Nalaka Gunawardene wins Literary Award for Best Newspaper Column

Report in Ceylon Today,  5 September 2013:

Nalaka Gunawardene wins literary award - Ceylon Today, 5 Sep 2013, page 2
Nalaka Gunawardene wins literary award – Ceylon Today, 5 Sep 2013, page 2

Science writer Nalaka Gunawardene won the Vidyodaya Literary Award for the best newspaper column in Sinhala during 2012.

The award is one of several presented annually by the University of Sri Jayawardenapura to celebrate creative writing and journalism in Sri Lanka. Each September, the University’s faculty members and students announce their selection of the preceding year’s most outstanding published books in the Sinhala language.

The award ceremony, held on 2 September 2013 at the National Library Services Board auditorium in Colombo, recognized the best Sinhala novel, best short story collection, best poetry collection, best lyrics collection and the best newspaper column of 2012.

Nalaka won the award for his Sinhala language column titled Sivu Mansala Kolu Getaya (සිවුමංසල කොලූ ගැටයා), which he has been writing on a weekly basis in the Ravaya Sunday broadsheet newspaper since early 2011. A collection of 44 selected columns was published in September 2012 as a book by the same name. It was a Ravaya Publication.

The award citation, read by Professor Dammika Ganganath Dissanayeke,  Head of the Department of Sinhala and Mass communication at the University, described Sivu Mansala Kolu Getaya as being in a league of its own, engaging twenty first century Lankans.

It noted the broad range of the column’s topics and subjects – such as information society, innovation, climate change, disaster management, HIV/AIDs, energy crisis and censorship – and commended the colloquial language in which it is written.

Copies of the book, priced at Rs 450, are still available from all leading bookstores. The second book of columns, also a Ravaya Publication, will be released later this month during Colombo International Book Fair.

As a bilingual writer, Nalaka Gunawardene also writes a weekly English column (When Worlds Collide) in Ceylon Today every Sunday.

සිවුමංසල කොලූගැටයා #127: මැන්ඩෙලාට සවියක් වූ නිදහස් මතධාරියෝ:

Nelson Mandela

In my Ravaya column this week (in Sinhala), I look at the role of public intellectuals and artistes who supported Nelson Mandela in his anti-apartheid struggle as well as in forging the Rainbow Nation after majority rule started in 1994. In particular, I look at how the Nobel Laureates Nadine Gordimer and Desmond Tutu critically cheer-led Mandela and ANC.

නෙල්සන් මැන්ඩෙලා පරමාදර්ශී ජන නායකයා ගැන නෙතඟ බැල්මක් හෙළමින් පසුගිය කොලමින් මා කළ විග‍්‍රහයට ඉතා හොඳ ප‍්‍රතිචාර ලැබුණා.

මැන්ඩෙලා සෘජුව ම ඇසුරු කළ හා ඔහුගේ කථාව ලොවට කී මිතුරන් දෙදෙනකු තමයි මගේ ප‍්‍රධාන මූලාශ‍්‍ර වූයේ. ඈත සිට බලන අපට සද්දන්ත චරිතයක් හා වීරයකු ලෙසට පමණක් පෙනුණත් සමීපව අධ්‍යයනය කරන විට හැම මිනිස් ජීවිතයක මෙන් ම මැන්ඩෙලාගේ 95 වසරක ජීවන චරිතයේත් සංකීර්ණතා, ව්‍යාකූලතා හා පරස්පර විරෝධතා තිබෙනවා.

තමන්ගේ චරිතගති හා දැක්ම එක තැන පල් නොවී දශක ගණනක් විකාශනය වූ සැටි මැන්ඩෙලා විසින් ම අවංක හා ව්‍යක්ත ලෙසින් ලියා තිබෙනවා. පරිවර්තන හරහා හෝ ඔහුගේ ජීවන කථාව කියවා මෙනෙහි කිරීම වැදගත්.

මහත්මා ගාන්ධි මෙන් ම නෙල්සන් මැන්ඩෙලා ද යුග පුරුෂයකු වූයේ හුදෙක් තමන්ගේ ප‍්‍රඥාව, අධිෂ්ඨානය හා ප‍්‍රතිපත්ති ගරුක වීම නිසා පමණක් නොවෙයි. එයට නන් අයුරින් සම්මාදම් වූ හා පන්නරය ලබා දුන් සහෘදයන්, අනුගාමිකයන් හා විචාරශීලී ප‍්‍රතිමල්ලවයන් ද මේ විශිෂ්ඨ චරිතවල සමාජයීය බලපෑම තීව‍්‍ර කළා. මෙනයින් බලන විට මැන්ඩෙලා හරි හැටි අගය කරන්නට නම් ඔහුගේ සමකාලීනයන් ගැනත් යමක් දැන ගැනීම වටිනවා.

දකුණු අපි‍්‍රකාවේ වර්ණභේදවාදය නිල වශයෙන් වසර 50ක් පමණ කි‍්‍රයාත්මක වූවත් (1948 – 1994) එයට තුඩු දුන් අධිරාජ්‍යවාදී හා යුද්ධමය බල අරගලයන් 19 වන සියවස දක්වා ආපස්සට විහිදෙනවා. ඒ ඉතිහාසය මෙබඳු කෙටි විග‍්‍රහයකින් සම්පිණ්ඩනය කරන්නට අමාරුයි.

නීතිමය වශයෙන් Apartheid නම් වූ ජාතීන් බෙදා වෙන් කිරීමේ ප‍්‍රතිපත්තිය දකුණු අප‍්‍රිකාවේ රාජ්‍ය ප‍්‍රතිපත්තිය ලෙස නීතිගත කරනු ලැබුවේ 1948 මැතිවරණයෙන් පසුව. එම නීති යටතේ එරට ජනයා කාණ්ඩ හතරකට වර්ග කරනු ලැබුවා. එනම් ස්වදේශික (Native), සුදු (White), ආසියානු (Asian) හා වර්ණ මිශි‍්‍රත (Coloured) වශයෙන්.

මේ අතරින් සියඵ පාලන බලතල හා වැඩිපුර ව්‍යාපාරික හා වෘත්තික වරප‍්‍රසාද ලැබුණේ යුරෝපීය සම්භවයකින් පැවතෙන, ඇෆ්රිකානර් (Afrikaner) නම් සුදු ජාතිකයන්ටයි. එයට වඩා සීමිත වූ යම් වරප‍්‍රසාද ඉන්දියානු සම්භවයක් සහිත ‘‘ආසියානු’’ හා ‘‘වර්ණ මිශි‍්‍රත’’ අයට ලැබුණත්, අතිශයින් කොන් කිරීමක් හා පීඩිත තත්ත්‍වයකට බහුතර ස්වදේශික (කඵ) ජාතිකයන් පත් වුණා.

මෙය හුදෙක් දේශපාලන අයිතිවාසිකම් පමණක් නොව රැකියා අවස්ථා, පදිංචිය, දේපළ අයිතිය, අධ්‍යාපන අවස්ථා ආදී සියඵ ජීවන අංගයන්ට බලපෑ පුඵල් වූත්, ගැඹුරු වූත් වෙනස්කම් සමුදායක් (discrimination) වුණා.

මෙයට එරෙහිව එරට තුළින් හා ශිෂ්ට සම්පන්න මුඵ ලෝකයෙන් ම දැඩි විවේචන මතු වූවත් දකුණු අපි‍්‍රකානු සුදු පාලකයන් තම දරදඩු හා අමානුෂික ස්ථාවරය වෙනස් කළේ නැහැ. රත්රන්, දියමන්ති වැනි වටිනා ඛනිජ සම්පත් හරහා ලබා ගන්නා අතිවිශාල ජාතික ධනය කොටසක් ඔවුන් යෙද වූයේ වර්ණභේදවාදය සාධාරණීකරණය කරන්නට සිය රට තුළත්, ප‍්‍රධාන පෙළේ බටහිර රටවලත් ගැත්තන් පිරිසක් කුලියට ගැනීමටයි.

වර්ණභේදවාදයේ ඉතිහාසය විදහා දක්වන, එයට ම වෙන්වූ කෞතුකාගාරයක් දකුණු අපි‍්‍රකාවේ ජොහැන්නස්බර්ග් නුවර තිබෙනවා. එය විද්වතුන් හා ඉතිහාසඥයන්ගේ උපදෙස් මත පෞද්ගලික සමාගමක් විසින් ලාබ නොලබන මට්ටමින් පවත්වාගෙන යන අධ්‍යාපනික සේවාවක්. 2011දී එනුවර සතියක් ගත කරන අතරවාරයේ මා මේ කෞතුකාගාරය මුඵ දවසක් පුරා නැරඹුවා. http://www.apartheidmuseum.org

වර්ණභේදවාදයේ කුරිරු බව ගැන පොතපතින් කියවා, චිත‍්‍රපට හරහා තරමක් දැක තිබුණත් මේ අත්දැකීම ඒ අවබෝධය වඩාත් පුඵල් කළා.

Simulation at the Apartheid Museum entrance
Simulation at the Apartheid Museum entrance

කෞතුකාගාරයට ටිකට් මිළ දී ගන්නා අපට සැමට තාවකාලික වර්ණභේදවාදී ලේබලයක් ලබා දෙනවා. ඒ අනුව එහි මුල් ප‍්‍රදර්ශන ශාලාවට ඇතුඵ වීමට සුදු සමැති අයට එක් කොරිඩෝවකුත්, අන් අයට තව කොරිඩෝවකුත් තිබෙනවා. මෙය තනිකර ම මවා පෑමක් (simulation). එය බල පවතින්නේ විනාඩියකට පමණයි.

එහෙත් සුපර්මාකට් එකකට, අවන්හළකට, කාර්යාලයකට, රෝහලකට ආදී  ඕනෑ ම පොදු හෝ පෞද්ගලික හෝ ස්ථානයකට පිවිසීමේදීත්, සේවා ලබා ගැනීමේදීත් සමේ වර්ණය හා අහම්බෙන් උපතේදී හිමි වූ ජාතිය නිසා බරපතල වෙනස්කම්වලට අඩ සියවසක් පුරා මිලියන් ගණනක් දකුණු අපි‍්‍රකානුවන් ලක් වූ සැටි ගැන එය කෙටි සිහිපත් කිරීමක්.

මේ කෞතුකාගාරයේ එරට 20වන සියවසේ දේශපාලන ඉතිහාසය හා වර්ණභේදවාදයට එරෙහිව රට තුළත්, රටින් පිටතත් දශක ගණනක් තිස්සේ ගෙන ගිය අරගලය ගැනත් ඡයාරූප හා වාර්තා චිත‍්‍රපට හරහා සංවේදී ලෙසින් මතකයන් අවධි කරනවා. එය කරන්නේ සුදු ජාතිකයන් හැමදෙනා හෙළා දැකීම හෝ අධීරාජ්‍යවාදී යුගයට සියඵ දොස් තැබීම හෝ වැනි සරල, ජනපි‍්‍රය රටාවකට නොවෙයි.

වර්ණභේදවාදය නම් වූ නීතිගත අසාධාරණකම්වලට ප‍්‍රසිද්ධියේ විරුද්ධ වූ සුදු සම තිබූ දකුණු අපි‍්‍රකානු ජාතිකයන් ද සිටියා. ඔවුන් අතර ප‍්‍රමුඛ පෙළේ විනිසුරුකරුවන්, සරසවි ඇදුරන්, පත‍්‍ර කලාවේදීන් හා කලාකරුවන් ද වුණා. තමන්ගේ වරප‍්‍රසාද ගැන නොසළකා, මානව සාධාරණත්වය උදෙසා හඬ නැගූ මේ ටික දෙනා ජාති ද්‍රෝහීන් (traitors) යයි හංවඩු ගසා ගැරහීමට, තර්ජනවලට හා හිංසනය ලක් කරනු ලැබුවා.

රාජ්‍ය තන්ත‍්‍රයේ බලතල යොදා ගෙන ගිය මේ මර්දනය ඉවසා ගත නොහැකිව ඇතැම් සංවේදී පුද්ගලයන අකාලයේ මිය ගියා. තවත් අය පණ පමණක් බේරා ගෙන දකුණු අපි‍්‍රකාවෙන් පළා ගියා. එසේ රට හැර යන කිසිවකුට තමන්ට පරපුරෙන් උරුම වූ හෝ රැකියාවෙන් උපයා ගත් කිසිදු වත්කමක් රටින් පිට ගෙන යාම තහනම් කර තිබුණා.

එබඳු එක් අයකු පසු කලෙක මා දැන හඳුනා ගත්තා. දක්‍ෂ ජිව විද්‍යාඥයකු වූ ඔහුගේ  නම අයිවන් හැටිංග් (Ivan Hattingh). සුදු දකුණු අපි‍්‍රකානුවකු වූ ඔහු පර්යේෂක හා සරසවි ඇදුරු තනතුරු අතහැර 1960 ගණන්වල මවු රටින් පළා ගියේ වර්ණභේදවාදයට එරෙහිව මතවාදීව අරගල කිරීමෙන් අනතුරුව රාජ්‍ය මර්දනය දරා ගත නොහැකිවයි.

උගත්කම හා හැකියාව නිසා බි‍්‍රතාන්‍යයේ රැකියාවක් සොයා ගත් ඔහු පසු කලෙක එරට පුරවැසියකු වුණා. එහෙත් හදවතින් දිගට ම මවු රටට සමීප වූ ඔහු, වර්ණභේදවාදය නිල වශයෙන් නතර කොට බහුතර ජනයාගේ ඡුන්දයෙන් මැන්ඩෙලා 1994 ජනාධිපති වන තුරු කිසිදා එහි ගියේ නැහැ. මෙබඳු ප‍්‍රතිපත්ති ගරුක සුදු, කඵ, මිශි‍්‍රත දකුණු අපි‍්‍රකානුවන් විශාල සංඛ්‍යාවක් සිටියා.

මේ නිසා වර්ණභේදවාදයේ අමිහිරි ඉතිහාසය සුදු හා කඵ අතර අරගලයක් පමණක්  නොවෙයි. ඊට වඩා සංකීර්ණ වුවක්. මේ මතකයන් හා ඉතිහාසයේ යථාර්ථය සත්‍යවාදීව ඉදිරිපත් කරන්නට වර්ණභේදවාද කෞතුකාගාරය ප‍්‍රවේශම් වී තිබෙනවා. (ඉතිහාසය ලියන්නේ ජයග‍්‍රාහකයන් විසින් තමන්ට  ඕනෑ හැටියට යන්න අපට අසන්නට ලැබෙනවා. එහෙත් එයට වෙනස් වූ මඟක දකුණු අපි‍්‍රකාව යන්නේ මැන්ඩෙලා වැනි නායකයන්ගේ චින්තනය නිසා විය යුතුයි.)

කෞතුකාගාරයේ මා දැන ගත් කරුණු අතර මා කම්පනයට පත් කළ පැතිකඩක් වූයේ රාජ්‍ය තන්ත‍්‍රයේ වර්ණභේදවාදී පිළිවෙත් සාධාරණ යයි තර්ක කරමින් ඒ වෙනුවෙන් රට තුළ හා ජාත්‍යන්තර විද්වත් සභාවල පෙනී සිටි එරට උගතුන්, බුද්ධිමතුන් හා වෙනත් මතධාරීන්ගේ කි‍්‍රයා කලාපයයි.

ජෛව විද්‍යාත්මකව, පරිනාමීයව හා සමාජ විද්‍යාත්මකව කඵ සම ඇති මිනිසුන් ජන්මයෙන් ම පහත් බවට මේ අය කෙස් පැලෙන තර්ක හා මතවාද මතු කළා. මෙසේ මර්දනකාරී රෙජීමයට සුදුහුණු ගෑම සඳහා ඔවුන්ට තනතුරු, ධන සම්පත් හා වෙනත් වරප‍්‍රසාද එමට ලැබුණා. අවස්ථාවාදී බුද්ධිමතුන් හා බඩගෝස්තරවාදී කලාකරුවන් එදා දකුණු අපි‍්‍රකාවේ පමණක් නොව අද තව රටවලත් සිටිනවා!

Nadine Gordimer
Nadine Gordimer

මේ නිලමැස්සන් ගණයට නොවැටී, රට තුළ පදිංචිව සිටිමින් රාජ්‍ය මර්දනය නොතකා දිගටම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට සුදු දකුණු අපි‍්‍රකානු කලාකාරියක් නම් නැඞීන් ගෝඩිමර් ලේඛිකාවයි  (Nadine Gordimer).

2002 අගෝස්තුවේ මා මුල් වරට ජොහැන්නස්බර්ග් නුවරට ගිය අවස්ථාවේ ඇය සහභාගී වූ විද්වත් සංවාදයක් මා නැරඹුවා. රටේ පාලකයන් සුදු වුණත්, කඵ වුණත් තමා කවදත් විශ්ව සාධාරණය හා මානවයන් අතර සමානාත්මතාවය වෙනුවෙන් හඬ නගන බව ඇය සාවධාන්ව, සියුම් කට හඬකින් කී සැටි මට මතකයි. එවිට 79 හැවිරිදිව සිටි ඇය එදින සවස එනුවර වීදි උද්ඝෝෂණයකට සහභාගි වූයේ මහත් උද්‍යොගයෙන්.

