සිවුමංසල කොලු ගැටයා #369 – අත්ත බිඳෙයි පය බුරුලෙන්: සමාජ මාධ්‍ය නියාමනයේ යුරෝපීය අත්දැකීම්

Deutsche Welle Global Media Forum (GMF), in Bonn, Germany, 11 – 13 June 2018

Trends like ultra-nationalistic media, hate speech and fake news have all been around for decades — certainly well before the web emerged in the 1990s. What digital tools and the web have done is to ‘turbo-charge’ these trends.

This is the main thrust of this week’s Ravaya column, published on 1 July 2018, where I capture some discussions and debates at the 11th Deutsche Welle Global Media Forum (GMF), held in Bonn, Germany, from 11 to 13 June 2018.

I was among the 2,000+ media professionals and experts from over 100 countries who participated in the event. Across many plenaries and parallel sessions, we discussed a whole range of issues related to politics and human rights, media development and innovative journalism concepts.

On 13 June 2018, I moderated a session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” which was organised by the Institut für Auslandsbeziehungen (ifa) or Institute for Foreign Relations, a century old entity located in Bonn. Most of the column draws on my own panel’s explorations, about which I have already written in English here: DW Global Media Forum 2018: Moderating panel on ‘Digitalization and Polarization of the Media’

L to R – Nalaka Gunawardene (moderator), Christian Humborg, Jillian York, and Curd Knupfer. [Photo courtesy DW GMF 2018]
මා සාම්ප්‍රදායික පොතේ උගතකු නොවෙයි. එහෙත් උද්‍යොගිමත්ව දැනුම ගවේෂණයට හා විචාරශීලීව ඕනෑම මාතෘකාවක් විමර්ශනයට සමත් නිසාදෝ ලොව විවිධ රටවලින් වැඩමලු, සම්මන්ත්‍රණ ආදියේ කතා කිරීමට නිතර ආරාධනා ලබනවා.

2018 ජූනි 11-13 තෙදින තුළ ජර්මනියේ බොන් නුවර පැවති ගෝලීය මාධ්‍ය සමුළුවේ (Global Media Forum) එක් සැසි වාරයක් මෙහෙය වීමට මට ඇරයුම් ලැබුණා.

2007 සිට වාර්ෂිකව පවත්වන මේ සමුළුව සංවිධානය කරන්නේ ජර්මනියේ ජාත්‍යන්තර විද්‍යුත් මාධ්‍ය ආයතනය වන ඩොයිෂවෙල  (Deutsche Welle) විසින්.

මෙවර සමුළුවට රටවල් 100කට අධික සංඛ්‍යාවකින් 2,000 ක් පමණ මාධ්‍යවේදීන්, මාධ්‍ය කළමනාකරුවන් හා මාධ්‍ය පර්යේෂකයන් සහභාගී වුණා. මහා මාධ්‍ය මෙන්ම නව මාධ්‍ය ඇති කරන බලපෑම් හා අභියෝග ගැන විවෘතව කතාබහ කිරීමට එය හොඳ වේදිකාවක් වූවා.

අපේ සමහරුන් පොදුවේ ‘බටහිර රටවල්’ යයි කීවාට සැබෑ ලෝකයේ එබඳු තනි ගොඩක් නැහැ. බටහිරට අයත් ඇමරිකා එක්සත් ජනපදය සමඟ බොහෝ කාරණාවලදී යුරෝපීය රටවල් එකඟ වන්නේ නැහැ.

එසේම යුරෝපා සංගමය ලෙස පොදු ආර්ථීක හවුලක් යුරෝපීය රටවල් 28ක් ඒකරාශී කළත් එම රටවල් අතරද සංස්කෘතික හා දේශපාලනික විවිධත්වය ඉහළයි.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ මෙම විවිධත්වය නිිසා නොයෙක් බටහිර රාජ්‍යයන් මාධ්‍ය ප්‍රතිපත්ති ගැන දක්වන නිල ස්ථාවරයන් අතර වෙනස්කම් තිබෙනවා. බොන් නුවරදී දින තුනක් තිස්සේ අප මේ විවිධත්වය සවියක් කර ගනිමින් බොහෝ දේ සාකච්ඡා කළා.

ලෝකයේ රටවල් කෙමෙන් ඩිජිටල්කරණය වන විට ඒ හරහා උදා වන නව අවස්ථාවන් මෙන්ම අභියෝග ගැනත් සංවාද රැසක් පැවැත් වුණා.

Mariya Gabriel, EU Commissioner in charge of Digital Economy and Society

යුරෝපා හවුලේ ඩිජිටල් ආර්ථීකයන් හා සමාජයන් පිළිබඳ කොමසාරිස්වරි වන මරියා ගේබ්‍රියල් මේ ගැන ආරම්භක සැසියේ දී හොඳ විග්‍රහයක් කළා.

පොදුවේ වෙබ් අවකාශයත්, විශේෂයෙන් ඒ තුළ හමු වන සමාජ මාධ්‍යත් මානව සමාජයන් වඩාත් ප්‍රජාතන්ත්‍රීය කිරීමට හා සමාජ අසමානතා අඩු කිරීමට බෙහෙවින් දායක විය හැකි බව පිළි ගනිමින් ඇය කීවේ මෙයයි.

”එහෙත් අද ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා බහුතරයක් මේ යහපත් විභවය සාක්ෂාත් කර ගැනීමට දායක වනවා වෙනුවට දුස්තොරතුරු (disinformation) හා ව්‍යාජ පුවත් එසැනින් බෙදා හැරීමට යොදා ගැනෙනවා. මෙය සියලු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයන් මුහුණ දෙන ප්‍රබල අභියෝගයක්. සමහර සමාජ මාධ්‍ය වේදිකා මේ වන විට ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කාරියම කරනවා. එනම් කාලීන තොරතුරු එක් රැස් කිරීම හා බෙදා හැරීම. එහෙත් ඔවුන් එසේ කරන විට සංස්කාරක වගකීමක් (editorial responsibility) නොගැනීම නිසා ව්‍යාකූලතා මතු වනවා.”

ඇගේ මූලික නිර්දේශයක් වූයේ සමාජ මාධ්‍ය වේදිකා නියාමනය නොව මාධ්‍ය බහුවිධත්වය (media pluralism) ප්‍රවර්ධනය කළ යුතු බවයි.

රටක මාධ්‍ය බහුවිධත්වය පවතී යයි පිළිගන්නේ මාධ්‍ය ආයතන හා ප්‍රකාශන/නාලිකා ගණන වැඩි වූ පමණට නොවේ.

Image courtesy UNESCO

තනි හිමිකරුවකුගේ හෝ ටික දෙනකුගේ හිමිකාරීත්වය වෙනුවට විසිර ගිය හිමිකාරිත්වයන් තිබීම, අධිපතිවාදී මතවාද පමණක් නොව පුළුල් හා විවිධාකාර මතවාදයන්ට මාධ්‍ය හරහා ඇති තරම් අවකාශ ලැබීම, හා සමාජයේ කොන්ව සිටින ජන කොටස්වලට ද සිය අදහස් ප්‍රකාශනයට මාධ්‍යවල ඇති තරම් ඉඩක් තිබීම වැනි සාධක ගණනාවක් තහවුරු වූ විට පමණක් මාධ්‍ය බහුවිධත්වය හට ගන්නවා. (මේ නිර්නායක අනුව බලන විට අපේ රටේ මාධ්‍ය රැසක් ඇතත් බහුවිධත්වය නම් නැහැ.)

ඩිජිටල් මාධ්‍ය බහුල වෙමින් පවතින අද කාලේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල කෙතරම්  බහුවිධත්වයක් පැවතීම තීරණාත්මකද? මේ ප්‍රශ්නයට පිළිතුරු සංවාද හරහා මතු වුණා.

මේ වන විට ලොව ජනගහනයෙන් අඩකටත් වඩා ඉන්ටර්නෙට් භාවිතා කළත්, පුවත් හා කාලීන තොරතුරු මූලාශ්‍රයන් ලෙස ටෙලිවිෂන් හා රේඩියෝ මාධ්‍යවල වැදගත්කම තවමත් පවතිනවා. (පුවත් හා සඟරා නම් කෙමෙන් කොන් වී යාම බොහෝ රටවල දැකිය හැකියි.)

මේ නිසා මාධ්‍ය බහුවිධත්වය තහවුරු කරන අතර මාධ්‍ය විචාරශීලීව පරිභෝජනය කිරීමට මාධ්‍ය සාක්ෂරතාවයත් (media literacy), ඩිජිටල් මාධ්‍ය නිසි ලෙස පරිහරණයට ඩිජිටල් සාක්ෂරතාවයත් (digital literacy) අත්‍යවශ්‍ය හැකියා බවට පත්ව තිබෙනවා.

ඩිජිටල් සාක්ෂරතාවය යනු හුදෙක් පරිගණක හා ස්මාර්ට් ෆෝන් වැනි ඩිජිටල් තාක්ෂණ මෙවලම් තනිවම භාවිතා කිරීමේ හැකියාව පමණක් නොව ඩිජිටල් අන්තර්ගතයන් විචාරශීලීව ග්‍රහණය කිරීමේ හැකියාව ද එහි වැදගත් අංගයක් බව සමුළුවේ යළි යළිත් අවධාරණය කෙරුණා.

මරියා ගේබ්‍රියල් මෑත කාලයේ යුරෝපයේ කළ සමීක්ෂණයක සොයා ගැනීම් උපුටා දක්වමින් කීවේ වයස 15-24 අතර යුරෝපීය ළමුන් හා තරුණයන් අතර ව්‍යාජ පුවතක් හා සැබෑ පුවතක් වෙන් කර තේරුම් ගැනීමේ හැකියාව තිබුණේ 40%කට බවයි.

එයින් පෙනෙන්නේ යම් පිරිස් විසින් දුස්තොරතුරු සමාජගත කර මැතිවරණ, ජනමත විචාරණ හා වෙනත් තීරණාත්මක සමාජයීය ක්‍රියාදාමයන් අවුල් කිරීමේ අවදානමක් පවතින බවයි.

මෙබැවින් මාධ්‍ය සාක්ෂරතාවය හා ඩිජිටල් සාක්ෂරතාවය වැඩි කළ යුත්තේ තනි පුද්ගලයන්ගේ කුසලතා වර්ධනයට පමණක් නොවෙයි. අසත්‍යන්, අර්ධ සත්‍යන්, හා කුමන්ත්‍රණවාදී තර්ක හරහා ප්‍රජාතාන්ත්‍රීය සමාජයන් නොමඟ යැවීමටත්, ඒ හරහා රාජ්‍යයන් අස්ථාවර කිරීමටත් එරෙහිව සමාජයේ ප්‍රතිශක්තිය ගොඩ නැංවීමටයි.

මා මෙහෙය වූ සැසි වාරයේ අප මෙම සමාජයීය අභියෝගය ගැන විද්වත් මෙන්ම ප්‍රායෝගික ලෙසත් සාකච්ඡා කළා.

මගේ සැසියේ කථීකයන් වූයේ ජර්මනියේ බර්ලින් නුවර ෆ්‍රී සරසවියේ දේශපාලන විද්‍යාඥ ආචාර්ය කුර්ඩ් නුප්ෆර් (Dr Curd Knupfer), ඇමරිකාවේ ඉලෙක්ට්‍රොනික් ෆ්‍රන්ටියර් පදනමේ භාෂාණ නිදහස පිළිබඳ අධ්‍යක්ෂිකා ජිලියන් යෝක් (Jillian York) සහ විකිමීඩියා ජර්මන් පදනමේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටියන් හුම්බොග් (Christian Humborg) යන තිදෙනායි.

