සිවුමංසල කොලූගැටයා #211: සැබෑ තොරතුරු සමාජයක් බිහි කිරීමට නිසි ඉදිරි දැක්මක්

In this week’s Ravaya column (in Sinhala, published in issue of 15 March 2015), I discuss what policy and regulatory measures can help promote information society in Sri Lanka. In that process, I critique the Telecommunications Regulatory Commission (TRCSL) and the ICT Agency (ICTA), two state institutions with relevant mandates that they have mismanaged, and sometimes squandered, during the past decade.

I argue that, for the most part, ICTA has been dabbling in ‘retail’ level (and politically driven) projects such as setting up rural tele-centres and designing government websites, while neglecting ‘wholesale’ level needs – such as resolving local font standardization, supporting ICT innovation, and being a facilitator of meaningful e-government. Similarly, TRC has been engaging in indiscriminate blocking of political websites critical of the former government, without creating an enabling environment in which pluralistic web content could thrive.

Info society icons

“තොරතුරු ගලා ගිය පමණට තොරතුරු හෝ දැනුම් සේවා දියුණු වූ පමණට හෝ රටක ප‍්‍රශ්න විසඳෙන්නේ නැහැ. නවීන ලෝකයේ රටක ඉදිරි ගමනට තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණයන් අත්‍යවශ්‍ය බව සැබෑවක්. එහෙත් ඒවා නිසි දැක්මක්, සැළැස්මක් හා ප‍්‍රතිපත්ති රාමුවක් තුළ ප‍්‍රවර්ධනය වීම ඉතා වැදගත්. එසේ නැති විට වඳුරන් අතට පත් දැලිපිහිය වැනි අවදානමක් මතු විය හැකියි.”

තොරතුරු හා සන්නිවේදන ක්‍ෂෙත‍්‍රවල ප‍්‍රාඥයකු වූ ශී‍්‍රමත් ආතර් සී ක්ලාක් මේ අදහස පළ කළේ මීට දශක දෙකකට පමණ පෙරයි. එදාටත් වඩා මෙය අද ශී‍්‍ර ලංකාවට අදාල යයි මා සිතනවා.

තාක්‍ෂණයේ හා වෙළඳපොල ආර්ථිකයේ ඉදිරි ගමන නිසා තොරතුරු හා සන්නිවේදන සේවා රැසක සේවය ලැබී ඇති මේ යුගයේ පොදු උන්නතිය, ජාතික සංවර්ධනය හා සමාජ සමානාත්මතාවය උදෙසා අප කෙසේ නම් මේවා යොදා ගත යුතුද? එහිලා රජය, විද්වතුන්, පෞද්ගලික අංශය හා සිවිල් සමාජය සතු වගකීම් මොනවාද?

තොරතුරු තාක්‍ෂණයන් මෙරට ප‍්‍රචලිත වීම හරහා කෙමෙන් මෙරට තොරතුරු සමාජයක් (information society) ස්ථාපිත වීම දශක ගණනාවක් තිස්සේ සිදු වෙමින් පවතින සමාජයීය පරිනාමයක්. 1925දී රේඩියෝ විකාශයන් ඇරඹීම හා 1976දී පාදුක්කේ චන්දිකා සන්නිවේදන මධ්‍යස්ථානය පිහිටුවීම වැනි මංසළකුණු හරහා සෙමෙන් ඉදිරියට ආ එම ප‍්‍රවාහය වඩාත් වේගවත් වුයේ 1979දී ටෙලිවිෂන්, 1989දී ජංගම දුරකථන සේවා හා 1995දී ඉන්ටර්නෙට් ආගමනයෙන් පසුවයි.

මුලින් සීමිත පිරිසකට ග‍්‍රහණය වූ මේ සන්නිවේදන සේවා කල් යාමේදී වැඩි ජන සංඛ්‍යාවක් භාවිත කරන එදිනෙදා තොරතුරු සේවා බවට පත් වූවා. තාක්‍ෂණය ඉක්මවා යන සාංස්කෘතිකමය, සමාජයීය හා දේශපාලන බලපෑම් මේ හරහා ජනිත වී තිබෙනවා.

තොරතුරු තාක්‍ෂණ මෙවලම්වලට වඩා වැඩි අවධානයක් අප යොමු කළ යුත්තේ ඒ හරහා බිහි වන තොරතුරු සමාජය ගැනයි. එය හුදෙක් පරිගණක, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වලට වඩා පුළුල් සමාජීය සංසිද්ධියක්.

