සිවුමංසල කොලුගැටයා #281: සූර්යබල සංග්‍රාමය සාර්ථක වීමට නම්….

Soorya Bala Sangramaya - සූර්යබල සංග්‍රාමය Image courtesy Ministry of Power and Renewable Energy, Sri Lanka

Soorya Bala Sangramaya – සූර්යබල සංග්‍රාමය Image courtesy Ministry of Power and Renewable Energy, Sri Lanka

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 28 August 2016), I applaud the Sri Lanka government’s new solar power generation programme, and suggest ways in which it can be made more effective in securing energy independence of the nation.

The global trend, especially for domestic and small scale electricity users, is towards decentralized and distributed energy systems. In this scenario, users generate power on site, tapping into renewable sources available locally.

How can our tropical island plug into the sun, wind, trees and the ocean to meet more of our energy needs? Why don’t renewable energies produce a larger share of our energy mix? Who or what are the bottlenecks? I discuss these and other related issues in the column this week.

Self-generating electricity from renewables is slowly picking up, partly encouraged by the introduction in 2009 of net metering. This allows private individuals or companies to “sell” their surplus power to the national grid (the transaction happens in kind, not cash). A two-way electricity meter enables this process.

In August 2016, the Cabinet approved a community based solar power generation programme. Known as “Soorya Bala Sangramaya” (Battle for Solar Energy), it is expected to make at least 20% of electricity consumers to also generate electricity using solar panels – they will be able to sell their excess to the national grid under a guaranteed tariff.

Announcing the Cabinet decision, the government said: “Currently 50% of electricity production in Sri Lanka is done by renewable energy sources and it is expected to increase this percentage to 60% in 2020 and to 70% in 2030. Accordingly, it is required to build wind power plants of 600 MW and solar power plants of 3,000 MW within the next 10 years. It is expected to join consumers in power generation and to promote small solar power plants established on the roof of their houses by the project called ‘Soorya Bala Sangramaya’. It is expected to make at least 20% of consumers to produce electricity and it is expected pay for the excess electricity generated by the consumer.”

Read government document: Implementation of a community based power generation program “Soorya Bala Sangramaya” (Battle for Solar energy) to purchase electricity generated by the electricity customers

සූර්යබල සංග්‍රාමය සාර්ථක වීමට නම්.... http://ravaya.lk/?p=16851

සූර්යබල සංග්‍රාමය සාර්ථක වීමට නම්…. http://ravaya.lk/?p=16851

ජාතික රජයේ හැම ප්‍රතිපත්තියක්ම මා විවේචනය කරනවාදැයි මගේ පාඨකයෙක් ගිය සතියේ ඇසුවා. පොදු උන්නතිය වෙනුවෙන් බොහෝ දේ ප්‍රශ්න කළත් වැරදි සොයා ගෙන යාම මගේ අරමුණ නොවෙයි.

රජයට වසරක් පිරීම නිමිත්තෙන් මගේ අදහස් විමසූ එක් මාධ්‍ය ආයතනයකට මා කීවේ යහපත් ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග රැසක් කෙටි කලක් මේ රජය තුළ ගෙන ඇතත් ඒවා රටට සන්නිවේදනය කිරීම දුර්වල බවයි.

වන්දිභට්ටකරණය වෙනුවට තර්කානූකූලව හා නිර්මාණශීලීව සමාජය හා බෙදා ගත හැකි බොහෝ තොරතුරු රාජ්‍ය ආයතන තුළ සැඟවී තිබෙනවා.

රටේ බලශක්ති ප්‍රතිපත්තිය හා ප්‍රවේශය නවීකරණය කිරීම මෙවන් යහ ප්‍රවනතාවක්. පිටරටින් ගෙනෙන ඛණිජ තෙල් හා ගල් අඟුරු මත දැඩි ලෙස යැපීම වෙනුවට බලශක්ති ප්‍රභව විවිධාංගීකරණයකට යොමු වෙමින් තිබෙනවා. මෙය දිරිමත් කළ යුතුයි.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය සූර්යබල සංග්‍රාමය නම් ව්‍යාපෘතියක් දියත් කොට තිබෙනවා. රටේ නිවාස දස ලක්ෂයකට සූර්ය බලය හරහා විදුලි ජනනය කිරීමේ හැකියාව ලබා දීම මෙහි අරමුණයි.

මේ ගැන 2016 අගෝස්තු 16 වනදා කැබිනට් තීරණ පිළිබඳ මාධ්‍ය ප්‍රකාශනයේ මෙසේ සඳහන් වූණා.

දැනට ශ්‍රී ලංකාවේ විදුලිබල නිෂ්පාදනයෙන් 50%ක පමණ ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව මඟින් නිෂ්පාදනය කෙරෙන අතර, එම ප්‍රමාණය 2020 වන විට 60%ක් දක්වාද, 2030 පමණ වන විට 70%ක් දක්වාද වැඩි කිරීම රජයේ අපේක්ෂාවයි. මේ අනුව ඉදිරි වසර 10 ඇතුළත මෙගාවොට් 600ක පමණ සුළං බලාගාරද, මෙගාවොට් 3,000ක පමණ සූර්ය බලාගාරද ඉදි කිරීම අවශ්‍ය වේ.

 “මෙහිදී විදුලි පාරිභෝගිකයන්ද විදුලි නිෂ්පාදකයින් වශයෙන් විදුලි ජනන ක්‍රියාවලියට සම්බන්ධ කර ගනිමින් විශේෂයෙන්ම තම නිවෙස්වල වහල මත ඉදි කෙරෙන කුඩා සූර්ය බලාගාර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් සූර්ය බල සංග්‍රාමයනමින් ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

 “මේ යටතේ විදුලි පාරිභෝගිකයින්ගේ 20%ක්වත් විදුලි නිෂ්පාදකයින් බවට පත් කිරීමට අපේක්ෂිත අතර, නිෂ්පාදනය කරනු ලබන අතිරික්ත විදුලිය සඳහා ගෙවීම් කිරීමටද නියමිතය.

බලශක්ති සන්සදය කියන හැටියට නිවෙස් මට්ටමේ සූර්ය බලය භාවිත කරන නිවාස ලක්ෂයකට වඩා දැනටමත් මෙරට තිබෙනවා.

1980 දශකය මැද පටන් මෙරට සූර්ය තාක්ෂණය ප්‍රවර්ධනය කරනු ලැබුවේ එවකට ජාතික විදුලි ජාලය අහලකටවත් නොපැමිණි දුර බැහැර ප්‍රදේශවල ජනයාට යම් මට්ටමක (ආලෝකයට මූලික වූ) විදුලිබලයක් ලබාදීමටයි. අද යථාර්ථය මීට වෙනස්.

විදුලිය නැති නිවෙසකට එය ලබා දෙන්නට සූර්ය කෝෂවලට හැකි වුවත් ධාරිතාවේ සීමා තිබෙනවා. විදුලි බල්බ, ටෙලිවිෂන්, රේඩියෝ ක්‍රියා කරන්න සෑහුනද ඉස්තිරික්කල ශීතකරන ආදියට කුඩා සූර්ය ඒකකවලින් ලැබෙන විදුලිය මදි. එහෙත් එයට ඉහළ ධාරිතාවේ, වැඩි මිළැති සූර්ය බල පද්ධති අද තිබෙනවා.

සූර්ය බලය නිවෙසක සවි කිරීමට යන වියදම එහි ධාරිතාව මත වෙනස් වනවා. වායුසමන යන්ත්‍ර ඇතුලුව වැඩි විදුලිය බලයකින් ක්‍රියා කරන උපකරණ පවා බල ගැන්විය හැකි තරම් ඉහල සූර්ය පුවරු පද්ධති (solar panel systems) අද තිබෙනවා. ඒත් මූලික පිරිවැය අධිකයි. මා දන්නා මධ්‍යම පාන්තික නිවෙසක විදුලි ඒකක 350-400ක් ජනනයට අවැසි තරම් සූර්ය පුවරු සවි කොට ගෙන තිබෙනවා.

බලශක්ති අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනුව සූර්ය කෝෂ වහලය මත සවි කර ගන්නා නිවාසවලට එයට යන මූලික වියදමට බැංකු ණය නිර්දේශ කිරීමට නියමිතයි. එසේම තම අවශ්‍යතාව ඉක්මවා විදුලිය ජනනය වන අවස්ථාවල එය ජාතික විදුලිබල ජාලයට සැපයීමේ පහසුකමද හිමිවනවා.

මෙයට පදනම 2010 දී මෙරට හඳුන්වා දුන් ශුද්ධ මනුකරණ (Net Metering) නම් ක්‍රමවේදයයි. මේ යටතේ නිවසේ විදුලිබල මීටරය ඉදිරියට මෙන්ම ආපස්සටත් යා හැකියි. මෙහිදී පාරිභෝගිකයා ජාතික විදුලි ජාලය බලශක්ති “ගබඩාවක්” ලෙස භාවිත කරනවා.