1923 උපන් නැඞීන් ගෝඩිමර් ප‍්‍රබන්ධ රචනා කිරීම ඇරැඹුවේ 1949දී. ඇගේ මුල් ම නවකථාව (The Lying Days) 1953දී පළ වුවා. 1960දී ඇය අපි‍්‍රකානු ජාතික කොංග‍්‍රසයේ (ANC) හා නෙල්සන් මැන්ඩෙලාගේ අරගලයට විවෘතව ම සහයෝගය දැක්වීමට පටන් ගත්තා. මේ නිසා ඇගේ සමහර නවකථා දකුණු අපි‍්‍රකාව තුළ තහනම් කරනු ලැබුවා. එහෙත් ඒ වන විට ඇය ජාත්‍යන්තරව පාඨක ජනාදරයට පත්ව සිටි නිසා ඇගේ කෘතීන් රටින් පිටත දිගට ම අලෙවි වුණා.

වර්ණභේදවාදයට මුඵ හිතින් විරුද්ධ වූවත් ANC ව්‍යාපාරයේ ඇතැම් ක‍්‍රමෝපායන් ගැන ඇය එකඟ වූයේ නැහැ. ඇත්තට ම යුක්තිය හා සාධාරණත්වය සඳහා කැරෙන හැම ජනතා අරගලයකට ම ඉතා වැදගත් වන්නේ මෙසේ විචාරශීලිව සහයෝගය දෙන බුද්ධිමතුන් හා කලාකරුවන්.

ANC අරගලකරුවන් යටිබිම්ගත දේශපාලනය කරද්දී ඔවුන් සිය නිවසේ සඟවා අවදානම් සහගත ලෙස උදව් කළ ඇය ම 1994 මැතිවරණයෙන් පසු ANC බලයට පත් වූ විට ඔවුන්ගේ ඇතැම් ප‍්‍රතිපත්ති හා කි‍්‍රයාදාමයන් ප‍්‍රසිද්ධියේ විවේචනය කළා. දිගුකාලීනව රටට වැඩදායක එහෙත් ජනපි‍්‍රය නොවන සමහර ප‍්‍රතිපත්ති හඳුන්වා දීමේදී මැන්ඩෙලාට සවියක් වූයේ නැඞීන් වැනි විචාරශීලි හිතමිතුරන්.

1991දී සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය ඇයට හිමි වූණා. තවත් දෙස් විදෙස් සම්මාන රැසක් ලැබුණා. මේ වසරේ 90 වන විය සපුරන ඇය තවමත් යුක්තිය හා සමානාත්මතාවය වෙනුවෙන් හඬ නගනවා.

මැන්ඩෙලා දකුණු අපි‍්‍රකාව යළි ගොඩ නැංවීමේ දුෂ්කර කාරියේ නඬේ ගුරා වන විට ඔහුට දේශපාලන කරලියෙන් පිටත සිට ඉතා තීරණාත්මක සහයෝගයක් දුන් තවත් දැවැන්ත චරිතයක් නම් කේප්ටවුන් නුවර හිටපු ආච්බිෂොප් ඩෙස්මන්ඞ් ටූටූ (Desmond Tutu).

Desmond Tutu
Desmond Tutu

1931 උපන් ඔහු බි‍්‍රතාන්‍යයේ දේවධර්මවාදය උගත්, කථාවෙහි හා විවාදයෙහි අති දක්‍ෂ කඵ ජාතිකයෙක්. වර්ණභේදවාදයේ උච්චතම වකවානුවේ (1970 – 1980 දශකවල) ඔහු එහි ම්ලේච්ඡු ස්වභාවය බටහිර රටවලට මනා සේ පැහැදිලි කර දුන්නා. සමහර බටහිර රටවල් වර්ණභේදවාදී පාලකයන් සමග ප‍්‍රසිද්ධීයේ හෝ හොර රහසේ හෝ ව්‍යාපාරික සබඳතා පවත්වා ගෙන යාම ඔහු විවේචනය කළා.

දකුණු අපි‍්‍රකාවේ නිදහස් අරගලය සුදු, කඵ, මිශි‍්‍රත හැමගේ අරගලයක් බවට දිගින් දිගට ම ඔහු හඬ නැගුවේ මැන්ඩෙලා නිහඬ කොට සිරගත කොට සිටින කාලයේ පටන්. පලිගැනීමේ හා වෛරයේ දේශපාලනයෙන් ANC පාක්‍ෂිකයන් මුදවා ගෙන සමාව දීමේ මාර්ගයට යොමු කරන්නට සාමයික හා දාර්ශනික මට්ටමෙන් ද ටූටූ ඉතා විශාල මෙහෙවරක් ඉටු කළා.

සාමය හා සාධාරණත්වය උදෙසා අවිහිංසාවේ හඬ නැගීම වෙනුවෙන් 1984 නොබෙල් සාම ත්‍යාගය ඔහුට පිරි නැමුණා.

ඩෙස්මන්ඞ් ටූටූ 1994 සිට බලයට පත් හැම දකුණු අපි‍්‍රකානු රජයක් ම නොබියව විවේචනය කරන අයෙක්. මැන්ඩෙලාගේ පස් අවුරුදු ධූර කාලයේ එරට සත්‍යය හා සංහිදියාව කොමිසමේ සභාපති වූ ඔහු, ඉනික්බිති සිවිල් සමාජ කි‍්‍රයාකාරිකයකු ලෙස මානව හිමිකම්, HIV/AIDS, කාන්තා අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, දුප්පත්කම පිටුදැකීම ආදී බොහෝ වැදගත් සමාජ අරගලයන්ට අනුබල දෙනවා.

නෙල්සන් මැන්ඩෙලාගේ හා දකුණූ අපි‍්‍රකාවේ වාසනාවට මෙන් නැඞීන් ගෝඩිමර්, ඩෙස්මන්ඞ් ටූටූ වැනි සම්මානීය, නිදහස් මතධාරීන් ගණනාවක් වර්ණභේදවාදය පිටු දකින්නට හා ඉන් පසු නව දේශයක් බිහි කරන්නට ඒක රාශී වුණා. මැන්ඩෙලා දේශපාලන ගනුදෙනු කරමින් පාක්‍ෂිකයන් සතුටු කරන්නට ඇතැම් විට කෙටිකාලීන පියවර ගන්නට යන විට ඔහුව දේශපාලන මඩගොහොරු හා බොරු වලවලින් බේරා ගත්තේ මෙබඳු විචාරශීලි සහෘදයන්.

රටක් හදන්නට සැබෑ ජන නායකයන් පමණක් නොව ඔවුන්ට විචාරශීලීව පන්නරය දෙන එඩිතර බුද්ධිමතුන් හා කලාකරුවන් ද අත්‍යවශ්‍යයි.

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

How did Arthur C Clarke write acclaimed science fiction? Did he just dream up all his stories, or was there a meticulous research and development process? (The latter was closer to the truth.)

Having worked as his principal research assistant for 21 years (1987 – 2008), I’m often asked such questions. This has been explored in English by various writers, including Clarke biographer Neil McAleer (whose revised and expanded biography, Visionary, came out in 2012).

But there is limited awareness of the man and his creative accomplishments in Sri Lanka, his adopted home for over half a century. I wrote a book (in Sinhala) last year introducing Arthur C Clarke’s scientific ideas and visions for the future. This year, I have started chronicling how he wrote science fiction.

The first such article appeared in Sunday Lakbima, a popular Sinhala broadsheet newspaper, on 21 April 2013. Here is that text, which is not easy to locate online as they (and many other Lankan newspapers) use mini-blackholes to publish their web editions…

the-last-goodbye-from-colombo-photo-by-shahidul-alam.jpg
Photograph by Shahidul Alam, 2007

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

– නාලක ගුණවර්ධන

‘ආතර් සී. ක්ලාක් පොත් ලිව්වේ කොහොමද?’ ක්ලාක්ගේ සහායකයා ලෙස වසර 21ක් (1987-2008) මා කි‍්‍රයා කළ බව දන්නා අය විටින් විට මගෙන් විමසනවා.

ඔහුගේ නිර්මාණ ලෝකය පුරා ඉංගී‍්‍රසි පාඨකයන් තවමත් රස විදින නමුත් ඒවා බිහි වූ ආකාරය ගැන එතරම් තොරතුරු ප‍්‍රකට නැහැ.

ක්ලාක්ගේ ලේඛන කලාව විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඔහු නිර්මාණ සිදු කළ ආකාරය සමීපව කලක් තිස්සේ බලා සිටි මා එය දැක්කේ විසිත්ත පලසක් නිම කරන කලාළකරුවකු නැතිනම් වියන්නකු හැටියටයි.

පලසක්, ටැපැස්ටි‍්‍රයක් නැතහොත් ගෙත්තම් තිරයක් වියන්නට යොදා ගන්නේ බහුලව හමු වන අමුද්‍රව්‍යයි. ඒවා සුවිශේෂී හා විචිත‍්‍ර ලෙසින් ඒකරාශි කිරීම තනිකර ම වියන්නාගේ කුසලතාව මත ර`දා පවතිනවා. එදිනෙදා වහරේ ඇති වදන් යොදා ගෙන ලේඛන නිර්මාණ කිරීමත් එයට සමාන්තර කාරියක්.

විද්‍යාව, තාක්‍ෂණය, ඉතිහාසය, කලා ශිල්ප හා දේශපාලනය ගැන තොරතුරු පවා අඩු වැඩි පමණට ක්ලාක් තමන්ගේ විවිධ නිර්මාණවලට යොදා ගත්තා. ඔහු ගැන හරිහැටි නොදන්නා උදවිය ඔහු හුදෙක් අනාගතවේදී සාත්තරකරුවකු හැටියට දකිනවා. එහෙත් මානව පරිනාමය, ප‍්‍රචණ්ඩත්වය, අර්ථ ශාස්ත‍්‍ර හා දේශපාලන ක‍්‍රමවේද මෙන් ම නිරායුධකරණය, මානව නිර්ආගමීකරණය ආදී ගැඹුරු සංකල්ප ඔහුගේ ප‍්‍රබන්ධ තුළ සියුම් ලෙසින් තැනින් තැන මතු වනවා. හැම පරම්පරාවක් ම ක්ලාක්ගේ නිර්මාණ සමුදාය කියවා තම කාලයට අදාල කර ගත යුතු බව මගේ හැගීමයි.

ක්ලාක්, වෘත්තීය ලේඛකයකු හැටියට දැඩි සංයමයක් තිබූ, ඉතා මැනවින් සංවිධානගතව වැඩ කරන්නට කැමති කෙනෙක්. ඕනෑම කාරියක් පිළිවෙලට කිරීම හා හැම ලිපි ලේඛනයක් ම නිසි සේ ගබඩා කොට තැබීම ඔහුගේ සිරිත වුණා. මේ අනුව ජීවිතයේ අවසන් කාලය වන විට වසර 60ක් පමණ තිස්සේ ක‍්‍රමානුකූලව එකතු කළ අත් පිටපත්, ලියුම් හා වෙනත් වැදගත් ලිපි ලේඛන දහස් ගණනක් ලොකු කාමරයක් පිරවීමට තරම් තිබුණා.

දශක හයකට ටිකක් වැඩි ලේඛන ජීවිතය තුළ ඔහු තමාගේ ම පොත් 80ක් පමණ ද හවුලේ ලියූ තවත් පොත් 20ක් ද පළ කළ අතර ඔහු අතින් නිර්මාණය වූ කෙටි කථා, විද්‍යා ලිපි, ග‍්‍රන්ථ විචාර ආදිය දහසකට වැඩියි. මේ හැම එකක් ම මහත් ආයාසයෙන් හා සීරුවෙන් නිම කරන ලද ඒවායි. කිසිවක් දුවන ගමන් කලබලයට කිරීම ඔහු අපි‍්‍රය කළා.

ඔහුගේ සමකාලීනයකු හා මිතුරකු වූ අමෙරිකානු ලේඛක අයිසැක් ඇසිමෝෆ් ක්ලාක් මෙන් නොව අධි වේගයෙන් පොත් ලියූ කෙනෙක්. ගුණාත්මක බවෙහි අඩුවක් නොකර විශාල විෂය පරාසයකට අයත් පොත් 500කට වැඩි ගණනක් ඇසිමෝෆ් ලියුවා. ඇසිමෝෆ් මෙසේ කරන්නේ කෙසේ ද යන්න ගැන ක්ලාක් මවිත වුණා. ‘මගේ මිත‍්‍රයා දෑතින් මෙන් ම දෙපයින් ද ටයිප් කිරීමේ අසාමාන්‍ය හැකියාව ප‍්‍රගුණ කර තිබෙනවා විය යුතුයි’ වරක් ක්ලාක් විහිඵ කළා.

මෙයින් අදහස් කැරෙන්නේ ක්ලාක් ඉතා සෙමින් ලියූ ලේඛකයකු කියා නොවෙයි. කෙටි විද්වත් ලිපි ලිවීමට ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ (Time, Newsweek, New York Times වැනි) මාධ්‍යවලින් ලැබෙන හදිසි ඉල්ලීම්වලට ඔහු ඉක්මනින් ප‍්‍රතිචාර දැක් වූවා. අඵත් විද්‍යාත්මක සොයා ගැනීම් හා ජාත්‍යන්තර තාක්‍ෂණ සිදුවීම් ගැන කිසි සූදානමකින් තොරව වූවත් හරබර මත පළ කිරීමේ හැකියාව ඔහුට තිබුණා.

නමුත් පොතක් ලිවීම ඔහු සැමවිට ම සැළකුවේ භාරදුර වගකීමක් ලෙසයි. ඒ අතුරින් ද විද්‍යා ප‍්‍රබන්ධ නවකථා ලිවීම කල් යල් බලා, බොහෝ සේ තොරතුරු ගවේෂණය කොට ඉනික්බිති කළ දෙයක්. ක්ලාක් ලියූ හැම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොතක් පිටුපස ම එය නිර්මාණය කරන්නට ගත් විශාල ප‍්‍රයන්තයක් තිබුණා.

ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ (රජයට අයත් ක්ලාක් මධ්‍යස්ථානය නොවේ!) මා සේවය කිරීම ඇරඹූවේ 1987 පෙබරවාරියේ. 1987-2008 වකවානුවේ ඔහු ලියූ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හයටත්, විද්‍යා හා තාක්‍ෂණ විචාරශීලී පොත් කිහිපයකටත් අවශ්‍ය තොරතුරු ගවේෂණය, නිරවද්‍යතාව තහවුරු කිරීම, ලොව පුරා පැතිර සිටින විද්වතුන්ගෙන් මත විමසීම හා අත්පිටපත් සෝදිසි කිරීම ආදී වගකීම් ගණනාවක් මට පැවරුණා.

මේ නිසා විසිවන සියවසේ ප‍්‍රධානතම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු අඵත් නිර්මාණයක් කරන ආකාරය ගැන සමීපව නිරීක්‍ෂණ කරන්නටත්, ඒ නිර්මාණ ප‍්‍රවාහයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනයටත් මට අවස්ථාව ලැබුණා. මෙය අසාමාන්‍ය ගණයේ ආධුනිකත්වයක් ලෙස සැළකිය හැකියි.

ප‍්‍රබන්ධකරණය යනු මනස් ලෝක මැවීමක්. හැම ප‍්‍රබන්ධ ලේඛකයා ම තමන්ගේ වචන හරඹයෙන් පරිකල්පනාත්මක චරිත, සිදුවීම් හා දේශයන් බිහි කරනවා. විද්‍යා ප‍්‍රබන්ධවලටත් එය පොදුයි. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ විද්‍යාවේ මූලධර්මවලට අනුකූල වූත්, සැබෑ ලෝකයේ සිදු විය හැකි වූත් කථාන්තරයි. ඔහු විද්‍යාත්මක ෆැන්ටසි (මායාරූපී කථා) ලිව්වේ නැහැ.

වතාවක් ඔහු විද්‍යා ප‍්‍රබන්ධ (science fiction) හා විද්‍යා ෆැන්ටසි (science fantasy) දෙක නිර්වචනය කළා. විද්‍යා ප‍්‍රබන්ධ යනු සැබෑ ලෝකයේ සිදු විය හැකි, එහෙත් සිදු නොවනවා නම් වඩාත් හොඳ වර්ගයේ කථායි. (මේ නිසා විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් සමාජයට අනතුරු අඟවන්නන් ලෙසත් ඔහු සැළකුවා.) විද්‍යා ෆැන්ටසි නම් සිදු වනවාට අප බොහෝ කැමති වූවත් ඇත්තට ම සිදු වන්නට බැරි අභව්‍ය ගණයේ කථායි. මේ දෙක අතර සීමාව එතරම් දැඩි නොවන බවත් ක්ලාක් පිළි ගත්තා.

ක්ලාක් ප‍්‍රබන්ධකරණයේ නියැලෙන විට දැඩි සමාධියකට පත් වනවා. ඔහු දිනකට පැය ගණනක් තමන් ම කථාව ටයිප් කරනවා. මුල් යුගයේ ටයිප්රයිටර් (යතුරුලියන) ද 1980 පටන් පුද්ගල පරිගණක ද එයට යොදා ගත්තා. ඔහු ටයිප් කිරීම නතර කළේ වයස 85 ද ඉක්මවා ගතින් දුබල වීමෙන් පසුවයි. එතැන් සිට අන්තිම වසර පහ ඔහු ටේප් එකකට කථාව පටි ගත කර, කාර්ය මණ්ඩලය වූ අප හරහා ටයිප් කරවා ගත්තා.