Nalaka Gunawardene moderating moderated session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public” at DW Global Media Forum 2018 in Bonn, 13 June 2018

සැසිවාරය අරඹමින් මා මෙසේ ද කීවා:

”වෙබ්ගත අවකාශයන් හරහා වෛරී කථනය හා ව්‍යාජ පුවත් ගලා යාම ගැන අද ලොකු අවධානයක් යොමු වී තිබෙනවා. වර්ගවාදී හා වෙනත් අන්තවාදී පිරිස් සමාජ මාධ්‍ය වේදිකා හරහා ආන්තික සන්නිවේදනය කරමින් සිටිව බවත් අප දන්නවා. එහෙත් මේ ප්‍රවනතා එකක්වත් ඉන්ටර්නෙට් සමඟ මතු වූ ඒවා නොවෙයි. 1990 දශකයේ වෙබ් අවකාශය ප්‍රචලිත වීමට දශක ගණනාවකට පෙරත් අපේ සමාජයන් තුළ මේවා සියල්ලම පැවතියා. වෙබ් පැතිරීමත් සමග සිදුව ඇත්තේ මේ ආන්තික ප්‍රවාහයන්ට නව ගැම්මක් ලැබීමයි. එනිසා දැන් අප කළ යුතුව ඇත්තේ භෞතික ලෝකයේ වුවත්, සයිබර් අවකාශයේ වුවත්, වෛරී කථනය, ව්‍යාජ පුවත් හා ආන්තික සන්නිවේදනවලට එරෙහිව සීරුවෙන් හා බුද්ධිමත්ව ප්‍රතිචාර දැක්වීමයි. එසේ කිරීමේදී අප සැවොම ඉහළ වටිනාකමක් දෙන භාෂණයේ නිදහස රැකෙන පරිදි ක්‍රියා කළ යුතුයි. අප නොරිසි දේ කියන අයටත් භාෂණ නිදහස එක සේ හිමි බව අප කිසි විටෙක අමතක නොකළ යුතුයි.”

එසේම තව දුරටත් ‘නව මාධ්‍ය’ හා ‘සම්ප්‍රදායික මාධ්‍ය’ හෙවත් ‘ප්‍රධාන ධාරාවේ මාධ්‍ය’ කියා වර්ගීකරණය කිරීම ද එතරම් අදාල නැති බව මා පෙන්වා දුන්නා. සමහර සමාජවල (උදා: කොරියාව, සිංගප්පූරුව) ප්‍රධාන ධාරාව බවට ඩිජිටල් මාධ්‍ය දැනටමත් පත්ව තිබෙනවා. එසේම වසර 20කට වැඩි ඉතිහාසයක් ඇති ඩිජිටල් මාධ්‍ය තව දුරටත් එතරම් අලුත් හෝ ‘නව මාධ්‍ය’ වන්නේ ද නැහැ.

ඒ නිසා ලේබල්වලට වඩා වැදගත් සමස්ත තොරතුරු සන්නිවේදන තාක්ෂණයන්ම ජන සමාජ වලට කරන බලපෑම පොදුවේ අධ්‍යයනය කිරීමයි.

සමාජ මාධ්‍ය වේදිකා හරහා නොයෙක් පුද්ගලයන් පළකරන හෝ බෙදාගන්නා (ෂෙයාර් කරන) අන්තර්ගතයන් පිළිබඳ එකී වේදිකා හිමිකාර සමාගම් කෙතරම් වගකිව යුතුද?

2018 ජනවාරි 1 වැනිදා සිට ජර්මනියේ ක්‍රියාත්මක වන නව නීතියකට අනුව සමාජ මාධ්‍ය වේදිකාවක වෛරී ප්‍රකාශ යමකු සන්නිවේදනය කෙරුවොත් පැය 24ක් ඇතුළත එය ඉවත් කිරීමේ වගකීම් අදාළ වේදිකා පරිපාලකයන්ට භාර කැරෙනවා. එසේ නොකළොත් යූරෝ මිලියන් 50 (අමෙරිකානු ඩොලර් මිලියන් 62ක්) දක්වා දඩ නියම විය හැකියි.

සද්භාවයෙන් යුතුව හඳුන්වා දෙන ලද නව නීතියේ මාස කිහිපයක ක්‍රියාකාරීත්වය කෙසේදැයි මා විමසුවා. ජර්මන් කථීකයන් කීවේ වෛරී ප්‍රකාශ ඉවත් කිරීමට සමාජ මාධ්‍ය වේදිකා මහත් සේ වෙර දැරීම තුළ වෛරී නොවන එහෙත් අසම්මත, විසංවාදී හා ජනප්‍රිය නොවන විවිධ අදහස් දැක්වීම්ද යම් ප්‍රමාණයක් ඉවත් කොට ඇති බවයි.

දේශපාලන විවේචනයට නීතියෙන්ම තහවුරු කළ පූර්ණ නිදහස පවතින ජර්මනිය වැනි ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රටකට මෙම නව නීතිය දරුණු වැඩි බවත්, එය සංශෝධනය කොට වඩාත් ලිහිල් කළ යුතු බවත් මෑතදී පත්වූ නව ජර්මන් රජය පිළිගෙන තිබෙනවා.

Image courtesy Human Rights Watch

නව නීතිය යටතේ අසාධාරණ හා සීමාව ඉක්මවා ගොස් ඉවත් කරනු ලැබූ වෙබ් අන්තර්ගතයන් අතර දේශපාලන හා සමාජයීය උපහාසය පළ කරන ප්‍රකාශනද තිබෙනවා. සමාජ ප්‍රශ්නයක් ගැන ජන අවධානය යොමු කිරීමට හාසකානුකරණය (parody) පළ කිරීම සමහර හාස්‍යජනක (satire) ප්‍රකාශනවල සිරිතයි.

එහෙත් නව නීතියේ රාමුව වුවමනාවටත් වඩා තදින් ක්‍රියාත්මක කළ ට්විටර් හා ෆේස්බුක් වැනි වේදිකාවල පරිපාලකයෝ මෙවන් හාස්‍යජනක හෝ උපහාසාත්මක අන්තර්ගතයද ජර්මනිය තුළ දිස්වීම වළක්වා තිබෙනවා.

උපහාසය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයේ වැදගත් අංගයක්. එයට වැට බඳින නීතියක් නැවත විමර්ශනය කළ යුතු බව ජර්මන් පර්යේෂකයන්ගේ මතයයි. (සමාජ මාධ්‍ය නියාමනය ගැන මෑත සතිවල කතා කළ ලක් රජයේ සමහර උපදේශකයෝ ජර්මන් නීතිය උදාහරණයක් ලෙස හුවා දැක්වූ බව අපට මතකයි.)

අපේ සංවාදයේ එකඟ වූ මූලධර්මයක් නම් සමාජ ව්‍යාධියකට කරන නියාමන ‘ප්‍රතිකාරය’ ව්‍යාධියට වඩා බරපතළ විපාක මතු කරන්නේ නම් එය නිසි ප්‍රතිකාරයක් නොවන බවයි.

සමුළුව පැවති තෙදින පුරා විවිධ කථීකයන් මතු කළ තවත් සංකල්පයක් වූයේ ඩිජිටල් හා වෙබ් මාධ්‍ය අතිවිශාල සංඛ්‍යාවක් බිහි වීම හරහා තොරතුරු ග්‍රාහකයන් එන්න එන්නම කුඩා කොටස්/කණ්ඩායම්වලට බෙදෙමින් සිටින බවයි.

රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා සංඛ්‍යාව වැඩිවීම සමග දශක දෙක තුනකට පෙර පටන් ගත් මේ කඩ කඩ වීම (audience fragmentation)  වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ප්‍රචලිත වීම සමග බෙහෙවින් පුළුල්ව තිබෙනවා.

තමන් රිසි මති මතාන්තර පමණක් ඇසිය හැකි, දැකිය හැකි වෙබ් අඩවි හෝ සමාජ මාධ්‍ය පිටු වටා ජනයා සංකේන්ද්‍රණය වීම ‘filter bubbles‘ ලෙස හඳුන් වනවා. ඍජු පරිවර්තනයක් තවම නැතත්, තම තමන්ගේ මතවාදී බුබුලු තුළම කොටු වීම යැයි කිව හැකියි. මෙවන් ස්වයං සීමාවන්ට පත් වූ අයට විකල්ප තොරතුරු හෝ අදහස් ලැබෙන්නේ අඩුවෙන්.

පත්තර, ටෙලිවිෂන් බලන විට අප කැමති මෙන්ම උදාසීන/නොකැමති දේත් එහි හමු වනවා. ඒවාට අප අවධානය යොමු කළත් නැතත් ඒවා පවතින බව අප යන්තමින් හෝ දන්නවා. එහෙත් තමන්ගේ සියලු තොරතුරු හා විග්‍රහයන් වෙබ්/සමාජ මාධ්‍යවල තෝරා ගත් මූලාශ්‍ර හරහා ලබන විට මේ විසංවාද අපට හමු වන්නේ නැහැ.

එහෙත් අපේ සංවාදයට නව මානයක් එක් කරමින් මා කීවේ ඔය කියන තරම් ඒකාකාරී මූලාශ්‍රවලට කොටු වීමක් අපේ වැනි රටවල නම් එතරම් දක්නට නැති බවයි. විවිධාකාර මූලාශ්‍ර පරිශීලනය කොට යථාර්ථය පිළිබඳ සාපේක්ෂව වඩාත් නිවැරදි චිත්‍රයක් මනසේ ගොඩ නගා ගන්නට අප බොහෝ දෙනෙක් තැත් කරනවා.

Some of the participants at session on “Digitalization and polarization of the media” at DW Global Media Forum 2018

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ඉන්ටර්නෙට් පර්යේෂණායතනය (Oxford Internet Institute)  2018 මාර්තුවේ පළ කළ සමීක්ෂණයකින්ද මෙබන්දක් පෙන්නුම් කරනවා. වයස 18ට වැඩි, ඉන්ටර්නෙට් භාවිත කරන බ්‍රිතාන්‍ය ජාතිකයන් 2000ක සාම්පලයක් යොදා ඔවුන් කළ සමීක්ෂණයෙන් හෙළි වූයේ තනි හෝ පටු වෙබ් මූලාශ්‍රයන්ට කොටු වීමේ අවදානම තිබුණේ සාම්පලයෙන් 8%කට පමණක් බවයි.

එනම් 92%ක් දෙනා බහුවිධ මූලාශ්‍ර බලනවා. මතු වන තොරතුරු අනුව තමන්ගේ අදහස් වෙනස් කර ගැනීමට විවෘත මනසකින් සිටිනවා.

බොන් මාධ්‍ය සමුළුවේ අප එකඟ වූයේ ජනමාධ්‍ය හා සන්නිවේදන තාක්ෂණයන් සමාජයට, ආර්ථීකයට හා දේශපාලන ක්‍රියාදාමයන්ට කරන බලපෑම් ගැන  සමාජ විද්‍යානුකූලව, අපක්ෂපාත ලෙසින් දිගටම අධ්‍යයනය කළ යුතු බවයි. ආවේගයන්ට නොව සාක්ෂි හා විද්වත් විග්‍රහයන්ට මුල් තැන දෙමින් නව ප්‍රතිපත්ති, නීති හා නියාමන සීරුවෙන් සම්පාදනය කළයුතු බවයි.

