සිවුමංසල කොලූගැටයා #89: ප‍්‍රවාහන විප්ලවයක් කළ හැකි රළ නොනඟන බෝට්ටුව

In this week’s Ravaya column (in Sinhala), I profile I S W Karunathilaka, inventor of a waveless boat design that saves fuel and protects river banks. He just won the inaugural Ray Award for nurturing innovation excellence in Sri Lanka.

When I first met Karunathilaka three years ago, when he was experimenting with a model that measured 40 inches by 12 inches (101.6 cm x 30.5 cm). I interviewed him on Siyatha TV, showcasing his work in progress and discussing its future potential. He has come a long way since.

English post (NOT a translation): Waveless, Eco-friendly Boat wins the ‘Ray Award’ 2012

I S W Karunathilaka, winner of the ‘Ray Award’ 2012. Photo by Mevan Peiris/Snap Photography

දැනටමත් රාජ්‍ය පිළි ගැනීමක් ලද ශී‍්‍ර ලාංකික නව නිපැයුම්කරුවකුට සිය නිර්මාණය වෙළඳපොලට ගෙන යාමට උදවු වන රේ විජේවර්ධන සම්මානය පළමුවරට ඔක්තෝබර් 17 වනදා පිරිනැමුණා.

ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් පසුගිය වසර ගණනාවක් තිස්සේ යම් නිර්නායකයන්ට අනුකූලව නව නිපැයුම් සඳහා ජනාධිපති සම්මාන ලබා දෙනවා. එසේ සම්මාන ලැබූ ඕනෑ ම නව නිපැයුම්කරුවකුට මෙම ත්‍යාගයට ඉල්ලූම් කළ හැකිව තිබුණා. ලැබුණු ඉල්ලූම්පත් 56 අතුරින් විද්වත් මඩුල්ලක් තෝරාගත් නව නිපැයුම්කරුවන් 6 දෙනෙකුගේ කෙටි ලැයිස්තුවක් සැප්තැම්බර් අගදී ප‍්‍රකාශයට පත් කළා.

මේ හය දෙනාගෙන් රේ සම්මානය දිනා ගත්තේ හොරණ දේවමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ඉන්ද්‍ර ශ‍්‍රී වෛද්‍යරත්න (I S W) කරුණාතිලක. ඔහුගේ නව නිපැයුම වන්නේ ජලයේ ගමන් කරන විට රළ තරංග බිහි නොකරන, පරිසර හිතකාමී බෝට්ටු සැළසුමක්.

සම්මාන ප‍්‍රදානයට මුල් වූයේ රේ විජේවර්ධන භාරය හා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. මූල්‍ය අනුග‍්‍රහය දුන් කොමර්ෂල් බැංකුව ජයග‍්‍රාහකයාට රුපියල් මිලියනයක් දක්වා මුදලින් උපකාර කරන අතර තාක්ෂණික උපදෙස් මොරටුව සරසවියෙන් ලැබෙනු ඇති. ත්‍යාගය හරහා සිය නව නිපැයුම වෙළඳ පොලට ගෙන යාම කරුණාතිලකගේ ඊළඟ අභියෝගයයි.

ගණකාධිකාරීවරයෙකු ලෙස වෘත්තීය පුහුණුව ලැබුවත්, ඔහුගේ අරමුණ වූයේ අළුත් යමක් අරඹා ඒ හරහා ව්‍යවසායකයකු වීමටයි. එහිදී පවුලේ උරුමයක් යළි පාදා ගන්නට ඔහු උත්සාහ කළා.

1915 සිට 1940 දක්වා කාලයේ ඔහුගේ සීයා කළු ගෙඟ් මගීන් හා භාණ්ඩ ප‍්‍රවාහනය කළ බෝට්ටු සේවාවක් පවත්වා ගෙන ගොස් තිබෙනවා. මේ ඔස්සේ යමින් එබන්දක් නැවත කළ හැකි දැයි ඔහු සොයා බැලූවා. එවිට ඔහුට දැන ගන්නට ලැබුණේ පාරිසරික නීති යටතේ මෙරට අභ්‍යන්තර ගංගා, ඇල දොලවල මෝටර් බෝට්ටු පැදවීම තහනම් කොට ඇති බවයි.

