සිවුමංසල කොලූගැටයා #74: පත්තර ලිපිවලින් විප්ලව කළ හැකි ද?

I’ve been writing op-ed essays in newspapers for a decade, and features for a quarter century in mainstream, broadsheet newspapers. Do they make a difference? I often ask that myself. There are no easy ways to measure the influence or impact of what we write — except when a reader tells me how a particular piece changed his/her mind. It’s always good to have such feedback, but most people don’t reach out even when they like what they read.

In this week’s Ravaya column (in Sinhala), I ask the big question: can an op-ed article in a newspaper make a difference? I cite four specific instances where they did — leading to the founding of WWF, Amnesty International, Sri Lanka Eye Donation Society and the Suriya Mal Movement in Sri Lanka that was a peaceful defiance of British rule in early 20th century Ceylon.

AI, WWF and Sri Lanka Eye Donation Society logos: each organisation started with a newspaper op-ed

‘පත්තරවලට ලියන්න ලැජ්ජා නැද්ද?’

මීට වසර කිහිපයකට පෙර මේ ප‍්‍රශ්නය මට යොමු කළේ ව්‍යාපාර කළමණාකාරීත්ව ක්‍ෂෙත‍්‍රයේ ඉහළට උගත්, රටේ සිදු වන දේ ගැන අවධියෙන් සිටින තරුණ වෘත්තිකයෙක්. ඇතැම් දෙනා මෙන් ඔහු සාවඥව කථා කරන්නකු ද නොවෙයි.

ඔහුට සැබැවින් ම ප‍්‍රශ්නයක් වී තිබුණේ මගේ නමින් ඉංග‍්‍රීසි හා සිංහල පුවත්පත්වලට ලිවීම මා දිගින් දිගට කරන්නේ ඇයි ද යන්නයි. මෙරට ජනමාධ්‍ය කලාව හා කර්මාන්තය ගැන පාඨකයකු හැටියට පමණක් හදුනන ඔහුගේ අවංක ආකල්පය වූයේ විසමතා රැසක් කැටි කර ගත් මේ ක්‍ෂෙත‍්‍රයේ සිය ආත්ම ගරුත්වය හා විශ්වාසනීයත්වය ගැන තකන කිසිවකුත් තව දුරටත් නොසිටිය යුතු බවයි.

වසර 25ක් තිස්සේ මාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ විවිධාකාරයෙන් නියැලී සිටින මගේ මනසේ ද විටින් විට මතුවන ප‍්‍රශ්නයක් නම් මේ අප ලියන දෙයින් ජන සමාජයට හා පොදු උන්නතියට දායකත්වයක් ලැබේ ද යන්නයි.

හැම පුවත්පත් ලිපියක් ම එක හා සමාන වැදගත් වන්නේ නැහැ. ඇති කරන කෙටි කාලීන හා දිගු කාලීන සමාජයීය බලපෑම් ද වෙනස්. පුවත්පත් හා සගරාවල පළ වන ලිපි අති බහුතරයක් ඒ මොහොතේ කියවා පසෙක තබන නමුත් ඉඳහිට කලක් පවතින සමාජයීය වෙනස්කම් හා චින්තන විප්ලවයන් කරන්නට ලිපියක් සමත් වනවා. එයට ලේඛකයාගේ කරුණු ගවේෂණය හා ඉදිරිපත් කිරිමේ දක්ෂකම මෙන් ම එය පළ වීමෙන් පසු සමාජය එයට දක්වන ප‍්‍රතිචාරය ද බලපානවා.

අප කථා කරන්නේ ප‍්‍රවෘත්ති වාර්තාකරණය ගැන නොවෙයි. විශේෂාංග ලිපි හා මති මතාන්තර ලිපි ගැනයි. මේවා බොහෝ විට පුවත්පතක මාණ්ඩලික ලේඛකයන් නොව බාහිරව සිටින අය ලියන ඒවායි. පොදු උන්නතියට කැප වු බුද්ධිමතුන් (public intellectuals) සමාජමය වශයෙන් වැදගත් කාලීන මාතෘකා ගැන මහජන හා රජයේ අවධානය යොමු කිරිමටත් මෙබදු ලිපි යොදා ගැනීම ලොව ප‍්‍රචලිත සම්ප‍්‍රදායක්.

පුවත්පතක පළ වූ ලිපි නිසා පැහැදිලි සමාජ ප‍්‍රතිචාරයක් හා ක‍්‍රියාදාමයක් ඇති වූ බවට උදාහරණ හතරක් මට සිහිපත් වනවා.

1960 නොවැම්බර් 13 වනදා බි‍්‍රතාන්‍යයේ The Observer පත‍්‍රයට විද්වත් ලිපියක් ලියමින් ප‍්‍රකට ජීව විද්‍යාඥයකු වූ ආචාර්ය ජුලියන් හක්ස්ලි (Julian Huxley) අප‍්‍රිකාවේ වනජීවින් රැක ගැනීමට ජාත්‍යන්තර පෙළ ගැස්මක් අවශ්‍ය බවට ආයාචනයක් කළා. යුනෙස්කෝව වෙනුවෙන් නැගෙනහිර අප‍්‍රිකානු රටවල් 10ක කළ සංචාරයකදී මිනිස් ක‍්‍රියාකාරකම් නිසා වනාන්තර හා වනජීවීන් මහා පරිමානයෙන් විනාශ වන සැටි තමා දුටු බවත්, මේ ප‍්‍රවණතා දිගට ම පැවතුණොත් දශක කිහිපයක් තුළ සමස්ත අප‍්‍රිකානු වනජීවී සමුහය වඳ වී යනු ඇත බවටත් ඔහු අනතුරු ඇගවූවා. වනාන්තර හා තණබිම් මිනිස් ජනවාස සඳහා එළි කිරිම. වගා බිම්වල ගවයන් ඇති කිරිම, දඩමස් සදහා වනසතුන් මැරිම, වනාන්තරවලට ගිනි තැබීම ආදි තර්ජන රැසක් ගැන තමා විසින් ම ගත් ජායාරූප ද සමග ඔහු සංක්ෂිප්ත විස්තරයක් ඉදිරිපත් කළා.

කොටස් තුනකින් පළ වූ මේ ලිපිය කියැවු වික්ටර් ස්ටෝලන් නම් ව්‍යාපාරිකයා වන ජීවීන් බේරා ගැනීමට අරමුදලක් පිහිටුවිය යුතු බවට හක්ස්ලිට ලියුමක් ලියමින් යෝජනා කළා. තවත් ජීව විද්‍යාඥයක් කිහිප දෙනෙකු ද එකතු කර ගනිමින් ලෝක ව්‍යාප්ත වනජීවි අරමුදල (World Wildlife Fund, WWF) නමින් සංරක්ෂණ සංවිධානයක් බිහි වූයේ ස්ටෝලන්ගේ උනන්දුව හා මුලික පරිත්‍යාග නිසයි. තවත් ධනවත් ව්‍යාපාරිකයන් ගණනාවක් මේ සඳහා පරිත්‍යාග කිරිමට ඔහු කැමති කරවා ගත්තා.

