තරු අතරට ගිය දරුවා: ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය පොතක් ලෙසින්

Tharu Atharata Giya Daruwa: Sinhala book on the childhood of Arthur C Clarke, by Nalaka Gunawardene (2014)
Tharu Atharata Giya Daruwa: Sinhala book on the childhood of Arthur C Clarke, by Nalaka Gunawardene (2014)

ලෝක පූජිත විද්‍යා ලේඛක හා අනාගතවේදී ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ ළමා කාලය ගැන හා අප‍්‍රකට හා රසවත් තොරතුරු රැසක් කැටි කර ගත් පොතක් මේ මාසයේ නිකුත් වෙයි.

‘තරු අතරට ගිය දරුවා’ නම් මේ පොත ලියා ඇත්තේ ක්ලාක්ගේ පර්යේෂණ සහායක ලෙස වසර 21ක් ක‍්‍රියා කළ විද්‍යා ලේඛක නාලක ගුණවර්ධනය.

1917 දෙසැම්බර් 16 වනදා එංගලන්තයේ ගම්බද ප‍්‍රදේශයක සාමාන්‍ය පවුලක උපන් ක්ලාක් ජීවිතයේ මුල් වසර 20 ගත කළේ ගමේ පාසලේ හා අසල නගරයේ පාසලේ ඉගෙනුම ලබමිනි. සිව්දරු පවුලක වැඩිමහලූ දරුවා වූ ඔහු කුඩා වියේදී පියා මිය ගිය නිසා පවුලේ ගොවිපල පවත්වා ගෙන යන්නට මවට උදවු වීමට ද ඔහුට සිදු විය.

පාසල් වැඩ හා පවුලේ වගකීම්වලට උර දෙන අතරම පොත් කියවීම, විද්‍යාත්මක අත්හදා බැලීම් හා සොබාදහම ගවේෂණයට ද ඔහු කෙසේ හෝ කාලය සොයා ගත් සැටිත්, අධිෂ්ඨානය හා උද්‍යොගය හරහා ජීවිතය ජය ගත් සැටිත් මේ පොතෙන් විස්තර කෙරෙයි.

ක්ලාක්ගේ පවුලේ අය මුණ ගැසී දැන ගත් තොරතුරු මෙන්ම ඔහුගේ උපන් ගමට ගිය චාරිකාවක තොරතුරු ද නාලක ගුණවර්ධන මේ පොත ලිවීමට පාදක කර ගෙන ඇත.

තම නිර්ප‍්‍රභූ ගැමි සම්භවය පිළිබඳව පසු කලෙක ක්ලාක් අවංකව කළ ආවර්ජනයන් ද සිංහල පාඨකයන් හමුවට එන්නේ මුල් වතාවටය.

ආතර් සී. ක්ලාක් භාරය සතු ඓතිහාසිකව වැදගත් පැරණි ඡායාරූප රාශියක් ද ඔවුන්ගේ අවසරයෙන් පොතෙහි අඩංගු කර තිබේ. පිටු 120ක මේ පොතේ පිටු සැළසුම හා නිමාව කාටුන් හා චිත‍්‍ර ශිල්පී දර්ශන කරුණාතිලක විසිනි.

‘ශ‍්‍රී ලංකාවට මහත් සේ ඇලූම කළ ආතර් සී. ක්ලාක් ගැන බොහෝ ලාංකිකයන් හරිහැටි තොරතුරු දන්නේ නැහැ. මේ පොතින් මා උත්සාහ කරන්නේ විශේෂයෙන් අද කාලයේ ළමුන්, දෙමවුපියන් හා ගුරුවරුන්ට ඔහුගේ ළමා කාලයෙන් ගත හැකි ආදර්ශ හුවා දැක්වීමටයි’’ නාලක ගුණවර්ධන කියයි.

සුරත ප‍්‍රකාශනයක් වන ‘‘තරු අතරට ගිය දරුවා’’ පොත කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයේදී විශේෂ වට්ටම් සහිතව ලබා ගත හැකිය.

See also:

ආතර් සී. ක්ලාක් සහ ශ‍්‍රී ලංකාව: නිවැරදි තොරතුරු මෙන්න!

Arthur C Clarke (1917-2008): "He never grew up, but he never stopped growing"
Arthur C Clarke (1917-2008): “He never grew up, but he never stopped growing”

 

December 2012: My latest book out on Dec 18: ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’

සිවුමංසල කොලූගැටයා #182: අඩසියවසක් ළමා ලොව කුල්මත් කළ ‘මිහිර’

The Sinhala children’s weekly newspaper Mihira just completed 50 years of publication. The paper, launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964, holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

In this week’s Ravaya column (in Sinhala), I invoke some memories. I wrote an English blogpost along similar lines a few days ago:

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

මීට දෙවසරකට පමණ පෙර ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එඞ්වින් ආරියදාස සූරීන් සමග කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාවකදී මා ඔහුගෙන් ඇසුවා මෙරට පත‍්‍ර කලාවේ ස්වර්ණමය අවධිය වූයේ කුමන කාලය ද කියා. ඔහු එක්වරම කීවේ 1960 දශකය බවයි. පත‍්‍ර කලාවේදීන්, කතුවරුන් හා පාඨකයන් අතර ගනුදෙනුව ප‍්‍රශස්ත මට්ටමකට පත් වී සැමගේ නිම්වලලූ පුළුල් වූ කාලයක් ලෙස ඔහු එය විග‍්‍රහ කළා.

Groundviews.org 12 April 2013: Looking Back at Six Decades of Lankan Journalism: What went wrong?

දවස නිවසේ ආරම්භය (1960) හා ඇත්ත පත‍්‍රයේ ආගමනයට (1964) අමතරව ප‍්‍රධාන පෙළේ පත‍්‍ර සමාගම් වෙතින් වාරික ප‍්‍රකාශන ගණනාවක් එළිදුටුවේ ද එම දශකයේයි. ලේක්හවුස් ආයතනයෙන් සරසවිය, මිහිර, තරුණි හා සුබසෙත වැනි සතිපතා පත්තර ආරම්භ කෙරුණා.

1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකවල හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට මතක තිබෙන බලපෑමක් කළේ ළමයින්ට කැපවුණු මිහිර පත්තරයයි.

1964 ජූලි 27 අරඹන ලද මේ සතිපතා පත්තරයට වසර 50ක් පිරුනේ ගිය මාසයේයි. මිහිර මා දැන හඳුනාගත් හා නිතිපතා කියැවූ මුල්ම පත්තරයයි. මේ නිසා මට මිහිර ගැන සුමිහිරි මතකයන් තිබෙනවා.

මිහිර බිහි වන විට මා ඉපදී සිටියේ නැහැ. මගේ පියා මට මුල් වරට මිහිර පිටපතක් ගෙනැවිත් දෙන විට මගේ වයස අවුරුදු තුන හමාරක් පමණ වන්නට ඇති. 1969 අගදී.

පින්තූර බලමින් අමාරුවෙන් වචන ගලපා ගනිමින් නමුත් මහත් උද්‍යොගයෙන් මා මිහිර කියවූවා. මිහිර මගේ නිම්වළලූ පුළුල් කළා. මට නව ලෝකයක් විවර කළා. පසු කලෙක මා දැන ගත්තේ මගේ සමවයස් කණ්ඩායමේ බොහෝ දෙනෙකු ද මේ අත්දැකීම ලැබූ බවයි.

මිහිරේ පරිකල්පනය හා වින්දනය රැගෙන ආ දෙආකාරයක නිර්මාණ තිබුණා. දෙස් විදෙස් සංස්කෘතීන්ගෙන් උකහාගත් විවිධාකාරයේ ළමා කථා, ප‍්‍රවාද, උපදේශ කථා හා සුරංගනා කථා පළ වුණා. මේවා බොහොමයකට මුල් යුගයේ චිත‍්‍ර ඇන්දේ හරිප‍්‍රිය ගුණසේකරයි. පසු කලෙක නෙයෙල් ලසන්ත ද එයට එක් වුණා.

අද මෙන් ඕෆ්සෙට් මුද්‍රණ තාක්‍ෂණය නොතිබි 1960 හා 1970 දශකවල ඔවුන් වර්ණ සංයෝජනය කරමින් එවක පැවති ලෙටර්ප්‍රෙස් මුද්‍රණ ක‍්‍රමයෙන් උපරිම ප‍්‍රයෝජන ගත්තා. (ලේක්හවුස් ආයතනය ඕෆ්සෙට් තාක්‍ෂණයට මාරු වූයේ 1981දී.)

එකල මිහිරට නිතර ලිපි සැපයූ ලේඛකයන් අතර දෙල්තොට චන්‍ද්‍රපාල, පර්සි ජයමාන්න, තුසිත මලලසේකර මුල් තැනක් ගත්තා. පියසේන රතුවිතාන විටින් විට කවි කථා ලියුවා. එල්. සී. ජයසිංහ යන ආරුඪ නමින් ලේක්හවුස් පුවත්පත්වලට ලියූ හෙන්රි තෙන්නකෝන් ද කලක් ළමයින්ට උචිත විකට කථා මාලාවක් මිහිරට රචනා කළා.

Edwin Ariyadasa
Edwin Ariyadasa

දැනුම් ලෝකයෙන් විසිතුරු තොරතුරු නිතරම මිහිරට ගෙනා ලේඛකයකු වූයේ එඞ්වින් ආරියදාසයි. අභ්‍යවකාශ ගවේෂණය, තාරකා විද්‍යාව, නව නිපැයුම්, ලෝක ප‍්‍රවෘත්ති අතරින් වැදගත් සිදුවීම් ආදිය ගැන සරල හා රසවත් ලෙස ඔහු ළමුන් සඳහා කථා කරන සිංහලෙන් ලිපි රචනා කළා.

ඔහුගේ ලිපිවල හෙඩිම් සමහරක් මට තවම මතකයි. අහසේ තරු ගැන ලියන විට ‘තාරකා ලස්සනයි: ගන්න බෑ – දෙන්න බෑ’ කියා තිබුණා. හෙලිකොප්ටරයේ ඉතිහාසය ඔහු විග‍්‍රහ කළේ ‘එදා බමරේ – අද හෙලිකොප්ටරේ’’ වශයෙන්.

මෙරට මාධ්‍ය හරහා පාරිසරික සන්නිවේදනයේ පුරෝගාමියකු වූ ආරියදාස සූරීන් 1970 දශකය මුලදී ලොව පුරා පැන නැගී ආ පරිසර සංරක්‍ෂණ උනන්දුව ළමා පාඨකයන්ට පහදා දුන්නේ නවීන විද්‍යා දැනුමත් දේශීය සොබා සම්පත් රැක ගැනීමේ උරුමයත් සංකලනය කරමින්.

වැඩිහිටියකු සමග වනසතුන් බලන්නට වනාන්තරයකට යන අයියා හා නංගී කෙනකුගේ චාරිකා කථාවක් සති ගණනාවක් තිස්සේ මිහිරේ පළ වුණා. එවන් ගමනකදී ගැලපෙන ඇඳුම්, නිසි ප‍්‍රවේශම්කාරි පියවර හා චර්යා රටා ගැන කතාන්දර ස්වරූපයෙන් කියා දුන්නා. මේ කථා මාලාවේ එක් කොටසක හෙඩිම වූයේ ‘‘ශබ්ද නොකර හෙමින් එන්න’’ යන්නයි. (වසර 40කට පසුවත් එය තවමත් මට මතකයි.)

W R Wijesoma - Image courtesy The Island
W R Wijesoma – Image courtesy The Island

මේ කථා ලියා තිබුණේ ‘විජේ මාමා’ නමින්. එහි රචකයා සුප‍්‍රකට කාටුන් චිත‍්‍රශිල්පි ඩබ්ලියු. ආර්. විජේසෝම බව මා දැන ගත්තේ වසර ගණනාවකට පසුව ඔහුත් මාත් උපාලි පුවත්පත් සමාගමේ එකට වැඩ කළ අවධියේයි. වනජීවීන්ට මහත් සේ ඇලූම් කළ ඔහු, විවේක ඇති හැම විටකම පාහේ කැමරාවකුත් රැගෙන වනාන්තර ප‍්‍රදේශවලට යාමට පුරුදු වී සිටියා. ඔහු මිහිරට කථා ලියා තිබුණේ තමන්ගේ දරුවන් කුඩා වියේදී වන චාරිකාවලට ගෙන ගිය අත්දැකීම් මතයි.

මා කියවන කාලයේ මිහිර විෂය මාලාවට සෘජුව අදාල ලිපි පළ කළේ නැතත්, විද්‍යා සිසුන්ට උපකාර වන අමතර කියවීම් ලෙස විද්‍යා ලිපි එහි හමු වූවා. වසර ගණනක් ‘විද්‍යාමාමා’ ලෙස ලියූ කේ. ආරියසිංහයන් හා තවත් අමතර විද්‍යාලිපි සම්පාදනය කළ තිලක් වීරසිංහයන් යන දෙදෙනාම දක්‍ෂ විද්‍යා ගුරුවරුන්.

පෘථිවියේ දිගු ජෛවීය පරිනාම ඉතිහාසයේ බිහි වී පසු කලෙක වඳවී ගිය ප‍්‍රාග්ඓතිහාසික ජීවින් ගැන විසිතුරු ලිපි පෙළක් මිහිරේ පළ වුණා. විවිධ ඩයිනසෝර් විශේෂ හා අනෙකුත් ආදි සත්ත්වයන් ගැන ජීවිත කාලයක් පවතින උනන්දුවක් මගේ මනසේ ඇති කළ මේ ලිපි ලියුවේ කවුදැයි මට දැන් සිහියට නගා ගත නොහැකියි.

අද මෙන් දැනුම පොතපත සුලබ නොවූ, ඉන්ටර්නෙට් නොතිබි එකල අපට මේ දැනුම බෙදා දෙන්නට මිහිරේ ලේඛක ලේඛිකාවන් ගත් උත්සාහය ඉතා වටිනවා. මේ තරම් දස්කම් තිබූ පිරිසක් මිහිර වටා ඒකරාශී කර ගන්නට එහි කතුවරුන්ට දක්‍ෂකමක් හා කැපවීමක් තිබුණා.

S A Dissanayake
S A Dissanayake

මිහිර කියවූ අපේ සිත් වඩාත්ම ඇද ගත්තේ ඇස්. ඒ. දිසානායක චිත‍්‍ර ශිල්පියා නිර්මාණය කළ අසාමාන්‍ය ගණයේ චිත‍්‍රකථායි. මිහිර ආරම්භයේ පටන් ඔන්න බබො නම් වූ මහ දිග චිත‍්‍රකථාවක් ඔහු වසර 15ක් පමණ සතිපතා ඇන්දා. බූ, බබා හා තුල්සි නම් එඩිතර දරුවන් තිදෙනෙකුගේ වික‍්‍රම ගැන කියවෙන ඔන්න බබො කථාව අප අපූරු පරිකල්පන ලෝකයකට රැගෙන ගියා. හොඳ හා නරක අතර නිරන්තර අරගලය මේ කථාවෙන් සංකේතවත් වූයේ පොඩියක්වත් බණ කියන ඔවදන් ශෛලියක් නොවී ඉතා සියුම් ලෙසින්.

ඔන්න බබො චිත‍්‍රකථාවට අමතරව දිසානායක සූරින් යෝධයා හා පඬිතුමා නම් හාස්‍යජනක චිත‍්‍රකථාවක් ද, ලෙඩ සුව කිරීමේ හාස්කම් තිබූ ඕලූ නම් දැරියක් වඩා ගෙතුණු ඕලූ චිත‍්‍රකථාව ද මිහිරට ඇන්දා.

දිසානායකයන් තරම් මිහිරේ තම නිර්මාණ සළකුණු රැුඳවූ තවත් ශිල්පියකු මට සිතා ගත නොහැකියි. මුල් යුගයේ මිහිර ගැන ආවර්ජනය කරන බොහෝ දෙනා වැඩිපුරම කථා කරන්නේ ඔහුගේ කථා ගැනයි. එදා මෙදා තුර වසර 50ක් තිස්සේ ඔහු තවමත් මිහිරට කථා අඳිනවා. මෙය සුවිශේෂී සබඳතාවක්. ඔහු ගැන අප වෙනම යළිත් කථා කළ යුතුයි.

1970 දශකය මුල යම් වකවානුවක කාටුන් ශිල්පි කැමිලස් පෙරේරා ද මිහිර ඔප කළා. ඒ ටික්කා නම් හාස්‍ය චිත‍්‍රකථා නිර්මාණයෙන්. කටකාර කොලූගැටයකු වන ටික්කාට පැහිච්ච කථා කියන්නට සමත් පැටෝ නම් සුරතල් ගිරවකු සිටිනවා. මේ දෙදෙනා ළමා ලෝකයේ කෝණයෙන් වැඩිහිටි ලෝකය දකින හැටිත්, සියුම් ලෙස වැඩිහිටියන් කරන දේ සරදමට ලක් කරන සැටිත් ටික්කා කථාවේ මූලික හරයයි.

චිත‍්‍රකථා නිසා ළමා මනස මොට වනවා හා දුෂණය වනවා යයි බිය පහළ කළ අපේ බකපණ්ඩිත සුචරිතවාදීන්ට දිසානායක හා කැමිලස් දෙපළ මිහිරෙන් ඉතා හොඳට පිළිතුරු දුන්නා.

මිහිර අසිිරිමත් කළේ මෙසේ කෘතහස්ත ලිපි රචකයන් හා චිත‍්‍ර ශිල්පීන්ගේ ඒකරාශී වීමයි. ළමා මනසට ගැලපෙන ලෙසින් බොහෝ දේ හරබරව ඉදිරිපත් කිරිමට ඔවුන් සමත් වුණා.

එයට සමාන්තරව මිහිර නවක ලේඛකයන්ට ද අතහිත දුන්නා. පාසල් දැරියන්ගේ නිර්මාණවලට එහි ඉඩ තිබුණා. මගේ ජීවිතයේ පළමු වතාවට පුවත්පතකට මා ලියූ නිර්මාණයක් පළ වුයේ මිහිර පත‍්‍රයේයි.

කොළඹ අශෝක විද්‍යාලයයේ තුන්වන ශ්‍රේණියේ සිසුවකු ලෙස මා ලියූ කවි පංතියක් 1975 ඔක්තෝබර් මස මිහිර පත‍්‍රයක පළ වුණා. ඔරලෝසුවක් ළමයකු දකින ආකාරය කැටි කර ගත් එය පළ වීමෙන් මා අතිශයින් උද්දාමයට පත් වූ සැටි මතකයි. ඉන් පසු මා ලියූ කෙටි රචනා හා කවි රැසක් මිහිරට යැවූ අතර ඉන් සමහරක් විටින් විට එහි පළ කරනු ලැබුවා. (එහෙත් මා නිතිපතා මාධ්‍යවලට ලිවීම අරඹා එයට ගෙවීමක් ද ලැබුවේ මිහිරට තරගකාරිව 1980දී අරඹන ලද විජය පුවත්පතින්.)

මිහිර දැනුම කෝෂ්ටාගාරයක් බවට සීමා නොවී ළමා මනස පරිකල්පනයෙන් ද සරු කළ බව මගේ අදහසයි. අවසාන විනිශ්චයේදී දැනුමටත් වඩා වටින්නේ පරිකල්පනයයි. දැනුම ගවේෂණයට අතහිත දෙන විශ්වකෝෂ, පාඨමාලා හා CD/DVDවලට වඩා මිහිර සුවිශේෂී වූයේ මේ නිසායි.

