සිවුමංසල කොලුගැටයා #280: වස විස නැති ගොවිතැනට විකල්ප මත විසද?

http://ravaya.lk/?p=16684
http://ravaya.lk/?p=16684

In this week’s Ravaya column (appearing in the print issue of 21 August 2016), I take a critical look at the Sri Lanka government’s new ‘Toxin-Free Nation” effort. Announced in 2015, it is a three year programme (2016-2018) “to convert Sri Lanka into a green nation and enable its citizens to enjoy foods free of chemicals and agro-toxins”.

Curiously, the programme is being implemented by a state entity called the Strategic Enterprise Management Agency (SEMA), set up in 2004 originally to monitor and support state owned enterprises. The century old and widely experienced Department of Agriculture is not involved (and apparently fully excluded).

Toxin free country - SEMA image
Toxin free country – SEMA image

According to the official programme document, available on SEMA website, “the aim of the program is to replace import driven agrochemical based agriculture with organic, sustainable natural agro-culture.”

[Quoted verbatim: not sure why they insist on using the term agro-culture instead of agriculture.]

The document claims, without citing any references or sources, that Sri Lanka spends LKR 300 billion a year “to import milk products, sugar, agrochemicals, seeds, etc., while farmer subsidies account for a further Rs.30 billion a year” (p12).

It further says, on p23, “As a long-term strategy for toxin-free agriculture, it is anticipated that indigenous rice varieties will significantly replace the improved varieties that are presently grown by farmers. According to the plan, 30% of rice produced in Sri Lanka would be indigenous varieties at the end of the three year plan. Further, organic, natural, biological fertilizers and pest repellants will replace the agrochemicals used to cultivate these improved varieties and it is anticipated that these toxins will be completely eradicated from Sri Lankan soil by the third year of the program.”

The document is full of uncorroborated claims and seemingly unrealistic goals. In 2014, organically farmed land accounted for less than one percent of the total cultivated land in Sri Lanka.

The exact methodology of going from under 1 percent to 33% in three years is not clear. On p15, the document says: “A toxin-less agro-culture is a system geared to obtain the required “plant-food” from the air, the land and the immediate environment. Multicropping, soil conservation, water and irrigation management, promoting the presence of agrofriendly fauna and flora as well as mechanical systems for pest control are all part of these systems.”

The plan lists a 10 point, multi-pronged approach as follows:

Toxin Free Sri Lanka: 10 point plan. Source: http://www.sema.gov.lk/
Toxin Free Sri Lanka: 10 point plan. Source: http://www.sema.gov.lk/

The plan does make some sense when it takes stock of organically grown food available in the market today. “In 2015, the price of organics was two or three times that of foods produced with the application of agrochemicals. Therefore, only the middle upper and upper income bracket of consumer could afford them leaving the common citizen of the country no choice but to purchase and consume toxin laced alternatives.” (p13).

I have been saying this for years. As I wrote in August 2014: “Despite their appeal, organics will remain a niche market, albeit a growing one, for years to come. Nobody wants to eat food laced with agrochemical residues (for which no safe upper limits have been set in Sri Lanka). But when organics typically cost 50% or more than non-organics, how many can really afford it? Unless this gap is narrowed, organics will remain beyond reach for many.”

As a long standing watcher and commentator on conservation farming (which is bigger than organics), I have been seeking clarity on this Toxin-Free Nation plan of Sri Lanka, being spearheaded by President Maithripala Sirisena himself. But his staff involved in promoting and implementing the programme have opted not to respond to specific queries in the public media and scientific forums.

Worse, they have shown high levels of intolerance towards critics — sometimes vilifying critics as ‘agents of chemical farming’ or ‘promoters of agrochemical companies’! This utter failure to engage is inconsistent with good governance policies of the President and government. The Department of Agriculture being excluded from the whole process is also a matter for grave concern: this means there now are TWO parallel structures for farming policy and promotion in Sri Lanka!

In this column, I call for a dispassionate, rational discussion of this politically driven national programme for toxin-free farming. I also refer to three outstanding Lankan scientists who have advocated conservation farming for decades – but they have done so without the intellectual arrogance and confrontational politics of the current effort. These pathfinders are: late Dr Ray Wijewardene, Dr Lionel Weerakoon and Dr Parakrama Waidyanatha.

L to R - Dr Lionel Weerakoon, Dr Parakrama Waiyanatha, Asoka Abeygunawardena
L to R – Dr Lionel Weerakoon, Dr Parakrama Waiyanatha, Asoka Abeygunawardena

අශෝක අබේගුණවර්ධන මා කලක සිට හඳුනන, ප්‍රියජනක පුද්ගලයෙක්. ඉංජිනේරුවකු ලෙස උගත් ඔහු විද්වත් දැනුම හරහා සමාජ ප්‍රශ්නවලට විසඳුම් සොයන පොදු උන්නතියට කැප වූ බුද්ධිමතෙක්.

මීට සති කිහිපයකට පෙර අප අහම්බෙන් හමු වූයේ 2015 ජනවාරියේ ආණ්ඩු පෙරළියෙන් පසු මුල් වතාවටයි. එම පෙරළියට පසුබිම් වූ දේශපාලන පසුබිම හා කැම්පේන් ක්‍රමෝපායයන් ගැන ඔහු පොතක් ද ලියා තිබෙනවා.

අශෝක දැන් උපායමාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය (SEMA) නම් රාජ්‍ය ආයතනයේ ප්‍රධානියා. ඒ යටතේ ක්‍රියාත්මක වන එක් ප්‍රධාන වැඩසටහනක් නම් වස විස නැති ගොවිතැන් ප්‍රවර්ධනය කිරීමයි.

මේ ගැන විමසූ විට අශෝකගේ මුල් ප්‍රතිචාරය වූයේ ”ඔබ ඒකට විරුද්ධයි නේද? ” යන්නයි.

සූහදව කළ එම විමසීමට සූහදවම පිළිතුරු දුන් මා කීවේ එයට මගේ කිසිදු විරෝධයක් නැතත් ඒ ගැන යම් ප්‍රශ්න මා පොදු අවකාශයේ මතු කරන බවයි. මේ කිසිවක් පුද්ගලික කෝන්තර නොවෙයි.

