සිවුමංසල කොලූගැටයා #165: සමාජ මාධ්‍ය ලක් සමාජයේම කැඩපතක්

In this week’s Ravaya column (in Sinhala), I return to discuss social media in Sri Lanka, with focus on safe practices.

I covered similar ground in English in this column: 30 March 2014:

When Worlds Collide #101: Safely Riding the Social Media Dragon

Social Media challenge
Social Media challenge

‘සමාජ මාධ්‍යවලට ඇයි මේ තරම් බය’ මැයෙන් 2014 මාර්තු 23 වනදා මා කළ විග‍්‍රහයට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ ලක් සමාජයේ ‘වරප‍්‍රසාද ලත් ටික දෙනෙකුගේ මාධ්‍යයක්’ ගැන මෙතරම් කථා කළ යුතු ද කියායි.

ඉන්ටර්නෙට් භාවිතය පරිගණක හිමි, නාගරික, ඉසුරුබර උදවියට පමණක් සීමා වූ ප‍්‍රවණාතාවක් යයි ද තමන් වැනි මධ්‍යම පාංතිකයන්ට පවා එහි ආයෝජනය දරා ගත නොහැකි යයි ද සරසවි ඇදුරෙක් මා සමග තර්ක කළා.

ඉන්ටර්නෙට් තවමත් ටෙලිවිෂන් හා රේඩියෝ තරම් මෙරට ප‍්‍රචලිත වී නැති බව සැබෑයි. එහෙත් සමහරුන් සිතන තරම් අතලොස්සකට එය සීමා වී ද නැහැ.

මෙරට ඉන්ටර්නෙට් භාවිතය ගැන ගැන සංඛ්‍යාලේඛන ඕනෑම කෙනකුට බලා ගත හැකි පරිදි නිල මූලාශ‍්‍රවල තිබෙනවා. දත්ත ආශ‍්‍රයෙන් නිගමනවලට එළඹීම වඩා හොඳයි.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අළුත්ම සංඛ්‍යා ලේඛන වලට අනුව 2013සැප්තැම්බර් අග වන විට මෙරට ස්ථාවර ඉන්ටර්නෙට් ගිණුම් 482,651ක් හා ජංගම ඉන්ටර්නෙට් ගිණුම් 1,210,862ක් තිබුණා. මේ දෙක එකතු කළ විට සමස්ත ගිණුම් සංඛ්‍යාව 1,693,513යි. www.trc.gov.lk/index.php/information/statistics.html

එක ගිණුමක් සාමාන්‍යයෙන් දෙදෙනෙකු පාවිච්චි කරනවා යයි උපකල්පනය කළොත් නිතිපතා ඉන්ටර්නෙට් භාවිතා කරන ජන සංඛ්‍යාව මිලියන 3.38ක් පමණ වෙනවා.

අද මෙරට වඩාත් ම ප‍්‍රචලිත සමාජ මාධ්‍යය ෆේස්බුක් Facebook නම් පෞද්ගලික තොරතුරු හා සාමිචී හුවමාරු පොළයි. 2012 අග වන විට මෙරට ෆේස්බුක් ගිණුම් සංඛ්‍යාව 1,515,720ක් වී යයි ජාත්‍යන්තර වෙබ් දත්ත හරහා අපට සොයා ගත හැකියි.

ස්මාට්ෆෝන් හරහා ඉන්ටර්නෙට් සබඳතා ලද හැකිවීම නිසා එය පරිහරණය කරන සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් වැඩිවී තිබෙනවා. එසේම පාසල්, සරසවි, කාර්යාල හා නැණසල/සයිබර් කැෆේ හරහා තමන්ගේම නොවූ පොදු සබඳතා භාවිත කරන සැළකිය යුතු සංඛ්‍යාවක් ද සිටිනවා.

