සිවුමංසල කොලූගැටයා #183: සන්නිවේදනය දැන් මූලික මානව අවශ්‍යතාවක්

mandela

Although it has been discussed for centuries, there is no universally accepted definition of basic human needs. During the 1970s, basic needs emerged as a key topic in development debates. Various studies – catalysed by UN agencies and the Club of Rome – tried to define it.

In 1976, the International Labour Organization (ILO) prepared a report that identified basic needs as food, clothing, housing, education and public transportation. It partially drew on ILO’s country reports on Columbia, Kenya and Sri Lanka. Since then, different development agencies have adopted variations of the original ILO list. National planners have used the concept to benchmark economic growth.

The ground reality has changed drastically since those heady days. In view of the rapid evolution of information society, communication should be considered a basic human need. This is the basic thrust in my latest Ravaya column (in Sinhala).

See also my related writing on revisiting basic needs:

13 Dec 2013: Op-ed in The Communication Initiative: Can Development Community catch up with Nelson Mandela?

 25 Nov 2012: When Worlds Collide #43: Toilets or Telephones? That’s the Wrong Question!

16 July 2008: Op-ed in Groundviews.org: Mobile Phones in Sri Lanka: Everyman’s new trousers?

Mobile revolution across Asia - photo courtesy TVE Asia Pacific

‘‘හැම කොල්ලයි බල්ලයිම ජංගම දුරකථන අරන් ගමන් යනවා. හරියට ඒ උපකරණය පාවිච්චි කරන්නවත් නොදන්නා අයට මේ පහසුකම දිය යුතුද?’’

මීට වසර කිහිපයකට පෙර මේ අදහස පළ කරනු මා ඇසුවේ විශ‍්‍රාමගිය පරිපාලන නිලධාරියකු විසින්. එය නිමිත්තට ගනිමින් 2008 මැදදී මා ලිපියක් ලියුවා. එහි මූලික හරය වූයේ සමාජයේ උස් මිටි, උගත් නූගත්, ඇති නැති පරතරයන් අභිබවා යන්නට ජංගම දුරකථනයට හැකිව ඇති බවයි.

නිදහස ලැබීමෙන් පසු පළමු දශකය හා දෙක පමණ කාලයේ කලිසම කා අතරත් පැතිර ගිය සැටිත්, වරප‍්‍රසාද ලත් උදවිය අන් අය කලිසම් අඳිනවාට එරෙහිව තර්ක කළ සැටිත් මා සිහිපත් කළා. කලිසම අඳින්නට හැකි දැන උගත් (විශේෂයෙන් ඉංග‍්‍රීසි උගත්) පිරිමින්ට පමණක් යැයි ලක් සමාජයේ ප‍්‍රචලිත වූ මතය පහව ගියේ 1970 පමණ වන විටයි.

කලක් තිස්සේ නිල බලය හා ධන බලය යන සාධකවල සංකේතයක් වූ දුරකථනය කොයි කාටත් මිලට ගෙන භාවිත කළ හැකි පොදුජනතාවගේ උපකරණයක් වූයේ වසර 2000න් පමණ පසුවයි. අද වන විට මෙරට වැඩිහිටි ජනගහනයෙන් බහුතරයක් දෙනාට දුරකථනයක් හිමියි. නැතහොත් ලෙහෙසියෙන් දුරකථනයක් භාවිත කළ හැකියි. මේ බොහෝ දෙනකු එම වරම ලැබුවේ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති නිසාත්, ජංගම දුරකථනවල උපකරණ මිල පහත වැටීම නිසාත්.

එහෙත් තවමත් මේ ප‍්‍රවණතාවට නොකැමති, එහි දොස් සොයන පිරිසක් අප අතර සිටිනවා. රැකියාවක නිරත නොවූ අයට, කාන්තාවන්ට හා වයෝවෘද්ධ අයට දුරකථන මොනවාටදැයි ඔවුන් අසනවා. බටහිර රටක උගත් ප‍්‍රගතිශීලි මනසක් ඇති මගේ මිතුරකු ද නිතර කියන්නේ ජංගම දුරකථන සේවා හරහා විදෙස් හවුල්කාර සමාගම් අපේ රටේ ධනය පිටරට අදින බවයි.

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

ජංගම දුරකථනවලටත් වඩා මේ විවේචකයන්ගේ ප‍්‍රතිරෝධය එල්ල වන්නේ ඉන්ටර්නෙට් මාධ්‍යයටයි. සිසුන්, ගුරුවරුන් හෝ පර්යේෂකයන් නොවන අයට ඉන්ටර්නෙට් නිතිපතා භාවිතයක් අවශ්‍ය නැති බවටත්, එයට ඉඩදීම හරහා නාස්තිකාර ඇබ්බැහිකම් අපේ ජනයාට හුරු පුරුදු වන බවට මේ අය තර්ක කරනවා.

“ඌණ සංවර්ධිත රටකට මේ තරම් සන්නිවේදන සේවා කුමකද?” මෙය ඔවුන් මතු කරන තවත් ප‍්‍රශ්නයක්. අද වන විට මෙරට (ඇන්ටෙනාවකින් හසු කර ගෙන නොමිලයේ බැලිය හැකි) ටෙලිවිෂන් නාලිකා 21ක් ද FM රේඩියෝ නාලිකා 50ක් පමණ ද තිබෙනවා. මේ තරම් විද්‍යුත් මාධ්‍ය සේවා අප රටට අනවශ්‍ය බවත්, මේවා ජන මනස මොට කරන බවටත් මේ අය තර්ක කරනවා.

(සාමාන්‍ය ජනයාට මෙතරම් සන්නිවේදන සේවා අවශ්‍ය නැතැයි කියන අතරම ඔවුන් තම දරුවන්ට නම් කේබල් ටෙලිවිෂන්, ඉන්ටර්නෙට් පහසුකම් හා ජංගම දුරකථන ලබා දෙනවා. කලකට පෙර පොදු ජනයාට ඉංග‍්‍රීසි උගන්නට එපා කියූ පාලකයෝ තම දරුවන්ට හිමින් සැරේ ඉංග‍්‍රීසි ඉගැන්වූවාක් මෙන්!)

දුරකථන සේවාවක් ලබා ගැනීමට වසර ගණනක් පොරොත්තු ලේඛනයක සිටීම හා සාපේක්‍ෂව ලොකු මුදලක් ගෙවීම ආදී දුෂ්කරතා අප බොහෝ දෙනෙකුගේ මතකයේ තිබෙනවා. මේ වන විට දුරකථන උපකරණ මිළත්, ඇමතුම් ගාස්තුත් ලෝකයේ අඩුම මට්ටමක පහත බැස ඇතත් පරණ මතකයන් මත පදනම් වී සමහරුන් තවමත් ප‍්‍රතිචාර දක්වනවා විය හැකියි. මේ උදවිය තම දැනුම අළුත් කරගත යුතුයි.

ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට ගැරහීම පිටුපස තවත් දුර්මතයක් තිබිය හැකියි. එනම් දුරස්ථ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් නොව ද්වීතියික එකක් බවටත්, එයට මුදල් වියදම් කිරීම නාස්තියක් බවටත් ගතානුගතික ලක් සමාජයේ තවමත් ඇති පිළිගැනීමයි.

මූලික මානව අවශ්‍යතා (basic human needs) නිර්වචන කිහිපයක් තිබෙනවා. කාටත් පිළිගත හැකි මූලික අවශ්‍යතා ලයිස්තුවක් සම්පාදනය කරන්නට සංවර්ධනය පිළිබඳ පර්යේෂකයන් හා ක‍්‍රියාකාරියන් 20 වන සියවසේ මැද පටන් විවිධ උත්සාහයන් ගත්තා. ආහාර පාන, ඇඳුම් හා නිවාස සෑම කෙනෙකුටම අත්‍යවශ්‍ය වුවත් බෙහෙත්, අධ්‍යාපනය, ප‍්‍රවාහනය ආදිය මූලික අවශ්‍යතා ද නැතහොත් ද්වීතියික අවශ්‍යතා ද යන්න ගැන විද්වතුන් වාද කළා.

1976දී එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) කොලොම්බියාව, කෙන්යාව හා ශ‍්‍රී ලංකාව යන රටවල කළ අධ්‍යයන මත පදනම් වී මූලික අවශ්‍යතා ලයිස්තුවක් යෝජනා කළා. එයට අයත් වූ අවශ්‍යතා 5 නම්: ආහාර පාන, ඇඳුම්, නිවාස, අධ්‍යාපනය හා පොදු ප‍්‍රවාහනයයි.

මේ වනතුරු බොහෝ ජාතයන්තර හා දේශීය මට්ටමේ ප‍්‍රතිපත්ති සම්පාදනයේදීත්, විද්වත් සාකච්ඡාවලත් යොදා ගැනෙන්නේ මේ ලයිස්තුවයි. එහෙත් ගෙවී ගිය දශක හතරකට ආසන්න කාලය තුළ ලෝකය බෙහෙවින් වෙනස් වී, තාක්‍ෂණය ප‍්‍රගමනය වී තිබෙනවා. 21 වන සියවසට ගැලපෙන මූලික මානව අවශ්‍යතා විමර්ශනයට කාලය ඇවිත්.

මූලික අවශ්‍යතා සමාලෝචනය කළ යුත්තේ අද තොරතුරු සමාජයේ මානවයන්ගේ සිතුම් පැතුම් හා අපේක්‍ෂාවන් ගැන ද සංවේදී වෙමින්. එසේ නොමැතිව උගත්කමේ උඩඟුබව හෝ පන්ති භේදයේ කුහකකම වැනි සාධක පෙරටු කර ගෙන නොවෙයි.

Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati

Afghan kids carrying frame of a TV set, photographed by Reza Deghati

1990 දශකය මැදදී එක්සත් ජාතීන්ගේ ආයතන වෙනුවෙන් ආසියාවේ විවිධ රටවල දුත මෙහෙවරවල යෙදෙන විට මා හොඳාකාර දුටු දෙයක් නම් අඩු ආදායම් ලාභී නාගරික පැල්පත් වාසීන් පවා අතට මුදලක් ලද විගස වර්ණ ටෙලිවිෂන් යන්ත‍්‍රයක් ගන්නට තිබූ නැඹුරුවයි. බැංකොක්, ජකර්තා, මැනිලා, බොම්බාය, ඩාකා වැනි ආසියාවේ මහා නගර හැම එකකම පාහේ මේ ප‍්‍රවණතාව දැකිය හැකි වුණා.

තම නිවසට හරිහැටි වහලක් නැති, නිසි වැසිකිළි පහසුකම් නැති ජනයා ඒවාට වඩා ටෙලිවිෂනයට මුල් තැනදීම බොහෝ සංවර්ධන ක‍්‍රියාකාරිකයන් විමතියට පත් කළා. විද්වතුන් සමහරක් දෙනා එම පෞද්ගලික තීරණය හෙළා දුටුවා. ඒ ගැන මගේ මතය වූයේ නවීන සන්නිවේදනය මාධ්‍යවලට සමීප වීමට දුප්පතුන්ට ද එක හා සමාන අයිතියක් ඇති බවයි.

නිරතුරු එකිනෙකා අතර සන්නිවේදනය කර ගැනීමටත්, මාධ්‍ය හරහා තොරතුරු ග‍්‍රහනයත් මානවයන්ගේ මූලික ශිෂ්ටාචාරමය අවශ්‍යතාවක් බව ආතර් සී. ක්ලාක් දශක ගණනක් තිස්සේ අවධාරණය කළා. මානව සන්නිවේදනය ගැන සමීපව අධ්‍යයනය කළ ඔහු කීවේ සමාජශීලි සත්ත්වයකු වන මානවයාට සන්නිවේදනය, වාතය, ජලය හා ආහාර තරමට ම අවශ්‍ය බවයි.

ගෙවී ගිය වසර 15 පමණ තුළ ජංගම දුරකථන භාවිතය ලෝකයේ ඉතා ඉක්මනින් පැතිර ගියා. 2013 අග වන විට බිලියන් 7.3ක ලෝක ජනගහනය අතර ජංගම දුරකථන ග‍්‍රාහකත්වයන් බිලියන් 6කට වඩා භාවිතයේ තිබුණා. එනම් වයස 18ට වැඩි මානවයන්ගෙන් බහුතරයක් අද කුමන හෝ මට්ටමේ ජංගම දුරකථනයක් භාවිත කරන බවයි. ඒ බොහෝ දෙනකු කිසිදා ස්ථාවර දුරකථනයක් භාවිතා නොකර කෙලින්ම ජංගම දුරකථනයක් හිමි කර ගත් අයයි. (එසේම මෙටරත්, වෙන බොහෝ රටවලත් ස්ථාවර දුරකථන හිමිකම් සංඛ්‍යාව කෙමෙන් අඩු වෙමින් තිබෙනවා.)

වෙනස් වන ලෝක ස්ථාර්ථය සමග මානව සමාජයේ අපේක්‍ෂා හා අවශ්‍යතා ද පරිනාමය වනවා. මීට පරම්පරාවකට දෙකකට පෙර ‘සුඛෝපභෝගී’ යයි හඳුන්වා සීමිත පිරිසකට වෙන් කර තිබූ විදුලි බලය, නල ජලය ආදි පහසුකම් දැන් කොයි කාටත් ලබාදීමේ අවශ්‍යතාවය පිළිගැනෙනවා.

මේ ගොන්නටම සන්නිවේදන අවශ්‍යතාවය ද එක් වී ඇති බව මුලින්ම වටහාගත් නායකයකු වූයේ නෙල්සන් මැන්ඩෙලා (ධූර කාලය 1994-1999). 1995දී දකුණු අප‍්‍රිකාවේ නව ජංගම දුරකථන ජාලයක් විවෘත කරමින් ඔහු කථාවක කීවේ ‘එකිනෙකා සමග සබඳතා පවත්වා ගැනීමට අප කවුරුත් ඉතා කැමතියි. එය මූලික මානව අවශ්‍යතාවක්’ කියායි.

ඒ වන විට මුළු අප‍්‍රිකා මහද්වීපයේම මිලියන් 800ක් ජනයාට ස්ථාවර හා ජංගම දුරකථන සියයට 1කට වඩා තිබුණේ නැහැ. එහෙත් එළැඹෙන වසරවල මේ සේවා පැතිර යනු ඇති බව මැන්ඩෙලා දුරදක්නා නුවණින් දැන සිටියා.

මැන්ඩෙලාට තිබූ ඒ විවෘත මනස හා අළුත් දේ විචාරශීලීව වැළඳ ගැනීමේ හැකියාව අපේ බොහෝ අයට නැහැ. කොයි කාගේත් සාක්කුවේ හෝ අත් බෑගයේ හමුවන ජංගම දුරකථනයගැන තවමත් වපර ඇසින් බලන්නේ ඒ නිසායි.

