In our age of technology, hundreds of millions of people — most of them poor, and women — are still toiling away in tasks where simple machines or devices could reduce their daily drudgery. Few inventors have bothered with these — probably because the beneficiaries are on the margins of society. Their needs are not a priority for most research institutes or high tech laboratories.
This is the theme of my Ravaya column (in Sinhala) published on 8 Jan 2012, reproduced in full below.It was inspired by, and mostly based on the inaugural Ray Wijewardene memorial lecture delivered by Dr Anil Kumar Gupta, India’s top innovation-spotter, in Colombo on 13 December 2011. He spoke on “Grassroots Innovation for Inclusive Development: From Rhetoric to Reality”
It covers the same ground as did my English op-ed essay, published in The Sunday Times on 25 Dec 2011: Wanted: More ‘Idiots’ to tackle grassroots innovation challenges.
‘එළිමහනේ එදිනෙදා වැඩකටයුතුවලදී අපට ඉතා ප්‍රයෝජනවත් වන, මිනිස් බලයෙන් දිවෙන තනි රෝදයේ වාහනය කුමක්ද?’
මා පාසල් යන කාලයේ රසවත්ව හා හරවත්ව විද්‍යාව ඉගැන් වූ ගුරුවරයෙකු මේ ප්‍රශ්නය අපට යොමු කළා තවමත් මතකයි. උත්තරය – වීල් බැරෝව නැතිනම් වීල් බැරැක්කය.
මීට සියවස් 24කට පෙර පුරාණ ග්‍රීසියේත්, සියවස් 18කට පෙර චීනයේත් වීල් බැරැක්ක භාවිත වූ බවට සාක්ෂි තිබෙනවා. වීල් බැරැක්කය ලීවර හා රෝදය නමැති යාන්ත්‍රික සංකල්ප දෙක දක්ෂ ලෙස සංකලනය කොට නිපදවා ගත් සරල විසඳුමක්. එදිනෙදා ජීවිතයේ මානවයන් වෙහෙස කරන ආයාසය (drudgery) අඩු කරමින් ඔවුන්ගේ ඵලදායීතාව වැඩි කරන නිපැයුමක්.
වීල් බැරැක්කය මගේ සිහියට ආවේ 2011 දෙසැම්බරයේ කොළඹදී රේ විජේවර්ධන සමරු දේශනය පැවැත් වූ ඉන්දියාවේ ආචාර්ය අනිල් කුමාර් ගුප්තට සවන් දෙන විටයි. නවෝත්පාදනයන් (innovations) ගම් මට්ටමින් හා බිම් මට්ටමින් හඟනා ගෙන ප්‍රවර්ධනය කිරීමේ භාරත-ව්‍යාප්ත ප්‍රයත්නයක යෙදී සිටින මේ අසාමාන්‍ය ගණයේ විද්වතා දැක් වූ අදහස් කීපයක් අප ගිය සතියේ සාරාංශගත කළා.
සිය දේශනයේදී අනිල් ගුප්ත අවධානය යොමු කළ එක් තේමාවක් වූයේ නව නිපැයුම්කරුවන්ට තවමත් හරිහැටි විසඟම් සොයා ගන්නට නොහැකිව ඉතිරි වී තිබෙන ප්‍රායෝගික අභියෝගයි. වසරක් පාසා ලෝකයේ නව නිපැයුම් හා සංකල්පවල බුද්ධිමය අයිතිය තහවුරු කැරෙන පේටන්ට් ලක්ෂ ගණනක් අදාල බලධාරීන් නිකුත් කරනවා. එසේ වූවත් මානවයන් මිලියන් සිය ගණනක් දිනපතා මුහුණදෙන ගැටළු ගණනාවකට තවමත් පිළිගත හැකි හා ප්‍රචලිත මට්ටමේ විසඟම් ලැබී නැහැ.