2012 ජන සංගණනයේ මෙරට මුළු ජන සංඛ්‍යාව 20,277,597යි. දළ වශයෙන් ජනගහනයෙන් සියයට 15-20ක් ඉන්ටර්නෙට් භාවිතා කරනවා යයි කිව හැකියි.

එහෙත් නව මාධ්‍යයේ බලපෑම මීටත් වඩා පුළුල් වන්නේ එම භාවිතා කරන්නන් අතර ගුරුවරුන්, පර්යේෂකයන්, මාධ්‍යවේදීන් හා සිසුන් ද සිටින නිසා. ඔවුන් ලබා ගන්නා දැනුම ඔවුන් හරහා තවත් බෙහෝ අයට පැතිරෙනවා.

පරිගණක හා ජංගම දුරකථන හරහා ඉන්ටර්නෙට් පරිශීලනයට කිසිදු විශේෂඥ තාක්‍ෂණික දැනුමක් අවශ්‍ය නැහැ. අද කාලේ වයස පහේ හයේ දරුවොත් එයට සමත්. එහෙත් ඒ හැකියාව පුහුණු කර නොගත් වයස 40න් පමණ වැඩි ලාංකික වැඩිහිටියන් මේ තාක්‍ෂණය ගැන අස්ථාන භීතියකින් පසු වනවා.

‘‘අනේ අපි විද්‍යාව/තාක්‍ෂණය උගත් අය නොවෙයි. අපට මේ කොම්පියුටර්, ඉන්ටර්නෙට් ගැන තේරුමක් නැහැ’’ ආකාරයේ ප‍්‍රකාශ කරන ශාස්ත‍්‍රාලීය උගතුන් හා වෘත්තිකයන් මට නිතර හමු වනවා.

මා ඔවුන්ගෙන් අසන්නේ ඔවුන් භාවිත කරන මෝටර්රථ පිළිබඳ කාර්මික දැනුමක් තිබේ ද කියායි. බොහෝ දෙනාට එබන්දක් නැහැ. එහෙත් වාහනයක එදිනෙදා නඩත්තුව, රැක ගැනීම හා මහමග පදවාගෙන යාම පිළිබඳ අවබෝධයක් තිබෙනවා.

නූතන සන්නිවේදන මෙවලම් හරහා සයිබර් අවකාශයේ සැරිසැරීම සඳහාත් මෙයට සමාන අවම දැනුමක් හා කුසලතා සමුදායක් අවශ්‍යයි. මෙය තව දුරටත් පරිගණකවේදීන්ට පමණක් භාර දිය හැකි වගකීමක් නොවෙයි.

Lankan society's popular perception of Facebook is captured in this cartoon by Awantha Artigala. Courtesy - Daily Mirror
Lankan society’s popular perception of Facebook is captured in this cartoon by Awantha Artigala. Courtesy – Daily Mirror

සයිබර් ලෝකය එයට ම ආවේණික ලක්‍ෂණවලින් යුක්තයි.   එහෙත් එය හඳුනා ගැනීමේදී භෞතික ලෝකය සමග සැසදීම අපට උදව් වනවා. මාර්ග ආරක්‍ෂාව හා සයිබර් ආරක්‍ෂාව අතර සමානකම් රැසක් තිබෙනවා.

මාර්ග ආරක්‍ෂාව සාමුහිකව වගකීමක්. මාර්ග සැළසුම්, ඉදිකිරීම් හා නඩත්තු කරන රාජ්‍ය ආයතන, මාර්ග දෙපස පදිංචි නිවැසියන් හා ව්‍යාපාර, මහපාරේ ගමන් කරන පදිකයන් හා සියළු ආකාරයේ වාහන පදවන රියදුරන් අතර අඩු වැඩි වශයෙන් මේ වගකීම බෙදී යනවා. රථවාහන පොලිසියට පමණක් මාර්ග ආරක්‍ෂාව සැළසිය නොහැකියි.

