සිවුමංසල කොලූගැටයා #205: දිරිය මිනිසුන් හා ගැහැණුන්ට පිරිනැමෙන යහජීවිකා ත්‍යාගය

In this week’s Ravaya column (in Sinhala), I discuss the Right Livelihood Award (RLA), sometimes called the ‘alternative Nobel Prize’.

Set up in 1980, RLA “honours and supports those offering practical and exemplary answers to the most urgent challenges facing us today”.

There have been three Lankan winners in RLA’s history, which I feature in this column: human rights activist Basil Fernando (2014); judge and legal scholar Christopher Weeramantry (2007); and Participatory Institute for Development Alternatives, PIDA (1982).

Right Livelihood Award (RLA) logo
Right Livelihood Award (RLA) logo

හැම වසරකම ඔක්තෝබර් මුලදී ප‍්‍රකාශයට පත් කැරෙන නොබෙල් ත්‍යාග පිරිනමන්නේ දෙසැම්බර් 10 වනදා. සාම ත්‍යාගය නෝර්වේ අගනුවර ඔස්ලෝහිදීත්, සෙසු ත්‍යාග ස්වීඩන් අගනුවර ස්ටොකොම්හිදීත්.

එයට දින කිහිපයකට පෙර ස්ටොකොම් නුවර වාර්ෂිකව තවත් වැදගත් ජාත්‍යන්තර සම්මාන පිරිනැමීමක් සිදු වනවා. ස්වීඩන් ජාතික පාර්ලිමේන්තු මන්දිරයේ උත්සවාකාරයෙන් පැවැත්වෙන මෙය නොබෙල් ත්‍යාග තරමට ලොව ප‍්‍රකට නැතත් එය අපට වැදගත් වන හේතුවක් තිබෙනවා.

එනම් සියවසකට වැඩි කාලයක් තිස්සේ කිසිදු නොබෙල් ත්‍යාගයක් ලාංකිකයකුට මේ දක්වා හිමි වී නැතත් විකල්ප නොබෙල් ත්‍යාගය නමින් ද ඇතැම් විට හැඳින්වෙන මෙම සම්මානය පසුගිය දශක තුන තුළ තෙවරක් ලාංකිකයන්ට පිරිනැමී තිබීමයි.

මේ ත්‍යාගයේ නම Right Livelihood Award (RLA). සිංහලෙන් යහජීවිකා ත්‍යාගය යැයි කිව හැකියි. මෙවර මේ ත්‍යාගය දිනා ගත් පුද්ගලයන් අතර ලාංකික නීතිඥ හා මානව හිමිකම් ක‍්‍රියාකාරික බැසිල් ප‍්‍රනාන්දු ද සිටිනවා. ඒ නිසා මේ ත්‍යාගය ගැන ටිකක් විමසා බැලීම වැදගත්.

2014 යහජීවිකා ත්‍යාගය ලැබූ අනෙක් අය නම් පාකිස්ථානයේ මානව හිමිකම් ක‍්‍රියාකාරිනී අස්මා ජහන්ගීර්, බි‍්‍රතාන්‍යයේ ගවේෂණාත්මක ගාඩියන් පත‍්‍රයේ ප‍්‍රධාන කර්තෘ ඇලන් රස්බි‍්‍රජර්, දේශගුණ විපර්යාසවලට එරෙහිව ගත යුතු පියවර ගැන උද්ඝෝෂණ කරන ලේඛක හා පරිසරවේදී බිල් මැකිබන් හා අමෙරිකාවේ රහස් ඔත්තු සේවා සයිබර් අවකාශයේ අනවසර අන්වේශනය (surveillance) ගැන ලොවට හෙළිදරවු කළ එඞ්වඞ් ස්නෝඞ්න් නම් පරිගණක තාක්ෂණවේදියායි.

 2014 RLA Winners - L to R - Alan Rusbridger, Basil Fernando, Asma Jahangir, Bill McKibben, Edward Snowden

2014 RLA Winners – L to R – Alan Rusbridger, Basil Fernando, Asma Jahangir, Bill McKibben, Edward Snowden

යහජීවිකා ත්‍යාගය ඇරඹුණේ 1980දී. එහි අරමුණ ලෝකයේ හදිසි අභියෝග හා අවශ්‍යතාවලට ප‍්‍රායෝගිකවූත්, ආදර්ශමත් වුත් විසඳුම් සොයමින් පොදු උන්නතිය ප‍්‍රවර්ධනය කරන පුද්ගලයන් හඳුනා ගෙන ඔවුන් දිරිමත් කිරීමයි.

