සිවුමංසල කොලූගැටයා #212: විද්‍යා සන්නිවේදන ජගතා – වෛද්‍ය බුද්ධදාස බෝධිනායක

Dr Buddhadasa Bodhinayake - Science communication trail-blazer in Sri Lanka
Dr Buddhadasa Bodhinayake – Science communication trail-blazer in Sri Lanka

Dr Buddhadasa Bodhinayake, who died on 4 March 2015 in the UK, was a trail-blazing science and health communicator in Sri Lanka in the 1960s and 1970s. While still a schoolboy, he wrote the first Sinhala language book on space travel in 1961, which he co-authored with Arthur C Clarke. In the early 1970s, he also wrote the first local book on child psychology.

While being a high school student, medical student and after becoming a medical doctor, Bodhinayake continued writing to newspapers and presenting science programmes on radio. In June 1966, he launched Vidya monthly science magazine, which had a long and illustrious innings until 2006.

In this week’s Ravaya column (in Sinhala, published on 22 March 2015), I recall highlights of Dr Bodhi’s science communication work, and capture memories of some of his teachers and contemporaries. I also acknowledge the inspiration I derived from his work while growing up in the 1970s.

විද්‍යා, කලා, වාණිජ විෂය ධාරා වශයෙන් වෙන් කරන ලද පාසල් හා උසස් අධ්‍යාපනයක් පවතින අපේ රටේ කලාවට ලැදි විද්‍යා සිසුනට එම කුසලතා දියුණු කර ගන්නට ඇත්තේ සීමිත අවකාශයක්.

විද්‍යා-කලා ක්ෂේත‍්‍ර දෙකෙහිම දස්කම් පෑ, ඉංග‍්‍රීසි-සිංහල ද්විභාෂා සමතකු වූ වෛද්‍ය බුද්ධදාස බෝධිනායක මේ සාම්ප‍්‍රදායික සීමා ඉක්මවා ගිය අයෙක්. මෙරට සිංහල විද්‍යා සන්නිවේදනයේ නිම්වළලූ පුළුල් කළ, මුද්‍රිත හා රේඩියෝ මාධ්‍ය දෙකෙන්ම සරලව හා රසවත්ව විද්‍යා දැනුම බෙදා දුන් ඔහු මාර්තු 4 වනදා ලන්ඩනයේදී මිය ගියා.

වසර තිහකට වඩා ඔහු පදිංචිව සිටියේ බි‍්‍රතාන්‍යයේ බැවින් අපේ නව පරපුරට ඔහුගේ නම පුරුදු නැති විය හැකියි. එහෙත් 1960, 1970 දශකවල විද්‍යා, කලා හා දේශපාලන ක්ෂේත‍්‍රවල බෝධිනායක නම නිතර කියැවුණා.

බෙන්තොට උපත ලද ඔහු කොළඹට ආවේ වයස දහයේදී පමණ. කොළඹ ආනන්ද විදුහලේ දීප්තිමත් හා කාර්යශූර සිසුවකු ලෙස බෝධිනායකයන් 1950 දශකයේ හා 1960 ගණන්වල මුලදී රටම දැන හඳුනා ගත්තේ මාධ්‍ය හරහායි.

Buddhadasa Bodhinayake as a young man
Buddhadasa Bodhinayake as a young man

ඔහුගේ ගුරුවරුන්ට හා සමකාලීනයන්ට ඒ කාලය හොඳහැටි මතකයි. දශක ගණනක් ආනන්දයේ සිංහල බස ඉගැන් වූ ඒ. ඒ. ප‍්‍රනාන්දු මහතා බෝධිනායක සිහිපත් කරන්නේ ලියන්නට හා කථිකත්වයට දක්ෂ, බහුවිධ කුසලතා තිබූ, අසාමාන්‍ය ගණයේ සිසුවකු හැටියටයි.

‘ඒ කාලයේ මම සිංහල දරුවා නමින් සඟරාවක් කළා. බෝධිනායකගේ මුල්ම ප‍්‍රකාශිත ලිපි එහි පළ වූ ඒවා විය හැකියි. පාසලේ සාහිත්‍යයට, කලාවට, විද්‍යාවට එක සේ ලැදි වූ ඔහු සිංහල, ඉංග‍්‍රීසි දෙබසම මනා ලෙස හැසිර වූවා,’ යැයි ප‍්‍රනාන්දු මහතා ගිය සතියේ ආවර්ජනා කළා.