WWF නිල වශයෙන් පිහිටු වනු ලැබුවේ 1961 අපේ‍්‍රල් 29දා. එහි මුල් කාර්යාලය ස්විට්සර්ලන්තයේ මෝර්ජස් නුවර විවෘත කළා. අද වන විට WWF සංවිධානයට ලෝකයේ රටවල් 100ක පැතිරුනු සාමාජිකයන් මිලියන් 5ක් සිටිනවා. එය ලෝකයේ බලගතු සංරක්ෂණ සංවිධානයක්. එහි ලාංජනය වන පැන්ඩා ලකුණු ලොව වඩාත් ම හොදින් හදුනන ප‍්‍රචාරණ සංකේතයක් (Brand).

දෙවන ලෝක යුද්ධයෙන් පසු බි‍්‍රතාන්‍යයේ ප‍්‍රගතශීලි මති මතාන්තරවලට ඉඩ දෙන, වඩාත් ම පාඨක විශ්වාසය දිනු පුවත්පත් ලෙස මතුව ආයේ The Observer පත‍්‍රයයි. ප‍්‍රධාන ප‍්‍රවාහයේ පුවත්පත් ලෙහෙසියෙන් ඉඩක් නොදෙන අසම්මත තේමා හා මතවාද සඳහා මේ පත‍්‍රය සිය පිටු විවෘත කළා.

1961 මැයි 28දා The Observer පත‍්‍රයේ විද්වත් ලිපියක් ලියමින් පීටර් බෙනෙන්සන් (Peter Benenson) නම් නීතිඥයා මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රඥප්තිය (UDHR) 1948දී සම්මත කර ගත්ත ද ලොව බොහෝ රටවල එහි අඩංගු මුලික මානව අයිතීන් කඩ වන බවත්, ඒ ගැන උද්ඝෝෂණය කිරීමට එකමුතුවක් අවශ්‍ය බවත් පෙන්වා දුන්නා. ඔහු විශේෂ අවධානය යොමු කළේ ප‍්‍රඥප්තියේ 18 වන වගන්තිය (චින්තන හා මත දැරිමේ නිදහස) හා 19 වන වගන්තිය (අදහස් ප‍්‍රකාශනයේ නිදහස) ගැනයි.

රටේ නීතියට අනුව කිසිදු වරදක් නොකළත් පාලකයන්ට නොරිසි, විරුද්ධ මතයක් දැරීමේ හා ප‍්‍රකාශ කිරීමේ හේතුව නිසා පීඩාවට පත් කොට සිර ගත කරනු ලබන පුද්ගලයන් ‘දේශපාලන සිරකරුවන්’ ලෙස හදුන්වනවා. මෙබදු මතධාරීන් හා ක‍්‍රියාකාරිකයන් වෙනුවෙන් හ`ඩක් නගන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය පිහිටුවීමට මේ ලිපියේ රචකයා මුලික වුණා. එයට නිමිත්ත වුයේ 1961 ඔහු ලියු ලිපියට ලැබුණු පාඨක ප‍්‍රතිචාරයයි. ඒ ලිපිය පළ වී සති කිහිපයක් තුළ ලන්ඩන් නුවර සුළුවෙන් ඇරුඹුණු ඇම්නෙස්ටි සංවිධානයට අද සාමාජිකයන් මිලියන් 3කට අධික සංඛ්‍යාවක් සිටිනවා.

උඋත්‍ මෙන් ම ඇම්නෙස්ටි ද සිය අරමුදල් සම්පාදනය කර ගන්නේ මහජන පරිත්‍යාගවලින්. ලොකු කුඩා ඕනෑ ම ගණනක් පරිත්‍යාග ලෙස ඔවුන් බාර ගන්නවා. ඇම්නෙස්ටියේ ලාංජනය වන්නේ කටු කම්බියකින් වට වූ, දැල්වෙන ඉටිපන්දමක්. අන්ධකාරයට සාප කරනු වෙනුවට පහනක් දල්වන්න යන්න එයින් සංකේතවත් කැරෙනවා. 1977 නොබෙල් සාම ත්‍යාගය ලැබූ මේ ලෝක ව්‍යාප්ත සංවිධානය ඇරඹුණේ පුවත්පත් ලිපියකින්.

ශ‍්‍රී ලංකාවේ ද වසර 180 ක පුවත්පත් ප‍්‍රකාශන ඉතිහාසයක් තිබෙනවා. (මුල් ම ඉංග‍්‍රීසි පුවත්පත් පළ වූයේ 1832දී). මේ ඉතිහාසය තුළ වැදගත්, හරවත් ලිපි රැසක් අපේ සිංහල, දෙමළ හා ඉංග‍්‍රිසි පුවත්පත්වල පළ වී තිබෙනවා. රටට, සමාජයට දිගු කාලීන බලපෑමක් ඇති කළ ලිපිවලට උදාහරණ දෙකක් මට සිහිපත් වනවා.

පළමුවන ලෝක යුද්ධය නිල වශයෙන් හමාර වූ දිනය ලෙස සැළකෙන්නේ 1918 නොවැම්බර් 11දායි. එදා පටන් හැම වසරක ම නොවැම්බර් 11දා යුද්ධ සමරණ දිනය ලෙස බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යයට නතුව තිබූ හැම රටක ම සැමරීම කැරුණා. යුද්ධයට ගොස් පැමිණි හමුදා සෙබළුන්ට හා ඔවුන්ගේ පවුල්වලට අනුග‍්‍රහය දැක්වීමට පොපි මල් විකුණා මුදල් එකතු කිරිම සම්ප‍්‍රදායක් වුණා.

සැතපුම් දහස් ගණනක් දුරු රටක විශ‍්‍රාමික හමුදා සෙබළුන්ට ආධාර එකතු කිරිමට වඩා ලංකාවේ දුගී දුප්පත් මිනිසුන්ට උපකාර කිරිම වඩාත් වැදගත් හා හදිසි අවශ්‍යතාවයක් යයි විකල්ප මතයක් 1933 නොවැම්බරයේ Ceylon Daily News පත‍්‍රයේ ලිපියක් හරහා මතු වුණා. එය ලියා තිබුණේ ඊට වසර තුනකට පෙර ලංකාවේ ඉගැන්වීමට පැමිණි ඩොරීන් යංග් (Doreen Young)නම් බි‍්‍රතාන්‍ය ජාතික තරුණියක් විසින්. (ඇය පසුව වාමාංශික දේශපාලන නායක ආචාර්ය එස්. ඒ. වික‍්‍රමසිංහ සමග විවාහ වුණා).

