සිවුමංසල කොලූගැටයා #184: වන්දනාවෙන් තොරව වන්දනා ශිවා කියවමු!

Indian social and environmental activist Dr Vandana Shiva visited Sri Lanka in June 2014, and delivered a well attended public lecture in Colombo. She also joined the launch of a Sinhala translation of her book ‘Stolen Harvest’, written in 2000.

The translator, Sydney Marcus Dias, sent me a copy recently and I have quoted from it in my latest Ravaya column (in Sinhala) appearing in issue dated 7 Sep 2014.

In this, I urge Lankan agro and green activists to engage in a critical reading of Vandana Shiva and not to blindly hero worship her. There is undoubtedly a crisis in modernized methods of farming that rely on high external inputs (agro-chemicals) promoted for half a century under the Green Revolution. Despite evidence for its economic and ecological unsustainability, however, these remain the basis of state agricultural policies in Sri Lanka.

Why? It is a national level failure of vision and policy making. True, local and global agro companies exploit this weakness, but they are operating within what is legal. This is opportunistic of them, for sure, but I don’t agree with Sydney Marcus Dias or any other activists that there is a huge international conspiracy to destabilize Lankan agriculture and destroy it along with the livelihoods of millions of small scale farmers.

We don’t need global conspirators when our own myopic politicians, misguided by officials and experts, are doing a good job of it on their own!

‘Stolen Harvest’ in English and Soragath Aswenna in Sinhala are both worth a read – and can form the basis of discussion. They are NOT the last word on any of the issues discussed, but certainly good opening thoughts to debate further.

NOTE: By sad coincidence, Sarath Fernando, highly respected Lankan farmer activist and founder of the Movement for National Land and Agricultural Reform (MONLAR), died the same weekend this column appeared in print. In June, Vandana Shiva made an affectionate reference to him as ‘my very dear friend Sarath Fernando’.

 

Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014
Sydney Marcus Dias presenting a copy of his Sinhala translation of Stolen Harvest to Dr Vandana Shiva in Colombo, June 2014

ආචාර්ය වන්දනා ශිවා ඉන්දියාවේ සිටින ලෝක ප‍්‍රකට පාරිසරික හා සමාජ ක‍්‍රියාකාරිනියක්. විශේෂයෙන් ගොවිතැන හා ජෛව සම්පත් රැක ගැනීම ගැන දේශීය දැක්මක් හරහා දියුණු වන රටවල අයිතීන් සඳහා ප‍්‍රබල හඬක් මතුකරන විද්වතෙක්.

නිලධාරින් හා ව්‍යාපාරික පිරිස් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉන්දියාවේ ගොවිතැන් මධ්‍යගත කරනු හා වාණිජකරණය කරනු දැක එයින් කැළඹී ඒ ගැන සමාජ ව්‍යාපාරයක් ගොඩනැගූ චරිතයක්.

1952දී උපන් ඇය පන්ජාබ් සරසවියෙන් භෞතික විද්‍යා උපාධිය ලබා පශ්චාත් උපාධි අධ්‍යාපනයට කැනඩාවට ගියා. ක්වන්ටම්වාදය පිළිබඳව ඇගේ ආචාර්ය උපාධිය ලබා ගත්තේ කැනඩාවේ බටහිර ඔන්ටාරියෝ සරසවියෙන්. මෙනයින් බැලූ විට ඇය වෘත්තීය වශයෙන් විද්‍යාඥයකු ලෙස පුහුණුව ලැබූ කෙනෙක්. ඉන්දියාවට ආපසු පැමිණ එරට විද්වත් ආයතනවල කලක් පර්යේෂණ කළා.

1987දී විද්‍යාව, තාක්‍ෂණය හා පරිසරය පිළිබඳ පර්යේෂණ පදනම නම් ආයතනයක් ඇරැඹූ ඇය 1991දී එරට දේශීය බීජ හා ජාන සම්පත් සුරැකීමට නව්ධාන්‍ය (Navdanya, www.navdanya.org) නම් රාජ්‍ය නොවන සංවිධානයක් පිහිටවූවා.

නව්ධාන්‍ය සංවිධානය මගින් එරට ජන වී ප‍්‍රභේද 2,000කට අධික සංඛ්‍යාවක් වඳ වී යාමට නොදී රැක ගෙන තිබෙනවා. ඉන්දීය ගොවීන් 70,000කට අධික සංඛ්‍යාවක් එහි සාමාජිකයෝ. (‘ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ ’ මැයෙන් වූ 2014 ජනවාරි 19 කොලම ද බලන්න.)

Stolen Harvest by Vandana Shiva
Stolen Harvest by Vandana Shiva

ශිවා කියන්නේ ‘‘බීජ යනු ආහාරදාමයේ මුල් පුරුකයි. බීජ අද තත්ත්වයට පත් වූයේ සියවස් ගණනක් පුරා ගොවීන් සොබාවිකව ඒවා දෙමුහුම් කරමින් වගා කිරීම නිසයි. බීජවල ඓතිහාසික හා සදාචාරාත්මක භාරකරුවන් වූයේ ගොවි ප‍්‍රජාවයි. ඔවුන් බීජවලින් වෙන් කැරෙන ඕනෑම පිළිවෙතක් හෝ ක‍්‍රියාමාර්ගයක් ගොවි විරෝධීයි. දේශීය බීජ ප‍්‍රභේද සුරකින්නට, හුවමාරු කර ගන්නට, අලෙවි කරන්නට, තව වැඩි දියුණු කරන්නට ගොවීන්ට පරම අයිතියක් තිබෙනවා. ඒ අයිතිය පාවා දීමට හෝ කප්පාදු කිරීමට ඉඩ නොදිය යුතුයි!’’

දේශීය හා බිම් මට්ටමෙන් වැඩ කරන අතරේ ජාත්‍යන්තර තලයේ ද දියුණු වන රටවල අයිතීන් හා ප‍්‍රමුඛතා ගැන ඇය හඬක් නගිනවා. පසුගිය ජුනි මාසයේ ඇය ශ‍්‍රී ලංකාවට ද පැමිණියා. ඇගේ ප‍්‍රකට ඉංග‍්‍රීසි කෘතියක් වන Stolen Harvest (2000) ‘සොරාගත් අස්වැන්න’ නමින් සිඞ්නි මාකස් ඩයස් විසින් සිංහලට පෙරළා තිබෙනවා.

‘සොරාගත් අස්වැන්න’ කෘතියේ මූලික තර්කය නම් වාණිජකරණයට ලක් වූ නවීන ගොවිතැන සොබාදහමින් හා දුප්පතුන්ගෙන් ආහාර සොරා ගන්නා බවයි. සමාජ සාධාරණත්වය හා පාරිසරික තිරසාරත්වය ස්ථාපිත කරන්නට නම් ආහාර ප‍්‍රජාතන්ත‍්‍රවාදය (Food democracy) අත්‍යවශ්‍ය බව ඇය පෙන්වා දෙනවා.

ශිවා මේ පොත ඉංග‍්‍රීසියෙන් ලියුවේ 2000දී. මේ දක්වා ඇය ලියා ඇති පොත් 20න් එකක්. පසේ සරුබව සහතික කිරීමත්, බීජ රැක ගැනීමත් හරහා සාම්ප‍්‍රදායික ගොවිතැන් ක‍්‍රම මගින් ආහාර බෝග වැවීම ඇය කැමති පිළිවෙතයි. ගොවි බිමට බැහැරින් රසායනික පොහොර හා වෙනත් කෘෂි රසායන යෙදීම හරහා පරිසරයත්, සෞඛ්‍යයත්, ගොවි අර්ථිකයත් යන තුනම විකෘති වන බව ඇය තේරුම් ගත්තේ දශක ගණනාවකට පෙරයි.

දියුණු වන රටවල ආණ්ඩු හරිත විප්ලවයේ ප‍්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යන්නේ ඔවුන්ට දියුණු රටවලින්, ජාත්‍යන්තර ආධාර ආයතනවලින් හා ගෝලීයකරණය වූ කෘෂි සමාගම්වලින් කැරෙන බලපෑම් නිසා යයි ඇය කියනවා. ඒ නිසා රටේ ප‍්‍රතිපත්ති නිවැරදි කර ගන්නට සංවාද හා අරගල කරන අතර ගෝලීය ප‍්‍රවණතාවන්ට ද සංවිධානාත්මකව ප‍්‍රතිරෝධය දැක්විය යුතු යැයි ඇය විශ්වාස කරනවා. ගෝලීයකරණයට ඇය විරුද්ධ එය ටික දෙනෙකුට පමණක් වාසි ගෙන දෙන ක‍්‍රියාදාමයක් නිසයි.

වන්දනා ශිවාට චිත්තාකර්ශනීය පෞරුෂයක් හා සිත් ගන්නා සුලූ කථා විලාසයක් තිබෙනවා. ඇය තර්ක හා සාධක සහිත චෝදනා මතු කරන්නේ ගැඹුරු එහෙත් ප‍්‍රසන්න අයුරින්. නිතර ඇගේ මුවෙහි සිනහවක් තිබෙනවා. ප‍්‍රතිමල්ලවයන්ට වාග් ප‍්‍රහාර එල්ල කරන්නේ ද්වේෂයෙන් නොව සාධාරණ කෝපයකින් හෝ සාවඥව හෝ බව පෙනෙනවා. ජාත්‍යන්තර තලයේ විවාදවලට වඩාත් ගැලපෙන ශෛලිය මෙයයි. ඇය කියන දෙයට කිසිසේත් එකඟ නොවන අය පවා ඇයට සවන් දෙන්නේ එනිසායි.

ලොව පුරා සමාජ සාධාරණයට අරගල කරන ක‍්‍රියාකාරිකයෝ ශිවාගේ හිතමිතුරෝ. ශ‍්‍රී ලංකාවේද ඇගේ සහෘදයන් සිටිනවා. ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ (MONLAR) ආරම්භක සරත් ප‍්‍රනාන්දු එයින් එක් අයෙක්. ඇය කොළඹ ජූනි මස කළ දේශනයේදී ඔහු ගැන මහත් ලෙන්ගතුව කථා කළා.

Stolen Harvest - Sinhala translation by Sydney Marcus Dias
Stolen Harvest – Sinhala translation by Sydney Marcus Dias

සොරාගත් අස්වැන්න පරිවර්තක සිඞ්නි මාකස් ප‍්‍රනාන්දු ඇගේ තවත් අනුගාමිකයෙක්. ගුරු වෘත්තියේ නියැලෙන අතරම ලේඛන කලාවේත්, සමාජ ව්‍යාපාරවලත් නිරත වන ඔහු පරිසර සංරක්‍ෂණය, කාබනික ගොවිතැන හා අන්තර්-ආගමික/වාර්ගික සහෝදරත්වය ප‍්‍රවර්ධනය කිරීමට දශක ගණනක සිට වෙහෙස වන්නෙක්.

පොතේ අගට තමන්ගේ ම පරිච්ෙඡ්දයක් එක් කරමින් ශ‍්‍රී ලංකාවේ කෘෂි ආර්ථිකය යළි කියැවීමට ඔහු තැත් කරනවා. එහිදී ඔහු උදාහරණයට ගන්නේ කලක් ඉගැන්වීමේ යෙදුණු ආනමඩුව ප‍්‍රදේශයයි. පුත්තලම දිස්ත‍්‍රික්කයේ වියලි කලාපීය මේ ප‍්‍රදේශයට ඔහු මුලින් යන විට එහි හේන් ගොවිතැන ඉතා සශ‍්‍රීකව තිබූ සැටිත්, දශක තුනක් තුළ ඒ තත්ත්වය මුලූමනින් වෙනස් වී ඇති සැටිත් ඔහු විස්තර කරනවා.

ඊට හේතුව ලෙස ඔහු දක්වන්නේ සාම්ප‍්‍රදායික යැපුම් මට්ටමේ මිශ‍්‍ර හේන් වගාව වෙනුවට හරිත විප්ලවය විසින් දිරි ගන්වන ලද ඒකීය වගා ක‍්‍රමය ඔස්සේ ගොවිතැන් හේන් තුළ කව්පි, මුං, බඩ ඉරිඟු වැනි බෝග පමණක් වගා කිරිමට යොමු වීමයි.

