This is the Sinhala text of my weekly column in Ravaya newspaper, issue for 9 Oct 2011. In this, I discuss the plight of two telescopes in Sri Lanka – a private one used by Sir Arthur C Clarke, and another gifted to the government by Japan that is located in the wrong place and grossly underused.
For an English discussion of the same topics, see my article in Groundviews.org published on 4 Oct 2011: A Tale of Three Telescopes and a Blind News Media

“ආතර් සී. ක්ලාක් භාවිතා කළ දුරදක්නය රුපියල් දස ලකෂයකට විකුණලා!”
මේ ප්‍රවෘත්තිය සිරස මාධ්‍ය ජාලය ඔස්සේ ප්‍රචාරය වූයේ ඇතැම් දෙනකුගේ කුතුහලය අවුස්සමින්. ලංකාවේ පදිංචිකරුවකු (පුරවැසියෙකු නොවේ!) හැටියට අඩසියවසක් ගත කළ කීර්තිමත් බ්‍රිතාන්‍ය විද්‍යා ලේඛකයා පරිහරණය කළ දුරදක්නය පුවත්පතක දැන්වීමක් හරහා විකුණා ඇති බවත්, ගැණුම්කරුගේ අනන්‍යතාවය නොදන්නා බවත් එයින් කියැවුණා. එපමණකින් නතර නොවී පුවත් වාර්තාකරු කොළඹ සරසවියේ භෞතික විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න උපුටා දක්වමින් කියා තිබුණේ මේ දුරදක්නය ඇතුළු ආතර් සී. ක්ලාක් පරිහරණය කළ දෑ ‘අනාගත පරපුරට දැක ගැනීමට හැකි ස්ථානයක සංරකෂණය කළ යුතු’ බවයි. මේ සදහා රජයට මැදිහත් විය හැකි ද යන්න පුවතෙන් ප්‍රශ්න කොට තිබුණා.
පැය විසි හතර පුරා ම ප්‍රවෘත්ති වාර්තා කිරීමේ පීඩනයට නතු වූ වාර්තාකරුවන් මෙබදු කථාන්තර ලිවීම අපට තේරුම් ගත හැකියි. අවාසනාවකට සිරස පුවතට හසු වී තිබුණේ කටකථාවලට ඔබ්ඛෙන් වැඩි දුරක් නොගිය, අර්ධ සත්‍ය තොරතුරු ටිකක් හා මත දැක්වීම් පමණයි. මේ ගැන මීට වඩා ගැඹුරින් විග්‍රහ කිරීමට තිබුණු අවස්ථාව ඔවුන් අතින් ගිලිහී ගියා.
ආතර් සී. ක්ලාක්ගේ විද්‍යාත්මක, ලේඛන හා මාධ්‍ය කටයුතු සම්බන්ධීකරණයට කුඩා කාර්යාලයක් ඔහුගේ කොළඹ නිවසේ කොටසක පවත්වා ගෙන ගියා. එහි කාර්ය මණ්ඩලයේ වසර 21ක් තිස්සේ (අර්ධ කාලීනව) මා ද සාමාජිකයකු වුණා. ඔහු 2008 මාර්තුවේ මිය ගිය පසු අන්තිම කැමති පත්‍රයට අනුව ඔහුට හිමිව තිබූ නිශ්චල හා චංචල දේපල අධිකරණ අධීකෂණය යටතේ අදාල පුද්ගලයන්ට හා ඔහුගේ නමින් ලියාපදිංචි කළ භාරයකට පවරනු ලැබුවා. මෙය නීති සහගත ක්‍රියාදාමයක්. ඒ හරහා දුරදක්නය ලද පුද්ගලයාට එය විකිණීමට උවමනා නම් කිසිදු බාධාවක් නැහැ. (ඇත්තට ම සිදුවී ඇත්තේ පුවත්පත් දැන්වීමක් පළ කළත් එය ගනුදෙනුවක් දක්වා ගමන් නොකිරීමයි.)
