කාල බෝම්බ ඕනෑ කර තිබේ! සිවුමංසල කොලූ ගැටයා අළුත්ම තීරු ලිපි එකතුව එළි දකියි

Kaala Bomba One Kara Thibe - by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover
Kaala Bomba One Kara Thibe – by Nalaka Gunawardene (Ravaya Publishers, 2014) book cover

සම්මානලාභී තීරු ලිපි රචක නාලක ගුණවර්ධනගේ අළුත්ම ග‍්‍රන්ථය ‘කාල බෝම්බ ඕනෑ කර තිබේ’ නමින් මේ සතියේ නිකුත් වෙයි. 2013-14 වකවානුවෙහි ඔහු රාවය පුවත්පතේ ලියූ ‘සිවුමංසල කොලූගැටයා’ තීරු ලිපි 44ක් මෙහි ඇතුලත්ය.

21 වන සියවසේ සංකීර්ණ අභියෝගයන්ට නොබියව හා තර්කානුකූලව මුහුණදීමට ලක් සමාජය හැඩ ගැසිය යුතු අන්දම නාලක නොයෙක් මානයන්ගෙන් විග‍්‍රහ කරයි. මතවාදයන්ට නතු නොවී හැම දෙයක් ගැනම විවෘතව ප‍්‍රශ්න කරන ඔහු තම තීරු ලිපි දකින්නේ පාඨකයන්ගේ මනසේ කවදා හෝ පුපුරා යන ‘කාල බෝම්බ’ ලෙසිනි.

“දියවැඩියාවටත් වඩා දරුණු ලෙස ලංකාවේ පැතිරී ඇති ලෙඩකි ලිංමැඩියාව. එය ලෙඩක් නොව ඉහල තත්ත්වයක් බව උදන් අනන රටක, නාලක වැනි අයට පැවතීම ලෙහෙසි පහසු දෙයක් නොවේ” යයි පොතට පෙරවදනක් ලියන විවෘත විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය හා පර්යේෂක ආචාර්ය උදන් ප‍්‍රනාන්දු කියයි.

ප‍්‍රවීණ ගත්කුවර හා දේශපාලන විචාරක ගාමිණී වියන්ගොඩ මෙසේ කියයි. “අද අපේ සමාජය මහා හිඟයකට මුහුණ දී තිබේ. ඒ, විචාරශීලීත්වයයි. සමාජ ප‍්‍රශ්න, ආගමික සහ සංස්කෘතික ප‍්‍රශ්න, සදාචාරමය සහ දේශපාලන ප‍්‍රශ්න යන සෑම ක්ෂේත‍්‍රයකම පෙනෙන්ට ඇත්තේ අවිචාරයයි. බෞද්ධ රටක් යැයි කීවද, බුදුන් වහන්සේගේ ‘කාලාම සූත‍්‍රය’ අද රටටම අමතකව ගොස් ඇති සෙයකි. නාලක ගුණවර්ධනගේ සෑම ලියවිල්ලක්ම ආමන්ත‍්‍රණය කරන්නේ ඒ දරිද්‍රතාවට බව මගේ හැඟීමයි. ඔහු විද්‍යාව ගැන ලියූවත්, සමාජ ප‍්‍රශ්න ගැන ලියූවත්, ඒ සියල්ලෙන් සන්නිවේදනය කෙරෙන්නේ, කෙනෙකුගේ ඇස් අරවන විචාරශීලීත්වයකි.”

රාවය ප‍්‍රකාශනක් වන මේ පොතෙහි මිළ රු. 490කි. කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයෙන් විශේෂ වට්ටමකට ද ඉනික්බිති පොත්හල් වෙතින් ද ලබා ගත හැකි ය.

ශී‍්‍ර ජයවර්ධනපුර සරසවියෙන් 2012 වසරේ හොඳම තීරු ලිපි එකතුව සඳහා විද්‍යොදය සාහිත්‍ය සම්මානය සිවුමංසල කොලූගැටයා මුල් පොතට පිරිනැමුණි.

Sivu Mansala Kolu Getaya - columnhead in Ravaya newspaper
Sivu Mansala Kolu Getaya – columnhead in Ravaya newspaper