එය අරඹනු ලැබුවේ ජේකබ් ෆොන් උක්ස්කුල් (Jakob von Uexkull) නමැති ස්වීඩනයේ උපත ලද ජර්මන් සම්භවය ඇති දානපතියා විසින්. ස්වීඩනයේම ඊට කලකට පෙර උපන් ඇල්ෆ‍්‍රඞ් නොබෙල් ඇති කළ නොබෙල් ත්‍යාග වැඩිපුර හිමි වන්නේ දියුණු රටවල වැසියන්ට බව තේරුම් ගත් උක්ස්කුල්, එය වෙනස් කළ යුතු බව විශ්වාස කළා.

ඔහු මුලින්ම නොබෙල් පදනමට යෝජනා කළා නව නොබෙල් ත්‍යාග දෙකක් අරඹන ලෙස. එ් පාරිසරික විද්‍යාවන්ට හා දුගී බව පිටු දැකීමට ක‍්‍රියා කරන අයට ප‍්‍රණාමය දැක්වීමට. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයන්නට ඔහු සූදානම්ව සිටියා. එහෙත් නොබෙල් පදනම එය ප‍්‍රතික්‍ෂෙප කළා.

එයින් නොසැලූණු උක්ස්කුල් තම පවුලේ උරුමයක් වූ වටිනා මුද්දර එකතුව ඩොලර් මිලියන් එකකට විකුණා යහජීවිකා ත්‍යාග සම්ප‍්‍රදාය ඇරඹුවා. පසුව එයට වෙනත් දානපතියන්ගේ අනුග‍්‍රහය ද ලැබුණා.

‘‘විකල්ප නොබෙල් ත්‍යාගය’’ යන්න මාධ්‍ය විසින් යහජීවිකා ත්‍යාග හඳුන්වන්නට යොදා ගන්නා පාඨයක් මිස නිල හැඳින්වීමක් නොවෙයි. නොබෙල් ත්‍යාග සමග කිසිදු සම්බන්ධයක් නැති යහජීවිකා ත්‍යාග, ඇතැම් විට නොබෙල් ත්‍යාග ක‍්‍රමය පිළිබඳ ප‍්‍රසිද්ධ විවේචනයක් ලෙස සමහරුන් විග‍්‍රහ කරනවා.

මේ ත්‍යාග ක‍්‍රමයේ නිර්මාතෘවරුන් යහජීවිකාව අරුත් දක්වන්නේ ආගමික නොවන, එහෙත් සාරධර්මීය ආකාරයකට: ‘‘යහජීවනය කියන්නේ පෞරාණික සංකල්පයක්. හැම අයකුම අවංක ලෙසින් තම දිවි පෙවෙත සකස් කර යුතු බවත්, සෙසු මානවයන්ට හා සොබා දහමට ගරු කරමින් එහි නිරත විය යුතු බවත් බොහෝ සංස්කෘතීන්ගේ පිළිගැනෙනවා. අප කරන්නේ මේ චින්තනය නූතන ලෝකයට අදාල කර ගත් දිරිය මිනිසුන් හා ගැහැණුන් හඳුනා ගෙන ඔවුන් ප‍්‍රණාමයට ලක් කිරීමයි. ඔවුන් තම රටවල හා සමාජයන්ගේ නියත සම්මානයට සුදුසු වූවත් බොහෝ විට බලගතු ප‍්‍රවාහයන්ට ඔවුන් එරෙහිව අරගල කරන නිසා එබඳු අගැයීමකට පාත‍්‍රා වන්නේ නැති තරම්. අප එබඳු ආදර්ශමත් හා පරමාදර්ශීය චරිත සොයා යමින් ඔවුන්ට නිසි දිරි ගැන්වීම හා පිළිගැනීම ලබා දෙනවා.’’

ලෝක සාමය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, වෛද්‍ය විද්‍යාව, සාහිත්‍යය හා ආර්ථික විද්‍යාව ලෙස වර්ගීකරණය කොට ත්‍යාග දෙන නොබෙල් සම්ප‍්‍රදායට වඩා මේ යහජීවිකා ත්‍යාගවල ප‍්‍රවේශය හා දැක්ම වෙනස්. ඔවුන්ට පුළුල් වූත්, වඩාත් ගෝලීය වූත් දැක්මක් තිබෙනවා.