මිහිර ගැන මා මතක් කලේ හුදෙක් අතීතකාමය සඳහාම නොවෙයි. ලක් සමාජය ජනමාධ්‍යවලට වඩාත් සමීප වීම ඇරැඹුණේ 1960 ගණන්වලදී. එහි එක් අතුරු ඵලයක් වුයේ මාධ්‍ය හරහා ජනප‍්‍රිය සංස්කෘතියක් බිහිවීම. එයට එක් උදාහරණයක් නම් සතුට, සිත්තර වැනි චිත‍්‍රකථා පත්තර හරහා පැන නැගී කලකට පසු බැස ගිය චිත‍්‍රකථා උන්මාදය.

තමන්ට ආවේණික වූත් අහිංසකවූත් බලපෑමක් කරන්නට මිහිර පත‍්‍රයට හැකිවුණා. මිහිර කියවමින් අකුරු කළ හා ලෝකය හඳුනාගත් මුල් පරම්පරාවේ ඇත්තෝ අද මේ රටේ ලොකු තැන්වල සිටිනවා. ඔවුන්ගේ සංස්කෘතික පොදු සාධකය මිහිරයි. ඔන්න බබො හා යෝධයා වැනි චරිතයි.

පත්තර සංඛ්‍යාව ඉහළ ගිය 1980 දශකයෙන් පසු මෙබඳු පොදු බලපෑමක් තනි ප‍්‍රකාශනයකට කළ හැකියාව ද අඩු වුණා. පත්තර මහගෙදරින් කළ මතක සිටින ලොකු වැඩක් හැටියට 50 සපිරුණු මිහිර පත්තරය සිහිපත් කළ හැකියි.

See also: ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

Mihira 50th anniversary issue - 28 July 2014
Mihira 50th anniversary issue – 28 July 2014

Mihira at 50 (‘මිහිර’ ළමා පුවත්පතේ 50 වැනි උපන් දිනය): Sparking imagination of millions

Mihira children's newspaper first issue - 27 July 1964
Mihira children’s newspaper first issue – 27 July 1964

Sinhala children’s weekly newspaper Mihira has just completed 50 years of publication. The paper holds nostalgic memories for those of us who grew up in the 1960s and 1970s with limited access to reading material.

The tabloid was launched by Associated Newspapers of Ceylon Limited (ANCL, or Lake House) on 27 July 1964. Its founder editor was veteran journalist Srilal Hikkaduwa Liyanage (who was also founder editor of Tharunee women’s newspaper and Navayugaya informative newspaper from the same publishing house).

I wasn’t even born when Mihira came out. Sometime in 1969, when I was a precocious three-year-old, my father bought me my first copy. I was hooked: for the next dozen years, I eagerly awaited the arrival of each week’s issue on Mondays.

In the early years, Mihira carried a mix of stories, comics, articles and verse. While many were produced by talented writers and artists who understood the child’s mind, some were actually children’s own contributions.

In fact, Mihira is where I first got myself into print. As a school boy of 9 years, I submitted several of my (Sinhala) verses to Mihira (at the suggestion of my Grade 3 class teacher). One of them, on my perception of an animated clock, was printed in one issue of October 1975. I was thrilled to bits – that clipping is somewhere at the bottom of my personal archives…

Funnily enough, thousands of printed pieces later, I still get an enormous kick each time a newspaper publishes my writing.

S A Dissanayake, comics artist
S A Dissanayake, comics artist

To me (and many others of my generation), the most memorable part of Mihira were extraordinary comics written and drawn by S A Dissanayake. He drew a long-running comic (chitra katha) called Onna Babo (‘ඔන්න බබො’), which chronicled the adventures of three intrepid kids (‘බූ – බබා’, ‘තුල්සි’) and involved a wicked witch (බටකොළ ආච්චි), wizards and other characters. For us entertainment starved kids, ඔන්න බබො was Harry Potter of the 1960s and 70s. All these years later, some sub-plots are still clearly etched in my memory…

S A Dissanayake also drew the more comical Yodaya (‘‘යෝධයා’’) about a good-hearted village giant and a learned but wicked man (‘‘යෝධයා සහ පඬිතුමා”), as well as several other popular comics.

When some teachers and parents condemn all comics as polluting children’s minds, I always remind them of the glorious exceptions created by S A Dissanayake. Some feel his stories paved the way for the enormous popularity of TinTin comics and animations in Sri Lanka later on.

I just read that Dissanayake (who was a school teacher by profession) still draws children’s comics for Mihira – a rare feat (world record?) of a comic artist drawing for the same publication for half a century.

ළමයින්ට දැනුම විනෝදය ගෙන එන ‘මිහිර’ ට 50යි

http://silumina.lk/2014/07/27/_art.asp?fn=av14072712&p=1

බුබම්බා, යෝධයා,පඬිතුමා හා බටකොළ ආච්චි ළමා ලෝකයට රැගෙන ආ ඇස්.ඒ.දිසානායක

http://www.lankadeepa.lk/index.php/articles/104609

From the scrap book of S A Dissanayake, children's comic artist for half a century
From the scrap book of S A Dissanayake, children’s comic artist for half a century

 

සිවුමංසල කොලූගැටයා #178: මානව හිතවාදය උදෙසා ‘ජාතිද්‍රෝහී’ වූ ලේඛිකාව නැඞීන් ගෝඩිමර්

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to South African writer and social activist Nadine Gordimer (1923-2014). I focus on how she never hesitated to speak out for justice, fairness and equality even when that elicited ridicule and harassment from her own government that quickly labeled her a ‘traitor’.

I also recall how I once listened to her speak, during the recording of a TV debate in Johannesburg in mid 2002, and how she later marched the streets with activists from all over the world demanding land rights for the poor.

Nadine Gordimer (image courtesy The New Yorker)
Nadine Gordimer (image courtesy The New Yorker)

‘රටක මහා ලේඛකයකු සිටීම හරියට දෙවැනි ආණ්ඩුවක් පවතිනවා වගෙයි. එනිසා බොහෝ පාලකයන් අදීන පෞරුෂයක් ඇති ලේඛකයන්ට කැමති නැහැ. ඔවුන්ට ඕනෑ එහෙයියන් වන ලියන්නොයි’.

මීට අඩසියවසකට පමණ පෙරදී මේ වටිනා වදන් ටික ලියුවේ දැවැන්ත සෝවියට් දේශයේ පාලකයන්ට නතු කර ගත නොහැකි වූ ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින් (Aleksandr Solzhenitsyn, 1918 – 2008).

බලයේ සිටින රජයකට පක්‍ෂව ලිවීම ලෙහෙසියි. එසේ කිරීමෙන් පාලකයන්ගෙන් පුද පඬුරු හා වරප‍්‍රසාද ලබා ගන්නා අවස්ථාවාදී ලේඛකයෝ සෝවියට් දේශයේ මෙන්ම ලොව වෙනත් රටවල එදා මෙන්ම අදත් හමු වනවා.

එහෙත් බලසම්පන්න රජයකට හෝ අසාධාරණ රාජ්‍ය පාලන ක‍්‍රමයකට එරෙහි වීම ලෙහෙසි නැහැ. වරප‍්‍රසාද අහිමිවනවා පමණක් නොව විවිධාකාර හිරිහැර හා අවමන්වලට ලක් වීමට සිදු වනවා. රාජ්‍ය සාහිත්‍ය සම්මාන නොලැබෙන අතර පොත් තහනම් කිරිමට ද ලක් වනවා. ආන්තික තත්ත්වයන්හිදී රාජ්‍ය විරෝධී චෝදනා ලැබ සිර දඬුවම් ලබන්නට පවා සිදු වනවා.

ඒකාධිපති පාලනයක් ඇති රටවල රජය විවේචනය කිරීම සූක්‍ෂමව කළ යුතු අනතුරුදායක කාරියක්. දේශපාලන ක‍්‍රියාකාරිකයන් එය විවෘතව එක එල්ලේ කරන අතර දක්‍ෂ ජනතාවාදී ලේඛකයන් එය ප‍්‍රබන්ධ කථා හෝ හාස්‍යරූපී කථා හරහා සියුම්ව කරනවා. නවකථාවක්, කෙටිකථාවක් හෝ නාට්‍ය පිටපතක් හරහා පවතින විසම රාජ්‍ය තන්ත‍්‍රයේ බිහිසුනු බව කැඩපතක් බවට පත් කොට සමාජයේ සංවේදී කොටස්වලට ග‍්‍රහණය වන පරිදි මුදා හරිනවා.

මෙබඳු ලේඛකයන් කවදත් දුර්ලභයි. එවන් අදීන හා නිර්භීත ගණයේ ලේඛිකාවක් වූ දකුණු අප‍්‍රිකානු ජාතික නැඞීන් ගෝඩිමර් 90 හැවිරිදිව ජූලි 13 වනදා මිය ගියා.

මීට හරියටම වසරකට පෙර, 2013 ජූලි 28 වනදා ‘මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ’ නමින් කොලමක් ලියමින් මා ඇය ගැන සඳහන් කළා. මේ සතියේ අයට යළිත් ප‍්‍රණාමය පුද කරන්නේ උපතින් හා සමේ වර්ණයෙන් ලද වරප‍්‍රසාද වෙනුවට ඇය ජීවිත කාලය පුරා මානවහිතවාදය හා සාධාරණත්වය තෝරා ගත් නිසායි.

Nadine-Gordimer-Quotes-3

1923 උපන් නැඞීන් ගෝඩිමර්ට කුඩා වියේ පටන් කෙසඟ සිරුරක් තිබූ නිසා ලෙඩ වේවි යැයි බියෙන් දෙමව්පියන් ඇයව පාසලකට යැවුවේ නැහැ. ඒ වෙනුවට ගෙදර සිට උගන්වනු ලැබුවා. තමන්ගේම කල්පනා ලෝකයට මැදි වී හැදුණු ඇය නව යොවුන් වියේ සිට ප‍්‍රබන්ධ රචනයට පිවිසුණා. ඇගේ කෙටිකථාවක් මුල් වරට සඟරාවක පළ වූයේ 1937දී. එවිට ඇගේ වයස 16යි.

විට්වෝටසන්ඞ් සරසවියට පිවිස වසරක් උගත් ඇය උපාධිය සම්පූර්ණ කළේ නැහැ. එහෙත් සුදු, කළු හා මිශ‍්‍රිත සම්භවයක් ඇති ජාතිකයන්ට වෙනස්ව සළකන සැටි ඒ කාලය තුළ ඇය සමීපව අත්දුටුවා.

1948 සිට පුර්ණ කාලීනව ලේඛනයේ යෙදුණු ඇය මුලින් දකුණු අප‍්‍රිකානු සඟරාවලත්, 1951 පටන් ප‍්‍රකට අමෙරිකානු සඟරාවක් වන නිව් යෝකර් සඟරාවේත් කෙටිකථා පළ කළා. ඇගේ මුල් ම නවකථාව (The Lying Days) 1953දී පළ වූවා.

1949-2012 වකවානුව තුළ ඇය නවකථා 15ක්, නාට්‍ය පිටපතක්, කෙටිකථා සංග‍්‍රහයන් 21ක් හා තවත් ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කළා. ඇගේ ලේඛන භාෂාව වූයේ ඉංග‍්‍රීසියයි. ඒ හරහා දකුණු අප‍්‍රිකානු යථාර්ථයේ පැතිකඩ ලොවට කියන්නට ඇය සමත් වුණා.

1960දී ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ (ANC) හා නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයට විවෘතව ම සහයෝගය දැක්වීමට පටන් ගත්තා. කළු ජාතික අයිතිවාසිකම් උදෙසා පෙනී සිටීම මහත් රාජ්‍ය ද්‍රෝහී ක‍්‍රියාවක් ලෙස සුදු පාලකයන් හඳුන්වා දුන්නා. එහෙත් දේශපාලකයන්ට හා ඔවුන්ගේ ගැති නිලධාරින්ට මේ ධෛර්්‍යවන්ත ලේඛිකාව පොඩියක්වත් බිය වූයේ නැහැ.

1948 සිට 1993 දක්වා පැවති වර්ණභේදවාදී දරදඬු ප‍්‍රතිපත්ති ප‍්‍රබන්ධාත්මකව දැඩි විවේචනයට ලක් කිරීම නිසා ඇගේ කෘතීන් ගණනාවක් එරට රජයන් විසින් තහනම් කරනු ලැබුවා. එබඳු තහංචි නිසා සැබැවින් සිදු වූයේ පොත් යටිබිම්ගතව සංසරණය වීමයි. ඒ වන විට ඇය ජාත්‍යන්තරව පාඨක ජනාදරයට පත්ව සිටි නිසා ඇගේ කෘතීන් රටින් පිටත දිගට ම අලෙවි වුණා.

Burger's Daugher
Burger’s Daughter

1979දී ඇය ලියා පළ කළ Burger’s Daughter නම් නවකථාවට පාදක වූයේ සමාජ සාධාරණත්වය හා යුක්තිය උදෙසා අරගල කළ දෙමවුපියන් හා ඔවුන්ගේ දරුවන්ගේ පවුල් ජීවිතයි.

දකුණු අප‍්‍රිකානු කොමියුනිස්ට් පක්‍ෂයේ කි‍්‍රයාකාරික ලයනල් බර්ගර් නම් මනඃකල්පිත චරිතය හා ඔහුගේ දියණිය රෝසා මෙහි ප‍්‍රධාන චරිතයි. ලයනල්ගේ චරිතයට ඇය ආදර්ශය ලෙස ගත්තේ උපතින් සුදු දකුණු අප‍්‍රිකානුවකු හා වෘත්තියෙන් නීතිඥයකු වූ බ‍්‍රෑම් Bram Fischer (1908 – 1975). 1962දී කුප‍්‍රකට රිවෝනියා මහ නඩුවේදී ANC සාමාජිකයන් (විශේෂයෙන් නෙල්සන් මැන්ඩෙලා) වෙනුවෙන් විත්තියේ නීතිඥයා ලෙස ක‍්‍රියා කළේ ඔහුයි.

රිවෝනියා මහ නඩුවෙන් ටික කලකට පසු කොමියුනිස්ට් ක‍්‍රියාකාරිකයකු යයි චෝදනා ලැබ රජය පෙරළීමට තැත් කළ වරදට ෆිෂර් සිර දඬුවමක් ලැබුවා. සිරගෙදරදී හට ගත් පිළිකාවකින් අසාධ්‍ය වූ ඔහු වසර 9ක සිර දඬුවම් විඳීමෙන් පසු මිය ගියා. වර්ණභේදවාදයට එරෙහිව එරට සුදු ජාතිකයන් අතලොස්සක් ගෙන ගිය සාරධර්මීය විරෝධතාවේ දැවැන්තයකු ලෙස ෆිෂර් සැළකෙනවා.

මේ නවකථාව මුලින් බි‍්‍රතාන්‍යයේ පළ කොට මාසයක් ඇතුළත එය දකුණු අප‍්‍රිකාවේ අලෙවි කිරීම තහනම් කරනු ලැබුවා. එහෙත් එහි පිටපතක් 1964 සිට සිරගතව සිටි නෙල්සන් මැන්ඩෙලාට හොර රහසේ ලැබුණා. එය තමන් ප‍්‍රමෝදයට පත් කළ බව ඔහු පසු කලෙක ඇයට පැවසුවා.

1970 හා 1980 දශකවල ඇය ප‍්‍රකට ලේඛිකාවක් ලෙස පෙර අපර දෙදිග රටවල නිතර සංචාරය කළා. තමන්ගේ කෘතීන් ගැන කථාබහ කැරුණු හැම විටෙකම තම මවු රටේ සිදු වන මහා අසාධාරණකම් ගැන නොබියව විදෙස් සභාවන්ට තතු පැහැදිලි කළා.

ඇගේ ලේඛක ජීවිතය පුරා විවිධ රටවලින් සාහිත්‍ය සම්මාන රැසක් පිරිනැමුණා. 1991 නොබෙල් සාහිත්‍ය සම්මානය ලැබීමත් සමග සාහිත්‍ය ලෝකයේ ඇගේ පිළිගැනීම වඩාත් තහවුරු වුණා.

වර්ණභේදවාදයට මුඵ හිතින් විරුද්ධ වූවත් ANC ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රමෝපායන් ගැන ද ඇය එකඟ වූයේ නැහැ. ඇත්තට ම යුක්තිය හා සාධාරණත්වය සඳහා කැරෙන හැම ජනතා අරගලයකට ම ඉතා වැදගත් වන්නේ මෙසේ විචාරශීලිව සහයෝගය දෙන බුද්ධිමතුන් හා කලාකරුවන්.

ANC අරගලකරුවන් යටිබිම්ගත දේශපාලනය කරද්දී ඔවුන් සිය නිවසේ සගවා අවදානම් සහගත ලෙස උදව් කළ ඇය, 1994 මැතිවරණයෙන් පසු ANC බලයට පත් වූ විට ඔවුන්ගේ ඇතැම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාදාමයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. ජනපි‍්‍රය නොවන එහෙත් දිගුකාලීනව රටට වැඩදායක සමහර ප‍්‍රතිපත්ති හ ඳන්වා දීමේදී මැන්ඩෙලාට සවියක් වූයේ නැඞීන් වැනි විචාරශීලි හිතමිතුරන්.

Nadine Gordimer and Nelson Mandela were close friends
Nadine Gordimer and Nelson Mandela were close friends

වර්ණභේදවාදයට අමතරව ඇය රාජ්‍ය වාරණයට හා රජයන් විසින් තොරතුරු ගලනය සීමා කිරීමට එරෙහිව ද දශක ගණකක් පුරා ප‍්‍රබල හඬක් නැගුවා. වර්ණභේදවාදය පවතින තුරුම තම නවකථා හා කෙටි කථා රේඩියෝ මාධ්‍යයට සකසා ප‍්‍රචාරය කිරීමට රජය යටතේ පැවති දකුණු අප‍්‍රිකානු විද්්‍යුත් මාධ්‍ය සංස්ථාවට (SABC) ඇය අවසර දුන්නේම නැහැ. ජනතාවට බොරු කියන, ඔවුන්ගේ පරම අයිතීන්ට අවමන් කරන රේඩියෝ සේවයක් සමග තමාට කිසි ගනුදෙනුවක් නැතැයි ඇය ප‍්‍රසිද්ධියේ කියා සිටියා.

1990 පෙබරවාරියේ සිරෙන් නිදහස් වූ මැන්ඩෙලා ජොහැන්නස්බර්ග් නුවර පදිංචියට ආ පසු නිතර මුණ ගැසී ගැඹුරු කථා බහේ යෙදෙන සමීප මිතුරන් අතරට නැඞීන් ද එකතු වුණා. දේශපාලනයටත් වඩා තමන් වැඩිපුර කථා කළේ සමාජ ප‍්‍රශ්න හා මනුෂ්‍යත්වය ගැන බව මැන්ඩෙලා මිය ගිය මොහොතේ ඔහු ගැන ලියූ සමරු ලිපියක ඇය හෙළි කළා.

අඩසියවසක වර්ණභේදවාදය අවසන් කොට දකුණු අප‍්‍රිකාවේ සියලූ ජනයාට එක සේ සළකන නව රාජ්‍ය පාලනයකට මහත් සංයමයෙන් හා වීර්යයෙන් ප‍්‍රවේශ වීම සඳහා 1993 නොබෙල් සාම ත්‍යාගය මැන්ඩෙලාට හා එවකට දකුණු අප‍්‍රිකානු ජනාධිපති එෆ්. ඩබ්. ඩික්ලර්ක්ට පිරිනැමුණා. දෙසැම්බර් 10 වනදා නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරදී ත්‍යාගය පිළිගන්නට මැන්ඩෙලා සමග එහි ගිය ඔහුගේ දුත පිරිසේ නැඞීන් ද සිටියා.