හැම දුරකථන ඇමතුමක්ම අධ්‍යාපනික, ව්‍යාපාරික හෝ වෙනත් ප‍්‍රායෝගික කටයුත්තක් සඳහාම විය යුතුද? ලර්න්ඒෂියා පර්යේෂණායතනයේ සමීක්‍ෂණවලින් පැහැදිලි වන්නේ දුරකථන භාවිතයේ ලොකුම වටිනාකම ලෙස අඩු ආදායම්ලාභීන් සලකන්නේ මානව සබඳතා පවත්වා ගැනීම හා හදිසියකදී සම්බන්ධ වීමේ හැකියාවයි. ආර්ථික හා ජීවනෝපාය වාසි එන්නේ ප‍්‍රමුඛත්වයෙන් ඉන් පසුවයි.

http://lirneasia.net/projects/2010-12-research-program/teleusebop4/

සන්නිවේදනයට ඇති අයිතිය සියළු මානවයන්ගේ මූලික අයිතියක් බවට ආයතන හා විද්වත් කණ්ඩායම් පිළිගෙන තිබෙනවා. උදාහාරණයකට ලෝක රතු කුරුස හා රතු අඩසඳ සංවිධානවල සම්මේලෙනය (IFRC) ඔවුන් වාර්ෂිකව නිකුත් කරන ලෝක ආපදා වාර්තාවේ 2005 කලාපයේ (World Disasters Report 2005) තර්ක කළේ හදිසි අවස්ථා හා ආපදාවලට ලක්වූ ජනයාට ආහාර පාන, තාවකාලික නිවාස හා බෙහෙත් මෙන්ම සන්නිවේදන පහසුකම් ද අත්‍යාවශ්‍ය සහන සේවාවක් ලෙස සැලකිය යුතු බවයි.

wdr2005-coverවිශේෂයෙන්ම ආපදාවකදී හෝ යුද්ධයකදී පවුල් විසිරෙනවා. පවුලේ සාමාජිකයන් හෝ නෑ හිතමිතුරන්ට කුමක් සිදුවී දැයි නොදැන එයින් බලවත් සේ කම්පාවට හා දුකට පත් වන සංඛ්‍යාව ඉහළයි. ‘‘විපතට පත්වූ ජනයාට කෑම බීම, බෙහෙත් හා තාවකාලික නවාතැන් තරමටම තොරතුරු සන්නිවේදනය ද වැදගත් වනවා. කලට වේලාවට ලැබෙන තොරතුරු නිසා ජීවිත හා ජීවිකා බේරා ගත හැකිවාක් මෙන්ම කැළඹුණු සිත් සතන් සන්සුන් කළ හැකියි. මේ නිසා තොරතුරු හා ඒවායේ නිසි සන්නිවේදනයත්, විපතට පත් වූවන්ට සන්නිවේදන පහසුකම් සැලසීමත් ආපදාවන්ට ප‍්‍රතිචාර දැක්වීමේ එක් අනිවාර්ය අංගයක් විය යුතුයි’’ IFRC කියා සිටියා.

http://www.ifrc.org/Global/Publications/disasters/WDR/69001-WDR2005-english-LR.pdf

මීට පරම්පරාවකට දෙකකට පෙර තිබූ යථාර්ථය දැන් වෙනස්. අපේ රටේ වුවත් බොහෝ පවුල්වල සාමාජිකයෝ නැතිනම් නෑ හිතමිතුරෝ රටේ හා ලෝකයේ දුර තැන්වල පදිංචිව සිටිනවා. රැකියා කරනවා. අපේ ජනගහනය මිලියන් 20.5ක් වන විට (2012 සංගණනය හා එතැන් සිට ප‍්‍රක්‍ෂෙපනය) විදේශගත ලාංකිකයන් ගණන මිලියන් 2ක් පමණ වනවා. මේ දෙපිරිස අතර සන්නිවේදන තාක්‍ෂණයන් (විශේෂයෙන් ජංගම දුරකථන හා පරිගණක Skype) හරහා කැරෙන නිරතුරු කථාබහක් තිබෙනවා. එම පහසුකම් ලැබීමේ හැකියාව වැඩි වී වියදම අඩු වී තිබෙනවා.

මේ පසුබිම තුළ සන්නිවේදනය මූලික මානව අවශ්‍යතාවක් ලෙස පිළිගැනීම ප‍්‍රායෝගිකයි. එසේම එය සාක්‍ෂාත් කිරීමට රටට අමතර ආයෝජන දැරීමට සිදු වන්නේ නැහැ. අවශ්‍ය වන්නේ 1960-1970 දශකවල පැවති යථාර්ථයට අනුගත වූ මූලික අවශ්‍යතා පිළිබඳ පරණ සංකල්ප නැවත විමසා බලා 21 සියවසට අලූත් කර ගැනීමේ බුද්ධිමය විවෘත බව පමණයි.

See also:

30 March 2014: සිවුමංසල කොලූගැටයා #162: ජංගම දුරකථනයට තවමත් ඔරවන අපේ හනමිටිකාරයෝ

Posted in Africa, Arthur C Clarke, Broadcasting, Communicating development, Communicating disasters, Communicating research, Digital Divide, Disasters, Global South, Human rights, Humanitarian action, Humanitarian emergencies, hunger, ICT, Internet, New media, Poverty, Ravaya Column, Sanitation, Sri Lanka, Sustainable Development, Television, United Nations. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . Leave a Comment »

සිවුමංසල කොලූගැටයා #151: පිටසක්වලයාගේ අකරතැබ්බය: සත්‍යජිත් රේ නොහැදු චිත‍්‍රපටයේ කථාව – 2

Indian filmmaker Satyajit Ray (1921-1992) was keen to make India’s first science fiction movie, and in 1967 wrote a script for a film to be called The Alien, based on his own short story “Bankubabur Bandhu” (“Banku Babu’s Friend”). The story was about an alien spaceship that landed in rural Bengal, carrying a highly intelligent and friendly alien being with magical powers.

Ray’s friend Arthur C Clarke recommended and introduced him to Hollywood, but the film never reached production. In this week’s Ravaya column (in Sinhala), I continue the story of what happened to The Alien.

Thanks to writer and film historian Richard Boyle for sharing excerpts from his as-yet unpublished manuscript on this topic, which is one of the greatest might-have-beens in the history of the cinema.

See Part 1: සිවුමංසල කොලූගැටයා #150: සත්‍යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා

L to R - Satyajit Ray, Arthur C Clarke, Mike Wilson

L to R – Satyajit Ray, Arthur C Clarke, Mike Wilson

ලෝක පූජිත ඉන්දියානු සිනමාකරු සත්‍යජිත් රේ (1921 – 1992) දශක ගණනක් සිහින මැවුවත් හදන්නට බැරි වූ පිටසක්වලයා (The Alien) චිත‍්‍රපටය ගැන අප ගිය සතියේ කථා කළා. (1979දී රිඞ්ලි ස්කොට් නම් බි‍්‍රතාන්‍ය සිනමාකරුවා තැනූ Alien චිත‍්‍රපටය හා එහි අනුගාමී කෘතීන් අපේ කථාවට කිසිසේත් සම්බන්ධයක් නැහැ.)

1961දී ළමා සඟරාවකට ප‍්‍රබන්ධ කථාවක් ලියමින් පිටසක්වලින් පිටිසර බෙංගාලි ගමකට පැමිණෙන අහිංසක හා මිත‍්‍රශීලී ජීවියකු ගැන සත්‍යජිත් රේ පරිකල්පනය කළා. සම්භාවනීය විද්‍යා ප‍්‍රබන්ධ රචක ආතර් සී. ක්ලාක්ගේ යෝජනාවකට අනුව 1967දී ඔහු එය චිත‍්‍රපට තිර රචනයක් ලෙස කෙටුම්පත් කළා. එය ජාත්‍යන්තර නිෂ්පාදනයක් ලෙස කිරීමට හොලිවුඞ් චිත‍්‍රාගාර ආයෝජක මට්ටමින් සම්බන්ධ කරන්නට ක්ලාක්ගේ නිර්දේශය මත මැදිහත් වූයේ ඔහුගේ මිතුරා මයික් විල්සන් (1934-1995).

එහෙත් රේ හා විල්සන් සහයෝගිතාව සාර්ථක නොවූ සැටිත්, පිටසක්වලයා චිත‍්‍රපටය කිසි දිනෙක බිහි නොවූ වගත් අප විස්තර කළා.

1967දී තිර රචනය කළ The Alien කථාව, 1982දී ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ E.T. the Extra-Terrestrial චිත‍්‍රපටයේ කථාවට බොහෝ සෙයින් සමාන වීම අහම්බයක් ද?

ප‍්‍රබන්ධ සාහිත්‍යයේ මෙන් ම චිත‍්‍රපට ඉතිහාසයේත් එක සමාන කථා වස්තූන් රැගත් නිර්මාණ එකිනෙකා නොහඳුනන නිර්මාණකරුවන් විසින් ස්වාධීනව බිහි කළ තවත් අවස්ථා හා උදාහරණ තිබෙනවා. එහිදී සැබැවින් ම අදහස් කාන්දුවීමක් සිදු වූවා යයි තහවුරු කිරීම ඉතා අසීරුයි.
‘නිර්මාණ කොල්ලය’ බඳු චෝදනාත්මක යෙදුමක් මෙබඳු සිද්ධීන්ට යොදා ගන්නට තරම් ප‍්‍රබල සාක්‍ෂි නැහැ. සත්‍යජිත් රේ පවා කිසි විටෙක ස්පිල්බර්ග්ට සෘජුව අභියෝග කළේ නැහැ. එහෙත් එබන්දක් සිදු වුණා දෝ කියන සැකය 1992දී මිය යන තුරු ම රේ ගේ සිතේ තිබූ බව ඔහුගේ සමීපතයෝ වාර්තා කරනවා.

බොහෝ චිත‍්‍රපටවල වීරයකු හා දුෂ්ටයකු හමුවනවා. එහෙත් සැබෑ ජීවිතයේ සිද්ධීන් ඊට වඩා සංකීර්ණයි. මේ සිදුවීම් මාලාවේ ‘දුෂ්ටයා’ මයික් විල්සන් ද?

Satyajit Ray's drawing of the friendly Alien, sketched for 1967 draft screenplay & ET in 1982

Satyajit Ray’s drawing of the friendly Alien, sketched for 1967 draft screenplay & ET in 1982

මේ ප‍්‍රශ්නය මා බි‍්‍රතාන්‍ය ජාතික ලේඛක රිචඞ් බොයිල්ට යොමු කළා. 1974 සිට මෙරට පදිංචිව සිටින රිචඞ් කලක් (බි‍්‍රතාන්‍ය) චිත‍්‍රපට කර්මාන්තයේ නියැලී සිට දැන් පර්යේෂණාත්මක ලේඛකයකු ලෙස කි‍්‍රයා කරනවා. සිනමා ඉතිහාසය ගැන විශෙෂ උනන්දුවක් දක්වන ඔහු මයික් විල්සන් සමීපව ඇසුරු කළා පමණක් නොව මයික්ගේ පෞද්ගලික ලිපි ලේඛන සියල්ලේ වත්මන් භාරකරු ද වනවා.

රේ – ක්ලාක් – විල්සන් ති‍්‍රත්වය අතර හුවමාරු වූ ලියුම් හා වෙනත් මූලාශ‍්‍ර රැසක් මත පදනම් වී The Alien චිත‍්‍රපටය බිහි නොවීමේ පසුබිම් කථාව ඔහු කෙටුම්පත් කර තිබෙනවා. තවමත් ප‍්‍රකාශිත නොවූ ඒ පොතේ උධෘතයන් ගණනාවක් රිචඞ් මට කියැවීමට ලබා දුන්නා. සිද්ධිදාමය ගැන මැදහත්ව විමර්ශනය කරන්නට ඔහු වෙර දරා ඇති බව පෙනෙනවා.

රේ මුලින් සැළසුම් කර තිබුණේ පිටසක්වලයා චිත‍්‍රපටය ඉන්දියානු පේ‍්‍රක්‍ෂකයන්ට පමණක් ඉලක්ක කොට බෙංගාලි බසින් නිර්මාණය කරන්න. ඔහු එකල ඉතා සීමිත මුදල් ආයෝජනයකින් කලාත්මක සිනමා නිර්මාණ කිරීම ප‍්‍රගුණ කොට සිටියා. විද්‍යා ප‍්‍රබන්ධ කියැවීමට හා ලිවීමට ලැදි ඔහුට ඉන්දියාවේ මුල් ම විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය බිහි කිරීමේ අරමුණ ද තිබුණා.

ආතර් සී. ක්ලාක් ගැන රේට ඉමහත් ගෞරවයක් හා ලැදියාවක් තිබුණා. ක්ලාක්ගේ යෝජනාව පිළි ගනිමින් මෙය ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදනයක් බවට පත් කිරීමට රේ ඉතසිතින් කැමති වූයේ එනිසායි. එසේ ම අමුතු චරිතගති තිබුණත් මයික් විල්සන් සමඟ දෙතුන් වසරක් රේ ගනුදෙනු කළේ ද මයික්ව හඳුන්වා දුන්නේ ක්ලාක් නිසායි.

‘මයික් විල්සන්ට චිත්තාකර්ෂණීය පෞරුෂයක් තිබුණා. ඔහු නිර්මාණශීලීයි. කාර්යශූරයි. එහෙත් ඔහුට ම ආවේණික කි‍්‍රයා කලාපයක් තිබුණා. සමහර වෙලාවට සුහදව දැඩි බලපෑම් කරන්නට ඔහු සමතෙක්’’ යයි රේ ලියා තිබෙනවා.

තම චිත‍්‍රපටයට අවශ්‍ය හොලිවුඞ් සම්බන්ධීකරණයත්, නම දිනූ අමෙරිකානු හා බි‍්‍රතාන්‍ය නඵවන් සොයා යාමේ කාර්යයන් කළෙ මයික් බව රේ නොවලහා කියනවා. එහෙත් අද මෙන් ඊමේල් හා ක්ෂණික සන්නිවේදන නොතිබූ ඒ යුගයේ ටෙලෙක්ස් කේබල් හා ගුවන් තැපැල් මගින් රටවල් අතර සහයෝගිතා ව්‍යාපෘති කරද්දී වැරදි වැටහීම් හා මතගැටුම් ඇති වීම පුදුමයක් නොවෙයි.

1967 සති කිහිපයක් පුරා රේ විසින් රචිත පිටසක්වලයා දළ තිර රචනය රැගෙන මයික් හොලිවුඞ්පුරයට ගියා. ඔවුන් දෙදෙනා ම වෙනුවෙන් ව්‍යාපාරික මට්ටමින් ආයෝජනයන් ගැන සාකච්ඡා කරන්නට රේ තමාට නීතිමය බලය පැවරූ බව මයික් කීව ද පසු කලෙක රේ එය සනාථ කළේ නැහැ.

රිචඞ් බොයිල් කියන හැටියට The Alien තිරරචනය ඉන්දියාවේ දී බුද්ධිමය අයිතිය ලියාපදිංචි කිරීම රේට අතපසු වී තිබෙනවා. එය හොලිවුඞ් ගෙන ගිය මයික්, තමන් දෙදෙනාගේ ම නමින් එහි බුද්ධිමය අයිතිය අමෙරිකාවේ ලියාපදිංචි කළා. එසේ කළේ වැඩි හොඳට බවත්, වෙනත් කිසිවකු ඒ අදහස් යොදා චිත‍්‍රපටයක් හැදීම වැළැක්වීමට බවත් මයික් කියා සිටියා. එහෙත් තිර රචනයේ 90%ක් තමාගේ දායකත්වය තිබූ නිසා මේ හවුල් අයිතිය අසාධාරණ හා වැරදි බව රේ ගේ මතය වූවා. දෙදෙනා අතර විරසකයට මූලික සාධකයක් වූයේ මෙයයි.

ස්ටැන්ලි කුබ්රික් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයාගේ නීතිඥයා වූ ලූයී බ්ලාවු (Louis Blau) හරහා ඉන්දුස් චිත‍්‍රපට (Indus Productions) නම් නව සමාගමක් ඇරැඹූ මයික්, කොලම්බියා සමාගම සමග සියඵ ගනුදෙනු එම සමාගම හරහා කිරීමට උපදෙස් දුන්නා. මේ විධිවිධානය ද රේ ගේ නොසතුටට හේතු වූ බව පෙනෙනවා.

රේ ඊට පෙර හොලිවුඞ් සමග එතරම් ගනුදෙනු කර තිබුණේ නැහැ. 1958දී පාතර් පංචාලි අමෙරිකාවේ පෙන්වන විට කෙටි සංචාරයකට හොලිවුඞ් ගියත් එහි සටකපටකම් හා අන්තරායන් ගැන ඔහුට අත්දැකීම් තිබුණේ ද නැහැ. රිචඞ් බොයිල් කියන්නේ හොලිවුඞ් අරභයා සත්‍යජිත් රේ අහිංසකයකු වූ බවයි.

පිටසක්වලයා ගැන සැළසුම් කරද්දී කොලම්බියා සමාගමේ වියදමෙන් හොලිවුඞ්, නිව්යෝර්ක් හා ලන්ඩන් නුවර සංචාරය කරන්නත්, ඉහළම පෙළේ හෝටල්වල නවාතැන් ගන්නත් රේ හා මයික්ට හැකි වුණා. රේ මේ අමුතු ලෝකය දෙස බැලූවේ උපේක්‍ෂා සහගතවයි.