මාධ්‍ය පුවතින් දුරදක්නය ගැන කිසිදු විස්තරයක් හෙළි නොවුවත් එය ගැන සියළු තොරතුරු ඉන්ටර්නෙට් තොරතුරු ගවේෂණයකින් සොයා ගත හැකියි. මේ දුරදක්නය මා හොදට දන්නවා. එය අමෙරිකාවේ Celestron සමාගම නිෂ්පාදනය කළ අගල් 14 ක පරාවර්තක (reflector) දුරදක්නයක්. එය වෘත්තීය තාරකා විද්‍යාඥයන්ට නොව ආධුනික තාරකා විද්‍යාවේ නියැලෙන අයට රාත්‍රී අහස නිරික්සීමට යොදාගත හැකි ඉහළ මට්ටමේ උපකරණයක්.
රාත්‍රී අහස නිරීකෂණයට කුඩා කල සිට ම ක්ලාක්ගේ ලොකු උනන්දුවක් තිබුණා. එංගලන්තයේ ගොවිපලක ගත කළ ළමා කාලයේදී ඔහු අඩු වියදමින් තමන්ගේ මුල් දුරදක්නය ගෙදරදී ම හදා ගත්තා. පසු කලෙක වාණිජ මට්ටමින් වෙළදපොලේ ඇති දුරදක්න මිළට ගෙන මේ විනෝදාංශය මහත් ඕනෑකමින් කර ගෙන ගියා. 1956 දී ඔහු ලංකාවේ පදිංචියට ආ විට උතුරු අහස මෙන් ම දකුණු අහසේත් විශාල පරාසයක් විහිදෙන තරු මෙරට සිට නැරඹිය හැකි බව තේරුම් ගත්තා. එයින් ඔහුගේ ආධුනික තාරකා විද්‍යා කටයුතු තවත් උත්සන්න වුණා.
ඒ විනෝදාංශයට යොමු වී සිටි තවත් ලාංකිකයන් හවුල් කරගෙන 1959දී ලංකා තාරකා විද්‍යා සංගමය (Ceylon Astronomical Association) පිහිටුවා ගත් ඔහු වසර කිහිපයක් එහි සභාපතිවරයාද වුණා. මීට පෙර කොලමක මා ස`දහන් කළ පරිදි වෘත්තිමය තාරකා විද්‍යා කටයුතු ස`දහා අවශ්‍ය පහසුකම් මෙරට නැති නිසා අපට ඇත්තේ ආධුනික තාරකා විද්‍යා ක්‍රියාකාරකම් පමණයි. මෙරටින් බිහි වූ සියළු ම වෘත්තිමය තාරකා විද්‍යාඥයන් රැකියාවල නිරතවන්නේ විදේශ රටවලයි. නමුත් සංවිධානගත මට්ටමින් ආධුනික තාරකා විද්‍යා නිරීකෂණ කරන කිහිප දෙනකු මෙරට සිටිනවා.
ක්ලාක් Celestron-14 දුරදක්නය මෙරටට ගෙන ආවේ 1980 දශකය මුලදී. සිය නිවසේ උඩුමහලේ බැල්කනියේ එය තැන්පත් කළ ඔහු විටින් විට රාත්‍රී අහස නිරීක්සීමට එය යොදාගත්තා. ඔහු වඩාත් ම උනන්දු වූයේ චන්ද්‍රයාගේ මතුපිට බලන්නටත්, ග්‍රහලෝක නිරීකෂණයටත්. සෙනසුරුගේ වළලූ හා බ්‍රහස්පතිගේ මතුපිට ලප ආදිය මේ හරහා බලා ගත හැකිවුණා. දශකයක පමණ කාලයක් මෙය මෙරට තිබූ විශාලතම දුරදක්නය වූ නිසා ලංකා තාරකා විද්‍යා සංගමයේ හා තරුණ තාරකාවේදීන්ගේ සංගමයේ නිරීකෂණ සදහාත් ඔහු නොමසුරුව සිය දුරදක්නය භාවිතා කරන්නට ඉඩ දුන්නා. එහෙත් මේ දුරදක්නයෙන් කිසිදු තාරකා විද්‍යා පර්යේෂණයක් කිරීම ඔවුන්ගේ අරමුණ වූයේ නැහැ.
