සිවුමංසල කොලූගැටයා #192: “විද්‍යාඥයන් දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි” – අබ්දුස් සලාම්

Twenty-five years ago, I interviewed the first national of Pakistan – as well as the first muslim — to win a Nobel Prize: theoretical physicist Dr Abdus Salam (1926 – 1996).

Salam was one of the most influential theoretical physicists of the 20th century. He shared the Nobel Prize in Physics in 1979 with two American physicists, Sheldon Lee Glashow and Steven Weinberg.

In last week’s Ravaya column (in Sinhala), I profiled the accomplished South Asian who probed further from where Albert Einstein left off, and is called Einstein of the developing world. This week, I render into Sinhala segments of the two interviews I did with him – first in 1989 when he visited Sri Lanka, and again in 1990 when I visited him at the International Center for Theoretical Physics, ICTP.

Dr Abdus Salam (1926 – 1996)

Dr Abdus Salam (1926 – 1996)

නොබෙල් ත්‍යාගය මුදල් අතින් ලෝකයේ ලොකුම ත්‍යාගය නොවෙයි. එයට වඩා වැඩි මුදලක් දෙන විද්‍යා, කලා හා සාමයික ත්‍යාග තිබෙනවා. එහෙත් සමාජ පිළිගැනීම හා මාධ්‍ය උනන්දුව සළකා බැලූ විට නම් උසස්ම ත්‍යාග වන්නේ නොබෙල් ත්‍යාගයි.

නොබෙල් ත්‍යාගලාභීන් ලෝකපූජිත වනවා. බොහෝ ත්‍යාගලාභීන් එය තමන්ගේ පර්යේෂණ, නිර්මාණ හෝ සමාජ අරගලයන් සඳහා ප‍්‍රබල උපකාරයක් බවට පත් කර ගන්නවා.

නොබෙල් ත්‍යාගලාභියකු මට මුල් වරට හමු වූයේ 1989දී. ඒ වන විට 23 වන වියේ සිටි, අඩු අත්දැකීම් තිබූ මා බලාපොරොත්තු වූයේ බෙහෙවින් ගරු ගාම්භීර චරිතයක්. එහෙත් සැබැවින්ම මට මුණ ගැසුණේ චින්තනය අතින් ගාම්භීර හා උදාර වුවත් චරිත ගතියෙන් ඉතා මිත‍්‍රශීලි හා නිහතමානි කෙනෙක්.

ඔහු තමයි ආචාර්ය අබ්දුස් සලාම් (Dr Abdus Salam, 1926-1996). පාකිස්ථානයේ මුල්ම (හා මෑතක් වනතුරු එකම) නොබෙල් ත්‍යාගලාභියා. 1979 භෞතික විද්‍යා ත්‍යාගයේ සමලාභියා. දියුණුවන ලෝකයේම අයින්ස්ටයින් ලෙස හඳුන්වනු ලැබූ විශිෂ්ඨ භෞතික විද්‍යාඥයා.

ඔහුගේ චරිත කථාව පසුගිය කොලමින් මා සැකෙවින් විස්තර කළා. ඔහු ශ‍්‍රී ලංකාවට ආවේ 1989 මැදදී. ඔහුගේ සමීප මිතුරකු වූ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමගේ ඇරැයුමින්. මහනුවර මූලික අධ්‍යයන ආයතනයේත්, කොළඹදීත් ප‍්‍රසිද්ධ දේශන කිරීමට අමතරව ඔහු අපේ විද්වතුන් හා ප‍්‍රතිපත්ති සම්පාදකයන් මුණ ගැසී සාකච්ඡා කළා.

මේ රැස්වීම් අතරතුර ඔහු පැය බාගයක පමණ සම්මුඛ සාකච්ඡාවක් මට ලබා දුන්නා. අප කථා කළේ භෞතික විද්‍යාව ගැන නොවෙයි. (එදත් අදත් ඔහුගේ විෂයය මට ග‍්‍රහණය කර ගන්නට අමාරුයි.) විද්‍යාව හා තාක්‍ෂණය ඔහුගේ හා අපේ රට වැනි රටවල සංවර්ධනයට හරවත් හා තිරසාර ලෙසින් කෙසේ යොදා ගත හැකිද යන්න ගැනයි. ඇත්තටම එය භෞතික විද්‍යාව තරම්ම ඔහුට සමීප මාතෘකාවක්.

එදා මෙදා තුර මට හමු වී ඇති බොහෝ විද්‍යාඥයන්ට වඩා විවෘතව හා විචාරශීලීව විද්‍යාව හා තාක්‍ෂණයේ සමාජයීය බලපෑම්, වගකීම් හා සීමාවන් ගැන සලාම් කථා කළා. අප මේ සංවාදය කළ අවධියේ දියුණු වන රටවල් සිටියේ අදටත් වඩා බොහෝ දුගී බවින් මිරිකී හා පසුගාමීවයි. රටේ ජනතාවට ආහාර, වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම්, අධ්‍යාපනය වැනි අවශ්‍යතා සම්පාදනය කිරීමටවත් ඇති තරම් මුදල් නොමැති පසුබිමක විද්‍යා පර්යේෂණ හා ආයතන සඳහා වැඩිපුර මුදල් වෙන් කරන්නේ කෙසේදැයි යන තර්කය ප‍්‍රබලව මතු වුණා.

සලාම් මෙය විග‍්‍රහ කළේ ක‍්‍රමීය විශ්ලේෂණයකින් හා දිගු කාලීන දැක්මකින්. දියුණු රටවල් හා නොදියුණු රටවල් අතර ප‍්‍රධානතම වෙනස නම් දියුණු රටවල් විද්‍යා හා තාක්‍ෂණය ආර්ථික සංවර්ධනයට යොදා ගැනීම බව ඔහු සංඛ්‍යාලේඛන සහිතව පෙන්වා දුන්නා.

ගෙවී ගිය වසර 25 තුළ සමාජ ආර්ථික යථාර්ථය බෙහෙවින් වෙනස් වී ඇතත් අපේ සංවාදයේ කොටස් තවමත් අදාල යයි මා සිතනවා. ඒ නිසා උධෘත කිහිපයක් මෙන්න.

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

Abdus Salam (left) with Chinese Prime Minister Chou En Lai in 1972

නාලක: දියුණුවන රටවලට ඉක්මනින් විසඳා ගත යුතු අවශ්යතා හා ගැටළු තිබෙනවා. විද්යවේ රතිඵල එන්නේ කාලයාගේ ඇවෑමෙන්. ඉතින් විද්යාවෙන් සංවර්ධන රශ්න විසඳන්නේ කෙලෙසද?

සලාම්: රටක් සංවර්ධන සැළසුම් හදන විට කෙටි කාලීන මෙන්ම දිගු කාලීනවත් සිතිය යුතුයි. අඩුතරමින් වසර 20-25ක් පමණ ඉදිරි දැක්මක් අවශ්‍යයි. දකුණු කොරියාව, ඉරානය, වෙනසියුලාව වැනි රටවල් කිහිපයක් විද්‍යාව හා තාක්‍ෂණය හරහා ආර්ථික සංවර්ධනය තියුණු කර ගැනීමේ ක‍්‍රමෝපායයන් හඳුනාගෙන ඒ සඳහා මහජන මුදල් වැඩියෙන් යොදන්නට පටන් ගෙන තිබෙනවා. විද්‍යාවන් අතරින් තේරීමක් කිරීමත් වැදගත්. ජාතික ධනය ඉපදවිය හැකි භූ විද්‍යාව හා භෞතික විද්‍යාවන්, රටේ ජීවන තත්ත්වය ඉහළ නැංවිය හැකි වෛද්‍ය විද්‍යා හා අණුක ජිව විද්‍යාවන් (molecular biology) සඳහා මුල් තැන දිය යුතු යයි මා සිතනවා.

