කය වෙනත් ක්‍ෂෙත‍්‍රවලට ආදේශ කළොත් ඉන්ටර්නෙට් සේවා සඳහා අපට අපේම ලෝක ව්‍යාප්ත සන්නිවේදන ජාලයක් බිහි කරන්නට සිදු වේවි. එසේම වසර 150ක් පමණ තිස්සේ අප රට සම්බන්ධ වී සිටින විදෙස් තැපැල් සේවා භාවිතය වෙනුවට විදෙස් ලියුම් බෙදන්නට අපේ තැපැල්කරුවන් ලොව පුරා යවන්නට ඕනෑ වේවි.

චන්‍ද්‍රිකාවක් තැනීම හරහා රටක විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වේය යන්න තවත් තර්කයක්. මෙහිදී කරන අධික ප‍්‍රාග්ධන හා නඩත්තු වියදමට සාපේක්‍ෂව කෙතරම් පර්යේෂණාත්මක වාසි ලද හැකි දැයි රටක් කල් තබා තක්සේරු කළ යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය භාවිත කිරීම සඳහා පෙළගැසීම තුළින් විද්‍යා, තාක්‍ෂණ හා ඉංජිනේරු ශිල්ප හැකියාව පුළුල් වන බව සැබෑයි. එහෙත් එයට අපේම චන්‍ද්‍රිකාවක් තිබීම අවශ්‍ය නැහැ.

වඩාත් උපක‍්‍රමශීලි ප‍්‍රවේශය වන්නේ අපට වඩා දියුණු රටක් හෝ ගෝලීය සමාගමක් හෝ සතු චන්‍ද්‍රිකා හරහා දත්ත හා සේවා මිළට ගැනීමයි. එසේ ලබන සේවාව දේශීයව අදාල කර ගන්නට රට තුළ ආයතනික හා මානව සම්පත් දියුණු කිරීම අවශ්‍ය වනවා. සීමිත මහජන මුදල් යෙදිය යුත්තේ මේ ආයෝජනවලටයි.

නවීන චන්‍ද්‍රිකාවක් නිපදවීමට අවම වශයෙන් ඩොලර් මිලියන 100ක් වැය වනවා. චන්‍ද්‍රිකාවේ කාර්යය හා ධාරිතාව අනුව මෙය තවත් වැඩි විය හැකියි. පවතින විනිමය අනුපාතයට අනුව මෙය රුපියල් බිලියන් 13ක් පමණ වනවා. එයට අමතරව චන්‍ද්‍රිකාවක් උඩුගුවනට යැවීමට රොකට් සේවාව සඳහාත්, රක්‍ෂණය හා නඩත්තුව සඳහාත් අධික වියදම් දැරිය යුතුයි.

ජාතික ආඩම්බරය සඳහා ඩොලර් මිලියන සිය ගණනක් මහජන මුදල් වැය කිරීමට පෙර එම සේවාවන්ම ඊට වඩා ලාබදායි, සකසුරුවම් ක‍්‍රමයකින් ලැබිය හැකි බව පෙන්වා දිය යුතුයි.

අභ්‍යවකාශ තාක්‍ෂණය අතින් පෙරමුණේ සිටින ඉන්දියාව හා චීනය බඳු රාජ්‍යයන්ගේ සේවය ලද හැකිව තිබියදී ශ‍්‍රී ලංකාව තමන්ගේම චන්‍ද්‍රිකාවක් සඳහා මහජන මුදල් ආයෝජනය කිරීම සාධාරණීකරණය කළ නොහැකියි.

පෞද්ගලික ආයෝජනයන් නම් මොනවා කළත් කමක් නැතැයි කියන්නත් බැහැ. මන්ද අවසානයේ පෞද්ගලික සමාගම් සේවා මිල කරන්නේ තම පිරිවැය හා නඩත්තු වියදම් පියවා ගෙන නිසා. අද සාපේක්‍ෂව අඩු වියදමට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා මෙරට ලද හැකියි. එහෙත් පෘථිවි කක්‍ෂයේ සුදු අලියකුගේ වියදම ද අන්තිමේදී එයට එකතු වුණොත් කුමක් විය හැකිද?

Copy of Copy of Inside_IRNSS_1499475a

හැම දකුණු ආසියාතික රටක්ම තමන්ගේම චන්‍ද්‍රිකා උඩු ගුවන් ගත් කළා යයි මොහොතකට සිතමු. සාමාන්‍යයෙන් කුඩා රටකට අවශ්‍ය ප‍්‍රමාණයට වඩා ධාරිතාවක් නවීන චන්‍ද්‍රිකාවලට තිබෙනවා.

එම අතිරික්තය සඳහා සැළසුම්කරුවන්ගේ අරමුණ විය හැක්කේ අසල්වැසි රටවලට එය වාණිජමය මට්ටමින් (එම දත්ත හා සේවාවන්) අලෙවි කළ හැකි බවයි. එහෙත් හැම රටක්ම පාහේ තමන්ගේ චන්‍ද්‍රිකාවක් හෝ කිහිපයක් උඩුගුවන්ගත කළ විට අතිරික්ත ධාරිතාවය අලෙවි කරන්නට ඉතිරි වන්නේ කවුද?

අපේ කලාපයේ දැනටමත් ඉන්දියානු, චීන, තායි හා මැලේසියානු වැනි රාජ්‍යයන්ට හෝ සමාගම්වලට අයත් චන්ද්‍රිකා තරගකාරිව සේවා සපයනවා. විශේෂයෙන් පණිවුඩ චන්‍ද්‍රිකා හා පෘථිවි නිරීක්‍ෂණ චන්‍ද්‍රිකා සේවා අද වන විට දියුණු කර්මාන්තයන්.

චන්ද්‍රිකා ගණනාවක් සතු අත්දැකීම් බහුල රටවල් සමග අලූතෙන් පිවිසෙන රටකට හෝ සමාගමකට සාර්ථකව තරග වදින්නට අමාරුයි. අන්තිමේදී අපේ නම උඩුගුවනේ රැඳවීමේ දැවැන්ත ආයෝජනය ද වෙනත් බොහෝ බර උසුලන ලක් වැසියන්ගේ කර පිටටම වැටීමේ අවදානමක් තිබෙනවා.

මේ නිසා තම දේශීය අවශ්‍යතාවය ඉක්මවා යන ධාරිතාවක් සහිත අධිවියදම් සහගත චන්‍ද්‍රිකා තැනීම ආර්ථික වශයෙන් කෙතරම් දුරට සාධාරණ දැයි මැදහත්ව විමසිය යුතුයි.

රටේ හා කලාපීය අවශ්‍යතාවන් ඉක්මවා ගිය මහා පරිමාණ යටිතල පහසුකම් (විදෙස් ණය යොදා ගෙන) බිහි කිරීම පිළිබඳව දැනටමත් මෙරට වෙනත් ප‍්‍රබල උදාහරණ තිබෙනවා. එයින් අප පාඩම් උගත යුතුයි.

ආර්ථික සහයෝගීතාව, ඉන්දියානු සාගර කලාපීය ආරක්‍ෂාව ආදි කරුණු අරභයා ඉන්දියාව හා චීනය යන කලාපීය බලවතුන් දෙදෙනා තුලනය කිරීමේ අත්දැකීම් ශ‍්‍රී ලංකාවට තිබෙනවා. අභ්‍යවකාශ සහයෝගීතාව සම්බන්ධයෙන් ද මෙබන්දක් කළ හැකියි.

මෙහිදී දේශීය වශයෙන් විද්‍යා හා තාක්‍ෂණ ප‍්‍රමුඛතා මොනවාද යන්න පැහැදිලිව හඳුනා ගෙන, එයට වඩාත් කාර්යක්‍ෂම හා පිරිමැසුම්දායක ලෙස අභ්‍යවකාශ තාක්‍ෂණය යොදා ගන්නේ කෙසේදැයි පළමුව තීරණය කළ යුතුයි. ඉන් පසු අපේ අවශ්‍යතාවලට වඩාත් සරිලන සහයෝගීතාව ඉන්දියාව, චීනය හෝ වෙනත් (ජපානය, රුසියාව, අමෙරිකාව වැනි) රටකින් ලබා ගැනීමට දිගු කල් දැක්මක් හා සැළසුමක් අවශ්‍යයි.

එසේ නැතිව ශ‍්‍රී ලංකාවට කලාපීය බලවතුන් දෙදෙනාගේ අභ්‍යවකාශ තරගයේ අන්ධ අතකොලූවක් වීම අවශ්‍ය නැහැ. විද්‍යා හා තාක්‍ෂණ අමාත්‍යාංශවලට අමතරව විදේශ කටයුතු අමාත්‍යාංශය ද මේ තීරණවල හවුල්කරුවකු වීම වැදගත්.

 

 

සිවුමංසල කොලූගැටයා #178: මානව හිතවාදය උදෙසා ‘ජාතිද්‍රෝහී’ වූ ලේඛිකාව නැඞීන් ගෝඩිමර්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to South African writer and social activist Nadine Gordimer (1923-2014). I focus on how she never hesitated to speak out for justice, fairness and equality even when that elicited ridicule and harassment from her own government that quickly labeled her a ‘traitor’.

I also recall how I once listened to her speak, during the recording of a TV debate in Johannesburg in mid 2002, and how she later marched the streets with activists from all over the world demanding land rights for the poor.

Nadine Gordimer (image courtesy The New Yorker)
Nadine Gordimer (image courtesy The New Yorker)

‘රටක මහා ලේඛකයකු සිටීම හරියට දෙවැනි ආණ්ඩුවක් පවතිනවා වගෙයි. එනිසා බොහෝ පාලකයන් අදීන පෞරුෂයක් ඇති ලේඛකයන්ට කැමති නැහැ. ඔවුන්ට ඕනෑ එහෙයියන් වන ලියන්නොයි’.

මීට අඩසියවසකට පමණ පෙරදී මේ වටිනා වදන් ටික ලියුවේ දැවැන්ත සෝවියට් දේශයේ පාලකයන්ට නතු කර ගත නොහැකි වූ ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින් (Aleksandr Solzhenitsyn, 1918 – 2008).

බලයේ සිටින රජයකට පක්‍ෂව ලිවීම ලෙහෙසියි. එසේ කිරීමෙන් පාලකයන්ගෙන් පුද පඬුරු හා වරප‍්‍රසාද ලබා ගන්නා අවස්ථාවාදී ලේඛකයෝ සෝවියට් දේශයේ මෙන්ම ලොව වෙනත් රටවල එදා මෙන්ම අදත් හමු වනවා.

එහෙත් බලසම්පන්න රජයකට හෝ අසාධාරණ රාජ්‍ය පාලන ක‍්‍රමයකට එරෙහි වීම ලෙහෙසි නැහැ. වරප‍්‍රසාද අහිමිවනවා පමණක් නොව විවිධාකාර හිරිහැර හා අවමන්වලට ලක් වීමට සිදු වනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොලැබෙන අතර පොත් තහනම් කිරිමට ද ලක් වනවා. ආන්තික තත්ත්වයන්හිදී රාජ්‍ය විරෝධී චෝදනා ලැබ සිර දඬුවම් ලබන්නට පවා සිදු වනවා.

ඒකාධිපති පාලනයක් ඇති රටවල රජය විවේචනය කිරීම සූක්‍ෂමව කළ යුතු අනතුරුදායක කාරියක්. දේශපාලන ක‍්‍රියාකාරිකයන් එය විවෘතව එක එල්ලේ කරන අතර දක්‍ෂ ජනතාවාදී ලේඛකයන් එය ප‍්‍රබන්ධ කථා හෝ හාස්‍යරූපී කථා හරහා සියුම්ව කරනවා. නවකථාවක්, කෙටිකථාවක් හෝ නාට්‍ය පිටපතක් හරහා පවතින විසම රාජ්‍ය තන්ත‍්‍රයේ බිහිසුනු බව කැඩපතක් බවට පත් කොට සමාජයේ සංවේදී කොටස්වලට ග‍්‍රහණය වන පරිදි මුදා හරිනවා.