මේ වසර මුලදී ඇරැඹුණු වස විස නැති ගොවි ව්‍යාපෘතියේ අරමුණ “අවුරුදු තුනක කාලයකින් ලංකාව සම්පුර්ණයෙන්ම වස-විස නැති රටක් බවට පරිවර්තනය කිරීමයි. මේ කෘත්‍ය තුලින් අප රටේ සුපිරිල ගුණාත්මක, අතිශයිම පලදායි, සුව ප්‍රාර්ථනාවෙන් සපිරි පාරම්පරික ගොවිකම සහ නවීන ක්‍රමවේද හරහා රට  තිරසාර කෘෂිකර්ම ක්‍රමවේදයකට රැගෙන යාම” බව SEMA වෙබ් අඩවිය කියනවා. http://goo.gl/g92EkW

Toxin Free Nation: Sri Lanka's govt programme as summed up by promoting agency SEMA. Image courtesy http://www.sema.gov.lk/en
Toxin Free Nation: Sri Lanka’s govt programme as summed up by promoting agency SEMA. Image courtesy http://www.sema.gov.lk/en

අශෝක කීවේ කාබනිකව වවන සහල් හා අනෙක් ආහාර බෝග, කෘෂිරසායන යොදා ගෙන වවන ආහාරවල මිලට ආසන්න හෝ සම හෝ වීමට අවශ්‍ය බවෙහි වෙළඳෙපොළ සාධකය ඔහු හා පිරිස වටහා ගෙන ඇති බවයි. මෙය කලක සිට මාද මතු කරන වැදගත් සාධකයක්. එය එසේ නොවනතුරු කාබනික ඵලදාව ඉහළ මධ්‍යම පාංතික සුළුතරයකට සීමා වනවා. (නැතිනම් පිටරට යැවෙනවා.)

එසේම විදෙස් වෙළඳෙපොළවලට යවන විට අනිවාර්යයෙන් ලද යුතු කාබනික වගා කිරීම් සහතික (Organic certification) මෙරට වෙළඳෙපොළ සඳහා අනිවාර්ය කිරීම ප්‍රායෝගික නැති බවත් වස විසෙන් තොර ගොවිතැන් ව්‍යාපෘතිය හඳුනා ගෙන තිබෙනවා.

තනිකර පාරම්පරික දැනුමට සීමා නොවී නූතන දැනුමද එයට මිශ්‍ර කර ගැනීම හොඳයි. එහෙත් විද්‍යාවේ ලොවම පිළිගත් ක්‍රමවේදය වන සියලු දැනුම සංවාදයට විවෘත වීම මේ පිරිස අනුගමනය කරන බවක් පෙනෙන්නට නැහැ.

පොදු උන්නතියට වැදගත් ඕනෑම මාතෘකාවක් අරභයා මූලධර්මවාදී වීම හිතකර නැහැ. වත්මන් සමාජයේ බහු විධ මතවාදයන්ට සංවාදශීලී වීමට ඉඩ තිබෙනවා. එහිදී විකල්ප හෝ ප්‍රතිවිරුද්ධ මතධාරීන් හෙළා දැකීම හා ඔවුන් වාණිජ අරමුණු සඳහා පෙනී සිටින ”සමාගම් නියෝජීතයන්” යයි එක හෙළා හංවඩු ගැසීම පරිණත ක්‍රියාවක් නොවෙයි.

මේ ගැන 2016 මාර්තු 20 වනදා රාවයේ ලසන්ත රුහුණගේ ලියූ විග්‍රහයට මා මුළුමනින්ම එකගයි: “වස විසෙන් තොර පොළොවක් තිබිය යුතු බවට විවාදයක් නැත. ශරීරයට දරා ගත නොහැකි තරමට වස විස ශරීරයේ නොතිබිය යුතු බවට විවාදයක් නැත. එහෙත් ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණයකින් හෝ නිවැරදි ගණන් බැලීමකින් තොරව එක් පුද්ගලයකුගේ හෝ පුද්ගලයන් කිහිපදෙනෙකුගේ හිතැඟි පරිදි ජනප‍්‍රිය තීන්දු තීරණ ගැනීම රටක් වශයෙන් සලකන කල කොතරම් යෝග්‍යද යන්න අප නැවත නැවතත් සලකා බැලිය යුතුය.”

වකුගඩු රෝගයට (CKDu) හේතු විය හැකි සාධක 30ක් පමණ විවිධ පර්යේෂණ තුළින් හඳුනාගෙන තිබෙනවා. ඒ අතර රසායනික පොහොර හරහා එන කැඩ්මියම් ද තිබෙනවා. එහෙත් රෝගයට ඒ නිශ්චිත සාධකයක් ස්ථීරවම තහවුරු කර ගෙන නැහැ.

17 May 2016: සිවුමංසල කොලූගැටයා #268: වකුගඩු රෝගය වාද පිටියක් නොව ජාතික ආපදාවක් ලෙස සලකමු!

මේ නිසා වස විස නැති ගොවිතැන කළ පමණින්ම වකුගඩු රෝගය දුරුවේ යැයි තර්ක කළ නොහැකියි. එහෙත් පරිසරයටත්, සෞඛ්‍යයටත් වඩා හිතකර ගොවිතැන්  ක්‍රම ප්‍රවර්ධනය කිරීමේ වරදක් නැහැ.

කණගාටුදායක කරුණ නම් වස විසෙන් තොර ගොවිතැන සඳහා පෙනී සිටින පිරිස සංවාදශීලී වනු වෙනුවට නොරුස්නා සුලු හා උද්දච්ච ස්ථාවරයන් ගැනීමයි. ඔවුන්ගේ පටු විග්‍රහයට අනුව ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතනයක් (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව) හා මෙරට ප්‍රමුඛතම සරසවියක් (පේරාදෙණිය) මුළුමනින්ම පාහේ ”වස විස වවන සමාගම් ආකෘතියට” නතු වෙලාලු.

