සිවුමංසල කොලුගැටයා #283: ලක් සමාජය වංචනිකයන්ගෙන් බේරා ගැනීමට බුද්ධිමය ප්‍රතිශක්තිකරණයක් ඕනෑ!

STS Forum Sri Lanka
STS Forum Sri Lanka

Sri Lanka’s first Science and Technology for Society (STS) Forum took place from 7 to 10 September in Colombo. Organized by the Prime Minister’s Office and the Ministry of Science, Technology and Research, it is one of the largest gatherings of its kind to be hosted by Sri Lanka.

What sets STS Forums apart is that they are not merely events where scientists talk to each other.  That surely will happen, but there will be many more voices and, hopefully, much broader conversations.

In this week’s Ravaya column (in Sinhala, appearing in the print issue of 11 Sep 2016), I look at Sri Lanka’s appalling lack of scientific literacy.

As Dr Neil deGrasse Tyson, American astrophysicist, cosmologist and science communicator, says, “Scientific literacy is an intellectual vaccine against the claims of charlatans who would exploit ignorance.”

Sri Lanka takes justified pride in its high literacy levels and equally high coverage of vaccination against infectious diseases. But we cannot claim to have a high level of scientific literacy.

A healthy dose of scepticism is essential to safeguard ourselves from superstitions, political claims and increasingly sophisticated – but often dishonest – product advertising. That’s what scientific literacy builds inside our minds.

I argue that unless we make scientific literacy an integral part of everyone’s lives, ambitious state policies and programmes to modernize the nation could well be jeopardized. Progress can be undermined — or even reversed — by extremist forces of tribalism, feudalism and ultra-nationalism that thrive in a society that lacks the ability to think critically.

See also my English op-ed: Scientific Literacy: ‘Mind Vaccine’ Sri Lanka Urgently Needs

Dr Neil deGrasse Tyson: One man worth cloning if that were feasible...
Dr Neil deGrasse Tyson: One man worth cloning if that were feasible…

විද්‍යාව, තාක්ෂණය හා සමාජය ගැන ජාත්‍යන්තර සමුළුවක් සැප්තැම්බර් 7 – 10 වකවානුව තුළ කොළඹදී පැවැත්වෙනවා.

”විද්‍යාව හා තාක්ෂණය තිරසාර සංවර්ධනයට නිසි ලෙස යොදා ගැනීම” මෙහි ප්‍රධාන තේමාවයි. ඒ යටතේ අනුතේමා හා මාතෘකා රැසක් වටා සැසිවාර පැවැත්වෙනවා.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා විද්‍යා – තාක්ෂණ අමාත්‍යාංශය සංවිධානය කරන මේ සමුළුව හුදෙක් විද්‍යාඥයන් හා තාක්ෂණවේදීන් එක් රැස් කරන තවත් අවස්ථාවක් පමණක් නොවෙයි.

මේ අයට අමතරව ප්‍රතිපත්ති සම්පාදකයන්, නව නිපැයුම්කරුවන්, විද්‍යා සන්නිවේදකයන්, විද්‍යා ගුරුවරුන්  හා ශිෂ්‍යයන් ද මෙයට සම්බන්ධ වනවා. ඇතැම් සැසිවාරවල අදහස් දක්වන්නේද මේ වඩාත් පුළුල් පිරිසෙන් තෝරා ගත් කථීකයන්.

මහජනයා සඳහා විද්‍යාව (citizen science) යන තේමාව යටතේ සැසිවාර කිහිපයක් සැළසුම් කිරීමට සංවිධායකවරුන් මට ඇරැයුම් කළා.

සාමාන්‍යයෙන් විද්‍යාත්මක සමුළුවලදී විද්‍යාව හා සෙසු සමාජය අතර සබඳතා ගැන එතරම් අවධානයක් යොමු කරන්නේ නැහැ. විද්වතුන් අතර කෙරෙන කථාබහ මාධ්‍ය වාර්තාකරණයට හසු වන්නේ ද සීමිතවයි.

එසේ බලන විට මේ සමුළුව අන් බොහෝ ඒවාට වඩා ඉදිරියෙන් සිටිනවා.

සාකච්ඡා කැරෙන අභ්‍යාවකාශ තාක්ෂණය, පරිගණ තාක්ෂණය, නැනෝ තාක්ෂණය, ජාතික නවොත්පාදන ප්‍රතිපත්තිරාමුව ආදී තේමා සියල්ල රටේ ආර්ථීක හා සමාජ සංවර්ධනයට දායක කරගත හැකි ක්ෂේත්‍රයන්.