Sydney Marcus Dias
Sydney Marcus Dias

‘‘මුල් යුගයේදී අක්කරයකට බුසල් 30-35 පමණ අස්වැන්නක් ලබා දුන් ඒ බෝග පසුව බුසල් 10-12කට අඩු වී මේ වන විට ඒ වගාවන් නැත්තටම නැති වී තිබේ. එකම භූමිය නැවත නැවත වල්නාශක හා කෘමිනාශක යොදමින් වගා කිරීම නිසා මේ වන විට එම ප‍්‍රදේශයේ හේන් වගාකළ බිම් නිසරු කෙනතු බවට පත් වී තිබේ. මෙම තත්ත්වය සමස්ත සමාජ ආර්ථික ජීවිතයම වෙනසකට ලක් කර ඇති ආකාරය ද විමසිල්ලට ලක් කළ යුතු වේ’’ යයි ඔහු කියනවා.

ග‍්‍රාමීය ගොවිතැන කඩා වැටීම නිසා එයින් ජීවිකාව සපයා ගත් බොහෝ දෙනා අතරමංව ඉච්ඡාභංගත්වයට පත් වෙලා. පිරිමින්ගෙන් බහුතරයක් මේ නිසා මත්පැනට ලොල් වී සිටින බවත්, රජයේ ඉල්ලූම්පත‍්‍ර පුරවන විට රැකියාව ‘ගොවිතැන’ ක’ව ද තව දුරටත් ගොවිකමේ නියැලෙන්නේ නැති බවත් ඩයස් කියනවා. මත්පැන් ප‍්‍රචලිත වීමත් සමග ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය හා අසාර්ථක පවුල් පරිසරයන් ද වැඩි වී තිබෙනවා.

මේ විසමතා හමුවේ පවුල් බර දැරීමට කාන්තාවන් එක්කෝ මැදපෙරදිග – නැත්නම් ඇගලූම් කම්හල්වලට රැකියා සොයා යනවා. මවුවරුන් විදේශගත වූ පවුල්වල දරුවන් බලා කියා ගන්නට කිසිවකු නැති වීමෙන් බරපතල ප‍්‍රශ්න මතු වනවා. රටේ සංවර්ධනයට යයි කියමින් රජය ගන්නා මහා පරිමානයේ විදෙස් ණය වාරික හා පොලිය ගෙවන්නේ මේ ගැමි කතුන් උපයා මෙරටට එවන විදේශ විනිමයෙන්.

‘‘මේ වන විට මේ ප‍්‍රදේශවල වෘත්තීය මට්ටමෙන් ගොවිතැනේ යෙදෙන තරුණයකු සොයා ගැනීම ඉතා දුර්ලභය. ගොවිතැනේ නියැලෙනු දැකිය හැක්කේ ප‍්‍රධාන ජලාශ යටතේ ඉතා සුළු පිරිසකි. එයින් ද බහුතරයක් රජයේ හෝ වෙනත් වෘත්තීන්හි යෙදෙන පිරිසක් අර්ධ කාලීනවය. මේ අය කුඹුරට බහින්නේ තෙල්ටැංකි පිටේ බැඳ ගෙනය’’ ඔහු කියනවා.

මහා පරිමාන සංවර්ධන යෝජනා ක‍්‍රමවලින් ජනතාවට ඉතිරි වී ඇත්තේ දරිද්‍රතාව, විරැකියාව හා සාගින්දර පමණක් බවත්, ගමේ ආර්ථිකය මේ වන විට පවත්වා ගෙන යන්නේ විදේශ රැකියා කරන මවුවරුන්, වෙළඳ කලාපවල රැකියාවන්හි යෙදන තරුණියන් සහ තවමත් හමුදා සේවයේ රැඳී සිටින තරුණයන්ගෙන් බව ඔහු පෙන්වා දෙනවා. ප‍්‍රදේශයේ සාර්ථකම ව්‍යාපාර ලෙස ඉතිරිව තිබෙන්නේ කෘෂි රසායන වෙළඳාම, මැදපෙරදිග රැකියා ඒජන්සි, කොමියුනිකේෂන් හා සෞඛ්‍ය/රසායනාගාර සේවා ආදිය පමණයි.

ඩයස්ගේ නිර්දේශයට මාත් එකඟයි. ‘‘රටේ ග‍්‍රාමීය ආර්ථිකය යළි ගොඩනැගීමට නම් වහා සළු ගොවීන්ගේ කාර්ය සඵලමත් කළ යුතුය. ඒ සඳහා අසාර කනතු බවට පත් වූ ගොවිබිම්වල පස යළි සුවපත් කළ යුතුය…ඒ සඳහා දැවැන්ත ආකල්පමය වෙනස්කම් සහ භෞතික වෙනස්කම් රැසක් කළ යුතුය.’’

මේ දැක්ම ආචාර්ය රේ විජේවර්ධනයන්ගේ චින්තනයටත් සමගාමීයි. (ගිය වසරේ කොලම් තුනක් හරහා මා ඉදිරිපත් කළ දීර්ඝ සම්මුඛ සාකච්ඡාව බලන්න.) එහෙත් අපට සිදු වී ඇති සමස්ත කෘෂි වින්නැහියට තනිකරම බහුජාතික කෘෂි සමාගම්වලට පමණක් දොස් තැබීම නම් පිළිගත නොහැකියි.

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

25 August 2013: සිවුමංසල කොලූගැටයා #131: රේ විජේවර්ධනට ‘හූ’ කියූ අපේ පරිසරවේදියෝ

29 Sep 2013: සිවුමංසල කොලූගැටයා #136: හේන් ගොවිතැන ‘පාදඩකරණයෙන්’ බේරා ගත හැකිද?

විජේවර්ධනයන් පෙන්වා දුන් පරිදි වැරදි කෘෂි ප‍්‍රතිපත්තිවලට හෙතුව මංමුලා වූ අපේම පොතේ උගතුන්. බටහිර රටවල සමශීතෝෂ්ණ දේශගුණයට සරිලන ගොවිතැන් ක‍්‍රම උසස් අධ්‍යාපනයට හදාරන ඔවුන්, ඝර්ම කලාපීය අපේ රටට සරිලන පරිදි ඒවා සකස් කර නොගැනීම අපේ විනාශයට මුල් වූ බව ඔහු විග‍්‍රහ කළා. අන්තිමේදී දේශපාලකයන් නොමග යවා ඇත්තේ ද මේ උගතුන් විසින්.

බහුජාතික සමාගම් දියුණුවන රටවල ආර්ථික හා සංවර්ධන ක‍්‍රියාදාමයට ඇඟිලි ගසන බව සැබෑවක්. මෙය 1960, 1970 දශකවල සිට පැන නැගී ආ ප‍්‍රවණතාවක්. මුල් යුගයේ පාරිසරික හා කෘෂි ක‍්‍රියාකාරිකයන්ගේ දැඩි විවේචනයට සහේතුකව ලක් වූයේ මේ සමාගම්.

එහෙත් තව දුරටත් බහුජාතික සමාගම් හුදෙක් බටහිර රටවල හිමිකාරිත්වයට නතු නැහැ. අද ඉන්දියානු, මැලේසියානු, සිංගප්පූරු, චීන හා කොරියානු බහුජාතික සමාගම් ද තිබෙනවා. ලොව පුරා රටවල ගනුදෙනු කරන ඔවුන් සමහරකගේ ක‍්‍රියාකලාපය මීට වඩා අපේ විමර්ශනයට ලක් විය යුතුයි.

එසේම හරිහැටි දේශීය ප‍්‍රතිපත්ති හා පරිපාලනය පවත්නා රටවල නම් බාහිරින් එන ආධාර ආයතන හෝ විදෙස් සමාගම්වලට කළ හැකි බලපෑම සීමිතයි. ‘ළඟ එන කෘෂි රසායන සුනාමිය’ මැයෙන් කොලමක් ලියමින් 2013 මාර්තුවේ මා පෙන්වා දුන්නේ කුමන්ත‍්‍රණවාදී තර්ක හා චෝදනා කරමින් සිටිනවාට වඩා අපේ ප‍්‍රතිපත්ති, නීති, රෙකුලාසි හා නියාමන තන්ත‍්‍රය විධිමත් කිරීමේ හදිසි අවශ්‍යතාවයයි.

17 March 2013: සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

වන්දනා ශිවා ජනතාවාදී විද්‍යාඥවරියක්. එහෙත් ඇය කියන හැම දෙයක්ම අප වන්දනාමාන කළ යුතු නැහැ. ඇය එබන්දක් බලාපොරොත්තු වන්නේ ද නැහැ. ඇය මතු කරන අතිශයින් වැදගත් කරුණු හා තර්ක විචාරශිලීව වැඩිදුර විවාදයට ලක් කිරිම අවශ්‍යයි. සිඞ්නි මාකස් ඩයස්ගේ පරිවර්තනය හරහා මේ සංවාදය මතු කර ගත හැකියි.

අවසාන විනිශ්චයේදී අප පත්ව සිටින ව්‍යසනයෙන් ගොඩ ඒමට නම් එයට තුඩු දුන් දෙස් විදෙස් සාධක නිරවුල්ව හඳුනාගත යුතුයි. දුෂ්ටයන් හා බිල්ලන් සොයමින් මුළු කාලයම වැය නොකර අපේ විද්වතුන්, නිලධාරින් හා ගොවීන් ද මේ අර්බුදයට අඩු වැඩි පමණන් දායක වී ඇති බව අප පිළිගත යුතුයි.

සුළු ගොවියා අපේ විශේෂ අවධානයට ලක් විය යුතු වුවත් ඔවුන් රොමැන්තික් ලෙස පුදසුනක තබා වන්දනාමාන කිරීම අවශ්‍ය නැහැ. රටේ නීතිරීති හා මානව ධර්මතා ගොවීන්ටත් එක සේ අදාලයි. ජනතාවට දැන දැනම වස විස කවන අපේ සමහර සුළු ගොවීන් ගැන මා සාක්‍ෂි සහිතව පෙන්වා දී තිබෙනවා.

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

අද අපට අවශ්‍ය විවෘත හා ආවේගශීලී නොවූ සංවාදයක්. එහිදී ගොවීන්, කෘෂි පර්යේෂකයන්, ගොවි සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන, කෘෂි සමාගම් හා රාජ්‍ය ආයතන සියල්ලට හඬක් තිබිය යුතුයි.

එබඳු සංවාදයක් සිදු කළ හැකි හා කාටත් පිළිගත හැකි අපක්‍ෂපාත වේදිකාවක් ලෙස මාධ්‍යවලට ක‍්‍රියා කළ හැකි ද?

Vandana Shiva  speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil - Photo by Alexandro Auler/LatinContent/Getty Images)
Vandana Shiva speaks during Fronteiras do Pensamento project at UFRGS on May 28, 2012 in Porto Alegre, Brazil – Photo by Alexandro Auler/LatinContent/Getty Images)

* * * * *

“සොරාගත් අස්වැන්න“ වැඩි විසතර සඳහා විමසන්න:

තෝතැන්න පබ්ලිෂින් හවුස්, උස්වැව පාර, ආණමඩුව.
දු.ක. – 0322263446 / 0773054058
thothanna@yahoo.com

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය,
අංක 83/12, පෙරේරා මාවත, කොටුවේගොඩ, රාජගිරිය.

සිවුමංසල කොලූගැටයා #158: දේශීය බීජ හා ගොවි උරුමය රැක ගන්නේ කෙසේද?

In this week’s Ravaya column (in Sinhala), I summarise concerns about the draft new Seed Act of Sri Lanka proposed by the government’s Department of Agriculture. Many farmer groups and environmental activists have serious misgivings about proposals to centralise all seed sharing and trading in the head of the Department of Agriculture. Activists see this seriously undermining those using and protecting traditional varieties of seed and engaged in organic farming.

An English summary of these concerns is found here: New Internationalist, 28 January 2014: Sri Lankan farmers resist new seed law

Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 - Image courtesy http://lankapura.com
Traditional hand methods (Transplanting) of cultivating rice in Ceylon, circa 1880 – Image courtesy http://lankapura.com

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් යෝජිත නව බීජ පනතේ කෙටුම්පත මේ වන විට ගොවි සංවිධාන හා හරිතවේදීන් අතර විවාදාත්මක වී තිබෙනවා.  නව පනතෙන් සුළු ගොවියාගේ පාරම්පරික බීජ අයිතිය සීමා වන්නට හෝ නැති වන්නට හෝ ඉඩ ඇතැයි ඔවුන් අනතුරු අඟවනවා.