1967 ජූනි 12දා හොලිවූඞ් පුවත් සඟරාව වන Vanity Fair මහ ඉහළින් වාර්තා කළේ සම්මානනීය ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රේ හා නිෂ්පාදක මයිකල් විල්සන් පිටසක්වල ජීවියකු ගැන ජාත්‍යන්තර චිත‍්‍රපට නිෂ්පාදනයක් අරඹන බවයි. පීටර් සෙලර්ස් ප‍්‍රධාන චරිතය රඟන එහි රූ ගත කිරීම් බහුතරයක් බෙංගලායේ සිදුවනූ ඇති බවත්, ඇස්තමේන්තුගත වියදම ඩොලර් මිලියන් 1.3ක් බවත් එහි කියැවුණා. මෙය ඒ දක්වා රේට තිබුණු චිත‍්‍රපට අරමුදල්වලට වඩා බෙහෙවින් වැඩි මුදලක්.

එහෙත් රේ හා මයික් නොපෑහීම නිසා චිත‍්‍රපටය කිසි දිනෙක රූ ගත කිරීම් අදිරයට ළගා වුණේ නැහැ. මේ අවාසනාවන්ත තත්වය ගැන ඇසූ ආතර් සී. ක්ලාක්, රේ හා මයික් අතර සංහිදියාවක් ඇති කරන්නට බොහෝ උත්සාහ කළත් එය අසාර්ථක වුණා.

‘මයික් හා මා එකට වැඩ කරද්දී ඔහුගේ ශෛලිය මට ඇල්ලූවේ නැහැ. ලන්ඩනයේ අප සිටි එක් අවස්ථාවක චිත‍්‍රපට සමාගම සමඟ අප කරන සියඵ කථාබහ හීන්සීරුවේ පටිගත කරන්නට මයික් කි‍්‍රයා කළා. මේ කර්මාන්තයේ කිසිවකු කට වචනයට විශ්වාස කළ නොහැකි යයි මයික් තර්ක කළා’’ රේ ආවර්ජනය කොට තිබෙනවා.

රේ ඉතා ඉවසිලිමත් වූ චරිතයක්. ලෙහෙසියෙන් කලබල නොවන හා තරහා නොයන කෙනෙක්. එහෙත් මයික් සමග වැඩ කරන්නට අමාරු වූ විට ටිකෙන් ටික ඔහු දුරස්ථ වුණා. මේ කාලයේ රේ තව දුරටත් තමාගේ බෙංගාලි චිත‍්‍රපට අධ්‍යක්‍ෂණය කිරීම නතර කළෙ නැහැ. 1967දී චිරියාකානා Chiriyakhana චිත‍්‍රපටය නිකුත් වූ අතර ඊළඟ බෙංගාලි චිත‍්‍රපයට මුදල් සෙවීමට ද ඔහු වෙහෙසෙමින් සිටියා.

1968 අගෝස්තු 15දා රේ ක්ලාක්ට ලියුමක් ලියමින් The Alien ව්‍යාපෘතිය ඉදිරියට යන්නට නම් මයික් එයින් ගෞරවනීය ලෙස ඉවත් විය යුතු යයි කාරුණික ඉල්ලීමක් කළා. ‘‘මයික් දක්‍ෂයෙක්. එමෙන්ම උද්‍යොගශීලීයි. එහෙත් අප දෙදෙනා බෙහෙවින් වෙනස් චරිත. ඔහු නිෂ්පාදකයා ලෙස තබා ගෙන මේ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කරන්නට මට බැහැ. මා චිත‍්‍රපටය තැනූ පසු මයික්ට විධායක නිෂ්පාදක ලෙස නාමාවලියේ පිළිගැනීමක් දීමට මා සූදානම්. එහෙත් මගේ පාඩුවේ මේ චිත‍්‍රපටය හදන්නට නම් මයික් නැතිව වැඬේ පටන්ගත යුතුයි.’’

දෙපාර්ශවය එකඟ කර ගෙන ව්‍යාපෘතිය ද බේරා ගන්නට ක්ලාක්ටත් නොහැකි වුණා. 1968 අගෝස්තු 28දා ක්ලාක් රේට ලියුමක් ලියමින් කීවේ: ‘කවුද හරි කවුද වැරදි කියා වාද කරමින් නොසිට මේ අසිරිමත් කථාව චිත‍්‍රපටයකට නැංවිය හැකි නම් කෙතරම් අපූරු ද? එයට සුදුසු පසුබිමක් ඇති කරන්නට මා තවමත් උත්සාහ කරනවා. එහෙත් මට කළ හැකි දේ සීමිතයි.’

සත්‍යජිත් රේ චරිතාපදානයක් ලියූ බි‍්‍රතාන්‍ය ලේඛක ඇන්ඩෘ රොබින්සන් කියන්නේ පිටසක්වලයා කථාව චිත‍්‍රපටයකට නැගීමේ අදහස 1970 දශකය පුරා ම පාහේ රේගේ හිතේ තිබුණු බවයි. ඒ ගැන විටින් විට ඔහු කොලම්බියා චිත‍්‍රපට සමාගම සමග කථා කළත් අදහස යළි පණ ගැන්වීමට නොහැකි වුවා. ඔහු එය අත්හැර දැම්මේ Close Encounters of the Third Kind (1977) හා ET (1982) නම් ස්ටීවන් ස්පිල්බර්ග් චිත‍්‍රපට දෙක ලෝකය කුල්මත් කළ පසුවයි.

සත්‍යජිත් රේ මෙන් ම ස්ටීවන් ස්පිල්බර්ග් ද ඇසුරු කළ ක්ලාක්, මේ දෙදෙනා අතර නිර්මාණ කොල්ලයක් වී යයි පිළි ගත්තේ නැහැ. පිටසක්වල ජීවීන් මොලොව ඒම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ ප‍්‍රබල තේමාවක් බැවින් මෙබඳු අවිහිංසක පිටසක්වලයකු ගැන කථාවක් ස්වාධීනව මේ නිර්මාණකරුවන් දෙදෙනාට පරිකල්පනය වීම පුදුමයක් නොවේ යයි ක්ලාක් ලියා තිබෙනවා.

ක්ලාක් හා රේ මිතුදම දිගට ම පැවතුණා. The Alien ගැන ශෝකබරිතව ආවර්ජනා ලියන විට පවා රේ කිසි විටෙක ක්ලාක්ට දොශාරෝපණයක් කළේ නැහැ.

කල්කතාවෙන් පළ කැරෙන The Statesman පත‍්‍රයේ 1980 ඔක්තෝබර් 5 වනදා ‘පිටසක්වලයාගේ අකරතැබ්බය’ (Ordeals of the Alien) නමින් ලිපියක් ලියූ රේ තමාගේ අමිහිරි අත්දැකීම ලේඛනගත කළා. ඒ වන විට ස්වාමි සිවකල්කි නමින් හින්දු පූජකයකු බවට පත්ව සිටි මයික් විල්සන් එය කියවා කර්තෘට ලියුමක් ලියමින් තමාගේ පැත්ත විස්තර කළා.

එම ලියුම හරහා මයික් කීවේ තමා නිර්මාණ හොරකු නොවූ බවත්, චිත‍්‍රපටය නිපදවීමේ නොතින් ආසාව හා උද්‍යොගය මත කටයුතු කළ බවත්. එසේ ම මහා සිනමාකරුවාව හොලිවුඞ් කපටියන්ගෙන් බේරා ගන්නට තමා යම් ආරක්‍ෂණ පියවර ගත් බවට මයික් තර්ක කළා.

මයික් සිය ලියුම අවසන් කළේ මෙසේයි: ‘රේ හා මා අතර මතභේද තිබූ බව සැබෑ නමුත් ඔහු ලෝකයේ ශෙෂ්ඨතම සිනමාකරුවෙක්. මා ඉන්දියාවට උදක් ම කියන්නේ ඔහුට රිසි පරිදි චිත‍්‍රපට නිර්මාණය කරන්නට දේශීය මට්ටමින් සියඵ සම්පත් හා පහසුකම් ලබා දෙන්න කියායි.’

රේගේ සිනමා විශිෂ්ඨත්වය ලොවට පෙන්නුම් කරන්නට හොලිවුඞ් සමාගමක පිහිට අවශ්‍ය වූයේ නැහැ. බටහිර චිත‍්‍රපට නිෂ්පාදනයට වෙන් කැරෙන මුදල් හා තාක්‍ෂණ පහසුකම් නැතිවත් සදාදරණීය සිනමා කෘති රැසක් (වෘතාන්ත චිත‍්‍රපට 29ක්, වාර්තා චිත‍්‍රපට 5ක් හා කෙටි චිත‍්‍රපට 2ක්) ඔහු අධ්‍යක්‍ෂණය කළා.

(විශෙෂ ස්තූතිය: රිචඞ් බොයිල්)

සිවුමංසල කොලූගැටයා #150: සත්‍යජිත් රේගේ එළි නොදුටු සිනමා සිහිනය – පිටසක්වලයා

Renowned Indian filmmaker Satyajit Ray (1921-1992) directed 36 films, including feature films, documentaries and shorts. He was also a fiction writer, publisher, illustrator, calligrapher, graphic designer and film critic.

In 1967, Ray wrote a script for a film to be called The Alien, based on his own short story “Bankubabur Bandhu” (“Banku Babu’s Friend”) which had appeared in Sandesh, the Ray family magazine, in 1962. The story was about an alien spaceship that landed in a pond in rural Bengal, carrying a highly intelligent and friendly alien being with magical powers and best capable of interacting with children.

Ray was keen to collaborate with Hollywood for making this movie that required special effects and a higher budget than his other movies. His friend Arthur C Clarke recommended and introduced him to Hollywood, but the film never reached production. Years later, when Steven Spielberg made ET, Ray and his friends noticed remarkable similarities between the two stories. Coincidence?

In this week’s Ravaya column (in Sinhala), I relate the story behind the story of what happened to The Alien. This is reconstructed from Ray’s own published account, Ordeals of The Alien. I’m grateful to writer and film historian Richard Boyle for sharing excerpts from his as-yet unpublished manuscript on this topic, one of the greatest might-have-beens in the history of the cinema.

See also: The Alien from India: Satyajit Ray’s Hollywood Journey

Satyajit Ray (1921-1992) Photo courtesy http://seudolab.com

Satyajit Ray (1921-1992) Photo courtesy http://seudolab.com

ඉන්දීය සිනමාකරු සත්‍යජිත් රේ (1921 – 1992) ලොව පහළ වූ විශිෂ්ඨතම චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකු ලෙස අවිවාදයෙන් පිළි ගැනෙනවා. (අපේ බොහෝ දෙනකු රායි වශයෙන් උච්චාරණය කළත් ඔහුගේ පෙළපත් නම ඇත්තට ම රේ බව මා බෙංගාලි මිතුරියක් හරහා තහවුරු කර ගත්තා.)

1955දී පාතර් පංචාලි චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණයෙන් ඇරැඹුණු ඔහුගේ සිනමා දිවිය වෘතාන්ත චිත‍්‍රපට 29ක්, වාර්තා චිත‍්‍රපට 5ක් හා කෙටි චිත‍්‍රපට 2ක් ලෙස ඔහුගේ ජීවිතය අවසානය තෙක් ම විහිදුණා. චිත‍්‍රපට 36ක් නිර්මාණය කිරීමට අමතරව ඔහු ප‍්‍රබන්ධ කථා රචකයකු, චිත‍්‍ර ශිල්පියකු හා සඟරා කතුවරයකු ලෙස ද කලා ක්‍ෂෙත‍්‍ර ගණනාවක හපන්කම් කළා.

අද අප කථා කරන්නේ රේ නොහැදු චිත‍්‍රපටයක් වූ The Alien කථා වස්තුව හා ඒ වටා ඇති වූ සිදුවීම් මාලාව ගැනයි. චිත‍්‍රපට ඉතිහාසයේ බිහි නොවූ අනගි නිර්මාණ අතර මේ කථාවත් තිබෙනවා. එයට පසුබිම් වූ හැමදෙනා ම දැන් ජීවතුන් අතර නැහැ.

රේ සංදේශ් නම් ළමා සඟරාවට ලියූ මුල් ම ප‍්‍රබන්ධය වූයේ ‘බන්කුබාබු බන්දු’ (Bankubabur Bandhu, බන්කු බාබුගේ මිතුරා) නම් කථාවයි. 1961දී ලියූ එහි තේමාව වූයේ අප‍්‍රකට බෙංගාලි ගම්මානයකට අහම්බෙන් පැමිණෙන, අහිංසක පිටසක්වල ජීවියකු එම ගමෙහි වෙසෙන බන්කු බාබු නම් ගැමියකු සමග මිතුරු වන සැටියි.

රේට චිත‍්‍ර ශිල්පයේ ද කුසලතා තිබූ නිසා ඔහු එම කථාව සමග පළ කිරීමට රේඛා චිත‍්‍රයක් නිර්මාණය කළා. එයින් දැක්වෙන්නේ ලොකු හිසක් හා සුවිසල් ඇස් ඇති, එහෙත් බැලූ බැල්මට ම මිත‍්‍රශීලී බවක් පෙනෙන පිටසක්වල ජීවියෙක්. මේ රූපකාය එවකට බටහිර ලෝකයේ විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ හා ජනපි‍්‍රය සංස්කෘතියේ ප‍්‍රචලිත වූ ආකෘතියක්.

නමුත් බහුතරයක් විද්‍යා ප‍්‍රබන්ධවල පිටසක්වල ජිවීන් නියෝජනය වූයේ ආක‍්‍රමණශීලී, ප‍්‍රචණ්ඩ හා බිහිසුණු ආකාරයටයි. මේ ප‍්‍රවණතාවෙන් මුඵමනින් ම වෙනස් වූ අවිහිංසකත්වයක් තම කථාවේ ජීවියාට රේ ලබා දුන්නේ ඔහුගේ පෙරදිග දර්ශනය නිසා ද? නැත්නම් නිර්මාණශීලී කථා පරාසය තුළ අඵත් හා වෙනස් යමක් කිරීමේ අවශ්‍යතාවය හදුනා ගත් නිසා ද?

අපට දැන් කළ හැක්කේ මේ ගැන අනුමාන කිරීම පමණයි. නිර්මාණයේ පසුබිම ගැන රේ එතරම් විස්තරාත්මකව ලියා නැහැ.

1960-70 දශකවල නිතර ඉන්දියාවට ආගිය හා ඉන්දීය විද්වතුන් හා කලාකරුවන් සමීපව ඇසුරු කළ ආතර් සී. ක්ලාක්, සත්‍යජිත් රේ දැන හඳුනා ගත්තා. ඉන්දීය ප‍්‍රභූ පන්තියේ සංවරශීලී බව අගය කළ ක්ලාක් වරක් කීවේ ඉංගී‍්‍රසි බස ඉතා මනරම් ලෙසින් හැසිරවීමට හා උච්චාරණය කිරීමට හැකි අය අතුරෙන් රේට ලොව මුල් තැනක් ලැබෙන බවයි.

රේගේ පිටසක්වලයා කථාව කියවා මහත් පැහැදීමට පත් ක්ලාක්, එය හොඳ වෘතාන්ත චිත‍්‍රපටයකට කදිම කථා වස්තුවක් බවත් ඒ සඳහා හොලිවුඩ මට්ටමින් ආයෝජනයක් සොයා ගත හැකි බවත් තරයේ විශ්වාස කළා. ඒ වන විට සිනමා ලෝකයේ සම්මානීය තත්ත්වයට රේ පත්ව සිටියත් හොලිවුඞ් සමග ගනුදෙනු කර තිබුණේ නැහැ.

මේ කාලේ ක්ලාක් MGM සමාගම නිෂ්පාදනය කරන අභ්‍යවකාශ ගවේෂණයට සම්බන්ධ අමුතු ම තාලේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක් ලියා තිරයට නැංවීමට බි‍්‍රතාන්‍ය චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ස්ටැන්ලි කුබ්රික් සමග සමීපව වැඩ කරමින් සිටියා. 1964-68 වකවානුවේ නිර්මාණය කරනු ලදුව 1968දී 2001: A Space Odyssey නමින් ප‍්‍රදර්ශනයට ආවේ ඒ චිත‍්‍රපටයයි.