එහෙත් විද්‍යාත්මක චින්තනය හා විවෘත මනසක් රටේ ස්ථාපිත නොවන තාක් කල් මේ කුමන තාක්ෂණයක් ප්‍රවර්ධනය කළත් එතරම් වැඩක් නැහැ. මන්ද තර්කානුකූලව සිතීමට හා ක්‍රියාකිරීමට නොහැකි සමාජයක් ලෙහෙසියෙන් වංචනිකයන් හා දේශපාලන අවස්ථාවාදීන්ට රවටා ගත හැකි නිසා.

වත්මන් සංකීර්ණ සමාජයේ ප්‍රවේශමින් දිවි ගෙවීමට බාල මහලු කොයි කාටත් යම් අවම විද්‍යාත්මක දැනුමක් හා චින්තනයක් අවශ්‍යයි.

එය පාසලේ හෝ සරසවියේ විෂ්‍ය නිර්දේශ අනුව උගන්වන විද්‍යාවන් නොවෙයි. එසේ විධිමත් ලෙස විද්‍යා විෂයයන් ඉගෙනීමට අවස්ථාවක් ලැබෙන්නේ අපේ ජනගහනයෙන් සාපේක්ෂව සීමිත පිරිසකට පමණයි.

එහෙත් මිලියන 21ක සියලු ලාංකිකයන්ට මූලික මට්ටමේ විද්‍යාත්මක අවබෝධයක් ලබා දීම වැදගත්.

මෙහිදී අවශ්‍ය වන්නේ විශේෂඥ දැනුම නොව විද්‍යාත්මකව සිතීම හා  එය එදිනෙදා ජීවිතයට අදාළ කර ගැනීමයි. ”විද්‍යාත්මක සාක්ෂරතාවය” (scientific literacy) ලෙස හඳුන්වන්නේ එයයි.

එහි නිර්වචනය නම් විද්‍යාත්මක සංකල්ප හා ක්‍රියාදාමයන් ගැන මූලික දැනුමක් හා අවබෝධයක් ලැබීම හා එය පෞද්ගලික ජීවිතයේ තීරණ ගැනීමට මෙන්ම වෘත්තීය හා සංස්කෘතික ක්‍රියාකාරකම්වලට පාදක කර ගැනීමයි.

අද ලොව සිටින දක්ෂතම හා වඩාත් ප්‍රකට විද්‍යා සන්නිවේදකයකු වන අමෙරිකානු තාරකා භෞතික විද්‍යාඥ ආචාර්ය නීල්ඩිග්‍රාස් ටයිසන් (Dr Neil deGrasse Tyson) එය වඩාත් සිත් කාවදින ලෙසින් මෙසේ කියනවා.

”විද්‍යාත්මක සාක්ෂරතාවය හරියට මනසට ලබා දෙන බුද්ධිමය එන්නතකට සමානයි. අපේ නොදැනුවත්කම හරහා අප රවටන්නට බලා සිටින සටකපට තක්කඩියන්ගෙන් බේරීමට හොඳම උපක්‍රමයයි.”

ආසියාවේම ඉහළ සාක්ෂරතාවයක් ගැහැණු, පිරිමි දෙපිරිසටම ලබා ගැනීම ගැන සමාජයක් ලෙස අප ආඩම්බර වනවා. එසේම බෝවන රෝග වළක්වා ගැනීමට එන්නත් හරහා ප්‍රතිශක්තිකරණය ලබා දීම අතින්ද රටේ මුළු ජනගහනයම පාහේ ආවරණය කිරීමට අපේ සෞඛ්‍ය සේවාව සමත්ව සිටිනවා.

untitled-614

එහෙත් අපේ විද්‍යාත්මක සාක්ෂරතාව ගැන නම් කිසිසේත්ම සෑහීමකට පත් වන්නට බැහැ. උගත්කම, වත්කම, සමාජ තරාතිරම හා වෘත්තිමය පසුබිම කුමක් වෙතත් තර්කානුකූලව සිතීමට හැකියාව ඇත්තේ අප අතර ටික දෙනකුට පමණයි.

