සිවුමංසල කොලූගැටයා #254: ලක් සමාජයේ නිදන්ගත රාජ උන්මාදය තුරන් කරමු!

Last king of Ceylon, Sri Wickrama Rajasinghe's court
Last king of Ceylon, Sri Wickrama Rajasinghe’s court

In this week’s Ravaya column (appearing in issue of 24 January 2016), I wonder why some people in Sri Lanka – including educated ones – keep clamouring for a return to monarchy that ended 200 years ago.

The Lankan monarchy always remained absolute until it ended in 1815. There were no formal limits to the monarch’s powers, even though Dasa-Raja-Dhamma or the ‘Ten Royal Virtues’ in Buddhism were meant to moderate that power. In practice, many monarchs ignored it.

There was never a local equivalent of the Magna Carta, adopted in medieval England in 1215 as the first formal document stating that a King had to follow the laws of the land (‘Rule of Law’). It guaranteed the rights of individuals against the wishes of the King. This paved the way for trial by jury which means people are tried by their peers and guaranteed the civil rights of the individual.

This was never the case in Sri Lanka where all powerful and feudal king could – and often did – execute anyone who disagreed with him.

Those who clamour for the restoration of monarchy in Sri Lanka don’t know or overlook how feudal, unrestrained and unaccountable the monarchy was. And shrewd politicians use this misplaced desire to project themselves as modern-day monarchs, i.e. figures of veneration who by historical implication need to be treated as ‘above the law’, and custodian of all the state’s wealth. Hmm…

I also look at how Nepal abolished its monarchy in 2008 and Bhutan became a Constitutional Monarchy in recent years – steps towards modernity and democracy.

Controversial song to mark first anniversary of Maithripala Sirisena - later disowned by the Presidential Secretariat of Sri Lanka
Controversial song to mark first anniversary of Maithripala Sirisena – later disowned by the Presidential Secretariat of Sri Lanka

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති පදවියට පත්වී පළමුවන සංවත්සරය නිමිති කර ගෙන නිර්මාණය කළ ‘නුඹ අපේ මිනිහෙක්’ ගීතය මහත් ආන්දෝලනයක් ඇති කළා.

ජනපතිගේ නිජබිම වන පොළොන්නරුවේ අතීත ශ‍්‍රී විභූතිය හා රාජධානිය නිරූපණය කළ මේ ගීතය මගින් සිරිසේන චරිතයට රාජභාවයක් ආරෝපණය කරන්නට තැත් කරනවා යන හැඟීම එය දුටු සමහරුන් තුළ හට ගත්තා.

එවන් අරමුණක් තමන්ට නොතිබිණියැ’යි නිෂ්පාදකයන් පසුව කියා සිටි අතර මෙය කිසිසේත්ම නිල ගීතයක් නොවේයැ’යි ජනාධිපති ලේකම්වරයාට කීමට සිදු වුණා.

මගේ අරමුණ මේ තර්ක විතර්ක ප‍්‍රශ්න කිරීම නොවෙයි. ශ‍්‍රී ලංකාවේ රාජ පෙළපත අවසන් වී වසර 200ක් ගත වූ පසුත් අප සමාජයේ ඇතැම් තලයන්හි රජ කාලයට හා රාජ පාලනයකට ඇති නොමඩනා ලද අතීතකාමය (රාජ-කාමය?) ගැන විග‍්‍රහ කිරීමයි.

මෙය හුදෙක් ශාස්ත‍්‍රීය ගැටලූවක් පමණක් නොවෙයි. රාජකාමය මගින් අපේ සමහරුන්ගේ තර්ක බුද්ධිය මොට කිරීම හෝ අන්ධ කිරීම හෝ සිදු වන බව පෙනෙනවා. ශාස්ත‍්‍රාල උගතුන් ඇතැම් දෙනා පවා මේ අන්ධානුභක්තියට දායක වන්නේ ඉතිහාසය සීරුවෙන් ප‍්‍රතිවිග‍්‍රහ කිරීමෙන්. පුරා විද්‍යාත්මක සාක්ෂිවලට වඩා අර්ධ-ප‍්‍රබන්ධාත්මක හා අතිශයෝක්තිවලින් ගහන වංශ කතා යොදා ගනිමින් මෙරට අතීත ශ‍්‍රී විභූතිය වර්ණනා කරනවා.