ගොවිතැන් ගැන විචාරශීලිව බලා සිටින මා මේ උද්ඝෝෂණය ගැන අවධානය යොමු කළා. ක‍්‍රියාකාරිකයන් ගණනාවකට සවන් දුන්නා.  අද ගොනු කරන්නේ එසේ රැස් කර ගත් කරුණු හා අදහස්වලින් කොටසක්.

දැනට ක‍්‍රියාත්මක වන්නේ 2003 අංක 22 දරණ බීජ පනතයි. යෝජිත නව පනතෙන් පවතින පනතේ බලතල අභිබවා යමින් බීජ පිළිබඳ ඒකාධිකාරයක් කෘෂි නිලධාරින්ට හා බීජ බෙදා හරින සමාගම්වලට ලබා දෙනු ඇතැයි එයට එරෙහි ගොවි සංවිධාන කියනවා.

නව පනත් කෙටුම්පතේ එය හඳුන්වා දෙන්නේ බීජ හා රෝපණ ද්‍රව්‍යවල ගුණාත්මක බව රැකීමට හා නියාමනයටත්, දේශීය බීජ කර්මාන්තයේ සංවර්ධනයට හා ජාන සම්පත් සුරැකීමටත් අරමුණු කැරෙන බවයි. සියළු වැවිලි බෝග, අපනයන බෝග, ඖෂධ පැළෑටි, සත්ව ආහාර වර්ග ආදිය මේ පනතින් ආවරණය වනවා.

ගොවි සංවිධාන කැළඹී ඇත්තේ යෝජිත බීජ පනතින් රටේ සියළු බීජ  හා අනෙක් රෝපණ ද්‍රව්‍ය පිළිබඳ මහා බලධාරියා බවට කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා  පත් කිරීමේ යෝජනාවයි.  ඔහුගේ අනුමැතියෙන් තොරව බීජ හා රෝපණ ද්‍රව්‍ය නිපදවීම, ළඟ තබා ගැනීම, බෙදා හැරීම,  හුවමාරු කිරීම හා විකිණීම තහනම් වීමට යෝජිතයි.

එසේම පනතතේ විධි විධාන කඩ කරන අය පරීක්‍ෂා කිරීම, ප‍්‍රවාහනය සෝදිසි කිරීම, හා වැරදිකරුවන් වන අයට දඩ නියම කිරිමට හෝ මාස 6කට සිරගත කිරීමට අධ්‍යක්‍ෂක ජනරාල්වරයාට ලැබීමට යෝජිත බලය, පොලිස් බලතල පවා ඉක්මවා  යාමක් බව ගොවි සංවිධාන කියනවා.

මේ කෙටුම්පත ගැන විස්තරාත්මක විවේචනයක් කරන බුද්ධි ජයසූරිය තර්ක කරන්නේ වානිජකරණය වූ කෘෂිකර්මාන්තයක චින්තන රාමුව තුළ පිහිටා මෙය සකස් කර ඇති බවයි. එහි කිසිදු තැනෙක ‘ගොවියා’ යන වචනය නොයොදා ඒ වෙනුවට ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය භාවිත කරන්නන්’ යන තාක්‍ෂණික යෙදුම පමණක් භාවිත කිරීම ගැන ඔහු විමතිය පළකරනවා.

ගොවිතැනින් ජීවිකාව සලසා ගන්නා කුඩා පරිමාන ගොවීන් අති බහුතරයක් සිටින මෙරට, මේ නව පනත හරහා  කෘෂි සමාගම් හා කෘෂි  වෙළඳපොලකට යොමු වීම පැහැදිලි බවත්, එය සුළු ගොවීන්ට අසාධාරණ බවත් ඔහුගේ මතයයි.

‘‘තිරසාර හා පරිසර හිතකාමී ක‍්‍රමයකට කැරෙන ගොවිතැන් ප‍්‍රවර්ධනය ගැන අපේ කෘෂි නිලධාරින් මේ දක්වා සැබෑ උනන්දුවක් දක්වා නැහැ.  මේ නිසා ඔවුන් ගැන කිසි විශ්වාසයක් තබන්නේ කොහොමද?’’ ජාතික ඉඩම් හා කෘෂි ප‍්‍රතිසංස්කරණ ව්‍යාපාරයෙ (MONLAR)  සරත් ප‍්‍රනාන්දු අසනවා.

‘‘ගොවි රජා යයි මහ ඉහළින් වර්ණනා කරන අපේ ගොවියාට කොන්දේසි, තහංචි හා දණ්ඩන රැසක් පනවා ඔහු බියපත් කිරීමේ උත්සාහයක් මෙහි තිබෙනවා.  මෙය ගොවීන්ට පමණක් නොවෙයි පාරිභෝගිකයන්ට ද අහිතකර පනතක් බව අපේ විග‍්‍රහයයි,’’ ප‍්‍රනාන්දු කියනවා.

Sarath Fernando - Photo by Aditya Batra, Down to Earth Magazine
Sarath Fernando – Photo by Aditya Batra, Down to Earth Magazine

බීජ රැක ගෙන ඉතිරිකර ගැනීම, හුවමාරු කර ගැනීම, විකිණිම, අභිජනනය හා දියුණු කිරීම ගොවියාගේ මූලික අයිතිවාසිකමක් බවත්, එය නිලධාරින්ට පාවා දිය නොහැකි බවත් බීජ අයිතීන් රැක ගැනීමේ ජාතික ව්‍යාපාරයේ ස්ථාවරයයි.

ඔවුන් කියන්නේ වසර දහස් ගණනක් තිස්සේ විවිධ කෘෂිකාර්මික බෝගවලට අදාල බීජ වර්ග 3,000කට වැඩි සංඛ්‍යාවක් ලක් ගොවීන් විසින් පාරම්පරිකව වගා කරමින්, රැක ගනිමින් හා හුවමාරු කර ගනිමින් ඇති බවයි.

බීජ අයිතීන් රැක ගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාමන්කඩවල ශ‍්‍රී පියරතන හිමියන් කියන්නේ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් දෙමුහුන් බීජ වර්ග මෙන් නොව සාම්ප‍්‍රදායික බීජ වැවීමට අධික ලෙස  රසායනික පොහොර හෝ කෘමිනාශක අනවශ්‍ය බවයි.

“කෘෂි රසායනික  අධික ලෙස  භාවිතය නිසා බෝ නොවන නිදන්ගත රෝග හට ගන්නා බව අපේ විශ්වාසයයි.  වකුගඩු රෝගය පමණක් නොවෙයි, පිළිකා රෝග රාශියක් ද ඇති වනවා. මේ දැඩි අවදානම දැන දැනත් අපේ ගොවීන් බොහෝ දෙනකු තවමත් කෘෂි රසායනිකවල ඇලී ගැලී සිටිනවා.  එය එක් හේතුවක් නම් වැවීමේ (තාවකාලික) පහසුව.  තව හේතුවක් නම් කෘෂි රසායනිකවලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා ලැබෙන රාජ්‍ය ප‍්‍රවර්ධනය.  මේ කෘෂි රසායනික නැතිව වගා කිරීමේ අවස්ථාව අපේ ගොවීන්ට ලබා දෙන්න යයි අපි රජයෙන් ඉල්ලා සිටියත් තවම ප‍්‍රතිචාරයක් නැහැ,” එහිමියන් කියනවා.

අඩසියවසකට වැඩි කාලයක් තිස්සේ අධික කෘෂි රසායනික භාවිතය ගොවීන්ට නිර්දේශ කරමින් සිටින අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සොබාවික ක‍්‍රම මගින් ගොවිතැන් කිරීම හා දේශීය බීජ ගැන එතරම් උනන්දු වන ආයතනයක් නොවෙයි.  (හරිත විප්ලවය ගැන කෙතරම් විවේචන කළත් එය තවමත් ලක් රජයේ නිල ප‍්‍රතිපත්තියයි! එය ක‍්‍රියාත්මක කිරීම දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන රාජකාරියයි!)

මේ වැඩියෙන් යොදා වැඩි අස්වනු නෙළා ගැනීමේ (high external input agriculture) සම්ප‍්‍රදායට විකල්පයක් ලෙස ජෛවීය පොහොර හා සොබාවික පලිබෝධනාශක යොදා ගෙන වගා කිරීමේ කාබනික ගොවිතැනක් (organic farming) ද සුළු පරිමානයෙන් මෙරට තිබෙනවා.  2014 ජනවාරි 26දා කොලමින් අප එය විග‍්‍රහ කළා.

කාබනික ගොවිතැන් කරන ගොවීන් බොහෝ කොට භාවිත කරන්නේ පාරම්පරිකව ලැබී ඇති දේශීය බීජයි.  නිල තන්ත‍්‍රයෙන් අනුග‍්‍රහයක් නැතිව වුවත් තම තමන් අතර හොඳ දේශීය බීජ හුවමාරු කර ගැනීමක් මේ දක්වා ගොවීන් කර ගෙන ආවා.

රාජ්‍ය නොවන  සංවිධාන (NGO)වලට දොස් කීම පුළුල්ව කැරෙන අද කාලයේ මතක් කිරීම වටින්නේ අයාලේ ගිය රාජ්‍ය කෘෂි ආයතන අවිචාරශීලීව අඩසියවසක් තිස්සේ හරිත විප්ලවයට ආවඩන අතරේ දේශීය බීජ හා කාබනික/සොබාවික ගොවිතැන මෙපමණටවත් රැකී ඇත්තේ  NGO කැපවීම නිසා බවයි.

2003 (පවතින) පනතින් ගොවියකු තමා වැවූ බීජ තොගයක්, තමාගේ බිමෙහිදී වෙනත් අයකුට දීම හෝ විකිණීම හෝ නියාමනය කැරුණේ නැහැ.  සුළු පරිමානයෙන් එකිනෙකා අතර බීජ හුවමාරු කර ගැනීම ගොවින් බොහෝ කලක සිට කරනවා.

යෝජිත පනතේ 18 වන වගන්තියට අනුව දේශීය පාරම්පරික ශාක ජාන සම්පත් සුරැකීම, ගොවිතැනට වැදගත් වූ පැළෑටි රෝපණ ද්‍රව්‍ය  හුවමාරු කර ගැනීම, බෙදා හැරීම හෝ ලබා දීම දෙපාර්තමේන්තු බලධරයාගේ අවසරයකින් තොරව නොකළ යුතු වනවා.  ගොවි හා පාරිසරික ක‍්‍රියාකාරිකයන් කියන්නේ බීජ පිළිබඳව සාම්ප‍්‍රදායිකව ගොවීන්ට තිබූ අයිතිවාසිකම මෙයින් අහෝසි වන බවයි.

නව පනත යටතේ තාක්‍ෂණ හා උපදේශක කමිටුවක් පිහිටුවීමට යෝජිතයි.  2003 පනතේ එබඳු කමිටුවකට ගොවි ජනතාව නියෝජනය කරන දෙදෙනෙකුට අවසර තිබුණත්, නව පනතේ එය දක්වා ඇත්තේ ‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පිිළිබඳ විද්‍යාත්මක ශික්‍ෂණයක් සහිත කෘෂි විද්‍යාඥයන් දෙදෙනකු’ පත් කළ හැකි බවයි.  මෙහි යටි අරමුණ විය හැක්කේ ගොවි නියෝජනය නැති කොට පොතේ උගතුන්ට පමණක් කමිටුව සීමා කිරීම ද?  පනතේ විවේචකයන් මේ බිය පළ කරනවා.

MONLAR ආයතනයේ සරත් ප‍්‍රනාන්දු කියන්නේ මෙරට ගොවිතැනේ රාජ්‍ය නියාමනයට ඉඳුරා ම ලක්විය යුතු පැතිකඩ ද තිබෙන බවයි.  “මහා පරිමාණ රසායනික පොහොර හා වල් නාශක, පලිබෝධනාශක භාවිතය හරහා අපේ ආහාරවලට උග‍්‍ර වස විස එකතු කිරීමත්, එබඳු කෘෂි රසායනික නොමැතිව වගා කරන්නට බැරි  නවීන දෙමුහුම්  බීජ ප‍්‍රභේද  ප‍්‍රවර්ධනය කිරීමත් අනිවාර්යයෙන් මීට වඩා දැඩි පාලනයකට පත් කිරීම අවශ්‍යයි.”