මෙවැනි සරල විග්‍රහයන් යළි යළිත් කියමින් හා දේශපාලන අනුග්‍රහය මත පරිසර හිතකාමී ගොවිතැන ප්‍රවර්ධනය කිරීම අවදානම් සහගතයි. ”ඔබ අප සමඟ නැතිනම් අපට විරුද්ධවාදියෙක්. අප ඔබ හෙළා දැකිය යුතුයි.” යන ජෝර්ජ් බුෂ් ශෛලියේ තර්ක නූතන සමාජයට ගැළපෙන්නේ නැහැ.

සාක්ෂි, විග්‍රහයන් හා තර්ක මත පදනම් වූත්, ආවේගශීලී නොවූත් සංවාද හරහා පමණයි අපට සැබවින්ම ඉදිරියට යා හැකි වන්නේ.

හරිත විප්ලවයේ උච්චතම අවධියේ (1960 – 1980 වකවානුවේ) වුවද  එහි ප්‍රවේශයෙන් ප්‍රශ්න කළ හා වඩාත් පරිසර හිතකාමී ගොවිතැන් ක්‍රම අත්හදා බැලූ විද්වතුන් මෙරට සිටියා.

ඔවුන් උඩුගං බලා පිහිනුවේ සම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම හා නූතන විද්‍යාත්මක සංකල්ප මනා ලෙස සංකලනය කරමින්. ඔවුන් තර්ක කළේ තමන්ගේම ක්ෂේත්‍ර අත්හදා බැලීම් හා අත්දැකීම් මත පදනම් වෙමින් දැඩි සංයමයෙන් යුතුවයි.

මේ විද්වතුන් අතර සිටි ආචාර්ය රේ විජේවර්ධන (1924 – 2010) ගැන මා කිහිප විටක් ලියා තිබෙනවා. රේ යළි යළිත් ගොවීන්ට අවවාද කළේ: “සැම විටම හිරු එළියෙන් හා ජලයෙන් උපරිම වැඩ ගන්න. නයිට්‍රජන්, පොස්පරස් හා පොටෑසීයම් වැනි (බෝග වැවීමට අත්‍යවශ්‍ය) මූලද්‍රව්‍ය සොබා දහමේ චක්‍රීකරණය වීම ගොවිබිමෙහිද හැකි තාක් අනුකරණය කරන්න.”

Dr Ray Wijewardene (1924-2010)
Dr Ray Wijewardene (1924-2010)

එහෙත් අවශ්‍ය තැනදී කෘෂි රසායන නිසි පමණට භාවිත කිරීම ඔහු අනුමත කළා. 1995දී මා සමඟ කළ දීර්ඝ මාධ්‍ය සාකච්ඡාවකදී කාබනික ගොවිතැන ගැන ද කථා කළා. මෙන්න අදාල උධෘතය:

අවශ්‍ය විටෙක අවශ්‍ය පමණට යම් රසායනික පොහොර හා වෙනත් ගොවි උපකාරක ද්‍රව්‍ය භාවිතයේ වරදක් මා දකින්නේ නැහැ. ඉතා වැදගත් කරුණ නම් පසේ සාරය පවත්වා ගැනීමයි.

 “අප දිගු කාලීනව සිතිය යුතුයි. ශ්‍රී ලංකාවේ වටිනා ම සොබා සම්පතක් නම් පසේ සරු බවයි ^soil fertility&. මෙරට වවා, අස්වනු නෙළා පිටරට යවන බෝග ගැන සිතන්න. (ආහාර බෝග පමණක් නොව වැවිලි බෝග ද එයට ඇතුළත්.) එම අස්වනු හරහා අපේ පොළවේ සරු බව රටින් පිට යනවා. මෙසේ අහිමිවන සරුබව යළිත් අපේ පසට ලබා දිය යුතුයි. නැතිනම් ලක් පොළොව කලකදී මුඩු, නිසරු බිමක් වනවා.

 “ඉන්දියාවේ මෙන් අපට අවශ්‍ය රසායනික පොහොර රට තුළ ම නිපදවා ගන්නට ඇති තරම් සොබාවික පොහොර නිධි සොයා ගෙන නැහැ. මේ මදිපාඩුව පිරිමසා ගන්නට අපට යම් තරමක රසායනික පොහොර පිටරටින් ගෙනෙන්නට සිදු වනවා.

මා කවදත් අවධාරණය කළේ එසේ ගෙනෙන පොහොර ඉතා සකසුරුවම් ලෙසින්, පසේ සාරය පවත්වා ගන්නා සොබාවික ක්‍රම සමඟ සංයෝජනය කළ යුතු බවයි. කොළ පොහොර, ගොම පොහොර, ගැඩිවිලුන්ගෙන් වැඩ කරවා ගැනීම ආදී සාම්ප්‍රදායික ක්‍රියා ගැන මීට වඩා අවධානය යොමු කළ යුතුයි.”

මේ ක්ෂේත්‍රයේ තවත් විද්වතුන් සිටිනවා. එක් අයෙක් නම් දිගු කලක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට සේවය කළ ආචාර්ය ලයනල් වීරකෝන්. ඔහු මහඉලුප්පල්ලම කෘෂි පර්යේෂනායතනයේ සොබාදහමට හිතකර ගොවිතැන් ක්‍රම ගැන වසර ගණනාවක් පර්යේෂණ කළා. 1980 ගණන්වල ඔහු ලියු    ‘Aspects of Conservation Farming’ නම් පොතෙහි පිටපතක් මා සතුව තිබෙනවා.

එහි පූර්විකාවේ ඔහු මෙසේ ලියනවා. ”බටහිර රටවල ආහාර නිෂ්පාදනය වැඩි කර ගත්තේ වගා බිම්වලට පිටතින් එකතු කරන පොහොර හා අනෙකුත් කෘෂි රසායන ප්‍රමාණය අධික ලෙස ඉහළ දැමීමෙන්. දියුණුවන රටවල් ගොවි ඵලදාව වැඩි කරන්නට වඩ වඩාත්  බිම් ගොවිතැනට යොදා ගන්නවා. මේ ප්‍රවේශ දෙකෙහිම යා හැකි දුරේ නිශ්චිත සීමා තිබෙනවා. අනිසි භූමි පරිභෝජනය නිසා අපේ රටවල වනාන්තර විනාශය, මුඩුබිම් බිහිවීම හා කාන්තාරකරණය උත්සන්න වෙලා.”