How Net Metering works

How Net Metering works

පාරිභෝගිකයා නිවසේ වහලය මත සවි කර ගන්නා සුර්ය බලශක්ති පැනල මගින් දිවා කාලයේ නිපදවන විදුලි අතිරික්තය, ජාතික විදුලිබල ජාලයට ලබා දෙනවා. වැඩිපුර විදුලිබල පාවිච්චි වන සන්ධ්‍යා හා රාත්‍රී කාලයේ තම පරිභෝජනය සදහා ජාලයෙන් විදුලිය ලබා ගන්නවා. මාසය අවසානයේ මුදල් ගෙවිය යුත්තේ තමන් වැඩිපුර භාවිත කර ඇති ඒකක ගණන සදහා පමණයි.

ශුද්ධ මනුකරණ සංකල්පය මෙරට පිළිගැනීමෙන් පසු විදුලිබල මණ්ඩලය CEB මෙන්ම සමහර නාගරික ප්‍රදේශවලට විදුලිය බෙදන LECO සමාගම ද යම් කොන්දේසිවලට යටත්ව මෙය ක්‍රියාත්මක කරනවා.

එහෙත් ජාලයට දුන් විදුලි ඒකක ගණනට වඩා අඩුවෙන් පාරිභෝගිකයා එයින් විදුලිය යළි ගත හොත් ඒ සදහා පාරිභෝගිකයාට මුදල් නොගෙවයි. (එම ඒකක ගණන ඉදිරි මාසවලදී පරිභෝජනයට ගත හැකියි.)

දැනට ක්‍රියාත්මක වන ශුද්ධ මනුකරණ ක්‍රමවේදය විදුලි ඒකක 200කට වඩා පරිභෝජනය කරන ඕනෑම විදුලි පාරිභෝගිකයකුට වාසිදායකයි.

එහෙත් මේ වසරේ සිට හදුන්වා දෙන නෙට් එකවුන්ටින් (Net Accounting) නව ක්‍රමයේදී පාරිභෝගිකයා වැඩිපුර නිපදවන විදුලි ඒකක සදහා

CEB/LECO ගෙවීමටද නියමිතයි. එම ක්‍රමය මගින් අඩු විදුලි ඒකක සංඛ්‍යාවක් භාවිත කරන විදුලි පාරිභෝගිකයන්ට අමතර ආදායමක් උපයා ගැනීමට හැකි වනවා.

අලුතින් එකතු වන තවත් ක්‍රමවේදයක් නම් Net Plus. එනම් වහල මත සූර්ය බලශක්තියෙන් විදුලිය නිෂ්පාදනය කරන නිවාස, එසේ ජනනය කරන සමස්ත විදුලි ඒකක ගණන ජාතික විදුලි ජාලයට ලබා දුන් විට එයට යම් සම්මත මිළක් ගෙවීම.

මෙහිදී ශුද්ධ මනුකරණ ක්‍රමය යටතේ මෙන් නොව පාරිභෝගිකයාගේ ජනනය, විදුලි පරිභෝජනයෙන් නිදහස්. ඒ අනුව පාරිභෝගිකයා තම පරිභෝජනයට පවතින ගාස්තු ක්‍රමය යටතේ විදුලි ගාස්තු ගෙවිය යුතු අතර ඔහුගේ මුළු විදුලි ජනනයම CEB/LECO විසින් යම් ගණන්වලට මිළයට ගන්නවා.

සූර්යබල සංග්‍රාමය නිසි ලෙස ක්‍රියාත්මක වූ විට රටේ නිවාස දස ලක්ෂයක් කුඩා විදුලිබලාගාර බවට පත් වන බවයි බලශක්ති අමාත්‍යවරයා හා නියෝජ්‍ය අමාත්‍යවරයා කියන්නේ.

එසේම සමහරක් මේ නිවාසවලට තමන්ගේ සමස්ත විදුලි පරිභෝජනයට වඩා සූර්ය බලශක්තිය නිපදවා ජාතික ජාලයට සපයා අමතර ආදායමක් ලද හැකි යයි ඔවුන් කියනවා.

ආර්ථීකයටත්, ජන සමාජයටත් එක සේ වැදගත් මේ ව්‍යාපෘතිය නිලධාරිවාදයට යට වීමට ඉඩ නොදී නිසි ලෙස සන්නිවේදනය කොට ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි.

පාරිභෝගිකයන් ලෙස අප සැවොම සොයන්නේ ආරක්ෂිත, පිරිසිදු, දිගටම ලැබෙන හා ලාබදායක බලශක්තියයි. මේ අවශ්‍යතා පිරිමසන හොඳම ශක්ති විශේෂය නම් විදුලි බලයයි.

2015 සැප්තැම්බර් වන විට රටේ දිස්ත්‍රික්ක 4ක් (මඩකලපුව, මන්නාරම, කිලිනොච්චි හා මුලතිව්) හැර අන් සියල්ලේම 90%කට වැඩි විදුලිබල ආවරණයක් තිබූ බව බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවිය කියනවා.

2012 ජන සංගණනයට අනුව රටේ නිවාස ඒකකවලින් 87%ක් ආලෝකය සඳහා විදුලිබලය යොදා ගත් අතර භූමිතෙල් 12.2%ක්, සූර්ය බලය 0.6% ක් හා අනෙකුත් ප්‍රභවයන් 0.2% ක් වාර්තා වුණා.

මෑත දශකවල විදුලිබල ජාතික ජාලයේ ආවරණය බෙහෙවින් පුළුල් වූවත් විදුලිබලය තව දුරටත් ලාබදායක නැහැ. ගමට ලයිට් ආවත් එය භූක්ති විඳින්නට අවශ්‍ය මූලික ආයෝජනය හා මාසික වියදම දැරීමට නොහැකි පවුල් එමට සිිටිනවා.

අනෙක් අතට වැඩි වන විදුලිබල ඉල්ලුමට සරිලන සැපයුමක් ජනනය කිරීම රජයට ලොකු අභියෝගයක්. ඉතා හොඳ වර්ෂාපතනයක් ලබන වසරකදී වුවත් සමස්ත ඉල්ලුමෙන් 40%කට වඩා ජල විදුලි බලාගාරවලින් ජනනය කරන ගත නොහැකියි.

ඉතිරියෙන් බහුතරයක් ජනනය කැරෙන්නේ ඛණිජතෙල් හා ගල් අඟුරු යොදා ගෙනයි. මේවා දේශීයව හමු නොවන නිසා විදේශයන්ගෙන් මිළට ගත යුතුයි. ඒවා දහනයෙන් පිට වන කාබන්ඩයොක්සයිඩ් වායුව ගෝලීය උණුසුම්වීමට දායක වනවා.

ටිකෙන් ටික හෝ මේ ඛණිජතෙල් හා ගල් අඟුරු මත යැපීම අඩු කළ යුතු බව කලෙක සිටම සමහර විද්වතුන් පෙන්වා දී තිබෙනවා. අපට දේශීයව සම්පාදනය කර ගත හැකි පූනර්ජනනීය හෙවත් සුනිත්‍ය බලශක්ති ප්‍රභවයන් (renewable energy sources) දියුණු කර ගැනීම ගැන 1970 ගණන්වල පටන් කථා කළත් ප්‍රගතිය සීමිතයි.

මෙයට හේතු රැසක් තිබෙනවා. ජල විදුලිය හැරුණු කොට අනෙකුත් සුනිත්‍ය බලශක්ති සඳහා තාක්ෂණය ප්‍රචලිත  නොවීම හා මිළ අධිකව පැවතීම එකක්. (මෙය පසුගිය දශකයේ බෙහෙවින් වෙනස් වී තිබෙනවා.)

තව ප්‍රධාන හේතුවක් නම් විදුලි බල මණ්ඩලයට සුනිත්‍ය ප්‍රභවයන් ගැන සැබෑ උනන්දුවක් නොතිබීමයි.

මහා පරිමාණ, මධ්‍යගත බලශක්ති ජනනයේ මානසිකත්වයට මුළුමනින්ම නතු වූ විදුලිබල මණ්ඩලය විකල්ප බල ශක්ති ගැන කවදත් දැරුවේ අවඥා සහගත ආකල්පයක්. මෙය වෙනස් කිරීමට බොහෝ බලශක්ති අමාත්‍යවරුන්ට පවා හැකි වූයේ නැහැ.

මෙයින් ඔබ්බට යන දිගු කාලීන වූත්, වඩාත් පරිසර හිතකාමී වූත් බලශක්ති පිළිවෙතකට සංක්‍රමණය වීමේ පෙර නිමිති තිබෙනවා. සූර්යබල සංග්‍රාමය එැන්නක්.