“කෘත්‍රිම චන්ද්‍රිකා නිපදවා උඩුගුවන් ගත කිරීමේ හැකියාව ඉන්දියාව ලබා තිබෙනවා. ලෝකයේ ඉහළ ම පෙළේ විද්‍යා පර්යේෂණාගාර හා පරිගණක සමාගම් රැසක් ඉන්දියාවේ තිබෙනවා. ඒත් දිගු කලක් තිස්සේ මිලියන් ගණනක් දුගී ඉන්දියානුවන් දිනපතා මහත් සේ වෙහෙස කරවන ප්‍රායෝගික ගැටළු රැසකට හරිහැටි විසඟම් සපයාගන්නට අපට තවමත් නොහැකි වී තිබෙනවා,” ආචාර්ය ගුප්ත අවංක තක්සේරුවක් කළා. ඔහු මෙය දකින්නේ අධි තාක්ෂණික ජයග්‍රහණ ගැන උදම් වන විද්‍යාවේ පසුබෑමක් හැටියටයි.
ආචාර්ය ගුප්තගේ පුරෝගාමීත්වයෙන් 1987දී ඇරඹි මී මැසි ජාලය (Honey Bee Network) හරහා ගම් හා බිම් මට්ටමේ සාමාන්‍ය ඉන්දියානුවන් අතින් බිහි වූ නවෝත්පාදන දහස් ගණනක් ලේඛනගත කොට තිබෙනවා. එහෙත් තවමත් සාර්ථක ලෙස විසඳා ගත නොහැකි වූ ප්‍රායෝගික අභියෝග ගණනාවක් ද ඇති බව ඔහු පෙන්වා දෙනවා.
එයට ප්‍රබල උදාහරණ තුනක්:
• ආසියාව පුරා ම හමුවන වෙල්යාය බොහොමයක ගොයම් සිටුවීමේ කාර්යය තවමත් කැරෙන්නේ දෛනික ශ්‍රමිකයන් ලෙස සුළු ගෙවීමක් ලබන කාන්තාවන් අතින්. දිගු වේලාවක් කොන්ද නවා ගෙන වතුරේ බැස ගෙන කළ යුතු මෙය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. වතුරේ සිටීමෙන් විවිධ සමේ රෝග ඇති වීමේ අවදානමක් ද තිබෙනවා. ගොයම් සිටුවීමේ යන්ත්‍ර සැළසුම් කිහිපයක් ම යෝජනා වී ඇතත් කාර්යක්ෂම හා පාවිච්චියට පහසු යන්ත්‍රයක් තවමත් භාවිතයට පැමිණ නැති බව ගුප්ත කියනවා.
• ලිප් ගල් තුනක් මත පදනම් වූ දර ලිප ආසියාව හා අප්‍රිකාව පුරා සියවස් ගණනක් තිස්සේ පාවිච්චි කැරෙනවා. සාම්ප්‍රදායික දර ලිප, බලශක්තිය අපතේ යවන අතර දුම් පිට කිරීම හරහා ගෘහණියන්ගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් කරනවා. වඩාත් අරපිරිමැසුම්දායක දර ලිපක් සැළසුම් කිරීමට දශක ගණනාවක සිට විවිධ රටවල උත්සාහ කර ඇතත් විද්‍යාඥයන් හා ඉංජිනේරුවන් යෝජනා කරන සැළසුම් බොහොමයක් ගෘහණියන් අතර ජනප්‍රිය වී නැහැ. විවිධ හැඩයේ භාජන යොදා ගනිමින්, විවිධාකාර ආහාර ද්‍රව්‍ය නොයෙක් ක්‍රමවලට පිස ගැනීමට හැකියාව ඇති සරල දර ලිපක් සැළසුම් කිරීමේ අභියෝගය තවමත් මුළුමනින් ජය ගෙන නැති බවයි ගුප්තගේ මතය. මේ සඳහා තාක්ෂණය, සැලසුම්කරණය හා සාංස්කෘතික සාධක යන කාරණා ත්‍රිත්වය ම සැලකිල්ලට ගත යුතුයි.