ශ්‍රී ලංකාවටත්, ලෝකයටත් අවශ්‍යව ඇත්තේ සොබාදහමේ ප්‍රවාහයන් නිසි ලෙස හඳුනා ගෙන, ඒවාට එරෙහි නොවී ඒවායින් උපක්‍රමශීලී ලෙස ප්‍රයෝජන ගන්නා ආකාරයේ ගොවිතැනක් බවට වීරකෝන් සිය පොතේ කියනවා.

විජේවර්ධන මෙන්ම ඔහුද අවධාරණය කරන්නේ ඝර්ම කාලාපීය පස සෝදා යාමට ලොකු විභවයක් ඇති නිසා මතුපිට සාරවත් පස රැක ගෙන ගොවිතැන් කිරීමේ වැදගත්කමයි. සංරක්ෂණාත්මක ගොවිතැන් ක්‍රම හයක් ඔහු සිය පොතේ විස්තර කරනවා.

එයින් එකක් නම් ගොවිබිමක පස (නගුලකින් හෝ ට්‍රැක්ටරයකින්) සීසෑමකින් තොරව වගා කිරීමයි (Zero Tillage or No-Till Farming).

පස පෙරළීමෙන් පසූ වර්ෂාව නිසා සරුපස අධික ලෙස සෝදා පාලුවට ලක් වනවා. හෙක්ටයාරයක (අක්කර 2.5)  බිමක අඟල් 10ක් යටට සීසෑ විට ටොන් 1,300ක් පමණ පස ලිහිල් වන බවත් එය රැක ගැනීම ඉතා අසීරු බවත් ඔහු කියනවා.

Cover of ‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1984
Cover of ‘Conservation Farming for Small Farmers in the Humid Tropics’ co-authored by Ray Wijewardene and Parakrama Waidyanatha, 1984

1984දී රේ විජේවර්ධන සමඟ සංරක්ෂණාත්මක ගොවිතැන ගැන අගනා අත්පොතක් (Conservation Farming for Small Farmers in the Humid Tropics) ලියු ආචාර්ය පරාක්‍රම වෛද්‍යනාථ මේ ක්ෂෙත්‍රයෙහි සිටින තවත් හසල විද්වතෙක්. 2016 ජූනි 24 වනදා ඩේලි නිවුස් පත්‍රයට විද්වත් ලිපියක් ලියූ ආචාර්ය වෛද්‍යනාථ මෙසේ කියනවා.

”පලිබෝධනාශක (හා සෙසූ කෘෂි රසායනික) හරියට බෙහෙත් වගෙයි. මේ දෙකම අපට අවශ්‍යයි. එහෙත් නිසි මාත්‍රාවට නොගෙන වැඩිපුර භාවිත කළොත් ප්‍රතිඵල භයානක විය හැකියි. එසේ වන නිසාවට බෙහෙත් නොගෙන සිටීම හෝ කෘෂි රසායනිකවලින් මුළුමනින්ම ඈත් වීම ප්‍රඥාගෝචර නොවෙයි.”

රසායනික, භෞතික හා ජෛවවිද්‍යාත්මක ක්‍රම මිශ්‍රණයක් වන සමෝධානික පලිබෝධ කළමණාකරන තාක්ෂණයන් (integrated pest management techniques) කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මනාව දියුණු කොට ඇති බවත්, අවශ්‍ය ප්‍රතිපාදන ලැබේ නම් ඒවා රටටම ප්‍රවර්ධනය කළ හැකි බවත් ඔහු කියනවා.

”කියුබාවේ ගොවිතැන මෙබඳු මිශ්‍ර ක්‍රම බහුලව යොදා ගන්නවා. අපට කියුබාවෙන් මේ ගැන බොහෝ දේ උගත හැකියි.”

වෛද්‍යනාථ සිය ලිපියේ මෙසේද කියනවා. ”රසායනික පොහොර භාවිතය අඩු කිරීමට රජය කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කරන බව පෙනෙනවා. එය හොඳ තීරණයක්. එහෙත් රටේ ඇති තරම් හොඳ ප්‍රමිතියේ කාබනික පොහොර නිපදවා ගැනීමේ දැනුම හා හැකියාව තිබේද යන්නත් සොයා බැලීය යුතුයි.

”කාබනික පොහොර යනු හුදෙක් ශාක අපද්‍රව්‍ය හා කොම්පෝස්ට් පමණක් නොව පැළෑටි වර්ධනයට හිතකර ක්ෂුද්‍ර ජීවින් හා ජෛව පොහොර විශේෂ ද එයට ඇතුළත්. එහෙත් රනිල ශාක වගාව හරහා වායුගෝලීය නයිට්‍රජන් පසට එක් කිරීම හැරුණු කොට අනෙකුත් කාබනික පොහොර ජනනයට අවැසි ශිල්ප ක්‍රම සාමාන්‍ය ගොවියාට ලැබේදැයි සැක සහිතයි.”

ඔහු පෙන්වා දෙන ඉතා වැදගත් කරුණ නම් කාබනික ගොවිතැන හරහා නිපදවන ආහාර සෑම විටම වස විසෙන් තොර නැති බවයි.

”කාබනික පොහොරවල නිතර හමු වන බැර ලෝහයක් නම් කැඩ්මියම්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණවලට අනුව ඔවුන් විශ්ලේෂණය කළ කාබනික ද්‍රව්‍යවල කැඩ්මියම් ppm (parts per million) 2.42කුත්, ගොමවල ppm 0.4කුත් හමු වුණා. මේ නිසා කාබනික ගොවිතැන හරහා ද ආහාරවලට කැඩ්මියම් වැනි බැර ලෝහ පිවිසිය හැකියි.

