In this week’s Ravaya column (in Sinhala), I continue the Sinhala adaptation of my June 2014 TV interview with Dr Rajesh Tandon of India, an internationally acclaimed leader and practitioner of participatory research and development.
Last week, we discussed the civil space and political space available for advocacy and activism – and how far civil society activists have been able to engage the formal political process in India.
Today, we discuss how anti-corruption movement evolved into the Aam Aadmi Party, AAP, and the relevance of India’s experiences to Sri Lanka. We also discuss India’s Right to Information Act and how that has empowered citizens to seek a more open and accountable government at national, state and local levels. Dr Tandon ends by emphasizing that democracy is a work in progress that needs constant engagement and vigilance.
Part 1 of this interview: සිවුමංසල කොලූගැටයා #206: ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිවිල් සමාජ සාධකය ඉන්දියානු ඇසින්

2015 පෙබරවාරි 7 වනදා නැවතත් පැවති දිල්ලි ප්‍රාන්ත මැතිවරනයේදී පොදු මිනිසාගේ පක්ෂය ආමි ආද්මි ^Aam Aadmi Party, AAP& මුලු ආසන 70න් 67ක්ම දිනා ගනිමින් විශිෂ්ට ජයක් ලබා ගත්තා. රටේ පාලක භාරතීය ජනතා පක්ෂයට (BJP) ඉතිරි ආසන 3 හිමි වුණා.
මීට පෙර 2013 දෙසැම්බර් 4 වනදා පැවති දිල්ලි මැතිවරනය්දී ආසන 28ක් දිනා ගෙන ප්‍රාන්ත රජයක් පිහිටුවා ගත් ආම් ආද්මි එය කර ගෙන ගියේ මාස දෙකකට අඩු කාලයක්ග 2014 පෙබරවාරි 14දා ඔවුන් ඉල්ලා අස් වුණා.
මේ දෙවන වාරයේ ඔවුන්ගේ භූමිකාව කුමක් වේදැයි කිව නොහැකියි. එහෙත් 2014 ජාතික මහ මැතිවරනයෙන් පහසු ජයක් ලද භාරතීය ජනතා පක්ෂයට අභියෝග කරන්නට තරම් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් අතරින් මතු වූ මේ ලාබාල පක්ෂයට හැකිව තිබෙනවා.
2014 ජුනි මාසයේ මා ඉන්දියාවේ ප‍්‍රවීණතම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයකු හා සහභාගිත්ව සංවර්ධනය ගැන ලොව පිළිගත් විද්වතකු වන ආචාර්ය රාජේෂ් ටැන්ඩන් (Dr Rajesh Tandon) සමග ටෙලිවිෂන් සාකච්ඡුාවක් කළා.
එහි මුල් කොටස ගිය සතියේ පළ කළා. අද එහි ඉතිරි කොටස. මෙය මීට මාස අටකට පෙර සිදු වූ කතාබහක් බව සිහි තබා ගන්න. සාකච්ඡාව වෙබ් හරහා බලන්න – https://vimeo.com/118544161
නාලක: දූෂන විරෝධී සිවිල් සමාජ ක්රියකාරිකයන් පිරිසක් දේශපාලන පක්ෂයක් පිහිටුව ගත්තේ ඇයි?
රාජේෂ් ටැන්ඩන්: ලෝක්පාල් නම් වූ දූෂණ විරෝධී පනත (Jan Lokpal Bill) පසුගිය පාර්ලිමේන්තුවේ (2009-2014) පල් වන විට අන්නා හසාරේ ඇතුළු පිරිසට පෙනී ගියා සියලු දේශපාලන පක්ෂ මේ ගැන සැබෑ උනන්දුවක් නොගන්නා බව. ඒ පසුබිම තුළ තමයි ආමි ආද්මි පක්ෂය බිහි වූයේ, දේශපාලන අවකාශයෙන් පිටත සිට කළ හැකි සියලූම බලපෑම් කිරීමෙන් අනතුරුව මේ සිවිල් ක‍්‍රියාකාරීන් එහි යා හැකි දුරේ සීමා තිබෙන බව තේරුම් ගත්තා. ඔවුන් සක‍්‍රිය පක්ෂ දේශපාලනයට පිවිසියේ ඉන් පසුවයි.