අමෙරිකානු සමාගම්වලට අයත් ෆේස්බුක්, ට්විටර් හා ඉන්ස්ටර්ග්‍රෑම් වැනි වේදිකා සිය ජන සමාජයන්හි මහත් සේ ප්‍රචලිත වී තිබීම ගැන සමහර යුරෝපීය ආණ්ඩුවල එතරම් කැමැත්තක් නැහැ. එහෙත් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මවලට හා මානව නිදහසට ගරු කරන රාජ්‍යයන් ලෙස ඔවුන් වෙබ් වාරණයට, අනවශ්‍ය ලෙස නියාමනයට විරුද්ධයි. ලිහිල් ලෙසින්, අවශ්‍ය අවම නියාමනය ලබා දීමේ ක්‍රමෝපායයන් (light-touch regulation strategies) ඔවුන් සොයනවා.

මේ සංවාද පිළිබඳව අවධියෙන් සිටීම හා යුරෝපීය රටවල අත්දැකීම් අපට නිසි ලෙස අදාළ කර ගැනීම වැදගත්. අපේ ආදර්ශයන් විය යුත්තේ ලිබරල් ප්‍රජාතන්ත්‍රීය රටවල් මිස දැඩි මර්දනකාරී චීනය වැනි රටවල් නොවේ.

Speakers for the DW-GMF 2018 session on “Digitalization and polarization of the media: How to overcome growing inequalities and a divided public”

සිවුමංසල කොලු ගැටයා #368: #FakeNews ව්‍යාජ පුවත්වලට නීතියෙන් වැට බැඳිය හැකිද?

Fake News is not new. The phenomenon has been around, in one form or another, for decades! Many of us in the global South have grown up amidst intentionally fake news stories in our media, some of it coming from governments, no less.

Fake News is merely a symptom of a wider and deeper crisis.It is a crisis of public trust in journalism and media that has been building up over the years in many countries. Fake News fills a vacuum of credibility.

In my latest Ravaya column (in Sinhala), published on 24 June 2018, I revisit the topic of Fake News to discuss if and how legal regulation can help counter Fake News. I argue that any new laws should be introduced very carefully, so as not to allow governments to restrict freedom of expression. I look at the botched Indian attempt to penalise journalists over Fake News, and the new Anti-Fake News Law in Malaysia (April 2018) that has been widely criticised for overbroad definitions and regulatory overreach.

In the end, I conclude: even the best laws can be a partial solution to the Fake News crisis. A healthy dose of scepticism can filter out a good deal of disinformation surrounding us. We also have to build media literacy as a modern-day survival skill, and nurture independent fact checking services.

Can laws stop Fake News?

ව්‍යාජ පුවත් හෙවත් Fake News ගැන මීට පෙර දෙවතාවක් මා විග්‍රහ කළා.

2017 මැයි 14 වැනිදා ‘ව්‍යාජ පුවත් ප්‍රවාහයෙන් තොරතුරු සමාජය බේරා ගත හැකිද?’  යන මැයෙන්ද, 2017 ජූනි 18 වැනිදා ‘ව්‍යාජ පුවත්වලින් මතු වන සැබෑ අභියෝග’ මැයෙන් ද, එම තීරු ලිපි පළ වුණා.

ව්‍යාජ පුවත් සංකීර්ණ සංසිද්ධියක් බවත්, එම ලේබලය ප්‍රවේශමින් භාවිත කළ යුතු බවත් මා අවධාරණය කළා.

මා යොදා ගන්නා නිර්වචනය මෙයයි. යම් තොරතුරක් වැරදි බව දැන දැනම එය සැබෑ පුවතක් ලෙස වාර්තා කිරීම හෝ පතුරුවා හැරීම ව්‍යාජ පුවතක්.

අද යළිත් මේ මාතෘකාවට පිවිසෙන්නේ ව්‍යාජ පුවත් පිළිබඳ සමාජ සංවාද දිගටම සිදු වෙමින් තිබෙන නිසයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තමන්ට හිතකර නොවන පුවත් හෝ විවේචනාත්මක මාධ්‍ය විග්‍රහයන් සියල්ල ගෙඩි පිටින් හෙළා දැකීමට Fake News යෙදුම අවමන් සහගතව නිතර යොදා ගන්නවා.

දැන් දැන් වෙනත් රටවල දේශපාලකයන්ටද මේ පුරුද්ද ව්‍යාප්ත වන හැඩයි. අපේ සමහර දේශපාලකයොත් තමන් නොරිසි වාර්තා හෝ විග්‍රහයන්ට මේ ලේබලය ඇලවීමට පටන් අරන්.

මෙයින් සිදු වන්නේ තත්ත්වය තවත් ව්‍යාකූල වීම පමණයි. ව්‍යාජ පුවත් යනු නොයෙක් අයට විවිධාකාරයේ විග්‍රහ කළ හැකි, නිශ්චිත නොවන යෙදුමක්. මේ නිසා එය භාවිත කිරීම ප්‍රවේශමින් කළ යුත්තක්.

ඉංග්‍රීසි බසෙහි ඊට වඩා නිශ්චිත වූ යෙදුම් දෙකක් තිබෙනවා. අර්ථය ආසන්න වශයෙන් සමාන යයි බැලූ බැල්මට පෙනුණත් ඒ දෙක විස්තර කරන්නේ ප්‍රපංචයන් දෙකක්.

වඩාත් භයානක හා හානිකර වන්නේ හිතාමතාම ගොතා, අතිශයෝක්ති කොට හෝ විකෘති කොට මුදා හරින තොරතුරුයි. මේවාට Disinformation කියනවා. මහජනයා වුවමනාවෙන්ම නොමග යැවීම හා රැවටීම මේවායේ අරමුණයි.

අපේ රටේ බොහෝ ආණ්ඩු, විපක්ෂ දේශපාලන පක්ෂ, යුද්ධ සමයේ හමුදාව, වෙළඳෙ ප්‍රචාරණ සමාගම් මෙන්ම සමහර සිවිල් සමාජ සංවිධානද හිතාමතා බොරු ප්‍රචාර කිරීම පිළිබඳව උදාහරණ එමට තිබෙනවා.

තමන් කුමන හෝ මූලාශ්‍රයකින් ඇසූ, දුටු හෝ කියැවූ වැරදි තොරතුරක්, එය වැරදි බව වටහා නොගෙන ප්‍රතිරාවය කිරීම හෙවත් බෙදා ගැනීමට කියන්නේ Misinformation කියායි. තහවුරු කිරීමකින් තොරව, හරිහැටි විමර්ශනය නොකර හා වගකීම් විරහිතව මෙසේ ප්‍රතිරාවය කරන අය එමට සිටිනවා.

Sri Lanka’s mainstream media have been peddling disinformation for decades. Readers have devised their own filters to discern fake from real, but it’s not always easy!

අපේ රටේ ජනමාධ්‍යවල මේ දෙආකාරයේම දුස්තොරතුරු නිතර හමු වනවා.

සමහරක් ව්‍යාජ පුවත් මාධ්‍ය කතුවරුන් හෝ මාධ්‍ය ආයතන හිමිකරුවන් විසින් ඕනෑකමින්ම නිර්මාණය කොට බෙදා හරිනු ලබනවා. මෙයට දේශපාලනික, ව්‍යාපාරික හෝ වර්ගවාදී හේතු මුල් විය හැකියි.

යම් චරිත, ආයතන හෝ සංකල්ප පුම්බන්නටත්, තවත් සමහර චරිත, ආයතන හෝ සංකල්ප පිළිබඳව මහජන අප්‍රසාදය ඇති කිරීමටත් මෙවන් ව්‍යාජ පුවත් මැවීම නිරතුරුව සිදු කැරෙනවා.

රාජ්‍ය මාධ්‍ය ආයතන, බලයේ සිටින රජයේ ප්‍රචාරණ යාන්ත්‍රණ බවට පත් වීම දශක ගණනාවක් තිස්සේ දිගටම සිදු වූවක් නිසා අද වන විට මාධ්‍ය ග්‍රාහකයෝ එය මාධ්‍ය අවභාවිතයක් ලෙස දකින්නෙත් නැති තරම්.

මෑත කාලයේ ආර්. ප්‍රේමදාස හා මහින්ද රාජපක්ෂ ජනපතිවරුන් යටතේ රාජ්‍ය මාධ්‍ය අපහරණය සීමාන්තික ලෙස සිදු වුණා.

උදාහරණ එමටයි. හොඳම උදාහරණ සඳහා 1991 සැප්තැම්බරයේ ප්‍රේමදාසට එරෙහිව දෝෂායෝභියෝගයක් මතුව ආ පසුවත්, 2014 නොවැම්බරයේ රාජපක්ෂට එරෙහිව විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ඉදිරිපත් වූ පසුවත් ලේක්හවුස් දිනපතා හා සතිඅන්ත පත්තරවල මුල් පිටු හැකිනම් සොයා ගෙන කියවන්න.

එකී වකවානුවල ලේක්හවුස් පුවත්පත් මාධ්‍ය විසින් පුවත් ආවරණයේදී පවත්වා ගත යුතු තුලනය පමණක් නොව සියලුම ආචාරධර්මීය සීමාද ඉක්මවා ගිය සැටි අපට මතකයි.

ව්‍යාජ පුවත් මවන්නේ, සැබෑ සිදුවීම් වාර්තාකරණයේදී දැඩි ලෙස විකෘති කරන්නේ රාජ්‍ය මාධ්‍ය පමණක් නොවෙයි. බොහෝ පෞද්ගලික පුවත්පත්, රේඩියෝ හා ටෙලිවිෂන් ආයතනද එයම කරනවා.

හිතාමතා මවන ව්‍යාජ පුවත් හා පුවත් විකෘති කිරීම්වලට අමතරව නොසැලකිල්ල, නොදන්නාකම, අලසබව හා වෘත්තීයභාවය නොතැකීම නිසා අපේ මාධ්‍යවලට නිරායාසයෙන් පිවිසෙන වැරදි තොරතුරුද සැලකිය යුතු ප්‍රමාණයක් තිබෙනවා.

දේශපාලකයන්, සරසවි ඇදුරන්, වෘත්තිකයන් හා පූජකයන් වැනි නාමධාරී පුද්ගලයන් අතර සමහරුන් පොදු අවකාශයේ (ප්‍රසිද්ධ රැස්වීම්, මාධ්‍ය සාකච්ඡා ආදියේදී) කරන වැරදි සහගත ප්‍රකාශ එලෙසින්ම, විමර්ශනයකින් තොරව පළ කිරීම අපේ මාධ්‍යවල සුලබ වැරැද්දක්.

මෙයට එක් ප්‍රබල උදාහරණයක් 2017 මුලදී මතු වුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 94 දෙනකු අඩු තරමින් අපොස සාමාන්‍ය පෙළවත් සමත් වී නැතැයි මාධ්‍ය රැසක් වාර්තා කළා. ඔවුන් සියල්ල මූලාශ්‍රය ලෙස උපුටා දැක්වූයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික සරසවි ඇදුරෙක්.