බොහෝ රටවල සංවර්ධන හා ආර්ථික රතිපත්ති සම්පාදනයට විද්යාඥයන් සම්බන්ධ නැහැ. ඔවුන් කෙසේ දායක විය යුතුද?

රටක දැවෙන සමාජ, ආර්ථික ප‍්‍රශ්න විසඳීමේදී තමන්ට වැදගත් කාර්යභාරයක් තිබෙන බව බොහෝ විද්‍යාඥයන් තවමත් වටහා ගෙන නැහැ. එසේම ඔවුන් දේශපාලන ක‍්‍රියාදාමයෙන් දුරස්ථව සිටිනවා. මා සිතන්නේ මෙය වෙනස් විය යුතු බවයි. තම වෘත්තීය ගරුත්වය රැක ගන්නා අතර විද්‍යාඥයෝ රට කරවන දේශපාලකයන් සමග නිරතුරු සංවාද කළ යුතුයි. පර්යේෂණවලට යොදවන මහජන මුදල්වලින් කෙටි හෝ දිගු කාලීන ප‍්‍රතිලාභ ලැබෙන බව හා ලැබෙන සැටි පෙන්වා දිය යුතුයි.

කියන්නේ අද කාලේ හොඳ පර්යේෂණ කොට ඒවා පිළිගත් විද්වත් සඟරාවල පළ කිරීම පමණක් මදි?

කොහෙත්ම සෑහෙන්නේ නැහැ. තමන්ගේ හොඳ පර්යේෂණවල ප‍්‍රතිඵල අපතේ නොයාමට නම් විද්‍යාඥයෝ ජාතික ප‍්‍රතිපත්ති හා පොදු උන්නතිය පිළිබඳ කතිකාවක යෙදිය යුතුයි. එසේම විද්‍යාවේ අහිතකර බලපෑම් ගැන අවංකව තක්සේරුවකට සූදානම් විය යුතුයි.

නවීන විද්යාව හා තාක්ෂණය අද ලෝකයේ බොහෝ රශ්නවලට දායක වී ඇතැයි කෙරෙන චෝදනාව එතකොට සනාථ වනවා නේද?

චෝදනා එල්ල කිරීමක් හෝ බාර ගැනීමක් හෝ ගැන නොවෙයි මා කථා කරන්නේ. අප කවුරුත් අපේ වෘත්තීමය ක‍්‍රියාවල වගකීමට මුහුණ දිය යුතුයි. බොහෝ විට තනි විද්‍යාඥයකු ගේ තනි පර්යේෂණයක දිගු කාලීන ප‍්‍රතිඵල කෙසේ ඇතිවේදැයි එක්වරම කියන්නට අමාරුයි. පෙනිසිලින් ප‍්‍රතිජීවකය සොයාගත් විද්‍යාඥයා ඒ නිසා ජීවිත රැසක් බේරා ගන්නට දායක වුණා. එහෙත් කලක් යන විට මේ හරහා ජනගහන වර්ධනය වඩාත් සීඝ‍්‍ර වුණා. එයට ප‍්‍රතිජීවක සොයා ගත් විද්‍යාඥයන්ට සෘජුව දොසක් කිව නොහැකියි.

එහෙත් විද්‍යාවේ භාවිතයන් නිසා මතුවන පසු කාලීන ප‍්‍රතිඵල ගැන විද්‍යා ප‍්‍රජාව ලෙස අප සාමුහිකව වගකීමක් දරනවා. පරමාණුවේ ස්වභාවය සොයා ගෙන කළ මූලික භෞතික විද්‍යා පර්යේෂණ නිසා ලෝකයේ හා විශ්වයේ ස්වභාවය ගැන අප බොහෝ දේ දැන ගත්තා. එහෙත් ඒ දැනුම නිසාම භයානක න්‍යාෂ්ටික අවි ද බිහි වුණා. න්‍යෂ්ටික අවි සමග ජීවත්වීමට අද ලෝකයට සිදුව තිබෙනවා.

සංවර්ධනය අර්ථ දැක්වීම පිළිබඳ පොදු එකඟතාවයක් නැහැ. දළ ජාතික නිෂ්පාදිතය (GNP) වැඩි කිරීම පමණක් සංවර්ධනය කියන්නේ?

මෙය විශාල සංවාදයක්. මේ සංවාදයේ මෑතක් වන තුරු ප‍්‍රබලව මතු වූයේ ආර්ථික විද්‍යාඥයන්ගේ මතවාද පමණයි. 20 වන සියවසේ බොහෝ රටවල සංවර්ධන ප‍්‍රතිපත්ති සකස් කොට ඇත්තේ වැඩිපුරම ආර්ථික විද්‍යාඥයන්ට උවමනා හැටියටයි. මේ නිසා විසමතා රැසක් මතුව තිබෙනවා. මේවා වෙනස් කිරීමට නම් සෙසු විද්‍යාඥයෝ සංවර්ධන සංවාදවල පිවිස නිරතුරුව දේශපාලන ක‍්‍රියාදාමයේ කොටස්කරුවන් විය යුතුයි.

මගේ සහෝදර විද්‍යාඥයන් බොහෝ දෙනකු තම රටේ දළ ජාතික නිෂ්පාදන සංඛ්‍යා ලේඛනවත් දන්නේ නැහැ. ඔවුන් සිතන්නේ මේවා ඔවුන්ගේ වෘත්තීයට අදාල නැත කියායි. මේ ආකල්පය නිසා විද්‍යාඥයන් ස්වයං පිටුවහල්වීමක් කර ගෙන තිබෙනවා.

තමන්ට සමාජයේ තීරක මට්ටමේ බලපෑමක් කළ නොහැකි යයි මැසිවිලි නගන විද්‍යාඥයෝ තමන් කෙතරම් රටේ ජාතික සංවාදවලට සම්බන්ධ වී ඇත්දැයි මොහොතක් මෙනෙහි කළ යුතුයි.

ආර්ථික විද්යාඥයෝ නම් ඇති තරම් දේශපාලන තන්තරයට සමීපයි නේද?

ඒ අය තමයි ලොකුම ප‍්‍රශ්නය! ආර්ථික විද්‍යාඥයෝ දේශපාලකයන්ට නිතර කියන්නේ භෞතික විද්‍යා, ජීව විද්‍යා වැනි ක්‍ෂෙත‍්‍රවල පර්යේෂකයන් රටට විදයම් අධික කරන, එහෙත් එයට සමානුපාතික ප‍්‍රතිලාභ ගෙන නොදෙන පිරිසක් බවයි. එසේම අප වැනි විද්‍යාඥයෝ රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සොයනු වෙනුවට හුදෙක් දැනුමේ ප‍්‍රවර්ධනය සඳහා පමණක් පර්යේෂණ කරන බවයි.

ආර්ථික විද්යාඥයන්ගේ මේ පටු දැක්ම වෙනස් කළ හැකිද?

එසේ කරන්නනට මට ලොකු ඕනෑකමක් තිබෙනවා. එයට ඔවුන් සමග අප නිතර සංවාද කළ යුතුයි. දේශපාලන ක‍්‍රියාදාමය ගැන සෙසු විද්‍යාඥයන්ට වඩා හොඳ අවබෝධයක් ආර්ථික විද්‍යාඥයන්ට තිබෙනවා. එයින් අන් විද්‍යාඥයන් ආදර්ශ ගත යුතුයි. පැත්තකට වී අපේ පාඩුවේ පර්යේෂණ කළාට පමණක් මදි.

රටේ දේශපාලන, සමාජයීය හා සංස්කෘතික ප‍්‍රශ්නවලදී පුරවැසියන් හා විද්වතුන් ලෙස විද්‍යාඥයන් සම්බන්ධ විය යුතු යුතුයි. මා පකිස්ථානයේත්, තුන්වන ලෝකයේ අන් සැම රටකමත් විද්‍යාඥයන්ට කලක සිට දෙන අවවාදය මෙයයි.

