සිවුමංසල කොලූගැටයා #70: ශ‍්‍රී ලංකාවෙන් ලෝකයට දායාද කළ සදෘශ්‍ය වනවගා විප්ලවය

In this week’s Ravaya column (in Sinhala), I write about Analog Forestry, a Lankan innovation that is now adopted in many tropical countries in Africa, Asia and Latin America.

Analog Forestry is a system of planned, managed forests that are designed to mimic the function and ecology of the pre-existing climax vegetation for the area, and are also designed to provide economic benefits.

Read: Just like a forest by Aditya Batra, Down to Earth magazine, 15 June 2011

තවත් ලෝක පරිසර දිනයක් ජුනි 5 වනදා සමරනු ලැබුවා. සෑම වසරක ම මේ කාලයට පරිසරය හා සොබා සම්පත් ගැන අවධානය යොමු වනවා. පරිසරවේදීන් කියන්නේ මහා පරිමානයේ සංවර්ධන ව්‍යාපෘති හා පාරිභෝගික සමාජය නිසා අපේ පරිසරයට විශාල තර්ජන ඇති බවයි. පරිසරයේ නිල සුරැකුම්කරුවන් ලෙස නීතිමය බලතල හා ප‍්‍රතිපත්තිමය වගකීම් ඇති රාජ්‍ය ආයතන කියන්නේ අභියෝග බොහොමයකට නිසි ප‍්‍රතිචාර දක්වන බවයි.

මේ දෙපිරිස වාද විවාද කරන අතරේ නිහඩව නමුත් ගැඹුරින් පාරිසරික තත්ත්වයන් අධ්‍යයනය කරමින් ප‍්‍රායෝගික විසදුම් සොයන හා නව සංකල්ප අත්හදා බලන ටික දෙනෙකුත් සිටිනවා. නිලබලය හෝ ප‍්‍රසිද්ධිය හෝ හඹා නොයන එහෙත් සොබා සම්පත් හා මානව සමාජය අතර සංහිදියාවක් ඇති කරන්නට වෙර දරන පර්යේෂකයන්, බිම් මට්ටමේ ක‍්‍රියාකාරිකයන් අපේ රටේ සිටිනවා. බැනර්, මාධ්‍ය ප‍්‍රකාශ හෝ පෙළපාලිවලින් තොරව නිහඩව වැඩ කර ගෙන යන මේ අය සැබෑ පරිසර වීරයෝ. මා කවදත් වැඩි අවධානයක් යොමු කරන්නේ ඔවුන් ගැනයි.

අපට සොබා දහම මවන්නනට බැහැ. එහෙත් සොබාදහම අධ්‍යයනය කොට එහි ක‍්‍රියාදාමයන් අනුකරණය කළ හැකියි. සොබාදහමට එරෙහි වනවා වෙනුවට සොබාදහම සමග සහයෝගයෙන් අපේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ ක‍්‍රමවේදයන් දැන් හඳුනා ගෙන තිබෙනවා. ගිය සතියේ කොලමින් මා හදුන්වා දුන් මෙරට සිටින ප‍්‍රවීණතම පාරිසරික විද්‍යාඥයකු වන ආචාර්ය රනිල් සේනානායකගේ නව්‍යකරණයක් වන සදෘශ්‍ය වන වගාව (Analog Forestry) ගැන සොයා බලමු.

සදෘශ්‍ය වන වගාවේ ආරම්භය 1975 දක්වා අතීතයට යනවා. රනිල් සේනානායක සිය පරිසර විද්‍යා ආචාර්ය උපාධියට ක්ෂේත‍්‍ර පර්යේෂණ කරමින් ශ‍්‍රී ලංකාවේ බොහෝ ගම්බද හා කැලෑබද ප‍්‍රදේශවල සංචාරය කළා. කෙටි කලකින් පසුව වුවත් එක ම ස්ථානයට නැවත ගිය විට එතැන ඉන් පෙර හමු වූ උභයජීවින්, කටුස්සන්, සර්පයන් හා අනෙකුත් ජීවීන් සංඛ්‍යාවෙනුත් විවිධත්වයෙනුත් අඩු වන සැටි ඔහු දුටුවා. මෙයට හේතුව ඔවුන්ට උන්හිටි තැන් අහිමිවීමයි. ස්වභාවික වනාන්තර අඩු වීමයි.