එහෙත් මාධ්‍ය ප්‍රචාරණයෙන් ඔබ්බට ගිය තාක්ෂණික උපදෙස් හා මූල්‍ය පහසුකම් නිලධාරිවාදයෙන් තොරව සපයන ව්‍යාපෘති කළමනාකරණයක් එහි සාර්ථකත්වයට අවශ්‍යයි. යහපත් සංකල්ප අසංවේදී හෝ සංකීර්ණ හෝ ක්‍රමවේදයන් හරහා ක්‍රියාත්මක කිරීමට ගොස් අසාර්ථක වීමේ අත්දැකීම් මෙරට විවිධ ෙක්ෂත්‍රවල අපට හමු වනවා.

සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට අදාළ සමාජ විද්‍යාත්මක හා ආර්ථීක විද්‍යාත්මක සාධක තිබෙනවා. සූර්ය තාක්ෂණය සංකීර්ණ එකක් නොවූවත් යම් නඩත්තු කිරීමක් හා තාක්ෂණික දැනුමක් අවශ්‍යයි.

Cartoon by Ron Tandberg

Cartoon by Ron Tandberg

සූර්ය බලය ගෘහස්ත මට්ටමින් විදුලිබල ජනනයට යොදා ගැනීමේ වසර 30කට ආසන්න අත්දැකීම් මෙරට තිබෙනවා. මේ අත්දැකීම් ලැබුවේ එම ක්ෂේත්‍රයේ පුරෝගාමී වූ පෞද්ගලික සමාගම්  හා රාජ්‍ය නොවන සංවිධාන විසින්. (මේ ඉතිහාසය ඉදිරි තීරු ලිපියක සැකෙවින් විස්තර කිරීමට මා අදහස් කරනවා.)

සර්වෝදය, සෝලංකා, පවර් ඇන්ඩ් සන්, Solar Electric Light Fund ආදී දෙස් විදෙස් ආයතන මෙරට නිවාස මට්ටමේ සූර්ය බලශක්ති ප්‍රවර්ධනයේ පුරෝගාමීන්. ඔවුන් උගත් පාඩම්වලින් අද ප්‍රතිපත්ති සම්පාදකයන්ට හා නිලධාරීන්ට ප්‍රයෝජන ගත හැකියි.

සූර්ය කෝෂ හා සම්බන්ධිත තාක්ෂණය මෙරටම නිපදවා ගන්නවාද? නැත්නම් චීන, ජර්මන් හෝ වෙනත් සැපයුම් කරුවන්ගෙන් ලබා ගන්නවා ද? මෙරට සූර්ය තාක්ෂණයට අත හිත දීමට අපේ බැංකු කොතරම් උත්සුක වේද? සමස්ත සුනිත්‍ය බලශක්ති ක්ෂේත්‍රය නිසි නියාමනයට හා විමර්ශනයට ලක් කිරීමට මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) හැකි ද?

ගතවූ වසර 25කට අධික කාලය තුළ සුනිත්‍ය බලශක්ති ගැන මා විවිධ මාධ්‍යවලින් මෙවැනි ප්‍රශ්න මතු කොට තිබෙනවා. මේ ප්‍රශ්න අසන්නේ කිසිවකු අපහසුතාවට පත් කිරීමට නොව යහපත් ප්‍රතිපත්ති ප්‍රශස්තව ක්‍රියාත්මක වනු දැක්මේ පොදු අරමුණින්.

Read also: සූර්ය බලයෙන් ඔබේ විදුලි බිල සුන් කල හැකිද? ඔබ දැන ගත යුතු කරුණු 9ක්

Image courtesy Aniwa.lk Image source - www.aniwa.lkwp-contentuploads201609SolarPower-05.jpg

Image courtesy Aniwa.lk
Image source – http://www.aniwa.lkwp-contentuploads201609SolarPower-05.jpg

Advertisements

සිවුමංසල කොලූගැටයා #235: බලශක්ති ස්වාධීනත්ව අරගලයට මුල පිරූ ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

D J Wimalasurendra as a Member of the State Council, 1931 - 1935

D J Wimalasurendra as a Member of the State Council, 1931 – 1935

Engineer, public servant and legislator D J Wimalasurendra (1874 – 1953) is widely known and respected as the ‘Father of Hydro Power in Sri Lanka’.

While working with the Ceylon Government’s Public Works Department in the early 20th Century, he made a strong technical and economic case for hydro power. At the time, the country was totally dependent on imported petroleum for its (limited scale) power generation.

He had a grand vision for energy independence and industrial revival in Sri Lanka, and engaged in a long struggle to see his vision become a reality. His life is a case study in evidence-based policy advocacy by a public intellectual.

The process he started has continued for over six decades, with more hydro electricity plants being built and the national grid being expanded to cover most of Sri Lanka. By end 2014, the total installed capacity of hydro power stations operated by the Ceylon Electricity Board was 1,383 MW (with another 218 MW capacity in dozens of mini-hydro schemes by end 2012) according to the Ministry of Power and Energy.

In a year with good rainfall, hydro power can supply nearly half of the country’s electricity needs.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 30 August 2015), I continue my brief biography of Wimalasurendra, from 1918 onwards. In part 1, I explored the first few decades of his life, from birth to 1918.

සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

A social gathering of engineers and their friends, circa late 1930s. Wimalasurendra is in the foreground, seated next to Sir John Kotelawala, Minister of Transport and Works

A social gathering of engineers and their friends, circa late 1930s. Wimalasurendra is in the foreground, seated next to Sir John Kotelawala, Minister of Transport and Works

නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා ජනහිතකාමී ක්‍රමෝපායයන් හරහා රට දියුණු කරන්නට දේශපාලකයනට විද්වතුන් හා වෘත්තිකයන්ගේ දායකත්වය අවශ්‍යයි.

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිට ද උගතුන්ට හා විද්වතුන්ට රටේ ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට දායක විය හැකියිග එයට දැනුමල කැපවීමල එඩිතර බවල උපක්‍රමශීලී වීම මෙන්ම අධිෂ්ඨානශීලී වීම ද ඕනෑ කරනවා.

මේ ගතිගුණ නොඅඩුව තිබූල රටේ බලශක්ති ස්වාධීනත්වය තකා ජීවිත කාලයම වැඩ කළ ඞී. ජේ. විමලසුරේන්ද්‍ර (1874 – 1953) ශ‍්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයේ පියා ලෙස පිළි ගැනෙනවා. ඔහුගේ දිරිය කථාවේ මුල් කොටස පසුගිය කොළමින් කැටි කළා.

1918දී ඉංජිනේරු ආයතනයට විමලසුරේන්ද්‍ර ඉදිරිපත් කළ ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’(‘Economics of Hydro Power Utilization in Ceylon‘) නම් වූ එම විද්‍යාත්මක වාර්තාව අවසානයේ මෙසේ කියනවා: ‘‘මෙරට කර්මාන්ත සංවර්ධනය සීමා වීමට එක් ප‍්‍රබල හේතුවක් නම් ලාබදායක බලශක්තිය නොතිබීමයි. අප අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යවන කොප්පරා (පොල්), රබර් හා මිනිරන් විදේශිකයෝ කර්මාන්ත ශාලාවල වඩාත් මිලැති නිමි භාණ්ඩ බවට පත් කරනවා. එම කාර්මික ප‍්‍රවාහයන්ගේ අතුරුඵලවලින් අමතර ප‍්‍රයෝජන ගන්නවා. මේ සියල්ල අපේ රටේ ආර්ථිකය සවිමත් කිරීමට රඳවා ගත හැක්කේ අඩු මිලට බලශක්තිය (විදුලිය) ජනනය කළ විටයි.’’

ඔහු එවකට පැවති රජයටත්, සෙසු ඉංජිනේරුවන්ටත් මෙසේ ආයාචනා කළා: ‘‘වසරේ හැම දිනකම පාහේ අපේ ගංගා හරහා මුහුදට ගලා ගෙන යන ජල ප‍්‍රවාහයේ ගැබ්ව ඇති විභව ශක්තිය අශ්වබල දහස් ගණනක් වනවා. මේ ශක්තිය වැඩට ගත හැකි විදුලිය බවට පත් කර ගැනීම හා එම විදුලිය සැලසුම් සහගතව රටේ කර්මාන්ත හා ජනජීවිතය දියුණු කිරීමට යොදා ගැනීම ඉතා වැදගත් ජාතික අවශ්‍යතාවක්.’’

සම්පූර්ණ වාර්තාව මෙතැනින් කියවන්න: http://elect.mrt.ac.lk/djw_paper.htm

මේ තරම් විස්තරාත්මකව හා උද්‍යෝගිමත්ව ජලවිදුලි උත්පාදනය ගැන යෝජනා ඉදිරිපත් කළත් එයට ලැබුණේ උදාසීන ප‍්‍රතිචාරයක්. බොහෝ ඉංජිනේරුවන් සිතුවේ මෙය කළ නොහැකි තරම් දුෂ්කර කාරියක් කියායි.