අපේ සංස්කෘතික උරුමය හා තාක්ෂණික හපන්කම් ගැන කිසිදු විවාදයක් නැහැ. එය මැදහත් පර්යේෂකයන් විසින් ගවේෂණාත්මකව තහවුරු කර තිබෙනවා.

එහෙත් අතිශයින්ම වැඩවසම් වූ රාජ පාලන ක‍්‍රමය යටතේ සාමාන්‍ය ජනයාගේ ජීවිතය කෙසේ වීද?

රජ පවුලට හා රභූන් සීමිත පිරිසකට දිවි ඇති තෙක් යටත්වැසියන්ව, බයෙන් හා පක්ෂපාතීකමින් සිටි ඔවුන්ට ලොකු සිහින දකින්නට ඉඩක් හෝ කිසිදු මූලික මානව අයිතිවාසිකමක් හෝ තිබුණේ නැහැ. මේ පැතිකඩ යන්තමින් හෝ අපට හෙළි වන්නේ රොබට් නොක්ස් වැනි පිටස්තරයන් තැබූ වාර්තාවල පමණයි.

Painting by Lankan artist Prasanna Weerakkody. http://prasannaweerakkody.com
Painting by Lankan artist Prasanna Weerakkody. http://prasannaweerakkody.com

රජුගේ බලතල සාධාරණව සීමා කැරෙන, බි‍්‍රතාන්‍යයේ 1215දී සම්මත කරගත් මැග්නා කාටාව (Magna Carta) වැනි ලේඛනයක් කිසි දිනෙක අපේ රටේ මතුව ආයේ නැහැ. රජු යම් තරමකට හෝ සවන් දුන්නේ පූජකයන්ට පමණයි. මේ වරප‍්‍රසාදයෙන් පූජකයන් බොහෝ අනිසි ප‍්‍රයෝජන ගත්තා.

සිවුමංසල කොලූගැටයා #217: වසර 800කට පෙර යහපාලන අඩිතාලම දැමූ මැග්නා කාටාව

රජුට එරෙහිව කලාතුරකින් හෝ ප‍්‍රශ්න කළ සියලූ අය රාජ ද්‍රෝහීන් යයි සළකා අත්තනෝමතික ලෙස මරා දමනු ලැබුවා. රාජ්‍යය යනු රජුය යන ප්‍රාථමික අදහස හැමදාමත් පැවතියාග විකල්ප මතවාදයන් හා ස්වාධීන චින්තනය වැනි දෙයට කිසිදු ඉඩක් තිබුණේ නැහැ.

මහරජාණෙනි කියා ගීතවලින් ප‍්‍රශස්ති ලද හිටපු පාලකයන් අප කැඳවා ගෙන යන්නට තැත් කළේත් එබඳු යුගයකටද?

වත්මන් දේශපාලනයට එහා මානයකට අයත් සමාජ විද්‍යාත්මක ප‍්‍රවණතාවක් මෙහි තිබෙනවා.

තමන් පැරණි රජ පෙළපතකින් පැවත එන බව ප‍්‍රසිද්ධියේ කීමට පුරුදු වූ ටික දෙනකු මෑතක් වන තුරු මෙරට සිටියා. එයින් සමහරුන් එය සනාථ කිරීමට පෙළපත් පවුල් ගස් පවා ඉදිරිපත් කළා. එහෙත් ඒ කතා පම්පෝරිවලින් ඔබ්බට ගියේ නැහැ.

වඩා මෑතදී මහජන ඡන්දයෙන් පත්වූ නායකයන්ට පැරණි වැඩවසම් රාජ තත්ත්වය දීමට අදූරදර්ශී වන්දිභට්ටයන් හා සටකපට කලාකරුවන් උත්සාහ කළ සැටි අප දන්නවා.