එහෙත් විද්යාඥයෝ හා ඔවුන්ගේ විද්වත් සංගම් කියන්නේ දේශපාලකයන් තමන්ට සවන් නොදෙන බවයි. බීරි අලින්ට වීනා වාදනය කොට ඵලක් තිබේද?

එහෙම කියලා අත හරින්න බැහැ! විද්‍යාඥයන් වන අප මීට වඩා ව්‍යක්ත හා සූක්‍ෂම ලෙස අපේ විෂය ක්‍ෂෙත‍්‍රයන් සමාජගත කළ යුතුයි. ප‍්‍රතිප්තිත සම්පාදකයන්ට බණ දේශනා නොකර ඔවුන් මුහුණ දෙන දෛනික අභියෝග ද හඳුනා ගත යුතුයි. කළ හැකි හා කළ යුතු ඉතාම හොඳ පියවරට වහා ඉඩක් නැතිනම් ඊළඟට හොඳම පියවර කුමක්ද (second best policy options) ආදි වශයෙන් නම්‍යශීලී විය යුතුයි.

ප‍්‍රතිපත්ති සම්පාදනය හා ක‍්‍රියාත්මක කිරීම දියණුවන රටවල සැම විටම තර්කානුකූල හා සාක්‍ෂිමත පමණක් පදනම් වූවක් නොවෙයි. එය විකාරරූපී විය හැකියි. කෙටි කාලීන අරමුණු මත පදනම් විය හැකියි. එහෙත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාමුවක් ඇති රටවල ජාතික ප‍්‍රතිපත්ති සම්පාදනය දේශපාලකයන් ටික දෙනෙකුට පමණක් ඉතිරි කොට අපට මුළුගැන් වී සිටිය නොහැකියි. ටිකෙන් ටික හෝ විද්වතුන් වන අප එම සංවාදවලට ප‍්‍රවේශ වී ඒවා වඩාත් තර්කානුකූල හා තිරසාර මට්ටමට වෙනස් කළ යුතුයි. එසේ නැතිව පර්යේෂණවලට හෝ උසස් අධ්‍යාපනයට වැඩිපුර ප‍්‍රතිපාදන ඉල්ලා උද්ඝෝෂණ කිරීම පමණක් මදි. පර්යේෂණවලට ප‍්‍රතිපාදන වැඩි කිරීම ද අවශ්‍යයි.

එයට මුදල් ජාතික භාණ්ඩාගාරයේ නැත්නම්, ණය වී හෝ මුදල් සොයා ගත යුතුද?

ණය ගන්නවාට වඩා රටක තිබෙන මහජන මුදල් කෙසේ යොදනවා ද යන්නයි වැදගත්. ලෝකයේ ඉසුරුබර රටවල් සාමුහික ලෙසත්, දියුණුවන රටවල් සාමුහික ලෙසත් ගෙන මා ඔවුන්ගේ මහජන මුදල් ප‍්‍රතිපාදන බෙදා හරින සැටි ගැන අධ්‍යයනය කළා. පොදුවේ ගත් විට මේ දෙපිරිසම අධ්‍යාපනයට එක හා සමාන ප‍්‍රතිශතයක් වෙන් කරනවා. ආරක්‍ෂක කටයුතු හා හමුදා වියදම් සඳහා ද ගෝලීය උතුරු හා දකුණු ප‍්‍රතිපාදන ප‍්‍රතිශතයක් ලෙස සමීපයි.

එහෙත් සෞඛ්‍ය, විද්‍යා පර්යේෂණ වැනි ක්‍ෂෙත‍්‍රවලදී එසේ නැහැ. ගෝලීය උතුරේ රටවල් තම වැසියන්ගේ සෞඛ්‍ය සඳහා යොදන මුදල් ප‍්‍රතිශතයෙන් තුනෙක් එකයි දකුණේ රටවල් වෙන් කරන්නේ. විද්‍යා පර්යේෂණ සඳහා දකුණේ රටවල් සොච්චමක් වැය කරන විට උතුරේ රටවල් (හමුදාමය නොවන සිවිල් පර්යේෂණ සඳහා) එමෙන්ම හත් අට ගුණයක් වෙන් කරනවා.

අද ලෝකයේ ඇති නැති පරතරටය ඓතිහාසික සාධක තිබෙනවා. එහත් ඒවා තව දුරටත් ප‍්‍රබල වීමට මෙසේ විද්‍යාවට හා පර්යේෂණවලට දකුණේ රටවල නිසි තැනක් නොලැබීමත් දායක වන බව මගේ විග‍්‍රහයයි.

Nalaka Gunawardene's interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

Nalaka Gunawardene’s interview with Dr Abdus Salam, Asia Technology Oct 1989

Advertisements

සිවුමංසල කොලූගැටයා #129: විදු ලොව එළිය කළ ලාංකිකයා: සිරිල් පොන්නම්පෙරුම

In this week’s Ravaya column, I pay tribute to Dr Cyril Ponnamperuma, Lankan biochemist who was one of the best known and most accomplished scientists produced by Sri Lanka.

See also my English tribute: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

Prof Cyril Ponnamperuma - NASA photo

Prof Cyril Ponnamperuma – NASA photo

අමෙරිකානු අජටාකාශගාමීන් ඇපලෝ යානාවලින් හඳට ගිය 1969-72 වකවානුවේ අපේ රටේ ගම් හා නගරවල ආඩම්බරයෙන් කියැවුණු ගී පදයක් තිබුණා. ‘‘පස් පාටියෙ ලොක්කා අපේ කොල්ලෙක්.’’

සාර්ථක වූ ඇපලෝ ගමන් හයක් මගින් හඳ පස් ගල් කිලෝ 381ග7ක් පෘථිවියට ගෙන ආවා. ඉතිහාසයේ මුල් වතාවට වෙනත් ග‍්‍රහ වස්තුවකින් ගෙනා පාෂාණ පිරික්සීමේ ජාත්‍යන්තර විද්‍යාඥ පිරිසේ නායකයා වූයේ ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුමයි. අර ගී පදය පට බැඳුණේ ඔහු ගැනයි.

නාසා (National Aeronautics and Space Administration, NASA) අමෙරිකාවේ ජාතික ගගන හා අභ්‍යවකාශ අධිකාරියෙ කෙටි නම. එරට ජනතාවගේ බදු මුදලින් පවත්වා ගෙන යන එය පර්යේෂණාගාර, කාර්යාල හා චාරිකා පාලක මධ්‍යස්ථාන රැසකින් සමන්විතයි. එහි සේවයට විදේශිකයන් බඳවා ගන්නේ එයට හැකියාව හා දැනුම ඇති දේශිකයන් නැති නම් පමණයි. නාසා අංශ ප‍්‍රධානියකු වීම කලාතුරකින් සුවිශෙෂ විදේශකයකුට ලැබෙන වරමක්.

එදා මෙදා තුර නාසා ආයතනයේ පර්යේෂක හා ඉංජිනේරු තනතුරුවල විවිධ ලාංකික විද්වතුන් සේවය කර ඇතත් අංශ ප‍්‍රධානි තත්ත්වයට පත්ව සමස්ත පර්යේෂණ කණ්ඩායමක නායකත්වය දරා ඇති එක ම ලාංකිකයා සිරිල් ඇන්ඩෘ පොන්නම්පෙරුම (1923 – 1994). ඔහු විසි වන සියවසේ ශී‍්‍ර ලංකාවෙන් බිහි වූ විදු තරු රැසක් අතර ජාත්‍යන්තර වශයෙන් වඩාත් ම දීප්තිමත් වූ ද සම්මානයට පාත‍්‍ර වූ ද විද්‍යාඥයා හැටියට සැළකිය හැකියි.