ඉංග‍්‍රීසි භාෂාව ඉතා ව්‍යක්ත, මටසිලූටු හා සුහද ලෙසින් ලිවීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහුගේ බස සරලයි. වාක්‍ය කෙටියි. බරපතල වචන වෙනුවට එදිනෙදා වහරේ වචන, උපමා හා රූපක යොදා ගන්නවා. ඔහුට ආවේණික හාස්‍ය රසයක් හා දඟකාර ගතියක් ඔහුගේ කථාවල නිතර හමු වනවා. සමාජයේ ප‍්‍රභූන්ට, අන්තවාදීන්ට, උඩගු අයට මෙන් ම බක පණ්ඩිතයන්ට ද හීන්සීරුවේ ‘ටිකිරි ටොකු’ දීමේ සිරිතක් ඔහුට තිබුණා. මේ වචන හරඹ (puns) එලෙසින් වෙනත් බසකට පෙරැලීම ඉතා අමාරු කාරියක්.

ක්ලාක් ප‍්‍රබන්ධයක් හා වෙනත් ඕනෑ ම ලේඛනයක් කෙටුම්පත් වාර ගණනාවක් ගත වනතුරු සංශෝධනය කරනවා. තමා ලියන හැම වැකියක් ම නැවත නැවතත් සමාලෝචනය කොට වඩාත් දියුණු කරන්නට ක්ලාක් වෙර දරනවා.

ඔහු නිතර කීවේ මුල් කෙටුම්පතක් හමාර කොට පසෙක තබා ටික දිනක් වෙන දෙයක් කළ යුතු බවයි. එවිට අප නොදැනුවත්ව ම වාගේ අපේ යටි මොළයේ මේ සංකල්ප තව දුරටත් වැඩ කරන බවත්, නැවත කෙටුම්පත දෙස බලන විට පෙර නොදුටු දියුණු කිරීම් ගණනාවක් පෙනෙන බවත් ඔහු අත්දැකීමෙන් විශ්වාස කළා.

ක්ලාක් අඵත් ප‍්‍රබන්ධ නවකථාවක් ලියන්නට අරඹන්නේ මුඵ කථාවේ සැකිල්ලක් නැතහොත් ප‍්‍රධාන සිදුවීම් වැලක් නිසි පිළිවෙලට සකසා ගැනීමෙන්. එය සාමාන්‍යයෙන් පිටු 10-12ක් පමණ වනවා. ප‍්‍රධාන චරිතවල නම් හා ගති සොබා ද එහි සඳහන් කරනවා. කථාවේ සංත‍්‍රාසමය, සංවේගදායක අවස්ථා හා වෙනත් උච්චස්ථානයන් ද ඔහු සනිටුහන් කරනවා.

සමහර වෙලාවට මෙසේ ගලපා ගත් සැකිල්ල ඔහු මුලින් කෙටි කථාවක් ලෙස රචනා කරනවා. කෙටිකථාවක් ලිවීම නවකථාවක් ලිවීමට වඩා අභියෝගාත්මක නිර්මාණකරණයක් බව ඔහු විශ්වාස කළා. මේ සාහිත්‍යාංග දෙක එකිනෙකට ආවේණික වූ ලක්‍ෂණ සහිතයි. සමහර විට මුලින් කෙටිකථාවක් ලෙස ලෝකයට මුදා හැරිය නිර්මාණ කලකට පසුව ඔහු නවකථා ලෙස ප‍්‍රතිරචනා කළා.

එක් උදාහරණයක් මට හොඳ ට මතකයි. 1992 මැයි මාසයේ ටයිම් සඟරාවේ කතුවරුන් ක්ලාක්ට ඇරැයුමක් කළේ ඉදිරි සහශ‍්‍රකයේ පෘථිවියේ ජන ජීවිතයට අදාළ වන ආකාරයේ ප‍්‍රබන්ධයක් වචන 4,000කින් ලියන ලෙසට.

කාලීන පුවත් වාර්තාකරණයට හා විග‍්‍රහයට කැප වූ ටයිම් සඟරාව වසර 2000න් එහා ලෝකය ගැන විශේෂ කලාපයක් සැළසුම් කළා. අනාගත ලෝකය ගැන විවිධ කෝණවලින් විග‍්‍රහ කරන අතර ලොව මහා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකුගේ පරිකල්පනය ද එයට එකතු කිරීමට ඔවුන්ට ඕනෑ වුණා.

ඒ අභියෝගය භාර ගත් ක්ලාක්, 22වන සියවසේ අපේ ලෝකයේ ගැටීමට ඇදී එන ග‍්‍රහකයක් තේමා කර ගත් The Hammer of God නම් කෙටිකථාවක් රචනා කළා. එහි වචනාර්ථය දෙවියන්ගේ මිටි පහර යන්නයි. අයාලේ යන ග‍්‍රහ කැබලි පෘථිවියට ඇති කරන අවදානම ගැන මීට පෙර 1973දී ප‍්‍රකාශිත Rendezvous with Rama (රාමා හමුව) නවකථාවේ ද ඔහු ප‍්‍රබලව පෙන්වා දී තිබුණා. එම කථාවේ යෝජිත පරිදි අහස මුරකිරීමක් (SpaceGuard) 1990 වන විට අමෙරිකාවේ නාසා ආයතනය අරඹා තිබුණා.

කථාව ලියන්නට විද්‍යාත්මක පසුබිම සොයා තාරකා විද්‍යාඥයන් හා අභ්‍යවකාශ විද්‍යාඥයන් ගණනාවක් සමඟ ක්ලාක් ලිපි හුවමාරු කළා. (ඊමේල් නොතිබූ ඒ කාලයේ සන්නිවේදන සිදු වුණේ ෆැක්ස් හෝ ගුවන් තැපැල් හෝ මගින්.) මීට අමතරව කොළඹ ප‍්‍රධාන පුස්තකාලවල මා යම් තොරතුරු ගවේෂණය කිරීම ද කළා.

1992 ඔක්තෝබරයේ ‘Beyond the Year 2000’ නම් තේමාවෙන් නිකුත් වූ ටයිම් විශේෂ කලාපයේ මේ කථාව පළ වුණා. 1923දී ඇරැඹි ටයිම් සඟරාවේ ඉතිහාසයේ ඔවුන් දැනුවත් ව ප‍්‍රබන්ධයක් පළ කරන දෙවැනි අවස්ථාව මෙය බව කතුවරුන් කියා සිටියා. (1969දී රුසියානු ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින්ගේ කථාවක් පළ කර තිබුණා.)

ටයිම් සඟරාවේ කෙටිකථාවට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණු නිසා එය නවකථාවක් ලෙස විස්තාරණය කරන්නට ක්ලාක් තීරණය කළා. ඒ වන විට අදාල තොරතුරු සියල්ල රැස් කර තිබූ නිසා වැඩිපුර සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

‘ඒ වන විට මා බාර ගත් තවත් ලේඛන වැඩ හා ටෙලිවිෂන් නිෂ්පාදන කිහිපයක් තිබුණා. එහෙත් මේ නවකථාව මගේ ඔඵවේ වැඩ කරන්නට පටන් ගත්තා. ඒ නිසා එය ලියන්නට මා කාලය සොයා ගත්තා’ යයි ක්ලාක් පසුව ආවර්ජනය කළා.

1993 මුල් කාර්තුව වන විට සමස්ත නවකථාව ලියා අවසන් කළා. එය වචන 60,000ක් පමණ වුණා. ඔහුගේ බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු ප‍්‍රකාශකයන් ඉතා කැමැත්තෙන් එය භාර ගෙන ඒ වසර හමාර වන්නට පෙර ප‍්‍රකාශයට පත් කළා.

එහෙත් වෙනත් අවස්ථාවල ක්ලාක් කථාවක සැකිල්ල හෝ කෙටිකථාවක් ලියා වසර ගණනාවකට පසුව එය නවකථාවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළා. උදාහරණයක් නම් 1950 ගණන්වල ඔහු ලියු The Songs of Distant Earth (මිහිකතගේ ගීත) නම් කෙටිකථාවයි. කි‍්‍රව 3800 ගණන්වල දිග හැරෙන මේ කථාව, අපේ සූර්යයා පුපුරා ගොස් (නෝවාවක් බවට පත් වී) පෘථිවිය ඇතුඵ ග‍්‍රහලෝක විනාශ වී ගිය විට මිනිස් පිරිසක් පණ බේරා ගෙන ඈත විශ්වයට පළා යන සැටි ගැනයි.

1960දී ඔහුගේ කෙටිකථා සංග‍්‍රහයක මේ කථාව ද ඇතුළත් කර තිබුණා. 1980 දශකය මැද දී එය සම්පූර්ණ නවකථාවක් ලෙස ඔහු විස්තාරණය කළා. මුල් කථාව රචනා කළ යුගයේ නොදැන සිටි විද්‍යාත්මක තොරතුරු ද අඩංගු කොට ලියූ මේ නවකථාව 1986දී ඒ නමින් ම පළ කරනු ලැබුවා. තමන්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා විසි ගණනක් අතරින් පි‍්‍රයතම නවකථාව මෙය බව ක්ලාක් පසුව කියා සිටියා.

ලේඛන කලාව කියන්නේ හුදකලාව කළ යුතු, දැඩි ලෙස අවධානය අවශ්‍ය කාරියක් වූවත් ක්ලාක් සමාජශීලී වීම ලේඛකයකුට වැදගත් අවශ්‍යතාවක් ලෙස සැළකුවා. ඔහු නිතිපතා අමුත්තන් හමු වී කථා කළා. ඉඳහිට විද්වත් සභා හා සම්භාෂණවලට ද ගියා. මේ අන්තර්කි‍්‍රයා හරහා නිර්මාණකරණයට නොයෙක් අමුද්‍රව්‍ය මෙන් ම උත්පේ‍්‍රරණය ද ඇතැම් විට ලබා ගත්තා. මේ සියල්ල සඳහා මැනවින් කාලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි.

ක්ලාක් යමක් ලියන විට තොරතුරක් විමසන්නට ඕනෑ වුණොත් තාවකාලකව එතැන xx හෝ TK (To Come යන්නේ විකෘතියක්) යොදනවා. ඊළඟට එය කුමක් දැයි මේසය මත ඇති කුඩා කඩදාසි කොළවල ලියනවා. හැම දිනෙක ම පාහේ උදේ මා ඔහු මුණ ගැසෙන විට එබදු කොළ කෑලි කිහිපයක් මට දී ඒවා සොයා යන මෙන් කියනවා. ඉන්ටර්නෙට් සෙවුම් යන්ත‍්‍ර හරහා අද මෙබදු ගවේෂණ වඩා පහසු නමුත් 1995 මෙරටට ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ සඳහා පුස්තකාල හෝ විද්වතුන් හෝ වෙත යොමු වන්නට සිදු වුණා.

දකුණු අපි‍්‍රකාවේ වාර්ෂික දියමන්ති නිෂ්පාදනය කොපමණ ද? රූබික් ඝනකය (Rubik’s Cube) හැදු පුද්ගලයා ඉන් පසු මොකද කළේ?? ටයිටැනික් නැව ගිලූණූ මොහොතේ පණ බේරා ගත් අය අතරින් කී දෙනෙක් තවමත් ජීවත් වනවා ද? ලෝකයේ වැඩි ම ඩයිනසෝර් ෆොසිල හමු වන ප‍්‍රදේශ මොනවා ද? මේ කුඩා කොළ කෑලි හරහා මා හඹා ගිය ප‍්‍රශ්න කිහිපයක්. ක්ලාක් සමඟ දැනුම ගවේෂණයේ යෙදීම දිනපතා අඵත් දේ උගෙනීමක්. ඉතා දක්‍ෂ ගුරුවරයකු හා සන්නිවේදකයකු සමඟ වැඩ කිරීමක්.

ක්ලාක් උදේ 6ට අවධි වී, රාතී‍්‍ර 10 වන විට නින්දට ගියා. පසු කලෙක නම් දිවා කාලයේත් පැයක් දෙකක් නිදා ගත්තා. ඔහු බොහෝ විට දවල් කාලයේ ලියූ අතර රාතී‍්‍ර ලිවීමක් කළේ නැහැ. ක්ලාක්ගේ දින චරියාවේදී පැය 8-10ක් පමණ වෙන් වූණේ එක් තැන්ව සිට ලිවීමට හා කියවීමටයි.

හොඳට ලියන්නට නම් බොහෝ සේ කියවිය යුතුයි. තරුණ කාලේ තමා දිනකට එක් පොතක් බැගින් කියැවූ බව ඔහු කීවා. තමාගේ ම පොත්ගුලේ පොත්වල විවිධාකාර සටහන් පැන්සලෙන් ලියා තිබුණා. මසුරන් වැකි, ඉංගී‍්‍රසි කාව්‍ය ඛණ්ඩ හා වෙනත් වැදගත් උධෘතයන් ගැන වයස්ගත වීත් ඔහුට ඉතා හොඳ මතකයක් තිබුණා. සහායකයන් හැටියට අප කළේ ඒවා මුද්‍රිත (හෝ පසු කලෙක විද්යුත්) මුලාශ‍්‍ර හරහා නිවැරදි යයි තහවුරු කර ගැනීමයි. එතරම් නිවැරදි හා විශිෂ්ඨ මතකයක් අවසානය දක්වාම පැවතීම විශ්මයජනකයි.

ලියන හැම විට මේසය මත කිරි තේ කෝප්ප්යක් තිබෙනවා. එය ටිකෙන් ටික තොල ගෑම සිරිතයි. දවසකට තේ කෝප්ප 6 – 8ක් පමණ ඕනෑ වුණා. ‘මා ශී‍්‍ර ලංකා තේ, විද්‍යා ප‍්‍රබන්ධවලට හරවන යන්ත‍්‍රයක්’ යයි ඇතැම් විටෙක ඔහු විහිඵවෙන් කියා සිටියා!

ලෝකයේ සාර්ථක ලේඛකයන් බොහෝ දෙනකුට පාඨක ලියුම් නිතිපතා ලැබෙතත්, පිළිතුරු දීම කරන්නේ ඉතා ටික දෙනයි. කෙතරම් කාර්යබහුල වුවත් ලොව පුරා පාඨකයන් එවන ලියුම් කියවීමටත්, බොහොමයකට කෙටියෙන් හෝ පිළිතුරු දීමත් ක්ලාක් ජීවිත කාලය පුරා ඕනෑකමින් කළ දෙයක්. ඇතැම් විට පාඨකයන් එවන විද්වත් ප‍්‍රතිචාර හා විචාර ඉදිරි නිර්මාණවලදී (අනුදැනුම ඇතිව) යොදා ගත්තා.

තාත්ත්වික විද්‍යා ප‍්‍රබන්ධ ලිවීමේදී පර්යේෂණ හා නව අදහස් පළ කළ බොහෝ දෙනකුගේ ආභාෂය ලද බව ක්ලාක් නොමසුරුව කියා සිටියා. ඔහු ලියු බොහෝ ප‍්‍රබන්ධ නවකථාවල අග පිටු ගණනක් වෙන් කළේ මූලාශ‍්‍ර හා ස්තූතිය සඳහායි.

ක්ලාක්ගේ ටයිටැනික් නවකථාව ලියූ සැටිත්, (1992), අවසාන නව කථාව ලිවීමේ ප‍්‍රයත්නය (2003-2008) ගැනත් වෙන ම කථා කරමු.

How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene - Sunday Lakbima 21 April 2013
How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene – Sunday Lakbima 21 April 2013

සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

I have devoted another weekend column in Ravaya newspaper (in Sinhala) to celebrate the memory of the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993). This time, I talk about his time at the United Nations, first as communication chief at UNFPA, and then as Deputy Executive Director at UNICEF.

See also:
සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

Varindra Tarzie Vittachi
Varindra Tarzie Vittachi

ජාත්‍යන්තර පිළිගැනීමට පාත‍්‍ර වූ ලාංකික පත‍්‍ර කලාවේදියකු හා කතුවරයකු වූ ටාසි විට්ටච්චි (Tarzie Vittachi, 1921-1993), වෘත්තීය ජීවතයේ අවසාන දශකයකට වැඩි කාලයක් ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය සන්නිවේදනයට කැප කළා. ඒ සඳහා ඔහු එක්සත් ජාතීන්ගේ විශෙෂිත සංවිධාන දෙකක සේවය කළා.

1975-80 වකවානුවේ ජනගහනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ අරමුදලේ (UNFPA) සන්නිවේදන ප‍්‍රධානියා ලෙසත්, 1980-88 වකවානුවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (UNICEF) නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂවරයා ලෙසත් තනතුරු හොබවමින් ටාසි කළේ පත‍්‍ර කලාවේ තමන් ප‍්‍රගුණ කළ නිරවුල් හා සත්‍යවාදී සම්ප‍්‍රදායන් මේ ජාත්‍යන්තර ආයතනවලටත් නිසි ලෙස කාවැද්දීමයි.

එක්සත් ජාතීන් (United Nations) යනු ලෝකයේ රාජ්‍යයන් පමණක් සාමාජිකත්වය දරණ, ආණ්ඩුවල සාමාජික ගාස්තුවලින් නඩත්තු කරන අන්තර්-රාජ්‍ය සංවිධාන පවුලක් (inter-governmental organisations). එය කිසිදු නිර්වචනයකින් රාජ්‍ය නොවන සංවිධාන (NGO) ගණයට වැටෙන්නේ නැහැ.