මේ ලිපිය එවකට බි‍්‍රතාන්‍ය පාලකයන්ගේ දැඩි නොසතුටට හේතු වුවත් රැඩිකල්වාදී හා නිදහස් මතධාරි ලාංකිකයන්ගේ ප‍්‍රශංසාවට ලක් වුණා. පොපි මල් වෙනුවට සුරිය මල් අලෙවි කරමින් මෙරට අවශ්‍යතා සඳහා මුදල් එකතු කිරිමේ සුරියමල් ව්‍යාපාරය ඒ වන විටත් යුද්ධයේ සේවය කළ ලාංකික හමුදා භටයන් කිහිප දෙනෙකු විසින් සුළුවෙන් අරඹා තිබුණා. එය වඩාත් පණ ගැන්වී, දේශපාලන මුහුණුවරක් ද සහිතව පෙරට ආවේ මේ ලිපිය පළවීමෙන් අනතුරුව හට ගත් ආන්දෝලනය නිසා බව ඉතිහාස වාර්තා සඳහන් කරනවා.

1958 ජනවාරි 19 වනදා ලංකාදීප පත‍්‍රයේ ‘මළ නෙතට පණ’ නමින් ලිපියක් පළ වුණා. එය ලියා තිබුණේ එවකට වෛද්‍ය ශිෂ්‍යයකුට සිටි හඞ්සන් සිල්වා නම් තරුණයායි. නිරෝගී නෙත් යුවලක් හිමි කෙනකු මිය ගොස් පැය කිහිපයක් ඇතුළත ඒ නෙත්වල කුණිතය (cornea) වෛද්‍ය විද්‍යාත්මකව හා ඥාතීන්ගේ අවසරය ඇතිව ගලවා ගෙන හැකි ඉක්මණින් එය බද්ධ කිරිම හරහා ඇතැම් දෘශ්‍යාබාධවලින් ඇස් පෙනීම අඩාල වූ අයට නැවත පෙනීම ලබා දිය හැකි බව ඔහු කියා සිටියා. එය ඒ වන විටත් වෛද්‍ය විද්‍යාවේ පිළිගත් ක‍්‍රමවේදයක් බවට පත්ව තිබුණත් බොහෝ රටවල විශාල ප‍්‍රශ්නයක් වූයේ දන් දීමට කුණිත සොයා ගැනීමේ අපහසුතාවයි.

ඇතැම් ආගම් හා සංස්කෘතීන්ගේ මිය ගිය කෙනකුගේ අවයව (බද්ධ කිරිමට) ඉවත් කිරිමට අවසරයක් නැහැ. 1955 අංක 55 දරණ ඇස් දන්දීමේ පනත මෙරට සම්මත වී තිබුණත් රෝහල්වලට අවශ්‍ය තරම් කුණිතයක් සොයා ගැනිමට නොහැකි වී තිබුණා. එයට පිළියමක් ලෙස (බෞද්ධ සංස්කෘතික උරුමයේ ඉඩ දී ඇති පරිදි) අක්ෂිදාන සංගම් රට පුරා පිහිටු විය හැකි බවත්, තම ඇස් මරණින් පසු දන්දීම සඳහා ජීවත්ව සිටියදී ම ප‍්‍රතිඥා දීමට ලාංකිකයන්ට හැකි බවත් මේ ලිපියෙන් හඞ්සන් සිල්වා යෝජනා කළා.

පසු කලෙක අක්ෂිදාන ව්‍යාපාරය හා ශ‍්‍රී ලංකා අක්ෂිදාන සංගමය නමින් ජන සංවිධානයක් බිහි වුයේත්, ලොව පුරා ශ‍්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් හා ගෞරවයක් අත්කර දෙන ඇස් දන් දීමේ සත්කාර්යය ඇරඹුණෙත් මේ පුවත්පත් ලිපියෙන්.

මගේ උදාහරණ හතර ම මීට දශක කිහිපයකට පෙර පළ වූ පුවත්පත් ලිපි ගැනයි. ටෙලිවිෂන් නොතිබුණු හා නව මාධ්‍ය බිහි වීමට පෙර පැවති ඒ යුගයේ අද තරම් මාධ්‍ය ආයතන සංඛ්‍යාවක් තිබුණේ නැහැ. ඒ නිසාදෝ පත්තරයක, සගරාවක හොඳ ලිපියක් පළ වූ විට ඒ ගැන වාද විවාද ඇති වීමට වැඩි ඉඩක් තිබුණා. එමෙන් ම අසම්මත මාතෘතකාවක් ගැන වුවත් තර්කානුකූල ලිපියක් විද්වතුකුගෙන් ලද විට නොබිය එය පළ කිරිමට එකල පුවත්පත් කතුවරුන් හා ප‍්‍රකාශකයන් මැලි වුයේ නැහැ. එය ඞී ආර් විජේවර්ධනගේ සිට ඞී බී ධනපාල දක්වා පැවත ආ ගුණාංගයක්.

අද සමාජ යථාර්ථය හා මාධ්‍ය කර්මාන්තයේ ස්වභාවය සහමුලින් ම වෙනස්. පාඨකයන් සලිත කරවා පොදු උන්නතියට වැදගත් කරුණක් ගැන සමාජය කුළු ගන්වන ලිපි ඉඳහිට තවමත් ලියැවුණත් එයට ප‍්‍රතිචාර දක්වන්නේ කීයෙන් කී දෙනා ද? අපේ පුවත්පත් කලාවේ ස්වර්ණමය යුගය අවසාන ද?

සිවුමංසල කොලූගැටයා #52: කොලූගැටයා දෙවැනි වසරට පිවිසෙයි!

Nalaka G at a giant digital clock in Tokyo: Wandering everywhere with a sense of wonder...

This is the Sinhala text of my weekly column published in Ravaya newspaper for 5 February 2012. Here, I look back at one year of weekly columns and reflect on some reader feedback and their participation in my efforts to make sense of the world in turmoil that is all around me. I say ‘Thank You’ to the few writer friends and public intellectuals who have advised and guided me. I reaffirm my commitment to keep asking questions, connecting dots and following my own simple language style with none of the intellectual pretensions common in Sinhala newspaper writing.

‘සිවු මංසල කොලූ ගැටයා’කොලම ඇරඹුණේ 2011 පෙබරවාරි මුලදී. දෙවැනි වසරට පිවිසෙන මේ මොහොතේ මඳකට ආපසු හැරී බලන්නට කල්පනා කළා.