ස්වභාවික වනාන්තරවලට පසුව වඩාත් ම මේ ජීවින්ට හිතකර පරිසරයක් ඇත්තේ අපේ පුරාණ ගම්වල බව විකී අතුකෝරාල නම් මිතුරකු රනිල්ට පෙන්වා දුන්නා. මේ ඔස්සේ ගවේෂණය කළ රනිල් සොයා ගත්තේ පුරාණ ගම්වල තුරුලතා හා භූමි සැකසුම බොහෝ දුරට ස්වභාවික වනාන්තරය අනුකරණය කළ බවයි. මේ නිසා මිනිස් ජනවාස අතර වුවත් අනතුරකින් තොරව පවතින්නට සොබා දහමට ඉඩ ලැබී තිබුණා.

අමෙරිකාවේ කැලිෆෝනියා සරසවියෙන් ආචාර්ය උපාධිය ලබා 1978දී යළි ශ‍්‍රී ලංකාවට ආ රනිල්, 1980 දශකයේ වැඩි කලක් ගත කළේ වනාන්තර අනුකරණය කරමින් සොබා දහමටත් ගැමියන්ටත් හිතකර හා ප‍්‍රයෝජනවත් පරිසර පද්ධති බිහි කළ හැකි ද යන්න සෙවීමටයි.

වනාන්තරයක් වැවෙන්නේ පියවරෙන් පියවර දශක ගණනාවක් පුරා. තණ කොළ හා කුඩා පදුරුවලින් ඇරැඹී ටිකෙන් ටික වඩාත් විශාල ගස් බිහි වනවා. ඒ වටා සංකීර්ණ වූත් විචිත‍්‍ර වූත් ශාක හා සත්තව සමුහයක් එක්තැන් වනවා. මේ ක‍්‍රියාදාමය සමීපව අධ්‍යයනය කිරිමෙන් පසු මුඩුබිමක් හෝ විවෘත බිම් පෙදෙසක ටිකෙන් ටික වනාන්තරයක් අනුකරණය කැරෙන විදියේ ගස්වැල් වැඩෙන්නට සැලැස්විය හැකියි.

අපේ පුරාණ ගම්මානවල භූමි පරිභෝජන රටාවට අමතරව දකුණු අමෙරිකාවේ ගෝතමාලා රටේ වනාන්තර හා ගම්බද ප‍්‍රදේශ ආශ‍්‍රිතවත් ඔහු පර්යේෂණ කළා. මේ සියල්ලේ ප‍්‍රතිඵලය හැටියට සදෘශ්‍ය වනවගාව නමින් අළුත් සංකල්පයක් ලෝකයාට ඉදිරිපත් කරන්නට රනිල්ට හැකි වුණා.

සදෘශ්‍ය වන වගාව යනු වනාන්තරයක හා ගොවි බිමක සම්මිශ‍්‍රණයක්. සීමිත භූමි ප‍්‍රමාණයක මිලියන් 20ක මානව ජනගහනයක් හා විශාල ජෛව විවිධත්වයක් පවත්වා ගන්නට උපකාර වන එක් ක‍්‍රමවේදයක්. ගොවිබිම් සොයා වනබිම් ගිනි තබා එලි පෙහෙලි කරනවා වෙනුවට වනාන්තර හා ගොවිබිම් එක ම බිම් පෙදෙසහි එක ම කාලයේ පවත්වා ගැනීමට හැකිවිම මෙහි සුවිශේෂී ලක්ෂණයයි.