Planet Info

මෙය උපමිතියකින් පහදා දිය හැකියි. නාගරික හා අර්ධ නාගරික පෙදෙස්වල ජලය බෙදා හැරීමට ජලාශ, ටැංකි, විශාල නල හා කුඩා නල වශයෙන් ජලප‍්‍රවාහන පද්ධතියක් තිබෙනවා. ගංගාවලින් ලබා ගත් ජලය යම් පිරිසිදු කිරීමකින් පසු නිවෙස් වෙත ගලා එන්නේ මේ හරහායි.

තොරතුරු තාක්‍ෂණ ජාලයන් මීට වඩා බෙහෙවින් සංකීර්ණ බව සැබෑයි. එහෙත් මේ අවස්ථා දෙකෙහිදීම වඩා වැදගත් වන්නේ පද්ධතියේ භෞතික හෝ තාක්‍ෂණික කි‍්‍රයාකාරිත්වය නොව නොකඩවා ජලය/තොරතුරු ලැබේද හා එය භාවිතයට සුදුසු ද ආදී සාධකයි.

ජලප‍්‍රවාහන පද්ධති මෙන් නොව සන්නිවේදන පද්ධතිවල දෙපසටම තොරතුරු ගලනය සිදු වනවා. එසේම වාරණයක්, අවහිරයක් හෝ විකෘති කිරීමකින් තොරව තොරතුරු ලැබීමේ හා බෙදා ගැනීමේ මුලික අයිතිවාසිකම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවල සියලූ දෙනාට තිබෙනවා. මෙය සහතික කිරීම රජයන්ගේ වගකීමක්.

තොරතුරු සමාජ ප‍්‍රගමනයට රාජ්‍ය මට්ටමින් ගත යුතු ප‍්‍රතිපත්ති හා නියාමන කි‍්‍රයාමාර්ග තිබෙනවා. ආර්ථික උපමිතියකින් කිව හොත් තොරතුරු සමාජයේ ප‍්‍රගමනයට රජයක් විසින් ගත යුතු ප‍්‍රතිපත්ති හා නියාමන යනු ‘තොග මට්ටමේ’ මැදිහත්වීම් වැනියි.

‘සිල්ලර මට්ටමේ’ යයි කිව හැකි ටෙලිකොම් සේවා පවත්වා ගෙන යාම, සන්නිවේදන කේන්ද්‍ර (නැණසල හෝ ටෙලිසෙන්ටර්) පිහිටුවීම හා නඩත්තුව ආදිය වෙළඳපොලට භාර කළ යුතුයි. නිසි නියාමනයකින් යුතුව, දේශපාලන ඇගිලි ගැසීම්වලින් තොරව සන්නිවේදන තාක්‍ෂණයන් රටක පවතින විට පෞද්ගලික අංශය ආයෝජනය කිරීමට ඉදිරිපත් වනවා.

තොරතුරු සමාජයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පාදනය භෞතික ලොව මහාමාර්ග, ජලප‍්‍රවාහන පද්ධති ආදියට වඩා වෙනස්. රජයන් මෙහි සම්පුර්ණ බරපැන දරනවා වෙනුවට එය බොහෝ දුරට වෙළඳපොල ප‍්‍රවාහයන්ට භාර කැරෙනවා. 1990 දශකය මැදදී චන්ද්‍රිකා රජය යටතේ සිදු කළ දුරදක්නා ටෙලිකොම් නියාමන ප‍්‍රතිපත්ති තීරණ හා ප‍්‍රතිසංස්කරණ නිසා මෙරට දුරකථන හා තොරතුරු තාක්‍ෂණ ක්‍ෂෙත‍්‍රයන් විශාල වර්ධනයක් හා ජවයක් ලැබුවා.

එසේම පෞද්ගලික අංශයේ ආයෝජන හරහා වැඩිපුරම මේ ක්‍ෂෙත‍්‍රයේ වර්ධනය හා ව්‍යාප්තිය සිදු වූ අතර රජයට පැවරුණු ලොකු වගකීම වුයේ ක්‍ෂෙත‍්‍රය නිසි ලෙස නියාමනය කිරීමයි. තරගකාරිත්වය හරහා සාපේක්‍ෂව අඩු මුදලකට වැඩිපුර දුරකථන ඇමතුම් හා දත්ත (ඉන්ටර්නෙට්) සන්නිවේදන සේවා ලබා ගැනීමට හැකි වීම මේ නියාමනයේ තවමත් අප අත් විඳින ප‍්‍රතිඵලයක්.