අවුරුද්දක් යනු මහ කාලයක් නොවෙයි. ඉන්දියාවේ කුෂ්වාන්ත් සිං වැනි ප‍්‍රවීණ ලේඛකයෝ දශක ගණනාවක් නොකඩවා සතිපතා කොලම් ලියමින් සිටිනවා. පුවත්පතක වෙනත් විශේෂාංගවලට වඩා කොලමක් (හෙවත් තීරු ලිපියක්) වෙනස් වන්නේ එම ලේඛකයාගේ දැක්ම හා පෞරුෂත්වය මතු කිරීමට අවකාශ ඇති නිසායි.

කොලමක් ලිවීමේ ආශාව කලක් තිස්සේ මගේ සිතේ තිබුණත් එයට අවස්ථාව ලැබුණේ රාවයෙන් ලැබුණු ඇරැයුමත් සමගයි. 1990 ගණන්වල ජපන් පාරිසරික සගරාවකට මා දෙවසරක් තිස්සේ මාසික කොලමක් ලිව්වා. එහෙත් ඉංග‍්‍රීසියෙන් මා ලියූ කොලම් ඔවුන් ජපන් බසින් පළ කළ නිසා පාඨකයන් සමග ඍජු සබඳතාවක් ගොඩ නගා ගත නොහැකි වුණා.

කොලමකට ලැබිය හැකි හොඳම දිරිගැන්වීම නම් එය නිතිපතා කියවන හා විටින් විට ප‍්‍රතිචාර දක්වන ලෙන්ගතු පාඨක පිරිසක් සිටීමයි. මගේ කොලම කියවන පාඨකයන්ගෙන් ඇතැම් දෙනෙක් මට ඊමේල් මගින් ප‍්‍රතිචාර දක්වනවා. තවත් සමහරුන් විවිධ විද්වත් සභාවල හා සමාජශීලී අවස්ථාවල මුණ ගැසී කථා කරනවා. මේ ප‍්‍රතිචාර මට ඉතා ප‍්‍රයෝජනවත්. එයින් සමහරක් මගේ කොලම් සඳහා නිමිති බවට ද පත් වුණා. එමෙන් ම මා නොදැන සිටි හා නොදුටු පැතිකඩ වෙතට මා යොමු කළා. මේ සියල්ලන්ට ම බොහොම ස්තුතියි!

පොදු උන්නතියට කැප වුණු විද්වතුන් හිඟ වූ අපේ රටේ සිටින එබඳු කිහිප දෙනෙකු මට තොරතුරු, උපදෙස් හා දිරි ගැන්වීම් ලබා දෙනවා. මහාචාර්ය රොහාන් සමරජීව, ආචාර්ය ජානක රත්නසිරි, ආචාර්ය තිලක් සියඹලාපිටිය, වෛද්‍ය වින්යා ආරියරත්න, ආචාර්ය කාවන් රත්නතුංග හා මහාචාර්ය කපිල දහනායක ඔවුන් අතර සිටිනවා. නිල තනතුරු දරණ නිසා නමින් උපුටා දැක්විය නොහැකි එහෙත් තොරතුරු ලබා දීමෙන් උපකාර වූ විද්වතුන් ටික දෙනෙකු ද මේ වසර පුරා අනුග‍්‍රහය දැක් වූවා. මෙකී නොකී හැම දෙනාටමත් බොහොම ස්තුතියි.

මගේ භාෂා ශෛලියට ආභාෂය ලැබුවේ මුල් යුගයේ මට මහත් සේ අතහිත දුන් ප‍්‍රවීණ පුවත්පත් කලාවේදී හා ගත්කතුවර ගුණදාස ලියනගේ සූරීන්ගෙන්ග ඔහු අනුව යමින් මා උත්සාහ කරන්නේ හැකි තාක් සරලවල නිරවුල්ව හා ඍජුව ලියන්නයිග මගේ බස් වහරේ ව්‍යංගාර්ථ නැහැග ද්විත්ව ඍණ භාවිතයන් (‘නොකියා බැරි’ ආදී) හෝ සංකීර්ණ වචන හරඹයන් හෝ කරන්නට මා දන්නේ නැහැ.

මගේ ප‍්‍රවේශය උද්‍යොගශීලීයිග කුතුහලය මුල් කර ගෙන මා සොයා ගන්නා දේ මා විවෘතව ලියනවා. එහිදී මට හමු වුණු අය, මා අත් විදි දේ මෙන් ම මට කියවන්නට හෝ දකින්නට ලැබුණු රසවත් හා හරබර කරුණු එයට පාදක කර ගන්නවා.

උත්තම පුරුෂ ඒක වචනයෙන් ලියන්නට මා එදත් අදත් කැමතියි. අද නව මාධ්‍ය භාවිතයේ වඩාත් මතු ව එන්නේත් එසේ තමන් කේන්‍ද්‍ර කර ගත් හෘදයංගම සන්නිවේදනයයි. මට හිතෙන දේ හා මා කළ කී දේ ගැන ලියන විට කොහේවත් සිටින ‘ලියුම්කරුවකු’ පිටුපස සැගවීමට ඕනෑ නැහැ.

දශක දෙකකට වැඩි කාලයක් විද්‍යා ලේඛනයේ ආධුනිකත්වයක් මා ගත කළේ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක්ගේ සෙවනේයිග ඔහු නිතර ප‍්‍රගුණ කළ උපදෙසක් වූයේ ‘We write to express, not to impress’ යන්නයි. ඒ කියන්නෙ අප ලිවිය යුත්තේ අදහස් පළ කිරීමට මිස අපේ පණ්ඩිතකම පෙන්වීමට නොවෙයි. රටට පෙන්වීමට කිසිදු පණ්ඩිතකමක් හෝ පුම්බන්නට ප‍්‍රතිරූපයක් හෝ මට නැහැ. ඒ නිසා සැහැල්ලූවෙන්, උද්‍යොගයෙන් කාලීන ප‍්‍රශ්න විග‍්‍රහ කරන්නටත්, නිරවුල් හා නිවැරදි තොරතුරු සොයා යන්නටත් මට ඉඩ තිබෙනවා.

පොතෙන් උගත් මගේ ඇතැම් මිතුරන්ගේ එක් ප‍්‍රතිචාරයක් වන්නේ මා ලියන දේ සරල වැඩි බවයි. හැමට තේරෙන මිත‍්‍රශීලී බසකින් ලිවීමෙන් මගේ ‘තත්ත්වය හෑල්ලූ විය හැකි’ බවත්, ඉඳහිට හෝ පණ්ඩිත වචන හා බරපතල සංකල්ප යොදා ගැනීම නුවණට හුරු බවත් එක් අයකු මට අවංකව ම අවවාද කළා.

අපොයි දෙයියනේ!