මේ ප‍්‍රයත්නය නිසා තමන් කාර්යබහුල වූ බැවින් රේ හා හොලිවුඞ් අතර සම්බන්ධීකරණය කිරීමේ වගකීම ක්ලාක් තම සමීප මිතුරා වූ මයික් විල්සන්ට පැවරුවා. ක්ලාක් සමග ම 1956දී ලංකාවට පැමිණ පදිංචි වූ බි‍්‍රතාන්‍ය ජාතික මයික් ඒ වන විට රන්මුතුදුව ඇතුඵ සිංහල චිත‍්‍රපට කිහිපයක් අධ්‍යක්‍ෂණය කොට නමක් දිනා ගෙන සිටියා.

ක්ලාක්ගේ මඟ පාදා දීම අනුව මයික් විල්සන් හා සත්‍යජිත් රේ පැරිස් නුවරදී මුල් වරට මුණ ගැසී The Alien චිත‍්‍රපටයට නැංවීම ගැන කථා කළා. ඒ 1967 අපේ‍්‍රල් මාසයේ. එහි ප‍්‍රධාන චරිතය රඟපෑමට ප‍්‍රකට බි‍්‍රතාන්‍ය නඵ පීටර් සෙලර්ස් තෝරා ගෙන ඒ ගැන සෙලර්ස් සමග පැරිසියේදී සාකච්ඡා කළ සැටි රේ පසු කලෙක විස්තරාත්මකව ලියා තැබුවා. http://tiny.cc/SRTA

Illustration by Satyajit Ray for his original 1961 story Bankubabur Bandhu

Illustration by Satyajit Ray for his original 1961 story Bankubabur Bandhu

ඒ මුල් හමු වීම සිදුවන විට රේගේ කිසිදු චිත‍්‍රපටයක් සෙලර්ස් දැක තිබුණේ නැහැ. මේ අඩුව තරමකට හෝ පුරවන්නට මයික් එවේලේ ම රේගේ චිත‍්‍රපට බෙදා හරින ලන්ඩන් සමාගමට කථා කළ බවත්, පසු දින වන විට චාරුලතා චිත‍්‍රපටයේ පිටපතක් ඔවුන් කඩිමුඩියේ පැරිසියට එවූ බවත් රේ කියනවා.

රේ, සෙලර්ස් හා මයික් තිදෙනා කුඩා පැරිස් සිනමාහලක මෙය නැරඹූ පසු සෙලර්ස් කියා ඇත්තේ ‘ඔබේ ඉන්දීය නඵවන් චරිතාංග නිරූපනයට අති දක්‍ෂයි. ඉතින් ඔබේ චිත‍්‍රපටයට මා කුමට ද?’ එහෙත් ලොව පුරා ජනපි‍්‍රය වූ සෙලර්ස් වැනි දක්‍ෂ නඵවකු සමග වැඩ කිරීමේ වාසිය රේ දැන සිටියා.

පැරිසියෙන් පසු ලන්ඩනයට ගිය රේ, තමා විසින් චිත‍්‍රපට අධ්‍යක්‍ෂ ස්ටැන්ලි කුබ්රික්ට හා රොමන් පොලාන්ස්කිට හඳුන්වා දුන් සැටි ක්ලාක් එක් අතීතාවර්ජනයක ලියා තිබෙනවා.

‘ස්ටැන්ලි ලෙහෙසියෙන් තවත් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයකුගේ ගුණ ගයන්නේ නැහැ. එහෙත් රේ ගැන ඉතා ඉහළින් හා උද්‍යොගයෙන් කථා කළා.’ ක්ලාක් කියනවා. පෙරදිග හා අපරදිග යා කරන පාලමක් හැටියට ක්ලාක් මෙහිදීත් කි‍්‍රයා කොට තිබෙනවා.

Mike Wilson

Mike Wilson

එහෙත් මයික් හා රේ සංයෝගය නම් හරි ගියේ නැහැ. මයික් දක්ෂයකු හා චිත්තාකර්ෂණීය චරිතයකින් හෙබි කෙනකු වූවත් මුල පටන් ම තමාට ඔහු ගැන යම් කුකුසක් තිබූ බව රේ පසුව කියා සිටියා. මයික් රේට කීවේ The Alien තිර රචනය ලියන්නට තමාත් හවුල් විය යුතු බවත්, ඒ වෙනුවෙන් මේ ජ්‍යෙෂ්ඨයාට  ඕනෑ ම ආවතේව සහායක් දක්වමින් අසීමිත කාලයක් වුව ද කල්කතාවේ රැදී සිටීමට තමා සූදානම් බවත්. අන්තිමේදී තිර රචන කෙටුම්පතට මයික් සැළකිය යුතු දායකත්වයක් නොදුන් බව රේගේ මතයයි.

1967 ජුනි මාසයේ රේට හොලිවුඞ් පුරයට යන්නට මයික් සියඵ විධිවිධාන යෙදුවා. එහි පැමිණි මොහොතේ පටන් ප‍්‍රභූ (VIP) මට්ටමෙන් සැළකිලි දෙන්නටත්, අමෙරිකානු චිත‍්‍රපට නිෂ්පාදකයන් හා චිත‍්‍රාගාර සමග සාකච්ඡුා ලබා ගන්නටත් මයික් කි‍්‍රයා කළා.

ප‍්‍රමුඛතම චිත‍්‍රාගාර සමාගමක් වූ කොළම්බියා චිත‍්‍රපට සමාගම Columbia Pictures රේ අධ්‍යක්‍ෂවරයා ලෙස තබා ගෙන The Alien නිපදවන්නට කැමැති වුණා. ඒ සඳහා ජාත්‍යන්තර මට්ටමේ ආයෝජනයක් කරන්නට ද ඔවුන් සුදානම් වුණා. ආසියානු චිත‍්‍රපටකරුවන්ට අද මෙන් හොලිවුඞ් පුරයේ දොර ලෙහෙසියෙන් විවර නොවූ ඒ යුගයේ මෙය අසාමාන්‍ය ගණයේ සිදුවීමක්.

Ray's drawing of the friendly Alien, sketched for 1967 draft screenplay of The Alien film

Ray’s drawing of the friendly Alien, sketched for 1967 draft screenplay of The Alien film

එහෙත් එතැන් පටන් ව්‍යාපෘතිය හරිහැටි පෙරට ගියේ නැහැ. එයට හේතු හරියට ම දත් සියඵ දෙනා දැන් අප අතර නැහැ. රේ හා මයික් මේ ගැන වෙනස් ආවර්ජනා ලියා තැබුවා. මෙය කවුද හරි – කවුද වැරදි යන්න අපට තීරණය කළ හැකි තරම් ලෙහෙසි සිද්ධිදාමයක් නොවෙයි.

තිර රචනය ලිවීමේදී රේ හා මයික් හවුලේ වැඩ කිරීම සාර්ථක වූයේ ම නැහැ. දුම්පානය, මධුවිත හා කාන්තා ඇසුරට දැඩි සේ ලොල් වූ මයික් සමග එයට වෙනස් ගති පැවතුම් තිබූ රේ නොපෑහුනා විය හැකියි.

ලන්ඩනයේ සිට ආපසු කල්කතාවට යන්නට සැරසෙන විට මයික් තමන්ට හදිසියේ හවුල් ගිවිසුමක් අත්සන් කරන්නට කීවත් එය නොකළ බව රේ ලියා තිබෙනවා. එය කල්කතාවට එවන්න යයි කියා රේ ඉන්දියාවට ගියා. නමුත් ගිවිසුම ආවේ නැහැ. ටික කලකට පසු රේ මුණගැසීමට ආ කොලම්බියා සමාගමේ නියෝජිතයෙක් රේට කීවේ මේ ව්‍යාපෘතියෙන් කෙසේ හෝ මයික් විල්සන් ඉවත් කළ හොත් එය නොවරදවා ම රූගත කිරීම්වලට යොමු කළ හැකි බවයි.

The Alien චිත‍්‍රපට ව්‍යාපෘතිය සිදු නොවන බව තේරුම් ගත් රේ එය තම සිතෙන් ඈත් කිරීමට කණගාටුවෙන් නමුත් තීරණය කළා. මේ ගැන ඔහු පසුව ලියුවේ මෙලෙසයි. ‘‘වසරක් පමණ මේ ගැන කිසිදු ආරංචියක් ලැබුණේ නැහැ. හදිසියේ ම ආතර් ක්ලාක් මට ලියුමක් ලියා දැනුම් දුන්නේ මයික් විල්සන් හිස මුඩු කොට, දකුණු ඉන්දියාවේ කැලෑවක භාවනා කරන්නට ගිය බවයි. එයට ටික කලකට පසු (ස්වාමි කෙනෙකු බවට පත්) මයික් මට ඉතා කෙටි ලියුමක් ලියමින් තිර රචනයේ හවුල් අයිතිය තමන් අත් හරින බව කීවා.’’

මයික් එය ප‍්‍රකාශ කළේ අමුතු වදන් පෙළකින්. මයික් රේට ලියූ අන්තිම ලිපියේ තිබුණේ මෙපමණයි. ‘‘පි‍්‍රය රාවණා, සීතාව ඔබ රඳවා ගන්න. ඇය මුඵමනින් ම ඔබට හිමියි. ඇය සමග එක්ව මුඵ ලොව ම කුල්මත් කරන්න.’’ : (“Dear Ravana. You may keep Seetha. She is yours. Keep her, and make her and the world happy.“)

මේ අවසන් ලියුම් ගනුදෙනුව සිදුවූයේ 1970දී පමණ විය යුතුයි. ඉනික්බිති වෙනත් චිත‍්‍රපට ගණනාවක් නිපදවීමේ නිරත වූ රේට පිටසක්වලයා ගැන සිතන්නට අවකාශයක් තිබුණේ නැහැ.

1982දී ස්ටීවන් ස්පිල්බර්ග් අධ්‍යක්‍ෂණය කළ E.T. the Extra-Terrestrial  නම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය වූයේත් පිටසක්වලින් එන බුද්ධිමත්, මැජික් බඳු චිත්ත බලයන් ඇති හා ඉතා මිත‍්‍රශීලී ජීවියෙක්. ET මුලින් ම හමු වී මිතුරු වන්නේ අමෙරිකානු දරුවන් කිහිප දෙනකු සමගයි. එරට හමුදා නිල තන්ත‍්‍රය ET හසු කර ගන්නට තැත් කළත් ඔහුගේ චිත්ත බලයෙන් හා දරුවන්ගේ උපක‍්‍රමශීලී බව නිසා එයින් ගැලවී යළිත් තමන් ආ ලෝකයට පිටත් වී යාමේ සංත‍්‍රාසමය කථාව මේ චිත‍්‍රපටයේ දිග හැරෙනවා.

ET නිපදවා ප‍්‍රදර්ශනයට මුදා හරින තුරු මේ ගැන කිසිවක් රේ දැන සිටියේ නැහැ. එය නැරැඹූ පසු මේ කථාව තමන් දශක දෙකකට පෙර ලියූ ‘බන්කුබාබු බන්දු’ ළමා කථාවට බෙහෙවින් සමාන බව රේ වටහා ගත්තා. මේ පසුබිම දැන සිටි ඉන්දීය චිත‍්‍රපට විචාරකයන් හා මාධ්‍යවේදීන් ද මේ සමානකම ප‍්‍රසිද්ධියේ පෙන්වා දීමට පටන් ගත්තා.

ඉන්දීය මාධ්‍ය අමතා රේ කීවේ: ‘මා කොලම්බියා චිත‍්‍රපට සමාගමට ලියා දුන් තිර රචනයේ කෙටුම්පත හොලිවුඞ් පුරයේ එවකට සංසරණය වූ බව දන්නවා. ඒ කථාව හා ET අතර සමානකම් බොහෝයි. මෙය අහඹු සිදුවීමක් කියා බැහැර කරන්නට අමාරුයි.’

මේ වාර්තා ඇසූ ස්පිල්බර්ග්, තමා කිසි දිනක The Alien තිර රචනය දැක නැති බවත්, ඒ ගැන කිසිවක් අසා තිබුණේවත් නැති බවත් අවධාරණය කළා. ‘‘එම තිර රචනය හොලිවුඞ් ආ කාලයේ මම උසස් පෙළ පාසල් සිසුවෙක්. මා මේ ගැන හාංකවිසියක්වත් දැන සිටියේ නැහැ!’’

කෙසේ වෙතත් 1960-70 දශකයේ The Alien චිත‍්‍රපටය නිපදවූවා නම් එයට යම් සමාන කථා පුවතක් රැගත් ET චිත‍්‍රපටය මෙතරම් ජනපි‍්‍රය හෝ නැවුම් හෝ නොවන්නට හොඳට ම ඉඩ තිබූ බව මැදහත් විචාරකයෝ කියනවා.

(1979දී රිඞ්ලි ස්කොට් නම් බි‍්‍රතාන්‍ය සිනමාකරුවා තැනූ Alien චිත‍්‍රපටය හා එහි අනුගාමී කෘතීන් අපේ කථාවට කිසිසේත් සම්බන්ධයක් නැහැ.)

Continued: සිවුමංසල කොලූගැටයා #151: පිටසක්වලයාගේ අකරතැබ්බය: සත්‍යජිත් රේ නොහැදු චිත‍්‍රපටයේ කථාව – 2

 

“ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එකම මග සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි” – එස්. එම්. බන්දුසීල

Lakbima Sinhala daily newspaper has just published my long interview with S M Banduseela who is widely recognised as Sri Lanka’s foremost translator of science and science fiction. He is best known as Arthur C Clarke’s Lankan translator.

Parts of this interview appeared earlier in the Sinhala Sunday newspaper Ravaya (24 Nov 2013):  “විද්‍යා ප්‍රබන්ධකරුවන් අයහපත් අනාගතයන් ගැන අපට අනතුරු අඟවනවා!” – එස්. එම්. බන්දුසීල

Those segments are not repeated here. Lakbima has also carried my questions related to Clarke’s views on traditional knowledge, and on religion. Banduseela answers them in his capacity as a leading rationalist and free thinker in Sri Lanka.

Note: Sir Arthur Clarke (1917-2008) was a life-long non-believer: he was against all forms of organised religion (no exceptions!), and considered religions to be the worst form of ‘mind virus‘.

As he often said: “One of the great tragedies of mankind is that morality has been hijacked by religion. So now people assume that religion and morality have a necessary connection. But the basis of morality is really very simple and doesn’t require religion at all. It’s this: “Don’t do unto anybody else what you wouldn’t like to be done to you.” It seems to me that that’s all there is to it.”

See also: Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

එස්. එම්. බන්දුසීල හා නාලක ගුණවර්ධන අතර සංවාදයක්

The ascent or descent of Man?

The ascent or descent of Man? Cartoon courtesy Daily Mirror, Sri Lanka

මානව ප්‍රගමනය සඳහා විද්‍යාව හෝ පැරණි සම්ප්‍රදායික දැනුම (traditional knowledge) යන දෙකෙන් එකක් තෝරා ගත යුතු යයි සමහරුන් ලිහිල් තර්කයක් ඉදිරිපත් කරනවා. මෙය කොතරම් ප්‍රායෝගික ?

සම්ප්‍රදායික හා නූතන යනුවෙන් දැනුම් පද්ධති දෙකක් ඇතැයි මම හිතන්නේ නැහැ. ලෝකයේ ඇත්තේ මිනිස් වර්ගයා සොයා ගත් දැනුමයි. ඒ ඒ දැනුම්, අදහස් හා සංකල්ප බිහි  වූයේ  ඒ ඒ පරිසරවල තිබු  අවශ්‍යතාවන්ට අනුවයි. එක් යුගයකදී ප්‍රයෝජනවත් වූ දැනුම් සමුදායක් එම තත්වයන් වෙනස්වී මෙන් පසු  එතරම් වැදගත් නොවන්නට පුළුවනි. උදාහරණයකට ආගමික මතිමතාන්තර වගේ.