අන්නා හසාරේ (Anna Hazare) සහ අනුගාමිකයන් අතර මේ ගැන ප‍්‍රතිවිරුද්ධ මත තිබුණා නේද? හසාරේ ක‍්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට ප‍්‍රතික්ෂේප කළත් ඔහුගේ දෙවැනියා අර්වින්ද් කෙජ්රිවාල් (Arvind Kejriwal) පොදු මිනිසාගේ පක්ෂය පිහිටුවා ගත්තා. ඔවුන් දෙමගක ගියාද?
මේ විවාදය කලක සිටම ඉන්දියාවේ පවතින්නක්. විශේෂයෙන්ම රටේ තීරණාත්මක සංධිස්ථානවලදී එයට කෙසේ ප‍්‍රතිචාර දැක්විය යුතුද යන්න සරසවි සිසුන් හා සිවිල් ක‍්‍රියාකාරිකයන් මෙනෙහි කරනවා. සක‍්‍රිය දේශපාලනයට පිවිසීම එක් ප‍්‍රතිචාරයක්. ප‍්‍රචණ්ඩ අරගලවලට යොමු වීම තවත් ප‍්‍රතිචාරයක්. සත්‍යග‍්‍රහ හා සාමකාමී උද්ඝෝෂණ කිරීම තව එකක්. මේ එක එකක් සාධාරණ යයි කීමට එයට පිවිසි අයට තර්ක ද තිබුණා.
අන්නා හසාරේ තරයේ විශ්වාස කළේ පක්ෂ දේශපාලනයට පිවිසීම හරහා දූෂණ විරෝධී ජනතා ව්‍යාපාරයේ එතෙක් පවත්වා ගෙන ආ සාරධර්මීය පිවිතුරු බව අහිමි වන බවයි. එහි යම් ඇත්තක් තිබෙනවා. අද කාලේ පක්ෂ දේශපාලනය කරන්නට මුදල්, පිරිස් බලය හා මාධ්‍ය සමග මනාව ගනුදෙනු කිරීම අවශ්‍යයි. එහෙත් අර්වින්ද් කෙජ්රිවාල් ඇතුළු පිරිසක් තර්ක කළේ ප‍්‍රශ්නයේ සැබෑ මුල් ඇති සක‍්‍රිය දේශපාලනයට පිවිසීමෙන් පමණක් දූෂණයේ අක්මුල් පාදා ගෙන විසඳුම් සැපයීමට හැකි බවයි.
ඉතා කෙටි කලක් තුළ ඔවුන් නාගරිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා නේද?
කෙටි කාලයක් තුළ කෙජ්රිවාල්ගේ පක්ෂය දිල්ලියේ ප‍්‍රාන්ත පාලන රජයක් පිහිටුවා ගන්නට මැතිවරණ ජයග‍්‍රහණයක් ලැබුවා (2013 දෙසැම්බර්). ඔවුන් වසර ගණනාවක සිට බිම් මට්ටමින් කළ ජනතා ව්‍යාපාර (ත‍්‍රීරෝද හා රික්ෂෝ රියදුරන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම, විදුලිබල හා ජල ප‍්‍රවාහනය විධිමත් කිරීම, දුගී ජනයාට සහන මිලට ධාන්‍ය ලබාදීම) හරහා ගොඩ නගා ගත් හොඳ හිතක් තිබුණා. එහි උපකාරයෙන් දිල්ලියේ බලයට පත්වන්නට හැකි වුණා. සීමිත බල ප‍්‍රදේශයක් තුළ ඔවුන් කෙටි කලක් පාලනය කළා.
නමුත් 2014 මහ මැතිවරණයේදී ආම් ආද්මි පක්ෂයට දිනා ගත හැකි වූයේ ආසන හතරක් පමණයි. ඉන්දියාවේ තෙවන බලවේගයක් වන්නට ඔවුන්ට හැකිද?