1923 ඔක්තෝම්බර් 16 වනදා ගාල්ලේ උපත ලබා ගාල්ලේ සාන්ත ඇලෝසියස් හා කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාල වලින් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු 1948දී ඉන්දියාවේ මදුරාසි සරසවියෙන් ශාස්ත‍්‍රවේදි උපාධියත්, 1959දී ලන්ඩන් සරසවියෙන් විද්‍යාවේදී උපාධියත් ලබා ගත්තා.

ජීවයේ සම්භවය පිළිබඳව පූරෝගාමී පර්යේෂකයකු වූ මහාචාර්ය ජේ. ඞී. බර්නාල් සම`ග වැඩ කළ ඔහු 1962දී අමෙරිකාවේ බර්ක්ලිහි කැලිෆෝනියා සරසවියෙන් රසායන විද්‍යාව සඳහා ආචාර්ය උපාධිය ලැබුවේ නොබෙල් ත්‍යාගලාභී මහාචාර්ය මෙල්වින් කැල්වින් යටතේ පර්යේෂණ කිරීමෙන්.

1962 – 71 කාලය තුළ NASA ආයතනයේ ජීවයේ සම්භවය පිළිබඳ රසායනික පසුබිම අධ්‍යයනය කළ පර්යේෂණ කණ්ඩායමේ නායකයා හැටියට කටයුතු කළ පොන්නම්පෙරුම, 1971දී මේරිලන්ඞ් සරසවියේ ජෛව රසායන විද්‍යා මහාචාර්ය ධූරයට පත්ව ජීවිත කාලයක් පුරා එම සරසවිය සමග සබඳතා පැවැත් වූවා. ලොව පිළිගත් ශාස්තී‍්‍රය සඟරාවල විද්වත් නිබන්ධන 400කට වැඩි ගණනක් පළ කළ ඔහු රසායන විද්‍යාව, ජීවයේ සම්භවය, ජාතික සංවර්ධනයට විද්‍යාව යොදා ගැනීම ආදී තේමා යටතේ ග‍්‍රන්ථ කිහිපයක් ද රචනා කළා.

තෙරවක් ම නොබෙල් රසායන විද්‍යා ත්‍යගයට නාමයෝජිත වූ ඔහු දැනුමේ නිම්වලලූ  පුඵල් කළා පමණක් නොවෙයි. අභිමානවත් ගෝල පරපුරක් ද බිහි කළා. පොන්නම්පෙරුමගේ සෙවනේ හැදුණු විද්‍යාඥයන් අද ලෝකය පුරා ම විද්‍යා හා තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන්හි නායකත්ව මට්ටමේ සිටිනවා.

1984 දී ජනාධිපති ජයවර්ධනගේ ඇරැයුමින් මෙරටට පෙරළා පැමිණී ඔහු ජනාධිපති විද්‍යා උපදේශක හැටියටත් මූලික අධ්‍යයන ආයතනයේ (Institute of Fundamental Studies, IFS) අධ්‍යක්‍ෂකවරයා ලෙසත් කටයුතු කළා.

ඔහුට උදක් ම  ඕනෑ වූයේ දැනුම් ගවේෂණයේ කොන් වී, මුළු ගැන්වී සිටි අපේ දක්ෂ පර්යේෂකයන් දිරිමත් කොට ලෝක මට්ටමේ විද්‍යා පර්යේෂණ කිරිමට ඔවුන්ට පහසුකම්, අවස්ථාව හා මග පෙන්වීම මෙරටදී ම ලබා දෙන්නට. බුද්ධි ගලනය නතර වී අනාගතයේ යම් දිනෙක රට හැරදා ගිය උගතුන් යළි මෙහි ගෙන්වා ගැන’මද ඔහුගේ අරමුණක් වුණා.

වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් නොතිබූ ඒ යුගයේ මෙරට සිට පර්යේෂණ කළ විද්‍යාඥයන්ට තම ක්‍ෂෙත‍්‍රවල අළුත් ම නිබන්ධන හා ප‍්‍රවණතා දැන ගැනීම දුෂ්කර වුණා.

1985 අගදී IFS ආයතනයට බඳවා ගත් එවකට තරුණ පර්යේෂක රොහාන් සමරජීවට පොන්නම්පෙරුම භාරදුර කාරියක් පැවරුවා. ARPANET නම් වූ ලොව වටා සරසවි ඇදුරන් හා පර්යෙෂකයන් ජාලකරණය කළ පරිගණක ජාලයට කෙසේ හෝ ශ‍්‍රී ලංකාවත් සම්බන්ධ කරන ක‍්‍රමයක් සොයන්න. (එය මුල් යුගයේ ඉන්ටර්නෙට් එකක්.)

ගවේශණවලින් පසු  ARPANET එකට බද්ධ වීමේ යෝජනාවක් සමරජීව ඉදිරිපත් කළත්, යම් හේතු නිසා එය ක‍්‍රියාත්මක කළ නොහැකි වුණා. (මෙරට පර්යේෂකයන් ලෝක දැනුම් ජාලයට මුල් වරට සම්බන්ධ වුයේ 1990දී ඇරැඹි LEARN හරහායි. වාණිජ මට්ටමේ ඉන්ටර්නෙට් සබඳතා ආවේ 1995දී.)

තොරතුරු සමාජය පරිනාමය වන්නේ කුමන දිශාවට දැයි හොඳ අවබෝධයක් පොන්නම්පෙරුමට තිබූ බවත්, එහෙත් ඔහුගේ දුරදර්ශී දැක්ම හඳුනාගෙන එයට සහාය වනවා වෙනුවට අපේ සමහරුන් කළේ ඔහුට අකුල් හෙළීම බවත් මහාචාර්ය රොහාන් සමරජීව කියනවා.

පොන්නම්පෙරුම ලොකු අභියෝග උද්‍යොගයෙන් භාර ගත්, අධිෂ්ඨාන පූර්වක චරිතයක්. මෙරට ගතානුගතික පර්යේෂක ප‍්‍රජාව ප‍්‍රාණවත් කරන අතරම ඔවුන් නිලධාරිවාදයෙන් මුදවා බුද්ධිමය නිදහස හා නිර්මාණශීලී අවකාශයක් ලබා දෙන්නට මුල සිට ම උත්සහ කළා.

එහෙත් ඔහුගේ මේ කාර්යශූර ප‍්‍රවේශය අපේ සමහර උගතුන්ට ඇල්ලූවේ නැහැ. අසීිමිත නිතීරිතීවලට උගතුන් නතු කර ගෙන සිටි නිලධාරීන් ද පොන්නම්පෙරුමට උඩින් හා යටින් අකුල් හෙලූවා. වයසින් හා තනතුරින් ජ්‍යෙෂ්ඨ වීමට වඩා බුද්ධිමය ප‍්‍රභාවට සහ නිර්මාණශීලී විමර්ශනයට මුල් තැන දීමේ පොන්නම්පෙරුම ප‍්‍රතිපත්තිය තරුණ දක්ෂයන්ට ඉතා හිතකර වුවත් ක්‍ෂෙත‍්‍රය අරක් ගෙන සිටි සමහර ප‍්‍රවීණයෝ එයට ප‍්‍රතිරෝධය මතු කළා.

ඇතැම් ලාංකික විද්වතුන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ප‍්‍රතිරෝධය, අකුල් හෙලීම් හා කැනහිලිකම් මැද වසර ගණනාවක් පොන්නම්පෙරුම ඉන්ද්‍රඛීලයක් සේ ක‍්‍රියා කළා. ජයවර්ධනගෙන් පසු ජනාධිපති වූ පේ‍්‍රමදාස ද ඔහුගේ එම තනතුරු දිගට ම පවත්වා ගත්තා. 1988-89 භීෂණ සමයේ පවා මහනුවර IFS පර්යේෂණාගාරවල වැඩ නතර වූයේ නැහැ. සරසවි සියල්ල දිගු කලක් වසා දමා තිබියදී IFS වැඩ කෙසේ හෝ කර ගෙන යන්නට පොන්නම්පෙරුම සමත් වුණා.

