In this week’s Ravaya column (in Sinhala), I continue my exploration of the global Slow Movement, which started with Slow Food in Italy in 1986, originally as a defiance of fastfood. It has since inspired other pursuits of doing things more reflectively and deliberately slowly – such as Slow Cities, Slow Reading, Slow Travel and Slow Art.
I explored similar grounds in English in a July 2013 column: Stuck in Fast Forward? Slow Down!
ක්ෂනික ආහාර (fastfood)වෙනුවට ලැසි ආහාර (slowfood)ගැන මා ලියූ කොලමට විවිධ ප‍්‍රතිචාර ලැබුණා. එබඳු ප‍්‍රපංචයක් කෙතරම් මෙරටට අදාල ද කියා විමසූ පාඨකයන් මෙන් ම විදේශීය (සංකර)සංකල්ප බලෙන් අපේ ජන සමාජයට කාවද්දන්නට තැත් කරනවා යයි චෝදනා කළ අය ද සිටියා.
මැක්ඩොනල්ඞ්ස් අවන්හල් ජාලය සංකේතවත් කරන ක්ෂනික ආහාරවලට ප‍්‍රතිරෝධයක් ලෙස ලැසි ආහාර 1986දී ඉතාලියෙන් මතුව ආවත් එය ලිහිල් මට්ටමේ ඇමරිකානු විරෝධයක්වත් නූතනත්වයට එරෙහි වීමක්වත් නොවන බව අප පැහැදිලි කළා.
ක්ෂනික ආහාර සෞඛ්‍යයට අහිතකර විපාක ගෙන දෙන බව කලක සිට ප‍්‍රකට කරුණක්. එහෙත් එම වෛද්‍ය විද්‍යාත්මක යථාර්ථයට සීමා නොවී ක්ෂනික ආහාර නියෝජනය කරන (එහෙත් එයට සීමා නොවූ) අධිවේගී ජීවන රටාව වඩා පුළුල්ව විවේචනයට හසු කරන්නට ගත් උත්සහයක් ලෙස සෙමින් කෑම හෙවත් ලැසි ආහාර ව්‍යාපාරය මා දකිනවා.
අනෙක් වැදගත් කරුණ නම් ආහාර පරිභෝජනයෙන් ඇරඹුණත් මේ වන විට සෙමින් සංකල්පය වෙනත් බොහෝ එදිනෙදා කි‍්‍රයා දක්වා ව්‍යාප්ත වී ඇති බවයි. සෙමින් පොත් කියවීම (slow reading), සෙමින් දේශ සංචාරය (slow travel), සෙමින් මාධ්‍ය පරිශීලනය (slow media), සෙමින් කලා කෘති රස විදීම (slow art)ආදී තවත් විවිධ දිශාවලට ලැසි ව්‍යාපාරය විකාශනය වී තිබෙනවා.
මේ සියල්ල දැඩි සංවිධාන ව්‍යුහයකින් තොරව, කි‍්‍රයාකාරීකයන්ගේ උද්යෝගය හා කැපවීම හරහා මතුව ආ ප‍්‍රවණතායි. මෙබඳු ජනතා ව්‍යාපාරවලට රාජ්‍ය තාන්ති‍්‍රක සාධක අදාල නැහැ. ලැසි ආහාර සෙමින් කෑමේ ඉලක්කය තම තමන්ගේ දේශීය හා ආවේණික ආහාර පානත් ඒ වටා බැඳුණු උපසංස්කෘතියත් නැවත සිහිපත් කර දීමක්.
එය අධිවේගී නවීන ජීවන රටාවට විකල්පයක්. මහා දේශපාලන අරගලයක් මතු පිටින් නොපෙනුණත් ගෝලීයකරණයට හා පාරිභෝගික සමාජයේ ආතතියට සියුම් ප‍්‍රතිචාර දැක්වීමක් ඒ තුළ තිබෙනවා.
Slow යන්නට මන්දගාමී වැනි යෙදුමක් මා භාවිත කරන්නේ නැහැ. හේතුව සෙමින් යම් දේ කිරීම කිසිසේත් අලසවීමක් නැතහොත් අකාර්යක්‍ෂම වීමක් නොවන නිසයි.