මෙහි රෝග ලක්ෂණ හෙවත් විපාක  ඕනෑ තරම් අප සමාජයේ දැකිය හැකියි.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

29 Jan 2012: සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

එක් පසෙකින් ජ්‍යොතිෂවේදීන්, දේවාල කපුවන්, විශ්ව ශක්තිකාරයන්, බලිතොවිල් කාරයන් හා වෙනත් ගුප්ත ශාස්ත්‍ර අලෙවි කරන්නන් පසුපස යමින් පෞද්ගලික ජීවිතයේ අවශ්‍යතා සඳහා ඉක්මනින්, කෙටික්‍රම (ෂෝට් කට්) සොයන්නෝ එමටයි. ඒ අතර ඕනෑතරම් පොතේ උගතුන්ද සිටිනවා.

විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප්‍රසිද්ධියේ පළ කරනවා.

ඊටත් එහා යන ප්‍රබල ගුරුකම්ල අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මේවාට යොමු වන්නෝ මොහොතක් සිතා බැලුවොත් තමන් කරන දෙයෙහි නිශ්ඵල බව පෙනී යාවි. උදාහරණයකට දේව අනුග්‍රහයෙන් විභාග සමත් විය හැකි නම් කපුවන්ගේ දරුවන් ප්‍රසිද්ධ විභාග සියල්ලෙන් උසස්ම ප්‍රතිඵල ගත යුතුයි නේද? ගුප්ත ශාස්ත්‍රකරුවන් ඉතා ඉසුරුමත් විය යුතුයි නේද?

මීට අමතරව රටේ රාජ්‍ය නායකයා තම ග්‍රහණයට හසු කර ගෙන, රාජ්‍යයේ සියලු වැදගත් තීරණවලට ජ්‍යොතිෂවේදීන් බලපෑම් කළ සැටිත්, අන්තිමේදී ඔවුන්ගේ උපදෙස් මත කලින් ජනපතිවරණයක් පවත්වා හිටපු නායකයා සිය ධූර කාලයෙන් වසර දෙකක් අහිමි කර ගත් සැටිත් අප දන්නවා.

23 Nov 2014: සිවුමංසල කොලූගැටයා #195: අපේ රටේ බලවත්ම පුද්ගලයෝ ජ්‍යොතිර් ඇදුරන්ද?

අනෙක් පසෙකින් ඕනෑම  කුමන්ත්‍රණවාදී තර්කයන් කිසිදු විමර්ශනයකින් තොරව විශ්වාස කරන ලාංකිකයන් සංඛ්‍යාව අති විශාලයි. මෙයට උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.

රටේ බහුතර ජන කොටස වඳ බවට පත් කිරීමේ උත්සාහයන් ගැන, නැතිනම්  සමස්ත ශ්‍රී ලංකාවටම කර ඇතැයි කියන සාපයන් ගැන ප්‍රබන්ධ කථා පැතිර යන්නේ අධිවේගයෙන්.

එයට සමාන්තරව රටේ ආරක්ෂාවට, ආර්ථීකය හා රජයට එරෙහිව විවිධ ජාත්‍යන්තර කුමන්ත්‍රණ දිග හැරෙනවාය යන්න අපේ බොහෝ දෙනා විශ්වාස කරනවා. මේ කිසිවක් සඳහා සාක්ෂි ඉල්ලා සිටින්නේ නැහැ.

Words of Dr Abraham Thomas Kovoor (1898 – 1978), rationalist
Words of Dr Abraham Thomas Kovoor (1898 – 1978), rationalist

හැම තරාතිරමකම ලාංකිකයන් නොමඟ යැවීම මෙතරම් පහසු වී ඇත්තේ ඇයි? පොතේ උගතුන් මුලා කිරීම මින් පර නොවූ විරූ ලෙස අද පසහු වී ඇත්තේ ඇයි?

තාක්ෂණය ප්‍රචලිත වීම හරහා අද ඉන්ටර්නෙට් භාවිතය, ස්මාට්ෆෝන් භාවිතය පුළුල් වුවත්  ඒ නව මාධ්‍ය හරහා ද අපේ බොහෝ දෙනා තොරතුරු හා අදහස් හුවමාරු කර ගන්නේ කිසිදු විචාර බුද්ධියකින් තොරවයි.

අතේ තිබෙන ස්මාට්ෆෝන් එක තරම්වත් ස්මාට් නැති අය එමට හමු වනවා! තම තමන්ගේ මෝඩකම්වල ආදීනව ඔවුන්ටම විඳින්නට ඉඩ දී අප බලා සිටිමුද?

එහෙත් තනි පුද්ගලයන්ට එහා යන බිහිසුණු යථාර්ථයක් මෙහි තිබෙනවා. එනම් සමාජයක් ලෙස අයාලේ යැවීමට, රවටවා ගැනීමට සටකපට ඕනැම අයකුට හැකි වීමයි.