මෙබඳු ලේඛකයන් කවදත් දුර්ලභයි. එවන් අදීන හා නිර්භීත ගණයේ ලේඛිකාවක් වූ දකුණු අප‍්‍රිකානු ජාතික නැඞීන් ගෝඩිමර් 90 හැවිරිදිව ජූලි 13 වනදා මිය ගියා.

මීට හරියටම වසරකට පෙර, 2013 ජූලි 28 වනදා ‘මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ’ නමින් කොලමක් ලියමින් මා ඇය ගැන සඳහන් කළා. මේ සතියේ අයට යළිත් ප‍්‍රණාමය පුද කරන්නේ උපතින් හා සමේ වර්ණයෙන් ලද වරප‍්‍රසාද වෙනුවට ඇය ජීවිත කාලය පුරා මානවහිතවාදය හා සාධාරණත්වය තෝරා ගත් නිසායි.

Nadine-Gordimer-Quotes-3

1923 උපන් නැඞීන් ගෝඩිමර්ට කුඩා වියේ පටන් කෙසඟ සිරුරක් තිබූ නිසා ලෙඩ වේවි යැයි බියෙන් දෙමව්පියන් ඇයව පාසලකට යැවුවේ නැහැ. ඒ වෙනුවට ගෙදර සිට උගන්වනු ලැබුවා. තමන්ගේම කල්පනා ලෝකයට මැදි වී හැදුණු ඇය නව යොවුන් වියේ සිට ප‍්‍රබන්ධ රචනයට පිවිසුණා. ඇගේ කෙටිකථාවක් මුල් වරට සඟරාවක පළ වූයේ 1937දී. එවිට ඇගේ වයස 16යි.

විට්වෝටසන්ඞ් සරසවියට පිවිස වසරක් උගත් ඇය උපාධිය සම්පූර්ණ කළේ නැහැ. එහෙත් සුදු, කළු හා මිශ‍්‍රිත සම්භවයක් ඇති ජාතිකයන්ට වෙනස්ව සළකන සැටි ඒ කාලය තුළ ඇය සමීපව අත්දුටුවා.

1948 සිට පුර්ණ කාලීනව ලේඛනයේ යෙදුණු ඇය මුලින් දකුණු අප‍්‍රිකානු සඟරාවලත්, 1951 පටන් ප‍්‍රකට අමෙරිකානු සඟරාවක් වන නිව් යෝකර් සඟරාවේත් කෙටිකථා පළ කළා. ඇගේ මුල් ම නවකථාව (The Lying Days) 1953දී පළ වූවා.

1949-2012 වකවානුව තුළ ඇය නවකථා 15ක්, නාට්‍ය පිටපතක්, කෙටිකථා සංග‍්‍රහයන් 21ක් හා තවත් ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කළා. ඇගේ ලේඛන භාෂාව වූයේ ඉංග‍්‍රීසියයි. ඒ හරහා දකුණු අප‍්‍රිකානු යථාර්ථයේ පැතිකඩ ලොවට කියන්නට ඇය සමත් වුණා.

1960දී ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ (ANC) හා නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයට විවෘතව ම සහයෝගය දැක්වීමට පටන් ගත්තා. කළු ජාතික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටීම මහත් රාජ්‍ය ද්‍රෝහී ක‍්‍රියාවක් ලෙස සුදු පාලකයන් හඳුන්වා දුන්නා. එහෙත් දේශපාලකයන්ට හා ඔවුන්ගේ ගැති නිලධාරින්ට මේ ධෛර්්‍යවන්ත ලේඛිකාව පොඩියක්වත් බිය වූයේ නැහැ.

1948 සිට 1993 දක්වා පැවති වර්ණභේදවාදී දරදඬු ප‍්‍රතිපත්ති ප‍්‍රබන්ධාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම නිසා ඇගේ කෘතීන් ගණනාවක් එරට රජයන් විසින් තහනම් කරනු ලැබුවා. එබඳු තහංචි නිසා සැබැවින් සිදු වූයේ පොත් යටිබිම්ගතව සංසරණය වීමයි. ඒ වන විට ඇය ජාත්‍යන්තරව පාඨක ජනාදරයට පත්ව සිටි නිසා ඇගේ කෘතීන් රටින් පිටත දිගට ම අලෙවි වුණා.

Burger's Daugher
Burger’s Daughter

1979දී ඇය ලියා පළ කළ Burger’s Daughter නම් නවකථාවට පාදක වූයේ සමාජ සාධාරණත්වය හා යුක්තිය උදෙසා අරගල කළ දෙමවුපියන් හා ඔවුන්ගේ දරුවන්ගේ පවුල් ජීවිතයි.

දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ කි‍්‍රයාකාරික ලයනල් බර්ගර් නම් මනඃකල්පිත චරිතය හා ඔහුගේ දියණිය රෝසා මෙහි ප‍්‍රධාන චරිතයි. ලයනල්ගේ චරිතයට ඇය ආදර්ශය ලෙස ගත්තේ උපතින් සුදු දකුණු අප‍්‍රිකානුවකු හා වෘත්තියෙන් නීතිඥයකු වූ බ‍්‍රෑම් Bram Fischer (1908 – 1975). 1962දී කුප‍්‍රකට රිවෝනියා මහ නඩුවේදී ANC සාමාජිකයන් (විශේෂයෙන් නෙල්සන් මැන්ඩෙලා) වෙනුවෙන් විත්තියේ නීතිඥයා ලෙස ක‍්‍රියා කළේ ඔහුයි.

රිවෝනියා මහ නඩුවෙන් ටික කලකට පසු කොමියුනිස්ට් ක‍්‍රියාකාරිකයකු යයි චෝදනා ලැබ රජය පෙරළීමට තැත් කළ වරදට ෆිෂර් සිර දඬුවමක් ලැබුවා. සිරගෙදරදී හට ගත් පිළිකාවකින් අසාධ්‍ය වූ ඔහු වසර 9ක සිර දඬුවම් විඳීමෙන් පසු මිය ගියා. වර්ණභේදවාදයට එරෙහිව එරට සුදු ජාතිකයන් අතලොස්සක් ගෙන ගිය සාරධර්මීය විරෝධතාවේ දැවැන්තයකු ලෙස ෆිෂර් සැළකෙනවා.

මේ නවකථාව මුලින් බි‍්‍රතාන්‍යයේ පළ කොට මාසයක් ඇතුළත එය දකුණු අප‍්‍රිකාවේ අලෙවි කිරීම තහනම් කරනු ලැබුවා. එහෙත් එහි පිටපතක් 1964 සිට සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට හොර රහසේ ලැබුණා. එය තමන් ප‍්‍රමෝදයට පත් කළ බව ඔහු පසු කලෙක ඇයට පැවසුවා.

1970 හා 1980 දශකවල ඇය ප‍්‍රකට ලේඛිකාවක් ලෙස පෙර අපර දෙදිග රටවල නිතර සංචාරය කළා. තමන්ගේ කෘතීන් ගැන කථාබහ කැරුණු හැම විටෙකම තම මවු රටේ සිදු වන මහා අසාධාරණකම් ගැන නොබියව විදෙස් සභාවන්ට තතු පැහැදිලි කළා.

ඇගේ ලේඛක ජීවිතය පුරා විවිධ රටවලින් සාහිත්‍ය සම්මාන රැසක් පිරිනැමුණා. 1991 නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබීමත් සමග සාහිත්‍ය ලෝකයේ ඇගේ පිළිගැනීම වඩාත් තහවුරු වුණා.

වර්ණභේදවාදයට මුඵ හිතින් විරුද්ධ වූවත් ANC ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රමෝපායන් ගැන ද ඇය එකඟ වූයේ නැහැ. ඇත්තට ම යුක්තිය හා සාධාරණත්වය සඳහා කැරෙන හැම ජනතා අරගලයකට ම ඉතා වැදගත් වන්නේ මෙසේ විචාරශීලිව සහයෝගය දෙන බුද්ධිමතුන් හා කලාකරුවන්.

ANC අරගලකරුවන් යටිබිම්ගත දේශපාලනය කරද්දී ඔවුන් සිය නිවසේ සගවා අවදානම් සහගත ලෙස උදව් කළ ඇය, 1994 මැතිවරණයෙන් පසු ANC බලයට පත් වූ විට ඔවුන්ගේ ඇතැම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාදාමයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. ජනපි‍්‍රය නොවන එහෙත් දිගුකාලීනව රටට වැඩදායක සමහර ප‍්‍රතිපත්ති හ ඳන්වා දීමේදී මැන්ඩෙලාට සවියක් වූයේ නැඞීන් වැනි විචාරශීලි හිතමිතුරන්.

Nadine Gordimer and Nelson Mandela were close friends
Nadine Gordimer and Nelson Mandela were close friends

වර්ණභේදවාදයට අමතරව ඇය රාජ්‍ය වාරණයට හා රජයන් විසින් තොරතුරු ගලනය සීමා කිරීමට එරෙහිව ද දශක ගණකක් පුරා ප‍්‍රබල හඬක් නැගුවා. වර්ණභේදවාදය පවතින තුරුම තම නවකථා හා කෙටි කථා රේඩියෝ මාධ්‍යයට සකසා ප‍්‍රචාරය කිරීමට රජය යටතේ පැවති දකුණු අප‍්‍රිකානු විද්්‍යුත් මාධ්‍ය සංස්ථාවට (SABC) ඇය අවසර දුන්නේම නැහැ. ජනතාවට බොරු කියන, ඔවුන්ගේ පරම අයිතීන්ට අවමන් කරන රේඩියෝ සේවයක් සමග තමාට කිසි ගනුදෙනුවක් නැතැයි ඇය ප‍්‍රසිද්ධියේ කියා සිටියා.

1990 පෙබරවාරියේ සිරෙන් නිදහස් වූ මැන්ඩෙලා ජොහැන්නස්බර්ග් නුවර පදිංචියට ආ පසු නිතර මුණ ගැසී ගැඹුරු කථා බහේ යෙදෙන සමීප මිතුරන් අතරට නැඞීන් ද එකතු වුණා. දේශපාලනයටත් වඩා තමන් වැඩිපුර කථා කළේ සමාජ ප‍්‍රශ්න හා මනුෂ්‍යත්වය ගැන බව මැන්ඩෙලා මිය ගිය මොහොතේ ඔහු ගැන ලියූ සමරු ලිපියක ඇය හෙළි කළා.

අඩසියවසක වර්ණභේදවාදය අවසන් කොට දකුණු අප‍්‍රිකාවේ සියලූ ජනයාට එක සේ සළකන නව රාජ්‍ය පාලනයකට මහත් සංයමයෙන් හා වීර්යයෙන් ප‍්‍රවේශ වීම සඳහා 1993 නොබෙල් සාම ත්‍යාගය මැන්ඩෙලාට හා එවකට දකුණු අප‍්‍රිකානු ජනාධිපති එෆ්. ඩබ්. ඩික්ලර්ක්ට පිරිනැමුණා. දෙසැම්බර් 10 වනදා නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී ත්‍යාගය පිළිගන්නට මැන්ඩෙලා සමග එහි ගිය ඔහුගේ දුත පිරිසේ නැඞීන් ද සිටියා.

බොහෝ ජනතාවාදී ලේඛකයන් ජීවිතයේ යම් අදියරකදී පත් වන ඛේදජනක තත්ත්වයක් තිබෙනවා. එනම් තමන් මතවාදීව සහයෝගය දුන් දේශපාලන තන්ත‍්‍රය බලයට පත් වී ටික කලෙකින් මුල් ප‍්‍රතිපත්ති අමතක කොට අයාලේ යන විට කුමක් කරන්නදැයි නොදැන අතරමං වීමයි.