එ.ජා. සංවිධානවල කාර්ය මණ්ඩලය ජාත්‍යන්තර තරගකාරී මට්ටමින් බඳවා ගන්නා අතර ඔවුන් සියඵ සාමාජික රාජ්‍යයන්ට වගකීමට බැදී සිටිනවා. තනි රටක රාජ්‍ය සේවකයකු බලයේ සිටින රජය සමග ගනුදෙනු කළ යුතු නමුත් එ.ජා. සේවකයෝ රාජ්‍යයන් 193ක් සමග සීරුවෙන් වැඩ කළ යුතුයි. මෙය ලෙහෙසි වැඩක් නොවේ.

ටාසි එ.ජා. සංවිධාන ජාලයේ ඉහළට ම ගිය ලාංකිකයන් ටික දෙනාගෙන් කෙනෙක්. එබදු උසස් තනතුරු සඳහා අධ්‍යාපන සුදුසුකම් හා ලෝක භාෂා 6න් අඩු තරමින් එකකවත් මනා හැකියාව මෙන් ම තීක්‍ෂණ බුද්ධියත්, රාජ්‍ය තාන්ති‍්‍රකයන් සමග ගනුදෙනු කිරීමේදී හොඳ හිත දිනා ගැනීමේ හැකියාවත් තීරණාත්මක සාධක වනවා.

එබදු තනතුරකට ආයාසයෙන් පත්වන බොහෝ දක්‍ෂයන් කරන්නේ තනතුරු රැක ගෙන, කිසිවකුත් උරණ නොකර ආයතනික සීමා තුළ යම් වැඩ කොටසක් කිරීමයි. එහෙත් සහජයෙන් ම පෙරළිකාරයකු වූ ටාසිට මේ ඇඟ බේරා ගෙන වැඩ කිරීමේ කලාව පුරුදු නැහැ. ඔහු UNFPA හා UNICEF ආයතන දෙකෙහි ම බුද්ධිමය හා ආකල්පමය වෙනසක් කළා.

මෙයට උදාහරණ හා රස කථා එමට තිබෙනවා. 1995 වසරේ මාස තුනක් එක්සත් ජාතීන්ගේ නිව්යෝක් මූලස්ථානයේ මාධ්‍ය ශිෂ්‍යත්වයක් ලැබ මා ගත කළ කාලයේ ටාසි ගැන තොරතුරු විපරම් කරන්නට මා උත්සුක වූණා. ටාසි කළ කී අසාමාන්‍ය දේ ගැන අපූරු මතකයන් තිබු නිලධාරීන් කිහිප දෙනකු මට හමු වුණා.

එ.ජා. සංවිධාන ජාලය තුළ මෙන් ම වෙනත් බොහෝ දෙස් විදෙස් විදවත් ආයතනවලත් සංවර්ධනය ගැන සංවාදවලදී ඕනෑවට වඩා සෙද්ධාන්තික වීම හා ‘ඉන්ටලෙක්චුවල් වීම’ ටාසි නොඉවසූ දෙයක්.

ඔහු ජනගහන අරමුදලේ වැඩ කරන කාලයේ කාන්තාවන්ගේ ප‍්‍රජනන අයිතිවාසිකම් ගැන ලෝක මට්ටමේ විවාදයක් පැවතුණා. තමන් දරුවන් කීදෙනකු ලබනවා ද, ඔවුන් අතර කාල පරතරය කුමක් විය යුතු ද, උපත් පාලන ක‍්‍රම භාවිතා කරනවා ද ආදී මූලික මානුෂික තීරණ ගැනීමට කාන්තාවන්ට අයිතියක් ඇති බව පිළි ගැනීමට ඇතැම් රටවල් හා පිරිස් නොකැමැති වූණා.

මෙබදු සංවේදී ප‍්‍රශ්නවලදී ආණ්ඩුවලට හැක්කේ අවශ්‍ය ප‍්‍රතිපත්ති හා අයිතීන් තහවුරු කිරීම මිස ඉන් ඔබ්බට පෞද්ගලික තීරණවලට අත පෙවීම නොවන බව ප‍්‍රගතිශීලී බුද්ධිමතුන්ගේ මතය වුණා. රාජ්‍ය තාන්ති‍්‍රකයන් හා බුද්ධිමතුන් මහා ලොකු වචන හරඹවලින් මේ තර්ක කරනු බලා සිටි ටාසි, ඉතා සරල එහෙත් ගැඹුරු වැකියකින් මුඵ සංවාදය ම කැටි කර දැක්වූවා. “Governments don’t have babies; people do!” (දරුවන් ලබන්නේ මිනිසුන් මිස ආණ්ඩු නොවේ!)

අනවශ්‍ය ලෙස තාක්‍ෂණික හා නීතිමය විවාදවල පැටලෙන්නට අති සමත් සංවර්ධන කි‍්‍රයාකාරිකයන්ට හා බුද්ධිමතුන්ට ටාසි විටින් විට මෙබදු සරල වැකි හරහා ප‍්‍රායෝගික යථාර්ථය පෙන්වා දුන්නා.

සංවර්ධනය යනු සැබෑ ලෝකයේ නිතිපතා ජීවන අරගලයක යෙදෙන සැබෑ මිනිසුන් හා ගැහැණුන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන අතර ඔවුන්ගේ ජීවන බර හැකි තාක් සැහැල්ලූ කිරීම බව ටාසි තරයේ විශ්වාස කළා. එම සංවර්ධනය හරවත් වන්නේ එය පාරිසරිකව හා සමාජයීය වශයෙන් තිරසාර වූ විට පමණක් බවත්, සංවර්ධනය හුදෙක් ආර්ථික වර්ධන ප‍්‍රවණතාවලින් මැනිය නොහැකි බවත් ඔහු දැන සිටියා.

ජාත්‍යන්තර තලයට අපේ වැනි රටවලින් යන බොහෝ විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන් ඉන් පසුව අපේ ම මිනිසුන් ගැන බොහෝ විට කථා කරන්නේ නොදියුණු සතුන් ගැන බදු පහත් වූ ආකල්පයකින්. මෙබදු අවස්ථාවල සැබෑ ලෝකයේ නිරීක්‍ෂණ, යථාර්ථවාදීව හා සානුකම්පිකව විග‍්‍රහ කිරීමට පත‍්‍ර කලාවේදියකු ලෙස තමා ලබා තිබූ පුහුණුව හා අත්දැකීම් ටාසි අවියක් හා සවියක් කරගත්තා.

එ.ජා. සංවිධානය කි‍්‍රයාත්මක වන රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේදී මෙසේ සත්‍යවාදී වීම අසීරු හා අවදානම් කාරියක්. බොහෝ රටවල විදේශ සේවා නිලධාරීන් එ.ජා. සංවිධානයේදී කරන්නේ තමන්ගේ රටේ තත්ත්වය ගැන අතිශයෝක්තියෙන් සෙසු රටවලට කරුණු කීම හා අමිහිරි සත්‍යයන් හැකි තාක් වසන් කිරීමයි. එය ‘ලෝකෙට පරකාසේ – ගෙදරට මරගාතේ’ විධියේ වැඩක්.

දියුණු වන ලෝකයේ තිත්ත ඇත්ත මෙන් ම ලෝක මාධ්‍ය හරිහැටි වාර්තා නොකළ සුබවාදී ප‍්‍රවණතා ද ටාසි එක සේ ලෝක ප‍්‍රජාවට වාර්තා කළා – විග‍්‍රහ කළා. 1980 දශකය වන විට ටාසි ගැන ලෝක ප‍්‍රජාව තුළ තිබූ ගෞරවනීය පිළිගැනීම නිසා ඔහු කියන දෙයට රාජ්‍ය නායකයන්, ඇමතිවරුන් හා රාජ්‍ය තාන්ති‍්‍රකයන්ගේ අවධානය යොමු වුණා.

UNFPA ආයතනයේ සිටිය දී ටාසි කළ අමුතු වැඩක් ගැන වසර ගණනක් ගත වීත් එහි කථා කැරෙනවා. රාජ්‍ය නිලධාරී හා රාජ්‍ය තාන්ති‍්‍රක මට්ටමේ සම්මේලන නිව්යෝක් නුවර එ.ජා. කාර්යාලයේ නිතර පැවැත් වෙනවා. මෙවැන්නක් භාරව සිටි ටාසි, ආරම්භක දිනයේ සියඵ නියෝජිතයන්ට සාම්ප‍්‍රාදායිකව දිවා ආහාරයට ඇරැයුම් කළා. එහෙත් පැයක දිවා කාලය සඳහා ම දුන්නේ කුඩා පාන් ගෙඩියක් (bread-roll) හා වතුර වීදුරුවක් පමණයි.

හැම දෙනා ම විමතියට පත්වූ විට ටාසි ඉතා සන්සුන්ව මෙසේ කියා තිබෙනවා. “නෝනාවරුනි, මහත්වරුනි, තෙවැනි ලොව ප‍්‍රශ්න ගැන කථා කරන්නට මෙහි පැමිණි ඔබ සැමට තෙවැනි ලොව බහුතරයක් දෙනාගේ සාමාන්‍ය දිවා ආහාරය දීම උචිත යයි මා සිතුවා. ඇත්තට ම ඔබ ඉදිරියේ ඇති පිරිසිදු වතුර වීදුරුව හා අඵත් පාන් ගෙඩිය පවා තෙවැනි ලොව අපේ බොහෝ සහෝදර ජනයා නොලබන තරමේ සංග‍්‍රහයක්.”

කිසිදු නියෝජිතයකු මුවින් නොබැන මේ සංග‍්‍රහය නිහතමානීව භුක්ති විදි බවත්, ඒ ගැන තවමත් සමහරුන් කථා කරන බවත් UNFPA නිලධාරියා මට කීවා.

UN Headquarters in New York, photo by Nalaka Gunawardene
UN Headquarters in New York, photo by Nalaka Gunawardene

ටාසිගේ සමහර ප‍්‍රකාශයන් හිතාමතා ම ආන්දෝලනාත්මක ලෙස කරනු ලැබුවා. හැම වසරේ ම සැප්තැම්බර්-ඔක්තෝබර් මාසවල එ.ජා. මහා මණ්ඩලයේ සැසිවාරය රාජ්‍ය නායක මට්ටමින් නිව්යෝක් මූලස්ථානයේ පවත් වනවා. බොහෝ රාජ්‍ය නායකයන් එය ඇමතීමට පිරිවරත් සමග දින කිහිපයකට එහි එනවා.

සැසිවාරය ආරම්භක දිනයේ හා විශෙෂ මත ගැටුමක් සිදු වුවහොත් පමණක් (ෆිදෙල් කැස්ත්‍රෝ, ගඩාෆි, නිකිතා කෘෂ්චෙෆ් වැනි පෙරළිකාර චරිත එහි පැමිණි විට) එය ලොව ප‍්‍රධාන පුවත්සේවාවලට ප‍්‍රවෘත්තියක් වනවා. එසේ නැති විට රාජ්‍ය නායකයන් දුසිම් ගණනින් පැමිණීම නිව්යෝක් නුවර මාධ්‍ය ආයතනවලට හෝ අමෙරිකානු මාධ්‍යවලට හෝ පුවත් වටිනාකමක් ඇති කරන්නේ නැහැ. (බොහෝ රාජ්‍ය නායකයන් එහි එන්නේ සිය රටේ මාධ්‍ය හරහා පම්පෝරිය වාර්තා කිරීමටයි.)

මෙබදු එක් අවස්ථාවක කුඩා රටක රාජ්‍ය නායකයකු එ.ජා. මහ සමුඵව අමතන්නට නියමිතව සිටියදී ඒ නියෝජිත පිරිසේ වන්දිභට්ටයකු ටාසිගෙන් ඇසුවේ ‘කොහොමද අපේ ලොක්කාගේ මේ නිව්යෝක් චාරිකාව ලෝක ප‍්‍රවෘත්තියක් කළ හැක්කේ?’ කියා.

ටාසි එක එල්ලේ දුන් උත්තරය: ‘ලොක්කා කියන දෙයින් නම් පුවත් මවන්නට බැහැ. හැබැයි කවුරු හරි ලොක්කට සභාව ඇතුලේ වෙඩි තිබ්බොත් නම් ලෝක ප‍්‍රවෘත්තියක් ෂූවර්!’ (මේ යෝජනාවට නියෝජිතයාගේ ප‍්‍රතිචාරය වාර්තා වී නැහැ.)

James P Grant
James P Grant
ළමා අයිතිවාසිකම් හා සුබ සාධනයට කැප වූ ඹභෂක්‍ෑත්‍ ආයතනයේ ටාසි දෙවැනියාව සිටි කාලයේ එහි ප‍්‍රධානියා වූයේ නොබියව ඇත්ත කථා කළ අමෙරිකානුවකු වූ ජේම්ස් පී. ග‍්‍රාන්ට්. මේ දෙදෙනා ඉතා දක්‍ෂ ලෙස ලෝකයේ ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමග ගනුදෙනු කළා. ග‍්‍රාන්ට් හා ටාසි නිතර භාවිත කළ ප‍්‍රබල රූපකයක් තිබුණා.

එවකට සංඛ්‍යා ලේඛනවලට අනුව වයස 5 සපිරෙන්නට කලින් වළක්වා ගත හැකි බෝවන රෝග හා මන්දපෝෂණය ආදී දරිද්‍රතා සාධකවලින් ලොව පුරා ළමයින් මිලියන් ගණනක් වාර්ෂිකව මිය ගියා. මේ විශාල සංඛ්‍යා සාමාන්‍ය ජනතාවට එක්වර සිතා ගන්නට අමාරුයි.

එනිසා මේ දෙපළ එය මෙසේ ප‍්‍රකාශ කළා. ‘‘කුඩා දරුවන් පුරවා ගත් 747 ජම්බෝ ජෙට් යානා කිහිපයක් බිමට වැටී සියඵ දෙනා ම මිය යන සැටි සිතන්න. එබදු අනතුරු වසරේ හැම දවසක ම සිදු වනවා යයි ද සිතන්න. ලොව පුරා අකල් ළමා මරණ ගණන එයටත් වැඩියි!’’

ටාසි ඉංග‍්‍රීසියෙන් චතුර ලෙස සන්නිවේදනය කළ නිසාවත්, දශක ගණනක් බටහිර රටවල විසූ නිසාවත් ඔහු ‘කඵ සුද්දකු’ වූයේ නැහැ. ඇත්තට ම ජාතිකත්වය කර තබා ගෙන චින්තනය මොට කර ගන්නවා වෙනුවට ඔහු කළෙ දියුණු වන ලෝකය ම වෙනුවෙන් අදීනවත්, සත්‍යවාදීවත් කථා කිරීමයි. මෙබදු අයට globalists යයි කියනවා. ලෝකවාදීන් නැතිනම් විශ්ව-වාසීන් යයි සිංහලෙන් කිව හැකියි.

ලාංකික උරුමය ගැන අතිශයෝක්තියක් හෝ අවතක්සේරුවක් හෝ නැතිව මැදහත්ව කථා කිරීමට ඔහු සමත් වුණා. අපේ හොඳ දේ ආඩම්බරෙන් හුවා දක්වන අතර වැරදි දේ නිර්දය ලෙස විවේචනය කළා. 1990-92දී ජනාධිපති පේ‍්‍රමදාසගේ සමහර ප‍්‍රතිපත්ති රජයේ Daily News පත‍්‍රය හරහා ලිපි ලියමින් ඔහු නොබියව විවේචනය කළ සැටි මට මතකයි.

මා ටාසිට මුල් වරට සවන් දුන්නේ 1986දී ආනන්ද විද්‍යාලයයේ සියවස් සමරු දේශනයක් කළ අවස්ථාවේ. ලෝකයේ සංවර්ධන අභියෝග ගැන කාටත් තේරෙන බසින් ගැඹුරු විග‍්‍රහයක් කළ ඔහු, ලෝකයේ බලවත් ජාතීන් නියැලී සිටි යුධ අවි තරගයේ හා සීතල යුද්ධයේ ඔලමොට්ටල බව ගැන විවෘතව අදහස් පළ කළා.

ගෙවී යන සියවසේ සංවර්ධනය පිළිබඳ මානව සංහතියේ ප‍්‍රගති වාර්තාව (රිපෝට් කාඞ් එක) සමාලෝචනය කරමින්, එළඹෙන සියවසේ අභියෝග ගැන ඔහු සුභවාදීව කථා කළා. පත‍්‍රකලාව ගැන දැඩි ඇල්මක් කුඩා කල පටන් ම මා තුළ තිබුණත් මෙබදු සංවර්ධන මාතෘකා ගැන මාධ්‍යකරණයට මා යොමු වීමට ටාසිගේ බලපෑම් ද හේතු වූවා.

ලෝකයේ විවිධ රටවල සන්නිවේදකයින්, චින්තකයන් හා විද්වතුන් සංවර්ධන සන්නිවේදනයේ (Development Communication) ටාසි විට්ටච්චි සළකුණ ගැන ඉතා ගෞරවයෙන් කථා කරනු මා අත් දැක තිබෙනවා. මේ තලයන්හි සැරිසරන මා ලද විශිෂ්ඨතම ප‍්‍රශංසාවක් හැටියට සළකන්නේ ‘ටාසිගෙන් පසු ලංකාවෙන් බිහි වූ දක්‍ෂ සංවර්ධන සන්නිවේදකයා’ යයි වරක් ජාත්‍යන්තර සමුඵවකදී මා හදුන්වා දෙනු ලැබීමයි.

මෙබදු යෝධයන්ගේ උරහිස මත සිට යම් දේ කරන්නට ලැබීමත් මගේ භාග්‍යයක්.