ආම් ආද්මි පක්ෂයේ වඩාත් ප‍්‍රමුඛව මහජනයා ඉදිරියට ආ මුහුණු බොහොමයක් කලක් තිස්සේ සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයේ යෙදී සිටි සමාජ සේවකයන් හා විද්වතුන්. මේ නිසා ආමි ආද්මියට හොඳ ජනතාවාදී පදනමක් හා දැක්මක් මුල පටන්ම ලැබුණා. මෙය සාම්ප‍්‍රදායික දේශපාලන පක්ෂ යම් තැති ගැන්මකට පත් කළා.
එවිට රාජ්‍ය පක්ෂ හා විපක්ෂ දෙකේම එවකට සිටි දේශපාලකයන් කළේ ආමි ආද්මි ක‍්‍රියාකාරිකයන්ගේ ඇද කුද සෙවීමයි. 2012 යම් අවස්ථාවක හිටපු අගමැති මන් මෝහන් සිං ප‍්‍රකාශයක් කළේ විදේශ බලවේගයන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) හා සිවිල් ක‍්‍රියාකාරිකයන් හරහා ඉන්දියාවේ ඉදිරි ගමන කඩාකප්පල් කරන්නට තැත් කරන බවයි!
‘විදෙස් හස්තය’ (foreign hand) නොහොත් ‘අදිසි හස්තය’ (hidden hand) ගැන චෝදනා කිරීම අපේ රටවල කලක සිට කෙරෙන දෙයක් නේද?
ඇත්තටම. එක්කෝ අමෙරිකානු හස්තය, නැතිනම් ස්කනැඞ්නේවියානු හස්තයට දොස් කීම අපේ ඉන්දියානු සිරිතක්. එහෙත් රටේ නායකයා අගමැතිවරයා මෙබඳු ප‍්‍රකාශයක් කළ මුල් වතාව මෙයයි. ඊට පෙර එබඳු චෝදනා කළේ තනතුරින් වඩාත් කනිෂ්ඨ දේශපාලකයන් පමණයි.
මෙයින් පෙනි ගියේ විධිමත් දේශපාලන අවකාශයට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පිවිසීමට එරෙහිව වෘත්තීය දේශපාලකයන්ගේ ප‍්‍රතිරෝධයයි. රාජ්‍ය නිලධාරිවාදය උච්ච අන්දමින් මුදා හැර තමන් නොකැමැති රාජ්‍ය නොවන සංවිධාන පරීක්ෂා කිරීමට හා ඔවුන්ට හිරිහැර කිරීමට බලයේ සිටින දේශපාලකයන් පෙළඹෙන සැටි අපි දන්නවා. ඒ හරහා ඔවුන් සිවිල් සමාජයට වක‍්‍රව පණිවුඩයක් යවනවා….අපත් සමග හැප්පෙන්න ආවොත් බලා ගෙනයි කියා.
2014 මහ මැතිවරණයෙන් ආමි ආද්මි පක්ෂය ජාතික වශයෙන් බලවේගයක් ලෙස ඉස්මතු වූයේ නැහැ. එහි වැදගත්ම පාඩම මෙයයි. ඉන්දියාව වැනි අතිශයින් විවිධ වූත් විශාල වූත් රටක සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිවිල් අවකාශයේ සිට දේශපාලන අවකාශයට පිවිසි විට ඔවුන්ට සාර්ථක විය හැක්කේ යම් භූගෝලීය වශයෙන් සීමිත ප‍්‍රදේශයක පමණයි. ජාතික මට්ටමෙන් එතරම් බලපෑමක් කළ හැකි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ගැනීම අසීරුයි.
එය එසේ වන්නේ ඇයි?
සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සිය පොදු උන්නතියට කැපවූ කටයුතු හරහා සමාජයීය ප‍්‍රාග්ධනයක් (social capital) ගොඩනගා ගෙන තිබෙනවා. එහෙත් ඉන්දියාව වැනි විශාල රටක එය අදාළ වන්නේ එක් නගරයකට හෝ ප‍්‍රාන්තයකට පමණයි. මුළු රටටම හා බිලියන් 1.2ක ජනයාට ස්පර්ශ වන අන්දමේ සිවිල් ක‍්‍රියාකාරිකයන් බිහි වන්නේ ඉතා කලාතුරකින්.