1994දී ජපන් රජය අගල් 18ක (සෙමී 45) GOTO වර්ගයේ පරාවර්තක දුරදක්නයක ලංකාවට පරිත්‍යාග කළා. මේ දක්වා මෙරටට ගෙන ආ විශාලත ම දුරදක්නය වූ එය කොතැනක ස්ථානගත කළ යුතු ද යන්න ඒ දිනවල විවාදයට ලක්වුණා. ප්‍රශස්ත තාරකා නිරීකෂණයට බාධා කරන වීදි ආලෝකය හා නාගරික දුවිල්ලෙන් දුරස්ථ වූ තැනක මෙය පිහිටුවන ලෙස මෙරට වෘත්තිමය හා ආධුනික තාරකා විද්‍යාඥයන් උදක් ම ඉල්ලා සිටියා. ඒ දිනවල මෙරට වාසය කළ සයිමන් ටූලොක් (Simon Tulloch) නම් බ්‍රිතාන්‍ය ජාතික තාරකා විද්‍යාඥයා මෙරට විවිධ ස්ථානවලට ගොස් තාරකා විද්‍යා නිරීකෂණාගාරයකට වඩාත් උචිත ස්ථාන ගැන අධ්‍යයනයක් කළා. ඔහුගේ නිර්දේශය වූයේ මහනුවර දිස්ත්‍රික්කයේ කිරිමැටියකන්ද හෝ කරකහතැන්න ප්‍රදේශ සාපේකෂව වඩාත් හොද එමෙන් ම ගමනාගමනයටත් එතරම් අපහසු නොවූ තැන් දෙකක් බවයි. වැඩි විස්තර සදහා බලන්න: http://www.qucam.com/publications/SL.pdf
එහෙත් විද්‍යා හා තාකෂණ අමාත්‍යාංශයේ නිලධාරීන් ඒ නොතකා මොරටුවේ පිහිටි නව තාකෂණය පිළිබද ආතර් සී. ක්ලාක් ආයතනයේ (ACCIMT) එය ස්ථාන ගත කිරීමට තීරණය කළා. (1984 දී ජයවර්ධන රජය විසින් ඇති කළ මේ තාකෂණික ආයතනය කිසිදු ආකාරයකින් කොළඹ පවත්වා ගෙන ගිය ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික කාර්යාලයට සම්බන්ධ වූයේ නැහැ. මේ වෙනස නොදත් බොහෝ දෙනා එය පටලවා ගන්නවා.) සිය නම යෙදූ රාජ්‍ය ආයතනය වූවත් දුරදක්නයකට නම් එතැන අනුචිත බව ක්ලාක් පවා එහිදී පෙන්නා දුන්නා.
පසුගිය වසර 15 පුරා මොරටුවේ තිඛෙන, මහජන මුදලින් නඩත්තු කරන මේ ජපන් දුරදක්නයෙන් කිසිදු තාරකා විද්‍යා පර්යේෂණයක් සිදු කෙරී ඇතැයි දැන ගන්නට නැහැ. මෙරට සිටින ජ්‍යෙෂ්ඨතම (විශ්‍රාමික) වෘත්තීය තාරකා විද්‍යෘඥයා වන ආචාර්ය කාවන් රත්නතුංග කියන්නේ ජාත්‍යන්තරව පිළි ගත් තාරකා විද්‍යා පර්යේෂණ නිබන්ධන එකක්වත් මේ මොරටු දුරදක්නය යොදා ගෙන ලියැ වී නැති බවයි.
“තාරකා විද්‍යාඥයකු හැටියට මෙබදු දුරදක්නයකින් කළ හැකි වැඩ කොටස මා හොදාකාර දන්නවා. එහෙත් මොරටුවේ ක්ලාක් ආයතනය මේ දුරදක්නය පවත්වා ගෙන යන්නේ දවල් කාලයේ එහි එන පාසල් සිසුන්ට පෙන්වීමටයි. ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික දුරදක්නයටත් වඩා වයසින් අඩු මේ ජපන් දුරදක්නයල ඒ රාජ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලය සළකන්නේ හරියට කෞතුක භාණ්ඩයක් වගෙයි!”
විද්‍යාත්මක උපකරණ තනා ඇත්තේ පාවිච්චි කිරීමටයි. පරිගණක, අන්වීකෂ හා දුරදක්න ආදිය වැඩි පරෙස්සමට යයි කියා පසෙක තැබුවොත් එය ලොකු අපරාධයක්. ලංකාවේ ලොකු ම දුරදක්නය භාර ආයතනය හැටියට මොරටුවේ ක්ලාක් ආයතනය දුර දැක්මක් නැතිව කටයුතු කිරීම ඉතා කණගාටුදායකයි.