පාරට බසින හැම විටෙක ම අප සැම දැන හෝ නොදැන යම් අවදානමකට මුහුණ දෙනවා. ඒ අවදානම සාධාරණ පරාසයක් තුළ පවත්වා ගන්නට අප දායක විය යුතුයි. අපේ ආරක්‍ෂාව පිළිබඳ අවධි වූ සිහියෙන්, මාර්ග නීති පිළිපදිමින්, විනීතව හා විනයානුකූලව පාරේ ගමන් කිරීමෙන් එකී අවදානම සමනය කළ හැකියි. එහෙත් අනතුරුවීමේ හැකියාව තවමත් පවතිනවා.

මේ ආකාරයේ යථාර්ථයක් සයිබර් අවකාශයේත් තිබෙනවා. එහි සැළසුම, නිර්මාණය හා නඩත්තුවට තනි අප එතරම් සම්බන්ධ නැති වුවත්, ඒ තුළ සැරිසරන විට ප‍්‍රවේශම්කාරි, ආචාරශීලි හා විනයගරුක වීමේ වගකීම අප සැමට තිබෙනවා. එසේ නොකරන විට අනවශ්‍ය අවදානම්වලට අප මුහුණ දෙනවා.

එසේම කෙතරම් ප‍්‍රවේශම් වුවත් යම් අන්තරායන් තවමත් පැවතිය හැකියි. සයිබර් අවකාශය තුළ නීතිය ක‍්‍රියාත්මක කිරීමේ හා මහජන ආරක්‍ෂාව සැපයීමේ බලධාරින් වඩාත් සක‍්‍රීයව සිටින්නේ මේ නිසා.

එහෙත් හැම ලයිට් කණුවක් හෝ හන්දියක් ගානේ රථවාහන පොලිසියට සිටිය නොහැකි සේ සයිබර් අවකාශයේ හැම තැනක ම බලය ලත් ආරක්‍ෂකයන්ට සැරිසැරිය නොහැකියි. සාමූහික වගකීම හා තනි තනිව අපේ පරෙස්සම ද අවශ්‍යයි.

මහපාරේ මෙන් ම සයිබර් අවකාශයේ ද පරෙස්සමින් සැරිසැරීම වැඩිහිටියන්ට පවා අභියෝගයක් වන පසුබිම තුළ එයට වයසින් නොමේරූ දරුවන්ට ඊටත් වඩා අසීරු කාරියක්. දරුවන් නව තාක්‍ෂණයට වඩා ලෙහෙසියෙන් හුරු වන බව ඇත්තයි. එහෙත් තාක්‍ෂණය හරහා මතුවිය හැකි අවදානම් හා ගත යුතු ආරක්‍ෂක උපක‍්‍රම ගැන ඔවුන්ගේ දැනුම හා අවබෝධය සීමිතයි.

මෙයට නිසි පිළියම නව තාක්‍ෂණයන්ගෙන් ඔවුන් ඈත් කර තැබීම නොවෙයි. පරෙස්සමින් සැරිසැරීමේ හැකියාව වඩාත් ප‍්‍රගුණ කිරීමයි.

මාර්ග අනතුරු හා රථවාහන සොරකම් ආදිය වාර්තා වූ පමණට අප ගෙදරට වී දොරගුලූ ලාගෙන බියෙන් සිටින්නේ නැහැ. මහපාරේ පරෙස්සමින් යන්නා සේ සයිබර් අවකාශයෙත් පරෙස්සමින් සැරිසැරිය යුතුයි. ඉන්ටර්නෙට් හා සමාජ මාධ්‍ය අරභයා ප‍්‍රවේශම්කාරි හා දැනුවත් වූ ලක් සමාජයක් බිහි කර ගැනීම අවශයයි.

අවසන් විනිශ්චයේදී හැම මාධ්‍යයක්ම අදාල ජන සමාජයේ ගති සොබා පිළිබිඹු කරන කැඩපතක් වගෙයි. කැඩපතෙහි අප දකින ඡුායාවට අප කැමති නැති නම් එහි අරුත කුමක් ද?