එකී මහාචාර්යවරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කළ ප්‍රකාශයක් වැඩි තතු නොවිමසා මාධ්‍ය වාර්තා කළා. මන්ත්‍රීවරුන් පිළිබඳ ජනප්‍රිය මහජන ආකල්පයකටද එය අනුගත වුණා.

මේ ගැන පසු විපරමක් කළේ ඉංග්‍රීසි සතිඅන්ත පුවත්පතක මාධ්‍යවේදිනියක් පමණයි. ඇය අදාළ මහාචාර්යවරයාට දුරකතනයෙන් කතා කොට මේ දත්තයට පදනම විමසුවා. එතැනදී ඔහු කියා ඇත්තේ එය තමා කළ තොරතුරු විමර්ශනයකින් හෙළි වූවක් නොව තමාද එය ටික කලකට පෙර මොකක්දෝ පුවත්පතක කිය වූවක් බවයි! අඩු තරමින් එම පුවත්පතේ නම පවා ඔහුට මතක නැතිලුෟ

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය කියා තිබුණේ මන්ත්‍රීවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ තොරතුරු තමන් එක් රැස් නොකරන බවයි.

ඉන්ටර්නෙට් ගත වී සරල ගූගල් සෙවීමක් කළ විට පෙනී ගියේ 2014 සැප්තැම්බරයේ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා (2010-2015 පැවති) පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අදාළව පවසා තිබුණේ 94 දෙනකු සාමාන්‍ය පෙළ අසමත්ව සිටි බවයි.

එහෙත් 2015 අගෝස්තුවේ තේරී පත් වූ වත්මන් පාර්ලිමේන්තුවට එම සංඛ්‍යාවම ආදේශ කරන්නේ කෙලෙසද?

මහාචාර්යවරයා නොසැලකිලිමත්ව කළ ප්‍රකාශය මාධ්‍ය එලෙසින්ම වාර්තා කළා. එය පදනම් කරගෙන විග්‍රහයන් හා කතුවැකි පවා ලියූ සියලු මාධ්‍ය ව්‍යාජ පුවතක හවුල්කරුවන් බවට දැනුවත්ව හෝ නොදැනුවත්ව පත් වුණා.

මාධ්‍යවේදීන් සතු විය යුතු සංශ්‍යවාදීබව  (skepticism) මෙරට කෙතරම් දුර්ලභද යන්නත් මේ උදාහරණයෙන් හොඳාකාර පේනවා.

ව්‍යාජ පුවත් නොහොත් දුස්තොරතුරු බෙදා හැරීම කෙතරම් සංකීර්ණද යන්න මේ දක්වා කියැවූ ඔබට වැටහෙනවා ඇති. මේ නිසාම ව්‍යාජ පුවත් ඉලක්ක කර ගත් නව නීති හෝ නියාමන ක්‍රමවේද හඳුන්වාදීමද අතිශය දුෂ්කර කාරියක්.

ආසියානු රටවල් දෙකක මෑත මාසවල අත්දැකීම් සලකා බලමු.

2018 මාර්තු මාසයේ ඉන්දියාවේ ප්‍රවෘත්ති හා විද්‍යුත් මාධ්‍ය අමාත්‍යාංශය කීවේ ව්‍යාජ පුවත් බිහි කිරීම හා ඒවා බෙදා හැරීම කරන මාධ්‍යවේදීන්ට හා ඔවුන්ගේ මාධ්‍ය ආයතනවලට ‘විපාක විඳීමට සිදු වනු ඇති’ බවයි.

‘ව්‍යාජ පුවත්’ නිර්වචනය නොකර ඉන්දියානු රජය කීවේ එවන් දේ කරන මාධ්‍ය එරට පුවත්පත් මණ්ඩලයට හෝ විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට යොමු කැරෙනු ඇත කියායි. චෝදනා ඔප්පු වුවහොත් අදාළ මාධ්‍යවේදියාගේ මාධ්‍ය හැඳුනුම්පත (media accreditation) අහෝසි වනු ඇතැයි ප්‍රකාශ කෙරුණා. (මුල් වරදට මාස 6ක් දක්වා, දෙවැනි වරදට වසරක් දක්වා සහ තෙවරක් වරද ඔප්පු වුවහොත් සදාකාලිකව.)

India government’s plans to regulate against Fake News, proposed and hastily withdrawn in April 2018

මෙය නිවේදනය කළ වහාම එරට මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදී සංවිධාන ප්‍රබලව සිය විරෝධය පළ කළා. මෙය මාධ්‍ය හීලෑ කොට මර්දනය කිරීමට ගන්නා උත්සාහයක් බවත්, දැනටමත් සියලු මාධ්‍යවේදීන් නිවැරදිව හා සමබවර වාර්තාකරණයේ යෙදිය යුතු බව පුවත්පත් මණ්ඩලයේ ආචාරධර්ම අතර කියැවෙන නිසා අමතර කිසිදු නියාමනයක් අවශ්‍ය නැති බවත් ඔවුන් අවධාරණය කළා.

මේ විරෝධතා හමුවේ අගමැති නරේන්ද්‍ර මෝඩි සිය ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ යෝජනාව ඉක්මනින්ම ඉවත් කර ගත්තා. අමාත්‍යාංශයේ මැදිහත් වීමකින් තොරව, පවත්නා රාමුව යටතේ පුවත්පත් මණ්ඩලයට හා විද්‍යුත් මාධ්‍ය නියාමන ආයතනයට ව්‍යාජ පුවත් ගැනද ප්‍රතිචාර දැක්විය හැකි යැයි ඔහු කියා සිටියා.

මැලේසියාවේ සිදු වූයේ මීට වෙනස් දෙයක්. 2018 අප්‍රේල් 2 වැනිදා එරට පාර්ලිමේන්තුව ව්‍යාජ පුවත් විරෝධී නව නීතියක් සම්මත කළා. ඕනැම මාධ්‍යයක් හරහා ව්‍යාජ පුවත් නිර්මාණය කිරීම හෝ සංසරණය කිරීම පිළිබඳ චෝදනා ඔප්පු වන ඕනෑම අයකුට මැලේසියානු රිංගිට් 500,000ක් (අමෙරිකානු ඩොලර් 128,000 පමණ) දක්වා දඩයක් හෝ වසරක් දක්වා සිරදඬුවමක් හෝ මේ දෙකම නියම කළ හැකියි.

හිටපු අගමැති නජීබ් රසාක් මේ නීතිය ගෙන ආවේ මහ මැතිවරණයක් අබිමුඛව තිබියදී. එසේම ඔහුගේ රජය මහා පරිමාණ රාජ්‍ය මුදල් වංචා කිරීම පිළිබඳ බරපතළ චෝදනා එල්ල වී තිබෙන අතරදී.

Malaysian campaign against Fake News

ඉක්මනින් ක්‍රියාත්මක කළ නව නීතිය යටතේ මුලින්ම වරදකරු වූයේ එරට සිටි ඩෙන්මාක් ජාතිකයෙක්. 2018 අප්‍රේල් 30දා ඔහු වරදකරු ලෙස තීරණය වූයේ එරට පොලිසිය, අපරාධ සිදුවීමකදී ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වූවා යයි සමාජ මාධ්‍ය ජාලයක් වන යූටියුබ්හී වීඩියෝවක ප්‍රකාශ කිරීම නිසායි.

වරද පිළිගත් ඔහුට අමෙරිකානු ඩොලර් 2,550ක දඩයක් නියම වූ අතර එය ගෙවා ගත නොහැකි වූ නිසා මාසයක සිරදඬුවමක් නියම වුණා.

එවකට විපක්ෂයේ සිටි බොහෝ මැලේසියානු දේශපාලන නායකයෝ මෙම නව නීතිය දැඩි ලෙස විවේචනය කළා. අමෙරිකානු ඩොලර් බිලියන් 5ක් පමණ රාජ්‍ය මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීම පිළිබඳව ඍජුවම චෝදනා ලැබ සිටි අගමැතිවරයා ඒ ගැන පුවත් මර්දනයට මේ නීතිය යොදා ගනු ඇතැයි ඔවුන් බිය පහළ කළා.

නජිබ්ට එරෙහිව පෙළ ගැසුණු අසාමාන්‍ය විපක්ෂ සන්ධානයේ නායකත්වය දැරූ ජ්‍යෙෂ්ඨ දේශපාලක මහතීර් මොහමඩ් මැතිවරණ කැම්පේන් සමයේ කීවේ තමන් දිනූ විට මේ මර්දනකාරී නීතිය අහෝසි කරන බවයි.

2018 මැයි 9 වැනිදා පැවති මැලේසියානු මහ මැතිවරණයේදී වසර 61ක් එක දිගට බලයේ සිටි පාලක පක්ෂය පරාජය වුණා. ආසන 222න් 121ක් ලබා ගත් විපක්ෂ සන්ධානය බලයට පත්වූ අතර 92 හැවිරිදි මහතීර් නැවත වරක් එරට අගමැතිවරයා වී සිටිනවා.

වඩාත් ප්‍රගතිශීලී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් මත මැතිවරණය දිනූ නව රජයට එරට සිවිල් සමාජ සංවිධාන හා මාධ්‍යවේදීන්ගේ සංවිධාන ප්‍රතිසංස්කරණ යෝජනා මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒ අතර එක් ප්‍රබල ඉල්ලීමක් නම් ව්‍යාජ පුවත් විරෝධී නීතිය ඉවත් කිරීමයි. මැතිවරණයට පෙර දුන් පොරොන්දුව මහතීර් ඉටු කරයිද යන්න ඔවුන් මහත් ඕනෑකමින් බලා සිටිනවා.

මේ අතර පිලිපීනයේ හා සිංගප්පූරුවේ රජයන්ද ව්‍යාජ පුවත් නියාමනය සඳහා නව නීති යෝජනා කොට තිබෙනවා. සංකීර්ණ සංසිද්ධියකට මෙසේ නීතිමය විසඳුමක් පමණක් ලබා දීමට තැත් කිරීම ඒ රටවල සමාජ ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්ව පවතිනවා.

අද විග්‍රහයේ අප වැඩිපුරම කතා කළේ ප්‍රධාන ධාරාවේ, ආයතනගත මාධ්‍ය විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව හෝ කරන දුස්තොරතුරු බෙදා හැරීම ගැනයි. ආසියාවේ බහුතරයක් රටවල තවමත් මහජනයාගෙන් බහුතරයක් සඳහා තොරතුරු මූලාශ්‍ර වන්නේ ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත්.

එහෙත් පුවත් වෙබ් අඩවි, ගොසිප් වෙබ් අඩවි මෙන්ම ගෝලීය සමාජ මාධ්‍ය වේදිකා හරහාද ව්‍යාජ පුවත් ගලා යනවා. එය පිළිගත යුතුයි.

අසම්පූර්ණ ලෙසින් වුවද මහා මාධ්‍යවල යම් මට්ටමක ප්‍රමිතිගත වීමක්, නියාමනවලට අනුගත වීමක් බොහෝ විට තිබෙනවා. (හැම මාධ්‍යයේම නොවේ.)

මහා මාධ්‍යවල ව්‍යාජ පුවත්පත්වලට ප්‍රතිචාර දැක්වීම ඉහත පෙන්වා දුන් පරිදි යම් තාක් දුෂ්කර වේද නව මාධ්‍යවල දුස්තොරතුරු ගලා යාමට ප්‍රතිචාර දැක්වීම එමෙන් කිහිප ගුණයක් වඩාත් දුෂ්කරයි.