යහජීවිකා ත්‍යාගයේ විෂයානුගත හෝ වෙනත් ආකාරයක වර්ගීකරණයක් නැහැ. එහෙත් හැම වසරකම එම ත්‍යාගයන් සිවු දෙනෙකුට හෝ පස් දෙනෙකුට පිරිනමනවා. සමහර විට ත්‍යාගලාභීන් අතර ආයතනය හා සංවිධාන ද වනවා.

යහජීවිකා ත්‍යාග වර්ගීකරණය නොකිරීමට හේතුව: “ලෝකයේ ප‍්‍රශ්න හා අභියෝග විසඳීමට තැත් කරන විට විෂය ලෙසින් බෙදා වෙන් කරන්නට බැහැ. උදාහරණයකට පාරිසරික ප‍්‍රශ්න විසඳන්නට උත්සාහ කරන්නේ ඒ හරහා සෞඛ්‍ය, මානව හිමිකම් හා සමාජ සාධාරණත්වය පිළිබඳ සංවාදයන්ට යොමුවනවා සමස්තයක් ලෙස මානව ප‍්‍රශ්න සළකා බලා පොදු උන්නතියට වැඩ කරන අයට පිළිගැනීමක් ලබාදීම අපේ අරමුණයි.” මේ ත්‍යාගයේ නිල වෙබ් අඩවිය එසේ කියනවා.

නොබෙල් ත්‍යාගය තරම්ම මුදලින් විශාල නොවුවත්, යහජීවිකා ත්‍යාගලාභීන්ට යම් මුදලක් හිමි වනවා. 1980දී ඩොලර් 50,000න් ඇරැඹුණු ත්‍යාග මුදල 2014 වන විට ස්වීඩන් ක්‍රෝනර් මිලියන් 2 ක් වූවා. (ඩොලර් 265,600ක් පමණ). මේ ත්‍යාග මුදල වසරේ ත්‍යාගලාභීන් අතර සම සේ බෙදී යනවා.

යහජීවිකා ත්‍යාගය පිරිනැමීම ඇරැඹුණු 1980 සිට 2014 වන තුරු රටවල් 65ක ත්‍යාගලාභීන් 158 දෙනකු එමඟින් සම්මානයට පත්ව සිටිනවා. පෙර අපර දෙදිගම පොදු උන්නතියට කැප වූ විද්වතුන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් මෙන්ම ජන සංවිධාන ද මේ අතර සිටිනවා.

2014 ත්‍යාගලාභීන් වූයේ ලොව නන්දෙසින් ලැබුණු නාම යෝජනා හරහා අපක්‍ෂපාත තේරීම් මඩුල්ලක් මගින් තෝරා ගත් පස් දෙනෙක්.

‘මානව හිමිකම් ක‍්‍රියාත්මක වීම පිළිබඳව ආසියානු කලාපයේ රටවල යථාර්ථය කලක් තිස්සේ ලේඛණගත කිරීම හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම’ උදෙසා ශ‍්‍රී ලාංකික මානව හිමිකම් ක‍්‍රියාකාරික බැසිල් ප‍්‍රනාන්දුට මේ ත්‍යාගය පිරිනමනු ලැබුවා. එය ඔහුගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රියාත්මක වන හොංකොං නුවර පිහිටි ආසියානු මානව හිමිකම් කේන්‍ද්‍රයට ද (Asian Human Rights Commission, AHRC) ලැබුණු පිළිගැනීමක්.

Basil Fernando of the AHRC receives Right Livelihood Award, known also as “Alternative Nobel Prize”

AHRC logo
AHRC logo

දශක තුනක කාලයක් පුරා ඔහුගේ සුවිශේෂී භූමිකාව ලෙස ත්‍යාග පරිපාලකයන් හුවා දැක්වූයේ බිම් මට්ටමේ මානව හිමිකම් යථාර්ථයත්, ප‍්‍රතිපත්ති හා නීති මට්ටමේ මානව හිමිකම් ආයතන රාමුවත් බද්ධ කිරීමට ඔහු දරණ ව්‍යායාමයයි. මානව හිමිකම් පුහුණු පාසලක් හා වෙනත් ක‍්‍රියාකාරකම් හරහා මානව හිමිකම් පිළිබඳ නිසි දැනුම හා අවබෝධය ලැබූ නීතීඥයන් මෙන්ම සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන් රැසක් ආසියාව පුරා බිහි කිරීමට AHRC ක‍්‍රියාකොට තිබෙනවා.