‘‘රටේ නීති රීති තද කළ යුතතේ මේ දෙආකාරයේ කි‍්‍රයාවල යෙදෙන අයටයි.  එසේ නැතිව සුළු ගොවියාට නොවෙයි!’’ ඔහු අවධාරණය කරනවා.

අපේ සමහර ගොවීන් ද වැරදි කරන බව ප‍්‍රනාන්දු පිළිගන්නවා. “පරිසරය වනසන, ආහාර විස කරන ක‍්‍රියා ගොවීන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරනවා.  එබඳු අකටයුතුකම් පාලනය කරන්නට අවශ්‍ය නීති රජය ගෙනෙනවා නම් අප එයට එක හෙළාම කැමතියි!”

27 Oct 2013: සිවුමංසල කොලූගැටයා #140: ජාතියට වස කවන්නෝ කවරහු ද?

3 Nov 2013: සිවුමංසල කොලූගැටයා #141: විස වගාවට වැට බදින්න ක‍්‍රමයක් මෙන්න!

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

යෝජිත පනත් කෙටුම්පත මෙරට ක‍්‍රියාකාරිකයන් විසින් බීජ රැක ගැනීමේ ඉන්දියානු ජනතා ව්‍යාපාරයේ බල කණුවක් වන ආචාර්ය වන්දනා ශිවාට (Dr Vandana Shiva) යොමු කරනු ලැබුවා.  එය අධ්‍යයනය කළ ඇය ද පවසන්නේ ඇතැම් වගන්ති හා යෝජිත විධිවිධාන සුළු ගොවීන්ගේ පාරම්පරික බීජ අයිතීන්ට පහරක් බවයි.

ඇය කියන්නේ කුඩා පරිමාණයෙන් දේශීය වී ප‍්‍රභේද හා අනෙකුත් දේශීය බෝග වගාවේ නිරත ගොවීන් මේ නව පනතේ රාමුවෙන් නිදහස් කළ යුතු බවයි.

19 January 2014:  සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

යෝජිත බීජ පනත මහජන අදහස් දැක්වීම සඳහා 2013 අග සිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ තිබෙනවා.  එය හොඳ පියවරක්.  එහෙත් එපමණක් සෑහෙන්නේ නැහැ.  යෝජිත විධි විධාන අවශ්‍ය වන්නේ ඇයි ද යන්න ජනතාවට තේරෙන ලිහිල් බසින් පැහැදිළි කළ යුතුයි.

පනත් කෙටුම්පත් කරන්නේ ගරු ගාම්භීර හා දරදඬු නීතිමය බසින්.  එයින් ඔබ්බට ගොස් තම අරමුණු ප‍්‍රශස්ත ලෙස  සන්නිවේදනය කිරීමේ අභියෝගය කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට තිබෙනවා. එසේ කරන විට ගොවි හා සෙසු ජන සංවිධානවල විරෝධතා සාවධානව සැළකිල්ලට ගෙන සංවාදයකට එළැඹීමත්  වැදගත්.  පරිනත සමාජයන්හි නව නීති හා රෙගුලාසි සම්මත කර ගන්නේ එබඳු පුළුල් සංවාදවලින් පසුව පමණයි.

මෙහිදී ආවේගශීලි නොවී ඉලක්කගතව මත දැක්වීමේ වගකීම ගොවි, හරිත හා අනෙක් ජන සංවිධානවලට හා ස්වාධීන විද්වතුන්ට තිබෙනවා.

Sri Lanka traditional rice - image from Wikipedia
Sri Lanka traditional rice – image from Wikipedia

බීජ අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ රැස්වීමකට මෑතදී නිරික්‍ෂකයකු ලෙස මා  සහභාගී වූවා.  එසේම ඔවුන් නව බීජ පනතට එරෙහිව ලියූ  පත‍්‍රිකා හා ඇතැම් පුවත්පත් ලිපි ද කියැවුවා.

මේ ක‍්‍රියාකාරිකයන්ගේ අවංක බව හා කැපවීම ගැන කිසිදු සැකයක් නැහැ.  එහෙත් ඔවුන්ගේ ක‍්‍රමවේදය ගැන මට ප‍්‍රශ්න තිබෙනවා.  සංකීර්ණ අද සමාජයේ ප‍්‍රශ්න සරලව විග‍්‍රහ කළ නොහැකියි. මාතෘකාවට අදාලව, කෙටියෙන් හා තර්කානුකූලව කරුණු ගොනු කිරීමට අපේ බොහෝ ක‍්‍රියාකාරිකයන් අසමත්.

මහා කුමන්ත‍්‍රණ, පාවාදීම් හා ද්‍රෝහිකම් ගැන ආවේගශීලි මතවාදයන් සමග මුසු වීමෙන් ඔවුන්ගේ සදාචාරාත්මක හා විද්‍යාත්මක තර්කවල සැර බාල වීමේ අවදානම තිබෙනවා.

මිටියක්  පමණක් අත තිබෙන තැනැත්තාට හැම ප‍්‍රශ්නයක්ම පෙනෙන්නේ ඇණයක් හැටියට යයි කියමනක් තිබෙනවා.  හීන්සීරුවේ හා උපක‍්‍රමශීලීව උද්ඝෝෂණ කිරීමේ හා මහජන මත ගොඩනැගීමේ සියුම් කලාව අපේ හරිතවේදීන් හා ගොවි සංවිධාන ප‍්‍රගුණ කළ යුතුයි. ඉන්දියාවේ බීජ උරුමය රැක ගන්නට ගොවි සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ගෙන යන උද්ඝෝෂණවලින් අපේ ඇත්තන්ට ආදර්ශ ගත හැකියි.

මෙහිදී ප‍්‍රතිපත්තිගරුක වීම පමණක් මදි.  ගාන්ධිතුමා හා නෙල්සන් මැන්ඩෙලා වැනි පරමාදර්ශී චරිතවලින් පවා ලැබෙන ආදර්ශය නම් ආවේගයට වඩා සන්සුන් තර්කයට හා විනීත සංවාදයට බොහෝ දේ කළ හැකි බවයි.

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

In this week’s Ravaya column (in Sinhala), I have adapted a long exchange I did in 1995 with the late Dr Ray Wijewardene, agro-engineer turned farmer and a leading practitioner in conservation farming in the humid tropics. The rest of this exchange will appear in future columns.

See original English interview published online as: Who Speaks for Small Farmers, Earthworms and Cow Dung?

Two of my earlier columns have explored related aspects of Ray Wijewardene’s vision on farming, landcare and conservation:

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

Ray Wijewardene
Ray Wijewardene

අදීන විද්‍යාඥයකු, චින්තකයකු හා නව නිපැයුම්කරුවකු වූ ආචාර්ය රේ විජේවර්ධන මිය ගොස් තෙවසරක් පිරෙන්නේ මේ සතියේයි.

86 වසරක ජීවිත කාලය තුළ ඔහු අඵත් දේ රැසක් කළා. ගොවිතැන, බලශක්තිය, ඉඩම් පරිහරණය හා පරිසර සංරක්‍ෂණය යන ක්‍ෂෙත‍්‍ර හතරේ නිරවුල් හා නිවහල් දැක්මක් මත පදනම් වූ ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග හා විසඳුම් රාශියක් ඔහු යෝජනා කළා.

බටහිර සම්ප‍්‍රදායට විද්‍යා අධ්‍යාපනයක් හා තාක්‍ෂණ පුහුණුවක් ලද ඔහු, පසු කලෙක පෙරදිගට හා ශ්‍රී ලංකාවට උරුම වූ දේශීය දැනුම ප‍්‍රගුණ කළා. එහෙත් ඇතැම් අන්තවාදීන් මෙන් එක් දැනුම් සම්ප‍්‍රදායක එල්බ ගෙන අනෙක් සියළු දැනුම් සම්ප‍්‍රදායන් හෙළා දැකීම කළේ නැහැ. ඒ වෙනුවට පෙර-අපර දෙදිග යා කරමින්, හැම තැනින් ම හරවත් හා ප‍්‍රයෝජනවත් දැනුම උකහා ගනිමින් ඔහු අපේ කාලයේ සංවර්ධන අභියෝගයන්ට ප‍්‍රතිචාර දැක්විය හැකි ක‍්‍රමෝපායයන් සොයා ගියා.

අටුව කඩා පුටුව හදන ආකාරයේ කෙටි කාලීන සංවර්ධනය හඹා යාමේදී මතු වන බරපතල විසමතා කල් තබා දුටු ඔහු කළ අනතුරු ඇඟවීම් තවමත් අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් හරිහැටි ග‍්‍රහණය කර ගෙන නැහැ.

1995දී ඉන්දියාවේ Down To Earth සඟරාව වෙනුවෙන් රේ සමග මා දීර්ඝ මාධ්‍ය සාකච්ජාවක් කළා. වී ගොවිතැන, හේන් ගොවිතැන, හරිත විප්ලවය හා එහි අහිතකර ප‍්‍රතිඵල, බලශක්ති අර්බුදයට පිළියම් ආදී තේමා රැසක් ගැන අප කථා කළා. එය එදා මෙදා තුර මා කළ මාධ්‍ය සාකච්ජා සිය ගණනක් අතර මතකයේ සදා රැඳුන සංවාදයක්. වසර 18කට පසුව එය සිංහල අනුවාදයක් ලෙස බෙදා ගන්නට මා කල්පනා කළා.

නාලක: ඔබ හරිත විප්ලවයේ පෙර ගමන්කරුවකු හා ආවඩන්නකු වූවත් පසු කලෙක ඒ සියල්ල ප‍්‍රශ්න කළා. ඇයි?

රේ: හරිත විප්ලවය ඇරැඹුණේ ආහාර අහේනියක් ඇතිවීම වළක්වන යහපත් අරමුණින් වුවත් එහි මූලික ප‍්‍රවේශයන්ගේ ප‍්‍රබල දෝෂ තිබුණා. මේ නිසා සුඵ ගොවියාගේ පැත්තෙනුත්, සොබාදහමේ පැත්තෙනුත් අප දැඩි පසුබෑමකට ලක් වුණා.

කල් ගත වී හෝ මේ වැරදි හරි ගස්වා ගත යුතු බවට අද විද්‍යාඥයන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් අතර පිළිගැනීමක් මතුව තිබෙනවා. මෙය මුලින් ම වටහා ගත්තේ ගොවීන්. දැන් විද්වත් මහත්තුරුන්ටත් එය තේරුම් ගිහින්! අද අවශ්‍ය වන්නේ බිම් ප‍්‍රමාණයකින් අප උපදවා ගන්නා ආහාර හෝ අනෙකුත් බෝග හෝ ප‍්‍රමාණය ප‍්‍රශස්ත කර ගැනීම (optimize) මිස හැකි තාක් උපරිම කර ගැනීම (maximize) නොවෙයි.

සමහරුන් තවමත් තර්ක කරනවා ජන සංඛ්‍යාව වැඩි වන වේගයට සමානුපාතිකව හැකි තාක් අස්වනු වැඩි නොකළොත් සාගින්න බරපතල ප‍්‍රශ්නයක් විය හැකිය කියා. ඔබ එකඟ වෙනවා ද?

මෙතැන ප‍්‍රශ්නය හුදෙක් අස්වනු වැඩි කර ගැනීම නොවෙයි. සුඵ ගොවියා ගොවිතැනෙන් ලබන ලාබය වැඩි කර දීමයි. ගොවියාගේ සමාජ හා ආර්ථික තත්ත්‍වය නගා සිටු වන්නේ නැතිව කෙතරම් විද්‍යාත්මක විසඳුම් කි‍්‍රයාත්මක කළත් වැඩක් නැහැ.

තිරසාර බව (sustainability) කියන්නේ අපේ රටේ ගොවිතැනට අඵත් සංකල්පයක් නොවෙයි. අපේ සාම්ප‍්‍රදායික ගොවීන් එය මනාව දැන සිටියා සහ හරිහැටි ප‍්‍රගුණ කළා. මුල් යුගයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ද එම පාරේ ම යන ලකුණු තිබුණා. උදාහාරණයක් හැටියට 1936දී නිකුත් කළ හරිත පොහොර (Green Manuring) නම් නිල ප‍්‍රකාශනයක තිරසාර ලෙස මහ පොළවෙන් ඵලදාව ලබන සැටි විස්තර කර තිබෙනවා.