එවකට ආනන්දයේ සිංහල ගුරුවරයකු වූ මගේ පියා (ඩබ්ලිව්. ඞී. කේ. ගුණවර්ධන) බෝධිනායක හඳුනා ගත්තෙ 1960 දශකය මුලදී ඔහු උසස් පෙළ පන්තියට ආ පසුයි. ඔහු බෙහෙවින් උද්‍යොගශීලී සිසුවකු වූ බවත්, සිංහල බසෙහි නොයෙක් ගුරුහරුකම් ගන්නට නිතර ආ සැටිත් පියාට මතකයි.

‘බෝධිනායක කියන්නේ දක්ෂතා රැසක් තිබුණු, ගුණගරුක හා ආචාරශීලී ශිෂ්‍යයෙක්. විෂයමාලාවට හෝ පන්ති කාමරයට හෝ සිමා නොවී ඔහු විෂයබාහිර බොහෝ දේ කළා. බයිසිකලයකින් හැම තැනම යනවා. හාමුදුරුවරුන් හා ගුරුවරුන් සමග නොයෙකූත් දේ සාකච්ඡා කරනවා. මෙහෙම ශිෂ්‍යයන් හමු වන්නේ කලාතුරකින්’ මගේ පියා කියනවා.

වරක් ෂෙල් තෙල් සමාගම අනුග‍්‍රහයෙන් සංවිධානය කළ දීපව්‍යාප්ත රචනා තරගයකට සහභාගි වන්නට බෝධිනායක සිසුවාට ඕනෑ වුණා. එය පාසල විසින් සහතික කළ යුතු වූවා. එවකට සිටි ආනන්ද විදුහල්පති එස්. ඒ. විජේතිලක එසේ කිරීමට එකඟ වූයේ රචනය පාසලේදී ලියුවොත් පමණයි. එය අධීක්ෂණය කිරීම භාර වූයේ මගේ පියාට.

එකල බොහෝ රචනාල කථික හා විවාද තරගවලින් බෝධිනායක ජය ගත්තේ ගුරුවරුන් උද්දාමයට පත් කරවමින්. පණ්ඩිත බස වෙනුවට සරල සුගම බසකින් කීම හා ලිවීම ඔහුගේ හපන්කම වුණා.

Dayawansa Jayakody
Dayawansa Jayakody

බෝධිනායක සමකාලීනයකු හා සහෘදයකු වූ පොත් ප‍්‍රකාශක දයාවංශ ජයකොඩි කියන්නේ ඔහු නිර්මාණශීලී හැකියාව, දැනුම මෙන්ම සංවිධාන ශක්තියත් කැටි කර ගත් අසාමාන්‍ය චරිතයක් වූ බවයි.

‘ඔහු මට වඩා දෙවසරක් ජ්‍යෙෂ්ඨ වුණත් අපි බොහෝ සමීපව වැඩ කළා. මා එකල පළ කළ ‘හෙළබිම’ පත්තරයට ඔහු නිතර ලිපි ලියුවා. විද්‍යාව උගත්තත් සාහිත්‍යය, ඉතිහාසය ආදිය ගැන හොඳ දැනුමක් ඔහුට තිබුණා. බද්දේගම විමලවංශ හිමියන්ගේ (1913-1993) අනුශාසකත්වයෙන් ත‍්‍රිසිංහල ශිෂ්‍ය සංවිධානය පිහිටුවා ගෙන තරුණ තරුණියන් ඒකරාශී කරන්නත් ඔහු ක‍්‍රියා කළා’ යයි ජයකොඩි මහතා සිහිපත් කරනවා.

චිත්තාකර්ෂනීය කටහඬක් තිබූ බෝධිනායකයන් රේඩියෝ මාධ්‍යයට ද සම්බන්ධ වුණා. වසර ගණනාවක් තිස්සේ ගුවන් විදුලි සංස්ථාව හරහා විද්‍යාව, තාක්ෂණය, සෞඛ්‍යය තේමා කර ගත් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කළා. මෙයට අතහිත දුන්නේ කරුණාරත්න අබේසේකරයන්.

ජාතික පුවත්පත් හා සඟරාවලට ලියන අතරම බෝධිනායක තමන්ගේ සඟරාවක් ද ඇරඹුවා. ‘විද්‍යා’ නම් වූ එහි මංගල කලාපය එළි දුටුවේ 1966 ජුනි මාසයේ. ඒ වන විට ඔහු කොළඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්.

Cover of Vidya magazine first issue - June 1966 - edited by Buddhadasa Bodhinayake
Cover of Vidya magazine first issue – June 1966 – edited by Buddhadasa Bodhinayake

විද්‍යා ගුරුවරුන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් මෙන්ම විද්‍යාවට ලැදි සිසුන් ද හවුල් කර ගෙන පළ කළ විද්‍යා සඟරාව 1960 හා 1970 දශකවල විශිෂ්ඨ විද්‍යා සන්නිවේදන මෙහෙවරක යෙදුණා. අද මෙන් තොරතුරු මූලාශ‍්‍ර බහුල නොවූ එකල නව දැනුම සොයා ගන්නට තිබූ මාර්ග සීමිතයි.