බොහෝ ජනතාවාදී ලේඛකයන් ජීවිතයේ යම් අදියරකදී පත් වන ඛේදජනක තත්ත්වයක් තිබෙනවා. එනම් තමන් මතවාදීව සහයෝගය දුන් දේශපාලන තන්ත‍්‍රය බලයට පත් වී ටික කලෙකින් මුල් ප‍්‍රතිපත්ති අමතක කොට අයාලේ යන විට කුමක් කරන්නදැයි නොදැන අතරමං වීමයි.

නැඞීන් මේ ගණයට නොවැටුණේ මතවාදයන්ට නතු නොවී සාධාරණත්වයට මුල් තැන දුන් නිසායි. වර්ණභේදවාදය නිමා වී සර්වජන ඡුන්ද බලය හරහා මුල් වරට දකුණු අප‍්‍රිකානු ජනතාව රජයක් පත් කර ගත්තේ 1994දී. එක් ධූර කාලයක් පමණක් හොබවා 1999දී මැන්ඩෙලා විශ‍්‍රාම ගියත් එදා මෙදා තුර තවමත් දකුණු අප‍්‍රිකාව පාලනය කරන්නේ ANC පක්‍ෂයයි. දුෂණය, වංචාව, කල්ලිවාදය හා වෙනත් අක‍්‍රමිකතා රැසක් ගැන ඔවුන්ට ප‍්‍රබල චෝදනා එල්ල වී තිබෙනවා.

තමා කලක් ANC ක‍්‍රියාකාරිකයකුව අරගල කළත් කිසිදා ANC රාජ්‍ය පාලනයකට සම්බන්ධ නොවූ නැඞීන් දිගටම ස්වාධීනව ලේඛන කලාවේ යෙදුණා. 2012දී ඇය ලියූ අවසන් නවකථාව No Time Like The Present දිග හැරෙන්නේ නිදහස ලැබු (1994ට පසු) දකුණු අප‍්‍රිකාවේයි. ඉන් ඇය සියුම් එහෙත් තීක්‍ෂණ සමාජ විවේචනයක යෙදෙනවා.

‘අපේ අය මොනවා කළත් විවේචනය කරන්නෙ කොහොමද?’ කියා අසමින් මුනිවත රකින අපේ කලාකරුවන්ට ඇය හොඳ ආදර්ශයක්.

සිය ජීවිතයේ අවසාන දශක දෙකෙහි සැළකිය යුතු කාලයක් ඇය කැප කළේ HIV ආසාදිතයන්ගේ අයිතිවාසිකම් සඳහා පෙනී සිටිමට හා ඔවුන්ට සිදු වන අසාධාරණකම් අවම කිරිමටයි.

මැන්ඩෙලාගේ අනුප‍්‍රාප්තික ජනාධිපති එම්බෙකි HIV පිළිබඳ ‘දේශීය දැනුම’ වංචාකාරයන්ට හසු වී එරට සෞඛ්‍ය ප‍්‍රතිපත්ති විකෘති කළ විට එයට එරෙහිව ප‍්‍රබල හඬක් නැගු ස්වාධීන විද්වතුන් අතර ඇය ද සිටියා.

31 July 2011: සිවුමංසල කොලූගැටයා #25: “බටහිර විද්‍යාව”, “සාම්ප්‍රදායික දැනුම” සහ දකුණු අප‍්‍රිකාවේ බිහිසුනු HIV/AIDS මංමුලාව

Nadine-Gordimer-Quotes-rrr2

1999දී ජනාධිපති ධූරයෙන් මැන්ඩෙලා විශ‍්‍රාම ගිය පසු ඔහුට වඩාත් විවේක තිබූ බැවින් පැරණි මිතුරන් සමග සාමීචියට වැඩි ඉඩක් ලැබුණා. ජේ්‍යෂ්ඨ මානව හිමිකම් නීතිඥ ජෝර්ජ් බිසෝස් සමග නැඞීන් ගෝඩිමර් නිතරම පාහේ මැන්ඩෙලාගේ නිවසේ උදේ ආහාරයට මුණගැසීම සිරිතක්ව තිබුණා.

මේ වකවානුවේ මැන්ඩෙලා නම් දේශපාලනඥයා නොව නිර්ව්‍යාජ මිනිසා තමා හරි හැටි දැන හඳුනා ගත් බව ඇය ලියා තිබෙනවා. විශේෂයෙන්ම ඔහුගේ හාස්‍යලෝලි බව හා ලෙන්ගතුකම තරාතිරම නොබලා මුණ ගැසීමට ආ කොයි කාටත් ලැබුණු සැටි ඇය අත්දුටුවා.

2002 අගෝස්තුවේ මා මුල් වරට ජොහැන්නස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ ඇය සහභාගී වූ විද්වත් සංවාදයක් මා නැරඹුවා. එම සංවාදය බි‍්‍රතාන්‍යයේ ඊඊක්‍ හා අමෙරිකාවේ ඡුඊී නාලිකා දෙකෙහි සම නිෂ්පාදනයක්.

එයට සහභාගී වූ අනෙක් විද්වත් නියෝජිතයන් අතර ඉන්දියාවේ වන්දනා ශිවා හා සුනීතා නාරායන්, මැලේසියාවේ මාටින් කෝ හා අමෙරිකාවේ ප‍්‍රකට ආර්ථික විශේෂඥ ජේෆ්රී සැක්ස් ද වූවා. මේ ප‍්‍රබල විවාදකරුවන් අතර සිහින් එහෙත් පැහැදිලි කටහඬකින් කථා කළේ නැඞීන් ගෝඩිමර්.

රටේ පාලකයන් සුදු වුණත්, කඵ වුණත් තමා කවදත් විශ්ව සාධාරණය හා මානවයන් අතර සමානාත්මතාවය වෙනුවෙන් හඬ නඟන බව ඇය සාවධානව, සියුම් කටහඬකින් කී සැටි මට මතකයි. එවිට 79 හැවිරිදිව සිටි ඇය එදින සවස එනුවර වීදි උද්ඝෝෂණයකට සහභාගි වූයේ මහත් උද්‍යොගයෙන්.

මේ උද්ඝෝෂණවලට පසුබිම වූයේ 2002 අගෝස්තුවේ එනුවර පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ දෙවන ලෝක සමුළුවයි. ලෝකයේ රටවල් එකසිය ගණනකින් ජෝහැන්නස්බර්ග් නුවරට පැමිණි රාජ්‍ය නායකයන් හා රාජ්‍ය තන්ත‍්‍රිකයන් එක් පසෙක නිල සමුළුව පවත්වන අතරේ එයින් ටික දුරක් ගිය තැන ජනතා සමුළුවක් පැවැත්වුණා. නැඞීන් ඇතුළු ප‍්‍රබුද්ධ දකුණු අප‍්‍රිකානුවන් සහභාගී වූයේ මේ දෙවැන්නටයි.

ලොව නන් දෙසින් ආ සමාජ ක‍්‍රියාකාරිකයන් හා ජන සංවිධාන නියෝජිතයන් සමග ඇය වීදි පෙළපාලි ගියේ දුගී ජනතාවට ඉඩම් අයිතිය හා සාධාරණ ජීවිකා අවස්ථා සඳහායි.

2013දී පුවත්පත් සාකච්ඡාවකදී ඇය කීයේ ‘‘වර්ණභේදවාදය තුරන් කරන්නට අප ඉතා වෙහෙස වී අරගල කළා. එහෙත් එයින් පසු බිහි වන සමාජය ගැන අප සිතුවා මදි යැයි දැන් මගේ කල්පනාවයි.’’

සමාජ හා දේශපාලන අරගලවලට මැදි නොවී ෆැන්ටසි ලෝක ගැන ප‍්‍රබන්ධ කරමින් සිටියා නම් හොඳදැයි පත‍්‍ර කලාවේදියා ඇසූ විට ඇගේ උත්තරය: ”අපොයි නැහැ! මේ ජීවිතය ගැන මම ආඩම්බරයි. අපට සමහර තැන්වල වැරදුණා. ඒත් මා කිසි දිනෙක බිය වී හා නිවටව නම් ජීවත් වී නැහැ!”

Nadine-Gordimer-Quotes-4

සිවුමංසල කොලූගැටයා #170: අසහාය මානුෂික මෙහෙයුමක් කළ වෛද්‍ය හඞ්සන් සිල්වා

In this week’s Ravaya column, in Sinhala, I further explore the origins and evolution of Sri Lanka Eye Donation movement, with emphasis on its founder and leader for 40 years, Dr Hudson Silva (1929-1999).

I have covered the same grounds in English at: When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Dr Hudson Silva stamp issued in 2009
Dr Hudson Silva stamp issued in 2009

අක්ෂිදාන ව්‍යාපාරයේ නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන ගිය සතියේ කොලමට හොඳ ප‍්‍රතිචාර රැසක් ලැබුණා. ලෝකයට අපේ හොඳ නම ප‍්‍රවර්ධනය කරන මේ ජනතා ව්‍යාපාරය ගැන විස්තර කළත් එහි ආරම්භකයාගේ ජීවන තොරතුරු ඇති තරම් කථා නොකළ බව සමහර පාඨකයන්ගේ මතය වුණා. ප‍්‍රශංසා, ගැරහුම් හා බාධක මැද වෛද්‍ය හඞ්සන් මේ දිගු ගමන ගිය සැටි තව ටිකක් විපරම් කිරීම වටිනවා.

වෛද්‍ය හඞ්සන් සිල්වා නූතන ලෝකයේ මානුෂික අවශ්‍යතාවයකට සමාජයීය නව්‍යකරණයක් හරහා විසඳුමක් ලබා දුන්නා. එතැනින් නොනැවතී ජීවිත කාලය පුරා එය ප‍්‍රවර්ධනය කළා. රැක බලා ගත්තා. ආයතනයක් ඉතිරි කර ගියා.

අපේ සාරධර්ම හා නූතනත්වය මනා සේ සංයෝජනය කළ අක්‍ෂිදානය ජාත්‍යන්තර වශයෙන් ශී‍්‍ර ලංකාවේ හොඳ නමට කර ඇති මෙහෙවර තානාපති නිලධාරින් සිය ගණනකටවත් කළ හැකි වික‍්‍රමයක් නොවෙයි.

ප‍්‍රැන්සිස්කු හෙට්ටිගේ ජෙරල්ඞ් හඞ්සන් සිල්වා උපන්නේ 1929 දෙසැම්බර් 18 වනදා මොරටුවේ ඉඳිබැද්දේ. ඔහු මුලින්ම පාසල් ගියේ මොරටුවේ ධර්මරතන විද්‍යාලයට. ඉනික්බිතිව කොළඹ නාලන්දා විද්‍යාලයටත්, එතැනින් ආනන්ද විද්‍යාලයටත් යොමු වුණා.

කුඩා වියේ පටන් ඔහු ඉගැනුමටත්, බාහිර ක‍්‍රියාවලටත් දක්‍ෂයෙක්. පන්තියේ පළමුවැනියා වන අතරම බාලදක්‍ෂ වැඩ, විවාද හා කථික තරඟ ගායනා හා කවි ලිවීම ආදියටත් හවුල් වුණා. ලංකා ගුවන් විදුලියේ සිරි අයියාගේ ළමා මණ්ඩපයට සහභාගී වෙමින් දස්කම් පෑවා.

මේ කලා නැඹුරුව නිසා 1948දී මුල් වරට කලා විෂයන්ගෙන් ජ්‍යෙෂ්ඨය (එවකට HSC) පෙනී සිට සරසවි වරම් ලැබුවත් ඉන් පසු විද්‍යා විෂයයන්ට යොමු වුණා. ජීව විද්‍යාවෙන් ජ්‍යෙෂ්ඨය සමත්ව ඔහු කොළඹ වෛද්‍ය විද්‍යාලයට පිවිසියේ 1951දී.

වෛද්‍ය ශිෂ්‍යයකු ලෙසත් ඔහු පොතේ ඇලී ගැලී සිටියේ නැහැ. සමකාලීනයන් ඔහුව සිහිපත් කරන්නේ බොහෝ කි‍්‍රයාශීලි හා සමාජශීලි චරිතයක් හැටියට. සරසවි ඉගෙනුම කරන අතරේ ලඝුලේඛනය, ටයිප් කිරීම ආදී ශිල්ප ද ඕනෑකමින් ප‍්‍රගුණ කළා.

වරක් ඔහු අක්‍ෂි රෝග ගැන මහාචාර්යවරයෙකුගේ දේශනයකට සවන් දුන්නා. සමහරක් දෘශ්‍යාබාධ (සියල්ලම නොවේ) සුවපත් කිරීමට ඇසේ ස්වච්ඡ මණ්ඩලය හෙවත් කුණිතය බද්ධ කිරීමෙන් හැකි බවත්, එහෙත් කුණිතයන් ඇති තරම් සොයා ගත නොහැකි නිසා සැත්කම් කළ නොහැකිව කල් දමන බවත් ඔහු දැන ගත්තා.

දේශනයෙන් කම්පනයට පත් හඞ්සන් එදා ගෙදර ගොස් මව සමග මේ ගැන කථා කළා. තමා මිය ගිය පසු තම ඇස්වලින් තව අයෙකුට පෙනීම දිය හැකි බව කීවා. එවිට මව කීවේ ‘‘පුතා, ඔබට කලින් මා මිය යා හැකියි. මගේ ඇස් දෙකෙන් දන්දීම අරඹන්න’’ කියායි.

අක්‍ෂි සැත්කම්, කුණිත බද්ධය ආදිය ගැන බොහෝ දෙනා දැන සිටියේ නැහැ. මේ ගැන කරුණු ගවේෂණය කළ හඞ්සන්, එය පුවත්පත් ලිපියකට ගොනු කළා. 1958 ජනවාරි 19 වනදා ලංකාදීපයේ ‘‘මළ නෙතට පණ’’ නමින් පළ වූයෙ එයයි.

8 July 2012: සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකිද?

Sri Lanka Eye Donation Society Logo
Sri Lanka Eye Donation Society Logo

අක්‍ෂිදාන ව්‍යාපාරය මෙරට ස්ථාපිත වූයේ විවිධ බාධක හා හිරිහැර මැද. මේ සංකල්පය ප‍්‍රායෝගික නොවන මනෝ විකාරයක් යැයි සමහර ජේ්‍යෂ්ඨ වෛද්‍යවරුන් මුල් යුගයේ ප‍්‍රසිද්ධියේ කියා සිටියා. අක්‍ෂිදාන කටයුතු හරහා ඔහුට සමාජ පිළිගැනීමක් ගොඩ නැගෙනු දුටු සමහර ජ්‍යෙෂ්ඨයන්ට ඉරිසියාවක් පහළ වන්නට ඇති.

උද්‍යොගිමත් තරුණ වෛද්‍යවරයකු ලෙස හඞ්සන් සිල්වා සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ අක‍්‍රමිකතා සහ අකාර්යක්‍ෂමතා පෙන්වා දීම ගැන නිලධාරින් නොසතුටු වූවා.

ප‍්‍රතිඵලය වූයේ දිගින් දිගටම පරිපාලනමය වශයෙන් ඔහුට හිරිහැර කිරීමයි. තමන්ගේ රාජකාරිය කිසි විටෙක අතපසු නොකොට, පෞද්ගලික වියදමින් අක්‍ෂිදාන වැඩ කළත් ඔහුගේ වැරදිම සෙවූ නිලධාරින් සිටියා.

ඔහුව තැනින් තැනට මාරු කරනු ලැබුවා. මේ ස්ථානමාරු නිහඬව බාර ගත් වෛද්‍ය හඞ්සන් වරෙක කීවේ ‘‘මේ ලංකාවේ කියන ඕනෑම තැනකට යන්නම්. නමුත් මට නිදහසේ රාජකාරිය හා අක්‍ෂිදාන කටයුතු කරන්න ඉඩ දෙන්න!’’

ඇස් ගලවා ගැනීමෙන් පසු අක්‍ෂි කුහරවලට පුළුන් පුරවා කිසිදු වෙනසක් නොපෙනන අයුරින් මෘත ශරීරය සැකසීම සම්ප‍්‍රදායයි. එහෙත් අක්‍ෂිදානය කළ අයගේ සිරුරු එම්බාම් කළ නොහැකි යයි සමහර මල්ශාලා හිමියන් වරක් බොරු තර්කයක් මතු කළා. එයින් නොසැලූණු වෛද්‍ය හඞ්සන් කීවේ එසේ නම් අක්‍ෂිදාන සංගමය හරහා නොමිළයේ එම්බාම් කිරීමේ සේවයක් ද අරඹන බවයි. නොමග යවනු ලැබ සිටි මල්ශාලා හිමියන්ගේ විරෝධය එතැනින්ම නතර වුණා!

1965දී වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යාමට ඔහුට ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබුණා. විදේශකයන් තරගකාරීව කළ මේ තේරීම අපේ සෞඛ්‍ය බලධාරින් පිළිගන්නට මැලි වූ නිසා අවසන් තීරණය අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක දක්වා ගියා. එයට ඇගේ අනුමැතිය ලැබුණා. මේ අනුව විදේශගත වූ වෛද්‍ය හඞ්සන් අක්‍ෂි සැත්කම් හා අක්‍ෂි වෛද්‍ය ක්‍ෂෙත‍්‍රය ගැන නව දැනුම හා නව ප‍්‍රබෝධයක් ලබා ගෙන යළිත් සිය රට ආවා.

එහෙත් සෞඛ්‍ය බලධාරින්ගේ කෙනෙහිලිකම් නතර වූයේ නැහැ. දන් දෙන අක්‍ෂි කුණිත රජයේ රෝහල්වලට ලබා දුන් පසු හරිහැටි පරිහරණය නොකිරීම නිසා අපතේ යන බව තහවුරු කර ගත් වෛද්‍ය හඞ්සන්, ඒ ගැන ප‍්‍රසිද්ධියේ කථා කළා.

මේ ගැන කුපිත වූ සෞඛ්‍ය ලොක්කෝ ඔහුගේ වැඩ තහනම් කළා. අන්තිමේදී 1967දී අනිවාර්ය විශ‍්‍රාම ගන්වනු ලැබුවා. රජයේ සෞඛ්‍ය සේවයේ කිසි දිනෙක තමන්ට මහජන අභිවෘද්ධියට වැඩ කරන්නට නොලැබෙන බව තේරුම් ගත් ඔහු, පූර්ණ කාලීනව අක්‍ෂිදාන වැඩට යොමු වුණා.

Eye cornea ready at Sri Lanka Eye Donation Society in Colombo, to be sent to a foreign country - Photo by Janaka Sri Jayalath
Eye cornea ready at Sri Lanka Eye Donation Society in Colombo, to be sent to a foreign country – Photo by Janaka Sri Jayalath

1965දී අක්‍ෂිදාන සංගමය රජය පිළිගත් පුණ්‍යායතනයක් වූ පසු ටිකෙන් ටික දෙස් විදෙස් දානපති ආධාර ලැබෙන්නට පටන් ගත්තා. එහෙත් මුල් වසර 20ක් පමණ අක්‍ෂිදාන කටයුතු කරගෙන ගියේ ඉතා සීමිත පහසුකම් මැද, ස්වේච්ඡා සේවක ආධාරයෙන්. හඞ්සන් සිල්වාගේ වෝඞ් පෙදෙසේ කුඩා නිවස අක්‍ෂිදාන කාර්යාලය ලෙස දිගු කලක් පැවතුණා.

මේ සඳහා සියළු සහයෝගය ලබා දෙමින් අක්‍ෂිදානයට මාතාවක් වූයේ ඔහුගේ බිරිඳ අයිරාංගනී සිල්වා මහත්මියයි. 1961දී ඔවුන් විවාහ වන අවස්ථාවේදීම අක්‍ෂිදානයට පූර්ණ සහයෝගය දෙන බවට ඈ පොරොන්දු වී සිටියා. ඇය ජීවිත කාලයම කැප කළේ මේ සඳහායි. වෛද්‍ය හඞ්සන්ගේ වියෝවින් පසු වසර කිහිපයක් ඇය අක්‍ෂිදාන සභාපති තනතුර හෙබවූවා.