එසේම මහා මාධ්‍යවලට ලිහිල් වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් වෙබ් අඩවි හා සමාජ මාධ්‍යවලට දැඩි නියාමන රාමුවක් හඳුන්වා දීම භාෂණ නිදහස පිළිබඳ මානව අයිතීන්ට එරෙහිව යාමක්.

ඕනෑම ප්‍රලාඵයක්, අපහාසයක් කිරීමට ඉඩ තිබිය යුතුය යන්න නොවෙයි එයින් අදහස් වන්නේ. එහෙත් සංකීර්ණ සමාජ සංසිද්ධීන්ට සරල පැලැස්තර විසඳුම් දීමට තැත් කළොත් සිදු වන්නේ ප්‍රශ්න තවත් උග්‍රවීම පමණයි.

ව්‍යාජ පුවත් හා දුස්තොරතුරු ජන සමාජයට, දේශපාලන ක්‍රියාදාමයන්ට හා ආර්ථීකයට කරන අහිතකර බලපෑම් කෙසේ සමනය කරගත හැකිද?

නීති හා නියාමනවලට අමතරව මෙයට යොදාගත හැකි ක්‍රමෝපායයන් මොනවාද?

නීති හා නියාමන ඕනෑම නම් මර්දනකාරි නොවන ලෙස සියුම්ව ඒවා කෙටුම්පත් කිරීමට අපට පූර්වාදර්ශ ගත හැක්කේ කුමන රටවලින්ද?

මේ ගැන ඉදිරි සතියක යළිත් කතා කරමු.

සිවුමංසල කොලූගැටයා #214: අඩසියවසක් ජාතිය ගොඩනැංවූ දුරදර්ශී නායකයා – ලී ක්වාන් යූ

Lee Kuan Yew (1923-2015)
Lee Kuan Yew (1923-2015)

In this week’s Ravaya column (in Sinhala, published in issue of 5 April 2015), I explore Lee Kuan Yew’s legacy from the perspective of many public education efforts in Singapore during his time as Prime Minister (1959-1990) and afterwards.

Such public awareness and motivation campaigns have been an integral part of Singapore’s national heritage. Over four decades, these campaign movements have not only shaped Singapore’s surroundings but also the thoughts and behaviour of the people.

As Lim Tin Seng of the National Library, Singapore, has written: “Singapore has conducted many campaigns covering a wide range of topics. For instance, there have been campaigns encouraging the population to keep Singapore clean, take family planning measures, be courteous, raise productivity in the workplace and speak Mandarin as well as good English. There have also been others that remind the people not to litter, be a good neighbour, live a healthy lifestyle and even to wash their hands properly. Collectively, the purpose of these campaigns is to instil certain social behaviours and attitudes that are considered by the government to be beneficial to both the individual and the community. They are also used by the state as an instrument for policy implementation.”

See also my own past writing on this topic:

1 May 2009: TV playing nanny: How Asian broadcasters helped fight SARS

30 April 2009: Digital Defenders: How 24/7 media can help fight swine flu worldwide

Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959
Lee is seen sweeping the streets during a mass clean-up campaign in Singapore, 1959

1959 – 1990 වකවානුවේ සිංගප්පූරුවේ ප්‍රථම අගමැතිවරයා වූ සහ එරට නිදහසෙන් පසු දියුණු රටක් බවට පත් කළ ලී ක්වාන් යූගේ අභාවය ලෝක පුවතක් බවට පත් වුණා.

ඔහු ආන්දෝලනාත්මක චරිතයක්. එහෙත් ඔහු සිය රටට දුන් දුරදක්නා හා කල් පවත්නා නායකත්වය ගැන නම් කවුරුත් පිළි ගන්නවා.

අපේ රටේ ලී (චීන සම්ප්‍රදායට වාසගම ලියන්නේ මුලින්) ගැන පළ වූ බොහෝ විග්‍රහයන් එක්කෝ ඔහු ශ්‍රී ලංකාව මුලදී අගය කළ සැටි හෝ ඔහුගේ දරදඩු පාලන පිළිවෙත්වලට සීමා වූ බවක් පෙණුනා.

ඇත්තටම ලී මාන රැසකින් යුත් අසාමාන්‍ය චරිතයක්. ඔහු අපේ කොළඹ දිස්ත්‍රික්කය පමණ බිම් ප්‍රමාණයකින් යුතු, පසුගාමීව තිබූ දූපතක් භාර ගෙන පරම්පරාවකට අඩු කාලයක් තුළ ඉසුරුබර හා ඒකාග්‍ර ජාතියක් බවට පත් කළේ කෙසේද යන්න සමීපව විමසා බැලිය යුතුයි.

සිංගප්පූරුව මලයා සමූහාණ්ඩුවෙන් වෙන් වී ස්වාධීන රාජ්‍යයක් වූයේ 1965දී. වර්ග කිලෝමීටර 718.3ක බිම් ප‍්‍රමාණයක් ඇති, සොබා සම්පත් කිසිවක් නැති නගර රාජ්‍යයක අනාගත දියුණුව මුළුමනින්ම පාහේ රඳා පවතින්නේ සේවා හා දැනුම් ආර්ථිකයක් ගොඩනැගීම මත බව ලී ඇතුලූ ඔහුගේ දක්ෂ කැබිනට් ඇමතිවරුන් මුල පටන්ම වටහා ගත්තා. එවකට මිලියනයක් පමණ වූ එරට ජනගහනයේ අධ්‍යාපන මට්ටම්, විනය හා හැදියාව හැකි තරම් දියුණු කරන්නට එරට රජය නොමසුරුව මුදල් යෙදවූවා.

ඉදිරියේදී සිංගප්පූරුව දියුණු රටක් කරන්නට දේශීය හැකියාව ප‍්‍රමාණවත් නොවන බවත්, උගත් හා දක්ෂ විදේශික වෘත්තිකයන් ආකර්ශනය කර ගත යුතු බවත් රජය දැන සිටියා. එරටට ආවේණික වූ චීන, මැලේ හා ඉන්දියානු ජන සංස්කෘතින් රැක ගනිමින් නූතනත්වය වැළඳගත් සිංගප්පූරුව, පිළිවෙළකට වැඩ කිරීම ජාතික ප‍්‍රතිපත්තියක් බවට පත් කළා.

මේ ගැන විවේචන තිබෙනවා. එහෙත් වැරදි පුරුදු හා විනය රහිත බව “සංස්කෘතික උරුමයක්” කියා තව දුරටත් පවත්වා ගෙන යන්නට ලී ඉඩ දුන්නේම නැහැ.

සිංගප්පූරුව ගැන සමීපව අධ්‍යයනය නොකළ හෝ කිසි දිනෙක එහි නොගිය උදවිය බොහෝ දෙනකු තුළ ඇති මනෝචිත‍්‍රය නම් දැඩි නීතිරීති හා දඬුවම්වලින් ගහන වූ දරදඬු රාජ්‍යයක් බවයි.

එරට පාරිසරික පිවිතුරු බව, පිළිවෙළට වැඩ කිරීම හා මාර්ග ආරක්ෂාව ආදී කරුණු සම්බන්ධයෙන් සාපේක්ෂව තදබල නීති ඇති බව ඇත්තයි. එසේම තරාතිරම නොබලා ඕනෑම කෙනකු වරදක් කළ විට අධිකරණ ක‍්‍රියා මාර්ග හරහා දඬුවම් දීම කැරෙනවා.

Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963
Tree Planting Campaign was launched by then Prime Minister, Mr Lee Kuan Yew, in 1963

බටහිර විචාරකයන් බොහෝ විට හුවා දක්වන්නේ චුවිංගම් තහනමයි. 1992දී හඳුන්වා දුන් මේ තහනම බැලූ බැල්මට පෞද්ගලික නිදහස අනවශ්‍ය ලෙස සීමා කිරීමක් සේ පෙනෙනවා. එහෙත් එයට හේතුව වූයේ චුවිංගම් රස උරා ගත් පසුව ඉතිරි වන ඇලෙනසුළු හපය ප‍්‍රසිද්ධ ස්ථානවල ඔහේ දමා යාමේ නරක පුරුද්දයි.

චුවිංගම් පෝෂණය හෝ වින්දනය අතින් අත්‍යවශ්‍ය නොවූවක්. පදික වේදිකා, බස් හා දුම්රිය පොළ, බස් රථ හා දුම්රිය ඇතුළත මෙන්ම රඟහල්, පාසල් ආදී තැන්වලත් ඉවත දැමූ චුවිංගම් නගරය පිරිසිදුව තබා ගැනීමට මහත් බාධාවක් වුණා. එසේම ඒවා හරිහැටි ගලවා ඉවත් කිරීම වෙහෙසකර, වියදම් අධික කාරියක්. මහජන මුදල් ලක්ෂ ගණනක් නිතිපතා වියදම් කිරීමෙන් පසු සිංගප්පූරුව මේ තහනම හඳුන්වා දුන්නේ අන්තිම පියවර ලෙසයි.

2004දී චුවිංගම් තහනම මඳක් ලිහිල් කෙරුණා. ඖෂධමය චුවිංගම් දැන් එරට ඔසුසල්වලින් අලෙවි කරනවා. එහෙත් ඒවායේ හපය ප‍්‍රසිද්ධ තැනක ඉවත දැමීම ඉහළ දඩයක් ලැබෙන වරදක්.

චුවිංගම් පමණක් නොවෙයි, වෙනත් ඕනෑම ආකාරයක ඉවතලන දෙයක් නිසි සේ බැහැර නොකළොත් එයට ලොකු දඩයක් ගෙවීමට සිදු වෙනවා. පළමුවරට ප‍්‍රසිද්ධ ස්ථානවල කසල දැමීමේ වරදට දඩය සිංගප්පූරු ඩොලර් 2,000යි (රු. 995,000). දෙවන වතාවට හසු වූ විට ඩොලර් 4,000ක් හා ඉන් පසු යළි යළිත් වරද කරන අයට වරකට ඩොලර් 10,000 බැගින් දඩ නියම කැරෙනවා.

සිංගප්පූරුවේ තවත් තහංචි ගණනාවක් තිබෙනවා. කිසිදු ප‍්‍රසිද්ධ ස්ථානයක හෝ විවෘත අවකාශයක කෙළ ගැසීම, මුත‍්‍රා කිරීම, තාප්ප හෝ බිත්තිවල අකුරු ලිවීම හෝ පෝස්ටර් ගැසීමට ඉඩක් නැහැ. එසේම මහපාරේ පදික වේදිකාවල ගමන් කළ යුතුයි. පාර පැනීමට කහ ඉරි සළකුණු කර ඇති තැන් පමණක් යොදා ගත යුතුයි. මෙසේ නොකරන ඕනෑම අයකුට දඩ ගැසීම කරනවා.

එසේම නීතිරීතිවලින් පමණක් රට හදන්නට බැරි බව හොඳාකාර දත් ලී මහජනයා දැනුවත් කිරීම හා හොඳ පුරුදු වර්ධනය කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ කැම්පේන් ආකාරයේ වැඩසටහන් රැසක් දියත් කළා.