විද්‍යා මංගල කලාපයේ කවරයට ආතර් සී. ක්ලාක්ගේ සේයාරුවක් යෙදු බෝධිනායක, ඇතුලේ පිටුවක් පුරා ක්ලාක්ගේ අනාගතවේදී විග‍්‍රහයන් සිංහලෙන් ඉදිරිපත් කළා. සිහි නැති කරන්නේ කෙසේද යන මැයෙන් වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය එන්. ඞී. ඩබ්ලිව්. ලයනල්ගේ ලිපියක් ද, අපේ විද්‍යාඥයෝ තේමාවෙන් ගණිත මහාචාර්ය ඩග්ලස් අමරසේකර හඳුන්වා දෙන ලිපියක් ද එහි තිබුණා.

පාඨකයන්ගේ විද්‍යා ගැටලූවලට පිළිතුරු සැපයුවේ තරුණ ශිෂ්‍ය නිමල් සිරිපාල ද සිල්වායි. කොළඹ නාලන්දා විද්‍යාලයේ උගත් ඔහු බෝධිනායක සමග විද්‍යා සඟරාව මෙන්ම තරුණ සංවිධාන වැඩ ද කළා. 1970 මහ මැතිවරණයට පෙර සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සහයෝගය දෙමින් තරුණ පෙරමුණක් ඔවුන් ගොඩ නැගුවා. පසු කලෙක ජාතික දේශපාලනයට පිවිසි ඔහු අද ශ‍්‍රී ලංකාවේ විපක්ෂ නායකවරයායි.

බෝධිනායකයන් බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය පසු විද්‍යා සඟරාව කලේ තුසිත මලලසේකරයි. 1960 ගණන්වල සිට බෝධිනායක හා මලලසේකර සමීප මිතුරෝ.

“මුල් යුගයේ සිංහලෙන් විද්‍යාව ලියන්න හැකියාව තිබුණේ ටික දෙනකුටයි. ඒ අතර වෛද්‍ය නන්දදාස කෝදාගොඩ හා වෛද්‍ය බෝධිනායක කැපී පෙණුනා. විද්‍යා සඟරාව ඇරඹුවේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙනයි. අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ලද එහි පිටපත් රැසක් රජය මිළට ගෙන පාසල් පුස්තකාලවලට බෙදා හරිනු ලැබුවා. එහෙත් පළාත්සභා ක්‍රමය යටතේ මෙවැනි මිළ දී ගැනීම් විමධ්‍යගත කළ පසු එසේ කිරීම ටික කලකින් නතර වුණා,” මලලසේකර කියනවා.

වසර 40ක් නොකඩවා පවත්වා ගෙන ආ විද්‍යා සඟරාව 2006දී නවතා දැමීමට සිදු වුනේ දැන්වීම් හා අනුග්‍රාහකයන් නැති වීම හා අලෙවි කර ගැනීමේ දුෂ්කරතා නිසායි. එය යුග මෙහෙවරක් ඉටු කළා යයි කිව හැකියි. 1987දී සුවිසල් පත්‍ර සමාගමකින් ඇරඹූ විදුසර සහ තවත් විදු ප්‍රකාශන ඒ වන විට බිහිව තිබුණා.

තම විද්‍යා සන්නිවේදනයට මහත් සේ උදව් කළ දෙදෙනකු ගැන බෝධිනායකයන් ඉඩ ලද සැම විටම සඳහන් කළා.

එක් අයෙක් ආතර් සී. ක්ලාක්. 1960 දශකයේ ඇමරිකාව හා සෝවියට් දේශය අතර මහා අභ්‍යවකාශ තරඟයක් පැවති නිසා අභ්‍යවකාශ ගවේෂණය ගැන බොහෝ දෙනා උනන්දු වුණා. ක්ලාක්ගේ සහයෝගය හා සම කර්තෘත්වය ඇතිව සිංහලෙන් අභ්‍යවකාශය ගැන ලියූ මුල්ම පොත 1961දී බෝධිනායක රචනා කළේ ‘ඔබ වැන්නෙක් හඳට යයි’ නමින්. එවිට ඔහු තවමත් පාසල් සිසුවෙක්. (පොත බෙදා හැරීම හා විකිණීම කළේ දයාවංශ ජයකොඩි විසින්.)