විද්‍යාත්මක ගවේෂණ හා පර්යේෂණ ආයතනික නීතිරීතිවලට සීමා කොට, කාර්යාලයීය වේලාව තුළ පමණක් කළ නොහැකි බව ඔහු දැන සිටියා. මේ නිසා දිවා රැය  ඕනෑ ම වෙලාවක IFS විද්‍යාගාරවල වැඩ කිරීමටත්, ආයතනයේ පුස්තකාල හා අනෙකුත් පහසුකම් පාවිච්චි කරන්නටත් ඔහු ඉඩ සළසා දුන්නා. තරුණ පර්යේෂකයන් මෙයින් හොඳහැටි ප‍්‍රයෝජන ගත් අතර ගතානුගතික ජ්‍යෙෂ්ඨයන් මෙයින් විමතියට පත් වුණා.

IFS පර්යේෂණාගාර පරිශ‍්‍රයේ ම කුඩා කාමරයක පදිංචිව සිටි පොන්නම්පරුම ද දිනකට පැය 16 – 18ක් වැඩ කළා. එවකට 60 විය ඉක්මවා සිටි මේ ජ්‍යෙෂ්ඨ විද්‍යඥයාගේ උද්‍යොගය හා කාර්යශීලී බව තරුණ පර්යේෂකයන් දිරි ගැන් වූවා.

රාජකාරි බහුල වුවත් ඔහු නිරතුරුව IFS පර්යේෂකයන් සමග සාමීචියේ යෙදෙමින් සුහදව කල් ගත කළා. වරක් මැදියම් රැය ආසන්නව තමන් විද්‍යාගාරයකට ගිය විට තරුණ පර්යේෂක පිරිසක් මහත් උනන්දුවෙන් පරීක්‍ෂණයක් කරනු දැක ඔහු තතු විමසා තිබෙනවා. ‘බැක්ටීරියා අපි වගේ නිදා ගන්නේ නැහැනේ, මහාචාර්යතුමා!’ එක් තරුණ පර්යේෂකයෙක් තමාට කී බව පොන්නම්පෙරුම උද්දාමයෙන් උපුටා දැක් වූවා.

ඔහුට  ඕනෑ වුණේ එබඳු පරපුරක් හදන්න. රාජ්‍ය ආයතනික සීමාවන් තුළ පවා ඔහු වසර කිහිපයක් තුළ ලොකු ආකල්පමය වෙනසක් කළා.

විද්‍යාඥයන් යනු පර්යේෂණාගාර හෝ දැනුමේ එක්ටැම් ගෙවල හෝ කොටු වූ අමුතු පිරිසක් නොව නව ලොවක් බිහි කරන හා රටේ ප‍්‍රශ්න විසදීමට දායක වන පිරිසක් බව ලක් සමාජයට ඒතතු ගැන්වීමේ අවශ්‍යතාවය ඔහු මැනවින් වටහා ගත්තා. විද්‍යාඥයන්ට අභිමානවත්ව හා ස්වාධීනව තමන්ගේ වැඩ කරගෙන යාමට වාතාවරණයක් බිහි කිරීමට ඔහු උත්සාහ කළා.

මහජන බදු මුදලින් නඩත්තු කැරෙන රාජ්‍ය පර්යේෂණ ආයතන හා සරසවි මුඵමනින් මහජනයාට වගකිව යුතු බවත්, ඒ සඳහා මාධ්‍ය හරහා තමන්ගේ පර්යේෂණ වැඩකටයුතු හා ප‍්‍රතිඵල ජනතාවට සරල හා ආකර්ෂණීය ලෙසින් සන්නිවේදනය කළ යුතු බවත් පොන්නම්පෙරුමගේ දැක්මේ ප‍්‍රබල අංගයක් වූවා.

මේ නිසා IFS පර්යේෂණ, පරිපාලනය හා මුදල් භාවිතය වැනි  ඕනෑ ම දෙයක් ගැන මාධ්‍ය නියෝජිතයන්ට විමර්ශනය කිරීමේ අවකාශය සළසා දුන්නා. තමන් කෙතරම් කාර්ය බහුල වුවත්,  ඕනෑ ම විටෙක මාධ්‍යවේදීන්ට දුරකථනය හරහා හෝ මුහුණට මුහුණ ලා සාකච්ඡ ලබා දීමට ඔහු ඉදිරිපත් වුණා.

යහපත් අරමුණු මත පදනම් වූ මේ ප‍්‍රවේශය ඔහුගේ විවේචකයෝ අර්ථ දැක්වූයේ මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධිය හඹා යාමක් හැටියට. විද්‍යාඥයන් ශුද්ධ වස්තු ලෙස සළකා වන්දනාමාන කරමින්, කියන දෙයක් ලියා ගෙන පළ කිරීමට පුරුදුව සිටි සමහර මාධ්‍යවේදීන්ටත් මෙය නුහුරු වන්නට ඇති…

පොන්නම්පෙරුම මා දැන හඳුනා ගත්තේ 1986 – 1990 කාලයේ. තරුණ මාධ්‍යවේදියකු ලෙස මා බොහෝ අවස්ථාවල පොන්නම්පෙරුම මුණ ගැසී සාකච්ඡ කොට තිබෙනවා. සමහර විට මා නොදන්නාකමට ඇසූ මූලික මට්ටමේ ප‍්‍රශ්නවලට පවා උද්‍යොගයෙන් පිළිතුරු දුන්නා.

Cyril Ponnamperuma, 1963 - Smithsonian Institution Archives

Cyril Ponnamperuma, 1963 – Smithsonian Institution Archives

දේශපාලන මානයක් තිබූ ප‍්‍රතිපත්තිමය කරුණු ගැන වුවත් ඔහු ප‍්‍රවේශමින් ප‍්‍රතිචාර දැක් වූවා. කිසි විටෙක “No Comment” කියා ලිස්සා ගියේ නැහැ. එදා මෙදා තුර මා මුණ ගැසී ඇති සිය ගණනක් විද්වතුන් අතර ඉතා ආචාරශීලී හා මිත‍්‍රශීලී චරිතයක් ලෙස ඔහු මගේ මතකයේ රැඳෙනවා.

පොන්නම්පෙරුම සැම විට ආචාරශීලී වූවත් කිසි විටෙක නිවට හෝ නියාලූ නොවූ නිසා ජනාධිපති කාර්යාලයේ එවකට සිටි ඇතැම් නිලධාරීන් ඔහුට හිරිහැර කළා. පේ‍්‍රමදාස ජනාධිපතිවරයාට පවා සමනය කර ගත නොහැකි වූ මේ අකටයුතුකම් නිසා කළකිරුණු පොන්නම්පෙරුම 1990දී මවු රටින් සමු ගෙන යළිත් ඇමරිකාවට ගියා.

දිවි ඇති තෙක් පර්යේෂණ කරන්නට මේරිලන්ඞ් සරසවියේ ලොකු විද්‍යාගාරයක් හා පහසුකම් ඔහුට ලැබුණා. 1994 දෙසැම්බර් 20 වනදා ඔහු මිය ගියේ ද එහි පර්යේෂණයක සිටියදීයි.