සයිබර් ආරක්‍ෂාව පිළිබඳව විවෘත හා පුළුල් සමාජ සංවාදයක් අපට අවශ්‍යයි. සමාජ මාධ්‍ය ගැන සංවාදවලට අපේ සමාජ විද්‍යාඥයන් සම්බන්ධ වනවා මදි. මාධ්‍යවලිනුත් මේ ගැන විමසන්නේ තාක්‍ෂණවේදීන්ගෙන් හා ඉංජිනේරුවන්ගෙන්. ඒ අය මේ ප‍්‍රශ්නයේ තාක්‍ෂණික පැතිකඩ විග‍්‍රහ කළත් සමාජයීය බලපෑම විනිවිද දකින්නේ කලාතුරකින්.

Dr Harini Amarasuriya
Dr Harini Amarasuriya

මේ ගැන විවෘතව අදහස් දක්වා ඇති සමාජ විද්‍යාඥයින් ටික දෙනාගෙන් මගේ අවධානයට යොමු වූයේ ආචාර්ය හරිනි අමරසූරියගේ විග‍්‍රහයක්. විවෘත සරසවියේ සමාජ විද්‍යාව පිළිබඳ ජේ්‍යෂ්ඨ කතිකාචාරිනියක් වන ඇය කියන්නේ අප කැමති වුවත් නැතත් සමාජ මාධ්‍ය අද ලක් සමාජයේ සීඝ‍්‍රයෙන් පැතිරෙන බවයි.

‘‘එය මෙවලමක් පමණයි. එයින් වැඩක් හෝ අවැඩක් සිදුවීම රඳා පවතින්නේ භාවිත කරන අය අතේ. අපේ ළමයින් හා තරුණ තරුණියන් මේ සමග වැඩියෙන් කාලය ගත කරන නිසා එය නැණවත්ව ප‍්‍රවේශමින් පරිහරණය කරන සැටි පෙන්වා දීම වැදගත්.’’

Facebook සමාජ මාධ්‍යයට නැගෙන චෝදනා ගැන ඇගේ මතය: ‘‘අප ඇසිය යුත්තේ ෆේස්බුක් එකේ වරද කුමක් ද කියා නොවෙයි. අපේ සමාජයේ වැරදි මොනවා ද කියායි.’’

මනෝවිද්‍යාත්මකව හෝ සමාජ විද්‍යාත්මකව හෝ බලන විට තහංචි, සීමා දණ්ඩන පෙරටු කර ගත් ප‍්‍රවේශයක් මේ ප‍්‍රශ්නයට කිසිසේත් නොගැලපෙන බව ඇය අවධාරණය කරනවා. නව යොවුන් වියේ හා තරුණ වියේ පසු වන අය සමාජ මාධ්‍ය හරහා එකිනෙකා සමග සාමිචියේ යෙදීම බෙහෙවින් සාමාන්‍ය දෙයක් බවත්,මේ යථාර්ථයට ලක් සමාජය මුහුණදිය යුතු බවත් ඇය කියනවා.

සමාජ මාධ්‍ය එන්නට පෙර SMS හරහාත් ඊට කලින් තැපෑල හරහාත් තරුණ තරුණියන් සන්නිවේදනය කළා. මෙය නීති විරෝධී හෝ සමාජ විරෝධී ක‍්‍රියාවක් නොවෙයි. (එසේම තැපෑලෙන් පෙම් හසුන් හුවමාරු වූවා කියා කිසිවකු තැපැල් සේවය තහනම් කරන්නට කීවේත් නැහැ!)

කෙන්ද කන්ද කොට මහා ප‍්‍රශ්නයක් බවට පත් කර නොගෙන සමාජ මාධ්‍යවලට අපේ සමාජය ප‍්‍රශස්තව බද්ධ විය යුත්තේ කෙසේදැයි විමසා බැලීමයි වඩාත් වැදගත් හා අවශ්‍ය වන්නේ.