• ලංකාව, ඉන්දියාව, කෙන්යාව වැනි රටවල තේ කර්මාන්තයේ තේ දළු නෙළීම තවමත් මුළුමනින් ම පාහේ කරන්නේ කාන්තාවන් විසින්. තේ දළු කූඩයක් පිටේ බැඳ ගෙන, බෑවුම් සහිත බිම්වල ගමන් කරමින් සියුම්ව තේ දළු නෙළීම දිනකට පැය කිහිපයක් කළ යුතුයි. තේ පානය රස විඳින බොහෝ දෙනෙකු දළු නෙළීමේදී අතට හා ගතට දැනෙන වේදනාත්මක විඩාව ගැන දන්නේ නැහැ. දළු නෙළීමේ කාර්යය අර්ධ වශයෙන් හෝ යාන්ත්‍රීකරණය කළ හැකි නම් නෙළන්නියන්ගේ රැකියාවලට තර්ජනයක් නොකොට ඔවුන්ගේ ආයාසය අඩු කළ හැකියි.
“මේ අභියෝග ගැන සරසවි හා විද්‍යා පර්යේෂණ ආයතන එතරම් තැකීමක් කරන්නේ නැහැ. මේ දෛනික කාර්යයන්ගෙන් පීඩාවට පත් වන්නේ දුගී හා ග්‍රාමීය මිනිසුන් – විශේෂයෙන් ම කාන්තාවන්. එබඳු අයට තමන්ගේ ගැටළු ගැන හඬක් නැඟීමට ඇති ඉඩකඩ ඉතා අඩුයි. බිම් මට්ටමේ නව නිපැයුම්කරුවන් පවා මේ අභියෝග ගැන ඇති තරම් අවධානයක් යොමු කර නැහැ!” ඔහු පෙන්වා දුන්නා.
සමහර ගැටළුවලට අර්ධ විසඳුම් ලබා දීමට නව නිපැයුම්කරුවන් සමත්ව සිටිනවා. උදාහරණයක්ථ බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් බීමට ජලය සොයා කිලෝමීටර් ගණනක් දුර ගමන් කරනවා. සොයා ගන්නා ජලය කලගෙඩි හෝ වෙනත් භාජනවලට පුරවා හිසේ හෝ ඉනේ තබා ගෙන ගෙදර ගෙන යාමයි සිරිත. මේ ක්‍රියාවේ ආයාසය අඩු කර ගන්නට පානි හාරි (Pani Hari) නම් සරල ඇටවුමක් ඉන්දියාවේ කිම්ජිබායි කනාඩියා (Khimjibhai Kanadia) නිපද වූවා. එයින් කරන්නේ හිස මත තබා ගත් වතුර කලයේ බර, උරහිස් දෙකට බෙදා හැරීමයි. මීට අමතරව වතුර පුරවා පැළඳගෙන යා හැකි වතුර කබායක් (water-carrying jacket) තවත් නිපැයුම්කරුවෙකු සැලසුම් කර තිබෙනවා. මේවා යම් මට්ටමකට ගැටළුව විසඳන නමුත් පුළුල් භාවිතයට ගන්නට පෙර වැඩි දියුණු කළ යුතු බව ගුප්ත කියනවා.
තවත් පුළුල්ව අත්දකින ප්‍රායෝගික ගැටළුවක් නම් කඳුකර බෑවුම් ප්‍රදේශවල භාණ්ඩ ප්‍රවාහනයයි. අඩි පාරක් පමණක් ඇති, බයිසිකලයක්වත් පැද ගෙන යා නොහැකි බෑවුම් ප්‍රදේශවල පදිංචිකරුවන් හැම දෙයක් ම කරපිටින් ඔසවා ගෙන යා යුතුයි. නැතිනම් ගවයන්, බූරුවන් වැනි සතුන් යොදා ගත යුතුයි. කඳුහෙල් බහුල බෑවුම් බිමෙහි යා හැකි ට්‍රොලියක් වැනි ප්‍රවාහන ක්‍රමයක් නිපද වූවොත් කඳුකර වැසියන් මිලියන ගණනක් එයින් වාසි ලබනවා නියතයි.