සමහර සමාජයන්හි දැනුම සොයා ගැනීම නිරතුරුවම සිදුවන අතර එම සමාජ ඒ නිසාම දියුණුවෙන් දියුණුවට පත් වෙනවා. සමහර සමාජ අලුත් දැනුම සොයා යෑමට උත්සාහ නොකර අතීතකාමයෙන් මුසපත් වී එක තැන ම පල් වෙනවා. දැනුම වේගයෙන් ඉදිරියට යනවා. තාක්ෂණයත් වේගයෙන් දියුණු වෙනවා. අප කළ යුත්තේ මෙම ප්‍රවාහයට එක් වීම මිස අපේ සම්ප්‍රදායික දැනුම සියල්ලට ම වඩා උසස් යයි කියමින් ගෝත්‍රිකයන් මෙන්  ජීවත් වීම නොවෙයි.

ආතර් සී ක්ලාක් ඉතා පැහැදිලිව ම සියලු ආයතනගත ආගම් හා සාමයික දර්ශනයන් ප්‍රතික්ෂේප කළා. දේවවාදයන් නුදුරු අනාගතයේත්, අදේවවාදී අන් සියලු ම ආගම් ඉන් පසුවත් අවභාවිතය නිසා තුරන්ව යන බවට ඔහු ලියා තිබෙනවා. හේතුවාදියෙකු ලෙස ඔබ මෙය විග්‍රහ කරන්නේ කෙසේ ?

ක්ලාක් විද්‍යාවේත් තාක්ෂණයේත් දියුණුව  නිවැරදිව දුටු කෙනෙක්. අනාගතයේ විද්‍යාව විසින් සියලුම ආගමික සංකල්ප බිඳ දමන බව දුටු නිසා ඔහු සියලුම ආගම් ප්‍රතික්ෂේප කළා. මිනිසාට  තමා හා තම පරිසරය පිළිබඳ පැහැදිලි අවබෝධයක් නොතිබූ කාලයක බිහි වූ විවිධ සංකල්ප මෙන් ආගමත් එක් අවස්ථාවකදී මිනිස් සමාජයේ පැවැත්මට ප්‍රයෝජනවත් වෙන්නට ඇති. නමුත් අද එය සම්පූර්ණයෙන් ම මිනිස් සමාජයේ දියුණුවට තර්ජනයක් වී ඇති දෙයක්. ඒ නිසා මිනිසාගේ අනාගත පැවැත්ම ගැන සැලකිලිමත් වන සියලු දෙනාගේ වගකීම වන්නේ ආගමික මතවාද වලින් අන්ධ වී ඇති  සමාජය එයින් මුදවා ගැනීමයි. මේ නිසා අපි ක්ලාක්ගේ ස්ථාවරය ඉතා අගය කළ යුතුයි.

සියලු ආගම් කාරුණිකව ප්‍රතික්ෂේප කරන අතර ක්ලාක් අධ්‍යාත්මික බව (spirituality) අගය කළා. අධ්‍යාත්මික බව හා ආගම් යන දෙක වත්මන් සමාජයේ සමහරුන් පටලවා ගෙන තිබෙනවා නේද?

secularඔව්. අධ්‍යාත්මිකබව මිනිස් සන්තානයේ ගැඹුරෙන් ම ඇති දෙයක්. එයට අයත් වන්නේ ආදරය කරුණාව වැනි මුලික හැඟීම්. ආගම් විසින් කර ඇත්තේ මිනිසා සතුව තිබූ අධ්‍යාත්මික හා සදාචාරාත්මක හැඟීම් පැහැරගෙන එය ඔවුන්ගේ නිපයුමක් ලෙස ඉදිරිපත් කිරීමයි.  වත්මන් සමාජයේ  මතයක් තියෙනවා  ආගමක් අදහන්නේ නැති කෙනෙකුගේ  අධ්‍යාත්මික හෝ සදාචාරාත්මක බවක් නැතැයි කියා. ඇත්තෙන් ම ආගම් විශ්වාස නොකරන අය අතර ඉතා අධ්‍යාත්මික හා සදාචාරත්මක පුද්ගලයන් සිටිනවා. ඔවුන් එසේ වී ඇත්තේ දෙවි කෙනෙකුට හෝ කර්මය වැනි දේකට  බියෙන් නොව මිනිස්කමට උචිත එක ම චර්යා රටාව  එය බව පිළිගන්නා නිසයි.

මට මෙහිදී මතක් වෙනවා ආතර් සී ක්ලාක් ඔහු ලියූ The Fountains of Paradise නම් පොතේ උපුටා දක්වා ඇති ජවහර්ලාල් නේරුගේ කියමනක්. එය නම් 1962 වර්ෂයේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අමතමින්  අගමැති නේරු කළ ප්‍රකාශයයි. එතුමා කියා සිටියේ “දේශපාලනය හා ආගම යල්පැන ගිය අදහස් බවත් දැන් කාලය පැමිණ ඇත්තේ විද්‍යාව හා අධ්‍යාත්මික ගුණ ධර්ම සඳහා බවත්”. (“Politics and religion are obsolete; the time has come for science and spirituality.”)

ඇත්තෙන් ම ආගමික උමතුවෙන් ලෝකය ගලවා ගැනීමේ එක ම මග වන්නේ සියලුම ආගම් ප්‍රතික්ෂේප කිරීමයි. එසේ නොවුන හොත් ආගමික ගැටුම්වලින් මිනිස් වර්ගයා ම විනාශ වී යෑමට ඉඩ තියෙනවා.

විද්‍යාව හා ආගම් අතර අතාත්වික ආකාරයේ මතුපිට සංසන්දනයක් කරන්නට සමහරුන් තැත් කරනවා. ඇතැම් ආගම් අදහන අයට දැඩි ලෙස උවමනා වී ඇත්තේ නූතන විද්‍යාව මගින්  තමන්ගේ ආගම තහවුරු වෙනවා යයි කියන්නට. මේ ගැන ඔබේ මතය?

මෙය මා දකින්නේ විද්‍යාවේ හා තාක්ෂණයේ වේගවත් දියුණුව  ඉදිරියේ තව දුරටත් පවත්වා ගත නොහැකි තමන්ගේ ආදිකාල්පික මත තහවුරු කිරීමට ගන්නා දුර්වල ප්‍රයත්නයක් හැටියටයි. සෑම ආගමක් ම මිනිසා විශේෂ නිර්මාණයක් ලෙස සැලකුවත්  සත්‍යය නම් මිනිසා යනු සත්ව පරිණාමයේ එක් අවස්ථාවක් පමණක් වීමයි. පරිණාමීය ක්‍රියාවලියේ එක් සතෙකුට පමණක් අදාල වන ‘සත්‍යයන්‘ තියෙන්නට බැහැ. උදාහරණයක් හැටියට මිනිසාට වඩා බුද්ධිමත්  යන්ත්‍රයකට මේ ආගම් අදාල වේ ද? එසේත් නැත්නම් ආගම් වලංගු වන්නේ කාබන්වලින් සැදුණු ජීවින්ට පමණක් ද?

ක්ලාක් මහතා  කියා තියෙනවා ආගම නියෝජනය කරන්නේ මිනිසාගේ නොමේරූ අවස්ථාවක්ය කියා. එතුමාගේ සමහර කෘතිවල මිනිස් වර්ගයා මෙම ළදරු ප්‍රවණතාවන්ගෙන් මිදෙන බවට ඉඟි කර තිබෙනවා. අද දක්නට ලැබෙන ආගමික උන්මාදය දෙස බලන විට පෘථිවියේ අනාගතය සුරක්ෂිත කළ හැක්කේ සියලු ආගම් ඉවත දැමීමේන් බව ඉතා පැහැදිලියි. එසේ නැත්නම් තමන් අදහන දෙය පමණක් සත්‍යයයි විශ්වාස කරන විවිධ කොටස් එකිනෙකා විනාශ කර දමන බවට කිසිම සැකයක් නැහැ.

See also: God, Science, and Delusion: A Chat With Arthur C. Clarke
by Matt Cherry in Free Inquiry magazine, Volume 19, Number 2 (1999)

Arthur C Clarke’s last story: A world without religion in 2500 A.D.

S M Banduseela interview with Nalaka Gunawardene - Daily Lakbima - 17 Dec 2013

S M Banduseela interview with Nalaka Gunawardene – Daily Lakbima – 17 Dec 2013

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

How did Arthur C Clarke write acclaimed science fiction? Did he just dream up all his stories, or was there a meticulous research and development process? (The latter was closer to the truth.)

Having worked as his principal research assistant for 21 years (1987 – 2008), I’m often asked such questions. This has been explored in English by various writers, including Clarke biographer Neil McAleer (whose revised and expanded biography, Visionary, came out in 2012).

But there is limited awareness of the man and his creative accomplishments in Sri Lanka, his adopted home for over half a century. I wrote a book (in Sinhala) last year introducing Arthur C Clarke’s scientific ideas and visions for the future. This year, I have started chronicling how he wrote science fiction.

The first such article appeared in Sunday Lakbima, a popular Sinhala broadsheet newspaper, on 21 April 2013. Here is that text, which is not easy to locate online as they (and many other Lankan newspapers) use mini-blackholes to publish their web editions…

the-last-goodbye-from-colombo-photo-by-shahidul-alam.jpg
Photograph by Shahidul Alam, 2007

ආතර් සී. ක්ලාක් ශී‍්‍ර ලංකා තේ විද්‍යා ප‍්‍රබන්ධ බවට පත් කළ හැටි!

– නාලක ගුණවර්ධන

‘ආතර් සී. ක්ලාක් පොත් ලිව්වේ කොහොමද?’ ක්ලාක්ගේ සහායකයා ලෙස වසර 21ක් (1987-2008) මා කි‍්‍රයා කළ බව දන්නා අය විටින් විට මගෙන් විමසනවා.

ඔහුගේ නිර්මාණ ලෝකය පුරා ඉංගී‍්‍රසි පාඨකයන් තවමත් රස විදින නමුත් ඒවා බිහි වූ ආකාරය ගැන එතරම් තොරතුරු ප‍්‍රකට නැහැ.

ක්ලාක්ගේ ලේඛන කලාව විවිධාකාරයෙන් විග‍්‍රහ කළ හැකියි. ඔහු නිර්මාණ සිදු කළ ආකාරය සමීපව කලක් තිස්සේ බලා සිටි මා එය දැක්කේ විසිත්ත පලසක් නිම කරන කලාළකරුවකු නැතිනම් වියන්නකු හැටියටයි.

පලසක්, ටැපැස්ටි‍්‍රයක් නැතහොත් ගෙත්තම් තිරයක් වියන්නට යොදා ගන්නේ බහුලව හමු වන අමුද්‍රව්‍යයි. ඒවා සුවිශේෂී හා විචිත‍්‍ර ලෙසින් ඒකරාශි කිරීම තනිකර ම වියන්නාගේ කුසලතාව මත ර`දා පවතිනවා. එදිනෙදා වහරේ ඇති වදන් යොදා ගෙන ලේඛන නිර්මාණ කිරීමත් එයට සමාන්තර කාරියක්.

විද්‍යාව, තාක්‍ෂණය, ඉතිහාසය, කලා ශිල්ප හා දේශපාලනය ගැන තොරතුරු පවා අඩු වැඩි පමණට ක්ලාක් තමන්ගේ විවිධ නිර්මාණවලට යොදා ගත්තා. ඔහු ගැන හරිහැටි නොදන්නා උදවිය ඔහු හුදෙක් අනාගතවේදී සාත්තරකරුවකු හැටියට දකිනවා. එහෙත් මානව පරිනාමය, ප‍්‍රචණ්ඩත්වය, අර්ථ ශාස්ත‍්‍ර හා දේශපාලන ක‍්‍රමවේද මෙන් ම නිරායුධකරණය, මානව නිර්ආගමීකරණය ආදී ගැඹුරු සංකල්ප ඔහුගේ ප‍්‍රබන්ධ තුළ සියුම් ලෙසින් තැනින් තැන මතු වනවා. හැම පරම්පරාවක් ම ක්ලාක්ගේ නිර්මාණ සමුදාය කියවා තම කාලයට අදාල කර ගත යුතු බව මගේ හැගීමයි.

ක්ලාක්, වෘත්තීය ලේඛකයකු හැටියට දැඩි සංයමයක් තිබූ, ඉතා මැනවින් සංවිධානගතව වැඩ කරන්නට කැමති කෙනෙක්. ඕනෑම කාරියක් පිළිවෙලට කිරීම හා හැම ලිපි ලේඛනයක් ම නිසි සේ ගබඩා කොට තැබීම ඔහුගේ සිරිත වුණා. මේ අනුව ජීවිතයේ අවසන් කාලය වන විට වසර 60ක් පමණ තිස්සේ ක‍්‍රමානුකූලව එකතු කළ අත් පිටපත්, ලියුම් හා වෙනත් වැදගත් ලිපි ලේඛන දහස් ගණනක් ලොකු කාමරයක් පිරවීමට තරම් තිබුණා.

දශක හයකට ටිකක් වැඩි ලේඛන ජීවිතය තුළ ඔහු තමාගේ ම පොත් 80ක් පමණ ද හවුලේ ලියූ තවත් පොත් 20ක් ද පළ කළ අතර ඔහු අතින් නිර්මාණය වූ කෙටි කථා, විද්‍යා ලිපි, ග‍්‍රන්ථ විචාර ආදිය දහසකට වැඩියි. මේ හැම එකක් ම මහත් ආයාසයෙන් හා සීරුවෙන් නිම කරන ලද ඒවායි. කිසිවක් දුවන ගමන් කලබලයට කිරීම ඔහු අපි‍්‍රය කළා.

ඔහුගේ සමකාලීනයකු හා මිතුරකු වූ අමෙරිකානු ලේඛක අයිසැක් ඇසිමෝෆ් ක්ලාක් මෙන් නොව අධි වේගයෙන් පොත් ලියූ කෙනෙක්. ගුණාත්මක බවෙහි අඩුවක් නොකර විශාල විෂය පරාසයකට අයත් පොත් 500කට වැඩි ගණනක් ඇසිමෝෆ් ලියුවා. ඇසිමෝෆ් මෙසේ කරන්නේ කෙසේ ද යන්න ගැන ක්ලාක් මවිත වුණා. ‘මගේ මිත‍්‍රයා දෑතින් මෙන් ම දෙපයින් ද ටයිප් කිරීමේ අසාමාන්‍ය හැකියාව ප‍්‍රගුණ කර තිබෙනවා විය යුතුයි’ වරක් ක්ලාක් විහිඵ කළා.

මෙයින් අදහස් කැරෙන්නේ ක්ලාක් ඉතා සෙමින් ලියූ ලේඛකයකු කියා නොවෙයි. කෙටි විද්වත් ලිපි ලිවීමට ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ (Time, Newsweek, New York Times වැනි) මාධ්‍යවලින් ලැබෙන හදිසි ඉල්ලීම්වලට ඔහු ඉක්මනින් ප‍්‍රතිචාර දැක් වූවා. අඵත් විද්‍යාත්මක සොයා ගැනීම් හා ජාත්‍යන්තර තාක්‍ෂණ සිදුවීම් ගැන කිසි සූදානමකින් තොරව වූවත් හරබර මත පළ කිරීමේ හැකියාව ඔහුට තිබුණා.

නමුත් පොතක් ලිවීම ඔහු සැමවිට ම සැළකුවේ භාරදුර වගකීමක් ලෙසයි. ඒ අතුරින් ද විද්‍යා ප‍්‍රබන්ධ නවකථා ලිවීම කල් යල් බලා, බොහෝ සේ තොරතුරු ගවේෂණය කොට ඉනික්බිති කළ දෙයක්. ක්ලාක් ලියූ හැම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ පොතක් පිටුපස ම එය නිර්මාණය කරන්නට ගත් විශාල ප‍්‍රයන්තයක් තිබුණා.

ඔහුගේ කොළඹ පිහිටි පෞද්ගලික කාර්යාලයේ (රජයට අයත් ක්ලාක් මධ්‍යස්ථානය නොවේ!) මා සේවය කිරීම ඇරඹූවේ 1987 පෙබරවාරියේ. 1987-2008 වකවානුවේ ඔහු ලියූ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා හයටත්, විද්‍යා හා තාක්‍ෂණ විචාරශීලී පොත් කිහිපයකටත් අවශ්‍ය තොරතුරු ගවේෂණය, නිරවද්‍යතාව තහවුරු කිරීම, ලොව පුරා පැතිර සිටින විද්වතුන්ගෙන් මත විමසීම හා අත්පිටපත් සෝදිසි කිරීම ආදී වගකීම් ගණනාවක් මට පැවරුණා.