සමාජ මාධ්‍ය පොදු උන්තතියට උපක‍්‍රමශීලිව යොදා ගැනීමේ පුරෝගාමීන් හැටියට දකුණු කොරියාව, මැලේසියාව, ඉන්දුනිසීයාව හා තායිලන්තය දැක්විය හැකියි. ලිංගික ප‍්‍රචණ්ඩත්වය, කම්කරු අයිතිවාසිකම්, පාරිසරික ප‍්‍රශ්න, පාරිභෝගික උද්ඝෝෂණ ආදී බොහෝ කරුණු සම්බන්ධයෙන් ඒ රටවල සමාජ කි‍්‍රයාකාරිකයන් සමාජ මාධ්‍ය දක්‍ෂ ලෙස යොදා ගන්නවා.

මධ්‍යම පාතිකයන් මිලියන් 300කට වඩා වෙසෙන ඉන්දියාවේද සමාජ මාධ්‍ය හා ඉන්ටර්නෙට් භාවිතය ජන සමාජයට පුළුල් වශයෙන බලපෑම් කිරීම ඇරඹිලා. විශේෂයෙන් අල්ලස හා දුෂණයට එරෙහිවත් කාන්තාවන්ට නිසි රැකවරණය සඳහාත් මෑත කාලයේ ඉන්දියාව හරහා පැතිර ගිය මහා පරිමාණයේ ජනතා උද්ඝෝෂණ තීව‍්‍ර කළේ සමාජ මාධ්‍ය භාවිතයයි. 2014ඉන්දියානු මහා මැතිවරණයේදී සමාජ මාධ්‍ය තීරණාත්මක සාධකයක් විය හැකියි.

ඉන්ටර්නෙට් මෙරටට හඳුන්වා දුන් මුල් කාලයේම මා යෝජනා කළ ඔවදනක් සමාජ මාධ්‍යවලටත් අදාලයි.

දැන ගියොත් ඉන්ටර්නෙට්.

නොදැන ගියොත් අතරමග.

එයට දැන් යමක් එකතු කළ හැකියි.

අවධියෙන් ගියොත් ඉන්ටර්නෙට්

අවසිහියෙන් ගියොත් මංමුලාවේ!

facebook-cartoon-dave-coverly

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #125: කාල බෝම්බ ඕනෑ කර තිබේ!

In the early 1990s, I had the privilege of working with the late Anil Agarwal, the outstanding environmentalist and journalist. He founded the Centre for Science and Environment (CSE), which continues his mission of articulating science-based, southern perspectives in issues of sustainable development and social justice.

In this week’s Ravaya column (in Sinhala), I invoke one of Anil’s favourite quotes, about books being akin to time bombs — which he attributed to the Swedish economist and Nobel laureate Gunnar Myrdal. I extend the metaphor to media products — in print, audio and video — and ask: what can we do to shorten their fuse?

This is also a commentary on the lack of adequate public discussion and debate on matters of public interest in Sri Lanka, and what we can learn from the more argumentative Indians.

Colombo General Cemetery: No discussion or debate...
Colombo General Cemetery: No discussion or debate…

ශ‍්‍රී ලංකාවේ මීට ඉහත පරම්පරාවක ප‍්‍රතිපත්තිගරුක වාමාංශික නායකයකු වූ බර්නාඞ් සොයිසා වරක් කොළඹ කනත්ත සුසාන භූමිය හඳුන්වා දුන්නේ ‘වාද විවාද – තර්ක විතර්ක කිසිවක් නොමැති වූ කොළඹ එක ම ස්ථානය’ හැටියටයි (“The only place in Colombo where there is no discussion or debate”).

