සිවුමංසල කොලූගැටයා #164: දකුණු ආසියාව කුල්මත් කළ හුරුබුහුටි මීනා

This week’s Ravaya column (in Sinhala) is about the Meena Communication Initiative, which used animations and popular culture to discuss serious messages related to the girl child in South Asia.

I covered the same ground in an English column some weeks ago: January 2014: When Worlds Collide 96: Before Malala Came Meena…

Meena and Mithu

මීනා කෙලිලොල් හා හුරුබුහුටි දැරියක්. වයස අවුරුදු 9 – 10ක් පමණ ඇති. ඇයට වැඩිමහලූ අයියා කෙනකුත්, අතදරු වියේ පසු වන නංගි කෙනකුත් ඉන්නවා. ඇගේ මව, පියා සහ ආච්චි සමග පවුල වාසය කරන්නේ සරල ගැමි ගෙදරක. ඔවුන්ගේ ගම්මානය දකුණු ආසියාවේ යම් තැනෙක, ඕනෑම තැනෙක විය හැකියි.

ඇත්තටම කිවහොත් මීනා කාටූන් චරිතයක්. එහෙත් ගෙවී ගිය දශක දෙක පුරා මීනාගේ කථා ටෙලිවිෂන් හා චිත‍්‍රකථා පොත් හරහා රස විදින මිලියන් ගණනක් දකුණු ආසියාවේ දරු දැරියන්ට හා වැඩිහිටියන්ට නම් මීනා ඇතුඵ පවුලේ උදවිය හරියට ජීවමාන චරිත වගෙයි.

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (Unicef) ආයතනය ලොව දක්‍ෂ කාටූන් ශිල්පීන් හා සන්නිවේදනක පිරිසක් සමග එක්ව නිර්මාණය කළ මීනා කථා මාලාව, මෑත කාලයේ සංවර්ධන පණිවුඩ හා ජනපි‍්‍රය සංස්කෘතිය මනා සේ යා කළ සාර්ථක උත්සාහයක්.

1990දී ලෝකයේ රාජ්‍යයන් විසින් සම්මත කර ගත් ළමා අයිතිවාසිකම් පිළිබඳ ලෝක සම්මුතියේ කියැවෙන විවිධ අයිතීන් දකුණු ආසියාතික දැරියන්ට අදාල වන ආකාරය ගැන මීනා කථාවලින් රසවත්ව විවරණය කරනු ලැබුවා. නීති හෝ පිළිවෙත් ගැන කිසිවක් සඳහන් නොකොට එය මුළුමනින් ම මතු කරන්නේ කථා හරහායි.

දකුණු ආසියාවේ (සාක් කලාපයේ) රටවල ගැහැණු දරුවන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ට නිසි අයිතීන් හා රැකවරණය ලබා දෙන්නට සමාජයට ඇති වගකීම් ගැන සරලවත්, විචිත‍්‍රවත් කියා දෙන මීනා කථා ඇරඹුණේ 1990 දශකය මුලදී බංග්ලාදේශයෙන්. ඇගේ මාධ්‍ය චාරිකාව මුල් යුගයේ පටන් මහත් ඕනෑකමින් අධ්‍යයනය කළ කෙනකු ලෙස මා එය සැකෙවින් බෙදා ගන්නට කැමතියි.

Meena originator Neill McKee
Meena originator Neill McKee

මීනා චරිතයේ හා කථා මාලාවේ නිර්මාතෘවරයා කැනේඩියානු ජාතික සන්නිවේදක නීල් මැකී (Neill Mckee). 1990 දශකය ඇරැඹෙන විට ඔහු යුනිසෙෆ් ආයතනයේ බංග්ලාදේශ් කාර්යාලයේ සන්නිවේදන ප‍්‍රධානියාව සිටියා.

ගතානුගතික දකුණු ආසියාතික ජන සමාජයන්හි පිරිමි දරුවන්ට ලැබෙන සැළකිල්ල හා ප‍්‍රමුඛත්වය බොහෝ විට එම පවුල්වල ගැහැණු දරුවන්ට නොලැබීම යුනිසෙෆ් අවධානයට ලක්ව තිබුණා. මේ නිසා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍යය, පෝෂණය හා අනාගතය අඩාල වන බවත්, මේ සමාජයීය ආකල්ප ටිකෙන් ටික වෙනස් කළ යුතු බවත් යුනිසෙෆ් තේරුම් ගත්තා.