”එසේම කාබනික ගොවිතැනේ තවත් සීමාවක් නම් බෝග වගාවට අවශ්‍ය මූලද්‍රව්‍ය නිසි පමණට යෙදීම පාලනය කිරීම අසීරු වීමයි. අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය දීමට කාබනික පොහොර යොදන විට වුවමනාවටත් වඩා ෆොස්පරස් එහි මිශ්‍ර වී තිබිය හැකියි.” ඔහු කියනවා.

සිමීත පරිමාණයකට සාම්ප්‍රදායික සහල් ප්‍රභේද වගා කිරීමේ හා කාබනික ගොවිතැනේ කිසිදු වරදක් නැතත් මහා පරිමාණයෙන් එය ප්‍රවර්ධනයට පෙර හැම පැතිකඩක්ම සංවාදයට ලක් කළ යුතු බව ආචාර්ය වෛද්‍යනාථගේ ප්‍රබල ආයාචනයයි.

”රටේ කෘෂි ප්‍රතිපත්ති වෙනස් කරනවා නම් එයට කෘෂිකර්ම දෙපර්තමේන්තුවේ විද්වත් පිරිස ද සම්බන්ධ විය යුතුයි. එහෙත් වත්මන් ප්‍රයත්නයේදී මෙය සිදුව නැති බව පෙනෙනවා. රටේ ආහාර සුරක්ෂිතබවට (food security) හානි නොවන පරිදි නව මාර්ගයන්ට ප්‍රවේශ වීම වැදගත්.

කෘෂි රසායනිකවල හානිය මතුව ඇත්තේ නිසි මාත්‍රාවන්ට ඒවා භාවිත නොකිරීම නිසා. නැණවත් කෘෂිරසායන භාවිතයට අවශ්‍ය නියාමන, දැනුවත් කිරීම්, පුහුණුව හා අධීක්ෂණය ලබා දීමට රජය මීට වඩා කැපවිය යුතුයි.

මේ පියවර පමා වී හෝ නොගෙන හුදෙක් කාබනික ගොවිතැනට ලහි ලහියේ මහා පරිමාණයෙන් යොමු වීම හිසරදයට කොට්ටා මාරු කිරීමක් විය හැකි බව වෛද්‍යනාථ කියනවා. http://www.dailynews.lk/?q=2016/06/24/features/85558

පරිසරයට හා සෞඛ්‍යයට හිතැති ගොවිතැනේ අගය හා අවශ්‍යතාවය ගැන විවාදයක් නැහැ. එහෙත් එය බහුවිධ මතවලට ඉඩ දෙන, සාක්ෂි මත පදනම් වූ ප්‍රයත්නයක් විය යුතුයි.

වීරකෝන් හා වෛද්‍යනාථ වැනි විද්වතුන්ගේ පුළුල් දැක්ම ගොවියාගේ ජීවන මට්ටම ද රැක ගෙන, පරිසරය ද සංරක්ෂණය කරමින් හිතකර ගොවිතැනකට රට යොමු කිරීමයි. ඔවුන් මූලධර්මවාදී වනු වෙනුවට ප්‍රයෝගික හා සානුකම්පිත වනවා. ක්‍රමීය වෙනසකට ඉවසිලිවන්තව දිගු කාලීනව ක්‍රියා කරනවා.

Uncritical media reporting (such as this one in state media) leaves the Toxin-Free Nation Programme unchallenged even when its claims and plans don't add up...
Uncritical media reporting (such as this one in state media) leaves the Toxin-Free Nation Programme unchallenged even when its claims and plans don’t add up…

 

 

සිවුමංසල කොලූගැටයා #152: ජන වී රැක ගන්නට වෙර දරන ඉන්දියානු ගොවියෝ

In this week’s Ravaya column, I feature Indian agricultural scientist and activist Dr Anupam Paul, who is committed to organic farming and preserving traditional varieties of rice (folk rice).

He was in Colombo in December 2013 when I had an interesting interview on the uphill struggle to sustain in-situ conservation efforts working with a handful of committed farmers who still grow folk rice varieties instead of hybrid ones promoted by the Green Revolution.

For more info in English, see his paper:
Indigenous Rice: Ignored in Conventional Agriculture

Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com
Rice: Not just a good, but a whole way of life. Image courtesy http://anupamfolkrice.blogspot.com

ලෝකයේ සමස්ත ජනගහනයෙන් තුනෙන් එකක් පමණ දෙනා නිතිපතා බත් ආහාරයට ගන්නවා. මේ නිසා සහල් යනු ලෝකයේ වැදගත් ආහාරයක්.

වී වගා කිරීම මීට වසර 8,200 – 13,500කට පමණ පෙර චීනයෙන් ඇරැඹී ටිකෙන් ටික දකුණු හා අග්නිදිග ආසියානු රටවලට පැතිර ගිය බව ජාන විශ්ලේෂණයෙන් සොයා ගෙන තිබෙනවා. වී ශාකය හා එයින් ලැබෙන සහල් හුදෙක් ආහාරයක් හැටියට පමණක් නොව මේ රටවල ජන සංස්කෘතියේ කොටසක් බවට ද පත් වුණා.

අපේ දිවයිනෙහි වී වගාව ඇරැඹුණේ කවදාදැයි හරියට කිව නොහැකි වුවත් එය අපේ ම රටට ආවේණික ශාකයක් තරමට අද අපට සමීපයි. ඉන්දියාව, බුරුමය, තායිලන්තය, වියට්නාමය, කාම්බෝජය වැනි රටවල තත්ත්වයන් එයයි.

සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද රැක ගනිමින් ඒවා ගොවීන් අතර ප‍්‍රවර්ධනය කරන්නට වෘත්තීය හා පෞද්ගලික මට්ටමින් කැප වී සිටින අසාමාන්‍ය ගණයේ ඉන්දියානු කෘෂි විද්‍යාඥයෙක් මට ළඟදී හමු වුණා.