ආමි ආද්මි පක්ෂය 2013 දිල්ලියේ ප‍්‍රාන්ත රජය (Delhi legislative assembly) ජයග‍්‍රහණය කළත් පාලනය කළේ දින 49යි. එහිදී ඔවුන්ගේ ජනප‍්‍රියවාදී (populist) පිළිවෙත් බොහෝ විවේචනවලට ලක් වුණා. සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් උද්ඝෝෂණවලට දක්ෂ වුවත් රාජ්‍ය පාලනයට අසමත්ද?
එබඳු හැඟීමක් සමහරුන් තුළ ජනිත කරන්නට ආමි ආද්මියේ දිල්ලි ක‍්‍රියා කලාපය හේතු වුණා. මෙය කනගාටුදායකයි. දිගු කලක් තිස්සේ වීදි බැස උද්ඝෝෂණය කළ පිරිසකට අන්තිමේදී ඡන්දයෙන් පාලන බලය ලැබුණු විට ඔවුන් ඉක්මනින් තම භූමිකාව වෙනස් කර ගත යුතුයි.
රාජ්‍ය පාලනය කිරීමේදී නිලධාරීන්, පොලිසිය, ව්‍යාපාරිකයන් ඇතුළු නොයෙකුත් පිරිස් සමග සහයෝගයෙන් වැඩ කරන්නට වනවා. ආමි ආද්මි පක්ෂය දිල්ලියේ පාලනයට පත්වූ විට එය හරිහැටි කරගෙන යෑමට අවශ්‍ය විනය හා සංවිධාන ශක්තිය ඔවුන් සතුවූයේ නැහැ. ඔවුන්ගේ සමාජ දැක්ම, අවංකබව හා කැපවීම ඉතා හොඳින් තිබුණත් නව වගකීම් සමුදායට අනුගත වීමට ඔවුන් අසමත් වුණා.
ඉන්දියාවට වඩා විශාලත්වයෙන් මෙන්ම විවිධත්වයෙන් ද බෙහෙවින් කුඩා වූ ශ‍්‍රී ලංකාවට මේ අත්දැකීම් අප කෙසේ අදාළ කර ගත යුතුද? මෙරට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් දේශපාලන අවකාශයට කෙසේ නම් පිවිසිය යුතුද?
පළමුවැන්න නම් සිවිල් ක‍්‍රියාකාරිකයන් ඍජුවම දේශපාලන නායකයන්, ජනතා ඡන්දයෙන් පත් වූ නියෝජිතයන් නිතර මුණ ගැසී තම ස්ථාවරයන් හා ප‍්‍රශ්න පැහැදිලිව සන්නිවේදනය කොට සංවාද කළ යුතුයි. හැම දේශපාලන පක්ෂයකම පාහේ න්‍යායචාර්යවරුන් සිටිනවා. ඔවුන් සමගත් බුද්ධිමය සංවාදයක් ගොඩ නගා ගත යුතුයි. ඔබ ඔවුන්ට මුළුමනින්ම විරුද්ධ මත දැරුවත් ඔවුන් සමග සංවාද කිරීම ඉතා වැදගත්.
මෙහිදී ස්වාධීන හා සක‍්‍රිය මාධ්‍ය පැවතීම තීරණාත්මකයි. බොහෝ විට සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් පවත්නා රජයන්ට කියන දේ, කරන බලපෑම් ගැන මහජන මතයක් ඇති කළ හැක්කේ මාධ්‍ය ආවරණය හරහායි. ජනතා ව්‍යාපාර හා සිවිල් සමාජ අරගලයන් ප‍්‍රතිපත්ති හා නීති දක්වා යන දුෂ්කර ගමනේදී මාධ්‍යවලින් ලැබෙන දායකත්වය ඉන්දියාවේ අතිශය වැදගත්. අනෙක් අතට ජනතාවගේ ප‍්‍රශ්න හා ප‍්‍රමුඛතා මොනවාද යන්න හඳුනා ගන්නට මාධ්‍යවලට බෙහෙවින් උපකාරවන්නේ සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්. ශ‍්‍රී ලංකාවේ මේ සබඳතාව වඩාත් ප‍්‍රශස්ත කරගත හැකි නම් දෙපිරිසටම එය ප‍්‍රයෝජනවත් වනු ඇති.