එ කියන්නේ එතැනින් පිටත හැම තැනෙක ම අඩු වැඩි පමණින් සංවාද හා විසංවාද නිතිපතා සිදු වනවා. සමහරක් එවා පොදු අවකාශය තුළ – එනම් වේදිකා මත, සභා තුළ හෝ මාධ්‍ය හරහා. එහෙත් බහුතරයක් පෞද්ගලික අවකාශය තුළ – එනම් ගෙදර දොර, කඩපිළේ, කාර්යාලවල, සමිති සමාගම් තුළ…

මෙකී නොකී හැම තැනෙක ම මිනිස්සු හා ගැහැණු තමන්ට අදාළ කාලීන මාතෘකා ගැන කථා බහ කරනවා. හැම දෙයක් ගැන හැම දෙනා ම එකඟ වෙන්නෙ නැහැ. බහුවිධ මතවලට ඉඩ තිබෙනවා.

ඇත්තට ම විවිධත්වය මත පදනම් වූ විවෘත හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජන සමාජවල එසේ විය යුතුයි. මතවලට ප‍්‍රතිචාර දක්වන්නට හා එවා සමඟ එකඟ නොවන්නට ඕනෑ ම කෙනකුට නිදහස තිබිය යුතුයි.

චින්තනයේ හා අදහස් ප‍්‍රකාශනයේ නිදහස විවෘත සංවාද සඳහා මූලික අවශ්‍යතාවක් වූවත්, එය පමණක් සෑහෙන්නේ ද නැහැ. සංවාද හරවත් වන්නේ ගවේෂණාත්මක තොරතුරු, නිරවුල් විග‍්‍රහයන් හා නව සිතුවිලි මත පදනම් වූ විටයි. එසේ නොමැතිව මතවාදයන් පමණක් කරපින්නා ගත්, විවෘත මනසකින් තොර වූ අය අතර හරවත් සංවාද හට ගන්නට ඉඩක් නැහැ.

අද ශ‍්‍රී ලංකාවේ අපට සොයා ගන්නට අපහසු වී ඇත්තේ මේ ආකාරයේ විවෘත හා හරවත් සංවාදයන්. එ වෙනුවට අපට බොහෝ විට හමු වන්නේ යම් කාලීන ප‍්‍රශ්නයක් මතුපිටින් පමණක් විග‍්‍රහ කිරීම. සංඛ්‍යාත්මක බහුතරයක නැතහොත් අධිපතිවාදයක මතයක් පමණක් මතු වන්නට ඉඩ දීම. අනෙක් විකල්ප අදහස් බලහත්කාරයෙන් යටපත් කිරීම. නැත්තම් ස්වයං වාරණය.

ඇයි මේ තරම් ස්වාධීන අදහස්වලට බය?

මේ වගේ මහා ප‍්‍රශ්නවලට පිළිතුරු සොයන විට මා නිතර බලන්නෙ අපේ අසල්වැසි ඉන්දියාව දෙසයි. වර්ග, ගෝත‍්‍ර, ආගම්, මතවාද සිය ගණනක් ඉන්දියාවේ බිලියන් 1.2ක් පමණ වන ජනගහනය තුළ හමු වනවා. තනි ඉන්දියානු අනන්‍යතාවක් පවත්වා ගන්නා අතර, තම තමන්ගේ උප අනන්‍යතාවන් ද ඊට සමාන්තරව රැක ගන්නට අවශ්‍ය ව්‍යවස්ථාමය, ව්‍යූහමය වගේ ම සංස්කෘතිකමය පසුබිමක් එරටේ තිබෙනවා.

ඉන්දියානුවන් බොහෝ කාරණා ගැන නිරතුරුව හා දැඩි සේ වාද විවාද කරනවා. ක‍්‍රිකට් වැනි තේමාවක් හැරුණු විට වෙනත් දේ ගැන ඔවුන් අතර එකඟත්වයක් ඇත්තේ ම නැති තරම්. එ විවිධත්වය තුළින් යම් සවියක් හා පන්නරයක් ද ඔවුන් ලබා ගන්නවා. වසර විස්සක් පුරා ඉන්දියාවට නිතර යන එන මට තාමත් මේ සංසිද්ධිය විශ්මයජනකයි.