1976දී විමලසුරේන්ද්‍ර චරිතාපදානයක් ඉංග‍්‍රීසි බසින් ලියූ ජ්‍යෙෂ්ඨ පත‍්‍රකලාවේදී එල්. පී. ගුණතිලක මෙසේ කියනවා: ‘‘විමලසුරේන්ද්‍රගේ නව අදහස් හා යෝජනාවලට ඔහු සේවය කළ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ (PWD) ප‍්‍රධානීන් කීවේ දවල් හීන බැලීමක් කියායි. ඔහුගේ සමහර සහෝදර නිලධාරීන් මේ නව අදහස් තමන්ගේ අධ්‍යයන හා වෘත්තික කටයුතුවලට යොදා ගන්නට තැත් කළා. විදේශිකයකු වූ අංශ ප‍්‍රධානියා විමලසුරේන්ද්‍රව දුරබැහැර ප‍්‍රදේශයකට මාරු කර හැරියා. විද්‍යාත්මක පොතපත, තොරතුරු හා සහෘද සන්නිවේදනයේ ඔහු දුරස් කළ විට මේ විප්ලවකාරී අදහස් අත්හැර දමනු ඇතැයි ප‍්‍රධානියා සිතන්නට ඇති. එහෙත් එබඳු කොන්කිරීම්වලින් විමලසුරේන්ද්‍රගේ පරිකල්පනය හා අධිෂ්ඨානය තව දුරටත් වර්ධනය වුණා.’’

Wimalasurendra biography published in 1976

Wimalasurendra biography published in 1976

1924දී වසර ගණනාවක “සලකා බැලීම්වලින්” පසු ලක්ෂපානේ ජලවිදුලි බලාගාරයක් තැනීමට ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව තීරණය කළා. මේ ගැන දෙපාර්තමේන්තුවේ පමණක් නොව රටේම සිටි හොඳම විද්වතා විමලසුරේන්ද්‍ර වූවත් ඔහුට ඍජුව එයට සම්බන්ධ වීමට ඉඩ ලැබුණේ නැහැ.

මෙයින් කලකිරීමට පත් විමලසුරේන්ද්‍ර දිගු නිවාඩු ලබා වසරකට වැඩි කාලයක් බි‍්‍රතාන්‍යයට ගියා. එහිදි දැනුම අලූත් කර ගැනීමටත්, එරට ඉංජිනේරුවන් සමග සාකච්ඡා කිරීමටත් ඔහුට අවස්ථාව ලැබුණා.

ඔහු යළිත් ලංකාවට ආවේ යටත්විජිත භාර ලේකම්වරයා පෞද්ගලිකව මැදිහත් වී එසේ කරන ලෙස ආයචනා කිරීමෙන් පසුවයි. මේ දක්ෂයාගේ වැදගත්කම බි‍්‍රතාන්‍ය පාලකයන් තේරුම් ගෙන තිබුණා.

1926දී PWD ප‍්‍රධාන ඉංජිනේරුවා ලෙස පත් වූ විමලසුරේන්ද්‍ර එම දෙපාර්තමේන්තුවේ විදුලි බල අංශය වෙනම ආයතනයක් කරන ලෙසත්, ඒ දක්වා පෞද්ගලික සමාගම් කර ගෙන ගිය කොළඹ විදුලිබල උත්පාදන හා බෙදා හැරීම් කටයුතු රජයට පවරා ගන්නා ලෙසත් නිර්දේශ කළා.

ඒ නිර්දේශ අනුව 1927දී රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව (Department of Government Electrical Undertaking, DGEU) පිහිටුවා කොළඹ විදුලිබල කටයුතු එය යටතට පත් කෙරුණා. අළුත් තාප විදුලි බලාගාරයක් 1929දී පිහිටුවා එය එවකට සිටි බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාර හර්බට් ස්ටැන්ලිගේ නමින් ස්ටැන්ලි බලාගාරය යැයි නම් කරනු ලැබුවා.

මේ අතර 1924 පටන් ගෙන ටිකෙන් ටික ඉදි කෙරෙමින් තිබූ ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ වැඩ 1927දී නතර වුණා. එයට හේතුව පැහැදිලි නැහැ. සමහර වාර්තා කියන්නේ රජයට මුදල් හිඟවීම නිසා කියායි.

1926-29 කාලයේ මෙරට රාජ්‍ය සේවයේ ඉහළම තාක්ෂණික තනතුරක් හෙබ වූ විමලසුරේන්ද්‍ර 1929දී වයස 55න් විශ‍්‍රාම ගියා. තිස් වසරක් රාජ්‍ය සේවයේ නියැලී සිටියත් ඔහුගේ සිහිනය වූ ජලවිදුලි උත්පාදනය තවමත් සැබෑ වී තිබුණේ නැහැ.

විශ‍්‍රාමිකව විවේක සුවයෙන් සිටිනු වෙනුවට ඔහු දේශපාලනයට පිවිසීමට තීරණය කළා. ඩොනමෝර් කොමිසම යෝජනා කළ පරිදි ශ‍්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලබා දී මුල්ම මැතිවරණය 1931දී පවත්වනු ලැබුවා. එහිදි රත්නපුර ආසනයට තරග කළ විමලසුරේන්ද්‍ර ප‍්‍රථම රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තේරි පත් වුණා. ජනතා නියෝජිතයකු ලෙස ඔහු මෙරට ජලවිදුලි හා කර්මාන්ත සංවර්ධනය ගැන දිගටම ප‍්‍රවර්ධන කළා.

එවකට රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ තිබුණේ විධායක කමිටු ක‍්‍රමයයි. (අද කැබිනට් අමාත්‍යංශවලට සම කළ හැකියි.) විමලසුරේන්ද්‍රගේ ඉංජිනේරු පසුබිම නිසා ඔහු ඉදිකිරීම් හා සන්නිවේදන විධායක කමිටුවට (Executive Committee of Works and Communication) පත් කරනු ලැබුවා.

1931-36 වකවානුවේ ඔහුගේ ප‍්‍රතිපත්තිමය දායකත්වය ගැන මොරටුව සරසවියේ වෙබ් අඩවිය මෙසේ වාර්තා කරනවා. ‘‘විමලසුරේන්ද්‍ර සිය දැනුම හා අත්දැකීම් මත පදනම් වී මෙරට තාක්ෂණික අධ්‍යාපනය, කාර්මීකරණය හා බලශක්ති සැලසුම් කිරීම වැනි ක්ෂේත‍්‍රවල දියුණුවට මන්ත‍්‍රණ සභාවේ හැකි සැම විටම කථා කළා. ඔහු දේශපාලනික සංකල්ප මත එල්බ ගත් බලලෝභී දේශපානඥයකු වූයේ නැහැ. ඒ වෙනුවට තම දැනුම හා හෘදසාක්ෂියට අනුකූලව ක‍්‍රියා කළා. තමා උපන් රට හා සමාජය ක‍්‍රමානුකූලව දියුණු කිරීමට සැබෑ උනන්දුවක් හා කැපවීම්ක් තිබූ විශිෂ්ට ඉංජිනේරුවකු ලෙස අප ඔහු සැමරිය යුතුයි.’’

Sir Lanka Electric Transmission System Map

Sir Lanka Electric Transmission System Map

වැඩ නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ ඉදිකිරීම් නැවත ඇරඹීමට විමලසුරේන්ද්‍ර මන්ත‍්‍රණ සභාව තුළ දිගටම ඇවිටිලි කළා. පසුව මෙරට තුන්වන අගමැතිවරයා (1953 – 1956) වූ ශ‍්‍රීමත් ජෝන් කොතලාවල 1936දී පත් වූ දෙවන රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ ඉදිකිරීම් හා සන්නිවේදන ඇමති ලෙස ක‍්‍රියා කළා. 1956දී ඔහු සිය දේශපාලන ජීවිතය ගැන ආවර්ජනාත්මකව ලියූ පොතේ (An Asian Prime Minister’s Story, 1956) මෙසේ සඳහන් කරනවා:

‘‘ඇමතිවරයා ලෙස මා අත ගැසූ වඩාත්ම භාරදූර කාරියක් වූයේ ලක්ෂපාන බලාගාරය ඉදිකිරීම යළි ඇරැඹීමයි. වසර තුනකට පසු අවිනිශ්චිතව නතර කොට තිබූ මේ ව්‍යාපෘතිය නිමා වූ විට වාණිජ හා කර්මාන්තවල නව පිබිදීමක් ඇති වන බව පැහැදිලි වුණා. එහෙත් කුමන හෝ හේතු නිසා මෙම ව්‍යාපෘතියට ප‍්‍රමුඛත්වයක් ලැබී තිබුණේ නැහැ. විදේශ බලශක්ති ප‍්‍රභව මත දිගටම යැපීමෙන් තොරව අපේ බලශක්තිය අපම උපදවා ගැනීමට නම් අප රටේ ජල සම්පත යොදා ගෙන ජල විදුලිය ජනනය කළ යුතුයි.’’