මේ නිසා විසිවන සියවසේ ප‍්‍රධානතම විද්‍යා හා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකු අඵත් නිර්මාණයක් කරන ආකාරය ගැන සමීපව නිරීක්‍ෂණ කරන්නටත්, ඒ නිර්මාණ ප‍්‍රවාහයට අවශ්‍ය අමුද්‍රව්‍ය සම්පාදනයටත් මට අවස්ථාව ලැබුණා. මෙය අසාමාන්‍ය ගණයේ ආධුනිකත්වයක් ලෙස සැළකිය හැකියි.

ප‍්‍රබන්ධකරණය යනු මනස් ලෝක මැවීමක්. හැම ප‍්‍රබන්ධ ලේඛකයා ම තමන්ගේ වචන හරඹයෙන් පරිකල්පනාත්මක චරිත, සිදුවීම් හා දේශයන් බිහි කරනවා. විද්‍යා ප‍්‍රබන්ධවලටත් එය පොදුයි. ක්ලාක්ගේ විද්‍යා ප‍්‍රබන්ධ විද්‍යාවේ මූලධර්මවලට අනුකූල වූත්, සැබෑ ලෝකයේ සිදු විය හැකි වූත් කථාන්තරයි. ඔහු විද්‍යාත්මක ෆැන්ටසි (මායාරූපී කථා) ලිව්වේ නැහැ.

වතාවක් ඔහු විද්‍යා ප‍්‍රබන්ධ (science fiction) හා විද්‍යා ෆැන්ටසි (science fantasy) දෙක නිර්වචනය කළා. විද්‍යා ප‍්‍රබන්ධ යනු සැබෑ ලෝකයේ සිදු විය හැකි, එහෙත් සිදු නොවනවා නම් වඩාත් හොඳ වර්ගයේ කථායි. (මේ නිසා විද්‍යා ප‍්‍රබන්ධ රචකයන් සමාජයට අනතුරු අඟවන්නන් ලෙසත් ඔහු සැළකුවා.) විද්‍යා ෆැන්ටසි නම් සිදු වනවාට අප බොහෝ කැමති වූවත් ඇත්තට ම සිදු වන්නට බැරි අභව්‍ය ගණයේ කථායි. මේ දෙක අතර සීමාව එතරම් දැඩි නොවන බවත් ක්ලාක් පිළි ගත්තා.

ක්ලාක් ප‍්‍රබන්ධකරණයේ නියැලෙන විට දැඩි සමාධියකට පත් වනවා. ඔහු දිනකට පැය ගණනක් තමන් ම කථාව ටයිප් කරනවා. මුල් යුගයේ ටයිප්රයිටර් (යතුරුලියන) ද 1980 පටන් පුද්ගල පරිගණක ද එයට යොදා ගත්තා. ඔහු ටයිප් කිරීම නතර කළේ වයස 85 ද ඉක්මවා ගතින් දුබල වීමෙන් පසුවයි. එතැන් සිට අන්තිම වසර පහ ඔහු ටේප් එකකට කථාව පටි ගත කර, කාර්ය මණ්ඩලය වූ අප හරහා ටයිප් කරවා ගත්තා.

ඉංග‍්‍රීසි භාෂාව ඉතා ව්‍යක්ත, මටසිලූටු හා සුහද ලෙසින් ලිවීමේ හැකියාවක් ඔහුට තිබුණා. ඔහුගේ බස සරලයි. වාක්‍ය කෙටියි. බරපතල වචන වෙනුවට එදිනෙදා වහරේ වචන, උපමා හා රූපක යොදා ගන්නවා. ඔහුට ආවේණික හාස්‍ය රසයක් හා දඟකාර ගතියක් ඔහුගේ කථාවල නිතර හමු වනවා. සමාජයේ ප‍්‍රභූන්ට, අන්තවාදීන්ට, උඩගු අයට මෙන් ම බක පණ්ඩිතයන්ට ද හීන්සීරුවේ ‘ටිකිරි ටොකු’ දීමේ සිරිතක් ඔහුට තිබුණා. මේ වචන හරඹ (puns) එලෙසින් වෙනත් බසකට පෙරැලීම ඉතා අමාරු කාරියක්.

ක්ලාක් ප‍්‍රබන්ධයක් හා වෙනත් ඕනෑ ම ලේඛනයක් කෙටුම්පත් වාර ගණනාවක් ගත වනතුරු සංශෝධනය කරනවා. තමා ලියන හැම වැකියක් ම නැවත නැවතත් සමාලෝචනය කොට වඩාත් දියුණු කරන්නට ක්ලාක් වෙර දරනවා.

ඔහු නිතර කීවේ මුල් කෙටුම්පතක් හමාර කොට පසෙක තබා ටික දිනක් වෙන දෙයක් කළ යුතු බවයි. එවිට අප නොදැනුවත්ව ම වාගේ අපේ යටි මොළයේ මේ සංකල්ප තව දුරටත් වැඩ කරන බවත්, නැවත කෙටුම්පත දෙස බලන විට පෙර නොදුටු දියුණු කිරීම් ගණනාවක් පෙනෙන බවත් ඔහු අත්දැකීමෙන් විශ්වාස කළා.

ක්ලාක් අඵත් ප‍්‍රබන්ධ නවකථාවක් ලියන්නට අරඹන්නේ මුඵ කථාවේ සැකිල්ලක් නැතහොත් ප‍්‍රධාන සිදුවීම් වැලක් නිසි පිළිවෙලට සකසා ගැනීමෙන්. එය සාමාන්‍යයෙන් පිටු 10-12ක් පමණ වනවා. ප‍්‍රධාන චරිතවල නම් හා ගති සොබා ද එහි සඳහන් කරනවා. කථාවේ සංත‍්‍රාසමය, සංවේගදායක අවස්ථා හා වෙනත් උච්චස්ථානයන් ද ඔහු සනිටුහන් කරනවා.

සමහර වෙලාවට මෙසේ ගලපා ගත් සැකිල්ල ඔහු මුලින් කෙටි කථාවක් ලෙස රචනා කරනවා. කෙටිකථාවක් ලිවීම නවකථාවක් ලිවීමට වඩා අභියෝගාත්මක නිර්මාණකරණයක් බව ඔහු විශ්වාස කළා. මේ සාහිත්‍යාංග දෙක එකිනෙකට ආවේණික වූ ලක්‍ෂණ සහිතයි. සමහර විට මුලින් කෙටිකථාවක් ලෙස ලෝකයට මුදා හැරිය නිර්මාණ කලකට පසුව ඔහු නවකථා ලෙස ප‍්‍රතිරචනා කළා.

එක් උදාහරණයක් මට හොඳ ට මතකයි. 1992 මැයි මාසයේ ටයිම් සඟරාවේ කතුවරුන් ක්ලාක්ට ඇරැයුමක් කළේ ඉදිරි සහශ‍්‍රකයේ පෘථිවියේ ජන ජීවිතයට අදාළ වන ආකාරයේ ප‍්‍රබන්ධයක් වචන 4,000කින් ලියන ලෙසට.

කාලීන පුවත් වාර්තාකරණයට හා විග‍්‍රහයට කැප වූ ටයිම් සඟරාව වසර 2000න් එහා ලෝකය ගැන විශේෂ කලාපයක් සැළසුම් කළා. අනාගත ලෝකය ගැන විවිධ කෝණවලින් විග‍්‍රහ කරන අතර ලොව මහා විද්‍යා ප‍්‍රබන්ධ ලේඛකයකුගේ පරිකල්පනය ද එයට එකතු කිරීමට ඔවුන්ට ඕනෑ වුණා.

ඒ අභියෝගය භාර ගත් ක්ලාක්, 22වන සියවසේ අපේ ලෝකයේ ගැටීමට ඇදී එන ග‍්‍රහකයක් තේමා කර ගත් The Hammer of God නම් කෙටිකථාවක් රචනා කළා. එහි වචනාර්ථය දෙවියන්ගේ මිටි පහර යන්නයි. අයාලේ යන ග‍්‍රහ කැබලි පෘථිවියට ඇති කරන අවදානම ගැන මීට පෙර 1973දී ප‍්‍රකාශිත Rendezvous with Rama (රාමා හමුව) නවකථාවේ ද ඔහු ප‍්‍රබලව පෙන්වා දී තිබුණා. එම කථාවේ යෝජිත පරිදි අහස මුරකිරීමක් (SpaceGuard) 1990 වන විට අමෙරිකාවේ නාසා ආයතනය අරඹා තිබුණා.

කථාව ලියන්නට විද්‍යාත්මක පසුබිම සොයා තාරකා විද්‍යාඥයන් හා අභ්‍යවකාශ විද්‍යාඥයන් ගණනාවක් සමඟ ක්ලාක් ලිපි හුවමාරු කළා. (ඊමේල් නොතිබූ ඒ කාලයේ සන්නිවේදන සිදු වුණේ ෆැක්ස් හෝ ගුවන් තැපැල් හෝ මගින්.) මීට අමතරව කොළඹ ප‍්‍රධාන පුස්තකාලවල මා යම් තොරතුරු ගවේෂණය කිරීම ද කළා.

1992 ඔක්තෝබරයේ ‘Beyond the Year 2000’ නම් තේමාවෙන් නිකුත් වූ ටයිම් විශේෂ කලාපයේ මේ කථාව පළ වුණා. 1923දී ඇරැඹි ටයිම් සඟරාවේ ඉතිහාසයේ ඔවුන් දැනුවත් ව ප‍්‍රබන්ධයක් පළ කරන දෙවැනි අවස්ථාව මෙය බව කතුවරුන් කියා සිටියා. (1969දී රුසියානු ලේඛක ඇලෙක්සන්ඩර් සොල්සෙනිට්සින්ගේ කථාවක් පළ කර තිබුණා.)

ටයිම් සඟරාවේ කෙටිකථාවට හොඳ ප‍්‍රතිචාරයක් ලැබුණු නිසා එය නවකථාවක් ලෙස විස්තාරණය කරන්නට ක්ලාක් තීරණය කළා. ඒ වන විට අදාල තොරතුරු සියල්ල රැස් කර තිබූ නිසා වැඩිපුර සූදානමක් අවශ්‍ය වූයේ නැහැ.

‘ඒ වන විට මා බාර ගත් තවත් ලේඛන වැඩ හා ටෙලිවිෂන් නිෂ්පාදන කිහිපයක් තිබුණා. එහෙත් මේ නවකථාව මගේ ඔඵවේ වැඩ කරන්නට පටන් ගත්තා. ඒ නිසා එය ලියන්නට මා කාලය සොයා ගත්තා’ යයි ක්ලාක් පසුව ආවර්ජනය කළා.

1993 මුල් කාර්තුව වන විට සමස්ත නවකථාව ලියා අවසන් කළා. එය වචන 60,000ක් පමණ වුණා. ඔහුගේ බි‍්‍රතාන්‍ය හා අමෙරිකානු ප‍්‍රකාශකයන් ඉතා කැමැත්තෙන් එය භාර ගෙන ඒ වසර හමාර වන්නට පෙර ප‍්‍රකාශයට පත් කළා.

එහෙත් වෙනත් අවස්ථාවල ක්ලාක් කථාවක සැකිල්ල හෝ කෙටිකථාවක් ලියා වසර ගණනාවකට පසුව එය නවකථාවක් ලෙස ප‍්‍රතිනිර්මාණය කළා. උදාහරණයක් නම් 1950 ගණන්වල ඔහු ලියු The Songs of Distant Earth (මිහිකතගේ ගීත) නම් කෙටිකථාවයි. කි‍්‍රව 3800 ගණන්වල දිග හැරෙන මේ කථාව, අපේ සූර්යයා පුපුරා ගොස් (නෝවාවක් බවට පත් වී) පෘථිවිය ඇතුඵ ග‍්‍රහලෝක විනාශ වී ගිය විට මිනිස් පිරිසක් පණ බේරා ගෙන ඈත විශ්වයට පළා යන සැටි ගැනයි.

1960දී ඔහුගේ කෙටිකථා සංග‍්‍රහයක මේ කථාව ද ඇතුළත් කර තිබුණා. 1980 දශකය මැද දී එය සම්පූර්ණ නවකථාවක් ලෙස ඔහු විස්තාරණය කළා. මුල් කථාව රචනා කළ යුගයේ නොදැන සිටි විද්‍යාත්මක තොරතුරු ද අඩංගු කොට ලියූ මේ නවකථාව 1986දී ඒ නමින් ම පළ කරනු ලැබුවා. තමන්ගේ විද්‍යා ප‍්‍රබන්ධ නවකථා විසි ගණනක් අතරින් පි‍්‍රයතම නවකථාව මෙය බව ක්ලාක් පසුව කියා සිටියා.

ලේඛන කලාව කියන්නේ හුදකලාව කළ යුතු, දැඩි ලෙස අවධානය අවශ්‍ය කාරියක් වූවත් ක්ලාක් සමාජශීලී වීම ලේඛකයකුට වැදගත් අවශ්‍යතාවක් ලෙස සැළකුවා. ඔහු නිතිපතා අමුත්තන් හමු වී කථා කළා. ඉඳහිට විද්වත් සභා හා සම්භාෂණවලට ද ගියා. මේ අන්තර්කි‍්‍රයා හරහා නිර්මාණකරණයට නොයෙක් අමුද්‍රව්‍ය මෙන් ම උත්පේ‍්‍රරණය ද ඇතැම් විට ලබා ගත්තා. මේ සියල්ල සඳහා මැනවින් කාලය කළමනාකරණය කිරීම අත්‍යවශ්‍යයි.

ක්ලාක් යමක් ලියන විට තොරතුරක් විමසන්නට ඕනෑ වුණොත් තාවකාලකව එතැන xx හෝ TK (To Come යන්නේ විකෘතියක්) යොදනවා. ඊළඟට එය කුමක් දැයි මේසය මත ඇති කුඩා කඩදාසි කොළවල ලියනවා. හැම දිනෙක ම පාහේ උදේ මා ඔහු මුණ ගැසෙන විට එබදු කොළ කෑලි කිහිපයක් මට දී ඒවා සොයා යන මෙන් කියනවා. ඉන්ටර්නෙට් සෙවුම් යන්ත‍්‍ර හරහා අද මෙබදු ගවේෂණ වඩා පහසු නමුත් 1995 මෙරටට ඉන්ටර්නෙට් ආගමනයට කලින් මේ සඳහා පුස්තකාල හෝ විද්වතුන් හෝ වෙත යොමු වන්නට සිදු වුණා.

දකුණු අපි‍්‍රකාවේ වාර්ෂික දියමන්ති නිෂ්පාදනය කොපමණ ද? රූබික් ඝනකය (Rubik’s Cube) හැදු පුද්ගලයා ඉන් පසු මොකද කළේ?? ටයිටැනික් නැව ගිලූණූ මොහොතේ පණ බේරා ගත් අය අතරින් කී දෙනෙක් තවමත් ජීවත් වනවා ද? ලෝකයේ වැඩි ම ඩයිනසෝර් ෆොසිල හමු වන ප‍්‍රදේශ මොනවා ද? මේ කුඩා කොළ කෑලි හරහා මා හඹා ගිය ප‍්‍රශ්න කිහිපයක්. ක්ලාක් සමඟ දැනුම ගවේෂණයේ යෙදීම දිනපතා අඵත් දේ උගෙනීමක්. ඉතා දක්‍ෂ ගුරුවරයකු හා සන්නිවේදකයකු සමඟ වැඩ කිරීමක්.

ක්ලාක් උදේ 6ට අවධි වී, රාතී‍්‍ර 10 වන විට නින්දට ගියා. පසු කලෙක නම් දිවා කාලයේත් පැයක් දෙකක් නිදා ගත්තා. ඔහු බොහෝ විට දවල් කාලයේ ලියූ අතර රාතී‍්‍ර ලිවීමක් කළේ නැහැ. ක්ලාක්ගේ දින චරියාවේදී පැය 8-10ක් පමණ වෙන් වූණේ එක් තැන්ව සිට ලිවීමට හා කියවීමටයි.