‘කොලූ ගැටයා’ හරහා මා නිතිපතා සිංහල ලේඛනයට ආපසු ආවේ විසි වසරක ස්වයං පිටුවහල්වීමකින් (self-exile) පසුවයි. ඒ කාලය පුරා මා විද්‍යා සන්නිවේදනයේ යෙදුණේ ඉංග‍්‍රීසි බසින්. අවභාවිතය නිසා මලකඩ බැදුණු මගේ සිංහලය නැවත පණ ගන්වන්නට සමකාලීන හා ජ්‍යෙෂ්ඨ විද්‍යා ලේඛක මිතුරන් කිහිප දෙනකු මහත් සේ උදවු කළා. එස් එම් බන්දුසීලල අසෝක ඩයස් හා චානුක වත්තේගම එදත් අදත් මගේ සුහද විචාරකයෝ. ඔවුන්ගෙන් උපදෙස් ගන්නා අතර මට ආවේණික බස හැසිරවීමක් මා කරනවා.

එහි ඇතැම් තැන් විවාදාත්මකයි. උදාහරණ හැටියට මා සිංහලෙන් යොදන්නේ රේඩියෝ, ටෙලිවිෂන් හා ඉන්ටර්නෙට් යන ඉංග‍්‍රීසි වචනමයි. ඉන්ටර්නෙට් ගැන මෙලෝ හසරක් නොදත් සිංහල පණ්ඩිතයකු අතින් නිම වුණු ‘අන්තර්ජාලය’ වැරදි යෙදුමක්. ඉන්ටර්නෙට් යනු ජාල රැසකින් සමන්විත සුපිරි ජාලයක් මිස ජාල අතර (අන්තර්) අවකාශයක් නොවෙයි!

රේඩියෝ හා ටෙලිවිෂන් වචන මා යොදන්නේ පොදුවේ එකී විද්යුත් මාධ්‍යයන් ගැන කථා කරන විට කිසිදු එක් මාධ්‍ය ආයතනයකට හෝ නාලිකාවකට පක්‍ෂග‍්‍රාහී නොවීමටයි. ‘ගුවන් විදුලිය’ හා ‘රූපවාහිනිය’ යන වචන ටොරින්ටනයේ ලැගුම් ගත් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකට අදාල වෙළඳනාම (brands) බවට පත් වී තිබෙන බව බොහෝ පාඨකයන්ගේ අවබෝධයයි. ඒ නිසා තව දුරටත් ඒවා එකී විද්යුත් මාධ්‍ය ක්‍ෂෙත‍්‍ර හැදින්වීමට යොදා ගැනීම නොමග යන සුළුයි.

මගේ ඇතැම් කොලම් හරහා යම් පුද්ගලයන්, ආයතන හෝ සංකල්ප හුවා දක්වන බවත්, ඒවා ගැන මා මහත් පැහැදීමෙන් කථා කරන බවත් ඇත්තයි. පිදිය යුත්තාට පිදීමේ වරදක් නැහැ. එහෙත් කිසිවක් හෝ කිසිවකු හෝ ගැන අන්ධ භක්තියක් ද මා තුළ නැහැ. ඇතැම් විටක හාස්‍යය හා උපහාසය කැටි කළත් කිසි විටෙක පුද්ගලයන්ට හෝ ආයතනවලට හෝ අපහාස කරන්නට මට ඕනකමක් නැහැ.

එහෙත් මා විටින් විට සියුම්ව එල්ල කරන ටිකිරි ටොකු පාරවල් ඇතැම් අධිපතිවාදීන්ට හා වැඩවසම්වාදී උගතුන්ට රිදවන බව සමහර ප‍්‍රතිචාරවලින් පෙනෙනවාග එවැනි අවස්ථාවල කියන්නට ඇත්තේ: තොප්පිය හරි යනවා නම් ඉතින් දා ගන්න!

‘කොලූ ගැටයා’ අවිහිංසක හා නිර්ව්‍යාජ ලෙස ප‍්‍රශ්න මතු කරන්නට කවදත් කැමතියි. එසේ අසන්නේ ගාම්භීර හෝ සංකීර්ණ බුද්ධිමය සංවාද නොතේරෙන නිසයි. 1960 ගණන්වල ඉපදී 1970 හා 1980 දශකයන්හි හැදුණු වැඩුණු මගේ පරම්පරාවේ ඇත්තන්ට තිබෙන අත්දැකීම්, රුචි අරුචිකම් මගේ මාතෘකාවලට හේතු පාදක වනවා. නව යොවුන් වියේ ටෙලිවිෂන් මුල්වරට දුටු අප, ජංගම දුරකථන හා ඉන්ටර්නෙට්වල ලංකාගමනය සිදු වන විට වයස විසි ගණන්වලට පිවිස සිටියා.

මේ නිසා අද පවතින තොරතුරු සමාජයට අප සංක‍්‍රමණිකයෝ. ඉංග‍්‍රීසියෙන් Digital Immigrants යැයි කියනවා. ඩිජිටල් අරුතින් ‘රට ගිය ඇත්තන්’ වන මා වැනි අයට ඇත්තේ දෙමුහුන් දැක්මක්. එහෙත් අපේ දරුවන්ට මේවා උපන්දා සිට ම හුරු පුරුදුයි. ඒ නිසා ඔවුන්ට Digital Natives යැයි කිව හැකියි. ඩිජිටල් ආගමනයට පෙර හා පසු ලක් සමාජය පිළිබඳව සංසන්දනාත්මකව දකින අතර, යටගිය දවස ගැන අධිතක්සේරුවක එල්බ නොසිටීමට මා උත්සාහ කරනවා.

ඉඳහිට මට ලැබෙන ප‍්‍රශ්නයක් වන්නේ මගේ මූලික මතවාද රාමුව කුමක්ද යන්නයි. එය මාක්ස්වාදය, පශ්චාත් නූතනවාදය, ජාතිකවාදය, හේතුවාදය හෝ වෙනත් වාදයක් ද? ඇත්තට ම මට ප‍්‍රවර්ධනය කරන්නට මතවාදයක් නැහැ.

මට තනිව පිළිතුරු සොයා ගත නොහැකි තරමේ ප‍්‍රශ්න කන්දරාවක් ඇසීම කවදත් මගේ සිරිතයි. ඒවාට පිළිතුරු සොයා මා පර්යේෂකයන්, වෘත්තිකයන්, සමාජ ක‍්‍රියාකාරිකයන්, කලාකරුවන් හා අන් අය සමග බොහෝ සේ කථාබහ කරනවා. ඔවුන්ගේ වියත් සභා සහ සමාජ අරගල අවස්ථාවන්ට නිරීක්‍ෂකයකු ලෙස සහභාගි වනවා. කිසිදු සමිතියක, සමාගමක, විද්වත් සමූහයක මා නිල සාමාජිකයකු නොවෙයි. ඔවුන් තර්කානුකූලව පොදු උන්නතියට දායක වන විට මා ඔවුන් සමගයි. එහෙත් ඔවුන් සංඛ්‍යා ලේඛන හා විද්‍යාත්මක විශ්ලේෂණ පසෙක තබා ආවේගශීලී වන විට මා අවස්ථානුරූපී ලෙස ඔවුන් විවේචනය කරනවා.