එයට හේතු තිබෙනවා. මෝටර් බෝට්ටු වේගවත්ව ගමන් කරන විට ඒවා දෙපස මෙන් ම පිටුපසින් ද ජල තරංග නැතහොත් රළ බිහි වනවා. මේ රළ විහිදී ගොස් ඉවුරුවල වැදීමෙන් ටිකෙන් ටික ඉවුරු ඛාදනයට ලක් වෙනවා.

මීට අමතරව බෝට්ටු ධාවනය ජලජ ජීවින්ටත් අහිතකරයි. නීති විරෝධී හෝ පාරිසරික අගතිගාමී කර්මාන්තයක නියැලීමට කරුණාතිලක කැමති වූයේ නැහැ. එහෙත් කළුතර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රවාහන විකල්පයක් ලෙස බෝට්ටු යොදා ගැනීමේ විභවය ඔහු දැන සිටියා. ඉවුරු ඛාදනය නොකරන, පරිසර හිතකාමී බෝට්ටුවක් තැනීම ගැන ඔහු අත්හදා බැලීම් කළා.

නව නිපැයුම්කරුවන් සැමවිට වෙහෙසෙන්නේ අසම්මත චින්තනය හරහා ගැටළු විසඳීමට. බෝට්ටුවක් ජලයේ ගමන් කරන විට එමගින් ජල තරංග හා රළ ඇති වන්නට එහි හැඩය හා වේගය යන සාධක දෙක ම බලපානවා. බොහෝ බෝට්ටුවල හැඩය ඉංගී‍්‍රසි V අකුරට යම් තරමකට සමානයි. එනම් පතුලට යන විට නැම්මක් සමග එය සිහින් වනවා.

මෙය සැම විට ම එසේ විය යුතු ද? කරුණාතිලක වෙනස් හැඩතල සහිත බෝට්ටුවල ආකෘති තනමින් කුඩා ජල තටාකවල කලක් තිස්සේ රළ බිහි වීම නිරීක්ෂණය කළා. අන්තිමේදී ඔහු සොයා ගත්තේ රළ බිහි වීම අවම කල බෝට්ටු සැලසුමක්.

එයට අනුව බෝට්ටුවේ බඳ (hull) දෙකක් තිබෙනවා. පිටත බඳ සෘජුකෝණාශ‍්‍රයක් වැනියි. ඇතුළත බඳ ඇතුළට වක‍්‍ර වූ නැම්මක් සහිතයි. මේ බඳ දෙක අතර යම් ඉඩක් තිබෙනවා. මේ ඉඩට ජලය ඇතුළු විය හැකියි. බෝට්ටුවේ ගමන් කිරීම නිසා ස්වාභාවිකව හට ගන්නා තරංග මෙකී බඳ දෙක අතර ඉඩෙහි බිදී යනවා. එහෙත් බෝට්ටුවෙන් පිටතට විහිදෙන රළ තරංග බිහි වන්නේ නැහැ. මෙහි සුවිශේෂී වෙනස එයයි.

Prototype of waveless eco-boat designed by I S W Karunatilake
මේ සැළැස්මේ තව නව්‍යකරණයන් තිබෙනවා. අවර පෙත්ත (propeller) සවි කර ඇත්තේ බෝට්ටුවේ කෙළවරක නොව එහි මැදයි. මේ නිසාත් රළ බිහි වීම අඩු වනවා. බහුලව බෝට්ටු තැනීමට යොදා ගන්නා ෆයිබර් ග්ලාස් වෙනුවට මේ බෝට්ටුව තනා ඇත්තේ ඇලූමිනියම් හා වානේ වලින්. (මළ බැඳීම වළක්වන්නට ඇනෝඩික ආරක්ෂණයක් යොදා තිබෙනවා.) ෆයිබර් ග්ලාස් මෙන් නොව මේ ලෝහමය ද්‍රව්‍ය යම් දිනයක ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකි බව ඔහු කියනවා.