නැඞීන් මේ ගණයට නොවැටුණේ මතවාදයන්ට නතු නොවී සාධාරණත්වයට මුල් තැන දුන් නිසායි. වර්ණභේදවාදය නිමා වී සර්වජන ඡුන්ද බලය හරහා මුල් වරට දකුණු අප‍්‍රිකානු ජනතාව රජයක් පත් කර ගත්තේ 1994දී. එක් ධූර කාලයක් පමණක් හොබවා 1999දී මැන්ඩෙලා විශ‍්‍රාම ගියත් එදා මෙදා තුර තවමත් දකුණු අප‍්‍රිකාව පාලනය කරන්නේ ANC පක්‍ෂයයි. දුෂණය, වංචාව, කල්ලිවාදය හා වෙනත් අක‍්‍රමිකතා රැසක් ගැන ඔවුන්ට ප‍්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා.

තමා කලක් ANC ක‍්‍රියාකාරිකයකුව අරගල කළත් කිසිදා ANC රාජ්‍ය පාලනයකට සම්බන්ධ නොවූ නැඞීන් දිගටම ස්වාධීනව ලේඛන කලාවේ යෙදුණා. 2012දී ඇය ලියූ අවසන් නවකථාව No Time Like The Present දිග හැරෙන්නේ නිදහස ලැබු (1994ට පසු) දකුණු අප‍්‍රිකාවේයි. ඉන් ඇය සියුම් එහෙත් තීක්‍ෂණ සමාජ විවේචනයක යෙදෙනවා.

‘අපේ අය මොනවා කළත් විවේචනය කරන්නෙ කොහොමද?’ කියා අසමින් මුනිවත රකින අපේ කලාකරුවන්ට ඇය හොඳ ආදර්ශයක්.

සිය ජීවිතයේ අවසාන දශක දෙකෙහි සැළකිය යුතු කාලයක් ඇය කැප කළේ HIV ආසාදිතයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමට හා ඔවුන්ට සිදු වන අසාධාරණකම් අවම කිරිමටයි.

මැන්ඩෙලාගේ අනුප‍්‍රාප්තික ජනාධිපති එම්බෙකි HIV පිළිබඳ ‘දේශීය දැනුම’ වංචාකාරයන්ට හසු වී එරට සෞඛ්‍ය ප‍්‍රතිපත්ති විකෘති කළ විට එයට එරෙහිව ප‍්‍රබල හඬක් නැගු ස්වාධීන විද්වතුන් අතර ඇය ද සිටියා.

31 July 2011: සිවුමංසල කොලූගැටයා #25: “බටහිර විද්‍යාව”, “සාම්ප්‍රදායික දැනුම” සහ දකුණු අප‍්‍රිකාවේ බිහිසුනු HIV/AIDS මංමුලාව

Nadine-Gordimer-Quotes-rrr2

1999දී ජනාධිපති ධූරයෙන් මැන්ඩෙලා විශ‍්‍රාම ගිය පසු ඔහුට වඩාත් විවේක තිබූ බැවින් පැරණි මිතුරන් සමග සාමීචියට වැඩි ඉඩක් ලැබුණා. ජේ්‍යෂ්ඨ මානව හිමිකම් නීතිඥ ජෝර්ජ් බිසෝස් සමග නැඞීන් ගෝඩිමර් නිතරම පාහේ මැන්ඩෙලාගේ නිවසේ උදේ ආහාරයට මුණගැසීම සිරිතක්ව තිබුණා.

මේ වකවානුවේ මැන්ඩෙලා නම් දේශපාලනඥයා නොව නිර්ව්‍යාජ මිනිසා තමා හරි හැටි දැන හඳුනා ගත් බව ඇය ලියා තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ හාස්‍යලෝලි බව හා ලෙන්ගතුකම තරාතිරම නොබලා මුණ ගැසීමට ආ කොයි කාටත් ලැබුණු සැටි ඇය අත්දුටුවා.

2002 අගෝස්තුවේ මා මුල් වරට ජොහැන්නස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ ඇය සහභාගී වූ විද්වත් සංවාදයක් මා නැරඹුවා. එම සංවාදය බි‍්‍රතාන්‍යයේ ඊඊක්‍ හා අමෙරිකාවේ ඡුඊී නාලිකා දෙකෙහි සම නිෂ්පාදනයක්.

එයට සහභාගී වූ අනෙක් විද්වත් නියෝජිතයන් අතර ඉන්දියාවේ වන්දනා ශිවා හා සුනීතා නාරායන්, මැලේසියාවේ මාටින් කෝ හා අමෙරිකාවේ ප‍්‍රකට ආර්ථික විශේෂඥ ජේෆ්රී සැක්ස් ද වූවා. මේ ප‍්‍රබල විවාදකරුවන් අතර සිහින් එහෙත් පැහැදිලි කටහඬකින් කථා කළේ නැඞීන් ගෝඩිමර්.

රටේ පාලකයන් සුදු වුණත්, කඵ වුණත් තමා කවදත් විශ්ව සාධාරණය හා මානවයන් අතර සමානාත්මතාවය වෙනුවෙන් හඬ නඟන බව ඇය සාවධානව, සියුම් කටහඬකින් කී සැටි මට මතකයි. එවිට 79 හැවිරිදිව සිටි ඇය එදින සවස එනුවර වීදි උද්ඝෝෂණයකට සහභාගි වූයේ මහත් උද්‍යොගයෙන්.

මේ උද්ඝෝෂණවලට පසුබිම වූයේ 2002 අගෝස්තුවේ එනුවර පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ දෙවන ලෝක සමුළුවයි. ලෝකයේ රටවල් එකසිය ගණනකින් ජෝහැන්නස්බර්ග් නුවරට පැමිණි රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තන්ත‍්‍රිකයන් එක් පසෙක නිල සමුළුව පවත්වන අතරේ එයින් ටික දුරක් ගිය තැන ජනතා සමුළුවක් පැවැත්වුණා. නැඞීන් ඇතුළු ප‍්‍රබුද්ධ දකුණු අප‍්‍රිකානුවන් සහභාගී වූයේ මේ දෙවැන්නටයි.

ලොව නන් දෙසින් ආ සමාජ ක‍්‍රියාකාරිකයන් හා ජන සංවිධාන නියෝජිතයන් සමග ඇය වීදි පෙළපාලි ගියේ දුගී ජනතාවට ඉඩම් අයිතිය හා සාධාරණ ජීවිකා අවස්ථා සඳහායි.

2013දී පුවත්පත් සාකච්ඡාවකදී ඇය කීයේ ‘‘වර්ණභේදවාදය තුරන් කරන්නට අප ඉතා වෙහෙස වී අරගල කළා. එහෙත් එයින් පසු බිහි වන සමාජය ගැන අප සිතුවා මදි යැයි දැන් මගේ කල්පනාවයි.’’

සමාජ හා දේශපාලන අරගලවලට මැදි නොවී ෆැන්ටසි ලෝක ගැන ප‍්‍රබන්ධ කරමින් සිටියා නම් හොඳදැයි පත‍්‍ර කලාවේදියා ඇසූ විට ඇගේ උත්තරය: ”අපොයි නැහැ! මේ ජීවිතය ගැන මම ආඩම්බරයි. අපට සමහර තැන්වල වැරදුණා. ඒත් මා කිසි දිනෙක බිය වී හා නිවටව නම් ජීවත් වී නැහැ!”

Nadine-Gordimer-Quotes-4

සිවුමංසල කොලූගැටයා #175: හරිතවේදය හා මාධ්‍යකරණය මුසු කළ මානෙල් තම්පෝ

In this week’s Ravaya column (in Sinhala), I salute a fellow traveler in journalism and conservation who departed two years ago: Manel Tampoe (1927-2012).

I wrote a tribute in English in September 2012, which appeared in Groundviews.org: Manel Tampoe: Perceptive Chronicler of Sri Lanka’s DDT Generation (This Sinhala column is not a translation.)

One of the earliest photos of Manel Tampoe, around age 15
One of the earliest photos of Manel Tampoe, around age 15

මෙරට පුවත්පත් කලාවේ හපන්කම් කළ හා නිම්වළලූ පුළුල් කළ චරිත ගැන විටින් විට මා කරන ආවර්ජානවලට හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. මගේ මාධ්‍ය අත්දැකීම් බොහෝ කොටම ඉංග‍්‍රීසි බසින් කැරෙන මාධ්‍යකරණයට සීමා වූ නිසා මා වඩාත් හොඳින් හඳුනන්නේ ඒ ක්‍ෂෙත‍්‍රයේ උදවියයි. ඔවුන් ජාතික මට්ටමෙන් හා ඇතැම් විට ජාත්‍යන්තර මට්ටමින් කළ දායකත්වය සිංහල පාඨකයන්ට මතක් කර දීම වටිනා බව මගේ අදහසයි.

පත්තර ලෝකයේ හොඳ වැඩ කරන්නට මාධ්‍ය ආයතනයක පූර්ණ කාලීන, මාණ්ඩලික ලේඛකයකු වීම අවශ්‍ය ම නැහැ. වෙනත් රැකියාවක් කරන අතර හෝ විශ‍්‍රාමිකව සිටින විට හෝ නිතිපතා පත්තරවලට හරවත් ලිපි ලියන ස්වාධීන ලේඛක ලේඛිකාවන් සිටිනවා. මෙරට සියළුම පත්තර ආයතන ඔවුන්ට ගෙවන්නේ ශ‍්‍රමයට හා නිර්මාණයට නොසෑහෙන තරමේ සොච්චමක්. එසේ වුවත් පොදු උන්නතිය සඳහා කැප වීමෙන් මේ කාරියෙහි නියැලෙන පිරිසක් එදත් අදත් අප අතර සිටිනවා.

ඉංග‍්‍රීසි බසින් මාධ්‍යකරණයේ යෙදුණු මානෙල් තම්පෝ මහත්මිය (1927 – 2012) හොඳ උදාහරණයක්. මීට දෙවසරකට පෙර 85 හැවිරිදිව මිය යන තුරු ඇය දශක ගණනක් මෙරට හා විදේශීය ප‍්‍රකාශනවලට ශ‍්‍රී ලංකාවේ සංවර්ධනය හා පරිසරය ගැන විචාරශීලි ලිපි ලියූ පුරෝගාමි චරිතයක්.

Manel Tampoe as a young teacher, in the 1950s
Manel Tampoe as a young teacher, in the 1950s

මානෙල් තම්පෝ මා දැන හඳුනා ගත්තේ 1980 දශකය අගදී. ධර්මන් වික‍්‍රරත්න නායකත්වය දුන් පාරිසරික ජනමාධ්‍යවේදී පර්ෂදය හරහා ඒ වන විට වයස හැට ගණන්වල සිටි ඇය තරුණ අපත් සමග උද්‍යොගයෙන් හා මිත‍්‍රශීලීව වැඩ කළා. බෙහෙවින් ආචාරශීලි හා තැන්පත් චරිත ගතිවලින් යුක්ත වූ ඇයට තීක්‍ෂණ බුද්ධියක් හා හොඳ හාස්‍ය රසයක් තිබූ බව ටික කලකින් මා වටහා ගත්තා. නාවල අගේ නිවහනේදී අප බොහෝ කාලීන මාතෘකා ගැන දිගු වේලා සංවාද කළ හැටි මතකයි.