මහාචාර්ය පොන්නම්පෙරුමගේ අනෙක් සුවිශෙෂී දායකත්වය වූයේ දියුණු වන ලෝකයේ රටවල සමාජ ආර්ථික සංවර්ධනයට විද්‍යාව හා තාක්‍ෂණය නැණවත්ව යොදා ගැනීම ගැන ලෝක ව්‍යාප්ත සංවාදයක් ගොඩ නැගීමයි. මේ සදහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා යුනෙස්කෝව මෙන් ම තෙවන ලොව විද්‍යා ඇකඩමිය (TWAS) නම් විද්වත් ජාලය හරහා ද ඉමහත් සේවයක් කළ ඔහු එහි උපසභාපති හැටියට දිගු කලක් කි‍්‍රයා කළා.

අපේ වැනි රටවල විද්‍යා හා තාක්‍ෂණ හැකියාව දියුණු කරන්නට ඔහු අති විශාල මෙහෙවරක් ඉටු කළා. TWAS ආරම්භක සභාපති, පාකිස්ථානු භෞතික විද්‍යාඥ ආචාර්ය අබ්දුස් සලාම් සමග සමීපව වැඩ කරමින් ආසියාවේ, අප‍්‍රිකාවේ හා දකුණු අමෙරිකාවේ දක්‍ෂ විද්‍යාඥයින්ට ලෝක මට්ටමේ පර්යේෂණ කරන්නට අවස්ථා ලබා දුන්නා.

පොන්නම්පෙරුම ලොව පිළිගත් විද්වත් සඟරාවල පළ කළ නිබන්ධනවලට හා ලියූ පොත්වලට වඩා වැදගත් ලෙස මා දකින්නේ ඔහු සිය ශිෂ්‍යයන්ට හා සෙසු පර්යේෂකයන් දහස් ගණනකට ලබා දුන් ආත්ම විශ්වාසය හා ප‍්‍රබෝධක ආවේගයයි (inspiration).

අපේ රටේ ලිලිපුට්ටන් මේ ගලිවර් නොරිස්සූ නිසා ඔහුගේ සේවය හරි හැටි ලබා ගන්නට බැරි වූ සැටි දශක දෙකකට පසුව සිහිපත් කිරීම වටිනවා.

See also my English tribute: Dr. Cyril Ponnamperuma (1923-1994): A Passionate Champion of Public Science

සිවුමංසල කොලූගැටයා #94: ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකිකයෝ

This week’s Ravaya column is a follow up to my initial one on Antarctica two weeks ago, සිවුමංසල කොලූගැටයා #92: ඇන්ටාක්ටිකාවට අත නොතබනු!. I had such a good response from readers, some of who wanted to know how many Lankans have been to Antarctica.

I asked around, and have found information on three: Marine biologist Dr Nishad Jayasundara (who visited in 2010), youth activist Imalka de Silva (also in 2010) and astronomer Dr Ray Jayawardhana (2010-11). This column is a summary of what they did. It also answers a question: did trail-blazing Lankan biochemist Dr Cyril Ponnamperuma (1924 – 1994), who studied Antarctic meteorites in the 1970s, ever visit the frozen continent himself?

Dr Ray Jayawardhana in Antarctica on snowmobile

Dr Ray Jayawardhana in Antarctica on ski-doo

The Reefs of Taprobane, 2002 edition

The Reefs of Taprobane, 2002 edition

ආතර් සී. ක්ලාක් ශ‍්‍රී ලංකාව පාදක කර ගෙන ලියූ චාරිකා සටහන් පොත් කිහිපයෙන් පළමුවැන්න වූයේ The Reefs of Taprobane නම් කෘතියයි. 1955 වසරේ මාස කිහිපයක් මයික් විල්සන්, රොඞ්නි ජොන්ක්ලස් හා තවත් කිමිදුම් සගයන් සමඟ ලක් දිවයින අවට මුහුදේත්, රට ඇතුළේත් කළ ගවේෂණ ගැන විචිත‍්‍ර ලෙස ලියා ඇති මෙය මුල් වරට ඉංග‍්‍රීසියෙන් පළ වූයේ 1956දී. (අඩ සියවසකටත් පසුව 2011දී මනෝ ප‍්‍රනාන්දු හා නන්දන එල්ලාවල විසින් සිංහලයට පෙරළා තිබෙනවා.)

එහි සය වන පරිච්ෙඡ්දය ඇරඹෙන්නේ ඔවුන් මාතර තානායමේ ලැගුම් ගත් දිනෙක රැයෙහි, පැහැදිලි අහසත් ඉදිරිපස මහ සාගරයත් මෙනෙහි කරමින් ක්ලාක්ගේ සිතේ පහළ වූ සිතිවිලිවලින්. නිරක්ෂයට අංශක හයක් පමණ උතුරින් පිහිටි මේ ස්ථානය ලක් දිවයිනේ වඩාත් ම දකුණුදිග දෙවුන්දර තුඩුවට ඉතා සමීපයි. මෙතැන සිට ඉන්දියානු සාගරයට පිවිසී දිගට ම දකුණු දෙස බලා යාත‍්‍රා කළොත් යළිත් සැතපුම් දහස් ගණනක් යන තුරු කිසිදු ගොඩබිමක් හමු නොවන බව ක්ලාක් පෙන්වා දෙනවා. (මාලදිවයින් පිහිටා ඇත්තේ අපේ දිවයිනට නිරිත දිගින්.)

එසේ ගිය හොත් ඊළඟට හමු වන එක ම ගොඩබිම දක්ෂණ ධ‍්‍රැවය ද අයත් ඇන්ටාක්ටික් මහාද්වීපයයි. (ශ‍්‍රී ලංකාවේ දකුණු අන්තයේ සිට ඇන්ටාක්ටිකාවට ඍජු දුර කිලෝ මීටර් 10,600ක් පමණ වෙනවා.)

ක්ලාක්ගේ මේ සඳහන මගේ සිහියට ආවේ ශ‍්‍රී ලංකාව හා ඇන්ටාක්ටිකාව අතර සබඳතා මොනවා ද යන්න විමසන විටයි.

ඇන්ටාක්ටිකාවේ පරිසරය රැක ගන්නටත්, එය නිරායුධ කලාපයක් ලෙස දිගට ම පවත්වා ගන්නටත් බි‍්‍රතාන්‍ය ධ‍්‍රැව ගවේෂක රොබට් ස්වෝන් ගෙන යන ව්‍යායාමය ගැන 2012 නොවැම්බර් 18 වනදා කොලමින් මා විස්තර කළා. එය කියවා ප‍්‍රමෝදයට පත් පාඨකයන් කිහිප දෙනකු මගෙන් ඇසුවේ ලාංකිකයන් ඇන්ටාක්ටිකාව සමඟ ඇති සබඳතා මොනවා ද යන්නයි.

ස්වෝන්ගේ විග‍්‍රහයට අනුව ලෝකයේ වෙසෙන බිලියන් 7.3ක් වන හැම මානවයකුට ම ඇන්ටාක්ටිකාවේ එක හා සමාන හිමි කමක් තිබෙනවා. නමුත් ලෝකයේ බහුතරයක් මානවයන් වාසය කරන්නේ සමකයෙන් උතුරට පිහිටි උත්තරාර්ධ ගෝලයේ. අප බොහෝ දෙනෙකුට ඇන්ටාක්ටිකාව පිළිබඳ නිසි අවබෝධයක් නැහැ.

මුල් යුගයේ ඇන්ටාක්ටිකාවට ගියේ ඒ සඳහා විශේෂිත ශාරිරික පුහුණුව ලැබූ ධ‍්‍රැව ගවේෂකයන් පමණයි. එහෙත් 1957-58 ජාත්‍යන්තර භූ භෞතික වර්ෂයෙන් ඇරැඹි විද්‍යාත්මක ගවේෂණ නිසා විවිධ විද්‍යා කේෂත‍්‍රයන්ට අදාළ නොයෙක් රටවල විද්‍යාඥයන්ට ද එහි යාමේ අවස්ථාව සැලසුණා.