මෙහි විද්‍යාත්මක සිද්ධාන්ත තහවුරු කර ගත් පසු ප‍්‍රායෝගිකව අත්හදා බලන්නට රනිල්ට ඕනෑ වුණා. එහෙත් රජයේ වන දෙපාර්තමේන්තුව මේ සංකල්පය ගැන කිසිදු උනන්දුවක් දැක් වූයේ නැති බව ඔහු කියනවා.

එයින් අධෛර්්‍යයට පත් නොවූ ඔහු, පාරම්පරිකව තමන්ට කොළඹ හිමි වූ ඉඩමක් විකුණා ඒ මුදලින් ඌව පළාතේ බණ්ඩාරවෙලට සමීප මිරහවත්ත ප‍්‍රදේශයෙන් ඉඩමක් මිළට ගෙන සදෘශ්‍ය වන වගාවේ ප‍්‍රායෝගික අත්හදා බැලීම් ඇරඹුවා. පුරාණ ගම්මානවලින් හා ලෝකයේ වෙනත් රටවලින් උගත් දේ එහිදී වසර අටක් පුරා පෞද්ගලික වියදමින් හා පරිශ‍්‍රමයෙන් ක‍්‍රියාත්මක කළා. මේ සඳහා තවත් උද්යෝගිමත් පර්යේෂක පිරිසක්ද සම්බන්ධ කරගෙන Neo-Synthesis Research Centre (NSRC) නම් ලාබ නොලබන, පර්යේෂණ ආයතනයක් ද ආරම්භ කළා.

‘‘අපේ වන දෙපාර්තමේන්තුව යටත් විජිත යුගයේ ආරම්භ කළේ දැව උකහා ගැනීමේ මුඛ්‍ය අරමුණින් මිස වනාන්තර රැුක ගැනීමට නොවෙයි. අවාසනාවකට අද දක්වා එහි බොහෝ නිලධාරීන් වනාන්තර දකින්නේ දැව සඳහා උකහා ගත හැකි ගස් එකතුවක් ලෙසයි. වනාන්තර යනු ඉතා සංකීර්ණ පරිසර පද්ධති බවත්, ඒවායේ ජෛව විවිධත්වයේ බහුතරයක් ඇත්තේ මහ ගස්වල නොව කුඩා පැළෑටි, පඳුරු, වැල්, අපිශාක හා පාංශු ජීවින්ගේ බව ඔවුන් දකින්නේ නැහැ’’ ඔහු කියනවා.

සදෘශ්‍ය වන වගා බිමෙහි ආර්ථික වශයෙන් ප‍්‍රයෝජනවත් කුළුබඩු, පළතුරු හා වෙනත් බෝග වර්ග වවන්නට හැකියි. වගා කරන්නට පෙර ස්වභාවිකව යම් තැනෙක තිබෙන සියළු ගස්වැල් කපා ඉවත් කිරිම වෙනුවට ඒවා සෙවනෙහි ම වගා කළ හැකියි. සමශීතෝෂ්ණ දේශගුණය ඇති රටවල පුළුල්ව කැරෙන විවෘත වගාබිම් සංකල්පය ගෙඩිපිටින් ඝර්ම කලාපීය අපේ රටට ආදේශ කරනු වෙනුවට මේ විකල්පය වඩාත් පරිසර හිතකාමියි.

එමෙන්ම බෝග ඵලදායිතාවේ හා ගොවීන්ගේ ආදායම්වල වැඩිවීමක් මිස අඩුවක් වන්නෙත් නැහැ. එහෙත් බටහිර සංකල්පවලට නතු වූ අපේ කෘෂි විද්‍යාඥයන්ට හා කෘෂි ව්‍යාපෘති නිලධාරින්ට මෙලෙස වනය හා ගොවිබිම මුසු කිරිම දිරවා ගන්නට අමාරුයි. මේ නිසා සදෘශ්‍ය වන වගාවේ සාර්ථක හා හිතකර බව හොදින් සනාථ වී තිබියදීත් අපේ කෘෂි හා වන දෙපාර්තමේන්තු තවමත් එය පිළි ගන්නේ නැහැ.