අයිරාංගනී මානෙල් ගුණසේකර පානදුරේ ඉපදී කොළඹ විශාඛා විද්‍යාලයෙන් ඉගෙනුම ලැබුවා. සරසවි අධ්‍යාපනයට යොමු වූ මුල් ලාංකික කාන්තාවන් අතර සිටි ඇය 1948 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ සම්මාන උපාධියක් ලබා ගත්තා. ඉන් පසු දශක දෙකක් ඇය ඉංග‍්‍රීසි භාෂා ගුරුවරියක් ලෙස විශාඛා, නාලන්දා හා සාන්ත තෝමස් විද්‍යාලවල සේවය කළා.

මේ කාලය තුළ ඇගෙන් උගත් දහස් ගණන් සිසුන් අතර පසු කලෙක ක‍්‍රිකට් විස්තර විචාරයන් සඳහා ප‍්‍රකට වූ පේ‍්‍රමසර ඈපාසිංහ ද සිටිනවා. ඇය ඉංග‍්‍රීසි භාෂාව හා සාහිත්‍යය සිත් කාවදින හා අමතක නොවන ලෙසින් ඉගැන් වූ සැටි ඔහු සිහිපත් කරනවා.

1951 මානෙල් විවාහ වූයේ සරසවියේදී හඳුනාගත් ආරියරත්නම් ෆෙඞ්රික් තම්පෝ සමගයි. ඔවුන්ට පුතකු හා දියණියන් දෙදෙනකු ලැබුණා. පවුලේ වගකීම් දරමින්, ගුරුවරියක ලෙස ක‍්‍රියා කරන අතර ජන සමාජයට වැදගත් පොදු වැඩට හවුල් වීමට ද ඇය කාලය සොයා ගත්තා.

එසේම මානෙල් තමන්ගේ කාලයට වඩා ඉදිරියෙන් සිටි කාන්තාවක්. 1950 ගණන්වලදී තම සැමියාට කලින් රථ වාහන පැදවීමේ රියදුරු බලපත‍්‍රයක් ලබා ගත් ඇය තමන් ඉතිරි කර ගත් මුදලින් මොරිස් මයිනර් කාරයක් මිලට ගත්තා. ඇගේ මිතුරියන් වූ අයිරාංගනී සේරසිංහ, කාමිනී විතාරණ වැනි අය ද එබඳුම පුරෝගාමී හා සමාජශීලී චරිත වුණා.

මානෙල් ඉඳහිට ඉංග‍්‍රිසි පත්තරවලට ලිපි ලියූවත් එය ප‍්‍රබලව මතුව ආයේ 1970 දශකයේ. බැංකු වෘත්තිකයකු වූ ඇගේ සැමියා ලංකා බැංකුවේ ලන්ඩන් ශාඛාවට අනුයුක්තව සිටි 1970-75 කාලයේ දරුවන් සමග ඇය ද එහි ජීවත් වූවා. යුරෝපය හා අමෙරිකාවේ එවකට මතු වෙමින් පැවති පාරිසරික ප‍්‍රශ්න හා ඒවාට ජනතාවගේත් රජයන්ගේත් ප‍්‍රතිචාර ගැන ඇය ඒ වකවානුවේ හොඳ හැටි අධ්‍යයනය කළා.

1975 මෙරටට ආපසු ඇය ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පත‍්‍රයේ විශේෂාංග ලේඛිකාවක් ලෙස සේවය කළා. එසේම සිංහරාජ වනාන්තරය දැව සඳහා කපා ගැනීමේ අමනෝඥ රාජ්‍ය ව්‍යාපෘතියට එරෙහිව මතු වූ මෙරට මුල්ම පාරිසරික උද්ඝෝෂනයට ද ඇය සම්බන්ධ වූවා.

Mallika Wanigasundara
Mallika Wanigasundara

විද්වත් හා මහජන විරෝධය හමුවේ සිංහරාජ දැව ව්‍යාපෘතිය එවකට පැවති රජය නතර කළත් සොබා සම්බත් හා මානව අවශ්‍යතා අතර තරගය ටිකෙන් ටික උත්සන්න වන බව මානෙල් දිගු කල් නුවණින් වටහා ගත්තා. 1977 ජූලි මාසයේ බලයට පත් රජය එතෙක් පැවති සංවෘත ආර්ථිකය විවෘත කිරීමේ ප‍්‍රතිපත්තිය සමග මේ ආතතිය තවත් උග‍්‍ර වූවා.

1973 සිට පවතින රජයේ මතවාදයන් ප‍්‍රචාරණයට නතුව තිබූ ලේක්හවුස් ආයතනයේ සේවය කරන අතර අධිවේගී ආර්ථික සංවර්ධන ප‍්‍රතිපත්ති සියුම් ලෙස විවේචනයට ලක් කිරීමේ ඉඩකඩ පාදා ගන්නට මානෙල් තම්පෝ හා ඇගේ විශේෂාංග කතුවරිය වූ මල්ලිකා වනිගසුන්දර සමත් වුණා.

කැකෑරෙන ජනතා බලාපොරොත්තු රැසක් සපුරා දීමට ලොකු පොරොන්දු දී බලයට පැමිණි ජේ. ආර්. ජයවර්ධන රජයට වනාන්තර, වන සතුන් හා වෙනත් සොබාවික සම්පත් ගැන එතරම් තැකීමක් තිබුනේ නැහැ. එසේම ඒ මොහොතේ රටේ තිබූ අපේක්‍ෂා සාක්‍ෂාත් කිරීමට ලැසි ගමනින් වර්ධනය වීම නොසෑහෙන බව රජයට පැහැදිලි වුණා.

රාජ්‍ය ප‍්‍රතිපත්ති රාමුව හා එක එල්ලේ නොගැටී, සංවර්ධනයේ පාරිසරික හා සමාජයීය බලපෑම් හැකි තාක් සමනය කර ගැනීමේ ක‍්‍රමවේදයන් ගැන හරවත් සංවාද මානෙල් හා මල්ලිකා දෙපළ ඬේලිනිවුස් කතුවැකකි හා විශේෂාංග ලිපි හරහා වසර ගණනාවක් පවත්වාගෙන ගියා. මුළුමනින්ම රාජ පාක්‍ෂික පත්තර කන්තෝරුවකින් වුවත් පොදු උන්නතියට අදාල ප‍්‍රශ්න උපක‍්‍රමශීලි ලෙස ආවරණය කරන්නේ කෙසේ ද යන්නට මේ මාධ්‍යෙවිදිනියන් දෙපළ කදිම පූර්වාදර්ශයක් ලබා දී තිබෙනවා.

මානෙල්ගේ පුවත්පත් ලිපි බොහෝ සේ කරුණු රැස්කර, ගවේෂණාත්මකව ලියනු ලැබූ ඒවායි. විද්වතුන්, රාජ්‍ය නිලධාරින් හා ක‍්‍රියාකාරිකයන් රැසක් සමග ඇයට හොඳ සබඳතා තිබුණා. මේ නිසා පටු රාමුවකට සිර නොවී පුළුල්ව ප‍්‍රශ්න විග‍්‍රහ කිරීමට ඇයට හැකි වුණා. සිල්ලර සමාජවාදී උද්‍යෝගපාඨ වෙනුවට ඇය ගමේෂණාත්මකව විවිධ සංවර්ධන ව්‍යාපෘතින් ගැන ප‍්‍රශ්න කළා.

ශ‍්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය ප‍්‍රකාශනවලටත් මෙරට පාරිසරික ප‍්‍රශ්න ගැන විග‍්‍රහයන් ලිවීමට ඇයට අවස්ථා ලැබුණා. ද ඉකොලොජිස්ට් The Ecologist නම් බි‍්‍රතාන්‍ය සඟරාවේ 1988 නොවැම්බර්-දෙසැම්බර් කලාපයේ මෙරට වෙරළ සංරක්‍ෂණ අභියෝග ගැන ලියූ ලිපියක ඇය මෙසේ කීවා: ‘‘ශ‍්‍රීලංකාවේ වෙරළ සුරකින්නට තැත් කරන විට පදිංචිකරුවන්ගේ අයිතිවාසිකම්, වෙරළ ව්‍යාපාරික කටයුතු වලට යොදා ගන්නා අයගේ අවශ්‍යතා, ධීවරයන්ගේ අයිතීන් වැනි සාධක රැසක් තුලනය කර ගත යුතු වෙයි. එක් සාධකයක් හෝ දෙකක් ගැන පමණක් සළකා බැලූවහොත් සියල්ල අවුල් ජාලයක් විය හැකියි.’’

මෙරට සොබා සම්පත් සුරැකීමට රාජ්‍ය ආයතන තැත් කරන විට එයට ආධාර හා උපදෙස් දීමට ඉදිරිපත් වන ආයතන ගැන බෙහෙවින් ප‍්‍රවේශම් විය යුතු බව ඈ නිතර අවධාරණය කළා. එසේම විදේශ ආයෝජකයන් දිරිමත් කිරීම ආර්ථිකයට අවශ්‍ය වුවත් ඒ සඳහා යම් ප‍්‍රමිතීන්, සීමාවන් හා නිසි නියාමනයක් අවශ්‍ය බවත් ඇය ලිපිවලින් නිතර සිහිපත් කළා.

ලෝක බැංකුව හා ආසියානු සංවර්ධන බැංකුව මානෙල්ගේ දැඩි විවේචනයට හසුවූ ආධාර ආයතන දෙකක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් හරහා ලක් රජයට ආධාර කරන මේ ආයතන ගැන ඇය ප‍්‍රශ්න කළේ තොරතුරුවලින් සන්නද්ධව හා ආවේගශීලි නොවූ තුලනාත්මක ලෙසින්.

රුක් රැක ගන්නෝ සංවිධානයේ මුල් කාලීන හා උද්‍යෝගිමත් සාමාජිකාවක් වුවත් ගස් බදා ගැනීමේ සරල සංකල්පවලින් ඔබ්බට යන දැක්මක් මානෙල්ට තිබුණා. 1980 දශකය අගදී ආන්දෝලනයට ලක් වූ මෙරට වන සංරක්‍ෂණ මහා සැළසුම (Forestry Master Plan) ඇය විස්තරාත්මකව විවේචනය කළා.

වැඩි වන ජනගහනයට හා ඉහළ යන ජන අපේක්‍ෂාවලට අනුව අපේ දැව අවශ්‍යතා ද කෙමෙන් වැඩි වන බව ඇය පිළිගත්තා. හැම ගසක්ම කැපීමට එරෙහි වනවා වෙනුවට ජෛව විවිධත්වය අතින් වැදගත් ගස් හා වනාන්තර නිසි ලෙස රැක ගනිමින් අන් ප‍්‍රදේශවලින් දැව සම්පත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නා.

Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992
Manel Tampoe (front row left) and Nalaka Gunawardene (back row) during visit to Dhaka, Bangladesh, April 1992

1992 අපේ‍්‍රල් මාසයේ මානෙල් සහ මා බංග්ලාදේශයේ ඩාකා අගනුවර පැවති පාරිසරික මාධ්‍යවේදය ගැන දකුණු ආසියාතික වැඩමුළුවකට සහභාගී වුණා. ඒ වන විට ඇගේ වයස 65යි. ඇයට වඩා බෙහෙවින් ලාබාල වූ මට එහි සම්පත්දායකයකු ලෙස ඇරයුම් කර තිබීම ඇය කිසි විටෙක ප‍්‍රශ්නයක් කර ගත්තේ නැහැ. ඉතා උද්‍යෝගිමත්ව හා සුහදව ඇය සියළු දෙනා සමග තොරතුරු බෙදා ගත් සැටිත්, ක්‍ෂෙත‍්‍ර චාරිකාවක නිරත වූ සැටිත් මට මතකයි.