පසුගිය අඩ සියවසක කාලය පුරා විශාල වශයෙන් ආයෝජන කළත් තවමත් සාර්ථකව විසඳා නොගත් සංවර්ධන අභියෝගයක් නම් ග්‍රාමීය වැසිකිළි සැළසුමයි. ජලය භාවිතය අරපිරිමසින, මළ මුත්‍ර මනා සේ ඉවත දමන, අඩු වියදමින් තනා ගත හැකි වැසිකිළි සැළසුම් තවමත් ජය නොගත් අභියෝගයක්. ලෝකයේ බිලියන 7ක ජනගහනයෙන් බිලියන 2කට කිසි වැසිකිළි පහසුමකමක් නැහැ. නිරාවරණය වූ එළිමහන් තැන්වල මළපහ කිරීම නිසා ජලය අපවිත්‍ර වීමෙන් හට ගන්නා පාචන රෝග හා අකල් මරණ සංඛ්‍යාව විශාලයි.
හඳ මතුපිට ජල සම්පත් ගවේෂණය කරන්නට ස්වයංක්‍රීය අභ්‍යවකාශ යානා නිර්මාණය කළ ඉන්දියාවේ ම තවමත් මිලියන් 400ක් මිනිසුන් අන්ත දුගී ජීවිත ගත කරමින් බීමට පිරිසිදු වතුර සොයා ගැනීමේ දෛනික අරගලයක යෙදෙනවා. දියුණු වන ලෝකයේ බොහෝ රටවල යථාර්ථය මෙයට වෙනස් නැහැ. තවමත් හරිහැටි විසඳා නොගත් මෙකී නොකී ප්‍රායෝගික අභියෝගවල ලැයිස්තුවක් ආචාර්ය ගුප්ත සම්පාදනය කර තිබෙනවා.
නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තතවයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.
අප ගිය සතියේ ද සඳහන් කළ පරිදි හැම නව නිපැයුමක් ම ලොව හොල්ලන හෝ වෙළඳපොළ අල්ලන හෝ ඒවා වීම අවශ්‍ය නැහැ. ප්‍රායෝගික ගැටළුවලට විසඳුම් සොයා යාමේදී කුඩා පරිමාණයේ දියුණු කිරීමකින් වුවත්, බොහෝ දෙනෙකුට සහනයක්, උපකාරයක් ලබා දිය හැකියි. එබන්දකට පේටන්ට් බලපත්‍රයක් නොලැබෙන්නට පුළුවනිග එහෙත් නව නිපැයුම්කරුවන්ගේ එක ම අරමුණ විය යුත්තේ පේටන්ට් ගොන්නක් හිමි කර ගැනීම නොවෙයි.
‘3 Idiots’ හින්දි චිත්‍රපටයේ එක් ජවනිකාවක යාන්ත්‍රික ඉංජිනේරු ගුරුවරයා යන්ත්‍රයක් නිර්වචනය කරන ලෙස සිසුන්ට කියනවා. අමීර් ඛාන් රඟපාන චරිතය වන රංචෝගේ විග්‍රහයට අනුව යන්ත්‍රයක් යනු මිනිස් ආයාසය අඩු කරන ඕනෑ ම උපක්‍රමයක් හෝ උපකරණයක්. එහෙත් උගත්කමේ මාන්නයෙන් පිම්බුණු මහාචාර්යවරයාට ඒ සරල විග්‍රහය සෑහෙන්නේ නැහැ. පාරිභාෂික වචන හා බරපතල සංකල්ප ඇතුළත් මහ දිග නිර්වචනයක් ඔහුට අවශ්‍යයි. ඉංජිනේරු තාක්ෂණය ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට මීට වඩා යොදා නොගැනීමට හේතුව මෙබඟ පොතේ ගුරුන් අපේ සමාජයේ බහුලවීමයි.
