සිවුමංසල කොලූගැටයා #54 කුස්සියේ දුම් පටලයෙන් ඔබ්බට…

The ‘gas chamber’ in every home that rarely draws any attention!

In this week’s Ravaya column, I look at indoor air pollution. This is often a neglected environmental and health issue caused mostly by inefficient cooking stoves that burn biomass. This affects mostly housewives and children who are exposed to kitchen smoke from poor ventilation and badly designed stoves.

In India, smoke from firewood use is estimated to cause half a million premature deaths every year. Studies indicate that indoor air can have more damaging impacts that outdoor air pollution in even some of the most polluted cities. People spend as much as 90% of their time indoors.

The numbers for Sri Lanka are not known, but it is wideapread. We look at not only the extent of the problem, but also attempts to reduce it — through a new fuel efficient cooking stove now on the market, and by improving kitchen ventilation. I cite the example of the rural community in Aranayake, off Mawanella, in Sri Lanka’s Kegalle district where Integrated Development Association (IDEA) has introduced a kitchen improvement project.

අප කන සැටි ලිපා දනී!

මේ අප අතර ප‍්‍රචලිත කියමනක්. උග‍්‍ර වන ජීවන වියදමත් සමග නිතර සිහියට එන කථාවක්. මුළුතැන්ගෙයි ලිප හෙවත් උදුන එතරම් ම අපේ එදිනෙදා ජීවිතයට සමීපයි. අප බොහෝ දෙනකු දිනකට එක් ආහාර වේලක්වත් ගෙදර පිස ගන්නවා. ඊට අමතරව වතුර උණු කරන්නට, බෙහෙත් සිඳ ගන්නට නැතුව ම බැරි උදුනල අප නොදැනුවත්ව අපේ සෞඛ්‍යයට හානි කළ හැකියි. අද කථා කරන්නේ ඒ ගැනයි.

ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කළ 2009/2010 ගෘහස්ත ඒකක ආදායම් හා වියදම් සමීක්‍ෂණයට අනුව මෙරට නිවෙස්වලින් සියයට 80ක් තවමත් ආහාර පිසීමට ඉන්ධන හැටියට යොදා ගන්නේ දර. (දීපව්‍යාප්ත මට්ටමින් ඉතිරියෙන් සියයට 16ක් LP ගෑස් ද සියයට 2.5ක් භූමිතෙල් ද භාවිත කරනවා. නාගරික ප‍්‍රදේශවල දරවලට වඩා ගෑස් භාවිතයක් තිබෙනවා. වතුකරයේ සියයට 97ක් යොදා ගන්නේ දරයි.) මෙරට ගෘහස්ත ඒකකයක් මාසයකට දර කිලෝ 19.38ක් මිළට ගන්නට රු.104.51ක් වැය කරන බව මේ සමීක්‍ෂණයේ සාමාන්‍ය අගය ලෙස සොයා ගෙන තිබෙනවා. (www.tiny.cc/HIES910)

මේ සංඛ්‍යා දැන් යම් තරමකට වෙනස් වී තිබිය හැකි වුවත් මෙරට බහුතරයක් තවම දර උදුන යොදා ගන්නා බව පැහැදිලියි. ඉන්ධන හා බලශක්ති ගැන කථා කරන විට කාගේත් සිහියට එන්නේ ඛණ්ජතෙල් හා විදුලි බලයයි. එහෙත් මෙරට සමස්ත බලශක්ති භාවිතය සැළකිල්ලට ගත් විට (Primary Energy Supply) සියයට 48ක් ලබා ගනුයේ ජෛව ඉන්ධන (biomass) ප‍්‍රභවයන්ගෙන්. එහි බහුතරයක් ආහාර පිසීමට දර භාවිතය.

මිලියන් 4ක් පමණ නිවෙස්වල සිදුවන විමධ්‍යගත ඉන්ධන භාවිතයක් නිසාත්, එය වැඩිපුර ග‍්‍රාමීය ප‍්‍රවණතාවක් නිසාත් ඒ ගැන පර්යේෂණ හා විමර්ශන සිදුවන්නේ මඳ වශයෙන්. පර්යේෂකයන්ගේ හා ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ අවධානය එතරම් යොමු වන්නේ ද නැහැ. මෙරට ජෛව ඉන්ධන නැණවත් ලෙස යොදා ගැනීම ගැන වෙනම කථා කළ යුතුයි. අද අප කථා කරන්නේ ගෙදරදොරේ දර ලිපෙන් ආහාර පිසින විට සිදු වන අභ්‍යන්තර වාත දූෂණය (indoor air pollution) ගැනයි.