පසුගිය දශකයක පමණ කාලය තුළ විද්‍යාඥයන්ට අමතරව තරුණ නායකයන්, ව්‍යාපාරික නායකයන් ආදීන් සඳහා ද කෙටි කාලීන (සති 2 – 3) ඇන්ටාක්ටික් සංචාරයන් කිරීමේ අවස්ථාව උදා වී තිබෙනවා. එහෙත් පෞද්ගලික මට්ටමේ දේශ සංචාරකයන්ට සිය කැමැත්තෙන් එහි ගොඩ බසින්නට බැහැ. සංවිධානාත්මක ඇන්ටාක්ටික් චාරිකාවට, නිසි ක‍්‍රමවේදයක් හරහා ඉල්ලූම් කොට, සුදුසුකම් ලබා එබදු චාරිකාවක නිරත විය යුතුයි.

1986දී මුල් වතාවට දක්ෂිණ ධ‍්‍රැවයට පයින් ගිය ගමනින් පසු රොබට් ස්වෝන් තවත් බොහෝ වාර ගණනක් ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. 1990 දශකයේ රටවල් 25ක තරුණ තරුණියන් 35 දෙනෙකු ස්වේච්ඡවෙන් සම්බන්ධ කර ගෙන ඔහු ඇන්ටාක්ටිකාවේ අපද්‍රව්‍ය එකතු කිරීමේ උත්සාහයක යෙදුණා.

2008දී ඇන්ටාක්ටිකාවේ මුල් ම අධ්‍යාපනික කඳවුර ස්වෝන්ගේ 2041 සංවිධානය ඇරඹුවා. ඒ හරහා හැම වසරක ම තරඟකාරීව තෝරා ගන්නා තරුණ තරුණියන් පිරිසක් (ලෝකයේ විවිධ රටවලින්) සති දෙක හමාරකට ඇන්ටාක්ටිකාවට රැගෙන යනවා. එයින් පසු ගෝලීය මට්ටමේ පාරිසරික හා බලශක්ති ගැටළුවලට දේශීය මට්ටමින් විසඳුම් සෙවීමේ ක‍්‍රියාකාරිකයන් වීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා.

“ඇන්ටාක්ටිකාවට ටික දිනෙකට හෝ යාම මුළු ජීවිතය ම වෙනස් කරන අසාමාන්‍ය අත්දැකීමක්. මා ලද ඒ අත්දැකීම තරුණ හා ව්‍යාපාරික නායකයන්ටත් ලබා දීම හරහා ඔවුන්ගේ දැක්ම හා චරියාව වඩාත් පුළුල් වනු ඇතැයි මා සිතනවා,” ලෙස ස්වෝන් එය විග‍්‍රහ කරනවා.

මේ දක්වා මට සොයා ගත හැකි වූ තොරතුරුවලට අනුව ලාංකිකයන් තිදෙනකු 2010-2011 වතිකානුවේ ඇන්ටාක්ටිකාවට ගොස් තිබෙනවා. එහෙත් ඔවුන් මේ ගැන මාධ්‍ය හරහා ප‍්‍රසිද්ධියක් ලබා ගන්නට උත්සාහ කර නැති නිසා ඒ තොරතුරු තවමත් අප‍්‍රකටයි.

රොබට් ස්වෝන් කොළඹදී කළ දේශනය අවසානයේ ඔහුගේ 2041 සංවිධානය හරහා ඇන්ටාක්ටිකාවට ගිය ශ‍්‍රී ලාංකික තරුණිය ඉමල්කා ද සිල්වා සභාවට හඳුන්වා දුන්නා. ඇයට මේ වරම හිමි වූයේ 2010දී ඇය අමෙරිකාවේ සරසවි සිසුවියක ලෙස සිටින අතරයි. 2041 සංවිධානයේ මූලිකත්වයෙන් තරගකාරී ලෙස තෝරා ගත් තරුණ තරුණියන් ගණනාවක් 2010 මාර්තු 5 – 18 කාලයේ ඇන්ටාක්ටිකාවේ කල් ගත කළා. මෙය අතිශයින් විචිත‍්‍ර මතකයන් ඉතිරි කළ හා මනස විවර කළ අපූරු අත්දැකීමක් වූ සැටි ඉමල්කා කෙටියෙන් විස්තර කළා.

ඇන්ටාක්ටිකාවට තවත් ලාංකික තරුණ තරුණියන් යවන්නටත්, එයින් ලබන අසාමාන්‍ය අත්දැකීම් මෙරට බෙදා ගන්නටත්, තරුණ පාරිසරික සංවිධානයක් ඇරැඹීමට ඉමල්කා අදහස් කරනවා. 2041 සංවිධානයෙන් ඇන්ටාක්ටික් චාරිකා සඳහා ඉල්ලූම් කිරීමට ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න. http://2041.com/antarctic-expeditions

Nishad Jayasundara

Nishad Jayasundara

ඉමල්කා ඇන්ටාක්ටිකාවට ළඟා වන්නට ටික දිනකට පෙර, 2010 ජනවාරියේ ලාංකික සාගර ජීව විද්‍යාඥ නිෂාඞ් ජයසුන්දර පර්යේෂකයකු ලෙස එහි ගියා. අමෙරිකාව විසින් ඇන්ටාක්ටිකාවේ පවත්වා ගෙන යන මැක්මර්ඩෝ පර්යේෂණ කඳවුරට (McMurdo Station) ඔහු ගියේ අමෙරිකාවේ ස්ටැන්ෆර්ඞ් සරසවියේ පශ්චාත් උපාධි සිසුවකු ලෙසයි.

නිෂාඞ්ගේ කණ්ඩායම අධ්‍යයනය කළේ ඇන්ටාක්ටිකාවේ මහා අයිස් තට්ටු යට අධික ලෙස ශීතල පරිසරයකට ස්වභාවිකව හැඩ ගැසී ජීවත් වන මසුන් විශේෂ ගැනයි. 1967දී ඇන්ටාක්ටිකා පර්යේෂණ කළ ඔහුගේ සරසවියේ ම විද්‍යාඥයන් සෙන්ටිගේ‍්‍රඞ් අංශක 6ක් තරම් අඩු උෂ්ණත්වයක දිවි ගෙවන මසුන් විශේෂ තුනක් සොයා ගත්තා. මේ මසුන්ට අංශක 6ට වඩා වැඩි උණුසුම දරා ගත නොහැකියි.

ගෝලීය උණුසුම් වීමත් සමඟ ටිකෙන් ටික ධ‍්‍රැව ප‍්‍රදේශවල ද උණුසුම ඉහළ යත් ම මේ මසුන් වැනි ශීතලට ලැදි සතුන්ට කුමක් වේ ද? නිෂාඞ් ගැඹුරින් විමසන්නේ මේ ප‍්‍රශ්නයට පිළිතුරයි.

2010 අගදී හා 2011 මුලදී තවත් ලාංකික විද්‍යාඥයෙක් ඇන්ටාක්ටිකාවේ දින 37ක් ගත කළා. ඔහු දැන් කැනඩාවේ ටොරොන්ටෝ සරසවියේ තාරකා විද්‍යා සහ තාරකා භෞතික විද්‍යා මහාචාර්ය රේ ජයවර්ධනයි. විශ්වයේ වෙනත් තාරකා වටා අපේ පෘථිවිය බඳු ග‍්‍රහලෝක සෙවීමේ දිගු කාලීන පර්යේෂණවල නියැලී සිටින රේ, වසර 25ක් තිස්සේ මගේ මිතුරෙක්.