Basil Fernando
Basil Fernando

1944දී ශ‍්‍රී ලංකාවේ උපන් බැසිල් ප‍්‍රනාන්දු 1972දී ලංකා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධිය ලැබුවා. 1980දී නීතීඥයකු ලෙස ක‍්‍රියා කිරීම ඇරඹුවා. 1989 භීෂණ සමයේ ජීවිතාරක්‍ෂාව සඳහා රට හැර ගිය ඔහු හොංකොං නුවර පදිංචියට තෝරා ගත්තා. එක්සත් ජාතීන්ගේ ආයතන සඳහා හොංකොං නුවරත්, කාම්බෝජයේත් සේවය කළ ඔහු AHRC ආයතනයට බැඳෙන්නේ 1994දී.

බැසිල් ප‍්‍රනාන්දු වැනි නීති ක‍්‍රියාකාරියකුගේ අගය වඩාත් කැපී පෙනෙන්නේ නීතිය පිළිබඳ විශාරදයන් බොහෝ දෙනා තමන්ගේ පාඩුවේ සිටින වාතාවරණයක ඔහු උපන් රටේත්, සෙසු ආසියානු රටවලත් යහපාලනය උදෙසා සක‍්‍රීය වීම නිසයි.

Award Acceptance Speech by Basil Fernando

යහජීවිකා ත්‍යාගය මීට පෙර දෙවතාවක් ශ‍්‍රී ලාංකිකයන්ට හිමිවී තිබෙනවා.

1982දී එය පිරිනමනු ලැබුවේ සංවර්ධන විකල්ප සඳහා ජන සහභාගීත්ව කේන්ද්‍රය (Participatory Institute for Development Alternatives, PIDA) නම් රාජ්‍ය නොවන සංවිධානයට.

Wilfred Karunaratne
Wilfred Karunaratne

1970 දශකයේ පර්යේෂණාත්මක පදනමින් බිම් මට්ටමේ සංවර්ධන සංවාදයන් හා ක‍්‍රියාකාරකම් අරඹන්නට මුල් වූ ලාංකික විද්වතුන් හා සමාජ ක‍්‍රියාකාරිකයන් පිරිසක් එක්ව PIDA පිහිට වූයේ 1980දී. එය ලක් රජය හා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ආයතන සමග සමීපව ක‍්‍රියා කළ බවත්, සමෝධානිත සංවර්ධන දැක්මක් හා පෙළ ගැස්මක් ජනතාව තුලින්ම මතු කිරීමට පුරෝගාමී ක‍්‍රමවේදයන් ප‍්‍රගුණ කළ බවත් ත්‍යාග හේතු පාඨය කියනවා.

PIDA ආයතනයේ ආරම්භකයන් ලෙස සඳහන් වන්නේ ආචාර්ය පොන්නා විග්නරාජා, ජී. වී. එස්. ද සිල්වා, මහාචාර්ය එස්. තිලකරත්න, මොනිකා රුවන්පතිරණ, ඩබ්ලියු. පී. වික‍්‍රමාරච්චි, විල්ෆ‍්‍රඞ් කරුණාරත්න, ඩැනියෙල් ප‍්‍රනාන්දු, එස්. ජී. පුංචිහේවා, කේ. කේ. පද්මානන්ද හා පොඩිනිලමේ යන අයයි. එහි වත්මන් සභාපති සුසිල් සිරිවර්දනයි.

PIDA වැඩිපුරම ක‍්‍රියා කරන්නේ මෙරට දුගී ජනතාව සමග බවත්, එසේ කරන විට ගම්වල හමුවන සමාජ විසමතා ගැන සංවේදී වන බවත් ඔවුන් ගැන කියැවෙන වෙබ් අඩවියක සඳහන් වනවා.

PIDA වෙනුවෙන් යහජීවිකා ත්‍යාගය භාර ගත්තේ මුල් යුගයේ එහි සභාපති වූ විල්ෆ‍්‍රඞ් කරුණාරත්නයි. Acceptance Speech by Wilfred Karunaratne

1982 පටන් වසර 25ක් යන තුරු මෙරටින් යහජීවිකා ත්‍යාගලාභියකු බිහි වූයේ නැහැ. (එයට එක් හේතුවක් විය හැක්කේ හරිහැටි නාමයෝජනාවක් ලිඛිතව ඉදිරිපත් නොකිරීම විය හැකියි. එසේ නැතිව මෙරට තව සුදුස්සන් නැති වීම නොවෙයි.)