අවාසනාවකට 1960 – 1970 කාලයේ හරිත විප්ලවය නිසා අපේ කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය හා දෙපාර්තමේන්තුව සිහි විකල් වී අයාලේ ගියා! මංමුලා වුණා! එසේ නොවූවා නම් අද අප මුහුණ දී සිටින අර්බුදයට මැදි වන්නේ නැහැ. දැන් සිදුව ඇත්තේ බාහිරින් වඩ වඩාත් කෘති‍්‍රම එකතු කිරීම් වගා බිම්වලට දමමින් කෙසේ හෝ ඵලදාව නැත්නම් අස්වනු පවත්වා ගැනීම. මෙය දරා ගත නොහැකි මට්ටමකට පත් වෙලා…

 ‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1974
‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1974

1955 ඔබ නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය (LandMaster) ප‍්‍රවර්ධනය කරමින් ඔබ ගොවිතැන යාන්තී‍්‍රකරණය කරන්නට තැත් කළා. නමුත් පසුව ඒ සියල්ල ලොකු වැරදීමක් බව කියා සිටියා. ඒ ඇයි?

 ඇත්ත. හරිත විප්ලවය මුලදී මාත් එය විශ්වාස කළා. මාත් අයාලේ ගියා! එසේ වූයේ මූලික මට්ටමේ ප‍්‍රශ්නයක් මතු නොකිරීම නිසායි. ට‍්‍රැක්ටරය කළේ ගොවිතැන යාන්තී‍්‍රකරණය කිරීම ද, නැත්නම් මී හරකා යාන්තී‍්‍රකරණය කිරීම ද?

අපට හැකි වූයේ යාන්තමට මී හරකාට යාන්ති‍්‍රකරණ ආදේශකයක් දීමට පමණයි. එයත් එතරම් ප‍්‍රශස්ත විසඳුමක් නොවෙයි. මීහරකාට මෙන් පරපුරක් බෝ කිරීමේ හැකියාව ට‍්‍රැක්ටරයට නැහැ! නැතහොත් කිරි නිපදවන්නට හෝ ගොම හරහා ගොවිබිම පොහොර කරන්නටත් බැහැ. මේ නිසා ලොකු කුඩා හැම ට‍්‍රැක්ටරයක් ම අපේ රටේ ගොවිතැනට හඳුන්වා දීම හොඳ අරමුණින් වුවත් අප සිදු කළ ලොකු වරදක්.

පසු කලෙක බොහෝ අධ්‍යයන හා අත්හදාබැලීම්වලින් අනතුරුව මා තේරුම් ගත් මූලික සත්‍යය මෙයයි. ගොවිබිමක පස පෙරැළීම බොහෝ කොට ම කරන්නේ වල් පැළෑටි පාලනය කිරීමටයි. එනම් අපට අවශ්‍ය බෝගය හැර අනෙකුත් පැළෑටි එම පොළොවෙහි එම කාලයෙහි මතු වනු වැළැක්වීමටයි. මා ගණන් බැලූ විදියට අපේ රටේ (ගොඩ හා මඩ) ගොවිතැන්වලදී කරන පරිශ‍්‍රමය හා වියදමෙන් 40-60%ක් පමණ වැය වන්නේ මෙසේ පස පෙරැළීම හරහා වල් පැළෑටි පාලනයට.

නමුත් පස පෙරැළීමේ අහිතකර විපාක තිබෙනවා. ලිහිල් වූ පස ලෙහෙසියෙන් සෝදා පාඵවට ලක් විය හැකියි. මේ නිසා පස පෙරැළීමට ලක් කළ වගා බිම්වල පසේ සාරවත් බව අහිමිවීමේ ලොකු අවදානමක් තිබෙනවා. ඝර්ම කලාපීය අපේ රටවල ගොවිතැනේ අතිශය තීරණාත්මක සාධකයක් නම් පසේ සරුබවයි (soil fertility). එය රැක ගැනීම ඉතා වැදගත්.

පස පෙරළන්නේ නැතිව වල් පැළෑටි පාලනය කරන ක‍්‍රම තිබෙනවා ද?

ප‍්‍රධාන විකල්ප දෙකක් තිබෙනවා. එකක් වල්නාශක රසායනික භාවිතය. එය වියදම් සහගත මෙන් ම පරිසරයට අහිතකර කි‍්‍රයාවක්. දෙවැන්න නම් ගොවිබිමේ ජල පාලනය හරහා වල් පැළෑටි මර්දනය. මෙය අප සිතනවාට වඩා පුඵල් ලෙස අපේ ගොවිතැනේ සිදු කෙරෙනවා.

අපේ වාරි ජලයෙන් තුනෙන් දෙකක් ම යොදා ගන්නේ කුඹූරුවල වල් පාලනය සඳහායි.  මා ගණන් බලා ඇති අන්දමට අද (1995) ශී‍්‍ර ලංකාවේ වී ගොවිතැනේදී සහල් කිලෝ එකක් නිපදවා ගන්නට ජලය ටොන් 20ක් පමණ වැය කරනවා. වී පැළෑටියට එහි භෞතික වර්ධන අවශ්‍යතා සඳහා මෙතරම් ජල කන්දරාවක්  ඕනෑ නැහැ. ජලය බහුතරය යොදා ගන්නේ වල් ඉස්මතුවීමට නොදී ගිල්ලා මරා දැමීමටයි!

වාරි ජලය ගොවීන්ට නොමිළයේ ලැබුණත් එය සම්පාදනයට රජයට වියදමක් යනවා. ඒ වියදම වී ගොවිතැනේ අනෙකුත් වියදම්වලට එකතු කළ විට සහල් විකුණා නැවත ලබා ගත නොහැකි තරම් නිෂ්පාදන වියදමක් මෙරට වී වගාවේදි සිදු වනවා.

මේ විකල්ප දෙක හැර වෙනත් ක‍්‍රම තිබෙනවා ද?

කල් යාමේදී මා තේරුම් ගත්තා වල් නාශක රසායනික හෝ වාරි ජලය හෝ යොදා නොගෙන වෙනත් ක‍්‍රමයකින් වල් පැළෑටි පාලනය කිරීමේ චින්තන විප්ලවයක් අවශ්‍ය බව. එය තිරසාර වන්නට නම් බාහිරින් යොදන දේ අවම විය යුතුයි. එමෙන් ම වියදම අඩු හා සරල විය යුතුයි.

ආසියාවේ හා අපි‍්‍රකාවේ ඝර්ම කලාපීය රටවල ගොවීන් සමග වැඩ කරද්දී මා වසර ගණනක් මේ අභියෝගයේ විවිධ පැතිකඩ සමීපව අධ්‍යයනය කළා. පොතෙන් නොවෙයි, වගා බිමෙන්! ලොකු වටයක් ගියාට පසු මා වටහා ගත්තේ අපට අවශ්‍ය විසඳුම ඝර්ම කලාපීය ස්වාභාවික වනාන්තර තුළ කාලාන්තරයක් තිස්සේ ඉබේ ම කි‍්‍රයාත්මක වෙමින් ඇති බවයි!

වල් පැළෑටි පාලනය  ඕනෑ වන්නේ බෝග වවන ගොවීන්ට. එය සොබාවික වනාන්තරයකට අදාල වන්නේ කොහොම ද?

මිනිස් බලපෑමකට ලක් නොවී නිදහසේ වැවුණු ඝර්ම කලාපීය වර්ෂා වනාන්තරයකට පිවසී සමීපව නිරික්සන විට අපට පෙනී යනවා වනාන්තරවල බිම් මට්ටමේ එතරම් කුඩා පැළෑටි වර්ධනයක් නැහැ. හේතුව ලොකු ගස්වලින් වැටෙන වියළි කොළ දිරාපත් වෙමින් බිම් මට්ටම වසා ගැනීමයි.

වනාන්තරයේ සාරවත් බව (fertility) චකී‍්‍රකරණය කැරෙනවා. ලොකු ගස්වල ගැඹූරට විහිදෙන මුල් මගින් යට තිබෙන පසෙහි සාරය උකහා ගෙන ශාක පත‍්‍ර හා ගෙඩි බවට පත් කරනවා. කලකට පසු මේ ශාක කොටස් (හා අවසානයේ මුඵ ගස ම) වියලී මතු පිටට වැටෙනවා. ඒවා ටිකෙන් ටික දිරාපත් වූ විට සාරය නැවතත් පසට එකතු වනවා. මේ කොළ රොඩු එක් වීම නිසා අනවශ්‍ය (වල්) පැළෑටි බිහිවීම ද ඉබේ පාලනය වනවා.

මා වටහා ගත්තා ගොවිතැන් කිරීමේ ලොකු ම අභියෝග දෙක නම් පසේ සාරය පවත්වා ගැනීම හා වල් මර්දනය බව. කුමන බෝගය වගා කළත් මේ තමයි ලොකු ම සීමාකාරී සාධක දෙක. ඝර්ම කලාපීය වනාන්තරවල සොබාදහම මේ සාධක දෙක අපුරුවට කළමණාකරණය කරනවා. එහිදී වැදගත්ම පුරුක වන්නේ ගස්. යම් බිමක් ඵලදායී වනවාද මුඩුබිමක් වනවාද යන්න තීරණය වන්නේ ගස්වල පිහිටීම මගින්.

වගාබිමේදී අපට මේ වනාන්තර කරන දේ අනුකරණය කළ හැකිදැයි මා සොයා බැලූවා. එය සාර්ථකව කරන ක‍්‍රමයක් මට පිලිපීනයේදී හමු වුණා. එයට කියන්නේ බෑවුම් වගාබිම් තාක්‍ෂණය (Sloping Agricultural Land Technology හෙවත් SALT) කියායි. කෙටිකාලීන බෝග කඳුකර බිම්වල වැවීමේදී පස රැක ගනිමින් බැහැරින් කෘෂිරසායනික එකතු කිරීම හැකි තාක් අඩු කරන්නට SALT ක‍්‍රමය මහෝපකාරී වනවා.

SALT සඳහා බහුවාර්ෂික ගස් (perennial trees) වගා බිමක සිටු වනවා. කෙටි කාලීන බෝග වවන විටත් (කුඹූරුවල පවා) ලොකු ගස් තැනින් තැන වැටෙන්නට ඉඩ දීම අපේ පැරණි ගොවිතැනේ සිරිතක් වුණා. මේ ගස්වලින් වියලී බිමට වැටෙන කොළ රොඩු මගින් පසේ තෙතමනය පවත්වා ගනිමින් එහි සරුබව ද වැඩි කරනවා.

SALT system diagram
SALT system diagram

 

SALT ක‍්‍රමය බෑවුම්වල ගොවිතැනට පමණ ද?

බෑවුම්වලට වඩා සුදුසුයි. මන්ද සමෝච්ච රේඛා මට්ටමට මෙබඳු ගස් පේළි හැටියට වවමින් වැටි බිහිකිරීම වඩාත් ලෙහෙසි නිසා. 1970 දශකයේ අප ආසියාවේ හා අපි‍්‍රකාවේ රටවල මේ ක‍්‍රමවේදය අත්හදා බලමින් දියුණු කළා. අද එය ඝර්ම කලාපය පුරා පිළිගත් සංරක්‍ෂණාත්මක ගොවිතැන් ක‍්‍රමයක්.

SALT ක‍්‍රමය ගොවීන් පිළිගන්නේ කෙලෙස ද?

ගොවීන්ට වාසි රැසක් තිබෙනවා. රසායනික පොහොර හා වල්නාශක වැනි වියදම් සහගත බාහිර එකතු කිරීම් තව දුරටත් අවශ්‍ය නැහැ. එසේ ම පස සෝදායාම වැළකෙනවා. කඳු බෑවුම්වල වගා කිරීමේදී බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ඒවා මුලින් එළිපෙහෙළි කොට බෝග පමණක් සිටුවන්න. මෙය හරි අනුවණකාරී වැඩක්. එයින් සොබාවික සෙවන හා පසේ සොබාවික රැකවරණය අහිමි වී, පස අව්වට වැස්සට නිරාවරණය වනවා.