ඩාකා වැඩමුළුවට මානෙල් ඉදිරිපත් කළේ දකුණු පළාතේ කිරිඳිඔය වාරි යෝජනා ක‍්‍රමය පිළිබඳ විචාරයක්. තනිකර ඉංජිනේරුමය හා තාක්‍ෂණික පදනමක් මත පිහිටා, පළාතේ ජනතාවගේ හා ගොවීන්ගේ උවමනාකම් හරිහැටි හඳුනා නොගෙන කරන්නට තැත් කළ ඒ සංවර්ධන ව්‍යාපෘතියෙ අසාර්ථකත්වය ඇය පෙන්වා දුන්නා. (ඉංජිනේරු හා ලේඛක ඞී. එල්. ඕ. මෙන්ඩිස් තර්ක කරන්නේ 1987-89 දකුණේ ප‍්‍රචණ්ඩත්වය උග‍්‍ර වීමට එක් සාධකයක් වූයේ කිරිඳිඔය මුල් කර ගෙන දියත් කළ අසාර්ථක ලූණුගම්වෙහෙර ව්‍යාපෘතිය බවයි. එය වෙනම කථා කළ යුතු වැදගත් මාතෘකාවක්.)

මානෙල්ගේ ලේඛන හා ගවේෂණ කටයුතු සංවර්ධන ක‍්‍රමවේද විචාරයට ලක් කිරීමට පමණක් සීමා වූයේ නැහැ. ලේක්හවුස් ආයතනයේ සේවය හමාර කළ පසු ඇය නිදහස් ලේඛිකාවක් ලෙස විවිධ තේමා හා විෂයයන් ගැන පුවත්පත් හා සඟරා ලිපිත් වඩා පර්යේෂණාත්මක නිබන්ධනත් රචනා කළා.

ඇගේ එකම පොත රචනා වූයේත් මේ කාලයේදී. කොළඹ විශාඛා විද්‍යාලයේ ආදිකර්තෘ සෙලස්තිනා ඩයස්ගේ චරිත කථාව හා දානපතිනියක ලෙස ඩයස් මැතිනියගේ භූමිකාව පිළිබඳ ඉතිහාසය 1977දී ඈ කෙටි පොතක් ලෙසට ගොනු කළා. සමාජ විද්‍යාඥයන්ගේ සංගමය (Social Scientists Association, SSA) විසින් පළ කරනු ලැබූ මේ පොතෙහි නව මුද්‍රණයක් 2013දී නිකුත් වුණා.

මානෙල් තවත් ගවේෂණාත්මක පොතක් ලියමින් සිටි බව ඇගේ දරුවන් කියනවා. එය මෙරට පරිසර සංරක්‍ෂණයේ ඉතිහාස කථාවයි. ‘‘විවිධ ඓතිහාසික පොත්පත් හා වාර්තා රැසක් කියවමින් ඇය කරුණු රැුස් කළා. පැරණි රජ දවස සිට පෘතුගීසි යුගය දක්වා පොත ලියා තිබුණා’’ යයි ඇගේ පුත් කීත් ජයවික‍්‍රම (ඇමරිකාවේ පැළෑටි අභිජනන විද්‍යාඥයෙක්) කියනවා.

මානෙල්ගේ සැමියා මිය ගිය පසු හා ඇගේ දරුවන් විදේශ ගතවූ පසුවත් ඇය වයස 80 වන තුරුම මෙරට පදිංචිව සිටියා. කැනඩාවේ ටොරොන්ටෝ නුවර වෙසෙන දියණිය ටාරා සමග සිටීමට ගියේ 2007දීයි. (ඇගේ අනෙක් දියණිය මොයිරා ඕස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නුවර වසනවා.)

2012 මැයි 26 වනදා මානෙල් තම්පෝ 85 හැවිරිදිව ටොරොන්ටෝහිදි මිය ගියා. ඇගේ අන්තිම කැමැත්තට අනුව දඹුල්ලේ පිහිටි පොපම් ශාකාගාරය (Popham’s Aboretum) නඩත්තු කිරිමට රුක් රැකගන්නෝ සංවිධානයට පරිත්‍යාගයක් ද කර ඇති බව දිගු කාලීන මිතුරියක් වූ ජෛවවිද්‍යාඥ කාමිනී විතාරණ කියනවා.

මානෙල්ට මවුබිමට ආදරයක් හා තමන්ගේ ම දැක්මක් හාතිබුණා. එහෙත් බොහෝ හරිතවේදීන් මෙන් ආවේගශීලිව කුමන්ත‍්‍රණවාදී කථා හේතුවේ නැහැ. ඒ වෙනුවට ඇය ඉවසීමෙන් හා සන්සුන්ව කරුණු ගවේෂණය කළා. ක්‍ෂෙත‍්‍රයට නිතර ගියා. වයස හා ජ්‍යෙෂඨත්වය නොතකා බුද්ධි ගවේෂණයේ යෙදුණා. සාමාන්‍ය ජනයාට කියවා තේරුම් ගත හැකි සරල බසින් සන්නිවේදනය කළා.

හරිතවාදය අන්තවාදයක් වීමේ අවදානමක් ඇති අද කාලයේ අප ආදර්ශයට ගත යුත්තේ මානෙල් තම්පෝ වැනි චරිතයි.

Manel Tampoe with grand-niece Amaya in Toronto,  circa 2010
Manel Tampoe with grand-niece Amaya in Toronto, circa 2010

 

සිවුමංසල කොලූගැටයා #171: දුම්වැටියේ මායාව හා යථාර්ථය

In this week’s Ravaya column (in Sinhala), I explore the formidable policy dilemmas posed by tobacco control in Sri Lanka. I argue that it isn’t a simple or simplistic battle between ‘good’ and ‘evil’ as anti-tobacco activists would make us believe.

There is no doubt that tobacco kills many smokers — and some non-smokers, too. Yet starting, continuing or quitting smoking is a personal lifestyle choice which, at least in democracies, governments can’t legislate. As long as tobacco remains a legitimate trade, education and persuasion must complement legal regulation.

I covered similar ground in English in a recent column: When Worlds Collide #109: Huffing and puffing over Tobacco in Sri Lanka

May 31 is World No Tobacco Day

දුම්කොළ පිටු දැකීම සඳහා ලෝක දිනය (World No Tobacco Day) යළිත් වරක් මැයි 31 වනදා සමරනු ලැබුවා.

එයට මූලික වන ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කියන හැටියට දුම් කොළ භාවිතය (දුම්පානය හා දුම්කොළ විකීම) නිසා හට ගන්නා බරපතල රෝග නිසා වසරකට අඩු තරමින් මිලියන් හයක් (ලක්‍ෂ 60ක්) දෙනා අකාලයේ මිය යනවා. මේ අතරින් ලක්‍ෂ හයක් සෘජුව නොව දුම් පානය කරන්නන් අසල සිටීම නිසා නිෂ්කී‍්‍රය නැතහොත් අනියම් දුම් පානයට ලක් වන අයයි.

‘‘දුම් පානය හා දුම් කොළ ඇබ්බැහිකම දැන් ලෝකයේ වළක්වා ගත හැකි සාධකයකින් ඇති වන විශාලතම සෞඛ්‍ය තර්ජනයයි. මෙය පාලනය කර නොගතහොත් 2030 වන විට වසරකට ලොව පුරා මිලියන අටක් (ලක්‍ෂ 80ක්) මිය යනු ඇති. ඔවුන්ගෙන් බහුතරයක් (80%කට වඩා) සිටින්නේ අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවලයි’’ WHO කියනවා.

ශ‍්‍රී ලංකාවේත් මහජන සෞඛ්‍යයට ප‍්‍රබල තර්ජනයක් දුම් කොළ හරහා එල්ල වනවා. 2009දී සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිල ප‍්‍රකාශනයකට (Brief Profile on Tobacco Control in Sri Lanka) අනුව වසරකට දුම්පානය නිසා හට ගන්නා රෝගාබාධ නිසා අවම වශයෙන් 20,000ක් දෙනා අකාලයේ මිය යනවා. සාමාන්‍යයක් ලෙස ගත හොත් දිනකට 56 දෙනකු බැගින්.

එසේම දුම්කොළ ඇබ්බැහිකමින් මතු වන දිගු කාලීන ආබාධවලට ප‍්‍රතිකාර කිරිමට රජයේ සෞඛ්‍ය සේවයට අති විශාල මුදලක් වැය වනවා.

2009 වාර්තාවලට අනුව මෙරට වැඩිහිටි පිරිමින්ගෙන් 39%ක්ද වැඩිහිටි කාන්තාවන්ගෙන් 2.6%ක් ද නිතිපතා දුම්පානය කරනවා. දුම්කොළ පාලනය සඳහා වන ලෝක සම්මුතියට Framework Convention on Tobacco Control (FCTC) ශ‍්‍රී ලංකා රජය අත්සන් කළේ 2003දී. එනම් එය WHO ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සම්මත කර ගත් වසරේමයි. මේ වන විට ලොව රටවල් 178ක් එයට බැඳී සිටිනවා.

සම්මුතියට අනුකූල වෙමින් බොහෝ පොදු ස්ථානවල දුම්පානය නීතියෙන් තහනම් කොට තිබෙන අතර දුම්කොළ වෙළඳ දැන්වීම්, අනෙකුත් ප‍්‍රචාරණය හා අනුග‍්‍රාහකත්ව ද තහනම්. මේ සඳහා ජාතික දුම්කොළ හා මත්පැන් අධිකාරියක් (NATA) 2006 වසරේ පාර්ලිමේන්තු පනතකින් පිහිටුවනු ලැබුවා.

දුම් පානය පාලනය කිරීමේ අළුත්ම ක‍්‍රමෝපාය නම් සිගරට් පැකට්ටුවල රූපමය අනතුරු ඇඟවීමක් මුද්‍රණය කළ යුතුය යන්නයි. මෙය මීට මාස කිහිපයකට පෙර පාර්ලිමේන්තුවේ සම්මත වී ගැසට් කරනු ලැබුවේ පැකට්ටුවේ මතු පිටින් 80%ක් එවන් අනතුරු ඇඟවීමකට යෙදවිය යුතුය කියායි.

එහෙත් එයට අභියෝග කරමින් මෙරට දුම්වැටි ඒකාධිකාරය හිමි ලංකා දුම් කොළ සමාගම (CTC) අභියාචනාධිකරණය වෙත ගියා. දෙපාර්ශවයේම තර්ක සලකා බලා අධිකරණය තීරණය කළේ රූපමය අනතුරු ඇඟවීම මතු පිටින් 50-60%ක් දක්වා යොදා ගෙන කළ යුතු බවයි.

මෙම තීරණය සෞඛ්‍ය අමාත්‍යවරයා පිළිගත් නමුත් ප‍්‍රශ්නය එතැනින් මුළුමනින් විසඳී නැති බවත් පෙනෙනවා. රූපමය අනතුරු ඇඟවීම 80%ක් ම කළ යුතු යයි තරයේ කියා සිටින ක‍්‍රියාකාරිකයන් සිටිනවා.

WHO encourages pictorial warnings

මෙරට වෛද්‍ය වෘත්තිය නියෝජනය කරන ප‍්‍රධානතම වෘත්තික සංවිධානය වන ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය (SLMA) කියන්නේත් 80% අනතුරු ඇඟවීමට ඔවුන් සම්පූර්ණ සහයෝගය දෙන බවයි.

දුම් පානයට එරෙහිව අරගල කරන වෛද්‍යවරුන් හා අනෙකුත් ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු විවාදයක් නැහැ. කිසිදා දුම්පානය නොකළ හා නිෂ්ක‍්‍රීය දුම්පානයෙන් නිතර බැට කා ඇති ඇදුම රෝගියකු වන මා, දුම්කොළ නිවාරණයට පෞද්ගලිකව පක්‍ෂයි. එහෙත් සමාජ අරගල කළ යුත්තේ යථාර්ථවාදීව හා ප‍්‍රායෝගික තලයක සිටයි.