(හීනමානයක් ඇති?) නායකයන් මේ උත්සාහයන් ඉවසන්නේ හා සමහර රටවැසියන් මේ ප‍්‍රලාප අදහන්නේ ඇයි? ප‍්‍රබන්ධාත්මක රාජ කතා රූප ගතකොට චිත‍්‍රපට යයි ලේබල් ගසා මහජන ප‍්‍රදර්ශනය කරන විට දහස් ගණනින් පෙළ ගැසී ඒවා නරඹන්නේ ඇයි? අවශේෂ වූ රාජකාමය (residual monarchism) මෙයට හේතු විය යුතුයි.

මේ ඓතිහාසික ඇබ්බැහිය නිසාදෝ රජකු හා රාජාණ්ඩුවක් නැවත ලබා ගැනීමේ සිහින දකින සමහර ලාංකිකයන් තවමත් සිටිනවා. ජන ප්‍රවාදයෙන්ද මීට උඩගෙඩි ලැබෙනවා.

1815 මාර්තු 2 වනදා කන්ද උඩරට ගිවිසුම අත්සන් තැබීම සමග සමස්ත ලංකා දිවයින බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත් වුණා. එයින් ටික දිනකට පසු කුංකුනාවේ හිමියන් බිම දිගේ සීරුවෙන් ඇදී යන කුහුඹු පෙළක් දැක ‘අනේ කූඹියනේ, තොපටත් රජෙක් ඉන්නේ’ නම් කව කී බව කියැවෙනවා.

ඔහු තව දුරටත් මෙසේ කීවාලු:

‘රජෙක් ලැබුණෝතින්

එදා කිරිබත් කන්නේ

පෙරහැර කරන්නේ

සාදු නාදෙන් ගිගුම් දෙන්නේ’

එහෙත් මෙහි සත්ත්ව විද්යාත්මක පදනමක් නම් නැහැ. ලෝකයේ මේ දක්වා කුහුඹු විශේෂ 20,000කට වඩා සොයා ගෙන තිබෙනවා. මානවයන්ට පසුව වඩාත්ම සමාජ සංවිධානයක් ඇත්තේ කුහුඹියන්ට බව ඔවුන් අධ්‍යනය කරන කීට විද්‍යාඥයන්ගේ අදහසයි.

Queen Ant and worker ants
Queen Ant and worker ants

ඇත්තටම කුහුඹි ගුලක ඉන්නේ රජෙක් නොවෙයි රැජිනක්. රැජිනට කිසිදු පරිපාලන හෝ විධායක බලයක් නැහැ. ඇගේ එකම කාරිය රජනනයයි. කුහුඹි ප‍්‍රජාවක් ගොඩ නැගුණු විට ඇය දිගටම බිත්තර දැමීම කරනවා. ඇයට අවශ්‍ය ආහාර ලබා දීමත්, අපද්‍රව්‍ය ඉවත ගෙන යාමත් අනෙක් කුහුඹුවන් විසින් කරනු ලබනවා. මෙය ඇගේ සමාජ තත්ත්වයට වඩා වර්ගයාගේ පැවැත්ම සඳහා ක‍්‍රියාත්මක වන පරිණාමීය ආවේගයක් පමණයි.

කුහුඹි රැජින කොලනියක හෙවත් ගුලක සෙසු සියලූ කුහුඹින්ගේ මාතාවයි. සමහර කුහුඹි විශේෂ විරුද්ධ ලිංගිකයන්ගේ සහායකින් තොරව ජෛව පිටපත් බිහි කිරීමට (cloning) සමත්. කුහුඹි විශේෂය අනුව එක ගුලක එක් රැජින කුහුඹියකු හෝ රැජිනන් ගණනාවක් සිටිය හැකියි. මිනිසුන් විසින් රැජින යන නාමය (Queen Ant) යෙදුවත් එහිදී සිදු වන ක‍්‍රියාවලිය මිනිස් සමාජවල රජ පරපුරකට සම කරන්නට බැහැ.