2007දී නැවත යහජීවිකා ත්‍යාගයක් ලාංකිකයකුට ලැබෙන්නේ විශ‍්‍රාමික විනිසුරු ක‍්‍රිස්ටෝෆර් වීරමන්තී‍්‍රටයි. ජාත්‍යන්තර නීතිය ස්ථාපිත කරන්නට හා ප‍්‍රවර්ධනය කරන්නට ඔහු කළ මෙහෙවරට එම ත්‍යාගය පිරිනමනවා.

Weeramantry RLA citation

Judge Christopher Weeramantry
Judge Christopher Weeramantry

හේග් නුවර ලෝක අධිකරණයේ (ICJ) විනිසුරු හා උප සභාපති ලෙස කටයුතු කර ලෝක සම්මානයට පාත‍්‍ර වූ වීරමන්තී‍්‍ර 1967-1972 කාලයේ මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙසත් ඉන් පසු ඕස්ටේ‍්‍රලියාවේ මොනෑෂ් සරසවියේ නීති මහාචාර්යවරයෙකු ලෙසත් සේවය කර තිබෙනවා.

න්‍යෂ්ටික අවි පිටු දැකීම, වර්ණභේදවාදයට එරෙහිවීම, මානව හිමිකම් සුරැුකීම හා සාමය පිළිබඳ අධ්‍යාපනය ප‍්‍රවර්ධනය කිරීම වැනි පොදු උන්නතියට අදාල ක්‍ෂෙත‍්‍ර ගණනාවකම ඔහු ලබා දී ඇත්තේ විශිෂ්ඨ බුද්ධිමය නායකත්වයක් හා දායකත්වයක්. ඔහු විශ‍්‍රාමිකව මෙරට වාසය කරන අතර සාමය පිළිබඳ අධ්‍යයන හා පර්යේෂණ කරන වීරමන්ත‍්‍රී කේන්‍ද්‍රය (Weeramantry International Centre for Peace Education and Research – WICPER) 2001දී පිහිටුවා පවත්වා ගෙන යනවා.

වීරමන්ත‍්‍රීගේ නීති විශාරදත්වය හා බහුවිධ විෂය දැනුම ගැන කිසිදු ප‍්‍රශ්නයක් නැහැ. එහෙත් ඔහුගේ දේශන හා ලේඛන සමීපව නිරීක්ෂණය කරන මට ඔහුගේ දේශීය භූමිකාව ගැන ප‍්‍රශ්නයක් තිබෙනවා.

ජයන්ත ධනපාල හා ක‍්‍රිස්ටෝෆර් වීරමන්ත‍්‍රී යන අද ජීවතුන් අතර සිටින වැඩිපුරම ජාත්‍යන්තර ගෞරවයට පාත‍්‍ර වූ ලාංකිකයන් දෙදෙනා යයි කිව හැකියි. ජයන්ත ධනපාල එක්සත් ජාතීන්ගේ උප මහලේකම් තනතුරින් 2003දී විශ‍්‍රාම ගැනීමෙන් පසුව මෙරට යහපාලනය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ගැන විවෘතව හා අදීනව කථා කරන ප‍්‍රමුඛ පෙළේ බුද්ධිමතකු ලෙස මතු වී සිටිනවා.

එහෙත් මානව හිමිකම් ගැන පර්යේෂණාත්මක මට්ටමින් ලෝකයේ ඉහළම දැනුම් සම්භාරයක් හිමි වීරමන්ත‍්‍රී, මෙරට පොදු උන්නතියට හා යහපාලනයට අදාළ ප‍්‍රශ්න ගැන නිහඬව සිටීම කණගාටුදායකයි. එසේ සිටීමට ඔහුට පූර්ණ අයිතියක් තිබෙනවා. නමුත් දකුණු අප‍්‍රිකාවේ වර්ණභේදවාදයට හා ලෝකයේ වෙනත් රටවල අසාධාරණයන්ට එරෙහිව ඔහු මතු කළ ගෞරවාන්විත හඬ, වීරමන්ත‍්‍රී තම රටේම සහෝදර ජනයා වෙනුවෙන් ඇති තරම් මතු නොකරන්නේ ඇයි?

22 Dec 2013: සිවුමංසල කොලූගැටයා #148: වර්ණභේදවාදය පිටු දැකීමට ලැබුණු ලාංකික දායකත්වය