වායුගෝලයෙන් නයිට‍්‍රජන් සොබාවිකව උකහා ගෙන මුල් හරහා එය පසට මිශ‍්‍ර කිරීමේ හැකියාව ඇති ගස් හෝ පඳුරු හෝ SALT ක‍්‍රමයේදී අප වගාබිමක පේළි හැටියට වවනවා. එමගින් පසට එකතු කරන කොළ රොඩු එතැන ම දිරාපත් වන්නට ඉඩ හරිනවා. ඉවත් කිරීමක් නැහැ. ඇත්තට ම අපි සොබාදහමේ කි‍්‍රයාවලීන්ගෙන් ගොවිතැනට සේවා ලබා ගන්නවා. එතකොට පිටතින් පොහොර හෝ වෙනත් ද්‍රව්‍ය එකතු කිරීමේ අවශ්‍යතාවය අවම කර ගන්නට හැකියි.

මුල් සාකච්ජාව කියවීමට පිවිසෙන්න: http://tiny.cc/RayBye

රේ විජේවර්ධන චින්තනය පිළිබඳ වෙබ් අඩවිය: www.raywijewardene.net

සිවුමංසල කොලූගැටයා #109: ළග ළග එන ‘කෘෂි රසායනික සුනාමිය’

This week’s Ravaya column (in Sinhala) is about the rising exports of hazardous pesticides coming to the developing world from China.

Similar ground was covered in English in The Coming Pesticide Tsunami: Made in China?

Filipino rice farmer spraying pesticides
Filipino rice farmer spraying pesticides

1955දී තමන් නිපද වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරය වසර දහයකට වැඩි කාලයක් ඝර්ම කලාපීය රටවල ගොවීන්ට ප‍්‍රවර්ධනය කිරීමෙන් පසු එය තමන් අතින් සිදුවු ‘ලොකු වරදක්’ යයි කීර්තිමත් ලාංකික ඉංජිනේරු රේ විජේවර්ධන ප‍්‍රසිද්ධියේ කියා සිටියා. හරිත විප්ලවය ආරම්භයේ පටන් එහි පෙරගමන්කරුවකු වූ ඔහු 1960 දශකය අවසන් වන විට එහි මූලික දැක්ම ප‍්‍රශ්න කළා.

ගොවිතැනේදී අධික ලෙස බාහිරින් ගෙනෙන පොහොර, කෘමිනාශක හා වල් නාශක ආදිය නිසා වගාබිමේ සමතුලිතතාව බිඳ වැටෙන බව ඔහු පසුව වටහා ගත්තා. කෙටි කාලීනව අධික අස්වනු ලැබිය හැකි වුවත් හරිත විප්ලව ක‍්‍රමවේදයන් නිසා වසර කිහිපයකින් වගාබිම් නිසරුවීම, පරිසර දුෂණය හා බරපතල සෞඛ්‍ය ගැටඵ මතු වන සැටි දැන් අප දන්නවා.

සියවස් ගණනාවක් තිස්සේ ආසියාව පුරා කුඹුරුවල ගොවීන් වී වගා කළේ කෘෂි රසායනවල පිහිටෙන් නොවෙයි. කුඹුරුවල ස්වාභාවික ව හමුවන කෘමීන්, මකුඵවන්, පක්ෂීන් හා වෙනත් සතුන් සමග පාරිසරික සමබරතාවක් පවත්වා ගන්නා සැටි ඔවුන් අත්දැකීමෙන් දැන සිටියා.

එහෙත් හරිත විප්ලවයේ රසායනික පොහොර, කෘමිනාශක හා වල්නාශක වගාවට හානි කරන මෙන් ම වගාවට හිතකර සතුන් ද එක සේ විනාශ කළා. රසායනික පොහොර හා අනෙකුත් කෘෂි රසායන වතුරේ දිය වී ඇල දොල හා ගංගා හරහා සමස්ත පරිසරයට ම මිශ‍්‍ර වුණා. මේ විෂ රසායනික අපේ ආහාරවලට සෘජුව මෙන් ම වක‍්‍රවත් ඇතුඵ වුණා.

මෑත කාලයේ හරිත විප්ලවවාදියෝ සැළකිය යුතු සංඛ්‍යාවක් තමන්ගේ වැරදි පිළිගනිමින්, කල්ගත වී හෝ ඒවා නිවැරදි කරගන්නට තැත් කරනවා. ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනය (IRRI) කියන්නේ හරිත විප්ලවයේ විශාල කාර්යභාරයක් ඉටු කළ ලෝක ව්‍යාප්ත කෘෂි පර්යේෂණායතන ජාලයේ සාමාජිකයෙක්.

පසුගිය අඩ සියවස තුළ ආසියානු රටවල සහල් නිෂ්පාදනය වැඩි කිරීමට, සහලින් ආසියානු රටවල් ස්වයංපෝෂිත කිරීමට හා ආහාර හිගයන් වළක්වා ගන්නට විශාල පර්යේෂණාත්මක දායකත්වයක් IRRI ලබාදී තිබෙනවා. අධික ලෙස කෘෂි රසායන භාවිත කරමින් අධික අස්වනු හඹා යාම අහිතකර බව දැන් ඔවුන් පිළි ගන්නවා. මේ ගැන ප‍්‍රසිද්ධියේ කථා කරන ජ්‍යෙෂ්ඨ IRRI විද්‍යාඥයෙක් මෑතදී මට මුණ ගැසුණා.

Dr K L Heong of IRRI
Dr K L Heong of IRRI

ආචාර්ය කොංග් ලූවන් හියොං (Dr K L Heong) ආසියාවේ ප‍්‍රමුඛ පෙළේ කීට විද්‍යාඥයෙක්. මැලේසියානු ජාතිකයකු වන ඔහු බි‍්‍රතාන්‍යයේ ඉම්ජීරියල් සරසවියෙන් ආචාර්ය උපාධියත්, ලන්ඩන් සරසවියෙන් DSc අධිඋපාධියත් ලැබූ, දශක ගණනක් පුරා ආසියාවේ වී වගාවේ කෘමීන් පිළිබඳ පර්යේෂණ කළ අයෙක්. සත්ත්ව විද්‍යාවට සීමා නොවී ගොවීන්ගේ ආකල්ප පිළිබඳ සමාජ විද්‍යාත්මක ගවේෂණ කරමින් කුඩා පරිමාණයේ වී ගොවීන්ට ඇති ප‍්‍රශ්න හා අවශ්‍යතා මැනවින් හදුනාගත් විද්වතෙක්.

ජෛව ලෝකයේ වැඩිපුර ම ජීවී විශේෂ හමු වන්නේ කෘමීන් වශයෙන්. ගම් නගර, වනාන්තර හා ගොවිබිම් යන සැම තැනෙක ම කෘමීන් සිටිනවා. මෙයින් බහුතරයක් කෘමීන් මිනිස් අපට හෝ බෝගවලට කිසිදු හානියක් කරන්නේ නැහැ. හානි කරන කෘමීන් ගොදුරු කර ගන්නා වෙනත් කෘමීන්, මකුඵවන් හා අනෙකුත් ස්වාභාවික සතුරන් (විලෝපීයයන්) සිටිනවා.

මිනිසා යොදන කෘෂි රසායනික නිසා මේ සමතුලිතතාවය බිඳ වැවෙනවා. බොහෝ වගාබිම්වලට කෘමි නාශක අන්‍යවශ්‍ය පමණක් නොව ඒවායේ ප‍්‍රයෝජනයට වඩා හානිය වැඩි බව 1950 දශකයේ සිට ප‍්‍රබුද්ධ ජෛව විද්‍යාඥයන් පෙන්වා දෙනවා. 1962දී අමෙරිකානු විද්‍යාඥ රේචල් කාසන් නිහඬ වසන්තය පොතෙන් දුන් මූලික පණිවුඩය වූයේත් එයයි (2013 ජනවරි 13 කොලම බලන්න).

ආචාර්ය හියොං කාසන්ගේ පණිවුඩය ප‍්‍රතිරාවය කරන වත්මන් පරපුරට අයත්. දියුණු රටවල කෘෂි රසායනික භාවිතය අඩු වන්නට පටන් ගෙන ඇතත් අපේ වැනි දියුණු වන රටවල ඒවා වැඩි වැඩියෙන් භාවිත වන බව ඔහු කියනවා.

කෘෂි රසායනික සුනාමියක් ළග එන බවත්, එහි බහුතර දායකත්වය ලැබෙන්නේ චීන සමාගම් වලින් බවත් ආචාර්ය හියොං අනතුරු අගවනවා. අපේ පරිසරවේදීන් මෙය නොදන්න හැඩයි.

කලක් තිස්සේ පාරිසරික හා සෞඛ්‍ය කි‍්‍රයාකරිකයන් චෝදනා කරන්නේ බටහිර රටවල භාවිතය තහනම් කළ අධික විෂ ඇති කෘෂිරසායනික, එම රටවල බහුජාතික සමාගම් විසින් දියුණුවන ලෝකයේ තවමත් අලෙවි කරන බවයි. මෙය ඓතිහාසිකව සත්‍ය වුවත් බටහිර රටවල පරිසරවේදීන්ගේ බලපෑම් නිසා එසේ කිරීමේ හැකියාව දැන් සීමා වී තිබෙනවා.

අද වන විට සංඛ්‍යා ලේඛන හරහා පැහැදිලි වන යථාර්ථය නම් අපේ රටවලට අධික විෂ සහිත කෘෂි රසායනික අලෙවි කරන්නේ ප‍්‍රධාන කොට ම චීන හා ඉන්දියානු සමාගම් විසින් බවයි.

”උතුරු – දකුණු විස රසායනික අලෙවිය(North-South dumping) ගැන අපි කලෙක සිට දැන සිටියා. එහෙත් දැන් වැඩිපුර සිදුවන්නේ දකුණු – දකුණු අලෙවියක් (South-South dumping). මේ ගැන අපේ රටවල කි‍්‍රයාකාරිකයන් එතරම් දැනුවත් වී නැහැ,” ආචාර්ය හියොං කියනවා.

skullපසුගිය දශකය තුළ ලෝකයේ විශාලතම කෘමිනාශක නිෂ්පාදකයා හා පිටරට යවන්නා බවට චීනය පත් වෙලා. චීනයේ රාජ්‍ය දත්ත පදනම් කොට ගෙන හියොං මෙය පෙන්වා දෙනවා.

”2000දී මෙටි‍්‍රක් ටොන් ලක්ෂ 5ක් පමණ වූ චීනයේ කෘමිනාශක නිෂ්පාදනය 2009 වන විට ටොන් ලක්ෂ 20 ඉක්මවා ගියා. එහෙත් එරට තුළ කෘමිනාශක භාවිතය වැඩි වී ඇත්තේ ඉතා සුඵ වශයෙන්. ඒ කියන්නේ මේ අතිරික්කය ඔවුන් පිටරටවලට විකුණනවා.”

මේවා යන්නේ කොහේ ද?

දැඩි පාරිභෝගික හා සෞඛ්‍ය ආරක්‍ෂණ නීති නිසා දියුණු රටවලට යවන්නට බැහැ. එහෙත් එබදු නීති නොමැති හෝ නීති නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන හෝ ආසියානු හා අපි‍්‍රකානු රටවලට ඒවා අලෙවි කරන බව හියොං සාක්ෂි සහිතව පෙන්වා දෙනවා.

මෙහි තවත් පැතිකඩක් තිබෙනවා. සිය රට තුළ අධික විසැති රසායනික භාවිතය ටිකෙන් ටික සීමා කරන්නට 1983 සිට චීනය පියවර ගන්නවා. 2007දී ඕගැනෝ ෆොස්ෆරස් කාණ්ඩයේ කෘමිනාශක ගණනාවක දේශීය භාවිතය තහනම් කළා. එහෙත් මේ කර්මාන්තයේ නිරත චීන සමාගම් 2,000ක් පමණ තිබෙන අතර සිය රට භාවිතය තහනම් වූ කෘමිනාශක පවා තවදුරටත් නිපදවා පිටරට යැවීමට ඔවුන්ට අවකාශ තිබෙනවා.

කිසි රටක් විවෘත ලෝක වෙළඳපොලේ කුමක් අලෙවි කරනවා ද යන්න ගැන අපට සෘජුව බලපෑම් කළ නොහැකියි. එහෙත් අපේ රට තුළට ගෙන ඒමට ඉඩ දෙන්නේ මොනවා ද යන්න තීරණය, අධීක්‍ෂණය හා පාලනය කිරීමට අපට හැකි විය යුතුයි.