රාජ පාලනය මානව සමාජ පරිණාමයේ එක් අවස්ථාවක් සටහන් කරනවා. එහෙත් අද වන විට බහුතරයක් සමාජ එම අවධිය පසු කර ඉදිරියට ගොස් තිබෙනවා.

21 වන සියවස 2001දී ඇරඹෙන විට දකුණු ආසියානු (සාක්) කලාපයේ රජුන් සහිත රටවල් දෙකක් තිබුණා. එනම් භූතානය හා නේපාලයයි. මේ හිමාලයානු රාජධානි දෙකම ගෙවී ගිය දශක එක හමාර තුළ ලොකු විපර්යාසවලට බඳුන් වුණා. ඔවුන්ගේ අත්දැකීම කෙටියෙන් විමසීම වැදගත්.

භූතානයේ රජ පෙළපතට එතරම් දිගු ඉතිහාසයක් නැහැ. ප‍්‍රාදේශීයව එරට බලයක් තිබූ ප‍්‍රභූවරයකු වූ උග්යන් වංචුක් (Ugyen Wangchuck) 1907දී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේද උදව් ඇතිව සෙසු ප‍්‍රභූන් අබිබවා නැගී සිටියා. එතැන් පටන් ඔහු භූතානයේ මකර රාජ වංශය ඇරඹුවා.

භූතානය කිසි දිනෙක බි‍්‍රතාන්‍ය යටත්විජිතයක් වූයේ නැහැ. එහෙත් භූතානයේ රජුන් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය සමග සහයෝගිතා ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව ඉන්දියාවේ මහරාජාවරුන්ට බි‍්‍රතාන්‍ය පාලනය යටතේ දී තිබූ නිදහසට සමාන ස්වයංපාලන අයිතියක් භූතානයට ද ලැබුණා. එහෙත් විදේශ සබඳතා හා ජාතික ආරක්ෂාව බි‍්‍රතාන්‍ය අධීක්ෂණය යටතේ පැවතුණා. මේ තත්ත්වය අවසන් වූයේ 1949දීයි.

1907 සිට මේ දක්වා භූතානයේ රජවරුන් පස්දෙනකු රජකම් කොට තිබෙනවා. ඒ අතරින් 1972 සිට 2006 දක්වා රජ කළ ජිග්මේ සිංයේ වංචුක් (Jigme Singye Wangchuck) රජු එරට සෙමින් හා සීරුවෙන් නවීකරණය කිරීම ඇරඹුවා. ලොව ප‍්‍රකට වූ දළ ජාතික සන්තුෂ්ටිය (Gross National Happiness) පිළිබඳ සංකල්පයේ නිර්මාතෘවරයා වූ ඔහු එරටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළා.

එහෙත් එය සම්මත කරගත්තේ ඔහුගේ පුත් ජිග්මේ කේසර් නම්යල් වංචුක් (Jigme Khesar Namgyel Wangchuck) 2006 දෙසැම්බරයේ කිරුළ භාර ගත් පසුවයි. මේ දක්වාත් රජ කරන මේ පස්වන භූතාන රජු, සිය රටට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හඳුන්වා දුන්නා.

ඒ අනුව අසීමිත බලතල සහිත රජකු වෙනුවට දැන් භූතානයේ ඇත්තේ ව්‍යවස්ථානුකූල රාජ්‍ය පාලනයක් (Constitutional Monarchy). මහජන ඡන්දයෙන් තේරී පත් වන පාර්ලිමේන්තුවක් ආණ්ඩු කරනවා. රටේ රාජ්‍ය නායකයා ලෙස සීමිත හා නිශ්චිත බලයක් රජුට තිබෙනවා. මෙය බි‍්‍රතාන්‍යයේ හා තායිලන්තයේ රජුන්ට සම කළ හැකියි.