සිගරට් පැකට්ටුවල වාචික හා රූපමය අනතුරු ඇගවීම් ප‍්‍රදර්ශනය කිරීම කලක් තිස්සේ දියුණු බටහිර හා ආසියාතික රටවල කැරෙන මහජන අධ්‍යාපන උපක‍්‍රමයක්. එහෙත් මෙරටට මේ උපක‍්‍රමය ගැලපෙනවා ද යන්න ප‍්‍රශ්නයක්.

හේතුව ආර්ථික සාධක නිසා අපේ දුම්බොන්නන් බහුතරයක් සිගරට් මිළට ගන්නේ සිල්ලරට. වරකට එකක් හෝ කිහිපයක් බැගින්. මුළු පැකට්ටුවම එකවර මිලට ගන්නේ 5%ක් පමණක් බවත්, අතිබහුතරය (95%) සිල්ලරට ගන්නා බවත් අම්බා පර්යේෂණායතනය (Amba Research) නම් වූ ආර්ථික විශ්ලේෂණ සමාගම හා කොළඹ කොටස් වෙළඳපොල හවුලේ 2013 ඔක්තෝබරයේ නිකුත් කළ වාර්තාවක කියනවා.

ඒ කියන්නේ මෙතරම් වෙර දරා රූපමය අනතුරු ඇඟවීම් මෙරට පටන් ගත්ත ද බහුතරයක් දුම් බොන්නන් අතට අය පත් නොවනු ඇති බවයි! මීට වඩා ප‍්‍රායෝගික විය හැක්කේ සිගරට් විකුණන හැම තැනකම ප‍්‍රබල රූපමය අවවාදයක් හා අනතුරු ඇඟවීමක් කාටත් පෙනෙන සේ ප‍්‍රදර්ශනය කිරිමයි.

සිගරට් වෙළඳාම ගැන මහජන සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ බරපතල විරෝධතා තිබුණත් එය නීති විරෝධී ව්‍යාපාරයක් නොවෙයි. සිගරට් රටේ නීතිවලට අනුකූලව නිපදවා, නීති රීතිවලින් ඉඩදී ඇති පරිදි බෙදා හැර අලෙවි කැරෙන භාණ්ඩයක්. දුම්කොළ සමාගම් සූක්‍ෂම ලෙසින් කලා, ක‍්‍රීඩා හා වෙනත් ක්‍ෂෙත‍්‍රවලට බලපෑම් කරන බවට තර්කයක් කලක සිට තිබෙනවා. එහෙත් මෑත වසරවලදී අනියම් ප‍්‍රචාරණය පවා නීතිරීති මගින් දැඩි ලෙස සීමා කොට තිබෙනවා.

දැන් නීතියෙන් කළ හැකි වැඩ කොටස සංතෘප්ත වී ගෙන එන බවත්, ඉතිරිය දැනුවත් කිරීම හා නම්මවා ගැනීම හරහා සිදු විය යුතු බවත් පිළිගත යුතුයි.

SLMA සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් හා එහි දුම්පානය හා මත්පැන් පිළිබඳ විද්වත් කමිටුවේ සභාපති මහාචාර්ය නාරද වර්ණසූරිය මෑතදී පුවත්පත් ප‍්‍රකාශයක කීවේ ‘‘මෙරට මත්පැන්, මත්ද්‍රව්‍ය හා චර්යාව සම්බන්ධ අන් සියලූ සාධකවලට වඩා විශාල හානියක් වන්නේ දුම් පානයෙන් නිසා එයට ප‍්‍රමුඛතාවයක් දීම අවශ්‍යයි.’’

රාජ්‍ය නොවන සංවිධානයක් වන මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු කේන්‍ද්‍රය (ADIC) මෙරට දුම්පානය හා මත්පැන් පානය ගැන වසරකට දෙවතාවක් බැගින් වෙනම සමීක්‍ෂණ පවත්වනවා. 1998 සිට සිදු කර ඇති සමීක්‍ෂණ ප‍්‍රතිඵල අනුව පෙනෙන්නේ දුම්පානය කරන ජන ප‍්‍රතිශතය ටිකෙන් ටික අඩුවන බවයි. එසේම ලාබාල හා තරුණ කොටස් අතර එය වඩාත් අඩු බව ද පෙනෙනවා.

Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys [Full reports at: http://www.adicsrilanka.org/publication/]
Sri Lanka tobacco use trend 2000-2012 as seen in ADIC surveys. Full reports at: http://www.adicsrilanka.org/publication/
දැනට ප‍්‍රකාශිත අන්තිම සමීක්‍ෂණය කළේ 2013 ජූලි මාසයේ මෙරට දිස්ත‍්‍රික්ක 10කයි. වයස 14ට වැඩි පිරිමි 2,465 දෙනකු එයට හවුල් කර ගනු ලැබුවා. එහි ප‍්‍රතිඵලවලින් මෙරට දුම්පානයේ ප‍්‍රවණතා ගැන දළ ඉඟියක් ලද හැකියි.

දැනට දුම්පානය කරන අයගේ ප‍්‍රතිශතය සාම්පලයෙන් 32.5%ක් වුණා. එහෙත් වයස 40ට වැඩි පිරිස අතර එය 36.7%ක් වූ අතර වයස 15-24 අතර පිරිසේ දුම්පානය කළේ 26.9%ක් පමණයි.

දුම්බොන අයගෙන් සියයට 70ක් දෙනා දිනපතාම සිගරට් බොනවා. බහුතරයක් (තුනෙන් දෙකක්) එබඳු අය සිගරට් 5ක් හෝ ඊට අඩුවෙන් දිනකට පානය කරනවා.

සිගරට් බොන අයගෙන් තුනෙන් එකකටම ඒ සඳහා හරිහමන් හේතුවක් නැහැ. තවත් 31% කීවේ පුරුද්දට දුම් බොන බවයි. ඉතිරි හේතුන් වූයේ සන්තෝෂයට (19%), සමාජශීලි වන්නට (14%), ප‍්‍රශ්න අමතක කරන්නට (3.4%) හා මිතුරු බලපෑම් නිසා (1.1%).

දැනට දුම්පානය කරන අයගෙන් 60%ක්ම යම් අවස්ථාවක එම ඇබ්බැහිකම නතර කිරීමට උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැහැ. මෙයින් පෙනෙන්නේ සෞඛ්‍ය අධ්‍යාපනය හා සදාචාරාත්මක සාධක ඉක්මවා යන මානසික හා සමාජයීය සාධක මෙහි ක‍්‍රියාත්මක වන බවයි. මේවා සියුම්ව ග‍්‍රහණය කිරීම වැදගත්.

හැම සමීක්‍ෂණයක ම එයට ආවේණික වූ සීමාවන් තිබෙනවා. එහෙත් හුදෙක් මතවාදයන් හා ආවේග මත දුම්වැටි විරෝධී ව්‍යාපාරයන් ගොඩනංවනවා වෙනුවට ADIC ඇතුළු විවිධ ආයතන සිදු කර ඇති සමීක්‍ෂණ හා මෙරට වෙළඳපොළ යථාර්ථය මත පදනම් වීම වඩාත් සාර්ථක ප‍්‍රතිඵල ලබාදිය හැකියි.

දුම් පානය ගැන විවාදයට එක් වෙමින් ප‍්‍රවීන ලේඛක, තීරුලිපි රචක හා නිවහල් චින්තකයකු වන ගාමිණී වියන්ගොඩ 2014 මැයි 31 රාවයේ කීවේ: ‘‘ මගේ තර්කය වන්නේ දුම් පානය සම්බන්ධයෙන් තිබිය යුත්තේ සෞඛ්‍ය සහ ආර්ථික විද්‍යා ගැන සැළකිලිමත්වීම මිස, ආගමික හෝ සදාචාර කොක්කක එල්ලීම නොවන බව පමණි. එහෙත් වෙනත් ලෞකික තහංචි සේම මේ දුම්පාන විරෝධයත් අප වෙත එන්නේ, එක්තරා ආගමික/පාරිශුද්ධවාදී හැඟීමකිනි. වරද ඇත්තේ එතැනයි.’’

මෙයට මාත් එකඟයි. සෞඛ්‍ය විද්‍යාත්මකව දුම්පානයට එරෙහි වීමට ඕනෑවටත් වඩා ප‍්‍රබල සාක්‍ෂි සමුදායක් තිබියදී අපේ වෛද්‍යවරුන් හා සමාජ ක‍්‍රීයාකාරිකයන් මෙසේ සදාචාරය ඈඳා ගැනීම අනවශ්‍ය ලෙස මේ සංවාදය ව්‍යාකූල කිරීමක්.

සමාජයක් ලෙස අපට කළ හැක්කේ පොදු අවකාශයන්හි නිෂ්ක‍්‍රීය දුම්පානයේ අවදානම තුරන් කිරීමත්, දුම්පානයෙන් අත්මිදෙන්නට යන්තමින් හෝ ඕනෑකමක් ඇති අයට (අනවශ්‍ය සුචරිතවාදී කථා නොකියා) එයට අවශ්‍ය මනෝවිද්‍යාත්මක හා සෞඛ්‍යමය අත්වැලක් සැපයීමත් පමණයි.

දුම්වැටි විරෝධය හුදෙක් ලය හෝ හෘද විශේෂඥ වෛද්‍යවරුන්ට පමණක් කළ හැකි දෙයක් නොවෙයි. දුම්බොන්නන්ගේ මානසිකත්වය හරි හැටි තේරුම් ගැනීමට මනෝ විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ සහාය අවශ්‍යයි. මෙය අපේ කාලයේ ප‍්‍රබල සන්නිවේදන අභියෝගයක් ලෙස සලකමින්, සුචරිතවාදය වෙනුවට සියුම් තර්ක හරහා දුම්පානය කරන අය සමග සංවාදශීලි විය යුතුයි. ඔවුන් සැවොම ඉක්මනින් තම චර්යාව වෙනස් නොකරන බවත් සිහිතබා ගත යුතුයි.

ප‍්‍රශස්ත සන්නිවේදනයේ මූලික අවශ්‍යතාවයක් වන්නේ තමන් අමතන්නාගේ අවධානය යොමු කරවා ගෙන ඉන් පසු ඔවුන්ගේ සිත් දිනා ගැනිමයි. අනගාරික ධර්මපාලයන් මීට සියවසකට පෙර කළා යයි කියන ආකාරයේ පරුෂ වචන යොදා ගෙන බැන වැදීම අද සංකීර්ණ සමාජයන්හි පිළිගත හැකි හෝ සාර්ථක ක‍්‍රමයක් නොවෙයි. (එකල පවා එය සාර්ථක වූවා ද යන්න සැක සහිතයි!)

දුම් පානය කරන්නවුන් මෝඩයන්වත්, පාපතරයන්වත් නොවෙයි. ඔවුන්ට නිග‍්‍රහ කිරීමෙන් හෝ සමච්චල් කිරීමෙන් හෝ ඒ පුරුද්දෙන් ඔවුන් අත්මිදෙනු වෙනුවට බොහෝ විට සිදු වන්නේ ඔවුන්ගේ අධිෂ්ඨානය තවත් තිරසාර වීමයි.

දුම්කොළ සමාගමට බෙදන හැන්දෙන් ම දුම්කොළයට ඇබ්බැහි වූවන්ට ද බෙදීම නිසි ක‍්‍රමෝපායක් නොවන බවත්, වඩාත් සංවේදී හා සංවිධානාත්මක වූ සන්නිවේදනයක් අවශ්‍ය බවත් දුම්කොළ විරෝධීන් අවබෝධ කර ගත යුතුයි.

