සිවුමංසල කොලූගැටයා #204: රේ විජේවර්ධනගේ සැබෑ නොවූ ගුවන් සිහිනය

In this week’s Ravaya column (in Sinhala), I revisit the aviation vision and accomplishments of the late Ray Wijewardene (1924-2010). Licensed to fly fixed wing aircraft, helicopters and autogyros, he had a colourful flying career spanning half a century. In this time, he designed, built and flew over a dozen light aircraft and kept innovating with design modifications to come up with a low-cost, versatile small plane that can land and take off from many places in Sri Lanka.

For information in English, see:

Ray Wijewardene: Finally free to roam the skies forever…

Ray the Thinker and Tinkerer, by Nalaka Gunawardene

Ray Wijewardene: The Ultimate Aviator by Capt Elmo Jayawardena

Young Ray Wijewardene during his Cambridge flying days in the 1940s
Young Ray Wijewardene during his Cambridge flying days in the 1940s

කොළඹ, නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ මුල්ලක දමා තිබී හමු වූ කුඩා ගුවන්යානය පසුගියදා බොහෝ දෙනකුගේ කතාබහට ලක් වුණා. මේ පුවත සමග පළ වූ ඡායාරූප දුටු විගස යානය කුමක්දැ’යි මා එක්වරම හඳුනා ගත්තා. එය රේ විජේවර්ධනගේ ලිහිනියා!

වසර 25ක් පමණ පැරණි, දැනට අබලන් වූ තත්ත්වයේ පවතින මේ ගුවන්යානය මෙරට ශ්‍රේෂ්ඨ ඉංජිනේරුවකු හා නව නිපැයුම්කරුවකු වූ රේ විජේවර්ධනයන්ට (1924-2010) හිමි වූවක් බව පසුව සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් තහවුරු කරනු ලැබුවා.

මීට වසර 15කට පමණ පෙර රේ මෙම ගුවන්යානය තම හිතමිතුරු (චිත‍්‍රපට අධ්‍යක්ෂ හා ව්‍යාපාරික) චන්ද්‍රන් රත්නම්ට හිමි ඒෂියන් ඒවියේෂන් (Asian Aviation Centre, formerly CDE Aviation) නම් ගුවන් පුහුණු පාසලට පරිත්‍යාග කළා.

මේ ගුවන්යානය තමන් පාවිච්චි කළ කාලයේ එය නවතා තැබුවේ රත්මලාන ගුවන්තොටුපළේ එම සමාගමට අයත් ගුවන්යානා නැවතුම්පොළේ (hanger) නිසා එයට කළගුණ සැලකීමට වන්නට ඇති.

රේ විජේවර්ධන චරිතය මෙරට වඩාත් ප‍්‍රකට වූයේ සොබා දහමට සමීප ගොවිතැන් ක‍්‍රම ප‍්‍රවර්ධනය කිරීම, සුනිත්‍ය (පුනර්ජනන) බලශක්ති ප‍්‍රභවයන් ගැන පර්යේෂණ කිරීම හා නව නිපැයුම්කරුවන්ට කවදත් අතහිත දීම සම්බන්ධයෙන්. එහෙත් ඔහුගේ විචිත‍්‍ර ජීවිතයේ තවත් එක් පැතිකඩක් වූයේ ගුවන්යානා හා ගුවන් ගමන් ගැන ඔහුට කුඩා කල සිටම තිබූ දැඩි උද්යෝගයයි.

1940 ගණන්වල බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේදී ඔහු ඉංජිනේරු ක්ෂේත‍්‍ර තුනක් අධ්‍යයනය කළා. එනම් යාන්ත‍්‍රික ඉංජිනේරු විද්‍යාව, කෘෂි ඉංජිනේරු විද්‍යාව හා ගගන ඉංජිනේරු විද්‍යාව. ඔහුට ගුවන්යානා ක්ෂේත‍්‍රයේ වෘත්තිමය වශයෙන් නිරතවීමට ඕනෑ වුණත් ඔහුගේ පියා අවවාද කළේ එයට වඩා ශ‍්‍රී ලංකාවට ප‍්‍රයෝජනවත් ක්ෂේත‍්‍රයක් තෝරා ගන්නා ලෙසයි.

Ray Wijewardene flies over Sri Lanka in one of his own light aircraft during 1980s
Ray Wijewardene flies over Sri Lanka in one of his own light aircraft during 1980s

ඒ අනුව ගොවිතැන හා නව නිපැයුම් ක්ෂේත‍්‍රවලට ඔහු යොමු වුණත් ගුවන්යානා උනන්දුව විනෝදාංශයක් ලෙස දිගටම පවත්වාගෙන ගියා. ‘‘ගොවිතැන මගේ ජීවනෝපායයි. ගුවන්යානා මගේ විනෝදාංශයයි’’ ඔහු කීමට පුරුදු වී සිටියා.

මෙරට (කිසිදු රසායනික පොහොරක් නොයොදා) වැඩිම ඵලදාව තිබූ පොල්වත්ත හිමිකරුවා වූ රේ එයින් ලද ආදායමින් කොටසක් වැය කළේ අලූත් අදහස් අත්හදා බලන්නයි. සැහැල්ලූ ගුවන්යානා අඩු වියදමින් එහෙත් ජාත්‍යන්තර තාක්ෂණ හා ආරක්ෂණ ප‍්‍රමිතීන්ට අනුකූලව මෙරටදීම නිපදවීම ගැන ඔහු තම වියදමින් දශක ගණනාවක් පර්යේෂණ කළා.

අපේ වැනි ඝර්ම කලාපීය, දියුණු වන රටකට උචිත ගුවන් ප‍්‍රවාහන ක‍්‍රමයක් ගැන ඔහුට පුළුල් දැක්මක් තිබුණා. මෙරට භූමි පරිභෝජනය, පාරිසරික තත්ත්වයන්, ආපදා අවස්ථාවන් ආදිය සම්බන්ධයෙන් කඩිනමින් සාක්ෂි ලබා ගෙන විද්වත් තක්සේරු කිරීමට සැහැල්ලූ ගුවන්යානා (light aircraft) මගින් හැකි බව ඔහු පෙන්වා දුන්නා.

මිනින්දෝරු දෙපාර්තමේන්තුව 1950 ගණන්වල පටන් කුඩා ගුවන්යානාවල ආධාරයෙන් ලබා ගන්නා ඡායාරූප හරහා ගුවන් සිතියම් සම්පාදනය කළත් සම්පත් කළමනාකරණයට සම්බන්ධ වෙනත් රාජ්‍ය ආයතනවලට (වන සම්පත්, ජල සම්පත්, වෙරළ සංරක්ෂණය ආදී) එසේ ගුවනින් ගොස් පුළුල් චිත‍්‍රයක් ලබා ගන්නට හරස් වූයේ සාම්ප‍්‍රදායික ගුවන්යානා හෝ හෙලිකොප්ටර් භාවිත කිරීමේදී අධික වියදමයි.

එහෙත් ජපන් මෝටර් රථයක වියදමට සමාන වියදමකින් තනි ගුවන් නියමුවකු හා එක් මගියකු රැගෙන යා හැකි ගුවන්යානා කිහිපයක් රේ මෙරටදී නිපද වූවා. මේවායේ ආකෘති ගගන විද්‍යා ක්ෂේත‍්‍රයේ පවතින දැනුමට අනුගත වූවත් මෙතරම් අඩු වියදමින් මෙරටදීම තනා ගැනීම නව්‍යකරණයක් වුණා. ඔහු පිටරටින් ගෙන ආවේ මෙරට නිපදවා ගත නොහැකි සූක්ෂ්ම ගුවන්යානා කොටස් පමණයි.