සෙමින් සෙමින් යමක් කිරීමට අප සවිඥානිකව (ඕනෑකමින්)තීරණය කළ යුතුයි. බොහෝ විට එය පුද්ගල මට්ටමේ තීරණයක්. කාර්යබහුල කෙනෙකුට හෝ පූර්ණ කාලීන ශිෂ්‍යයන්ට මෙය ප‍්‍රායෝගික නොවන්නට පුළුවනි. සමාජ ප‍්‍රවණතා තම යථාර්ථයට අදාල කර ගන්නට කෙනකුට අවකාශය තිබෙනවා.
සෙමින් ව්‍යාපාරය (www.slowmovement.com)බොහෝ කොට ම පුද්ගලික මට්ටමේ තේරීම් හා රුච්කත්වය මත පදනම් වුවත් සමහර අනුසංකල්ප දැන් වඩාත් පුළුල්ව ප‍්‍රජා හා රාජ්‍ය පරිපාලන මට්ටමට ද බලපා තිබෙනවා.
හොඳම උදාහරණය නම් 1999දී ඉතාලියෙන් ම මතු වූ ලැසි නගර (Slow Cities) සංකල්පයයි. එහිදී කුඩා නගර තමන්ගේ පොදු අවකාශයන් හා නාගරික භූමිය වඩාත් ජන හිතකාමී විදියට සකස් කර ගන්නවා. සමහර වීදිවල කිසිදු වාහනයක් ධාවනයට ඉඩ නොදී පදිකයන්ට හා බයිසිකල්කරුවන්ට පමණක් වෙන් කරනවා. රථවාහන තදබදය, ජනාකීර්ණත්වය, වාත දුෂණය හා නාගරික කලබලය සමනය කොට ´kElñka uසෙමින් දිග හැරෙන එදිනෙදා ජීවන රටාවකට අවශ්‍ය යටිතලපහසුකම් ඔවුන් සකස් කර ගන්නවා.
ලැසි නගර සාක්ෂාත් කර ගන්නට නගර පරිපාලකයන් හා එහි වැසියන් ගත යුතු නිශ්චිත පියවර 50ක් හඳුනා ගෙන තිබෙනවා. නාගරික ප‍්‍රවාහනය, නිවාස කලාපකරණය, නාගරික පරිසරය රැක ගැනීම, සාංස්කෘතික විවිධත්වයට මුල් තැන දීම හා ශරීර සුවතාවයට හිතකර පියවර ආදිය ඒ අතර වනවා. වාහනවලට වඩා බයිසිකල් පදින්නන් හා පදිකයන්ට මුල් තැන ලැබෙන ආකාරයේ වීදි සැළසුම් ඒ අතර වැදගත්.
පුනර්ජනනීය (සුනිත්‍ය)බලශක්ති ප‍්‍රභවයන් මනාව දියුණු කොට ගෙන, පරිසර දුෂණය අවම කර ගනිමින්, වඩාත් තිරසාර සංවර්ධනයකට යොමු වීම මේ ලැසි නගරවල වැදගත් ඉලක්කයක්.
ලැසි නගර ව්‍යාපාරයේ සාමාජිකත්වය ලද හැක්කේ මෙකී ගුණාංග 50සපුරා ගත්, ජනගහනය 50,000ට අඩු නගරවලට පමණයි. 2013 වන විට නගර 168ක් ලැසි නගර ව්‍යාපාරයේ සාමාජිකයන්ව සිටියා.
එයින් බහුතරයක් ඇත්තේ යුරෝපයේයි. එහෙත් ඔස්ටේ‍්‍රලියාව, කැනඩාව, ජපානය, දකුණු කොරියාව, අමෙරිකාව යන රටවලටත් එය පැතිර ගොස් තිබෙනවා. චීනයේත් මෑතදී එක් කුඩා නගරයක් මේ ව්‍යාපාරයට සම්බන්ධ වුණා.
අධිවේගී කලබලකාරිත්වයට වඩා ජීවන තත්ත්‍වය අගය කරන නගරාධිපතිවරුන් හා නගර වැසියන් මේ ව්‍යාපාරයට බැදීමට පෙරුම් පුරනවා. ලැසි නගර භෞතික ශරීර සුවතාවයට මෙන්ම මානසික සුවයටත් වැඩදායකයි.

සෙමින් පොත් කියැවීමේ ප‍්‍රවණතාවයක් ද ලොව මතු වෙමින් තිබෙනවා. බොහෝ රටවල ගතානුගතික අධ්‍යාපන ක‍්‍රම හරහා දරුවන් හුරු කරන්නේ හැකි තරම් පොතපත ඉක්මනින් කියවා ග‍්‍රහණය කර ගන්නයි. එහිදී ප‍්‍රමාණාත්මකව මිස ගුණාත්මකව කියැවීම අගය කරන්නේ නැහැ. වැඩිහිටියන් වූ විටත් අවිවේකී බව නිසා බොහෝ දෙනා උඩින් පල්ලෙන් පොත් කියවන්නට පෙළඹනවා.