එදිනෙදා ගැටළු විසඳන්නට වඩාත් ප්‍රයෝජනවත් වන්නේ තැනට සුදුසු විදියට හා සූක්ෂම බුද්ධියෙන් යුක්තව පවතින මෙවලම් (tools) සහ යන්ත්‍ර (machines) යොදා ගැනීමයි. පවතින මෙවලමක් හෝ යන්ත්‍රයක් හෝ සකසා ගත නොහැකි නම් අලුතින් යමක් නිපදවීමේ අවකාශය තිබෙනවා. එහිදී නිපැයුම්කරුවන් කළ යුත්තේ හැකි තාක් සරල හා අඩු වියදම් විසඳුම් සොයා යාමයි.
ප්‍රායෝගික ගැටළු විසඳීමේදි ඒවාට නිතිපතා මුහුණ දෙන මිනිසුන්, ගැහණුන් හා ළමයින් සම්බන්ධ කර ගැනීම ද වැදගත්. තාක්ෂණවේදීන්, ඉංජිනේරුවන් හා විද්‍යාඥයන්ට ගැටළු විසඳීමේ මූලධර්ම මට්ටමේ චින්තනය ලබා දිය හැකියි. අත්හදා බැලීම් කළ හැකියි. එහෙත් අන්තිමේදී විසඳුමක් සාර්ථක වන්නේ එය පාවිච්චි කරන අය අතර පිළිගැනීමට ලක් වූවොත් පමණයි.
නාගරික හා ග්‍රාමීය දුගී ජනයා දිනපතා මුහුණ දෙන ආයාසකාරී තතවයන්ට හැකි තාක් විසඳුම් සොයා දීමට ජාතික මට්ටමේ ප්‍රමුඛතාවක්, ආයෝජනයක් හා කැපවීමක් අවශ්‍ය බව ගුප්ත අවධාරණය කරනවා. තනි නිපැයුම්කරුවන්, රාජ්‍ය පර්යේෂණයාතන මෙන් ම පෞද්ගලික අංශය ද මේ අභියෝගවලට මීට වඩා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු කියනවා.
ගැටළු විසඳීමේ සාර්ථකත්වයට සාධක තුනක් මුසු වීම අවශ්‍ය බව ගුප්තගේ මතයයි. ඉංග්‍රීසි C අකුරෙන් ඇරඹෙන ඒ වචන තුන: curiosity (කුතුහලය), compassion (මානව දයාව) හා collaboration (සාමුහික ක්‍රියාකාරිත්වය).
ආචාර්ය ගුප්ත ලාංකික විද්වතුන්ට හා නව නිපැයුම්කරුවන්ට දාර්ශනික ඔවදනක් ද දුන්නා. “දශක ගණනාවක් ඉන්දියාවේ උගතුන් හා පර්යේෂකයන් අපට තිබෙන ගැටළු හා අභියෝග ගැඹුරින් අධ්‍යයනය කළා. ඒවාට විසඳුම් ගැනත් බෙහෙවින් වාද විවාද කළා. ඒත් ප්‍රායෝගිකව යමක් කරන්නට අප පෙරට ආවේ නැහැ. මගේ පරම්පරාවේ උගතුන් කළ මේ ලොකු වරද නැවතත් නොකරන්නට වග බලා ගන්න!”
නව නිපැයුම්කරුවන්ට ඔහු දුන් වැදගත් ම අවවාදය මෙයයි: “පන්ති කාමර, විද්‍යාගාර හා වැඩපොළවලට කොටු වී නොසිට සැබෑ ලෝකයේ හැකි තරම් සැරිසරන්නග මඟ තොටේ, කඩමණ්ඩියේ, වෙල් යායවල, හේන්වල හා ගං ඉවුරුවල විසඳා ගත යුතූ – හැකි ප්‍රායෝගික ගැටළු රැසක් තිබෙනවාග පවතින සමාජ තත්තවයන් ගැන තෘප්තිමත් නොවූ මානවයන් ඒවා ගැන සංවේදී වනවා. නව නිපැයුම් බිහිවන්නේ ඔවුන් අතින්. ඔවුන්ගේ පර්යේෂණාගාරය මුළු මහත් ජන සමාජයයි!”