සිවුමංසල කොලූගැටයා #112: අදීන හා අභීත පුවත්පත් කතුවරයා – ටාසි විට්ටච්චි

My weekend column in Ravaya newspaper (in Sinhala) is devoted this week to remember the illustrious Lankan journalist, editor and development communicator, Tarzie Vitachi (1921 – 1993).

See also: සිවුමංසල කොලූගැටයා #114: ටාසිගේ ලෝකය හා මගේ ලෝකය

Varindra Tarzie Vittachi (1921 - 1993)
Varindra Tarzie Vittachi (1921 – 1993)

නිව්ස්වීක් සඟරාව මුඵමනින් ඩිජිටල්කරණය වීම ගැන 2013 ජනවාරි 27දා කොලමින් කථා කරද්දී කලක් එයට කොලම් ලියූ කීර්තිමත් ලාංකික පත‍්‍ර කලාවේදී ටාසි විට්ටච්චිගේ (Tarzie Vittachi) හපන්කම් ගැන මා සඳහන් කළා.

කවුද මේ ටාසි විට්ටච්චි?

1921-1993 කාල වකවානුවේ ජීවත් වූ ඔහු 1959දී විදේශ ගත වීම නිසා පරම්පරා කිහිපයක මෙරට පාඨකයන් ඔහු හදුනන්නේ නැහැ. විශෙෂයෙන් ම සිංහල පාඨකයන් අතර ඔහුගේ නම පවා ආගන්තුකයි.

සමහරුන්ට ටාසි ගැන ඇත්තේ වැරදි වැටහීමක්. 1956 සමාජ පෙරලියට අනුගත වන්නට නොහැකි හෝ නොකැමති හෝ වූවකු හැටියට. මා දන්නා තරමට නම් ටාසිට පක්‍ෂ දේශපාලනයක් තිබුණේ නැහැ. එහෙත් අදීන පුවත්පත් කතුවරයකු හා මාධ්‍ය ලේඛකයකු හැටියට දශකයකට වැඩි කාලයක් ශී‍්‍ර ලංකාවේත්, ඉනික්බිති දශක තුනකට වඩා ජාත්‍යන්තර තලයේත් කි‍්‍රයා කළ ඔහු, මගේ වීරයෙක්.

එසේ කියන්නේ ඇයි?

මා ඔහු මුණ ගැසී ඇත්තේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලයේ කිහිප වතාවක් පමණයි. එහෙත් ඔහු සමඟ එකට වැඩ කළ හා ඔහුගෙන් පුහුණුව හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ලද බොහෝ දෙනකු ලොව පුරා මට හමු වී තිබෙනවා. ඔවුන් ඔහු ගැන තවමත් කථා කරන්නේ ගුරු දෙවියකු බදු ගෞරවාදරයෙන්.

ව්‍යක්ත ලෙස ඉංගී‍්‍රසි බස හැසිරවීමේ හැකියාව නිසා අපේ දුපතෙන් ඔබ්බට වෘත්තීය නිම්වළලූ පුඵල් කරගත් ලාංකික පුවත්පත් කලාවේදීන් ගණනාවක් විසිවන සියවසේ සිටියා. ඔවුන් සමහරෙක් සිංගප්පුරුව, තායිලන්තය, හොංකොං හා මැදපෙරදිග රටවල ඉංගී‍්‍රසි පුවත්පත්වල කර්තෘ මණ්ඩල තනතුරු දැරුවා. තවත් සමහරුන් ජාත්‍යන්තර පුවත් සේවාවල හෝ පුවත් සඟරාවල ලාංකික වාර්තාකරුවන් ලෙස හපන්කම් කළා. මේ අය අතර ප‍්‍රමුඛ චරිත දෙකක් නම් ඩෙන්සිල් පීරිස් (1917 – 1985) හා ටාසි විට්ටච්චි.

අභය ගාමිණී පෙරේරා ‘ටාසි’ විට්ටච්චි 1921දී කොළඹ උපත ලැබුවා. ගුරුවරුන් වූ ඔහුගේ දෙමවුපියෝ කුඩා වියේ පටන් හැම දෙයක් ගැන ම ප‍්‍රශ්න කරන්නට හා ස්වාධීනව සිතන්නට අනුබල දුන්නා. කොළඹ ආනන්ද විද්‍යාලයෙන් ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබු ඔහු 1944දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ආර්ථීක විද්‍යාව හා දේශපාලන විද්‍යාව ගැන උපාධියක් ලබා ගත්තා.

ගුරු වෘත්තියේ හා බැංකු ක්‍ෂෙත‍්‍රයේ වසර කිහිපයක් රැකියාව කිරීමෙන් පසු 1950දී ඔහු (පෞද්ගලික සමාගමක්ව පැවති) ලේක්හවුසියේ සේවයට ගියේ ඬේලි නිවුස් පත‍්‍රයේ සහකාර කතුවරයකු හැටියට. කෙටි කලකින් පාඨකයන් අතර ජනාදරයට පත් කොලම් (තීරු ලිපි) දෙකක් ඔහු ඇරඹූවා. Cursory Glances නම් එකකින් ඔහු රජයේ දුෂණ හා පරිපාලන අක‍්‍රමිකතා හෙළි කළා. Bouquets & Brickbats නම් අනෙක, උපහාසාත්මකව ලක් සමාජයේ පැතිකඩ විග‍්‍රහ කළා.

ලොකු පොඩි කාහටත් සරදම් කිරීමට සහජ හැකියාවක් ටාසිට තිබුණා. ඔහු ලීවේ Fly by Night යන ආරූඪ නමින් වුවත් එය පිටුපස සිටින ලේඛකයා කවුද යන්න බොහෝ දෙනා දැන සිටියා. ඔහුගේ කුසලතා නිසා 1953දී Ceylon Observer පත‍්‍රයේ ප‍්‍රධාන කතුවරයා ලෙස පත් කරනු ලැබුවා. ආසියාවේ පැරණිතම ඉංගී‍්‍රසි පත‍්‍රයේ ලාබාල ම කතුවරයා වන විට ඔහුගේ වයස 32යි.

බි‍්‍රතාන්‍ය පාලකයන්ගෙන් මෙරට රාජ්‍යකරණය භාර ගත් දේශීය පාලකයන්, සිය ඡන්දදායකයන්ට හා සමස්ත පුරවැසියන්ට මුඵමනින් වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය විසින් පාලකයන්ට දිනපතා බලපෑම් කළ යුතු බවත් ටාසිගේ මාධ්‍ය කලාවේ මුලික සාරධර්මය වුණා. මෑතදී නිදහස ලැබූ රටෙහි සුවහසක් පැතුම් දේශපාලන මඩ ගොහොරුවේ ගිලී යා නොදී බේරා ගත යුතු බව ඔහු විශ්වාස කළා.

1950 දශකය පුරා අගමැතිවරුන් සිවු දෙනකුගේ පාලන යුගයන් තුළ ඔහු පවතින රජයන් දැඩි විමර්ශනයට හා විවේචනයට ලක් කළා. ලේක්හවුසියේ හිමිකරුවන්ගේ දේශපාලන නැඹුරුව හා මෙරට වරප‍්‍රසාද ලත් ‘බමුණු කුලයේ’ අවශ්‍යතා නියෝජනය කළා යයි ඇතැම් දෙනා ටාසිට චෝදනා කළත් ඔහුගේ ලාංකික මාධ්‍ය කාර්ය භාරය තුලනාත්මක ඇගැයීමකට ලක් වී නැති බව මගේ හැගීමයි.

Emergency '58 book cover1958 මැයි මාසයේ ඇති වූ සිංහල-දෙමළ වාර්ගික ගැටුම් ගැන පත‍්‍ර කලාවේදියකුගේ වාර්තාකරණය ඇතුළත් කොට ටාසි Emergency ’58: The Story of the Ceylon Race Riots නම් ඉංගී‍්‍රසි පොත රචනා කළා. සිදුවීම්වලින් මාස කිහිපයක් ඇතුළත එළි දුටු මේ පොත මහත් ආන්දෝලනයක් ඇති කළා. පක්‍ෂ දේශපාලනයෙන් තොරව ජාතික මට්ටමින් සිදුවීම් හා එයට තුඩු දුන් ඓතිහාසික, සමාජයීය හා දේශපාලනික සාධක විග‍්‍රහ කළ ටාසි යළි යළිත් කියා සිටියේ ගෝති‍්‍රක බෙදීම් හා කුලල් කා ගැනීම් ඉක්මනින් පාලනය කර නොගතහොත් ලංකාව ප‍්‍රචණ්ඩත්වයේ හා අස්ථාවර බවෙහි ගිලී යනු ඇති බවයි.

වාර්ගික බෙදීම් ඇති රටක ඇති-නැති පරතරය දැඩි ලෙස පැවතීම ගැටුම් ඇති කිරීමේ හැකියාව වඩාත් තීව‍්‍ර කරන බවත්, දුගී බව හා විරැකියාව සැළකිය යුතු අන්දමින් අඩු කිරීමේ ප‍්‍රබල අභියෝගයට ලක් රජයන් මුහුණ දිය යුතු බවත් ඔහු අවධාරණය කළා.

සමාජයීය විපර්යාසයන් සීඝ‍්‍රගාමීව සිදු වන කාලයක නීතියේ ආධිපත්‍යය (Rule of Law) නොකෙලෙසී පවත්වා ගැනීම අත්‍යවශ්‍ය බවත්, ගැටුම් හා හදිසි අවස්ථාවල පවා පාලකයන්ට පැවරෙන බලය පාර්ලිමේන්තු හා අධිකරණ අධීක්‍ෂණයට නතු විය යුතු බවත් මේ පොතෙන් හා සිය මාධ්‍යකරණයෙන් ටාසි තර්ක කළා.

පුවත්පත් කතුවරයකු මෙලෙස ස්වාධීනව හා නිර්භයව අදහස් පළ කිරීම එවක රජයන්ට අභියෝගයක් වුණා. අද මෙන් එදාත් පණිවුඩයේ වැදගත්කමට වඩා පක්‍ෂ දේශපාලනය ඉස්මතු කරනු ලැබුවා. මහජන ඡුන්දයෙන් පත් වූ ජනතා රජයකට මෙසේ අභියෝග කරන්නට පත්තරකාරයකුට අයිතියක් නැතැයි රජයේ වන්දිභට්ටයෝ කියා සිටියා!

ජනතාවාදී යයි කියා ගන්න රජයක අඩුපාඩුකම්, ප‍්‍රතිපත්තිමය දුර්වලතා සහ පරිපාලන අක‍්‍රමිකතා පෙන්වාදීමට මාධ්‍යවේදීන්ට අයිතියක් මෙන් ම වගකීමක් ද තිබෙනවා. ටාසි හා ඔහුගේ සමකාලීන ස්වාධීන චින්තකයන් මීට අඩසියවසකට පෙර කළ අනතුරු ඇඟවීම් ගැන ලක් සමාජය මීට වැඩි අවධානයක් යොමු කළා නම් අපේ මෑත ඉතිහාසය බෙහෙවින් වෙනස් වන්නට ඉඩ තිබුණා.

1959 අගෝස්තු මාසයේ පිලිපීනයේ මැනිලා නුවරදී පත‍්‍රකලාව හා සාහිත්‍යය සඳහා වන රේමන් මැග්සායිසායි ත්‍යාගය (ආසියාවේ නොබෙල් ත්‍යාගය) ටාසිට පිරිනමනු ලැබුවා. ඒ වසරේ ත්‍යාගය බුරුමයේ ‘ද නේෂන්’ පුවත්පත ආරම්භක කර්තෘ එඞ්වඞ් මයිකල් ලෝ යෝන් (Edward Michael Law Yone) හා ටාසි විට්ටච්චි අතර සමසේ බෙදුණා.

හේතු පාඨයෙන් කියැවුණේ මෑතදී නිදහස ලැබු මේ දෙරටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සවිමත් කරන්නට තර්ජන ගර්ජන නොතකා අදීනව හා අභීතව කි‍්‍රයා කිරීම නිමිත්තෙන් ත්‍යාගය පිරිනමන බවයි. (මැග්සායිසායි සම්මානය ලැබූ දෙවැනි ලාංකිකයා වූයේ ටාසියි. ගෙවී ගිය 54 වසර තුළ එය ලාංකිකයන් 9 දෙනෙකුට හිමි වී තිබෙනවා.)

ස්වාධීන මතධාරීවීම හා අදීනව වෘත්තිමය කටයුතු කිරීම නිසා ඇති වූ දැඩි බලපෑම් හමුවේ රට හැර ගිය මුල් ම ලාංකික පත‍්‍රකලාවේදියා ටාසි ද? මෙයට නිශ්චිත පිළිතුරක් මට නැතත්, 1959දී ටාසි හදිසියේ ම විදේශගත වුණා.

1960-65 කාලයේ මැලේසියාවේ ක්වාලා ලම්පුර් නුවර ජාත්‍යන්තර පුවත්පත් ආයතනයේ (International Press Institute)ආසියානු අධ්‍යක්‍ෂවරයා ලෙසත්, ඉනික්බිති පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු පුවත්පත් පදනමේ (Press Foundation of Asia) සමාරම්භක අධ්‍යක්‍ෂවරයා ලෙසත් කි‍්‍රයා කළා. ඔහු නිත්‍ය පදිංචියට බි‍්‍රතාන්‍යයට ගියේ 1970 දශකයේයි. 1971-72 කාලයේ ලන්ඩනයෙන් පළ කළ The Asian ප‍්‍රකාශනයේ ප‍්‍රධාන කතුවරයා වුණා.

මීට අමතරව ලන්ඩනයේ Sunday Times පත‍්‍රයට හා The Economist පුවත් සඟරාවටත්, BBC රේඩියෝවටත් විශේෂ වාර්තාකරුවකු ලෙස 1965-1972 කාලයේ ඔහු දායකත්වය දුන්නා. මෙකී නොකී සැම තැනකදී ම ඔහු උත්සාහ කළේ (එවකට බහුලව තුන්වන ලෝකය යයි හදුන්වනු ලැබූ) ආසියාවේ, අපි‍්‍රකාවේ හා ලතින් අමෙරිකාවේ දියුණු වන රටවල ජනයාගේ සිතුම් පැතුම්, ආකල්ප හා ප‍්‍රශ්න බටහිර දියුණු රටවල පාඨකයන්ගේ හා පාලකයන්ගේ අවධානයට ලක් කරන්නයි.

අමෙරිකාව හා සෝවියට් දේශය අතර සීතල යුද්ධයේ උච්චතම අවධියේ ලොව හැම ප‍්‍රශ්නයක් ම ධනවාදය හා සමාජවාදය/කොමියුනිස්ට් චින්තනය අතර අරගලයක් බවට ලඝු කරන්නට බොහෝ චින්තකයන් හා මාධ්‍යවේදීන් උත්සාහ කළා. ටාසි වැනි කිහිප දෙනෙක් කියා සිටියේ මේ න්‍යායාත්මක් විග‍්‍රහයෙන් ඔබ්බට යන, සමාජ සාධාරණත්වය හා ආචාරධර්ම මත පදනම් වූ දැක්මක් අවශ්‍ය බවයි.

1970-1980 දශකයන්ගේ බොහෝ බටහිර මාධ්‍ය ආයතන සමස්ත තුන්වන ලෝකය ම මතුපිටින් හා සරලව වාර්තා කළේ අන්ත දිළිදු බව, සමාජ විසමතා, දේශපාලන අස්ථාවර බව හා ගැටුම්වලින් පිරි මහා කාලකන්නි ලෝකයක් හැටියටයි. අපට බරපතල ප‍්‍රශ්න ඇතත්, ඒවාට විසදුම් ද තිබෙන බවත්, රටවල් අතර මෙන් ම රටවල් තුළත් අති විශාල විවිධත්වයක් පවතින බවත්, සියඵ තෙවන ලොව රටවල් එක අච්චුවකට දමා විග‍්‍රහ කිරීම මුඵමනින් ම වැරදි බවත් ඔහු පෙන්වා දුන්නා.

ටාසි මේ සන්නිවේදනය කළේ ආවේගශීලිව, උද්‍යොග පාඨ සහිතව ලිවීමෙන් නොවෙයි. ඉතා සංවරව, සංවාදශීලිව හා බොහෝ විට හාස්‍යය හා උපහාසය මුසුකර ගනිමින්. ඔහු මුල් යුගයේ ජාත්‍යන්තර ප‍්‍රකාශනවලට ලියූ ලිපි දැන් සොයා ගැනීම අපහසු වුවත් 1980 දශකය පුරාම Newsweek සඟරාවට ලියූ තීරු ලිපි මෙකී සරල, සුගම හා රසබර ශෛලියෙන් නිමැවුණු බව මට මතකයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට නැඹුරු වූ බටහිර රටවල, නිල රාජ්‍ය ප‍්‍රතිපත්තියට කිසිසේත් අනුගත නොවූ ස්වාධීන මතධාරී විද්වතුන්, පර්යේෂකයන් හා සමාජ කි‍්‍රයාකාරිකයන් සිටිනවා. ජනමතයට බලපෑම් කිරීමේ හා ජනමාධ්‍ය හරහා ප‍්‍රතිපත්තිවලට පවා දායකවීමේ හැකියාව මේ පිරිසට තිබෙනවා. (අමෙරිකා එක්සත් ජනපදය යනු අමෙරිකානු රජය හෝ එරට සමාගම් නොවේ!)