1970 දශකයේ වැඩි කාලයක් මැලේසියාවේ හා නයිජීරියාවේ ගත කළ රේ 1980දී යළිත් මෙරට පැමිණි පසු ඔහුගේ අත්හදා බැලීම් වඩාත් සක‍්‍රිය වුණා. ඔහුගේ ගෙදර වත්තේ හා ගරාජයේ සැහැල්ලූ ගුවන්යානා දහයක් හා කුඩා හෙලිකොප්ටර් 3ක් සැලසුම් කර නිර්මාණය කෙරුණු බව වසර ගණනක් ඔහු සමග සමීපව වැඩ කළ ගගන තාක්ෂණවේදී එඞ්වඞ් පෙරේරා කියනවා.

රේ තමන් නිපද වූ සැහැල්ලූ ගුවන්යානාවලට, පියාසර කරන ජීවීන්ගේ සිංහල නම් දීමේ පුරුද්දක් තිබුණා. ඔහු 1970 ගණන්වල තැනූ ඔටෝගයිරෝ (autogyro) වර්ගයේ යානයට ‘බමරා’ යන නම දුන්නා. තනි පුද්ගලයකු පදවාගෙන යන ඉතා සැහැල්ලූ ගුවන්යානයක් ‘තණකොළපෙත්තා’ නමින් ද පසු කලෙක නිපද වූ කුඩා හෙලිකොප්ටරයක් ‘සූටික්කා’ ලෙසද නම් කළා.

රේගේ සුවිශේෂත්වය වූයේ තමා නිර්මාණය කරන සියලූ නව යානා මුලින්ම පියාසර කිරීමට ඔහුම ඉදිරිපත් වීමයි. ඒවා තැනීමට තාක්ෂණික ශිල්පීන්ගේ සහාය ලබා ගත්තද මුල් පියාසර කිරීම තමන් කළ යුතුයැ’යි ඔහු අවධාරණය කළා.

ඇත්තටම රේ තමන්ගේ ගුවන්යානා පදවාගෙන ගොස් අනතුරට පත් වී බිමට ඇද වැටුණු අවස්ථා තිබුණා. වරක් ඔහු ප‍්‍රකට ගෘහ නිර්මාණශිල්පී ජෙෆ්රි බාවාගේ ලූණුගඟ නම් බෙන්තොට පිහිටි සුන්දර නිවහන හා වත්තට ගුවනින් ගියා. සුළු ප‍්‍රමාද දෝෂයකින් ඔහු යානය පහත් කළේ වැරදි තැනටයි. වහලත් කඩා ගෙන ඔහු ගේ සාලය මැදට ඇද වැටී යම් තුවාල ලැබුවා. (එහෙත් කම්පාවට පත් නොවූ බාවා ‘මෙච්චර පළල දොරක් තියෙද්දි ඇයි ඔබට මේ වහලෙන් එන්නේ?’ යයි ඇසුවාලූ!)

තමන්ගේ ගුවන්යානාවලින් ඇද වැටී අතපය කඩා ගත් අවස්ථාවල පවා ඒ තුවාල සුව වීමෙන් පසු රේ යළිත් වඩා හොඳින් එම යානා දියුණු කිරීමට යොමු වුණා. රේ තම කොළඹ නිවසේ ටිකෙන් ටික තනා නිම කළ කුඩා අහස්යානා ‘පිකප්’ රථයක පිටුපස දමා ගෙන රත්මලාන ගුවන්තොටුපොළට ගෙන යනවා. ඉනික්බිති එහි බලධාරීන්ගේ අනුමැතිය හා අනුදැනුම ඇතිව එතැනින් ගුවන් ගමන් අරඹනවා. රත්මලාන අවට නිවැසියන්ට අමුතු ආකාරයේ කුඩා ගුවන්යානා ගමන් කරනු එකල සුලභ දසුනක් වුණාග

1980 දශකයේ තේ පර්යේෂණ සභාවේ සභාපති ලෙස ක‍්‍රියා කරන විට රේ තලවාකැලේ තේ පර්යේෂණායතනයට කොළඹ සිට තමන්ගේ වියදමින් තම කුඩා ගුවන්යානයකින් රැස්වීම් සඳහා යාමේ සිරිතක් තිබුණා. එසේම හලාවත කාක්කපල්ලියේ තිබූ ඔහුගේ පොල් වත්තටත් ගුවනින් යනවා.

මේ කිසිවක් කළේ සෙල්ලමට, සෙල්ලක්කාරකමට හෝ තම ප්‍රභූ උරුමය පෙන්වීමට නොව මෙරට කුඩා ගුවන්යානාවල ශක්‍යතාව අධ්‍යයනය කිරීමටයි. මිල අධික පජොරෝ ආකාරයේ රථයක මූලික ආයෝජනයට හා නඩත්තු වියදමට වඩා සැලකිය යුතු අඩු වැයකින් සැහැල්ලූ ගුවන්යානා අපේම රටේ තනා භාවිත කළ හැකි බව ඔහු ප‍්‍රායෝගිකව පෙන්වා දුන්නා.

1988දී ඔහු ගුවන් චාරිකාවලදී වැදගත් සොයා ගැනීමක් කළා. එනම් කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවලට අඩි 800-1,800 පමණ ඉහළින් තුනී මීදුමක් (haze) පවතින බවයි. අන් ගුවන් නියමුවන් නම් මෙබඳු මීදුමක් හමු වූ විට එය මගහැර වෙනත් උසකට පියාසර කරනවා. එහෙත් මෙයට හේතුව කුමක්දැ’යි විමසීම හරහා රේ මෙය වාහන දුමාරයන් ඉහළ නැගීම නිසා හට ගන්නා බවත්, සති අන්තවල දකින්නට නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.

මෙරට වාත දුෂණයට වාහනවල දායකත්වය කල් තබා දුටු ඔහු, වාත දුෂණය ගැන වැඩිපුර පර්යේෂණ කිරීමට මෙරට පරිසරවේදීන් හා සරසවි ඇදුරන්ගේ ඉල්ලා සිටියා.

මෙරට ගුවන්තොටුපොළ හා ගුවන් තීරුවලට අමතරව වෙනත් තැන්වල සිට කුඩා ගුවන්යානා ගුවන් ගත කිරීමට හා ගොඩ බැස්වීමට හැකි ද යන්න රේ අධ්‍යයනය කළා. එහිදී ඔහු තේරුම් ගත්තේ මෙරට සිය ගණනක් ඇති ලොකු වැව් හා ජලාශ ඒ සඳහා සුදුසු බවයි.

Ray Wijewardene with an amphibious plane he designed, testing it at the Bolgoda Lake close to Colombo, Sri Lanka in the 1990s
Ray Wijewardene with an amphibious plane he designed, testing it at the Bolgoda Lake close to Colombo, Sri Lanka in the 1990s

දියගොඩ දෙකෙහිම බැස්විය හැකි උභයචාරී (amphibious) කුඩා ගුවන් යානයක් ඔහු නිර්මාණය කළා. කොළඹට ආසන්න බොල්ගොඩ වැවේ අත්හදා බැලීම කළ පසු මේ ගුවන් යානයක නැගී යම් දුරක් ගමන් කොට නුවරඑළියේ ග්‍රෙගරි වැව නැත්නම් පරාක‍්‍රම සමුද්‍රය වැනි ජලාශවලට සීරුවෙන් බැස්වීමට ඔහු සමත් වුණා. මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා (පරිසර ආරක්ෂණ පියවරද සමග) ජලාශ යොදා ගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ 1990 ගණන්වලයි.