ඉන්දියානු වාද විවාද ආවේගයන්ට පමණක් සීමා වන්නේ නැහැ. ඔවුන් අතර විශිෂ්ට ගණයේ පර්යේෂකයන්, චින්තකයන් හා නිර්මාණකරුවන් ඉන්නවා. අන්ත වාමාංශික සිට අන්ත දක්ෂිණාංශික දක්වා සමස්ත දේශපාලන මතවාද පරාසය ම තිබෙනවා. ඉතා ලිබරල් නිදහස් මතධාරීන්ගේ පටන් අන්තවාදී හා දරදඬු මතධාරීන් ද හමු වනවා.

හැඟීම් උත්සන්න වී ඉඳහිට කලහකාරී වූවත්, බිලියනයකට අධික ජනකායක් දිවා රැයේ වාද විවාද කරන ප‍්‍රමාණයේ තරමට ඔවුන්ට කෙතරම් සංයමයක් හා සෙසු මත දරා ගැනීමේ හැකියාවක් ඇත් ද යන්න අපට අනුමාන කළ හැකියි.

Anil Agarwal (1947 – 2002)
Anil Agarwal (1947 – 2002)

මගේ මුල් ම ඉන්දියානු හිත මිතුරකු වූයේ විද්‍යා ලේඛක හා පාරිසරික ක‍්‍රියාකාරික අනිල් අගර්වාල් (Anil Agarwal, 1947 – 2002). ලේඛකයන් හැටියට පොදු අවකාශය තුළ අප ලියන දෙයින් කෙටි කාලීනව හෝ දිගු කාලීනව හෝ ජන සමාජයට බලපෑමක් ඇති වේදැයි ඔහුත් මාත් විටින් විට මෙනෙහි කළා. සමහර වෙලාවට තර්කානුකූල නොවූ සංවාද දිග හැරෙනවා බලා සිටින විට අප මේ කරන්නේ මුනින් අතට හැර වූ කලගෙඩියක් වැනි සමාජයකට වතුර (අදහස්) වක් කිරීමක් දෝ යැයි සිතෙනවා.

එහෙත් කිසි දිනෙක අප අධෛර්යය නොවිය යුතු බවත්, අප ලියන දේ කියන දේ ජන සන්තානයට හෙමින් සීරුවේ කිඳා බසින බවත් අනිල් තරයේ විශ්වාස කළා. ඔහු නිතර උපුටා දැක්වූ කියමනක් තිබුණා. එය 1972දී ස්වීඞ්න් ජාතික ආර්ථික විශේෂඥ හා පොදු උන්නතියට කැප වූ බුද්ධිමතකු වූ ගුනාර් මයර්ඩාල් (Gunnar Myrdal, 1898 – 1987) අනිල්ට පැවසූවක්.

“Books are like time bombs. If they contain ideas that are correct, then one day they will explode. And if they don’t, they will be consigned to the dustbin of history.”

‘‘පොත්පත් හා ලිපි ලේඛන හරියට කාල බෝම්බ වගෙයි. එවායේ හරවත් හා ගැඹුරු අදහස් නිසි ලෙසින් ගලපා තිබුණොත් පාඨකයන්ගේ මනස තුළ කවදා හෝ එවා පුපුරා යාවි. එසේ නොවන අදහස් කොයි කාටත් අමතක වී යනු ඇති.’’

මේ තමයි එහි සරල අරුත. කොයි තරම් අපූරු හා විප්ලවකාරී අදහසක් ද?