1936දී නැවත වරක් රාජ්‍ය මන්ත‍්‍රණ සභාවට තරග කළත් විමලසුරේන්ද්‍ර එවර මැතිවරණයෙන් පරාජය වුණා. එහෙත් කිසිදු පැකිලිමකින් තොරව මන්ත‍්‍රණ සභාවෙන් පිටත සිට ජලවිදුලි සංවර්ධනයට කොතලාවල ඇමතිවරයා ඇතුළු දේශපාලනඥයන්ට හා නිලධාරීන්ට ඔහු උපකාර කළා. ඔහුගේ චරිතයේ මේ යුගය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවේ සිටියත් නැතත් රටට වැඩ කිරීමට විද්වතුන්ට අවකාශ තිබෙන බවයි.

මේ වකවානුවේ ඔහු පුවත්පත්වලට නිතර ලිපි ලියමින්, ප‍්‍රසිද්ධ දේශන කරමින් ජලවිදුලි ප‍්‍රවර්ධනයට මහජන මතයක් ගොඩ නැගුවා. කිසිදු තනතුරක් නැති විටදී පවා පොදු උන්නතියට විද්වතකුට කළ හැකි දායකත්වයට මෙය හොඳ උදාහරණයක්.

දශකයකට වැඩි කාලයක් නතර වී තිබූ ලක්ෂපාන බලාගාරයේ වැඩ 1938දී යළිත් ඇරඹුණා. එහෙත් 1939දී පටන් ගත් දෙවන ලෝක යුද්ධය නිසා බි‍්‍රතාන්‍ය රජයට මුදල් හා පිරිස් බල හිඟයක් ඇති වීමෙන් 1940දී ව්‍යාපෘතියේ වැඩ නැවතත් නතර වුණා.

තෙවන වරටත් ඉදිකිරීම් පටන් ගත්තේ 1948දී ලංකාවට නිදහස ලැබීමත් සමගයි. ලක්ෂපාන ජලවිදුලි බලාගාරයේ ප‍්‍රථම අදියර 1950 දෙසැම්බරය වන විට නිම කරනු ලැබුවා. කඩින්කඩ සිදු වූ මේ ඉදිකිරීමට වසර 25ක් පමණ ගත වී තිබුණා.

ලක්ෂපාන ප‍්‍රථම අදියර යටතේ මෙගාවොට් 25ක විදුලි බලයක් ජනනය කොට 66V සම්පේ‍්‍රෂණ පද්ධතියක් හරහා කොලොන්නාවට හා ඊරියගමට යවනු ලැබුවා. එවකට මුළු රටේම විදුලි බලය ලබා ගත් නිවාස, කාර්යාල හා වෙනත් ගොඩනැගිලි තිබුණේ 17,000ක් පමණයි. 1927දී පිහිටුවන ලද රජයේ විදුලිබල දෙපාර්තමේන්තුව මේ පද්ධතිය භාරව ක‍්‍රියා කළා. (පසුව එය ලංකා විදුලිබල මණ්ඩලය බවට පත් වුණා.)

ලක්ෂපාන ව්‍යාපෘතියේ ප‍්‍රථම අදියර විවෘත කිරීමට ඞී. ජේ. විමලසුරේන්ද්‍ර සහභාගී වූයේ ගෞරවනීය විශේෂ ආරාධිතයා ලෙසයි. එවිට 74 වියේ පසු වූ ඔහු උත්සවය අමතා මෙසේ කීවා: ‘‘මා කලකට පෙර යෝජනා කළ මේ ජල විදුලි බලාගාරය ඉදි කිරීමට මට සම්බන්ධ වන්නට ඉඩක් ලැබුණේ නැහැ. එහෙත් මගේ රටේ සහෝදර ජනයා විසින් එය ඉදි කොට හමාර කරන තෙක් ජීවත් වීමට මට වාසනාව තිබුණා. මගේ මනසෙහි මීට අඩ සියවසකට පෙර මා දුටු සිහිනය මගේ ජීවිතයේ සැඳෑ කාලයේ මෙසේ සැබෑවනු දකින්නට ලැබීම ඉමහත් ප‍්‍රීතියක්. මා කෙදිනක හෝ මෙලොවින් නික්ම යන්නේ තෘප්තිමත් හා යුතුකම් ඉටු කළ මිනිසකු ලෙසයි.’’

ඒ අවස්ථාවේ කථා කළ අගමැති ඞී. එස්. සේනානායක කීවේ: ‘‘අපේ රටේ අද ලොකුම අවශ්‍යතාව අපේ ජනයාගේ ජීවන තත්ත්වය දියුණු කිරීමයි. ජලවිදුලි උත්පාදනයෙන් ලැබෙන තල්ලූවත් සමග මෙරට ආර්ථික සංවර්ධනයේ නව යුගයකට අපට පිවිසිය හැකියි.’’

1953 අගෝස්තු 10 වනදා විමලසුරේන්ද්‍ර මිය ගියා. එවිට ඔහුගේ වයස 78යි.

Plaque at Norton Bridge hydro project named after Wimalasurendra

Plaque at Norton Bridge hydro project named after Wimalasurendra

රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ විමලසුරේන්ද්‍ර සමග එකට වැඩ කළ, නිදහස් ලංකාවේ මුල්ම කැබිනට් මණ්ඩලයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස සේවය කළ සී. සුන්දරලිංගම් (1895 – 1985) සිය සහෘදයාට මෙසේ ප‍්‍රණාමය පුද කළා: ‘‘අපේ ජලය විදුලිය බවට පත් කිරීමේ තාක්ෂණ විප්ලවයේ මූලිකයා වූයේ විමලසුරේන්ද්‍රයි. ඔහු සැබැවින්ම මිය ගියේ නැහැ. ඔහු තමයි අනාගත ලංකාවට ජීවමාන ආලෝකය වන්නේ.’’

විමලසුරේන්ද්‍රගේ මාහැඟි දායකත්වය විවිධ රජයන් විසින් පිළිගැනීමට ලක් කර තිබෙනවා. ලක්ෂපාන ව්‍යාපෘතියේ බලාගාරය හා නුවරඑළියේ නෝට්න්බි‍්‍රජ්හි 1960 දශකයේ ඉදි කෙරුණු ජල විදුලි බලාගාරයක් විමලසුරේන්ද්‍ර සිහිවීමට නම් කරනු ලැබුවා.

මස්කෙළි ඔය විදුලිබල ව්‍යාපෘතියේ දෙවන අදියර 1974 සැප්තැම්බර් 17 වනදා (විමලසුරේන්ද්‍ර ඡන්ම ශත සංවත්සරය දවසේ) එවකට වාරිමාර්ග, බලශක්ති හා මහාමාර්ග ඇමති මෛත‍්‍රිපාල සේනානායක විවෘත කළා. එසේම විමලසුරේන්ද්‍ර සමරු මුද්දරයක්ද නිකුත් කෙරුණා.

Wimalasurendra commemorative stamp 1974

Wimalasurendra commemorative stamp 1974

විමලසුරේන්ද්‍රගේ දැක්ම හා සිහිනය ඔස්සේ ගිය ලාංකික සැලසුම්කරුවන් හා ඉංජිනේරුවන් දශක හයකට වැඩි කාලයක් තිස්සේ මෙරට ජල විදුලි උත්පාදනයට අවශ්‍ය යටිතල පහසුකම් ක‍්‍රම ක‍්‍රමයෙන් ඉදි කොට තිබෙනවා. ඒ සමග විදුලිය බෙදා හැරීමේ ජාලයද රටේ බොහෝ ප‍්‍රදේශවලට ව්‍යාප්ත කර, 2014 වන විට ජනගහනයෙන් 90%කට වඩා විදුලිබලය සම්පාදනය කළ හැකි වුණා.

2014 අග වන විට මෙරට ස්ථාපිත ජල විදුලිබල ජනන ධාරිතාවය විදුලිබල මණ්ඩලය යටතේ MW 1,383ක් සහ සුළු පරිමාණ ජලවිදුලි බලාගාරවලින් තවත් MW 218ක් ද වූවා. හොඳින් වැසි ලැබෙන වසරක අපේ සමස්ත විදුලිබල වාර්ෂික ඉල්ලූමෙන් අඩකට වඩා සපයන්නට ජලවිදුලි බලාගාර පද්ධතියට හැකියි. (1950දී ක‍්‍රියාත්මක වීම ඇරැඹුණු පැරණි ලක්ෂපාන පළමු අදියරේ බලාගාරය 2014 වන තුරුත් භාවිතයේ පැවතියා.)