වාහන හා කර්මාන්ත ශාලාවලින් පිටවන දුමාරයෙන් ඇති වන වාත දූෂණය ගැන අප මීට පෙර විග‍්‍රහ කළා. එහෙත් එයටත් වඩා සමීප හා අහිතකර බලපෑමක් ඇති කරන්නේ කුස්සියේ උදේ සවස ඇති වන වාත දූෂණයයි.

සාම්ප‍්‍රදායික දර ලිප දියුණු කිරීමකින් තොරව වසර දහස් ගණනක් තිස්සේ  භාවිත වෙනවා. මෙය බොහො දියුණු වන රටවල පවතින තත්ත්වයක්. දර ලිපෙන් කෑම පිසින බිලියන් 3ක් (මිලියන් 3,000 ක්) ලෝකයේ සිටිනවා.

දර ලිප අකාර්යක්‍ෂමයි. එයට යොදන දරවල තාපයෙන් සියයට 90ක් ම අපතේ යනවා. ඒ අතර අසම්පූර්ණ දහනය නිසා හට ගන්නා දුමෙන් විවිධාකාර සෞඛ්‍ය ප‍්‍රශ්න ඇති කරනවා. දර දහනයේදී තරමක වාත දූෂණයක් ඇති වීම වළක්වන්නට බැහැ. විදුලිබලය හා ගෑස් තරම් පවිත‍්‍ර හා කාර්යක්‍ෂම දහනයක් දරවලින් ලබා ගන්නටත් අමාරුයි. එසේ වූවත් බහුලව භාවිතයේ ඇති අකාර්යක්‍ම හා දූෂණකාරක උදුන සෑහෙන දුරට දියුණු කළ හැකියි.

පේරාදෙනිය සරසවියේ රසායන විද්‍යා මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම කියන්නේ සෑම දර කිලෝග‍්‍රෑම් එකකින් ම දහනයේදී කාබන් මොනොක්සයිඞ් ග‍්‍රෑම් 370ක් හා විවිධ රසායනික සංයෝග විශාල සංඛ්‍යාවක් පිට වන බවයි. මේ අතර පිළිකා ජනක සංයෝග ද තිබෙනවා. දරවලින් පිසීමේ කිසිදු වරදක් නැතත්, දර උදුන් භාවිතයේදී හැකි තරම් වාතාශ‍්‍රය ලැබෙන තැනක එය කිරීම ඉතා වැදගත් බව ඔහු කියනවා. (මේ අවවාදය දර උදුන්වලට පමණක් නොවෙයි, භූමිතෙල් හා ගෑස් උදුන්වලටත් අදාලයි.)

දර දුමාරයේ බහුලව අඩංගු වන්නේ ප‍්‍රකෘති ඇසට නොපෙනෙන තරම් කුඩා, වාතයේ පාවන අංශුයි (Suspended Particulate Matter හෙවත් SPM). ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති ආකාරයට මේ අංශු ශරීර ගත වීමේ දිගු කාලීන විපාක ලෙස රෝගී වන හා අකලට මිය යන සංඛ්‍යව ලෝක මට්ටමින් මිලියන් 2ක් පමණ වනවා. දුගී ජනයාගෙ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපාන ප‍්‍රධාන සාධක 5 අතර දර ලිපේ වාත දූෂණය ද වනවා. බෙහෙවින් ම පීඩාවට පත් වන්නේ කාන්තාවන් හා දරුවන්.

කුස්සියේ වාත දූෂණය වින කරන්නේ පෙනහළුවලට හා ශ්වසන මාර්ගයට පමණක් නොවෙයි. දුම් පිරුණු, හරිහැටි වාතාශ‍්‍රය නැති කුස්සිවල දිග කාලීනව වැඩ කිරීමෙන් ඇසේ සුද ඇතිවීම, හෘදයාබාධ, පෙනහළු පිළිකා ආදිය ද හටගත හැකියි. දරවලින් වැඩි ප‍්‍රමාණයක් අපතේ යාම දිගු කාලීනව දර හිග වීමට හා ඒවා ලබා ගන්නා කැලෑබද ප‍්‍රදේශ වඩ වඩාත් හෙළි කිරීමට ද දායක වනවා. දර කඩා ගැනීමට දවසේ පැය ගණනක් ගත කිරීමට ද ගම්බද කාන්තාවන්ට සිදුවනවා.