ටාසි සිය ලිපි හරහා ඇමතුවේ මෙකී සංවේදී, බුද්ධිමත් පිරිසටයි. ඒ අයට තර්කානුකූලව, නිර්ව්‍යාජව හා ලිහිල්ව ඕනෑ ම සංකීර්ණ ප‍්‍රශ්නයක් සන්නිවේදන කිරීමේ හැකියාව ටාසිට තිබුණා. උතුරු-දකුණු සබඳතාවල විසමතා සහ ගෝලීය මට්ටමේ අසාධාරණකම්වලට එරෙහිව කථා කරන අතර, අපේ වැනි රටවල පවතින කැකෑරෙන ප‍්‍රශ්න (කුලවාදය, පවුල්වාදය, වංචාව හා දුෂණය) ගැන කථා කිරීමට ඔහු පැකිඵණේ නැහැ.

කිසිදු රටක් හෝ සමාජයක් ගැන ඒකාකෘතික (stereotyped) ලෙස කථා නොකළ ඔහු ඒ වෙනුවට කියැවීමෙන්, දේශ සංචාරයෙන් හා ජාත්‍යන්තර සබදතා හරහා ලබා ගත් අවබෝධය කැටි කොට ගෙන රසබර, හරබර කථා ඉදිරිපත් කළා.

මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයෙන් සංවර්ධන ක්‍ෂෙත‍්‍රයට ටාසි සංක‍්‍රමණය වූයේ 1970 දශකයේ මැදදී. ජනගහනය, ළමා අයිතිවාසිකම්, පරිසරය හා කාන්තා අයිතිවාසිකම් ආදිය ගැන මාධ්‍යවේදියකු ලෙස ඔහු ලබා තිබූ අත්දැකීම් හා අවබෝධය හරහා ඔහු එක්සත් ජාතීන්ගේ විශේෂිත ආයතනවල සන්නිවේදන කටයුතු වඩාත් හෘදයාංගම හා සාර්ථක කිරීමට කි‍්‍රයා කළා. ටාසිගේ ජීවිතයේ මේ අවධිය ගැන තවත් දවසක කථා කරමු.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් හෙබවීමෙන් පසු විශ‍්‍රාම ගිය ටාසිට කොළඹ සරසවියේ සංවර්ධන මාධ්‍යවේදය (Development Journalism) ගැන මහාචාර්ය පදවියක් පිරිනැමීමේ යෝජනාවක් 1980 දශකයෙදී මතු වුණා. ලොව වටා මාධ්‍යවේදීන් දහස් ගණනක් පුහුණු කොට සිටි මේ දැවැන්තයාගෙන් අපේ රටට වැඩක් ගත හැකි වනු ඇතැයි එවකට මේ ක්‍ෂෙත‍්‍රයට අඵතින් පිවිසි අප බලාපොරොත්තු වුණා. එහෙත් ටාසිට ආචාර්ය උපාධියක් නොතිබූ නිසා එබදු තනතුරක් දීමට නොහැකි යයි සරසවි තන්ත‍්‍රය තීරණය කළා. සමහර විට මෙබදු ගලිවරයකුගේ ආගමනය ගැන එහි ලිලිපුට්ටන් බිය වන්නට ඇති!

ටාසි ජීවිතයේ අවසන් කාලය ගත කළේ ඔහුගේ දියණිය අනුරාධා විට්ටච්චි සමඟ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හි නිස්කලංක ගැමි පරිසරයක. 1993 සැප්තැම්බරයේ ටාසි මිය ගිය විට ඔහු ගැන ප‍්‍රශංසාත්මක ස්මරණයන් ලොව ප‍්‍රධාන පෙළේ පුවත්පත් ගණනාවක පළ වුණා. ටාසි විට්ටච්චි අද බොහෝ දෙනකුට අමතක වුණත්, අපේ ලෝකය ගැන අභීතව, සත්‍යවාදීව හා රසබර ලෙස කථා කළ අපේ කාලයේ කථා කාරයකු ලෙස ලොව පුරා තවමත් ඔහු සිහි කරනු ලබනවා.

What a Bureaucrat does, by Tarzie Vittachi

සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

In this week’s Ravaya Sunday newspaper column (in Sinhala), I’ve written a tribute to Dr Carlo Fonseka, Emeritus Professor of Physiology at the University of Colombo, rationalist and public intellectual, who turned 80 earlier this month.

I’m still working on an English tribute. For now, I’ve covered some of this ground in an English op-ed written in January 2012: Can Rationalists Awaken the Sleep-walking Lankan Nation?

Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.
Carlo Fonseka in 1985, photo by Sunny Nawagattegama.

මා බෙහෙවින් ගරු කරන හා අගය කරන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සූරීන් 2013 මාර්තු 4 වනදා 80 විය සම්පූර්ණ කළා.

කාලෝ ෆොන්සේකා යනු විචිත්‍ර වූත්, බහුවිධ පැතිකඩවලින් සැදුම් ලද්දා වූත් අපූරු චරිතයක්. ඔහු වෛද්‍යවරයකු හැටියට පරම්පරා දෙක තුනක ලාංකික වෛද්‍යවරුන්ට උගන්වා, පුහුණු කර තිබෙනවා. කලා රසිකයකු හා ගීත රචකයකු හැටියට ඔහුගේ සෞන්දර්යාත්මක දායකත්වයෙන් ඔහු විද්‍යා-කලා ප්‍රවාහයන් දෙකෙහි ම සිය නිපුනත්වය මනාව පෙන්නුම් කරනවා. වාමාංශික දේශපාලන චින්තනයක් මත පදනම් වී ඔහු සමාජ සාධාරණත්වය හා ප්‍රතිපත්ති ගරුක දේශපාලන සම්ප්‍රදායක් සඳහා ලංකා සමසමාජ පක්ෂයේ ක්‍රියාකාරී භූමිකාවක් රඟ පෑවා.

මෙකී නොකී නොයෙකුත් කෝණවලින් කාලෝගේ සමාජ මෙහෙවර ඇගැයීමට ලක් කළ හැකියි. අද මා තැත් කරන්නේ පොදු උන්නතියට කැප වුණු බුද්ධිමතකු (Public Intellectual) හා අදීන හේතුවාදී චින්තකයකු ලෙස ඔහුගේ අඩසියවසකට වැඩි කාලයක උඩුගම් බලා පිහිනීම ගැන මෙනෙහි කරන්නයි.

කාලෝ ෆොන්සේකා යන නාමය මා මුල් වරට ඇසුවේ 1970 දශකය මුලදී ලාබාල පාසල් සිසුවකු ලෙස. ගිනි පෑගීමේ වෛද්‍ය විද්‍යාත්මක සැබෑ තත්ත්වය ගවේෂණාත්මකව හෙළි කරමින්, ඒ සඳහා කිසිදු ගුප්ත බලවේගයක පිහිට අවශ්‍ය නැති බව ප්‍රායෝගිකව පෙන්වීම නිසා ඒ වන විට කාලෝ ලක් සමාජයේ ප්‍රකට හා ආන්දෝලනාත්මක චරිතයක් වී සිටියා. ආචාර්ය ඒබ්‍රහම් ටී. කොවූර් 1960දී ඇරැඹූ හේතුවාදීන්ගේ සංගමය හරහා හැම දෙයක් ගැන ම විචාරශීලීව සීතීමේ හා විවෘතව විවාද කිරීමේ සමාජ සංගායනාවක පෙරගමන්කරුවකු බවට මේ තරුණ වෛද්‍ය කතිකාචාර්යවරයා පත් වුණා.

රේඩියෝවෙන් ඔහු අසා සිටි මා මුල් වරට කාලෝට සජීව ලෙසින් සවන් දුන්නේ 1980 දශකයේදී. හරියට ම තැන හා වසර දැන් මතක නැති වුවත් ‘විද්‍යාත්මක චින්තනය’ ගැන දේශනයේ හරය මට අද මෙන් මතකයි.

කාලෝ කෙතරම් ආකර්ශනීය කතිකයෙක් ද යන්න විවාද හා සාහිත්‍ය සංගම් කටයුතුවල නියැලි පාසල් සිසුවකු වූ මා ඉක්මනින් තේරුම් ගත්තා. එදා මෙදා තුර විවිධ අවස්ථාවල කාලෝට සවන්දීමෙන් මෙය තවත් තහවුරු වී තිබෙනවා.

කාලෝ පාසල්, සරසවි, විද්වත්, කලාකරු මෙන් ම දේශපාලන වේදිකාවලත් තැනට උචිත ලෙසින් කථා කිරීමේ අති සමතෙක්. තැනේ සහ වෙලාවේ හැටියට හරබර යමක් සන්සුන්ව, උපහාසාත්මකව හා මනා අංගචලනයන්ගෙන් පරිපූර්ණව කථා කරන ඔහු, කිසි දිනෙක ද්වේෂ සහගතව හෝ අපහාසාත්මකව හැසිරෙනු මා දැක නැහැ. එබන්දක් ගැන ආරංචියක් හෝ නැහැ.

කාලෝ ඉතා හැඟීම්බරව කථා කළ අවස්ථා ද තිබෙනවා. මා දන්නා උදාහරණය විජය කුමාරතුංගයන්ගේ 1988 අවමගුලේ දී ඔහු කළ (රූපවාහිනී හරහා රට ම දුටු) කථාවයි. ජුලියස් සීසර්ගේ අවමගුලේ දී මාක් ඇන්ටනී කළ කථාවට සමාන වූ ඒ කථාව කාලෝගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් වූවා…

කාලෝ කථාවට මෙන් ම විවාදයටත් සමතෙක්. ප‍්‍රතිමල්ලවයන් කියන දේ සාවධානව අසා සිට, සියුම් හා තර්කානුකූල (එහෙත් සැම විට ම ආචාරශීලී) ලෙසින් ප‍්‍රතිචාර දක්වන්නෙක්. සමහර වෙලාවට යමකු විනාඩි ගණනක් ගරු ගාම්භීරව ගොඩ නගන තර්ක, කාලෝ තත්පර ගණනකින් උපහාසාත්මකව බිඳ හෙළනවා!

දුර සිට ඔහු අගය කළ මා කාලෝ හදුනා ගත්තේ මගේ විද්‍යා ගුරුවර අසංග අබේසුන්දර සූරීන් හරහා. 1980 දශකයෙදී අබේසුන්දරයන් පළ කළ ‘මානව’ ප‍්‍රගතිශීලි විද්‍යා සඟරාවේ පාඨක ප‍්‍රශ්නවලට කාලෝ නිතිපතා පිළිතුරු දුන්නා. මේ පිළිතුරු වාර්තා කර ගන්නට අප කිහිප විටක් කාලෝ හමු වන්නට ගියා. මානව ජෛව විද්‍යාව, පරිනාමය, හේතුවාදය, ගුප්ත සංකල්පවල විද්‍යාත්මක පැත්ත ආදී බහුවිධ මාතෘකා ගැන දැනුම නිරවුල් ව හා අදීනව පළ කිරීමේ ඔහුගේ සහජ හැකියාව මා හරිහැටි දැන ගත්තේ ඒ කාලයේයි.

ඒ හැදුනුම්කම ඔස්සේ පසු කලෙක මාධ්‍යවේදියකු හා විද්‍යා ලේඛකයකු ලෙස මා විවිධ අවස්ථාවල කාලෝ මුණ ගැසී, සම්මුඛ සාකච්ජා පවත්වා තිබෙනවා. අප දෙදෙනා එක ම විද්වත් වේදිකාවේ කථා කොට තිබෙනවා. කාලෝ සැබෑ බුද්ධිමතකු වුවත් උගත්කමේ මාන්නයෙන් හා උද්දච්චකමින් හිස පුම්බා නොගත් ඉතා නිහතමානී චරිතයක්.

මතකයේ රැදුණු එක් අවස්ථාවක් නම් 1986දී සුප‍්‍රකට හැලීගේ වල්ගාතරුව නැවත දිස් වූ විට කල්පනා සඟරාවට මා ලියූ විස්තරාත්මක කවරයේ කථාවට ඔහු දැක්වූ අදහස්. වල්ගාතරුව නිසා ලෝකයේ යුධ ගැටුම් උත්සන්න විය හැකි යයි ද, පුද්ගලයන්ට හා සමාජයට අසුබ කාලයක් උදා වන්නේ යයි ද ජ්‍යොතිෂවේදීන් කර තිබූ අනතුරු ඇඟවීම් ගැන විද්‍යාත්මක විග‍්‍රහයක් කරන මෙන් කාලෝගෙන් මා ඉල්ලා සිටියා.

යුද්ධ ගැන ඔහු කීවේ මෙයයි. “1968දී විල් හා ඒරියල් ඩුරාන්ට් කියන ඉතිහාසඥ යුවල වෙඵම් 10කින් සමන්විත, ඉතිහාසය පිළිබඳ විශාල කෘතියක් ප‍්‍රකාශයට පත් කළා. මේ කෘතියේ ඔවුන් කියනවා ඒ වන විට (1968) මිනිසාට අවුරුදු 3,421ක් ඈත අතීතයට දිව යන ලිඛිත ඉතිහාසයක් තිබෙන බවත්, ඒ මුඵ කාලය මුඵල්ලේ ම සංග‍්‍රාම හෝ යුද්ධ නොතිබුණේ අවුරුදු 268ක පමණක් බවත්. ඉතින් යුද්ධ තිබුණු, යුද්ධ පටන්ගත් හැමදාමත් අහසේ වල්ගාතරු පෑවුවා ද? වල්ගාතරු හා සංග‍්‍රාම අතර සම්බන්ධයක් තිබෙතැයි අපට පිළිගන්නට බෑ.”

ඉතිහාසය, දර්ශනවාදය ආදී ක්‍ෂෙත‍්‍රයන්හි කාලෝගේ අවබෝධය කෙතරම් පුඵල් ද යන්නට ඉඟියක් මේ පිළිතුරුවලින් අපට ලැබෙනවා. ඔහු බොහෝ විට කථා කරන්නේ සාක්ෂි හා මූලාශ්‍ර උපුටා දක්වමින්.

ජ්‍යොතිෂය ගැන කථා කිරීම පවා කාලය නාස්ති කිරීමකැයි තාරකා විද්‍යාඥයන් බහුතරයක් කියන පසුබිම තුළ කාලෝ ජ්‍යොතිෂවේදීන්ට ආරාධනා කරන්නේ තමන්ගේ ක‍්‍රමවේදය පහදා දෙන ලෙසටයි.

1986දී කල්පනා සඟරාවට ඔහු කී පරිදි: “මුල් යුගයේ තාරකා විද්‍යාව (astronomy) සහ නක්‍ෂත‍්‍රය හෙවත් ජ්‍යෙති ශාස්ත‍්‍රය (astrology) කියන දෙක ම එකටයි තිබුණේ. පුරාණ බැබිලෝනියානු, ඊජීප්තු වැසියන්ට ඉර-හඳ-තාරකාවල හැසිරීම ගැන අනාවැකි කීමේ සෑහෙන හැකියාවක් තිබුණා. ගැලීලියෝ පවා මුල් කාලයේදී ජීවිකාව ගෙන ගොස් තිබෙන්නේ නක්‍ෂත‍්‍ර අනාවැකි කීමෙන්. ඒත් කල් යාමේදී තාරකා විද්‍යාව සීඝ‍්‍රයෙන් දියුණු වී ආවා. අද ඇත්තට ම තත්පරයට අනාවැකි කිව හැකි විද්‍යාවක් ඇත්නම් ඒ තාරකා විද්‍යාවයි. අනාවැකි කීමේ හැකියාව නක්ෂත‍්‍රයෙන් ගිලිහී ගොසින් තාරකා විද්‍යාවට භාර වී තියෙනවා.

“මෙවර හැලීගේ වල්ගාතරුව පායන විටත් විවිධ භයානක අනාවැකි පළ කර තියෙනවානෙ. ඔය නක්ෂත‍්‍රයේ හා අනාවැකි කාරයන්ගේ හපන්කම් උරගා බලන්නට මේක හොඳ අවස්ථාවක් හැටියටයි මා නම් දකින්නේ. නක්‍ෂත‍්‍රය පරිහරණය කරන අය සමඟ සාකච්ජා කොට, පැහැදිළි, තියුණු අනාවැකි ලබා ගන්නට ඕනෑ. ඒ අනාවැකි, නිගමනවලට එළඔණු ආකාරය ගැන ශාස්තී‍්‍රය පදනමත් ඒ අය අපට කියා දෙන්නට ඕනෑ. ඊට පස්සේ පාලක පරීක්‍ෂණයක් හැටියට, නක්‍ෂත‍්‍රය ගැන මොකුත් නොදන්නා, කිසිම දෙයක් විශ්වාස නොකරන අයටත් ඔය මොනවා හරි අනාවැකි ටිකක් පළ කරන්නට කියනවා. දෙගොල්ලන්ගේ ම අනාවැකි වාර්තා කර තබන්නට ඕනෑ. වල්ගාතරුව ඇවිත් ගියාට පස්සේ, අදාළ කාල සීමාව තුළ නක්‍ෂත‍්‍රකාරයින් කී අනාවැකි කොයි තරම් සැබෑ වුණා ද කියා සොයා බැලිය යුතුයි. එසේ සැබෑ වන්නේ දහයක් කිව්වා ම එකක් – දෙකක් හරි යන (සම්භාවිතාව පිළිබඳ) සංකල්පය මත නම්, නක්‍ෂත‍්‍රයෙන් අනාවැකි කියන්නට බැරි බව පෙනී යාවි….”

Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012
Carlo Fonseka talking about the scientific method at Maanawa Auditorium, Colombo, in Sep 2012

එදත් අදත් කාලෝ තුළ මා දකින වැදගත් ගුණයක් නම් මෙසේ විවෘත මනසකින් යුතුව ඕනෑ ම සමාජයීය හෝ ශාස්ත්‍රීය හෝ ගැටඟවක් විග්‍රහ කිරීමේ හැකියාවයි.

බටහිර වෛද්‍ය විද්‍යාවේ මහාචාර්යවරයකු දක්වා ඉහළට ගියත් ඔහු දේශීය හා පෙරදිග වෛද්‍ය විද්‍යාවන් හෙළා දකින්නේ නැහැ. එසේ ම බටහිර වෛද්‍ය ක්‍රමයට තවමත් තේරුම් ගත නොහැකි වූ සංසිද්ධීන් මිනිස් සිරුරේ හා මනසේ ඇති බව ඔහු නිහතමානීව පිළිගන්නවා.

හේතුවාදියකු හැටියට කාලෝ ප්‍රඥාගෝචරයි. අන්ධ භක්තිය හෝ විශ්වාස වෙනුවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ (facts) හා තර්කානුකූල පදනමක් මත ඕනෑ ම දෙයක් විමර්ශනය කරනවා. එහෙත් විකල්ප දැනුම් ක්‍රම අවඥාවෙන් බැහැර කරන්නේ ද නැහැ.

ගිය වසරේ ගුප්ත විද්‍යාවන් පිළිබඳව ලක්බිම පුවත්පත හා හේතුවාදී සංගමය හරහා කාලෝ නිකුත් කළ ප්‍රසිද්ධ අභියෝගයේ මූලික හරයත් එයයි. ඉන්ද්‍රජාලික හෝ ඇස්බැන්දුම් කිරීමට ඉඩක් නැති සුපරීක්ෂාකාරී තත්ත්වයන් යටතේ ගුප්ත ක්‍රියාවක් සිදු කිරීමටත්, අහම්බයට එහා යන ස්ථීරසාර මට්ටමකට ප්‍රතිඵල පෙන්වීමටත්, කාලෝ සකලවිධ ගුප්තවේදීන්ට ඇරැයුම් කළා. එහෙත් ඔහුගේ අභියෝගය පිළි ගන්නවා වෙනුවට ඇතැම් ගුප්තවේදීන් කළෙ ඔහුට මතවාදීව පහර දීමයි.

විචාරශීලී වීමේ අගය ගැන කාලාම සූත‍්‍රය පාදක කර ගනිමින් කාලෝ කරන විග‍්‍රහය අපේ සමාජයට දිනපතා උදේ සවස අසන්නට සැළැස්විය යුතු බව මගේ හැඟීමයි. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා. (එහෙත් සැබැවින් නිදන අය අවධි කළ හැකි වුවත් බොරුවට නිදන්නන් අවධි කළ හැකිද?)

Carlo Fonseka's open challenge to assorted black magicians of Lanka, 2012 - LKR 1 million to prove themselves (image courtesy Lakbima)
Carlo Fonseka’s open challenge to assorted black magicians of Lanka, 2012 – LKR 1 million to prove themselves (image courtesy Lakbima)

කාලයාගේ ඇවෑමෙන් කාලෝ මෘදු මෙලෙක් වී සිටියි ද?

සමහර හේතුවාදීන් හා නිදහස් මතධාරීන් කියන්නේ කාලෝ පෙර තරම් නිර්දය ලෙස මිථ්‍යාවට පහර නොදෙන බවයි. ඇතැම් විට වයසත් සමඟ කාලෝ පෙරට වඩා ඉවසිලිමත් හෝ උපේක්ෂා සහගත හෝ වී ඇති. එහෙත් අධ්‍යයනයෙන් හා තර්කනයෙන් නිවැරදි යයි ප්‍රත්‍යක්ෂ කර ගත් ස්ථාවරයක රැදී සිටිමින් එය ප්‍රවර්ධනය කරන්නට නම් අද අප දකින කාලෝ එදා ගිනි පෑගූ කාලෝ තරම් ම අධිෂ්ඨානශීලීයි. නීර්භීතයි.

බොහෝ මිථ්‍යාවන් හා ප්‍රශ්නවලට එරෙහිව එකවර මැදිහත් වනු වෙනුවට වැදගත් සමාජයීය ගැටඵ කිහිපයක සැළකිය යුතු වෙනසක් කරන්නට තමන් පසු කාලීනව තීරණය කළ බව කාලෝ වරක් මට කීවා. එසේ ඉලක්කගත වීම හා උපක්‍රමශීලී වීම 21 වන සියවසේ හැම සමාජ ක්‍රියාකාරිකයකුට ම අවශ්‍යයි.

ලෝකයේ දැවැන්ත ම විනාශකාරී ව්‍යාපාරයක් වන දුම්කොළ සමාගම්වලට එරෙහිව දුම්වැටි පාලනය සවිමත් කිරීමට ඔහු ගෙන යන අරගලය ලෙහෙසි පහසු එකක් නොවෙයි. ගිනි පෑගීමේ මුලාව හෙළිදරවු කළාටත් වඩා අති විශාල සේවයක් දුම්පානයෙන් ඇති වන ඇබ්බැහිකම දුරලීම හරහා කාලෝට කළ හැකි බව මගේ විශ්වාසයයි. දුම්කොළ ඇබ්බැහියෙන් ලාංකිකයන් මුදා ගැනීමේ උත්සාහය යම් තරමකට සාර්ථක බව පෙනෙනවා.

එහෙත් ඊටත් වඩා ගැඹුරු වූත්, දිගු කාලීනව අතිශයින් හානිකර වූත් ජාතික ව්‍යාධියක් නම් මිථ්‍යාවට, අවිද්‍යාවට හා ව්‍යාජ විද්‍යාවන්ට (pseudo-science) අපේ ඇත්තන්ගේ ඇති දැඩි නැඹුරුවයි. මේ ඇබ්බැහිකමින් ලක් සමාජය මුදා ගන්නට ජීවිත කාලයක් පුරා කාලෝ කරන ව්‍යායාමය කෙදිනක මල්ඵල ගැන්වේ ද?

කාලෝ ගැන සැබෑ රස කථා (anecdotes) රැසක් තිබෙනවා. ඔහුගේ ආත්ම චරිත කථාව ලිවීමට අදහසක් තිබේදැයි ගිය වසරේ මා විමසූ විට එබන්දක් සැළසුම් කර නැති බව පැවසුවා. ඔහු දිගු කලක් පවත්වා ගෙන ආ දිනපොත් ගොන්න ද වේයන් කා විනාශ කරලා. අඩු තරමින් ඔහුගේ මතකයන් ඔහුගෙන් අසා පටිගත කොට සටහන් කර ගන්නට හැකි නම් එයත් අපේ ජාතික මතකයේ (Memory of the Nation) වටිනා කොටසක් වනු ඇති.

කිසි දිනෙක කිසිවකුට ගිනි නොදුන් මේ ජීවකයාට, තවත් දිගු කලක් මේ ගිනි ගත් දිවයිනේ සන්තානය සමනය කරන්නට හැකි වේවා යන්න අපේ පැතුමයි!

ඡායාරූපය: සනී නවගත්තේගම

Book Review: ගවේෂණශීලී චින්තන චාරිකාවක්

Nalaka presenting book to his science teacher & first publisher, Asanga Abeysundara
Nalaka presenting book to his science teacher & first publisher, Asanga Abeysundara

Asanga Abeysundara was my zoology teacher as well as my earliest editor-publisher. For several years in the 1980s, he edited and published (in properly printed form) a progressive science magazine in Sinhala named Maanawa (meaning ‘human’).

This non-profit publication, started in 1978 as a wall newspaper at the University of Colombo by its founder when he was an undergraduate there, later evolved into a magazine with a small circulation and loyal readership.

It was a platform for aspiring young writers – many of them in school or university at the time – to write about science, technology and their impact on society. As part of the editorial team, I remember we covered big issues like the origins of life, cost-benefits of space exploration, HIV/AIDS and human evolution.

Maanawa was entirely a labour of love: everybody, including the editor, worked for free. But printers and distributors charged for their services, which the limited sales couldn’t recover. So, despite passion and voluntary editorial inputs, the magazine stopped printing after sometime.

Yet, showing resilience and innovation, Maanawa became the first Sinhala publication to produce an Internet edition in 1996 — the year after commercial connectivity was introduced in Sri Lanka. The web edition, which played a pioneering role, is no longer online.

But this modest yet spirited publication had lasting influence on Sri Lanka’s science communication scene. Many writers who cut their teeth at Maanawa later joined Vidusara, a weekly science magazine launched by a commercial publisher in late 1987.

Others, like Chanuka Wattegama and myself, went in different directions — but are still active in science communication in one way or another.

In December 2012, I invited Asanga as a guest of honour to the launch of my Sinhala book, Mind Journeys with Arthur C Clarke. Chanuka, who wrote the introduction to the book, was a speaker (along with Dr Rohan Samarajiva).

I’m delighted to read Asanga write a review of the book, which appears in Vidusara issue of 20 March 2013:

Vidusara review of Arthur C Clarke Chintana Charika by Nalaka Gunawardene
Vidusara review of Arthur C Clarke Chintana Charika by Nalaka Gunawardene

Book Review: විද්‍යාව පිටු දැක මිථ්‍යාව මාකට් කිරීම

Silumina review of Arthur C Clarke Chintana Charika by Nalaka Gunawardene

A perceptive review of my Sinhala language book, Mind Journeys with Arthur C Clarke, which came out in December 2012, has just appeared in Silumina broadsheet newspaper.

The writer is Sunil Mihindukula, a senior journalist who is best known for his writing on the performing arts, especially cinema. But Sunil has broad interests, and is a rare open-minded and skeptical person among Sinhala language journalists many of who are ‘true believers’ of assorted dogmas.

Sunil places my book in the context of rationalism and critical thinking that is so lacking in today’s Sri Lanka. Here’s an excerpt:

“මෙආකාරයෙන් මා දීර්ඝ පූර්විකාවක් ඉදිරිපත් කළේ නාලක ගුණවර්ධන ලියා ඇති ‘ආතර් සී. ක්ලාක් – චින්තන චාරිකා’ නම් වූ පොත ගැන අදහස් දක්වන්ටය. ක්ලාක් පමණක් නොව නාලක ද මිථ්‍යාවට විරුද්ධව මත පළ කරන්නෙකි. ඔහු සතිඅන්ත පුවත්පතකට ලියන තීරු ලිපිය ඊට කදිම සාක්ෂ්‍යයකි.

ආතර් සී. ක්ලාක් යනු විද්‍යාඥයකු නොවන බව පාසල් සිසුන් පවා දන්නා කරුණකි. ඔහු තමාව හඳුන්වා ගත්තේ විද්‍යා ප්‍රබන්ධ ලේඛකයකු ලෙසය. එසේ වුවත් ඔහු ඒවා රචනා කළේ ද කිසියම් විද්‍යාත්මක චින්තනයක් මත පිහිටාය. විද්‍යා ප්‍රබන්ධ මඟින් ද සමාජයට විශාල සේවයක් සිදුවෙයි. එමඟින් අනාගතය දකින්නා සේම අයහපත් අනාගත වළක්වා ගත හැකි ද වන බව ක්ලාක්ගේ නිගමනයයි. තමා දැන් උත්සාහ කරන්නෙත් ප්‍රාර්ථනා කරන්නෙත් අපේ පරම්පරාවේ උදවිය ගෙවී ගිය සියවස පුරා කළ මෝඩකම් හා අපරාධ ඉදිරි පරපුර විසින් ද කරනු ලැබීම වැළැක්වීම හැකි සෑම අන්දමකින්ම සහාය වීම ක්ලාක් කියා තිබේ.

ක්ලාක් පළකර ඇති මත චින්තා අධ්‍යයනය කිරීම බුද්ධිමත් සමාජයක්, විද්‍යාත්මක චින්තනයෙන් යුතු සමාජයක් චිරස්ථාපනය කිරීමෙහිලා අතිශය වැදගත්ය. ‘දෙසතිය’ පුවත් සඟරාවට ක්ලාක් සම්බන්ධයෙන් සම්මුඛ සාකච්ඡාවක් දෙන කතුවර නාලක ගුණවර්ධන, ඉතාම ලඝු මට්ටමෙන් ක්ලාක් ගැන ඇගයීම් කළා මිස දුරදක්නා නුවණින් එතුමා ලංකාවට දුන් යම් යම් උපදෙස් අපේ දේශීය ප්‍රතිපත්ති සමඟ බද්ධ කරගන්ට උත්සාහ නොකළ බව කියා සිටී.

ඒ සම්බන්ධයෙන් නම් අප තවමත් ප්‍රමාද නැතැයි සිතමි. ක්ලාක් ඉංග්‍රිසියෙන් ලියු පොත් හැකිතාක් සිංහලට පරිවර්තනය කිරීම, ඉන් එක් පොතක් අධ්‍යාපන විෂයයෙහි නිර්දිෂ්ට ග්‍රන්ථයක් බවට පත්කිරීම දැන් වුව කළ හැක්කකි.

නාලකගේ මෙම පොත ක්ලාක්ගේ විද්‍යාත්මක චින්තන හඳුනා ගැනීමට අපට මාහැඟි කවුළුවක් විවෘත කිරීමකි. එම කවුළුවෙන් ඇතුළුව ක්ලාක් සමඟ චින්තන චාරිකාවේ නියැළීම ප්‍රඥාසම්පන්න පාඨකයන්ට භාර ක්‍රියාවකි.


Read full review in Silumina, 17 March 2013: විද්‍යාව පිටු දැක මිථ්‍යාව මාකට් කිරීම

සිවුමංසල කොලූගැටයා #100: නිහඬ වසන්තයේ අඩ සියවසක යශෝ රාවය

In this week’s Ravaya column (in Sinhala), I look at the lasting influence of Silent Spring, a popular science book that first came out 50 years ago, and is now widely regarded as a book that changed our thinking about the environment.

Its author, marine biologist Rachel Carson (1907 – 1964) was an early practitioner of evidence based policy advocacy. She was measured in what she wrote, and asked more questions than she could answer at the time. Yet the chemicals industry accused her of being anti-progress and scare-mongering. Smear campaigns targeted her as a single woman, and suggested that she was “probably a Communist”. How she weathered this storm holds valuable lessons for all modern day activists.

I covered similar grounds in my English column on 30 Dec 2012: When Worlds Collide #48: The Lasting Echo of Silent Spring

Rachel-Carson-and-Silent-Spring

විද්‍යාඥයන් හා සෙසු විද්වතුන් කොතරම් දුරට සමාජයේ ප‍්‍රශ්න හා අර්බුද ගැන ප‍්‍රසිද්ධියේ කථා කළ යුතු ද? තමන්ගේ විශේෂඥ කේෂත‍්‍රයේ පර්යේෂණ හා ගවේෂණ කරමින් දැනුම පුළුල් කරනවාට අමතරව පොදු උන්නතියට හරවත් ලෙසින් දායක වන්නේ කෙසේ ද? එවිට මතුවන අභියෝග මොනවා ද?

කලක් තිස්සේ විවාදයට ලක්වන මේ ප‍්‍රශ්නවලට සිය චරිතයෙන් පරමාදර්ශයක් සැපයූ අමෙරිකානු සාගර ජෛව විද්‍යාඥවරියක් වූයේ රේචල් කාසන් (Rachel Carson: 1907 – 1964). ඇගේ වඩාත් ම ප‍්‍රකට විද්‍යා ග‍්‍රන්ථය වූ “නිහඬ වසන්තය” (Silent Spring) මුල් වරට පළ වූයේ 1962දී. එය ලියන්නට තුඩු දුන් පසුබිම හා එයින් සිදු වූ සමාජයීය හා ආර්ථික බලපෑම ගැන අඩසියවසක් ගත වීත් තවම වාද විවාද කැරෙනවා. බොහෝ විද්‍යාඥයන්ට මෙන් ම විද්‍යා ලේඛකයන්ටත් ඇය වීරවරියක්.

සමසීතෝෂ්ණ දේශගුණය ඇති රටවල ඍතු හතරක් තිබෙනවා. සීත ඍතුව ගෙවී ගොස් යළි උණුසුම් වීම ඇරඹෙන්නේ වසන්තය සමඟ. සීත ඍතුවට සංක‍්‍රමණය වූ හෝ දිගු නිද්‍රාවට පත් වූ පක්ෂීන් නැවත සක‍්‍රිය වෙමින් පරිසරයේ කුරුළු ගීත අසන්නට ලැබීම එබඳු රටවල වැසියන් උද්දාමයට පත් කරවන පාරිසරික වෙනස්වීමක්.

එහෙත් මෙසේ ගී ගයන්නට පක්ෂීන් නොසිටියහොත් වසන්තය නිහඬ වෙනවා. පක්ෂීන්, පණුවන්, ගොළුබෙල්ලන් ඇතුළු අප අවට පරිසරයේ සිටින තවත් ලොකු කුඩා බොහෝ ජීවින්ට අප භාවිත කරන පළිබෝධ නාශකවල අහිතකර බලපෑම් දැඩි ලෙස දැනෙන බව 1950 දශකය වන විට සංවේදී විද්‍යාඥයන් ටික දෙනෙක් තේරුම් ගත්තා. නිහඬ වසන්තය පොතෙන් කාසන් උත්සාහ කළේ මේ ගැන අනතුරු ඇඟවීමටයි.