මේ වන විට දිවයිනේ ජල විදුලි ජනන විභවය බොහෝ දුරට ප‍්‍රයෝජනයට ගෙන හමාර බැවින් අනාගත බලශක්ති අවශ්‍යතා සඳහා වෙනත් ප‍්‍රභවයන් වෙත යොමු වීමට සිදු වනවා. ජලවිදුලිය හැරුණු කොට ඉතිරි විදුලිබල අවශ්‍යතාවන් අද බොහෝ දුරට පිරිමසා ගන්නේ ගල්අඟුරු හා ඛනිජ තෙල් දහනය කරන තාප බලාගාරවලින්.

විමලසුරේන්ද්‍ර මීට සියවසකට පමණ පෙර මහත් ඕනෑකමින් කියා සිටි බලශක්ති ස්වාධීන්තවය හෙවත් ස්වාධිපත්‍ය ළඟා කර ගැනීමට නම් පුනර්ජනනීය (සුනිත්‍ය) බලශක්ති ප‍්‍රභව වඩාත් පුළුල්ව ප‍්‍රවර්ධනය කළ යුතුයි.

ජලවිදුලිය මෙරට මෙන්ම ලෝකයේ දැනට වඩාත්ම බහුලව යොදා ගැනෙන පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවයයි. නමුත් එයට යා හැකි සීමා තිබෙනවා. මේ නිසා පුනර්ජනනය වන බලශක්ති ප‍්‍රභව කිහිපයක් දියුණු කොට ඒවායේ සම්මිශ‍්‍රණයෙන් අපට අවශ්‍ය විදුලිබලය උපදවා ගැනීම වඩාත් සුදුසුයි. මේ සඳහා සූර්ය බලය, සුළං බලය, ජීව වායුව මෙන්ම කඩිනමින් වැවෙන ගස් කපා අතු රිකිලි පිලිස්සීම හරහා විදුලිය උපදවන දැව ඉන්ධන ක‍්‍රමය හෙවත් Dendro Power ද තිබෙනවා.

20 වන සියවසේ ජල විදුලිය දියුණු කිරීමට විමලසුරේන්ද්‍ර පාදා දුන් මගෙහි ගිය ලෙසින් 21 වන සියවසේ අප ඔහුගේ දිගු කල් දැක්ම වූ බලශක්ති ස්වාධිපත්‍යය ඉලක්කයක් ලෙස හඹා යා යුතුයි. අපේ දිවයින අවට මුහුදෙන් ඛනිජ තෙල් හමුවේ ද යන්න තවමත් නිශ්චිත නැති නිසාත්, ඛනිජ තෙල් ගෝලීය උණුසුම් වීමට දායක වන නිසාත්, පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභව කෙරෙහි විශ්වාසය තැබීම හැම අතින්ම සුදුසුයි.

[විශේෂ ස්තුතිය: විමලසුරේන්ද්‍ර මුනුපුරු ආචාර්ය නන්දදාස නාරායන]

Victoria Dam and Reservoir, the largest hydroelectric facility in Sri Lanka.

Victoria Dam and Reservoir, the largest hydroelectric facility in Sri Lanka.

සිවුමංසල කොලූගැටයා #234: ජල විදුලි උත්පාදනයේ නොනිමෙන පහන: ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

D J Wimalasurendra (1874 – 1953) was one of the most remarkable engineers in Sri Lanka. Because of his pioneering role in promoting hydro electricity as a source of power for domestic and industrial use, he is known as the ‘Father of Hydro Power in Sri Lanka’.

Trained as a civil and electrical engineer, he made a strong technical and economic case for hydro power in the early 20th Century when the country was totally dependent on imported petroleum for its power generation.

He engaged in a long and often lone struggle – first as a government official, and later as an elected legislator – to see his vision become a reality. His life is a case study in evidence-based policy advocacy by a public intellectual.

In this week’s Ravaya column, (in Sinhala, appearing in issue of 30 August 2015), I explore the first few decades of his life, from birth to 1918. To be continued next week.

D J Wimalasurendra (1874 - 1953) - Father of Hydro Power in Sri Lanka

D J Wimalasurendra (1874 – 1953) – Father of Hydro Power in Sri Lanka

උගතුන් හා වෘත්තිකයන් පාර්ලිමේන්තුවට පත් කර යැවීමේ අගය වෙන කවදාටත් වඩා ලක් සමාජයට දැන් වැටහී ඇති බවක් පෙනෙනවා. එහෙත් 2015 මහ මැතිවරණයේ තරග කළ හැම උගතාම ජය ලැබුවේත් නැහැ.

පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිට ද උගතුන්ට හා විද්වතුන්ට රටේ ප්‍රතිපත්ති සම්පාදනයට හා ක්‍රියාත්මක කිරීමට දායක විය හැකියි. එයට දැනුම, කැපවීම, එඩිතර බව, උපක්‍රමශීලී වීම මෙන්ම අධිෂ්ඨානශීලී වීම ද ඕනෑ කරනවා. මේ ගතිගුණ මනා ලෙස කැටි කර ගත් දිරිය චරිතයක විස්තර මා හුවා දක්වන්නට කැමතියි.

ඞී. ජේ. විමලසුරේන්ද්‍ර (1874 – 1953) ශ‍්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයේ පියා ලෙස අවිවාදයෙන් පිළි ගැනෙනවා. මෙරටින් බිහි වූ විශිෂ්ටතම ඉංජිනේරුවකු වූ ඔහු පිටරටින් ගෙනෙන බලශක්ති ඉන්ධන වෙනුවට අපේම ජල සම්පත යොදා ගෙන පුනර්ජනනීය බලශක්ති විශේෂයක් වන ජල විදුලිය උපදවා ගැනීමට පිළිබඳ පුරෝගාමී අධ්‍යයන කළා.

එතැනින් නොනැවතී එම සංකල්ප ක‍්‍රියාවට නැංවීමට පොළඹවා ගැනීමට උත්සාහ කළා. වෘත්තිකයකු ලෙස ඇරැඹු එම ප‍්‍රයත්නය ඉදිරියට ගෙන යාමට රජයේ සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව ඔහු සක‍්‍රීය දේශපාලනයටද පිවිසියා.

රටට වැඩදායක අලූත් දෙයක් කරන්නට තැත් කරන විට අපේ සමාජයේ ගතානුගතිකත්වය එයට හරස් වන සැටිත්, වෘත්තිකයන් පවා බොහෝ විට ඇඟ බේරා ගෙන වැඩ කරනු මිස නවෝත්පාදන කිරීමට උත්සුක නොවන සැටිත් අප දන්නවා. විමලසුරේන්ද්‍රගේ ජීවන චරිතය මෙවන් ප‍්‍රතිරෝධ හා උදාසීනත්වය හමුවේ සැබෑ වෙනසක් කිරීමට අවශ්‍ය අධිෂ්ඨානශීලී බව සංකේතවත් කරනවා.

දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර උපන්නේ 1874 සැප්තැම්බර් 17 වනදා ගාල්ලේදී. ඔහුගේ පෙළපත පරම්පරා ගණනක් තිස්සේ සූක්ෂම ලෝහ කලා ශිල්පයට නම් දරා සිටියා.

ඔහුගේ පියා දොන් ජුවන් දේවපුර විමලසුරේන්ද්‍ර, මුල් ගම වූ දෙවිනුවරින් පළමුව ගාල්ලටත්, ඉන් පසුව කොළඹටත් සංක‍්‍රමණය වුණා. කොළඹදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස රැකියාව කළ ඔහු තම පාරම්පරික ශිල්ප කලා දිගටම කර ගෙන යාමට මරදානේ තමන්ගේම වැඩපොලක් ද ඇරැඹුවා.

1883 – 1890 කාලයේ මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් ආතර් ගෝඞ්න් වරක් විමලසුරේන්ද්‍ර වැඩපොලට පැමිණ ලක් රජයේ එවකට නිල ලාංඡනය රැගත් මුද්‍රාවක් තැනීමට ඇණවුම් කළා. මේ දේශීය ශිල්පියා සියුම් හා අගනා ලෙසින් දියමන්තියෙන් නිම කළ මුද්‍රාව ගැන බෙහෙවින් පැහැදුණු ආණ්ඩුකාරයා ලන්ඩනයට ගිය විටෙක එවකට සිටි වික්ටෝරියා රැජිනට පන්වා තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස බි‍්‍රතාන්‍යයට යාමටත්, එහිදී එරට ලෝහ හා භාණ්ඩ නිපදවන ශිල්පීන්ට ලාංකික ශිල්පක‍්‍රම ඉගැන්වීමටත් විමලසුරේන්ද්‍රගේ පියාට අවස්ථාව ලැබුණා.