මෙබඳු කිදා බැස ගත් ආකල්පවලට එක එල්ලේ එරෙහි වීම හෝ පණ්ඩිත විවේචන කිරීම සාර්ථක නොවන බවත් නීල් මැකී දැන සිටියා. කථාන්දර ස්වරූපයෙන්, ලිහිල් විලාසයකින් මේ ගැඹුරු පණිවුඩය ගෙන යාමට යුනිසෙෆ් තීරණය කළා.

මේ වන විට සාර්ක් කලාපයේ රාජ්‍යයන් ද මේ ගැන අවධානය යොමු කර තිබුණා. 1990 වසර ගැහැණු දරුවන් පිළිබඳ සාක් වර්ෂය (SAARC Year of Girl Child) ලෙස නම් කරනු ලැබුවා.

මීනා චෙකොස්ලොවාකියාවේ ප‍්‍රාග් නුවර දී පිළිසිඳ ගෙන, බංග්ලාදේශයේ අගනුවර ඩාකාහිදී උපත ලැබුවා යයි කිව හැකියි. හේතුව මේ අදහස මුලින්ම මැකීගේ මනසට ආවේ ප‍්‍රාග් නුවර සමුඵවකට සහභාගී වන අතර බැවින්.

ආපසු ඩාකා නුවරට පැමිණි මැකී සෙසු කාර්ය මණ්ඩලයත් සමග දිගින් දිගට මේ ගැන සාකච්ඡා කළා. හුරුබුහුටි දැරියක් කථා නායිකාව කර ගෙන, ඇගේ පවුල හා ගම පසුබිම් කර ගත් කාටූන් කථා මාලාවක් නිර්මාණය කරන්නට ඔවුන් තීරණය කළා. මේ සඳහා ආයතනය තුළ අරමුදල් නොසෑහුණු බැවින් විවිධ ආධාර ආයතනවලින් එයට මුදල් සොයා ගන්නට ද මැකී වෙහෙසුණා.

ආණ්ඩු සාමාජිකත්වය දරණ අන්තර් රාජ්‍ය ආයතනයක් ලෙස යුනිසෙෆ් කි‍්‍රයාත්මක වන්නේ රජයන්ගේ අනුදැනුම ඇතිවයි. දකුණු ආසියාවේ කොයි කාටත් තේරෙන, සමීප නමක් සෙවූ යුනිසෙෆ් කණ්ඩායම මීනා නම තෝරාගෙන එයට සාක් රටවල නිල අනුමැතිය ලබා ගත්තා.

Best friends - Meena and Mithu
Best friends – Meena and Mithu

කථා රසය වැඩි කරන්නට මීනාට සුරතල් සතෙකු සිටිය යුතු යයි ඔවුන් තීරණය කළා. මුලින් යෝජනා වූයේ හීලෑ කළ රිලා පැටවෙකු වුවත් එයට ශී‍්‍ර ලංකා රාජ්‍ය නියෝජිතයන් එකඟ නොවු නිසා කටකාර ගිරවකු තෝරා ගත් බව මැකී ලියා තිබෙනවා. මිතූ (Mithu) යයි නමක් දෙනු ලැබු මේ ගිරවා මීනා යන සැම තැනම යන, ඇයට ඉතා ලෙන්ගතු සුරතලෙක්.

මීනාගේ පෙනුම හා ඇඳුම් ද හැම දකුණු ආසියාතික රටකට ම සමීප වීම සඳහා නිර්මාණකරුවන් විශේෂ උත්සාහයක් ගත්තා. සාරියක්, සල්වා කමීසයක් වැනි සංස්කෘතික වශයෙන් එක් රටකට දෙකකට ආවේණික ඇඳුමක් වෙනුවට එතරම් සුවිශේෂි නොවන ලිහිල් කලිසමක් හා කමිසයක් ඇයට ලබා දුන්නා.

මේ පෙනුම ඇතුළු අනෙක් සියුම් කාරණා නිර්ණය කිරීමට පෙර ඉතා පුළුල්ව මත විමසීම් ගවේෂණ කරනු ලැබුවා. සාක් රටවල කුඩා කණ්ඩායම් රැස්වීම් 200ක් පමණ පවත්වා බාල හා වැඩිහිටි 10,000කට වැඩි පිරිසකගේ රුචි අරුචිකම් විමසා බැලූ බව මැකී කියනවා.