Infographic courtesy Gulf News
Infographic courtesy Gulf News

සිවුමංසල කොලූගැටයා #170: අසහාය මානුෂික මෙහෙයුමක් කළ වෛද්‍ය හඞ්සන් සිල්වා

In this week’s Ravaya column, in Sinhala, I further explore the origins and evolution of Sri Lanka Eye Donation movement, with emphasis on its founder and leader for 40 years, Dr Hudson Silva (1929-1999).

I have covered the same grounds in English at: When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Dr Hudson Silva stamp issued in 2009
Dr Hudson Silva stamp issued in 2009

අක්ෂිදාන ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන ගිය සතියේ කොලමට හොඳ ප‍්‍රතිචාර රැසක් ලැබුණා. ලෝකයට අපේ හොඳ නම ප‍්‍රවර්ධනය කරන මේ ජනතා ව්‍යාපාරය ගැන විස්තර කළත් එහි ආරම්භකයාගේ ජීවන තොරතුරු ඇති තරම් කථා නොකළ බව සමහර පාඨකයන්ගේ මතය වුණා. ප‍්‍රශංසා, ගැරහුම් හා බාධක මැද වෛද්‍ය හඞ්සන් මේ දිගු ගමන ගිය සැටි තව ටිකක් විපරම් කිරීම වටිනවා.

වෛද්‍ය හඞ්සන් සිල්වා නූතන ලෝකයේ මානුෂික අවශ්‍යතාවයකට සමාජයීය නව්‍යකරණයක් හරහා විසඳුමක් ලබා දුන්නා. එතැනින් නොනැවතී ජීවිත කාලය පුරා එය ප‍්‍රවර්ධනය කළා. රැක බලා ගත්තා. ආයතනයක් ඉතිරි කර ගියා.

අපේ සාරධර්ම හා නූතනත්වය මනා සේ සංයෝජනය කළ අක්‍ෂිදානය ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවේ හොඳ නමට කර ඇති මෙහෙවර තානාපති නිලධාරින් සිය ගණනකටවත් කළ හැකි වික‍්‍රමයක් නොවෙයි.

ප‍්‍රැන්සිස්කු හෙට්ටිගේ ජෙරල්ඞ් හඞ්සන් සිල්වා උපන්නේ 1929 දෙසැම්බර් 18 වනදා මොරටුවේ ඉඳිබැද්දේ. ඔහු මුලින්ම පාසල් ගියේ මොරටුවේ ධර්මරතන විද්‍යාලයට. ඉනික්බිතිව කොළඹ නාලන්දා විද්‍යාලයටත්, එතැනින් ආනන්ද විද්‍යාලයටත් යොමු වුණා.

කුඩා වියේ පටන් ඔහු ඉගැනුමටත්, බාහිර ක‍්‍රියාවලටත් දක්‍ෂයෙක්. පන්තියේ පළමුවැනියා වන අතරම බාලදක්‍ෂ වැඩ, විවාද හා කථික තරඟ ගායනා හා කවි ලිවීම ආදියටත් හවුල් වුණා. ලංකා ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා මණ්ඩපයට සහභාගී වෙමින් දස්කම් පෑවා.

මේ කලා නැඹුරුව නිසා 1948දී මුල් වරට කලා විෂයන්ගෙන් ජ්‍යෙෂ්ඨය (එවකට HSC) පෙනී සිට සරසවි වරම් ලැබුවත් ඉන් පසු විද්‍යා විෂයයන්ට යොමු වුණා. ජීව විද්‍යාවෙන් ජ්‍යෙෂ්ඨය සමත්ව ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසියේ 1951දී.

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසත් ඔහු පොතේ ඇලී ගැලී සිටියේ නැහැ. සමකාලීනයන් ඔහුව සිහිපත් කරන්නේ බොහෝ කි‍්‍රයාශීලි හා සමාජශීලි චරිතයක් හැටියට. සරසවි ඉගෙනුම කරන අතරේ ලඝුලේඛනය, ටයිප් කිරීම ආදී ශිල්ප ද ඕනෑකමින් ප‍්‍රගුණ කළා.

වරක් ඔහු අක්‍ෂි රෝග ගැන මහාචාර්යවරයෙකුගේ දේශනයකට සවන් දුන්නා. සමහරක් දෘශ්‍යාබාධ (සියල්ලම නොවේ) සුවපත් කිරීමට ඇසේ ස්වච්ඡ මණ්ඩලය හෙවත් කුණිතය බද්ධ කිරීමෙන් හැකි බවත්, එහෙත් කුණිතයන් ඇති තරම් සොයා ගත නොහැකි නිසා සැත්කම් කළ නොහැකිව කල් දමන බවත් ඔහු දැන ගත්තා.

දේශනයෙන් කම්පනයට පත් හඞ්සන් එදා ගෙදර ගොස් මව සමග මේ ගැන කථා කළා. තමා මිය ගිය පසු තම ඇස්වලින් තව අයෙකුට පෙනීම දිය හැකි බව කීවා. එවිට මව කීවේ ‘‘පුතා, ඔබට කලින් මා මිය යා හැකියි. මගේ ඇස් දෙකෙන් දන්දීම අරඹන්න’’ කියායි.

අක්‍ෂි සැත්කම්, කුණිත බද්ධය ආදිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැහැ. මේ ගැන කරුණු ගවේෂණය කළ හඞ්සන්, එය පුවත්පත් ලිපියකට ගොනු කළා. 1958 ජනවාරි 19 වනදා ලංකාදීපයේ ‘‘මළ නෙතට පණ’’ නමින් පළ වූයෙ එයයි.

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

Sri Lanka Eye Donation Society Logo
Sri Lanka Eye Donation Society Logo

අක්‍ෂිදාන ව්‍යාපාරය මෙරට ස්ථාපිත වූයේ විවිධ බාධක හා හිරිහැර මැද. මේ සංකල්පය ප‍්‍රායෝගික නොවන මනෝ විකාරයක් යැයි සමහර ජේ්‍යෂ්ඨ වෛද්‍යවරුන් මුල් යුගයේ ප‍්‍රසිද්ධියේ කියා සිටියා. අක්‍ෂිදාන කටයුතු හරහා ඔහුට සමාජ පිළිගැනීමක් ගොඩ නැගෙනු දුටු සමහර ජ්‍යෙෂ්ඨයන්ට ඉරිසියාවක් පහළ වන්නට ඇති.

උද්‍යොගිමත් තරුණ වෛද්‍යවරයකු ලෙස හඞ්සන් සිල්වා සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ අක‍්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතා පෙන්වා දීම ගැන නිලධාරින් නොසතුටු වූවා.

ප‍්‍රතිඵලය වූයේ දිගින් දිගටම පරිපාලනමය වශයෙන් ඔහුට හිරිහැර කිරීමයි. තමන්ගේ රාජකාරිය කිසි විටෙක අතපසු නොකොට, පෞද්ගලික වියදමින් අක්‍ෂිදාන වැඩ කළත් ඔහුගේ වැරදිම සෙවූ නිලධාරින් සිටියා.

ඔහුව තැනින් තැනට මාරු කරනු ලැබුවා. මේ ස්ථානමාරු නිහඬව බාර ගත් වෛද්‍ය හඞ්සන් වරෙක කීවේ ‘‘මේ ලංකාවේ කියන ඕනෑම තැනකට යන්නම්. නමුත් මට නිදහසේ රාජකාරිය හා අක්‍ෂිදාන කටයුතු කරන්න ඉඩ දෙන්න!’’

ඇස් ගලවා ගැනීමෙන් පසු අක්‍ෂි කුහරවලට පුළුන් පුරවා කිසිදු වෙනසක් නොපෙනන අයුරින් මෘත ශරීරය සැකසීම සම්ප‍්‍රදායයි. එහෙත් අක්‍ෂිදානය කළ අයගේ සිරුරු එම්බාම් කළ නොහැකි යයි සමහර මල්ශාලා හිමියන් වරක් බොරු තර්කයක් මතු කළා. එයින් නොසැලූණු වෛද්‍ය හඞ්සන් කීවේ එසේ නම් අක්‍ෂිදාන සංගමය හරහා නොමිළයේ එම්බාම් කිරීමේ සේවයක් ද අරඹන බවයි. නොමග යවනු ලැබ සිටි මල්ශාලා හිමියන්ගේ විරෝධය එතැනින්ම නතර වුණා!

1965දී වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යාමට ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණා. විදේශකයන් තරගකාරීව කළ මේ තේරීම අපේ සෞඛ්‍ය බලධාරින් පිළිගන්නට මැලි වූ නිසා අවසන් තීරණය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක දක්වා ගියා. එයට ඇගේ අනුමැතිය ලැබුණා. මේ අනුව විදේශගත වූ වෛද්‍ය හඞ්සන් අක්‍ෂි සැත්කම් හා අක්‍ෂි වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය ගැන නව දැනුම හා නව ප‍්‍රබෝධයක් ලබා ගෙන යළිත් සිය රට ආවා.

එහෙත් සෞඛ්‍ය බලධාරින්ගේ කෙනෙහිලිකම් නතර වූයේ නැහැ. දන් දෙන අක්‍ෂි කුණිත රජයේ රෝහල්වලට ලබා දුන් පසු හරිහැටි පරිහරණය නොකිරීම නිසා අපතේ යන බව තහවුරු කර ගත් වෛද්‍ය හඞ්සන්, ඒ ගැන ප‍්‍රසිද්ධියේ කථා කළා.

මේ ගැන කුපිත වූ සෞඛ්‍ය ලොක්කෝ ඔහුගේ වැඩ තහනම් කළා. අන්තිමේදී 1967දී අනිවාර්ය විශ‍්‍රාම ගන්වනු ලැබුවා. රජයේ සෞඛ්‍ය සේවයේ කිසි දිනෙක තමන්ට මහජන අභිවෘද්ධියට වැඩ කරන්නට නොලැබෙන බව තේරුම් ගත් ඔහු, පූර්ණ කාලීනව අක්‍ෂිදාන වැඩට යොමු වුණා.

Eye cornea ready at Sri Lanka Eye Donation Society in Colombo, to be sent to a foreign country - Photo by Janaka Sri Jayalath
Eye cornea ready at Sri Lanka Eye Donation Society in Colombo, to be sent to a foreign country – Photo by Janaka Sri Jayalath

1965දී අක්‍ෂිදාන සංගමය රජය පිළිගත් පුණ්‍යායතනයක් වූ පසු ටිකෙන් ටික දෙස් විදෙස් දානපති ආධාර ලැබෙන්නට පටන් ගත්තා. එහෙත් මුල් වසර 20ක් පමණ අක්‍ෂිදාන කටයුතු කරගෙන ගියේ ඉතා සීමිත පහසුකම් මැද, ස්වේච්ඡා සේවක ආධාරයෙන්. හඞ්සන් සිල්වාගේ වෝඞ් පෙදෙසේ කුඩා නිවස අක්‍ෂිදාන කාර්යාලය ලෙස දිගු කලක් පැවතුණා.

මේ සඳහා සියළු සහයෝගය ලබා දෙමින් අක්‍ෂිදානයට මාතාවක් වූයේ ඔහුගේ බිරිඳ අයිරාංගනී සිල්වා මහත්මියයි. 1961දී ඔවුන් විවාහ වන අවස්ථාවේදීම අක්‍ෂිදානයට පූර්ණ සහයෝගය දෙන බවට ඈ පොරොන්දු වී සිටියා. ඇය ජීවිත කාලයම කැප කළේ මේ සඳහායි. වෛද්‍ය හඞ්සන්ගේ වියෝවින් පසු වසර කිහිපයක් ඇය අක්‍ෂිදාන සභාපති තනතුර හෙබවූවා.