Posters used by Singapore's public-health campaigns in the 1970s and 1980s - Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Posters used by Singapore’s public-health campaigns in the 1970s and 1980s – Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

2000දී බීබීසී සමග සම්මුඛ සාකච්ඡාවකදී ලී කියා සිටියේ මෙයයි. ‘‘අපේ පවිත‍්‍ර බව හා සංවර බව ඉබේ ඇති වූවක් නෙවෙයි. එය ආයාසයෙන් ගොඩනංවා ගත් ජාතික පුරුදු සමුදායක්. සමාජයට අහිතකර ක‍්‍රියා තහනම් කොට ඉහළ දඩයක් නියම කිරීමෙන් අප නතර වුණේ නැහැ. මහජනයා දිගින් දිගටම දැනුවත් කළා. උද්යෝගය හා උනන්දුව වර්ධනය කළා. ඒ සඳහා කැම්පේන් කළා. සමහර විදේශිකයෝ අපට සමච්චල් කරනවා – අප ‘ආයා රාජ්‍යයක්’ (nanny state) වැනියි කියා. එහෙත් මේ සියල්ල නිසා අප පරම්පරාවක් තුළ වඩාත් හික්මුණු, වගකීම් සහිත ජනතාවක් බවට පත් වී සිටිනවා.”

මුල් යුගයේ සිංගප්පූරු කැම්පේන් අතර කැපී පෙනුණේ 1968දී ඇරඹි ‘සිංගප්පූරුව පිරිසිදුව තබා ගනිමු’ හා 1971 පටන් ගත් රුක් රෝපණයයි. දැනුවත් කිරීමට අමතරව නාගරික නීතිරීති, ගොඩනැගිලි ඉදිකිරීමේ ප‍්‍රමිතීන්, වෙනත් කළමණාකරණ පිළිවෙත් ද විමර්ශනය කොට ප‍්‍රතිසංවිධානය කළා.

එරට මොන වැඬේට අත ගැසුවත් මුල සිට අගට කළ යුතු සියල්ල හඳුනාගෙන, වැඬේ සාර්ථක වනතුරු අල්ලා සිටිනවා. සාමාන්‍යයෙන් මහජනයා වෙතට යන කැම්පේන් අදියර ඇරඹුණේ අවශ්‍ය පරිපාලනමය හා සැළසුම් සම්බන්ධීකරණය හමාරකළ පසුවයි.

Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Singapore’s Anti-smoking campaign posters used in the 1970s and 1980s. Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ හැම කැම්පේන් එකක්ම ඉහළ වෘත්තීය මට්ටමකින් සැලසුම් කොට බහු මාධ්‍ය හා වෙනත් ක‍්‍රියාකාරකම් යොදා ගනිමින් දියත් කළා. දැන්වීම් කර්මාන්තයේ පළපුරුදු වෘත්තිකයන් හා විවිධ ක්ෂේත‍්‍රවල විශේෂඥයන්ගේ දායකත්වය ලැබුණා. උදාහරණයකට යහපත් සෞඛ්‍ය පුරුදු ගැන සියලූ කැම්පේන් කළේ වෛද්‍යවරුන් හා සමාජ විද්‍යාඥයන් මුල් කර ගෙනයි.

යහපත් සෞඛ්‍යය යනු ලෙඩ වූ විට බෙහෙත් දීම නොව, හැකි තරම් ලෙඩ රෝග වළක්වා ගැනීමයි. ලීගේ දැක්ම වූයේ සෞඛ්‍ය අධ්‍යාපනයට බොහෝ සම්පත් ලබා දී එය රටේ මාධ්‍ය හරහා සූක්ෂ්ම ලෙසින් කිරීමයි. මේ කැම්පේන් හරහා බෝවන රෝග (AIDS,ඩෙංගු) වළක්වා ගැනීම මෙන්ම බෝ නොවන හෘද රෝග, දියවැඩියාව, මානසික රෝග ආදිය ගැනද වෛද්‍ය විද්‍යාත්මක දැනුම ලබා දුන්නා. කිසිදු රෝග ලක්ෂණයක් නැතත් වාර්ෂිකව සෞඛ්‍ය පරීක්ෂණ (annual health check-ups) කර ගන්න යයි ජනතාව දිරිමත් කෙරුණා.

1970 දශකයේ ක්ෂය රෝගය, කොළරාව ආදී බෝවන රෝග එරට තවමත් හමු වුණා. ඒවා පැතිරීම වැළැක්වීමට නිතර අත් සබන් ගා සේදීමට ද ජනතාව උනන්දු කෙරුණා. දුම්බීමට හා මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව 1980 ගණන්වල පටන් ගත් කැම්පේන් අද දක්වා කර ගෙන යනවා.

Singapore: A City of Campaigns

එයට අමතරව මවුකිරි දීමේ අගය, සමබර ආහාරවේලක ගුණය, මාර්ග නීති පිළිපැදීමේ වටිනාකම, පොදු ප‍්‍රවාහන සේවා භාවිතයේ අගය ආදියද තවත් කැම්පේන්වල තේමා වූවා.

1980 හා 1990 දශක වන විට වඩාත් ඉසුරුබර රටක් බවට පත්ව සිටි සිංගප්පූරුව සම්පත් හා බලශක්ති සකසුරුවම්කම, මිනිසුන් අතර ආචාරශීලී බව, වයස 60ට වැඩිමහලූ අයට සැලකීමේ වැදගත්කම ආදී තේමා යටතේ ප‍්‍රබල කැම්පේන් දියත් කළා. එයට සමාන්තරව ජාතික ඵලදායීතාව දියුණුකිරීමේ වැඩ පිළිවෙලක් හා කැඩුණු ඉංග‍්‍රීසි වෙනුවට හොඳ නිවැරදි ඉංග‍්‍රීසි කතා කිරීම දිරිමත් කිරීමත් ඇරඹුනා.

Singapore National Courtesy Campaign posters: 1979 - 2000 Images courtesy - http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/
Singapore National Courtesy Campaign posters: 1979 – 2000
Images courtesy – http://remembersingapore.org/2013/01/18/singapore-campaigns-of-the-past/

මේ ආදායම් ඉහළ යාමත් සමග ජනයා එකිනෙකාට විනීතව කතාබහ කිරීම අඩු වන බව දුටු සිංගප්පූරු රජය 1979දී දිගු කාලීන දැනුවත් කිරීමක් ඇරඹුවා. ආත්මාර්ථකාමී නොවී අන් අයගේ යහපත හා සුවදුක් ගැන සංවේදී වීමටත්, පොදු ස්ථානවල විනීතව හා ආචාරශීලීව හැසිරීමටත් ජනයා උනන්දු කළා.

මුලින් මේ ව්‍යාපාරය ඇරඹුවේ එරටට මිලියන ගණනින් එන සංචාරකයන්ට ආචාරශීලී හා උදව් සහගත වීමට කියායි. එහෙත් ලීගෙ යෝජනාවකට අනුව එය එරට ජනයා එකිනෙකට සම්බන්ධ වන චර්යා සඳහාත් ව්‍යාප්ත කරනු ලැබුවා. National Courtesy Campaign of Singapore

ජාතික ආචාරශීලීබව ප‍්‍රවර්ධනය කිරීමේදී ‘කරුණාකර’ හා ‘ස්තූතියි’ වැනි මූලික යෙදුම් භාවිතයේ සිට විනෝදාස්වාදය ලැබීම, මහමග යාම හා විනෝද චාරිකා යාම ආදිය අන් අයට කරදරයක් නොවන ලෙස කෙසේ කළ හැකිද යන්න පෙන්වා දෙනු ලැබුවා.

ජනතාවට බණ කියනු වෙනුවට රසවත්, ආකර්ශනීය ලෙස පණිඩුඩ සකසා පුවත්පත්, රේඩියෝ, ටෙලිවිෂන්, දැන්වීම් පුවරු හා සංස්කෘතික සංදර්ශන ආදිය හරහා ඒවා බෙදාහැරියා. බොහෝ කැම්පේන්වලට කාටුන් චරිත, ඉෂ්ට ලංඡන (Mascot) හා හාස්‍ය රසය කාටුන් යොදා ගත්තා. සමහර විට දක්ෂ පොප්, රැප් හෝ වෙනත් සංගීත කණ්ඩායම් තේමා ගීත නිර්මාණය කළා.

Singa
Singa

උදාහණයකට ආචාරශීලීබව පිළිබඳ කැම්පේන් සුරතලා ලෙස සිංගා නම් සිංහයෙක් නිර්මාණය කළා. වසර 30ක් පුරා සිංගා එරට ජන ජීවිතයේ සුපුරුදු අංගයක් වුණා. 1990 දශකයේ ඉන්ටනෙට් භාවිතය පැතිර ගිය පසු මේ කැම්පේන් වෙබ් අඩවි හා ජංගම දුරකථන හරහා ද සමාජගත වුණා.

ජනයා වැඩිදෙනකු කාර්යාලීය ජීවන රටාවකට හුරු වන විට ව්‍යායාම කිරීමේ අවශ්‍යතාව කියා දෙන්නට තවත් කැම්පේන් එකක් දියත් කළා. දිනකට පැය බාලයක්වත් යම් සක‍්‍රීය ව්‍යායාමයක් ගැනීම කොතරම් වැදගත්ද යන්න ඒ හරහා අවධාරණය කෙරුණා. මේ ව්‍යායාම රිද්මානුකූල හා විනෝදජනක ලෙසින් කිරීමට සංගීතමය වීඩියෝ හා වෙනත් උපදේශක මාධ්‍ය රටපුරා බෙදා හරිනු ලැබුවා.

ලීට ඕනෑ වුණේ තුන්වන ලෝකයේ රටක් සේ නිදහස ලැබූ සිය කුඩා රාජ්‍යය පරම්පරාවක් තුළ පළමුවන ලෝකයේ රටක් බවට පත් කරන්න. එහිදී භෞතික යටිතල පහසුකම් තැනීම හා ඒක පුද්ගල ආදායම වැඩිකිරීමට අමතරව සමාජ ඒකාග‍්‍රතාවය, ජාතික අනන්‍යතාව හා රටවැසියන්ගේ අභිමානය ගැනද ඔහු ලොකු අවධානයක් යොමු කළා. ලෝකයේ කිසිදු රටකට නොදෙවැනි රෝහල්, විද්‍යා පර්යේෂණාගාර හා සරසවි එරට බිහි කිරීමට නොමසුරුව රජයේ මුදල් ආයෝජනය කළා.

සංස්කෘතික වශයෙන් කලා, සාහිත්‍ය හා අනෙකුත් නිර්මාණශීලී ප‍්‍රවාහයන්ට ආධාර කළත් රජය ඒ ක්ෂේත‍්‍රවලට අනවශ්‍ය ලෙස අරක් ගත්තේ නැහැ. (නමුත් මාධ්‍ය නිදහස හා ප‍්‍රකාශන නිදහස ගැන නම් දැඩි සීමා පැන වූවා.) චීන, මැලේ හා ඉන්දියානු සම්භව්‍ය ඇති එරට වැසියන් අතර ජාතිවාදය මතු වන්නට ඉඩ දුන්නේ නැහැ. ආගම පෞද්ගලික ක‍්‍රියාවක් ලෙස කිරීමට නිදහස තබා රාජ්‍ය පාලනයට කිසි ආගමක් සම්බන්ධ කර නොගැනීමට ලී දුරදර්ශීව ක‍්‍රියා කළා.