ආචාර්ය අනුපම් පෝල්ගේ (Dr Anupam Paul) නිල තනතුර බටහිර බෙංගාල ප‍්‍රාන්තයේ කෘෂිකර්මය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ. ප‍්‍රාන්ත රජයේ කෘෂි ජෛවවිවිධත්ව සංරක්ෂණ ගොවිපලක් ද ඔහු යටතේ පාලනය වනවා.

සොබාවික පරිසරයේ ජෛව විවිධත්වය තරම් ම කෘෂි ජෛව විවිධත්වය (agro-biodiversity) ද වටිනා බව ඔහුගේ විශ්වාසයයි. අපේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කර ගන්නට කෘෂි ජෛව විවිධත්වය රැක ගත යුතු යැයි ද ඒ සඳහා එහි ප‍්‍රධානතම භාරකරුවන් වන ගොවීන් සමඟ පර්යේෂකයන් හා නිලධාරින් සමීපව ක‍්‍රියා කළ යුතු යැයි ද ඔහුගේ අදහසයි.

ඉන්දියාවේ වී වගාව බහුලව කැරෙන ප‍්‍රදේශයක වෙසෙන ඔහුගේ වැඩි අවධානය යොමුව ඇත්තේ සාම්ප‍්‍රදායික වී ප‍්‍රභේද වෙතයි. ඔහු ඒවා හඳුන්වන්නේ ජන වී ප‍්‍රභේද  (folk rice varities) යනුවෙන්.

හරිත විප්ලවය හරහා දෙමුහුන් වී ප‍්‍රභේද හඳුන්වා දීමට පෙර ඉන්දියාව පුරා ජන වී ප‍්‍රභේද 82,000ක් පමණ තිබු බවත්, බටහිර බෙංගාලයේ පමණක් එබඳු ප‍්‍රභේද 5,500ක් වූ බවත් ඔහු කියනවා. එහෙත් රාජ්‍ය කෘෂි ප‍්‍රතිපත්තිය යටතේ දෙමුහුන් වී ප‍්‍රභේද කිහිපයක් පමණක් මුළු භාරතය පුරා ම ප‍්‍රවර්ධනය කෙරුණු නිසා මේ ජන වී ප‍්‍රභේද භාවිතයෙන් ඉවත්ව ගියා. මේ වන විට බෙංගාලයේ සොයා ගත හැක්කේ ජන වී ප‍්‍රභේද 250ක් පමණයි.

කෘෂි ජෛව විවිධත්වය රැක ගැනීමේ හොඳම ක‍්‍රමය නම් ඒවා වගා කිරීමයි. ඓතිහාසිකව අතිවිශාල බෝග ප‍්‍රභේද සමුදායක් බිහි වූයේ හා පැවත ආයේ රාජ්‍ය මැදිහත්වීමකින් නොව රට පුරා විහිදුණු ගොවීන් තමන් ලැදි බෝග ප‍්‍රභේද කන්නයෙන් කන්නයට වගා කළ නිසයි.

මෙයට අමතරව නූතන ජාන බැංකු හරහා ද වඳ වී යාමේ තර්ජනයට ලක් වූ බෝග ප‍්‍රභේද රැක ගත හැකි නමුත් එය හැම රටක ම හා හැම බෝගයකට ම කළ හැක්කක් නොවෙයි. එසේ ම බීජවල ජෛවී බව කෘත‍්‍රිම පරිසරයක දිගට ම පවත්වා ගැනීම ද අභියෝගයක්.

ඉන්දියාවේ ජාතික පැලෑටි ජාන සම්පත් සංරක්ෂණ ආයතනයේ වී ප‍්‍රභේද 80,000ක් පමණ තැන්පත් කර ඇතැයි නිල වාර්තා කියතත්, ඒවායේ සාඵල්‍යය බව ගැන සහතික වීමට බැරි යැයි පෝල් කියනවා. ‘‘ජන වී පැවතිය යුත්තේ විවෘත පරිසරයේ, කුඹුරුවල, ගොවීන්ගේ භාරකාරත්වය යටතේයි. සුළු වී ගොවියා කරන කාර්යය වායුසමීකරණය කළ රසායනාගාරවලට කළ නොහැකියි!’’

Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene
Dr Anupam Paul in Colombo. Photo by Nalaka Gunawardene

ඉන්දියාව පුරා තිබෙන රජයට අයත් ගොවිපල 150න් කාබනික ගොවිතැන කැරෙන එක ම ගොවිපල භාරව සිටින්නේත් අනුපම් පෝල්. 1950දී ඇරැඹූ මේ ගොවිපල කල්කතාවෙන් කිමී 86ක් උතුරට වන්නට නාඩියා ප‍්‍රදේශයේ අක්කර 15ක් වසා පැතිරෙනවා. කෘෂි රසායනික කිසිවක් නොමැතිව සොබාවික පොහොර හා සොබාවික ක‍්‍රම පමණක් යොදා ගනිමින් ජන වී ප‍්‍රභේද වගා කොට හොඳ අස්වනු නෙළා ගන්නා ක‍්‍රම මේ ගොවිපලේ අත්හදා බලනවා. එහිදී ගොවීන් හා විද්‍යාඥයින් සමසමව කටයුතු කරන බවත්, දෙපිරිස ම එකිනෙකාගෙන් අළුත් දේ උගන්නා බවත් ඔහු කියනවා.

බංකුරා නම් ස්ථානයේ පිහිටි (VRIHI) බීජ සංරක්ෂණ කේන්ද්‍රයේ (www.vrihi.org) ජන වී ප‍්‍රභේද 750ක් සුරැකෙන අතර නාඩියා සංරක්ෂණ ගොවිපලේ ජන වී ප‍්‍රභේද 207ක් වගා කිරීම හරහා සුරකිනවා.

‘‘ජන වී ප‍්‍රභේද නූතන අවශ්‍යතාවලට සරිලන තරම් අස්වනු ලබා නොදෙනවා යැයි සමහරුන් කියනවා. මා එය පිළිගන්නේ නැහැ. ඇතැම් ජන වී ප‍්‍රභේද, හරිත විප්ලවයේ දෙමුහුන් වී තරම් ම ඵලදාව ලබා දීමට සමත්’’ පෝල් කියනවා.