මේ සියළු හේතු නිසා වඩාත් අරපිරිමැසුම් දායක හා පිවිතුරු දර උදුනක් සැළසුම් කිරීමේ හා ප‍්‍රවර්ධනය කිරීමේ අභියෝගයක් පවතිනවා. මේ අභියෝගය හදුනාගෙන දශක කිහිපයක් ගත වී ඇතත් ගෘහනියන් අතර පිළිගැනීමට ලක් වන විධියේ දියුණු කළ දර උදුනක් තවමත් වෙළඳපොලට පැමිණ නැහැ.

දර ප‍්‍රමිතිගත කළ හැකි ඉන්දනයක් නොවෙයි. එය සමාජ ආර්ථික සාධක මෙන් ම සංස්කෘතියට හා චර්යා රටාවලට ද බැදී පවතින දෙයක්. ‘දර’ යටතේ ලොකු කුඩා ලී කැබලි, කෝටු, හනසු, පොල්කටු, වේලාගත් ගොම රිටි ඇතුළු විවිධ ජෛවීය ද්‍රව්‍ය දහනය කරනු ලබනවා. දර උදුනක් වැඩි දියුණු කිරීමේදී මේ විවිධාකාර ඉන්ධන සඳහා එය යෝග්‍ය විය යුතුයි. නව නිපැයුම්කරුවන් මේ යථාර්ථය හදුනාගත යුතුයි.

Anagi stove – trying to improve an ancient practice

සාම්ප‍්‍රදායික දර උදුන නිසා වාත දූෂණයට අමතරව රස්නය මුහුණ ඇතුළු ශරීරයට වැදීම, භාජනය හා අවට දැලිවලින් අපිරිසිදු වීම හා පිඹීම අවශ්‍ය වීම වැනි අතුරු ප‍්‍රශ්න ද තිබෙනවා. මේ අවාසි ඉවත්කොට, ඉහළ කාර්යක්‍ෂම බවක් ලබාදෙන දර අරපිරිමසින අතරම දුම අඩු කරන නව දර උදුනක් පසුගියදා මගේ ‘මාලිමා’ ටෙලිවිෂන් වැඩසටහනෙන් දැක ගන්නට ලැබුණා. කලක් තිස්සේ නව නිපැයුම් රැසක් මෙරටට හදුන්වා දී ඇති නිරංජන් වීරකෝන්ගේ නිෂ්පාදනයක් වන මෙය LAKRO වෙළඳ නාමයෙන් දැන් වෙළඳපොලේ අලෙවි කැරෙනවා.

සාම්ප‍්‍රදායික දර උදුනේ දුරවලතා රැසක් මග හරවා ගත් මේ නව උදුන සඳහා අඩියක් පමණ දිගට කපා ගත් දර කැබලි හතරක් අවශ්‍ය වනවා. දර අඩු ප‍්‍රමාණයක් වැය වන, පිඹීමට අවශ්‍ය නැති, මුළුතැන්ගෙය අපිරිසිදු නොකරන හා ක‍්‍රියාකාරීත්වයේ ආරක්‍ෂාව ඇති මේ නව දර උදුන පහසුවෙන් තැන තැන ගෙන යාමටත් හැකියි.

නිරංජන්ට අමතරව මෙරට වඩාත් ප‍්‍රශස්ත දර උදුන් හදුන්වා දීම සිදු කළ අවස්ථා හා උත්සාහයන් ගණනාවක් තිබෙනවා 1970 දශකයේ සිට ප‍්‍රවර්ධනය කළ ‘අනගි’ උදුන රාජ්‍ය අංශයේ ද මැදිහත් වීමක් තිබූ නිපැයුමක්. 2008 වසරේ මා විධායක නිෂ්පාදනය කළ ‘2048 ශ්‍රී ලංකාව’ ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකදී (http://tiny.cc/SLAir) අප වාත දුෂණය ගැන කථා කරද්දීත් එය ඉස්මතු කළා.

මහනුවර කේන්ද්‍ර කරගෙන ක‍්‍රියාත්මක වන ඒකාබද්ධ සංවර්ධන සංගමය (IDEA) මගින් අනගි හදුන්වා දුන්නා. කෑගල්ල, අරණායක ගම්මානයේ මෙය කර ගෙන යන්නේ ගැමි කාන්තාවන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට සහය දෙන ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ මැදිහත්වීමෙන්.

“මුල් කාලයේදී ගෙවල්වල ළමයින්ට තිබුණු හෙම්බිරිස්සාව වගේ තත්ත්වයන් නිතර බෙහෙත් ගේන්න ගිය තත්ත්වයන් බොහොමයක් දැන් අඩු වෙලා තියෙනවා,” යයි ප‍්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ දමයන්ති ගොඩමුල්ල කියනවා.