Disneyland with the Death Penalty, by William Gibson

සමහර විවේචකයන් සිංගප්පූරුව සිය ජනතාවට ඕනෑවට වඩා කළ-නොකළ යුතු දේ කියන, හැම දේටම ඇඟිලි ගසන රාජ්‍යයක් කියා හෙළා දකිනවා. එහෙත් මා හමු වී ඇති බොහෝ උගත් සිංගප්පූරු ජාතිකයන් පවා මේ කැම්පේන්වල ප‍්‍රතිඵල අගය කරනවා.

මෙතරම් කෙටි කලෙකින් දියුණු රටක් බවට පත් වූයේ හුදෙක් කොන්ක‍්‍රීට් හා වානේ පිහිටෙන් නොව දුරදක්නා නුවණින් හා නොසැලෙන අධිෂ්ඨානයෙන් එරට මිනිසුන් දියුණු කිරීමයි.

ලී ක්වාන් යූ ඉතිරි කර ගිය ලොකුම දායාදය එයයි!

Speak Mandarin Campaign posters used by Singapore since 1979  - Images courtesy  Remember Singapore website
Speak Mandarin Campaign posters used by Singapore since 1979 – Images courtesy
Remember Singapore website

 

සිවුමංසල කොලූගැටයා #169: අඩ සියවසක් ලොවේ හොඳ හිත දිනූ අක්‍ෂිදානය

The first eyes donated from Sri Lanka were dispatched overseas, to Singapore, on 25 May 1964. In the half century that followed, over 66,500 eye corneas have been donated from Sri Lanka to a total of 117 cities in 54 countries worldwide (by end April 2014). This is one of the greatest humanitarian gifts in modern times, which has earned Sri Lanka unparalleled gratitude and goodwill around the world.

In this week’s Ravaya column, in Sinhala, I trace the origins of eye donation in Sri Lanka. I have just written up the same information in English at:

When Worlds Collide #108: Eye Donation at 50 – Promoting Lanka’s Soft Power

Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath
Eye Donation Society Headquarters in Colombo. Photo by Janaka Sri Jayalath

 

ශ‍්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප‍්‍රතිරූපය හා පිළිගැනීම වඩාත් යහපත් කරන්නේ කෙසේ  ද යන්න දිගු කලෙක සිට කැරෙන සංවාදයක්. රාජ්‍ය තාන්ත‍්‍රික (තානාපති) කටයුතුවලට අමතරව මෑතක පටන් විශාල වියදමක් දරා බටහිර රටවල වාණිජ මට්ටමේ මහජන සම්බන්ධතා සමාගම්වල සේවය ලබා ගන්නට රජය ක‍්‍රියා කරනවා.

තොරතුරු සමාජය දියුණු වී ඇති අද කාලේ ප‍්‍රතිරූප හා හොඳහිත ගොඩනැංවීම අපහසුයි. එහෙත් එය බිඳ වැටීම හෝ හානි කර ගැනීම ලෙහෙසියි.

අඩසියවසක් මුළුල්ලේ කිසිදු මහජන මුදල් වියදමකින් තොරව මෙරටට විශාල ගෞරවයක්, කෘතඥතාවයක් හා හොඳ හිතක් ලොව පුරා ගොඩනැංවූ ජනතා ව්‍යාපාරයක් තිබෙනවා. ඒ ශ‍්‍රීලංකා අක්‍ෂිදාන සංගමයයි. එහි නිර්මාතෘ වෛද්‍ය හඞ්සන් සිල්වා (1929 – 1999) මෙරටින් බිහි වූ වෛද්‍යවරුන් අතර අතිශයින් ලෝක ප‍්‍රණාමයට පාත‍්‍ර වූ විද්වතෙක්.

අපේ ඇස් ලොවට දන් දීම ඇරැඹී වසර50ක් පිරෙන මේ මාසයේ ඒ කථාව සිහිපත් කිරීම වටිනවා.

Dr Hudson Silva (1929-1999), Founder of Sri Lanka Eye Donation Society
Dr Hudson Silva (1929-1999), Founder of   Sri Lanka Eye Donation Society

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘‘මළ නෙතට පණ’’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුව සිටි හඞ්සන් සිල්වා නම් තරුණයා. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇත‘ව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා.

එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි. ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ.

1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිත සොයා ගැනීමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, මරණින් පසු තම ඇස් දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වූයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත් කර දෙන ඇස් දන් දීමේ සද්කාර්යය ඇරැඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

ලිපියට ඉතා හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණා. ලංකාදීප කාර්යාලයට ලියුම් ලියමින් තමන්ගේ ඇස් දන්දීමට බොහෝ දෙනා ඉදිරිපත් වුණා. ඒ අතරින් සමහරුන් ජීවත්ව සිටියදීම එක් ඇසක් දන් දීමට කැමතිව සිටියා.

අවසාන වෛද්‍ය විභාගයෙන් සමත්ව වෛද්‍ය හඞ්සන් සිල්වා 1958සැප්තැම්බරයේ මුල් පත්වීම ලැබුවේ කළුතර නාගොඩ රජයේ රෝහලට. එහි එවකට ප‍්‍රධානියා වූ වෛද්‍ය ජෝර්ජ් ප‍්‍රනාන්දුගේ අනුදැනුම යටතේ අක්‍ෂිදාන ව්‍යාපාරය ප‍්‍රායෝගිකව ඇරඹුණේ එම රෝහලෙන්. (ගිය වසරේ ටෙලිවිෂන් පටිගත් කිරීමකට එහි ගිය මා දුටුවේ මේ වැදගත් ඉතිහාසය ගැන අද එහි කිසිවකු නොදන්නා බවයි.)

මුල් වතාවට අක්‍ෂි යුගලක් උකහා ගනු ලැබුවේ මහමග ඇද වැටී රෝහලට ගෙන එන ලදුව එහිදී මිය ගිය, හඳුනා නොගත් කෙනකුගෙන්. එම ඇස් යුගල ජෑම් බෝතලයක දමා ගෙන තරුණ වෛද්‍යවරයා බස් රියෙන් කොළඹ පැමිණ ඇස් රෝහලේ බද්ධ කිරීමට එය භාර දුන්නා.

රෝහලේ මිය යන අයගේ ඥාතීන් සමග කථා කරන විට වෛද්‍යවරයා තේරුම් ගත්තේ ජීවත්ව සිටියදීම අක්‍ෂිදානයට ප‍්‍රතිඥාවක් දී තිබීම වඩාත් උචිත බවයි. ඒ අනුව ඔහු එයට සරල පොරොන්දු පත‍්‍රයක් නිර්මාණය කළා.

එසේම අක්‍ෂිදානයට පොරොන්දු පත‍්‍ර වඩාත් අත්සන් කර ගැනීමට අක්‍ෂිදාන සංගමයක් ද පිහිටුවා ගත්තා. එහි මුල්ම රැස්වීම පැවැත්වූයේ 1958දෙසැම්බර් 30වනදා කළුතර දිස්ත‍්‍රික්කයේ මහවස්කඩුවේ ශ‍්‍රී සුධර්මාරාම විහාරයේ ධර්මශාලාවේදී. එතැනින් පටන් ගත් අක්‍ෂිදාන ව්‍යාපාරය පසු කලෙක දිවයින පුරා ශාඛා 400කට වැඩි ජාලයක් බවට පත් වුණා. මෙරට ප‍්‍රමුඛතම ස්වේච්ඡා ව්‍යාපාරයක ආරම්භය එයයි.

Mahawaskaduwe Sri Sudharmarama temple 'bana maduwa' in Kalutara - Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958
Mahawaskaduwe Sri Sudharmarama temple ‘bana maduwa’ in Kalutara – Venue of first meeting where Eye Donation Society was formed on 30 Dec 1958

1961 මුලදී කොළඹ ඇස් රෝහලට මාරුවීමක් ලැබූ වෛද්‍ය හඞ්සන් සිල්වා අක්‍ෂිදානය ජාතික මට්ටමට පුළුල් කිරීම ඇරඹුවා. මුල සිට ම ඔහුට ඕනෑ වුණේ මෙරට සියළු ජන කොටස් ද විවිධ ආගම් අදහන සැවොම ද මේ සද්කාරියට හවුල් කර ගන්නයි. මේ නිසා බහු ආගමික පැවිදි අනුශාසක පිරිසක් ද සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා ගිහි අනුශාසකයන් ලෙස ද පත් කර ගත්තා. අක්‍ෂිදාන ජාතික සංගමයේ මුල්ම සභාපති ලෙස ඇස් රෝහලේ අධිපති වෛද්‍ය ඞී. ඒ. ජයසිංහ පත් වූ අතර ප‍්‍රධාන ලේකම් වූයේ වෛද්‍ය හඞ්සන්.

අක්‍ෂිදාන පොරොන්දු පත‍්‍රය වඩ වඩාත් ජනප‍්‍රිය වුණා. ප‍්‍රථම අක්‍ෂිදායකයා වූයේ මඩිහේ පඤ්ඤාසීහ හිමියන්. ප‍්‍රථම අක්‍ෂිදායිකාව හඞ්සන් සිල්වාගේ මව, බියටි‍්‍රස් නැන්සිනා පෙරේරා මැතිනිය.

එදා මෙදා තුර මෙරට රාජ්‍ය නායකයන්, ප‍්‍රභූන්, ප‍්‍රකට කලාකරුවන්, විද්වතුන් ඇතුළු සාමාන්‍ය ජනයා ලක්‍ෂ ගණනක් මේ පොරොන්දු පත‍්‍රයට අත්සන් කොට තිබෙනවා. (එසේ කර තිබීමෙන් මිය ගිය පසු පැය 4ක් ඇතුළත ඇස් උකහා ගැනීමට ඥාතින් හරහා අක්‍ෂිදානයට දැනුම්දීම වඩා විධිමත් වනවා. නමුත් පොරොන්දු පත‍්‍රයක් අත්සන් කර නොතිබුණත්, නැතත් ඥාතීන්ගේ කැමැත්තෙන් ඇස් දන් දිය හැකියි.)

1963 පමණ වන විට දන්දීම හරහා ලැබෙන අක්‍ෂි කුණිත දේශීය රෝහල්වල බද්ධ කිරීමේ අවශ්‍යතා සියල්ල සපුරා ගත් පසුව ඉතිරි වන්නට පටන් ගත්තා. එවකට පැවති තාක්‍ෂණය අනුව කුණිත කල් තබා ගත හැකි වූයේ දින 4ක් පමණයි. මේ නිසා අතිරික්තය අපතේ යා නොදී විදෙස් රටවලට පරිත්‍යාග කළ හැකිදැයි වෛද්‍ය හඞ්සන් විපරම් කළා.

ඒ අවස්ථාවේ ඔහුට නිශ්චිත විදෙස් සබඳතා නොතිබුණත් ලොව ප‍්‍රධාන නගරවල අක්‍ෂි රෝහල්වලට විමසීමේ ලිපි යැවුවා. ශ‍්‍රී ලංකාවේ මෙන් නොව බොහෝ රටවල බද්ධ කිරීමට ඇති තරම් අක්‍ෂි කුණීත නොලැබෙන බව ඔහු දැන සිටියා.