විද්‍යාව, තාක්‍ෂණය හා පරිසර සංරක්‍ෂණ ක්‍ෂෙත‍්‍රවල මගේ සහෘදයන්ට ඇතැම් විට දිරවා ගන්නට බැරි වන්නේත් මේ විචාරශීලී ගුණයයි. ඉංග‍්‍රීසියෙන් මා හදුන්වා ගන්නේ critical cheerleader කියායි. එය ‘විචාරශීලීව දිරි ගන්වන්නකු’ ලෙස සිංහලට පෙරැළිය හැකියි.

මාධ්‍ය හරහා අද අවශ්‍ය තරම් සිදු නොවන්නනේත් මේ ටිකයි. තමන්ගේ ගුරුවරුන්, ජ්‍යෙෂ්ඨයන්, වෘත්තීය දැවැන්තයන් නැතහොත් වෙනත් සමාජ නාමධාරීන් පදනම් සහිතව විවේචනය කළ නොහැකි ඇයි? එසේ නොකරන මාධ්‍ය කලාවක හා වෙළඳ ප‍්‍රචාරණයක ඇති වෙනස කුමක් ද?

සිවුමංසල කොලූගැටයා #51: ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!

A message from your friendly producers…?

Please turn off your brain cells!

Is this the message that should be displayed at the entrance of some media and public institutions in Sri Lanka? In this latest Sunday column, appearing in Ravaya newspaper of 29 January 2012, I make a tongue-in-cheek suggestion for doing so. This is entirely justified given how much of superstition, half-baked stories and mind-rotting nonsense that a gullible public seems to lap up with little critical examination.

This week I continue what I started last week discussing challenges faced by rationalists in today’s Sri Lanka, a land under siege by dogma, charlatans and religious fanatics all of who operate with impunity, claiming ‘sacred cow’ status under various labels of religion, indigenous knowledge or national heritage.

Once again I pay tribute to the late Dr Abraham Thomas Kovoor (1898 – 1978), a Kerala-born science teacher who settled down in newly independent Ceylon and, after his retirement in 1959, took to investigating so-called supernatural phenomena and paranormal practices. Kovoor’s successors today have more communications tools and platforms than ever before, but find that charlatans have mastered many of them for hoodwinking the public…

Media publishers and broadcasters turn a blind eye to such practices as these represent a steady income source. I touched on this aspect in a blog post in Nov 2008: Meet the new Pied Pipers of our Global Village: the Media!

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව

“ඔබේ ජංගම දුරකථන අක‍්‍රීය/නිහඩ කරන්න!”

මෙය චිත‍්‍රපට හා රංග ශාලා හැම තැනක ම කැරෙන සාධාරණ ඉල්ලීමක්. අපේ රටේ තවත් සමහර තැන්වලට ඇතුළු වන දොරටුවේ මෙබදු අවවාදයක් ප‍්‍රදර්ශනය කළ යුතු යයි මා සිතනවා: “ඔබේ විචාර බුද්ධිය දැන් අක‍්‍රීය කරන්න!”

අපේ ඇතැම් දෙනා ක‍්‍රියා කරන ආකාරය දෙස බලන විට ශ්‍රී ලංකා බුද්ධිමත් ජීවීන් සිටිනවා ද යන්න සැක සහිතයි. මේ තරම් සාක්‍ෂරතාවය ඉහළ හා මාධ්‍ය භාවිතය ප‍්‍රචලිත වූ රටක, මේ තරම් ලෙහෙසියෙන් මුලා කළ හැකි ජනතාවක්, හමු වන්නේ ඇයි?

ශ්‍රී ලංකා හේතුවාදී සංගමයේ සභාපති ලෙස ක‍්‍රියා කළ නීතිඥ ධර්මපාල සේනාරත්න සූරීන් (1944 – 2011) මෑතදී වියෝවන තුරු නිතර මතු කළ ප‍්‍රශ්නයක් වූයේත් එයයි. මේ තේමාවට අප යළි පිවිසෙන්නේ එය ලක් සමාජයේ බහුලව දැකිය හැකි, එහෙත් විවෘතව සාකච්ඡ නොකැරෙන පැතිකඩක් නිසායි.

හේතුවාදීන් යනු ආගම් විරෝධීන් යැයි හැඟීමක් ඇතැම් දෙනා තුළ තිබෙනවා. ඇත්තට ම හේතුවාදීන් කරන්නේ ආගමික දේශනා හා ඇදහීම්වලට ද හේතුවාදී ක‍්‍ර‍්‍රමවේදය යොදා ගනිමින් ඒවා විචාරශීලි ලෙස සාකච්ඡුා කිරීමයි. එබඳු අවස්ථාවල ආධානග‍්‍රාහය (dogma) මත එල්බ ගෙන, අන්ධ භක්තියෙන් ආගම්වල ඉගැන්වීම් අදහන අය අභියෝගයට ලක් වනවා. නමුත් අන් හැම ශාස්ත‍්‍රයක් මෙන් ම ආගම් ද විචාරශීලි සාකච්ඡවට විවෘත විය යුතු බව හේතුවාදීන්ගේ තර්කයයි.

හේතුවාදී සංගමයේ ආරම්භක ආචාර්ය ඒබ‍්‍රහම් තෝමස් කොවූර් නිතර උපුටා දැක් වූ උද්ධෘතයක් වූයේ බුදුන් වහන්සේ කාලාම සූත‍්‍රයේ දුන් උපදේශයයි. කිසිවක් පිළිගැනීමට පෙර විචාරශීලිව විමර්ශනය කිරීමේ ක‍්‍රමවේදය සරලව හා නිරවුල්ව එහි කැටි කොට තිබෙනවා. සම්ප‍්‍රදායන්ට, කටකථාවලට, ගුරු කුලයට, ශුද්ධ ලේඛනවලට, මතවාදයන්ට, විශේෂඥයන්ට නතු නොවී තමන් ම යමක් සොයා බලා තර්කානුකූලව තේරුම් ගැනීමේ වැදගත්කම එයින් අවධාරණය කැරෙනවා.

සරල උදාහරණයක් ගනිමු. ආවේශ වූ කනප්පු මඟින් හොරු ඇල්ලීම තවමත් විටින් විට අපේ රටේ වාර්තා වනවා. 2010දී ස්වර්ණවාහිනී ප‍්‍රවෘත්ති හරහා ධර්මපාල සේනාරත්න මේ වැඬේ මුළුමනින් ම ප‍්‍රතික්‍ෂෙප කළා. අප‍්‍රාණික ලී බඩුවකට විඥානයක් හෝ තනිව චලනය වීමේ කිසිදු හැකියාවක් හෝ නැති බවත්, මෙබඳු අවස්ථාවල එය චලනය වන දිශාව, වේගය ආදී සියල්ල තීරණය කරන්නේ කනප්පුවට අත තබා ගෙන සිටින අය බවත් කියා සිටි ඔහු කියා සිටියා.