නුතනත්වයට පිවිසි බොහෝ රටවල ආණ්ඩු තව දුරටත් (ස්ථාවර හෝ ජංගම) දුරකථන සේවා පවත්වා ගෙන යනවා වෙනුවට කරන්නේ නිසි නියාමනය හරහා පාරිභෝගිකයන් රැකීමයි. සැබැවින්ම සමාජයට අහිතකර පරිගණක වයිරස, සයිබර් ආක‍්‍රමණ ආදී ප‍්‍රවණතාවලට ඉක්මන් ප‍්‍රතිචාර දැක්වීමයි.

නිසි දැක්මක් හා නිරවුල් ප‍්‍රතිපත්ති රාමුවක් ඇති ආණ්ඩුවකින් තොරතුරු සමාජයේ ප‍්‍රගමනයට වැඩිපුරම අවශ්‍ය වන්නේ මේ ආකාරයේ ‘තොග’ මට්ටමේ දායකත්වයයි. නමුත් පසුගිය දශකය තුළ අදාල රාජ්‍ය ආයතන බොහෝ දුරට කර ඇත්තේ ‘සිල්ලර’ මට්ටමේ වැඩයි.

තොරතුරු තාක්‍ෂණ ඒජන්සිය හෙවත් ICTA ආයතනය මීට දශකයකට පමණ පෙර පිහිටුවනු ලැබුවේ මෙරට තොරතුරු සමාජය ප‍්‍රචලිත වීමට අවශ්‍ය මග පෙන්වීම හා ජවය ලබා දීමටයි. එහෙත් එ වෙනුවට ICTA ආයතනය හුදෙක් නැණසල පිහිටුවීම හා රාජ්‍ය වෙබ් අඩවි නඩත්තුව ආදි සංදර්ශනාත්මක මට්ටමේ වැඩවලට බොහෝ දුරට සීමා වී සිටිනවා. ‘සිල්ලර’ කි‍්‍රයාවලට මුල් තැන දෙමින් දේශපාලන ව්‍යාපෘතියකට පිවිසීම නිසා ICTA පිහිටුවීමේ අරමුණු සාක්‍ෂාත් කර ගෙන නැහැ.

උදාහරණයකට සිංහල හා දෙමළ භාෂාවලින් පරිගණක මෘදුකාංග හා ජංගම දුරකථන app තැනීමේදී මතු වන තාක්‍ෂණික ප‍්‍රමිතිකරණ ප‍්‍රශ්න ආදියට රාජ්‍ය මට්ටමින් විසදුම් දිය හැකිව තිබූ නමුත් ICTA එම වගකීම් ඉටු කොට නැහැ.

මේ නිසා එක්කො නිසි දැක්මක් හා වඩාත් පුලූල් වගකීම් හා ඉලක්ක සමඟ ICTA ආයතනය ප‍්‍රතිව්‍යුහකරණය කළ යුතුයි. නැතිනම් භාණ්ඩාගාරයේ මහජන මුදල් හා විදේශ ආධාර මුදල් කා දමන මේ අකාර්යක්‍ෂම ආයතනය වසා දැමිය යුතුයි.

විදුලිසංදේශ නියාමන කොමිසම (TRC) තොරතුරු සමාජය බිහි කිරීමට ඉතා ඉහළ වගකීමක් දරණ අනෙක් ආයතනයයිග එහි ද පසුගිය දශකයේ සිදුව ඇත්තේ තාක්ෂණික මූලධර්ම මත පදනම් වූ සුසාධ්‍ය කිරීම (facilitate) වෙනුවට හුදෙක් දේශපාලන සාධක හා තීරණ මත නව මාධ්‍ය හැසිරවීමට තැත් කිරීමයිග

නියාමනය සම්බන්ධයෙන් කළ යුතු හා නොකළ යුතු දේ තිබෙනවා. නියාමකයාගේ වගකීම තොරතුරු ප්‍රවාහන පද්ධතිය මනා සේ ක්‍රියා කරන බවට සහතික වීමයිග එසේ නැතිව තොරතුරු තාක්‍ෂණ පද්ධති හරහා ගලා යන අනේකවිධ තොරතුරු හා අදහස් අනිසි ලෙස අවේක්ෂණය (surveillance) කරමින් සෘජු හෝ වක‍්‍ර ලෙසින් එම ප‍්‍රවාහයන් වාරණය කිරීම නොවෙයි.