සියවස් ගණනක් පැවති වැඩසම් සම්ප‍්‍රදායකින් නූතන ජනසම්මතවාදී රාජ්‍ය පාලනයකට එක් පරම්පරාවක් තුළ පිවිසෙන්නට භූතානයට හැකිව තිබෙනවා. හොඳ අධ්‍යාපනයක් ලැබූ, රට ලෝකය ගැන අවබෝධයක් ඇති රජ පෙළපතක් සිටීම ඔවුන්ගේ භාග්‍යය වුණා.

එහෙත් ඔවුන්ගේ අසල්වැසි නේපාලයේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.

නේපාලය රාජධානියක් ලෙස පිහිටුවනු ලැබුවේ 1788දී. වෙනම පාලනය වූ ප‍්‍රාදේශීය රාජධානි කිහිපයක් එක්සත් කළ ප‍්‍රථම රජු වූයේ ප‍්‍රිත්වි නාරයන් ෂා (Prithvi Narayan Shah). එතැන් පටන් 2008 දක්වා වසර 220ක කාලයක් පුරා ෂා පෙළපතේ රජුන් 14 දෙනකු නේපාලය පාලනය කළා. මෙයින් යම් වකවානුවකදී බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයේ ආරක්ෂාව ලබා ගත්ත ද නේපාලය ද කිසි දිනෙක යටත් විජිතයක් වූයේ නැහැ.

බොහෝ කාලයක් පුරා අසීමිත බලැති වැඩවසම් රාජ පාලනයක් තිබූ නේපාලයේ ජන උද්ඝෝෂණවලට ප‍්‍රතිචාරයක් ලෙස 1990දී ව්‍යවස්ථාවක් හඳුන්වා දෙනු ලැබුවා. මේ අනුව ඡන්දයෙන් තෝරා පත් කර ගන්නා පාර්ලිමේන්තුවකට ආණ්ඩුකරණය භාර වූ අතර රජු ව්‍යවස්ථානුකූලව රජකු බවට පත්වුණා.

1996දී මාවෝවාදී නේපාල කොමියුනිස්ට් පක්ෂය, එරට රාජ පෙළපත මුළුමනින්ම ප‍්‍රතික්ෂේප කරමින් රට ජනරජයක් බවට පත් කිරීම සඳහා සන්නද්ධ අරගලයක් ඇරඹුවා. 1996-2006 දශකය තුළ ඇවිලී ගිය නේපාල සිවිල් යුද්ධයෙන් 12,000කට වැඩි සංඛ්‍යාවක් මිය ගොස් රට අරාජික තත්ත්වයට මුහුණ දුන්නා.

තත්ත්වය බැරෑරුම් වූ විට රටේ ව්‍යවස්ථාව අත්හිට වූ ඥානේන්ද්‍ර රජු, 2005 පෙබරවාරි 1 වනදා සිට ආඥාදායක ඍජු පාලනයක් ඇරඹුවා.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අඩුපාඩු ඇතත් නැවතත් වැඩවසම් රාජ්‍ය පාලනයකට නතු වීමට නොකැමැති වූ ලක්ෂ සංඛ්‍යාත නේපාල ජාතිකයෝ රජුට එරෙහිව දිගින් දිගටම වීදි උද්ඝෝෂණ කළා. දැඩි මර්දනයක් හරහාත් තත්ත්වය සමනය කර ගන්නට බැරි වූ විට රජු පියවරක් ආපස්සට ගත්තා.

2006 අපේ‍්‍රල් මස අසීමිත බලතල අත්හැරි රජු නැවත එරට පාර්ලිමේන්තුවට ආණ්ඩුකරණයට ඉඩ දුන්නා. 2006 නොවැම්බර් 21දා සිවිල් යුද්ධය හමාර වූයේ මාවෝවාදීන් හා නව රජය අතර සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන්.

2007 ජනවාරියේ එරට පාර්ලිමේන්තුව නීත්‍යනුකූල ලෙස රජුගේ බලතල සියල්ල අත්හිට වූවා. අන්තිමේදී 2008 මැයි 28 වැනිදා රාජ පාලනය මුළුමනින් තුරන් කොට, නේපාලය ජනරජයක් බවට ව්‍යවස්ථානුකූලව පත් වුණා.