මිථ්‍යාව හා අවිචාරය විසින් වෙලා ගත් සමාජයක් දිගටම පවතිනු දැක්මට අවස්ථාවාදී දේශපාලකයන් හා තන්හාධික ව්‍යාපාරිකයන් යන දෙපිරිසම කැමතියි.

please-turn-off-your-brain-cells

කියන ඕනෑම ප්‍රලාපයක්, ගෙඩි පිටින් අදහන ජනතාවක් ගෝත්‍රවාදය, වැඩවසම්වාදය හා ජාතිකවාදය වැනි අන්තවාදී සංකල්ප වෙත හරවා ගැනීම ඉතා පහසුයි.

එක් පසෙකින් එවන් ජනතාවක් රවටා දේශපාලකයන් ඔවුන්ගේ ඡන්දය (හා අනාගතය) ඩැහැ ගන්නා අතර අනෙක් පසින් මෝඩ ජනතාව මුලා කර වංචනික වෙළඳෙ ප්‍රචාරණ හරහා ව්‍යාපාරිකයන් ඔවුන්ගේ මිළමුදල් හීන්සීරුවේ ලබා ගන්නවා. (සුදු වෙන්න, ස්මාට් වෙන්න, ඇඟ නොවෙහෙසා ෆිට් වෙන්න, කඩිනම් ප්‍රතිකර්ම කෙතරම් අද දවසේ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියේම අලෙවිකරණය කරනවාද?)

විද්‍යාත්මක සාක්ෂරතාවය අවශ්‍ය වන්නේ මේ සැමගෙන් බේරී, අපේ ඡන්දය, මිළ මුදල්, පණ කෙන්ද හා ආත්ම ගරුත්වය රැක ගැනීමටයි.

විද්‍යාත්මක  සාක්ෂරතාවය අනවශ්‍ය ලෙස සංකීර්ණ කර ගත යුතු නැහැ. එයට තුඩු දෙන ඔවදන් අපේ ජන විඥානයේම තිබෙනවා. ”කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි’ යන්න එවැන්නක්.

විද්‍යාත්මක චින්තනය ප්‍රගුණ කර ගත්තෝ කිසිවක් එකවර පිළි ගන්නේ නැහැ. ප්‍රශ්න කරනවා. සාක්ෂි සොයනවා. භෞතික සිද්ධියක් නම් එය හොඳින් නිරීක්ෂණය කරනවා. අත්හදා බැලිය හැකි නම් එසේ කරනවා. හැම දෙයක්ම සංශයවාදීව (skeptically) විමර්ශනය කරනවා.

එසේ කොට යමක් තේරුම් ගෙන පිළිගත්තද නව දැනුමට හා නව විග්‍රහයන්ට ඔවුන් විවෘතයි. ඔවුන්ගේ මනස එක තැන පල් වෙන්නේ නෑ.

විද්‍යාත්මක සාක්ෂරතාව හෙවත් චින්තනයට පෙරදිග, බටහිර ක්‍රියා වෙනසක් නැහැ. පෙරදිගින් බිහි වූ බුදුදහම වැනි සාමයික චින්තන ක්‍රමවලත්, බටහිර තර්ක ශාස්ත්‍රඥයන්ගේ ඉගැන්වීම්වලත් අවධාරණය කරන්නේ ඕනෑම දෙයක් ඉතා හොඳින් විමර්ශනය කිරීමේ අවශ්‍යතාවයයි.

Arthur C Clarke quote on balancing traditions and modernity (Sinhala translation from UNESCO Kalinga Award acceptance speech, 1962)
Arthur C Clarke quote on balancing traditions and modernity (Sinhala translation from UNESCO Kalinga Award acceptance speech, 1962)

ශ‍්‍රීමත් ආතර් සී. ක්ලාක් අඩ සියවසක් පුරා මෙරට වාසය කරමින් නිතර ලක් සමාජයට අවවාද කළේත් මෙයයි.

විද්‍යාව ජනප්‍රිය කිරීමට ලෝක මට්ටමින් කරන විද්වත් දායකත්වය සඳහා යුනෙස්කෝ පිරිනමන කාලිංග සම්මානය 1961දී හිමි වූයේ ක්ලාක්ටයි. එය ලබා ගනිමින් ඔහු 1962 සැප්තැම්බරයේ නවදිල්ලියේදී කළ කථාවේ අවසාන වැකි කිහිපය අඩසියවසක් ගත වී තවමත් අපට අදාල කර ගත හැකියි.