අමෙරිකාවේ නිව්යෝක් ඇස් බැංකුව විමසුම්වලට පිළිතුරු එවමින් කීවේ ඔවුන්ට ඇස් විශාල ගණනක් උවමනා බවයි. ලැබෙන හැම ඇසක් ම ඉමහත් පරිත්‍යාගයක් ලෙස සළකන බව ඔවුන් කියා සිටියා.

එහෙත් අන්තිමේදී මුලින් ම මෙරටින් අතිරික්ත ඇස් පරිත්‍යාග කෙරුණේ සිංගප්පූරුවටයි. 1964මැයි 25 (වෙසක් පොහොය)දා තර්මෝස් උණුවතුර බෝතලයක තැන්පත් කළ හිස් තීන්ත බෝතලයක බහාලූ අක්‍ෂි හයක් සිංගප්පූරු මහ රෝහල වෙත ගුවනින් යවනු ලැබුවා. එය බලාපොරොත්තුවෙන් සිටි අක්‍ෂි වෛද්‍යවරු ඒවා බද්ධ කොට සිංගප්පූරු ජාතිකයන් පස් දෙනෙකුට පෙනීම ලබා දුන්නා.

පනස් වසරක් තිස්සේ ශ‍්‍රී ලංකාවෙන් ලොවට තිළිණ කැරෙන උසස්ම මානුෂික පරිත්‍යාගය වන විදෙස්වලට ඇස් දන් දීම ඇරඹුණේ එසේ සුළුවෙන්.

අද මෙන් ගුවන් චාරිකා බහුල නොවූ දුරස්ත සන්නිවේදන දියුණුව නොතිබු එකල මේ සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ලෙහෙසි වූයේ නැහැ. වෛද්‍ය හඞ්සන්ගේ සංවිධාන හැකියාව හා නොපසුබස්නා අධිෂ්ඨානය තීරණාත්මක වූයේ එහිදියි. ඔහු හැකි සෑම සබඳතාවක් හා කුසලතාවක් ම යොදා ගනිමින් වඩ වඩාත් ලෝකයේ රටවලට ඇස් යැවීමට වෙහෙස වූවා.

එහෙත් එසේ යැව්වේ මෙරට අවශ්‍යතා පිරිමැසීමෙන් පසු අතිරික්තය පමණයි. ‘‘ශ‍්‍රී ලංකාවේ මෙතරම් අන්ධ මිනිසුන් සිටියදී ඇයි මේ ඇස් පිටරට යවන්නේ?’’ සමහරුන් විමතියෙන් ප‍්‍රශ්න කළා.

Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 - Photo by Janaka Sri Jayalath
Human Eye Corneas, ready for dispatch at International Eye Bank in Colombo, Sri Lanka on 27 March 2013 – Photo by Janaka Sri Jayalath

හැම දෘෂ්‍යාබාධයක්ම කුණිත බද්ධයෙන් සුවපත් කළ නොහැකියි. උපතින්ම පෙනීම නොලද අයකුට බද්ධ කිරීම හරහා පෙනීම ලද නොහැකියි. කළු ඉංගිරියාව නරක් වී එහෙත් දෘෂ්ටි ස්නායුව, ශ්වේත පටලය වැනි ඇසේ අනෙක් කොටස් හොඳ තත්ත්වයෙන් පවතින රෝගීන්ට පමණක් කුණිත බද්ධය සාර්ථක වන බව වෛද්‍ය හඞ්සන් තම විවේචකයන්ට පහදා දුන්නා.

1964දී සුළුවෙන් ඇරැඹි ලෝකයට ඇස් දන් දීම ක‍්‍රමයෙන් පුළුල් හා සංවිධානගත කෙරුණා. 1967දී ලන්ඩන් නුවරදී අක්‍ෂි වෛද්‍ය සම්මේලනයක් අමතමින් වෛද්‍ය හඞ්සන් කීවේ ‘අපට වසරකට අවම වශයෙන් අක්‍ෂි කුණිත 200ක් ලෝකයට ලබා දිය හැකියි’ කියායි.

මුලදී ආසියානු රටවලට යැවුණු ඇස් පසුව රුසියාව, අප‍්‍රිකානු රටවල්, යුරෝපයට හා දකුණු අමෙරිකාවට ද යවනු ලැබුවා. වාමාංශික – දක්‍ෂිනාංශික පිල් බෙදීම් කිසිවක් නොසලකා ඕනෑකම ඇති, පෙරදිග අපරදිග, දුප්පත් හා පොහොසත් රටවලට නොමිළයේ ඇස් පරිත්‍යාග කිරීම දිගටම සිදු වුණා. මේ හරහා ශ‍්‍රී ලංකාවට ලැබුණු හොඳ නම හා හොඳ හිත ඉතා ඉහළයි.

ලෝකයට ඇස් පරිත්‍යාග කිරීම වඩාත් විධිමත්ව කර ගෙන යාමට ජාත්‍යන්තර ඇස් බැංකුව නිල වශයෙන් ඇරඹුවේ 1965ඔක්තෝබරයේ. අක්‍ෂිදාන සංගමයේ අධීක්‍ෂණය යටතේ ක‍්‍රියාත්මක වන එහි විශේෂ පුහුණුව ලද තාක්‍ෂණවේදීන් සිටිනවා.

මෙරට සිට පිටරටකට ඇස් යැවීම හරියට සමූහ තරග දිවීමක් (relay) වගෙයි. කෙනකු මිය යාමෙන් පැය 4ක් ඇතුළත ගලවා ගන්නා ඇස් වහාම ආරක්‍ෂිත මාධ්‍යයක ගල්වා, අවශ්‍ය පරික්‍ෂණ කිරීමෙන් පසු දිගු ගමනට සූදානම් කැරෙනවා. (HIV 1හා 2, හෙපටයිටීස් B, Cමෙන්ම සිෆිලිස් රෝගය සඳහා ද පරික්‍ෂා කිරීමෙන් පසුවයි බද්ධයට සුදුසු යයි තීරණය කරන්නේ.) ඇස් රට යැවීම සඳහා රිජිෆෝම් යොදා ගෙන එයට ආවේණික වූ ආරක්‍ෂිත පෙට්ටියක් වෛද්‍ය හඞ්සන් විසින් සැළසුම් කරනු ලැබුවා.

ඇස් බැංකුවෙන් සූදානම් කැරෙන ඇස් මේ පෙට්ටිවල බහා අදාල රේගු හා ගුවන් ගමන් ලියකියවිලි ද සමග කටුනායක ගුවන් තොටුපළට යැවෙනවා. එතැන් සිට ගුවන් ගමන් එකක් හෝ කිහිපයක් හරහා ගමනාන්ත නගරයට ගුවනින් යන පෙට්ටිය, හැකි ඉක්මනින් එහි අක්‍ෂි වෛද්‍යවරුන් අතට පත් කැරෙනවා. මේ සම්පේ‍්‍රෂණය පුද්ගලයන් හා ආයතන කිහිපයක සහභාගීත්වයෙන් කැරෙන මානුෂික මෙහෙයුමක්.

වෛද්‍ය තාක්‍ෂණයේ දියුණුවත් සමග වැඩි දින ගණනක් නරක් නොවී ඇස් කල් තබා ගත හැකි ක‍්‍රම සොයා ගනු ලැබුවා. අද වන විට යොදන ද්‍රාවණය අනුව දින 4ක්, 7ක් හෝ 14ක් කල් තබා ගත හැකියි.

2014 අපේ‍්‍රල් අග වන විට ශ‍්‍රී ලංකාවෙන් රටවල් 54ක නගර 117ක බද්ධ කිරීම සඳහා අක්‍ෂි කුණිත 66,500කට ටිකක් වැඩියෙන් පරිත්‍යාග කොට තිබුණා. මෙයට අමතරව මෙරටදී බද්ධ කිරීම් සඳහා දන් දුන් ඇස් 40,000කට වඩා රජයේ හා පෞද්ගලික රෝහල්වලට ලබා දී තිබෙනවා.

Eye donation stamp, 1983
Eye donation stamp, 1983

අක්‍ෂිදානය සිදු කැරෙන්නේ මුළුමනින්ම වාණිජ නොවන මට්ටමින්. මෙරටදී භාවිතයට ගැනෙන කුණිත සඳහා කිසිදු අය කිරීමක් නැහැ. පිටරට යැවෙන කුණිතවලට ද අය කිරීමක් නොකළත් සූදානම් කිරීමේ හා යැවීමේ වියදම ඒවා ලබන අක්‍ෂි රෝහල්වලින් ලබා ගැනෙනවා. මෙය අක්‍ෂිදාන සේවාව දිගටම පවත්වා ගෙන යාමට අවශ්‍ය වියදම්වලින් කොටසක් සපයනවා.

එහෙත් (අපේ සමහර මාධ්‍ය වරදවා විග‍්‍රහ කළ පරිදි) ඇස් විකිණීමක් කිසි විටෙක සිදු වන්නේ නැහැ. මෙය වෛද්‍ය හඞ්සන් ජීවත්ව සිටියදී අවධාරණය කළ මූලික ප‍්‍රතිපත්තියක්.

අක්‍ෂි දානය ලැබූ විවිධ රටවලින් ඒ සඳහා කෘතඥතාව පළ කරමින් අක්‍ෂිදාන සංගමයට ආධාර උපකාර කිරීම කලෙක සිට සිදු වනවා. මෙරටින් ඇස් සිය ගණනක් ලැබූ ජපානය හා පාකිස්ථානය වැනි රටවලින් මේ කළගුණ සැළකීම ඉහළින් ම කෙරුණා. පාකිස්ථානයේ ලාහෝර් නුවර හඞ්සන් සිල්වා අක්‍ෂි රෝහලක් ද පිහිටුවා තිබෙනවා.

ජපානයට බොහෝ ඇස් දන්දීමට ස්තුති කිරීමක් ලෙස එරට සිංහ සමාජ වෙතින් අක්‍ෂිදාන සංගමයට ටොයෝටා මෝටර් රථයක් තෑගි කළා. එය පිළිගැන්වීමට 1970දශකය මුල මෙහි ආ ජපන් නියෝජිත පිරිස දුටුවේ මේ තරම් විශාල මෙහෙවරක් කරන්නේ කුඩා තට්ටු නිවාස කාමරයක සිට බවයි.

ව්‍යාපාරයේ මුල් වසර 20පුරා අක්‍ෂිදාන කටයුතු බොහෝ විට සම්බන්ධීකරණය වූයේ වෛද්‍ය හඞ්සන්ගේ නිවසෙන්. ආපසු ගිය ජපන් ජාතිකයෝ අක්‍ෂිදානයට ගොඩනැගිල්ලක් තැනීම සඳහා ආධාර එකතු කළා. යෙන් කෝටියක් මෙහි එවුවා.

1965දී රජය පිළිගත් පුණ්‍යායතනයක් බවට පත්වූ අක්‍ෂිදාන සංගමයට 1970දශකය මුලදී කොළඹ විජේරාම මාවතට නුදුරු රජයේ බිම් කොටසක් ලැබුණා. 1976දී ජනාධිපති විලියම් ගොපල්ලව අතින් මුල් ගල තැබුණු අක්‍ෂිදාන මූලස්ථානය සෙමින් සෙමින් ආධාර එකතු කරමින් තනා නිම කොට 1984දී විවෘත කළේ එවකට අගමැති ආර්. පේ‍්‍රමදාස විසින්.

Hiru TV’s biographical programme on Dr Hudson Silva, presented by Nalaka Gunawardene (first broadcast in April 2013):