බෝට්ටුව ගමන් කරන විට රළ තරංග බිහි නොවනවා කියන්නේ ශක්තිය අපතේ නොයන බවයි. මේ නිසා වෙනත් බෝට්ටුවට වඩා මෙය ඉන්ධන භාවිතයෙන් ද කාර්යක්ෂම හා අරපිරිමැසුම්දායකයි. බෝට්ටුවේ බඳේ හැකි සෑම තැනක ම දේප පුරවා තිබෙන නිසා මෙය අනතුරකදී දියේ ගිලීමට ඇති ඉඩ ඉතා අඩු බව ද කරුණාතිලක කියනවා.

මා මුල් වරට කරුණාතිලක හමු වූයේ 2009 අවසාන කාර්තුවේ. සියත TV නාලිකාවේ නව නිපැයුම් පිළිබඳ වැඩසටහනකට මා ඔහු සමඟ සාකච්ඡාවක් කළා. ඒ වන විට ඔහු සිටියේ අඟල් 40 x අඟල් 12 ප‍්‍රමාණයේ බෝට්ටු ආකෘතියක් සමඟ අත්හදා බැලීම් කරමින්.

ගෙවී ගිය තෙවසර තුල ඔහු බොහෝ ඉදිරියට ඇවිත්. ජල මාර්ගවල දුවන ප‍්‍රාග්දර්ශයක් (prototype) 2011 අවසානයේ සිට ඔහු අත්හදා බලනවා. එහි මඟීන් 50 දෙනකු හෝ කිලෝ ග‍්‍රෑම් 4,000ක් දක්වා භාණ්ඩ ගෙන යා හැකියි.

ප‍්‍රාග්දර්ශ බෝට්ටුවට පැයට කිලෝමීටර් 8ක වේගයෙන් ගමන් කළ හැකියි. මීට වඩා බෙහෙවින් කුඩා, මගීන් 6 දෙනෙකු ගෙන යා හැකි, පැයට කිමී 100 දක්වා වේගයෙන් යා හැකි පරිසර හිතකාමී බෝට්ටුවක් ද ඔහු දැන් සැළසුම් කර තිබෙනවා. එය විශාල බෝට්ටුවේ සියළු ම ගුණාංග ඇති එහෙත් වේගය වැඩි යාත‍්‍රාවක්.

තම බෝට්ටු සියල්ලේ පැද්දීමේ සංවේදනය (Rolling Effect) නැති කොට තිබෙන බවත්, එයට ගොඩ වූ පසු කෙනෙකුට දිය මත සිටින බවට ඇඟට නොදැනෙන තරම් ස්ථාවර බවත් කරුණාතිලක කියනවා.

මෙතැනට එන්නට බොහෝ කැපවීම් කළ බව ඔහු කියනවා. තිදරු පියකු වන ඔහු ගණකාධිකාරී වෘත්තිය නවතා දමා පූර්ණ කාලීනව මෙබඳු යාන්ත‍්‍රික නිමැවුම් කටයුතුවල නිරතව සිටිනවා. මෝටර් රථවාහන අමතර කොටස් හා ලී බෝට්ටු තැනීම ද ඔහු ජීවිකාවක් ලෙස කරනවා. එහෙත් රළ නොනඟන පාරිසරික හිතැති බෝට්ටුව ඔහුගේ ප‍්‍රියතම ව්‍යාපෘතියයි. එය තව දුරටත් දියුණු කළ හැකි ක‍්‍රම ගැන ඔහු දැන් අධ්‍යනය කරනවා.