හොඳට ලියන්නට නම් බොහෝ සේ කියවිය යුතුයි. තරුණ කාලේ තමා දිනකට එක් පොතක් බැගින් කියැවූ බව ඔහු කීවා. තමාගේ ම පොත්ගුලේ පොත්වල විවිධාකාර සටහන් පැන්සලෙන් ලියා තිබුණා. මසුරන් වැකි, ඉංගී‍්‍රසි කාව්‍ය ඛණ්ඩ හා වෙනත් වැදගත් උධෘතයන් ගැන වයස්ගත වීත් ඔහුට ඉතා හොඳ මතකයක් තිබුණා. සහායකයන් හැටියට අප කළේ ඒවා මුද්‍රිත (හෝ පසු කලෙක විද්යුත්) මුලාශ‍්‍ර හරහා නිවැරදි යයි තහවුරු කර ගැනීමයි. එතරම් නිවැරදි හා විශිෂ්ඨ මතකයක් අවසානය දක්වාම පැවතීම විශ්මයජනකයි.

ලියන හැම විට මේසය මත කිරි තේ කෝප්ප්යක් තිබෙනවා. එය ටිකෙන් ටික තොල ගෑම සිරිතයි. දවසකට තේ කෝප්ප 6 – 8ක් පමණ ඕනෑ වුණා. ‘මා ශී‍්‍ර ලංකා තේ, විද්‍යා ප‍්‍රබන්ධවලට හරවන යන්ත‍්‍රයක්’ යයි ඇතැම් විටෙක ඔහු විහිඵවෙන් කියා සිටියා!

ලෝකයේ සාර්ථක ලේඛකයන් බොහෝ දෙනකුට පාඨක ලියුම් නිතිපතා ලැබෙතත්, පිළිතුරු දීම කරන්නේ ඉතා ටික දෙනයි. කෙතරම් කාර්යබහුල වුවත් ලොව පුරා පාඨකයන් එවන ලියුම් කියවීමටත්, බොහොමයකට කෙටියෙන් හෝ පිළිතුරු දීමත් ක්ලාක් ජීවිත කාලය පුරා ඕනෑකමින් කළ දෙයක්. ඇතැම් විට පාඨකයන් එවන විද්වත් ප‍්‍රතිචාර හා විචාර ඉදිරි නිර්මාණවලදී (අනුදැනුම ඇතිව) යොදා ගත්තා.

තාත්ත්වික විද්‍යා ප‍්‍රබන්ධ ලිවීමේදී පර්යේෂණ හා නව අදහස් පළ කළ බොහෝ දෙනකුගේ ආභාෂය ලද බව ක්ලාක් නොමසුරුව කියා සිටියා. ඔහු ලියු බොහෝ ප‍්‍රබන්ධ නවකථාවල අග පිටු ගණනක් වෙන් කළේ මූලාශ‍්‍ර හා ස්තූතිය සඳහායි.

ක්ලාක්ගේ ටයිටැනික් නවකථාව ලියූ සැටිත්, (1992), අවසාන නව කථාව ලිවීමේ ප‍්‍රයත්නය (2003-2008) ගැනත් වෙන ම කථා කරමු.

How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene - Sunday Lakbima 21 April 2013

How Arthur C Clarke wrote science fiction, as recalled by Nalaka Gunawardene – Sunday Lakbima 21 April 2013

සිවුමංසල කොලූගැටයා #107: දැනුම ගවේෂණය – එදා සහ අද

In this week’s Ravaya column (in Sinhala), I reflect on how IT/ICT has drastically changed how we look for information and knowledge.

Nalaka Gunawardene signing copies of Arthur C Clarke Chintana Charika at the launch on 18 Dec 2012 in Colombo

Nalaka Gunawardene signing copies of Arthur C Clarke Chintana Charika at the launch on 18 Dec 2012 in Colombo

2012 දෙසැම්බර් 18 වනදා මගේ අලූත් ම පොත ‘ආතර් සී. ක්ලාක් චින්තන චාරිකා’ එළිදැක්වීමට සරල හා චාම් රැස්වීමක් කොළඹ ජාතික පුස්තකාලයේ පැවැත්වුණා. පොත් ලියන හා කියවන ඕනෑ ම කෙනකුට විවෘත වූ මේ සභාවට සියයක් පමණ දෙනා සහභාගි වූවා. එයින් බහුතරයක් දෙනා පොතේ පිටපත් එදින මිලදී ගත්තා.

පොත් පිටපත් මා ලවා අත්සන් කරගන්නට පෙළ ගැසුණු පාඨකයන් පිරිසට නුදුරින් තලතුනා වියේ මහත්මයකු තැන්පත්ව බලා සිටියා. සෙසු පිරිස මා සමඟ කථාබහ කර හමාර වූ පසු සෙමින් මට සමීප වූ මේ තැනැත්තා මට කීවේ ටිකක් දුක හිතෙන කථාවක්.

කොළඹට තරමක් දුර බැහැර පෙදෙසක සිට ඔහු පැමිණ තිබුණේ පොතේ පිටපතක් ද රැගෙන ආපසු යාමේ මහත් ඕනෑකමින්. එහෙත් (ගමන් වියදම සිතුවාට වඩා මඳක් වැඩි වූ නිසාදෝ) එදින සහන මිල වූ රු. 350ට රුපියල් පනහක මදි පාඩුවක් මතු වෙලා. ඉතා කාරුණිකව හා අහිංසක ලෙසින් ඔහු මගෙන් ඇසුවේ කුමක් කළ හැකි ද කියා.

මා ඔහුගේ මදිපාඩුව සම්පූර්ණ කොට පොතේ පිටපතක් මිලදී ගන්නට සැළැස් වූයේ ඔහුගේ ආත්ම ගෞරවය රැකෙන පරිද්දෙන්. ඇත්තටම අප පොත්පත් ලියන්නේ මෙබඳු උද්‍යෝගශීලි පාඨකයන්ටයි.

ඒ සමඟ මගේ සිහියට ආවේ දැනුම් පිපාසයෙන් පෙළුණු, එහෙත් අතමිට සරු නොවූ දරුවන් දෙදෙනකු එම අභියෝගය ජය ගත් සැටියි.

මොහොතක් විසිවන සියවසට ආපසු යන්න.

1920 දශකය අගදී එංගලන්තයේ ගම්බද පළාතක ගොවි පවුලක දරුවෙක් පරිනාමය, විශ්වය, ඉතිහාසය හා විද්‍යාව ආදී විෂයයන් ගැන මහත් සේ උනන්දු වනවා. ගමේ පාසලේ කුඩා පුස්තකාලයෙන් ඔබ්බට යන්නට ඔහුට අවශ්‍යයි. එහෙත් තමන්ගේ ම පොත් මිලට ගන්නට ඔහු ළඟ එතරම් මුදල් නැහැ.

මේ නිසා උපක‍්‍රමශීලි වන දරුවා, තමන්ගේ ගමේ පොත් වෙළඳසැලකට ගොස් එහි අලෙවියට තිබෙන සමහර පොත් දිනකට පරිච්ඡ්දය බැගින් කියවනවා. පොත් සැලේ හිමිකරුට ටික දිනකින් මෙය තේරුම් ගියත් දරුවාගේ ධෛර්යය ගැන පැහැදී එයට නිහඬව ඉඩ දෙනවා. ඊට අමතරව පාසල් කෑම විවේකයේ යමක් කන්නට අම්මා අතට දෙන සුළු මුදලින් ද දරුවා අඩු මිලට විකිණෙන පාවිච්චි කළ පොත්පත් හා සඟරා (secondhand) මිල දී ගන්නවා.

1980 දශකය මුලදී ශ‍්‍රී ලංකාවේ කොළඹ ප‍්‍රධාන පෙලේ රජයේ පාසලකට යන තවත් දරුවෙක්, පන්ති කාමරයට හා විෂය මාලාවට කොටු නොවී නව දැනුම සොයා තමන්ගේ ම චාරිකාවක් යනවා. ඉන්ටර්නෙට් නැති ඒ අවධියේ ඔහුට පිහිටට එන්නේ කියවා ඉවතලන ජාත්‍යන්තර පුවත් සඟරා (TIME, Newsweek), විද්‍යා සඟරා හා පතපොතයි.

මරදානේ මැකලම් පාරේ (විජේවර්ධන මාවත) මෙබඳු පොත් විකිණෙන කුඩා පොත්සැල් ඔහුගේ ප‍්‍රියතම ස්ථානයක් වනවා. කැන්ටිමෙන් කන්නට අතට ලැබෙන සීමිත මුදල ඔහුත් බොහෝ සේ වැය කරන්නේ පොත්පත් සඳහායි.

අඩ සියවසක කාල පරතරයක, ලෝකයේ දුරු රටවල් දෙකක වෙනස් වූ පසුබිම් සහිත මේ දරුවන් දෙදෙනා දැනුම සොයා යාමට යොදා ගත් උපක‍්‍රම එක සමානයි. මෙයට සමාන අත්දැකීම් ඇති දැනුම් ගවේෂී තවත් බොහෝ බාල හා වැඩිහිටි අය සිටිනවා.

ඉහත දරුවන් දෙදෙනාගෙන් ලාංකික දරුවා මමයි. එංගලන්ත දරුවා පසු කලෙක විද්‍යා ලේඛකයකු ලෙස ලෝක පූජිත වූ ආතර් සී. ක්ලාක්.

1980 දශකය අග භාගයේ සිට මේ සුවිශේෂි චින්තකයා හා නිර්මාණශීලි ලේඛකයා සමඟ ඔහුගේ පර්යේෂණ සහායකයා ලෙස ක‍්‍රියා කිරීමේ දුර්ලභ අවස්ථාව මට ලැබුණා. ඒ ගැන ආවර්ජනා සමූහයක් මෑතදී එළි දුටු මගේ පොතෙහි ඇතුළත් වනවා. නමුත් තවත් පොතක් පිරවිය හැකි බොහෝ මතකයන් ද තිබෙනවා.

ශ‍්‍රී ලංකාවට ටෙලිවිෂන් ආගමනය 1979දීත්, වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සබඳතාවන් හඳුන්වා දීම 1995දීත් සිදු වුණා. මේ සන්නිවේදන තාක්ෂණයන් වඩාත් ප‍්‍රචලිත වී තොරතුරු සමාජයක් බිහිවීම සමඟ දැනුම සොයා යාමේ අලූත් මාර්ග විවෘත වී තිබෙනවා.

පුද්ගල පරිගණක (Personal Computer) වඩාත් පුළුල්ව අපේ රටේ භාවිතයට ආවේ 1990 දශකයේ. ඒ සමග ම සංගත තැටි (CD-ROM) අපේ අංකුර තොරතුරු සමාජයේ සංසරණය වන්නට පටන් ගත්තා. ඉන්ටර්නෙට් සබඳතා ඇරඹෙන්නට කලින් නව දැනුම ගවේෂණය සඳහා වටිනා අත්වැලක් ලැබුණේ සංගත තැටිවලින්.

සංගත තැටි ආ අළුත අපට ඒවා පෙනුනේ තාක්‍ෂණික මැජික් වගෙයි. බලා ගෙන ගියා ම සංගත තැටියක් කරන්නේ අපූරු වැඩක්. ඉතා විශාල තොරතුරු ප‍්‍රමාණයක් සංයුක්ත විධියට ගබඩා කරනවා. වචන පමණක් නොවෙයි. ඡයාරූප, වෙනත් රූප සටහන්, සිතියම්, වීඩියෝ ඛණ්ඩ, සංගීත භාණ්ඩ, හඩ පට කොටස් වැනි අන්තර්ගතයන් රැසක් එක ම ගබඩා මාධ්‍යයක හසු කර ගෙන තිබෙනවා. එමෙන් ම පහසුවෙන් ඒ අන්තර්ගතයන් අතර සැරිසරන්නට, යමක් ඉලක්කගතව සොයා යන්නට හැකියාව ද තිබෙනවා.

මෙකී හේතු නිසා සංගත තැටියක් කියන්නේ නූතන මැජික් තමයි. 1970 දශකයේ වුණත් මෙබන්දක් ගැන විස්තර කළ හැකි වූවා නම් එය විද්‍යා ප‍්‍රබන්ධයක් හැටියට සැළකෙන්නට ඉඩ තිබුණා.

ආතර් සී. ක්ලාක් තමන්ගේ සුප‍්‍රකට ක්ලාක්ගේ තුන්වන නියමයෙන් (Arthur C Clarke’s Third Law) මෙහෙම කිව්වා: “අතිශයින් දියුණු වූ තාක්‍ෂණයක් අපට මැජික්වලින් වෙන් කර හදුනා ගන්නටත් අපහසුයි.” (“Any sufficiently advanced technology is indistinguishable from magic.”)

Bill Gates with CD in hand - from National Geographic Magazine, 1994

සංගත තැටි ලෝකයේ ජනප‍්‍රිය වන්නට පටන්ගත් 1990 දශකයේ මුල් යුගයේ නැෂනල් ජියෝග‍්‍රැෆික් (National Geographic) සගරාවේ ඒ ගැන ලිපියක් සමග අපූරු ඡයාරූපයක් පළ කර තිබුණා. තොරතුරු සමාජයේ ඉදිරි ගමනට පාර කැපූ දැවැන්තයකු වන බිල් ගේට්ස් විශාල ගසක කඹයකින් එල්ලී සිනාසෙමින් සිටිනවා. ඔහු අතේ සංගත තැටියක් තිබෙනවා. ඒ අසලින් මහ කන්දක් වගේ කඩදාසි ගොන්නක් ගොඩ ගසා තිබෙනවා.

මීටර් බර ගානක් උසට විහිදෙන මේ කඩදාසිවල තිබෙන සියළු අන්තර්ගතය අර තනි සංගත තැටියේ ඇති බව ඡයාරූපය ගැන විස්තරයේ කියැවෙනවා. සංගත තැටියේ හපන්කම් ගැන මා දුටු ඉතා ම විසිතුරු පැහැදිලි කිරීම එයයි.

දැනුම් ගවේෂණයට අවශ්‍ය මූලික ගුණාංග එදත් අදත් වෙනස් වී නැහැ. අසීමිත කුතුහලය, දැඩි උද්‍යෝගය, නොසිඳෙන දැනුම් පිපාසය හා චිත්ත ඒකාග‍්‍රතාව ඒ අතර වනවා. පොත් රැසක් ඇති පුස්තකාලයකට පිවිසි විට හෝ වෙබ් අඩවි ලක්ෂ ගණනක් හමුවේ හෝ අවශ්‍ය කුමක් ද කියා අප සීරුවෙන් තෝරා බේරා ගත යුතු වනවා.

එමෙන්ම තොරතුරු නිරවුල්ව හා නිවැරදිව අපේ අවශ්‍යතාවන්ට අදාළ කරගත් විට පමණයි එය දැනුම (knowledge) බවට පත් වන්නේ.

සිවුමංසල කොලූගැටයා #102: පාවෙන පීරිසියක් උඩ නැඟලා…

In this week’s Ravaya coumn (in Sinhala), I look at the hype and reality of UFOs.

Why do aliens like this planet so much

පසුගිය සති කිහිපය මුළුල්ලේ අපේ රටේ නන් දෙසින් වාර්තා වූ හඳුනා නොගත් පියාසර එළි, පිටසක්වල යානා සමඟ ඈඳා ගෙන ඇතැම් දෙනා බියපත් වී තිබෙනවා.

අද්භුත යැයි කියන පියාසර එළි පිළිබඳ වාර්තා දශක ගණනාවක් තිස්සේ පුවත්පත් ඉඩ පිර වූ තේමාවක්. Breaking News ගැන සැම විට සෙවිල්ලෙන් සිටින රේඩියෝ හා ටෙලිවිෂන් නාලිකා රැුසක් ඇති අද කාලයේ එබඳු ප‍්‍රවෘත්ති ඉක්මනින් ප‍්‍රචාරය වනවා. නාලිකා අතර තරගකාරිත්වය නිසා හරි හැටි විමර්ශනයකින් තොරව පුවත් පැතිර යන සැටි අප දකිනවා.