ජාතික මට්ටමේ කෘෂි වෙළඳ දත්ත එක්තැන් කරන එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UN-FAO) සංඛ්‍යා ලේඛන වෙබ් අඩවියට අනුව 2010දී ශී‍්‍ර ලංකාවට පිටරටින් ගෙනා කෘමිනාශකවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 47 (රුපියල් බිලියන් 5.8 ක්). 2011දී ඒ අගය ඩොලර් 60.15 දක්වා ඉහළ ගියා (රුපියල් බිලියන් 7.5). මේ දෙවසරේ මෙරටට ගෙනා කෘමිනාශක පරිමාවන් එහි සඳහන් නැහැ. එහෙත් හුදෙක් මිළ වැඩි වීම නොව ගෙන ආ පරිමාව වැඩි වීමක් ද සිදුව ඇතැයි අපට අනුමාන කළ හැකියි. බිලියන් ගණන් ගෙවා මෙරටට මේ විෂ අධික ද්‍රව්‍ය ගෙන එන්නේ කොහි සිට ද? http://faostat.fao.org

චීන කෘමිනාශක සමාගම්වල දායකත්වය නිසා පරිමාවෙන් හා වටිනාකමින් වැඩි වන ලෝක කෘෂි රසායනික වෙළදාමෙන් බේරී සිටීමට අපේ රටවල අදාල නීති, රෙගුලාසි හා අධීක්‍ෂණය වහා ම සවිමත් කළ යුතු බවට හියොං අවධාරණය කරනවා. අපේ ආරක්‍ෂාව අප ම සළසා ගතයුතුයි.

”අප මේ කථා කරන්නේ අධි බලැති වස විස ගැනයි. මේවා සබන් හෝ දන්තාලේප වැනි දෑ මෙන් පුංචි කඩවල පවා විකිණීමට තිබෙන බව ආසියාව පුරා ම මා දකිනවා. මේවා අපේ රටවලට ගෙන ඒම යම් ලියාපදිංචියක් හරහා අධීක්‍ෂණය වූවත්, රට තුළ බෙදා හැරීම හා ගොවීන්ට අලෙවි කිරීම ගැන එතරම් පාලනයක් නැහැ. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි,” හියොං කියනවා.

බොහෝ ගොවීන් තම වගා බිමේ කෘමි ප‍්‍රශ්න ගැන උපදෙස් පතා ගෙන යන්නේ තමන්ට ආසන්න ම කෘෂි රසායනික අලෙවි කරන්නා ළගට. එය ගමේ සිල්ලර කඩයක් විය හැකියි. මේ කුඩා කඩවල මුදලාලිලා තමන් ළග ඒ මොහොතේ තිබෙන හෝ තමන්ට වැඩි ම වෙළඳ වට්ටම ඇති රසායනිකය මුදලාලි ගොවියාට නිර්දේශ කරනවා. අවශ්‍ය මාත‍්‍රාවට වඩා ඉසීමෙන් ඉක්මන් හා හොඳ ප‍්‍රතිඵල ලැබේ යයි වැරදි පිළිගැනීමක් ද ගොවීන් අතර තිබෙනවා.

හියොං කියන්නේ අධික වස විස මෙසේ හිතුමතයට සිල්ලරට අලෙවි කිරීම සිදු වන තාක් කල් කෘෂි රසායනික අවභාවිතය පාලනය කළ නොහැකි බවයි. රටට ගෙන ඒමේදී කුමන කොන්දේසි මත එය කළත් ප‍්‍රායෝගික ව එය කි‍්‍රයාත්මක වන්නේ සිල්ලර වෙළෙන්දා හා ගොවියා අතර ගනුදෙනුවේදීයි.

බොහෝ රටවල කෘෂි රසායනික රටට ගෙන ඒම, බෙදා හැරීම හා අලෙවිය ගැන නීති හා රෙකුලාසි මාලාවක් තිබෙනවා. එහෙත් එය හරියට රජතුමාට හකුරු හැදුවා වගේ වැඩක්. ඉතා පිවිතුරු ලෙසින් හකුරු හදනවා යයි ප‍්‍රතිඥා දුන්නත් වැඬේට බැස්සාම එය කෙරුණේ වෙනස් විධියට. ‘කියන කොට එහෙමයි – කරන කොට මෙහෙමයි!’ යන කියමන අප අතර තිබෙන්නේ මෙවැනි පරස්පරයන් විස්තර කරන්නටයි.

හැබැයි හකුරුවලට වඩා බෙහෙවින් විස සහිත කෘෂි රසායනික ගැන එබදු දෙබිඩි පිළිවෙතක් තව දුරටත් පවත්වා ගත නොහැකියි.

බටහිර වෛද්‍ය ක‍්‍රමයේ ඖෂධ අලෙවිය උදාහරණයක් ලෙස ගනිමින් හියොං කියන්නේ වට්ටෝරු හරහා බෙහෙත් ගන්නට නම් ඒ සඳහා පුහුණුව හා අවසර ලැබූ ඖෂධවේදියකු සිටින ෆාමසියකට යා යුතු බවයි. සිල්ලර කඩවලට එබදු බෙහෙත් විකුණන්නට ඉඩක් නැහැ. ඖෂධවේදීන් සහතික කිරීම එම වෘත්තිකයන් හරහා ම සිදුවීම බොහෝ රටවල ක‍්‍රමවේදයයි. අවම වශයෙන් එබදු ස්වයං නියාමන ක‍්‍රමයකට වස විෂ විකිණීමත් ඉක්මනින් ම යොමු විය යුතු බව හියොං කියනවා.

”ප‍්‍රතිපත්ති හා නියාමන මට්ටම්වලින් නිසි පියවර නොගෙන කෙතරම් ගොවීන් පුහුණු කළත්, මහජනතාව දැනුවත් කළත් එය සෑහෙන්නේ නැහැ. එය හරියට වහලකින් තොර නිවසක් තුළ අපි වටිනා ගෘහ භාණ්ඩ තබනවා වැනි නිෂ්ඵල කි‍්‍රයාවක්” හියොං කියනවා.

රසායනික පොහොර හා කෘෂි රසායනික භාවිතය බොහෝ රටවල රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ ප‍්‍රබල අංගයක්. ශී‍්‍ර ලංකාවේ තත්ත්වයත් එයයි. කෘෂි රසායනික රටට ගෙන්වීම ලියාපදිංචිය ලත් රාජ්‍ය ආයතන මෙන් ම පෞද්ගලික සමාගම් විසින් ද කලක පටන් කරනු ලබන නීත්‍යානුකූල වෙළදාමක්. එහෙත් ඒවායේ සිල්ලර අලෙවිය නිසි ලෙස නියාමනය හා අධීක්‍ෂණය නොවන බවට වෛද්‍යවරුන් මෙන් ම පරිසර විද්‍යාඥයන් ද පෙන්වා දෙනවා.

මේ ගැන වඩා ප‍්‍රගතිශීලි ආසියානු රටවල් තිබේදැයි මා ඇසුවා. වියට්නාමය හා මැලේසියාව යම් තාක් දුරට කෘෂි රසායනික පාලනයට ප‍්‍රතිපත්තිමය පියවර ගෙන ඇතැයි ද මේ ගැන අත්දැකීම් කලාපීය වශයෙන් බෙදා ගැනීම ඉතා ප‍්‍රයෝජනවත් බව ද ඔහු කීවා. http://tiny.cc/Pestsu

Hazardous Pesticides freely used across Asia
Hazardous Pesticides freely used across Asia

සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

In this Ravaya column (in Sinhala), I summarise the views of late Dr Ray Wijewardene on sustainable farming. Written to mark his first death anniversary, it is the beginning of a series of explorations of his critical thinking on issues of agriculture, energy, environmental conservation and innovation.

This first appeared in Ravaya Sunday broadsheet newspaper on 21 August 2011.

See also next week’s column:
28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ

‘ඔබ මෙහි ආවේ කොහොම ද?’

ආචාර්ය රේ විජේවර්ධන තමන් හමු වන්නට ආ අමුත්තන්ගෙන් නිතර මේ ප‍්‍රශ්නය ඇසුවා. බොහෝ දෙනකුගේ උත්තරය වූයේ මෝටර් රථයකින් හෝ බස් රථයකින් පැමිණි බවයි.

“ඔබ පැමිණ ඇත්තේ පිටරටින් ගෙනා වාහනයක්, පිටරටින් ගෙනා ඛනිජ තෙල් දහනය කරමින්, පිටරටින් ම ගෙනා තාර දමා තැනූ මහ පාරක් ඔස්සේයි.” එවිට ඔහු කියනවා. “ඉතින් ඔබ තවමත් සිතනව ද මේ නිදහස් හා ස්වාධීන රටක් කියා?’

මේ ප‍්‍රශ්නය දුසිම් ගණනක් දෙනා සමග රේ විජේවර්ධන මතු කරන්නට ඇති. ඒ තරමට ඔහු එබඳු දේ ගැන දිවා රාත‍්‍රී කල්පනා කළා. හැකි සෑම අවස්ථාවක ම රටේ විද්වතුන්, පාලකයන් හා ව්‍යාපාරිකයන්ගේ අවධානය යොමු කළා.

ඉංග‍්‍රීසියෙන් නිදහසට කියන ‘independent’ යන වචනයට වඩා ඔහු කැමති වූයේ ‘non-dependent’ යන්නටයි. අපේ මූලික අවශ්‍යතා හැකි තාක් දුරට අප ම සම්පාදනය කර ගැනීමෙන් පමණක් අපේ රටට සැබෑ නිදහසක් හා ස්වාධීපත්‍යයක් ලද හැකි බව ඔහු තරයේ විශ්වාස කළා.

විද්‍යා ජ්‍යොති, දේශමාන්‍ය ආචාර්ය පිලිප් රේවත (රේ) විජේවර්ධන අපෙන් වියෝ වී වසරක් පිරෙන මේ මොහොතේ ඔහුගේ අදීන චින්තනය ගැන ටිකක් කථා කරමු.

ඉංජිනේරුවකු හැටියට බි‍්‍රතාන්‍යයේ කේම්බි‍්‍රජ් සරසවියේ ඉගෙනුම ලැබූවත් ඔහු පසු කලෙක තමන් හදුන්වා දුන්නේ ‘ගොවියකු හා කාර්මිකයකු’ හැටියටයි (farmer and mechanic). පොතේ දැනුම හා න්‍යායයන්ට වඩා ප‍්‍රායෝගික අත්දැකීම් හා අත්හදා බැලීමෙන් ලබා ගන්නා අවබෝධය ඉතා වටිනා බව ඔහු නිතර ම කියා සිටියා.

බටහිර සම්ප‍්‍රදායට විද්‍යා අධ්‍යාපනයක් හා තාක්‍ෂණ පුහුණුවක් ලද ඔහු, පසු කලෙක තම උත්සාහයෙන් පෙරදිගට හා ශ්‍රී ලංකාවට උරුම වූ දේශීය දැනුම ප‍්‍රගුණ කළා. එහෙත් ඇතැම් අන්තවාදීන් මෙන් එක් දැනුම් සම්ප‍්‍රදායක එල්බ ගෙන අනෙක් සියළු දැනුම් සම්ප‍්‍රදායන් හෙළා දැකීමක් කළේ නැහැ. ඒ වෙනුවට ඔහු පෙර-අපර දෙදිග යා කරමින්, හැම තැනින් ම හරවත් හා ප‍්‍රයෝජනවත් දැනුම උකහා ගනිමින් අපේ කාලයේ සංවර්ධන අභියෝගයන්ට ප‍්‍රතිචාර දැක්විය හැකි ක‍්‍රමෝපායයන් සොයා ගියා.

කෘෂිකර්මය, බලශක්තිය, ඉඩම් පරිහරණය හා පරිසර සංරක්‍ෂණය යන ක්‍ෂෙත‍්‍ර හතරේ නිරවුල් හා නිවහල් දැක්මක් මත පදනම් වූ ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති, කි‍්‍රයාමාර්ග හා විසඳුම් රාශියක් ඔහු යෝජනා කළා. රේ විජේවර්ධනට කළ හැකි ලොකු ම ගෞරවය නම් ඔහු එසේ දායාද කළ දැනුම් හා අදහස් සම්භාරය ප‍්‍රයෝජනයට ගැනීමයි.