වෛද්‍ය හඞ්සන් සිල්වාගේ ජිවිතයේ අවසාන දශකයේ ඔහු හඳුනාගෙන විටින් විට ඔහුගේ වැඩ කටයුතු ගැන මාධ්‍ය හරහා වාර්තා කරන්නට මට අවස්ථාව ලැබුණා. එවකට ලෝකයේ ප‍්‍රමුඛතම මාධ්‍යවලින් ආවරණය ලබා තිබුනත් ඔහුගේ කිසිදු උඩගුකමක්, පුහු මාන්නයක් තිබුණේ නැහැ.

පුවත්පත් සමග ඔහු ජිවිත කාලය පුරා සමීප සබඳතා පැවැත්වූවා. ලංකාදීපයේ මුල් ලිපිය පළ නොවූවා නම් අක්‍ෂිදානයක් බිහි නොවන බව ඔහු දැන සිටියා. මාධ්‍ය ආයතන සමග සුහදව ගනුදෙනු කළ ඔහු ඕනෑම වෙලාවක මාධ්‍යවේදී ප‍්‍රශ්නවලට පිළිතුරු දීමට සූදානමින් සිටින බව මා අත්දැකීමෙන් දන්නවා.

ඉඳහිට මාධ්‍ය හරහා අභූත චෝදනා හා මඩ පාරවල් එල්ල වූ විට ද ඔහු සැලූණේ නැහැ. මාධ්‍ය සමග ගැටුම් ඇති කර ගත්තේ නැහැ. නිහඬව තමන්ගේ වැඩ කරගෙන ගියා.

එහෙත් එසේ කරන්නට බැරි වූ නරක කාලයක් 1990-92දී උදා වුණා.  ජනාධිපති පේ‍්‍රමදාස ඔහුට නොරිස්සූ ජන සංවිධානයක් මට්ටු කරන්න රාජ්‍ය නොවන සංවිධාන (NGO) විමර්ශන කොමිසමක් පත් කළා. එහෙත් කොමිසමේ සාමාජිකයකු වූ වෛද්‍ය මහාචාර්යවරියක් ඒ අවස්ථාව යොදා ගත්තේ අක්‍ෂිදාන සංගමයටත්, එහි නිර්මාතෘවරයාටත් හිරිහැර කරන්නයි.

මෙය වෘත්තීමය ඉරිසියාවෙන් මතු වූ කි‍්‍රයාවක් බව පෙනුනත් සියඵ තොරතුරු හා ගිණුම් නොවලහා ඉදිරිපත් කිරීමට අක්‍ෂිදානය ඉදිරිපත් වුණා. චෝදනා කිසිවක් ඔප්පු නොවූවත් සභා සැසිවාරවලදී එල්ල කළ මඩ ප‍්‍රහාර මාධ්‍ය හරහා රටටම වාර්තා වුණා.

ජනාධිපති විජේතුංග ගත් මුල්ම නිල පියවරක් වූයේ NGO කොමිසම නතර කිරීමයි. එහෙත් ඒ වන විට දෑවුරුද්දකට වැඩි කාලයක් අක්‍ෂිදානය තමන්ගේ නිර්දෝශීභාවය තහවුරු කිරීමට වැය කර තිබුණා.

‘‘NGO කොමිසම පටන් ගත්තේ මට පහර ගසන්න. එහෙත් අහිංසකයා හඞ්සන් එයින් බැට කෑවා. කොමිසමේ නීතිඥයන් මේ ලෝක පූජිත ලාංකිකයාට ඒ දිනවල සැළකුවේ ඉතා පහත් විදියට’’ යයි ඒ අමිහිරි යුගය සිහිපත් කරමින් සර්වෝදය නායක ආචාර්ය ඒ. ටී. ආරියරත්න ගිය වසරේ මා සමග ටෙලිවිෂන් සාකච්ඡාවකදී පැවසුවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society
Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society

වෛද්‍ය හඞ්සන් හා ආරියරත්න මිතුදම බොහෝ කල් පැවති සමීප සබඳතාවක්. සර්වෝදය හා අක්‍ෂිදානය ඇරඹුණේ එකම වසරේ (1958) මේ ව්‍යාපාර දෙකම බිම් මට්ටමින් ස්වේච්ඡාව්‍යාපාර ලෙස ටිකෙන් ටික ලක් සමාජයේ ස්ථාපිත වුණා. මේ නායකයන් දෙපලට ලෝකයෙන් ප‍්‍රශංසා හා සම්මාන ලැබෙද්දී මෙරටින් බොහෝ විට ලැබුණේ බාධක, ගැරහිලි හා කොන් කිරීම්. එහෙත් එයින් අධෛර්්‍යය නොවී ඉදිරියට යාමේ අධිෂ්ඨාන ශක්තිය ඔවුන් සතු වුණා.

1970 දශකය මුලදී මෙරට සෞඛ්‍ය නිලධාරින් අක්‍ෂිදාන සංගමයට කළ බාධා නිසා කළකිරුණු වෛද්‍ය හඞ්සන් පිලිපීනයේ ඇස් බැංකුවක් බිහි කිරීමට කලක් විදේශගත වන්නට තීරණය කළා. එරට සංචාරයකට ගිය ආචාර්ය ආරියරත්නට මෙය ආරංචි වුණා. ‘‘හඞ්සන් ලංකාවට අවශ්‍යම පුද්ගලයෙක්’’ යයි කියමින් ඔහු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකට මතු වී ඇති ප‍්‍රශ්න ගැන කියා සිටියා. මැතිනිය මැදිහත් වී නිලධාරි ප‍්‍රශ්න සමනය කළ නිසා වෛද්‍ය හඞ්සන් විදේශගත වීමේ අදහස අත් හැරියා.

වෛද්‍ය හඞ්සන් ඉතා කාර්යශූර හා ‘වැඩ කිරීමට ලොකු උණක්’ තිබූ කෙනෙක්. දොස්තර මහත්තයා හෝ ආයතන ප‍්‍රධානියා කියා පංගු බේරුවක් ඔහුට තිබුණේ නැහැ. ටයිප් කරන්නට, ඡායාරූප ගන්නට, වාහන එලවන්නට මෙන් ම බොහෝ උපකරණ අඵත්වැඩියාවටත් ඔහු සමතෙක්. ලෝකයේ විවිධ රාජ්‍ය නායකයන් හා ප‍්‍රභූවරුන්ගේ පටන් මෙරට ඉතා අසරණ පුද්ගලයා දක්වා කොයි කවුරුත් සමග තරාතිරම් නොබලා අධිෂ්ඨාන පූර්වකව වැඩ කළ අයෙක්.

එසේම ඔහු සන්නිවේදනයේ අගය දැන එය මනා ලෙස යොදා ගත්තා. ඕනෑම මරණ ගෙදරක, උත්සව සභාවක හෝ විද්්‍යුත් මාධ්‍යයක අක්‍ෂි සෞඛ්‍යය හා අක්‍ෂිදානය ගැන රසවත් හා හරවත් ලෙසින් කථා කිරීමට කිසිදු සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

අක්‍ෂිදානයේ නිර්මාතෘවරයා ලෙස වෛද්‍ය හඞ්සන්ට රටවල් රැසකින් ගෞරව, ත්‍යාග හා පිළිගැනීම් ලැබුණා. ජෝර්දානය, තායිලන්තය හා ඉන්දියාවෙන් විදේශිකයන්ට පිරිනැමෙන ඉහළම සම්මානයත්, 1981දී ලෝකයේ විශිෂ්ටයන්ට පිදෙන ඩැග් හැමර්ෂල්ඞ් ත්‍යාගයත් ලැබූ ඔහුට උපන් රටින් උපහාර ලැබුණේ කල් ගත වීයි. 1987දී ජනාධිපති ජයවර්ධන දේශබන්දු සම්මානය පිරිනැමුවා.

ලෝ ප‍්‍රකට රීඩර්ස් ඩයිජෙස්ට් (Reader’s Digest) සඟරාව කිහිප වතාවක් අක්‍ෂිදානය ගැන ප‍්‍රශංසාත්මකව ලිවීම හරහා ශී‍්‍ර ලංකාවට මිළ කළ නොහැකි තරම් වටිනා ලෝක ප‍්‍රචාරයක් ලැබුණා. 1994 ඔක්තෝබරයේ මේ සඟරාව, වෛද්‍ය හඞ්සන් ‘අපේ කාලයේ වීරයෙක්’ (Hero for Today)යයි නම් කළා.

අක්‍ෂිදාන ව්‍යාපාරය ගැන දැඩි පැහැදීමෙන් එයට අනුග‍්‍රහය දැක්වූ අය අතර ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් ද සිටියා. ඔහු එය දුටුවේ නවීන තාක්‍ෂණය මානූෂිය අවශ්‍යතාවයක් සඳහා සංවිධානාත්මක ලෙස යොදා ගන්නාට කළ ප‍්‍රශංසනීය ව්‍යාපාරයක් ලෙසයි. අක්‍ෂිදාන සංගමයට ඉඳහිට නිහඬව මූල්‍ය ආධාර කරන අතර ඔහු මේ සද් කාර්යය ගැන විදෙස් රටවලදී උද්‍යෝගයෙන් කථා කළා.

ඊට අමතරව 1990දී ක්ලාක් ලියූ Ghost from the Grand Banks නම් ප‍්‍රබන්ධ නවකථාවේ එක් තැනක වෛද්‍ය හඞ්සන් සිල්වා ගැන කෙටි සඳහනක් හමු වනවා. මිනිසුන් දහස් ගණනකගේ දන් දුන් ඇස් සිය දෑතින්ම ගලවා ගත් මේ වෛද්‍යවරයා මිය ගිය තම මවගේ දෑස් උකහා ගන්නට තරම් චිත්ත සමාධියකින් යුතු වූ බව එහි කියැවෙනවා.

Dr Hudson Silva (left) and Arthur C Clarke with then Prime Minister R Premadasa and Minister Tyronne Fernando at Eye Donation Society function circa mid 1980s [Photo courtesy Arthur C Clarke Archive]
Dr Hudson Silva (left) and Arthur C Clarke with then Prime Minister R Premadasa and Minister Tyronne Fernando (extreme right) at Eye Donation Society function circa mid 1980s [Photo courtesy Arthur C Clarke Archive]
අක්‍ෂිදාන බෞද්ධ සංකල්පයක් මත පදනම් වුවත් වෛද්‍ය හඞ්සන් මුල පටන්ම මේ ව්‍යාපාරය ගොඩ නැංවූයේ ජාති, ආගම් හෝ දේශපාලන භේද කිසිවක් නොමැතිවයි. එක් උතුම් අරමුණක් සඳහා විවිධාකාර පුද්ගලයන් හා ආයතන එක්සත් හා එක්සිත් කර ගැනීමේ හැකියාව ඔහු සතු වුණා.

මා එය දකින්නේ පෙරහැරක් ගියා වගේ. (නිලධාරිවාදය නොතකා) සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ලොකු පොඩි සැවොම, විවිධ ආගම්වල පූජක පක්‍ෂය, සියළු දේශපාලන පක්‍ෂ නායකයන්, නොයෙක් ස්වේච්ඡා ආයතන (සිංහ සමාජ, සර්වෝදය, රොටරි ආදි), හමුදා නිලධාරින්, ගම් හා නගරවල බාල – මහලූ ගැහැණු – පිරිමි හැම දෙනා මේ පෙරහැරට සම්බන්ධ වූවා. ප‍්‍රධාන සංවිධායකයා වුණත් වෛද්‍ය හඞ්සන් පෙරහැරේ නිලමේට ඇන්දේ නැහැ. බොහෝ විට ඔහු සිටියේ පසුබිමින්.

රටට හා ලෝකයට වැඩක් කරන, පොදු උන්නතියට කැප වූ විද්වතුන්ට අපේ සමාජය හා නිලධාරි තන්ත‍්‍රය සළකන ආකාරය මේ චරිතයෙන් මනාව පිළිබිඹු වනවා. ඉරිසියාවෙන් හා කුහක බවින් ඉතිරෙන අපේ සමාජයේ හොඳ වැඩක් කරන්නට යන ඕනෑම කෙනකු මේ අභ්‍යන්තර ප‍්‍රතිරෝධය ජය ගත යුතු වනවා.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):

සිවුමංසල කොලූගැටයා #169: අඩ සියවසක් ලොවේ හොඳ හිත දිනූ අක්‍ෂිදානය

The first eyes donated from Sri Lanka were dispatched overseas, to Singapore, on 25 May 1964. In the half century that followed, over 66,500 eye corneas have been donated from Sri Lanka to a total of 117 cities in 54 countries worldwide (by end April 2014). This is one of the greatest humanitarian gifts in modern times, which has earned Sri Lanka unparalleled gratitude and goodwill around the world.

In this week’s Ravaya column, in Sinhala, I trace the origins of eye donation in Sri Lanka. I have just written up the same information in English at:

When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath
Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath

 

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය හා පිළිගැනීම වඩාත් යහපත් කරන්නේ කෙසේ  ද යන්න දිගු කලෙක සිට කැරෙන සංවාදයක්. රාජ්‍ය තාන්ත‍්‍රික (තානාපති) කටයුතුවලට අමතරව මෑතක පටන් විශාල වියදමක් දරා බටහිර රටවල වාණිජ මට්ටමේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගන්නට රජය ක‍්‍රියා කරනවා.

තොරතුරු සමාජය දියුණු වී ඇති අද කාලේ ප‍්‍රතිරූප හා හොඳහිත ගොඩනැංවීම අපහසුයි. එහෙත් එය බිඳ වැටීම හෝ හානි කර ගැනීම ලෙහෙසියි.

අඩසියවසක් මුළුල්ලේ කිසිදු මහජන මුදල් වියදමකින් තොරව මෙරටට විශාල ගෞරවයක්, කෘතඥතාවයක් හා හොඳ හිතක් ලොව පුරා ගොඩනැංවූ ජනතා ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ශ‍්‍රීලංකා අක්‍ෂිදාන සංගමයයි. එහි නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා (1929 – 1999) මෙරටින් බිහි වූ වෛද්‍යවරුන් අතර අතිශයින් ලෝක ප‍්‍රණාමයට පාත‍්‍ර වූ විද්වතෙක්.

අපේ ඇස් ලොවට දන් දීම ඇරැඹී වසර50ක් පිරෙන මේ මාසයේ ඒ කථාව සිහිපත් කිරීම වටිනවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society
Dr Hudson Silva (1929-1999), Founder of   Sri Lanka Eye Donation Society

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘‘මළ නෙතට පණ’’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි හඞ්සන් සිල්වා නම් තරුණයා. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇත‘ව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා.

එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි. ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ.

1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිත සොයා ගැනීමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, මරණින් පසු තම ඇස් දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වූයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත් කර දෙන ඇස් දන් දීමේ සද්කාර්යය ඇරැඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

ලිපියට ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ලංකාදීප කාර්යාලයට ලියුම් ලියමින් තමන්ගේ ඇස් දන්දීමට බොහෝ දෙනා ඉදිරිපත් වුණා. ඒ අතරින් සමහරුන් ජීවත්ව සිටියදීම එක් ඇසක් දන් දීමට කැමතිව සිටියා.

අවසාන වෛද්‍ය විභාගයෙන් සමත්ව වෛද්‍ය හඞ්සන් සිල්වා 1958සැප්තැම්බරයේ මුල් පත්වීම ලැබුවේ කළුතර නාගොඩ රජයේ රෝහලට. එහි එවකට ප‍්‍රධානියා වූ වෛද්‍ය ජෝර්ජ් ප‍්‍රනාන්දුගේ අනුදැනුම යටතේ අක්‍ෂිදාන ව්‍යාපාරය ප‍්‍රායෝගිකව ඇරඹුණේ එම රෝහලෙන්. (ගිය වසරේ ටෙලිවිෂන් පටිගත් කිරීමකට එහි ගිය මා දුටුවේ මේ වැදගත් ඉතිහාසය ගැන අද එහි කිසිවකු නොදන්නා බවයි.)

මුල් වතාවට අක්‍ෂි යුගලක් උකහා ගනු ලැබුවේ මහමග ඇද වැටී රෝහලට ගෙන එන ලදුව එහිදී මිය ගිය, හඳුනා නොගත් කෙනකුගෙන්. එම ඇස් යුගල ජෑම් බෝතලයක දමා ගෙන තරුණ වෛද්‍යවරයා බස් රියෙන් කොළඹ පැමිණ ඇස් රෝහලේ බද්ධ කිරීමට එය භාර දුන්නා.

රෝහලේ මිය යන අයගේ ඥාතීන් සමග කථා කරන විට වෛද්‍යවරයා තේරුම් ගත්තේ ජීවත්ව සිටියදීම අක්‍ෂිදානයට ප‍්‍රතිඥාවක් දී තිබීම වඩාත් උචිත බවයි. ඒ අනුව ඔහු එයට සරල පොරොන්දු පත‍්‍රයක් නිර්මාණය කළා.

එසේම අක්‍ෂිදානයට පොරොන්දු පත‍්‍ර වඩාත් අත්සන් කර ගැනීමට අක්‍ෂිදාන සංගමයක් ද පිහිටුවා ගත්තා. එහි මුල්ම රැස්වීම පැවැත්වූයේ 1958දෙසැම්බර් 30වනදා කළුතර දිස්ත‍්‍රික්කයේ මහවස්කඩුවේ ශ‍්‍රී සුධර්මාරාම විහාරයේ ධර්මශාලාවේදී. එතැනින් පටන් ගත් අක්‍ෂිදාන ව්‍යාපාරය පසු කලෙක දිවයින පුරා ශාඛා 400කට වැඩි ජාලයක් බවට පත් වුණා. මෙරට ප‍්‍රමුඛතම ස්වේච්ඡා ව්‍යාපාරයක ආරම්භය එයයි.

Mahawaskaduwe Sri Sudharmarama temple 'bana maduwa' in Kalutara - Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958
Mahawaskaduwe Sri Sudharmarama temple ‘bana maduwa’ in Kalutara – Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958

1961 මුලදී කොළඹ ඇස් රෝහලට මාරුවීමක් ලැබූ වෛද්‍ය හඞ්සන් සිල්වා අක්‍ෂිදානය ජාතික මට්ටමට පුළුල් කිරීම ඇරඹුවා. මුල සිට ම ඔහුට ඕනෑ වුණේ මෙරට සියළු ජන කොටස් ද විවිධ ආගම් අදහන සැවොම ද මේ සද්කාරියට හවුල් කර ගන්නයි. මේ නිසා බහු ආගමික පැවිදි අනුශාසක පිරිසක් ද සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ගිහි අනුශාසකයන් ලෙස ද පත් කර ගත්තා. අක්‍ෂිදාන ජාතික සංගමයේ මුල්ම සභාපති ලෙස ඇස් රෝහලේ අධිපති වෛද්‍ය ඞී. ඒ. ජයසිංහ පත් වූ අතර ප‍්‍රධාන ලේකම් වූයේ වෛද්‍ය හඞ්සන්.

අක්‍ෂිදාන පොරොන්දු පත‍්‍රය වඩ වඩාත් ජනප‍්‍රිය වුණා. ප‍්‍රථම අක්‍ෂිදායකයා වූයේ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්. ප‍්‍රථම අක්‍ෂිදායිකාව හඞ්සන් සිල්වාගේ මව, බියටි‍්‍රස් නැන්සිනා පෙරේරා මැතිනිය.