2007 සිට විදුලිසංදේශ නියාමන කොමිසම කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව හිතුමතයට සමහර වෙබ් අඩවිවලට මෙරට තුළ සිට පිවිසීම අවහිර කිරීමට ටෙලිකොම් සමාගම්වලට නොනිල මට්ටමින් අණ දෙමින් සිටිනවා.

2007දී ටැමිල්නෙට් (TamilNet.com) අවහිර කිරීමේ ඇරැඹි මේ විපරීත කි‍්‍රයාදාමය පසුව දේශපාලන තොරතුරු හා විකල්ප අදහස් රැගත් වෙබ් අඩවි රැසක් අවහිර කිරීම දක්වා පැතිර ගියා. මෙරට දුරකථන හා දත්ත සන්නිවේදන සේවා සපයන ටෙලිකොම් සමාගම් තමන්ගේ බලපත‍්‍රය රැක ගැනීමේ බියෙන් කොමිසම වාචිකව දෙන නියෝග පවා කිසිදු ප‍්‍රශ්න කිරීමකින් තොරව කි‍්‍රයාත්මක කරනවා.

නව රජය මෙය නොකරන බව කියා ඇතත් ක්‍රමයේ වෙනසක් නොකරන තාක් කල් දේශපාලක හා නිලධාරි බලයට ටෙලිකොම් සමාගම් නතු වීමේ අවදානම දිගටම තිබෙනවා.

මේ නිසා ක්‍රමය වහාම වෙනස් විය යුතුයි. යුක්තියුක්ත සමහර අවස්ථාවල යම් වෙබ් අඩවි අවහිර කිරීමේ අභිමතය ආණ්ඩුවලට තිබෙනවා. එහෙත් ශිෂ්ඨ සමාජවල වෙබ් අඩවි වාරණය කරන්නේ අධිකරණ නියෝග හරහා පමණයි. එබදු රටවල තර්කානුකූල හේතුවක් නිසා පිවිසීම අවහිර කළ වෙබ් අඩවිවල නිල ලැයිස්තුවක් පවත්වා ගන්නවා.

එසේම ටෙලිකොම් බලපත‍්‍ර මෙන්ම ටෙලිවිෂන් හා රේඩියෝ විකාශ සඳහා බලපත‍්‍ර දීමේ පාරදෘශ්‍ය හා නිසි ක‍්‍රමවේදයක් ඇති කළ යුතුයි. එවිට හොර පාරෙන් දෙන අනියම් නියෝග නිලධාරින්ට බියේ කි‍්‍රයාත්මක කිරීමට ටෙලිකොම් සමාගම්වලට මෙතෙක් පැවැති දැවැන්ත පීඩනය සමනය වනවා. මෙය අත්‍යවශ්‍ය හදිසි පියවරක්.

රාජ්‍ය මට්ටමමේ (තොග මට්ටමේ) ප‍්‍රතිපත්ති හා නියාමන කටයුතු වලට තොරතුරු තාක්‍ෂණ ඒජන්සියත් විදුලි සංදේශ නියාමන කොමිසමත් සිය මැදිහත් වීම් සීමා කර ගැනීම හරහා ‘සිල්ලර’ මට්ටමේ කි‍්‍රයා වෙළඳ පොල ප‍්‍රවාහයන්ටත් පෞද්ගලික මට්ටමේ නවෝත්පාදනයටත් ඉතිරි වනවා. වෙනත් ආසියානු රටවල් තොරතුරු තාක්‍ෂණය හා තොරතුරු සමාජය සම්බන්ධයෙන් දියුණුවට පිය නැගුවේ මෙබදු රාමුවක් තුළයි.

අපේ රටේ ආණ්ඩු හැම දෙයම කිරීමේ යල් පැන ගිය හා අවදානම් සහගත සම්ප්‍රදාය නතර කළ යුතුයි!

Digital communications