LGBT Rights: සියලු මානවයන්ගේ අයිතීන් රකින ශිෂ්ට සමාජයක් කරා…

Gay Rights are Human Rights!

සමරිසි හා සෙසු ලිංගික සුලුතරයන්ගේ අයිතීන් වෙනුවෙන් මා විටින් විට පොදු අවකාශයේ කථා කරන්නේ මාත් එපිරිසේ සාමාජිකයකු නිසාදැයි අසන අයට දෙන්න හිතෙන (එහෙත් මෝඩයන්ට කථා කොට වැඩක් නැති නිසා නොකියා සිටින) උත්තරය මෙයයි:

මා පෙනී සිටින්නේ මාත් ඇතුලු මානව පවුලේ සියලුම සාමාජිකයන්ට සමාන මානව අයිතිවාසිකම් තහවුරු කිරීම යන පරමාදර්ශය වෙනුවෙන්.

මා වමත්කරුවන්ගේ අයිතීන් වැදගත් යයි පිළිගන්නේ මා වමත්කරුවකු නොවූවත් උපතින් එසේ වන අයට මට තරමටම අයිතීන් ඇති නිසා.

මා ආබාධිත අයිතීන් වෙනුවෙන් කථා කරන්නේ මේ මොහොතෙහි මා ආබාධිත නිසාද නොවෙයි. එහෙත් ආබාධිත වූ පමණට කිසිවකුගේ මානව අයිතීන් කප්පාදු කරන්නට ශිෂ්ට සමාජයකට ඉඩ දිය නොහැකි නිසා.

මා සරණාගතයන්ට සාධාරණය ඉටු විය යුතු යයි කියන්නේ මේ මොහොතේ  මා ද අවතැන් වී සිටින නිසා නොවෙයි (යම් දිනෙක එසේ වන්නටද ඉඩ තිබෙනවා). තම පාලනයෙන් බාහිර සාධක නිසා එසේ අවතැන් වූවන්ට ඇති අයිතීන්ට මා ගරු කරන නිසා.

මා කාන්තා අයිතීන් වෙනුවන් කථා කරන්නේ මා කාන්තාවක් නිසා නොවෙයි. නමුත් කාන්තාවන්ට සම අයිතීන් තිබිය යුතු බව මා තරයේ විශ්වාස කරන නිසා.

මා සමරිසි අය, ලිංගික සංක්‍රාන්තිකයන්, තම ලිංගිකත්වය අවිනිශ්චිත වූ හෝ එය ප්‍රතිවිග්‍රහ කරන්නට තැත් කරන යන සියල්ලන්ගේ අයිතීන් එකහෙලා පිලිගන්නේ මා ඔවුන්ගෙන් එක් අයකු නිසා නොවෙයි. නමුත් විෂමලිංගික අධිපතිවාදයට නතු නොවී, උපතින්ම තමන් ලද ලිංගික නැඹුරුවට අනුව ජීවත්වීමට ඔවුන්ට ඇති පරම අයිතියට මා ගරු කරන නිසා.

නිර්දය හා වැඩවසම් සමාජයකින් අත්මිදී, සමානාත්මතාව මත පදනම් වූ සමාජයක් බිහි කරන්නට නම් මෙකී නොකී සාධක කිසිවක් නිසා කිසිවකුත් අවමානයට හෝ අසාධාරණයන්ට ලක් වීමට ඉඩ නොදිය යුතුයි.

එවන් ශිෂ්ට සමාජයක් අපේ රටේ බිහි කරන්නට අප තව කොතෙක් දුර යා යුතුද?

තව කොපමණ කලක් බලා සිටිය යුතුද?

#NewConstLK: ව්‍යවස්ථාව හරියට හදා ගනිමු – ලක් වැසි සැමට රැකවරණය සළසමු!

Nalaka Gunawardene sums up why a new Constitution is needed for Sri Lanka. Purawesi Balaya video, April 2017

 

I have just recorded a short (3.5 min) video for Purawesi Balaya (Citizen Power) advocacy group as part of their citizens’ campaign demanding a new Constitution for Sri Lanka to replace the existing one adopted in 1978.

Here is what I say (not a verbatim transcript, but an approximation):

ව්‍යවස්ථාව හරියට හදා ගනිමු! ලක් වැසි සැමට රැකවරණය සළසමු

ව්‍යවස්ථාව යනු රටක ඉහළම නීතියයි. උත්තරීතර නීතියයි.

එය හරියට හදා ගැනීම රටේ නිසි රාජ්‍ය පාලනයට, නීතියේ ආධිපත්‍යයට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද ඉතා වැදගත්.