එදා මෙදා තුර මෙරට රාජ්‍ය නායකයන්, ප‍්‍රභූන්, ප‍්‍රකට කලාකරුවන්, විද්වතුන් ඇතුළු සාමාන්‍ය ජනයා ලක්‍ෂ ගණනක් මේ පොරොන්දු පත‍්‍රයට අත්සන් කොට තිබෙනවා. (එසේ කර තිබීමෙන් මිය ගිය පසු පැය 4ක් ඇතුළත ඇස් උකහා ගැනීමට ඥාතින් හරහා අක්‍ෂිදානයට දැනුම්දීම වඩා විධිමත් වනවා. නමුත් පොරොන්දු පත‍්‍රයක් අත්සන් කර නොතිබුණත්, නැතත් ඥාතීන්ගේ කැමැත්තෙන් ඇස් දන් දිය හැකියි.)

1963 පමණ වන විට දන්දීම හරහා ලැබෙන අක්‍ෂි කුණිත දේශීය රෝහල්වල බද්ධ කිරීමේ අවශ්‍යතා සියල්ල සපුරා ගත් පසුව ඉතිරි වන්නට පටන් ගත්තා. එවකට පැවති තාක්‍ෂණය අනුව කුණිත කල් තබා ගත හැකි වූයේ දින 4ක් පමණයි. මේ නිසා අතිරික්තය අපතේ යා නොදී විදෙස් රටවලට පරිත්‍යාග කළ හැකිදැයි වෛද්‍ය හඞ්සන් විපරම් කළා.

ඒ අවස්ථාවේ ඔහුට නිශ්චිත විදෙස් සබඳතා නොතිබුණත් ලොව ප‍්‍රධාන නගරවල අක්‍ෂි රෝහල්වලට විමසීමේ ලිපි යැවුවා. ශ‍්‍රී ලංකාවේ මෙන් නොව බොහෝ රටවල බද්ධ කිරීමට ඇති තරම් අක්‍ෂි කුණීත නොලැබෙන බව ඔහු දැන සිටියා.

අමෙරිකාවේ නිව්යෝක් ඇස් බැංකුව විමසුම්වලට පිළිතුරු එවමින් කීවේ ඔවුන්ට ඇස් විශාල ගණනක් උවමනා බවයි. ලැබෙන හැම ඇසක් ම ඉමහත් පරිත්‍යාගයක් ලෙස සළකන බව ඔවුන් කියා සිටියා.

එහෙත් අන්තිමේදී මුලින් ම මෙරටින් අතිරික්ත ඇස් පරිත්‍යාග කෙරුණේ සිංගප්පූරුවටයි. 1964මැයි 25 (වෙසක් පොහොය)දා තර්මෝස් උණුවතුර බෝතලයක තැන්පත් කළ හිස් තීන්ත බෝතලයක බහාලූ අක්‍ෂි හයක් සිංගප්පූරු මහ රෝහල වෙත ගුවනින් යවනු ලැබුවා. එය බලාපොරොත්තුවෙන් සිටි අක්‍ෂි වෛද්‍යවරු ඒවා බද්ධ කොට සිංගප්පූරු ජාතිකයන් පස් දෙනෙකුට පෙනීම ලබා දුන්නා.

පනස් වසරක් තිස්සේ ශ‍්‍රී ලංකාවෙන් ලොවට තිළිණ කැරෙන උසස්ම මානුෂික පරිත්‍යාගය වන විදෙස්වලට ඇස් දන් දීම ඇරඹුණේ එසේ සුළුවෙන්.

අද මෙන් ගුවන් චාරිකා බහුල නොවූ දුරස්ත සන්නිවේදන දියුණුව නොතිබු එකල මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ලෙහෙසි වූයේ නැහැ. වෛද්‍ය හඞ්සන්ගේ සංවිධාන හැකියාව හා නොපසුබස්නා අධිෂ්ඨානය තීරණාත්මක වූයේ එහිදියි. ඔහු හැකි සෑම සබඳතාවක් හා කුසලතාවක් ම යොදා ගනිමින් වඩ වඩාත් ලෝකයේ රටවලට ඇස් යැවීමට වෙහෙස වූවා.

එහෙත් එසේ යැව්වේ මෙරට අවශ්‍යතා පිරිමැසීමෙන් පසු අතිරික්තය පමණයි. ‘‘ශ‍්‍රී ලංකාවේ මෙතරම් අන්ධ මිනිසුන් සිටියදී ඇයි මේ ඇස් පිටරට යවන්නේ?’’ සමහරුන් විමතියෙන් ප‍්‍රශ්න කළා.

Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 - Photo by Janaka Sri Jayalath
Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 – Photo by Janaka Sri Jayalath

හැම දෘෂ්‍යාබාධයක්ම කුණිත බද්ධයෙන් සුවපත් කළ නොහැකියි. උපතින්ම පෙනීම නොලද අයකුට බද්ධ කිරීම හරහා පෙනීම ලද නොහැකියි. කළු ඉංගිරියාව නරක් වී එහෙත් දෘෂ්ටි ස්නායුව, ශ්වේත පටලය වැනි ඇසේ අනෙක් කොටස් හොඳ තත්ත්වයෙන් පවතින රෝගීන්ට පමණක් කුණිත බද්ධය සාර්ථක වන බව වෛද්‍ය හඞ්සන් තම විවේචකයන්ට පහදා දුන්නා.

1964දී සුළුවෙන් ඇරැඹි ලෝකයට ඇස් දන් දීම ක‍්‍රමයෙන් පුළුල් හා සංවිධානගත කෙරුණා. 1967දී ලන්ඩන් නුවරදී අක්‍ෂි වෛද්‍ය සම්මේලනයක් අමතමින් වෛද්‍ය හඞ්සන් කීවේ ‘අපට වසරකට අවම වශයෙන් අක්‍ෂි කුණිත 200ක් ලෝකයට ලබා දිය හැකියි’ කියායි.

මුලදී ආසියානු රටවලට යැවුණු ඇස් පසුව රුසියාව, අප‍්‍රිකානු රටවල්, යුරෝපයට හා දකුණු අමෙරිකාවට ද යවනු ලැබුවා. වාමාංශික – දක්‍ෂිනාංශික පිල් බෙදීම් කිසිවක් නොසලකා ඕනෑකම ඇති, පෙරදිග අපරදිග, දුප්පත් හා පොහොසත් රටවලට නොමිළයේ ඇස් පරිත්‍යාග කිරීම දිගටම සිදු වුණා. මේ හරහා ශ‍්‍රී ලංකාවට ලැබුණු හොඳ නම හා හොඳ හිත ඉතා ඉහළයි.

ලෝකයට ඇස් පරිත්‍යාග කිරීම වඩාත් විධිමත්ව කර ගෙන යාමට ජාත්‍යන්තර ඇස් බැංකුව නිල වශයෙන් ඇරඹුවේ 1965ඔක්තෝබරයේ. අක්‍ෂිදාන සංගමයේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන එහි විශේෂ පුහුණුව ලද තාක්‍ෂණවේදීන් සිටිනවා.

මෙරට සිට පිටරටකට ඇස් යැවීම හරියට සමූහ තරග දිවීමක් (relay) වගෙයි. කෙනකු මිය යාමෙන් පැය 4ක් ඇතුළත ගලවා ගන්නා ඇස් වහාම ආරක්‍ෂිත මාධ්‍යයක ගල්වා, අවශ්‍ය පරික්‍ෂණ කිරීමෙන් පසු දිගු ගමනට සූදානම් කැරෙනවා. (HIV 1හා 2, හෙපටයිටීස් B, Cමෙන්ම සිෆිලිස් රෝගය සඳහා ද පරික්‍ෂා කිරීමෙන් පසුවයි බද්ධයට සුදුසු යයි තීරණය කරන්නේ.) ඇස් රට යැවීම සඳහා රිජිෆෝම් යොදා ගෙන එයට ආවේණික වූ ආරක්‍ෂිත පෙට්ටියක් වෛද්‍ය හඞ්සන් විසින් සැළසුම් කරනු ලැබුවා.

ඇස් බැංකුවෙන් සූදානම් කැරෙන ඇස් මේ පෙට්ටිවල බහා අදාල රේගු හා ගුවන් ගමන් ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපළට යැවෙනවා. එතැන් සිට ගුවන් ගමන් එකක් හෝ කිහිපයක් හරහා ගමනාන්ත නගරයට ගුවනින් යන පෙට්ටිය, හැකි ඉක්මනින් එහි අක්‍ෂි වෛද්‍යවරුන් අතට පත් කැරෙනවා. මේ සම්පේ‍්‍රෂණය පුද්ගලයන් හා ආයතන කිහිපයක සහභාගීත්වයෙන් කැරෙන මානුෂික මෙහෙයුමක්.

වෛද්‍ය තාක්‍ෂණයේ දියුණුවත් සමග වැඩි දින ගණනක් නරක් නොවී ඇස් කල් තබා ගත හැකි ක‍්‍රම සොයා ගනු ලැබුවා. අද වන විට යොදන ද්‍රාවණය අනුව දින 4ක්, 7ක් හෝ 14ක් කල් තබා ගත හැකියි.

2014 අපේ‍්‍රල් අග වන විට ශ‍්‍රී ලංකාවෙන් රටවල් 54ක නගර 117ක බද්ධ කිරීම සඳහා අක්‍ෂි කුණිත 66,500කට ටිකක් වැඩියෙන් පරිත්‍යාග කොට තිබුණා. මෙයට අමතරව මෙරටදී බද්ධ කිරීම් සඳහා දන් දුන් ඇස් 40,000කට වඩා රජයේ හා පෞද්ගලික රෝහල්වලට ලබා දී තිබෙනවා.

Eye donation stamp, 1983
Eye donation stamp, 1983

අක්‍ෂිදානය සිදු කැරෙන්නේ මුළුමනින්ම වාණිජ නොවන මට්ටමින්. මෙරටදී භාවිතයට ගැනෙන කුණිත සඳහා කිසිදු අය කිරීමක් නැහැ. පිටරට යැවෙන කුණිතවලට ද අය කිරීමක් නොකළත් සූදානම් කිරීමේ හා යැවීමේ වියදම ඒවා ලබන අක්‍ෂි රෝහල්වලින් ලබා ගැනෙනවා. මෙය අක්‍ෂිදාන සේවාව දිගටම පවත්වා ගෙන යාමට අවශ්‍ය වියදම්වලින් කොටසක් සපයනවා.

එහෙත් (අපේ සමහර මාධ්‍ය වරදවා විග‍්‍රහ කළ පරිදි) ඇස් විකිණීමක් කිසි විටෙක සිදු වන්නේ නැහැ. මෙය වෛද්‍ය හඞ්සන් ජීවත්ව සිටියදී අවධාරණය කළ මූලික ප‍්‍රතිපත්තියක්.

අක්‍ෂි දානය ලැබූ විවිධ රටවලින් ඒ සඳහා කෘතඥතාව පළ කරමින් අක්‍ෂිදාන සංගමයට ආධාර උපකාර කිරීම කලෙක සිට සිදු වනවා. මෙරටින් ඇස් සිය ගණනක් ලැබූ ජපානය හා පාකිස්ථානය වැනි රටවලින් මේ කළගුණ සැළකීම ඉහළින් ම කෙරුණා. පාකිස්ථානයේ ලාහෝර් නුවර හඞ්සන් සිල්වා අක්‍ෂි රෝහලක් ද පිහිටුවා තිබෙනවා.

ජපානයට බොහෝ ඇස් දන්දීමට ස්තුති කිරීමක් ලෙස එරට සිංහ සමාජ වෙතින් අක්‍ෂිදාන සංගමයට ටොයෝටා මෝටර් රථයක් තෑගි කළා. එය පිළිගැන්වීමට 1970දශකය මුල මෙහි ආ ජපන් නියෝජිත පිරිස දුටුවේ මේ තරම් විශාල මෙහෙවරක් කරන්නේ කුඩා තට්ටු නිවාස කාමරයක සිට බවයි.

ව්‍යාපාරයේ මුල් වසර 20පුරා අක්‍ෂිදාන කටයුතු බොහෝ විට සම්බන්ධීකරණය වූයේ වෛද්‍ය හඞ්සන්ගේ නිවසෙන්. ආපසු ගිය ජපන් ජාතිකයෝ අක්‍ෂිදානයට ගොඩනැගිල්ලක් තැනීම සඳහා ආධාර එකතු කළා. යෙන් කෝටියක් මෙහි එවුවා.

1965දී රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට පත්වූ අක්‍ෂිදාන සංගමයට 1970දශකය මුලදී කොළඹ විජේරාම මාවතට නුදුරු රජයේ බිම් කොටසක් ලැබුණා. 1976දී ජනාධිපති විලියම් ගොපල්ලව අතින් මුල් ගල තැබුණු අක්‍ෂිදාන මූලස්ථානය සෙමින් සෙමින් ආධාර එකතු කරමින් තනා නිම කොට 1984දී විවෘත කළේ එවකට අගමැති ආර්. පේ‍්‍රමදාස විසින්.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):

 

 

සිවුමංසල කොලූගැටයා #163: අභීත පෑනෙන් භාරතය කිති කැවූ කුෂ්වාන්ත් සිං

In this week’s Ravaya column (in Sinhala), I pay tribute to Khushwant Singh (1915-2014), writer and journalist who died on 20 March 2014 aged 99. He is best remembered for his satire, humour and trenchant secularism. I make special mention of his defiance of death threats from Sikh fundamentalists in the 1980s, and his vocal stand against all organised religions.

Khushwant Singh (1915-2014)
Khushwant Singh (1915-2014)

මොන යකකුට, දෙවියකුට හෝ රජයකටවත් බිය නොවී අභීතව දශක ගණනක් ලේඛන කලාවේ යෙදුණු ඉන්දීය ලේඛක කුෂ්වාන්ත් සිං (Khushwant Singh) 99 හැවිරිදිව 2014 මාර්තු 20 වනදා මිය ගියා.

ඔහුගේ දැඩි විවේචනවලට නිතර හසු වූ දේශපාලකයන්, කලාකරුවන් හා වෙනත් නාමධාරී ඉන්දියානුවන් හැම කෙනකු ම පාහේ මතභේද පසෙක ලා මේ ලේඛකයාට ප‍්‍රණාමය පුද කළා.

ඉංග‍්‍රීසිය මවුබස ලෙස හැසරවීමේ හපන්කම තිබූ ඉන්දීය ලේඛකයන් අතර මුල් තැන ගත් ඔහු තමන්ටම ආවේණික ශෛලියක් බිහි කළේ උපහාසය, කථාන්තර කීමේ හැකියාව හා සැමට ‘ටිකිරි ටොකු’ දීමේ දක්‍ෂකම හරහායි.

‘‘මා ඉන්දියානුවකු වන්නේ ඇයි?’’ යයි වරක් ලිපියක් ලියමින් ඔහු එයට මෙසේ පිළිතුරු දුන්නා. ‘‘මට ඒ ගැන අභිමතයක් තිබුණේ නැහැ. මා උපන්නේ මෙරටයි. හැබැයි උපදින්නට කලින් මගෙන් ඇසුවා නම් මීට වඩා ඉසුරුබර, මෙතරම් ජනාකීර්ණ නොවූ, කන බොන දේ ගැන මේ තරම් බොරු සීමා පනවා නොගත්, ආගම් අන්ධ ලෙස නොඅදහන වෙන රටක් මා තෝරා ගන්නවා!’’

ඔහුගේ ජීවන දර්ශනය මේ උත්තරයේ කැටි වී තිබුණා යයි කිව හැකියි. මවු රට, තමන්ගේ ජාතිය, සංස්කෘතික උරුමය හා බලයේ සිටින රජයන් හා පාලකයන් අදීනව හා තර්කානුකූලව විවේචනය කිරීමට සමත් වූ ඔහු කිසිදු තරාතිරමක් නොබලා ඕනෑ ම ජගතකු නිර්දය ලෙස උපහාසයට ලක් කිරීමට ද මැලි වූයේ නැහැ. විශේෂයෙන් උගත්කම, වංශවත්බව, තනතුරේ ලොකුකම ආදිය නිසා හිස උදුම්මා ගත් අය ඔහුගේ පෑන් පහරින් දිගට ම බෑට කෑවා.

වෘත්තීය ජීවිතය මුල් කාලයේදී නීතීඥයකු ලෙසත්, ඉන් පසුව ඉන්දීය විදේශීය සේවයේ නිලධාරියකු ලෙසත් කළක් ක‍්‍රියා කළ ඔහු 1950 ගණන්වල පටන් වෘත්තීය ලේඛකයකු හා පත‍්‍ර කලාවේදීයකු ලෙස කටයුතු කළා. ජීවිතයේ අඩසිවසකට වැඩි කලක් තිස්සේ පොත් අසූ ගණනක්, පුවත්පත් තීරු ලිපි (කොලම්) දහස් ගණනක් හා වෙනත් ලිපි ලේඛන විශාල සංඛ්‍යාවක් රචනා කළා.

මේ හැම එකකම සුවිශේෂී ගුණය වූයේ සරල, සුමට හා මිත‍්‍රශීලී වූ ඉංග‍්‍රීසි බසින් නිර්මාණය වීමයි. බොහෝ පොත පත කියවූ, දේශසංචාර කළ හා ශාස්ත‍්‍රීය නැඹුරුවක් තිබූ චරිතයක් වුවත් කුෂ්වාන්ත් ඉතිහාසය, දර්ශනවේදය, දේශපාලනය, සාහිත්‍යය හා කාලීන මාතෘකා රැසක් ගැන ගැඹුරු වූත්, තුලනාත්මක වූත් විග‍්‍රහයන් ලිව්වේ කාටත් තේරෙන බසින්.

Khushwant-Singh -  cartoon by Prabhakar Wairkar
Khushwant-Singh – cartoon by Prabhakar Wairkar

පත්තර කලාවට ආ විට ඔහු එයට සරිලන ශෛලියකින් කි‍්‍රයා කළා. 1970 දශකයේ ඉන්දියාවේ ජනප‍්‍රියම සඟරාව වූ ඉලස්ටේ‍්‍රටඞ් වීක්ලි ඔෆ් ඉන්ඩියා හි (Illustrated Weekly of India) කතුවරයා ලෙස ඔහු ජනප‍්‍රිය සංස්කෘතියට මුල් තැන දුන්නා. ව්‍යාපාරික, කලා ක්‍ෂෙත‍්‍රයන්ගේ අක‍්‍රමිකතා හෙළිදරවු කරන අතර බොරු ප‍්‍රතිරූප ගොඩ නගා ගෙන සිටි (බොල් පිළිම ආකාරයේ) නාමධාරින්ට එරෙහි වූවා.

කුෂ්වාන්ත්ගේ පත‍්‍ර කලාවේ සදාදරණීය කාලය වූයේ මේ සඟරාවේ කතුවරයා ලෙස කි‍්‍රයා කළ අවුරුදු නවයයි (1969-78). බාර ගන්නා විට සතියට පිටපත් 65,000ක් අලෙවි වූ සඟරාව මාස කිහිපයකින් හාර ලක්‍ෂය දක්වා වැඩි කිරීමට ඔහු සමත් වුණා. ටයිම්ස් ඔෆ් ඉන්ඩියා සමාගමට අයත්, 1880දී ඇරඹී මේ සඟරාව ඉන්දීය ජන සමාජයට ඉතා සමීප ප‍්‍රකාශනයක් බවට පත් වූයේ ඔහුගේ කාලයේයි.