මෙරට සියවසක සිවිල් ගුවන් ගමන් ගැන 2012දී සමරු ග‍්‍රන්ථයක් ලියූ, විශ‍්‍රාමික ගුවන් නියමු හා ලේඛක කපිතාන් එල්මෝ ජයවර්ධන සිය ජ්‍යෙෂ්ඨ සගයා වූ රේ විජේවර්ධන ගැන මෙසේ කියනවා: ‘රේ කියන්නේ මගේ ජීවිතයේ හමු වූ අපූර්වතම ගුවන් නියමුවායි. ඔහු අහසට පෙම් බැඳි, අහසේ නිදහසේ සැරිසරන්නට මහත් සේ ආසා කළ කෙනෙක්. සංවෘත වූ විශාල ගුවන්යානයක යනවා වෙනුවට හැකි තරම් විවෘත, සැහැල්ලූ ගුවන්යානාවලින් තමන්ගේ ගමන් ගිය අයෙක්. ඇත්තටම ගුවනේ අසිරිය අත්විඳි හා බෙදා ගත් අපේ අංක එකේ අහස්යාත‍්‍රිකයා ඔහු යැ’යි නොබියව කිව හැකියි.’ http://www.raywijewardene.net/the_aviator.html

මේ දිනවල කථාබහට ලක් වූ ලිහිණියා යනු ගුවන් නියමුවා සහ තවත් එක් අයකුට යා හැකි, අවර පෙත්තකින් ක‍්‍රියා කළ සැහැල්ලූ ගුවන් යානයක්. එය රේ නිර්මාණය කළේ 1988-90 වකවානුවේ. මුහුදු මට්ටමේ සිට අඩි 5,800ක් දක්වා ඉහළට යා හැකි වූ එම යානය අශ්වබල 64ක ධාරිතාව තිබූ එන්ජිමකින් බලය ලබා ගත්තා. පැයට සැතපුම් 80ක උපරිම වේගයකින් ගමන් කළ හැකි වුණා.

Two-seater Lihiniya light aircraft being built in the garage of Ray Wijewardene at his Colombo home
Two-seater Lihiniya light aircraft being built in the garage of Ray Wijewardene at his Colombo home

එකල මෙරට වාසය කළ හා රේගේ සමීප මිතුරකු වූ කීර්තිමත් ලාංකික විද්‍යාඥ සිරිල් පොන්නම්පෙරුමට මහනුවර පිහිටි මූලික අධ්‍යයන ආයතනය හා කොළඹ අතර නිතර ගමන් කිරීමට වඩා කාර්යක්ෂම ක‍්‍රමයක් ලෙස රේ මෙම ලිහිනියා යානය යෝජනා කළා. පොන්නම්පෙරුම එයට කැමති වී කිහිප විටක් ගුවන් ගමන්වල යෙදුණත් එය දිගටම සිදු වූයේ නැහැ.

1986 සිට රේ හඳුනාගෙන සිටි මටත් ලිහිනියා යානයේ ගමන් කරන්නට ඔහු කිහිප විටෙක ඇරැයුම් කළා. එහෙත් රේගේ අනතුරු ගැන අසා සිටි මා එයට තරමක් බිය වුණා. එසේ ගිලිහී ගිය අවස්ථාව ගැන මා අද දක්වා කනගාටු වනවා.

වයස 70 පිරුණු පසු තම ගුවන් නියමු බලපත‍්‍රය වාර්ෂිකව අලූත් කර ගන්නට ඔහු වෛද්‍ය පරීක්ෂණවලට ගියේ යම් චකිතයකින්. එහෙත් ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයේ පසු වූ ඔහුට බලපත‍්‍රය අලූත් කර ගැනීම කිසිදා ප‍්‍රශ්නයක් වුණේ නැහැ.

අන්තිමේදී අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ විහිදුණු රේගේ ගුවන් නියමු චාරිකාව හමාර වූයේ වයස නිසා නොව යුද්ධය නිසා. 2000 ගණන් මුල හරියේදී ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකා මෙරට සියලූම අභ්‍යන්තර සිවිල් ගුවන් ගමන් නතර කරනු ලැබුවා.

ලිහිනියා ගුවන්යානා අවසන් වරට ගුවන් ගතවූයේ 2000 ජූලි මාසයේදී. එවිට රේගේ වයස 75යි. ඊට ටික කලකට පසු මතුව ආ තහනම නිසා යළි කවදාවත් රේ තමන්ගේම යානයකින් පියාසර කළේ නැහැ. 2009 මැයි යුද්ධය අවසන් වන විට ඔහුට තව දුරටත් ගුවන් නියමු බලපත‍්‍රයක් තිබුණේ ද නැහැ. 2010 අගෝස්තුවේ ඔහු මිය ගියා.

ඔහුගේ ජීවිතයේ අවසාන වසර කිහිපයේ තමා සතු වූ තමා නිපද වූ ගුවන්යානා එකින් එක හිතමිතුරන්ට හා සහායකයන්ට තෑගි කළා. මේවා කෙදිනක යළි ගුවන්ගත කිරීමට හැකි වේදැ’යි කිසිවකු එවකට දැන සිටියේ නැහැ.

ලිහිනියා යානය ලැබුණේ චන්ද්‍රන් රත්නම්ගේ ගුවන් පාසලට. මෙරට සිවිල් ගුවන් ඉතිහාසයේ පෞද්ගලික ගුවන්යානා නිපදවීමේ හා පියාසර කිරීමේ උරුමය සංකේතවත් කරන ලිහිනියා යානය මීට වඩා ඕනෑකමින් රැක බලා ගත යුතුව තිබුණා.

කෞතුක වටිනාකමක් නැතත් සංකේතාත්මක වටිනාකමකින් යුතු මේ යානය හුදු ප‍්‍රදර්ශන භාණ්ඩයක් වී පසෙක දමා තිබීම අපේ මෑත ඉතිහාසය හා තාක්ෂණික උරුමය ගැන සමාජයක් ලෙස අප දක්වන අඩු අවධානය පෙන්නුම් කරනවා.

තටු ගිලිහී ගිය අබලන් ලිහිනියා සංකේතවත් කරන්නේ අපේ යුගයේ එක්තරා ආකල්පමය පරිහානියක්ද?

Ray Wijewardene (left) with Prof Cyril Ponnamperuma just before flying on Lihiniya, around 1990
Ray Wijewardene (left) with Prof Cyril Ponnamperuma just before flying on Lihiniya, around 1990

 

 

Vidusara news: දෙස් විදෙස් විද්‍යාඥයන් 25කගේ ජීවන අත්දැකීම් ඇතුළත් පොතක්

Vidusara, Sri Lanka’s only weekly science newspaper, carries this news item in its issue of 10 December 2014 on my latest book, just published by Sri Lanka Association for the Advancement of Science (SLAAS):

දෙස් විදෙස් විද්යාඥයන් 25 ගේ ජීවන අත්දැකීම් ඇතුළත් පොතක්

Seekers and Builders of Our World Inspiring Stories of 25 Scientists - by Nalaka Gunawardene
Seekers and Builders of Our World Inspiring Stories of 25 Scientists – by Nalaka Gunawardene

දෙස් විදෙස් විද්‍යාඥයන් 25 දෙනෙකු ගේ ජීවිත කථා අන්තර්ගත Seekers and Builders of Our World: Inspiring Stories of 25 Scientists නමින් යුත් අගනා ග‍්‍රන්ථයක් ඉකුත් දා එළිදැක්විණි. මේ ග‍්‍රන්ථය එළිදක්වන ලද්දේ ඉකුත් සතියේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැති විද්‍යාභිවර්ධන සංගමයේ වාර්ෂික සැසියේ ආරම්භක උත්සවයේ දීය.

විද්‍යාභිවර්ධන සංගමයේ ඇරයුමෙන් මේ ග‍්‍රන්ථය සම්පාදනය කර ඇත්තේ සම්මානලාභි විද්‍යා ලේඛක නාලක ගුණවර්ධන විසිනි.

මහාචාර්ය රමණී ඞී. විජේසේකර, මහාචාර්ය සාගරිකා ඒකනායක, මහාචාර්ය මංජුලා විතානපතිරණ සහ ආචාර්ය ඒ.එම් මුබාරක් යන විද්වතුන් ගෙන් සැදුම් ලත් සංස්කාරක මණ්ඩලයක මාර්ගෝපදේශනය මේ සඳහා ලැබී තිබේ. පිටු සැලසුම් හා සිතුවම් චිත‍්‍ර හා කාටුන් ශිල්පි දර්ශන කරුණාතිලක ගෙනි.