ක්ලාක්ගේ දැනුම හා පරිකල්පනය සිංහල පාඨකයන් වෙත ගෙන ඒමට බෝධිනායක ලියූ පොත් හා පුවත්පත් ලිපි සමත් වුණා. ක්ලාක් පසු කලෙක බෝධිනායකට බි‍්‍රතාන්‍යයට යාමටත් උපකාර කළා.

ඔහුට බොහෝ උදව් කළ අනෙක් දැවැන්තයා වූයේ රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වූ, චිත‍්‍ර හා මූර්ති ශිල්පී මෙන්ම ඉංජිනේරු හපුගොඩ රන්කොත්ගේ (එච්. ආර්.) පේ‍්‍රමරත්නයි. වෛද්‍ය සිසු අවධියේ තමන්ට නොමිළයේ කොළඹ නවාතැන් දුන් පේ‍්‍රමරත්න දෙවැනි පියකු බඳු වූ බව බෝධිනායක නිතර සිහිපත් කළා.

3 February 2013: සිවුමංසල කොලූගැටයා #103: එච් ආර් පේ‍්‍රමරත්න – මුල්ම නිදහස් උළෙලේ ‘විශ්ව කර්මයා’

1965දී පේ‍්‍රමරත්න හා බෝධිනායක එක්ව කෘති‍්‍රම චන්ද්‍රිකා ගැන සිංහල පොතක් රචනා කළා. ‘හැදු හඳේ හාස්කම්’ නම් වූ එහි වැදගත්කම චන්ද්‍රිකා යුගය ඇරඹී දශකයක්වත් ගෙවී නොතිබූ එවකට එම ක්ෂේත‍්‍රයේ අනාගත විභවය හා විකාශනය ගැන ඉතා හොඳ විග‍්‍රහයක් ඇතුළත් වීමයි.

පොත ආරම්භයේ කතුවරුන් මෙසේ ලියනවා. ‘‘කෘති‍්‍රම චන්ද්‍රිකාවක් යනු කුමක්ද යනුවෙන් මතු කෙරෙන ප‍්‍රශ්නයට දිය හැකි හොඳම පිළිතුර ‘මිනිසා විසින් සාදන ලද හඳකි’ යන්නය. එවැන්නක් පෘථිවිය වටා ගමන් කිරීමේදී හඳ පෘථිවිය වටා ගමන් කිරීමේදී පිළිපදින සොබාවික නීතිම පිළිපදී.’’

විශ්ව ගවේෂණයට, පෘථිවි නිරීක්ෂණයට, කාලගුණ අනාවැකි කීමට, පණිවුඩ සන්නිවේදනයට ආදී විවිධ භාවිතයන් සඳහා චන්ද්‍රිකා යොදා ගත හැකි අන්දම රූප සටහන් හා ඡායාරූප රැසක් සමගින් මේ පොත ලිහිල් බසින් කියා දෙනවා. තොරතුරු කල් ඉක්ම වී ඇතත් වසර 50කට පසුව අදත් එය ආසාවෙන් කියවිය හැකියි.

Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965
Cover of ‘හැදු හඳේ හාස්කම්’ (Wonders of the man-made Moon) by H R Premaratne & Buddhadasa Bodhinayake, 1965

බෝධිනායක වෛද්‍යවරයකු ලෙස කළ දස්කම් ගැන කතා කිරීමට අපට ඉඩක් නැහැ. අයුක්තියට හා අසාධාරණයට නොබියව එරෙහි වීමේ ගුණය ද බෝධිනායකයන්ට ළාබාල වියේ සිටම තිබුනා. කොළඹ වෛද්‍ය පීඨයට පිවිසි පසු නවකවදයට ලක් වූ ඔහු එයට විරුද්ධව කතා කළා. සිසු විරෝධයක් ගොඩ නැගුවාග වෛද්‍යවරයකු ලෙස සුදුසුකම් ලැබූ පසු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේත්, වෛද්‍ය වෘත්තිකයන් අතරත් නිලධාරිවාදයට ඔහු නතු වූයේ නැහැ.

1969දී වෛද්‍ය විද්‍යාලයෙන් පිට වූ ඔහු සීමාවාසික පුහුණුව (medical internship) කළේ ප‍්‍රවීණ ශෛල්‍ය වෛද්‍ය පී. ආර්. අන්තෝනිස් හා ප‍්‍රකට ළමා රෝග විශේෂඥ එම්. එච්. එම්. හම්සා යටතේයි.