වෛද්‍ය හඞ්සන් සිල්වාගේ ජිවිතයේ අවසාන දශකයේ ඔහු හඳුනාගෙන විටින් විට ඔහුගේ වැඩ කටයුතු ගැන මාධ්‍ය හරහා වාර්තා කරන්නට මට අවස්ථාව ලැබුණා. එවකට ලෝකයේ ප‍්‍රමුඛතම මාධ්‍යවලින් ආවරණය ලබා තිබුනත් ඔහුගේ කිසිදු උඩගුකමක්, පුහු මාන්නයක් තිබුණේ නැහැ.

පුවත්පත් සමග ඔහු ජිවිත කාලය පුරා සමීප සබඳතා පැවැත්වූවා. ලංකාදීපයේ මුල් ලිපිය පළ නොවූවා නම් අක්‍ෂිදානයක් බිහි නොවන බව ඔහු දැන සිටියා. මාධ්‍ය ආයතන සමග සුහදව ගනුදෙනු කළ ඔහු ඕනෑම වෙලාවක මාධ්‍යවේදී ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානමින් සිටින බව මා අත්දැකීමෙන් දන්නවා.

ඉඳහිට මාධ්‍ය හරහා අභූත චෝදනා හා මඩ පාරවල් එල්ල වූ විට ද ඔහු සැලූණේ නැහැ. මාධ්‍ය සමග ගැටුම් ඇති කර ගත්තේ නැහැ. නිහඬව තමන්ගේ වැඩ කරගෙන ගියා.

එහෙත් එසේ කරන්නට බැරි වූ නරක කාලයක් 1990-92දී උදා වුණා.  ජනාධිපති පේ‍්‍රමදාස ඔහුට නොරිස්සූ ජන සංවිධානයක් මට්ටු කරන්න රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශන කොමිසමක් පත් කළා. එහෙත් කොමිසමේ සාමාජිකයකු වූ වෛද්‍ය මහාචාර්යවරියක් ඒ අවස්ථාව යොදා ගත්තේ අක්‍ෂිදාන සංගමයටත්, එහි නිර්මාතෘවරයාටත් හිරිහැර කරන්නයි.

මෙය වෘත්තීමය ඉරිසියාවෙන් මතු වූ කි‍්‍රයාවක් බව පෙනුනත් සියඵ තොරතුරු හා ගිණුම් නොවලහා ඉදිරිපත් කිරීමට අක්‍ෂිදානය ඉදිරිපත් වුණා. චෝදනා කිසිවක් ඔප්පු නොවූවත් සභා සැසිවාරවලදී එල්ල කළ මඩ ප‍්‍රහාර මාධ්‍ය හරහා රටටම වාර්තා වුණා.

ජනාධිපති විජේතුංග ගත් මුල්ම නිල පියවරක් වූයේ NGO කොමිසම නතර කිරීමයි. එහෙත් ඒ වන විට දෑවුරුද්දකට වැඩි කාලයක් අක්‍ෂිදානය තමන්ගේ නිර්දෝශීභාවය තහවුරු කිරීමට වැය කර තිබුණා.

‘‘NGO කොමිසම පටන් ගත්තේ මට පහර ගසන්න. එහෙත් අහිංසකයා හඞ්සන් එයින් බැට කෑවා. කොමිසමේ නීතිඥයන් මේ ලෝක පූජිත ලාංකිකයාට ඒ දිනවල සැළකුවේ ඉතා පහත් විදියට’’ යයි ඒ අමිහිරි යුගය සිහිපත් කරමින් සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න ගිය වසරේ මා සමග ටෙලිවිෂන් සාකච්ඡාවකදී පැවසුවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society
Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society

වෛද්‍ය හඞ්සන් හා ආරියරත්න මිතුදම බොහෝ කල් පැවති සමීප සබඳතාවක්. සර්වෝදය හා අක්‍ෂිදානය ඇරඹුණේ එකම වසරේ (1958) මේ ව්‍යාපාර දෙකම බිම් මට්ටමින් ස්වේච්ඡාව්‍යාපාර ලෙස ටිකෙන් ටික ලක් සමාජයේ ස්ථාපිත වුණා. මේ නායකයන් දෙපලට ලෝකයෙන් ප‍්‍රශංසා හා සම්මාන ලැබෙද්දී මෙරටින් බොහෝ විට ලැබුණේ බාධක, ගැරහිලි හා කොන් කිරීම්. එහෙත් එයින් අධෛර්්‍යය නොවී ඉදිරියට යාමේ අධිෂ්ඨාන ශක්තිය ඔවුන් සතු වුණා.

1970 දශකය මුලදී මෙරට සෞඛ්‍ය නිලධාරින් අක්‍ෂිදාන සංගමයට කළ බාධා නිසා කළකිරුණු වෛද්‍ය හඞ්සන් පිලිපීනයේ ඇස් බැංකුවක් බිහි කිරීමට කලක් විදේශගත වන්නට තීරණය කළා. එරට සංචාරයකට ගිය ආචාර්ය ආරියරත්නට මෙය ආරංචි වුණා. ‘‘හඞ්සන් ලංකාවට අවශ්‍යම පුද්ගලයෙක්’’ යයි කියමින් ඔහු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට මතු වී ඇති ප‍්‍රශ්න ගැන කියා සිටියා. මැතිනිය මැදිහත් වී නිලධාරි ප‍්‍රශ්න සමනය කළ නිසා වෛද්‍ය හඞ්සන් විදේශගත වීමේ අදහස අත් හැරියා.

වෛද්‍ය හඞ්සන් ඉතා කාර්යශූර හා ‘වැඩ කිරීමට ලොකු උණක්’ තිබූ කෙනෙක්. දොස්තර මහත්තයා හෝ ආයතන ප‍්‍රධානියා කියා පංගු බේරුවක් ඔහුට තිබුණේ නැහැ. ටයිප් කරන්නට, ඡායාරූප ගන්නට, වාහන එලවන්නට මෙන් ම බොහෝ උපකරණ අඵත්වැඩියාවටත් ඔහු සමතෙක්. ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන්ගේ පටන් මෙරට ඉතා අසරණ පුද්ගලයා දක්වා කොයි කවුරුත් සමග තරාතිරම් නොබලා අධිෂ්ඨාන පූර්වකව වැඩ කළ අයෙක්.

එසේම ඔහු සන්නිවේදනයේ අගය දැන එය මනා ලෙස යොදා ගත්තා. ඕනෑම මරණ ගෙදරක, උත්සව සභාවක හෝ විද්්‍යුත් මාධ්‍යයක අක්‍ෂි සෞඛ්‍යය හා අක්‍ෂිදානය ගැන රසවත් හා හරවත් ලෙසින් කථා කිරීමට කිසිදු සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

අක්‍ෂිදානයේ නිර්මාතෘවරයා ලෙස වෛද්‍ය හඞ්සන්ට රටවල් රැසකින් ගෞරව, ත්‍යාග හා පිළිගැනීම් ලැබුණා. ජෝර්දානය, තායිලන්තය හා ඉන්දියාවෙන් විදේශිකයන්ට පිරිනැමෙන ඉහළම සම්මානයත්, 1981දී ලෝකයේ විශිෂ්ටයන්ට පිදෙන ඩැග් හැමර්ෂල්ඞ් ත්‍යාගයත් ලැබූ ඔහුට උපන් රටින් උපහාර ලැබුණේ කල් ගත වීයි. 1987දී ජනාධිපති ජයවර්ධන දේශබන්දු සම්මානය පිරිනැමුවා.

ලෝ ප‍්‍රකට රීඩර්ස් ඩයිජෙස්ට් (Reader’s Digest) සඟරාව කිහිප වතාවක් අක්‍ෂිදානය ගැන ප‍්‍රශංසාත්මකව ලිවීම හරහා ශී‍්‍ර ලංකාවට මිළ කළ නොහැකි තරම් වටිනා ලෝක ප‍්‍රචාරයක් ලැබුණා. 1994 ඔක්තෝබරයේ මේ සඟරාව, වෛද්‍ය හඞ්සන් ‘අපේ කාලයේ වීරයෙක්’ (Hero for Today)යයි නම් කළා.

අක්‍ෂිදාන ව්‍යාපාරය ගැන දැඩි පැහැදීමෙන් එයට අනුග‍්‍රහය දැක්වූ අය අතර ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් ද සිටියා. ඔහු එය දුටුවේ නවීන තාක්‍ෂණය මානූෂිය අවශ්‍යතාවයක් සඳහා සංවිධානාත්මක ලෙස යොදා ගන්නාට කළ ප‍්‍රශංසනීය ව්‍යාපාරයක් ලෙසයි. අක්‍ෂිදාන සංගමයට ඉඳහිට නිහඬව මූල්‍ය ආධාර කරන අතර ඔහු මේ සද් කාර්යය ගැන විදෙස් රටවලදී උද්‍යෝගයෙන් කථා කළා.

ඊට අමතරව 1990දී ක්ලාක් ලියූ Ghost from the Grand Banks නම් ප‍්‍රබන්ධ නවකථාවේ එක් තැනක වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන කෙටි සඳහනක් හමු වනවා. මිනිසුන් දහස් ගණනකගේ දන් දුන් ඇස් සිය දෑතින්ම ගලවා ගත් මේ වෛද්‍යවරයා මිය ගිය තම මවගේ දෑස් උකහා ගන්නට තරම් චිත්ත සමාධියකින් යුතු වූ බව එහි කියැවෙනවා.

Dr Hudson Silva (left) and Arthur C Clarke with then Prime Minister R Premadasa and Minister Tyronne Fernando at Eye Donation Society function circa mid 1980s [Photo courtesy Arthur C Clarke Archive]
Dr Hudson Silva (left) and Arthur C Clarke with then Prime Minister R Premadasa and Minister Tyronne Fernando (extreme right) at Eye Donation Society function circa mid 1980s [Photo courtesy Arthur C Clarke Archive]
අක්‍ෂිදාන බෞද්ධ සංකල්පයක් මත පදනම් වුවත් වෛද්‍ය හඞ්සන් මුල පටන්ම මේ ව්‍යාපාරය ගොඩ නැංවූයේ ජාති, ආගම් හෝ දේශපාලන භේද කිසිවක් නොමැතිවයි. එක් උතුම් අරමුණක් සඳහා විවිධාකාර පුද්ගලයන් හා ආයතන එක්සත් හා එක්සිත් කර ගැනීමේ හැකියාව ඔහු සතු වුණා.

මා එය දකින්නේ පෙරහැරක් ගියා වගේ. (නිලධාරිවාදය නොතකා) සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොකු පොඩි සැවොම, විවිධ ආගම්වල පූජක පක්‍ෂය, සියළු දේශපාලන පක්‍ෂ නායකයන්, නොයෙක් ස්වේච්ඡා ආයතන (සිංහ සමාජ, සර්වෝදය, රොටරි ආදි), හමුදා නිලධාරින්, ගම් හා නගරවල බාල – මහලූ ගැහැණු – පිරිමි හැම දෙනා මේ පෙරහැරට සම්බන්ධ වූවා. ප‍්‍රධාන සංවිධායකයා වුණත් වෛද්‍ය හඞ්සන් පෙරහැරේ නිලමේට ඇන්දේ නැහැ. බොහෝ විට ඔහු සිටියේ පසුබිමින්.

රටට හා ලෝකයට වැඩක් කරන, පොදු උන්නතියට කැප වූ විද්වතුන්ට අපේ සමාජය හා නිලධාරි තන්ත‍්‍රය සළකන ආකාරය මේ චරිතයෙන් මනාව පිළිබිඹු වනවා. ඉරිසියාවෙන් හා කුහක බවින් ඉතිරෙන අපේ සමාජයේ හොඳ වැඩක් කරන්නට යන ඕනෑම කෙනකු මේ අභ්‍යන්තර ප‍්‍රතිරෝධය ජය ගත යුතු වනවා.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):