පිටු 350කින් සමන්විත මෙහි ඇතුළත් වන්නේ ලොව දැවෙන ප‍්‍රශ්නවලට විසඳුම් සොයාගනිමින් සහ ලෝකය ජීවත් වීමට වඩාත් සුව පහසු තැනක් කරමින් කැපී පෙනෙන සමාජ මෙහෙයකට දායක වූ විද්‍යාඥයන් 25 දෙනෙකු පිළිබඳ තොරතුරුය.

ඔවුනට විද්‍යායන් වීම සඳහා පොළඹවීමක් ලැබුණු ළමා වියේ සිදුවීම් සහ ඔවුන් ජයගත් ජීවිත අභියෝග කෙරෙහි මේ චරිත කතා සම්පාදනයේ විශේෂ අවධානයක් යොමු කර ඇත.

ඒ අනුව මෙය අනාගතයේ විද්‍යාඥයන් ලෙස ලොවට සේවයක් සැලසීම සඳහා නූතන පරපුර දිරිගන්වන සුලූ කෘතියක් ලෙස හඳුන්වා දිය හැකිය.

නෝමන් බෝර්ලොග්, රේචල් කාසන්, ආතර් සී. ක්ලාක්, ගාමිණී කොරෙයා, ජැක් ඊව් කුස්ටෝ, මාරි කියුරි, පී.ඊ.පී. දැරණියගල, ඇල්බර්ට් අයින්ස්ටයින්, එන්රිකෝ ෆර්ම්, ස්ටීව් ජොබ්ස්, රොබර්ට් කොක්, ඒ.එන්.එස්.කුලසිංහ, වන්ගරි මාතායි, මරියෝ මොලිනා, ලයිනස් පෝලිං, වෙන් හියුසෙන්, සී.වී.රාමන්, සිරි නිවාස රාමනුජන්, විල්හෙල්ම් රොන්ට්ජන්, අබ්දුස් සලාම්, ඬේවිඞ් සුසුකි, සෙල්මන් වැක්ස්මන්, රේ විජේවර්ධන, එඞ්වර්ඞ් ඕ විල්සන් සහ ඞී.ජේ. විමලසුරේන්ද්‍ර යන චරිත මෙහි ඇතුලත් වේ.

ඡායාරූපයේ දැක්වෙන්නේ එක්සත් රාජධානියේ ක්වින්ස් සරසවියේ කාබනික   රසායන විද්‍යා අංශයේ ප‍්‍රධාන මහාචාර්ය ඒ.පී.ද සිල්වා මහතා වෙත විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති ආචාර්ය ඒ.එම්. මුබාරක් මහතා විසින් ග‍්‍රන්ථයේ පිටපතක් පිළිගන්වන ලද අවස්ථාවයි.

මේ ග‍්‍රන්ථයෙහි සීමිත පිටපත් ප‍්‍රමාණයක් අංක 120/10, විද්‍යා මාවත, කොළඹ 7 හි පිහිටි විද්‍යාභිවර්ධන සංගම් කාර්යාලයෙන් රු. 500 ක් වන සහන මිලකට ලබා දීමට කටයුතු යොදා ඇත.

මේ අතර රාජ්‍ය අනුග‍්‍රහයෙන් මෙහි සිංහල මුද්‍රණය පළ කිරීමට ද කටයුතු සූදානම් කර තිබේ.

Vidusara, 10 Dec 2014, page 2
Vidusara, 10 Dec 2014, page 2

සිවුමංසල කොලූගැටයා #149: සිරිල් පොන්නම්පෙරුමගේ දැවැන්ත සෙවනැල්ල

In this week’s Ravaya column, I pay another tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.This explores the time he spent in Sri Lanka in the late 1980s, working as Presidential Science Adviser and Director of the Institute of Fundamental Studies (IFS) in Kandy.

See also my English tribute published in 2009: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Dr Cyril Ponnamperuma at IFS Kandy - Photo by Samanmalee Sugathadasa
Dr Cyril Ponnamperuma at IFS Kandy – Photo by Samanmalee Sugathadasa

‘එයා මොනවද හදල තියෙන්නේ?’

ජාත්‍යන්තර කීර්තියට පත් මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1923 – 1994) ගැන 2013 අගොස්තු 11දා මා ලියූ කොලමට ලැබුණු එක් ප‍්‍රතිචාරයක් වූයේ එයයි.

පොන්නම්පෙරුමයන්ගේ ජෛව රසායනික විද්‍යා පර්යේෂණ ගැන විවාදයක් නැතත්, ඔහු විසිවන සියවසේ මෙරටින් බිහි වූ ශෙෂ්ඨතම විද්‍යාඥයකු යයි මේ ප‍්‍රශ්නය මතු කළ මගේ මිතුරා පිළිගත්තේ නැහැ. ඉංජිනේරුවකු වන ඔහු බොහෝ විට භෞතික ඉදිකිරීම් සළකා බලා එම තක්සේරුවට එළඹුණා විය හැකියි. එකී නිර්ණායකය අනුව බලන විට නම් මේ විද්‍යාඥයා පාලම්, ජලාශ, මහාමාර්ග හෝ වරාය නොතැනූ බව ඇත්තයි.

එහෙත් හැම විද්වතකුගේ ම දායකත්වය එබඳු තනි කෝදුවකින් මනින්නට බැහැ. පොන්නම්පෙරුම මා දකින්නේ විවෘත මනසකින් ලෝකය ගවේෂණය කරන්නට හැකියාවත්, ගැටඵ විසඳන්නට ආත්ම විශ්වාසයත් තිබෙන ගෝල පරපුරක් බිහි කළ නැණ පහනක් හැටියටයි. පර්යේෂණ ලෝකය හා ප‍්‍රතිපත්ති ලෝකය යා කළ මාහැගි පාලමක් ලෙසටයි. මේ කෝණවලින් ඔහුගේ දායකත්වය තව ටිකක් විග‍්‍රහ කරන්නට මා කැමතියි.

පොන්නම්පෙරුම ලොව මුල් පෙළ් දැනුම් ගවේෂකයෙක්, පර්යේෂකයෙක් හා ගුරුවරයෙක් වුණත් ඔහුගේ කුසලතා එයට සීමා වූණේ නැහැ. ඔහු ප‍්‍රතිපත්ති මට්ටමෙන් දේශපාලකයන් සමග විද්වත් ලෙස ගනුදෙනු කරන්නත්, මාධ්‍ය හරහා විද්‍යාත්මක චින්තනය පොදු ජනයාට සමීප කරන්නත් සමතකු වුණා. තනි පුද්ගලයකු තුළ මේ හැකියාවන් සංකලනය වන්නේ කලාතුරකින්.

1984 – 1990 කාලය තුළ ශී‍්‍ර ලංකාවේ ජනාධිපති විද්‍යා උපදේශක ලෙස ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පේ‍්‍රමදාස ජනාධිපතිවරුන් සමග කටයුතු කළ ඔහු, මූලික අධ්‍යයන ආයතනයේ (IFS) දෙවන අධ්‍යක්‍ෂවරයා ලෙසත් සේවය කළා.

විද්‍යාව හා තාක්‍ෂණය දියුණු වන ලෝකයේ රටවල ආර්ථික හා සමාජ සංවර්ධණ්‍ය නැණවත් සේ යොදා ගැනීම ගැන ඔහුට මුහුකුරා ගිය දැක්මක් තිබුණා. විද්‍යාවේ මූලික පර්යේෂණ (fundamental research) පවා සැබෑ ලොව ප‍්‍රශ්න හා අභියෝග විසදීමට ඉලක්ක කර ගත හැකි බව ඔහු විශ්වාස කළා.

පර්යේෂණ සඳහා මහජන මුදල් වැය කිරීම දියුණු වන රටකට කළ හැකි ප‍්‍රශස්ත ආයෝජනයක් බවත්, නිවැරදි ප‍්‍රතිපත්ති රාමුවක් තුළ, චින්තනයේ නිදහස පර්යේෂකයන්ට ලබා දෙමින් ඔවුන්ට යම් මග පෙන්වීම් කිරීම ඔහුගේ ක‍්‍රමවේදය වුණා. සාම්ප‍්‍රදායික සරසවි විද්‍යා පීඨ හා රාජ්‍ය පර්යේෂණායතනවලින් වෙනස් වූ IFS හරහා මේ සියල්ල කි‍්‍රයාවට නගන්නට ඔහු වෙර දැරුවා.