ඔහු අවධාරණය කරන්නේ වෙල් යායක සමස්ත ජෛවීය නිෂ්පාදනය (total biological production) සැළකිල්ලට ගත යුතු බවයි. දෙමුහුන් වී ප‍්‍රභේද වැඩිපුර සහල් ප‍්‍රමාණයක් ලබා දුන්නත් ඒවායේ පිදුරු ප‍්‍රමාණය අඩුයි. වගා බිමට වැඩියෙන් රසායන පොහොර දැමීම අවශ්‍යයි. කෘෂිරසායන යොදන කුඹුරක මිරිදිය මාළුන් ඇති කිරීම වැනි අතුරු ඵලදායක් ලද නොහැකි බව ද ඔහු පෙන්වා දෙනවා. එහෙත් කාබනිකව ජන වී වවන විට මේ සියල්ල කළ හැකියි.

සමස්ත ඉන්දීය මට්ටමින් ජන වී රැක ගැනීම තමාට තනිව කළ නොහැකි වුවත් බෙංගාල ප‍්‍රාන්ත මට්ටමින් හෝ එය කිරීමට පෝල් වෙර දරනවා. 2001දී ඇරැඹි මේ ප‍්‍රයත්නය හරහා මේ වන විට ජන වී ප‍්‍රභේද 127ක් එයට උනන්දුව හා කැපවීම ඇති ගොවීන් 80 දෙනෙකු අතර බෙදා දී ඒවා වගා කිරීම සිදු වෙනවා.

බටහිර බෙංගාලය පුරා මේ වන විට ජන වී ප‍්‍රභේද සුළු පරිමාණයෙන් වවන ස්ථාන 15ක් ඇතැයි ද එය කන්නයෙන් කන්නයට පවත්වා ගෙන යාම ලොකු අභියෝගයක් යැයි ද ඔහු කියනවා.

‘‘අද රට පුරා තරුණ තරුණියෝ ගොවිතැනට කැමති නැහැ. මවුපිය උරුමයෙන් ලද ගොවිකම වෙනුවට නගරයේ රැකියා සොයා ගෙන යාම හෝ පිටරට රැකියාවලට යාම බහුලව සිදු වනවා. ඉන්දියානු ගොවිතැනේ අනාගතය අවිනිශ්චිතයි.’’

ඉන්දියාවේ ප‍්‍රගතිශීලි ගොවීන් මෙන් ම සංවේදී විද්‍යාඥයන් ද ජන වී ප‍්‍රභේද ගොවිතැන් කිරීම හරහා රැක ගැනීමේ වැදගත්කම වටහා ගෙන තිබෙනවා. එහෙත් කෘෂි විද්‍යාව උගන්වන කිසිදු ඉන්දියානු සරසවියක් තවමත් ජන වී ගැන අවධානය යොමු නොකරන බව පෝල් කියනවා.

දැන් අප‍්‍රකට එහෙත් තවමත් ගොවීන් ටික දෙනකු වගා කරන ජන වී ප‍්‍රභේද අතර සුවිශේෂ ගුණාංග තිබෙනවා. දිගටි හාල් ඇට, කෙටි හාල් ඇට, විවිධාකාරයේ සුවඳවත් සහල් වර්ග, සීත පරිසරයක වැවෙන වර්ග, නියඟයට හා අධික උෂ්ණත්වයට ඔරොත්තු දෙන වර්ග ආදි වශයෙන් ජන වී ප‍්‍රභේදවලට ආවේණික ලක්ෂණ හමු වනවා. තවත් සමහර ජන වී ප‍්‍රභේද ජලයට යට වී දින ගණනක් පැවතිය ද විනාශ වන්නේ නැහැ.

එක් වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් හෝ තුනක් ඇති ජන වී ප‍්‍රභේද තිබෙනවා. ජුගාල් (jugal) නමින් හඳුන්වන ජන වී ප‍්‍රභේදයේ වී ඇටයක් තුළ සහල් ඇට දෙකක් තිබෙනවා. සටීන් (sateen) ජන වී තුළ සහල් ඇට තුනක් හමු වනවා.

Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013
Anupam Paul talking about the traditional crop seeds at the First Bangalore Seed Festival, Sep 2013

‘‘ජන වී ප‍්‍රභේදවල විවිධත්වයේ හා විචිත‍්‍රත්වයේ ඉඟියක් මෙයින් ලැබෙනවා. මේවා (අවභාවිතය නිසා) වඳ වී ගියොත් කෙතරම් තැත් කළත් නවීන විද්‍යාවට යළි බිහි කළ නොහැකියි. දැනට මේවා වගා කරන්නේ බටහිර බෙංගාලයේ ගොවීන් ටික දෙනකු පමණයි. මේ ගොවීන් සංඛ්‍යාව වැඩි කර ගැනීම අපේ ලොකු ම අරමුණයි,’’ ඔහු කියනවා.

‘‘මෙබඳු ගති ලක්ෂණ හරිත විප්ලවයෙන් හඳුන්වා දුන් වී ප‍්‍රභේදවල දකින්නට නැහැ. එම ගති සොබා ලබා දෙන ජාන, සාම්ප‍්‍රදායික වී වලින් වෙන් කොට නවීන වී ප‍්‍රභේදවලට මුසු කළත් එතරම් සාර්ථක වී නැහැ. සොබාදහම වසර මිලියන් ගණනක් පුරා බිහි කළ වී ප‍්‍රභේද ඉක්මවා යන්නට අපේ විද්‍යාවට තවමත් නොහැකියි.’’ පෝල් කියනවා.

සමහර ජන වී ප‍්‍රභේද ඉතා කුඩා පරිමාවක් ආහාරයට ගැනීම සෑහෙනවා. උදාහරණයක් නම් පච්චපෙරුමාල් වී ප‍්‍රභේදය. එහි තන්තු (fibre) ප‍්‍රමාණය වැඩියි. යකඩ හා විටමින් බී තිබෙනවා. ආහාරයට ගත් විට ප‍්‍රතිඔක්සිකරණයවීම සිදු වන නිසා පිළිකා ඇති වීම වැළැක්වීමට එය උපකාර වෙතැයි ඔහු කියනවා.