ප්‍රසිද්ධ පුද්ගලයන් පාවිච්චි කළ භාණ්ඩවලට ඒවායේ වෙළදපොල වටිනාකමට ඉහළ අගයක් ආරෝපණය වන බව අප දන්නවා. ඒ නිර්නායකය හරහා විග්‍රහ කරන විටදීවත් ආතර් සී. ක්ලාක්ගේ පෞද්ගලික Celestron-14 දුරදක්නයට වටිනාකමක් ඇත්දැයි මා ආචාර්ය කාවන් රත්නතුංගගෙන් ඇසුවා. ඔහු කියන්නේ ප්‍රසිද්ධත්වයෙන් ලැඛෙන වටිනාකම (celebrity value) හා ඓතිහාසික, කෞතුක වටිනාකම (museum value) යන දෙක එකිනෙකට වෙනස් බවයි. ක්ලාක් විනෝදයට අහස බලන්නට යොදා ගත් දුරදක්නයට, ඔහු සතුව තිබීම නිසා අමතර වටිනාකමක් ලැබුණත් එය ඓතිහාසික වටිනාකමක් නොවෙයි. එසේ ම එය ඔහුගේ වෘත්තියට (ලේඛන කලාවට) ඍජුව යොදා ගත්තක් ද නොවෙයි.
ජන සමාජයට ලොකු දායකත්වයක් දුන් ප්‍රකට පුද්ගලයකුගේ අභාවයෙන් පසු ඔහු හෝ ඇය පරිහරණය කළ දේ කුමන අයුරින් රැකගත යුතු ද යන පොදු ප්‍රශ්නයත් මතු වනවා. වගකීම් සහිතව, දිගු කල් දැකමකින් හා සැළසුමකින් යුක්තව එයට මැදිහත් වන රාජ්‍ය හා ශාස්ත්‍රීය ආයතන පෙර අපර දෙදිග වෙනත් රටවල තිඛෙනවා. එහෙත් පටු ලෙස පුරාවිද්‍යාත්මක හා කෞතුක වටිනාකම නිර්වචනය කැරෙන අපේ රටේ එබන්දකට ඉදහිට හෝ මුල් වන්නේ අදාල පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හා හිතමිතුරන් මිස නිල ආයතන නොවේ. මාටින් වික්‍රමසිංහ භාරය හා (මෑත දී පිහිටවූ) රේ විෙජ්වර්ධන භාරය මෙයට උදාහරණයි.
මගේ මතය නම් ලේඛකයකුට කළ හැකි හො`ද ම උපහාරය ඔහු නිර්මාණය කළ කෘතීන් හැකි තාක් කල් වැඩි ම දෙනකුට කියැවීමේ අවස්ථාව ලබා දීම බවයි. මිය යන්නට දෙවසරකට පමණ පෙර විදෙස් මාධ්‍යවේදියකු ක්ලක්ගෙන් ඇසුවා ඔහු කුමන ආකාරයක ස්මාරකයක් පතනවා ද කියා. ක්ලාක් කිසිදු පැකිලීමකින් තොරව කීවේ “ඕනෑම හො`ද පුස්තකාලයකට ගොස් බලන්න. මගේ ස්මාරකය දැනටමත් එතැන ඇති!” (“Go to any well-stocked library and just look around!”).
මේ වටිනා අදහස ඕනෑ ම ලේඛකයකුට අදාල කරගත හැකියි. ක්ලාක් 90 විය සපුරමින් නිකුත් කළ වීඩියෝ පණිවුඩයේ කීවේ තමන් විද්‍යාව හා ලේඛන කලාව යන ෙකෂත්‍ර දෙකේ ම හපන්කම් කළත් ලේඛකයකු හැටියට ජන මතකයට එක් වන්නට වඩාත් කැමති බවයි. මේ නිසා ඔහු විනෝදයට පරිහරණය කළ දුරදක්නය ගැන ලත වනවා වෙනුවට ඔහු ලියූ 100කට අධික මාහැගි පොත් සමූහයට අවධානය යොමු කරමු. ඒ පොත්වලින් අඩක්වත් තවම සිංහලට හෝ දෙමළට හෝ පෙරැළී නැහැ.
ක්ලාක්ගේ දායාදය රැක ගෙන ප්‍රවර්ධනය කිරීමට ඕනෑ නම් වැඩ පටන් ගත යුතු ඉතා ම හොද තැන එතැනයි!