1981දී ජයවර්ධන රජය IFS පිහිටු වන විට එයට ගුරු කොට ගත් පර්යේෂණායතන දෙකක් තිබුණා. එකක් නම් ඉන්දියාවේ ටාටා මූලික පර්යේෂණායතනයයි. අනෙක ඊශ‍්‍රායලයේ වයිස්මාන් විද්‍යායතනයයි. දැනුමේ නිම් වළලූ පුඵල් කරන්නට කරන විද්‍යා පර්යේෂණවලින් රටේ ආර්ථිකයට හා ජන ජීවිතයට අදාල සංවර්ධන ගැටඵ විසදීමට ද තැත් කිරීම මේ පර්යේෂණායතනවල ප‍්‍රවේශයයි.

IFS මුල් අධ්‍යක්‍ෂවරයා වූයේ තවත් කීර්තිමත් ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය චන්ද්‍ර වික‍්‍රමසිංහයි. කොළඹ කුඩා කාර්යාලයකට සීමා වුණු IFS මහනුවර හන්තානේ ඉඩකඩ හා පහසුකම් ඇති පර්යේෂණාගාර සංකීර්ණයක් බවට පත් වූයේ පොන්නම්පෙරුම එහි දෙවැනි අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ කාලයේයි.

Institute of Fundamental Studies, Kandy, Sri Lanka
Institute of Fundamental Studies, Kandy, Sri Lanka

රට තුළ බුද්ධි ගලනයක් වීම වැළැක්වීමට ඔහු කළේ තෝරා ගත් විද්‍යාඥයන්ට තමන් දැනට සේවය කරන සරසවිවල සිටින අතර ම IFS සමග ද පර්යේෂණ සබඳතා පවත්වා ගැනීමේ නම්‍යශීලී ක‍්‍රමයක් ඇරඹීමයි. නිලධාරිවාදී කාර්යාලීය වේලාවන්ට වඩා ඔහුට වැදගත් වුණේ කැපවීම හා ප‍්‍රතිඵලයි. හොඳ පර්යේෂණ හා බුද්ධි ගවේෂණ කාර්යාල වේලාව තුළ එක් තැනකට කොටු වී කළ නොහැකි බව ඔහු ජාත්‍යන්තර අත්දැකීමෙන් දැන සිටියා.

රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන මත පමණක් නොයැපී, ජාත්‍යන්තර මට්ටමෙන් පර්යේෂණවලට තිබෙන අරමුදල් තරගකාරී ලෙසින් හොඳ යෝජනා (proposals) ලියා දිනා ගැනීමේ සම්ප‍්‍රදායට ඔහු  IFS පර්යේෂකයන් යොමු කළා. වැඩ කරන්න  ඕනෑකම හා කැපවීම තිබේ නම් විකල්ප සම්පත් සොයා ගත හැකි බව ඔහු විශ්වාස කළා.

ඔහු කළෙ පොදු අභියෝග ජය ගන්නට සාමූහිකව හා විවිධ කෝණවලින් පර්යේෂණ කරන්නට විවිධ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් දිරිමත් කිරීමයි (multi-disciplinary research).

උදාහරණයකට මෙරට ගොවිතැනේ ප‍්‍රබල සීමාකාරී සාධකයක් වන පොහොර ප‍්‍රශ්නය ගන්න. 1960 ගණන්වල සිට හරිත විප්ලවය හරහා ගොවිබිම්වලට යොදන රසායනික පොහොර හා අනෙකුත් කෘෂිරසායනික මගින් අස්වනු ඉහළ නැංවූවත් එයින් ගොවියාත්, රටත් වඩාත් විදේශවලට ණයගැති වන සැටි ඔහු දුටුවා.

IFS පර්යේෂකයන්ට ඔහු දුන් ඉලක්කයක් වූයේ මෙරට ගොවිතැනට අවශ්‍ය පොහොර මෙරට ම නිපදවා ගන්නා ක‍්‍රම දියුණු කිරීමයි. වාතයෙන් නයිට‍්‍රජන් සංශ්ලේෂණය කරන (රනිල කුලයේ) ශාක වැඩිපුර වැවීමත්, එප්පාවල ෆොස්ෆේට් නිධිය වඩා කාර්යක්‍ෂම ලෙස පොහොර බවට පත් කිරීමත් සොයා බලනු ලැබුවා.

මෙබඳු ගවේෂණ සඳහා කෘෂි විද්‍යාඥයන්, රසායන විද්‍යාඥයන් හා භෞතික විද්‍යාඥයන් පමණක් නොව සමාජ විද්‍යාඥයන් ද හවුල් කර ගැනීම පොන්නම්පෙරුමගේ දර්ශනයේ කොටසක් වුණා. කෙතරම් අනගි විසඳුමක් විද්‍යාඥයන් සොයා ගත්ත ද අවසානයේ එය ගොවීන්ට ප‍්‍රායෝගිකව යොදා ගත හැකි වීමේ වැදගත්කම ඔහු අවධාරණය කළා.

මෙරට මැණික් ගැරීම් සාම්ප‍්‍රදායිකව කෙරුණේ රත්නපුරය කේන්‍ද්‍රකොට ගත් සබරගමු පළාතේ හා මධ්‍යම පළාතේ ප‍්‍රදේශවලයි. මැණික් ඉල්ලම් පිහිටීම විද්‍යානුකූලව සිතියම් ගත කිරීමේ උත්සාහයක් හරහා මේ සාම්ප‍්‍රදායික කර්මාන්තයට යම් පදනමක් ලබා දෙන්නට IFS පර්යේෂණයක් උත්සාහ කළා. ඒ අතර මැණික් කැපීමට රොබෝ අතක් නිපද වූ තරුණ ඉංජිනේරුවකුට අවශ්‍ය දිරි ගැන්වීම හා ප‍්‍රතිපාදන ලබා දී එය ලෝක මට්ටමේ නව නිපැයුමක් බවට පත් කරන්නට ද පොන්නම්පෙරුම මූලික වූණා.

මෙබඳු උදාහරණ රාශියක් තිබෙනවා. සමාජ පසුබිම හා වයසින් අඩු බව නොතකා හොඳ අදහස් ඇති  ඕනෑ ම පර්යේෂකයකුට අතහිත දීමට ඔහු සැදී පැහැදී සිටියා.

Dr Cyril Ponnamperuma (right) and artist George Keyt
Dr Cyril Ponnamperuma (right) and artist George Keyt

විද්‍යාව හා කලාව බද්ධ කිරීම හරහා ද දැනුමේ නව මානයන් සොයා යා හැකි බව පොන්නම්පෙරුමගේ අදහස වුණා. මේ නිසා ජෝර්ජ් කීට් වැනි සම්මානනීය කලාකරුවන්, ප‍්‍රවීණ නර්තන ශිල්පීන් IFS වෙත ගෙන්වා ඔවුන් මුණ ගැසීමට පර්යේෂකයන්ට අවස්ථාව උදා කළා. ජපන් රජය IFS පර්යේෂණාගාර සංකීර්ණය තනා පරිත්‍යාග කරන විට IFS තුළ ජපන් සෙන් උද්‍යානයක් (Japanese Zen Garden) ද ඉදි කිරීමට ඔහු කි‍්‍රයා කළා.