පුවත්පත් හා සඟරා අධිවේගීව කියැවීම පුළුල් සිරිතක්. එහෙත් නවකථාවක්, කෙටිකතා සංග‍්‍රහයක් හෝ ශාස්තී‍්‍රය ග‍්‍රන්ථයක් ‘එක හුස්මට’ කියවනවාට වඩා ටිකෙන් ටික ග‍්‍රහණය කිරීමට අප සමහරුන් කැමතියි. මා පොත් කියවන්නේ මේ විදියටයි. අවශ්‍ය විටෙක හදිසියේ තොරතුරු සමුදායක් උකහා ගැනීමේ හැකියාව ඇතත් මා ඕනෑකමින් සමහර පොත් දින, සති හෝ මාස ගණනක් පුරා කඩින් කඩ කියවනවා.
මගේ සමහර කලබලකාරී මිතුරන් මෙය දකින්නේ මන්දමානසික කි‍්‍රයාවක් හැටියට. එත් කමක් නැහැ! කියැවීම යනු හුදෙක් මුද්‍රිත හෝ විද්‍යුත් මාධ්‍යයක ප‍්‍රකාශිත කරුණු හා අදහස් ග‍්‍රහණය කිරීම පමණක් නොවෙයි. හොඳ ලේඛකයන් පාඨකයන්ගේ මනස කිති කවන, පරිකල්පනය දියුණු කරන හා සිතන්නට පොළඹ වන නිර්මාණ කරනවා.
මා ජීවිත කාලය තුළ පොත් කොපමණ සංඛ්‍යාවක් කියවා ඇත්දැයි ඉඳහිට කෙනකු අසනවා. මා එය ගණන් තබා ගන්නේ නැහැ. කියවන හැම පොතක් ම එක සේ අප මනස කුල්මත් කරන්නේ ද නැහැ. පොත් කියවන එක මැණික් ගරනවා වගේ වැඩක්. බොරලූ හා තිරුවානා ගල් රැසක් අතර වටිනා මැණික් ද හමු වනවා. කලබලකාරයන්ට එබඳු මැණිකක් අතට ම පත් වුණත් එහි අගය වැටහෙන්නේ නැහැ!
අද දැනුම් සාගරයත් සමග ගනුදෙනු කරන්නට මෙසේ ලැසි කියැවීම ප‍්‍රමාණවත් ද? ශිෂ්‍යයන්ට හා වෘත්තිකයන්ට අවශ්‍ය දැනුම් ගවේෂණයට වේගයක් තිබිය යුතුයි. එහෙත් ආත්ම වින්දනයට කරන ගවේෂණවල වේගය අප තනිව තීරණය කළ යුතුයි.

ලොව වටා සෙමින් ව්‍යාපාර ගැන පොතක් ලියු කාල් හොනොරේ Carl Honoré නම් කැනේඩියානු පත‍්‍ර කලාවේදියා කියන්නේ ‘‘අධිවේගී හැම දෙයක් ම දියුණුයි හා වඩා හොඳයි යන නූතන අදහස පිළි නොගන්නා පිරිසක් ලොව සිටිනවා. ඔවුන් නූතනත්වය පිටු දකින හෝ ප‍්‍රාග්-නූතන පුරාණත්වයට නැවත යා යුතුයි කියන ගතානුගතිකයන් නොවෙයි. ඔවුන් හදන්නේ නූතනත්වය තමන්ට රිසි හා පහසු වේගයකට තම ජීවිතවලට අදාල කර ගන්නයි.’’
ඔහු මේ ප‍්‍රවණතාව දකින්නේ අධිවේගී ජීවිතවලට පොඩි බ්‍රේක් පාරක් හැටියටයි. 2004දී ඔහු ලියු ‘සෙමින් ගියොත් හොඳයි’ (In Praise of Slow)පොත අතිශයින් ජනපි‍්‍රය වී තිබෙනවා. ‘හැම දෙයක් ම හැකි තාක් හොඳට, පිළිවෙල කරන්නට තැත් කරමු. යම් කිසි සන්සුන් හා තැන්පත් බවක් ජීවිතයට එක් කර ගනිමු’ ඔහුගේ පොතේ මූලික පණිවුඩයයි.