මෙතරම් පේ‍්‍රක්‍ෂක පර්යේෂණ මත පදනම්ව නිර්මාණය වූ කාටූන් කථා අපේ කලාපයේ දුර්ලභයි. (එහෙත් වෝල්ට් ඩිස්නි වැනි ලොකු සමාගම් අළුත් නිර්මාණයක් කරන්නට පෙර සැම විටම පුළුල්ව පර්යේෂණ කරනවා.)

මීනා වසන ගම්මානයත් දකුණු ආසියාවේ ඕනෑම රටක තිබිය හැකි ආකාරයේ පෙනුමක් සහිතයි. ගතානුගතික වැඩවසම් මානසිකත්වය ඇති අය මෙන් ම වඩාත් විවෘත මනසකින් යුතු පාසල් ගුරුවරිය වැනි චරිත ද එහි හමු වනවා.

Meena chief animator Ram Mohan
Meena chief animator Ram Mohan

මේ චරිත රූප බවට පත් කොට කාටූන් කථා බිහි කරන්නට යුන්සෙෆ් ඇරයුම් කළේ ඉන්දියාවේ ප‍්‍රවීණතම කාටූන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු වූ රාම් මෝහන්ටයි ( Ram Mohan). ඔහු 1956 සිට මේ ක්‍ෂෙත‍්‍රයේ නියැලී සිටි කෙනෙක්. උපදේශක මට්ටමින් ඇමරිකාවේ ප‍්‍රකට කාටූන් සමාගමක් වන හැනා-බාබරා චිත‍්‍රාගාරය (Hanna-Barbera Productions) ද ෆිලීපිනයේ ෆිල්කාටූන් සමාගම (Fil-Cartoons) ද සම්බන්ධ කර ගනු ලැබුවා. එහෙත් මේ නිර්මාණය 90%ක්ම දකුණු ආසියාතික නිර්මාණයක්.

‘‘අප විවිධාකාර හැඩතල නිර්මාණය කරමින් විවිධ ජන පිරිස් වලට ඒවා පෙන්නුවා. ඔවුන් වැඩි දෙනෙකු පි‍්‍රය කළ රසය එකතු කොට මීනාගේ පවුල, ගම හා කථා මාලාව බිහි කළා’’ රාම් මෝහන් කියනවා. මෙය වසර දෙකක් ගත වූ සාමුහික ව්‍යායාමයක්.

මුල් ම මීනා කථාව වූයේ Count Your Chicken (කුකුළු පැටවුන් ගණන් කරමු). අයියා (රාජු) පාසල් යවන නමුත් ගැහැණු දරුවෙකු නිසා මීනා පාසල් නොයවා ගෙදර තබා ගන්නවා. ඒත් අයියා පසුපස පාසල දක්වා යන මීනා, පන්ති කාමරයට පිටත සිට පාඩම් අසා සිටිනවා. එසේ දුර සිට උගත් ගණන් කිරීමේ හැකියාව ප‍්‍රායෝගිකව පාවිච්චි කොට කුකුල් හොරකු අල්ලා දෙන මීනා ගැන පැහැදෙන ඇගේ දෙමවුපියෝ ප‍්‍රමාද වී හෝ ඇයත් පාසල් යවනවා.

දෙවැනි කථාවට පාදක වූයේ රසවත් අඹ ගෙඩියක් ගෙදර ගෙනවිත් එයින් වැඩි පංගුව අයියාටත් ඇබිත්තක් පමණක් මීනාටත් දීමේ සිද්ධියයි. ගැහැණු දරුවාට එළිපිටම අඩු සැළකිලි දීමේ සම්ප‍්‍රදාය මේ කථාවෙන් හීන් සීරුවේ අභියෝගයට ලක් කැරෙනවා.

විනාඩි 10-15ක් පමණ දිගට දිවෙන මීනා කාටූන් කථා මුල් වටයේ 13ක් නිර්මාණය කළා. ඒවා ඉංගී‍්‍රසි, හින්දි, උර්දු, බංග්ලා, නේපාලි, දෙමළ, සිංහල වැනි භාෂා ගණනාවකට හඬ කවා එක් එක් රටවල ටෙලිවිෂන් නාලිකාවලට නොමිලයේ බෙදා හරිනු ලැබුවා.

Who's Afraid of the Bully
Who’s Afraid of the Bully

ප‍්‍රතිශක්තිකරණය, සනීපාරක්‍ෂාව, බාල වයස්කරුවන්ගෙන් වැඩ ගැනීම, ආපදාවලින් සුරැකීම, සෙල්ලම් කිරීමට දරු දැරියන්ට ඇති අයිතිය, අඩු වයසින් දැරියන් විවාහ කර දීම, HIV/AIDSවලින් ආරක්‍ෂා වීම වැනි තේමා යටතේ මීනා කාටූන් කථා නිපදවනු ලැබුවා. ඒ හැම එකක්ම සංවේදීව හා නිවැරදිව අදාල කරුණු කථානුසාරයෙන් ඉදිරිපත් කළා. මෙය ලෙහෙසි පහසු වැඩක් නොවෙයි.