IFS ආයතනය මහජනයාට විවෘත කරන දින පැවැත්වීමට ද පාසල් සිසුන් ගෙන්වා විද්‍යා පර්යේෂණ ගැන ඔවුන් දැනුවත් කරන වැඩසටහන් කිරීමට ද ඔහුගේ විද්‍යාව ජනතාව අතරට ගෙන යාමේ ප‍්‍රයන්තයේ අංගයන් වුණා. රටේ දක්‍ෂම සිසුන් වෘත්තික ක්‍ෂෙත‍්‍ර (වෛද්‍ය, ඉංජිනේරු හා නීති) වලට ඇදී යන පසුබිමක විද්‍යා පර්යේෂණ සඳහා හොඳ මොළ ඇද ගන්නේ කෙසේද යන්න ඔහු නිතර මෙනෙහි කළා.

ධූරානුක‍්‍රමවලට කොටු වී සිටි මෙරට පර්යේෂණ ක්‍ෂෙත‍්‍රයේ ක‍්‍රමවේදය වෙනස් කොට තරුණ පර්යේෂකයන්ට හා දක්‍ෂ සිසුන්ට පවා සංවාදමය අවකාශය විවර කැරෙන ආකාරයේ කෙටි සම්මන්ත‍්‍රණ (Research colloquium) නිතිපතා පැවැත්වූවා. මේවායේදී මුල් තැන ලැබුණේ විචාරශීලී දැනුම ගවේෂණයට මිස පර්යේෂකයන්ගේ පැටිකිරියට නොවෙයි.

එසේ ම ජෛව විද්‍යා, භෞතික විද්‍යා හා සමාජ විද්‍යා ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් නිතර එකට මුණ ගැසී සාමීචි කරන සංවාදශීලී වාතාවරණයක් ඔහු ඇති කළා. මේවා අද කාලේ සුලබ වූවත් මීට වසර 25කට පෙර මෙරටට අඵත් හා අමුතු අත්දැකීම් වුණා.

එය යම් තරමකට IFS තුළ ස්ථාපිත කළත් විද්‍යා උපදේශක ලෙස මෙරට විද්‍යා අධ්‍යාපනය, පර්යේෂණ පිළිවෙත් හා විද්‍යා පර්යේෂණායතන පරිපාලනය නවීකරණය කරන්නට ඔශු ගත් උත්සාහයන් එතරම් දුර ගියේ නැහැ. එයට හේතුව අඵත් යමක් කරන්නට, හොඳ වැඩක් කරන්නට යන  ඕනෑ ම කෙනෙකුට ලක් සමාජයේ මතු වන ප‍්‍රතිරෝධයයි. පොන්නම්පෙරුම පිටස්තරයකු ලෙස දුටු අපේ සමහර විද්‍යාඥයන් ඔහු යෝජනා කළ හැම දේට ම සංවාදයකින් තොරව විරුද්ධ වුණා.

එහෙත් පොන්නම්පෙරුම විවර කළ නව මගෙහි ගිය එවකට තරුණ වියේ සිටි පර්යේෂකයෝ ගතානුගතිකත්වයෙන් හා වැඩවසම්බවින් මිදී කි‍්‍රයා කරන්නට පටන් ගත්තා.

පොන්නම්පෙරුමගේ ලොකු ම දායකත්වය ලෙස මා දකින්නේ ඔහු මුල් වී තැනූ ආයතන හෝ ඔහු දිරිගැන් වූ පර්යේෂණ නොවෙයි. විවෘත මනසක් ඇති හා අභිමානයෙන් යුතුව ලෝක මට්ටමේ පර්යේෂණ අපේ රට තුළ ම කිරීමට හැකි පර්යේෂක පරපුරක් බිහි කිරීමයි. ඔහුගේ සෙවනේ හැදුණු මහාචාර්ය රොහාන් සමරජීව වැනි විද්වතුන් අද සිය පර්යේෂණායතනය (LIRNEasia) හරහා ඉදිරියට ගෙන යන්නේ ඒ සම්ප‍්‍රදායයි.

තමා ලංකාවේ සිටින  ඕනෑම විටෙක දුරකථනයෙන් ඇමතීමට ඔහු මාධ්‍යවේදීන්ට ඉඩ සළසා තිබුණා. මේ විවෘත බවෙන් වැඩිපුර ප‍්‍රයෝජන ගත්තේ Daily News පත‍්‍රයේ ටී. සබාරත්නම් හා මායි.

පොන්නම්පෙරුම ඉතා නිරහංකාර චරිතයක් බව ටික කලකින් මා තේරුම් ගත්තා. අද මෙන් ජනාධිපති උපදේශකයන් දුසිම් ගණන් නොසිටි එකල ජනාධිපති විද්‍යා උපදේශක යනු ගාම්භීර තනතුරක්. එහෙත් පොන්නම්පෙරුමට කිසි දිනෙක තනතුරේ මාන්නයක් තිබුණේ නැහැ.

ඔහු ගමන් කළෙ සාමාන්‍ය පෙළේ කුඩා ජපන් මෝටර් රථයකයි. කොළඹ සිටින විට IFS අගනුවර කාර්යාලයේ ම කාමරයක නවාතැන් ගත්තා. කොළඹ-නුවර ගමන නිතර කරන නිසා මෙය වඩාත් ඉක්මනින් කළ හැකි ක‍්‍රමයක් තිබේදැයි ඔහු සොයා බැලූවා. රේ විජේවර්ධන විසින් දිය මත ගොඩ බැස්විය හැකි ආකාරයේ කුඩා ගුවන් යානයක් සැළසුම් කොට නිර්මාණය කළේ මේ සඳහායි. කොළඹ බේරේ වැවෙන් පිටත් වී නුවර වැවේ ගොඩ බෑ හැකි ඒ ගුවන් යානය නියමුවකු හා තනි මගියකුට පමණක් යා හැකි කුඩා එකක්. තාක්‍ෂණික අතින් අවශ්‍ය ප‍්‍රමිතීන් සියල්ල එය සපුරා ගත්ත ද යම් හේතුවක් නිසා භාවිතයට ගත නොහැකි වූවා.

පොන්නම්පෙරුමගේ සමහර අදහස් ප‍්‍රායෝගික වූයේ නැහැ. දඹල පර්යේෂණායතනයක් ඇරඹුවත් එය කල් පවත්වා ගන්නට බැරි වුණා. මහනුවර-පේරාදෙණිය ප‍්‍රදේශවල තිබෙන විවිධ විද්‍යාත්මක ආයතන ඒකරාශී කොට ‘විද්‍යා රාජපුර’ ලෙස නම් කිරීමට ඔහු ගෙනා යෝජනාව ද කි‍්‍රයාත්මක කළ නොහැකි වුණා. ඔහුගේ තවත් සමහර දුරදර්ශී සංකල්පයන් කි‍්‍රයාවට නැගුණේ 1990 ඔහු මෙරටින් නික්මී වසර කිහිපයක් ගත වුවාට පසුවයි.

අමෙරිකාවේදී පොන්නම්පෙරුමයන්ගෙන් උගත් හෝ ඔහු ලියූ පර්යේෂණ නිබන්ධවලින් දැනුම සරු කර ගත් පර්යේෂකයන් දහස් ගණනක් ලොව පුරා සිටිනවා. එබඳු අය ජපානය, ඉන්දියාව, ඉතාලිය, කැනඩාව, අමෙරිකාව හා බ‍්‍රසීලය වැනි රටවලදී මට මුණ ගැසී තිබෙනවා. ඒ සමහරකුට පොන්නම්පෙරුමගේ නම හරිහැටි උච්චාරණය කරන්නට අමාරු වුවත් ඔහු ඉතිරි කර ගිය දැනුම් සම්භාරය හා ප‍්‍රබෝධක ආවේගය (inspiration) ගැන ඉතා කෘතඥ පූර්වකව කථා කරනවා.

මේ යශෝරාවය භෞතික ඉදිකිරීම්වලට වඩා දහස් වාරයක් වටිනවා. යම් දිනෙක ග‍්‍රහකයක් හෝ ග‍්‍රහලොවක් මත ආවාටයක් පොන්නම්පෙරුම ලෙස නම් කැරෙනු ඇතැයි මා පතනවා. විශ්වයත් අපත් අතර සබඳතා ගවේෂණය කළ අපේ කොල්ලාට ලැබිය හැකි ඉහළ ම ගෞරවය එයයි.