හොනරේ කියන්නේ නූතන සමාජය පෙර පරම්පරාවලට වඩා භෞතික සම්පත්වලින් පොහොසත් වුවත් කාලය අතින් වඩාත් දුප්පත් වී ඇති බවයි (time poverty).
අඩුවෙන් නිදා ගනිමින්, අවදියෙන් සිටින පැය ගණන පුරා හැකි තරම් වැඩ ප‍්‍රමාණයක් කරන්නට වලිකන බොහෝ දෙනාට සැබෑ මානසික විවේකය අමතකව ගොසින්. ‘‘විනාඩි හා පැය ගණන ගණන් කිරීමට වඩා හැම මොහොතක් ම විඳ ගැනීම වැදගත්. ලැසි ව්‍යාපාරය කලබලකාරී හා නොසන්සුන් ලෝකයට මතක් කර දෙන්නේ මේ සනාතනික පණිවුඩයයි!‘‘
මෙය කිරීමේ අවකාශය ඇත්තේ අතමිට සරු අයට පමණක් ද? බොහෝ නව ප‍්‍රවණතා මතුව එන්නේ මධ්‍යම පාංතිකන්ගෙන් බව සැබෑවක්. ඕනෑකමින් ජිවන රටාව සෙමින් හා සැහැල්ලූවෙන් ගත කිරීමේ තීරණය විශ‍්‍රාමිකයන්ට සීමා වූවක් ද නොවෙයි. අද තරුණ වියේ හා මැදි වියේ පසුවන ඇතැම් අය ද තමන්ට හැකි අවස්ථාවල අඩු වේගයකට පත් වන්නට උත්සාහ කරනවා.
යෝගී ව්‍යායාම්, නිර්ආගමික භාවනා ක‍්‍රම හා වෙනත් පෙරදිග ක‍්‍රමවේදයන් කලබලකාරී ලෝකයට මේ සඳහා අත්වැලක් සපයනවා. මේ සඳහා නාගරිකයන් දුර ගෙවා ගම්බද ප‍්‍රදේශවලට යා යුතු නැහැ. ජනාකීර්ණ නගරවල වූව ද අවම ප‍්‍රමාණයක් විවෘත හරිත ප‍්‍රදේශ (වෙරළ තීරු, පිට්ටනි, උද්‍යාන හා ඇවිදීමට ප‍්‍රදේශ)පවත්වා ගැනීමේ වැදගත්කම දස නගර සැලැසුම් ශීල්පීන් පිළි ගෙන තිබෙනවා.
මේ අතර කවදත් ගුණාත්මක අඵත් දේ අත්හදා බලන්නට රිසි කැනේඩියානු ජාතිකයෝ ලැසි බව සඳහා ලෝක දිනයක් ද (International Day of Slowness) තෝරා ගෙන තිබෙනවා. වසරේ ජූනි 21දා. උත්තර අර්ධගෝලයේ ගිම්හාන සෘතුව නිල වශයෙන් ඇරඹෙන්නේ එදිනටයි.
ලැසි සංකල්පය රටක හෝ සමාජයක ඵලදායීතාවට කෙසේ බලපායි ද? වැඩ කරන පැය ගණනට වඩා එකී කාලය තුළ කොපමණ ඕනෑකමකින් හා කාර්යක්‍ෂමව වැඩ කරනවා ද යන්නයි වැදගත්. හොනරේ කියන්නේ ස්කැන්ඩිනේවියානු රටවල වැඩ කරන නිල පැය ගණන සාපේක්‍ෂව අඩු වුවත් ජනයා එයින් වඩාත් තෘප්තිමත් වීම හරහා ඵලදායීතාව වැඩි වී ඒ රටවල ආර්ථිකයන් සවිමත් මට්ටමක පවත්වා ගන්නා බවයි.
අවධි වූ සිහියෙන් යුතුව කලබල නැතිව හැම දෙයක් ම කිරීමේ කලාව පෙරදිග අපට අළුත් දෙයක් නොවෙයි. ජපන්, චීන හා භාරත සම්ප‍්‍රදායන්ගේ සෙමින් හා අවධියෙන් හැම දෙයක් ම කිරීමේ ගුණය ඉස්මතු කරනවා. දැන් ඕනෑ වී ඇත්තේ එම උරුමයේ මැකී ගිය මුල් යළි පාදා ගැනීම පමණයි!