1986 හැලීගේ වල්ගා තරුව නැවත දිස් වූ විට ඔහුත් මාත් ඇතුළු තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ (Young Astronomers’ Association) සාමාජික පිරිසක් එය නරඹන්නට මාතරට චාරිකා කොට නවාතැන් ගත්තේ ද මාතර තානායමේයි. එදා හැලී නරඹන විට ආතර් සී. ක්ලාක් එම ස්ථානය ගැන ලියා තිබූ කරුණු අප දැන සිටියේ නැහැ. එමෙන් ම යම් දිනෙක තමන් ඇන්ටාක්ටිකාවට යනු ඇතැයි රේ පවා සිතන්නට නැතිව ඇති!

රේ 2011 ඇක්ටාක්ටිකාවට ගියේ අමෙරිකානු නාසා ආයතනයේ හා එරට ජාතික විද්‍යා පදනමේ අනුග‍්‍රහයෙන්. ඔහු ඇතුළු අට දෙකනුගෙන් සමන්විත පර්යේෂක පිරිසක් උල්කාපාත එකතු කිරීමේ නිරත වුණා.

 Ray Jayawardhana

Ray Jayawardhana

උල්කාපාත පෘථිවියේ විවිධ තැන්වලට නිතිපතා ඇද හැලෙනවා. (බොහෝ ඒවා ප‍්‍රමාණයෙන් කුඩා නිසා හානියක් කරන්නේ නැහැ.) මිනිස් ජනාවාස නැති, වර්ෂාපතනය හා හිමපතනය සීමිත ඇන්ටාක්ටිකාවේ වැටෙන උල්කාපාත වඩාත් නිරුපද්‍රිතව සුරැකී තිබෙනවා. මේවා අධ්‍යයනය කිරීමෙන් සෞර ග‍්‍රහ මණ්ඩලයේ හා විශ්වයේ වසර මිලියන් හා බිලියන් ගණනකට ඉහත තත්ත්වය පිළිබඳව තොරතුරු උකහා ගත හැකියි.

හිම මත ගමන් කරන ස්කී-ඩූ (Ski-doo) නම් වාහනවල නැඟී, ප‍්‍රවේශමෙන් ඇන්ටාක්ටික් හිම අතර ගවේෂණය කළ මේ පිරිස සති පහක් තුළ උල්කාපාත 900ක් එකතු කළා. මේ එකතුව පර්යේෂකයන්ට වසර ගණනක් විශ්ලේෂණය කළ හැකි දැනුම් නිධානයක්.

‘‘මා භූ විද්‍යාඥයකු නොවූවත් ඉක්මනින් ම මේ සෙවිල්ලට මා හුරු වුණා. පරිසරයේ අනෙකුත් ගල් කැබලි අතර උල්කාපාත වෙන් කර හඳුනා ගන්නට යම් ලකුණු තිබෙනවා,’’ රේ කියනවා.

ඇන්ටාක්ටිකාවේ ගත කළ සති කිහිපය ශාරීරික හා මානසික දෙඅතින් ම අභියෝගාත්මක වූ බව ඔහු සිහිපත් කරනවා. එහි යන්නට පෙර ශරීර සෞඛ්‍යය හා සවිමත් බව පිළිබඳ පරීක්ෂණවලින් සමත් විය යුතුයි. ඇන්ටාක්ටික් ගිම්හානයේ මාස හතරකටවත් වඩා එක දිගට හිරු පායා තිබෙනවා. මෙය මුලදී අමුත්තක් වූවත්, ඉක්මනින් සිය දින චර්යාව එයට හැඩගස්වා ගන්නට පර්යේෂකයෝ සමත් වුණා.

නාසා ආයතනය ඇන්ටාක්ටික් උල්කාපාත අධ්‍යයනය කිරීම ඇරඹුවේ 1970 ගණන්වලදී. එහිදී පුරෝගාමී පර්යේෂයකු වූයේ කීර්තිමත් ලාංකික ජීව රසායන විද්‍යාඥ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම (1924 – 1994). 1970 දශකය අගදී ඇන්ටාක්ටිකාවෙන් ගෙනා උල්කාපාතවල තිබී ඇමයිනෝ අම්ල සොයා ගැනීමට මුල් වීමෙන් ඔහු විද්‍යා ලෝකයේ තවත් මං සළකුණක් වාර්තා කළා.

ඇමයිනෝ අම්ල යනු ජීවයේ පදනම වන ප්‍රෝටීන් සෑදී ඇති සංඝටකයයි. උල්කාපාතාවලට ඇමයිනෝ අම්ල ආවේ කෙසේ ද? ඇන්ටාක්ටිකාවේදී පෘථිවියේ ජීව ද්‍රව්‍ය සමඟ මිශ‍්‍ර වීමට ඇති ඉඩකඩ ඉතා සීමිත නිසා උල්කාපාතවල හමු වන්නේ පිටසක්වලින් ආ ද්‍රව්‍ය බවට තීරණය කළ හැකියි. පෘථිවියේ හමු නොවන ඇමයිනෝ අම්ල දෙකක් උල්කාපාතාවල හඳුනා ගත් පොන්නම්පෙරුම, සිය ජීවිතයේ අවසානය දක්වා විශ්වයේ ජීවය ගැන පර්යේෂණ කරමින් සිටියා.

මහාචාර්ය පොන්නම්පෙරුමත් ඇන්ටාක්ටිකාවට ගියා ද?

මේ ප‍්‍රශ්නය මා දැන් අමෙරිකාවේ වෙසෙන ඔහුගේ දියණිය රෝෂිණීට යොමු කළා. ඇගේ උත්තරය: ඔහු එහි ගියේ නැතත්, එබඳු චාරිකාවල නිරත වූ පර්යේෂකයන් සමඟ ඉතා සමීපව වැඩ කළා. විශේෂයෙන් ඇන්ටාක්ටිකාවේ මුල් ම උල්කාපාත සෙවීමේ නිරත වූ ජපන මහාචාර්ය ෂීරෝ අකබෝරි සමඟ කලක් තොරතුරු හා සාම්පල හුවමාරු කර ගත්තා. පොන්නම්පෙරුම උල්කාපාත සොයා අයිස්ලන්තය හා ග‍්‍රීන්ලන්තයට නම් ගිය බව රෝෂිණී කියනවා.

ඇන්ටාක්ටිකාවට ගිය මුල් ම ලාංකිකයා කවුද?

මේ දක්වා මතු කළ තොරතුරුවලට අනුව නිෂාඞ් ජයසුන්දර, ඉමල්කා ද සිල්වා හා රේ ජයවර්ධන ඒ අනුපිළිවෙළින් එහි ගොස් තිබෙනවා. එහෙත අප කිසිවකුත් නොදන්නා තවත් පර්යේෂකයන් ඉතා නිහඬව මේ චාරිකාවේ යෙදී ඇත් ද? මා සිටින්නේ විමසිල්ලෙන්.

ලෝකයේ රටවල් 30ක් පමණ තමන්ගේ ම ඇන්ටාක්ටික් පර්යේෂණාගාර පවත්වා ගෙන යනවා. (විස්තර: http://en.wikipedia.org/wiki/Research_stations_in_Antarctica) ඉන්දියාව 1981දීත්, චීනය 1985දීත්, පාකිස්ථානය 1991දීත් ඇන්ටාක්ටික් පර්යේෂණ දියත් කළා. සමහරක් රටවල් වසර පුරා පර්යේෂකයන් එහි රඳවන අතර, බහුතරයක් එය කරන්නේ දක්ෂිණ ධ‍්‍රැවයේ ග‍්‍රීෂ්ම කාලයේ පමණයි.

ආසියාතික රටක් සමඟ සහයෝගයෙන් ශ‍්‍රී ලංකාවටත් ක‍්‍රමානුකූලව ඇන්ටාක්ටික් පර්යේෂණවලට දායක විය හැකි ද?

Stanford University Fish Research group in Antarctica 2010

Stanford University Fish Research group in Antarctica 2010