බංග්ලාදේශයේ නිදහස් සටන (1971), ඔපෙක් තෙල් අර්බුදය (1973), ඉන්දියාවේ මර්දනකාරී හදිසි නීතිය (1975) හා පාකිස්ථානු අගමැති අලි බූතෝ එල්ලා මැරීම (1977) වැනි භාරතය හා ලොව කැළඹූ සිදුවීම් ගැන විමර්ශනාත්මකවත් සරලවත් විග‍්‍රහ කිරීමට සඟරාව සමත් වුණා. ලිපි ලේඛන ඔපවත් කරන්නට මනාව ඡායාරූප යොදා ගැනීමත් මරියෝ මිරැන්ඩා හා ආර් කේ ලක්‍ෂ්මන් වැනි චිත‍්‍ර/කාටුන් ශිල්පීන් සම්බන්ධ කර ගැනීමත් කළා.

ඉන්දිරා ගාන්ධි අගමැතිනියගේ හා ඇගේ පුත් සංජේ ගාන්ධිගේ හිතවතකු හා අනුගාමිකයකු වීම නිසා කුෂ්වාන්ත්ගේ ස්වාධීනත්වය හා විශ්වසනීයත්වය පළුදු වුණා. එහෙත් බලවත් අගමැතිනියක ලෙස ඉන්දිරා රට පාලනය කරන කාලයේ ඇය සමග ප‍්‍රසිද්ධියේත්, පෞද්ගලිකවත් වාද විවාද කරන්නත් ඇගේ සමහර දරදඬු ප‍්‍රතිපත්තිවලට එරෙහි වන්නත් හැකි පෞරුෂය කුෂ්වාන්ත්ට තිබුණා.

පසු කලෙක ඔහු ස්වංලිඛිත චරිතාපදානයේ කීවේ ඉන්දියානු දේශපාලනයේ හා රාජ්‍ය පාලනයේ බොහෝ වැරදුණු තැන්වලට මුල් වූයේ ඉන්දිරාගේ දරදඬු පාලන ශෛලිය බවයි.

IBN TV's tribute to Khushwant Singh played on the image of editor inside the light bulb - the graphic used by him when he edited Illustrated Weekly of India (1969-78)
IBN TV’s tribute to Khushwant Singh played on the image of editor inside the light bulb – the graphic used by him when he edited Illustrated Weekly of India (1969-78)

1980-83 වකවානුවේ ඔහු හින්දුස්ථාන් ටයිම්ස් (The Hindustan Times) පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා වුණා. නව දිල්ලියේ හා උතුරු ඉන්දියාවේ වඩාත් ප‍්‍රබල දිනපතා පුවත්පත වූ එහි කතුවරයාට සමන්ත ඉන්දියාවේ ම දේශපාලන හා ප‍්‍රතිපත්ති ප‍්‍රවාහයන්ට ලොකු බලපෑමක් කළ හැකියි.

ප‍්‍රබල ව්‍යාපාරික පවුලක් වූ බිර්ලාවරුන්ට අයත් මේ පත‍්‍රයේ කතුවරයා ලෙස කුෂ්වාන්ත් මාණ්ඩලික වාර්තාකරුවන්ට හා විශේෂාංග ලේඛකයන්ට හැකි තාක් කර්තෘ මණ්ඩල නිදහස හා වගකීම් දුන් බව ප‍්‍රකටයි. හිමිකරුවන්ගේ මැදිහත්වීම් සමනය කරන්නටත්, දේශපාලන බලපෑම් අවම කරන්නටත් ඔහු උත්සාහ කළා.

1980 දශකය මුලදී ඉන්දියාවේ අන්තවාදී සික්වරුන් පිරිසක් අකාලි ඩාල් පක්‍ෂය හරහා සංවිධානය වෙමින් කාලිස්ථාන් (Khalistan) නම් වෙනම රාජ්‍යයක් ඉල්ලා උද්ඝෝෂණ කළා. සම්භවයෙන් සික්වරයකු වුවත්, සික් සාංස්කෘතික උරුමය ගැන ආඩම්බර වුවත් කුෂ්වාන්ත් මේ ක‍්‍රියා මාර්ගය ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. මේ උද්ඝෝෂණය සික් ජනයාටත්, ඉන්දියාවටත් අහිතකර බව පෙන්වා දුන්නා.

රටේ ප‍්‍රසිද්ධතම සික්වරයකු ලෙස කුෂ්වාන්ත් ගත් මේ ස්ථාවරය ගැන අන්තවාදී සික් පිරිස දැඩි ලෙස කෝප වුණා. තර්කයට ප‍්‍රතිතර්කය මතු කරනු වෙනුවට ඔවුන් ඔහුට මරණ තර්ජන එල්ල කළා.

මේ වන විට ඔවුන් සන්නද්ධ අරගලයකට යොමු වී සිටි නිසා කුෂ්වාන්ත්ට පොලිස් ආරක්‍ෂාව ලබාදීමට ඉන්දීය රජය ක‍්‍රියා කළා. එහෙත් තර්ජන කිසිවකට නොසැළුණු කුෂ්වාන්ත් දිගින් දිගට ම තම සහෝදර සික්වරුන්ගේ අදුරදර්ශී ප‍්‍රචණ්ඩ පිළිවෙත් සිය පුවත්පත හරහා විවේචනය කළා.

කුෂ්වාන්ත් තමන්ට ලැබුණු මරණ තර්ජන ගැන තම ප‍්‍රකාශනයේ මෙසේ පළ කළා.

‘‘ගෙවී ගිය සතියේ දිනෙක මුද්‍රිත පත‍්‍රිකාවක් මට තැපෑලෙන් ලැබුණා. එහි කියා තිබුණේ එය ලැබෙන හැම දෙනාමත්, ඔවුන්ගේ පවුල්වල උදවියත් කාලිස්ථානයේ සතුරන් ලෙස හඳුනාගෙන ඇති බවත් දින දහයක් ඇතුළත ඔවුන් මරා දමන බවත්.’’

‘‘මෙයට පෙර සිවු වසරක් තිස්සේ විටින් විට දුරකථනයෙන් හෝ තැපෑලෙන් හෝ මෙයට සමාන මරණ තර්ජන මට ලැබී තිබෙනවා. එහෙත් මුද්‍රිත තර්ජනයක් ලැබුණු මුල් වතාව මෙයයි. එසේම නිශ්චිත දින ගණනක් ඇතුළත මරනු ලබන බවට කියන්නේත් පළමු වතාවටයි. මින් පෙර පරුෂ වචනයෙන් මට බැන වැදී අවසන් ගමනට සූදානම් වී සිටින්න යයි කීවා පමණයි.’’

‘‘මේ තර්ජන අතරමැද නොසැලී හා නිදි නොවරා මගේ වැඩ කර ගෙන යන්නට මා පුරුදුව සිටිනවා. මගේ වයසේ හැටියට රෝගාතුර වී මාස ගණනක් රෝහල්ගත වී ඔත්පලව සිට මිය යනවාට වඩා ඉක්මන් මරණයක් ලැබුණොත් මාත් එයට කැමතියි. එපමණක් නොවෙයි, මෙසේ මරා දමනු ලැබුවොත් මා වෘත්තියට දිවි පිදු වීරයකු ද වනවා. මා මේ බොරුවට වීරකම් කථා කරනවා නොවෙයි. සික්වරයකු වුවත් මා තරමක බියගුල්ලෙක්. මගේ ඝාතකයන් වන්නට කුරුමානම් අල්ලන උදවිය දන්නවා හරියට තර්කයක් හා වාදයක් දිනා ගන්නට බැරි කෙනකුගේ අවසාන තර්කය වෙඩි උණ්ඩය බව.’’

‘‘මා මුල සිටම විශ්වාස කළේත්, ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර සිටියේත් සික් ධර්මයේ හා සංස්කෘතියේ හරයන්ට කාලිස්ථාන සංකල්පය මුළුමනින්ම විරුද්ධ හා නොගැලපෙන බවයි. කිසිවකුගේ නිර්නාමික තර්ජනවලින් මේ මතය දැරීම හා එය පළ කිරීම මා නතර කරන්නේ නැහැ. ඔබට දැන ගන්නට ඕනෑ නම් මා ඔප්පු කර පෙන්වන්නම් මගේ පෑන ඔබ සතු කඩුවකට, රයිෆලයකට හෝ කලශ්නිකෝෆ් තුවක්කුවකට වඩා බලවත් බව.’’

‘‘හැබැයි මේ මුද්‍රිත තර්ජන පත‍්‍රිකාව එක් අතෙකින් මා සන්තාපයට පත් කළා. මෙබඳු පත‍්‍රිකාවක් මට පමණක් එවන්නට එය මුද්‍රණය කළ යුතු නැහැ. සිය ගණනක්, සමහර විට දහස් ගණනක් තවත් අයට මෙහි පිටපත් යවා ඇති. මේ තර්ජනකරුවන්ගේ ඝාතන ලැයිස්තුවේ මා සිටින්නේ පහලට වන්නට විය යුතුයි. මට වඩා වැදගත් ඉලක්කයන් බිලි ගත්තාට පසුව ඔවුන් මා හඹා එනු ඇති. මෙය මගේ ආත්මාභිමානයට පහරක්. කාගෙවත් ඝාතන ලයිස්තුවකට මා ඇතුළත් කරනවා නම් මා කැමතියි එහි මුලින්ම, ඉහළින්ම සිටින්නට. මගේ සැඟවුණු ඝාතකයෝ මට මේ අවසාන ගෞරවය ලබා දෙනු ඇතැයි මා සිතනවා.’’

indira_gandhiසික්වරුන්ගේ ශුද්ධ වූ රන් දෙවොල ඉන්දීය හමුදාව විසින් යටත් කිරීමෙන් සිදු වූ විශාල ලේ වැගිරීමට පළි ගැනීමක් වශයෙන් 1984 ඔක්තෝම්බර් 31 වනදා ඉන්දිරා ගාන්ධි අගමැතිනිය ඇගේ ම සික් ආරක්‍ෂකයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.

හින්දුස්ථාන් ටයිම්ස් පත‍්‍රයේ කතුවරයා ලෙස තුන්වන වසරේ සේවා කාලය දිගු කරන විට හිමිකරු හා ප‍්‍රකාශක කේ. කේ. බිර්ලා ඉතා සුහදව කුෂ්වාන්ත්ගෙන් මෙසේ ඇසුවා. ‘‘සර්දා සාහිබ් (ලොකු මහත්තයා), විශ‍්‍රාම යන්න එහෙම කල්පනාවක් නැද්ද?’’

ඒ වන විට කුෂ්වාන්ත්ගේ වයස 69යි. ඔහු මෙසේ පිළිතුරු දුන්නා. ‘‘මා විශ‍්‍රාම ගන්නේ මගේ නිසල දේහය ගිනි දල්වන්ට රැගෙන යන විටයි.’’

අන්තිමේදී වයස 99ක් සපිරුණු පසුවත් ඔහු ලිවීම නතර කළේ නැහැ. වයස්ගත වීමත් සමග තරමක ශාරීරික දුබලතා මතු වුවත් ඔහු ඉතා හොඳ සිහියෙන් හා ධනාත්මක, උපහාසාත්මක මනසකින් දිගට ම පසු වූ බව සමීපතයෝ කියනවා.

හින්දුස්ථාන් ටයිම්ස් පත‍්‍රයට තමාගේ සතිපතා කොලම අවසානය දක්වා ම ලියුවා. කුෂ්වාන්ත්ගේ දේශපාලන ස්ථාවරයන් හා හිතවත්කම් ගැන ප‍්‍රතිවිරුද්ධ මත ඉන්දීය සමාජයේ කෙතරම් තිබුණත් ඔහුගේ කොලම මිතුරන්, පසමිතුරන් සැවොම නොවරදවා කියවූවා.

ඔහු ප‍්‍රධාන ප‍්‍රවාහයේ ඉන්දියානු සමාජයෙන් ඕනෑකමින් ම වෙනස් වූ තවත් සාධකයක් වූයේ නිර්ආගමික ස්ථාවරයයි. සික් උරුමය ප‍්‍රගුණ කරමින්, තලප්පාවක් පැළඳ හා ආවේණික රැවුලක් වවා සිටියත් ඔහු කිසිදා ආගමික වතාවත් හෝ පුද පූජාවලට සහභාගී වූයේ නැහැ. දේවවාද හෝ අදේවවාද හෝ මත පදනම් වූ කිසිදු සංවිධානගත ආගමක් නැතහොත් සාමයික දර්ශනයක් නොපිළිගත් ඔහු කීවේ හොඳ නරක පිළිබඳ හොඳම විනිශ්චය තමන්ගේ හෘදය සාක්‍ෂිය බවයි.

‘‘ආගම් සියල්ලේම මනෝමය මූලය වන්නේ නොදන්නා දේ ගැන මිනිසුන් තුළ පවතින බියයි’’ ඔහු කියා සිටියා. ‘‘දෙවියන් කියා කෙනෙකු සිටී ද නැත් ද යන්න ගැන පලකට නැති වාද කරනවා වෙනුවට අප සිහි තබා ගත යුතු වැදගත්ම කරුණ නම් කෙනකු හොඳ හෝ නරක හෝ චරිතයක් වීමට දෙවියන් පැවතීමේ අදාලත්වයක් නැති බවයි. කිසිදු ආගමක් ධර්මයක් නොඅදහන කෙනෙකුට වුව ද ඉතා හොඳ පුද්ගලයකු විය හැකියි. එමෙන්ම දිවා රාත‍්‍රී දෙවියන් අදහන වඳින පුදන තක්කඩියෝත් එමට සිටිනවා!’’

ඔහු 2012 හා 2013දී ලියා පළ කළ අන්තිම පොත් දෙකෙන් සිය නිර්ආගමික දර්ශනය වඩාත් පැහැදිලි කළා. සංවිධානගත ආගම්වල නිර්දය ලෙස පහර දීම ඔහු නතර කළේම නැහැ. සියළු ආගම්වල පූජකයන් පරපෝෂිත දුෂිතයන් හැටියට හඳුන්වා දුන්නා.

ඉන්දියාවේ සියළු ආගම් ගැන ගැඹුරු වූ ශාස්ත‍්‍රීය දැනුමක් තිබුණත් ඔහු එදිනෙදා චරිතගති සකස් කර ගත්තේ කෙලිලොල්, සැහැල්ලූ හා විනෝදකාමී ලෙසටයි. උගත්කමින් හිස උදුම්මාගත් පණ්ඩිතයන්ට හා උපාසකරාළලාට මෙය දරා ගන්නට අපහසු වුණා.

කුෂ්වාන්ත් ගැන තව බොහෝ දේ මෙනෙහි කළ හැකියි. ගතානුගතිකත්වයට, සුචරිතවාදයට හා දෛවවාදයට (fatalism) ප‍්‍රබල ලෙස එරෙහි වූ ඔහු තනි ගසක් තනි කරලක් මෙන් තමාට ආවේණික ජීවන රටාවක් හා ලේඛන කලාවක් දිගු ජීවිතය පුරා ප‍්‍රගුණ කළා. අන්තිමේදී ඔහු මිය ගියේ තම සොහොන් කොතේ ලිවිය යුතු වැකි ද රචනා කොටයි.

‘‘මෙතැන නිදන්නේ මිනිසුන්ට හෝ දෙවියන්ට තැකීමක්
නොකළ අයෙක්. ඔහුට ඔබේ කඳුළු නාස්ති කරන්න එපා.
ඔහු අමිහිරි දේ ලිවීමෙන් තෘප්තියක් ලැබූවෙක්.
මේ යකඩයා මැරුණ එක හොඳ යයි සිතා සැනසෙන්න!’’

Khushwant-Singh & his chosen epitaph

සිවුමංසල කොලූගැටයා #157: ජීවිත කාලයම පිටස්තරයකු වූ ඇල්බට් අයින්ස්ටයින්

My column on Einstein’s obscure visit to Ceylon in October 1922 was well received, and some appreciative readers asked me to look at the human being behind the intellectual. So, in this week’s Ravaya column (in Sinhala language), I explore Einstein the humanist, pacifist and supporter of civic rights all his life.

Einstein quote

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ අප‍්‍රකට ලංකා සංචාරය (1922 ඔක්තෝබර්) ගැන මගේ කොලම අගය කළ පාඨකයන් කිහිප දෙනකු විමසුවේ ඔහු සමාජවාදය ගැනත්, බුදු දහම ගැනත් අදහස් පළ කර ඇත්දැයි කියායි.

අයින්ස්ටයින් (1879-1955) මගේ වීරයෙක්. ඒ ඔහුගේ අසහාය බුද්ධි මහිමය හා විද්‍යා සොයා ගැනීම් නිසාම නොවෙයි. බුද්ධිමතකු ලෙස ලබා ගත් සමාජ ප‍්‍රතිරූපය හරහා සමාජ හරයන් හා සාරධර්ම වෙනුවෙන් පෙනී සිටීම නිසයි. එමෙන්ම දේශපාලනික, ශාස්තී‍්‍රය හා අනෙක් හැම ආකාරයේ ම අධිපතිවාදයන් නොරිස්සූ හා ඒවාට එරෙහිව ජීවිත කාලය පුරා අරගල කළ නිසයි. මහා ප‍්‍රාඥයකු වුවත් බොරු මාන්නය හා උද්ධච්ඡුකම නොතිබූ, සැහැල්ලූ හා හාස්‍යලෝලී චරිතයක් වූ නිසයි.

අයින්ස්ටයින් ගැන ලියැවුණු චරිතාපදාන හා විග‍්‍රහයන් රැසක් තිබෙනවා. ඒ අතර 2005දී පළ වූ  Einstein: A Hundred Years of Relativity නම් ග‍්‍රන්ථය විශේෂයි. ඇන්ඩෘ රොබින්සන් නම් බි‍්‍රතාන්‍ය ලේඛකයා සංස්කරණය කළ එය සාපේක්‍ෂතාවාදය සොයා ගෙන සියවසක් පිරීම සමරන්නට නිකුත් කළ සාමුහික ග‍්‍රන්ථයක්.

අයිනස්ටයින්ගේ විද්‍යාත්මක හපන්කම්, ළමා හා තරුණ අවධිය, විවාහ හා දරුවන්, දේශ සංචාර, දේශපාලන මතවාද, නිරායුධකරණයට ගෙන ගිය අරගලය ආදී විවිධ පැතිකඩ ගැන ලොව ප‍්‍රකට විද්වතුන් ලිපි සපයා තිබෙනවා. එයින් සමහරුන් අයින්ස්ටයින්ගේ අවසාන කාලයේ ඔහු සමග එකට වැඩ කළ අයයි. අද මා සම්පිණ්ඩනය කරන තොරතුරු සොයා ගත්තේ මේ අනගි පොතෙන්.

අයින්ස්ටයින්ගේ ජිවිත කාලය පුරා ඔහු පිටස්තරයකු වූවා යයි කිව හැකියි. ඉතා සමාජශීලි හා සුහද කෙනකු වුවත් ඔහු කිසිදු සමාජ ස්ථරයකට, ශාස්තී‍්‍රය ප‍්‍රභූ කණ්ඩායමකට, දේශපාලන න්‍යායකට, ආගමකට හෝ ජාතිවාදයකට කොටු වූයේ නැහැ. මේ නිදහස් බව ඔහුට ආශිර්වාදයක් මෙන් ම ඇතැම් විට පීඩාකාරී සාධකයක් ද වුණා.

ජර්මනියේ යුදෙව් පවුලක ඉපදීම නිසා ඔහු මවු රටේ සුළු ජාතිකයකු වුණා. යුදෙව් ජාතිකයන් දක්‍ෂ වුවත් බොහෝ යුරෝපීය සමාජ ඔවුන් දෙස බැලූවේ සැකයෙන් යුතුවයි. වයස 17දී ජර්මන් රටවැසි බව අත්හළ ඔහු 1901දී උසස් අධ්‍යාපනය ලැබූ ස්විට්සර්ලන්තයේ රටවැසියකු වුණා. එය පවත්වා ගෙන ම 1940දී අමෙරිකානු රටවැසි බව ලබා ගත් ඔහු ජීවිතයේ අවසන් වසර 23 ඇමරිකාවේ පදිංචිව සිටියා.