අනිල් අකාලයේ මිය යන තුරු හැමදාමත් කිව්වේ මිනිසුන්ගේ ඔළුගෙඩි තුළ ඉක්මනින් පුපුරා යාමේ හැකියාව ඇති අදහස් සන්නිවේදනය කරමු කියායි. ටිකක් බිහිසුනු ආකාරයේ උපමිතියක් වූවත් අද අපට ලංකාවේත්, ලොව අන් හැම තැනකත් බෙහෙවින් උවමනා වී ඇත්තේත් ඉක්මනට පත්තු වන විදියේ අදහස් හා එවායේ නිසි සන්නිවේදනයයි.

මීට වසර හෝ දශක ගණනකට පෙර පුවත්පතකට හෝ සඟරාවකට හෝ මා ලියූ ලිපියක් නැතිනම් කළ සම්මුඛ සාකච්ඡවක් ගැන ප‍්‍රශංසාත්මකව කථා කරන පාඨකයන් මට ඉඳහිට මුණ ගැසෙනවා. එබඳු ප‍්‍රතිචාර ලේඛකයකු ප‍්‍රමෝදයට පත් කරවන නමුත් මා ඔවුන්ට කියන්නේ දැනුම නිරතුරුව අඵත් වන නිසා පරණ ලිපිවල අන්තර්ගතය කාලානුරූපව අඵත් කර ගන්නා ලෙසයි.

Gunnar Myrdal (1898 – 1987)
Gunnar Myrdal (1898 – 1987)

මාධ්‍ය හරහා සහ පොත්පත් ඔස්සේ අපට දැනුම පමණක් නොව ආකල්ප, මතවාදයන් හා විග‍්‍රහයන් ද සමාජයට සන්නිවේදනය කළ හැකියි. මා කවදත් විශ්වාස කරන්නේ අධිපතිවාදී මතවාදයන්ට වඩා සංවාදශීලි වූත්, පාඨකයන්ට සිතන්නට අනුබල දෙන්නා වූත් ආකාරයේ ලිපිලේඛන වඩාත් වැදගත් බවයි.

දැනුම හා ශිල්ප ක‍්‍රමවලට සම්මතයක් අවශ්‍ය වුවත් ඕනෑවට වඩා සම්මතයට වහල් වීම නිසා නිදහස් චින්තනයට ඇති ඉඩ ඇසිරෙනවා. අපේ විධිමත් අධ්‍යාපන ක‍්‍රමයේ තිබෙන ලොකු ම දෝෂයත් එයයි. විෂයමාලාවක් තුළ, ගුරු-මූලිකව පොතේ හැටියට ඉගෙනීම හරහා විචාරශීලිව දැනුම ගවේෂණය කිරීම හා නිර්මාණශීලිව නව දැනුම බිහි කිරීම සිදු වන්නේ නැහැ. ඒ වෙනුවට එහෙය්යන් පිරිසක් බිහිවනවා.

අද දවසේ හුදෙක් පොත්පත් හා පුවත්පත් හරහා පමණක් නොව රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් හරහා ද අපට මනස් බෝම්බ බිහිකර සමාජයට මුදා හැරිය හැකියි.

අපේ ගෘහස්තයන්ගෙන් 80%ක හමු වන, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රචලිතම ජනමාධ්‍යය වන ටෙලිවිෂන් හරහා මෙය කිරීමට ඇති හැකියාවෙන් තවමත් ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ අල්ප ප‍්‍රමාණයක්. මනස් බෝම්බ වෙනුවට සබන් පෙන බෝල පේ‍්‍රක්‍ෂකයන්ට යවන්නට බොහෝ ටෙලිවිෂන් ගුවන් කාලයක් වැය කැරෙනු පෙනෙනවා.

සමහරුන්ට ඕනෑ අපේ සමාජය තනි මතයකට නතු වූ නිසරු කතරක් නැතහොත් නිසසල සුසාන භූමියක් කරන්න. එයට එකඟ නොවන අප දිගින් දිගට ම ‘මනසට කාල බෝම්බ’ නිර්මාණය කර මුදා හැරිය යුතුයි!