“1980 දශකයේ වන දෙපාර්තමේන්තුව හා ඔවුන්ගේ විදේශ විශේෂඥයන් විශ්වාස කලේ මෙරටට තනිකර ම ආගන්තුක පයිනස් හා යුකැලිප්ටස් ගස් යොදා ගෙන කෘත‍්‍රිම වන වගා කිරීම ගැන පමණයි. වන බිම් අසල වෙසෙන ගම් වාසීන්ගේ ආදායම් උවමනාකම් ගැන කිසිදු හැගීමක් හෝ තැකීමක් වන නිලධාරින්ට තිබුණේ නැහැ. මේ නිසා සදෘශ්‍ය වන වගාව වැනි සංකල්පයක් නිලධාරින් අගය කළේ නැහැ,” රනිල් කියනවා.

වනාන්තර අනුකරණය කරමින් ගම්වල සදෘශ්‍ය වන වගා කිරීම හරහා වනය රැක ගන්නා අතර ගැමි ජනයාගේ ආදායම් ද වැඩි කළ හැකි බව වසර 25 ක් පුරා NSRC පර්යේෂණ ආයතනය මෙරට බදුල්ල, මොණරාගල වැනි දිස්ති‍්‍රක්කවල අත්දැකීමෙන් ඔප්පු කොට තිබෙනවා.

ශ‍්‍රී ලංකාවේ මිරහවත්තෙන් පටන් ගත් වනය හා ගොවිබිම් එක්තැන් කිරිමේ විප්ලවය දැන් ලෝකයේ ඝර්ම කලාපීය රටවල් ගණනාවකට පැතිර ගොස් තිබෙනවා. Analog Forestry Network (www.analogforestrynetwork.org) නමැති විද්වත් ජාලයට රටවල් 16ක සදෘශ්‍ය වන වගාකරුවන් අයත්. එය ක‍්‍රියාත්මක වන්නේ ඒ රටවල රාජ්‍ය නිලධාරී, පර්යේෂක හා ගොවි සංවිධානවල සහභාගිත්වයෙන්. සදෘශ්‍ය වන වගාව දශක දෙකක් තිස්සේ විද්‍යාත්මක අධ්‍යයනයට ද ලක්ව තිබෙනවා. ඒ ගැන MSc හා PhD මට්ටමේ පර්යේෂණ නිබන්ධන ගණනාවක් හා ජාත්‍යන්තර නිබන්ධන රැසක් ලියැවී තිබෙනවා.

“සදෘශ්‍ය වන වගාව සෑබැ ලෝකයේ ප‍්‍රායෝගික ලෙස ක‍්‍රියාත්මක වන, පාරිසරික මෙන් ම සමාජයීය ලෙසින් විපුල ඵල දෙන ක‍්‍රමවේදයක් බවට අද ආසියාව, අප‍්‍රිකාව හා දකුණු ඇමෙරිකාව පුරා පිළි ගෙන තිබෙනවා. එහෙත් එය උපන් ශ‍්‍රී ලංකාවේ තවමත් කිසි පිළි ගැනීමක් නොලැබීම අපේ අවාසනාවක්. නිලධාරින්ගේ අධිපතිවාදයේ දරුණුකම එයින් පෙනෙනවා,” යයි රනිල් සේනානායක කියනවා.