Albert-Einstein---Life-is-like-Ridin

මානව හිතවාදය හා සාමවාදය අයින්ස්ටයින්ගේ දර්ශනයේ මුලික හරයන් වූවා. ඊට අමතරව ඔහු සාමයික වශයෙන් යුදෙව් ආගමෙහි එල්බ නොසිටියත් ඇමරිකාවේත්, යුරෝපයේත් (1948දී) ඊශ‍්‍රායලය බිහි වූ පසු එරටත් යුදෙව් සාංස්කෘතික කටයුතු සඳහා ද හැකි සැම විට අත හිත දුන්නා. සිය සුළු ජාතික අනන්‍යතාවය ඔහු කිසි දිනෙක අමතක කළේ නැහැ.

අයින්ස්ටයින් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ ජර්මන් පාසල්වලින්. පාසල් වැඩට සාමාන්‍ය මට්ටමේ හැකියාවක් තිබූ නමුත් එතරම් කැපී පෙනුනේ නැහැ. තනිව පොත්පත් කියවා ලෝකය ගැන දැනුම පුළුල් කර ගන්නට වඩාත් රිසි වූ ඔහු, විෂය මාලාවට හෝ පන්ති කාමරයට හෝ සීමා වන්නට කැමති නොවූ බව පසුව ලියා තැබුවා. මේ නිසා බොහෝ ගුරුවරුන් ඔහු ‘අමාරුකාර’ හා දරදඩු ශිෂ්‍යයෙක් ලෙස සැලකුවා.

විශේෂයෙන් විභාග හරහා සිසු දැනුම ඇගයීමේ ක‍්‍රමවේදයත්, හමුදා ස්වරූපයක් ගත් සරඹ හා කැඩෙට් කටයුතු ආදියත් ඔහුට පොඩියක්වත් ඇල්ලූවේ නැහැ. මේ නිසා පාසලේදී ඔහු හුදකලා වූ සිහින මවන්නකු බවට පත් වුණා.

පාසල් කාලයේ පටන් ඔහු අධිකාරීත්වයට (authority) අභියෝග කළා. පාසල් හා සරසවි පරිපාලකයන් හා පසු කලෙක රැකියා කරන විට ආයතන ප‍්‍රධානීන් මෙන්ම රාජ්‍ය නායකයින් පවා වැරදි තීරණ හා ප‍්‍රතිපත්තිවලට යොමු වූ සැම විට ම විනීතව එහෙත් තරයේ ඒවා විවේචනය කළා.

මේ ‘නාහෙට නාහන’ ගතිය නිසා අයින්ස්ටයින්ට සමහර තනතුරු, වරප‍්‍රසාද අහිමි වුණත් ඔහු සැලූණේ නැහැ. එසේ ම ඔහුගේ සහජ බුද්ධිය හා කුසලතා නිසා ඔහු සමග කෙසේ හෝ ගනුදෙනු කරන්නට කොයි කාටත් සිදු වුණා.

අන් අයගේ අධිපතිවාදය නොරිස්සූ අයින්ස්ටයින් තමාගේ සොයා ගැනීම් වටා දැනුම් බලාධිකාරයක් බිහි වන්නට ඉඩ දුන්නේ ද නැහැ. තම කල්පිත හා න්‍යායවලට අභියෝග කරන්නට, ප‍්‍රශ්න කරන්නට  ඕනෑ ම කෙනකුට ඉඩ දුන්නා. උනන්දුවෙන් ප‍්‍රතිතර්ක අසා සිටියා. ගෞරවනීය ලෙස ප‍්‍රතිචාර දැක්වූවා. වයසින් හෝ තනතුරින් හෝ ලාබාල අයගෙන් පවා අළුත් දෙයක් උගන්නට සැම විට විවෘත මනසක් ඔහුට තිබුණා. මෙහෙම උගතුන් ලෝකයේ ඉන්නේ ටික දෙනයි!

අයින්ස්ටයින් කුඩා කල පටන් ප‍්‍රචණ්ඩත්වය හා යුද්ධ සහමුලින් ම පිළිකුල් කළා. වෙනත් පිරිමි දරුවන් මෙන් හොරා පොලිස් හෝ හමුදා සෙල්ලම් කළේ නැහැ. ජර්මන් රටවැසි බව අත්හලේත් අනිවාර්ය හමුදා සේවයෙන් මිදීමටයි. (පසුව ස්විස් රටවැසියෙකු ලෙස හමුදා සේවය කිරීම ඔහුට අනවශ්‍ය වූයේ සෞඛ්‍ය හේතු නිසායි.)

ජීවිතයේ කිසි දිනක ඔහු හමුදා නිල ඇඳුමක් ඇන්දේවත් අවියක් භාවිතා කළේවත් නැහැ. (වරක් ප‍්‍රාග් නුවර මහාචාර්යවරයකු ලෙස දිවුරුම් දෙන විට එරට සම්ප‍්‍රදාය පරිදි පැය කිහිපයකට කඩුවක් සහිත උත්සවාකාර ඇඳුමක් නොකැමැත්තෙන් පැළඳ සිටියා.)

පළමුවන ලෝක යුද්ධයෙන් පැරදුණු ජර්මනියේ සිටි අන්ත ජාතිකවාදීන් ටිකෙන් ටික දේශපාලන බලය තහවුරු කර ගන්නා සැටි ඔහු බලා සිටියේ කලකිරීමෙන්. සුළු ජාතීන්ට නොසලකන හා හිරිහැර කරන, විකල්ප මත නොඉවසන, නීතියේ ආධිපත්‍යය වෙනුවට පාලක අභිමතය හැම ක්‍ෂෙත‍්‍රයකට ම පතුරු වන ජාතිකවාදී ප‍්‍රවණතා ගැන ඔහු විවෘතව ප‍්‍රශ්න කළා. බුද්ධිමතකු ලෙස විවේචන කළා. මේ නිසා ඔහුට ජීවිත තර්ජන පවා එල්ල වුණා.

1914-18 කාලයේ පළමුවන ලෝක යුද්ධය සඳහා දැඩි ලෙස මිලිටරිකරණය වී තිබූ ජර්මන් සමාජයේ විද්‍යාඥයන් හා වෙනත් උගතුන් අතර දේශප්‍රේමය (patriotism) ගැන ලොකු විවාදයක් පැවතුණා. නාමධාරි හා ජ්‍යෙෂ්ඨ විද්වතුන් රැසක් අවස්ථාවාදීව කීවේ ප‍්‍රශ්න කිරීමකින් තොරව ජර්මන් රාජ්‍යය කරන හැම දෙයට ම සම්පූර්ණ සහාය දිය යුතු බවයි.

Albert Einstein - Pacifist quote

එවකට වයස තිස් ගණන් වල සිටි තරුණ අයින්ස්ටයින් එයට එකඟ වුණේ නැහැ. ඔහු සාමවාදියෙකු  (pacifist) ලෙස ප‍්‍රබලව මතු වූයේ මේ යුගයේයි. තම මවු රට වුවත් වැරදි දේ කරන විට එය විවේචනය කළ යුතු බවත්, එය ද්‍රෝහිකමක් නොවන බවත් ඔහු තරයේ විශ්වාස කළා.

ඔහුගේ සහෘද ජර්මන් විද්‍යාඥයන් සමහරෙක් හමුදා තාක්‍ෂණයට පර්යේෂණාත්මකව උදවු වනු දුටු අයින්ස්ටයින් මහත් සේ කම්පා වුවත් එසේ කරන්නට ඔවුන්ට ඇති අයිතිය පිළි ගත්තා. 1914-18 වකවානුවේ ජර්මන් විද්‍යාඥයන් නිපද වූ රසායනික අවි මුල් වරට යුධ පිටිවල භාවිතා කිරීමෙන් දහස් ගණනක් ප‍්‍රතිමල්ලවයන් හා නිරායුධ ජනයා මිය ගියා. විද්‍යාව මිලිටරිකරණයේ භයානක ප‍්‍රතිඵල ඇස් පනා පිට දැකීමෙන් අයින්ස්ටයින්ගේ සාමාවාදී ස්ථාවරය තවත් ප‍්‍රබල වුණා.

1920 දශකය තුළ අයින්ස්ටයින් දුටුවේ පරාජය වූ ජර්මනිය යළි නගා සිටුවීමේ මුවාවෙන් ජාතිකවාදීන් බලය තහවුරු කර ගන්නා ආකාරයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුව තුළ ජනයා මුසපත් කැරෙන ආකාරයේ කථා කිරීමෙන් ඇඩොල්ෆ් හිට්ලර් බල පදනමක් ගොඩ නගන අන්දම දැක ඒ ගැන අයින්ස්ටයින් අනතුරු ඇඟ වූවා.

1932 දෙසැම්බරයේ ඔහු පාරම්පරික දේපල ද අත්හැර දමා ජර්මනියේ පිටත්ව ගියේ සුළු ජාතීන්ට හා නිදහස් මතධාරීන්ට තත්ත්වය අවදානම් වූ බැවින්. 1933 ජනවාරියේ හිට්ලර් මැතිවරණයක් හරහා ජර්මනියේ නායකයා බවට පත් වුණා. හිට්ලර් නැවතත් ජර්මනිය මහා යුද්ධයකට ගෙන යන බව වෙනත් බොහෝ ජර්මන් බුද්ධිමතුන්ට පෙර අයින්ස්ටයින් කල් තබා දුටුවා.

හිට්ලර් පාලන කාලය තුළ ම (1933-45) අයින්ස්ටයින් ආපසු ජර්මනියට ගියේ නැහැ. පසුව ඔහු අමෙරිකාවේ පි‍්‍රන්ස්ටන් සරසවියේ උසස් අධ්‍යයන ආයතනයේ පර්යේෂණ තනතුරක් භාර ගෙන සුන්දර පි‍්‍රන්ස්ටන් ගම්මානය සිය නිවහන කර ගත්තා.

ඒ වන විට අයින්ස්ටයින් ලබා තිබු ලෝක පූජිත තත්වය නිසා  ඕනෑ නම් ඔහුට විද්වත් ලෝකයේ ප‍්‍රභූවරයෙකු ලෙස ඉසුරුබරව ජීවත් විය හැකිව තිබුණා. එහෙත් ඔහුගේ හෘද සාක්‍ෂිය එයට ඉඩ දුන්නේ නැහැ. එතෙර සිට ඔහු ජර්මන් මර්දනකාරී පිළිවෙත් දිගට ම විවේචනය කළා. තමා අයත් වූ යුදෙව් ජන කොටස පමණක් නොව අන් සැම ආකාරයක ම සුළුතරයන්ට හිට්ලර්ගේ ජාතිකවාදී රජය කළ අසාධාරණකම් ගැන හඬ නැගුවා.

ඇමරිකානු සරසවිවල තිබෙන බුද්ධිමය නිදහසෙන් අයින්ස්ටයින් උපරිම ප‍්‍රයෝජන ගත්තා. එහෙත් එහිදී ද ඔහු  ඕනැකමින් ම ‘පිටස්තරයකු’ ලෙස කල් ගත කළා. නිලතල හා ආයතනික වගකීම් භාර ගන්නවා වෙනුවට නිදහසේ සමාජයීය හා දේශපාලනික අදහස් දැක්වීමට යොමු වුණා. පි‍්‍රන්ස්ටන් සරසවි පාලකයන් ඔහුගෙන් අයැද සිටියේ ‘ඔබ විද්‍යා ක්‍ෂෙත‍්‍රයට පමණක් සීමා වී වැඩ කරන්න කියායි’. එහෙත් අයින්ස්ටයින් එසේ මතවාදීව ගාල් කිරීමට ඔවුන්ට හැකි වූයේ නැහැ.

අයින්ස්ටයින් මානව සමාජයේ සමානාත්මතාවය බෙහෙවින් අගය කළා. ඔහුට සමාජවාදී අදහස් තිබුණා. ලෝකයේ ප‍්‍රකට ම පුද්ගලයකු බවට පත් වීමෙන් පසුවත් සමාජවාදී ආකල්ප දැරුවත් අයින්ස්ටයින් කොමියුනිස්ට් දේශපාලනයට සම්බන්ධ වූයේ නැහැ. (සෝවියට් දේශයේ සංචාරය කරන්නට ලැබුණු ඉහළ පෙළේ ආරාධනා සියල්ල කාරුණිකව ප‍්‍රතික්‍ෂෙප කළා.)

1931 කැලිෆෝනියා තාක්‍ෂණික සරසවියේ (Caltech) සිසුන් අමතා ඔහු කීවේ: ‘‘සියළු තාක්‍ෂණික පර්යේෂණ හා නවෝත්පාදනවල ප‍්‍රධාන අරමුණ විය යුත්තේ මානව සංහතියට උදවු උපකාර වීමයි. මානව සමාජයේ සම්පත් බෙදී යාම හා ශ‍්‍රම සංවිධානය වඩාත් ප‍්‍රශස්ත කිරීම සඳහා ඔබේ අධ්‍යයන හා ගවේෂණ දායක විය යුතුයි.’’

සංගීතයට, සොබාදහමට හා සුන්දර දේවලට බොහෝ ඇලූම් කළ අයින්ස්ටයින් සංවිධානගත ආගම් පිළි ගත්තේ හෝ ප‍්‍රගුණ කළේ නැහැ. යුදෙව් සම්භවය ගැන ආඩම්බර වුවත් යුදෙව් ආගමික වතාවත් කළේ හෝ යුදෙව් පල්ලියට ගියේ ද නැහැ.

එහෙත් විශ්වයේ හා සොබා දහමේ සංසිද්ධීන් පිටුපස මිනිසාට වඩා උසස් වූ බලවේගයක් පවතින බව ඔහු විශ්වාස කළා. ඇතැම් විට ඔහු කීවේ තමා විශ්වීය ආගමක් (cosmic religion) අදහන බවයි. එහෙත් සංකල්පයක් විනා එයට ආගම් කර්තෘවරයෙක්, ශුද්ධ ලියවිලි, පූජනීය ස්ථාන හා පූජකයන් ආදිය තිබුණේ නැහැ.

Albert Einstein  plays violine

සංගීත ලෝලියකු ලෙස අයින්ස්ටයින් බටහිර ශාස්තී‍්‍රය සංගීතයට ඉතා ලැදි වුණා. තමා භෞතික විද්‍යාඥයකු නොවූවා නම් සංගීතඥයකු විය හැකිව තිබූ බව වරක් පැවසුවා. වයලීනය හා පියානෝව වාදනය කළ ඔහු නිතර කීවේ තමා සිතන්නේත්, සිහින දකින්නේත් සංගීතයට අනුව කියායි.

අයින්ස්ටයින් නිලධාරිවාදයට, නිල කටයුතුවලට හා ආයතනික සම්ප‍්‍රදායන්ට මෙන් ම ගුරුකුලවලටත් කිසිදා කැමති වූයේ නැහැ. මේස් නොදමා සපත්තු පැළඳීමට පුරුදුව සිටි ඔහු  ඕනෑ ම ගරු ගාම්භීර සභාවක වුවත් විහිළු තහළු කළා. ඔහු කුඩා දරුවෙකු මෙන් නිර්ව්‍යාජ හා කෙලිලොල් චරිතයක්. ඡායාරූප ගන්නා විට විසිලූ මුහුණක් පෑමත්, ඇතැම් විට දිව දික් කිරීමත් කළා.

මේ සැහැල්ලූ ගති සොබා සමහර බක පණ්ඩිතයන්ට හා නිලධාරීන්ට දිරවා ගත නොහැකි වුවත් අයින්ස්ටයින්ලා හිටියේ ලෝකෙට ම එක් අයකු බැවින් ඔවුන්ට ඉවසා දරා ගන්නට වුණා!

ඊශ‍්‍රායලයේ ආරම්භක ජනාධිපතිවරයා 1952දී මිය ගිය විට එරට ජනාධිපතිකම භාර ගන්නා මෙන් ලොව සිටි ප‍්‍රසිද්ධතම යුදෙව්වා වූ අයින්ස්ටයින්ට ඇරයුම් කැරුණා. එහෙත් ගාම්භීර නිල තනතුරුවලට කිසිදු කැමැත්තක් නොතිබු ඔහු එය සාදරයෙන් ප‍්‍රතික්‍ෂෙප කළා.

ජීවිත කාලය පුරා ම බලාධිකාරයන්ට එරෙහි වූත් පෞද්ගලික නිදහස අගය කළා වූත් අයින්ස්ටයින් වයෝවෘද්ධ වියේදී හෝ රාජ්‍ය නායක තනතුරකට ආසා වූයේ නැහැ!

ප‍්‍රබුද්ධ බුද්ධිමතකුගේ සමාජ වගකීම හා දේශපාලන භූමිකාව කුමක් විය යුතු ද යන්න ගැන ඇල්බට් අයින්ස්ටයින් චරිතයෙන් අපට බොහෝ ආදර්ශ ගත හැකියි. ඒවා ඔහුගේ විද්‍යාත්මක සොයා ගැනීම්වලටත් වඩා වටිනවා.

At 72, Albert Einstein proves he has a sense of humor in this iconic photograph taken in 1951

සිවුමංසල කොලූගැටයා #156: අයින්ස්ටයින්ගේ ලංකා සංචාරය ගැන තොරතුරු මතු වෙයි

In this week’s Ravaya column (in Sinhala), I share info on Albert Einstein’s short visit to Ceylon in October 1922 on his way to Japan. This is based on a recent talk given by physicist Dr Kirthi Tennakone, who has unearthed this info from Einstein diaries and other archival records.

I’m yet to write this in English, but intend doing so shortly.

Albert & Elsa Einstein - Photo courtesy  Wikimedia Commons
Albert & Elsa Einstein – Photo courtesy Wikimedia Commons

20 වන සියවසේ මහා ප‍්‍රාඥයෙකු හැටියට සැලකෙන ඇල්බට් අයින්ස්ටයින් (1879-1955) කෙටි සංචාරයකට මීට දශක නවයකට පෙර ලංකාවට ආ බව ඔබ දන්නවා ද?

ජර්මනියේ උපත ලබා අමෙරිකාවේදී මිය ගිය මේ මහා මොළකාරයා, ජිවිත කාලයේ නොයෙක් දේශ සංචාරවල යෙදුණා. 1922 ඔක්තෝබර් අගදී ඔහු සිය බිරිඳ එල්සාත් සමග මෙහි ආවේ ජපානයේ දේශන කිරීමට යන අතරතුරේයි. ගුවන් ගමන් නොතිබි ඒ යුගයේ එබඳු සංචාර සිදු කළේ නැව් ගමනින්. බොහෝ නැව් පෙර අපර දෙදිග බලා යද්දී දිනකට හෝ දෙකකට කොළඹ වරායේ නවත්වනවා.

අයින්ස්ටයින්ගේ ලංකා ගමන ගැන වැළලී ගිය තොරතුරු ඉස්මතු කර ගත්තේ ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥ මහාචාර්ය කීර්ති තෙන්නකෝන් විසින්. කලක් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ  (IFS) අධ්‍යක්‍ෂවරයා වූ ඔහු දැන් ඇමරිකානු සරසවියක උගන්වනවා.

Prof Kirthi Tennakone
Prof Kirthi Tennakone

මෙරටත්, අමෙරිකාවේත්, ඊශ‍්‍රයාලයේ ජෙරුසලමේ අයින්ස්ටයින් ලේඛනාගාරයේත් ගවේෂණ කිරීමෙන් තොරතුරු මතු කර ගන්නට ඔහුට හැකිව තිබෙනවා. මෑතදී ජාතික විද්‍යා පදනමේ දේශනයකදී ඔහු මේ තොරතුරු ඉදිරිපත් කළා.