See also:

සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

Remembering Dr Cyril Ponnamperuma: Inspirational maverick of Sri Lankan science

Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990
Dr Ray Wijewardene (left) with two-seater plane he designed for Dr Cyril Ponnamperuma in 1990

සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

This week’s Ravaya column (in Sinhala) is about the rising exports of hazardous pesticides coming to the developing world from China.

Similar ground was covered in English in The Coming Pesticide Tsunami: Made in China?

Filipino rice farmer spraying pesticides
Filipino rice farmer spraying pesticides

1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප‍්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප‍්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප‍්‍රශ්න කළා.

ගොවිතැනේදී අධික ලෙස බාහිරින් ගෙනෙන පොහොර, කෘමිනාශක හා වල් නාශක ආදිය නිසා වගාබිමේ සමතුලිතතාව බිඳ වැටෙන බව ඔහු පසුව වටහා ගත්තා. කෙටි කාලීනව අධික අස්වනු ලැබිය හැකි වුවත් හරිත විප්ලව ක‍්‍රමවේදයන් නිසා වසර කිහිපයකින් වගාබිම් නිසරුවීම, පරිසර දුෂණය හා බරපතල සෞඛ්‍ය ගැටඵ මතු වන සැටි දැන් අප දන්නවා.

සියවස් ගණනාවක් තිස්සේ ආසියාව පුරා කුඹුරුවල ගොවීන් වී වගා කළේ කෘෂි රසායනවල පිහිටෙන් නොවෙයි. කුඹුරුවල ස්වාභාවික ව හමුවන කෘමීන්, මකුඵවන්, පක්ෂීන් හා වෙනත් සතුන් සමග පාරිසරික සමබරතාවක් පවත්වා ගන්නා සැටි ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා.

එහෙත් හරිත විප්ලවයේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වගාවට හානි කරන මෙන් ම වගාවට හිතකර සතුන් ද එක සේ විනාශ කළා. රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන වතුරේ දිය වී ඇල දොල හා ගංගා හරහා සමස්ත පරිසරයට ම මිශ‍්‍ර වුණා. මේ විෂ රසායනික අපේ ආහාරවලට සෘජුව මෙන් ම වක‍්‍රවත් ඇතුඵ වුණා.

මෑත කාලයේ හරිත විප්ලවවාදියෝ සැළකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ වැරදි පිළිගනිමින්, කල්ගත වී හෝ ඒවා නිවැරදි කරගන්නට තැත් කරනවා. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) කියන්නේ හරිත විප්ලවයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ලෝක ව්‍යාප්ත කෘෂි පර්යේෂණායතන ජාලයේ සාමාජිකයෙක්.

පසුගිය අඩ සියවස තුළ ආසියානු රටවල සහල් නිෂ්පාදනය වැඩි කිරීමට, සහලින් ආසියානු රටවල් ස්වයංපෝෂිත කිරීමට හා ආහාර හිගයන් වළක්වා ගන්නට විශාල පර්යේෂණාත්මක දායකත්වයක් IRRI ලබාදී තිබෙනවා. අධික ලෙස කෘෂි රසායන භාවිත කරමින් අධික අස්වනු හඹා යාම අහිතකර බව දැන් ඔවුන් පිළි ගන්නවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කරන ජ්‍යෙෂ්ඨ IRRI විද්‍යාඥයෙක් මෑතදී මට මුණ ගැසුණා.

Dr K L Heong of IRRI
Dr K L Heong of IRRI

ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක්. මැලේසියානු ජාතිකයකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ඉම්ජීරියල් සරසවියෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් සරසවියෙන් DSc අධිඋපාධියත් ලැබූ, දශක ගණනක් පුරා ආසියාවේ වී වගාවේ කෘමීන් පිළිබඳ පර්යේෂණ කළ අයෙක්. සත්ත්ව විද්‍යාවට සීමා නොවී ගොවීන්ගේ ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මක ගවේෂණ කරමින් කුඩා පරිමාණයේ වී ගොවීන්ට ඇති ප‍්‍රශ්න හා අවශ්‍යතා මැනවින් හදුනාගත් විද්වතෙක්.

ජෛව ලෝකයේ වැඩිපුර ම ජීවී විශේෂ හමු වන්නේ කෘමීන් වශයෙන්. ගම් නගර, වනාන්තර හා ගොවිබිම් යන සැම තැනෙක ම කෘමීන් සිටිනවා. මෙයින් බහුතරයක් කෘමීන් මිනිස් අපට හෝ බෝගවලට කිසිදු හානියක් කරන්නේ නැහැ. හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා වෙනත් කෘමීන්, මකුඵවන් හා අනෙකුත් ස්වාභාවික සතුරන් (විලෝපීයයන්) සිටිනවා.

මිනිසා යොදන කෘෂි රසායනික නිසා මේ සමතුලිතතාවය බිඳ වැවෙනවා. බොහෝ වගාබිම්වලට කෘමි නාශක අන්‍යවශ්‍ය පමණක් නොව ඒවායේ ප‍්‍රයෝජනයට වඩා හානිය වැඩි බව 1950 දශකයේ සිට ප‍්‍රබුද්ධ ජෛව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 1962දී අමෙරිකානු විද්‍යාඥ රේචල් කාසන් නිහඬ වසන්තය පොතෙන් දුන් මූලික පණිවුඩය වූයේත් එයයි (2013 ජනවරි 13 කොලම බලන්න).

ආචාර්ය හියොං කාසන්ගේ පණිවුඩය ප‍්‍රතිරාවය කරන වත්මන් පරපුරට අයත්. දියුණු රටවල කෘෂි රසායනික භාවිතය අඩු වන්නට පටන් ගෙන ඇතත් අපේ වැනි දියුණු වන රටවල ඒවා වැඩි වැඩියෙන් භාවිත වන බව ඔහු කියනවා.

කෘෂි රසායනික සුනාමියක් ළග එන බවත්, එහි බහුතර දායකත්වය ලැබෙන්නේ චීන සමාගම් වලින් බවත් ආචාර්ය හියොං අනතුරු අගවනවා. අපේ පරිසරවේදීන් මෙය නොදන්න හැඩයි.

කලක් තිස්සේ පාරිසරික හා සෞඛ්‍ය කි‍්‍රයාකරිකයන් චෝදනා කරන්නේ බටහිර රටවල භාවිතය තහනම් කළ අධික විෂ ඇති කෘෂිරසායනික, එම රටවල බහුජාතික සමාගම් විසින් දියුණුවන ලෝකයේ තවමත් අලෙවි කරන බවයි. මෙය ඓතිහාසිකව සත්‍ය වුවත් බටහිර රටවල පරිසරවේදීන්ගේ බලපෑම් නිසා එසේ කිරීමේ හැකියාව දැන් සීමා වී තිබෙනවා.

අද වන විට සංඛ්‍යා ලේඛන හරහා පැහැදිලි වන යථාර්ථය නම් අපේ රටවලට අධික විෂ සහිත කෘෂි රසායනික අලෙවි කරන්නේ ප‍්‍රධාන කොට ම චීන හා ඉන්දියානු සමාගම් විසින් බවයි.

”උතුරු – දකුණු විස රසායනික අලෙවිය(North-South dumping) ගැන අපි කලෙක සිට දැන සිටියා. එහෙත් දැන් වැඩිපුර සිදුවන්නේ දකුණු – දකුණු අලෙවියක් (South-South dumping). මේ ගැන අපේ රටවල කි‍්‍රයාකාරිකයන් එතරම් දැනුවත් වී නැහැ,” ආචාර්ය හියොං කියනවා.

skullපසුගිය දශකය තුළ ලෝකයේ විශාලතම කෘමිනාශක නිෂ්පාදකයා හා පිටරට යවන්නා බවට චීනය පත් වෙලා. චීනයේ රාජ්‍ය දත්ත පදනම් කොට ගෙන හියොං මෙය පෙන්වා දෙනවා.