දෙවැන්න නම් දේශපාලකයන් මුහුණ දෙන ප‍්‍රායෝගික දුෂ්කරතා හා ඔවුන්ට ඇති සීමාවන් ගැන සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් මීට වඩා සංවේදී වීමද අවශ්‍ය යැයි මා සිතනවා.
තොරතුරු දැන ගැනීමේ අයිතිය (Right to Information Act) නීතියෙන් තහවුරු වී ඉන්දියාවේ දැන් දශකයක් පමණ කල් ගත වී තිබෙනවා. පුරවැසි හා සිවිල් සමාජ ක‍්‍රියාකාරීත්වයට හා යහපාලනයට මෙය දායක වී ඇත්තේ කෙසේද?
ඉන්දියාවෙත් ශ‍්‍රී ලංකාවෙත් බි‍්‍රතාන්‍ය පාලන සමයේ හඳුන්වා දුන් රාජ්‍ය රහස් පිළිබඳ නීති (official secret laws) එක සමානයි. බි‍්‍රතාන්‍ය රාජ්‍ය පාලකයන්ට ඕනෑ වුණේ හැකි තරම් රජයේ තීරණ, ප‍්‍රතිපාදන හා වියදම් රටවැසියන්ගෙන් වසන් කොට තැබීමට. තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත කිරීම හරහා රාජ්‍ය ප‍්‍රතිපත්ති, වැඩපිළිවෙළ, මූල්‍ය ප‍්‍රතිපාදන, වියදම් හා වෙනත් රාජ්‍ය පාලන ක‍්‍රියාකාරකම් ගැන විස්තරාත්මක තොරතුරු ඉල්ලා සිටීමේ වරම පුරවැසියන්ට ලැබෙනවා.
ඉන්දියාවේ මෙය නීතියක් ලෙස 2005දී ලබා දෙන්නට පෙර වසර ගණනාවක් සිවිල් සමාජ සංවිධාන හා ක‍්‍රියාකාරිකයන් ඉතා ඕනෑකමින් ඒ සඳහා ජනමතයක් ගොඩ නැගුවා. එය නීතිගත වූ පසුවද එහි නිසි ක‍්‍රියාකාරීත්වය හා නිසි ඵල නෙලා ගැනීම තහවුරු කර ගන්නට සිවිල් සමාජ දායකත්වය ඉතා ඉහළයි.
මධ්‍යම තොරතුරු කොමිසමක් (Central Information Commission, CIC) ස්ථාපිත කරනු ලැබුවා. රාජ්‍ය ආයතනයකට තොරතුරු ඉල්ලීමක් කොට නිසි ප‍්‍රතිචාර නිසි කාල සීමාව තුළ නොලදහොත් එය ගැන පැමිණිලි කිරීමට හා මැදිහත්වීමට මේ කොමිසමට පූර්ණ බලතල තිබෙනවා. මුලදී තොරතුරු කොමසාරිස්වරුන් සියල්ලන්ම පරිපාලන සේවා නිලධාරීන් වුවත් දැන් ක‍්‍රමයෙන් කොමිසමට නීතිවේදීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්ද පත්ව සිටිනවා.
අපේ වැදගත්ම පාඩම නම් තොරතුරු දැනගැනීමේ අයිතිය නීතිගත වීම පමණක් නොසෑහෙන බවයි. එය ප‍්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට නිරන්තර සිවිල් සමාජ සහභාගිත්වය, අවදියෙන් සිටීම හා අධීක්ෂණය ඉතා වැදගත්.

තොරතුරු අයිතිය නීතිගත වීම සාමාන්‍ය ඉන්දියානු පුරවැසියාට බලපෑවේ කෙසේද?
මෙතෙක් නොයෙක් නිදහසට කාරණා දක්වමින් මහජනයාට නිලධාරිවාදී කඩතුරාවකින් වසන් කරගෙන සිටි රාජ්‍ය පාලන ක‍්‍රියාකාරීත්වය ප‍්‍රථම වතාවට නිල වශයෙන්ම විවෘත වූවා (open government).