ඉන්පසු කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ සේවය කරමින් ළමා රෝග ගැනත්, ළමා හා තරුණ මනස ගැනත් අධ්‍යයනය කළ බෝධිනායක, කරුණා රාමනායක (පසුව බෝධිනායක) සමග ළමා මනෝවිද්‍යාව ගැන මෙරට පළ වූ මුල්ම සිංහල පොත රචනා කළා. එහි නම ‘දරුවන්ගේ හැටි තේරුම් ගන්න’. පසු කලෙක ඔහු බි‍්‍රතාන්‍යයට ගොස් මනෝ විද්‍යාව හා මනෝ චිකිත්සාව පිළිබඳ විශේෂඥයකු වූවා.

පක්ෂ දේශපාලනයට පිවිසීම ඕනෑම පුරවැසියකුගේ, වෘත්තිකයකුගේ අයිතියක්. එහෙත් බෝධිනායක වැනි හපනකු දේශපාලන රාමුවකට සීමා වීම සමහරුන්ගේ කනස්සල්ලට හේතු වුණා. ඔහුගේ ගුරුවරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා වරක් මා සමග එබඳු අදහසක් පළ කළා. එහෙත් එසේ කී කාලෝත් මෙරට වාමාංශික දේශපාලනයේ කලක් සක‍්‍රීයව සිටි අයෙක්! 1977 ආණ්ඩු මාරුවෙන් පසු බෝධිනායකයන්ට එතරම් නිල පිළිගැනීමක් නොලැබුණු බව නම් ඇත්තයි.

L to R - Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970
L to R – Prime Minister Mrs Sirimavo Bandaranaike, Dr Buddhadasa Bodhinayake, Nimal Siripala de Silva, around 1970

24 March 2013: සිවුමංසල කොලූගැටයා #110: ජාතියේ ව්‍යාධියට ප්‍රතිකාර කරන අපූරු ජීවකයා: කාලෝ ෆොන්සේකා

1960 දශකය මැද උපන් මා බුද්ධදාස බෝධිනායක හඳුනා ගත්තේ පාඨකයකු ලෙසයි. 1970 හා 1980 දශකවල විද්‍යා සඟරාව පාසල් පුස්තකාලයෙන් කියැවූ සැටි කෘතවේදීව සිහිපත් කළ යුතුයි.

1979දී පමණ බි‍්‍රතාන්‍යයේ පදිංචියට ගිය ඔහු මා පෞද්ගලිකව මුණ ගැසුණේ දෙතුන් වතාවක් පමණයි. ඒ විටින් විට කෙටි නිවාඩුවකට ඔහු මෙරට ආ විටයි.

එයින් එක් වතාවක ඔහු මාත් කැඳවා ගෙන ඔහුට සුපුරුදු ගුවන් විදුලි සංස්ථාවට ගියා. මට මතක හැටියට නම් ගුණරත්න අබේසේකර මෙහෙය වූ ‘සරස්වතී මණ්ඩපය’ට සහභාගී වන්නයි. ‘අපි නතර කළ තැනින් ඔබ වැනි විද්‍යා ලේඛකයන් සන්නිවේදන මෙහෙවර දිගටම කර ගෙන යා යුතුයි’ ඔහු සුහදව ගුරුහරුකම් දුන්නා.

බෝධිනායක ලියූ පොත්පත් අද මුද්‍රණයේ නැහැ. විද්‍යා සන්නිවේදනයේ ඔහු ලබා දුන් ලොකුම දායකත්වය ලක් පරම්පරාවකට නව ලොවක් විවර කර දීමයි. උත්සාහය, උද්‍යොගය හා කැපවීම පෙරටු කර ගෙන ඔහු ගිය ගමන ළාබාලයන් වූ අපට ප‍්‍රබෝධක ආවේගයක් ලබා දුන්නා. එදාට වඩා බෙහෙවින් වෙනස් යථාර්ථයක් තුළ වුව ද අපට තවමත් එයින් ආදර්ශ ලද හැකියි.

From Vidya magazine's first issue of June 1966 - Young Nimal Siripala de Silva answers readers' science questions
From Vidya magazine’s first issue of June 1966 – Young Nimal Siripala de Silva answers readers’ science questions

See also:

10 Nov 2013: සිවුමංසල කොලූගැටයා #142: සිංහලෙන් විදු දැනුම රටට බෙදු ආචාර්ය අදිකාරම්

15 Sep 2013: සිවුමංසල කොලූගැටයා #134: විචාරශීලී චින්තනයට ලොකු තල්ලූවක් දුන් පුංචි ‘මානව’

11 Nov 2012: සිවුමංසල කොලූගැටයා #91: විද්‍යා සන්නිවේදනයේ නොනිමි අභියෝග රැසක්