මොකක්ද මේකෙ ඇත්ත කථාව?

ufo-signපිටසක්වල ජීවින් සිටීමේ හැකියාව අද බහුතරයක් විද්‍යාඥයන් පිළිගන්නවා. එහෙත් ඒ පිළිබඳ තිරසාර සාක්ෂියක්, ඉඟියක් මේ දක්වා ලැබී නැහැ. පිටසක්වල ජීවින් අපේ ලෝකයට පැමිණීම විද්‍යා ප‍්‍රබන්ධ සාහිත්‍යයේ නම් ප‍්‍රබල තේමාවක්. මේ කථාවලට අනුව සමහර ජීවින් එන්නේ අපේ ලෝකය යටත් කර ගන්න හෝ විනාශ කරන්නලූ. තවත් සමහරුන් එන්නේ අප සමඟ සම්බන්ධතා ඇති කර ගෙන සහජීවනයෙන් සිටින්නලූ. නො එසේ නම්, අපව අධ්‍යයනය කරන්නලූ.

තාවකාලික ප‍්‍රමෝදයක් සඳහා මෙබඳු කථා කියවූවාට කිසි වරදක් නැහැ. එහෙත් යථාර්ථය හා ප‍්‍රබන්ධය අතර වෙනස අප සිත් තබා ගත යුතුයි. මේ දෙක පටලවා ගත් විට අනවශ්‍ය සමාජ භීතිකා මෙන් ම මානසික රෝගයන් ද හට ගත හැකියි.

හඳුනා නොගත් පියාසර වස්තු (Unidentified Flying Objects නැතහොත් UFO) ලෙස හඳුන්වනු ලබන මේ සිද්ධීන් ජනමාධ්‍යවල හා ජනප‍්‍රිය සංස්කෘතියේ බොහෝ විට පියාඹන පීරිසි ලෙස නම් කෙරෙනවා. මේ යෙදුම භාවිතයට පැමිණ දැන් වසර 65ක්. එහි ආරම්භයටත් මාධ්‍ය සම්බන්ධයි.

Chicago Sun, 26 June 1947 - the original Flying Saucer report

Chicago Sun, 26 June 1947 – the original Flying Saucer report

1947 ජූනි 24දා අමෙරිකාවේ වොෂිංටන් ප‍්‍රාන්තයේ ගුවන් නියමුවකු වූ කෙනත් ආනල්ඞ්, තමා ගුවනේදී ඹත්‍ධ එකක් දුටු බව ප‍්‍රකාශ කළා. මේ ගැන මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළ විට ඔහු කීවේ එම වස්තූන් ගමන් කළේ “හරියට පීරිසයක් දිය මතුපිට විසි කර හැරිය විට දියේ මඳක් ගැටෙමින් කඩින් කඩ යන ආකාරයට” බව යි. එහෙත් ඒ වස්තූන් පීරිසි හැඩය ගත්තා යැයි ඔහු කීවේ නැහැ. මෙය වඩාත් ලිහිල් ආකාරයට මාධ්‍ය වාර්තා කළේ “ගුවන් නියමුවා පියාඹන පීරිසි දකී!” කියායි.

ආනල්ඞ් සිතුවේ ඔහු දුටුවේ නවතම මාදිලියේ හමුදා ගුවන් යානයක් බවයි. මේ සිදුවීම රසවත් කිරීමට ඒවා පිටසක්වලින් එන විත්තිය මාධ්‍යවලින් එකතු කළා. එදා පටන් ගත් මේ කතන්දරය ලොව පුරා තවමත් විවිධ මුහුණුවරින් මතුවනවා. මාධ්‍ය එය තලූ මරමින් යළි යළිත් වාර්තා කරනවා.

2012 දෙසැම්බර් 9 වනදා 88 හැවිරිදිව මිය ගිය ශ‍්‍රීමත් පැට්රික් මුවර් (Sir Patrick Moore) බි‍්‍රතාන්‍යයේ මෙන් ම ලොව බොහෝ රටවල ප‍්‍රකට වූ තාරකා විද්‍යාඥයෙක්. 1957 අපේ‍්‍රල් සිට ඔහු මිය යන තුරු ම (වසර 55ක ලෝක වාර්තාවක්) මාස්පතා BBC ටෙලිවිෂනයේ The Sky at Night නම් ජනප‍්‍රිය තාරකා විද්‍යා වැඩසටහන ඉදිරිපත් කළා. රාත‍්‍රී අහස නිරික්සීම හා අභ්‍යවකාශ ගවේෂණයේ තොරතුරු ගෙන ඒමට අමතරව බි‍්‍රතාන්‍යයේ තැනින් තැන වාර්තා වූ UFO ගැන ඔහු මහත් ඕනෑකමින් විමර්ශනය කළා.

අඩ සියවසක මෙබඳු සොයා බැලීම් මෙනෙහි කරමින් ඔහු කීවේ මෙයයි. “අද ජීවත්වන බොහෝ දෙනකුට දවාලේ හෝ රාත‍්‍රියේ අහසේ දැකිය හැකි විවිධාකාර ස්වාභාවික සංසිද්ධීන් හා මිනිසුන් විසින් නිර්මිත වස්තූන් ගැන නිරවුල් අවබෝධයක් නැහැ. බොහෝ UFO වාර්තාවලට හේතු වන්නේ මෙසේ යමක් වටහා නොගෙන කලබලවීමයි.”

UFO යැයි වරදවා තේරුම් ගත් වවුලන්, වෙනත් පක්ෂී සමූහයන්, කාලගුණ හා වෙනත් බැලූන්, අසාමාන්‍ය හැඩය ගත් ගුවන් යානා (විශේෂයෙන් හමුදා යානා) බොහොමයක් ඔහු සොයා ගත්තා. මීට අමතරව විවිධ රටවලින් උඩුගුවන් ගත කැරෙන රොකට්ටු හා චන්ද්‍රිකා නිසාත්, තතු නොදන්නා උදවිය UFO යැයි කලබලයට පත් වූවා.

මෙබඳු අවස්ථාවල UFO යන යෙදුම හරි. එනම් හඳුනා නොගත් පියාසර වස්තු. එහෙත් UFO යනු පිටසක්වල යානා යැයි කීම නිරීක්ෂණයක් මත පදනම් වී ෆැන්ටසියට ඉඩ දීමක්.

පැට්රික් මුවර් කීවේ වරදවා දැකීමට අමතරව මනෝවිකාර ඇති අයත් ඇතැම් විට UFO ගැන ස්වයංමුලාවට පත් වී, එය අදහමින් වාර්තා කරන බවයි. බොහෝ විට වංචනික චේතනාවකින් තොරව යම් අද්භුත දේවල් තමන් දුටුවා යැයි සමහරු විශ්වාස කරනවා. UFO වාර්තාවලින් කොටසක් මේ ගණයට වැටෙනවා.

ඉතිරි අය මුවර් විග‍්‍රහ කළේ දැන දැන ම බොරු කියමින් සමාජය මුළා කරන්නට තැත් කරන, එයින් මාධ්‍ය ප‍්‍රසිද්ධියටත්, කැපී පෙනීමටත්, නැතහොත් ඒ ගැන ලියා කියා මුදල් උපයා ගන්නටත් කැමති උදවිය කියායි. ඔවුන්ට උවමනාවට වඩා අවකාශ සැලසීම හරහා UFO උන්මාදය වාණිජකරණය වීමට දැනුවත්ව හෝ නොදැනුවත්ව මාධ්‍ය උඩගෙඩි දෙන බව මුවර් කීවා.

ශ‍්‍රී ලංකාවේ UFO වාර්තාවලටත් මෙකී විවිධාකාරයේ පසුබිමක් තිබිය හැකියි. එමෙන්ම එක වකවානුවේ කිහිප දෙනෙකුට එක ම ආකාරයේ UFO පෙනීමට ජනප‍්‍රිය සංස්කෘතියේ බලපෑම ද හේතු විය හැකියි. එබඳු සාමුහික UFO වාර්තා සිදු වූ කාලවල පිටසක්වල ජීවින් හෝ යානා ගැන ප‍්‍රබන්ධ කථා පාදක කර ගත් (රැජන, භවත‍්‍රා වැනි) ටෙලි නාට්‍ය ප‍්‍රචාරය වෙමින් තිබුණා.

වසර 2000දී පමණ රූපවාහිනියේ ඉරිදා ආයුබෝවන් වැඩසටහනින් එක්තරා ප‍්‍රවීන ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකුත් මාත් UFO ගැන සජීව සංවාදයක් කළා. මේ ලිපියේ සඳහන් පොදු කරුණු හා තර්ක ද මතු කරමින් මා කියා සිටියේ ඹත්‍ධ යනු පිටසක්වල යානා යැයි කියන්නට කිසිදු සාක්ෂියක් නැති බවයි. එහෙත් ඔහු යළි යළිත් ප‍්‍රකාශ කළේ ‘එබඳු සාක්ෂි ඉන්ටර්නෙට් එකේ ඕනෑ තරම් තිබෙන බවයි.’

ඉන්ටර්නෙට්හි සත්‍ය තොරතුරු මෙන් ම හරසුන් ඕපාදුප ද ඕනෑ තරම් ඇති බව මේ ප‍්‍රවීන කලාකරුවා තේරුම් ගත්තේ නැහැ. අද පවා UFO යනු පිටසක්වල යානා යැයි කියන ඇතැම් උදවිය නොදැන හා අවිචාරශීලිව ඇතැම් වෙඞ් අඩවිවල තිබෙන මිනිසුන් රවටන පට්ටපල් බොරුවලට රැවටී ඒවා ප‍්‍රතිරාවය කරනවා විය හැකියි. දැන ගියොත් ඉන්ටර්නෙට් – නොදැන ගියොත් අතරමඟ!

ටෙලි කථාන්දර හා සංත‍්‍රාසජනක හොලිවුඞ් චිත‍්‍රපට නැරඹීමේ දී අප අවිශ්වාසය තාවකාලිකව නතර කොට (suspend disbelief) පරිකල්පන ලෝකයකට පිවිසෙනවා. ප‍්‍රබන්ධ රස විඳීමට උපකාර වන එම මානසික තත්ත්වය සැබෑ ලෝකයේ අප අත් විඳින දේ තේරුම් ගන්නට සෑහෙන්නේ නැහැ.

ජීවිත කාලයක් පුරා ආධුනික තාරකා විද්‍යාවේ නිරත වුණු හා අද්භුත දේ විමර්ශනයට ටෙලිවිෂන් වාර්තා වැඩසටහන් මාලා ඉදිරිපත් කළ ආතර් සී. ක්ලාක් UFO ගැනත් විචාරශීලිව විමසා බැලූවා. ඔහු අවධාරණය කළේ විද්‍යා ප‍්‍රබන්ධවල එන UFO කථා හා සැබෑ ලෝකයේ යථාර්ථය වෙන් කර හඳුනා ගත යුතු බවයි.

තම ජීවිත කාලය තුළ UFO දර්ශන ගණනාවක් දැක ඇති බවත්, වැඩිදුර විමසීමේදී ඒ හැම එකකට ම ස්වාභාවික හෝ මිනිස් ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ හේතුවක් තිබූ බවත් ක්ලාක් පෙන්වා දුන්නා. එමෙන් ම තවමත් හරිහැටි විද්‍යාවෙන් තේරුම් නොගත් බෝල අකුණු (ball lightning) වැනි ස්වාභාවික සංසිද්ධීන් ද ඇතැම් විට UFO දිස්වීම්වලට හේතු විය හැකි යැයි ඔහු අනුමාන කළා.

බොහෝ UFO වාර්තා අපේ විචාරශීලි බවේ අඩුපාඩු යැයි ක්ලාක් කියා සිටියා. ඔහුගේ නිගමනයථ ‘‘UFO පිළිබඳ විටින් විට මතු වන විවාදවලින් පිටසක්වල බුද්ධිමත් ජීවය ගැන කිසිවක් සනාථ වන්නේ නැහැ. එහෙත් අපේ ග‍්‍රහලෝකයේ බුද්ධිමත් ජීවය කෙතරම් දුර්ලභ ද යන්න නම් එයින් හොඳාකාර පෙනී යනවා!’’

No UFOs signනාසා ආයතනයටවත් වෙනත් කිසිදු විද්‍යාත්මක හෝ ආරක්ෂණ අධිකාරියකටවත් පිටසක්වල ජීවින් රැගත් යානා නිතර නිතර මෙහි එන යන කථාව සම්පූර්ණයෙන් ම නිෂ්ප‍්‍රභ කර ඔප්පු කළ නොහැකියි. මන්ද යත් ඍණාත්මක තර්කයක් සහමුලින් සනාථ කළ නොහැකි නිසා. (එම ගණයට ම වැටෙන තවත් බොහෝ මිථ්‍යාවන් තිබෙනවා. හොල්මන්, අවතාර වගේ ම මකරා වැනි සත්ත්වයන් ගැන ඇතැම් දෙනා හා ඇතැම් ජනසමාජවල තිබෙන විශ්වාස එයට උදාහරණයි. අහිංසක විශ්වාසයන් පැවතීම ප‍්‍රශ්නයක් නොවූවත්, එයින් පුළුල් සමාජ භීතිකාවන් හෝ ගසාකෑමක් හෝ සිදු වේ නම්, එය සමාජ ප‍්‍රශ්නයක් බවට පත් වනවා.)

පෘථිවියෙන් බාහිර ලෝකවල ජීවය ඇත් ද යන මහා ප‍්‍රශ්නය දාර්ශනිකවත්, විද්‍යාත්මකවත් ගැඹුරින් අධ්‍යයනය කළ ලොව ප‍්‍රමුඛ තාරකා විද්‍යාඥයකු වූයේ ආචාර්ය කාල් සේගාන් (1934 – 1996). ඔහු නිතර කීවේ ‘‘පිටසක්වල ජීවීන් ගැන නිශ්චිත සාක්ෂියක් හමු වන තුරු මා ඉතා ඕනෑකමින් බලා සිටිනවා. එහෙත් එබන්දක් ගැන කටකථා, ප‍්‍රලාප, අසම්පූර්ණ වාර්තා නම් පිළිගත නොහැකියි’’ කියායි.

අප රටේ මෙන් ම අමෙරිකාවේ හා යුරෝපයේ රටවලත් UFO ඇතුළු අද්භුත දේ ගැන විචාර බුද්ධියෙන් තොරව පිළිගන්නා අය සිටිනවා. කාල් සේගාන් ඔවුන්ට දුන් අවවාදය මෙයයි. ‘‘පාවිච්චි කළ කාර් එකක් මිලට ගන්නා විට ඔබ හිමිකරු කියන දේ ගෙඩිපිටින් විශ්වාස කරන්නේ නැහැ. පරීක්ෂා කර බලා හොඳ තත්ත්වයේ ඇත්නම් හා මිල සාධාරණ නම් ගන්නවා. ටෙලිවිෂන් දැන්වීම් නොයෙක් භාණ්ඩවල ගුණ වර්ණනා කළාට ඒ හැම එකක් ම ඔබ විශ්වාස කරන්නේත් නැහැ. යම් තරමකට විමසා බලනවා. එහිදී ඔබ යොදා ගන්නේ සංශයවාදී ගුණයයි (skepticism). අද්භුත යැයි කියනා සංසිද්ධි ගැන ඔබ එපමණටවත් විචාරශීලි නොවන්නේ ඇයි?’’

කැලේ නිදා සිටි බියසුළු හාවා තල් අත්තකට බෙලි ගෙඩියක් වැටුණු ශබ්දයට බිය වී ‘අහස කඩා වැටෙනවා!’ යැයි විලාප නඟා එයින් අන් සතුන් කලබල කළ සැටි ජනප‍්‍රවාදයක කියැවෙනවා. හරිහැටි කරුණු නොවිමසා UFO ගැනත්, වෙන බොහෝ සංසිද්ධීන් ගැනත් මාධ්‍ය කලබලවීම ගැන කිව හැක්කේත් එයමයි.

සැබෑ ලෝකයේ මේ තරම් දැවෙන ප‍්‍රශ්න හා අභියෝග ඇති අද දවසේ පිටසක්වල යානා හා ජීවින් ගැන ප‍්‍රබන්ධ කථා ප‍්‍රවෘත්ති හා කාලීන සිදුවීම් ලෙස මාධ්‍ය විසින් වාර්තා කිරීම ජන සමාජය කෙතරම් මුළා කිරීමක් ද?