19 වන සියවසේ අපේ රටින් බි‍්‍රතාන්‍යයට සිදු කළ මේ දුර්ලභ ගණයේ තාක්ෂණ හුවමාරුව (technology transfer) විමලසුරේන්ද්‍ර පරපුරේ සහජ දක්ෂතා ගැන ඉඟියක් සපයනවා. එවැනි පසුබිමක හැදුණු වැඩුණු දේවපුර ජයසේන තරුණයා ලාබාල වියේ පටන්ම තාක්ෂණික කුසලතාවන්ගෙන් හෙබි, දේශීය දැනුම හා හැකියාව ගැන ආත්ම විශ්වාසය ලද කෙනකු වීම පුදුමයක් නොවෙයි.

විමලසුරේන්ද්‍ර ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ (පසුව ආනන්ද විද්‍යාලය නමින් ප‍්‍රකට වූ) කොළඹ බෞද්ධ ඉංග‍්‍රීසි පාඨශාලාවේ. ඉගෙනුමට හපන් ඔහු ගණිතයට විශේෂ දක්ෂතා පෙන්වුවා.

1893දී ඔහු ලංකා තාක්ෂණික විද්‍යාලය හෙවත් ටෙක්නිකල් කොලීජියට බැඳුණා. එකල උසස් අධ්‍යාපන ආයතන මෙරට තිබුණේ අතලොස්සයි. ඔහු එම කොලීජියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන් සුදුසුකම් ලත් මුල්ම ශිෂ්‍යයෙක් වුණා.

උගන්නා අතරම ඔහු කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ ආධුනිකයකු ලෙස ප‍්‍රායෝගික අත්දැකීම් ලැබුවා. මෙරට ඉංජිනේරු අධ්‍යාපනය හමාර කළ පසු බි‍්‍රතාන්‍යයේ සිවිල් ඉංජිනේරු ආයතනයේ අනුයුක්ත සාමාජිකත්වයද ලබා ගත්තා (Associate Membership of the Institution of Civil Engineers, AMICE). පසු කලෙක (1912දී) බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයෙන් (Faraday House, UK) විදුලි ඉංජිනේරු විද්‍යාවේ වැඩිදුර පුහුණුවද ලැබුවා.

තරුණ ඉංජිනේරුවකු ලෙස විමලසුරේන්ද්‍ර 1896දී රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට (Public Works Department, PWD) බැඳුණා. 1796දී අරඹන ලද මෙය බි‍්‍රතාන්‍ය පරිපාලනයේ මුලදීම පිහිටවනු ලැබූ, එවකට විශාල වගකීම් සමුදායක් ඉටු කළ ප‍්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයක්. පාරවල් තැනීම හා නඩත්තුව, පාලම් හා රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තුව මෙන්ම රජයේ කර්මාන්ත ශාලාව පරිපාලනයද PWD නමින් ප‍්‍රකට වූ මේ දෙපාර්තමේන්තුව යටතේ සිදු වුණා.

PWD සේවයේදී දිවයිනේ නොයෙක් පළාත්වලට යන්නට හා රටතොට ගැන හොඳ අවබෝධයක් ලබන්නට ඔහුට හැකි වුණා. 1901දී ඔහුට පැවරුණ වගකීමක් වූයේ කැළණි නිම්න ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කිරීම හා එහි වනාන්තර, ජලය වැනි මානව ප‍්‍රයෝජනයට ගත හැකි සම්පත් ගැන තක්සේරුවක් කිරීමයි.

කැළණි ගඟ දිගින් කි.මී. 145යි (සැතපුම් 90). ලංකාවේ සිවු වන දිගම ගංගාවයි. ශ‍්‍රී පාද කඳු වැටියෙන් ඇරැඹෙන කැළණි ගඟ, නුවරඑළිය, රත්නපුර, කෑගල්ල, ගම්පහ සහ කොළඹ යන දිස්ත‍්‍රික්ක හරහා හෝ මායිමෙන් ගලා ගොස් කොළඹට උතුරින් මුහුදට වැටෙනවා.

එහි ප‍්‍රධාන අතු ගංගා වන්නේ කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔයයි. කාසල්රී හා නෝට්න් ජලාශ තනා ඇත්තේ කෙහෙල්ගමු ඔය හරහා වන අතර මස් කෙළි, කැනියොන් හා ලක්ෂපාන ජලාශ මස්කෙළි ඔය හරස් කොට තනා තිබෙනවා.

කැළණි ගංගා නිම්නයේ ගවේෂන කළ විමලසුරේන්ද්‍ර විශේෂ අවධානයක් යොමු කළේ එවකට කිරිවන්එළිය ඇල්ල නම් වූ දියඇල්ලටයි. අඩි 413ක් (මීටර් 126) උසැති මෙය ශ‍්‍රී ලංකාවේ අටවන උසම දිය ඇල්ලයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මස්කෙළිය ප‍්‍රදේශයේ පිහිටි මෙය හමු වන්නේ මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය එක් වී කැළණි ගඟ බවට පත් වන තැනදී.

මේ දියඇල්ල ඇතුළු උඩරට පිහිටි තවත් දිය ඇලි ගණනාවක් ජලවිදුලිය ජනනය කිරීමට උපකාර කොට ගත හැකි බව විමලසුරේන්ද්‍ර තේරුම් ගත්තා. කඳු මුදුන් සිට කෙමෙන් ගලා හැලෙන දිය කඳන් ඔහු හැඳින්වූයේ ‘සුදුවන් ගල් අඟුරු’ (‘white coal) ලෙසින්.

ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රයේ අනාගතය මේ සුනිත්‍ය හෙවත් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවය සමග සමීපව සබැඳෙන බව දුරදක්නා නුවණින් ඔහු වටහා ගත්තා.

ගලා යන ජලයේ ගැබ්ව ඇති චාලක ශක්තිය යොදා ගෙන ‘වතුර රෝද’ කරකවා එයින් යම් වැඩ කර ගැනීම සියවස් ගණනක සිට චීනය ඇතුළු රටවල් ගණනාවක පැවති සම්ප‍්‍රදායක්. එහෙත් විදුලිය පිළිබඳ විද්‍යාත්මක දැනුම මතුව ආයේත්, ගලා හැලෙන ජල කඳකින් විදුලිධාරාවක් නිපදවා ගැනීමේ තාක්ෂණය බිහි වූයේත් 19 වන සියවසේදී.

Generating electricity from flowing water - a simplified diagram

Generating electricity from flowing water – a simplified diagram

මේ වන විට මහා පරිමාණ මෙන්ම මධ්‍යම හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර දහස් ගණනක් ලොව පුරා තිබෙනවා. අද ලොව සමස්ත විදුලි ජනනයෙන් 16%ක් පමණ උපදවා ගන්නේ ජල විදුලි බලාගාරවලින්.

ශ‍්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය ඇරඹුණේ 1895දී. පෞද්ගලික සමාගමක් කොළඹ නගරයේ වාණිජ වශයෙන් වැදගත් ප‍්‍රදේශවලට විදුලිය සැපයූ මේ සීමිත සේවාව ලබා දුන්නේ කොටුවේ පිහිට වූ ඛනිජ තෙලෙන් වැඩ කළ කුඩා තාප බලාගාරයකින්. 1902දී කොළඹ විදුලිට‍්‍රෑම් රථ හා ආලෝකය සඳහා සමාගමක් (Colombo Electric Tramways and Lighting Company) පිහිටුවා පිටකොටුවේ තාප බලාගාරයක් හරහා විදුලිය ජනනය කරනු ලැබුවා.

මෙරට විදුලි බල ඉතිහාසයේ මුල් දශක කිහිපයේම විදුලිබල සැපයුමක් ලැබුණේ ඉතා සීමිත ප‍්‍රදේශවලට පමණයි. තැන තැන පිහිටුවනු ලැබු කුඩා තාප බලාගාර ඒ අවට රාජ්‍ය ආයතන, ව්‍යාපාරික ස්ථාන හා ඇතැම් නිවාසවලට විදුලිය සැපයුවා. දීපව්‍යාප්ත බෙදා හැරීමේ ජාලයක් හෝ මහා පරිමාණ විදුලි බලාගාර හෝ තිබුණේ නැහැ.

An electric-powered tramcar in Colombo in the early 20th century

An electric-powered tramcar in Colombo in the early 20th century

විමලසුරේන්ද්රයන්ගේ දැක්ම වූයේ පිටරටින් ගෙන එන ඛනිජ තෙල් දහනයක් නොමැතිව, අපේ ජල සම්පත හා කඳුකරයේ බෑවුම් යොදා ගෙන විශාල වශයෙන් ජල විදුලිය නිපදවා රටේ වැඩි ජන පිරිසකට මේ බලශක්තිය ලබා දීමයි. හරහා රටේ ජීවන තත්ත්වය උසස් කරන අතරම කර්මාන්ත නවෝදයක් බිහි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.