‘කනප්පුවකට හොරු අල්ලන්න හෝ තනියම චලනය වන්නට බැහැ. මේ කථාව ඇත්ත නම් අපේ රටේ පොලිස් අපරාධ පරීක්‍ෂණවලට කනප්පු යොදා ගන්න පුළුවන්නේ’ ඔහු තර්ක කළා. ‘එහෙම කනප්පුවක් තනිව ම ගමන් කරලා පෙන්නුවොත් මම රුපියල් ලක්ෂයක් දෙනවා!’ ඔහු ප‍්‍රසිද්ධ අභියෝගයක් ද කළා.

මෙය අපට සිහිපත් කළේ 1960 දශකයේ කොවූර් නිකුත් කළ අභියෝගයයි. ප‍්‍රයෝගවලින් තොරව (fraud-proof), විවෘත ස්ථානයක දී මහජනයා ඉදිරියේ විශ්වාස කටයුතු (foolproof) විධියට ඕනෑ ම අද්භුත සංසිද්ධියක් සිදු කළ හැකි නම් (සහ එය ගවේෂණයට ඉඩ දෙන්නේ නම් එවකට මුදලින් රුපියල් ලක්ෂයක් දෙන බවට ඔහු 1963දී නිකුත් කළ අභියෝගය, 1978 ඔහු මිය යන තුරු ම කිසිවකු භාර ගත්තේ නැහැ!

කොවූර් හා කාලෝ ෆොන්සේකා වැනි පුරෝගාමී හේතුවාදීන්ගේ විද්‍යාත්මක පදනමට ධර්මපාල නීතිමය විග‍්‍රහයක් ද එකතු කළා. “ඕනෑ ම කෙනෙකුට තනිව ඕනෑ ම විශ්වාසයක එල්බ ගෙන සිටීමේ නිදහස තිබෙනවා. එහෙත් බොරු පොරොන්දු හා මුලා කිරීම් පදනම් කර ගෙන අනෙක් අය රවටා මුදල් අය කිරීමට ඉඩක් නැහැ. එය නීති විරෝධීයි. එය ප්‍රෝඩාව නැතහොත් වංචාව හැටියට සළකා සිවිල් හා අපරාධ නීති යටතේ ක‍්‍රියා කළ හැකියි!”

එහෙත් විශ්වාස හා ඇදහිලි මත පදනම් වු වංචනික ක‍්‍රියා කෙතරම් අප සමාජයේ එළිපිට සිදු කැරෙනවා ද? විභාග ජය, රැකියා ජය, විවාහයන් හා ව්‍යාපාර සාර්ථකත්වය වැනි විවිධාකාර ජීවන අභියෝගවලට උපකාර ලබා දෙන බවට පොරොන්දු වන දැන්වීම් ඉරිදා පුවත්පත්වලත්, ඇතැම් ටෙලිවිෂන් නාලිකා තීරයේ පහළිනුත් ප‍්‍රසිද්ධියේ පළ කරනවා. ඊටත් එහා යන ප‍්‍රබල ගුරුකම්, අණවින හා කොඩිවින ද තිබෙනවා. මේවායේ සේවය ලබා ගන්නට විශාල වශයෙන් මුදල් ගෙවන බොහෝ දෙනෙකු සිටියත්, ඒ ගැන කථා කරන්නට ඉදිරිපත් වන්නේ ඉතා ටික දෙනයි.

මහජන උන්නතිය සඳහා කැප වීමේ සදාචාරාත්මක වගකීමක් තිබෙන මාධ්‍ය ආයතන හිමිකරුවන්, පරිපාලකයින් හා කතුවරුන් ද තමන්ට විශාල වශයෙන් දැන්වීම් ආදායම් උපදවා දෙන මේ පොරොන්දු හා මවා පෑම් ගැන ප‍්‍රශ්න කිරීමෙන් වළකිනවා. ඉඳහිට විචාරශීලි මාධ්‍යවේදියෙකු නැතහොත් බුද්ධිමතකු මේ ඇදහිලි හා විශ්වාස ගැන ගවේෂණාත්මකව යමක් ලිව්වොත්, එය පළ කරවා ගැනීමේ අභියෝගයට ඔවුන් මුහුණ දෙනවා.

“හේතුවාදී විමර්ශන” නමැති කාලීන සංවාද රැගත් ටෙලිවිෂන් වැඩසටහන් මාලාවක් මීට දෙවසරකට පෙර ඇරඹුණත් එය මාස කිහිපයක් තුළ නතර වුණා. එබන්දක් කර ගෙන යාමේදි මතු වන ප‍්‍රතිරෝධයට අමතරව අද සමාජයේ මෙබඳු මාතෘකා ගැන මැදහත්ව හා විචාරශීලිව කථා කරන්නට නිර්භය බුද්ධිමතුන් සොයා ගැනීමත් ප‍්‍රශ්නයක් වෙලා.

පොදු උන්නතිය හා රටේ සම්පත් රැක ගැනීම පිණිස තම විශේෂඥ දැනුම පසුබිම් කර ගෙන කාලීන මාතෘකා ගැන ප‍්‍රසිද්ධ සභාවල හෝ මාධ්‍ය හරහා හෝ විවෘතව අදහස් දක්වන විද්වතුන් (public intellectuals) අපට සිටින්නේ සීමිත සංඛ්‍යාවක්. බහුතරයක් උගතුන් නිහඩව පසෙකට වී බලා සිටිනවා. ටික දෙනෙක් පෞද්ගලිකව විවේචන කළත් ප‍්‍රසිද්ධියේ කිසිවක් කියන්නේ නැහැ. සමහරු වැල යන අතට මැස්ස ගසමින් තමන්ගේ දැනුම ඉහළ ම ඉල්ලූමට අලෙවි කරනවා.

ධර්මපාලගේ වඩාත් නිර්දය විවේචනය එල්ල වූයේ ජන සමාජයේ අන්ධ විශ්වාස හා ඇදහිලි තවත් තීව‍්‍ර කරමින් ඒවායෙන් බඩ වඩා ගන්නා විද්වතුන් වෙතටයි. විද්‍යා විෂය ක්‍ෂෙත‍්‍රයන්හි ඉහළට උගෙන, නිසි මාර්ගයේ ගොස් ආචාර්ය උපාධි ලබා ගත් (සම්මාන උපාධි නොවේ!) සමහර විද්‍යාඥයන්, පසු කලෙක තම උගත්කමට අදාළ නොවු අද්භුත ක්‍ෂෙත‍්‍රවල නියැලෙන සැටි අප දන්නවා.