එහෙත් එබඳු විකල්ප අදහසක් මතු කිරීම එවකට ඉතා අසීරු කාරියක් වුණා. විද්‍යාව හා තාක්ෂණයට වන්දනා කරමින් සිටි ඒ වකවානුවේ තාක්ෂණයේ අහිතකර විපාක ගැන විවෘත සංවාදයකට පවා බහුතරයක් අමෙරිකාන මාධ්‍ය හා විද්වතුන් උනන්දු වූයේ නැහැ.

දෙවන ලෝක යුද්ධයෙන් පසු රසායන ද්‍රව්‍ය රැසක් බටහිර රටවල වෙළඳපොළට පැමිණියා. ගෙදර දොරේ, ගෙවත්තේ හා වගා බිම්වල කරදරකාරී කෘමීන්, මීයන් හා වෙනත් සතුන් මර්දනයට කරන්නට ‘ක්ෂණික ප‍්‍රතිඵල’ පොරොන්දු වෙමින් මේ රසායන ද්‍රව්‍ය ප‍්‍රචාරණය කෙරුණා. ඒවා නිපදවන සමාගම් ඉක්මනින් දැවැන්ත ව්‍යාපාර බවට පත් වුණා.

මේ රසායනික සංග‍්‍රාමය සංකේතවත් කළේ DDT කෘමි නාශකයයි. 1873දී මුල්වරට සංයෝජනය කළ මෙහි කෘමි නාශක හැකියාව සොයා ගත්තේ 1939දී. විශේෂයෙන් රෝගවාහක මදුරුවන් මර්දනයට මෙය 1940 දශකයේ පුළුල් ලෙස ලොව පුරා භාවිතයට ආවා. DDT ඉසින ජංගම ඒකක මැලේරියා මර්දනයට මෙන් ම පොදුවේ කෘමි සංහාරයටත් යොදා ගත්තා. (ශී‍්‍ර ලංකාව DDT මහා පරිමාණයෙන් ඉසීම ඇරඹූ මුල් ම ආසියාතික රට වූයේ 1946දී.)

තවත් රසායනික සංයෝග සිය ගණනක් කිසිදු පාලනයකින් තොරව වෙළඳපොළට ආවා. ඉවක් බවක් නැතිව මේවා භාවිතය නිසා අහිතකර පළිබෝධකයන් පමණක් නොව හිතකර ගැඩිවිලූන්, ගෙම්බන්, අහිංසක පක්ෂීන් හා සමනළුන් වැනි සමස්ත ජෛවී ලෝකයට ම හානි වන බවට 1950 මැද භාගය වන විට සාක්ෂි ලැබෙන්නට පටන් ගත්තා.

රේචල් කාසන් කලක් තිස්සේ රාජ්‍ය සේවයේ ක‍්‍රියා කොට එයින් ඉවත්ව පූර්ණ කාලීන විද්‍යා ලේඛනයේ නියැලී සිටියා. ඇගේ මුල් විද්‍යා පොත්වලින් සාගරයේ විචිත‍්‍ර ජෛව හා භෞතික ප‍්‍රවාහයන් ගැන තේරෙන බසින් පාඨකයන්ට පහදා දුන්නා. ‘නිහඬ වසන්තය’ ඇය ගොඩබිම පරිසරය ගැන ලියූ පළමුවන පොතයි.

එය ලියන්නට ඇය වසර පහක් පමණ ගවේෂණ කරමින් තොරතුරු රැස් කළා. අමෙරිකාව පුරා විහිද සිටි විද්‍යාඥයන් ගණනාවකගේ පර්යේෂණ වාර්තා හා අදහස් ලබා ගත්තා. ඇයට ඕනෑ වූයේ සිදු වෙමින් පවතින පාරිසරික විපර්යාසය ගැන මැදහත් ලෙසින් විග‍්‍රහ කරමින් මේ ගැන ජන අවධානය යොමු කරන්නයි. ආවේගශීලි නොවී දැඩි සංයමයකින් ඇය මේ පොතේ අදහස් දක්වා ඇති ආකාරය පරිසරවේදීන්ට මාහැඟි ආදර්ශයක්.

පොතේ ප‍්‍රවේශයේ ඇය මෙසේ ලියනවා: ‘‘අප බොහෝ දෙනෙකු දැන් නිතිපතා භාවිත කරන විවිධ පළිබෝධනාශක නිසා අපට හිරිහැරයක්ව ඇති ජීවින් මෙන් ම කිසිදු කරදරයක් නොකරන ජීවින් ද මරා දමනවා. එමෙන් ම වර්ෂාව හා දිය දහර හරහා මේවා සමස්ත ජෛව නාශක බවට පත් වනවා. මෙය භයානක අත්හදා බැලීමක්.’’

කාසන් කියා සිටියේ පළිබෝධ නාශක මුළුමනින් නතර කළ යුතු යැයි නොවෙයි. පරිසරයේ අන් හැම දෙයක් මෙන් ම පළිබෝධකයන්ටත් ස්වාභාවික තුලන මට්ටමක් ඇති බවත්, ඔවුන් සමූල ඝාතනය කිරීමට තැත් නොකර යම් මට්ටමකට ඔවුන්ගේ පැතිරීම තුලනය කරන්නට සීමිත රසායන ද්‍රව්‍ය ප‍්‍රමාණයක් ඉලක්කගතව යෙදිය හැකි බවත් ඈ පෙන්වා දුන්නා. එමෙන් ම රසායනික පළිබෝධ පාලනයට අමතරව ජෛවී හා භෞතික ක‍්‍රම මඟින් ද පළිබෝධ පාලනය කළ හැකි සැටි උදාහරණ සහිතව ඇය විස්තර කළා.

ඇගේ පොත ප‍්‍රකාශයට පත් වූයේ 1962 සැප්තැම්බරයේ. සති කිහිපයක් ඇතුළත එය ජන ආන්දෝලනයට ලක් වුණා. පොත නිසා වඩාත් කැළඹුණේ රසායන කර්මාන්ත හිමියන්. ඔවුන්ගේ සේවයේ සිටි රසායන විද්‍යාඥයන් පෙරටු කර ගෙන රේචල් කාසන් හා ‘නිහඬ වසන්තය’ නිෂ්ප‍්‍රභ කිරීමේ ප‍්‍රචාරක ප‍්‍රයත්නයක් දියත් කෙරුණා.

ඔවුන් මුලින් කළේ පොතේ කරුණු හා විග‍්‍රහය හුදෙක් හැඟීම්බර කාන්තාවකගේ පරිකල්පනයන් කියන්නයි. එහෙත් ස්වාධීන විද්‍යාඥයන් පොත වෙනුවෙන් පෙනී සිටින්නට පටන් ගත් විට රේචල් කාසන් චරිත ඝාතනය ඇරඹුණා.

සාගර ජෛව විද්‍යාඥවරියක් ගොඩබිම පරිසර පද්ධති ගැන දන්නේ මොනවා ද? කුරුමිණියන් හා කුරුල්ලන් ගැන මැයට මෙතරම් කැක්කුමක් ඇයි? උගත් හා පියකරු කාන්තාවක් වීත් ඇය තනිකඩව දිවි ගෙවන්නේ ඇයි? අමෙරිකානු කර්මාන්ත හා ආර්ථිකය සැලසුම් සහගත ලෙස විනාශ කිරීමට දියත් කළ “ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක” ඇය කොටසක් ද?

සීතල යුද්ධයේ මේ අවධියේ අමෙරිකාවේ ස්වාධීන මතධාරීන්ට ලෙහෙසියෙන් ම අලවනු ලැබු ලේබලය වූයේ කොමියුනිස්ට්කාරයකු යන්නයි. මේ ලේබලයත් ඇයට දෙනු ලැබුවා.

අමෙරිකානු සමාජය ධනවාදී වූවත් ඕනෑ ම මතයක් පුළුල්ව විවාදයට ලක් වීමේ ඉඩකඩ තියෙනවා. එහි වැදගත් භූමිකාවක් ජනමාධ්‍ය රඟ පානවා. කාසන්, ප‍්‍රධාන ප‍්‍රවාහයේ මාධ්‍ය සමඟ සමීපව ක‍්‍රියා කරමින් තමන්ගේ පොත නොකියවූ විශාල ජන සංඛ්‍යාවකට පණිවුඩය ගෙන යන්නට සමත් වුණා.

‘නිහඬ වසන්තය නිසා ඝෝෂාකාරී ගිම්හානයක්’ යැයි හෙඩිමක් සහිතව New York Times පත‍්‍රය දීර්ඝ වාර්තාවක් පළ කළා. එරට ප‍්‍රධාන ටෙලිවිෂන් නාලිකාවක් වන CBSහි ඇය කාලීන පුවත් වැඩසටහන් ගණනාවකට සහභාගි වුණා. රසායන ද්‍රව්‍ය සමාගම්වල ප‍්‍රකාශකයන් සමඟ සංවාද කළා. ඉඩ ඇති පරිදි සරසවි හා විද්වත් සභාවල දේශන හා විවාද කළා. දැඩි අධිෂ්ඨානය හා ධෛර්යයකින් යුතුව ඇය මේ සියල්ල කළේ පියයුරු පිළිකාවකින් රෝගාතුරව එයට ප‍්‍රතිකාර ගන්නා අතරේයි. ඒ තොරතුර ඇය හෙළිදරවු කළේ නැහැ.

පොතේ ආන්දෝලනය නිසා මාස කිහිපයක් ඇතුළත ඒ ගැන නිල පරීක්ෂණයක් කිරීමට ජනාධිපති ජෝන් කෙනඩි නියම කළා. කොංග‍්‍රස් හා සෙනෙට් සභා දෙකෙහි ම කමිටුවල මේ ගැන රේචල් කාසන් සාක්ෂි දුන්නා. උද්දච්ච හා ආක‍්‍රමණශීලි පිරිමින්ගෙන් පිරුණු පරීක්ෂණ මණ්ඩලවල නිර්දය ප‍්‍රශ්න කිරීම් හමුවේ මේ කුඩා කාන්තාව නොසැලී, නොබියව පිළිතුරු දුන්නා.

Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. - AP Photo
Rachel Carson testifying before a Senate subcommittee on pesticides in 1963. – AP Photo

පරිණත ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තිබෙන අමෙරිකාවේ මෙබඳු සංවාදයක් ඇරඹුණු විට අවසාන තර්කානුකූල නිමාව දක්වා යාම සිදු වනවා. 1963 නොවැම්බරයේ කෙනඩි මිය ගියා. 1964 අපේ‍්‍රල් මාසයේ වයස 56දී කාසන් පිළිකා රෝගයෙන් මිය ගියා. එහෙත් ඔවුන් දැල් වූ විමර්ශන පහන් සිළුව දිගට ම දැල් වුණා.

අමෙරිකාවේ පරිසර සංරක්ෂණ ඒජන්සිය (EPA) 1970දී පිහිටුවීමට කාසන්ගේ පොත හා සංවාද දායක වූ බව පිළිගැනෙනවා. DDT භාවිතය 1972දී අමෙරිකාවේත්, ඉන්පසු තවත් බොහෝ රටවලත් තහනම් කරනු ලැබුවා. එයටත් වඩා වැදගත් වූයේ ඉවක් බවක් නැතිව පරිසරයට විවිධ රසායන ද්‍රව්‍ය එකතු කිරීම පාලනය කළ යුතු බවට පුළුල් පිළිගැනීමක් ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටමෙන් ඉසුරුබර රටවල ස්ථාපිත වීමයි.

මේ බලපෑම් වැදගත් වූවත් ඊටත් වඩා ඓතිහාසික කාර්යභාරයක් මේ පොත හා කතුවරිය ඉටු කළා. එනම් 1960 ගණන්වල පැන නැඟී 1970 හා 1980 දශකයන්හි බලවත් වූ පරිසර සංරක්ෂණය සඳහා පෙළ ගැසුණු ජන සංවිධාන හා සාමාන්‍ය ජනයාට මූලික උත්පේ‍්‍රරකය ලබා දීමයි. අමෙරිකාව වෙනස් කළ මහා පොත් අතරට ‘නිහඬ වසන්තය’ එකතු කොට තිබෙනවා.

Rachel Carson on US postage stamp19 වන සියවසේ වහල් වෙළඳාම හා සේවය නතර කරන්නට හැරියට් බීචර් ස්ටෝව් ලේඛිකාව ලියූ Uncle Tom’s Cabin නවකථාව අමෙරිකානු ජන විඥානයට කළ දිගු කාලීන බලපෑමට සම කළ හැකි බලපෑමක් රේචල් කාසන් ‘නිහඬ වසන්තය’ හරහා කළ බව දැනට එරට සිටින ජ්‍යෙෂ්ඨතම ජෛව විද්‍යාඥයකු වන හාවර්ඞ් සරසවියේ එඞ්වඞ් ඕ. විල්සන් කියනවා.

20 වන සියවසේ අවසානයේ දී ගෙවී ගිය සියවසේ ලෝකයේ චින්තනය වෙනස් කළ චරිත 100ක් ටයිම් සඟරාව නම් කළා. ඒ අතරට ඔවුන් රේචල් කාසන්ගේ නමත් ඇතුළත් කළා. ඇගේ චින්තනමය සෙවනැල්ල තවමත් අමෙරිකාවේ මෙන් ම ලොව පුරා ජනතාවාදී විද්‍යාඥයන් හා පරිසරවේදීන් දිරිමත් කරවන බව සඟරාවේ කතුවරුන් කියා සිටියා.

අඩ සියවසක් තුළ ලෝකයේ සංවර්ධනය හා පරිසරය පිළිබඳ ගැටුම තවත් තීව‍්‍ර වී තිබෙනවා. ‘නිහඬ වසන්තය’ එළි දුටු වසරේ ලෝක ජනගහනය කෝටි 300යි. අද එය කෝටි 710 ඉක්මවා ගොස් තිබෙනවා. මේ ජන සංඛ්‍යාවට ආහාර පාන, මූලික අවශ්‍යතා හා ආදායම් මාර්ග ලබා දීමට සම්පත් හා බලශක්ති පරිභෝජනය අත්‍යවශ්‍යයි. සංවර්ධන තිරසාර කර ගන්නේ කෙසේ ද යන්න තවමත් විද්වතුන් හා දේශපාලකයන් නිරතුරු සංවාද කරනවා.

අටුව කඩා පුටුව හදනවා වගේ සංවර්ධනයකින් වැඩක් නැති බව අද තේරුම් ගෙන තිබෙනවා. එසේ නම් අටුවත් රැක ගෙන පුටුවකුත් හදා ගන්නේ කෙලෙස ද? ගල් යුගයේ ජීවන රටාවකට ආපසු යන්නට පරිසරවේදීන් ඇතුළු කිසිවකු සූදානම් නැහැ.

පොදු උන්නතියට විද්වත් මත පළ කරන විද්‍යාඥයන්ට රේචල් කාසන්ගෙන් උගත හැකි පාඩම් මොනවා ද? එඞ්වඞ් විල්සන්ගේ උපදේශය: ‘‘ඔබේ කේෂත‍්‍රයේ ගැඹුරින් හා ඕනෑකමින් දැනුම ගවේෂණය කරන්න. පර්යේෂණ කරන්න. සෙසු විද්‍යාඥයන් අතර පිළිගන්නා විද්වත් නිබන්ධන හා සන්නිවේදන කරන්න. ඒ පිළිගැනීම මත පදනම් වී පොදු උන්නතියට වැදගත් හා තම ක්ෂෙත‍්‍රයට අදාළ ප‍්‍රශ්න ගැන තර්කානුකූලව සංවාද කරන්න. ප‍්‍රතිරෝධයන්ට හා විකල්ප මතවාදයන්ට ඉඩ දෙන්න. එහෙත් ඔබේ පදනම ගැන ඔබට විශ්වාස නම් ඒ ස්ථාවරයේ රැඳී සිටින්න!’’

අහුමුළුවල කසුකුසු ගානවා වෙනුවට නොබියව ජන සමාජයේ ප‍්‍රශ්න ගැන කථා කරනවා නම් අපේ විද්වතුන්ටත් මේ ඔවදන ඉතා වටිනවා.

ආයු දායකයාණනේ, සානුකම්පා පාමිනේ…

Karunaratne Abeysekera (1930–1983) was one of Sri Lanka’s most accomplished Sinhala broadcasters. He was also a poet and lyricist — one who had great talent to combine words and phrases in ways that soothed and energised a whole nation.

In October 1982, Karu (as he was affectionately called by friends and fans alike) wrote an especially moving and memorable Sinhala poem in the then popular Sinhala monthly magazine Kalpana. I first read this poem as a school boy in October 1982, and it left a deep impression that the first few lines stuck in my mind for decades.

In this poem, which opens with the words ආයු දායකයාණනේ, සානුකම්පා පාමිනේ…, Karu asks the giver-of-life (unspecified, and not alluding to any religious or superhuman entity) to grant him 10 more years of life so that he can…do more good, and do things he’s somehow not been able to do yet in his life. (He says it much more beautifully.)

Alas, that was not to be. Six months after this poem appeared in print, Karu was gone: he died in April 1983 aged 53.

As we enter a New Year, I borrow Karu’s evocative words and make them my own personal wish — or plea, if you like. I thank Karu’s son Dileepa Abeysekera for helping locating the full words. He calls it a little “time bomb” of the mind that his father has left behind…

Ayu Dayakayanane - 1 of 2

Ayu Dayakayanane - 2 of 2