ටෙලිවිෂන් කාටූන් මාලාවට අමතරව එම කථා චිත‍්‍ර කථා පොත් පෙළක් ලෙස ද මුද්‍රණය කොට විවිධ භාෂාවලින් බෙදා හරිනු ලැබුවා. බංග්ලාදේශය මුල් කර ගෙන ඇරඹුණත් 1995 වන විට මීනා සන්නිවේදන ව්‍යාපෘතිය සියළු සාක් රටවලට ව්‍යාප්ත වුණා.

එහිදී වැදගත් මෙහෙවරක් ඉටු කළේ මීනා ව්‍යාපෘති කළමනාකරු ලෙස කත්මන්ඩු නුවර යුන්සෙෆ් දකුණු ආසියාතික කලාපීය කාර්යාලයට පත්ව ආ කි‍්‍රස්ටියන් ක්ලාක් (Christian Clark). කලකට පෙර ලෝක ප‍්‍රකට සෙසමි ස්ටී‍්‍රට් ළමා ටෙලිවිෂන් වැඩසටහනේ පිටපත් රචකයෙකු හා කාටුන් ශිල්පියෙකු ද වූ ඔහු කාටුන් හරහා සමාජයට වැදගත් තොරතුරු හා පණීවුඩ දීමේ විභවය මනාව හඳුනාගෙන සිටියා.

‘කිසි විටෙක කථා රසය පලූදු වන ආකාරයෙන් තොරතුරු වැඩි කිරීමට හෝ පණිවුඩ දීමේ අරමුණින් දේශනා පැවැත්වීමට හෝ අප ඉඩ දුන්නේ නැහැ,’ මා හමු වූ විටෙක ඔහු ආවර්ජනය කළා.

කෙටි කලකින් මීනා කථා දකුණු ආසියාව පුරා කෙතරම් ජනපි‍්‍රය වී ද යත් එය ආදර්ශයට ගෙන සාරා නම් අපි‍්‍රකානු කථා මාලාවක් ද පසුව නිර්මාණය කරනු ලැබුවා. ඒ හරහා මෙබඳු ම වැදගත් පණිවුඩ අපි‍්‍රකානු සමාජයන්ට දෙන්නට යුන්සෙෆ් අපි‍්‍රකානු කාර්යාල උත්සාහ කළා. මීනාට වඩා ටිකක් වැඩිමහලූ සාරා දැරියට වයස 13යි. සිංගෝ නම් හුරතල් රිලා පැටියෙකු ඇයට සිටිනවා.

‘කාටූන් චරිත හැටියට මීනා හා සාරා තීරණාත්මක සමාජ සන්නිවේදනයක පෙර ගමන්කරුවන් වුණා. බොහෝ ගතානුගතික සමාජවල විවෘතව එක එල්ලේ සාකච්ඡා කළ නොහැකි ආකල්ප ගැන නැවත සිතා බැලීමකට ඒ හරහා යොමු කළා.’ නීල් මැකී හා කි‍්‍රස්ටියන් ක්ලාක් පසු කලෙක සිය අත්දැකීම් සමාලෝචනය කරමින් ලියා තැබුවා.

කාටූන් නිසා ළමා මනස අයාලේ යනවා යයි සිතන අයට මීනා අළුත් මානයක් පෙන්වා දෙනවා. තවත් කාටූන් නිර්මාණකරුවන් මේ මාර්ගයේ යනවා නම් කෙතරම් අපූරුද?

මීට වසර 15කට පමණ පෙර පාලිත ලක්‍ෂ්මන් ද සිල්වා ළමා අයිතිවාසිකම් විදහා දැක්වෙන කෙටි (විනාඩියේ) කාටුන් මාලාවක් නිර්මාණය කළා. සිබිල් වෙත්තසිංහගේ චිත‍්‍ර යොදා ගෙන කළ මේ නිර්මාණය සීමිත සම්පත් හරහා මීනා ගිය මග යන්නට ගත් දේශීය උත්සාහයක්.

 

Meena: Count your Chickens

Will Meena Leave School?

Meena: Too young to Marry