”2000දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ වූ චීනයේ කෘමිනාශක නිෂ්පාදනය 2009 වන විට ටොන් ලක්ෂ 20 ඉක්මවා ගියා. එහෙත් එරට තුළ කෘමිනාශක භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුඵ වශයෙන්. ඒ කියන්නේ මේ අතිරික්කය ඔවුන් පිටරටවලට විකුණනවා.”

මේවා යන්නේ කොහේ ද?

දැඩි පාරිභෝගික හා සෞඛ්‍ය ආරක්‍ෂණ නීති නිසා දියුණු රටවලට යවන්නට බැහැ. එහෙත් එබදු නීති නොමැති හෝ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන හෝ ආසියානු හා අපි‍්‍රකානු රටවලට ඒවා අලෙවි කරන බව හියොං සාක්ෂි සහිතව පෙන්වා දෙනවා.

මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. සිය රට තුළ අධික විසැති රසායනික භාවිතය ටිකෙන් ටික සීමා කරන්නට 1983 සිට චීනය පියවර ගන්නවා. 2007දී ඕගැනෝ ෆොස්ෆරස් කාණ්ඩයේ කෘමිනාශක ගණනාවක දේශීය භාවිතය තහනම් කළා. එහෙත් මේ කර්මාන්තයේ නිරත චීන සමාගම් 2,000ක් පමණ තිබෙන අතර සිය රට භාවිතය තහනම් වූ කෘමිනාශක පවා තවදුරටත් නිපදවා පිටරට යැවීමට ඔවුන්ට අවකාශ තිබෙනවා.

කිසි රටක් විවෘත ලෝක වෙළඳපොලේ කුමක් අලෙවි කරනවා ද යන්න ගැන අපට සෘජුව බලපෑම් කළ නොහැකියි. එහෙත් අපේ රට තුළට ගෙන ඒමට ඉඩ දෙන්නේ මොනවා ද යන්න තීරණය, අධීක්‍ෂණය හා පාලනය කිරීමට අපට හැකි විය යුතුයි.

ජාතික මට්ටමේ කෘෂි වෙළඳ දත්ත එක්තැන් කරන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියට අනුව 2010දී ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනා කෘමිනාශකවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 47 (රුපියල් බිලියන් 5.8 ක්). 2011දී ඒ අගය ඩොලර් 60.15 දක්වා ඉහළ ගියා (රුපියල් බිලියන් 7.5). මේ දෙවසරේ මෙරටට ගෙනා කෘමිනාශක පරිමාවන් එහි සඳහන් නැහැ. එහෙත් හුදෙක් මිළ වැඩි වීම නොව ගෙන ආ පරිමාව වැඩි වීමක් ද සිදුව ඇතැයි අපට අනුමාන කළ හැකියි. බිලියන් ගණන් ගෙවා මෙරටට මේ විෂ අධික ද්‍රව්‍ය ගෙන එන්නේ කොහි සිට ද? http://faostat.fao.org

චීන කෘමිනාශක සමාගම්වල දායකත්වය නිසා පරිමාවෙන් හා වටිනාකමින් වැඩි වන ලෝක කෘෂි රසායනික වෙළදාමෙන් බේරී සිටීමට අපේ රටවල අදාල නීති, රෙගුලාසි හා අධීක්‍ෂණය වහා ම සවිමත් කළ යුතු බවට හියොං අවධාරණය කරනවා. අපේ ආරක්‍ෂාව අප ම සළසා ගතයුතුයි.

”අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි,” හියොං කියනවා.

බොහෝ ගොවීන් තම වගා බිමේ කෘමි ප‍්‍රශ්න ගැන උපදෙස් පතා ගෙන යන්නේ තමන්ට ආසන්න ම කෘෂි රසායනික අලෙවි කරන්නා ළගට. එය ගමේ සිල්ලර කඩයක් විය හැකියි. මේ කුඩා කඩවල මුදලාලිලා තමන් ළග ඒ මොහොතේ තිබෙන හෝ තමන්ට වැඩි ම වෙළඳ වට්ටම ඇති රසායනිකය මුදලාලි ගොවියාට නිර්දේශ කරනවා. අවශ්‍ය මාත‍්‍රාවට වඩා ඉසීමෙන් ඉක්මන් හා හොඳ ප‍්‍රතිඵල ලැබේ යයි වැරදි පිළිගැනීමක් ද ගොවීන් අතර තිබෙනවා.

හියොං කියන්නේ අධික වස විස මෙසේ හිතුමතයට සිල්ලරට අලෙවි කිරීම සිදු වන තාක් කල් කෘෂි රසායනික අවභාවිතය පාලනය කළ නොහැකි බවයි. රටට ගෙන ඒමේදී කුමන කොන්දේසි මත එය කළත් ප‍්‍රායෝගික ව එය කි‍්‍රයාත්මක වන්නේ සිල්ලර වෙළෙන්දා හා ගොවියා අතර ගනුදෙනුවේදීයි.

බොහෝ රටවල කෘෂි රසායනික රටට ගෙන ඒම, බෙදා හැරීම හා අලෙවිය ගැන නීති හා රෙකුලාසි මාලාවක් තිබෙනවා. එහෙත් එය හරියට රජතුමාට හකුරු හැදුවා වගේ වැඩක්. ඉතා පිවිතුරු ලෙසින් හකුරු හදනවා යයි ප‍්‍රතිඥා දුන්නත් වැඬේට බැස්සාම එය කෙරුණේ වෙනස් විධියට. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි!’ යන කියමන අප අතර තිබෙන්නේ මෙවැනි පරස්පරයන් විස්තර කරන්නටයි.

හැබැයි හකුරුවලට වඩා බෙහෙවින් විස සහිත කෘෂි රසායනික ගැන එබදු දෙබිඩි පිළිවෙතක් තව දුරටත් පවත්වා ගත නොහැකියි.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධ අලෙවිය උදාහරණයක් ලෙස ගනිමින් හියොං කියන්නේ වට්ටෝරු හරහා බෙහෙත් ගන්නට නම් ඒ සඳහා පුහුණුව හා අවසර ලැබූ ඖෂධවේදියකු සිටින ෆාමසියකට යා යුතු බවයි. සිල්ලර කඩවලට එබදු බෙහෙත් විකුණන්නට ඉඩක් නැහැ. ඖෂධවේදීන් සහතික කිරීම එම වෘත්තිකයන් හරහා ම සිදුවීම බොහෝ රටවල ක‍්‍රමවේදයයි. අවම වශයෙන් එබදු ස්වයං නියාමන ක‍්‍රමයකට වස විෂ විකිණීමත් ඉක්මනින් ම යොමු විය යුතු බව හියොං කියනවා.

”ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්” හියොං කියනවා.

රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය බොහෝ රටවල රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ප‍්‍රබල අංගයක්. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් එයයි. කෘෂි රසායනික රටට ගෙන්වීම ලියාපදිංචිය ලත් රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික සමාගම් විසින් ද කලක පටන් කරනු ලබන නීත්‍යානුකූල වෙළදාමක්. එහෙත් ඒවායේ සිල්ලර අලෙවිය නිසි ලෙස නියාමනය හා අධීක්‍ෂණය නොවන බවට වෛද්‍යවරුන් මෙන් ම පරිසර විද්‍යාඥයන් ද පෙන්වා දෙනවා.

මේ ගැන වඩා ප‍්‍රගතිශීලි ආසියානු රටවල් තිබේදැයි මා ඇසුවා. වියට්නාමය හා මැලේසියාව යම් තාක් දුරට කෘෂි රසායනික පාලනයට ප‍්‍රතිපත්තිමය පියවර ගෙන ඇතැයි ද මේ ගැන අත්දැකීම් කලාපීය වශයෙන් බෙදා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත් බව ද ඔහු කීවා. http://tiny.cc/Pestsu

Hazardous Pesticides freely used across Asia
Hazardous Pesticides freely used across Asia