2008දී මා විධායක නිෂ්පාදනය කළ “2048 ශ‍්‍රී ලංකාව” ටෙලිවිෂන් සංවාද මාලාවේ එක් වැඩසටහනකට, මොණරාගල මාරගලකන්ද ගම්මානය ආශ‍්‍රිතව කැරෙන සදෘශ්‍ය වන වගාව ගැන කෙටි වීඩියෝ වාර්තාවක් නිෂ්පාදනය කළා. රජයේ සෘජු මැදිහත්වීමකින් තොරව, පෞද්ගලික ඉඩම් යොදා ගෙන ගම්වාසීන්ගේ විශ්වාසය හා සහයෝගය දිනා ගෙන කරගෙන යන මේ වන වගාවේ සාර්ථකත්වය හොඳාකාර දැක බලා ගන්නට අපට හැකි වුණා. http://tiny.cc/SL48AF

රනිල් සේනානායක ඇරඹු NSRC අද ඉදිරියට යන්නේ එහි වත්මන් අධ්‍යක්ෂ කැමී මෙල්වානිගේ නායකත්වයෙන්. උඩරට කදුකරයේ ලොකු කුඩා තේ වතු ආශ‍්‍රිතව සදෘශ්‍ය වන වගා ඔවුන් අරඹා තිබෙනවා. මේවා අවට ගම්වාසීන්ට අතුරු ආදායම් ලබාදෙන අතර කලක් තිස්සේ වගාකිරිමෙන් නිසරු වූ බිම්වලට නැවත ජීවය ලබා දීමක් (Ecological Restoration) හැටියටත් NSRC දකිනවා. කුරුදු, කරාබුනැටි, අලිගැට පේර වැනි ආර්ථික වටිනාකමක් ඇති බෝග මේ වන වගා අතර වවනවා. මේ සඳහා තේවතු හිමියන් මෙන් ම වතු කම්කරුවන් ද හවුල් කර ගෙන තිබෙනවා.

“සදෘශ්‍ය වන වගාවක සාර්ථකත්වය දකින්නට වසර ගණනාවක් ඉවසිල්ලෙන් ක‍්‍රියා කළ යුතුයි. සොබාවික පරිසරයේ සිටින ගෙම්බන්, සමනලයන්, කූරන් ආදී සතුන් සදෘශ්‍ය වන වගාවට පැමිණෙන්නට ගත් විට එය වනයක හොඳ අනුකරණයක් බවට පත්ව හමාරයි,” මෙල්වානි කියනවා.

NSRC අමතරව ඌව පළාත කේන්ද්‍ර කර ගත් අනාගතේ අපේ අතේ (Future in Our Hands) නම් ස්වෙච්ඡ සංවිධානය ද සදෘශ්‍ය වන වගාවේ යෙදෙනවා. හේන් ගොවිතැන සඳහා අක්කර ගණන් කැලෑ බිම් ගිනි තබා හෙළි පෙහෙලි කරනු වෙනුවට සදෘශ්‍ය වන වගාවේ නිරත වීම හරහා ආදායම් ලැබීමට ගොවීන් කැමතියි.www.futureinourhands.org

මේ ක‍්‍රියාදාමයන්ට බිම් මට්ටමේ රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ලැබෙනවා. ජාතික මට්ටමේ නිල පිළගැනිම හෝ අනුදැනුම නැතිව වුවත් දැනුම, කැපවීම හා සංවිධානය වීම හරහා පරිසරය රැක ගනිමින් ගැමි ආදායම් ද ඉහළ නැංවිය හැකි බවට සදෘශ්‍ය වන වගාව හොඳ උදාහරණයක්.

පරිසරය රැක ගන්නවා කියන්නේ සොබා සම්පත් පරිහරණය නොකර ඒවා කොටු කර, හමුදා ආරක්ෂාව යටතේ තැබීම නොවේ! සොබාදහමේ පුනර්ජනනීය සම්පත්, යම් සීමාවන්ට අදාළව නැණවත්ව හා ප‍්‍රවේශමින් පරිහරණය කිරීමේ කිසිදු වරදක් නැහැ. අද අපට අවශ්‍ය වන්නේ පරිසරය ද නොනසා, මානවයන් ද රැක ගන්නට හැකි තිරසාර වූත් ප‍්‍රායෝගික වූත් සංවර්ධන දැක්මක්.