මේ අතර දෙමුහුන් වී ප‍්‍රභේදවලින් ලබා ගත හැකි වූ අධික වී අස්වැන්න කෙමෙන් අඩු වීමට පටන් ගෙන ඇතැයි පෝල් කියනවා. මෙයින් කැළැඹුණු ගොවීන් පෙර තිබු අස්වනු ලබා ගැනීමට වඩ වඩාත් කෘෂිරසායනික යෙදීම කරනවා. එහෙත් පසේ සාරවත් බව අඩු වී ගිය භූමියෙන් එක දිගට වැඩි අස්වනු ලබා ගැනීමට නොහැකියි.

දෙමුහුන් වී වර්ග, ලවණ මුසු වූ බිම්වල හෝ අර්ධ ශුෂ්ක ප‍්‍රදේශවල වගා කිරීමට ද නොහැකියි. එහෙත් එබඳු දුෂ්කර පරිසරවල වැවීමේ හැකියාව ඇති සමහර ජන වී ප‍්‍රභේද තිබෙනවා.

දෙමුහුන් වී ප‍්‍රභේදවල තව සීමා තිබෙනවා. ඒවා වැවීමට වැඩිපුර ජල ප‍්‍රමාණයක් අවශ්‍යයි. හරිත විප්ලවය හඳුන්වා දුන් බෝරෝ වී (Boro Rice) වැවීමට එක් කිලෝවක් සඳහා ජලය ලීටර් 3,000 – 4,000 පමණ කුඹුරට යෙදිය යුතුයි. ජල හිඟයකට මුහුණ දෙන අද මේ අවශ්‍යතාව පිරිමසා ගැනීම ලෙහෙසි නැහැ.

සියවස් ගණනක් තිස්සේ ජන වී (වගා කිරීම හරහා) රැක ගත්තේ රාජ්‍ය ආයතන හෝ විද්‍යාඥයන් නොව කුඩා පරිමාණයේ ගොවීන්. ඔවුන්ට නිලධාරි බලපෑම් හා වෙළඳපොල බාධක නැතිනම් තව දුරටත් එය කළ හැකියි. එහෙත් හැම කාරියකට ම මැදිහත් වීමේ වත්මන් රාජ්‍ය පාලන ක‍්‍රමය යටතේ ගොවීන්ට සාම්ප‍්‍රදායික බීජ සංරක්ෂණය පෙර තරම් ලෙහෙසි නැහැ.

ජීව විද්‍යාඥයන් හොඳින් දන්නා පරිදි  ඕනෑ ම ජීවි (ශාක හා සත්ත්ව) විශේෂයක පැවැත්ම හා සවිමත් ජාන පදනම රඳා පවතින්නේ එහි ප‍්‍රභේද වැඩි සංඛ්‍යාවක් සොබාවිකව පරිසරයේ රැඳී තිබීම හරහායි. හරිත විප්ලවය නිසා වගා කරන බෝගවල ප‍්‍රභේද විශාල ලෙස අඩු වූවා පමණක් නොව ඒවායේ වල් ප‍්‍රභේද (crop wild relatives) ද ක්ෂීන වී ගොසින්.

Dr Vandana Shiva. image courtesy seedfreedom.in
Dr Vandana Shiva. image courtesy seedfreedom.in

අනුපම් පෝල් ඇතුළු කාබනික වගාවේ හා ජන වී සංරක්ෂණයේ නිරත වූ බොහෝ දෙනකුට ආදර්ශය හා ප‍්‍රබෝධක ආවේගය ලැබෙන්නේ ආචාර්ය වන්දනා ශිවා (Dr Vandana Shiva) නම් ප‍්‍රකට ක‍්‍රියාකාරිනිය හරහායි. ඇය ඇරැඹූ නව්ධාන්‍ය (Navdanya.org) නම් සාමූහිකත්වයේ පෝල් යාවජීව සාමාජිකයෙක්.

වන්දනා ශිවා ඔහුට වරක් මෙසේ කීවා: ‘‘ඔබ රජයේ සේවකයකු ලෙස කෘෂි සමාගම්වල අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කෙරෙතැයි බලාපොරොත්තු වෙනවා. එසේ නොකරන ඔබ ඇත්තට ම කඩාකප්පල්කරුවෙක්!’’

ගොවිතැන් කරන බෝගවල ජාන විවිධත්වය රැක ගන්නට පරිසරවේදීන් ඇති තරම් උනන්දු නොවීම ඛේදවාචකයක් බව පෝල් කියනවා. ‘‘වන ජීවි විවිධත්වය වගේ ම කෘෂි බෝග විවිධත්වයත් අපේ පැවැත්මට අතවශ්‍යයි. එය හීන වී නැති වී ගියොත් අපට ආහාර සුරක්ෂිතභාවය අහිමි වනවා පමණක් නොව අපේ ජන සංස්කෘතියේ වැදගත් අංග ද විනාශ වනවා.’’

Indian Ecologist Dr Debal Deb speaks of conserving folk rice

See also:

18 August 2013: සිවුමංසල කොලූගැටයා #130: “හරිත විප්ලවය නිසා අපේ ගොවිතැන මංමුලා වුණා!” – රේ විජේවර්ධන

9 Sep 2012: සිවුමංසල කොලූගැටයා #82: රසායනික පොහොර ‘දෙවොලේ’ සිරගත වූ අපේ ගොවියා

16 Sep 2012: සිවුමංසල කොලූගැටයා #83: රසායනික පොහොර උගුලෙන් කාම්බෝජය ගලවා ගත් විප්ලවවාදියා

21 Aug 2011: සිවුමංසල කොලූගැටයා #28: සැබෑ හරිත විප්ලවයක් සොයා ගිය රේ විජේවර්ධන

28 Aug 2011: සිවුමංසල කොලූගැටයා #29: වෙලට නොබැස පොතෙන් ගොවිතැන් කරන කෘෂි විද්‍යාඥයෝ