මෙසේ මා සම්පිණ්ඩනය කළේ සංකීර්ණ ක‍්‍රියාවලියක්. එය තවමත් පරිපූර්ණ වී නැහැ. එහෙත් අසීමිත බලැති වැඩවසම් රජකු හා රජ පෙළපතක් නූතන රාජ්‍යයකට අවශ්‍ය නැති බව නම් නේපාල වැසියන් අති බහුතරයකගේ පිළිගැනීමයි.

මේ දකුණු ආසියාතික දෙරටේම ජාතික මට්ටමේ රාජ පාලනයක් පැවතියේ සාපේක්ෂව කෙටි කාලයක් බවත්, එනිසා එරටවල රාජ ඇබ්බැහිය එතරම් කිඳා බැස නොතිබූ බවත් කියා යමකුට තර්ක කළ හැකියි. එහෙත් අපටත් වඩා දිගු හා ප්‍රෞඨ රාජ වංශයන් පැවති ඊජිප්තුව, ඉරානය (පර්සියාව) හා භාරතය වැනි රටවල අපේ මෙන් රාජ උන්මාදයක් දක්නට නැහැ. මේ ඇයි?

ඊජිප්තුවේ 1 වන ෆාරුක් රජු (1920-1965) වරක් කීවේ ‘අන්තිමේදී ලෝකයේ ඉතිරි වනු ඇත්තේ බි‍්‍රතාන්‍ය රජුත්, කාඞ් කුට්ටමේ රජුන් හතර දෙනාත් පමණයි.’ සමහර විට මෙය යම් දිනෙක සැබෑ වේවි. එහෙත් අසීමිත බලතල සතු වැඩවසම් රජවරුන්ට නම් ශිෂ්ට ලෝකයේ තව දුරටත් ඉඩක් නැති බව නම් පැහැදිලියි.

මේ රාජ උන්මාදය වත්මන් සමාජයට උචිත වූවක් නොවෙයිග ඉතිහාසඥ ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි මෙයට අදාලව 2015 මැදදී මෙසේ කීවා:

“රජෙක් සදහා වන ෆැන්ටසිමය ආකර්ශනය මිනිස් විෂයේ සැකැස්ම සමග සම්බන්ධිත වූවකි. මෙම ෆැන්ටසිය නවීන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පරිකල්පනය සමග ප්‍රතිවිරෝධී වේ. කෙසේ වෙතත් දේශපාලන වශ‍ෙයන් ප්‍රජාතන්ත්‍රීකරණය මුහුකුරා ගිය සමාජවල මේ ගැටලුවට ප්‍රායෝගික විසදුමක් සොයාගෙන ඇත. ඒ රජෙක් හෝ රැජනක් සංකේතාත්මක වශයෙන් දේශපාලන ධූරාවලියේ ඉහලින් තබා ගැනීමෙනි. මේ මගින් පොදුජන දේශපාලන ෆැන්ටසිය සහ ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරණය අතර ඇති විය හැකි ආතතිය සමනය කර ගෙන ඇත.

“අරාබි ලොකය මේ ගැටලුව විසදා නොගැනීම පිළිබද වර්තමානයේ හොදම උදාහරණයයි. ජර්මනියේ හිට්ලර් පිළීබද උදාහරණයද එවැන්නකි. ලංකාවේ මහින්දවාදයද මේ ගැටලුව තුළ හිරවී ඇත. එය විසින් රජෙක් පිළිබද පොදුජන ෆැන්ටසිය හා දේශප්‍රෙමය පිළිබද ව්‍යාජ දෘෂ්ටිවාදී පිරිවැස්ම උපයෝගී කර ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය අඩස්සිගත කරනු ලැබ ඇත. මේ ප්‍රවණතාවය පරාජය කිරීම වර්තමානයේ ලංකාවේ ප්‍රමුඛ දේශපාලන අවශ්‍යතාවයයි.”