“තර්කානුකූලව හා සාක්ෂි මත පදනම් වූ චින්තනයක් පෙර අපර දෙදිග සියලු රටවලට අවශ්‍යයි. එය වඩාත් හදිසි අවශ්‍යතාවක් වන්නේ දියුණු වෙමින් පවතින රටවලයි. ආසියාවේ හා අප්‍රිකාවේ බොහෝ රටවල මිලියන් ගණනක් ජනයා භෞතික, මානසික හා ආධ්‍යාත්මික දරිද්‍රතාවයේ ඇද බැඳ තබන ප්‍රබල සාධක දෙකක් තිබෙනවා. එනම් අන්ධ භක්තිය හා මිථ්‍යා විශ්වාසයි.

 “විද්‍යාව එහි සාංස්කෘතිකමය හා තාක්ෂ‚ක යන මුහුණුවර දෙකෙන් ම මේ පසුගාමී සාධකවලට එරෙහි වනවා. ගතානුගතිකත්වයේ යදම් බිඳ දමා මුළු මහත් ජාතීන් වඩා යහපත් ජීවන තත්ත්වයන් වෙත කැඳවා ගෙන යන්නට විද්‍යාත්මක චින්තනය මඟ පෙන්වනවා.

 “විවෘත මනසින් යුතුව හා විචාරශීලිව හැම දෙයක් ම ප්‍රශ්න කිරීම විද්‍යාවේ ක්‍රමවේදයයි. ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ හරහා මතු වන දේ අපේ එල්බ ගත් විශ්වාසවලට පටහැනි වන විට දී පවා එය පිළිගැනීම විද්‍යාවේ විනයයි.

 “එහෙත් අන්තවාදියාගේ ආදර්ශ පාඨය වන්නේ කරුණු හා තර්ක ඉදිරිපත් කරන්නට එපා – මගේ තීරණය අවසාන විනිශ්චයයියන්නයි. එබඳු අධිපතිවාදයක් විද්‍යාවේ නැති නිසා අන්තවාදීන්ට විද්‍යාවේ තැනක් ද නැහැ.

 “මිථ්‍යා විශ්වාස හා ඇදහිලි ඕනෑ තරම් පෙරදිග රටවල හමු වනවා. සමහරක් ඒවා අහිංසක නොමඟ යාම් වූවත් ඇතැම් ඒවා පුද්ගලයන්ට හා ජන සමාජයන්ට ඉතා අහිතකරයි…හැම රටක හා ජාතියක ම අතීතයේ ආයාසයෙන් ප්‍රතිකේෂප කළ යුතු ඇතැම් උරුමයන් ද තිබෙනවා.

 “ගැඹුරට විග්‍රහ කළ විට විද්‍යාව යනු තර්කානුකූලව සිතීම හා විචාරශීලිව ලෝකය හා සමාජය දෙස බැලීමයි. අප ඉවත ලිය යුත්තේ කුමක් ද හා තව දුරටත් පවත්වා ගනිමින් ප්‍රවර්ධනය කළ යුත්තේ කුමක් ද යන්න එබඳු චින්තන ක්‍රමවේදයකින් අපට වෙන් කර ගත හැකියි. අනාගතයට දිවෙන අවිනිශ්චිත මාර්ගයෙහි අපට හොඳම මඟ පෙන්වන්නන් ත්‍රිත්වය වනුයේ විද්‍යාත්මක චින්තනය, සහජයෙන් අප ලබන ප්‍රඥාව හා අමාරුවෙන් ප්‍රගුණ කර ගත යුතු දුරදක්නා නුවණයි.”

ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක  සාක්ෂරතාවය ප්‍රවර්ධනය කිරීමේ වගකීම විධිමත් අවධ්‍යාපන ක්ෂේත්‍රයට (පාසල් හා සරසවි) සීමා කළ නොහැකියි. ඒ සඳහා සිවිල් සමාජ පෙළගැස්මක්, මාධ්‍ය ප්‍රබුද්ධයන්ගේ දායකත්වයක් හා වෘත්තිකයන්ගේ සහභාගිත්වයක් අවශ්‍යයි.

පරම්පරාවකට පෙර ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන සමාජගත කරන්නට කලාකරුවන්ල විද්වතුන් හා වෙනත් බොහෝ අය හවුල් වුණා. බුද්ධි ප්‍රතිශක්තිකරණයටත් එවන් ප්‍රයත්නයක් ඕනෑ!

Read also: සිවුමංසල කොලූගැටයා #96: ආතර් සී. ක්ලාක් නැවත කියවමු!