වායුගෝලීය භෞතික විද්‍යාව, න්‍යෂ්ටික රසායන විද්‍යාව, තාරකා විද්‍යාව හෝ භූ විද්‍යාව ප‍්‍රගුණ කළ විද්‍යාඥයෝ තම ක්‍ෂෙත‍්‍රයට අමතරව මෝහනය, පුනර්භවය, ජ්‍යෙතිෂය ගැන විශේෂඥයන් ලෙස ප‍්‍රතිරූප තනා ගන්නවා. (ඔවුන් එම ක්‍ෂෙත‍්‍ර විචාරශීලිව ගවේෂණය කරනවා වෙනුවට ඒවායේ පවතින අධිපතිවාදයෙන් ප‍්‍රයෝජන ලබනවා.) අධිපතිවාදයට හා අන්ධ විශ්වාසවලට ඉඩක් නොමැති විද්‍යා ක්‍ෂෙත‍්‍රයේ එක් පයක් තබා ගෙන, අද්භුතවාද පෙරටු කර ගත් ඇදහිලිවල අනෙක් පය තබා ගෙන දෙබිඩි චරිත නිරූපණය කරන මේ “බුද්ධිමතුන්” ගැන ධර්මපාල කථා කළේ කලකිරීමෙන්.

“මේ වැනි විද්‍යා උගතුන් අන්ධ භක්තිය හා අවිචාරශීලි ඇදහිලිවලට ප‍්‍රසිද්ධියේ ආවඩන විට සාමාන්‍ය මහජනයා නොමඟ යනවා. විද්‍යාත්මක චින්තනය වඩාත් අවශ්‍ය අද වැනි කාලයක, කියන ඕනෑ දෙයක් ගෙඩි පිටින් පිළිගෙන ඇදහීමේ භයානක පුරුද්දට ජන සමාජය යොමු වනවා!” ඔහු අනතුරු ඇඟවුවා.

ශ්‍රී ලංකා හේතුවාදී ව්‍යාපාරය හා එහි නොනිමි සමාජ වගකීම් සමුදාය ගැන මා 2012 ජනවාරි 13 වනදා groundviews.org මාධ්‍ය වෙඞ් අඩවියට ඉංග‍්‍රීසියෙන් ලිපියක් ලියුවා. දින කිහිපයක් ඇතුළත එයට පාඨක ප‍්‍රතිචාර 70කට වඩා ලැබුණත් ඒවාගෙන් බහුතරයක් සනාථ කරන්නේත් එම ලිපියෙන් හා මෙම කොලමින් මා මතු කරන තර්කයයි. එනම් විචාරශීලී ලෙස යමක් විග‍්‍රහ කිරීමට හා බුද්ධිගෝචරව සිතා බැලීමට හැකියාව ඇති පිරිස අපේ සමාජයේ සීමිත බවයි.

මගේ ලිපියට ලැබී ඇති එක් පාඨක ප‍්‍රතිචාරයක් ලියන විද්‍යාඥ ආචාර්ය යූ. පෙතියාගොඩ කියන්නේ ඉරිදාට පළ වන සිංහල පුවත්පත් බහුතරයක් පාඨක බුද්ධියට නිගා කරන, හරසුන් අන්තර්ගතයන් කැටි කර ගත් කඩදාසි ගොනු බවට පත්ව ඇති බවයි. “ජ්‍යෙතිෂවේදීන්, වාජීකරණ හා ගබ්සා කිරීමේ සේවාවන් ආදිය ස`දහා වන අනේකවිධ දැන්වීම්, සම්බාහන සේවා ගැන කෙලවරක් නැතිව ලියන විශේෂාංග හා කලාව ගැන මෙලෝ හසරක් නොදත්තවුන් ලියන කලා විචාර ආදිය පසෙකට දැමූ විට කියවන්නට ඉතිරිවන්නේ ඉතා ස්වල්පයක් පමණයි,” යයි ඔහු කියනවා.

ආචාර්ය පෙතියාගොඩගේ තක්සේරුව සමග මා එකග වන නමුත් ඉරිදා පත්තර මේ තත්ත්වයට පත්වීමට දායක වූ සමාජයීය සාධක ඇති බව ද පිළිගත යුතුයි. විවෘත ආර්ථික ක‍්‍රමයක් තුළ නීති විරෝධී නොවන භාණ්ඩ හා සේවා ප‍්‍රචාරණය කිරීමට මුදල් ගෙවා මාධ්‍ය දැන්වීම් පළ කිරීමට නිදහස තිබෙනවා.

පැහැබර හෙට දවසක් උදා කර දෙන බවට ශාන්ති කර්ම, පුද පූජා සේවා සපයන ජ්‍යෙතිෂවේදීන් හා එබදු ම පින්බර අනාගතයක් ගැන පොරොන්දු දෙන දේශපාලකයන් අතර ලොකු වෙනසක් නැහැ. එහෙත් දේශපාලකයන්ගේ මැතිවරණ පොරොන්දු දෙස සැකයෙන් හා අවඥාවෙන් බලන අපේ බොහෝ දෙනා, ජ්‍යෙතිෂ හා දෛවඥ සේවාවන් ගැන විචාරශීලීව විමසන්නේ නැහැ. මේ ඇයි?

මාධ්‍ය ඔස්සේ අපට ලැබෙන තොරතුරු හා මතවාදයන් තෝරා බේරා ගැනීමේ හැකියාවට මාධ්‍ය සාක්‍ෂරතාවය කියනවා (Media Literacy). අද අකුරු සාක්‍ෂරතාවයටත් වඩා වැදගත් වන්නේ මේ හැකියාවයි. එය නිසි පමණට නොතිබීම නිසා මාධ්‍ය හරහා දැවැන්ත ප‍්‍රතිරූප තනා ගැනීමට දේශපාලකයන්ට, ව්‍යාපාරිකයන්ට මෙන් ම වංචනිකයන්ට ද හැකි වී තිබෙනවා. අදහාගත නොහැකි තරම් ඉහළ පොලී අනුපාතයන් දෙන බවට පොරොන්දු වෙමින් ජනයාගෙන් කෝටි ගණන් මුදල් තැන්පතු ලබා ගත් සක්විති වැනි චරිත පුවත්පත් හා ටෙලිවිෂන් මාධ්‍ය සූක්‍ෂම ලෙස යොදා ගත්තා.

මෙබදු සමාජයක විචාරශීලීව කොයි දේ ගැනත් සිතීමට අනුබල දීම හා ප‍්‍රශ්න කිරීමේ හැකියාව වැඩි කිරීම පොදු උන්නතිය අගයන සැවො ම කළ යුතු දෙයක්.

22 Jan 2012: සිවුමංසල කොලූගැටයා #50: අවිචාරයේ සැඩ සුළගට මැදි වුණු හේතුවාදී පහන් සිළුව