මෙය හුදෙක් මාධ්‍යවේදීන්ට පමණක් සීමාවූ අයිතියක් නොවෙයි. බිලියන් 1.2ක් වන සියලූම ඉන්දියානුවන්ට අද මධ්‍යම, ප‍්‍රාන්ත හෝ ප‍්‍රාදේශීය මට්ටමේ රාජ්‍ය තන්ත‍්‍රයේ බොහෝ පැතිකඩ ගැන තොරතුරු දින 30ක් ඇතුළත ලබා ගැනීමේ නීතිමය අයිතිය තිබෙනවා. ජනතාවට වග කියන රාජ්‍ය පාලනයක් (accountable government) ඇති කිරීමට නම් අනවශ්‍ය රහසිගත බව පසෙක ලා මෙසේ පාරදෘශ්‍යවීම ශිෂ්ට සමාජයකට අත්‍යවශ්‍යයි.
තොරතුරු ලබාගැනීමේ හැකියාව තහවුරුවීමත් සමග තොරතුරු විග‍්‍රහ කිරීම, සාවද්‍ය තැන් හඳුනා ගැනීම, හේතු විමසීම හා සංකීර්ණ ආකාරයේ අක‍්‍රමිකතා හෝ දුෂණ සොයා යෑම ආදී කුසලතා ඉන්දීය සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් ප‍්‍රගුණ කොට තිබෙනවා. තොරතුරු නීතිය ලැබුණාට මදි. එයින් ඵල නෙළා ගන්නටත් හැකි විය යුතුයි.
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නියම අරුතත් එයම නේද?
ඇත්තටම ඔව්. වඩාත් සහභාගිත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් (participatory democracy) ඒ හරහා ඉන්දියාවේ මතු වෙමින් තිබෙනවා. දුෂිත හෝ අකාර්යක්ෂම දේශපාලකයන් හා නිලධාරීන් මෙයට නොකැමැති වුවත්, අවංක හා සේවයට කැප වූවන්ට මේ තොරතුරු නීතිය හිතකරයි.
සමහර ඉන්දීය ප‍්‍රාන්තවල තොරතුරු නීතිය වඩාත් හොඳින් සාක්ෂාත් කරගෙන තිබෙනවා. එබඳු ප‍්‍රාන්තවල දැන් දේශපාලන අවකාශය හා සිවිල් අවකාශය අතර සබඳතා සවිමත් කරන යහපාලමක් ලෙස තොරතුරු නීතිය ක‍්‍රියා කරනවා.
සමහර පසුගාමී ප‍්‍රාන්තවල මෙය තවමත් සිදුව නැහැ. (ඉන්දියාව කියන්නේ සංකීර්ණ හා බහුවිධ තත්ත්වයන් පවතින රටක්.) නමුත් පොදුවේ ගත් විට තොරතුරු අයිතිය නීතිගත වීම හා එය තහවුරු කර ගැනීම හරහා ඉන්දීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගුණාත්මක බව මූලධර්මීය මට්ටමෙන්ම දියුණු වෙමින් තිබෙන බව නම් පැහැදිලියි.
නමුත් තවත් යා යුතු දුර බොහෝයි?
ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නේ නිරතුරුව වෙහෙස මහන්සියෙන් නඩත්තු කිරීම් කළ යුතු සමාජ සංසිද්ධියක්. එය කිසි දිනෙක හමාරයි පරිපූර්නයි කියා අපට විරාම ගන්නට බැහැ!
තොරතුරු අයිතිය නීතිගත වීම හරහා ප‍්‍රජාතන්ත‍්‍රවාදය නඩත්තුවට අමතර මෙවලම් හා අවකාශයන් ඉන්දීය අපට විවෘත වුණා. එය පදනම් කර ගෙන පොදු උන්නතියට අවශ්‍ය සංවාද කිරීම හා හිතකර ප‍්‍රතිපත්ති වෙත යොමු වීම දේශපාලකයන්, නිලධාරීන් හා සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් සියලූ දෙනාටම තිබෙන අභියෝගයක්.
ආචාර්ය ටැන්ඩන්, ඔබේ දැක්ම හා අත්දැකීම් ශ‍්‍රී ලංකාවේ අපට මාහැඟි ආදර්ශයක් හා ප‍්‍රබෝධක ආවේගයක් සපයනවා. ඔබට බෙහෙවින් ස්තුතියි!