කුඩා වියේදී රේට උවමනා වුණේ අහස්යානා පදවන්න හා නිපදවන්න. එහෙත් උපන් රටට වඩා ප‍්‍රයෝජනවත් වන ශාස්ත‍්‍රයක් උගන්නා හැටියට පියා දුන් අවවාදයට අනුව ඔහු කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යාව (agricultural engineering) හදාරා පසු කලෙක ශෂ්‍ය විද්‍යාව (agronomy) පිළිබඳ විශේෂඥයකු වුණා. නමුත් එම ක්‍ෂෙත‍්‍රයට ප‍්‍රවේශ වන වෙනත් විද්වතුන් මෙන් පොතෙන් ගොවිතැන් කිරීමට හෝ විද්‍යාගාරවල පර්යේෂණ කිරීමට හෝ පමණක් ඔහු සීමා වුණේ නැහැ.

හේන් ගොවියාට හා වෙල් ගොවියාට බලපාන ගැටළු හා අභියෝග හඳුනා ගන්නට ඔහු ඔවුන් සමග ගොවි බිම් හා වෙල්යායවල කල් ගත කළා. මුළු ජීවිත කාලය පුරා ම කෘෂිකර්මය පිළිබඳ ඔහුගේ දැක්මට පාදක වුණේ කුඩා ගොවියාගේ ජීවන තත්ත්වය නගා සිටුවීම හා ගොවිතැනේදී කුඩා පරිමාන ගොවීන් හා ගෙවිලියන්ගේ පරිශ‍්‍රමය වඩාත් කාර්යක්‍ෂම කිරීමයි.

හරිත විප්ලවය (Green Revolution) 1950 දශකයේ ආරම්භ වන අවධියේ තරුණ විද්‍යාඥයකු හා ඉංජිනේරුවකු හැටියට රේ විජේවර්ධනත් එහි කොටස්කරුවකු වුණා. ඝර්ම කලාපීය රටවල කුඩා ගොවීන්ට ලෙහෙසියෙන් හැසිරවිය හැකි, නඩත්තුව වඩාත් පහසු වූ රෝද දෙකේ අත් ට‍්‍රැක්ටරයක් ඔහු නිර්මාණය කළා. බි‍්‍රතාන්‍යයේ සමාගමක් මගින් LandMaster නමින් 1960 හා 1970 දශකවල ලොව පුරා අලෙවි කළේ මේ නිර්මාණයයි.

එහෙත් වසර කිහිපයකින් ඔහු තම නිර්මාණයේ සැබෑ සීමාවන් හඳුනා ගත්තා. 1964 දී අමෙරිකාවේ හාවඞ් සරසවියේ ව්‍යාපාරික පාසලේ තම නිර්මාණය පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන විට සභාවේ සිටි සුප‍්‍රකට අමෙරිකානු නිපැයුම්කරු හා ඉංජිනේරු බක්මින්ස්ටර් ෆුලර් (Buckminster Fuller) රේට මෙහෙම ප‍්‍රශ්නයක් මතු කළා: “ඔබේ ට‍්‍රැක්ටරය කළේ ගොවිතැන් කටයුතු යාන්ත‍්‍රික කිරීම ද? නැත්නම් මීහරකා යාන්ත‍්‍රික කිරීම ද?”

20 වන සියවසේ තාක්‍ෂණ කේෂත‍්‍රයේ දැවැන්තයකු මතු කළ මේ සරල ප‍්‍රශ්නය හමුවේ තමන් නිරුත්තර වූ බවත්, ඒ ඔස්සේ දිගට කල්පනා හා සංවාද කිරීමෙන් පසු කෘෂිකර්මය පිළිබඳ එතෙක් තිබූ ආකල්ප මුළුමනින් ම වෙනස් කරගත් බවත් රේ පසුව ඉතා නිහතමානීව ප‍්‍රකාශ කළා. එම තීරණාත්මක මුණ ගැසීමෙන් අනතුරුව බක්මින්ස්ටර් ෆුලර් හා රේ විජේවර්ධන සමස්ත හරිත විප්ලවය විචාරශීලීව විග‍්‍රහ කළා. රේ එතැන් පටන් සිය ජීවිත කාලය ම කැප කළේ සොබා දහමට වඩාත් සමීප වන ගොවිතැන් කිරීමේ ක‍්‍රම ප‍්‍රගුණ කරන්නට හා ප‍්‍රචලිත කරන්නටයි. පරිසරයට හිතකර ගොවිතැන (conservation faming) අපට අළුත් දෙයක් නොවන බව ඔහු පෙන්වා දුන්නා.

පසු කලෙක (1995) ඔහු හරිත විප්ලවය දෙස හැරී බැලූවේ මේ විදියටයි.  “හරිත විප්ලවයේ ප‍්‍රධාන අරමුණ වුණේ හැකි තාක් බාහිර එකතු කිරීම් (රසායනික පොහොර, කෘමි නාශක, වල් නාශක, දෙමුහුම් බීජ වර්ග) හරහා අස්වැන්න වැඩි කිරීමයි. එහෙත් එහිදී අප අමතක කළ දෙයක් තිබුණා. ගොවින්ට අවශ්‍ය හුදෙක් අස්වනු වැඩි කර ගැනීමට පමණක් නොවෙයි. ගොවිතැනින් හැකි තරම් වැඩි වාසියක් හා ලාබයක් උපයා ගන්නටයි. නමුත් හරිත විප්ලවය හඳුන්වා දුන් හැම දෙයක් ම මිළට ගන්නට යාමේදී ගොවියාගේ නිෂ්පාදන වියදම ඉහළ ගියා. එයට සාපේක්‍ෂව (අස්වනු වැඩි වූවත්) ඔවුන්ගේ ශුද්ධ ලාභය එතරම් වැඩි වූයේ නැහැ. ඔවුන්ගේ ණයගැති භාවය නම් වැඩි වුණා. ඊට අමතරව බාහිර රසායනයන් අධිකව එක් කිරීම නිසා ගොවිබිම්වල ස්වාභාවික පරිසරය දරුණු ලෙස දුෂණයට ලක් වුණා.”

අද මේ කරුණු බොහෝ දෙනා පිළි ගෙන ඇතත් 1960 දශකය අගදී රේ මෙබඳු අදහස් ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ විට ඒවා මනෝ විකාර හා සංවර්ධන-විරෝධී, කඩාකප්පල්කාරී අදහස් හැටියට සැළකුණා. බතින් බුලතින් රට ස්වයංපෝෂණය කිරීමේ ඒකායන ඉලක්කයට කොටු වී සිටි දේශපාලකයන්ට හා නිලධාරීන්ට මේ අදහස්වල වටිනාකම වැටහුනේ බොහෝ කලක් ගත වූ පසුවයි.

ප‍්‍රශ්නයක් මතු කළ හැම විට ම එයට හොඳ විසඳුම් සොයා යාමේ මාහැගි පුරුද්දක් රේට තිබුණා. හරිත විප්ලවය බලාපොරොත්තු වූ තරම් දිගු කාලීන වාසි ලබා නොදුන් නිසා එයට විකල්ප සෙවීම අවශ්‍ය වුණා. එහිදී ඔහු නවීන විද්‍යා දැනුම ප‍්‍රතික්‍ෂෙප කළේ නැහැ. දෙවන ලෝක යුද්ධයේ නිමාවෙන් පසු ලොව පුරා සීඝ‍්‍රයෙන් වර්ධනය වූ ජනගහනයට සරිලන තරමට ආහාර නිෂ්පාදනය වැඩි කිරීමේ ප‍්‍රායෝගික අවශ්‍යතාවය ඔහු හොඳ හැටි දුටුවා.

ඔහු කියා සිටියේ පෙරදිග අපේ වැනි රටවල දිගු කලක් තිස්සේ ගොවිතැන් සඳහා යොදා ගත් දේශීය දැනුම කාලීන අවශ්‍යතාවයන්ට අනුව සකසා ගැනීමෙන් වඩාත් කාර්යක්‍ෂම, පරිසරයට මෙන් ම අපේ සෞඛ්‍යයටද හිතකර ආහාර බෝග නිෂ්පාදනයකට යොමු විය හැකි බවයි. මෙය හඳුන් වන්නේ low external input sustainable agriculture (LEISA) කියායි.

මා රේ විජේවර්ධන හඳුනා ගත්තේ 1980 දශකය මැද දී. ඔහු ඉතා නිහතමානී ලෙසින් හා උද්‍යොගයෙන් තරුණ විද්‍යා ලේඛකයකු හා පුවත්පත් කලාවේදීයකු වූ මගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දුන්නා. ඔහුගේ විෂය ක්‍ෂෙත‍්‍රයන්ට අදාල කරුණක් ගැන අසා දැන ගැනීමට  ඕනෑ ම වේලාවක දුරකථනයෙන් හෝ මුණගැසී හෝ කථාකිරීමේ අවකාශය ඔහු ලබා දුන්නා.

ඒ බොහෝ අවස්ථාවල ඔහුගේ ඉල්ලීම වූයේ ඔහුගේ නම සඳහන් නොකර නව අදහස් හා තොරතුරු මගේ පාඨකයන්ට බෙදා දෙන ලෙසයි. විශ්වාසනීයත්වය වඩාත් තහවුරුවන්නේ ඒවා මූලාශ‍්‍ර සමග ම ප‍්‍රකාශයට පත් කිරීම බව මා පහදා දුන් විට ඔහු එය පිළි ගත්තා. නමුත් සමහර විද්වතුන් මෙන් ඔහු කිසි දිනෙක මාධ්‍ය ප‍්‍රසිද්ධිය සොයා ගියේ නැහැ. මේ රටේ බොහෝ දෙනකු රේ විජේවර්ධනගේ හපන්කම් හා චින්තනය ගැන නොදන්නේ ඒ නිසා විය හැකියි.

1995 මැද දී ඉන්දියාවේ මුල් පෙළේ විද්‍යා ලේඛකයකු හා පරිසර චින්තකයකු වූ අනිල් අගර්වාල් (Anil Agarwal) මගෙන් සුවිශේෂී ඉල්ලීමක් කළා. ඔහුගේ සංස්කාරකත්වයෙන් පළ කරන Down to Earth විද්‍යා හා පරිසර සඟරාව සඳහා රේ සමග සම්මුඛ සාකච්ජාවක් කරන ලෙසට.”රේ කියන්නේ දියුණුවන ලෝකයේ සිටින අංක එකේ කෘෂි හා ශෂ්‍ය විද්‍යා විශේෂඥයකු පමණක් නොවෙයි, අපට සිටින ඉතාම ස්වාධීන හා නිර්මාණශීලී චින්තකයෙක්” අනිල් මට කියා සිටියා.

අනිල්ගේ ඉල්ලීම පරිදි මා රේ සමග දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක් පටිගත කළා. එයට වරු දෙක තුනක් ගත වූ බවත්, එහි තොරතුරු සම්පූර්ණ කරන්නට තව දින ගණනාවක් වෙහෙස වූ සැටිත් මට මතකයි. එහි සාරාංශයක් Down to Earth සඟරාවේ 1995 ඔක්තෝබර් 31 කලාපයේ පළ වුණා. වී ගොවිතැන, හේන් ගොවිතැන, හරිත විප්ලවය හා එහි අහිතකර ප‍්‍රතිඵල, බලශක්ති අර්බුදයට දේශීය පිළියම් ආදී තේමා රැසක් ගැන අප කථා කළා.

තමා මාධ්‍යවේදියකු සමග කළ වඩාත් ම විස්තරාත්මක හා ගැඹුරු සංවාදය එය බව රේ පසුව මට කීවා. එහි සම්පූර්ණ සාකච්ජා පිටපත වසර 15ක් මගේ ලේඛන ගොනුවල රැදී තිබුණා. අන්තිමේදී රේගේ අවමංගල්‍යය පැවැත් වුණු දිනයේ, එනම් 2010 අගෝස්තු 20දා, එය මා groundviews.org වෙබ් අඩවිය හරහා පළ කළා. සාකච්ජාව කියවීමට පිවිසෙන්න: http://tiny.cc/RayBye

රේ විජේවර්ධන චින්තනය පිළිබඳ නව වෙබ් අඩවියක් ද මේ සතියේ එළි දකිනවා.

http://www.raywijewardene.net/