1912දී බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයේ වැඩිදුර පුහුණුවෙන් පසු ඔහු තම යෝජනා වඩාත් විස්තරාත්මකව ගොනු කළා. ඒ වසරේම ඔහු ලංකා ඉංජිනේරු ආයතනයට (එවකට Engineering Association of Ceylon, දැන් නම Institution of Engineers Sri Lanka) මේ අදහස ඉදිරිපත් කළත් එහි සාමාජික ඉංජිනේරුවන් අතර එතරම් උනන්දුවක් හට ගත්තේ නැහැ. 1906දී ඇරැඹි ඉංජිනේරු ආයතනය ඒ වන විටත් පැවතියේ ළදරු අවධියේයි.

අධෛර්යය නොවුණු විමලසුරේන්ද්‍ර තම අදහස දිගටම දියුණු කළා. 1913දී නුවරඑළිය නගරයට විදුලිය සැපයීමට නානුඔය හා නුවරඑළිය අතර බ්ලැක්පූල් (Blackpool) නම් ස්ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක් තැනීමට PWD හරහා ඔහු හවුල් වුණා.

ඇතැම් කුඩා දිය පහරවල් හරස් කර ක්ෂුද්‍ර ජල විදුලි බලාගාර තේ වතු සමහරක පිහිටා තිබුනත් මුල් වරට වාණිජ මට්ටමින් ජල විදුලි බලාගාරයක් මෙරට ඉදි කැරුනේ බ්ලැක්පූල්හිදී. ඒ මගින් ජල විදුලි උත්පාදනයේ ශක්‍යතාවය හොඳ හැටි පෙන්නුම් කරනු ලැබුවා.

Laxapana Falls, image courtesy Wikimedia Commons

Laxapana Falls, image courtesy Wikimedia Commons

විමලසුරේන්ද්‍රගේ දැක්ම හා උත්සාහය වෘත්තිමය මට්ටමින් ප‍්‍රසිද්ධියේ අගය කළ අයකු වූයේ එවකට මෙරට සිටි නෙදර්ලන්ත ජාතික ඉංජිනේරුවකු වූ ඉයන් වන් ගීසල් (Ian Van Geyzel). කැළණි ගංගා නිම්නයේ භූවිෂමතා ගැන හොඳ අවබෝධයක් තිබු වන් ගීසල් කිරිවන්එළිය ඇල්ල යොදා ගෙන ජලවිදුලි බලාගාරයක් තැනීමේ විමලසුරේන්ද්‍ර යෝජනාව මහත් උද්‍යොගයෙන් ප‍්‍රවර්ධනය කළා.

මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය හරහා ගලා එන ජලය එකතු කොට ජල විදුලි බලාගාරයක් හරහා යැවුවහොත් ජනනය කර ගත හැකි විදුලියෙන් දළ වශයෙන් විදුලි පහන් ලක්ෂයක් පමණ දැල්විය හැකි වෙතැයි විමලසුරේන්ද්‍ර ගණන් බැලූවා. (මෙය මෙගාවොට් 114.5MWක් පමණ වනවා.) ලක්ෂ-පහන පසුව ලක්ෂපාන ලෙස වඩා කටට හුරු නමක් බවට පත් වුණා.

විමලසුරේන්ද්‍ර යළිත් 1918දී ඉංජිනේරු ආයතනයට වඩාත් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළා. ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’ (‘Economics of Hydro Power Utilization in Ceylon‘) නම් වූ එම විද්‍යාත්මක වාර්තාව පළමුවරට මෙරට ප‍්‍රධාන පෙළේ ජලවිදුලි විභවය ඇති ස්ථාන හා ඒවා හරහා විදුලිය ජනනය කිරීමට ගත යුතු පියවර සාකච්ඡා කළා.

එහි සාරාංශයක් මෙසේ දැක්විය හැකියි:

  • මහවැලි ගඟ ජලවිදුලි ජනනයට මෙරට තිබෙන ප‍්‍රධානතම ජල ප‍්‍රභවයයි. කිසිදු ජලාශයක් නොතනා, ගලා යන ගංගා ජලයෙන් පමණක් 95 MW උපදවා ගත හැකියි. එසේ කිරීමට හොඳටම විභවය ඇති ස්ථාන ගණනාවක් ඔහු සිතියම් ගත කළා.
  • මහවැලි ගෙඟ් අතු ගංගාවක් වන කොත්මලේ ඔය හරහා තවත් 47 MW ජනනය කළ හැකියි.
  • කැළණි ගඟ ඇරැඹෙන අබියස ඇති ඇබර්ඞීන් දියඇල්ල යොදා ගෙන 46 MW ජනනය කළ හැකියි.
  • කැළණි ගඟ කිරිවන්එළිය ඇල්ල (දැන් හැඳින්වෙන පරිදි ලක්ෂපාන දියඇල්ල) හා කිතුල්ගල ආසන්නයෙන් තවත් 28 MW ජනනය කළ හැකියි. මෙය සාපේක්ෂව කොළඹට වඩා සමීපයි.

[විමලසුරේන්ද්‍ර 1918දී යොදා ගත් EHP (Effective Horse Power) නමැති අශ්වබල ඒකකය අද භාවිතා කැරෙන මෙගාවොට්වලට පෙරළා ඉහත ගණන් ප‍්‍රකාශ කොට තිබෙනවා.]

විමලසුරේන්ද්‍ර සෙසු ඉංජිනේරුවන්ට කීවේ මෙම ගණන් බැලීම ආරම්භයක් පමණක් බවයි. වේලි හා ජලාශ තනා ජලය රැස් කර ගත් විට මෙයට වඩා විශාල ජලවිදුලි ප‍්‍රමාණයක් ජනනය කිරීමේ ධාරිතාව ලද හැකි බව ඔහු දැන සිටියා.

ජලවිදුලි උත්පාදක ප‍්‍රභවයන් රටේ අගනුවර හා වඩාත් වාණිජමය ප‍්‍රදේශය වන කොළඹ දිස්ත‍්‍රික්කයට දුරින් පිහිටීමට ඔහු විසඳුමක් යෝජනා කළා. එනම් රට පුරා විදුලිය බෙදාහරින ජාතික විදුලිබල සම්පේ‍්‍රෂණ ජාලයක් (national grid) පිහිටුවීමයි.

විමලසුරේන්ද්‍රගේ දැක්ම නිවාසවලට විදුලිය ලබා දීමට පමණක් සීමා වුණේ නැහැ. මෙරට කර්මාන්ත දියුණු කිරීමට විදුලිබලය දරා ගත හැකි මිලට ලබා දීම ඉතා වැදගත් බව ඔහු 1918 වාර්තාවේ අවධාරණය කළා.

‘‘පිටරටින් ගෙනෙන ඛනිජ තෙල් දහනය කොට විදුලිය නිපදවීම දිගු කාලීනව තිරසාර බලශක්ති විසඳුමක් නොවෙයි. (පළමුවන) ලෝක යුද්ධය හමාර වීමත් සමග යුද්ධයට පැටලී සිටි යුරෝපා රටවල් යළිත් ආර්ථික වශයෙන් සක‍්‍රිය වනු ඇති. එවිට ඛනිජ තෙල් හා ගල් අඟුරුවලට ඇති ඉල්ලමු ඉහළ යා හැකියි. ඒවායේ මිල වැඩි වූවොත් ලංකාව වැනි රටවලට විදේශ විනිමය ප‍්‍රශ්න මතු වනවා. අපේ රටේම ජල සම්පතින් විදුලිය නිපදවා ගත හැකි විට මෙසේ විදෙස් බලශක්ති මත මුළුමනින්ම යැපෙන්නේ ඇයි? අප අපේ බලශක්ති ස්වාධීනත්වය (energy independence) ඉලක්ක කර ගෙන සැලසුම් කළ යුතුයි.’’ ඔහු කියා තිබෙනවා.

විදුලි බලය ඇති තරම් ජනනය කරන විට අපේ දුම්රිය පද්ධතියෙන් කොටසක් ධාවනය කිරීමට ද විදුලිය යොදා ගත හැකි බව ඔහු දුරදක්නා නුවණින් යෝජනා කළා.

ඉතිරි කොටස ලබන සතියේ

විමලසුරේන්ද්‍රයන්ගේ 1918 නිබන්ධනය මෙතැනින් කියවන්න: http://elect.mrt.ac.lk/djw_paper.htm

විශේෂ ස්තුතිය: විමලසුරේන්ද්‍ර මුනුපුරු ආචාර්ය නන්දදාස නාරායන

Posted in Clean energy, Eco-friendly living, heritage, History, Innovation, public interest, Ravaya Column, Science communication, Sri Lanka, Sustainable Development. Tags: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , . 2 Comments »