උපමිතියකින් මෙය පැහැදිළි කළොත්, රාජ්‍යය නිවෙසක් නම් ව්‍යවස්ථාව යනු එහි වහලයයි.

නිවසේ කෙතරම් විසිතුරු හා වටිනා බඩු තිබුණත්, නිවැසියන් කෙතරම් අගනා ඇඳුම් ඇන්දත් හරිහමන් වහලයක් නැත්නම් සියල්ල නිරාවරණය වෙලා. ඒ කියන්නේ නිවැසියන් හා එහි සියල්ල අනතුරේ!

ශ්‍රී ලංකා රාජ්‍යයේ දැන් පවතින ‘වහලය’ කල් පැන ගිය එකක්. බොහෝ සිදුරු හා පළුදු සහිතයි. සමහර ජන කොටස්වලට හා සුළුතරයන්ට රැකවරණය හොඳටම මදි. සියලු ජනයා යම් යම් ලෙසින් අන්නරක්ෂිතයි.

අපි කුමක් කරමුද?

පරණ වූ ‘වහලය’ තැනින් තැන සිදුරු වසමින් සිටිමුද?

වසින වෙලාවට ලීක් වන තැන්වල යටින් බාල්දි තබමින්, දුව පනිමින් කල් ගෙවමුද?

නැත්නම් වහලයක් අලුතෙන්ම හදා ගනිමුද?

වහලයක් ගසන්නේ පරම්පරාවක් දෙකක් කල් පවතින්න. අලුත් ව්‍යවස්ථාවක් හදන්නෙත් එලෙසම හොඳට කලක් වැඩ ගන්නයි.

එසේ හදන විට පැරණි වැරදිම දැන දැන යළිත් කරනවාද? මෙයයි අප හමුවේ තිබෙන තීරණාත්මක අභියෝගය.

සිතන පතන, පොදු උන්නතිය තකන පුරවැසියකු ලෙස මා ප්‍රමුඛතා තුනක් දකිනවා අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනයේදී අවධානය යොමු කළ යුතු.

Incumbent Maithripala Sirisena is the 5th president of Sri Lanka who has given an election pledge to abolish Executive Presidency, says Purawesi Balaya (Citizen Power), March 2017

පළමුවැන්න: පරිනත රාජ්‍යයක නිසි ලෙස බල විභජනයක් හා බල තුලනයක් තිබිය යුතුයි. එනම් ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුවත්, විධායකයත්, අධිකරණයත් අතර නිසි තුලනයක් අවශ්‍යයි. විධායකයට අධික ලෙස බලතල තිබීම මේ තුලනයට හානිකරයි. විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා යයි මැතිවරණ පොරොන්දු දී බලයට පත් වූ මේ රජය එම පොරොන්දුව දැන් ඉටු කළ යුතුයි.

දෙවැන්න: රට තුළ බලය විමධ්‍යගත කිරීම තවමත් කැරෙන්නේ දෙගිඩියාවෙන්. අපට යා හැකි කුඩාම බිම් මට්ටමේ ඒකකය දක්වාම බලය ගෙන යාමට ව්‍යවස්ථාවෙන් මග පෙන්වීමක් ඕනෑ. එය උතුරට – දකුණට – බටහිරට හා නැගෙනහිරට එක සේ බලය බෙදා දිය යුතුයි.

තෙවැන්න: මානව අයිතිවාසිකම් පිළිබඳ අවබෝධය අද බෙහෙවින් පුළුල් වෙලා. හැත්තෑ අටේ ව්‍යවස්ථාව සම්මත කරන කාලයත් එක්ක බැලුවත් අද වන විට ලෝකය ගොඩක් ඉස්සරහට ඇවිත්. ඒ කාලයේ තිබුණාට වඩා වෙනස් විදියේ අභියෝගත් අද මතු වෙලා තියෙනවා. හැත්තෑ ගණන්වල මඳ වශයෙන් ලෝකය කතා කළ ලිංගික සුළුතරයන්ගේ අයිතිවාසිකම් වාගේ දේවල් අද නොතකා හරින්න බෑ. ඒ අයගේ අයිතිවාසිකම් රැක ගැනීම රාජ්‍යයේ වගකීමක් වෙලා තියෙනවා. මේ නිසා වඩා ප්‍රශස්ත මානව හිමිකම් මාලාවක් හා ඒවා සුරකින රාමුවක්  නව ව්‍යවස්ථාවෙන්  රටට දිය හැකියි – දිය යුතුයි කියා මා සිතනවා.

Watch other videos on Purawesi Balaya YouTube channel