අයින්ස්ටයින් හා එල්සා 1922 ඔක්තෝබර් 8 වනදා ප‍්‍රංශයේ මාසේ වරායෙන් ගමනාරම්භ කළා. ඔවුන් රැගත් කිතානෝ මාරු  (Kitano Maru) නම් ජපන් මගී නොෟකාව ඊජිප්තුවේ පෝට් සෙඞ්, කොළඹ, සිංගප්පූරුව, හොංකොං, චීනයේ ෂැංහයි යන වරායන්හි නතර කරමින් සති පහක චාරිකාව හමාර කළේ නොවැම්බර් 17 වනදා ජපානයේ කෝබේ නුවර වරායෙන්.

මේ ගමනට වියදම් කළේ ඔහුට ජපානයට ඇරයුම් කළ සනෙහිකෝ යමාමොතෝ Sanehiko Yamamoto නම් ජපන් ප‍්‍රකාශකයායි. ඔහුගේ තෝකියෝවේ කයිසෝහා Kaizosha ප‍්‍රකාශන සමාගම මුලික වී මාසයකට අධික කාලයක් ජපානයේ විවිධ තැන්වල අයින්ස්ටයින්ට විද්වත් දේශන සංවිධානය කරනු ලැබුවා.

1922 වන විට දශකයක පමණ කාලයක් තිස්සේ හැම වසරක ම භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගයට අයින්ස්ටයින්ගේ නම යෝජනා වුවත් නොබෙල් කමිටුව ඒ හැම වතාවකම හේතු නොදක්වා ත්‍යාගය වෙනත් අයට පිරිනැමුවා.

1919 වන විට තත්ත්වය වෙනස් වුණේ බි‍්‍රතාන්‍ය තාරකා විද්‍යාඥ ආතර් එඩිංටන් පූර්ණ සූර්යග‍්‍රහණයක් නිරීක්‍ෂණය කොට අයින්ස්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ න්‍යායාත්මක පදනම තහවුරු කර තිබු නිසයි. එහෙත් මේ වන විට ජර්මනියේ බලධාරින් යුදෙව් සම්භවය සහිත උගතුන්ට කැනහිලිකම් කිරීම අරඹා තිබුණා.  යුදෙව්වකු මෙන් ම අතිශයින් සාමවාදියකු (pacifist) ද වූ අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය නොදෙන ලෙස ජර්මන් වියතුන් හා නිලධාරින් නොබෙල් කමිටුවට රහසේ බලපෑම් කළා.

1922 ඔක්තෝබරයේ ඔහු ජපානය බලා නැව් නගින විට නැවත වාරයක් අයින්ස්ටයින්ගේ නම නොබෙල් ත්‍යාගයට යෝජනා වී තිබුණා. 1921 වසර සඳහා  නොබෙල් ත්‍යාගය 1922 ඔක්තෝබර් මුලදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කල යුතුව තිබණත් එය නොවැම්බර් මැද දක්වා අසාමාන්‍ය ලෙස කල් ගියා.  මේ අවිනිශ්චිත බව අයින්ස්ටයින්ට මානසිකව බලපෑවා.

Kitano Maru Japanese shipping liner
Kitano Maru Japanese shipping liner

යුදෙව් බුද්ධිමතුන්ට හා ප‍්‍රභූන්ට ප‍්‍රහාර එල්ල කරන අහිතකර වාතාවරණයක් එවකට යුරෝපයේ පැවති නිසා  කලකට යුරෝපයෙන් ඈත් වී සිටීමේ වැදගත්කම ද අයින්ස්ටයින් තේරුම් ගත්තා.

ඇල්බට් හා එල්සා කොළඹ වරායට ළගා වුණේ 1922 ඔක්තෝබර් 26 වනදා සවස. ‘කිතානෝ මාරු‘ නැව ජෙටියේ ගාල් කළ පසු ඔවුන් හමු වූ මුල් ම ලාංකිකයා වුයේ අයින්ස්ටයින් නමට ලැබී තිබූ ටෙලිග‍්‍රෑම් රැගෙන ආ සිහින්, සුදුවන් රැවුලක් ඇති පුද්ගලයෙක්. සමහර විට වරාය සේවකයකු හෝ නැව් සමාගම් සේවකයකු විය හැකියි. තම කාරිය ඉටු කොට එයට ‘ටිප් ’ එකක් ඉල්ලා සිටි බවත්, මේ මිනිසා ගැන කණගාටුවක් ඇති වූ බවත් අයින්ස්ටයින් දින පොතේ ලියා තිබෙනවා.

අයින්ස්ටයින් යුවල කොළඹ දෙදිනක් ගත කළා. ඔක්තෝබර් 27 වනදා ඔවුන් නගර සංචාරයකට නැවෙන් එළියට ආ විට ඒ සඳහා තිබුණු එක ම ප‍්‍රවාහන ක‍්‍රමය වූයේ රික්ෂෝයි. තවත් මිනිසෙකු ඇද ගෙන යන වාහනයකට අයින්ස්ටයින් කැමති වූයේ නැහැ. ‘රුපියල් දෙකයි – රුපියල් දෙකයි’ යනුවෙන් ඝෝෂා කරමින් ජෙටිය අවට පොර කන රික්ෂෝකරුවන් දුටු අයින්ස්ටයින් මවිත වූවා. එවිට නැවේ නිලධාරියකු කීවේ: ‘ඔබ දැන් ඉන්නේ පෙරදිග රටක. එහි යථාර්ථයට මුහුණ දෙන්න’ කියායි.

වෙනත් විකල්පයක් නැති බැවින් එල්සා හා ඇල්බට් රික්ෂෝවල නැගී වීදි සංචාරය කළා. එදින ඔහු දිනපොතේ ලියුවේ මෙයයි. ‘ලාංකික රික්ෂෝකරුවන් සිරුරෙන් කුඩා වූවත් ඔවුන්ට යොධ සවියක් ඇති බව පෙනෙවා. තවත් මනුෂ්‍යයකුගේ සවියෙන් ගමන් කිරීම මට මහත් පිළිකුල් සහගත කාරියක් වුවත් වෙන් කළ හැකි දෙයක් තිබුණේ නැහැ. එල්සා කීවේ මේ රැකියාවෙන් ඔවුන් පණ ගැට ගසා ගන්නා බවයි.’

Colombo Rickshaw drivers Street Scene in 1906 - Courtesy Lankapura.com
Colombo Rickshaw drivers Street Scene in 1906 – Courtesy Lankapura.com

කොළඹ නගරයේ ‘හින්දු ප‍්‍රදේශ’ හා ‘බෞද්ධ පන්සලක්’ තමන් නැරඹු බව අයින්ස්ටයින් දිනපොතේ ලියනවා. මේ පිටකොටුව ප‍්‍රදේශය හා කැළණිය පන්සල විය හැකි යයි තෙන්නකෝන් අනුමාන කරනවා. නැත්නම් කැළණිය යයි කියා වෙනත් පන්සලක් ඔවුන්ට පෙන්වන්නට ඇත් ද? තෙන්නකෝන්ට එබඳු දෙගඩියාවක් ද තිබෙනවා.

කොළඹ කොටුව ගැන අයින්ස්ටයින් සඳහන් කර ඇත්තේ යන්තමින්. වරාය ගැන පමණයි. තමන් දුටු ස්ථානවලට වඩා මිනිසුන් හා ගැහැණුන් ගැන සාපේක්‍ෂව වැඩිපුර දිනපොතේ ලියා තිබෙනවා.

කොළඹ යාචකයන් ගැන ඔහු ලීවේ මෙයයි. ‘නාඳුනන අයකු දුටු විට රොත්තක් මෙන් එක් රැස් වන මේ යාචකයන් තමන්ගේ දුක් ගැනවිලි ගැන කියමින් සිඟමන් ඉල්ලන්නට ඉතා සමත්. එයින්  ඕනෑම සිතක් උණු විය හැකියි.’

යාචකයින් මෙන් ම මහමග දුටු වෙනත් දුගී පෙනුම ඇති ලාංකිකයන් ගැන ද අයින්ස්ටයින් සානුකම්පිතව ලියනවා. ‘දුඹුරු හෝ කාල වර්ණ සම ඇති මේ අයගේ මුහුණුවල බොහෝ හැගීම් ප‍්‍රකාශ වෙනවා. ඇත්තට ම ප‍්‍රභූ සම්භාවයක් තිබී පසුව අසරණ වූ ගතියක් පෙනෙනවා. දුක්ඛිත පෙනුමට යටින් සියුම් ප්‍රෞඩත්වයක් ද දැකිය හැකියි.’

තවත් සටහනක තමා දුටු ලාංකිකයන් ගැන අයින්ස්ටයින් මෙසේ කියනවා. ‘ඔවුන්ගේ සිරුරු කුඩා වුවත් සවිමත් මුහුණු පියකරු හා ඉවසිලිමත් පෙනුමකින් යුක්තයි. දරුණු හෝ ප‍්‍රචණ්ඩ බවක් පෙනෙන්නට නැහැ. එසේම කඩපිල්වල ලොකු ගාල ගෝට්ටයක් ද නැහැ. පෝට් සේඞ්හිදී අප දුටුවාක් මෙන් කලබලකාරී නොවී සැහැල්ලූවෙන් දිවි ගත කරන බවක් පෙනෙනවා.’

Old Fort Lighthouse Clock Tower Colombo Ceylon c.1910. Photo courtesy Lankapura.com
Old Fort Lighthouse Clock Tower Colombo Ceylon c.1910. Photo courtesy Lankapura.com

කොළඹ ප‍්‍රදෙශ කිහිපයකට ඉතා කෙටි සංචාරයකින් පසුව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කළ නිරීක්‍ෂණ එතරම් නිවැරදි නොවන බව තෙන්නකෝන් කියනවා. මුළු රටක් ජාතියක් ගැන එසේ ඉක්මන් නිගමන වලට එළඹීම විද්‍යානුකූල නැහැ. වෙනත් බොහෝ පැතිකඩවලින් විවෘත හා රැඩිකල් මනසක් තිබූ අයින්ස්ටයින් ලංකා සංචාරය කරන කාලයේ තවමත් පාරිසරික නියතිවාදය (environmental determinism) නම් සංකල්පය විශ්වාස කළ බව තෙන්නකෝන්ගේ විග‍්‍රහයයි.

මේ සංකල්පයේ හරය නම් මානව සමාජවල ප‍්‍රගතිය ඔවුන් වෙසෙන පරිසරයන් හා දේශගුණය මගින් මුළුමනින් නිර්ණය වන බවයි. (19 වන සියවසේ මතුව ආ මේ සංකල්පය 20 වන සියවස මුලදී ක‍්‍රමයෙන් ප‍්‍රතික්‍ෂෙප වූවා.)

අයින්ස්ටයින් ලංකාවට එන විට මේ මානසිකත්වයෙන් සිටි බව තෙන්නකෝන් කියනවා. සීමිත නීරික්‍ෂණ මත පදනම්ව අයින්ස්ටයින් ලාංකිකයන් ගැන කියා ඇත්තේ මෙබන්දක්: ‘‘(ශීත ඝෘතු පවතින රටවලට වඩා) වසර පුරා සිරුරට දරා ගත හැකි ඝර්ම කලාපීය දේශගුණයක් පවතින ලංකා දුපතේ වැසියන් කලබලයකින් තොරව බොහෝ කොට ම වර්තමානයේ සිදු වන දේ ගැන පමණක් කල්පනා කරනවා. අතීතය හෝ අනාගතය හෝ ගැන ඔවුන් ඉඳහිටවත් මෙනෙහි කරනවා නම් ඒ පැය කාලක් (විනාඩි 15) පසුපසට හෝ ඉදිරියට පමණයි. ගුණයෙන් පිරිහුණු, රළු හා කෑදර යුරෝපීයයන්ට වඩා මොවුන් සංවරශීලියි. එහෙත් යුරෝපීයයන් භෞතික පරිසරය ජය ගන්නේ ඔවුන් සතු එම ගුණාංග නිසාමයි.’‘

කොළඹ වරායේ නැව් වලින් බඩු එහා මෙහා ගෙන යන කම්කරුවන් හා මුහුදේ ගිලී තිබෙන නැව් බඳ පවිත‍්‍ර කරන කිමිදුම්කරුවන් කෙතරම් වෙහෙසී වැඩ කළත් සිනහ වෙමින් හා නිරහංකාරව සිටි බවද අයින්ස්ටයින් වාර්තා කොට තිබෙනවා.

‘නගර සංචාරයේදී අයින්ස්ටයින් යුවල කොළඹ ධනවතුන් ප‍්‍රභූන් හා යුරෝපීය පාලකයන් පදංචිව සිටි ප‍්‍රදේශ ද පසු කර යන්නට ඇති. එහෙත් සාමාන්‍ය ජනයා ගැන උනන්දු වූ ඔහු මේ ප‍්‍රභූන් ගැන කිසිවක් දිනපොතේ ලියා නැහැ’ තෙන්නකෝන් කියනවා.

York Street Colombo Ceylon c.1920s
York Street Colombo Ceylon c.1920s

අයින්ස්ටයින් ඒ වන විට ලෝක ප‍්‍රසිද්ධ චරිතයක් වූවත් ඔහුගේ කෙටි කොළඹ සංචාරය ගැන කිසිදු නිල වාර්තාවක් මේ දක්වා සොයා ගත නොහැකි වූ බව තෙන්නකොන් කියනවා. එසේ ම කොළඹ සිටි දෙදින තුළ කිසිදු නිල උත්සවයකට හෝ සාදයකට ඔහු සහභාගී වූ බවට සාක්‍ෂියක් ද නැහැ. අයින්ස්ටයින්ගේ සංචාරය ගැන මෙරට බි‍්‍රතාන්‍ය පාලකයන් දැන සිටියා විය යුතුයි.

නිල උත්සව පිළිගැනීම් හා පම්පෝරි ගැන තැකීමක් නොකළ අයින්ස්ටයින් දිනපොතේ එබන්දක් සටහන් නොකළා වුවත් වෙනත් වාර්තා පැවතිය හැකි ද?  තමා ජාතික ලේඛනාගාරයේ ගවේෂණය කළත් මේ දක්වා සොයාගත හැකි වූයේ අයින්ස්ටයින් සමග ටයිම්ස් ඔෆ් සිලෝන් පත‍්‍රයේ වාර්තාකරුවකු කළ සාකච්ඡාව හා ගමන ගැන කෙටි පත‍්‍ර වාර්තා පමණක් යයි තෙන්නකෝන් කියනවා.

‘‘ටයිම්ස් ඔෆ් සිලෝන් වාර්තාකරුවා හොඳින් කරුණු අධ්‍යයනය කොට පැමිණ අයින්ස්ටයින් සමග සාකච්ඡා කළ බව එය මනා සේ ලියා ඇති ආකාරයෙන් පැහැදිලියි.  අද මෙන් ඉක්මනින් තොරතුරු සොයාගත නොහැකි වූ ඒ කාලයේ පවා අළුත් ම පර්යේෂණ තත්වය මේ වාර්තාකරුවා දැන සිටි බව පෙනෙනවා’’

දෙදිනක කෙටි නතර වීමකින් පසු කිතානෝ මාරු නැව යළිත් ගමනාරම්භ කළා.  ඔක්තෝම්බර් 29දා මධ්‍යයනයේ කොළඹ වරායෙන් පිටත්ව යද්දී අයින්ස්ටයින් දිනපොතේ ලිව්වේ ‘‘ලංකාව ගස්වැල්වලට නම් පාරාදීසයක්.  එහෙත්  එහි වැසියන් නම් ගෙවන්නේ දුක්බර දිවියක්’’ කියායි.

නොවැම්බර් 2 වනදා නැව සිංගප්පූරුවට ළඟා වුණා.  එහිදී විවිධ නිල හා ශාස්ත‍්‍රිය උත්සව ගණනාවක් සංවිධානය කර තිබූ අතර, ඒවා ගැන අයින්ස්ටයින් දිනපොතේ මෙන් ම වෙනත් (මාධ්‍ය හා අනෙක්) මූලාශ‍්‍රවල ද වාර්තා වී තිබෙනවා.

එතැනින් යාත‍්‍රා කළ නැව නොවැම්බර් 9 වනදා හොංකොං වරායට ද නොවැම්බර් 13 වනදා චීනයේ ෂැංහයි වරායට ද ළඟා වූවා. භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය අයින්ස්ටයින්ට පිරිනමා ඇති බව ඔහු දැන ගත්තේ මේ දෙනුවර අතර මුහුදේ සිටියදී.  ඒ නොවැම්බර් 11 වනදා.

සාම්ප‍්‍රදායිකව වසරේ දෙසැම්බර් 10 වනදා නොබෙල් ත්‍යාග පිරිනමනවා  (සාම ත්‍යාගය නෝර්වේ අගනුවර ඔස්ලෝ නුවරදීත් ඉතිරි සියළු ත්‍යාග ස්වීඩන් අගනුවර ස්ටොකෝම්හිදීත්). එහෙත් තමාට පිරිනැමුණු නොබෙල් ත්‍යාගය පිළිගන්නට අයින්ස්ටයින් ස්ටොකෝම් ගියේ නැහැ.  දිගට ම ජපන්  සංචාරය කර ගෙන ගියා.  ජපානයේ ඉතා ඉහළින් ඔහුට සළකණු ලැබුවා.

පසු දිනෙක අයින්ස්ටයින් තම නොබෙල් ත්‍යාගය එකතු කර ගත්තා. ජර්මනියේ අධික උද්ධමනය නිසා ආර්ථික අහේනියට මුහුණ පා සිටි ඔහුට තෑගි මුදල වෙලාවේ හැටියට ලොකු උපකාරයක් වූවා.

අයින්ස්ටයින් චරිතය හා එවකට පැවති සමාජයීය හා දේශපාලනික තත්ත්වයන් අධ්‍යයනය කළ කීර්ති තෙන්නකෝන් කියන්නේ අයින්ස්ටයින් තම යුගයේ ප‍්‍රවණතා සියුම්ව ග‍්‍රහණය කළ කෙනකු බවයි.  සමහරුන් සිතන තරම් ප‍්‍රායෝගික දේවල් නොතැකූ හා තමන්ගේ ම කල්පනා ලෝකයක ජීවත් වූ අයකු නොවන බවයි.

ඔහුට තියුණු දේශපාලනික හා සාමයික දැක්මක් ද තිබුණා. ඒ ගැන වෙන ම කථා කළ යුතුයි.

Colombo harbor 1914, Ceylon. Image courtesy Lankapura.con
Colombo harbor 1914, Ceylon. Image courtesy Lankapura.con
Street Scene at Main Street, Colombo, 1900s: Image courtesy Lankapura.com
Street Scene at Main Street, Colombo, 1900s: Image courtesy Lankapura.com

Mel Gunasekera (1973 – 2014): Goodbye, spirited friend!

Keep it short and simple, Mel always said.

I still try to follow that advice even in grief when she has been taken away so senselessly and abruptly.

Asker of Questions. Seeker of clarity. Gone without an answer.

Mel Bye Meme

Digital monument: http://www.lankabusinessonline.com/mel

My tribute on Groundviews.org: Goodbye, Mel

More reflective essay: Who Really Killed Mel Gunasekera?

The same essay was published by Lanka Business Online where Mel was founder editor: http://www.lankabusinessonline.com/news/who-really-killed-mel-gunasekera/1884945427

Reproduced in The Nation newspaper, 9 Feb 2014

Quoted by BBC Online, 8 Feb 2014