චිමිනියක් සහිතව හදුන්වා දුන් මෙම ‘අනගි’ උදුනෙන් ආහාර පිසීම කාන්තාවන්ට අලූත් අත්දැකීමක්. සීතා පද්මිණී ගෘහණිය කියන්නේ “ඉස්සර කුස්සිය ඉතින් අපි අඩ අඩා වගේ තමයි උයා ගත්තේ…දැන් ඉතින් දුම ඇතුලට එන්නේ නෑ. චිමිනියෙන් යනවා.”

ඒකාබද්ධ සංවර්ධන මධ්‍යස්ථානයේ ආර් එම් අමරසේකර කියන හැටියට, “දර භාවිතය අඩුවන අතර ම මේ නව උදුන නිසා ඉවීමට ගතවන කාලයත් බාගයකින් පමණ අඩු වනවා. මේ නිසා දුමෙන් බේරීමට මුළුතැන්ගෙයි සිටින අඩු කාලයත් උදවු වනවා.”

ස්වේච්ඡ සංවිධානයක් හැටියට IDEA තමන්ට හැකි පරිදි මේ ප‍්‍රශ්නයට විසදුම් දෙනවා. දිස්ත‍්‍රික් 20ක නියාමක මුළුතැන්ගෙවල් පිහිටුවා මේ සංකල්පය ලක් සමාජයේ ප‍්‍රචලිත කිරීමට ඔවුන් ක‍්‍රියා කරනවා. ගෘහස්ත වාත දූෂණය පිටුදැකීමට නම් වඩාත් කාර්යක්‍ෂම දර උදුන් භාවිතයට ගන්නා අතර මුළුතැන්ගෙයි සැළසුම හරිහැටි නිර්මාණය කර ගැනීමත් වැදගත්. (http://ideasrilanka.org)

“වාහනවල දූෂණය ගැන බොහෝ දෙනා කථා කරනවා. එහෙත් ඒවායේ දූෂණයටත් වඩා දැඩි සේ බලපාන ගෘහස්ත වාත දූෂනයට වැඩිපුර ම මුහුණ දෙන්නේ කාන්තාවන්!” අමරසේකර කියනවා.

මුළුතැන්ගෙයි කාර්යක්‍ෂමතාවයට එහි පිළිවෙලත් බලපානවා. බඩුබාහිරාදිය තබන රාක්ක ආදිය නිවැරදිව ස්ථානගත කිරීම ප‍්‍රයෝජනවත්. උදුන අසල ඇති විවෘත ජනේලයත්, බිත්ති සහ වහළ අතර ඇති ඉඩත් මුළුතැන්ගෙට හොඳ වාතාශ‍්‍රයක් ගෙන එනවා.

පුරාණ කාලයේ ගෘහ සැළසුම්වල දර කුස්සිය තනනු ලැබුවේ ප‍්‍රධාන නිවසට පිටතින්. එහෙත් අද සීමිත ඉඩක නිවාස හදන විට එසේ කිරීම ප‍්‍රායෝගික නැහැ. එහෙත් ගෘහනිර්මාණ ශිල්පීන්ගේ පටන් සැවොම මේ සාධකය සැළකිල්ලට ගත යුතුයි.

“දැන් කාලයේ ගෘහ සැළසුම් කිරීමේදී කුස්සිවලට කුඩා ජනේලයකුත් විසිත්ත කාමරයට විශාල ජනේලත් යොදනවා. මගේ අදහස නම් විශාල ජනේල් අවශ්‍ය කුස්සිවලටයි. කිසි විටෙකත් ජනෙල් වසා ගෙන උදුන් භාවිත නොකළ යුතුයි.” මහාචාර්ය ඉලේපෙරුම අවධාරණය කරනවා.

ගෘහස්ත වාත දූෂණය ගැන බොහෝ සාකච්ඡ සීමා වී ඇත්තේ සිගරට් හා බීඩි දුම් පානය නිසා ඇති වන ද්විතියික දූෂණයට (secondary smoking). කලක් තිස්සේ දැනුවත් කිරීම හා නීති තදකිරීම නිසා දුම්බීමේ ප‍්‍රවණතා යම් තරමකට පාලනය වී ඇතත්, මුළුතැන්ගෙයි නිතර දෙවේලේ සිදු වන හානිකර වාත දූෂණය ගැන සිතන්නේ කීයෙන් කී දෙනා ද?

Advertisements