වෙනත් සාධකවලින් පරිසර හිතකාමී වුවත් මේ බෝට්ටුව ධාවනය වන්නේ ඛනිජතෙල් දහනය කරන එන්ජිමකින්. ඒ වෙනුවට ජෛවීය ද්‍රව්‍ය දහනය කොට බලය ලබා ගන්නා ගැසිෆයර් (gasifier) එකක් බෝට්ටුවේ සවි කළ හැකි ද යන්න ඔහු දැන් සොයා බලනවා. ජෛව ඉන්ධන දහනයෙන් බලශක්ති ජනනය ගැන මෙරට පුරෝගාමියෙකු වූ රේ විජේවර්ධනගේ චින්තනය එදත් අදත් තමන් ප‍්‍රබෝධමත් කළ බව කරුණාතිලක කියනවා.

වෙනත් බෝට්ටු මෙන් ඉවුරු ඛාදනය නොකරන නිසා සැළසුම් මට්ටමේදී ම කරුණාතිලකගේ බෝට්ටුවට අභ්‍යන්තර ජල මාර්ගවල ධාවනයට අවසරය ලැබී තිබෙනවා.

The RAY Award Logo
“නව නිපැයුමක් කඩදාසියකට පමණක් සීමා වනවා නම් එය බිහි කිරීමේ එතරම් තේරුමක් නැහැ. නිපැයුමක් වාණිජ මට්ටමින් ජන සමාජයට හා වෙළඳපොළට යා යුතුයි. එසේ වෙළඳපොල ජයගත් ප‍්‍රායෝගික නව නිපැයුම් කරුවන් ටික දෙනා අතර රේ විජේවර්ධන සිටිනවා. මගේ ඉලක්කය මේ බෝට්ටුව සාර්ථක ව්‍යාපාරයක් මට්ටමට ගෙන යාමටයි,” ඔහු කියනවා.

සංචාරක කර්මාන්තයටත්, එදිනෙදා මගී ප‍්‍රවාහනයටත් මේ බෝට්ටු යොදා ගත හැකියි. මීට අමතරව ජල ගැලීම් ආපදා සිදු වන අවස්ථාවල ඉතා සීරුවෙන් ගමන් කරමින් විපතට පත් වූවන් බේරා ගන්නට ද මේ බෝට්ටුව යොදා ගත හැකි බව නිපැයුම්කරුවා පෙන්වා දෙනවා.

මෙරට බිම් ප‍්‍රමාණයෙන් සියයට 10කට වැඩි ප‍්‍රමාණයක් වසා පැතිරුණු ගංගා, ඇල දොල, වැව් හා ජලාශ රාශියක් තිබෙනවා. එහෙත් ජල මාර්ග හරහා බඩු හා මඟී ප‍්‍රවාහනයට දක්වා ඇත්තේ ඉතා අඩු සැළකිල්ලක්. විනෝද ගමන්වලට පමණක් නොව නිතිපතා ප‍්‍රවාහනයට ද ජල මාර්ග යොදා ගත හැකියි.

මෙය තේරුම් ගත් ඕලන්ද ජාතිකයෝ බටහිර වෙරළට සමාන්තරව හලාවත සිට කළුතර දක්වා තීරයේ ඇල මාර්ග ගණනාවක් තැනුවා. මේ ඇල මාර්ග ගමනාගමනයට යොදා ගැනීම කලකට ඉහත සිදු වුවත් අද එය අතපසු වී තිබෙනවා.

මාර්ග තදබදයට ලාබදායක විකල්පයක් ලෙස සමහර ප‍්‍රදේශවල අභ්‍යන්තර ජල මාර්ග යොදා ගත හැකි බව අධ්‍යයන හරහා තහවුරු වී තිබෙනවා. හැබැයි මගී ප‍්‍රවාහනය විධිමත් ලෙස ජල මාර්ග හරහා කිරීමට පරිසර හිතකාමී හා ඉන්ධන පිරිමසින බෝට්ටු පමණක් සෑහෙන්නේ නැහැ. ඒ සඳහා නිසි ලෙස නඩත්තු කැරෙන ඇල මාර්ග, බෝට්ටුවලට පිවිසීමට ජෙටි හා ජීවිතාරක්ෂක උපක‍්‍රම ද අවශ්‍යයි.